Friday, April 21, 2017

විශ්වාස කළ යුත්තේ කවර අනාවැකිද?

රසික විසින් අවධානයට ලක් කර තිබුණු, මෙල්බර්න් නගරයේ පළවන සිංහල සඟරාවක් වන සිහනද මාසිකයේ පලවූ ස්ටැන්ලි ධර්ම කුමාර නම් වූ ජ්‍යෝතිර්වේදියෙකුගේ ලිපියක් ගැන පසුගිය සටහනෙන් අපි කතා කළෙමු. ලිපිය සමඟ පළකර තිබුණු බිල් ශෝටන්ගේ කේන්ද්‍ර සටහන නිවැරදි නොවන බවත්, එය බිල් ශෝටන් ඉපදෙන්නට වසර 13කට පමණ ලංකාවේ ඉපදුණු අයෙකුගේ කේන්ද්‍ර සටහනක් බවත් අපි පෙන්වා දුන්නෙමු.

ඉකොනොමැට්ටාගේ ලිපිය අවශ්‍යනම් ඕනෑම කෙනෙකුට අදාළ සඟරාවේ සංස්කාරක වෙත යොමු කරන්නට පුළුවන. එමෙන්ම, අදාළ කේන්ද්‍ර සටහන නිවැරදියැයි ලිපියේ මුල් ලේඛකයා හෝ වෙනත් අයෙකු කියනවානම් ඒ බව තහවුරු කරන ලෙස අපි අභියෝග කරමු.

මේ ලේඛකයා විසින් ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල්ගේ නිවැරදි කේන්ද්‍රයත්, බිල් ශෝටන්ගේ ලෙස ඔහු ඉදිරිපත් කර ඇති වැරදි කේන්ද්‍රයත් උපයෝගී කරගනිමින්, මේ දෙදෙනාගේ පසුගිය ජීවිත සිදුවීම් පිළිබඳව රසිකගේ වචන වලින් "සාමාන්‍යයෙන් අන්තර්ජාලයෙන් සොයා ගත හැකි" "අප සැම දන්නා පුද්ගලික විස්තර" පැහැදිලි කරයි. ඉන් අනතුරුව, මේ කේන්ද්‍ර අනුසාරයෙන් ඕස්ට්‍රේලියාවේ අනාගතය ගැන අනාවැකි කියයි.

මෙහිදී මා මුලින්ම කිව යුත්තේ අන්තර්ජාලයන් කවුරුත් දන්නා තොරතුරු හොයාගෙන ඒවා ජ්‍යෝතිෂ සිද්ධාන්ත ඇසුරින් පැහැදිලි කිරීම පිළිබඳව මගේ මූලික විරෝධතා නොමැති බවයි. දැනට සිදුවී ඇති දේවල් අන්තර්ජාලයෙන් සොයා නොගෙන ඒවා කවර හෝ ශාස්ත්‍රයක සිද්ධාන්ත ඇසුරෙන් පුරෝකථනය කරන්නට යාම තේරුමක් නැති දෙයකි.

මේ වන විට සිදු වී ඇති අතීත සිදුවීම් තමන්ගේ වෘත්තීය විෂයයට අදාළ සිද්ධාන්ත මඟින් පැහැදිලි කිරීම සෑම වෘත්තිකයෙකුම වාගේ කරන දෙයකි. එය අමාරු වැඩක් නොවේ. අමාරු කටයුත්ත අනාගතය පුරෝකථනය කිරීමයි. මේ දෙවැනි කටයුත්ත  ආර්ථික විද්‍යාඥයින් ඇතුළු සමාජ විද්‍යාඥයින්, ස්වභාවික විද්‍යාඥයින්, දේශපාලනඥයින්, ව්‍යවසායකයින් ඇතුළු බොහෝ දෙනකු අමාරුවේ දමයි.

පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයට පෙර සංඛ්‍යාන මූලධර්ම මත ඉදිරිපත් කර තිබුණු බොහෝ අනාවැකි නිවැරදි නොවූ අතර, 2008 අවසානයේ ඇරඹුණු ලෝක ආර්ථික අවපාතය නිවැරදිව පුරෝකථනය කිරීමට බොහෝදෙනෙකුට නොහැකි විය. එහෙත්, යමක් සිදුවීමෙන් පසු "පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා" ඉදිරිපත් කරන අයගෙන්නම් අඩුවක් නැත.

හොඳම ආසන්න උදාහරණය මීතොටමුල්ලේ කුණු කන්ද නායයාමයි. අනතුර සිදුවීමෙන් පසුව ඒ ගැන පැහැදිලි කරන්නට ඕනෑ තරම් පිරිස් සිටිති. සෑම වසරකම මහ බැංකු වාර්තාවේ පසුගිය වසරේ සිදුවූ සිදුවීම් ඉතා පැහැදිලිව විවරණය කර තිබෙනු දැකිය හැකි වුවත්, එළඹෙන වසර ගැන පළ කරන අනාවැකි ඒ තරමටම නිවැරදි වන්නේ නැත. වෛද්‍යවරයෙකුට රෝගයක නිධානය පැහැදිලි කළ හැකි වුවත්, ප්‍රතිකාර වල සඵලතාවය ගැන කිවහැක්කේ අනාවැකියක් පමණි. කාල් මාක්ස්ගේ දාස් කැපිටාල් ග්‍රන්ථයේ මිනිස් සමාජයේ පරිණාමය සිත්ගන්නා සුළු ලෙස පැහැදිලි කර තිබුණත්, අනාගතය ගැන එවැනි නිරවද්‍යතාවයකින් අනාවැකි කියැවී නැත.

අතීතයේ සිදුවී ඇති දේ තමතමන් විශ්වාස කරන සිද්ධාන්ත අනුව පැහැදිලි කිරීමට බොහෝ දෙනෙකුට පුළුවන් වුවත්, අනාගතය හරියටම නිවැරදිව පුරෝකථනය කරන්නට කිසිවෙකුට නොහැකිය. බොහෝ ජ්‍යෝතිර්වේදීන් සිය වාසියට හරවාගන්නේ මේ කරුණයි.

කිසිවෙකුට හරියට අනාවැකි කිව නොහැකිනම් අපි අනාවැකි විශ්වාස කළ යුතු නැද්ද?

අනාවැකි ප්‍රයෝජනවත් වීම සඳහා ඒවා සියයට සියයක් නිවැරදි විය යුතු නැත. මා සිටින නගරය ඇතැම් කාල වල (කාලගුණය උණුසුම්ව තිබී සිසිල් වන්නට පටන් ගනිද්දී හා සිසිල්ව තිබී උණුසුම් වෙන්නට පටන් ගනිද්දී) ටෝර්නෙඩෝ අවදානමට මුහුණදෙයි. මෙවැනි තර්ජනයක් ඇති වූ විට අවදානම ඉවත්වන තුරු බිම්මහලකට හෝ එවැනි ආරක්‍ෂිත තැනකට වී සිටිය යුතු බව නිර්දේශයයි. එහෙත්, මෙවැනි අවවාදයක් නිකුත් වුවද, ටොර්නේඩෝවකින් මා අනතුරට ලක්වීමට ඇති ඉඩකඩ ඉතාම අඩුය.

කෙසේ වුවද, මේ අවදානම සියයට එකක් වුවද මා මේ "අනාවැකි" නොසලකා හරින්නේ නැත. ඒ යම් හෙයකින් ටොර්නේඩෝවක් පාත් වුනොත් විය හැකි හානිය, පැයක් හෝ දෙකක් බිම්මහලට වී සිටීමේ අපහසුතාවයට වඩා බොහෝ වැඩි බැවිනි.

මේ අයුරින්ම "අනාවැකි අනුව" ප්‍රතිශක්තිකරණ එන්නත් ගැනීමෙන් මා අතුරු ආබාධයකට ලක්වීමට සුළු ඉඩක් තිබුණත්, වෙනත් අනාවැකි අනුව එයින් වැළැක්වෙන හානිය ඊට වඩා වැඩි නිසා මා බොහෝවිට ඒ සඳහා පැකිලෙන්නේ නැත.

අනෙක් අතට අනාවැකියක් නිවැරදි වීමට ඇති ඉඩකඩ ඉතා වැඩි වීම අනාවැකි කීමට යොදාගත් සිද්ධාන්තයේ නිරවද්‍යතාවය තහවුරු කරන්නේද නැත. තැඹිලි වල්ලක කඹය ගැට ගසා ගැටයට යටින් තැඹිලි වල්ල කැපූ විට එය බිම වැටෙන බව ගුරුත්වාකර්ෂණය ඇසුරින් හරියටම වාගේ නිවැරදිව පැහැදිලි කළ හැකිය. එහෙත්, ගුරුත්වාකර්ෂණය ගැන ජීවිතේට අසා නැති අයෙකුටද තැඹිලි වල්ල බිම වැටෙන බව හරියටම කියන්නට පුළුවන.

එසේනම් වැඩකට නැති හා ප්‍රයෝජනවත් අනාවැකි වෙන්කර ගන්නේ කොහොමද?

අදාළ විෂය ගැන ප්‍රාමාණික දැනුමක් ඇති සරසවි ඇදුරන් මෙන්ම මීතොටමුල්ල අවට ජීවත් වූ ලොකු අධ්‍යාපනයක් ලබා නොතිබුණු සාමාන්‍ය මිනිස්සුද කුණු කන්ද නාය යා හැකි බව කලින්ම කියා තිබුණේය. එසේනම්, අර සරසවි ඇදුරාගේ අනාවැකියේ ඇති වෙනස කුමක්ද?

කිසියම් සිද්ධාන්තයක් යොදාගෙන කියන අනාවැකියක්, එවැනි සිද්ධාන්තයක් යොදා නොගෙනද පළ කළ හැකිනම් ඒ සිද්ධාන්තය නිවැරදි වුවද නොවුවද එහි ප්‍රායෝගික වටිනාකමක් නැත.

ඇතැම් ඖෂධ ලබා ගන්නා රෝගීන්ගෙන් කිසියම් පිරිසක් සුවවන නමුත්, එසේ සුවවීමට හේතුව ඖෂධය බව එමඟින් තහවුරු නොවේ. ඖෂධය නොගත්තද, එම රෝගීන් සුව විය හැකිව තිබුණා විය හැකිය. අළුත් බටහිර ඖෂධ වල සඵලතාවය සොයාගැනීම සඳහා සිදුකරන සසම්භාවී පාලිත පරීක්ෂණ වලදී කරන්නේ මෙසේ රෝගීන්ගෙන් යම් පිරිසක් සුවය ලබන්නේ ඖෂධය නිසාද යන්න සොයා බැලීමයි.

ඉහත කී ආකාරයේ පරීක්ෂණයකදී, රෝගීන් නියැදියක් අහඹු ලෙස කොටස් දෙකකට බෙදා එක්‌ කොටසකට නියම බෙහෙතත් ඉතිරි කොටසට නියම බෙහෙත මෙන්ම පෙනෙන "බොරු බෙහෙතකුත්" (placebo drug) ලබා දේ. බොරු බෙහෙත ගත් අයගේත් රෝග සුවවේනම් ඇත්ත බෙහෙත ගත් අයගේ රෝග සුවවී ඇත්තේද බෙහෙත නිසා නොවන බව නිගමනය කළ හැකිය. මෙය ප්ලසීබු ප්‍රතිඵලයක් (placebo effect) ලෙස හැඳින්වේ.

සිහනද සඟරාවේ පළ වී ඇති බිල් ශෝටන්ගේ ජීවිත තොරතුරු පිළිබඳ ජ්‍යෝතිෂ විවරණයද හොඳ ප්ලසීබු පරීක්ෂණයකි. 1967 වසරේ ඉපදී ඇති බිල් ශෝටන්ගේ ජීවිතයේ සත්‍ය සිදුවීම් සියල්ල අදාළ ලේඛකයා විසින් 1954 වසරේදී උපන් අයෙකුගේ කේන්ද්‍රයක් ඇසුරින් ඉතා හොඳින් විස්තර කර තිබේ.

මේ කේන්ද්‍රය බිල් ශෝටන්ගේ ඇත්ත කේන්ද්‍රය සමඟ කිසිසේත්ම නොගැලපෙන අතර ඇත්ත කේන්ද්‍රයේ ලග්නය, නැකත හෝ මහ දශා ආදිය ගෙවෙන කාල ආදී කිසිවක් ප්ලසීබූ කේන්ද්‍රයේ තොරතුරු සමඟ නොගැලපේ. ඒ අනුව, එම කේන්ද්‍ර සටහන සමඟ ගැලපෙන 1954 ඔක්තෝබර් 7 දිනය අහඹු දිනයක් ලෙස සැලකිය හැකිය. එසේනම්, ඕනෑම අහඹු වෙලාවකට ගැලපෙන කේන්ද්‍ර සටහනක් භාවිතයෙන් බිල් ශෝටන්ගේ ජීවිත විවරණය මේ ආකාරයෙන්ම කිරීමට බැරි විය නොහැකිය.

කෙසේ වුවද, මැල්කම් ටර්න්බුල්ගේ කේන්ද්‍ර සටහන පෙනෙන අයුරින් නිවැරදිය. එහෙත්, අහඹු දිනයක අහඹු වෙලාවකට හැදූ කේන්ද්‍ර සටහනක් යොදාගනිමින් වුවද කිව හැකි දේවල් ඇත්ත කේන්ද්‍ර සටහන යොදාගෙන විවරණය කිරීම තේරුමක් නැති දෙයකි.


(Image: https://dodona777.wordpress.com/2016/03/09/bill-shorten-and-july-2-2016-election/)

7 comments:

  1. ජෝතිෂ්‍යයෙන් කරණ එකම වැඩේ අනාවැකි කියන එක විතරයි. ජෝතිෂ්‍යය ගැන මහා පම්පෝරි ගහණ මහ ලොකු ජෝතීර්වේදීන් එක්කෙනෙක්ටවත් සිදු වෙච්ච කිසිම ව්‍යසනයක් ගැන හරියට අනාවැකියක් කියන්න බැරි වෙච්ච එකෙන්ම, ජෝතිෂ්‍යය කියන්නේ කිසිම වැඩකට නැති දෙයක් කියලා ඔප්පු වෙනවා...

    ලංකාවෙදිනම් ජෝතිශයෙන් මේ දක්වා කරලා තියන එකම සෙතේ මිනිස්සුන් ගේ, රටේ ප්‍රගමනයට බාධා වෙන බහුබූත මිත්‍යා මත රාශියක් මිනිස්සුන්ගේ ඔළුවල පැල කරලා තියන එක විතරයි..

    ReplyDelete
    Replies
    1. //ජෝතිෂ්‍යය කියන්නේ කිසිම වැඩකට නැති දෙයක් කියලා ඔප්පු වෙනවා//
      කල්පනා කළ යුතු දෙය 'කිසිම වැඩකට නැති දෙයක්' දිගටම පවතින්නේ කොහොමද කියන එකයි. එයට ජ්‍යෝතිෂය සම්බන්ධ අදහස් වල තිබෙන ධ්‍රැවීකරණයත් හේතු වෙනවා. බොහෝ දෙනෙක් කැමැත්තෙන් මුදල් ගෙවා යමක් දිගින් දිගටම නඩත්තු කරනවානම් එයින් ලැබෙන (හෝ ලැබෙනවායැයි සිතන) කිසියම් හෝ දෙයක් තිබෙන්න ඉඩක් තිබෙනවා. එසේ ලැබෙන දෙය කුමක්ද කියන එකයි විමසා බැලිය යුත්තේ.

      Delete
    2. මටනම් හිතෙන්නේ මිනිස්සු ‍රැවටිලා ඉන්න තාක්කල් ඕනෑම වැඩකට නැති දේකට වුනත් පැවැත්මක් තියනවා කියලයි..

      Delete
  2. ඉකොන්,
    අපූරුයි, ඔබ මේ ඔස්ට්‍රේලියානු උදාහරණය යොදාගෙන, ලංකා වාසී ජ්‍යෝශිත වහලුන් දෙපයින් උස්සා පොලොවේ ගසා ඇත.
    ඔබ අවබෝධයෙන් වටහා ගැනීමෙන් කර ඇති මේ විග්‍රහය බිඳ දැමීමට ඔවුන් තර්කයෙන් උත්සහ කිරීමට පුළුවන. එහෙත් කිසිදාක තර්කයට වාදයට අවබෝධය පැරදවිය නොහැකිය.
    ඔබගේ පැහැදිලි කිරීම නිසා කියවන්නාද අවබෝධයට පත්වේ.

    ReplyDelete
    Replies
    1. තර්ක බොහෝ විට පදනම් වන්නේ ණයට ගත් අදහස් මත.

      Delete
  3. //අදාළ විෂය ගැන ප්‍රාමාණික දැනුමක් ඇති සරසවි ඇදුරන් මෙන්ම මීතොටමුල්ල අවට ජීවත් වූ ලොකු අධ්‍යාපනයක් ලබා නොතිබුණු සාමාන්‍ය මිනිස්සුද කුණු කන්ද නාය යා හැකි බව කලින්ම කියා තිබුණේය. එසේනම්, අර සරසවි ඇදුරාගේ අනාවැකියේ ඇති වෙනස කුමක්ද?///

    හැමෝම මොකක් හරි කියවනවා.....ඒකේ අවුලක් නෑ......ඒත් ඒ කියන අය ගැන විශ්වාසයක් ඇති වෙන්න පසුබිමක් තියෙන්න ඕනේ......ඒකනේ විකිපීඩියා දත්ත වලට වඩ පියර් රිවිව් ජර්නල් වල පේපර්ස් වලට වැඩි බරක් දෙන්නේ....

    කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් අහන්න ඔනේ කියලනේ කියන්නේ....භක්තිය වැඩි උනාම සිහිබුද්ධිය විකල් වෙන එකයි අවුල

    ReplyDelete
    Replies
    1. ඉතිහාසයේ බොහෝ ඉගැන්වීම් පසුව ගොන්පාර්ට් වී ගියේ අදහන්නන් බිහිවීම නිසා. අදහන්නන් සිටීම එක අදියරකදී සාධනීය දෙයක් මෙන් පෙනෙනවා. ඕනෑම ඉගැන්වීමක් පැතිරීම හා පැවැත්ම සඳහා අදහන්නන්ගෙන් උදවුවක් ලැබෙනවා. මෙය එක සීමාවක් පැන්නට පස්සේ කිසියම් අදහසක් වෙනුවෙන් පෙනී සිටින බොහෝ දෙනෙක්ට තමන් එසේ පෙනී සිටින්නේ ඇයි කියන එක ගැන හිතන්න අමතක වෙනවා. බොහෝ ආගම් වගේම ඇතැම් දේශපාලන දර්ශන වලටත් වුනේ එයයි. දැන් මේ තර්ජනයට විද්‍යාවත් මුහුණ දී තිබෙනවා. විද්‍යාවේ ක්‍රමවේදය තේරුම් නොගෙන විද්‍යාව අදහන්නන් වැඩි වැඩියෙන් බිහිවීම අවසාන වශයෙන් එහි බිඳවැටීමට හේතු විය හැකි කරුණක්.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget