මෙය කියවන අය අතර සෑහෙන කාලයක සිට අපව කියවන සැලකිය යුතු පිරිසක් ඉන්නවා. නමුත් වැඩි පිරිසක් පසුගිය ආර්ථික අර්බුද සමයෙන් පසුව එකතු වූ අය. විශේෂයෙන්ම වත්පොත හරහා අපව කියවන වැඩි දෙනෙකු එවැනි අය. ඒ නිසා, ඒ අය වෙනුවෙන්, සමහර මූලික සංකල්ප නැවත පැහැදිලි කළ යුතුව තිබෙනවා.
මෙම සටහනේ අරමුණ නාමික දළ දේශීය නිෂ්පාදිතය හා මූර්ත දළ දේශීය නිෂ්පාදිතය කියන සාර්ව ආර්ථික විද්‍යාවේ මූලික විචල්‍ය දෙක ගැන නැවතත් මූලික මට්ටමේ හඳුන්වා දීමක් කරන එක. අපගේ පාඨකයින් බොහෝ දෙනෙකුට මේ මේ මට්ටමේ පැහැදිලි කිරීමක් අවශ්‍ය නොවනු ඇති වුනත්, මෙවැනි මූලික දේවල් ගැනවත් අවබෝධයක් නොමැති අයත් අපේ පාඨකයින් අතර සිටින නිසා ඒ අය වෙනුවෙන් මෙවැනි සටහනක් ලියන්න වෙනවා.
මේ වන විට මෙවැනි පැහැදිලි කිරීමක් නැවත කිරීමේ දේශපාලනික අවශ්‍යතාවයක්ද මෝදු වෙමින් තිබෙනවා.
වසර කිහිපයකට පෙර ලංකාවේ ආර්ථිකයේ සිදු වූ විශාල කඩා වැටීම තවමත් බොහෝ දෙනෙකුට අමතක වී නැහැ. ඒ වගේම, එවැනි කඩා වැටීමක් සිදු වූ බව තවමත් බොහෝ දෙනෙකුට ප්‍රතික්ෂේප කරන්න බැහැ. ආර්ථික අර්බුදයේ කම්පනය තවමත් තිබෙනවා. නමුත් කාලයත් එක්ක මේ සාමූහික මතකයේ කම්පනයත් ටිකෙන් ටික ක්ෂය වෙලා යයි. අවුරුදු 26ක සිවිල් යුද්ධය දැන් ගොඩක් අයට මතක නැහැ වගේ.
රටක ප්‍රතිපත්ති සම්පාදකයින්ට ඒ රටේ ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගත නොහැකි තත්ත්වයක් ආර්ථිකයේ කඩා වැටීමක් ලෙස සරලව හඳුන්වන්න පුළුවන්. බාහිර කම්පනයක් නිසා මෙවැන්නක් සිදු විය හැකි වුවත්, එයින් අදහස් වන්නේද බාහිර කම්පනයකට ඔරොත්තු දිය හැකි ආර්ථිකයක් රටේ තිබී නැති බවයි. දශක ගණනාවක් තිස්සේ ලංකාවේ තිබුණේ එවැනි ආර්ථිකයක්.
අඩු වැඩි වශයෙන් ඕනෑම රටක ආර්ථිකයකට බාහිර කම්පන දරාගත හැකි සීමාවක් තිබෙනවා. ස්ථායී ආර්ථිකයක් කියා කිව හැක්කේ මේ දරා ගැනීමේ හැකියාව ගොඩක් ඉහළ ආර්ථිකයකටයි. පසුගිය ආර්ථික අර්බුදයට පෙර ලංකාවේ ආර්ථිකයේ දරා ගැනීමේ හැකියාව පැවතුණේ ඉතාම පහළ මට්ටමකයි.
සාර්ව ආර්ථික ස්ථායීතාවය කියන එක සාමාන්‍ය පුද්ගලයෙකුට ඇඟට දැනෙන එකක් නෙමෙයි. එහි වැදගත්කම සාමාන්‍ය පුද්ගලයෙකුට දැනෙන්නේ ආර්ථිකයක් අස්ථායී වී කඩා වැටීමකට ලක් වූ විට පමණයි. සාමාන්‍ය පුද්ගලයෙකුට දැනෙන්නේ තමන්ගේ ජීවන තත්ත්වය උසස් වීම හෝ පහත වැටීමයි. ජීවන තත්ත්වය උසස් වෙන්නේ ආර්ථික වර්ධනයත් එක්කයි. ඒ නිසා ආර්ථික වර්ධනය පිළිබඳව ගොඩක් අය සංවේදී වුවත්, ආර්ථික ස්ථායීතාවය පිළිබඳව ගොඩක් අය සංවේදී නැහැ.
රටක ආර්ථික ප්‍රතිපත්තිය අවසාන වශයෙන් තීරණය වෙන්නේ දේශපාලනය හරහා. රටේ ගොඩක් අය ආර්ථික වර්ධනය පිළිබඳව සංවේදී වන තරමට ආර්ථික ස්ථායීතාවය පිළිබඳව සංවේදී නැති තත්ත්වයක් තුළ, ආර්ථික වර්ධනයට ලැබෙන ප්‍රතිපත්ති ප්‍රමුඛතාවය ආර්ථික ස්ථායීතාවයට ලැබෙන්නේ නැහැ. කාලයක් තිස්සේම ලංකාවේ සිදු වුනේ මෙයයි.
නමුත් පසුගිය ආර්ථික අර්බුදයෙන් පසුව මේ තත්ත්වයේ වෙනසක් සිදු වුනා. ආර්ථික ස්ථායීතාවයේ වැදගත්කම රටේ බොහෝ දෙනෙකුට ක්ෂණිකව අවබෝධ වුනා. ඊට හේතුව ඊට පෙර වියුක්තව සිතා තේරුම් ගත යුතුව තිබුණු දෙයක් ප්‍රායෝගික අත්දැකීම් විදිහට අත්විඳින්න ලැබීමයි. මේ තත්ත්වය තුළ, රටේ ආර්ථික ප්‍රතිපත්තියේද වෙනසක් සිදු වුනා. ඒ ප්‍රතිපත්ති වෙනස්කම් සිදු කිරීම සඳහා කලින් නොලැබුණු මහජන සහයෝගයක් ලැබුණා. අවශ්‍යනම් මහජන සහයෝගයක් ලැබුණා නොකියා මහජන විරෝධය පාලනය වීමක් සිදු වුනා කියන්න වුනත් පුළුවන්. ආණ්ඩුව වෙනස් වීමෙන් පසුවද මේ තත්ත්වයේ වෙනසක් සිදු වුනේ නැහැ.
එහෙත් අවසාන වශයෙන් රටක ජනතාවට ඇඟට දැනෙන්නේ වර්ධනයේ ප්‍රතිලාභ මිසක් ස්ථායීතාවයේ ප්‍රතිලාභ නොවන නිසා, ස්ථායීතාවය පිළිබඳව පැවතුනු මහජන උනන්දුව ක්‍රමයෙන් ක්ෂය වී යාම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ ආර්ථික ප්‍රතිපත්ති හරහා අවසාන වශයෙන් ඉස්මතු වෙන්නේ මහජන මතය නිසා මෙවැනි වෙනසක දේශපාලනික බලපෑමක් තිබෙනවා. දළ දේශීය නිෂ්පාදිතය හා මූර්ත දළ දේශීය නිෂ්පාදිතය වැනි සාර්ව ආර්ථික විචල්‍ය ගැන දැනුවත්ව සිටීම දේශපාලනික අවශ්‍යතාවයක්ද වන්නේ ඒ නිසා.
ආර්ථික වර්ධනය කියන්නේ කුමක්ද?
මෙය ඉතාම සරල ප්‍රශ්නයක් සේ පෙනෙන්න පුළුවන්. ආර්ථික වර්ධනය ගැන කතා නොකරන කෙනෙක් නැති තරම්. නමුත් ඒ ඕනෑම කෙනෙකුට ඉහත ප්‍රශ්නයට නිවැරදි පිළිතුරක් දෙන්න පුළුවන්ද?
ආර්ථික වර්ධනය මනින්නේ දළ දේශීය නිෂ්පාදිතයේ ඉහළ යාම ඇසුරෙනුයි. දළ දේශීය නිෂ්පාදිතය කියන්නේ කිසියම් වසරක කිසියම් රටක නිපදවනු ලැබූ භාණ්ඩ හා සේවා ප්‍රමාණය. ඒ අනුව, ආර්ථික වර්ධනය කියා කියන්නේ වසරක් ඇතුළත එසේ නිපදවනු ලැබූ භාණ්ඩ හා සේවා ප්‍රමාණය පෙර වසරට සාපේක්ෂව වැඩි වීම. අවශ්‍යනම් වසරක කාලයක් වෙනුවට කාර්තුවක (මාස තුනක) වැනි කාලයක් සලකා බලන්න පුළුවන්. රටම වෙනුවට රටේ එක් පළාතක් සලකා බලන්න පුළුවන්. නමුත් මූලික අදහස එකයි. ඒ නිසා, අපි රටක් සහ වසරක කාලයක් සලකමු. වඩාත්ම ප්‍රචලිතව ආර්ථික වර්ධනය ගැන කතා කෙරෙන්නේ රටක් හා වසරක කාලයක් අරගෙනයි.
මේ සංකල්පීය අර්ථදැක්වීම අනුව, දළ දේශීය නිෂ්පාදිතයට මුදල් වල සම්බන්ධයක් නැහැ. එහි මූලික පදනම රටක නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණයයි. රටක නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඉහළ යද්දී ඒ රටේ ජනතාවගේ පරිභෝජනය කිරීමේ හැකියාවද ඉහළ යනවා. ඒ නිසා දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යාම ඒ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය සමස්තයක් ලෙස ඉහළ යාමක් ලෙස සලකන්න පුළුවන්.
පසුගිය අවුරුද්දේ රටේ සමස්ත නිෂ්පාදනය පොල් ගෙඩි 10ක් සහ හාල් කිලෝ 10ක් පමණක්නම්, මේ අවුරුද්දේ රටේ සමස්ත නිෂ්පාදනය පොල් ගෙඩි 11ක් සහ හාල් කිලෝ 11ක් වෙලානම්, ආර්ථික වර්ධනය 10%ක් ලෙස සලකන්න පුළුවන්. නමුත් රටේ නිපදවන සෑම භාණ්ඩයක් හා සේවාවක්ම ඔය විදිහට එකම අනුපාතයකින් වැඩි වෙන්නේ (හෝ අඩු වෙන්නේ නැහැ). මේ අවුරුද්දේ රටේ සමස්ත නිෂ්පාදනය පොල් ගෙඩි 11ක් සහ හාල් කිලෝ 12ක් වෙලානම්, ආර්ථික වර්ධනය සේ සලකන්නේ පොල් වල 10%ද නැත්නම් හාල් වල 20%ද?
රටක නිපදවන්නේ හාල් හා පොල් පමණක් නෙමෙයි. තවත් ගොඩක් දේවල් නිපදවනවා. ඒ එක් එක් භාණ්ඩයේ හෝ සේවාවේ නිෂ්පාදිතය වසරක් තුළ ඉහළ හෝ පහළ යන්නේ එකම අනුපාතයකින් නෙමෙයි. ඒ නිසා, ආර්ථික වර්ධනය මැනීම සඳහා අපට මේ වෙනස්වීම් වල සාමාන්‍ය අගයක් ගන්න වෙනවා. නමුත් මේ සාමාන්‍ය අගය විදිහට සරල සාමාන්‍යය ගන්න එකේත් ප්‍රශ්නයක් තිබෙනවා.
උදාහරණයක් විදිහට අපි පොල් වල 10% වර්ධනයේ සහ හාල් වල 20% වර්ධනයේ සාමාන්‍ය අගය වන 15% රටේ ආර්ථික වර්ධන වේගය ලෙස සලකනවා කියා හිතමු. මෙහිදී අපට පොල් ගෙඩියකින් රටේ නිෂ්පාදිතය වැඩිවීම සහ හාල් කිලෝවකින් රටේ නිෂ්පාදිතය වැඩි වීම කියන්නේ දෙකක් නොව එකක් ලෙස සලකන්න වෙනවා. ඊට හේතුව මේ ක්‍රමය අනුව පොල් ගෙඩි තුනකින් පමණක් නිෂ්පාදිතය වැඩි වුනත්, හාල් කිලෝ තුනකින් පමණක් නිෂ්පාදිතය වැඩි වුනත්, පොල් ගෙඩියකින් හා හාල් කිලෝ දෙකකින් නිෂ්පාදිතය වැඩි වුනත් ආර්ථික වර්ධනය සමාන වීමයි. නමුත් එය නිවැරදිද?
හාල්, පොල් අතරට මෝටර් රථයක් වගේ දෙයක් එකතු කළ විට ප්‍රශ්නය වඩා පැහැදිලිව පේනවා. වැඩිපුර මෝටර් රථයක් නිපදවනවා කියන එක සහ වැඩිපුර පොල් ගෙඩියක් නිපදවනවා කියන්නේ එකක් නෙමෙයි දෙකක්. පොල් ගෙඩියකට වඩා මෝටර් රථයක් වටිනවා කියන එක කාට වුනත් තේරෙනවා. ඒ නිසා, වෙනස් භාණ්ඩ හා සේවාවන් අපට සරල ලෙස එකතු කරන්න බැහැ. ඒවා එකතු කිරීම සඳහා අපට භාණ්ඩ හා සේවා එකිනෙකට සමාන වෙන්නේ කොහොමද කියා හිතන්න වෙනවා. දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු කරද්දී මුදල් ඒකකයක් යොදා ගන්නේ මේ ප්‍රශ්නය විසඳන්නයි.
මුදල් ඒකකයක් යොදා ගෙන අපට ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් එහි වටිනාකම අනුව මුදල් වලින් මනින්න පුළුවන්. එවිට මේ වටිනාකම් එකතු කරන්න පුළුවන්. ඒ නිසා, හාල්, පොල් හා මෝටර් රථ වල ඒකකයක් එක සමාන සේ සැලකීමක් සිදු වෙන්නේ නැහැ. වටිනාකම වැඩි නිෂ්පාදිතයට වැඩි බරක් වැටෙනවා.
දැන් අපි වඩා වැදගත් කොටස තේරුම් ගැනීම සඳහා ඇමරිකාවේ 2017 සහ 2024 දළ දේශීය නිෂ්පාදිත අගයන් දෙස බලමු.
2017 - ඩොලර් බිලියන 19,612
2024 - ඩොලර් බිලියන 29,298
වර්ධනය (වසර හතක් ඇතුළත) - 49.4%
මේ ගණන් අපට රුපියල් වලින් ඉදිරිපත් කරන්නත් පුළුවන්.
2017 - රුපියල් ට්‍රිලියන 2,990 (ඩොලරය = රුපියල් 152.46)
2024 - රුපියල් ට්‍රිලියන 8,852 (ඩොලරය = රුපියල් 302.12)
වර්ධනය (වසර හතක් ඇතුළත) - 96.0%
රුපියල් වලින් බැලුවොත් ඇමරිකාවේ ආර්ථිකය වසර හතක් ඇතුළත 96.0%කින් වර්ධනය වෙලා තියෙනවා. නමුත් ඩොලර් වලින් බැලුවොත්, ඇමරිකාවේ ආර්ථිකය වර්ධනය වෙලා තියෙන්නේ 49.4%කින් පමණයි. එහෙමනම්, ඔය දෙකෙන් හරි එක කොයි එකද?
රුපියල් වලින් බලද්දී පෙනෙන 96.0% වැරදියි කියලා ගොඩක් අය කියයි. ඒකට හේතුව ඔය කාලය ඇතුළත රුපියල බාල්දු වීම කියලා සමහර විට පැහැදිලි කිරීමකුත් කරයි. නමුත් එහෙම පැහැදිලි කිරීමක් කළ හැකි ඇතැම් අය 49.4%ක වර්ධනය වැරදියි කියා නොකියන්න ඉඩ තිබෙනවා.
ඇත්තටම කිවුවොත්, ඔය අගයයන් දෙකෙන් එකක් අනෙක් එකට වඩා වැඩියෙන් හරි හෝ වැරදි නැහැ. එක්කෝ දෙකම හරි. නැත්නම් දෙකම වැරදියි.
ඉහත වසර හතක කාලය ඇතුළත නාමික රුපියල් වටිනාකම අනුව, ඇමරිකාවේ ආර්ථිකය 96.0%කින් වර්ධනය වී තිබෙනවා. ඒ වගේම, නාමික ඩොලර් වටිනාකම අනුව, ඇමරිකාවේ ආර්ථිකය 49.4%කින් වර්ධනය වී තිබෙනවා. ඒ නිසා, ඔය දෙකම හරි. නමුත් අපට මනින්න අවශ්‍ය වන්නේ ඔය අවුරුදු හතක කාලය ඇතුළත ඇමරිකාවේ නිෂ්පාදිතයේ ඇත්තටම සිදු වූ වර්ධනයනම්, ඔය ගණන් දෙකම වැරදියි.
නාමික කියන එකෙන් අදහස් වන්නේ "නමට" සිදු වූ වර්ධනයක් කියන එකයි. එය සැබෑ වර්ධනයක් නෙමෙයි.
රටක භාණ්ඩ හා සේවා විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරන නිසාත්, ඒ භාණ්ඩ හා සේවා වල නිෂ්පාදිතය එකතු කළ හැකි තනි ඒකකයක් අවශ්‍ය නිසාත්, අපි ඔය වැඩේට කිසියම් මුදල් ඒකකයක් යොදා ගන්නවා. යොදා ගන්නා මුදල් ඒකකය රුපියල් වුනත්, ඩොලර් වුනත් අවශ්‍ය වැඩේ කෙරෙනවා. ඒ නිසා, ඔය ක්‍රමයට කිසියම් අවුරුද්දක රටක දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරන්න පුළුවන්. ඒ වගේම, එහෙම කරන එකේ වැරැද්දකුත් නැහැ. නමුත් ඔය විදිහට වෙනස් වසර දෙකක දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරලා සංසන්දනය කරද්දී අමතර ප්‍රශ්නයක් මතු වෙනවා. ඒ ප්‍රශ්නය තමයි අදාළ වසර දෙක ඇතුළත භාණ්ඩ හා සේවා වල වටිනාකම් වෙනස් වීම.
භාණ්ඩ හා සේවා වල වටිනාකම් වසරෙන් වසරට වෙනස් වෙනවා. ඒ නිසා රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදිතයේ කිසිම වෙනසක් සිදු නොවුනත්, මුදල් වර්ගයක් මගින් මනින එම භාණ්ඩ හා සේවා වල අගය වෙනස් වෙනවා. ඒ වගේම, කොයි තරම් වෙනසක් වෙනවද කියන එක මේ සඳහා යොදා ගන්නා මුදල් ඒකකය අනුවත් වෙනස් වෙනවා. "නාමික ආර්ථික වර්ධනයක්" එහෙමත් නැත්නම් නිකම් නමට වර්ධනයක් කියා කියන්නේ ඒ නිසා.
නාමික ආර්ථික වර්ධනයක් තිබූ පමණින් රටක මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ යන්නේ නැහැ. ඒ සඳහා රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදිතය ඉහළ යා යුතුයි. සැබෑ වර්ධනයක් එහෙමත් නැත්නම් මූර්ත වර්ධනයක් කියා කියන්නේ එවැන්නකටයි. මුදල් වලින් මනින වටිනාකම් වෙනස් වීමේ ප්‍රතිඵලයක් ලෙස දැකිය හැකි නාමික ආර්ථික වර්ධනයක් සැබෑ ආර්ථික වර්ධනයක් නෙමෙයි. එහෙමනම්, මූර්ත ආර්ථික වර්ධනය මැන ගත හැක්කේ කොහොමද?
භාණ්ඩ හා සේවා වල නිෂ්පාදිත එකතු කළ යුතු නිසා අපට එම නිෂ්පාදිත මුදල් වටිනාකම් වලට පරිවර්තනය නොකර මේ වැඩේ කරන්න විදිහක් නැහැ. එසේ වුවත්, මූර්ත ආර්ථික වර්ධනය මැනීම සඳහා අපට භාණ්ඩ හා සේවා වල වටිනාකම් වෙනස් වීම් නොසලකා හැර, නියතව තියාගෙන, ගණනය කිරීමක් කරන්න පුළුවන්. ඉහත උදාහරණය වෙත ගියොත්, අපට ඇමරිකාව තුළ 2024දී නිපදවූ භාණ්ඩ හා සේවා වල වටිනාකම 2017දී පැවති මිල ගණන් යොදා ගෙන තක්සේරු කරන්න පුළුවන්. එහෙමත් නැත්නම්, 2017දී නිපදවූ භාණ්ඩ හා සේවා වල වටිනාකම 2024දී පැවති මිල ගණන් යොදා ගෙන තක්සේරු කරන්න පුළුවන්. නිෂ්පාදිතයේ ඇත්තටම සිදු වූ වැඩි වීම මැනිය හැක්කේ ඔය විදිහට එකම වටිනාකම් යොදා ගෙන තක්සේරුවක් කළහොත් පමණයි.
අපි 2017දී පැවති මිල ගණන් යොදා ගෙන මේ තක්සේරුව කරමු. එසේ කළ පසුවද, 2017 අගයේ වෙනසක් වෙන්නේ නැහැ. නමුත්, 2024 අගය සැලකිය යුතු ලෙස අඩු වෙනවා.
2017 - ඩොලර් බිලියන 19,612
2024 - ඩොලර් බිලියන 23,358
වර්ධනය (වසර හතක් ඇතුළත) - 19.1%
පේනවානේ වෙනස. දැන් අර කලින් තිබුණු 49.4% වර්ධනය නැහැ. එය 19.1% දක්වා අඩු වෙලා. ඒ තමයි මූර්ත වර්ධනය හෙවත් සැබෑ වර්ධනය.
දැන් අපිට ඉහත ගණන් 2017 රුපියල් වලින් ඉදිරිපත් කරන්නත් පුළුවන්.
2017 - රුපියල් ට්‍රිලියන 2,990 (ඩොලරය = රුපියල් 152.46)
2024 - රුපියල් ට්‍රිලියන 3,561 (ඩොලරය = රුපියල් 152.46)
වර්ධනය (වසර හතක් ඇතුළත) - 19.1%
රුපියල් වලින් මැන්නත්, ඩොලර් වලින් මැන්නත් වර්ධන වේගයේ වෙනසක් නැහැ. ඊට හේතුව, මෙය මූර්ත වර්ධනයක් හෙවත් සැබෑ වර්ධනයක් වීමයි. යොදා ගන්නා මුදල් ඒකකය අනුව වෙනස් වෙන්නේ නාමික ආර්ථික වර්ධනය පමණයි. ඊට හේතුව එක් එක් මුදල් ඒකකයේ වටිනාකම කාලයත් සමඟ වෙනස් වන්නේ එකම වේගයෙන් නොවීමයි. නමුත් සංකල්පීය වශයෙන් ආර්ථික වර්ධනය සේ සලකන්නේ නිෂ්පාදිතය ඉහළ යාම මිසක් වටිනාකම් වෙනස් වීම නොවන නිසා එය මූර්ත ආර්ථික වර්ධන වේගය කෙරෙහි බලපාන්නේ නැහැ.
දැන් අපිට මේ විදිහටම "රාජපක්ෂ දශකයේ", ඒ කියන්නේ 2004-2014 කාලයේ, ආර්ථික වර්ධනය දෙසත් බලන්න පුළුවන්. මේ කාලය විශේෂයෙන්ම සලකා බලන්නේ එම කාලයේ ලංකාවේ ආර්ථිකය හතර ගුණයක් වූයේයයි සිතන අය තවමත් ඉතිරි වී සිටින නිසා. මුලින්ම අපි රුපියල් වලින් හා ඩොලර් වලින් 2004 හා 2014 වසර වල ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතය දෙස බලමු.
2004 - රුපියල් බිලියන 2,090.8
2014 - රුපියල් බිලියන 10,361.1
වර්ධනය (වසර දහයක් ඇතුළත) - 395.6%
2004 - ඩොලර් බිලියන 20.7 (ඩොලරය = රුපියල් 101.19)
2014 - ඩොලර් බිලියන 79.4 (ඩොලරය = රුපියල් 130.56)
වර්ධනය (වසර දහයක් ඇතුළත) - 284.1%
ගොඩක් අය ඔය කාලය ඇතුළත ලංකාවේ ආර්ථිකය හතර ගුණයක් වුනා කියා හිතාගෙන ඉන්නේ දෙවනුවට තිබෙන නාමික වර්ධනය අනුවයි. ඔය අවුරුදු දහයේ ඩොලර් නාමික වර්ධනය ඇත්තටම 3.84 ගුණයක්. නමුත් බලන්නේ නාමික වර්ධනයනම්, රුපියල් වලින් බැලුවොත් 4.96ක වර්ධනයක් තිබෙන නිසා හතර ගුණයක් නොකියා පස් ගුණයක වර්ධනයක් කියා කියන්නත් පුළුවන්. තවත් වැඩි වර්ධනයක් දකින්න කැමති කෙනෙකුට අවශ්‍යනම් වෙනිසියුලාවේ බොලිවාරය වගේ මුදල් ඒකකයක් යොදාගෙන ඔය වගේ තුන් ගුණයක පමණ වර්ධනයක් පෙන්නන්න වුනත් පුළුවන්!
ඒ කියන්නේ 2004-2014 කාලයේ ලංකාවේ ආර්ථිකය හතර ගුණයකින් වර්ධනය වුනා කියන එක බොරුවක්ද?
නෑ. මෙය බොරුවක් නෙමෙයි. හතර ගුණයක වර්ධනයක් වුනා. නමුත් එය නාමික වර්ධනයක් පමණයි. රුපියල් වලින්නම් පස් ගුණයකම වර්ධනයක් වුනා. එහෙත්, එවැනි මට්ටමක මූර්ත වර්ධනයක් ඔය කාලයේ සිදු වුනේ නැහැ.
ඒ කියන්නේ මූර්ත වර්ධනයක් ඔය කාලයේ සිදු වුනේම නැද්ද?
හතර ගුණයක මූර්ත වර්ධනයක් සිදු වුනේ නැතත් ඔය කාලයේ ලංකාවේ ආර්ථිකය වර්ධනය වුනා. පහත තිබෙන්නේ 2004 රුපියල් වලින් සහ 2004 ඩොලර් වලින් ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සහ මූර්ත වර්ධනය.
2004 - රුපියල් බිලියන 2,091
2014 - රුපියල් බිලියන 3,886
වර්ධනය (වසර දහයක් ඇතුළත) - 85.8%
2004 - ඩොලර් බිලියන 20.7 (ඩොලරය = රුපියල් 101.19)
2014 - ඩොලර් බිලියන 38.4 (ඩොලරය = රුපියල් 101.19)
වර්ධනය (වසර දහයක් ඇතුළත) - 85.8%
රාජපක්ෂ දශකය තුළ ලංකාවේ ආර්ථිකය වර්ධනය වුනා. නමුත් අවුරුදු දහයක වර්ධනය 85.6%ක් මිසක් හතර ගුණයක් නෙමෙයි. ඔය හතර ගුණයේ කතාව ඇතුළේ තිබෙන්නේ දේශපාලනික අරමුණකින් කාලයක් තිස්සේ හිතාමතාම කළ මොළ ශෝධනයක ප්‍රතිඵලයක්.
සාමාන්‍යයෙන් ආර්ථික වර්ධනය ගැන කතා කරන කෙනෙක් මූර්ත ආර්ථික වර්ධනය ගැන මිසක් නාමික ආර්ථික වර්ධනය ගැන බර තියලා කතා කරන්නේ නැහැ. නමුත් නාමික ආර්ථික වර්ධනය සැලකිල්ලට ගත යුතු සන්දර්භයන්ද තිබෙනවා. උදාහරණ විදිහට දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාත ලෙස සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කරද්දී සැලකිල්ලට ගන්නේ නාමික දළ දේශීය නිෂ්පාදිතය. නමුත් ඒ වගේ අවස්ථා වලදී වඩා වැදගත් වන්නේද රුපියල් වලින් ගණනය කරන නාමික දළ දේශීය නිෂ්පාදිතයයි.
ඉහත කාලයේදී හා ඉන් පසුව, දේශපාලන ව්‍යාපෘතියක් ලෙස නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය ගැන කතා කරද්දී ඩොලර් නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය කෙරෙහි මිසක් රුපියල් නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය මත බර තැබුවේ නැහැ. එහෙම කළානම් නඩුව පරදිනවා.
රුපියල් වලින් බැලුවොත්, 2020-2024 අවුරුදු හතර ඇතුළත වුනත් නාමික දළ දේශීය නිෂ්පාදිතය දෙගුණයකට ආසන්න වෙලා තියෙනවා.
2020 - රුපියල් බිලියන 15,646
2024 - රුපියල් බිලියන 29,999
වර්ධනය (වසර දහයක් ඇතුළත) - 91.1%
පසුගිය අවුරුදු හතර ඇතුළත ලංකාවේ ආර්ථිකය දෙගුණයක් වුනා කියා කිවුවොත් කවුරුවත් ඒක පිළිගන්න එකක් නැහැ. නමුත්, ඒ වගේම බොරුවක් (හෝ ඇත්තක්) වන, 2004-2014 කාලය තුළ ආර්ථිකය හතර ගුණයක් වුනා කියන එක විශාල පිරිසක් පිළිගත්තා. ඒ ගොඩක් අය, ආර්ථික විද්‍යාව ගැන මෙලෝ මළ හත්තිලව්වක් දැනගෙන නොසිටි නමුත්, වෙනත් විවිධ වෘත්තීන් වල ප්‍රවීණතාවක් ලබා සිටි අය. ඔය කතාවට රැවටුණේ ගම් වල සාමාන්‍ය මිනිස්සු නෙමෙයි.
මෙවැනි බොහෝ දෙනෙකු ආර්ථික අර්බුදයෙන් පසුව මූලික ආර්ථික විද්‍යා සංකල්ප ගැන දැනගන්න උනන්දුවක් ඇති කරගෙන සැලකිය යුතු අවබෝධයක් ලබාගෙන ඇතත්, එවැනි අවබෝධයක් තවමත් නොමැති අයද සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. එකම බොරුවට නැවත නැවත රැවටෙනවානම්, ආර්ථික අර්බුදයේ කටුක අත්දැකීම් වලින් පසුවද එවැනි අය අවශ්‍ය පාඩම ඉගෙනගෙන නැහැ.
රාජපක්ෂ දශකය තුළ සහ ඉන් පසුව මෙවැනි බොරුවක් ජනගත කර එයින් දේශපාලනික වාසියක් ලබා ගත හැකි වීමට කරුණු කීපයක් ඉවහල් වුනා. පළමුවැන්න ඔය කාලයේ මූර්ත ආර්ථික වර්ධනයද සැලකිය යුතු ඉහළ මට්ටමක තිබීම සහ එහි ප්‍රතිඵල පෙනෙන්න තිබීම. දෙවැන්න, අනෙක් බොහෝ වකවානු වලද මීට කිට්ටුවෙන් යන රුපියල් නාමික වර්ධනයක් තිබුණද, මේ මට්ටමේ ඩොලර් නාමික වර්ධනයක් නොතිබීම.
ඔය සාධක දෙකම රටේ ආර්ථික ස්ථායීතාවය බිඳ වැටී පසුව ආර්ථිකය කඩා වැටීමට හේතු වුනා. මේ ගැන අප විසින් පැහැදිලි කිරීම් කර තිබෙන්නේ ආර්ථිකය කඩා වැටීමට බොහෝ කාලයකට පෙර සිටයි. කෙසේ වුවද, මේ ලිපියෙන් එම කරුණු නැවත සාකච්ඡාවට ගන්නේ නැහැ. මෙහි අරමුණ නාමික ආර්ථික වර්ධනය සහ මූර්ත ආර්ථික වර්ධනය අතර වෙනස සරලව පැහැදිලි කිරීමයි. අනෙකුත් කරුණු ගැන පසුව වෙනම කතා කරමු.
+++++++++++++
ReplyDeleteGood post k ikono
ReplyDeleteඇමරිකන් හමුදාව දම්මලා පච කොටාව අල්ලං යන්න කියන්න බැරිද ඉකොනො
ReplyDeleteඔය කෙබර කොටා වගේ මොංගල් මන්ද බුද්ධික කැත කොට අංගවිකල කේප්ප හරකෙක් අල්ලන්න යෝජනා කරමින් වටිනා ඇමරිකන් රණවිරුවන්ට කරන ලද දරුණු අපහාසය අපේ දැඩිපිලිකුලට ලක්වන අතර අප එම ප්‍රකාශය දැඩි ලෙස හෙලා දකිමු. !
Deleteඉකොනොමැට්ටා, ඔයා ඉදිරිපත් කරලා තියෙන දත්ත අනුව 2017 සිට 2024 දක්වා වසර හත ඇතුලත ඇමරිකානු එක්සත් ජනපදයේ මූර්ත සැබෑ ආර්ථික වර්ධනය 21% ක් පමණ නම් වාර්ෂික ආර්ථික වර්ධනය 3% ක් පමණ (ආසන්න වශයෙන්) නේද?
ReplyDeleteඒ වගේම 2005 සිට 2015 දක්වා වසර දහයකට ආසන්න කාලයේ ඔයා ඉදිරිපත් කරලා තියෙන දත්ත අනුව 8.5% ක දැවැන්ත සෑබෑ ආර්ථික වර්ධනයක් වෙලා තියෙනවා නේද?
මේ වගේ විශාල ආර්ථික වර්ධනයක් වීමට හේතුව කුමක්ද? සුනාමියෙන් විනාශ වූ ගෙවල් සැදීම සහ යුද්ධයෙන් පසුව උතුරු නැගෙනහිර පළාත් වල ආර්ථිකය එකතුවීම වගේ දේවල් අතහැර බැලුවත් ඉතාමත් පැහැදිලිවම අතිවිශාල ආර්ථික ප්‍රසාරණයක් සිදුවී ඇත්තේ කෙසේද කියා හරියටම දැනගන්න ඕනේ
අනෙක තමයි දුෂිත රාජපක්ෂ පවුලට කඩේ යන උන් තවත් මතුකරන කාරණයක් තමයි ඒ කාලයේ Fitch Moody's, S&P ආදී සියලුම rating ඒජන්සි වලින් ඉහළතම rating එක ලංකාවට ලැබිලා තිබුණා කියන කතාව. මම මේක ගැන තර්ක කරලා ඒ මතය බිඳලා දාන්න කොච්චර හොයලා බැලුවත් ඒකට විරුද්ධව තොරතුරු හොයාගන්න බැරි වුණා මේ ගැනත් විස්තර කරලා පෝස්ට් එකක් දාන්න පුළුවන් වෙයි ද?
Refer this FYI
"According to Fitch Ratings, Sri Lanka's highest sovereign credit rating in the last 50 years was 'BB-' (BB minus), which it held at various points between approximately 2005 and 2015.
The rating was consistently affirmed at 'BB-' with a stable outlook for several years during this period, including from July 2011 to February 2015.
However, since February 2015, the country's rating subsequently experienced several downgrades, eventually falling to 'RD' (Restricted Default) in 2022 during its economic crisis.
The current Long-Term Foreign-Currency Issuer Default Rating (IDR) is 'CCC+' as of December 2025, following a series of recent upgrades from the lowest points since 2023."
මේ රේටින් වල හැටියට ලංකාවේ ආර්ථිකය 2015 වන විටත් සාපේක්ෂව හොඳ තත්ත්වයක් යටතේ තිබුණා කියලා කියන්නේ BB-, ඊට පසුව ගත් තීන්දු තීරණ නිසා ලංකාවේ ආර්ථිකය කඩා බිඳ වැටීම සිදුවූ බවට පවතින මතය ගැන විග්‍රහ කරන්න පුළුවන් ද?
කව්ද මහින්දගෙ කාලෙ හතර ගුණයකින් ආර්ථිකය වර්ධනය කියපු පචයා. මගෙ මතකය හරිනම් අනුර කුමාර ඒ කාලෙල හිටියෙ මහින්දට විරුද්ධව. එහෙනම් ඉතිං මෙහෙම මොළ ශෝධනයක් කරන්න වෙන කව්රුවත් නෑනෙ.
ReplyDeleteපචනම් අනුර තමයි..
අනුරනම් සල්ලි තමයි..(ටකරමක්.....)
මොනවා වුනත් පට්ට දූෂිත මහින්දයා 8.5%ක වර්ධනයක් පවත්වන් ගිහින් නේද? JR ටවත් බැරි වුනා මම හිතන්නෙ එහෙව් හපන් කමක් කොරන්න.
සල්ලි ඉතුරු කරලා පොතේ දාන් ඉඳලා ආර්ථිකය වර්ධනය කරන්න පුළුවන් කියලා හිතන උනුත් ඉන්නවා..ඉකොනො ඒ ගැනත් පොඩ්ඩක් ලියන්න..
ඉකොනෝ ආර්ථික වර්ධනයට එහෙන් කෙළවෙනකොට මෙහෙන් අපේ ප්‍රවාහන සේවයට කෙලවෙනවා, අපේ ගම් පළාත්වල මඩකලපුව, පොලොන්නරුව දුම්රිය මගීන්ට ලස්සන රටක් උදා කරලා දෙන්න තිබිච්ච දුම්රියටත් කෙළලා ඇරලා
ReplyDeleteහෙන ගහනවා තුප්පහි ආණ්ඩුවට...
කොළඹ - මඩකලපුව දුම්රිය කියන්නෙ සාමාන්‍යයෙන් මගීන් බහුල දුම්රියක්.. පොලොන්නරුව මඟීන් පවා යන්නෙ ඒකෙ..
කොළඹ - ත්‍රීකුණාමලය දුම්රිය කියන්නෙත් එහෙමයි...
මේ දෙකම දවසට ගමන් වාර දෙකක් පමණ ගමන් කරනවා..
මේ කුම්මැහි ආණ්ඩුව දැන් මොකද කරලා තියෙන්නෙ..
දැන් ත්‍රීකුණාමලෙ යන අයයි මඩකලපුව යන අයටයි කොළඹින් තියෙන්නෙ එක කෝච්චියයි.
මඩකලපුවේ යන අය ත්‍රීකුණාමලය කෝච්චියෙ ගිහින් ගල්ඔයෙන් බැහැලා මඩකලපුව කෝච්චියට ගොඩ වෙන්න ඕන...
මඩකලපුවේ, පොලොන්නරුව ඉඳන් එන අය ගල්ඔයෙන් බැහැලා ත්‍රීකුණාමලයන් එන කෝච්චියට ගොඩ වෙන්න ඕන...
මඩකලපුව - කොලඹ කියන්නෙ සාමාන්‍යයෙන් පැය 09 ක විතර ගමන් කාලයක්..
ගල්ඔය ඉඳන් කොළඹට පැය 6 ක් විතර යනවා...
දැන් ත්‍රීකුණාමලයෙ ඉඳන් කොළඹ එන කෝච්චියෙ බොහෝ වෙලාවට කට කපලා සෙනඟ..
එතකොට ගල්ඔයෙන් නගින මඟීන් පැය 06 ක් විතර හිටගෙන කොළඹ එන්න ඕන...
මේ අතර කොළඹ බෙහෙත් ගන්න එන රෝගීන්, වයසක අය, සංචාරකයින් ආදි නොයෙක් අය ඉන්නවා...
මේක කරලා තියෙන්නෙ සල්ලි ඉතුරු කරන්නලු...
මරු ඕයි....
මැති- ඇමැතිවරුන්ට පූප තියලා යන්න ඩබල් කැබ් වලට කෝටි 60000 ක් වෙන් කරපු තඹුත්තේගම රන්බණ්ඩාගෙ කොලුවා කොහොමද රටේ පොදු ජනතාවට දෙන සැප.....
මුන් බලයට එන්න කලින් කතා කරේ අපට පොරොන්දු දුන්නේ ලංකාවෙත් ජපානෙ වගෙ වේගවත් දුම්රිය (Shinkansen) , නගර තුළ ( Metropolitan ) ඉලෙක්ට්‍රිකල් දුම්රිය ගැන..
ප්‍රවාහන ඇමැති බිමල් ඇමතිතුමො ඔයිට වඩා හොඳ නැද්ද අසූචී කෑවා නම්...
නොදකින් මුන් ඡන්දේ දීපු අපටමයි කෙළින්නේ 🤬