Tuesday, May 8, 2018

එච්අයිවී වෛරසය සම්ප්‍රේෂණය වන්නේ කොහොමද?


එච්අයිවී ආසාදිතයෙකු සමඟ අනාරක්ෂිත ලෙස ලිංගිකව එක් වීමේදී එච්අයිවී වයිරසය නිරෝගී අයෙකු වෙත සම්ප්‍රේෂණය වන්නට ඉඩ තිබෙන බව කවුරුත් වාගේ දන්නා කරුණකි. ගැහැණියක හා පිරිමියෙකු අතර සාමාන්‍ය ක්‍රමයට සිදුවන ලිංගික එක්වීමකදී පිරිමියාගෙන් ගැහැණියට වෛරසය සම්ප්‍රේෂණය වන්නට 0.008%ක (1250කට 1ක්) පමණ ඉඩක්ද ගැහැණියගෙන් පිරිමියාට සම්ප්‍රේෂණය වන්නට 0.004%ක (2500න් 1ක්) ඉඩක්ද තිබේ. ගුද සංසර්ගයේදී ගැහැණියකට හෝ පිරිමි ප්‍රතිග්‍රාහකයෙකුට වෛරසය සම්ප්‍රේෂණය වීමට ඇති සම්භාවිතාව 1.4% (71කට 1ක්) තරම් විශාලය.

පුද්ගලයින්ගේ ලිංගික හැසිරීම් පිළිබඳ නිවැරදි තොරතුරු ලබාගැනීම මෙන්ම ලිංගික සහකරුවකු හෝ සහකාරියක එච්අයිවී ආසාදිතයෙකුදැයි දැන ගැනීමද පහසු කටයුත්තක් නොවන නිසා ඉහත ඇස්තමේන්තු සැලකිය හැක්කේ ඉතා දළ ඇස්තමේන්තු වශයෙන් පමණි. කෙසේ වුවත්, එච්අයිවී ආසාදිතයෙකු සමඟ වරක් පමණක් අනාරක්ෂිත ලෙස ලිංගිකව එක් වීමෙන් පසුව වුවද වෛරසය ශරීරගතව නොතිබෙන්නට ඇති ඉඩකඩ 99%කටත් වඩා වැඩිය. ඒ නිසා, එවැනි අවස්ථා ඕනෑ තරම් තිබිය හැකි අතර එයින් එච්අයිවී වෛරසය ලිංගිකව සම්ප්‍රේෂණය වන්නේය යන මතය බොරු වන්නේ නැත. මෙවැනි අනාරක්ෂිත ලිංගික හැසිරීම් වැඩිවන තරමට ඉහත අවදානමද ඉහළ යයි.

ලිංගික එක් වීමකදී එච්අයිවී වෛරසය සම්ප්‍රේෂණය වන්නේ කෙසේද? එයින් පසුව සිදුවන්නේ කුමක්ද?

ප්‍රංශ පර්යේෂකයින් පිරිසක් විසින් මෙය සිදුවන ආකාරය වීඩියෝගත කරන්නට සමත්ව තිබේ. මෙහිදී ඔවුන් විසින් මුලින්ම කරන්නේ ලිංගාශ්‍රිත පටක විද්‍යාගාර දීසියක් තුළ නිෂ්පාදනය කිරීමයි. මේ පටක ආකෘතියට ලිංගාශ්‍රිත පටක මතුපිට ඇති අපිච්ඡද සෛලද ඇතුළත්ය. දෙවනුව ඔවුන් එච්අයිවී වෛරසය පහසුවෙන් හඳුනාගත හැකි පරිදි කොළ පැහැ ප්‍රතිදීප්ත එළියක් විහිදුවන ප්‍රෝටීනයක් එයට එකතු කිරීමෙන් පසුව එච්අයිවී ආසාදිත, ප්‍රතිශක්තිකරණ පද්ධතිය හා අදාළ සෛල ලිංගාශ්‍රිත පටක ආකෘතිය වෙත මුදා හරී.

ආසාදිත සෛල වලින් ලිංගාශ්‍රිත පටක මතුපිට ඇති අපිච්ඡද සෛල වෙත එච්අයිවී වෛරසය වෙඩි තබන්නාක් මෙන් වේගයෙන් මුදා හරින ආකාරය වීඩියෝවේ පැහැදිලිව සටහන් වී තිබේ. කෙසේවුවද, මේ වෛරසය අපිච්ඡද සෛල ආසාදනය නොකරන අතර සිය ඉලක්කය වන ප්‍රතිශක්තිකරණ සෛල වෙත ළඟා වී ඒවා ආසාදනය කරයි. මෙහිදී සිදු කර ඇති අනපේක්ෂිත නිරීක්ෂණයක් වන්නේ මේ අයුරින් එච්අයිවී වෛරසය වේගයෙන් මුදාහරින්නේ ප්‍රතිශක්තිකරණ සෛල වලට ආසන්නව මතුපිටින් ඇති අපිච්ඡද සෛල වෙත පමණක් වීමයි.

වෛරසය ශරීරගත වීමෙන් පසුව එය ක්‍රියාකරන ආකාරයද පරීක්ෂණ කණ්ඩායම විසින් නිරීක්ෂණය කර ඇති අතර මේ හා අදාළ තොරතුරු "සෙල් රිපෝර්ට්ස්" ජර්නලයේ අද (මැයි 8) කලාපයේ පළ කර තිබේ. ඔවුන්ගේ නිරීක්ෂණ වෛරසය පාලනය කිරීම හා සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා උදවු වනු ඇති බව පර්යේෂකයින්ගේ අදහසයි.

වීඩියෝව සඳහා සබැඳියක් පහත තිබේ.

https://www.livescience.com/62508-hiv-infect-cells-real-time-video.html?utm_source=notification



(Image: http://ahotoronline.com/assin-north-records-218-hiv-cases/)


9 comments:

  1. වැදගත් ලිපියක් අයියේ. මේක මන් ගන්නවා කරුණු ටික උවමනා වෙනවා විබාගේකට. ගොඩක් ස්තුතියි

    ReplyDelete
    Replies
    1. විභාග වැනි දේවල් සඳහා බ්ලොග් වලින් කරුණු ගන්න විට එය ටිකක් සැලකිල්ලෙන් කරන්න. එහි සැලකිය යුතු අවදානමක් තිබෙනවා.

      Delete
  2. ඉකොනෝ,

    HIV වයිරසයක ක්‍රියාකාරිත්වය වීඩියෝවකින් පෙන්වන ප්‍රථම අවස්තාව නේද මේ කෝ ලෝකේ පිළිගත් විද්යාඥයෙක් වත් පිළිගත් ජනමාද්යකින් වත් මේගැන කිසිම කරුණක් ඉදිරිපත් නොකරන්නේ ඇයි ?

    HIV වයිරසයක් මෙතෙක් වෙනම වෙන්කර පෙන්වීමට නොහැකිවූ
    http://www.thebody.com/Forums/AIDS/Meds/Q245370.html

    "There is no reputable published isolation of HIV . If someone had shown this and could prove it was responsible for all AIDS, they would win a NOBEL prize."

    ලෝකයේ මෙන්න විඩියෝවකින් පෙන්වනවා ඉතින් කෝ ඔබේ මහා ජනමාද්‍ය ?

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=z4wZTa_9j44

      Delete
    2. https://www.newscientist.com/article/dn17326-five-myths-about-hiv-and-aids/

      Delete
  3. https://youtu.be/SWJvnyx8D5k?t=177 Listen to

    Dr. Richard Horton

    ReplyDelete
    Replies
    1. ලංකා සිතුවිලි, අන්තර්ජාලයට පදනමක් නොමැති විවිධ දේ දමන තවත් බොහෝ අය ඉන්නවා. සමහර විට විකල්ප ප්‍රතිකාර ලෙස ලේබල් කර මොනවා හෝ දෙයක් අලෙවි කර ගැනීමේ අරමුණු මෙවැනි ප්‍රචාර පසුපස තිබෙනවා විය හැකියි. මට ඔබ ලින්ක් දමන එවැනි යූටියුබ් වීඩියෝ බලා නාස්ති කරන්න කාලයක් නැහැ. ඒ නිසා, මෙහි යූටියුබ් ලින්ක් දැමීම එතරම් වැඩක් නැති දෙයක්. ඔබටත් රොබට් විල්නර් මෙන් HIV ආසාදිතයෙකුගේ රුධිරය එන්නත් කරගෙන පෙන්විය හැකිනම් එය සටහන්ව ඇති යූටියුබ් වීඩියෝවක් බලන්න අමාරුවෙන් හෝ කාලය හොයා ගන්නම්. රොබට් විල්නර් මෙන් මාස පහමාරකට පසු මිය නොගොස්, ප්‍රතිකාර රහිතව HIV පොසිටිව් තත්ත්වයෙන් අවුරුදු දහයක් පහළොවක් ඔබ ජීවත් වී පෙන්වුවොත් ඔබට ඔබේ මතය තහවුරු කරන්න පහසු වෙයි.

      Delete
    2. ඔහු මියගියේ https://en.wikipedia.org/wiki/Robert_Willner
      හර්ද රෝගයකින් මිසක් AIDS වලින් නෙමයි.

      http://www.hivabout.com/2012/06/21/deadly-deception-dr-robert-e-willner-md-phd/

      ඔහුව මරාදැමූ බවත් සදහන් වෙනවා

      Delete
    3. ඔහු මිය ගියේ හෘද රෝගයකින් තමයි. ඒක මම දන්නවා. HIV වෛරසය සිරුරට ඇතුළු වී මාස පහක් වැනි කෙටි කලකින් AIDS වල ප්‍රතිඵලයක් ලෙස මැරෙන්නේ නැහැනේ. AIDS තත්ත්වයට එන්නමත් වසර ගණනාවක් යනවා. ඔබ HIV වෛරසය එන්නත් කර ගන්නවානම් ඔබට ඔබේ මතය තහවුරු කිරීමට ලැබෙන තුරු හෘද රෝගයක් හෝ අකල් මරණයකට හේතුවන වෙනත් රෝගයක් නොහැදී වසර පහළොවක් විස්සක්වත් ජීවත් වෙන්න ලැබෙයි කියා මම ප්‍රාර්ථනා කරනවා. (හෘද රෝග කියා දෙයක් ඇත්තටම තිබෙනවානම්) කුමන්ත්‍රණ කතාවකුත් කියයි කියලා මම හිතුවා.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget