Saturday, April 14, 2018

බෞද්ධ අනන්‍යතාවය (දෙවන කොටස)


ආසන්න වශයෙන් මෙයින් සියවස් විසිපහකට පමණ පෙරයැයි අප සිතන, එහෙත් හරියටම නොදන්නා කාලයක වත්මන් නැගෙනහිර ඉන්දියාව ආශ්‍රිතව බෞද්ධ අනන්‍යතාවයක් හැදුනේය. එයින් පසුව, මේ බෞද්ධ අනන්‍යතාවයේ විවිධ ප්‍රභේද හැදුනේය. ඒ ප්‍රභේද වලින් එක් ප්‍රභේදයක් අශෝක සමයේදී රාජ්‍ය අනුග්‍රහය යටතේ අශෝක අධිරාජ්‍යය පුරාත්, එහි ප්‍රත්‍යන්තයේ වූ ලංකාව ඇතුළු රටවල් වෙතත් ව්‍යාප්ත කෙරුණේය.

බෞද්ධ අනන්‍යතාවයේ පදනම වූයේ ගෞතම බුදුන්ගේ ඉගැන්වීම්ය. ගෞතම බුදුන් විසින් තමන්ගේ අදහස් ප්‍රචාරය කරන විට වත්මන් ඉන්දියාවේ ප්‍රමුඛ දැනුම් හා විශ්වාස පද්ධතිය චතුර්වේදය මත පදනම් වූවකි. චතුර්වේදය මත පදනම් වූ දැනුම ඒ වන විටද සහශ්‍ර ගණනක් තිස්සේ පරිණාමය වී තිබුනේය. මුලින්ම සිවුවේදය දැනුම් පද්ධතියක් ලෙස දියුණු වීමෙන් පසු දෙවනුව එයට එකතු වූ උපනිෂද් හෙවත් වේදාන්ත බුද්ධ කාලය වන විටද "පර්යේෂණ හරහා" දියුණු වෙමින් තිබුණු අතර මේ පර්යේෂණ බුද්ධ කාලයෙන් පසුවද තවත් සියවස් ගණනක් තිස්සේ දිගටම සිදු විය. මේ කාලයේදී උගතෙකු ලෙස සැලකුනේ වේද වේදාන්ත පරතෙරට දත් අයෙකි.

බුද්ධ කාලයේදී හා එයට ආසන්න කාලයේදී ජීවත් වූ උගතුන් අතර එවකට පැවති දැනුම් පද්ධතියෙහි ආධිපත්‍යය පිළිගැනීම හා අදාළව විවිධ බෙදීම් ඇති විය. ආස්තික නාස්තික බෙදීම එයින් එකකි. ආස්තිකයින් විසින් වේදයේ මූලික කරුණු බැහැර නොකරමින් පවතින තත්ත්වයන් සමඟ වඩා ගැලපෙන සේ දැනුම සංවර්ධනය කරද්දී නාස්තිකයින් විසින් එවකට පැවති දැනුමේ පාදක කරුණු පවා අභියෝගයට ලක් කරමින් අලුත් අදහස් ඉදිරිපත් කළේය.

වෛදික දැනුම ප්‍රධාන දැනුම වූ පසුබිමක ආගමක් ලෙස බුද්ධාගම දියුණු වෙද්දී එය මුල සිටම සිදු වී තිබෙන්නේ ඇතැම් මූලික වෛදික සංකල්ප අභියෝගයට ලක් කරමිනි. එහෙත්, ගෞතම බුදුන් යනු අදාළ කාලයේදී වෛදික දැනුමට අභියෝග කළ පළමුවැන්නා නොවේ. එවැනි තවත් බොහෝ අය සිටියේය. ඒ අතරින් එක් අයෙක් වූ ජෛන මහාවීර විසින් ප්‍රචලිත කළ අදහස් බුද්ධ කාලය වන විට වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබුණේය.

මහාවීර වෙත වැඩි වශයෙන්ම ආකර්ෂණය වූයේ තත්කාලීන සමාජයේ උගත් පිරිස් අතරින් පැවති දැනුම අභියෝගයට ලක් කරන්නට බිය නොවූ අයගෙන් කොටසකි. පසුව බුදුන් වෙත වැඩි වශයෙන්ම ආකර්ෂණය වූයේද මේ සමාජ ස්ථරය තුළ සිටි පිරිසයි. ආගමක් ලෙස සැලකූ විට වත්මන් බුද්ධාගමේ දැකිය හැකි බොහෝ අංග එලෙස සකස් වීමට ජෛන ආගමෙහි සම්ප්‍රදායයෙන් විශාල බලපෑමක් වී තිබේ. ජෛන ආගමට මේ අංග ලැබෙන්නට ඇත්තේද එවකට පැවති කිසියම් සම්ප්‍රදායකින් හෝ කිහිපයකිනි.

බුද්ධාගමේ මූලික දෙයක් ලෙස බොහෝ දෙනෙකු විසින් සලකන පන්සිල් වලට බොහෝ ආසන්න මූලික පොරොන්දු පහක් (अहिंसासत्यमस्तेयब्रह्मचर्यापरिग्रहा) ජෛන ආගමෙහිද දැකිය හැකිය. ඒවා මෙසේය.
1. අහිංසා- පණ ඇති කිසිවෙකුට හෝ දෙයකට හිතාමතා කිසිදු හානියක් නොකිරීම
2. සත්‍ය- බොරු නොකීම
3. අස්තේය - සොරකම් නොකිරීම
4. බ්‍රහ්මචර්යා- කාමයන්හි නොඇලීම
5. අපරිග්‍රහ- අල්පේච්ඡතාව, අනවශ්‍ය භාණ්ඩ එකතු කර නොගැනීම

බෞද්ධ පන්සිල් වල ඇති එකවරම පෙනෙන වෙනස අපරිග්‍රහය හෙවත් අල්පේච්ඡතාව වෙනුවට රහමෙරින් වැලකීම ආදේශ වීමයි. එහෙත්, බෞද්ධ ඉගැන්වීම් වල හා සංස්කෘතියේද අල්පේච්ඡතාවයට විශාල වැදගත්කමක් ලැබේ. ඒ වෙනස හැරුණු විට ඉහත එක් එක් කරුණ වෙනම ගත්තත් බොහෝ විට ජෛනයින්ගේ සීමා බෞද්ධ සීමාවන්ට වඩා පුළුල්ය. උදාහරණයක් ලෙස බෞද්ධයින් සාමාන්‍යයෙන් ශාක යනු පණ ඇති දේ සේ නොසලකන නමුත් ජෛනයෝ එසේ සලකති. ඒ නිසා, සාමාන්‍ය ගිහි ජෛනයින් වුවද ශාකය නොමරා ආහාරයට ගත නොහැකි අල වර්ග හා ළූණු වර්ග ආහාරයට නොගනිති. එමෙන්ම ඇහැට නොපෙනෙන ඉතා කුඩා ජීවීන් ගැන පවා ජෛනයින් සංවේදීය. කෙසේ වුවත්, ජෛන දහමට අනුවද ප්‍රධාන වන්නේ ක්‍රියාව නොව සිතුවිල්ලයි. ඒ නිසා, මහාවීරගේ ඉගැන්වීම් අනුව ජෛනයෙකු විසින් කළ යුත්තේ තමන්ට හැකි පමණින් ඉහත පොරොන්දු රැකීමයි.

ක්‍රියාවට වඩා සිතුවිල්ල වැදගත් වන්නේය යන කරුණට බෞද්ධ ඉගැන්වීම් වල වැදගත් තැනක් ලැබේ. උදාහරණයක් ලෙස බෞද්ධ ඉගැන්වීම් අනුව ප්‍රාණඝාත අකුසලයක් සිදුවීමටනම් කරුණු පහක් ඉටුවිය යුතුය.

“පාණෝ භවේ පාණ සඤ්ඤි
වධක චිත්ත මුපක්කමො
තේන ජීවිතනාසොච
අංගා පඤ්ච වධස්සිමෙ”

1. පණ ඇති සතෙකු වීම
2. පණ ඇති සතෙකු බව දැන ගැනීම
3. මරණය සිදු කිරීමේ චේතනාව
4. මැරීම සඳහා උපක්‍රම යෙදීම
5. එම උපක්‍රම හේතුවෙන් මරණය සිදුවීම

ඉහත බෞද්ධ අදහස සැලකූ විට ගම්‍ය වන එක දෙයක් වන්නේ මෙහිදී මනසින් බාහිර යථාර්තයක් පවතින බව සලකා ඇති බවයි. පණ ඇති සතා සිටින්නේත්, එම පණ ඇති සතාගේ පණ නැසෙන්නේත් ඒ සැබෑ ලෝකයේය. ඒ නිසා, මරණ චේතනාව ඇතිව උපක්‍රම යෙදීමෙන් පසු මරණය සිදු වූ බව සිතා සිටියත් සතා "ඇත්තටම" මිය ගොස් නැත්නම් තමන් මරණයක් සිදු කළේය යන සිතුවිල්ල හේතුවෙන් ප්‍රාණඝාත අකුසලයක් සිදු නොවේ.

බමුණු දහමෙහි මූලික අංගයක් වූ මැවුම්වාදය ප්‍රතික්ෂේප කළ ජෛන හා බෞද්ධ අදහස් මුලින්ම ජනප්‍රිය වුණේ සමාජයේ ඉහළ ස්ථර වල සිටි පිරිස් අතරය. එහෙත්, මැවුම්වාදය ප්‍රතික්ෂේප කළ වහාම වර්ණ ක්‍රමයේ පදනමද බිඳ වැටෙන නිසා මේ ඉගැන්වීම් තුළ සමාජයේ පහළ ස්ථර වල සිටි අයට විශාල වාසියක් වූ බැවින්, දාර්ශනික නොවන ප්‍රායෝගික හේතුමත එවැනි පිරිස් අතරද මේ අලුත් "ආගම්" ක්‍රමයෙන් ජනප්‍රිය විය. සියවස් කිහිපයකට පසු වත්මන් ඉන්දියාවේ ඉස්ලාම් ආගම ව්‍යාප්ත වීමට මෙන්ම ඉතා ආසන්න කාලයකදී අම්බෙඩ්කාර් බෞද්ධයින් බිහිවීමටද හේතුවුණේත් මේ කරුණමය. මෙසේ ස්වභාවික ලෙසම ක්‍රමයෙන් ආගමක් ලෙස ව්‍යාප්ත වූ බෞද්ධාගම අශෝක කාලයේදී රාජ්‍ය අනුග්‍රහය යටතේ කිසියම් ආකාරයක ආධිපත්‍යයක් ලබා ගත්තේය.

අශෝක විසින් දේශපාලන උපක්‍රමයක් ලෙස බුද්ධාගම ව්‍යාප්ත කර ඇති බව පැහැදිලිය. බුද්ධාගම වැනි සියලු මිනිසුන් සමාන බව සලකන දහමක් යොදා ගනිමින් විවිධ අනන්‍යතා දරන මිනිසුන් එක් අනන්‍යතාවයක් තුළට ගොනු කර ගැනීම අපහසු දෙයක් නොවේ.

කිසියම් අධිරාජ්‍යයක් සාර්ථක ලෙස ව්‍යාප්ත කර පවත්වා ගැනීම සඳහා එහි ආරම්භක සංස්කෘතිය හා අලුතින් එකතු කර ගන්නා ප්‍රදේශ වල කලින් පැවති සංස්කෘතීන් අතර මනා සමතුලනයක් පැවතිය යුතුය. ආධිපත්‍යය පවත්වා ගැනීමට අවශ්‍ය තරමට අලුත් පොදු සංස්කෘතිය ආරෝපණය නොවන විටක මෙන්ම එය ඕනෑවට වඩා වැඩි බලයක් යොදවමින් සිදු කරන විටද සිදුවන්නේ අධිරාජ්‍යයක කොටස් ඉක්මණින් ගිලිහී යාමයි. ග්‍රීක හා රෝම අධිරාජ්‍ය වල මෙන්ම අශෝක අධිරාජ්‍යය තුළද මේ සමතුලනය මනාව දැකිය හැකිය.

අශෝක විසින් ඔහුගේ අධිරාජ්‍යයේ සංස්කෘතික විවිධත්වය නොසලකා හැර නැත. අශෝක සෙල්ලිපි පවා ලියා තිබෙන්නේ අදාළ ප්‍රදේශ වල වැසියන්ට තේරෙන භාෂාවකිනි. එසේ නැත්නම් භාෂා කිහිපයකිනි. ග්‍රීක් බස කතා කරන පිරිස් වැඩිපුර සිටින තැනක ග්‍රීක් සෙල්ලිපියකින් මිස ප්‍රාකෘත සෙල්ලිපියකින් වැඩක් නැත. එමෙන්ම, මේ සෙල්ලිපි වල ඇති බොහෝ ආචාර ධාර්මික කරුණුද බෞද්ධ හෝ අබෞද්ධ බොහෝ දෙනෙකුට එකඟ විය හැකි පොදු කරුණු මිස බෞද්ධයෙකුට පමණක් පිළිගත හැකි දේ නොවේ. අශෝක ධර්මය ලෙස හැඳින්වෙන්නේ මෙවැනි පොදු ආචාර ධාර්මික කරුණුය.

අශෝක කාලය වෙද්දී බෞද්ධ අනන්‍යතාවය ලංකාවට නුහුරු දෙයක් වන්නට හේතුවක් නැතත් එය වේගයෙන් ව්‍යාප්ත වී රටේ ප්‍රධාන අනන්‍යතාවය බවට පත් වී තිබෙන්නේ අශෝක කාලයේදීය. එය දැනටත් ලංකාවේ වැඩි දෙනෙකුගේ ප්‍රමුඛ අනන්‍යතාවයකි. එහෙත්, අශෝකගේ කාලයෙන් සියවස් කිහිපයකට පසුව වත්මන් ඉන්දියාව තුළ බෞද්ධ අනන්‍යතාවය දියාරු වී ගොස් බමුණු දහම නැවත ඉස්මතු විය.

බෞද්ධ, ජෛන හෝ වෙනත් එවැනි ඉගැන්වීම් කිසිවකට වත්මන් ඉන්දියාවේ රාජ්‍ය තුළ ජීවත් වූ වැසියන්ගේ වර්ණ අනන්‍යතා මුළුමනින්ම මකා දමන්නට නොහැකි විය. ඒ නිසා, බෞද්ධ ඉගැන්වීම් තුළ වර්ණ ක්‍රමය ප්‍රතික්ෂේප වුවත් බොහෝ (ගිහි) බෞද්ධයන් විසින් මුල සිටම තමන්ගේ වර්ණ අනන්‍යතාවන්ද එලෙසම පවත්වා ගන්නට ඇත. එවිට එක්කෝ කලක් යද්දී බෞද්ධ අනන්‍යතාව තුළ මේ වර්ණ අනන්‍යතා දිය වී යා යුතුය. එසේ නැත්නම්, වර්ණ ධුරාවලියේ ඉහළින් සිටින කණ්ඩායම් වල ආධිපත්‍යය බෞද්ධ සමාජය තුළද පිළිගැනීමට ලක්විය යුතුය. සිදු වී ඇති බව පෙනෙන්නේ මෙයින් දෙවැන්නයි.

වර්ණ ක්‍රමය නැවත පිළිගැනීමට ලක් වන විට මැවුම්වාදයද නැවත කරලියට පැමිණේ. වර්ණ ක්‍රමයේ පදනමම මැවුම්වාදය බැවිනි. එවිට බෞද්ධ ඉගැන්වීම් සමඟ ගැටුමක් ඇති වේ. නමුත්, දාර්ශනික පදනමකින් බෞද්ධ ඉගැන්වීම් දෙස බලන අයට මිස ආගමක් සේ බුද්ධාගම පිළිපදින අයට මෙය විශාල ප්‍රශ්නයක් වන්නේ නැත. අශෝක කාලයේදී අලුතින් බෞද්ධයින් වූ අතිමහත් පිරිසක් අයත් වන්නේ ඉහත දෙවන කාණ්ඩයටය.

බමුණු ආගම ඉන්දියාව තුළ නැවත හිස ඔසොවද්දී ඉන්දියාවේ බෞද්ධ අනන්‍යතාවය එ තුළ දිය වී ගිය අතර බුද්ධාගමේ අංග බමුණු ආගම තුළට අවශෝෂණය විය. බුදුන් විෂ්ණුගේ තවත් අවතාරයක් බවට පත් විය.

දෙවන පෑතිස් සමයේ බුද්ධාගම ලංකාවේ රාජ්‍යාගම වීමෙන් පසුව ලංකාවේ සමාජයේ සිදුවූයේයැයි සිතිය හැකි ප්‍රධානම වෙනස වන්නේ යක්ෂයින්ට නාගයින් සමඟ එක් විය හැකි පොදු අනන්‍යතාවයක් ඇති වීමයි. ප්‍රබල ආගමික අනන්‍යතාවයක් නොතිබුණු යක්ෂයින්ට බමුණු සංස්කෘතියෙහි සිටි නාගයින්ගේ සංස්කෘතිය තුළට දෙවන පන්තියේ පුරවැසියන් ලෙස ඇතුළු වනවාට වඩා පහසුවෙන් බෞද්ධයින් වූ නාගයින් සමඟ සමාන මිනිසුන් සේ එක්වීම පහසු වන්නට ඇත. මේ සමඟම නාගයින්ගේ සංස්කෘතිය තුළ යක්ෂයින්ගේ ප්‍රතිශතය වේගයෙන් ඉහළ යන්නට ඇති අතර සංඛ්‍යාත්මකව නාගයින් ගණන ඉක්මවන්නටද ඇත.

නීති නිඝන්ටුව අනුව ලංකාවේ ගොවිගම කුලය හැදී තිබෙන්නේ දඹදිවෙන් ආ කැත්, බමුණු හා වෙළඳ කුල තුනෙහි සම්මිශ්‍රනයෙනි. විශාල යක්ෂයින් පිරිසක් බෞද්ධ අනන්‍යතාවය මුල් කර ගනිමින් නාගයින්ගේ රාජ්‍යයට එකතු වීමෙන් පසුව සංක්‍රමණිකයින්ගෙන් පැවත එන නාගයින්ට තවදුරටත්  කැත්, බමුණු හා වෙළඳ ආදී ලෙස බෙදී සිටීම අපහසු වන්නට ඇත.

සංක්‍රමණිකයින් විසින් ඉන්දියාවෙන් රැගෙන විත් පරම්පරා ගණනක් තිස්සේ පවත්වා ගන්නට ඇති වර්ණ අනන්‍යතා බෞද්ධ අන්‍යතාවය තුළ දිය වී ගොස් ඇතත් එය සම්පූර්ණයෙන්ම දියවී යනු වෙනුවට සිදු වී තිබෙන්නේ කුල ක්‍රමයක් බවට රූපාන්තරණය වීමයි.

ඉන්දියාවේදී සිදු වූවාක් මෙන්, ලංකාවේ බෞද්ධ අනන්‍යතාවය ආපසු හරවන්නට තරම් ප්‍රබල ආගමික අනන්‍යතාවයක් යක්ෂයින්ට තිබුණේ නැත. එවැනි උරුමයක් තිබුණු නාගයින්ට වර්ණ ධුරාවලියේ තමන්ගේ ස්ථාන ආරක්ෂා කර ගනිමින් යක්ෂයින්ව ඊට පහළින් ස්ථානගත කරන්නට තරම් හැකියාවක්ද තිබුණේ නැත. ඒ නිසා, ඉන්දියාවේ රැල්ල අනුව ලංකාවේ බෞද්ධ අනන්‍යතාවය නැති වුණේ නැත.

කෙසේ වුවත්, ඉන්දියාවේ නාගයින් හා ලංකාවේ නාගයින් අතර සියවස් ගණනාවක් තිස්සේ පැවති, පසුව ආතතියට ලක් වන්නට ඇති සංස්කෘතික සබඳතා මේ වන විටද පැවතෙන්නට ඇත. ඒ අනුව, ආවාහ විවාහ, යුද්ධ හෝ වෙළඳාම් හරහා ලංකාවට සංක්‍රමණය වූ බමුණු දහම පිළිගත් නාගයින් ලංකාවේදී බෞද්ධ නාගයින් බවට පත් වන්නට ඇත.

(මතු සම්බන්ධයි)

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක්!

20 comments:

  1. ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!

    //අශෝක විසින් ඔහුගේ අධිරාජ්‍යයේ සංස්කෘතික විවිධත්වය නොසලකා හැර නැත. අශෝක සෙල්ලිපි පවා ලියා තිබෙන්නේ අදාළ ප්‍රදේශ වල වැසියන්ට තේරෙන භාෂාවකිනි. එසේ නැත්නම් භාෂා කිහිපයකිනි. ග්‍රීක් බස කතා කරන පිරිස් වැඩිපුර සිටින තැනක ග්‍රීක් සෙල්ලිපියකින් මිස ප්‍රාකෘත සෙල්ලිපියකින් වැඩක් නැත. //

    ප්‍රාකෘත උපන්නේ ඉන්දියාවේ නම් පැරණිතම ප්‍රකෘත අක්ෂර හමුවිය යුත්තේ ඉන්දියාවෙන් නේද? අශෝක රජු භාෂා කිහිපයකින් සෙල්ලිපි ලියවන්න ඇති, එත් එය මීට අදාළ නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න, කලින් කමෙන්ට් එක මෙසේ නිවැරදි විය යුතුයි.

      "බ්‍රාහ්මී අක්ෂර" උපන්නේ ඉන්දියාවේ නම් පැරණිතම "බ්‍රාහ්මී අක්ෂර" හමුවිය යුත්තේ ඉන්දියාවෙන් නේද? අශෝක රජු භාෂා කිහිපයකින් සෙල්ලිපි ලියවන්න ඇති, එත් එය මීට අදාළ නැහැ නේද?

      Delete
    2. //"බ්‍රාහ්මී අක්ෂර" උපන්නේ ඉන්දියාවේ නම් පැරණිතම "බ්‍රාහ්මී අක්ෂර" හමුවිය යුත්තේ ඉන්දියාවෙන් නේද?//
      අශෝක කාලය වන විට අශෝක ඉන්දියාව පුරා බ්‍රාහ්මී අක්ෂර කියවීමේ හැකියාව ඇති අය සිට ඇති බව ඉතාම පැහැදිලි කරුණක්. මෙයට සමාන කාලයකදී ලංකාවේත් බ්‍රාහ්මී අක්ෂර කියවිය හැකි අය සිටි බව ඉතා පැහැදිලියි. මේ අකුරු එතරම් වෙනස් නැහැ. බ්‍රාහ්මී අක්ෂර උතුරෙන් දකුණට පැතිරුනාද නැත්නම් දකුණෙන් උතුරට පැතිරුණාද කියන එක විවාදිත කරුණක්. අශෝක කාලයට වඩා පැරණි බ්‍රාහ්මී අකුරු දැනට හමුවී තිබෙන්නේ ලංකාවෙන් හා දකුණු ඉන්දියාවෙන් වීම දකුණෙන් උතුරට පැතිරුණා කියන මතයට උදවුවක්. සුළු නියැදි කිහිපයක් මත ලොකු නිගමන වලට එන්න අමාරුයි. යම් කිසි වෙලාවක උතුරු ඉන්දියාවෙන් පැරණි බ්‍රාහ්මී අක්ෂර නියැදියක් හමු වුවහොත් එකවරම එවැනි මතයක් කඩා වැටෙන්න පුළුවන්. කෙසේ වුවත්, දැනට තිබෙන සාක්ෂි අනුව දකුණෙන් උතුරට පැතිරුණා කියන අදහස බැහැර කළ නොහැකියි. කලක සිට අක්ෂර භාවිතය දැන සිටි පීනිසියානුවන් වෙළඳාම පිණිස ලංකාවට පැමිණීමත්, ලංකාවේදී වත්මන් නැගෙනහිර ඉන්දියාවෙන් පැමිණ ජනාවාස හදාගෙන සිටි ප්‍රාකෘත භාෂාව කතා කළ ආර්යයන් හමුවීමත්, පීනීසියානුවන්ගේ ආභාෂයෙන් ඔවුන් තමන් කතා කළ භාෂාව ලියන්න පුරුදු වීමත් සිදුවෙන්න බැරිකමක් නැති දෙයක්.

      //අශෝක රජු භාෂා කිහිපයකින් සෙල්ලිපි ලියවන්න ඇති, එත් එය මීට අදාළ නැහැ නේද?//
      මම ලියන දෙයට මෙය අදාළයි. ඔබට වැදගත් කරුණක් වන "බ්‍රාහ්මී අක්ෂර" උපන්නේ කොහේද කියන එකට අදාළ නැතුව ඇති.

      ඔබටත් සුබ නව වසරක්!

      Delete
    3. ඓතිහාසික සාධක කෙසේ, කොපමණ තිබුණත් ඊට පටහැණි ඔබේ මතය යන්තමින්වත් සාධාරණීකරණයට ගත් උත්සාහයක් වගේ මේ පිළිතුර. බලමුකෝ තව අවුරුදු 100 කින් වත් ඔබ බලාපොරොත්තු වන අකුරු නියැදිය හොයා ගනියිද කියලා.

      Delete
    4. අකිල, ඔබ කියන විදියේ මතයක් මම මගේ ලිපි කිසිවක ප්‍රකාශ කර නැහැ. කරුණාකර එසේ තිබේනම් පෙන්වන්න. ඒ නිසා, හොයාගෙන නැති දෙයක් හොයා ගැනීමක් ගැන මගේ කිසිදු බලාපොරොත්තුවකුත් නැහැ. මගේ ලිපියට සෘජු අදාළත්වයක් නැති මේ කරුණ ගැන අදහසක් දැක්වූයේ ඔබ පුන පුනා ඒ ගැනම අසන නිසා පමණයි.

      Delete
    5. //කවර අයුරකින් බැලුවත් මහාවංශය යනු ලංකාවේ ඉතිහාසය පිළිබඳව තිබෙන හොඳම මූලාශ්‍රයයි. ඒ නිසා, මහාවංශයේ ඇති කරුණු බැහැර කරන්නටනම් ඊට වඩා ප්‍රබල, පිළිගත හැකි සාක්ෂි හමු විය යුතුය.//

      //ඉහත මැටි බඳුන් වල දැකිය හැකි බ්‍රාහ්මී අකුරු නිසා මගේ පෙර ලිපියේ යෝජනා කර ඇති ප්‍රවාදය හෝ මහාවංශයේ ඇති කරුණු අභියෝගයට ලක් වන්නේ නැත.//

      "මහාවංශයේ සඳහන් පරිදි අපට අක්ෂර මාලාවක් ලැබුණේ අශෝක සමයේ සඟමිත් තෙරණිය පැමිණීමෙන් පසුවයි. විජයටත් වඩා පරණ අකුරු ලංකාවෙන් හමුවීමෙන් එම මහාවංශ කතාව බොරුවක් බවට පත්වේ. මැටි බඳුන්වල පමණක් නොව ලංකාව පුරා අැති ලෙන්වලින්ද අශෝකට පෙර පූර්ව බ්‍රාහ්මී අක්ෂර සොයාගෙන අැත."

      https://economatta.blogspot.com/2018/04/blog-post.html

      Delete
    6. ඔබ විසින්ම ප්‍රතිචාරයක් ලෙස ලියා ඇති ඉහත කොටස නිවැරදි නොවන බව ඔබ විසින්ම පසුව පිළිගෙන ඇති බැවින් ("මේ අයුරින්ම සඳහන් තැනක් මහාවංශයේ නැහැ") වැඩිදුර අදහස් දැක්විය යුතු නැතැයි සිතමි.

      Delete
  2. බටහිර යුරෝපීය රටවල් (ඔරුමත්තුනාඩුවත් ඇතුලත්ව) සහ රුසියාව අතර තියෙන ‍ඓතිහාසික
    මතභේදවලට හේතුව කුමක්ද?
    සැලකිය යුතුයි:
    හැමදේම ආර්ථික සාධක ඔස්සේ දැකීම කෂිකබල් මාක්ස්වාදී කියාවකි.

    ReplyDelete
    Replies
    1. එවැනි ඓතිහාසික මතභේදයක් තිබෙන බව ඔබ වැනි අය විසින් විශ්වාස කිරීම. (සැලකිය යුතුයි: ආර්ථික සාධක යොදා නොගනිමින් කරන පැහැදිලි කිරීමකි.)

      Delete
  3. මනසින් බාහිර යතාර්තයක් ඇතැයි කීමට බුදුදහමේ ප්‍රාණගාතය ගැන නිර්වචනය යොදා ගැනීම ටිකක් බයස් වගේ....ඕක ගැන බුදූහාමුදුරුවන් හරියට මුකුත් කියලා නෑ කියලයි මගේ අදහස..ඒත් පසුකාලීන ස්කොලර්ස්ලා එහෙන් මෙහෙන් සූත්‍ර පිඨ්ක තමන්ගේ මතය තහවුරු කරන්න යොදා ගන්නවා..මේකත් ඒ වගේ උත්සහයක්ද මන්දා


    බුද්දාගම ලංකාවට එනෙකොට විජයගෙන් තහවුරු වෙච්චි රජ පැලැන්තියයි...යක්ශ ගෝතිකයන් අතරයි සීතල යුද්දයක් තිබ්බා කියලා හිතන්න පුලුවන් සාදක තියෙනවා...ඒක නාග ගෝත්‍රිකයන් එක්ක තිබ්බ ආරවුලට වඩා වැඩි අවුලක් වෙන්න පුලුවන්...

    ආශෝකගේ බුද්දාගම ව්‍යාප්තිය අදිරාජයේ දේශපාලනයේම කොටසක් කියන කතාවට එකගයි.

    ReplyDelete
    Replies
    1. //ඒත් පසුකාලීන ස්කොලර්ස්ලා එහෙන් මෙහෙන් සූත්‍ර පිඨ්ක තමන්ගේ මතය තහවුරු කරන්න යොදා ගන්නවා..මේකත් ඒ වගේ උත්සහයක්ද මන්දා//
      මටත් එහෙම හිතෙනවා. මේවා දර්ශනයක් ආගමක් බවට පත් වන විට ඇතිවන ප්‍රශ්න.

      සාමාන්‍ය කතාවට වඩා මෙහි මම අමුතුවෙන් කියන දෙය විජයගෙන් පැමිණි පිරිස හා නාග ගෝත්‍රිකයින් කියන්නේ එකම පිරිසක් බවයි. (සමහර විට එසේ කියූ තවත් අය ඇති) මම හිතන විදිහට නාගයින් කියන්නේ විජයට පෙර සියවස් කිහිපයක සිට වරින් වර ලංකාවට සංක්‍රමණය වී මෙහි පැලපදියම් වී සිටි, යක්ෂයින්ට තරම් ඉතිහාසයක් නැති පිරිසක්. විජය මෙහි එන්න ඇත්තේ මේ "ඩයස්පෝරිකයින්" සොයාගෙන. ඔහු පැමිණි පසුව මුහුදු තීරය දිගේ හා ගංගා ද්‍රෝණි වල සිටි නාග කණ්ඩායම් ඔහු වටා එකතු වෙන්න ඇති කියා මම හිතනවා. අශෝක ව්‍යාපෘතියේ පදනමත් මේ පැරණි සම්බන්ධයම විය යුතුයි.

      Delete
  4. ජෛන ආගමයි, බුද්ධාගමයි ගොඩක් සමානයි..සමකාලිනයන් උනත් නැගෙනහිර ඉන්දියාවේ වාසය කලත් මහාවීරතුමන් හා ගෞතමයන් එකිනෙක් හමු වූ බවට සාදක නෑ

    ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයේ මුල් කරුනු පහ ඒ ආකාරයෙන්ම ජෛන ආගමෙත් පිලි ගන්නවා

    ReplyDelete
    Replies
    1. ඇත්තට මේක ලියැවෙන්නෙ ඕනේ ජෛන ආගාමේ මූලික කරුනු හතරක් බුදුදහමේ ආර්‍ය්ය අශ්ඨංගික මාර්ගය්යටත් අවශෝෂණය කර තිබෙනවා කියලයි...මොකදා ජෛන ආගම බුද්දාගමට වඩා පරණයි

      Delete
    2. ඇත්තටම මේ ඇතැම් කරුණු මහාවීරටත් පෙර උපනිෂද් වලත් තිබෙනවා. හැමෝම කරල තිබෙන්නේ තිබෙන දැනුමට හා සම්ප්‍රදායන්ට අලුතෙන් යමක් එකතු කිරීමයි.

      Delete
  5. ඉස්සර වගේ ගොඩක් වැදගත් Economic post ලියන එක දැන් නවත්වලද?

    ReplyDelete
    Replies
    1. ටිකක් වැඩ අධිකයි, ඇනෝ. කලකට පෙර ලියා drafts වල තිබුණු ලිපි කිහිපයකුයි මෑතකදී පළ කළේ.

      Delete
  6. සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ අලුත් අවුරුද්දක්!

      Delete
  7. ඓතිහාසික සාධක කෙසේ, කොපමණ තිබුණත් ඊට පටහැණි ඔබේ මතය යන්තමින්වත් සාධාරණීකරණයට ගත් උත්සාහයක් වගේ මේ පිළිතුර. බලමුකෝ තව අවුරුදු 100 කින් වත් ඔබ බලාපොරොත්තු වන අකුරු නියැදිය හොයා ගනියිද කියලා.

    ReplyDelete
    Replies
    1. අකිල, ඔබ කියන විදියේ මතයක් මම මගේ ලිපි කිසිවක ප්‍රකාශ කර නැහැ. කරුණාකර එසේ තිබේනම් පෙන්වන්න. ඒ නිසා, හොයාගෙන නැති දෙයක් හොයා ගැනීමක් ගැන මගේ කිසිදු බලාපොරොත්තුවකුත් නැහැ. මගේ ලිපියට සෘජු අදාළත්වයක් නැති මේ කරුණ ගැන අදහසක් දැක්වූයේ ඔබ පුන පුනා ඒ ගැනම අසන නිසා පමණයි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget