වෙබ් ලිපිනය:

Tuesday, October 13, 2020

පඩි තකා වැඩ කිරීම


මිනිසා වැඩ කරන්නේ ඇයි කියන එක ගැන කලින් ලිපියෙන් අපි කතා කළා. මිනිස්සු වැඩ කරන්නේ එක්කෝ වැඩ කිරීමෙන් සතුටු  වන නිසා. එහෙම නැත්නම් වැඩ කිරීම අසතුටක් වුනත්, වැඩ කිරීම නිසා ලැබෙන සල්ලි හෝ වෙනත් දෙයකින් ඒ අසතුට ඉක්මවන සතුටක් ලැබෙන නිසා. 

බොහෝ දෙනෙක්ගේ පළමු ඉලක්කය තමන්ට සතුටු විය හැකි වැඩක් කරන එකයි. ඒ නිසා, ජීවත් වෙන්න ප්‍රමාණවත් තරම් සල්ලි තියෙන මිනිස්සු එසේ සල්ලි තිබුණු පලියට වැඩ නොකර ඉන්නේ නැහැ. එවැනි සමහර අය වැඩ කරන්නේ සල්ලි බලාගෙන නෙමෙයි. නමුත්, සල්ලි බලාගෙන වැඩ නොකළත් සල්ලි ලැබෙන වෙලාවල් තියෙනවා. සමහර විට සල්ලි ගලන වෙලාවලුත් තිබෙනවා. එය තීරණය වෙන්නේ එවැන්නෙක් තමන්ගේ සතුට වෙනුවෙන් කරන වැඩ නිසා වෙනත් අය කොයි තරම් සතුටු වෙනවද කියන එක මතයි.

සල්ලි බලාපොරොත්තුවක් නැතිව තමන්ගේ සතුට ගැන පමණක් සිතා වැඩ කරන අයට සමහර වෙලාවට සල්ලිත් ලැබෙනවා වුනත් ඒ ගැන සහතිකයක් නැහැ. එහෙත්, ලැබෙන සතුට වෙනුවෙන් මිනිස්සු සල්ලි නැතුවත් වැඩ කරනවා. මේ වගේ බ්ලොග් ලියන අපි වගේ අය, වත්පොතේ දේශපාලනය කරන අය වගේම වෙනත් විවිධ ස්වේච්ඡා කටයුතු වල නිරත වන අය ඒ දේවල් කරන්නේ තනිකරම තමන්ගේ සතුට වෙනුවෙන්. ඊටත් අමතරව තමන්ගේ සතුට වෙනුවෙන් සල්ලි දීලා වැඩ කරන අයත් ඉන්නවා. දිනපතා ජිම් යන අය ගැන හිතන්න!

තමන් සතුටු වෙන ඇතැම් දේවල් කරන්න මුදලක් වැය වෙනවා. තමන් සතුටු වෙන වෙනත් දේවල් කරලා ඒ මුදල උපයාගන්න බැරිනම්, ඒ සතුටු වන දේවල් කිරීම සඳහා මුදල් හොයා ගන්න අසතුටු දේවලුත් කරන්න වෙන්න පුළුවන්. තමන් සතුටු වන දේවල් කරලා මුදල් උපයන්න පුළුවන්ද කියන එක යම් තරමකට කෙනෙකුගේ "වාසනාව" මත තීරණය වන දෙයක්. මම මෙහිදී වාසනාව කියන වචනය භාවිතා කළේ තමන්ගේ පාලනයට මුළුමනින්ම යටත් නැති බාහිර සාධක මත කියන අදහසින්. 

