වෙබ් ලිපිනය:

Thursday, August 4, 2022

හොර පාරෙන් රටින් පන්නන සල්ලි


රටකට විදේශ විණිමය එන හා එළියට යන ක්‍රම ගණනාවක් තිබෙනවා. කලින් ඕනෑ තරම් කතා කරලා තිබෙන නිසා නැවත විස්තර කරන්න යන්නේ නැහැ. මේ මාර්ග බොහොමයක් නීත්‍යනුකූල මාර්ග වුනත්, නීති විරෝධී ලෙසත් සැලකිය යුතු විදේශ විණිමය ප්‍රමාණයක් දේශ සීමා හරහා යනවා. එක පැත්තකට නෙමෙයි දෙපැත්තටම. 

නීත්‍යනුකූල මාර්ග වලින් රටට එන හා රටින් යන විදේශ විණිමය ප්‍රවාහ පිළිබඳ තොරතුරු වලින් විශාල කොටසක් මහ බැංකුවට වාර්තා වෙනවා. ගෙවුම් ශේෂ ගිණුම් වල තියෙන්නේ මේ තොරතුරු. මේ විදිහට රටට එන හා රටින් යන විදේශ විණිමය ප්‍රවාහ ගැන තොරතුරු සියල්ලම මහ බැංකුවට වාර්තා වෙනවානම්, කිසිවක්ම මග හැරෙන්නේ නැත්නම්, යන ප්‍රමාණය හා ආ ප්‍රමාණය අතර වෙනස රටේ සංචිත වල වෙනස් වීමට සමාන වෙන්න ඕනෑ. නමුත්, ලෝකයේ කිසිම රටක ඔය සමතුලිත වීම හරියටම වෙන්නේ නැහැ. ඇතැම් විදේශ විණිමය ගලනයන් මහ බැංකුවට වාර්තා වෙන්නේ නැහැ.

සාමාන්‍යයෙන් නීති විරෝධී විදේශ විණිමය ගලනයන් කොහොමටත් මහ බැංකුවට වාර්තා වෙන්නේ නැහැ. නීති විරෝධී නැති ගලනයන් වුවත් හැම එකක්ම වාර්තා වෙන්නේ  නැහැ. උදාහරණයක් විදිහට කවුරු හරි පිටරට සංචාරයක යද්දී ඩොලර් සීයක් බැංකුවකින් අරගෙන ආපහු එද්දී ඉතිරි වුනු ඩොලර් විස්ස ගෙදර ලාච්චුවේ තියා ගත්තොත් ඒ ඩොලර් විස්ස රටට ආපහු ආපු බව වාර්තා වෙන්නේ නැහැ. ඒ වගේම, සංචාරකයෙකු විසින් බැංකුවෙන් ඩොලර් මාරු කරද්දී එය වාර්තා වුනත්, ගයිඩ් කෙනෙක්ගේ අතට දෙන ඩොලර් විස්සක් වාර්තා වෙන්නේ නැහැ. දැන් වෙනත් කෙනෙක් පිටරට යද්දී බැංකුවෙන් ඩොලර් මිල දී නොගෙන ඔය වගේ රටේ තිබෙන ඩොලර් එකතු කරගෙන ගිහින් වියදම් කළොත් ඒකත් වාර්තා වෙන්නේ නැහැ. 

මේ වගේ සිල්ලර ගනුදෙනු සහ අනීතික ගනුදෙනු මහ බැංකුවට වාර්තා වෙන්නේ නැතත් රටට පැමිණි හා රටින් ගිය විදේශ විණිමය ප්‍රමාණ අතර වෙනස සංචිත වෙනස් වීමත් එක්ක සංසන්දනය කළාම "වැරදීම් හා මගහැරීම්" සියල්ලේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය ඇස්තමේන්තු කරන්න පුළුවන්. ඕනෑම රටක ගෙවුම් ශේෂ ගිණුම් වල මේ ප්‍රමාණය සටහන්ව තිබෙනවා. සාමාන්‍යයෙන් සැලකිය විශාල යුතු අගයක්. 

පහත තියෙන්නේ පසුගිය වසර 15 තුළ ලංකාවේ මේ වැරදීම් හා මග හැරීම් ප්‍රමාණය ඩොලර් මිලියන වලින්. වරහන් ඇතුළේ තියෙන්නේ සෘණ අගයන්.

