වෙබ් ලිපිනය:

Friday, July 28, 2017

නිදහස් අධ්‍යාපනය කා වෙනුවෙන්ද?


නිදහස් අධ්‍යාපනය පිළිබඳ ජනප්‍රිය අදහසක් වන්නේ ඒ හේතුවෙන් සමාජයේ අසමානතා අඩු වන බවයි. නිදහස් අධ්‍යාපනය සමාජයට බරක් වුවත්, එමඟින් ඉහත අරමුණ යම්තාක් දුරකට ඉටුවේ. එහෙත්, නිදහස් අධ්‍යාපනය තිබුණු පමණින් සමාජයේ සියල්ලන්ටම අධ්‍යාපනය ලැබීමට සමාන ඉඩප්‍රස්තා හිමිවන්නේ නැත.

දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ තීරණ ඔවුන්ගේ දෙමවුපියන්ගේ හෝ භාරකරුවන්ගේ තීරණයි. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දෙමවුපියන් විසින් ආයෝජනය කරන්නේ එමඟින් ඔවුන්ගේ අනාගත ශුභ සිද්ධිය සැලසෙන බවට ඇති විශ්වාසය නිසාය. මේ වෙනුවෙන් ඔවුන්ට මිලක් ගෙවන්නට සිදු වේ. එසේ ගෙවන උපරිම මිල තීරණය වන්නේ සිදුවන යහපත හා වැය කරන අරමුදල් වල ආවස්ථික පිරිවැය මතය. අඩු ආදායම් ලබන පවුලක දෙමවුපියෙකුගේ මුදල් වල ආවස්ථික පිරිවැය මුදල් යහමින් ඇති පවුලක දෙමවුපියෙකුගේ මුදල් වල ආවස්ථික පිරිවැයට වඩා වැඩිය. ඒ නිසා, සැලසෙන යහපත සමාන වන තත්ත්වයකදී මුදල් ඇති පවුලක දෙමවුපියන් විසින් ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැඩි මුදලක් ආයෝජනය කිරීමට වැඩි ඉඩකඩක් තිබේ.

ලංකාවේ නිදහස් අධ්‍යාපනය ආරම්භ වන යුගයේදී, එය එසේ නොවුනානම්, රටේ දරුවන්ගෙන් සැලකිය යුතු පිරිසකට පාසැල් අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථාව නොලැබෙන්නට ඉඩ තිබුණේය. නිදහස් අධ්‍යාපනය හේතුවෙන් වැඩි පිරිසකට ඒ අවස්ථාව ලැබුණේය. එහි සමාජ පිරිවැය හා යහපත වෙනම කතා කළ යුතු දෙයකි. එය පසුවට තබමු.

නිදහස් අධ්‍යාපනය ආරම්භ වන යුගයට සාපේක්ෂව අද වන විට ලංකාවේ පවුල් වල ආදායම් ව්‍යාප්තිය සැලකිය යුතු තරමින් දකුණට විතැන් වී (වැඩි වී) තිබේ. නිදහස් අධ්‍යාපනය නොතිබුණද, අද වන විට, එදාට සාපේක්ෂව රටේ දරුවන්ගෙන් විශාල පිරිසක් පාසැල් අධ්‍යාපනය ලබනු හැකිව තිබිණි. කෙසේ වුවද, නිදහස් අධ්‍යාපනය නිසා ඒ ප්‍රමාණය සැලකිය යුතු ලෙස වැඩි වී තිබේ.

ඒ අතරම, නිදහස් අධ්‍යාපනය තිබුණද, මූලික අධ්‍යාපනය අනිවාර්ය වුවද, අදටත් රටේ ඇතැම් දරුවන්ට මූලික පාසැල් අධ්‍යාපනයක් නොලැබේ. ඒ, මිල පාලනය කිරීම මඟින් (මේ අවස්ථාවේදී මිල ශුන්‍ය මට්ටම කරා රැගෙන ඒමෙන්) ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය වෙනස් කළ හැකි වුවත්, ඉල්ලුම් සැපයුම් බලවේග තවදුරටත් ක්‍රියාත්මක වන බැවිනි. ඒකීය පුද්ගලයින් විසින් ස්වභිමාර්ථය වෙනුවෙන් කටයුතු කිරීම නියාමනය මඟින් වැළැක්විය නොහැකිය. එහෙත්, නියාමනය හේතුවෙන් පුද්ගලයෙකුගේ තේරීම් අතරින් වඩා හොඳ තේරීම වෙනස් වන්නට පුළුවන.

අද ලංකාවේ පාසැල් වයසේ දරුවෙකුට අවශ්‍ය පාසැල ලබා ගැනීම කෙසේ වෙතත් කුමක් හෝ රජයේ පාසැලක අධ්‍යාපනය ලැබීමට විශාල බාධාවන් නැත. එසේ ලැබෙන පාසැලක පාඨමාලා ගාස්තු නොගෙවා ඉගෙනීමට තිබෙන අවස්ථාවට අමතරව පාසැල් පෙළපොත් හා පාසැල් නිලඇඳුම් ආදී තවත් බොහෝ දේ රජයෙන් ලැබේ. එහෙත්, ඉතාම "බාල" පාසැලකට දරුවන් යවන දෙමවුපියෙකු වුවත් තවත් අමතර වියදම් රැසක් දැරිය යුතුය. අභ්‍යාස පොත් ඇතුළු පාසැල් උපකරණ හා පාසැල වෙත දරුවා ප්‍රවාහනය කිරීම ආදිය මේ අනෙකුත් මූලික වියදම් අතර වේ. ගමේ පාසැලට දරුවා පයින් ගෙන යන දෙමවුපියෙකු විසින් ඒ සඳහා වැය කරන කාලයද, මුදල් වැය වීමක් නැතත්, ප්‍රවාහන වියදමේ කොටසකි. (ලංකාවේ පාසැල් ළමුන්ගෙන් 33.9%ක්ම පාසැලට පයින් යන අයයි.) දරුවන් තරමක් ලොකු මහත් වූ විට ඔවුන්ගෙන් තමන්ගේ වැඩට උදවු ගන්නට නොලැබීමද (විශ්ව ළමා ප්‍රතිපත්ති ආදියේ මොනවා තිබුණත්) දෙමවුපියන්ගේ අලාභයකි. මේ අමතර වියදම් දැරිය නොහැකි පවුල් වල දරුවන්ට අදටත් පාසැල් වරම් අහිමි වේ.

වසර කිහිපයකට පෙර ප්‍රකාශයට පත් කෙරුණු යුනිසෙෆ් වාර්තාවකට අනුව, අධ්‍යාපනය අනිවාර්යයෙන් ලැබිය යුතු අවුරුදු 5-14 වයසේ ලංකාවේ ළමුන්ගෙන් 1.8%ක් පාසැල් නොයති. වතු අංශයේ මේ ප්‍රතිශතය 4.6%ක් තරම් ඉහළය. මෙයට ප්‍රධානම හේතුවක් වන්නේ අධ්‍යාපනය ලැබිය යුතු වයසේ දරුවන් ළමා ශ්‍රමිකයන් ලෙස කටයුතු කිරීමයි. වාර්තාව අනුව දරුවෝ 107,259ක් ළමා ශ්‍රමිකයෝ ලෙස කටයුතු කළහ. ඔවුන්ගෙන් 60%ක් පමණම යෙදී සිටියේ අනතුරුදායක රැකියා වලය. 2016 ළමා ක්‍රියාකාරිත්ව සමීක්ෂණයේ දත්ත අනුවද, කිසියම් ආර්ථික කටයුත්තක නිරතව සිටින ළමුන් ගණන 103,704කි. මේ ලංකාවේ ආදායම් ව්‍යාප්තියේ පහළම කාණ්ඩයේ තත්ත්වයයි. නිදහස් අධ්‍යාපනය පැවතියද එයින් මේ පහළම ආදායම් කාණ්ඩයේ දරුවන් බොහෝ දෙනෙකුගේ ජීවිත ආලෝකමත් වී නැත. එහෙත්, මේ ළමා ශ්‍රමිකයින් හෝ ඔවුන්ගේ දෙමවුපියන් විසින් කිසියම් භාණ්ඩයක් මිලදී ගන්නා හැම විටකම ඔවුන් විසින්ද වක්‍ර ලෙස ලංකාවේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වැය කරති.

මේ පහළම කාණ්ඩයට ඉහළින් සිටින දෙමවුපියන්ගේ දරුවන් බොහෝ දෙනෙකු රජයේ පාසැලක අධ්‍යාපනය ලැබුවත් එයින් අදහස් වන්නේ එම දරුවන්ට හොඳ, සමාන, හෝ ගෙවන මුදලට වටින අධ්‍යාපනයක් ලැබෙන බවම නොවේ. ලංකාවේ රජයේ පාසැල් අතර ඇති ගුණාත්මක භාවයේ වෙනස්කම් ඉතා විශාලය.

පාසැල් වෙත ඇති දෙමවුපියන්ගේ ඉල්ලුම පාසැල් වල ගුණාත්මක භාවය පිළිබඳ ඉඟියක් සපයයි. හොඳ පාසලකට යවන්නට හැකියාව තිබේනම් තමන්ගේ දරුවා ගුණාත්මක භාවය අනුව පහළින් ඇති පාසලකට යවන්නට දෙමවුපියෙකු පෙළඹෙන්නේ නැත. ගුණාත්මක භාවය මනින නිර්ණායක එක් එක් පුද්ගලයාට සාපේක්ෂ වීම වෙනම කරුණකි.

ලංකාවේ පාසැල් අතරින් තවමත් වැඩිම ඉල්ලුමක් තිබෙන්නේ නිදහස් අධ්‍යාපනය ඇරඹෙන්නට පෙර ක්‍රිස්තියානි මිෂනාරීන් විසින් හෝ පරමවිඥාර්ථ සමාගම වැනි සංවිධාන විසින් ස්ථාපිත කර පවත්වාගෙන ගිය පාසැල් වලටය. මේ පාසැල් වලින් වැඩි ප්‍රමාණයක් මේ වන විට රජය සතුව ඇති අතර සුළු ප්‍රමාණයක් පෞද්ගලික පාසැල් ලෙසම පවත්වාගෙන යනු ලැබේ. පසුව ඇරඹුණු මධ්‍ය මහා විද්‍යාල වලටත් විශාල ඉල්ලුමක් ඇතත් පළමු කාණ්ඩයේ පාසැල් වලට මෙන් සියවසක හෝ එකහමාරක පමණ කාලයක් තිස්සේ උපයාගත් කීර්ති නාමයක් නැති මේ පාසැල් ඉල්ලුම අනුව සමස්තයක් ලෙස තිබෙන්නේ පළමු කාණ්ඩයේ පාසැල් වලට වඩා පිටුපසිනි.

ප්‍රධාන වශයෙන්ම ඉහත කාණ්ඩ දෙකට අයත්, උසස්පෙළ විද්‍යා විෂය හැදෑරීමේ පහසුකම් ඇති රජයේ පාසැල් ගණන රටේ මුළු පාසැල් ගණනින් 10% නොඉක්මවයි. දෙමවුපියෙකු විසින් මේ පාසැලකට දරුවෙකු දමා ගැනීම දරුවාගේ කුසලතාවය තිබූ පමණින්ම කළ නොහැක්කකි. ඒ සඳහා, එතරම් පාරදෘශ්‍ය නොවන තවත් බොහෝ වියදම් දැරිය යුතුය.

රජය මඟින් නොමිලේ ලබා දෙන පොදු පාසැල් අධ්‍යාපනය නොතිබුණේනම් කුමක් විය හැකිව තිබුණේද?

එසේ වීනම්, දෙමවුපියන් විසින් තමන්ගේ ආර්ථික ශක්තිය අනුව දරුවන් හැකි තරම් හොඳ පාසැලකට යැවිය හැකිව තිබුණි. මෙහිදී, වැඩි ආර්ථික ශක්තියක් ඇති දරුවන්ට හොඳ පාසැල් ලැබීම නිතැතින්ම සිදු වන්නකි. එහෙත්, එසේ වූ පමණින් දරුවෙකුට  හොඳ පාසැලක් ලැබීමේ එකම නිර්ණායකය දෙමවුපියන්ගේ ආර්ථික ශක්තිය වෙන්නේ නැත.

නිදහස් අධ්‍යාපනය හඳුන්වා දෙන්නට පෙර යුගයේ ලංකාවේ තිබුණු ආකාරයේ ලාභ ලැබීම අරමුණු කර නොගත් පාසැල් හැම විටම වාගේ පාසැලට ඇතුළු කරගන්නා දරුවන්ගේ කුසලතා මට්ටම් ගැනද සැලකිලිමත් වන නිසා කුසලතාව අතින් බොහෝ පහතින් සිටින දරුවෙකුට මුදල් තිබූ පමණින්ම හොඳ පාසැලකට යාම අසීරු වනු ඇත. ඒ අතරම, කුසලතාව අතින් බොහෝ ඉහළින් සිටින දරුවන් යම් ප්‍රමාණයකටද ශිෂ්‍යත්ව ආදිය හරහා හොඳ පාසැල් වලට ඇතුළු වීමට අවස්ථාව සැලසෙනු ඇත. මෙවැනි විශේෂ තත්ත්වයන් තිබුණත් ඉතා පැහැදිලිවම වැඩි ආර්ථික ශක්තියක් ඇති පවුලක උපන් දරුවෙකුට හොඳ පාසැලකට ඇතුළු වීමට අඩු ආර්ථික ශක්තියක් ඇති පවුලක උපන් සමාන කුසලතා ඇති දරුවෙකුට වඩා වැඩි අවස්ථාවක් ලැබෙනු ඇත.

ලාභ ලැබීම අරමුණු කරගත් පාසැල් පැවතුනේනම් හොඳ පාසැල් වැඩි ආදායම් ලබන දෙමවුපියන්ගේ දරුවන්ට ලැබෙන්නට තිබෙන ඉඩකඩ තවත් වැඩි විය හැකිව තිබුණු නමුත් කුසලතාවය වැඩි, අඩු ආදායම් පවුල් වල දරුවන්ට ශිෂ්‍යත්ව ආදිය හිමි වීම තවදුරටත් සිදුවනු ඇත. එය සිදු වීමට මේ පාසැල් අයිතිකරුවන් ජනහිතකාමීන් විය යුතු නැත. හොඳ දරුවන් කිසියම් ප්‍රමාණයක් ශිෂ්‍යත්ව දී ඇතුළු කරගත් විට පොදුවේ පාසැලේ ගුණාත්මක භාවය ඉහළ යාමත්, ඒ හේතුවෙන් මුදල් ගෙවා පැමිණෙන සිසුන් ආකර්ෂණය කර ගැනීම පහසුවීමත් නිසා ලාභ ලැබීමේ අරමුණ තිබියදීම මෙය සිදු වේ. මේ හේතුව නිසාම, මුදල් ගෙවන්නට සූදානම් වුවත් කුසලතාවයෙන් අඩු දරුවෙකුට හොඳ පාසැලකට ඇතුළු වීම අපහසු වනු ඇත. කෙසේ වුවද, සමස්තයක් ලෙස, ඉතා පැහැදිලිවම, වැඩි ආර්ථික ශක්තියක් ඇති පවුලක උපන් දරුවෙකුට හොඳ පාසැලකට ඇතුළු වීමට අඩු ආර්ථික ශක්තියක් ඇති පවුලක උපන් සමාන කුසලතා ඇති දරුවෙකුට වඩා වැඩි අවස්ථාවක් ලැබෙනු ඇත.

නිදහස් අධ්‍යාපනය පැවතියද, ඉහත තත්ත්වයේ විශාල වෙනසක් සිදු වී නැත. දැනටත් හොඳ පාසැල් ලෙස හඳුනා ගැනෙන පාසැල් වලට ඇතුළු වීමට ලැබෙන්නේ කිසියම් අවම ආර්ථික මට්ටමක් ඇති පවුල්වල දරුවන්ට පමණි. මේ ක්‍රියාවලිය තුළ, සිසුවෙකුගේ කුසලතාවයට තැනක් ලැබෙන නමුත් කුසලතාවය තිබූ පමණින්ම කිසියම් සිසුවෙකුට හොඳ පාසැලකට ඇතුළු වීමට නොලැබේ. දෙමවුපියන්ගේ වත්කම් ඉහළ මට්ටමක තිබේනම් දරුවන්ගේ කුසලතාවය කිසියම් තරමකට අඩු වුවද හොඳ පාසැලකට ඇතුළු වීමට අවස්ථාව ලැබේ. විශේෂයෙන්ම ජනප්‍රිය පාසැල් වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළු කිරීමේදී දරුවන්ගේ කුසලතාවය නිර්ණායකයක් වන්නේ ඉතා අඩුවෙනි. එහිදී, වැඩිපුර බලපාන්නේ දෙමවුපියන්ගේ ආර්ථික තත්ත්වය හා "වැඩක් කරගැනීමේ" හැකියාවයි.

ජනප්‍රිය පාසැල් වල ගුණාත්මක භාවය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කරන පිරිවැයෙන් විශාල කොටසක් ලැබෙන්නේ දෙමවුපියන්ගේ මුදල් වලිනි. මේ අර්ථයෙන් බැලූ විට මේ පාසැල් බොහොමයක් ආකෘතිමය ලෙස, ඉගැන්වීම සඳහා මුදල් අයකරන, එහෙත් පොදු අරමුදල් වලින් කිසියම් ප්‍රමාණයකට සුබසාධනය වන පාසැල් ලෙස සැලකීමේ වැරැද්දක් නැත. රජය මඟින් මේ පාසැල් පවත්වා ගැනීමට මූලික පිරිවැයක් දැරුවත්, මෙවැනි පාසැලක ගුණාත්මක භාවය තීරණය කරන ආන්තික රුපියල හැමවිටම ලැබෙන්නේ එහි පාරිභෝගිකයින් වන දෙමවුපියන්ගෙනි. ආදි ශිෂ්‍යයන් විසින් බොහෝ විට පාසැල් වෙත අරමුදල් සපයන්නේද පසුකාලීනව තමන්ගේ දරුවෙකු පාසැලට දමාගැනීමේ අරමුණ පෙරදැරිව නිසා ඔවුන්ද වක්‍ර ලෙස සුවිශේෂී පාරිභෝගික කණ්ඩායමක්ම වේ.

දුෂ්කර පාසැල් වල උගන්වන ගුරුවරුන්ට කිසියම් අමතර දීමනාවක් ලැබුණත්, ජනප්‍රිය පාසැල් වල ගුරුවරුන්ට රජයෙන් කිසිදු අමතර දීමනාවක් නොලැබේ. එසේ වුවත්, ජනප්‍රිය පාසැල් වලට එන්නට බොහෝ ගුරුවරු කැමැත්තෙන් සිටිති. ඒ නිසා, ජනප්‍රිය පාසැලකට හොඳ ගුරුවරුන් ආකර්ෂණය කර ගැනීම අපහසු නැත. දුෂ්කර පාසැල් වල සිදු වන්නේ මෙහි අනිත් පැත්තයි. ජනප්‍රිය පාසැලකට එන්නට බොහෝ ගුරුවරුන් කැමැත්තෙන් සිටින්නේ එහි පිටතට නොපෙනෙන මුදල් හා/හෝ මුදල් නොවන වාසි ඇති බැවිනි.

පාසැල් ලාභ ලබන ව්‍යවසායකයින් විසින් පවත්වාගෙන ගියේනම් ජනප්‍රිය පාසැල් වල ගුරුවරුන්ට වැඩි ප්‍රතිලාභ ලැබිය හැකිව තිබුණි. ඒ වැඩි ප්‍රතිලාභ නිසා වඩා හොඳ ගුරුවරුන් එම පාසැල් වලට ආකර්ශනය විය හැකිව තිබුණි. රජයේ මධ්‍යගත සැලසුම තුළ එයට ඉඩක් නැතත්, වෙළඳපොළ බලයන් විසින් වක්‍ර ලෙස ඒ දෙයම සිදු කරයි.

කෙසේ වුවද, රජයේ ජනප්‍රිය පාසැලකට සෘජුව මුදල් ගෙවා "මුදල් පදනම මත" දරුවෙකු ඇතුළු කර ගැනීමේ නීත්‍යානුකූල අවස්ථාවක් දෙමවුපියන්ට නැත. ඒ නිසා, මුදල් අල්ලස් වල සිට ලිංගික අල්ලස් දක්වා බොහෝ දේ සිදුවන්නේ රටේ නීති රාමුවෙන් පිටතය. රටේ නීති රාමුවෙන් පිට පනින්නට සෑම දෙමවුපියෙක්ම කැමති නැත. ඒ නිසා, සැලකිය යුතු මුදලක් ගෙවා ජනප්‍රිය පාසලකට දරුවෙකු ඇතුළු කරගන්නට කැමති, ඒ සඳහා හැකියාව ඇති, දෙමවුපියන් බොහෝ දෙනෙකුට ඒ සඳහා අවස්ථාව නොලැබේ. ජාත්‍යන්තර පාසැල් වලට ඉල්ලුමක් ඇති වී තිබෙන්නේ මෙවැනි දෙමවුපියන්ගෙනි.

ජාත්‍යන්තර පාසැල් වලට දරුවන් යවන්නේ තමන්ගේ දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම සඳහා සැලකිය යුතු මිලක් ගෙවන්නට සූදානමින් සිටින දෙමවුපියන් පිරිසකි. ඔවුන්ට ඇති අනෙක් විකල්පය වන රජයේ පාසලකට දරුවෙකු ඇතුළු කිරීමටද මෙයට කිට්ටු මුදලක් සෘජුව හෝ වක්‍ර ලෙස වැය කරන්නට සිදු වේ. එහෙත්, ඔවුන්ට ඇති ප්‍රශ්නය මේ මුදල ගෙවීම නොවේ. මුදල ගෙවා එවැනි පාසැලකට දරුවෙකු ඇතුළු කර ගැනීමට පාරදෘශ්‍ය ක්‍රමයක් නැති වීමයි.

මුදල් ඇති අයෙකුට තමන්ගේ දරුවෙකු මුදල් ගෙවා ජාත්‍යන්තර පාසැලකට ඇතුළු කර ගත හැකිය. එහෙත්, ජනප්‍රිය පාසලකට දරුවෙකු ඇතුළු කර ගැනීමට කිසියම් මුදලක් මෙන්ම බලයක්ද අවශ්‍ය වේ. මීට අමතරව, මේ අවස්ථා දෙකේදීම දරුවාගේ කුසලතා මට්ටමද නොසලකා හැරෙන්නේ නැත.

රජයේ ජනප්‍රිය පාසැල් වල තත්ත්වය මෙසේ වුවත්, රජයේ පාසැල් වලින් සෑහෙන ප්‍රමාණයක් මෙවැනි "ඉල්ලුමක් ඇති" පාසැල් නොවේ. 2016 පාසැල් සංගණනය අනුව, රජයේ පාසැල් වලින් 30%ක පමණ සිටින්නේ සිසුන් සියයකට අඩු ගණනකි. එයින් අඩක පමණ සිටින්නේ සිසුන් පණහකට අඩු ගණනකි. රජයේ පාසැල් වලින් 30%කම ගුරුවරුන් සිටින්නේ තනි ඉලක්කමේ ගණනකි. ඒ අතර, එක් ගුරුවරයෙකු සිටින පාසැල් 27ක්ද, ගුරුවරුන් දෙදෙනෙකු පමණක් සිටින පාසැල් 108ක්ද තිබේ. පානීය ජලය හා සනීපාරක්ෂක පහසුකම් වැනි මූලික පහසුකම් පවා නැති පාසැල් ගණනාවක් තවමත් රටේ තිබේ.

රටේ පහළ ආදායම් ලබන පවුල් වල දරුවන් වැඩි දෙනෙකුට අවසාන වශයෙන් හිමි වන්නේ ඉහත ආකාරයේ අඩු පහසුකම් සහිත පාසැලකි. පවුලේ ආදායම් තත්ත්වය අනුව දරුවන්ට පාසැල් හිමිවීම සිදුවන්නේ පළමු ශ්‍රේණියට ඇතුළු වෙත්දීමය. පස්වැන්නේ ශිෂ්‍යත්ව විභාගය, ඒ ගැන කවර විවේචන තිබුණත්, සිසුවකුගේ දක්ෂතාවය මත පියවරක් ඉහළට තබන්නට ලැබෙන පළමු අවස්ථාවයි. එහෙත්, ශිෂ්‍යත්ව විභාගයෙන් කුසලතා පෙන්වූ පමණින් දක්ෂ දරුවෙකුට ඔහුගේ කුසලතාවයන්ට ගැලපෙන හොඳම පාසැලට යන්නට ඉඩ ලැබෙන්නේ නැත. පවුලේ ආදායම් තත්ත්වය මෙහිදීද හරහට හිටී.

රජයෙන් නොමිලේ ලැබෙන අධ්‍යාපනය වෙනුවෙන් එක් පුද්ගලයෙකුට දරන්නට සිදුවන පිරිවැය පිළිබඳ දළ ඇස්තමේන්තු කිහිපයක් මගේ පෙර ලිපි වලින් ඉදිරිපත් කළෙමි. මේ මුදල් වලින් වැඩි ප්‍රමාණයක් අය කර ගැනෙන්නේ වක්‍ර බදු ලෙසය. වැඩි ආදායම් ලබන පවුල් වැඩියෙන් පරිභෝජනය කරන නිසා බදු වලට ඔවුන්ගේ දායකත්වය වැඩිය. ඒ නිසා, මතු පිටින් පෙනෙන්නට ඇති පරිදි නිදහස් අධ්‍යාපනය නිසා ඉහළින් පහළට සම්පත් ගලායාමක් සිදුවේ. නමුත්, මෙය පෙනෙන තරම්ම ලොකුවට සිදු වන්නේ නැත.

කිසියම් පවුලක ආදායම ඉහළ යන විට පරිභෝජනයද ඉහළ යයි. එහෙත්, පරිභෝජනය සිදුවන්නේ ආදායමට සමානුපාතිකව නොවේ. ආදායම් මට්ටම කෙතරම් පහත් වුවත් ජීවත් වීම සඳහා මූලික පරිභෝජන මට්ටමක් පවත්වා ගත යුතුය. ආදායම මේ මට්ටමට වඩා අඩුනම් පවුලකට රජයෙන් ලැබෙන සහනාධාර වලින්, වෙනත් අයගේ පරිත්‍යාග වලින් හෝ ණය වලින් වියදම් පියවාගෙන මේ මූලික පරිභෝජන මට්ටම පවත්වා ගන්නට සිදුවේ. පවුලක ආදායම වැඩි වෙද්දී එසේ වැඩි වන ආදායමෙන් කිසියම් ප්‍රතිශතයක් පරිභෝජනය වෙනුවෙන් වෙන් කෙරෙන නමුත් සියල්ල එසේ වෙන් කෙරෙන්නේ නැත. වැඩි ආදායම් මට්ටම් වලදී ඉතිරිය ආයෝජනය කිරීමත්, අඩු ආදායම් මට්ටම් වලදී සෘණ ආයෝජන (ණය ගෙවීම) කිරීමත් සිදුවන බැවිනි. මෙහි ප්‍රතිඵලයක් ලෙස පවුලක පරිභෝජන මට්ටම් විචල්‍ය වන්නේ ආදායම් විචල්‍ය වනවාට වඩා අඩුවෙනි.

අඩු ආදායම් ලබන බොහෝ දෙනෙක් තමන්ගේ ආදායම් මට්ටමද ඉක්මවා පරිභෝජනය කරති. ඒ නිසා, ඒ අයගෙන් සැලකිය යුතු මුදලක් වක්‍ර බදු ලෙස රජය විසින් එකතු කර ගනී. ඒ වෙනුවෙන්, ඔවුන්ගේ දරුවන්ට කිසියම් පාසැලක් ලැබේ. එහෙත්, මේ පාසැල බොහෝ විට "ඉල්ලුමක් ඇති" පාසැලක් නොවේ.

එක් දරුවෙකු වෙනුවෙන් රජය වැය කරන මුදල වැඩි වූ පමණින්ම එම දරුවන්ට ලැබෙන අධ්‍යාපනය වඩා හොඳ එකක් වෙන්නේ නැත. ගුරුවරු එක්කෙනෙක් හෝ දෙදෙනෙක් හා සිසුන් හත් අට දෙනෙක් පමණක් සිටින පාසැල් ලංකාවේ තිබේ. එවැනි පාසැලක එක් දරුවෙකු වෙනුවෙන් රජය වැය කරන මුදල ජනප්‍රිය පාසැලක දරුවෙකු වෙනුවෙන් රජය වැය කරන මුදලට වඩා බොහෝ වැඩි විය හැකිය. එහෙත්, එයින් අදහස් වන්නේ එවැනි පාසැල් වල දරුවන්ට වඩා හොඳ අධ්‍යාපනයක් ලැබෙන බව නොවේ.

රටේ ඉහළ ආදායම් ලබන පවුල් වල සිටින්නෝ පරිභෝජනය පිණිස වැඩි මුදලක් වැය කරති. එහෙයින්, වැඩි බදු මුදලක්ද ගෙවති. එහෙත්, ඒ අතරම මේ බොහෝ දෙනෙක් ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් රටේ "හොඳ පාසැල්" කවර ආකාරයෙන් හෝ ලබා ගනිති. ඒ වෙනුවෙන්, විශාල අමතර මුදලක් මේ අය වැය කරන්නේ වුවත්, ගෙවන බදු මුදලට හා අමතර මුදලට වඩා වටිනා අධ්‍යාපනයක් ඔවුහු තමන්ගේ දරුවන් වෙනුවෙන් ලබා ගනිති.

රජය මඟින් නොමිලේ ලබා දෙන පාසැල් අධ්‍යාපනය රටේ පවුල් වලට සමස්තයක් ලෙස 'ශුන්‍ය සමස්ත එකතුවක් (zero sum)' ලැබෙන ක්‍රියාවකි. රජයකට සම්පත් නිර්මාණය කළ නොහැකිය. ඒ නිසා, හැම විටම එක් අයෙකුට ලබා දෙන්නට වෙන්නේ තවත් අයෙකුගෙන් ලබා ගන්නා දෙයකි. මේ ක්‍රියාවලියේ ජයග්‍රාහකයින් හා පරාජිතයින් කවුද? (මෙහි පහත ඉදිරිපත් කරන ප්‍රතිශත යොදාගන්නේ කරුණු පැහැදිලි කිරීම පිණිසය. ඒවා ඉතා දළ ඇස්තමේන්තු පමණි.)

ආදායම් ව්‍යාප්තියේ පහළින්ම සිටින පවුල් 2%ක පමණ ප්‍රමාණයක දරුවන්ට නිදහස් අධ්‍යාපනය තිබියදී වුවද අවශ්‍ය මූලික අධ්‍යාපනයවත් නොලැබේ. එහෙත්, ඔවුහු නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පරිභෝජනය සඳහා තමන්ට ඇති සීමිත සම්පත් කැප කරති. ඔවුහු මේ ක්‍රියාවලියේ පැහැදිලි පරාජිතයෝය.

ඉන් පසුව සිටින 40%ක පමණ වන පවුල් වල දරුවන්ට (ලංකාවේ පාසැලකට පයින් හෝ බයිසිකලයකින් යන ප්‍රතිශතය 43.3%කි.) ඉගෙන ගන්නට රජයේ කිසියම් පාසැලක් ලැබේ. එහෙත්, එසේ ලැබෙන්නේ "ඉල්ලුමක් නැති" පාසැලකි. මේ ආදායම් කාණ්ඩයේ දරුවන්ව මුදල් වැය කර හෝ "වෙනත් ක්‍රම වලින්" වඩා හොඳ පාසැලකට යැවීමට ඔවුන්ගේ දෙමවුපියන්ට හැකියාවක් නැත. මේ කාණ්ඩය විසින් වක්‍ර බදු ලෙස ගෙවන මුදලට වඩා වැඩි මුදලක් රජය විසින් ඔවුන් අධ්‍යාපනය ලබන පාසැල් වෙනුවෙන් වියදම් කරන්නේයැයි සිතිය හැකිය. එහෙත්, එසේ වූ පමණින් ඔවුන් ගෙවන මුදලට වටිනා අධ්‍යාපනයක් ඔවුන්ගේ දරුවන්ට ලැබෙන්නේද යන්න සැක සහිතය.

නිදහස් අධ්‍යාපනය නොතිබුණේනම්, මේ වන විට වුවද, ඉහත කණ්ඩායමෙන් අඩකට පමණ කිසිදු අධ්‍යාපනයක් නොලැබෙන්නට ඉඩ තිබුණේය. නිදහස් අධ්‍යාපනය හේතුවෙන් මේ තත්ත්වය වැලක්වී තිබේ. එහෙත්, මෙසේ ලැබුණු අධ්‍යාපනය නිසා මේ කාණ්ඩයේ පවුල් වල ජීවිත විශාල ලෙස සමෘද්ධිමත් වී නැත. මේ කාණ්ඩයේ සිසුවෙකු අධ්‍යාපනය හරහා සමාජයේ ඉහළම ස්ථරයට නැඟීම සිදු නොවන්නක් නොවූවත්, ඒ ඉඩකඩ විශාල නැත. ඒ නිසා, ගෙවන බදු මුදලට සාපේක්ෂව මේ කණ්ඩායම විසින් ලබන පෞද්ගලික ප්‍රතිලාභ එතරම්ම විශාල නැත.

කෙසේ වුවද, ඉහත පිරිස් පාසැල් වෙත යොමු නොවුනේනම් එම සමාජ කාණ්ඩය අතරින් සමාජ විරෝධීන් වැඩි ප්‍රමාණයක් බිහි විය හැකිව තිබුණි. එය එසේ සිදුනොවීම ඔවුන්ගේ අධ්‍යාපනය යම් තරමකින් සුබසාධනය කරන ඉහළ ආදායම් ලබන අයගේ වාසියකි. එයට අමතරව සාක්ෂරතාවය සහිත මූලික ශ්‍රමය සපයන්නන් පිරිසක් සිටීම සමාජ ස්ථරයේ ඉහළින් සිටින ව්‍යවසායකයින්ටද වාසියකි. (මේ ගැන කියන්නට තවත් බොහෝ දේවල් තිබේ. ඒවා පසුවට තබමු.)

අනෙක් අන්තය දෙස බැලුවොත්, ඉහළින්ම සිටින 6-7%ක පමණ ප්‍රමාණයක් තමන්ගේ දරුවන් යවන්නේ ජාත්‍යන්තර පාසැලකට හෝ වෙනත් පෞද්ගලික පාසැලකටය. මේ ස්ථරයේ තවත් පිරිසක් (3-4%ක් පමණ ලෙස සිතමු) සැලකිය යුතු මුදලක් (බොහෝ විට අත යටින්) වැය කර ඔවුන්ගේ දරුවන් රජයේ ජනප්‍රිය පාසැලකට දමා ගත් අයයි. (මේ ප්‍රතිශතය මීට වඩා බොහෝ වැඩි විය හැකිය.) ඔවුන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සැලකිය යුතු මුදලක් වක්‍ර බදු ලෙස ගෙවා ඇති අයයි. මේ උඩින්ම සිටින ස්ථරයද, පවතින ක්‍රමය තුළ සමස්තයක් ලෙස පරාජිතයෝ වෙති. ඔවුන් ගෙවන බදු මුදල් වෙනුවෙන් ඔවුන්ට සැලසෙන ප්‍රධානම යහපත රටේ සමාජ විරෝධීන් අඩුවෙන් බිහිවීම වැනි වක්‍ර ලාබයි.

නිදහස් අධ්‍යාපනයේ වාසි වැඩිපුරම ඇත්තේ මේ කාණ්ඩ දෙක අතරමැද සිටින 50%ක පමණ පිරිසටය. ඔවුන් අතරද දරුවන් මෝටර් රථයකින් හෝ පාසැල් වෑන් රථයකින් පාසැලට යවන 15%ක පමණ පිරිස වඩා ඉහළින් සිටිති. ඒ සඳහා පොදු ප්‍රවාහන සේවා හෝ මෝටර් සයිකල් හා ත්‍රිරෝද රථ භාවිතා කරන 35%ක පමණ පිරිස පහළින් සිටිති.

මේ මැද ස්ථර දෙකේ සිටින පවුල් වල අයද රජයට බදු ගෙවනවාට අමතරව, ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සැලකිය යුතු මුදලක් වැය කරන අයයි. එහෙත්, ඔවුහු බොරු පදිංචි පෙන්වීම, අත යටින් හෝ අත උඩින් මුදල් ගෙවීම, ආදි ශිෂ්‍ය සංගම් හරහා බලපෑම් කිරීම, පෞද්ගලික සම්බන්ධතා ආදී විවිධ ක්‍රම වලින් දෙපැත්තේ සිටින අඩු ආදායම් හා වැඩි ආදායම් කාණ්ඩ පසු කර පෝලිම පනින්නට සමත් වන අයයි. (මෙයින් කියන්නේ මේ ආදායම් කාණ්ඩයේ සිටින සියල්ලන්ම එසේ කරන බව හෝ වෙනත් ආදායම් කාණ්ඩ වල අය එසේ නොකරන බව නොවේ.) ඒ නිසා, අවසාන වශයෙන් තමන් ගෙවන මුදලට වඩා වටිනා දෙයක් මේ කාණ්ඩයේ අය තමන්ගේ දරුවන් වෙනුවෙන් ලබා ගනිති. මේ මැදි ආදායම් කාණ්ඩය තුළ සිටින කාණ්ඩ දෙක අතරින්ද ඉහළ ස්ථරය සිටින්නේ වඩා ඉදිරියෙනි.

ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රමය තුළ වැඩිම වාසි ලබන්නේ 15%ක් පමණ වන ඉහත ඉහළ මධ්‍යම පාන්තික ස්ථරයයි. දෙවනුවට සිටින්නේ 35%ක් වන පහළ මධ්‍යම පාන්තික ස්ථරයයි. ඉහළින්ම සිටින 10%ක පමණ පිරිස පමණක් නොව පහළින්ම සිටින 40%ක පමණ පිරිසද මේ ක්‍රමය තුළ පරාජිතයෝය.

මිනිසුන් තමන්ගේ (හා තමන්ගේ දරුවන්ගේ) යහපත වෙනුවෙන් කටයුතු කිරීම සාමාන්‍ය ස්වභාවයකි. මිනිසුන්ගේ මේ ස්වභාවය ස්වභාවික ලෙසම වෙනස් වන තුරු බලහත්කාරයෙන් යටපත් කළ නොහැකිය. නීතිරීති හරහා සමාජ සාධාරණත්වය ඇති කරන්නට හදන හැම විටකම මිනිස්සු මේ නීතිරීති මඟහැර වාසි ලැබිය යුතු ක්‍රම සොයති. ජනප්‍රිය පාසැල් අසලින් ගෙවල් කුලියට ගෙන, ඡන්ද ලැයිස්තු වල නම් වෙනස් කරගෙන, ආදිශිෂ්‍ය සංගම් හරහා බලපෑම් කරමින්, මුදල් හා ලිංගික අල්ලස් ලබා දෙමින් දෙමවුපියන් විසින් උත්සාහ කරන්නේ පවතින නීතිරීති වලින් කෙසේ හෝ රිංගා තමන්ගේ දරුවන්ට පුළුවන් තරම් හොඳ පාසැලක් ලබාගැනීමටය. අයෙක් එසේ කරන හැම විටකම තවත් දරුවෙකුගේ අවස්ථාව නැති වේ. ඇතැම් අය කියනාවක් මෙන් "සමාජයේ සෑම දරුවෙකුම තමන්ගේ දරුවන් මෙන් සිතන" දෙමවුපියන් සිටින්නේ ආගම් ලෙස අදහන දේශපාලනික විශ්වාස තුළ පමණි. මිනිසුන්ගේ මේ ස්වභාවය වෙනස් වන තෙක් එය නොතකා හදන සැලසුම් සාර්ථක වන්නේ නැත.

නිදහස් අධ්‍යාපනය නිසා ලංකාවේ විෂමතාවයන් අඩුවී ඇතැයි යමෙකු සිතනවානම් එය බොරුවක් නොවුවත්, ඔය කියන දෙය මහා ලොකුවට සිදු වී නැත. ඇත්තටම සිදුවී ඇත්තේ නිදහස් අධ්‍යාපනය හඳුන්වා දීමට පෙර පැවති විෂමතාවයන් තවදුරටත් පවත්වාගෙන යා හැකි පරිදි ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රමය පරිණාමය වී තිබීමයි.

(Image: http://www.sipsala.com/)

4 comments:

  1. //. ඇත්තටම සිදුවී ඇත්තේ නිදහස් අධ්‍යාපනය හඳුන්වා දීමට පෙර පැවති විෂමතාවයන් තවදුරටත් පවත්වාගෙන යා හැකි පරිදි ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රමය පරිණාමය වී තිබීමයි.//

    +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: