වෙබ් ලිපිනය:

Tuesday, November 30, 2021

උතුරු මැද ගොඩ දා ගොඩ යා හැකිද?


ලංකාවේ පළාත් නවයෙන් ලොකුම පළාත උතුරු මැද පළාත. වර්ග කිලෝ මීටර 65,610ක් වන ලංකාවේ සමස්ත භූමි ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර 10,472ක්ම තියෙන්නේ උතුරු මැද පළාතේ. ප්‍රතිශතයක් ලෙස 16.0%ක්. නමුත්, උතුරු මැද පළාතෙන් ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට ලැබෙන දායකත්වය 5.4%ක් පමණයි. මේ ප්‍රශ්නය විසඳන්නේ කොහොමද?

හරිම සරලයි. කරන්න තියෙන්නේ විසඳන්න ප්‍රශ්නයක් නැති බව තේරුම් ගන්න එක පමණයි.

පළාතක භූමි ප්‍රමාණය හා එම පළාතෙන් දළ දේශීය නිෂ්පාදිතයට ලැබෙන දායකත්වය අතර සෘජු සම්බන්ධයක් තිබෙන්න හෝ තිබිය යුතු වෙන්න කිසිම හේතුවක් නැහැ. එහෙම සම්බන්ධයක් නොතිබීම ප්‍රශ්නයක් සේ පෙනීමම ශත වර්ෂ දෙක තුනකට පමණ පෙර පැවතුනු ලෝකය දිහා බලාගෙන හදපු න්‍යාය වලින් එහාට කිසි දෙයක් ගැන යාවත්කාලීන වී නැති අයගේ පසුගාමී අදහසක්. 

රටක නිෂ්පාදිතය හා භූමි ප්‍රමාණය අතර සම්බන්ධයක් තිබුණු කාලයක් තිබුණා. ඒ බොහොම ඉස්සර. කෝපි කාලෙටත් කලින්. ලෝකයේ භූමි ප්‍රමාණය සීමිත නිසා මිනිස්සුන්ට දියුණු විය හැක්කේත් එක්තරා සීමාවක් දක්වා පමණයි කියන අදහසටත් ඒ කාලයේ යම් පිළිගැනීමක් තිබුණා. මේ අදහසේම සාපේක්ෂව මෑතකාලීන වර්ෂන් එකක් වුනේ ලෝකයේ පොසිල ඉන්ධන සීමාසහිත නිසා පොසිල ඉන්ධන අවසන් වෙද්දී මිනිස් ශිෂ්ඨාචාරයේ දියුණුවත් නවතිනවා කියන එක. හැබැයි ඔය දෙකෙන් එකක්වත් වුනේ නැහැ.

සිංගප්පුරුවේ භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර 709යි. මුහුද ගොඩ කරලා එකතු කරගත් කොටසුත් එක්ක. සිංගප්පුරුවේ දදේනි ඇමරිකන් ඩොලර් බිලියන 340ක්. කසකස්ථානයේ භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර 2,724,900ක්. ඒ කියන්නේ කසකස්ථානය සිංගප්පූරුව වගේ 3,843 ගුණයක් ලොකුයි. නමුත්, කසකස්ථානයේ දදේනි ඇමරිකන් ඩොලර් බිලියන 170ක් පමණයි. සිංගප්පූරුවේ ප්‍රමාණයෙන් බාගයයි. එතකොට මොන්ගෝලියාවේ භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර 1,564,116ක්. ඒ කියන්නේ මොන්ගෝලියාව සිංගප්පූරුව වගේ 2,206 ගුණයක් ලොකුයි. නමුත්, මොන්ගෝලියාවේ දදේනි ඇමරිකන් ඩොලර් බිලියන 14ක් පමණයි. ඒ කියන්නේ සිංගප්පූරුවේ දදේනි මොන්ගෝලියාවේ දදේනි වගේ 25 ගුණයක්.

දැන් මේ කසකස්ථානය, මොන්ගෝලියාව වගේ රටවල් මාක්ස්වාදී, සමාජවාදී, මධ්‍යගත සැලසුම් ක්‍රමයක් විශාල කාලයක් තිස්සේ ක්‍රියාත්මක කරමින් සූරාකෑම්, ආදායම් විෂමතා අඩු කරපු රටවල්නේ. ඒ නිසා, ධනවාදයයේ ප්‍රශ්නයක් කියලා කාටවත් ඇඟ බේරගන්නත් බැහැ. හැබැයි මේ වෙනසට ප්‍රධාන හේතුව සමාජවාදය නෙමෙයි. නූතන ආර්ථිකයකට වර්ධනය වෙන්න ඉඩම් අවශ්‍ය නැහැ. ඉඩම් තිබුණා කියලා නූතන ආර්ථිකයකට වර්ධනය වෙන්නත් බැහැ. එහෙම කවුරු හෝ හිතනවානම් ඒක යල් පැනලා, මුල් ඇදලා, අල බැහැලා, අලත් පැල වෙච්ච අදහසක්.

ආර්ථිකයේ ප්‍රමාණය භූමි ප්‍රමාණය එක්ක සසඳන එක කිසිම තේරුමක් නැති දෙයක් වුනත් ආර්ථිකයේ ප්‍රමාණය ජනගහණය එක්ක සසඳන එකේනම් තේරුමක් තිබෙනවා. උතුරු මැද පළාතේ ජනගහණය රටේ ජනගහණයෙන් 6.2%ක්. එහෙම බැලුවහම උතුරු මැද පළාතෙන් ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට ලැබෙන දායකත්වය වන 5.4% පොඩ්ඩක් මදි. හැබැයි බස්නාහිර පළාත හැර ලංකාවේ අනෙක් හැම පළාතම තත්ත්වය ඕකයි. 

ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 39.1%කටම දායක වන බස්නාහිර පළාතේ ඉන්නේ රටේ ජනගහණයෙන් 28.7%ක් පමණයි.  බස්නාහිර දායකත්වය වැඩි නිසා, අනෙක් හැම පළාතකම ජනගහන අනුපාතයට වඩා දදේනි දායකත්වය ටිකක් අඩුයි.

යම් කිසි අයෙකුට හෝ ප්‍රදේශයකට ආදායම සේ ලැබෙන්නේ එම පුද්ගලයා හෝ ප්‍රදේශයේ වෙසෙන පුද්ගලයින් විසින් දළ දේශීය නිෂ්පාදනයට ලබා දෙන දායකත්වය. ඒකනම් කලින් අදහස වගේ පසුගාමී අදහසක් නෙමෙයි. ධනවාදී අදහසක්. එහෙම බැලුවහම උතුරු මැද පළාතේ සාමාන්‍ය ආදායම බස්නාහිරට වඩා අඩුයි. හැබැයි ලංකාවේ අඩුම සාමාන්‍ය ආදායම තිබෙන පළාත උතුරු මැද පළාත නෙමෙයි. තව පළාත් හතරක්ම තිබෙන්නේ ඊට පහළින්. කොහොම වුනත්, බස්නාහිර පළාත ඇරුනහම අනෙක් පළාත් අටේ සාමාන්‍ය ආදායම් අතර විශාල වෙනසක් නැහැ.

ඒ කියන්නේ කොළඹට කිරි පිටට කැකිරිද?

එහෙමමත් නැහැ. කොළඹ ජීවත් වෙන්නේ සහ වැඩ කරන්නේ කොළඹ ඉපදුණු අයම නෙමෙයි. උතුරු මැද ඇතුළු හැම පිට පළාතකම අය කොළඹට එනවා. ඒ එන්නේ දළ දේශීය නිෂ්පාදිතයට වැඩි දායකත්වයක් දිය හැකි අය. උතුරු මැද ඉතුරු වෙන්නේ එහෙම බැරි අය. ඒ නිසා, උතුරු පළාතේ සාමාන්‍ය ආදායම පහළ ගිහින් බස්නාහිර සාමාන්‍ය ආදායම ඉහළ යනවා. හැබැයි පුද්ගලයින් වශයෙන් ගත්තොත් උතුරු මැද ඉපදුනු කෙනෙකුට ලොකු අවාසියක් වෙලා නැහැ. 

අනෙක් අතට බස්නාහිර පළාතේ රැකියා කරන බොහෝ දෙනෙක් බස්නාහිර පළාතේ ස්ථිර පදිංචිකරුවෝ නෙමෙයි. අනුරාධපුරෙන් කොළඹ එන ගාමන්ට් නංගිලා, ස්පා නංගිලා බස්නාහිර පළාතේ දළ දේශීය නිෂ්පාදිතය වැඩි කළත් ඒ ආදායම උතුරු මැද පළාතට යනවා. පොළොන්නරුවෙන් කැම්පස් ගිහින් කොළඹ පදිංචි වෙලා ඉන්න දොස්තර අක්කලා, ඉංජිනේරු අයියලා බස්නාහිර පළාතේ දළ දේශීය නිෂ්පාදිතයට එකතු කරන දෙයිනුත් කීයක් හරි උතුරු මැද පළාතට යනවා. ඒ නිසා, උතුරුමැද පළාතේ දදේනි කියන්නේ උතුරුමැද පළාතේ ආදායම වුනත් උතුරුමැද පළාතේ පරිභෝජනයේ ප්‍රමාණය නෙමෙයි.


ඉතා පැහැදිලිවම උතුරු මැද පළාත ලංකා සිතියමේ ලොකුවට තිබෙන නිසා ඒ අනුපාතයට ඒ පළාතෙන් ලැබෙන දදේනි දායකත්වය වැඩි කරන්න සැලසුම් හදන එක ඉතාම සිඟිති, ඒ වගේම අන්තරායකාරී වැඩක්. ඔය වැඩේ අවසන් ප්‍රතිඵලය විදිහට තියෙන ජාතික ආදායමත් අඩු වෙන එක විතරයි වෙන්නේ.

හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. රටේ භූමි ප්‍රමාණයෙන් 16.0%ක් තියෙන උතුරු මැද පළාතෙන් දළ දේශීය නිෂ්පාදිතයේ කෘෂිකාර්මික කොටසට ලැබෙන දායකත්වය 8.7%ක් පමණයි. මෙයට සාපේක්ෂව රටේ ඉඩම් වලින් 5.6%ක් පමණක් තිබෙන, කුඩාම පළාත වූ බස්නාහිර පළාතෙන් දළ දේශීය නිෂ්පාදිතයේ කෘෂිකාර්මික කොටසට 9.7%ක දායකත්වයක් ලැබෙනවා. දෙවෙනි ලොකුම පළාත වූ, රටේ භූමි ප්‍රමාණයෙන් 15.2%ක් තියෙන නැගෙනහිර පළාත ගත්තත් උතුරු මැද ප්‍රශ්නයම තියෙනවා. නැගෙනහිරින් දළ දේශීය නිෂ්පාදිතයේ කෘෂිකාර්මික කොටසට ලැබෙන දායකත්වය 10.3%ක් පමණයි. අනෙක් අතට 8.5%ක භුමි ප්‍රමාණයක් තියෙන දකුණු පළාතෙන් 15.9%ක දායකත්වයකුත්, 8.7%ක භුමි ප්‍රමාණයක් තියෙන මධ්‍යම පළාතෙන් 11.5%ක දායකත්වයකුත් කෘෂිකාර්මික කොටසට ලැබෙනවා.

උතුරු මැද හා නැගෙනහිර පළාත් කියන්නේ දේශීය වෙළඳපොළ ඉලක්ක කරගත් වී ගොවිතැනේ හිරවෙලා ඉන්න පළාත්. හරියටම කිවුවොත් හිර කරලා තිබෙන පළාත්. මෙයින් වෙනස්ව තෙත් කලාපයේ හා මධ්‍යම කඳුකරයේ ඉඩම් බොහෝ විට යොදා ගැනෙන්නේ අපනයන කෘෂිකර්මය සඳහා. උතුරු මැද හා නැගෙනහිර පළාත් වලට ගෙවන්න වී තිබෙන්නේ අපි හදාගෙන අපි කන එකේ මිල. උතුරු මැද පළාතේ තත්ත්වය වෙනස් කරන්න අවශ්‍ය වෙන්නේ මධ්‍යගත සැලසුමක් නෙමෙයි. උතුරු මැද ගොවියා නිදහස් කර ඉඩම් වෙළඳපොළ සක්‍රිය කරන පුළුල් ඉඩම් ප්‍රතිසංස්කරණයක්. 

රටක් දියුණු වෙද්දී ඒ රටේ කෘෂිකාර්මික නිෂ්පාදිතයේ පංගුව එන්න එන්නම කුඩා වෙනවා මිසක් ලොකු වෙන්නේ නැහැ. එහෙම ලොකු කරන්න හදන එකෙන් වෙන්නේ ආර්ථිකය පස්සට යන එකයි. කෘෂිකාර්මික නිෂ්පාදිතයේ පංගුව කුඩා වෙනවා කියා කියන්නේ කෘෂිකාර්මික නිෂ්පාදිතය කුඩා වෙනවා කියන එක නෙමෙයි. අනෙක් අංශ වඩා වේගයෙන් ප්‍රසාරණය වෙනවා කියන එක. මේ වැඩේ වෙද්දී ලොකු භුමි ප්‍රමාණයක් තිබෙන, ජන ඝනත්වය අඩු පළාත් වලින් දළ දේශීය නිෂ්පාදිතයට ලැබෙන දායකත්වයේ ප්‍රතිශතය පහළ යන එක සාමාන්‍ය දෙයක්. එය සතුටු විය යුතු කරුණක් මිසක් කණගාටු විය යුතු හෝ වෙනස් කළ යුතු කරුණක් නෙමෙයි.

Friday, November 26, 2021

විණිමය අනුපාතය, නිෂ්පාදන පිරිවැය හා බඩුමිල


මේ ලියන්න යන්නේ මීට කලින් කිහිප වරක්ම පැහැදිලි කර තිබෙන කරුණු දෙකක් ගැන. මේ පැහැදිලි කිරීම් කළ තැන් දැන් මට හොයා ගන්න බැහැ. බොහෝ විට ප්‍රතිචාර කොටස් වල වෙන්න ඇති. නැවත නැවතත් මතු වන ප්‍රශ්න නිසා මේ පැහැදිලි කිරීම් පෝස්ට් එකක් විදිහට ලියා තබන එක හොඳයි කියා හිතුණා.

පළමු ප්‍රශ්නය විණිමය අනුපාතය ඉහළ යද්දී බඩුමිල වැඩි වන්නේ කොහොමද කියන එක. දෙවන ප්‍රශ්නය විණිමය අනුපාතය ඉහළ යද්දී නිෂ්පාදන පිරිවැය ඉහළ යන්නේ කොහොමද කියන එක. මේ දෙක එකිනෙකට සම්බන්ධ කරුණු දෙකක්.

අපි මුලින්ම A කියන සෛද්ධාන්තික භාණ්ඩය හෝ සේවාව ගනිමු. මෙය 100%ක් දේශීය නිෂ්පාදනයක්. ඒ කියන්නේ මේ භාණ්ඩය හෝ සේවාව නිපදවන්න ආනයනික යෙදවුම් කිසිවක්ම යොදා ගන්නේ නැහැ. දැන් මේ භාණ්ඩයේ නිෂ්පාදන පිරිවැය සඳහා විණිමය අනුපාතයේ කිසිදු බලපෑමක් නැහැ. එය ඉතාම පැහැදිලියි.

දෙවනුව අපි E කියන සෛද්ධාන්තික භාණ්ඩය හෝ සේවාව ගනිමු. මෙය 100%ක් ආනයනික නිෂ්පාදනයක්. ඒ කියන්නේ මේ භාණ්ඩය හෝ සේවාව නිපදවන්න දේශීය යෙදවුම් කිසිවක්ම යොදා ගන්නේ නැහැ. දැන් මේ භාණ්ඩයේ නිෂ්පාදන පිරිවැය සඳහා විණිමය අනුපාතයේ පූර්ණ බලපෑමක් තිබෙනවා. ඩොලරයේ මිල 10%කින් වැඩි වුනොත් භාණ්ඩයේ මිලත් හරියටම 10%කින් වැඩි වෙනවා. අඩුත් නැහැ. වැඩිත් නැහැ.

ප්‍රශ්නය තිබෙන්නේ ඔය A සහ E කාණ්ඩ වලට වැටෙන භාණ්ඩ හා සේවා ප්‍රායෝගිකව ඉතාම සීමිත වීමයි. දේශීය නිෂ්පාදන සේ සැලකෙන බොහෝ භාණ්ඩ හා සේවා නිපදවීමේදී කිසියම් ප්‍රමාණයකට ආනයනික යෙදවුම් අවශ්‍ය වෙනවා. ඒ වගේම, හැම විටම වාගේ ආනයනික භාණ්ඩයකට හෝ සේවාවකට රට ඇතුළේදී අගය එකතු වීමක් සිදු වෙනවා. ඒ නිසා, බොහෝ භාණ්ඩ හා සේවා හැදෙන්නේ ආනයනික හා දේශීය යෙදවුම් කිසියම් අනුපාතයකින් මිශ්‍ර වීමෙන්. ඒ තත්ත්වය යටතේ මුලින් ඉදිරිපත් කළ ප්‍රශ්න දෙක බොහෝ දෙනෙකුට මතුවන පැහැදිලි ප්‍රශ්න දෙකක්.

ප්‍රශ්නය විශ්ලේෂණය කිරීම සඳහා අපි B, C හා D නම් වූ තවත් භාණ්ඩ හෝ සේවා තුනක් උදාහරණ ලෙස ගනිමු.

B - දේශීය යෙදවුම් 80%යි. ආනයනික යෙදවුම් 20%යි.

C - දේශීය යෙදවුම් 50%යි. ආනයනික යෙදවුම් 50%යි.

D - දේශීය යෙදවුම් 20%යි. ආනයනික යෙදවුම් 80%යි.


ඉහත කී භාණ්ඩ පහේම, පාරිභෝගිකයා අතට එන තුරු සමස්ත නිෂ්පාදන පිරිවැය (හා මිල) රුපියල් 1000ක් සේ සලකමු. දැන් රුපියල් 200ට තිබෙන ඩොලරයක මිල රුපියල් 250 වුනොත් මේ භාණ්ඩ වල මිල වැඩි වෙන්නේ කොහොමද?

A - රුපියල් 1000මයි. මිල වැඩි වීමක් නැහැ.

B - ආනයනික යෙදවුම් කොටස රුපියල් 200 සිට රුපියල් 250 දක්වා වැඩි වන නිසා මිල රුපියල් 1,050 දක්වා වැඩි වෙනවා.

C - ආනයනික යෙදවුම් කොටස රුපියල් 500 සිට රුපියල් 625 දක්වා වැඩි වන නිසා මිල රුපියල් 1,125 දක්වා වැඩි වෙනවා.

D - ආනයනික යෙදවුම් කොටස රුපියල් 800 සිට රුපියල් 1000 දක්වා වැඩි වන නිසා මිල රුපියල් 1,200 දක්වා වැඩි වෙනවා.

E - රුපියල් 1,250 දක්වා වැඩි වෙනවා.


මට පැහැදිලි කරන්න අවශ්‍ය වූ ප්‍රධාන කරුණ මේකයි. ඩොලරයේ මිල වැඩි වෙද්දී භාණ්ඩයක හෝ සේවාවක මිල කිසිම විටෙක ඩොලරය වැඩි වූ අනුපාතයට වඩා වැඩියෙන් වැඩි වෙන්නේ නැහැ. ඩොලරය වැඩි වූ අනුපාතය භාණ්ඩයක හෝ සේවාවක මිල වැඩි විය හැකි උපරිම අනුපාතයයි. 

අපි හිතමු දේශීය යෙදවුම් 50%ක් හා ආනයනික යෙදවුම් 50%ක් යොදා හදන C+ කියා වෙනත් භාණ්ඩයක් ගැන. මේ භාණ්ඩය හදන්න ගන්න දේශීය යෙදවුම් දේශීය කියා කිවුවට ඇත්තටම දේශීය නෙමෙයි. ඒ දේශීය යෙදවුම් හදන්නෙත් 50%ක් ආනයනික යෙදවුම් උපයෝගී කරගෙන. ඔය වගේ අවස්ථා තිබෙනවානේ. ඉහත විශ්ලේෂණය කළේ ඔය වගේ අවස්ථාත් සැලකිල්ලට අරගෙනයි. ඒ කියන්නේ C+ කියන භාණ්ඩය හදන්න අවශ්‍ය ආනයනික යෙදවුම් ප්‍රමාණය ඇත්තටම 75% බවත්, දේශීය යෙදවුම් ප්‍රමාණය ඇත්තටම 25%ක් පමණක් බවත් සලකලා.

වෙනත් විදිහකින් කිවුවොත් ආනයනික යෙදවුම් යොදා ගැනෙන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේ කොයි තරම් පහළ අදියරකදීද කියන එක වැදගත් කරුණක් නෙමෙයි. උදාහරණයක් විදිහට තේ කිලෝවක් නිපදවීමේදී යොදා ගන්නා පොහොර, කෘෂි රසායන ආදිය ආනයනික නිපැයුම් විය හැකියි. තේ කම්හලේ යන්ත්‍ර සූත්‍ර, තේ ප්‍රවාහනය කරන වාහන, ඒවාට යොදා ගන්නා ඉන්ධන ආදිය ආනයනික නිපැයුම් විය හැකියි. තේ දළු කඩන ශ්‍රමිකාව පෙරදා රෑට කාපු පාන් බාගය හදන්න ගත් තිරිඟු පිටි හා පරිප්පු ආනයනික භාණ්ඩ නිසා ඇයට ගෙවන වැටුප තුළත් ඩොලරයක මිලේ බලපෑම තියෙන්න පුළුවන්. ඔය ඔක්කොම එකතු කළත් ආනයනික යෙදවුම් ප්‍රමාණය කිසි විටෙකත් 100% ඉක්මවන්න බැහැ. ඒ නිසා, ඩොලරයේ මිල වැඩි වූ අනුපාතයට වඩා වැඩියෙන් නිෂ්පාදන පිරිවැය කෙසේවත් වැඩි වෙන්න බැහැ.

ඩොලරයේ මිල ඉහළ යද්දී දේශීය යෙදවුම් 1%ක් හෝ යොදා ගන්නා ඕනෑම නිෂ්පාදනයකට හැම විටෙකම A ලෙස අප හැඳින්වූ 100% ආනයනික භාණ්ඩයට හෝ සේවාවට සාපේක්ෂව වාසියකුයි සිදු වෙන්නේ. දේශීය යෙදවුම් ප්‍රතිශතය වැඩි වන තරමට වාසිය වැඩියි. ඒ නිසා, ඩොලරයේ මිල ඉහළ යද්දී මුලින්ම වෙළඳපොළෙන් හැලෙන්නේ ආනයනික යෙදවුම් වැඩිපුර යොදා ගැනෙන නිෂ්පාදන. අන්තිමට ඉතුරු වෙන්නේ දේශීය යෙදවුම් වැඩිපුර යොදා හදන නිෂ්පාදන. 

ඩොලරයේ මිල පහළ යද්දී වෙන්නේ ඕකෙම අනික් පැත්ත. නැවත අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැහැනේ!

ඩොලරයේ මිල පහළ යද්දී දේශීය නිෂ්පාදන එකින් එක හැලිලා ගිහින් ආනයනික නිෂ්පාදන ඉතිරි වෙනවා. අපි හිතමු ඩොලරය රුපියල් 200 සිට රුපියල් 150 දක්වා අඩු වුනා කියලා.

A - රුපියල් 1000මයි. මිල අඩු වීමක් නැහැ.

B - ආනයනික යෙදවුම් කොටස රුපියල් 200 සිට රුපියල් 150 දක්වා අඩු වන නිසා මිල රුපියල් 950 දක්වා අඩු වෙනවා.

C - ආනයනික යෙදවුම් කොටස රුපියල් 500 සිට රුපියල් 375 දක්වා අඩු වන නිසා මිල රුපියල් 875දක්වා අඩු වෙනවා.

D - ආනයනික යෙදවුම් කොටස රුපියල් 800 සිට රුපියල් 600 දක්වා අඩු වන නිසා මිල රුපියල් 800 දක්වා අඩු වෙනවා.

E - රුපියල් 750 දක්වා අඩු වෙනවා.


දැන් පැහැදිලියිනේ ඉස්සෙල්ලාම වෙළඳපොළෙන් ඉවත් වන්නේ කොයි නිෂ්පාදනයද, අන්තිමට ඉතිරි වන්නේ කොයි නිෂ්පාදනයද කියලා. 

හරි. දැන් ඔය වැඩේ වෙන්නේ ඩොලරයක මිල අඩු වුනහමනේ. එහෙමනං ඩොලරය එක තැන තියා ගන්න එකේ වැරැද්ද මොකක්ද?

සල්ලි අච්චු නොගහන තාක් ප්‍රශ්නයක් නැහැ. සුද්දා අවුරුදු එකසිය ගාණක් ඔය වැඩේ කළානේ. ඔය දැනුත් ඔය වැඩේ හරියට කරන රටවල් තියෙන්නේ. ප්‍රශ්නය ඩොලරය එක තැන තියා ගෙන සල්ලි අච්චු ගහන එකයි. අපි හිතමු සල්ලි අච්චු ගැහීම නිසා රට ඇතුළේ උද්ධමනය 25%කින් වැඩි වුනා කියලා. නමුත් විණිමය අනුපාතය එක තැන නිසා ආනයනික යෙදවුම් වල පිරිවැය වෙනස් වෙලා නැහැ. දැන් මොකද වෙන්නේ? 

A - රුපියල් 1,250 දක්වා වැඩි වෙනවා.

B - දේශීය යෙදවුම් කොටස රුපියල් 800 සිට රුපියල් 1000 දක්වා වැඩි වන නිසා මිල රුපියල් 1,200 දක්වා වැඩි වෙනවා.

C - දේශීය යෙදවුම් කොටස රුපියල් 500 සිට රුපියල් 625 දක්වා වැඩි වන නිසා මිල රුපියල් 1,125 දක්වා වැඩි වෙනවා.

D - දේශීය යෙදවුම් කොටස රුපියල් 200 සිට රුපියල් 250 දක්වා වැඩි වන නිසා මිල රුපියල් 1,050 දක්වා වැඩි වෙනවා.

E - රුපියල් 1000මයි. මිල වැඩි වීමක් නැහැ. 


පේනවනේ වැඩේ. ඩොලරයක මිල අඩු වූ විට ඇති වන තත්ත්වයමයි. දේශීය නිෂ්පාදන වෙළඳපොළෙන් ඉවත් වෙලා ආනයනික නිෂ්පාදන ඉතිරි වෙනවා. ඕක තමයි ලංකාවට වෙලා තියෙන්නේ. 

දැන් මේ ප්‍රශ්නය විසඳන්නේ කොහොමද?

අවම වශයෙන් ඩොලරයක මිල උද්ධමනය වැඩි වූ ප්‍රමාණයට ඉහළ යන්න දුන්නා කියා කියමු. ඒ කියන්නේ ඩොලරයක මිලත් 25%කින් වැඩි වෙනවා.

A - තවදුරටත් රුපියල් 1,250 මට්ටමේමයි.

B - ආනයනික යෙදවුම් කොටස රුපියල් 200 සිට රුපියල් 250 දක්වා වැඩි වන නිසා මිල රුපියල් 1,250 දක්වා වැඩි වෙනවා.

C - ආනයනික යෙදවුම් කොටස රුපියල් 500 සිට රුපියල් 625 දක්වා වැඩි වන නිසා මිල රුපියල් 1,250 දක්වා වැඩි වෙනවා.

D - ආනයනික යෙදවුම් කොටස රුපියල් 800 සිට රුපියල් 1000 දක්වා වැඩි වන නිසා මිල රුපියල් 1,250 දක්වා වැඩි වෙනවා.

E - රුපියල් 1,250 දක්වා වැඩි වෙනවා.


දැන් දේශීය නිෂ්පාදකයාට විශේෂ වාසියක් නැතත් සමාන තරඟයකට මුහුණ දීමේ අවස්ථාව තවදුරටත් ඉතිරිව තිබෙනවා. එහෙමයි කියලා එක පාරටම දේශීය නිෂ්පාදනය ඉහළ යන්නේ නැහැ. මේ තත්ත්වය ව්‍යවසායකත්වය ඇති අයට නිරීක්ෂණය වී ඔවුන් නිෂ්පාදනයට පෙළඹෙන්න යම් කාලයක් යනවා. ආණ්ඩුව නැවතත් විණිමය අනුපාතය පාලනය කරයිද කියන බය තිබෙන තුරු ඔවුන් එසේ නොපෙළඹෙන්න ඉඩ තිබෙනවා. බය ඇරෙන්නත් යම් කාලයක් යනවා. කෙසේ වුවත් විණිමය අනුපාතය පාලනය කිරීම පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් ඇත්නම් දිගුකාලීනව තරඟකාරිත්වය ඇති වී ප්‍රශ්නය විසඳෙනවා.

ප්‍රශ්නයට විසඳුමක් ලෙස ආනයන පාලනය කළ විට සිදු වන්නේ කුමක්ද? 

දැන් B, C, D හා E තව දුරටත් නිපදවන්න බැහැ. ඒ නිසා, A වලට අවස්ථාවක් ලැබෙනවා. මිල රුපියල් 1250යි. හැබැයි රටින් එළියේ මිල තවමත් රුපියල් 1000 නිසා මේ නිෂ්පාදනය කවදාවත් අපනයනය කරන්න බැහැ. ඒ නිසා, ආනයන අඩු වුනත් අපනයන වර්ධනය වෙන්නේ නැහැ. අනෙක් අතට ආනයන පාලනය ඉවත් කළ ගමන් තමන් අමාරුවේ වැටෙන බව නිෂ්පාදකයෝ දන්නවා. ඒ නිසා, ඔවුන් නිෂ්පාදනය පටන් ගන්නේ දිගින් දිගටම ආනයන පාලනය එලෙසම පවතිනු ඇති බවට විශ්වාසයක් ඇත්නම් පමණයි. මේ වැඩේටත් කාලයක් යනවා. ඒ නිසා පෙර අවස්ථාවේ වගේම දේශීය නිෂ්පාදනය ක්ෂණිකව ඉහළ යන්නේ නැහැ. වෙනත් විදිහකින් කිවුවොත් විණිමය අනුපාතය අවප්‍රමාණය කිරීමට සාපේක්ෂව මේ ක්‍රමයේ අවාසි ගණනාවක් ඇතත් කිසිම වාසියක් නැහැ. හැබැයි මිනිස්සු භාණ්ඩ හිඟය එක්ක ජීවත් වෙන්න කැමතිනම් මේ ක්‍රමයත් ඩොලර් හිඟයට තාවකාලික විසඳුමක්.

විසඳුම් නැද්ද?



මා පෙර ලිපියක සඳහන් කළ පරිදි, ලංකාවේ විසඳුම් සෙවිය යුතු ප්‍රශ්නයක් තිබෙන බව මේ වෙද්දී දේශපාලන පක්ෂ භේදයකින් තොරව බහුතරයකගේ පොදු පිළිගැනීම වී තිබෙනවා. ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා විවිධ කණ්ඩායම් විසින් උත්සාහ දරමින් සිටිනවා. එකිනෙකට වෙනස් දේශපාලන ධාරා තුනකට යම් මට්ටමකින් සම්බන්ධ පිරිස් විසින් අපේ පෞද්ගලික මිතුරන් හරහා හා වෙනත් ක්‍රමවලින් අපගේ අදහස්ද විමසා තිබෙනවා. බල දේශපාලනයට සෘජුව සම්බන්ධයක් නැති පුළුල් කණ්ඩායමක් විසින්ද එලෙසින්ම අපගේ අදහස් විමසා තිබෙනවා. ඒ නිසා, කවර හෝ දේශපාලන කණ්ඩායමක පරිධියේ සිට තමන්ගේ ස්වාමියන් වෙනුවෙන් මෙහි ප්‍රතිචාර දමන බලු කුක්කන් නොසලකා හැර "විසඳුම්" ගැනද කතා කිරීමට මේ යෝග්‍ය කාලයකැයි මා සිතනවා.

මේ වියුණුව පටන් ගෙන දැනට වසර පහමාරක් වෙනවා. ලියන්න පටන් ගෙන මාස හයක් පමණ යද්දී අප ලියන දේවල් සැලකිය යුතු පිරිසකගේ අවධානයට ලක් වුනා. ඉන් පසුව අඩු වශයෙන් වසර පහක් තිස්සේ අප විසින් ලංකාවේ ආර්ථිකය ගැන කතා කර තිබෙනවා. එම කාලය තුළ අප විසින් පෙන්වා දුන් ලංකාවේ ආර්ථිකයේ ප්‍රශ්න මේ වෙද්දී ඇස් පනාපිට පේන්න තියෙනවා. හැමදාම කොටි එනවා කිවුවත් ඔය කොටියා තාම ආවේ නැහැ කියා අවසන් මොහොත දක්වාම අපව සමච්චලයට ලක් කරමින් සිටි අය ඉදිරිපිට මේ වෙද්දී කොටියා හිටගෙන සිටිනවා. 

ලංකාවේ ප්‍රශ්නය රටේ බොහෝ දෙනෙකුට අවබෝධ කර ගැනීමට උදවු කිරීම සඳහා අප විසින් කාලයක් තිස්සේ ගත් වෑයම සාර්ථක වී තිබීම පිළිබඳව අපට තිබෙන්නේ නිහතමානී සතුටක්. ඇත්තටම අප විසින් කළේ මේ වැඩේට සොච්චම් දායකත්වයක් ලබා දෙන එක පමණයි. අප වැනි හාල් කෑලි විසින් කියූ දේවල්ම වැඩි පිරිසකට උස් හඬින් කී වෙනත් බොහෝ අය සිටියා. දැනටත් ඉන්නවා.

පසුගිය කාලය පුරා අප විසින් ප්‍රශ්න ගැන කතා කළ තරමට විසඳුම් ගැන කතා කර නැහැ. එය හිතාමතාම කළ දෙයක්. විසඳුම් ගැන කතා කළ හැක්කේ ප්‍රශ්න ගැන පුළුල් එකඟතාවක් ඇති පසුබිමක පමණයි. එහෙත්, විසඳුම් ගැන කවුරු හෝ සෘජුව ප්‍රශ්න කළ අවස්ථා වලදී අප විසඳුම් ගැනද කතා කර තිබෙනවා. 

ලංකාවේ ප්‍රශ්න වලට විසඳුම් තිබුණත් ඒවා වියුණු ලිපියක් හරහා කෙටියෙන් ඉදිරිපත් කළ හැකි තරම් සරල නැහැ. දැන් පටන් ගත්තොත් ඉදිරි වසර තුනක පමණ කාලය තුළ බොහෝ දේවල් සටහන් කර තබන්න පුළුවන් වෙයි. විසඳුම් ගැන කතා කිරීමට යෝග්‍යම කාලය සේ මා දකින්නේද මේ කාල වකවානුවයි. බොහෝ දෙනෙක් මේ වෙද්දී ප්‍රශ්න පිළිබඳව වටහාගෙන තිබෙන නිසා තවදුරටත් දිගින් දිගටම ප්‍රශ්න ගැනම පමණක් කතා කරන එකේ තේරුමක් නැහැ.

විසඳුම් හොයන අයගෙන් බොහෝ දෙනෙක්ද හොයන්නේ මේ මොහොතේ ලංකාව මුහුණ දෙන ප්‍රශ්නයට විසඳුම්. එසේ මේ මොහොතේ තිබෙන ප්‍රශ්නයට විසඳුම් හොයන බොහෝ අය "ආතල් එකට" සංවාද කිරීමට එකතු වන අය මිසක් ප්‍රශ්නයට විසඳුම් සෙවීමේ වගකීම දරන හෝ පැත්තක සිටියත් එම වගකීම තමන්ගේ කරගෙන සිටින අය නෙමෙයි. මේ මොහොතේ තිබෙන ප්‍රශ්නය යම් ආකාරකින් විසඳෙයි. එයට විසඳුම් අප විසින් යෝජනා කරන එකේ තේරුමක් නැහැ. විසඳුම් අවශ්‍ය වන්නේ ඉන් පසුවද ඉතිරි වන දිගුකාලීන ප්‍රශ්න වලටයි.

කලින් කීවාක් මෙන් අප මේ වැඩේ හදිසියේ කරන්න යන්නේ නැහැ. එසේ කිරීමේ හැකියාවක්ද නැහැ. ඒ වගේම, කවර හෝ පාර්ශ්වයක් විසින් අපගේ අදහස් පෞද්ගලිකව විමසා සිටින අවස්ථාවකදී පැය දෙක තුනකින් ඒ කාර්යය කළ නොහැකියි. අපගේ යෝජනා මෙහි ටිකින් ටික සටහන් කරන්නේ ඒ වගේ අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීම සඳහා කරන ආයෝජනයක් ලෙසයි.

අප මීට පෙර මේ වියුණුව හරහා යෝජනා කර තිබෙන පොඩි පොඩි දේවල් එම යෝජනා ක්‍රියාත්මක කිරීමේ බලය හා හැකියාව තිබුණු ඇතැම් අය විසින් ක්‍රියාත්මක කර ඇති අවස්ථා ගණනාවක් අප දැක තිබෙනවා. බොහෝ විට එවැනි යෝජනාවක් අවසානයේ ක්‍රියාත්මක කළ අය මුලින්ම යෝජනාව ආවේ කොහෙන්ද කියා නොදන්නවා විය හැකියි. එය ප්‍රශ්නයක් නෙමෙයි. අප ඉදිරියේදී මෙහි ලියන කවර හෝ දෙයක් වුවත් අවශ්‍ය කෙනෙක් තමන්ගේම යෝජනාවක් හෝ අදහසක් කර ගැනීම අපට ප්‍රශ්නයක් නෙමෙයි. එසේ කරන්නෙකුගේ වෙනත් දේශපාලනික හෝ දේශපාලනික නොවන අදහස් අපේ අදහස් සමඟ සමපාත වීම හෝ නොවීමද ප්‍රශ්නයක් නෙමෙයි.

කතා කළ යුත්තේ දිගුකාලීන විසඳුමක් ගැන වුවත් කතාව පටන් ගන්න වෙන්නේ මේ මොහොතේ සිටයි. මේ ආණ්ඩුව බලයට පත් වී තවමත් වසර දෙකයි. ආණ්ඩුවට තවත් වසර තුනක කාලයක් තිබෙනවා. විශාල ජන වරමක් ලබා බලයට පත් වූ මේ ආණ්ඩුව පිළිබඳ ජන ප්‍රසාදය ඉතා පහළ මට්ටමකට වැටී තිබෙන බව පැහැදිලි වුවත්, ඒ හේතුව නිසාම ආණ්ඩුව වෙනස් වන්නේ නැහැ. එසේ වීමේ අවශ්‍යතාවයක්ද නැහැ. නියමිත කාලයට පෙර මේ ආණ්ඩුව වැටෙන එක දුරස්ථ කරුණක්.

ඒ කියන්නේ තවත් අවම වශයෙන් වසර තුනක කාලයක් ලංකාවේ ආර්ථිකය මෙහෙයවන්න වෙන්නේ මේ ආණ්ඩුවට. ලංකාවේ ආර්ථිකයේ  මේ මොහොතේ පෙනෙන්නට තිබෙන ප්‍රශ්න වලට සෘජුව මුහුණ දෙන්න වෙන්නේත්, විසඳුම් හොයන්න වෙන්නේත්, මේ ආණ්ඩුවට. පැත්තක සිටින අප වැනි අය යෝජනා කරන විසඳුම් ආණ්ඩුවේ විසඳුම් සමඟ සමපාත නොවන්නේනම් ඒවා නිකම්ම නිකම් කතන්දර පමණයි. ආණ්ඩු බලය නැති පක්ෂ වල යෝජනා ගැන කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමයි. විපක්ෂයේ පක්ෂ වලට වගේම, අපටත් කළ හැක්කේ ආණ්ඩුව කරන දේවල් වල හොඳ නරක විග්‍රහ කරන එක පමණයි. 

මේ මොහොතේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යා යුතු බවට ප්‍රබල හඬක් නැගෙනවා. මේ හඬ නැගෙන්නේ ප්‍රධාන වශයෙන්ම එජාපය පැත්තෙන්. සජබයේ පාර්ශ්වයන්ද ඒ මතයේ ඉන්නවා. ඊට අමතරව ආණ්ඩුව ඇතුළේද යම් පිරිසක් මේ මතය වෙනුවෙන් පෙනී සිටිනවා. එහෙත්, ආණ්ඩුවේ ආර්ථිකය මෙහෙයවන ප්‍රධාන පාර්ශ්ව, විශේෂයෙන්ම මහ බැංකු අධිපති කබ්රාල්, ඉන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යා නොයුතුය යන දැඩි මතයේ. ජවිපෙ මේ පිළිබඳව පතෝල ස්ථාවරයක සිටිනවා.

විකල්ප විසඳුමක් වෙනුවෙන් පෙනී සිටින අධිපති කබ්රාල් විණිමය අනුපාතය වෙනස් වන්නට නොදී රුපියල් 200 මට්ටමේ තියා ගැනීමේ දැඩි ප්‍රතිපත්තියක හිර වී සිටින අතර තමන්ට එය කළ හැකි බව අධිෂ්ඨානශීලීව පවසනවා. තමන්ට හැකි පමණින් ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු කරමින් සිටිනවා. එජාපය වගේම ජවිපෙද සිටින්නේ විණිමය අනුපාතය යම් ප්‍රමාණයකින් අවප්‍රමාණය වෙන්නට ඉඩ හැරිය යුතුය යන මතයේ. 

රනිල් වික්‍රමසිංහ විසින් මේ පිළිබඳව පැහැදිලි හා නිශ්චිත අදහසක් ඉදිරිපත් කර තිබෙනවා. වාර්තා වී තිබෙන හැටියට "IMF සමග එකඟතාවකට පැමිණියහොත් ඇමරිකානු ඩොලරයක අගය රුපියල් 240ක පමණ සීමාවක තබාගත හැකිවනු ඇති වුවත් එසේ නොකළහොත් ඩොලරයේ අගය රුපියල් 300ක් පමණ දක්වා ඉහළ යනු ඇති බව" රනිල් වික්‍රමසිංහ විසින් කියා තිබෙනවා. මේ ප්‍රකාශය විග්‍රහ කළ යුතු ප්‍රකාශයක්.

රනිල් වික්‍රමසිංහ විසින් ලංකාව IMF වෙත යා යුතු බව කියන්නේම ඩොලරයේ මිල ස්ථාවර කර ගැනීම සඳහා. ඔහු යෝජනා කරන්නේ IMF ගොස් ඩොලරය 300 දක්වා යාම වලක්වාගෙන 240 සීමාවේ රඳවා ගත යුතු බවයි. ගණන වෙනස් වුනත් රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශයේ පදනම වන්නේත් ඩොලරයේ මිල ස්ථාවර කර ගැනීමයි. 

ඩොලරයේ මිල රුපියල් 200 මට්ටමේ ස්ථාවර කර නොගෙන රුපියල් 240 මට්ටමේ ස්ථාවර කර ගැනීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ පෙනී සිටින්නේ ඩොලරය රුපියල් 200 මට්ටමේ ස්ථාවර කර ගැනීම කිසිසේත්ම කළ නොහැක්කක් කියන පදනමේ සිටයි. (මගේ පෞද්ගලික අදහසද එයයි.) එසේ වුවත්, රනිල් වික්‍රමසිංහ විසින් කළ නොහැකියැයි සිතන මේ කටයුත්ත කවර ආකාරයකින් හෝ නිවාඩ් කබ්රාල්ට කළ හැකිනම්, රනිල් වික්‍රමසිංහට අනුවම වුවත් එහි වැරැද්දක් තියෙන්න බැහැ. රනිල් වික්‍රමසිංහට අනුව රුපියල් 240 මට්ටමේ වුවද ඩොලරය ස්ථාවර කර ගත හැක්කේ දැන්ම IMF ගියොත් පමණයි. එහෙත් නිවාඩ් කබ්රාල්ට අනුව IMF නොගොස් රුපියල් 200 මට්ටමේ ඩොලරය ස්ථාවර කර ගැනීම කළ හැක්කක්. ඒ සඳහා ඔහු සයමාසික වැඩ පිළිවෙළක්ද ඉදිරිපත් කළා.

කබ්රාල්ගේ වැඩපිළිවෙළ දෙස අප බැලිය යුත්තේ මේ ආණ්ඩුවට තවත් වසර තුනක් තිබෙනවා කියන පසුබිමේ සිටයි. දේශපාලනික ලෙස ප්‍රශ්නය දිහා බැලුවොත්, කබ්රාල්ට මේ යන විදිහට තවත් අවුරුදු තුනක් ඇදගෙන යන්න පුළුවන් වෙයිද?

ආණ්ඩුව කරන්නේ විශාල අවදානමක් ගැනීමක්. අතුරේ යාමක්. ඉදිරි වසර තුළ ඩොලර් බිලියන හතකට ආසන්න විදේශ ණය ප්‍රමාණයක් ආපසු ගෙවිය යුතුයි. ඊට අමතරව පසුගිය කාලයේ පැවති සාමාන්‍ය තත්ත්වයන් යටතේ ලංකාවට වසරකට ඩොලර් බිලියන දෙකක හෝ තුනක විදේශ ණය අවශ්‍යයි. නමුත් රටේ තිබෙන විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන දෙකකට ආසන්න ප්‍රමානයක් පමණයි. ඒ කියන්නේ, ණය පැහැර නොහැරීම සඳහා ලබන වසර තුළ පමණක් අවම වශයෙන් ඩොලර් බිලියන හතක් පමණවත් හොයා ගන්න වෙනවා. 

වසංගතය අවසන් වුනා කියා හෝ සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් වුනා කියා මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. සංචාරක කර්මාන්තය හරහා තව ඩොලර් බිලියන දෙකක් හොයා ගත්තත්, ඒ එක්කම ආනයන සීමා යම් තරමකින් හෝ ඉවත් කරන්න වෙන නිසා, වැඩිම වුනොත් ලැබෙන්නේ ඩොලර් බිලියනයක ශුද්ධ වාසියක් පමණයි. තවත් ඩොලර් බිලියන හයක් පමණවත් කොහෙන් හරි හොයා ගන්නම වෙනවා. අජිත් නිවාඩ් කබ්රාල් මේ ඩොලර් ප්‍රමාණය හොයා ගන්න මාර ගේමක් ගහනවා. හැබැයි තවමත් වැඩේ යම් තරමකින් හෝ සාර්ථක වී ඇති බවක් පෙනෙන්නේ නැහැ. ඔය වගේ ඩොලර් ප්‍රමාණයක් හොයා ගන්නවා කියන එක ඉතාම දුරස්ථ ඉලක්කයක්.

එක පැත්තකින් රාජපක්ෂලාට වෙලා තියෙන දෙය 1987 පමණ කාලයේදී ජේආර්ට වුනා වගේ වැඩක්. ඔය කාලය දක්වාම වගේ  ඉන්දියාව හිටියේ සෝවියට් කඳවුර එක්ක. ජේආර් ඇමරිකාව පස්සේ ගියා. නමුත්, ඉන්දියාව ලංකාවට පරිප්පු දමද්දී ඇමරිකාව හෝ වෙනත් බටහිර රටක් ජේආර්ගේ උදවුවට ආවේ නැහැ. ඔය විදිහටම, කිහිප දෙනෙක්ම ඇත්තටම ඇමරිකානුවන් වුවත්, රාජපක්ෂලා ප්‍රදර්ශනාත්මකව හෝ බටහිර විරෝධීන් සේ පෙනී සිටිමින් චීනය පස්සේ ගියා. නමුත්, චීනය හෝ වෙනත් බටහිර කඳවුරට විරුද්ධ කඳවුරේ රටක් ලංකාව බේරගන්නේ නැහැ. නැවත බටහිරට කිට්ටු වුනා කියලා බටහිර රටවල් ලංකාවේ බේරා ගන්නේත් නැහැ. තමන් හිසට තම අතමය...!

ලබන වසරේදී මේ ආණ්ඩුවට IMF යන්නම වෙනවා. ඒ බෙල්ල මුලටම හිර වුනාට පස්සේ. ඒ බව මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්පාදකයින්ට නොතේරෙන්න හේතුවක් නැහැ. එහෙත් ඔවුන් තමන්ගේම දේශපාලන උගුලක හිරවෙලා. රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් කරන්නේ පැත්තක ඉඳලා තොණ්ඩුව තවත් තද කරන එකයි. IMF යා යුතු බව රනිල් වික්‍රමසිංහ වැනි අය විසින් උස් හඬින් කියන තරමට ආණ්ඩුවට වැඩේ අමාරු වෙනවා. මෙයට පිළියමක් ලෙස ආණ්ඩුව විසින් IMF යා යුතු බව කියන්න ආණ්ඩුවේම පිරිසක් සැලසුම්සහගතව එළියට දමයි. මුලදී මේ කණ්ඩායම කැරළිකරුවන් පිරිසක් වගේ පෙනෙයි. ඒක පොඩි ඇස් බැන්දුමක්!

මමනම් පෞද්ගලිකව හිතන්නේ මේ යන ක්‍රමය හොඳයි කියලා. අපි හිතමු රනිල් වික්‍රමසිංහ විසින් යෝජනා කරන විදිහට ඉතා ඉක්මණින් IMF ගියා කියලා. කියන විදිහටම ඩොලර් එක රුපියල් 240 වගේ තැනක ස්ථාවර කර ගන්න පුළුවන් වෙයි. ඒ එක්ක ගන්න වෙන අනෙකුත් ක්‍රියාමාර්ග එක්ක ඉදිරි වසර තුන හතර ඉතාම නරක කාලයක් වෙනවා. ආණ්ඩුවට මැතිවරණ වලට යන්න වෙන්නේ ජනප්‍රියත්වය බිංදුවට බස්සාගෙන. ඉදිරි මැතිවරණයකින් ආණ්ඩුව බිංදුවට වැටෙද්දී, රනිල් වික්‍රමසිංහ ගණන් හදන විදිහට, එජාපයට විශාල ජයග්‍රහණයක් ලැබෙනවා. ඒ එක්කම, ඒ වසර තුනේ ගෙවෙන නරක කාලය පහු කළාම ආර්ථිකය නැවත පහසුවෙන් ස්ථාවර කර ගත හැකි තත්ත්වයක් ඇති වෙනවා. ඉදිරියට බලයට පත් වන කවර හෝ ආණ්ඩුව ගොඩ!

හැබැයි මෙයින් අදහස් වෙන්නේ ආණ්ඩු මාරුවක් සිදු වීමෙන් පසුව දැන් මෙන්ම ණය පිරමිඩය නඩත්තු වෙනවා කියන එකයි. ඒ කියන්නේ නැවත කොයි වෙලාවක හරි ප්‍රශ්නයේ මුලට වැටෙන්න පුළුවන්. 

දැනට මේ ආණ්ඩුව ඉන්න IMF යන්නේ නැහැ කියන දැඩි ස්ථාවරයේම ඉඳලා බෙල්ල මුලටම හිර වුනාම කරන්න වෙන්නෙත් IMF යන එක. ඒ වෙද්දී රටේ තත්ත්වය වඩාත් නරක අතට හැරිලා. රනිල් වික්‍රමසිංහ කියනවා වගේම ඒ වගේ අවස්ථාවක IMF කියන දේම කරනවා හැර වෙනත් කළ හැකි දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. ඒ වගේම, IMF එකට වුවත් ප්‍රශ්නය ගොඩින් විසඳන්න ලැබෙන්නේ නැහැ. බොහෝ විට මේ ආණ්ඩුවට ගෙදර යන්න වෙයි. හැබැයි අළුතෙන් පත් වෙන ආණ්ඩුවකට වීරයාගේ චරිතය රඟපාන්න ඉඩ ලැබෙන්නේ නැහැ.

දැනට තියෙන ක්ෂණික ප්‍රශ්නය ඩොලර් ප්‍රශ්නය. නමුත්, ඩොලර් ප්‍රශ්නය පසුපස තිබෙන මූල ප්‍රශ්නය අයවැය හිඟය. ඩොලර් ප්‍රශ්නය ගැන දැන් රටේ මිනිස්සුන්ට තේරෙනවා. නමුත්, මූල ප්‍රශ්නය වූ අයවැය හිඟය ගැන මිනිස්සුන්ට තවමත් හරියකට තේරුමක් නැහැ. ඒක තේරෙන්නනම් විණිමය අනුපාතය කඩා වැටිලා හෝ නිවැරදි වෙන්න ඕනෑ. අයවැය හිඟය ප්‍රශ්නයක් බව හරියටම තේරෙන්නේත්, පැලැස්තර වලින් විසඳිය නොහැකි මට්ටමකට පත් වන්නේත්, එයින් පසුවයි. මූල ප්‍රශ්නයට රැඩිකල් විසඳුමක් දෙන්න පුළුවන් වෙන්නේ එහෙම වුනොත් පමණයි.

මූල ප්‍රශ්නය වූ අයවැය හිඟය පිළිබඳ ප්‍රශ්නය විසඳිය හැකි ප්‍රායෝගික හා පුළුල් විසඳුම් අවශ්‍ය වෙන්නේ තවත් අවුරුදු තුනකින් පමණ පසුවයි. ඒ කාලය තුළ, අපිත් අපේ අදහස් ටිකෙන් ටික සටහන් කර තියන්නම්!

(Photo credit: Sagara Lakmal de Mel)

Thursday, November 25, 2021

කොඩිය චීනගේ මල්ලි සිංහයත් උගේ!

 


ලංකාව මේ වෙද්දී මුහුණ දෙන ඩොලර් හිඟයට හේතුව ලංකාවේ ඇතැම් ආණ්ඩු විසින් අනුගමනය කළේයැයි කියන නිදහස් වෙළඳ ප්‍රතිපත්තිය කියන මතය මේ වෙද්දී ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් පාර්ශ්ව විසින් ජනගත කරමින් සිටිනවා. මේ අදහසට ආණ්ඩුවට විරුද්ධ ඇතැම් කණ්ඩායම් අතරත් පිළිගැනීමක් තිබෙනවා. අදාළ ප්‍රවාදය මේ වගේ එකක්.

"නිදහස් වෙළඳ ප්‍රතිපත්තිය අනුව ලාබෙට ගේන්න පුලුවන් හැම දෙයක්ම පිටරටින් ගෙන ආ යුතුයි. අපේ ආනයන වියදම් වැඩි වෙලා ඩොලර් හිඟයකට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ මේ නිසා. කොඩියේ සිංහයා අපේ වුනත් කොඩිය හදන්නේ චීනා."

දැන් මෙතැනදී දැකිය හැක්කේ ආණ්ඩුවේ වැරැද්ද රටේ මිනිස්සු මත පටවලා ආණ්ඩුව අත හෝදා ගන්න දරන උත්සාහයක්. පිටරටකින් ලාබෙට ගේන්න පුළුවන් දෙයක්, කවර හෝ විශේෂ හේතුවක් නැත්නම්, නොගෙනත් ඉන්න කිසිම හේතුවක් නැහැ. එසේ කළා කියලා සිදුවන වාසියක් මිසක් කිසිදු අයහපතක් නැහැ. අඩුවට ගේන්න පුළුවන් හැම දෙයක්ම පිටරටින් ගෙන්නුවා කියලා කිසිසේත්ම රටේ ඩොලර් හිඟයක් ඇති වෙන්නේ නැහැ.

ඉහත ප්‍රකාශයේ පළමු කොටස ඇත්ත. නිදහස් වෙළඳ ප්‍රතිපත්තිය අනුව ලාබෙට ගේන්න පුලුවන් හැම දෙයක්ම පිටරටින් ගෙන ආ යුතුයි. මෙහිදී මුල් කතාව කියන අය නොකියන එහිම අනෙක් පැත්ත වන්නේ වැඩි ගාණකට විකිණිය හැකි හැම දෙයක්ම පිටරටට විකිණිය යුතු වන්නේත් නිදහස් වෙළඳ ප්‍රතිපත්තිය අනුවම බවයි. 

ලාබෙට ගේන්න පුලුවන් හැම දෙයක්ම පිටරටින් ගෙන එන්නට යෝජනා කරන නිදහස් වෙළඳ ප්‍රතිපත්තියට විරුද්ධ අයම අනෙක් පැත්තෙන් වැඩි ගාණකට විකිණිය හැකි හැම දෙයක්ම පිටරටට විකුණන්න මිනිස්සුන්ට උපදෙස් දෙනවා. ලාබෙට ගේන්න පුලුවන් හැම දෙයක්ම පිටරටින් ගෙන එන ප්‍රතිපත්තියට ලංකාව මෙන්ම ලෝකයේ අනෙක් හැම රටක්ම විරුද්ධ වුනොත් මොකද වෙන්නේ?

පාරිභෝගිකයෙක් හැටියට කවුරු හෝ ශ්‍රී ලාංකිකයෙක් තමන්ට අඩුම මිලට මිල දී ගන්නට ලැබෙන තැනින් භාණ්ඩයක් මිල දී ගන්න එකේ කිසිම වැරැද්දක් නැහැ. කොඩිය චීනගේද, ඉන්දියානුවාගේද කියන එක නෙමෙයි වැදගත්. කොඩිය කීයද කියන එකයි. මොකද මේ ශ්‍රී ලාංකිකයා විසින් වියදම් කරන්නේ තමන් අමාරුවෙන් උපයා ගත් රුපියල්. 

ශ්‍රී ලාංකිකයෙක් විසින් කොඩියක් මිල දී ගනිද්දී ඩොලර් හෝ යුවාන් වලින් ගෙවන්නේ නැහැ. ඇය ගෙවන්නේ රුපියල් වලින්. කොඩිය ලංකාවේ හදපු එකක් වුනත්, චීනයේ හදපු එකක් වුනත් ගෙවන්නේ එකම රුපියල්. එහෙමනම් එකම කොඩියට එය ලංකාවේ හැදුවා කියා වැඩිපුර ගෙවන්න අවශ්‍ය නැහැ. 


මේ කොඩිය විකුණන්නේ ශ්‍රී ලාංකිකයෙක්. බොහෝ විට ඔහු ලොකු පෝසතෙක් නෙමෙයි. ඔහු චීනෙට ගිහින් මේ කොඩි අරගෙන එන්නේ නැහැ. කවුරු හෝ තොග වෙළෙන්දෙක්ගෙන් කොඩි මිල දී ගන්න එකයි කරන්නේ. කොඩිය මිල දී ගන්න ගෙවන රුපියල් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ රුපියල්. මේ ගනුදෙනුව අවසන් අදියරේදී තනිකරම ශ්‍රී ලාංකිකයි. ඩොලර් වලට හෝ යුවාන් වලට කිසිම සම්බන්ධයක් නැහැ.


හැබැයි කවුරු හෝ විසින් මේ කොඩි චීනයෙන් ආනයනය කළ යුතුයිනේ. ඒ සඳහා, ඩොලර් වලින් (හෝ යුවාන් වලින්) ගෙවන්න ඕනෑ. එහෙම ගෙවන්නනම් ඩොලර් මිල දී ගන්න වෙනවා. ඩොලර් මිල දී ගන්න වෙන්නේ රුපියල් ගෙවලා. ඒ කියන්නේ අවසාන වශයෙන් ආනයනකරු චීනයෙන් කොඩි ගෙන්වන්න වැය කරන්නේත් රුපියල්ම මිසක් ඩොලර් නෙමෙයි. ඩොලර් හිඟයක් තිබේනම් එයට හේතුව මේ ආනයනකරු වෙන්න බැහැ. ඔහු රුපියල් ගෙවා ඩොලර් මිල දී ගන්නේ රටේ කොහේ හරි ඩොලර් තිබෙන නිසා. 

නිදහස් වෙළඳපොළක් තිබුණා කියා හෝ ලාබෙට ගේන්න පුලුවන් හැම දෙයක්ම පිටරටින් ගෙන ආවා කියලා කිසිසේත්ම රටේ ඩොලර් හිඟයක් ඇති වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා මහ බැංකුවට හෝ ලංකාවේ වෙනත් අයෙකුට ලංකාව ඇතුළේ ඩොලර් අච්චු ගහන්න හෝ ඩොලර් මවන්න බැහැ. මොන විදිහකින් හෝ පිටරටකින්ම ඩොලර් රටට ගේන්න වෙනවා. ඒ සඳහා, එක්කෝ මොනවා හෝ භාණ්ඩයක් හරි සේවාවක් හරි පිටරටකට විකුණන්න වෙනවා. නැත්නම් ශ්‍රමය විකුණන්න වෙනවා. නිදහස් වෙළඳපොළ ක්‍රමයක් යටතේ ආනයන වෙනුවෙන් වැය කළ හැක්කේ ඔය විදිහට රට ඇතුළට එන ඩොලර් පමණයි.

ඉහත කී පරිදි උපයන ඩොලර් වලට වඩා වැඩියෙන් ආනයන වෙනුවෙන් ලංකාව දිගින් දිගටම ඩොලර් වැය කර තිබෙනවානම් එසේ සිදු වී තියෙන්නේ ඩොලර් ණයට ගත් නිසා. මහරගම පදික වේදිකාවෙන් ඔය කොඩිය මිල දී ගන්න සෝමලතා අක්කා හරි, ඒ කොඩි චීනයෙන් ආනයනය කරන නවුෂාඩ් නානා හරි ඩොලර් ණයට ගන්නේ නැහැ. නවුෂාඩ් නානා කරන්නේ රට ඇතුළේ කොහෙන් හරි ඩොලර් මිල දී ගන්න එක. අපනයන ආදායම් වලින් ලැබෙන ඩොලර් වලට වඩා වැඩියෙන් රටට ඩොලර් ආවේ කොහොමද? 

මේ විදිහට රටට වැඩිපුර ඩොලර් ඇවිත් තියෙන්නේ දිගින් දිගටම ලංකාවේ රජය විසින් ඩොලර් ණයට අරගෙන ඒ ඩොලර් රට ඇතුළේ විකුණපු නිසා. මේ විදිහට විකුණන ඩොලර් බැංකු පද්ධතිය ඇතුළට ආවහම බැංකු වල ඩොලර් ඉල්ලුම හා සැපයුම අසමතුලිත වෙනවා. වැඩිපුර තියෙන ඩොලර් ටික බැංකු වලට කීයකට හරි විකුණලා දමන්න වෙනවා. කුණු කොල්ලෙට ඩොලර් මිල දී ගන්න පුළුවන් වුණාම අඩු රුපියල් ගණනක් ගෙවලා භාණ්ඩ ආනයනය කරන්න පුළුවන්. 

නිදහස් වෙළඳ ප්‍රතිපත්තිය අනුව යෝජනා කෙරෙන්නේ ලාබෙට ගේන්න පුලුවන් හැම දෙයක්ම පිටරටින් ගෙන ආ යුතු බව පමණයි. ලාබෙට ගේන්න බැරි දේවල් "ලාබ කර" ගෙන ආ යුතුයැයි එයින් යෝජනා කෙරෙන්නේ නැහැ. රජය විසින් දිගින් දිගටම ඩොලර් ණයට අර ගනිමින් ඒ ඩොලර් ලාබෙට විකුණද්දී වෙන්නේ ලාබෙට ගේන්න බැරි දේවලුත් ලාබ වෙන එකයි. ලංකාවේ විශාල ආනයන අපනයන පරතරයක් හැදී තිබෙන්නේ ඔය විදිහට ලාබෙට ගේන්න බැරි දේවලුත් රජය විසින් ලාබ කර දුන් නිසා මිසක් ලාබෙට ගේන්න පුලුවන් හැම දෙයක්ම පිටරටින් ගෙන ආ නිසා නෙමෙයි.

මේ ක්‍රමය පිරමිඩ් ක්‍රමයක්. කොඩිය විතරක් නෙමෙයි කොඩිය ගේන්න ගෙවන සල්ලිත් අන්තිමට චීනගේ. ලංකාවට කොඩිය එන්නේ කිසිම වියදමක් නැතුව. මේ ක්‍රමය සැප ක්‍රමයක්. ඇයි කිසිම මහන්සියක් නැහැනේ. කුම්බලාවෝ මාළු කෑවානම් දුක් විඳපන් බළලෝ කිවුවා වගේ දැන් ඩොලර් හිඟ වෙලා තියෙන්නේ මේ ගත්ත ණය ගෙවන්න ඩොලර් අවශ්‍ය නිසයි. ගත්ත ඩොලර් විකුණලා රුපියල් කළා වගේ දැන් රුපියල් ගෙවා ඩොලර් මිල දී ගන්න වෙනවා. එසේ කරද්දී කාලයක් තිස්සේම ඩොලර් විකුණද්දී කෘතිමව ටිකෙන් ටික පහළ ගිය ඩොලරයේ මිල තිබිය යුතු මට්ටමට ඉහළ යනවා. ඩොලර් එකකට සැලකිය යුතු තරම් වැඩි මිලක් නොගෙවා අවශ්‍ය පමණ ඩොලර් මිල දී ගන්න බැහැ. 

ඩොලර් දේශීය වෙළඳපොළට ටිකෙන් ටික පොම්ප කරද්දී, ඒ හරහා ඩොලර් කුණු කොල්ලෙට විකිණෙද්දී, ආනයන කෘතීම ලෙස ලාබ වී, දේශීය නිෂ්පාදන ටිකෙන් ටික වැටුණා. මෙය වසර දහයක පහළොවක සිට ක්‍රමක්‍රමයෙන් සිදු වූ දෙයක්. දැන් ඩොලර් එකේ අගය නිවැරදි වුනා කියලා ඒ සියලු කර්මාන්ත වලට එක වර ඔලුව උස්සන්න බැහැ. නැවත අපනයන වෙළඳපොළවල් හොයා ගන්න කාලයක් යනවා. එහෙම හරි ඒ වැඩේ වෙන්නේ ඩොලර් එකේ අගය නිවැරදි වුනොත් පමණයි. ඩොලර් එක හිර කරගෙන අපනයන වැඩි කරන එකනම් කොහොමටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.

ඩොලර් හිඟයට තාවකාලික විසඳුමක් විදිහට ආනයන පාලනය කරන්න පුළුවන්. එයින් වෙන්නෙත් ඩොලර් එකේ මිල ඉහළ ගිය විට මෙන්ම ආනයන සීමා වන එකයි. හැබැයි එක පැත්තකින් එයින් අපනයන වල වෙනසක් වෙන්නේ නැහැ. අනෙක් පැත්තෙන්, මේ ආනයන පාලන ඉවත් කළ වහාම නැවත ප්‍රශ්නයේ මුලට යනවා. ඊට අමතරව තෙවන ප්‍රශ්නයක්ද තිබෙනවා. ආනයන පාලනයේදී වෙන්නේ කිසියම් පිරිසකට අනෙක් අයට නැති විශේෂ වරප්‍රසාදයක් ලැබෙන එක. ඒ පිරිස තෝරා ගන්නේ ආණ්ඩුව විසින්. මේ හරහා තමන්ගේ ගජ මිතුරන්ට සලකන්න අවස්ථාවක් ලැබෙන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.

ලංකාව මේ වෙද්දී මුහුණ දෙන ඩොලර් හිඟයට හේතුව ලංකාවේ ඇතැම් ආණ්ඩු විසින් අනුගමනය කළේයැයි කියන නිදහස් වෙළඳ ප්‍රතිපත්තියයැයි කියන මතය ජනගත කිරීමේදී වෙන්නේ ඇත්ත වහලා, වැරැද්ද මිනිස්සු මතම පටවලා, ආනයන පාලනය දිගටම ක්‍රියාත්මක කරන්න අවකාශයක් සකස් කර ගන්න එකයි.

Wednesday, November 24, 2021

අපි දැන් මොකද කරන්නේ?


ලංකාව විශාල ආර්ථික අර්බුදයක සිර වී සිටින බව මේ වෙද්දී බොහෝ දෙනෙක් පිළිගන්නවා. මෙතෙක් ආ ක්‍රමයට හෝ ක්‍රම වලට තව දුරටත් ඉදිරියට යා නොහැකිය යන අදහසත් මේ වෙද්දී ප්‍රධාන ධාරාවේ අදහසක් වෙලා. එය හොඳ තත්ත්වයක්. ප්‍රශ්නයකට විසඳුම් හෙවීම සාර්ථක වීම සඳහා මූලික කොන්දේසිය ප්‍රශ්නයක් ඇති බව පිළිගැනීමයි.

ප්‍රශ්නය යම් තරමකින් හෝ පැහැදිලි වුවත් ප්‍රශ්නයට පැහැදිලි විසඳුම් කා ළඟවත් පෙනෙන්න නැහැ. "අපේ ප්‍රශ්න අපි විසඳාගන්නම්. ඕගොල්ලෝ පැත්තකට වෙලා ඉන්න!" කියා කියපු ඇතැම් අයද ඇතුළුව බොහෝ දෙනෙක් "කළ යුත්තේ කුමක්ද?" කියා අපෙනුත් අහනවා. 

පැටලිලා තිබෙන නූල් බෝලයක පැටලුම් අරින එක ලේසි නැහැ. එක කොණකින් පටන් ගෙන සීරුමාරුවට වැඩේ කරගෙන යා යුතුයි. පැටළුම් අරින්න දරන උත්සාහය නිසාම නූල තව තවත් පැටලෙන්න පුළුවන්. 

ඉතා මෑතක් වන තුරුම ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙකට ආර්ථික අර්බුදයක් පෙනුණේ තමන් බලයේ නොසිටි වකවානු වලදී පමණයි. මේ පක්ෂ දෙකෙන් එකක් හෝ බලයේ සිටිද්දී බලයේ සිටි පක්ෂයට සාපේක්ෂව ආර්ථිකය හොඳින් ක්‍රියාත්මක වුනා. එම පක්ෂ දෙකටම අනුව, ලංකාවේ ආර්ථිකයේ ප්‍රශ්න ආණ්ඩුව මෙහෙයවූ අයගේ ප්‍රශ්න මිසක් නිදන්ගත, ආකෘතිමය ප්‍රශ්න වූයේ නැහැ. බලයට පත් වූ ආණ්ඩුව හැම විටම කළේ කලින් ආණ්ඩුවේ "වැරදි හදන" එකයි. 

මම මෙයින් අදහස් කළේ මේ පක්ෂ වල ලොක්කන් ඇත්තටම මේ විදිහට හිතුවා කියන එක නෙමෙයි. ඔවුන්ට රටේ සැබෑ තත්ත්වය ගැන යම් හෝ අවබෝධයක් තිබුණේ නැහැ කියා හිතන්න බැහැනේ. එහෙත්, දිගින් දිගටම ඔවුන් රටට කිවුවේ ඔය කලින් කී කතාව. 

මෙයින් වෙනස්ව ජනතා විමුක්ති පෙරමුණ විසින් දිගින් දිගටම ප්‍රශ්න දැක්කා. ඒවා ගැන කතා කළා. හැබැයි බොහෝ විට ඒ දැක්කේත් ආණ්ඩු බලය තිබුණු කවර හෝ පක්ෂයේ වැරදි මිසක් නිදන්ගත, ආකෘතිමය ප්‍රශ්න නෙමෙයි. එහෙම නැත්නම් වෙළඳපොල (ධනවාදී) ක්‍රමයේ ප්‍රශ්න. මේ වන විටනම් ජවිපෙ විසින් වෙළඳපොළ විවේචනය කරන්නේ ඉතා අඩුවෙන් හා පරිස්සමෙන්.

මේ ඉතිහාසය එක්ක බැළුවහම දැන් තත්ත්වය හොඳ තත්ත්වයක්. හැමෝම නැතත් ආණ්ඩු බලය හොබවන පක්ෂයේ බොහෝ දෙනෙක් මේ වෙද්දී රටේ දරුණු ආර්ථික අර්බුදයක් තිබෙන බව පිළිගන්නවා. ඒ අනුව, මුල් වරට, රටේ ජන බලයක් තිබෙන පක්ෂ සියල්ලම අතර යම් කිසි ආකාරයක පොදු එකඟතාවයක් ඇති වී තිබෙනවා. පවතින ආණ්ඩුවට කඩේ යමින් රටේ විසඳිය යුතු ප්‍රශ්නයක් නැහැ කියා කියන සීමිත පිරිසගේ කටවල් මේ වෙද්දී වැහිලා තිබෙනවා. ඇත්තටම කියනවානම් ආණ්ඩු බලය තිබෙන පක්ෂයට වුවත් ප්‍රතික්ෂේප කළ නොහැකි තරමට අර්බුදය ඔඩු දුවා තිබෙනවා. 

රටේ විසඳුම් අවශ්‍ය ප්‍රශ්නයක් ඇති බව බොහෝ දෙනෙකුගේ පොදු පිළිගැනීම වීම ප්‍රශ්නය විසඳීම සඳහා අවශ්‍ය පළමු කොන්දේසියයි. දැන් ඒ කොන්දේසිය සැපිරිලා. දෙවන කොන්දේසිය වන්නේ ප්‍රශ්නය හෝ ප්‍රශ්න නිවැරදිව හඳුනා ගැනීමයි. හරි ප්‍රශ්නය තෝරා නොගත්තොත් හරි පිළිතුරක් හොයා ගන්න බැහැ. 

දෙවන කාරණය හා අදාළවද යම් පොදු එකඟතාවන් ඇති වී තිබුණත් මෙහිදී පළමු කාරණය හා අදාළව දැකිය හැකි තරමේ පුළුල් එකඟතාවයක් තවමත් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා, මේ මොහොත වෙද්දීත් වැරදි විසඳුම් හොයාගෙන තවත් වටයකින් අමාරුවේ වැටෙන්න සිදු වීමේ අවදානම තිබෙනවා.

ගම්මන්පිල විසින් සංක්ෂිප්තව කියා ඇති "රටට ඩොලර් නැහැ රජයට රුපියල් නැහැ" කියන එක පවතින ප්‍රශ්නය පිළිබඳ සරල පැහැදිලි කිරීමක්. මේ පිළිබඳවත් දැන් බොහෝ දෙනෙකුට පුළුල් අවබෝධයක් තිබෙනවා. මේ වගේ තැනකට රට වැටුණේ කොහොමද?

ලංකාව නිදහස ලබද්දී රටට ඩොලර් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. රජයට රුපියල් ප්‍රශ්නයක් තිබුණේත් නැහැ. මේ ප්‍රශ්න දෙකම නිදහසින් පසු හදාගත් ප්‍රශ්න. මේ ප්‍රශ්න ඇති වීමට හේතු වූ "වැරදි" ප්‍රතිපත්ති මොනවාද?

නිදහසින් පසු ලංකාවේ ආර්ථිකය මෙහෙයවීම සම්බන්ධව පැවති හා පවතින දේශපාලන ප්‍රවේශයන් කාණ්ඩ තුනක් යටතේ වර්ග කළ හැකියි.

1. සංවෘත, රාජ්‍යමූලික, මධ්‍යගත සැලසුම් ක්‍රමය (සම්ප්‍රදායික සමාජවාදය)

2. විවෘත, රාජ්‍යමූලික, මධ්‍යගත සැලසුම් ක්‍රමය (සමාජවාදී වෙළඳපොළ ආර්ථිකය)

3. විවෘත, ජාත්‍යන්තරවාදී, නිදහස් වෙළඳපොළ මූලික ක්‍රමය (නිදහස් වෙළඳපොළ ආර්ථිකය)

මේ ක්‍රම අතරින් පළමු ක්‍රමය 1970-77 කාලයේදී ලංකාව තුළ එහි උච්ඡස්ථානයට පැමිණ තීරණාත්මක ලෙස ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව තව දුරටත් එම ක්‍රමයට වලංගු භාවයක් නැහැ. 1990 පමණ වෙද්දී ලෝක මට්ටමෙන්ද මේ ක්‍රමය ප්‍රතික්ෂේප වුනා. 1993 පමණ වන තුරු මේ ක්‍රමය වෙනුවෙන් පෙනී සිටි ශ්‍රීලනිපය ඉන් පසුව දෙවන ක්‍රමයට මාරු වුනා. එතැන් සිට දිගටම මේ ක්‍රමය වෙනුවෙන් පෙනී සිටි ජවිපෙ මේ වෙද්දී මේ ක්‍රමයෙන් විතැන් වීමට උත්සාහ කරමින්, පළමු හා දෙවන ක්‍රම අතර සංක්‍රමණික අවදියක සිටින බව පේනවා. දැනට මෙවැනි ක්‍රමයක් වෙනුවෙන් සෘජුව පෙනී සිටින්නේ ජවිපෙන් කැඩී ගිය පෙසපෙ පමණක් විය යුතුයි. 

පළමු ක්‍රමයේ වැරදි හා අඩුපාඩු පෙන්වීම ඉතා පහසුයි. නමුත්, ඒ වැරදි හා අඩුපාඩු පෙන්වීමට අප මහන්සි නොවන්නේ ඒ වැරදි හා අඩුපාඩු පිළිබඳව ලංකාවේ බොහෝ දෙනෙකුට සැකයක් නැති නිසයි. කාට හෝ සැකයක් ඇත්නම් පැහැදිලි කළ හැකියි. කෙසේ වුවත්, මෙයින් අදහස් වන්නේ මේ ක්‍රමයේ සාධනීය ලක්ෂණ කිසිවක්ම නැති බව නෙමෙයි. 

ඉහත තෙවන ක්‍රමය ආසන්න වශයෙන් 1950දී ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටවන තුරුම අවම වශයෙන් වසර 130ක් පමණ ලංකාවේ සාර්ථකව ක්‍රියාත්මක වූ ක්‍රමයයි. එම කාලය තුළ ලංකාවට ඩොලර් (පවුම්) ප්‍රශ්නයක් හෝ රුපියල් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. සමගි පෙරමුණු ආණ්ඩුව කාලයේ පැවති හෝ දැන් තිබෙන ආකාරයේ ප්‍රශ්න තිබුණේත් නැහැ. 1950 දක්වා විධිමත් ලෙස සකස් කළ ආර්ථික වර්ධන ඇස්තමේන්තු නැතත්, පසුකාලීනව පර්යේෂකයින් විසින් වරින් වර සකස් කර තිබෙන ඇස්තමේන්තු හා ඓතිහාසික සාක්ෂි මත පදනම් වූ නිගමන අනුව නිදහසට පෙර ලංකාවේ ආර්ථිකය නිදහසින් පසු වර්ධනය වූ වේගයෙන්ම හෝ වැඩි වේගයකින් වර්ධනය වී තිබෙනවා.

නිදහසින් පසු ලංකාව විසින් තෙවන ක්‍රමය අතහැර තෝරාගත් දෙවන ක්‍රමය මේ වන තුරුද ලංකාවේ වඩාත්ම ජනප්‍රිය ක්‍රමයයි. දැන් අර්බුදයට ගොස් තිබෙන්නේ මේ ක්‍රමයයි. 1947දී ජේආර් ජයවර්ධන මුදල් ඇමති වීමෙන් පසුව තෙවන ක්‍රමයේ සිට දෙවන ක්‍රමය දක්වා ලංකාව මාරු වුනා. ඇතැම් විට එසේ කිරීමෙන් පළමු ක්‍රමය දක්වා මාරු වීමෙන් සිදු විය හැකිව තිබුණු විනාශය වැළකුණා වෙන්න පුළුවන්. 1993 පමණ දක්වාම පළමු ක්‍රමයට ලංකාව තුළ සැලකිය යුතු ඉල්ලුමක් තිබුණා. දැන් වුවත් 3%කට නොවැඩි පිරිසක් මේ ක්‍රමයට කැමතියි.

අසාර්ථක සමගි පෙරමුණු පරීක්ෂණය හරහා ලංකාව තුළ පළමු ක්‍රමය තීරණාත්මක ලෙස පරාජය වන තුරු දෙවන ක්‍රමය වුවත් හරියකට ක්‍රියාත්මක කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ අවස්ථාව ලැබුණේ හැත්තෑ හතේදී. මුලින් ශ්‍රීලනිප ක්‍රමයට ප්‍රතිවිරුද්ධ එජාප ක්‍රමයක් වූ මේ ක්‍රමය පසුකාලීනව ඉදිරියට ගෙන ගියේ රාජපක්ෂලා විසින්. දැන් මේ ආණ්ඩුව පෙනී සිටින්නේත් අඩු වැඩි වශයෙන් මේ ක්‍රමය වෙනුවෙන්. ඉගිලෙන්න ඉඩ ලැබෙන තුරු කොකාගේ සුද හරියට පෙනෙන්නේ නැහැ. දැන්නම් කොකාගේ සුද හොඳින් පේනවා.

නිදහසින් පසුව විශාල කාලයක් යන තුරු තෙවන ක්‍රමයට ලංකාව තුළ පිළිගැනීමක් තිබුණේ නැහැ. එයට හේතුව එම ක්‍රමයට විරුද්ධ වීම බොහෝ දෙනෙකු විසින් අධිරාජ්‍ය විරෝධයක් ලෙස දැකීම විය යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුදැන වදාරන ක්‍රමයද මේ ක්‍රමයයි. නිදහසින් පසුව ලංකාව තුළ මේ ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීමට උත්සාහ කර තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය දැරූ 2002-2003 හා 2015-2019 කාල වකවානු වල පමණයි. එහෙත්, ඒ අවස්ථා දෙකෙන් එකකදීවත් එම ක්‍රමයේ සාර්ථකත්වය දිගුකාලීනව පරීක්ෂා කිරීමේ අවස්ථාව ලංකාවට ලැබුණේ නැහැ. මේ ක්‍රමය ලංකාවේ දැනටත් බහුතර පිළිගැනීමක් තිබෙන ක්‍රමයක් නෙමෙයි. කවර අඩුපාඩු මධ්‍යයේ වුවත් තවමත් ලංකාවේ බොහෝ දෙනෙක් කැමති දෙවන ක්‍රමයටයි.

දෙවන ක්‍රමය මේ වෙද්දී අර්බුදයට ගොස් ඇති බව ඉතා පැහැදිලියි. එම අර්බුදය හමුවේ එජාපය විසින් යෝජනා කරන්නේ තෙවන ක්‍රමය හෝ ඒ පැත්තට විතැන් වූ ක්‍රමයක්. ජවිපෙ විසින් පළමු ක්‍රමය පැත්තට විතැන් වූ ක්‍රමයක් යෝජනා කරනවා. සජබෙ තුළ විවිධ පාර්ශ්ව දැකිය හැකියි. ඇතැම් අයගේ ප්‍රවේශය එජාප ප්‍රවේශයට සමානයි. චම්පික හා සජිත් වැනි අය ආණ්ඩුවේ ප්‍රවේශය දැඩි ලෙස විවේචනය කරන නමුත් ඔවුන් සතු විකල්ප ප්‍රවේශයක් ගැන පැහැදිලිව නොකියන්නට ප්‍රවේශම් වන බව පේනවා. බොහෝ විට ඔවුන් පෙනී සිටින්නේ පවතින ආණ්ඩුව මෙන්ම, දෙවන ක්‍රමය පිළිසකර කර දිගටම පවත්වා ගෙන යාම වෙනුවෙන් විය හැකියි. ආණ්ඩුව විවේචනය කරන ආණ්ඩුවේම කොටස් වුවද සිටින්නේ මෙවැනි තැනක කියා හිතන්න පුළුවන්.

දැන් ප්‍රශ්නය දෙවන ක්‍රමය පිළිසකර කර තවත් ඇදගෙන යා හැකිද කියන එකයි. මහ බැංකු අධිපති කබ්රාල් වැනි අය එසේ කළ හැකිය යන විශ්වාසයේ සිටිනවා. ආණ්ඩුවේම ඇතැම් කොටස් වලට ඒ විශ්වාසය නැහැ. මේ ක්‍රමය මුළුමනින්ම අත හැර දැමිය යුතු, කිසිදු ගත යුත්තක් නැති ක්‍රමයක් නෙමෙයි. නිදහසෙන් පසුව මේ ක්‍රමය හරහා ලංකාව විසින් ලඟා කරගත් බොහෝ දේ තිබෙනවා. ඉදිරියට යා නොහැක්කේ එම ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී යොදා ගත් ඇතැම් ප්‍රවේශයන් සමඟයි. 

පවතින ක්‍රමය එලෙසම ඉදිරියට ගියොත් එය කෙටි කලක් තුළ සිදුවන විශාල විනාශයකින් කෙළවර විය හැකියි. එය වලක්වා ගත හැකි ක්‍රමය යම් කාලයක් දක්වා හෝ පළමු හෝ තෙවන ක්‍රමය වෙත විතැන් වීමයි. දැනට ආණ්ඩුව මේ ප්‍රවේශ දෙක අතර දෝලනය වෙමින් සිටිනවා. පළමු ක්‍රමය වෙත විතැන් වීම දිගුකාලීනව හානිකර ප්‍රවේශයක්. තෙවන ක්‍රමයෙන් දිගුකාලීනව යහපතක් මිස අයහපතක් සැලසෙන්නේ නැහැ. හැබැයි ඔය දෙකෙන් කොයි එක කළත් ලංකාවේ කේතුමතියක් පහළ වෙන්නේ නැහැ. කෙටිකාලීනව ගෙවිය යුතු මිල කොහොමටත් ගෙවන්නම වෙනවා.

Sunday, November 21, 2021

ශ්‍රමික ප්‍රේෂණ උල්පතත් හිඳෙන්නද යන්නේ?


වැරදි විදේශ විණිමය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා දැඩි විදේශ විණිමය අර්බුදයකට මුහුණ දී සිටින ලංකාව මේ තරමින් හෝ ඔළුව උස්සාගෙන ඉන්නේ දිගින් දිගටම ලැබෙන විදේශ ශ්‍රමික ප්‍රේෂණ නිසයි. විශාල විදේශ විණිමය අර්බුදයක සිර වී සිටි පසුගිය වසරේදීද ලංකාවට ඩොලර් මිලියන 7,103.9ක ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබුණා. මෙය සාමාන්‍ය වශයෙන් මසකට ඩොලර් මිලියන 592ක්. අඩු වශයෙන් පසුගිය වසර හතක පමණ කාලය තුළ ලංකාවට සාමාන්‍ය වශයෙන් මාසිකව මීට ආසන්න ඩොලර් ප්‍රමාණයක් ශ්‍රමික ප්‍රේෂණ ලෙස ලැබුණා.

කෙසේ වුවද, පසුගිය සැප්තැම්බර් මාසයේදී ලංකාවට ශ්‍රමික ප්‍රේෂණ ලෙස ලැබී තිබෙන්නේ ඩොලර් මිලියන 352.2ක් පමණයි. මෙම ප්‍රමාණය පසුගිය වසර 11ක කාලය තුළ ලංකාවට මසක් තුළ ලැබී ඇති අවම ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය වන අතර පෙර වසරේ සැප්තැම්බර් මාසයේදී ලැබුණු ඩොලර් මිලියන 702.7න් බාගයක පමණ ප්‍රමාණයක්. 

මහ බැංකුවේ විදේශ විණිමය උපයා ගැනීමේ උපාය මාර්ග අතරද ශ්‍රමික ප්‍රේෂණ වලට විශාල බරක් තබා තිබෙනවා පමණක් නොව අනාගතයේදී ලැබෙන්නට නියමිත ශ්‍රමික ප්‍රේෂණ ඇපයට තබා ණය ගැනීමේ සැලසුමක් පිළිබඳවද මහ බැංකුව මෑතකදී ප්‍රකාශයක් නිකුත් කළා. එහෙත්, මෙය කරන්න යන්නේ විණිමය අනුපාතය හිර කරගෙන තබා ගෙනයි. 

විණිමය අනුපාතය හිර කරගෙන ශ්‍රමික ප්‍රේෂණ ඉහළ නංවා ගැනීම, අපනයන වැඩි කිරීම, ආනයන ඉල්ලුම සීමා කිරීම ආදී කිසිවක් කළ නොහැකියි. සාමාන්‍ය භාෂාවෙන් කියනවානම් මෙය අධෝමුඛය මසා විරේක බේත් දෙනවා වගේ වැඩක්.

ශ්‍රමික ප්‍රේෂණ මේ තරම්ම අඩු වෙන්න පිළිගත හැකි බාහිර හේතුවක් නැහැ. මෙයින් පෙනෙන්නේ ලංකාවට සාමාන්‍යයෙන් ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ වලින් විශාල ප්‍රමාණයක් බැංකු පද්ධතිය මඟ හැර වෙනත් මාර්ග හරහා රටට පැමිණෙන බවයි. අනෙක් පැත්තෙන් එයින් අදහස් වන්නේ ඩොලර් අවශ්‍ය, එහෙත් විධිමත් ලෙස ඩොලර් මිල දී ගැනීමේ අවස්ථාව අහිමි කරනු ලැබ ඇති, ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙක් මොන විදිහකින් හෝ තමන්ට අවශ්‍ය ඩොලර් හොයා ගන්නා බවයි. කවර බාධා ක්‍රියාත්මක වුවත් ඉල්ලුම හා සැපයුම සමතුලිත වීම නොවැලැක්විය හැකියි.

මෙතෙක් ඉදිරිපත් කළ "මහදැනමුතු විසඳුම්" බොහොමයක්ම මේ වන විට රිවස් කර තිබෙන මේ ආණ්ඩුවට විදේශ විණිමය ප්‍රතිපත්තියද වැඩි කලක් නොයා රිවස් කරන්නට සිදු වනු නොඅනුමානයි. දැනටමත් එළුවාගේ බෙල්ල කපා අවසන් කර ඇති ආණ්ඩුව කොයි වෙලාවේ හෝ මුට්ටිය බිඳීමෙන් පසුව ඩොලරයේ මිල එකවර සැලකිය යුතු මට්ටමකින් ඉහළ යාමද නොවැලැක්විය හැකියි. එවිට සිදු වනු ඇත්තේ දැනට විරේක බෙහෙත් බීමේ අපහසුතාවයෙන් පෙලෙන ජනතාවට අධෝමුඛය ඉරී යාමේ වේදනාවටද මුහුණ දෙන්නට සිදු වීමයි.

Saturday, November 13, 2021

අයවැය අභියෝගය


තවත් අයවැයක් ඉදිරිපත් කර තිබෙනවා. තවත් අයවැයක් කියා කිවුවත් මෙය තවත් අයවැයක්ම නෙමෙයි. ලංකාව තීරණාත්මක මංසන්ධියකට එළැඹ සිටින අවස්ථාවක ඉදිරිපත් කෙරෙන අයවැයක්. ලෝකය පුරා විසිරී සිටින, ලංකාව ගැන කවර ආකාරයක හෝ උනන්දුවක් තිබෙන බොහෝ දෙනෙක් දෑස් දල්වා බලා සිටි අයවැයක්.

රාජ්‍ය අයවැයක් කියා කියන්නේ රජයේ ඇස්තමේන්තුගත ආදායම් හා වියදම් පිළිබඳ ලියවිල්ලක් මිසක් එය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන පුද්ගලයාගේ ලොකු තාත්තා, තාත්තා හා අයියා ඇතුළු පරම්පරාව ගැන පුරාජේරු ගහන්න හදන ලියවිල්ලක් නොවන නිසා අපි කෙළින්ම අවශ්‍ය තැනට යමු. 

ඉදිරි වසර සඳහා යෝජිත රජයේ ආදායම් හා වියදම් මෙහෙමයි.

මුළු ආදායම - රුපියල් බිලියන 2,284යි.

මුළු වියදම - රුපියල් බිලියන 3,912යි.

අයවැය හිඟය - රුපියල් බිලියන 1,628යි.

රුපියල් බිලියන 1,628ක අයවැය හිඟයක් පවත්වා ගන්න සැලසුම් කරනවා කියන්නේ ඒ අඩුව ණය වලින් පුරවා ගත යුතුයි කියන එකයි. ඊට අමතරව, ඉදිරි වසර තුළ ආපසු ගෙවිය යුතු ණය ගෙවීමටත් ණය ගන්න වෙනවා. නමුත්, දැන් ලංකාව ඉන්නේ ලේසියකට විදේශ ණය ගන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි. ඒ නිසා, අයවැය හිඟය පියවන්න වෙන්නේ දේශීය ණය වලින්.

රජය විසින් ඉදිරි වසර තුළ රුපියල් බිලියන 508ක විදේශ ණය ලබා ගන්න සැලසුම් කර තිබෙනවා. එහෙත්, වසර තුළ ආපසු ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය රුපියල් බිලියන 687ක්. ඒ නිසා, අයවැය හිඟය වන රුපියල් බිලියන 1,628ට අමතරව විදේශ ණය වලින් කොටසක් පියවීම සඳහාද රුපියල් බිලියන 179ක දේශීය ණය ලබා ගන්න අවශ්‍ය වෙනවා.

මේ අනුව, දේශීය ණය අවශ්‍යතාවය රුපියල් බිලියන 1,807ක්. එයින් රුපියල් බිලියන 501ක් බැංකු අංශයෙන්ද ඉතිරිය බැංකු නොවන අංශ වලින්ද ලබා ගැනීම සැලසුමයි.

රුපියල් බිලියන 508ක විදේශ ණය කියා කියන්නේ ඩොලරය රුපියල් 200 ගණනේ ගණන් හැදුවොත් ඩොලර් බිලියන 2.54ක්. මේ ප්‍රමාණයෙන් රුපියල් බිලියන 150ක් (ඉහත විණිමය අනුපාතය අනුව ඩොලර් මිලියන 750ක්) වාණිජ ණය ලෙසත්, ඉතිරි මුදල ව්‍යාපෘති ණය ලෙසත් ලබා ගන්නට යන බවයි සඳහන්ව තිබෙන්නේ.

ව්‍යාපෘති ණය සාමාන්‍යයෙන් හදිසියේ ලබා ගන්න බැහැ. මේ ඇස්තමේන්තුව පදනම් වෙනවා ඇත්තේ දැනට යෝජනා ඉදිරිපත් කර ණය ලබා ගැනීම සඳහා වැඩ කටයුතු සිදු වෙමින් තිබෙන (pipeline එකේ තිබෙන) ව්‍යාපෘති මත පදනම්ව විය යුතුයි. එසේ වුවත්, එවැනි ව්‍යාපෘති ණය අපේක්ෂා කළ පරිදිම ලැබෙන බවට සියයට සියයක සහතිකයක් නැහැ. මිලියන 750ක් කියා කියන්නේ ලංකාව අරගෙන තිබෙන ණය වල හැටියට ලොකු ණයක් නොවුණත්, මේ වෙලාවේ එවැනි මුදලක් වුවත් වාණිජ ණය ලෙස ලබා ගැනීම අභියෝගාත්මක කටයුත්තක්.

මේ ණය සියල්ල ගත්තත් ලබන වසරේ ගෙවිය යුතු විදේශ ණය ආපසු ගෙවීම සඳහා තවත් ඩොලර් මිලියන 900ක් පමණ දේශීය වෙළඳපොළෙන් මිල දී ගන්න සිදු වෙනවා. පසුගිය වසර ගණනාවක් තුළ ලංකාවේ දේශීය වෙළඳපොළේ ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වුනේ ඩොලර් බිලියන දෙකක හෝ තුනක ණය වෙළඳපොළට සැපයීමෙන් පසුවයි. ඒ වැඩේ කරන්න බැරි වීමෙන් පසුව සංචිත ක්ෂය වෙන්න පටන් ගත්තා. ඉන් පසුව, ආනයන පාලනය කරන්න සිදුවුණා.

දැන් සංචිත ඩොලර් මිලියන 2,268 දක්වා පහත වැටිලා. ඒ, විශාල ලෙස ආනයන පාලනය කරන පසුබිමක. මේ වගේ තත්ත්වයක් තුළ රටට එන ඩොලර් වලින් ඩොලර් මිලියන 900ක් ණය ගෙවන්න ගන්නවා කියන්නේ එම අඩුව හා ගැලපෙන පරිදි තව දුරටත් ආනයන සීමා කරන්න වෙනවා කියන එකයි. එසේ නැත්නම්, සංචිත තවත් අඩු වෙනවා කියන එකයි.

මේ විදිහට ඩොලර් මිලියන 900ක් දේශීය වෙළඳපොළෙන් හොයා ගෙන ගොඩ දාගන්න පුළුවන් වෙන්නේත් අපේක්ෂිත පරිදි ඩොලර් බිලියන 2.54ක් ණය ගන්න පුළුවන් වුනොත්. වාණිජ ණය ලෙස ඩොලර් මිලියන 750ක් ලබා ගැනීම බොහෝ විට සිදු නොවෙන්න පුළුවන්. ව්‍යාපෘති ණය වුවත්, ඇස්තමේන්තුවේ තිබෙන තරමටම නොලැබෙන්න වැඩි ඉඩක් තිබෙනවා. බොහෝ විට සිදු විය හැකි පරිදි, විදේශ ණය ගෙවීම සඳහා මිල දී ගත යුතු ඩොලර් අවශ්‍යතාවය ඩොලර් මිලියන 900ක් නොවී ඩොලර් බිලියන 2ක් පමණ වුවහොත්, එය ඉතාම දරුණු තත්ත්වයක්.

සංචාරක කර්මාන්තය යම් තරමකින් හිස ඉසෙවුවොත් එයින් සහනයක් ලැබෙයි. එහෙත්, ඉදිරි වසරේදී එසේ සංචාරක කර්මාන්තය හිස එසෙවුවත්, වසංගතයට පෙර පැවති මට්ටමට නැවත යාමේ ඉඩක් පෙනෙන්නේ නැහැ. අනෙක් අතට සංචාරකයෝ රටට ගෙන්නන එකත්, ආනයන සීමා දිගටම පවත්වා ගැනීමත් දෙකම එකට කිරීම අසීරු වැඩක්.

එක දෙයක් පැහැදිලියි. ඒ, ඉදිරි වසර තුළද දැඩි ආනයන සීමා පවත්වා ගන්න සිදු වෙනවා කියන එක. එහි අහිතකර ප්‍රතිඵල ගණනාවක් තිබෙනවා. රට තුළ භාණ්ඩ හිඟය, ආර්ථික වර්ධනය අඩාල වීම හා මේ දෙකේම සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය ලෙස මිල ගණන් ඉහළ යාම එයින් ප්‍රධාන දේවල්. 

මේ වගේ තත්ත්වයක් යටතේ අපේක්ෂිත පරිදි බදු ආදායම් වැඩි කර ගත හැකි වෙයිද? 

භාණ්ඩ හා සේවා බදු ආදායම වසර තුළ 58.6%කින්ද, ආදායම් බදු ආදායම 68.1%කින්ද, ආනයන බදු ආදායම 21.1%කින්ද, බදු නොවන ආදායම්  32.9කින්ද වැඩි කර ගැනීම සැලසුමයි. වැඩිම මුදලක් උපයා ගන්න සැලසුම් කර තිබෙන්නේ භාණ්ඩ හා සේවා බදු වලින්. මේ බදු  නිසා සෘජු ලෙසම භාණ්ඩ හා සේවා මිල ඉහළ යනවා. ආනයන බදු නිසා වෙන්නේත් බඩු මිල ඉහළ යාමයි. සමාගම් වල ආදායම් මත අය කරන බදු වලින් විශාල කොටසක්ද එම සමාගම් විසින් පාරිභෝගිකයන්ගෙන් අය කර ගැනෙන නිසා එයින්ද බඩු මිල ඉහළ යනවා.

පසුගිය ආණ්ඩුව විසින් බදු වැඩි කිරීම දේශපාලන සටන් පාඨයක් කර ගනිමින් බලයට පත් වූ මේ ආණ්ඩුවටද අවසන් වශයෙන් ඒ දේම කරන්නට සිදු වීමෙන් පෙනෙන්නේ මේ ආණ්ඩුවටද ඊට වඩා වෙනස් විකල්පයක් නැති බවයි. විශාල රජයක් නඩත්තු කරන්න අවශ්‍යනම් එහි මිලද සෘජුව හෝ වක්‍රව අය කර ගන්නම වෙනවා.

ලංකාවේ ආණ්ඩු විසින් කාලයක් තිස්සේ රාජ්‍ය අයවැය හරහා ජනතාවට විවිධ සහන ලබා දෙමින් එහි බර ඉදිරි ආණ්ඩුවකට තල්ලු කළා. දැන් එය තව දුරටත් කළ නොහැකියි. මේ යථාර්තයට මුලින්ම මුහුණ දෙන්න සිදු වුනේ යහපාලන ආණ්ඩුවටයි. එම ආණ්ඩුව 2015දී මැතිවරණය ඉලක්ක කර විවිධ සහන දුන්නා. එහෙත්, ඔවුන්ට එවැනි සහන නඩත්තු කරමින් වසර හතරක් ඇද ගන්න පුළුවන්කමක් ඒ වන විට තිබුණේ නැහැ. ඒ නිසා, අන්තිමට දුන්නාටත් වැඩියෙන් ආපසු ගන්න සිදු වුනා. මෙය කරන්න යාමේදී ආණ්ඩුවේ ජනප්‍රියත්වය හොඳටම ගිලිහුණා.

මේ ආණ්ඩුවද බලයට පත් වූ වහාම, මැතිවරණ ඉලක්ක කර, ඊටත් වඩා විශාල සහන දුන්නා. එහෙත්, මේ ආණ්ඩුවට එවැනි සහන නඩත්තු කරමින් ඊළඟ මැතිවරණය දක්වා රාජ්‍යමූල කළමනාකරණය කළ නොහැකියි. මේ ආණ්ඩුවටත් දැන් යථාර්තයට මුහුණ දෙන්න සිදු වෙලා. වෙනත් අයෙකු බලයට පැමිණියා කියලාත් මේ යථාර්තය වෙනස් වෙන්නේ නැහැ. මැතිවරණ පොරොන්දු, අයවැය සහන ගැන බලාපොරොත්තු තැබිය හැකි වූ යුගය දැන් ඉවරයි. අලුතින් බලයට පත්වන කවර හෝ ආණ්ඩුවක් එවැනි පොරොන්දු දී එම පොරොන්දු ඉටු කළහොත්, ඊළඟ වසරේ සිටම එසේ ලබා දුන් සහන සියල්ල පොලියත් සමඟ ආපහු ගන්නම වෙනවා.

යහපාලන ආණ්ඩුව දේශපාලනික සටන් පාඨයක් ලෙස ප්‍රයෝජනයට ගත්තේ රාජපක්ෂලාගේ "හොරකම්". බැඳුම්කර "හොරකම" එක්ක ඔවුන්ගේ සටන් පාඨය ඔවුන්ටම පාරාවළල්ලක් වුනා. යහපාලන බදු දේශපාලනික සටන් පාඨයක් ලෙස ප්‍රයෝජනයට ගත් මේ ආණ්ඩුවටද ඉදිරියේදී මුහුණ දෙන්නට සිදුවනු ඇත්තේ එවැනිම අභියෝගයකටයි. 

බදු නිසා බඩු මිල ඉහළ යනු ඇතත් ඒ එක්කම ඉල්ලුම පහළ යන නිසා ඇස්තමේන්තු වල තිබෙන තරමට ආදායම් ලැබේයයි සිතිය නොහැකියි. එසේ වුවහොත්, වියදම්ද සීමා කරන්න වෙනවා. අයවැය ඇස්තමේන්තු වල තිබෙන ප්‍රාග්ධන වියදම් වලින් වැඩි කොටසක් කපා හැරෙනු ඇති බවනම් සහතික කර කිව හැකියි. පුනරාවර්තන වියදම් අඩු කිරීම ප්‍රයෝගිකව ඉතාම අසීරු කටයුත්තක්.

දේශීය වෙළඳපොළෙන් රුපියල් බිලියන 1,807ක් ණය ලබා ගැනීමද පහසු කටයුත්තක් නෙමෙයි. ඒ සඳහා පොලී අනුපාතික වැඩි කරන්න සිදු වෙනවා. පොලී අනුපාතික ඉහළ යද්දී රජයේ වියදම්ද ඉහළ යනවා. ඒ නිසා, බැංකු අංශයෙන් ණය ගැනීම් අයවැය ඇස්තමේන්තු වල තිබෙන ගණන් ඉක්මවයි කියන එක කියන්න මහ ලොකු විශ්ලේෂණයක් කළ යුතු නැහැ. බොහෝ විට සිදු විය හැකි පරිදි, ඇස්තමේන්තු වල ඇති තරමට විදේශ ණය නොලැබුණොත් ඒ අඩුව පුරවන්න වෙන්නෙත් දේශීය ණය වලින්. ඒ කියන්නේ තවත් සල්ලි අච්චු ගහන්න වෙනවා කියන එකයි.

මේ වගේ තත්ත්වයක් යටතේ ඩොලරයේ මිල ස්ථාවරව තියා ගෙන ඉන්න එක කරන්න පුළුවන් වෙයිද?

එක දෙයක්නම් පැහැදිලියි. ඒ බඩු මිල විශාල ලෙස ඉහළ යාමට නියමිත බවයි. ගිය වසරේ අයවැය ඇස්තමේන්තු වල ආදායම් අයිතමයන් සැබෑ ආදායම් හා සැසඳූ විට හැම අයිතමයකම වගේ දැකිය හැක්කේ සැබෑ ආදායම ඇස්තමේන්තුවට වඩා අඩු බවයි. හැබැයි ඇස්තමේන්තුව ඉක්මවා අදායම් ලැබී ඇති අයිතමයක්ද තිබෙනවා. ඒ පාස්පෝට් ගාස්තු ආදායම!


Thursday, November 11, 2021

ඇමරිකාවේ උද්ධමනයත් ඉහළට!


පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමරිකාවේ උද්ධමනය 6.2% මට්ටම දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය වසර තිහක කාලය තුළ ඇමරිකාවෙන් වාර්තා වූ ඉහළම උද්ධමන අගයයි. මීට පෙර ඇමරිකාවේ උද්ධමනය මෙවැනි ඉහළ මට්ටමක තිබුණේ 1990 වසරේදී.  

උද්ධමනය මෙතරම් ඉහළ යාමට ප්‍රධානම හේතුව වසංගත කාලය තුළ විශාල ලෙස පහත වැටුණු ඉන්ධන මිල 49.5%කින් නැවත ඉහළ යාමයි. ඇමරිකාවේ උද්ධමනය මනින භාණ්ඩ හා සේවා පැසෙහි ඉන්ධන වලට 4.08%ක බරක් තිබෙන නිසා ඉන්ධන වලින් පමණක් උද්ධමනය 2.0%කින් ඉහළ යාමට දායකත්වයක් සැපයී තිබෙනවා. 28.1%කින් ඉහළ ගොස් තිබෙන ගෑස් මිලෙහි බලපෑමද එකතු කළ විට මෙම දායකත්වය 2.2%ක්.

ඉන්ධන මිලට අමතරව ඇමරිකාවේ වාහන මිලද පසුගිය කාලය තුළ විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. එයින්ද වැඩිපුරම ඉහළ ගොස් තිබෙන්නේ පරණ (පාවිච්චි කළ) වාහන වල මිලයි. අළුත් වාහන වල මිල පසුගිය වසර තුළ 9.8%කින් ඉහළ යද්දී, පරණ වාහන වල මිල 26.4%කින් ඉහළ ගොස් තිබෙනවා. උද්ධමන පැසෙහි 7.787%ක බරක් තිබෙන වාහන හා වාහන අමතර කොටස් සමස්තයක් ලෙස 16.5%කින් ඉහළ යාම නිසා ඇමරිකාවේ උද්ධමනයට තවත් 1.3%ක දායකත්වයක් ලැබී තිබෙනවා. මීට අමතරව වාහන කුලියට ගැනීමේ වියදම්ද 39.1%කින් ඉහළ ගොස් තිබෙනවා.

විශාල ලෙස මිල වැඩි වී තිබෙන තවත් අයිතමයක් වන්නේ හෝටල් හා නවාතැන්පොළ ගාස්තුයි. එම අංශයේ 25.5%ක වැඩිවීමෙන් පිළිබිඹු වන්නේද වසංගත කාලය තුළ විශාල ලෙස පහත වැටුණු මෙම සේවා ගාස්තු නැවත පෙර මට්ටමට පැමිණීමයි. 

ඉන්ධන, වාහන, නවාතැන්පොළ ගාස්තු ආදියේ වැඩිවීම නොවන්නට ඇමරිකාවේ උද්ධමනය 2.5% ආසන්න මට්ටමක තිබිය හැකි වූ බැවින් ෆෙඩරල් සංචිත බැංකුව විසින් තවමත් ඇමරිකාවේ උද්ධමනය ඉහළ යාම කණස්සල්ලට කාරණයක් සේ සලකා නැහැ. ඔවුන්ගේ අදහස වන්නේ උද්ධමනය මෙසේ ඉහළ යාම තාවකාලික තත්ත්වයක් පමණක් බවයි. එහෙත්, ඉහත පරිදි විශාල ලෙස මිල ඉහළ ගොස් ඇති අයිතමයන්ට අමතරව අනෙකුත් බොහෝ අයිතමයන්ගේ මිල ගණන්ද සාමාන්‍ය තරමට වඩා වැඩි වී තිබෙනවා.

පසුගිය වසරක කාලය තුළ සමස්තයක් ලෙස ආහාර මිල 5.3%කින්ද, ඉන්ධන, විදුලි බලය ඇතුළු බලශක්ති ප්‍රභව වල මිල 30.0%කින්ද, අනෙකුත් භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන් 4.6%කින්ද ඉහළ ගොස් තිබෙනවා. ආහාර කාණ්ඩයේ හරක්මස් හා මුවමස් මිල 20.1%කින්ද, ඌරුමස් හා ඌරුමස් ආශ්‍රිත නිෂ්පාදන (හැම් හා බේකන්) මිල 14.1%කින්ද, කුකුළුමස් මිල 8.8%කින්ද, අළුත් මාළු මිල 11.0%කින්ද, බිත්තර මිල 11.6%කින්ද ඉහළ ගොස් තිබෙනවා.

කෝවිඩ් වසංගතය හා ඒ හේතුවෙන් ආර්ථිකය සංකෝචනය වීම හමුවේ ඇමරිකන් ෆෙඩරල් රජය හා ඇමරිකාවේ මහ බැංකුව රටේ මුදල් සංසරණය විශාල ලෙස වැඩි කළා. මුදල් සැපයුමේ ඉහළ යාම උද්ධමනයට හේතු වන බව පැහැදිලි කරුණක්. 

රටේ ආර්ථිකය ප්‍රසාරණය කරන්නට අවශ්‍ය වූ විට මුදල් සැපයුම වැඩි කිරීමත්, ඒ හේතුවෙන් උද්ධමන අවදානම් මතු වෙද්දී නැවත එම මුදල් ආපසු ඇද ගැනීමත් මුදල් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන සාමාන්‍ය ක්‍රමයයි. පසුගිය 2008 ආර්ථික අවපාතයෙන් පසුවද ඇමරිකාවේ රජය හා මහ බැංකුව එකතු වී විශාල මුදල් ප්‍රමාණයක් සංසරණයට එකතු කළත් ඒ හේතුව නිසා ඇමරිකාවට උද්ධමන තර්ජනයකට මුහුණ දීමට සිදු වූයේ නැහැ. එම නිරීක්ෂණය මත පදනම්ව ඇතැම් අය සල්ලි අච්චු ගැහීම කියන තරම්ම හානිකර නොවේය යන වැරදි නිගමනයට පැමිණීමට හදිස්සි වුනා.

පසුගිය ආර්ථික අවපාතයේදී අච්චු ගැසූ සල්ලි වලින් විශාල ප්‍රමාණයක් ගියේ විශාල බැංකු හා සමාගම් බේරා ගන්නයි. එයින් වෙනස්ව, මෙවර සාපේක්ෂව අඩු ආදායම් ලබන පවුල් වලට සල්ලි බෙදා දෙනු ලැබුවා.

ලොකු ධනවතෙකුට එකවර විශාල මුදලක් ලැබුණා කියා කන ප්‍රමාණය හෝ අඳින ප්‍රමාණය වැඩි කරන්නේ නැහැ. සමස්තයක් ලෙස මෙසේ ලැබුණු මුදල් ආයෝජනය කරනවා මිස පරිභෝජනය සඳහා වැය කරන්නේ නැහැ. ඒ නිසා, කොටස් වෙළඳපොළ මිල ගණන් ආදිය ඉහළ යනවා මිස පාරිභෝගික භාණ්ඩ හා සේවා මිල ඉහළ යන්නේ නැහැ. ආයෝජන වැඩි වෙද්දී, රටේ නිෂ්පාදනය ඉහළ යන අතර රැකියා නියුක්තිය වැඩි වී සමාජයේ පහළ ස්ථර වෙතද ප්‍රතිලාභ ගලා එන නමුත් ඒ සඳහා යම් කාලයක් යනවා. මෙහිදී පාරිභෝගික භාණ්ඩ සඳහා ඉල්ලුම ඉහළ යන විට අනෙක් පැත්තෙන් නිෂ්පාදනයද ඉහළ ගොස් අවසන් නිසා මිල ඉහළ යාමක් සිදු වන්නේ නැහැ.

අඩු ආදායම්ලාභීන් අතට සෘජුව මුදල් ලබා දුන් විට සිදු වන්නේ මේ දෙයම නෙමෙයි. ඔවුන් එක පැත්තකින් එම මුදල් විශාල ලෙස භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා වැය කරන අතර අනෙක් පැත්තෙන් අතේ සල්ලි තිබෙන නිසා රැකියාවක් කරන්නට තිබෙන උනන්දුව අඩු වෙනවා. මෙහි සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය වන්නේ එක පැත්තකින් පාරිභෝගික භාණ්ඩ සඳහා ඉල්ලුම ඉහළ යද්දී අනෙක් පැත්තෙන් සැපයුම සීමා වීමයි. අවසන් ප්‍රතිඵලය උද්ධමනයයි.

සල්ලි අච්චු ගසා ලොකු සමාගම් බේරා ගැනීම නරක දෙයක් බවත්, එහෙත් සල්ලි අච්චු ගසා දුප්පතුන්ට බෙදීම හොඳ දෙයක් බවත්, කෙනෙකුට තර්ක කළ හැකියි. එහෙත්, අච්චු ගහන සල්ලි දුප්පතුන් අතට යාමෙන් ඔවුන්ට ලැබෙන ක්ෂණික සහනය උද්ධමනය ඉහළ ගිය වහාම අහෝසි වෙනවා. දුප්පතුන්ට දැනෙන උද්ධමන පීඩනය පොහොසතුන්ට දැනෙන්නේ නැහැ. උද්ධමනය ඉහළ යද්දී ඔවුන්ගේ වත්කම් වල මිල වැඩි වී ඒ වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභද ඉහළ යනවා. එම වාසිය පාරිභෝගික භාණ්ඩ වල මිල ඉහළ යාමේ අවාසියට වඩා වැඩියි. 

සල්ලි අච්චු ගසා රටක දුප්පතුන් සුබසාධනය කිරීමේදී ඇත්තටම සිදු වන්නේ ඔවුන්ව රැවටීමක් පමණයි. එක සාක්කුවකට වැටෙන සල්ලි අනෙක් සාක්කුවෙන් නැවත ආපසු යනවා. සැබෑ සුබසාධනයක් කරන්නනම් කාගෙන් හෝ බදු ලෙස එම වියදම පියවා ගන්නම සිදු වෙනවා.

Saturday, November 6, 2021

සංචිත තවත් පහළට!


ඔක්තෝබර් අවසානය වන විට ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,267.5 දක්වා තව දුරටත් පහත බැස තිබෙනවා. මෙම ප්‍රමාණයට රන් සංචිත හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇති සංචිතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෑතකදී ලැබුණු ඩොලර් මිලියන 787ක් පමණ වටිනා එස්ඩීආර් ප්‍රදානයෙන් නොවිකුණා ඉතිරිව ඇති එස්ඩීආර් ප්‍රමාණයද ඇතුළත්. 

පසුගිය සැප්තැම්බර් අවසානය වන විට ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,704.2ක් වූ අතර, අගෝස්තු අවසානය වෙද්දී එම ප්‍රමාණය ඩොලර් මිලියන 3,543.5ක්ව පැවතුනා. මේ අනුව, පසුගිය දෙමසක කාලය තුළ පමණක් ඩොලර් මිලියන 1,276කින් සංචිත පහළ බැස ඇති බව පැහැදිලියි. සැප්තැම්බර් මැදදී සිදු වූ අධිපති මාරුවෙන් පසුව විදේශ අංශයෙහි කිසිදු යහපත් වර්ධනයක් සිදුව ඇති බවක් තවමත් පෙනෙන්නට නැහැ. 

ඉහත සංචිත ප්‍රමාණය වුවද මහ බැංකුවේම විදේශ වගකීම් පියවීමටත් ප්‍රමාණවත් නැහැ. අගෝස්තු මාසය අවසාන වෙද්දී මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් හිඟය ඩොලර් මිලියන 400ක් පමණ වූ අතර, සැප්තැම්බර් අවසානය වෙද්දී එම හිඟය ඩොලර් මිලියන 794ක් දක්වා ඉහළ ගොස් තිබුණා. ඔක්තෝබර් මාසයේදී නිල සංචිත පහළ ගොස් ඇති ප්‍රමාණය සැලකිල්ලට ගත් විට, මේ වෙද්දී මෙම හිඟය ඩොලර් බිලියනය ඉක්මවා ඇතැයි සිතිය හැකියි. 

ඉදිරි මාස දෙක තුළ ආනයන වියදම් පියවා ගැනීමට අමතරව ශ්‍රී ලංකාව විසින් ජනවාරි 18 දින ඩොලර් මිලියන 500ක ස්වෛරිත්ව බැඳුම්කරයක්ද පියවිය යුතුයි. ඒ සඳහා ප්‍රමාණවත් ද්‍රවශීල විදේශ සංචිත මහ බැංකුව සතුව ඇතත්, ජනවාරි මාසයේදී මෙම වාරිකය ගෙවීමෙන් පසුව ලංකාවේ විදේශ අංශයේ තත්ත්වය තවත් නරක අතට හැරීම නොවැලැක්විය හැකියි. 

ලංකාවේ විදේශ අංශය මෙවැනි අර්බුදකාරී තත්ත්වයකට පත් වීමේ මූලාරම්භය 2010 ආසන්න කාලය ලෙස සැලකිය හැකියි. එම කාලයේදී ඩොලරයේ මිල කෘතිමව පහළින් තබා ගැනීම හරහා රටේ පුද්ගලයින් හා ආයතන ලෝකයට ණය වී ඩොලර් ලබාගෙන එම ණය රුපියල් කර රජයට ණය ලබා දීම ප්‍රවර්ධනය කරමින් විදේශ ණය පිරමිඩයක් ගොඩ නගනු ලැබුවා. කෝවිඩ් හමුවේ කඩා වැටීමේ අවදානමට ලක්වුනේ කොහොමටත් කොයි වෙලාවක හෝ කඩා වැටෙන්නට නියමිතව තිබුණු මෙම විදේශ ණය පිරමිඩයයි. 

මහ බැංකුවේ වත්මන් විදේශ විණිමය ප්‍රතිපත්තිය වී තිබෙන්නේ නැවත කෙසේ හෝ මේ ණය පිරමිඩයට මුක්කු ගසා තවත් කාලයක් පවත්වා ගෙන යාමයි. ඒ සඳහා, ඩොලරයක මිල නාමිකව හෝ රුපියල් 200 මට්ටමේ පවත්වා ගැනීමේ කාර්යයෙහි මහ බැංකුව නිරතව සිටිනවා. එහෙත්, මේ වෙද්දී ලංකාවේ සැබෑ තත්ත්වය ලෝකයට සඟවා තවතවත් ණය ගැනීම ඉතාම අසීරුයි.

Friday, November 5, 2021

කෘෂිකර්මයේ කාබනික අදියර


කිසියම් රටක වෙළඳපොළ කොයි තරම් දියුණුද, නිෂ්පාදන ක්‍රියාවලිය කොයි තරම් කාර්යක්ෂමද, ඒ රට කොයි තරම් ධනවාදීද ආදී කරුණු අදාළ රටේ ජාතික ආදායමෙන් හා ශ්‍රම බලකායෙන් කෘෂිකර්මයේ පංගුව දෙස බලා නිර්නය කළ හැකියි. ආර්ථික අර්ථයකින් රටක් ප්‍රගතියේ දිශාව කරා ගමන් කරන තරමට ජාතික ආදායමෙහි හා ශ්‍රම බලකායෙහි කෘෂිකාර්මික කොටස කුඩා වෙනවා.

මෙය මෙසේ විය යුත්තේ ඇයි?

ආහාර කියා කියන්නේ මිනිහෙකුගේ මූලිකම අවශ්‍යතාවය. කන්න තියෙනවානම්, නිදාගන්න අගු පිලක්වත් නැත්නම්, අඩු ගානේ ගලක් උඩ හෝ ගහක් යට වුවත් නිදා ගෙන ජීවත් වෙන්න පුළුවන්.  කන්න තියෙනවානම්, රෙදි නැතුව ජීවත් වෙන්න පුළුවන්. කන්න තියෙන නිසා, කෑම  හොයාගෙන රෙදි නැතුව කඩේ යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි කෑම නැතිව වැඩි දවසක් ජීවත් වෙන්න බැහැ. බඩගිණි දැනෙන කොට කොහෙන් හෝ ලෙමන් පෆ් එකක් හරි හොයා ගන්න වෙනවා.

මිනිසෙකුගේ මූලිකම අවශ්‍යතාවය ආහාර නිසා ඕනෑම මිනිහෙකුගේ පළමු ප්‍රමුඛතාවය වන්නේ තමන්ට අවශ්‍ය ආහාර සම්පාදනය කර ගැනීම. වෙළඳපොළක් නැත්නම්, හුවමාරුවක් සිදු නොවේනම් මිනිහෙකුට තමන්ගේ ආහාර තමන් විසින්ම නිපදවා ගන්න සිදු වෙනවා. මිනිහෙක් වෙනත් නිෂ්පාදනයක් වෙනුවෙන් කාලය හා ශ්‍රමය වැය කරන්නේ කවර හෝ ආකාරයකින් තමන්ගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු වී ඇත්නම් පමණයි.

හැමෝම තම තමන්ට අවශ්‍ය ආහාර තමන් විසින්ම නිපදවා ගන්නවා කියා කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රාථමිකම අවස්ථාව. මේ වගේ පසුබිමක, හැමෝටම තමන්ගේ බඩ ගැන හිතනවා හැර වඩා සංකීර්ණ නිෂ්පාදනයක් ගැන හිතන්න ඉඩ සැලසෙන්නේ නැහැ. එහෙත්, තමන්ට අවශ්‍ය ආහාර වෙනත් අයෙකු විසින් නිපදවනු ඇති බවට සහතිකයක් ඇති විට මිනිස්සු වඩා සංකීර්ණ නිෂ්පාදන වෙනුවෙන් තමන්ගේ කාලය හා ශ්‍රමය වැය කරනවා. ඒ හරහා, සමාජයක් ප්‍රගතියේ දිශාව කරා ගමන් කරනවා.

මේ ආකාරයෙන් කෘෂිකර්මයෙන් විතැන් වන සමාජයක කිසියම් පිරිසක් විසින් ලබා දෙන දායකත්වය නිසාම කෘෂිකාර්මික නිෂ්පාදන ක්‍රියාවලියේ ඵලදායීතාවය ඉහළ යනවා. කෘෂිකර්මයෙහි නිරත එක් අයෙකුට පිරවිය හැකි බඩවල් ගණන ඉහළ යනවා. ආහාර සුරක්ෂිතතාව ගැන වද නොවී, වෙනත් දේවල් කිරීම සඳහා වැඩි පිරිසක් නිදහස් වෙනවා. 

ඇමරිකාවේ කෘෂිකර්ම, වන, ධීවර හා දඩයම් අංශ වල සේවය කරන ශ්‍රමිකයන් ප්‍රමාණය රටේ ජනගහනයෙන් 0.7%ක් හා ශ්‍රම බලකායෙන් 1.5%ක් පමණයි. මේ පිරිස රටේ ඉතිරි 99.3%ටම අවශ්‍ය ආහාර හදනවා පමණක් නොව, ශුද්ධ ලෙස ආහාර අපනයනය කරන අතර විශාල ලෙස නාස්ති කර දැමීමටත් ප්‍රමාණවත් ආහාර ප්‍රමාණයක් හදනවා. 2019 වසරේදී ඇමරිකාවේ කෘෂිකාර්මික අංශය ඉපැයූ ශුද්ධ අපනයන ආදායම, එනම් අපනයන ආදායමෙන් ආනයන වියදම් අඩු කළ පසු ශේෂය, ඩොලර් බිලියන 5.6ක්. (මුළු කෘෂිකාර්මික අපනයන ආදායම ඩොලර් බිලියන 136.7ක්). ඒ වගේම, ඇමරිකාවේ නිෂ්පාදිත ආහාර වලින් පසු අස්වනු අදියරේ සිට සිල්ලර වෙළඳසැල් දක්වා පැමිණෙන ආහාර ප්‍රමාණයෙන් 31%ක් පමණ නාස්ති වෙනවා. 2010 ඇස්තමේන්තුවකට අනුව ඉහත කී නාස්ති වූ ආහාර වල වටිනාකම ඩොලර් බිලියන 161.6ක්.

රටේ මිනිස්සුන්ට ඇති තරමට කන්න, නාස්ති කරන්න වගේම පිටට විකුණන්නත් ප්‍රමාණවත් තරම් ආහාර රටේ ජනගහණයෙන් 0.7%ක් විසින් හදනවා කියන එකෙන් පැහැදිලි වන්නේ ඇමරිකාව ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ගැටළුව විසඳීමෙන් පසුවත් සෑහෙන දුරක් ගමන් කර තිබෙන බවයි. මෙය මේ කරුණ තුළින් පමණක්ම ගම්‍ය නොවේනම් තවත් කරුණු ගණනක් ඉදිරිපත් කර පැහැදිලි කළ හැකියි.

ප්‍රාථමික කෘෂිකාර්මික නිෂ්පාදන ක්‍රියාවලියක මූලික අදියරේදී කෘෂිකර්මයෙන් විතැන් වන ශ්‍රමිකයන් හමුවේ තිබෙන අභියෝගය වන්නේ කෘෂිකාර්මික ශ්‍රමිකයන් සමඟ හුවමාරු කළ හැකි ඔවුන්ට වටිනා දෙයක් නිෂ්පාදනය කරන්නේ කොහොමද කියන එකයි. යම් සීමිත පිරිසක් විසින් මේ වැඩේ සාර්ථකව කරනවා. මේ සීමිත පිරිසට ගැනුම්කරුවන් (කෘෂිකාර්මික ශ්‍රමිකයන්) විශාල පිරිසක් සම්මුඛ වෙනවා. උදාහරණයක් විදිහට උදළු තලයක් හදන කම්මල්කරුවෙක් ගනිමු. දැන් මේ කම්මල්කරුවාට තමන් හැදූ උදළු තලය හුවමාරු කර ගැනීමට සූදානම් ගොවි-ගැනුම්කරුවන් විශාල පිරිසක් සම්මුඛ වෙනවා.

හුවමාරුව සිදු වන්නේ වී සමඟ කියා හිතමු. දැන් මේ කම්මල්කරුවා උදළු තලය හුවමාරු කරන්නේ වැඩිම වී ප්‍රමාණයක් තමන්ට දෙන ගොවි-ගැනුම්කරුවා සමඟ. මෙහිදී උදළු තලයක් ලබා ගන්න අවශ්‍ය අනෙක් ගොවි-ගැනුම්කරුවන්ට කෙසේ හෝ තමන්ගේ වී නිෂ්පාදනය වැඩි කර ගන්න වෙනවා. මොකද හුවමාරුවක් ගැන හිතන්න පුළුවන් වෙන්නේ තමන්ගේ ආහාර සුරක්ෂිතතාවය සැපිරුනු පසුව පමණයි.

කෘෂිකාර්මික නිෂ්පාදන හුවමාරු භාණ්ඩයක් වූ වහාම. ගොවීන් අතර තරඟය වැඩි වී ඒ තුළින් සමස්ත කෘෂිකාර්මික නිෂ්පාදිතය ඉහළ ගියත් ඒ හේතුව නිසාම කෘෂිකාර්මික නිෂ්පාදන වල මිල පහළ යනවා. උදළු තලයේ හුවමාරු වටිනාකම ඉහළ යනවා. ඒ එක්කම අර ගොවි-ගැනුම්කරුවන්ට උදළු තලයක් මිල මිල අධික භාණ්ඩයක් වෙනවා. උදළු තල හදන තැනැත්තෙකුගේ ආහාර සුරක්ෂිතතාවය ගොවියෙකුගේ ආහාර සුරක්ෂිතතාවයටත් වඩා ඉහළ යනවා. 

ඉහත ආකාරයෙන් යමෙකුට තමන්ගේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කර ගැනීම සඳහා තිබෙන වඩා හොඳ විකල්පය තමන්ම කෘෂිකර්මයෙහි නියැලීම නොව කෘෂිකර්මයෙන් ඉවත් වීම වූ විට එවැන්නන් කෘෂිකර්මයෙන් ඈත් වෙන්න පටන් ගන්නවා. එහිදී සමාජ ප්‍රගමනයට හේතු වන දේවල් දෙකක් සිදු වෙනවා. එක පැත්තකින් එසේ කෘෂිකර්මයෙන් ඉවත් වන අය එතෙක් බොහෝ දෙනෙකුගේ පරිභෝජන පැසෙහි නොතිබුණු දේවල් අලුතෙන් නිර්මාණය කරන්න පටන් ගන්නවා. ඒ දේවල් ගොවි-ගැනුම්කරුවන් සමඟ හුවමාරු කිරීම හරහා, අඩු මහන්සියකින් ඔවුන්ගේ ආහාර සුරක්ෂිතතාවය සපුරා සපුරා ගන්න අවස්ථාව ලැබෙනවා. අනෙක් පැත්තෙන් මේ විදිහට අලුතෙන් හදන හෝ හොයා ගන්නා ඇතැම් දේවල් වලින් කෘෂිකාර්මික ඵලදායීතාවය ඉහළ යනවා. ඒ නිසා, සෘජුව කෘෂිකර්මයෙහි යෙදෙන අයටත් අඩු මහන්සියකින් ඔවුන්ගේ ආහාර සුරක්ෂිතතාවය සපුරා ගන්න අවස්ථාව ලැබෙනවා.

මානව ඉතිහාසය කියා කියන්නේ මිනිස්සු බඩගින්න සමඟ සටන් කළ ඉතිහාසයක්. ඉතාම මෑතක් වන තුරු සමස්තයක් ලෙස මිනිස්සු හිටියේ බඩගින්නේ. දැනටත් ලෝකයේ බඩගින්නේ සිටින මිනිස්සු ඉන්නවා. එහෙත්, අඩු වශයෙන් මේ වෙද්දී ඇමරිකාවේ හෝ ධනවාදී සංවර්ධනයේ සමාන අදියරක සිටින වෙනත් රටවල ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ගැටළුවක් නැහැ. මේ තත්ත්වය අත් කර ගැනීමට රසායනික පොහොර, කෘෂිරසායන ආදියෙන් ලැබී තිබෙන දායකත්වය ඉතා විශාලයි.

බඩගින්නේ සිටින අයෙක් මුලින්ම බලන්නේ බඩගින්න නිවාගත හැකි මොනවා හෝ දෙයක්. එහෙත්, ආහාර සුරක්ෂිතතාවය තවදුරටත් කණස්සල්ලට කාරණයක් නොවූ පසු මිනිස්සු තමන්ගේ ආහාර වල ගුණාත්මක භාවය ගැන සැලකිලිමත් වෙන්න පටන් ගන්නවා. ප්‍රධාන ඉලක්කය ආහාර සුරක්ෂිතතාවය වූ විට ගොවි-සැපයුම්කරුවන් එකිනෙකා සමඟ තරඟ කරන්නේ අස්වැන්න වැඩි කරගෙන, අඩු මිලකට කෘෂි නිෂ්පාදන සැපයීම මගින් වුවත් මේ අදියරට පැමිණි පසු ඔවුන්ට තමන් විකුණන ආහාර වල ගුණාත්මක භාවය වෙනුවෙන් අධිභාරයක් අය කරන්න ඉඩ ලැබෙනවා.

ඔය ආකාරයෙන් ධනවාදී ක්‍රමයක් තුළ ගොවි-සැපයුම්කරුවන් අතර තරඟය මුලදී අඩු මිලට කෘෂිකාර්මික නිෂ්පාදන සැපයීමේ තරඟයක් වුවත්, මේ තරඟය තුළින් රටේ හැමෝගෙම වගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු වුනාට පසුව මිල සාධකයේ වැදගත්කම අඩු වෙලා යනවා. ඉන් පසුව, ගොවි-සැපයුම්කරුවෙකුට ලාබ ලැබිය හැක්කේ අනෙක් තරඟකරුවන්ට වඩා ගුණාත්මක භාවයෙන් වැඩි නිෂ්පාදිත වෙළඳපොළට දැමීමෙන්. 

හැබැයි එක් අයෙක් මේ දේ කළාට පස්සේ අනෙක් අයත් ගුණාත්මක භාවය ඉහළ දමනවා. එසේ නොකර වෙළඳපොළ තුළ පැවැත්මක් නැහැ. අවසානයේදී වෙන්නේ සමස්තයක් ලෙස ගුණාත්මක භාවය ඉහළ යාම. 

මෙය ලංකාවෙන් වුවත් නිදර්ශන අරගෙන පැහැදිලි කරන්න පුළුවන්. අපි පොඩි කාලේ හාල් ගරනවා කියන එක බත් ඉවීමේ අනිවාර්ය අංගයක්. හරියට හාල් ටික ගැරුවේ නැත්නම් දත් සෙට් එක ඉවරයි!

ගල් වැලි නැති සම්බා සහල් කිලෝ පහේ කවර වෙළඳපොළට ආවේ ඔය වගේ පසුබිමක. මුලදී මේ හාල් විකිණුනේ සැලකිය යුතු අධිභාරයක් එක්ක. මිල සංවේදී අය ඔය ගල් වැලි නැති හාල් පස්සේ ගියේ නැහැ. අඩුවට තිබෙන හාලක් ගෙනත් ගරලා ලිපේ තියා ගත්තා. එහෙත් කාලයක් යද්දී ගල් වැලි සහිත හාල් වලට වෙළඳපොළක් නැතිව ගියා. 

රටක මිනිස්සුන්ගේ බඩවල් පුරවන්න ප්‍රමාණවත් තරමට ආහාර ඒ රටේ හැදෙන්න පටන් ගත්තට පස්සේ තව දුරටත් නිෂ්පාදන කාර්යක්ෂමතාවය වැඩි කරන්න ඒ තරම් අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. මොකද නිෂ්පාදනය වැඩි කළා කියලා ඉල්ලුම තවත් වැඩි වෙන්නේ නැහැ. තව බෙදාගන්න අවශ්‍ය නැති තරමට කාගේත් බඩවල් පිරිලා. 

රටක ආහාර නිෂ්පාදනය ආහාර අවශ්‍යතාවය ඉක්මවූ පමණින් රටේ හැමෝගෙම ආහාර සුරක්ෂිතතාවය තහවුරු වෙන්නේ නැහැ. පහළ ආදායම් ස්ථර වලට තව දුරටත් බඩගින්න දැනෙන්න පුළුවන්. එහෙත්, ඇමරිකාව වැනි රටවල ක්‍රියාත්මක සුබසාධන වැඩ සටහන් නිසා මේ ප්‍රශ්නය ඇති වන්නේත් නැහැ. ඒ නිසා, ඇමරිකාව වැනි රටවල කෘෂිකාර්මික අංශයේ කාර්යක්ෂමතාවය වැඩි වීම කාලයක සිටම සිදු වන්නේ ගුණාත්මක භාවය වැඩි වීම හරහා.

මේ ආකාරයෙන් ගුණාත්මක භාවය වැඩි වීමත් මේ වෙද්දී යම් සංතෘප්ත මට්ටමකට ඇවිත්. අඩුම මිලකට මිල දී ගන්නා අවම ගුණාත්මක භාවය තිබෙන ආහාරයක ගුණාත්මක භාවය වුනත් මේ වෙද්දී ගොඩක් ඉහළයි. ඒ කියන්නේ, ඇමරිකාව වැනි රටක අඩුම ආදායම් ලබන පහළම සමාජ ස්ථර වල සිටින අයට පවා මේ වෙද්දී ආහාර සුරක්ෂිතතාවය ගැටළුවක් නොවනවාක් මෙන්ම ඔවුන්ට ලබා ගත හැකි ආහාර වල ගුණාත්මක භාවයද ගොඩක් වැඩියි. 

කෘෂිකාර්මික නිෂ්පාදිත මේ වගේ මට්ටමක් දක්වා දියුණු වුනාට පස්සේ ගුණාත්මක භාවය ඉහළ දමලා ලාබ ලබා ගැනීමේ හැකියාවත් අහෝසි වී යනවා. එහෙත්, ධනවාදී තරඟය තුළ දිගින් දිගටම කිසියම් ආකාරයක අගය එකතු කිරීමක් සිදු විය යුතුයි. කාබනික කෘෂිකර්මය තුළ සිදු වන්නේ මේ වැඩේ. 

කාබනික ආහාරයක් වෙනුවෙන් අධිභාරයක් ගෙවන අයෙක් එසේ කරන්නේ ගල් වැලි නැති හාල් මිල දී ගනිද්දී මෙන් එයින් තමන්ට සෘජුව ලැබෙන දෙයක් දිහා බලාගෙන නෙමෙයි. මෙහිදී කාබනික ආහාරය වෙනුවෙන් ගෙවන මිලට පරිසරය රැක ගැනීම වැනි වෙනත් අරමුණු වෙනුවෙන් ගෙවන මිලක්ද එකතු වෙනවා. 

මේ වගේ තත්ත්වයකට එන්න රටක කෘෂිකර්මාන්තය මා පෙර සඳහන් කළ අදියර දෙකම පසු කළ යුතුයි. පළමු අදියරේදී මොන ක්‍රමයෙන් හෝ නිෂ්පාදනය ඉහළ දැමීමෙන් රටේ සමස්ත ආහාර ඉල්ලුම සම්පූර්ණ කෙරෙනවා. දෙවන අදියරේදී එම ආහාර වල ගුණාත්මක භාවය ඕනෑම කෙනෙකුට සෑහීමට පත් විය හැකි මට්ටමකට ඉහළ යනවා. මෙතැනින් එහාට කෘෂිකාර්මික නිෂ්පාදිතයකට තව දුරටත් අගය එකතු කිරීමක් කරන්න අවශ්‍යනම් එය කරන්න වෙන්නේ එම නිෂ්පාදනයට සෘජුව සම්බන්ධයක් නැති දෙයක් සමඟ සම්බන්ධ කිරීමෙන් පමණයි.

කාබනික කෘෂිකර්මයේදී නිෂ්පාදිතයට අගය එකතු කරන ක්‍රමය නිසාම නිෂ්පාදිතය සීමා වෙනවා. ඒ නිසා, මිල අඩු වන්නේ නැහැ. කාබනික අධිභාරය දිගටම පවත්වා ගත හැකියි. තමන් මිල දී ගන්නා භාණ්ඩය තුළ සෘජුව දැකිය නොහැකි දෙයක් වෙනුවෙන් මේ අධිභාරය ගෙවන්න කැමැති අය කාබනික ආහාර මිල දී ගන්නවා. 

මේ වෙළඳපොළට පැවතිය හැක්කේම මිල සංවේදී පාරිභෝගිකයන් වෙනුවෙන් සමාන්තර ලෙස කාබනික නොවන වෙළඳපොළක්ද තිබෙන නිසා. මොකද බහුතර පාරිභෝගිකයන්ගේ ආහාර සුරක්ෂිතතාවය හා එම ආහාර වල ගුණාත්මකභාවය තහවුරු නොවන තාක් කෘෂිකර්මාන්තයේ අගය එකතු කිරීම් වැඩි වන යාන්ත්‍රනයක් තිබෙනවා. කාබනික කෘෂිකර්මාන්තයට අවස්ථාව සැලසෙන්නේ එම වෙළඳපොළ සංතෘප්ත වීමෙන් පසුවයි.

Thursday, November 4, 2021

කාබනික ආහාර උන්මාදය

ලංකාවේ කාබනික ගොවිතැන ගැන මේ වෙද්දී ගොඩක් අය කතා කරලා තියෙනවා. කෝච්චිය අද්දලා ටිකක් වෙලා වුනත් තවම අපිටත් ගාඩ් පෙට්ටියේ හරි එල්ලෙන්න පුළුවන්නේ! අනිත් එක කාබනික ගොවිතැන ගැන කතා නොකළත්, අපිත් පොදුවේ කෘෂිකර්මය ගැන වගේම, ලංකාවේ කෘෂිකර්මය ගැනත් මොනවා හරි කතා කරලා තියෙනවනේ!

ලෝකයේ ලොකුම කාබනික ආහාර වෙළඳපොළ ඇමරිකා එක්සත් ජනපදයයි. 2019 වසරේදී යුරෝ බිලියන 106.4ක් වූ සිල්ලර කාබනික ආහාර වෙළඳාමෙන් 42%ක, එනම් යුරෝ බිලියන 44.7ක සිල්ලර වෙළඳාමක් සිදු වුනේ ඇමරිකා එක්සත් ජනපදය තුළයි. ඇමරිකාවෙන් පසුව ලෝකයේ ලොකුම කාබනික ආහාර වෙළඳපොළවල් වන්නේ පිළිවෙලින් ජර්මනිය (යුරෝ බිලියන 12.0ක්) හා ප්‍රංශයයි (යුරෝ බිලියන 11.3ක්). සමස්තයක් ලෙස යුරෝපීය සංගමය තුළ සිදු වන කාබනික ආහාර සිල්ලර වෙළඳාම ඇමරිකාවේ එම වෙළඳ පරිමාවට ආසන්නයි (යුරෝ බිලියන 41.4%ක් හෙවත් 39%ක්).

ඒක පුද්ගල පදනම මත බැලුවොත් කාබනික ආහාර වෙනුවෙන් වැඩිම වියදමක් දරන අය සිටින්නේ පිළිවෙලින් ඩෙන්මාර්කය (යුරෝ 344ක්), ස්විට්සර්ලන්තය (යුරෝ 338ක්) හා ලක්සම්බර්ග් (යුරෝ 265ක්) යන රටවලයි. මේ රටවල් ඒක පුද්ගල ආදායම අතින් ඉහළින්ම සිටින රටවල් බව පැහැදිලිව නිරීක්ෂණය වන කරුණක්.

කාබනික ආහාර වෙළඳපොළ ඉතා වේගයෙන් වර්ධනය වන වෙළඳපොළක්. 2000 වසරේදී යුරෝ බිලියන 15.1ක සීමා වූ මෙම වෙළඳපොළ 2019 වෙද්දී එමෙන් හත් ගුණයක් දක්වා විශාලනය වීමෙන් මේ බව පැහැදිලිව පේනවා. කෙසේ වුවත් කාබනික කෘෂිකර්මය වෙනුවෙන් තවමත් යොදා ගැනෙන්නේ ලෝකයේ ගොවිබිම් වලින් 1.5%ක් පමණයි.

ලෝකය පුරා විසිරී තිබෙන, කාබනික ගොවිතැන සඳහා යොදා ගන්නා වගාබිම් හෙක්ටයාර මිලියන 72.3කින් අඩක් පමණම, එනම් හෙක්ටයාර මිලියන 35.7ක්ම පිහිටා තිබෙන්නේ ඕස්ට්‍රේලියාවේ. ප්‍රතිශතයක් ලෙස ගත්තොත් එරට වගාබිම් ප්‍රමාණයෙන් 26.1ක්. රටේ වගාබිම් වලින් ඊට වඩා වැඩි කොටසක් කාබනික ගොවිතැන වෙනුවෙන් වෙන් කර තිබෙන එකම රට ලෝකයේ කුඩාම සහ පොහොසත්ම රටක් වන ලික්ටන්ස්ටයින් රට පමණයි. 

ඉහත සඳහන් කාබනික වගාබිම් වලින් තුනෙන් දෙකක් පමණම (හෙක්ටයාර මිලියන 49ක් පමණ) තණබිම්. ඒ කියන්නේ තණබිම් ඉවත් කළ විට කාබනික කෘෂිකර්මය වෙනුවෙන් තවමත් යොදා ගැනෙන්නේ ලෝකයේ ගොවිබිම් වලින් 0.5%ක් පමණයි. 2019 වසරේදී ලංකාවේ වගාබිම් හෙක්ටයාර 70,432ක කාබනික ගොවිතැන් සිදු වී තිබෙනවා. 2018 වසරේදී ලාංකිකයින් හෝ ලාංකික සමාගම් 318ක් විසින් කාබනික ආහාර අපනයනය කර තිබෙනවා. 2015 වසරේදී ලංකාව කාබනික ආහාර අපනයනය කිරීමෙන් යුරෝ මිලියන 259ක ආදායමක් උපයා තිබෙනවා.

ඇමරිකාවේ විකිණෙන ආහාර වලින් 5.8ක් පමණම මේ වෙද්දී කාබනික ආහාර. කාබනික ආහාර භාවිතය වැඩි වශයෙන්ම ඉහළ ආදායම් ලබන්නන්ගේ කටයුත්තක් වුවත්, ඇමරිකානුවන්ගෙන් හතරෙන් තුනක් පමණම යම් තරමකට හෝ කාබනික ආහාර මිල දී ගන්නවා. 

ඇමරිකාවේදී කාබනික ආහාර හොයා ගන්න එක අමාරු වැඩක් නෙමෙයි. බොහෝ තැන් වල කාබනික ආහාර විකුණන්න තිබෙනවා. බැලූ බැල්මට කාබනික ආහාර හා අනෙකුත් ආහාර අතර හඳුනාගත හැකි කිසිම වෙනසක් නැහැ. උදාහරණයක් විදිහට, කාබනික ඇපල් ගෙඩියක් හා එම වර්ගයේම සාමාන්‍ය ඇපල් ගෙඩියක් ලඟින් තැබුවොත් කාබනික ඇපල් ගෙඩිය වෙන් කර හඳුනා ගන්න බැහැ. එහෙත්, කාබනික ඇපල් ගෙඩියක මිල සාමාන්‍ය ඇපල් ගෙඩියක මිලට වඩා වැඩියි. 

කාබනික ආහාර වල මිල සාමාන්‍ය වශයෙන් එම වර්ගයේම සාමාන්‍ය ආහාර මිල මෙන් දෙගුණයක් පමණ වෙනවා. මෙම "කාබනික අධිභාරය" 50% පමණ සිට 300% පමණ දක්වා වෙනස් වෙනවා. කාබනික ආහාර වල යම් සෞඛ්‍යමය ප්‍රතිලාභ ඇති බව තහවුරු වී තිබුණත්, එම ප්‍රතිලාභ ඉහත මට්ටමේ විශාල අධිභාරයක් ගෙවීමට තරම් විශාල ප්‍රතිලාභ නෙමෙයි. 

කාබනික ආහාර වෙනුවෙන් මෙවැනි විශාල අධිභාරයක් ගෙවන බොහෝ දෙනෙක් එයින් සෘජුව තමන්ට ලැබෙන සීමිත සෞඛ්‍යමය ප්‍රතිලාභ වලට අමතරව පසෙහි හා ජලයෙහි ගුණාත්මකභාවය පවත්වා ගැනීම, පරිසර දූෂණය අඩු කිරීම, ආහාර පිණිස ඇති කරන සතුන්ට ස්වභාවික පරිසරයක ජීවත් වීමට ඉඩ සැලසීම වැනි වෙනත් බොහෝ දේවල් අපේක්ෂා කරනවා. වැඩිපුර සල්ලි ගෙවන්නේ ඒ දේවල් වලටත් එක්ක. හරියට ඇමරිකානුවෙක් ලංකාවේ මහන ඇඳුමක් මිල දී ගනිද්දී එම ඇඳුම් මහන ශ්‍රමිකයන් වැඩ කරන වාතාවරණය හොඳ මට්ටමක නඩත්තු කිරීම වෙනුවෙන්ද මුදලක් ගෙවනවා වගේ.

කාබනික ආහාර වෙනුවෙන් වැඩි මිලක් ගෙවන බොහෝ පාරිභෝගිකයින් විසින් එසේ කරන්නේ යම් සමාජයීය අරමුණක්ද පෙරදැරිව නිසා අදාල අරමුණ ඉටු කර ගත හැකි යාන්ත්‍රණයක්ද අවශ්‍ය වෙනවා. කාබනික ආහාර කියා සාමාන්‍ය ආහාර අලෙවි කළොත් අවශ්‍ය වැඩේ වෙන්නේ නැහැ. එක පැත්තකින් මෙය අප මීට පෙර කතා කර ඇති හලාල් ආහාර සම්බන්ධ තත්ත්වයටද සමානයි.

පාරිභෝගිකයෙකුට කාබනික ආහාර වෙන් කර හඳුනා ගැනීම සඳහා කිසියම් නිර්ණායකයක් අවශ්‍ය වෙනවා. මෙහිදී හලාල් ආහාර සහතික කරනවාක් මෙන් කාබනික ආහාරද නිපදවන ක්‍රමය පරීක්ෂා කර සහතික කිරීමක් කළ යුතු වෙනවා. මෙවැනි සහතිකයක් ලබා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා ලැයිස්තුවක් තිබෙනවා. 

කාබනික වගාවේදී කෘතීම පොහොර, නාගරික අපද්‍රව්‍ය හෝ නාගරික අපද්‍රව්‍ය අඩංගු ජලය, කෘතීම කෘමිනාශක (කලාතුරකින් හැර), ආහාර කල් තබා ගැනීම සඳහා යොදන රසායන, වර්ධක හෝමෝන හා ප්‍රතිජීවක ආදිය යොදාගත නොහැකි අතර, රෝග වලින් හෝ  කෘමීන්ගෙන් ආරක්ෂා විය හැකි පරිදි හෝ අස්වැන්න වැඩි කරගැනීම සඳහා ජාන තාක්ෂනය යොදා ගත නොහැකියි. ඒ වෙනුවට, බෝග කොටස්, කොම්පෝස්ට් පොහොර, ආවරණ ශාක, පරිවාරක ශාක කොටස් (mulch), ස්වභාවික කෘමිනාශක, කාබනික වගාව සඳහා අනුමත සීමිත කෘතිම කෘමිනාශක (අවසාන විකල්පයක් ලෙස කලාතුරකින්), සශ්‍ය මාරුව හා ජෛව පාලනය වැනි ක්‍රම යොදා ගැනෙනවා.

ඇමරිකාවේ සිල්ලර වෙළඳපොළේ විකිණෙන කාබනික ආහාර කාණ්ඩ කිහිපයකට බෙදිය හැකියි.


100%ක් කාබනික- මෙම සහතිකය යෙදිය හැක්කේ ජලය හා ලුණු හැර අනෙකුත් අමුද්‍රව්‍ය සියල්ල කාබනික ක්‍රමයට හදා තිබෙන ආහාර සඳහා පමණයි.


කාබනික- ජලය හා ලුණු හැර අනෙකුත් අමුද්‍රව්‍ය වලින් අවම වශයෙන් 95%ක් කාබනික ක්‍රමයට හදා තිබිය යුතු අතර ඉතිරි 5% තුළ වෙනත් අනුමත ආහාර ද්‍රව්‍ය අඩංගු විය හැකියි.

කාබනික ආහාර වලින් සදා ඇති (Made with organic)- ජලය හා ලුණු හැර අනෙකුත් අමුද්‍රව්‍ය වලින් අවම වශයෙන් 70%ක් කාබනික ක්‍රමයට හදා තිබිය යුතු අතර එම අමුද්‍රව්‍ය මොනවාදැයි පැහැදිලිව සඳහන් කළ යුතුයි.

අමුද්‍රව්‍ය වලින් අවම වශයෙන් 70%ක් කාබනික ක්‍රමයට හදා නැත්නම් එවැනි ආහාර වල අමුද්‍රව්‍ය ලැයිස්තුවෙහි ඒ බැව් සඳහන් කරනු මිස කාබනික ආහාර සේ හැඳින්විය නොහැකියි.

ඇමරිකාව, යුරෝපය ඇතුළු බටහිර ලෝකයේ කාබනික ආහාර සඳහා වන ඉල්ලුම ක්‍රමක්‍රමයෙන් ඉහළ යන්නේ ඇයි? මේ ගැන අපි දෙවන කොටසකින් කතා කරමු.


වෙබ් ලිපිනය: