Wednesday, April 5, 2017

වලිගය ගිලින තැනට වැටී ඇති ආණ්ඩුව

රජය විසින් රජය වෙනුවෙන් වාහන මිලදී ගැනීම පිළිබඳ කතිකාවේදී මතුවන එක් අදහසක් වන්නේ අමාත්‍යාංශ වෙනුවෙන් ගෙන්වන වාහන සඳහා වන බදු කොටස රජය තුළම එක් අමාත්‍යාංශයකින් තවෙකෙකට සිදුවන හුවමාරුවක් පමණක් බවයි. එමෙන්ම, මේ අයුරින් අදාළ වියදම් හා ආදායම් සටහන් කිරීම මෑතකදී පටන්ගත් භාවිතාවක් බවද කියැවේ.

කිසියම් භාණ්ඩයක් හිමි කර ගැනීම සඳහා වැය කළ යුතු පිරිවැයෙහි සැබෑ අගය වන්නේ ඒ වෙනුවෙන් කැප කළ යුතු දේවල වටිනාකම හෙවත් ආවස්ථික පිරිවැයයි. ගිණුම්කරණයේදී සටහන් කෙරෙන, තාක්ෂණික සම්මතයක් වන, සෘජු මූල්‍ය පිරිවැය ඉහත සැබෑ පිරිවැය සමඟ සමපාත වන්නට හෝ නොවන්නට පුළුවන. බොහෝ විට ගිණුම් වල සටහන් වන පිරිවැය සැබෑ පිරිවැයේ එක් සංරචකයක් පමණි. මේ ගැන පෙර ලිපි ගණනාවකම කතා කර ඇති නිසා මේ ලිපියේදී ඒ ගැන අවධානය යොමු කෙරෙන්නේ නැත. මෙහි අවධානය යොමුකෙරෙන්නේ ඉහත පරිදි ගිණුම් සටහන් කරන ක්‍රමවේදය වෙනස් කිරීමට රජය පෙළඹීමේ පදනමයි.

මේ ගැන විශේෂයෙන් කතා කරන්නේ ලංකාව මේ වන විට මුහුණ පා සිටින ආර්ථික අර්බුදයේ තවත් පැතිකඩක් ගැන අවධානය යොමු කිරීමටය. සම්මත යෙදුමක් නොවූවත්, මෙය රජය බදු උගුලක සිරවීමක් හා ඒ හේතුවෙන් ඇති වී ඇති ආදායම් අර්බුදයක් ලෙස හඳුන්වන්නට මා කැමතිය. තවත් පැහැදිලිව කියනවානම් රජයට බදු වැඩිකර සිය ආදායම් ඉහළ නංවාගත හැකි උපරිම සීමාවක් ආසන්නයට මේ වන විට පැමිණ තිබේ. මෙය කාලයක් තිස්සේ සිදුවූ රජය ප්‍රසාරණය කිරීමේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයකි.

කතාව පටන්ගන්නට වෙන්නේ පසුගිය රජය කාලයේ ලංකාවේ ආර්ථිකයේ සිදු වූ වර්ධනය හා රාජ්‍ය ආදායම් හා වියදම් වල සිදුවූ ඉහළයාම් වලිනි.

පසුගිය ආණ්ඩුව බලයේ සිටි 2004-2014 කාලය තුළ ලංකාවේ ඒක පුද්ගල ආදායම රුපියල් 107,581 සිට රුපියල් 503,032 දක්වා සැලකිය යුතු ලෙස වැඩි විය. රටේ නාමික දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,090,841 සිට රුපියල් මිලියන 10,448,479 දක්වා 500%කින් වර්ධනය විය මෙය 17.46%ක සාමාන්‍ය වාර්ෂික වර්ධනයකි. (නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වැඩිවීමට උද්ධමනය නිසා සිදුවන භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමේ බලපෑමද ඇතුළත් නිසා මෙය ආර්ථික වර්ධනය හෙවත් මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වැඩිවීමට සමාන නැත.)

සාමාන්‍යයෙන් රටක නාමික දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යන විට රජයේ බදු ආදායමද සමානුපාතිකව ඉහළ යයි. නාමික දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යාමට හේතුව මූර්ත ආර්ථික වර්ධනය වුවද, උද්ධමනය වුවද බදු ආදායම සමානුපාතිකව ඉහළ යා යුතුය.

උදාහරණයක් ලෙස අපි වැට් බද්ද ගනිමු. රටේ බදු ප්‍රතිපත්තිය වෙනස් නොවුනේනම්, රජයේ වැට් බදු ආදායම රටේ විකිණෙන භාණ්ඩ හා සේවාවන් වල පිරිවැටුමට සමානුපාතිකව ඉහළ යා යුතුය. උද්ධමනය නිසා මිල ඉහළ ගියද, ආදායම් වැඩිවීම නිසා ඉල්ලුම වැඩිවී විකිණෙන භාණ්ඩ හා සේවා ප්‍රමාණය වැඩි වුවද මෙය මෙසේ සමානුපාතිකව ඉහළ යා යුතුය.

ආදායම් බදු ගත්තද ඇත්තේ මෙවැනිම තත්ත්වයකි. උද්ධමනය සමඟ ගැලපීම හේතුවෙන් හෝ සමාගම් වල ලාභ වැඩි වීම නිසා සේවක වැටුප් වැඩි වුවද, එසේ සේවක වැටුප් ඉහළ නොයවා සමාගමේ කොටස් හිමියන් තමන්ගේ ආදායම වැඩි කර ගත්තද, අවසාන වශයෙන් රජයට ලැබෙන ආදායම් බදු සමානුපාතිකව වැඩි විය යුතුය. ආනයන බදු සැලකුවද ඇත්තේ මෙවැනිම තත්ත්වයකි.

කෙසේ වුවද, 2004-2014 කාලය තුළ ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතය වැඩිවුණු 500% අනුපාතයට රජයේ බදු ආදායම් ඉහළ ගියේ නැත. බදු ආදායම් ඉහළ ගියේ 373%කින් පමණි. බදු ආදායම්, බදු නොවන ආදායම් හා විදේශ ආධාර වල එකතුව ඉහළ ගියේද 376%කිනි. මෙය 14.17%ක සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගයකි. එනම්, රටේ නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයට වඩා 3.29%කින් අඩු වර්ධන වේගයකි.

මේ වෙනසේ ප්‍රතිඵලයක් ලෙස, 2004දී රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 15.3%ක්ව පැවති රජයේ ආදායම් 2014 වන විට 11.5% මට්ටම දක්වා අඩුවිය. රජයේ ආදායම් රටේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස මේ තරම් පහළ මට්ටමකට වැටුණේ නිදහසින් පසු (ලංකාවේ ජාතික ගිණුම් ගණනය කිරීම පටන් ගැනීමෙන් පසු) ප්‍රථම වරටය.

කෙසේ වුවද, 2004-2014 කාලය තුළ රජයේ වියදම් වර්ධනය වුනේද ආදායම් වර්ධනයට සමානුපාතිකව හරියටම 376%කිනි. ඒ නිසා, රටේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රජයේ වියදම්ද 2014 වසරේදී ඉතිහාසයේ සටහන් වූ පහළම අගය වන 17.2% මට්ටමට වැටුණේය. ආදායම් හා වියදම් එකම අනුපාතයකින් වර්ධනය වූ නිසා, අයවැය හිඟය වැඩි වූයේද එම අනුපාතයෙනි. මේ අනුපාතය (376%)නාමික දළ දේශීය අනුපාතය වර්ධන වූ 500%න් හතරෙන් තුනක් පමණ වූ නිසා 2004-2014 කාලය තුළ රජයේ අයවැය හිඟයද දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස 7.5% සිට 5.7% දක්වා හතරෙන් තුනකට අඩු විය.

පසුගිය ආණ්ඩුව කාලයේ රජයේ වියදම් වර්ධනය වුණේ ආදායම් වර්ධනය වුණු අනුපාතයෙන්ම වීමෙන් පෙන්වන්නේ ඒ කාලයේ රජයේ ආදායම් හා වියදම් සමතුලිතව පැවති බව නොවේ. 2004දී, රජයේ වියදම් රජයේ ආදායම් වලට වඩා 49%කින් වැඩි විය. ආදායම් හා වියදම් එකම අනුපාතයකින් වර්ධනය වීම නිසා 2014දීද රජයේ වියදම් රජයේ ආදායම් වලට වඩා 49%කින් වැඩි විය. කෙසේ වුවද, අඩුම වශයෙන් මේ කාලය තුළ රජයේ ආදායම් හා වියදම් අතර අනුපාතය තවදුරටත් පුළුල් වුණේ නැත.

රටක දළ දේශීය නිෂ්පාදිතයට සමානුපාතිකව රජයේ බදු ආදායම් වැඩිවන්නේ ආර්ථික වර්ධනයේ ප්‍රතිඵල රටේ ජනතාව අතර බෙදීයාම, ඔවුන්ගේ ආදායම් හා වියදම් වැඩිවීම හා ඒ මත අයකෙරෙන බදු ඉහළ යාම යන චක්‍රය අනුවය. මෙය මෙළෙස සිදුවී නැත්නම්, එයින් සාමාන්‍යයෙන් අදහස් වෙන්නේ රජය විසින් සිය බදු ප්‍රතිපත්ති ලිහිල් කර ඇති බවයි. 2004-2014 කාලයේදී, බදු ප්‍රතිපත්ති යම් තරමකින් ලිහිල් වූවා විය හැකිය. කෙසේ වුවද, මා සිතන පරිදි දළ දේශීය නිෂ්පාදිතයට සමානුපාතිකව රජයේ බදු ආදායම් වැඩි නොවීමට හේතුව බදු ප්‍රතිපත්ති ලිහිල් වීමම නොවේ.

රටේ ජාතික ආදායමේ වැඩිවීම හා රජයේ ආදායම වැඩිවීම අතර මේ වෙනසින්, පසුගිය කාලයේ සිදුවූ ආර්ථික වර්ධනයේ ප්‍රතිඵල බෙදී ගිය ආකාරයද පිළිබිඹු කරයි. රජයේ බදු ආදායම ඉහළ යන්නේ රාජ්‍ය යාන්ත්‍රණයෙන් බැහැරව සිටින පෞද්ගලික අංශයේ සේවකයින්, ස්වයං රැකියා කරන්නන් හා ව්‍යාපාරිකයින් ආදී පිරිස් වල ආදායම් හා පරිභෝජනය ඉහළ යන විටය. ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණයේ කොටස්කරුවන් වන පිරිස් ආදායම් බදු නොගෙවති. එමෙන්ම, ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති වෙනුවෙන් ගෙන්වන වාහනය වැනි රජය වෙනුවෙන් රජය කරන මිලදී ගැනීම් වලින්ද රජයට බදු ආදායමක් නොලැබේ. රාජ්‍ය පරිභෝජන වියදම් වෙනුවෙන් බදු අය නොකෙරෙන සන්දර්භයක, රජයේ බදු ආදායම් ඉහළ නංවා ගත හැක්කේ රටේ ජාතික ආදායම රජයේ වපසරියෙන් පිටතට සම්ප්‍රේෂණය වන තරමටය. එය ඒ අයුරින් සිදු නොවේනම් ජාතික ආදායම වර්ධන වන අනුපාතයට රජයේ ආදායම ඉහළ නොයයි.

පසුගිය දෙවසර තුළ මේ ආණ්ඩුව බදු ඉහළ දමමින් රජයේ ආදායම් වැඩි කරගැනීමට උත්සාහ කරන බව පෙනෙන්නට තිබුණේය. 2015 වසර තුළ රජයේ බදු ආදායම 29.1%කින් වැඩි වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස එම වසර තුළ රජයේ සමස්ත ආදායම 21.3%කින් ඉහළ ගියේය. 2015 වසර තුළ ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතය ඉහළ ගියේ 7.0%කින් පමණි. මේ සංඛ්‍යාලේඛණ මඟින් පෙන්වන පරිදි, 2015 වසර තුළ රජයෙන් බාහිර පාර්ශ්වයන් මත පැනවෙන බදු බර විශාල ලෙස ඉහළ ගොස් තිබේ.

එහෙත්, මා සිතන පරිදි, රජයේ බදු ආදායම වසරක් තුළ මේ තරමින් ඉහළ ගොස් ඇත්තේ බදු අනුපාතික ඉහළ දැමීම නිසාම නොවේ. රජයේ ගිණුම්කරණ ක්‍රමවේදයන් වෙනස්කරමින් රජය වෙනුවෙන් මිලදී ගන්නා භාණ්ඩ හා සේවා වෙනුවෙන්ද බදු ආදායම් ගිණුම් වල සටහන් කිරීම මේ විශාල වැඩිවීමට හේතු වූවා විය හැකිය. මෙසේ ගිණුම්කරණ ක්‍රමවේදය වෙනස් කිරීමේ මූලික පරමාර්ථය ආණ්ඩුව විසින් රජයේ ආදායම් සැලකිය යුතු ලෙස වැඩි කරගැනීමට සමත්වූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පෙන්වීම වන්නට පුළුවන.

රජය වෙනුවෙන් මිලදී ගන්නා භාණ්ඩ හා සේවා වෙනුවෙන් අය විය යුතු බදු රජයේ ආදායමක් ලෙස ගිණුම් වල සටහන් කරන විට, එයට සමාන්තරව එම ආදායමට සමාන මුදලක් වියදම් ලෙසද සටහන් කරන්නට සිදුවේ. එහෙත්, 2015 ආරම්භයේදී රජයේ වියදම් රජයේ ආදායම් වලට වඩා 49%ක් වැඩි වූ නිසා, සමාන මුදලක් ආදායම් වියදම් දෙපැත්තේම සටහන් කළ විට වියදම ඉහළ යන ප්‍රතිශතයට වඩා 49%ක් වැඩියෙන් ආදායම ඉහළ යන නිසා බැලූ බැල්මට රජයේ මූල්‍ය කළමනාකරණය හොඳ අතට හැරී ඇති බව පෙනෙන්නට තිබිය යුතුය. උදාහරණයක් ලෙස රජයේ ආදායම 21.3%කින් වැඩි වීමට එකම හේතුව ගිණුම්කරණ ක්‍රමවේදයේ සිදුකළ වෙනසනම්. රජයේ වියදම් වැඩි විය යුත්තේ 14.2%කින් පමණි.

සිදුවිය යුත්තේ ආදායමට වඩා අඩුවෙන් වියදම වැඩිවීම වුවත්, 2015 වසර තුළදී රජයේ වියදම ඇත්තටම 27.5%කින් වැඩි විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2015දී රජයේ වියදම රජයේ ආදායමට වඩා 56.8%ක් මට්ටම දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය 2016 වසර තුළදීද මේ තත්ත්වයේ යහපත් වෙනසක් සිදුවී තිබීම සැක සහිතය. රජයේ වියදම් මේ තරමින් ඉහළ ගොස් ඇත්තේ ගිණුම්කරණ ක්‍රමවේදය වෙනස්කිරීම නිසා වියදම් අඩුවෙන් පෙනෙන්නට තිබිය යුතුව ඇති පසුබිමකය.

එසේනම්, එක්කෝ රජයේ සැබෑ ආදායම් (ගිණුම්කරණ ක්‍රමවේදය නිසා සිදුවී ඇති බව පෙනෙන වැඩිවීම හැර) සැලකිය යුතු ලෙස අඩුවී තිබිය යුතුය. නැත්නම්, රජයේ වියදම් විශාල ලෙස වැඩි වී තිබිය යුතුය. අප දන්නා පරිදි, පසුගිය දෙවසර තුළ ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය දැඩි වූ නිසා ආදායම් අඩුවීමක් සිදුවීමට ඇත්තේ අඩු ඉඩකඩකි.

කෙසේවුවද, බදු අනුපාතික විශාල ලෙස ඉහළ දැමීම නිසා ක්ෂේත්‍ර ගණනාවකම රජයේ ආදායම් අඩු වී තිබේ. පරිභෝජනය මත අය කරන බදු අනුපාතික ඉහළ දැමූ විට පාරිභෝගිකයෝ පරිභෝජනය සීමා කිරීමට පෙළඹෙති. කිසියම් අංශයක බදු අනුපාතික ඉහළ ගිය වේගයට වඩා වැඩි වේගයකින් පරිභෝජනය පහත වැටුණොත් රජයේ බදු ආදායම් වැඩිවීම වෙනුවට සිදුවන්නේ අඩුවීමකි. ලොතරැයි හා වාහන ආනයනය හා අදාළව මේ අයුරින් රජයේ බදු ආදායම් අඩුවී ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබුණේය.

මෙයින් පෙනෙන්නේ බදු වැඩිකර රජයේ ආදායම් වැඩි කරගැනීමේ හැකියාව රජය විසින් මේ වන විට ප්‍රයෝජනයට ගෙන අවසාන බවයි. රටේ ආර්ථිකය විශාල ජවයකින් වර්ධනය නොවන නිසා රජයෙන් බාහිර පාර්ශ්වයන්ගේ ආදායම් වැඩිවන්නේ ඉතා සෙමිනි. එම ආදායම මත අය කරන බදු අනුපාතික ඉහළ යද්දී පෞද්ගලික අංශයේ සේවකයින්, ස්වයං රැකියා කරන්නන් වැනි බදු ගෙවන පිරිස් වලට සිය පරිභෝජනය සීමා කරනු හැර වෙනත් විකල්පයක් නැත. එසේ නොවිය හැක්කේ, අත්‍යවශ්‍ය භාණ්ඩ මත අය කෙරෙන බදු අනුපාතික ඉහළ යන්නේනම් පමණි.

අත්‍යවශ්‍ය භාණ්ඩ මත අය කෙරෙන බදු අනුපාතික ඉහළ දැමීමද රජයට කළ නොහැක්කකි. එක අතකින් එය දේශපාලන ප්‍රශ්න ඇති කරයි. ඒ පැත්ත අමතක කළත්, අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ඉහළ යාම උද්ධමනය වැඩි වීමටත්, ඒ හේතුවෙන් පොලී අනුපාතික ඉහළ යාමටත්, අවසාන වශයෙන් පොලී වියදම් වැඩිවීම හේතුවෙන් රජයේ වියදම් වැඩිවීමටත් හේතුවන නිසා රජයට ශුද්ධ වාසියක් අත් නොවේ. එමෙන්ම, බදු අනුපාතික ඉහළ යාම හා පොලී අනුපාතික වැඩිවීම අනාගත ආර්ථික වර්ධනය අඩාල කිරීම නිසා රජයේ අනාගත ආදායම් වර්ධනය කෙරෙහිද අහිතකර ලෙස බලපායි.

සරලවම කියනවානම් රජයට ගොදුරු කරගත හැකි සියල්ල ගොදුරු කරගනිමින් මේ වන විට පුළුවන් තරම් මහත් වී තිබේ. ඒ නිසා, බදු වැඩි කර ආදායම් වැඩි කරගැනීමද තව දුරටත් ශක්‍ය විකල්පයක් නොවන අතර, රජයේ නාස්තිකාර වියදම් සීමා කිරීම මේ වන විට ඉතිරි වී ඇති එකම විකල්පයයි. වෙනත් විදිහකින් කියනවානම් රජයට දැන් ගොදුරු කරගන්නට ඉතිරි වී ඇත්තේ තමාගේම වලිගය පමණි.


(Image: https://www.quora.com/Why-does-a-snake-eat-its-own-tail)

14 comments:

  1. බොරු කියන්න එපා. අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2020 වෙනකොට ආර්ථිකය සිංගප්පුරු ආර්ථිකයට වඩා ඉහල තැනකට ගේනවා. ට්‍රම්ප් නිසා වෙච්ච තාවකාලික ආර්ථික අවධමන තත්වයක් දැන් යමින් පවතින්නේ. මෙය ටික කලකින් සමනය වෙලා යාවි. සියලුම රාජ්‍ය සහ පොදු දේපල විකිණීම මගින් ආර්ථික වර්ධනය වේගවත් කරන්න පුළුවන්. ඒ ගැන ඔබ කතා නොකරන්නේ ඇයි ?

    ReplyDelete
    Replies
    1. ඉකොනෝමැට්ටා මහතාට ලබන වෙසක් වෙද්දී අඩන්න වැඩක් අපේ රනිල් ආචාර්ය තුමා කරලා තියෙයි!

      Delete
    2. සිංගප්පූරු ආර්ථිකය ඒ තරමටම වැටෙයිද?

      Delete
  2. ආර්ථික විද්‍යාව නොදන්න අසරණ මිනිසුන් මුලා කරන්න පොස්ට් ලියන්න එපා. ලංකාවේ ආර්ථිකය හොඳින් ගමන්කරනවා. උද්ධමන තත්වයක් ඇත්තේ නැති බවත් ඇත්තේ අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල වැඩිවීමක් විතරක් බවත් අපගේ විදෙස් බුහුමන් ලද රවී කරුණානායක ආර්ථික විශේෂඥ අමාත්‍ය තුමා පවසා තිබෙන බව ඔබ නොදන්න හේතුවක් නැහැ. මෙවැනි පොස්ට් ලිවිම මගින් ඔබ පැරදී එළවා දමන ලද තුප්පහි රෙජිමයකට හීන් නුලෙන් කඩේ යාමක් සිදු කරන බව අපට වැටහේ

    ReplyDelete
    Replies
    1. ඉකොනෝමැට්ටා මහතා,

      ගෝත්‍රිකයෝ ඉන්න තාක් මේ රට හදන්න බෑ. රටේ මෝඩ ගෝත්‍රික හැත්ත ඕකුන්ව පන්නලා රටේ වටිනා කියන ඉඩම්, දේපොල, ඛනිජ නිධි ඉන්දියාවට, චීනයට, ඇමෙරිකාවට විකිණිය යුතුයි.

      අනෙක උතුර නිකන් තියාගෙන ඉන්නවට වඩා හොද නැද්ද ඉන්දියාවට ඩොලර් බිලියන්යනයකට විකුණන එක. අපිට හොද ගානක් හම්බෙනවා, හොදට කාලා ඇදලා ඉන්න පුලුවනි තව අවුරුදු 2-3ක් ගේමක් නැතිව ශපාන් එකේ. රනිල් වික්‍රමසිංහ වැනි උගත් බුද්ධිමත් වැදගත් නායකයෙක්ට රටේ 2/3 බලයක් තිබෙන නිසා ඕවා විකුණා දමා කාලකණ්ණි මළපෙරේත හොර මරාගේ ණය උගුලෙන් රට බේරා දෙනු නිසැකය.

      Delete
    2. //අනෙක උතුර නිකන් තියාගෙන ඉන්නවට වඩා හොද නැද්ද ඉන්දියාවට ඩොලර් බිලියන්යනයකට විකුණන එක.//
      ටික කාලයකට පෙර ඇමරිකාවේ අයෙක් ඔය වගේ යෝජනාවක් කළා. ඇලස්කාව විකුණා ඇමරිකාවේ රාජ්‍ය ණය පියවීමේ හැකියාව ගැන.

      Delete
  3. කියෙව්වා, ඒත් දිරවව්වේ නෑ.

    ReplyDelete
    Replies
    1. කොලපාට කණ්නාඩිය ගලවලා බලපුවහම දිරවයි!

      Delete
    2. ප්‍රතිචාරයට ස්තුතියි, ඇණයා!

      Delete
  4. ඉතාම හොඳ විග්‍රහයක් ඉකොනො,

    ඔබ ඉහතදීත් බදු වැඩිකිරීමේ සීමා ගැන ඉතා මනා විග්‍රහයක් කළා. ඇත්තටම බදු ආදායම් වක්‍රයේ ඔප්ටිමම් එක අපි කලනයේදී ශ්‍රිත අවකලනය කොට ගණනය කරන මැක්සිමා මිනිමා (උපරිම හා අවම) වැනි ක්‍රමයකින් මූල්‍ය විශ්ලේෂකයින්ට ගණනය කල හැකිද? වත්මන් රජයේ මූල්‍ය තීරණ නම් ඉතාම බොළඳ කිසිදු පදනමක් ඇති ඒවා නොවන බව ආර්ථික විද්‍යාව නොදන්නා අපටත් තේරෙනවා. පසුගිය දූෂිත රෙජීමයත් බොහෝ වැරදි කලත් ඔවුන්ගේ මූල්‍ය විනයටත් වඩා අපගේ ඡන්දයෙන් පත්වූ වත්මන් රජය ඉතා පසුපසින් සිටින බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ.

    ඔබ කිවූ ලෙසින්ම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් රජයට තම වියදම් සීමාකලයුතු වනවා. නමුත් වාහන ඇතුලු වරප්‍රසාද කපාහැරීමෙන් දැනටත් ඉතා උග්‍ර ලෙස ජනතාව අතර පිරිහී ඇති වත්මන් රජයට පාර්ලිමේන්තුව තුල බලය රැකගැනීම ඉතා අසීරු වනු ඇති. ඉතින් රජය උත්සාහ කරන්නේ කෙසේ හෝ 2020 හෝ හැකි උපරිම කාලයක් රජය රැක ගැනීමයි.

    එමෙන්ම මා විසින් වෙනත් බ්ලොග් වලද සටහන් කළ කමෙන්ටුවක් මෙහිද සටහන් කරමි. එනම් පසුගිය කාලයේ ඔබගේ බ්ලොගයේ මෙන්ම බොහෝ දෙනා අතර වැඩි වශයෙන් කථාබහට ලක්වූ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් අරබන නව මාධ්‍ය ජාලය පිළිබඳවයි. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් පුළුල් මාධ්‍ය ජාලයේ කොටස් කරුවෙකු වෙමින් ඔවුනට අනුබද්ධ ඉන්ටර්ග්‍රෙඩට් මීඩියා නෙට්වර්ක් (අයි.එම්.එන්./ IMN) මගින් වෙනම අරඹන එෆ් එම් නාලිකාවේ පරීක්ෂණ විකාශය අප්‍රේල් 03 සිට ආරම්භ කර ඇත.

    රස එෆ් එම් (Rasa FM) නමින් නම් කර ඇති එහි පරීක්ෂණ විකාශය 99.5 හා 99.7 FM සංඛ්‍යාත ඔස්සේ අරඹා ඇත. මෙම සංඛ්‍යාතයන් මින් ඉහත සීඑස්එන් (CSN - Carlton Sports Network) මාධ්‍ය ජාලයට අයත්ව තිබූ දෙමළ රේඩියෝ නාලිකාවට අයත් වූ අතර පසුව ස්කයි නෙට්වර්ක් සමාගමට නතුවී තිබුණි.

    බැඳුම්කර ගනුදෙනුවකට සම්බන්ධවී වත්කම් උපයාගත් බව කියැවෙන පිරිසක් මගින් අරඹන මෙම රස FM නාලිකාවේ තේමා පාඨය ‘ඩීල් එකට වඩා ෆීල් එක රහයි‘ ලෙස නම් කර තිබීමද විශේෂත්වයකි.

    මෙම නාලිකාවට අමතරව ‘ජනයුගය‘ ,‘සන්‘ හා ‘වීක්එන්ඩ්‘ පුවත්පත්ද මෙම ජාලය මගින් ඉදිරියේදී අරඹන අතර ‘නාලිකා අංක 4‘ (Channel 04) නමින් රූපවාහිනී නාලිකාවක්ද අරඹන්නට මේ දිනවල සූදානම්ව සිටී. පුවත්පත සිංහල අවුරුද්දට පෙරද රූපවාහිනිය ජුනි මාසයේද අරඹන බවට වාර්තා පවතී.

    ‘සියත‘ මාධ්‍ය ජාලයද (සියත TV, සියත FM ඇතුළු), ස්වර්ණවාහිනී ශ්‍රී FM ඇතුළු EAP මාධ්‍ය ජාලයද ඉදිරියේදී මෙම IMN මාධ්‍ය ජාලයට අන්තර්ග්‍රහණය වන්නට නියමිතය. ඉදිරියේදී හිරු ටීවී ඇතුළු ඒබීසී ජාලයත්, සිරස සහ දෙරණ මාධ්‍ය ජාලත් හැර අන් සියලු මාධ්‍ය ජාල/ නාළිකා මෙම යෝජිත නව මාධ්‍ය ජාලය විසින් මිලදී ගනු ඇතැයි පැවසේ. මේ ගැන ඔබගේ මතයත් සඳහන් කළ හැකි නම් ඉතා අගෙයි. ඇත්තටම ඇමරිකාවේ 2016 ජනපතිවරණයේදී ප්‍රධාන මාධ්‍ය සියල්ල හිලරි ක්ලින්ටන් දිනන බවට මහත් සේ කෝලහල කලත් අවසානයේ ජනතා ඡන්දය ලැබුණේ ට්‍රම්ප්ටයි. එමෙන්ම ලංකාවේත් රජය සහ පර්පෙචුවල් ආදී සමාගම් මාධ්‍ය මිලදීගෙන මොන දහම්ගැට දැම්මත් සමාජ මාධ්‍ය බලවත් වත්මන් ලොව තුල මෙම පියවර හිතන තරම සාර්ථක නොවන බව මගේ මතයයි.

    ReplyDelete
    Replies
    1. කිසියම් මාධ්‍ය ආයතනයක දේශපාලන මතය හැම විටම එහි අයිතිකරුවන්ගේ මතය විය යුතු හෝ වන්නේ නැත. එහෙත්, එය එසේ වීමට ඉඩක් තිබේ. තමන්ට අවශ්‍ය දේශපාලන මතයක් මාධ්‍ය හරහා ජනගත කිරීමත්, මාධ්‍ය ව්‍යාපාරයකින් ලබන මූල්‍යමය ලාභ ඉහළ නංවා ගැනීමත් යන දෙකම එකවර කිරීම අසීරුය. එමෙන්ම මාධ්‍යයකට ප්‍රමාණවත් ඉල්ලුමක් නැත්නම් ජනප්‍රිය නැති දේශපාලන මතයක් ජනගත කිරීමද කළ නොහැක්කකි. ඒ නිසා ඉල්ලුම් සාධක නොසලකා හරිනවානම් දිගුකාලීනව මාධ්‍ය ව්‍යාපාරයකින් මේ අරමුණු දෙකෙන් එකක්වත් ඉටු කර ගත නොහැකි වනු ඇත. ලාභ සොයන ව්‍යාපාරික ආයතනයක් ඉල්ලුම් සාධක නොසලකා හරින්නට ලොකු ඉඩක් නැත.

      Delete
    2. //ඔබ ඉහතදීත් බදු වැඩිකිරීමේ සීමා ගැන ඉතා මනා විග්‍රහයක් කළා. ඇත්තටම බදු ආදායම් වක්‍රයේ ඔප්ටිමම් එක අපි කලනයේදී ශ්‍රිත අවකලනය කොට ගණනය කරන මැක්සිමා මිනිමා (උපරිම හා අවම) වැනි ක්‍රමයකින් මූල්‍ය විශ්ලේෂකයින්ට ගණනය කල හැකිද? //
      සාමාන්‍යයෙන් කරන්නේත්, කළ යුත්තේත් හරියටම මේ දෙයයි. එහෙත්, "අවකලනය කළ යුතු ශ්‍රිතය" හරියට සොයාගැනීමට නොහැකි වූ විට වැරදීම් සිදුවේ. බොහෝ විට බදු "ගාණකට" වැඩි කරන්නේ ජනතා විරෝධය ගැන සලකා හෝ ජනතාවට වැඩිපුර පීඩා නොකළ යුතු බව සලකමින් නොවේ. ඊට වඩා බදු වැඩි කළ විට බදු ආදායම වැඩිවන බැවිනි.

      Delete
  5. 2015 රජයේ වියදම් ආදායමට වඩා වැඩි ප්‍රතිශතයකින් වැඩිවුනේ රජයේ සේවකයන්ට රු 10,000/=කින් පඩිවැඩිකල නිසා වෙන්න බැරිද ?

    ReplyDelete
    Replies
    1. 2014-2015 කාලය තුළ රාජ්‍ය සේවක වැටුප් සඳහා වන වියදම 27.4%කින් වැඩි විය. මෙය රජයේ සමස්ත වියදම වැඩි වූ 27.5% අනුපාතිකයට ආසන්නව සමානය. මේ අනුව, රාජ්‍ය සේවක වැටුප් හැර අනෙකුත් වියදම්ද රාජ්‍ය සේවක වැටුප් වැඩි වූ අනුපාතයට ආසන්නව, ඇත්තටම සුළුවෙන් වුවත් තරමක් වැඩියෙන්, ඉහළ ගොස් තිබේ. රාජ්‍ය සේවකයින්ද රාජ්‍ය යාන්ත්‍රණයේ කොටස්ය. රාජ්‍ය සේවක වැටුප් වැඩි කළ විට මේ වියදම බදු ලෙස නැවත අය කරගන්නට වෙයි. මේ බදු රාජ්‍ය සේවකයින් විසින්ද ගෙවන නමුත්, ඔවුන්ගේ වැටුප්ද වැඩි වී ඇති නිසා ඔවුන්ට සාපේක්ෂව ලොකු අවාසියක් සිදු නොවේ. ඒ නිසා ඔවුන්ට පරිභෝජනය සීමා කිරීමට සිදු නොවේ. බදු වල බර මුළුමනින්ම වාගේ පැටවෙන්නේ රාජ්‍ය යාන්ත්‍රණයෙන් බැහැරව සිටින පිරිස් මතය. වැඩි වූ බදු හේතුවෙන් ඔවුන්ට සිය පරිභෝජනය සීමා කිරීමට සිදුවේ.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget