වෙබ් ලිපිනය:

Monday, July 17, 2017

පිටිකර බෙහෙතෙන් සයිටම් බරවාය සනීප වෙයිද?


සයිටම් අර්බුදය විසඳීමේ පියවරක් ලෙස වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල රජයට පවරාගෙන තිබේ. වාර්තා වී ඇති ආකාරයට රුපියල් මිලියන 3,550ක් වටිනා මේ රෝහල වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු විසින් ස්ව-කැමැත්තෙන්ම රජයට පවරන්නේ කිසිදු වන්දි මුදලක් ලබා නොගනිමිනි. සත්‍යාසත්‍යතාව පැහැදිලි නැතත්, ඇතැම් වාර්තා අනුව, මේ රෝහල ඉදි කිරීමට ලබාගත් ණය මුදල් පියවීමටද නෙවිල් ප්‍රනාන්දු විසින් එකඟ වී තිබේ. ගිවිසුමේ කොන්දේසි තවමත් හරියටම පැහැදිලි නැතත් එහි එක් පාර්ශ්වකරුවෙකු වන්නේ රජය නිසා ගිවිසුම අවසන් වීමෙන් පසු එහි ඇති දේ පාරදෘශ්‍ය නොවන්නට ඉඩක් නැත.

මෙයින් පෙනෙන්නේ නෙවිල් ප්‍රනාන්දුගේ ජනහිතකාමයද? එසේ නැත්නම් ව්‍යවසායකයෙකු වෙත රජය විසින් සිදුකළ අසාධාරණ බලහත්කාරයක්ද? එසේත් නැත්නම්, මේ දෙකම නොවන වෙනත් දෙකක්ද?

මගේ අදහස අනුව, මේ පැවරීම වාර්තා වී ඇති පරිදිම ස්ව-කැමැත්තෙන් සිදුවන්නක් මිස රජයේ බලපෑම් නිසා නෙවිල් ප්‍රනාන්දුට කරන්නට සිදු වී ඇති දෙයක් නොවේ. ඒ නිසා, මෙහි නරක පූර්වාදර්ශයක් නැත. ඒ අතරම, මෙය නෙවිල් ප්‍රනාන්දුගේ ජනහිතකාමය නිසා ගෙන ඇති තීරණයක්ද නොවේ. කෙතරම් අවාසිදායක තීරණයක් සේ පෙනුණත්, එය මේ වෙලාවේ නෙවිල් ප්‍රනාන්දුට ගත හැකි වඩාත්ම වාසිදායක තීරණයයි.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු විසින් නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල හැදුවේ එමඟින් කෙටි කලකින් ලාභ ලැබීමේ අරමුණ මුල් කරගෙන නොවේ. සයිටම් වෛද්‍ය පීඨය පවත්වා ගෙන යාම සඳහා ශික්ෂණ රෝහලක් අවශ්‍ය වූ බැවිනි. එහෙත්, එයින් අදහස් වන්නේ ඔහු මේ රෝහල වෙනුවෙන් ආයෝජනය කළේ පාඩු ලබන්නට බවද නොවේ.

ලාබ ලැබීම කෙසේ වුවත් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල වෙනුවෙන් සිදු කර ඇති රුපියල් මිලියන 3,550ක ආයෝජනය පියවා ගැනීම වුවද සෑහෙන කලක් ගතවන කටයුත්තකි. ලංකාවේ වෙනත් පෞද්ගලික රෝහල් විසින් ලබන ලාබ ආන්තික දෙස බැලූ විට මෙවැනි ආයෝජනයක් පියවා ගැනීමට අඩු වශයෙන් වසර දහයක් හෝ පහළොවක්වත් යා හැකි බව සිතිය හැකිය.

ආයෝජනය ආවරණය කර ගැනීම සඳහා එක් එක් වසර ඇතුළත මෙහෙයුම් වියදම් ඉක්මවා ආදායම් ලබන්නට හැකි විය යුතුය. එහෙත්, ප්‍රමාණවත් රෝගීන් සංඛ්‍යාවක් නොපැමිණේනම් ප්‍රාග්ධන ආයෝජනය තබා මෙහෙයුම් වියදම් වුවද ආවරණය කර ගැනීමට නුපුළුවන. මෙහෙයුම් වියදම ආවරණය කිරීමට ප්‍රමාණවත් රෝගීන් සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගැනීමට හැකි වන තුරු පෞද්ගලික රෝහලක් නඩත්තු කරන්නට වෙන්නේ පාඩු ලබමින්, එයට තවතවත් අරමුදල් පොම්ප කරමිනි.

කෙසේවුවද, නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල එහි මෙහෙයුම් කටයුතු වලින් පවා අලාභයක් ලැබුවද සයිටම් වෛද්‍ය පීඨයේ ලාභ වලින් මේ අලාභය පියවා ගැනීමට ඉඩක් තිබුණේය. ශික්ෂණ රෝහල වෙනුවෙන් ආයෝජනය කරන විට නෙවිල් ප්‍රනාන්දුගේ ව්‍යාපාරික උපාය මාර්ගය වන්නට ඇත්තේ එයයි. සයිටම් අර්බුදය දිගින් දිගටම ඇදෙන විට නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ  පමණක් නොව සයිටම් වෛද්‍ය පීඨයේද මෙහෙයුම් අලාභ දිනෙන් දින ඉහළ යයි.

නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල රජයට පැවරීම මඟින් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුට එහි මෙහෙයුම් අලාභ ආවරණය කිරීමට දිගින් දිගටම අරමුදල් පොම්ප කරන්නට වීමේ අවාසියෙන් ගැලවෙන්නට හැකිවා පමණක් නොව, සයිටම් වෛද්‍ය පීඨයේ මෙහෙයුම් අලාභ ලාභ වලට හරවා ගැනීමටද පොටක් පෑදේ.

ශික්ෂණ රෝහල වෙනුවෙන් සිදුකළ ආයෝජනය පියවා ගැනීම අරභයා එහි ඇතුළු වන එක් සිසුවෙකුගෙන් මිලියන දෙකක අමතර මුදලක් පාඨමාලා ගාස්තු හරහා අය කළද, මුළු ආයෝජනය පියවා ගැනීමට සිසුන් 1,775කගෙන් මුදල් අය කිරීමට සිදු වේ. මේ සඳහාද වසර පහළොවක් පමණ ගත විය හැකිය. කෙසේ වුවත්, රුපියල් මිලියන 3,550ක ආයෝජනය ගිලුණු පිරිවැයක් නිසා දැන් ගත යුතු හොඳම තීරණය ගැනීමේදී ඒ මුදල ගැන සිතීම තේරුමක් නැත. සයිටම් අර්බුදය දිගින් දිගටම ඇදීමෙන් අවසාන වශයෙන් වෙන්නේ පාඩු තවත් වැඩි වී, ආයෝජනය පියවා ගැනීමට ගතවන කාලය තවත් දිග්ගැසීමයි.

ඉහත කරුණු අනුව, නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල ස්ව-කැමැත්තෙන් රජයට පැවරීම මේ වෙලාවේ නෙවිල් ප්‍රනාන්දුට ගත හැකිව තිබුණු පවතින තත්ත්වයන්ට සාපේක්ෂව වාසිදායක තීරණයකි. අර්බුදය දිගටම ඇදෙන්නට හැරීමෙන් ඔහුට වන අවාසිය මෙහි ඇති අවාසියට වඩා විශාලය. එක් අතකින් මෙය ජේආර්ගේ රජය විසින් රනිල් වික්‍රමසිංහගේ සොයුරාට අයත්ව තිබුණු ස්වාධීන රූපවාහිණිය රජයට පවරාගැනීම වැනි දෙයකි.

කරුණු එසේනම් නෙවිල් ප්‍රනාන්දු විසින් කර ඇත්තේ කොහේවත් තියෙන කුණු ගොඩක් ආණ්ඩුවේ ඇඟේ ගැසීමද?

මේ ගනුදෙනුවෙන් ආණ්ඩුවටද පාඩුවක් නැත. රජයේ රෝහල් වල වෛද්‍ය සේවා පහසුකම් සපයන්නේ මුදල් අය නොකර වූවත්, දිනෙන් දින වැඩිවන සෞඛ්‍ය සේවා සඳහා වන ඉල්ලුම සපුරමින් රෝහල් පහසුකම් වැඩි කිරීම පිණිස රජය විසින් ප්‍රාග්ධන ආයෝජන සිදු කළ යුතුය. රුපියල් මිලියන 3,550ක් වටිනා රෝහලක් රජයට නිකම්ම ලැබීම යනු එපමණක සෘජු වාසියකි. මෙවැනි රෝහලක් වෙනුවෙන් රජය විසින් අරමුදල් යෙදවුවද වෛද්‍ය සේවා වෙනුවෙන් මුදල් අයකිරීමක් නොකරන බැවින් රෝහලෙන් ආදායම් නොලැබීම අදාළ කරුණක් නොවේ.

රජයේ පාලනයේ යටතේ ගුණාත්මක භාවය අවශ්‍ය මට්ටමින් පවත්වා ගන්නවානම් නෙවිල් ප්‍රනාන්දු රෝහලට රෝගීන්ගෙන් අඩුවක් නොවනු ඇත. යම් හෙයකින් එහි ගුණාත්මක භාවය රජයේ වෙනත් රෝහල් වල මට්ටමට නැති වුවද, නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්නේනම් එහි පැමිණෙන්නට රෝගීහු ප්‍රමාණවත් තරම් සිටිනු ඇත.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු හා රජය සැලකූ විට මෙය දෙපාර්ශ්වයටම වාසිදායක (win-win) ගනුදෙනුවකි.

එසේනම්, සයිටම් වලට එරෙහිව හඬ නැඟූ වෛද්‍යවරුන්ගේ තත්ත්වය කුමක්ද?

මගේ ලිපි වලට ප්‍රතිචාර දැමූ ඇතැම් මිතුරන්ද ඇතුළු බොහෝ වෛද්‍යවරුන් සයිටම් විශාල ප්‍රශ්නයක් ලෙස දුටුවේ එහි ලබාදෙන සායනික පුහුණුව ප්‍රමාණවත් නැතැයි යන පදනමිනි. ඔවුන් මතු කළ මේ තර්කයට පදනමක් තිබුණේය. වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නය ඇත්තටම සයිටම්හි සායනික පුහුණුව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඇති වුනු ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රශ්නයනම්, දැන් ඔවුන්ගේ කණස්සල්ලද සමනය කරන විසඳුමක් ලැබී තිබේ. සයිටම් පුහුණුවේ ගුණාත්මක භාවයට බලපාන තවත් කරුණු තිබේනම් ඒවා සාකච්ඡා කිරීමට ඉඩ සැලසෙන වේදිකාවක්ද දැන් හැදී තිබේ.

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගත් පමණින් එහි ගුණාත්මක භාවය ඉහළ නොයන බවත්, එහි තවත් අඩුපාඩු රැසක් ඇති බවත් වෛද්‍යවරුන්ට කියන්නට පුළුවන. එය එසේ වන්නටද පුළුවන. රෝහල රජයට පවරා ගත් පමණින් සයිටම් වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුවේ ගුණාත්මක භාවය හා අදාළ සියළු ප්‍රශ්න නොවිසඳෙනු ඇතත්, මේ අතරමැදි පියවර තුළින් වෛද්‍යවරුන්ට රජය සමඟ සාකච්ඡා කර ඉතිරි ප්‍රශ්න විසඳාගැනීම සැලකිය යුතු තරම් පහසු කරයි. එවැනි ඉඩක් සලසමින් රජය හා වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මේ තරමට නම්‍යශීලී වීම අගය කළ යුතුය.

කෙසේ වුවද, දේශපාලන අරමුණු සහිතව සයිටම් ප්‍රශ්නය වවාගෙන කන්නට බලා සිටි අයට මේ ගනුදෙනුව සතුටුදායක පුවතක් නොවන්නට ඉඩ තිබේ. එවැනි අයගේ අරමුණු වලට ඉඩ නොලැබෙන පරිදි රජය, සයිටම් බලධාරීන් හා වෛද්‍ය සංගමය යන ප්‍රධාන පාර්ශ්වකරුවන් එක්ව ප්‍රශ්නය අවසන් කරගත හැකිනම් එය රටේ සියල්ලන්ටම සැලසෙන යහපතකි.

මේ පියවරෙන් පසුවද, ප්‍රශ්නය නොවිසඳේනම් වෛද්‍ය සංගමයට හා රජයට කෙසේ වුවත් නෙවිල් ප්‍රනාන්දුට සිදුවන්නේ කබලෙන් ලිපට අඩිය තැබීමටය. එසේ වුවහොත්, එක් පැත්තකින් ශික්ෂණ රෝහල වෙනුවෙන් සිදුකළ ආයෝජනයෙන් කෙටිකාලීනව කෙසේ වුවත් දිගුකාලීනව ලාබයක් ලැබීමට ඔහුට තිබුණු අවස්ථාව අතහැර දැමීමෙන් පසු සයිටම් වෛද්‍ය පීඨය මඟින් ඒ අලාභයෙන් කොටසක් පියවා ගන්නට ඔහුට තිබුණු අපේක්ෂාවද ගිලිහී යන්නට පුළුවන.

නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල ඔහු සිය කැමැත්තෙන් රජයට පවරා දුන්නත් සයිටම් වෛද්‍ය පීඨය ඒ ආකාරයෙන් පවරා දෙන්නට ඉඩක් නැත. අවාසිදායකම තත්ත්වයන් යටතේ වුවද, ඔහු සයිටම් වෛද්‍ය පීඨය රජයට පවරා දෙනු ඇත්තේ රජය විසින් එහි තක්සේරු වටිනාකම ගෙවන්නේනම් පමණි. සයිටම් ආයතනයේ වටිනාකම යනු ඒ වෙනුවෙන් යටකර ඇති මුදල් ප්‍රමාණය පමණක් නොවේ. එමඟින් අනාගතයේදී ලබන්නට අපේක්ෂා කළ ලාභ වල වර්තමාන අගය (present value) එහි නියම වටිනාකමයි. මේ අගය එහි ආයෝජනය කර ඇති මුදල ඉක්මවනු ඇත. එවැනි විශාල මුදලක් මේ වෙනුවෙන් වැය කිරීම රජයට (බදු ගෙවන ජනතාවට) වාසිදායක නොවන තීරණයක් විය හැකිය.

අනෙක් අතට සයිටම් වෛද්‍ය පීඨයේ නියම වටිනාකම එහි අයිතිකරුවන්ට නොගෙවා බලහත්කාරයෙන් එය පවරාගැනීම මේ යුගයට නොගැලපෙන දෙයකි. තෙල් සමාගම් ජනසතු කළ යුගය අවසන් වී දැන් බොහෝ කල්ය. පෞද්ගලික ව්‍යාවසායයක් බලහත්කාරයෙන් රජයට පවරා ගනිමින් වැරදි පූර්වාදර්ශයක් ලබා දුන්නොත් එමඟින් සිදුවන අනාගත හානිය ඉතා විශාල වනු ඇත.

වෛද්‍යවරුන් දිගින් දිගටම ප්‍රශ්නය අදිමින් මස් රාත්තලම ඉල්ලනවානම් සහ එහි දේශපාලනික අරමුණු නැතැයි ඔවුන් කියනවානම්, වෛද්‍යවරුන් නොවන වෙනත් අයට සංවේදී නොවන කිසියම් ප්‍රශ්නයක් මෙහි තිබිය යුතුය. එහෙත්, එය පොදු සමාජයට පැහැදිලි කිරීමට සමත් අයෙකු වෛද්‍යවරුන් අතර පෙනෙන්නට නැත. යම් හෙයකින් සයිටම්හි ඇති ප්‍රශ්නය වෛද්‍යවරුන් නොවන අයට තේරුම් ගන්නට අසීරු තරම් සංකීර්ණ එකක්නම් එයින් අදහස් වන්නේද එය වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නයක් මිස පොදු සමාජයේ ප්‍රශ්නයක් නොවන බවයි.

10 comments:

  1. මෙන්න හොස්පිටල්ස්.... නෙවිල් ප්‍රනාන්දුටත් මේ වගේ වෙන්ට බැරිද? මේවා තමයි නියම අර්ථයෙන්ම සමාජ ව්‍යවසාය..ඇති අයගෙන් අරන් නැතිඅයට නොමිලේ දීම.

    http://www.aljazeera.com/programmes/indianhospital/indianhospital.html
    http://www.narayanahealth.org/

    ReplyDelete
  2. සයිතම් එකේ වෛදය උපාධිය සඳහා වසර පහකට අය කරණ මුදල ලක්‍ෂ 120 ද 90 ද කියල පැහැදිලි නෑ. UGC website එකේ දාල තියෙනවා විදේශ වෛද්‍ය සිසුන් ශ්‍රීලංකාවේ වෛද්‍ය පිඨයක ඉගෙනගන්න අයකරණ මුදල . එය එක අධ්‍යයන වර්ෂයකර ඇමරි කන් ඩොලර් 12500/= ඒ කියන්නේ වසර පහකට රුපියල් වලින් බැලුවොත් 12500 x 5 x 155= 9687500 ලක්‍ෂ 97ක් විතර. නෙවිල් රෝහලට ගත්ත නයත් ගෙවලා ලාභයකුත් ගන්න නම් ලක්‍ෂ 90ට වඩා ගන්න ඕන නේද ?

    ReplyDelete
    Replies
    1. ලක්ෂ 90ක් බව කිසියම් වැඩ සටහනකදී කියා තිබෙනු දැක්කා. රෝහලේ පාඩුව අල්ලන්න ඇතැම් විට ඉදිරියේදී පාඨමාලා ගාස්තු වැඩි කරන්න පුළුවන්. කොහොම වුනත් රජය විදෙස් සිසුන්ගෙන් අයකරන ඔබ පෙන්වා ඇති මුදල රජයේ වියදම නෙමෙයි. මම හිතන විදිහට එක් වෛද්‍ය සිසුවෙකු වෙනුවෙන් රජයේ වියදම රුපියල් ලක්ෂ 60 පමණ විය යුතුයි. සයිටම් සිසුවෙකු වෙනුවෙන් දරන වියදම ඊට වඩා තරමක් වැඩි ඇති.

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. //මෙය ජේආර්ගේ රජය විසින් රනිල් වික්‍රමසිංහගේ සොයුරාට අයත්ව තිබුණු ස්වාධීන රූපවාහිණිය රජයට පවරාගැනීම වැනි දෙයකි.//

    ශාන් වික්‍රමසිංහ කියා තිබුනා ස්වාධීන රූපවාහිණිය රජයට පවරා ජේ.ආර් යම් අයවලුන්ගේ නොමග යැවීම් නිසා ඔහු සමග අමනාපයෙන් කල දෙයක් බවට. හැබැයි නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල රජයට ගන්නේ නෙවිල් ප්‍රනාන්දු සමග ඇති ප්‍රශ්නයක් නිසා නොවේ.

    කොහොම උනත් මේ රෝහල රජයට පවරා ගැනීමෙන් සයිට්ම් සිසුන්ගේ සායනික පුහුණුව ගැන තිබු සටන් පාඨය අකුලා ගන්න සයිට්ම් විරෝධින්ට සිදු වෙනවා.හැබැයි එකට සයිට්ම් විරෝධි අය සුදානම් නැති බවක් තමයි පේන්නේ.එකෙන් ඔප්පු වෙන්නේ මේ සයිට්ම් අරගලය පිටිපස්සේ තියෙන දේශපාලනික අත පෙවීම්.

    ReplyDelete
    Replies
    1. //ශාන් වික්‍රමසිංහ කියා තිබුනා ස්වාධීන රූපවාහිණිය රජයට පවරා ජේ.ආර් යම් අයවලුන්ගේ නොමග යැවීම් නිසා ඔහු සමග අමනාපයෙන් කල දෙයක් බවට. //
      එසේ කියා තිබුණු බව දැන සිටියේ නැහැ. එහෙමනම් මගේ සංසන්දනය වැරදියි.

      Delete
    2. බොහොම ස්තුතියි, මනෝජ්! මේ ගැන මෙතෙක් දැන සිටියේ වෙනත් අය ලියා තිබුණු දේ පමණයි. මේ සාකච්ඡාවෙන් ඇත්ත දැනගත්තා.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: