"නිශ්චිතවම ඉන්ධන මිල වැඩි වන බව දැන ගැනීම කිසි දිනෙක මා පෝලිම් වෙත ආකර්ෂණය කිරීමට හේතුවක් නොවීය. මා සාමාන්‍යයෙන් සිරිතක් වශයෙන් කරන්නේ තව කිලෝ මීටර 50-60 යාමට පමණක් ඉන්ධන තිබියදී හෝ දිගු ගමනක් පිටත් වීමට පෙර හෝ ඉන්ධන ටැංකිය පුරවා ගැනීමයි. මෙයින් අපේක්‍ෂිත වාසිය වන්නේ ඉන්ධන හල් වලට යන වාර ගණනත් ඒවායේ ගෙවන කාලයත් හැකිතාක් අවම කර ගැනීම සහ වියදම් පාලනයයි (මෙහි පාලනය යනුවෙන් අදහස් කළේ සීමා කිරීම නොවේ).
අදත් කාර්යාලයේ සගයන් අතර ඉන්ධන මිල වැඩි වීම ගැන කසු-කුසු ඇති වන විට මා දුන් පිළිතුර නම් "වැඩි ගාණට එන එකෙන් මං පස්සෙ ගහ ගන්නම්" යන්නයි. ඔබේ විග්‍රහය අනුව මගේ සගයන් පෝලිමේ රස්තියාදු වීමත් මා එසේ නොවීමත් ආර්ථික විද්‍යානුකුලව ග්‍රහණය කර ගන්නේ කෙසේද?"
ඉහතින් තිබෙන්නේ පෙර ලිපියට කතා කතු විසින් දමා තිබුණු ප්‍රතිචාරයක කොටසකි. වාහනයේ ඉන්ධන ටැංකිය පිරවීමේදී මා සාමාන්‍යයෙන් අනුගමනය කරන ක්‍රියාපටිපාටියද කතා කතුගේ ක්‍රියාපටිපාටියට සමානය. එහෙත්, මෙසේ නොකර පුරුද්දක් වශයෙන් ගමනක් යද්දී ගමනට අවශ්‍ය පමණට පමණක් ඉන්ධන ටැංකිය පුරවන අයද බොහෝ දෙනෙක් සිටිති. මගේ නිරීක්ෂණ අනුව, මේ වෙනස් හැසිරීමට හේතුව ආදායම් මට්ටමේ හෝ වත්කම් වල වෙනස්කමක් කියා කිව නොහැකිය.
ඇතැම් අය සාමාන්‍යයෙන් ටැංකිය පිරෙන්නට තෙල් ගහන්නේත්, එහෙත් සියලු දෙනාම එසේ නොකරන්නේත් ඇයි?
පැහැදිලි කිරීමක් කරන්නට පෙර මුලින්ම මා හඳුන්වා දෙන්නේ නිෂ්පාදන කළමනාකරණයේදී යොදා ගන්නා ප්‍රශස්ත ඇනවුම් මට්ටම (Economic Order Quantity) පිළිබඳ අදහසයි. මෙය 1913 වසරේදී ඇමරිකානු නිෂ්පාදන ඉංජිනේරුවෙකු වූ ෆෝඩ් හැරිස් විසින් හඳුන්වා දුන් ආකෘතියකි. මේ ආකෘතිය ඇසුරෙන් කිසියම් සංචිතයකට එක් වරකට ඇනවුම් කළ යුතු ප්‍රශස්ත භාණ්ඩ ප්‍රමාණය ගණනය කළ හැකිය.
කිසියම් පුද්ගලයෙකුගේ වාර්ෂික ඉන්ධන අවශ්‍යතාව ලීටර D ලෙසත්, ඉන්ධන ලීටරයක මිල P ලෙසත් සැලකුවොත් වසරකට ඉන්ධන වෙනුවෙන් PD මුදලක් වැය කරන්නට සිදු වේ. එහෙත්, මෙසේ සෘජු ලෙස වැය කරන මුදල මේ හා අදාළ එකම වියදම නොවන අතර මේ වියදමට තවත් වියදම් වර්ග දෙකක් එකතු කළ යුතුය. ඒ ඉන්ධන පොම්ප කිරීමේ වියදම හා ඉන්ධන තොග පවත්වා ගැනීමේ වියදමයි.
ඉන්ධන පොම්ප කිරීමේ වියදම වසරකට ඉන්ධන පොම්ප කරන වාර ගණනට සමානුපාතිකය. වාර ගණන වැඩි වන තරමට වියදමද ඉහළ යයි.
වසරකට ඉන්ධන පොම්ප කරන වාර ගණන තීරණය වන්නේ වාර්ෂික ඉන්ධන අවශ්‍යතාවය හා වරකට පොම්ප කරන ඉන්ධන ලීටර ගණන මතය. අපි මේ වරකට පොම්ප කරන ඉන්ධන ප්‍රමාණය ලීටර Q ලෙස සලකමු. වාර්ෂික ඉන්ධන අවශ්‍යතාවය D නිසා වසරකට D/Q වාර ගණනක් ඉන්ධන පොම්ප කළ යුතුය. උදාහරණයක් ලෙස වාර්ෂික ඉන්ධන අවශ්‍යතාවය ලීටර 1200නම් වරකට ලීටර 30 බැගින් පොම්ප කරන අයෙකු වසරකට 40 වරක් ඉන්ධන පොම්ප කළ යුතු අතර වරකට ලීටර 20 බැගින් පොම්ප කරන අයෙකු වසරකට 60 වරක් ඉන්ධන පොම්ප කළ යුතුය.
එක් වරකට ඉන්ධන පොම්ප කිරීමේ වියදම F ලෙස සැලකුවහොත් වසරක ඉන්ධන පොම්ප කිරීමේ වියදම (ඉන්ධන සඳහා ගෙවන මිල හැර) DF/Q වේ. මෙහි F යන්නට ඉන්ධන පිරවුම්හලකට යාම සඳහා වැය වන ඉන්ධන වල මිල, ටයර් ක්ෂය වීම, තෙල් පිරවීමට ගතවන කාලයේ ආවස්ථික පිරිවැය, එහිදී සිදුවන රස්තියාදුව නිසා ඇතිවන අපහසුතාවයේ මානසික වියදම ආදිය එකතු කළ හැකිය.
කතාව සම්පූර්ණ කිරීමට ඉහත කී වියදම් වර්ග දෙකට තොග පවත්වා ගැනීමේ වියදමද එකතු කළ යුතුය. වාහනයක් වැඩිපුර ධාවනය නොකරන අයෙකු එහි ටැංකිය පුරවා තැබීම යනු ටැංකියේ ඇති ඉන්ධන වෙනුවෙන් වැය කළ මුදල තේරුමක් නැතිව හිර කර තැබීමකි. ඒ මුදල බැංකුවේ තිබුණොත් පොලී ආදායමක් ලැබිය හැකිය. ඉන්ධන වෙනුවෙන් එම මුදල යට කර තැබීම නිසා අහිමි වන පොලී ආදායම ආවස්ථික පිරිවැයකි. මෙය තොග පවත්වා ගැනීමේ වියදමයි. මේ වියදම ටැංකියේ සාමාන්‍යයෙන් තිබෙන ඉන්ධන ප්‍රමාණයේ වටිනාකමට සමානුපතිකය.
ටැංකියේ සාමාන්‍යයෙන් තිබෙන ඉන්ධන ප්‍රමාණය විචලනය වන්නකි. ඉන්ධන පිරවූ විට එය උපරිම මට්ටමට පැමිණේ. ඉන්පසු එය ක්‍රමයෙන් පහත වැටේ. ටැංකියේ ඉන්ධන ප්‍රමාණය කිසියම් අවම මට්ටමකට පහත වැටුණු විට නැවත ඉන්ධන පිරවීමක් සිදු වී එක් වර ඉන්ධන ප්‍රමාණය උපරිම මට්ටමට යයි. මෙය පළමු රූප සටහනෙන් පෙන්වා තිබේ.
අවම ඉන්ධන ප්‍රමාණය q ලෙස සැලකුවහොත්, වරකට පොම්ප කරන ඉන්ධන ප්‍රමාණය Q නිසා උපරිම ඉන්ධන ප්‍රමාණය q + Q වන අතර ටැංකියේ ඇති සාමාන්‍ය ඉන්ධන ප්‍රමාණය q + Q/2 වේ. ඉන්ධන ලීටරයක් ගබඩා කර තබා ගැනීම වෙනුවෙන් වසරක් වසරක් තුළ වැය කළ යුතු මුදල H ලෙස සැලකුවහොත් තොග පවත්වා ගැනීමේ මුළු වාර්ෂික වියදම qH + QH/2 වේ.
මෙහි අවම ඉන්ධන ප්‍රමාණය ළඟම ඇති ඉන්ධන පිරවුම්හලට යාමට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලෙස සැලකිය හැකිය. වරකට පොම්ප කරන ඉන්ධන ප්‍රමාණය කිසියම් පුද්ගලයෙකුගේ පෞද්ගලික තේරීමක් වන අතර එය ඉන්ධන ටැංකියේ ධාරිතාව මත සීමා වන්නකි. උදාහරණයක් ලෙස අවම ඉන්ධන ප්‍රමාණය ලීටර 5ක් ලෙසත්, වරකට පොම්ප කරන ඉන්ධන ප්‍රමාණය ලීටර 30ක් ලෙසත් සැලකුවහොත්, උපරිම ඉන්ධන ප්‍රමාණය ලීටර 35ක් වන අතර ටැංකියේ ඇති සාමාන්‍ය ඉන්ධන ප්‍රමාණය ලීටර 20කි. ඉන්ධන ලීටරයක මිල රුපියල් 120ක් ලෙස සැලකුවහොත් මේ ඉන්ධන ප්‍රමාණයේ වටිනාකම රුපියල් 2400කි. එම මුදල 10%ක වාර්ෂික පොලියකට බැංකුවේ තිබ්බොත් වසරකට රුපියල් 240ක් ලැබෙන අතර දැන් එය අහිමි වේ. ටැංකියේ සාමාන්‍ය ඉන්ධන ප්‍රමාණය ලීටර 10 දක්වා අඩු කළ හැකිනම් ඉහත අවාසිය රුපියල් 120 දක්වා හරි අඩකින් අඩු කරගත හැකිය.
කෙසේ වුවද, ටැංකියේ සාමාන්‍ය ඉන්ධන ප්‍රමාණය ලීටර 20 සිට 10 දක්වා අඩු කරන්නටනම් උපරිම ඉන්ධන මට්ටම ලීටර 15ක් විය යුතු අතර වරකට පොම්ප කරන ඉන්ධන ප්‍රමාණය ලීටර 10ක් විය යුතුය. එවිට, වසරකට ඉන්ධන පොම්ප කරන වාර ගණන 40 සිට 120 දක්වා ඉහළ යන නිසා වසරක ඉන්ධන පොම්ප කිරීමේ වියදම ඉහළ යයි.
ෆෝඩ් හැරිස් විසින් හඳුන්වා දුන් ප්‍රසස්ථ ඇනවුම් මට්ටම යනු ඉන්ධන පොම්ප කිරීමේ වියදමේත් ඉන්ධන ගබඩා කර තබා ගැනීමේ වියදමේත් එකතුව අවම වන අවස්ථාවයි. දෙවන රූප සටහනෙන් පෙන්වා ඇති පරිදි මේ වියදම් දෙකේ එකතුව අවමයක් වෙන්නේ අදාළ වියදම් වර්ග දෙක සමාන වන ආකාරයේ ඉන්ධන ප්‍රමාණයක් වරකට ඇනවුම් කළ විටය. මෙය පහත පරිදි සටහන් කළ හැකිය.
DF/Q = QH/2
මේ සමීකරණය විසඳා ප්‍රශස්ත ඇනවුම් මට්ටම සොයා ගත හැකිය.
ඉහත සමීකරණයෙන් පෙනෙන පරිදි, කිසියම් පුද්ගලයෙකුගේ ප්‍රශස්ත ඇණවුම් මට්ටම ඇයගේ වාර්ෂික ඉන්ධන අවශ්‍යතාවය (D), ඉන්ධන පොම්ප කිරීමේ වියදම (F) හා ඉන්ධන ගබඩා කර තබා ගැනීමේ වියදම (H) මත තීරණය වේ.
මෙතෙක් කතා කළ සියල්ල ආකෘතියක් පමණි. එය ආර්ථික විද්‍යාඥයෙකු විසින් හඳුන්වා දුන් ආකෘතියක්ද නොවේ. සමාගමක් වෙනුවෙන් තීරණ ගන්නා නිෂ්පාදන ඉංජිනේරුවරයෙකු හෝ ගබඩා භාරකරුවෙකු මෙවැනි ආකෘතියක් යොදාගෙන ගණනය කිරීම් කරනවා විය හැකි වුවත් කිසියම් පුද්ගලයෙකු ඉන්ධන පිරවුම්හලකට ගොස් ඉන්ධන ඇනවුම් කරන විට මේ ආකාරයේ සංකීර්ණ ගණනය කිරීමක් කරන්නේ නැත.
එහෙත්, ආර්ථික විද්‍යාඥයින් විශ්වාස කරන පරිදි මිනිසුන්ට සාමාන්‍ය වශයෙන් තමන්ට වඩාත් වාසිදායක තෝරාගැනීමක් කරන්නට උදවු වන ස්වභාවික ඉවක් තිබේ. ඒ නිසා, ඉහත ආකෘතිය නිවැරදි ලෙස සැලකුවගොත් මිනිසුන්ගේ ඉන්ධන මිල දී ගැනීමේ රටාවන් එම ආකෘතිය ඇසුරෙන් පැහැදිලි කරන්නට පුළුවන් විය යුතුය.
මේ ආකෘතිය අනුව බැලුවොත් සාමාන්‍යයෙන් වාහනයේ ටැංකිය පිරෙන්නට ඉන්ධන පුරවන අයෙකු හා එසේ නොකරන අයෙකු අතර තිබිය හැකි වෙනස්කම් මොනවාද?
වාර්ෂික ඉන්ධන අවශ්‍යතාවය වැඩි, එනම් D විශාල අගයක් ගන්නා අයෙකුගේ Q විශාල විය යුතුය. තවත් විදිහකින් කියනවානම් වාහනය වැඩිපුර ගරාජයේ තබාගන්නා අයෙකු ඉන්ධන ටැංකිය පුරවන්නට තිබෙන්නේ අඩු ඉඩක් වුවත් හැම වෙලේම වාගේ පාරේ තිබෙන වාහනයක ඉන්ධන ටැංකිය අයිතිකරු විසින් සම්පූර්ණයෙන් පුරවන්නට වැඩි ඉඩක් තිබේ.
එමෙන්ම, ඉන්ධන පොම්ප කිරීමේ වියදම (F) වැඩි වන විටද Q ඉහළ යයි. ඒ නිසා, තමන්ගේ කාලයේ ආවස්ථික පිරිවැය වඩා වැඩි යයි සලකන, ඉන්ධන පිරවුම්හලක රස්තියාදු වන්නට වීමේ අපහසුතාවයේ මානසික පිරිවැය වඩා වැඩි අයෙකු ඉන්ධන ටැංකිය සම්පූර්ණයෙන් පුරවන්නට වැඩි ඉඩක් තිබේ. (තප්පරයත් කෝටියක් වටින බව නිතර කියන පැහැසරා ටෙලි නාට්‍යයේ දුල්මිණනම් එසේ කරන්නේ නැත. එයට හේතුව ඔහුගේ D ඉතා කුඩා අගයක් ගැනීම වන්නට පුළුවන.). එමෙන්ම, ඉන්ධන පිරවුම්හලක් ආසන්නයේ සිටින අයෙකුට වඩා ළඟපාතක ඉන්ධන පිරවුම්හලක් නැති තැනක පදිංචි අයෙකු එසේ කරන්නට ඉඩ තිබේ.
ඉහත කී පරිදි D හා F වැඩි වන විට Q වැඩි වුවත්, H වැඩි වන විට සිදු වන්නේ Q අඩු වීමයි. මෙහි H ඉන්ධන මිල හා පොලී අනුපාතික මත තීරණය වේ. ඒ අනුව, ඉන්ධන මිල හෝ පොලී අනුපාතික ඉහළ යන විට සාමාන්‍යයෙන් ටැංකිය පුරවන අයෙකු එසේ නොකරන්නට පෙළඹෙන්නට ඉඩ තිබේ.
උදාහරණයක් ලෙස ඉන්ධන ලීටරයක මිල රුපියල් 120 ලෙසත් වාර්ෂික පොලී අනුපාතිකය 10% ලෙසත් සැලකුවහොත් H වල අගය රුපියල් 12කි. වාර්ෂික ඉන්ධන අවශ්‍යතාවය (D) ලීටර 1200ක් හා ඉන්ධන පොම්ප කිරීමේ වියදම (පිරවුම්හලට යාමට වැය වන ඉන්ධන වල මිල හා ගතවන කාලයේ ආවස්ථික පිරිවැය) එනම් F රුපියල් 2ක් ලෙස සැලකුවහොත් Q සඳහා ලැබෙන අගය ලීටර 20කි. එහෙත්, පිරවුම්හලට යාමට වැය වන ඉන්ධන වල මිලේත්, ඒ සඳහා ගතවන කාලයේ ආවස්ථික පිරිවැයේත් අගය රුපියල් 8ක් වුවහොත් මේ අගය ලීටර 40ක් වෙයි.
දැන් පොලී අනුපාතිකය 10% සිට 2.5%ක් දක්වා අඩු වුනොත් සිදුවන්නේ කුමක්ද? එවිට H රුපියල් 3 දක්වා අඩු වන අතර අනෙකුත් පරාමිතීන් D =1200 හා F = 2 ලෙස නොවෙනස්ව තිබුනොත් එවිටද Q සඳහා ලැබෙන අගය ලීටර 40කි. ඇමරිකාවේ පොලී අනුපාතික ඉතා අඩු නිසා වාහනයේ ඉන්ධන ගබඩා කර තැබීමේ ආවස්ථික පිරිවැය එතරම් විශාල නැත. ඒ නිසා, පිරවුම්හලට යන හැම විටකම ඉන්ධන ටැංකිය සම්පූර්ණයෙන් පුරවා ගැනීම වඩා වාසිදායකය. එහෙත්, ලංකාවේදී වාහනයක් වැඩිපුර ධාවනය නොකරන, එනම් D එතරම් වැඩි නැති අයෙකුට හෝ ඉන්ධන පිරවුම්හල් ගණනාවක් ආසන්නයේ ඇති, කාලයේ ආවස්ථික පිරිවැය එතරම් නොවැඩි අයෙකුට ඉන්ධන ටැංකිය සම්පූර්ණයෙන් නොපුරවා අඩු මට්ටමට පිරවීම වඩා වාසිදායක විය හැකිය.
සාමාන්‍යයෙන් ඉන්ධන සම්පූර්ණයෙන්ම පුරවන මා හෝ කතා කතු වැනි අයෙකු එසේ කරන්නේ "ඉන්ධන හල් වලට යන වාර ගණනත් ඒවායේ ගෙවන කාලයත් හැකිතාක් අවම කර ගැනීම" අරමුණු කර ගනිමිනි. ඒ අපේ F ඉතා වැඩි නිසාය. මෙහිදී ඇමරිකාවේ ජීවත් වන මා සැලකූ විට F වැඩි වීමට අමතරව H ඉතා අඩු අගයක් ගැනීමද නිසා මගේ ප්‍රශස්ත Q අගය ඉතා විශාලය. එහෙත්, මගේ ඉන්ධන ටැංකියේ ධාරිතාව එතරම් විශාල නැත. ඒ නිසා, මට ප්‍රශස්ත මට්ටම දක්වා යාමේ හැකියාවක් නැත. සාමාන්‍යයෙන් ඉන්ධන ටැංකිය සම්පූර්ණයෙන් පුරවන බොහෝ දෙනෙකුගේ තත්ත්වය මෙයයි.
කතා කතු මෙන්ම මාද ඉන්ධන ටැංකිය සම්පූර්ණයෙන් පුරවන්නේ පිරවුම්හලට යන වාර ගණන අඩු කර ගැනීමටය. එසේනම්, වඩා තාර්කික තීරණයක් වන්නේ වරක් ටැංකිය පුරවා ගැනීමෙන් පසු එය සම්පූර්ණයෙන්ම වාගේ හිස් වන තුරු නැවත ඉන්ධන නොපිරවීමයි. එහෙත්, කතා කතු තව "කිලෝ මීටර 50-60 යාමට පමණක් ඉන්ධන තිබියදී හෝ දිගු ගමනක් පිටත් වීමට පෙර" ඉන්ධන ටැංකිය නැවත පුරවා ගනී. මා සාමාන්‍යයෙන් කරන්නේද මේ දෙයමය. ඒ ඇයි?
හදිසියේවත් ටැංකියේ ඉන්ධන අවසන් වුවහොත් හෝ ළඟම ඇති පිරවුම්හලේ ඉන්ධන නැති වුවහොත් විශාල අපහසුතාවයකට මුහුණ දෙන්නට සිදුවන අතර එවිට F විශාල ලෙස වැඩි වී සමස්ත වියදම ඉහළ යයි. දුර ගමනක් යද්දී මේ අවදානම ඉතා විශාලය. අන්තිම බින්දුව තෙක්ම ටැංකිය හිස් නොකර කලින්ම ටැංකිය පිරවීමෙන් මේ අවදානම අවම කරගත හැකිය. මෙහි ඇති අවාසිය ඉන්ධන ගබඩා කර තබා ගැනීමේ පිරිවැය ඉහළ යාමයි. ඇමරිකාවේදීනම් මෙය නොසලකා හළ හැකි තරම් සුළු වියදමකි. ලංකාවේදී මේ වියදම ඇමරිකාවේදීට වඩා වැඩි වුවත් (වසරකට රුපියල් 50-60ක් පමණ) කතා කතු වැනි අයෙකුගේ ඉන්ධන පිරවීමට යාමේ වියදමට සාපේක්ෂව මෙය එතරම් විශාල නොවනවා විය යුතුය.
මෙතෙක් අප පොදුවේ ප්‍රශස්ත ඉන්ධන මිලදී ගැනීමේ මට්ටම ගැන කතා කළත් එය කළේ මිල නොවෙනස්ව පවතිනු ඇති බව උපකල්පනය කරමිනි. ඊයේ සිදුවුනාක් මෙන් කලින් දැනුම් දී ඉන්ධන මිල ඉහළ දැමූ විට වහාම ඉන්ධන ටැංකිය පුරවා ගැනීමේ වාසියක් තිබේ. මේ වාසිය තීරණය වන්නේ තමන්ගේ ඉන්ධන ටැංකිය කෙතරම් හිස්ද යන්න මතය. ඒ නිසා, සාමාන්‍යයෙන් ඉන්ධන ටැංකිය සම්පූර්ණයෙන් පුරවන අයෙකුට වඩා එසේ නොකරන අයෙකුට වාසිය වැඩිය. ඉන්ධන ටැංකිය සම්පූර්ණයෙන් නොපුරවන්නේ පිරවුම්හලේ රස්තියාදුව එතරම් ගණන් නොගන්නා අයයි. එනම්, F අගය කුඩා අයයි. ඒ අයට මෙවැනි අවස්ථාවක පිරවුම්හලක වැඩි වෙලාවක් රස්තියාදු වන්නට සිදුවීම ප්‍රශ්නයක් නොවේ. එහෙත්, කතා කතු වැනි අයෙකුට එය විශාල ප්‍රශ්නයකි. ඒ නිසා "වැඩි ගාණට එන එකෙන් මං පස්සෙ ගහ ගන්නම්" කියා ඔහු ඔහුගේ සගයන්ට කියයි.
(Image: https://www.express.co.uk/news/world/671471/wedding-pictures-photos-petrol-station-thailand)
ඇත්තටම EOQ model එක තිත්ත වෙනකන් අනේක වාර ගාණනක් ඉගෙන ගෙන තිබුණත් ඉකොන්ට වගේ මේ වගේ මෙහෙම සීන් එකකට ඇප්ලයි කරන්න ඕක මටනම් මතක් වෙන්නෙම නෑ.
ReplyDeleteහොද ලිපියක් ��
ඔබේ ලිපියට ස්තුතියි. ලංකාවේ මිනිසුන් තවමත් පෝලිමක් දැක්කාම ඒකට එකතු නොවී ඉන්න බැරි ජන කොට්ටාශයක්.
ReplyDelete1970-77 කාලේ නම් කවුරු හරි පාරේ යන කෙනෙක් අපේ අම්මට කියනවා, "අන්න සමුපකාරේ දිග පෝලිමක් තියනවා" කියලා. ඉතින් අම්මා මට කියනවා ගිහින් පෝලිමේ ඉන්න කියලා. ඊට පස්සේ අම්මා කරමින් හිටපු වැඩේ ඉවර වෙලා ඇඳුම් මාරුකරගෙන කඩේට ඇවිත් පෝලිම තියෙන්නේ මොනවා ගන්නද කියලා හොයා බලා එක්කෝ පෝලිමේ ඉන්න මාත් එක්ක එකතු වෙනවා. වැදගැම්මක් නැති දෙයක්නම් මාත් එක්ක ආපසු එනවා. ඒ තමයි අපේ අනන්‍යතාවය.
ඕස්ට්‍රේලියාවේ ඉන්ධන සංචිත තියෙන්නේ දින විස්සකට පමණයි කියලා පුවතක් දින කිහිපයකට ඉහතදී සියලුම මාධ්‍ය වල ප්‍රධාන පුවත උනා. ලංකාවේ එහෙම ඒ වගේ පුවතක් පල උනොත් වාහන දුවන නොදුවන, වාහන ඇති නැති සියලු දෙනා සියලු වැඩකටයුතු නවතා අර දින විස්සකට සෑහෙන බව කියන ඉන්ධන තොගය පැය කිහිපයකින් අවසන් කරනවා. ඊට පස්සේ රජයට දොස් කියනවා. වාසනාවට ඕස්ට්‍රේලියාවේ මිනිසුන් තමන්ට අවශ්‍ය දේ, අවශ්‍ය වෙලාවට පමණක් මිලදී ගැනීමට තරම් ඥානවන්ත නිසා කිසිවෙකු පෙට්‍රල් ෂෙඩ් වල පෝලිම් ගැසුනේ නැහැ. එසේ උනේ ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය පවුලක තියන වියහියදම් වලින් ඉහලම තනි වියදම, ඉන්ධන වලට හිමි වෙලා තියෙද්දීයි.
ඉකොනොමැට්ටා,
Deleteඑක්සත් ජාතික පක්‍ෂය සදහා ප‍්‍රධාන විධායක නිලධාරීවරයෙකු පත් කිරීමට එම පක්‍ෂයේ අවධානය යොමුව තිබේ.
එජාප ප‍්‍රතිසංවිධානය සම්බන්දයෙන් වූ රුවන් විජයවර්ධන කමිටු යෝජනා අනුව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් මෙම තීරණය ගෙන ඇත.
ප‍්‍රධාන විධායක නිලධාරියාගේ ප‍්‍රමුඛ කාර්ය වන්නේ මහ ලේකම්වරයාගේ පරිපාලන කටයුතු සදහා දායකත්වය ලබා දීමයි.
කෙසේ වෙතත් මෙම නව තනතුර සම්බන්දයෙන් එජාප ප‍්‍රබලයෙකුට සම්බන්ද වෙබ් අඩවියක් සදහන් කර ඇත්තේ ප‍්‍රධාන විධායක නිලධාරී තනතුරු ඇත්තේ දේශපාලන පක්‍ෂවල නොව පුද්ගලික සමාගම්වල බවයි.
එක්සත් ජාතික පක්‍ෂය සදහා ප‍්‍රධාන විධායක නිලධාරීවරයෙකු පත් කිරීම ඉතා වැදගත් අදහසකි. ඒ ගැන වෙනම ලිපියක් ලිවුවොත් අගෙයි.
//ලංකාවේ එහෙම ඒ වගේ පුවතක් පල උනොත් වාහන දුවන නොදුවන, වාහන ඇති නැති සියලු දෙනා සියලු වැඩකටයුතු නවතා අර දින විස්සකට සෑහෙන බව කියන ඉන්ධන තොගය පැය කිහිපයකින් අවසන් කරනවා. ඊට පස්සේ රජයට දොස් කියනවා//
DeleteSam මේක 1919 "ජනපතිට කියන්න" එකට පැමිණිලි කරන්න... අනිවාර්යෙන්ම ඇක්ෂන් එකක් ගන්නවා... ගිය මාසේ ඔහොම සීන් එකක් ගිහින් පැමිණිලි කරලා ලංකාවේ ප්‍රසිද්ධ නිලියකට උසාවියෙන් දඩ ගැහුවා සුක්කානම අත ඇරලා සෙල්ෆි ගහන වීඩියෝ එකක් ෆේස්බුක් දාලා... එක කව්දෝ ජනපතිට කියන්න එකට පැමිණිලි කරලා ... Sure & shot. Please do it for the sake of God.
ලංකාවේ නම් ෂෙඩ් එකේ සහ ගැරේජ් එකේ දිගු කලක් රස්තියාදු වෙන්න ලැබීම හොද මාර්කටිං අපචූනිටි එකක්, දැනට තියන පෙනුමෙන් ලස්සන කබල අතට ගානක් එන විදිහට මාර්කට් කරගෙන වෙන කබලක් ලාබෙට සෙට් කරගන්නවා වගේ ඩීල් කරගන්න ඔත්තු ලැබෙන්නේ ඒවගේ තැන්වලින්, එහෙම නැති ජිවිතෙන් පලක් ඇත්ද?
ReplyDeleteමෝටර් රථයක දී නම් නොසැලකිය හැකි වුනත් ගුවන්යානයකට ඉන්ධන ගැසීමේදී ඉන්ධන වැඩියෙන් ගැසීම, ඉන්ධන වැඩියෙන් දැවීමට හේතු වෙනවා.
ReplyDeleteතෙල් මිල කීයද කියල වැඩක් නෑ ඉකොනොමැට්ටා. අහන්න ITN ප්‍රවෘත්ති.
ReplyDeleteහෙඩ් ලයින් වල කියවයි. "අද මධ්‍යම රාත්‍රී සිට තෙල් ලීටරයක් මිල රාජපක්ශ රජයේ මිලට වඩා රු. 31කින් අඩුවේ. යහපාලන රජයට දසතින් ජනතා ප්‍රසාදය !" කියල. It's the same as USA, just like CNN, Fox news, MSNBC etc. Now their propaganda is against Trump isn't it? Just like Sirasa vs Ranil in SL.
පෙට්‍රල් කොච්චර ගණන් ගියත් මට අදාල නැහැ, මම ගහන්නේ රුපියල් සීයක.
ReplyDeleteලස්සන පැහැදිලි කිරීමක්. ප්‍රසස්ථ මට්ටම දන ගෙන හිටියත් ඒක ඉන්ධන මිලදී ගැනීමට භාවිතා කරන්නන පුළුවන් බව මට හිතුනෙම නැහැ. මම හිතුවේ හොරට ඉන්ධන පොම්ප කරන ෂෙඩ් වලින් ගැලවෙන්න විතරයි.
ReplyDelete"ප්‍රශස්ත මට්ටම"
ReplyDeleteඔව්, ඔබ හරි. මා පුරුද්දක් වශයෙන් තීරණ ගන්නේ ඒ ගැන සංවේදී වෙමිනුයි. සමහර සවිඥානික තීරණ වලදී ඇතැම් විට ගණනය කිරීම් පවා යොදා ගන්නා මුත් තෙල් පෝලිමට එකතු නොවීම එවැන්නක් නොව ඉවෙන් මෙන් (පුරුද්දට අනුව) ගත් එකක්. මීට පෙර තෙල් හිඟයක් ඇති වූ අවස්ථාවේ පෝලිම් වලට එකතු වීම වෙනුවට මා කළේ ටැංකියේ තෙල් අවසන් වන තෙක් සිට පොදු ප්‍රවාහනයට එකතු වීමයි. පොදු ප්‍රවාහණය දින කිහිපයක් භාවිතා කිරීම වැඩිපුර කාලයක් නාස්ති කිරීමේ ක්‍රමයක් විය හැකි වුවත් දිනකට පැය බාගයක් හෝ පැයක් බැගින් ඒ වෙනුවෙන් වැඩිපුර වැය වීම පෝලිමේ පැයක් දෙකක් රස්තියාදු වීමට සාපේක්‍ෂව අඩු ආතතියක් ගෙන දෙන බවයි මගේ අත්දැකීම.
මගේ ප්‍රශ්නයට ඔබ දැක්වූ අවධානය ගැන ස්තූතියි. එය දැකීමට පමා වුණේ එය පල වූ දින වල නගරයෙන් බැහැරව සිටි නිසාය.