ඇමරිකාවේ වගේම සමස්තයක් ලෙස ලෝකයේත් කෝවිඩ් එන්න එන්නම තව දුරටත් ව්‍යාප්ත වෙනවා. ඒ අතින් ලංකාව ව්‍යතිරේඛයක් ලෙස සලකන්න පුළුවන්. කෝවිඩ් ඉවරයක් නැතත් දැන් කෝවිඩ් ඉන්ටවල්නම් ඉවරයි. කෝවිඩ් පැත්තකින් තියලා කලින් කරගෙන ගිය වැඩ ආපහු ඒ විදිහටම කරනවා හැර වෙන විකල්පයක් නැහැ.
හදිසි වැඩ කිහිපයක් ඉවර කරන්න අවශ්‍ය වූ නිසා ටික දවසකින් බ්ලොග් එක පැත්තේ එන්න වුනේ නැහැ. ඒ අතර, ලංකාව ඇමරිකාවෙන් ලබාගත් ඩොලර් බිලියනයක ණයක් ගැන කතාවක් පැතිරිලා හෝ පතුරවලා තියෙනවා දැක්කා. කතාවෙන් කියපු විදිහට දැන් ලංකාව ඇපයක් නොතියා ණයක් ගන්න බැරි තැනට වැටිලා. මේ කතාව ඇත්තද?
ණයක් කියා ප්‍රචාරය වී තිබුණත් ඇත්තටම මේ අරගෙන තිබෙන්නේ ණය ලබා ගැනීමේ පහසුකමක්. මෙය සමාන කරන්න පුළුවන් වෙන්නේ ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තා වගේ දෙයකට. ණය පහසුකමක් ලබා ගත්තාට පස්සේ එහි උපරිම සීමාවට යටත්ව ඕනෑ වෙලාවක පහසුවෙන් ණය ලබා ගන්න පුළුවන්. හරියට ක්‍රෙඩිට් කාඩ් එකේ සීමාව පනින තුරු වියදම් කරන්න පුළුවන් වගේ. ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තා කියලා එය භාවිතා කරන්න අවශ්‍යම නැහැ වගේ ණය පහසුකමක් ගත්තා කියලා ඒ පහසුකම පාවිච්චි කරන්න අවශ්‍යම නැහැ.
ලංකාව විසින් ලබාගත් ණය පහසුකම තවමත් පාවිච්චි කරලා නැහැ. පාවිච්චි කරන තුරු පොලියක් ගෙවන්න අවශ්‍ය වෙන්නේත් නැහැ. ඉදිරි කාලයේදී ණය පහසුකම පාවිච්චි කළොත් ඒ වෙනුවෙන් පොලී ගෙවන්න වෙයි. හැබැයි මේ වෙනුවෙන් ගෙවන්න වෙන්නේ ලංකාවේ විදේශ ණය සඳහා ගෙවන පොලී අනුපාතික වලට සාපේක්ෂව ඉතා අඩු පොලියක්.
මේ ණය පහසුකම ලබා දී තිබෙන්නේ ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව විසින් ණය පහසුකම් ලබා දීමේ අළුත් ක්‍රමවේදයක් යටතේ. ඇමරිකාවේ ෆෙඩරල් විවට වෙළඳපොළ කමිටුව විසින් මේ ණය ක්‍රමය හඳුන්වා දුන්නේ පසුගිය මාර්තු මාසය අවසානයේදී කෝවිඩ් තර්ජනය හමුවේ ගත් ක්‍රියාමාර්ගයක් ලෙසයි. එහි පසුබිම ගැන ටිකක් කතා කරමු.
කෝවිඩ් තර්ජනය නිසා ලෝකයේ රටවල් අතර වෙළඳාම, සංචරණය වගේම ප්‍රාග්ධන ප්‍රවාහ සැලකිය යුතු තරමින් සීමා වී තිබෙන බව කවුරුත් දන්නා දෙයක්නේ. ලංකාව ගත්තොත්, ලංකාවට සංචාරකයින්ගෙන්, ඇඟලුම් ආනයන ආදියෙන් ලැබෙන විදේශ විණිමය දැඩි ලෙස සීමා වී තිබෙනවා. ඒ වගේම එහි අනෙක් පැත්තත් සිදු වෙනවා. උදාහරණයක් විදිහට ලංකාවේ තෙල් ආනයනය සීමා වන විට ලංකාවට තෙල් අපනයනය කරන රටවල විදේශ විණිමය ලැබීම් සීමා වෙනවා. එහි බලපෑම විශාල එකක් නොවෙන්න පුළුවන්. එය වෙනම කරුණක්.
කෝවිඩ් මිනිස්සුන්ගේ මුදල් භාවිතයට බලපාන්නේ කොහොමද? ගෙවල් වලට සීමා වී ඉන්න වූ විට බොහෝ දෙනෙක් තමන්ගේ බැංකු ගිණුම් වල තිබෙන මුදල් ආපසු අරගෙන අතේ තියාගන්න පෙළඹෙනවා. මේ තත්ත්වය ලංකාව ඇතුළු හැම රටකම වගේ දැකිය හැකියි. තාක්ෂනික ලෙස මෙයට රටේ ද්‍රවශීලතා අවශ්‍යතාව ඉහළ යාම කියා කියන්න පුළුවන්. කෝවිඩ් තර්ජනය මුළුමනින්ම තුරන් වන තුරු මේ තත්ත්වයේ ලොකු වෙනසක් වෙන්න ඉඩක් නැහැ.
මේ විදිහට රටක ද්‍රවශීලතා අවශ්‍යතාව ඉහළ යන විට රටේ මුදල් හිඟයක් ඇති නොවීම සඳහා මහ බැංකුවට අලුතින් මුදල් සංසරණයට එකතු කරන්න වෙනවා. සරලව කිවුවොත් සල්ලි අච්චු ගහන්න වෙනවා. ඔය සල්ලි අච්චු ගහන වැඩේ ඒ තරම් හොඳ දෙයක් නොවන බව මම බොහෝ වර පැහැදිලි කරලා තියෙනවනේ. හැබැයි මේක විශේෂ තත්ත්වයක්.
මේ වගේ අවස්ථාවක මිනිස්සුන්ට වැඩියෙන් මුදල් අවශ්‍ය වෙන්නේ පවතින අවිනිශ්චිත තත්ත්වය යටතේ අතේ මුදල් නැති වීමේ අවදානම අඩු කරගන්න මිසක් වැඩි වැඩියෙන් භාණ්ඩ මිල දී ගන්න නෙමෙයිනේ. ඒ නිසා, මේ විදිහට මහ බැංකුව විසින් මුදල් සැපයුම වැඩි කළ පමණින් උද්ධමනය ඉහළ යන්නේ නැහැ. උද්ධමනය ඉහළ යන්නේ රටේ මුදල් ඉල්ලුම ඉක්මවා වඩා වැඩියෙන් අලුත් මුදල් සංසරණයට එකතු කළ විටයි. මම කියන්නේ වැඩි වූ මුදල් ඉල්ලුම වෙනුවෙන් අවශ්‍ය තරමට අලුත් මුදල් සංසරණයට එකතු කිරීමක් ගැනයි.
ඔය විදිහට සංසරණයට එකතු කරන මුදල් වුවත් කෝවිඩ් තර්ජනය පහ වී මිනිසුන්ගේ මුදල් ඉල්ලුම අඩු වන විට ක්‍රමයෙන් නැවත එකතු කර නොගත්තොත් අවසාන ප්‍රතිඵලය උද්ධමනයයි. හැබැයි මේ වෙලාවේ ඕනෑම රටක මහ බැංකුවකට යම් තරමකින් අලුතෙන් සල්ලි අච්චු ගහන්න වෙනවා. ලෝකයේ ගොඩක් මහ බැංකු ඔය වැඩේ කරනවා.
රටක් ඇතුළේ ගනුදෙනු සිදු වෙන්නේ දේශීය ව්‍යවහාර මුදල් යොදාගෙන වුවත්, විදේශ ගනුදෙනු සඳහා විදේශ ව්‍යවහාර මුදල් අවශ්‍ය වෙනවනේ. කෝවිඩ් නිසා හැම රටකම වගේ දේශීය ව්‍යවහාර මුදල් සඳහා වන ඉල්ලුම ඉහළ ගිහින් තිබෙනවා වගේම විදේශ ව්‍යවහාර මුදල් සඳහා ඉල්ලුමත් ඉහළ ගිහින් තිබෙනවා. නමුත්, මේ ප්‍රශ්නය රටක මහ බැංකුවට පහසුවෙන් විසඳිය හැකි ප්‍රශ්නයක් නෙමෙයි. ලංකාව ගත්තොත් මහ බැංකුවට හිතේ හැටියට රුපියල් අච්චු ගහන්න පුළුවන්. නමුත්, ඒ විදිහට ඩොලර් හරි යුරෝ හරි අච්චු ගහන්න බැහැනේ.
ගොඩක් ජාත්‍යන්තර ගනුදෙනු කෙරෙන්නේ ඇමරිකන් ඩොලර් වලින් බව අපි දන්නවනේ. ඒ නිසා, මේ වෙලාවේ ලෝකයේ හැම රටකම වගේ ඇමරිකන් ඩොලර් වලට තිබෙන ඉල්ලුම ඉහළ ගිහින් තිබෙනවා. නමුත්, ඇමරිකන් ඩොලර් එළියට දමන්න පුළුවන්කම තිබෙන්නේ ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුවට විතරයිනේ. ඒ නිසා, මේ වෙලාවේ ගොඩක් රටවල් වලට ඇමරිකන් ඩොලර් හොයා ගන්න ආකාරය ගැන හිතන්න වෙලා.
ඔය තරම්ම බරපතල ලෙස නොවුනත් ඔය වැඩේම අනික් පැත්තටත් වෙනවනේ. අපි හිතමු ඇමරිකානු සමාගමකට ලංකාවේ ඇඟලුම් ආනයනය කරන්න ඕනෑ. ඒ සඳහා ශ්‍රී ලංකා රුපියල් අවශ්‍ය වෙනවා. නමුත්, ෆෙඩරල් සංචිත බැංකුවට ශ්‍රී ලංකා රුපියල් අච්චු ගහන්න බැහැනේ. රුපියල් ගන්න වෙන්නේ ලංකාවෙන්ම තමයි.
හැබැයි ප්‍රායෝගිකව මේ වැඩේ ඒ තරම් ප්‍රශ්නයක් නෙමෙයි. ලංකාවේ අපනයනකරුවන් රුපියල් ඉල්ලන්නේ නැහැ. බොහොම කැමැත්තෙන් ඇමරිකන් ඩොලර් බාර ගන්නවා. ඒ නිසා, ඇමරිකාව ඇතුලේ ශ්‍රී ලංකා රුපියල් හිඟයක් ඇති වෙන්න ඉඩක් නැහැ.
ශ්‍රී ලංකා රුපියල් හා අදාළව තත්ත්වය ඔය වගේ වුනත් යුරෝ, යෙන් වගේ ව්‍යවහාර මුදල් හා අදාළව තත්ත්වය වෙනස්. ඒ වගේ විදේශ ව්‍යවහාර මුදල් සඳහා සැලකිය යුතු ඉල්ලුමක් ඇමරිකාව ඇතුළේ තිබෙනවා. එම ඉල්ලුමට සරිලන සැපයුමක් නැත්නම් එය ඇමරිකාවට ප්‍රශ්නයක් වෙනවා. යම් විදිහකින් මේ වගේ ප්‍රශ්නයක් ඇති වුනොත් එය ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුවට සරලව විසඳිය හැකි ප්‍රශ්නයක් නෙමෙයි.
ඇත්තටම ඇමරිකාවට මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙලාම නැහැ. නමුත්, ඔය වගේ ප්‍රශ්නයක් ඇති වුනොත් හදිසියකට පවුම්, යුරෝ, යෙන් වගේ විදේශ ව්‍යවහාර මුදල් ලබා ගත හැකි පහසුකමක් තිබීම නරක දෙයක් නෙමෙයිනේ. සාමාන්‍යයෙන් ඇමරිකාව වගේ රටවල් ප්‍රශ්න විසඳන්න ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනකල්ම ඉන්නේ නැහැනේ. ඔය ගොඩක් අය කතා කරන ඇක්සා සෝෆා වගේ ගිවිසුම් අත්සන් කරන්නේත් අනාගතයේ යම් අවස්ථාවක ඇති විය හැකි තත්ත්වයන් ගැන සලකලා.
ඇමරිකන් ඩොලර් හැර ලෝකයේ ප්‍රධාන ව්‍යවහාර මුදල් නිකුත් කරන මහ බැංකු එක්ක ඇමරිකාව කළින්ම ගිවිසුම් අත්සන් කර තිබෙනවා. ඒ අනුව, ඇමරිකාවට ඕනෑම වෙලාවක කැනේඩියන් ඩොලර්, බ්‍රිතාන්‍ය පවුම්, ජපන් යෙන්, ස්විස් ෆ්‍රෑන්ක් හා යුරෝ අවශ්‍ය පමණ ණයට ලබා ගන්න පුළුවන්. අදාළ මහ බැංකු වලටත් ඕනෑම වෙලාවක අවශ්‍ය පමණ ඇමරිකන් ඩොලර් ණයට ලබා ගන්න පුළුවන්. ණය ආපසු පියවන විට කලින් එකඟ වී තිබෙන නිශ්චිත පොලියක් ගෙවිය යුතුයි. ඉහත එක් එක් රටවල් අතරත් මෙවැනිම ගිවිසුම් තිබෙනවා. උදාහරණයක් විදිහට බ්‍රිතාන්‍යයට (එංගලන්ත බැංකුවට) ඕනෑම වෙලාවක ජපාන බැංකුවෙන් අවශ්‍ය පමණ ජපන් යෙන් ණයට ලබා ගන්න පුළුවන්.
ඇමරිකාවට මේ පහසුකමින් ප්‍රයෝජනයක් ගන්න අවශ්‍ය නොවුනත්, කෝවිඩ් වලින් පසුව පෙර කී රටවල් මේ ගිවිසුම අනුව සැලකිය යුතු ලෙස ඇමරිකන් ඩොලර් ලබා ගනිමින් සිටිනවා. පසුගිය මාර්තු 19 වෙනිදා සිට ඇමරිකාව විසින් මේ පහසුකම ලෝකයේ තවත් රටවල් ගණනාවකට ලබා දෙනවා. හැබැයි පෙර කී රටවල් පහට වගේ අසීමිත ලෙස නෙමෙයි. උපරිම සීමාවකට යටත්ව.
මේ අනුව, ඕස්ට්‍රේලියාවට, බ්‍රසීලයට, දකුණු කොරියාවට, මෙක්සිකෝවට, සිංගප්පූරුවට හා ස්වීඩනයට ඇමරිකන් ඩොලර් බිලියන 60ක උපරිම සීමාවක් දක්වාත්, ඩෙන්මාර්කය, නෝර්වේ හා නවසීලන්තය යන රටවලට ඇමරිකන් ඩොලර් බිලියන 30ක උපරිම සීමාවක් දක්වාත් ඇමරිකන් ඩොලර් ණය ලබා ගත හැකියි. ඒ වෙනුවෙන්, කිසිවක් ඇප සේ තියන්න අවශ්‍ය නැහැ. දැනට මේ පහසුකම ලබා දී තිබෙන්නේ මාස හයක කාලයක් සඳහායි.
එහෙම කිවුවත් තාක්ෂනික ලෙස මෙහිදී වෙන්නේ ඇප ලෙස තමන්ගේ රටේ මුදල් තියන එක වගේ දෙයක්. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාව ඕස්ට්‍රේලියානු ඩොලර් ඇපයට තියලා ඇමරිකන් ඩොලර් ගන්නවා වගේ වැඩක්. ඕස්ට්‍රේලියානු සංචිත බැංකුවට ඕනෑ තරම් ඕස්ට්‍රේලියානු ඩොලර් මුද්‍රණය කරන්න පුළුවන් නිසා මේක ඕස්ට්‍රේලියාවට බරක් දැනෙන දෙයක් නෙමෙයිනේ. ඒ නිසා ඇපයක් නැහැ වගේ තමයි. අනෙක් රටවල් හා අදාළවත් එය එහෙමයි.
මේ ආකාරයට ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව විසින් මේ වන විට ඉහත මුදල් ඒකක 14 භාවිතා කරන රටවල මහ බැංකු වලට සීමාවකට යටත්ව හෝ අසීමිත ලෙස ඇමරිකන් ඩොලර් ණය ලබා ගැනීමේ පහසුකම ලබා දී තිබෙනවා. ඒ සඳහා ඇප ලෙස කිසිවක් තැන්පත් කළ යුතු නැහැ. යුරෝ මුදල් ඒකකය භාවිතා කරන රටවල් ගණන 19ක් බව සැලකූ විට මේ වැඩෙන් ලෝකයේ රටවල් 32ක ඇමරිකන් ඩොලර් ද්‍රවශීලතා ප්‍රශ්නය තාවකාලිකව විසඳෙනවා.
කෙසේ වුවත්, මේ වෙලාවේ ඇමරිකන් ඩොලර් අවශ්‍ය වී තිබෙන්නේ ඔය රටවල් වලට පමණක් නෙමෙයිනේ. ලංකාව වගේ වෙනත් රටවල් වලටත් ඇමරිකන් ඩොලර් අවශ්‍යයි. පසුගිය මාර්තු 31 වෙනිදා ෆෙඩරල් විවට වෙළඳපොළ කමිටුව විසින් ඉහත ලැයිස්තුවේ නැති රටවල මහ බැංකු වලටත් තාවකාලිකව ඇමරිකන් ඩොලර් ණය ලබා ගැනීම සඳහා ක්‍රමයක් ඇති කළා. හැබැයි මේ ඉතිරි රට වලට ඉහත කී රටවල් වලට මෙන් ඇපයක් නැතිව ණය ලබා ගන්න බැහැ.
හේතුව ඉතාම පැහැදිලියිනේ. ශ්‍රී ලංකා රුපියල් වැනි මුදල් ඒකකයක් යුරෝ හෝ යෙන් වැනි ශක්තිමත් මුදල් ඒකකයක් සමඟ සසඳන්න බැහැනේ. ඒ නිසා, ඇමරිකාවට ශ්‍රී ලංකා රුපියල් ඇපයට තියාගෙන ණය දෙන්න බැහැ. ඩොලර් වලින්ම ඇපයක් තියා ගන්න වෙනවා.
මුලටම ගියොත් මේ වෙනසට හේතුව ලංකාවේ ආර්ථිකයේ අවුලක් තමයි. හැබැයි මේ වෙලාවේ සිදු වුනු විශේෂ දෙයක් නෙමෙයි. තවත් විදිහකට කිවුවොත් ලංකාව මේ වෙද්දී ගත් ණය ගෙවාගන්න බැරි තරමට හිර වී ඉන්න බව පැහැදිලි ඇත්තක්. නමුත්, ඇමරිකාව මේ කියන ණය පහසුකම දෙන්න ඇපයක් තියා ගන්නේ ඒ හේතුව නිසා කියා කියන්න බැහැ. ලංකාවේ ආර්ථිකය මීට වඩා තරමක් හොඳ තත්ත්වයේ තිබුණා කියලත් ඔය කතාව වෙනස් වෙන්නේ නැහැ. කලින් කී රටවල් හැර වෙනත් රටවල් එකසිය ගණනකටම ඇමරිකාවෙන් ණය පහසුකමක් ලබා ගන්න වෙන්නේ ඇමරිකන් ඩොලර් වත්කමක් ඇපයට තියලා.
මේ විදිහට ඇපයට තියන්න අවශ්‍ය ඇමරිකන් ඩොලර් වත්කම් මොනවාද?
ලංකාවේ සමස්ත විදේශ බැරකම් ප්‍රමාණය මේ වන විට ඇමරිකන් ඩොලර් බිලියන 58,211ක් බව මම කලින් කියල තියෙනවනේ. ඔය ගණනට අලගු තියන්නවත් මදි වුනත් ලංකාව සතුව ඇමරිකන් ඩොලර් බිලියන 13,277ක වත්කම් තිබෙනවා. එයින් බාගයක් පමණ මහ බැංකුව සතු නිල සංචිත. එයින් 75%ක් පමණම ඇමරිකන් ඩොලර් සංචිත. මේ ඇමරිකන් ඩොලර් සංචිත වලින් සැලකිය යුතු කොටසක් තිබෙන්නේ ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුවේ ගිණුමක. ඔය විදිහටම තවත් ලෝකයේ රටවල් විශාල ගණනක මහ බැංකු විසින් ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුවේ ගිණුම් පවත්වා ගෙන යනවා.
මේ විදිහට ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව ලෝකයේ මහ බැංකු වල බැංකුකරු සේ කටයුතු කරනවා. බැංකුවක මුදල් තැන්පත් කරන කවුරු වුනත් ඒ වෙනුවෙන් පොලියක් බලාපොරොත්තු වෙනවනේ. සාමාන්‍යයෙන් දිගුකාලීන ආයෝජන සඳහා පොලිය වැඩියි. හරියට බැංකුවක ස්ථිර තැන්පතු සඳහා වැඩි පොලී අනුපාතිකයක් ලැබෙනවා වගේ. නමුත්, ප්‍රශ්නය ස්ථිර තැන්පතුවක් දැම්මට පස්සේ කල් පිරෙනකම් ඉන්න වෙන එකයි. හදිස්සියක් වෙලා කලින් සල්ලි ගත්තොත් පොලිය නැති වෙනවා.
ඔය විදිහටම නොවුනත් ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුවේ තිබෙන ලංකාවේ නිල සංචිත පිළිබඳ තත්ත්වයත් ඕකයි. මේ සංචිත වලින් කොටසක් වැඩි ආදායමක් ඉපැයීම සඳහා ඇමරිකාවේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල ආයෝජනය කරලයි තියෙන්නේ. ඇත්තටම කියනවානම් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානම ආදායම් මාර්ගය ඔය නිල සංචිත සඳහා ලැබෙන පොලී ආදායමයි. ලංකාවේ රජයට ණය දීලා ලබා ගන්නා පොලී ආදායම කියන්නේ එක්තරා ඉලක්කම් විජ්ජාවක් පමණයි.
දැන් ලංකාව ඩොලර් නැතුව අවුලෙන් ඉන්න බව රහසක් නෙමෙයිනේ. ඔය වගේ වෙලාවක වෙන කරන්නම දෙයක් නැති වුනොත් කරන්න වෙන්නේ පෙර කී දිගුකාලීන ආයෝජන කලින් මුදල් කරන එකයි. ඒ කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව සතු ඇමරිකන් රාජ්‍ය සුරැකුම්පත් විකුණන එක. දැන් මේ පහසුකම නිසා ඒ වැඩේ කරන්න අවශ්‍ය නැහැ. ශ්‍රී ලංකා මහ බැංකුව සතු ඇමරිකන් රාජ්‍ය සුරැකුම්පත් විකුණන්නේ නැතිව ඒවා ඇපයට තියලා කෙටිකාලීන ණයක් ගන්න පුළුවන්.
මේ ඇමරිකන් රාජ්‍ය සුරැකුම්පත් කොහොමටත් තියෙන්නේ ෆෙඩරල් සංචිත බැංකුවේ ගිණුමකයි. දැන් කරලා තියෙන්නේ ඒ රාජ්‍ය සුරැකුම්පත් වලින් ඇමරිකන් බිලියනයක් ඇපයට තියාගෙන ඒ ප්‍රමාණය දක්වා වන ණය පහසුකමක් ලබා දෙන එකයි. මේ වැඩෙන් ලංකාවට වාසියක් මිසක් කිසිදු පාඩුවක් නැහැ. පහසුකම ලබාගත්තත් ණය ලබා ගන්න අවශ්‍යම නැහැ. ණය ලබා නොගත්තොත් පොලියක් ගෙවන්න අවශ්‍ය නැහැ. ණය ගන්නවානම් පොලිය ගණනය කෙරෙන්නේ දවසින් දවසටයි. ඒ නිසා, හදිසියකට ගත් ණයක් ඉතා ඉක්මණින් පියෙවුවොත් පොලිය ලෙස විශාල මුදලක් ගෙවන්න වෙන්නේ නැහැ. රාජ්‍ය සුරැකුම්පත් වෙනුවෙන් ලැබෙන පොලිය අඩුවක් නැතුව ඒ විදිහටම ලැබෙනවා.
මේ වැඩෙන් ලංකාව ඇතුළු ලෝකයේ අනෙක් රටවලට වාසියක් මිස පාඩුවක් නැති බව පැහැදිලියිනේ. එතකොට ඇමරිකාවට මේ වැඩෙන් තියෙන වාසිය මොකක්ද?
ඇමරිකාව අත ලෙවකන්න මී කඩන්නේ නැති බව ලංකාවේ ගොඩක් අය දන්න දෙයක්නේ. මේ පහසුකම ලබා දෙන්නෙත් ලෝකයේ අනෙක් රටවලට උදවු කිරීමේ අරමුණින් නෙමෙයි. ඇමරිකාවට තිබෙන වාසිය ගැන සලකලා. වැඩෙන් අනෙක් රටවලටත් වාසියක් වෙන එක වෙනම කරුණක්.
ලෝකයේ අනෙක් රටවල ඇමරිකන් ඩොලර් හිඟයක් තියෙන්නේ ඒ රටවල ඇමරිකන් ඩොලර් ඉල්ලුම වැඩි වෙලා නිසානේ. ඒ වැඩි වූ ඉල්ලුමට හරියන්න ඩොලර් සැපයුවේ නැත්නම් මොකද වෙන්නේ? ඩොලරයේ අගය ඉහළ යනවා. එතකොට මොකද වෙන්නේ? ඇමරිකාවෙන් පිටත ඇමරිකන් බඩු මිල අධික වෙනවා. වෙනත් රටවල බඩු ඇමරිකාව ඇතුළේදී මිල අඩු වෙනවා. එහි අවසාන ප්‍රතිඵලය ලෙස ඇමරිකාවේ නිෂ්පාදන වැටෙනවා. මේ විදිහට ඩොලර් ණය පහසුකම් ලබා දෙමින් ඇමරිකාව උත්සාහ කරන්නේ ඒ තත්ත්වය වලක්වා ගන්නයි.
කෙටියෙන් කියනවානම් ඇමරිකාව මේ තරම් දඟලන්නේ ඇමරිකන් ඩොලරය අවප්‍රමාණය කර ගන්නයි. මෙය මම කියන දෙයක් නෙමෙයි. මේ ණය යෝජනා ක්‍රමය ඉදිරිපත් කරමින් ඇමරිකාවේ ෆෙඩරල් විවට වෙළඳපොළ කමිටුව විසින්ම පෙන්වා දුන් ඇමරිකාවට ලැබෙන වාසියයි. මීට පෙර ලිපියක විස්තර කළ විදිහට චීනය හැම විටම උත්සාහ කරන්නේත් යුවානය අවප්‍රමාණය කර ගන්නයි.
හැබැයි ලංකාවේ ඉලක්කය මොන විදිහකින් හරි රුපියල ශක්තිමත්ව තියා ගන්න එකයි. එහෙම කරන ගමන් ගෙවුම් ශේෂ ප්‍රශ්න එනකොට විසඳගන්න ආනයන සීමා කරනවා. ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයෝ ඇමරිකාව, චීනය වගේ රටවල් වල ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින්ට නොතේරෙන තියරි දන්න පට්ට මීටර්ද?
මෙහෙම කරන්නේ ඇයි කියන එක මම කලින් පැහැදිලි කරලා තියෙනවා. වෙලාව ලැබෙන විදිහට නැවත හමුවෙමු!
(Image: http://www.themorning.lk/cartoon-of-the-day-297/)
පසුගිය කාලේ අපි වගේ පිනට පඩිගන්න සුබසාධන ආර්ථිකයක් තිබූ ග්‍රීසියේ දරුණු ආර්ථික අර්බුදයක් ඇතිවුනේ ඹවුන්ට ණය දෙන්න අය නොසිටි නිසාද?
ReplyDeleteඒක ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්. යුරෝ කලාපයේ රටක් වීම නිසා ග්‍රීසියට ස්වාධීන මුදල් ප්‍රතිපත්තියක් නැති වුනා. මුදල් ප්‍රතිපත්ති තීරණය වුනේ කලාපයට පොදුවේ බලපාන ආකාරයට. නමුත්, දේශපාලනිකව ග්‍රීසිය වෙනම රටක්. ලංකාවේ උතුරු මැද පළාතේ ආර්ථිකය හොඳටම වැටිලා තියෙන වෙලාවක සමස්තයක් විදිහට ලංකාවේ ආර්ථිකය හොඳින් ක්‍රියාත්මක වෙනවානම් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ ලංකාවට පොදුවේ ගැලපෙන ආකාරයට මිසක් උතුරු මැද පළාතට ගැලපෙන ආකාරයට නෙමෙයි. දේශපාලනිකව උතුරු මැද පළාත ලංකාවේම කොටසක් නිසා බස්නාහිර පළාතේ මිනිසුන්ගේ බදු මුදල් උතුරු මැද පළාතට වියදම් කිරීමේ කිසිදු දේශපාලන ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා, උතුරු මැද පළාතේ ආර්ථිකය වැටීම අර්බුදයක් වෙන්නේ නැහැ. ඔය වගේ යුරෝ කලාපයේ ජර්මනිය වගේ රට වලින් ග්‍රීසියට මුදල් පොම්ප කළත් එසේ කළේ ණය ලෙසයි. ඒක හරියට කොළඹට ගැලපෙන මුදල් ප්‍රතිපත්ති නිසා අනුරාධපුර ආර්ථිකය වැටෙද්දී කොළඹින් අනුරාධපුරයට මුදල් වියදම් නොකර ණය දෙනවා වගේ වැඩක්. මෙය එක පැත්තකින් ඇමරිකාවේ ප්‍රාන්ත අතර තත්ත්වයට සමානයි. එහෙත්, වෙනස ඇමරිකාවේ ප්‍රාන්ත වලට උඩින් ෆෙඩරල් රජයක් තිබීමයි. එක ප්‍රාන්තයකින් එකතු කරගන්නා බදු මුදල් වෙන ප්‍රාන්තයකට දෙන්න ෆෙඩරල් රජයට පුළුවන්. එවැනි දේශපාලන එකමුතුවක් තිබෙන නිසා මුළු ඇමරිකාවටම එකම මුදල් ප්‍රතිපත්තියක් තිබීමේ ප්‍රශ්නයක් නැහැ. එහෙත්, යුරෝ කලාපයේ එවැනි දේශපාලන එකමුතුවක් නැහැ. මිනිස්සු ජර්මානුවන්, ග්‍රීකයන් ලෙස මිස යුරෝපියානුවන් සේ හිතන්නේ නැහැ. මෙය සමහර වෙලාවට අවුලක් වෙනවා. එක්සත් රාජධානිය යුරෝ වලට නොගියේත් ඔය හේතුව නිසා. තවත් විවිධ හේතු ගණනාවක් තිබෙනවා.
Deleteඉකොනෝ,
ReplyDelete'කෝවිඩ් මිනිස්සුන්ගේ මුදල් භාවිතයට බලපාන්නේ කොහොමද? ගෙවල් වලට සීමා වී ඉන්න වූ විට බොහෝ දෙනෙක් තමන්ගේ බැංකු ගිණුම් වල තිබෙන මුදල් ආපසු අරගෙන අතේ තියාගන්න පෙළඹෙනවා. මේ තත්ත්වය ලංකාව ඇතුළු හැම රටකම වගේ දැකිය හැකියි. තාක්ෂනික ලෙස මෙයට රටේ ද්‍රවශීලතා අවශ්‍යතාව ඉහළ යාම කියා කියන්න පුළුවන්. කෝවිඩ් තර්ජනය මුළුමනින්ම තුරන් වන තුරු මේ තත්ත්වයේ ලොකු වෙනසක් වෙන්න ඉඩක් නැහැ.
මේ විදිහට රටක ද්‍රවශීලතා අවශ්‍යතාව ඉහළ යන විට රටේ මුදල් හිඟයක් ඇති නොවීම සඳහා මහ බැංකුවට අලුතින් මුදල් සංසරණයට එකතු කරන්න වෙනවා. සරලව කිවුවොත් සල්ලි අච්චු ගහන්න වෙනවා. ඔය සල්ලි අච්චු ගහන වැඩේ ඒ තරම් හොඳ දෙයක් නොවන බව මම බොහෝ වර පැහැදිලි කරලා තියෙනවනේ. හැබැයි මේක විශේෂ තත්ත්වයක්.'
ඉතිං බැංකුවට ගිහිං අපි ගන්නේ අපේ ගිණුමේ ඉතිරි වෙලා තියෙන සල්ලි ටිකනේ. එතකොට කොහොමද රටේ මුදල් හිගයක් ඇති වෙන්නේ ඉකොනෝ. මොකද අපිට ගන්න පුළුවන් ගිණුමේ තියෙන මුදල මිසක් ඊට වඩා වැඩි ගානක් නෙමේ. ඒ කියන්නේ රටක සියලුම ගිණුම් වල තියෙන මුදල් ප්‍රමාණය ඉලක්කම් වලින් පෙන්නවට වඩා අඩු මුදල් නෝට්ටු ගණනක්ද මුද්‍රණයේ පවතින්නේ. ප්‍රශ්නේ තේරුනාද දන්නේ නැහැ. මේ ප්‍රශ්නේ මගේ ඔලුවට ආවට මෙහෙම ලියලා තේරුම් කරන්න මටත් තේරෙන්නේ නැහැ.
මම හිතන්නේ මට ඔබේ ප්‍රශ්නය තේරෙනවා. ඒ වගේම මම කැමති ආකාරයේ ප්‍රශ්නයක්. මේ ගැන පෝස්ට් එකක් දමන්නම්. එය කියවලා අමතර ප්‍රශ්න තිබේනම් අහන්න.
Delete