Wednesday, April 19, 2017

පාර කියන තාරකා...

හඳේ මූණ එතරම් පිරී නැති රැයක අහස බලන අයෙකුට සමන් පිච්ච මල් ඉහිරුණු නිල් තණකොළ පිට්ටනියක් ලෙස හෝ වෙනත් අයුරකින් දිස්වන තරු පිරි අහස එක වරම පෙනෙන්නේ අපිළිවෙලකට ඇඳි සිතුවමක් ලෙසිනි. අහසේ ඇති තාරකා අතර රටාවක් හෝ පිළිවෙලක් ආධුනික තාරකා නිරීක්ෂකයෙකුට එක් වර නොපෙනේ. එහෙත්, දිගින් දිගටම මේ කටයුත්ත කරන්නේනම් අහසේ ඇති තරු රටා මෙන්ම ඒ තරු චලනය වන රිද්මයන්ද හඳුනා ගත හැකිය.

තරමක පුහුණුවක් ලැබූ පසු පහත පළමු රූප සටහනේ ඇති තරු සිතියම වැන්නක් බලා දෙවන රූප සටහනේ ඇති සප්තාර්ශි තාරකා මණ්ඩලය වැනි තාරකා මණ්ඩල හඳුනාගන්නට පුළුවන. 



රාශි චක්‍රය ලෙස හඳුනාගන්නේ ඉහත සිතියමේ කහ පැහැයෙන් ලකුණු කර ඇති තාරකා මණ්ඩල දොළොසයි. මේ තාරකා මණ්ඩල වල සිංහල හා බටහිර නම් හා සංකේත පහත පරිදිය. සිංහල නම් හැදෙන්නේ සංස්කෘත නම් වලින් වන අතර සංස්කෘත නම් (කර්කටක යන්න කටක වීම හැර) බොහෝ දුරට සිංහල නම් වලට සමානය.

1. මේෂ  (Aries) එළුවා
2. වෘෂභ (Taurus) ගවයා
3. මිථුන (Gemini) යුවලක්
4. කටක (Cancer) කක්කුට්ටා
5. සිංහ (Leo) සිංහයා
6. කන්‍යා (Virgo) කන්‍යාව
7. තුලා (Libra) තරාදිය
8. වෘශ්චික (Scorpio) ගෝනුස්සා
9. ධනු (Sagittarius) දුනුවායා
10. මකර (Capricorn) මකරා
11. කුම්භ (Aquarius) කලය
12. මීන (Pisces) මාළු දෙන්නා


මේ රාශි තාරකා මණ්ඩල වල ඇති විශේෂත්වය වන්නේ පොළොව සිය අක්ෂය වටා කැරකෙන හා ඉර වටා භ්‍රමණය වන තලයට ආසන්නව මේ තාරකා මණ්ඩල පිහිටා තිබීමයි. රාශි තාරකා මණ්ඩල වලට සාපේක්ෂව සප්තාර්ශි තාරකා මණ්ඩලය වැනි තාරකා මණ්ඩල පිහිටා ඇත්තේ උතුරිනි.

මේ සුවිශේෂී පිහිටීම නිසා පොළොව සිය අක්ෂය වටා භ්‍රමණය වන විට මේ තාරකා නැඟෙනහිරින් උදාවී, අහසේ මුදුන් වී, බටහිරින් බැස යන සේ පෙනේ. මෙය සෑම තාරකා මණ්ඩලයකටම පොදු දෙයක් නොවේ. පහත රූප සටහනේ, වැඩි දෙනෙකු ඉගෙන ගෙන ඇති සූර්ය කේන්ද්‍රීය ආකෘතිය යොදාගනිමින් මේ රාශි තාරකා මණ්ඩල වල පිහිටීම පෙන්වා තිබේ.




මෙහිදී විශේෂයෙන් මතක තබාගත යුතු කරුණක් වන්නේ ආලෝක වර්ෂ ගණනාවක් ඈතින් පිහිටි මේ තාරකා වලට සාපේක්ෂව ඉර හා පොළොව අතර ඇත්තේ නොසලකා හැරිය හැකි තරම් ආසන්න දුරක් බවයි. ඒ නිසා, ඉර වටා පොළොව කැරකෙන තලයේ සිටින්නේනම් ඉරේ සිට බැලුවද, පොළොවේ සිට බැලුවද මේ තාරකා රටා වෙනස්ව පෙනෙන්නේ නැත.

මේ රූප සටහනෙන් පැහැදිලි වන පරිදි, වසරේ කිසියම් දිනක උදේ ඉර පායන්නට ආසන්න වන විට ඉර කෙළින් පෙනෙන්නට තිබෙන්නේ ඉරෙන් පොළොවට ප්‍රතිවිරුද්ධ පැත්තේ ඇති තාරකා රටාවයි. මේ අනුව, මාර්තු 14- අප්‍රේල් 14 අතර දිනක ඉර උදාවන විට ඔබට නැගෙනහිර ක්ෂිතිජයේ දකින්නට ලැබෙන්නේ මීන රාශි තාරකා මණ්ඩලයයි. අප්‍රේල් 14- මැයි 14 අතර ඉර උදාවන විට එහි ඇත්තේ මේෂ රාශි තාරකා මණ්ඩලයයි. මෙය ආසන්න වශයෙන් දින 30.5කට පමණ වරක් වෙනස් වන අතර වසරක කාලයක් තුළ චක්‍රීය ලෙස සිදුවේ.

බටහිර ජ්‍යෝතිෂයේදී ලග්නය ලෙස හඳුනාගන්නේ මෙසේ පොළොව ඉර වටා භ්‍රමණය වීමේදී පොළොවට විරුද්ධ දිශාවේ ඇති රාශි තාරකා මණ්ඩලයයි. ඒ ක්‍රමයට, කිසියම් මාසයක් තුළ උපදින අයට හිමි වන්නේ එකම ලග්නයයි. ඒ, පොළොවේ සිට ඉර පිහිටි දිශාවේ ඇති තාරකා රාශියයි.

කෙසේ වුවද, පෙරදිග ක්‍රමයට ලග්නය තීරණය කිරීමේදී පොළොව ඉර වටා ගමන් කිරීම මෙන්ම පොළොව සිය අක්ෂය වටා භ්‍රමණය වීම ගැනද සලකයි. මේ රූප සටහනෙන් පෙනෙන පරිදි, පොළොව සිය අක්ෂය වටා කැරකෙන නිසා පොළොව මත කිසියම් තැනක සිටින කෙනෙකුට දවසක් තුළ රාශි තාරකා දොළහම අහසේ නිශ්චිත තැනක දකින්නට හෝ පවතින බව නිගමනය කරන්නට පුළුවන.

පෙරදිග ක්‍රමයට, ලග්නය යනු පොළොවේ සිටින නිරීක්ෂකයෙකුට තමන් සම්මුඛව නැගෙනහිර ක්ෂිතිජයෙහි දැකිය හැකි තාරකා රාශියයි. ඉර උදාවන වෙලාවේ මෙය පොළොවේ සිට බලන විට ඉර පිහිටි දිශාවේ ඇති රාශියයි. ඉර බසින විට මෙය පොළොවේ සිට බලන විට ඉරට විරුද්ධ දිශාවේ ඇති රාශියයි. 


මේ විස්තරය ඉදිරිපත් කිරීමෙන් පසු කිව යුතු වැදගත්ම දෙය, පැහැදිලි කිරීමේ පහසුවට, අරුන්දතී තාරකාව පෙන්වන ක්‍රමයට විස්තර කළත්, ලග්නයක් හෝ රාශියක් යනු මේ වන විට ලිපි කිහිපයකින්ම විස්තර කරමින් පැවසූ පරිදි අහසේ පෙනෙන්නට තිබෙන මේ තාරකා රාශි මණ්ඩල නොවේ.

ලග්න හෝ රාශි යනු ප්‍රත්‍යක්ෂ කළ නොහැකි, සෘජුව නිරීක්ෂණය කළ නොහැකි, සංකල්ප ඇසුරින් ගොඩ නඟා ඇති වියුක්ත ප්‍රවාදයකි. ඇඟිල්ල දිගු කර පෙන්විය හැකි අහසේ ඇති රාශි තාරකා මණ්ඩල යනු මේ වියුක්ත සංකල්පය තේරුම් ගැනීම පහසු කිරීමට යොදාගෙන ඇති සංකේත හෙවත් හැඟවුම්කාරක පමණි.


වසර දහස් ගණනකට පෙර නිරීක්ෂණ ඇසුරින් මේ වියුක්ත ප්‍රවාද ගොඩනඟා ඇත්තේ අද බටහිර විද්‍යාවේ ප්‍රවාද ගොඩනඟන ආකාරයටමය. රාශියක් යනු ඇත්තටම අපට පෙනෙන අහස මනඃකල්පිත ලෙස කොටස් දොළහකට බෙදූ විට ලැබෙන එක් කොටසකි. ඒ අනුව, අහසේ මීන රාශියට හා මේෂ රාශියට අයත් කොටස් වෙන් කරන මනඃකල්පිත බෙදුම් ඉරක් තිබේ. ඉර වටා යන පොළොව සිංහල අවුරුදු දා මේ මනඃකල්පිත බෙදුම් ඉර පසු කරයි. වසරක් තුළ එවැනි බෙදුම් ඉරි දොළහක් පහු කරයි.

තාරකා අවශ්‍ය වන්නේ මේ එක් කොටසක් හඳුනා ගැනීම සඳහාය. එක් එක් කොටසක් හඳුනාගැනීම සඳහා ඒ කොටස නියෝජනය කරන කිසියම් තාරකා මණ්ඩලයක් යොදාගෙන තිබේ. තාරකා මණ්ඩල යනු ප්‍රවාදයේ කොටසක් නොවන නිසා ප්‍රවාදය තේරුම් ගත් පසු තාරකා අවශ්‍ය වන්නේද නැත. ඒ නිසා, මේ රාශියක් තුළ අදාළ තාරකා මණ්ඩලය ඇත්තටම තිබෙනවාද යන්නද එතරම්ම  වැදගත් කරුණක් නොවේ.

19 comments:

  1. මිථුන හෙවත් මෛතුනය කියන්නේ නිකම්ම නිකම් යුවලක් නොව එකිනෙකා හා ඇලී සංසර්ගයේ යෙදෙන යුවලක් නේද? ජෙමිනායි යන්නේ අරුත එතරම් සංඛීර්ණ නැතුව ඇති!

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ජෙමිනි කියන එකේ තියෙන්නේ නිවුන්නු කියන අදහස.

      Delete
  2. ඔය මීන රාශියයි , මේෂ රාශියයි අතර තියෙන ඉර මකන්න විදිහක් නැද්ද ? සූර්යා ඔය ඉර කැපුවම අපි තමා දඩ ගෙවන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. හරිම ලේසියි. මැකුවා කියල හිතාගන්න විතරයි තියෙන්නේ. (හරියන්නේ නෑ නේද? අනිත් අයත් ඒ වැඩේම කරන්න වෙනවනේ!)

      Delete
  3. අප්පා ෆුල් අන්දොස්... එන ප්‍රශ්ණ තේරුම් කරගන්නනම් අහසයි, ඉකොනොයි දෙන්නම ළඟ තියාගෙන ඉන්න වෙනවා...

    ReplyDelete
    Replies
    1. සෙන්නා නේද මේ ලග්න සංකල්පය සූර්ය කේන්ද්‍රීයව පැහැදිලි කළ හැකිද කියා ඇහුවේ? කවුරු හෝ අසා තිබුණු නිසයි මේ රූප සටහන දැම්මේ.

      Delete
    2. මම තමා ඇහුවේ. ඒත් දැන් කබලෙන් ලිපට වැටිලා ඉන්නේ ..අහන්ඩ තියන ප්‍රශ්න ටිකවත් ගලප ගන්න බැරි වෙලා තියෙන්නේ..හෙහ් හෙහ්

      Delete
    3. මම තමා ඇහුවේ. ඒත් දැන් කබලෙන් ලිපට වැටිලා ඉන්නේ ..අහන්ඩ තියන ප්‍රශ්න ටිකවත් ගලප ගන්න බැරි වෙලා තියෙන්නේ..හෙහ් හෙහ්

      Delete
    4. පුළුවන් වුන වෙලාවක අහන්න. :) පස්සේ දමන අළුත් ලිපියක කමෙන්ට් එකක් ලෙස ඇහුවත් ප්‍රශ්නයක් නැහැ. මම පරණ ලිපි වලට නැවත ඇවිත් කමෙන්ට් කියවන්නේ ඉතා අඩුවෙන්.

      Delete
  4. ඉකොනො,
    මේ ලිපි පෙලේ වටිනාකම නම් කියලා නිම කරන්න බැහැ.
    ඒක හරිම ලස්සනට ක්‍රමානුකූලව කරනලද පැහැදිලි කිරීමක්.
    මම අහස දිහා බලාගෙන ග්‍රහ තරු වල පිහිටීම් වෙනස් වීම් හිතින් රටා අඳින කෙනෙක්. මේ ලිපි නිසා මම එහෙන් මෙහෙන් අහුලගෙන දැන හිටි දේවල් ගොඩක් ශාස්ත්‍රිය දැනුමක් බවට පත් වුනා.

    ReplyDelete
    Replies
    1. මේ ගැන තව ලියන්න බොහෝ දේ තිබෙනවා. එහෙත්, එක දිගට නොලියා අතරින් පතර මාතෘකා වෙනස් කරමින් ලියන්නයි ඉන්නේ.

      Delete
  5. මගේ හඳහනේ සූර්ය කේන්ද්‍රය, චන්ද්‍ර කේන්ද්‍රය කියලා කේන්ද්‍ර දෙකකුත් තියෙනවා.
    ඒ මොනවද?
    වැඩි විස්තරයක් දෙන්න බෑ හඳහන නැතිවෙලා අවුරුද්දක් විතර වෙනවා

    ReplyDelete
    Replies
    1. සූර්යය කේන්ද්‍රය කියා කියන්නේ සූර්යයා කේන්ද්‍ර කරගෙන (සූර්යයා වටා ග්‍රහයින් චලනය වන බව සලකා) අඳින සටහනක් නෙමයි. පොළොවේ සිටින නිරීක්ෂකයෙකුට පෙනෙන සූර්යයාගේ පිහිටීම කේන්ද්‍ර කරගෙන අඳින සටහනක්. ඒ නිසා උදේ ඉර පායන වෙලාවට ඉපදෙන කෙනෙක්ගේ සූර්යය කේන්ද්‍රය හා ලග්න කේන්ද්‍රය හරියටම සමානයි. එදිනම හවස ඉර බහින වෙලාවේ ඉපදුන කෙනෙක්ගේ මේ සටහන් දෙක අංශක 180කින් කැරකුණු සටහන් දෙකක්. එකක උඩම කොටුවේ ඇති දෙය අනිත් එකේ යටම කොටුවේත්, බටහිර ඇති දෙය නැගෙනහිරත් ආදී ලෙස දැකිය හැකියි. මෙහි වැදගත්කම වන්නේ උපන් වෙලාව නොදන්නා නමුත් දවස පමණක් දන්නවානම් වුවත් සූර්යය කේන්ද්‍රයක් හදන්නට පුළුවන් වීමයි. දැන් බටහිර ජ්‍යෝතිෂයේ කරන්නේ මෙවැනි දෙයක්. ඒ ක්‍රමයට ආසන්න මාසයක් තුළ ඉපදෙන සියල්ලන්ටම තියෙන්නේ එකම ලග්නය. චන්ද්‍ර කේන්ද්‍රය මේ අයුරින්ම පොළොවේ සිටින නිරීක්ෂකයෙකුට පෙනෙන හඳේ පිහිටීම කේන්ද්‍ර කරගෙන අඳින සටහනක්. අමාවක දවසක ඉපදෙන කෙනෙක්ගේ චන්ද්‍ර කේන්ද්‍රය ලග්න කේන්ද්‍රයට සමානයි. පසළොස්වක දවසක ඉපදුන කෙනෙක්ගේ මේ සටහන් දෙක අතර අංශක 180ක වෙනසක් තියෙනවා. ලග්න කේන්ද්‍රය තිබේනම් ඉතිරි දෙක ඕනෑම කෙනෙකුට ඉතා පහසුවෙන් ඇඳ ගත හැකියි. ඒවායේ කිසිදු අමතර තොරතුරක් නැහැ.

      Delete
  6. ඉකොන්,
    ලග්න හඳුනා ගැනීමේදී ඇයි බටහිර හා පෙරදිග කියන සම්ප්‍රදායන් දෙකම නැගෙන හිර දිශාවෙන් පිහිටන රාශියම යොදා ගන්නේ?
    අපි වගේ සමකය ආස්‍රිත රට වලට ඕනෑම මොහොතක හිසට උඩින් මුදුන්වත් යම් කිසි රාශියක් පවතිනවා නේද? මම හිතාගෙන හිටියේ හිස උඩ පිහිටි රාශියයි ලග්නය හැටියට ගන්නේ කියලා.
    එහෙම නොවෙන්න හේතුවක් තියෙනවාද?

    ReplyDelete
    Replies
    1. ලග්න රාශිය කියන එක වියුක්ත සංකල්පයක් වුනත්, ඒ සංකල්පය ඓතිහාසිකව හදාගෙන තිබෙන්නේ නිරීක්ෂණ ඇසුරින්. හිසට උඩින් පවතින රාශිය (පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවන අවස්ථාවක හැර) නිරීක්ෂණය කළ නොහැකියි. එහෙත්, ඉර උදාවට ආසන්නව නැගෙනහිර ක්ෂිතිජයෙන් මතුවීගෙන එන තාරකා රටා පහසුවෙන් නිරීක්ෂණය කළ හැකියි.

      Delete
  7. මම ඩෙස්ක්ටොප් එකටයි ටයි ලැපටයි මොබයිල් එකටයි දාගෙන ඉන්නවා ස්ටෙලාරියම් කියන ඕපන් සෝර්ස් ඇප් එක. ඒක හුඟක් හොඳයි. මේ තාරකා රාශි හරියටම පෙන්වනවා. පින්තුරයත් දාගන්න පුළුවන්.
    http://www.stellarium.org/en_GB/

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget