වෙබ් ලිපිනය:

Thursday, August 17, 2017

බූරුවා පැනගොස් දෙවසරක් ගෙවී තිබේ!


හරියටම වසර දෙකකට පෙර 2015 අගෝස්තු 17 වෙනිදා ඉකොනොමැට්ටාගේ වත්පොත් පිටුවේ පළ කළ සටහනක් ගැන වත්පොත්බොට්ටන් විසින් උදේ පාන්දරම මතක් කර දුන්නේය. මේ වත්පොත්බොට්ටන්ට හා එවැනි වෙනත් බොට්ටන්ට මේ වන විට මෑතක් වන තුරු මිනිසුන්ට පමණක් කළ හැකිව තිබුණු බොහෝ දේ කළ හැකිය. විශේෂයෙන්ම ඔවුන්ට වෙනසක් නොපෙනෙන පරිදි සාමාන්‍ය පුද්ගලයින් මෙන් මිනිසුන් සමඟ චැට් කිරීමට පමණක් නොව ඇතැම් දේ ගැන දක්ෂ ලෙස හෙට්ටු කිරීමට පවා පුළුවන්කම තිබේ. එය ඔවුන්ට කෙතරම් දක්ෂ ලෙස කළ හැකිද කියනවානම් තමන් චැට් කරන්නේ සැබෑ පුද්ගලයෙකු සමඟ නොවන බව ඔවුන් සමඟ චැට් කරන අයට හිතෙන්නේවත් නැත. තාක්ෂනය දියුණු වෙමින් පවතින වේගය අනුව තව වසර කිහිපයක් යන විට මෙවැනි හෙට්ටු කිරීම් වචන වලින්ම කරන්නටත්, සිංහලෙන් කරන්නටත් ඉඩ ලැබෙනු ඇතැයි සිතිය හැකිය.

සිය ගණුදෙනුකරුවන් සමඟ අදහස් හුවමාරු කරගැනීම සඳහා බොට්ටන් යොදාගැනීම මේ වන විටත් බොහෝ සමාගම් විසින් කරන්නකි. බැංකු, රක්ෂණ සමාගම්, ගුවන් ප්‍රවේශපත් නියෝජිතයින් හා ගුවන් සේවා සමාගම් වැනි පුළුල් පරාසයක විහිදෙන ආයතන ගණනාවක් විසින් විකිණීම, අලෙවිකරණය හා පාරිභෝගික සේවා සැපයීම වැනි කාර්යයන් ගණනාවක් සඳහා බොට්ටන් යොදාගැනීම ඉතා සීඝ්‍රයෙන් ජනප්‍රිය වන ප්‍රවණතාවයකි. 

මේ ඇතැම් ආයතනයක වෙබ් පිටුවට ගිය වහාම "ඇන්ජෙලා" වැනි සාමාන්‍ය නමක් ඇති කවුරු හෝ පැමිණ ඔබට අදාළ කරුණ ගැන චැට් කිරීමට අවශ්‍යදැයි විමසයි. ඔබ කැමතිනම් ඔබට ඇන්ජෙලා සමඟ චැට් කළ හැකිය. එහෙත්, බොහෝ විට මේ ඇන්ජෙලා ලේ, මස්, නහර වලින් හැදුණු හෝමෝ සේපියන්ස් දියණියක් නොවේ. සමාගම් විසින් ඇන්ජෙලා වැනි නම් ඇති බොට්ටන් සේවයට යොදවා ගැනීම ඉතා වේගයෙන් වර්ධනය වෙමින් පවතින අතර මේ හරහා ප්‍රතිස්ථාපනය වන්නේ ඉන්දියාව වැනි රටවල දැනට පවත්වාගෙන යන කෝල් සෙන්ටර් වලට ඇති ඉල්ලුමයි.

ෆේස්බුක් ආයතනය ඇතුළු සමාගම් සැබෑ මිනිසුන් ලෙස පෙනී සිටින හා කටයුතු කරන බොට්ටන් වැඩි දියුණු කරමින් සිටිද්දී විවිධ හේතූන් මත සාමාන්‍ය පුද්ගලයින් විසින් තමන්ගේ නීත්‍යානුකූල නම නොවන වෙනත් නම් වලින් වත්පොත් ගිණුම් අරඹති. මේ වන විට බිලියන දෙක ඉක්මවා ඇති වත්පොත් ගිණුම් ප්‍රමාණයෙන් මිලියන 83ක් පමණ මෙවැනි "ෆේක් ප්‍රොෆයිල්" බව ඇස්තමේන්තු කර තිබේ. එහෙත්, එයින් අදහස් වන්නේ ඒවා සියල්ලම වංචනික පරමාර්ථයකින් හදා ඇති වත්පොත් ගිණුම් බව නොවේ. මේ ගිණුම් බොහොමයක් ඒවා මෙහෙයවන පුද්ගලයින් විසින් හදා ඇත්තේ කිසියම් ව්‍යවසායයක් හෝ මතවාදයක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණිනි.

ඉකොනොමැට්ටාගේ බොජුන්හල ආරම්භ කළේ 2015 මැයි 18 දිනයි. එයින් දින පහකට අනතුරුව ඉකොනොමැට්ටා (ඉකොනො මැට්ටා) නමින් වත්පොත් ගිණුමක්ද අරඹනු ලැබුවේය. ඉකොනොමැට්ටා ලියන ලියුම්කරු විසින් සමාජජාලා හරහා සිංහලෙන් ලිවීම ඇරඹුවේ ඊට මාස කිහිපයකට පෙරය. ඒ සඳහා භාවිතා කළේ එක්තරා වත්පොත් පිටුවකි. එසේ කළේ ඉකොනොමැට්ටාගේ පෞද්ගලික මිතුරෙකුගේ යෝජනාවක් හා ඉල්ලීමක් අනුවය. එසේ පළකළේ ලිපි සීමිත ගණනක් පමණක් වුවත් එම ලිපි ඉකොනොමැට්ටා ලියන ලියුම්කරු විසින් පෞද්ගලිකව දැන නොසිටි බොහෝ දෙනෙකුගේද අවධානයට ලක් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස පෞද්ගලිකව නොදන්නා බොහෝ දෙනෙකුගෙන් මිතුරු ඉල්ලීම් එන්නට පටන් ගත්තේය. 

ඒ වන තුරු ඉකොනොමැට්ටා ලියන ලියුම්කරුගේ පෞද්ගලික වත්පොත් ගිණුම සම්බන්ධව ලියුම්කරු විසින් අනුගමනය කළ ප්‍රතිපත්තිය වූයේ පෞද්ගලිකව නොදන්නා අයගේ මිතුරු ඉල්ලීම් අනුමත නොකර සිටීමයි. එහෙත්, ඉහත වත්පොත් පිටුව හරහා හඳුනාගත් කිහිප දෙනෙකුගේ ඉල්ලීම් එසේ අනුමත නොකර සිටීම අසීරු විය. මේ කිහිපදෙනා තවමත් ලියුම්කරුගේ පෞද්ගලික වත්පොත් ගිණුමේ මිතුරු ලැයිස්තුවේ සිටින අතර ඔවුන් නිසා මෙතෙක් කිසිදු අසීරුතාවයක් ඇති වී නැත.

කෙසේ වුවත්, ඉහත තත්ත්වය ලියුම්කරුට සිය වත්පොත ගිණුම ගැන නැවත හිතන්නට පෙළඹුවේය. එක අතකින්, වත්පොත් ගිණුම යනු ලියුම්කරුගේ පෞද්ගලික තොරතුරු හා ඡායාරූප ඇති ඉතා පෞද්ගලික තැනකි. එමෙන්ම, එය ලියුම්කරුගේ පවුලේ අනෙකුත් සාමාජිකයින්ගේ හා සමීප මිතුරන්ගේ පෞද්ගලිකත්වයද නිරාවරණය කෙරෙන තැනකි. ඒ නිසා, එහි ඇති දෑ පොදු අවකාශයකට විවෘත කිරීමට හැකියාවක් නොතිබුණේය. අනෙක් අතට, ලියුම්කරුව පෞද්ගලිකව නොදත්, එහෙත් කවර හෝ හේතුවක් නිසා ඔහු සමඟ සම්බන්ධ වීමට කැමැත්තෙන් සිටින සැලකිය යුතු පිරිසක්ද සිටින බව පෙනෙන්නට තිබුණේය.

ඉකොනොමැට්ටාගේ බොජුන්හල ආරම්භ කළේ ලියුම්කරු ලියන දේ කියවන්නට කැමති පෞද්ගලිකව නොදන්නා අයටද ඒ සඳහා ඉඩ සැලසීම සඳහාය. ඒ අතරම, ලියුම්කරු පෞද්ගලිකව දන්නා එහෙත් මෙහි ලියන වැල්වටාරම් කියවන්නට උනන්දුවක් නැති අයද සිටින නිසා මේ වියුණුව අවශ්‍ය අයෙකුට හොයා ගන්නට ඉඩ හරිනු හැර එය පෞද්ගලික මිතුරන් අතර හෝ ප්‍රචාරණය කළේ නැත. ඒ අයුරින්ම, ඉකොනොමැට්ටා වත්පොත් ගිණුම ඇරඹුවේ මෙහි ලියන දේ ඇසුරින් ඉකොනොමැට්ටාව හඳුනාගෙන ඉකොනොමැට්ටා සමඟ සම්බන්ධ වීමට අවශ්‍යයැයි සිතන අය වෙනුවෙනි. පසුව, 2016 ආරම්භයේදී ඉකොනොමැට්ටාගේ සතපහ ආරම්භ කිරීමෙන් පසුව ඒ වෙනුවෙන්ද වත්පොත් පිටුවක් අරඹනු ලැබුවේය.

වත්පොත් ගිණුමක් විවෘත කිරීමෙන් පසුව තමන්ට සම්බන්ධ වන්නට අවශ්‍ය අය වෙත මිතුරු ඉල්ලීම් යැවීම බොහෝ දෙනෙකු විසින් කරන සාමාන්‍ය දෙයකි. පෙර කී පරිදි, ඉකොනොමැට්ටා ලියන ලියුම්කරු වෙත ඔහුගේ පෞද්ගලික වත්පොත් ගිණුමට එවැනි මිතුරු ඉල්ලීම් පැමිණි විට ඒවා අනුමත කළේ ඉල්ලීම එවූ තැනැත්තා පෞද්ගලිකව දන්නේනම් පමණි. ඉතා සීමිත අවස්ථා ගණනකදී පමණක් පොදු මිතුරු ලැයිස්තුව හා අනෙකුත් තොරතුරු පරීක්ෂා කර එවැනි ඉල්ලීම් අනුමත කර තිබේ. 

තමන්ගේ වත්පොත් මිතුරන් තෝරාගැනීමේදී අනෙකුත් බොහෝ දෙනෙකුද එසේ සැලකිලිමත් වන බව ඉකොනොමැට්ටා දන්නා නිසා ඉකොනොමැට්ටා වත්පොත් ගිණුමෙන් මෙතෙක් කිසිවෙකුටත් මිතුරු ඉල්ලීම් යවා නැත. එහෙත්, වියුණුව හරහා බ්ලොග්කරුවෙකු ලෙස ඉකොනොමැට්ටාව හඳුනාගත් අයගෙන් වරින් වර ඒ වෙත මිතුරු ඉල්ලීම් ලැබුණු අතර මෙතෙක් එසේ ලැබුණු මිතුරු ඉල්ලීම් කිසිවක් ප්‍රතික්ෂේප කරද නැත. මේ වන විට එම ගිණුම හා අදාළ මිතුරු ලැයිස්තුවේ 312 දෙනෙකු සිටිති.

ඉහත ගිණුම ඇරඹීමේදී ඉකොනොමැට්ටා විසින් ඇමරිකන් නීතිය අනුව වරදක් කර නොතිබුණු අතර ලියුම්කරුගේ අනන්‍යතාවය හඳුනාගත හැකි පෞද්ගලික තොරතුරු ෆේස්බුක් සමාගමට ලබාදී තිබුණේය. කෙසේවුවද, 2015 දෙසැම්බරයේදී පමණ ෆේස්බුක් සමාගමේ ෆේක් ප්‍රොෆයිල් හා අදාළ ප්‍රතිපත්තිය දැඩි විය. මේ අනුව, එක් පුද්ගලයෙකුට හැකියාව ඇත්තේ තමන්ගේ නීත්‍යානුකූල නමින් එක් වත්පොත් ගිණුමක් පවත්වාගෙන යාමට පමණි. 2016 වසර මුල සිට පවත්වාගෙන එන  "ඉකොනොමැට්ටාගේ සතපහ" පිටුව වැනි පිටු නඩත්තු කිරීමේ හැකියාවක් ඇතත්, වත්පොත් ගිණුමක් පවත්වාගෙන යා හැක්කේ කිසියම් පුද්ගලයෙකුගේ සැබෑ නමින් පමණි.

ඉහත ප්‍රතිපත්තිය උල්ලංඝනය කරන අයගේ වත්පොත් ගිණුම් වාර්තා කිරීමට ඕනෑම අයෙකුට හැකියාව තිබේ. ෆේක් ප්‍රොෆයිල් එකක් වීම නිසා හෝ වෙනත් හේතුවක් මත කිසියම් වත්පොත් ගිණුමක් සැලකිය යුතු පිරිසක් විසින් වාර්තා කළ විට බොහෝ විට නඩු අසා තීන්දුව දෙන්නේ වත්පොත්බොට්ටන් විසිනි. ඔවුහු මේ කටයුත්ත සෑහෙන තරම් පරීක්ෂාකාරී ලෙස හා දක්ෂ ලෙස කරති. ටික දවසකට පෙර චානුක වත්තේගම විසින් දමා තිබුණු පෝස්ට් එකක් අනුවත්, දේශකයාගේ බ්ලොග් පෝස්ට් එකක් අනුවත් පෙනී යන්නේ මේ වත්පොත්බොට්ටන්ට ෆේක් ප්‍රොෆයිල් ගැන තොරතුරු සැපයීම සඳහා ලංකාවේ ටීම් එකක් ස්වේච්ඡාවෙන් පූර්ණකාලීනව කටයුතු කරන බවයි.

"ඉකොනොමැට්ටාගේ සතපහ" වත්පොත් පිටුවත්, ඉකොනොමැට්ටා වත්පොත් ගිණුමත් ඒවා ආරම්භ කළ දින සිටම භාවිතා කළේ අදාළ වියුණු වල පළ කෙරෙන සටහන් වලට සබැඳි දැමීම සඳහාය. ඒ හැරුණු විට, වෙනත් දේ පළ කිරීමට හා වත්පොතෙහි අදහස් දැක්වීමට මේ ගිණුම හා පිටුව භාවිතා කර ඇත්තේ ඉතාම සීමිතව වන අතර ජාති, ආගම් වැනි කරුණු මත කිසිවෙකුට ගැරහීමට හෝ අසභ්‍ය දේ පළ කිරීමට එම ගිණුම් කිසිවිටෙකත් යොදාගෙන නැත. කෙසේවුවද, ඉකොනොමැට්ටා වත්පොත් පිටුවද කෙටි කාලාන්තරයක් තුළ සැලකිය යුතු පිරිසක් විසින් වාර්තා කර තිබීමෙන් පෙනෙන්නේ මෙය කිසියම් පිරිසක් විසින් සංවිධානාත්මකව කර ඇති දෙයක් බවයි.

කෙසේ වුවත්, අප වරදක් කර නැති නිසා වත්පොත්බොට්ටන් සමඟ පමණක් නොව ෆේස්බුක්හි සේවය කරන හෝමෝ සේපියන්ස්ලා සමඟත් ගණුදෙනු කර ඔවුන්ගේ උදවුවෙන් අවුලක් ලෙහා ගන්නට අපට බැරිකමක් නැත. උදාහරණයක් ලෙස, "Restaurant Economatta" ලෙස ඉංග්‍රීසියට පරිවර්තනය වන "ඉකොනොමැට්ටාගේ බොජුන්හල" වැනි නමක් ඇති ව්‍යවසායයක් ප්‍රවර්ධනය කිරීම සඳහා වත්පොත් පිටුවක් නඩත්තු කිරීම ෆේස්බුක් ප්‍රතිපත්ති වලට සම්පූර්ණයෙන්ම එකඟය. වත්පොත්බොට්ටන් විසින් ඉකොනොමැට්ටා වත්පොත් ගිණුම් පිටුව මෙන්ම පෙනෙන වත්පොත් පිටුවක් හදා ගිණුමේ මිතුරු ලැයිස්තුවේ සිටි සියලු දෙනාගේම මිත්‍රත්වයන් ප්‍රියතා (like) බවට හරවන්නට උදවු කිරීමට තරම් කාරුණික වූ නිසා දැන් ඉකොනොමැට්ටා නමින් මිතුරන් 312ක් සිටින ගිණුමක් මෙන්ම, ප්‍රියතා 312ක් සහිත එනමින්ම වූ වත්පොත් පිටුවක්ද තිබේ. 

අප විසින් අපගේ වියුණු ලිපි බෙදාහැරීම සඳහා ඉදිරියේදී ඉකොනොමැට්ටා වත්පොත් ගිණුම වෙනුවට එනමින්ම ඇති ඉකොනොමැට්ටා වත්පොත් පිටුව භාවිතා කෙරෙනු ඇති අතර පෙනුමෙන් මේ දෙකේ සැලකිය යුතු වෙනසක් නැත. ඉකොනොමැට්ටා වත්පොත් ගිණුම වත්පොත්බොට්ටන් විසින් අක්‍රිය කරනු ඇතැයි අප සිතා සිටියත්, සතියක් ගතවීමෙන් පසුවද තවමත් එයද ක්‍රියාත්මකව පවතී. 

එහෙත්, කොයි මොහොතක හෝ එම ගිණුම අක්‍රිය වීමට හෝ ෆේස්බුක් ප්‍රතිපත්ති සමඟ අනුගත වෙමින් අප විසින්ම අක්‍රිය කරනු ලැබීමට ඉඩ තිබේ. යම් හෙයකින් එසේ නොකළද, අප විසින් ඉදිරියේදී එම ගිණුම භාවිතයට නොගැනෙනු ඇත. එහෙත්, එහි මිතුරු ලැයිස්තුවේ සිටි සියල්ලන්ටම අලුත් වත්පොත් පිටුව හරහා අප සමඟ පැවති සම්බන්ධතාවය තවදුරටත් පවත්වා ගත හැකි අතර ඒ වෙනුවෙන් අමතර කිසිවක් කළ යුතු නැත.

ලිපිය ආරම්භයේදී සඳහන් කළ වත්පොත් පළ කිරීම 2015 අගෝස්තු 16 දින ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙහි පළ කෙරුණු ලිපියක් හා අදාළ වූවකි. ඒ ලිපිය මුලින්ම ලියා දැන් වසර 27ක් පමණ ගත වී ඇත. ඒ කාලයේ දිවයින ඉරිදා සංග්‍රහයේ පළවුණු එම සටහන දෙවසරකට පෙර නැවත මෙහි පළකළේ එය පළ කළ දිනට පසුදින එනම් 2015 අගෝස්තු 17 දින පැවති මහ මැතිවරණය පැවැත්වෙන්නට ආසන්නව තිබියදීය. 

මේ අනුව, ආණ්ඩුව පිහිටුවා දෙවසරක් ගතවී ඇති බවද වත්පොත්බොට්ටන්ගේ දැනුම් දීම නිසා මතක් විය. මේ අවුරුදු දෙක ඇතුළත බොහෝ දේ වෙනස් සිදුවිය. බ්ලොග්කරුවන්ගේ හා කමෙන්ට්කරුවන්ගේ ඇතැම් ක්‍රියාකාරකම් වලින් පිළිබිඹු වන්නේද පසුගිය දෙවසරක කාලය තුළ සිදුවූ මේ වෙනස්කම්ය. ඒවා ගැන කතා කිරීම අපි පසුවට තබමු.

(Image: https://www.pinterest.com/scrib9877/cakes-donkey/)

12 comments:

  1. වියුණු ලොවේ තනි මංසල අතරමං වෙලා
    දෑ හිතකාමී පාඨක හදවත් සනසා
    අතීතයේ ගිලිහී ගිය ජොලිය රැගෙන යළි වඩින්න
    ආරාධනා ආරාධනා

    නෙලූ නෙලිලි දසඅත බ්ලොග පවුරැ තලාවේ
    මැකී ගියාදෝ
    කාලයේ වෙරළේ
    මල්ලේ පොල් දිගු ගමනින් අනාත වූ දා
    ජාතිකවාදී පියුමන් යළිදු පිපේවා
    ආරාධනා ආරාධනා

    ReplyDelete
  2. මහත්මයා, ඔබගේ මෙම ලිපියේ හෙඩිම දමා ඇත්තේ 'බූරුවා පැනගොස් දෙවසරක් ගෙවී තිබේ! ' කියාය. එසේම මෙහි ඇතැම් තැනක මෙම ආණ්ඩුව පිහිටුවා වසර දෙකක් ගතව ඇති බවද කියා ඇත.

    වසර දෙකකට හමාරකට පෙර තිබුනේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලනයයි. ජනාධිපතිවරන ප්‍රතිපල නිකුත් වීගෙන එන හිමිදිරි උදැසන එතුමා අරලියගහ මන්දිරයෙන් නික්ම ගිය බව සැබෑවකි. ඒ එතුමාගේ ප්‍රජාන්තවාදී ගුණය නිසාය. එනමුත් ඔබ කියා ඇත්තේ බුරුවා පැන ගොස් වසර දෙකයි කියාය. එමගින් ව්‍යංගයෙන් ඔබ සදහන් කර ඇත්තේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන් බුරුවා බවය.

    යුද්ධය අවසන් කොට ,අධිවේගී මාර්ග, වරාය, ගුවන්තොටුපල, නෙලුම් කුලුන, නෙලුම් පොකුණ රඟහල, ගල් අගුරු බලාගාර ආදී යෝධ සංවර්ධන වැඩපිළිවෙලක් දියත් කොට දේශද්‍රෝහී කුමන්ත්‍රණකරුවන්ගේ කුමන්ත්‍රණ නිසා බලයෙන් ඉවත් ඉවත් වුවත් අපගේ සදාදරණීය නායකතුමාණන් බුරුවෙක්ට සමාන කොට අපහාස උපහාස කිරීම තරයේ හෙළ දකිමු, ඒ සම්බන්ධයෙන් අපගේ බරපතල අමනාපය මෙසේ දක්වා සිටිමු.

    ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. //එමගින් ව්‍යංගයෙන් ඔබ සදහන් කර ඇත්තේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන් බුරුවා බවය. //
      එහෙම එකක් මම හිතුවේවත් නැත. මම සඳහන් කර ඇත්තේ මගේ පරණ ලිපිය ගැනය. කණ්ණාඩි වලින් පේන්නේ තමන්ගේම මුහුණයි.

      Delete
  3. බූරුවා පැනගොස් දෙවසරක් ගෙවී තිබේ?? ඔබද බූරුවා මමද බූරුවා???

    ReplyDelete
  4. “Don't pretend to be what you're not, instead, pretend to what you want to be, it is not pretence, it is a journey to self realization.”
    ― Michael Bassey Johnson

    “I love fake people provided they are mannequins.”
    ― Pushpa Rana

    P.S.
    Econ, I hope I am not annoying you with my quote addiction here. I do read your posts but sometimes they are a bit too deep/technical for me to fully grasp and comment meaningfully, and sometimes I'm too lazy/busy to write. In those instances I quote others in the hope that they are relevant to the post. At other times I try to comment originally.

    ReplyDelete
    Replies
    1. No problem. Sometimes I search and read the background of some of your quotes and learn something new.

      Delete
    2. මා පවත්වාගෙන යන සතුටු සිතුවිලි නම් බ්ලොගයේ දාන්නේ විවිධ අය කියූ සිත දිරිගන්වන මොටිවේෂනල් වැකි.

      ප්‍රා් ජේ ගේ කමෙන්ටුවල තිබූ වැකිත් මා එහි පළ කළා.

      ඉඳලා හිටලා මටත් අදහසක් දෙකක් එනවා!!!

      Delete
  5. ඔය බොට්ටන් බොහෝ සයිට් වලදි එක පාරට මතු වෙනවා. රිචඩ්, ජේම්ස්, ඩයනා වගේ නම් තියෙන කීප දෙනෙක්ම මං ගියපු සයිට් වලදි ආවා කතාවට. මගේ බුකි ගිණුම රිපෝට් වෙච්චි වෙලේ මේ ගැන දැනුවත් වී සිටියා නම් ගොඩ දාගන්න තිබුනා. දැං පරක්කු වැඩියි. කොහොම උනත් ඔය රිපෝට් කරන අය කරන්නෙ සමාජ සේවයක්. ඒත් ඒක මගේ පැත්තෙන් බැලුවම පට්ට පාඩුවක්..

    පලි - ඔබගෙන් ලැබුන උපදෙස් වලටත් ස්තුතියි

    ReplyDelete
    Replies
    1. //කොහොම උනත් ඔය රිපෝට් කරන අය කරන්නෙ සමාජ සේවයක්.//
      ඒක ඇත්ත. මේ අවස්ථාවේදීනම් රිපෝට් කරන ගොඩක් අය තමන් අකැමැති අදහස් පළ කරන අයව සංවිධානාත්මක ලෙස රිපෝට් කරනවා විය හැකි වුවත්, එසේ තමන්ගේ අරමුණු වෙනුවෙන් කටයුතු කිරීම පවා සමාජ සේවයක්.

      Delete
  6. 'බූරුවා පැනගොස් දෙවසරක් ගෙවී තිබේ!

    රූපේ බලා සාත්තර කියන පැලියගොඩ මාර්කට් එකේ පුසා ......
    ඒ වෙනුවට ආදේශකර පත්කරමු

    ReplyDelete
  7. Bots ගැන මුලින්ම මම කියෙව්වෙ මීට අවුරුදු පහ හයකට ඉස්සෙල්ල මයිකල් ක්‍රයිටන් සහ රොබට් ප්‍රෙස්ටන්ගෙ Micro නවකථාවෙ.

    ඒ බොට්ටො හැබැයි මෘදුකාංගයක් නෙවෙයි. භෞතිකව පවතින කුඩා යන්ත්‍ර.

    Thanks Amigo,something interesting to read as usual...:)

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: