මෙම වසරේ මැද (ජූනි 30) දක්වා වූ වසරක කාලය තුළ ශ්‍රී ලංකාවේ ජනගහණය 22,204කින් ඉහළ ගොස් තිබෙනවා. මෙවැනි සුළු වර්ධනයක් දැකිය හැක්කේ එක දිගට වසර තුනක්ම ජනගහණය අඩු වීමෙන් පසුවයි. මේ අනුව, 2026 ජූනි 30 වන විට ශ්‍රී ලංකාවේ ජනගහණය ආසන්න වශයෙන් 21,778,000ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා.
මෙතෙක් ශ්‍රී ලංකාවේ වැඩිම ජනගහණයක් වාර්තා වී ඇත්තේ 2022 වසරේදීයි. එම වසරේ ජූනි 30 දින වන විට ශ්‍රී ලංකාවේ ජනගහණය ආසන්න වශයෙන් 22,181,000ක්ව පැවතුණා. එහෙත්, ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලාංකිකයින් විශාල ලෙස රට හැර යාමට පෙළඹීම හේතුවෙන් ඉන් පසු තෙවසර තුළ රටේ ජනගහණය ක්‍රමයෙන් අඩු වන ආකාරය දැකිය හැකිව තිබුණා.
දෙදහස් විසි දෙක (2022) වර්ෂයේ මැද සිට වසරක කාලය තුළ ශුද්ධ වශයෙන් ශ්‍රී ලාංකිකයින් 222,715 දෙනෙකු රට හැර යාම නිසා, එම වසරක කාලය තුළ රටේ ජනගහණය 144,395කින් අඩු වුනා. ඊළඟ වසරක කාලය තුළ තවත් ශ්‍රී ලාංකිකයින් 176,932 දෙනෙකු ශුද්ධ වශයෙන් රට හැර ගොස් තිබුණු අතර රටේ ජනගහණය තවත් 120,555කින් පහත වැටුණා. මෙම ප්‍රවණතාව 2024-2025 අතර කාලයේද දැකිය හැකිව තිබුණා.
රට හැර යන ප්‍රමාණය පහත වැටීම පසුගිය වසරක කාලය තුළ ජනගහණය සුළු වශයෙන් ඉහළ යාමට හේතු වී තිබෙනවා. 2026 ජූනි 30 දක්වා වූ වසරක කාලය තුළ ශුද්ධ වශයෙන් රට හැර ගොස් තිබෙන්නේ 23,736 දෙනෙකු පමණයි. එම කාලය තුළ උපත් 215,366ක් සිදු වීම හා මරණ ප්‍රමාණය 169,426කට සීමා වීම නිසා ශුද්ධ වශයෙන් 45,940ක ස්වභාවික ජනගහණ වර්ධනයක් සිදු වී තිබෙනවා. වසර තුළ රට හැර ගොස් ඇත්තේ ඊට අඩු ප්‍රමාණයක් බැවින්, ජනගහණයේ 22,204ක ශුද්ධ වර්ධනයක් දැකිය හැකියි.
No comments:
Post a Comment
මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.