වෙබ් ලිපිනය:

Saturday, May 14, 2022

ඩොලර් එකට වෙන්න යන දේ


පෙර ලිපියෙහි අනුමාන කළ මහ බැංකු තීරණය හා අදාළ නිල නිවේදනය හොයා ගත හැකි වුනා. මහ බැංකුව විසින් වාණිජ බැංකු වල ප්‍රධාන විධායක නිලධාරීන්ට නිකුත් කර ඇති 2022 මැයි 12 දාතම දරන හා අංක 33/04/12/0012/004 දරන මෙහෙයුම් උපදෙස් අනුව 2022 මැයි 13 දින සිට මහ බැංකුව විසින් වාණිජ බැංකු වල තැන් ගනුදෙනු (spot transactions) එක්තරා ආකාරයක නියාමනයකට ලක් කරනවා. මෙහිදී සිදුවන්නේ අදාළ ගනුදෙනු සිදුවිය යුතු උපරිම හා අවම සීමාවක් නියම කිරීමයි.

මීට පෙර මහ බැංකු අධිපති ධුරය දැරූ කබ්රාල්ගේ සයමාසික සැලැස්ම තුළද මෙවැනි දෙයක් සිදු වුනා. එය පවතින අර්බුදයටද හේතු වුනා.  දැන් සිදු වෙන්න යන්නේත් එවැන්නක්ද?

මෙය එවැන්නක් මෙන් පෙනුනත් එවැන්නක්ම නෙමෙයි. වෙනස මේකයි. කලින් වාරයේද මෙවැනිම උපරිම හා අවම සීමා නියම කිරීමක් (විධිමත් හෝ අවිධිමත් ආකාරයෙන්) සිදු වුනත් අදාළ සීමා නියම කෙරුණේ හිතුමතේට, පුද්ගල විනිශ්චයන් මතයි. එහෙත්, මෙවර මෙම සීමා නියම කෙරෙන්නේ එසේ කාගෙවත් හිතු මනාපෙට නෙමෙයි. වෙළඳපොළ මත පදනම්වයි.

මේ අනුව, එක් එක් දිනයේ සිදුවන අන්තර්බැංකු තැන් ගනුදෙනු වල බරිත සාමාන්‍ය අගය මහ බැංකුව විසින් ගණනය කරනවා. මේ ගණනය කිරීම අලුත් දෙයක් නෙමෙයි. මහ බැංකුව විණිමය අනුපාතය ලෙස දිනපතා ප්‍රසිද්ධ කරන්නේ මෙම අගයයි. මේ අගය වෙළඳපොළ මත තීරණය වන්නක්. දැන් සිදුවන අලුත් වෙනස වන්නේ ඕනෑම දිනක අන්තර්බැංකු තැන් ගනුදෙනු සිදු කළ හැකි මිල මෙසේ මහ බැංකුව විසින් නිවේදනය කරන පෙර දින පැවති සාමාන්‍ය මිලෙන් වෙනස් විය හැක්කේ නිශ්චිත සීමාවක් තුළ පමණක් වීමයි.

මෙහිදී සිදු වන්නේ වෙළඳපොළ නියාමනය කිරීමක්. එහෙත්, වෙළඳපොළ සංඥාව මග හැර යාමක් සිදු වන්නේ නැහැ. අවිනිශ්චිතතාවය අඩු කිරීමක් පමණක් සිදු වෙනවා. ඕනෑම දවසක ඩොලරයක මිල ඉල්ලුම හා සැපයුම අනුව ඉහළ හෝ පහළ යා හැකියි. එහෙත්, එසේ ඉහළ හෝ පහළ යා හැකි උපරිම සීමාවක් තිබෙනවා. ඒ නිසා, ආනයනකරුවන්ට, අපනයනකරුවන්ට හා අනෙකුත් අයට ඩොලරයේ මිල වෙනස් වීම ගැන යම් අදහසක් ඇති කර ගත හැකියි.

ඉහත සඳහන් මෙහෙයුම් උපදෙස් වල බලපෑම තීරණය වන්නේ මහ බැංකුව විසින් නිවේදනය කරන විචල්‍යතා සීමාව මතයි. පෙර දින බරිත සාමාන්‍ය තැන් මිල තීරණය වන්නේ මහ බැංකුවෙන් ස්වායත්ත ලෙස තනිකරම වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම මත වුවත්, විචල්‍යතා සීමාව තීරණය වන්නේ මහ බැංකුවේ අභිමතය මතයි. එය තීරණය කරන ආකාරය ඉහත කී අංක 33/04/12/0012/004 දරන මෙහෙයුම් උපදෙස් මාලාවේ නැහැ.

ඉන් පසුව මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන 2022 මැයි 13 දාතම දරන හා අංක 33/04/12/0012/005 දරන මෙහෙයුම් උපදෙස් අපට වෙනත් මූලාශ්‍රයකින් ලැබී තිබෙනවා. මහ බැංකු වෙබ් අඩවියෙන් මෙහි මුල් පිටපතක් සොයා ගත නොහැකි වුවත්, පෙනෙන ආකාරයට මෙය සැබෑ ලේඛණයක් කියා සිතිය හැකියි. එය පදනම් වන්නේ පෙර දින නිකුත් කළ මෙහෙයුම් උපදෙස් මතයි.

දෙවනු කී 33/04/12/0012/005 දරන මෙහෙයුම් උපදෙස් අනුව අන්තර්බැංකු තැන් අනුපාතය පෙර දින පැවති අනුපාතය වූ රුපියල් 360 සිට අඩු හෝ වැඩි විය හැක්කේ රුපියල් 2.60කින් පමණයි. මෙම සීමාව ගණනය කළ ආකාරය පැහැදිලි නැහැ. කෙසේ වුවද, මෙම මෙහෙයුම් උපදෙස් නිකුත් කිරීමෙන් අනතුරුව ඩොලරයක තැන් මිල පෙර දින පැවති රුපියල් 360 මට්ටමේම ස්ථාවර වී තිබෙනවා. මහ බැංකු උපදෙස් නොකඩමින් රුපියල් 362.60 දක්වා මිලකට ඩොලර් අලෙවි කළ හැකි වුවත් එවැන්නක් සිදු වී නැහැ.

මගේ පෙර ලිපියෙහි මා අනුමාන කළ අයුරින් පාරිභෝගිකයන්ට ඩොලර් විකිණිය යුතු හා ඔවුන්ගෙන් ඩොලර් මිල දී ගත යුතු මිල මහ බැංකුව විසින් සෘජුව තීරණය කර නැහැ. සීමා පනවා ඇත්තේ තැන් අනුපාතිකයටයි. කෙසේ වුවත්, මහ බැංකුවේ මේ තීරණයෙන් අනතුරුව විකුණුම් මිල තැන් මිලට වඩා ආසන්න වශයෙන් රුපියල් 5ක් වැඩියෙනුත් ගැනුම් මිල ආසන්න වශයෙන් රුපියල් 5ක් අඩුවෙනුත් ස්ථාවර වී තිබෙනවා. 

පවතින තත්ත්වය තුළ, මේ තීරණය නරක එකක් ලෙස මා දකින්නේ නැහැ. මෙහිදී සිදු වන පළමු දෙය විවිධ බැංකු අතර විණිමය අනුපාතයේ තිබෙන වෙනස්කම් අවම වීමයි. එවැනි ස්ථාවරත්වයක් තිබීම කාට වුවත් හොඳයි. දෙවැනි ප්‍රතිඵලය හෙට ඩොලරය කීයක් වෙයිද කියන අවිනිශ්චිතතාවය අවම වීමයි. ඒ හැර, මේ තීරණයෙන් ඩොලරයක මිල ක්‍රමයෙන් ඉහළ යාම වලක්වා නැහැ. 

තවමත් අවිනිශ්චිත කරුණකට තිබෙන්නේ මහ බැංකුව විසින් විචල්‍යතා සීමාව තීරණය කරන්න යන්නේ කොහොමද කියන එකයි. ලබන සතිය තුළ මෙයද දැන ගන්න ලැබෙයි. 

දැනට පෙනෙන්නට තිබෙන රුපියල් 2.60 දිනකට ඩොලරයක මිල ඉහළ යා හැකි උපරිම ප්‍රමාණය සේ සැලකුවත්, මේ හරහා ලැබෙන යහපත් ප්රතිඵල ගණනාවක් තිබෙනවා. අපනයනකරුවෙකුට දැන් වඩා පහසුවෙන් තමන් අතේ තිබෙන ඩොලර් විකුණනවාද තියා ගෙන ඉන්නවාද කියන තීරණය ගන්න පුළුවන්. ඒ වගේම ආනයනකරුවන්ට තමන් ඩොලරයකට ගෙවිය යුතු සාධාරණ මුදල පිළිබඳව වඩා නිවැරදි තක්සේරුවකට එන්න පුළුවන්. මූල්‍ය වෙළඳපොළකට අවශ්‍යම දෙය ස්ථාවරත්වයයි.

දැනට පවතින සාර්ව ආර්ථික තත්ත්වයන් තුළ ඩොලරයක මිල නැවත විශාල ලෙස පහත වැටේයැයි මා හිතන්නේ නැහැ. යම් හෙයකින් එසේ පහත වැටීමේ ප්‍රවණතාවක් ඇති වුනත් මේ තීරණය නිසා එකවර ඩොලරයක මිල කඩා වැටීමේ ඉඩ ඇහිරෙනවා. ඩොලරයක මිල දැන් තිබෙන මට්ටමේ ටික දවසකට හෝ ස්ථාවර වෙයිද නැත්නම් හෙමින් හෙමින් ඉහළ යයිද කියන එක බලා ගන්න වෙන්නේ වෙළඳපොළ ප්‍රතිචාර අනුවයි. බොහෝ විට එළැඹෙන සතිය තුළ මේ දිශානතිය නිරීක්ෂණය කරන්න පුළුවන් වෙයි.

7 comments:

  1. මොනවා උනත් යූඑන්පී ආණ්ඩු කාලේ මිනිස්සුන්ගේ අතේ සල්ලි තිබ්බා. රටේ භාණ්ඩ තිබ්බා පෝලිම් වල නොයිද, හිගයකින් තොරව සාධාරණ මිලට මිලදී ගන්න. දැන් තියෙන්නේ යූඑන්පී ආණ්ඩුවක්ද, පොහොට්ටු ආණ්ඩුවක්ද කියලා දන්නේ නං නැහැ.

    හැබැයි කුඩා පරිමාණ ව්‍යාපාරිකයා පවා යම්කිසි බලාපොරොත්තුවක් ඇතිවෙලා තියෙනවා මේ ආර්ථික අර්බුධයෙන් ගොඩ යන්න මොනයම්ම හෝ සාර්ථක දෙයක් රනිල් කරයි කියලා. දැන් ඉතින් රනිල්ට අමුතුවෙන් නැති වෙන්න දෙයකුත් නැහැ. එජාපෙට නැති වෙන්න දෙයකුත් නැහැ. අපිටත් අමුතුවෙන් නැති වෙන්න දෙයක් නැහැ. අලුතින් යමක් ඇති කරගත්තොත් මිසක.

    ReplyDelete
    Replies
    1. රනිල්ට අමුතුවෙන් නැති වෙන්න දෙයක් නැහැ. එජාපෙට නැති වෙන්න දෙයකුත් නැහැ. නමුත් "අපිට"නම් තවත් බොහෝ දේ නැති වෙන්න පුළුවන්.

      Delete
    2. 'නමුත් "අපිට"නම් තවත් බොහෝ දේ නැති වෙන්න පුළුවන්'

      ඇමරිකන් පුරවැසි ඉකොනෝමැට්ටාට නැති වෙන්න තිබෙන බොහෝ දේ මොනවාද රනිල් අගමැති උනාම?

      Delete
  2. හොඳ තාක්ෂණික පැහැදිලි කිරීමක් ඉකොනොමැට්ටා, මම හිතන්නේ ඉදිරි කෙටි කාලය ඇතුලත විදේශීය ශ්‍රමික remittances සහ සංචාරක ව්‍යාපාරය වර්ධනය වීම ඉතා වේගයෙන් සිදුවිය හැකි බව. බ්ලැක් මාකට් එකෙත් රු. 404 සිට 370 - 375 දක්වා ඩොලරය රුපියල් වලට සාපේක්ෂව වඩාත් අඩුවෙමින් පවතින තත්ත්වයක් තුල බොහෝ දෙනෙක් නැවත ඩොලර් ලංකාවට එවීමට සහ ලංකාවේ මගේ මිතුරන් බොහෝ දෙනෙක් මෙතෙක් රැස්කර තබාගත් පුද්ගලික ඩොලර් කෑෂ් සංචිත ඉතා වේගයෙන් නැවත නැවතත් රුපියල් කරන බව මා නිරීක්ෂණය කළා.

    ඒ වගේම සංචාරක ව්‍යාපාරය ගැන මගේ අත්දැකීම් අනුව මම පහු ගිය මාර්තු වල ලංකාවට ඇවිත් ආයිත් එද්දි, check in counter එකේ පෝලිමේ මගේ ඉස්සරහ හිටිය කපල් එකේ සංචාරක ගෑණු ළමයා හොඳටම අඬනවා. පෝලිම ගොඩක් වෙලා තිබුණු නිසාත්, මට මේ ඇඬිල්ල ලොකු ප්‍රශ්නයක් වී තිබුණු නිසාත්, අඩුම ගානේ මට කළ හැකි දෙයක් තියද බලන්න මට හිතුන එයාලට කතා කරන්න. ඒ දවස් වල යුක්‍රේන රුසියානු යුද්ධෙ උත්සන්න වෙලා තිබුණු නිසා, මට එක පාරට හිතුණෙ මේ අය යුක්‍රේනෙ අය වෙන්න ඇති කියලා. මං ඇහුවා ඇයි ඔයා අඬන්නෙ? ඔයාලා යුක්‍රේන්ද කියලා. ලැබුනු උත්තරයෙන් මම ගොලු වෙලා ගියා. ඒ තරුණ කොල්ලා කිවුවේ, මෙයාට මේ ලංකාව දාලා යන්න බෑ කියලා අඬනවා කියලා.
    ඒ දෙන්නා නෝර්වේ ජාතිකයො, ඒ අය සති දෙකක නිවාඩුවක් ගත කරලා යන ගමන්, ඒ වෙද්දිත් අපේ රටේ විදුලිය, ගෑස්, තෙල් ප්‍රශ්න තිබිලත්, ඒ ගත කරපු සති 2 ඒ අය කොච්චර සතුටින් ගත කරලද කියන එක තමයි මටත් පුදුම. මං ලංකාවට එද්දි හිටි ෆ්ලයිට් එකෙත් 80%ක් විතර හිටියේ සංචාරකයෝ, මගේ ළඟ වාඩි වෙලා ආවෙත් ස්වීඩන් කපල් එකක්. අපි අමතක නොකල යුතු වැදගත්ම දේ, ශ්‍රී ලංකාව කියන්නෙ පහු ගිය අවුරුදු කීපෙම ලෝකෙ සංචාරකයින් අතර වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින රටවල් වලින් අංක 1 හෝ 2 තිබුණු රටක්. ලංකාවේ අපි අපේ පිහිටීම, දේශගුණය මෙන්ම පරිසර සාධක වලින් අපිට ලෝකෙ තියෙන වටිනාකම නිසි ලෙස ප්‍රයෝජනයට ගන්න ඕන. මට හම්බ වුනු ගොඩාක් අය කියන විශේෂම දේ තමයි අපේ මිනිස්සු හරිම ආදරණීයයි සහ හිතවත් කියන එක. ඒකත් ලොකු හේතුවක් ඒ අයගෙ පැමිණීමට. එක්ව නැගෙමු, අපිට පුලුවන්, අපි අපේ රට හදමු. ❤️🙏🏻💪🇱🇰

    ReplyDelete
  3. ඉකොනොමැට්ටාගේ අවධානය යොමු කරන්න පුළුවන් තවත් වැදගත්ම කරුණක් ලංකාවේ ඉන්ධන අර්බුදය, විශේෂයෙන් මේ දවස් වල ප්‍රමුඛතාව ලබාදෙන්න ඕන ඩීසල්වලට. ඒ කියන්නේ ප්‍රවාහනයට අවශ්‍ය ඩීසල්වලට. ඒ වගේ ම, එයිනුත් වැඩි අවධානයක් යොමු කර ආහාර ප්‍රවාහනයට ඉහළ ම ප්‍රමුඛතාව ලබාදෙන්න ඕන. දුම්රිය සේවාවේත් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට පෞද්ගලික අංශයේ සහයෝගය සහිතව හැකි උපරිම දේවල් කළ යුතුයි.

    මෙහෙම කරන්න බැරිවුණොත් මහ ජංජාලයක් වෙලා තමයි ඉවර වෙන්නේ. මේක සෙල්ලමක් නෙවෙයි. පාලකයෝ, පාලිතයෝ හැම කෙනෙක්ම මේ කාරණයට අවධානය යොමු කරන්න ඕන.

    සාගත ඇතිවෙන්නේ කෘෂිකර්මයේ සිද්දවෙන බිඳවැටීම්වලින් විතරක් නෙවෙයි. ප්‍රවාහනයේ බිඳවැටීම් වලිනුත් සාගත ඇතිවෙනවා. මම මේ ගැන කීප වතාවක් ම සමාජ ජාල වල ලිව්වා. කොච්චර වැව්වත් වැඩක් නෑ වවන ඒවාගේ අස්වැන්න ප්‍රවාහනය කරගන්න බැරි නම්.

    ඒ වගේම වෙනත් විකල්ප ගැනත් හිතන්න ඕන. ප්‍රවාහනය බිඳවැටුණොත් මොකද කරන්නේ?

    මේ නිසා තම තමන්ට මොනවා හරි වවාගන්න පුළුවන් නම් හොඳයි. ඒත් හැමෝටම ඒක කරන්න බෑ. ඉස්කෝල වගේ පොදු ස්ථානවල, පාරවල් අයිනේ මොනවා මොනවා හරි වවන්න බැරිකමක් නෑ. මේ වගේ වැඩට ශ්‍රමය යොමුකරන්න ඕන. හමුදාව පවා මේ වැඩවලට සම්බන්ධ කරගන්න පුළුවන්. මොන විදිහකින් හරි යුද්ධයකට වගේ අපි සූදානම්වෙන්න ඕන. වැඩියක් වුනොත් සත්තු හරි කයි.

    එහෙම නොකර කවුරු හරි ගැලවුම්කාරයෙක් ඇවිල්ලා අපිට පිහිටවෙයි කියලා හිතනවා නම් ඒක ලොකු මුලාවක්. මේක තමයි ප්‍රමුඛතාව ලබාදෙන්න ඕන මූලික ම කාරණය. ඉතින් ලංකාවේ හැමෝම මේකට පුළුවන් තරමින් සූදානම් වෙන්න ඕන. අවම තරමින් මේ දවස් වල තාවකාලික වශයෙන් වත් ලංකාවේ මිනිස්සු මානුෂිකව හිතලා පුළුවන් තරම් පාෙදු ප්‍රවාහන පහසුකම් භාව්තා කරන්න ඕන. ඉන්දියාවෙන් ගෙනල්ලා යතුරුපැදි ත්‍රීවීල් රථ තිබුණට ණය වෙව පෙට්‍රල් අරන් පුච්චන එක කොච්චර දුරට සාධාරණද කියලා හිතන්න වෙනවා. කාර් තිබුණත් පුළුවන් තරම් භාව්තය අඩුකිරීම කාලෝචිතයි. පා පැදි භාවිතයට දිරිමත් කරන්න මාධ්‍ සමාජ ජාල භාවිතා කරන්න පුළුවන්.

    ලංකාවේ මධ්‍යම පන්තියේ තත්වය පෙන්වීමට ගත්ත කාර් බාර් වලට තමයි වැඩේ...... කපුටු කාක් කාක් ගහලා ටයි එක දාලා a/c දාගෙන පිටරට බඩු විකුණා ජීවිතය ගැටගහ ගෙන පුස් (පොෂ්) ජීවිත ගත කරන ලංකාවේ බහුතරයක් මධ්‍යම පන්තියේ ඩොකාලා, රජයේ නිලධාරීන්, ආනයනික භාණ්ඩ හා සේවා විකුණා ගාන කපන සේල්ස්මෑන්ලා, ෆාමසිස්ට්ලා, මොර්ටිවේෂන් ටෝක්ස් පොරවල් සියල්ල අනාථ යි.....

    ReplyDelete
  4. I also read that many Sri Lankas are going for foreign jobs. That means we should get more foreign remittance during the next few months. Am I correct ? I also noticed that despite the fuel price and long queues, there is no reduction in vehicle on the roads. How can I verify this fact ? Do you know any data source?

    ReplyDelete
    Replies
    1. We need to wait and see whether remittances would increase. The latest number available is for March 2022. I doubt whether anyone collects data about vehicles on the roads.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: