වෙබ් ලිපිනය:

Sunday, May 1, 2022

අයවැය බොරුව


සංදර්ශනාත්මක ලෙස වසරකට වරක් ලංකාවේ පාර්ලිමේන්තුවේ අයවැයක් සම්මත කර ගන්නවා. හැබැයි ඒ විදිහට සම්මත කරගන්නා අයවැය කියා කියන්නේ නිකම්ම නිකම් ලේඛණයක් පමණයි. ඔය සම්මත අයවැයේ විදිහට කවදාවත් වැඩ සිදු වෙන්නේ නැහැ. 

ඉදිරි වසරේ ආදායම් හා වියදම් හරියටම සතේටම ඇස්තමේන්තු කරන්න කාටවත් බැහැ. එවැන්නක් අපේක්ෂා කළ යුතුත් නැහැ. නමුත්, අයවැය ඇස්තමේන්තු හා ඇත්ත සංඛ්‍යා වෙනස් වන්නේ පහසුවෙන් හඳුනාගත හැකි පැහැදිලි රටාවකටනම්, මෙහි  තිබෙන්නේ සැලසුම්සහගත බොරුවක් මිසක් ඇස්තමේන්තු කිරීම අසීරු වීමේ ප්‍රශ්නයක් නොවන බව ඉතාම පැහැදිලියි.

පහත කොටස් උපුටා ගත්තේ ආර්ථිකය කඩා වැටෙන්න පෙර ලියා පළ කළ ලිපියකින්.

"ආදායම් වැඩියෙනුත්, වර්තන වියදම් අඩුවෙනුත් ඇස්තමේන්තු කිරීම ලංකාවේ රජය (මුදල් අමාත්‍යංශයේ අදාළ නිලධාරීන්) විසින් කාලයක් තිස්සේම කරන දෙයක්. කවදාවත්ම මේ ඇස්තමේන්තු හරියට හදාගන්න බැරිනම් "අපට මේවා කළ හැකි දක්ෂ නිලධාරීන් ඉන්නවා" කියන කතාව හිස් වචන ටිකක් පමණක් වෙනවා. සමහර විට නිලධාරීන් දක්ෂ ඇති. ඒ දක්ෂතාවය යෙදෙවෙන්නේ මොන විදිහටද? 

රජයේ ප්‍රාග්ධන වියදම් කියා කියන්නේ රජය නඩත්තු කිරීමේ දැවැන්ත වියදම වසා ගැනීමට යොදා ගන්නා ආවරණයක් පමණයි. අයවැයෙන් ලොකුවට පෙන්වා සම්මත කර ගන්නා ප්‍රාග්ධන ආයෝජන ඇත්තමට ඒ විදිහටම වෙන්නේ නැහැ. ඒ සල්ලි වලින් සැලකිය යුතු කොටසක්ද අවසාන වශයෙන් යොදා ගැනෙන්නේ රජය නඩත්තු කිරීම වෙනුවෙනුයි. ඉතිං කොහොමද වත්කම් හැදෙන්නේ?"

මේ වන විට පසුගිය 2021 වසරේ රාජ්‍ය ආදායම් හා වියදම් පිළිබඳ ඇස්තමේන්තු ඉදිරිපත්ව තිබෙන නිසා, එම සැබෑ සංඛ්‍යාලේඛණ වසර මුල සම්මත කරගත් අයවැය ඇස්තමේන්තු සමඟ සංසන්දනය කළ හැකියි.

ආදායම් හා ප්‍රදාන:

ඇස්තමේන්තුව- රුපියල් බිලියන 2,029යි.

සැබෑ ගණන- රුපියල් බිලියන 1,464යි.

මේ අනුව, ආදායම් හා ප්‍රදාන 27.9%කින් පහළ ගොස් තිබෙනවා.

බදු ආදායම්:

ඇස්තමේන්තුව- රුපියල් බිලියන 1,724යි.

සැබෑ ගණන- රුපියල් බිලියන 1,298යි.

මේ අනුව, බදු ආදායම් 24.7%කින් පහළ ගොස් තිබෙනවා.

බදු නොවන ආදායම්:

ඇස්තමේන්තුව- රුපියල් බිලියන 227යි.

සැබෑ ගණන- රුපියල් බිලියන 159යි.

මේ අනුව, බදු නොවන ආදායම් 29.9%කින් පහළ ගොස් තිබෙනවා.

ප්‍රදාන:

ඇස්තමේන්තුව- රුපියල් බිලියන 10යි.

සැබෑ ගණන- රුපියල් බිලියන 6.7යි.

මේ අනුව, ප්‍රදාන 33%කින් පහළ ගොස් තිබෙනවා.

මෙය කිසිසේත්ම අහම්බයක් නෙමෙයි. ආදායම් ඇස්තමේන්තු වැඩියෙන් පෙන්වීම සෑම වසරකදීම සැලසුම්සහගත ලෙස කරන දෙයක්. 2020 වැනි වසරක් හා අදාළව වසංගතය ගැන කලින් දැන නොසිටි බව වැනි "සමාවට කරුණක්" ඉදිරිපත් කළ හැකි වුවත්, 2021 වසර සඳහා අයවැය ඇස්තමේන්තු හදන විට වසංගතයේ බලපෑම හොඳින්ම දන්නා දෙයක්. ආදායම් වැඩියෙන් පෙන්වන්නේ වැඩියෙන් වියදම් කිරීමේ උපක්‍රමයක් ලෙසයි.

සමස්ත වියදම:

ඇස්තමේන්තුව- රුපියල් බිලියන 3,594යි.

සැබෑ ගණන- රුපියල් බිලියන 3,522යි.

මේ අනුව, සමස්ත වියදම 2.0%කින් පහළ ගොස් තිබෙනවා.

ආදායම් අඩුවීම හා කිසිසේත්ම නොගැලපෙන නමුත් වියදම්ද මෙලෙස සුළු වශයෙන් අඩු වී තිබුණත්, එසේ අඩු වී තිබෙන්නේ ප්‍රාග්ධන වියදම් කපා හැරීම නිසයි. පුනරාවර්තන වියදම් වැඩියෙන් කිරීමට අවකාශ සලසා ගනිමින් ප්‍රාග්ධන වියදම් වැඩියෙන් ඇස්තමේන්තු කර පසුව කපා හැරීමද සෑම වසරකම මෙන් සැලසුම්සහගත ලෙස කරන දෙයක්. 

ප්‍රාග්ධන වියදම:

ඇස්තමේන්තුව- රුපියල් බිලියන 1,070යි.

සැබෑ ගණන- රුපියල් බිලියන 768යි.

මේ අනුව, ප්‍රාග්ධන වියදම 28.3%කින් පහළ ගොස් තිබෙනවා.

පුනරාවර්තන වියදම:

ඇස්තමේන්තුව- රුපියල් බිලියන 2,534යි.

සැබෑ ගණන- රුපියල් බිලියන 2,748යි.

මේ අනුව, පුනරාවර්තන වියදම 8.4%කින් ඉහළ ගොස් තිබෙනවා.

මේ ආකාරයෙන්, ඇස්තමේන්තුව තරමට ආදායම් නොලැබීමේ හා ඇස්තමේන්තුව ඉක්මවා වියදම් කිරීමේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය ඇස්තමේන්තුව ඉක්මවා ණය ගන්න සිදු වීමයි.

ණය අවශ්‍යතාවය:

ඇස්තමේන්තුව- රුපියල් බිලියන 1,565යි.

සැබෑ ගණන- රුපියල් බිලියන 2,058යි.

මේ අනුව, ණය අවශ්‍යතාවය 31.5%කින් ඉහළ ගොස් තිබෙනවා.

දැන් පවතින අසීරු තත්ත්වය යටතේ රාජ්‍යමූල්‍ය ස්ථාවරත්වය ඇති කර ගැනීම සඳහා සැලසුම් කිරීමේදී කළ යුතු පළමු දෙය බොරු ඇස්තමේන්තු ඉදිරිපත් නොකළ පවතින යථාර්තය පිළිබිඹු කෙරෙන නිවැරදි ආදායම් ඇස්තමේන්තු මත පදනම්ව වියදම් ගලපා ගැනීමයි.

9 comments:

  1. ලංකාවේ විදේශ විනිමය වියදම් වෙන ආකාරය ගැන සංඛ්‍යා ලේඛණ තියෙනවා ද මහ බැංකු පබ්ලිකේෂන්වල?

    ඒ කියන්නේ ආහාර අපනයනයට, තෙල් සඳහා වගේ වැයවෙන ප්‍රතිශත සහ විදෙස් රටවල ඉගෙන ගන්න යන සිසුන් සඳහා වැයවෙන ප්‍රතිශතය වගේ ඒවා!

    ReplyDelete
    Replies
    1. අපනයන වියදම් සම්බන්ධ විස්තර තිබෙනවා. විදෙස් රටවල ඉගෙන ගන්න යන සිසුන් සඳහා වැයවෙන වියදම වෙනම නැහැ. එය තිබෙන්නේ රටින් පිටට යන ප්‍රේෂණ තුළ.

      Delete
    2. 'රසික සූරියආරච්චි - Rasika SuriyaarachchiMay 2, 2022 at 1:45 AM

      ලංකාවේ විදේශ විනිමය වියදම් වෙන ආකාරය ගැන සංඛ්‍යා ලේඛණ තියෙනවා ද මහ බැංකු පබ්ලිකේෂන්වල?

      ඒ කියන්නේ ආහාර 'අපනයනයට', තෙල් සඳහා වගේ වැයවෙන ප්‍රතිශත සහ විදෙස් රටවල ඉගෙන ගන්න යන සිසුන් සඳහා වැයවෙන ප්‍රතිශතය වගේ ඒවා!'

      අපනයන නොව ආනයනයයි.

      Delete
    3. ස්තුතියි, ඇනෝ! මගේ පිළිතුරත් ආනයන වියදම් ලෙස නිවැරදි විය යුතුයි.

      Delete
  2. Who is responsible for this? Government or central bank?

    ReplyDelete
  3. මේ ලිපියට සම්බන්ධයක්‌ නැති හිතේ කැකේරෙන ප්‍රශ්නයක් තියෙනවා. යහපාලන ආණ්ඩුව, නිදහසින් පස්සේ ගත්ත ණය වගේ දෙගුණයක් අරගෙන තියෙනවා කියලා තියෙනවා. ඒක ඇත්තක්ද? ගත්තානම් මොනවද ඒකෙන් කලේ?

    ReplyDelete
    Replies
    1. 2015-2019 අතර කාලයේ ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 7,487 සිට රුපියල් බිලියන 13,032 දක්වා රුපියල් බිලියන 5,545කින් ඉහළ ගියා. එයින් රුපියල් බිලියන 3,610ක් පරණ ණය සඳහා ගෙවූ පොලිය. රුපියල් බිලියන 1,564ක් පරණ විදේශ ණය ප්‍රමාණයේ රුපියල් අගය වෙනස් වීම. වියදම් කළ හැකි සේ ලැබී තිබෙන ප්‍රමාණය රුපියල් බිලියන 371ක් පමණයි. එයින් රුපියල් බිලියන 320ක්ම ලබා ගෙන තියෙන්නේ 2015දී. එය රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම ආදිය වෙනුවෙන් වැය වෙන්න ඇති. පස්සේ වැඩි කළාට මැතිවරණයට පෙර බදු එහෙමත් අඩු කළානේ. සමස්තයක් ලෙස 2016-2019 කාලය තුළ රජය ආදායම ඉක්මවා වියදම් කළේ රුපියල් බිලියන 51ක් පමණයි (පොලී වියදම් හැර).

      Delete
  4. ඔබ කියන ආකාරයට භාණ්ඩාගාරයේ දක්ෂ, පළපුරුදු,සහ සත්‍යවාදී නිළධාරීන් නැතුව නොවෙයි. දක්ෂ, පළපුරුදු,සහ සත්‍යවාදී නිළධාරීන් පැත්තකට කර භාන්ඩාගාරයේ අවුරුද්දක් හෝ දෙකක් සේවය කර ඇති අලුත් පත්වීම් ලබා ගෙන පැමිණි ළදරුවන් ලවා තක්කඩි බයි නිළධාරීන් කිහිපදෙනෙක් විසින් දිගින් දිගටම කර ගෙන යන ජනතා ව්‍යාපාරයක් බවට භාණ්ඩාගාරය පත්වී තිබීමයි. මෙතෙක් සත්‍යවාදී අයවැයක් භාණ්ඩාගාරය සකස් කර නැත. නමුත් මේ බොරුව මුදල් හිඳීගිය කළ මතුවී පෙනේ.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: