වෙබ් ලිපිනය:

Thursday, December 30, 2021

ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (පස්වන කොටස)

ඩොලර් අගය අනුව බැලුවත්, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත්තත්, ලංකාව කියන්නේ විශාල අයවැය හිඟයක් නඩත්තු කරන එකම රට නෙමෙයි. ලැයිස්තුවේ ලංකාවට උඩින් තවත් රටවල් ගණනාවක් ඉන්නවා. එහෙමනම්, අයවැය හිඟය ලංකාවට ප්‍රශ්නයක් වෙන්නත්, අනෙක් රටවලට ප්‍රශ්නයක් නොවෙන්නත් හේතුව කුමක්ද? 

මෙයට වඩා විස්තරාත්මක පිළිතුරක් ඉදිරි කාලයේදී සපයන තුරු දැනට කෙටි පිළිතුරක් දෙන්නම්. පළමුව, මේ අනෙක් රටවල් වලටත් අයවැය හිඟය ප්‍රශ්නයක් තමයි. වෙනස වෙනත් රටවලට අයවැය හිඟය ලංකාවට තරම් ප්‍රශ්නයක් වී නොතිබීමයි.

පළමුව, වසංගතය හමුවේ බොහෝ රටවල 2020දී අයවැය හිඟයක් ඇති වුනත්, මේ අනෙකුත් රටවල් බොහොමයක් ලංකාව මෙන් වසර 65ක පමණ කාලයක් එක දිගට අයවැය හිඟයක් පවත්වා ගෙන නැහැ. කැනඩාව, ජර්මනිය හා රුසියාව යන රටවල 2020දී අයවැය හිඟයක් පැවතුනත් පෙර වසරේදී පැවතුනේ අයවැය අතිරික්තයක්. චීනය, ස්පාඤ්ඤය, ඔස්ට්‍රේලියාව වැනි රටවල අයවැය හිඟයක් පවතින්නේ 2008 සිටයි. ඇමරිකා එක්සත් ජනපදයේ හා එක්සත් රාජධානියේ 2001 පමණ සිටයි. ජපානයේ 1993 පමණ සිටයි. ඉන්දියාව, ප්‍රංශය වගේ දිගුකාලයක් තිස්සේ අයවැය හිඟයක් නඩත්තු කරන රටක් ගත්තත් අයවැය හිඟ නඩත්තු කිරීමේ ඉතිහාසය ලංකාවේ තරම් පරණ නැහැ. මේ කාරණයේදීත් ලංකාවට අනෙක් බොහෝ රටවලට නැති දිගු ඉතිහාසයක්නම් තිබෙනවා!

දෙවනුව, විශාල අයවැය හිඟයක් නඩත්තු කරන අනෙකුත් බොහෝ රටවල් වලට ලංකාවට සාපේක්ෂව ඉතා අඩු පොලියකට ණය ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. මෙය පළමු කරුණ සමඟද සම්බන්ධ දෙයක්. පසුගිය වසරේ අයවැය හිඟය ඉහළ මට්ටමක පැවතුනු රටවල් කිහිපයක දස අවුරුදු බැඳුම්කරයක ඵලදා අනුපාතය පහත පරිදියි. 


රටක අයවැය හිඟය ඉහළ මට්ටමක තිබුණත් අඩු පොලියට ණය ලබා ගැනීමේ හැකියාව තිබේනම් ලංකාව මෙන් විෂම ණය චක්‍රයක පැටලෙන්නේ නැහැ. ඇතැම් රටවල රජයයන් සෘණ පොලී අනුපාතික වලට පවා ණය ගන්නවා. අයවැය හිඟය ඉහළ මට්ටමක තිබෙන වෙනත් රටවල රජයන්ට අඩු පොලියට ණය ගන්න හැකි වෙන්නත් ලංකාවේ රජයට එසේ කළ නොහැකි වෙන්නත් හේතු දීර්ඝ ලෙස සාකච්ඡා කළ යුතුයි.

පොලී අනුපාතික තීරණය වන්නේ ණය (බැඳුම්කර) වෙළඳපොලේ ඉල්ලුම හා සැපයුම අනුවයි. මෙය ලංකාවට වගේම ලෝකයේ වෙනත් රටවලටත් පොදු කාරණාවක්. දේශීය ණය ඉල්ලුම එන්නේ පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින්ගෙන් හා රජයෙන්. නිවාස ඒකක වලින්ද ණය ඉල්ලුමක් එන්න පුළුවන්. රජයක අයවැය හිඟය ඉහළ යද්දී රජයේ ණය ඉල්ලුමත් ඉහළ යනවා. ඒ අනුව, සැපයුම වෙනස් නොවුනොත්, පොලී අනුපාතිකද ඉහළ යනවා.

දේශීය ණය සැපයුම තීරණය වන්නේ පෞද්ගලික ඉතිරි කිරීම් අනුපාතය මත. මේ ඉතිරි කිරීම් කරන්නේ නිවාස ඒකක විසින් හෝ ව්‍යාපාර විසින්. රජයේ අයවැය අතිරික්තයක් ඇත්නම් එයද ණය සැපයුමට එකතු වෙනවා. ලංකාව දිගින් දිගටම අයවැය හිඟයක් නඩත්තු කරන නිසා මෙය බලපාන්නේ ණය ඉල්ලුමටයි. මීට අමතරව විදේශ අංශයද ණය වෙළඳපොළේ ඉල්ලුමට හා සැපයුමට බලපෑම් කරනවා.

ලංකාවේ පෞද්ගලික බැඳුම්කර වෙළඳපොළ එතරම් විශාල එකක් නෙමෙයි. ඒ නිසා, සෘජු ණය ඉල්ලුම බොහෝ දුරට එන්නේ රාජ්‍ය අංශයෙන්. පෞද්ගලික අංශයේ ණය ඉල්ලුම එන්නේ වාණිජ බැංකු හරහා වක්‍ර ලෙසයි. වෙනත් කරුණු අතර, ලංකාවේ ඉහළ පොලී අනුපාතික වලින් පෙනෙන්නේ ණය වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම අතර වෙනත් බොහෝ රටවලට සාපේක්ෂව වැඩි අසමතුලිතතාවයක් තිබෙන බවයි. 

රුපියල් ට්‍රිලියන 17 ඉක්මවන ලංකාවේ රාජ්‍ය ණය කන්දරාවෙන් තුනෙන් එකක්ම 1977-1989 කාලයේ එකතු වූ ණය බව මා පෙර ලිපියෙන් පෙන්වා දුන්නා. මෙය මා මීට පෙරද පැහැදිලි කර තිබෙන කරුණක්. 2004-2014 කාලයේදී එකතු වී තිබෙන රාජ්‍ය ණය ප්‍රමාණය 1977-1989 කාලයේ එකතු වූ ප්‍රමාණයෙන් බාගයක් පමණ ප්‍රමාණයක්. 

කෙසේ වුවද, නිදහස ලැබූ තැන් පටන් 1977 දක්වා වූ කාලය තුළද රාජ්‍ය ණය සැලකිය යුතු ලෙස ඉහළ ගිය බව අප අමතක නොකළ යුතුයි. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 1951 වසර වන විටද 16.1% මට්ටමේ පැවති ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය 1976 වසර වන විට 58.5% දක්වා ඉහළ ගොස් තිබුණා. 1989 වන විට මෙම අගය 108.7% මට්ටම දක්වා ඉහළ ගියා. ඒ වන තෙක් ආර්ථික වර්ධනයට මුල් තැන දුන් ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින්ට ආර්ථික ස්ථායීතාවය නොසලකා හරින්න බැරි තත්ත්වයක් ඇති වුනේ ඉන් පසුවයි.


නිදහස ලැබූ තැන් සිට 1994 පමණ දක්වා ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති වල ප්‍රමුඛ ඉලක්කය වුනේ ආර්ථික වර්ධනයයි. මේ කාර්යයයේදී ශ්‍රීලනිප ආණ්ඩු හා සභාග විසින් රජයේ මධ්‍යගත සැලසුම් යටතේ සෘජු ලෙසම නිෂ්පාදනය ඉහළ දැමීමට උත්සාහ කළා. ඒ වෙනුවෙන්, ආරක්ෂණවාදී ජාතික සමාජවාදී ප්‍රතිපත්ති අනුගමනය කළා. සුබසාධන වියදම්ද ඉහළ මට්ටමක පවත්වා ගත්තා. ආදායම ඉක්මවා වියදම් කිරීමට හා ණය ගැනීමට පැකිළුනේ නැහැ. විදේශ ආධාර වලට අමතරව, ණය සේ ලබා ගන්නා ප්‍රාග්ධනය ආයෝජනය කිරීමද මධ්‍යගත සැලසුම් වල කොටසක් වුනා.

එජාප ආණ්ඩු හා සභාග විසින් සෘජු ලෙසම නිෂ්පාදනය ඉහළ දැමීම වෙනුවට සෘජු ලෙස රජය මැදිහත් වී යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හරහා වක්‍ර ලෙස නිෂ්පාදනය ඉහළ නංවා ගැනීම සිය ප්‍රතිපත්තිය කරගත්තා. පසුව රාජපක්ෂ දශකය තුළ ක්‍රියාත්මක වූයේද, දැන් බැසිල් රාජපක්ෂ විසින් හඹා යන්නේද මේ ක්‍රමයයි. මෙහිදීද ණය සේ ලබා ගන්නා ප්‍රාග්ධනය ආයෝජනය කිරීම මධ්‍යගත සැලසුම් වල කොටසක් වුනා. සුබසාධන වියදම් ඉහළ මට්ටමක පවත්වා ගැනීම ප්‍රතිපත්තියේ කොටසක් නොවූවත්, පැවති දේශපාලන වාතාවරණය තුළ සුබසාධන වියදම් දැනෙන තරමකින් කප්පාදු කළ හැකි වූයේ නැහැ. මේ ක්‍රමය තුළද ආදායම ඉක්මවා වියදම් කිරීමට හා ණය ගැනීමට පැකිලීමක් තිබුණේ නැහැ වගේම විශාල අභිරුචියක් පෙනෙන්නට තිබුණා. ආදායම ඉක්මවා වියදම් කිරීම හා අයවැය හිඟය පියවීමට ණය ගැනීම ඉහත වෙනස් මාදිලි දෙකේම වූ පොදු ලක්ෂණයන්ගෙන් එකක්.

අයවැය හිඟය පුළුල් වෙද්දීත්, දදේනි අනුපාතයක් ලෙස රාජ්‍ය ණය ඉහළ යද්දීත්, ණය ලබා ගැනීම සඳහා ගෙවිය යුතු පොලී අනුපාත ඉහළ ගියා. එය බාධාකාරී මට්ටමට යද්දී සල්ලි අච්චු ගසා අයවැය හිඟය පියවා ගැනීමට පෙළඹීම නිසා අයවැය හිඟය පුළුල් වෙද්දී උද්ධමනයද ඉහළ ගියා. උදාහරණයක් ලෙස අයවැය හිඟය දදේනි අනුපාතයක් ලෙස 19.2% මට්ටමට ඉහළ ගිය 1980 වසරේදී 91-දින භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික 13% මට්ටම දක්වා ඉහළ දමන්න සිදු වුනා. ඒ වන විට ලංකාවේ පොලී අනුපාතික කවදාවත් මෙවැනි ඉහළ මට්ටමකට ගොස් තිබුණේ නැහැ. එයින් පසුවද හිඟය පියවා ගත හැකි තරම් අරමුදල් එකතු නොවූ නිසා විශාල ලෙස සල්ලි අච්චු ගහන්න සිදු වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය 26.1% මට්ටමට ගියා. ජූලි වර්ජනය සංවිධානය වූයේ මේ පසුබිමේ. ජූලි වර්ජනය මර්දනය කෙරුණු අතර ආණ්ඩුවට පැවතීමට මර්දනයද දිගටම පවත්වා ගන්න සිදු වුනා.

උතුරේ කැරැල්ලට හා ජවිපෙ දෙවන කැරැල්ලට හේතු වූ සාධක සංකීර්ණ වුවත් ආර්ථික සාධකද නොසලකා හරින්න බැහැ. අයවැය හිඟය පුළුල් වීමට සමාන්තරව උද්ධමනය හා පොලී අනුපාතිකද ඉහළ යාම පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි දෙයක්. බඩු මිල ඉහළ යන වේගයෙන් සමාජයේ පහළ ස්ථර වල ආදායම් ඉහළ යන්නේ නැහැ. ඒ නිසා, ඔවුන්ට ජීවත් වීම වඩ වඩා අසීරු වෙනවා. එහෙත්, සමාජයේ ඉහළ ස්ථර වලට මෙය එලෙසම දැනෙන්නේ නැහැ. පොලී අනුපාතික ඉහළ නිසා ඔවුන්ගේ ආයෝජන සඳහා ලැබෙන ප්‍රතිලාභද ඉහළ යනවා. බඩු මිල ඉහළ යද්දී වියදම් වැඩි වන නමුත් ආදායම්ද සමානුපාතිකව ඉහළ යන නිසා ඔවුන්ට එතරම් ප්‍රශ්නයක් නැහැ. මේ හරහා රාජ්‍ය අයවැය හිඟය විසින් රටේ ආදායම් විෂමතාවන් පුළුල් කර සමාජ අසහනය වැඩි කරනවා.

ඇතැම් අය පෙන්වා දී ඇති පරිදි මේ දවස් වල ලංකාවේ තත්ත්වය පහත අයුරින්ද විස්තර කළ හැකියි.

"මිල වැඩි උනත් මිනිස්සුන්ට අවුලක් නැහැ වගේ හැම තැනම මිනිස්සු කාල බීල ආතල් එකේ ඉන්නේ හරී පුදුමයි. කොළඹ අධි සුඛෝපභෝගී වන් ගෝල් ෆේස් ශොපිං මෝල් එකට යන්න බැරි තරම් සෙනග.

එතකොට නුවරඑළිය දේශීය සංචාරකයන්ගෙන් පිරී ගිහින්. ග්‍රෙගරි පාර්ක් එක ෆුල්. නුවරඑළිය ටවුන් එක ෆුලි කම්පැක්ට්. දවල් හෝටන් ප්ලෙන්ස් පාරේ ගියා ජැග්රෝ එකට. සේම්, ෆුඩ් සිට් එකේ පෝලිම. ග්‍රෙගරි පාක් එකත් ෆුල්. ග්‍රෑන්ඩ් ඉන්දියන් එකට කන්න යන්න බැරි උනේ ඉඩ නෑ ඒකේ.

සුපර් මාර්කට් වල මිනිස්සු තරගෙට බඩු ගන්නවා. කොහේ තියෙන සල්ලි ද මන්දා.

කොළඹ මීගමුව නුවර හික්කඩුව වගේ ගොඩක් සුපිරි රෙස්ටෝරන්ට් වල X'mas night dinner ටේබල් ෆුල්.

ඒ විතරක් නෙවෙයි 31st evening gala dinner සේරම වගේ දැනටම ෆුලි රිසර්වුඩ්. එක ෆයිව් ස්ටාර් හොටෙල් එකකවත් Evening Gala dinner table එකක් රිසර්ව් කරන්න 25 වෙද්දි අමාරුයි. අපි මාර කට්ටක් කෑවේ දෙසැ. 27 වෙනිදා get together dinner party එකක් දාන්න ලංකාවෙ යාලුවෝ එක්ක.

ඒ වගේම Book My Show ගිහින් Spider Man - No way home ටිකට්ස් චෙක් කරන්න. දවස් කිහිපයක් ඉස්සරහා ශෝ ටයිම් වල පවා ටිකට්ස් සෝල්ඩ් අවුට්.

ඒ වගේම ඉන්ෆිනිටි ප්ලේ කරපු පෝර්ට් සිටි එකේ ඉවෙන්ට් එක, හවුස් ෆුල්.

පේන විදියට නම් ඉහළ සහ මැද පන්තියේ අය සතුටින් ඉන්නවා. සල්ලි වියදම් කරනවා. හයිවේ පාවිච්චිය 200% කින් විතර වැඩිවෙලාලු මේ දවස් වල, රෙස්ටුරන්ට් තියෙන සර්විස් ඒරියා වලට කිට්ටු කරන්න බෑ සෙනග."

මේ විස්තර කිරීම් බොරු කියා මම කියන්නේ නැහැ. ඔය තත්ත්වයන් පෞද්ගලිකව මටත් කලින්ම නිරීක්ෂණය වී තිබුණා. මේ වගේ තැන් දිහා බලලා ලංකාව ගැන නිගමන වලට එන අයට මග හැරෙන දේවල් කිහිපයක් තිබෙනවා. පළමුව, ඔය කියන තැන් සියල්ල මිනිසුන්ගෙන් පිරෙන්න කොපමණ මිනිස්සු අවශ්‍යද? ඒ ප්‍රමාණය ලංකාවේ ජනගහණයෙන් කොපමණද? ගණන් හදා බැලුවොත් මේ ප්‍රමාණය රටේ ජනගහණයෙන් ඉතා සුළු ප්‍රතිශතයක්. ඒ පිරිස දෙස බලා සාධාරණ (generalized) නිගමන වලට එළඹෙන එක ඇතැම් පක්ෂ වල රැළි වලට සහභාගී වන සෙනඟ දෙස බලා මැතිවරණ ප්‍රතිඵල පුරෝකථනය කරනවා වගේ වැඩක්. දෙවනුව, රට පුරා මැතිවරණ රැළි වලට යන පිරිස් වගේම මේ හැම තැනකටම යන්නේ එකම පිරිසක්. ඒ නිසා, ඔය තැන් වල ඉන්න මුළු සෙනඟ ඒ එක් එක් තැන සිටින ප්‍රමාණයන්ගේ එකතුවට සමාන නැහැ.

සමස්තයක් ලෙස ගත් විට සල්ලි අච්චු ගසා පරිභෝජනය ඉහළ නංවා ඒ හරහා නිෂ්පාදනය වැඩි කර ගැනීමේ කේන්සියානු උපාය මාර්ගය තුළ වෙන්නේ ඔය වගේ වැඩක්. අච්චු ගහපු සල්ලි ටික සීමිත පිරිසක් අතේ කැරකෙනවා. ඒ අයගේ පරිභෝජනය ඉහළ යනවා. හැබැයි ඒ නිසා ඉල්ලුම ඉහළ ගිහින් බඩු මිල වැඩි වෙනවා මිසක් නිෂ්පාදනය වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා, බහුතර පිරිස කබලෙන් ලිපට වැටෙනවා.

මතු සම්බන්ධයි.

Saturday, December 25, 2021

ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (සිවුවන කොටස)

පසුගිය (2021) සැප්තැම්බර් මාසය අවසාන වෙද්දී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 17,051.7ක්. ආණ්ඩු මාරුව සිදු වූ 2019 වසර අවසාන වන විට මෙම ණය ප්‍රමාණය වූයේ රුපියල් බිලියන 13,031.5ක් පමණයි. මේ අනුව මාස 21ක කාලයක් තුළ ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 4,020.2කින් ඉහළ ගොස් තිබෙනවා. 

ආණ්ඩුව බලයට පත් වී දෙවසරක් ගත වෙන්නටත් පෙර රුපියල් ට්‍රිලියන හතරකින් රාජ්‍ය ණය ඉහළ යාමට හේතුව මේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව රජය විසින් ආදායම ඉක්මවා විශාල ලෙස වියදම් කිරීම, එසේ නැත්නම් වියදම් අඩු කර නොගෙන ආදායම් අඩු කර ගැනීම, බව පැහැදිලි කරුණක්. එහෙත්, ණය මෙතරම් ඉහළ ගියේ ඒ හේතුව නිසා පමණක්ද? 

පරණ ණය ආපසු ගෙවීම සඳහා අලුතෙන් ණය ගත් විට ඒ හේතුව මත ණය ප්‍රමාණය වෙනස් වන්නේ නැහැ. එහෙත් පරණ ණය වල පොලිය ගෙවීම සඳහා අලුතෙන් ණය ලබා ගත් විට ණය ඉහළ යනවා. ඩොලරයේ අගය වෙනස් වීම වැනි හේතු මත දැනට තිබෙන ණය වල වෙළඳපොළ වටිනාකම වෙනස් වූ විටද ණය  ප්‍රමාණය වෙනස් වෙනවා. මෙය ණය අඩු වීමක් හෝ වැඩි වීමක් වෙන්න පුළුවන්. 

පසුගිය වසර තුළ රජය ආදායම ඉක්මවා රුපියල් බිලියන 687.4ක් වියදම් කළා. පොලී ගෙවීම සඳහා තවත් රුපියල් බිලියන 980.3ක් වෙන් කළ යුතු වුනා. ඒ අනුව, අයවැය හිඟය රුපියල් බිලියන 1,667.7ක් වුනා. මීට අමතරව තිබුණු ණය වල වෙළඳපොළ වටිනාකම රුපියල් බිලියන 418.0කින් වැඩි වුනා. ඒ අනුව, ණය ප්‍රමාණය රුපියල් බිලියන 2,065.7කින් ඉහළ ගියත් වියදම් කළ හැකි මුදල් සේ රජයට ලැබුණේ එයින් රුපියල් බිලියන 687.4ක් පමණයි.

මේ වසරේ මුල් මාස නවය තුළ තවත් රුපියල් බිලියන 1,954.5කින් රාජ්‍ය ණය ඉහළ ගොස් ඇතත් එයින් රුපියල් බිලියන 606.3ක් වැඩි වී තිබෙන්නේ තිබුණු ණය වලම වටිනාකම වෙනස් වීමෙන්. අයවැය හිඟය රුපියල් බිලියන 1,328.2ක් පමණයි. මේ ප්‍රමාණයෙන් රුපියල් බිලියන 819.5ක් පමණ පොලී වියදම් බව ඇස්තමේන්තු කළ හැකියි. පළමු මාස හත තුළ පමණක් පොලී වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 637.4ක් වැය වී තිබීම සැලකූ විට අගෝස්තු හා සැප්තැම්බර් මාස වලදී අඩු වශයෙන් තවත් රුපියල් බිලියන 182.1ක් පමණ පොලී සේ නොගෙවුවා වෙන්න බැහැ. ඒ අනුව, රජයට ලැබී ඇති වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය වැඩිම වුනොත් රුපියල් බිලියන 508.7ක් පමණ. 

මුළු කාලයම සැලකුවොත් රුපියල් ට්‍රිලියන 4 ඉක්මවා රාජ්‍ය ණය ඉහළ යද්දී රජයට වියදම් කළ හැකි සේ අතට ලැබී තිබෙන්නේ එයින් 30% නොඉක්මවන කොටසක් පමණයි. ඒ නිසා, මේ මුළු මුදලම ආයෝජනය කළත් උපරිම වශයෙන් වත්කම් හැදෙන්න පුළුවන් වැඩි වූ ණය වලින් 30% නොඉක්මවන ප්‍රමාණයකින් පමණයි. 

රජය ණය ගන්නේ ආයෝජනය කරන්නම නොවන බව අපි දන්නවා. ප්‍රාග්ධන වියදම් රජයේ මුළු වියදම් වලින් 20-30% අතර ප්‍රතිශතයක්. ඒ අනුව, රජයට අයිති වත්කම් ඉහළ ගිහින් තියෙන්නේ ණය ඉහළ ගිය ප්‍රමාණයෙන් 5-10%ක් පමණක් බව කවුරු හෝ කියනවානම් එය ඉතාම සාමාන්‍ය තත්ත්වයක්. ඉතිරි 90% හෝ 95% කාගේ හෝ සාක්කුවකට ගිය බවක් හෝ නාස්ති වී ගිය බවක් එයින් අදහස් වන්නේ නැහැ.

මේ ටික පැහැදිලි කළේ කාගෙවත් මඩ හෝදන්න නෙමෙයි. බලයට පත් වෙන්න මොන බොරු කිවුවත්, බලයට පත් වෙන කාට වුනත් ඔය යථාර්තයට මුහුණ දෙන්න සිදු වන බව පැහැදිලි කරන්න. හෙට බලය ගන්න කවුරු හෝ කෙනෙක් ආදායම ඉක්මවා එක සතයක්වත් වියදම් නොකළත්, ලංකාවේ රාජ්‍ය ණය වසරකට රුපියල් ට්‍රිලියන දෙකකින් පමණ වැඩි වෙන එක කෙසේවත් වලක්වන්න බැහැ. ඒ රුපියල් ට්‍රිලියන දෙකෙන් එක සතයක්වත් රජයට වැය කළ හැකි මුදල් නොවන නිසා, ණය වැඩි වූ පමණින්  කෙසේවත් අලුතෙන් වත්කම් හැදෙන්නේ නැහැ.

මේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව ආදායම් අඩු කරගෙන වියදම් වැඩි කර ගත්තේ ඔය වගේ තත්ත්වයක් තියෙද්දී. ඊට සාපේක්ෂව යහපාලන ආණ්ඩුව අයවැය තුලනය කරගත්තා. අපි 2017 වර්ෂය ගනිමු. රජයේ ආදායම රුපියල් බිලියන 1,839.6යි.  පොලී ගෙවීම් හැර වියදම රුපියල් බිලියන 1,837.5යි. ඒ කියන්නේ රජය රුපියල් බිලියන 2.1ක් ඉතිරි කරලා. සංසන්දනාත්මකව බැලුවොත් සොච්චමක් තමයි. හැබැයි ඒත් කීයක් හරි ඉතිරියක්නේ. පණස් ගණන් වලින් පස්සේ ලංකාවේ ආණ්ඩුවක් කවදාවත් ඔය විදිහට ආදායම් හා වියදම් තුලනය කර ගෙන නැහැ.

දැන් ඔය විදිහට රජයේ ආදායම් හා වියදම් ගලපන්න යහපාලන ආණ්ඩුවට බදු වැඩි කරන්න වුනා. රජයේ වියදම් කපන්න වුනා. ඔය වැඩ වලින් ආර්ථික වර්ධනය අඩාල වෙනවා තමයි. අඩාල වුනාත් තමයි. නමුත් එහෙම නොකර ගිය වේගෙන් වාහනේ එලෙවුවානම් වාහනේ හැප්පිලා දැන් ගොඩක් කල්. රාජ්‍ය මූලනය යම් තරමකින් පාලනය කර ගත් නිසා රට බංකොලොත් වුනේ නැහැ. හැබැයි ආණ්ඩුවට ගෙදර යන්න වුනා. 

ඔය තරම් අමාරුවෙන් විශාල කාලයකට පස්සේ අයවැය තුලනය කරගත් 2017 වසරේදීත් රුපියල් බිලියන 904කින් රාජ්‍ය ණය ඉහළ ගියා. මොකද රජයේ වසරේ ආදායම් හා වියදම් තුලනය කරගත්තත් පරණ ණය වෙනුවෙන් පොලී ගෙවන්න ණය ගන්න වෙනවා. මේ මුදල රුපියල් බිලියන 735.6ක්. ඉතිරි කරගත් රුපියල් බිලියන 2.1 ඔය වැඩේට ගෑවෙන්නවත් මදි. ඊට අමතරව ඩොලරය ඉහළ යාම ආදී හේතු නිසා තිබුණු ණය ප්‍රමාණයේ වෙළඳපොළ වටිනාකම ඉහළ යාමෙන්ද ණය ඉහළ ගියා. 

රාජ්‍ය ණය අඩු කර ගන්නනම් පළමුව වසරේ ආදායම් වියදම් වලට වඩා වැඩි කර ගත යුතුයි. දෙවනුව, ආදායම් හා වියදම් අතර වෙනස වසර තුළ ගෙවිය යුතු පොලී වියදම් වලට වඩා වැඩි විය යුතුයි. තෙවනුව විණිමය අනුපාතය ඉහළ යාම ආදී වෙනත් හේතු නිසා වැඩි වන ණය ප්‍රමාණය වෙනුවෙන්ද මුදලක් එකතු කර ගත යුතුයි. නුදුරු අනාගතයේදී ඔය සියල්ල කර ණය අඩු කරන එක කිසිවෙකුට නොකළ හැකි දෙයක්. පුළුවන් කෙනෙක් ඉන්නවානම් ගණන් හිලවු සමඟ පෙන්වන්න!

රාජ්‍ය අංශය තුළ සිදුවන දූෂණ, වංචා, නාස්ති වැළැක්විය යුතුයි. එය අවිවාදිත කරුණක්. හැබැයි එහෙම කළා කියලා අයවැය හිඟය අයවැය අතිරික්තයක් කරන්න බැහැ. අයවැය හිඟය අයවැය අතිරික්තයක් කර ගන්නා තුරු වසරින් වසර ණය ඉහළ යනවා. ණය ඉහළ යන විට පොලී වියදම්ද ඉහළ යනවා. අයවැය හිඟය ඉහළ යනවා. ණය තවත් වැඩියෙන් ඉහළ යනවා. ණය වැඩි වීම පාලනය කර ගැනීම කෙසේ වෙතත් ණය වැඩි වන වේගය හෝ පාලනය කරන්නනම් කෙසේ හෝ රජයේ වියදම් කප්පාදු කර ආදායම් වැඩි කර ගන්නම වෙනවා. 

පෙර ලිපියේ කතා කළ රාජ්‍ය ව්‍යවසාය වල බරින් නිදහස් වීම මේ සඳහා කළ යුතු එක දෙයක් පමණයි. එය අනිවාර්යයෙන් කළ යුතු දෙයක් වුවත් එය කිරීම ප්‍රමාණවත් නැහැ. තවත් බොහෝ දේ කළ යුතුයි. මේ කිසිවක් දේශපාලනිකව ආකර්ශනීය දේවල් වෙන එකක් නැහැ.

රාජ්‍ය ණය ප්‍රශ්නයට හේතුව නිදහස ලැබූ තැන් පටන්ම දේශපාලනිකව ආකර්ශනීය දේවල් කළ දේශපාලන පක්ෂ බලයට පත් වීමයි. එක පැත්තකින් මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රශ්නයක්. එයින් අදහස් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ වැරැද්දක් කියන එක නෙමෙයි. ඇත්තටම මෙය ප්‍රජාතන්ත්‍රවාදයට හොඳින් ක්‍රියාත්මක විය හැකි පසුබිමක් ලංකාවේ නොතිබීමේ ප්‍රශ්නයක්. 

යුරෝපීයයන් පැමිණෙන්නට පෙර ලාංකිකයින් පුරුදුව සිටියේ රජෙකු යටතේ පාලනය වන්නටයි. රාජ්‍ය පාලනය කෙරෙහි සාමාන්‍ය මිනිස්සු මැදිහත් වුනේ නැහැ. යුරෝපීයයන් පැමිණීමෙන් පසුව සිදු වුනේ රජා මාරු වීමක්. ලංකාවේ රජු හෝ රැජින වෙනුවට එංගලන්තයේ රජු හෝ රැජින. බොහෝ ලාංකිකයින්ට ඉංග්‍රීසින් එළවීම හරහා කරගන්න අවශ්‍ය වී තිබුණේ ඉංග්‍රීසි රජා වෙනුවට තමන්ගේම රජෙක් පත් කර ගන්නයි. ඔවුන් බොහෝ දෙනෙක් තවමත් කරන්නේ එයයි. ලංකාව ජනරජයක් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පමණයි.

අප කොයි තරම් යෝජනා කළත් රජය මත යැපෙන්න බලාගෙන ඉන්න ලංකාවේ ජනතාවට රජයෙන් නිදහස් වෙන්න උවමනාවක් හෝ හැකියාවක් නැහැ. මාක්ස්වාදී සමාජවාදී පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ආණ්ඩුවෙන් පිටත ආණ්ඩුවක් හැදීම පිළිබඳ අදහස ඉදිරිපත් කර තිබුණා. ටික කලකට පෙර පාඨකයෙක් අපෙන් අසා තිබුණු ප්‍රශ්නයක් වුනේද ප්‍රායෝගිකව රජයෙන් නිදහස් වන්නේ කොහොමද කියන එකයි. ඒ අවස්ථාවේදී අප එම ප්‍රශ්නයට සෘජු හෝ විස්තරාත්මක පිළිතුරක් ලබා දුන්නේ නැහැ. මේ ප්‍රශ්නය ලංකාවේ ප්‍රශ්නයක් නෙමෙයි. ඇමරිකාව ඇතුළු හැම රටකම වගේ රජය එන්න එන්නම බලවත් වෙනවා. ඒකීය පුද්ගලයෙකුට රජයෙන් ස්වායත්තව ජීවත් වීම එන්න එන්නම වඩ වඩා අසීරු වෙනවා.

වත්මන් ලෝකය තුළ රජය පහසුවෙන් මිනිස් ජීවිත වලට බලපෑම් කරන ප්‍රධානම ක්‍රමය මුදල් පාලනය කිරීමයි. ගනුදෙනු සඳහා රුපියල් භාවිතා කරන තුරු ලාංකිකයෙකුට ලංකාවේ රජයෙන් ගැලවුමක් නැහැ. ගනුදෙනු සඳහා ඩොලර් භාවිතා කරන තුරු ඇමරිකානුවෙකුට ඇමරිකාවේ ෆෙඩරල් රජයෙන් ගැලවුමක් නැහැ. ඇත්තටම ජාත්‍යන්තර ගනුදෙනු කරන වෙනත් රට වලටද ඇමරිකාවේ ෆෙඩරල් රජයෙන් ගැලවුමක් නැහැ. මිනිස් කණ්ඩායමකට රජයෙන් සෑහෙන තරමකින් නිදහස් වී රජය දුර්වල කළ හැකි එක් ක්‍රමයක් වන්නේ ගනුදෙනු අඩු නොකරන අතරම ජාතික මුදල් ඒකකය අත හැරීමයි.

ඇමරිකාවේ හා වෙනත් රටවල අඩු වශයෙන් ක්‍රම තුනකට මෙය සිදු වෙමින් පවතිනවා. බිට්කොයින් ආදී ක්‍රිප්ටෝ-මුදල්  ජනප්‍රිය වීම එක පැත්තකින් සිදු වෙනවා. අනෙක් පැත්තෙන් ප්‍රාදේශීය මුදල් ඒකක ජනප්‍රිය වෙමින් තිබෙනවා. තෙවන ක්‍රමය සමාජවාදී ක්‍රමයක් සේ සැලකිය හැකි කාල-බැංකු ක්‍රමයයි. 

රජය විසින් කරන්නේ ජනතාව සූරාකෑමක්නම් මෙවැනි ක්‍රමයකින් රජයෙන් නිදහස් වීමේ වාසියක් තිබෙනවා. එහෙත්, ලංකාවේ සිදු වන්නේ එයම නෙමෙයි. බොහෝ දෙනෙකුට රජයෙන් තොර පැවැත්මක් නැහැ. රජය විසින් ආදායම් ඉක්මවා කරන වියදම් රටේ විශාල පිරිසක් අතර බෙදී යනවා. ණය වී තිබෙන්නේ රජය වුවත් ණයට කා තිබෙන්නේ පාලකයින් අතළොස්සක් පමණක් නෙමෙයි. ඒ වගේම, මෙය මෑතකාලීනව සිදු වූ දෙයක්ද නෙමෙයි.

පහත වගුවේ තිබෙන්නේ 2021 සැප්තැම්බර් අවසානය වන විට ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය වූ රුපියල් බිලියන 17,051.7ට නිදහසින් පසු රට පාලනය කළ එක් එක් ආණ්ඩු දායක වී ඇති ආකාරයයි. 


Friday, December 24, 2021

ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (තෙවන කොටස)


"අපි රට භාර ගන්න සූදානම්!"

ලාංකිකයෝ අත් දෙකම උස්සලා සුද්දට කිවුවා. සුද්දා ලාංකිකයන්ට රට භාර දීලා ගියා. ජාතික සමාජවාදය වෙනුවෙන් සෘජුවම පෙනී සිටි ශ්‍රීලනිප මුල් වූ සන්ධානත්, ජාතික සමාජවාදී අදහස් අභ්‍යන්තරීකරණය කරගත් එජාපය හෝ එජාපය මුල් වූ සන්ධානත් මාරුවෙන් මාරුවට බලයට පත් වුනා. පසුගිය දෙවසර අත හැරියොත්, එදා මෙදා තුර බලයේ සිටි හැම ආණ්ඩුවක් යටතේම රට ඉදිරියට ගියා. එහෙත්, ආර්ථිකය වර්ධනය වෙද්දී එයට සමාන්තරව සාර්ව-ආර්ථික අසමතුලිතතාවයන්ද වර්ධනය වුනා. හැටේ දශකයේ මැද වෙද්දීම ලංකාව විශාල අර්බුදයකට ගිහින්. 

රජයකට වසර හතර පහක් පාඩුවට දුවන්න පුළුවන්. එම කාලය තුළ, කලින් ඉතිරි කර ගත් සංචිත යොදා ගෙන පණ ගැට ගහගන්න පුළුවන්. නමුත්, සංචිත ඉවර වෙද්දී ඔය ක්‍රමය අර්බුදයට යනවා. වසර පහළොවක් පමණ පාඩුවට දුවද්දී ලංකාවේ රජයටත් සිද්ධ වුනේ ඔය සන්තෑසිය. නමසිය හැට පහ වෙද්දීම ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන්න වුනා. ලංකාව මුහුණ දුන් ගෙවුම් ශේෂ ප්‍රශ්නයට මුහුණ දෙන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උදවු කළා. ප්‍රශ්නය විසඳුනා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිටුවීමේ අරමුණ වුනේම ගෙවුම් ශේෂ ප්‍රශ්න වලට මුහුණ දෙන සාමාජික රටවලට උදවු කිරීමයි. අරමුදලේ උදවුවෙන් ලංකාව ගෙවුම් ශේෂ ප්‍රශ්නය විසඳා ගත්තත්, ගෙවුම් ශේෂ ප්‍රශ්න ඇති වීමට හේතු වූ නිදන්ගත රෝග තත්ත්වය සුව කර ගත්තේ නැහැ. ඒ නිසා, ලෙඩේ නැවත නැවත හැදුනා. නැවත නැවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ලෙඩේ සුව කර ගන්න සිදු වුනා. දාසය වතාවක්ම මෙය සිදු වුනා. නැවතත් සිදු වෙයි. 

දැන් නැවතත් ලංකාව ලෙඩ වෙලා. මේ ලෙඩේ සුව කරන්න බැරි ලෙඩක් නෙමෙයි. සුව කරන්න අමාරු ලෙඩේ නැවත නැවත මතු වීමට හේතුවන නිදන්ගත රෝග තත්ත්වයයි. නිදහස ලබා අවුරුදු පහළොවක් යද්දීත් ලංකාවට මේ නිදන්ගත රෝග තත්ත්වය ඇති වෙලා. එය සුව කරන්නනම් සමාජවාදී දෘෂ්ඨිවාදය කියන පිළිකාව ඉවත් කළ යුතුයි. ඒ වැඩේ ඩොලර් ප්‍රශ්නය විසඳන තරම් ලේසි නැහැ. මේ පිළිකාව ලංකාවේ සමාජ දේහය පුරා පැතිරී ඇති භයානක පිළිකාවක්.

"මම ධනවාදියෙක්!" කියා බය නැතිව කියන අය දැන් දැන් අතරින් පතර දකින්න පුළුවන්. ලංකාවට ගොඩ යන්න පුළුවන් වෙන්නේ ඒ පිරිස රටේ බහුතරය වූ දවසටයි. බොහෝ විට ඊට කලින් වේදනාකාරී "ඔළුගෙඩි මාරු කිරීමේ පරීක්ෂණ" එකක් හෝ කිහිපයක් ලංකාවේ සිදු වෙයි. තවමත් ගෙවා නැති විශාල මිලක් ගෙවන්න සිදු වෙයි.

ලංකාවේ ආණ්ඩු කළ ජාතික සමාජවාදය වෙනුවෙන් සෘජුවම පෙනී සිටි හා ජාතික සමාජවාදී අදහස් අඩු වැඩි වශයෙන් අභ්‍යන්තරීකරණය කරගෙන සිටි ආණ්ඩු සියල්ල යටතේ ලංකාවේ ආර්ථිකය වර්ධනය වූ බව මා කලින් පැවසුවා. එය කවුරුත් දන්න දෙයක්. පැහැදිලි නැති කරුණ වන්නේ මේ ආකාරයෙන් ආර්ථිකය වර්ධනය වුනේ එම ආණ්ඩු වලින් කළ කී දේවල් නිසාද කියන එකයි. ඇත්තටම වුනේ මීට වඩා වැඩි ආර්ථික වර්ධනයක් ලබා ගන්න තිබුණු හැකියාව අහිමි වීම කියා මා කිවුවොත් එය කී දෙනෙක් පිළිගනීද?

නෛසර්ගිකවම කවදාවත් රජයකට වෙළඳපොළ යාන්ත්‍රනයේ කාර්යක්ෂමතාවය අභිභවනය කළ නොහැකියි. රජයක් විසින් කරන බොහෝ කටයුතු පෞද්ගලික අංශය විසින් නොකරන නිසා මේ කරුණ සංසන්දනාත්මකව පෙන්වා දෙන්න අසීරුයි. එහෙත්, පෞද්ගලික අංශයට කළ හැකි දේවල් රජය විසින් කරන අවස්ථා දෙස බැලීමෙන් මේ කරුණ තහවුරු කර ගත හැකියි. 

නිදහස ලැබෙන තුරු හෝ ආසන්න කාලයක් දක්වා ලංකාවේ ක්‍රියාත්මක වූයේ පෞද්ගලික අංශයට මුල් තැන ලැබුණු ආර්ථික ප්‍රතිපත්තියක්. එහෙත්, ලංකාව ඒ වන විට කාර්මීකරණය වී තිබුණේ නැහැ. ලංකාවේ සම්ප්‍රදායික කෘෂිකාර්මික ආර්ථිකය තුළ ප්‍රමුඛතාවය ලැබී තිබුණේ වී ගොවිතැනටයි. ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ ආයෝජනය කර ලාබ ලැබීමේ අපේක්ෂාව පෙරදැරි කරගත් ව්‍යවසායකයෙකු විසින් රටේ කවදාවත් වගා නොකළ බෝගයක් අලුතින් වගා කිරීමේ අවදානම ගන්න කලින් රට පුරා සාර්ථක ලෙස වැවෙන වී ගොවිතැන වෙත අවධානය යොමු නොකළේනම් එය පුදුමයක්. 

ලංකාවේ පැවති ඉංග්‍රීසි ආණ්ඩුව ලෝකය පුරා පැතිරී තිබුණු විශාල අධිරාජ්‍යයක එක් කොටසක් පමණයි. ආණ්ඩුවේ ඉහළ තට්ටුවේ සිටි ඉංග්‍රීසින්ට ලංකාව මුල් කරගත් ජාතික අභිලාශ තිබුණේ නැහැ. ඔවුන්ට තිබුණු අභිලාශය ලංකා කොලනිය පාඩු නැතුව දුවවන එක පමණයි. ඒ නිසා, ඔවුන්ගේ අභිලාශ හා ලංකාවේ කෘෂිකාර්මික අංශයේ ආයෝජනය කරන්න කැමැත්තෙන් සිටි ව්‍යවසායකයෙකුගේ අභිලාශ ආතර ලොකු වෙනසක් තියෙන්න හේතුවක් නැහැ. තිබුණේත් නැහැ.

ඉංග්‍රීසි ආණ්ඩුව ලංකාවේ වී ගොවිතැන දියුණු කරන්න උත්සාහ කළා. එහෙත්, එය අසීරු බව ඔවුන්ට වැටහුනා. ඉංග්‍රීසින් විසින් ඉංග්‍රීසි අධිරාජ්‍යයේම වෙනත් ප්‍රදේශ වල වී ගොවිතැන දියුණු කළා. ලංකාවේ වී ගොවිතැන ගැන පමණක් දැන සිටි සම්ප්‍රදායික ගොවීන් මෙන් නොව ඉංග්‍රීසින්ට කලාපයේ අනෙකුත් තැන් වල වී ගොවිතැන සමඟ ලංකාවේ වී ගොවිතැන සංසන්දනාත්මකව බැලීමේ හැකියාව තිබුණා. 

ලංකාවේ වී ගොවිතැන වගේම ඉන් පසු හඳුන්වා දුන් කෝපි වගාවද අසාර්ථක වුවත්, තේ හා රබර් වගාවන් සාර්ථක වුනා. තේ, රබර් අපනයනය කර ලැබෙන ආදායමෙන් පහසුවෙන්ම වී ආනයනය කළ හැකි වුනා. විදේශ විනිමය හිඟයක් ඇති වුනේ නැහැ. මුදල් ඒකකය අවප්‍රමාණය වුනෙත් නැහැ.

පෞද්ගලික ව්‍යවසායකයන් විසින්, වැඩිපුරම යුරෝපීය සම්භවයක් තිබුණු අය විසින්, තේ රබර් ආදිය වවා අපනයනය කළා. පසුව මේ කර්මාන්ත හරහා දේශීය ධනවතුන්ද බිහි වුනා. මිනිරන් ආදී අවශේෂ කර්මාන්තද වූ බව මා අමතක කරන්නේ නැහැ. මෙය සාරාංශගත ලිපියක් පමණයි. හාල් පරිප්පු ආදිය වැඩි වශයෙන්ම ආනයනය කරන්න සිදු වුනේ "ආනයනික" කෘෂිකාර්මික ශ්‍රමිකයන්ගේ පරිභෝජනය වෙනුවෙන්. බොහෝ දුරට මේ කාර්යයයේ නිරතව සිටියේ ඉන්දීය සම්භවයක් තිබුණු ව්‍යවසායකයින්. ඉන්දීය "කුලී කරුවන්" රටට පැමිණීම හා ආනයන ඉහළ යාම (විශේෂයෙන්ම වී හෝ සහල් ආනයනය) අතර සෘජු හා පැහැදිලි සම්බන්ධයක් දැකිය හැකියි.

රටෙන් අපනයනය කරන දේවල් වලින් වගේම රටට ආනයනය කරන දේවල් වලින්ද ඉංග්‍රීසි ආණ්ඩුව බදු අය කළා. රජයේ ප්‍රධාන ආදායම වුනේ මේ විදිහට ආනයන හා අපනයන මත අය කළ බදු. ඒ බදු ගෙවුවේ විශාල ව්‍යාපාරිකයින් විසිනුයි. මීට අමතරව ඉංග්‍රීසි ආණ්ඩුව ආදායම් බදුද අය කළා. ඒ හැර, රටේ දුප්පතුන්ගෙන් වක්‍ර බදු අය කළේ නැහැ. ඇහැට නොපෙනෙන උද්ධමන බදු අය කළේත් නැහැ. රජය නඩත්තු කළේ ධනවතුන් විසින්. නිදහස ලැබීමෙන් වසර ගණනාවකට පසු රාජ්‍ය ආදායම් දෙස බැලුවත් මේ තත්ත්වය දැකිය හැකියි.

මාක්ස්වාදීන් වේවා, මාක්ස්වාදයට විරුද්ධ මතයක සිටි අය වේවා, "අපි රට භාර ගන්න සූදානම්!" කියා නිදහසින් පසු ලංකාව පාලනය කිරීමට අත ගැහුවේ එක්කෝ එංගලන්තයට ගොස් ඉගෙනගත් අය. එහෙම නැත්නම් එංගලන්තයේ සංචාරය කර එංගලන්තය දැක තිබුණු අය. ලංකාව නිදහස ලබන විට සාමාන්‍ය එංගලන්ත වැසියෙක් සාමාන්‍ය ලාංකිකයෙකුට වඩා වැඩි පෝසතෙක්. එංගලන්තයේ ආයෝජනය කළ හැකි ප්‍රාග්ධනයක් තිබුණු විශාල පිරිසක් හිටියා. ඊට සාපේක්ෂව ලංකාවේ එවැනි අය හිටියේ අඩුවෙන්. අද වන විටද මේ සාපේක්ෂ වෙනස එලෙසම දැකිය හැකියි.

නිදහස ලැබූ තැන් සිට අද දක්වාම ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින් රටේ ප්‍රගතියට ලොකුම බාධාව සේ දකින්නේ ප්‍රාග්ධනය හිඟකමයි. ඒ අනුව, නැති ප්‍රාග්ධනය කොහෙන් හෝ හොයා ගැනීමට විශාල මහන්සියක් දරනවා. මේ පිළිබඳව මා දරන්නේ වෙනස් අදහසක්. ඒ ගැන කතා කිරීම පසුවට තබමු.

ලංකාවේ ප්‍රශ්නය ආදායම් ඉක්මවා වියදම් කිරීම බව අමුතුවෙන් විස්තර කළ යුතු දෙයක් නෙමෙයි.එය හැමෝම වගේ දන්නවා. හැමෝම වගේ පිළිගන්නවා. ලංකාවේ ප්‍රශ්නය කියා කිවුවත් මෙය ලංකාවේ රජයේ ප්‍රශ්නයක් මිසක් සාමාන්‍ය මිනිසුන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. සාමාන්‍ය මිනිසෙකු තමන්ගේ ආදායම ඉක්මවා වියදම් කරනවානම් එය රජය විසින් එසේ කිරීමේ අතුරු ඵලයක් ලෙස සිදු වන දෙයක්. සැබෑ ප්‍රශ්නය රජයේ අයවැය හිඟයයි.

ගෙවුම් ශේෂ ප්‍රශ්නයද රජයේ අයවැය හිඟය නිසා ඇති වූ අතුරු ප්‍රතිඵලයක් පමණයි. නිදහස ලබා අවුරුදු පහළොවක් ඉක්මවද්දී ලංකාවේ ගෙවුම් ශේෂ අර්බුදය ඉස්මතු වී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන්න සිදු වුනා. මෙය දිගින් දිගටටම සිදු වෙනවා. අනාගතයේදීත් සිදු වෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් හෝ නොගොස් මේ මොහොතේ මුහුණ දෙන ප්‍රශ්නය විසඳා ගත් පමණින් නැවත නැවතත් ගෙවුම් ශේෂ අර්බුද පැමිණීම වැළකෙන්නේ නැහැ. ඒ සඳහා අයවැය තුලනය කරගත යුතුයි. 

අද වන විට ලංකාවේ රාජ්‍ය අයවැය හිඟයට ප්‍රධානම හේතුවද රාජ්‍ය අයවැය හිඟයමයි. මෙය 2022 අයවැය ඇස්තමේන්තු දෙස බැලීමෙන් පමණක්ම වුවත් පහසුවෙන් තේරුම් ගත හැකියි.

වසර තුළ ආපසු ගෙවිය යුතු ණය වාරික - රුපියල් බිලියන 1,531යි.

පොලී වියදම් - රුපියල් බිලියන 1,115යි.

අනෙකුත් වියදම් - රුපියල් බිලියන 2,797යි.

අගය වෙනස් වීම සඳහා ප්‍රතිපාදනද සමඟ වියදම් එකතුව - රුපියල් බිලියන 5,461යි.

ආදායම් හා ලැබීම් - රුපියල් බිලියන 2,261යි.

ණය ගැනීමේ අවශ්‍යතාවය - රුපියල් බිලියන 3,200යි.

ඇස්තමේන්තු කර තිබෙන ආදායම් හා ලැබීම් අතිශයෝක්තියක්. මේ ඉලක්කය කිසිසේත්ම ළඟා කර ගත නොහැකි ඉලක්කයක්. අපි ඒ බව අමතක කර මේ ආදායම උපයා ගත්තා කියා හිතමු. එසේ වුවද, රජයේ සමස්ත ආදායමම වුවත් වසර තුළ ආපසු ගෙවිය යුතු ණය වාරික හා පොලී වියදම් ගෙවීම සඳහා ප්‍රමාණවත් නැහැ. 

මේ ආණ්ඩුවට වගේම ඉදිරියේදී බලයට පත් වන කවර හෝ ආණ්ඩුවකටත් අලුතෙන් තවත් ණය ගනිමින් තිබෙන ණය වාරික හා පොලී වියදම් ගෙවීම හැර වෙනත් විකල්පයක් නැහැ. කෙසේ හෝ වියදම් කපා හැර, ආදායම් අඩු කරගෙන ප්‍රාථමික අයවැය හිඟය තුලනය කර ගත්තත්, ණය ප්‍රමාණය එන්න එන්නම වැඩි වෙන එක නියතයක්. මොකද ණය ගෙවන්න ණය ගැනීමේදී ණය වැඩි නොවෙතත්, පොලී ගෙවන්න ණය ගැනීමේදී ණය වැඩි වෙනවා. ණය වැඩි වෙද්දී පොලී වියදම්ද වැඩි වෙනවා. ඊට අමතරව විනිමය අනුපාතය පිරිහෙද්දී විදේශ ණය වල රුපියල් අගයද ඉහළ යනවා. 

රාජ්‍ය මූල්‍යනය මේ තරම් නරක අඩියකට වැටුණු පසු ප්‍රශ්නය වසරකින් දෙකකින් විසඳන්න බැහැ. මේ තත්ත්වය ආපසු හරවන්නනම් සැලකිය යුතු කාලයක් සැලකිය යුතු තරමේ ප්‍රාථමික අතිරික්තයක් පවත්වාගෙන යන්නම වෙනවා. එය පහසුවෙන් කළ හැකි දෙයක් නෙමෙයි. ඒ සඳහා හැකි ඉක්මණින් ආකෘතිමය ප්‍රතිසංස්කරණ ගණනාවක් ගන්න වෙනවා. මේ ප්‍රතිසංස්කරණ ගැන බොහෝ දෙනෙක් බොහෝ වර කතා කර තිබෙනවා. ඒවා රහස් නෙමෙයි. ඇතැම් අය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි කියා කියන්නෙත් මේ නොකරම බැරි ප්‍රතිසංස්කරණ වලට.

මොන තරම් කැපවීම් කලත් අයවැය තුලනය කර ගන්න අවුරුදු තිහ හතළිහක් යනවා. මේක අවුරුදු හැත්තෑ හතරක ප්‍රශ්නයක්. අයවැය තුලනය කර ගන්න තුරු දිගින් දිගටම ගෙවුම් ශේෂ ප්‍රශ්න ඇතුළු වෙනත් ප්‍රශ්න ඇති වෙන එකත් වලක්වා ගන්න බැහැ. හැබැයි ගෙවුම් ශේෂ ප්‍රශ්නය අයවැය ප්‍රශ්නයට සාපේක්ෂව විසඳන්න පහසු ප්‍රශ්නයක්. එම ප්‍රශ්නය වුවද ක්ෂණිකව, ස්ථිර ලෙස විසඳිය නොහැකි වුවත් වසර දහයකින් පහළොවකින් විසඳා ගන්න පුළුවන්.

ආර්ථිකයේ අසමතුලිතතා සමතුලිත කර ගැනීම සඳහා අපට ආර්ථිකය සමතුලිතව තිබුණු තැනකට ආපසු යන්න වෙනවා. නිදහස ලබන විට ඒ සමතුලිතතාවය තිබුණා. එහෙත්, මෙසේ ආපසු යාමේදී නිදහසෙන් පසුව අප විසින් ලබා ගෙන තිබෙන වෙනත් බොහෝ ජයග්‍රහණ නැති කර ගන්න බැහැ. මේ අසමතුලිතතාවය ප්‍රශ්නයක් වුවත් නිදහස ලැබූ තැන් සිට රට එක තැන තිබී නැහැ. අසමතුලිතතා මධ්‍යයේ වුවත්, ලංකාව මේ කාලය තුළ හිටපු තැනින් බොහෝ දුරක් ඉදිරියට ගිහින්. 

සුබසාධනවාදය හා ආදායම් විෂමතා අඩු කිරීමේ උත්සාහයන් අයවැය හිඟයට දායක වී ඇතත් එය එකම හේතුව නෙමෙයි. නිදහසට පෙරද පහළ ආදායම් ස්ථර වල පිරිස් සුබසාධනය කෙරුණා. අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් රජය විශාල වියදමක් දැරුවා. එහෙත්, අයවැය තුලනය වුනා. ඇත්තටම දැන් වෙලා තියෙන්නේ සුබසාධනයද අවශ්‍ය පමණ හෝ අවශ්‍ය පරිදි සිදු නොවීමයි. 

නිදහසින් පසු සාර්ව-ආර්ථික ඉතිහාසය දෙස ආපසු හැරී බැලුවොත් අපට අයවැය හිඟය පුළුල් වීමට හේතු වූ කරුණු ගණනාවක් එකින් එක හඳුනාගත හැකියි. එසේ හඳුනාගෙන අවුරුදු 74ක් කරන්න බැරි වූ ඇතැම් දේවල් අත හැර දැමිය හැකියි. මේ මුළු කාලය තුළම කාටවත් හරියකට කරන්න බැරි වූ දේවල් පුද්ගලයින්ගේ ප්‍රශ්න නොව ක්‍රමයේ ප්‍රශ්න බව හඳුනා ගෙන අත හැර දමන්න තවත් ප්‍රමාද විය යුතු නැහැ. මේ ලැයිස්තුව තුළ පැහැදිලිව හඳුනාගත හැකි එක් දෙයක් වන්නේ රාජ්‍ය පාලනය යටතේ ඇති ව්‍යවසායයි.

රාජ්‍ය ව්‍යවසායයන්හි පාඩු පිළිබඳ සංයුක්ත නිදර්ශන ඕනෑ තරම් පෙන්විය හැකියි. කෝප් කමිටුවේ ගණන් බැලීම් අනුව රජයට  පවරාගත් තැන් සිට පසුගිය මාර්තු අවසානය දක්වා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සමුච්ඡිත අලාභය පමණක් රුපියල් බිලියන 372ක්. පෞද්ගලික ව්‍යවසායකයෙකුගේ කළමනාකරණය යටතේ ලාබ ලබමින් තිබූ මෙම ආයතනය නැවත රජයට පවරා ගත්තේ ඇයි කියන එක රහසක් නෙමෙයි. මෙහි වරද පහසුවෙන් රාජපක්ෂ පවුල් පාලනය පිට පැටවිය හැකියි. වෙනත් කණ්ඩායමක් විසින් අදාළ ආයතනය පාලනය කළේනම් මෙවැන්නක් සිදු නොවන බව යමෙකුට කිව හැකියි.

බොහෝ දෙනෙකු හිතන විදිහට රාජ්‍ය අංශය මේ තරම් අකාර්යක්ෂම වී තිබෙන්නේ හැත්තෑ හතේදී ඊනියා නිදහස් ආර්ථිකය හඳුන්වා දීමෙන් පසුවයි. දේශපාලකයා හා රාජ්‍ය සේවකයා දූෂිතයෙකු වී තිබෙන්නේද එයින් පසුවයි. අප අවධානය හෙළන්නේ මෙවැනි සංයුක්ත නිදර්ශන දෙස නෙමෙයි. යම් හෙයකින් රාජපක්ෂ පවුල් පාලනය තුළ හෝ හැත්තෑ හතෙන් පසුව නාස්තිය, දූෂණය හා හොරකම් ඉහවහා ගියේනම් එය සිදුව ඇත්තේ ක්‍රමයේ ප්‍රශ්නයක් නිසා මිස පුද්ගලයින්ගේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි. පුද්ගලයින් වෙනස් කිරීමෙන් යම් සාධනීය වෙනසක් කළ නොහැකි බවක් මෙයින් අදහස් වන්නේ නැහැ.

රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස පෞද්ගලික අයිතිය යටතේ පැවති ව්‍යවසාය රජය සතු කර ගැනීම පටන් ගත්තේ පනස් හයේ වෙනසින් පසුවයි. සිරිමාවෝ බණ්ඩාරනායකගේ ආණ්ඩු යටතේ මේ වැඩේ ජයටම සිදු වුනා. ඊට අමතරව රජය අලුත් ව්‍යවසාය ගණනාවකටද අත ගැසුවා. ඉන් පසුව, අනූව දශකයේ සිට රාජ්‍ය ව්‍යවසාය පුද්ගලීකරණය කිරීමේ ප්‍රවණතාවක් දැකිය හැකි වුවත් රාජපක්ෂ දශකය තුළ නැවතත් ජාතික සමාජවාදය කරා නැඹුරු වීමක් සිදු වුනා. දේශපාලකයින් හොරුන් නොවූ බව කියන හැත්තෑ හතට පෙර යුගයේ රාජ්‍ය ව්‍යවසාය ලාබ ලැබුවාද?

පහත වගුවේ පෙන්වා දී තිබෙන්නේ ලංකාව පෞද්ගලික ව්‍යවසාය රජය සතු කරන්න පටන් ගැනීමෙන් පසුව ගත වුනු 1954-1984 අතර වසර තිහක කාලය තුළ සමස්තයක් ලෙස රාජ්‍ය ව්‍යවසායයන්හි ආදායම්, වියදම් හා ලාභ-අලාභයි. හොරකම්, දූෂණ චෝදනා නැති, ඉහළ අධ්‍යාපනයක් ලබා ඇති සමාජවාදීන් මුදල් ඇමති ධුරය දැරූ කාල වකවානු වලදීත් රාජ්‍ය ව්‍යවසාය පාඩුවට මිස ලාබයට දුවා නැහැ.


හොරකම්, දූෂණ, නාස්ති ආදිය රාජ්‍ය ව්‍යවසාය පාඩු ලබන්නට හේතුවක් බව බොරුවක් නෙමෙයි. එය පැහැදිලි කරුණක්. මේ හොරකම්, දූෂණ, නාස්ති නැවැත්විය හැකිනම් රාජ්‍ය ව්‍යවසායයන්හි පාඩු අඩු කළ හැකි බවත් ඇත්තක්. එහෙත්, එසේ හොරකම්, දූෂණ, නාස්ති අඩු කිරීම ගැන කතා කරන්න සිදු වී තිබීමම පෞද්ගලික අංශයට කළ හැකි දේ රජය විසින් කිරීමේ ප්‍රතිඵලයක්. හේතුව ඉතා පැහැදිලි, තේරුම් ගන්න අමාරු නැති කරුණක්. පෞද්ගලික ව්‍යාපාරයකට පාඩුවට දුවන්න බැහැ. පාඩු ලබන පෞද්ගලික ව්‍යාපාර වැසී යනවා. එහෙත්, රජයට දිගින් දිගටම පාඩු ලබන ව්‍යාපාර නඩත්තු කළ හැකියි. එම පාඩුව දරන්නේ පැත්තක ඉන්න පිරිසක්. වක්‍ර බදු හරහා රුපියල් බිලියන 372ක ශ්‍රී ලන්කන් පාඩුව ගෙවන ශ්‍රී ලාංකිකයින්ගෙන් අති මහත් බහුතරය ජීවිතේටම ගුවන් යානයක් දැක තිබෙන්නේ අහසේ පමණයි.

හැම රාජ්‍ය ආයතනයක්ම පාඩු නොලබන බව කාට හෝ කියන්න පුළුවන්. වෙන්න පුළුවන්. නමුත්, පෞද්ගලික අයිතිය යටතේ තිබුණානම් ඔය කිසිම ආයතනයක් පාඩු ලබන්නේ නැහැ. ඒ වගේම, කිසියම් ආයතනයක් කිසියම් වසරකදී ගිණුම්කරණ ලාබයක් ලැබුවා කියන එකෙන් එම ආයතනය පාඩු නොලැබූ බවක් අදහස් වන්නේ නැහැ. ගිණුම්කරණ ලාබය රුපියල් වලින් විශාල මුදලක් වෙන්න පුළුවන්. එපමණකින්ද මේ කතාව වෙනස් වෙන්නේ නැහැ. 

කිසියම් ව්‍යවසායකයෙක් විසින් ආයතනයක් වෙනුවෙන් ආරම්භයේදී යොදවන ප්‍රාග්ධනයක් තිබෙනවා. ඇතැම් විට පසුව තවතවත් ප්‍රාග්ධනය යොදවනවා. ආයතනයක ගිණුම්කරණ ලාබයට අමතරව මෙසේ යෙදවූ ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබිය යුතු ප්‍රතිලාභද නොලැබේනම්, එහි ගිණුම්කරණ ලාබයක් ඇතත් ආර්ථික ලාභයක් නැහැ. 

නිදහසේ සිට අයවැය හිඟයක් දිගටම නඩත්තු කරන ලංකාවේ රජය රාජ්‍ය ව්‍යවසාය වෙනුවෙන් ආයෝජනය කර තිබෙන හැම ආන්තික රුපියලක්ම ණයට ගත් රුපියල්. හැම ආන්තික ඩොලරයක්ම ණයට ගත් ඩොලර්. මේ රුපියල් හා ඩොලර් වෙනුවෙන් පොලී ගෙවිය යුතුයි. ඊට අමතරව ඩොලර් ණය වල රුපියල් වටිනාකමද වසරින් වසර ඉහළ යනවා. ගිණුම්කරණ ලාබයක් ආර්ථික ලාබයක් වීමටනම් මේ පොලී වියදම් හා ඩොලරයේ මිල ඉහළ යාමේ බලපෑමද ආවරණය කෙරෙන තරමට එම ගිණුම්කරණ ලාබ විශාල විය යුතුයි. එසේ නැත්නම් ඇත්තටම සිදුව තිබෙන්නේ පාඩුවක්.

තමන් යටතේ ඇතැම් ආයතන පාලනය වූ කාල වකවානු වල දිගින් දිගටම පාඩු ලැබූ එම ආයතන ලාබ ලැබූ බව ඇතැම් අය කියනවා. මේ කතාව පට්ට පල් බොරුවක් කියා මම කියන්නේ නැහැ. එසේ වූ පමණින්, මගේ තර්කය අවලංගු වන්නේද නැහැ. කෙසේ වුවද, මේ කියන ලාබ පිළිබඳවද මට ප්‍රශ්න තිබෙනවා. 

මෙය මෙසේ දිගින් දිගටම පාඩු ලැබූ ආයතන වල පාඩුව ලාබ වලට හැරවූ බව කියන අයට කරන අභියෝගයක්. ඔබ එසේ කරන්නට සමත් වුනානම්, කරුණාකර අදාළ ආයතනය පාඩු ලැබූ වසර වල හා ලාබ ලැබූ වසර වල විස්තරාත්මක ගිණුම් සමඟ පාඩු ලාබ බවට හැරවූ ආකාරය පැහැදිලි කරන්න. එවිට ඔබ සංඛ්‍යාලේඛණ විජ්ජාවක් කර නැති බව කාට වුවත් පැහැදිලි වෙයි. ඒ වගේම, කවර හෝ පාඩු ලබන ආයතනයක් ලාබ ලබන ආයතනයක් බවට පත් කළ හැකි ක්‍රමයක් ඔබ දැන සිටිනවානම්, ජනතාවට ආදරයක් ඇති කෙනෙකු ලෙස ඔබ ඒ රහස සඟවාගෙන නොසිට ඉදිරිපත් කළ යුතුයි. අවසාන අරමුණ ජනතාවට සේවයක් කිරීමනම් ඔබේ යෝජනාව වෙනත් අයෙකු විසින් ක්‍රියාත්මක කිරීම ඔබට ප්‍රශ්නයක් වෙන්න බැහැ. 

රජය ව්‍යාපාර කිරීමේ පාඩුව මෙපමණක් නෙමෙයි. රාජ්‍ය ව්‍යවාසයයක් සතු ඒකාධිකාරී බලය ප්‍රයෝජනයට ගනිමින් පාරිභෝගිකයන්ගෙන් අසාධාරණ මිලක් අය කළ හැකියි. ඒ නිසා, ඇතැම් විට රාජ්‍ය ව්‍යවාසයයක් ලාබ ලැබුවත් ඒ ලාබ නියම ක්‍රමයට උපයන ලාබ නෙමෙයි. උදාහරණයක් ලෙස තෙල් සංස්ථාවේ අකාර්යක්ෂමතාවය නඩත්තු කරන අතරම ඉන්ධන මිල ඉහළ දමා පාඩු අඩු කර ගන්න පුළුවන්. විදුලිබල මණ්ඩලයේ අකාර්යක්ෂමතාවය නඩත්තු කරන අතරම විදුලි බිල ඉහළ දමා පාඩු අඩු කර ගන්න පුළුවන්. පෞද්ගලික අංශයේ ඒකාධිකාරයකට වුවද මෙය කළ හැකි වුවත් රජයට නියාමනය හරහා ඒකාධිකාර ඇති වීම වැළැක්විය හැකියි. 

පෞද්ගලික අංශයේ ක්‍රියාකාරිත්වය ඉහළ මට්ටමට තිබෙන කර්මාන්තයක වුවද රාජ්‍ය ව්‍යවසායයක් පැත්තකින් ක්‍රියාත්මක වෙද්දී සමස්තයක් ලෙස එම කර්මාන්තයම අකාර්යක්ෂම වෙනවා. රාජ්‍ය ආයතනය පාඩුවට දුවන විට පෞද්ගලික ආයතනයට එසේ පාඩු ලබමින් දුවන්න බැරි නිසා වෙළඳපොළෙන් ඉවත් වෙන්න වෙනවා. රාජ්‍ය ආයතනය සුපිරි ලාබ ලබන විට පෞද්ගලික අංශයේ තරඟකරුවන්ද සුපිරි ලාබ ලැබීමට පෙළඹෙනවා. ඇතැම් අවස්ථා වල පෞද්ගලික අංශයේ තරඟකරුවන්ට රාජ්‍ය අංශය අභිබවා තරඟයෙන් ඉස්මතු විය හැකි නමුත් ඇතැම් විට සිදු වන්නේ පෞද්ගලික අංශයද රජයේ ක්‍රමයට අනුගත වීමයි. ලංකාවේ ටෙලිකොම් කර්මාන්තය පළමු කාණ්ඩයටත්, වාණිජ බැංකු දෙවන කාණ්ඩයටත් උදාහරණයි.

සමස්තයක් ලෙස ගත් විට රාජ්‍ය අංශය ව්‍යවසායයන් බදා ගෙන සිටීමෙන් සිදුවන ලොකුම හානිය කර්මාන්තයේ වර්ධනය ඇණ හිටීමයි. අනූව දශකයට පෙර දුරකථන සම්බන්ධතාවක් ලබා ගැනීමට අවශ්‍ය වූ අයෙකුගෙන් ඇහුවොත් මේ ගැන කියයි. මේ හේතුව මත ලංකාවේ රජය විසින් අහිමි කරගත්, නොපැවති සමාගම් වලින් ලබා ගත හැකිව තිබුණු බදු ආදායම ඉතා විශාලයි. මේ පාඩුව, රාජ්‍ය ව්‍යවසාය වල සමස්ත සමුච්ඡිත අලාබයට එකතු කර එයට පොලී වියදම් හා ඩොලරයේ මිල ඉහළ යාමේ බලපෑම එකතු කළ විට වත්මන් ණය කන්දට රාජ්‍ය අංශයේ ව්‍යවසාය නිසා සිදුව ඇති බලපෑම තේරුම් ගත හැකි වෙයි.

ඔළුගෙඩි මාරු කිරීමෙන් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. පෞද්ගලික අංශයට කළ හැකි දේ රජය විසින් බදාගෙන සිටීම දිගින් දිගටම අසාර්ථක වී ඇති ක්‍රමයක්. එය නැවත නැවත අත් හදා බලමින් ලංකාව මුහුණ දෙන නිදන්ගත ප්‍රශ්නයෙන් ගොඩ යන්න බැහැ. ලංකාවේ ගොඩදමන්නනම්, ඉදිරියේදී අප විසින් කතා කරන්නට අපේක්ෂා කරන වෙනත් බොහෝ දේ අතර, රජය ව්‍යාපාර කිරීමෙන් ඉවත් විය යුතුයි. ඒ වෙනුවෙන් සෘජුව පෙනී නොසිටින පුද්ගලයෙකුට හෝ දේශපාලන පක්ෂයකට රට ගොඩ දමන්න බැහැ. 

කෙසේ වුවද, මෙයට විසඳුමක් ලෙස රාජ්‍ය ව්‍යවසායයන් විදේශිකයින්ට විකුණා දැමීම තුළ වෙනත් අතුරු ප්‍රශ්න ඇති වෙනවා. ඩොලර් හිඟයට තාවකාලික පිළියමක් ලෙස රජය සතු වත්කම් විදේශිකයින්ට විකුණා දැමීමත්, පුද්ගලීකරණය හරහා නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගැනීමත් එකට පටලවා ගත යුතු නැහැ.

Tuesday, December 21, 2021

ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (දෙවන කොටස)

වැඩවසම් ආකෘතියක ක්‍රියාත්මක වූ ග්‍රාමීය ස්වයංපෝෂිත ආර්ථිකයක් තිබුණු ලංකාව ඉංග්‍රීසීන් විසින් ලෝකයට සම්බන්ධ කළා. එහෙත්, අඩු වශයෙන් ආරම්භයේදී, මේ ආකාරයෙන් ලෝකයට සම්බන්ධ කළේ ලංකාව මිස ලාංකිකයින් නෙමෙයි. ලාංකිකයින්, විශේෂයෙන්ම උඩරට පළාත් වල ජීවත් වූ සිංහලයින්, තවදුරටත් ලෝකය සමඟ ලොකු සම්බන්ධයක් නොමැතිව පරණ ග්‍රාමීය ස්වයංපෝෂිත ආර්ථිකය ඇතුළේම ජීවත් වුනා. මේ ආර්ථිකය 88/89 කාලය දක්වාම ලංකාවේ බොහෝ ගම් වල තිබුණා. එහෙත්, අනූව දශකයේ මැද භාගය වෙද්දී එවැනි ස්වයංපෝෂිත ආර්ථිකයක් ඉතිරිව තිබුණේ මීමුරේ වැනි ගම් සුළු ප්‍රමාණයක පමණයි. අසූව දශකය ලංකාවේ ධනවාදයේ එක් අදියරක් සම්පූර්ණ කළ කාලයක්.

ඉංග්‍රීසි පාලන කාලය තුළ ලංකාව ලෝකය සමඟ සම්බන්ධ කළ ප්‍රධානම කණ්ඩායම යුරෝපයෙන් සංක්‍රමණය වූ වැවිලිකරුවන්. ඊට අමතරව ඉන්දීය උපමහාද්වීපයේ විවිධ ප්‍රදේශ වලින් පැමිණ ජාත්‍යන්තර (කලාපීය) වෙළඳාමෙහි නිරත වූ ව්‍යවසායකයින්ද මේ කටයුත්තට දායක වුනා. ලංකාවේ ධනවාදය දියුණු කළේ මේ සංක්‍රමණිකයන් විසින්. ඔවුන් පාරම්පරික ලාංකිකයින් නෙමෙයි. පාරම්පරික ලාංකිකයින් ඔවුන්ව අනුගමනය කරමින් ලෝකය සමඟ සම්බන්ධ වුනේ ඉතා සෙමෙන්. 

මට මතක තිබෙන කාලයේ මා දන්නා මගේ ඥාතීන්, මිතුරන් ජීවත් වූ ඇතැම් ගම් බොහෝ දුරට ස්වයංපෝෂිත ගම්. එවැනි ගමක ජීවත් වූ අයෙකුට ගමෙන් පිට සිදුවන දෙයක ලොකු බලපෑමක් තිබුණේ නැහැ. යම් හෙයකින් මෙවැනි ගමක් හා බාහිර ලෝකය අතර සම්බන්ධය බිඳී ගිය මොහොතක මෙවැනි ගමක වැසියන්ට ලොකු අපහසුතාවයන්ට මුහුණ දෙන්න වුනේ නැහැ. ඇත්තටම 88/89 සමයේ එසේ සිදු වූ කාල වකවානු තිබුණා. එහෙත් බාහිර උදවු නැතිව ගම් වල මිනිස්සු කොහොම හරි ජීවත් වුනා.

මම හිතන විදිහට මේ තත්ත්වය තීරණාත්මක ලෙස වෙනස් වෙන්න පටන් ගත්තේ ඇඟලුම් කර්මාන්තය රට පුරා පැතිරීම හා ගම් වල තරුණයන් උතුරේ යුද්ධය සමඟ සම්බන්ධ වීම සමඟයි. මේ සමඟම, කලින් අතේ සල්ලි නොගැවසුණු, ඇඟ වෙහෙසා මොනවා හෝ වවාගෙන කෑ, තරුණ තරුණියන් අතේ සල්ලි ගැවසෙන්න පටන් ගත්තා. ගමේ ආර්ථිකය තීරණාත්මක ලෙස වෙනස් වුනා. අද ලංකාවේ ගමක් බාහිර ලෝකයෙන් හුදෙකලා වුනොත් ඒ ගමේ වැසියන්ට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. ඇමරිකාවේ වගේම ලංකාවේ ගමක වුවත්, වෙළඳපොළ මිනිසුන්ගේ සාමාන්‍ය ජීවිතයේම කොටසක්. වෙළඳපොළ හරහා ලංකාවම එකිනෙකා හා සම්බන්ධ වෙලා. ලංකාව වගේම ලාංකිකයින්ද ලෝකය සමඟද සම්බන්ධ වෙලා.

මතුපිටින් බැලුවොත් ඉංග්‍රීසි ආණ්ඩුව හැදෙන්නට පෙර රට පාලනය කළ රජෙකුට විශාල බලයක් තිබුණා. සිරිත් විරිත් වලට ගරු කරමින් වුවත් තමන්ගේ අභිමතය පරිදි වැසියෙකුගේ හිස ගසා දැමීමට හෝ වෙනත් ආකාරයක කුරිරු වධබන්ධයකට ලක් කිරීමට රජුට හැකි වුනා. තමන්ට මනාප කාන්තාවක් අන්තඃපුරයට ගෙන්වා ගත හැකි වුනා. එහෙත්, ප්‍රායෝගිකව පර්යන්ත ගමක ජන ජීවිතයට හෝ ග්‍රාමීය ආර්ථිකයට රජුගෙන් බලපැමක් සිදු නොවුණු තරම්. ඉඩම් අයිතිය රජු සතු වුවත් ගැමියෙකුට කැලය කොටා ගිණි ලා හේනක් හදාගන්න එය බාධාවක් වුනේ නැහැ. අනූව දශකය පමණ දක්වාම මේ ක්‍රමයේ නෂ්ඨාවශේෂ ලංකාවේ දැකිය හැකිව තිබුණා. මා අයත්වන්නේ එම නෂ්ඨාවශේෂ ඇසින් දුටු අවසන් පරම්පරාවට විය යුතුයි.

අද වන විට ලංකාවම වෙළඳපොළට සම්බන්ධයි. ගනුදෙනු හැමදාමත් සිදු වුනත්, ගනුදෙනු සඳහා මහා පරිමාණයෙන් මුදල් භාවිතා කිරීම හා මුදල් භාවිතයෙන් තොර ජීවිතයක් ගැන සිතිය නොහැකි මට්ටමකට රටම පත් වීම සාපේක්ෂව අලුත් දෙයක්. අනූව දශකයේ සම්පූර්ණ වූයේ මේ පරිවර්තනයයි. ජාතික රාජ්‍ය ආකෘතිය තුළ ධනවාදය මේ අදියරට පැමිණීමත් සමඟ රජය සතු මුදලේ අගය පාලනය කිරීමේ හැකියාව හේතුවෙන් මුළු රටම රජයේ ග්‍රහණයට නතු වීමද නොවැලැක්විය හැකියි. එම තත්ත්වය තුළ රජය හමුවේ වැසියා විශාල අසරණ භාවයකට පත් වෙනවා. රජය කරන වරදකින් පීඩාවට පත් වන වැසියෙකුට පුද්ගලයෙකු ලෙස තනිව කළ හැකි දෙයක් නැතිව යනවා.

නිදහස ලබද්දී ලංකාවේ මෙවැනි තත්ත්වයක් ඇති වී තිබුණේ නැහැ. ඒ වගේම, රජය කටයුතු කළේ විනයකට යටත්වයි. දැන් වගේම ඒ කාලයේත් රජයට වියදම් තිබුණා. මේ වියදම් පියවා ගැනීම සඳහා රජය ආදායම් එකතු කළා. බොහෝ විට එය කළේ විනිවිද භාවයක් ඇතුවයි. සල්ලි අච්චු ගසමින් ඇහැට නොපෙනෙන "උද්ධමන බදු" එකතු කළේ නැහැ. 


ඉහත රූප සටහනෙහි පෙන්වා තිබෙන්නේ පසුගිය වසර දෙසීයක කාලය තුළ ලංකාවේ රාජ්‍ය ආදායම් හා වියදම්. වියදම ආදායම ඉක්මවූ අවුරුදු රතු පාටින්ද, ආදායම වියදම ඉක්මවූ අවුරුදු කොළ පාටින්ද පෙන්වා තිබෙනවා. ස්ථම්භයේ උස වියදම් හා ආදායම් අතර අනුපාතයයි.

ලංකාවට නිදහස ලැබෙන තුරු බොහෝ වසර වලදී රජයේ වියදම් ආදායම නොඉක්මවූ බව මේ ප්‍රස්ථාරය දෙස බැලූ විට පැහැදිලිව පෙනෙනවා. එයින් අදහස් වන්නේ අයවැය අතිරික්තයක් පැවති බවයි. ඉංග්‍රීසි ආණ්ඩුව මෙසේ එකතු වූ අතිරික්තය ඉතිරි කරමින් ආයෝජනය කළා. ඒ ආයෝජන වලින්ද ආදායම් ලැබුණා. කවර හෝ හේතුවක් නිසා කිසියම් වසරක් තුළ රජයේ ආදායම වියදමට වඩා අඩු වී අයවැය හිඟයක් ඇති වූ විට මෙසේ කලින් ඉතිරි කරගත් අරමුදල් ප්‍රයෝජනයට ගත හැකි වුනා.

විදේශ අංශයේ පැවතියේද මෙවැනිම තත්ත්වයක්. අපනයන වෙනුවෙන් වැය කළේ ආනයනය කර ඉපැයූ විදේශ විණිමයයි. ඉතිරිය විදේශ සංචිත සේ එකතු වුනා. ආනයන වෙනුවෙන් අපනයන ආදායම් ඉක්මවා වියදම් කරන්නට සිදු වූ වසර වලදී ප්‍රයෝජනයට ගත්තේ මෙසේ කලින් ඉතිරි කරගත් සංචිතයි. මුල් කාලයේදී ලංකාවේ භාවිතා වූ සල්ලි කියන්නේත් ආනයන භාණ්ඩයක්. අපනයන වල හිලවුවට ඉන්දියාවෙන් කාසි ආනයනය කළා. ඒ හැර සල්ලි අච්චු ගසමින් වියදම් කළේ නැහැ. ඒ නිසා, විශාල කාලයක් අපහසුවකින් තොරව විණිමය අනුපාතය ස්ථිරව පවත්වා ගන්න පුළුවන් වුනා.

නිදහසින් පසු මේ තත්ත්වය වෙනස් වුනා. ප්‍රස්තාරය දෙස බැලූ විට වෙනස ඉතා පැහැදිලිව පෙනෙනවා. කේන්සියානු ප්‍රතිපත්ති අනුගමනය කළ එජාප ආණ්ඩු වගේම ජාතික සමාජවාදී ප්‍රතිපත්ති අනුගමනය කළ වාමාංශික ආණ්ඩු විසින්ද එක සේ ආදායම් ඉක්මවා වියදම් කළා. ප්‍රස්ථාරයේ රතු තීරු මිස කොළ තීරු දකින්නට නැත්තේ ඒ නිසා. 

දිගින් දිගටම අයවැය හිඟයන් මිස අතිරික්ත නැති වූ විට ටික කලකින් ඉතිරි කරගත් දේ අවසන් වෙනවා. එයින් ලැබුණු පොලී ආදායම්ද අහිමි වෙනවා. ඉන් පසු ණය ගන්න සිදු වෙනවා. ඒ ණය වෙනුවෙන් ගෙවන්න සිදුවන පොලී මුදල් වැය ශීර්ෂයට එකතු වෙනවා. අයවැය හිඟය තවත් ඉහළ යනවා. එය පියවන්න වැඩියෙන් ණය ගන්න වෙනවා. විෂම චක්‍රයක් හැදෙනවා. 

රාජ්‍ය අංශයේ මෙවැනි විෂම චක්‍රයක් හැදෙද්දී විදේශ අංශයේද එවැනිම විෂම චක්‍රයක් හැදුනා. එයට හේතු වූයේ 1950දී මහ බැංකුව පිහිටුවීමෙන් පසුව රජයේ අයවැය හිඟය පියවීමට සල්ලි අච්චු ගැසීමේ විකල්පය කරාද යොමුවීම හේතුවෙන්. රජය විසින් අච්චු ගසා වියදම් කරන සල්ලි ආර්ථිකයට එකතු වෙන්නේ පෙර මෙන් සල්ලි ආනයනය කරන විට සිදු වන ආකාරයෙන් නෙමෙයි. සල්ලි ආනයනය කිරීමට භාණ්ඩ අපනයනය කළ යුතුයි. ඒ නිසා, මුදල් සැපයුම වැඩි වෙන්නේ නිෂ්පාදනය වැඩි වුනොත් පමණයි. සල්ලි අච්චු ගැසීමේදී එවැනි සීමාවක් නැහැ. 

රජය විසින් අච්චු ගහන සල්ලි මිනිස්සුන්ගේ අතට ගිය විට භාණ්ඩ සඳහා වන ඉල්ලුම ඉහළ යනවා. එහිදී ආනයන ඉහළ යනවා. එහෙත් එයට අනුරූපව අපනයන ඉහළ යාමක් සිදු වන්නේ නැහැ. සල්ලි ආනයනය කළ කාලයේ මෙවැනි ප්‍රශ්නයක් හෝ ප්‍රශ්නයක් ඇති වීමේ ඉඩක් තිබුණේ නැහැ. 

අපනයන ආදායම් ඉක්මවා ආනයන වියදම් ඉහළ ගිය විට එකතු කරගෙන තිබෙන සංචිත අඩු වෙනවා. මෙය දිගින් දිගටම සිදු වන විට සංචිත දිගින් දිගටම අඩු වෙනවා. 

ඉහත කරුණට අමතරව නිදහසින් පසු ලංකාවේ විදේශ සංචිත පිරිහෙන්න තවත් කරුණක් බලපෑවා. නිදහසට පෙර වසරින් වසර ලංකාවට විදේශික ව්‍යවසායකයන් පැමිණුනා. ඔවුන් පැමිණුනේ ප්‍රාග්ධනයද අරගෙනයි. නිදහසින් පසු ලංකාවේ ආණ්ඩු විසින් අනුගමනය කළ ප්‍රතිපත්ති නිසා මේ අයුරින් රටට විදේශිකයින් පැමිණීම අඩුවුනා පමණක් නොව රටේ සිටි විදේශිකයින් හා සංක්‍රමණිකයන්ගෙන් පැවත ආ අය රටින් පිටව යාමද වුනා. එසේ ගියේ ඔවුන් සතු වූ ප්‍රාග්ධනය මෙන්ම ව්‍යවසායකත්වයද  අරගෙනයි. 

නිදහසින් පසු රටේ සිටි විදේශිකයන්ගේ දේපොළ රජය සතු කර ගනිමින් රටේ සිටි ආයෝජකයින්ට රටින් පිටව යාමට සැලසූ ලංකාවට දශක කිහිපයක් යද්දී ආයෝජකයින් රටට ගෙන්වා ගැනීම විශාල අභියෝගයක් වී තිබීමත්, විදේශ විණිමය හොයන්නට රටේ දේපොළ විදේශිකයන්ට විකුණන්නට වී තිබීමත් දෛවයේ සරදමක්.

රජයක් දිගින් දිගටම ආදායම ඉක්මවා වියදම් කරමින් හිඟය පියවීමට සල්ලි අච්චු ගැසීම මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වුනා වගේ වැඩක්. හිඟය පාලනය කරන්න අවශ්‍ය වුවත් එය කරන එක පහසු වැඩක් නෙමෙයි. අයවැය හිඟය පියවන්න විදේශ ණය ගැනීමෙන් ආනයන අපනයන පරතරය හමුවේ සංචිත පහළ යාමේ අමතර ප්‍රශ්නයද තාවකාලිකව විසඳා ගත හැකි වුවත් එයින් සිදු වන්නේ දිගුකාලීන ගෙවුම් ශේෂ උගුලකද හිර වීමයි. 

නිදහස ලබන විට විශාල විදේශ සංචිත ප්‍රමාණයක් රටේ ඉතිරිව තිබුණත් දිගින් දිගටම අපනයන ආදායම් ඉක්මවා ආනයන වෙනුවෙන් වියදම් කිරීම නිසා 1964 වන විට ලංකාවේ විදේශ සංචිත රටේ විදේශ ණය ප්‍රමාණයට වඩා අඩු මට්ටමකට වැටුණා. මේ දවස් වල ලංකාවේ විදේශ සංචිත ගැන බොහෝ දෙනෙක් කතා කරනවා. එහෙත්, ඇත්තටම, එනම් ශුද්ධ පදනමකින්, ලංකාව සතුව විදේශ සංචිත තිබුණේ 1963 වන තුරු පමණයි. නිදහස ලබා වසර පහළොවක් ඇතුළත ලංකාවේ බලයේ සිටි ආණ්ඩු රටේ විදේශ සංචිත ටික ඉවර කළා. එතැන් සිට අද දක්වාම අප කතා කරන්නේ ණයට ගත් සංචිත ගැන මිසක් උපයාගත් සංචිත ගැන නෙමෙයි.

ප්‍රමාණවත් සංචිත තිබෙන තුරු ලංකාවට විණිමය අනුපාතය ස්ථිරව තබා ගත හැකි වුවත් සංචිත අවසන් වීමෙන් පසුව එය කළ හැකි වූයේ නැහැ. ඒ නිසා, රුපියල අවප්‍රමාණය කරන්න සිදු වුනා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ණය ගන්න සිදු වුනා. හැටේ දශකයේ මැද සිට දිගින් දිගටම මේ වැඩේ කරන්න සිදු වුනා. 

සමගි පෙරමුණු රජය දැඩි ලෙස ආනයන පාලනය කළේත්, හැත්තෑ හතේදී ජේආර් බලයට පත් වීමෙන් පසුව රුපියල විශාල ලෙස අවප්‍රමාණය කළේත් ගෙවුම් ශේෂ ප්‍රශ්නයට විසඳුමක් ලෙසයි. මේ පිළියම් වලින් තාවකාලිකව ගෙවුම් ශේෂ ප්‍රශ්නය විසඳුනත් දිගින් දිගටම නැවත නැවතත් ප්‍රශ්නය මතු වුනා. ඒ රෝගයට මිස රෝග නිධානයට පිළියම් නොකෙරුණු නිසයි. රෝග නිධානය වූ අයවැය හිඟය පවතින තුරු ගෙවුම් ශේෂ ප්‍රශ්න වරින් වර මතු වීම නොවැලැක්විය හැකියි.

මතු සම්බන්ධයි.

ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (පළමු කොටස)


ලංකාවේ සමාජවාදී, සුබසාධනවාදී ආර්ථික ආකෘතිය ඉතා වේගයෙන් එහි තාර්කික අවසානය කරා ඇදී යමින් තිබෙනවා. ආර්ථිකය කඩා වැටෙන දවසක් පිළිබඳව අපට නිශ්චිත අනාවැකි කියන්න බැහැ, කිසිවකුට එසේ කළ හැකියැයි අප සිතන්නේද නැහැ. කොහෙන් හෝ ඩොලර් ටිකක් හොයා ගත්තොත් එයින් මාස ගණනක් ඇදගන්න පුළුවන්. එහෙත්, මේ වැඩේ තව වැඩි කාලයක් දිගින් දිගටම කරන්න බැහැ. 

රට මේ තත්ත්වයට වැටුණේ මේ ආණ්ඩුවේ වරදින් නෙමෙයි. කෝව්ඩ් නිසාත් නෙමෙයි. එහෙත්, මේ ආණ්ඩුවේ ඇතැම් ප්‍රතිපත්ති වගේම වසංගතය විසින්ද පරිහානිය ඉක්මන් කළා. පාලකයින්ගේ වරදින් මේ තත්ත්වය ඇති වූ බව කියන්න පහසුයි. එහෙත්, අහම්බයන්ද සිදු වුවත්, පාලකයින් බිහිවන්නේද පවතින ඓතිහාසික තත්ත්වයන් තුළයි.

ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වූයේත්, ඔහුගේ ආර්ථික ප්‍රතිපත්ති තීරණය වූයේත්, ජනතාවගේ ඇසින් යහපාලන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති අසාර්ථක වීම තුළයි. ජනතාවගේ ඇසින් යහපාලන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති අසාර්ථක වූයේ පෙර ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති නිසා ඇතිව තිබූ අසමතුලිතතාවන් සමතුලිත කරන්නට යාම තුළයි. පෙර ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිද අහම්බයන් නෙමෙයි. රාජපක්ෂ ආණ්ඩුව විදේශ ණය පිරමිඩයක් බිහි කළේ එවකට පැවති තත්ත්වයන් තුළ උපාය මාර්ගයක් ලෙසයි. මේ ආකාරයෙන් පසුපසට ගියොත් අපට නිදහසට පෙර කාලය දක්වාම හා හැකියි.

වත්මන් ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය නිවැරදිව තේරුම් නොගෙන අර්බුදයට පිළියම් කළ නොහැකියි. සැලසුමක ඉලක්කය විය යුත්තේ ඉතිහාසයේ නිශ්චිත තැනකට ආපසු ගොස් නැවත මුල සිට පටන් ගැනීමයි. මේ තැන කොතැන විය යුතුද?

ලංකාවේ ධනවාදය යුරෝපයේ මෙන් ඓන්ද්‍රීය ලෙස වර්ධනය වූවක් නෙමෙයි. එය ඉංග්‍රීසින් විසින් ආනයනය කර පැල කරනු ලැබූවක්. දහනවවන සියවස වන තුරුද ලංකාවේ තිබුණේ වැඩවසම් ආකෘතියක ක්‍රියාත්මක වූ ග්‍රාමීය ස්වයංපෝෂිත ආර්ථිකයක්. එහි ගනුදෙනු තිබුණත් එම ගනුදෙනු සඳහා මුදල් භාවිතා වුනේ ඉතා අඩුවෙන්. යුරෝපයේ වුවද මේ තත්ත්වය වෙනස් වී ඒ වන වැඩි කාලයක් ගත වී තිබුණේ නැහැ.

යුරෝපීයයන් ලංකාවට පැමිණෙන කාලය දක්වාත්, ඉන් පසුව කාලයක් යන තුරුත්, රටේ ඉඩම් ඇතුළු ස්වභාවික සම්පත් වල අයිතිය තිබුණේ රජු සතුවයි. එහෙත්, මේ ස්වභාවික සම්පත් භුක්ති විඳීමට රටවැසියන්ට විශාල බාධාවන් තිබුණේ නැහැ. ඔවුන්ගේ එදිනෙදා ජීවිත වලට, එදිනෙදා ආර්ථිකයට රජයේ හෝ රජුගේ බලපෑමක් නොතිබුණු තරම්. 

ඉතිහාසය පුරාම ලංකාව ලෝකය සමඟ ගනුදෙනු කළත් ඒ ගනුදෙනු වලට සාමාන්‍ය පුද්ගලයින් සම්බන්ධ වූයේ නැහැ. ඒ වගේම අපනයනය කළානම් කළේ කිසියම් ස්වභාවික සම්පතක්. අලි ඇතුන් අපනයනය කර අශ්වයින් ආනයනය කළා. මුතු හා මැණික් අපනයනය කර රන් රිදී ආනයනය කළා. කුරුඳු අපනයනය කළත් වාණිජ බෝගයක් සේ කුරුඳු වගා කිරීම සිදු වුනේ පසුකාලීනවයි. මුලදී එයද ස්වභාවික සම්පතක්. 

ලංකාවේ පැරණි ගැමි ආර්ථිකය පදනම්ව තිබුණේ කම්මැලි ජීවන රටාවක් මතයි. වී වගා කිරීමෙන් පසු වී පැහෙන තුරු කරන්න ලොකු වැඩක් තිබුණේ නැහැ. අනෙකුත් බෝග ගණනාවක්ම පිළිවෙලකට වගා කිරීමක් සිදු වුනේ නැහැ. මිනිස්සු පුරුදු වී හැටියේ හැදෙන හෝ ලැබෙන දෙයක් කා පාඩුවේ ඉන්නයි. ඉංග්‍රීසින් විසින් කළේ ලංකාවේ කාලයක් තිස්සේ පැවති සම්ප්‍රදායික ආර්ථිකය එලෙසම තිබියදී එයින් බාහිරව වාණිජ බෝග මත පදනම් වූ සමාන්තර ආර්ථිකයක් ඇති කිරීමයි.

ලංකාවට ධනවාදය පැමිණියේ මේ සමාන්තර ආර්ථිකය හරහායි. ලාංකිකයන්ගේ පැත්තෙන් මුඩුබිම් පණත ආදිය අසාධාරණ ක්‍රියාවන් සේ සැලකිය හැකි වුවත්, ඉංග්‍රීසින්ගේ පැත්තෙන් බැලූ විට ඔවුන් කළේ ඒ වන විට ප්‍රයෝජනයට නොගැනුණු සම්පත් නිෂ්පාදනය සඳහා ප්‍රයෝජනයට ගැනීමක්. රජයේ අයිතියට යටත් කෙරුණු මේ ඉඩම් යුරෝපයේ සිට පැමිණි පෞද්ගලික ව්‍යවසායකයින් විසින් රජයෙන් මිල දී ගත්තා. ඉංග්‍රීසි ආණ්ඩුව කෙසේ වෙතත්, මේ ව්‍යවසායකයින් ඉඩම් බලහත්කාරයෙන් අයිතිකරගත්තේ නැහැ. 

අවදානමක් ගෙන තමන්ගේ මුදල් ලංකාවේ ආයෝජනය කළ මේ ව්‍යවසායකයින්ට නිෂ්පාදනය සඳහා අවශ්‍ය ශ්‍රමය රට තුළින් මිල දී ගත හැකි වූයේ නැහැ. ලාංකිකයින් තුළ සම්ප්‍රදායික ආර්ථිකයෙන් මිදෙන්න කැමැත්තක් නොතිබීම ඊට හේතුවයි. ඔවුන් ලැබෙන හෝ හැදෙන දෙයක් කා සතුටින් හිටියා. බැහැරින් ලංකාවට ප්‍රාග්ධනය ගෙන ආ ඔවුන්ට බැහැරින් ශ්‍රමයද ගෙන එන්නට සිදු වුනා. 

ලංකාවේ වාණිජ බෝග ව්‍යාප්ත වෙද්දී බැහැරින් ගෙන ආ ශ්‍රමය නිසා ආහාර ප්‍රශ්නයක් ඇති වුනා. ලංකාවේ පැවති සම්ප්‍රදායික ග්‍රාමීය ආර්ථිකය තුළ හුවමාරු කළ හැකි අතිරික්තයක් තිබුණේ නැහැ. ඒ නිසා, සමාන්තර ආර්ථිකයට අවශ්‍ය හාල් ඇතුළු ආහාර ආනයනය කරන්න සිදු වුනා. ඒ සඳහා අවශ්‍ය වූ විදේශ විණිමය එම ආර්ථිකය තුළින්ම උපයා ගත හැකි වූ නිසා මෙය ප්‍රශ්නයක් වූයේ නැහැ. එයින් බාහිරව සම්ප්‍රදායික ග්‍රාමීය ආර්ථිකය එලෙසම පැවතුනා. මේ ආර්ථිකයේ නෂ්ඨාවශේෂ අනූව දශකයේ  මුල් කාලය පමණ දක්වා දැකිය හැකිව තිබුණා.

ලංකාවේ වත්මන් රජයේ පූර්වගාමියා වූ ඉංග්‍රීසි ආණ්ඩුවේ ආදායම් වලින් වැඩි කොටසක් එකතු වූයේ ආනයන හා අපනයන බදු ලෙසයි. සම්ප්‍රදායික ග්‍රාමීය ආර්ථිකයෙන් රජය නඩත්තු කිරීමට එතරම් දායකත්වයක් ලැබුණේ නැහැ. එම ආර්ථිකයට රජයෙන් සැලකිය යුතු ප්‍රතිලාභයක් ලැබුණේත් නැහැ. මාර්ග සංවර්ධනය වැනි අංශ වලදී ඔවුන්ට ලැබුණු බැහැර කළ නොහැකි වාසි වෙනුවෙන් යම් බද්දක් රජයට ගෙවන්න සිදු වුනා. එහෙත්, මේ සම්ප්‍රදායික ආර්ථිකය බොහෝ දුරට වාණිජ ආර්ථිකයට සමාන්තරව නිදහසේ ක්‍රියාත්මක වූ වෙනම ආර්ථිකයක්. 

ගනුදෙනු අඩු, ශ්‍රම විභජනය අඩු, ලංකාවේ සම්ප්‍රදායික ආර්ථිකයට සාපේක්ෂව වාණිජ ආර්ථිකය වඩා කාර්යක්ෂම වූ නිසා සම්ප්‍රදායික ආර්ථිකය එක තැන පල් වෙද්දී වාණිජ ආර්ථිකය දිනෙන් දින දියුණු වුනා. මේ හරහා දේශීය ධනවතුන්ද ගොඩ නැගුනා. ලාංකිකයන්ද තමන්ගේ ශ්‍රමය විකිණීමට පටන් ගත්තා. වාණිජ ආර්ථිකය විසින් ටිකෙන් ටික සම්ප්‍රදායික ආර්ථිකය ගිල ගත්තා. එහෙත්, මේ කටයුත්ත සම්පූර්ණ වී ලංකාවේ සම්ප්‍රදායික ආර්ථිකය මුළුමනින්ම දිය වී ගියේ නිදහස ලබා දශක හතරක් පහක් ගියාට පසුවයි. 

වාණිජ ආර්ථිකය ප්‍රසාරණය වෙද්දී, ධනවාදය දියුණු වන විට සාමාන්‍යයෙන් සිදු වන පරිදි, ආදායම් විෂමතා ඉහළ ගියා. ආදායම් හිනිපෙතේ ඉහළින්ම සිටියේ ඉංග්‍රීසීන්. ඒ ඔවුන් ලාංකිකයින් සතු ශ්‍රමය සූරා කෑ නිසා නොවූවත් කවර හෝ නොදන්නා හේතුවක් නිසා ඉංග්‍රීසින් තමන්ට වඩා හොඳින් ජීවත් වන බව ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ට පෙනුනා. ඉංග්‍රීසින්ගේ පසුව මේ ධුරාවලියේ උඩින්ම සිටියේ වඩාත් හොඳින්ම ඉංග්‍රීසීන්ව අනුකරණය කිරීමට සමත් වූ "කළු සුද්දන්". සිංහලයන්ගේ වචන වලින් ඔවුන් ඉංග්‍රීසින්ට කත් ඇදපු අය. 

ඉංග්‍රීසීන්ට කත් ඇදීම කියන්නේ රටේ ජීවත් වූ ස්වදේශිකයන් හා යුරෝපීයයන් නොවූ විදේශිකයින් රට තුළ සමාන්තරව ගොඩ නැගෙමින් තිබුණු ධනවාදී ආර්ථිකය තුළට මුලින්ම අන්තර්ග්‍රහණය වූ ආකාරයයි. ඔවුන් දේශීය නිෂ්පාදන එකතු කරගෙන කරත්ත (කත්) වලින් ඇද සුද්දන්ට විකිණුවා. කරත්ත පාරවල් හැදී නොතිබුණු තැන් වල කදවල් උරිස්සේ තබාගෙන අදින්නත් ඇති. මේ සැපයුම් වෙනුවෙන් ඔවුන්ට සෘජුව මුදල් ලැබුණා. මෙය සම්ප්‍රදායික ආර්ථිකය තුළ සිදු වූ සෘජු භාණ්ඩ හා සේවා හුවමාරුවෙන් වෙනස් වූ අලුත් තත්ත්වයක්.

සමාජයේ යම් ස්ථරයක් වඩා හොඳින් ජීවත් වන විට ඔවුන් භුක්ති විඳින සම්පත් වලට වෙනත් අයට ආශාවක් ඇති වීම සාමාන්‍ය දෙයක්. මේ පිරිස රටට පිටින් පැමිණි, තමන්ට වඩා බාහිර පෙනුමෙන් වෙනස්, විදේශිකයින් පිරිසක් වූ විට ඔවුන් සැප විඳින්නේ තමන් සතු දෙයක් ලබා ගනිමින් යන හැඟීමද ඇති වෙනවා. 

සමාජවාදී අදහස් ලංකාවේ ජනප්‍රිය වීමට මේ තත්ත්වය බලපෑවා. අධිරාජ්‍ය විරෝධය හා මාක්ස්වාදීන්ගේ සූරාකෑම පිළිබඳ අදහස එකිනෙක හා හොඳින් පෑහුනා පමණක් නොව මහ පොළොවේ දැකිය හැකි වූ තත්ත්වයන් සමඟද පහසුවෙන් ගලපා ගත හැකි වුනා. එහෙත් ඇත්තටම ඉංග්‍රීසින් විසින් භුක්ති වින්දේ ඔවුන් විසින් ජනනය කරගත්, ඔවුන් විසින් නිර්මාණය කරගත් සම්පත් මිසක් වෙනත් අයෙකුගෙන් පැහැරගත් සම්පත් නෙමෙයි. ඒ නිසා, සුද්දා එළවීමෙන් පසුව ඔවුන් අතින් සිදු වූ සම්පත් ජනනයද නැවතුනා.

මිනිස්සු බලාපොරොත්තු වී සිටියේ එවැන්නක් නෙමෙයි. ඔවුන් බලා සිටියේ තමන්ගේ කම්මැලි ජීවන රටාව එලෙසම පවත්වා ගන්නා අතර සුද්දා එළවා සුද්දා භුක්ති විඳින සම්පත් බෙදා ගන්නයි. එය කළ හැකි බව සමාජවාදීන් විසින් මිනිස්සුන්ට ඒත්තු ගැන්වුවා. සමාජවාදී අදහස් ලංකාවේ ජනප්‍රිය වුනා.

කෙසේ වුවත්, නිදහසින් පසු ලංකාවේ පාලන බලය ලැබුණේ සමාජවාදය වෙනුවෙන් සෘජුව පෙනී සිටි පක්ෂ වලට නෙමෙයි. එජාපය වැනි පක්ෂ වලටයි. එයට හේතු වූයේ එජාපය විසින් සාර්ථක ලෙස සමාජවාදී අදහස් අභ්‍යන්තරීකරණය (internalize) කර ගැනීමයි. සුද්දා එළවීමෙන් පසු සුද්දා නිෂ්පාදනයට එකතු කළ දෙයද අහිමි වන බව එජාපය තේරුම් ගත්තා. නිදහස ලබාගත් පමණින් සමාජයේ පහළ ස්ථර වලට වඩා හොඳ ජීවන තත්ත්වයක් පවත්වා ගැනීමට උදවු කිරීම පිණිස නිදහසේ සල්ලි බෙදන්න පුළුවන්කමක් ස්වදේශිකයන්ගේ රජයකට තිබුණේ නැහැ. 

සමාජවාදය වෙනුවෙන් සෘජුව පෙනී සිටි පක්ෂ වලට වැඩි බලයක් ලැබුණු අවස්ථා වල යම්තාක් දුරකට ඔවුන් කළේ දේශීය ධනවතුන් සතු දේ රජය සතු කර ගෙන සහනාධාර සේ බෙදා දීමයි. මෙය සෘජුව හෝ වක්‍රව සිදු වුනා. මෙයින් සමාජයේ ඉහළ ස්ථර අසතුටු වුවත්, පහළ ස්ථර සතුටු කළ හැකි වුනා. එජාපයට සමාජයේ ඉහළ ස්ථරද සතුටු කරන්න අවශ්‍ය වුවත්, සර්වජන ඡන්ද ක්‍රමය යටතේ පහළ ස්ථර වල සහයෝගය නොමැතිව ඔවුන්ට බලය ලබා ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. එජාපය මේ කණ්ඩායම් දෙකම සතුටු කළ හැකි ක්‍රමයක් හොයා ගත්තා. ඒ ඉහළ ස්ථර පීඩාවට පත් නොකර, පහළ ස්ථරද සතුටු කළ හැකි ක්‍රමයක්. ණය මත දුවන සුබසාධන ආර්ථිකය මේ ක්‍රමයයි.

දළ ප්‍රකාශයක් ලෙස වත්මන් ක්‍රමය ලංකාවට හඳුන්වා දුන්නේ කේන්සියානු මතවාද කෙරෙහි විශ්වාසය තැබූ ජේආර් ජයවර්ධනයි. එහෙත් මේ ක්‍රමය ඔහු ලංකාවට හඳුන්වා දුන්නේ හැත්තෑ හතේදී නෙමෙයි. හතලිස් හතේදී මුදල් ඇමති වූ වහාම ජේආර් වැඩ පටන් ගත්තා. රාජපක්ෂලා ජේආර්ගේ ක්‍රමයේ මෑතකාලීන ප්‍රකාශකයෝ.

මෙයින් අදහස් වන්නේ ජේආර් නොවන්නට ලංකාවේ විකල්ප ආර්ථික ඉතිහාසයක් නිර්මාණය විය හැකිව තිබුණා කියන එක නෙමෙයි. ඒ ජේආර් කියන්නේත් ඓතිහාසිකව සිදු වූ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් මිස අහම්බයක් නොවන නිසයි. ජේආර්ගේ ක්‍රමය ලංකාවේ සමාජ-ආර්ථික පරිණාමය තුළ ඉතිරි වූ, පැවති බාහිර තත්ත්වයන් හමුවේ වඩාත්ම සාර්ථක විය හැකි වූ ක්‍රමයයි. එයට ප්‍රතිපක්ෂව පැවති ජාතික සමාජවාදයටද යම් සාපේක්ෂ වාසියක් තිබුණා. එහෙත්, වැඩි වාසි තිබුනේ කේන්සියානු ආකෘතියටයි.

සුබසාධනයට මුල් තැන දුන් ජාතික සමාජවාදී ආර්ථික ආකෘතිය වගේම කේන්සියානු ආකෘතියද බොහෝ ලාංකිකයින්ගේ අවිඥානික මනෝභාවය සමඟ හොඳින් පෑහුනා. වාණිජ බෝග වගාව සඳහා ලංකාවට ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන්වන්න සිදු වුනේ හැමදාම මහන්සි වී වැඩ කරන්න සිදුවන එවැනි රැකියාවකට සිංහලයින් කැමති නොවූ නිසා. වී ගොවිතැන් හේන් ගොවිතැන් කරද්දී ලොකු නිවාඩු කාල ලැබෙනවා. වාණිජ බෝග වගාවේදී එවැනි ඉන්ටවල් ලැබෙන්නේ නැහැ. නිදහස ලැබෙන කාලයේදීත්, ඉන් පසුවත් බොහෝ ලාංකිකයන්ට අවශ්‍ය වූයේ සම්ප්‍රදායික වී ගොවිතැන කරද්දී මෙන් ටික කාලයක් වැඩ කර වැඩි කාලයක් විවේක ගන්නා අතරම සුද්දන් මෙන් ඉහළ පරිභෝජන මට්ටමක්ද පවත්වා ගන්නයි. මෙය සිදු විය හැකිව තිබුණේ රජය විසින් සහනාධාර ලබා දෙන්නේනම් පමණයි.

ජාතික සමාජවාදී ආර්ථික ආකෘතිය තුළ මේ සහනාධාර තිබුණා. එහෙත්, ආර්ථික වර්ධනය තිබුණේ නැහැ. සහනාධාරද සමඟ ආර්ථිකයේ සමතුලිතතාවය පවත්වා ගන්න යාමේදී ආර්ථික වර්ධනය අඩාල වෙනවා. පොදුවේ සෝවියට් දේශය ඇතුළු සමාජවාදී රටවල සිදු වුනේ මෙයයි. කේන්සියානු විකල්පය ක්‍රියාත්මක කළ අයටද මේ සහනාධාර කප්පාදු කරන්න හැකි වූයේ නැහැ. එසේ කරන්න උත්සාහ කළ අවස්ථා වලදී ඔවුන්ට දේශපාලන බලය අහිමි වී එම බලය ජාතික සමාජවාදීන් අතට ගියා. ඒ නිසා, ඔවුන්ට ජාතික සමාජවාදීන් සමඟ තරඟ කරමින් දේශපාලන බලය නඩත්තු කළ හැකි වූයේ සහනාධාරද දිගටම නඩත්තු කරන අතරම ආර්ථික වර්ධනයද පවත්වා ගන්නා විකල්පයක් තුළින් පමණයි. එහෙත් ප්‍රශ්නය මේ ඉලක්ක දෙකම එකවර ලඟා කරගන්නා අතර ආර්ථිකයේ සමතුලිතතාවයද නඩත්තු කළ නොහැකි වීමයි. 

සුබසාධනය මෙන්ම ආර්ථික වර්ධනයද පවත්වා ගන්නා අතර කම්මැලි ජීවන රටාවටද බාධා නොවන ක්‍රමයක් කාට වුනත් ආකර්ශනීයයි. එහෙත්, රජයකට සම්පත් නිර්මාණය කරන්න බැහැ. රජයකට බෙදා දිය හැක්කේ කාගෙන් හෝ ගන්නා දෙයක්  පමණයි. ලංකාවේ ආණ්ඩු මේ නැති සම්පත් ලබා ගත්තේ අනාගත පරපුරේ වියදමින්. ඉදිරියේදී නිවැරදි වීමට නියමිතව ඇත්තේ මෙය දිගින් දිගට සිදු වීමේදී ගොඩ නැගුනු අසමතුලිතතාවයයි.

මේ සමතුලිතතාවය දිගටම පවත්වා ගත නොහැකි බව දැන් කාට කාටත් පැහැදිලි වී තිබෙනවා. එහෙත් විසඳුම ජාතික සමාජවාදය නෙමෙයි. එය අත්හදා බලා අසාර්ථක වූ ක්‍රමයක්. ජාතික සමාජවාදය හරහා අසමතුලිතතා අඩු කර ගන්න පුළුවන්. එහෙත් ඒ එක්කම මෙතෙක් පවත්වාගත් ආර්ථික වර්ධනයද අහිමි වෙනවා. අසමතුලිතතා තිබුනත් කේන්සියානු ක්‍රමය තුළ ආර්ථිකය වර්ධනය වූ බව බැහැර කළ නොහැකියි. අවශ්‍ය වන්නේ මේ ආර්ථික වර්ධනය අහිමි කර නොගනිමින් අසමතුලිතතා බැහැර කළ හැකි ආර්ථික ප්‍රතිපත්තියක්.

මතු සම්බන්ධයි.

Monday, December 20, 2021

ගෑස් සමාගම් වලට එරෙහි නාගානන්දගේ සටන


පෙර ලිපියේ අවසානයේ සඳහන් කළ පරිදි, විනිවිද පදනමේ මහලේකම් නාගානන්ද කොඩිතුවක්කු විසින් ලිට්‍රෝ හා ලාෆ්ස් ගෑස් සමාගම්, පාරිභෝගික අධිකාරියේ හා ප්‍රමිති කාර්යංශයේ වගකිවයුත්තන්, පාරිභෝගික ආරක්ෂණ හා වෙළඳ ඇමතිවරු, රජයේ තක්සේරුකරු, පොලිස්පති, නීතිපති ඇතුළු වගඋත්තරකරුවන් දහ දෙනෙකුට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. නඩුව තවදුරටත් අභියාචනාධිකරණයේ විභාග වන නමුත් රුවන් ප්‍රනාන්දු හා සම්පත් විජේරත්න විනිසුරුවරුන් විසින් දැනටමත් අතරමැදි තීන්දු කිහිපයක් ලබා දී තිබෙනවා.

දැනටමත් ලබා දී ඇති අතරමැදි තීන්දු අනුව වගඋත්තරකරුවන් වන ලාෆ්ස් හා ලිට්‍රෝ ගෑස් සමාගම් වලට මින් පසුව ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කළ හැක්කේ ප්‍රමිති කාර්යාංශයේ උපදෙස් අනුගමනය කරමින් ගෑස් සංයුතිය සිලින්ඩර වල ප්‍රදර්ශනය කිරීමෙන්, එම කාර්යාංශයේ උපදෙස් පරිදි අවශ්‍ය ප්‍රමාණයට එතිල් මර්කැප්ටන් එකතු කිරීමෙන් හා පාරිභෝගික අධිකාරිය විසින් නියෝග කරන වර්ණ සහිත ඇසුරුමක් යෙදීමෙන් පසුවයි. එමෙන්ම දැනට විකුණා තිබෙන විවෘත නොකළ ගෑස් සිලින්ඩර ආපසු ලබා ගෙන ඒ වෙනුවට අලුත් ගෑස් සිලින්ඩර ලබා දිය යුතුයි. විවෘත කර ඇති ගෑස් සිලින්ඩර ආපසු ලබා ගෙන ඒ වෙනුවට අලුත් ගෑස් සිලින්ඩර ලබා දීම සඳහා වැඩ පිළිවෙලක් පාරිභෝගික අධිකාරිය විසින් ඉතා ඉක්මණින් සකස් කළ යුතුයි.

උසාවි නිවාඩු කාලයෙන් පසු, ජනවාරි 26 දින නඩුව නැවත විභාගයට ගන්නවා. එහිදී සලකා බලන්නට නියමිත නාගානන්දගේ අනෙකුත් ඉල්ලීම් අතර ගෑස් ප්‍රමිතිය වෙනස් කිරීම නිසා ජීවිත හා දේපොළ හානි සිදු වූ පාරිභෝගිකයින්ට අදාළ ගෑස් සමාගම් විසින් වන්දි ලබා දීමට නියෝග කිරීම, බරපතල අපරාධ වරදක් කර ඇති එම ගෑස් සමාගම් වලට දඬුවම් පැමිණවීම, විශ්වාසය කඩකිරීම හා නොසැලකිල්ල පිළිබඳව ප්‍රමිති කාර්යාංශයේ සභාපති සිද්ධිකා සේනාරත්න, පාරිභෝගික අධිකාරියේ සභාපති ඩීඑම්එස් දිසානායක, වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන හා පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න යන අයට එරෙහිව අපරාධ පරීක්ෂණයක් කර නඩු පවරන මෙන් පොලිස්පතිට නියෝග කිරීම, රජයේ තක්සේරුකරු විසින් ඉහත වගඋත්තරකරුවන්ගේ වරදින් සිදු වී ඇති ජීවිත හා දේපොළ හානි පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් සිදු කර උසාවියට විස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් නියෝග කිරීම ඇතුළු තවත් ඉල්ලීම් ගණනාවක් තිබෙනවා.

නාගානන්ද කොඩිතුවක්කු පසුගිය ජනාධිපතිවරණයට තරඟ කරන බව බොහෝ කලින් දැනුම් දුන්නා. එහෙත් එය සිදු වුනේ නැහැ. පෙනෙන හැටියට කිසියම් පිරිසක් ඔහුව රැවටීමකට ලක් කළා. නාගානන්ද ඔවුන්ට රැවටුනා.

නාගානන්ද නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටිනවා. බටහිර ධනවාදී, ප්‍රජාතන්ත්‍රවාදී රටවල් පාලනය වන්නේ නීතියේ ආධිපත්‍යය යටතේ. එහෙත්, ලංකාවේ නීතියේ ආධිපත්‍යය හොඳින් ස්ථාපනය වී නැහැ. මේ පිළිබඳව බොහෝ ලාංකිකයින්ට පැහැදිලි අවබෝධයක්ද නැහැ. ධනවාදය, ප්‍රජාතන්ත්‍රවාදය වගේම නීතියේ ආධිපත්‍යයද ලංකාවේ ඓන්ද්‍රීය ලෙස වර්ධනය නොවූ, ඉංග්‍රීසීන් විසින් පැල කරනු ලැබූ සංකල්ප වීම ඊට හේතුව විය හැකියි. 

නීතියේ ආධිපත්‍යය තුළින් පමණක් ලංකාව ගොඩ දමන්න බැහැ. එහෙත්, නීතියේ ආධිපත්‍යය නැතිව ලංකාව ගොඩ දමන්නත් බැහැ. එය අනිවාර්ය, එහෙත් ප්‍රමාණවත් නැති, අවශ්‍යතාවයක්. ලංකාව ගොඩ දමන්න ධනවාදය මත පදනම් වූ, පුළුල් ආර්ථික දැක්මක් හා වැඩ පිළිවෙලක් අවශ්‍යයි. ඊට අමතරව ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය ස්ථාපනය කිරීමද අවශ්‍යයි. 

නාගානන්ද කොඩිතුවක්කු ආර්ථිකය ගැන කතා කරන තැනක් මගේ අවධානයට යොමු වී නැහැ. ඔහු හැම දෙයක් ගැනම කතා කරන්න අවශ්‍යත් නැහැ. නීතියේ ආධිපත්‍යය පිළිබඳව ඔහු ජනගත කරන මතය පිළිබඳව මට කිසිදු ගැටළුවක් නැහැ. 

ලංකාවේ සන්දර්භයේ නාගානන්ද සුවිශේෂී පුද්ගලයෙක්. එහෙත් ඇමරිකාවේ නාගානන්ද වැනි පුද්ගලයින් විශාල ප්‍රමාණයක් ඉන්නවා. මහජන නියෝජිතයින් සේ සමාජය තුළින් මතු වන්නේ එවැනි අයයි.

ලංකාවේ ගෑස් වෙළඳපොළේ ප්‍රශ්නය ගැන මම පෙර ලිපියේ තරමක් විස්තරාත්මක ලෙස කතා කළා. මේ වෙළඳපොළ තරඟකාරී හෝ නිදහස් වෙළඳපොළක් නෙමෙයි. කර්මාන්තය තරඟකාරී නොවීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ රජය මේ ව්‍යාපාරය තුළ සිටීමයි. දෙවන හේතුව රජය විසින් මිල නියාමනය කිරීමයි. කෙසේ වුවද, එම සාධක දෙක ඉවත් වුවද මේ කර්මාන්තයේ පූර්ණ තරඟකාරිත්වයක් ඇති වන එකක් නැහැ. එයට හේතු ගණනාවක් තිබෙනවා.

ධනවාදය තුළ හැම නිදහස් වෙළඳපොළකම පූර්ණ තරඟකාරීත්වයක් ඇති වන්නේ නැහැ. එවැන්නක් බලෙන් ඇති කිරීමෙන් කාර්යක්ෂමතාවය අඩු වනවා මිස යහපතක් වෙන්නේත් නැහැ. කිසියම් කර්මාන්තයක පූර්ණ තරඟකාරීත්වයක් ඇති වන්නේ ඕනෑම කෙනෙකුට ඉතා කෙටි කලකින් එම කර්මාන්තයට ඇතුළු විය හැකිනම් පමණයි. එමෙන්ම ඕනෑම කෙනෙකුට අවශ්‍ය වූ විට කර්මාන්තය හැර යන්නත් හැකි විය යුතුයි. මේ සඳහා අදාළ තාක්ෂනය සරල එකක් විය යුතුයි. අවශ්‍ය මූලික ප්‍රාග්ධනය ඉතා අඩු විය යුතුයි. බොහෝ කර්මාන්ත හා අදාළව මේ අවශ්‍යතා වලින් එකක් හෝ කිහිපයක් සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා, ධනවාදී රටක වුවත් කතිපයාධිකාර හැදෙනවා.

ලංකාවේ ගැස් කර්මාන්තයෙන් රජය ඉවත් වී මිල නියාමනය කිරීමෙන්ද ඉවත් වුනොත් කර්මාන්තය මීට වඩා තරඟකාරී වෙයි. එහෙත්, එය පූර්ණ තරඟකාරී වෙළඳපොළක් වෙන එකක්නම් නැහැ. කතිපයාධිකාරී වෙළඳපොළක් ඇති විට සැපයුම්කරුවන්ට කාටලයක් සේ ක්‍රියා කර සුපිරි ලාබ ඉපැයීමේ හැකියාවක් තිබෙනවා. ඒ නිසා, මෙවැනි වෙළඳපොළක් රජයේ යම් නියාමනයකට ලක් වීමේ වැරැද්දක් නැහැ. ඊට අමතරව ගෑස් කර්මාන්තය රජය විසින් නියාමනය කිරීම සාධාරණීකරනය කෙරෙන තවත් හේතු තිබෙනවා. හැබැයි මේ නියාමනය කියන එකෙන් අදහස් කරන්නේ මිල නියාමනය නෙමෙයි.

ලංකාවේ ගෑස් පාරිභෝගිකයින් බොහෝ දෙනෙක් මහ ලොකු පෝසත්තු නෙමෙයි. ගොඩක් ගෙවල් වල තියෙන්නේ එක ගෑස් සිලින්ඩරයක් පමණයි. මේ සිලින්ඩරය වෙනුවෙන් මුලදීම ඔවුන් මුදල් ගෙවනවා. ගිවිසුම අනුව නීතියෙන් එය තැන්පතුවක් වෙන්න පුළුවන්. ඉන් පසුව, මේ පාරිභෝගිකයින් විසින් දිගින් දිගටම කරන්නේ තමන් දැනටමත් මිල දී ගෙන තිබෙන හිස් සිලින්ඩරයට ගෑස් පුරවා ගන්න එකයි. එහිදී සිලින්ඩරය මාරු වීම වැදගත් කරුණක් නෙමෙයි.

මේ පාරිභෝගිකයින් බොහෝ දෙනෙක් දන්නේ සිලින්ඩරයේ "ගෑස්" තිබෙන බව පමණයි. ඒ ගෑස් ප්‍රොපේන්ද, බියුටේන්ද, නැත්නම් ඔය දෙකේ මිශ්‍රණයක්ද කියන එක ඒ අය දන්නේ නැහැ. ගෑස් එක ලිපට සම්බන්ධ කළාම පත්තු වෙනවානම් එච්චරයි. 

මේ විදිහට සල්ලි දීලා ගෙදර අරගෙන යන සිලින්ඩරේ පුපුරලා මැරෙන්න පුළුවන් කියලා දන්නවානම් ඔය ගොඩක් අය ගෑස් සිලින්ඩරේ මිල දී ගන්නේ නැහැ. මෙතෙක් කාලයක් එසේ වී නැති බව මේ ගොඩක් අය අත්දැකීමෙන් දන්නවා. අලුතෙන් ගෑස් සිලින්ඩරයක් ගන්නේ ඒ විශ්වාසය මත පදනම්ව. සල්ලි ගෙවන්නේ ගෑස් වලට විතරක්ම නෙමෙයි. ගෑස් සිලින්ඩරේ පුපුරලා විනාශයක් සිදු නොවන බවට වන සහතිකයද වෙනුවෙන්. එය ලිඛිත ගිවිසුමක කොටසක් වීම හෝ නොවීම වැදගත් කරුණක් නෙමෙයි. 

මෙවැනි තත්ත්වයක් යටතේ ගෑස් සමාගම් විසින් හිටිවනම ගෑස් සිලින්ඩරයේ සංයුතිය වෙනස් කිරීම සාපරාධී වගකීම් කඩකිරීමක්. තමන් විකුණන භාණ්ඩය කලින් එකම නොවේනම්, එය පාරිභෝගිකයන්ට නිරීක්ෂණය කිරීමේ හැකියාවක්ද නැත්නම්, ඒ බව ඔවුන්ට දැනුම් නොදීම පැහැදිලි වංචාවක්. ඒ වංචාව නිසා ජීවිත හා දේපොළ හානි සිදු වීමට ඉඩ ඇති නිසා මෙය වංචාවකට අමතරව අපරාධයක්ද වෙනවා.

අපි හිතමු අදාළ සමාගම් විසින් එහි සංයුතිය ප්‍රදර්ශනය කළාම කියලා. මෙයද ප්‍රමාණවත් නැහැ. අසූවයි විස්ස පණහයි පණහ කළා කිවුවා කියලා බොහෝ දෙනෙක්ට එහි අතුරු ප්‍රතිඵල ගැන තේරුම් ගන්න අමාරුයි. අනෙක් අතට ඔය කියන සංයුතිය ඒ විදිහටම තියෙනවද කියලා ගෙදර ගිහින් පරීක්ෂා කරන්න විදිහකුත් නැහැ. 

මේ වගේ අවස්ථාවක යම් නියාමනයක් අනිවාර්යයෙන්ම සිදු විය යුතුයි. එයින් නිදහස් ගනුදෙනුවක් වෙන්න තිබෙන ඉඩකඩ වැඩි වෙනවා මිසක් නිදහස් ගනුදෙනුවකට කිසිදු බාධාවක් වෙන්නේ නැහැ. රජය විසින් අහඹු නියැදි පරීක්ෂාවක් කරලා ගෑස් සංයුතිය කියන මට්ටමේම තිබෙන බව තහවුරු කළොත් එයින් වෙන්නේ භාණ්ඩය ගැන පාරිභෝගිකයා සතු දැනුම ඉහළ යන එක පමණයි. ඊට අමතරව, ගෑස් සිලින්ඩරයක් පිපිරීමේ හෝ ලීක් වීමේ අවදානම (සම්භාවිතාව) ආදිය පිළිබඳවද සැපයුම්කරු විසින් නිශ්චිත ලෙස පාරිභෝගිකයාව දැනුවත් කළ යුතුයි. එය සිදු නොවේනම් නියාමකයා විසින් එය සිදු වන බවට වග බලාගත යුතුයි. අවශ්‍ය ප්‍රමිතිය පවත්වා නොගැනීම නිසා පාරිභෝගිකයාට හානියක් සිදු වුවහොත් සැපයුම්කරු විසින් හානි පූරණය කළ යුතුයි.

රජයට නියාමකයෙකු ලෙස කළ හැකි හා කළ යුතු කාර්ය භාරයක් තිබෙනවා. මේ කාර්යය නිදහස් ගනුදෙනු වලට තිබෙන ස්වභාවික බාධාවන් ඉවත් කර නිදහස් ගනුදෙනු වලට ඉඩ සැලසීම මිසක් නිදහස් ගනුදෙනු වලට බාධා කිරීම නෙමෙයි.

Saturday, December 18, 2021

ගෑස් බෝම්බ, මධ්‍යගත සැලසුම් හා නියාමනය

ලංකාවේ ගෑස් සිලින්ඩර වල ප්‍රමිතිය හිටි හැටියේ වෙනස් කිරීම නිසා ඇති වූ ප්‍රශ්නය ගැන නැවත ලියන්න අවශ්‍ය නැහැනේ. ප්‍රශ්නය කවුරුත් දන්නවා. මිනිස්සු කඩේ ගිහින් ගෑස් සිලින්ඩර මිල දී ගන්නවා. ඒ වෙනුවෙන් මුදල් ගෙවනවා. ඒ තමන්ගේ කැමැත්තෙන්. මේ විදිහට කාගෙවත් බලපෑමක් නැතිව, තමන්ගේ කැමැත්තෙන් ගනුදෙනුවක් කරලා ගෙදර අරගෙන යන ගෑස් සිලින්ඩරේ පිපිරිලා ජීවිත හානියක් හෝ වෙනත් හානියක් සිදු වුනොත් එහි වැරැද්ද තියෙන්නේ කොහේද? මේ වගේ අවස්ථාවක රජය මැදිහත් විය යුතුද? එසේනම් ඒ මැදිහත්වීම කවර ආකාරයේ මැදිහත්වීමක් විය යුතුද?

ගොඩක් වෙලාවට අපට දැකිය හැක්කේ මිනිසුන් අතර සිදුවන නිදහස් ගනුදෙනු වලට රජය මැදිහත් වීම නිසාම ඇති වන ප්‍රශ්න. ලංකාව වගේ අඩුවෙන් ධනවාදී වැඩියෙන් සමාජවාදී රටවල මේ තත්ත්වය බොහෝ විට දැකිය හැකියි. හොඳම මෑතකාලීන උදාහරණය රසායනික පොහොර තහනම. රසායනික පොහොර තහනම නිසා ඇති වූ ප්‍රශ්න මේ වෙද්දී එම ප්‍රශ්න ඇති කළ පාර්ශ්ව විසින්ම තේරුම් ගෙන තිබෙන නිසා අපි ඒ ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ.

මේ තරම් අවුලක් වුනේ මිනිස්සු ගොවිතැන් කිරීමේදී තමන්ගේ වගාවන්ට යෙදිය යුතු පෝර මොනවාද කියන එක පමණක් රජය විසින් තීරණය කරන්න යාම තුළයි. ඒ වැඩෙන් පමණක් ඔය තරම්ම අවුලක් වුනානම්, මිනිස්සු තමන්ගේ ඉඩම් වල වගා කළ යුත්තේ මොනවාද, එක් එක් භෝගය වැවිය යුතු ඉඩම් ප්‍රමාණය කොපමණද ආදී කුදු මහත් හැම දෙයක්ම රජයේ මධ්‍යගත සැලසුමක් යටතේ තීරණය වන තත්ත්වයක් යටතේ සිදු විය හැකි විනාශය කාටවත් හිතාගන්නවත් පුළුවන්ද? හැබැයි වැඩේ කියන්නේ තමන් බලයට පැමිණ එවැනි මධ්‍යගත සැලසුමක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන අය තමයි රසායනික පොහොර තහනමට විරුද්ධව වැඩිපුර කතා කළේ සහ කරන්නේ.

මධ්‍යගත සැලසුම් ක්‍රමයකට කවදාවත් වෙළඳපොළ තරම් කාර්යක්ෂම වෙන්න බැහැ. අපි හිතමු රටේ එක් එක් ගොවියා සතු ඉඩමේ වැවිය යුතු බෝග හා එම බෝග වර්ග වෙනුවෙන් ඉඩම වෙන් කළ යුතු ආකාරය රජය විසින් තීරණය කරනවා කියලා. මේක විහිළුවක් නෙමෙයි. බලයට පත් වෙන්න අපේක්ෂා කරන ලංකාවේ දේශපාලන පක්ෂයක නිල කෘෂිකාර්මික ප්‍රතිපත්තිය. 

දැන් මේ වගේ වැඩක් සාර්ථක වෙන්නනම් එක් එක් ඉඩමේ විවිධ කොටස් වල හොඳින්ම වැවෙන බෝගය පිළිබඳව ඉඩම් හිමියා සතු දැනුමට නොඅඩු දැනුමක් රජය සතුව තිබිය යුතුයි. ඒ දැනුම රජයට ලබා ගත හැක්කේ විශාල පිරිසක් යොදවා විශාල තොරතුරු ප්‍රමාණයක් එකතු කිරීමෙන්. ඒ වගේම, මේ තොරතුරු නිරන්තරයෙන් යාවත්කාලීන කරන්නත් වෙනවා. හැබැයි එහෙම කරලත් ඉඩමක ජීවත් වෙන ගොවියෙකු ක්ෂණිකව දැන ගන්නා දෙයක් රජයට ඊට කලින් දැන ගන්න අමාරුයි. පොඩි හෝ කාල පමාවක් සිදු වෙනවා. ඒ නිසා, මධ්‍යගත සැලසුමක් කිසි විටෙකත් ප්‍රසස්ථ සැලසුමක් වෙන්නේ නැහැ.

මධ්‍යගත සැලසුමක් කිසි විටෙකත් ප්‍රසස්ථ සැලසුමක් නොවන නිසා එවැනි සැලසුමක් හා අනුගත නොවීම තමන්ට වාසිදායක බව ඉතා ඉක්මණින් ගොවීන්ට තේරෙන්න පටන් ගන්නවා. එවිට ඔවුන් සැලසුමෙන් පිට පැන තමන්ගේ හිතු මනාපයට වැඩ කරන්න උත්සාහ කරනවා. එසේ නැතත්, මධ්‍යගත සැලසුම ඇත්තටම හොඳ එකක් වුවත්, හැම ගොවියෙක්ම තමන්ගේ කැමැත්තෙන් එයට අනුගත වන්නේ නැහැ. තමන්ට හොඳයි කියා හිතෙන විදිහට කටයුතු කරමින් රජය විසින් බලහත්කාරයෙන් තමන් මත පටවන සැලසුමෙන් පිට පනින්න උත්සාහ කිරීම මිනිස් ස්වභාවය අනුව සිදු වන දෙයක්. 

කෘෂිකර්මයෙන් පිටතට ගියොත් මේ සඳහා හොඳම මෑතකාලීන නිදර්ශනය කෝවිඩ් එන්නත්කරණය. වඩා ධනවාදී රටවල පවා මේ කාරණයේදී මධ්‍යගත සැලසුමක් යටතේ රාජ්‍ය බලහත්කාරය ක්‍රියාත්මක වෙනවා. වැඩි පිරිසක් එන්නත්කරණය කිරීම කෝවිඩ් සඳහා හොඳම විසඳුම වෙන්න පුළුවන්. නමුත් ඔය කතාව හැමෝම පිළි ගත යුතුද? තමන්ට එන්නත  අනවශ්‍යයයි සිතන කෙනෙක් එන්නත විද ගත යුතුද?

මධ්‍යගත සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී මතුවන දෙවන හා ප්‍රධාන ප්‍රශ්නය ඕකයි. සැලසුම ඇත්තටම හොඳ එකක් වුනත්, රටක ජීවත් වන බොහෝ දෙනෙක් එවැනි සැලසුමකට අනුගත වෙන්න කැමති නැහැ. මෙවැනි සැලසුම් වල බොහෝ විට පැහැදිලි අඩුපාඩු තිබෙන නිසා එම පිරිස තවත් වැඩි වෙනවා. එහිදී රජයට තමන්ගේ සැලසුම ක්‍රියාත්මක කරන්න බලහත්කාරය යොදන්න වෙනවා. සැලසුමෙන් පිට පනින අය හොයන්න වෙනවා. ඒ අයට දඬුවම් දෙන්න වෙනවා. මේ හැම දෙයකටම විශාල පිරිස් බලයක් අවශ්‍යයි. විශාල රජයක් අවශ්‍යයි.

කෘෂිකර්මය වෙත ගියොත් එක පැත්තකින් රටේ ඉඩම් ගැන, ගොවීන් ගැන, කාලගුණය ගැන, වෙළඳපොළ ඉල්ලුම ගැන විස්තරාත්මක හා අලුත්ම තොරතුරු දිගින් දිගටම හොයා වාර්තා කරන්න විශාල පිරිසක් අවශ්‍යයි. ඉන් පසුව, මේ තොරතුරු හා දත්ත විශ්ලේෂණය කර මධ්‍යගත සැලසුම නිරන්තරයෙන් සුසර කරන්න පිරිසක් අවශ්‍යයි. එම සැලසුම මහ පොළොවේ ක්‍රියාත්මක කිරීමට, සැලසුම ගැන රටේ සියල්ලන්ම දැනුවත් කිරීමට, සැලසුමෙන් පිට පනින අය ගැන හොයා බලා සැලසුම ඇතුළට ගැනීමට, එසේ සැලසුම ඇතුළට ගත නොහැකි අයට දඬුවම් කිරීමට විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් අවශ්‍යයි.

මේවා හිතළු නෙමෙයි. මේ වගේ මධ්‍යගත සැලසුම් ක්‍රියාත්මක කරන්න ගත් උත්සාහයන් පිළිබඳ නිදර්ශන අපට ලෝකයෙන් වගේම ලංකාවෙනුත් අඩු නැතුව හොයා ගන්න පුළුවන්. මධ්‍යගත සැලසුම් යටතේ සිදු වන දෙය නැවත නැවත පරීක්ෂා කළ යුතු දෙයක් නෙමෙයි.

මධ්‍යගත සැලසුමක් ක්‍රියාත්මක කිරීමේදී පළමුවම සිදු වන දෙය එම මධ්‍යගත සැලසුම් යාන්ත්‍රනය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විශාල රාජ්‍ය යාන්ත්‍රනයේ බර එම රාජ්‍ය යාන්ත්‍රනයට පිටින් සිටින මිනිසුන් මත පතිත වීමයි. මේ කරුණ හේතුවෙන් පමණක්ම වුවද නිෂ්පාදන කාර්යක්ෂමතාවය විශාල ලෙස පහත වැටෙනවා. ඒ වගේම, රාජ්‍ය යාන්ත්‍රනය විශාල වන තරමට එහි එක් එක් දැති රෝදය සමස්ත යාන්ත්‍රනය සමඟ සුසරව කැරකෙන බව තහවුරු කර ගැනීම අසීරු වෙනවා. තේරෙන බාසාවෙන් කිවුවොත් රජයෙන් වැටුපක් ලබා වගාබිම් පිළිබඳ දත්ත එකතු කරන්න යන රාජ්‍ය සේවකයෙක් හැමවිටම තමන්ගේ රාජකාරිය හරියටම කරයිද? ගෙදර ඉඳලා බොරුවට කොළ පුරවා එවුවොත් මොකද වෙන්නේ?

මධ්‍යගත සැලසුමෙන් පිට පනින එක තමන්ට වාසිදායක වගේ පෙනුනහම මිනිස්සු එසේ කරන්න උත්සාහ කරනවා. නමුත් එහිදී ඔවුන්ට දඬුවමට ලක් වෙන්න සිදු වෙනවා. මෙවැනි දඬුවම් වලින් බේරෙන්න පුළුවන් පහසු ක්‍රමයක් වන්නේ තමන් ගැන හොයා බලන්න එන රාජ්‍ය සේවකයාට සන්තෝෂමක් දෙන එකයි. මේක දෙන්නාටම වාසියි. 

මධ්‍යගත සැලසුමක් ක්‍රියාත්මක කරන රාජ්‍ය සේවකයින්ම මේ විදිහට සැලසුමෙන් පිට කටයුතු කළ හැකි නිසා එයට විසඳුමක්ද එවැනි මධ්‍යගත සැලසුමක් තුළ සාමාන්‍යයෙන් තිබෙනවා. එක් අයෙක් සැලසුමෙන් පිට පනිනවාද බලා සිටින්න තවත් අයෙක් අවශ්‍යයි. දෙවැන්නා ගැන බලන්න තුන් වැන්නෙක් අවශ්‍යයි. 

රාජ්‍ය සේවය තුළ සිදු විය හැකි හොරකම්, දූෂණ, නාස්ති කියා කියන්නේ ක්‍රමයේ වැරැද්දක් මිසක් අදාළ පුද්ගලයින්ගේ වැරැද්දකින් සිදු වන දෙයක් නෙමෙයි. විශාල රාජ්‍ය සේවයක් නඩත්තු කරන තුරු, රාජ්‍ය ව්‍යුහයේ ඉහළම තට්ටුව මාරු කිරීමෙන් පමණක් මේ හොරකම්, දූෂණ, නාස්ති නැති කරන්න බැහැ. ඒ නිසා, මධ්‍යගත සැලසුම් ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටින අතර හොරකම්, දූෂණ, නාස්ති වලට එරෙහි වීම කියා කියන්නේ එක පැත්තකින් ප්‍රශ්නයක් ඇති කරමින් අනෙක් පැත්තෙන් එසේ ඇති කළ ප්‍රශ්නයට විසඳුම් හෙවීමක්. හෝද හෝදා මඩේ දමමින් මඩ වතුරෙන් රෙදි හේදීමක්!

හොරකම්, දූෂණ, නාස්ති අවම කළ හැකි ස්ථිරසාර ක්‍රමය රජය කුඩා කිරීමයි. හැබැයි අප රජය කුඩා කිරීමක් ගැන මිසක් රජය අහෝසි කිරීමක් ගැන කතා කරන්නේ නැහැ. එය තවත් ආන්තීය අදහසක් පමණයි. ප්‍රායෝගිකව රජයකට පමණක් කළ හැකි නිශ්චිත කාර්යයන් ගණනාවක් තිබෙනවා. වෙළඳපොළ සැලකුවත්, රජය වෙළඳපොළට කිසිදු ආකාරයක මැදිහත් වීමක් කළ යුතු නැතැයි අප හිතන්නේ නැහැ.

ගෑස් ප්‍රශ්නයට නැවත එමු. සල්ලි දී ගෙදර ගෙන යන ගෑස් සිලින්ඩර හිටිවනම පුපුරනවා. මෙය සිදු වන්නේ එක් සැපයුම්කරුවෙකු විසින් පළමුව ගෑස් වල ප්‍රමිතිය වෙනස් කිරීම නිසා කියා අපි හිතමු. මේ වෙළඳපොළ තරඟකාරී නිදහස් වෙළඳපොළක් වුනානම්, රජයේ නියාමනයක් නැතිවම මේ ප්‍රශ්නය වෙළඳපොළ විසින්ම විසඳනවා. ඒ කොහොමද?

ගෑස් පිපිරීම් දෙක තුනක් සිදු වන විට මේ ගැන රටම දැනුවත් වෙනවා. බොහෝ විට වෙනත් ගෑස් සැපයුම්කරුවෙකු විසින් හේතුව උපකල්පනය කර අදාළ සමාගමේ ගෑස් සිලින්ඩරයක සංයුතිය පරික්ෂා කිරීමෙන් එම හේතුව තහවුරු කර ගන්නවා. ඉන් පසුව, මේ බව ප්‍රචාරණය කරමින් අදාළ ගෑස් සමාගමේ පාරිභෝගිකයින් තමන් වෙත ආකර්ෂණය කර ගැනීමට පටන් ගන්නවා. සංයුතිය වෙනස් කළ ගෑස් සමාගම බංකොලොත් වෙනවා. අනෙකුත් ගෑස් සමාගම් විසින් අනාගතයේදී මෙවැනි "අත් වැරැද්දක්" කරන එකද නවතිනවා.

මේ වගේ දෙයක් වෙන්නේ ලංකාවේ ගෑස් වෙළඳපොළ තරඟකාරී නිදහස් වෙළඳපොළක්ව පැවතුණානම් පමණයි. එහෙත් එම වෙළඳපොළ තරඟකාරී හෝ නිදහස් වෙළඳපොළක් නොවෙයි.

වෙළඳපොළක් තරඟකාරී වන්නේ විශාල සැපයුම්කරුවන් පිරිසක් සිටින විටයි. ලංකාවේ ගෑස් වෙළඳපොළ එවැන්නක් නෙමෙයි.  මේ වෙළඳපොළේ සැපයුම්කරුවන් සිටින්නේ දෙදෙනෙකු පමණයි. එයින්ද ප්‍රධානම සැපයුම්කරු වන ලිට්‍රෝ ගෑස් සමාගම පෞද්ගලික සමාගමක් නෙමෙයි. එය රජයේම කොටසක්. එහෙත්, අනෙකුත් සැපයුම්කරු වන ලාෆ්ස් ගෑස් සමාගම තිබෙන්නේ පෞද්ගලික අයිතිය යටතේ.

පෞද්ගලික සමාගමකට මෙන් නොව රජය සතු සමාගමකට පැවතීම සඳහා ලාබ අවශ්‍ය නැහැ. ලාබ නැතත් බදු මුදලින් නඩත්තු වෙමින් අකාර්යක්ෂමතාවය නඩත්තු කළ හැකියි. ලිට්‍රෝ ගෑස් සමාගම ඇතැම් විට පාඩු ලබමින්, පිරිවැය හෝ නොඉක්මවමින්, ගෑස් විකුණනවා. ඔවුන් ගෑස් විකුණන මිල තීරණය වන්නේ ආර්ථික සාධක මත නෙමෙයි. දේශපාලන සාධක මතයි.

ලාෆ්ස් ගෑස් සමාගම පෞද්ගලික සමාගමක් වුවත් ඔවුන්ටද තමන්ගේ ගෑස් මිල තීරණය කළ නොහැකියි. එය තීරණය කරන්නේද රජය විසින්. බොහෝ විට රජය විසින් තීරණය කරන්නේ ගෑස් වල උපරිම මිල නිසා ඔවුන්ට අවශ්‍යනම් අඩු මිලකට ගෑස් විකුණන්න බැරිකමක් නැහැ.

මෙසේ නියම කරන උපරිම මිල ගොඩක් ඉහළ මිලක්නම් ලාෆ්ස් ගෑස් සමාගමට ලිට්‍රෝ ගෑස් සමාගමට වඩා අඩුවෙන් ගෑස් විකුණා ඔවුන්ගේ පාරිභෝගිකයින් අල්ලා ගන්න පුළුවන්. එහෙත්, බොහෝ විට රජය විසින් පනවන උපරිම මිල එතරම් ඉහළ මිලක් නෙමෙයි. ඇතැම් විට ඒ මිලට ගෑස් විකුණන්න වෙන්නේ පාඩුවට වෙන්නත් පුළුවන්. 

රජයේම කොටසක් වන ලිට්‍රෝ ගෑස් සමාගමනම් හිතාමතාම පාඩුවට ගෑස් විකුණනවා. එසේ කරන්නේ නිෂ්පාදන පිරිවැය ඉහළ යන වකවානු වලදී. නිෂ්පාදන පිරිවැය පහළ යන වකවානු වලදී ඔවුන් ඒ පාඩුව හෝ එයින් කොටසක් අල්ලා ගන්නවා. මේ වෙළඳපොළේ දැවැන්තයා ලිට්‍රෝ ගෑස් සමාගම නිසා ලාෆ්ස් ගෑස් සමාගමට ඔවුන් කරන දෙයම කරනු හැර වෙනත් විකල්පයක් නැහැ. ඒ නිසා, ඔවුන් කරන්නේද, අඩුවට විකිණිය හැකි අවස්ථා වලදී පවා, උපරිම මිලටම හෝ ආසන්න මිලකට ගෑස් විකුණා ලාබ එකතු කර ගන්න එකයි. ඇතැම් වකවානු වල තමන්ගේ ගෑස් පාඩුවට විකුණන්න සිදු වෙන නිසා එසේ නොකර ඔවුන්ට දිගුකාලීනව මේ වෙළදපොළේ රැඳී ඉන්න බැහැ. 

ලංකාවේ ගෑස් වෙළඳපොලේ ලොකුම සැපයුම්කරුවා මෙන්ම මෙම වෙළඳපොළේ නියාමකයාද එකම අයෙක් නිසා පිළිසිඳියා ගැටුමක් නැතිව, කාටත් සාධාරණව, මේ වෙළඳපොළ නියාමනය වීමක් අපේක්ෂා කරන්න බැහැ. මෙවැනි සන්දර්භයක පෞද්ගලික සමාගමක් වන ලාෆ්ස් ගෑස් සමාගමටද රජය සමඟ සහයෝගයෙන් කටයුතු කරනු හැර තරඟකරුවෙකු වීමේ විකල්පයක් නැහැ. ඒ නිසා, සෛද්ධාන්තිකව සමාගම් දෙකක් අතර තරඟයෙන් වුවත් තරඟකාරී වෙළඳපොළක් හැදෙන්න පුළුවන් වුනත්, මෙහිදී සිදු විය හැක්කේත්, සිදු වී තිබෙන්නේත්, පූර්ණ ඒකාධිකාරයකට ආසන්න තත්ත්වයක් ඇති වීමයි. පෞද්ගලික සමාගමක් වන ලාෆ්ස් ගෑස් සමාගමද මේ ඒකාධිකාරයේ එක් කොටස්කරුවෙකු පමණයි.

ලංකාවේ ගෑස් වෙළඳපොළ නියාමකයා විසින්ම වෙළඳපොළට ගෑස් සැපයුම කරන සන්දර්භයක මේ වෙළඳපොළට යම් හෙයකින් අලුතෙන් පැමිණෙන සමාගමකට වුවත් දැනට වෙළඳපොළෙහි සිටින සමාගම් වලට සැබෑ තරඟකරුවෙකු වීමේ හැකියාවක් නැහැ. එවැනි තත්ත්වයක් ඇති වීමටනම්, අවම වශයෙන්, රජය මේ වෙළඳපොළෙන් ඉවත් විය යුතුයි.

ලිට්‍රෝ ගෑස් සමාගමද රජයට සම්බන්ධයක් නැති, පෞද්ගලික සමාගමක්ව තිබුනා කියා අපි හිතමු. එවැනි තත්ත්වයක් යටතේ ලිට්‍රෝ හා ලාෆ්ස් සමාගම් අතර ඇති විය හැකි තරඟයකින් පාරිභෝගිකයන්ට යහපතක් සිදු විය හැකියි. අනෙක් අතට, ඇමරිකාවේ මෙන් නීතිමය බාධාවක් නැති නිසා, මේ සමාගම් දෙකට තව දුරටත් කාටලයක් සේ කටයුතු කරමින් ඒකාධිකාරයක් පවත්වා ගන්නත් පුළුවන්. ඒ වගේම, එවැනි තත්ත්වයක් යටතේ නියාමකයා වන රජයට පිළිසිඳියා ගැටුමක් නැති නිසා මේ සමාගම් දෙකෙන් එකකට හෝ පාරිභෝගිකයන්ට එරෙහිව මේ සමාගම් දෙකටම වාසියක් සැලසීමට සෛද්ධාන්තික අවශ්‍යතාවයක් නැතත් ප්‍රායෝගිකව එය එසේම නොවන්නට පුළුවන්. රජය බලවත් වන තරමට වංචා, දූෂණ, හොරකම් වලට ඉඩ වැඩියි.

කෙසේ වුවත්, වෙළඳපොළේ සැපයුම්කරුවන් විශාල ප්‍රමාණයක් සිටිනවානම් නියාමකයාට ඒ එක් අයෙකුට විශේෂ වාසියක් කරන්න අමාරුයි. ඒ වගේම, ඒ සියලු දෙනාම එකතු වී කාටලයක් සේ ක්‍රියා කිරීමත් සිදු වන්නේ නැහැ.

ලංකාවේ ගෑස් වෙළඳපොළ තරඟකාරී නැති බවත්, ඒ සඳහා අවම කොන්දේසියක් වන්නේ රජය මේ ව්‍යාපාරයෙන් ඉවත් වීම බවත් පැහැදිලියි. තරඟකාරී නැති මේ වෙළඳපොළ නිදහස් වෙළඳපොළක්ද?

ගෑස් පාරිභෝගිකයකු විසින් මුලින්ම ගෑස් සිලින්ඩරයක් මිල දී ගන්නේත්, එයට නැවත නැවත ගෑස් පුරවන්නේත් ස්ව-කැමැත්තෙන්. සැපයුම්කරු ගෑස් විකුණන්නේනම් කොහොමටත් කැමැත්තෙන්. එපමණකින් මෙය නිදහස් ගනුදෙනුවක් වෙනවාද?

තමන් විසින් මුදල් ගෙවා මිල දී ගන්නා භාණ්ඩය ගැන එය මිල දී ගන්නා පාරිභෝගිකයා දන්නේ මොනවාද? ගෑස් විකුණන සැපයුම්කරු ඒ ගැන දන්නා හැම දෙයක්ම ගෑස් මිල දී ගන්නා අවස්ථාවේදී මේ පාරිභෝගිකයාත් දන්නවාද? එසේ නොවී, මේ දෙදෙනා අතර තොරතුරු අසමමිතියක් ඇත්නම්, පාරිභෝගිකයා විසින් ඇත්තටම මිලදී ගන්නේ ඔහුට මුදල් ගෙවා මිල දී ගන්න අවශ්‍ය වූ දෙයමද? එය එසේ නොවේනම්, මෙය නිදහස් ගනුදෙනුවක්ද?

විනිවිද පදනමේ මහලේකම් නාගානන්ද කොඩිතුවක්කු විසින් ලිට්‍රෝ හා ලාෆ්ස් ගෑස් සමාගම්, පාරිභෝගික අධිකාරියේ හා ප්‍රමිති කාර්යංශයේ වගකිවයුත්තන්, පාරිභෝගික ආරක්ෂණ හා වෙළඳ ඇමතිවරු, රජයේ තක්සේරුකරු, පොලිස්පති, නීතිපති ඇතුළු වගඋත්තරකරුවන් දහ දෙනෙකුට එරෙහිව අභියාචනාධිකරණයේ පවරා ඇති නඩුව ගැනත් (CA/Writs/609/2021), රුවන් ප්‍රනාන්දු හා සම්පත් විජේරත්න විනිසුරුවරුන් ඊයේ ලබා දුන් තීන්දුව පිළිබඳවත් කතා කළ යුත්තේ මේ සන්දර්භය තුළයි. ලිපිය දිග වැඩි නිසා එය අපි පසුවට තබමු.


Thursday, December 16, 2021

ආර්ථිකය කඩා වැටිය හැක්කේ කොතැනකටද?


ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන එක හෝ නොවැටෙන එක, බංකොලොත් වීම හෝ නොවීම, කඩා වැටෙනවානම් එය සිදු වන දවස, බංකොලොත් වෙනවානම් එය සිදු වන දවස ආදිය ගැන ඇතැම් අය අනාවැකි කියනවා. තවත් අයට මේ ගැන දැන ගන්න උනන්දුවක් තිබෙනවා. ඊට සාපේක්ෂව අඩුවෙන් කතා වෙන දෙයක් වන්නේ ආර්ථිකය කඩා වැටෙන්නේ කොතැනටද කියන එකයි. කඩා වැටෙන තැනක් ගැන කතා නොකරමින් ආර්ථිකය කඩා වැටෙන එක ගැන කතා කරන එකේ තේරුමක් නැහැ. 

ආර්ථිකය කඩා වැටෙනවා කියා කතාවට කිවුවත් එයින් අදහස් වන්නේ කුමක්ද කියන එක එතරම්ම පැහැදිලි දෙයක් නෙමෙයි. ආර්ථිකය හෝ රට බංකොලොත් වෙනවා කියන එක ඊට සාපේක්ෂව තරමක් හෝ පැහැදිලියි. බොහෝ දෙනෙක් රට බංකොලොත් වීම ලෙස හඳුන්වන්නේ රටේ විදේශ ණය ගෙවා ගන්න බැරි තැනකට රට වැටෙන එකටයි. රටේ විදේශ ණය කියා කිවුවත්, මෙහිදී වැඩි අවධානයක් යොමු වී තියෙන්නේ රජයේ විදේශ ණය වලටයි.

සාමාන්‍ය ව්‍යවහාරයේ බංකොලොත් වීම කියන වචනය භාවිතා වෙන්නේ කාගේ හෝ පුද්ගලයෙකුගේ, සමාගමක හෝ වෙනත් කිසියම් නෛතික ව්‍යුහයක වත්කම් වලට වඩා බැරකම් වැඩි වී ශුද්ධ වත්කම් සෘණ පැත්තට ගිය විටයි. එහෙත්, ශුද්ධ වත්කම් සෘණ පැත්තට නොගියත්, ප්‍රමාණවත් ද්‍රවශීල වත්කම් නැති අවස්ථාවක පුද්ගලයෙකුට හෝ වෙනත් නෛතික ව්‍යුහයකට තමන් අරගෙන තිබෙන ණය ආපසු ගෙවන්න බැරි වෙන්න පුළුවන්. 

රටක වත්කම් මූර්ත වත්කම් හා මූල්‍ය වත්කම් ලෙස කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මේ දෙකෙන් මූර්ත වත්කම් කොටසට ගත්තොත් එය සාමාන්‍යයෙන් සෘණ පැත්තට නොයන්නක්. එහෙත්, මූල්‍ය වත්කම් කොටස සෘණ පැත්තට යන එක අසාමාන්‍ය දෙයක් නෙමෙයි. ලංකාව ඇතුළු ලෝකයේ රටවල් වලින් බාගයක වගේ ශුද්ධ මූල්‍ය වත්කම් තියෙන්නේ සෘණ පැත්තේ. 

ශුද්ධ මූල්‍ය වත්කම් සෘණ වූ පමණින් රටක් බංකොලොත් වෙන්නේ හෝ ණය පැහැර හරින තැනකට වැටෙන්නේ නැහැ. බැරකම් දිගුකාලීන ඒවානම් සහ වත්කම් ද්‍රවශීල වත්කම්නම් රෝලක් ගහගෙන යන්න පුළුවන්. එහෙත්, රටක මූල්‍ය වත්කම් සංචිතය කෙටිකාලීන මූල්‍ය බැරකම් පියවන්න ප්‍රමාණවත් නොවන මට්ටමකට වැටුණු විට රටකට ණය පැහැර හරින්න වෙනවා.

ලංකාව තවම ණය පැහැර හැරලා නැහැ. එය සිදුවීමේ අවදානම ගොඩක් වැඩි වී තිබෙනවා පමණයි. 

ආර්ථිකය කඩා වැටෙනවා කියන එක රටක් බංකොලොත් වීම වගේ එක නිශ්චිත මොහොතක සිදු වෙන දෙයක් නෙමෙයි. ක්‍රමක්‍රමයෙන් සිදු වන දෙයක්. ලංකාව තවමත් බංකොලොත් වී නැතත්, ලංකාවේ ආර්ථිකයේ කඩා වැටීමනම් මේ වෙන කොටත් පටන් ගෙනයි තියෙන්නේ. ඒ කඩා වැටීම කවදා කොතැනින් නවතීද කියන එක තමයි සාකච්ඡා කළ යුතු ගැටළුව.

රටක ආර්ථිකය කියන්නේ සංකීර්ණ පද්ධතියක්. ආර්ථිකයක කඩා වැටීම මේ පද්ධතියේ හැම කොටසකටම එක පරිදි දැනෙන්නේ නැහැ. සමහර කොටස් වලට ඒ බලපෑම වැඩියි. සමහර කොටස් වලට අඩුයි. ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයටත් මේ කරුණ අදාළයි.

ලංකාවේ ආර්ථික අර්බුදය දරුණුවටම දැනෙන්නේ විදේශ අංශයට බව අපි දැනටමත් දන්නවා. රජයට ආනයන භාණ්ඩ සීමා කරන්න සිදු වී තිබීමෙන් පමණක්ම වුවත් පැහැදිලි වන්නේ රටේ ආර්ථිකය මේ වන විටත් කඩා වැටී ඇති බවයි. මේ කඩාවැටීමේ අනාගතය කුමක්ද?

ඉන්දීය සහන පැකේජය හා තවත් එවැනි විදේශ විණිමය ලැබීම් වල උදවුවෙන් මාස ගණනක් අල්ලාගෙන හිටියත්, ඩොලරයක මිල දැන් තිබෙන මට්ටමේ තියා ගන්න එක දිගටම කරන්න බැහැ. මේ විදිහට ගියොත් යම් මොහොතක ඩොලරයක මිල අනිවාර්යයෙන්ම එකවර විශාල ලෙස ඉහළ යනවා. ඊට කලින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියොත් මේ විදිහට එකවර කඩා වැටෙන්න කලින් ටිකෙන් ටික රුපියල අවප්‍රමාණය වෙන්න ඉඩ දෙන්න කියා ලංකාවට යෝජනා කරයි. ඔය දෙකෙන් කොයි එක වුනත්, අවසාන වශයෙන් ඩොලරයක මිල සැලකිය යුතු තරම් ඉහළ යයි.

විණිමය අනුපාතය කඩා වැටුනොත් ඩොලරයක මිල කීයක් වෙලා නවතියිද? 

සරල හා කෙටි පිළිතුර ඩොලරයක මිල ඕනෑම ගණනක් විය හැකි බවයි. මොකද කිසිදු පාලනයකින් තොරව ඩොලරයක රුපියල් මිල කඩා වැටෙන තත්ත්වයක් යටතේ එය නැවතිය යුතු තැන තීරණය වෙන්නේ සමපේක්ෂනය මත මිසක් සාමාන්‍ය ආර්ථික විද්‍යා මූලධර්ම අනුව නෙමෙයි. හැබැයි මේ සමපේක්ෂකයින් විසින් ආර්ථික විද්‍යා මූලධර්ම නොසලකා හරින්නේ නැහැ. ඒ නිසා, ආර්ථික විද්‍යා මූලධර්ම අනුව නැවතිය යුතු තැනට වඩා පහළින් ඩොලරය නවතින්නේ නැහැ.

ඩොලරයක නියම මිල ගැන මීට පෙර කතා කර ඇති අවස්ථා වලදී මම ඒ සඳහා යොදාගත් ප්‍රධාන මූලධර්මයක් වුනේ ක්‍රය ශක්ති සාම්‍යය පිළිබඳ අදහසයි. පහත වගුවේ පෙන්වා තිබෙන්නේ ක්‍රය ශක්ති සාම්‍ය මූලධර්මය අනුව ලංකාවේ අපනයනකරුවෙකුට අඩු වශයෙන් 2001 වසරේදී පැවති මට්ටමේ අපනයන තරඟකාරිත්වයක් පවත්වාගන්නනම් ඩොලරයක මිල කීයක් විය යුතුද කියන එකයි. ඒ වගේම ලංකාවේ ජීවත් වන විදෙස් ශ්‍රමිකයෙකුගේ පවුලක සාමාජිකයින්ට 2001 තරමට පරිභෝජන මට්ටම පවත්වා ගැනීම සඳහා ඩොලරයක් වෙනුවෙන් කීයක් ලැබිය යුතුද කියන එකයි.

Year SL-CPI US-CPI Ratio PPP-Rate Actual Real Rate
2001 100.00 100.00 1.00 89.36 89.36 1.00
2002 109.55 101.58 1.08 96.37 95.66 1.01
2003 116.47 103.90 1.12         100.18 96.52 1.04
2004 125.29 106.66 1.17         104.97 101.19 1.04
2005 139.87 110.28 1.27         113.34 100.50 1.13
2006 159.03 113.83 1.40 124.84 103.96 1.20
2007 186.59 117.05 1.59         142.45 110.62 1.29
2008 228.69 121.57 1.88 168.10 108.33 1.55
2009 236.59 121.14 1.95         174.52 114.94 1.52
2010 250.66 123.13 2.04 181.92 113.06 1.61
2011 259.13 127.01 2.04 182.31 110.57 1.65
2012 278.62 129.64 2.15         192.05 127.60 1.51
2013 297.95 131.54 2.27 202.41 129.11 1.57
2014 307.70 133.67 2.30 205.70 130.56 1.58
2015 310.44 133.83 2.32 207.28 135.94 1.52
2016 322.07 135.52 2.38 212.37 145.60 1.46
2017 343.12 138.41 2.48 221.53 152.46 1.45
2018 357.82 141.79 2.52 225.51 162.54 1.39
2019 373.39 144.36 2.59 231.14 178.78 1.29
2020 390.40 146.14 2.67 238.72 185.52 1.29
Nov-21 426.33 155.94 2.73 244.30 202.05 1.21

ඉහත පදනම අනුව බැලුවොත් 2011 පමණ වෙද්දී ඩොලරයක් විකිණුනේ එහි ක්‍රය ශක්ති සාම්‍ය මිලෙන් 40%ක් පමණ දක්වා වන වට්ටමක් සමඟයි. ඒ කියන්නේ ආනයන භාණ්ඩ විකිණුනේ දේශීය ආදේශක වලට වඩා 40%ක් අඩුවෙන් කියන එකයි. රාජපක්ෂ ආණ්ඩුව විසින් ඉන්දියාවේ හා චීනයේ නිෂ්පාදකයින්ට ලබා දුන් ඔය විශාල වට්ටම නිසා ලංකාවේ එම ආනයන වේගයෙන් ප්‍රචලිත වුනා. වෙළඳ හිඟය විශාල ලෙස වැඩි වුනා. දේශීය කර්මාන්ත ගොඩනැගෙන එක වැළකුණා. අපනයන අධෛර්යමත් වුනා.

මේ වෙද්දී ඩොලරයක මිල ඒ කාලයට සාපේක්ෂව යම් තරමකින් නිවැරදි වී ඇතත් 2001 මට්ටමට යන්නනම් ඩොලරයක මිල රුපියල් 245ක් පමණවත් විය යුතුයි. මොකද ලංකාවේ සාමාන්‍ය මිල මට්ටම 4.26 ගුණයකින් ඉහළ යද්දී ඇමරිකාවේ සාමාන්‍ය මිල මට්ටම ඉහළ ගිහින් තියෙන්නේ 1.56 ගුණයකින් පමණයි. ඒ අනුව ඩොලරයක මිල 2.73 ගුණයකින් ඉහළ යා යුතු වුවත්, ඇත්තටම ඉහළ ගිහින් තියෙන්නේ 2.26 ගුණයකින් පමණයි. 

මේ මට්ටමට ඩොලරය ඉහළ ගියා කියලා ලංකාවේ හැම ප්‍රශ්නයක්ම විසඳෙන්නේ නැහැ. අඩු වශයෙන් වෙළඳ හිඟය නැති වෙන්නේ හෝ නැහැ. නමුත්, බොහෝ විට තාවකාලිකව හෝ ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. මා මේ සඳහා 2001 වසර යොදා ගත්තේ එම වසර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඩොලරය පා කරනු ලැබ ඩොලරයක මිල වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම මත තීරණය වූ වසරක් නිසයි. එහෙත්, එම වසර හා පෙර වසරවල්ද ලංකාව විදේශ ණය ලබා නොගෙන සිටි වසරවල් නොවූ බවද අමතක නොකළ යුතුයි.     

ඒ කියන්නේ දැන් මහ බැංකුව විසින් ඩොලරය පාලනය කිරීම නැවැත්තුවොත් ඩොලරයක මිල රුපියල් 245ක් වී එම මට්ටමේ ස්ථාවර වෙයිද?

එහෙම වෙන්නේ නැහැ. අපි ඉහත ක්‍රය ශක්ති සාම්‍ය ගැලපීම කළේ ලංකාවේ මිල මට්ටම නිවැරදි මිල මට්ටම සේ සලකා. එහෙත්, පසුගිය කාලයේ ලංකාවේ පැවති මිල මට්ටම ඒ මට්ටමේ තියා ගත්තේත් ඩොලරයක මිල පාලනය කිරීමේ උදවුවෙන් කියන එක අප‍ට අමතක කරන්න බැහැ. උදාහරණයක් විදිහට 2011දී රුපියල් 110 මට්ටමේ තියාගත් ඩොලරය එහි ක්‍රය ශක්ති සාම්‍ය අගය වූ 182ට ගොස් තිබුණා කියා අපි හිතමු. එසේ වුනානම්, ඉන්ධන, අත්‍යාවශ්‍ය ආහාර ඇතුළු බොහෝ දේවල් වල මිල 65%කින් පමණ ඉහළ යනවා. ඒ අනුව, රටේ සාමාන්‍ය මිල මට්ටම ඔය තිබුණාට වඩා ගොඩක් ඉහළ යනවා. හරියටම කොපමණකින්ද කියන එක තීරණය වන්නේ පාරිභෝගික මිල දර්ශකයේ තිබෙන ආනයනික භාණ්ඩ හා සේවා ප්‍රතිශතයේත්, දේශීය භාණ්ඩ හා සේවා වල ආනයනික යෙදවුම් ප්‍රතිශතයේත් එකතුව කොපමණද කියන එක මතයි.

අපි මෙම ප්‍රතිශතය 40%ක් ලෙස සලකමු. ඒ කියන්නේ ඩොලරය රුපියලකින් වැඩි වෙද්දී රටේ බඩු මිල සමස්තයක් ලෙස ශත 40කින් වැඩි වෙනවා කියන එකයි. මේ ප්‍රතිශතය මම හරියටම දන්නේ නැහැ. කෙසේ වුවත්, එය 40% ලෙස සැලකුවොත් ඩොලරය 65%කින් වැඩි වෙද්දී බඩු මිල 26%කින් වැඩි වෙනවා. ඒ අනුව, ඩොලරයක ක්‍රය ශක්ති සාම්‍ය මිලද තවත් 26%කින් වැඩි වෙනවා. 

එතැනින් නවතිනවද? නැහැ. ඩොලරයක මිල ක්‍රය ශක්ති සාම්‍ය මිල හා ගැලපෙමින් තවත් 26%කින් ඉහළ යද්දී බඩු මිල නැවතත් 10.4%කින් ඉහළ යනවා. ඩොලරයක මිල හා ලංකාවේ සාමාන්‍ය මිල මට්ටම අතර චක්‍රීය සම්බන්ධයේ ස්වභාවය අනුව මේ වැඩේ දිගින් දිගටම සිදු වෙනවා. හැබැයි යම් අගයකදී ඩොලරයක මිල ස්ථාවර වෙනවා. එතරම් සංකීර්ණ නැති ගණිතය යොදා ගෙන අපට මේ මට්ටම හොයා ගන්න පුළුවන්. 

පාරිභෝගික මිල දර්ශකයේ ආනයනික අයිතමයන් හා යෙදවුම් අනුපාතය x ලෙස සැලකුවොත් ඩොලරය කෙටිකාලීනව රුපියකින් වැඩි වීම හේතුවෙන් දිගුකාලීනව රටේ මිල මට්ටම x/(1-x) ගුණයකිනුත්, ඩොලරයේ මිල දිගුකාලීනව 1/(1-x) ගුණයකිනුත් වැඩි වෙනවා. අපි x=0.33 සේ සලකමු. ඒ කියන්නේ ඩොලරයක මිල 1%කින් ඉහළ ගිය විට මිල මට්ටම 0.5%කින් ඉහළ යනවා. අවසාන වශයෙන් ඩොලරයේ මිල 1.33%කින්ම ඉහළ යනවා. හරියටම ගණන දන්නේ නැති නිසා x=0.4 සේ සැලකුවොත් ඩොලරයක මිල 1%කින් ඉහළ ගිය විට මිල මට්ටම 0.6%කින් ඉහළ යනවා. අවසාන වශයෙන් ඩොලරයේ මිල 1.67%කින් ඉහළ යනවා. හැබැයි යම් මට්ටමක ස්ථාවර වෙනවා. පළමු වටය ඉන්ධන මිල වැඩි වීම වගේ. දෙවන වටය බස් ගාස්තු වැඩිවීම වගේ.

මේ චක්‍රය කැඩිය හැකි හෝ ආපසු හැරවිය හැකි ස්ථිරසාර ක්‍රමය සල්ලි අච්චු ගැහීම සීමා කරන එකයි. ඒ සඳහා, අයවැය හිඟය අඩු කළ යුතුයි. රාජපක්ෂ ක්‍රමය වුනේ ඒ වෙනුවට කෙටි මාර්ගයක් සොයා ගැනීම. මේ අනුව, සල්ලි අච්චු ගැසීම අඩු නොකර විදේශ ණය අරගෙන විණිමය අනුපාතය පාලනය කළා. විණිමය අනුපාතය පාලනය කිරීම හරහා උද්ධමනය පාලනය කළා. දැන් විණිමය අනුපාතය කඩා වැටුනොත් එහි ප්‍රතිඵලයක් ලෙස මිල මට්ටමද ඉහළ යනවා. ඉන් පසු, නැවත වටයකින් විණිමය අනුපාතය අවප්‍රමාණය වෙනවා. ඔය වැඩේ දිගින් දිගටම වෙනවා. හැබැයි යම් තැනක නවතිනවා.

පවතින විණිමය අනුපාතය දැන් මිල මට්ටම අනුව රුපියල් 245 දක්වා 21%කින් අවප්‍රමාණය විය යුතුයි. එහෙත් ඒ එක් බඩු මිල ඉහළ යන නිසා නැවත වටයකින් විණිමය අනුපාතය අවප්‍රමාණය වෙන්න ඉඩ අරින්න වෙනවා. කලින් කී පාරිභෝගික මිල දර්ශකයේ ආනයනික අයිතමයන් හා යෙදවුම් අනුපාතය 40% සේ සැලකුවොත් අවසාන වශයෙන් ඩොලරයක මිල 35%කින් පමණ අවප්‍රමාණය විය යුතුයි. ඒ කියන්නේ රුපියල් 272ක් පමණ මට්ටමකට යා යුතුයි. ආනයනික අයිතමයන් හා යෙදවුම් අනුපාතය මීට වඩා වැඩිනම් මෙය මීටත් ඉහළ අගයක් විය හැකියි.

ඉහත උපකල්පන අනුව ඩොලරයක මිල නිවැරදි වෙන්න ඇරියොත් එය ක්ෂණිකව රුපියල් 245 පමණ මට්ට්මකටත් ඉන් පසුව රුපියල් 270-275 පමණ මට්ටමකටත් යා හැකියි. එම කාලය තුළ සමස්තයක් ලෙස බඩු මිල 15%කින් පමණ ඉහළ යා හැකියි. මේ සල්ලි අච්චු ගැසීම නිසා කොහොමටත් සිදුවන බඩු මිල ඉහළ යාමට අමතරව.

සල්ලි අච්චු ගැසීමේ බලපෑම ඉහත "කඩා වැටීමට" එකතු කරමු. පසුගිය දෙවසර තුළ සල්ලි අච්චු ගැසීම ඉතා ඉහළින්ම කෙරුණා තමයි. ඇතැම් අය විවිධ කතා කිවුවත්, මේ සල්ලි අච්චු ගැහීම තවමත් සිම්බාබ්වේ වැනි මට්ටමකට හෝ "පෙර නොවූ විරූ" මට්ටමකට ගිහින් නැහැ. පසුගිය දෙවසර තුළ පුළුල් මුදල් සැපයුම ඉහළ ගොස් තියෙන්නේ 40%කින් පමණ. මුදල් සැපයුමේ සිදුවන වසරකට 10-15%ක ඉහළ යෑමක් ලංකාවට සාමාන්‍ය දෙයක්. සල්ලි අච්චු ගැසීම නිසා වැඩිම වුනොත් මිල මට්ටම තව 10-15%කින් ඉහළ යයි. මම මේ කියන්නේ අනාගතයේ සිදු විය හැකි සල්ලි අච්චු ගැසීම් ගැන නෙමෙයි. දැන් තත්ත්වය ගැන. 

ඒ කියන්නේ සල්ලි අච්චු ගැසීමේ බලපෑම එකතු කළ විට මිල මට්ටම 25-30%කින් පමණ ඉහළ යා හැකියි. ඩොලරය රුපියල් 300 පමණ දක්වා යා හැකියි. හැබැයි මේ දේවල් මේ විදිහට විය හැක්කේ ආණ්ඩුව කිසිවක් නොකර හිටියොත් බව අමතක කරන්න එපා. ආණ්ඩුව උත්සාහ කරන්නේ කොහෙන් හෝ ණයක් අරගෙන ඔය තත්ත්වය පාලනය කර ගන්න. මම මේ විග්‍රහය කරන්නේ "ආර්ථිකය කඩා වැටුනොත් අපට මොකද වෙන්නේ?" කියන බය ගොඩක් අයට තිබෙන නිසා. 

ඔය විදිහට ඩොලරය රුපියල් 300 වී බඩු මිල 25-30%කින් ඉහළ ගියා කියා අපි හිතමු. ඕක ලෝක විනාසය නෙමෙයිනේ. ඒ වගේම, තනි පුද්ගලයෝ ලෙස ගත්තොත් ඇතැම් අයට මෙහි බලපෑම වඩා හොඳ එකක් වෙන්න වුනත් පුළුවන්.

තනි පුද්ගලයෙකුගේ පැත්තෙන් බැලුවොත් මෙතැන තිබෙන ලොකුම ප්‍රශ්නය වියදම ඉහළ යාම. එය වැඩිපුරම දැනෙනු ඇත්තේ විශ්‍රාමිකයන් වැනි නිශ්චිත ආදායමක් ලබන අයට. රජයේ සේවකයින් ඇතුළු අනෙකුත් මාස් පඩි කාරයින්ටත් මෙය ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අවසාන වශයෙන් ගොඩක් අයට යම් තරමකින් පටි තද කරගන්න වෙයි. නමුත්, ආහාර, ඖෂධ වගේ අත්‍යාවශ්‍ය වියදම් කපන්න බැහැනේ. ඒ නිසා, මේ වැඩෙන් වෙන්නේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ හා සේවා වලට ඉල්ලුම අඩු වෙන එකයි.

ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ නිපදවන අයට මේ කඩා වැටීමෙන් ලොකු බලපෑමක් වෙන එකක් නැහැ. ඒ වගේම, අපනයන කෘෂිකර්මයේ හෝ වෙනත් අපනයන කර්මාන්ත වල නියැලී ඉන්න අයට කොහොමටත් හොඳක් මිසක් නරකක් වෙන්නේ නැහැ. විදේශගත ශ්‍රමිකයන්ගේ පවුල් වල අයටත් වැඩේ හොඳයි.

අත්‍යවශ්‍ය නොවන සේවා ආශ්‍රිත කර්මාන්ත වල නියැලී ඉන්න අයටනම් අවුලක් වෙනවා. උදාහරණයක් විදිහට පෙදරේරුවෝ වගේ අයට. කන්න බොන්න අඩු වෙද්දී ගෙවල් හදන එක ගැන හිතන්නේ කවුද? සමස්තයක් ලෙස ඉදිකිරීම් කර්මාන්තයට ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේම, වෛද්‍යවරුන්, ටියුෂන් ගුරුවරුන් වගේ අයගේත් ආදායම අඩු වෙන්න පුළුවන්. මිනිස්සු වැඩි වැඩියෙන් ආණ්ඩුවේ ඉස්පිරිතාල වලට යයි. සදාකාලිකව නෙමෙයි. ආර්ථිකය නැවත පහළ මට්ටමක ස්ථාවර වෙන්න යන කාලය ඇතුළත. ආනයන වෙළඳාමේ නියැලී ඉන්න අයට, සිල්ලර වෙළඳසැල් වලට, භෝජන ශාලා පවත්වාගෙන යන අයට බිස්නස් අඩු වෙයි. ටිකක් විතර කෝවිඩ් නිසා ඇති වූ තත්ත්වයට සමාන තත්ත්වයක්. පුරුදු නැති තත්ත්වයක් නෙමෙයිනේ.

ඔය හැම දෙයක්ම නිසා දළ දේශීය නිෂ්පාදිතය හැකිලෙයි. හැබැයි එහෙම වුනා කියලා රට හතලිස් අටේදී හිටපු තැනට හෝ හැත්තෑ හතේදී හිටපු තැනට වැටෙන්නේ නැහැ. අවුරුදු කීපයකින් පස්සට යයි. ඊට පස්සේ නැවතත් ඉස්සරහට යන්න පුළුවන්. මතක තියා ගන්න නමසිය පණහේදී ලාංකිකයෙකුගේ ඒක පුද්ගල ආදායම රුපියල් 610යි. ඩොලර් වලින්නම් 124යි. 

දැන් ඇති වී තිබෙන අර්බුදය නිදහස ලබපු දවසේ පටන් රටේ ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් ඇති කළ අර්බුදයක් තමයි. හැබැයි එයින් අදහස් කරන්නේ ඒ අය මුකුත්ම කළේ නෑ කියන එක නෙමෙයි. දෙදාස් විස්සේ ලංකාව හතළිස් අටේ ලංකාවට වඩා බොහෝ දුර ගිය රටක්. දැන් තිබෙන අස්ථාවරත්වය ප්‍රශ්නයක් වුවත් එවැනි අස්ථාවරත්වයකට පාර කපමින් වුවද ලංකාව ලබාගෙන තිබෙන ජයග්‍රහණ ඉතා විශාලයි. ආර්ථිකය කඩා වැටුනා කියලා ඒ සියල්ල එක රැයින් නැති වෙන්නේ නැහැ. රැයවල් ගණනාවකින් පසුව නැති වෙන්නේත් නැහැ. විදේශ අංශයේ හා මිල මට්ටමේ යම් නිවැරදි වීමක් වෙනවා පමණයි. රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 2500 පමණ මට්ටමකට වැටුණත්, එය නිදහස ලබන කොට තිබුණු මට්ටම වගේ 20 ගුණයක්!

විදේශ අංශයෙන් පටන් අරගෙන, උද්ධමනය ගැනත්, මූර්ත අංශය ගැනත් අපි කතා කළා. මේ සියල්ල වෙද්දී රාජ්‍ය අංශයට වෙන්නේ මොකක්ද?

ලොකුම ප්‍රශ්නය වෙන්නේ රජයටයි. ලොකුවට නැතත් යම් තරමකින් හෝ ආර්ථිකය හැකිලීමත්, විරැකියා අනුපාතය ඉහළ යාමත් නිසා රජයට බදු ආදායම් ඉහළ දමා ගන්න වඩාත් අසීරු වෙනවා. ඒ අතර, විදේශ ණය වල රුපියල් අගය ඉහළ ගිහින් ණය පොලී හා වාරික වල වියදම ඉහළ යනවා. මහ බැංකුව විසින් උද්ධමනය පාලනය කරන්න පොලී අනුපාතික ඉහළ දැමීමත්, රටේ දේශීය ණය සැපයුම අඩු වීමත් නිසා දේශීය ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලී වියදම්ද ඉහළ යනවා. මේ අතර රජයේ සේවකයෝ වැඩි පඩි ඉල්ලා පාරට බහින්න ඉඩ තිබෙනවා. 

දීර්ඝකාලීනව ලොකු ප්‍රශ්නයක් වෙන්නේ ඔය වගේ තත්වයක් යටතේ රජය මහා පරිමාණයෙන් සල්ලි අච්චු ගහන්න යොමු වුනොත්. එහෙම කළොත්නම්, බේරෙන්න බැරි දිය සුළියකට අහු වෙනවා. වසර ගණනකින් පසුව සිම්බාබ්වේ මට්ටමට වුනත් යන්න පුළුවන්!

මේ තත්ත්වය වලක්වාගන්න තවත් කාලයක් යන තුරු යම් තරමකට හෝ තවත් විදේශ ණය ගන්නම වෙනවා. එසේ ණය අරගෙන තාවකාලිකව තත්ත්වය පාලනය කර ගන්නා අතරම විනිමය අනුපාතය අවප්‍රමාණය වෙන්න ඉඩ ඇරීම, මිල මට්ටම යම් තරමකින් ඉහළ යන්න ඉඩ ඇරීම හා දැඩි රාජ්‍යමූල්‍ය ප්‍රතිසංස්කරණ හරහා අයවැය හිඟය පාලනය කිරීමත් කරන්නම වෙනවා.

වෙබ් ලිපිනය: