වෙබ් ලිපිනය:

Thursday, July 18, 2024

ලෝකයටම ලණු දෙන රටක ලණු දෙන්නෝ සහ ලණු කන්නෝ


ඉස්සර ලංකාවේ ප්‍රධාන අපනයන විදිහට අපි ඉගෙන ගත්තේ තේ, රබර් හා පොල්. දැන් ලංකාව මේ දේවල් ඒ විදිහටම අපනයනය කරන්නේ නැහැ. විශේෂයෙන්ම රබර් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කරන්නේ රට ඇතුළේ අගය එකතු කරලා. 

ලංකාව ලෝකයටම වගේ කොහු ලණු අපනයනය කරනවා. ලංකාවේ කොහු ලණු වලට ලෝකය පුරාම හොඳ ඉල්ලුමක් තිබෙනවා. පසු ගිය 2023 වසරේදී ලංකාව ලෝකයේ රටවල් 111කට කිලෝග්‍රෑම් 408,370,302ක කොහු ලණු හා එම කාණ්ඩයේ අනෙකුත් නිෂ්පාදන අපනයනය කර එමගින් ඩොලර් මිලියන 172ක (හරියටම ඩොලර් 171,964,416ක) විදේශ විණිමය ප්‍රමාණයක් උපයාගෙන තිබෙනවා. ලංකාව ලණු දීපු නැති රටක් ලෝකයේම නැති තරම්!

ගිය අවුරුද්දේ ලංකාව වැඩියෙන්ම ලණු දී තිබෙන්නේ චීනයටයි. එම ප්‍රමාණය කිලෝග්‍රෑම් 89,301,836ක්. එමගින් උපයා තිබෙන විදේශ විණිමය ප්‍රමාණය ඩොලර් මිලියන 20.4ක් (හරියටම ඩොලර් 20,381,674ක්). මෙක්සිකෝවට ලණු දී තිබෙන්නේ මීට වඩා අඩුවෙන් වුනත් (කිලෝග්‍රෑම් 43,676,320ක්), වැඩිම විදේශ විණිමය ප්‍රමාණයක් උපයා තිබෙන්නේ මෙක්සිකෝවට ලණු දීලයි. එම ආදායම ඩොලර් මිලියන 23ක් (ඩොලර් 22,978,180ක්). ජපානයට කිලෝග්‍රෑම් 35,566,195ක ලණු දී ඩොලර් මිලියන 11.1ක (ඩොලර් 11,082,593ක) ආදායමක් උපයාගෙන තිබෙනවා.

උඩ ඡායාරූපයේ දැකිය හැක්කේ ජපානයේ විකුණන්නට තිබෙන ලංකාවේ නිපදවනු ලැබූ ලණු කැරලි. මේවා විකුණන්නට තිබෙන්නේ ජපානය පුරා ව්‍යාප්තව ඇති, යෙන් 100ක මිලකට බඩු විකුණන (ඇමරිකාවේ ඩොලර් කඩ හා එක්සත් රාජධානියේ පවුම් ෂොප් වැනි), දයිසෝ නම් සිල්ලර වෙළඳසැල් ජාලයකයි.

මෙහි නිෂ්පාදකයාගේ නම කියවා ගන්න අසීරුයි. කියවා ගත හැකි පරිදි මෙය නිපදවා තිබෙන්නේ වේයන්ගොඩ, නයිවල, කොළඹ පාරේ, අංක 379/4 දරන ලිපිනයේ ඇති (හෝ ඊට කිට්ටුවෙන් යන නමක් සහිත ලිපිනයක ඇති) කොයිල් ප්‍රොඩක්ට්ස් (පුද්ගලික) සමාගම හෝ ඊට කිට්ටු නමක් තිබෙන ආයතනයකයි. බොහෝ විට මුලින් තවත් වචනයක් ඇති.

කොහු ලණු හදන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ලංකාවේ තිබෙන්නේ සීමිත ප්‍රමාණයක්. ඒ ටිකෙන් ලණු හැදිය හැක්කේත් සීමිත ප්‍රමාණයක්. ඒ ටිකෙන් වැඩි කොටසක් අපනයනය කළ විට ලංකාවේ අවශ්‍යතා සඳහා ලණු හිඟ වෙනවා. නමුත් කොහු ලණු වලින් කළ හැකි දේ කරන්න හැම විටම කොහු ලණුම අවශ්‍ය නැහැ. අඩු මිලකට ප්ලාස්ටික් ලණු මිල දී ගත හැකිනම් බොහෝ දෙනෙක් කොහු ලණු වෙනුවට ප්ලාස්ටික් ලණු මිල දී ගන්නවා. ඒ ප්ලාස්ටික් ලණු ආනයනය කරනවා වෙන්න පුළුවන්.

කොහු ලණුවක් අවශ්‍ය වැඩේ ප්ලාස්ටික් ලණුවකින් කරගත් විට බොහෝ දෙනෙකු අතේ මුදල් ඉතිරි වෙනවා. එය පාරිභෝගිකයින්ට වාසියක්. අනෙක් පැත්තෙන් කොහු ලණු නිෂ්පාදකයින්ට ඔය ලණු රට ඇතුළේ විකුණලා ගන්න බැරි මුදලක් ඒවා අපනයනය කරලා ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේ වැඩෙන් පාරිභෝගිකයින්ට වගේම නිෂ්පාදකයින්ටත් වාසියි. 

කොහු ලණු අපනයනය කරලා උපයා ගන්නා විදේශ විණිමය වැය කරලා ප්ලාස්ටික් ලණු ගේන එකෙන් අවශ්‍ය වැඩෙත් වෙලා තව අමතර විදේශ විණිමය ප්‍රමාණයක් ඉතිරි වෙනවා. ඕක තමයි ජාත්‍යන්තර වෙළඳාමේ තියෙන වාසිය. එහෙම නැතුව රටට අවශ්‍ය ලණු රටේම හදාගන්න ගියොත් පාරිභෝගිකයින්ට, නිෂ්පාදකයින්ට වගේම අන්තිමේදී රටටත් වෙන්නේ අවාසියක්. එහෙම ලණුනම් කන්න එපා!

5 comments:

  1. ඔය පින්තූරෙ පහත වැකියත් එක්ක සීග්‍රයෙන් සංසරණය වෙනවා ලංකාවෙ සමාජ මාධ්‍ය‍ය වල.. "කොහු ලණු කැරැල්ලත් රටින් ගෙනෙන තරමටම අපෙ රට සංවර්ධනය කර ඇත.තව මෙම කෙරුවාව ගැන කතා කුමටද?"
    ඔන්න ඔහොමයි අපේ රටේ ලණු දෙන්නෙ...

    ReplyDelete
  2. ප්ලාස්ටික් නැත්නම් නයිලෝන් ලණු ලංකාවට ආනයනය කරන බවට ඉකොනොමැට්ටා කියන කතාව පිළිගන්න අමාරුයි සුළු ප්‍රමාණයක් පමණයි ආනයනය කරන්නේ වියට්නාම චීන සහ ඉන්දියාවෙන් නමුත් බහුතරය ලංකාවේ නිෂ්පාදනය කරන අතර ප්ලාස්ටික් ලණු අපනයනයත් කරනවා චෞලා එකෙන් එහෙම.

    ලංකාවේ ඉබ්බාගමුව බක්මීගොල්ලේ නිපොන් ලංකා රෝප් ඉන්ඩස්ට්රීස් කම්හල ඇතුලු කඩවත නිපොන් ලංකා, ඉන්දීය චෞලා ප්ලාස්ටොපැක් ආදී සමාගම් ගණනාවක් ලංකාවේ ප්ලාස්ටික් නයිලෝන් කෘත්‍රිම ලණු නිෂ්පාදනය කරනවා. නමුත් මේවාට අවශ්‍ය වන අමුද්‍රව්‍ය එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍ය ඇතුළු විදේශ රටවලින් ප්ලාස්ටික් නර්ඩ්ල්ස් ආකාරයෙන් ලංකාවට ආනයනය කළ යුතුයි නමුත් ලංකාවේ සපුගස්කන්ද පිරිපහදු කම්හල වගේම හම්බන්තොට ඉදිවන චීන සිනොපෙක් පිරිපහදු කම්හල හරහා ආනයනික බොරතෙල් වලින් ප්ලාස්ටික් නර්ඩ්ල් හදාගන්න පුළුවන් වෙයි ද කියලා හොයලා බලන්න ඕන.

    ReplyDelete
  3. ඉකොනොමැට්ටා, ඔය බොරු ප්‍රචාර සමාජ ගත කරන්නේ ලංකාවේ ඉන්න වාමාංශික දේශපාලනය කරන අයනේ ඒත් ඇත්තටම ඔය මාක්ස්වාදය/ කොමියුනිස්ට්වාදය කියන්නෙ ඇත්තටම අන්තවාදී ආගමක්
    එයාලට අනුව එයාලා විතරයි ලෝකෙ ඉන්නෝනෙ අනිත් අය හැමෝම එයාලගෙ වහල්ලු වගේ එයාලගෙ මතය දරන්නෝන කියන අන්තවාදී අදහසක තමයි ඔය සෙට් එක ඉන්නෙ, ලංකාවේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරපු අර තවුහීද් ජමාත් සහරාන්ලගෙයි මෙයාලගෙයි මතවාදීමය වශයෙන් විතරයි වෙනස තියෙන්නෙ අන්තවාදී බව එකමයි.

    ඒක නෙවෙයි ඇත්තටම අපට පේන විදිහට අලුත් ඇමෙරිකානු පරම්පරාවේ බහුතරයක් වාමාංශික කොමියුනිස්ට්වාදියො වෙලා, රටේ නිදහස් සටනේ වීරයොන්ගේ ප්‍රතිමා කඩලා, කාර්ල් මාක්ස්ගේ චිත්‍ර ඇඳලා, තමන් ජීවිත කාලෙම ආරක්ෂා කරන්න යුද්ධ කරපු දේවල් වලට පහර දෙනවා දැක්කම එක්සත් ජනපදයේ ජීවත් වෙන ඔබට පෙනෙන විදිහට වියට්නාම් යුද්ධ වල, කොරියන් යුද්ධ වල සටන් කරපු වැඩිහිටි ඇමෙරිකානු පරම්පරාවට මොනවා හිතෙනවා ඇත්ද කියලා විස්තර කරන්න පුළුවන්ද ඔයාට?

    මෑතක් වන තුරුම කොමියුනිස්ට්වාදය පරම හතුරෙක් විදියට සලකලා, වෙන රටවල කොමියුනිස්ට් අදහස් තියෙන පාලකයො පවා විනාශ කරපු රටක් අද වැටිච්ච තැනක්. දැන් කියන විදියට ට්‍රම්ප්ට වෙඩි තිබ්බෙත් ඒ Gen Z පරම්පරාවේ කොමියුනිස්ට්වාදි, වම විශ්වාස කරන යොවුන් ඇමෙරිකානුවෙක්. එක්සත් ජනපදයේත් වාමාංශික උගතුන් ලෙස පෙනී සිටි නිකමුන් විසින් දියත් කළ වෝකීස්ම් සංකල්ප මත පදනම්ව ඉදිරියට යන ඇමෙරිකන් ජනතාව ඉදිරියේ කොමියුනිස්ට්වාදී එක්සත් ජනපදයක් හැදුවොත් ඉස්සරහට යුද්ධ කරන්න වෙන්නේ ධනවාදී චීන රුසියන් සංධානයට එරෙහිව මාක්ස්වාදී එක්සත් ජනපද බටහිර යුරෝපීය සංධානය සමග නේද?

    ලෝකය වෙනස් වෙන ඉක්මන! එඩ්ගා ජේ හූවර් නැවත ඉපැද්දවීමට ඉකොනෝමැට්ටලාට ඉක්මනින්ම නුවණ පහළවේවා කියා පතනවා අප. ආමේන්!

    ReplyDelete
  4. ඉකොනොට 22වන සන්ශෝදනය ගැන කියන්න මුකුත් නැද්ද?

    ReplyDelete
    Replies
    1. නෑ. මට ව්‍යවස්ථා කෙටුම්පත කියවන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මාධ්‍ය වාර්තා දැක්කා පමණයි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: