Monday, April 10, 2017

වරාය සමඟ ඉඩම් තොගයක්!

පෙර ලිපියෙන් කතා කළ පරිදි, ඇමරිකා එක්සත් ජනපදය භූමි ප්‍රමාණය අනුව ලෝකයේ පස්වන විශාලතම රට නොවී තෙවන විශාලතම රට වන්නේ 1867 වසරේදී අක්කරය ඩොලර් සත දෙකකටත් අඩුවෙන් ඇලස්කාව මිල දී ගැනීම හේතුවෙනි. රුසියාවෙන් ඇලස්කාව මිල දී ගැනීම ඇමරිකාව විසින් සිදු කළ මේ ආකාරයේ පළමු හෝ එකම ගනුදෙනුව නොවේ.

ඇමරිකා එක්සත් ජනපදය අද වන විට දැකිය හැකි විශාල රට බවට පත් වීමේදී ඇලස්කාව මිලදී ගැනීමට වඩා බොහෝ වැඩි බලපෑමක් සිදුවුණේ 1803 වසරේදී ප්‍රංශයෙන් ලුවිසියානා බිම් පෙදෙස් මිලදී ගැනීමයි. අක්කරයක් ඩොලර් සත තුනකටත් අඩුවෙන් ලංකාව මෙන් 33 ගුණයක් විශාල මේ බිම් පෙදෙස මිල දී ගැනීමට ඇමරිකාව ප්‍රංශයට ඩොලර් මිලියන 15ක් ගෙවුවේය.

මේ මිල අද වටිනාකම අනුව ඩොලර් මිලියන 309ක් පමණ වන අතර ඒ අනුව එක් අක්කරයක් වෙනුවෙන් අද වටිනාකම අනුව ඇමරිකන් සත 58ක් පමණ ගෙවා තිබේ. මේ අනුව, ලුවිසියානා ගනුදෙනුවේදී අක්කරයකට ගෙවා ඇති මිල ඇලස්කාවේ අක්කරයට ගෙවා ඇති මිල මෙන් දෙගුණයක් පමණ වේ. මේ මිලදී ගැනීම නිසා එවකට ඇමරිකාව සතු වූ භූමි ප්‍රමාණය දෙගුණ විය.

ලුවිසියානා ගනුදෙනුව නිසා ඇමරිකාව සතු වූ බිම් පෙදෙස් අද ඇමරිකාවේ ප්‍රාන්ත 15ක හා කැනඩාවේ පළාත් දෙකක විසිරී තිබේ. මේ ගනුදෙනුව මේ ආකාරයෙන් සිදුවීම ඇමරිකාව බලාපොරොත්තු නොවූ, හදිසියේ ලැබුණු වාසියකි.

දාහත්වන සියවසේ අවසානයේ සිට දහඅට වන සියවසේ මැද දක්වා මිසිසිපි නදියේ දෙපස විශාල ප්‍රදේශයක පැතිරුණු වත්මන් ඇමරිකා එක්සත් ජනපදයේ හා කැනඩාවේ විශාල ප්‍රදේශයක් පැවතියේ ප්‍රංශයේ අණසක යටතේය. ඒ වන විට උතුරු ඇමරිකාවේ ප්‍රධානම යුරෝපීය බලය වූයේ ප්‍රංශයයි. මේ බිම්
පෙදෙස ප්‍රංශයේ ලුවී රජු නමින් ලුවිසියානා ලෙස නම් කෙරී තිබුණේය.

බ්‍රිතාන්‍යය හා ප්‍රංශය ඇතුළු රටවල් ගණනාවක් අතර සිදුවුණු හත් අවුරුදු යුද්ධය නිමා කරමින් 1763දී අත්සන් කෙරුණු පැරිස් සම්මුතියේ ප්‍රතිඵලයක් ලෙස කැනඩාවේ හා මිසිසිපි නදියෙන් නැගෙනහිර බිම් පෙදෙස් බ්‍රිතාන්‍යයටත්, මිසිසිපි නදියෙන් බටහිර බිම් පෙදෙස් හා නිව් ඕර්ලියන්ස් නගරය ස්පාඤඤයටත් අයිති විය. ඇමරිකාවේ මුල් ජනපද බ්‍රිතාන්‍යයෙන් නිදහස් වෙද්දී මිසිසිපි නදියෙන් නැගෙනහිර කොටස් බොහොමයක් ඇමරිකාව සතු විය. මිසිසිපි නදිය භාවිතා කර නිදහසේ භාණ්ඩ ප්‍රවාහනය කිරීමට ඇති හැකියාව මෙන්ම එවකට ස්පාඤඤය සතු වූ නිවු ඕර්ලියන්ස් වරාය ඇමරිකාවේ වර්ධනය වෙමින් පැවති වෙළඳ කටයුතු සඳහා ඉතාම වැදගත් විය. මේ වරාය භාවිතා කිරීම අදාළව ඒ වන විටද ප්‍රශ්න මතුවී තිබුණි.

ප්‍රංශ විප්ලවය අවසානය වී 1799දී නැපෝලියන් බලයට පත් වීමෙන් පසුව ස්පාඤඤය හා ප්‍රංශය අතර රහසිගතව අත්සන් කෙරුණු සැන් ඉල්දෙෆොන්සෝ සම්මුතිය අනුව ලුවිසියානා බිම්පෙදෙස් නැවතත් ප්‍රංශය සතු විය. උතුරු ඇමරිකානු භූමිය තුළ නැවතත් ප්‍රංශ බලය ගොඩනැඟීමට නැපෝලියන්ට වූ අපේක්ෂාවන් හා විභවය ඇමරිකාව කනස්සල්ලට පත් කළේය.

ඩොලර් මිලියන දහයක මුදලකට නිවු ඕර්ලියන්ස් නගරය හා උතුරු ෆ්ලොරීඩාවේ ප්‍රංශය සතුවූ බිම් පෙදෙස් මිල දී ගැනීම සඳහා උත්සාහයක් දැරීමට ඇමරිකන් ජනාධිපති තෝමස් ජෙෆර්සන් විසින් (පසුව ඇමරිකන් ජනාධිපති ධුරයට පත් වූ) ජේම්ස් මොන්රෝව ප්‍රංශයට පිටත් කර හැරියේය. මේ වන විට සෙන්ට් ඩොමිනික්හි (වත්මන් හයිටි) පැවති කැරැල්ල මර්දනය කිරීමට අසමත්ව උතුරු ඇමරිකාවේ සිය බලය නැවත ගොඩ නැඟීම පිළිබඳ වූ ප්‍රංශයේ අපේක්ෂා බිඳ වැටී තිබුණේය.

නිවු ඕර්ලියන්ස් නගරය විකිණීමට ප්‍රංශය එකඟ වනු ඇතැයි ඇමරිකාව විශ්වාසයෙන් නොසිටි අතර, අදාළ හෙට්ටු කිරීම් සාර්ථක නොවීනම් ගත යුතු ද්වීතියික ක්‍රියාමාර්ගය ලෙස මේ වන විට ඇමරිකාවේ දිගුකාලීන මිතුරෙකු වූ ප්‍රංශය අතහැර  බ්‍රිතාන්‍යය සමඟ සන්ධානයකට යාම ගැන පවා තීරණය කර තිබුණේය.

කෙසේවුවද, සිදුවුණේ බලාපොරොත්තු නොවූ දෙයකි. ප්‍රංශය මිලියන පහළොවක මුදලකට ඔවුන් සතුව පැවති මුළු ලුවිසියානා බිම්පෙදෙසම ඇමරිකාවට විකිණීමට ඉදිරිපත් විය. ජේම්ස් මොන්රෝව යවා තිබුණේ නිවු ඕර්ලියන්ස් ආශ්‍රිත සාපේක්ෂව කුඩා බිම් පෙදෙසක් මිලදී ගැනීමට පමණක් වුවත්, අදහාගත නොහැකි තරම් වාසිදායක මේ ගනුදෙනුව ගැන නැපෝලියන්ගේ අදහස් වෙනස් වෙන්නට පෙර එය ඉක්මණින්ම අහවර කෙරුණේය.

බ්‍රිතාන්‍යය ආක්‍රමණය කර යටත් කරගැනීමේ අරමුණින් විශාල හමුදාවක් හැදීමට හා පුහුණු කිරීමට නැපෝලියන් විසින් මේ මුදල වියදම් කළත් ඒ ආක්‍රමණය කිසිදා සිදුවුණේ නැත. ඇමරිකාවට ඉතා වාසිදායක මිලකට විශාල බිම් පෙදෙසක් ලැබුණත් ප්‍රායෝගිකව ඇමරිකාවට ලැබුණේ ප්‍රංශය සතු වූ 'නිරවුල්' ඉඩමක් නොවේ.

ඉතා සුළු පෙදෙසක ජනපද පිහිටුවාගෙන සිටි යුරෝපීයයන්ගෙන් බදු අයකර ගැනීමේ අයිතිය ඇමරිකාවට ලැබුණත්, ඉතිරි බිම් පෙදෙස් ස්වදේශීය ඉන්දියානුවන් සමඟ සම්මුතියෙන් හෝ බලහත්කාරය යොදවා අයිතිකර ගත යුතු විය. මේ බොහෝ බිම්පෙදෙස් ප්‍රංශයෙන් මිලදී ගැනීමෙන් අනතුරුව, අයිතිවාසිකම් කී ස්වදේශීය ඉන්දියානු ගෝත්‍ර එකකින් හෝ ඇතැම් විට වැඩි ගණනකින් ඇමරිකාවට නැවත නැවතත් මිලදී ගැනීමට සිදුවී තිබේ.


කොහොම වුණත්, නිවු ඕර්ලියන්ස් වරායේ වටිනාකම සලකා එය මිලදී ගැනීමට සැලසුම් කළ ඇමරිකාවට අන්තිමේදී අර කළුහාමිගේ කතාවේදී මෙන් වරායට අමතරව අක්කර මිලියන 530ක්ද ඉතා අඩු මිලකට මිලදී ප්‍රංශයෙන් ගන්නට හැකි වෙද්දී ප්‍රංශය විසින් මේ ඉඩම් විකුණා ලබාගත් මුදල් නිකරුණේ නාස්ති කර දැම්මේය.

10 comments:

  1. ප්‍රංශයටත් පාඩුවක් නෑ..අනුන්ගෙන් පැහැර ගත්තු ඉඩම්නෙ...

    ReplyDelete
    Replies
    1. ප්‍රංශය යටත් විජිත වෙනුවෙන් අඩුවෙන්ම ආයෝජනය කළ රටක්. යුරෝපයෙන් පිටත කිසියම් ප්‍රදේශයක දේපොළ අයිතිය රැක ගැනීම ප්‍රශ්නයක් වූ හැම විටෙකම වාගේ ඔවුන් විසින් කර ඇත්තේ ඒ ගැන ආශාව අතහැර, ඒ වෙනුවෙන් වැඩිපුර මහන්සි නොවී යුරෝපයෙන් ඒ වෙනුවට වැඩිපුර කොටසක් අල්ලා ගැනීමට උත්සාහ කිරීමයි. එහෙත් බොහෝ විට සිදුවී තිබෙන්නේ දෙවැන්න සිදුනොවී පළමුවැන්න පමණක් සිදුවීමයි.

      Delete
  2. දොන් ජුවන් ධර්මපාල නම් ලංකාව නිකං, තෑගි ඔප්පුවකින්, නේ දුන්නේ නේද?

    ReplyDelete
    Replies
    1. රටවල් වෙනුවෙන් තනි පුද්ගලයෙකුට තීරණ ගැනීමට ඉඩ ලැබුණු බොහෝ අවස්ථා වල, බොහෝ තැන්වල කටයුතු සිදුවී තියෙන්නේ මේ ආකාරයට තමයි.

      Delete
  3. රතුඉංදියානුවන්ගේ ඉඩම් ප්රන්ෂය විසින් හොර ඔප්පු හදල ඇමරිකාවට විකුණනලා!

    ReplyDelete
    Replies
    1. ස්වදේශීය ඉන්දියානුවන්ගේ ඉඩම් අල්ලා ගැනීමට ප්‍රංශයට තිබුණු හැකියාව ප්‍රයෝජනයට නොගැනීම වෙනුවෙන් තමයි ඔවුන් ඇමරිකාවෙන් ලැබුණු මුදල් වලින් කොටසක් ඇත්තටම අයකරගෙන තියෙන්නේ.

      Delete
  4. අර යටින්ම තිබුන උණ්ඩුක පුච්චිය වගේ කෑල්ල ඇල්ලුවනම් ලුවිසියානාවේ ඉතුරු ඉතුරු කොටස නිකම්ම අයිති කරගන්න තිබුනා

    ReplyDelete
    Replies
    1. මේ කාලයේ ඇමරිකාව ලෝක බලවතෙක් නෙමෙයි. ලෝක බලවතා ලෙස සිටි ප්‍රංශයේ ආධිපත්‍යය සත් අවුරුදු යුද්ධයෙන් පසුව බ්‍රිතාන්‍යයට මාරු වී තිබුණත් නැපෝලියන් විසින් නැවතත් ප්‍රංශයේ පෙර තිබුණු සමෘද්ධිය ඇති කරනු ඇතැයි බොහෝ රටවල් මේ කාලයේ විශ්වාස කළා. ප්‍රංශය සතු වූ නිව් ඕර්ලියන්ස් වරාය ඇතුළත් මේ ප්‍රදේශය ආක්‍රමණය කිරීමට ඇමරිකාව ඒ වෙලාවේ ඉදිරිපත් වෙන්න ඉඩක් තිබුණේ නැහැ. ඒ වගේම මේ කාලයේ ඇමරිකාවේ බලවත්ම මිතුරු රාජ්‍යය වුණේත් ප්‍රංශයයි.

      Delete
  5. ලීෆ් එරික්සන්ගේ වයිකිං වින්ලන්ඩ් කොලනි එක හරි ගියානම් මොනවගේ තියේද? :-D

    හුඟක් රතු ඉන්දියානු ගෝත්‍රත් කලේ වෙනත් ගෝත්‍ර යටපත් කරමින් ප්‍රදේශවල බලය පැතිරවීමනෙ. ඒ කාලයේ ( කොලොම්බස්ට අවු 500කට කලින්) තාක්ෂණයෙන් ඔවුන්ට ඉතා ඉහල නොවූ යුරෝපීය ස්කැන්ඩේනියානු කොලනියක් සාර්ථකව පැතිරී තිබුනා නම් කොයිතරම් ඉතිහාසය වෙනස් වෙයිද? වයිකිංලත් ක්‍රිස්තියානි වෙන්න පටන්ගත්ත කාලෙ ඒ. සුදු හම උසස් කියන මතයත් නෑ මොකද තාක්ෂණයෙන් ඉතා ලොකු වෙනසකුත් නොතිබුන නිසා විශේෂයින් ස්කැන්ඩේනියානු රටවල.

    I bought Pathfinder DVD again (first watched sometime ago) last week. It's about Vikings not succeeding. Wish there was an alternative history fiction about it succeeding.


    Btw, have you read -
    https://en.wikipedia.org/wiki/Lion%27s_Blood

    ReplyDelete
    Replies
    1. පොත කියවා නැහැ. විකිපීඩියා පිටුව බැලුවා. දෙසැම්බර් නිවාඩුවේදී Man in the high castle බලන්න පටන්ගෙන නැවැත්තුවේ සීරිස් දෙකම ඉවර කරලා. විකල්ප ඉතිහාස ප්‍රවාද බොහෝ රසවත්.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget