වෙබ් ලිපිනය:

Showing posts with label ගෙවුම් ශේෂය. Show all posts
Showing posts with label ගෙවුම් ශේෂය. Show all posts

Friday, December 29, 2023

ගෙවුම් ශේෂ ප්‍රශ්නය හා විසඳුම


ලංකාවේ ගෙවුම් ශේෂ ප්‍රශ්නය ගැන සහ එයට විසඳුම් ගැන අදහස් පළ කරන අය අඩුවක් නැහැ. විශේෂයෙන්ම පසුගිය වසර තුළ එවැනි අය හැම තැනම හිටියා. සමහර අයට අනුව, කවුරුත් මහන්සි වෙලා වැඩ කරලා මොනවා හරි හදලා පිටරට යවලා ඩොලර් එකක් හරි හොයන්න ඕනෑ. අරගලය දවස් වල අපේ එක් මිතුරෙක් කියපු විදිහට "පොල්කටු හැන්දක් හරි පිටරට යවලා කීයක් හරි හොයන්නේ නැතුව නිකම්ම ප්‍රශ්නය විසඳෙන්නේ නැහැනේ!".

තනි පුද්ගලයෝ විදිහට මෙහෙම හිතන එක හොඳයි. එහෙම ඩොලර් කීයක් හරි හොයන්න උත්සාහ කරන එකෙන් තමන්ට හොඳක් වෙනවට අමතරව රටටත් හොඳක් මිසක් කිසිසේත්ම නරකක් වෙන්නේ නැහැ. නමුත්, එහෙම කීයක් හෝ හෙවුවා කියලා ගෙවුම් ශේෂ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. 

ඔය විදිහට තනි පුද්ගලයින් විසින් ඩොලර් හොයලා ප්‍රශ්නය විසඳන එකේ දිගුවක් ලෙස සැලකිය හැකි වර්ෂන් එක අනුව රජය විසින් අපනයන වෙළඳපොළවල් සොයා ගත යුතුයි. යම් තාක් දුරකට මේ අදහසේ ගත යුත්තක් තිබුණත් මෙය අලුත් අදහසක් හෝ ක්‍රියාත්මක කරන්න උත්සාහ කර නැති අදහසක් නෙමෙයි. ඔය වැඩේ වෙනුවෙන්ම ඉන්න රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. නමුත්, "විකුණන්න පුළුවන් දේවල්" ගැන හොයා බලන එක රජයට ඒ තරම් ලේසියෙන් කළ හැකි දෙයක්නම් කවුරු හෝ ව්‍යාපාරිකයෙක් ඒ වැඩේ නොකර ඉන්නේ නැහැ.

කොහොම වුනත්, ආනයන සීමා කිරීම මගින් ප්‍රශ්නය විසඳීමේ විකල්පයට සාපේක්ෂවනම් ඉහත යෝජනා දෙකම හොඳයි. අර්බුද අවස්ථා වලදී තාවකාලිකව ඔය වැඩේ කරන්න සිදු වුනත්, දිගුකාලීනව මෙය රටකට ඉතාම හානිකරයි.

ඔය එකක්වත් හරියන්නේ නැත්නම් ප්‍රශ්නයට විසඳුම කුමක්ද?

ගෙවුම් ශේෂ ප්‍රශ්නය සාර්ව ආර්ථික ප්‍රශ්නයක්. සාර්ව ආර්ථික ප්‍රශ්නයකට සාර්ව ආර්ථික විසඳුම් අවශ්‍යයි. ඒ වැඩේ කරන්න පුළුවන් රටේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති තීරණය කරන අයටයි. තනි පුද්ගලයින්ට හා සමාගම් වලට ක්ෂුද්‍ර ආර්ථික ප්‍රශ්න විසඳිය හැකි වුවත්, එහෙම කිරීමෙන් පමණක් සාර්ව ආර්ථික ප්‍රශ්න විසඳන්න බැහැ. රටේ මිනිස්සු කොයි තරම් මහන්සි වෙලා වැඩ කළත්, සාර්ව ආර්ථික ප්‍රතිපත්ති අවුල්නම් අවශ්‍ය ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. ඒ වගේම, සාර්ව ආර්ථික ප්‍රතිපත්තියේ වැරැද්ද නිවැරදි කළාට පස්සේ අනෙක් දේවල් කිසිවක් නොකළත් ප්‍රශ්නය විසඳෙනවා.

මුලින්ම අපි ප්‍රශ්නය නිවැරදිව තේරුම් ගැනීම සඳහා 2012 වසරට යමු. මෙහිදී අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණ ගෙවුම් ශේෂ ප්‍රශ්නයට හේතුව ජංගම ගිණුමේ හිඟය මිසක් වෙළඳ ගිණුමේ හිඟය නොවන බවයි. වෙළඳ ගිණුමේ සටහන් වන භාණ්ඩ ආනයන හා අපනයන කියන්නේ රටට විදේශ විණිමය එන හා රටේ විදේශ විණිමය වැය වන එක ආකාරයක් පමණයි. පහත තිබෙන්නේ 2012 වසරේදී රටට ලැබුණු විදේශ විණිමය ආදායම් හා රටේ විදේශ විණිමය වියදම්.

2012 ජංගම ගිණුම:

අපනයන ආදායම් - ඩොලර් මිලියන 9,774

සේවා අපනයන ආදායම් - ඩොලර් මිලියන 3,800

ප්‍රාථමික ආදායම් - ඩොලර් මිලියන 142

ද්වීතියික ආදායම් - ඩොලර් මිලියන 6,038

ඉපැයීම් එකතුව - ඩොලර් මිලියන 19,754

දැන් මෙහි පෙනෙන පරිදි, රටේ අපනයන ආදායම් කියන්නේ රටේ මුළු විදේශ විණිමය ඉපැයීම් වලින් බාගයකටත් වඩා අඩු කොටසක්. අපනයන ආදායම් ප්‍රමාණයට වඩා වැඩි විදේශ විණිමය ප්‍රමාණයක් වෙනත් ක්‍රම වලින් රටට ඇවිත් තිබෙනවා. මේ කියන්නේ ණය හෝ ආයෝජන ගැන නෙමෙයි. ඒවා අත ඇරලා ආපසු නොගෙවිය යුතු විදේශ විණිමය ලැබීම් පමණක් ගැනයි. අපනයන ආදායම් ලෙස ඩොලර් මිලියන 9,774 එද්දී අනෙකුත් විදේශ විණිමය ඉපයීම් වලින් ඩොලර් මිලියන 9,880ක් රටට ඇවිත්.

දැන් අපි 2012දී විදේශ විණිමය වැය කළ ආකාරය දෙස බලමු.

ආනයන වියදම් - ඩොලර් මිලියන 19,190

සේවා ආනයන වියදම් - ඩොලර් මිලියන 2,538

ප්‍රාථමික ආදායම් ගෙවීම් - ඩොලර් මිලියන 1,361

ද්වීතියික ආදායම් ගෙවීම් - ඩොලර් මිලියන 646

ගෙවීම් එකතුව - ඩොලර් මිලියන 23,736

ප්‍රාථමික ආදායම් ගෙවීම් වල තියෙන්නේ පොලී හා ලාභාංශ ගෙවීම්. ද්වීතියික ආදායම් ගෙවීම් ලංකාවෙන් එළියට යන ප්‍රේෂණ. දැන් මේ විදේශ විණිමය වැය දිහා බැලුවහම පේන පරිදි, ඉපැයීම් හා ගෙවීම් අතර ඩොලර් මිලියන 3,982ක පරතරයක් තිබෙනවා. මේක තමයි ජංගම ගිණුමේ හිඟය. 

මේ හිඟය පියවුනේ කොහොමද? මෙයින් යම් කොටසක් විදේශ ආයෝජන ලෙස රටට එන විදේශ විණිමය වලින් පියැවෙනවා. වැඩි කොටසක් ණය. 

ඊළඟ ප්‍රශ්නය මේ වගේ පරතරයක් හැදුනේ කොහොමද? රටේ මිනිස්සු ඉවක් බවක් නැතිව ආනයන කරපු නිසා මේ වගේ හිඟයක් හැදුනද?

නැහැ. මේ හිඟය ණය ගැනීමේ ප්‍රතිඵලයක්. එහෙම නැතුව, විදේශ විණිමය හිඟයක් තිබුණු නිසා ණය ගන්න වුනා නෙමෙයි. ඔය 2012 අවුරුද්ද තුළ රජය විසින් ඩොලර් මිලියන 2,869ක දිගුකාලීන විදේශ ණය අරගෙන තියෙනවා. විදේශිකයින්ට රාජ්‍ය සුරැකුම්පත් අලෙවි කිරීම මගින් තවත් ඩොලර් මිලියන 843ක මුදලක් එකතු කරගෙන තියෙනවා. විදේශ විණිමය ඉපැයීම් හා ගෙවීම් අතර පරතරයට හේතුව ඔය ණය. 

රජය විවිධ ව්‍යාපෘති සඳහා විදේශ ණය ගනිද්දී ඒ ව්‍යාපෘති සඳහා අවශ්‍ය ආනයන ඉහළ ගිහින් ඉහත පරතරය හැදෙනවා. ගත්ත ණය වලින් ඒ පරතරය පියැවෙනවා. ඩොලර් මිලියන 19,190ක් වන 2012 වසරේ ආනයන වියදමෙන් පරිභෝජන භාණ්ඩ සඳහා වැය වුනු කොටස ඩොලර් මිලියන 2,995ක් පමණයි. ඉතිරි කොටස ආයෝජන හා අතරමැදි භාණ්ඩ. රටේ සාමාන්‍ය මිනිසුන්ගේ පරිභෝජනය සීමා කළා කියලා මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැති බව මේ අනුව පැහැදිලි විය යුතුයි.

මීට අමතරව, ණයට ගන්න ඩොලර් රුපියල් කරද්දී ඩොලරය ලාබ වීම නිසා ආනයන තවත් වැඩි වෙනවා. පරතරය තවත් පුළුල් වෙනවා. රාජ්‍ය සුරැකුම්පත් විදේශිකයින්ට අලෙවි කරද්දී ඔය වැඩේ ඉබේටම වගේ වෙනවා. මොකද රුපියල් වලින් ගෙවා රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගන්නනම් ඩොලර් රටට ගෙනත් රුපියල් වලට මාරු කරන්න වෙනවා. ඒ විදිහට රටට එන ඩොලර් මහ බැංකුව විසින් සංචිත වලට එකතු කර නොගත්තොත් ඒ ඩොලර් ටික ආනයන වියදම් වෙලා රටින් එළියට යනවා.

මේ අනුව පැහැදිලි වන පරිදි රටේ විදේශ විණිමය ප්‍රශ්නයේ මුල තියෙන්නේ රජය විසින් ආදායම ඉක්මවා වියදම් කිරීම. ආනයන ඉහළ ගොස් විශාල ජංගම ගිණුම් හිඟයක් ඇති වීම එහි අතුරු ප්‍රතිඵලයක් පමණයි. 

දැන් අපි 2012 සිට 2021 දක්වා එමු. 2021 වන විට පැවති තත්ත්වය කුමක්ද?

2021 ජංගම ගිණුම:

අපනයන ආදායම් - ඩොලර් මිලියන 12,499

සේවා අපනයන ආදායම් - ඩොලර් මිලියන 2,475

ප්‍රාථමික ආදායම් - ඩොලර් මිලියන 116

ද්වීතියික ආදායම් - ඩොලර් මිලියන 5,498

ඉපැයීම් එකතුව - ඩොලර් මිලියන 20,587


ආනයන වියදම් - ඩොලර් මිලියන 20,637

සේවා ආනයන වියදම් - ඩොලර් මිලියන 899

ප්‍රාථමික ආදායම් ගෙවීම් - ඩොලර් මිලියන 2,075

ද්වීතියික ආදායම් ගෙවීම් - ඩොලර් මිලියන 270

ගෙවීම් එකතුව - ඩොලර් මිලියන 23,871

දැන් මේ 2021 අවුරුද්දෙත් ඩොලර් මිලියන 3,284ක හිඟයක් තිබෙනවා. මේ හිඟය නඩත්තු වුනේ 2012දී වගේ විදේශ ණය ගත් නිසාම නෙමෙයි. මහ බැංකුවේ නිල සංචිත විකුණපු නිසා. සංචිත හින්දවමින් ඩොලරයක මිල පහළින් තියා ගත් නිසා ආනයන වියදම් ඒ විදිහටම පවත්වා ගත හැකි වුනා. අන්තිමට සංචිත හිඳිලා රට බංකොලොත් වුනා.

මේ ප්‍රශ්නය වැඩි අපහසුවකින් තොරව විසඳිය හැකිව තිබුණු "හදාගත්" ප්‍රශ්නයක්. සාර්ව ආර්ථික ප්‍රතිපත්ති නිවැරදි කරපු ගමන්ම දැන් ප්‍රශ්නය විසඳිලා තියෙන්නේ ඒ නිසා. පහත තියෙන්නේ මේ (2023) වසරේ පළමු මාස නවය ඇතුළත විදේශ විණිමය ලැබීම් හා ගෙවීම් තුලනය වුනු ආකාරය.

2023 පළමු මාස නවයේ ජංගම ගිණුම:

අපනයන ආදායම් - ඩොලර් මිලියන 8,982

සේවා අපනයන ආදායම් - ඩොලර් මිලියන 3,690

ප්‍රාථමික ආදායම් - ඩොලර් මිලියන 337

ද්වීතියික ආදායම් - ඩොලර් මිලියන 4,349

ඉපැයීම් එකතුව - ඩොලර් මිලියන 17,358


ආනයන වියදම් - ඩොලර් මිලියන 12,323

සේවා ආනයන වියදම් - ඩොලර් මිලියන 1,256

ප්‍රාථමික ආදායම් ගෙවීම් - ඩොලර් මිලියන 2,258

ද්වීතියික ආදායම් ගෙවීම් - ඩොලර් මිලියන 289

ගෙවීම් එකතුව - ඩොලර් මිලියන 16,127

මේ අනුව, 2023 පළමු මාස නවය ඇතුළත පමණක් ජංගම ගිණුමේ ඩොලර් මිලියන 1,258ක අතිරික්තයක් තියෙනවා. මේ මුදල ඉතිරි වෙන්නේ පැරණි ණය සඳහා පොලී වගේම විදේශ ආයෝජන සඳහා ලාභාංශද ගෙවුවට පස්සේ. ප්‍රාථමික ආදායම් ගෙවීම් ලෙස සටහන්ව තිබෙන්නේ එම ගෙවීම්. ඒ නිසා, මේ මුදල පැරණි ණය වලින් කොටසක් ආපසු ගෙවීම සඳහා යොදාගත හැකි මුදලක්.

මේ විදිහට, දිගටම ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගන්න පුළුවන්නම් අවුරුද්දෙන් අවුරුද්ද රටේ විදේශ ණය ටිකෙන් ටික ගෙවී යනවා. එහෙම ගෙවී යද්දී ප්‍රාථමික ආදායම් ගෙවීම් ලෙස වාර්ෂිකව රටෙන් එළියට යන විදේශ විණිමය ප්‍රමාණයද ටිකෙන් ටික අඩු වෙනවා. විදේශ ආයෝජන සඳහා ලබා ගන්නා ලාභාංශ වලින් වැඩි කොටක් නැවත රට ඇතුළේම ආයෝජනය කෙරෙන නිසා ඇත්තටම ජංගම ගිණුමේ සුළු හිඟයක් තිබුණත් රටට ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. 

ගෙවුම් ශේෂ ප්‍රශ්න එන්න පාදක හේතුව රජය විසින් ආදායම ඉක්මවා වියදම් කරමින් එම අඩුව පුරවා ගන්න විදේශ ණය ගැනීම. ඒ මූලික ප්‍රශ්නය විසඳුනු විට, මහ බැංකුව විසින් විණිමය අනුපාතය කෘතීම ලෙස පහළින් තියා ගත්තේ නැත්නම්, ගෙවුම් ශේෂ ප්‍රශ්නය ඉබේටම වගේ විසඳෙනවා.

Monday, August 7, 2023

ජංගම ගිණුම් ශේෂය හා ජූලි අවසානයේදී නිල සංචිත

පෙර ලිපියේ සහ ඊට පෙර වසර කිහිපයක් පුරා පළ කර තිබෙන ලිපි ගණනාවක පැහැදිලි කර ඇති පරිදි රජයේ ආදායම් හා වියදම් ගලපා ගනිමින් ප්‍රාථමික අතිරික්තයක් පවත්වා ගත හැකිනම් ලංකාවේ රාජ්‍යමූල්‍ය ප්‍රශ්නයෙන් සෑහෙන කොටසක් එතැනින්ම ඉවර වෙනවා. ඒ එක්කම රටේ තවත් ප්‍රශ්න ගණනාවක් විසඳෙනවා. උදාහරණයක් විදිහට දිගුකාලීනව පොලී අනුපාතික ඉහළ මට්ටමක පැවතීමේ ප්‍රශ්නය. දෙවැන්න ගැන වෙනත් ලිපියක හෝ වීඩියෝවක විස්තරාත්මකව පැහැදිලි කරන්නම්.

මෙතෙක් රටේ ඇති වූ ආර්ථික අර්බුද සියල්ලටම මෙන් හේතු වූ ගෙවුම් ශේෂ ප්‍රශ්නයට එකම හේතුව රාජ්‍යමූල්‍ය ප්‍රශ්නය නොවුනත්, එම ප්‍රශ්නයද බොහෝ දුරට රාජ්‍යමූල්‍ය ප්‍රශ්නයේම ව්‍යුත්පන්නයක්. ඒ නිසා, ගෙවුම් ශේෂ ප්‍රශ්නය විසඳාගැනීම සඳහා රාජ්‍යමූල්‍ය ප්‍රශ්නය විසඳා ගැනීම කළ යුතුම දෙයක්. එහෙත්, එය ප්‍රමාණවත් නැහැ. රාජ්‍යමූල්‍ය ප්‍රශ්නය විසඳා ගැනීමෙන් අනතුරුව විණිමය අනුපාතය පාලනය කිරීමෙන්ද ඉවත් විය යුතුයි. ඔය කාරණා දෙක ඉෂ්ඨ වේනම් ගෙවුම් ශේෂ ප්‍රශ්නයෙන් සෑහෙන කොටසක් ඉවරයි.

ඉහත ප්‍රශ්න දෙක හා අදාළවම "සෑහෙන කොටසක්" කියා කිවුවේ අනපේක්ෂිත බාහිර කම්පන නිසා ඇතැම් විට මේ ප්‍රශ්න නැවත මතු වීමේ ඉඩකඩ සියයට සියයක්ම බැහැර නොවන නිසා. ඊට අමතරව, මේ දෙකම හරියට කළත්, වසර හැටකට වඩා වැඩි කාලයක් තිස්සේ එකතු වූ අසමතුලිතතාවන්ගේ බරින් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් පමණයි. ඒ කටයුත්ත සාර්ථකව කර ගත්තොත්, ඉහත සමතුලිතා දෙක පවත්වා ගෙන ඉදිරියට යාම අපහසු වැඩක් නෙමෙයි. ප්‍රශ්නයක් මතු වුනොත් මතු වෙන්නේ යුද්ධයක් හෝ වසංගතයක් වැනි සුවිශේෂී තත්ත්වයක් යටතේ පමණයි. 

"රටට ඩොලර් උපයන්න හරි වැඩපිළිවෙළක් නැතිව එහෙම කරන්නේ කොහොමද?"

රටේ දැනට තිබෙන මානව සම්පත් හා අනෙකුත් සම්පත් උපයෝගී කර ගනිමින් රටට විශාල විදේශ විණිමය ප්‍රමාණයක් ගෙන ආ හැකි ආකාරය දන්නා විශිෂ්ඨ බුද්ධිමතුන් විශාල ප්‍රමාණයක් ෆේස්බුක් එකේ ඉන්නවා. අවාසනාවට රජය හෝ මහ බැංකුව ඒ අයගේ උපදෙස් පිළිපදින්නේ නැහැ. ආර්ථික සිද්ධාන්ත වලම හිර වී ඉන්න අපි වගේ මැට්ටන්ට ආර්ථික සිද්ධාන්ත පැත්තකින් තියා රටට ඩොලර් ගේන විදිහ ගැන පෙට්ටියෙන් පිට විසඳුම් ඉදිරිපත් කරන විශිෂ්ඨ බුද්ධිමතුන් විසින් ඉදිරිපත් කරන විසඳුම් නොතේරෙනවා වගේම මහ බැංකුවේ හා රජයේ ප්‍රතිපත්ති තීරණය කරන ආර්ථික විද්‍යාඥයින්ටත් ඒ විසඳුම් තේරුම් ගත හැකි බුද්ධියක් නැති වීම රටේ අවාසනාවක්.

සිද්ධාන්ත අමතක කර වතුරෙන් තෙල් හදන විදිහ ගැන රජය විසින් සොයා බැලුවානම් ඉන්ධන ආනයනය සඳහා යන විශාල ඩොලර් ප්‍රමාණය ඉතිරි වෙනවා. ඒ වගේම, පොඩ්ඩක් වියදම් කර නිවසකට එක මුද්‍රණ යන්ත්‍රය හා කඩදාසි මිටිය බැගින් බෙදා දී තම තමන්ට අවශ්‍ය පමණ සල්ලි අච්චු ගහගන්න ඉඩ දුන්නානම් රටේ හැමෝගෙම ප්‍රාග්ධන ප්‍රශ්න විසඳෙනවා. ඊට පස්සේ රටේ හැමෝම ඔය ප්‍රාග්ධනය උපයෝගී කරගෙන ඩොලර් රටට ගේන්න පටන් ගන්න නිසා උද්ධමනය වැඩි වී රුපියල් වල වටිනාකමක් නැති වී ගියත් ප්‍රශ්නයක් නැහැ.

අවාසනාවට මේ දේවල් කරගන්න පුළුවන් වෙන්නේ සිද්ධාන්ත පැත්තකට දමා ඒ අයගේ අලුත් සිද්ධාන්ත වලින් විසඳුම් හොයන පිරිසක් බලයට පත් කරගත්තොත් පමණයි. ඒ වගේම, ඩොලර් හොයන්න මේ තරම් අවස්ථා තියෙද්දී රටේ ඉන්න ප්‍රාග්ධනය තිබෙන අය ඒ ගැන උනන්දු නොවීමත් ප්‍රශ්නයක්. අඩු ගානේ මේ විශිෂ්ඨ බුද්ධිමතුන්ට ඒ අයට හෝ තමන්ගේ විසඳුම් පැහැදිලි කර දිය හැකිනම් රටට ඩොලර් ගලාගෙන එයි. 

තව මෙහෙම යෝජනාවකුත් කරන්න පුළුවන්. ලංකාවේ රජය සහ මිනිස්සු මේ විසඳුම් ගණන් ගන්නේ නැති එකේ වෙන රටක උපදේශකයෙක් විදිහට හරි මේ යෝජනා ක්‍රියාත්මක කරලා ලැබෙන ආදායම රටට ගේන්න පුළුවන්නම් ඒ ඩොලර් ටික හරි රටේ සේවා ගිණුමට එකතු වෙයි නේද? තේරුම් ගන්න පුළුවන් පාලකයෝ ලෝකයේ කොහේ හරි ඇතිනේ!

ඉතිරි කොටස ඔය කලින් කියූ විශිෂ්ඨ බුද්ධිමතුන්ට නෙමෙයි. කුමක් හෝ හේතුවක් නිසා අප ලියන දේ කියවන අයගේ පහන් සංවේගය පිණිස. 

මේ වන විට රජය විසින් ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වාගෙන යමින් සිටින අතර මහ බැංකුව විසින් විණිමය ප්‍රතිපත්ති හරහා ජංගම ගිණුමේද අතිරික්තයක් පවත්වා ගෙන යනවා. එය ඉතා හොඳ තත්ත්වයක්. අපි පළමුව වසරේ පළමු මාස තුනෙන් පටන් ගනිමු.

ආනයන වියදම - ඩොලර් මිලියන 3,894යි 

අපනයන ආදායම - ඩොලර් මිලියන 2,998යි 

වෙළඳ ශේෂ හිඟය - ඩොලර් මිලියන 896යි 


සේවා ලැබීම් - ඩොලර් මිලියන 1,048යි 

සේවා ගෙවීම් - ඩොලර් මිලියන 367යි 

සේවා ගිණුමේ අතිරික්තය - ඩොලර් මිලියන 682යි 


වෙළඳ ගිණුමේ හා සේවා ගිණුමේ සමස්ත හිඟය - ඩොලර් මිලියන 214යි.


ප්‍රාථමික ආදායම් ගිණුමේ ශුද්ධ හිඟය - ඩොලර් මිලියන 486යි 

ද්වීතියික ආදායම් ගිණුමේ ශුද්ධ අතිරික්තය - ඩොලර් මිලියන 1,344යි 

මේ අනුව, පළමු මාස තුනේදී සමස්තයක් ලෙස ඩොලර් මිලියන 644ක ජංගම ගිණුම් අතිරික්තයක් වාර්තා වෙනවා. එයින් අදහස් වන්නේ සියලු ඩොලර් අවශ්‍යතා සපුරා ගැනීමෙන් පසුව රටට පැමිණි ඩොලර් වලින් මිලියන 644ක් ඉතිරි වී ඇති බවයි. 

ඉහත ගණනයේදී මූල්‍ය ගිණුම සලකා නැහැ. ඒ කියන්නේ මෙහි රටට ලැබුණු ඩොලර් වලට විදේශ ණය සේ ලැබුණු කිසිදු මුදලක් ඇතුළත් නැහැ. ඒ වගේම, සෘජු විදේශ ආයෝජන සේ ලැබුණු විදේශ විණිමයද ඇතුළත් නැහැ. එහෙත් පරණ ණය වල පොලී ලෙස හා ආයෝජන වල ප්‍රතිලාභ ලෙස රටින් ගෙන ගිය විදේශ විණිමය ඇතුළත්. ප්‍රාථමික ආදායම් ගිණුමේ තිබෙන්නේ එසේ රැගෙන ගිය ප්‍රමාණයයි.

මේ අනුව පැහැදිලි වන පරිදි, ජංගම ගිණුමේ අතිරික්තයක් පවතීනම් රටේ ශුද්ධ බැරකම් අඩු වීමක් සිදු වෙනවා. තේරෙන විදිහට කිවුවොත් විදේශ ණය අඩු වෙනවා. අලුතෙන් ණය ගැනීමක් සිදු වෙන්නේ පරණ ණය වාරික ගෙවීම සඳහා පමණයි.

පළමු මාස හය අවසානයේදී තත්ත්වය පිළිබඳ යම් තොරතුරු ඇතත් එම තොරතුරු සම්පූර්ණ නැහැ. එහෙත් යන දිශාව තේරුම් ගන්න අමාරු නැහැ. 

පළමු මාස හය ඇතුළත ආනයන වියදම් ලෙස ඩොලර් මිලියන 8,161ක් යද්දී අපනයන ආදායම් ලෙස ලැබී තිබෙන්නේ ඩොලර් මිලියන 5,871ක් පමණයි. ඒ අනුව, ඩොලර් මිලියන 2,289ක වෙළඳ ශේෂ හිඟයක් තිබෙනවා. ජංගම ගිණුමේ අතිරික්තයක් තිබියදී වෙළඳ ගිණුමේ මෙවැනි හිඟයක් තිබීම කිසිසේත්ම ප්‍රශ්නයක් නෙමෙයි. මෙම මාස හයක කාලය තුළ ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 2,823ක් ලැබී ඇති අතර සංචාරක ඉපැයීම් ලෙස තවත් ඩොලර් මිලියන 875ක් ලැබී තිබෙනවා. මාස හයක කාලය තුළ ගෙවුම් ශේෂයෙහි ඩොලර් මිලියන 1,958ක අතිරික්තයක් වාර්තා වී තිබෙනවා.

මේ තත්ත්වය ඉතා හොඳ තත්ත්වයක් බව පැහැදිලියි. එහෙත්, මේ තත්ත්වය තිරසාරද? 

මේ වන විටද ආනයන පාලන ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම, විදේශ ණය අපේක්ෂිත පරිදි ප්‍රතිව්‍යුහගත කළද ඉන් පසුව දැනට නොගෙවන ණය යම් ප්‍රමාණයක් ආපසු ගෙවන්නට සිදු වෙනවා. ඒ නිසා, දැනට පවතින සමතුලිතතාව මේ විදිහටම දිගටම පැවතීමේ ඉඩක් නැහැ. එම සමතුලිතතාව කොයි තරම් නරක පැත්තට යා හැකිද?

මේ වන විට, ජූලි මාසයේ නිල සංචිත ප්‍රමාණය ප්‍රකාශයට පත් වී තිබෙනවා. එම ප්‍රමාණය ඩොලර් මිලියන 3,762ක්. පෙර මාසයේ වූ ඩොලර් මිලියන 3,724ට සාපේක්ෂව ඩොලර් මිලියන 38ක සුළු (1%ක වැඩි වීමක්). මෙය ගිණිය හැකි වෙනසක් නෙමෙයි. ඒ අනුව, මාසය තුළ මහ බැංකුව විසින් විදේශ විණිමය වෙළඳපොළ තුල දැනෙන මැදිහත්වීමක් සිදු කර නැහැ. පෙර මාසය තුළ පැවතියේද එවැනිම තත්ත්වයක්. 

පසුගිය මාසය තුළ සිදු වූ විශේෂ දෙයක් වූයේ ඩොලර් මිලියන 791.4ක සංවර්ධන බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කරනු ලැබීමයි. විස්තර ප්‍රසිද්ධ කර නැතත්, මෙම ප්‍රමාණයෙන් සැලකිය යුතු කොටසක් වෙනුවට රුපියල් බැඳුම්කර ලබා ගෙන ඇතැයි සිතිය හැකියි. පවතින තත්ත්වයන් තුළ දේශීය ආයෝජකයින්ට වඩා වාසිදායක සේ පෙනෙන්නේ එම විකල්පයයි. මෙහිදී ඔවුන්ට අඩුව පුරවා ගැනීම සඳහා වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීමට සිදු වෙනවා. එහිදී ඩොලරයක මිල මත පීඩනය ඉහළ යනවා. ඊට අමතරව, ඩොලර් මිල දී ගැනීම සඳහා රුපියල් අවශ්‍ය වන නිසා රුපියල් හිඟ වී පොලී අනුපාතික මත පීඩනයද ඉහළ යනවා. කෙසේ වුවත්, දැන් මේ දෙකම සිදු වී අවසානයි.

ඩොලරයක මිල ඉහළ යද්දී මහ බැංකුව විසින් මැදිහත් වීමක් කර නැති බව දැන් පෙනෙනවා. යම් තරමකින් ඩොලරයක මිල ඉහළ යාමෙන් පසුව දැන් නැවතත් තරමක් අඩු වී තිබෙනවා. මේ සතියේදී පොලී අනුපාතික තුළින්ද මෙවැනිම නැඹුරුවක් පෙනෙන්නට ඉඩ තිබෙනවා. 

කෙසේ වුවත්, ඩොලරයක මිල හා අදාළව තවත් කම්පන කිහිපයක් සිදු විය යුතුයි. පළමුව, වාහන හැර අනෙකුත් ආනයන සඳහා පනවා ඇති සීමාවන් ඉවත් විය යුතුයි. මෙම කම්පනය විශාල කම්පනයක් වේයැයි මා සිතන්නේ නැහැ. දෙවනුව, ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව යම් කම්පනයක් ඇති වෙනවා. අවසාන වශයෙන් වාහන ආනයන වලට ඉඩ ලැබෙද්දී තවත් කම්පනයක් ඇති වෙනවා. මේ එක් එක් අවස්ථාවේදී ඩොලරයක මිල යම් තරමකින් ඉහළ යා යුතුයි. එය ක්ෂණිකව වඩා වැඩියෙන් ඉහළ ගොස් පසුව තරමක් අඩු වීමක් විය හැකියි. "කීයට විතර යයිද?" වගේ ප්‍රශ්න වලටනම් පිළිතුරු දෙන්න බැහැ. පාවෙන විණිමය ක්‍රමයක මූලධර්මය වන්නේම එසේ විනිමය අනුපාතිකය නිවැරදිව පුරෝකථනය කළ නොහැකි බවයි. 

මේ සියල්ල සිදු වීමෙන් පසුව, රජය විසින් අලුතෙන් විදේශ ණය ලබා ගනිමින් බැංකු පද්ධතිය වෙත පොම්ප නොකරන්නේනම්, බැංකු පද්ධතිය තුළ ඩොලර් ඉල්ලුම හා සැපයුම පහසුවෙන්ම තුලනය වෙනවා. ඒ නිසා, රටේ ඩොලර් හිඟයක් ඇති වෙන්නේ නැහැ. එහෙත්, පරණ ණය ආපසු ගෙවීම සඳහා රජයට දිගටම විදේශ ණය ගන්න සිදු වෙනවා. එම ඩොලර් ප්‍රමාණය වෙළඳපොළෙන් මිල දී ගැනීමේ හැකියාවක් නැහැ. 

බැංකු පද්ධතිය තුළ ඩොලර් ඉල්ලුම හා සැපයුම තුලනය වේනම් සීමා කිසිවක් නැතත් අපනයන ඕනෑවට වඩා වැඩි වීමේ ප්‍රශ්නයක් මතු වන්නේ නැහැ. ඩොලර් සැපයුමට වඩා ඉල්ලුම ඉහළ ගියහොත් ඩොලරයක මිල ඉහළ යයි. ඒ තත්ත්වය දිගටම පැවතුනොත් ඩොලරයක මිල දිගටම, ක්‍රමිකව ඉහළ යයි. එවිට රටේ සිටින ව්‍යවසායකයින් ඩොලර් ඉපැයිය හැකි ආකාර ගැන ස්වභාවික ලෙසම උනන්දු වෙයි. කෙටිකාලීනව කෙසේ වෙතත් දිගුකාලීනව මේ සඳහා අවශ්‍ය වන්නේ ජංගම ගිණුමේ තුලනය පවත්වා ගැනීම පමණයි. 

Thursday, September 1, 2022

විස්තීර්ණ ණය පහසුකම


ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක පමණ විස්තීර්ණ ණය පහසුකමක් ලබා දීමේ මූලික පියවර ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නිලධාරී මට්ටමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙනවා. 

විස්තීර්ණ ණය පහසුකමක් කියා කියන්නේ කුමක්ද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සාමාජික රටවලට ණය ලබා දෙන ක්‍රම ගණනාවක් තිබෙනවා. විස්තීර්ණ ණය පහසුකමක් කියා කියන්නේ ඒ අතරින් එක් ක්‍රමයක්. මේ ක්‍රමයට ණය ලබා දෙන්නේ කිසියම් සාමාජික රටක් ඉතා ඉක්මණින් හෝ පහසුවෙන් විසඳා ගත නොහැකි දරුණු ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දී ඇති විටයි. 

විස්තීර්ණ ණය පහසුකමක් සාමාන්‍යයෙන් වසර තුනක කාලයක් තුළත්, අවශ්‍යතාවය පරිදි තවත් වසරකින් කාලය දිගු කර වසර 4ක කාලයක් තුළත් ලබා දෙනවා. මේ අනුව, අදාළ ණය පහසුකම වසර 4ක කාලයක් තුළ ලංකාවට කොටස් වශයෙන් ලබා දීමට නියමිතයි. 

විස්තීර්ණ ණය පහසුකමක් ලබා ගැනීමේ ප්‍රධානම වාසිය ණය ආපසු ගෙවීම සඳහා වැඩි කාලයක් ලැබීමයි. පළමු වාරිකය වසර හතර හමාරකට පසුව ගෙවිය යුතු අතර එතැන් සිට මාස හයකට වරක් සමාන වාරික 12කින් ණය මුදල හා පොලිය ගෙවා අවසන් කළ යුතුයි. මේ අනුව, ණය ගෙවා අවසන් කිරීමට වසර 10ක කාලයක් ලැබෙනවා.

ලංකාව මේ වන විට 16 වරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගෙන තිබෙනවා. ඒ අතරින් ණය පහසුකම් තුනක්ම ලබා ගෙන තිබෙන්නේ මෙම ක්‍රමය යටතේයි. අවසන් විස්තීර්ණ ණය පහසුකම ලබා ගෙන තිබෙන්නේ 2016 ජූනි - 2019 ජූනි අතර කාලය තුළයි. මෙම ණය මුදල තවමත් ගෙවා අවසන්ව නැහැ. 

නිලධාරී මට්ටමේ එකඟතාවක් කියන්නේ කුමක්ද?

කිසියම් රටක් විස්තීර්ණ ණය පහසුකමක් ඉල්ලා සිටින්නේ ගෙවුම් ශේෂ අර්බුදයක් හොඳටම උග්‍ර වූ විටයි. ගෙවුම් ශේෂ අර්බුදයක් ඒ තරමටම උග්‍ර වන්නේ රටේ ආර්ථික ප්‍රතිපත්ති වල බරපතල වැරදි නිසා. ඒ වැරදි හදා නොගත්තොත් එවැනි රටකට ගන්නා ණය ආපසු ගෙවන්න බැහැ. 

විස්තීර්ණ ණය පහසුකමක් ඉල්ලා සිටින රටක් තමන්ගේ පෙර වැරදි හදාගෙන ණය ආපසු ගෙවිය හැකි මට්ටමට ආර්ථිකය ශක්තිමත් කර ගන්නේ කොහොමද කියා මූල්‍ය අරමුදලට පෙන්වා දිය යුතුයි. අදාළ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් වී තමන් ලබා දෙන ණය මුදල ආපසු ලබා ගත හැකි තත්ත්වයක් ඇති වන බව අරමුදලේ නිලධාරීන්ට ඒත්තු යා යුතුයි. එසේ ඒත්තු යාමෙන් අනතුරුව අරමුදලේ නිලධාරීන් සාමාජික රාජ්‍යයේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සමඟ එකඟ වෙනවා. නිලධාරී මට්ටමේ එකඟතාවක් කියන්නේ එවැන්නක්. 

නිලධාරී මට්ටමේ එකඟතාවකින් පසු ණය ලැබෙනවාද?

නිලධාරී මට්ටමේ එකඟතාවක් කියන්නේ ණය ලබා ගැනීමේ මූලික පියවරයි. ඉන් පසු, අදාළ වැඩපිළිවෙළ අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කළ යුතුයි. සාමාන්‍යයෙන් මේ වැඩේට විශාල කාලයක් යන්නේ නැහැ. ඒ වගේම, නිලධාරී මට්ටමේ එකඟතාවකින් පසුව සාමාන්‍යයෙන් වැඩපිළිවෙළ වෙනස් වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ බොහෝ දුරට වැඩේ හරි.

නමුත්, ලංකාව මේ වන විටත් ණය පැහැර හැර තිබෙන රටක්. ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දීමට යෝජිත ණය ආපසු අය කර ගත හැකි වන්නේ රටේ අනෙක් ණයකරුවන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ පිළිවෙළකට එකඟ වුනොත් පමණයි. ඒ නිසා, මෙවර තත්ත්වය ටිකක් වෙනස්. එළඹ ඇති නිලධාරී මට්ටමේ එකඟතාව ඉදිරියට යනු ඇත්තේ රටේ ණයකරුවන් අදාළ වැඩපිළිවෙළ තුළ යෝජිත ණය ප්‍රතිව්‍යුහගත කිරීම සමඟ එකඟ වන්නේනම් පමණයි.

කොහොම වුනත්, මේ පියවර ඉතා වැදගත් පියවරක්. මෙවැනි එකඟතාවයක් නැතිව ණයකරුවන් සමඟ කතා කළ හැකි පදනමක් නැහැ. දැන් ඒ සඳහා පදනමක් තිබෙනවා.

ඒ කියන්නේ ඔය වැඩේ වෙන්න කොච්චර කල් යයිද?

මේ ගැන හරියටම කියන්න අමාරුයි. මගේ පෞද්ගලික අදහස අඩුම වශයෙන් 2023 මාර්තු පමණ වන තුරු ණය ලබා ගැනීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගන්න බැරි වෙයි කියන එකයි. ඊටත් වඩා මාස හයක් පමණ කල් යන්නත් පුළුවන්.

ලංකාවට දෙන ණය මුදල තීරණය කරලා තියෙන්නේ කොහොමද?

ලෝක ආර්ථිකය තුළ එක් එක් සාමාජික රටේ ප්‍රමාණය අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජික රටවලට කෝටාවක් තිබෙනවා. ලංකාවේ කෝටා එක SDR මිලියන 578.8ක්. SDR කියා කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුදල් ඒකකය. අරමුදල ණය දෙන්නේ SDR වලින්. SDR එකක් ඇමරිකන් ඩොලර් 1.30ක් පමණ වෙනවා (2022 සැප්තැම්බර් 1 විණිමය අනුපාතය අනුව). 

කිසියම් මොහොතක සාමාජික රටකට අරමුදලෙන් ලබාගත හැකි උපරිම ණය ප්‍රමාණය අදාළ රටේ කෝටා එකෙන් 435%ක්. ඒ කියන්නේ ලංකාවට SDR මිලියන 2,517.8ක් දක්වා ණය ලබා ගන්න පුළුවන්. නමුත්, ලංකාව අවසන් වරට ගත් විස්තීර්ණ ණය පහසුකම තවමත් ගෙවා අවසන් නැහැ. එසේ ලබා ගත් ණය මුදල SDR මිලියන 715.23ක්. 

පොලී පැත්තකින් තිබ්බොත්, මේ මුදල වාරික 12කින් ගෙවන්නනම් SDR මිලියන 59.6 බැගින් ගෙවාගෙන යන්න වෙනවා. 2020 දෙසැම්බර් ගෙවන්න පටන් ගත්තා කියලා හිතුවොත්, මේ අවුරුද්ද අවසන් වෙද්දී වාරික පහක් ගෙවලා. තව හතක් ගෙවන්න තියෙනවා. 

ආසන්න වශයෙන් SDR බිලියන 2.2ක් කියා කියන්නේ ඉහත උපරිම මුදලින් දැනටත් අරන් ගෙවන්න තිබෙන ණය ටික අඩු කළ පසු ඉතිරි කොටස. මෙම මුදල ඩොලර් වලින් බිලියන 2.9ක් පමණ වෙනවා.

අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබුණු ගමන් ඔය සල්ලි ලැබෙයිද?

විස්තීර්ණ ණය පහසුකමක් ලැබෙන්නේ කොටස් වශයෙන්. ඔය මුළු මුදලම එකවර ලැබෙන්නේ නැහැ. වසරකට ලබාගත හැකි උපරිම මුදල කෝටාවෙන් 145%ක් පමණයි. ඒ කියන්නේ SDR මිලියන 840ක් පමණ. ඩොලර් බිලියන 1.1ක් පමණ. පළමු වසර තුළදී ඊට වඩා මුදලක් ලැබෙන්නේ නැහැ.

ලැබෙන සල්ලි ආණ්ඩුව වියදම් කරලා නාස්ති කරයිද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට ණය දෙන්නේ නැහැ. සල්ලි දෙන්නේ මහ බැංකුවට. ඒ නිසා, රජයට මේ මුදල් වියදම් කරන්න බැහැ. එහෙත්, මහ බැංකුවට පුළුවන් සල්ලි අච්චු ගහලා රජයට ණය දෙන්න. ඊට පස්සේ ඒ ණයට ගන්න රුපියල්ම නැවත මහ බැංකුවට දීලා ඩොලර් මිල දී ගන්න පුළුවන්. එහෙම කළොත් වෙන්නේ අරමුදලේ සල්ලි රජය ගත්තා වගේ වැඩක්. ඒ නිසා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වන වැඩ සටහනකදී සල්ලි අච්චු ගැසීම දැඩි ලෙස පාලනය කෙරෙනවා.

ණය ලැබෙන්න කල් යන එකේත් වාසියක් තිබෙනවා. ණය නොලැබී යාමේ අවදානම හමුවේ රජයට ණය ලැබෙන තුරු කාලයේත් දැඩි මූල්‍ය පාලනයක් කරන්නම වෙනවා. නැත්නම් අරමුදලට ණය නොදී ඉන්න පුළුවන්. 

මහ බැංකුව මේ ණය ආපසු ගෙවන්නේ කොහොමද?

ණය ආපසු ගෙවීම සඳහා මහ බැංකුවට වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්න වෙනවා. ඒ කියන්නේ, මේ ණය ගත්තා කියලා ඩොලර් උපයන එකේ වැදගත්කම අමතක කරන්න බැහැ. මහ බැංකුවට වෙළඳපොළෙන් මිල දී ගන්න වෙන්නේ කවුරු හරි රටට ගේන ඩොලර් වලින් කොටසක්.

දැන් සල්ලි ලැබෙන්නේ නැත්නම්, ඔය නිලධාරී මට්ටමේ එකඟතාවය නිසා මහ ලොකු වෙනසක් වෙයිද?

මේ එකඟතාවය මත පදනම්ව ඇතැම් විට වෙනත් ජාත්‍යන්තර ආයතන විසින් යම් ණය මුදලක් ලබා දෙන්න ඉඩ තිබෙනවා. ඒ වගේම රටට කෙටිකාලීන ප්‍රාග්ධනය ගලා ඒමේ ඉඩකඩ ඉහළ යනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය අනුව තරමක් ලොකු වෙනසක් වෙන්න පුළුවන්. මහා ලොකු වෙනසක් හදිසියේ වෙන එකක්නම් නැහැ.

නිලධාරී මට්ටමේ එකඟතාව මොන වගේ එකක්ද?

මෙහි ඇති විස්තර ප්‍රසිද්ධ කරනු ඇතැයි මම හිතන්නේ නැහැ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් වන තුරු එය නොකළ හැක්කක්. නමුත් මූලික කරුණු ප්‍රසිද්ධ කර තිබෙනවා.

- බදු ඉහළ නංවා ගැනීම හරහා 2024 වන විට ප්‍රාථමික අයවැය ශේෂය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%ක අතිරික්තයක් දක්වා වැඩි කර ගැනීම.

- පිරිවැය ආවරණය වන පරිදි ඉන්ධන, විදුලි ගාස්තු සංශෝධනය කිරීම 

- සමාජ සංරක්ෂණ වියදම් හා ආවරණය පුළුල් කිරීම 

- සල්ලි අච්චු ගැසීම ක්‍රමක්‍රමයෙන් අඩු කිරීම 

- විණිමය අනුපාතය පාවෙන්නට හරිමින් සංචිත වැඩි කරගැනීම 

- මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය සුරක්ෂිත කිරීම 

- අරමුදලේ තාක්ෂණික උපදෙස් ලබා ගනිමින් රාජ්‍ය අංශයේ පාරදෘශ්‍යතාව ඉහළ නංවා දූෂණයට ඇති ඉඩකඩ ඇහිරීම 

Thursday, July 28, 2022

ඩොලර් බැලන්ස් කිරීමේ ප්‍රශ්නය


තව දුරටත් ඉතිරිව තිබෙන ණය ගෙවීමේ ප්‍රශ්නය ගැන කලින් ලිපියෙන් කතා කළා. ඒ ප්‍රශ්නය කිසිසේත්ම පැත්තකින් තියන්න පුළුවන්කමක් නැතත්, සාකච්ඡාව ඉදිරියට ගෙන යාමේ අරමුණින්, ණය ප්‍රශ්නය පැත්තකින් තියමු. එක ඩොලරයක්වත් ණය ආපසු ගෙවන්නේ නැහැ කියා හිතුවොත් ඊළඟට ඉතිරි වන ප්‍රශ්නය මොනවා හෝ විදිහකින් රටට ලැබෙන ඩොලර් ටික පිරිමහගෙන කළමනාකරණය කර ගැනීමේ ප්‍රශ්නයයි. එය කළ හැකිද?

මෙය කළ නොහැකි තරම් අසීරු කාර්යයයක්. එහෙත්, බාහිර උදවු නොලැබුණොත් වෙන කරන්න කිසිම දෙයක් නැහැ.

අපි සංඛ්‍යාලේඛණ එක්කම ප්‍රශ්නය දිහා බලමු. මේ පසුගිය වසරේ (2021) සංඛ්‍යාලේඛණ.

අපනයන ආදායම - ඩොලර් මිලියන 12,502

ආනයන වියදම - ඩොලර් මිලියන 20,637

වෙළඳ ශේෂ හිඟය - ඩොලර් මිලියන 8,136 

මේ ගාණට ආනයන වියදම් සීමා වී තිබෙන්නේත් නෛසර්ගික ලෙස නෙමෙයි. වාහන ආනයනය ආදිය සම්පූර්ණයෙන්ම නවත්වා තිබියදී. නැවත වාහන ආනයනය වගේ දේවල්නම් දැන් හීන පමණක් නිසා දැන් ඉන්න තැන ඉඳලා කතාව පටන් ගනිමු.

දැන් ඉහත කී පරිදි ඩොලර් මිලියන 8,136ක වෙළඳ ශේෂ හිඟයක් තියෙනවා කියන්නේ ඔය ඩොලර් ප්‍රමාණය වෙන කවර හෝ ආකාරයකින් රටට එන්න ඕනෑ. එහෙම මොන විදිහකින් හෝ ඩොලර් රටට එනවානම් වෙළඳ ශේෂ හිඟයක් තියෙන එක ප්‍රශ්නයක් නෙමෙයි. 

පසුගිය වසර තුළ ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 5,491ක් රටට ආවා. සංචාරක කර්මාන්තයෙන් ඩොලර් මිලියන 261ක් ආවා. නමුත්, ඒ දෙකම එකතු කළත් වෙළඳ ශේෂ හිඟය පියැවෙන්නේ නැහැනේ. ඒ වගේම, ණය ගෙවීම පැත්තකින් තිබ්බත්, ඩොලර් අවශ්‍ය වෙන්නේ භාණ්ඩ ආනයන සඳහා පමණක් නෙමෙයි. අනෙක් ඩොලර් අවශ්‍යතා සඳහා වැය වූ කොටසත් එකතු කලාට පස්සේ සමස්තයක් ලෙස පසුගිය වසරේදී ඩොලර් මිලියන 3,961ක ගෙවුම් ශේෂ හිඟයක් තිබුණා. 

හරි. අපි මුල් ප්‍රශ්නයට එමු. ලංකාවට දැනට දශක ගණනාවක් තිස්සේ පවතින වෙළඳ ශේෂ හිඟය ඉතා ඉක්මණින් පියවා ගැනීමේ හැකියාවක් තියෙනවද?

මෙහි පළමු පියවර ලෙස අපි ආනයන වියදම වූ ඩොලර් මිලියන 20,637 විභේදනය කර බලමු.

පරිභෝජන භාණ්ඩ - ඩොලර් මිලියන 3,848.7 (18.6%)

අතරමැදි භාණ්ඩ - ඩොලර් මිලියන 12,308.9 (59.6%)

ආයෝජන භාණ්ඩ - ඩොලර් මිලියන 4,462.7 (21.6%)

එකතුව  - ඩොලර් මිලියන 20,637.4 (100.0%)

මම හිතන්නේ කියන්න හදන දෙය පැහැදිලි විය යුතුයි. ආනයන භාණ්ඩ පරිභෝජනය ගැන, අධිපරිභෝජනය ගැන ලොකුවට කතා කළත් පරිභෝජන භාණ්ඩ ආනයනය වෙනුවෙන් වැය වෙන්නේ මුළු ආනයන වියදමෙන් 18.6%ක් පමණයි. ඔය ටික මුළුමනින්ම නැවතුනත්, වෙළඳ හිඟය පියැවෙන්නේ නැහැ.

ලංකාවේ ආනයන වියදම් වලින් 80%ක් පමණම යන්නේ අතරමැදි හා ආයෝජන භාණ්ඩ ආනයනයටයි. මොනවද මේ අතරමැදි හා ආයෝජන භාණ්ඩ? 

අතරමැදි හා ආයෝජන භාණ්ඩ කියා කියන්නේ දේශීය නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හා නිෂ්පාදන සාධක. මේවා එන්නේ නැහැ කියා කියන්නේ බොහෝ දුරට රටේ නිෂ්පාදනයක් වෙන්නේ නැහැ කියන එකයි. ඒ කියන්නේ දැනට ලැබෙන අපනයන ආදායමත් නොලැබී යනවා කියන එකයි.

උදාහරණයක් විදිහට පසුගිය වසරේ රෙදිපිළි හා ඇඟලුම් වලින් ලැබුණු අපනයන ආදායම ඩොලර් මිලියන 4,423.1ක්. රටේ අපනයන ආදායමෙන් 35%ක් පමණ. හැබැයි ඔය අපනයන ආදායම ලබා ගන්න රෙදිපිළි ඇතුළු අනෙකුත් අමුද්‍රව්‍ය ආනයනය කරන්න වෙනවා. පසුගිය වසරේ රෙදිපිළි හා ඇඟලුම් ආනයන වියදම ඩොලර් මිලියන 2,335.1ක්. අර ආපු ඩොලර් ටිකෙන් බාගයකටත් වඩා අමුද්‍රව්‍ය වෙනුවෙන් රටෙන් එළියට ගිහින්. 

ඇගලුම් කර්මාන්තය සඳහා ආනයනය කරන්න අවශ්‍ය වන්නේ රෙදිපිළි වැනි දේ පමණක් නෙමෙයිනේ. මහන මැෂින්, අනෙකුත් මැෂින් වගේ නිෂ්පාදන සාධකත් ආනයනය කරන්න වෙනවා. ඒවා තියෙන්නේ ආයෝජන භාණ්ඩ යටතේ. ඒ විතරක්ද? යොදා ගන්න විදුලි බලය හදන්න ඉන්ධන ආනයනය කළ යුතුයි. සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන්න වාහන ආනයනය කළ යුතුයි. ඒ අයට දවල් කෑමට දෙන පරිප්පු ටික ආනයනය කළ යුතුයි. හිතල බැලුවොත් ලැයිස්තුව තව ගොඩක් දිගයි.

ඕනෑම අපනයන කර්මාන්තයක් ගත්තොත් තත්ත්වය ඕකයි. පහුගිය දවස් වල ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් වානේ ආනයනය කළා කියලා ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තිබුණා. වානේ ආනයනය නොකළොත් බයිසිකල් අපනයන කරන්න වෙන්නේ නැහැ. අපනයන වලින් ඩොලර් මිලියන 12,502ක් ලැබුණත් මෙය ශ්‍රමික ප්‍රේෂණ වලින් ලැබෙනවා වගේ ශුද්ධ ඩොලර් ආදායමක් නෙමෙයි. ඔය ඩොලර් ටික උපයා ගැනීම සඳහාම සැලකිය යුතු ආනයන ප්‍රමාණයක් කරන්න වෙනවා. ඒ වෙනුවෙන් ඩොලර් වැය කරන්න වෙනවා.

තේ කර්මාන්තය වගේ කෘෂිකාර්මික කර්මාන්තයක් ගත්තත් මේ තත්ත්වයේ වෙනසක් නැහැ. කර්මාන්තයට අවශ්‍ය පෝර වල ඉඳලා, යන්ත්‍ර සූත්‍ර දක්වා ගොඩක් දේවල් ආනයනය කරන්න වෙනවා. ඒ නිසා, රටට එන ඩොලර් ආදායම ශුද්ධ ආදායමක් නෙමෙයි. ලංකාවේ අපනයන ආදායමෙන් කොපමණ කොටසක් එම අපනයන නිපදවීම සඳහාම ආනයන වෙනුවෙන් වැය කළ යුතුද කියන එක කවුරුවත් ගණන් හදා ඇති බවක් මම දන්නේ නැහැ. මේ ප්‍රමාණය 50% පමණ හෝ ඊටත් වඩා වැඩි විය හැකියි. 

අපි 50%ක් කියලා ගනිමු. ඒ කියන්නේ මාසයකට අපනයන වලින් රටට බිලියනයක් එනවා කියා කිවුවත් ශුද්ධ වශයෙන් එන්නේ මිලියන 500ක් පමණයි. අනෙකුත් හැම දෙයක්ම ආනයනය කරන්න වැය කළ හැක්කේ මේ කොටස පමණයි.

ඔය කිවුවේ අපනයන නිෂ්පාදන සඳහා අවශ්‍ය ආනයන ගැන. ඊට අමතරව දේශීය නිෂ්පාදන සඳහාත් සැලකිය යුතු ආනයනික අමුද්‍රව්‍ය ප්‍රමාණයක් හා නිෂ්පාදන සාධක අවශ්‍යයි. ආනයන නැත්නම් දේශීය නිෂ්පාදනයකුත් නැහැ. වී ගොවිතැන වගේ දෙයක් ගනිමු. පෝර, කෘෂි රසායන, අත්ට්‍රැක්ටර්, ගොයම් කපන යන්ත්‍ර ආදී කර්මාන්තයට අවශ්‍ය බොහෝ දේවල් ආනයනය කරන්න වෙනවා. කෙටියෙන් කිවුවොත්, ආනයන වලින් 60%ක් පමණ වන අතරමැදි භාණ්ඩ සීමා කිරීමේ හැකියාවක් නැහැ. බැරි නැහැ. නමුත් එහෙම කරනවා හෝ කරන්න වෙනවා කියා කියන්නේ රටේ සමස්ත ආර්ථිකය විශාල කඩා වැටීමකට ලක් වී රට ඇතැම් විට සියවස් බාගයකින් පමණ  ආපස්සට යනවා කියන එකයි.

ආයෝජන භාණ්ඩ සීමා කිරීමත් ඔය වගේම අහිතකර වුවත් කෙටිකාලීනව ආයෝජන භාණ්ඩ සීමා කිරීමක් කළ හැකියි. පරිභෝජන භාණ්ඩත් යම් තරමකින් සීමා කළ හැකියි. එහෙත් අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ ආදිය නොගෙන්වා බැහැ.

ඊළඟට කරන්න යන සංසන්දනය සඳහා මම ඉහත 2021 සංඛ්‍යාලේඛණ දොළහෙන් බෙදා මාසික සාමාන්‍ය අගයයන් ඉදිරිපත් කරන්නම්.

පරිභෝජන භාණ්ඩ - ඩොලර් මිලියන 320.7 

අතරමැදි භාණ්ඩ - ඩොලර් මිලියන 1,025.7 

ආයෝජන භාණ්ඩ - ඩොලර් මිලියන 371.9 

එකතුව  - ඩොලර් මිලියන 1,719.8 

අපනයන ආදායම - ඩොලර් මිලියන 1,041.8 

වෙළඳ හිඟය - ඩොලර් මිලියන 678.0


දැන් අපට මෙම ගණන් පසුගිය (2022 මැයි) මාසයේ සංඛ්‍යාලේඛණ සමඟ සැසඳිය හැකියි. 

පරිභෝජන භාණ්ඩ - ඩොලර් මිලියන 177.1 (-44.8%)

අතරමැදි භාණ්ඩ - ඩොලර් මිලියන 1,036.1 (1.0%)

ආයෝජන භාණ්ඩ - ඩොලර් මිලියන 238.2 (-36.0%)

එකතුව  - ඩොලර් මිලියන 1,451.5 (-15.6%)

අපනයන ආදායම - ඩොලර් මිලියන 1,047.3 (0.5%)

වෙළඳ හිඟය - ඩොලර් මිලියන 404.2 (-40.4%)

ආනයන සීමා කිරීමේ බලපෑම පේනවනේ. සමස්තයක් ලෙස මැයි මාසයේ ආනයන වියදම පසුගිය වසරේ සාමාන්‍ය මාසික වියදමට සාපේක්ෂව 15.6%කින් අඩු වී තිබෙනවා. අපනයන ආදායම ආසන්න වශයෙන් සමානයි. ඉතා සුළු (0.5%ක) වැඩි වීමක් පමණක් තිබෙනවා. අපනයන ආදායම් අඩු නොවී ආනයන වියදම් අඩු වීම නිසා වෙළද හිඟය 40.4%කින් අඩු වී තිබෙනවා. පවතින තත්ත්වය තුළ මේ හැම දෙයක්ම සාධනීයයි.

අපනයන වියදම් අඩු වෙලා තියෙන්නේ කොහොමද? පරිභෝජන භාණ්ඩ සඳහා යන වියදම් 44.8%කින් අඩු වෙලා. මේ වෙද්දී පරිභෝජන භාණ්ඩ කාණ්ඩය යටතේ ආනයනය කෙරෙන්නේ බොහෝ දුරට අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ වැනි දේ පමණයි. මේ ප්‍රමාණය මීට වඩා අඩු වෙනවා කියා කියන්නේ රටේ මිනිසුන්ගේ මූලික අවශ්‍යතා ටිකවත් සම්පූර්ණ වෙන්නේ නැහැ කියන එකයි. දැනටම වුවත් ඖෂධ ආදිය හිඟයිනේ.

නමුත් අතරමැදි භාණ්ඩ සඳහා යන වියදම් ඒ විදිහටම තියෙනවා. ඇත්තටම සුළු වශයෙන් (1.0%කින්) වැඩි වෙලා. මේ වියදම අඩු කිරීමේ හැකියාවක් නැහැ. එහෙම කළා කියලා අයහපතක් මිස සිදු වන කිසිදු යහපතකුත් නැහැ. මොකද අතරමැදි භාණ්ඩ ආනයනය අඩු වෙනවා කියන්නේ අනෙක් පැත්තෙන් අපනයන ආදායම් අඩු වෙනවා කියන එක සහ දේශීය නිෂ්පාදිත අඩු වී ආනයන අවශ්‍යතා ඉහළ යනවා කියන එකයි. උදාහරණ විදිහට රෙදි ආනයනය කරන්න ඉඩ නුදුන්නොත් ඇඟලුම් අපනයනය කර ලැබෙන ඩොලර් ටික ලැබෙන්නේ නැහැ. පෝර ආනයනය නවත්තලා වී නිෂ්පාදනය පහත වැටුනොත් වෙන්නේ හාල් ආනයනය කරන්න. ඔය දෙකෙන්ම අන්තිමට වෙන්නේ වෙළඳ ශේෂය තවත් ඉහළ යන එකයි.

ආයෝජන භාණ්ඩ ආනයනය අඩු කිරීමෙන් වෙන්නෙත් ඔය ටිකම වුනත් පොඩි වෙනසකට තියෙන්නේ කෙටිකාලීනව මෙහි හානි විශාල නොවීමයි. හැබැයි ඔය වැඩේ වුනත් දිගින් දිගටම කරන්න ගියොත් වෙන්නේ අතරමැදි භාණ්ඩ ආනයන නැවතුනු විට වෙන දේම තමයි. මැයි මාසය වෙද්දී, ආයෝජන භාණ්ඩ ආනයනය 36.0%කින් අඩු වෙලා. ඒ කියන්නේ, මෙයත් අඩු කළ හැකි උපරිම සීමාවකට කිට්ටු වෙලා. 

කෙටියෙන් කිවුවොත් රටේ ජනතාවගේ ජීවන තත්ත්වයේ දැවැන්ත කඩා වැටීමක් සිදු නොවී (දැන් තත්ත්වය මාර හොඳ තත්ත්වයක් කියා හිතෙන තරමේ) ඔයිට වඩා ආනයන පාලනය කරන්න බැහැ. ආනයන වැඩි නොකර අපනයන වැඩි කරන්න හෝ දේශීය නිෂ්පාදිත ඉහළ දමන්නත් බැහැ. 

මෙතැන තියෙන්නේ අපනයන කර්මාන්ත අමතක කර දේශීය නිෂ්පාදන දියුණු කරන්න වැඩි අවධානයක් යොමු කිරීමේ ඓතිහාසික වැරැද්ද. මම කියන්නේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම වැරැද්දක් කියන එක නෙමෙයි. ඕනෑම රටක ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රධාන ඉලක්කයක් විය යුත්තේ එයයි. ප්‍රශ්නය කරලා තියෙන විදිහට ඒ වැඩේ සිදු නොවීමයි.

ලංකාව වගේ රටකට ආනයනික යෙදවුම් නැතිව දේශීය නිෂ්පාදිතය ඉහළ දමන්න බැහැ. කවර කර්මාන්තයක් ගත්තත් තත්ත්වය ඕකයි. රටේ පරිභෝජනය සඳහා වුවත්, ආනයන සඳහා වුවත්, ලංකාවේ හදන ඕනෑම දෙයකට සැලකිය යුතු ආනයනික යෙදවුම් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ ආනයනික යෙදවුම් සඳහා ඩොලර් අවශ්‍ය වෙනවා. මේ ඩොලර් ප්‍රමාණය හොයා ගන්න සැලකිය යුතු අපනයන ප්‍රමාණයක් අවශ්‍යයි. හැබැයි ඒ අපනයන ටික නිපදවන්නත් ආනයනික යෙදවුම් නැතුව බැහැ. ඒ නිසා, ආනයන වලින් රටට ශුද්ධ වශයෙන් ලැබෙන ඩොලර් ප්‍රමාණය සංඛ්‍යාලේඛණ වල පෙනෙන ගණනට වඩා ගොඩක් අඩුයි.

මේ කතාව ලංකාවේ ආනයන වලට අදාළ නැහැ. ලෝකයේ අනෙක් රටවල් වලට ලංකාවේ අපනයන තිබුණත් නැතත් මේ දේවල් හදන්න පුළුවන්. ඒ නිසා, ආනයන වෙනුවෙන් රටෙන් එළියට යන ඩොලර් ප්‍රමාණය සංඛ්‍යාලේඛණ වල තිබෙන ප්‍රමාණයම තමයි. මේ කරුණ සැලකුවහම ලංකාවේ සංඛ්‍යාලේඛණ අනුව ආනයන වියදම අපනයන ආදායම් මෙන් දෙගුණයක් ලෙස පෙනුණත් ඇත්තම අනුපාතය තුන් ගුණයක් හෝ හතර ගුණයක් වෙන්න පුළුවන්.

ලංකාවේ වෙළඳ ශේෂය අඩු කරගන්නනම් කළ යුත්තේ ආනයන වලට හැකි තරම් ඉඩ දෙන එක මිසක් ආනයන පාලනය කරන එක නෙමෙයි. මම මේ කියන්නේ දැන් කළ යුතු දෙයක් ගැන නෙමෙයි. දිගුකාලීනව සිදු විය යුතු දෙය. ලංකාවේ බයිසිකල් හදලා අපනයනය කරන්නේ බයිසිකල් ආනයනය කරන්න දුන් නිසා. මිනිස්සු ඇපල්, මිදි වවන්න උත්සාහ කරන්නේ ඒවා ආනයනය කරන්න ඉඩ දීමෙන් රට ඇතුළේ ඉල්ලුමක් හැදී ඇති නිසා. ආනයන නෑ කියන්නේ අපනයත් නැහැ. දේශීය නිෂ්පාදන වැඩි වෙන්නෙත් නැහැ.

වැරැද්ද ආනයන වලට ඉඩ දීම නෙමෙයි. ඩොලරයක මිල පහළින් තියලා ආනයන ඕනෑවට වඩා ලාබ කිරීම. ඩොලරයක මිල වැඩිනම් ආනයන භාණ්ඩ වෙළඳපොළේ තිබුණත් බොහෝ දෙනෙකුට මිල දී ගන්න බැරි තරමට මිල අධිකයි. අතේ සල්ලි නැති නිසා ගොඩක් අය කඩේ තියෙන බඩු දිහා බල බල යනවා. එතකොට තමයි දේශීය නිෂ්පාදකයෝ වැඩේට බහින්න පෙළඹෙන්නේ. මේ වැඩේ මාසෙකින් වෙන එකක්නම් නැහැ. 

අපි මැයි මාසයට නැවත යමු. ආනයන වියදම ඩොලර් මිලියන 1,451.5ක්, අපනයන ආදායම ඩොලර් මිලියන 1,047.3ක්. වෙළඳ හිඟය ඩොලර් මිලියන 404.2ක්. ලබන මාසයේ හෝ ඊළඟ මාසයේ ඔය වෙළඳ හිඟය නැති කරන්න පුළුවන්ද? කොහෙත්ම බැහැ. දැන් මෙය එහි සීමාවට ඇවිල්ලයි තියෙන්නේ. ඒ කියන්නේ ඔය ඉතිරි ඩොලර් මිලියන 400 වෙන ක්‍රමයකින් හොයා ගන්නම වෙනවා.

අවුරුද්දකට විතර කලින්නම් ඔය ඩොලර් ප්‍රමාණය ශ්‍රමික ප්‍රේෂණ ලෙස රටට ආවා. පසුගිය මැයි මාසයේ ලැබුණු ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 460ක්. නමුත් මේ මැයි මාසයේ ඇවිත් තියෙන්නේ ඩොලර් මිලියන 304ක් පමණයි. ශ්‍රමික ප්‍රේෂණ වැඩිවන ප්‍රවණතාවක් ලොකුවට පේන්න නැහැ. හැබැයි දැනට ලැබෙන මිලියන 300 ඒ විදිහටම ලැබුණත් තව විශාල අඩුවක් නැහැ. මේ කතා කරන්නේ ණය ප්‍රශ්නය පැත්තකින් තියලා. ඒ ප්‍රශ්නය වෙනම තියෙනවා.

සංචාරකයින් යම් ප්‍රමාණයක් ආවත් අඩුපාඩුව හොයා ගන්න අමාරු නැහැ. නමුත්, විදුලිය කැපෙද්දී, ප්‍රවාහනය අඩාල වී තියෙද්දී, ජීවිත ආරක්ෂාව පිළිබඳ ගැටළු පේන්න තියෙද්දී සංචාරකයෝ ගෙන්වන එකත් ලේසි වැඩක් නෙමෙයි. ඔය ඔක්කොම හොඳ විදිහට සිදු වුනත් කෙටිකාලීනව ගෙවිය යුතු ණය පිළිබඳ ප්‍රශ්නය එහෙම්මම තියෙනවා. ඒ නිසා, IMF වැඩේ කෙරෙන තුරු ඉස්සරහට යන්නනම් අසල්වැසි රටකින් කෙටිකාලීන ණය නැතිවම බැහැ. 

Thursday, March 3, 2022

ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය (දහවන කොටස)


මෙය කොටස් දහයකින් අවසන් කෙරුණු ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය ලිපි මාලාවෙන් පසුව ලියැවුණු ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය ලිපි මාලාවේ දහවන හා අවසන් කොටසයි. මුලින් සැලසුම් කළ පරිදිම කොටස් දහයකින් මෙම දෙවන ලිපි මාලාවද අවසන් කිරීමෙන් පසුව අප විසඳුම් ගැනද කතා කරන්නට පටන් ගන්නවා.

දෙවන ලිපි මාලාව ආරම්භ කරන විට ලංකාවේ ආර්ථික අර්බුදයක් ඇති බවත්, එය කවර ආකාරයේ එකක්ද යන්නත් බොහෝ දෙනෙකුට අවබෝධයක් තිබුණා. වසර හතකට පෙර අප මේ වියුණුව පටන් ගෙන මේ ගැන කලින් සිටම කියද්දී බොහෝ දෙනෙකු විසින් අනාගතයේ ඇති විය හැකිව තිබුණු මේ තත්ත්වය දැක්කේ රස කතාවක් ලෙස පමණයි. තවත් අයට එය කඩේ යාමක් ලෙස පෙනුනා. ඇතැම් අය ඉතා මෑතක් වන තුරුම මේ මුලාවේ සිටියා.

පහු වී හෝ ආර්ථික අර්බුදයක් ඇති බව තේරුම් ගත් බොහෝ අයටද එහි ගැඹුර හෝ සමීපත්වය පිළිබඳව නිසි අවබෝධයක් තිබුණේ නැහැ. දෙවන ලිපි මාලාවේ අරමුණ වුනේ එය පෙන්වා දීමයි. අර්බුදයේ අවසානය දැන් පෙනෙනවාට වඩා බොහෝ භයානක වුවත්, මේ වන විට බොහෝ දෙනෙකුට ගිණි දළු වල රස්නය දැනෙනවා. යන විදිහට දිගටම ගියේනම් මේ වසර මැද වන විට අනිවාර්යයෙන්ම ඇති වේයැයි අප විශ්වාස කළ තත්ත්වය මේ වන විටද ඇති වී තිබෙනවා. 

ඉන්ධන ආනයනය කළ නොහැකි තැනකට වැටීමත් එක්ක බොහෝ දේ වෙනස් වෙලා. මිනිස්සු ආණ්ඩුවට පස් පඩංගුවේ බණින්න පටන් අරන්. ආණ්ඩුවේ එල්ලී සිටි පරපෝෂිතයින් කුණුවෙන ගෙඩිය අතහැර හීමිට බැස යන්න උත්සාහ ගනිමින් සිටිනවා. මහ බැංකු අධිපතිගේ සයමාසික සූදු ක්‍රීඩාව විනාශය මේ තරම්ම ඉක්මන් වීමට ආසන්නම හේතුවයි. තුන් වන මොනාක් ප්‍රකාශනයේ "හරි මග" කියන්නේ වෙන කිසිවක් නොව ආණ්ඩුව මෙන්ම රටද විනාශ කළ මගයි. "හරි මගට" වචන දෙක කියවිය යුත්තේ එකට නොව වෙන වෙනමයි. හරි! මගට!! දැන් හරියටම හරි. ආණ්ඩුව වගේම රටත් මගට වැටිලා. 

ආණ්ඩුව විසින් මේ වෙද්දී ආණ්ඩුව හා රට පාරට වැට්ටවූ "හරි මග" ඇත්තටම අතහැරලානම් ඒ කියන්නේ ආණ්ඩුව නියම පාරට වැටිලා කියන එකයි. හැබැයි දැන් පරක්කු වැඩියි. පණුවෝ බටු ගෙඩිය අතාරින්නේ බට්ට විනාශ කිරීමෙන් පසුවයි. ආණ්ඩුවට තව දුරටත් ගොඩ යාමේ හැකියාවක් නැහැ.

බොහෝ විට ආණ්ඩුව විසින් ඉන්දියාවෙන් ණයක් අරගෙන දැන් තිබෙන ප්‍රශ්නය තාවකාලිකව විසඳා ගනියි. එහෙත්, එහෙම කළා කියලා ප්‍රශ්නය ඉවර වෙන්නේ නැහැ. තවමත් මුලාවේ සිටින ටික දෙනෙකුට මෝඩ චූන් එකක් ගන්න මාසයක් දෙකක් ලැබෙනවා පමණයි. 

මේ අර්බුදය කාලයක් තිස්සේම පසුපසට තල්ලු වෙමින් යන අර්බුදයක්. 2015 ආණ්ඩු මාරුව නොවන්නට අද තිබෙන තත්ත්වය ඇති වෙන්නේ වසර පහකට පෙර 2017දී. එසේ වුනානම්, රටට වසර පහක් ඉතිරි වෙනවා. අවසාන වශයෙන් දිගුකාලීනව බැලුවොත්, යහපාලන ආණ්ඩුව විසින් කළ දේවල් වලින් කිසිම වැඩක් වී නැහැ. 2017දී මහින්ද රාජපක්ෂගේ තෙවන ධුර කාලය තුළ ආර්ථිකය කඩා වැටුනානම්, අද වන විට රටේ මිනිස්සු නිවැරදි තැනට ඇවිත්.

ඒ අතින් බැලුවොත් කබ්රාල්ගේ සයමාසික සැලැස්ම සාධනීය එකක්. කෝවිඩ් වසංගතයේ බලපෑම හා එය හමුවේ ආණ්ඩුව විසින් ගත් අත්තනෝමතික ක්‍රියාමාර්ග මධ්‍යයේ වුවත් එම වසරේදී සිදු වුනේ බිලියන දෙකකට අඩු සංචිත ප්‍රමාණයක් අහිමි වීම පමණයි. වසංගත අවස්ථාවකදී සංචිත වලින් බිලියන දෙකක් වැය කිරීම ගොඩක්ම නරක තත්ත්වයක් නෙමෙයි. පසුව 2021 වසරේදී අයිඑම්එෆ් එකෙන් ලැබුණු මුදල සැලකූ විට ශුද්ධ හානිය බිලියන 1.2ක් පමණයි. 

සීමාවක් නැතිව සල්ලි අච්චු ගැසීම ඇතුළු අනෙක් ප්‍රශ්න පැත්තකින් තිබ්බොත් 2020 වසර තුළ 2021 අවසානයට සාපේක්ෂව ඩොලරයේ මිල ස්ථාවරව තියා ගන්න උත්සාහ කිරීමක් සිදු වුනේ නැහැ. අධිපති මාරුවට ආසන්න කාලය වෙද්දී, අඩු වශයෙන් සති කිහිපයකට හෝ, ඩොලරයේ මිල වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම මත තීරණය වන්නට ඉඩ දී ඉතිරිව තිබුණු සංචිත රැක ගැනීමේ  ස්ථාවරයකට මහ බැංකුව එළඹුණා. මිල තීරණය කිරීමේ නිදහස තිබුණානම් වාණිජ බැංකු විසින් කොහෙන් හෝ ඩොලර් හොයා ගන්නවා. ඒ අවස්ථාවේදී ඩොලරයේ මිල රුපියල් 250 පමණ මට්ටමක ස්ථාවර වී ප්‍රශ්නය විසඳී යා හැකිව තිබුණා.

සයමාසික සැලැස්ම තුළ සිදු වුනේ ඉතිරිව තිබූ සංචිත ඔට්ටුවට දමා සූදු කෙළීමක්. ග්‍රීක බැඳුම්කර, හෙජිං ගණුදෙනුව වගේ අවස්ථා වලදී වුනෙත් මේ විදිහේ අවදානම් සුදූ වලට සල්ලි දා පැරදීමක්. පහුගිය මාස හය තුළ සිදු ක්‍රියාත්මක වුනේ ඊට වඩා අවදානම් සහගත හා භයානක සූදුවක්. දැන් ඇස්පනාපිට පෙනෙන්නේ මේ සූදුවේ ප්‍රතිඵලය. 

ලංකාව ඇතුළු බොහෝ රටවල දැකිය හැකි ආර්ථික-දේශපාලන ක්‍රමය හැඳින්වීමට මම "රාජ්‍යතන්ත්‍රවාදය" යන අලුත් වචනය යොදා ගන්න කැමතියි. ඇමරිකානු සන්දර්භය අනුව යමින් මම බොහෝ විට "සමාජවාදය" යන වචනය යොදා ගත්තත් සමාජවාදය යන වචනය විවිධ, වෙනස් අර්ථ වලින් යොදා ගැනෙන නිසාත්, "රාජ්‍ය ධනවාදය" යන යෙදුම නොමග යවන සුළු එකක් නිසාත් මෙවැනි වෙනස් වචනයක් අවශ්‍යයැයි මම හිතනවා. 

මේ වචනයට කිට්ටුම ඉංග්‍රීසි වචනය "autocracy" වුවත්, "රාජ්‍යතන්ත්‍රවාදය" යන්නෙන් මා අදහස් කරන්නේ තනි පුද්ගලයෙකුගේ ඒකාධිකාරී පාලනයක් පමණක් නොවෙයි. රාජ්‍යතන්ත්‍රවාදයක් තුළ රාජ්‍ය බලය තනි පුද්ගලයෙක්, පවුලක් හෝ පක්ෂයක ඉහළ නිලධාරී කණ්ඩායමක් වඩා සංකේන්ද්‍රණය වී තිබිය හැකියි. ප්‍රායෝගිකව හැම සමාජවාදී රටකම තිබුණේත්, සිංගප්පූරුව වැනි සන්දර්භයන්හි කෞශල්‍යතන්ත්‍රවාදය ලෙස හැඳින්වෙන්නේත් රාජ්‍යතන්ත්‍රවාදයෙහි ව්‍යුත්පන්න තත්ත්වයන් දෙකක් . රජය වෙනුවෙන් රජය පවත්වාගෙන යන ක්‍රමයක් ලෙස මෙය අර්ථදැක්විය හැකියි. රටේ ජනතාවගේ පැත්තෙන් බැලූ විට, රාජ්‍යතන්ත්‍රවාදී පරීක්ෂණ ඇතැම් විට සාර්ථක වන නමුත් අසාර්ථකවීම් ඊට වඩා වැඩියි. එහෙත් රජයට සම්බන්ධ අයගේ පැත්තෙන්නම් හැම විටම සාර්ථකයි. 

රාජ්‍යතන්ත්‍රවාදය තුළ ධනවතුන් වෙන්නේ සූදුකරුවන් මිස ව්‍යවසායකයින් නෙමෙයි. ව්‍යවසායකයෙකු කියන්නෙත් එක්තරා ආකාරයක සුදූකරුවෙක් වුවත් මධ්‍යම මට්ටමේ අවදානම් ගන්නෙක් මිසක් ලැබෙන ප්‍රතිලාභයට සාපේක්ෂව අනවශ්‍ය අවදානමක් ගන්නෙකු නොවෙයි. මෙයට සාපේක්ෂව සූදුකරුවෙකු කියන්නේ අඩු වැඩි වශයෙන් වාසනාව මත විශ්වාසය තබමින් අවදානම් ගන්නා අයෙක්. සාමාන්‍යයෙන් පුද්ගලයෙක් තමන්ගේ සල්ලි අවදානමේ හෙළද්දී හැකි තරම් සැලකිලිමත් වෙනවා. එහෙත්, පොදු අරමුදල් වලින් හිතුමතේ සුදූ කෙළින්න ඉඩ ලැබුණු විට තත්ත්වය වෙනස්. ආවොත් අලියෙක් ගියොත් වචනයක් වගේ තමයි. හරි ගියොත් ගෞරවය තමන්ට. පාඩුවක් වුනොත් පාඩුව රටට. 

අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධුරය නැවත භාර ගන්නා අවස්ථාව වෙද්දී ඩොලරයක මිල රුපියල් 220 පමණ මට්ටමකට ගිහිල්ලයි තිබුණේ. ඔහු ධුරයේ වැඩ භාර ගත් ගමන්ම විණිමය අනුපාතය රුපියල් 200 මට්ටමට ගෙනත් ස්ථාවර කළා. ඔහුගේ සයමාසික වැඩ පිළිවෙළ වුනෙත් ඩොලරයක මිල රුපියල් 200 මට්ටමේ තියාගෙන ඒ හරහා රටට ඩොලර් අද්දවා ගැනීමයි. 

මේ විදිහට අධිපති මාරුවෙන් පස්සේ මහ බැංකුව විසින් ඩොලරයක මිල රුපියල් 200 මට්ටමට ගන්නවා කියලා ඇත්තටම කළේ ඉතිරිව තිබුණු සංචිත ටිකත් විකුණමින් "Do or die" සෙල්ලමක් පටන් ගන්න එකයි. මේ වැඩේ නිසා තිබුණු සංචිත ටික වඩා වේගයෙන් හිඳුනා පමණක් නොව, ලැබෙන්න තිබුණු ශ්‍රමික ප්‍රේෂණත් නැති වුනා. ප්‍රකාශිතවම, ඇමක් ලෙස තිබුණු ඩොලර් ටික වීසි කළාට මාළු අහු වුනේ නැහැ. අවුරුදු දහයකට කලින් පෙන්නපු ගෝනි එළුවා පෙන්නලා දෙවන පාරටත් සල්ලි හොයන්න බැහැ. මිනිහෙක් ගෝනි එළුවා බලන්න සල්ලි දෙන්නේ එක පාරයි. කොහොම වුනත් ආර්ථිකය කඩා වැටීම ඉක්මන් කිරීමේ ගෞරවය වත්මන් මහ බැංකු අධිපතිවරයාට යා යුතුයි. දෙවෙන්දොරා සං කිවුව වගේ ඉක්මණින් ගියොත් ඉක්මණින් ආපහු එන්න පුළුවන්නේ.

රට බංකොලොත් වෙන දවස කවදද කියන එක සමහර අයට ප්‍රශ්නයක්. තව ඕකේ වෙන්න දෙයක් නැහැ. තෙල් ටික ගෙන්න ගන්නවත් ගෙවන්න ඩොලර් නැහැ කියා කියන්නේ රට බංකොලොත් වෙලා ඉවරයි. ශ්‍රේණිගත කිරීමේ ආයතන බංකොලොත් ලෙස ප්‍රකාශ කරන්නේ ස්වෛරිත්ව බැඳුම්කර හා අදාළව පමණයි. මීළඟ ස්වෛරිත්ව බැඳුම්කරය ගෙවන්න වෙන්නේ ජූලි 25. ඒ සඳහා ඩොලර් බිලියනයක් අවශ්‍යයි. යම් විදිහකින් ජූලි දක්වා ඇදගෙන ගියත් ඔය බිලියනය ගෙවන්න වෙන මොහොතේ ලංකාව හාන්සි. 

ආණ්ඩුවට අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන්න වෙනවා. දැන් තත්ත්වය අනුව වෙන කිසිම විකල්පයක් නැහැ. ඒ එක්කම විණිමය අනුපාතය පාවෙන්න අරින්න වෙනවා. එහිදී ඩොලරයක මිල රුපියල් 275 පමණ මට්ට්මකටවත් යා හැකියි. ඒ එක්කම ආනයනික භාණ්ඩ වල මිල ඉහළ ගිහින් උද්ධමනය වැඩි වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඩොලරය තවත් ඉහළ යනවා. අවසානයේදී ඩොලරයක මිල රුපියල් 300 පමණ මට්ටමකට යා හැකියි. එහිදී ආණ්ඩුව කෙරෙහි ජනතා අප්‍රසාදය ඉහළ යන එකත් නොවැලැක්විය හැකියි. 

එසේ නොකර මේ විදිහට ඇදගෙන යනවා කියා කියන්නේ රටේ විශාල භාණ්ඩ හිඟයක් ඇති වෙන එක. ඉන්ධන, විදුලි බලය නැතිව රටේ හැම නිෂ්පාදන කටයුත්තක්ම නවතින එක. ඒ වැඩෙන් ආණ්ඩුවට ජනතා ප්‍රසාදය ලැබෙන්නේ නැහැ. තත්ත්වය වඩාත් නරක අතට හැරෙනවා පමණයි. දැන් ආණ්ඩුව වැඩේ අනාගෙන ඉවරයි. ආර්ථික අර්බුදය සමාජ-දේශපාලන අර්බුදයක් වෙන්නත් සැලකිය යුතු ඉඩක් තිබෙනවා. ආණ්ඩුව මහා පරිමාණයෙන් මර්ධනය ක්‍රියාත්මක නොකර බැණුම් අහගෙන පැත්තකට වී ඉන්නේ ඒ බව දන්නා නිසයි. ආණ්ඩුව අමාරුවේ දැමූ රාජපක්ෂ පරපෝෂිත එකමුතුව මේ බව කලින්ම අවබෝධ කරගෙන දැන් සිටම ඊළඟ පියවරට සූදානම් වෙමින් සිටිනවා.

විසඳුම් ගැන කතා කරන්න වෙන්නේ ඔය දැවැන්ත කඩා වැටීමෙන් පසුව ඇති වන තත්ත්වයේ සිටයි. ඒ වෙද්දී රටේ දේශපාලනය මොන විදිහට වෙනස් වී තියෙයිද කියන එක දැන්ම තීරණය කරන්න අමාරුයි. විසඳුම් ගැන තෙවන ලිපි මාලාවෙන් කතා කරමු. ඊට පෙර ඇති වන තත්ත්වයන් ගැන වෙනම කතා කරමු.

Tuesday, March 1, 2022

ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය (නවවන කොටස)


පෙර කොටසින් විස්තරාත්මක ලෙස පැහැදිලි කළ පරිදි, ලංකාවේ ආර්ථිකය මේ වන විට පත් වී ඇති තත්ත්වයට වසංගතයේ දායකත්වය බැහැර කළ නොහැකි වුවත්, රටේ විදේශ අංශයට වසංගතය නිසා සිදු වූ යහපත් හා අයහපත් බලපෑම් සැලකිල්ලට ගැනීමෙන් පසුව නිගමනය කළ හැක්කේ වසංගතය නොපැවතියද මේ වන විට රටේ තත්ත්වය දැන් තිබෙනවාට වඩා යහපත් මට්ටමක නොතිබිය හැකි වූ බවයි. වසංගතය නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් "පිනට" ලැබුණු ඩොලර් මිලියන 800ක මුදල වැනි සාධකද සැලකූ විට කිව හැක්කේ වසංගතය නොතිබුණානම් මේ වෙද්දී රටේ තත්ත්වය මීටත් වඩා දරුණු වන්නට වුවද ඉඩ තිබුණු බවයි.

ප්‍රශ්නයේ මුල් නිදහස ලැබූ කාලය තෙක්ම ඇදී යන නමුත් මේ ආණ්ඩුවේ අදූරදර්ශී සාර්ව-ආර්ථික උපාය මාර්ග නොවන්නට රටේ ආර්ථිකය මේ තරමටම කඩා වැටීමේ ඉඩක් තිබුණේ නැහැ. මේ අදූරදර්ශී සාර්ව-ආර්ථික උපාය මාර්ග අතරින් බදු කැපිල්ලේ හානි මේ වන විට පුළුල් ලෙස සාකච්ඡා වී හා පිළිගැනීමට ලක් වී අවසන් වුවත් විණිමය අනුපාතය පාලනය කිරීමේ හානි ඒ තරමටම සාකච්ඡා වී නැහැ. 

ආනයන පාලනය කිරීමේ හානි යම් තරමකින් වැඩි අවධානයකට යොමු වී ඇතත් ආනයන පාලනය කිරීමේ අවශ්‍යතාවයක් ඇති වී තිබෙන්නේම විණිමය අනුපාතය පාලනය කිරීම නිසාය යන්න අවධාරණය වී තිබෙන්නේ අඩුවෙන්. මුලින් න්‍යාය මත පමණක් පදනම්ව සිදු විය හැකි බව පෙන්වා දුන් මේ කරුණ දැන් අපට සංඛ්‍යාලේඛණ ඇසුරෙන්ම පෙන්වා දිය හැකියි. 

වසංගතයට පෙර 2019 වසරේදී ආනයන පාලනයක් සිදු වූයේ නැහැ. වඩාත් නිවැරදිව කියනවානම් ආනයන පාලනය සිදු වුනේ වෙළඳපොළ මූලධර්ම අනුවයි. වෙළඳපොල විසින් ආනයන පාලනය කෙරෙන ස්වභාවික ක්‍රමය වන්නේ මිල ඉහළ යන්නට සැලැස්වීම මගින් ආනයන ඉල්ලුම අඩු කිරීමයි. මෙහිදී කිසිදු භාණ්ඩ හිඟයක් ඇති වන්නේ නැහැ. මෙයින් වෙනස්ව, මේ ආණ්ඩුවේ වත්මන් සාර්ව-ආර්ථික උපාය මාර්ගය වී තිබෙන්නේ මිල වැඩි නොකර සැපයුම පාලනය කිරීමයි. මෙහි ප්‍රතිඵලය ඉල්ලුම තවතවත් ඉහළ යාමයි.

කෘතීම ආනයන පාලනයක් සිදු නොවූ 2019 වසරේදී ලංකාවේ ආනයන වියදම වූයේ ඩොලර් මිලියන 19,937ක් පමණයි. එහෙත්, වාහන, කිරිපිටි ආදී බොහෝ දේ ආනයනය කිරීම මුළුමනින්ම වලක්වා තවත් ආනයනික භාණ්ඩ විශාල ප්‍රමාණයක් ආනයනය කිරීම සීමා කර තිබියදී පවා 2021 වසර තුළ ආනයන වෙනුවෙන් වැය වී තිබෙන මුදල ඩොලර් මිලියන 20,637ක්. මෙය ඩොලර් මිලියන 700ක ඉහළ යාමක්. මීට සාපේක්ෂව අපනයන ආදායම් ඉහළ ගොස් තිබෙන්නේ ඩොලර් මිලියන 562කින් පමණයි. මේ අනුව, කොපමණ ආනයන සීමා දැම්මත් 2019ට සාපේක්ෂව 2021දී වෙළඳ හිඟය සුළුවෙන් හෝ වැඩි වී මිස අඩු වී නැහැ.

විණිමය අනුපාතය වෙනස් වන්නට ඉඩ නොදී, ආනයනික භාණ්ඩ කෘතීම ලෙස ලාබ කර, තෝරාගත් කාණ්ඩ වල ආනයනික භාණ්ඩ ආනයනය වැළැක්වූ විට සිදු වන්නේ එසේ තහනම් නොකළ ආනයනික භාණ්ඩ සඳහා වන ඉල්ලුම ඉහළ යාමයි. ආනයනික භාණ්ඩ ආනයනය එකින් එක තහනම් කර ගෙන ගොස් මේ ප්‍රශ්නය විසඳිය හැක්කේ භාණ්ඩ ආනයනය මුළුමනින්ම නැවැත්වීමෙන් පසුව පමණයි. ආනයනික භාණ්ඩ සඳහා වැය වන විදේශ විණිමය රට තුළ රඳවා ගත හැකි සරලම හා පහසුම ක්‍රමය විණිමය අනුපාතය ඉහළ යන්නට ඉඩ දීමයි. එය නොකරන තුරු ක්‍රමක්‍රමයෙන් රට තුළ ආනයනික භාණ්ඩ හිඟය ඉහළ යාම වැළැක්විය නොහැකියි. 

ලංකාව වැනි කුඩා ආර්ථිකයක් තිබෙන රටක ආනයනික භාණ්ඩ සීමා වීම යන්නෙන් අදහස් වන්නේ දේශීය නිෂ්පාදනයද විශාල ලෙස බිඳ වැටෙනවා යන්නයි. ලංකාවේ දේශීය නිෂ්පාදන බොහොමයකට සැලකිය යුතු තරමක ආනයනික ආදාන අවශ්‍යයි. මේ වන විට මේ දේවල් ඇස් පනාපිට පෙනෙමින් තිබෙනවා. වසංගතය නොවන්නට සංචාරක කර්මාන්තය ඇතුළු සේවා ආර්ථිකයටද විණිමය අනුපාතය පාලනය කිරීම නිසා සිදුවන හානිය පැහැදිලි ලෙසම දැකගත හැකිව තිබුණා. මේ වසර මැද වන විට වසංගත බිය දුරු වී ලෝකය බොහෝ දුරට පෙර පැවති මට්ටමට පැමිණෙනු ඇති නමුත් පවතින විණිමය අනුපාතය එලෙසම තිබියදී සේවා ගිණුමේ අතිරික්තය 2019 මට්ටමට ඉහළ නංවා ගැනීම ගිම්හානයේ දකින සිහිනයක් පමණයි. 

කෙසේ වුවත්, විණිමය අනුපාතය පාලනය කිරීමේ හානිය වැඩි වශයෙන්ම දැනී තිබෙන්නේ ශ්‍රමික ප්‍රේෂණ සටහන් වන ද්වීතියික ආදායම් ගිණුමටයි. මෙය අනිවාර්යයෙන්ම මහ බැංකුව ඇතුළු ලංකාවේ සාර්ව-ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් අපේක්ෂා නොකළ තත්ත්වයක්. ආර්ථික න්‍යාය දැන සිටියත් ඒවා පිළිබඳව විශ්වාසයක් නැති වූ විට මෙවැනි ප්‍රශ්න මතු වෙනවා. 

ළමයා ඉපදෙන්න කලින්ම හඳහන් බලනවා වගේ මහ බැංකුව විසින් අනාගතයේ ලැබෙන්නට නියමිත ශ්‍රමික ප්‍රේෂණ කලින්ම විකුණන්නට සැලසුම් හැදුවා. මෙහිදී මහ බැංකුවේ උපකල්පනය වුනේ ශ්‍රමික ප්‍රේෂණ කියන්නේ ඕනෑම තත්ත්වයක් යටතේ නොසිඳෙන ඩොලර් උල්පතක් බවයි. කන්න නොදී කොයි තරම් පහර දුන්නත් කිරි සපයන කිරි එළදෙනක් බවයි. 2021 නොවැම්බර් තරම් මෑත කාලයකදී පවා මහ බැංකුව මේ විශ්වාසය තුළ සිටියා. වසරකට ඩොලර් මිලියන 7,000ක ශ්‍රමික ප්‍රේෂණ ලැබෙන එක ගැන මහ බැංකුවට කිසිම සැකයක් තිබුණේ නැහැ.

පසුගිය වසර පහක හෝ ඊටත් වැඩි කාලය තුළ වසරකට ඩොලර් බිලියන 7ක පමණ ශ්‍රමික ප්‍රේෂණ රටට ලැබුණා කියන එක කවුරුත් දන්නා දෙයක්. ඇත්තටම මේ ශ්‍රමික ප්‍රේෂණ කියන අර්ථදක්වීමේත් ප්‍රශ්නයක් තිබෙනවා. එය පසුව කතා කරමු. කොහොම වුනත් පහුගිය අවුරුදු වල ලංකාවට සල්ලි එවන අයට ඩොලරයක් වෙනුවෙන් සාධාරණ රුපියල් ප්‍රමාණයක් ලැබුණා. අවුරුද්දකට ඩොලර් බිලියන හතක් සල්ලි ආවේ ඒ තත්ත්වය යටතේ.

දැන් වෙලා තියෙන්නේ කුමක්ද? 2021 ජනවාරි මාසයේදී ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 675.3ක් ලැබුණා. ඔය ගණන දොළහෙන් වැඩි කළොත්, ඩොලර් මිලියන 8,103.6ක්. නමුත්, 2022 ජනවාරි මාසයේදී ලැබුණේ ඩොලර් මිලියන 259.2ක් පමණයි. දොළහෙන් වැඩි කළොත් ඩොලර් මිලියන 3,110.4ක් පමණයි. ඩොලර් බිලියන 5ක වෙනසක්. පේනවනේ යන්නේ කොහාටද කියලා.

ලංකාවේ ආණ්ඩුවට හා මහ බැංකුවට ආනයන පාලනය කරලා රටට එන ඩොලර් රටින් එළියට යන එක වලක්වා ගන්න උත්සාහ කරන්න පුළුවන්. අපනයනකරුවන් විසින් උපයන ඩොලර් රටට ගේන්න කියලා ඔවුන්ට බල කරන්නත් පුළුවන්. හැබැයි ඔය විදිහට තග දාලා රටින් පිට සිට ලංකාවට ඩොලර් ගෙන්න ගන්න බැහැ. රටින් පිට ජීවත් වන අය ලංකාවේ ආණ්ඩුව කියන දේවල් මායිම් කරන්නේ නැහැ. අනිත් එක සල්ලි එවද්දී "රට විරුවෝ" වුනත් ඔය මිනිස්සුන්ට කෝවිඩ් කාලේ ආණ්ඩුව සලකපු විදිහත් අමතක නැතුව ඇතිනේ. ඒ නිසා, නියම රුපියල් ගණන නොලැබෙද්දී ආණ්ඩුව ගැන අනුකම්පා කරලා සල්ලි එවයිද?

දැනටත් මහ බැංකුව හිතන බව පෙන්නේ කොහොම හරි සල්ලි උන්ඩියල් වෙන එක නවත්ත ගත්තොත් වැඩේ ගොඩ කියලා. උන්ඩියල් පාලනය කරන්න ගියොත් වෙන්නේ තත්ත්වය තවත් නරක අතට හැරෙන එක පමණයි. උන්ඩියල් වෙන සල්ලි බැංකු පද්ධතිය හරහා නොආවත් වක්‍ර ලෙස හෝ රටට එනවා. වැඩිය සෙල්ලම් දාන්න යනවා කියන්නේ ඒ එන ටිකත් නැති වෙන එකයි.

ලංකාවේ ගොඩක් අයගේ අදහස දරු පවුල ලංකාවේ තියලා මැද පෙරදිග රැකියා වලට යන අය ලංකාවට ඩොලර් එවුවත් ස්ථිර පදිංචිය සඳහා බටහිර රටවලට යන අය සල්ලි එවන්නේ නැහැ කියන එක. සමහර අය කියන විදිහට ඒ අය ලංකාවේ තිබෙන ඉඩකඩමුත් විකුණලා ඩොලර් රටින් අරන් යන එකයි කරන්නේ. මේ කතාවේ ඇත්තක් තිබුණත් එය අර්ධ සත්‍යයක්. සංඛ්‍යාලේඛණ වල කොයි තරම් නිවැරදිව පිළිබිඹු වනවාද කියලා මම දන්නේ නැතත්, ස්ථිර පදිංචිය සඳහා ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් විසින්ද ලංකාවට සැලකිය යුතු මුදලක් එවනවා. මම පෞද්ගලිකව දන්න ගොඩක් අය පවුල පිටින්ම රටින් පිටවෙලා අවුරුදු ගාණක් ගිහින් තිබුණත් හැම අවුරුද්දකම විශාල මුදලක් ලංකාවට යවන අය.

පවුල ලංකාවේ සිටිද්දී, වෘත්තීය නොවන රැකියාවක් කරන්න මැද පෙරදිග රටකට ගොස් සිටින අයෙකුට මාස්පතා ලංකාවට සල්ලි නොඑවා ඉන්න බැහැ. බැංකු හරහා, උන්ඩියල් කරලා බැරිනම් පරෙයියෙක්ගේ කකුලේ බැඳලා හරි ඒ අයට ලංකාවට සල්ලි එවන්නම වෙනවා. එහෙම නොකළොත් ගෙවල් වල මිනිස්සුන්ට කන්න බොන්න විදිහක් නැහැ. බටහිර රටක ස්ථිර පදිංචිය සඳහා ගිහින් සිටින කෙනෙකුට ඒ ප්‍රශ්නය නැහැ. ඒ අය සල්ලි එවන තුරු බලා ඉන්න පවුලක් ලංකාවේ නැහැ.

මේ වගේ කෙනෙක් ලංකාවට සල්ලි එවන්නේ එක්කෝ තමන්ගේ විස්තෘත පවුලේ සාමාජිකයෙකුගේ කුමක් හෝ වියදමක් වෙනුවෙන්. වයස්ගත දෙමවුපියන්, සහෝදර සහෝදරියන් හෝ ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් වෙන්න පුළුවන්. හැබැයි බොහෝ විට මේ විදිහට සල්ලි එවන්නේ මරණයක්, මගුලක්, දානයක්, උපන් දිනයක් වගේ විශේෂ අවස්ථාවකදී මිසක් මාස්පතා දීමනාවක් විදිහට නෙමෙයි. එහෙම නැත්නම් සමාජ කටයුත්තකට. පන්සලකට, ළමා නිවාසයකට හෝ පාසැලේ ආදි ශිෂ්‍ය සංගමයට වගේ තැනකට වෙන්න පුළුවන්. තවත් අය සල්ලි එවන්නේ ලංකාවේ කුමක් හෝ දේපොළක් මිල දී ගන්න හෝ සංවර්ධනය කරන්න. එහෙම කරන අයත් ගොඩක් ඉන්නවා. මේවා හරිනම් සංඛ්‍යාලේඛණ වල ප්‍රාග්ධන ගිණුමේ සටහන් විය යුතු වුවත්, වෙන් කර හඳුනා ගන්න අමාරු නිසා ශ්‍රමික ප්‍රේෂණ ගොඩටම එකතු වෙනවා.

ඔය කවර හෝ හේතුවක් නිසා සල්ලි එවන අයට ඒ සල්ලි ලංකාවට එවන්නම කියලා අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම, මේ ගොඩේ ඉන්න අය ලංකාවේ ආර්ථිකයේ වත්මන් තත්ත්වය ගැන දැනුවත් පිරිසක්. ඩොලරයක මිල වැඩි කලක් ඔය විදිහට තියා ගන්න බැරි බව ඒ අයට තේරෙනවා. මේ සල්ලි උන්ඩියල් වෙන්නේ නැහැ. රටට එන එක සම්පූර්ණයෙන්ම නැවතිලා. 

මේ ගොඩට දැමිය හැක්කේ බටහිර රටවලට ස්ථිර පදිංචිය සඳහා ගොස් සිටින අය එවන සල්ලි පමණක් නෙමෙයි. මැදපෙරදිග රටවල වෘත්තීය රැකියා කරන අයටත් මේ කතාව අදාළයි. අපි හිතමු මැදපෙරදිග රටක සේවය කරන ගණකාධිකාරීවරයෙක් ගැන. ඔහුගේ බිරිඳ හා දරුවන් ඉන්නේ ලංකාවේ. බිරිඳ වෘත්තීය රැකියාවක් කරන්නේ නැත්නම් අඩු ගානේ ගුරු රැකියාවක් හෝ කරනවා. මේ පවුලේ සාමාජිකයින් සතුව ලංකාවේ බැංකු වල ඉතිරි කරගත් සැලකිය යුතු මුදලක්ද තිබෙනවා. දැන් අර මැදපෙරදිග ඉන්න පියා මාස කිහිපයක් ඩොලර් නොඑවුවා කියලා ලංකාවේ ඉන්න පවුල කන්න නැතුව මැරෙන්නේ නැහැ. ඒ නිසා, සල්ලි උන්ඩියල් කරන්න හදිස්සියක් නැහැ. 

ශ්‍රමික ප්‍රේෂණ ලෙස මසකට ලැබුණු මුදලින් ඩොලර් මිලියන 400කටටත් වඩා අඩු වී තිබීමෙන් අදහස් වන්නේ ඔය මුදල උන්ඩියල් වෙනවා කියන එක නෙමෙයි. උන්ඩියල් වන මුදල වැඩිම වුනොත් මාසයකට ඩොලර් මිලියන 100ක් පමණ විය හැකියි. ඉතිරි කොටස අදූරදර්ශී විණිමය ප්‍රතිපත්තිය නිසා හිඳී ගොස් ඇති විදේශ විණිමය උල්පතක්. 

විදේශගත ශ්‍රී ලාංකික ඩයස්පෝරාව කියා කියන්නේ ලංකාවට නොසලකා හැරිය හැකි පිරිසක් නෙමෙයි. හොඳට හෝ නරකට හෝ අනාගතයේදී ලංකාවේ කලාව, දේශපාලනය හා ආර්ථිකය මේ පිරිස විසින් තීරණය කරනු ලැබීම නොවැලැක්විය හැකි දෙයක්. දැනටත් ලංකාවේ ටෙලි නාට්‍ය, චිත්‍රපට, සිංදු, පොත්, වෙබ්අඩවි, සමාජ මාධ්‍ය, සමාජ සේවා, ක්ෂුද්‍ර ව්‍යාපාර, සිංහල ජාතිකවාදය ඇතුළු මතවාද සංස්කරණය ආදිය තුළ ඩයස්පෝරාවේ බලපෑම ඉතාම විශාලයි. ඒ බව නොසලකා හරින අයට මෝඩ චූන් ගන්න පුළුවන්. අනෙක් කරුණු කෙසේ වුවත්, ජවිපෙ මේ කරුණ නිවැරදිව අවබෝධ කරගෙන සිටින බව පේනවා. රැස්වීම තංගල්ලේ වුනත්, ගම්පහ වුනත් ජවිපෙ කථිකයෝ කතා කරන්නේ ඩයස්පෝරා සාමාජිකයින්ටත් එක්කයි.

උන්ඩියල් වෙළඳපොළ කියන්නෙත් සමතුලිත වෙළඳපොළක්. උන්ඩියල් ක්‍රමයට රටට එන හැම ඩොලර් එකක්ම අනික් පැත්තට රටින් එළියට යනවා. ඒ කියන්නේ, ශ්‍රමික ප්‍රේෂණ වල වාර්තා වී නැති ඩොලර් එකක් උන්ඩියල් ක්‍රමයට රටට ඇවිත්නම් රටින් එළියට ගිය ඩොලර් එකකුත් සංඛ්‍යාලේඛණ වල නැහැ කියන එකයි. 

සාමාන්‍යයෙන් පෞද්ගලික ප්‍රේෂණ ලෙස වසරකට ඩොලර් බිලියනයක් පමණ ලංකාවෙන් එළියට යනවා. බැංකු වලින් ඩොලර් ගන්න අමාරු නිසා 2021 වසරේදී මේ ප්‍රමාණයෙන් ඩොලර් 600ක් පමණ නියම ක්‍රමයට එළියට ගිහින් නැහැ. එයින් කොටසක් උන්ඩියල් වෙන්න ඇති. ආනයන වෙනුවෙන්ද යම් ඩොලර් ප්‍රමාණයක් උන්ඩියල් ක්‍රමයට රටින් යන්න ඇති. ඔය සියල්ල එකතු කළත් ඩොලර් බිලියනයකට වඩා වැඩි වෙන්න බැහැ. උන්ඩියල් ක්‍රම වලට වැඩි වැඩියෙන් වැට බඳින තරමට වෙන්නේ කළු කඩේ ඩොලර් මිල තවත් ඉහළ ගොස් නිල විණිමය අනුපාතය මත පීඩනය ඉහළ යන එක පමණයි.

දැන් තත්ත්වය අනුව වඩා සුදුසු ජංගම ගිණුම දෙස මාසික පදනමකින් බලන එකයි. අවුරුද්දකට පස්සේ තත්ත්වය ගැන හිතන එකෙත් ලොකු තේරුමක් නැහැ. පවතින තත්ත්වය තුළ මාසයකට ඩොලර් මිලියන 1000ක් පමණ අපනයන වලින් ලැබෙද්දී ආනයන වෙනුවෙන් ඩොලර් මිලියන 1700ක් වියදම් වෙනවා. ණය පොලී ගෙවන්න තවත් ඩොලර් 200ක් යනවා. ඒ කියන්නේ මාසයකට ඩොලර් මිලියන 900ක් පමණ හොයා ගත යුතුයි. සංචාරකයන්ගෙන් හා ශ්‍රමික ප්‍රේෂණ වලින් ලැබෙන්නේ ඩොලර් මිලියන 500ක පමණ මුදලක්. තවත් ඩොලර් මිලියන 400ක් අඩුයි. ඒ ශ්‍රමික ප්‍රේෂණ අඩු වීමේ ප්‍රතිඵලය. 

විණිමය අනුපාතය අවප්‍රමාණය වූ ගමන්ම ඔය ඩොලර් මිලියන 400 නැවතත් රටට එන්න පටන් ගන්නවා. ඊට පස්සේ හොයාගන්න වෙන්නේ ණය ආපසු ගෙවන්න අවශ්‍ය ඩොලර් ටික පමණයි. නමුත් වැරදි විණිමය ප්‍රතිපත්තිය නිසා දැන් මාසයකට තවත් අමතර ඩොලර් මිලියන 400ක් හොයාගන්න වෙලා. සංචිත තියෙන්නේ ඩොලර් බිලියන 2.3ක් පමණයි. ඉන්දියාව තවත් කොයි තරම් කාලයක් ලංකාවේ ආර්ථිකය ආරක්ෂා කරයිද?

Monday, February 28, 2022

ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය (අටවන කොටස)


දෙසතියකට ආසන්න විරාමයකින් පසුව නැවතත් අපි "ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය" ලිපි මාලාව වෙත පැමිණෙමු. පසුගිය කොටසෙන් අපි 2021 වසර පමණ දක්වාම ලංකාවේ ආර්ථිකය තුළ සිදු වූ දේ ගැන කතා කළා. දැන් අපට වැදගත් ප්‍රධානම ප්‍රශ්නය "මේ යන විදිහට ගිහින් කොහෙන් කෙළවර වෙයිද?" කියන එකයි.

දුර අනාගතය අපි පැත්තකින් තියමු. මේ අවුරුද්ද හා ඉදිරි වසර ලංකාවට කොහොම වෙයිද?

විචල්‍ය ගණනක් මත තීරණය වන මෙවැනි දෙයක් ගැන අපට නිශ්චිත අනාවැකි කියන්න බැහැ. එහෙත්, සිදු විය හැක්කේ පහත තත්ත්වයන් තුනෙන් එකක්.

පළමු වියහැකියාව- ආණ්ඩුව කොහෙන් හෝ ඩොලර් හොයා ගෙන මේ යන විදියට තව ටික කලක් ඇදගෙන යයි. වසංගත බිය දුරු වෙද්දී නැවත රට සංචාරකයින්ගෙන් පිරී යයි. ඒ සමඟ රටට ඩොලර් ගලා එද්දී නැවතත් හැම ප්‍රශ්නයක්ම විසඳී සෞභාග්‍යය උදා වෙයි. 

දෙවන වියහැකියාව - ආණ්ඩුව පළමු ක්‍රමයට ඇදගෙන යන්න උත්සාහ කළත් එය කිසිසේත්ම කළ නොහැකි බව පෙනී යද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට තීරණය කරයි. ඉන් පසුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එකඟ විය හැකි ආකාරයේ ප්‍රතිසංස්කරණ සිදු කරයි. 

තෙවන වියහැකියාව - පළමු ක්‍රමයට ඇදගෙන යාම කිසිසේත්ම කළ නොහැකි බව පෙනී යද්දීත් ආණ්ඩුව ඒ මාර්ගයේම ගොස් රට විශාල ව්‍යසනයකට ඇද දමයි.

පළමු වියහැකියාව ආණ්ඩුව විසින් පෙන්වන්නට හදන සුභවාදී තත්ත්වයයි. දෙවැන්න ඇතැම් එජාප/සජබ දේශපාලනඥයින්  විසින් හා ආර්ථික විද්‍යාඥයින් ගණනාවක් විසින් යෝජනා කරන විකල්පයයි. තෙවැන්න විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයින් විසින් ඇඟිල්ල දික් කර පෙන්වන දිස්තෝපියානු අනාගතයයි. මගේ අදහස අනුව සිදු වීමට වැඩිම ඉඩක් ඇත්තේ දෙවැන්නයි.

මේ ආර්ථික අර්බුදය තනිකරම මේ ආණ්ඩුවේ වරදින් සිදු වූ දෙයක් නෙමෙයි. අප මේ වන විට ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය පිළිබඳව විස්තරාත්මක ලෙස කතා කර අවසන්. ඒ වගේම, වසංගත තත්ත්වය ආර්ථික අර්බුදයට හේතු වූ බවද බොරුවක් නෙමෙයි. කෙසේ වුවද, මේ ආණ්ඩුව විසින් අනුගමනය කළ ක්‍රියා මාර්ගද ආර්ථික අර්බුදයට සැලකිය යුතු ලෙස දායක වී ඇති බව අපට බැහැර කළ නොහැකියි. 

අපි පෙර කොටස් සමඟ පළ කළ පහත වගුව වෙත නැවත යමු. එවිට අපට ආර්ථික අර්බුදයට වසංගතය නිසා සිදු වූ බලපෑම නිශ්චිත ලෙස හඳුනා ගත හැකියි.


වසංගතයේ බලපෑමක් නොතිබුණු 2019 වසර සාමාන්‍ය වසරක් ලෙස අපට හඳුනා ගත හැකියි. එම වසර පාදක කරගෙන අපි 2020 වසර දෙස නැවත හැරී බලමු. පෙර වසරට සාපේක්ෂව, 2020 වසරේදී ලංකාවේ විදේශ අංශයේ හැසිරීම වෙනස් වූයේ කෙසේද? වසංගතය නොවන්නට තත්ත්වය පැවතිය හැකිව තිබුණේ කෙසේද?

පළමු ප්‍රශ්නයට අපට ඉහත වගුවේ ඇති සංඛ්‍යාලේඛණ ඇසුරෙන් නිශ්චිත පිළිතුරු සොයාගත හැකියි. එහෙත්, ප්‍රතිපරිසිද්ධික තත්ත්වය නිරීක්ෂණය කළ නොහැකි බැවින්, දෙවන ප්‍රශ්නයට අපට එලෙස පිළිතුරු හොයා ගන්න බැහැ. එය කළ හැක්කේ උපකල්පන, අනුමාන හා විශ්ලේෂණ මත පදනම්ව පමණයි. ඒ නිසා, අපි පළමුව පහසු තැනින් පටන් ගනිමු.

පෙර වසරට සාපේක්ෂව 2019 වසරේදී අපනයන ආදායම් ඩොලර් මිලියන 1,893කින් පහළ ගියා. සේවා අපනයන ආදායම් ඩොලර් මිලියන 4,439කින් පහළ ගියා. ශ්‍රමික ප්‍රේෂණ ඩොලර් මිලියන 387කින් වැඩි වුනා. ඒ අනුව, සමස්තයක් ලෙස මේ ක්‍රම තුනෙන් රටට එන ඩොලර් ප්‍රමාණය මිලියන 5,945කින් අඩු වුනා. 

කෙසේ වුවද, රටේ ආනයන වියදම්ද ඩොලර් මිලියන 3,882කින් අඩු වුනා. ඒ වගේම, සේවා ආනයන වියදම් ඩොලර් මිලියන 2,409කිනුත්, විදේශ බැරකම් වෙනුවෙන් ගෙවිය යුතු වූ ප්‍රතිලාභ ඩොලර් මිලියන 416කිනුත් අඩු වූ නිසා ජංගම ගිණුමේ හිඟය පෙර වසරට සාපේක්ෂව ඩොලර් මිලියන 761කින් අඩු වුනා. 2020 වසරේදී පැවති ජංගම ගිණුමේ හිඟය ඩොලර් මිලියන 1,083ක් පමණයි.

දැන් වඩා අසීරු දෙවන ප්‍රශ්නය. වසංගතය නොවන්නට පැවතිය හැකිව තිබුණු තත්ත්වය කුමක්ද?

රටේ අපනයන ආදායම් සාමාන්‍යයෙන් වසරින් වසර ඉහළ යනවා මිසක් අඩු වෙන්නේ නැහැ. වසංගතය හැර එය වැළකෙන වෙනත් විශේෂ දෙයක් වසර තුළ සිදු වුනේ නැහැ. 2020 අපනයන ආදායම පෙර වසරට සාපේක්ෂව 2%කින් වැඩි වීනම් අපනයන ආදායම ඩොලර් මිලියන 12,178 දක්වා ඉහළ යනවා. 

ලංකාවේ සේවා ආදායම් වලින් වැඩි කොටසක් ලැබෙන්නේ සංචාරක කර්මාන්තයෙන්. වසංගතය හේතුවෙන් රටේ විදේශ අංශයට වැඩිම බලපෑමක් සිදු වුනේ සංචාරක කර්මාන්තය බිඳ වැටීම නිසා. කෙසේ වුවද, 2019 වසරේදීද, පාස්කු බෝම්බ පිපිරීම් හේතුවෙන් සංචාරක කර්මාන්තයේ බිඳ වැටීමක් සිදුව තිබුණා. 

මේ ආණ්ඩුව විසින් බලය ලබා ගැනීමේදී රටේ ආරක්ෂාව තහවුරු කිරීමට වැඩි බරක් දෙන බව අවම වශයෙන් ප්‍රදර්ශනාත්මක ලෙස හෝ පෙන්නුම් කර සිටියා. ඒ වගේම, 2019 වසර වන විට 2.3% මට්ටමට පහත වැටී තිබුණු ආර්ථික වර්ධන වේගය ඉහළ දමා ගැනීමේ ඉලක්කයක මේ ආණ්ඩුව සිටියා. එහිදී, සංචාරක කර්මාන්තය කෙරෙහි සැලකිය යුතු බරක් දමා තිබුණා. මේ කරුණු අනුව, වසංගතය නොවන්නට සංචාරක කර්මාන්තය නැවත හිස ඔසොවා රටේ සේවා ආදායම් අවම වශයෙන් 2018 මට්ටමට පැමිණිය හැකිව තිබුණේයැයි සිතීම නරක උපකල්පනයක් කියා මා සිතන්නේ නැහැ. එම ආදායම ඩොලර් මිලියන 8,374ක්.

වසංගත කාලය තුළ, විශේෂයෙන්ම 2020 වසර තුළ, කලාපයේ බොහෝ රටවලට ලැබුණු ශ්‍රමික ප්‍රේෂණ ඉහළ ගියා. ලංකාවටද  මේ තත්ත්වය යම් තරමකින් හෝ එලෙසම බලපෑ බව අපට උපකල්පනය කළ හැකියි. එහෙත්, ඊට පෙර තෙවසර තුළ දැකිය හැකි වූයේ ලංකාවට ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ වසරින් වසර යම් තරමකින් අඩුවන ප්‍රවණතාවක්. අපේ ඇස්තමේන්තුව වන්නේ වසංගතය නොවන්නට ශ්‍රමික ප්‍රේෂණ 2018 මට්ටමේ සිට 2.5%කින් පමණ අඩුවිය හැකිව තිබුණු බවයි. ඒ අනුව, ඩොලර් මිලියන 6,529ක ශ්‍රමික ප්‍රේෂණ 2020 වසර තුළ ලැබිය හැකිව තිබුණා.

ඉහත කාණ්ඩ තුන යටතේ ලැබිය හැකිව තිබුණු සමස්ත ආදායම ඩොලර් මිලියන 27,102ක්. එහෙත්, ඇත්තටම ලැබුණේ ඩොලර් මිලියන 20,187ක් පමණයි. මේ අනුව, වසංගතයේ බලපෑම නිසා රටට පැමිණිය හැකිව තිබුණු ඩොලර් මිලියන 5,945ක් නොලැබී ගොස් ඇති බව ඇස්තමේන්තු කළ හැකියි.

දැන් අපි වියදම් පැත්ත බලමු. 2019 වසර කියන්නේ පෙර වසරට සාපේක්ෂව ආනයන වියදම් සැලකිය ලෙස යුතු අඩු වූ වසරක්. එම වසර තුළ ආනයන වියදම් ඩොලර් මිලියන 2,296කින් අඩු වුනා. එය අහම්බයෙන් සිදු වූ දෙයක් නොවෙයි. ඉතා දැඩි මුදල් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති නිසා සිදු වූ දෙයක්. 2019 වසර තුළ සංචිත මුදල් සැපයුම 3.0%කින් පහළ ගියා. පටු මුදල් සැපයුම හා M2b පුළුල් මුදල් සැපයුම ඉහළ ගියේ පිළිවෙලින් 4.2%කින් හා 7.0%කින් පමණයි. ඒ වගේම පෙර වසර අවසාන වුනේ රුපියල 20%කින් පමණ අවප්‍රමාණය වීමට ඉඩ හරිමිනුයි. ආර්ථික වර්ධන වේගය 2.3% මට්ටම දක්වා අඩු වීමට මේ සියලු කරුණු බලපෑවා.

අලුත් ආණ්ඩුව පටන් ගත්තේ මෙවැනි තැනකින් නෙමෙයි. බදු විශාල ලෙස අඩු කරමින් වැය කළ හැකි (disposable) ආදායම සැලකිය යුතු ලෙස ඉහළ දමමින් ප්‍රසාරණාත්මක රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති හා ලිහිල් මුදල් ප්‍රතිපත්ති හරහා මේ ආණ්ඩුව විසින් ඉලක්ක කරමින් සිටියේ ආර්ථික වර්ධනයයි. වසංගතය නොවන්නට 2020 ආර්ථික වර්ධනය 4.5-5% පමණ මට්ටමකට ඉහළ යා හැකිව තිබුණා. එවැනි තත්ත්වයක් තුළ ආනයන ඉල්ලුම අවම වශයෙන් 2018 මට්ටම දක්වා ඉහළ යා හැකිව තිබුණා. මීට අමතරව රජයේ ප්‍රාග්ධන වියදම් ඉහළ යාම නිසා ආනයන වියදම් තවත් ඩොලර් බිලියනයකින් ඉහළ යා හැකිව තිබුණේයැයි සැලකුවහොත් 2019 ආනයන වියදම ඩොලර් මිලියන 23,233ක් විය හැකිව තිබුණා.

වසංගතයට පෙර 2015-2019 කාලය තුළ සේවා ආනයන වියදම් වසරකට 4.5%කින් පමණ ඉහළ ගොස් ඇති බව සැලකු විට 2020 සේවා ආනයන වියදම ඩොලර් මිලියන 4,833ක් විය හැකිව තිබුණා. එලෙසම පෞද්ගලික ප්‍රේෂණද පැවති ප්‍රවණතාව අනුව ඩොලර් මිලියන 1,003 දක්වා 4.5%කින් ඉහළ යා හැකිව තිබුණේ යැයි සිතමු. අනෙකුත් ශුද්ධ ලැබීම් හා විදේශ බැරකම් වෙනුවෙන් ගෙවිය යුතු වූ ප්‍රතිලාභ නොවෙනස්ව 2019 මට්ටමේම පැවතිය හැකිව තිබුණේයැයි සිතුවොත්, මේ සියල්ලේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය විය හැකිව තිබුණේ ඩොලර් මිලියන 4,420ක ජංගම ගිණුම් හිඟයක්. එහෙත් ඇත්තමට පැවති ජංගම ගිණුම් හිඟය ඩොලර් මිලියන 1,083ක් පමණයි.

මෙයින් කියැවෙන්නේ කුමක්ද? වසංගතය නොවන්නට ජංගම ගිණුම් හිඟය පියවීම සඳහා තවත් ඩොලර් මිලියන 3,337ක් හොයා ගන්නට සිදු වෙනවා කියන එකයි. ඒ කියන්නේ, 2020 ජංගම ගිණුම් ශේෂය සලකූ විට, සුනාමිය වගේම කෝවිඩ් වසංගතයද වෙස් වලාගත් ආශීර්වාදයක් වී ඇති බවයි. 

ලංකාව මේ තරම් අර්බුදයකට ගියේ 2020 ජංගම ගිණුම් හිඟය ඩොලර් මිලියන 1,083 මට්ටම දක්වා අඩු වී තිබියදී. වසංගතය නොවන්නට මේ හිඟය ඉතා පහසුවෙන්ම ඩොලර් බිලියන 4.5ක් පමණ විය හැකිව තිබුණා. කෙසේ වුවද, වසංගතයේ බලපෑම නොවන්නට සල්ලි හොයා ගැනීම මේ තරම්ම අපහසු නොවිය හැකිව තිබුණු බව අපේ අදහසයි.

ජංගම ගිණුමේ ඩොලර් බිලියන දෙකක පමණ හිඟයක් තිබීම ලංකාවට සාමාන්‍ය දෙයක්. එහෙත් මේ අඩුව ණය සුරැකුම්පත් විකුණා ලබා ගත හැකි නිසා ජංගම ගිණුමේ හිඟය සාමාන්‍යයෙන් කෙටිකාලීනව ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. උදාහරණයක් ලෙස 2019 වසරේදීද ජංගම ගිණුමේ ඩොලර් මිලියන 1,843ක හිඟයක් තිබුණත්, එම වසරේදී ණය සුරැකුම්පත් ආයෝජන ලෙස ඩොලර්  මිලියන 2,313ක මුදලක් ලැබුණා. එහෙත්, 2020 වසරේදී වුනේ හැමදාම ණය සුරැකුම්පත් විකුණා අලුතෙන් ඩොලර් හොයනවා තබා ඒ වන විට සිදු කර තිබුණු ආයෝජන ටිකවත් රැක ගන්න බැරි වීමයි. 2020 වසර තුළ ණය සුරැකුම්පත් ආයෝජන වලින් ඩොලර් මිලියන 2,166ක් ආපසු ගියා. කොටස් වෙළඳපොළ ආයෝජන වලින්ද ඩොලර් මිලියන 217ක් ආපසු ගියා.

මේ විදිහට ආයෝජකයින් විසින් ලංකාවේ ආයෝජන ඉවත් කර ගැනීමට ප්‍රධාන හේතුවක් වූයේ ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පහත වැටීමයි. ණය ශ්‍රේණිගත කිරීම් පහත වැටීමට ආණ්ඩුවේ අදූරදර්ශී රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිය හේතු වුනා. එහෙත්, එය එකම හේතුව කියා කියන්න බැහැ. වසංගතය නොපැවතී, රටේ ආර්ථිකය හොඳ තත්ත්වයක පැවතුණේනම්, විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය බිඳ නොවැටුණේනම්, ණය ශ්‍රේණිගත කිරීම් පහළ දැමීම මේ තරම් ඉක්මන් නොවිය හැකිව තිබුණු බව මගේ අදහසයි. 

කෙසේ වුවද, එවැනි තත්ත්වයක් යටතේදී ආණ්ඩුවට ජංගම ගිණුමේ හිඟය පියවීම සඳහා ඩොලර් බිලියන 4.5ක් පමණත් ණය ගෙවීමට තවත් ඩොලර් බිලියන 5ක් පමණත් සොයා ගන්නට සිදු වෙනවා. වසර තුළ ආණ්ඩුවට හොයා ගත හැකි වූයේ ඩොලර් බිලියන 4ක පමණ මුදලක් පමණයි. ඒ කියන්නේ තවත් ඩොලර් බිලියන 5.5ක් පමණ සොයා ගන්නට සිදු විය හැකිව තිබුණා කියන එකයි. 

යහපාලන ආණ්ඩුව විසින් 2019 වසරේදී ඩොලර් බිලියන 4.4ක ස්වෛරිත්ව බැඳුම්කර විකිණීමට සමත් වුනා. ඒ අනුව බැලුවොත් ඩොලර් බිලියන 5.5ක් කියා කියන්නේ කිසිසේත්ම ලඟා කර ගත හැකිව නොතිබුණු ඉලක්කයක් නෙමෙයි. එහෙත්, යහපාලන ආණ්ඩුවට මෙන් මේ ආණ්ඩුවට යහපත් රාජ්‍යමූල්‍ය විනයක් පෙන්විය හැකිව තිබුණේ නැහැ. ආණ්ඩුව පටන් ගත්තේම වැඩ වරද්දා ගෙනයි. 

ලංකාවේ ණය ශ්‍රේණිය B සිට B- දක්වා පහත හෙළමින්, 2020 අප්‍රේල් මාසයේදී ෆිච් රේටිං ආයතනය කිවුවේ මෙහෙමයි.

"The shock to Sri Lanka's economy from the coronavirus pandemic will exacerbate already-rising public and external debt sustainability challenges following tax cuts and an associated shift in fiscal policy late last year."

ෆිච් රේටිං ආයතනයේ තීරණයට ආණ්ඩුව විසින් බදු කපා හැරීම සෘජු ලෙසම බලපා තිබුණා. එහෙත්, වසංගතය නිසා ණය පැහැර හැරීමේ අවදානම ඉහළ යාමද ඔවුන් විසින් සැලකිල්ලට ගෙන තිබුණා. නොවැම්බර් මාසයේදී ෆිච් රේටිං ආයතනය විසින් ලංකාවේ ණය අවදානම C කාණ්ඩය දක්වාම පහත හෙලුවා. 

මූඩීස් ආයතනය විසින් සැප්තැම්බර් මාසයේදී ලංකාවේ ණය ශ්‍රේණිය C කාණ්ඩය දක්වා පහත හෙළුවා. එම තීරණයටද රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති වලට අමතරව වසංගතය නිසා ඉහළ ගිය ණය පැහැර හැරීමේ අවදානම බලපෑවා. 

"The decision to downgrade Sri Lanka's rating to Caa1 reflects Moody's assessment that the coronavirus-induced shock, which Moody's regards as a social risk, will significantly weaken Sri Lanka's already fragile funding and external positions."

දෙසැම්බර් මාසයේදී ලංකාවේ ණය ශ්‍රේණිය C කාණ්ඩය දක්වා පහත හෙළමින් S&P ආයතනය කිවුවේත් මීට සමාන දෙයක්. 

"S&P Global Ratings downgraded Sri Lanka's long-term sovereign credit ratings to CCC+/C from B-/B, saying the country's fiscal position is expected to deteriorate over the next few years due to a lack of favorable economic and fiscal conditions.

The downgrade reflects the economic fallout from the coronavirus pandemic, which has narrowed the government's fiscal space and capacity to generate income through various sectors such as tourism and has exacerbated risks to debt servicing capacity."

ණය ශ්‍රේණිගත කිරීම් ආයතන වල විශ්ලේෂණ අනුව, වසංගතය ලංකාවේ ආර්ථිකයට, විශේෂයෙන්ම විදේශ ණය ආපසු ගෙවීමේ හැකියාවට, බලපෑ හැකිව තිබුණු ප්‍රධාන ආකාර දෙක වූයේ සංචාරක කර්මාන්ත හරහා ලැබෙන ආදායම් අඩුවීම හා ඇඟලුම් අපනයන ආදායම් අඩු වීමයි. මේ දෙකෙන් ලොකුවටම බලපෑවේ පළමුවැන්නයි. එයට වසංගතය මුල් කාලයේදී කොරෝනා රටින් දුරු කර ලෝකයේ පළමුවැනියා වීමේ පිස්සුවෙන් දඟලා ආණ්ඩුව විසින් කරගත් විනාශයද විශාල ලෙස දායක වුනා. 

කෙසේ වුවද, යම් හෙයකින් 2020දී රටේ ආර්ථිකය හැසිරවීමේ බලය තිබුණේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවකට වීනම්, වසංගතය නිසා ලංකාවේ ණය ආපසු ගෙවීමේ අවදානම ඉහළ යා නොහැකිව තිබුණේයැයි අපට කිව නොහැකියි. එමෙන්ම, මේ ආණ්ඩුවේ අදූරදර්ශී රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති හමුවේ වුවද, වසංගතය නොවන්නට, මෙතරම් ඉක්මණින් ලංකාවේ ණය අවදානම මෙතරම්ම ඉහළ යා නොහැකිව තිබුණා. ප්‍රශ්නය මෙතරම් දරුණු වුනේ මේ ආණ්ඩුවේ අදූරදර්ශී රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති හා වසංගතයේ බලපෑම එකට එකතු වූ නිසයි.

ණය ශ්‍රේණිගත කිරීම් C කාණ්ඩයට වැටුණු පසු ජාත්‍යන්තර බැඳුම්කර විකිණීම ප්‍රායෝගිකව කළ නොහැකියි. වසංගතය නොවන්නට, මගේ තක්සේරුව අනුව, අඩු වශයෙන් 2020 වසර අවසන් වන තුරු ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් C කාණ්ඩය දක්වා පහත වැටෙන්නේ නැහැ. එසේම, රටේ ආර්ථිකය 3.6%කින් හැකිළෙන්නේ හෝ සංචාරක කර්මාන්තය හරහා ලැබෙන ආදායම් අඩු වන්නේ නැහැ. එවැනි තත්ත්වයක් යටතේ වසරේ මුල් මාස හය තුළ අඩු වශයෙන් ඩොලර් බිලියන 2.5ක ස්වෛරිත්ව බැඳුම්කරයක් විකුණා ගැනීමේ හැකියාවක් ලංකාව සතුව තිබුණා. එසේ වුවද, පැවති දුර්වල රාජ්‍ය මූල්‍ය කළමනාකරණය හමුවේ ණය පැහැර හැරීමේ අවදානම යම් තරමකින් හෝ ඉහළ යන නිසා බොහෝ විට මේ වෙනුවෙන් ඉහළ පොලියක් ගෙවන්නටද සිදු විය හැකිව තිබුණා.

මගේ තක්සේරුව අනුව වැඩි අපහසුවකින් තොරව ඩොලර් බිලියන 2.5ක පමණ ස්වෛරිත්ව බැඳුම්කර විකුණාගත හැකිව තිබුණත් 2020 වසර තුළ ඩොලර් බිලියන 5.5ක ස්වෛරිත්ව බැඳුම්කර විකිණීම කළ හැකිව තිබුණු දෙයක් නෙමෙයි. ඒ කියන්නේ අනේවාසික ගිණුම් වලට ලැබෙන තැන්පතු ආදිය හරහා තවත් ඩොලර් බිලියනයක් හොයා ගත්තත් ඩොලර් බිලියන දෙකක පමණවත් සංචිත ප්‍රමාණයක් විකුණන්නම වෙනවා කියන එකයි. වසර තුළ ඇත්තටම විකිණූ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1,978ක්. ඒ කියන්නේ, වසංගතය නොවුනද 2020 වසර අවසන් විය හැකිව තිබුණේ සංචිත සැලකිය යුතු ලෙස පහත හෙළමින් කියන එකයි. එකම වෙනස ආනයන පාලනයක් සිදු නොවීමයි.

මූලික කරුණු අතින් රාජපක්ෂ කඳවුරේ ආර්ථික ප්‍රතිපත්ති වල සහ රනිල් වැනි අයෙකු පෙනී සිටින ආර්ථික ප්‍රතිපත්ති අතර විශාල වෙනස්කම් නැහැ. පරිධියේ ඉන්න අය ගැලරියට මොනවා කිවුවත් මේ ආර්ථික ප්‍රතිපත්ති හැදෙන්නේ ධනවාදය මත පදනම්වයි. එහෙත්, මේ කණ්ඩායම් දෙකම තමන්ට අවශ්‍ය තැන් වලදී පැකිලීමක් නැතිව අඩු වැඩි වශයෙන් ධනවාදයෙන් බැහැර වෙනවා. විදේශ ණය ගැනීම පිළිබඳව කඳවුරු දෙකේම මූලික ප්‍රතිවිරෝධයක් නැහැ. කඳවුරු දෙක කැපී පෙනෙන ලෙස වෙනස් වන්නේ වර්ධනය හා ස්ථාවරත්වය වෙනුවෙන් ප්‍රමුඛතාවය දීමේදී.

රාජපක්ෂ කඳවුර විසින් බොහෝ විට කරන්නේ ස්ථාවරත්වය අවදානමේ හෙළමින් වර්ධනය හැකි තාක් වැඩි කර ගැනීමට උත්සාහ දරන එකයි. එය ජනප්‍රියවාදී ප්‍රවේශයක්. එයින් වෙනස්ව රනිල් කඳවුර ස්ථාවරත්වයට වැඩි බරක් දෙනවා. එහිදී නොවැලැක්විය හැකි ප්‍රතිඵලයක් ලෙස ආර්ථික වර්ධනය මන්දගාමී වෙනවා.

වසංගතය නොතිබුණේනම් 2020 ආර්ථික වර්ධනය 4.5-5.0% මට්ටමටවත් ඉහළ යනවා. මෙය 2010-2012 වැනි කාල වකවානු එක්ක බලද්දී ලොකු වර්ධන වේගයක් නොවුනත්, යහපාලන කාලයට සාපේක්ෂව කැපී පෙනෙන ආර්ථික වර්ධනයක්. ආණ්ඩු මාරුවෙන් පසුව 2020දී මේ වගේ ආර්ථික වර්ධනයක් ලැබුණේනම් එයින් ආණ්ඩුව වගේම ආණ්ඩුව ඡන්දය දුන් හැටනව ලක්ෂයද යම් තරමකින් කුල්මත් වෙනවා. ඡන්දය නුදුන් අය අන්දමන්ද වෙනවා. ඒ එක්කම, මිනිස්සුන්ට ඔය ආර්ථික වර්ධනය තවත් වැඩි කරන්න අවශ්‍ය වෙනවා. ආණ්ඩුවට ඒ අවශ්‍යතාවය ඉටු නොකර ඉන්න බැරි වෙනවා. අඩු වශයෙන් ආර්ථික වර්ධනය 5-6% වැනි මට්ටමකටත් අරගෙන පවත්වා ගෙන යන්න ඕනෑ වෙනවා. ජනප්‍රිය නැති ආණ්ඩුවකට වඩා ජනප්‍රිය ආණ්ඩුවකට තීරණ ගන්න අමාරුයි. එවැනි ආණ්ඩුවකට නැති වෙන්න දෙයක් තිබෙනවා.

වසංගතය නොතිබුණානම් මේ ආණ්ඩුව සාර්ව-ආර්ථික උගුලක හිරවෙන්නේ 2021දී. 2020දී ආර්ථික වර්ධනය 4.5-5.0% මට්ටමට උස්සන්න පුලුවන්කම තිබුණත් ආනයන පාලනය, දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය වගේ දේවල් ඒ පැකේජ් එකත් එක්ක යන්නේ නැහැ. ආර්ථික වර්ධනය එන්නේ ලිහිල් මුදල් ප්‍රතිපත්තියේ හා ප්‍රසාරණාත්මක රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තියේ උදවුවෙන්. රට පුරා සෞභාග්‍යය පෙන්වන්න පුළුවන් වුනත්, එය කළ හැක්කේ ණයට ගන්නා ඩොලර් වල උදවුවෙන්. හැබැයි ඒ වැඩේට අවශ්‍ය තරම් ඩොලර් ණයට ගැනීමේ හැකියාවකුත් නැහැ. ඔය තත්ත්වය යටතේ ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත කර ගන්නනම් ඩොලරයක මිල රුපියල් 240 මට්ටමටවත් යන්න අරින්න වෙනවා. එහෙම කළොත් නැවතත් සෞභාග්‍යය දියාරු වෙනවා. ඒ නිසා, ඔය තත්ත්වය යටතේ සංචිත වලින් ඩොලර් බිලියන දෙකක්වත් විකුණන්න වෙන එක කරන්නම සිදු වෙන දෙයක්.

සංචිත වලින් ඩොලර් බිලියන දෙකක් අඩුවුනා කියලා රටේ මිනිස්සුන්ට එය ලොකුවට දැනෙන්නේ නැහැ. විපක්ෂය කෑ ගැහුවා කියලා ඔය තත්ත්වයේ වෙනසක් වෙන්නෙත් නැහැ. ආණ්ඩුවට මිනිස්සුන්ට පෙන්විය හැකි ආර්ථික වර්ධනයක් තිබෙනවා. හැබැයි ඔය මට්ටමට විදේශ අංශයේ අවදානම් ඉහළ යද්දී ශ්‍රේණිගත කිරීමේ ආයතන ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ, වසංගතය නොතිබුණත්, යන විදිහට ගියානම්, 2021 වසර තුළ ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් C කාණ්ඩයට වැටෙනවා. ලංකාවට ස්වෛරිත්ව බැඳුම්කර වෙළඳපොළට යන්න බැරි වෙනවා. 

ඔය වගේ තත්ත්වයක් ඇති වුනානම් ආණ්ඩුව වැටෙන්නේ දැන් වැටී සිටිනවාට වඩා අමාරුවක. දැන්නම් පෙන්නන්න වසංගත බිල්ලෙක් ඉන්නවා. ඒ වගේ, "බාහිර හතුරෙක්" නැතුව ආනයන පාලනය කිරීම වගේ දෙයක් කරන එක ලේසි නැහැ. ඊටත් වඩා ප්‍රශ්නයක් වෙන්නේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා අවසාන වශයෙන් වර්ධන ඉලක්ක අත අරින්න වෙන එක. එය කළ ගමන්, දැන් වගේම, ආණ්ඩුවේ ජනප්‍රියත්වය බහිනවා. එක අතකින් මේ වෙලා තියෙන්නේ ආණ්ඩුවේ නළලේ කෙටී තිබුණු දෙයක්.

අනෙක් පැත්තෙන්, තනිකරම මනඃකල්පිත දෙයක් වුනත්, 2019දී ජනාධිපති වුනේ රනිල් වික්‍රමසිංහනම් මේ ප්‍රශ්න කිසිවක් ඇති වෙන්නේ නැද්ද? අපි හිතමු හැටනව ලක්ෂයක් රනිල්ගේ ප්‍රතිපත්ති අනුමත කරලා රනිල්ව ජනාධිපති කළා කියලා. රනිල් ජනාධිපති වෙලා වසංගතයත් ආවේ නැත්නම් අවුලක් වෙන්නේ නැහැ. දැඩි මුදල් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තියක් පවත්වා ගත්තානම් කිසිදු ආනයන පාලනයක් නැතත් ජංගම ගිණුමේ හිඟය ඩොලර් බිලියන දෙකකින් නවතිනවා. ඒ ගාන ස්වෛරිත්ව බැඳුම්කරයක් විකුණලා ලේසියෙන්ම හොයාගත හැකිව තිබුණු මුදලක්. 

රනිල් ජනාධිපතිව සිටිද්දී වසංගතය ආවානම් මොකක්ද වෙන්නේ?

රනිල් හිටියා කියලත් වසංගතය නිසා ආර්ථිකයට සිදුවන බලපෑම ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. අපනයන ආදායම්, ශ්‍රමික ප්‍රේෂණ බොහෝ වෙලාවට ඔය තිබුණු මට්ටමේම තියෙයි. රනිල් හිටියානම් රට වහන්න ඔය තරම් හදිස්සි වෙන එකක් නැහැ. ඒ නිසා, සංචාරකයෝ ටිකක් වැඩිපුර එයි. හැබැයි වසංගතය නිසා සංචාරකයෝ එක එක කොහොමටත් විශාල ලෙස අඩු වෙනවා. ඕනෑනම් සේවා ගිණුමට තව ඩොලර් බිලියනයක් විතර එයි. අනෙක් පැත්තෙන් ආනයන පාලනයක් නැති නිසා ආනයන වියදම තව ඩොලර් බිලියනයකින්වත් වැඩි වෙයි. අන්තිමට ජංගම ගිණුමේ ශේෂය දැන් තිබෙන මට්ටමේම වගේ තියෙයි. හැබැයි එහෙම වුනානම් ස්වෛරිත්ව බැඳුම්කරයක් විකුණලා ජංගම ගිණුමේ හිඟය පියවා ගන්න එක අමාරු වෙන්නේ නැහැ. ඒ නිසා, දැන් වගේ අර්බුදයකට මුහුණ දෙන්න වෙන්නෙත් නැහැ. එවැනි අවදානමක් පෙනෙන්න තිබුණානම් රනිල්ගේ ආණ්ඩුව කලින්ම IMF ගිහින් ප්‍රශ්නය විසඳා ගනියි.

වසංගතය නොතිබුණානම් මේ ආණ්ඩුව කරගෙන ගිය වැඩ පිළිවෙළ අනුව 2020 අවසානයේදී තත්ත්වය අඩු වශයෙන් පෙනුමට හෝ තිබුණාට වඩා හොඳින් තියෙයි. හැබැයි වසංගතය නොතිබුණත් මේ වෙද්දී තත්ත්වය දැන් තරමටම හෝ ඒ කිට්ටුවටම නරක් වෙන එක වලක්වන්න බැහැ. ණය අරගෙන ආර්ථිකය පිම්බවීමේ සීමාවක් තියෙනවා. ඊට පස්සේ වෙන්නේ ගෙම්බට වෙච්ච දේ. 

ඔය ඔක්කොම මේ වෙද්දී අතීතය. වඩා වැදගත් ඉදිරියට වෙන්නේ මොකක්ද කියන එකයි. මේ අවුරුද්දේ ඉදිරි මාස වල කුමක් වෙයිද?

අපි හිතමු අපනයන ආදායම 2021ට සාපේක්ෂව 2022දී 5%කින්ම ඉහළ ගියා කියලා. ඒ කියන්නේ ඩොලර් 13,127ක් ලැබෙනවා. මේ විදිහටම ආනයන වියදමත් 5%කින් ඉහළ ගියොත් අනෙක් පැත්තට ඩොලර් 21,669ක් යනවා. 5% ටිකක් වැඩි වගේ පෙනුනත් මේ ගණන ගත්තේ ඇමරිකාවේ මේ වන විට දැකිය හැකි ඉහළ උද්ධමනය සලකලා. යුක්‍රේනයේ තත්ත්වය දිග්ගැසුනොත් ආනයන වල යම් අඩුවීමක් විය හැකියි වගේම තෙල් මිල ඉහළ ගොස් අපනයන වියදම් ඉහළ යන්නත් පුළුවන්. 

පසුගිය වසරේ අවසන් මාස හතර ඇතුළත ශ්‍රමික ප්‍රේෂණ සේ ලැබී තියෙන්නේ ඩොලර් මිලියන 1,267ක් පමණයි. ඒ අනුපාතයට බැලුවොත්, 2021දී ශ්‍රමික ප්‍රේෂණ සේ ලැබිය හැක්කේ ඩොලර් මිලියන 3,800ක් පමණයි. ඒ කියන්නේ වසර තුළ ආනයන, අපනයන හා ශ්‍රමික ප්‍රේෂණ එකතුවෙහි ඩොලර් මිලියන 4,742ක හිඟයක් හැදෙනවා. සංචාරක කර්මාන්තයේ යම් හිස එසැවීමක් සිදුවීම නිසා සේවා ගිණුමෙන් ඩොලර් මිලියන 1,496ක අතිරික්තයක් ලැබෙයි කියා හිතමු. මෙය 2020 තත්ත්වයේ සිට 2019 තත්වයෙන් තුනෙන් එකක් දක්වා ආපසු ගමන් කිරීමක්. තව ඩොලර් මිලියන 3,246ක් හිඟයි. ඕකට ණය පොලී ගෙවීම්, පෞද්ගලික ප්‍රේෂණ ආදිය එකතු කළ විට ජංගම 2022 ගිණුමේ හිඟය ඩොලර් බිලියන 5.5-6.0 මට්ටමකට ඉහළ යා හැකියි. ඒ කියන්නේ මාසයකට ඩොලර් මිලියන 500ක පමණ මුදලක්. දැඩි ආනයන සීමා දැම්මත් ඔය හිඟය මාසයකට ඩොලර් මිලියන 350ක පමණ මට්ටමකත් යන එක වලක්වන්න අමාරුයි. 

මීට අමතරව පරණ ණය වල වාරිකත් ගෙවන්න වෙනවා. ඉදිරි මාස 11 තුළ ඩොලර් බිලියන 4.5ක පමණ ණය වාරික ගෙවන්න තිබෙනවා. ආසන්න වශයෙන් මාසයකට ඩොලර් මිලියන 400කට ආසන්න මුදලක්. ඒ කියන්නේ, අවම වශයෙන් මාසයකට ඩොලර් මිලියන 750ක පමණ මුදලක් අළුතෙන් ණයට ගන්න බැරිනම් සංචිත විකුණන්න වෙනවා කියන එකයි. සංචිත වලින් ඇදගන්න පුළුවන් වැඩිම වුනොත් මාස තුනයි. සංචිත වලින් සැලකිය යුතු කොටසක්ද චීන යුවාන් නිසා ඒ කොටසින් කළ හැක්කේ චීන ආනයන වෙනුවෙන් හා චීන ණය වෙනුවෙන් මුදල් ගෙවන එක පමණයි. ඒ කියන්නේ අලුත් ණය නොලැබුණොත් මාසයක් හෝ දෙකක් ඇතුළතම වුනත් හිරවෙන්න පුළුවන් කියන එකයි.

ඉන්දියාව වගේ රටකට ලංකාවට උදවු කරන්න පුළුවන්. හැබැයි ඉන්දියාව ඩොලර් බිලියනයක් ණයට දුන්නත් එයින් ප්‍රශ්නය කල් දමාගත හැක්කේ මාස එකහමාරක් වැනි කාලයකට පමණයි. බිලියන දෙකක් දුන්නොත් මාස තුනකට පමණ ප්‍රශ්නය කල් දාගන්න පුළුවන්. ඉන්දියාව කොයි තරම් දුරකට උදවු කරයිද? 

මම හිතන විදිහට මේ වෙද්දී ආණ්ඩුව ලොකු ටෝක් ආපහු ගිලගන්න වෙන සීමාවට ඇවිත්. 

වෙබ් ලිපිනය: