මැතිවරණයට තිබෙන්නේ තවත් දවස් කිහිපයක් පමණයි. මේ මැතිවරණය ලංකා ඉතිහාසයේ තීරණාත්මකම මැතිවරණ වලින් එකක් කියා ඒ පිළිබඳව බරපතල ලෙස සිතන කිසිවකු සලකන එකක් නැහැ. ප්‍රතිඵල වල අනපේක්ෂිත දේ තිබිය හැකි වුවත්, පවතින ආණ්ඩුවට මැතිවරණය ජය ගැනීම විශාල අභියෝගයක් වෙන එකක් නැහැ. සැබෑ අභියෝගය තිබෙන්නේ ඉන් අනතුරුවයි.
ලංකාවේ ආර්ථිකය අද වන විට පත් වී තිබෙන අවදානම් තත්ත්වය එක් ආණ්ඩුවක වැරැද්දකින් සිදු වූ දෙයක් නෙමෙයි. ඒ තත්ත්වයට ආර්ථිකය පත් වුනේ ක්‍රමක්‍රමයෙන්. නිදහසින් පසුව බලයේ සිටි සෑම ආණ්ඩුවක් යටතේම ක්‍රමක්‍රමයෙන් මේ පරිහානිය සිදු වුනා.
එයින් කියන්නේ මේ පරිහානියට වගකිව යුත්තේ බලයේ සිටි ආණ්ඩු පමණක් බව නෙමෙයි. බලයේ සිටින ආණ්ඩු වල තීරණ වලට විපක්ෂ දේශපාලන පක්ෂ වල ස්ථාවරයන්ගෙන්ද විශාල බලපෑමක් ඇති වෙනවා. ආණ්ඩුවක පාර්ශ්වයක්ව කිසිදා නොසිටි දේශපාලන පක්ෂ වල ස්ථාවරයන් වගේම දේශපාලන පක්ෂ නොවන ආයතනික ව්‍යුහයන්ද මේ ව්‍යසනයට දායක වී තිබෙනවා. ඒ නිසා, වැරැද්ද කාගේද කියා හොයනවාට වඩා වැරැද්ද හදා ගත හැක්කේ කොහොමද කියා සාමූහිකව හිතන එකයි වඩා වැදගත්.
අවශේෂ කරුණු කෙසේ වුවත්, රටේ ආර්ථිකයේ මූලික ව්‍යාධීන් හා අදාළව මේ වෙද්දී ජන පදනමක් තිබෙන සියලු දේශපාලන පක්ෂ අතර එකඟතාවයක් ඇති බව පෙනෙන්නට තිබෙනවා. එය යහපත් වර්ධනයක්. එයින් අදහස් කෙරෙන්නේ මේ සියලු දේශපාලන පක්ෂ එකම ආකාරයේ ආර්ථික වැඩ පිළිවෙලකට එකඟ වීමට ඉඩකඩ ඇති බව නෙමෙයි. විපක්ෂයේ සිටින අය බලයේ සිටින ආණ්ඩුවට උදැල්ල දමන එක දිගටම සිදු වෙයි. නමුත්, කවර දේශපාලන පක්ෂ බලයට ආවත් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ මූලික කරුණු අනුව බැලුවොත් එකම ආකාරයක ප්‍රතිපත්ති.
ලංකාවේ ආර්ථිකය අද පත් වී තිබෙන තත්ත්වයට මූලික හේතුව ඉතා සරලව කියනවානම් ආණ්ඩු විසින් දිගින් දිගටම නිදහස් වෙළඳපොළට මැදිහත් වෙමින් නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරිත්වය අකර්මන්‍ය කිරීමයි. මා මේ වෙලාවේ වඩා විස්තරාත්මක පුළුල් විග්‍රහයක් කරන්න යන්නේ නැහැ.
ලංකාවේ කවදාවත් ධනවාදය වෙනුවෙන් පෙනී සිටින දේශපාලන පක්ෂ තිබී නැහැ. අදටත් නැහැ. එහෙත්, හැම දේශපාලන පක්ෂයක්ම අඩු වැඩි වශයෙන් සමාජවාදය වෙනුවෙන් පෙනී සිට තිබෙනවා. එය අහම්බයක් නෙමෙයි. සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී කඳවුර විසින් නිදහසට පෙර සිටම උපක්‍රමශීලීව හා සැලසුම් සහගතව ඇති කළ කෘතීම තත්ත්වයක්. මේ තත්ත්වය වෙනස් වන්නට පටන් ගත්තේ සෝවියට් දේශය බිඳ වැටෙන්න ආසන්නව තිබූ අසූව දශකයේ මැද සිටයි. එහෙත්, මේ සැලසුම් වල බලපෑම තවමත් තිබෙනවා. අද තරුණ පරම්පරාව අපේ වයසට ඇවිත් රටේ ප්‍රතිපත්ති සම්පාදකයින් වන තුරු මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වන එකක් නැහැ.
සමාජවාදී කඳවුරේ ප්‍රමුඛ උපක්‍රමය වුනේ රටේ උගතුන්, බුද්ධිමතුන් හා කලාකරුවන් සේ සැලකෙන සීමිත පුද්ගලයින් පිරිසකගේ මොළ සේදීමයි. ඉන් පසුව, ඒ පිරිස තමන්වත් නොදැනම ඊළඟ පරම්පරාවේ මොළ සෝදනවා. රටේ පවතින ආණ්ඩුව කුමක් වුවත් රටේ විධිමත් අධ්‍යාපනය සකස් වන්නේ දැන හෝ නොදැන ඔය උගුලට අහු කරගෙන සිටින පිරිසක් අතින්. සමාජවාදීන්ට "නිදහස් අධ්‍යාපනය" ඔය තරම්ම වටින්නේ ඒ නිසයි.
අපේ තරුණ කාලයේදී මොනවා හෝ ගන්න දෙයක් තියෙන මිනිහෙක් හිටියානම් ඒ මිනිහා සමාජවාදියෙක්. ආණ්ඩු බලය තිබුණත් නැතත් මතවාදී තලයේදී බලය තිබුණේ සමාජවාදීන්ටයි. ඒ තත්ත්වය ටිකෙන් ටික වෙනස් වී මේ වෙද්දී සමාජවාදීන්ට තමන්ගේ මතවාදී ආධිපත්‍යය සෑහෙන තරමකට අත හරින්න සිදු වී තිබෙනවා. එය සාපේක්ෂව මෑතකාලීන ප්‍රවණතාවක්.
ඇමරිකාව වගේ රටක දේශපාලනඥයින් සෘජුවම ධනවාදය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෙනී සිටිනවා. ඇමරිකාවේ දේශපානඥයෙකු වෙත වෙනත් දේශපානඥයෙකු විසින් ඇඟිල්ල දික් කර සමාජවාදියෙකු කියා කියන්නේ ඔහුට හෝ ඇයට හානියක් කිරීමේ අරමුණින්. දේශපාලන පක්ෂයක් සමාජවාදී බව කියන්නේ චෝදනාවක් ලෙසයි. බොහෝ විට ප්‍රතිචාරය වන්නේ එය එසේ නොවන බව පෙන්වීමයි.
ලංකාවේ දිගින් දිගටම දැකිය හැකිව තිබුණේ එහි අනික් පැත්තයි. හැම දේශපාලන පක්ෂයක් වගේම පෙන්නන්න හදන්නේ තමන් ටිකක් හරි සමාජවාදීන් බවයි. ධනපති පක්ෂ හෝ සුළු ධනේශ්වර පක්ෂ ලෙස ඇතැම් දේශපාලන පක්ෂ ලේබල් කරන්නේ වෙනත් අයයි. මේ ලේබල් වරින් වර ප්‍රධාන දේශපාලන පක්ෂ වලට වගේම වාමාංශික දේශපාලන පක්ෂ වලටත් වැදී තිබෙනවා.
ධනපති, සුළු ධනේශ්වර ලේබල් වල තව දුරටත් ආර්ථික වටිනාකමක් නැහැ. ඒ වෙනුවට දැන් ආදේශ වී තිබෙන චෝදනාව ප්‍රධාන පක්ෂයක අතකොළුවක් හෝ කොන්ත්‍රාත්තුවක් ඉටු කිරීමක් කියන එකයි. ඒ අතරම ජාතික, විජාතික ලේබල් වලට මේ වෙද්දී විශාල ආර්ථික වටිනාකමක් ලැබී තිබෙනවා.
පෞද්ගලික අංශය සතු වූ සම්පත් රජය සතු කරගැනීම හා සුබසාධනවාදය නිදහසින් පසු ලංකාවේ ආර්ථික සැලසුම් වල මුල සිටම දැකිය හැකි වූ ලක්ෂණයි. එයට එම ආණ්ඩු වලටම වරද පටවන්න බැහැ. ආණ්ඩු විසින් ගත් ක්‍රියාමාර්ග වලින් පිළිබිඹු වුනේ රටේ මිනිස්සුන්ට අවශ්‍යව තිබුණු දෙයයි. මේ තත්ත්වය අදටත් වලංගුයි.
සමස්තයක් ලෙස ගත් විට ලංකාවේ කිසිදු ආණ්ඩුවකට මහජන මතයට පිටින් යාමට මෙතෙක් හැකි වී නැහැ. එසේ නොවූ අවස්ථා සැලකිය හැක්කේ හුදෙකලා සිදුවීම් ලෙසයි. 1956, 1970, 1977, 1994, 2010, 2015, 2018, 2019 ආදී සෑම අවස්ථාවකම මහජන මතය ප්‍රබල ලෙස මතු වුනා. ඉදිරියේදීත් රටට ගොඩ යන්නනම් වෙනස් විය යුත්තේ මහජන මතයයි. මහජන මතය අවශ්‍ය සේ වෙනස් වේනම් ආණ්ඩුව කරන්නේ කවුද කියන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.
රටක් ණයෙන් දුවවන එක තිරසාර නැහැ. එහෙත්, කාලයක් අල්ලාගෙන ඉන්න පුළුවන්. ඒ වගේම, මේ ආකෘතියට මහජන සහයෝගය ලබා ගැනීම පහසුයි. සුබසාධනයේ වාසිය මිනිස්සුන්ට සෘජුවම ලැබෙනවා. ඒ නිසා, තමන් උපයන දෙයට වඩා වැඩියෙන් පරිභෝජනය කරන්න අවස්ථාව ලැබෙනවා.
සාමාන්‍යයෙන් සුබසාධනයේ මූලධර්මය වන්නේ එක් අයෙකුගෙන් අරගෙන තවත් අයෙකුට දෙන එකයි. මේ ක්‍රමය තිරසාරයි. හැබැයි ජනප්‍රිය නැහැ. ප්‍රතිලාභ ලබන අය කැමති වුනත් එහි වියදම දරන අයට සුබසාධනය බරක්. ඒ හේතුව නිසාම සුබසාධනය සීමාව පනින්නේ නැහැ. යම් සමතුලනය වීමක් වෙනවා. සුබසාධනය අඩු වෙද්දී පහළ ස්ථර හඬ නගනවා. සුබසාධනය බරක් සේ දැනෙන්න ගත් විට ඉහළ ස්ථර හඬ නගනවා. ලෝකයේ බොහෝ රටවල සුබසාධන ආකෘතිය ඔය වගේ එකක්.
ලංකාව හොයාගෙන තිබෙන ක්‍රමයේ හොඳ මිසක් නරක නැහැ. සුබසාධනයේ වාසිය ලබන අය හිටියත් එහි මිල ගෙවන කෙනෙක් නැහැ. ඒ නිසා, සුබසාධනය ඉහළ ස්ථර වලට බරක් නෙමෙයි. ඇත්තටම කියනවානම් මා මේ ලිපියේ විස්තර කරන්න නොයන හේතු ගණනාවක් නිසා මේ ක්‍රමයට ලංකාවේ ඉහළ ආදායම් ස්ථර වල ඉන්න අයත් කැමතියි.
නමුත්, ආර්ථික විද්‍යා මූලධර්ම අනුව එහෙම මිලක් නැති වෙන්න බැහැනේ. සුබසාධනයේ මිල කා මත හෝ පැටවෙන්න ඕනෑ. ලංකාවේ "නිර්මාණාත්මක" ආර්ථික ආකෘතිය අනුව මිල පැටවෙන්නේ අනාගත පරම්පරාවටයි. හඬක් නගන්න ඒ අය තවම ඉපදිලා නැහැ. ඉපදිලා හිටියත් ඡන්ද බලය නැහැ.
ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් අය වෙනුවෙන් පොළේ බඩු විකුණන වයසක ආච්චි අම්මා, මුට්ට කර ගහන නාට්ටාමි ඇතුළු හැමෝම දායක වෙලා තියෙනවා කියලා කතාවක් තියෙනවනේ. පට්ට පල් බොරු! ඔය කවුරුවත් එක සතපහක් ගෙවලා නැහැ.
අද මිලක් නොගෙවා ඉගෙන ගන්න දරුවෙක්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අද ජීවත් වන කිසිම කෙනෙක් එක සත පහක් ගෙවන්නේ නැහැ. දරුවා වෙනුවෙන් වියදම් කරලා ලොකු වුණාම පොලියත් එක්ක ගෙවන්න බිල හදල තියන එකයි කරන්නේ.
ඌ ලොකු වෙලා බිල ගෙවනවද? නෑ. ඌ ගෙවන්නෙත් නැහැ. ඌ කරන්නේ උගේ දරුවා වෙනුවෙන් වියදම් කරලා ඌට ගෙවන්න ඉතුරු කරන බිලට උගේ පරණ බිලත් එකතු කරන එකයි. අමුවෙන්ම ඔන්න ඕකයි කතාව.
ලංකාවට නිදහස ලැබුණු දවසේ ඉඳලම වුනේ ඕකයි. ඒ වෙද්දී ඉපදී සිටි හතළිස් ගණන් වල ඉපදුනු පරම්පරාව වෙනුවෙන් කළ වියදම් ලොකු වෙලා ගෙවන්න ඒ අයටම ඉතිරි කරලා තියෙනවා. ඉන් පසුව හැට ගණන් වල ඉපදුණු පරම්පරාව වෙනුවෙන් කළ වියදම් ඒ අයට ඉතිරි කරද්දී කලින් පරම්පරාවේ නොපියවූ බිලත් ඒ බිලටම එකතු කරලා තියෙනවා. අනූ ගණන් වල ඉපදුණු අයගේ බිල් හදද්දී ඒ අයගේ දෙමවුපියන්ගේ වියදම් වගේම සීයලා ආච්චිලාගේ වියදමුත් එකතු වෙලා. එහෙම නැතුව ඒ අය වෙනුවෙන් රජය විසින් මහජන මුදල් වියදම් කරලා නැහැ. රජය විසින් එකතු කරගත් මහජන මුදලක් ඇත්නම් ඒවා රජය විසින්ම පරිභෝජනය කර අවසන් කරලා ඉවරයි.
නිදහසෙන් පස්සේ මුල් කාලයේදී ඉපදුනු අය සමාජවාදය භුක්ති විඳලා අනාගත පරම්පරාවේ වියදමින් ආතල් එක අරගෙන මැරිල ගියත් අනූ ගණන් වලින් පස්සේ ඉපදුනු පරම්පරාවට ඒ ආතල් එක ගන්න ලැබෙන එකක් නැහැ. තමන්ගේ ජීවිත කාලය තුළ කොයි වෙලාවක හෝ මේ අයට අර පරණ ණය ගෙවන්න වෙනවා. තමන් වෙනුවෙන් කලින් පරම්පරාව වියදම් කරපුවා විතරක් නෙමෙයි. ඒ පරම්පරාව වෙනුවෙන් ඊටත් කලින් පරම්පරාව වියදම් කරපුවා හා ඊටත් කලින් පරම්පරාවේ වියදමුත් එක්කම.
ආණ්ඩු වලට ආවොත් මෙතෙක් කල්ම ලංකාවේ ආණ්ඩු විසින් කරගෙන ආවේ අවුරුදු පහකින් පස්සේ ඊළඟ ආණ්ඩුවට ගෙවන්න ණය ඉතිරි කරමින් සිත් සේ වියදම් කරන එකයි. හැබැයි මේ ආණ්ඩුවට ඒ විදිහට ප්‍රශ්නය තවත් අවුරුදු පහක් පස්සට තල්ලු කරන එක ලේසි වැඩක් නෙමෙයි. හැම ආණ්ඩුවක්ම මේ වැඩේ කරගෙන ආවත් එසේ කළේ යම් පාලනයක් ඇතිවයි. හැබැයි පහුගිය රාජපක්ෂ ආණ්ඩුවේ දෙවන අදියරේදී ගිය දුර ඕනෑවට වඩා වැඩියි. ඒ පවු වලට මේ ආණ්ඩුවට කර ගහන්නම වෙනවා.
මහින්ද රාජපක්ෂ බලයට පත් වෙන්න පෙර 2000-2004 කාලයේ ලංකාවේ විදේශ ණය හා බැරකම් 26.4%කින් ඉහළ ගියා. 2005-2019 කාලයේදීත් 24.4%කින් ඉහළ ගියා. මේ විදිහට විදේශ ණය හා බැරකම් ඉහළ යාම ලංකාවේ හැම ආණ්ඩුවක් යටතේදීම සිදු වුනු දෙයක්. එහෙත්, 2004-2015 කාලයේ ලංකාවේ විදේශ ණය හා බැරකම් ඉහළ යාම 251.8%ක්.
මේ ආකාරයට විදේශ ණය හා බැරකම් විශාල ලෙස ඉහළ යාමේ ප්‍රශ්නය ඒ වෙනුවෙන් පොලී හෝ ප්‍රතිලාභ සේ ගෙවිය යුතු මුදල රට ඇතුළෙන් උපයා ගත නොහැකි වීමයි. මෙය රටේ ආර්ථිකය දුර්වලව තිබීමෙන් ඔබ්බට යන වඩා ප්‍රාථමික ප්‍රශ්නයක්. රටේ ආර්ථික වර්ධනය හොඳ මට්ටමක තිබේනම් රජයට මේ ණය හා පොලී ගෙවීම සඳහා අරමුදල් හොයා ගන්න පුළුවන්. එහෙත්, එසේ වූ පමණින් ඒ මුදල් ඩොලර් කිරීමේ හැකියාවක් ඇති වන්නේ නැහැ. රට ඇතුළේ ප්‍රමාණවත් විදේශ සංචිත නැහැ කියන්නේ අරමුදල් තිබුණත් රුපියල් ඩොලර් කළ නොහැකි නිසා ණය ගෙවන්න විදිහක් නැහැ.
විදේශ ණය හා බැරකම් බරක් වන ප්‍රධාන ආකාරයක් වන්නේ ඒ වෙනුවෙන් ගෙවිය යුතු පොලියයි. 2000-2004 කාලයේදී ලංකාවේ සමස්ත ණය හා බැරකම් 26.4%කින් ඉහළ ගියත් අදාළ කාලය තුළ ලංකාවේ විදේශ ණය වෙනුවෙන් ගෙවිය යුතු වාර්ෂික පොලී වියදම් 25%කින් පහළ ගියා. එහෙත්, 2005 වසරේ සිට දැක ගත හැකි වුනේ වාර්ෂික පොලී වියදම් එන්න එන්නම ඉහළ යාමක්. 2005 වසරේදී විදේශ ණය වෙනුවෙන් පොලී සේ වැය කළේ ඩොලර් මිලියන 204ක් පමණක් වුවත්, 2015 වන විට එම වියදම ඩොලර් මිලියන 1,192ක්. එනම්, පස් ගුණය ඉක්මවන වැඩි වීමක්. 2019 වන විට ඩොලර් මිලියන 1,653ක්.
මෙයින් අදහස් වන්නේ ඉදිරියේදී ලංකාව අලුතෙන් තවත් එක් ඩොලරයක හෝ විදේශ ණය ලබා නොගත්තත් දැනට තිබෙන විදේශ ණය වෙනුවෙන් පොලී ගෙවීම සඳහා පමණක් සෑම වසරකදීම ඩොලර් බිලියන 1.7ක පමණ විදේශ විණිමය ප්‍රමාණයක් සොයා ගත යුතු බවයි.
මෙය දරුණු තත්ත්වයක් බව වත්මන් ආණ්ඩුව විසින් හඳුනාගෙන ඇති බවට කිසිදු සැකයක් නැහැ. ප්‍රශ්නයට සෘජුව මුහුණ දෙන්න වෙන්නේ වත්මන් ආණ්ඩුවටයි. මේ වෙද්දී දෙපිලකට බෙදී සිටින පරණ ආණ්ඩුවේ පාර්ශ්ව දෙකටත් මේ තත්ත්වය අලුත් දෙයක් නෙමෙයි. ඊට අමතරව ලංකාවේ දකුණේ ජනපදනමක් තිබෙන දේශපාලන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණයි. එම පක්ෂය විසින්ද මේ අර්බුදය ගැන සෘජුවම කතා කරනවා.
ඔවුන්ගේ පොදු භාවිතාව කවර එකක් වුවත්, මේ වෙලාවේ ජවිපෙ විසින් ලංකාවේ ආර්ථික අර්බුදය ගැන කතා කරන්නේ මාක්ස්වාදී මූලධර්ම මත පදනම්ව කියා මම හිතන්නේ නැහැ. ඔවුන් කතා කරන්නේත් සම්මත ආර්ථික විද්‍යා න්‍යාය මත පදනම්ව විය යුතුයි. ඒ අනුව, වරද එකිනෙකා විසින් අනෙකා මත පටවනවා වුවත්, මේ වෙලාවේ රටේ ආර්ථික අර්බුදයේ ස්වභාවය පිළිබඳව රටේ ජන පදනමක් තිබෙන දේශපාලන පක්ෂ සියල්ලටම පොදු විග්‍රහයක් තිබෙනවා.
අවශ්‍ය වන්නේ ප්‍රශ්නයට විසඳුම පිළිබඳවත් මෙවැනි පොදු එකඟතාවයක් ඇති වීමයි. ඒ එකඟතාවය ස්වාධීනව වෙන වෙනම කරන විග්‍රහ මත ඇති වෙන එක ප්‍රශ්නයක් නෙමෙයි.
මේ අවස්ථාව ලංකාවට නැත්තටම නැති වෙන්න වගේම ගොඩ යන්නත් අවස්ථාවක්. එය තීරණය වන්නේ සියලු ලාංකිකයින්ගේ සාමූහික ක්‍රියාකාරීත්වය මතයි. කවුරු හෝ පුද්ගලයෙක් ඉන්නේ පාර්ලිමේන්තුව ඇතුළේද නැත්නම් එළියේද, ආණ්ඩු පක්ෂයේද නැත්නම් විපක්ෂයේද කියන එකට වඩා වැදගත් වෙන්නේ රට මුහුණ දී සිටින අර්බුදය නිවැරදිව තේරුම් ගත හැකිද කියන කාරණයයි. එහෙත්, පාර්ලිමේන්තුව ඇතුළේ රට මුහුණ දී සිටින අර්බුදයේ ගැඹුර ස්වාධීනව විග්‍රහ කර ගැනීමේ හෝ එසේ විග්‍රහ කළ හැකි අයව තේරුම් ගැනීමේ කුසලතාවයක් ඇති, එම කුසලතාවය තමන්ගේ පටු දේශපාලනික අරමුණු වෙනුවෙන් වෛශ්‍යා වෘත්තියේ නොයොදවන පුද්ගලයින් කිහිප දෙනෙකු හෝ සිටීම වැදගත්. එවැනි අය ඉන්නවානම් ඒ මොන කණ්ඩායමේද කියන එක වැදගත් නැහැ.