මහන්සි වූ තරමට මිනිහෙක්ට සාර්ථක වෙන්න පුළුවන් කියන එක අර්ධ සත්‍යයක්. මහන්සි වන මිනිහෙක් එසේ මහන්සි නොවන මිනිහෙක්ට වඩා සාර්ථක වෙන්න ඉඩ තිබෙනවා වුවත් හැම විටම එය එසේම වෙන්නේ නැහැ. එය තීරණය වෙන්නේ මහන්සි වෙන්නේ මොකටද කියන කාරණාව මතයි. මැණික් හම්බ වෙන්න ඉඩක් තියෙන්නේ මැණික් ඉල්ලමක් තියෙන තැනක පතලයක් හෑරුවොත් පමණයි! 

කවුරු හෝ කෙනෙක් කරන වැඩ වලට ලැබෙන මුදල තීරණය වෙන්නේ ඒ වැඩේ ආන්තික ඵලදායීතාවය මතයි. ආන්තික ඵලදායීතාවය තීරණය වෙන්නේ කරන වැඩෙන් සතුටු වන අය මතයි. ඒ නිසා කරන වැඩකින් තමන්ද සතුටු වී සල්ලිත් හොයා ගන්න අවශ්‍යනම් ඒ වැඩෙන් තමන් සතුටු වීම හා අනුන් සතුටු කරවීම අතර සමතුලිතතාවයක් පවත්වා ගන්න වෙනවා. මෙයම වෙනත් විදිහකින් කිවුවොත් තමන් කරන වැඩෙන් ඒ වැඩේ කිරීම නිසාම ලැබෙන සතුට හා වැඩේ කිරීම වෙනුවෙන් ලැබෙන මුදල් නිසා ලැබෙන සතුට අතර සමතුලිතතාවයක් පවත්වා ගන්න වෙනවා.

සාමාන්‍යයෙන් තමන් කැමති රස්සා කරන අයට ඒ වෙනුවෙන් යම් මිලක් ගෙවන්න වෙනවා. ඒක ස්වභාවිකවම වෙන දෙයක්. අපි හිතමු කෙනෙක්ට රැකියා තෝරා ගැනීම් දෙකක් තිබෙනවා. පළමු රැකියාවෙන් මසකට රුපියල් 25,000ක් ලැබෙන නමුත් දෙවැන්නෙන් ලැබෙන්නේ රුපියල් 20,000ක් පමණයි. මේ වගේ වෙලාවක මුදලින් පාඩුවක් වුනත්, දෙවන රැකියාව තෝරා ගන්නා අය ඉන්නවා. එහෙම කරන්නේ දෙවන රැකියාව කිරීමෙන් ලැබෙන සතුට පළමු රැකියාව කිරීමෙන් ලැබෙන සතුටට වඩා වැඩි නිසයි. එපමණක් නෙමෙයි. ඒ වැඩි වන සතුට, එහෙමත් නැත්නම් සතුටු වෙනස, මසකට රුපියල් 5000ක් ලැබීමේ සතුටටත් වඩා වැඩි නිසයි. 

දැන් මේ වගේ අවස්ථාවක කෙනෙක් පළමු රැකියාව තෝරා ගන්නේ මසකට රුපියල් 5000ක් වැඩියෙන් ලැබෙන නිසානේ. ඔය රුපියල් 5000 පස්සේ යන්නේ ඒ සල්ලි වලින් තමන් සතුටු වන දේවල් මිල දී ගන්න පුළුවන් වන නිසයි. ඒ කියන්නේ අවසාන වශයෙන් බැලුවහම පළමු රැකියාව තෝරා ගන්නේ රුපියල් 5000 වැය කර "මිල දී ගත හැකි" සතුට නිසා මිසක් රුපියල් 5000 නිසා නෙමෙයි. දෙවන රැකියාව කිරීමෙන් ඊට වඩා සතුටක් "නොමිලේම" ලැබෙනවානම්, ඔය අමතර රුපියල් පන්දාහෙන් මිල දී ගන්න පුළුවන් අඩු සතුට පස්සේ යන එක තේරුමක් නැහැනේ. ඒ නිසා, තාර්කිකව හිතන මිනිහෙක්ගේ තේරීම වන්නේ දෙවන රැකියාවයි.

දැන් මේ තේරීම සිදු වෙන්නේ ශ්‍රමිකයාගේ පැත්තෙන්. කරන වැඩේ ආන්තික ඵලදායීතාවය මෙයින් බාහිර වෙනම කරුණක්‌. මේ උදාහරණයේදී ශ්‍රමිකයා වඩා සතුටු වෙන්නේ තමන්ගේ ආන්තික ඵලදායීතාවය අඩු රස්සාව කිරීමෙන්. 

මෙය තවත් පැහැදිලි කරන්න අපි කවුරු හෝ පුද්ගලයෙක් ගනිමු. අපි කියමු රවීන් කණිෂ්ක කියලා. රවීන් කණිෂ්කට එක්කෝ රඟපාන්න පුළුවන්. නැත්නම් සිංදු කියන්න පුළුවන්. මේ දෙකෙන් ඔහු වඩා සතුටු වෙන්නේ කොයි වැඩෙන්ද? අපි කියමු ඔහු වඩා සතුටු වෙන්නේ සිංදු කියන එකෙන් කියලා. රඟපාන්න ඔහු සිංදු කියන්න තරම්ම කැමැත්තක් නැහැ. නමුත්, ඔහු සිංදු කියන විට සතුටු වන පිරිසට වඩා රඟපාන විට සතුටු වන පිරිස වැඩියි. ඒ නිසා, නළුවෙක් විදිහට ඔහුගේ ආන්තික ඵලදායීතාවය වැඩියි. ගායකයෙක් විදිහට ඔහුගේ ආන්තික ඵලදායීතාවය අඩුයි. 

පෞද්ගලිකව රවීන් කණිෂ්ක වඩා සතුටු වෙන්නේ සිංදු කියලා. හැබැයි මේ තමන් වඩා සතුටු වන දේ කිරීමෙන් ඔහුට මුදල් වලින් බැලූ විට අවාසියක් වෙනවා. ඒ නිසා, ඔහු වඩා වැඩි මුදලක් උපයන්න පුළුවන් රඟපෑම කරලා ඒ අමතර මුදලින් තමන්ට අඩු වෙන සතුට මිල දී ගන්නවා.

සෞම්‍ය ලියනගේ දක්ෂ නළුවෙක්. නළුවෙක් විදිහට ඔහුගේ ආන්තික ඵලදායීතාවය ගොඩක් වැඩියි. නමුත්, ඔහු පෞද්ගලිකව මේ නළු රස්සාවට වඩා විශ්ව විද්‍යාලයේ රස්සාවට කැමතියි. තමන්ගේ සතුට වෙනුවෙන් සෞම්‍ය ලියනගේ විශ්ව විද්‍යාලයේ රස්සාව තෝරා ගන්නවා. ඒ රස්සාවේදී ඔහුගේ ආන්තික ඵලදායීතාවය සාපේක්ෂව අඩුයි. ඒ නිසා, ලැබෙන මුදලත් අඩුයි. නමුත්, ඒ රස්සාව කිරීමෙන් ඔහුට ලැබෙන අමතර සතුට නළු රස්සාව කරලා ලැබෙන අමතර මුදලින් මිල දී ගන්න බැහැ. ඒ නිසා, සෞම්‍ය ලියනගේගේ තේරීම වන්නේ විශ්ව විද්‍යාලයේ රස්සාවයි. එය තාර්කික තේරීමක්. (රවීන් කණිෂ්ක වගේම සෞම්‍ය ලියනගේවත් උදාහරණ විදිහට ගත්තේ මේ කරුණ පැහැදිලි කිරීම සඳහා පමණයි. ඒ අයගේ සැබෑ පෞද්ගලික රුචි අරුචිකම් මොනවාද කියලා දන්නේ ඒ අයයි.)

තමන් පෞද්ගලිකව කැමති වැඩ කරන්න යාමෙන් මේ විදිහට මූල්‍යමය පාඩුවක් වෙන්නේ තමන් කරන්න වඩා කැමති දෙය හා තමන්ට වඩාත්ම ඵලදායී ලෙස කළ හැකි දෙය, එනම් වෙනත් අය තමන් කරනවාට කැමති දෙය, එකක් නොවී දෙකක් වූ විටයි. එවිට එක්කෝ ලැබෙන මුදල ගැන සතුටු නොවෙමින් තමන් කරන රස්සාව කරන්න වෙනවා. එහෙම නැත්නම්, තමන් කරන රස්සාව ගැන කැමැත්තක් නැතුව සල්ලි වෙනුවෙන් අකැමැත්තෙන් වැඩ කරන්න වෙනවා.

ඉහත කාණ්ඩ දෙකේම ඉන්න අයට කවර හෝ දුක් ගැනවිල්ලක් තිබෙනවා. ලේඛකයෝ, කලාකාරයෝ වගේ අයත්, බොහෝ සරසවි ආචාර්යවරුන් හා ඇතැම් ආණ්ඩුවේ රස්සා කරන අයත් පළමු කාණ්ඩයේ පිරිස් අතර ඉන්නවා. ඒ අය තමන් කැමති රස්සා තෝරාගෙන තිබෙනවා. ඒ රස්සා කිරීමෙන් ඔවුන්ට ලැබෙන ආදායම තීරණය වෙන්නේ ඔවුන්ගේ ආන්තික ඵලදායීතාවය මතයි. බොහෝ විට රස්සාවේ ස්වභාවය අනුව මහන්සි වී වැඩ කලා කියලා ආන්තික ඵලදායීතාවය වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා, ආදායම් වැඩි වෙන්නේත් නැහැ. ඇඟළුම් කර්මාන්තයේ ශ්‍රමිකයින් වගේ අය බොහෝ විට ඉන්නේ දෙවන කාණ්ඩයේ. ඔවුන්ට සාපේක්ෂව හොඳ වැටුපක් ලැබෙනවා. ලැබෙන වැටුප තකා රැකියාව කළත්, ඔවුන් බොහෝ විට කරන රැකියාවෙන් සතුටු වෙන්නේ නැහැ.

මේ ගැටළුව විසඳෙන්නේ තමන් කැමති රස්සාවත්, තමන්ට වඩාත්ම ඵලදායී ලෙස කළ හැකි රස්සාවත් දෙකම එකක් වූ විට පමණයි. වැඩි දෙනෙකුට එවැනි රැකියා කරන්න ඉඩ ලැබෙන්නේ ශ්‍රම වෙළඳපොළ පුළුල් වන තරමටයි. 

ලංකාව වගේ ශ්‍රම වෙළඳපොළ සාපේක්ෂව පුළුල් නැති, ශ්‍රම වෙළඳපොළ සාපේක්ෂව නිදහස් නැති රටක බොහෝ දෙනෙකු හා අදාළව බොහෝ විට මේ දෙක දෙකක්. ඒ නිසා, ගොඩක් අය තමන් කරන රස්සා කරන්නේ කැමැත්තෙන් නෙමෙයි. කැමති රස්සා කරන ගොඩක් අය ලැබෙන වැටුප පිලිබඳව සතුටු නැහැ. ඇමරිකාව වගේ රටක වුනත් තමන් කරන රැකියාව ගැන වගේම ලැබෙන වැටුප ගැනත් සතුටු පිරිස බහුතරය නෙමෙයි. එහෙත්, ඒ පිරිස සාපේක්ෂව වැඩියි.

5 comments:

  1. ඉකොනොමැට්ටා

    කලක් තිස්සේ ගනේෂ් කියලා ඉන්දියාවේ කාර්යබහුල නගරයක සමෝසා වෙළෙන්දෙක් හිටියා. නගරය තුල ගමන් කරන ඔහුගේ ජංගම අවන්හලේ දිනකට සමෝසා 500ක් ඉතා පහසුවෙන් විකිණීම සිදුකරා. පසුගිය වසර 30 තුල ඔහු කොයි කා අතරත් අතිශයින්ම ජනාදරයට පත්වුයේ ඔහුගේ රසවත් සමෝසා වෙළඳාම නිසයි. ඒ මක්නිසාද යත් ඔහු සනීපාරක්ෂාව සහ ගුණාත්මකභාවය ගැන ඉතා විශාල සැලකිල්ලක් දැක්වූ නිසාය. ඉස්තරම් තෙල් සහ අමුද්‍රව්‍ය ඔහු ඒ සඳහා යොදාගත්තේ. සමෝසා මිලදී ගන්නන් හට නොමිලයේ චට්නි ලබා දී ඉතුරුවන සමෝසා දුප්පතුන්ට බෙදාදෙන අතර තවත් ඒවා වේ නම් බල්ලන්ට සහ හරකුන්ට කෑමට ලබා දුනි. ගනේෂ් මේ ව්‍යාපාරය තුලින් සැලකිය යුතු මුදලක් මාසිකව ඉපයීමට සමත් විය. ඔහුගේ එකම පුතාගේ මුලික අධ්‍යාපනයට, ඇමරිකාවේ උසස් උපාධියට සහ ඔහුගේ MBA උපාධිය සඳහාද සියලු වියදම් දැරුවේ ගනේෂ්ගේ සමෝසා ව්‍යාපාරය තුලින් ලැබූ මුදලිනි. ඔහු කිසිඳු ණයකින් තොර පුද්ගලයෙක් විය.

    නමුත් ඔහුගේ පුත් සන්දීප් විදෙස් අධ්‍යාපනය ලබා ඇමරිකන් එක්සත් ජනපදයේ ආර්ථික විද්‍යාව (Specialised in Ecometrics - quantitative analysis of economic, environmental, and societal systems based on the concurrent development of empirical theory, related by appropriate methods of inference in attempts to create more sustainable systems) පිළිබඳ MA එකක් සමග ව්‍යාපාර පරිපාලන MBA උපාධියෙන් පසුව නිවසට පැමිණ තම පියාගේ සමෝසා ව්‍යාපාරය සඳහා උදව් කිරීමට කැමති බව ගනේෂ්ට දැන්වූවා.

    සංදීප් ද අප මිතුරු ඉකොනොමැට්ටා හා සර්වසම ලෙසින් ඇමරිකාවේ ඉගෙනගන්න ගිහින් ඉන්දියන් ආර්ථික ප්‍රතිපත්ති විවේචනය කරමින් විවිධාකාර ආර්ථික වැල් බයිලා ගසමින් සිටියත් මින් පෙර කිසිදිනෙක ඔහු තම පියාගේ සමෝසා ව්‍යාපාරය සඳහා උදව් කර තිබුනේ නැත. ඔහුගේ ආගමනය ගැන ගනේෂ් අතිශයින් සතුටු විය. තම ව්‍යාපාරය තවදුරටත් වැඩිදියුණුකිරීමට මෙය අනගි අවස්ථාවක් යයි ගනේෂ් සිතුවේය.

    ගෝලීය ආර්ථිකය, ඇමරිකන් ආර්ථික සංවර්ධන/ ව්‍යාපාර කළමනාකරණ මාදිලි සහ රැකියා වෙළඳපොල ගැන සංදිප් හට ඉමහත් දැනුමක් තිබුණි. ඒ ගැන ඔහු ඇමරිකාවේ පර්යේෂණ කල අතර ඒ පිලිබඳ නිබන්ධන සහ දේශනයන් රැසක් පවා කර තිබුණි. ව්‍යාපාර ශුද්ධ ලාබය වැඩිකරගනීමට කලයුත්තේ මොනවාදැයි ඔහු විසින් ලියු පොත්පත්ද, බ්ලොග් සහ සමාජ ජාලා වෙබ් අඩවි සටහන් රැසක් ඒ අතර විය. ඔහු ඉන්දියා රුපියල මස්තබාල්දු කිරීම මගින් ඉන්දියාවේ ආර්ථිකය ක්ෂණිකව සංවර්ධනය කිරීමට යෝජනා කෙලේය.

    පියාගේ ව්‍යාපාරය දියුණුකිරීමේ අරමුණින් ඔහු ව්‍යාපාර පරිපාලනයට ඍජු දායකත්වයක් දැක්වු අතරම පරිපාලනය තම අතට ගත්තා. ව්‍යාපාරය විධිමත්කිරීමේ ක්‍රමයතුල සමහරවිට දෛනිකව විකුණන සමෝසා ඒකක ගණන 500 සිට පහල බසියහැකි නමුත් ශුද්ධ ලාභය ඉහලයනබව ඔහු තම පියාට විස්තර කළේය. තම පුතුගේ විශිෂ්ට දැනුම ගැන ගනේෂ් අසීමාන්තික සතුටකට පත්විය.

    එහි පළමු පියවර ලෙස සමෝසා පිසීමට ගන්නා තෙල් ඔහු මෙසේ වෙනස් කළේය. නව සහ නැවුම් තෙල් 80% සමග වරක් පාවිච්චිකරනලද තෙල් 20% මිශ්‍ර කර සමෝසා බැදීමට බාවිතා කළේය. පාරිභෝගිකයන්ට එහි ලොකු වෙනසක් නොතේරුන අතර තේරුම් ගත් අයත් ගනේෂ් ගේ 'බඩු ෂුවර්' නිසා නිහඬවුණා. ඔවුන් පෙර මෙන්ම සමෝසා 500ක් අලෙවි කලා. ඔවුන්ගේ ලාභය යම් ප්‍රමාණයකින් ඉහල ගිය නිසාම ගනේෂ් සතුටට පත්විය. ඊළඟ දිනයේදී නැවුම් තෙල් 70% භාවිතා කල අතර වරක් පාවිච්චිකරනලද තෙල් 30% මිශ්‍ර කර සමෝසා බැදීමට බාවිතා කළේය. එදින ඔවුනට විකුණාගත හැකිවුයේ සමෝසා 400ක් පමණි. ඉතිරිය දුප්පතුන්ට සහ සතුන්ට ආහාර පිනිස ලබාදුනි. තම පුතු කී දෙය එලෙසින්ම සිදුවීම ගැන ගනේෂ් සතුටුවිය.

    ReplyDelete
    Replies
    1. ඊළඟ දිනයේදී නාස්තිය වලක්වාගැනීමට සමෝසා 400ක් පමණක් සැදීමට සන්දීප් උපදෙස් දුනි. ඒ සඳහා 60% නව තෙල් සමග පාවිච්චිකරනලද තෙල් 40% මිශ්‍ර කර සමෝසා බැදීමට බාවිතා කළේය. එදිනද සමෝසා 400 විකුණා ගැනීමට හැකිවූ නිසා ඔවුන්ගේ ලාභය ඉහල ගියේය. ගනේෂ් ඉමහත් සතුටට පත්විය. නමුත් එදින රසය පිලිබඳව පරිභෝගිකයන් තුල කැමැත්තක් තිබුනේ නැත. පසුදින සමෝසා බැදීමට 50% නැවුම්තෙල් සහ 50% බාවිතා කරනලද තෙල් යොදාගැනීමට සන්දීප් උපදෙස් දුනි. නමුත් එදින විකුණාගත හැකිවතිබුනේ සමෝසා 300ක් පමණි. ඉතිරිය විසිකරනු හෝ නොමිලේ දෙනු වෙනුවට නැවත බැද පසුදින අලෙවිකිරීමට සන්දීප් කටයුතු කළේය. මෙය පියාටත් කලින් කළහැකිව තිබුනා නොවේදැයි සංදීප් කී විට ගනේෂ් ඊට එකඟ නොවුනත් තම පුතුගේ උගත්කම සලකා නිහඬ විය.

      පසුදින අලුතෙන් සමෝසා 200ක් සැකසු අතර පෙරදින ඉතුරුවූ සමෝසා100ක් සමග සමෝසා 300ක් විකිණීමට ඔවුන්ට හැකිවිය. නොමිලයේ ලබාදුන් චට්නි නොමිලයේ ලබා නොදීමෙන් සිදුවන ලාභය ගැන සන්දීප් තම පියාට විස්තර කළේය. එය බාදාවක් නොවේනම් එසේ කරනමෙන් ගනේෂ් කීවේය. එසේ කලදිනට පසුදින සිට ඔවුනට විකුණාගත හැකිවුයේ සමෝසා 100ක් පමණි. දින කීපයක්ම ඔවුනට විකුණාගත හැකිවුයේ සමෝසා 100ක් පමණි. දින කීපයක් අධ්‍යයනය කිරීමෙන් පසු ආර්ථික අවපාතයක් සිදුවී ඇතිබව වටහාගත සන්දීප් මෙසේ පැවසිය.

      "මිනිස්සුන්ගේ අතේ සල්ලි නෑ. ඒක නිසා Business අඩුයි. අපි free දෙන ටිෂු එක නොදී ඉමු". එසේ කී සන්දීප් නොමිලයේ දුන් ටිෂු කඩදාසිය නැවැත්විය.

      දිනකීපයකින් සමෝසා ව්‍යාපාරය ඒකක 50ක් දක්වා පහත වැටුණි. දැන් සමෝසා ව්‍යාපාරය නවතා නව ව්‍යාපාරයක් ආරම්භකිරීමට කාලය පැමිණ ඇතිබව සන්දීප්, ගනේෂ්ට පැවසිය. මෙතෙක් දින නිශ්ශබ්දව සිටි ගනේෂ් තම හඬ අවදි කළේය.

      "උඹ ඉගනගෙන තියෙන්නේ business කරන්න නෙවෙයි. කයිය ගගහ වංචා කරන්න. එදා ඉඳන් අවුලක් නැතිව අවුරුදු තිහක් අපුරුවට සමෝසා 500ක් වික්ක මම, අද උඹව ලංකරගෙන විකුනන්නේ සමෝසා 50ක් විතරයි. මම මේක අවුරුදු 30ක්ම කලේ උඹ වගේ ආර්ථික විජ්ජා ඉගෙනගෙන නෙවෙයි. උඹල ඉගෙනගෙන තියෙන්නේ කයිය ගහන්නයි වංචා කරන්නයි මිසක් business දියුණු කරන්න නෙවෙයි. කරුණාකරලා මේක මට කරගන්න දීලා උඹ පැත්තකට වෙයන්. උඹට කැමතිනම්. පිටි අනන, සමෝසා බදින වැඩේට මම උඹව පඩියක් දීලා ගන්නම්".

      නැවත සුපුරුදු පරිදි ඉහල ගුණාත්මක භාවය ගැන සිතු ගනේෂ් පෙරටත් වඩා හොඳින් සමෝසා සැකසීම ඇරඹීය. සති කීපයකින්ම නැවතත් දෛනිකව සමෝසා 600ක් විකුණන මට්ටමට තම ව්‍යාපාරය ඉහල නැංවිය.

      පසු වදන:

      අද බොහොමයක් රජයේ සහ පුද්ගලික ආයතනවල පමණක් නොව, බොහෝ තැන්වල සිදුවන්නේ මෙය නොවේද?

      අතිවිශාල ස්වභාවික සම්පත් හිමිවීම සහ විවිධාකාර ජල්තර උපක්‍රම යොදා ලෝක ආර්ථික දේශපාලනික බලය ලබා ගත් ඇමරිකානු එක්සත් ජනපදයේ උගත් කයිවාරු කාරයන් ලංකාවෙ ආණ්ඩුවේ තනතුරු උපදේශකවරු වෙලා ලංකාවෙ ආර්ථිකයට විශාල වශයෙන් හානි කරන බව පේනවා නේද?

      System change කරනව නම් මුලින්ම තමන්ගේම ආකල්ප වෙනස්විය යුතු නොවේද? නොදරුවන් ලෙස හැසිරෙමින්, මං මුලාවී දුවනා ඔබත් මමත් කෙසේනම් system වෙනස්කිරීම් කරන්නනද ?

      Delete
    2. එම කල්පිත උදාහරණයේදි පුත්‍රයා කලේ පරීක්‍ෂණයක්. එයින් ලද දත්ත යොදාගෙන තමයි පියාගේ වෙලඳාම වැඩිකරගන්න හැකිවුනේ.

      නොදන්න දේ කතා නොකර ඉඳු

      Delete
  2. සම්පූර්ණයෙන්ම මාතෘකාවට අදාල නොවන ප්‍රශ්නයක්

    ඇයි ලංකාවෙ ගායක/ගායිකා, නළු/නිලි අය ලඟදී ඉඳල surname එක නැතුව given names වලින් දෙකක් පාවිච්චි කරන්නෙ.
    මං දන්නවා සමහරුන්ට වාසගම තියෙන්නෙ මුලින් "......ගේ' වගේ. දිනේෂ් චන්දිමාල් වගේ අය.
    ඒඅය ගැන නෙමෙයි කියන්නෙ.
    ඒත් අගින් surname නේම් තියන අයත් performing සඳහා යොදාගන්නෙ given names දෙකක්.
    මං හිතන්නෙ මුලින්ම ඕක කලේ අනර්කලී ආකර්ෂා වගේ අය. මං දන්නෙ තරමට එයාගෙ surname ජයතිලක.
    ඒ given නම් දෙක භාවිතාකරන්නෙ ඒක ලස්සනයි කියල හිතන නිසාද?
    ඊට ඉහත පරම්පරාවල අය (surname තිබුනනම්) හැමවිටම වගේ ඒක ප්‍රසිද්ධවුන නමට යොදාගත්ත.

    ලංකාවෙන් පිට ඉන්න ඉකොනොමැට්ටාගෙන් මේවගේ සිලී ප්‍රශ්නයක් ඇසීම ගැන සමාවෙන්න. උදාහරණයක් වශයෙන් ///මෙය තවත් පැහැදිලි කරන්න අපි කවුරු හෝ පුද්ගලයෙක් ගනිමු. අපි කියමු රවීන් කණිෂ්ක කියලා. රවීන් කණිෂ්කට එක්කෝ රඟපාන්න පුළුවන්. නැත්නම් සිංදු කියන්න පුළුවන්.///ගත්ත නිසායි ඇහුවෙ

    ReplyDelete
    Replies
    1. හොඳ නිරීක්ෂණයක් සහ ප්‍රශ්නයක්! ලංකාවේ නම්/ වාසගම් භාවිතය ගැන දැනගන්න වෙන්නේ නිර්මාල් රංජිත් වගේ කෙනෙක්ගෙන්. (ඔබ කියන විදිහට අගට වාසගම් තිබෙන අය වාසගම් භාවිතා නොකිරීමේ ප්‍රවණතාවක් තිබේනම් එසේ භාවිතා නොකරන වාසගම් මොනවාද කියා හොයා බැලුවොත් කිසියම් අදහසක් ගන්න පුළුවන් වෙයි කියා හිතනවා.)

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: