වෙබ් ලිපිනය:

Wednesday, April 18, 2018

දෙවුරම් වෙහෙරෙන් උදවු ඉල්ලූ දේවපුත්‍රයා


සංයුත්ත නිකායේ සගාථා වර්ගයේ දේවපුත්ත සංයුත්තයේ සූරිය සුත්‍රය නම් වූ සූත්‍රයක් තිබේ. එහි පෙළ පහත දැක්වේ.

"මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි සූර්‍ය්‍යදෙව්පුත් තෙම රාහු අසුරිඳු විසින් අල්ලා ගන්නා ලද්දේ විය. එකල සූර්‍ය්‍ය දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේ සිහි කරනුයේ මේ ගාථාව කීය.

’’බුද්ධ වීරයන් වහන්ස, ඔබට නමස්කාර වේවා. ඔබ හැමතන්හි මිදුණෝය. (මම) පීඩාවට පැමිණියෙම් වෙමි, එසේවූ මට පිහිට වන්න.’’

එකල්හි භාග්‍යවතුන් වහන්සේ සූර්‍ය්‍ය දෙව්පුතු අරභයා රාහු අසුරිඳුට (මෙසේ) ගාථායෙන් වදාළහ.

’’එම්බා රාහු, සූර්‍ය්‍ය දෙව්පුත් තෙම අර්‍හත්වූ තථාගතයන් සරණ ගියේය. ඒ සූර්‍ය්‍ය දෙව්පුතු අතහරුව. බුදුවරු ලොවට අනුකම්පා කරන්නෝය.’’

’’එම්බා රාහු, අන්‍ධකාරයෙහි යමෙක් එලිය කරන්නේද, බබළන්නේද, මඬුලු සටහන් ඇත්තේද, උග්‍ර තේජස් ඇත්තේද, එසේවූ අහස හැසිරෙන සූර්‍ය්‍යයා නොගිලුව, මගේ ශ්‍රාවක බවට පැමිණි සූර්‍ය්‍යයා අතහරුව,’’

එකල රාහු අසුරිඳු සූර්‍ය්‍ය දෙව්පුතු අතහැර ඉක්මන් ස්වභාවය ඇත්තේ වේපචිත්ති අසුරිඳු වෙත පැමිණියේය. පැමිණ, කැලැඹුණේ ලොමු දැහැගැනුම ඇත්තේ, එක් පසෙක සිටියේය. එක් පසෙක සිටි රාහු අසුරිඳුට වේපචිත්ති අසුරිඳුට ගාථායෙන් (මෙසේ) කීය:

’’එම්බා රාහු, කවර හෙයින් ඉක්මන්ව මෙන් හිරු දෙව්පුතු අතහැරියෙහිද? කවර හෙයින් කැලැඹුණු, ස්වභාවය ඇතිව, බිය ගත්තකු මෙන් සිටිනෙහිද?’’

(එවිට රාහු අසුරිඳු මෙසේ කීය:) ’’බුදුරජුන් විසින් ගාථායෙන් ආමන්‍ත්‍රණය කරණලදුයෙමි. (ඒ මම) ඉදින් සූර්‍ය්‍ය දෙව්පුතු නොමුදාලීම් නම්, මා හිස සත්කඩකට පැලෙන්නේය. ජීවත්වන්නෙම් නම් සැපයක් නම් නොලබන්නෙමි.’’

දේවපුත්ත සංයුත්තයේම ඇති චන්දිම සූත්‍රයේ පෙළද බොහෝ දුරට මෙයට සමානය. එහි වෙනස සූර්‍ය්‍ය දෙව්පුතු වෙනුවට චන්දිම දෙවු පුතු සිටීමයි. සූරිය සූත්‍රය හා චන්දිම සූත්‍රය දැනටත් ලංකාවේ සෙත් පිරිතක් ලෙස නිතරම භාවිතා වන්නකි. වෙනත් බොහෝ සූත්‍ර වල කියැවෙන ආලෝකය විහිදා රාත්‍රී යාමයේ බුදුන් හමුවට පැමිණෙන දේවතාවන් මෙන් සූර්‍ය්‍ය දෙව්පුතු හෝ චන්දිම දෙවු පුතු බුදුන් වෙත නොපැමිණීමද විශේෂත්වයකි. සූත්‍ර අනුව ඔවුන් කරන්නේ බුදුන් සිහි කිරීම පමණි.

මෙහි කියැවෙන සූර්‍ය්‍ය හා චන්දිම දේවපුත්‍රයින් යනු ඉර හා හඳ බවත්, මේ කියන්නේ සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ ගැන බවත්  තේරුම් ගැනීම එතරම් අපහසු දෙයක් නොවේ. සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ ඇතිවීම පිළිබඳව බුද්ධ කාලයේ පැවති දැනුම චන්දිම සූත්‍රයෙන් හා සූරිය සූත්‍රයෙන් පිළිබිඹු වේ. බුද්ධ කාලයෙන් වසර සහශ්‍රයකට පමණ පසුව සූර්ය සිද්ධාන්තය ලියැවෙන කාලය වන විට මේ ස්වභාවික සංසිද්ධි පැහැදිලි කිරීමට පමණක් නොව නිවැරදිව පුරෝකථනය කිරීමටද හැකි තරමට ජ්‍යෝතිෂය දියුණු වී තිබුනත් ක්‍රිස්තු පූර්ව හයවන සියවස ආසන්න කාලයේදී සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ බොහෝ දෙනෙකුට බිය උපදවන දෙයක් වූ බව සිතා ගැනීම අපහසු නැත.

සූරිය සූත්‍රයේ පෙළ අනුව බුදුන් සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවිසූ කිසියම් අවස්ථාවක සූර්යග්‍රහණයක් සිදුවන්නට ඇති බවට අපට ප්‍රවාදයක් ගොඩනැගිය හැකිය. මේ අයුරින්ම චන්ද්‍රග්‍රහණයක්ද සිදුවන්නට ඇති නමුත් අපට වඩා වැදගත් වන්නේ මේ කාලයේදී සිදුවීමට ඉඩ තිබුණේයැයි අප සිතන සූර්යග්‍රහණයයි. හදිසියේම දවල් කාලයේ ඉර නොපෙනී ගොස් අඳුරු වුවහොත් බොහෝ දෙනෙකු බියට පත් වන බවත්, තමන්ට වඩා බොහෝ දැනුම් තේරුම් ඇති අයෙකු සේ සලකන බුදුන් වැනි කෙනෙකුගෙන් පිහිට අයදින්නට ඉඩ ඇති බවත් වටහාගැනීම අපහසු දෙයක් නොවේ. එවැනි විටෙක, බුදුන් ශ්‍රාවක පිරිසගේ බිය දුරු කිරීම පිණිස කිසියම් දෙයක් කරන්නටද ඉඩ තිබේ.

චන්ද්‍රග්‍රහණ මෙන් නොව සූර්යග්‍රහණ දුර්ලභය. පොළොවේ කොතැනකට හෝ සූර්යග්‍රහණයක් පෙනීම දුලබ දෙයක් නොවූවත් පොළොවේ කිසියම් නිශ්චිත ස්ථානයකට වසර දහසකට පූර්ණ සූර්යග්‍රහණ හත අටකට වඩා පෙනෙන්නේ නැත. සූරිය සූත්‍රය අනුව ඉහත සූර්යග්‍රහණය සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයට පෙනුණු එකකි. එසේනම්, මෙය සිදුව තිබෙන්නේ ජේතවන පූජාව සිදු කිරීමෙන් පසුව සම්බුද්ධ පරිනිර්වාණයට පෙර වසරකදී විය යුතුය.

සැවැත් නුවර ජේතවනාරාමය පැවති තැන සේ සැලකෙන්නේ උත්තර ප්‍රදේශ්හි සහේත් නගරයයි. මේ ස්ථානය උත්තර අක්ෂාංශ 27.5086443 හා නැගෙනහිර දේශාංශ 82.0392016 හි මුහුදු මට්ටමේ සිට මීටර් 105-110 ක පමණ උසක පිහිටා ඇති තැනකි. මේ තොරතුරු වල උපකාරයෙන් අපට සැවැත් නුවර ජේතවනාරාමයට පූර්ණ සූර්යග්‍රහණයක් දකින්නට ලැබුණු අවස්ථා ගණනය කර සොයාගත හැකිය. එවිට අපට පෙනෙන පරිදි, ක්‍රිස්තු පූර්ව පළමු සහශ්‍රය තුළ එවැනි පූර්ණ සූර්යග්‍රහණ තිබී ඇත්තේ හයක් පමණි. ඒවා පහත දැක්වේ.

1. ක්‍රිස්තු පූර්ව 986 දෙසැම්බර් 26 හවස 4:29:49 සිට මිනිත්තු 1:16ක්.
2. ක්‍රිස්තු පූර්ව 848 අගෝස්තු 4 උදේ 6:14:54 සිට මිනිත්තු 2:54ක්.
3. ක්‍රිස්තු පූර්ව 794 සැප්තැම්බර් 6 උදේ 6:34:57 සිට මිනිත්තු 2:23ක්.
4. ක්‍රිස්තු පූර්ව 769 මැයි 5 හවස 5:08:22 සිට මිනිත්තු 1:34ක්.
5. ක්‍රිස්තු පූර්ව 548 ජූනි 19 උදේ 10:11:32 සිට මිනිත්තු 5:41ක්.
6. ක්‍රිස්තු පූර්ව 309 අගෝස්තු 15 හවස 2:13:02 සිට මිනිත්තු 3:29ක්.

මේ අතරින් මුල් හතර සිදුව ඇත්තේ බුද්ධ කාලය ලෙස බොහෝ දෙනෙකු විසින් පිළිගන්නා කාලයට බොහෝ කලිනි. අවසන් පූර්ණ සූර්යග්‍රහණය සිදුව තිබෙන්නේ අශෝක කාලයට ඉතා ආසන්නවය. ඒ නිසා බුද්ධ කාලයේදී සිදු වූවා විය හැක්කේ පස්වැන්න පමණි. එමෙන්ම එය මිනිත්තු 5:41ක් පුරා පැවති දීර්ඝ සූර්යග්‍රහණයක් වීමද විශේෂත්වයකි.

එසේනම්, ක්‍රිස්තු පූර්ව 548 ජූනි 19 උදේ 10:11:32 සිට මිනිත්තු 5:41ක් මහ දවාලේ ඉර නොපෙනී ගියේ බුදු හිමියන් සැවැත් නුවර සිටි සමයකදීද?

ථෙරවාද සම්ප්‍රදාය අනුව සම්බුද්ධ පරිනිර්වාණය සිදුව තිබෙන්නේ ක්‍රිස්තු පූර්ව 543දීය. එසේනම්, මේ සූර්යග්‍රහණය සිදුව තිබෙන්නේ සම්බුද්ධ පරිනිර්වාණයට වසර පහකට පෙරය. එහෙත්, දැනට වැඩියෙන් පිළිගන්නා ගයිගර්ගේ ගණනය කිරීම් අනුව සම්බුද්ධ පරිනිර්වාණය සිදු වී තිබෙන්නේ ක්‍රිස්තු පූර්ව 483දී වන අතර මෙය ඊට වසර 65කට පෙර වසරකි. ඒ වන විට සිදුහත් කුමරාට වයස අවුරුදු 15ක් පමණි. ක්‍රිස්තු පූර්ව 483ට පෙර වසර 45 තුළ (ගයිගර්ගේ ගණනය කිරීම් අනුව බුද්ධත්වයෙන් පසු පරිනිර්වාණය දක්වා කාලය තුළ) අඩු වශයෙන් ජේතවනාරාමය පිහිටි ප්‍රදේශයට සැලකිය යුතු බලපෑමක් කරන (දැනෙන තරමට අහස අඳුරු කරන) අර්ධ සූර්යග්‍රහණයක් හෝ සිදු වී නැත.

එසේනම්, භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන කල්හි සූර්‍ය්‍යදෙව්පුත් තෙම රාහු අසුරිඳු විසින් සැබෑවටම අල්ලා ගන්නා ලද්දේ වීද?

31 comments:

  1. ඔය සූරිය සහ චන්දිම සූත්‍ර ලියා තියෙන්නේ ඇලන් ක්වාටර්මන් පොත ලියූ රයිඩර් හැගාර්ඩ් හෝ ටින්ටින් - ප්‍රිසනර්ස් ඔෆ් ද සන් ලියූ හර්ජේ වැනි කෙනෙකු විය යුතුයි.

    ReplyDelete
  2. ඉකොනොමැට්වාගේ තර්කය ඉතා නිවැරදියි.

    ජේසු උපත සිදුවූයි සාමාන්‍යයෙන් සැළකෙන වසර 2018 කට පෙර දෙසැම්බරයේ වල්ගා තරුවක් පායා නැතිබවත් මා කියවා තියෙනවා. වල්ගා තරු කතාව නිවැරදි නම් ජේසු ඉපදුනේ ක්‍රිස්තු පූර්ව සිව්වැනි වසරටත් පෙර දී ලු!

    ReplyDelete
    Replies
    1. ජේසු උපත සිදු වූ වසර ක්‍රිස්තු වර්ෂට පෙර වසරක් බව පිළිගත් කරුණක්. එමෙන්ම, ජේසු උපත සිදු වූ මාසය දෙසැම්බර් ලෙස හෝ අඩු වශයෙන් (උත්තරාර්ධගෝලයේ) ශීත සෘතුවේ මාසයක් සේ සැලකෙන්නේත් නැහැ.

      පහතින් තිබෙන්නේ මා කලින් ලියූ (ඔබනම් කියවා අදහස් දක්වා ඇති) අදාළ ලිපියක්.
      http://economatta.blogspot.com/2017/05/blog-post_13.html

      Delete
  3. හොඳ තර්කයක්!

    නමුත් නාම මාත්‍රයෙන් එසේ රාහු සහ සුර්ය දිව්‍ය පුත්‍රයින් යනු සඳ , ඉර ලෙස ගැලපීම මම හිතන්නේ එතරම්ම තාර්කික වශයෙන් ශක්තිමත් නැහැ. බොහෝ දේවල් හිතන්න පුළුවන් විදියේ කරුණු අඩංගු උනත් මට දැනුම මදි ලොකු දෙයක් එකතු කරන්න

    ReplyDelete
  4. මම නම් හිතන්නේ විල්හෙල්ම් ගයිගර් ගේ ගණනය කිරීම් අනුව බුද්ධ කාලය ගණන් තැබීමේ යම් වරදක් සිදුවී ඇතැයි යන්නයි. සැබෑ බුද්ධ කාලය බොහෝවිට ථෙරවාදී සංකල්ප අනුව වඩා නිවැරදි දිනය ලෙස ථෙරවාද රටවල් සියල්ලම පාහේ පිළිගන්නේ ක්‍රි.පු 544 හෝ 543 ය. එයට හේතුව අශෝක රාජ්‍ය කාලයේ වර්තමාන නිගමනයට පත් දිනයට වඩා අවුරැදු 60 ක් පමණ පෙර සිදු වුයේ යැයි පිළිගැනීමයි.

    කෙසේ නමුත් මෙය ලෝක භාෂා වර්ගීකරණයේදී සිංහල භාෂාවේ ‍‌ආර්යය අනන්‍යතාවය නිවැරදිව තහවුරු කරමින්, සිංහල භාෂාව ද්‍රවිඩ භාෂා මූලයකින් පැවතෙන්නක්ය යනුවෙන් බටහිර රටවල තිබූ සැකසංකා දුරු කළ ගයිගර් විද්වතාට කරන අපහාසයක් නොව ගණිතඥයකු නොවූ දර්ශනවාදය පිළිබඳව ගරු සම්මාන සහිත ආචාර්ය උපාධියෙන් පිදුම් ලැඹූ පෙරදිග භාෂා/ සංස්කෘතිය සහ ඉතිහාසය පිළිබඳ විශේෂඥයකු වූ එතුමා විසින් ගණනයේදී යම් වැරදි තොරතුරු සහිත මූලාශ්‍රයකට වැඩි බරක් තන්නට ඇත. කෙසේ නමුත් සිංහල භාෂාව සම්බන්ධයෙන් ඔහු විසින් කළ ඉතා වැදගත් ජාත්‍යන්තරව පිළෛගත් තොරතුරු නොවිනිනම් පසුගිය උග්‍ර වාර්ගික ශුද්ධියක් හරහා උතුරු නැගෙනහිරින් සිංහල සහ මුස්ලිම් ජනවර්ග සමූලඝාතනය කොට තනිකර ශුද්ධ අනාර්ය දෙමළ වාඅර්ගික රාජ්‍යක් පැතූ දමිළ ජාතිවාදීන්ගේ බෙදුම්වාදී ඊලාම් අරගලයේදී භාෂාව සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකාව තුළ "සිංහල" නමැති අනන්‍යතාවයෙන් පෙනීසිටින අසරණ ජන කොටස යටපත් කිරීම සඳහා උත්සාහයන් සිදුවිය හැකිව තිබුණි. මහාවංශය ඉංග්‍රීසියට පරිවර්තනය කරමින් සිංහල ඉතිහාසය ලොවට ගෙන ගොස් ජාත්‍යන්තර වශයෙන් සිංහලයාට සහ සිංහල රටට ගයිගර් මහතා තරම් සේවයක් කළ වෙනත් කිසිදු විදේශිකයෙක් නොමැති බව මගේ අදහසයි. ඔබ මේ සම්බන්ධයෙන් සිතන්නේ කුමක්ද?

    ReplyDelete
    Replies
    1. ගයිගර් විසින් කළ සේවය අගයන නමුත් ඔහු එසේ කළේ හොඳ බටහිර ශාස්ත්‍රඥයෙකු විසින් සාමාන්‍යයෙන් කරන පරිදි වඩා නිවැරදි දෙය ඉස්මතු කර ගැනීමේ අරමුණින් මිස සිංහලයාට හෝ සිංහල රටට සේවය කිරීමේ අරමුණක් ඇතිව නෙමෙයි. එසේ වුනානම් එය අතුරු ඵලයක් පමණයි. එමෙන්ම, මෙය ඔහුට සිසු වූ ගණනය කිරීමේ වරදකට ලඝු කළ හැකි කරුණක් කියා මම හිතන්නේ නැහැ. විෂ්ණු පුරාණය, අශෝකාවදානය, ජෛන මූලාශ්‍ර, බුරුම මූලාශ්‍ර ඇතුළු විකල්ප තොරතුරු සහිත මූලාශ්‍ර ගණනාවක් මහා වංශය හා දීප වංශය සමඟ සැසඳීමෙන් පසුව ගයිගර් විසින් ලංකාවේ වංශ කථා වල ඇති තොරතුරු වලට වැඩි බරක් තබා ඇතත් එය කර තිබෙන්නේ මතිග්‍රාහී ලෙස නෙමෙයි. එසේ කරන අතරම මහා වංශයේ පැහැදිලිව දැකිය හැකි අසංගත තැන් ගයිගර් විසින් පෙන්වා තිබෙනවා.

      මහා වංශය අනුව සම්බුද්ධ පරිනිර්වාණයේ සිට දෙවනපෑතිස් අභිෂේකය දක්වා මගධයේ රජවරුන් 29 දෙනෙකු රජ කරන නමුත් ලංකාවේ රජ කරන්නේ රජවරුන් පස් දෙනෙක් පමණයි. රජ කෙනෙකු නොසිටි වසර 18ක කාලය සැලකුවත් මෙය ගැටළු සහගත දෙයක්. විජයාගමනය හා සම්බුද්ධ පරිනිර්වාණය එකම මොහොතක සිදු වූ බව කියන්න අවශ්‍ය වීම නිසා අදාළ කාලයේ ලංකාවේ ඉතිහාසය හැකිතාක් විශාලනය කර මගධයේ ඉතිහාසය තරමක් සංකෝචනය කර ඇති බවක් පේනවා. මෙය මහානාම හිමියන් විසින් කර ඇති දෙයක් නොවෙයි. ඊට බොහෝ පෙර ඔහුගේ ආචාර්ය පරම්පරාවේ විය හැකි වෙනත් අයෙකු විසින් කර ඇති දෙයක්. විෂ්ණු පුරාණයට අනුව අජාසත්ගේ සිට අශෝක දක්වා කාලය මහා වංශයේ කාලයට වඩා වසර 99කින් වැඩියි. (මා මෙයින් කියන්නේ විෂ්ණු පුරාණය වඩා නිවැරදි බව නෙමෙයි. වෙනත් විකල්ප මූලාශ්‍රද ඇති බව පමණයි.) දෙවනපෑතිස්ට පෙර පණ්ඩුකාභයගේ හා මුටසීවගේ රාජ්‍ය කාල පමණක් නොව ඉන්පසු රජවූ කිහිප දෙනෙකුගේම රාජ්‍ය කාල වංශකතා වල සඳහන් තරම් දිගු නොහැකි බව පැහැදිලි කරුණක්. මෙය ගයිගර්ගේ සිට තවත් බොහෝ දෙනෙකු විසින්ද පෙන්වා ඇති දෙයක්. ථෙරවාද රටවල් අතර එකඟත්වයක් පැවතීම එතරම් වැදගත් දෙයක් නෙමෙයි. අනෙක් ථෙරවාද රටවල තිබෙන්නේ ලංකාවෙන් රැගෙන ගොස් දිගටම පවත්වාගත් සම්ප්‍රදායයක්. ඒ නිසා පසුව වෙනසක් සිදු නොවුනානම් එය එසේ විය යුතුයි. ලංකාවේ කවුරු හෝ විසින් වෙනසක් සිදු කර තිබෙන්නේ ඊට පෙර කාලයකදී.

      Delete
  5. ඉකොනොමැට්ටා,

    මාතෘකාවට අදාල නැතත් ඔබගෙන් වෙනත් ආර්ථික කටයුත්තක් පිළිබඳ කරුණු සහිත පෝස්ට් එකක් බලාපොරොත්තුවෙන් කමෙන්ට් කරමි. එනම් මේ වන විට එක්සත් ජනපදය නැතිනම් ලංකාවේ ජාතික චින්තනවාදීන්ට අනුව "ඇමරිකන් ඔරුමත්තුනාඩු" රටේ බලසම්පන්න ලිබරල්වාදී, ඩිමොක්‍රටික් පාක්ෂික පිරිස් සහ එම මතවාදයට සහය දෙන මාධ්‍ය ඇතුළු ඒකාබද්ධ ට්‍රම්ප් විරෝධී පෙරමුණු විසින් ඉතා නුදුරේදීම අතිබලගතු දැවැන්ත ආර්ථික පරිහාණියක් ලොව වෙලාගනු ඇතැයි මතයක් ප්‍රචාරය කරන බව ඔබ දන්නවානේ. ඉතින් ඇතැම් වාර්තාවල මා දුටුවේ මෙම දැවැන්ත ග්ලෝබල් එකොනොමික්/ ෆයිනෑන්ෂල් ක්‍රයිසිස් එක 1929-30 ග්‍රේට් ඩිප්ප්‍රෙශන් එකටත් වඩා අතිභයානක බවත් ට්‍රම්ප් නමැති ගංකබාර නාකියාගේ ගොන් තීරණ නිසා මෙය සිදුවෙන බවත් දුටුවා. සාමාන්‍යයෙන් එක්සත් ජනපදය වැනි රටවල මාධ්‍ය හැසිරෙන ඉතා වගකීම් විරහිත අතිශය පක්ෂග්‍රාහී ජඩ-මාධ්‍ය කලාව අනුව මේ කිසිවක් විස්වාස කළ නොහැකියි. ඉතින් ආර්ථික විද්‍යා විශ්ලේශකයෙකු වශයෙන් මේ ගැන විස්තරාත්මකව සහ විශ්ලේෂණාත්මකව ඔබ විසින් වටිනා පෝස්ට් එකක් දමනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

    ස්තූතියි !

    ReplyDelete
    Replies
    1. එක්සත් ජනපදය කියන වචනය දැන් පරණ වැඩියි.
      ඇමරිකන් ඔරුමත්තුනාඩුව වෙනුවට පනස්එක් ඇංග්ලිකාව කිව්වත් වරදක් නෑ (තුන් සිංහලය වගේ)

      ඔරුමත්තුනාඩුව යනු ලෝකෙට ලොක්කා නෙමෙයි. (ඔය අදහස හැමදේම ආර්ථික සාධක වලට ඌණනය කරන කෂිකබලුන්ගේ කතාවක්)
      දැන් ලෝකෙට ලොක්කා වී ඇත්තේ බටහිර ක්‍රිස්තියානි ජාත්‍යන්තර සුපිරි ව්‍යුහයයි.
      ඔරුමත්තුනාඩුව යනු සුපිරි ව්‍යුහයට පෝශණය සපයන ප්‍රධාන පෝශක මාධ්‍යයයි. හෙට මේ පෝශණ මාධ්‍යය වෙනස් වෙන්න පුළුවන්.

      මෙයට හොඳම උදාහරණයක් තමයි මෙක්සිකෝව තුල ගබ්සාව පිළඹඳ කතෝලික පල්ලියේ මතයට එරෙහි මත ප්‍රචාරය කිරීමට ඔරුමත්තුනාඩු ජනතාවගේ බදු මුදල් යෙදවීම
      (ඩොනල් ට්‍රම්ප් කල මුල්ම රාජකාරියක් තමයි එයට මුදල් යෙදවීම වැලැක්වීම.)

      Delete
    2. ලෝකයේ ආර්ථික අර්බුද ඇතිවීම ආරම්භ වන්නේ ඇමෙරිකන් ඔරු මට්ට නාඩු/ එක්පණස් ඇංග්ලිකාව බිහිවීමට සහස්වසකට ආසන්න කාලයක් පෙරදීය. ඒ වැඩවසම් සමාජ අවධියටත් පෙර සිටය. එහි ඉතිහාසය 03 වන ශත වර්ෂය දක්වා දිවයයි. එය කි‍්‍ර.ව. 235 – 384 කාලය රෝම අධිරාජ්‍යයෙන් ආරම්භවන්නකි. එතැන් සිට ධනවාදයේ දී ඉතා ප‍්‍රබල ලෙස මෙම ආර්ථික අර්බුදයන් පැන නැගුන අතර වසර 500 ක ධනවාදයේ ඉතිහාසය තුල අපට හමුවන ආර්ථික අර්බුද ගණනාවක් ඇත. එහෙත් ධනවාදයේ අවසාන කාලය ලෙස මේ වකවානුවේ විශේෂයෙන් 21 වන ශතවර්ෂයේ ලොව පුරා ආර්ථික අර්බුද රැල්ලක් නිර්මාණය වෙමින් පවති. මෙලෙස 18 වන ශතවර්ෂයේ ආර්ථික අර්බුද 07 කුත් 19 වන ශතවර්ෂයේත් ආර්ථික අර්බුද 15 කුත් වර්තා වන අතර 20 ශතවර්ෂයේ දී එය 22 දක්වා ඉහළ ගියේය. එහෙත් 21 වන ශතවර්ෂය ආරම්භ වී වසර 15 ක් යෑමට මත්තෙන් ලොව පුරා ආර්ථික අර්බුද 12 ක් වාර්තා වීමෙන් අපට නැවත නැවතත් පෙන්නුම් කරමින් සිටින්නේ ධනවාදය හෙවත් ලිබරල් නිද්දහස් වෙලඳපොළ ක්‍රමයද එහි අවසානය කරා ඇදෙමින් පවතින බවයි. මෙම ආර්ථික අර්බුදයන්ට මුහුණ දෙන ප‍්‍රධාන රටවල් අතර විශාල ලෙස වර්තා තබා ඇත්තේ ධනවාදයේ පියවරුන් වන එක්සත් රාජධානිය සහ ඇමරිකා ඔරුමත්තු නාඩු (පණස් එක් ඇංග්ලිකාව/එක්සත් ජනපද) දේශයයි.

      සමාජවාදී කාල් මාක්ස්ට අනුව ආර්ථික අර්බුදයන් ඇති වීම ධනවාදය තුල අනිවාර්යක් වන අතර විවෘත වෙළඳපොල තුල ප‍්‍රාග්ධනය ඒකරාශි වීම හේතුවෙන් සහ අසාමාන්‍ය ලෙස ධනය බෙදීයාමෙන් මෙලෙස ආර්ථික අර්බුදයන් නිර්මාණය වන බවයි. 1920 සිට 1930 දක්වා කාලයේ දී සිදුවු ලෝක ආර්ථීක අවපාතය 20 වෙනි ශතවර්ෂයේ සටහන් වූ දරුණුම ආර්ථික අවපාතයි.

      ඉන් බොහෝ පසුව මීට දස වසකට පෙර 2008 දී ඇමරිකා ඔරුමත්තු නාඩු (එක්සත් ජනපද) වේ සිදුවු මුල්‍ය අර්බුදය මෙම ශත වර්ෂයේ සිදුවු දරුණුම ආර්ථික අර්බුදය බවට පත්විය. කොටස් වෙළඳපොල කඩා වැටීමත්, ණය ගෙවීමට නොහැකිවීමත්, නිවාස ණය සහ ණය පත් (Credit Card) ණය හරහා සිදුවු 2008 ආර්ථික අර්බුදය සමනය කර ගැනිමට ඇමරිකා ඔරුමත්තු නාඩුව ප‍්‍රමුඛ බටහිර රටවල විශේෂ ආයාසයක් දැරීමට සිදුවිය. එයින් වසර 08 කට පසුව නැවතත් එවැනිම ආර්ථික අර්බුදයක පෙර නිමිති පහල වෙමින් පවතින අතර එය 2015 දෙසැම්බර් මස වන විට විවිධ ආර්ථික දත්තයන් හරහා පෙන්නුම් කළේය. විශේෂයෙන් ලෝකයේ ප‍්‍රධාන කොටස් වෙළඳපොල වල සිදුවන වෙනස්කම් සහ කඩා වැටීම් මේ සඳහා උදාහරණ සපයයි. 2015 දෙවන අර්ධය පමණ වනවිට කොටස් වෙළඳපොළෙහි අවිනිශ්චිතතාවය ඉහළ ගිය අතර එය ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් එස්.ඇන්ඞ්.පීී 500 දර්ශකය මගින් පහැදිලි විය. එස්.ඇන්ඞ්.පීී 500 දර්ශකය (Standard & Poors 500) මගිින් පිළිබිඹුු වන්නේ එක්සත් ජනපද ඔරුමත්තු නාඩු කොටස් වෙළඳපොලෙහි ගණුදෙනු පිළිබඳ තොරතුරුය. එක්සත් ජනපද ඔරුමත්තු නාඩුවේ මෙම කොටස් මිල දර්ශකය මගින් ඇමරිකන් ඔරුමත්තු නාඩු කොටස් වෙළඳපොලෙහි ක‍්‍රියාත්මක වන විශාලම සමාගම් 500 හි කොටස් ගණුදෙනු පිළිබඳ තත්වය නිරූපනය කරන බැවින් එම දර්ශකය ආර්ථීකයේ මුල්‍ය තත්වය පිළිබඳව ඉතා පැහැදිලි අදහසක් ලබාදේ. 2018 වසර ආරම්භයේදීම එම දර්ශකය සැලකිය යුතු අන්දමින් පහළයෑම මෙම මුල්‍ය අර්බුදය විදහාපායිි.

      Delete
    3. ආර්ථික අර්බුදයන්හිදී එයට පිලියම් ලෙස ඇමරිකන් ඔරුමත්තු නාඩු (එක්සත් ජනපද ) ආණ්ඩුව කඩාවැටෙන සහ අර්බුදයට යන ආයතන සඳහා සහන සැලසීම සහ අරමුදල් යෙදවීම (Government Bail-out Packages) කරනු ලබයි. එලෙස 2008 සිදුවූ ආර්ථික අර්බුදයට පිළියම් ලෙස රක්ෂණ හා මුල්‍ය සමාගම් කිහිපයකට මුල්‍ය ආධාර පිරිනමන ලදි. එයට අමතරව සහනදායී මුල්‍ය ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමත්, ප‍්‍රාග්ධනය යෙදිීමත් වැනි කටයුතු මගින් රජය මෙම අර්බුදයන් සමනය කර ගැනීම සඳහා මැදිහත් වුනි. ආර්ථික විද්‍යා විශ්ලේෂකයින් සඳහන් කරන්නේ එලෙස ගන්නාලද ක‍්‍රියාමාර්ග වල ප‍්‍රතිඵලයක් ලෙස මෙලෙස නැවතත් ආර්ථිකය අර්බුදයට යැමේ ලකුණු පහලවෙමින් පවතින බවයි. එය ලොව පුරා මේ මොහොතේ ඇති ඇති ආර්ථික තත්වයත් සමග සසඳන කල දැක ගත හැක.

      ලෝක ආර්ථිකයේ විශාල කොටසකට දායකත්වය සපයන යුරෝපා ආර්ථිකය තුල මේ වන විට ඉතා බරපතල අර්බුද ඇරඹී ඇත. විශේෂයෙන්ම බැදුම්කර නිකුත් කිරිම් හරහා රාජ්‍ය ණය (Sovereign Debt) ලබාගැනීම තුළ යුරෝපයේ බොහෝ රටවල් මෙම ඉතා දැඩි අවදානමට ලක්ව ඇත. ස්වෛරීත්ව බැදුම්කර යටතේ ලබා ගන්නා විදේශ ණය මගින් ආර්ථිකයේ මුල්‍ය අර්බුදයට පිළියම් සෙවීම යුරෝපය පුරා පසුගිය කාලයේ සිදුවිය. විශේෂයෙන් පෘතුගාලය, අයර්ලන්තය. ඉතාලිය, ග‍්‍රීසිය සහ ස්පාඤ්ඤය යන රටවල් මෙම තත්වයට මුහුණ දුන් අතර යුරෝපා මධ්‍යම බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මේ තත්වය සමනය කිරීම සඳහා මැදිහත් විය. PIIGS රටවල් එකතුව 2015 ග‍්‍රීසියේ දී පැවති සමුඵවේදී එම ආර්ථිකයන්හි තත්වය සමනය කර ගැනීම සඳහා විශේෂ රාජ්‍ය මුල්‍ය උපක‍්‍රම භාවිතා කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල උපදෙස් දුන් අතර ග‍්‍රීසියෙහි ආර්ථිකය කඩා වැටීමේ අවදානම කෙරෙහි වඩා සැලකිලිමත් විය.

      මේ අතර චීනයේ කොටස් වෙළඳ පොලෙහිද අසාමාන්‍ය වර්ධනයක් පෙන්නුම් කල අතර එය චීනයේ දළ දේශිය නිෂ්පාදිතයේ වර්ධනයත් සමග සිදුවිය. ලෝකයේ දෙවන ආර්ථිකයට හිමිකම් කියන චීනයේ මැද පාන්තික ආදායම ඉහළ යාමත් සමග චීනයේ කොටස් වෙළඳපොල කටයුතු ඉහළ ගිය අතර එයට ආයෝජන සඳහා ඇති සීමාවන් ද හේතු විය. මෙසේ කොටස් වෙළඳපොල ඉහලයෑම නිසා ඒ හේතුව මත කොටස් වෙළඳපොලෙහි බුබුඵ තත්වයක් පැන නැගින. තාක්ෂණික අංශයේ කර්මාන්තයන්හි කොටස්වල ඉපැයුම් ඉතා ඉහළ මට්ටමක පැවතුනි. ඒ අනුව එහි කොටසක දල ඉපැයුම් අනුපාතය 150 වාරයක් දක්වා ඉහළ ගියේය. මෙය ලෝකයේ කොටස් වෙළඳපොල තත්වයන් කෙරෙහි බලපෑ අතර එය මූල්‍ය අර්බුදකාරී මට්ටමක් දක්වා තල්ලූ කිරිමට සමත්වනු ඇත.

      එක්සත් ජනපද ඔරුමත්තු නාඩුවේ අධ්‍යාපනය සඳහා සිසුන්ට ණය ලබාදීම ද ආර්ථිකය ගැටලූකාරී තත්වයකට ඇද දමා ඇත. පසුගිය වසර නිමවන විට එසේ සිසුන් විසින් ලබාගත් ණය ප‍්‍රමාණය ඇමරිකන් ඔරුමත්තු නාඩු ඩොලර් ටි‍්‍රලියන 1.2 ක් පමණ වේ. මෙම ණය ප‍්‍රමාණය සිසුන්ට ගෙවීමට නොහැකි මට්ටමක පවතින අතර එය 2014 ඔස්ටේ‍්‍රලියාවේ ද:දේ:නි වන ඇ:ඩො: බිලියන 852 හා සසඳන කල විශාල මුදලකි. මෙයට සමගාමීව එක්සත් ජනපද ඔරුමත්තු නාඩුවේ රැකියා වියුක්ති අනුපාතය 4.9 ක් ලෙස පහළ බැස ඇති බවට රැකියා නියුක්ති දර්ශකය සඳහන් කලද එයට අර්ධකාලීන සහ දිනකට පැය කිහිපයක් පමණක් සේවයෙහි යෙදෙන පුද්ගලයන් ද ඇතුලත් කර ඉතා වංචා සහගතව මිනිසුන් නොමග යවන ලෙස සකස් කර තිබේ. එම කොටස මෙයින් ඉවත් කලවිට එක්සත් ජනපද ඔරුමත්තු නාඩුවේ රැකියා වියුක්ති අනුපාතය 10.5 දක්වා ඉහළ යන අතර එය විශාල ආර්ථික අර්බුදයක පෙර නිමිති කියාපායි.

      මෙයට අමරතරව පසුගිය මාස කිහිපය තුල එක්සත් ජනපද ඔරුමත්තු නාඩුවේ සිල්ලර හා තොග වෙළඳම විශාල ලෙස පහත ගොස් ඇති අතර එය පසුගිය 2008 ආර්ථික අවපාත කාලයට වඩා වැඩි බව ආර්ථික විශ්ලේශකයින් සඳහන් කරති. 2017 දෙසැම්බර් මස වන විට කර්මාන්ත ශාලාවලට ලැබෙන ඇණවුම් ප‍්‍රමාණය අනෙක් වසරවලට වඩා පහල ගොස් ඇති අතර අපනයන වර්ධනය පහළ ගොස් ආයතන ලබන ලාභාන්තිකයද පහල ගොස් ඇත. මේ කරුණු සියල්ල සලකා බලන කල 2018 වසර තවත් බරපතල ආර්ථික අර්බුදයට අතවනන බවට පැහැදිලි වේ. මේ ගැන ඇමරිකන් ඔරුමත්තු නාඩු වැසියකු මන ඉකොනොමැට්ටා දරන්නේ කුමන මතයක්ද?

      Delete

    4. //Anonymous April 19, 2018 at 9:24 AM//

      //ඉතින් ආර්ථික විද්‍යා විශ්ලේශකයෙකු වශයෙන් මේ ගැන විස්තරාත්මකව සහ විශ්ලේෂණාත්මකව ඔබ විසින් වටිනා පෝස්ට් එකක් දමනු ඇතැයි බලාපොරොත්තු වෙමි.//

      චක්‍රීය ලෙස කලින් කලට ඇතිවන ආර්ථික අවපාත සිදුවන කාල වකවානු නිවැරදිව පුරෝකථනය කළ හැකි ක්‍රමයක් මම දන්නේ නැහැ. එසේ කළ හැකිනම් මම කරන්නේ ඒ හැකියාව මුදල් කරගන්නා ආකාරයක් ගැන සිතීමයි. ඇමරිකාවේ විරැකියා අනුපාතිකය පසුගිය වසරේ අග භාගයේ සිට 4.1% මට්ටමට පහත වැටී ඒ මට්ටමේම තිබෙනවා. ඇමරිකාවේ ස්වභාවික විරැකියා අනුපාතිකය ලෙස සැලකෙන්නේ 4.7% මට්ටමයි. මෙයින් අදහස් වන්නේ ඇමරිකානු ආර්ථිකය මේ වන විට එහි විභව මට්ටම ඉක්මවන තරමට ප්‍රසාරණය වී ඇති බවයි. එසේ වූ විට යම් නිවැරදි වීමක් සිදු විය යුතුයි. එවැනි අවස්ථාවක බදු අඩු කළ විට සිදුවන්නේ ඒ නිවැරදි වීම සිදු නොවී ආර්ථිකය තව දුරටත් ප්‍රසාරණය වීමයි. සාමාන්‍යයෙන් මෙවැනි වකවානුවකදී වඩා ගැලපෙන්නේ රජයේ වියදම් සීමා කිරීම හා බදු වැඩි කිරීම වැනි ආර්ථික වර්ධනය සීමා කරන රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තියක්.

      Delete
    5. AnonymousApril 20, 2018 at 4:09 AM

      //මේ කරුණු සියල්ල සලකා බලන කල 2018 වසර තවත් බරපතල ආර්ථික අර්බුදයට අතවනන බවට පැහැදිලි වේ. මේ ගැන ඇමරිකන් ඔරුමත්තු නාඩු වැසියකු මන ඉකොනොමැට්ටා දරන්නේ කුමන මතයක්ද?//

      ඔබ විසින් උපුටාගෙන, ඇතැම් වචන වෙනස් කර මෙහි දමා තිබෙන left library එකේ කලකට පෙර පළ කර තිබුණු ඔය ලිපිය මා කියවා තිබෙනවා. ඔය ගැන වද නොවී සිංදුවක් අහන්න, ඇනෝ!

      https://www.youtube.com/watch?v=rRLmgShuQoc

      Delete
    6. ///චක්‍රීය ලෙස කලින් කලට ඇතිවන ආර්ථික අවපාත සිදුවන කාල වකවානු නිවැරදිව පුරෝකථනය කළ හැකි ක්‍රමයක් මම දන්නේ නැහැ. එසේ කළ හැකිනම් මම කරන්නේ ඒ හැකියාව මුදල් කරගන්නා ආකාරයක් ගැන සිතීමයි.///

      ඉකොනොමික්ස් නොහොත් ආර්ථික විද්‍යාව නමැති විශයයේ ඇති බරපතල අවුල මේකයි. (අනාථ නාථ නලීන් සිල්වා වැනි සිංහල ජාතිවාදී චින්තනවාදීන් කියන විදිහට සියලුම බටහිර විද්‍යා පට්ටපල් කෙබරලූ) කොහොම වුණත් අවම වශයෙන් ඉදිරියේ ඇතිවිය වියහැකි ආර්ථික තත්වයන් සමස්තයක් වශයෙන්වත් නිසි පරිදි පුරෝකථනය කළ නොහැකි ඉකොනොමික්ස් විෂය ඉගෙනීමෙන් ඇති ඵලය කිම? නිකම් කාලය සහ මුදල් නාස්තියක් පමණයි. මීට වඩා හොඳයි ඉස්සර හිටපු මළ පොතේ අකුරු නොදත් මුදලාලියෙක් ගෙන් රටේ වෙළහෙළඳාම කොහොමද ඇහුවනම්. මිනිහ මෑන්ස්ගෙ නිරීක්ෂණ අනුව මහාලොකු ආර්ථික ඔස්තාර්ලට වඩා සිරා උත්තරයක් දෙයි. අනෙක ලංකාවේ ඉන්න අටපාස් නැති කේනදරකාරයෝ මීට වඩා හොඳට අනාවැකි කියනවනෙ? තරහ වෙන්න එපා ඉකෝන් මෙහෙම කිව්වට ඒත් ඇත්ත තිත්තයි නේද?

      දැන් ආර්ථික විද්‍යාව ගැන මෙහෙම නම් ඔබ පළකරන පුරාවිද්‍යාව ඉතිහාසය ගැන ලිපිත් මේ වගේ අර්ථ ශුන්‍ය නිකම් වචන හරඹ පමණක් කියා යමෙක් කිව්වොත් ඔබ නෑ කියන්නේ කොහොමද?

      Delete
    7. මා කියා තිබෙන්නේ චක්‍රීය ලෙස කලින් කලට ඇතිවන ආර්ථික අවපාත සිදුවන කාල වකවානු නිවැරදිව පුරෝකථනය කළ හැකි ක්‍රමයක් මා නොදන්නා බවයි. ඔබට "සිරා උත්තරයක්" අවශ්‍යනම් එවැනි උත්තර දෙන කෙනෙක් වෙත යන එක තමයි සුදුසු.

      Delete
    8. කේන්ති ගන්න එපා ඉකොනො, මාගේ අදහස් රළු වූවානම් සහ ඉන් ඔබ සිත රිදුනා නම් සමා වන්න. කෙසේ නමුත් අඩුම තරමින් මැක්‍රො ලෙවෙල් එකෙන් ඇමරිකා එක්සත් ජනපද රාජ්‍යයේ හෝ "සමස්ත ලෝකයේ" සිදුවන බරපතල ආර්ථික අවපාතයක් ගැන වත් හරියට විස්තර කළ නොහැකි විද්‍යාවකින් රටක යම් ආර්ථික ප්‍රතිපත්ති නිසා ආර්ථික අර්බුදයක් එන බව හෝ වෙනස් කළ ප්‍රතිපත්ති නිසා එයින් ගැලැවුණු බව කීමට හැකියයි කීම ඉතාම හාස්‍යජනක විසුළු සහගත කතාවක් බවයි මගේ වැටහීම. මේක හරියට කපටි කේන්දරකාර තක්කඩියන් තම සේවාදායකින් රැවටීමට ගසන කෙබර වගෙයි මට පෙණුනේ. දැන් බලන්න ඔබම කිව්වා නේද රුපියල ෆ්ලෝට් කරාම එය නියම සමතුලිත මිල ලබාගෙන රටේ ආර්ථිකය යහපත් වනවා කියා? නමුත් වුණේ එහි ප්‍රතිවිරුද්ධ දෙයයි. අනෙක ගිය ආණ්ඩුව ඩොලර් නාස්ති කරමින් රුපියල 130ක පමණ අගයේ තබාගැනීම විනාශයක් බව එකල බොහෝ ආර්ථික ඔස්තාර්ලා පැවසූ මාද විස්වාස කල කරුණක්, නමුත් දැන් මේ රජයට ෆ්ලෝට් කර වසර 3කට පසු නැවතත් පැරණි ක්‍රමයටම ඩොලරය ස්ථාවරව තබාගැනීමට ඩොලර් නාස්ති කරන්නට වී තිබේ. ඉතින් ඔබලා කියන ආර්ථික සංකල්පීය ප්‍රවාද මටනම් විසුලු සහගත ඇස්බැන්දුමක් වගේයි පෙනෙන්නේ, මා වැරදි නම් කාරුණිකව වටහා දෙන මෙන් ඔබෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. බොහොම ස්තූතියි, සුබ නව වසරක් !

      Delete
    9. //කෙසේ නමුත් අඩුම තරමින් මැක්‍රො ලෙවෙල් එකෙන් ඇමරිකා එක්සත් ජනපද රාජ්‍යයේ හෝ "සමස්ත ලෝකයේ" සිදුවන බරපතල ආර්ථික අවපාතයක් ගැන වත් හරියට විස්තර කළ නොහැකි විද්‍යාවකින් රටක යම් ආර්ථික ප්‍රතිපත්ති නිසා ආර්ථික අර්බුදයක් එන බව හෝ වෙනස් කළ ප්‍රතිපත්ති නිසා එයින් ගැලැවුණු බව කීමට හැකියයි කීම ඉතාම හාස්‍යජනක විසුළු සහගත කතාවක් බවයි මගේ වැටහීම.//
      මෙය මේ වගේ දෙයක්. ගහක් ගලක් වගේ ඉන්න මිනිහෙක් හෙට මැරෙන්න පුළුවන්. එය හරියටම කියන එක පහසු දෙයක් නෙමෙයි. නමුත් සුව කළ නොහැකි අසාධ්‍ය රෝගයක් වැළඳුනු කෙනෙක් නිශ්චිත කාලයක් ඇතුළත මිය යන බව කියන එක එතරම් අපහසු නැහැ. එහෙත්, එවැන්නෙකු වුවත් සුව වෙන අවස්ථාත් තිබෙනවා.

      //දැන් බලන්න ඔබම කිව්වා නේද රුපියල ෆ්ලෝට් කරාම එය නියම සමතුලිත මිල ලබාගෙන රටේ ආර්ථිකය යහපත් වනවා කියා? නමුත් වුණේ එහි ප්‍රතිවිරුද්ධ දෙයයි. අනෙක ගිය ආණ්ඩුව ඩොලර් නාස්ති කරමින් රුපියල 130ක පමණ අගයේ තබාගැනීම විනාශයක් බව එකල බොහෝ ආර්ථික ඔස්තාර්ලා පැවසූ මාද විස්වාස කල කරුණක්, නමුත් දැන් මේ රජයට ෆ්ලෝට් කර වසර 3කට පසු නැවතත් පැරණි ක්‍රමයටම ඩොලරය ස්ථාවරව තබාගැනීමට ඩොලර් නාස්ති කරන්නට වී තිබේ.//

      හරියටම හරි. ඕකම තමයි මමත් කියන්නේ. රුපියල යම් තරමකින් අවප්‍රමාණය කිරීමෙන් පසුව ආනයන අපනයන පරතරයේ යම් ප්‍රගතියක් ඇති වුනා. නමුත්, මුලදී වුවත් එය අවශ්‍ය පමණට කළේ නැහැනේ. පසුගිය ආණ්ඩුව වුණත් බලයට පත් වූ අලුත විදේශ ණය ගන්න පෙළඹුණේ නැහැ. නමුත්, පසුව පිළිවෙත වෙනස් කළා. මේ ආණ්ඩුව දැන් කරන්නේත් එයමයි. දැන් ඔය අලුත් අවුරුද්දේ ඩොලර් බිලියන 2.5ක වාණිජ ණය අරගෙන තියෙන්නේ. ඊළඟ ආණ්ඩුවට ඕවා ගෙවන්න වෙන්නේ වඩාත් විශාල ණයක් අරගෙනයි. තුවාලය සුද්ද කරන විට රිදෙනවා. නමුත්, එය නොකර පවන් ගසමින් සිටියොත් තුවාලය එලෙසමයි. හැබැයි තුවාලය සුද්ද කරන්න ගිය විට වෙන්නේ ආණ්ඩු වලට ගෙදර යන්න වෙන එකයි.

      දැන් පළ කරමින් සිටින ලිපි පෙළ පළ කිරීමෙන් පසුව ඉඩ ලැබුණු විට මේ ගැන වැඩිපුර කතා කරමු. ඒ ලිපි ගැන පිරිසක් උනන්දුවක් දක්වන නිසා දැනට අවධානය වෙනතක යොමු කරන්න මම කැමති නැහැ.

      Delete

    10. AnonymousApril 20, 2018 at 1:51 PM

      ඇනෝ, ඔබට කියවීමේ පහසුකම් තිබෙනවානම් ඔබ ඇසූ කරුණට අදාළව එදිනම 'දී එකොනොමිස්ට්'හි පළ වූ ලිපියක්. මේ ගැන වැඩි විස්තරයක් ලියන්න තරම් විවේකයක් මේ දින වන නැහැ.

      https://www.economist.com/news/finance-and-economics/21740730-second-our-series-shortcomings-economics-profession-economists

      Delete
  6. මට ප්‍රශ්ණෙ තියෙන්නෙ මෙහෙම එකක් උනාද කියලා නෙමේ. ඔය කියන සූත්‍ර දේශණාවේ එහෙම ලියවිලා තියනවානම්;

    1. රාහු කියලා එකෙක් ඉන්නවා කියලා බුදු රදුන් පිළි අරගෙනද? එතකොට ප්‍රශ්ණයක් මතුවෙනවා සර්වඥතා ඥානයෙන් සැබෑවටම වෙන ආකාරය දකින්න බැරිද කියලා. එහෙමනම් ඉතින් දෙපාරක් හිතන්න වෙනවා බුදුන් සරණ යාම ගැනත්.

    2. එහෙම නැත්නම් පසු කාලිනව තමන්ගේ දැනුම මත බුදුන්ව වර්ණනා කරන්න ලියවෙච්ච විකාරයක් ද?

    ReplyDelete
    Replies

    1. 1. සර්වඥතා ඥානය කියන එකට විවිධ අර්ථකතන දෙන්න පුළුවන්. පළමුව, කිසියම් කාලයක දැනුම සේ සලකන විවිධ දාර්ශනික මතවාද සියල්ල මැනවින් උගත් අයෙකුව සමකාලීන සමාජයේ වෙනත් අය විසින් සියල්ල දත් අයෙකු සේ හැඳින්විය හැකියි. දෙවනුව, ලෝකය ලෙස අප හඳුනාගන්නා දෙයෙහි විවිධ සංරචක ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව දාර්ශනික ප්‍රවාදයක් ඉදිරිපත් කරන අයෙකුට ඒ පදනම මත තමන් ලෝක විෂය මුළුමනින්ම අවබෝධ කරගත් අයෙක් ලෙස හඳුන්වාගන්න පුළුවන්.

      2. දැනට බුද්ධ දේශනා සේ සැලකෙන බොහෝ දේ පසුව ප්‍රබන්ධ කෙරුණු හෝ පසුව සැලකිය යුතු ලෙස වෙනස් වුනු දේ වෙන්න පුළුවන්. ථෙරවාද ත්‍රිපිටකය ගත් විට ඒ බොහෝ වෙනස්කම් හා එකතු වීම් මුල්ම කාලයේදී ලංකාවේදී සිදුවුණා වෙන්නත් පුළුවන්. එසේ වුනාද නැද්ද කියන එක මටනම් එතරම් වැදගත් කරුණකුත් නෙමෙයි. මෙය අපට ස්ථිර නිගමනයකට පැමිණිය හැකි දෙයකුත් නෙමෙයි.

      Delete
  7. ශ්‍රී ලංකාවේ දැනට පවතින තත්ත්වය හැටියට ආර්ථික අර්බුදය ඉක්මවාගොස් දේශපාලන අර්බුදය ඉහළගොස් තිබෙනව. මේ අර්බුදය නිසා දැනට පවතින ආණ්ඩුවට හෝ මීලඟට පත්වන ආණ්ඩුවකට ප්‍රතිඵලදායක ප්‍රතිපත්ති මාලාවක් අනුගමනය කිරීමේ හැකියාව අඩුයි. අඛණ්ඩව රුපියල පහළට වැටීමේ ක්‍රියාවලියේ එක අවස්ථාවක් වන මෙය පාලනය කළහැකි එකම ක්‍රියා මාර්ගය අපනයන වැඩි කිරීම. එය සිදුකළ නොහැකි දෙයක් නෙවේ. ඊට මධ්‍යකාලීන සහ දිගු කාලීන ප්‍රතිපත්ති මාලාවක් අනුගමනය කළ යුතුයි. එවැනි පතිපත්ති මාලාවක් අනුගමනය කිරීමට රටේ දේශපාලන තත්ත්වය ස්ථාවර වියයුතුයි.

    මේ තත්වය නිසා මේ 2018 වසර අග වනවිට ශ්‍රී ලංකා රුපියලේ තත්වය ඩොලරයකට සාපේක්ෂව රු. 160 ත් 165 ත් අතර මට්ටමකටත් හෝ ඊටත් වඩා පහත වැටෙන්නට ඉඩ තිබෙන බව ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන පවසයි. ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා නොවූ අන්දමින් මේවනවිට ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණ වෙමින් පවතී. දැනට ඩොලරයක ගැනුම් මිල රු. 152 - 153 ක් වූ අතර, විකුණුම් මිල රු. 157 - 158 ක් වේ.

    කෙටි කාලයක් තුළ මෙය නවතා ගත හැකි වුවහොත්, ලොකු බලපෑමක් වෙතැයි නොසිතන නමුත්, මාස තුනකට වඩා මේ තත්ත්වය පැවතියහොත්, රටේ ආර්ථිකයටත්, ආනයනය කරන භාණ්ඩ වලටත් සැළකියයුතු බලපෑමක් විය හැකි බව සිතිය හැකියි. පවතින අතිශය අස්ථාවර (දේශපාලන) තත්ත්වය නිසා විදේශිකයන් ඔවුන්ගේ ආයෝජන ඉවත්කර ගන්නව. රුපියලේ අගය අඩුවීමට හේතුව එයයි. දේශපාලන ස්ථාවරත්වය ලැබුනොත් මේ තත්ත්වය ඉකමණින් වෙනස්වීමේ හැකියාව තියෙනව.

    ශ්‍රී ලංකාවේ ආනයන සහ අපනයනය අතර වෙනස, නැතහොත් වෙළඳ හිඟය ඇමරිකානු ඩොලර් බිලියන 9 - 10ත් අතර ප්‍රමාණයක තිබුණත් මේ හිඟය මෙතෙක් කල් තරමකින් හෝ පියවා ගත්තේ විදෙස් ශ්‍රමිකයන් එවන මුදලින්. එම ඉතිරිකිරීම් පසුගිය වසර දෙක තුළ ඇ.ඩො.බි. 6.5 - 7 අතර පැවතුනා. ඉන් පසුව ඉතිරි වන හිඟය ශ්‍රී ලංකාව පියවගත්තේ විදේශ ණය මගින්. දැන් එය තවදුරටත් කළ නොහැකි මට්ටමක පවතිනව. ඒ නිසා රුපියල අවප්‍රමාණය වීමේ ක්‍රියාවළිය ආරම්භවී තිබෙනවා. මේ හේතුවෙන් විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ අපනයනවලට වාසියක් අත්වෙන බවක් බැලූ බැල්මට පෙනෙන නමුත් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයනය වන ඇඟළුම් කර්මාන්තය ඔවුන්ගේ සමස්ථ නිෂ්පාදනයෙන් 60%-80%ක් පමණ ආනයනය කරන බැවින් ආනයන පිරිවැය වැඩිවීමෙන් ඇඟළුම් කර්මාන්තයට බරපතළ ලෙස අයහපත් ප්‍රතිවිපාක ඇතිවන්නට ඉඩ තිබේ.

    මේඅතර, දැනට ශ්‍රී ලංකාවේ කරන නිෂ්පාදන අතිමහත් බහුතරයක් සඳහා 60% - 70%ක් ම ද්‍රව්‍ය පිටරටින් ආනයනය කරන බැවින් රුපියලේ අගය අවප්‍රමාණය වීම විශාල බලපෑමක් ඇතිකරන බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල ආනයන අංශයේ ප්‍රධානී නිශාන් නනායක්කාරත් "මේ දවස් කිහිපය තුළ 3% - 3.5%ක අගයකින් රුපියල අවප්‍රමාණය වෙලා තියෙනවා. තව ටික කාලයක් මේවිදියට රුපියලේ අගය අඩුවෙන ලක්ෂණ තමයි තියෙන්නෙ" ලෙස ප්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් අප කළ යුත්තේ කුමක්ද?

    ReplyDelete
    Replies
    1. ඇනෝ, විශේෂයෙන්ම ඔබේ ප්‍රතිචාරයේ මුල කොටසට මම එකඟයි. මේ ආණ්ඩුව බලයට පත් වන විට ලංකාවේ ආර්ථිකය අර්බුදයක මුව විටට පැමිණ තිබුණත් වත්මන් ආණ්ඩුව විසින් ගත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නිසා එය තරමක් පසුපසට තල්ලු වුණා. දේශපාලන වාසි අමතක කරමින් ගත් මේ ක්‍රියාමාර්ග ආණ්ඩුවට දේශපාලන සියදිවි හානිකරගැනීමක් වී තිබෙන බව පළාත් පාලන මැතිවරණ වලින් පැහැදිලිව පෙනුනා. ඒ නිසා, බලයට පත් වීමෙන් පසු මුල් කාලයේදී මෙන් රටට දිගුකාලීනව හොඳ ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කර දේශපාලන ලෙස අසාර්ථක වී තමන්ගේ ක්‍රියාමාර්ග වල වාසිය ඉදිරි ආණ්ඩුවකට ලැබෙන්නට සලස්වන්න මේ ආණ්ඩුව දිගටම ක්‍රියා කරයි කියා හිතන්න බැහැ. පළාත් පාලන මැතිවරණ වලින් පසු ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති වල කිසියම් වෙනසක් දැකිය හැකියි. දැන් පෙනෙන විදිහට ඉදිරි ආණ්ඩුවකට අස්වනු කපාගැනීමට මේ ආණ්ඩුව බීජ වපුරන එකක් නැහැ. ඒ වෙනුවට ඔවුන් තමන්ගේ දේශපාලන ස්ථාවරත්වය ගැන වැඩිපුර හිතන්න පෙළඹෙන බවකුයි පේන්නේ. මිනිසුන් සිටින තැන අනුව කිසිවෙකුට ආණ්ඩුවට එසේ කරන්න බල කරන්නත් බැහැ. ඒ නිසා දිගුකාලීනව ලංකාවට තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි! (මේ ගැන මෙහි තව ප්‍රතිචාර දැම්මත් මේ අවස්ථාවේදී වැඩිදුර අදහස් දක්වන්න බලාපොරොත්තුවක් නැහැ)

      Delete
    2. ///මේ ආණ්ඩුව බලයට පත් වන විට ලංකාවේ ආර්ථිකය අර්බුදයක මුව විටට පැමිණ තිබුණත් වත්මන් ආණ්ඩුව විසින් ගත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නිසා එය තරමක් පසුපසට තල්ලු වුණා. ///

      ඔබ මේවා කියන්නේ වගකීමෙන් ද? දැන් ඔබම ඔබගේ උඩ කමෙන්ට් එකක කියා තියෙනවා "චක්‍රීය ලෙස කලින් කලට ඇතිවන ආර්ථික අවපාත සිදුවන කාල වකවානු නිවැරදිව පුරෝකථනය කළ හැකි ක්‍රමයක් මම දන්නේ නැහැ" කියා, ඉතින් ඔබේම කමෙන්ට් එකකට එකක් පරස්පරයි.

      දැන් ඔබ හරියටම කියන්නේ කොහොමද එහෙම කළා නම් අනිවා ආර්ථික අර්බුදයක් ඇවිත් රට කුජීත වෙනවා කියා? අනෙක් අතින් මේ ආණ්ඩුව 2015-2017 කාලයේ ජාත්අන්තර මූල්‍ය අරමුදල (IMF) වැනි ආයතන වල ආර්ථික විශේෂඥයින් කියනා මැටි මෝල්ලුන්ගේ පිස්සු උපදෙස් අසා ගත් ජනප්‍රිය නොවූ තීන්දු තීරණ නිසා රටට වෙච්චි කිසිම සෙතක් තර්කානුකූලව මටනම් සිතා ගත නොහැකියි.

      උදා:

      බදු වැඩිකිරීම - මෙයින් වුණේ මිනිසුන් මුදල් වියදම් කිරීම සීමා කිරීම හා අඩු ආයෝජන නිසා ආර්ථිකය තවත් හැකිලී යාමයි.

      ආනයනික ටින් මාලු, කිරිපිටි, සහල් ඇතුළු ආහාර ද්‍රව්‍ය වල බදු ඉතා අඩු කිරීම - මෙයින් වුණේ රටේ ඩොලර් සංචිතය පිරිහී යාමත් ග්‍රාමීය ගොවීන්ගේ ආදායම් අඩුවීමයි.

      පොහොර සහනාධාරය ඇතුළු සහනාධාර කපා දැමීම - කෘෂි නිශ්පාදන අඩාල වී දිළිඳු ගොවීන් ඇතුලු බොහෝ පිරිසක් දැඩි පීඩාවකට පත්වීම.

      මෙවැනි තීරණ වැඩි හරියකින් මා නිරීක්ෂණය කොට ඇත්තේ ඉතා සෘණාත්මක ප්‍රථිඵල තමයි.

      අනෙක් අතින් දැන් මෙතනට පහුගිය ආණ්ඩුවේ නායක මරාගේ අනුගාමික ආර්ථික විශේෂඥයෙක් ආවොත් ඔහු කියයි ගිය ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති අතිසුපිරි බවත් ඔවුන් දිගට හිටියා නම් මේ වන විට ආර්ථික වර්ධන වේගේ එකසිය ගානට නැගලා බවත්, ඒකත් නිකම් නෙවෙයි කෙස් පැලෙන ආර්ථික විජ්ජා තියරි දාල නෙලයි දුම් විසිවෙන්න, හැබැයි කාටවත් තමන් හරි කියල ඔප්පු කරන්න බැහැ බොරු වචන හරඹ පමණයි. ඇත්තටම මේ Economics නැත්නම් ඉකොනොමෙට්‍රික්ස් විෂයයේ ඇති ප්‍රයෝජන මොනවාද කියා ඉතා සංක්ෂිප්තව ලුහුඬින් පැහැදිලි කළ හැකිද?

      Delete
    3. //මේ ගැන මෙහි තව ප්‍රතිචාර දැම්මත් මේ අවස්ථාවේදී වැඩිදුර අදහස් දක්වන්න බලාපොරොත්තුවක් නැහැ//

      Delete
    4. //මේ ගැන මෙහි තව ප්‍රතිචාර දැම්මත් මේ අවස්ථාවේදී වැඩිදුර අදහස් දක්වන්න බලාපොරොත්තුවක් නැහැ//

      එකඟයි, මාතෘකාවට අදාළ නැති නිසා. නමුත් ඔබ ඉදිරියේ ලියන ආර්ථික විද්‍යා කරුණු අඩංගු බ්ලොග් ලිපියක මේ ගැන කරුණු දැක්විය හැකියි. අප ඉදිරියේ දීද මේ ගැන පුළුල් ලෙස සංවාද කරමු.

      Delete
    5. ඔවු. ඉදිරියේදී ලියන්නම්.

      Delete
  8. ඉකොනොමැට්ටා,

    ඔබ ඉන්දියාවේත් ලංකාවේත් ඉතිහාසයේ සිදුවීම් ගැන ලියා තිබූ නිසා මා නූතන ඉන්දියාවේ සිදුවීමක් ලියන්නම්, මෙන්ම ප්‍රවෘත්තිය මුලින්;

    //ඉන්දියාවේ රැකියා ගැටලුව යනු බලයට පත්වන ආණ්ඩුව තීරණය කිරීම දක්වා බලසම්පන්න එමෙන්ම කිසිදා නොවිස‍ෙඳෙන ගැටලුවකි. මේ රැකියා ගැටලුව දඩමීමා කරගෙන ආණ්ඩු ඇතිකිරීමටත්, ආණ්ඩු පෙරළා දැමීමටත් එරට ජනතාව කටයුතු කළේ වරක් හෝ දෙවරක් නොවේ. ඉන්දියානු රැකියා ගැටලුව හේතු සාධක මගින් නිර්මාණය කළ සංකීර්ණ තත්ත්වයක් ලෙසද හැඳින්වීමේ කිසිදු වරදක් නැත. මන්දයත් ඉන්දියානු රැකියා ගැටලුව දිනෙන් දින ඔඩු දුවන හිඟන්නාගේ තුවාලයක් මෙන් යොදා ගනිමින් ඉන්දියානු දේශපාලන ප්‍රවාහයේ දේශපාලනඥයන් එකිනෙකා වෙත ඇඟිල්ල දිගු කරමින් තම ඡන්ද ගොඩ වැඩිකර ගැනීමේ උත්සාහයක නිරත වීම නිසාය.

    ඉතිහාසය පුරා වරින් වර මතුවන මේ ඉන්දියානු රැකියා ගැටලුව හා ආර්ථික කඩාවැටීම යළිත් වරක් පසුගියදා දක්නට ලැබුණේ එරට දුම්රිය දෙපාර්තමේන්තුවෙනි. ලෝකයේ 10වන විශාලතම සේවායෝජකයා වනුයේ ඉන්දියානු දුම්රිය දෙපාර්තමේන්තුවයි. පසුගියදා දුම්රිය දෙපාර්තමේන්තුවට දුම්රිය සේවකයන් 90,000ක් බඳවා ගැනීම වෙනුවෙන් අයැදුම්පත් කැඳවූ අතර එහිදී ලැබුණු රැකියා විරහිත අයැදුම්කරුවන්ගේ අයැදුම්පත් ප්‍රමාණය මිලියන 28 ක් විය. (දෙකෝටි අසූ ලක්ෂයක්??)

    ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රට පුරා සිටින දුම්රිය රියැදුරන් සහ අනෙකුත් සේවක සංඛ්‍යාව මිලියන 1.3කට ආසන්න වන අතර අයැදුම්පත්‍ර කැඳවා තිබුණේ සහායක දුම්රිය රියැදුරු තනතුර සඳහා 26,000ක් ද දුම්රිය කම්කරු රැකියා සඳහා 63,000කට ආසන්න ප්‍රමාණයක් වූ පුරප්පාඩු පිරවීමටය. මෙහිදී සේවකයන් බඳවා ගැනීමට මසක පමණ කාලයක් තුළදී මිලියන 28ක ප්‍රමාණයක් අයැදුම් කර තිබූ අතර අවසන් දින පහ තුළදී පමණක් මිලියන 9ක ප්‍රමාණයක් අයැදුම් පත්‍ර එවා තිබිණි. වයස 18 - 31 අතර වූ වයස්හි පසුවන අයැදුම්කරුවන්ට පිටු 57කින් යුත් අයැදුම්පත්‍රයක් අන්තර්ජාලය මගින් (ඔන්ලයින්) සම්පූර්ණ කළ යුතු විය.

    දිනෙන් දින උග්‍ර වන බරපතල ජනගහන ගැටලුවටද මුහුණ දෙන ඉන්දීය ජනතාව ඒ හා සමානවම ඉදිරියේදී උග්‍ර රැකියා ගැටලුවටද මුහුණ දීමට නියමිත බවට ඉඟි දැනටමත් පෙනේ.

    ඉන්දියාවේ රැකියා අර්බුදය මේ අාකාරයෙන් ඔඩුදුවද්දී ඉන්දීය වැසියන් විශාල පිරිසක් වඩාත් උත්සාහ කරන්නේ ඉන්දීය රජයේ රැකියා ලබා ගැනීමටය. මන්ද යත් පෞද්ගලික ආයතන වර්තමානය වන විට දැඩු පසුබෑමකට පත්වීමත් දිනෙන් දින උග්‍රවන ආර්ථික අවපාතයකට එරට ආර්ථිකය මුහුණ පෑමත් නිසාය.

    ස්ථිර වූ ආදායම් මාර්ගයක් සහ සුරක්ෂිත රැකියාවක් බලාපොරොත්තුවෙන් රැකියා සොයන වර්තමාන ඉන්දියානු තරුණ ප්‍රජාව තවමත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බලයට ඒමට පෙර ඔහුගේ ප්‍රධානම ප්‍රචාරණ පොරොන්දුව වූ මිලියන 10 ක නව රැකියා උත්පාදනය ඉන්දියාව තුළ ඇති කරලීමේ වැඩසටහන දෙස බලා සිටින අතර ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය වේගයෙන් බිඳ වැටෙමින් පවතින බවද ‍දක්නට ලැබේ.

    ඉන්දීය දුම්රිය සේවය තුළ සේවකයන් මිලියන 1.3 කට අධික ප්‍රමාණයක් සිටින අතර වාර්ෂිකව දළ වශයෙන් දුම්රිය මගීන් බිලියන 8.2 කට වැඩි ප්‍රමාණයක් එරට දුම්රිය සේවාව ලබා ගනිති. දැඩිලෙස උග්‍රවන රැකියා අර්බුදය වෙනුවෙන් ඉන්දීය ආණ්ඩුව කුමක් කරයිද?

    ඉන්දීය ආර්ථික විශ්ලේෂකයන්ට අනුව නම් ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයේ ඇති අඩුපාඩුකම් සහ නව රැකියා උත්පාදනය කෙරෙහි ඇති උනන්දුවේ අඩුකම මේ ආකාරයෙන් ගැටලුව තවතවත් වර්ධනය වීමට ප්‍රධානම හේතුව වී තිබේ.//

    මූලාශ්‍රය : වත්මන් ඉන්දීය ගැති ලංකා ආණ්ඩුවේ හොරණෑවක් වන සිළුමිණ පත්තරයෙන්;

    https://bit.ly/2Jck8di

    ඉන්දියාවත් එක්ක එට්කා ගිවිසුම් අත්සන් කර ලංකා ආර්ථිකය දියුණු කරන්න පුළුවන් කියපු එක මේකත් එක්ක ගලපන්න පුලුවන්ද?

    ReplyDelete
  9. ජීවිත කාලය තුල එක් වරක් පමණක් සමහර විට දැකිය හැකි සුර්යග්‍රහණයක් ඔය කාලයේදි දුටුවාම නිතැතින්ම බිය වෙනවා තමා. නමුත් මට හිතෙන විදියට සුර්යග්‍රහණයක් කියන්නෙ මොකක්ද කියන එක පැහැදිලිව දැන හිටියත් සමාජයේ තිබු මතිමතාන්තර එක්ක හැප්පනේන බැරි අය ඒ අදහස් තමන් තුලම හෝ කීප දෙනෙක් තුල රදවාගත්තා කියලයි.

    ඉකොනො ඔබගේ තාර්කික හැකියාව “අනගිභවනීයයි“

    ReplyDelete
    Replies
    1. “අනගිභවනීයයි“ යන වචනයට අර්ථයක් නැති බව වටහා ගත නොහැකි කෙනෙක් අන් අයගේ තර්කන හැකියාව ගැන සම්මාන දීමට උත්සාහ කිරීම අනභිභවනීයයි.

      Delete
    2. ස්තුතියි, දේශකයා! මා හිතන පරිදි නියම වචනය අනභිභවනීය. (ඔබට යතුරු කිරීමේ දොසක් සිදුව ඇතැයි හිතනවා). අප දැනට භාවිතා කරන මෙවැනි සිංහල වචන බොහොමයකට සකු, මගධ වැනි පැරණි බස් වලින් වගේම වත්මන් උතුරු ඉන්දීය බස් වලිනුත් සමාන තේරුම් තිබීම ඒ බස් අතර සම්බන්ධය මොනවට පෙන්වා දෙනවා. අනභිභවනීය = අභිභවා යා නොහැකි. [මගේ තර්කන හැකියාව අභිභවා යා හැකි අයනම් ඕනෑ තරම් ඇති!] අභිභව කියන වචනයට rape යන තේරුමකුත් තිබෙනවා. බලය යොදා යටපත් (අභිභවනය) කිරීමක් සිදුවන නිසා. එසේ බැලුවොත් මේ වචනයට බලය යොදා යටපත් කළ නොහැකි කියන තේරුම දෙන්නත් පුළුවන්!

      Delete
    3. මේ දවස් වල රියලිටි ෂෝ එකක චන්ද්‍රිකා සිරිවර්ධන මැතිනිය ඒක හරියට කිව්වට ඒකෙ නිවේදකයෙක් වරද්දල කියනවා මං ඊයෙ අහගෙන. හැහැ

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: