අද කියන්න යන්නේ කුණු කතාවක්. මීට කලින් අපේ ගෙදර විදුලි බිල ගැන ලිපියක් දැම්මා. මේක කුණු බිල ගැන.
සැලකිය යුතු මුදලක් වරිපනම් විදිහට ගෙවුවත්, අපේ නගර සභාව කුණු එකතු කරන්නේ නැහැ. වරිපනම් සල්ලි වලින් කරන වෙන දේවල් තියෙනවා. ඒ දේවල් ගැන පසුව වෙන ලිපියක ලියන්නම්.
අපේ ගෙදර කුණු එකතු කරන්නේ පෞද්ගලික සමාගමකින්. අපේ ගෙවල් මන්ඩියේ කුණු එකතු කරන ඒ වගේ සමාගම් දෙකක් තිබෙනවා. ඔය දෙකෙන් කැමති එකක් එක්ක අපට කොන්ත්‍රාත්තුවක් අත්සන් කරන්න පුළුවන්.
සමාගම් දෙකේ ගාස්තු හා සේවය සංසන්දනය කරලා හොඳ එක තෝරා ගන්න එක හරි විදිහ වුනත් මගේ තියෙන කම්මැලි කමට මමනම් එහෙම කළේ නැහැ. දැන් ඉන්න ගෙදරට එන්න කලින් හිටපු ගෙදර ඉඳිද්දී කුණු කොන්ත්‍රාත්තුව දීල තිබුන සමාගම එක්ක ගේ වෙනස් කළාට පස්සෙත් දිගටම හිටියා. ඒ නිසා, අනික් සමාගමේ ගණන් අඩුද සේවය වඩා හොඳද කියලා මම හරියටම දන්නේ නැහැ.
ඔය දාලා තියෙන බිලේ පේන විදිහට අපේ කුණු බිල ඩොලර් 182.54ක්. විදුලි බිල වගේ කුණු බිල මාසෙන් මාසෙට එන්නේ නැහැ. ඔය මාස තුනක බිල. මාසෙකට ඩොලර් හැටක් විතර වෙනවා. ඇමරිකාවේ හැටියට වුනත් සුළු ගාණක්ම කියලා කියන්න බැහැ.
කොන්ත්‍රාත්තුව අනුව අපේ ගෙදරට කුණු බක්කි දෙකක් ලැබී තිබෙනවා. එකක් සාමාන්‍ය කලවම් ගෘහස්ථ කුණු දමන්න. අනෙක් එක ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි කුණු දමන්න. වීදුරු, ප්ලාස්ටික් සහ කාඩ්බෝඩ් ප්‍රතිචක්‍රීයකරණය කරන්න පුළුවන්.
ඔය කුණු බක්කි දෙකටම දමන්න බැරි කුණුත් තිබෙනවා. පරිසරයට හානිකර විය හැකි පිච්චුණු විදුලි බල්බ, බැහැපු බැටරි වගේ ඒවා. එතකොට ඉතුරු වුනු බෙහෙත් පෙති, තීන්ත (ලැකර්) වගේ ඒවත් දමන්න බැහැ. ඒවා බැහැර කරන්න වෙනම තැන් තියෙනවා. තව කැඩුණු පුටු මේස, පරණ ඉලෙක්ට්‍රොනික් බඩු වගේ ලොකු දේවල් බැහැර කරන්න අවශ්‍යනම් වෙනම ඇණවුම් කරලා ලොකු පෙට්ටියක් ගෙන්න ගන්න ඕනෑ. පෙට්ටියේ තරමට ගෙවන්නත් වෙනවා.
බිල දිහා බැලුවොත් පෙනෙයි ඩොලර් හතලිස් ගාණක් වැඩියෙන් එකතු වෙලා තියෙන්නේ ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි කුණු වෙනම එකතු කරන්න බව. ඒකට දමන්න කුණු වෙන් කරන්නත් වෙනවා. සැමන් ටින් එකක් වගේ එකක් කැඩුවට පස්සේ ප්‍රතිචක්‍රීයකරණය කරන බක්කියට දමන්න කලින් හොඳින් පිරිසිදු කරන්නත් ඕනෑ. තනිකරම අමතර වැඩක්. ඒ වගේම වැඩියෙන් ගෙවන්නත් ඕනෑ.
ඔය විදිහට වැඩියෙන් ගෙවලා ප්‍රතිචක්‍රීයකරණය කරන කුණු බක්කියක් ගන්න එක අනිවාර්ය නැහැ. ඒක අපේ තේරීමක්. එහෙම නොකර ඒ කුණු ටිකත් සාමාන්‍ය ගෘහස්ථ කුණු දමන බක්කියටම දමන්න පුළුවන්. වැඩෙත් ලේසියි. බිලත් අඩු වෙනවා. හැබැයි පුළුවන්කමක් තියෙන අය එහෙම කරන්නේ නැහැ.
අපිට පරිසරය ගැන අමාරුවක් තියෙනවානම් ඒකට කවුරුවත් පලි නැහැ. පරිසරය ආරක්ෂා කර ගැනීමේ මිලත් අපිටම තමයි ගෙවන්න වෙන්නේ. අනෙක් කෙනා ඒ වැඩේ කරනකම් හිටියොත් කවදාවත් වැඩේ වෙන්නේ නැහැ.
අපේ ගෙදර කුණු වලින් ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි කුණු හැම එකක්ම නිසි විදිහට ප්‍රතිචක්‍රීයකරණ කුණු බක්කියට දමනවා. ඒ නිසා, ඉක්මණින්ම පිරෙන්නේ ඒ කුණු බක්කිය. ගෙදර ඉතිරි වන ආහාර හා උයද්දී ඉතිරි වන ආහාර කොටස් එකතු කරලා කොම්පෝස්ට් හදන නිසා සාමාන්‍ය කුණු දමන බක්කියට කුණු එකතු වෙන්නෙම නැති තරම්.
අපේ මන්ඩියේ කුණු එකතු කරන්නේ සඳුදා දවස් වලට. ගෘහස්ථ කුණු සතිපතා එකතු කරනවා. ප්‍රතිචක්‍රීයකරණ කුණු එකතු කරන්නේ දෙසතියකට වරක්. ඉරිදා හවසට කුණු බක්කි එළියෙන් තියලා සඳුදා නැවත ඇතුළට ගන්නවා. ඔය අතරමැදි දවස්වල කුණු බක්කි පේන්න තියන්න බැහැ.
කුණු එකතු කරන එක ගැන මම සියයට සියයක් තෘප්තිමත්ද? නැහැ. මොකද අවුරුද්දකට දෙතුන් දවසක් අපේ ප්‍රතිචක්‍රීයකරණ කුණු බක්කිය එකතු කරන එක මග ඇරෙනවා. ඊට පස්සේ අන්තර්ජාලය හරහා හරි දුරකථනයෙන් හරි සමාගමට ඒ බව දැනුම් දෙන්න වෙනවා. සාමාන්‍ය කුණු එකටනම් කවදාවත් ඔය වැඩේ වෙලා නැහැ.
මේකටත් හේතුවක් තියෙනවා. මම ඉන්න ගෙවල් මන්ඩියේ ගොඩක් අය කුණු කොන්ත්‍රාත්තුව දීලා තියෙන්නේ අනෙක් සමාගමට. මම කොන්ත්‍රාත්තුව දීලා තියෙන සමාගම එක්ක ඉන්නේ ගෙවල් කිහිපයයි. ඒ ගෙවල් වලිනුත් ප්‍රතිචක්‍රීයකරණ කුණු බක්කියක් තියෙන්නේ තව එක ගෙදරක විතරයි. ඉතිං කුණු ලොරියට ඔය ගෙවල් දෙක මග හැරෙනවා ඇති. කලින් ගෙදර ඉන්න කොට ඒ පැත්තේ හැමෝම වගේ හිටියේ මේ සමාගමත් එක්ක නිසා ඔය ප්‍රශ්නය තිබුණේ නැහැ.
සමාගම මාරු කළානම් ප්‍රශ්නය විසඳෙනවා. ඒත් ඉතිං වඳුරෝ ගෙවල් හදන එක වගේ කුණු එක මග හැරුණු දවසට ඔය ගැන හිතුණත් පස්සේ අමතක වෙලා යනවා.
ඇමරිකාවේ කුණු එකතු කරන එක වුනත් ටයි කෝට් දාලා කරන රස්සාවක්. නිකමට වගේ කිවුවට කවුරුවත් ටයි කෝට් දාලා කුණු එකතු කරන්න එන්නේ නැහැ. ඕනෑනම් එහෙම කරන්න බැරිකමකුත් නැහැ. හැබැයි කුණු එකතු කරන්නා කුණු ලොරියෙන් බහින්නේ නැති නිසා ශීත කාලෙදී වුනත් කෝට් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ.
කුණු එකතු කරන්නේ කුණු ලොරියේ රියැදුරාමයි. ගේ කිට්ටු කරලා වාහනේ නැවැත්තුවට පස්සේ එයා කරන්නේ කුණු ලොරියේ රොබෝ අත ක්‍රියාත්මක කරන එක. රොබෝ අතෙන් කුණු බක්කිය අල්ලලා උස්සලා අනෙක් පැත්ත හරවලා කුණු ටික ලොරියට දාගෙන හිස් කුණු බක්කිය තිබුණු තැනින් තියනවා.
ඔය කුණු බක්කි දෙකට දමන්න බැරි පිච්චුණු විදුලි බල්බ, බැහැපු බැටරි වගේ අන්තරායකර දේවල් බැහැර කරන්න මාස හයක් දක්වා කාලයක් බලා ඉන්න වෙනවා. අවුරුද්දකට දවස් දෙකක් මේවා එකතු කරනවා. ඒ වැඩේනම් කරන්නේ බදු සල්ලි වලින්. ප්‍රමාණය යම් සීමාවකට වැඩිනම් පමණක් සල්ලි ගෙවන්න වෙනවා.
ඕක තමයි අපේ කුණු කතාව.