වෙබ් ලිපිනය:

Tuesday, January 9, 2024

දූරියන් ගෙඩියක අපූරු චාරිකාව


අපේ ගෙවල් පැත්තේ තරමක් මෑතකදී ලෝකයේ වෙනත් විවිධ රටවලින් ආනයනය කරන ආහාර ද්‍රව්‍ය විකුණන සුපිරි වෙළඳසැලක් විවෘත කළා. මීට කලිනුත් මේ වගේ ජාත්‍යන්තර ආහාර වර්ග විකුණන වෙළඳසැල් තිබුණත් මෙය ඒවාට වඩා ගොඩක්ම ලොකු එකක්. ලෝකයේ විවිධ රටවල් හෝ කලාප වෙනුවෙන් වෙන් වුනු කොටස් එහි තිබෙනවා. පැත්තක රටවල් කිහිපයකම පිසූ ආහාර විකුණන භෝජන ශාලා කිහිපයකුත් තිබෙනවා. හැබැයි ලංකාවේ අපනයනයක් කියා දැක්කේනම් එක්තරා සන්නාමයක තේ පමණයි. 

දවස් කිහිපයකට කලින් එහි ගිය වෙලාවේ දූරියන් ගෙඩියක් මිල දී ගත්තා. මේ සමඟ එහි ඡායාරූපයක් පළ කර තිබෙනවා. පොඩි ගෙඩියක්. බර රාත්තල් 3.13ක් පමණයි. රාත්තලක් ඩොලර් 5.99 බැගින් දූරීයන් ගෙඩියට ඩොලර් 18.75ක් ගියා. ඩොලර් එක රුපියල් 320 ගණනේ ගණන් හැදුවොත් රුපියල් හය දාහක්. මේ තරමේ දූරීයන් ගෙඩියක් ලංකාවේනම් රුපියල් දාහකට වඩා අඩු විය යුතුයි. ලංකාවේදී ඔය ගාණට ගෙඩි හත අටක්ම ගන්න පුළුවන් වෙයි. 

ලංකාවේ මිල වගේ හත් අට ගුණයක් වුනත්, දූරීයන් ගෙඩියක් ආසියාතික රටක ඉඳලා ඇමරිකාව දක්වා එද්දී සිදු වන අගය එකතු කිරීම සැලකූ විට මෙය සාධාරණ මිලක්. ඔය බිලේම දැකිය හැකි රාත්තල් 1.28ක දෙල් ගෙඩිය ඩොලර් 2.55ක්. ඒ කියන්නේ රුපියල් 816ක්. ඒකනම් එන්න ඇත්තේ දකුණු ඇමරිකාවේ ඉඳලා. 

අපි ගොඩක් වෙලාවට ලංකාවට එන්නේ ඇමරිකාවේ ග්‍රීෂ්ම නිවාඩු කාලය අල්ලලා. ඒ කාලය ලංකාවේ රඹුටන්, දූරීයන්, මැන්ගුස් ආදිය හැදෙන කාලය. ඒ නිසා, ලංකාවේදී මේ පළතුරු ඇති වෙන්න කාලා යන්න පුළුවන්. මේවා ඇමරිකාවෙනුත් මිල දී ගන්න පුළුවන් වුනත් සාපේක්ෂව මිල වැඩි නිසා ලංකාවේදී වගේ හිතේ හැටියට කන්න බැහැ. මිල පැත්තකින් තිබ්බත්, ශීත කර කල් තබාගත් පළතුරු අලුත් පළතුරු තරමටම දැනෙන්නේ නැහැ. අඹ, ගස්ලබු, අන්නාසි වගේ පළතුරුනම් ඇමරිකාවේ වුනත් සුලබයි වගේම කලින් කී වර්ග වලට සාපේක්ෂව මිල අඩුයි. 

රඹුටන්, දූරීයන්, මැන්ගුස් තුනේම සම්භවය මැලේසියා-ඉන්දුනීසියා කලාපය. මේ නම් වල සම්භවයත් මැලේ/ඉන්දුනීසියන්. "දුරී" කියන්නේ මැලේ/ඉන්දුනීසියන් භාෂා වලින් කටු. "රඹුට්" කියන්නේ කෙස් නැත්නම් මයිල්. මේ වචන වලට "අන්" ප්‍රත්‍යය එකතු වෙලා දුරියන් හා රඹුටන් වෙනවා. මේ පළතුරු ලංකාවට එන්නේ පෘතුගීසින් හරහා. පෘතුගීසින් නිසා ඔවුන්ගේ මල්වානේ බලකොටුව ආශ්‍රිතව රඹුටන් ව්‍යාප්ත වුනා. ඒ නිසා මල්වාන රඹුටන් වලට ප්‍රසිද්ධ වුනා. ඔය විදිහටම කළුතර පෘතුගීසි බලකොටුව නිසා ඒ පැත්තේ මැන්ගුස් පැතිරුණා. කළුතර මැන්ගුස් වලට ප්‍රසිද්ධ වුනා. දූරීයන් වලටනම් ඔය විදිහට ලංකාවේ නිශ්චිත ප්‍රදේශයක් ප්‍රසිද්ධ වෙලා නැහැ. 

පෘතුගීසින් විසින් මේ විදිහට ලංකාවට විවිධ බෝග වර්ග අරගෙන ඇවිත් තියෙන්නේ මැලේසියා-ඉන්දුනීසියා කලාපයෙන් පමණක් නෙමෙයි. දැන් ලංකාව පුරා ව්‍යාප්ත පළතුරක් වන අන්නාසි වගේම, රටේ සංස්කෘතියේ කොටසක් වී තිබෙන කජුත් ඔවුන් දකුණු ඇමරිකාවෙන් අරගෙන ආපු බෝග වර්ග. මේ නම් වල සම්භවය දැන් අභාවයට ගොස් තිබෙන වත්මන් බ්‍රසීලයේ ජීවත් වූ ස්වදේශිකයන්ගේ භාෂාවක් වූ තුපි භාෂාව. කජු කියන්නේ පෘතුගීසි භාෂාව හරහා සිංහලට එකතු වෙන තුපි වචනයක්. අන්නාසි වෙන්නේ අනනාස්. එහෙම නැත්නම් එකම තේරුම තිබෙන අනනාස් හා අබකාසි වචන දෙකේ කළවමක්. 

ලංකාවේ ගොඩක් අය ඇමරිකාවට එන කොට කජු අරගෙන එනවා. නමුත් ඇත්තටම කජු ලංකාවට ඇවිත් තියෙන්නේ දකුණු ඇමරිකාවෙන්. ඇමරිකාවේ කජු සුලබයි වගේම සාපේක්ෂව ලාබයි. 

කොහොම වුනත්, රඹුටන්, දූරීයන්, මැන්ගුස් වගේ පළතුරුනම් ඇමරිකාවට ආගන්තුකයි. බොහෝ විට මේ පළතුරු විකිණෙන්නේ ජාත්‍යන්තර ආහාර විකුණන කඩයක. එහෙම නැත්නම්, වියට්නාම්, තායි හෝ පොදුවේ ආසියානු ආහාර ද්‍රව්‍ය විකුණන කඩයක. ආසියාවේ රටක ඉඳලා දුරියන් ගෙඩියක් ඇමරිකාවේ ඒ වගේ කඩයක් දක්වා එන ගමනේදී දිගින් දිගටම පියවරෙන් පියවර අගය එකතු වීමක් සිදු වුනත්, ඒ විදිහට විදිහට අගය එකතු වෙද්දී භෞතික ලෙස දුරියන් ගෙඩියේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. එකම දුරියන් ගෙඩිය තමයි දිගටම එන්නේ.

භාණ්ඩයකට අගය එකතු වෙනවා කියන එකෙන් ඒ භාණ්ඩය භෞතිකව වෙනස් වෙනවා කියන එක අනිවාර්යයෙන් අදහස් වෙන්නේ නැහැ. ඇමරිකාවේ සුපිරි වෙළඳසැලක විකිණෙන ලංකාවේ මහපු ඇඟලුමක් ලංකාවේ ඇඟලුම් කම්හලෙන් එළියට යන කොටසම එහි සිදු වෙන භෞතික වෙනස්කම් වෙලා ඉවරයි. එතැනින් එහාට අගය එකතු වෙන්නේ වෙන ක්‍රමයකට. ඒක තේරුම් ගන්න පුලුවන් කෙනෙකුට වෙළඳපොළ යාන්ත්‍රනයත් සෑහෙන දුරකට තේරුම් ගන්න පුළුවන්.

ගෙවල් ළඟ සුපිරි වෙළඳසැලෙන් මම මිල දී ගත්ත දුරියන් ගෙඩිය තායිලන්තයේ හැදුනු දුරියන් ගෙඩියක්. ලංකාවේ හැදුනු දුරියන් ගෙඩියක් වුනත් ඔය ක්‍රමයට ඇමරිකාවට එන්න පුළුවන් නිසා අපි තායිලන්තය වෙනුවට ලංකාව ආදේශ කරමු. ලංකාවේ ගහක හැදෙන දුරියන් ගෙඩියක් ඇමරිකාවට එද්දී එයට අගය එකතු වෙන්නේ කොහොමද? 

භාණ්ඩයක වටිනාකම තීරණය වෙන්නේ එහි භෞතික ස්වභාවය මත පමණක් නෙමෙයි. එය තිබෙන තැන හා වෙලාව වටිනාකම කෙරෙහි විශාල බලපෑමක් කරනවා. මැදපෙරදිග රටක පොළොව යට තිබෙන බොරතෙල් සහ සපුගස්කන්දට එන බොරතෙල් වගේ. ලංකාවේ ගහක තියෙන දුරියන් ගෙඩියක් ඇමරිකාවේ සුපිරි වෙළඳසැලකට ඒ විදිහටම ආවත් ඒ දුරියන් ගෙඩිය තව දුරටත් ගහේ තිබුණු දුරියන් ගෙඩියම නෙමෙයි.

මේ දුරියන් ගෙඩියේ භෞතික ලෙස දැකිය හැකි අගය එකතු කිරීමක් ඇත්නම් ඒ එය දමා තිබෙන ඇසුරුම නිසා වූ අගය එකතු වීම පමණයි. මෙය ප්ලාස්ටික් කොක්කක් සහිත දැල් උරයක්. මේ අසුරණය නිසා දුරියන් ගෙඩිය පහසුවෙන් අරගෙන යන්න පුළුවන්. අර ඉස්සර හිටපු රාජ්‍ය නායකයෙක් කළා කියනවා වගේ යම රජ්ජුරුවන්ට දෙන්න අපායට වුනත් අරන් යන්න අමාරුවක් නැහැ මේ උරය හා කොක්ක නිසා. ඒ පහසුව ඇරුණු විට දුරියන් ගෙඩිය දුරියන් ගෙඩියක්ම තමයි.

දුරියන් ගෙඩියක් ඇමරිකාවට එද්දී එයට අගය එකතු වෙන්නේ ඔය ගෙඩිය ගහේ ඉඳලා ප්‍රධාන පාරක් අයිනට එද්දී අගය එකතු වෙන විදිහටම තමයි. වෙනස අතරමැදියන් වැඩි ගණනක් සිටීම පමණයි. හැබැයි මේ හැම අතරමැදියෙක් විසින්ම කරන අගය එකතු කිරීමක් තිබෙනවා. ඔවුන්ගේ ආදායම වෙන්නේ පාරිභෝගිකයාට සාපේක්ෂව එම අගය එකතු කිරීමේ වටිනාකම. 

තායිලන්තය වගේ රටවල් වලින් අපනයනය කරන්නේ වගාවක් විදිහට පිළිවෙලකට වවන දුරියන්. දැන් ලංකාවේ වුනත් මේ විදිහට පිළිවෙළකට දුරියන් වගා කරනවා. නමුත්, දශක හතර පහකට පෙර කාලයේ දුරියන් තියා රඹුටන්වත් ඔය වගේ පිළිවෙලකට වැවුවේ නැහැ. කෙටි කලකින් පළ දරන බද්ධ පැල වර්ග ප්‍රචලිත වෙන්න කලින් දුරියන් වගේම රඹුටන් ගසුත් විශාල ගස්. දෙවර්ගයම දැව ලෙසත් භාවිතයට ගත්තා. විශේෂයෙන්ම දුරියන් ගස් ගොඩක් ලොකු ගස්. 

ප්‍රධාන පාරක් කිට්ටුවක නැති අපේ ඥාති නිවසක ඔය වගේ විශාල දුරියන් ගහක් තිබුණා. ඔය ගහෙන් ඒ දවස්වලත් දුරියන් වාරයට විශාල ආදායමක් ලැබුණා. ගහ කොයි තරම් වයස ගහක්ද කියලා හරියටම දන්නේ නැහැ. ඇට වැටිලා වටේට පැල වෙලා තිබුණු පරිවාර ගස් වුනත් ඒ වෙද්දී සෑහෙන්න ලොකුයි.

ඒ වන විට ජීවත්ව සිටි මගේ ඉහළ පරම්පරාවටත් ඉහළ පරම්පරාවේ ඥාතියෙක් රස කරමින් කියපු විදිහට ඔහුට මතක ඇති කාලයේ සිට මේ ගස එතැන තිබී තිබෙනවා. ඒ කියන්නේ අඩු වශයෙන් පහුගිය සියවසට කලින් සියවසේ ඉඳලා. ඒ වෙද්දී ගහට අවුරුදු සීයක්වත් වයස ඇති. හැබැයි මේ ගහේ හැදෙන ගෙඩි රසවත් ආහාරයක් බව හෝ එහි ලොකු ආර්ථික වටිනාකමක් තිබෙන බව ඔවුන් දැනගෙන ඉඳලා නැහැ. ගහ ඔවුන්ට විශාල කරදරයක්ව තිබිලා පමණයි.

කියපු විදිහට ඒ කාලයේ දුරියන් වාරයට ඔය ගහ තිබෙන පැත්ත කවුරුවත් නොයන මුදා නොගත් කලාපයක්ලු. හේතුව පැහැදිලියිනේ. අඩි සීයක පමණ උඩක ඉඳලා ඔලුව උඩට දුරියන් ගෙඩියක් වැටුනොත් එතැනින් එහාට වෙන දේ හිතාගන්න පුළුවන්නේ. කිතුල පැත්තේ ගිහින් එන වෙලාවක වැඩේ බරපතලකම අමතක වෙලා ඔය ගහ පැත්තේ කරක් ගහපු සමහර අයට මාස ගණන් ඇඳක වැටිලා ඉන්න වෙලත් තියෙනවා. 

ඔය තරම් කරදරයක්නම් ගහ කපලා නොදැම්මේ ඇයි කියන එක ඒ දවස් වල ඔය කතාව අහද්දීත් මතක් වුන ඒත් අහපු නැති ප්‍රශ්නයක්. ලොකුවට ඉඩම් ප්‍රශ්නයක් නොතිබුණු ඒ කාලයේ ඔය පැත්ත අත ඇරියා කියලා ඒකෙන් එහෙමට පාඩුවක් නොවෙන්න ඇති. කොහොම හරි වාරේ ඉවර වෙද්දී ගහ යට දුරියන් ගෙඩි පිරිලා. මේ දුරියන් ගෙඩි ඉවත් නොකළොත් ඒවායේ කටු නිසා ඉතිරි කාලයේත් ඔය පැත්තේ නොයා අත අරින්න වෙනවා. ඊටත් වඩා ලොකු ප්‍රශ්නේ මේවායින් තව දුරියන් පැල හැදෙන එක. එක යක්ෂයෙක්ගේ කරදරේ මෙහෙමනම් යක්ෂ පැටවු සිය ගාණක් ලොකු වුනොත් කොහොමට තියෙයිද?

මේ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට කළා කියලා කියන්නේ හැම අවුරුද්දෙම වාරේ ඉවර වෙද්දී ලොකු වලක් කපලා ගහෙන් වැටී තිබෙන දුරියන් ටික වළලලා දමන එක. එක්තරා අහඹු සිද්ධියක් වෙනකම් අවුරුදු ගාණක් ඔය වැඩේ ඔය විදිහට වෙලා තියෙනවා.

ඔය කාලයේ ලංකාවේ ගොඩක් ගම් වගේම ඔය ගමත් බොහෝ දුරට ස්වයංපෝෂිත ගමක්. පිටින් කියලා ගන්නේ අවුරුද්දකට පමණ සැරයක් ගන්න රෙදි මොනවා හරි, දිය ලුණු වගේ බොහොම සීමිත දේවල් ටිකක්. ඒ දේවල් වුනත් පුවක්, ගම්මිරිස් වගේ දෙයක් එක්ක හුවමාරුවට ගන්න පුළුවන්. සල්ලි අවශ්‍ය නැහැ. වරින් වර ගමට ආපු මුස්ලිම් වෙළෙන්දෝ මේ හුවමාරුව කරලා තිබෙනවා.

ඔය විදිහට ගමට එන එක් මුස්ලිම් වෙළෙන්දෙක් දවසක් ගමට එද්දී මගේ වැඩිහිටි ඥාතියා ඔහුටත් වඩා වැඩිහිටි තවත් කීප දෙනෙක් එක්ක එකතු වෙලා අර කියපු වල කපනවා. මේක දකින මුස්ලිම් වෙළෙන්දා ඒ ගැන විමසද්දී කතාව දැන ගන්නවා. මුස්ලිම් වෙළෙන්දාට එක පාරටම කියවුනේ මොකක්ද කියලානම් මගේ ඥාතියා කිවුවේ නැහැ. 

මුස්ලිම් වෙළෙන්දා දුරියන් ගහ පැත්තට යන කොටත් කලින් බිම වැටුණු සමහර දුරියන් කන්න පුළුවන් තත්ත්වයක තියෙනවා. ඔහු පිස්සුවෙන් වගේ දුරියන් ගෙඩි කීපයක්ම කනවා. මුස්ලිම් වෙළෙන්දෙක් කියා කිවුවත් සමහර විට මැලේ සම්භවයක් තිබුණු කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔහු ආපහු යන්නේ හොඳ තත්ත්වයේ තිබුණු දුරියන් ගෝනි කීපයක්ම කරත්තයේ පටවාගෙන.

ඊට පස්සේ හැම අවුරුද්දේම දුරියන් වාරයට ඔය මුස්ලිම් වෙළෙන්දා එනවා. ඒ එන්නේ තව අත් උදවු කාරයෝ කීප දෙනෙක් එක්ක. එහෙම ඇවිත් ගහ යට වැටී තිබෙන දුරියන් සියල්ල එකතු කර ගෙන යනවා. ඒ නිසා කලින් වගේ වල කපන්න මහන්සි වෙන්න අවශ්‍ය නැහැ. මෙච්චර දුරියන් තොගයක් මොන කෙහෙම්මලකට අරන් යනවද කියලා හෝ ඔය ගඳ ගහන ජරාව නහයක් තියාගෙන කොහොම කනවද කියලා කවුරුවත් දන්නේ නැහැ.

පහු වෙද්දී මගේ ඥාතියා ඇතුළු ගමේ අනෙකුත් අයත් දුරියන් කන්න පුරුදු වෙනවා. එහි අමුතු රසට ඇබ්බැහි වෙනවා. ඒ වගේම, දුරියන් වල වටිනාකම අවබෝධ කර ගන්නවා. ඒක වුන විදිහනම් මට කියලා නැහැ. කොහොම හරි වෙන්න ඇති.

ආර්ථික විද්‍යා සංකල්ප අනුව කුමක් හෝ භාණ්ඩයක් අයිති කර ගන්නා කෙනෙක් එසේ කරන්නේ එයින් ලැබෙන උපයෝගීතාවය නිසා. මිලක් ගෙවන්නේ මේ උපයෝගීතාවය වෙනුවෙන්. නමුත් තමන් අකැමති දෙයක් ළඟ තබා ගැනීමෙන් ලැබෙන්නේ සෘණ උපයෝගීතාවයක්. කුණු වගේ දේවල් බැහැර කරන්න සල්ලි ගෙවන්නේ ඒ නිසා. 

කන්න පුරුදු වෙන්න කලින් මගේ ඥාතියා ඇතුළු ගමේ පිරිසට දුරියන් වලින් ලැබී තිබෙන්නේ සෘණ උපයෝගීතාවයක්. ඒ අය එකතු වෙලා මහන්සි වෙලා වලක් කපලා දුරියන් වල දමලා තියෙන්නේ ඒ නිසා. හරියට මැරිලා කුණු වෙන සතෙක්ව වල දමනවා වගේ. නමුත්, අර මුස්ලිම් වෙළෙන්දාට ඒකේ අනෙක් පැත්ත. ඔහු මේ දුරියන් අරගෙන ගිහින් ඒවා කීයකට හෝ විකුණන්න ඇති. හැබැයි ඔය දුරියන් ටික නිකම් දුන්නා කියලා මගේ ඥාතියාගේ පාර්ශ්වයට පාඩුවකුත් නැහැ. මොකද ඒ ටික මුස්ලිම් වෙළෙන්දා එකතු කරගෙන යන නිසා ඔවුන්ට දුරියන් වල දමන්න වෙන මහන්සිය ඉතුරු වෙනවා. මුදල් සම්බන්ධ වුනත් නැතත් නිදහස් ගනුදෙනු වලින් හැම විටම එයට සම්බන්ධ වන දෙපාර්ශ්වයටම වාසි වෙන්නේ ඔය විදිහටයි.

අදට වුනත් දුරියන් කියන්නේ හැමෝගෙම ප්‍රියතම කෑමක් නෙමෙයි. සමහර අයට දුරියන් ගඳ උහුලන්න බැහැ. ඒ කියන්නේ ඒ වගේ අයට දුරියන් වලින් ලැබෙන්නේ සෘණ උපයෝගීතාවයක්. හැබැයි දියුණු වෙළඳපොළක් තිබෙන සමාජයක ඒ වගේ කෙනෙකුට වුනත් දුරියන් වවලා ඒවා විකිණීම මගින් හොඳ ආදායමක් ලබන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ උපයෝගීතාවය වැඩි කරගන්න පුළුවන්. දුරියන් අතරමැදියෙකු විදිහට වුනත් සල්ලි හොයන්න පුළුවන්. තමන් දුරියන් කන්න කැමතිද නැද්ද කියන එක අදාළ නැහැ.

දියුණු වෙළඳපොළක් තියෙද්දී කෙනෙක් කළ යුතු තමන්ට වඩාත්ම වාසිදායක දෙය තමන්ට අවශ්‍ය දේ තමන් විසින්ම නිපදවා ගන්න එක නෙමෙයි. තමන්ට වැඩියෙන්ම අගය එකතු කිරීමක් කළ හැකි දේ කරන එක. වැඩියෙන් සල්ලි හොයන්න පුළුවන් කියා කියන්නේ තමන් අතින් වැඩි අගය එකතු කිරීමක් වෙනවා කියන එක. 

ගොඩක් වෙලාවට පාරවල් අයිනේ රඹුටන්, දුරියන් විකුණන්නේ ඒ ගස් අයිති අයම නෙමෙයි. මේ අය අතරමැදියෝ. එවැනි අය ගොඩක් වෙලාවට කරන්නේ ගහටම ගානක් කියලා මිල දී ගන්න එක. මෙහෙම කරද්දී යම් අවදානමක්ද ගන්න වෙනවා. 

ඔය විදිහට වාරයකට ගස් පිටින් බදු ගන්න අය තමයි ඒ ගස් වල රඹුටන්, දුරියන් පරිස්සම් කරගෙන පාරක් අයිනට ගෙනත් ගෙඩි ගාණට විකුණන්නේ. භෞතික පෙනුම හා අනෙකුත් ලක්ෂණ අනුවනම් පාර අයිනේ තියාගෙන විකුණන දුරියන් ගෙඩියක් සහ ගහ ළඟ තියාගෙන විකුනන දුරියන් ගෙඩියක් අතර වෙනසක් නැහැ. වෙනස තියෙන්නෙම දුරියන් ගෙඩිය පාර අයිනට ගෙනත් විකුණන එකේ. අතරමැදියා අගය එකතු කරන්නේ ඒ විදිහට.

පාර අයිනේ තැනකින් දුරියන් ගෙඩියක් මිල දී ගන්නා පාරිභෝගිකයාට ඒ වගේ දුරියන් ගෙඩියක් ගන්න ගහ ළඟට යන්න තරම් කාල වෙලාවක් නැහැ. ඒ නිසා, ඒ වගේ පාරිභෝගිකයෙක් දුරියන් ගෙඩියක් මිල දී ගනිද්දී දුරියන් ගෙඩියේ වටිනාකමට අමතරව තමන්ගේ ඉතිරි වන කාලය වෙනුවෙන්ද යම් මුදලක් ගෙවනවා. ඒක ඉතාම කැමැත්තෙන් කරන දෙයක්. මොකද ඒ වැඩි මිල ගෙවුවත් ගහ ලඟට ගිහින් දුරියන් ගන්න මහන්සි වෙනවාට වඩා ලාබයි.

අනෙක් පැත්තෙන් ඔය අතරමැදියාට මේ අගය එකතු කිරීම කරන්න යම් පිරිවැයක් දරන්න වෙනවා. ගහේ තිබෙන දුරියන් ආරක්ෂා කිරීමේ ඉඳලා ඒවා කැඩීම, ප්‍රවාහනය කිරීම, සුරක්ෂිත ලෙස ගබඩා කර තැබීම ආදී හැම දෙයකටම යම් පිරිවැයක් දරන්න වෙනවා. ඊට අමතරව මේ වැඩේට යම් මුදලක් හිර කරන එකේ ආවස්ථික පිරිවැයක් තිබෙනවා. තව ඕකට තමන්ගේ ශ්‍රම කාලය යෙදවිය යුතුයි. මේ සියල්ලටම අමතරව යම් අවදානමකුත් ගන්න වෙනවා. හැබැයි අතරමැදියා ඔය වැඩේ කරන්නේ ඔය සියල්ල කිරීමෙන් පසුවත් යම් ලාබයක් තියෙන නිසා. ඒ ලාබය තියෙන්නේ පාරිභෝගිකයාගේ පැත්තෙන් බැලූ විට මේ සියලු පිරිවැය හා අතරමැදියාගේ ලාබය ඉක්මවන අගය එකතු වීමක් සිදු වෙලා නිසා.

ආසියාතික රටක හැදෙන දුරියන් ගෙඩියක් ඇමරිකාවට එද්දී වෙන්නෙත් ඔය සංසිද්ධියේම දිගුවක්. වැඩි දුරක් ප්‍රවාහනය කළ යුතු වීම, අධි ශීතකරණ වල ගබඩා කර තබා ගත යුතු වීම ආදී හේතු නිසා මෙහිදී පිරිවැය වඩා ඉහළ යන නමුත් අවසාන වශයෙන් අතරමැදියා හෝ අතරමැදියන් විසින් කරන්නේ දුරියන් නිෂ්පාදකයා සහ පාරිභෝගිකයාව සම්බන්ධ කරන එක. වැඩි පිරිවැයක් දරාගෙන දුරියන් ගෙඩියක් ඇමරිකාවට ගෙනත් විකුණා ලාබයකුත් ගන්න පුළුවන් වී තිබෙන්නේ මේ ක්‍රියාවලියේදී ඒ සමස්ත පිරිවැයට වඩා වැඩි අගය එකතු වීමක් සිදු වෙන නිසා. ඕක අනෙක් අයට වඩා කලින් හඳුනාගන්න එක තමයි ව්‍යවසායකත්වය.

අප මිල දී ගත් දුරියන් ගෙඩිය වෙනුවෙන් ගෙවූ මිල ඒ ප්‍රමාණයේ ගෙඩියකට ලංකාවේදී ගෙවන්නට සිදු වන මිල මෙන් හත් අට ගුණයක් වැඩියි. ඒත් එහෙමයි කියලා දුරියන් ගෙඩියක් කන්න ලංකාවට යන්න බැහැ. ඇමරිකාවේ ඉඳලා ලංකාවට ගිහින් දුරියන් කන එකේ ආවස්ථික පිරිවැය එක්ක සංසන්දනය කළාම මේ ගාණට ඇමරිකාවෙන් දුරියන් ගෙඩියක් ගන්න තියෙන එක හොඳටම ලාබයි. ඒ නිසා, මේ වැඩෙන් මට වගේම දුරියන් නිෂ්පාදකයාගේ සිට අවසන් පාරිභෝගිකයා වන මා දක්වා ඉන්න සියලුම අතරමැදියන්ටත් සිදු වෙන්නේ වාසියක්. ගනුදෙනු හරහා ලෝකය එකට සම්බන්ධ වන තරමට බොහෝ දෙනෙකුට මේ වගේ වාසි අත් විඳින්න වැඩි ඉඩකඩක් ලැබෙනවා.

10 comments:

  1. ඉකොනොමැට්ටා

    මේක ඔබට හොඳටම විස්වාස ද?

    //කජු කියන්නේ පෘතුගීසි භාෂාව හරහා සිංහලට එකතු වෙන තුපි වචනයක්.//

    සාමාන්‍යයෙන් පොර්හ්තුගීස් සහ එස්පඤ්ඤෝලා භාෂාවලින් කේසූ/ කේශූ Queso (කේජු - Queijo) කියලා කියන්නේ එළකිරි වලින් නිෂ්පාදනය කරන කේජු එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් Cheese 🧀 ලෙස හඳුන්වන ආහාර වර්ගයටයි, දකුණු ඇමරිකා මහද්වීපය ඩිස්කවර් කර එක්ස්ප්ලෝර් කරනු ලැබු එස්පඤ්ඤෝලේස් සහ පොර්හ්තුගීසීසා ජනයා මේ ගහක හැදෙන පළතුරේ යටින් ඇති ඇටය පලා ගත් මදය මෙම කේජු රහට සමාන රජයක් ඇති නිසාම ගහක හැදෙන කේජු ලෙසට පොර්හ්තුගීස් Caju යන නම ලබාදුන් බවයි මම අසා දැන සිටින්නේ, ලංකාවටත් ඒ නම ආ නිසා සිංහල කජ්ජු කියන වචනය හැදෙන්න ඉඩ තියෙන බවයි මට හිතෙන්නේ, ඔබ මේ පිළිබඳව වැඩිදුර අධ්‍යනය කර ඇති තුපි බසේ මුල් ව්‍යවහාරය ගැන මූලාශ්‍ර සහිතව විස්තර කරන්න පුළුවන් නම් ගොඩක්ම වටිනවා. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. "Dicionário de tupi antigo: a língua indígena clássica do Brasil (Dictionary of Old Tupi: the Classic Indigenous Language of Brazil)" by Eduardo de Almeida Navarro, Tupi language professor at the University of São Paulo, page 21. මෙය තුපි-පෘතුගීසි ශබ්දකෝෂයක්. මම හිතන්නේ දැනට තුපි භාෂාව පිළිබඳව ලෝකයේම ඉන්න විශේෂඥයා මහාචාර්ය නවාරෝ. මෙහි ඔහු මෙම තුපි වචනය සහිත පැරණි තුපි මූලාශ්‍රද ඉදිරිපත් කරනවා. කජු හැදෙන්නේ අවුරුද්දකට වරක් බැවින් කජු යන වචනය (කජු වාර යන අර්ථයෙන්) අවුරුද්ද හෝ වයස ගැන කියන විටද ඔවුන් භාවිතා කර තිබෙනවා.

      Delete
    2. ඇඹරැල්ලා කියන්නෙත් කියුබානු දූපත්වලින් හොයාගෙන යුරෝපීයයන් අනෙක් රටවල පැතිරවපු දෙයක්.
      සිංහල අකුරුවලින් තමයි ඒ මුල් නම හරියට ලියන්න පුළුවන්. හලේලුයියා

      Delete
  2. ඉකොනාගෙ නෑදෑයො සෙට් එකත් ඉකනො වගේමයි......

    ReplyDelete
  3. පෝස්ටුව ලොකුයි ගණනක් දිගට රියන්
    සාරයි දැනුමෙනුත් අගයක් එකතු කරන්
    අල-මුල ගිය තැනුත් විමසා සොයා බලන්
    ලියල තිබේ රසබර දූරියන් ලෙසින්!

    ReplyDelete
  4. ඕනෑම කෙනෙකුට තේරෙන විදිහට ලියාපු ආර්ථික විද්‍යා පාඩමක්. ස්තුතියි!

    ReplyDelete
  5. පේර වල සන්තෑසියත් ඕකමයි. මගේ නෑදෑයන්ගේ ගෙවල, යාලුවන්ගේ ගෙවල ඕන තරම් තියනවා. ඒ ගොල්ලෝ එකක් දෙකක් කනවා. අනික්වා ලේන්නු කනවා. නැත්නම් ඔහේ බිම වැටිලා තියනවා. එංගලන්තේ මම පේර ගෙඩියක් ගන්නේ රුපියල් 250 වගේ ගාණකට . මේ පාර ගියහම වැඩිපුරම කෑවේ පේර සහ අඹ. දුරියන් කෑව . මට එපමණ අල්ලලා යන පලතුරක් නෙමේ. රුපියල් 1200 වගෙයි මතක.

    ReplyDelete
  6. VAT වැඩිකළේ රාජ්‍ය ආදායම වැඩි කරගන්න නම් රාජ්‍ය සේවයේ කොටසකට පඩි වැඩි කිරීමෙන් එම අරමුණු ඉටු වෙනවද?

    ReplyDelete
    Replies
    1. ආදායම් වැඩි කර ගැනීමේ අරමුණ ඉටු වෙනවනේ. පඩි වැඩි කිරීම එම ආදායම වියදම් කරන ආකාරයේ කොටසක්.

      Delete
  7. කජු ගැන තව තොරතුරු ටිකක්.
    Anacardium occidentale යන උද්භිද විද්‍යාත්මක නමින් හඳුන්වන කජු ශාකයේ නිජ බිම බ්‍රසීලය බව කියවෙනවා. ආ සියාකරයේත් ඝර් ම කලාපිය රටවල බහුල ශාකයකි. කජු පුහුලමට cashew apple කියාත් කියනවා. කජු පුහුලම ලෙස වැඩෙන්නේ ඇත්ත වශයෙන්ම මාංශල වී ඇති කජු පුෂ්පයේ වෘන්තය නැතහොත් කජු මලේ නටුව. අප කජු ගෙඩිය / කජුව ලෙස හඳුන්වන්නේ කජු බීජයයි. කජු ගෙඩිය වනුයේ පුහුලම සහ කජුව / බීජය එක ව්‍යුහයක් ලෙස ගත් විටයි. මේ ලෙස බීජය සහ පුහුලම එකට ගත් කළ එය 'සංයුක්ත' (එකට බැඳුණු) ඵලයක් ලෙස හඳුන්වනවා. දැනට කලකට පෙර අපොස උසස් පෙළ උද්භිද විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණයක් පැ වතී කාළයේ , උද්භීද විද්‍යාත්මක හඳුනා ගැනීම සහ විස්තරයක් කිරීම පිණිස නිතර ලැබෙන ප්‍රශ්නයකට මෙය ඇතුළ ත් වෙනවා. සීෂෙල්ස් රටෙහි කජු ශාකය විෂ සහිත ශාකයක් ලෙස නම්කර තිබෙනවා. මේ කජු බීජයේ ශ්‍රාවය (කජුකිරි) විෂ සහිත නිසා. (කජු ගැන joke එකකුත් අසා තිබෙනවා. කවුරු හෝ මැවුම් කරු මේවා ගැන කටයුතු කරද්දී 'ගෙඩියට බීජ ලබාගැනීමේ පෝලිමේ අන්තිමට ගොස් තිබෙන්නේ කජු පුහුලම. හොඳටම විඩා වට පත්වී සිටි මැවුම් කරුට පුහුලම විවෘත කිරීමට අමතකවී, බීජය / ඇටය එළියෙන් තිබ්බාලු.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: