Tuesday, May 9, 2017

සුරා පෝලිමට නොගිය වේපචිත්තිගේ පුතා


සිංහල මාස ආරම්භ වන්නේ අමාවක පෝයෙන් පසුව එළැඹෙන පුර පෑලවියෙනි. මේ අනුව, පසළොස්වක පෝය යෙදෙන්නේ මාසයේ මැද, පහළොස්වන දවසේය. අද මෙන් කෘතීම ආලෝකය නොතිබුණු පෙර කාලයේ, රාත්‍රී කාලයේද හොඳින් එළිය ඇති පසළොස්වක පෝය දවස උත්සව කටයුතු සඳහා වඩා යෝග්‍ය දවසක් විය.

රන් රැස් කෙඳි දසත විදා අහස් ගඟේ මැද
තරු මුතුහර ගෙල පළඳා වළා සේල ඇඳ
බිනරමලී එක්ක එන්න බිනර මහේ මැද
පායාපන් මගේ පැලට පායාපන් සඳ

බිනර මාසය බක් මාසයේ සිට හයවන මාසයයි. බිනර මාසයේ මැද පායන්නේ බිනර පුර පසළොස්වක හඳයි. මේ හඳ සාමාන්‍යයෙන් සිංහල අවුරුද්දෙන් පසුව පායන පස්වන අලුත් හඳෙන් පසු පායන පසළොස්වක හඳ වුවත් ඔය අතරට අධික මාසයක් වැටුනේනම් එය අවුරුද්දෙන් පසුව පායන හයවන අලුත් හඳට පසුව එන පසළොස්වක හඳ වන්නත් බැරි නැත. වෙනත් විදිහකින් කියනවානම් බිනර පසළොස්වක හඳ සිංහල අවුරුද්දෙන් පසුව පායන පස්වන හෝ හයවන පුර පසළොස්වක හඳ වන්නට පුළුවන.

සිංහල මාස චන්ද්‍ර මාස නිසා මාසයකට වැටෙන සාමාන්‍ය දින ගණන 29.5ක් පමණ වේ. එහෙත්, සිංහල අවුරුද්ද සූර්ය අවුරුද්දක් නිසා අවුරුද්දකට දින 365.25ක් පමණ ඇති අතර සූර්ය මාසයක් දින 30.5ක් පමණ වේ. චන්ද්‍ර මාස බක්, වෙසක්, පොසොන් ආදී ලෙස ගණන් ගැනෙන අතර සූර්ය මාස මේෂරවි, වෘෂභරවි, මිථුනරවි ආදී ලෙස සූර්යයා ගමන් කරන රාශිය අනුව තීරණය වේ. අමාවක ආසන්නව හඳ තිබෙන්නේ පොළොවත් ඉරත් අතර සරල රේඛාවක නිසා චන්ද්‍රමාසයක් ඇරැඹෙන විට හඳ තිබෙන්නේද ඉර තිබෙන රාශියේමය. ඒ නිසා, මාසය ඇරඹෙන විට හඳ තිබිය යුතු තැන දැකිය හැකි රාශිය අනුව චන්ද්‍ර මාසය තීරණය වන බව වුවද කියන්නට පුළුවන.

සූර්ය මාසයක් චන්ද්‍ර මාසයකට වඩා දිග නිසා මේ මාස ක්‍රම දෙක එකතු කරන්නට අතරින් පතර අධික චන්ද්‍ර මාස එකතු කරන්නට සිදුවේ. බොහෝ විට සූර්ය මාසයක් තුළ ආරම්භවන්නේ එක් චන්ද්‍රමාසයක් පමණක් වුවත්, සූර්ය මාසය ඇරැඹුණු වහාම වාගේ චන්ද්‍ර මාසයද ඇරඹුනොත්, සූර්ය මාසය අවසන් වන්නට ඔන්න මෙන්න කියා තවත් චන්ද්‍ර මාසයක් ආරම්භ වන්නට පුළුවන. එවිට මේ මාස දෙකෙන් එකක් අධික මාසයක් ලෙස නම් කෙරේ.

ලංකාවේ දැනට චන්ද්‍ර මාස ගණනය කරන ක්‍රමය අනුව සූර්යයා මේෂ රාශියේ සිටියදී ආරම්භ වන චන්ද්‍ර මාස බක් මාස වන අතර, සූර්යයා වෘෂභ රාශියේ සිටියදී ඇරඹෙන මාස වෙසක් මාසයි. බිනර මාස ආරම්භ වන්නේ සූර්යයා පස්වන රාශිය වන සිංහ රාශියේ සිටියදීය. එහෙත්, බිනර මහේ මැද, පසළොස්වක පෝය එළැඹෙන විට සූර්යයා සිංහ රාශියේම සිටින්නට හෝ සිංහ රාශියෙන් කන්‍යා රාශියට සංක්‍රමණය වී සිටින්නට ඉඩ තිබේ.

පසළොස්වක දවසකදීද ඉර, හඳ හා පොළොව සරල රේඛාවක පිහිටියත්, අමාවක දවසේදී මෙන් නොව පසළොස්වක දවසකදී ඉර හා හඳ ස්ථානගත වී තිබෙන්නේ පොළොවෙන් ප්‍රතිවිරුද්ධ දිශා වලය. ඒ නිසා බිනර මහේ මැද, පසළොස්වක පෝය එළැඹෙන විට හඳ තිබෙන්නේ ඉරට අංශක 180ක් දුරින් කුම්භ හෝ මීන රාශියකය. පොළොවේ සෙවනැල්ල හරහා හඳ ගමන් කිරීම නිසා හඳ ටික වෙලාවකට නොපෙනී යාමෙන් ඇතැම් පසළොස්වක පෝය දිනවල චන්ද්‍රග්‍රහණ ඇතිවන්නේද මෙසේ ඉර හා හඳ පොළොව දෙපැත්තේ එකම සරල රේඛාවක් මත පිහිටීම නිසාය. පායා ඇති හඳ හිටිවනම "රාහු ගිලීම" කලින් සැලසුම් කර ඇති වැඩ බොහොමයක් අවුල් කරයි.

පායපු සඳ නැත පුදුමෙකි රාහු ගිල්ලදෝ
පායපු ඉර වලාගැබේ පතුලට වීදෝ
මැවූ සිහින මාලිගාව බිඳී වැ‍ටුනදෝ
මටත් හොරෙන් බිනර මලී දීග ගියාදෝ      



සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ ස්වභාව ධර්මයේ අපූරු නිමැවුම්ය. පසළොස්වක පෝය දවසක පොළොවේ සෙවනැල්ල හරහා හඳ ගමන් කරන විට චන්ද්‍රග්‍රහණයක් ඇති වේ. අමාවක පෝය දිනක ඉර හා පොළොව අතරින් හඳ ගමන් කරද්දී ඉර හඳට ආවරණය වීම නිසා සූර්යග්‍රහණ ඇතිවේ.

පොළොවට කිලෝමීටර මිලියන 149.6ක් පමණ දුරින් පිහිටි ඉරේ විෂ්කම්භය කිලෝමීටර් 1,391,400ක් පමණ වේ. මෙයට සාපේක්ෂව, පොළොවට කිලෝමීටර 384,400ක් පමණ සාමාන්‍ය දුරකින් පිහිටි හඳේ විෂ්කම්භය කිලෝමීටර 3,474ක් පමණි. කෙසේවුවද, ඉරේ විෂ්කම්භය ඉරට ඇති දුරින් බෙදීමෙන් සොයා ගත හැකි, පොළොවට පෙනෙන පරිදි ඉර විසින් හදන කෝණය (අංශක 0.53), හඳ විසින් එසේ හදන කෝණයට (අංශක 0.52) ආසන්නව සමාන නිසා පොළොවට ඉර හා හඳ පෙනෙන්නේ ආසන්න ලෙස එකම විශාලත්වයෙනි. මේ නිසා පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවන විට ඉර හඳෙන් මුළුමනින්ම ආවරණය වෙයි.

දිගු කාලයක් තුළ සිදුවන සාමාන්‍ය සූර්යග්‍රහණ ප්‍රමාණය හා චන්ද්‍රග්‍රහණ ප්‍රමාණය ආසන්න වශයෙන් සමාන වුවත්, පොළොවේ නිශ්චිත ස්ථානයකට පෙනෙන සූර්යග්‍රහණ ප්‍රමාණය එසේ පෙනෙන චන්ද්‍රග්‍රහණ ප්‍රමාණයට වඩා බොහෝ අඩුය. හඳ ගමන් කරන පථය ආසන්නයේදී පොළොවේ සෙවනැල්ලේ විෂ්කම්භය සාපේක්ෂව විශාල නිසා පූර්ණ චන්ද්‍රග්‍රහණයක් පොළොවේ රාත්‍රී කාලය පවතින ස්ථාන බොහොමයක සිට නිරීක්ෂණය කළ හැකි වුවත්, කිසියම් පූර්ණ සූර්යග්‍රහණයකදී හඳ විසින් ඉර මුළුමනින්ම ආවරණය කරනු දැකිය හැක්කේ පොළොවේ පටු තීරුවක් තුළ පිහිටි ස්ථාන වල සිට පමණි. ඒ නිසා, සෑම වසරකම සූර්යග්‍රහණ ගණනාවක් සිදුවුවත්, කිසියම් නිශ්චිත තැනක සිට පූර්ණ සුර්යග්‍රහණයක් දැකිය හැක්කේ සාමාන්‍ය වශයෙන් වසර 350-375 අතර කාලයකට වරකි.

චන්ද්‍රග්‍රහණ සූර්යග්‍රහණ වලට වඩා වැඩිපුර දකින්නට ලැබෙන නිසා චන්ද්‍රග්‍රහණ ගැන ජනශ්‍රැති වැඩිපුර අසන්නට ලැබේ. බොහෝ සංස්කෘතීන්හි චන්ද්‍රග්‍රහණ තේරුම් ගැනුණේ සැබෑ ලෝකයේ දැකිය හැකි හෝ මනඃකල්පිත කිසියම් සතෙකු විසින් හඳ ගිලගැනීමක් ලෙසිනි. ඉන්කාවරුන් සිතූ පරිදි මෙසේ හඳ ගිලගන්නට ආවේ ජගුවරයෙකි. මේ ප්‍රවාදය ඇසුරෙන් චන්ද්‍රග්‍රහණයකදී හඳ රත් පැහැ ගැනීම ඔවුන්ට පැහැදිලි කළ හැකි විය. ඒ අනුව, හඳ ආහාරයට ගැනීමෙන් පසු මේ ජගුවරයා පොළොවටද පැමිණීම වැළැක්වීමට ඔවුහු ආරක්ෂාකාරී පියවර ගත්හ.

චීන ජාතිකයින් විශ්වාස කළ පරිදි චන්ද්‍රග්‍රහණයකදී හඳ ගිලින්නේ දැවැන්ත මකරෙකි. මාතලන් චිත්‍රපටයේ එන "හඳ රාහු මුඛයේහි ගිලුණා ලෙසේ" ගීතය ආරම්භයේ පෙන්වන බිත්තියේ ගසා ඇති චිත්‍රයේ සිටින්නේ මේ චීන මකරාය. ඉර හා හඳ ගිලින රාහු ලෙස ඉන්දියානුවන් හඳුනාගෙන සිටියේ මේ ආකාරයේ මකරෙක් නොවේ.



හින්දු විශ්වාස අනුව රාහු හා කේතු බවට පත්වන්නේ ස්වර්භානු නම් වූ අසුරයාය. ස්වර්භානු අසුරයා විසින් ඉර හා හඳ ගිලින බව ක්‍රිස්තු පූර්ව 15 වන සියවසේදී පමණ ප්‍රබන්ධ කෙරුණු සෘග් වේදයේ (40:9 ශ්ලෝකය) සඳහන්ව තිබේ.

පසුකාලීනව පුරාණ ග්‍රන්ථ වලත්, මහා භාරතයේත් මේ ප්‍රවාදය විස්තරාත්මක කථාපුවතක් ලෙස දිග හැරෙන අතර බොහෝ හින්දු කථාවලදී සිදුවනවාක් මෙන් සුර අසුර යුද්ධයටද සම්බන්ධවේ. සුරයන් හා සුරයන් එක්ව කිරිමුහුද කළඹද්දී අමෘතය පහළ වේ. ඒ සමඟම මෝහිණියගේ වෙස් ගන්නා විෂ්ණු දෙවි අමෘතය බෙදා දීම පිණිස පොළොවට පැමිණේ. ඔහුගේ සැලසුම වන්නේ සුරයින් හා අසුරයින් වෙන් වෙන්ව පෝලිම් ගස්වා සුරයින්ට අමෘතයත්, අසුරයින්ට සුරාවත් බෙදීමයි. කිරි මුහුද කැළඹීමේ අරමුණ වූයේම අසුරයින් රවටා ඔවුන්ගේ උදවු ගැනීමෙන් පසුව සුරයින්ට පමණක් අමෘතය ලබා ගැනීමයි.

කෙසේ හෝ සුරයන්ගේ පෝලිමට හොරෙන්ම එකතු වන ස්වර්භානු අසුරයාට මෝහිණී ලෙස වෙස්ගෙන සිටින විෂ්ණු විසින් අමෘතය බෙදන අතර ඔහුගේ දෙපැත්තෙන් සිටින සූර්යයා හා චන්ද්‍රයා මේ බව පෙන්වා දෙන විටත් ස්වර්භානු අසුරයා අමෘතය කටට හලාගෙන අවසන්ය. විෂ්ණු ක්ෂණිකව ක්‍රියාත්මක වී ස්වර්භානුගේ හිස කඳෙන් වෙන් කරන නමුත් ඒ වන විට ඔහු ප්‍රමාද වැඩිය.

අමෘතය දැනටමත් පානය කර අවසන් නිසා ස්වර්භානු මරණයට පත් නොවන අතර ඔහුගේ හිස රාහු බවටත් හිසසුන් කඳ කේතු බවටත් පත් වේ. පසුව රාහුට නාග සිරුරක්ද, කේතුට නාග හිසක්ද හිමිවන අතර සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ යනු තමන්ගේ දෙපැත්තේ සිට අමෘතය සොරාගත් බව විෂ්ණුට පෙන්වූ සූර්ය දිව්‍ය රාජයාගෙන් හා චන්ද්‍ර දේවතාවාගෙන් ස්වර්භානු අසුරයා වාඩුව ගන්නා ආකාරයයි.

හින්දු කථා අනුව ස්වර්භානු යනු සොහොයුරන් සියයක් හා එක් සොහොයුරියක් සිටින පවුලක වැඩිමලාය. ඔහුගේ මව හිරණ්‍යකාශ්‍යපගේ දියණිය වන සිංහිකාය. පියා විප්‍රචිත්තිනම් අසුරයාය. සංයුත්ත නිකායේ සගාථාවග්ගපාළියේ දේවපුත්ත සංයුත්තයේ අවසන් සූත්‍ර දෙක චන්දිම සූත්‍රය හා සූරිය සූත්‍රයයි. සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනා වලදී අසන්නට ලැබෙන මේ සූත්‍ර දේශනා දෙකේ රාහු අසුරයා ගැනත්, විප්‍රචිත්ති හෙවත් වේපචිත්ති අසුරයා ගැනත් අසන්නට ලැබේ.

චන්දිම සූත්‍රයේ පෙළ ඇති සැටියෙන්ම මෙසේය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි චන්‍දිම දේවපුත්‍ර තෙමෙ රාහු අසුරිඳු විසින් අල්ලා ගන්නා ලද්දේ විය. එකල චන්‍දිම දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේ සිහි කෙරෙමින් ඒ වේලායෙහි මේ ගාථාව කීය.

’’බුද්ධ වීරයන් වහන්ස, ඔබට නමස්කාර වේවා. ඔබ සියලු තන්හි මිදුණෝය. (මම) පීඩාවට පැමිණියෙම් වෙමි, එසේවූ මට පිහිට වන්න.’’

එකල්හි භාග්‍යවතුන් වහන්සේ චන්‍දිම දෙව්පුතු අරභයා රාහු අසුරිඳුට (මෙසේ) ගාථායෙන් වදාළහ.

’’එම්බා රාහු, චන්‍දිම තෙම අර්‍හත්වූ තථාගතයන් සරණ ගියේය. ඒ චන්‍දිම දෙව්පුතු අතහරුව. බුදුවරු ලොවට අනුකම්පා කරන්නෝය.’’

එවිට රාහු අසුරිඳු චන්‍දිම දෙව්පුතු අතහැර ඉක්මන් ස්වභාව ඇත්තේ වේපචිත්ති අසුරිඳු යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, කැළඹුණු සිතැත්තේ, හටගත් ලොමු දහගැනුම් ඇත්තේ, එක් පසෙක සිටියේය. එක් පසෙක සිටි රාහු අසුරිඳුට වේපචිත්ති අසුරිඳු ගාථායෙන් (මෙසේ) කීය.

’’එම්බා රාහු, කවර හෙයින් ඉක්මන්ව මෙන් චන්‍දිම දෙව්පුතු අතහැරියෙහිද? කවර හෙයින් කැලැඹුණු ස්වභාව ඇතිව, බිය ගත්තෙකු මෙන් සිටිනෙහිද?’’

(එවිට රාහු අසුරිඳු මෙසේ කීය:) ’’බුදුරජුන් විසින් ගාථායෙන් ආමන්‍ත්‍රණය කරණලද්දෙමි. (ඒ මම) ඉදින් චන්‍දිම දෙව්පුතු නොමිදුයෙම් නම් මා හිස සත්කඩෙක්ව පැලෙන්නේය..ජීවත්වුවද සැපක් නම් නොලබන්නෙමි.’’


සූරිය සුත්‍රයේ පෙළද බොහෝ දුරට මෙයට සමානය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි සූර්‍ය්‍යදෙව්පුත් තෙම රාහු අසුරිඳු විසින් අල්ලා ගන්නා ලද්දේ විය. එකල සූර්‍ය්‍ය දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේ සිහි කරනුයේ මේ ගාථාව කීය.

’’බුද්ධ වීරයන් වහන්ස, ඔබට නමස්කාර වේවා. ඔබ හැමතන්හි මිදුණෝය. (මම) පීඩාවට පැමිණියෙම් වෙමි, එසේවූ මට පිහිට වන්න.’’

එකල්හි භාග්‍යවතුන් වහන්සේ සූර්‍ය්‍ය දෙව්පුතු අරභයා රාහු අසුරිඳුට (මෙසේ) ගාථායෙන් වදාළහ.

’’එම්බා රාහු, සූර්‍ය්‍ය දෙව්පුත් තෙම අර්‍හත්වූ තථාගතයන් සරණ ගියේය. ඒ
සූර්‍ය්‍ය දෙව්පුතු අතහරුව. බුදුවරු ලොවට අනුකම්පා කරන්නෝය.’’

’’එම්බා රාහු, අන්‍ධකාරයෙහි යමෙක් එලිය කරන්නේද, බබළන්නේද, මඬුලු සටහන් ඇත්තේද, උග්‍ර තේජස් ඇත්තේද, එසේවූ අහස හැසිරෙන සූර්‍ය්‍යයා නොගිලුව, මගේ ශ්‍රාවක බවට පැමිණි සූර්‍ය්‍යයා අතහරුව,’’

එකල රාහු අසුරිඳු සූර්‍ය්‍ය දෙව්පුතු අතහැර ඉක්මන් ස්වභාවය ඇත්තේ වේපචිත්ති අසුරිඳු වෙත පැමිණියේය. පැමිණ, කැලැඹුණේ ලොමු දැහැගැනුම ඇත්තේ, එක් පසෙක සිටියේය. එක් පසෙක සිටි රාහු අසුරිඳුට වේපචිත්ති අසුරිඳුට ගාථායෙන් (මෙසේ) කීය:

’’එම්බා රාහු, කවර හෙයින් ඉක්මන්ව මෙන් හිරු දෙව්පුතු අතහැරියෙහිද? කවර හෙයින් කැලැඹුණු, ස්වභාවය ඇතිව, බිය ගත්තකු මෙන් සිටිනෙහිද?’’

(එවිට රාහු අසුරිඳු මෙසේ කීය:) ’’බුදුරජුන් විසින් ගාථායෙන් ආමන්‍ත්‍රණය කරණලදුයෙමි. (ඒ මම) ඉදින් සූර්‍ය්‍ය දෙව්පුතු නොමුදාලීම් නම්, මා හිස සත්කඩකට පැලෙන්නේය. ජීවත්වන්නෙම් නම් සැපයක් නම් නොලබන්නෙමි.’’


සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ ඇතිවීම පිළිබඳව බුද්ධ කාලයේ පැවති දැනුම චන්දිම සූත්‍රයෙන් හා සූරිය සූත්‍රයෙන් පිළිබිඹු වේ. කෙසේවුවද, බුද්ධ කාලයෙන් වසර සහශ්‍රයකට පමණ පසුව සූර්ය සිද්ධාන්තය ලියැවෙන කාලය වන විට මේ ස්වභාවික සංසිද්ධි පැහැදිලි කිරීමට පමණක් නොව නිවැරදිව පුරෝකථනය කිරීමටද හැකි තරමට ජ්‍යෝතිෂය දියුණු වී තිබුණේය.

දැන් අප දන්නා පරිදි පොළොව, හඳ හා ඉර ඒ පිළිවෙලට සරල රේඛාවක පිහිටි විට සූර්ය ග්‍රහණයද, හඳ, පොළොව හා ඉර ඒ පිළිවෙළට සරල රේඛාවක පිහිටි විට චන්ද්‍රග්‍රහනද ඇතිවේ. පොළොව, හඳ හා ඉර ඒ පිළිවෙලට සරල රේඛාවක පිහිටන්නේ අමාවක දිනවල නිසා සූර්යග්‍රහණ ඇතිවිය හැක්කේ අමාවක දින වල පමණි. හඳ, පොළොව හා ඉර ඒ පිළිවෙළට සරල රේඛාවක පිහිටන්නේ පසළොස්වක පෝය දිනක පමණක් නිසා චන්ද්‍රග්‍රහණ ඇති විය හැක්කේ පසළොස්වක පෝය දින වල පමණි.

කෙසේවුවද, අප දන්නා පරිදි සෑම අමාවක පෝය දිනකම සූර්යග්‍රහණ ඇති නොවන අතර සෑම පසළොස්වක දිනකම චන්ද්‍රග්‍රහණද ඇති නොවේ. එයට හේතුව පොළොව ඉර වටා ගමන් කරන තලයත්, හඳ පොළොව වටා ගමන් කරන තලයත් එකම තලයක් නොවීමයි. මේ තල දෙක අතර ආනතියක් ඇති නිසා ඉර, හඳ හා පොළොව එකම ඉරක් මත දිශානුගත වන අමාවක හා පසළොස්වක පෝය දින බොහොමයකදීම හඳ පිහිටන්නේ පොළොවට වඩා එක්කෝ තරමක් ඉහළිනි. නැත්නම් පහළිනි. 



හඳ පොළොවේ සෙවනැල්ලට උඩින් හෝ යටින් සෙවනැල්ල පසුකර ගියහොත් පසළොස්වක දිනක චන්ද්‍රග්‍රහණයක් ඇති නොවේ. එමෙන්ම, ඉර හා පොළොව අතරින් යද්දී ඉරට උඩින් හෝ ඉරට යටින් ගියහොත් අමාවක දිනක සූර්යග්‍රහණයක් ඇති නොවේ. සිරිබෝ අයියා චිත්‍රපටයේ එන මියුරු ජනකවි වල "සඳට හොරෙන් සඳ මුදුනින් රාහු ගියා" කියන්නේ පසළොස්වක දිනක පොළොවේ සෙවණැල්ල හඳ මඟහැර හඳට උඩින් (හෝ යටින්) යාම ගැන වන්නට පුළුවන.


ග්‍රහණයක් ඇතිවීමට ඉර, හඳ හා පොළොව එකම රේඛාවක පිහිටීම ප්‍රමාණවත් නොවන අතර මේ රේඛාව එකම තලයක තිබීමද අවශ්‍යය. තල දෙකක ඡේදනය රේඛාවකි. ග්‍රහණයක් ඇතිවීම සඳහා ඉර, හඳ හා පොළොව එකම රේඛාවක පිහිටීමට අමතරව, පොළොව ඉර වටා ගමන් කරන තලයත්, හඳ පොළොව වටා ගමන් කරන තලයත් එකිනෙක ඡේදනය වන රේඛාව ඉහත රේඛාව සමඟ ආසන්න ලෙස සමපාත වීමද අවශ්‍යය.

සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ නිවැරදිව පුරෝකථනය කිරීම සඳහා පොළොව ඉර වටා ගමන් කරන තලයත්, හඳ පොළොව වටා ගමන් කරන තලයත් එකිනෙක ඡේදනය වන රේඛාව පවතින තැන නිවැරදිව දැන සිටීම අවශ්‍යය. කේන්ද්‍ර සටහනක රාහු හා කේතු ලෙස එකිනෙකට හරියටම ප්‍රතිවිරුද්ධ පැති වල ලකුණු කරන්නේ පොළොවේ සිට අඳින මේ රේඛාවේ දෙපැත්තයි. මා මේ පැහැදිලි කිරීම කරන්නේ වැඩිදෙනෙකු පිළිගන්නා සූර්ය කේන්ද්‍ර ආකෘතිය අනුව යමිනි.



සූර්යග්‍රහණයක් සිදුවන්නේ රාහු සිටින අංශකයට ආසන්න අංශකයකට ඉරත් හඳත් එකවර පැමිණි විටය. එසේ වූ විට, ඉරත්, හඳත්, පොළොවත් එකම රේඛාවක පිහිටන අතර එම රේඛාව පොළොව ඉර වටා ගමන් කරන තලයත්, හඳ පොළොව වටා ගමන් කරන තලයත් එකිනෙක ඡේදනය වන රේඛාවම හෝ එයට ආසන්නව ඇති රේඛාවකි. මේ වෙලාවේ කේතු ඉරට හඳට හා රාහුට ප්‍රතිවිරුද්ධ දිශාවේ පිහිටයි.

චන්ද්‍රග්‍රහණයක් සිදුවන විට රාහු සිටින අංශකයට ආසන්න අංශකයකට හඳත්, එයින් ප්‍රතිවිරුද්ධ පැත්තේ කේතු සිටින අංශකයට ඉරත් පැමිණේ.  එසේ වූ විටද, ඉරත්, හඳත්, පොළොවත් එකම රේඛාවක පිහිටන අතර එම රේඛාව පොළොව ඉර වටා ගමන් කරන තලයත්, හඳ පොළොව වටා ගමන් කරන තලයත් එකිනෙක ඡේදනය වන රේඛාවම හෝ එයට ආසන්නව ඇති රේඛාවකි.

ජ්‍යෝතිෂයේ එන රාහු හා කේතු යනු මේ අයුරින් සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ නිවැරදිව පුරෝකථනය කිරීම සඳහා ගොඩනඟාගෙන ඇති වියුක්ත සංකල්ප දෙකකි. මේ මනඃකල්පිත ග්‍රහයින් දෙදෙනා සිටින තැන්වල කිසිදු විශේෂ ශක්තියක් හෝ ආකර්ශනයක් නැත. එහෙත්, රාහු නම් වූ මනඃකල්පිත ග්‍රහයා පසළොස්වක පෝය දිනකදී හඳට ආසන්න වුවහොත් චන්ද්‍ර ග්‍රහණයක්ද, අමාවක දිනකදී ඉරට ලංවුවහොත් සූර්යග්‍රහණයක්ද ඇති වේ. මෙහිදී, ආසන්න වුවහොත් කියා කියන්නේ ඉර මෙන්ම හඳද පොළොවට පෙනෙන්නේ ලක්ෂ්‍ය ලෙස නොව කිසියම් විශ්කම්භයක් සහිත වස්තු ලෙසින් බැවිනි. ඒ නිසා, රාහු හරියටම ඉර හෝ හඳ මැදට නොපැමිණ ආසන්නයට පැමිණීම ග්‍රහණයක් ඇති වීමට ප්‍රමාණවත් සාධකයකි.

රාහු හඳ හා ඉර ග්‍රහණයට ගැනීම පිළිබඳ අදහස ඉහත ගණිතමය ආකෘතිය ගොඩ නැඟෙන්නට බොහෝ කලකට පෙර, බුද්ධ කාලයටත් පෙර සිටම පැවති අදහසකි. පොළොව ඉර වටා ගමන් කරන තලයත්, හඳ පොළොව වටා ගමන් කරන තලයත් එකිනෙක ඡේදනය වන රේඛාව පොළොවට සාපේක්ෂව චලනය වන ආකාරය නිවැරදිව ආකෘතිගත කිරීමෙන් පසු එහි දෙපැත්ත සටහන් කිරීමට අලුතින් නම් නොදමා එවකට භාවිතා කළ රාහු හා කේතු යන සංකල්පම යොදාගත් විට හඳ රාහු ඇල්ලීම මෙන්ම හඳට
හොරෙන් හඳ මුදුනින් රාහු යාමද පහසුවෙන් පැහැදිලි කළ හැකිය. හතරවන සියවසේදී පමණ සිදුවුණේ මෙයයි. කෙසේ වුවද, හඳ ඇල්ලීමට ගොස් බුදු අණට බියෙන් වැඩේ අත හැර දමන රාහු ඔහුගේ අප්පච්චී ලෙස සැලකෙන වේපචිත්ති අසුරයා වෙත ගොස් බිය පළක බව වැනි කතා අපේ ආගමික සාහිත්‍යය තුළ තවමත් ඉතිරි වී තිබේ.




(Image: Gemstoneuniverse, http://www.cnyo.org/tag/orbital-plane/)

34 comments:

  1. දීර්ඝ විස්තරයක් ..

    ReplyDelete
    Replies
    1. කොටස් දෙකකට දමන්න හිටියත් එකවරම කියවන්නට හැරීම වඩා සුදුසුයි කියා හිතුණා.

      Delete
  2. /* මාතලන් චිත්‍රපටයේ එන "හඳ රාහු මුඛයේහි ගිලුණා ලෙසේ" ගීතය ආරම්භයේ පෙන්වන බිත්තියේ ගසා ඇති චිත්‍රයේ සිටින්නේ මේ චීන මකරාය. */

    මා නම් එදා සිට හිතාගෙන හිටියේත් අද බලන විට දැක්කේත් සර්පයෙකු මිස මකරෙකු නොවේ!

    ReplyDelete
    Replies
    1. Chinese dragon කියා ගූගල් වලට ඇතුළු කර images සෙවුමක් කර බලන්න. චීන මකරා බොහෝ දුරට සර්පයෙක් වගේ.

      Delete
    2. බොහෝ දුරට නොවෙයි තරමක් දුරට කියන්න පුළුවනි!

      චීන මකරා ගේ ලොකුම වෙනස තමයි කකුල් හතරක් පමණ තිබීම. නිකං තලගොයෙක්, කබරගොයෙක් වගේ. කොමොඩො ඩ්‍රැගන් කියා කබරගොයා වගේ සතුන් ජාතියක් ඉන්නවා නේද?

      නමුත් සර්පයන්ට කකුල් නෑ! චිත්‍රපටයේ ඇති චිත්‍රයේ ඉන්නේ සර්පයෙක්!

      Delete
    3. Chinese dragon කියා ගූගල් වලට ඇතුළු කර all සෙවුමක් කළා ම අපේ පැත්තේ තියෙන චයිනීස් රෙස්ටෝරන්ට් සහිත මැප් එකක් පවා ආවා. දැන් හෙට ඉඳන් මට එයි ඇඩ්ස්!

      Delete
    4. ඔව්. චීන මකරෙක් වගේ වුනත් චිත්‍රයේ සතාටනම් කකුල් නෑ තමයි. එය පැහැදිලි වෙනසක්. සමහර විට එයින් පෙන්වන්නේ වෙනත් දෙයක් වෙන්න ඇති. සමහර විට චිත්‍රපට අධ්‍යක්ෂක නිකමට ඇඳපු චිත්‍රයක් වෙන්නත් පුළුවන්. කොහොම වුනත් රාහුගේ රූපයනම් කොහේවත් මේ අයුරින් ඇඳ තිබෙනු මම දැක නැහැ.

      Delete
    5. මිනිස්/යක්ෂ ඔළුව අමතක කර රාහුගේ සර්ප ඇඟ සර්ප ඔළුවක් සමඟම ඇන්දා වෙන්නත් පුළුවන්.

      Delete
    6. අන්තර්ජාලයේ හෙවුවහම සමහර අය සර්පයෙක් ලෙස රාහුව ඇඳපු තැනුත් තියෙනවා.

      http://astrosharmistha.com/blog/rahu/

      Delete
  3. කතාවේ ආදර්ශය-

    සුරා පෝලිමට නොයන්නා ගේ සිරුර දෙකට කැපේ!

    ReplyDelete
    Replies
    1. ආදර්ශය 2: පෝලිමේ දෙපැත්තේ ඉන්නා අය ගැන සැලකිලිමත් විය යුතුය.

      Delete
  4. අගනා දීර්ඝ විස්තරය මහත් රුචියෙන් යුතුව කියෙව්වෙමි.සුර්යග්‍රහණය චන්ද්‍රග්‍රහනය සිදුවීම් හි විද්‍යාත්මක න්‍යාය හා ආදි කල්පිත අතර ගැලපුම අගේය. මේ පෝය දින උදේම කදිම සිතුවිල්ලක් මේ සටහනින් හිතට දාගතිමි. ස්තුතියි.

    ReplyDelete
  5. ජෝතිෂ්‍ය ශාස්ත්‍රඥයන් හරියට ශාස්ත්‍රය දැනගෙන හිටියනම් බොරු වැල් බයිල නොගහා ඇත්තම සංසිද්ධිය විස්තර කරන්න තිබුනා නේද ?

    ReplyDelete
    Replies
    1. ඇතැම් අය මෙය පෘථිවි කේන්ද්‍රීය ලෙස විස්තර කරනවා. එයත් නිවැරදියි.

      Delete
  6. සූරිය සුත්‍රයේ සහ චන්දිම සූත්‍රයේ දැක්වෙනුයේ,
    මාගේ ස්වාමීන් වහන්සේට ඍධි බලයෙන් සූර්ග්‍රහණ සහ චන්ද්‍ර ග්‍රහණවල ග්‍රහණ කාලය අඩුකර ලොව සුවපත්කල හැකිබව නොවේද?
    සාදු! සාදු!! සාදු!!!

    ReplyDelete
    Replies
    1. ඔය වගේ හිතපු අය බුද්ධ කාලයේමත් ඉන්න ඇති!

      Delete
  7. බුද්ධ කාලයේ සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ ‍යනු චන්දිම සූත්‍රවල ඇති මිථ්‍යා මත නොවන බව ඔබ පකාශ කරයි. බුද්ධ කාලයේ, පෘථිවිය ගෝලාකරබව සහ අනිකුත් මූලික ග්‍රහලෝක පිලිබඳ තිබූ අවබෝධය කුමක්ද ? නලින්ද සිල්වාට අනුව සියල්ල ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ වන්නේ බුදු හිමියන්ට පමණලු. එවැනි අවබෝධයක් ඇති අතීතය, වර්තමානය, අනාගතය සියල්ල දන්නා බුදු හිමියන්ට මෙවැනි සරල දෙයක් අවබෝධ නොවූයේ ඇයි ? මැවුම්වාදය නොපිලිගන්නා මම මෙයින් කිසිදු ආගම්වලට අපහාසයක් නොකර, සත්‍ය පමණක් දැන ගැනීමට කැමති අයෙක්මි.

    ReplyDelete
    Replies
    1. පළමුව, බුද්ධ කාලය යන්නද විවාදිත දෙයකි. දැනට අපි මහාවංශ සම්ප්‍රදාය අනුව යමින් මේ කාලය ක්‍රිස්තු පූර්ව 5-6 සියවස් ලෙස සලකමු. මේ කාලයේ පැවති පොළොව හා ග්‍රහලෝක පිළිබඳ දැනුම ගැන අපට ස්ථිරවම කියන්නට නුපුළුවන. එහෙත්, ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේදී අරියභට්ටයන් විසින් සූර්ය සිද්ධාන්තය සම්පාදනය කරන විටනම් ලෝකය ගෝලාකාර බව පමණක් නොව ග්‍රහලෝක වල පිහිටීම් හා චලනයන්ද බොහෝ නිවැරදිව ආකෘතිගත කර තිබුණු බව ඉතාම පැහැදිලිය. එමෙන්ම, පහළොස්වන සියවස පමණ දක්වා මේ දැනුම ක්‍රමයෙන් දියුණු වී ඇති බවද පෙනේ. මේ කාලය තුළ මේ දැනුම වෙනස් කළ නොහැකි, වෙනස් කළ නොයුතු, පරිපූර්ණ දැනුමක් ලෙස සලකා නැත. ආසන්න වශයෙන් මේ කාලයේ තිබී ඇති සිද්ධාන්ත පොත් 18කින් දැනට ඉතිරිව ඇත්තේ පොත් පහක් පමණි. ඒ නිසා, ඉතිරි සිද්ධාන්ත පොත් වල තිබුණු දේ හා ලියවුණු කාල වකවානු ගැනද දැනට ඇත්තේ අසම්පූර්ණ දැනුමකි. හතරවන සියවසේදී පමණ සූර්ය සිද්ධාන්තය නම් සංකීර්ණ ගණිතමය ආකෘති සහිත පොත ලියනු ලැබීමෙන් අදහස් වන්නේ මේ දැනුම තනිකරම එහි කතෘ අරියභට්ටයන්ගේ දැනුමක් බව නොවේ. එහි ඇති බොහෝ දේ එවකටද, ඇතැම් විට සියවස් ගණණක් තිස්සේ, දැන සිටි දේ විය හැකිය.

      බුද්ධ කාලයේදීද සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ ඇතිවීම හා ඉරේ හා හඳේ චලනයන් ගැන පැහැදිලි කිරීම් සිදුවී ඇති බව (පහතින් උපුටා දක්වන) බ්‍රහ්මජාල සුත්‍රයේ සඳහන් කරුණු අනුව පෙනීයයි. ග්‍රහණ සිදුවන දවස් පැවසිය හැකි අය සිටීමෙන් පෙනෙන්නේ ලෝකය රවුම් බවට මූලික අවබෝධයක් බුද්ධ කාලයේද පැවතී ඇති බවයි. කෙසේවුවත්, ජ්‍යෝතිෂ්‍යය, වෙදකම, වාස්තු විද්‍යාව වැනි වේදයේ කොටස් වූ ලෞකික ශාස්ත්‍ර (මගේ වචනයකි) බෞද්ධ භික්ෂූන් විසින් හැදෑරීම බුදුන් වහන්සේ විසින් අනුමත කර නැත. සූර්ය සිද්ධාන්තය ලියන කාලයේද බෞද්ධ භික්ෂූන්ට (හා ජෛන සාස්තෘවරයින්ට) පොළොව හා ග්‍රහයින්ගේ පිහිටීම් ගැන වැරදි අවබෝධ තිබී ඇති බව එහි සඳහන්ව ඇත. බ්‍රහ්මජාල සූත්‍රයේ අදාළ කොටස මෙසේය.

      “යම්සේ ඇතැම් පින්වත් මහණබමුණෝ අනුන් සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, “අසෝ දිනැ චන්ද්‍රග්‍රහණය වන්නේ ය. අසෝ දිනැ සූර්‍යග්‍රහණය වන්නේ ය. අසෝ දිනැ නක්ෂත්‍රග්‍රහණය වන්නේ ය. අසෝ දිනැ සඳ හිරු දෙදෙනාගේ නිසි මඟින් යෑම වන්නේ ය. අසෝ දිනැ ඔවුන් නොමඟින් යෑම වන්නේ ය. අසෝ දිනැ නකත් තරුන් නිසි මඟින් යෑම වන්නේ ය. අසෝ දිනැ ඔවුන් නොමඟින් යෑම වන්නේ ය. අසෝ දිනැ උල්කාපතනය වන්නේ ය. දිග්දාහය වන්නේ ය. භූමිකම්පනය වන්නේ ය. වැසි නැති වැ අහස් ගෙරැවුම් වන්නේ ය. සඳ හිරු දෙදෙනාගේ ද නකත් තරුවල ද උදාව බැසීම කෙලෙසීම පිරිසිදුව වන්නේ ය. සූර්‍යග්‍රහණය ලොවට මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. චන්ද්‍රග්‍රහණය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. නක්ෂත්‍රග්‍රහණය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. සඳු හිරු දෙදෙනාගේ පථගමනය (නිසි මඟ යෑම) මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. සඳු හිරු දෙදෙනාගේ උත්පථ (අනියම් මඟ) ගමනය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. නකත්තරුවල පථගමනය මෙබඳු විපාක ගෙනැ දෙන්නේ ය. ඔවුන්ගේ උත්පථගමනය මෙබඳු විපාක ගෙනැ දෙන්නේ ය. උල්කාපතනය මෙබඳු පල දෙන්නේ ය. දිග්දාහය මෙබඳු පල දෙන්නේ ය. භූමීකම්පනය මෙබඳු පල දෙන්නේ ය. වැසි නැති වැ අහස් ගෙරැවුම් මෙබඳු පල දෙන්නේ ය. සඳ හිරු දෙදෙනාගේ ද නකත්තරුවල ද උදාවත් බැසීමත් කෙලෙසීමත් පිරිසිදු වීමත් මෙබඳු මෙබඳු පල දෙන්නේ යැ’ යි කියමින් මෙබඳු තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යාජීවිකායෙන් දිවි පවත්වත් ද, මහණගොයුම් තෙමේ මේ හෝ අන් මෙබඳු වූ තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යාජීවිකායෙන් වැළැක්කේ යැ” යි තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ මෙසේ හෝ කියන්නේ ය."

      Delete
  8. ඉකොනො,
    ඔබ මෙතරම් අපූරු ලිපියක් සම්පාදනයට අවශ්‍ය කරුනු ගලපා ගන්නේ කේසේදැයි සිතා ගැන්මටවත් නොහැකි තරම් අපූරු පූර්ණ වූ ලිපියක් පල කර ඇත. මෙතැනදී ඔබ එක විට චන්ද්‍ර/සූර්‍ය ග්‍රහන පිළිබඳව සාහිත්‍යමය, ජ්‍යෝතිශමය, ත්‍රිපිටක ගත, ජනශෘතිගත හා විද්‍යාත්මක යන සියළු අංශයන්ගෙන් පැහැදිලි කිරීමක් කරනු ලබයි.

    රාහු හා කේතු ලක්ෂ දෙකපිළිබඳ සැලකීමේදී මෙහි විස්තර වන ආකාරයෙන් මට වැටහෙන්නේ
    රාහු සැම විටම පෘථිවියේ චන්ද්‍රයා පිහිටන පසින්ම පිහිටන බව හා කේතු ප්‍රතිවිරුද්ධ දෙසින් පිහිටන බවයි.
    සඳත් හිරුත් දෙදෙනාම රාහුගේ ග්‍රහණයට හසුවන නමුත් කෙතුගේ ග්‍රහණයකට හසු නොවන්නේත් එනිසා විය යුතුයි.

    අමාවක දිනයේදී ඉරත් පොළොවත් අතර වූ සරළ රේඛාව සඳෙහි පතයෙන් කැපෙන ස්ථානය සූර්‍යයා පසින් රාහු වන අතර
    ඉරත් පොළොවත අතර සරළ රේඛාව පොළොවින් අනෙක් පසට දිගු කල විට සඳෙහි පතය කැපෙන තැන කේතු විය යුතුය.

    එසේම පසලොස්වක දිනකදී මේ ලක්ෂ දෙකින් පොළොවෙහි ඉරට අනෙක් පසින් ඇති ලක්ෂය රාහු වන අතර හිරු දෙසින් ඇති ලක්ෂය කේතු විය යුතුය.

    දැන් ජ්යෝතිශය දෙසට හැරුනොත්, ඩිවා හා රාත්‍රී ලෙස රාහු කාල දෙකක් හට ගන්නේ කෙසේද? ඒ රාහු ලක්ෂය හරහා සඳුගේ ගමනත් හිරුගේ ගමනත් වහයෙන්ද? එසේනම් අමාවක දිනකදී පැවැතිය යුත්තේ එක් රාහු කාලයක් පමණක් නොවෙයිද?

    තව දුරටත් පුර හෝ අව අටවක දිනකදී රාහු හා කේතු පිහිටන්නේ කොයි දෙසින්ද යන වග නිශ්චය කරන්නේ කෙසේද?

    ප්‍රශ්න අහනවා වැඩිද මන්දා.
    ඉඩක් ඇතොත් උත්තරයක් දෙමු.

    ReplyDelete
    Replies
    1. //රාහු සැම විටම පෘථිවියේ චන්ද්‍රයා පිහිටන පසින්ම පිහිටන බව හා කේතු ප්‍රතිවිරුද්ධ දෙසින් පිහිටන බවයි.//
      සෑම විටකම නොව ග්‍රහණයක් සිදුවන සෑම විටකම ලෙස නිවැරදි විය යුතුය. රාහු වෙනත් තැනක පිහිටියහොත් ග්‍රහණයක් සිදුනොවේ. ඇත්තටම කියනවානම් රාහු යනු ද්‍රව්‍යමය (හෝ ශක්තියක්) ලෙස නොපවතින මනඃකල්පිත ලක්ෂ්‍යයක් නිසා එය අර්ථදක්වා ඇත්තේම සූර්යග්‍රහණයකදී ඉර පවතින තැනත්, චන්ද්‍රග්‍රහණයකදී හඳ පවතින තැනත් පවතින පරිදිය. ප්‍රවාදය ඒ ආකාරයෙන් නිර්මාණය වන්නේ හඳ/ඉර රාහු අල්ලන බවට ඊට පෙර සහශ්‍ර ගණනක සිටම ප්‍රවාදයක් තිබුණු බැවිනි.

      //අමාවක දිනයේදී ඉරත් පොළොවත් අතර වූ සරළ රේඛාව සඳෙහි පතයෙන් කැපෙන ස්ථානය//
      මතක තබාගත වැදගත්ම කරුණ රාහු හා කේතු යනු බොහෝ තැන් වල ලියැවී ඇති පරිදි සඳෙහි පථය කැපෙන තැන් නොවන බවයි. එය සඳෙහි පථය ඇති තලය කැපෙන තැන් ලෙස නිවැරදි විය යුතුය. (මේ තල දෙක අතර 5.145° ක ආනතියක් තිබේ.) මේ දෙකම එකක් වන්නේ ග්‍රහණ සිදුවන පෝය දින වලදී පමණි. උදාහරණයක් ලෙස ලිපිය සමඟ පළ කර ඇති රූපසටහනේ උඩින් හා යටින් පෙන්වන අවස්ථා වල ඉරත් පොළොවත් අතර වූ සරළ රේඛාවත්, "රාහු කේතු අතර" සරල රේඛාවත් එකක්ම වුවත්, වමේ හා දකුණේ ඇති අවස්ථා වල මේ රේඛා දෙක ඇත්තේ එකිනෙකට ලම්බකවය. ඒ නිසා ග්‍රහණ ඇති නොවේ.

      //පුර හෝ අව අටවක දිනකදී රාහු හා කේතු පිහිටන්නේ කොයි දෙසින්ද// ලිපිය දැනටමත් දිග නිසා "රාහු කේතු" වෙනස් වන ආකාරය මෙහි විස්තර කර නැත. එය සංකීර්ණ ක්‍රියාවලියකි. පසළොස්වක හෝ අමාවක සිට අටවක පෝයක් දක්වා සතියක පමණ කාලය තුළ රාහු හා කේතුගේ පිහිටීම වෙනස් නොවන බව (ඉතා සරල උපකල්පනයක් ලෙස) අපට සැලකිය හැකිය. එහෙත් දිගුකාලයක් සැලකූ විට මේ පිහිටීම ඕනෑම තැනක් විය හැකිය. පසළොස්වක හා අමාවක අතර දෙසතියක කාලය තුළ වුවද රාහු හා කේතුගේ පිහිටීම විශාල ලෙස වෙනස් නොවන නිසා සූර්යග්‍රහණයක් ඇතිවීමට දෙසතියකට පෙර හෝ දෙසතියකින් පසුව චන්ද්‍රග්‍රහණයක්ද ඇතිවීමට විශාල ඉඩකඩක් තිබේ. මෙහි විස්තර නොකළත් හඳ පොළොව වටා යන පථයද ස්ථිර එකක් නොවේ. පොළොවේ මෙන්ම හඳේද පූර්වායනය වීමක් සිදුවන අතර හඳේ පථයද පොළොවේ පථය මෙන්ම චක්‍රීය ලෙස කැරකේ. එමෙන්ම චක්‍රීය ලෙස හැකිලීම හා දිගහැරීමත් (ඉලිප්සය අඩුවෙන් හා වැඩියෙන් වෘත්තාකාර වීම), උස් පහත් වීමත් (පොළොව ඉර වටා යන තලය සමඟ ඇති ආනතිය චක්‍රීය ලෙස වෙනස් වීම) සිදුවේ. මේ වෙනස්කම් නිසා රාහු හා කේතු ලෙස අර්ථදක්වන ලක්ෂ්‍ය වල පොළොවට සාපේක්ෂ පිහිටීමද වසර 18-19කට පමණ වරක් චක්‍රීය ලෙස වෙනස් වේ. එහෙත්, හඳට හා ඉරට සාපේක්ෂව මේ වෙනස හෙමින් සිදුවන වෙනසකි.

      රාහු කාලය හා රාහුගේ ගමන අතර හෝ වෙනත් කිසිදු ස්වභාවික සංසිද්ධියක් සමඟ මොනම ආකාරයකවත් සම්බන්ධයක් නැත. එය වෛදික ජ්‍යෝතිෂ්‍යයේ නොතිබුණු එතරම් පැරණි නැති, කිසිදු පදනමක් නැති භාවිතාවකි. ඉංග්‍රීසි කාලය වන තුරු රාහු කාලය ප්‍රචලිතව තිබී ඇත්තේ දෙමළ බ්‍රාහ්මණයින් අතර පමණි. එය ඉන්දියාවේ අනෙක් පෙදෙස් වලට පැතිරී ඇත්තේ දෙමළ ජාතිකයින්ගේ අභ්‍යන්තර සංක්‍රමණය සමඟය. එහෙත්, කේන්ද්‍රයේ ඇති රාහු හා කේතු ග්‍රහයන්ගේ පිහිටීම නිශ්චිතව ගණනය කළ හැකි දෙයකි.

      Delete
    2. //රාහු යනු ද්රුව්යරමය (හෝ ශක්තියක්) ලෙස නොපවතින මනඃකල්පිත ලක්ෂ්ය යක් නිසා එය අර්ථදක්වා ඇත්තේම සූර්යග්රුහණයකදී ඉර පවතින තැනත්, චන්ද්රරග්රනහණයකදී හඳ පවතින තැනත් පවතින පරිදිය.//
      ඔබගේ මේ පැහැදිලි කිරීම ඔස්සේ මා මෙසේ තෙරුම් ගතිමි.
      සූර්යමයාත් පොළොවත් අතර වන සරළ රේඛාව හා පොළොව ඉර වටා ගමන් කරන තලය හා සඳ පොළොව වටා ගමන් කරන තලය එකිනෙක කැපෙන ස්ථාන අතර වූ සරළ රේඛාව එකිනෙක හා සමාන්තරව පිහිටන අවස්ථාවේදී එකිනෙක මත සමපාත වුවහොත් එයින් ග්රුහණ ඇතිකරයි එසේම ග්රූහන අවස්ථාවකදී රාහුගේ පිහිටීම අවස්ථානුකූලව හිරු ඇති දෙසින් හෝ සඳු ඇති දෙසින් විය හැකිය

      එහෙත් මා අනුමාන කල // රාහු සැම විටම පිහිටනුයේ සඳ ඇති දෙසින්ය// කීම නිවැරදි විය යුතුය. මන්ද සුර්‍ීමයග්රඅහනයකදී සඳ හා ඉර දෙකම පොළොවෙහි එක පසකිනුත්, චන්ද්රනග්රකහණයකදී මේ දෙක පොළොවෙහි ප්ර්ථිවිරුද්ද දෙපසිනුත් පිහිටන බැවින්.

      පැහැදිලි කර ගැනුම උදෙසා තවත් එක් පැනයක් අසමි.
      රාහු හා කේතු යන ලක්ෂ දෙක අතර මේ රාහුය මේ කේතුය වශයෙන් වෙන්කොට හඳුනා ගැනීමක් කල හැකිද. එසේනම් කවුරුන් රාහුද කවුරුන් කේතුද?

      Delete
    3. යුනිකෝඩ් අකුරු වර්ඩ් පිටුවකට අලවා නැවත බ්ලොග් පිටුවේ ඇලවූ නිසා සිංහල අකුරු විස්තාරණය වී පලවී ඇත. එය නොසලකා ඔබට මා ලියා ඇති දෙය පැහැදිලි වනු ඇතැයි සිතමි.

      Delete
    4. නයනේ, මෙය හරියටම පැහැදිලි කරන්නනම් ඇඳලා පෙන්නන්න වෙනවා. (දැන් වෙලාවක් නැහැ) ඉර, හඳ හා පොළොව යා කරන රේඛාව හැම පසළොස්වක හා අමාවක දිනකම තනි ඉරක්. එසේ වුවත්, මේ ඉර කඩදාසියක් මත ඇඳපු ඉරක් කියා හිතුවොත් එහි හඳ තිබෙන්නේ කඩදාසිය මත, එයට උඩින් හෝ යටින් විය හැකියි. පොළොව ඉර වටා යාම හා හඳ පොළොව වටා යාම මත මේ ඉර වෙනස් වෙනවා. එසේ වෙනස් වී සෑම සති දෙකකට වරක්ම ඉරක් හැදුනත් එය හැදෙන්නේ එකම දිශාවෙන් නෙමෙයි. පසළොස්වක හා අමාවක නොවන දිනවල මෙවැනි ඉරක් නෑ. ඒ නිසා ග්‍රහණ ඇති වීමේ හැකියාවක් නැහැ. එහෙත් ඉර, හඳ හා පොළොව තනි ඉරකට පැමිණි පමණින් ග්‍රහණ ඇතිවන්නේත් නැහැ.

      තල දෙක කැපෙන ඉර වෙනම ඉරක්. ඒ ඉර හැම විටම තියෙනවා. එහි දිශා (රාහු හා කේතු) වෙනස් වන්නේ සාපේක්ෂව හෙමින්. ඒ ඉර වටයක් කැරකෙන්න වසර දහඅටක් පමණ යනවා. ග්‍රහණයක් ඇතිවන්නේ මුලින් කී ඉර හා මේ දෙවන ඉර සමපාත වූ විටයි. සමාන්තර වූ විට මේ ඉරි දෙක සමපාතද වෙනවා. මේ අවස්ථාවේදී ඉර, හඳ හා පොළොව තිබෙන්නේ උඩින් කතා කළ කඩදාසිය මත කියා කියන්න පුළුවන්. එසේ නොවුනත් ඉරි දෙක අතර කෝණය අංශක 16.5කට අඩුනම් හඳ කඩදාසියේ තලයෙන් ඈත් වී තිබෙන්නේ සුළු වශයෙන් නිසා අර්ධ ග්‍රහණයක් හෝ ඇති විය හැකියි. කෝණය වඩා වැඩිනම් ග්‍රහණයක් ඇතිවන්නේ නැහැ. මේ මාසයේ ග්‍රහණයක් ඇති වුනොත් ඔබ කියන පරිදිම ඉරි දෙක ආසන්නව සමානව පවතිනවා. එහෙත්, ඊළඟ මාසය වන විට රාහු කේතු ඉර එසේම වගේ තිබියදී අනෙක් ඉර සැලකිය යුතු ලෙස වෙනස් වෙනවා. ඒ නිසා ඊළඟ මාසයේ බොහෝ විට ග්‍රහණයක් ඇතිවන්නේ නැහැ.

      //රාහු හා කේතු යන ලක්ෂ දෙක අතර මේ රාහුය මේ කේතුය වශයෙන් වෙන්කොට හඳුනා ගැනීමක් කල හැකිද. එසේනම් කවුරුන් රාහුද කවුරුන් කේතුද?//
      වටයක් සම්පූර්ණ කිරීමට ගතවන කාලය දන්නා නිසා ග්‍රහණයක් සිදුවන විට හඳ ඇති තැන තිබෙන්නේ රාහු ලෙස සලකා එතැන් සිට ඉදිරියට හෝ පසුපසට ගණනය කළ විට වැරදීමක් වෙන්නේ නැහැ. රාහු කේතු නම් වූ ලක්ෂ්‍ය හැම විටම චලනය වන්නේ අනෙත් ග්‍රහයන් චලනය වන දිශාවට ප්‍රතිවිරුද්ධව (ආපස්සට).

      (පැහැදිලි නැත්නම් නැවත නැවත ඇහුවටනම් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැකි වුනොත් රූප සටහනකින් පෙන්වන්නම්. ගැලපෙන රූප සටහනක් අන්තර්ජාලයෙන් හොයාගත නොහැකි නිසා අඳින්නම වෙනවා.)

      Delete
    5. කමෙන්ට් එකට රූප සටහනක් එකතු කළ නොහැකි නිසා ලිපිය මැදට දැම්මා. ඒත් ඒ සමඟ විස්තරයක් දැම්මේ නැහැ. එහි පළමු අවස්ථාවේ ඉර හා පොළොව අතරට හඳ පැමිණි පමණින් ග්‍රහණයක් ඇති වන්නේ නැහැ. එහෙත්, දෙවන අවස්ථාවේදී ඉර හා පොළොව අතරට හඳ පැමිණි විටක මෙන්, රාහු කේතු වෙනස් නොවී එසේම තිබියදී පොළොව ඉර වටා ගමන් කිරීම නිසා වෙනත් පෝයකට ග්‍රහණයක් ඇති විය හැකියි. ඒ වගේම රාහු කේතු අක්ෂය කැරකීම නිසාත් එවැනි තත්ත්වයක් ඇති විය හැකියි.

      Delete
    6. ඔබේ මග ඔස්සේ ගොස් අරුන්දතී තාරකාව දැක ගත්තා සේ රාහු හා කේතුත් සඳෙහි මගත් ගැන අතට ගත් තිඹිරි ඵලයක් නිරීක්ෂනය කරන්නාක් වැනි ඉතාමත් පැහැදිලි වැටහීමක් ලදුයෙමි.
      ඊට අමතරව මා විකිපීඩියා ආදී තැන් වල මේ රාහු හා කේතු ගැන කියන කථා ඇතැමකුත් කියවා ගතිමි.
      බොහෝම ස්තුතියි.

      Delete
    7. මෙය පැහැදිලි කිරීම පහසු නැති තරමක් සංකීර්ණ දෙයක්. කල් අරගෙන වුවත් මෙය පැහැදිලි කරන්නට හැකිවීම සතුටක්!

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.