Thursday, April 13, 2017

මේෂ සංක්‍රාන්තිය දැක තිබේද?

මෙය ලියන විට සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට පැමිණ සුළු වේලාවක් ගතවී තිබේ. මේ අවස්ථාව විශේෂ සිද්ධියක් ලෙස සලකා සමරන ලොව පුරා ජීවත්වන බොහෝ අය ඒ සඳහා දැන් සූදානම් වනවා විය යුතුය. මේ සමරන අය අතරින් කී දෙනෙක් මීන රාශිය හෝ මේෂ රාශිය දැක තිබේද?

පසළොස්වක පෝය යාන්තම් පහුවුනා පමණක් නිසා මේ දවස් වල අහසේ වැඩිපුර තාරකා දැකිය නොහැකිය. ඒ නිසා අද හෝ හෙට අහස දෙස බලා මීන රාශිය හෝ මේෂ රාශිය හඳුනා ගත හැකි නොවනු ඇත. එහෙත් තව දෙසතියකින් පමණ ඉර පායන්නට කිට්ටුව නැගෙනහිර ක්ෂිතිජය දෙස බැලුවොත් මීන රාශිය හඳුනාගැනීමට හැකි වනු ඇත.




© T. Credner & S. Kohle, AlltheSky.com

ඉහත පළමු ඡායාරූපයෙන් පෙනෙන්නේ මීන රාශිය ලෙස හඳුනාගන්නා තාරකා රටාවයි. හඳුනාගැනීමේ පහසුව සඳහා අදාළ තාරකා ඉරිවලින් යා කර තිබේ. මේ තාරකා රටාව නූලකින් බැඳුණු මාළුන් දෙදෙනෙකු ලෙස මුලින්ම බැබිලෝනියානුවන් විසින් හඳුනා ගනු ලැබූ අතර මීන යන සංස්කෘත නම මෙන්ම ඒ සඳහා බටහිර භාවිතා වන ලතින් නමද (Pisces) මාළුවා/ මාළු යන අරුත සපයයි.



මේ තාරකා එක් පොකුරක් ලෙස පොළොවට මෙසේ පෙනුණත් ඒවා ඇත්තටම තියෙන්නේ එකිනෙකට ආලෝක වර්ෂ ගණනක් දුරිනි. එම තාරකා වලින් දහයකම හඳුනාගත් ග්‍රහලෝක තිබේ. මීන රාශි මණ්ඩලයේ දීප්තිමත්ම තාරකාව වන ඊටා පිසියම් (Eta Piscium) ආලෝක වර්ෂ 294ක් ඈතින් පිහිටා ඇති කහ යෝධයෙකි. ඉර මෙන් 26 ගුණයක් විශාල, 3.5-4 ගුණයක ස්කන්ධයක් ඇති එහි දීප්තිය ඉරේ දීප්තිය මෙන් 316 ගුණයකි [1].

දෙවෙනියට දීප්තිමත්, ඉර මෙන් දහ ගුණයක් විශාල හා 61 ගුණයක් දීප්තිමත් ගැමා පිසියම් තාරකාවද කහ යෝධයෙක් වන අතර ආලෝක වර්ෂ 138ක් දුරින් පිහිටා ඇත. ආලෝක වර්ෂ 106ක් දුරින් පිහිටා ඇති ඔමේගා පිසියම් ඉර මෙන් 20 ගුණයක් විශාල වන අතර, අයෝටා පිසියම් තරුව ආලෝක වර්ෂ 44.73ක් දුරින් පිහිටා ඇති ඉරට වඩා තරමක් විශාල තරුවකි.

මේ තාරකා පද්ධතියේ ඉතිරි තාරකා ඔමික්රොන් පිසියොන්, ඇල්ෆා පිසියම්, එප්සිලෝන් පිසියම්, ඩෙල්ටා පිසියම්, තීටා පිසියම්, නියු පිසියම්, බීටා පිසියම් (අරාබි බසින් ෆුම් අල්-සම්මක් හෙවත් මාළු කට), කප්පා පිසියම්, ලැම්ඩා පිසියම්, සීටා (zeta) පිසියම්, 19 පිසියම් (TX පිසියම්), 107 පිසියම්, 96G පිසියම්, 54 පිසියම්, 6G පිසියම් හා වැන් මානන්ගේ තරුව ලෙස නම් කර තිබේ. තාරකා රටාවේ ෂඩාශ්‍රය සැදී ඇත්තේ ගැමා, කප්පා, ලැම්ඩා, අයෝටා, තීටා හා 19 පිසියම් තරු හයෙනි. ආලෝක වර්ෂ 148ක් ඈතින් පිහිටි සීටා පිසියම් (ζ Psc) යනු ජ්‍යෝතිෂයේදී රේවතී නැකත ලෙස හඳුනාගන්නා තාරකාවයි.



මේෂ රාශියට අදාළ තරු රටාව සාපේක්ෂව ඉතා සරල එකකි. මෙය බැබිලෝනියානුවන් විසින් මුලින්ම ගොවියෙකු ලෙස හඳුනාගත් නමුත් පසුව ගොවියා එළුවෙකු විය. 

මේ තාරකා මණ්ඩලයේ හඳුනාගත් ග්‍රහලෝක සහිත තාරකා පහක් තිබේ. මෙහි ප්‍රධාන තාරකා ඇල්ෆා ඒරියටිස්, බීටා ඒරියටිස්, ඩෙල්ටා ඒරියටිස්, ගැමා ඒරියටිස්, සී ඒරියටිස් හා එප්සිලෝන් ඒරියටිස් ලෙස හැඳින්වේ. බීටා හා ගැමා ඒරියටිස් ලෙස හැඳින්වෙන්නේ පළමු නැකත වන අස්විද නැකත ලෙස ජ්‍යෝතිෂයේදී හඳුනාගන්නා තාරකාවන්ය. 35 ඒරියටිස්, 39 ඒරියටිස් හා සී ඒරියටිස් හෙවත් 41 ඒරියටිස් ලෙස හැඳින්වෙන්නේ දෙවන නැකත වන බෙරණ නැකත ලෙස ජ්‍යෝතිෂයේදී හඳුනාගන්නා තාරකාවන්ය. 

අරාබි බසින් රාස්-අල්-හමාල් (එළු හිස) ලෙස හැඳින්වෙන ඇල්ෆා ඒරියටිස් තරුව ආලෝක වර්ෂ 66ක් දුරින්ද, බීටා ඒරියටිස් ආලෝක වර්ෂ 59.6ක් දුරින්ද, ගැමා ඒරියටිස් ආලෝක වර්ෂ 160ක් දුරින්ද, ඩෙල්ටා ඒරියටිස් ආලෝක වර්ෂ 168ක් දුරින්ද, සී ඒරියටිස් හෙවත් බෙරණ තරුව ආලෝක වර්ෂ 160ක් දුරින්ද, එප්සිලෝන් ඒරියටිස් ආලෝක වර්ෂ 293ක් දුරින්ද පිහිටා තිබේ.

මීන හා මේෂ රාශි ඇතුළු රාශි දොළහත්, නැකැත් ලෙස සිංහලෙන් හඳුන්වන නක්ෂත්‍ර තාරකා මණ්ඩල විසිහතත් අහසේ ස්ථානගත වී ඇති ආකාරය අනුව නැගෙනහිර ක්ෂිතිජයෙන් චක්‍රීය රටාවකට මතු වේ. අද වැනි හඳ එළිය වැඩි දවසක නොහැකි වුවත්, තවත් සති දෙකකින් පමණ අහස නිරීක්ෂණය කළොත් මේ රාශි දොළහ මෙන්ම නැකැත් විසිහතද හඳුනාගැනීමට බැරිකමක් නැත.

මේෂ රාශිය මෙන්ම මීන රාශියද අපට පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකිය. සූර්යයාද අපට නිරීක්ෂනය කළ හැකිය. එහෙත්, මේෂ සංක්‍රාන්තිය අපට පොළොවේ එක් නිශ්චිත තැනක සිට එසේ නිරීක්ෂණය කළ නොහැක. අද මේෂ සංක්‍රාන්තිය සිදු වන විට මා සිටින නගරයට හවස් කාලයයි. ඒ වෙලාවේ ඉර අහසේ පෙනෙන්නට තිබුණත්, ඉර එළිය නිසා මීන රාශිය හෝ මේෂ රාශිය පියවි ඇසින් දැකිය නොහැක. ලංකාවට මේෂ සංක්‍රාන්තිය සිදු වුණේ රාත්‍රී කාලයේදීය. ඒ වෙලාවේ, මීන හා මේෂ රාශි මෙන්ම ඉරද තිබුණේ පොළොවේ අනෙක් පැත්තේ නිසා මේෂ සංක්‍රාන්තිය දෑසින් දකින්නට කෙසේවත් ඉඩක් නැත.

වසර දහස් ගණනකට පෙර ජීවත් වූ විද්‍යාර්ථින්ටද මේෂ සංක්‍රාන්තිය පියවි ඇසින් දැකිය නොහැකි විය. එහෙත්, දිවා කාලයේ ඉරේ ගමනත්, රාත්‍රී කාලයේ තාරකා වල ගමනත් නිරීක්ෂණය කිරීමෙන් මේෂ සංක්‍රාන්තිය සිදුවන වෙලාව හරියටම නිගමනය කිරීමට ඔවුන්ට හැකි විය. වසර දෙදහසකට පමණ පෙර ඔවුන්ට එසේ කිරීමට හැකි වීම අපූරු දෙයකි.


මේෂ සංක්‍රාන්තිය සමරන සියල්ලන්ටම සුබ අළුත් අවුරුද්දක්!

(Image: pinrest.com)

6 comments:

  1. ඔය රවියා මීනාට බූට් එක දීලා මේෂා එක්ක සෙට් වුනාට ළඟදීම ගොනාට අදිනවා.

    ReplyDelete
  2. මීන හෝ මේෂ කිව්වට ඒ අහලකින්වත් යන රටාවක් නෙමේනෙ තියෙන්නේ.. තාරකාත් ඇති, ඒවා එකතු වෙලා රාශිත් ඇති.. ඒත් ඕවයෙන් ඔය ජෝතිෂයේ කියනවා වගේ මිනිස්සුන්ට බලපෑමක් ඇති කියලා මම නම් විශ්වාස කරන්නෑ.. එහෙම බලපෑමක් තියනවනම් ඔය වගේ අති දැවැන්ත ඒකකයකින් එක එක මිනිහට වෙන් වෙන් වශයෙන් වෙනස් වෙනස් බලපෑම් ඇතිවෙයි කියලත් හිතන්න අමාරුයි. තනිකරම ඇන්දිල්ල තමා..

    ReplyDelete
    Replies
    1. [මීන හෝ මේෂ කිව්වට ඒ අහලකින්වත් යන රටාවක් නෙමේනෙ තියෙන්නේ.] මටත් ඔය ප්‍රශ්නේ නම් ඉස්සර ඉඳල තියෙනවා. තව වට පිටාවේ තරු තියෙද්දී මේ තරු ටික විතරක් අරගෙන කිසිම විදියකින් මවා ගන්න බැරි රූප පුරාණ මිනිස්සු කොහොම මවා ගත්ත ද කියල.. අනිත් එක තාරකා රාශිය අවට තවත් දීප්තිමත් තරු තියෙද්දී තරු කිහිපයක් විතරක් තොර ගන්න හේතුව මොකක් ද?

      Delete
    2. මේ තරුම තෝරාගෙන තියෙන්නේ ඒවායෙන් පෙනෙන රූපය හෝ තරුවල දීප්තිය වැනි කරුණු සලකා නෙමෙයි. ඒ වගේම, මේ තරු වල විශේෂ වැදගත්කමකුත් නැහැ. ඒවා අවශ්‍ය වෙන්නේ අහසේ නිශ්චිත තැන් ලකුණු කිරීමටයි. හරියට සැතපුම් කණු වගේ. එසේ ලකුණු කළ විට ඒවාට සාපේක්ෂව ග්‍රහයන්ගේ චලනය මැනගන්න පුළුවන්. පාරේ නියමිත තැන සැතපුම් කණු සිටවිය හැකි වුවත් අහසේ එසේ සිටවිය නොහැකි නිසා අවශ්‍ය තැනට කිට්ටුව තිබෙන එකක් ගන්න වෙනවා. සමහර වෙලාවට පාරෙන් ඈත තියෙන දැවැන්ත ගසක් වෙනුවට පාර අයිනේ තියෙන පොඩි ගහක් හෝ පඳුරක් තෝරාගන්න වෙනවා. මෙසේ සලකුණු කළ යුතු තැන චලනය වන තැනක් නිසා මෙසේ තෝරා ගන්න වෙන්නේ නිශ්චිත දවස්වල නිශ්චිත තැන්වල දැකිය හැකි තාරකා පමණයි.

      Delete
    3. මටත් මේක කියවද්දී ඇති වුනු ප්‍රශ්නයක් තමයි ඇයි මේ තරු ටික විතරක් ගත්තේ කියන එක.
      ඔබේ පිළිතුර පැහැදිලියි.

      ඔබ අපිව දැනුවත් කරනවා.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget