වෙබ් ලිපිනය:

Wednesday, May 29, 2024

පොලී අනුපාතික සහ උද්ධමන අපේක්ෂාව


ඉතිරි කරන්නන් සහ ණය ගන්නන් අතර සිදුවන ගනුදෙනු තුලනය වීම හරහා වෙළඳපොළ පොලී අනුපාතික තීරණය වන ආකාරය කලින් සටහනෙන් පැහැදිලි කළා. ඒ වගේම, අයවැය හිඟය පියවා ගැනීම පිණිස රජය ඔය ණය වෙළඳපොළට ඇතුළු වූ විට වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ යන ආකාරයත් පෙන්වා දුන්නා.

ඔය ආකාරයට තීරණය වන ලංකාවේ පොලී අනුපාතික, දිගුකාලීනව බැලුවොත්, 10%කට ආසන්න මට්ටමකයි තියෙන්නේ. නමුත් බටහිර රටවල වෙළඳපොළ පොලී අනුපාතික තියෙන්නේ 4%-5% වගේ මට්ටමක. 

ලංකාවේ පොලී අනුපාතික ඉහළ මට්ටමක තියෙන්නේ ඉතිරි කරන්නන් සහ ණය ගන්නන් අතර සිදුවන ගනුදෙනු තුලනය වෙන්නේ ඉහළ පොලී අනුපාතිකයකදී නිසා. මේ වෙනසට හේතුව රජයේ අයවැය හිඟය පමණක් බව කියන්න අමාරු ඇමරිකාව වගේ රටවල් වල රජයයන් විසින්ද වෙළඳපොළෙන් විශාල ලෙස ණය ගන්න නිසා. 

ලංකාවේ ඉතිරි කරන්නෝ, බටහිර රටකට සාපේක්ෂව, වැඩි පොලී අනුපාතිකයක් අපේක්ෂා කරනවා. ඒ වගේම, ණය ගන්නෝ ලොකු විරෝධයක් නැතිව වැඩි පොලියක් ගෙවනවා. ඒ නිසා, වෙළඳපොළ පොලී අනුපාතික තුලනය වන්නේ ඉහළ මට්ටමකදී. ලංකාවේ මිනිස්සු ඒ විදිහට හැසිරෙන්නේ ඇයි?

ඉහත ප්‍රශ්නය ගන්න කලින් තවත් දෙයක් පැහැදිලි කරලා ඉන්නම්. කලින් සටහන් දෙකෙන් පෙන්නුවේ වෙළඳපොළ පොලී අනුපාතිකය පහළ යද්දී සාමාන්‍යයෙන් ඉතිරි කරන කෙනෙක් ණය ගන්න පෙළඹෙන එක ගැන සහ වෙළඳපොළ පොලී අනුපාතිකය ඉහළ යද්දී සාමාන්‍යයෙන් ණය ගන්න පෙළඹෙන කෙනෙක් ඉතිරි කරන්න පෙළඹෙන එක ගැන. පහසුවට ඒ විදිහට විස්තර කළත්, වෙළඳපොළ පොලී අනුපාතිකය පහළ යද්දී ඕනෑම කෙනෙක් ණය ගන්න පෙළඹෙන්නේ නැහැ. ඒ වගේම, වෙළඳපොළ පොලී අනුපාතිකය ඉහළ යද්දී ඕනෑම කෙනෙක් ඉතිරි කරන්න පෙළඹෙන්නේ නැහැ. 

කෙනෙක් ඉතිරි කරන්න පෙළඹෙන්නේ මූලික අවශ්‍යතා සපුරා ගත හැකි තරමේ ආදායමක් තිබේනම් පමණයි. මොකද ඉතිරි කරනවා කියන්නේ අනිවාර්යයෙන්ම පරිභෝජනය සීමා කිරීමක්. පරිභෝජනය සීමා කළ හැකි සීමාවක් තියෙනවා. බඩට ආහාරයක් නැතිව, ලෙඩකට බේත් නොගෙන, ඉතිරි කරන එක ප්‍රායෝගික දෙයක් නෙමෙයි. ඔය මූලික අවශ්‍යතා ටික සපුරා ගත හැකි තරමේ ආදායමක් නැති කෙනෙක් වෙළඳපොළ පොලී අනුපාතික කොයි තරම් ඉහළ ගියත්, සතයක්වත් ඉතිරි නොකරන්න පුළුවන්.

බටහිර රටවලනම් තරුණ වයසේ අය ඉතිරි කරන්නේ අඩුවෙන්. ගොඩක් අය කරන්නේ ණය වෙන එක. ඉතිරි කරන්න පටන් ගන්නේ මැදි වයස වෙද්දී. මම හිතන විදිහට ලංකාවේ ගොඩක් අය ණය වෙන්න පටන් ගන්නේ මැදි වයසේදී. තරුණ වයසේ අයට ණයක් ගන්න අවශ්‍ය වුනත් ණයක් ගන්න අමාරුයි. ණය ගැනීමේ හැකියාව වැඩි වන්නේ මැදි වයසේදී. 

තරුණ වයසේ අයෙකු ණය වීම තාර්කික කරුණක්. ඒ අයගේ අපේක්ෂිත අනාගත ආදායම එක්ක බැලුවහම සල්ලි වල වර්තමාන වටිනාකම වැඩියි. ඒ නිසා, ඒ වගේ අය ණය ගන්න පෙළඹෙන එක තේරුම් ගන්න අමාරු නැහැ. අර කතාවට කියනවනේ තරුණ කාලේ වෙලාව සහ ජවය තිබුණට සල්ලි නැහැ, මැදි වයසේදී ජවය සහ සල්ලි තිබුණට වෙලාව නැහැ, වයස්ගත වුණාම සල්ලි හා වෙලාව තිබුණත් ජවය නැහැ කියලා. ඔය කතාව බොරුවක් නෙමෙයිනේ. ඒ නිසා, වෙලාව හා ජවය තියෙන කාලේ පුළුවන්නම් සල්ලි ටිකක් ණයට අරගෙන තරුණ ජවයෙන් ප්‍රයෝජනයක් ගන්න එක නරක අදහසක්ම නෙමෙයි. කොයි විදිහටද කියන එක පෞද්ගලික කාරණයක්. 

විශ්‍රාමික වයස්වල ගොඩක් අය ඉතිරි කරන්නෝ. ඒ අය කරන්නේ වැඩ කරන කාලයේ ඉතිරි කරගත් මුදලින් ජීවත් වෙන එක. ඉතිරි කරගත් මුදල මිසක් වෙනත් ආදායම් මාර්ග නැත්නම් ණය අරගෙන අනාගතයේ ඒ ණය ආපසු ගෙවිය හැකි ක්‍රමයක් නැහැ. ඒ නිසාම, මේ වගේ අයට ණයක් ගන්නත් අමාරුයි. වෙළඳපොළ පොලී අනුපාතිකය කොයි තරම් පහළ ගියත් මේ වගේ අය තව දුරටත් ඉතිරි කරන්නෝම තමයි.

හැබැයි ඔය කාණ්ඩ දෙකේ අය හිටියා කියලා මම පෙර ලිපියේ පැහැදිලි කළ තුලනය සිදු නොවී තියෙන්නේ නැහැ. රටක යම් නිත්‍ය ණයකරුවෝ සහ නිත්‍ය ඉතිරි කරන්නෝ පිරිසක් ඉන්නවා. ඒ අය වෙළඳපොළ පොලී අනුපාතිකයට සංවේදී නැහැ. නමුත් ඒ කාණ්ඩ දෙක හැර වෙළඳපොළ පොලී අනුපාතිකයට සංවේදී තවත් විශාල පිරිසක් ඉන්නවා. වෙළඳපොළ පොලී අනුපාතිකය තීරණය කරන්නේ ඒ පිරිස. හරියට මැතිවරණයකදී ප්‍රතිඵලය තීරණය කරන පාවෙන ඡන්දදායකයෝ වගේ. 

දැන් අපි නැවතත් මුල් ප්‍රශ්නයට එමු. ලංකාවේ බොහෝ දෙනෙකුගේ "සැඟවුණු පොලී අනුපාතික අපේක්ෂාව" ඉහළ මට්ටමක තියෙන්නේ ඇයි?

මෙම ලිපි මාලාවේ දෙවන කොටසෙන් පෙන්වා දුන් පරිදි, සැඟවුණු පොලී අනුපාතික අපේක්ෂාව කරුණු තුනක් මත තීරණය වෙනවා.

1. උද්ධමනය නිසා මුදලේ වටිනාකම අඩුවීම 

2. මුදල් අපේක්ෂිත පරිදි නොලැබීමේ අවදානම 

3. මුදලේ කාල වටිනාකම

එක් එක් පුද්ගලයාගේ සැඟවුණු පොලී අනුපාතික අපේක්ෂාව වෙනස් වන්නේත්, ඇමරිකානුවෙකුගේ හා ශ්‍රී ලාංකිකයෙකුගේ ඔය අගයයන් වෙනස් වෙන්නේත් මේ කරුණු තුනෙන් එකක් හෝ කිහිපයක් වෙනස් වීම නිසා. 

තරුණ වයසේදී බොහෝ දෙනෙක් ණය ගන්න පෙළඹෙන්නේත්, විශ්‍රාමික වයස් වලදී ඉතිරි කිරීම් රැක ගන්න පෙළඹෙන්නේත් කාල වටිනාකම් වෙනස නිසා. තරුණ වයසේ ඉන්න කෙනෙකුට මුදල් උපයා ගන්න විශාල කාලයක් තියෙන නිසා අනාගතය ගැන ලොකුවට බය වෙන්න හේතුවක් නැහැ. ඒ නිසා අද අතට ලබා ගත හැකි මුදලක් ගොඩක් වටිනවා. විශ්‍රාමික වයසේ කෙනෙකුට එවැනි ආදායම් අපේක්ෂාවක් නැහැ. තියෙන සල්ලි ටික මැරෙනකම් ජීවත් වීම සඳහා රැක ගන්න වෙනවා. ඉතිරි වී තිබෙන අනාගත කාලය සඳහා එම සල්ලි ඉතිරි කරගැනීම ඒ අයට ඉතාම වැදගත්. 

මෙය කාල වටිනාකම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන එක හේතුවක් පමණයි. කුඩා දරුවන් දෙතුන් දෙනෙක් ඉන්න කෙනෙකුට සාපේක්ෂව තනිකඩ කෙනෙකුට අනාගතය ගැන හිතන්න අවශ්‍ය වෙන්නේ අඩුවෙන්. ඔය වගේ විවිධ වෙනස්කම් තියෙනවා. මෙය ලංකාවේ ඉන්න අයට වගේම වෙනත් රටවල ඉන්න අයටත් එක සේ බලපාන සාධකයක්. කාල වටිනාකම් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා.

හැබැයි උද්ධමනය නිසා මුදලේ වටිනාකම අඩුවීම හැමෝටම බලපාන්නේ එක විදිහට. නමුත්, ඒකෙත් ප්‍රශ්නයක් තියෙනවා. ඉතිරි කිරීමේ හෝ ණය ගැනීමේ තීරණයකදී අදාළ වෙන්නේ අනාගත උද්ධමනය. පසුගිය කාලයේ උද්ධමනය ගැන අපි දන්නවා වුනත්, අනාගත උද්ධමනය ගැන අපි හරියටම දන්නේ නැහැ. ලංකාවේ උද්ධමනය 73%ට යා හැකි බව අවුරුදු තුන හතරකට කලින් කී දෙනෙක් හිතුවද?

මෙන්න මේ කාරණයේදී බොහොමයක් බටහිර රටවල් හා ලංකාව අතර වෙනසක් තිබෙනවා. බොහොමයක් බටහිර රටවල් මෑත කාලයේදී සාමාන්‍ය අගයක් ලෙස උද්ධමනය 2% ආසන්න මට්ටමක තබා ගැනීමට සමත් වී තිබෙනවා. ඒ නිසා, අනාගතයේදීත් එය ඒ විදිහට වෙයි කියන විශ්වාසය බොහෝ දෙනෙකුට තිබෙනවා. ලංකාවේ ඒක නැහැ. ඒ නිසා, උද්ධමන අපේක්ෂාවන් පුද්ගලයාගෙන් පුද්ගලයාට විචලනය වන පරාසය බටහිර රටකට සාපේක්ෂව වැඩියි. ඊට අමතරව සාමාන්‍ය අගයක් ලෙස උද්ධමන අපේක්ෂාවම වුනත් වැඩියි. මෙය ලංකාවේ ගොඩක් අයගේ "සැඟවුණු පොලී අනුපාතික අපේක්ෂාව" ඉහළ මට්ටමක තියෙන්න ප්‍රධාන හේතුවක්. 

"අපි හිතමු අවුරුදු පහකින් ඔබට රුපියල් ලක්ෂය ලැබෙන්නේ උද්ධමනය එක්ක ගැලපීමෙන් පසුව කියලා. ඒ කියන්නේ උද්ධමනය වැඩි වෙන ප්‍රමාණයට ඔය රුපියල් ලක්ෂයත් වැඩි වෙනවා. එහෙමනම්, ඔබ මේ අනාගත මුදල වෙනුවට අද ඉල්ලන අවම මුදල කීයද?"

මේ ප්‍රශ්නයට ලැබී තිබුණේ පිළිතුරු කිහිපයක් පමණයි. 

වරුණගේ පිළිතුර මුල් පිළිතුර මෙන් දෙගුණයක්. එයින් අදහස් වන්නේ වසර 5කින් මිල මට්ටම දෙගුණ වන බව ඔහු උපකල්පනය කරන බවයි. ඒ කියන්නේ 14.7%ක උද්ධමනයක්.

බුද්ධිකගේ පිළිතුර 66.7%කින් වැඩියි. එයින් අදහස් වන්නේ 10.8%ක උද්ධමනයක්. 

ශවීන් උද්ධමනය 5% කියලා කෙළින්ම උපකල්පනය කරලා තිබුණා. අංජන උපකල්පනය කරලා තිබුනෙත් 5% ලෙසයි. 

මෙහි ශවීන් සහ අංජන විසින් උපකල්පනය කර තිබෙන 5% කියන්නේ මහ බැංකුව විසින් "පොරොන්දු වී" තිබෙන උද්ධමනය. වරුණ හා බුද්ධික ඒ පොරොන්දුව විශ්වාස කරන බව පෙනෙන්නේ නැහැ. මම හිතන්නේ රටේ සාමාන්‍ය ජනමතය සැලකුවත් සාමාන්‍ය උද්ධමන අපේක්ෂාව 5%ට වඩා වැඩි වෙන්න පුළුවන්.

මහ බැංකුවේ පොරොන්දු උද්ධමනය සහ සාමාන්‍ය උද්ධමන අපේක්ෂාව සමාන වෙන්නනම් මහ බැංකුව විසින් එක දිගට විශාල කාලයක් පොරොන්දුව ඉටු කර පෙන්විය යුතුයි. බටහිර රටවල එහෙම වෙලා තිබුනත් ලංකාවේ එහෙම වෙලා නැහැ. ලංකාවේ තරමටම නැතත් බටහිර රටවල වුනත් ඔය පොරොන්දුව ඉටු කිරීමේ ප්‍රශ්න තිබෙනවා. 

මහ බැංකුව ඉදිරි වසර පහක කාලය තුළ ඇත්තටම උද්ධමනය 5% මට්ටමේ පවත්වා ගන්නවා කියලා හිතමු. නමුත් වෙළඳපොළ පොලී අනුපාතිකය හැදෙද්දී අදාළ වෙන්නේ ඒ සම්බන්ධව මිනිස්සු විශ්වාස කරන අගය මිසක් ඇත්ත අගය නෙමෙයි. ඒ විශ්වාස කරන අගය වැඩිනම් එවැනි පුද්ගලයින්ගේ "සැඟවුණු පොලී අනුපාතික අපේක්ෂාව" වැඩියි. එහි ප්‍රතිඵලය වෙළඳපොළ සමතුලිත පොලී අනුපාතිකයද ඉහළ මට්ටමක රැඳීමයි. මහ බැංකුව පිලිබඳ විශ්වාසනීයත්වය තහවුරු කිරීම වැදගත් වන්නේ මේ නිසා. 

උඩ වගුවේ තිබෙන්නේ අද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ පොලී අනුපාතික. ලිපියට සෘජු සම්බන්ධයක් නැහැ. භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික මේ වන විට මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික රාමුව ඇතුළට පැමිණ තිබෙනවා.

Tuesday, May 28, 2024

වෙළඳපොළ පොලී අනුපාතිකය හැදෙන හැටි


"ඔබට තව අවුරුදු පහකින් රුපියල් ලක්ෂයක් ලබා ගන්න පුළුවන්. කවුරු හෝ කෙනෙක් නිකම් දෙනවා කියලා හිතන්න. කැමතිනම් ඒ වෙනුවට අද ඊට වඩා අඩු මුදලක් ලබා ගන්න පුළුවන්. හැබැයි ඔබ ඉල්ලන මුදල ඕනෑවට වඩා වැඩි නැති සාධාරණ මුදලක්නම් පමණයි. ඔබ ඉල්ලන අවම මුදල කීයද?"

මේ ප්‍රශ්නයට කිහිප දෙනෙකු විසින් ලබා දුන් පිළිතුරු ඇසුරෙන් මම ඒ අයගේ "සැඟවුණු පොලී අනුපාතිකය" ඔබට ඉදිරිපත් කළා. 

වරුණ - 38.0%

සසංක - 32.0%

ඇනෝ - 23.4%

ලංකා - 14.9%

බුද්ධික - 10.8%

ශවින් - 10.8%

සිරිල් - 10.8%

අංජන - 9.0%

ඉවාන් - 7.4%

මේ සැඟවුණු පොලී අනුපාතිකය තමයි තීරණය කරන්නේ කිසියම් පුද්ගලයෙක් ඉතිරි කරන්නෙක් වෙනවද නැත්නම් ණයකාරයෙක් වෙනවද කියන එක. වෙළඳපොළ පොලී අනුපාතිකය තමන්ගේ සැඟවුණු පොලී අනුපාතිකයට වඩා වැඩිනම් පුද්ගලයෙක් පුළුවන් තරම් ඉතිරි කරන්න පෙළඹෙනවා. වෙළඳපොළ පොලී අනුපාතිකය තමන්ගේ සැඟවුණු පොලී අනුපාතිකයට වඩා අඩුනම් වෙන්නේ ඒකේ අනෙක් පැත්ත. ඒ කියන්නේ පුළුවන් තරම් ණය ගන්න පෙළඹෙන එක.

වෙළඳපොළ පොලී අනුපාතිකය 15%නම්, ලංකා, බුද්ධික, ශවීන්, සිරිල්, අංජන හා ඉවාන් කියන හය දෙනාම ඉතිරි කරන්නෝ වෙනවා. වරුණ, සසංක හා ඇනෝ පමණක් ණය ගන්න පෙළඹෙනවා. පොලී අනුපාතිකය 10% දක්වා අඩු වුනොත්, මුදල් ඉතිරි කරන්නේ අංජන හා ඉවාන් පමණයි. ඉතිරි හත් දෙනාම කරන්නේ ණය ගන්න එක.

"ඒ කියන්නේ ණය පොලිය 7-8% මට්ටමකට ආවොත් ජනතාවගෙන් වැඩි % එකක් ණය ගනී කියලාද?"

බුද්ධික අහල තියෙන්නේ ඉතාම වැදගත් ප්‍රශ්නයක්. අපි හිතමු වෙළඳපොළ පොලී අනුපාතිකය 7% දක්වා අඩු වුනා කියලා. එහෙම වෙද්දී ඉහත කිසිවකුගේ සැඟවුණු පොලී අනුපාතිකය, එහෙමත් නැත්නම් "තීරක පොලී අනුපාතිකය" වෙනස් නොවී ඒ විදිහටම තිබුණා කියලා හිතමු. 

මේක පහසුවට, දැනට කරන උපකල්පනයක් පමණයි. ඔය සැඟවුණු, එහෙම නැත්නම් තීරක පොලී අනුපාතිකය නියතයක් නෙමෙයි. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා වගේම එකම පුද්ගලයෙක් හා අදාළව වුනත් විවිධ සාධක මත වෙනස් වෙනවා. ඒ ගැන කතා කරන එක පසුවට තියලා දැනට අපි මේ අනුපාතික නොවෙනස්ව තිබුණා කියා හිතමු. 

වෙළඳපොළ පොලී අනුපාතිකය 7% දක්වා අඩු වුනොත් ඉහත ලැයිස්තුවේ ඉන්න කිසිම කෙනෙක් ඉතිරි කරන්න පෙළඹෙන්නේ නැහැ. ලැයිස්තුවේ අන්තිමටම ඉන්න ඉවාන් වුනත් 7.4%කට වඩා අඩු පොලියක් සලකන්නේ ණය ගන්න හොඳ පොලියක් ලෙස මිසක් ඉතිරි කරන්න පොළඹවන පොලී අනුපාතිකයක් විදිහට නෙමෙයි. ඒ කියන්නේ මේ හැමෝම පෙළඹෙන්නේ ණය ගන්න.

හැබැයි දැන් මෙතැන තියෙන ප්‍රශ්නය මේකයි. ඔය හැමෝම ණය ගන්න කැමති වුනත්, ඒ අයට ණය දෙන්නේ කවුද? ණය ගන්නනම් ඒ ප්‍රමාණය දෙන්නත් කවුරු හෝ සිටිය යුතුයි. ඒ කියන්නේ ඉතිරි කරන්නෝ සිටිය යුතුයි. වෙළඳපොළ පොලී අනුපාතිකය 7% දක්වා අඩු වුනොත් එහෙම කවුරුවත්ම නැහැ. ඒ කියන්නේ 7% පොලී අනුපාතිකයට ණය ගන්න වැඩේ කෙරෙන දෙයක් නෙමෙයි. වෙනත් විදිහකට කිවුවොත්, ඔය තත්ත්වය යටතේ, වෙළඳපොළ පොලී අනුපාතිකය 7% දක්වා අඩු වෙන්න විදිහක් නැහැ. 

ඔය උඩ ලැයිස්තුවේ ඉන්න හැමෝම තමන්ගේ තීරක පොලී අනුපාතිකයට වඩා අඩු පොලියකට ණය ගන්න කැමතියි. හැබැයි එහෙම කැමති වුනු පලියටම ණය ලැබෙන්නේ නැහැ. ඒ තරම් අඩු පොලියකට ණය දෙන්න කැමති අයත් සිටිය යුතුයි. අනෙක් අතට ඔය හැමෝම තමන්ගේ තීරක පොලී අනුපාතිකයට වඩා වැඩි පොලියකට ණය දෙන්න, එහෙමත් නැත්නම් ඉතිරි කරන්න කැමතියි. හැබැයි ඒ තරම් ඉහළ පොලියකට ණය ගන්න කැමති අය නැත්නම් ඔය වැඩේ වෙන්නේ නැහැ.

වෙළඳපොළ පොලී අනුපාතිකය තීරණය වෙන්නේ ණය ගන්න කැමති අය සහ ණය දෙන්න කැමති අය අතර තුලනයක් ඇති වෙන ආකාරයටයි. ඉහත උදාහරණයේ වෙළඳපොළ පොලී අනුපාතිකය 15%ක් වුනා කියමු. දැන් වරුණ, සසංක හා ඇනෝ ඒ පොලිය ගෙවා ණය ගන්නවා. ඔවුන් දකින විදිහට එය ඔවුන්ට ලාබයි. ඔවුන් ගෙවන්න කැමති උපරිම පොලී අනුපාතිකය 15%ට වඩා වැඩියි. ඉතිරි හය දෙනා 15% පොලියට ණය දෙනවා. එය ඔවුන් බලාපොරොත්තු වන අවම පොලියට වඩා වැඩි පොලියක්. 

දැන් මේ පොලී අනුපාතිකය 10% දක්වා අඩු වුනොත් ලංකා, බුද්ධික, ශවීන් හා සිරිල් තව දුරටත් සල්ලි ඉතුරු කරන්නේ නැහැ. ඒ වෙනුවට කරන්නේ ණය ගන්න එක. දැන් ණය ගන්න හත් දෙනෙක් ඉන්නවා. ඒ හත්දෙනාටම ණය ගන්න ප්‍රමාණවත් මුදලක් අංජනට හා ඉවාන්ට ඉතිරි කරන්න පුලුවන්ද? එහෙම පුළුවන්නම් ප්‍රශ්නයක් නැහැ. නමුත්, එහෙම බැරිනම් වෙළඳපොළ පොලී අනුපාතිකය 10% දක්වා අඩු වෙන්නේ නැහැ.

අපි හිතමු එක් අයෙක් රුපියල් ලක්ෂය බැගින් ඉතිරි කරනවා හෝ ණය ගන්නවා කියලා. මේකත් සරල උපකල්පනයක් පමණයි. දැන් ශවීන්, සිරිල්, අංජන හා ඉවාන් රුපියල් ලක්ෂය බැගින් ඉතිරි කරනවා. වරුණ, සසංක, ඇනෝ සහ ලංකා ණය ගන්නවා. ඒ අනුව, වෙළඳපොළ පොලී අනුපාතිකය 10.8% ලෙස තීරණය වෙනවා. මොකද ඉතිරි කරන්නෝ සහ ණය ගන්නෝ සමානව දෙපැත්තට බෙදෙන්නේ ඒ පොලී අනුපාතිකයේදී. ඔය විදිහට තමයි වෙළඳපොළ පොලී අනුපාතිකය තීරණය වෙන්නේ.

හැබැයි ඔහොම වෙන්නේ රජය අයවැය තුලනය කර ගත්තොත් පමණයි. රජයේ වියදම ආදායමට වඩා වැඩිනම් ඒ අඩුව පුරවා ගන්න රජයටත් ඔය ණය වෙළඳපොළට එන්න වෙනවා. අපි හිතමු රජයේ අයවැය හිඟය රුපියල් ලක්ෂ දෙකක් කියලා. දැන් මොකද වෙන්නේ?

ඉවාන් සහ අංජන ලක්ෂය බැගින් ඉතිරි කරන මුදල රජය විසින් ණය විදිහට වෙළඳපොළෙන් ඉවත් කර ගන්නවා. දැන් ඉතිරි පිරිසට තම තමන්ගේ ණය ඉල්ලුම් හා සැපයුම් තුලනය කරගන්න සිදු වෙනවා. පොලී අනුපාතිකය 10.8% මට්ටමේ තියෙද්දී මේ වැඩේ වෙන්නේ නැහැ. ණය ඉල්ලුම හා සැපයුම තුලනය වෙන්නනම් වෙළඳපොළ පොලී අනුපාතිකය 14.9% දක්වා ඉහළ යා යුතුයි. 

වෙළඳපොළ පොලී අනුපාතිකය 14.9% දක්වා ඉහළ ගියාට පස්සේ ණය ඉල්ලුම හා සැපයුම තුලනය වෙනවා. බුද්ධික, ශවීන්, සිරිල්, අංජන හා ඉවාන් රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ පහක් ඉතිරි කරනවා. එයින් ලක්ෂ තුනක් වරුණ, සසංක හා ඇනෝ විසින් ණයට ගන්නවා. ඉතිරි ලක්ෂ දෙක රජය විසින් ණයට ගන්නවා. 

රජය අයවැය තුලනය කර ගත්තානම් පොලී අනුපාතික 14.9% මට්ටමට නොගොස් 10.8% මට්ටමේ නවතිනවා. අයවැය හිඟය ඉහළ යන තරමට වෙළඳපොළ පොලී අනුපාතිකය ඉහළ යන එකයි වෙන්නේ. ඔය විදිහට පොලී අනුපාතික ඉහළ ගියාම එයත් රජයේ වියදම් වලට එකතු වෙනවා. ඊට අනුපාතිකව බදු ආදායම් වැඩි කර ගත්තේ නැත්නම්, අයවැය හිඟය තවත් ඉහළ යනවා. එය පියවන්න කලින් ගත්ත රුපියල් ලක්ෂ දෙක මදි වෙනවා. තව වැඩියෙන් ණය ගන්න සිද්ධ වෙනවා. එවිට පොලී අනුපාතික තවත් ඉහළ යනවා. විෂම චක්‍රයක් හැදෙනවා. 

රජයේ වියදම් වැඩි වීම -> අයවැය හිඟය ඉහළ යාම -> රජයේ ණය ඉල්ලුම ඉහළ යාම -> වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ යාම -> රජයේ වියදම් වැඩි වීම 

Friday, May 24, 2024

පොලී මුදලාලිලා සහ ණයකාරයෝ



ලංකාව ගත්ත ණය ගෙවාගන්න බැරුව ණය පැහැර  හරින තත්ත්වයට පත් වුනා.  දැන් මේක පරණ කතාවක්.  ලංකාව වගේ සමහර රටවල් ලෝකයට ණයයි. ලෝකයේ ණයකාර රටවල් තියෙනවානම් ඒ රටවල් වලට ණය දෙන රටවලුත් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි.

මිනිස්සු ගත්තත් ඔය කතාවේ වෙනසක් නැහැ. සමහර අය ණයකාරයෝ. හැබැයි රටක එහෙම ණයකාරයෝ ඉන්නනම් ඒ අයට ණය දෙන පිරිසකුත් සිටිය යුතුයි. මේ විදිහට සමහර අය ණයකාරයෝ වෙලා තවත් අය ණය දෙන්නෝ වෙන්නේ කොහොමද? 

පසුගිය සටහන අවසානයේ මම ප්‍රශ්නයක් ඇහුවා.

"ඔබට තව අවුරුදු පහකින් රුපියල් ලක්ෂයක් ලබා ගන්න පුළුවන්. කවුරු හෝ කෙනෙක් නිකම් දෙනවා කියලා හිතන්න. කැමතිනම් ඒ වෙනුවට අද ඊට වඩා අඩු මුදලක් ලබා ගන්න පුළුවන්. හැබැයි ඔබ ඉල්ලන මුදල ඕනෑවට වඩා වැඩි නැති සාධාරණ මුදලක්නම් පමණයි. ඔබ ඉල්ලන අවම මුදල කීයද?"

මේ ප්‍රශ්නයට කිහිප දෙනෙක්ම පිළිතුරු දී තිබුණා. ඒ සියල්ලන්ටම ස්තුතියි! පහත තිබෙන්නේ වියුණුව හා වත්පොත හරහාත්, විද්‍යුත් තැපෑල මගිනුත් ලබා දී තිබුණු පිළිතුරු කිහිපයක්. සියල්ල රුපියල් වලින්.

වරුණ - 20,000

සසංක - 25,000

ඇනෝ - 35,000

ලංකා - 50,000

බුද්ධික - 60,000

ශවින් - 60,000

සිරිල් - 60,000

අංජන - 64,993

ඉවාන් - 70,000

මේ පිළිතුරු ඇසුරෙන් කරුණු දෙකක් පැහැදිලි ලෙස පෙන්වා දෙන්න පුළුවන්.

පළමුවන කරුණ - මේ හැමෝම අවුරුදු පහකට පස්සේ ලැබෙන රුපියල් ලක්ෂයක අද වටිනාකම තක්සේරු කරන්නේ ඊට වඩා අඩුවෙන්. මෙය සාමාන්‍ය තත්ත්වයක්. ඊට කරුණු තුනක් හේතු වෙනවා.

1. උද්ධමනය නිසා මුදලේ වටිනාකම අඩුවීම 

2. මුදල් අපේක්ෂිත පරිදි නොලැබීමේ අවදානම 

3. මුදලේ කාල වටිනාකම

දැනට මම මේ කරුණු වල බලපෑම වෙන් වෙන්ව කතා කරන්න යන්නේ නැහැ. අනාගතයේ ලැබෙන්නට නියමිත රුපියල් ලක්ෂයක මුදල සහ ඉහත ලබා දී තිබෙන එක් එක් පිළිතුර අතර වෙනසින් ඔය කරුණු තුනම පිළිබිඹු වෙනවා.

දෙවන කරුණ - අවුරුදු පහකට පසුව ලැබෙන රුපියල් ලක්ෂයක අද වටිනාකම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. එය නියතයක් නෙමෙයි.

මෙයද සාමාන්‍ය තත්ත්වයක්. ඉහත පිළිතුරු නවය අතර වෙනස් පිළිතුරු හතක් තිබෙනවා. මේ එක පිළිතුරක්වත් වැරදි පිළිතුරු නෙමෙයි. වටිනාකමක් කියන්නේ පුද්ගලයාට සාපේක්ෂ දෙයක්. අනාගතයේ ලැබෙන්න තිබෙන මුදලක වටිනාකමටත් ඔය කතාව අදාළයි. 

දැන් මේ පිළිතුරු මම දීපු පිළිතුරු නෙමෙයිනේ. ඔය පිළිතුරු වලින් මම කියපු කාරණා දෙක තහවුරු වෙනවා. දැන් අපි ඊළඟ පැහැදිලි කිරීමට යමු. 

ඉහත පිළිතුර කුමක් වුවත්, ඒ පිළිතුර ඇතුළේ "සැඟවුණු" පොලී අනුපාතිකයක් තිබෙනවා. පිළිතුර වෙනස් වෙද්දී මේ සැඟවුණු පොලී අනුපාතිකයත් වෙනස් වෙනවා.

අපි රුපියල් 64,999 කියන පිළිතුර ගනිමු. මේ මුදල අවුරුදු පහකින් රුපියල් ලක්ෂයක් වෙන්නනම් පොලී අනුපාතිකය කීයක් විය යුතුද?

රුපියල් 64,993*(1+9%)^5 = 100,000.  

රුපියල් 64,993ක මුදලකට අවුරුදු පහක් එක දිගට 9% බැගින් වැල් පොලිය එකතු වුනොත් ඒ මුදල රුපියල් ලක්ෂයක් වෙනවා. ඒ කියන්නේ අංජන තමන්ගේ පිළිතුර විදිහට රුපියල් 64,993 ඉදිරිපත් කරද්දී එහි සැඟවුණු අදහස වන්නේ 9%ක පොලී අනුපාතිකයක් අපේක්ෂා කරනවා කියන එකයි. අනෙක් හැම පිළිතුරකමත් ඔය විදිහේ සැඟවුණු පොලී අනුපාතිකයක් තියෙනවා.

වරුණ - 38.0%

සසංක - 32.0%

ඇනෝ - 23.4%

ලංකා - 14.9%

බුද්ධික - 10.8%

ශවින් - 10.8%

සිරිල් - 10.8%

අංජන - 9.0%

ඉවාන් - 7.4%

පේනවනේ. පිළිතුර වෙනස් වෙද්දී එහි සැඟවුණු පොලී අනුපාතිකයත් සෑහෙන්න වෙනස් වෙලා. මේ සැඟවුණු පොලී අනුපාතිකයේ බලපෑම කුමක්ද? 

මේ සැඟවුණු පොලී අනුපාතිකය තමයි තීරණය කරන්නේ කිසියම් පුද්ගලයෙක් ඉතිරි කරන්නෙක් වෙනවද නැත්නම් ණයකාරයෙක් වෙනවද කියන එක. වෙළඳපොළ පොලී අනුපාතිකය තමන්ගේ සැඟවුණු පොලී අනුපාතිකයට වඩා වැඩිනම් පුද්ගලයෙක් පුළුවන් තරම් ඉතිරි කරන්න පෙළඹෙනවා. වෙළඳපොළ පොලී අනුපාතිකය තමන්ගේ සැඟවුණු පොලී අනුපාතිකයට වඩා අඩුනම් වෙන්නේ ඒකේ අනෙක් පැත්ත. ඒ කියන්නේ පුළුවන් තරම් ණය ගන්න පෙළඹෙන එක.

උදාහරණයක් විදිහට අපි හිතමු වෙළඳපොළ පොලී අනුපාතිකය 15%ක් කියලා. මේ තත්ත්වය යටතේ සංසක ණය ගන්නයි පෙළඹෙන්නේ. මොකද අද රුපියල් 25,000ක් ඉතිරි කළොත් ඕක 15% බැගින් අවුරුදු පහක් වැල් පොලී වෙලා ලැබෙන්නේ රුපියල් 50,284ක් පමණයි. නමුත් සසංකට අවුරුදු පහකින් පස්සේ ලැබෙන රුපියල් 50,284කට වඩා අද අතේ තිබෙන රුපියල් 25,000 වටිනවා. ඒ නිසා, පොලිය 15%නම්, ඉතිරි කරන එක තේරුමක් ඇති වැඩක් කියලා සසංකට පේන්නේ නැහැ. 

හැබැයි සසංකට අනුව ණය ගන්න එක වාසිදායකයි. අද රුපියල් 25,000ක් ණයට ගත්තොත් අවුරුදු පහකට පස්සේ ගෙවන්න වෙන්නේ රුපියල් 50,284ක් පමණයි. අවුරුදු පහකින් ගෙවන රුපියල් 50,284ට වඩා අද අතට ලැබෙන රුපියල් 25,000 සසංකට වටිනවා. 

මේකම ඉවාන්ට දැනෙන්නේ කොහොමද? 

අද ඉවාන් රුපියල් 70,000ක් ඉතිරි කළොත් 15% බැගින් වැල් පොලී වෙලා අවුරුදු පහකින් රුපියල් 140,795ක් අතට ලැබෙනවා. මේ මුදල ඉවාන්ට අද වියදම් කරන රුපියල් 70,000කට වඩා වටිනවා. ඒ නිසා, ඉවාන් පෙළඹෙන්නේ පුළුවන් තරම් ඉතිරි කරන්න. 15% පොලියට ණය ගන්න එක ගැන ඉවාන් හිතන්නේ නැහැ. 

මේ අනුව, කෙනෙක් ණයකරුවෙක් වෙනවද නැත්නම් ඉතිරි කරන්නෙක් වෙනවද කියන එක සාධක දෙකක් මත තීරණය වෙනවා. පළමු සාධකය අනාගතයේ ලැබෙන මුදල් සහ අද අතේ තිබෙන මුදල් වල වටිනාකම් තමන් විසින් සංසන්දනය කරන අනුපාතය සහ ඒ අනුව තීරණය වන තමන්ගේ සැඟවුණු පොලී අනුපාතිකය. දෙවන සාධකය වෙළඳපොළ පොලී අනුපාතිකය.

වෙළඳපොළ පොලී අනුපාතිකය 15%නම්, ලංකා, බුද්ධික, ශවීන්, සිරිල්, අංජන හා ඉවාන් කියන හය දෙනාම ඉතිරි කරන්නෝ වෙනවා. වරුණ, සසංක හා ඇනෝ පමණක් ණය ගන්න පෙළඹෙනවා. පොලී අනුපාතිකය 10% දක්වා අඩු වුනොත්, මුදල් ඉතිරි කරන්නේ අංජන හා ඉවාන් පමණයි. ඉතිරි හත් දෙනාම කරන්නේ ණය ගන්න එක.

අදට ඇති. 

Thursday, May 16, 2024

පොලිය හැදෙන්නේ කොහොමද?


මේ වෙද්දී භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික 9% මට්ටම දක්වා පහත වැටී තිබෙනවා. ඒ එක්කම, මේ දක්වා වැඩි පොලී වලට එරෙහිව කතා කරපු අයගේ හඬ යට පත් වෙලා අඩු පොලී වලට එරෙහි හඬ මතු වී තිබෙනවා. විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විසින් ඔවුන්ගේ තැන්පතු වෙනුවෙන් වැඩි පොලියක් ගෙවන මෙන් ඉල්ලමින් සිටිනවා.

පොලී අනුපාතික තීරණය වෙන්නේ කොහොමද?

පොලී සංකල්පයේ ඉතිහාසය මිනිසා විසින් ප්‍රාග්ධනය එක් රැස් කරගන්න පටන් ගැනීමේ ඉතිහාසය දක්වාම පැරණියි කියා කියන්න පුළුවන්. නමුත් අද අර්ථයෙන්ම නෙමෙයි.

මිනිසා විසින් ප්‍රාග්ධනය එක් රැස් කරගන්න පටන් ගැනීමේ ඉතිහාසය කියා කියන්නේ වර්තමාන පරිභෝජනය සීමා කර වර්තමානයේ පරිභෝජනය කළ හැකි දේවල් වලින් කොටසක් අනාගත පරිභෝජනය වෙනුවෙන් ඉතිරි කර ගැනීමේ ඉතිහාසය. ඒ අනුව, මුල්ම ඉතිරි කිරීම් වෙන්නේ පරිභෝජන භාණ්ඩ. දඩයම් කරගත් සතෙක්ගේ මස් හෝ හාරා එකතු කරගත් අල වර්ගයක් වෙන්න පුළුවන්.

දඩයම් කරගත් සතෙක්ගේ මස් හෝ හාරා එකතු කරගත් අල වර්ගයක් සම්පූර්ණයෙන්ම පරිභෝජනය කර අවසන් නොකර අනාගත පරිභෝජනය වෙනුවෙන් ඉතිරි කරගන්න පෙළඹවීමක් ඇති වීමෙන් අදහස් වන්නේ කුමක්ද? 

මෙයින් පිළිබිඹු වන්නේ කිසියම් භාණ්ඩයක වටිනාකමේ සාපේක්ෂ බව මිනිසා විසින් තේරුම් ගැනීමේ ඉතිහාසය. එකම මස් කෑල්ල හෝ එකම අලය වුනත් ගොඩක් බඩගිණි වෙලාවට එහි වටිනාකම වැඩියි. හොඳට බඩ පිරුණු වෙලාවට වටිනාකම අඩුයි. 

බඩගිණි වෙන එක කිසියම් ඒකාකාරී රටාවකට නැවත නැවත වෙන දෙයක්. වෙනත් විදිහකට කිවුවොත් බඩ ආහාර ඉල්ලන රටාව සුමට එකක්. නමුත්, බඩ පුරවාගත හැකි ආහාර ඒ විදිහට ඒකාකාරී, සුමට රටාවකට ලැබෙන්නේ නැහැ. හරියට බඩගිණි වෙන වෙලාවටම හාවෙක්, මීමින්නෙක් ලඟට ඇවිදගෙන එන්නේ නැහැ. ඉල්ලුම සුමට වුනත් ආහාර සැපයුම විචල්‍ය එකක්. 

ලැබෙන ආහාර සියල්ල ඒ වෙලාවේම පරිභෝජනය කර අවසන් නොකර කොටසක් අනාගතයට ඉතිරි කර ගැනීමෙන් පරිභෝජනය සුමට කර ගන්න පුළුවන්. පරිභෝජනය සුමට කර ගන්නවා කියන්නේ එකම ආහාර ටිකේ වුනත් වටිනාකම වැඩි කර ගත හැකි ක්‍රමයක්. බඩ පිරුණු වෙලාවට නොකා වඩා බඩගිණි වෙලාවට කන එකෙන් වෙන්නේ වාස්තවික ලෙස එකම ආහාර ද්‍රව්‍යයේ තමන්ට සාපේක්ෂ වටිනාකම වැඩි වෙන එක. 

මේක කිසියම් පුද්ගලයෙක් විසින් තමන්ගේම අනාගතය එක්ක කරන ගනුදෙනුවක්. අද මම මගේ ආහාර වලින් කොටසක් නොකා පැත්තකට කරනවා. හෙට ඒ ටික ආහාරයට ගන්නවා. අද පාඩුව පොඩි බඩගින්නක්. හෙට ලාබය ලොකු බඩගින්නක් නැතිවීම. අද දරන පොඩි බඩගින්නක පාඩුවකින් හෙට ලොකු බඩගින්නක් නැති කරගන්නවා කියන්නේ කරපු ආයෝජනයට පොලියක් ලැබිලා. 

ඔය ගනුදෙනුවම වෙනත් කෙනෙක් එක්ක කරන්නත් පුළුවන්. අද ආහාර වැඩියෙන් තියෙන වෙලාවේ එයින් කොටසක් වෙනත් කෙනෙකුට දෙනවා. එහි හිලවුවට අනාගතයේ දවසක ආහාර ලැබෙනවා. 

ස්වභාවයේ තිබෙන ආහාර එකතු කර ගැනීමේ ඉඳලා තමන් සැලසුම් කර ආහාර නිෂ්පාදනය කර ගැනීම දක්වා මානව සංස්කෘතිය දියුණු වෙද්දී පොලිය පිළිබඳ අදහස ක්‍රියාත්මක වන ආකාරය තවදුරටත් පරිණාමය වෙනවා. එක්කෝ කැලෙන් අල්ලා ගෙන එන වල් කිකිළියෙක් එදාම මරාගෙන කාලා බඩගින්න සන්තර්පණය කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් අල්ලා ගෙන ආපු කිකිළිය වාසස්ථානය අසල රඳවාගෙන දවසකට බිත්තරය බැගින් කන්න පුළුවන්. කවදා හරි අනාගතයේ දවසක කිකිළියව මරාගෙන කන්නත් පුළුවන්. 

වෙනත් විදිහකින් කිවුවොත්, අද දවසේ පරිභෝජනය කැප කර නිෂ්පාදන ක්‍රියාවලියක ආයෝජනය කිරීම මගින් අනාගතයේදී එම ආයෝජනය වෙනුවෙන් අමතර ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්. ඒ අමතර ප්‍රතිලාභය තමයි ලැබෙන පොලිය. මේ වගේ දෙයක් කරන්න කිසියම් ආකාරයක සැලසුම් කිරීමේ හැකියාවක් තියෙන්න ඕනෑ. 

ආයෝජනයක අවදානම් තිබෙනවා. එදා රෑම නරියෙක් කිකිළියව අල්ලාගෙන කෑවොත් අන්තිමට බිත්තරත් නැහැ. කිකිළිත් නැහැ. අදම කිකිළියව මරාගෙන කෑවානම් ඔය අවදානම නැහැ. ඒ නිසා, අද පරිභෝජනය කැප කර ආයෝජනයක් කරද්දී එහි තිබෙන අවදානම ගැනත් හිතන්න වෙනවා. අපේක්ෂා කළ හැකි අමතර ප්‍රතිලාභය ගන්නා අවදානමට ප්‍රමාණවත්ද?

මගේ ප්‍රාග්ධනය මා ලඟම තියා ගෙන ආයෝජනය කිරීමෙන් පොලියක් ලබාගන්න පුළුවන්නම්, එම ප්‍රාග්ධනය වෙනත් කෙනෙකුට දීලා ඒ විදිහටම ආපහු ලබා ගැනීම ප්‍රමාණවත් නැහැ. අද මට පරිභෝජනය කළ හැකි කිකිළිය අද පරිභෝජනය නොකර හදාගත්තොත් අනාගතයේදී ආපසු ලැබෙන්නේ අද අහිමි වූ කිකිළිය පරිභෝජනය කිරීමේ අවස්ථාව පමණක් නෙමෙයි. තව බිත්තර ගොඩක් කාලයක් තිස්සේ පරිභෝජනය කිරීමේ අවස්ථාවත් ලැබෙනවා. එහෙමනම්, කිකිළිය වෙනත් කෙනෙකුට ණයට දීලා අනාගතයේදී ඒ කිකිළිය පමණක් ආපසු ලබා ගැනීම ප්‍රමාණවත් නැහැ. පොලියකුත් අවශ්‍ය වෙනවා. 

අද මා සතු කිකිළිය වෙනත් කෙනෙකුට "ණයට" දී පොලිය ලෙස දවසකට බිත්තරය බැගින් ඉල්ලන්න බැහැ. කිකිළිය විසින් දමන බිත්තර සියල්ලම මට දුන්නොත් ණයකරුට ලැබෙන කිසිවක් නැහැ. නමුත් දින දෙකකට වරක් බිත්තරයක් ඉල්ලුවොත් සමහර වෙලාවට කවුරු හෝ කෙනෙක් කැමති වෙන්න පුළුවන්. 

ඒ වගේ ගනුදෙනුවක් නරක නැහැ. කිකිළිය ළඟ තියාගෙන දිනපතා බිත්තර ලබා ගන්න පුළුවන් වුනත් ඒ සඳහා කිකිළිය නරින්ගෙන් පරිස්සම් කරන්න මහන්සි වෙන්න වෙනවා. කිකිළිය වෙනත් කෙනෙකුට දීමෙන් ඒ මහන්සිය නැතුවම දවස් දෙකකට වරක් බිත්තරයක් ලබා ගන්න පුළුවන්. එය ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභය. 

අනෙක් පැත්තෙන් ණයට කිකිළිය ලබා ගන්නා පුද්ගලයාට බිත්තර ලැබෙන්නේ නිකම්ම නෙමෙයි. ඒ සඳහා කිකිළිය නරින්ගෙන් පරිස්සම් කරන්න මහන්සි වෙන්න වෙනවා. ඒ වෙනුවෙන් දවස් දෙකකට වරක් බිත්තරයක් ලබා ගන්න පුළුවන්. එය ශ්‍රමය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභය. ඒ වුනත්, ඒ ප්‍රතිලාභය ලැබෙන්නේ වෙනත් කෙනෙකුගේ ප්‍රාග්ධන ආයෝජනයක උදවුවෙන්. ප්‍රාග්ධන ආයෝජනය නැත්නම් නරින්ගෙන් පරිස්සම් කරන්න කිකිළියෙක් නැහැ. ඒ නිසා බිත්තරත් නැහැ.

මුදල් ගනුදෙනු ප්‍රචලිත වී ප්‍රාග්ධනය මුදල් ලෙස හුවමාරු වෙද්දීත් වෙන්නේ ඔය කතාවම තමයි. ප්‍රාග්ධනය එකතු කරගන්නනම් පරිභෝජනය කැප කරන්න වෙනවා. වත්මන් පරිභෝජනය කැප කර ප්‍රාග්ධනය එක්රැස් කරගත්තට පස්සේ එම ප්‍රාග්ධනය මා ලඟම තියා ගත්තොත් එය කිසියම් නිෂ්පාදන කාර්යයක ආයෝජනය කර අනාගතයේදී යම් ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්. එසේ නැතිව එම ප්‍රාග්ධනය වෙනත් අයෙකුට ණයට දුන්නොත් ඒ වෙනුවෙන් මුල් මුදලට අමතරව අමතර ප්‍රතිලාභයක් ලැබිය යුතුයි. ඒක තමයි පොලිය. 

කවුරු හෝ කෙනෙක් වෙනත් අයෙකුගෙන් ණයට සල්ලි ගන්නේ ඇයි?

සල්ලි ණයට ගන්නවා කියන්නේ අනාගතයේ දවසක පොලියත් එක්ක ඒ සල්ලි ආපහු ගෙවන්න වෙනවා කියන එක. සමහර විට ණය ගෙවන තුරු එක දිගටම පොලී ගෙවන්න වෙනවා. මේක වාසියක් වෙන්නේ කොහොමද?

ණයට ගන්න සල්ලි ආයෝජනය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභය ගෙවිය යුතු පොලියට වඩා වැඩිනම් සල්ලි ණයට ගන්න එක වාසියි. මේක පැහැදිලි කරන්න සල්ලිම අවශ්‍යත් නැහැ. 

අපි හිතමු කිකිළියෙක් රැක බලාගෙන දවසකට බිත්තරය බැගින් ලබා ගන්නා කෙනෙක් ගැන. ඔය කිකිළිය නරින්ගෙන් පරිස්සම් කරන්න කොහොමත් මහන්සි වෙන එකේ තවත් කිකිළියෙක්ව පරිස්සම් කරන එක ඒ තරම් අමාරු වැඩක් නෙමෙයි. ඔය වැඩේට ලොකු ශ්‍රමයක් අමුතුවෙන් යොදවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා, තවත් කිකිළියෙක් ණයට අරගෙන ඒ වෙනුවෙන් පොලී ගෙවලා දවසක් ඇර දවසක් බිත්තරයක් ලබාගත්තත් ඒක අමතර වාසියක්.

දැන් ඔය වගේ ගනුදෙනුවකදී කිකිළිය ණයට දෙන කිකිළියගේ හිමිකරුට මහන්සියක් නැතුව දවස් දෙකකට වරක් බිත්තරයක් ලැබෙනවා. කිකිළියව ණයට ගන්න තැනැත්තාටත් අමතර මහන්සියක් නැතුව දවස් දෙකකට වරක් වැඩිපුර බිත්තරයක් ලැබෙනවා. ප්‍රාග්ධනය හිමිකරු විසින් වෙනත් අයෙකුට ප්‍රාග්ධනය ණයට ලබා දී ඒ වෙනුවෙන් ප්‍රතිලාභ ලබා ගනිද්දී අනෙක් පුද්ගලයාගේ ශ්‍රමයේ වටිනාකමත් නිකම්ම ඉහළ ගිහින් ශ්‍රමයේ ප්‍රතිලාභ ඉහළ යනවා. මූල්‍ය වෙළඳපොළ ක්‍රියාකරන්නෙත් ඔය විදිහටම තමයි.

හැමෝම ණය ගන්නේ ඔය විදිහට නිෂ්පාදන ක්‍රියාවලියක ආයෝජනය කරන්න නෙමෙයිනේ. පරිභෝජනය සඳහා ණය ගන්න අයත් ඉන්නවා. එය වාසියක් වෙන්නේ කොහොමද?

මේක වෙන්නේ වටිනාකම් වල සාපේක්ෂ ස්වභාවය එක්ක. අද මැරෙන්න තරම් බඩගිණිනම්, කන්න දෙයක් ගේ හරියේ නැත්නම්, මොනවා හෝ කෑමක වටිනාකම ඉතාම වැඩියි. ඔය වගේ වෙලාවක මාසයකින් කොස් ගෙඩියක් ආපහු දෙන පොරොන්දුවට ගොස් ගෙඩි බාගයක් ණයට ගන්න එක පාඩුවක් නෙමෙයි. ගසේ පිරිලා තියෙන පොළොස් ගැට ටික කොහොමටත් මාසයක් යද්දී මෝරනවා. ඔය ඔක්කොම එක පාර කාල ඉවර කරන්න බැහැ. ඒ නිසා අද ලැබෙන කොස් බාගය වෙනුවෙන් මාසයකට පස්සේ වැල වෙලා ගහ යට වැටිලා යන ගොස් ගෙඩියක් දෙන එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. 

දැන් ගහේ තියෙන පොළොස් ගැටය අනාගතයේ අනිවාර්යයෙන්ම කොස් ගෙඩියක් විය යුතු බව පෙනෙන්නට තිබුණත් ඒක තවමත් කොස් ගෙඩියක් නෙමෙයි. පොළොස් ගැටය කොස් ගෙඩියක් වෙන්න යම් කාලයක් යනවා. අද පොළොස් ගැටයේ අනාගත වටිනාකම තමයි කොස් ගෙඩිය.

අනෙක් අතට මාසයකට පස්සේ කොස් ගෙඩියක් කියන්නේ අද පොළොස් ගැටයක්. ඒ නිසා අද කොස් ගෙඩියක වටිනාකම සහ මාසයකට පස්සේ පැහෙන්න නියමිත කොස් ගෙඩියක අද වටිනාකම් සමාන නැහැ. අද කොස් ගෙඩියේ අද වටිනාකම කොස් ගෙඩියක වටිනාකම වුනත් අනාගතයේ හැදෙන කොස් ගෙඩියේ අද වටිනාකම පොළොස් ගෙඩියක වටිනාකම පමණයි. පොළොස් ගෙඩියක වටිනාකම කියන්නේ අනාගතයේ ලැබෙන්න නියමිත දෙයක අද වටිනාකම.

මුදලේ කාල වටිනාකම කියන සංකල්පයත් ඕකම තමයි. තව අවුරුද්දකින් ලැබෙන්න නියමිත රුපියල් ලක්ෂයකට වඩා අද ලැබෙන රුපියල් ලක්ෂයක වටිනාකම වැඩියි. උද්ධමනය නිසා සල්ලි බාල්දු වීමත් මේකට හේතුවක් වුනත් මේ කියන්නේ ඒ ගැන නෙමෙයි. කිසියම් නිෂ්පාදන කාර්යයක ආයෝජනය කරලා අද අතේ තිබෙන මුදලක වටිනාකම වැඩි කරගන්න පුළුවන් වීම නිසා වටිනාකම වැඩි වීම ගැනයි මෙයින් අදහස් කරන්නේ. 

නිෂ්පාදන කාර්යයක ආයෝජනය කරන්නේ නැතුව වුනත් මේ වැඩේ වෙන්න පුළුවන්. තමන්ගේ පරිභෝජනය අවශ්‍යතා හා ගැලපෙන පරිදි සුමට කර ගැනීමට උත්සාහ කරන කෙනෙකුට ණයට දෙන එක උදාහරණයක්. අද බඩගින්නේ ඉන්න කෙනෙකුට ගහේ තියෙන මෝරපු නැති පොඩි පොළොස් ගැට හතරක් පහක් තම්බාගෙන කාලා බඩ පුරවගන්න පුළුවන්. හැබැයි ඒකෙන් වෙන්නේ අනාගතයේ කොස් ගෙඩි හතරක් පහක් කන්න තිබෙන අවස්ථාව නැති වෙන එක. අනාගතයේ ගෙඩි දෙකක් ආපසු දෙන පොරොන්දුවට අද කොස් ගෙඩියක් ණයට ගන්න එක ගනුදෙනුවේ පාර්ශ්ව දෙකටම වාසිදායකයි. 

උද්ධමනයක් නැති ලෝකයක වුනත් අනාගතය එක්ක සිදු වන ගනුදෙනුවක් ඇති විටෙක පොලියක් කියා දෙයක් තිබෙනවා. ණයට දෙන කෙනෙක් පොලියක් බලාපොරොත්තු වන මූලික හේතු දෙකක් තිබෙනවා. පළමුවැන්න මුදලේ කාල වටිනාකම සමඟ අනාගත ප්‍රතිලාභ ගලපා ගැනීම. දෙවැන්න අවදානම සමඟ ගලපා ගැනීම.

මුදලේ කාල වටිනාකම කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන සාපේක්ෂ දෙයක්. අවදානම වෙනස් වෙන්නේ ආයෝජනය මත වුනත්, අවදානම පිළිබඳ තක්සේරුව පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වෙනවා. ඒ නිසා, කිසියම් කෙනෙක් තමන් සතු මුදලක් ණයට දී ලබා ගන්න අපේක්ෂා කරන අවම පොලිය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. 

මේ කතා කරන්නේ මුදලක් ණයට දී ලබා ගන්න අපේක්ෂා කරන අවම පොලිය පොලිය ගැන බව විශේෂයෙන් මතක තබා ගත යුතුයි. ඊට වඩා වැඩි පොලියක් ලබා ගන්න ඕනෑම කෙනෙක් කැමති බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. නමුත් ණය සැපයුම හා අදාළව වැදගත්ම දෙය මේ අවම පොලිය. ඊට අඩු පොලියකට කවුරුවත්ම ණය දෙන්නේ නැහැ.

අනෙක් පැත්තෙන් ණය ලබා ගන්නා කෙනෙක් ඒ වෙනුවෙන් ගෙවන්න සූදානම් උපරිම පොලියක් තිබෙනවා. එයත් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන දෙයක්. කිසියම් නිෂ්පාදන කාර්යයක ආයෝජනය කරලා ලබා ගන්න පුළුවන් උපරිම ප්‍රතිලාභයට වඩා සාමාන්‍යයෙන් මේ පොලිය වැඩි වෙන්නේ නැහැ. කවුරු හෝ කෙනෙක් ඊට වඩා වැඩි පොලියට ණය ගන්නවානම් ඒ ගැන දෙවරක් හිතන එක හොඳයි. එහෙම වැඩි පොලී ගෙවන්නේ පොන්සි ක්‍රම (පිරමිඩ් ක්‍රම) ක්‍රියාත්මක කරන කෙනෙක් වෙන්න පුළුවන්. 

පරිභෝජන ණය හා අදාළවනම් මෙය තීරණය වෙන්නේ කිසියම් පුද්ගලයෙකුගේ කාල වටිනාකම අනුවයි. සාමාන්‍ය මූලධර්මයක් විදිහට අනාගතයේ ලැබෙන මුදල් සහ අද ලැබෙන සමාන මුදලක් අතර ලොකු වෙනසක් නොදකින අය ඉතිරි කරන්නෝ වෙනවා. විශාල වෙනසක් දකින අය ණයගන්නෝ වෙනවා.

කාල වටිනාකම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා කියල මම කලින්ම කිවුවනේ. ඔබට සාපේක්ෂ කාල වටිනාකම් අනුපාතය කීයද?

මම සරල ප්‍රශ්නයක් අහන්නම්. ඔබට තව අවුරුදු පහකින් රුපියල් ලක්ෂයක් ලබා ගන්න පුළුවන්. කවුරු හෝ කෙනෙක් නිකම් දෙනවා කියලා හිතන්න. කැමතිනම් ඒ වෙනුවට අද ඊට වඩා අඩු මුදලක් ලබා ගන්න පුළුවන්. හැබැයි ඔබ ඉල්ලන මුදල ඕනෑවට වඩා වැඩි නැති සාධාරණ මුදලක්නම් පමණයි. ඔබ ඉල්ලන අවම මුදල කීයද?

දෙවන ප්‍රශ්නය. ඉහත පළමු ප්‍රශ්නයට පිළිතුරු දෙන විට අනිවාර්යයෙන්ම උද්ධමනය ඔබට මතක් වෙන්න ඇති. දැන් අපි හිතමු අවුරුදු පහකින් ඔබට රුපියල් ලක්ෂය ලැබෙන්නේ උද්ධමනය එක්ක ගැලපීමෙන් පසුව කියලා. ඒ කියන්නේ උද්ධමනය වැඩි වෙන ප්‍රමාණයට ඔය රුපියල් ලක්ෂයත් වැඩි වෙනවා. එහෙමනම්, ඔබ මේ අනාගත මුදල වෙනුවට අද ඉල්ලන අවම මුදල කීයද? 

කරුණාකර ප්‍රතිචාර කොටසේ ඔබේ පිළිතුරු සටහන් කරන්න. එය මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යාමට උදවුවක්.

Tuesday, May 7, 2024

විදේශ සංචිත වේගයෙන් ඉහළ යයි!


මහ බැංකුවේ පවත්වා ගෙන යන රටේ නිල විදේශ සංචිත ප්‍රමාණය ගෙවුණු අප්‍රේල් මාසයේදී තවත් ඩොලර් මිලියන 478කින් ඉහළ ගොස් තිබෙනවා. පෙර මාසයේදීද විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 440කින් ඉහළ යාම සැලකූ විට මෙය දෙමසක් ඇතුළත ඩොලර් මිලියන 918කින් විදේශ සංචිත ඉහළ යාමක්. අප්‍රේල් මාසය අවසානයේදී රටේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 5,438ක්.

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා අදාළ තොරතුරු එළිදරවු වීමෙන් පසුව විණිමය වෙළඳපොළෙහි ඇති වූ කම්පනය ඉතා ඉක්මණින්ම සමනය වී ඇති බව දැකිය හැකියි. මේ හා අදාළව ඇති විය හැකි නරකම තත්ත්වය දැන් රහසක් නෙමෙයි. එම නරකම තත්ත්වය වුවද එතරම් නරක තත්ත්වයක් නෙමෙයි. 

මේ වන විට ශ්‍රමික ප්‍රේෂණ ප්‍රවාහ ස්ථාවර වී ඇති අතර සංචාරක කර්මාන්තයේ ආදායම් වල සැලකිය යුතු වැඩිවීමක් දැකිය හැකියි.  වාහන ආනයන සිදු නොවෙන පසුබිමක වුවද, ඉහත සඳහන් මාර්ග දෙක හරහා රටට ලැබෙන විදේශ විණිමය ප්‍රවාහ වලට සාපේක්ෂව ආනයන ඉල්ලුම විශාල මට්ටමක නැහැ. එම තත්ත්වය තුළ, මහ බැංකුව විසින් වෙළඳපොළෙන් විදේශ විණිමය මිල දී ගැනීම මගින්, රුපියල "ඕනෑවට වඩා" ශක්තිමත් වීම පාලනය කරමින් සිටිනවා. 

ලංකාවේ ගෙවුම් ශේෂ අර්බුදය ගැන වසර නවයක කාලයක් තිස්සේ අප මෙම වියුණුව හරහා පැහැදිලි කිරීම් හා විග්‍රහ කිරීම් සිදු කර තිබෙනවා. එම කාලය තුළ අප විසින් දිගින් දිගටම පෙන්වා දුන්නේ රටේ ගෙවුම් ශේෂ අර්බුද වලට ප්‍රධානම හේතුවක් වන්නේ විණිමය අනුපාතය නිදහසේ තීරණය වන්නට ඉඩ නොදී එය පාලනය කරන්නට යාම බවයි. 

විණිමය අනුපාතය පාලනය කිරීම නිසා ගෙවුම් ශේෂ අර්බුද පැමිණෙන බව කීවත් වඩාත් නිවැරදිව කිවහොත් ප්‍රශ්නය වූයේ විණිමය අනුපාතය පාලනය කිරීම මගින් රුපියල ඕනෑවට වඩා ශක්තිමත්ව තබා ගැනීමයි. ලංකාවේ දිගින් දිගටම සිදු වූයේ එයයි. විණිමය අනුපාතය පාලනය කිරීම රුපියල දුර්වල මට්ටමක පවත්වා ගත්තේනම් මෙවැනි ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ. 

වසර ගණනාවක් තිස්සේ දිගින් දිගටම පැහැදිලි කළත්, අපේ බොහෝ පාඨකයින් වුවද අප කියූ දෙය තේරුම් ගත්තේ හෝ විශ්වාස කළේ නැහැ. පසුකාලීනව වුවත් බොහෝ දෙනෙකුට තිබුණේ මෙවැනි ප්‍රශ්නයක්.

"ආණ්ඩුව විසින් එක ඩොලරයක් හෝ උපයන්න කිසිම දෙයක් නොකර රුපියල ශක්තිමත් විය හැක්කේ කොහොමද?"

ආණ්ඩුව ඩොලර් උපයන්න මොනවා හෝ කර තිබේද, කළ යුතුද, වගේ දේවල් වඩා දේශපාලනික කරුණු. එසේ කර තිබීම හෝ නොතිබීම වගේම එසේ කළ යුතුද යන්න විණිමය අනුපාතය කෙරෙහි බලපාන්නේ ද්වීතියික කරුණු ලෙසයි. ඒ කිසිම දෙයක් සිදු නොවුනත්, ඩොලරයක මිල ඉල්ලුම හා සැපයුම මත තීරණය වීමට ඉඩ හැරිය විට වෙළඳපොළ විසින් ගෙවුම් ශේෂ ප්‍රශ්නය විසඳෙනවා.

රුපියල කෘතීම ලෙස ශක්තිමත්ව තබාගත් විට හැමෝටම කෙසේ වෙතත් විණිමය වෙළඳපොළ හැසිරීම ගැන යම් අවබෝධයක් ඇති අයට මෙම තත්ත්වය කොයි වෙලාවක හෝ ආපසු හැරෙන බව පෙනෙනවා. එහි ප්‍රතිඵලය රටට එන විදේශ විණිමය ප්‍රවාහ සීමා වීම සහ රටෙන් යන විදේශ විණිමය ප්‍රවාහ ඉහළ යාමයි. ඒ නිසා, රුපියල කෘතීම ලෙස ශක්තිමත්ව තබා ගැනීමට උත්සාහ කිරීමේ අවසන් ප්‍රතිඵලය වන්නේ එය වඩාත් දුර්වල වීමයි.

ආර්ථික ස්ථායීකරණ වැඩ පිළිවෙළේ ඉලක්ක අනුව මෙම වසර අවසාන වෙද්දී රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,128ක් දක්වා ඉහළ නංවා ගත යුතුයි. මේ සඳහා අවශ්‍ය වන්නේ තවත් ඩොලර් මිලියන 690ක් පමණයි. පසුගිය මාස දෙක තුළ පැවති තත්ත්වය දිගටම පැවතුණහොත් ජූනි මාසය අවසන් වන විට මේ ඉලක්කයට යා හැකියි. 

මැයි දිනයේදී නිවේදනය කෙරුණේ තේ කර්මාන්තයේ කම්කරුවන්ගේ අවම වැටුපෙහි වැඩි වීමක් සිදු කෙරෙන බවයි. මෙය සිදු වන්නේ ඩොලරයක මිල පහත වැටීම දැනටමත් තේ නිෂ්පාදකයින්ගේ කණස්සල්ලට හේතු වී ඇති පසුබිමකයි. රුපියල තව දුරටත් විශාල ලෙස ශක්තිමත් වුවහොත් එය අපනයනකරුවන්ට දරා ගැනීමට අසීරු තත්ත්වයක් විය හැකියි. 

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් අදියර ආසන්නයට පැමිණ ඇත්නම් එය රටේ විදේශ අංශය හා අදාළ ලොකු තීරණ ක්ෂණිකව නොගෙන එතෙක් කල් මරන්නට සාධාරණ හේතුවක්. එය එසේ වුවත්, නොවුවත්, දැනට පවතින වර්ධනයන් තුළ වාහන ආනයනය සඳහා තරමක් කලින් දොර හරින්නට ඉඩකඩ විවෘත වී තිබෙනවා. මෙම අවස්ථාව මැතිවරණ අල්ලස් ලෙස වාහන ආනයන බලපත්‍ර ලබා දීම වෙනුවෙන් නොයොදවා, රටේ ආර්ථික ප්‍රමුඛතා මත පදනම්ව සිදු කරන්නේනම් එයින් රජයේ බදු ආදායම්ද වර්ධනය කරගත හැකියි. 

පසුගිය මාසයක ත්‍රිරෝද රථහිමියෙකු විසින් අදහස් දක්වමින් කියා සිටියේ වාහන ආනයනය සඳහා නැවත ඉඩ ලබා දෙන විට ත්‍රිරෝද රථ සඳහා ප්‍රමුඛතාවය ලැබිය යුතු බවයි. ත්‍රිරෝද රථ කියන්නේ ඇත්තටම ලංකාවට ගැලපෙන වාහනයක්. ඒ වගේම, ඒ හරහා ඉහළ යන ආර්ථික ක්‍රියාකාරිත්වය පහළ සමාජ ස්ථර දක්වා විහිදී එම සමාජ ස්ථර වල සිටින්නන් සවිබල ගන්වන්නක්. ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගැනෙන ලොරි, කුඩා ලොරි, වෑන් ආදියෙහිද එවැනි ආර්ථික බලපෑමක් තිබෙනවා. 

රටට ලොකු ආර්ථික බලපෑමක් නොමැතිව රටේ විණිමය සංචිත හින්දවීමට පමණක් දායක වන්නේ පෞද්ගලික භාවිතය සඳහා යොදා ගැනෙන, ඉන්ධන කාර්යක්ෂමතාවය අඩු, මිල අධික වාහනයි. බදු රහිතව ආනයනය කරන්නට ඉඩ ලැබුණහොත් හානිය තවත් වැඩියි. 

Friday, May 3, 2024

ස්වෛරිත්ව බැඳුම්කර ස්ථායිකරණ පණත


මේ මොහොතේ ශ්‍රී ලාංකිකයින්ගේ සාමූහික අනාගතය කෙරෙහි විශාල බලපෑමක් කළ හැකි දේවල් අතරින් ප්‍රධාන එකක් වන්නේ රටේ ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කෙරෙන ආකාරයයි. ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සාපේක්ෂව මෙය විශාල අභියෝගයක්. ඊට හේතුව මෙම ණයහිමියන්ගේ විෂමජාතිත්වයයි (heterogeneity). 

ස්වෛරිත්ව බැඳුම්කරහිමියන් අතර ගිජුළිහිණි අරමුදල් ආදියද තිබෙනවා. ණය අවදානම හොඳටම වැඩි වූ අවස්ථා වලදී කුණු කොල්ලයට බැඳුම්කර මිල දී ගන්නා ගිජුළිහිණි අරමුදල් විසින් ඉන් පසුව උත්සාහ කරන්නේ කෙසේ හෝ පුළුවන් තරම් වැඩි මුදලක් ආපසු ගැනීමටයි. ඔවුන්ව ස්වේච්ඡාවෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට එකඟ කර ගැනීම කළ නොහැකි තරම් අසීරු කාර්යයක්. 

ලෝක මූල්‍ය වෙළඳපොළේ "ගුරුත්ව කේන්ද්‍රය" නිවුයෝර්ක් නගරය බව කිසිවෙකුට මග හැර යා නොහැකි ඇත්තක්. ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ විවිධ රාජ්‍යයන් විසින් දැනට නිකුත් කර තිබෙන ස්වෛරිත්ව බැඳුම්කර වලින් 52%ක්ම නිකුත් කර තිබෙන්නේ නිවුයෝර්ක් ප්‍රාන්තයේ නීතිය යටතේයි. මෙම නීතිය අනුව, ඇමරිකාවේ ෆෙඩරල් රජයට වුවත්, ස්වෛරිත්ව බැඳුම්කර ණයහිමියන් මත බලපෑමක් කළ නොහැකියි. 

පවතින නීතිමය තත්ත්වය තුළ ගිජුලිහිණි අරමුදල් වලට හෝ වෙනත් ණයහිමියෙකුට "මස් රාත්තලම" ඉල්ලමින් නිවුයෝර්ක් අධිකරණයේ සටන් කළ හැකියි. අධිකරණයක් සාධාරණත්වය තීරණය කරන්නේ පවතින නීති රාමුවට අනුගත වන්නේද යන පදනම මතයි. ඒ නිසා, මෙවැනි ඉල්ලීමක වැඩි වාසිය ණයහිමියන්ට ලැබෙන එක නොවැලැක්විය හැකි දෙයක්. 

කෙසේ වුවත්, මේ වන විට නිවුයෝර්ක් ව්‍යවස්ථාදායකය වෙත ඉදිරිපත්ව ඇති "ස්වෛරිත්ව බැඳුම්කර ස්ථායිකරණ පණත" සම්මත වුවහොත් එය ක්‍රීඩාවේ නීති වෙනස් කරන්නක් බවට පත් වෙනවා. පණත කලට වේලාවට සම්මත වුවහොත් එයින් ක්ෂණික හා වැඩිම වාසිය ලැබෙන්නේ ලංකාවටයි. ලංකාවට ඉතාම වැදගත් මේ පණත ගැන ලංකාවේ කිසිදු ප්‍රධාන හෝ වෙනත් මාධ්‍යයක සටහන්ව තිබෙනු මා දැක්කේ නැහැ. මට මග හැරුණා වෙන්න පුළුවන්. 

තවත් මාසයකින්, එනම් ජූනි 2 දින, නිවුයෝර්ක් ව්‍යවස්ථාදායකයේ සභාවාරය අවසන් වෙනවා. මෙම පණත ඊට පෙර ව්‍යවස්ථාදායකයේ කොටස් දෙකෙන්ම සම්මත කරගෙන ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාගේ අත්සන ලබා ගැනීම එය ඉදිරිපත් කර ඇති ගුස්ටවෝ රිවේරා ඇතුළු ඩිමොක්‍රටික් සෙනෙට් සභිකයින්ගේ ඉලක්කයයි. එහෙත්, තවමත් මෙම පණත කාරකසභා අවස්ථාවේ සාකච්ඡාවට ලක් වෙමින් තිබෙන නිසා එය සම්මත වීමට පෙර සභාවාරය අවසන් වීමට ඉඩකඩ වැඩියි. 

මේ පණත සම්මත වුවහොත් ලංකාවට ලැබෙන වාසි මොනවාද?

පණතේ ප්‍රතිපාදන අනුව, ලංකාව වැනි ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කර ඇති රටකට නිවුයෝර්ක් අධිකරණයෙන් දෙආකාරයක සහන ඉල්ලා සිටිය හැකි වෙනවා.

1) සමානාත්මතා පදනම මත සහනයක් ඉල්ලීම- මේ සහනය අනුව පෞද්ගලික ණයහිමියකුට ඉල්ලා සිටිය හැකි උපරිම මුදල ඇමරිකන් ෆෙඩරල් රජය විසින් ලංකාවට (හෝ වෙනත් එවැනි රටකට) ලබා දී ඇති ණය සඳහා ලබා දෙන සහනයට වඩා අඩු නොවන සහනයක් ලැබෙන මට්ටමක් විය යුතුයි. ඊට වඩා වැඩි මුදලක් ආපසු ඉල්ලිය නොහැකියි.

2) ණය ගෙවීමේ හැකියාවක් නැතිකම මත සහනයක් ඉල්ලීම- මෙය බංකොලොත් වූ සමාගමකට ලබාගත හැකි සහනයට තරමක් සමානයි. මෙම සහනය ලැබුණහොත් ස්වාධීන නිරීක්ෂකයෙකුගේ අධීක්ෂණයට යටත්ව ලංකාවට (හෝ වෙනත් එවැනි රටකට) තමන්ගේම ඒකපාර්ශ්වීය යෝජනාවක් ඉදිරිපත් කළ හැකියි. ඒ සඳහා, ණය ප්‍රමාණයෙන් අවම වශයෙන් තුනෙන් දෙකක අයිතිය තිබෙන ණයහිමියන්ගේ සහයෝගය ලැබුණහොත් සහ ණය ආපසු ඉල්ලා අධිකරණයට ඉල්ලීම් කරන පාර්ශ්ව වලින් 50%ක අනුමැතිය ලැබුණහොත්, එම ඒකපාර්ශ්වීය යෝජනාව බලාත්මක වෙනවා.

මේ යෝජනාවට සහයෝගය දෙන ලෙස ඉල්ලමින් නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥයින් ඇතුළු විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්, රටවල් ගණනාවක හිටපු රාජ්‍ය නායකයින්, බෞද්ධ භික්ෂූන් ඇතුළු ආගමික නායකයින් ආදීන්ගෙන් සමන්විත පිරිසක් විසින් නිවුයෝර්ක් ව්‍යවස්ථාදායකයින්ගෙන් විවෘත ලිපියක් මගින් විශේෂ ආයාචනයක් කර තිබෙනවා. ලංකාවේ හිටපු හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ නමද මෙම ඉල්ලීම කර ඇති අයගේ නම් අතර දැකිය හැකියි.

Thursday, May 2, 2024

මගේ ලෝකයේ කාලය නැවතීම


"දින කිහිපයක් ලිපි පළ නොකෙරෙන බව කරුණාවෙන් සලකන්න"

නලින් ද සිල්වාගේ ලිපි පළ කෙරෙන කාලය වෙබ් අඩවියේ ඊයේ (මැයි 1) දැකිය හැකි වූයේ ඉහත වාක්‍යය පමණයි. මීට පෙරද අවස්ථා කිහිපයක මීට ආසන්නව සමාන පාඨ එම වෙබ් අඩවියේ පළ වී තිබුණා. එම අවස්ථා වලදී සටහනේ පරිදිම දින කිහිපයකින් පසුව නැවත ලිපි පළ වෙන්න පටන් ගත්තා. එහෙත් මෙවර එය එසේම සිදු වීමේ ඉඩක් නැති බව පැහැදිලියි.

ඉහත සටහන අනුව පෙනෙන්නේ මේ තරම් ඉක්මණින් දිවි සැරිය නිමා කිරීමේ අරමුණක් නලින් ද සිල්වාට නොතිබුණු බවයි. ඔහු අවසන් මොහොත දක්වාම ක්‍රියාශීලීව සිටියා.

මා කිසිදු දිනක සම්මත අර්ථයෙන් නලින් ද සිල්වාගේ ශිෂ්‍යයෙක්ව සිට හෝ පෞද්ගලිකව ඔහුව හමු වී නැහැ. අවස්ථා දෙකකදී පමණක් ඔහු සහභාගී වූ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණ වලට සහභාගී වී තිබෙනවා. ඒ 1986දී සහ 1991දී. එහෙත් ඔහුගෙන් මා ඉගෙන ගෙන ඇති බොහෝ දේ තිබෙන බැවින් නොපැකිළ ඔහුව ගුරුවරයෙකු සේ හැඳින්විය හැකියි. අද මා හිතන ආකාරය තීරණය වීමට නලින් ද සිල්වාගේ අදහස් වලින් විශාල බලපෑමක් සිදු වී තිබෙනවා. මගේ ජීවිතයට එවැනි බලපෑම් කර තිබෙන පුද්ගලයින් ගණන ඉතාම සීමිතයි. 

පවුල් පසුබිම අනුව මා සිංහල බෞද්ධ සංස්කෘතික පසුබිමක හැදුණු කෙනෙක්. ඒ නිසාම, කුඩා කාලයේ සිටම මා සිංහල බෞද්ධ දැනුම උකහා ගත්තා වගේම එම දැනුම ප්‍රශ්න කරන්නටද  පෙළඹුණා. මේ ප්‍රශ්න කිරීම කළේ බටහිර දැනුම් ආධිපත්‍යයේ බලපෑම නිසා නෙමෙයි. මගේ දැනුමක් වූ ඇතැම් දේ මගේම බුද්ධියට ගෝචර නොවූ නිසා. 

ඔය විදිහට සම්ප්‍රදායික සිංහල බෞද්ධ දැනුම සම්බන්ධව ඇති වුනු ප්‍රශ්න වලට විසඳුම් ලැබුණේ කොවූර්ගේ පොත් කියවීමෙන්. ඒ වයස අවුරුදු දහයක පමණ කාලයේදී. ඒ අනුව, මගේ ජීවිතයට මුලින්ම ලොකුම බලපෑමක් කළේ කොවූර්. (හේතුවාදය එක්කම මාක්ස්වාදයත් ආකර්ශනීය වුනා.)

හැබැයි ටික කාලයක් යද්දී ඔය අන්තයේත් අඩුවක් තිබෙන බව පෙනෙන්න ගත්තා. ඔය අතර අඥෙයවාදය ගැන දැන ගන්න ලැබුණා. හේතුවාදය වෙනුවට අඥෙයවාදය ආදේශ වුනා. ඒ වයස අවුරුදු දහ අටක පමණ කාලයේදී. "මගේ ලෝකය" කියවන්න ලැබුණේ එයින් වසර දෙක තුනකට පසුවයි. එය මා හිතන විදිහ විශාල පරිවර්තනයකට ලක් කළ පොතක්.

මම හිතන විදිහට නලින් ද සිල්වාගේ "මගේ ලෝකය" අදහස් පසුව පරිණාමය වුණා. ඒ වගේම, "මගේ ලෝකය" අදහස් කාලයකට පෙර ඇතැම් බටහිර දාර්ශනිකයින් විසින් ඉදිරිපත් කළ අදහස් බව ඇතැම් අය වරින් වර පෙන්වා දෙන්න උත්සාහ කළා. කෙසේ වුවත්, නලින් ද සිල්වාගේ "මගේ ලෝකය" අදහස් පසුව පරිණාමය වීම හෝ එම අදහස් වලට සමාන අදහස් ඊට පෙර වෙනත් අය විසින් ඉදිරිපත් කර තිබීම හෝ නොතිබීම මට අදාළ වුනේ නැහැ. "මගේ ලෝකය" "මගේ ලෝකය" පුළුල් කළා. අනෙක් දේවල් අදාළ නැහැ. 

මම හිතන විදිහට අවම වශයෙන් එක් හේතුවක් නිසා නලින් ද සිල්වා ඔහුගේ අදහස් පිළිගන්නා හා නොගන්නා කණ්ඩායම් දෙකටම පරමාදර්ශී පුද්ගලයෙක්. ඔහු දේශපාලකයෙකු නොවී දශක ගණනාවක් තිස්සේ දේශපාලනය කළා. ලංකාවේ සමාජ-දේශපාලනයට තනි පුද්ගලයෙකු ලෙස මෙවැනි බලපෑමක් කළ තවත් අය ඇත්නම් ඒ ඉතා සීමිත පිරිසක් විය යුතුයි.

නලින් ද සිල්වාගේ පූර්ණ අනුගාමිකයෙකු ලෙස හැඳින්විය හැකි කිසිවෙකු ඉන්නවාද කියා මා දන්නේ නැහැ. ඔහු අනුගාමිකයින් හදාගන්න උනන්දුවක් නොදැක්වූ බව මගේ අදහසයි. එහෙත් ඔහුගෙන් ආභාෂය ලැබූ අය විශාල පිරිසක් ඉන්නවා. 

යම් කාලයක් නලින් ද සිල්වාගේ අනුගාමිකයින්ව සිටි අය වරින් වර ඔහුගෙන් ඉවත් වුනා. මුල් කාලයේදී එසේ ඔහුගෙන් ඉවත් වූ පිරිසකගේ විවේචනය වූයේ ඔහුගේ න්‍යාය කොයි තරම් හොඳ වුවත් ඔහු ප්‍රායෝගිකව වැඩකට ඇති කිසිවක් නොකරන බවයි. මෙවැනි කණ්ඩායමකට මගේ පිළිතුර වූයේ ලෝකය නිර්මාණය කර ගන්නේ මා විසින්නම් මගෙන් බාහිරව පවතින ලෝකය වෙනස් කිරීමට උත්සාහ කිරීම තේරුමක් නැති කාර්යයක් බවයි.  ඒ නිසා, මට අනුව නලින් ද සිල්වාගේ ප්‍රායෝගික භාවිතය ඔහුගේ දාර්ශනික අදහස් හා ගැලපෙන බවයි. මෙය මා ක්‍රියාකාරී දේශපාලනයේ අවදානම මග හැරීම සඳහා දුන් වංක පිළිතුරක් නෙමෙයි. 

නමුත් ඇත්තටම පසුකාලීනව නලින් ද සිල්වා විසින් දිගින් දිගටම බාහිර ලෝකය වෙනස් කිරීමට ක්‍රියාකාරී ලෙස දායක වුනා. එහි සමහර ප්‍රතිඵල නරක අන්ත වලින් කෙළවර වුනා. මම හිතන්නේ නලින් ද සිල්වා දිවිසැරිය නිමා කරන්නේ ඔහුට ප්‍රායෝගිකව ඉදිරියට තල්ලු කළ හැකි වූ දේශපාලන ව්‍යාපෘතිය එයට ලඟා කර ගත හැකි වූ ඉලක්ක සියල්ල ලඟා කර ගෙන තර්කානුකූල අවසානයකට පැමිණීමෙන් පසුවයි. 

නලින් ද සිල්වා ගොඩ නැගෙන්නේ මාක්ස්වාදියෙකුව සිට මාක්ස්වාදයේ විවේචකයෙකු වෙමිනුයි. ඔහු කවදාවත් ධනවාදී ආර්ථික විද්‍යාව ගැන මූලික හැදෑරීමක් හෝ කළා කියා මම හිතන්නේ නැහැ. එවැනි හැදෑරීමක් කළේනම් ඔහුට ධනවාදය සහ මගේ ලෝකය දර්ශනය අතර සම්බන්ධය පෙනෙනවා. මුල් කාලයේදී මෙවැන්නක් වී නම් ඔහු හිතන විදිහ මීට වඩා වෙනස් විය හැකිව තිබුණා. 

"මගේ ලෝකය" අදහස් වලින් පසුව ඉදිරිපත් වූ නලින් ද සිල්වාගේ පසුකාලීන අදහස් මට ඒ තරම් ආකර්ශනීය වුනේ නැහැ. ඒ වගේම, ඔහුගේ ප්‍රායෝගික දේශපාලන ක්‍රියාකාරිත්වය සමඟ මට බොහෝ විට එකඟ විය හැකි වුයේ නැහැ. "බටහිර දැනුම් ආධිපත්‍යය" පිළිබඳ ඔහුගේ අදහස් පිළිබඳව මට එතරම් ප්‍රශ්නයක් නොතිබුණත්, එම ආධිපත්‍යයට එරෙහිව වෙනත් දැනුම් ආධිපත්‍යයක් ආදේශ කිරීමේ ව්‍යාපෘතිය මට කිසි විටෙක ආකර්ශනීය වූයේ නැහැ.

නලින් ද සිල්වාව අගය කරන හා ඔහුට විරුද්ධ වන ගොඩක් අය එසේ කරන්නේ ඔහුගේ ජාතිකවාදී භූමිකාව මත පදනම්වයි. මට අනුවනම් ඔහුගේ හොඳම ඉදිරිපත් කිරීම මගේ ලෝකයයි. පසුකාලීනව නලින් ද සිල්වා විසින් ඉදිරිපත් කළ ප්‍රවාද අතරින් මට වඩාත්ම ආකර්ශනීය වන්නේ නිවන පිළිබඳ ඔහුගේ අර්ථ දැක්වීමයි.

නලින් ද සිල්වා පෙනී සිටි දේශපාලන ව්‍යාපෘතිය අසාර්ථක වුනේ එම ව්‍යාපෘතිය තුළ ආර්ථිකය හා අදාළ නිවැරදි දැක්මක් නොවූ නිසයි. ඒ ව්‍යාපෘතියට අනාගතයක් තිබෙන්නේ ධනවාදී හැරවුමක් සමඟ පමණයි. නලින් ද සිල්වා තවත් වසර කිහිපයක් ජීවත්ව සිටියේනම් මේ හැරවුම ඔහු හරහාම සිදු විය හැකිව තිබුණා. දැන් නලින් ද  සිල්වා නික්ම ගොස් ඇතත්, ඔහුගේ වියෝවෙන් පසු ඉතිරි වූ හිස් අවකාශය තුළ ඒ හැරවුම සිදු වීමේ ලකුණු පෙනෙන්න තිබෙනවා.

නලින් ද සිල්වාට ඔහු පැතූ නිවන ලැබේවා!

ශ්‍රම බලකා සහභාගීත්වය


කලින් සටහනෙන් ලංකාවේ විරැකියා අනුපාතය හා අධ්‍යපන සුදුසුකම් අතර තිබෙන සම්බන්ධයේ විකෘතිය ගැන කතා කළා. රටක විරැකියා අනුපාතය කියන්නේ කුමක්ද?

විරැකියා අනුපාතය කියා කියන්නේ රටේ ජනගහණයෙන් (හෝ වැඩිහිටි ජනගහණයෙන්) රැකියාවක් නොකරන ප්‍රතිශතයට නෙමෙයි. රැකියාවක් කිරීමේ අපේක්ෂාවෙන් සිටින එහෙත් රැකියාවක් නැති නිසා රැකියාවක් නොකරන ප්‍රතිශතයට. 

රටක ශ්‍රම බලකාය ලෙස හඳුන්වන්නේ මේ විදිහට රැකියාවක් කිරීමේ අපේක්ෂාවෙන් සිටින ප්‍රමාණයයි. රටේ වැඩ කළ හැකි වයසක සිටින ජනගහණයේ අනුපාතයක් ලෙස මෙම අගය ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය ලෙස හැඳින්වෙනවා. රටේ රැකියා ප්‍රමාණය ඉහළ යද්දී වගේම ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය අඩු වෙද්දීත් විරැකියා අනුපාතය අඩු වෙනවා. දෙවැන්න හොඳ තත්ත්වයක් නෙමෙයි.

ලෝකයේ රටවල් අතරින් ලංකාව ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය ගොඩක් අඩු රටක්. පහත තිබෙන්නේ තෝරාගත් රටවල් කිහිපයක සංසන්දනාත්මක දත්ත.

කටාර් - 89%

එක්සත් අරාබි එමීර් රාජ්‍යය - 83%

ඉතියෝපියාව - 80%

කෙන්යාව - 74%

වියට්නාමය - 73%

නවසීලන්තය - 72%

බහරේන් - 72%

කුවේට් - 72%

සිංගප්පූරුව - 69%

ඉන්දුනීසියාව - 68%

තායිලන්තය - 67%

ස්වීඩනය - 67%

චීනය - 66%

ඕස්ට්‍රේලියාව - 66%

ස්විට්සර්ලන්තය - 66%

නෝර්වේ - 65%

මැලේසියාව - 65%

ඊශ්‍රායලය - 65%

කැනඩාව - 65%

ජපානය - 63%

එක්සත් රාජධානිය - 62%

ඇමරිකා එක්සත් ජනපදය - 62%

ජර්මනිය - 62%

බංග්ලා දේශය - 58%

ප්‍රංශය - 56%

ඉන්දියාව - 55%

පකිස්ථානය - 53%

ලංකාව - 51%

නේපාලය - 40%

ලෝක බැංකු වෙබ් අඩවියෙන් මුළු ලැයිස්තුවම බලාගන්න පුළුවන්. ලංකාවට වඩා පහලින් ඉන්නේ රටවල් 27ක් පමණයි. ඒ වගේම, ලංකාවේ මේ අනුපාතය ක්‍රමයෙන් පහත වැටෙමින් තිබෙන බවත් නිරීක්ෂණය කළ හැකියි.

මෙය පහළ විරැකියා අනුපාතය තුළ සැඟවී තිබෙන අවධානය යොමු විය යුතු ප්‍රශ්නයක්. රටේ වැඩ කරන වයසේ සිටින ජනගහණයෙන් බාගයකටම රැකියාවක් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ කියන්නේ වැඩ කරන ඉතිරි පිරිසට ඒ අයව නඩත්තු කරන්න වෙනවා කියන එකයි. 

විදේශික ශ්‍රමිකයින් විශාල පිරිසකට රැකියා සපයන මැද පෙරදිග රටවල වගේම සිංගප්පූරුවේත් ශ්‍රම බලකා සහභාගීත්වය ඉහළ මට්ටමක තිබීම තේරුම් ගන්න පුළුවන්. චීනය, වියට්නාමය වගේ සමාජවාදී රටවලත් මේ අනුපාතය වැඩියි. සමාජවාදී ආර්ථික-දේශපාලන ක්‍රමය ඇතුළේ වැඩ නොකර සිටීමට වැඩි ඉඩක් නැති වීම ඊට හේතුව වෙන්න පුළුවන්. බටහිර ධනවාදී රටවල වෙළඳපොළ යාන්ත්‍රනය හරහා වැඩ කිරීම ප්‍රවර්ධනය කෙරෙනවා. වැඩ නොකර නිකම් හිටියොත් සුම්මා තමයි. අනෙක් පැත්තෙන් අප්‍රිකාවේ දුප්පත් රටවල් වලත් ශ්‍රම බලකා සහභාගීත්වය ගොඩක් වැඩියි. 

පොදුවේ ගත්තහම දකුණු ආසියානු කලාපයේ ශ්‍රම බලකා සහභාගීත්වය අඩුයි. එහෙම බැලුවහම මෙය කලාපයේ ප්‍රශ්නයක්. නමුත් ලංකාව ඉන්නේ ඉන්දියාවට, බංග්ලා දේශයට හා පකිස්ථානයටත් වඩා තරමක් පහළින්. මේ තත්ත්වයට කරුණු ගණනාවක් දායක වී තිබිය හැකියි. පහත තිබෙන්නේ ඒ අතරින් ප්‍රධාන කරුණු දෙකක්.

1. වැඩ කළ හැකි වයස් කාලයෙන් සැලකිය යුතු කොටසක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කිරීම සහ එම කාලය තුළ ශ්‍රම බලකායෙන් මුළුමනින්ම බැහැර වී සිටීම. මෙය බටහිර රටවල සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි.

2. අපේක්ෂිත ජීවත්වීමේ කාලය ඉහළ ගොස් ඇතත් විශ්‍රාම ගන්නා වයස අනුරූප ලෙස ඉහළ නොයාම.

හැබැයි මෙහෙම පැත්තකුත් තියෙනවා. වැඩ කළ හැකි වයස් සීමාවේ අන්ත දෙකේ ඉන්න ඔය කණ්ඩායම් දෙක ශ්‍රම බලකායට එකතු වුනා කියලා ඒ අයට කරන්න රස්සා රටේ තියෙනවද?

මේ තත්ත්වයට හේතුව දීර්ඝ කාලයක් තිස්සේ අධ්‍යාපනය (පළමු කරුණ) හා සෞඛ්‍යය (දෙවන කරුණ) සුබසාධනය කිරීම. මෙය අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් වෙන් කරන අරමුදල් කප්පාදු කළ යුතුයි කියා කරන යෝජනාවක් විදිහට වරදවා තේරුම් ගන්න එපා. නමුත් ඕනෑම රාජ්‍ය මැදිහත්වීමක හිතකර වගේම අහිතකර ප්‍රතිඵලත් තිබෙනවා.

අධ්‍යාපනය සඳහා ඉඩප්‍රස්තා ඉහළ යද්දී පුද්ගලයෙක් ශ්‍රම බලකායට එකතු වෙන එක ප්‍රමාද වෙනවා. නමුත්, ඒ විදිහට පහු වෙලා ශ්‍රම බලකායට එකතු වෙලා වුනත් වැඩි දායකත්වයක් ලබා දෙන එක සාමාන්‍ය තත්ත්වයක්. ඒ කියන්නේ පෞද්ගලිකව ගත්තොත් මුල් කාලයේ "නාස්ති කරන" කාලය වෙනුවෙන් පසුව පොලියත් එක්ක ප්‍රතිලාභ ලැබෙනවා. අධ්‍යාපනය වෙනුවෙන් පෞද්ගලිකව ආයෝජනය කරන කෙනෙක් එසේ කරන්නේ මේ ප්‍රතිලාභ දිහා බලාගෙන. (පොදු අරමුදල් වලින් අධ්‍යාපනය සුබසාධනය කළත් ඒ සඳහා වෙන් කළ යුතු කාලය පෞද්ගලික ආයෝජනයක්). 

සෞඛ්‍ය පහසුකම් සඳහා ඉඩප්‍රස්තා ඉහළ යද්දී ජීවත් වන කාලය වැඩි වෙනවා. නමුත් පුද්ගලයෙක් වැඩි කාලයක් ජීවත් විය යුත්තේ ඇයි? වැඩි කාලයක් ජීවත් වෙනවා කියන්නේ වැඩි කාලයක් දුක් විඳින එකනම් ඒ ජීවත් වීමෙන් ඇති වැඩක් නැහැ. ඒක පෞද්ගලිකව කෙනෙකුට පෙනෙන දෙය.  රටේ පැත්තෙන් තත්ත්වය කුමක්ද?

සෞඛ්‍ය පහසුකම් සඳහා වෙන් කරන පොදු අරමුදල් රටේ ප්‍රතිලාභයක් බවට පත් වන්නේ එහිදී ඉහළ යන ජීවිත කාලය සහ එම ජීවිත කාලයේ ගුණාත්මක භාවය රටේ ආර්ථිකය වඩා ශක්තිමත් කිරීමට දායක වන්නේනම් පමණයි. අධ්‍යාපනය සඳහා වෙන් කරන පොදු අරමුදල් රටේ ප්‍රතිලාභයක් බවට පත් වන්නේ එය රටේ ආර්ථිකය වඩා ශක්තිමත් කිරීම වෙනුවෙන් සිදු කරන ආයෝජනයක් වන්නේනම් පමණයි. ඔය දෙකම වෙන්නේ අනුරූපී ලෙස රටේ රැකියා අවස්ථා ඉහළ ගියහොත් පමණයි. 

ලංකාව මීට වඩා වැඩි වේගයකින් කාර්මීකරණය නොවන්නේ ඇයි? එසේ වඩා වැඩි වේගයකින් කාර්මීකරණය කිරීම අසීරු ඇයි? සරල පිළිතුර මේ සඳහා අවශ්‍ය වන ආකාරයේ ශ්‍රම සැපයුමක් රටේ නැති වීමයි. ශ්‍රම බලකා සහභාගීත්වය වැඩි කර ගැනීමටනම් රටේ ජීවත්වන, ශ්‍රම බලකායෙන් පිට සිටින අයව ආකර්ෂණය කර ගත හැකි ආකාරයේ රැකියා ජනනය වීමක් සිදු වීය යුතුයි. කාර්මික අංශයේ රැකියා ජනනය වුනත් බොහෝ විට ඒවා ලංකාවේ ශ්‍රම බලකායට ආකර්ශනීය වන එකක් නැහැ. 

Wednesday, May 1, 2024

අධ්‍යාපනය හා රැකියා අවස්ථා


පහත තිබෙන්නේ 2022 වසරේදී සාමාන්‍යය 3.0%ක් වූ ඇමරිකාවේ විරැකියා අනුපාතය අධ්‍යාපන මට්ටම අනුව වෙනස් වූ ආකාරය.

උසස් පෙළ අසමත් මට්ටම - 5.5%

උසස් පෙළ මට්ටම - 4.0%

උසස් පෙළ මට්ටමට වඩා වැඩි එහෙත් උපාධියක් නොමැති - 2.7%

දෙවසරක උපාධියක් - 2.7%

වසර හතරක උපාධියක් - 2.2%

පශ්චාත් උපාධි මට්ටම - 1.9%

වෘත්තීය උපාධියක් - 1.4%

ආචාර්ය උපාධියක් - 1.0%

අධ්‍යාපන මට්ටම සහ විරැකියා අනුපාතය අතර සම්බන්ධය ඉතාම පැහැදිලියි. අධ්‍යාපන මට්ටම ඉහළ යන තරමට විරැකියා අනුපාතය පහළ යනවා. මෙය එම වසරේ පමණක් සිදු වූ දෙයක් නෙමෙයි. ආර්ථිකය ප්‍රසාරණය වන හා සංකෝචනය වල වකවානු සියල්ලකදීම දැකිය හැකි පොදු තත්ත්වයක්.

මෙය කිසිසේත්ම අසාමාන්‍ය දෙයක් නෙමෙයි. අධ්‍යාපනය කියා කියන්නේ ආයෝජනයක්. යමෙක් අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කරන්නේ රැකියා අවස්ථා වැඩි කර ගැනීමට මිසක් අඩු කර ගැනීමට නෙමෙයි. ඒ නිසා, අධ්‍යාපන මට්ටම ඉහළ යද්දී විරැකියා අනුපාතය පහළ යාම අපේක්ෂා කළ හැකි සාමාන්‍ය තත්ත්වයක්.


මේ හා අදාල ලංකාවේ තත්ත්වය කුමක්ද?

පහත තිබෙන්නේ 2022 වසරේදී සාමාන්‍යය 4.7%ක් වූ ලංකාවේ විරැකියා අනුපාතය අධ්‍යාපන මට්ටම සමඟ වෙනස් වූ ආකාරය.

පස්වන ශ්‍රේණිය අසමත් - 0.7%

6-10 ශ්‍රේණි - 3.4%

අපොස (සාමාන්‍ය පෙළ) - 6.1%

අපොස (උසස් පෙළ) - 7.8%

අපේක්ෂා කළ හැකි සාමාන්‍ය තත්ත්වයට සාපේක්ෂව තනිකරම කණපිට තත්ත්වයක්! වැඩියෙන් ඉගෙන ගන්න තරමට සිදු වෙන්නේ රැකියාවක් හොයා ගන්න එක වඩ වඩා අසීරු වෙන එක. ලංකාවේ ශ්‍රම වෙළඳපොළෙහි මේ විදිහේ විකෘතියක් ඇති වී තිබෙන්නේ ඇයි?

ලංකාවේ සාර්ව ආර්ථිකයේ තිබෙන ගොඩක් අය නිතර කතා කරන අසමතුලිතතා දෙක වගේම අධ්‍යාපනය හා රැකියා වෙළඳපොළ අතර සම්බන්ධයේත් විශාල විකෘතියක් තිබෙනවා. දළ ජාතික නිෂ්පාදිතයෙන් ශ්‍රමය සඳහා ලැබෙන පංගුව අඩු වී ප්‍රාග්ධනය සඳහා ලැබෙන පංගුව ඉහළ යන්න මේ විකෘතිය දායක වී තිබෙනවා.

විකෘතියට හේතුව කුමක්ද? විකෘතිය නැති කළ හැක්කේ කොහොමද?

ඉතා කෙටි පිළිතුරක් විදිහට හේතුව ජනසම්මතය හා දේශපාලනය. විස්තර කරන එක සහ දෙවන ප්‍රශ්නයට පිළිතුරු දෙන එක කෙටියෙන් කරන්න අමාරුයි. 

වාමාංශික අදහස් දරන ගොඩක් අය වගේම දක්ෂිණාංශික අදහස් දරන ගොඩක් අයත් අහන්න කැමති නොවන, එකඟ වෙන්න ඉඩ නැති, කෙටිකාලීන විසඳුම පුළුවන් තරම් පිරිසක් රට පටවන එකයි. මේ විසඳුම ගැන වැඩිපුර ප්‍රසිද්ධියේ කතා නොකළත් වත්මන් ආණ්ඩුව වගේම, මාලිමාව වගේ පක්ෂ වල ප්‍රතිපත්ති තුළත් බරක් තබා තිබීම නිවැරදි පියවරක්.

ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ පංගු



පසුගිය 2023 වසරේදී ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 27,360.9ක්. දළ දේශීය නිෂ්පාදිතය කියා කියන්නේ එම වසර තුළ ඇමරිකාවේ සිදු වූ මුළු භාණ්ඩ හා සේවා නිෂ්පාදිතයේ වෙළඳපොළ වටිනාකම. මෙම අගය ඇස්තමේන්තු කරන්නේ නිෂ්පාදනයේදී යොදා ගත් අමුද්‍රව්‍ය වල වෙළඳපොළ අගය අඩු කරලා. ඒ කියන්නේ වසර තුළ ශුද්ධ වශයෙන් සිදු වූ අගය එකතු වීම.

දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරද්දී අවසන් නිෂ්පාදීත වල වෙළඳපොළ වටිනාකමෙන් එම නිෂ්පාදිත සඳහා යොදා ගත් අමුද්‍රව්‍ය වල වෙළඳපොළ වටිනාකම අඩු කරනවා. එහෙත්, නිෂ්පාදනයේදී යොදා ගත් නිෂ්පාදන සාධක වල පිරිවැය වෙනුවෙන් ගැලපුමක් කරන්නේ නැහැ. ඊට හේතුව, නිෂ්පාදනය අවසානයේදී එම නිෂ්පාදන සාධක තව දුරටත් ඉතිරි වී තිබීමයි. නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ශ්‍රමය හා ප්‍රාග්ධනය නිෂ්පාදන සාධක සේ සැලකෙනවා. 

දළ දේශීය නිෂ්පාදිතය කියන්නේ රට තුළ සිදු වූ සමස්ත නිෂ්පාදිතයේ වෙළඳපොළ වටිනාකම නිසා එම අගය අවසාන වශයෙන් කිසියම් ආකාරයකින් බෙදී යා යුතුයි. මෙම අගය ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර බෙදී යන්නේ කොහොමද කියන එක දේශපාලනිකව වැදගත් කරුණක්.

රටක දළ දේශීය නිෂ්පාදිතය සඳහා දායක වෙන්නේ ඒ රටේ ජීවත් වන මිනිස්සු පමණක් නෙමෙයි. විදේශවාසීන් විසින්ද ශ්‍රමය හා ප්‍රාග්ධනය සපයමින් මේ සඳහා දායක වෙනවා. විශේෂයෙන්ම ප්‍රාග්ධනය. ඒ නිසා, දළ දේශීය නිෂ්පාදිතයෙන් කොටසක්  විදේශ වාසීන්ගේ ප්‍රතිලාභ විදිහට රටෙන් පිටතට යනවා. 

මේ විදිහටම කිසියම් රටක ජීවත් වන මිනිස්සු වෙනත් රටවල දළ දේශීය නිෂ්පාදිතයන්ටද දායක වෙනවා. ඒ මගින් ආදායම් උපයනවා. මේ දෙපැත්තම සැලකිල්ලට ගැනීමෙන් පසුව රටේ දළ ජාතික නිෂ්පාදිතය ගණනය කළ හැකියි.

දළ ජාතික නිෂ්පාදිතය = දළ දේශීය නිෂ්පාදිතය + රටවැසියන් වෙනත් රටවල නිෂ්පාදිතයට දායක වී ලබාගත්  ආදායම් - විදේශවාසීන් විසින් රටේ නිෂ්පාදිතයට දායක වී ලබාගත් ආදායම්.

පසුගිය 2023 වසරේදී ඇමරිකානුවාසීන් විසින් වෙනත් රටවල දළ දේශීය නිෂ්පාදිතයන්ට ලබා දුන් දායකත්වයන් වෙනුවෙන් ඩොලර් බිලියන 1,457.1ක් ලබා ගනිද්දී, ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් ඩොලර් බිලියන 1,292.9ක් විදේශවාසීන් විසින් ලබා ගෙන තිබෙනවා. මේ අනුව, ඇමරිකාවේ දළ ජාතික නිෂ්පාදිතය රටේ දළ දේශීය නිෂ්පාදිතයට වඩා තරමක් වැඩියි. එම අගය ඩොලර් බිලියන 27,525.1ක්.

රටේ ජීවත්වන මිනිසුන්ගේ ආදායමක් විය හැක්කේ දළ ජාතික නිෂ්පාදිතය. එහෙත්, එයින් සැලකිය යුතු කොටසක් අදාළ කාලය තුළ නිෂ්පාදන ක්‍රියාවලියේදී ක්ෂය වී ගිය ප්‍රාග්ධනය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වැය වෙනවා. 2023දී මෙම මුදල ඩොලර් බිලියන 4,585.8ක් හෙවත් දළ ජාතික නිෂ්පාදිතයෙන් 16.7%කට සමාන මුදලක්. දළ ජාතික නිෂ්පාදිතයෙන් මෙම අගය අඩු කළ විට ඉතිරි කොටස ජාතික ආදායමට සමාන විය යුතුයි. ජාතික ආදායම් ඇස්තමේන්තු සියයට සියයක්ම නිවැරදි නැති නිසා ප්‍රායෝගිකව පොඩි වෙනසක් තිබෙනවා.

අවසාන වශයෙන් නිෂ්පාදනයේදී ශ්‍රමය හා ප්‍රාග්ධනය සපයන අය අතර බෙදී යන්නේ රටේ ජාතික ආදායම. 2023 වසරේදී ඇමරිකාවේ මෙම අගය ඩොලර් බිලියන 22,449.1ක්. එම මුදල බෙදී ගොස් තිබුණේ පහත පරිදියි.

සේවක වැටුප් - ඩොලර් බිලියන 14,253.5 (63.4%)

සමාගම් නොවන ආයතන හෝ ව්‍යාපාර හිමිකරුවන්ගේ ආදායම් - ඩොලර් බිලියන 1,848.4 (8.2%)

පුද්ගලයින් විසින් ඉපැයූ කුලී ආදායම් - ඩොලර් බිලියන 967.3 (4.3%)

සමාගම් වල ලාභ - ඩොලර් බිලියන 3,258.0 (14.0%)

නිෂ්පාදීත හා ආනයන මත ගෙවූ බදු - ඩොලර් බිලියන 1,731.6 (7.6%)

වෙනත් - ඩොලර් බිලියන 390.2 (1.7%)

ඇමරිකාව වැනි දියුණු වෙළඳපොළ යාන්ත්‍රණයක් ඇති රටක ජාතික ආදායමෙන් සැලකිය යුතු කොටසක් ශ්‍රමයේ ප්‍රතිලාභ ලෙස නිවාස ඒකක වෙත ගලා එනවා. තවත් කොටසක්ම වෙනත් ආකාර වලින් නිවාස ඒකක වලට ගලා එනවා. සමාගම් වල ලාබ ලෙස ඉතිරි වන කොටස අඩුයි. ඒක වෙන්නේ පුළුල් වෙළඳපොළ තරඟය නිසා.

ඇමරිකාවේ එහෙමනම්, ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය බෙදී යන්නේ කොහොමද? 

ලංකාවේ 2023 දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 27,629.7ක්. එම මුදල බෙදී ගොස් තිබෙන්නේ පහත පරිදියි. (සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කර තිබෙන්නේ ඇමරිකාවේ ක්‍රමයටම නෙමෙයි.)

සේවක වැටුප් - රුපියල් බිලියන 6,159.1 (22.3%)

සමාගම් වල ලාභ - රුපියල් බිලියන 8,739.6 (31.6%)

ප්‍රාග්ධනය ක්ෂය වීම - රුපියල් බිලියන 1,476.2 (5.3%)

මිශ්‍ර ආදායම් - රුපියල් බිලියන 9,359.3 (33.9%)

නිෂ්පාදීත මත ගෙවූ බදු - රුපියල් බිලියන 1,895.5 (6.9%)

වසර තුළ ජාතික ආදායමෙන් රුපියල් බිලියන 1,046.8ක් විදේශවාසීන් විසින් ලබාගෙන තිබෙන අතර ශ්‍රී ලාංකිකයින් විසින් වෙනත් රටවල දළ දේශීය නිෂ්පාදිතයට දායක වීමෙන් රුපියල් බිලියන 151.6ක් ලබා ගෙන තිබෙනවා. මේ අනුව, රටේ දළ ජාතික ආදායම රුපියල් 26,734.4ක්. 

මීට අමතරව, වසර තුළ විදේශවාසීන්ගෙන් ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය රුපියල් බිලියන 1,957.2ක් හෙවත් ප්‍රාග්ධනය ක්ෂය වීම ඉවත් වීමෙන් පසු රටවැසියන් විසින් උපයා ඇති රුපියල් බිලියන 25,258.2ක මුදලින් 7.7%කට සමාන මුදලක්.   

ඇමරිකාවට සාපේක්ෂව, කාලයක් තිස්සේම ලංකාවේ තියෙන්නේ ප්‍රාග්ධනයට එරෙහි, ශ්‍රමයේ අයිතිවාසිකම් වෙනුවෙන් ඕනෑවට වඩා වැඩියෙන් පෙනී සිටින ජන සම්මතයක්. මේ හේතුව නිසා ඇමරිකාවට සාපේක්ෂව ලංකාවේ ප්‍රාග්ධන ආයෝජන දිරිමත් කෙරෙන්නේ නැහැ. අවසාන වශයෙන් එහි වාසිය යන්නේ ප්‍රාග්ධනය හිමි අයටයි. 

කාලයත් එක්ක සමාගම් වල ලාබ අඩු වෙන්නේ සමාගම් වලට ලාබ ලබන්න වැඩි වැඩියෙන් අවස්ථා ලැබෙන තරමටයි. එවැනි අවස්ථා සීමා වෙද්දී, රටේ ජන සම්මතය ලාබ ලැබීමට එරෙහිව යද්දී, දැනට ප්‍රාග්ධනය හිමි සුළු පිරිසට බාහිර තරඟයකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. ඔවුන්ට වඩා වාසිදායක ලෙස ශ්‍රමය මිල දී ගන්න පුළුවන්. 

ශ්‍රමයේ "අයිතිවාසිකම්" ඕනෑවට වඩා වැඩියෙන් ප්‍රවර්ධනය වෙද්දී ශ්‍රමය සැපයීම සඳහා වන තරඟය ඉහළ යනවා. ශ්‍රමයේ මිල පහළ යනවා. ජාතික ආදායමෙන් ශ්‍රමයේ පංගුව අඩු වෙනවා. මෙහි අවාසිය ශ්‍රමය සපයන අයටමයි. ලංකාවේ දිගින් දිගටම වෙලා තියෙන්නේ මේකයි. 

කාලයත් එක්ක ශ්‍රමය වෙනුවෙන් ලැබෙන මිල ඉහළ යන්නේ ශ්‍රමය "සූරා කන්න" වැඩි වැඩියෙන් ඉඩ ලැබෙන තරමටයි. ප්‍රාග්ධනය සැපයීම සඳහා තරඟයක් ඇති වෙන්නේ එවිටයි. චීනය, වියට්නාමය වගේ කොමියුනිස්ට් පක්ෂ විසින් පාලනය කරන රටවල් මේ මූලධර්මය සාර්ථකව යොදා ගන්නවා. 

වෙබ් ලිපිනය: