Saturday, July 15, 2017

2017දී සැමට කුකුළෙක්!


ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තු අනුව 2016 වසර මැද ලංකාවේ ජනගහණය 21,203,000කි. එම ආයතනයේම (තාවකාලික) ඇස්තමේන්තු අනුව 2016 වසරේ ලංකාවේ කුකුළුගහණය 21,056,020 කි. මේ ගණනට කුකුළන්, කිකිළියන් හා කුකුළු පැටවුන් ඇතුළත්ය.

පසුගිය වසර 12ක කාලය තුළ (2004-2016) ලංකාවේ ජනගහණය වර්ධනය වී ඇත්තේ 10%කින් පමණ වුවත්, කුකුළුගහණය 90%කින් පමණ වර්ධනය වී තිබේ. මේ ප්‍රවණතාවය සැලකිල්ලට ගත් විට මේ වන විට ලංකාවේ කුකුළුගහණය ජනගහණය ඉක්මවා ඇතැයි සිතිය හැකිය. ලංකාවේ කුකුළුගහණය මේ අයුරින් වේගයෙන් වැඩි වී තිබෙන්නේ රටේ ඉල්ලුම් හා සැපයුම් සාධක මත මිස රජය විසින් මහජන මුදල් වැය කර "2017දී සැමට කුකුළෙක්!" ව්‍යාපෘතියක් දියත් කිරීම නිසා නොවේ.

ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ තාවකාලික ඇස්තමේන්තු නිවැරදිනම් 2016 වසර තුළ පමණක් ලංකාවේ කුකුළුගහණය 25.75%කින් වැඩි වී ඇත. වසර තුළ කිකිළියන් ගණන 3.6%කින් පමණක් වැඩි වී තිබෙද්දී, (පිරිමි) කුකුළන් ගණන 120%කින් වර්ධනය වී තිබීම විශේෂ කරුණකි.

බිත්තර පිණිස හදන්නේ කිකිළියන් පමණක් නිසා බොහෝ විට පිරිමි කුකුළු පැටවුන් බිහිවුණු වහාම මරා දැමෙන නමුත් මස් පිණිස හදන විට එවැන්නක් සිදු නොවේ. බිත්තර පිණිස ඇති කරන කිකිළියක් වසරක පමණ කාලයක් ජීවත් වුවත්, මස් පිණිස හදන කුකුළන් හෝ කිකිළියන් ජීවත් වන්නේ සති හත-අටක කාලයක් පමණක් නිසා වසරක් තුළ මස් නිෂ්පාදනය පිණිස මරණ කුකුළන් (හා කිකිළියන්) ගණන රටක කුකුළුගහණය මෙන් කිහිප ගුණයකි.

රටක හෝ ලෝකයේ ජනගහණය වර්ධනය වීම කෙරෙහි ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ මිනිසුන්ගේ හා ගැහැණුන්ගේ රුචිඅරුචිකම් වුවත්, රටක හෝ ලෝකයේ කුකුළුගහණය වර්ධනය වීමට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ කුකුළන්ගේ හා කිකිළියන්ගේ රුචිඅරුචිකම් නොවේ. ඒ සඳහා බලපාන්නේද මිනිසුන්ගේ හා ගැහැණුන්ගේ රුචිඅරුචිකම්මය. ඒ අතරම, මිනිස්ගහණය දැනට පවතින මට්ටමේ සමතුලිතව තිබීමට කුකුළන්ගෙන් හා කිකිළියන්ගෙන් සිදුවන බලපෑමද ඩෙංගු මදුරුවන්ගේ සිට ඌරන් හා හරකුන් දක්වා වෙනත් ඇහැට පෙනෙන සතුන්ගෙන් වන බලපෑමට වඩා වැඩිය.

ලංකාවේ කුකුළුගහණය ජනගහණයට ආසන්නව සමාන වුවත් ලෝකයේ කුකුළුගහණය ලෝක ජනගහණය මෙන් දෙගුණය ඉක්මවයි. බිලියන 16.8ක් පමණ වන ලෝක කුකුළුගහණයෙන් බිලියන 4.6ක් පමණම සිටින්නේ ලෝකයේ ජනගහණය වැඩිම රටද වන චීනයේය. ඇමරිකාවේ කුකුළුගහණය බිලියන 2.0 පමණ වේ. ඉන්දුනීසියාව, බ්‍රසීලය, ඉරානය, පකිස්ථානය හා ඉන්දියාවද, එම අනුපිළිවෙලින්, විශාල කුකුළුගහණයකට හිමිකම් කියන රටවල් අතර ඉහළින් සිටී. ඉන්දියාවේ කුකුළුගහණය එරට ජනගහණයෙන් අඩක් පමණ වේ.

(Image: http://chicken.motifake.com/tags/chicken)

14 comments:

  1. දිගටම කුකුළන් ගැන ලියනවා වගේ

    ReplyDelete
    Replies
    1. කුකුළන් ගැනත් ලියන්න දේවල් ගොඩක් තියෙනවා.

      Delete
    2. ඒකත් ඇත්ත. වෙනම නිෂ්පාදන ක්‍රම, චිකන් කඩ, රැකියා කොටස් විශාල ප්‍රමාණයක් හැදිලා තියෙන්නේ

      Delete
  2. සති 7,8 කට වරක් මරනවා නම් කුකුළු ගහනය ගනනය කරනනේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. නිශ්චිත අවස්ථාවක සිටින කුකුළන් ගණන ගණන් කළ හැකියි. ජන සංගණනයකදී වෙන්නෙත් එයමයි. සංගණන දෙකක් අතර ඉපදී කෙටි කලකින් මිය යන අය ඉන්න පුළුවන්.

      Delete
  3. කුකුළො රට අල්ලයිද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. කුකුළන්ට කොහොමත් රටේ තැනක් තියෙනවනේ. :)

      Delete
  4. අපේ ජාතික මාංශාහාරය කුකුල්මස් වීම් නිසා අද කුකුල් වංසයේ සමාජීය වටිනාකම වැඩි වීමට පෙර සිටම කුකුලා ආදර්ශමත් සතෙකි.කිසිම කම්මැලිකමක් නැතුව උදේ පාන්දර අවදිවෙන කුකුලා, ඒ බව ලොවටම කියා පායි

    එංගලාන්තයේ කුකුල්ලු "කොක්ක ඩුඩුල් ඩූ ඌඌඌ.." කිව්වාට අපේ එකා කියන්නේ " කුක්කු කූ" කියාය.

    කුකුලා කුරුල්ලෙක් වුනත් ,පයින් යන නිහතමානී සතෙකි. කා ගැන හරි "ඕකා හරි කුකුලා" යයි කිව්වොත් , එයින් අදහස් වන්නේ නිහතමානිකම නම් නොවේ.


    ReplyDelete
    Replies
    1. ලිපිය අන්තිමට එකතු කරන්න හොඳ වාක්‍ය තුනක්!

      Delete
  5. /* රටක හෝ ලෝකයේ ජනගහණය වර්ධනය වීම කෙරෙහි ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ මිනිසුන්ගේ හා ගැහැණුන්ගේ රුචිඅරුචිකම් වුවත්, */

    මා දහවෙනි ශ්‍රේනියේ විද්‍යාව පාඩමට ඉගෙන ගත් කරුණු ගැන මතකය තවමත් නිවැරදි නම්, ගනණයක ප්‍රමාණය සහ වර්ධනය තීරණය වෙන සාධක වර්ග දෙකක් ගැන කියවෙනවා.

    ඒ ගණත්ව ස්වායත්ත (autonomous?) සාධක සහ ගණත්ව පරායත්ත (dependent?) සාධක.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ නියම පාරිභාෂික වචන මේවා වෙන්න ඇති. අපේ කාලයේ විද්‍යා පොත් වල මේ කොටස තිබුණු බවක් මතක නැහැ.

      Delete
  6. /* ලංකාවේ කුකුළුගහණය මේ අයුරින් වේගයෙන් වැඩි වී තිබෙන්නේ රටේ ඉල්ලුම් හා සැපයුම් සාධක මත මිස රජය විසින් මහජන මුදල් වැය කර "2017දී සැමට කුකුළෙක්!" ව්‍යාපෘතියක් දියත් කිරීම නිසා නොවේ. */

    මිත්‍රවරුනි, මගේ පියා ජීවතුන් අතර ඉන්නා කාලයේ සිට වසර 2018 හැමට කුකුළෙක් යන අරමුණ සහිතව උස කුකුළන් මස් සඳහාත්, මිටි කුකුළන් බිත්තර සඳහාත් යොදා ගැනීම ඇරඹුනා. ඒ consultation, consensus and compromise ක්‍රමවේදය යටතේ තමයි අපට මේ වසරේ දී ම ඒ ඉලක්කය කරා ලඟා වීමට හැකිවුණේ කියන කාරණය මං මතක් කරන්න කැමතියි.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget