වෙබ් ලිපිනය:

Monday, May 4, 2026

විදේශ අංශයේ දිශානතිය


මාර්තු මාසය මුල, ඉරාන යුද්ධය ආරම්භ වූ අලුතම අප විසින් ලියා පළ කළ "දිත්වා හානිය සහ ඉරාන යුද්ධයේ හානිය" ලිපියේ මෙසේ ලියා තිබෙනවා.

"සංචාරක කර්මාන්තයේ ආදායම් අඩුවීම සහ ඉන්ධන ආනයන වියදම ඉහළ යාම පමණක් සැලකුවත් ජංගම ගිණුමට මාසයකට ඩොලර් මිලියන 212ක පමණ අමතර බරක් වැටෙනවා. මේ තමයි ජංගම ගිණුමට දරා ගන්න පුළුවන් උපරිම ආතතිය. පසුගිය මාස වල මහ බැංකුව විසින් සාමාන්‍ය අගයක් ලෙස ඔය ප්‍රමාණයට කිට්ටු විදේශ විණිමය ප්‍රමාණයක් මාසයකට වෙළඳපොළෙන් මිල දී ගෙන තිබෙන නිසා, සංචිත විකුණන්නේ නැතිව ඩොලර් මිලියන 212ක අඩු වීමක් දරා ගන්න පුළුවන්. එකම දේ සංචිත එකතු කර ගන්න වැඩේ තව දුරටත් කරන්න වෙන්නේ නැහැ."

"අපේ ප්‍රාර්ථනාව වන්නේ යුද්ධය ඉක්මණින්ම අවසන් වීම වුවත්, යම් හෙයකින් මාස දෙක පැන්නොත් තත්ත්වය හිතනවාට වඩා ගොඩක් දරුණු වෙන්න පුළුවන්. "

දැන් මේ ලිපියේ කියපු මාස දෙක පැනලා. යුද්ධය තවමත් අවසන් වී නැහැ. ඒ වගේම අවසන් වන දිනය පිළිබඳව පුරෝකථනය කරන්නත් අමාරුයි. මේ වෙද්දී යුද්ධයේ බලපෑම ලංකාවේ විදේශ අංශය කෙරෙහි බරපතල ලෙස දැනෙමින් තිබෙනවා. පෙබරවාරි 27 දින රුපියල් 309.31ක්ව පැවති ඩොලරයක මැදි මිල අද (මැයි 4) වන විට රුපියල් 319.93 දක්වා ඉහළ ගොස් තිබීම තුළ පිළිබිඹු වන්නේ මෙම බලපෑමයි. 

වසරේ පළමු මාස දෙකක කාලය තුළ රටේ විදේශ අංශයේ ඉතා හොඳ තත්ත්වයක් දැකිය හැකිව තිබුණා. මේ තත්ත්වය කණපිට හැරුණේ යුද්ධය ආරම්භ වීමෙන් පසුවයි. මාර්තු මාසය තුළද ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වී ඇතත්, එය ඩොලර් මිලියන 44.6ක, සාපේක්ෂව අඩු, අතිරික්තයක්. ජනවාරි හා පෙබරවාරි දෙමස තුළ ඩොලර් මිලියන 486.9ක අතිරික්තයක් වාර්තා වී තිබුණා.

මාර්තු මාසයේ අතිරික්තය අඩු වීම නිසා පළමු කාර්තුවේ සමස්ත ජංගම ගිණුම් අතිරික්තය ඩොලර් මිලියන 531.5කට සීමා වී ඇති අතර එම අතිරික්තය 2025 පළමු කාර්තුවේ ජංගම ගිණුම් අතිරික්තය වූ ඩොලර් මිලියන 947.7ට වඩා 43.9%කින් අඩුයි.

ඉන්ධන මිල ඉහළ යාම ඇතුළු තවත් හේතු නිසා මාර්තු මාසයේ ආනයන වියදම පෙර වසරේ මාර්තු මාසයට සාපේක්ෂව 30.3%කින් ඉහළ ගොස් ඇති අතර අපනයන ආදායම් වැඩි වී තිබෙන්නේ 1.0%කින් පමණයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස, පෙර වසරේ ඩොලර් මිලියන 395.6ක් වූ වෙළඳ හිඟය ඩොලර් මිලියන 879.7 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

සාමාන්‍යයෙන් ලංකාවේ වෙළඳ හිඟයෙන් සැලකිය යුතු කොටසක් පියැවෙන්නේ සේවා ගිණුමේ අතිරික්තයෙන්. එහෙත්, ඉන්ධන මිල ඉහළ යාමේ බලපෑම හැරුණු විට, යුද්ධයේ හානිය වැඩිපුරම බලපා තිබෙන්නේ සේවා ගිණුමටයි. මාර්තු මාසයේ සේවා ගිණුමේ අතිරික්තය පෙර වසරේ මාර්තු මාසයට සාපේක්ෂව 42.4%කින් පහත වැටී තිබෙනවා. ඊට ප්‍රධානම හේතුව සංචාරක කර්මාන්තයේ ඉපැයීම් 36.8%කින් පහත වැටී තිබීමයි.

ඉහත තත්ත්වයන් හමුවේ වුවද, ප්‍රාථමික ආදායම් ගිණුම හරහා පිටතට යන විදේශ විණිමය අඩු වීම සහ ද්වීතියික ආදායම් ගිණුමේ (ශ්‍රමික ප්‍රේෂණ) ලැබීම් ඉහළ යාම නිසා මාර්තු මාසය තුළ ජංගම ගිණුමේ හිඟය පියැවී අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. 

මාර්තු මාසය තුළ ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වුවද, නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 243.6කින් පහත වැටී තිබෙනවා. මේ අනුව පෙනී යන්නේ මූල්‍ය ගිණුම හරහා ඩොලර් මිලියන 288ක පමණ මුදලක් රටින් ගොස් ඇති බවයි. මාසය තුළ විදේශිකයින් සතු වූ භාණ්ඩාගාර බිල්පත් ආයෝජන විකුණා ඩොලර් මිලියන 63.9ක මුදලක් රටින් එළියට ගෙන ගොස් ඇති අතර ඩොලර් මිලියන 10.2ක කොටස් ආයෝජනද එලෙසම විකුණා දමා තිබෙනවා. මෙය රුපියල ඉක්මණින්ම අවප්‍රමාණය වන බව පුරෝකථනය කළ හැකි වූ විට විදේශ ආයෝජකයින් හැසිරෙන සාමාන්‍ය ආකාරයයි. බිල්පත් පොලී අනුපාතික මත යම් පීඩනයක් ඇති වී තිබීමද මෙමගින් පැහැදිලි කෙරෙනවා. 

අප්‍රේල් මාසය හා අදාළ සංඛ්‍යාලේඛණ තවමත් ඉදිරිපත්ව නැතත්, ඩොලරයක මිල ඉහළ යාම අනුව, පවතින තත්ත්වය තේරුම් ගැනීම අපහසු නැහැ. අප්‍රේල් මාසය තුළ රටට පැමිණ තිබෙන සංචාරකයින් ප්‍රමාණය 135,643ක් පමණයි. මෙහි පසුගිය වසරට සාපේක්ෂව (174,608) 28.7%ක අඩු වීමක් දැකිය හැකියි. මැයි හා ජූනි යනු සාමාන්‍ය තත්ත්වයන් යටතේ වුවද ලංකාවට අඩුවෙන්ම සංචාරකයින් පැමිණෙන මාසයි. මෙම තත්ත්වය සමඟ ලෝක තෙල් මිලෙහි වත්මන් ප්‍රවණතාද, රාජ්‍ය සුරැකුම්පත් ආයෝජන ආපසු යමින් තිබීමද සැලකිල්ලට ගනිද්දී ඉදිරි දෙමස තුළ විදේශ අංශය තුළ පීඩනය තවත් වැඩි වන ආකාරයක් මිස අඩු වන ලකුණු පෙනෙන්නට නැහැ. 

මූල්‍ය අරමුදලේ වාරික දෙකක් එක වර ලැබීමට නියමිතව තිබුණත්, මෙම සතිය තුළද ශ්‍රී ලංකාවේ ණය වාරික පිළිබඳව සාකච්ඡා කිරීම මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල න්‍යාය පත්‍රයට ඇතුළත් කර නැහැ. ආණ්ඩුව විසින් බදු සංශෝධන ඉදිරිපත් කරමින් සිටින ආකාරය නිරීක්ෂණය කරද්දී නිගමනය කළ හැක්කේ මෙම වාරික දෙක ලබා දීමට පෙර රජය විසින් කළ යුතුයැයි නිර්දේශ කර ඇති යම් යම් දේ තිබෙනවා විය හැකි බවයි. අරමුදලේ වාරික දෙක ලැබීමෙන් පසුව ඩොලරයක මිල මත වන පීඩනයේ යම් පාලනයක් සිදු විය හැකියි. 

මහ බැංකුව විසින් ඉන්දියාවට, චීනයට හා මූල්‍ය අරමුදලට ගෙවිය යුතුව තිබෙන විදේශ ණයද සැලකිල්ලට ගත් විට, විදේශ අංශය තුළ පවතින හා අපේක්ෂිත අභියෝගාත්මක වාතාවරණය හමුවේ, මෙම වසර තුළ නිල විදේශ සංචිත ගොඩ නගා ගැනීම හා අදාළව ප්‍රගතියක් අපේක්ෂා කිරීම අසීරුයි. ඒ හේතුවෙන්, 2022දී මෙන් ආර්ථිකයේ විශාල බිඳ වැටීමක් සිදු නොවනු ඇති නමුත් දැනට ක්‍රියාත්මක ස්ථායීකරණ වැඩසටහන අවසන් වීමෙන් පසුව ඉදිරි වසරේදී මූල්‍ය අරමුදල සමඟ තවත් අලුත් ගිවිසුමකට ඇතුළත් වීමට සිදු විය හැකි බව දැනට පෙනෙන්නට තිබෙන තත්ත්වයයි. 

4 comments:

  1. අනේ මන්දා ඊකොනෝ මැට්ටෝ මේක හරියට හරියට මිරිඟුවක් පස්සේ යනවා වගේ වැඩක්. IMF එක කියන ණය උගුල ඇතුලේ අපි හිරවෙලා ඉන්න කොට, අපේම නිලධාරීන් ඉලක්කම් එක්ක සෙල්ලම් කරලා රටට පෙන්වන්න හදනවා ලස්සන හීනයක්. Treasury එකේ Assumptions (උපකල්පන) අනුව 2028 වෙද්දී ණය අනුපාතය 72% දක්වා බහිනවා කියන එක හුදෙක් ගණිතමය මායාවක් විතරයි. IMF එක ඩොලරය 300-400 මට්ටමේ තියෙයි කියලා යථාර්ථවාදීව හිතද්දී, අපේ අය 290 මට්ටමේ ඩොලරය තියාගන්න පුළුවන් කියලා හිතන්නේ මොන පදනමකින්ද? ඩොලරය කෘතිමව පාලනය කරගෙන ඉඳලා දළ දේශීය නිෂ්පාදිතය (GDP) ඉහළ යනවා කියලා පෙන්නුවට, ණය ගෙවන්න ඕන වෙන්නේ ඇත්තම ඩොලර් වලින්. මේ වගේ පරස්පර උපකල්පන මත පදනම් වෙලා ප්‍රතිපත්ති හැදුවොත් වෙන්නේ, 2028 වෙද්දී අපි හිතන 72% නෙමෙයි, හර්ෂ ද සිල්වා කියන 95% සීමාවත් පැනලා රට නැවතත් බංකොලොත් භාවයට ඇද වැටෙන එකයි. සරලවම කිව්වොත්, සැබෑ ආර්ථික වර්ධනයක් නැතුව ඉලක්කම් වලින් විතරක් ණය බර අඩු කරලා පෙන්වන එක තවත් විනාශයකට අතවැනීමක්.

    මහ බැංකුවේ (CBSL) පොදු ණය කළමනාකරණ කාර්යාලයේ නිලධාරීන් පවසන පරිදි භාණ්ඩාගාරයේ උපකල්පන මත 2028 වන විට ණය-දළ දේශීය නිෂ්පාදිත අනුපාතය 72% ක් දක්වා අඩුවනු ඇතැයි පැවසුවද, IMF ආයතනය විසින් ශ්‍රී ලංකාවට තිරසාර විය හැකි උපරිම සීමාව ලෙස 95% ක් තීරණය කර තිබියදී සහ ඔවුන් ඩොලරයේ අගය 300-400 සීමාවේ පවතිනු ඇතැයි ගණන් බලා තිබියදී, භාණ්ඩාගාරය පමණක් ඩොලරය 290 මට්ටමේ පවතිනු ඇතැයි සහ GDP වර්ධනය IMF පුරෝකථනයන්ට වඩා ඉහළ යනු ඇතැයි යන පරස්පර උපකල්පන මත පිහිටා ඉදිරිපත් කරන මෙම 72% ඉලක්කය කොතෙක් දුරට ප්‍රායෝගිකද, නැතහොත් මෙවැනි යථාර්ථවාදී නොවන දත්ත මත පදනම් වීමෙන් ඉදිරියේදී රට නැවතත් දරුණු ණය අර්බුදයකට (Debt Trap) ගොදුරු වීමේ අවදානමක් නොමැතිද යන්න පැහැදිලි කළ හැකිද?

    ReplyDelete
  2. What do you think about the following statement

    //
    Yohan PedrisApril 29, 2026 at 3:56 PM

    @ Economatta

    Can you explain about the latest updates about this stuff? Any method of recovery of the stolen money?

    //
    මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මූල්‍ය වංචාව හෙළිවෙයි: ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකුගේ වැඩ තහනම්

    විශේෂ වාර්තාකරුවෙකු විසිනි

    කොළඹ: ශ්‍රී ලංකාව

    මහා භාණ්ඩාගාරයට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක (රුපියල් කෝටි 75කට අධික) මුදලක් වංචනික ලෙස විදේශීය ගිණුමකට බැර කිරීමේ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතාවයක් අනාවරණය වී ඇත. 2026 වසරේ අප්‍රේල් මස මුලදී ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරතන මහතා විසින් ඕස්ට්‍රේලියාවේ මූල්‍ය ආයතනයකින් ලද තොරතුරු මත මුලින්ම මෙම වංචාව පිළිබඳ කරුණු රටට හෙළිදරව් කරන ලදී.

    ඔහු පෙන්වා දෙන්නේ ඔහුට තොරතුරු ලැබුණු ඒ ඕස්ට්‍රේලියානු අපනයන මූල්‍ය ආයතනයකට (Export Finance Australia) ගෙවීමට නියමිතව තිබූ ණය වාරිකයක් මෙලෙස වංචනික ලෙස වෙනත් පාර්ශවයකට යොමු කර ඇති බවයි. ඕස්ට්‍රේලියානු රජයේ ණය හිමියන්ගෙන් ලද දැනුම්දීම් මත පදනම්ව මෙම තොරතුරු අනාවරණය කරගත් ගුණරත්න මහතා, 2026 ජනවාරි මාසයේ සිට රජය මෙම සිදුවීම හිතාමතාම වසන් කිරීමට උත්සාහ කළ බවට චෝදනා කළේය.

    පද්ධති බිඳවැටීම සහ අභ්‍යන්තර කුමන්ත්‍රණය

    මේ පිළිබඳව විස්තර මාධ්‍ය මගින් අනාවරණය වීමත් සමගම දැඩිලෙස කලබලයට පත් වූ ලංකාවේ බලධාරීන් විසින් ඉතා පරස්පර විරෝධී කතා ගණනාවක් පවසා ඇත.

    මුලින් රජය ප්‍රකාශ කර තිබුණේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ (ERD) පරිගණක පද්ධතියේ ඇති වූ බිඳවැටීමක් හේතුවෙන් මෙම ගැටලුව හටගත් බවයි. කෙසේ වෙතත්, මෙය අභ්‍යන්තරයේ සිට මෙහෙයවන ලද සංවිධානාත්මක වංචාවක් බවට ජනාධිපති නීතිඥවරයා එල්ල කළ චෝදනාව තහවුරු කරමින්, මෑතකදී වහාම සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන උසස් නිලධාරීන් කිහිපදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

    මූලික විමර්ශනවලට අනුව, මෙය සයිබර් අපරාධකරුවන් විසින් සිදුකරන ලද "බිස්නස් මේල් කොම්ප්‍රොමයිස්" (Business Email Compromise) ප්‍රහාරයක් බවට සැක කෙරේ. ව්‍යාජ ඊමේල් පණිවිඩයක් නිවැරදි යැයි විශ්වාස කළ භාණ්ඩාගාර නිලධාරීන් විසින් මෙම මුදල් අදාළ ගිණුමට බැර කර ඇති බව වාර්තා වේ.

    මේ පිළිබඳව රටේ ඇතිවූ දැඩි ආන්දෝලනය නිසා 2026 අප්‍රේල් මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙයට මැදිහත් වීමට සිදුවී ඇති අතර පරීක්ෂණ සහ දේශපාලන ප්‍රතිචාර මත පදනම්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති අතර, ඒ සඳහා ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (SLCERT) සහාය ලබාගෙන ඇත.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් රජයේ මුදල් කාරක සභාව (COPF) හමුවේ කරුණු විමසීමට නියමිත අතර, රටේ සාමාන්‍ය ජනතාව අධික බදු බරින් පීඩා විඳින මොහොතක ජාතික සම්පතක් වන භාණ්ඩාගාර මුදල් අවභාවිත වීම පිළිබඳව විපක්ෂය දැඩි විරෝධය පළ කර ඇත. 2015/2016 කාලසීමාවේ සිදුවූ මහ බැංකු බැඳුම්කර වංචාවට පසුව වාර්තා වූ බරපතලම මූල්‍ය වංචාව මෙය ලෙස සැලකේ.

    මූලාශ්‍ර

    පුවත්පත් වාර්තා:

    The Sunday Times, 2026. Treasury Fraud Exposed: Millions Lost in Cyber Scam. [online] Available at: https://www.sundaytimes.lk [Accessed 29 April 2026].

    අතිරේක මූලාශ්‍ර:

    Central Bank of Sri Lanka, 2026. Annual Report on Public Debt Management. Colombo: Central Bank of Sri Lanka.

    Gunaratne, M., 2026. Public Statement on Treasury Financial Misconduct. [Facebook] 5 April. Available at: https://www.facebook.com/MaithriGunaratneOfficial [Accessed 29 April 2026].

    Parliament of Sri Lanka, 2026. Committee on Public Finance (COPF) Minutes: Investigation into Foreign Resource Department Data Breach. Colombo: Parliament Secretariat.

    Sri Lanka CERT, 2026. Technical Report on Business Email Compromise (BEC) Attack on Government Institutions. Colombo: SLCERT.//

    Can you please write a post explaining how to recover this now?//

    ReplyDelete
    Replies
    1. //Can you explain about the latest updates about this stuff?// I just know approximately $2.5 million has been remitted to a wrong account. //Any method of recovery of the stolen money?// I have no expertise in cyber crimes of this nature.

      Delete
  3. ඒ කියන්නේ ආයෙත් පාරක් 18 වෙනි වතාවට IMF ණය උගුලේ වැටෙන්න සිද්ධ වෙසවා කියන එක නේද?මේක තමයි ලෝකයේ ප්‍රබල රටවල් තමන්ගේ භූදේශපාලන බලය පතුරවන්න පාවිච්චි කරන 'භූදේශපාලනික උගුල'. IMF එක කියන්නේ ඒ උගුලට අහුවෙන ඇම විතරයි. නිදහස ලැබුණ දා ඉඳලා අවස්ථා 17ක් අපිව මේ IMF වැඩසටහන්වලට බලහත්කාරයෙන් තල්ලු කරලා තියෙනවා. හැම වතාවකදීම වුණේ මොකක්ද? ණය ගෙවන්න තව ණයක් ගන්නවා, ඒක ගෙවන්න තවත් ණයක් ගන්නවා අන්තිමට අපේ රට ගැලවෙන්න බැරි භයංකර විෂම චක්‍රයක(Vicious Cycle) හිරවුණා.මේක ඇත්තටම ආර්ථිකය හැදීමක් නෙමෙයි, 'ආර්ථික අධිරාජ්‍යවාදය' පතුරවන ක්‍රමයක්. ඔවුන් අපිට කියනවා සහනාධාර කපන්න, බදු වැඩි කරන්න, රාජ්‍ය සම්පත් විකුණන්න කියලා. ඒ හරහා වෙන්නේ අපේ රටේ ස්වෛරීභාවය ඔවුන් අතට ගන්න එක. අවස්ථා 17ක් අසාර්ථක වුණා කියන්නේම මේ ක්‍රමය ලංකාවට ගැලපෙන්නේ නැහැ කියන එකයි. ඒත් අපේ පාලකයෝ තවමත් මේ මිරිඟුව පස්සේ යමින්, රටේ අනාගත පරපුරත් මේ ණය උගුලේ සිරකරුවන් කරනවා. මේකෙන් ගැලවෙන්න නම් අපි මේ IMF මර උගුලෙන් සෙල්ලමෙන් මිදිලා, අපේම රටට ගැලපෙන දේශීය ආර්ථික මොඩලයකට යන්නම වෙනවා.

    මේ අනුව ලංකාවෙ අපි දැන් ඉන්නේ හරිම භයානක සන්ධිස්ථානයක. මේ IMF එක කියන්නේ නිකම්ම ණය දෙන ආයතනයක් නෙමෙයි මේක ලෝක භූදේශපාලනික බල අරගලයක ප්‍රධාන මෙවලමක්. මේ අය ක්‍රියා කරන්නේ හරියට 'ආර්ථික මිනීමරුවන්' (Economic Hit Men) වගේ. ඔවුන් මුලින්ම කරන්නේ රටක් ණය උගුලක හිර කරලා, පස්සේ ඒ රටේ ආර්ථික ප්‍රතිපත්ති තීරණය කිරීමේ බලය ඔවුන් අතට ගන්න එක.ලංකාවේ අවස්ථා 17ක IMF අත්දැකීම දෙස බැලුවොත් අපිට පේන්නේ අපේ දේශීය කර්මාන්ත සහ කෘෂිකර්මාන්තය හිතාමතාම විනාශ කරපු හැටි. මේ අය පනවන කොන්දේසි නිසා කෘෂිකර්මාන්තයේ බිඳ වැටීම වුනේ පොහොර සහනාධාර කප්පාදු කිරීම සහ කෘෂිකාර්මික පිරිවැය ඉහළ දැමීම නිසා අපේ ගොවියා අසරණ වුණා. 'නිදහස් වෙළඳාම' නමින් පිටරටින් එළවළු, පළතුරු සහ ධාන්‍ය ගෙන්වන්න ඉඩ දීමෙන් අපේ දේශීය ගොවිතැන වළපල්ලට යැව්වා. මේකෙන් වුණේ අපි සම්පූර්ණයෙන්ම ආහාර ආනයනය මත යැපෙන ජාතියක් බවට පත්වීමයි.දේශීය කර්මාන්ත විනාශ වූ විදුලි ගාස්තු සහ ඉන්ධන මිල 'පිරිවැය මත පදනම්ව' (Cost-recovery pricing) තීරණය කරන්න බල කිරීම නිසා ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට නිෂ්පාදන වියදම දරාගන්න බැරි වුණා. අද අපේ කම්හල් වැසී යද්දී, ඒ වෙළඳපොළවල් විදේශීය බහුජාතික සමාගම්වලට නතු වෙනවා.භූදේශපාලනික හසුරුවන්නන් වන IMF ණය ලබා දෙන්නේ රටේ ස්වභාවික සම්පත් සහ උපායමාර්ගික දේපල (වරාය, ගුවන් තොටුපල) පෞද්ගලීකරණය කරන්න කියන දැඩි කොන්දේසිය මතයි. මේක හරහා ඔවුන් කරන්නේ අපේ රටේ ආර්ථික මර්මස්ථාන ලෝක බලවතුන්ගේ පාලනයට නතු කර දීමයි.මේක හරිම විෂම චක්‍රයක්. ඔවුන් දෙන ණයවලින් කරන්නේ කලින් ගත්ත ණය වාරික ගෙවන එක විතරයි. රටේ නිෂ්පාදන ආර්ථිකය දියුණු කරන්න කිසිම ඉඩක් මේ කොන්දේසි ඇතුළේ නැහැ. ඇත්තටම IMF එක කියන්නේ රටක් ගොඩදාන තැනක් නෙමෙයි, රටක් සදාකාලිකවම ණයගැති භාවයේ තියන්න සැලසුම් කරපු යාන්ත්‍රණයක්, අපි දැන්වත් මේ මර උගුලෙන් ගැලවිය යුතුයි. මේ වෙනුවට ලංකාවට මැලේසියාව වගේ රටවල් කරපු විදියට වැඩ සටහනක් හදාගන්න පුළුවං නේද ඉකොනො?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: