Saturday, May 12, 2018

වාසිය නොදැන පෝලිම් වලට එකතු වීම මෝඩකමක්ද?



පහතින් ඇත්තේ පසුගිය ලිපියට අපේ පාඨක හිතවතෙකු විසින් දැමූ ප්‍රතිචාරයක කොටසකි.

"1970-77 කාලේ නම් කවුරු හරි පාරේ යන කෙනෙක් අපේ අම්මට කියනවා, "අන්න සමුපකාරේ දිග පෝලිමක් තියනවා" කියලා. ඉතින් අම්මා මට කියනවා ගිහින් පෝලිමේ ඉන්න කියලා. ඊට පස්සේ අම්මා කරමින් හිටපු වැඩේ ඉවර වෙලා ඇඳුම් මාරුකරගෙන කඩේට ඇවිත් පෝලිම තියෙන්නේ මොනවා ගන්නද කියලා හොයා බලා එක්කෝ පෝලිමේ ඉන්න මාත් එක්ක එකතු වෙනවා. වැදගැම්මක් නැති දෙයක්නම් මාත් එක්ක ආපසු එනවා."

දැන් මේ අම්මා පුතාව පෝලිමේ තබන්නේ අඩු වශයෙන් පෝලිම කුමක් සඳහාදැයිවත් නොදැනය. පසුව සොයා බලන විට පෝලිම තිබෙන්නේ ඔවුන්ට වැදගම්මක් නැති දෙයක් වෙනුවෙන් වන්නට පුළුවන. එසේ වුනොත්, පෝලිමේ රස්තියාදුව පාඩුවකි. එසේ නොවී, පෝලිම තිබෙන්නේ ඔවුන්ට වාසිදායක ගනුදෙනුවක යෙදීමේ අවස්ථාව වෙනුවෙන් වුවත්, පෝලිමේ මුලට එන විට ගනුදෙනු අවස්ථාව ගිලිහී තිබෙන්නට පුළුවන. එවිටද වෙන්නේ පාඩුවකි. එසේනම්, මේ අයුරින් පෝලිම කුමකටදැයි සොයා නොබලා පෝලිමකට එකතු වීම අමු ගොන්කමක්ද?

ආර්ථික විද්‍යාවේදී සාමාන්‍යයෙන් උපකල්පනය කරන්නේ මිනිසුන්ට තමන්ට වාසිදායක තාර්කික තීරණ ගැනීමේ හැකියාවක් ඇති බවයි. මූලික ආර්ථික විද්‍යා න්‍යාය හැදී තිබෙන්නේ ඒ උපකල්පනය මත පදනම් වෙමිනි. කිසියම් ආර්ථික විද්‍යා න්‍යායයක් සමඟ සැබෑ ලෝකයේ පුද්ගල හැසිරීම් නොගැලපේනම් මුලින්ම කළ යුත්තේ න්‍යායයෙහි ඇති නොගැලපීම් හෝ අඩුපාඩු සොයා බලා එය සංශෝධනය කිරීම මිස න්‍යායට ගැලපෙන පරිදි බලහත්කාරයෙන් පුද්ගල හැසිරීම් වෙනස් කිරීම නොවේ.

එහෙත්, එසේ සිදු වූ හා සිදුවන අවස්ථාද නැතුවා නොවේ. කාල් මාක්ස් විසින් ඉදිරිපත් කළ න්‍යාය සැබෑ ලෝකයේ පුද්ගල හැසිරීම් සමඟ සමපාත නොවන බව ඇස් පනාපිට පෙනෙද්දී න්‍යාය වෙනස් කරනවා වෙනුවට පුද්ගල හැසිරීම් වෙනස් විය යුතු බව යෝජනා කිරීම මෙන්ම බලහත්කාරයෙන් පුද්ගල හැසිරීම් වෙනස් කරවන්නට උත්සාහ දැරීමද බොහෝ රටවල සිදු වූ අතර දැනටත් එසේ සිදුවන තැන් තිබේ.

දැන් අපි නැවත මුලට ආවොත් අපේ හිතවතාගේ මව ක්‍රියාකර තිබෙන්නේ අතාර්කික ලෙසද?

තරඟකාරී නිදහස් වෙළඳපොළක භාණ්ඩ හිඟයක් නැත. ඒ නිසා භාණ්ඩ මිල දී ගැනීමට දිගු පෝලිම්ද දකින්නට නැත. භාණ්ඩයක මිල එහි ඉල්ලුම හා සැපයුම සමතුලිත වන මිල නිසා අතිරික්ත නිශ්පාදනයක් සිදු වී විකුණාගත නොහැකිව භාණ්ඩ නාස්ති වන්නේද නැත. කිසියම් පාරිභෝගිකයෙකු භාණ්ඩයකට දෙන වටිනාකම එහි මිලට වඩා වැඩිනම් ඇය එම භාණ්ඩය මිල දී ගෙන වාසියක් ලබයි. මෙය ඇගේ පාරිභෝගික අතිරික්තයයි. ඇය එම භාණ්ඩයට දෙන වටිනාකම භාණ්ඩයේ මිලට වඩා අඩුනම් භාණ්ඩය මිල දී ගැනීමෙන් ඇයට සිදුවන්නේ අවාසියකි. ඒ නිසා, ඇය භාණ්ඩය මිල දී නොගනී. ඒ නිසා ඇයට වාසියක් හෝ අවාසියක් සිදු නොවේ. අවසාන වශයෙන් තරඟකාරී නිදහස් වෙළඳපොලක සිදුවන ගනුදෙනුවකින් කිසිවෙකුට ලාභයක් මිස අලාභයක් සිදු නොවේ.

අපේ හිතවතා පෝලිමේ සිටි 1970-77 කාලයේ ලංකාවේ තිබුණේ තරඟකාරී නිදහස් වෙළඳපොළක් නොවේ. බොහෝ පාරිභෝගික භාණ්ඩ පාලන මිලක් යටතේ රජය විසින් සමුපකාර වෙළඳසැල් හරහා බෙදා හැරියේය. මේ පාලන මිල බොහෝ විට අදාළ භාණ්ඩයේ නිදහස් වෙළඳපොළ මිලට වඩා අඩු මිලක් විය.

කිසියම් භාණ්ඩයක් එහි නියම මිලට වඩා අඩුවෙන් අළෙවි කෙරෙන විට ඒ සඳහා වන ඉල්ලුම සැපයුමට වඩා වැඩි වෙයි. එවිට භාණ්ඩයේ මිල ගෙවා එය මිල දී ගන්නට කැමති සියල්ලන්ටම එය ලබා ගැනීමේ අවස්ථාව අහිමි වේ. මේ කාලයේදී, අපේ සමුපකාර කළමනාකාරවරයා මගේ පියා ඇතුළු ඔහුගේ හිතවතුන්ගේ පවුල් වල අයට අවශ්‍ය බඩු සමුපකාරයට තොග ලැබෙන විටම වෙන් කර තැබූ නිසා භාණ්ඩ මිල දී ගැනීම සඳහා අපට කිසි දිනක පෝලිම් වල සිටින්නට සිදු වී නැතත්, ගමේ බොහෝ දෙනෙකුට එවැනි වාසනාවක් නොතිබුණු නිසා ඔවුන්ට භාණ්ඩයක් මිල දී ගත හැකි වුණේ පෝලිමේ මුලින් සිටියේනම් පමණි. බේකරි වලින් පාන් බෙදා හැරීමේදී වැනි වෙනත් අවස්ථා වලදීද සිදු වුණේ මෙවැන්නකි.

පාලන මිලක් යටතේ භාණ්ඩයක් මිල දී ගැනීමට අවස්ථාව ලබන අයෙකුට නිදහස් වෙළඳපොළ මිලට එය මිල දී ගැනීමට සාපේක්ෂව බැලූ විට වැඩි වාසියක් ලැබේ. එහෙත්, මේ වාසියෙන් පෝලිමේ රස්තියාදු වන කාලයේ ආවස්ථික පිරිවැය අඩු කළ විට ඒ වාසිය අවාසියක් වන්නටද පුළුවන. පෝලිමේ රස්තියාදු වන කාලයේ ආවස්ථික පිරිවැය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. ඒ නිසා පාලන මිල ක්‍රමයක් යටතේ මුදල් ගෙවා භාණ්ඩයක් අයිති කර ගැනීමේ අවස්ථාව ලැබෙන්නේ ඒ භාණ්ඩය වැඩියෙන්ම අගය කරන අයට නොව, තමන්ගේ කාලයේ වටිනාකම අඩු අයටය. අපේ හිතවතාගේ මව ඔහුව පෝලිමට යොමු කරන්නේ ඔහුගේ කාලයේ ආවස්ථික පිරිවැය මවගේ කාලයේ ආවස්ථික පිරිවැයට වඩා අඩු නිසා පිරිවැය අඩු කරගෙන වාසිය වැඩි කර ගැනීමේ උපක්‍රමයක් වශයෙනි.

කෙසේ වුවද, පෝලිමේ හිටියත් අන්තිමට භාණ්ඩය නොලැබෙන්නට පුළුවන. ඒ නිසා, නිදහස් වෙළඳපොළකදී මෙන් නොව පාලන මිලක් යටතේ භාණ්ඩ විකුණන විට පාරිභෝගිකයෙකුට වාසියක් මෙන්ම අවාසියක්ද සිදු වන්නට පුළුවන. එසේනම්, භාණ්ඩයක් මිල දී ගැනීම සඳහා පෝලිමකට එකතු විය යුත්තේ හා එසේ නොකළ යුත්තේ කවර තත්ත්වයන් යටතේද?

මුලින්ම අප සලකා බලන්නේ පෝලිම කුමකටද කියා නිශ්චිතවම දන්නා අවස්ථාවකි. මෙහිදී, පාරිභෝගිකයාට අවසානයේ මිල දී ගන්නට ලැබෙන (හෝ නොලැබෙන) භාණ්ඩයේ මිල ඈ දනී. ඒ භාණ්ඩය වෙනුවෙන් ඈ විසින් දෙන වටිනාකමද ඈ දනී. ඒ නිසා, භාණ්ඩය මිල දී ගන්නට ලැබුණොත් ඇයට ලැබෙන වාසියද ඇය නිශ්චිත ලෙසම දනී. භාණ්ඩයේ මිල ඈ ඒ සඳහා දෙන වටිනාකමට වඩා වැඩිනම් ඈ පෝලිමට එකතු වන්නේ නැත.

භාණ්ඩයේ මිල ඈ ඒ සඳහා දෙන වටිනාකමට වඩා අඩුනම් ඈ පෝලිමට එකතු වනු ඇත්ද? එය තීරණය වන්නේ ඇගේ කාලයේ ආවස්ථික පිරිවැය අනුවය. භාණ්ඩයේ මිල හා ඒ සඳහා ඈ විසින් දෙන අගය අතර වෙනස, එනම් ඇයට ලැබිය හැකි පාරිභෝගික අතිරික්තය S ලෙසත්, පෝලිමේ ගත කළ යුතු ඇගේ කාලයේ ආවස්ථික පිරිවැය C ලෙසත් අපි සලකමු. මේ C අගය S අගයට වඩා වැඩිනම් ඈ පෝලිමට එකතු නොවනු ඇත. මන්ද, ඇයට භාණ්ඩය මිල දී ගත හැකි වුවහොත් ලැබෙන අතිරික්තය පෝලිමේ ගෙවූ කාලයට තරම් නොවන බැවිනි.

එසේනම්, S අගය C වලට වඩා වැඩිනම් ඈ ස්ථිරවම පෝලිමට එකතු වනු ඇත්ද?

එය තීරණය වන්නේ පෝලිමේ රස්තියාදු වීමෙන් පසුවද භාණ්ඩය ලැබෙන්නට තිබෙන සම්භාවිතාව මතය. මේ සම්භාවිතාව p ලෙස අපි සලකමු. p එකට ආසන්නනම්, එනම් පෝලිමේ හිටියොත් භාණ්ඩය ලැබෙන බව නිසැකනම් S අගය C වලට වඩා වැඩි අවස්ථාවක ඈ පෝලිමට එකතු වනු ඇත. එහෙත්, p අගය කුඩානම් ඈ එසේ නොකරන්නට ඉඩ තිබේ. මෙය තීරණය වන්නේ ඇගේ අපේක්ෂිත වාසිය අනුවය.

ඇයට (S - C) වාසියක් වීමට p සම්භාවිතාවක් ඇති අතර C අවාසියක් වීමට (1-p) ඉඩකඩක් තිබේ. වෙනත් අයුරකින් කිවුවොත්, පෝලිමේ සිටියොත් C පිරිවැය අනිවාර්ය නමුත් S අතිරික්තය හිමි වීමට තිබෙන්නේ p සම්භාවිතාවක් පමණි. මේ දෙකෙන් කුමක් සිදුවෙයිද යන්න අවිනිශ්චිත නිසා අයට අවදානමක් ගන්නට සිදු වේ. පවතින අවිනිශ්චිතතාවය සැලකූ විට ඇගේ තීරණය තාර්කික එකක් වීමට අවශ්‍ය කොන්දේසි මොනවාද?

මෙහිදී ඇගේ අපේක්ෂිත වාසිය pS - C වලට සමානය. මේ අගය සෘණ නොවේනම් පෝලිමට එකතු වීම ඇයට ගත හැකි තාර්කික තීරණයකි. උදාහරණයක් ලෙස භාණ්ඩය මිල දී ගන්නට ලැබුණොත් අයට ලැබෙන පාරිභෝගික අතිරික්තය රුපියල් 20ක් හා ඇගේ කාලයේ ආවස්ථික පිරිවැය රුපියල් 5ක් නම්, භාණ්ඩය හිමි වන්නට ඇති සම්භාවිතාව අවම වශයෙන් 25%ක් නම් පෝලිමට එකතු වීම තාර්කික තීරණයකි. සම්භාවිතාව 25%ට අඩුනම් එය තාර්කික තීරණයක් නොවේ. දැන් මේ සම්භාවිතාව ඇයට පෙනෙන පරිදි 50%ක් නම් ඈ පෝලිමට එකතු වනු ඇති අතර භාණ්ඩය මිල දී ගන්නට ලැබුණොත් අයට රුපියල් 15 ක වාසියක් ලැබේ. එහෙත්, ඈ පෝලිමේ මුලට එන්නට පෙර භාණ්ඩය විකිණී අවසන් වුවහොත් ඇයට රුපියල් 5ක අවාසියක් සිදු වේ. යම් පාරිභෝගිකයෙකු භාණ්ඩයක් මිල දී ගැනීමෙන් ලබන පාරිභෝගික අතිරික්තය හෝ පෝලිමේ හිටියොත් එය මිල දී ගන්නට ලැබෙන ඉඩකඩ වැඩි වන තරමට හා ඇගේ කාලයේ ආවස්ථික පිරිවැය අඩු වන තරමට පෝලිමකට එකතු වීම තාර්කික තීරණයක් බවට පත් වේ.

දැන් අපි අපේ හිතවතා විසින් සටහන් කර ඇති අවස්ථාව සලකා බලමු. මෙහිදී ඔහුගේ මව ඔහුව පෝලිමට යවන්නේ ඉහත කී S අගය කුමක්දැයි නොදැනය. එය සෘණ අගයක් වන්නට, එනම් පෝලිම තිබෙන්නේ වැදගම්මක් නැති දෙයකට වන්නට, කිසියම් සම්භාවිතාවක් තිබේ. අපි එය එසේ නොවී වැඩකට ඇති දෙයක් වන්නට ඇති සම්භාවිතාව q ලෙස සලකමු. පෝලිම තිබෙන්නේ වැදගැම්මකට නැති දෙයකටනම් ඇයට සිදු වන්නේ එතෙක් පෝලිමේ සිටීමේ ආවස්ථික පිරිවැය දරාගෙන පෝලිමෙන් ඉවත් වන්නටය. එවිට ඇයට සිදුවන්නේ පාඩුවකි. පෝලිම කුමකටදැයි කලින් සොයා බැලුවොත් මේ පාඩුව සිදු නොවේ. එසේනම්, එසේ සොයා නොබලා ඈ අපේ හිතවතාව පෝලිමට එක් කරන්නේ ඇයි?

පළමු හේතුව කුඩා දරුවෙකු පෝලිමේ තැබීමේ ආවස්ථික පිරිවැය එතරම් විශාල නොවීමයි. විශාල නැතත් මෙහි කිසියම් හෝ ආවස්ථික පිරිවැයක් තිබේ. අවදානමක් ගෙන ඒ ආවස්ථික පිරිවැය දැරීමෙන් ඈ අදහස් කරන්නේ p වැඩි කරගෙන අප පෙර ගණනය කළ ඇගේ අපේක්ෂිත වාසිය වැඩි කර ගැනීමටය. පෝලිම කුමකටදැයි සොයා නොබලමින් එයට වහාම එකතු වීමෙන් භාණ්ඩය හිමි කර ගැනීමට ඇති ඉඩකට p සිට p + r දක්වා වැඩි වේයැයි සිතමු. දරුවා පෝලිමට තැබීමේ අමතර ආවස්ථික පිරිවැය d ලෙස සිතමු. එවිට, පෝලිම කුමකටදැයි සොයා නොබලා එයට එකතු වීම තාර්කික තීරණයක් විය හැකි තත්ත්වයන් තිබිය හැකිද?

සොයා බලා පෝලිමට එකතු වුවහොත් ලැබෙන අපේක්ෂිත වාසිය පෙර ගණනය කළ පරිදි pS - C වේ.

සොයා නොබලා පෝලිමට එකතු වුනොත්, එය q සම්භාවිතාවකින්  (p + r )S - C -d වන අතර 1-q සම්භාවිතාවකින් -d වේ. මෙහි අපේක්ෂිත අගය (p + r )qS - qC -d වේ. මේ අගය ඉහත ගණනය කළ  pS - C අගයට වඩා වැඩිනම් හා ශුන්‍යයට වැඩිනම් පෝලිම කුමකටදැයි සොයා බලන්නට කාලය නාස්ති නොකර වහාම පෝලිමට එකතු වීම වාසිදායකය. උදාහරණයක් ලෙස පෝලිම වැදගම්මකට ඇති දෙයක් වන්නට ඇති ඉඩකඩ 50%ක් ලෙසත් (q = 0.5), එය වැදගැම්මකට ඇති දෙයක්නම් ලැබිය හැකි පාරිභෝගික අතිරික්තය රුපියල් 20ක් ලෙසත් (S = 20), සොයා බලා පෝලිමට එකතු වුනොත් එය ලැබෙන්නට ඇති ඉඩකඩ 25%ක් බවත් (p = 0.25) සොයා නොබලා එකතු වුනොත් ඒ ඉඩකඩ තවත් 25%කින් 50% දක්වා වැඩි කරගත හැකි බවත් (r = 0.25), මවගේ කාලයේ ආවස්ථික පිරිවැය රුපියල් 5ක් ලෙසත් (C = 5), දරුවාගේ කාලයේ ආවස්ථික පිරිවැය රුපියල් 2ක් ලෙසත් (d =2) සලකමු. මේ සංඛ්‍යා ආදේශ කළ විට pS - C අගය ශුන්‍ය වන නමුත්, (p + r )S - C -d අගය සත පණහකි. ඒ නිසා, පෝලිම කුමක්දැයි සොයා බලන්නට කාලය නොයොදවා පෝලිමට දරුවා යැවීම තාර්කික තීරණයකි.

පසුව පෝලිම කුමක්දැයි සොයා බැලීමෙන් පසු එය වැදගම්මකට නැති දෙයක්නම් සිදුවන්නේ රුපියල් දෙකක අවාසිය විඳ දරාගෙන ආපසු යන්නටය. එහෙත්, එය වැදගැම්මකට ඇති දෙයක්නම් ඒ අවස්ථාවේදී (p + r )S - C අපේක්ෂිත වාසියක් පෙනේ. මෙය රුපියල් පහකි.  ඒ අනුව මව පෝලිමට එකතු වනු ඇත. මේ වන විට දරුවා පෝලිමේ සිට රුපියල් 2ක වැයක් දරා අවසන් නිසා එය ගිලුණු පිරිවැයකි. ගිලුණු පිරිවැය ඉදිරි තීරණ සඳහා සාධකයක් කරගැනීම තාර්කික නැත. මව පෝලිමේ සිට තවත් රුපියල් 5ක ආවස්ථික පිරිවැයක් දැරීමෙන් පසු භාණ්ඩය මිල දී ගන්නට ලැබී රුපියල් 15ක ලාබයක් ලැබෙන්නට හෝ එසේ නොලැබී රුපියල් 5ක අලාභයක් ලැබෙන්නට පුළුවන. මුලින් දරුවා වැය කළ කාලයේ වටිනාකමද සැලකූ විට අවසාන ප්‍රතිඵලය රුපියල් 2ක අලාභයක්, රුපියල් 7ක අලාභයක් හෝ රුපියල් 13ක ලාභයක් විය හැකිය.

මේ අයුරින් පෝලිම කුමකටදැයි නොදැන පෝලිමට එකතුවීම වාසිදායක විය හැක්කේ කවර තත්ත්ව යටතේද?

මෙවැන්නක් තාර්කික තීරණයක් වන්නේ පෝලිමට වහාම එකතු වීමෙන් භාණ්ඩය හිමි වන්නට ඇති ඉඩකඩ විශාල ලෙස වැඩි වන, භාණ්ඩය වැදගැම්මකට ඇති එකක් වන්නට ලොකු ඉඩක් ඇති හා භාණ්ඩය හිමි වුනොත් ලැබෙන වාසිය සැලකිය යුතු තරම් විශාල අවස්ථා වලදීය. 1970-77 කාලයේ විශාල භාණ්ඩ හිඟයක් පැවති අතර මිනිසුන්ට මේ හිඟ භාණ්ඩ හිමි කරගැනීමට විකල්ප අවස්ථා තිබුණේ නැත. ඒ නිසා, පාන් රාත්තලක හෝ චීත්ත යාරයක පාරිභෝගික වටිනාකම විකුණුම් මිලට වඩා බොහෝ වැඩි විය. එනම් පාරිභෝගික අතිරික්තය ඉතා විශාල විය. එමෙන්ම, පෝලිමක අන්තිම හරියට එකතු වූ අයෙකුට මෙවැනි භාණ්ඩයක් මිල දී ගැනීමේ අවස්ථාව බොහෝ විට අහිමි වී ගිය අතර මුලින් එකතු වීමෙන් ඒ ඉඩකඩ වැඩි කරගත හැකිවිය. කිසියම් පුද්ගලයෙකුට අවශ්‍ය මූලික පාරිභෝගික භාණ්ඩ විශාල ගණනක් වෙළඳපොළේ අවශ්‍ය වෙලාවට ගන්නට නොතිබුණු නිසා පෝලිමක් හැදී තිබෙන්නේ තමන්ට වැදගම්මක් ඇති දෙයක් වන්නටද විශාල ඉඩක් තිබුණේය. එවැනි සන්දර්භයක අපේ හිතවතාගේ මව ක්‍රියා කර ඇත්තේ ඉතාම තාර්කික ලෙසිනි.

පොඩ්ඩක් කල්පනා කර බැලුවොත්, ලැබෙන වාසිය කුමක්දැයි හරියටම නොදැන, අනෙක් බොහෝ දෙනෙක්ද කරන්නක් නිසා කුමක් හෝ වාසියක් ඇතැයි සිතමින්, අපි කවුරුත් පෝලිම් ගණනාවකට එකතු වී සිටින්නෙමු. එසේ කිරීම අතාර්කික හෝ පට්ට මෝඩ වැඩකැයි ආර්ථික විද්‍යා ඇසකින් බලා කියන්නට නුපුළුවන. අප මෙසේ පෝලිම් වල රැඳී සිටින්නේ අප සතු තොරතුරු හා විශ්ලේෂණ හැකියාවන්ට සාපේක්ෂව එසේ රැඳී සිටීම වාසිදායක බව පෙනෙන නිසාය. පෝලිමේ ඉන්න අතරම, මෙවැනි පෝලිමක දිගටම රැඳී සිටීමෙන් ලැබෙන්නට ඉඩ ඇති වාසි අවාසි ගැන හොයා බලන්නට පොඩ්ඩක් කාලය යොමු කළොත් ඒ ඇතැම් පෝලිම් වලින් අපට ඉවත් වන්නට ඉඩ සැලසෙන්නට පුළුවන.

(Image: https://www.npr.org/tags/175403273/sri-lanka)

4 comments:

  1. නස්රුඩීන් ගේ කතාව දන්නවා නේද?
    නස්රුඩීන්ම කියූ බොරුවක් නිසා ගමේ සැවොම යම් වාසියක් ලබා ගැනීමට පෝලිමකට එක් වීමට දුවන විට, සියලු දෙනා දුවන නිසා එය ඇත්තක් වීමට ඉඩ ඇති යැයි කියා නස්රුඩීන් ද දුවන්නට පටන් ගත්තා ලු!

    ReplyDelete
  2. මං දවසක් පාන් පෝලිමක පැය තුනක් පමණ සිටියා මිතුරෙකු සමග අලුත් පාන් බාන තුරු. තාත්තා නිවසට පැමිණි පසු මා නිවසේ නැති නිසා, මා සොයා විත් වහාම නිවසට කැඳවා ගෙන ගියා. ඒ වෙන කොට හොඳ සුවඳ සමග පාන් නිෂ්පාදන ක්‍රියාවලියේ අවසානයට ඇවිත් තිබුණේ.

    "අපදාරේ" මගේ පැය තුනක් නාස්ති වුණා!

    ReplyDelete
  3. ඉකොනොමැට්ටා දන්නවා නේද තුන්වන ලෝකයේ හිඟන රටක් ශ්‍රී ලංකාව. පෝලිම් වලට එකතු වී පෝලිමේ රස්තියාදුව තුන්වන ලෝකයේ හිඟන රටවල මානසිකත්වයයි. අපේ ඕස්ට්‍රේලියාවේ ඥානවන්ත මිනිසුන් මෙසේ පෝලිම් වල රැඳී කාලය නාස්ති කරන්නේ නැත.

    අපේ ඕස්ට්‍රේලියාවේ ඉන්ධන සංචිත තියෙන්නේ දින විස්සකට පමණයි කියලා පුවතක් දින කිහිපයකට ඉහතදී සියලුම මාධ්‍ය වල ප්‍රධාන පුවත උනා. තුන්වන ලෝකයේ හිඟන රටක් වන ලංකාවේ එහෙම ඒ වගේ පුවතක් පල උනොත් වාහන දුවන නොදුවන, වාහන ඇති නැති සියලු දෙනා සියලු වැඩකටයුතු නවතා අර දින විස්සකට සෑහෙන බව කියන ඉන්ධන තොගය පැය කිහිපයකින් අවසන් කරනවා. ඊට පස්සේ රජයට දොස් කියනවා.

    වාසනාවට අපේ ඕස්ට්‍රේලියාවේ ඥානවන්ත මිනිසුන් තමන්ට අවශ්‍ය දේ, අවශ්‍ය වෙලාවට පමණක් මිලදී ගැනීමට තරම් ඥානවන්ත නිසා කිසිවෙකු පෙට්‍රල් ෂෙඩ් වල පෝලිම් ගැසුනේ නැහැ. එසේ උනේ අපේ ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය පවුලක තියන වියහියදම් වලින් ඉහලම තනි වියදම, ඉන්ධන වලට හිමි වෙලා තියෙද්දීයි.

    -ඕස්ට්‍රේලියාවේ ආනන්ද සාගර හිමියෝ

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.