2007- (165)

2008- 728

2009- 346

2010- (881)

2011- (707)

2012 - (412)

2013 - (590)

2013- 393

2015- (308)

2016 - (465)

2017- 175

2018 - (593)

2019 - (640)

2020 - 765

2021 - (711)

ඔය වසර 15 සමස්තයක් ලෙස ගත්තොත්, ධන හා සෘණ අගයයන් දෙවර්ගයම තිබුණත්, වැඩිපුර තියෙන්නේ සෘණ අගයයන් කියන එක පේනවනේ. ඒ කියන්නේ රටට ආපු විදේශ විණිමය ප්‍රමාණයෙන් යම් කොටසකට වෙච්ච දෙයක් නැහැ. ඒ සල්ලි නීති විරෝධී ලෙස රටින් පිටට ගියා කියන එක එයින් අනිවාර්යයෙන් අදහස් වන්නේ නැහැ. එක්කෝ නීති විරෝධී ලෙස රටින් එළියට ගියා. නැත්නම් රට ඇතුළේම කා අතේ හෝ දැනටත් තියෙනවා. එහෙම රට ඇතුළේ තිබුණත් මේ සල්ලි පහසුවෙන් රටින් පන්නන්න පුළුවන් නිසා ඔය දෙකේ වැඩි වෙනසකුත් නැහැ.

මේ විදිහට පසුගිය වසර 15 තුළ අවිධිමත් වෙළඳපොළ හරහා සම්ප්‍රේෂණය වී තිබෙන විදේශ විණිමය ප්‍රමාණයේ ශුද්ධ අගය ඩොලර් බිලියන 3ක් පමණ. ඒ කියන්නේ, ඇස්තමේන්තු නිවැරදිනම්, සාමාන්‍ය වශයෙන් වසරකට ඩොලර් මිලියන 200ක් පමණ අවිධිමත් වෙළඳපොළ හරහා රටින් පිට වී තිබෙනවා. එහෙම නැත්නම් ඇස්තමේන්තු වල එපමණ වරදක් තිබෙනවා.

නීති විරෝධී ලෙස රටට එන හා රටෙන් යන සල්ලි මහ බැංකුවට වාර්තා නොවුණත්, එවැනි ගනුදෙනු වල ශුද්ධ ප්‍රතිඵලය මේ සංඛ්‍යාව ඇතුළේ තියෙනවා. මේ සංඛ්‍යාලේඛණයට මග හැරෙන වෙනත් ආකාර වලින් සල්ලි රටින් පන්නන්න බැරිද? 

අපි හිතමු කවුරු හෝ බලවතෙක් ඩොලර් නෝට්ටු ගෝනි වල දාලා පෞද්ගලික ජෙට් යානයකින් මොකක් හරි රටකට පැන්නුවා කියලා. ඔය වගේ කතාවක් මට පෞද්ගලිකව විශ්වාස කරන්න අමාරු වුනත් කතාව එක පාරට ප්‍රතික්ෂේප කළ හැකි සෛද්ධාන්තික පදනමක් නැහැ. විය හැකියාවක් ලෙස ඔය කතාව මට භාර ගන්න වෙනවා. 

හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මම හිතන්නේ කියවන අය මාත් එක්ක එකඟ වෙයි. 

ඔය විදිහට හෝ වෙන විදිහකින් රටින් පන්නන්නනම් ඊට කලින් රටට ඔය ඩොලර් ටික ඇවිත් තියෙන්න ඕනෑ. රටට ඩොලර් ආවේ නැත්නම් රටෙන් පන්නන්න විදිහකුත් නැහැනේ. ඒ කියන්නේ මේ පන්නපු ප්‍රමාණය කලින් පෙන්වපු "වැරදීම් හා මගහැරීම්" ගොඩේ තියෙන්න ඕනෑ. රටට ආපු ඩොලර් ප්‍රමාණයෙන් වෙච්ච දෙයක් නැත්තේ ඒ ප්‍රමාණය පමණයි. 

ඒ කියන්නේ ඊට වඩා වැඩි ඩොලර් ප්‍රමාණයක් රටින් පැන්නුවා වෙන්නම බැරිද? 

පුළුවන්. එහෙමනම්, ඒ වැඩි ප්‍රමාණය හොර පාරකින්ම රටට ඇවිත් තියෙන්න ඕනෑ. රටට හොරෙන් ඩොලර් ආවේ නැත්නම්, ඔය ගණනට වඩා වැඩියෙන් රටෙන් ඩොලර් එළියට යන්න විදිහකුත් නැහැ. ඒ කියන්නේ, හොරෙන් ආ ගිය ඩොලර් ගණන් සැලකුවට පස්සෙත්, ශුද්ධ වශයෙන් බැලුවොත් වාර්තා නොවී රටේ ඩොලර් අඩු වෙලා තියෙන්නේ ඔය ප්‍රමාණයම තමයි.

ආනයන අපනයන වෙළඳාමේදී වැරදියට ඉන්වොයිස් දමන එක මේ සංඛ්‍යාලේඛණ වලට බලපාන්නේ කොහොමද? 

ඇමරිකාවේ රාජ්‍ය නොවන සංවිධානයක (GFI) සේවය කරන පර්යේෂකයෙකු (දේව් කර්) විසින්, නෝර්වේ රජයේ ආධාර මත, කනිෂ්ඨ සහායකයෙකුගේ උදවු ඇතිව සකස් කර තිබෙන 2015 වාර්තාවක ඉහත විස්තර කළ ගෙවුම් ශේෂ ගිණුම් වල "වැරදීම් හා මගහැරීම්" වලට ආනයන අපනයන වෙළඳාමේදී වැරදියට ඉන්වොයිස් දැමීම මගින් රටින් පිට කළේයයි ඔවුන් දෙදෙනා විසින් ඇස්තමේන්තු කර තිබෙන සංඛ්‍යාවක්ද එකතු කර එම මුදල නීති විරෝධී ලෙස සංවර්ධනය වන රට වලින් පිට කෙරුණු මුදලක් ලෙස අර්ථ දක්වා තිබෙනවා. මේ ඇස්තමේන්තු සකස් කර තිබෙන ක්‍රමවේදයේ බැලූ බැල්මටම පෙනෙන වැරදි හා අඩුපාඩු ගණනාවක් තිබෙනවා. විමර්ශිත ජර්නලයක පළව ඇති පර්යේෂණ පත්‍රිකාවක් වැන්නක් නොවන මෙවැනි ලියැවිල්ලක එවැනි වැරදි හා අඩුපාඩු තිබීම අනපේක්ෂිත දෙයක් නෙමෙයි. 

දේව් කර් සේවය කළ රාජ්‍ය නොවන සංවිධානය විසින්ම 2021දී තවත් වාර්තාවක් එළි දක්වා තිබෙනවා. පෙර කී වාර්තාවට සාපේක්ෂව දුර්වලතා අඩු එම වාර්තාවේ ඉලක්ක අරමුණ මෙන්ම ක්‍රමවේදයද මුල් වාර්තාවට වඩා වෙනස්. එහි අවධානය යොමු කර තිබෙන්නේ ආනයන අපනයන වෙළඳාමේදී වැරදියට ඉන්වොයිස් දැමීම හරහා සිදු කර තිබෙන නීති විරෝධී ගණුදෙනු පරිමාව පිළිබඳවයි. 

මේ 2021 වාර්තාව ගැන මීට පෙරද කතා කර තිබෙන නිසා අපි 2015 වාර්තාව ගැන දැන් කතා කරමු. 2015 වාර්තාවේ ඇස්තමේන්තු පදනම් වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් හා සංවර්ධිත රටවල් අතර සිදුව ඇති ගනුදෙනු මතයි. 2021 වාර්තාවේ මෙන්ම මේ වාර්තාවේද කරන්නේ දෙපැත්තේ ගණන් සංසන්දනය කිරීමයි. එහිදී දේව් කර් හා ඔහුගේ සහායකයා විසින් සංවර්ධිත රටේ සංඛ්‍යාලේඛණ නිවැරදි සේ සලකනවා. ඉන් පසුව, රක්ෂණ හා නැව් ගාස්තු 10%ක් සේ උපකල්පනය කර සංවර්ධනය වන රටකට භාණ්ඩයක් යන විට හා සංවර්ධනය වන රටකින් භාණ්ඩයක් එන විට පෙන්වා තිබිය යුතු "නියම මිල" ගණනය කරනවා. 

සංවර්ධනය වන රටකින් සංවර්ධිත රටකට භාණ්ඩයක් අපනයනය කරන විට පෙන්වා ඇති මිල ඉහත ආකාරයෙන් ගණනය කළ "නියම මිලට" වඩා අඩුනම් එය ඔවුන් විදේශ විණිමය ගලනයක් සේ සලකනවා. පෙන්වා ඇති මිල "නියම මිලට" වඩා වැඩිනම් එය නොසලකා හරිනවා.

මේ ආකාරයෙන්ම, සංවර්ධනය වන රටක් සංවර්ධිත රටකින් භාණ්ඩයක් ආනයනය කරන විට පෙන්වා ඇති මිල ඉහත ආකාරයෙන් ගණනය කළ "නියම මිලට" වඩා වැඩිනම් එය ඔවුන් විදේශ විණිමය ගලනයක් සේ සලකනවා. පෙන්වා ඇති මිල "නියම මිලට" වඩා අඩුනම් එය නොසලකා හරිනවා.

මේ පදනම මත, සංවර්ධනය වන රටවල් හා සංවර්ධිත රටවල් අතර ගනුදෙනු වලදී ඔවුන්ගේ ක්‍රමය අනුව රටින් පිටට විදේශ විණිමය ගලනයක් වී ඇතැයි සැක කෙරෙන අවස්ථා සියල්ල හඳුනා ගැනෙන අතර එම පදනම මතම රට තුළට විදේශ විණිමය ගලනයක් වී ඇතැයි සැක කෙරෙන අවස්ථා සියල්ල නොසලකා හරිමින් ඔවුන් විසින් පළමුව මූලික ඇස්තමේන්තුවක් සකස් කරනවා. ඉන් පසුව, සංවර්ධනය වන රටවල් අතරම සිදු වන ගනුදෙනු වලදීද එම අනුපාතයෙන්ම විදේශ විණිමය ගලනයක් වී ඇතැයි උපකල්පනය කරමින් අවසන් ඇස්තමේන්තුවක් හදනවා. 

දේව් කර්ගේ මූලික උපකල්පනයක් වන්නේම සංවර්ධනය වන රටවල් වල සිට සංවර්ධිත රටවල් වලට ප්‍රාග්ධනය විතැන් කිරීමක් මිස එහි අනෙක් පැත්ත සිදු නොවන බවයි. එහෙත්, ඔහු දෙවනුව සංවර්ධනය වන රටවල් අතර සිදු වන ගනුදෙනු වලදීද ප්‍රාග්ධනය විතැන් වන්නේ එක් දිශාවකට පමණක් බව උපකල්පනය කරනවා. ඒ වගේම, අදාළ අනුපාතයද සමාන සේ සලකනවා. 

ඒ කියන්නේ, ලංකාවෙන් ඉන්දියාවට හොරෙන් පන්නපු ගණන ඇස්තමේන්තු කරද්දී ඉන්දියාවෙන් ලංකාවට සල්ලි හොරෙන් පන්නන්න කිසිම හේතුවක් නැහැ කියා උපකල්පනය කරනවා. ඔය විදිහටම ඉන්දියාවෙන් ලංකාවට හොරෙන් පන්නපු ගණන ඇස්තමේන්තු කරද්දී ලංකාවෙන් ඉන්දියාවට සල්ලි හොරෙන් පන්නන්න කිසිම හේතුවක් නැහැ කියා උපකල්පනය කරනවා. 

ඔය දෙකෙන් එකක්වත් ඇස්තමේන්තු කරන්නේ ලංකාව හා ඉන්දියාව අතර ඇත්තටම සිදු වූ ගනුදෙනු මත පදනම්ව නෙමෙයි. ලංකාව සංවර්ධිත රටවල් සමඟ ඩොලර් 1000ක ගනුදෙනු කරද්දී ඩොලර් 200ක් එම රටවලට පන්නලානම්, ලංකාව ඉන්දියාව සමඟ ඩොලර් 1000ක ගනුදෙනු කරද්දීත් ඩොලර් 200ක් ඉන්දියාවට පන්නලා කියලා උපකල්පනය කරලා.  

මේ 2015 වාර්තාවේ ඇස්තමේන්තු කිසිසේත්ම බරපතල ලෙස ගිණිය නොහැකියි. මා හිතන පරිදි, 2021 වාර්තාව සකස් කළ පර්යේෂක කණ්ඩායම විසින් පෙර වාර්තාවේ වැරදි හා අඩුපාඩු බොහොමයක් හඳුනාගෙන තිබෙනවා. එම වාර්තාවේ අනීතික ගනුදෙනු ගැන මිස ප්‍රාග්ධන ගලනයන් ගැන අවධානය යොමු කරවන්නේ නැහැ. 

සාමාන්‍යයෙන් වෙන පරිදි, ලංකාවේ සමහර අය ඔය වාර්තා වල තියෙන දේවල් තමයි උඩින් පල්ලෙන් කියවලා, අදාළ පර්යේෂකයින් විසින් කරලා තියෙන වැරදි ගැන කිසිම අවබෝධයක් නැතුව, අනෙක් පැත්තට වමාරන්නේ. ඒ විතරක් නෙමෙයි. වාර්තා වල වැරදි පැත්තකින් තිබ්බත්, ඒ වාර්තා වල තියෙන දේවල්වත් හරියට ග්‍රහණය කර ගෙන නැහැ. 

ලංකාවේ කට්ටිය වැඩේ අනාගන්න ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ 2015 වාර්තාවේ සහ 2021 වාර්තාවේ තියෙන්නේ එකම දෙයක් ගැන කියලා හිතලා. වෙනස දැන ගන්නනම් එක් එක් වාර්තාවේ ක්‍රමවේද තේරුම් ගන්න ඕනෑනේ! 

ලංකාවේ කට්ටිය 2021 වාර්තාවේ තියෙන සංඛ්‍යාලේඛණ අරගෙන ඒවා අර්ථ දක්වන්නේ 2015 වාර්තාවේ අර්ථ දැක්වීම් අනුවයි. නමුත්, මේ දෙකේ කරලා තියෙන්නේ වගේම කියල තියෙන්නෙත් කරුණු දෙකක් ගැන. ඒ වගේම, 2021 වාර්තාවෙත් වැරදි හා අඩුපාඩු තිබුණත්, 2015 වාර්තාවේ ඇස්තමේන්තු වල වැරදි හා අඩුපාඩු ඉතාම ප්‍රාථමික මට්ටමේ ඒවා.

හරි. අපි දැන් ඔය වාර්තා සහ ඒවායේ තිබෙන ගණන් හිලවු පැත්තකින් තියලා වැරදියට ඉන්වොයිස් කිරීම කියන කාරණාවට එමුකෝ. එහෙම දෙයක් ඇත්තටම වෙනවනේ. ඒක අර මුලින් කී ගෙවුම් ශේෂ ගිණුම් ඇස්තමේන්තු වලට බලපාන්නේ කොහොමද? 

ලංකාවේ කවුරු හෝ කෙනෙක් ඩොලර් 1000ක බඩුවක් ආනයනය කරද්දී ඩොලර් 1500ක් කියලා පෙන්වනවා. දැන් මේ වැඩෙන් නියාමකයින්ගේ ඇස් වහලා ඩොලර් 500ක් රටින් පිටතට ප්‍රේෂණය කරනවා. ඒ ඩොලර් 500 ලංකාවට අපනයනය කරන සමාගමේ ගිනුමට යනවා. පසුව, එම සමාගම හරහා වෙනත් ගිණුමකට විතැන් වෙනවා වෙන්න පුළුවන්. 

හැබැයි මේ විදිහට ඉන්වොයිස් එක වැඩියෙන් පෙන්නුවත් ඩොලර් 1500 යන්නේ විධිමත් ලෙස බැංකු පද්ධතිය හරහා මිසක් හොර පාරකින් නෙමෙයි. ඒ නිසා, ඒ මුළු මුදලම, ඉතා නිවැරදි ලෙස රටින් එළියට ගිය මුදලක් ලෙස ගෙවුම් ශේෂ ගිණුම් වල සටහන් වෙනවා. සිදු වෙන වැරැද්ද ප්‍රේෂණයක් ලෙස (outward remittance) ද්වීතියික ආදායම් ගිණුමේ සටහන් විය යුතු ඩොලර් 500ක් එහි සටහන් නොවී වෙළඳ ගිණුමේ සටහන් වෙන එකයි. ඒ කියන්නේ, මේ වැඩෙන් ජංගම ගිණුමේ ශේෂය වෙනස් වෙන්නේ නැහැ.

අපි හිතමු ඔය විදිහට රටින් එළියට ගෙනයන ඩොලර් 500 රටින් පිට ආයෝජනය කළා කියලා. එහෙමනම්, ඒ මුදල යන්න ඕනෑ මූල්‍ය ගිණුමට. ඒ කියන්නේ, මූල්‍ය ගිණුමට යා යුතු ඩොලර් 500ක් ජංගම ගිණුමේ (වෙළඳ උප ගිණුමේ) සටහන් වෙනවා. නමුත්, මේ ඩොලර් 500 රටින් එළියට ගිය බව නියාමකයින් දන්නවා. ඒ නිසා, එම මුදල "වැරදීම් හා මගහැරීම්" වලට යන කොටසක් නෙමෙයි.

දැන් ඕකෙම අනෙක් පැත්ත වුනා කියා හිතමු. ලංකාවේ කවුරු හෝ කෙනෙක් ඩොලර් 1000ක බඩුවක් ආනයනය කරද්දී ඩොලර් 500ක් කියලා පෙන්වනවා. හැබැයි එහෙම පෙන්නුවත්, අදාල අපනයනකරුවාට මොන ක්‍රමයකින් හෝ ඉතිරි ඩොලර් 500 ගෙවන්න වෙනවා. ඒ මුදල ගෙවන්න වෙන්නේ හොර පාරකින්. 

මේ ඩොලර් 500 ගෙවන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් අවිධිමත් විදිහට ලංකාවෙන්ම සල්ලි යවන එක. එහෙම නැත්නම් දැනටමත් රටින් පිට තිබෙන ගිණුමකින් සල්ලි ගෙවන එක. අවිධිමත් විදිහට ලංකාවෙන්ම සල්ලි යැව්වොත් එය ගෙවුම් ශේෂ ඇස්තමේන්තු වල තිබෙන "වැරදීම් හා මගහැරීම්" වලට අහු වෙනවා. "වැරදීම් හා මගහැරීම්" වල එවැනි මුදලක් රටින් ගිය බවක් පෙනෙන්න නැත්නම් ඒ සල්ලි ගෙවලා තියෙන්නේ කලින් රටින් පිට කළ මුදල් යොදා ගෙන. මොකද කොහෙන් හෝ ඔය ඩොලර් 500 ගෙවන්නම වෙනවා. 

ඊළඟට අපි අපනයන පැත්ත බලමු. ඩොලර් 1000ක බඩු අපනයනය කරද්දී ඩොලර් 500ක් කියා පෙන්නුවොත් ඉතිරි ඩොලර් 500 රටින් එළියේ ගිණුමක තියා ගන්න පුළුවන්. "වැරදීම් හා මගහැරීම්" නැහැ. මොකද රටට ආපු ගණන ඩොලර් 500ක් පමණයි. ඒ ගණන ගිණුම් වල හරියට තිබෙනවා. නැත්තේ රටට නොආ කොටස. ඒ කොටස හොර පාරෙන් රටට ගෙනාවොත් " වැරදීම් හා මගහැරීම්" ගොඩට යනවා. නැත්නම් තවමත් රටින් පිට. 

එතකොට ගණන් වැඩියෙන් පෙන්නුවොත්? ඒ කියන්නේ, ඩොලර් 1000ක බඩු අපනයනය කරද්දී ඩොලර් 1500ක් කියා පෙන්නුවොත්? දැන් අමතර ඩොලර් 500ක් නිල වශයෙන්ම රටට එනවා. ඒ සල්ලි එන්නේ කොහෙන්ද? එහෙම වැරදි ඉන්වොයිස් පෙන්නලා සල්ලි ගෙන්වන්නනම් අපනයනකරු සතු, වාර්තා වී නැති, ධනයක් පිටරටක තියෙන්න ඕනෑ. එහෙම නැත්නම් වෙනත් කෙනෙක් අපනයනකරුගේ නමට ප්‍රේෂණයක් කළා වෙන්න ඕනෑ. ඔය දෙකෙන් කොයි එක වුනත් රට ඇතුළට ප්‍රාග්ධන ගලනයක් වෙලා. 

සරලවම කිවුවොත් ඉන්වොයිස් වල නොගැලපීම් වලට හේතුව ප්‍රාග්ධන ගලනය ලෙස සැලකුවොත් එය දෙපැත්තටම සිදු වන බව සලකා වෙනස දෙස බැලිය යුතුයි. එක පැත්තක් දෙස පමණක් බලන එක වැරදියි. එහෙම බැලුවට පස්සේ ශුද්ධ වශයෙන් යම් විදේශ විණිමය ගලනයක් වී ඇත්නම් එයින් අදහස් වන්නේ ගෙවුම් ශේෂය තව දුරටත් නිවැරදි වුවත්, මූල්‍ය ගිණුම හෝ ජංගම ගිණුමේම වෙනත් උප ගිණුමක් යටතේ සටහන් විය යුතු කොටසක් වෙළඳ ගිණුම යටතේ සටහන් වී තිබෙන බවයි. 

මෙවැන්නක් සිදු වීමේ ප්‍රතිඵලයක් ලෙස රටේ බාහිර වත්කම් (බැරකම්) පිළිබඳව තිබෙන ඇස්තමේන්තුවත් නිවැරදි නොවෙන්න පුළුවන්. ඒක තීරණය වන්නේ අදාළ මුදල් යොදා ගැනුණේ කවර කටයුත්තකටද කියන එක මතයි. රටින් මුදලක් පන්නපු පමණින්ම ඒ මුදල් රටින් පිට තිබෙනවා කියන එක අනිවාර්යයෙන් අදහස් වන්නේ නැහැ. මම මේ කියන්නේ කලින් කියපු නැවත රටට ඒ සල්ලි ආපහු ගෙනත් තිබීමේ හැකියාව ගැන නෙමෙයි. ශුද්ධ වශයෙන්ම රටින් පිට කෙරුණු විදේශ විණිමය ගැන.

මේ වගේ මුදලක් වුනත් අදාළ පුද්ගලයා රටින් බැහැර වූ විටක "එන්ජෝයි කරලා" වැය කර අවසන්ව තියෙන්න පුළුවන්. එහෙමනම් එය ජංගම ගිනුමේම වෙන උප ගිනුමක සටහන් විය යුතු මුදලක්. එහෙම නැතුව කොහේ හෝ ආයෝජනය කරලානම් ඒ සල්ලි රටින් පිට තියෙනවා. ඒ විතරක් නෙමෙයි. එවැනි මුදලක් රටින් පිට ඇත්නම් අදාළ ආයෝජනයේ ප්‍රතිලාභ ගෙවුම් ශේෂ ගිණුමේ සටහන් වෙන්නේ නැති ප්‍රශ්නයත් තියෙනවා. ඒ කියන්නේ මුලින් රටින් සල්ලි යද්දී එය ගෙවුම් ශේෂ ගිණුමේ වැරදි තැනක හෝ සටහන් වෙනවා. හැබැයි ඊට පස්සේ වෙන දේවල් ඒ විදිහට අහු වෙන්නේ නැහැ. 

ඇමරිකාව වගේ රටවල බදු ගොනු කරද්දී ලෝකයේ කොහේ හෝ රටක තිබෙන වත්කම් මත ලැබෙන ප්‍රතිලාභ වෙනුවෙන් බදු ගෙවිය යුතුයි. උදාහරණයක් විදිහට ඇමරිකන් පුරවැසියෙකු සතුව ලංකාවේ තිබෙන ගෙයක් හෝ ඉඩමක් විකිනුවොත් එහි ගැනුම් මිල හා විකුණුම් මිල අතර වෙනස ආදායමක් ලෙස පෙන්වලා ඒ වෙනුවෙන් ඇමරිකාවට බදු ගෙවිය යුතුයි. මම දන්නා තරමින් ලංකාවේ බදු නීතිය අනුවත් එහෙමයි. දැන් මේ විදිහට කා සතුව හෝ රටින් පිට එළිදරවු නොකළ වත්කම් තිබෙනවානම්, එම සල්ලි රටින් පිට කරන විට සිදු වන බදු වංචාවට අමතරව, අදාළ වත්කම් එළි නොකර තිබෙන තුරු දිගින් දිගටම සිදු වන බදු වංචාවක්ද එහි තිබෙනවා.

4 comments:

  1. ජනපති රනිල් වැඩ පෙන්නයි. පරිප්පු,අල,ලූණු,මිල පහළට

    පරිප්පු, සීනි, අල, ලූණු , මිරිස් ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල සැලකිය යුතු ලෙස පහළ බැස ඇතැයි පිටකොටුව වෙළඳ සංගමයේ විධායක කමිටු සාමාජික දේව පුරන් මහතා ප්‍රකාශ කළේය.

    ඒ අනුව රුපියල් 600 ක්ව පැවති පරිප්පු තොග මිල රුපියල් 410ක් ලෙසත්, රුපියල් 330ක් පැවති සීනි තොග මිල රුපියල් 270 ක් ලෙසත්, රුපියල් 215 ක් ව පැවති අර්තාපල් තොග මිල රුපියල් 150 ක් ලෙසත් රුපියල් 600ක් ව පැවැති සුදු ලුණු තොග මිල රුපියල් 420ක් ලෙසත් රුපියල් 180ක් ව පැවති රට ලුණු තොග මිල රුපියල් 130 ලෙසත් රුපියල් 1900ක් ව පැවැති මිරිස් කිලෝව රුපියල් 1300ක් ලෙසත් මිල පහළ බැස ඇතැයි ඔහු සඳහන් කළේය.

    ඩොලරයක මිල ස්ථාවර වීම සහ බැංකු මගින් ඩොලර් නිකුත් කිරීම හේතුවෙන් මෙලෙස අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහළ යාමට හේතු වී ඇතැයිද ඔහු තවදුරටත් කීවේය.

    ReplyDelete
  2. ලංකාවේ බදු නීති විතර නොව තවත් නීති නං එමට තිබේ
    ඇති-පැති අය ඉස්සරහදී නැවෙනවා ඔක්කොම වාගේ නීති ඉබේ
    පොඩි මිනිස්සු ඔය නීති දන්නවයැ - කරන්න නීතිය එක්ක හබේ
    මෙහෙමින් හරි ඔබ කියා දෙනවටයි - තුති පුද කරන්නෙ මැදම සබේ

    ReplyDelete
  3. ඉකොනොමැට්ටා

    ලංකාවේ ආර්ථික විද්‍යාව පිළිබඳ මූලික දැනුමක් වත් නැති සාමාන්‍ය ජනතාව බහුතරය අතර ජනප්‍රිය මතය ලංකාවේ රාජපක්ෂ චෞර පවුල ඇමරිකන් ඩොලර් ට්‍රිලියන දාහක් දෙදාහක් අතර ගණනක් හොරකම් කරලා තියෙන බවත් ඒ නිසා ලංකාවේ ආර්ථිකය තුල මේ සියලු ප්‍රශ්න ඇතිවී තිබෙන බවත් රාජපක්ෂ හොර හැත්ත පරදවා උන්ගෙන් හොරා කෑ සල්ලි නැවතත් අයකර ගැනීම මගින් සියලු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දී මට හැකි වන බවයි

    ලංකාවේ මධ්‍යම පන්තියේ යම් තරමකින් හෝ උගත් කමක් ඇති අය වගේම ඇතැම් ආර්ථික විද්‍යා ටියුෂන් ගුරාලා ද මෙවැනි කතා සමාජ ජාල වල විශාල වශයෙන් සමාජ ගත කරනවා දැකිය හැකිය උදාහරණයක් විදියට එක ආර්ථික විද්‍යාව ටියුෂන් කරන එක ගෝතයෙක් ලංකාවේ ඉන්ධන අර්බුදය ඇති කළේ මිනිස්සු පාරට බැහැලා අරගල කිරීම වලක්වන්න කියලා අමු ගොන් කතාවක් කියලා තප්පු දාල තිබ්බ ඒකට හූමිටි තියමින් කමෙන්ට් දාල තිබ්බ සෑහෙන පිරිසක් ඉතින් මොන ආර්ථික මූල්‍ය සාක්ෂරතාවක් ද ලංකාවේ?

    තව දෙයක් මේ දවස්වල ජනාධිපති රනිල් මහතා ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය වෙනස් කර තිබෙන බව පේනවා නේද ඔහු පෙන්වා දී ඇත්තේ චීනය විසින් ඉදිරිපත් කල "One Belt, One Road "( Belt And Road Initiative ) ඇමරිකාව ඉන්දියාව ජපානය ඔස්ට්‍රේලියාව අරම්භ කර "Indo- Pacific Strategy " ව්‍යාපෘති දෙකෙම ලංකාව සිට්න නිසා චීන තායිවාන් අර්බුදය සමග ඔහු හිතන්නේ නැහැ ලංකාවේ ජාතික ආරක්ෂාවට බලපෑමක් වේයි කියලා මොකද ලංකාව හැටියට ඔය ව්‍යාපෘති දෙකෙම ඉන්න එක සහ බලපැම අඩූ උනාට අපි ඉන්දියාවේ ආරක්ෂව ගැන සිතන එක ගැන වරදක් නැ . මොකද ඉන්දියානු සාගර කලාපයට අදාල ආර්ථික ආරක්ෂක වැඩ පිළිවෙල ට අපේ රට සහා භූමි ය ඔය දෙගොල්ලොට ම ලංකාව වැදගත්

    නමුත් මම හිතන්නේ මේ ප්‍රශ්න නිසා ලංකාවේ අනාගත ආර්ථික දේශපාලනික ප්‍රතිපත්ති වලට දැඩි ලෙස බලපෑම් එල්ල විය හැකි බව යුක්රේන අර්බුදය ලංකාවේ ආර්ථිකය විශාල වශයෙන් කඩා බිඳ වැටීම තවත් බරපතල කිරීමත් සමගම මේකේ අපට නොසලකා හැරීම කළ නොහැකි බවත් මට හිතන්නේ මොකද ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ඔබට ?

    ReplyDelete
  4. ඔබේ නිරීක්ෂණය සහ පැහැදිලි කිරීම් හොඳයි ඉකොනොමැට්ටා නමුත් ලංකාව වගේ හැමදෙයක්ම නිකං දියව් කියන තරුණයන් ඉන්න රටක ඩොලර්ස් වලින් එන දේවල් රුපියල් වලින් ඉල්ලන එකත් එක්තරා ආකාරයක නිකං ඉල්ලනවා වගෙ තමයි නේද?

    මොකද ලංකාවෙ මෑත ඉහිහාසය පුරාම රටේ රුපියල් හම්බකරන මිනිස්සුන්ට ජීවත්වීමට රටේම තවත් මිනිසුන් කොටසකට ඩොලර්ස් හම්බකරන්න වෙලා.එය කොතෙක් දරුණු වෙලාද කියනවන්ං 10% ඩොලර්ස් උපුයනකොට 90% ක්ම රුපියල් උපයන්න පුරුදු වෙලා. ඕක තේරුම් කරලා දෙන්න තරම් නිදහස් අධ්‍යාපනය අන්ධ වෙලා. එසේ නොවන්නට ඉතිහාසය පුරාවටම සිටි පාලකයන් කල වැරදි වලට එක් පාලකයෙක්ගෙන් පලිගන්නේ නැහැ. වෙළඳ පොළේ ඉල්ලුමක් ඇති දේවල් ඉගෙනගන්න පෙළඹෙන ස්වභාවයක් ඇති අධ්‍යාපන ක්‍රමයක් නැතී කාටහරි හොඳයි කියලා හිතෙන නිසාම උගන්වන්න තීරණය කර ඇති යල්පැනගිය දැනුමක් ලබා දෙන නිකං ලැබෙන අධ්‍යාපන ක්‍රමය නිසා මෙය කවුරුත් වටහාගන්නෙත් නැහැ. මේ ගැනත් සාකච්ඡා කළ යුතුයි නේද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: