වෙබ් ලිපිනය:

Tuesday, July 18, 2017

ආණ්ඩුව වෙසක් පෝය වරද්දලාද?


ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් 2018 වසර සඳහා වන රජයේ හා බැංකු නිවාඩු දින නියම කරමින් (සාමාන්‍යයෙන් කරන පරිදි) අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. මේ අනුව, 2018 වසරේ පෝය නිවාඩු දිනයන් මෙසේය.

ජනවාරි 01- දුරුතු පුර පසළොස්වක
ජනවාරි 31- නවම් පුර පසළොස්වක
මාර්තු 01- මැදින් පුර පසළොස්වක
මාර්තු 31- බක් පුර පසළොස්වක
අප්‍රේල් 29- වෙසක් පුර පසළොස්වක
මැයි 29- පොසොන් පුර පසළොස්වක
ජූනි 27- අධි පොසොන් පුර පසළොස්වක
ජූලි 27- ඇසළ පුර පසළොස්වක
අගෝස්තු 25- නිකිණි පුර පසළොස්වක
සැප්තැම්බර් 24- බිනර පුර පසළොස්වක
ඔක්තෝබර් 24- වප් පුර පසළොස්වක
නොවැම්බර් 22- ඉල් පුර පසළොස්වක
දෙසැම්බර් 22- උඳුවප් පුර පසළොස්වක

මේ අනුව, 2018 වෙසක් පෝය එළැඹෙන්නේ අප්‍රේල් මාසයේදීය. ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි විසින් ජනවාරි 31 අධි දුරුතු පුර පසළොස්වක ලෙස නම් කර නවම්, මැදින්, බක්, වෙසක් හා පොසොන් පෝය දින ඉදිරියට තල්ලු කර "වෙසක් පෝය අප්‍රේල් මාසයට වැටීමෙන් සිදු වී ඇති අවුල" නිවැරදි කළ යුතු බව යෝජනා කර තිබේ.

සිංහල චන්ද්‍රමාස හා ග්‍රෙගෝරියන් මාස අතර සෘජු සම්බන්ධයක් නැත. බොහෝ විට වෙසක් පුර පසළොස්වක පෝය යෙදෙන්නේ ග්‍රෙගෝරියන් කැලැන්ඩරය අනුව මැයි මාසය තුළ වුවත්, එය අප්‍රේල් මාසය තුළද යෙදෙන්නට ඉඩ තිබේ. 1885 වසරේදී පළමු වෙසක් නිවාඩුව සමරනු ලැබුවේද අප්‍රේල් 28 දිනකදීය.

වෙසක් මාසය යනු මැයි මාසය නොවේ. වෙසක් මාසය ඇරඹෙන්නේ සිංහල අවුරුද්දෙන් (මේෂ සංක්‍රාන්තියෙන්) පසුව එළැඹෙන පළමු අමාවක පෝය දිනය ගෙවී යාමෙන් පසුවය. මෙය අප්‍රේල් 13-28 අතර කිසියම් දිනක සිදු විය හැකිය. මේ අමාවක පෝය සිංහල අවුරුද්ද ගෙවී දින දෙක තුනක් ඇතුළත යෙදුනොත් වෙසක් පුර පසළොස්වක පෝය යෙදෙන්නේ අප්‍රේල් මාසය තුළය.

සිංහල චන්ද්‍රමාස හා ග්‍රෙගෝරියන් මාස අතර සම්බන්ධයක් නැතත් චන්ද්‍රමාස හා සූර්ය මාස අතර සම්බන්ධයක් තිබේ. කිසියම් සූර්ය මාසයක් ඇරඹීමෙන් පසු අමාවක පෝය ගෙවී පුර පෑලවිය ලබන විට අළුත් චන්ද්‍රමාසයක් ආරම්භ වේ. මේ චන්ද්‍රමාස නම් කරන්නේ මාසය ඇරඹෙන විට පැවති සූර්ය මාසයට අනුරූපවය. මේෂරවි මාසය තුළ ආරම්භ වන චන්ද්‍රමාසය වෙසක් මාසයයි.

සූර්යමාසයක් චන්ද්‍රමාසයකට වඩා දිග නිසා සෑම සූර්ය මාසයක් තුළම චන්ද්‍රමාසයක් ආරම්භ වන අතර පුර පසළොස්වක පොහොයක්ද යෙදේ. ඇතැම් සූර්ය මාස තුළ චන්ද්‍රමාස දෙකක් ඇරඹෙන අවස්ථා තිබේ. එවිට එයින් එක් මාසයක් අධි මාසයක් ලෙස නම් කෙරේ.

සූර්ය මාසයක් යනු සූර්යයා කිසියම් රාශියක ගමන් කරන කාලයයි. 2018 වසර තුළ සූර්ය මාස ගෙවෙන්නේ පහත පරිදිය.

2017 දෙසැම්බර් 16 සිට ධනුරවි මාසය
2018 ජනවාරි 14 සිට මකරරවි මාසය
2018 පෙබරවාරි 13 සිට කුම්භරවි මාසය
2018 මාර්තු 14 සිට මීනරවි මාසය
2018 අප්‍රේල් 14 සිට මේෂරවි මාසය
2018 මැයි 15 සිට වෘෂභරවි මාසය
2018 ජූනි 15 සිට මිථුනරවි මාසය
2018 ජූලි 16 සිට කටකරවි මාසය
2018 අගෝස්තු 17 සිට සිංහරවි මාසය
2018 සැප්තැම්බර් 17 සිට කන්‍යාරවි මාසය
2018 ඔක්තෝබර් 17 සිට තුලාරවි මාසය
2018 නොවැම්බර් 16 සිට වෘශ්චිකරවි මාසය
2018 දෙසැම්බර් 16 සිට ධනුරවි මාසය

සූර්ය මාස මෙසේ ගෙවී යද්දී, චන්ද්‍රමාස අවසන් කරමින් 2018 අමාවක පෝය යෙදෙන්නේ පහත දින වලදීය.

ජනවාරි 16
පෙබරවාරි 15
මාර්තු 17
අප්‍රේල් 16
මැයි 15
ජූනි 13
ජූලි 13
අගෝස්තු 11
සැප්තැම්බර් 09
ඔක්තෝබර් 09
නොවැම්බර් 07
දෙසැම්බර් 07

ජනවාරි 16 දින අමාවක පෝය එළැඹෙන්නේ ජනවාරි 14 දින මකරරවි මාසය ආරම්භ වීමෙන් පසුවය. මේ අනුව, ජනවාරි 16 දින දුරුතු මාසය අවසන් වී නවම් මාසය ආරම්භ වෙයි. ඒ නිසා, ජනවාරි 31 දිනට යෙදෙන්නේ නවම් පුර පසළොස්වක පෝයයි. එය අධි දුරුතු පෝයක් ලෙස නම් කරන්නේනම් එය වැරැද්දකි.

මේ අයුරින්ම, අප්‍රේල් 16 අමාවක පෝය යෙදෙන්නේ අප්‍රේල් 14 දින සිදුවන මේෂ සංක්‍රාන්තියෙන් පසුවය. ඒ නිසා, එදින වෙසක් මාසය ආරම්භ වෙයි. ඒ අනුව, වෙසක් පුර පසළොස්වක පෝය දිනය අප්‍රේල් 29 දිනට යෙදෙයි. මැයි 15 හා ජූනි 15 අතර ගෙවෙන වෘෂභරවි මාසය තුළ අමාවක පෝය දින දෙකක් ගෙවේ. මේ දින දෙකෙන් පසුව එළැඹෙන චන්ද්‍රමාස දෙකම පොසොන් මාසයි. සම්ප්‍රදාය අනුව යමින්, ඒ මාස දෙකෙන් එකක් අධිපොසොන් මාසය ලෙස නම් කර තිබේ.

මැයි 15 දින පොසොන් මාසය උදාවන අතර මැයි 27 පොසොන් පුර පසළොස්වක පෝයයි. ජූනි 13 අධිපොසොන් මාසය එළැඹෙන අතර එම මාසය තුළ ජූනි 27 දිනට යෙදෙන්නේ අධිපොසොන් පුර පසළොස්වක පෝයයි. මේ අනුව, ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් පෝය දින නියම කර ඇති ආකාරයේ කිසිදු වරදක් නැත.

කෙසේවුවද, අනෙකුත් බෞද්ධ රටවල වෙසක් දිනය තීරණය කරන්නේ ලංකාවේ ක්‍රමයටම නොවේ. තායිලන්තයේ වෙසක් දිනය තීරණය කරන්නේ වෙසක් පුර පසළොස්වක දින හඳ විසා (විශාඛ) නැකතට ආසන්නව පිහිටීම ගැන සැලකිලිමත් වෙමිනි. ඒ නිසා, මේෂ සංක්‍රාන්තියෙන් දින පහක් ඇතුළත අමාවක පෝයක් යෙදුනොත් ඉන් පසු එළැඹෙන මාසය වෙසක් මාසය ලෙස සලකන්නේ නැත. මේ අනුව, 2018 තායිලන්තයේ වෙසක් දිනය සමරනු ඇත්තේ මැයි 29 දිනයි. එක්සත් ජාතීන්ගේ සංගමය විසින් ජාත්‍යන්තර වෙසක් දිනය නිර්ණය කරන්නේද තායිලන්ත ක්‍රමවේදය අනුව යමිනි. ඒ නිසා, ලබන අවුරුද්දේ ලංකාවට ජාත්‍යන්තර වෙසක් දිනය සමරන්නට අවශ්‍ය වුවහොත් එය කරන්නට වෙන්නේ පොසොන් පුර පසළොස්වක පෝය දවසේය.

(Image: http://www.sundayobserver.lk/2017/04/30/spectrum/un-vesak-day-splendour-sri-lanka)

14 comments:

  1. ලංකාවේ ඉඳිද්දී නම් පෝය නිවාඩුව සඳුදා හෝ සිකුරාදා යෙදීම තමයි හොඳම දේ.
    දැන්නම් කවදා යෙදුණත් එකයි. හැම පෝය ම ඕස්ට්‍රේලියාවේ සිංහල පන්සල්වලට යෙදෙන්නේ නම් ඉරිදාටයි.

    ReplyDelete
    Replies
    1. නරකම දෙය අඟහරුවාදාට හෝ බ්‍රහස්පතින්දාට නිවාඩු වැටීමයි. මැදට ඉතුරුවෙන දවසේ කන්තෝරුවක වැඩක් කරගන්න කෙනෙක් නැහැ.

      Delete
  2. අස්ගිරියෙන්, මල්වත්තෙන් අහල බලල උන්නාන්සේලා දෙසන විදිහකට කරමු හිටං

    ReplyDelete
    Replies
    1. කාදිනල්ගේනුයි උලමාලාගෙනුයි අහන්ත වෙයි නේද? නැත්නම් සංහිදියාවට බාධා වෙයිනෙ!

      Delete
    2. අංජනම් දේවි සහ හනුමන්තාගෙන්?

      Delete
    3. මම දන්නා තරමින් පෝය කමිටුව කියා එකක් තිබෙනවා. නිවාඩු දින තීරණය කරන්නේ මේ ක්‍රමවේදය ගැන දැනුමක් තිබෙන පිරිසක් විසින්. ඇමතිවරයාගේ නමින් ගැසට් එක ප්‍රකාශ කළත් එයට ඔහුගේ සෘජු බලපෑමක් නැහැ.

      Delete
  3. ඔබ මෑතකදී මේ ගැන ‍ෙපෝස්ටුවක් දැම්මා නේද... වෙසක් පෝය අප්‍රේල් මාසට යෙදීම ගැන කියුව මතකයි... මේ වෙසක් පෝය ගැන කතාබහේදී මට ඒ පෝස්ටුව මතක් උනා... ඔබගේ මෙවන් පෝස්ටු ඉතාමත්ම වැදගත්...
    ස්තුතී ඔබට මෙවන් දේ හැමදාමත් එකතු කරනවාට...

    ReplyDelete
    Replies
    1. ඔවු, නිර්මාණි. එහි ලියූ දෙයම මේ කරුණට අදාළව වැඩිදුර පැහැදිලි කිරීමකුයි මෙහි කළේ.

      Delete
  4. හොඳ විස්තරයක්.
    නත්තල් වගේ නිශ්චිත දිනයක් වෙසක් එකට නැති එකේ ඕක අප්‍රේල් ආවය කියල අවුලක් කරගන්න ඕන නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මෙය එක් දින දර්ශනයක ඇති දිනයක් වෙනත් දින දර්ශනයකට සාපේක්ෂව බලන්න යාම නිසා ඇති වී තිබෙන ප්‍රශ්නයක්. නත්තල එකම දිනයක තිබෙන්නේ ග්‍රෙගෝරියන් කැලැන්ඩරයට සාපේක්ෂවයි. සිංහල සූර්ය දින දර්ශනය හා චන්ද්‍ර දින දර්ශනය පමණක් නෙමෙයි ඉස්ලාම් හිජ්රි දින දර්ශනය හෝ යුදෙවු දින දර්ශනය වැනි එකකට අනුව බැලුවොත් නත්තල් දවස වසරින් වසර වෙනස් වෙනවා. ඒ වගේම සිංහල චන්ද්‍ර දින දර්ශනය අනුව හැම වර්ෂයකව වෙසක් පෝය යෙදෙන්නේ එකම දවසකයි. ඒ වෙසක් මාසයේ පහළොස්වෙනි දින. එය වෙනස් වන බව පෙනෙන්නේ ග්‍රෙගෝරියන් දින දර්ශනයට සාපේක්ෂව බැලූ විටයි. ඒ වගේම, හිජ්රි දින දර්ශනය අනුව හැම වසරකම රාමසාන් උත්සව දිනය යෙදෙන්නේ එකම දින.

      Delete
  5. ලංකාවෙ ඉන්න 8 පාස් ගොබ්බ දේසපාලුවො, මොකක් හරි අල්ල ගන්නවා ආණ්ඩුවට ගහන්න. මේ වගේ දේවල් ගැන දැනුවත් වෙන්න බ්ලොග් බලන එකක්යැ. අඩු ගානෙ පොතක් කියවන්නෙවත් නෑ. උපදේශකයෙක් පත් කර ගත්තත් උනුත් ඡන්ද වැඩ කරපු හෙන්චයියො විතරනෙ.

    ReplyDelete
    Replies
    1. මොනවා හරි දෙයක් කරනවා කියල පෙන්නන්නත් ඕනැනේ. ඇතැම් මාධ්‍ය වලටත් මේවා වටිනා ප්‍රවෘත්ති.

      Delete
  6. දාපු එකේ අවුලක්නම් නැහැ. ඒත් ලින්ක් එක වැඩ කරන්නේ නෑ වගේ.

    ReplyDelete
  7. මේ නිවාඩු කතාව ගැන දැන ගත් මොහොතේම මට මතක් වුනේ මේ කරුණු ගැන ඉකොනොමැට්ටා ලිව්වා ලිපි පෙළ.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: