Tuesday, April 25, 2017

අපට පෙනෙන තරු!

ඕස්ට්‍රේලියානු කොඩියේ දකුණු කුරුසියට වමෙන් ඇති, පොදු රාජ්‍ය මණ්ඩලීය තරුව ඕස්ට්‍රේලියානුවන්ගේ සාමූහික විඥානයේ ඇති, එහෙත් අහසේ දැකිය නොහැකි තරුවකි. මේ අයුරින්ම ඇමරිකාවේ ජාතික කොඩියේ ඇති තරු පණහේ රටාවත්, යුරෝපීය සංගමයේ කොඩියේ ඇති තාරකා දොළොසේ රටාවත්, චීන කොඩියේ තරු පහේ රටාවත් බොහෝ දෙනෙකු හඳුනන නමුත් ඒ තරු රටා අහසේ දැකිය නොහැකිය. ඒ තරු රටා පවතින්නේ මිනිසුන්ගේ සාමූහික විඥානයේය.

එසේනම්, ඕස්ට්‍රේලියානු කොඩියේ ඇති දකුණු කුරුසිය එහිම ඇති පොදු රාජ්‍ය මණ්ඩලීය තරුවෙන් වෙනස් මිනිසුන්ගේ සාමූහික විඥානය තුළ නිර්මාණය වූවක් නොවූ, මිනිසාට පිටින් ඇති යථාර්තයක්ද? මෙය එසේනම් මේ එකම තරු රටාව ඕස්ට්‍රේලියානු, නවසීලන්ත හා පැපුවා නිවුගිනි ජාතික කොඩි වල වෙනස් ලෙස පෙනෙන්නේ ඇයි?

ඔබට කිසිවකු කඩදාසියක් හා පැන්සලක් අතට දී තරුවක් අඳින්නටයැයි කිවුවොත් ඔබ බොහෝ විට අඳිනු ඇත්තේ මුළු පහක් ඇති
ආකාරයේ තරුවකි.  ඕස්ට්‍රේලියානු කොඩියේ එප්සිලෝන් කෘෂියස් මේ ආකාරයේ මුළු පහේ තරුවකි. නවසීලන්ත, ඇමරිකන් හා චීන ආදී ලෝකයේ බොහෝ ජාතික කොඩි වල ඇති තරු මෙවැනි මුළු පහේ ඒවාය. 

මුළු පහේ තරුවක් පැන්සල නොඋස්සා ඇඳිය හැකිය. ඒ සඳහා පුහුණුවක් නැති අය පහසුවට මුළු හයේ තරු අඳිති. සමකෝණී ත්‍රිකෝණ දෙකක් එකිනෙක මත උඩු හා යටිකුරු ලෙස ඇඳීමෙන් 🔯 ආකාරයේ මුළු හයේ තරුවක් ඇඳිය හැකිය. ඊශ්‍රායෙල් ජාතික කොඩියේ තරුව මෙවැන්නකි. ඇතැම් අයෙක් ✴ ආකාරයේ තරුවක් වුවද අඳින්නට බැරිකමක් නැත.

කෙසේවුවද, ඕස්ට්‍රේලියානු කොඩියේ පොදු රාජ්‍ය මණ්ඩලීය තාරකාව හා දකුණු කුරුසියේ ප්‍රධාන තරු වැනි මුළු හතේ තරු හෝ මැලේසියා ජාතික කොඩියේ ඇති ආකාරයේ මුළු දහහතරේ තරු කිසිවකු විසින් අඳින්නට සැලකිය යුතු ඉඩක් නැත. ලෝකයේ රටවල් වලින් තුනෙන් එකක පමණ ජාතික කොඩිවල කිසියම් තරු සලකුණක් ඇතත් ඒවායින් වැඩි ගණනක් මුළු පහේ තරුය. තරුවක් කී විට අප බොහෝ දෙනෙකුට එක් වර සිහියට එන්නේ මේ මුළු පහේ තරුවයි.

එහෙත්, මේ ආකාරයේ මුළු පහේ හෝ මුළු හයේ තරු අහසේ නැත. එවැනි තරු පියවි ඇසින් හෝ දුරේක්ෂයකින් දැකිය නොහැකි අතර, විශේෂ උපක්‍රමයක් යෙදුවොත් මිස ඡායාරූප ගත කිරීමටද නොහැකිය.

අප බොහෝ දෙනෙක් ⭐ආකාරයේ සලකුණක් තරුවක් ලෙස හඳුනාගන්නේ අප කුඩා කාලයේ සිට එසේ සිතන්නට අපට පුහුණු කර ඇති බැවිනි. එවැනි ඉගැන්වීමක් නොලැබූ අයෙකු අහසේ තරුවක් මේ ආකාරයෙන් දකින්නට හෝ අඳින්නට ඇත්තේ ඉතා සීමිත ඉඩකි.

මේ ආකාරයෙන්ම අහසේ තරු රටාවක් වලසෙකු හෝ නඟුලක් ලෙස හෝ කුරුසියක් ලෙස දකින්නට පුහුණු වූ පසු අපට ඒවා එසේ පෙනේ. එළුවෙකු හෝ මාළු දෙන්නෙක් මෙන් දකින්නට පුරුදු වූ විට එසේ පෙනේ. සෘෂි වරුන් හත් දෙනෙකු ලෙස දකින්නට පුරුදු වූ විට එසේ පෙනේ. අප දකින බොහෝ දේවල් අපට එසේ පෙනෙන්නට අපේ ඉන්ද්‍රිය පද්ධතිය මෙන්ම අප ලබා ඇති අධ්‍යාපනයද හේතු වේ.

අපේ ඉන්ද්‍රිය පද්ධතිය හරහා අප දකින ලෝකය හැම විටම සමාන නැත. එය මිනිසුන් ලෙස අපට සාමූහිකව ක්‍රියා කිරීමට බාධාවකි. එහෙත්, අපේ අධ්‍යාපනය නිසා අපට උරුම වන වියුක්ත සංකල්ප සමඟ අපේ ඉන්ද්‍රිය පද්ධතියට ගෝචර වන දේ ගලපා ගැනීමෙන් මිනිසුන් බොහෝ දෙනෙකුට බාහිර ලෝකය එකම අයුරින් දකින්නට පුළුවන්කම ලැබේ. සංස්කෘතිය ගොඩ නැඟෙන්නේ මෙසේ බොහෝ දෙනෙකුට ලෝකය එකම අයුරින් දකින්නට ඇති හැකියාව මතය.

මෙසේ අධ්‍යාපනය හරහා අප දකින ලෝකය හැම විටම අපේ ප්‍රත්‍යක්ෂය සමඟ ගැලපීම අවශ්‍යම කරුණක් නොවේ. ඒ නිසා, ඕස්ට්‍රේලියානු කොඩියේ ඇති මුළු හතේ තරු තුලින් මෙන්ම, නවසීලන්ත කොඩියේ මුළු පහේ තරු තුලින්ද අපට දකුණු කුරුසිය දැකිය හැකිය.


(Image: http://www.fansshare.com/gallery/photos/13813394/buddy-handleson-wendell-and-vinnie-seeing-stars-image/?displaying)

14 comments:

  1. ඉකොනො,
    මේ ලිපියේදී ඔබ තාරකා මණ්ඩල පසුකොට බොහෝ දුරක් යමින් හිඳින වග මට පෙනෙනවා.
    මෙතැන ඔබ තරු රටාවක් නගුලක් ලෙස හෝ එළුවෙකු ලෙස පෙනීම අධ්‍යාපනයේ ඵලයක් ලෙස දැක්වීම ඇත්තෙන්ම බොහෝම වැදගත් යෙදුමක්.
    මා දන්නා පැත්තෙන් කීවොත්, බුදු දහමේ පංචස්ඛන්ධය තුල කියැවෙන සංඥා ස්ඛන්ධය ලෙස හඳුනා ගත හැක්කේ මෙන්න මේ දැනුම් පද්ධතියයි. රූපයක් හෝ තරුවක් දැකීමෙන් ඒ කෙරෙහි වූ පෙර හඳුන්වා දුන් ආකාරයකින් එය වටහා ගැනීම. මෙය
    ආලෝක වේදනාවක් හේතුවෙන්,
    ශබ්ධ වේදනාවක් හේතුවෙන්,
    ආග්‍රාන වේදනාවක් හේතුවෙන්,
    රස වේදනාවක් හේතුවෙන්,
    ස්පර්ශයේ වූ තාප/ පීඩන/ රළු සිනිඳු ආදී වූ වේදනාවක් හේතුවෙන් හෝ
    මනෝ සංචේතනාවක් හේතුවෙන්
    ඉපදවිය හැකි සංඥාවකි. මේ සංඥා බොහෝමයක් අප විසින් පෙර සංස්කරණය කරන ලද ඒවා වන බැවින් අප වේදනාවක් ලද සැනින් එයට අදාල පෙර සංස්කරනය කරන ලද සංඥාවට අනුරූප ලෙස එය හඳුනා ගන්නවා.
    සත්ත්වයෙකු තුල ඇති දැනුම් පද්ධතිය හටගන්නේ අන්න එලෙසිනුයි.
    මේ දැනුම් පද්ධතියේ ඇති අනන්‍ය තාවය නිසා තමයි සත්ත්වයෙකු නානාත්ත කායා නානාත්ත සංඥා බවට පත්වන්නේ.

    මා ඔබේ ලිපියට පරිභාහිර දෙයක් නොවෙයි මේ කියන්නේ ඔබ කී දෙයම වෙනත් වචන වලින්.

    ධර්මය යනු බොහෝ දෙනෙකුට විශ සහිත මාතෘකාවක් වන නිසා මෙය ඔබ කෙලෙසක භාර ගනීවිදැයි මම දන්නේ නැහැ. එහෙත් ඔබගේ වටහා ගැනීම අවබෝධය දුටු විට මට මෙය කියන්නට සිත්වූවා.

    ReplyDelete
    Replies
    1. ඔය ටිකත් අපි මුලින්ම දැනගන්නේ අධ්‍යාපනය හරහා නේද? එහි කිසිම වරදක් නැහැ. පළමුව කළ යුත්තේ අධ්‍යාපනය ලැබීමයි. උගත් දේ තේරුම් ගැනීම, ප්‍රශ්න කිරීම හා අවබෝධ කරගැනීම එයින් පසුව පිළිවෙලට එනවා.

      Delete
    2. පුදන කොටම කාපි යකා කිව්වලු !
      මම කියපු දේ තේරුම් අරගෙන නෙවෙයිනේ ඔබ තුමා පිළිතුර දීලා තියෙන්නේ.
      හා කමක් නැහැ, මෙතැන ඒවා පැහැදිලි කරන්න සුදුසු තැනක් නෙවෙයිනේ.

      ඕවා කථා කරන්න ගියොත් මේ වටිනා මාතෘකාවෙන් අහකට පැනලා වැඩේ බකල් වෙනවා.
      අපි ඔහොම යං....

      Delete
  2. "Shoot for the moon and if you miss you will still be among the stars." -Les Brown

    ReplyDelete
  3. ලෝකයේ රටවල් වලින් තුනෙන් එකක පමණ ජාතික කොඩිවල කිසියම් තරු සලකුණක් ඇතත් ඒවායින් වැඩි ගණනක් මුළු පහේ තරුය.

    මේක කියවලා අපේ රටේ කේන්දර බලන උදවියත් ජාතික කොඩියට තරුවක් අවශ්‍ය යයි කියා රජයට බලපෑමක් කරලා පිටකොටුවේ පිකට් එකක් කරයිද ?

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නේ එන්නේ තරුව තෝරන්න ගියාමයි!

      Delete
  4. බ්‍රිස්බේන් වල ගිය අරුන්දතී රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක අහල ඉවර උනා විතරයි. ඔබගේ මේ 'අරුන්දතී තාරකාව පෙන්නනව වගේ" පියවරෙන් පියවර කරන පැහැදිලි කිරීම ඉතා අගෙයි. ස්තුතියි!!!

    ReplyDelete
  5. ඉකොනො,

    ඔබගේ දෙලක්ෂයේ කඩඉමට සුභ පතමි. (විව් කවුන්ට් එක හරියටම ලක්ෂ දෙකයි නේ?)

    මෙවන් විශිෂ්ට සංවාදශීලී ලිපි තවත් ලියන්න. ඔබට ජය !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, ඇනෝ! දෙකක් දාගත්තම ලියන්න ලේසියිනේ.

      Delete
  6. මායාව හා යථාව අතරෝලනය.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget