වෙබ් ලිපිනය:

Tuesday, April 18, 2017

වික්ටර්ගේ අරුන්දතී හා ජෝතිපාලගේ අරුන්දතීලා

ජාන වලින් එන බලපෑමක් නිසා හෝ පුරුද්ද නිසා හෝ වෙනත් කවර හෝ හේතුවක් නිසා සමහර අයට බොහෝ වෙලාවටත්, බොහෝ අයට සමහර වෙලාවටත් රාත්‍රීය උදාවී බොහෝ වෙලාවක් අවදිව සිටින්නට සිදුවේ. රෑ බෝ වී ඇතත් නිදිමත අහලකවත් නැත්නම් මොකද කරන්නේ?

මේ වගේ වෙලාවට පොඩ්ඩක් මිදුලට බැස අහස නිරීක්ෂණය කරන එක එතරම් නරක පුරුද්දක් නොවේ.

"නින්ද නේන රාත්‍රියේ
මේ පාළු කාන්සියේ
පායා අරුන්දතී තරුවෙන්
එන්න කාන්තියේ..."

එච් ආර් ජෝතිපාල ගයන මේ ගීතයේ මුල් හින්දි තනුවට ගී පද ලියා ඇත්තේ අජන්තා රණසිංහයන් විසිනි. ගීතය ලියැවුණු පසුබිම මෙහි තිබේ.  



මුල් හින්දි ගීතය ඇරඹෙන්නේ මෙසේය. 

"චෞද්හවිං කා චාන්ද් හෝ
යා ආෆ්තාබ් හෝ
ජෝ භී හෝ තුම්, ඛුදා කී කසම්, ලාජ්වාබ් හෝ...

चौदहवीं का चाँद हो, या आफ़ताब हो
जो भी हो तुम खुदा कि क़सम, लाजवाब हो...

ඔබ පසළොස්වක සඳද?
නැත්නම් ඉරද?
ඔබ කවුරු වුවත්, දෙයියම්පල්ලා, ඔබට සමාන කළ හැකි කිසිවෙක් නෑ..."

සිංහල ගීතයේ මෙන්ම හින්දි ගීතයේද පදවැල් මිහිරිය. එහෙත්, අරුත් සමාන නැත. හින්දි ගීතයේ පසළොස්වක සඳ හා ඉර වෙනුවට, අජන්තා රණසිංහ විසින් අරුන්දතී තාරකාව ගීතයට එකතු කර තිබේ.



නින්ද නේන රාත්‍රියේ අහසේ සිටි අරුන්දතිය ගැන කතා කළ එච් ආර් ජෝතිපාලයන් විසින්, වෙසක් මහේ දොසක් නොමැති නැකතක් බලා ගෙට කැන්දාගෙන එන්නට බලාපොරොත්තුවෙන් සිටි පොළොවේ සිටි අරුන්දතියක්ද විය.

"දොළොස්මහේ පහණ වාගේ පැලට එළිය දුන්න
මවයි පියයි සනස්සමින් සන්තෝසෙන් ඉන්න
අරුන්දතී මල්ලි මොටද ගමන් බිමන් යන්න
අදින් පස්සේ මේ පාරෙන් ඔබ තනියම යන්න..."


මේ අරුන්දතී තාරකාව ගැන අමරදේවයෝද ගැයූහ.

"තරු අරුන්දතී නෙතු පහන් නිවා
දුර නිසොල්මනේ හිඳිනා.."

මේ මියුරු ගීයේ පදමාලාවද අජන්තා රණසිංහයන්ගේය. 



අරුන්දතී තාරකාව ගැන ගී ලියා ඇත්තේ අජන්තා රණසිංහ පමණක් නොවේ. වික්ටර් රත්නායක ගයන අරුන්දතී තාරකාව සේ ගීතය සුනිල් ආරියරත්නයන්ගේ වියමනකි.

"අරුන්දතී..තාරකාව සේ දිලී දිලී
නුවන් පෙතී..විදා බලා නොව මැලී මැලී
බ්‍රහස්පතී.. නැණින් යොවුන් සිත් බැඳී බැඳී
දවස්පතී..රුවින් සිනාසෙයි නැගී නැගී..."

මේ ගීතයේ අරුන්දතී තාරකාව සමඟ පැත්තකින් බ්‍රහස්පති ග්‍රහයා හා දවස්පති හෙවත් සූර්යයාද පෙනෙන්නට සිටී.


ඉර, හඳ, බ්‍රහස්පති ඇතුළු ග්‍රහයන්, දොළොස්මහ හා වෙසක් මහ මෙන්ම නැකැත් ගැනත් අපි බොහෝ දෙනෙකු දනිතත් අහසේ තාරකා අතර දිදුලන අරුන්දතී තාරකාව ගැන වැඩි දෙනෙක් නොදන්නවා විය හැකිය.

අරුන්දතී තාරකාව රෑ අහසේ පෙනෙන සිය දහස් ගණනක් තාරකා අතරින් තවත් එක් තාරකාවකි. වැඩි දීප්තියක් නැති, කුඩා තාරකාවක් වන අරුන්දතී තාරකාව තනිව ගත් කළ එහි විශේෂත්වයක් නැත. එහෙත්, ඒ සමීපයේම ඇති වඩා දීප්තිමත් වශිෂ්ඨ තාරකාව හේතුවෙන් මේ කුඩා තාරකාවට වසර දස දහස් ගණනක් තිස්සේ ලෝකයේ සෑම ප්‍රධාන ශිෂ්ඨාචාරයකම වාගේ වැදගත් තැනක් ලැබී තිබේ. වශිෂ්ඨ තාරකාව සප්තාර්ශී තාරකා මණ්ඩලයට අයත් තාරකා හතෙන් එකකි. ඉතිරි තාරකා මරිචි, පුලස්ති, පුලහ, අංගීරස, අත්‍රි හා ක්‍රතු ලෙස හැඳින්වේ.



ඇත්තටම ආලෝක වර්ෂ 0.5-1.5 පමණ ඈතින් පිහිටියත්, පොළොවට පෙනෙන පරිදි, වසර දහස් ගණනක් තිස්සේ ඈත් නොවී එක ලඟින්ම හිඳින වශිෂ්ඨ තාරකාව හා අරුන්දතී තාරකාව සදා වෙන් නොවී පෙමින් බැඳී සිටින ආදරබර යුවලක් ලෙසත්, සාර්ථක විවාහයක සංකේතයක් ලෙසත් ලොව පුරා විවිධ සංස්කෘතීන්හි හඳුනා ගෙන තිබේ. ලොකු විශේෂත්වයක් නැති බිරිඳකට බලවත් සැමියෙකු නිසා ලැබෙන ආකර්ෂණය වැනි ආකර්ෂණයක් වශිෂ්ඨ තාරකාව නිසා අරුන්දතී තාරකාවට ලැබී තිබේ. අනෙක් අතට, එක සේ දීප්තිමත් සප්තාර්ශි තරු අතරින් සමීප සහකාරියක් සිටින එකම තරුව වන වශිෂ්ඨ තාරකාවටද අරුන්දතී තාරකාව නිසා විශේෂ අවධානයක් ලැබී තිබේ.

සප්තාර්ශී තාරකා අතරින් පුලහ හා ක්‍රතු තාරකා දෙස බලා ඒ එල්ලේම ඉහළට ඇස ගෙන ගිය විට ධ්‍රැව තාරකාව හමුවේ. ආසන්න ලෙස පොළොවේ උත්තර ධ්‍රැවය කෙළින් පිහිටි ධ්‍රැව තාරකාව වසර දස දහස් ගණනක් තිස්සේ නාවිකයින්ට හා කාන්තාර වල සංචාරය කරන්නට මඟ පෙන්වා ඇත. එහි පිහිටීම හේතුවෙන් පොළොව භ්‍රමණය වෙද්දී මේ තාරකාව ස්ථිර තැනක පවතින සේ පෙනේ. ලෝකයේ විවිධ සංස්කෘතීන්හි සප්තාර්ශී තාරකා මණ්ඩලය ගැන ඇති ජනශ්‍රැති පිළිබඳව සිදු කර ඇති අධ්‍යයනයකට අනුව මේ සියළු ජනශ්‍රැති වසර 13,000කට පමණ පෙර එකම මූලයකින් ඇරැඹී තිබේ.




ඇමරිකාවේ හතළිස් නවවන ප්‍රාන්තය වන ඇලස්කාවේ කොඩියේ තිබෙන්නේ මේ සප්තාර්ශී තාරකා මණ්ඩය හා ධ්‍රැව තාරකාව අහසේ දිදුලන ආකාරයයි. එහෙත්, එහි අරුන්දතී තාරකාව දැකිය නොහැක. 


සප්තාර්ශී තාරකා මණ්ඩලය බටහිර රටවල මහ වලහා ලෙසත්, බිග් ඩිපර් ලෙසත්, අර්සා මේජර්  (Ursa Major) ලෙසත් හැඳින්වේ. වශිෂ්ඨ තාරකාව බටහිරදී මිසාර් ලෙසත් අරුන්දතී තාරකාව ඇල්කෝර් (Mizar and Alcor) ලෙසත් ඒවායේ අරාබි නම් අනුව හැඳින්වේ. මේ තාරකා මණ්ඩලය ආධුනික තාරකා නිරීක්ෂකයින් අහස අධ්‍යනය කිරීම අරඹන විට මුලින්ම වාගේ හඳුනා ගන්නා තාරකා මණ්ඩලයකි.

සමකය කෙළින් නොව වඩා උතුරෙන් පිහිටි අරුන්දතී තාරකාව රාශි චක්‍රයේ හෝ නැකැත් චක්‍රයේ කොටසක් නොවේ.

සමහර බරපතල දේවල් වෙනත් අයෙකුට එකවර කී විට නොතේරේ. එවිට හොඳ ගුරුවරයෙකු කරන්නේ මුලින්ම තේරුම් ගැනීම අපහසු නැති සරල දෙයක් කියා දීමයි. එය ධාරණය කරගත් පසු තරමක් ගැඹුරු දෙයක්ද, එයත් ධාරණය කරගත් පසු වඩාත් ගැඹුරු දෙයක්ද කියා දෙන්නට පහසුය. මේ ප්‍රවේශය සංස්කෘත බසින් හඳුන්වන්නේ අරුන්දතී තාරකාව පෙන්නන්නාක් මෙන් (අරුන්ධතී දර්ශන්‍යායඃ) යනුවෙනි. ලොකු දීප්තියක් නැති අරුන්දතී තාරකාව යමෙකුට පෙන්වීමටනම් පළමුව සප්තාර්ශි
තාරකා මණ්ඩලය (Ursa Major constellation) පෙන්විය යුතුය. ඉන්පසුව, වශිෂ්ඨ තාරකාවද, එයට ඇස හුරුවූ පසු ඒ ලඟින්ම ඇති දීප්තියෙන් අඩු අරුන්දතී තාරකාවද දැකිය හැකිය.

යමෙක් මිය යන්නට ආසන්න වන විට අරුන්දතී තාරකාව නොපෙනී යන බව බොහෝ ආසියාතික රටවල ඇති විශ්වාසයකි. මේ කතාවේ ඇත්තක් තිබේ. එතරම් දීප්තිමත් නැති අරුන්දතී තාරකාව නොපෙනේනම් හෝ එය වශිෂ්ඨ තාරකාවෙන් වෙන් කර හඳුනාගත නොහැකි තරමට බොඳ වී පෙනේනම් එයින් පෙනෙන්නේ පිනක් දහමක් කරගන්නට කාලය හරි බවයි. මේ පිනක් දහමක් කතාව එක් එක් අය තේරුම් ගන්නේ වෙනස් ආකාරයෙන් නිසා, තමන්ගේ මරණයෙන් පසුව ඉතිරි වන ලෝකය වෙනුවෙන් යමක් කිරීම ලෙස එය පුළුල් ලෙස අර්ථ දක්වන්නට මා වඩා කැමතිය. කෙසේ වුවත්, දැන් ලේසර් ප්‍රතිකර්ම ආදියෙන් ඇස් පෙනීම දියුණු කරගෙන වැඩි කලක් අරුන්දතී තාරකා දකින්නට බොහෝ දෙනෙකුට ඉඩ සැලසී තිබේ.



(Image: https://soundcloud.com/vimasuma-com/victor-rathnayaka-to-release-a-cd-with-hindi-songs-vimasumacom)

22 comments:

  1. අරුන්දතී තාරකාව = North Star ?

    ReplyDelete
    Replies
    1. North Star= Polaris= ධ්‍රැව තාරකාව.
      This is called Alcor.

      Delete
  2. අරුන්දති කියන්නේ නමක් විතරයි කියලා හිතන් හිටියේ. ස්තූතියි දැනුවත් කලාට

    ReplyDelete
    Replies
    1. ඉන්දියානුවන් විවාහයෙන් පසුව අළුත් මනාලියට අරුන්දතී තාරකාව පෙන්වීමේ සිරිතක් තියෙනවා.

      Delete
    2. අරුන්දතී තාරකාව කෙසේ වෙතත් ඔවුන් අලුත් මනාලියට තරු පෙන්වන බව නම් මෙගා නාට්ටිවල පෙන්නනවා :D

      Delete
  3. බිග් ඩිපෙර් දැක තිබේ එහෙත් අරුන්දතී වචනය මිස අර්න්දතී යන නම මිස සැබේ තරු අරුන්දතිය ගැන දැන නොසිටියෙමි. ස්තුතියි දැනුවත් කිරීමට.
    වහාම තරු අරුන්දතිය බැලිය යුතුයැයි සිතා ලිපිය කියවාගෙන යන කොට තඩි පොල්ලකින් ඔළුවට පත බෑවාක් මෙන් අන්තිම ඡේදය හමු විය.
    මොනවා කරන්නද? දැන් ඉතින් අද රෑට අහස බලන්න ඕනා අරුන්දතී පේනවද නැද්ද කියලා දැන ගන්න.

    ReplyDelete
    Replies
    1. හඳ එළිය තවමත් වැඩි නිසා අද පෙනේයයි සිතිය නොහැක. තව දින කිහිපයකින් පෙනෙන්නට පුළුවන.

      Delete
  4. පළමු වසරේ මුළ පැවැත්වුණු කඩිනම් ඉංග්ලිෂ් පාඨමාලාව අවසානයේ අපේ පන්තියේ ඉගැන්වූ මිසිස් ගුණවර්ධන අපට සෙනසුරාදා දිවා ආහාරයට ආරාධනා කළා. ඇගේ සහ ඉලෙක්ට්‍රොනික්ස් මහාචාර්ය ගුණවර්ධන ගේ දියණිය ගේ නම අරුන්දතී බව කවුදෝ කියූ නිසා, ආහාරයෙන් පසු අප කිහිප දෙනෙකු ඔය ඉහතින් ඇති වික්ටර් ගේ ගීතය ගායනා කළා මට මතකයි!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඔව්. ඇය සිංගප්පූරුවේ පරිගණක හා සම්බන්ධ ආයතනයක සේවය කළා.

      Delete
    3. රසිකොලොජිස්ට් - RasikologistApril 19, 2017 at 1:06 AM
      // මහාචාර්ය ගුණවර්ධන ගේ දියණිය ගේ නම අරුන්දතී බව කවුදෝ කියූ නිසා, ආහාරයෙන් පසු අප කිහිප දෙනෙකු ඔය ඉහතින් ඇති වික්ටර් ගේ ගීතය ගායනා කළා මට මතකයි!//

      එහෙනම් ඒක වෙන්ඩ ඇති අපේ කාලේ වෙන කොට කෙල්ල ඒ නම වෙනස් කරගෙන හිටියෙ

      Delete
  5. අරුන්දතිය පිටුපස විසාල කතාවක් තිබිලා නෙව... හරි රසවත්.
    ජයවේවා..!!

    ReplyDelete
  6. ස්තුතියි..

    ReplyDelete
  7. අරුන්දතී කතන්දරේ අදයි බැලුවෙ. නොදැන සිටි ගොඩක් දේ දැනගත්තා... කවියක් ලියන්නත් පුලුවන් වගේ...

    ReplyDelete
    Replies
    1. අරුන්දතී තාරකාව ගැන බොහෝ කවි ලියැවී තිබෙනවා. වශිෂ්ඨ හා අරුන්දතී ගැන ඉන්දියානු කවියෙකු වන ජගද්ගුරු රම්භද්‍රාචාර්යයන් විසින් මහාකාව්‍යයක් ලියා තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ භාෂා 22ක් කතා කළ හැකි හා භාෂා ගණනාවකින් ලියන ඔහු ඉතා කුඩා කාලයේ සිට පෙනීම අහිමිව සිටීම නිසා කිසිදා මේ තාරකා දැක නොතිබෙන්නට ඉඩ තිබීමයි.
      ඔබත් කවියක් ලියන්න.

      Delete
  8. මම හිතන්නේ මේ ඔබේ බ්ලොග් එකේ මගේ පළමුවැනි කොමෙන්ටුව.

    අගනා ලිපියක්, දැනුම ගොඩක්. බොහොම ස්තුතියි.

    //ලොකු විශේෂත්වයක් නැති බිරිඳකට බලවත් සැමියෙකු නිසා ලැබෙන ආකර්ෂණය වැනි ආකර්ෂණයක් වශිෂ්ඨ තාරකාව නිසා අරුන්දතී තාරකාවට ලැබී තිබේ. අනෙක් අතට, එක සේ දීප්තිමත් සප්තාර්ශි තරු අතරින් සමීප සහකාරියක් සිටින එකම තරුව වන වශිෂ්ඨ තාරකාවටද අරුන්දතී තාරකාව නිසා විශේෂ අවධානයක් ලැබී තිබේ.//

    තරු පාඩමක් අස්සේ පොඩි ජීවිත පාඩමකුත් තියනවද මන්ද :)

    ReplyDelete
    Replies
    1. හොඳ නිරීක්ෂණයක්! මේ වගේ වාක්‍යයක් මම ඉඳහිට ලිපි ඇතුළට රිංගවනවා. මෙහි පළමුවෙනි වාක්‍යයේ ඇති දෙය වසර දහස් ගණනක් තිස්සේ බොහෝ දෙනා කතාකර ඇති දෙයක්. එහෙත්, දෙවෙනි වාක්‍යයේ ඇති දෙය එසේ කොහේවත් සඳහන්ව තිබෙනු මා දැක නැහැ.

      Delete
  9. රුවින් සිනාසෙයි නැඟී නැඟී... --> රුවින් සිනාසෙයි නැගී නැගී...
    ජය!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි! එය ලිපියේ වෙනස් කළා.

      Delete
  10. අරුන්දතී තේරුම හොයන්න google කළාට මේ තරම් පුළුල් හැඳින්වීමක් බලාපොරොත්තු වුණේ නැහැ. බොහොම ස්තූතියි! ඉතාමත් වටිනා අරුත් පැහැදිලි කිරීමක් ❤️

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: