ලංකාවේ සම්ප්‍රදාය අනුව දෙසතිකින් පසු එළැඹෙන වෙසක් පසළොස්වක පෝය දිනට සම්බුද්ධ පරිනිර්වාණය සිදු වී වසර 2562කි. මේ අනුව, සම්බුද්ධ පරිනිර්වාණය සිදු වී තිබිය යුත්තේ ක්‍රිස්තු පූර්ව 543දීය. අනෙකුත් ථෙරවාද රටවල දින දසුන් අනුවද මෙය වසරකට වඩා එහා මෙහා වන්නේ නැත. එහෙත්, දැනට වඩාත්ම පිළිගත් විද්වත් මතය අනුව සම්බුද්ධ පරිනිර්වාණය සිදුව ඇත්තේ ක්‍රිස්තු පූර්ව 486 හෝ ආසන්න වසරකදීය. මෙයද විවාදිත කරුණක් වන අතර, සම්බුද්ධ පරිනිර්වාණය හා අදාළ විවිධ ඉතිහාසඥයින්ගේ ඇස්තමේන්තු සියවස් කිහිපයක කාල පරාසයක් පුරා පැතිරී ඇත.
සම්බුද්ධ පරිනිර්වාණයේ සිට ධර්මාශෝක රජුගේ අභිෂේකය දක්වා ගත වූ කාලය වර්ෂ 218ක් බව මහාවංශයේ සඳහන් වෙයි. මේ කාලය තුළ ලංකාවේ මෙන්ම මගධ දේශයේද රජවරුන් හා ඔවුන්ගේ රාජ්‍ය කාලයන් ගැන විස්තර මහා වංශයේ දෙවන, සිවුවන හා පස්වන පරිච්ඡේද වල විස්තර වේ.
"අජාසත් රජහට අට වෙනි තථාගතයන් වහන්සේ පිරිනිවී සේක. පරිනිර්වාණයෙන් පසු හෙතෙම සූවිසි හවුරුද්දක් රජ කරවීය." (දෙවන පරිච්ඡේදය)
"අජාසත් රජහු පුත්‍ර මිත්‍රද්‍රෝහී වූ උදායිභද්‍ර රජතෙම ඒ අජාසත් රජහු මරවා සොළොස් හවුරුද්දක් රජය කරවූයේ ය. උදායිභද්‍ර රජහු පුත්‍ර වූ අනුරුද්ධ කුමාර තෙම ඒ උදායිභද්‍ර රජහු මරවාද, අනුරුද්ධ රජහු පුත්‍ර වූ මුණ්ඩ කුමාර තෙම ඒ අනුරුද්ධ රජහු නසා දැයි මිත්‍රද්‍රෝහී දුර්මති වූ ඔවුහුද රාජ්‍යය කරවූහු. ඒ දෙදෙනාගේ රාජ්‍යයන්හිද අට හවුරුද්දක් ඉක්මුණාහ. මුණ්ඩ රජහු පුත්‍ර වූ පවිටු නාගදාසක තෙම පියා මරවා සූවිසි වසක් රජය කරවී. ඉක්බිත්තෙන් “මේ පිතෘ ඝාතක වංශය” යි කිපී නුවර වැස්සෝ සමඟි වූවෝ නාගදාසක රජහු පහකොට සාධුන් විසින් සම්මත කරණ ලද්දා වූ සුසුනාග යයි ප්‍රසිද්ධ වූ අමාත්‍යයකු සියල්ලන්ට හිත සිත් ඇත්තෝ රාජ්‍යයෙහි මොනවට අභිෂේක කළහ. ඒ රජ තෙම අටළොස් වසක් රජය කරවීය. උහු පුත් කාලාශෝක රජ තෙම අට විසි හවුරුද්දක් රජය කරවීය. කාලාශෝක රජහු රාජ්‍යයෙහි දස වෙනි වස ඉක්මුණ කල්හි මෙසේ ගණන් පිළිවෙළින් සර්වඥයින් වහන්සේගේ පිරිනිවී විසින් වර්ෂ සියයක් විය." (සිවුවන පරිච්ඡේදය)
"කාලාශෝක රජහුගේ පුත්‍ර වූ දස බෑ කෙනෙක් වූහ. ඔවුහු දෙවිසි හවුරුද්දක් රාජ්‍යනුශාසනා කළහ. ඒ දස බෑ රජුන්ට අනතුරුව නව නන්ද රජ දරුවෝ පිළිවෙළින් වූහ. ඔවුහුද දෙවිසි හවුරුද්දක් රාජ්‍යනුශාසනා කළහ.
ඉක්බිත්තෙන් ඒ චාණක්‍ය නම් බ්‍රාහ්මණ තෙම නන්ද රජුන් අතුරෙන් නව වෙනි වූ ධනනන්ද රජහු චණ්ඩ ක්‍රෝධයෙන් මරවා මෞර්ය නම් ක්ෂත්‍රියන්ගේ වංශයෙහි උපන්නා වූ ශ්‍රීධර වූ චන්ද්‍රගුප්ත යයි ප්‍රසිද්ධ වූ රාජ කුමාරයා මුළු දඹදිව රාජ්‍යයෙහි අභිෂේක කෙළේය, ඒ චන්ද්‍රගුප්ත රජතෙම සූවිසි හවුරුද්දක් රජය කෙළේය. ඔහු පිත් බින්දුසාර ක්ෂත්‍රිය තෙම අට විසි හවුරුද්දක් රජය කෙළේය. බින්දුසාර රජහුගේ පුත්‍රයෝ තුමූ ප්‍රසිද්ධ වූ එකසිය එක දෙනෙක් වුහ. ඔවුන් අතුරෙන් ධර්මාශෝක කුමාර තෙම පුණ්‍ය තේජෝ බල සමෘද්ධි සම්පන්න වූයේය. හෙතෙම භින්න මාතෘක වූ එකුන්සියයක් සහෝදරයන් මරවා මුළු දඹදිව එක රාජ්‍යයට පැමිණියේ ය. සර්වඥයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ඒ රජහු අභිෂේකයෙන් පූර්වයෙහි වර්ෂ දෙසිය අටළොස මෙසේ දතයුතු. මහා යසස් ඇත්තේ සිවු වසකින් එක රාජ්‍යයට පැමිණ පාඨලීපුත්‍ර නගරයෙහි තමන් අභිෂේක කෙළේය." (පස්වන පරිච්ඡේදය)
මහා වංශයට අනුව සම්බුද්ධ පරිනිර්වාණයේ සිට ධර්මාශෝක රජුගේ අභිෂේකය දක්වා වසර 218ක කාලය තුළ මගධ දේශයේ රාජ්‍ය පාලනය සිදු වී ඇත්තේ පහත පරිදිය.
අජාසත්ගේ අටවන වර්ෂයේ සිට කාලය වසර 24 යි.
උදායිභද්‍ර වසර 16 යි.
අනුරුද්ධ හා මුණ්ඩ වසර 8 යි.
නාගදාසක වසර 24 යි.
සුසුනාග වසර 18 යි.
කාලාශෝක වසර 28 යි.
කාලාශෝකගේ පුතුන් දසදෙනා වසර 22 යි.
නවනන්ද රජදරුවෝ වසර 22 යි.
චන්ද්‍රගුප්ත වසර 24 යි.
බින්දුසාර වසර 28 යි.
ධර්මාශෝකගේ අභිෂේකය දක්වා කාලය වසර 4 යි.
එකතුව වසර 218 යි.
මේ අනුව, අර්ථශාස්ත්‍ර නම් වූ ග්‍රන්ථයේ කතුවරයාද වන කෞටිල්‍ය හෙවත් චානක්‍යගේ උදවුවෙන් ධනනන්ද රජු මරවා ධර්මාශෝක රජුගේ පියාගේ පියා වූ චන්ද්‍රගුප්ත මෞර්යයන් විසින් මෞර්ය රාජ වංශය අරඹන්නේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 162 කට පසුවය. ධර්මාශෝක රජුගේ පියා වූ බින්දුසාර රාජ්‍යත්වයට පත්වන්නේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 186 කට පසුවය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 214 කට පසුව අශෝක රාජ්‍ය පාලනය අරඹන නමුත් කාලිංග යුද්ධය අවසන් කිරීම සඳහා සිවු වසරක් ගතවන බැවින් අශෝකගේ අභිෂේකය සිදුවන්නේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 214 කට පසුවය.
සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ වසරේ සිට මගධ රාජ්‍යයේ ඉතිහාසයට සමාන්තරව ලංකාවේ ඉතිහාසයද මහාවංශය විස්තර කරයි. ඒ අනුව, මහින්දාගමනය සිදු වී ඇත්තේ ධර්මාශෝක රජුගේ අභිෂේකයෙන් වසර 18කට පසුවය.
පෙර පැවති මූලාශ්‍ර අනුව යමින් වුවත්, මහාවංශය ලියැවී ඇත්තේ මහින්දාගමනයෙන් සියවස් නවයකට පමණ පසුවය. ඒ නිසා, ලංකාවේ මෙන්ම මගධ රාජ්‍යයේද ඉතිහාසය පිළිබඳව මහා වංශයේ ඇති කරුණු සියල්ලම නිවැරදි නොවන්නට පුළුවන. එහෙත්, එහි සඳහන් බොහෝ මූලික කරුණු වෙනත් මූලාශ්‍ර වලින්ද තහවුරු වෙයි.
තමන්ගේ දරුවන් ලංකාවට එවූ බව කිසිදු තැනක සඳහන් නොකරන නමුත් ලංකාව ඇතුළු ප්‍රත්‍යන්ත රටවල් ගණනාවක බුද්ධාගම පැතිරවීම පිණිස අශෝකගේ නියෝජිතයින්ව යවා ඇති බව අශෝක සෙල්ලිපි හා ටැම්ලිපි සාක්ෂි දරයි. කාලයත් සමඟ වෙනස් නොවන නිසා සෙල්ලිපි හා ටැම්ලිපි ඉතිහාසය පිළිබඳ වඩාත්ම විශ්වානීය මූලාශ්‍ර ලෙස සැලකිය හැකිය.
අශෝකගේ සමකාලීනයෙකු බව මහා වංශය ඇතුළු ශ්‍රී ලාංකික මූලාශ්‍ර වලින් තහවුරු කරන දේවානම්පියතිස්ස ගැන හෝ වත්මන් ඉන්දියාවේ පැවති වෙනත් රාජ්‍ය වල එවකට සිටි පාලකයින් පිළිබඳ වැඩි විස්තරයක් අශෝක සෙල්ලිපි වල සඳහන්ව නැතත් මහා ඇලෙක්සැන්ඩර්ගෙන් පසුව ඔහුගේ අධිරාජ්‍යය බෙදාගත් ඇතැම් පාලකයින් ගැන තොරතුරු මේ සෙල්ලිපි වල සඳහන්ව තිබේ. පහතින් ඇත්තේ 13වන අශෝක සෙල්ලිපියේ කොටසකි. මේ සෙල්ලිපියේ මගධ ප්‍රාකෘත පිටපත් වලට අමතරව ග්‍රීක් පිටපතක්ද තිබේ.
"යේ ධම්මවිජයේ සේ ච පුණ ලධේ දේවානම්පියසාහිද ච සවේසු ච අතේසු ආ සාසුපි යෝජන සතේසු අත අතියෝගේ නාම යෝනලාජා පලංච න අන්තියෝගෙන චතාලි ලාජනේ තුලමායේ නාම අන්තෙකිනේ නාම මකාය නාම අලික්යසුදලේ නාම නිචම් චෝල පාණ්ඩිය අවං තම්බපණ්ණිය ඒව මේව."
දෙවියන්ට ප්‍රිය වූවහු ඔහුගේ ධර්ම විජය කර ඇති ප්‍රත්‍යන්ත ජනපද අතර යොදුන් හයසීයක් ඈතින් පිහිටි අන්තියෝග යවන රජුගේ රටද, අන්තියෝගගේ රාජ්‍යයෙන් ඔබ්බෙහි පිහිටි තුලමා, අන්තෙකින, මකා, අලික්සුදල යන රජුන්ගේ රාජ්‍යයන්ද එමෙන්ම චෝල පාණ්ඩය මෙන්ම තම්බපණ්ණිය පවා වේ.
ග්‍රීක හා රෝම මූලාශ්‍ර වලින් මෙහි සඳහන් අන්තියෝග, තුලමා, අන්තෙකින, මකා හා අලික්සුදල හඳුනාගත හැකි අතර ඔවුන්ගේ රාජ්‍ය කාලයන්ද සෑහෙන තරම් නිවැරදිව තහවුරු කරගත හැකිය.
අන්තියෝග (Antiochus II Theos of Syria 261–246 BC)
තුලමා (Ptolemy II Philadelphos of Egypt 285–247 BC)
අන්තෙකින (Antigonus II Gonatas of Macedon 278–239 BC)
මකා (Magas of Cyrene 276-250 BC)
අලික්සුදල (Alexander II of Epirus 272–258 BC)
ඉහත කරුණු සඳහන් සෙල්ලිපි ලියා ඇත්තේ මහින්දාගමනයෙන් පසුව බව පැහැදිලිය. අශෝක රජුගේ අභිෂේකයේ සිට මහින්දාගමනය දක්වා ගත වූ කාලය මහා වංශයේ නිවැරදිව සටහන්ව ඇතැයි සැලකූ විට ඉහත සෙල්ල්ලිපියේ සඳහන් රජවරුන් අශෝක රජුගේ සමකාලීනයින් වීමටනම් අශෝක රජුගේ අභිෂේකය ක්‍රිස්තු පූර්ව 268-269 ආසන්න වසරක සිදුව තිබිය යුතුය.
අශෝකගේ සීයා වූ චන්ද්‍රගුප්ත මයුරගේ කාලයේ තානාපතිවරයෙකු ලෙස කටයුතු කර ඇති, ඉන්දිකා ග්‍රන්ථයේ රචකයාද වන, මිගස්තිනීස්ගේ වාර්තා සමඟ මෙන්ම මිගස්තිනීස්ගෙන් පසු අශෝකගේ පියා වූ බින්දුසාරගේ කාලයේ තානාපතිවරයෙකු ලෙස කටයුතු කළේයැයි සැලකෙන දීමකස්ගේ වාර්තා සමඟද ඉහත කාල නිර්ණය ගැලපේ. ඒ අනුව, අශෝකගේ රාජ්‍යාභිෂේකය සිදු වූ කාලය පිළිබඳව සෑහෙන තරමේ එකඟත්වයක් තිබේ.
අශෝකගේ අභිෂේකයේ සිට සම්බුද්ධ පරිනිර්වාණය දක්වා කාලය ගණනය කිරීම සඳහා සාමාන්‍යයෙන් මූලාශ්‍ර කරගන්නේ මහා වංශයයි. මහා වංශයට අනුව මෙම කාලය වසර 218ක් බැවින් සම්බුද්ධ පරිනිර්වාණය ක්‍රිස්තු පූර්ව 486 හෝ ආසන්න වසරක සිදු වූ සේ සැලකේ. ගෞතම බුදුන් වසර අසූවක් ජීවත් වූ බවද අවිවාදිත කරුණකි. මේ අනුව, සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදුව තිබෙන්නේ ක්‍රිස්තු පූර්ව 566 හෝ ආසන්න වසරක විය යුතු අතර බුද්ධත්වය ලැබූ වසර ක්‍රිස්තු පූර්ව 531 හෝ ආසන්න වසරක් විය යුතුය.
ඉහත පදනම මත මුලින්ම විල්හෙල්ම් ගයිගර් විසින් ඇස්තමේන්තු කර ඇති පරිදි සම්බුද්ධ පරිනිර්වාණය සිදු වී තිබෙන්නේ ක්‍රිස්තු පූර්ව 483දී වන අතර හර්මන් ජැකෝබිට අනුව ක්‍රිස්තු පූර්ව 484දීය. මේ කාල නිර්ණය තහවුරු කරන තවත් සාක්ෂියක් වන්නේ චීන තිත් වාර්තාය. බුද්ධඝෝෂ හිමියන් විසින් සිංහලෙන් පාලියට පරිවර්තනය කළ සමන්තපාසාදිකාව පසුව චීන බසට පරිවර්තනය කෙරුණු අතර මේ කටයුත්ත සිදු වන විට සෑම වස් කාලයක් අවසානයේදීම පොතේ අගට තිතක් තැබීමේ පුරුද්දක් තිබී ඇත. මේ පුරුද්දේ ආරම්භය සම්බුද්ධ පරිනිර්වාණය බව විශ්වාස කෙරේ. ෆෙයි චැන්ග් ෆෑන් විසින් ක්‍රිස්තු වර්ෂ 597දී ලි තායි සන් පෝ චි ග්‍රන්ථයෙහි සටහන් කර ඇති පරිදි ක්‍රිස්තු වර්ෂ 489 වන විට මෙහි තිත් 975ක් සටහන්ව තිබී ඇත. ඒ අනුව, සම්බුද්ධ පරිනිර්වාණය සිදුව තිබෙන්නේ ක්‍රිස්තු පූර්ව 486දීය. කෙසේ වුවත්, මේ "පිළිගත්" කතාවේත් ගැටළු සහගත තැන් ගණනාවක්ම තිබේ. (ලිපිය දිග්ගැසෙන නිසා මේ කරුණු සාකච්ඡා කරන්නේ නැත.)
ථෙරවාද සම්ප්‍රදාය සැලකුවහොත් සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදුව තිබෙන්නේ ක්‍රිස්තු පූර්ව 623දී වන අතර බුද්ධත්වය ලැබූ වසර ක්‍රිස්තු පූර්ව 588 විය යුතුය. මේ අනුව දැනට වඩා පිළිගත් කාල නිර්ණය හා ථෙරවාද සම්ප්‍රදාය අතර වසර 57ක පමණ වෙනසක් තිබේ. දොන් මාර්ටිනෝ ද සිල්වා වික්‍රමසිංහ විසින් මේ වෙනසට හේතුව එකොළොස්වන සියවසේදී ලංකාවේ බුද්ධ වර්ෂ ගණනයේ සිදු වූ පටලැවිල්ලක් බවට අදහසක් ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව ඊට පෙර භාවිතා වී ඇති බුද්ධ වර්ෂ ආරම්භ වී තිබෙන්නේ ක්‍රිස්තු පූර්ව 483 සිට බව කියා ඇත. එහෙත්, සෙනරත් පරණවිතාන විසින් එම අදහස පිළිගෙන නැති අතර දැනට පවතින සම්ප්‍රදාය වෙනුවෙන් දිගටම පෙනී සිට ඇත.
ඉහත කාල නිර්ණය පිළිබඳව සැක පහළ කරන තවත් ඇතැම් අය පෙන්වා දෙන්නේ චීන තිත් වාර්තා වල සිට තායිලන්ත හා බුරුම සම්ප්‍රදායයන් දක්වා සියලුම මූලාශ්‍ර වල ආරම්භය ලංකාවේ වංශ කතා බවයි. උයි හකුජුට අනුව සම්බුද්ධ පරිනිර්වාණයේ සිට අශෝක අභිෂේකය දක්වා කාලය වසර 218ක් විය නොහැකි අතර එය වසර 116ක් විය යුතුය. මේ අනුව සම්බුද්ධ පරිනිර්වාණය සිදුව ඇත්තේ ක්‍රිස්තු පූර්ව 386දීය. එහෙත් හකුජු විසින් අශෝක අභිෂේකය ක්‍රිස්තු පූර්ව 268දී නොව 271දී සිදුව ඇති බව සලකා ඇති නිසා නකමුරා හජීමේ විසින් මෙය ක්‍රිස්තු පූර්ව 383 ලෙස ගණනය කර ඇත. සම්බුද්ධ පරිනිර්වාණය ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේදී පමණ සිදු වී ඇති බවට වෙනත් බොහෝ විද්වතුන් විසින් පසුකාලීනවද අදහස් දක්වා තිබේ.
රොබට් කනින්හැම් ඇතුළු පිරිසක් විසින් ඉතා මෑතකදී ලුම්බිණියේ කළ කැණීම් වලින් සොයාගත් තොරතුරු අනුව බුද්ධ කාලය පිළිබඳව නැවත සිතා බලන්නට ඉඩ සැලසී තිබේ. මෙහිදී, ක්‍රිස්තු පූර්ව තෙවන සියවසේදී අශෝක විසින් සිදු කළ ඉදිකිරීම් වලට යටින් වඩා පැරණි ඉදිකිරීම් සොයා ගන්නට ඔවුන් සමත්ව තිබෙන අතර කාබන් කාල නිර්ණය අනුව මේ ඉදිකිරීම් අවම වශයෙන් ක්‍රිස්තු පූර්ව හයවන සියවස තරම්වත් පැරණිය. මේ සොයා ගැනීම ගැලපෙන්නේ ථෙරවාද සම්ප්‍රදායයේ එන කාල නිර්ණය සමඟය.
(මතු සම්බන්ධයි)
"The pre-Mauryan timber structure appears to be an ancient tree shrine. Radiocarbon dating of charcoal from the wooden postholes and optically stimulated luminescence dating of elements in the soil suggests human activity began at Lumbini around 1000 BCE. The site, states Coningham, may be a Buddhist monument from 6th-century BCE. Other scholars state that the excavations revealed nothing that is Buddhist, and they only confirm that the site predates the Buddha."
ReplyDeletehttps://en.wikipedia.org/wiki/Lumbini
"මෞර්ය යුගයට පෙර ඉදි කර ඇති ලී ගොඩනැගිල්ල පෞරාණික වෘක්ෂ වන්දනාව සිදු කළ ස්ථානයක හැඩය ගනී. ලී ගොඩනැගිල්ල යටින් ලබාගත් අඟුරු සහ පස් කාබන් කාල නීර්ණයට හා තවත් කාල නීර්ණ ක්‍රමයකට අනුව (optically stimulated luminescence dating) පරීක්ෂා කිරීමෙන් පසු ලුම්බිණියේ මිනිස් ක්‍රියාකාරකම්වල ඉතිහාසය ක්‍රි. පූ. 1000 පමණ කාලයට ගෙනයන්න සාක්ෂි ලැබී ඇත. කනිංහැම්ට අනුව මෙය ඇතැම්විට ක්‍රි. පූ. 6 වැනි සියවසේ සිට බෞද්ධ ස්මාරකයක් විය හැකි වුවත් අනෙක් විද්වතුන්ට අනුව මෙහි කැණීම්වලින් බෞද්ධයන්ට අදාළ කිසිදු සොයාගැනීමක් සිදුවී නැහැ. ඔවුන්ට ස්ථිරවම කිව හැක්කේ මේ භූමි භාගයේ ඉතිහාසය බුදු රදුන්ට වඩා පැරණි බව පමණයි."
බොහෝ පුරා විද්‍යාඥයන්ගේ මතය නම් අශෝකට සහ සිදුහත් උපතටත් අවුරුදු 400 කට පමණ පෙර සිට ලුම්බිණිය බොහෝ දුරට ප්‍රාග්-බෞද්ධ වෘක්‍ෂ වන්දනාව සිදු කරපු තැනක් කියලා. බෞද්ධයන් අතර සල් ගස් වලට වැඳීමක් කිසිදාක තිබුනේ නැහැ.
පුරා විද්‍යා සාධක තිබෙන්නේ මෙහෙම
ක්‍රි. පූ. 1000 පමණ - ලුම්බිණි ප්‍රදේශයේ මිනිස් ක්‍රියාකාරකම්, ප්‍රාග්-බෞද්ධ වෘක්‍ෂ වන්දනාව
ක්‍රි. පූ. 300 පමණ - අශෝක රජුගේ විය හැකි ඉදිකිරීම්
ක්‍රි. පූ. 6 වැනි සියවසට ගොනු කළ හැකි පුරා විද්‍යා සාධක එකක්වත් මෙහි සොයාගෙන නැහැ. ඉතින් පැහැදිලිවම මේ සොයාගැනීම් ථෙරවාද බුද්ධ වර්ෂ සම්ප්‍රදායට ගැලපෙන්න හැකියාවක් කොහෙත්ම නැහැ.
මේ ලිපියේ අසංගත බොහෝ තැන් මගේ කෝණයෙන් දැක්කත් ඒ ගැන අදහස් දැක්වූවේ නැත්තේ ඔබේ ලිපිවලට නිතර අදහස් දැක්වීම ඔබට කරදරයක්ද දන්නේ නැති නිසා සහ විවේකයක් නැති නිසා.
ඔබ විකිපීඩියා වලින් උපුටා පරිවර්තනය කර ඇති පහත කොටසට එකඟයි.
Delete"කනිංහැම්ට අනුව මෙය ඇතැම්විට ක්‍රි. පූ. 6 වැනි සියවසේ සිට බෞද්ධ ස්මාරකයක් විය හැකි වුවත් අනෙක් විද්වතුන්ට අනුව මෙහි කැණීම්වලින් බෞද්ධයන්ට අදාළ කිසිදු සොයාගැනීමක් සිදුවී නැහැ."
පුරා විද්‍යා සාධක වලින් කිව හැක්කේ සීමිත දෙයක් පමණයි. මෙය අනුරාධපුරයේ මැටි බඳුන් ආදියටත් අදාළයි. වෙනත් ඓතිහාසික සාධක සමඟ ගැලපෙනවද යන්න වැදගත් වන්නේ ඒ නිසයි.
//ක්‍රි. පූ. 6 වැනි සියවසට ගොනු කළ හැකි පුරා විද්‍යා සාධක එකක්වත් මෙහි සොයාගෙන නැහැ.//
විකිපීඩියා දැනුම් මූලාශ්‍රයක් ලෙස උපකාරී කරගත හැකි වුවත් එය මෙවැනි දේ සඳහා අවශ්‍ය තරම් නිවැරදි මූලාශ්‍රයක් නොවෙයි. කනිංහැම් ඇතුළු පිරිසගේ පර්යේෂණ පත්‍රිකාව අනුව කාල නිර්ණය මෙසේයි.
මිනිස් ක්‍රියාකාරකම් නැති ස්වභාවික පස් ස්ථරය - ක්‍රිස්තු පූර්ව 1681-1521
මිනිස් ක්‍රියාකාරකම් පෙන්වන පැරණිම පස් ස්ථරය - ක්‍රිස්තු පූර්ව 522-788
පළමු ලී කණු පාදම - ක්‍රිස්තු පූර්ව 546-799
දෙවන ලී කණු පාදම - ක්‍රිස්තු පූර්ව 548-801
කාබන් කාල නිර්ණය මඟින් යම් දෙයක කාල නිර්ණය කළ හැක්කේ විශාල මිනුම් වරදක් සහිතවයි. කාලය වැඩි වෙද්දී මිනුම් වරදත් වැඩි වෙනවා. ඉහතින් තිබෙන සීමාවන් ඇතුළේ කාලයක් වෙන්න 95%ක සම්භාවිතාවකුත් එසේ නොවන්න 5%ක සම්භාවිතාවකුත් තිබෙන බව පමණයි මේ කාල නිර්ණයෙන් කියන්නේ. කාබන් කාල නිර්ණයේ මිනුම් වරද (confidence interval) සමමිතික (normally distributed) එකක් නෙමෙයි. ඒ නිසා, මේ සීමාව ඇතුළත නියම වර්ෂය වෙන්න වැඩිපුරම ඉඩ තිබෙන වර්ෂය තිබෙන්නේ මෙහි ළඟ අන්තයට ආසන්නව. උදාහරණයක් ලෙස 522-788 සීමාවේ මැද ක්‍රිස්තු පූර්ව 655 නෙමෙයි ක්‍රිස්තු පූර්ව 641. මිනුම් වරද එහි සිට දෙපැත්තටම 50% බැගින්. ඒ නිසා, දැනට තිබෙන සාධක අනුව ක්‍රිස්තු පූර්ව 6වන සියවසට ගොනු කිරීමේ වරදක් නැහැ. එහෙත් එය සියවස් දෙකක් පමණ දෙපැත්තෙන් කොයි පැත්තකට හෝ එහා මෙහා විය හැකියි. මෙය අනුරාධපුරයේ මැටි බඳුන් වල කාල නිර්ණයටත් එලෙසම අදාළයි.
//මේ ලිපියේ අසංගත බොහෝ තැන් මගේ කෝණයෙන් දැක්කත් ඒ ගැන අදහස් දැක්වූවේ නැත්තේ ඔබේ ලිපිවලට නිතර අදහස් දැක්වීම ඔබට කරදරයක්ද දන්නේ නැති නිසා සහ විවේකයක් නැති නිසා.//
ඔබට විවේක තිබෙන පරිදි අදහස් දැක්වීම කිසිසේත්ම කරදරයක් සේ මා සලකන්නේ නැහැ. මා ලියන දේ එලෙසම පිළිනොගෙන වෙනස් අදහස් පළකරන අය නිසයි මට හිතන්න යමක් ඉතිරි වෙන්නේ. අනිත් එක මම දන්නා සුළු දෙයට වඩා නොදන්නා දේ ඉතා විශාලයි.
//විකිපීඩියා දැනුම් මූලාශ්‍රයක් ලෙස උපකාරී කරගත හැකි වුවත් එය මෙවැනි දේ සඳහා අවශ්‍ය තරම් නිවැරදි මූලාශ්‍රයක් නොවෙයි.//
Deleteමා විකිපීඩියාව උපුටන කොටම මේ කියමන ඔබෙන් බලාපොරොත්තු වුණා. මා කම්මැලි නොවී විකිපීඩියාවේම පහලින් ඇති සිටෙෂන්ස් වල සබැඳි පමණක් යෙදුවා නම් ඔබට මෙසේ කියන්න හැකියාවක් නැති වෙනවා.
කනිංහැම් ඇතුළු පිරිසගේ පර්යේෂණ පත්‍රිකාව මා අධ්‍යයනය කර නැහැ. එහි මිනුම් වරදක් ඇතුව හෝ ක්‍රි. පූ. 6 වැනි සියවසට ගොනු කළ හැකි කරුණු තිබෙන බව ඔබෙන් දැනගත්තා
අනුරපුර මැටි බඳුන් වලට අමතරව පූර්ව බ්‍රාහ්මී අක්ෂර සෙල්ලිපි ලංකාවේ නන්දෙසින්ම හමු වී තිබෙනවා. ඒ සියල්ලේ කාල නීර්ණයන් ගැන නම් දන්නේ නැහැ. නමුත් මිනුම් වරදක් සහිතව හෝ එම අක්ෂරත් අනුරපුර මැටි බඳුන්වල අක්ෂරත් අශෝක යුගයට වඩා පැරණි වීමේ සම්භාවිතාව 99% කට වඩා වැඩි බවක් තහවුරු කෙරෙන ප්‍රකාශ සිරාන් දැරණියගල වැනි පුරා විද්‍යාඥයන් ඉදිරිපත් කර ඇති බව මගේ අවබෝධයයි.
//ඔබ විකිපීඩියා වලින් උපුටා පරිවර්තනය කර ඇති පහත කොටසට එකඟයි.
"කනිංහැම්ට අනුව මෙය ඇතැම්විට ක්‍රි. පූ. 6 වැනි සියවසේ සිට බෞද්ධ ස්මාරකයක් විය හැකි වුවත් අනෙක් විද්වතුන්ට අනුව මෙහි කැණීම්වලින් බෞද්ධයන්ට අදාළ කිසිදු සොයාගැනීමක් සිදුවී නැහැ."//
ඉතින් මේ සොයාගැනීම් ථෙරවාද බුද්ධ වර්ෂ සම්ප්‍රදායට ගැලපෙන්න හැකියාවක් නැති බවට මා අදහස් දක්වා තිබීම සාධාරණ බවත් එය අභියෝගයට ලක්වී නැති බවත් සිතනවා.
//අනුරපුර මැටි බඳුන් වලට අමතරව පූර්ව බ්‍රාහ්මී අක්ෂර සෙල්ලිපි ලංකාවේ නන්දෙසින්ම හමු වී තිබෙනවා. ඒ සියල්ලේ කාල නීර්ණයන් ගැන නම් දන්නේ නැහැ. නමුත් මිනුම් වරදක් සහිතව හෝ එම අක්ෂරත් අනුරපුර මැටි බඳුන්වල අක්ෂරත් අශෝක යුගයට වඩා පැරණි වීමේ සම්භාවිතාව 99% කට වඩා වැඩි බවක් තහවුරු කෙරෙන ප්‍රකාශ සිරාන් දැරණියගල වැනි පුරා විද්‍යාඥයන් ඉදිරිපත් කර ඇති බව මගේ අවබෝධයයි.//
Deleteඅනුරාධපුර මැටි බඳුන් වලිනුත් විශාල ප්‍රමාණයක් තෙවන සියවසට ආසන්න කාලයකට අයත් සේ කාල නිර්ණය කළ ඒවා. වඩා පැරණි ඒවායින් කිහිපයක පමණයි බ්‍රාහ්මී අක්ෂර තියෙන්නේ. වඩා පැරණි බඳුන් බොහොමයක තිබෙන්නේ අක්ෂර නොවන පූර්ව බ්‍රාහ්මී සංකේත. අකුරු තියෙන ඒවායේත් බොහෝ විට හමු වී තිබෙන්නේ තනි අකුරු හෝ අකුරු තුන හතරක වචන පමණයි. මේවා මත ලොකු නිගමන වලට පැමිණීම අසීරු වන්නේ ඒ නිසයි. මෙය ජිග්සෝ ප්‍රහේලිකාවක එක කෑල්ලක් හමු වීමට සමානයි. "පූර්ව බ්‍රාහ්මී අක්ෂර සහිත සෙල්ලිපි" ගැන ගොඩක් අය කතා කරනවා. මේ ඉරිදා ලක්බිමේත් එවැනි කතාවක් තිබෙනවා. එහෙත්, බැලූ බැල්මටම මේ කතා වල තිබෙන අසංගත බව පෙනෙනවා. ඉන්දියානු සන්දර්භයේ පූර්ව බ්‍රාහ්මී අක්ෂර ලෙස හඳුන්වන්නේ බ්‍රාහ්මී අක්ෂර භාවිතයට පෙර භාවිතා වුනු ඉන්දු-නිම්න ශිෂ්ඨාචාරයේ අක්ෂර වැනි වෙනත් අකුරු වර්ග වලට. මා දන්නා තරමින් ලංකාවේ බ්‍රාහ්මී අක්ෂර වලට වඩා පැරණි අක්ෂර ලෙස හඳුනාගත හැකි වෙනත් කිසිවක් හමු වී නැහැ. ඒ නිසා මට අනුවනම් මේ සියල්ල බ්‍රාහ්මී අක්ෂර. කාබනික ද්‍රව්‍ය අඩංගු නැති සෙල්ලිපි හෝ ගුහා වල ඇති අකුරු කාබන් කාල නිර්ණය කිරීමේ හැකියාවක් නැහැ. ඒවා කාල නිර්ණය කරන්නේ ඒවායේ ඇති තොරතුරු හා අක්ෂර පරිණාමය වී ඇති තරම අනුවයි. සල්ගහවත්තේ බ්‍රාහ්මී අකුරු පැරණිම අකුරු ලෙස සැලකීමේ පදනම වන්නේ මේ ගැන දැරණියගල විසින් හා කනිංහැම් විසින් පර්යේෂණ පත්‍රිකා පළ කර පිළිගැනීමට ලක් වී තිබීම මතයි. ඒ තරමට හෝ ආසන්නව හෝ ඇතැම් විට තරමක් වඩා පැරණි දකුණු ඉන්දීය බ්‍රාහ්මී අක්ෂර ගැන ඇතැම් දකුණු ඉන්දියානුවන් කතා කරනවා. ඒ වගේම ලංකාවේ වෙනත් තැන් ගැනත් ඇතැම් අය කතා කරනවා. මෙසේ කතා කළ පමණින්ම ඒවා පිළිගැනීම අසීරුයි. අලුත් සොයා ගැනීමක් පර්යේෂණ පත්‍රිකාවක පළ කිරීම කලක් ගතවන හා අසීරු දෙයක් නිසා ශිරාන් දැරණියගල වැනි කෙනෙක් කියන දෙයක් අහක දමන්න බැරිවුණත් එවැනි අය සමඟ සාකච්ඡා කර පොදු මාධ්‍ය වල වාර්තා කරන අය වැරදි අර්ථකතන දීම සුලභ දෙයක්. කොහොම වුනත් මේ ගැන මා නොදන්නා වැඩි දෙයක් තියෙනවනම් දැනගන්න මම කැමතියි. අලුතින් දැනගන්නා කරුණු අනුව වෙනස් වන මත මිස වෙනස් නොවන ස්ථිර මත මට නැහැ. ඒ නිසා ශිරාන් දැරණියගල ඔබ ලියා ඇති දෙයට ආසන්න අර්ථයක් දෙන දෙයක් කියා තිබෙන තැනක් ඇත්නම් දැනගන්න මම කැමතියි.
//ඉතින් මේ සොයාගැනීම් ථෙරවාද බුද්ධ වර්ෂ සම්ප්‍රදායට ගැලපෙන්න හැකියාවක් නැති බවට මා අදහස් දක්වා තිබීම සාධාරණ බවත් එය අභියෝගයට ලක්වී නැති බවත්//
මේ කරුණ හා අදාළව පුළුල් පරාසයක පැතිරුණු මත තිබෙන බව පමණයි මම මෙහි කියා තිබෙන්නේ. ඒවායිනුත් බොහෝ දුරට පිළිගන්නා මත පමණයි මෙහි සඳහන්ව තිබෙන්නේ. බුදුන් ජීවත් වුනේ ක්‍රිස්තු පූර්ව 2400දී පමණ තරම් පැරණි කාලයක කියන අය මෙන්ම ක්‍රිස්තු පූර්ව 3වන සියවස තරම් මෑතකදී කියන අයත් ඉන්නවා. සම්බුද්ධ පරිනිර්වාණය ක්‍රිස්තු පූර්ව 400-600 සීමාවෙන් පිටත බව මා පෞද්ගලිකව නොසිතන නමුත් එම පරාසයේ යම් නිශ්චිත වර්ෂයක් සමඟ ස්ථිර ලෙසම සම්බන්ධ කර සිතීමේ හැකියාවක් මට නැහැ. එහිදී, ථෙරවාද බුද්ධ වර්ෂ සම්ප්‍රදායට ගැලපෙන සාක්ෂි ලෙස යාන්තමින් හෝ හමුවන්නේ මෙය නිසයි ඒ ගැන කරුණු ඉදිරිපත් කළේ. එහි ඔබ කියන ගැටළු තිබෙනවා. එහෙත් මෙවැනි දේ suggestive evidence සේ සැලකිය හැකියි. එනම් කිසිදු සහතිකයක් නැතත් කනින්හැම් විසින් කර ඇති පරිදි ඒ මත පදනම්ව කිසියම් ප්‍රවාදයක් ඉදිරිපත් කළ හැකියි. එවැනි ප්‍රවාද පහසුවෙන් බිඳ දමන්නත් පුළුවන් බව ඇත්ත.
ඔබ කුමන මාතෘකාවක් ගැන ලියුවත් ලිපිය රසවත් පැහැදිලි හා සරල එකක්. ඉතිහාසේ නිවරැදි කාල නිර්ණයක් කිරීම කෙතරම් තාර්කික විය යුතුද යන්න ඉතා පැහැදිලියි. ඔබට ජය
ReplyDeleteKristhupurwa 543 ta buddha parinirwanaya gath wita mahindagamanaya wanne krkristhupurwa 307deeya.e dewanampiyathissa rajathuma raja wu wigasamaya.mihindu maharahathan wahanse mutasiwa raju mahalu bawin puthraya raja wenakan balasiti.kristhupurwa 486 gaththoth mahindagamanaya wenne kristhupurwa 250diya.ethakota mihindu maharahathan wahanseda sanghamiththa theraniyada piriniwan pa atha.
ReplyDeleteඔබතුමගෙන් විමසියයුතු ගැටලුවක් ඇත.... කරුනාකර මට ඊමේල් පනිවිඩියක් යොමු කරන්න. text.nb@gmai.com
ReplyDelete