වෙබ් ලිපිනය:

Showing posts with label රාජ්‍යමූල්‍ය කළමනාකරණය. Show all posts
Showing posts with label රාජ්‍යමූල්‍ය කළමනාකරණය. Show all posts

Wednesday, August 6, 2025

පළමු මාස හය අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය


මේ වන විට මෙම (2025) වසරේ පළමු මාස හය අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය පිළිබඳ සංඛ්‍යාලේඛණ ප්‍රකාශයට පත් කරනු ලැබ තිබෙනවා. සමස්තයක් ලෙස එම සංඛ්‍යාලේඛණ තුළින් පිළිබිඹු වන්නේ සුබදායී තත්ත්වයක්.

බදු ආදායම

වසරේ පළමු මාස හය තුළ රුපියල් බිලියන 2,152ක බදු ආදායමක් එකතු වී ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව 25.9%ක වර්ධනයක්. වසරේ අවසන් මාස හය තුළද මෙම අනුපාතයෙන්ම බදු ආදායම් ඉහළ ගියහොත්, වසර අවසන් වන විට අපේක්ෂිත බදු ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 4,590 ඉක්මවිය හැකියි. අදාළ ප්‍රක්ෂේපණය රුපියල් බිලියන 4,665ක්. 

වසරේ පළමු මාස හය අවසන් වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් වර්ෂාවසාන බදු ආදායම් ඉලක්කයෙහි ඔවුන්ගේ පංගුවෙන් 47.3%ක්ද, රේගුව විසින් ඔවුන්ගේ පංගුවෙන් 46.4%ක්ද, සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ගේ පංගුවෙන් 45.0%ක්ද එකතු කර ගෙන ඇති අතර සමස්තයක් ලෙස වර්ෂාවසාන ඉලක්කයෙන් 46.9%ක් එකතු වී තිබෙනවා. පසුගිය වසරේ පළමු මාස හය අවසන් වන විට එකතු වී තිබුණේ එම වසරේ මුළු බදු ආදායමෙන් 46.6%ක් පමණයි. සුළු වෙනසක් වුවත්, මෙය ඊට වඩා හොඳ තත්ත්වයක්.

බදු ආදායම් වැඩි වීම සඳහා දායක වී තිබෙන්නේ වක්‍ර බදු ආදායම් ඉහළ යාමයි. වර්ෂාවසාන වැට් බදු ඉලක්කයෙන් 48.7%ක් දැනටමත් එකතු වී ඇතත්, වර්ෂාවසාන ආදායම් බදු ඉලක්කයෙන් එකතු වී තිබෙන්නේ 41.9%ක් පමණයි. ඒ අනුව, සෘජු බදු වලින් ආදායම් වර්ධනය කෙරෙහි ලොකු දායකත්වයක් ලැබී නැහැ. මෙයින් පිළිබිඹු වන්නේ බදු එකතු කරගැනීමේ ක්‍රියාවලිය වඩා කාර්යක්ෂම වීමට වඩා පරිභෝජනය යාමේ බලපෑමයි. වාහන ආනයන වලින් වසරේ පළමු මාස හයක කාලය ඇතුළත රුපියල් බිලියන 129.1ක බදු ආදායමක් එකතු වී ඇති අතර ඉන්ධන වලින් රුපියල් බිලියන 112ක බදු මුදලක් එකතු වී තිබෙනවා. 

සමස්ත රාජ්‍ය ආදායම 

වසරේ පළමු අර්ධය අවසන් වෙද්දී බදු නොවන ආදායම් හා ප්‍රදානද ඇතුළුව රජයේ සමස්ත ලැබීම් රුපියල් බිලියන 2,325ක් වන අතර මෙය පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව 24.7%ක වර්ධනයක්. මෙම වර්ධන වේගය මෙලෙසම පැවතුනහොත් වර්ෂාවසාන ලැබීම් රුපියල් බිලියන 5,100ක් පමණ දක්වා ඉහළ යා හැකි අතර එම ප්‍රක්ෂේපණය අයවැය ඇස්තමේන්තු වල සඳහන් රුපියල් බිලියන 4,990ට වඩා රුපියල් බිලියන 110කින් පමණ වැඩි අගයක් .

පොලී ගෙවීම් හැර පුනරාවර්තන වියදම් 

වසරේ පළමු මාස හය තුළ පොලී ගෙවීම් හැර පුනරාවර්තන වියදම් රුපියල් බිලියන 1,242ක් සේ වාර්තා වන අතර මෙය පෙර වසරට සාපේක්ෂව 15.5%ක වර්ධනයක්. මෙම අනුපාතය මෙලෙසම පැවතුනහොත් වසර අවසන් වන විට පුනරාවර්තන වියදම අයවැය ඇස්තමේන්තු වල සඳහන් රුපියල් බිලියන 2,970 මට්ටමට යන්නේ නැහැ. 

ප්‍රාග්ධන වියදම් 

වසරේ පළමු මාස හය තුළ ප්‍රාග්ධන වියදම් රුපියල් බිලියන 224කට සීමා වී ඇති අතර, මෙය පෙර වසරේ පළමු මාස පහට සාපේක්ෂව 8.6%ක අඩු වීමක්. මේ අනුව, රාජ්‍ය ආදායම ඉලක්ක කරා යමින් තිබියදී පොලී ගෙවීම් හැර අනෙකුත් පුනරාවර්තන වියදම් මෙන්ම ප්‍රාග්ධන වියදම්ද සීමා වී ඇති ආකාරය දකින්නට පුළුවන්. 

ප්‍රාථමික අයවැය අතිරික්තය 

පළමු මාස හයක කාලය තුළ රුපියල් බිලියන 859ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් දැකිය හැකි අතර එය පෙර වසරේ පළමු මාස හයක කාලයට සාපේක්ෂව 58.0%කින් වැඩියි. මෙම අතිරික්තය වසර අවසන් වන විට පවත්වා ගත යුතු ප්‍රාථමික අයවැය අතිරික්තය (දදේනියෙන් 2.3%) ඉක්මවා යන්නක් වන අතර ඇස්තමේන්තුගත දදේනියෙන් 2.6%කට ආසන්නයි. 

සමස්ත අයවැය හිඟය 

වසරේ පළමු මාස හය අවසන් වෙද්දී පොලී ගෙවීම්ද ඇතුළුව ඇතුළුව සමස්ත අයවැය හිඟය රුපියල් බිලියන 406කට සීමා වී තිබෙනවා. මෙය අයවැය ඇස්තමේන්තු වල ඇති රුපියල් බිලියන 2,200ක හිඟයට වඩා බෙහෙවින්ම අඩුයි. 

සමස්ත චිත්‍රය 

මේ අනුව, මේ වන විට ආණ්ඩුව විසින් කාලයක් පාලනයකින් තොරව අයාලේ ගිය රාජ්‍යමූල්‍ය කළමණාකරණ සරුංගලයේ නූල අතට ගැනීමට සමත්ව තිබෙනවා. මෙය දෙවසරකට පෙර ආරම්භ වූ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වුවත්, පසුගිය වසරකට ආසන්න කාලය තුළද එම මාර්ගය තුළම ඉදිරියට යාම මගින් තත්ත්වය වඩා හොඳ අතට හරවාගෙන ඇති බව කිසිසේත්ම බැහැර කරන්න බැහැ. 

වසරේ ඉදිරි කාලය තුළ අරමුදල් ඉතිරි කිරීමේ පීඩනයක් රජයට නැහැ. මේ වන විට මහා භාණ්ඩාගාරය සතුව අවශ්‍ය ප්‍රමාණයටත් වඩා රුපියල් සංචිත තිබෙනවා. ඒ අනුව, ආණ්ඩුවට ඔවුන්ගේ දේශපාලන අභිලාෂ පරිදි වියදම් ප්‍රමුඛතා වෙනුවෙන් හෝ ණය බර අඩු කර ගැනීම වෙනුවෙන් එම අතිරික්ත අරමුදල් වැය කිරීමේ හැකියාවක් තිබෙනවා. මෙම මූල්‍ය විනය අගය කළ යුතුයි. 

රජය සතුව අතිරික්ත රුපියල් සංචිත ඇති බැවින් විදේශ ණය ගෙවීම සඳහා වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීම සඳහා වුවද එම රුපියල් වැය කළ හැකියි.  මේ වන විට මහ බැංකුවට රජයේ අවශ්‍යතා වෙනුවෙන් සල්ලි අච්චු ගැසීම සඳහා කිසිදු අවශ්‍යතාවයක් නැහැ. එහෙත්, මහ බැංකුවකට රටේ ආර්ථික කටයුතු සඳහා අවශ්‍ය වන ප්‍රමාණයට අලුතෙන් රුපියල් නිකුත් කරන්නට සිදු වෙනවා. රජයට ණය දීමේ අවශ්‍යතාවයක් නොමැති බැවින් මහ බැංකුවට රුපියල් නිකුත් කරන්නට වෙන්නේ වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීම මගිනුයි. එය නිල විදේශ සංචිත ගොඩ නගා ගැනීමට උදවුවක්. 

අවශ්‍යනම් මූල්‍ය අරමුදලේ අවම අවශ්‍යතාවය වන දදේනියෙන් 2.3% ඉක්මවන ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගැනීමේ හැකියාවක් රජය සතුව තිබෙනවා. එවැන්නක් කිරීම මගින් ණය බර වඩා වේගයෙන් අඩු වේනම්, ඒ මගින් සිදුවන විශ්වාසය ඉහළ යාම හේතුවෙන් රටට විදෙස් ආයෝජන වඩා වැඩියෙන් ආකර්ෂණය විය හැකි අතර එමගින් රාජ්‍ය වියදම් අඩු වීමෙන් ආර්ථික වර්ධනය කෙරෙහි සිදු විය හැකි නිශේධනාත්මක බලපෑම් ඉක්මවන ධනාත්මක බලපෑමක් අපේක්ෂා කළ හැකියි. ඉන්දියාවට වඩා අඩු තීරු බදු අනුපාතයක් ඇමරිකාවෙන් ලබා ගැනීමට හැකි වීමද ලංකාවේ ජයග්‍රහණයක් වන අතර එය කලාපයට එන ආයෝජන ආකර්ෂණය කර ගැනීමට උදවුවක්. 

Sunday, July 20, 2025

පළමු මාස පහ අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය


මේ සටහන මෙම (2025) වසරේ පළමු මාස පහ අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය පිළිබඳ විමසා බැලීමක්.

බදු ආදායම

වසරේ පළමු මාස පහ තුළ රුපියල් බිලියන 1,802.5ක බදු ආදායමක් එකතු වී ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව 20.9%ක වර්ධනයක්. වසරේ අවසන් මාස හත තුළද මෙම අනුපාතයෙන්ම බදු ආදායම් ඉහළ ගියහොත් වසර අවසන් වන විට රුපියල් බිලියන 4,477.7ක පමණ බදු ආදායමක් අපේක්ෂා කළ හැකියි. 

මෙම වසර සඳහා අයවැය ඇස්තමේන්තු අනුව, අපේක්ෂිත බදු ආදායම රුපියල් බිලියන 4,590ක් වන අතර, ඉහත ප්‍රක්ෂේපිත ආදායම ඊට වඩා රුපියල් බිලියන 133කින් පමණ අඩු මට්ටමක්. මූල්‍ය අරමුදලේ අවසන් පුරෝකථනය වූයේ මෙම වසරේ බදු ආදායම රුපියල් බිලියන 4,439ක් වනු ඇති බවයි. ඉහත  ප්‍රක්ෂේපනය ඊට වඩා තරමක් හොඳ මට්ටමක්.

අනෙකුත් ආදායම් හා ලැබීම් 

වසරේ පළමු මාස පහ තුළ අනෙකුත් ආදායම් හා ලැබීම් රුපියල් බිලියන 139.9ක් සේ වාර්තා වන අතර මෙය පෙර වසරට සාපේක්ෂව 9.3%ක වර්ධනයක්. මෙම අනුපාතය සලකා ප්‍රක්ෂේපනය කළ විට වසර අවසන් වෙද්දී අනෙකුත් ආදායම් හා ලැබීම් රුපියල් බිලියන 422.1 මට්ටමට යනවා.

සමස්ත රාජ්‍ය ආදායම 

ඉහත ප්‍රක්ෂේපන අනුව වසර අවසන් වන විට සමස්ත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 4,899.9ක් විය යුතු අතර අයවැය ඇස්තමේන්තු වල සඳහන් රුපියල් බිලියන 4,990ට වඩා රුපියල් බිලියන 90කින් පමණ අඩුයි. එහෙත් මූල්‍ය අරමුදලේ අවසන් ඇස්තමේන්තුව වන රුපියල් 4,819ට වඩා රුපියල් බිලියන 80කින් පමණ වැඩියි.

වාහන ආනයන සිදු වන ආකාරය අනුව වසරේ අවසන් මාස හත තුළ බදු ආදායම් වර්ධනය පළමු මාස පහේ වර්ධන වේගයට වඩා වැඩි මට්ටමක පැවතීමේ විභවයක් තිබෙන බැවින් යාන්තමින් හෝ ආදායම් ඉලක්ක සපුරා ගැනීමේ හැකියාවක් තවමත් තිබෙනවා.

පොලී ගෙවීම් හැර පුනරාවර්තන වියදම් 

වසරේ පළමු මාස පහ තුළ පොලී ගෙවීම් හැර පුනරාවර්තන වියදම් රුපියල් බිලියන 1,024.1ක් සේ වාර්තා වන අතර මෙය පෙර වසරට සාපේක්ෂව 17.5%ක වර්ධනයක්. මෙම අනුපාතය සලකා ප්‍රක්ෂේපනය කළ විට වසර අවසන් වෙද්දී පොලී ගෙවීම් හැර පුනරාවර්තන වියදම් රුපියල් බිලියන 3,113.4 පමණ දක්වා ඉහළ යා හැකියි. මෙය අයවැය ඇස්තමේන්තු වල සඳහන් රුපියල් බිලියන 2,970ට වඩාරුපියල් බිලියන 143කින් වැඩියි. මූල්‍ය අරමුදලේ අවසන් ඇස්තමේන්තු අනුවද වර්ෂාවසාන පුනරාවර්තන වියදම (පොලී ගෙවීම් හැර) රුපියල් බිලියන 2,952ක් පමණයි. 

ප්‍රාග්ධන වියදම් 

වසරේ පළමු මාස පහ තුළ ප්‍රාග්ධන වියදම් රුපියල් බිලියන 175.4කට සීමා වී ඇති අතර, මෙය පෙර වසරේ පළමු මාස පහට සාපේක්ෂව 9.2%ක අඩු වීමක්. මේ අනුව පෙනී යන්නේ පුනරාවර්තන වියදම් අයවැය ඉලක්ක ඉක්මවා ඉහළ යාමේ අවදානමක් ඇති තත්ත්වයක් තුළ සමස්ත රාජ්‍ය වියදම පාලනය කර ගනිමින් ප්‍රාථමික අයවැය අතිරික්තය අවශ්‍ය අවම මට්ටමේ පවත්වා ගැනීම සඳහා ප්‍රාග්ධන වියදම් දැඩි ලෙස සීමා කිරීමක් සිදු වී ඇති බවයි. මෙම අනුපාතය අනුව ප්‍රක්ෂේපනය කළ විට වසර අවසන් වෙද්දී ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 717.7 ඉක්මවන්නේ නැහැ.

අයවැය මගින් රුපියල් බිලියන 1,315ක ප්‍රාග්ධන වියදම් වෙන් කිරීමක් සිදුව පැවති අතර, මගේ මතකය නිවැරදිනම්, ජනාධිපති දිසානායක විසින් මෙය ඉතිහාසයේ ඉහළම ප්‍රාග්ධන වියදම් වෙන් කිරීම බවට පාරම්බෑමක්ද සිදු කළා. ඉතිහාසයේදී ලංකාවේ අයවැය ඇත්තටම තුලනය වී ඇති ආකාරය ගැන යම් හෝ අවබෝධයක් වීනම් ඔහු මේ කරුණ මේ තරමින් අවධාරණය නොකර සිටිය හැකිව තිබුණා. අරමුදලේ ඇස්තමේන්තු අනුව වර්ෂාවසාන ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 1,130ක්. 

අයවැය ඇස්තමේන්තු ඉක්මවා පුනරාවර්තන වියදම් ඉහළ යාම සහ එම ඇස්තමේන්තු වලට වඩා බදු ආදායම් අඩු වීම සාමාන්‍යයෙන් ලංකාවේ සිදු වන දෙයයි. මෙහිදී අයවැය තුලනය පවත්වා ගැනීම සඳහා බොහෝ විට අනුගමනය කරන ක්‍රියාමාර්ගය වන්නේ ප්‍රාග්ධන වියදම් කප්පාදු කිරීමයි. කෙසේ වුවද, දැනට ප්‍රාග්ධන වියදම් සීමා කර ඇති මට්ටම පුනරාවර්තන වියදම් ඉහළ යාමේ හා බදු ආදායම් අඩු වීමේ සමස්ත බලපෑම නිශේධනය කරන මට්ටමට වඩා වැඩි නිසා අවසන් මාස හතක කාලය ඇතුළත ඉහත ප්‍රක්ෂේපනය ඉක්මවා ප්‍රාග්ධන වියදම් සිදු කිරීමේ විභවයක් තිබෙනවා. 

ප්‍රාථමික අයවැය අතිරික්තය 

පළමු මාස පහක කාලය තුළ රුපියල් බිලියන 742.9ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් දැකිය හැකි අතර එය පෙර වසරේ පළමු මාස පහක කාලයට සාපේක්ෂව 34.0%කින් වැඩියි. මෙම අතිරික්තය වසර අවසන් වන විට පවත්වා ගත යුතු ප්‍රාථමික අයවැය අතිරික්තයට (දදේනියෙන් 2.3%කට) ආසන්නව සමාන වන අතර යාන්තමින් ඉක්මවා යනවා. 

මේ අනුව, වසරේ ඉදිරි මාස හත තුළ අරමුදල් ඉතිරි කිරීමේ පීඩනයක් රජයට නැහැ. මෙම වාසිදායක තත්ත්වය නිසා, ඉදිරි මාස හතක කාලය තුළ පුනරාවර්තන වියදම් සඳහා අවශ්‍ය අරමුදල් බදු ආදායමෙන් වෙන් කිරීමෙන් පසුව ඉතිරි වන අරමුදල් ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් වැය කළ හැකියි. එසේ කිරීම මගින් අයවැය ඉලක්ක සහ සත්‍ය ප්‍රාග්ධන වියදම අතර පරතරය අඩු කර ගන්න පුළුවන්. පුනරාවර්තන වියදම කවර ආකාරයකින් හෝ අයවැය ඉලක්ක තුළ රඳවා ගත හැකිනම් ප්‍රාග්ධන වියදම් තව දුරටත් අයවැය ඉලක්ක ආසන්නයට ගන්න පුළුවන්.

පසුගිය (2024) දෙසැම්බර් මාසයේදී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගාස්තු පුනරාවර්තන වියදම් වලට එකතු වී ඇත්නම්, එම ගාස්තු පසුගිය වසරට අනන්‍ය වියදමක් බැවින්, ඉහත සිදු කර ඇති වර්ෂාවසාන පුනරාවර්තන වියදම් ප්‍රක්ෂේපනය සිදු කළ යුතු වන්නේ පසුගිය වසරේ පුනරාවර්තන වියදම් වලින් අදාළ වියදම ඉවත් කිරීමෙන් පසුවයි. මේ ගැන නිශ්චිතව නොදන්නා නිසා මා එසේ කර නැහැ. මෙවැන්නක් සිදුව ඇත්නම් පුනරාවර්තන වියදම් හා අදාළවද අයවැය ඉලක්ක වලට යාමේ විභවයක් තවමත් තිබෙනවා. 

Monday, May 19, 2025

රාජ්‍යමූල්‍ය කළමනාකරණය - 2025 පළමු කාර්තුව


වසරේ පළමු කාර්තුවේ රාජ්‍ය අයවැය පිළිබඳ මූලික සංඛ්‍යාලේඛණ මේ වන විට ප්‍රසිද්ධ කර තිබෙනවා. ඒ අනුව, වසරේ පළමු මාස තුන ඇතුළත සමස්ත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1,067.4ක් වන අතර එයින් බදු ආදායම රුපියල් බිලියන 985.88ක්. 

මෙම වසර සඳහා අයවැය ඇස්තමේන්තු අනුව, අපේක්ෂිත බදු ආදායම රුපියල් බිලියන 4,590ක් වන අතර, මුළු ආදායම රුපියල් බිලියන 4,990ක්. මේ අනුව, පළමු මාස තුනක කාලය ඇතුළත එකතු වී තිබෙන්නේ අවශ්‍ය ප්‍රමාණයෙන් පිළිවෙලින් 21.5%ක් හා 21.4%ක් පමණයි. 

අයවැය ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමේදී එක් එක් කාර්තුව සඳහා වෙන වෙනම ඇස්තමේන්තු ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ වගේම, වසර තුළ එකතු වන රාජ්‍ය ආදායම එක් එක් කාර්තුව තුළ සමානව එකතු වන්නක්ද නෙමෙයි. එහෙත්, අපට පෙර (2024) වසරේ මුල් කාර්තුව තුළ එකතු වූ ආදායම් ප්‍රතිශත සමඟ මෙම ගණන් සසඳා බැලිය හැකියි.

පසුගිය වසර තුළ එකතු වූ රාජ්‍ය ආදායමෙන් 22.4%ක්ද, බදු ආදායමෙන් 22.6%ක්ද එකතු වූයේ පළමු කාර්තුව ඇතුළතයි. එම අනුපාත සැලකුවහොත්, වර්ෂාවසාන ඉලක්ක වලට යාම පිණිස, මෙම වසරේ පළමු කාර්තුව තුළ රුපියල් බිලියන 1,137.5ක පමණ බදු ආදායමක් සහ රුපියල් බිලියන 1,117.6ක සමස්ත ආදායමක් එකතු කරගන්නට සිදු වෙනවා. එකතු වී ඇති බදු ආදායම එම ප්‍රමාණයට වඩා රුපියල් බිලියන 51.7කින් අඩුයි. 

මෙම ප්‍රවණතාව මේ අයුරින්ම ඉදිරියට ප්‍රක්ෂේපණය කළහොත්, වසර අවසන් වන විට, බදු ආදායම අපේක්ෂිත ඉලක්කයට වඩා රුපියල් බිලියන 228.6කින් පමණ අඩු මට්ටමකට සීමා වීමට ඉඩ තිබෙනවා. කෙසේ වුවත්, වාහන ආනයනය සඳහා පැවති සීමාවන් ඉවත් වූයේ පළමු කාර්තුව මැදදී යන්නද අපට මෙහිදී සැලකිල්ලට ගන්නට සිදු වෙනවා. ඒ නිසා, පළමු කාර්තුවට සාපේක්ෂව ඉතිරි කාර්තු තුන ඇතුළත වාහන හා අදාළ බදු වලින් යම් ආදායම් වැඩි වීමක් සිදු විය හැකි වුවත්, පළමු කාර්තුව තුළ එක වර වාහන වැඩි ප්‍රමාණයක් ගෙන්වීමේ බලපෑමද තිබිය හැකි නිසා, මෙම අපේක්ෂිත වැඩි වීම කෙරෙහි නිශේධනාත්මක බලපෑමක් සිදු වීමේ ඉඩක්ද තිබෙනවා. මේ ගැන වැඩිමනත් යමක් නිශ්චිතව කිව හැක්කේ වාහන ආනයනය පිළිබඳ දත්ත පරිශීලනය කරන්නට ඉඩක් ලැබීමෙන් පසුවයි. 

ආදායම් අඩු වීම හමුවේ, රජය විසින් පසුගිය දෙවසර තුළද කළ පරිදි, වියදම් සීමා කිරීම මගින් ප්‍රාථමික අයවැය අතිරික්තය අවශ්‍ය මට්ටමේ පවත්වා ගෙන ගොස් තිබෙනවා. පළමු මාස තුන තුළ පොලී ගෙවීම් හැර රාජ්‍ය වියදම රුපියල් බිලියන 669.92කට සීමා වී ඇති අතර එම ප්‍රමාණය වසරේ ඇස්තමේන්තුගත වියදමෙන් 15.6%ක් පමණයි. පසුගිය වසරේ පොලී වියදම් හැර අනෙකුත් වියදම් වලින් 17.4%ක්ම පළමු කාර්තුව තුළ වියදම් වී තිබීම සැළකු විට මෙහි වියදම් සීමා කිරීමක් පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. 

කෙසේ වුවත්, ඉහත සඳහන් වියදම් සීමා කිරීමසිදු කර තිබෙන්නේ විශාල වශයෙන් ප්‍රාග්ධන වියදම් සීමා කිරීම මගිනුයි. පුනරාවර්තන වියදම් වල එවැනි සීමා වීමක් පෙනෙන්නට නැහැ. 

පසුගිය වසරේ පොලී ගෙවීම් හැර අනෙකුත් පුනර්වර්තන වියදම් වලින් 18.4%ක් පළමු කාර්තුව තුළ සිදු වූ අතර, මෙම වසරේ පළමු කාර්තුව තුළ අපේක්ෂිත වාර්ෂික සීමාවෙන් 20.0%ක්ම වියදම් කර තිබෙනවා. මෙවැන්නක් සිදුව තිබෙන්නේ වැටුප් වැඩි වීමේ බලපෑම එකතු වන්නට පෙරයි. ඒ නිසා, ඉදිරි කාර්තු වලදී මේ ප්‍රශ්නය තව දුරටත් උග්‍ර වීමට ඉඩ තිබෙනවා.

පළමු කාර්තුව තුළ අයවැය තුලනය කරගෙන තිබෙන්නේ ප්‍රාග්ධන වියදම් විශාල ලෙස සීමා කිරීම මගිනුයි. මෙය වෙනත් වසර වලදීද සිදු වූ දෙයක් වුවත්, පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව වුවද ප්‍රාග්ධන වියදම් වල 27.4%ක විශාල අඩු වීමක් දකින්නට ලැබෙනවා. එමෙන්ම, කාර්තුව තුළ සිදු කර තිබෙන්නේ වසරේ අපේක්ෂිත ප්‍රාග්ධන වියදම් වලින් 6.2%ක සොච්චමක් පමණයි. මේ අනුව පෙනී යන්නේ ආර්ථිකයේ විවිධ අංශ වෙනුවෙන් අයවැයෙන් ප්‍රාග්ධන වියදම් වෙන් කළද, එම අරමුදල් ලබා දීමක් සිදුව නොමැති බවයි. 

රාජ්‍ය ආදායම් ඉලක්ක වලට යා නොහැකිනම් අනිවාර්යයෙන්ම වියදම් සීමා කරන්නට සිදු වෙනවා. එහෙත්, රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම වැනි තීරණ ගැනීමෙන් පසුව පුනරාවර්තන වියදම් අඩු කිරීම පහසු කටයුත්තක් නොවන බැවින් කපා හරින්නට සිදු වන්නේ ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් වෙන් කර ඇති අරමුදල් ප්‍රමාණයයි. මේ මගින් කෙටිකාලීනව ආර්ථික ස්ථායීතාවය පවත්වා ගැනීමට උදවු කෙරෙන නමුත් එහි අහිතකර බලපෑම් මැදි හා දිගුකාලීනව ආර්ථික වර්ධන වේගය තුළ නිරූපණය විය හැකියි. 

ඊට අමතරව ආණ්ඩුවට මෙහි දේශපාලන බලපෑමක්ද තිබෙනවා. අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පැවසුවේ මෙම අයවැය ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් ඉතිහාසයේ වැඩිම අරමුදල් ප්‍රමාණයක් වෙන් කරන අයවැයක් බවයි. එහෙත්, දැන් ඇත්තටම සිදු වී තිබෙන්නේ රට නරකම ආර්ථික අර්බුදයක පැවති කාලයට සාපේක්ෂව වුවද ප්‍රාග්ධන වියදම් සීමා වී තිබීමයි. 

පුද්ගල ආදායම් බදු සීමා ඉහළ නැංවීම සහ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම වැනි බදු ආදායම් අඩු වන සහ පුනරාවර්තන වියදම් වැඩි කෙරෙන ක්‍රියාමාර්ග පසුගිය අයවැයෙන් දැනටමත් ගෙන අවසන් නිසා දැන් ඒ හා අදාළව කළ හැක්කක් නැහැ. එහෙත්, අයවැයෙන් ඉලක්ක කළ බදු ආදායම් අපේක්ෂිත පරිදි එකතු කර ගැනීමට සහ මෙම ආණ්ඩුව බලයට පත් වීමට පෙර විශාල බරක් තබමින් අවධාරණය කළ ගෙවා නොමැති බදු වඩා ඉක්මණින් හා කාර්යක්ෂම ලෙස එකතු කරගැනීමට කටයුතු කර ගනිමින් රාජ්‍ය ආදායම් අඩු වීමේ අවදානම ඉවත් කර ගතහොත්, අයවැයෙන් වෙන් කර ඇති ප්‍රාග්ධන වියදම් විශාල ලෙස කප්පාදු කරන්නට සිදු වීමේ අවදානම මග හැර ගත හැකියි. 

කෙසේ වුවත් අවසාන වශයෙන් පසුගිය වසරේ පළමු මාස තුන තුළ පැවති මට්ටමද ඉක්මවන රුපියල් බිලියන 397.47ක ප්‍රාථමික අතිරික්තයක් වාර්තා වී ඇති අතර, එහි උදවුවෙන් සමස්ත අයවැය හිඟයද අඩු වී තිබෙනවා. ඒ නිසා, අරමුදලේ වාරිකය ලබා ගැනීමේදී රාජ්‍යමූල්‍ය තුලනය පිළිබඳව ප්‍රශ්නයක් මතු වන එකක් නැහැ. අනෙක් පැත්තෙන් ඉන්දියාවේ වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීම සහ ඊට පෙරම චීන මුදල් හුවමාරු ණය ආපසු ගෙවීමේ කාලය දිගු කර ගැනීම නිසා විදේශ අංශය තුළ යම් කාලයකට හුස්ම ගැනීමේ ඉඩක් ඉතිරිව තිබෙනවා.

Tuesday, January 14, 2025

නොවැම්බර් අවසානයේදී රාජ්‍ය අයවැය තුලනය


පසුගිය (2024) වසරේ නොවැම්බර් මාසය අවසන් වෙද්දී ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 927.85 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සැප්තැම්බර් මාසය අවසානයේදී ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 784.89ක් වූ අතර එය සාමාන්‍ය අගයක් ලෙස මාසයකට රුපියල් බිලියන 87.21ක ඉතිරියක්. එම ඉතිරියට ඔක්තෝබර් හා නොවැම්බර් මාස දෙකේදී තවත් රුපියල් බිලියන 142.96ක් එකතු වී තිබෙනවා. අවසන් මාස දෙකේදී එකතු වූ සාමාන්‍ය අගය දෙසැම්බර් මාසය තුළදීද එකතු වී තිබේනම් වර්ෂය අවසන් වන විට ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් ට්‍රිලියනයක් පමණ මට්ටමක තිබිය යුතුයි.

පසුගිය වසරේ අවසන් කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය තවමත් ඇස්තමේන්තු කර නැතත්, එම අගය එකතු වූ විට පසුගිය වසරේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් ට්‍රිලියන 30ක් පමණ විය හැකියි. ඒ අනුව, පසුගිය වසරේ ප්‍රාථමික අයවැය අතිරික්තය දදේනි ප්‍රතිශතයක් ලෙස 3.3%කට ආසන්න මට්ටමක පැවතිය හැකියි. එසේ වුවහොත් එය දිගුකාලීන ආර්ථික ස්ථායීකරණ ඉලක්ක පසු කර යන මට්ටමක්. 

Sunday, November 24, 2024

තෙවන කාර්තුව අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය


රාජ්‍යමූල්‍ය කළමනාකරණ පණතේ නියෝග අනුව, පසුගිය මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා විසින් පූර්ව මැතිවරණ රාජ්‍යමූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවා. එම වාර්තාවෙහි අගෝස්තු මාසය අවසන් වන විට පැවති රාජ්‍යමූල්‍ය තත්ත්වය පිළිබඳව විස්තරාත්මක තොරතුරු අඩංගු වුනා.

ඉහත වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මේ වෙද්දී, සැප්තැම්බර් මාසය අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය පිළිබඳ තොරතුරුද ප්‍රසිද්ධ කර තිබෙනවා. ඒ අනුව, පෙනී යන්නේ සැප්තැම්බර් මාසය තුළ ශ්‍රී ලංකා රජයේ රාජ්‍යමූල්‍ය තත්ත්වය තවත් හොඳ අතට හැරී ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සාර්ව ආර්ථික මෙහෙයුම් ඉලක්ක ලබා දී තිබෙන්නේද එක් එක් කාර්තුවේ අවසානය සඳහා බැවින් ඉහත සංඛ්‍යාලේඛණ ස්ථායීකරණ වැඩ සටහනෙහි ඉලක්ක සමඟ සෘජුව සැසඳිය හැකියි.

බදු ආදායම 

දෙවන විමර්ශනයේදී අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන එකඟතා අනුව 2024 තෙවන කාර්තුව අවසානයේදී රජයේ බදු ආදායම අවම වශයෙන් රුපියල් බිලියන 2,400ක් විය යුතුයි. එහෙත් රජය විසින් සැබෑවටම එකතු කරගෙන තිබෙන බදු ආදායම රුපියල් බිලියන 2,688.57ක්. මෙයින් පෙනී යන්නේ පසු ගිය කාලය තුළ බදු එකතු කර ගැනීමේ ක්‍රියාවලිය වඩා කාර්යක්ෂම වී ඇති ආකාරයයි. 

තෙවන කාර්තුව අවසානයේ රජයේ බදු ආදායම රුපියල් බිලියන 288.57කින් හෙවත් 12.0%කින් ඉලක්කය ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම පසු ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව බදු ආදායමෙහි 39.0%ක වර්ධනයක් දැකිය හැකියි.

සමස්ත ආදායම 

වසරේ මුල් කාර්තු තුන ඇතුළත බදු නොවන ආදායම් ලෙස රුපියල් බිලියන 229.73ක් එකතු වී ඇති අතර මෙය පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව 30.2%ක වර්ධනයක්. මීට අමතරව ශ්‍රී ලංකා රජයට ලැබුණු ප්‍රදාන වලද 14.6%ක වර්ධනයක් දැකිය හැකියි. මේ අනුව පළමු කාර්තු තුනේ රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 2,918.31 දක්වා 38.3%කින් ඉහළ ගොස් ඇති අතර සමස්ත ලැබීම් රුපියල් බිලියන 2,927.79 දක්වා 38.2%කින් ඉහළ ගොස් තිබෙනවා.

ඉහත තත්ත්වය සැලකිල්ලට ගනිමින් පසුගිය ආණ්ඩුව විසින් පුද්ගල ආදායම් බදු සීමා ලිහිල් කිරීමක් යෝජනා කර ඒ සඳහා මූල්‍ය අරමුදලේ අනුමැතියද ලබා ගෙන තිබුණා. මේ හා අදාළව අලුත් ආණ්ඩුවේ ප්‍රවේශය පිළිබඳව දැනගත හැකි වනු ඇත්තේ අතුරු අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුවයි. 

සමස්ත වියදම 

වසරේ පළමු කාර්තු තුන ඇතුළත රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 3,897.77ක් වන අතර එය පෙර වසරට සාපේක්ෂව 4.4%ක ඉහළ යාමක්. එයින් රුපියල් බිලියන 463.19ක් ප්‍රාග්ධන වියදම් වන අතර එම වියදම් 14.5%කින් වර්ධනය වී තිබෙනවා. පුනරාවර්තන වියදම් වර්ධනය වී තිබෙන්නේ 3.2%කින් පමණයි. 

රුපියල් බිලියන 3,434.58ක් වන පුනරාවර්තන වියදම් වලින් රුපියල් බිලියන 1,754.88ක්ම වැය වී තිබෙන්නේ පොලී ගෙවීම පිණිසයි. පොලී වියදම් 1.0%කින් ඉහළ ගොස් තිබෙනවා. 

ඒ අනුව, පොලී වියදම් හැර රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 2,142.89ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මෙය 7.4%ක වර්ධනයක්. මෙම වර්ධනය රාජ්‍ය ආදායමෙහි 38.3%ක වර්ධනය හා සැසඳූ විට පසුගිය මාස නවය තුළ රාජ්‍යමූල්‍ය කළමණාකරණයේ කාර්ය සාධනය පැහැදිලි ලෙස කැපී පෙනෙනවා. 

මූල්‍ය අරමුදල විසින් රාජ්‍ය වියදම් ඉලක්ක සකස් කර තිබෙන්නේ රාජ්‍ය ආදායමට සාපේක්ෂවයි. ලබා ඇති රාජ්‍ය ආදායම අනුව, රජයට උපරිම වශයෙන් රුපියල් බිලියන 2,488.57ක මුදලක් පොලී ගෙවීම් හැර අනෙකුත් වියදම් සඳහා වැය කළ හැකිව තිබුණා. එහෙත් රජය විසින් වැය කර ඇත්තේ ඊට වඩා 13.9%කින් අඩු මුදලක්.

ප්‍රාථමික අයවැය ශේෂය 

ඉහත සඳහන් කළ පරිදි රජයේ බදු ආදායම් ඉලක්ක ඉක්මවා 12.0%කින් ඉහළ යාමත්, රාජ්‍ය වියදම් ඉලක්කයට වඩා 13.9%ක් අඩුවෙන් පැවතීමත් නිසා ඉලක්කගත ප්‍රාථමික අයවැය අතිරික්තය වූ රුපියල් බිලියන 220ට සාපේක්ෂව පළමු මාස නවය ඇතුළත රුපියල් බිලියන 784.89ක ප්‍රාථමික අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. පැවති ආණ්ඩුව රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් සැලසුම් කළේ මෙම අතිරික්ත අතිරික්තය සැලකිල්ලට ගනිමිනුයි.

ඉදිරි කාර්තුව හා ඉදිරි ක්‍රියාමාර්ග

අරමුදල විසින් ලබා දී ඇති ඉලක්ක අනුව, වසර අවසාන වන විට ශ්‍රී ලංකා රජය විසින් රුපියල් බිලියන 300ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගත යුතුයි. එහෙත්, මේ වන විටද ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 784.89 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දැනට පවතින ප්‍රවණතාව අනුව, වසර අවසන් වන විට මෙම අතිරික්තය රුපියල් බිලියන 1000 ඉක්මවීම පහසුවෙන්ම සිදු විය හැකි දෙයක්. 

මේ තත්ත්වය හමුවේ අලුත් ආණ්ඩුවට ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග කිහිපයක්ම තිබෙනවා. පළමුවැන්න යම් බදු සහන ලබා දීමයි. එහිදී රාජ්‍ය ආදායම් අඩු වී ප්‍රාථමික අයවැය ශේෂය අඩු වෙනවා. එහෙත් මෙය අවදානම් කටයුත්තක් වන්නේ අරමුදල විසින් මේ වර්ෂය සඳහා ලබා දී ඇති රාජ්‍ය ආදායම් ඉලක්ක ඉක්මවූවද, දිගුකාලීනව රාජ්‍ය ආදායම් තව දුරටත් වැඩි කරගත යුතුව ඇති නිසා. එමෙන්ම, මෙවැන්නක් කිරීම රාජ්‍ය අංශය ප්‍රසාරණය කිරීමේ අලුත් ආණ්ඩුවේ දේශපාලන ඉලක්ක සමඟද ගැලපෙන්නේ නැහැ.

දෙවන විකල්පය වන්නේ පසුගිය ආණ්ඩුව විසින් සැලසුම් කර තිබුණු පරිදි රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම වැනි ක්‍රමයකින් වියදම් වැඩි කිරීමයි. එහෙත් එසේ නොකර අධ්‍යාපනය, සෞඛ්‍යය හෝ වෙනත් එවැනි අංශ වල ප්‍රාග්ධන වියදම් වැඩි කිරීමේ හැකියාවක්ද තිබෙනවා. රජයේ අධ්‍යාපන හා සෞඛ්‍ය වියදම් වලින් වැඩි කොටසක්ද  රාජ්‍ය සේවක වැටුප්ම බැවින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම මගින්ද අධ්‍යාපන හා සෞඛ්‍ය වියදම් ඉහළ දැමූ බව පෙන්විය හැකියි. දැනට රජයේ අධ්‍යාපන හා සෞඛ්‍ය වියදම් වල සැලකිය යුතු වර්ධනයක් නොපෙනීමට ප්‍රධාන හේතුවක් වන්නේ රාජ්‍ය සේවක වැටුප් වැඩි නොවීමයි.

තෙවන විකල්පය වන්නේ ආදායම් අඩු කර නොගෙන හා වියදම් වැඩි කර නොගෙන ප්‍රාථමික අයවැය අතිරික්තය ඉහළ මට්ටමක පවත්වා ගනිමින් රජයේ ණය බර අඩු කරගැනීමයි. දිගුකාලීනව බලන්නේනම් හොඳම ප්‍රවේශය වන්නේ මෙයයි.

රජය විසින් සැලකිය යුතු ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගත්තද, පොලී වියදම් ඊට වඩා වැඩි බැවින් තවමත් සමස්ත අයවැය ශේෂය විශාල හිඟයක්ව පවතිනවා. ඒ නිසා රජයට තව දුරටත් දිගින් දිගටම ණය වීමට සිදු වී තිබෙනවා. හැකි තරම් මුදලක් පොලී ගෙවීම් වෙනුවෙන් වෙන් කිරීම මගින් ණය ගෙවීම සඳහා අලුතෙන් ණය ගන්නට සිදු වීම කෙසේ වුවත්, පොලී ගෙවීම සඳහා අලුතෙන් ලබා ගත යුතු ණය ප්‍රමාණය සීමා කරගත හැකියි. 

දිගින් දිගටම දැනට පවතින මට්ටමේ හෝ ඊට වඩා වැඩි ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගත හැකිනම් රජයේ ණය අවශ්‍යතාවය ක්‍රමයෙන් පහත වැටෙන නිසා වෙළඳපොළ ණය සැපයුමට සාපේක්ෂව ණය ඉල්ලුම පහත වැටී පොලී අනුපාතිකද පහත වැටෙනවා. පොලී අනුපාතික පහත වැටෙන තරමට රජයේ පොලී වියදම් අඩු වී සමස්ත අයවැය ශේෂය හොඳ අතට හැරෙනවා. අනෙක් පැත්තෙන් අඩු පොලී අනුපාතික නිසා පෞද්ගලික අංශයේ ආයෝජන දිරිමත් වීම ආර්ථික වර්ධනය කෙරෙහි සාධනීය බලපෑමක් කරන නිසා අවසාන වශයෙන් රජයේ බදු ආදායම් වඩා වේගයෙන් ඉහළ යනවා.

කෙසේ වුවත්, රාජ්‍යමූල්‍ය කළමනාකරණය පිළිබඳව තීරණ ගත හැක්කේ රටේ දේශපාලන අධිකාරියට වන අතර ඔවුන් එම තීරණ ගනු ඇත්තේ තමන්ගේ දේශපාලන ප්‍රතිපත්ති හා ගැලපෙන ආකාරයටයි. අතුරු අයවැය යෝජනා ඉදිරිපත් වෙද්දී මෙම ප්‍රතිපත්ති වඩා පැහැදිලිව ප්‍රදර්ශනය වෙයි. 

Friday, October 18, 2024

පූර්ව මැතිවරණ රාජ්‍යමූල්‍ය තත්ත්වය

පසුගිය අගෝස්තු 8 දින ශ්‍රී ලංකාවේ නීතියක් බවට පත් වූ 2024 අංක 44 දරන රාජ්‍යමූල්‍ය කළමනාකරණ පණතේ 52 වගන්තිය අනුව, මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් සති තුනක කාලයක් ඇතුළත මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා විසින් පූර්ව මැතිවරණ රාජ්‍යමූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් ප්‍රසිද්ධියට පත් කරනු ලැබිය යුතු අතර එහි පහත සඳහන් කරුණු අඩංගු විය යුතුයි.

- අදාළ වර්ෂය සඳහා රාජ්‍ය ආදායම් හා වියදම් පිළිබඳ ඇස්තමේන්තු 

- රාජ්‍ය ණය පිළිබඳ ඇස්තමේන්තු 

- ඉහත ඇස්තමේන්තු පිළියෙල කිරීමේදී සිදු කර ඇති උපකල්පන 

- රාජ්‍යමූල්‍ය තත්ත්වය කෙරෙහි බලපෑ හැකි අවදානම් පිළිබඳ ප්‍රකාශයක්.

මේ වන විට ඉහත වාර්තාව ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

රාජ්‍ය ආදායම 

ඉහත වාර්තාව අනුව ජනවාරි සිට අගෝස්තු අවසානය දක්වා මාස අටක කාලය තුළ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2,557.8 දක්වා ඉහළ ගොස් ඇති අතර එය පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව 40.5%ක වර්ධනයක්. මෙය අයවැය ඇස්තමේන්තු අනුව අපේක්ෂිත වර්ධනය වූ 20.5%ට වඩා සැලකිය යුතු තරමින් ඉහළ මට්ටමක්. 

බදු ආදායම පමණක් සැලකුවහොත් රුපියල් බිලියන 2,348.5 දක්වා 41.4%කින් වර්ධනය වී ඇති අතර ඇස්තමේන්තුගත වර්ධනය 22.0%ක් පමණයි. බදු නොවන ආදායම්ද ඇස්තමේන්තුගත වර්ධනය වූ 3.2% විශාල ලෙස ඉක්මවමින් 31.7%කින් වර්ධනය වී තිබෙනවා.

බදු ආදායම ඉහළ යාමට විශාල ලෙස දායක වී තිබෙන්නේ භාණ්ඩ හා සේවා මත අය කරන බදු වලින් ලැබෙන ආදායම 59.8%කින් වර්ධනය වී රුපියල් බිලියන 1,421.3 දක්වා ඉහළ යාමයි. ඇස්තමේන්තුගත වර්ධනය 26.8%ක් පමණයි. විදේශ වෙළඳාම මත අය කරන බදුද ඇස්තමේන්තුගත වර්ධනය වූ 11.0% ඉක්මවා 29.0%කින් වර්ධනය වී තිබෙනවා. එහෙත්, ආදායම් බදු වර්ධනය වී තිබෙන්නේ 16.3%කින් පමණයි. මෙම වර්ධනය ඇස්තමේන්තුගත මට්ටම වූ 18.4%ට වඩා තරමක් අඩුයි. එහෙත්, වසරේ ඉදිරි මාස හතරක කාලය තුළ ආදායම් බදු එකතු වෙද්දී වර්ෂාවසාන ඉලක්කය කරා යා හැකි වනු ඇති බව වාර්තාවේ සඳහන් වෙනවා. 


රාජ්‍ය වියදම් 

වසරේ පළමු මාස අටක කාලය තුළ රාජ්‍ය වියදම් වර්ධනය පෙර වසරේ එම කාලයට සාපේක්ෂව 12.2%කට සීමා කිරීම ඉලක්කය වුවද, සැබෑ රාජ්‍ය ආදායම් වර්ධනය 5.4%කට සීමා කරගෙන තිබෙනවා. රුපියල් බිලියන 3,477ක් වන පළමු මාස අටේ රාජ්‍ය වියදමෙන් රුපියල් බිලියන 1,560ක්ම වැය වී තිබෙන්නේ පොලී ගෙවීම් සඳහා වුවත්, පොලී ගෙවීම් වියදම් වර්ධනය ඇස්තමේන්තුගත වර්ධනය වූ 20.9%ට සාපේක්ෂව 2.2%කට සීමා වී තිබෙනවා. අනෙකුත් පුනරාවර්තන වියදම් සිදු කෙරී තිබෙන්නේද ඇස්තමේන්තුගත මට්ටමට වඩා අඩුවෙන්. එම ඉතිරියෙන් කොටසක් ප්‍රාග්ධන වියදම් ඇස්තමේන්තු ඉක්මවා වර්ධනය කිරීම පිණිස යොදවා තිබෙනවා.


අයවැය අතිරික්තය 

වසරේ පළමු මාස අටක කාලය තුළ රුපියල් බිලියන 648.6ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා වී ඇති නමුත් පොලී වියදම් වලින් පසුව සමස්ත අයවැය හිඟය රුපියල් බිලියන 911.0ක්. මෙම හිඟය පියවා ගැනීම සඳහා රුපියල් බ්ලියන 742.4ක දේශීය ණය සහ රුපියල් බිලියන 168.6ක විදේශීය ණය යොදාගෙන තිබෙනවා.

ණය සේවාකරණය 

වසරේ මුල් මාස අටක කාලය තුළ ණය සේවාකරණය වෙනුවෙන් රුපියල් බිලියන 2,321ක මුදලක් යොදවා තිබෙනවා. ඒ, පෙර සඳහන් කළ රුපියල් බිලියන 1,559ක පොලී වියදමේ සහ රුපියල් බිලියන 762ක ණය වාරික ආපසු ගෙවීම් වල එකතුව ලෙසයි. 

පොලී වියදම් වලින් රුපියල් බිලියන 1,459ක්ම දේශීය ණය වල පොලී ගෙවීම් වෙනුවෙන් වැය වී ඇති අතර විදේශ ණය වල පොලී ගෙවීම් වෙනුවෙන් රුපියල් බිලියන 100ක මුදලක් වැය වී තිබෙනවා. ඒ අතර, විදේශ ණය වල වාරික ලෙස රුපියල් බිලියන 107ක් සහ දේශීය ණය වල වාරික ලෙස රුපියල් බිලියන 655ක් වැය වී තිබෙනවා. මෙම ණය ආපසු ගෙවීම් වලට භාණ්ඩාගාර බිල්පත් මගින් ලබා ගන්නා ණය ආපසු ගෙවීම් ඇතුළත්ව නැහැ. 

ඉහත දත්ත අනුව විදේශ ණය වාරික හා පොලී ගෙවීම් වෙනුවෙන් රුපියල් බිලියන 207ක් වැය වී තිබෙනවා. මෙය ඩොලර් මිලියන 650-700 අතර මුදලක්.


භාණ්ඩාගාරයේ මුදල් තත්ත්වය 

අලුත් මහ බැංකු පණත සම්මත වීමෙන් පසුව රජයට හිතුනු හිතුනු වෙලාවට මහ බැංකුවෙන් ණය ගත නොහැකියි. ඒ නිසා, හදිසියකදී ප්‍රයෝජනයට ගැනීමට තරම් ප්‍රමාණවත් මුදල් සංචිතයක් පවත්වා ගත යුතුයි. මෙම අරමුණ ඇතිව, පසුගිය කාලයේදී අඩු පොලියට ණය ලබා ගත හැකිව තිබුණු අවස්ථා වලදී ශ්‍රී ලංකා රජය විසින් එදිනෙදා වියදමට සහ ණය හා පොලී ගෙවීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා තරමක් වැඩියෙන් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරමින් මුදල් රැස් කිරීමක් සිදු කළා. මෙහි ප්‍රතිඵලයක් ලෙස වසර මුල රුපියල් බිලියන 94.0ක් වූ රජයේ බැංකු ගිණුම් ශේෂය අගෝස්තු අවසානය වන විට රුපියල් බිලියන 760.1 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

රාජ්‍යමූල්‍ය කළමනාකරණ පණත සම්මත කරගනු ලැබීමට පෙර සිදු වූ සෑම ආණ්ඩු වෙනසකින් පසුවම අහන්නට ලැබුණේ තමන්ට ලැබුනේ හිස් භාණ්ඩාගාරයක් බවයි. මැතිවරණයක් ආසන්න වෙද්දී පවතින ආණ්ඩුව විසින් අත දිග හැර සල්ලි වියදම් කිරීම හැම විටම මෙන් දැකිය හැකි වූ දෙයක්. එහෙත්, රාජ්‍යමූල්‍ය කළමනාකරණ පණත නිසා මෙවර එම තත්ත්වය වෙනස් වී තිබෙනවා. රුපියල් බිලියන 760.1ක මුදල් අතිරික්තය වසරේ පළමු මාස අටක කාලය තුළ රාජ්‍ය සේවක වැටුප් වෙනුවෙන් වැය කර ඇති රුපියල් බිලියන 660ක මුදල හා සැසඳීමෙන් මේ වන විට රාජ්‍යමූල්‍ය තත්ත්වය කොපමණ යහපත් මට්ටමක ඇත්ද යන්න පිළිබඳව අදහසක් ගත හැකියි. 

දැනට පෙනී යන්නේ වත්මන් ආණ්ඩුව විසින්ද මෙම යහපත් රාජ්‍යමූල්‍ය තත්ත්වය එලෙසම දිගටම පවත්වා ගැනීමට හෝ තවත් වැඩි දියුණු කර ගැනීමට උත්සාහ ගනිමින් සිටින බවයි. විශේෂයෙන්ම කලින් ආණ්ඩුව විසින් සිදු කිරීමට තීරණය කර තිබුණු රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම් අත් හිටවීම හේතුවෙන් රාජ්‍යමූල්‍ය තත්ත්වය වඩා යහපත් මට්ටමකට පැමිණීමට නියමිතයි. 

Wednesday, April 3, 2024

මාලිමාව ආවොත් මොකක් වෙයිද?


මම හිතන්නේ, දැනට සිදු කෙරෙන ජනමත සමීක්ෂණ වල ප්‍රතිඵල අනුව, මාලිමාව ආවොත් මොකක් වෙයිද කියන එක තව දුරටත් මග හැර යා නොහැකි ප්‍රශ්නයක්. තවම මැතිවරණයක් ප්‍රකාශයට පත් කර නැහැ වගේම, ඇතැම් කණ්ඩායම්, විශේෂයෙන්ම එජාප හා පොහොට්ටු කඳවුරු, මැතිවරණ සටනට සෘජුව අවතීර්ණ වෙලා නැහැ. ඒ නිසා, ඉදිරි කාලයේදී ජනමතයේ විය හැකි වෙනස්කම් ගැන දැන්ම පූර්ව නිගමන වලට එන්න අමාරු වුනත්, ජනමත සමීක්ෂණ වල ප්‍රතිඵල අනුව මේ වන විට මාලිමා කණ්ඩායම ඉදිරියෙන් ඉන්නවා.

මාලිමා කඳවුර සමඟ එකතු වී හෝ එකතු වෙමින් සිටින අති මහත් බහුතරය එසේ කරන්නේ "ඒ අයටත් අවස්ථාවක් දීලා බලමු" කියන ප්‍රවේශයෙන් මිසක් ප්‍රතිපත්ති ප්‍රකාශ දිහා බලලා නෙමෙයි. එසේ වුනත්, මාලිමා ප්‍රතිපත්ති පිළිබඳව රටේ සැලකිය යුතු සංවාදයක් ඇති වී තිබෙනවා.

මේ වගේ සංවාදයක් ඇති වෙන්න හේතු දෙකක් තිබෙනවා. එකක් මාලිමා කඳවුරේ ඇතැම් අය විසින් මෙතෙක් කිසිම කෙනෙක් ලඟ නොතිබුණු අරුම පුදුම වැඩ පිළිවෙළක් ඔවුන් ළඟ තිබෙන බව පෙන්වන්න උත්සාහ කිරීම සහ ඇතැම් විට ඇත්තටම විශ්වාස කිරීම. දෙවන හේතුව එම කඳවුරට විරුද්ධ අයට ඇති වී තිබෙන සහේතුක බිය. මේ බියට හේතුව ජවිපෙ අතීත ක්‍රියාකාරකම් සහ ලෝකයේ වෙනත් සමාජවාදී පක්ෂ විසින් කර තිබෙන දේවල්.

මාලිමා ප්‍රතිපත්ති ලෙස සාකච්ඡාවට භාජනය වෙන්නේ 2019 මැතිවරණය ඉලක්ක කරගෙන එළිදැක්වූ ප්‍රතිපත්ති සහ ඉන් පසුව ආර්ථික අර්බුදය මුවවිටට පැමිණ තිබියදී 2021 වසර අවසානයේදී ඉදිරිපත් කළ "කඩිනම් ප්‍රවේශය". මේ ප්‍රතිපත්ති පැරණි සෝවියට් දේශයේ තිබුණු මධ්‍යගත සැලසුම් ක්‍රමය, මධ්‍යගත සැලසුමක් යටතේ වෙළඳපොළ හසුරුවන චීන ක්‍රමය සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය එකතු කරලා හදපු අච්චාරුවක් කියලා ගොඩක් අය කියන කතාව බොරුවක් නෙමෙයි. දේශපාලන පක්ෂයක් සම්ප්‍රේෂනීය අවදියක සිටිද්දී ඒ වගේ ප්‍රතිපත්ති අච්චාරුවක් හැදෙන එක සාමාන්‍ය තත්ත්වයක්.

ඇතැම් මාලිමා නායකයින් සඳහන් කර තිබුණු පරිදි ඔවුන් විසින් මේ වන විට ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන ඉහත ප්‍රතිපත්ති ප්‍රකාශන සංශෝධනය කරමින් ඉන්නවා. එසේ තිබියදී හිතාමතාම ඊට කලින් මේ විචාරය සිදු කරන්නේ සංශෝධිත ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්න කලින් එවැන්නක් කිරීම වඩා යෝග්‍යයැයි අප සිතන නිසා. කණ්ඩායමක් විසින් කාලය යොදවා ප්‍රතිපත්ති ප්‍රකාශන සකස් කළාට පස්සේ කාලයක් යන තුරු නැවත ඒවා සංශෝධනය කරන්න තිබෙන ඉඩකඩ අඩුයි. 

හැම දෙයක්ම වැරදි පැත්තෙන් ගන්නේ නැත්නම්, මේ වගේ විචාර දිහා බලලා අඩුපාඩු හදාගන්න ඔවුන්ට අවස්ථාවක් තිබෙනවා. "කලින් කියන්න තිබුණානේ" කියන විවේචනයට ඉඩ නොතබා දැන්ම මේ විචාරය කරන්නේ සංශෝධිත ප්‍රතිපත්ති වල අඩුපාඩු අඩු කරගැනීමට ඉඩක් ඉතිරි කරමිනුයි.

ඉහත කී ප්‍රතිපත්ති ප්‍රකාශ වල ඉලක්කය වූ 2019 ජාතික මැතිවරණ වලදී හෝ ඊට පෙර ජවිපෙට ආණ්ඩු බලය ලබා ගැනීමේ ප්‍රායෝගික ඉඩක් තිබුණේ නැහැ. එවැනි ඉඩක් තිබුණා කියලා ඔවුන් විශ්වාස කළා කියලත් මම හිතන්නේ නැහැ. අධි තක්සේරුවක හිටියත්, මාලිමාව හැදීමෙන් පසුව 2019 ඉලක්කය වුනේ ඡන්ද ප්‍රමාණය 15%-20% වගේ මට්ටමකට ඔසොවා ගන්න එක කියලයි මම හිතන්නේ. 

නමුත් දැන් තත්ත්වය වෙනස්. අර අන්දරේගේ හෝ නස්රුදීන්ගේ හෝ දෙන්නාගේම කතාවකට අනුව ලොකු ගලක් උස්සලා කරෙන් තිබ්බොත් එය ගෙනිහින් දෙන්නම් කිවුවා කියනවනේ. ඒ වගේ නිකමට කිව්වට පස්සේ හදිසියෙවත් මිනිස්සු එකතු වෙලා ගල උස්සලා කරෙන් තිබ්බොත් මොකද වෙන්නේ? 

ඔය වගේම, මිනිස්සු මාලිමාවට ආණ්ඩු බලය ලබා දුන්නොත් කිවුවා වගේම කරන්නත් වෙනවා. එම පක්ෂය විසින් දැනට ප්‍රසිද්ධ කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශන සංශෝධනය කරද්දී "කිවුවා වගේම කරන්නත් වෙන එක" ගැන බරපතල ලෙස හිතන්න ඉඩ තිබෙන නිසා දැනට ඉදිරිපත් කර තිබෙන ලියැවිලි මීට වඩා ප්‍රායෝගික ලියැවිලි බවට පත් වෙයි කියා මම විශ්වාස කරනවා. 

මම මේ විචාරය තුළ මාලිමාවේ දේශපාලන ප්‍රතිපත්ති හෝ එම දේශපාලන ප්‍රතිපත්ති මත පදනම් වූ ආර්ථික ප්‍රතිපත්ති විවේචනය කරන්න ප්‍රමුඛතාවය දෙන්නේ නැහැ. ඒවා අනුමත කිරීම හෝ නොකිරීම ඡන්දදායකයින්ගේ වැඩක්. ප්‍රධාන වශයෙන්ම මම අවධානය යොමු කරන්නේ ආර්ථික ප්‍රතිපත්ති වල සංගත භාවය (consistency) වෙතයි. සංගත නැති ප්‍රතිපත්ති පැකේජයක් සමස්තයක් ලෙස ක්‍රියාත්මක කළ නොහැකියි.

සංගත නැහැ කියන්නේ ප්‍රායෝගිකව කරන්න බැහැ කියන එකම නෙමෙයි. ප්‍රායෝගික නැති ප්‍රතිපත්ති සංගත වෙන්න පුළුවන්. නමුත් සංගත නැත්නම් කිසිසේත්ම ප්‍රායෝගිකව කරන්න බැහැ. 

අවුරුද්දකට බිත්තර 250ක් දමන කිකිළියෙක් දමන බිත්තර ප්‍රමාණය 300 දක්වා වැඩි කරනවා කිවුවොත් එය සමහර විට ප්‍රායෝගික නැති වෙන්න පුළුවන්. නමුත් කෙනෙක්ට ප්‍රායෝගික නැති සේ පෙනෙන දෙයක් වෙනත් අයෙකුට ප්‍රායෝගික වෙන්න පුළුවන්. හැබැයි ඔය විදිහට කිකිළියෙක් දමන බිත්තර ප්‍රමාණය 300 දක්වා වැඩි කිරීම මගින් රටේ බිත්තර පරිභෝජනය දෙගුණ කරනවා කිවුවොත් ඒක කොහොමටවත් කරන්න බැරි දෙයක්. මොකද බිත්තර 500ක් නැතිව ඒ වැඩේ කොහොමටවත් කරන්න බැහැ.

සාර්ව ආර්ථික ප්‍රතිපත්ති වල සංගත භාවය පරීක්ෂා කරන එක ඉහත උදාහරණය වගේ සරල නැහැ. ඒ සඳහා විචල්‍ය විශාල ප්‍රමාණයක අන්තර් සම්බන්ධය ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුයි. විශාල කාලයක් වෙළඳපොළ ප්‍රතික්ෂේප කරන දේශපාලන දර්ශනයක් එක්ක ගොඩ නැගුනු පක්ෂයක් වෙළඳපොළ පැත්තට පොඩි හැරවුමක් ගනිද්දී ඒ සඳහා අවශ්‍ය මානව සම්පත් එක පාරටම හොයා ගන්න අමාරු වීම පුදුමයට කරුණක් නෙමෙයි. නමුත්, 2019 සිට වසර පහක කාලයක් තුළ මාලිමාව විසින් උගත් පාඩම් හා එකතු කරගත් අමතර මානව සම්පත් නැති වෙන්න හේතුවක් නැහැ. 

දැනට ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ආර්ථික ක්‍රම තුනක අච්චාරුවක් වුනත්, ඇත්තටම ඒවා වැඩියෙන්ම බර චීන ක්‍රමයට. මධ්‍යගත සැලසුම් ක්‍රමයේ ලක්ෂණ දැකිය හැක්කේ ඉතාම අඩුවෙන්. ඒ කොටස් ප්‍රධාන වශයෙන්ම තිබෙන්නේ කෘෂිකර්ම ප්‍රතිපත්තියේ. ඒවා පැරණි පක්ෂයේ දැඩි මතධාරීන් වෙනුවෙන් ඉතිරි කරපු සීනි තැවරුම් පමණයි කියන එකයි මගේ අදහස. මම මේ කියන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශන වල තිබෙන දේවල් ගැන මිසක් ඇතැම් ජවිපෙ නායකයින් විසින් වරින් වර කියන දේවල් ගැන නෙමෙයි. පක්ෂයක් විශාල වෙද්දී එහි සාමාජිකයින්ගේ හා නායකයින්ගේ අදහස් පරාසය පුළුල් වීම සාමාන්‍ය තත්ත්වයක්.

රජය විසින් රටේ නිෂ්පාදන බලවේග වල පාලනය මුළුමනින්ම මෙන් ලබා නොගෙන මධ්‍යගත සැලසුම් ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න බැහැ. වර්තමාන ලෝක තත්ත්වය සහ ලංකාවේ ආර්ථික තත්ත්වය සැලකූ විට ඡන්දයකින් පත් වෙන ආණ්ඩුවකට ඒ තරම් දුර යාමේ හැකියාවක් නැහැ. සමගි පෙරමුණු ආණ්ඩුව ගියේ එහෙම යන්න පුළුවන් උපරිම දුර. ඒ ගියේ අදට වඩා ගොඩක් වෙනස් ලෝක තත්ත්වයක් තිබියදී. අද වෙද්දී ඒ මට්ටමේ මධ්‍යගත සැලසුමක් ආරක්ෂා කර ගත හැකි ලෝක තත්ත්වයක් නැහැ.

ප්‍රශ්නය තියෙන්නේ චීන, වියට්නාම් ආර්ථික ක්‍රම වුනත් ක්‍රියාත්මක කරන්නේ මැතිවරණ වලින් බලයට පත් වූ ආණ්ඩු විසින් නොවීමයි. මැතිවරණයකින් බලයට පත් වන ආණ්ඩුවකට ඒ තරම් දුරක් යන එක වුනත් විශාල අභියෝගයක්. ඒ නිසා, දැනට යෝජිත 2019 ප්‍රතිපත්ති වුනත් වඩා ප්‍රායෝගික අන්තයකට තල්ලු වීමේ ඉඩකඩ වැඩියි.

සමහර දොරවල් වලින් ඇතුළු වුනාට පස්සේ ආපසු හැරෙන්න බැහැ. කූඩුවක දමලා හදන සතෙක්ට එළියට යන්න දුන්නට පස්සේ නැවත කූඩුවටම එන්න පුළුවන් වුනත්, කාලයක් එළියේ ඉඳලා පුරුදු වුනාට පස්සේ කැමැත්තෙන් නැවත කූඩුවේ හිර වෙන්නේ නැහැ. ආර්ථිකයක් ක්‍රියාත්මක වෙන ආකාරය අත් දැකීමෙන් තේරුම් ගත්තට පස්සේ ඒ අවබෝධය ආපසු හැරෙන්නේ නැහැ. මෙය පුද්ගලයින්ට වගේම දේශපාලන පක්ෂයකටත් පොදු කරුණක්. ධනවාදය මානුෂික කරන බව කියමින් හැරවුමක් ගත්ත ශ්‍රීලනිපය නැවත ආපසු හැරුණේ නැහැ. 

ජවිපෙ කියන්නේ අවි බලයෙන් රාජ්‍ය බලය පැහැරගෙන තමන්ගේ පරමාදර්ශ මත පදනම් වූ රාජ්‍යයක් හැදීම සඳහා පිහිටුවා ගත් පක්ෂයක්. ඒ සඳහා කළ උත්සාහයන් දෙවරක්ම අසාර්ථක වුනා වගේම විශාල විනාශ වලින් කෙළවර වුනා. ඔය අතරවාරයේ වරින් වර එම පක්ෂය මැතිවරණ වලට ඉදිරිපත් වුනත් එසේ කළේ මැතිවරණයක් ජයගෙන ආණ්ඩුවක් පිහිටවීමට නොවන බව රහසක් නෙමෙයි. ගොඩක් වෙලාවට ඒ ටීම් එක ප්‍රධාන අරමුණ වෙනුවෙන් ආරක්ෂා කරගෙන බී ටීම් එකක් මැතිවරණ වලට ඉදිරිපත් කරන එකයි කළේ. 

කොහොම වුනත්, "සෙල්ලමට කරපු" ඔය වැඩේ කෙළවර වුනේ ජවිපෙ ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් වෙලා. මෑතකාලීනව ගොඩක් අවස්ථා වලදී මැතිවරණ මත පදනම් වූ ප්‍රජාතන්ත්‍රවාදය හා පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කර ගැනීම සඳහා සම්ප්‍රදායික දේශපාලන කඳවුරු දෙකේ පක්ෂ වලටත් වඩා වැඩියෙන් ජවිපෙ මැදිහත් වෙලා තිබෙනවා. අරගලය වෙලාවේනම් නැවත පොඩ්ඩක් පාරෙන් එළියට පැන්නා. හැබැයි ඊට පස්සේ වුනත් නොපැවැත්වුණු පළාත් පාලන මැතිවරණ සඳහා මාලිමා අපේක්ෂකයින් තෝරා ගනිද්දී අනෙක් දේශපාලන පක්ෂ වල නැති විවෘත ප්‍රවේශයක් නිරීක්ෂණය වුනා.

ජනමතය පිළිබඳව දැනට කළ හැකි නිරීක්ෂණ අනුව, අවාසිදායකම තත්ත්වයක් යටතේ වුනත්, මාලිමා කණ්ඩායමට ප්‍රධාන විපක්ෂය වෙන්න පුළුවන්. මාලිමා කණ්ඩායම බලයට ආවොත් හෝ ප්‍රධාන විපක්ෂය වුනොත් මාලිමාව ඇතුළේ ජවිපෙ දිය වී යන එක වලක්වන්න බැහැ. ඒක හරියට මැතිවරණ දේශපාලනය ඇතුළේ ජවිපෙ පැරණි විභවයන් නැති වෙලා ගියා වගේ වැඩක්. 

ජවිපෙ විසින් විවිධ සන්ධාන හැදීම අලුත් දෙයක් නෙමෙයි. නමුත් මීට කලින් ජවිපෙ විසින් හදපු සන්ධාන කිසිවක් ආර්ථික-දේශපාලන දැක්ම හා අදාළව ඔවුන්ගේ ආරම්භක පරමාදර්ශ වලින් බැහැර වුනේ නැහැ. මාලිමාව හැදීමත් එක්ක ඒ දේ වුනා වගේම ඒ වෙනස සාර්ථක වී තිබෙන බව ඇස් පනා පිට පේන දෙයක්. තවමත් පරණ හොල්මන් වරින් වර පේන්න ගන්නවා තමයි. නමුත් ඒවා නොපෙනී යාම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. 

ජාජබ 2019 මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන අනුව (ආර්ථික, 4 පිටුව), 2025 වන විට ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 8000ක් කරනවා. නමුත් මේ ප්‍රතිපත්ති ප්‍රකාශය හදන්නේ 2019දී. ඒ වන විට තිබුණු අලුත්ම සංඛ්‍යාලේඛණ අනුව, 2018දී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4,102ක්. නමුත්, 2023 වන විට රටේ ඒක පුද්ගල ආදායම බොහෝ විට ඩොලර් 4000ට වඩා අඩුයි. ඉතා පැහැදිලිවම රටේ ඒක පුද්ගල ආදායම අවුරුදු දෙකකින් දෙගුණ කරන්න බැහැ. ඒ නිසා, ඒ වගේ දෙයක් අල්ලගෙන මාලිමා ප්‍රතිපත්ති විවේචනය කරන එක විහිළුවක්. නමුත්, වසර හයක කාලයක් ඇතුළත ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 8000ක් කරන්න පුළුවන්ද කියන එක තව දුරටත් වලංගු ප්‍රශ්නයක්. 

අප මාලිමා ප්‍රතිපත්ති දෙස සමස්තයක් ලෙස බලනු මිස තැනින් තැනින් කෑලි අරගෙන විවේචනය කරන්න යන්නේ නැහැ. ඒ වගේම, මේ ප්‍රතිපත්ති ප්‍රකාශන 2019දී සකස් කළ ඒවා බව අමතක කරන්නෙත් නැහැ. 

මීට අමතරව, දේශපාලන පක්ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශන පූර්ණ සාර්ව ආර්ථික වැඩපිළිවෙලකට ආදේශකයක් ලෙස අප සලකන්නේ නැහැ. මෙතෙක් කිසිදු දේශපාලන පක්ෂයක් විසින් එවැනි ප්‍රතිපත්ති ප්‍රකාශන සකස් කරලත් නැහැ. ඒ නිසාම, දේශපාලන පක්ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශන අංග සම්පූර්ණ නොවීම අප විසින් ප්‍රශ්නයක් සේ සලකන්නේ නැතත්, ඇතැම් අය මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශන සම්බන්ධව එසේ සිතා සිටින නිසාත්, ප්‍රතිපත්ති අංග සම්පූර්ණ නොවුනත් සංගත විය යුතු නිසාත් යම් විචාරයක් සිදු කිරීම යෝග්‍යයයි සිතනවා. 

රටක සාර්ව ආර්ථික ප්‍රතිපත්තියේ විදේශ අංශය පිළිබඳ කොටස හා අදාළව රජයකට කළ හැකි බලපෑම සීමිතයි. ගොඩක් දේවල් තීරණය වන්නේ රටෙන් පිටත ලෝක තත්ත්වයන් අනුවයි. ඒ වගේම, මුදල් හා මූල්‍ය අංශය සම්බන්ධ ප්‍රතිපත්ති තීරණය කරන්නේ මහ බැංකුවයි. එම ප්‍රතිපත්ති වලට බලපෑම් කළ හැක්කේ මහ බැංකුවේ කටයුතු වලට රජය බලපෑම් කරන්නේනම් පමණයි. ලංකාව වැනි රටක රජයට මූර්ත අංශය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් කළ හැකි වුවත්, සෝවියට් පන්නයේ මධ්‍යගත සැලසුමකට නොයන්නේනම් රටේ මූර්ත අංශයේ වර්ධනයන් බොහෝ දුරට තීරණය කරන්නේ පෞද්ගලික අංශයයි. මාලිමා ආණ්ඩුවක් ආවත් මේ තත්ත්වය විශාල ලෙස වෙනස් වීමේ ඉඩක් නැහැ.

ඉහත පැහැදිලි කළ පරිදි, ආණ්ඩුව වෙනස් වූ පමණින් රටක මුදල් හා මූල්‍ය, විදේශ හා මූර්ත අංශයන්ගේ වර්ධනයන් සම්බන්ධව මුළුමනින්ම බලපෑම් කළ හැකි වන්නේ නැහැ. එහෙත්, රාජ්‍යමූල්‍ය අංශය සම්බන්ධ පාලනය තනිකරම තිබෙන්නේ රජය අතේ. අනෙක් අංශ වලට බලපෑම් කළ හැක්කේ ඒ හරහා වක්‍ර ලෙසයි. මේ හේතුව නිසාම, රාජ්‍යමූල්‍ය අංශය සම්බන්ධව කිසියම් දේශපාලන පක්ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශන වල සඳහන්ව ඇති දේ එලෙසින්ම සිදු වීමේ ඉඩක් තිබෙනවා. මහින්ද චින්තන ප්‍රතිපත්ති මේ සඳහා උදාහරණයක්. මෙය මාලිමාවේ ප්‍රකාශිත නිල ප්‍රතිපත්ති වලටත් අදාළයි.

මෙයින් අදහස් කරන්නේ මාලිමා ආණ්ඩුවක් විසින් කියා ඇති දේ එලෙසම කරනු ඇති බවට අප‍ට සහතික විය හැකි බව නෙමෙයි. ඔවුන්ට අවශ්‍යනම් සහ ප්‍රතිපත්ති පැකේජය සංගතනම්, එසේ කිරීමේ තාක්ෂණික හැකියාවක් ඇති බවයි. කරන්නට අවශ්‍ය වුනත් ආර්ථිකයේ අනෙකුත් අංශ හා සම්බන්ධව රජයකට ඒ මට්ටමේ බලපෑමක් කළ නොහැකියි.

රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිය යනු, කෙටියෙන්, රජයේ ආදායම් හා වියදම්. සමස්තයක් ලෙස මාලිමා ප්‍රතිපත්ති තුළ දැකිය හැක්කේ රාජ්‍ය වියදම් වැඩි කිරීමේ ප්‍රවේශයක්. එසේ වැඩි කෙරෙන වියදම් ආවරණය කර ගැනීම පිණිස ආදායම් සැලකිය යුතු ලෙස වැඩි කර ගැනීමේ ඉලක්කයක්ද තිබෙනවා. මෙය සාමාන්‍යයෙන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික-දේශපාලන ක්‍රමයකදී සිදු වන දෙයයි. 

මේ සමඟම මතක් කළ යුතු තවත් දෙයක් වන්නේ ආසන්න වශයෙන් 2019 සිට ජවිපෙ විසින් තමන්ගේ ප්‍රතිපත්ති වල අනෙකා ලෙස නවලිබරල්වාදය තෝරාගෙන ඇති බවයි. මෙය බොහෝ දුරට නැති පිදුරු පඹයෙකු හදා ඒ නැති පිදුරු පඹයාට පහර දීමේ ප්‍රවේශයක්. නවලිබරල්වාදය ලෙස පොදුවේ සැලකෙන්නේ රජය කුඩා කර බදු අඩු කිරීමේ ප්‍රවේශයයි. එහෙත් මෙතෙක් ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති දෝලනය වුනේ බදු ආදායම් වලට සාපේක්ෂව විශාල රජයක් නඩත්තු කරමින් ණය වීමේ සිට අයවැය හිඟය අඩු කර ගැනීම ඉලක්ක කරගෙන බදු වැඩි කිරීම දක්වා වන පරාසය තුළයි. ඒ නිසා, ජවිපෙ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශය සඳහා විශාල වෙනස්කම් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. මෙහිදී බොහෝ විට සිදු විය හැක්කේ වෙනස්කම් කිරීමට වඩා වෙනස්කම් නොකර සිටීමයි. විශේෂයෙන්ම දැනට ඉතිරිව තිබෙන රාජ්‍ය ව්‍යවසාය හා අදාළව.

මාලිමා ප්‍රතිපත්ති හදන විට ලංකාවේ රාජ්‍ය අයවැය තුලනය වෙමින් තිබුණේ කොහොමද? 

පහත තිබෙන්නේ 2018 රාජ්‍ය අයවැයෙහි සාරාංශයක්. සියල්ල දදේනිහි ප්‍රතිශත ලෙස. (මේ සංඛ්‍යාලේඛණ පසුව සංශෝධනය වුනත්, මාලිමා ප්‍රතිපත්ති හදද්දී ප්‍රකාශිතව තිබුණේ මේ සංඛ්‍යාලේඛණයි.)

ආදායම =13.4%

පොලී හැර වියදම = 12.7%

ප්‍රාථමික අයවැය ශේෂය = 0.6%

පොලී වියදම = 5.9%

අයවැය ශේෂය = (-5.3%)

මෙම සංඛ්‍යාලේඛණ අතරින් රටේ ආර්ථික ස්ථාවරත්වය හා අදාළව වඩාත්ම වැදගත් වන්නේ අයවැය ශේෂයයි. මෙම ශේෂය හිඟයක්නම් අඩුව පුරවන්නට සිදු වන්නේ ණය ගැනීම මගිනුයි. මේ හා සම්බන්ධ මාලිමා ප්‍රතිපත්තිය වූයේ කුමක්ද? 

"අයවැය හිඟය 5% සීමාවේ පවත්වා ගැනීම" (ආර්ථික, 18 පිටුව). 

මෙයින් අදහස් වන්නේ මාලිමා ආණ්ඩුවක් යටතේද පැවති අයවැය හිඟය ආසන්න වශයෙන් එම මට්ටමේ නඩත්තු කරනවා කියන එකයි. පහත පෙන්වා ඇත්තේ 2018ට ආසන්න පෙර වසර වල අයවැය හිඟයයි. මැතිවරණ වසරක් වූ 2015 වසරේදී මෙම හිඟය වැඩි වූ අතර අනෙකුත් වසර වලදී 5% සීමාවට තරමක් ඉහළින් පැවති බව නිරීක්ෂණය කළ හැකියි. එම අනෙකුත් වසර වලදීද ඉලක්කය වූයේ මෙම හිඟය 5% හෝ අඩු මට්ටමක පවත්වා ගැනීමයි.

2012 - 5.6%

2013 - 5.4%

2014 - 5.7%

2015 - 7.6%

2016 - 5.3%

2017 - 5.5%

2018 - 5.3%

අයවැය හිඟය 5% සීමාවේ පවත්වා ගැනීම යන්නේ අදහස් වන්නේද එම සීමාව දක්වා අළුතෙන් ණය ලබා ගන්නට සිදු වන බවයි. මීට අමතරව, පැරණි ණය ගෙවීම සඳහා විශාල ණය ප්‍රමාණයක් අලුතෙන් ගන්නට සිදු වෙනවා. මෙය විශේෂයෙන් සඳහන් කළ යුතුව තිබෙන්නේ මාලිමා ආණ්ඩුවක් පැමිණි විට රජය අලුතෙන් ණය නොගෙන පරණ ණයද ගෙවාගෙන යනු ඇතැයි සිතාගෙන සිටින බොහෝ දෙනෙක් සිටින නිසයි.

කෙසේ වුවත්, පවතින සාර්ව ආර්ථික තත්ත්වයන් තුළ, ආණ්ඩුව කාගේ වුනත්, තවත් කාලයක් යන තුරු දිගින් දිගටම ණය නොගෙන ඉන්න බැහැ. ඒ නිසා, මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන්ව තිබෙන මෙම ඉලක්කයේ වරදක් නැහැ. ඒ වගේම, එම ඉලක්කය හා අනෙකුත් ආණ්ඩු යටතේ පැවති අයවැය ශේෂ ඉලක්ක අතර ලොකු වෙනසකුත් නැහැ.

කොහොම වුනත්, මැතිවරණ අවුරුද්දක් වූ 2019දී රජයේ වියදම් ඉහළ ගියා. ඒ වගේම, කවුරුත් දන්න "බදු කැපිල්ලෙන්" පස්සේ රජයේ ආදායම් විශාල ලෙස අඩු වුනා. මේ හේතු නිසා 2021 වන විට අයවැය හිඟය 11.7% දක්වා ගියා. ඊට පස්සේ සිදුවුණු දේවල් තවම අමතක නැහැනේ. 

අයවැය හිඟය 11.7% වගේ මට්ටමකට යනවා කියන්නේ, අනෙකුත් පැවති තත්ත්වයන් එක්ක, ණය තිරසාරත්වය නැති වෙනවා කියන එක. ඒ කියන්නේ, පැවති ආණ්ඩු වල වගේම මාලිමාවේද ප්‍රකාශිත ප්‍රතිපත්තිය වූ, ණය අරගෙන ණය ගෙවන එක වුනත් තව දුරටත් කරගෙන යන්න බැහැ කියන එක. ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍ය වුනේ ඒ නිසා. මීට සමාන්තරව සකස් කළ IMF වැඩ සටහන අනුව රජයේ අයවැය හිඟය පහත ආකාරයෙන් ටිකෙන් ටික අඩු වී යා යුතුයි.

2023 - 8.0%

2024 - 6.4%

2025 - 5.0%

2026 - 4.8%

2027 - 4.7%

2028 - 4.2%

මේ ඉලක්ක සහ මාලිමාවේ 2019 ප්‍රතිපත්තිය වූ "අයවැය හිඟය 5% සීමාවේ පවත්වා ගැනීම" යන්න අතර ලොකු නොගැලපීමක් නැහැ. ඒ නිසා, මාලිමාවට පහසුවෙන්ම දැනට ක්‍රියාත්මක සාර්ව ආර්ථික වැඩ පිළිවෙළේ රාජ්‍ය අයවැය ඉලක්ක සමඟ එකඟ වෙන්න පුළුවන්. 

හැබැයි මාලිමාව ඔය අයවැය ඉලක්කයට යන්න ඉඩ තියෙන්නේ දැන් වැඩ පිළිවෙළේ ක්‍රමයටම නෙමෙයි. මාලිමාවේ ආදායම් ඉලක්කය වගේම වියදම් ඉලක්කත් වඩා වැඩියි. 

"රජයේ ආදායම වැඩි කිරීමට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රජයේ ආදායම 20-25% දක්වා මට්ටමට ගෙන ඒම සඳහා විධිමත් සැලැස්මක් සකස් කොට ක්‍රියාත්මක කිරීම" (ආර්ථික, 17 පිටුව)

මේ ඉලක්කය IMF වැඩ සටහනේ ආදායම් ඉලක්ක වලට වඩා වැඩි ඉලක්කයක්. IMF වැඩ සටහනේ රාජ්‍ය ආදායම් ඉලක්ක පහත පරිදියි.

2023 - 11.0%

2024 - 13.3%

2025 - 14.9%

2026 - 15.0%

2027 - 15.1%

2028 - 15.3%

මේ අනුව, මාලිමාවේ ඉලක්කය තවත් 5%-10%කින් රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමයි. එවිට, අයවැය හිඟය 5% සීමාවේ තියාගෙන 25%-30% දක්වා වියදම් වැඩි කරන්න පුළුවන්. නමුත් IMF වැඩ සටහන අනුව වියදම් ඔය තරමට වැඩි වෙන්නේ නැහැ. එම වියදම් ඇස්තමේන්තු පහත පරිදියි. 

2023 - 19.0%

2024 - 19.73%

2025 - 19.9%

2026 - 19.9%

2027 - 19.6%

2028 - 19.4%

දැන් මාලිමාව ඔය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන හැටියට රාජ්‍ය ආදායම 20-25% දක්වා වැඩි කරගත්තොත්, අයවැය හිඟය 5% සීමාවේ තියාගෙන වියදම් වැඩි කරන්න ඉඩක් ලැබෙනවනේ. එම වියදම් වැඩි වීම මොන විදිහට වෙයිද?

මාලිමා ආර්ථික ප්‍රතිපත්ති යටතේ අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් රාජ්‍ය වියදම් වැඩි කරන ආකාරය නිශ්චිත ලෙස සඳහන් කරලා තියෙනවා. එම වැඩි කිරීම් සාධාරණීකරණය කරමින් දීර්ඝ ලෙස හේතු දක්වලාත් තිබෙනවා. ඒ වගේම, අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් වැඩිපුර මුදල් වැය කිරීම (චීන සමාජවාදී ක්‍රමයේ කොහොම වුනත්) සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික ක්‍රමයක විශේෂ ලක්ෂණයක්. මේ හේතු සියල්ල නිසා මාලිමාව තවමත් මේ ඉලක්ක වල ඉන්නවා කියලා අපට හිතන්න පුළුවන්. 

"ක්‍රමිකව සහ සැලසුම්සහගතව දළ ජාතික නිෂ්පාදිතයෙන් අවම වශයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන් කිරීම" (කඩිනම්, පිටුව 12)

"සෞඛ්‍යය සඳහා දළ ජාතික නිෂ්පාදනයෙන් අවම වශයෙන් 5%ක්" (කඩිනම්, පිටුව 13).

මාලිමාවේම සංඛ්‍යාලේඛණ අනුව, 2017දී සෞඛ්‍යය වෙනුවෙන් රජය වැය කර තිබෙන්නේ 1.48%ක් පමණයි (සෞඛ්‍යය, පිටුව 8). මෙම ප්‍රතිශතය ක්‍රමයෙන් අඩුවෙමින් තිබෙන බවත් එහි සඳහන්. 

මුදල් අමාත්‍යංශයේ දත්ත අනුව ඉහත ප්‍රකාශය නිවැරදියි. 2022දී රජය සෞඛ්‍යය වෙනුවෙන් රුපියල් බිලියන 308.5ක් වැය කර තිබෙන අතර එය දදේනියෙන් 1.28%ක් පමණයි. ඒ වගේම පාසැල් අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් බිලියන 298.1ක් සහ උසස් අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් බිලියන 75.6ක් ලෙස රුපියල් බිලියන 373.7ක් වැය කර තිබෙනවා. මෙම මුදල දදේනියෙන් 1.55%ක්. ඒ අනුව, අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් රජය විසින් 2022 වසරේදී වැය කර තිබෙන්නේ දදේනියෙන් 2.83%ක් පමණයි (මෙම මුදල දදේනියෙන් 2.83%ක් පමණක් වුනත් රාජ්‍ය ආදායමෙන් 34%කට වඩා වැඩියි. එය වෙනම කතාවක්).

දැන් මාලිමාව මෙම වියදම 11% (= 5% + 6%) දක්වා වැඩි කරන්නයි යන්නේ. ඒ කියන්නේ තව 8.2%කින් පමණ. අපි මේ වැඩේට 2028 වසර දක්වා කල් යනවා කියා හිතමු. ආණ්ඩුවකට ඔය වගේ දෙයක් හදිසියේ කරන්න බැහැනේ. දැනට අපේක්ෂිත 2028 රාජ්‍ය වියදම 19.4%ක් පමණයි. ඕකට තව 8.2%ක් එකතු කළ විට රාජ්‍ය වියදම 27.6% දක්වා ඉහළ යනවා. ආර්ථිකය ස්ථාවරව තියාගන්න 2028දී අයවැය හිඟය 4.2%කට සීමා කරන්න වෙනවා. ඒ අනුව, අවම වශයෙන් 23.4% දක්වා රාජ්‍ය ආදායම් වැඩි කරගන්න වෙනවා.

මාලිමාවේ ඉලක්කය රාජ්‍ය ආදායම් 20%-25% දක්වා වැඩි කර ගන්න එකනේ. අපි මෙම පරාසයේ උපරිම සීමාව වන 25% ගනිමු. අධ්‍යාපනය සහ සෞඛ්‍යය හා අදාළ ඉලක්ක වලට යන්න පමණක් වුනත් රාජ්‍ය ආදායම 23.4% දක්වා වැඩි කරගන්න වෙනවා. ප්‍රශ්නයක් නැහැනේ. තව 1.6%ක් දක්වා වියදම් වැඩි කරගන්න පුළුවන්. හැබැයි මාලිමා ප්‍රතිපත්ති වල වියදම් යන වැඩ තව මහ ගොඩක් තියෙනවා. 

ප්‍රතිපත්ති ප්‍රකාශ වල තිබෙන හැම දෙයකටම අනිවාර්යයෙන්ම වියදම් යන්නේ නැහැ. දැනට තිබෙන සම්පත් යොදාගෙන කළ හැකි දේවල් ගොඩක් තිබෙනවා. ප්‍රායෝගිකව කරන්න පුලුවන්ද කියන එක වෙනම ප්‍රශ්නයක්. හැබැයි සමහර දේවල් කරන්න අනිවාර්යයෙන්ම අමතර මුදල් අවශ්‍ය වෙනවා. පහත තියෙන්නේ එවැනි දේවල් කිහිපයක්. 

රාජ්‍ය ආයෝජන සහිතව නිෂ්පාදන කර්මාන්ත ශාලා 100ක් පිහිටුවීම (ආර්ථික, පිටුව 5)

නවීන තාක්ෂනය හා උපාංග සහිතව කිරි නිෂ්පාදන කර්මාන්තශාලා තුනක් ආරම්භ කිරීම (ආර්ථික, පිටුව 6) 

කොළඹ වරායට ප්‍රමුඛත්වය දෙමින් සියලු ප්‍රධාන වරාය නවීකරණය කිරීම (ආර්ථික, පිටුව 6) 

නැවු ඉදිකිරීම හා ප්‍රතිසංස්කරණය සඳහා යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම (ආර්ථික, පිටුව 6) 

ත්‍රිකුණාමලය තෙල් ටැංකි නවීකරණය (ආර්ථික, පිටුව 7) 

සපුගස්කන්ද පිරිපහදුව නවීකරණය කිරීම සහ නව පිරිපහදු අංගනයක් ඉදි කිරීම (ආර්ථික, පිටුව 7) 

පවුල් ලක්ෂ 6ක් සඳහා සමෘද්ධි දීමනාව වැඩි කිරීම (ආර්ථික, පිටුව 9)

සමෘද්ධි පවුල් වල උසස්පෙළ සමතුන්ට වසරක් ඇතුළත රැකියා හෝ රැකියා අවස්ථා ලබා දීම (ආර්ථික, පිටුව 9)

රාජ්‍ය බැංකු වලින් ලබා ගෙන තිබෙන සුළු පරිමාණ ණය කපා හැරීම (ආර්ථික, පිටුව 10)

කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රාග්ධනය සහිතව ක්ෂුද්‍ර පොකුරු සමාගම් 15,000ක් ඇති කිරීම (ආර්ථික, පිටුව 11)

මස් නිෂ්පාදනය කරන ආයතන වලට අවශ්‍ය යෙදවුම් අඩු මිලට ලබා දීම (ආර්ථික, පිටුව 12)

මහා පරිමාණ වෙළඳ හා හුවමාරු මධ්‍යස්ථාන 24ක් ඇති කිරීම (ආර්ථික, පිටුව 13)

විදුලි බස් පද්ධතියක් ඇති කිරීම, මාර්ග ඇති කිරීම, දුම්රිය විදුලිනය සහ සැහැල්ලු දුම්රිය පද්ධතියක් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වල ඇති කිරීම (ආර්ථික, පිටුව 28)

කෘෂිකාර්මික හා අනෙකුත් කර්මාන්ත සඳහා අවශ්‍ය සුළු උපකරණ දේශීයව නිපදවීම සඳහා මූල්‍ය පහසුකම් (ආර්ථික, පිටුව 5)

4% අඩු පොලියට කෘෂිකාර්මික ණය ලබා දීම (කෘෂි, පිටුව 5)

ඒකාබද්ධ කෘෂිබිම් සංවර්ධනය සහ අස්වනු නෙලීම සඳහා යන වියදමෙන් 50%ක් රජය මගින් දැරීම (කෘෂි, පිටුව 6)

වී සඳහා සහතික මිලක් සහ දිරි දීමනා (කෘෂි, පිටුව 6)

සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට සහන ණය (කෘෂි, පිටුව 6)

ශීතන පහසුකම් සහිත ප්‍රවාහන ජාලයක් (කෘෂි, පිටුව 19)

ඒකාබද්ධ ගොවිබිම් ආසන්නයේ රජයේ වියදමින් තට්ටු නිවාස (කෘෂි, පිටුව 10)

බහුජාතික සමාගම් වෙත ලබා දී ඇති ඉඩම් නැවත පවරා ගැනීම (කෘෂි, පිටුව 10)

මහා වාරිමාර්ග පද්ධතිය කඩිනමින් පිළිසකර කිරීම (කෘෂි, පිටුව 9)

කුඩා වැව් දසදහසක් ප්‍රතිසංස්කරණය කිරීම (කෘෂි, පිටුව 9)

කෘෂිකර්ම උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් 2000ක් (කෘෂි, පිටුව 9)

කිරි වලට සහතික මිලක් (කෘෂි, පිටුව 12)

ඔය තිබෙන්නේ කරන්න යන දේවල් වලින් කොටසක්. මේ දිග ලැයිස්තුවේ තිබෙන දේවල් කරන්න කොයි තරම් මුදලක් වැය වෙනවාද කියා මම ඇස්තමේන්තු කරන්න යන්නේ නැහැ. නමුත්, දදේනියෙන් 1.6%කින් එනම් රුපියල් බිලියන 400-450කින් පමණ, මේ හැම දෙයක්ම කරන්න බැරි බව අමුතුවෙන් කිව යුතු නැහැ. කුඩා වැව් දසදහසක් ප්‍රතිසංස්කරණය කිරීම වැනි සමහර දේවල් අඩු වියදමකින් සංදර්ශනාත්මක ලෙස පමණක් කරන්න ඉඩ තිබුණත් ගොඩක් දේවල් එහෙම කරන්න බැහැ. සෘජුවම අරමුදල් වෙන් කරන්න සිදු වෙනවා. 

ඒ කියන්නේ, රාජ්‍ය ආදායම 25% මට්ටමට වැඩි කර ගත්තත්, අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් ඉලක්කගත වියදම් වෙන් කළාට පස්සේ ඔය ලැයිස්තුවේ තිබෙන දේවල් වලින් කළ හැක්කේ සුළු ප්‍රමාණයක් පමණයි. එහෙම නැත්නම්, එක්කෝ අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා වියදම් අඩු කරන්න වෙනවා. නැත්නම් අයවැය හිඟය වඩා වැඩි කරගෙන තව තව ණය වෙන්න වෙනවා. එහෙම කරන්න ගියොත් නැවත ණය තිරසාරත්වය නැති වී ආර්ථිකය කඩා වැටෙන එක කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි.

ඔය ටික කරන්නත් රාජ්‍ය ආදායම 25% මට්ටමට වැඩි කර ගත යුතුයිනේ. පසුගිය වසර වල කරපු බදු වැඩි කිරීම් වලින් පසුව සහ ඉදිරියේදී පැනවීමට නියමිත ධන බද්ද වැනි අලුත් බදු වලින් පසුවත් රාජ්‍ය ආදායම වැඩි වීමට නියමිත 15.3% මට්ටම දක්වා පමණයි. මෙය තවත් 10%කින් පමණ වැඩි කර ගැනීම සඳහා තිබෙන යෝජනා මොනවාද?

රාජ්‍ය ආදායම වැඩි වෙන යෝජනා කෙසේ වුවත් අඩු වන යෝජනානම් ගණනාවක් තිබෙනවා. පහත තිබෙන්නේ ඒවායින් කිහිපයක්.

ආහාර, ඖෂධ, සෞඛ්‍ය සේවා ආදිය වැට් බදු වලින් නිදහස් කිරීම (ආර්ථික, පිටුව 17)

භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට පුද්ගලික අංශය සහභාගී කර ගැනීම සඳහා බදු සහන (ආර්ථික, පිටුව 5)

නවෝත්පාදන හා අංකුර නිෂ්පාදකයන් සඳහා බදු සහන (ආර්ථික, පිටුව 5)

කෘෂිකාර්මික හා අනෙකුත් කර්මාන්ත සඳහා අවශ්‍ය සුළු උපකරණ දේශීයව නිපදවීම සඳහා බදු සහන (ආර්ථික, ආර්ථික, පිටුව 5)

සියලු කෘෂි යන්ත්‍රෝපකරණ බදු වලින් නිදහස් කිරීම (කෘෂි, පිටුව 5)

වක්‍ර බදු 40% දක්වා අඩු කිරීම (ආර්ථික, පිටුව 17)

අනවශ්‍ය අතරමැදි ක්‍රියාකාරකම් ඉවත් කිරීම (ආර්ථික, පිටුව 14)

විදේශ ශ්‍රමිකයන්ට බදු සහන (ආර්ථික, පිටුව 23)

මේ හැම දෙයකින්ම වෙන්නේ රාජ්‍ය ආදායම අඩු වීමයි. ඊට අමතරව, බදු අනුපාතික වැඩි නොකිරීම (ආර්ථික, පිටුව 17) ගැනද සඳහන් කර තිබෙනවා. 

රාජ්‍ය ආදායම් වැඩි වෙන යෝජනාත් එකක් දෙකක් තිබෙනවා.

බලශක්ති භාවිතය මත පරිසර බදු (ආර්ථික, පිටුව 28)

වාහන නගර වලට ඇතුළු වීමේදී අවහිරතා බද්දක් (ආර්ථික, පිටුව 29)

මීට අමතරව, වරණ තීරු බදු (ආර්ථික, පිටුව 5 හා 15) ගැන සඳහන්ව තිබෙන අතර රාජ්‍ය ආදායම කෙරෙහි එම බදු වල බලපෑම අවිනිශ්චිතයි. මෙම බදු හා අදාළ ප්‍රතිපත්තිය ආරක්ෂණවාදයයි. එනම්, බදු වැඩි කිරීම මගින් රටේ නිපදවා ගත හැකි දේ ආනයනය කිරීම සීමා කර බදු සහන හරහා අපනයන දිරි ගැන්වීමයි. වරණ තීරු බදු මගින් රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමේ ඉලක්කයක් ගැන නිශ්චිතව සඳහන් කර නැහැ. 

ඉතා පැහැදිලිවම ඉහත ප්‍රතිපත්ති වලින් සිදු වන්නේ රාජ්‍ය ආදායම කීයකින් හෝ අඩු වීමයි. එසේනම්, රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමේ උපාය මාර්ගය කුමක්ද?

එක් උපාය මාර්ගයක් විය හැක්කේ රාජ්‍ය ව්‍යවසාය වලින් ආදායම් ලැබීමයි. එහෙත්, විවිධ තැන් වල සඳහන්ව ඇති දේවල් අනුව පෙනෙන්නේ මාලිමාව විසින් රාජ්‍ය ව්‍යවසාය බොහොමයක් පවත්වාගෙන යාමේ අරමුණ ලාබ ලැබීම නොවන බවයි. ඊට අමතරව, දැනට පෞද්ගලික අංශය විසින් කරන කටයුතු වලට රාජ්‍ය අංශය වැඩියෙන් මැදිහත් වීමේ ප්‍රතිඵලය වන්නේ පෞද්ගලික අංශයේ ලාබ අඩු වී රජයේ බදු ආදායම් අඩු වීමයි. 

මම මේ විචාරයේදී මාලිමාවේ දේශපාලන ප්‍රතිපත්ති හෝ ඒ සමඟ ගැට ගැසී ඇති ආර්ථික ප්‍රතිපත්ති විචාරයකට ලක් කරලා නැහැ. ඒවා ඒ විදිහටම ක්‍රියාත්මක කිරීමේ ශක්‍යතාවය පිලිබඳව පමණයි විමසා බලා තියෙන්නේ. ඒ වගේම, චෙරි පික් නොකර මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශන වල තිබෙන රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තියට අදාළ නිශ්චිත දේවල් හැම එකක්ම වගේ අරගෙන තිබෙනවා. එහෙම ගත්තට පස්සේ පැහැදිලිව පෙනෙන පරිදි, වියදම් වැඩි වෙන දේවල් තියෙන තරමට ආදායම් වැඩි වෙන දේවල් නැහැ. ආදායම් අඩු වෙන දේවල්නම් තියෙනවා. 

මෙම ප්‍රකාශන වල සඳහන්ව නැතත්, අයවැය හිඟය වැඩි නොකර තියා ගන්න පුළුවන් වෙන ක්‍රම නැද්ද?

වේදිකා වල කාලයක් තිස්සේ කියපු විදිහටනම් විදේශ රටවල හංගලා තිබෙන සල්ලි ආපහු රටට අරගෙන ඇවිත් මේ හිඟය පියවගන්න පුළුවන්. මේ හා අදාළව ලොකු ගණන් හිලවු ඉදිරිපත් කරමින් ඒ දවස් වල කිවුවේ "මේ අයිස් කන්දේ ශිඛරය විතරයි" කියලා. හැබැයි දැන් විමසිල්ලෙන් කල්පනා කරලා බැලුවොත් ඔය කතාව හෙමිහිට ජන විඥානයෙන් අමතක වෙන්න ඇරලා කියලා තේරෙන්නේ නැද්ද? ආණ්ඩු බලය ලැබීමේ "අවදානම" නැති තාක් ඔය වගේ කතා කියන්න පුළුවන්. 

ඊළඟ කතාව නොගෙවූ බදු අය කර ගැනීම. මේ කතාවනම් පදනමක් තිබෙන කතාවක්. නියම විදිහට බදු එකතු වෙනවානම් රජයේ බදු ආදායම මීට වඩා වැඩි විය යුතුයි. නමුත් මේ ප්‍රමාණය කොපමණද? දළ දේශීය නිෂ්පාදිතයෙන් 10%කට පමණ සමාන අමතර බදු ප්‍රමාණයක් වාර්ෂිකව එකතු කර ගන්න පුලුවන්ද? එහෙම කරන්න පුළුවන්නම් ඔය රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති සෑහෙන දුරකට ක්‍රියාත්මක කරන්න පුළුවන්.

බදු පදනම වැඩි කර ගැනීමේ හා බදු දැල ශක්තිමත් කර ගැනීමේ වැඩ පිළිවෙලක් දැනටත් ක්‍රියාත්මකව තිබෙනවා. සියල්ලන්ටම බදු අංක ලබා දීම, වාහන මිල දී ගැනීම හා ඉඩම් මිල දී ගැනීම වැනි අවස්ථා වලදී බදු ගොනු විවෘත කිරීම වගේ විවිධ උපක්‍රම ක්‍රියාත්මක කරලා තමයි බදු ආදායම 2028 වන විට 15.3% මට්ටමට උස්සා ගන්න හදන්නේ. ඒ මට්ටමට යන එකත් විශාල අභියෝගයක්. එහෙම තියෙද්දී 25% වගේ මට්ටමකට යනවා කියන්නේ ප්‍රායෝගිකව ඉතාම අසීරු වැඩක්. 20% වුනත් ලේසි නැහැ.

මේ වැඩේ කරන්න හදන්නේ වක්‍ර බදු වැඩි නොකර බවත් අමතක නොකළ යුතුයි. 2022 වසරේදී එකතු කරගත් සෘජු බදු (ආදායම් බදු) ප්‍රමාණය දදේනියෙන් 2.2%ක් පමණයි. බදු ආදායමෙන් 60%ක් පමණ සෘජු බදු වලින් ගන්න යනවා කියන්නේ වක්‍ර බදු ආසන්න වශයෙන් දැන් තියෙන මට්ටමේම තියාගෙන සෘජු බදු 15% පමණ දක්වා වැඩි කරන්න වෙනවා කියන එකයි. ඒ කියන්නේ හය හත් ගුණයකින් එම බදු ආදායම් වැඩි කරගන්න වෙනවා. 

දැනට සෘජු බදු ගොඩේ වැඩිපුරම තියෙන්නේ සමාගම් මත අය කරන බදු. පළමුව, සමාගම් වල ලාබය මුළුමනින්ම, ඒ කියන්නේ 100%ක්ම බදු විදිහට අය කර ගත්තත් ඔය තරම් බදු ආදායමක් එකතු වෙන්නේ නැහැ. සමාගම් බදු අනුපාතය දැනටත් 30%ක්. ඔය අනුපාතය දෙගුණයක් කළත් බදු ආදායම දෙගුණ වෙන එක පමණයි වෙන්නේ. මේ කතා කරන්නේ දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ගැන නිසා දළ දේශීය නිෂ්පාදිතය වැඩි කරගන්නවා කියන එක පිළිතුරක් නෙමෙයි.

දෙවනුව, සමාගම් බදු වැඩි කළ විට ඒ බදු පාරිභෝගිකයා මත පැටවෙන එකයි වෙන්නේ. ඒ නිසා, එයත් වක්‍ර බද්දක් වගේම වෙනවා. හරියටම සෘජු බදු කියා කියන්න පුළුවන් පුද්ගල ආදායම් බදු වලටයි. පුද්ගල ආදායම් බදු නොගෙවන අයව බදු දැලට අල්ලා ගන්න එක කළ යුතුම දෙයක් වුනත්, ඒ වැඩෙන් රාජ්‍ය ආදායම් වැඩි කරගත හැකි සීමාවක් තියෙනවා. ඊට අමතරව පුද්ගල ආදායම් බදු විශාල ලෙස වැඩි කර ගැනීමේ දේශපාලන ශක්‍යතාවය පිළිබඳ ප්‍රශ්නයකුත් තිබෙනවා. ඒ ගැන අපි කතා නොකර ඉමු. 

මේ කතා කළේ රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති ගැන පමණයි. රටක ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් කරද්දී සංගත ලෙස හදන්න ලේසිම රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති කොටස. ඒ සඳහා කළ යුත්තේ ආදායම් හා වියදම් ඇස්තමේන්තු නිවැරදිව ගැලපීම පමණයි. එතැනින් එහාට විදේශ අංශය, මුදල් හා මූල්‍ය අංශය හා මූර්ත අංශය හා අදාළ ප්‍රතිපත්ති සංගත ලෙස සකස් කරන එක වඩා සංකීර්ණයි. රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිය හරියට හදා නොගෙන ඒවා ගැන කතා කරන එකේවත් තේරුමක් නැහැ. 

රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිය හරියට හදාගත්තත් ඔය ප්‍රකාශන වල ලොකු ඉඩක් වෙන් කර තිබෙන විදේශ අංශය සම්බන්ධ ප්‍රතිපත්ති වල අසංගතතා මීට වඩා ගොඩක් වැඩියි. ඒ නිසාම, ඔය පැකේජ් එකත් එක්ක එහි සඳහන් මූර්ත අංශයේ ඉලක්ක වලට යාම කළ නොහැකි දෙයක්. ප්‍රායෝගික නැති නිසා නෙමෙයි. කොහොමටවත්ම යන්න බැරි තරම් අසංගත නිසා. මේ අසංගතතා විස්තර කරන එක රාජ්‍යමූල්‍ය අංශයේ ප්‍රතිපත්ති වල අවුල පෙන්වන තරම්ම සරල නැහැ. ඒ නිසා, එම අවුල තේරුම් ගන්න අමාරු කෙනෙකුට එතැනින් එහාට විස්තර කරන එකේ තේරුමක් නැහැ.

දැනට ප්‍රසිද්ධ කර තිබෙන 2019 මැතිවරණ ඉලක්ක කරගත් සහ මාලිමාව හදද්දී එහෙන් මෙහෙන් කෑලි එකතු කර හදා තිබෙන ප්‍රතිපත්ති ඉදිරි මැතිවරණ ඉලක්ක කර සංශෝධනය කරද්දී මීට වඩා සංගත ලෙස එම ප්‍රතිපත්ති සකස් වනු ඇතැයි අපි හිතමු. එම ප්‍රතිපත්ති වල අවුල් ඇත්නම් ඒවා වඩා නිශ්චිත ලෙස පෙන්වා දීම එතෙක් කල් දමමු. මොකද මේ ලියා තිබෙන දේවල් වෙනස් වෙන්න පුළුවන්නේ. 

අලුත් ප්‍රතිපත්ති ආවට පස්සෙත් එහෙම වෙනස්කම් වෙලා නැත්නම්, ඔය විදිහටම වියදම් කරන ක්‍රම ගැන මිසක් ආදායම් එන විදිහ ගැන පැහැදිලි විස්තරයක් නැත්නම්, වෙන්නේ කුමක්ද?

ඒක කියන්න ඒ තරම් අමාරු නැහැ. ආණ්ඩුවකට මුලින්ම කරන්න වෙන දේ රාජ්‍ය අයවැය හදන එක. හැබැයි ඔය වැඩේ කරන්නේ දේශපාලනඥයෝ නෙමෙයි. මුදල් අමාත්‍යංශයේ ඉන්න වෘත්තිකයෝ. මුදල් ඇමතිවරයා විසින් ඔය වගේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මල්ලක් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අතට දීලා ඊට ගැලපෙන පරිදි අයවැය හදන්න කිවුවහම ඒ අය මෙම ලිපියේ විස්තර කළ අසංගත බව කරුණු සහිතව පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේ ඔය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග එකින් එක අකුළා ගෙන අයවැය තුලනය වන පරිදි ගැලපීම් කරන්න වෙනවා. අන්තිමට අයවැය යෝජනා වලට දමන්න වෙන්නේ අඩු වශයෙන් ඉලක්ක කරන්න හෝ පුළුවන් දේවල් පමණයි.

ඉදිරි අවුරුදු වලදී කවර හෝ ආණ්ඩුවකට මුහුණ දෙන්න වෙන විශේෂී තත්ත්වය අයවැය හිඟය හිතුමනාපෙට වැඩි කරන්න බැරි වීම. එහෙම කරන්න ගියොත් ඉතා කෙටි කලක් තුළ ආර්ථිකය නැවත අර්බුදයට යනවා. ඒ කියන්නේ ආණ්ඩුවත් අර්බුදයට යනවා. ඒ නිසා, ප්‍රායෝගිකව රජයේ වියදම් වැඩි කරන්න පුළුවන් වෙන්නේ ආදායම් වැඩි කර ගැනීමට සමාන්තරව පමණයි. 

ලිපියේ පැහැදිලි කළ පරිදි ආදායම් වැඩි කරගන්න එක හිතන තරම් ලේසි නැහැ. එහෙම ක්‍රමයක් මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශන වල විස්තර කරලත් නැහැ. ඒ කොටස මග ඇරලා, ආදායම් වැඩි කර ගන්නවා කියන උපකල්පනය යටතේ වියදම් කරන හැටි විස්තර කරන එකයි ප්‍රධාන වශයෙන්ම කරලා තියෙන්නේ. ඒ නිසාම, ඔය ප්‍රතිපත්ති ප්‍රකාශන වල මොනවා තිබුණත්, අවශ්‍ය අරමුදල් නැති නැති නිසා ඒ ගොඩක් දේවල් ලේසියෙන් හෝ හදිසියෙන් කරන්න වෙන්නේ නැහැ. හැබැයි මේ තත්ත්වය නරක තත්ත්වයක් කියලා මම හිතන්නේ නැහැ.

කලින් කිවුවා වගේම මාලිමාව වටේට එකතු වෙන ගොඩක් අයට ඔය ප්‍රතිපත්ති ප්‍රකාශන වලින් වැඩක් නැහැ. ඒ ගොඩක් අය හොයන්නේ නිදහසේ හොඳින් කාලා ඇඳලා ඉන්න පුළුවන් තත්ත්වයක්. ඒක වෙන්නේ කොහොමද කියන එක ඔය ගොඩක් අයට ප්‍රශ්නයක් නෙමෙයි. දැන් ක්‍රියාත්මක වැඩ පිළිවෙළේ මූලික ඉලක්ක වලින් පිට පැන්නේ නැත්නම් ලොකු අවුලක් හදාගන්නේ නැතිව බේරෙන්න පුළුවන්. රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීම හෝ නොකිරීම වගේ දේවල් මූලික ඉලක්ක නෙමෙයි. 

දැනට රටේ ආර්ථිකය ගමන් කරන දිශානතිය ගැන ගොඩක් අයට අවුලක් නැහැ. ගොඩක් අය කියන කුලකයට මාලිමාව එක්ක මේ වන විට ඉන්න අයත් ඇතුළත්. ඒ අයට තිබෙන අවුල මේ දේවල් රනිල් විසින් හෝ පොහොට්ටු ආණ්ඩුවක් යටතේ කෙරෙන එක පමණයි. ඔය දේවල්ම මාලිමාව ඇවිත් කළොත් ඒ අය ප්‍රශ්නයක් කර ගන්න එකක් නැහැ. නමුත් ට්‍රැක් පැනලා හැම දේම අනාගත්තොත් ජනමතය ආණ්ඩුවට විරුද්ධව යන එක කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි.

ඉහත හේතුව නිසා, මාලිමා නංගිව ඉස්සරහට දමලා පරණ ජේවීපී අක්කාම වැඩේට බහියි කියන කතාවට මම ලොකු බරක් තියන්නේ නැහැ. අනිවාර්යයයෙන්ම එවැනි අපේක්ෂා තිබෙන අය කණ්ඩායම ඇතුළේ නැති වෙන්න බැහැ. නමුත් එහෙම අය ජනමතය එක්ක වෙනස් වුනේ නැත්නම් ඒ අයට කණ්ඩායමෙන් ගැලවිලා යන්න වෙන ඉඩකඩ වැඩියි. ජවිපෙ මැතිවරණ දේශපාලනයට ආවට පස්සේ වුනෙත් ඔය වගේම දෙයක්නේ. 

ඔය මාලිමාව දිනුවොත් විය හැකි දේ ගැන මම හිතන දේ. ජනමත සමීක්ෂණ ප්‍රතිඵල වල දැන් ඉන්න තැන දිහා බලද්දී ගොඩක් අසීරු ඉලක්කයක් වගේ පෙනෙන දෙයක් වුනත් එජාප-පොහොට්ටු සන්ධානයක් විසින් ආණ්ඩුවක් පිහිටුවලා මාලිමාව ප්‍රධාන විපක්ෂය වුනා කියා හිතමු. එහෙම වුනොත් ඒ ආණ්ඩුවට මුහුණ දෙන්න වෙන්නේ වඩා අමාරු දේශපාලන අභියෝගයකට. 

මාලිමාව දිනලා මේ යන පාරට ගොඩක් වෙනස් නැති පාරක ගියොත් එජාපය එක්ක සන්ධානයකට යාමේ ඉඩක් නැති පොහොට්ටුවේ කොටසකට හැර විපක්ෂයේ අනෙක් පාර්ශ්ව වලට ඒ ගැන ලොකු විරෝධයක් දක්වන්න බැහැ. නමුත් මාලිමාව ප්‍රධාන විපක්ෂය වුනොත් ඒකේ අනෙක් පැත්ත වෙන්නේ නැහැ. එහෙම වුනොත් ඔවුන්ගේ සම්ප්‍රදායික විරෝධතා දේශපාලනයට පියාපත් එන එකයි වෙන්නේ. ඒ නිසා, මාලිමාව දිනුවත් පැරදුනත් දක්ෂිණාංශික අදහස් දරන අය අපේක්ෂා කරන ප්‍රතිසංස්කරණ ලේසියෙන් කෙරෙන එකක් නැහැ.

Saturday, November 4, 2023

රාජ්‍ය සේවක වැටුප්


කිහිප දෙනෙක්ම විමසීම් කර තිබුණු නිසා රාජ්‍ය සේවක වැටුප් පිරිවැය පිළිබඳ සංඛ්‍යාලේඛණ කිහිපයක් පහත ඉදිරිපත් කරනවා. මෙය තොරතුරු ඉදිරිපත් කිරීමක් මිසක් අදහස් දැක්වීමක් නෙමෙයි. 

මුලින්ම පසුගිය (2022) වසර හා අදාළ සංඛ්‍යාලේඛණ.

2022 රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප්:

රාජ්‍ය සේවක වැටුප් - රුපියල් බිලියන 956.2

රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් - රුපියල් බිලියන 309.1

මියගිය හා ආබාධිත හමුදා නිලධාරීන් වෙනුවෙන් ගෙවූ වැටුප් - රුපියල් බිලියන 40.2

එකතුව - රුපියල් බිලියන 1,305.5

වසරේ බදු ආදායම - රුපියල් බිලියන 1,751.1

රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් බදු ආදායමේ ප්‍රතිශතයක් ලෙස - 74.6%


මේ ඊට පෙර වසරේ (2021) තත්ත්වය.

2021 රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප්:

රාජ්‍ය සේවක වැටුප් - රුපියල් බිලියන 845.7

රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් - රුපියල් බිලියන 269.8

මියගිය හා ආබාධිත හමුදා නිලධාරීන් වෙනුවෙන් ගෙවූ වැටුප් - රුපියල් බිලියන 37.9

එකතුව - රුපියල් බිලියන 1,153.4

වසරේ බදු ආදායම - රුපියල් බිලියන 1,298.0

රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් බදු ආදායමේ ප්‍රතිශතයක් ලෙස - 88.9%

මේ අනුව, බදු ආදායම් පහළ ගොස් තිබුණු 2021 වසරේදී රජයේ සමස්ත බදු ආදායමෙන් 88.9%ක්ම වැය වී තිබුණේ රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වෙනුවෙනුයි. 2022දී රජය විසින් බදු ආදායම් වැඩි කර ගත් අනුපාතයෙන් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ඉහළ නොගිය බැවින් මෙම අනුපාතය 74.6% දක්වා අඩු වී තිබෙනවා. 

මෙම (2023) වසරේදී ඉහත අනුපාතය තවත් අඩු වී තිබිය යුතුයි. පහත තිබෙන්නේ 2023 පළමු මාස හතර හා අදාළව ප්‍රකාශිත තොරතුරු. 

2022 අප්‍රේල් දක්වා රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප්:

රාජ්‍ය සේවක වැටුප් - රුපියල් බිලියන 313.3

රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් - රුපියල් බිලියන 105.9

මියගිය හා ආබාධිත හමුදා නිලධාරීන් වෙනුවෙන් ගෙවූ වැටුප් - රුපියල් බිලියන 13.8

එකතුව - රුපියල් බිලියන 433.0

වසරේ පළමු මාස හතරේ බදු ආදායම - රුපියල් බිලියන 742.6

රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් බදු ආදායමේ ප්‍රතිශතයක් ලෙස - 58.3%

විශ්‍රාම වැටුප් හා මියගිය හා ආබාධිත හමුදා නිලධාරීන් වෙනුවෙන් ගෙවූ වැටුප් කොටස අත හැර පසුගිය (2022) වසරේදී සේවයේ නිරතව සිටි ආරක්ෂක හමුදා නිලධාරීන්ද ඇතුළු සියලුම රාජ්‍ය සේවකයින් වෙනුවෙන් වැටුප් ලෙස ගෙවූ රුපියල් බිලියන 956.2ක මුදල සැලකුවහොත් එම මුදල බෙදී ගොස් ඇත්තේ පහත පරිදියි.

ආරක්ෂක හමුදා - රුපියල් බිලියන 223.0 (23.3%)

පොලීසිය/ මහජන ආරක්ෂාව - රුපියල් බිලියන 96.9 (10.1%)

ගුරු වැටුප්/ පාසැල් අධ්‍යාපනය හා අදාළ කාර්ය මණ්ඩල - නොදනී (ආසන්නව රුපියල් බිලියන 250ක් පමණ විය යුතුයි)

සරසවි අධ්‍යයන හා අනධ්‍යයන සේවක වැටුප් - රුපියල් බිලියන 50.1 (5.2%)

වෛද්‍යවරුන්, හෙද වෘත්තිකයින් හා අනෙකුත් සෞඛ්‍ය සේවකයින් - රුපියල් බිලියන 166.5 (17.4%)


මෙම (2023) වසරේ පළමු මාස හතර හා අදාළව පහත තොරතුරු ප්‍රකාශයට පත්ව තිබෙනවා. 

ගුරු වැටුප්/ පාසැල් අධ්‍යාපනය හා අදාළ කාර්ය මණ්ඩල - රුපියල් බිලියන 83.9 (27.7%)

සරසවි අධ්‍යයන හා අනධ්‍යයන සේවක වැටුප් - රුපියල් බිලියන 16.8 (5.5%)


මේ අනුව, රාජ්‍ය සේවක වැටුප් වියදම් සංයුතිය පහත පෙන්වා ඇති පරිදි සේ සැලකිය හැකියි.

ආරක්ෂක හමුදා - රුපියල් බිලියන 23.3%

පොලීසිය/ මහජන ආරක්ෂාව - රුපියල් බිලියන 10.1%

ජාතික හා මහජන ආරක්ෂාව හා අදාළ එකතුව - 33.4%


ගුරු වැටුප්/ පාසැල් අධ්‍යාපනය හා අදාළ කාර්ය මණ්ඩල - 27.7%

සරසවි අධ්‍යයන හා අනධ්‍යයන සේවක වැටුප් - 5.5%

අධ්‍යාපනය හා අදාළ එකතුව - 33.2%


වෛද්‍යවරුන්, හෙද වෘත්තිකයින් හා අනෙකුත් සෞඛ්‍ය සේවකයින් - 17.4%


අධ්‍යාපනය, සෞඛ්‍යය හා ආරක්ෂාව හා අදාළ එකතුව - 84.0%

අනෙකුත් සියලුම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් - 16.0%

වැඩි තොරතුරු නැති නිසා, විශ්‍රාම වැටුප් වියදම් සංයුතියද මීට ආසන්නව සමාන සේ සැලකිය හැකියි. දළ වශයෙන් ගත්තොත් වැටුප් වියදමෙන් තුනෙන් එකක් ආරක්ෂාව, තවත් තුනෙන් එකක් අධ්‍යාපනය, හයෙන් එකක් සෞඛ්‍යය සහ හයෙන් එකක් අනෙකුත් සියළුම රාජ්‍ය සේවකයින් ලෙස සලකන්න පුළුවන්. සියලුම සංඛ්‍යාලේඛණ වල මූලාශ්‍රය මුදල් අමාත්‍යාංශය. කැමති කෙනෙක් කැමති විදිහකට විග්‍රහ කරගන්න. 

Monday, August 7, 2023

ජංගම ගිණුම් ශේෂය හා ජූලි අවසානයේදී නිල සංචිත

පෙර ලිපියේ සහ ඊට පෙර වසර කිහිපයක් පුරා පළ කර තිබෙන ලිපි ගණනාවක පැහැදිලි කර ඇති පරිදි රජයේ ආදායම් හා වියදම් ගලපා ගනිමින් ප්‍රාථමික අතිරික්තයක් පවත්වා ගත හැකිනම් ලංකාවේ රාජ්‍යමූල්‍ය ප්‍රශ්නයෙන් සෑහෙන කොටසක් එතැනින්ම ඉවර වෙනවා. ඒ එක්කම රටේ තවත් ප්‍රශ්න ගණනාවක් විසඳෙනවා. උදාහරණයක් විදිහට දිගුකාලීනව පොලී අනුපාතික ඉහළ මට්ටමක පැවතීමේ ප්‍රශ්නය. දෙවැන්න ගැන වෙනත් ලිපියක හෝ වීඩියෝවක විස්තරාත්මකව පැහැදිලි කරන්නම්.

මෙතෙක් රටේ ඇති වූ ආර්ථික අර්බුද සියල්ලටම මෙන් හේතු වූ ගෙවුම් ශේෂ ප්‍රශ්නයට එකම හේතුව රාජ්‍යමූල්‍ය ප්‍රශ්නය නොවුනත්, එම ප්‍රශ්නයද බොහෝ දුරට රාජ්‍යමූල්‍ය ප්‍රශ්නයේම ව්‍යුත්පන්නයක්. ඒ නිසා, ගෙවුම් ශේෂ ප්‍රශ්නය විසඳාගැනීම සඳහා රාජ්‍යමූල්‍ය ප්‍රශ්නය විසඳා ගැනීම කළ යුතුම දෙයක්. එහෙත්, එය ප්‍රමාණවත් නැහැ. රාජ්‍යමූල්‍ය ප්‍රශ්නය විසඳා ගැනීමෙන් අනතුරුව විණිමය අනුපාතය පාලනය කිරීමෙන්ද ඉවත් විය යුතුයි. ඔය කාරණා දෙක ඉෂ්ඨ වේනම් ගෙවුම් ශේෂ ප්‍රශ්නයෙන් සෑහෙන කොටසක් ඉවරයි.

ඉහත ප්‍රශ්න දෙක හා අදාළවම "සෑහෙන කොටසක්" කියා කිවුවේ අනපේක්ෂිත බාහිර කම්පන නිසා ඇතැම් විට මේ ප්‍රශ්න නැවත මතු වීමේ ඉඩකඩ සියයට සියයක්ම බැහැර නොවන නිසා. ඊට අමතරව, මේ දෙකම හරියට කළත්, වසර හැටකට වඩා වැඩි කාලයක් තිස්සේ එකතු වූ අසමතුලිතතාවන්ගේ බරින් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් පමණයි. ඒ කටයුත්ත සාර්ථකව කර ගත්තොත්, ඉහත සමතුලිතා දෙක පවත්වා ගෙන ඉදිරියට යාම අපහසු වැඩක් නෙමෙයි. ප්‍රශ්නයක් මතු වුනොත් මතු වෙන්නේ යුද්ධයක් හෝ වසංගතයක් වැනි සුවිශේෂී තත්ත්වයක් යටතේ පමණයි. 

"රටට ඩොලර් උපයන්න හරි වැඩපිළිවෙළක් නැතිව එහෙම කරන්නේ කොහොමද?"

රටේ දැනට තිබෙන මානව සම්පත් හා අනෙකුත් සම්පත් උපයෝගී කර ගනිමින් රටට විශාල විදේශ විණිමය ප්‍රමාණයක් ගෙන ආ හැකි ආකාරය දන්නා විශිෂ්ඨ බුද්ධිමතුන් විශාල ප්‍රමාණයක් ෆේස්බුක් එකේ ඉන්නවා. අවාසනාවට රජය හෝ මහ බැංකුව ඒ අයගේ උපදෙස් පිළිපදින්නේ නැහැ. ආර්ථික සිද්ධාන්ත වලම හිර වී ඉන්න අපි වගේ මැට්ටන්ට ආර්ථික සිද්ධාන්ත පැත්තකින් තියා රටට ඩොලර් ගේන විදිහ ගැන පෙට්ටියෙන් පිට විසඳුම් ඉදිරිපත් කරන විශිෂ්ඨ බුද්ධිමතුන් විසින් ඉදිරිපත් කරන විසඳුම් නොතේරෙනවා වගේම මහ බැංකුවේ හා රජයේ ප්‍රතිපත්ති තීරණය කරන ආර්ථික විද්‍යාඥයින්ටත් ඒ විසඳුම් තේරුම් ගත හැකි බුද්ධියක් නැති වීම රටේ අවාසනාවක්.

සිද්ධාන්ත අමතක කර වතුරෙන් තෙල් හදන විදිහ ගැන රජය විසින් සොයා බැලුවානම් ඉන්ධන ආනයනය සඳහා යන විශාල ඩොලර් ප්‍රමාණය ඉතිරි වෙනවා. ඒ වගේම, පොඩ්ඩක් වියදම් කර නිවසකට එක මුද්‍රණ යන්ත්‍රය හා කඩදාසි මිටිය බැගින් බෙදා දී තම තමන්ට අවශ්‍ය පමණ සල්ලි අච්චු ගහගන්න ඉඩ දුන්නානම් රටේ හැමෝගෙම ප්‍රාග්ධන ප්‍රශ්න විසඳෙනවා. ඊට පස්සේ රටේ හැමෝම ඔය ප්‍රාග්ධනය උපයෝගී කරගෙන ඩොලර් රටට ගේන්න පටන් ගන්න නිසා උද්ධමනය වැඩි වී රුපියල් වල වටිනාකමක් නැති වී ගියත් ප්‍රශ්නයක් නැහැ.

අවාසනාවට මේ දේවල් කරගන්න පුළුවන් වෙන්නේ සිද්ධාන්ත පැත්තකට දමා ඒ අයගේ අලුත් සිද්ධාන්ත වලින් විසඳුම් හොයන පිරිසක් බලයට පත් කරගත්තොත් පමණයි. ඒ වගේම, ඩොලර් හොයන්න මේ තරම් අවස්ථා තියෙද්දී රටේ ඉන්න ප්‍රාග්ධනය තිබෙන අය ඒ ගැන උනන්දු නොවීමත් ප්‍රශ්නයක්. අඩු ගානේ මේ විශිෂ්ඨ බුද්ධිමතුන්ට ඒ අයට හෝ තමන්ගේ විසඳුම් පැහැදිලි කර දිය හැකිනම් රටට ඩොලර් ගලාගෙන එයි. 

තව මෙහෙම යෝජනාවකුත් කරන්න පුළුවන්. ලංකාවේ රජය සහ මිනිස්සු මේ විසඳුම් ගණන් ගන්නේ නැති එකේ වෙන රටක උපදේශකයෙක් විදිහට හරි මේ යෝජනා ක්‍රියාත්මක කරලා ලැබෙන ආදායම රටට ගේන්න පුළුවන්නම් ඒ ඩොලර් ටික හරි රටේ සේවා ගිණුමට එකතු වෙයි නේද? තේරුම් ගන්න පුළුවන් පාලකයෝ ලෝකයේ කොහේ හරි ඇතිනේ!

ඉතිරි කොටස ඔය කලින් කියූ විශිෂ්ඨ බුද්ධිමතුන්ට නෙමෙයි. කුමක් හෝ හේතුවක් නිසා අප ලියන දේ කියවන අයගේ පහන් සංවේගය පිණිස. 

මේ වන විට රජය විසින් ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වාගෙන යමින් සිටින අතර මහ බැංකුව විසින් විණිමය ප්‍රතිපත්ති හරහා ජංගම ගිණුමේද අතිරික්තයක් පවත්වා ගෙන යනවා. එය ඉතා හොඳ තත්ත්වයක්. අපි පළමුව වසරේ පළමු මාස තුනෙන් පටන් ගනිමු.

ආනයන වියදම - ඩොලර් මිලියන 3,894යි 

අපනයන ආදායම - ඩොලර් මිලියන 2,998යි 

වෙළඳ ශේෂ හිඟය - ඩොලර් මිලියන 896යි 


සේවා ලැබීම් - ඩොලර් මිලියන 1,048යි 

සේවා ගෙවීම් - ඩොලර් මිලියන 367යි 

සේවා ගිණුමේ අතිරික්තය - ඩොලර් මිලියන 682යි 


වෙළඳ ගිණුමේ හා සේවා ගිණුමේ සමස්ත හිඟය - ඩොලර් මිලියන 214යි.


ප්‍රාථමික ආදායම් ගිණුමේ ශුද්ධ හිඟය - ඩොලර් මිලියන 486යි 

ද්වීතියික ආදායම් ගිණුමේ ශුද්ධ අතිරික්තය - ඩොලර් මිලියන 1,344යි 

මේ අනුව, පළමු මාස තුනේදී සමස්තයක් ලෙස ඩොලර් මිලියන 644ක ජංගම ගිණුම් අතිරික්තයක් වාර්තා වෙනවා. එයින් අදහස් වන්නේ සියලු ඩොලර් අවශ්‍යතා සපුරා ගැනීමෙන් පසුව රටට පැමිණි ඩොලර් වලින් මිලියන 644ක් ඉතිරි වී ඇති බවයි. 

ඉහත ගණනයේදී මූල්‍ය ගිණුම සලකා නැහැ. ඒ කියන්නේ මෙහි රටට ලැබුණු ඩොලර් වලට විදේශ ණය සේ ලැබුණු කිසිදු මුදලක් ඇතුළත් නැහැ. ඒ වගේම, සෘජු විදේශ ආයෝජන සේ ලැබුණු විදේශ විණිමයද ඇතුළත් නැහැ. එහෙත් පරණ ණය වල පොලී ලෙස හා ආයෝජන වල ප්‍රතිලාභ ලෙස රටින් ගෙන ගිය විදේශ විණිමය ඇතුළත්. ප්‍රාථමික ආදායම් ගිණුමේ තිබෙන්නේ එසේ රැගෙන ගිය ප්‍රමාණයයි.

මේ අනුව පැහැදිලි වන පරිදි, ජංගම ගිණුමේ අතිරික්තයක් පවතීනම් රටේ ශුද්ධ බැරකම් අඩු වීමක් සිදු වෙනවා. තේරෙන විදිහට කිවුවොත් විදේශ ණය අඩු වෙනවා. අලුතෙන් ණය ගැනීමක් සිදු වෙන්නේ පරණ ණය වාරික ගෙවීම සඳහා පමණයි.

පළමු මාස හය අවසානයේදී තත්ත්වය පිළිබඳ යම් තොරතුරු ඇතත් එම තොරතුරු සම්පූර්ණ නැහැ. එහෙත් යන දිශාව තේරුම් ගන්න අමාරු නැහැ. 

පළමු මාස හය ඇතුළත ආනයන වියදම් ලෙස ඩොලර් මිලියන 8,161ක් යද්දී අපනයන ආදායම් ලෙස ලැබී තිබෙන්නේ ඩොලර් මිලියන 5,871ක් පමණයි. ඒ අනුව, ඩොලර් මිලියන 2,289ක වෙළඳ ශේෂ හිඟයක් තිබෙනවා. ජංගම ගිණුමේ අතිරික්තයක් තිබියදී වෙළඳ ගිණුමේ මෙවැනි හිඟයක් තිබීම කිසිසේත්ම ප්‍රශ්නයක් නෙමෙයි. මෙම මාස හයක කාලය තුළ ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 2,823ක් ලැබී ඇති අතර සංචාරක ඉපැයීම් ලෙස තවත් ඩොලර් මිලියන 875ක් ලැබී තිබෙනවා. මාස හයක කාලය තුළ ගෙවුම් ශේෂයෙහි ඩොලර් මිලියන 1,958ක අතිරික්තයක් වාර්තා වී තිබෙනවා.

මේ තත්ත්වය ඉතා හොඳ තත්ත්වයක් බව පැහැදිලියි. එහෙත්, මේ තත්ත්වය තිරසාරද? 

මේ වන විටද ආනයන පාලන ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම, විදේශ ණය අපේක්ෂිත පරිදි ප්‍රතිව්‍යුහගත කළද ඉන් පසුව දැනට නොගෙවන ණය යම් ප්‍රමාණයක් ආපසු ගෙවන්නට සිදු වෙනවා. ඒ නිසා, දැනට පවතින සමතුලිතතාව මේ විදිහටම දිගටම පැවතීමේ ඉඩක් නැහැ. එම සමතුලිතතාව කොයි තරම් නරක පැත්තට යා හැකිද?

මේ වන විට, ජූලි මාසයේ නිල සංචිත ප්‍රමාණය ප්‍රකාශයට පත් වී තිබෙනවා. එම ප්‍රමාණය ඩොලර් මිලියන 3,762ක්. පෙර මාසයේ වූ ඩොලර් මිලියන 3,724ට සාපේක්ෂව ඩොලර් මිලියන 38ක සුළු (1%ක වැඩි වීමක්). මෙය ගිණිය හැකි වෙනසක් නෙමෙයි. ඒ අනුව, මාසය තුළ මහ බැංකුව විසින් විදේශ විණිමය වෙළඳපොළ තුල දැනෙන මැදිහත්වීමක් සිදු කර නැහැ. පෙර මාසය තුළ පැවතියේද එවැනිම තත්ත්වයක්. 

පසුගිය මාසය තුළ සිදු වූ විශේෂ දෙයක් වූයේ ඩොලර් මිලියන 791.4ක සංවර්ධන බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කරනු ලැබීමයි. විස්තර ප්‍රසිද්ධ කර නැතත්, මෙම ප්‍රමාණයෙන් සැලකිය යුතු කොටසක් වෙනුවට රුපියල් බැඳුම්කර ලබා ගෙන ඇතැයි සිතිය හැකියි. පවතින තත්ත්වයන් තුළ දේශීය ආයෝජකයින්ට වඩා වාසිදායක සේ පෙනෙන්නේ එම විකල්පයයි. මෙහිදී ඔවුන්ට අඩුව පුරවා ගැනීම සඳහා වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීමට සිදු වෙනවා. එහිදී ඩොලරයක මිල මත පීඩනය ඉහළ යනවා. ඊට අමතරව, ඩොලර් මිල දී ගැනීම සඳහා රුපියල් අවශ්‍ය වන නිසා රුපියල් හිඟ වී පොලී අනුපාතික මත පීඩනයද ඉහළ යනවා. කෙසේ වුවත්, දැන් මේ දෙකම සිදු වී අවසානයි.

ඩොලරයක මිල ඉහළ යද්දී මහ බැංකුව විසින් මැදිහත් වීමක් කර නැති බව දැන් පෙනෙනවා. යම් තරමකින් ඩොලරයක මිල ඉහළ යාමෙන් පසුව දැන් නැවතත් තරමක් අඩු වී තිබෙනවා. මේ සතියේදී පොලී අනුපාතික තුළින්ද මෙවැනිම නැඹුරුවක් පෙනෙන්නට ඉඩ තිබෙනවා. 

කෙසේ වුවත්, ඩොලරයක මිල හා අදාළව තවත් කම්පන කිහිපයක් සිදු විය යුතුයි. පළමුව, වාහන හැර අනෙකුත් ආනයන සඳහා පනවා ඇති සීමාවන් ඉවත් විය යුතුයි. මෙම කම්පනය විශාල කම්පනයක් වේයැයි මා සිතන්නේ නැහැ. දෙවනුව, ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව යම් කම්පනයක් ඇති වෙනවා. අවසාන වශයෙන් වාහන ආනයන වලට ඉඩ ලැබෙද්දී තවත් කම්පනයක් ඇති වෙනවා. මේ එක් එක් අවස්ථාවේදී ඩොලරයක මිල යම් තරමකින් ඉහළ යා යුතුයි. එය ක්ෂණිකව වඩා වැඩියෙන් ඉහළ ගොස් පසුව තරමක් අඩු වීමක් විය හැකියි. "කීයට විතර යයිද?" වගේ ප්‍රශ්න වලටනම් පිළිතුරු දෙන්න බැහැ. පාවෙන විණිමය ක්‍රමයක මූලධර්මය වන්නේම එසේ විනිමය අනුපාතිකය නිවැරදිව පුරෝකථනය කළ නොහැකි බවයි. 

මේ සියල්ල සිදු වීමෙන් පසුව, රජය විසින් අලුතෙන් විදේශ ණය ලබා ගනිමින් බැංකු පද්ධතිය වෙත පොම්ප නොකරන්නේනම්, බැංකු පද්ධතිය තුළ ඩොලර් ඉල්ලුම හා සැපයුම පහසුවෙන්ම තුලනය වෙනවා. ඒ නිසා, රටේ ඩොලර් හිඟයක් ඇති වෙන්නේ නැහැ. එහෙත්, පරණ ණය ආපසු ගෙවීම සඳහා රජයට දිගටම විදේශ ණය ගන්න සිදු වෙනවා. එම ඩොලර් ප්‍රමාණය වෙළඳපොළෙන් මිල දී ගැනීමේ හැකියාවක් නැහැ. 

බැංකු පද්ධතිය තුළ ඩොලර් ඉල්ලුම හා සැපයුම තුලනය වේනම් සීමා කිසිවක් නැතත් අපනයන ඕනෑවට වඩා වැඩි වීමේ ප්‍රශ්නයක් මතු වන්නේ නැහැ. ඩොලර් සැපයුමට වඩා ඉල්ලුම ඉහළ ගියහොත් ඩොලරයක මිල ඉහළ යයි. ඒ තත්ත්වය දිගටම පැවතුනොත් ඩොලරයක මිල දිගටම, ක්‍රමිකව ඉහළ යයි. එවිට රටේ සිටින ව්‍යවසායකයින් ඩොලර් ඉපැයිය හැකි ආකාර ගැන ස්වභාවික ලෙසම උනන්දු වෙයි. කෙටිකාලීනව කෙසේ වෙතත් දිගුකාලීනව මේ සඳහා අවශ්‍ය වන්නේ ජංගම ගිණුමේ තුලනය පවත්වා ගැනීම පමණයි. 

වෙබ් ලිපිනය: