ඉන්දියාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය මේ වන විට (2026 අගෝස්තු 21) ඩොලර් බිලියන 729.3 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය ඉතිහාසයේ වාර්තා වී ඇති ඉහළම අගය වන අතර ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය මෙන් හත් ගුණයකට ආසන්න අගයක්. එමෙන්ම, ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය මෙන් සිය ගුණය ඉක්මවන අගයක්.
ලංකාවට වඩා බොහෝ විශාල ආර්ථිකයක විදේශ සංචිත ලංකාවේ විදේශ සංචිත සමඟ සැසඳීම නිවැරදි නැහැ. එසේ හෙයින්, ආනයන වියදම් සමඟ ගැලපුවද මෙය මාස නවයකට වඩා වැඩි කාලයක ආනයන සඳහා ප්‍රමාණවත් අගයක්. එමෙන්ම ඉන්දියාවේ රාජ්‍ය අංශයේ විදේශ ණය ප්‍රමාණය වන ඩොලර් බිලියන 168.7 මෙන් හතර ගුණයකටත් වඩා වැඩි අගයක්.
විදේශ සංචිත එකතු කර ගැනීම "මිල අධික" කටයුත්තක්. මහ බැංකුවක් විසින් වෙළඳපොළෙන් විදේශ විණිමය ඉවත් කර ගන්නා තරමට රටේ මුදල් ඒකකයේ වටිනාකම පහත වැටෙනවා. රට තුළ ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යනවා. එහෙත් මේ මගින් ආනයනික භාණ්ඩ පරිභෝජනය සීමා වන බැවින් දේශීය නිෂ්පාදන දිරි ගැන්වෙනවා. අපනයන ඉහළ යනවා. මේ හරහා දිගුකාලීනව රටට වැඩි වැඩියෙන් විදේශ විණිමය ගලා එනවා. අවසාන වශයෙන් දිගුකාලීනව රටේ මුදල් ඒකකය වඩා ශක්තිමත් වෙනවා.
ලෝකයේ රටවල් අතරින් වැඩිම විදේශ සංචිතයක් පවත්වා ගන්නා රට චීනයයි. මේ වන විට (2026 ජූලි 31) චීනය සතු නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3791.6ක්. ඉන් පසුව, වැඩිම නිල විදේශ සංචිත ඇති රටවල් වන්නේ ජපානය, ස්විට්සර්ලන්තය සහ රුසියාවයි. ඉන්දියාව මේ වන විට රුසියාවේ මට්ටමට බෙහෙවින්ම ආසන්නව පස් වන තැන සිටිනවා. මේ වන විට (2026 අගෝස්තු 21) රුසියාව සතු විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 761.2ක්.
විදේශ සංචිත ලෙස පොදුවේ හැඳින්වුනද ඉහත සංචිත වලට රන් සංචිතද ඇතුළත්. චීනයේ නිල විදේශ සංචිත වලින් ඩොලර් බිලියන 306.3ක ප්‍රමාණයක් රන් සංචිත වන අතර ඉන්දියාව සතු රන් සංචිත වල වටිනාකම ඩොලර් බිලියන 114.2ක්.
No comments:
Post a Comment
මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.