වෙබ් ලිපිනය:

Showing posts with label ආයෝජනය. Show all posts
Showing posts with label ආයෝජනය. Show all posts

Tuesday, March 31, 2026

ආයෝජන වියදම් අඩු වෙලාද?


පසුගිය දවස් වල ප්‍රශ්න හා ප්‍රතිචාර ගණනාවකටම මාතෘකාව වී තිබුණු ආයෝජන වියදම් පිළිබඳව සටහනක් දැමීම මෙතෙක් ප්‍රමාද වූයේ ඒ සඳහා අවශ්‍ය සියළුම දත්ත ප්‍රකාශයට පත් කෙරෙන තුරු බලා ඉන්න සිදු වූ නිසා. මේ වෙද්දී අවශ්‍ය සියලුම දත්ත ප්‍රසිද්ධ කර තිබෙනවා.

පසුගිය (2025) වසරේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 32,751ක්. රටේ කාගේ හෝ ආදායමක් සේ සැලකිය හැකි මේ මුදල් ප්‍රමාණය වැය කෙරී තිබෙන්න පහත ආකාරයෙනුයි.

රජයේ පරිභෝජන වියදම්ද ඇතුළුව පරිභෝජන වියදම = රුපියල් බිලියන 24,311යි

ආයෝජන වෙනුවෙන් වැය කර ඇති වියදම = රුපියල් බිලියන 9,709යි.

මේ අනුව, රටේ දදේනියෙන් 74.2%ක කොටසක් පරිභෝජන වියදම් වෙනුවෙන් වෙන් වෙද්දී, 29.6%ක කොටසක් ආයෝජන වෙනුවෙන් වෙන් වී තිබෙනවා (මේ කොටස් දෙකේ එකතුව 100% ඉක්මවන්නේ අපනයන වලට වඩා වැඩියෙන් ආනයනය කර පරිභෝජනය කර තිබෙන නිසා).

ඊට පෙර (2024) වසරේ ආයෝජන වියදම වූ රුපියල් බිලියන 7,929ට සාපේක්ෂව පසුගිය වසරේ ආයෝජන වෙනුවෙන් වැය කර තිබෙන මුදල 24.4%කින් වැඩියි. ඊට සාපේක්ෂව බලද්දී පරිභෝජන වියදම් ඉහළ ගොස් තිබෙන්නේ 6.0%කින් පමණයි. මෙය සෑහෙන්න හොඳ තත්ත්වයක්. 2024දී ආයෝජන වෙනුවෙන් වැය කර තිබුණේ එම වසරේ දදේනියෙන් 26.3%ක් පමණයි.

රටක ආර්ථිකය වර්ධනය කර ගැනීම සඳහා ආයෝජන අවශ්‍ය වෙනවා. නමුත් රටක ආයෝජන කියන්නේ ඇතැම් අය හිතාගෙන ඉන්නවා වගේ රජය විසින් කරන ප්‍රාග්ධන වියදම් පමණක් නෙමෙයි. ඇත්ත වශයෙන්ම රජය විසින් කරන ප්‍රාග්ධන වියදම් කියන්නේ ලංකාව ඇතුළු බොහොමයක් රටවල වසරක් තුළ සිදු කෙරෙන ආයෝජන වියදම් වලින් සාපේක්ෂව කුඩා කොටසක්.

පසු ගිය (2025) වසර තුළ ශ්‍රී ලංකා රජය විසින් රුපියල් බිලියන 998ක ප්‍රාග්ධන වියදමක් වැය කර තිබුණා. තේරුමක් නැති සංසන්දනයක් වුනත්, රුපියල් ගණන අනුව, ඉතිහාසයේ වැඩිම රාජ්‍ය ප්‍රාග්ධන වියදම. මෙය තේරුමක් නැති සංසන්දනයක් වන්නේ ප්‍රාග්ධන වියදම් පෙර වසර වලට වඩා වැඩි මට්ටමක තිබීම බොහෝ වසර වල සිදු වන සාමාන්‍ය දෙයක් නිසා. 

කෙසේ වුවත්, රටේ මුළු ආයෝජන වියදම් එක්ක බලද්දී මෙම ප්‍රමාණය 10.3%ක කොටසක් පමණයි. මෙය පසුගිය අවුරුද්දේ පැවති විශේෂ තත්ත්වයක් නෙමෙයි. 2024 වසරේ වැය කළ ප්‍රාග්ධන වියදම වූ රුපියල් බිලියන 791 සැලකුවත්, එම වසරේ මුළු ආයෝජන ප්‍රමාණයෙන් 10.0%ක් පමණයි. ප්‍රාග්ධන වියදම් වලින් 90.0%ක්ම සිදු කර තිබෙන්නේ පෞද්ගලික අංශය විසින්. ඒ නිසාම, රටේ ආර්ථික වර්ධනය කෙරෙහි වැඩි බලපෑමක් කරන්නේ පෞද්ගලික අංශය විසින් සිදු කරන ආයෝජන මිසක් රාජ්‍ය අංශයේ ආයෝජන නෙමෙයි. 2024 සහ 2025 දෙවසර තුළ 5.0% බැගින් වන ආර්ථික වර්ධනයක් වාර්තා වීම අනුව වුනත්, එම දෙවසර තුළ ආයෝජන මදි කමක් තිබී නැති බව පේනවා.

අඩු වෙලා කියන රාජ්‍ය අංශයේ ප්‍රාග්ධන වියදම් සැලකුවත්, 2025 ප්‍රාග්ධන පිරිවැය පෙර වසරට වඩා 26.2%කින් වැඩියි. මෙය සැලකිය යුතු වැඩි වීමක්. එහෙමනම්, මේ ප්‍රාග්ධන වියදම් අඩු වෙලා කියන කතාවේ පදනම කුමක්ද? 

වසර මුල ඉදිරිපත් කළ අයවැය ඇස්තමේන්තු වල ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් බිලියන 1,315ක් වෙන් කර තිබුණා. නමුත්, පසු ගිය වසර වලදී වගේම, ඇත්තටම වියදම් කරලා තියෙන ප්‍රමාණය මේ වෙන් කළ මුදලට වඩා අඩුයි. අඩුව රුපියල් බිලියන 317ක්. 

රජය විසින් ඔය රුපියල් බිලියන 317ත් වියදම් කළානම් ආර්ථිකය මාර විදිහට වර්ධනය වෙලා තියෙයිද? කිසිසේත්ම නැහැ. ඇත්ත වශයෙන්ම බොහෝ විට ඇහැට පෙනෙන කිසිම වෙනසක් වෙන්නේ නැහැ. 

මේ මුදල වියදම් කළානම් රජයට ඒ ප්‍රමාණයට තවත් ණය ගන්න සිදු වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අයවැය හිඟය දදේනියෙන් 2.3% සිට 3.2% දක්වා ඉහළ යනවා. ප්‍රාථමික අයවැය අතිරිත්තය දදේනියෙන් 5.4% සිට 4.5% දක්වා අඩු වෙනවා. ඒ වගේම, මේ විදිහට තවත් ණය ගැනීම සඳහා රජයට පෞද්ගලික අංශයත් එක්ක තරඟ කරන්න වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස පෞද්ගලික අංශයේ ණය ගැනීම් අඩු වෙනවා. පෞද්ගලික අංශයේ ණය වලින් වැඩි කොටසක් ආයෝජන සඳහා ලබා ගන්නා ණය නිසා පෞද්ගලික අංශයේ ආයෝජන අඩු වෙනවා. 

පෞද්ගලික අංශයේ ණය වලින් 75%ක් පමණ ආයෝජන ණය සේ සැලකුවොත්, ශුද්ධ වශයෙන් බලද්දී ආයෝජන අඩු වෙන්නේ රුපියල් බිලියන 79ක් වැනි ප්‍රමාණයකින්. ඒ වගේ සුළු වෙනසකින් ආර්ථික වර්ධන වේගයේ ඇහැට පෙනෙන වෙනසක් වෙන්නේ නැහැ. රජය කරන්න හිටපු රුපියල් බිලියන 317ක පමණ ආයෝජනයෙන් රටේ ආර්ථිකයට ලැබෙන්න තිබුණු ප්‍රතිලාභ වලට වඩා එයින් 75%ක් පෞද්ගලික අංශය විසින් ආයෝජනය කිරීමේ ප්‍රතිලාභ වැඩි වෙන්න වුනත් පුළුවන්.

රජයකට ආයෝජන කරන්න වෙන්නේ එක්කෝ බදු ලෙස එකතු කර ගන්නා මුදල් වලින්. නැත්නම් ණය අරගෙන. ණය අරගෙන ආයෝජන කරද්දී පෞද්ගලික අංශයට ණය ගන්න තිබෙන හැකියාව සීමා වෙනවා. කලින් විස්තර කළේ  ඒ තත්ත්වය. අනෙක් ක්‍රමය වන බදු මුදල් වලින් ආයෝජන කිරීම ප්‍රතිඵලදායක වන්නේ අඩු ආදායම්ලාභීන් මත බදු ගසා ආයෝජනය කළොත් පමණයි. වැඩි ආදායම්ලාභීන් විසින් ඔවුන්ගේ අතිරික්ත අරමුදල් කොහොමටත් ආයෝජනය කරන නිසා රජය විසින් ඒ සල්ලි එකතු කරගෙන ආයෝජනය කරද්දී වෙන්නේ වඩා කාර්යයක්ෂම ආයෝජනයක් වෙනුවට අකාර්යක්ෂම ආයෝජනයක් ආදේශ වීම පමණයි. අඩු ආදායම්ලාභීන් මත බදු ගසා ආයෝජනය කළොත්නම්, ඔවුන්ගේ පරිභෝජනය සීමා වී ඒ සල්ලි ආයෝජනය වීමක් සිදු වෙනවා.

ඔය ක්‍රම දෙකටම අමතරව තිබෙන අනෙක් ක්‍රමය විදේශ ණය අරගෙන ආයෝජනය කරන එක. ඒ ක්‍රමයේදී, මුලදී වෙනත් හානියක් නැතිව ආර්ථිකය වර්ධනය වෙනවා. නමුත් ණය ආපසු ගෙවන්න සිදු වූ විට ඒ ආර්ථික වර්ධනය ආපසු හැරෙනවා. ඒ නිසා, එවැනි ආර්ථික වර්ධනයක් තිරසාර වර්ධනයක් නෙමෙයි. විදේශ ණය අරගෙන ආයෝජනය කළ වකවානු වල ආර්ථික වර්ධන වේගය තරමක් වැඩි වුනේත්, පසුව ඒ ණය ආපසු ගෙවන්න සිදු වෙද්දී ආර්ථිකය හැකිළෙන්න ගත්තේත් ඒ නිසා. 

පසු ගිය දශක හතරකට ආසන්න කාලය තුළ රජයේ ප්‍රාග්ධන වියදම් දදේනි අනුපාතයක් ලෙස ඉහළ මට්ටමක තිබුණු සෑම වසරකදීම අයවැය හිඟය තිබුණේ ඊට වඩා වැඩි මට්ටමකයි. එයින් අදහස් වන්නේ ප්‍රාග්ධන ආයෝජන නිසා රජය සතු වත්කම් වැඩි වෙනවාට වඩා වැඩියෙන් රාජ්‍ය ණය වැඩි වෙලා කියන එකයි. පසු ගිය අවුරුද්දේදී වසර 38කට පසුව මේ තත්ත්වයේ වෙනසක් සිදු වී තිබෙනවා. අයවැයේ ජංගම ගිණුමේ අතිරික්තයක් තිබෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ ණය වැඩි වීම ඉක්මවා වත්කම් වැඩි වී ඇති බවයි. 

Saturday, January 17, 2026

ආයෝජන කියන්නේ මොනවාද?

රටක ආර්ථික වර්ධනය සඳහා ආයෝජන වල වැදගත්කම ගැන කතා කරන ගොඩක් අය ඉන්නවා. ඇත්තටම මේ කතා කරන ආයෝජන කියන්නේ මොනවාද?

ආයෝජන කියන වචනය ඇහෙද්දී මතක් වෙන බොහෝ දේවල් තිබෙනවා. ඒ අතර, භාණ්ඩාගාර බිල්පත්, සමාගම් කොටස්, ඉඩම්, රත්තරන් ආදී දේවල් වල සිට ක්‍රිප්ටෝ මුදල් දක්වා විවිධ දේවල් තිබෙනවා. ආර්ථික වර්ධනය සඳහා මේ ඕනෑම ආයෝජනයක් උදවු වෙනවාද?

සාමාන්‍ය ව්‍යවහාරයේදී ආයෝජන කියා කිවුවත්, අප කතා කරන නිශ්චිත සන්දර්භයේදී, මේ ගොඩක් දේවල් ඇත්තටම ආයෝජන නෙමෙයි. ඒ නිසාම, මේ ගොඩක් දේවල් රටක ආර්ථික වර්ධනය සඳහා සෘජුව උදවු වෙන්නේ නැහැ. 

පෙර ලිපියක විස්තර කර ඇති පරිදි, ආර්ථික වර්ධනය යන්නෙන් අදහස් වන්නේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යාම. මූර්ත දළ දේශීය නිෂ්පාදිතය කියන්නේ වසරක් (හෝ වෙනත් කාලයක්) තුළ රටක නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණය. ආර්ථිකය වර්ධනය වෙන්නනම් රටක වසරක් තුළ නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඉහළ යා යුතුයි. ඒ නිසා, ආර්ථික වර්ධනය සඳහා සෘජුව උපකාරී වන්නේ නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඉහළ දැමිය හැකි ආකාරයේ ආයෝජන පමණයි. 

කෙනෙකුට තමන් සතු ඉතිරි කිරීම් කොටස් වෙළඳපොළේ ආයෝජනය කරන්න පුළුවන්. නමුත් එහිදී එවැන්නෙකු විසින් කරන්නේ වෙනත් අයෙකු විසින් දැනටම මිල දී ගෙන තිබෙන සමාගම් කොටසක් මිල දී ගන්න එකනම්, එයින් රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන හැකියාවේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. එහිදී වෙන්නේ එක් අයෙකු සතු සමාගමේ කොටසක අයිතිය වෙනත් අයෙකු සතු වීම පමණයි. ගනුදෙනුවෙන් ලාබයක් හෝ පාඩුවක් වීම හේතුවෙන් මෙහි කිසිම වෙනසක් වෙන්නේ නැහැ.

සමාගමක් විසින් සමාරම්භක කොටස් නිකුතුවක් (IPO) සිදු කරද්දී වෙන දෙය මීට වඩා තරමක් වෙනස්. එහිදී සමාගමට සෘජුවම යම් මුදලක් ලැබෙනවා. නමුත්, මෙහිදී වුවද, ආර්ථික විද්‍යා අර්ථයෙන් ආයෝජනයක් සිදු වන්නේ නැහැ. කෙසේ වුවත්, අදාළ සමාගම විසින් එසේ ලබා ගන්නා මුදල් වැය කර සමාගමේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන හැකියාව ඉහළ දමන කිසියම් ආයෝජනයක් කිරීම සමාරම්භක කොටස් නිකුතුවකින් පසුව සිදු වන සාමාන්‍ය දෙයයි. එය අලුත් කම්හලක් ඉදි කිරීම, අලුත් යන්ත්‍ර සූත්‍ර මිල දී ගැනීම හෝ අලුත් ශාඛාවක් ආරම්භ කිරීම වැනි දෙයක් වෙන්න පුළුවන්. ආර්ථික විද්‍යා අර්ථයෙන් ආයෝජන සේ සැලකෙන්නේ එවැනි ආයෝජනයයි. ආර්ථික විද්‍යා අර්ථයෙන්, කොටස් මිල දී ගන්නා තැනැත්තා විසින් කරන්නේ ඉතිරි කිරීමක් මිසක් ආයෝජනයක් නෙමෙයි.

සමාගමකට සැබෑ ආයෝජනයක් කිරීම සඳහා අරමුදල් සපයා ගත හැකි එකම ක්‍රමය අලුතෙන් කොටස් නිකුත් කිරීම නෙමෙයි. සමාගම් බැඳුම්කර නිකුත් කිරීම මගින්ද අවශ්‍ය අරමුදල් සපයා ගන්න පුළුවන්. මෙහිදීද, එම බැඳුම්කර මිල දී ගන්නා පුද්ගලයෙකු විසින් කරන්නේ ඉතිරි කිරීමක්. ආයෝජනය සිදු වන්නේ එයින් පසුවයි. 

සාමාන්‍යයෙන් පෞද්ගලික සමාගමක් පරිභෝජනය සඳහා අරමුදල් සපයා ගැනීමට කොටස් නිකුත් කරන්නේ හෝ බැඳුම්කර නිකුත් කරන්නේ නැහැ. අරමුදල් යොදවන්නේ කවර කටයුත්තක් සඳහාද යන්න සමාරම්භක කොටස් නිකුතුවේදී පැහැදිලිව සඳහන් කරනවා. ආයෝජනය අවදානම් කටයුත්තක් බැවින් අවසාන වශයෙන් අදාළ සමාගමේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන හැකියාවේ ප්‍රමාණවත් වැඩිවීමක් සිදු නොවෙන්න බැරිකමක් නැහැ. නමුත් එය සාමාන්‍ය තත්ත්වය නෙමෙයි. සාමාන්‍ය තත්ත්වය වන්නේ ආයෝජන හේතුවෙන් අදාළ සමාගමේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන හැකියාව සැලකිය යුතු ලෙස ඉහළ යාමයි. ඒ නිසා, මෙවැනි ආයෝජන වැඩි වැඩියෙන් සිදු වන තරමට රටක ආර්ථිකය වර්ධනය වෙනවා. 

රජයක් විසින් ණය ගනිද්දී මෙය මේ විදිහටම සිදු වෙන්නේ නැහැ. රජය විසින් පරිභෝජනය සඳහාද ණය ලබා ගැනීම අසාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. එයින් ආර්ථික වර්ධනයට උදවුවක් සිදු වන්නේ නැහැ. එහෙත්, ලබා ගන්නා ණය මුදල් යොදවා ඵලදායී ආයෝජනයක් කළහොත් එමගින් ආර්ථික වර්ධනයට උත්තේජනයක් ලැබෙන්න පුළුවන්. 

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර, ඒවා මුලින්ම නිකුත් කරන අවස්ථාවේදී වුවද, මිල දී ගන්නා අයගේ ඉතිරි කිරීම් මිසක් ආයෝජන නෙමෙයි. ඒ නිසා, එමගින් රටේ ඉතිරි කිරීම් අනුපාතය ඉහළ යන නමුත්, ආයෝජන අනුපාතය අනිවාර්යයෙන්ම ඉහළ යන්නේ නැහැ. එය තීරණය වෙන්නේ රජය විසින් අදාළ මුදල් යොදවන ආකාරය මතයි. 

ඉහත විස්තර කළ කරුණු විදේශ ප්‍රාග්ධනයටද අදාළයි. සාමාන්‍ය ව්‍යවහාරයේදී විදේශ ආයෝජන සේ සලකන හැම දෙයක්ම ආර්ථික විද්‍යා අර්ථයකින් ආයෝජන නෙමෙයි. ඒවා රට තුළ සිදු කරන විදේශිකයින්ගේ ඉතිරි කිරීම් පමණයි. 

ශ්‍රී ලංකා රජය විසින් ණය ලෙස විදේශ ප්‍රාග්ධනය ලබාගත් බොහෝ අවස්ථා වලදී සිදු වී තිබෙන්නේ ආයෝජන සිදු වීමට වඩා පරිභෝජන වියදම් ඉහළ යාමයි. එහෙත්, පෞද්ගලික සමාගමක් විසින් විදේශ ණය ලබා ගන්නේනම්, බොහෝ විට එසේ කරන්නේ කිසියම් සැබෑ ආයෝජනයක් කිරීමේ අභිලාෂයෙනුයි. ඒ නිසා, සාමාන්‍ය කරුණක් ලෙස, එහිදී රටේ ආයෝජන අනුපාතයද ඉහළ යනවා. විශේෂයෙන්ම සෘජු විදේශ ආයෝජන වලදී මේ තත්ත්වය දකින්න පුළුවන්.

ආයෝජන හා පරිභෝජනය වෙන් කිරීම හැම විටම පහසු කරුණක් නෙමෙයි. සාමාන්‍ය පුද්ගලයෙකු විසින් අලුත් වාහනයක් මිල දී ගන්නේ තමන්ගේ පෞද්ගලික පරිභෝජනය සඳහා වෙන්න පුළුවන්. එසේ නැත්නම්, වාහනය කුලියට දීම හෝ ප්‍රවාහන සේවා සැපයීම මගින් අනාගතයේදී ආදායම් උපයන්න වෙන්න පුළුවන්. දෙවන අවස්ථාවේදී, සාමාන්‍යයෙන්, රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන හැකියාවේ ඉහළ යාමක් සිදු වෙනවා. මේ කාර්යයන් දෙක සඳහාම වාහනය යොදා ගන්නේ වුවද එහි වෙනසක් නැහැ. වැදගත් වන්නේ වාහනය මිල දී ගැනීම නිසා ප්‍රවාහන සේවා නිෂ්පාදනය කිරීමේ විභවය වැඩි වන්නේද යන්නයි.

අලුත් නිවසක් හැදීම ආයෝජනයක්ද? 

මෙහිදීද, නිවස කුලියට දීමක් සිදු වේනම්, රටේ සේවා නිෂ්පාදිතය ඉහළ යන බව පැහැදිලියි. නිවස කුලියට නොදී තමන්ම එහි වාසය කළේ වුවද, මෙය තමන්ට අයිති නිවස තමන් විසින්ම කුලියට ගැනීමකට සමාන කළ හැකියි. ඒ නිසා, මෙහිදීද සේවා නිෂ්පාදිතයේ ඉහළ යාමක් සිදු වෙනවා.

මැතිවරණ වලට පෙරද අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කළ රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ ප්‍රතිපත්තිය අනුව, රජය සතු හෝටල් සමාගමක් විකිණීම සඳහා මේ වන විට කටයුතු කරමින් ඉන්නවා. හෝටල් කිහිපයක් අයිති මෙම රාජ්‍ය සමාගම විදේශ සමාගමක් විසින් මිල දී ගත්තා කියා අපි හිතමු. මෙහිදී ආයෝජනයක් සිදු වෙනවාද?

මෙවැනි මිල දී ගැනීමකදී රට තුළට විදේශ ප්‍රාග්ධනය පැමිණීමක් සිදු වෙනවා. රජයට එකවර යම් ආදායමක්ද ලැබෙනවා. නමුත් කිසිදු ආයෝජනයක් සිදු වන්නේ නැහැ. ඒ නිසාම, අදාළ විකිණීම හේතුවෙන්, රටේ ආර්ථික වර්ධන වේගය ඉහළ යන්නේත් නැහැ. අයිතිය වෙනස් වුවද, අදාළ හෝටල් වල සේවා නිෂ්පාදන ධාරිතාවේ වෙනසක් සිදු වන්නේ නැහැ.

කෙසේ වුවද, මෙවැනි මිල දී ගැනීමකින් පසුව, දේශීය හෝ විදේශීය ගැනුම්කරුවෙකු විසින් අමතර ප්‍රාග්ධනය යොදවමින් අදාළ හෝටල් වල සේවා සැපයුම් ධාරිතාවය වැඩි කරන්න ඉඩ තිබෙනවා. එවැන්නක් සිදු වුවහොත්, එමගින් ආර්ථික වර්ධනයට උත්තේජනයක් ලැබෙනවා. 

රටකට ගලා එන විදේශ ප්‍රාග්ධනය සහ රටේ සිදු වන ආයෝජන අතර වක්‍ර සම්බන්ධයක් තිබුණත් සෘජු සම්බන්ධයක් නැහැ. ඒ නිසාම, රටකට වැඩි වැඩියෙන් විදේශ ප්‍රාග්ධනය ගලා ආ පමණින් ආයෝජන ඉහළ ගොස් වර්ධන විභවය ඉහළ යන්නේ නැහැ. 

ආයෝජන සිදු වුවත්, නොවුනත්, රටට විදේශ ප්‍රාග්ධනය රැගෙන එන අයෙකු එසේ කරන්නේ එමගින් ලබා ගත හැකි ප්‍රතිලාභ පසුව රටෙන් එළියට රැගෙන යාමේ අරමුණ ඇතිවයි. විදේශ ප්‍රාග්ධනය ලෙස රටට ලැබෙන සෑම ඩොලරයක් නිසාම, එම අරමුදල් පැමිණෙන්නේ ණය ලෙස වුවත්, වෙනත් ආයෝජන ලෙස වුවත්, අනාගතයේදී රටෙන් එළියට විදේශ විණිමය ගලා යාමේ යාන්ත්‍රණයක්ද හැදෙනවා. රටට ලැබෙන විදේශ ප්‍රාග්ධනය හේතුවෙන් ආයෝජන වැඩි වීමක් සිදු වුවහොත් පමණක් එමගින් රටේ ආර්ථික වර්ධනයක් සිදු වෙනවා. එසේ ආර්ථික වර්ධනයක් සිදු වුවද, එහිදී රට තුළ විදේශ විණිමය ජනනය වීමේ ඉහළ යාමක් සිදු නොවුවහොත්, යෙදවූ ප්‍රාග්ධනය ආපසු යද්දී රටට විදේශ විණිමය අර්බුදයකට මුහුණ දෙන්නට සිදු වෙනවා. 

විදේශිකයින් විසින් දැනටම නිකුත් කර තිබෙන සමාගම් කොටස් කොටස් වෙළඳපොළ හරහා මිල දී ගනිද්දී රටට විදේශ ප්‍රාග්ධනය පැමිණෙන නමුත් ආර්ථිකයේ විභවයේ කිසිදු වෙනසක් සිදු වන්නේ නැහැ. මෙහිදී සිදු වන්නේ තාවකාලිකව රුපියල් ඉල්ලුම ඉහළ යාම පමණයි. අරමුදල් වෙනුවෙන් ප්‍රතිලාභ රටෙන් එළියට යද්දී එසේ වැඩි වූ රුපියල් ඉල්ලුමද ඉක්මවා රුපියල් සැපයුම ඉහළ යනවා. ඩොලර් ඉල්ලුම වැඩි වෙනවා. ලංකාව වැනි රටකට ඒ තත්ත්වයට මුහුණ දිය හැක්කේ රටට විදේශ ප්‍රාග්ධනය පැමිණෙන අවස්ථාවේදී මෙන්ම ඉන් පසුවද විදේශ විණිමය එක්රැස් කර ගනිමින් සංචිත වැඩි කරගෙන කලින් සූදානම්ව සිටියහොත් පමණයි. එසේ නැත්නම් සිදු වන්නේ එලෙස පැමිණෙන විදේශ ප්‍රාග්ධනය ආනයන ලෙස රටෙන් පිටව යාම පමණයි. 

විවිධ ක්‍රම වලින් රටට පැමිණෙන විදේශ විණිමය ආනයන ලෙස රටෙන් පිටවීම කාලයක් තිස්සෙම ලංකාවේ සිදු වූ දෙයක්. එහෙත් මෙය ඉතාම බරපතල ආකාරයකින් සිදු වූයේ 2006-2014 අතර වසර අටක කාලය තුළයි. 2006 වන විටද ඩොලර් මිලියන 11,981.4ක් පමණක් වූ ලංකාවේ මුළු විදේශ ණය ප්‍රමාණය 2014 වන විට ඩොලර් මිලියන 42,914.1 දක්වා ඉහළ ගියා. ඒ කියන්නේ වසර අටක කාලයක් තුළ ඩොලර් මිලියන 30,932.7ක වැඩිවීමක්. 

ඉහත කාලය තුළ රටේ විදේශ සංචිත ප්‍රමාණයද ඩොලර් මිලියන 4,005.4 සිට ඩොලර් මිලියන 9,884.4 දක්වා ඉහළ ගියත්, එම වැඩි වීම ඩොලර් මිලියන 5,879.0ක් පමණයි. ණය ලෙස ලබාගත් ඉතිරි ඩොලර් මිලියන 25,053.7 ආනයන වියදම් ලෙස රටින් පිටව ගියා. මෙම ආනයන වලින් යම් කොටසක් සැබෑ ආයෝජන සඳහා සිදු කළ ආනයන විය හැකි නමුත් කිසිසේත්ම මුළු මුදලම ආයෝජන නෙමෙයි. වැඩි කොටසක් පරිභෝජනය වෙනුවෙන් සිදු කළ ආනයනයි.

මෙහිදී අප විසින් විදේශ ණය සේ සලකා තිබෙන්නේ රටේම විදේශ ණයයි. එමෙන්ම විදේශ සංචිත සේ සලකා තිබෙන්නේද රටේම විදේශ සංචිතයි. එම ගණන් වලට රජයේ මෙන්ම, බැංකු අනෙකුත් සමාගම් හා පුද්ගලයින්ගේ විදේශ ණය සහ විදේශ සංචිත ඇතුළත්. 2024 වසර අවසන් වන විට රටේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 57,133.5ක්. රටේ මුළු විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 11,230.0ක්. වෙනස ඩොලර් මිලියන 45,903.5ක්. එම හිඟයෙන් ඩොලර් මිලියන 25,053.7ක්ම එකතු වුනේ 2006-2014 අතර වසර අටක කාලය තුළයි. ඉතිරි කොටසින් සැලකිය යුතු කොටසක්ද එම කාලය තුළ රටට පැමිණි විදේශ ප්‍රාග්ධනය වෙනුවෙන් ලබාගත් ප්‍රතිලාභ ලෙස රටෙන් එළියට ගිය විදේශ විණිමයයි. 

මෙවැනි තත්ත්වයක් නැවත ඇතිවීම වලක්වා ගන්නනම්, රටට පැමිණෙන විදේශ ප්‍රාග්ධනය ගැන බොහෝ සැලකිලිමත් වන්නට සිදු වෙනවා. එයින් අදහස් වන්නේ විදේශ ප්‍රාග්ධනය රටට පැමිණීමට බිය යුතු බව හෝ එය අධෛර්යමත් කළ යුතු බව නෙමෙයි. කිසිසේත්ම එවැන්නක් නොකළ යුතුයි. ඒ වෙනුවට කළ යුත්තේ රටට පැමිණෙන විදේශ ප්‍රාග්ධනය මෙන්ම ඒ වෙනුවෙන් එම ප්‍රාග්ධනයේ හිමිකරුවන් විසින් උපයා ගන්නා ප්‍රතිලාභද අනාගතයේදී ආපසු රටින් පිටව යන බව අවබෝධ කරගෙන එයට පෙර සූදානම්ව සිටීමයි. එය කළ හැක්කේ ප්‍රමාණවත් තරමින් විදේශ සංචිත එකතු කර ගැනීම මගිනුයි.

විදේශ සංචිත එකතු කර ගැනීමේ අරමුණ විය යුත්තේ විදේශ ප්‍රාග්ධනය ආපසු යද්දී නැවත එම සංචිත විකිණීම නෙමෙයි. සුවිශේෂී තත්ත්වයක් යටතේ පමණක් එසේ කරන්නට සිදු වෙනවා. සැබෑ අරමුණ විය යුත්තේ එසේ කිරීම මගින් රුපියල අධිප්‍රමාණය නොවී අවප්‍රමාණය වීමට ඉඩ හැර ස්වභාවික ලෙසම ආනයන පාලනය වීමට ඉඩ හැරීමයි. එවිට රටට පැමිණෙන විදේශ විණිමය රට තුළම ඉතිරි වෙනවා.

Saturday, October 11, 2025

ආර්ථික වර්ධනය හා ප්‍රාග්ධන ආයෝජන


රටක ආර්ථික වර්ධනය හා ප්‍රාග්ධන ආයෝජන අතර තිබෙන්නේ කවර ආකාරයේ සම්බන්ධයක්ද? මේ ප්‍රශ්නයට 1987දී නොබෙල් ත්‍යාගය දිනූ රොබට් සොලෝ විසින් න්‍යායාත්මක පිළිතුරක් ලබා දී තිබෙනවා. 2021 පෙබරවාරි 4 දින පළ කර ඇති "රටවල් දියුණු වෙන්නේ කොහොමද?" ලිපියෙහි මෙම සොලෝ ආකෘතිය තාක්ෂනික (ගණිතමය) ලෙස විස්තර කර තිබෙනවා. මෙය ඊට වඩා බොහෝ සරල, වැඩි දෙනෙකුට තේරුම් ගත හැකි වත්පොත් සටහනකට වඩා ගැලපෙන, පැහැදිලි කිරීමක්. 

රටේ ප්‍රාග්ධන සංචිතය වර්ධනය වෙනවා කියන්නේ රටේ නිෂ්පාදන හැකියාව ඉහළ යනවා කියන එකයි. මෙහිදී ප්‍රාග්ධන සංචිතය යන්නෙන් අදහස් වන්නේ ශ්‍රමය (මානව ප්‍රාග්ධනය) හැර නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන අනෙකුත් නිෂ්පාදන සාධක සියල්ලයි. යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි, යටිතල පහසුකම් ආදී සියල්ල එයට ඇතුළත්. ඒ වගේම පරිගණක මෘදුකාංග වැනි අරූපික (අස්පර්ශනීය) දේවල් තියෙන්නේත් මේ  ප්‍රාග්ධන සංචිතය ඇතුළේ. ප්‍රාග්ධන සංචිතය වැඩි කර ගැනීම සඳහා මූල්‍ය ප්‍රාග්ධනය (මුදල්) අවශ්‍ය වන නමුත් මෙහිදී ප්‍රාග්ධනය යන්නෙන් (සීමිත සන්දර්භ වලදී හැර) මූල්‍ය ප්‍රාග්ධනය අදහස් වන්නේ නැහැ. 

රටක ප්‍රාග්ධන සංචිතය වර්ධනය වන තරමට ආර්ථිකයද වර්ධනය වෙනවා. නමුත් ආර්ථිකය වර්ධනය වන්නේ ප්‍රාග්ධන සංචිතය වර්ධනය වන වේගයට වඩා අඩු වේගයකින්. කාලයක් තිස්සේ නැවත නැවත කර ඇති නිරීක්ෂණ අනුව, වෙළඳපොළ ආර්ථිකයක් තිබෙන බොහොමයක් රට වල මෙම අනුපාතය ආසන්න වශයෙන් 30%ක් පමණ. මෙයින් අදහස් වන්නේ රටක ප්‍රාග්ධන සංචිතය 10%කින් වර්ධනය වෙද්දී ආර්ථිකය 3%කින් වර්ධනය වනවා යන්නයි. 

කෙසේ වුවද, ප්‍රාග්ධන සංචිතය වර්ධනය වීම කිසියම් නිශ්චිත රටක ආර්ථික වර්ධන වේගය කෙරෙහි දායක වන ආකාරය ඒ රටේ ආර්ථිකයේ ප්‍රමාණයට (දදේනියට) සාපේක්ෂව ප්‍රාග්ධන සංචිතය කොපමණද යන්න අනුව වෙනස් වෙනවා. අඩු ප්‍රාග්ධන සංචිතයක් ඇති රටකට ප්‍රාග්ධනයේ වටිනාකම වැඩියි. 

මෙය පැහැදිලි කර ගැනීම පිණිස, එක සමාන ප්‍රමාණයේ ආර්ථිකයන් ඇති (ඩොලර් බිලියන 100ක), එහෙත් වෙනස් මට්ටම් වල ප්‍රාග්ධන සංචිත ඇති (පිළිවෙලින් ඩොලර් බිලියන 50, 100 හා 200), රටවල් තුනක් සලකමු. ඩොලර් බිලියන 10කින් ප්‍රාග්ධන සංචිතය ඉහළ යාම මේ එක් එක් රටේ ආර්ථික වර්ධනය කෙරෙහි බලපාන්නේ කෙසේද?

පළමු රට: 

ආර්ථිකයේ ප්‍රමාණය = ඩොලර් බිලියන 100

ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය = ඩොලර් බිලියන 50

ප්‍රාග්ධනය සංචිතය ඉහළ යාම = ඩොලර් බිලියන 10

ප්‍රාග්ධනය සංචිතයේ වර්ධන වේගය = 20%

ආර්ථික වර්ධන වේගය = 6%


දෙවන රට: 

ආර්ථිකයේ ප්‍රමාණය = ඩොලර් බිලියන 100

ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය = ඩොලර් බිලියන 100

ප්‍රාග්ධනය සංචිතය ඉහළ යාම = ඩොලර් බිලියන 10

ප්‍රාග්ධනය සංචිතයේ වර්ධන වේගය = 10%

ආර්ථික වර්ධන වේගය = 3%


තෙවන රට: 

ආර්ථිකයේ ප්‍රමාණය = ඩොලර් බිලියන 100

ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය = ඩොලර් බිලියන 200

ප්‍රාග්ධනය සංචිතය ඉහළ යාම = ඩොලර් බිලියන 10

ප්‍රාග්ධනය සංචිතයේ වර්ධන වේගය = 5%

ආර්ථික වර්ධන වේගය = 1.5%


මෙහිදී අප විසින් සලකා බලා තිබෙන්නේ ආර්ථික වර්ධනය කෙරෙහි ප්‍රාග්ධනය සංචිතය වර්ධනය වීමේ බලපෑම පමණයි. වෙනත් හේතු නිසාද ආර්ථිකය වර්ධනය වීමට හෝ හැකිලීමට හැකි වුනත්, අපේ අරමුණ ආර්ථික වර්ධනය හා ප්‍රාග්ධන ආයෝජන අතර සම්බන්ධය තේරුම් ගැනීම බැවින් ඒ අනෙකුත් කරුණු සලකා බලා නැහැ. 

ඉහත කාල්පනික උදාහරණ අනුව, පෙනී යන්නේ රටක දදේනියට සාපේක්ෂව (දදේනියෙහි ප්‍රතිශතයක් හෝ ගුණකයක් ලෙස) ප්‍රාග්ධන සංචිතය ඉහළ යන තරමට අමතර ප්‍රාග්ධනය එකතු වෙද්දී එමගින් ආර්ථික වර්ධනය කෙරෙහි ලැබෙන දායකත්වය ක්‍රමක්‍රමයෙන් අඩු වන බවයි. 

මේ අයුරින් ප්‍රාග්ධන සංචිතය වර්ධනය වීම ආර්ථික වර්ධන වේගය ඉහළ දමන අයුරින්ම ප්‍රාග්ධන සංචිතය අඩු වෙද්දී ආර්ථික වර්ධන වේගය අඩුවීමද සිදු වෙනවා. අනෙකුත් සාධක වලින් ආර්ථිකය වර්ධනය නොක‍රන්නේනම්, ප්‍රාග්ධන සංචිතය අඩු වීමේ ප්‍රතිඵලය වන්නේ ආර්ථිකය හැකිලීමයි. එනම්, ආර්ථික වර්ධන වේගය සෘණ වීමයි. මෙම බලපෑමද ප්‍රාග්ධන සංචිතය දදේනියට සාපේක්ෂව අඩු රටකදී වඩා වැඩියි. 

රටක ප්‍රාග්ධන සංචිතය වර්ධනය වන්නේ හෝ හැකිලෙන්නේ කෙසේද?

කිසියම් රටක් විසින් දැනටම එක්රැස් කරගෙන තිබෙන ප්‍රාග්ධන සංචිතය හැමදාම දිගටම ඒ මට්ටමේම තියෙන්නේ නැහැ. සෑම වසරකදීම ප්‍රාග්ධනය යම් තරමකින් ක්ෂය වෙනවා. උදාහරණයක් ලෙස ප්‍රාග්ධන සංචිතයට අලුතෙන් පරිගණක පද්ධතියක් එක් කළහොත්, ප්‍රාග්ධන සංචිතය ඉහළ යන නමුත් වසර හතරක් පමණ යද්දී මේ පරිගණක කල් ඉකුත් වෙනවා. මහාමාර්ගයක් හෝ ගොඩනැගිල්ලක්නම්, මේ සඳහා වසර විස්සක හෝ තිහක කාලයක් යා හැකියි. නමුත් කිසියම් වේගයකින් ප්‍රාග්ධනය ක්ෂය වෙනවා.

රටක ප්‍රාග්ධන සංචිතය වර්ධනය වීමටනම්, ප්‍රාග්ධනය ක්ෂය වන වේගයට වඩා වැඩි වේගයකින් ආයෝජන සිදු කළ යුතුයි. ආයෝජන සිදු වන්නේ ඊට වඩා අඩුවෙන්නම්, එහිදී සිදු වන්නේ ප්‍රාග්ධන සංචිතය පහළ යාම හේතුවෙන් ආර්ථිකයේ ප්‍රමාණයද ක්‍රමයෙන් අඩු වීමයි. 

ප්‍රාග්ධනය ක්ෂය වන වේගය බොහෝ දුරට තාක්ෂණික ලෙස තීරණය වන, භෞතික දෙයක්. පරිගණකයක්, ගොඩනැගිල්ලක්, යන්ත්‍රයක් හෝ අධිවේගී මාර්ගයක් කොපමණ කාලයක් ප්‍රයෝජනයට ගත හැකිද යන්න මිනිස් හැසිරීම් මත වෙනස් වෙන්නේ නැති තරම්. ඒ නිසා, එය අපට සලකන්න සිදු වෙන්නේ වෙනස් කළ නොහැකි දෙයක් ලෙසයි. මීට සාපේක්ෂව බලන විට ආයෝජන සිදු වන ප්‍රමාණය කිසියම් රටක මිනිසුන්ගේ චර්යාවන් මත වගේම, රාජ්‍ය ප්‍රතිපත්ති මතද වෙනස් වන දෙයක්. 

විදේශ ආයෝජන දැනට පැත්තකින් තිබ්බොත්, ආයෝජන කියා කියන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් පරිභෝජනය නොකර ඉතිරි කරන කොටස. ආයෝජන සිදු වෙන්නේ රාජ්‍ය මැදිහත්වීමකින් වුනත්, සෘජුව පෞද්ගලික අංශය හරහා වුනත්, මෙහි වෙනසක් නැහැ. ඒ නිසා, පරිභෝජනය සීමා වන තරමට ආයෝජනය ඉහළ යනවා. පරිභෝජනය යන්නට රජයේ "පරිභෝජන" වියදම්ද ඇතුළත්. ඒ කියන්නේ පුනරාවර්තන වියදම්. 

සාමාන්‍යයෙන් කිසියම් රටක ජනතාවගේ පරිභෝජන නැඹුරුව සංස්කෘතික සාධක ඇතුළු බොහෝ කරුණු මත තීරණය වන දෙයක්. සමාජයක චර්යාවන් දිගුකාලීනව වෙනස් වන නමුත් කෙටිකාලීනව ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. රජයේ පුනරාවර්තන වියදම් සැලකුවත්, දිගුකාලීනව මිසක් කෙටිකාලීනව ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් පරිභෝජනය නොකර ඉතිරි කරන කොටස, ඒ කියන්නේ කිසියම් රටක දේශීය ඉතුරුම් අනුපාතය, කෙටිකාලීනව විශාල ලෙස වෙනස් වෙන්නේ නැහැ. නමුත් රටරටවල් අතර දේශීය ඉතුරුම් අනුපාතයන්හි විශාල වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒ වගේම, කිසියම් නිශ්චිත රටක වුනත්, කෙටිකාලීනව යම් ප්‍රමාණයක් විචලනයන් සිදු වෙන්න පුළුවන්.

අපි හිතමු රටක සාමාන්‍ය දේශීය ඉතුරුම් අනුපාතය දළ දේශීය නිෂ්පාදිතයෙන් 20%ක් කියලා. ඒ කියන්නේ දදේනියෙන් 20%කට සමාන ආයෝජන සිදු වෙනවා. එපමණකින් ප්‍රාග්ධන සංචිතය ඉහළ යනවා. ඩොලර් බිලියන 100ක ආර්ථිකයක් සැලකුවොත් වසරකට ඩොලර් බිලියන 20කින්. 

දැන් මේ විදිහට ඩොලර් බිලියන 20කින් ප්‍රාග්ධන සංචිතය ඉහළ යාම නිසා ආර්ථික වර්ධනයට සිදු වෙන බලපෑම තීරණය වෙන්නේ එමගින් ප්‍රාග්ධන සංචිතය කොපමණ ප්‍රතිශතයකින් වෙනස් වෙනවද කියන එක මතයි. 

- ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය ඩොලර් බිලියන 50නම් 40%කින් 

- ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය ඩොලර් බිලියන 100නම් 20%කින් 

- ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය ඩොලර් බිලියන 200නම් 10%කින් 

නමුත් අනෙක් අතට තිබෙන ප්‍රාග්ධන සංචිතයෙන් යම් ප්‍රමාණයක් ක්ෂය වෙනවනේ. අපි හිතමු මේ අනුපාතය සාමාන්‍ය අගයක් ලෙස 5%ක් කියලා. ඒ කියන්නේ සාමාන්‍ය අගයක් ලෙස වසර 20ක් ප්‍රාග්ධනය ආර්ථික කටයුතු සඳහා ප්‍රයෝජනයට ගන්න පුළුවන් කියන එක. ක්ෂය වීමත් සැලකිල්ලට ගත්තට පස්සේ ප්‍රාග්ධන සංචිතය කොපමණ ප්‍රතිශතයකින් වෙනස් වෙනවද?

- ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය ඩොලර් බිලියන 50නම් 35%කින් 

- ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය ඩොලර් බිලියන 100නම් 15%කින් 

- ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය ඩොලර් බිලියන 200නම් 5%කින් 


මේ අනුව ආර්ථිකය වර්ධනය වෙන්නේ කොහොමද?

- ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය ඩොලර් බිලියන 50නම් 10.5%කින් 

- ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය ඩොලර් බිලියන 100නම් 4.5%කින් 

- ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය ඩොලර් බිලියන 200නම් 1.5%කින් 


ඔය විදිහට ආර්ථිකය වර්ධනය වෙද්දී ඉතුරුම් අනුපාතය 20% මට්ටමේම දිගටම තිබුණත් එහි ප්‍රමාණය ආර්ථිකයත් එක්ක වර්ධනය වෙනවා. එසේ වර්ධනය වීම නිසා ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය ටිකෙන් ටික ඉහළ යනවා. ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය අඩු වූ තරමට මේ වැඩේ වඩා වේගයෙන් සිදු වෙනවා. නමුත් ප්‍රාග්ධන සංචිතය වැඩි වන තරමට එය වර්ධනය වන වේගය වගේම ප්‍රාග්ධනය වැඩි වීම නිසා ආර්ථිකය වර්ධනය වන වේගයද එන්න එන්නම අඩු වෙනවා. 

අපි හිතමු ආර්ථිකයේ ප්‍රමාණය ඩොලර් බිලියන 100 වන රටක ප්‍රාග්ධන සංචිතය ඔය විදිහට වැඩි වෙලා ඩොලර් බිලියන 400 මට්ටමට ආවා කියලා. ඉතුරුම් අනුපාතය 20%යි. ඒ කියන්නේ ඩොලර් බිලියන 20ක ආයෝජන සිදු වෙනවා. රටේ ප්‍රාග්ධන සංචිතයේ ප්‍රතිශතයක් ලෙස එය 5%ක්. නමුත් ක්ෂය වන වේගයත් 5%ක්. ඒ කියන්නේ දදේනියෙන් 20%ක් ආයෝජනය කළත්, එයින් වෙන්නේ රටේ ප්‍රාග්ධන සංචිතය දැනට තිබෙන මට්ටමේම පවත්වා ගෙන යා හැකි වීම පමණයි. ප්‍රාග්ධන සංචිතය තව දුරටත් වර්ධනය වෙන්නේ නැහැ. ඒ නිසාම ප්‍රාග්ධනය ආර්ථික වර්ධනයට දායක වෙන එකත් නවතිනවා. රොබට් සොලෝ විසින් පෙන්වා දුන්නේ ඔන්න ඔය කාරණාව.

කිසියම් වසරක ඉතුරුම් අනුපාතය 20% සිට 21% දක්වා ඉහළ ගියොත් එහි උදවුවෙන් ආර්ථිකය තරමක් වර්ධනය වෙන්න පුළුවන්. ඒ වගේම, ඉතුරුම් අනුපාතය 19% දක්වා පහත වැටුනොත් ආර්ථිකය තරමක් හැකිලෙන්නත් පුළුවන්. රටේ ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය තීරණය වෙන්නේ සාමාන්‍ය ඉතුරුම් අනුපාතය මතයි. එම අනුපාතය කොපමණ වුණත්, එය එකවර විශාල ලෙස වෙනස් වල අවස්ථාවකදී හැර, ආයෝජන හරහා ලැබෙන ප්‍රාග්ධනය නිසා ආර්ථිකය දිගුකාලීනව වර්ධනය වෙන්නේ හෝ හැකිළෙන්නේ නැහැ. 

රටේ සාමාන්‍ය ඉතුරුම් අනුපාතය කිසියම් හේතුවක් නිසා විශාල ලෙස වෙනස් වුවහොත්, උදාහරණයක් ලෙස 20% සිට 40% දක්වා වැඩි වී ඒ මට්ටමේ දිගටම පැවතුනොත්, යම් කාලයක් යන තුරු ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙන්න පුළුවන්. එහිදී රටේ ප්‍රාග්ධන සංචිතයද මුලින්ම වේගයෙන් ඉහළ යනවා. නමුත් කාලය යද්දී ඒ  වේගය අඩු වෙනවා. ඒ නිසා, ආර්ථික වර්ධන වේගයද ක්‍රමයෙන් අඩු වෙනවා. 

ප්‍රාග්ධන සංචිතය යම් මට්ටමකට ආවට පස්සේ මේ 40% ඉතුරුම් අනුපාතයෙන් වුනත් කළ හැක්කේ ක්ෂය වන ප්‍රාග්ධනය නැවත සපයන එක පමණයි. ඒ නිසා, ඉතුරුම් අනුපාතය වැඩි කළා කියලත් ආර්ථිකයක් දිගින් දිගටම වර්ධනය කරන්න බැහැ. නමුත් ඉතුරුම් අනුපාතයේ මෙවැනි විශාල වැඩිවීමක් සිදු වුනොත් දශක කිහිපයක් පුරා ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙන්න පුළුවන්. චීනය, දකුණු කොරියාව වගේ රටවල ඔය වැඩේ සිදු වුනා. පසුව වර්ධන වේගය අඩු වුනත්, ඒ කාලය ඇතුළත රටට වෙනම ලෙවල් එකකට යන්න පුළුවන්. 

දැන් ඔය වැඩේ වෙන්නේ රටේ දේශීය ඉතුරුම් අනුපාතය වැඩි කරලා ආයෝජන අනුපාතය වැඩි කළ විටනේ. ඊට අමතරව විදේශ ප්‍රාග්ධනය ලබා ගැනීම මගින් දේශීය ඉතුරුම් අනුපාතය වැඩි නොකර ආයෝජන අනුපාතය වැඩි කරන්න පුළුවන්. ලංකාව කාලයක් තිස්සේම කළේ ඔය වැඩේ. උදාහරණයක් විදිහට දේශීය ඉතුරුම් අනුපාතය 20% මට්ටමේම තියෙද්දී, තව 5%ක විදේශ ප්‍රාග්ධනය රටට ආවොත්, ආයෝජන අනුපාතය 25% දක්වා උස්සගන්න පුළුවන්. එහි ප්‍රතිඵලයක් විදිහට ආර්ථික වර්ධන වේගයද කෙටිකාලීනව ඉහළ යනවා. 

නමුත් මේ විදිහට විදේශ ආයෝජන වල උදවුවෙන් වැඩිපුර ප්‍රසාරණය කරපු ආර්ථිකය ඒ මට්ටමේ තියා ගන්නනම් දිගටම ආයෝජන අනුපාතය 25% මට්ටමේම තියා ගන්න වෙනවා. ඒක කරන්නම් සෑම වසරකදීම දදේනියෙන් 5%කට සමාන විදේශ ප්‍රාග්ධනය රටට පැමිණිය යුතුයි. නැත්නම් වෙන්නේ අර කලින් වර්ධනය වූ වේගය අඩු වෙන එක පමණක් නෙමෙයි. රටේ ආයෝජන අනුපාතය පහත වැටීම නිසා, විදේශ ප්‍රාග්ධනයේ උදවුවෙන් වර්ධනය වූ කොටස නැවත හැකිලෙනවා.

රටකට විදේශ ප්‍රාග්ධනය එන ක්‍රම දෙකක් තිබෙනවා. ඒ ණය ලෙස සහ සෘජු විදේශ ආයෝජන ලෙස. ගොඩක් වෙලාවට රජය මැදිහත් වෙලා කරන්නේ විදේශ ණය ගන්න එක. එහෙම විදේශ ණය අරගෙන ප්‍රාග්ධන ආයෝජන කිරීම මගින් ක්ෂණිකව ආර්ථික වර්ධන වේගය වැඩි කරන්න පුළුවන්. නමුත් ගත්ත ණය ආපසු ගෙවන්න වෙද්දී ඒ වර්ධනය වූ ප්‍රමාණය නැවත හැකිලෙනවා. එය වලක්වා ගන්නනම්, ඒ ණය ගෙවීම සඳහා නැවතත් විදේශ ණය ගන්න වෙනවා. 

එහෙම තවත් විදේශ ණය ගත්තත් ආර්ථිකය තව දුරටත් වර්ධනය කරන්න බැහැ. කරන්න පුළුවන් ආර්ථිකය හැකිළෙන එක වලක්වා ගන්න පමණයි. විදේශ ණය වල උදවුවෙන් ආර්ථික වර්ධනය වේගය දිගටම ඉහළ මට්ටමක තියාගන්නනම් පරණ ණය ගෙවන්න අලුතෙන් ණය ගන්නවාට අමතරව තවත් වැඩි වැඩියෙන් විදේශ ණය ගන්න වෙනවා.

අපි හිතමු දේශීය ඉතුරුම් අනුපාතය 20% මට්ටමේම තියෙද්දී, විදේශ ණය අරගෙන ඉතුරුම් අනුපතාය 21% දක්වා ඉස්සුවා කියලා. වැඩිපුර 1% විදේශ ණය. දැන් ආර්ථික වර්ධන වේගය කලින් වේගයට වඩා වැඩියි. නමුත් ඊළඟ අවුරුද්දේ ඔය වැඩි වූ වේගය තියාගන්නනම් අලුතෙන් 2%ක් විදේශ ණය ගන්න වෙනවා. පරණ ණය ගෙවන්න 1%ක් සහ වර්ධන වේගය තියා ගන්න තවත් 1%ක් විදිහට. තුන් වන අවුරුද්දේදී විදේශ ණය ප්‍රමාණය 3% දක්වා වැඩි කරන්න වෙනවා. මේක තනිකරම පිරමිඩ් ක්‍රමයක් කියන එක පැහැදිලියිනේ.

ඉහත විස්තර කළ පරිදි 1%,  2%, 3% ආදී වශයෙන් විදේශ ණය ගැනීම් වැඩි කරන්න වෙන්නේ වසරකින් පසුව ණය ආපසු ගෙවිය යුතුනම්. නමුත් සාමාන්‍යයෙන් විදේශ ණය ගන්නේ ඊට වඩා දීර්ඝ කාලයකට නිසා ඔය පිරමිඩය යම් කාලයක් පවත්වා ගෙන යන්න පුළුවන්. හැබැයි කොයි වෙලාවේ හරි කඩා වැටෙනවා. විදේශ ණය වල උදවුවෙන් ආර්ථිකය වර්ධනය කරන එක කිසිසේත්ම තිරසාර ක්‍රමයක් නෙමෙයි. උදාහරණයක් ලෙස 2005-2014 කාලයේදී ණය ලෙස රටට පැමිණි විදේශ ප්‍රාග්ධනය නිසා ආර්ථික වර්ධන වේගය ඉහළ ගියත්, ඒ වර්ධන වේගය පවත්වා ගත හැකි පරිදි දිගින් දිගටම ණය වැඩි වැඩියෙන් ලබා ගැනීමේ හැකියාවක් නොතිබුණු නිසා, පසුව ආර්ථිකය හැකිලෙන්න පටන් ගත්තා. 

විදේශ ණය වලට සාපේක්ෂව සෘජු ආයෝජන වල තිබෙන වාසිය වන්නේ, විශේෂ හේතුවක් නැත්නම්, සෘජු ආයෝජන ලෙස ලැබෙන විදේශ ප්‍රාග්ධනය, විදේශ ණය මෙන්, නැවත ආපසු යන්නේ නැති වීමයි. ඒ නිසා, ප්‍රාග්ධන සංචිතයේ හා දදේනියේ ස්ථිර වැඩිවීමක් සිදු විය හැකි වුවත්, මේ ක්‍රමයෙන් වුවත් වර්ධන වේගය දිගින් දිගටම ඉහළ මට්ටමක තියා ගන්න බැහැ. 1977න් පසුව ඉහළ ගිය වර්ධන වේගය දිගටම ඒ ඉහළ මට්ටමේ නොපැවතුණේ ඒ නිසා. 

ලංකාවේ ආර්ථිකය තිරසාර ලෙස වර්ධනය කිරීමේ ක්‍රමෝපාය ගැන හිතන්න වෙන්නේ මේ තත්ත්වයන් එක්කයි. ක්‍රමෝපාය වලට එද්දී ගොඩක් වෙලාවට ආර්ථික විද්‍යාවට දේශපාලනය සම්මුඛ වෙනවා. ආර්ථික විද්‍යාව විසින් මාර්ගෝපදේශනයක් පමණක් සිදු කරන, එහෙත් නිශ්චිත පිළිතුරක් නොසපයන ප්‍රශ්න වලට විකල්ප පිළිතුරු එකකට වඩා තියෙන්න පුළුවන්. මම දකින විකල්පය වන්නේනම්, විදේශ ප්‍රාග්ධනය පස්සේ පන්නන එක වෙනුවට දේශීය ඉතිරි කිරීම් වැඩි කරගැනීම ගැන හිතන එක. 

මෑතකදී වේගවත් වර්ධනයක් පෙන්වා ඇති ආසියානු රටවල් බොහොමයක වර්ධනයට හේතු වුනේ දේශීය ඉතුරුම් අනුපාතය විශාල ලෙස ඉහළ යාම සහ ඒ ඉහළ අනුපාතය කාලයක් එම ඉහළ මට්ටමේ පවත්වා ගැනීමට හැකි වීමයි. ගයනාව වැනි සමහර රටවල් වලට ඇදුනු "ලොතරැයි" නිසා දේශීය ඉතුරුම් අනුපාතය ක්ෂණිකව ඉහළ ගොස් තිබෙනවා. ඒවා අහම්බ. එවැනි අහම්බ සිදු නොවේනම්, මේ සඳහා නිවැරදි රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තියක් දිගටම පවත්වාගෙන යාම වගේම සංස්කෘතික, චර්යාමය වෙනසකුත් අවශ්‍ය වෙනවා.

රටක ආයෝජන අනුපාතය දේශීය ඉතුරුම් අනුපාතයට වඩා වැඩිනම්, එයින් අදහස් වන්නේ ඒ වෙනස විදේශ ප්‍රාග්ධනය ලෙස මූල්‍ය ගිණුම හරහා රටට ඇවිත් කියන එක. මහ බැංකු මැදිහත් වීමක් නැත්නම්, මූල්‍ය ගිණුම හරහා ප්‍රාග්ධනය රටට ඇවිත් කියන්නේ ජංගම ගිණුම හරහා ඊට සමාන විදේශ විණිමය ප්‍රමාණයක් රටෙන් එළියට ගිහින් කියන එක. ඒ කියන්නේ ජංගම ගිණුමේ හිඟයක් තිබෙනවා කියන එක. මේ හේතුව නිසා, දේශීය ඉතුරුම් අනුපාතය ඉක්මවා ආයෝජන කරන රටකට ජංගම ගිණුම් හිඟයක් පවත්වා ගන්න සිදුවීම අනිවාර්යතාවයක්. 

තිරසාර ලෙස රටේ ජංගම ගිණුමේ අතිරික්තයක් තියා ගන්නනම්, රටක ආයෝජන අනුපාතය දේශීය ඉතුරුම් අනුපාතයට වඩා පහළින් තියාගන්න වෙනවා. ආයෝජන අනුපාතය අඩු වීම, අඩු වශයෙන් කෙටිකාලීනව හා මැදිකාලීනව, ආර්ථික වර්ධනය බාල කරනවා. ඒ නිසා, ජංගම ගිණුමේ අතිරික්තයක් තියාගෙන රටේ විදේශ අංශය ස්ථාවරව තියා ගන්නා අතරම, ආර්ථික වර්ධන වේගයද ඉහළ මට්ටමක තියාගන්න පුළුවන් එකම ක්‍රමය දේශීය ඉතුරුම් අනුපාතය වැඩි කරගන්න එක. රජයේ පැත්තෙන්, රටේ පුනරාවර්තන වියදම් පහළ මට්ටමක තියා ගැනීම මගින් මෙයට දායක වෙන්න පුළුවන්. ඉතිරි කොටස තියෙන්නේ රටේ සාමාන්‍ය පුද්ගලයින්ගේ අතේ. 

පහත තිබෙන්නේ 2023දී තෝරාගත් රටවල් කිහිපයක දේශීය ඉතුරුම් අනුපාත දදේනි ප්‍රතිශත ලෙස.

සිංගප්පූරුව - 58.41%

චීනය - 43.24%

වියට්නාමය - 36.84%

ඉන්දුනීසියාව - 38.12%

කාම්බෝජය - 33.60%

දකුණු කොරියාව - 32.17%

ඉන්දියාව - 29.51%

මාල දිවයින - 31.50%

බංග්ලා දේශය - 25.8%

ශ්‍රී ලංකාව - 22.40%

Wednesday, July 16, 2025

ලංකාවේ කළ හැකි මූල්‍ය ආයෝජන


කලින් සටහන ඇමරිකානු සන්දර්භයේ මතු කළ කරුණකට පිළිතුරක්. එහි සඳහන් සංඛ්‍යාලේඛණ ලංකාවට සෘජුව අදාළ කරගන්න බැහැ. මෙය ලංකාවට අදාළ වන ආකාරය ගැන කිහිප දෙනෙක්ම විමසීම් කර තිබුණා.

මිනිසුන්ට වත්කම් එකතු කරගැනීමේ අභිප්‍රායයක් ඇති වීමේ සහ මිනිසුන් අතර ගනුදෙනු සිදු කිරීමේ සංස්කෘතියක් ඇති වීමේ ප්‍රතිඵලයක් ලෙස ඇතැම් වත්කම් වර්ග මුදල් බවට පත් වෙනවා. මුදල් වලින් තබා ගන්නා වත්කම් මූල්‍ය වත්කම්. යම් පිරිසක් මූල්‍ය වත්කම් එකතු කරගනිද්දී ඊට අනුරූපව මූල්‍ය බැරකම් එකතු කරගන්නා පිරිසක්ද අවශ්‍ය වෙනවා. මේ දෙකම යන්නේ එකට. 

වෙනත් විදිහකින් කිවුවොත්, ගනුදෙනු සංස්කෘතියක ඇතැම් ගනුදෙනු සිදු වෙන්නේ ණයට. ණය සේ ලබා දෙන අරමුදල් ණය දෙන්නාගේ මූල්‍ය වත්කමක් වෙනවා. මේ අරමුදල් ගනුදෙනු සඳහා යොදා ගැනෙද්දී මුදල් මැවීමක්ද සිදු වෙනවා. ඒ සඳහා මහ බැංකුවක් තිබිය යුතු නැහැ. 

කවර හෝ මුදල් මැවීමේ ක්‍රියාවලියක් නිසා මුදල් සැපයුම මුදල් ඉල්ලුමට වඩා වැඩි වුවහොත් අදාළ මුදල් වර්ගයේ වටිනාකම අඩු වෙනවා. එම මුදල් වර්ගය හා අදාළව උද්ධමනයක් ඇති වෙනවා. මුදල් සැපයුම ප්‍රමාණවත් නොවුනොත් මුදලේ වටිනාකම ඉහළ ගොස් අවධමනයක් ඇති වෙනවා. 

මුදලේ වටිනාකම නියාමනය කිරීමටද ඉතිහාසයක් තිබෙනවා. කාලයක් මේ නියාමනය හරහා සිදු වුනේ කිසියම් නිශ්චිත ලෝහ වර්ගයක වටිනාකමට සාපේක්ෂව මුදලේ වටිනාකම නියතව තබා ගැනීමට උත්සාහ කිරීම.

එක්තරා යුගයක බොහොමයක් රටවල් විසින් අනුගමනය කළේ මේ ක්‍රමය. දැන් ප්‍රචලිත ක්‍රමය වන්නේ පොදුවේ සියළුම පරිභෝජන භාණ්ඩ වලට සාපේක්ෂව මුදලේ වටිනාකම වෙනස් වීම නියතව තබා ගැනීමට උත්සාහ කිරීම. ඒ කියන්නේ උද්ධමනය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම.

ඇතැම් අවස්ථා වල ඇතැම් මහ බැංකු මේ වැඩේ හරියට කරන්න සමත් වන්නේ නැහැ. නමුත් එය පැරණි ක්‍රමය තුළද පැවති තත්ත්වයක්. මුදල් ක්‍රමයක් නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොකිරීම මුදල් ක්‍රමයක ප්‍රශ්නයක් නෙමෙයි.

වටිනාකම නියතව තබා ගන්නා ක්‍රමයකට සාපේක්ෂව වටිනාකම වෙනස් වීම නියතව තබා ගන්නා ක්‍රමයකදී මුදලක වටිනාකම කාලයත් සමඟ පහළ යනවා. නමුත් එය සිදු වෙන්නේ කලින් සිතා ගත හැකි ආකාරයකටනම් අනාගතය හා අදාළ තීරණ ගැනීමට මෙය බාධාවක් වන්නේ නැහැ. 

මේ විදිහට මුදලේ වටිනාකම් ක්‍රමිකව පහත වැටෙනවා කියන්නේ කවුරුවත් දුප්පත් වෙනවා කියන එක නෙමෙයි. මුදලක වටිනාකම අඩු වීම ප්‍රශ්නයක් වෙන්නේ මුදල් මුදල් ලෙසම තියා ගත්තොත් පමණයි. 1989-2024 කාලය සැලකුවොත්, මෙම වසර 35ක කාලය තුළ රුපියලක වටිනාකමෙන් 96%කටත් වඩා ක්ෂය වී ගොස් තිබෙනවා. ඒ කියන්නේ 2024 රුපියලක වටිනාකම 1989 රුපියලක වටිනාකමෙන් 4%කටත් වඩා අඩුයි. 1989 රුපියලක 2024 වටිනාකම රුපියල් 25.14ක්. 

කවුරු හෝ කෙනෙක් රුපියල් නෝට්ටු පෝර උරයක දමා හෝ මෙට්ටයක් අස්සේ දමා මේ අවුරුදු 35 තිස්සේ තියාගත්තේනම්, ඒ පුද්ගලයාගේ මුදල් වල වටිනාකමෙන් 96%ක්ම මේ වෙද්දී නැති වෙලා. නමුත් සාමාන්‍යයෙන් එහෙම සල්ලි තියා ගන්නේ කලාතුරකින් අයෙක්. මුදල් ආයෝජනය කිරීම මගින් මුදල් වල වටිනාකම ක්ෂය වීම ඉක්මවන වාසියක් ලබා ගන්න පුළුවන්. මෙසේ මුදල් ආයෝජනය කළ හැකි විකල්ප මොනවාද?

යමෙක් 1989දී මාස-12 භාණ්ඩාගාර බිල්පත් වල රුපියල් 100ක් ආයෝජනය කර ඒ ආයෝජනය වසරින් වසර අලුත් කළේනම්, 2024දී එම ආයෝජනයේ වටිනාකම කීයද? මෙම මුදල රුපියල් 7,084ක්.

1989 රුපියල් 100ක 2024 වටිනාකම රුපියල් 2,514ක්. ඊට හේතුව උද්ධමනය නිසා රුපියල් වල වටිනාකම වෙනස් වී තිබීමයි. නමුත් භාණ්ඩාගාර බිල්පත් වල එම මුදල ආයෝජනය කිරීම මගින් මේ හානිය ඉක්මවන ලාබයක් ලබා ගැනීමේ අවස්ථාවක් තිබෙනවා. ඒ නිසා, උද්ධමනයක් තිබූ පමණින් කවුරුවත් දුප්පත් වෙන්නේ නැහැ.

මෙම ගණනයේදී 1989 සිට ගණන් හැදුවේ දත්ත තිබෙන්නේ එම වසරේ සිට නිසා. ඒ වෙද්දී ලංකාවේ භාණ්ඩාගාර බැඳුම්කර තිබුණේ නැහැ. මුලින්ම බැඳුම්කර නිකුත් කළේ 1997දී. සාමාන්‍යයෙන් බැඳුම්කර පොලිය බිල්පත් පොලියට වඩා වැඩියි. ඒ නිසා, බැඳුම්කර වල ආයෝජනය කිරීමෙන් මීටත් වඩා ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්. 

අනෙක් විකල්පය කොටස් වෙළඳපොළෙහි ආයෝජනය කරන එක. සමස්ත කොටස් මිල දර්ශකයේ වර්ධනය අනුව, 1989දී රුපියල් 100ක් ආයෝජනය කළේනම්, එම මුදල 2024දී රුපියල් 9,018ක් වෙලා. මීට අමතරව වාර්ෂිකව ලාභාංශ ආදායම් ලැබෙන බැවින් සම්පූර්ණ ප්‍රතිලාභය මීට වඩා වැඩියි.

පසුගිය අර්බුද සමයේ ඇතැම් අය රුපියල් ඩොලර් වලට මාරු කළා. ඩොලර් කියන්නෙත් රුපියල් වගේම වටිනාකම අඩු වෙන මුදලක්. නමුත් රුපියලට සාපේක්ෂව ඩොලරයක වටිනාකම දිගින් දිගටම ඉහළ යනවා. 1989දී කවුරු හෝ කෙනෙක් රුපියල් 100ක් ඩොලර් කළේනම්, 2024දී එම ආයෝජනයේ වටිනාකම රුපියල් 731ක් වෙලා. එහෙත් එයින් උද්ධමනය නිසා සිදු වූ හානිය ආවරණය වන්නේ නැහැ.

අපි හිතමු මේ විදිහට ඩොලර් කිරීමෙන් පසුව එම ඩොලර් වලින් රන් මිල දී ගත්තා කියලා. මම දන්නා තරමින් ලංකාවේ සාමාන්‍ය පුද්ගලයෙකුට මෙහෙම කරන්න පුළුවන්කමක් නැහැ. නමුත් අපි එහෙම හිතමු. ඉන් පසුව 2024දී නැවත රන් ඩොලර් කරලා ඩොලර් රුපියල් කරනවා. එසේ කළේනම්, 1989 රුපියල් 100ක මුදල 2024දී 3,696ක් වෙලා. එයින් උද්ධමනයේ හානිය ආවරණය වෙනවා. නමුත් කොටස් වෙළඳපොළ හෝ රාජ්‍ය සුරැකුම්පත් බැඳුම්කර ආයෝජන තරමට වාසියක් නැහැ. 

රන් වෙළඳපොළ ජාත්‍යන්තර වෙළඳපොළක්. ලංකාවේ රන් නිපදවන්නේ නැහැ. ඒ නිසා, ලංකාවේ රන් මිල නිර්ණය වෙන්නේ ජාත්‍යන්තර මිල සහ ඩොලරයක මිල මත කියා හිතන්න පුළුවන්. ඒ නිසා, ලංකාවේ රන් මිල වැඩි වීමද ඉහත අනුපාතයට සිදු වී ඇතැයි උපකල්පනය කරන්න පුළුවන්. 

නමුත් ලංකාවේ ගොඩක් අය රන් කියලා මිල දී ගන්නේ රන් ආභරණ. ඒවා විකුණන්නේ රන් මිලට වැඩ කුලිය එකතු කරලා. රන් ආභරණයක් උගස් තියද්දී හෝ විකුණද්දී එහි වැඩ කුලිය කොටස ආපසු ලැබෙන්නේ නැහැ. ආපසු ලැබෙන්නේ රන් වටිනාකම පමණයි. ඒ නිසා, පාඩුව මීට වඩා වැඩියි. වැඩ කුලිය ගියාට පස්සේ උද්ධමනයේ පාඩුව වුනත් පියවෙන්නේ නැති විය හැකියි.

ඉහත ආයෝජන වල වාර්ෂික සාමාන්‍ය ප්‍රතිලාභය (ජ්‍යාමිතික සාමාන්‍ය අගය) මෙලෙස සාරාංශගත කළ හැකියි.
1989-2024 සාමාන්‍ය උද්ධමනය - 9.65%
භාණ්ඩාගාර බිල්පත් පොලිය - 12.95%
කොටස් වෙළඳපොළ - 13.73% + ලාභාංශ 
ඩොලර් නෝට්ටු - 7.00%
රත්තරන් - 10.85%

උද්ධමනය සාමාන්‍ය මට්ටමක තියෙද්දී පොලී අනුපාතික තියෙන්නේ ඊට වඩා ඉහළින්. ඉහත සාමාන්‍ය අගයයන් දෙස බැලුවත් බිල්පත් පොලිය සහ උද්ධමනය අතර 3.3%ක පරතරයක් දකින්නට ලැබෙනවා. බැඳුම්කර පොලිය මීටත් වඩා වැඩියි. නමුත් උද්ධමනය විශාල ලෙස ඉහළ ගිය විට ඊට අනුරූපව පොලී අනුපාතික වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා, ඇත්තටම හානියක් වෙන්නේ උද්ධමනය විශාල ලෙස ඉහළ ගිය විටයි. උද්ධමනය පහළ ස්ථාවර මට්ටමක ඇති විට එවැනි හානියක් වෙන්නේ නැහැ. මහ බැංකුවක වගකීම වන්නේ උද්ධමනය පහළ ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමයි.
 
මේ සටහනේ වගේම පෙර සටහනේත් ඇති විශ්ලේෂණ හා එම විශ්ලේෂණ මත පදනම් වූ නිගමන පාදක වෙන්නේ අදාළ ආයෝජන වල අතීත හැසිරීම් මතයි. අතීතයේ සිදු වූ දේ අනාගතයේදීද ඒ අයුරින්ම සිදු වීම අනිවාර්යතාවයක් නෙමෙයි. ඒ නිසාම, මෙම සටහන් කිසිසේත්ම ආයෝජන උපදේශන නෙමෙයි. තමන්ට ගැලපෙන හොඳම ආයෝජන තෝරා ගැනීම තමන් විසින් සිතා බලා කළ යුතු දෙයක්.

Sunday, September 3, 2023

කෙටිකාලීන ආයෝජන හා දිගුකාලීන ආයෝජන

ඊයේ (සැප්තැම්බර් 2) දින පැවති දකුණු ඉවුර විසින් සංවිධානය කළ සජීවී වැඩ සටහනේදී එක්තරා ප්‍රශ්නයකට පිළිතුරු දීමෙන් යම් කාලයකට පසුව දෙවැන්නෙකු විසින් ඊට සමාන ප්‍රශ්නයක් නැවත අසනු ලැබුවා. ඒ අනුව, පෙනී ගියේ පළමු වර ලබා දුන් පිළිතුර එතරම් පැහැදිලි වී නැති බවයි. මෙම ප්‍රශ්නයේ ස්වභාවය අනුව, දෙවන වරට කළ පැහැදිලි කිරීම වුවද ප්‍රමාණවත් නොවිය හැකියි. ප්‍රශ්නය සජීවී සංවාදයකදී වචනයෙන් පමණක් පැහැදිලි කිරීම අසීරු, ගණනය කිරීමක් කර පැහැදිලි කළ යුතු තාක්ෂනික ප්‍රශ්නයක්.

ප්‍රශ්නය මේ වගේ එකක්. අපි හිතමු යම් අයෙක් වසර 15ක බැඳුම්කරයක ආයෝජනය කරනවා කියා. මෙම බැඳුම්කරය විකිණෙන්නේ අව මිලට. එනම් මුහුණත අගයට වඩා අඩුවෙන්. ඒ අනුව, වසර 15ක් කූපන් පොලී ලැබෙනවා. කල් පිරීමේදී මිල හා මුහුණත අගය අතර වෙනසද ලැබෙනවා.

දැන් අපි මේ විදිහට වසර 15ක බැඳුම්කරයක ආයෝජනය නොකර තෙවරක් වසර 5ක බැඳුම්කර වල ආයෝජනය කරනවා කියා සිතමු. ඒ තෙවරම මිල දී ගැනීම කරන්නේ අව මිලට කියා සිතමු. මෙසේ කළ විටද පෙර මෙන්ම වසර 15ක් කූපන් පොලී ලැබෙනවා. ඊට අමතරව, කල් පිරෙන අවස්ථා තුනකදීම මිල හා මුහුණත අගය අතර වෙනස ලැබෙනවා.

දැන් පළමු අවස්ථාවේදී මිල හා මුහුණත අගය අතර වෙනස ලැබෙන්නේ වරක් පමණයි. දෙවන අවස්ථාවේදී එම වෙනස තෙවරක්ම ලැබෙනවා. ප්‍රශ්නය වන්නේ ඵලදා අනුපාතය සමානම් දෙවන අවස්ථාවේ වඩා වැඩි ලාබයක් ලැබෙන්නේ නැද්ද කියන එකයි. 

එසේ වෙන්නේ නැහැ. ඊට හේතුව, ඵලදා අනුපාතය තුළ මිල හා මුහුණත අගය අතර වෙනසද අන්තර්ගතව ඇති නිසයි. මෙම පිළිතුර භාර ගනු ලැබුවද එසේ භාර ගත්තේ හරියටම තේරුම් ගිය නිසාද කියා පැහැදිලි නැති නිසා මෙය නිදසුනකින් විස්තර කරන්නම්.

පැහැදිලි කිරීමේ පහසුව සඳහා අවුරුදු-5 බැඳුම්කර තුනක් හා අවුරුදු-15 බැඳුම්කරයක් සසඳනු වෙනුවට අවුරුදු-2 බැඳුම්කර දෙකක් හා අවුරුදු-4 බැඳුම්කරයක් සංසන්දනය කරන්නම්. එසේ කිරීමෙන් ප්‍රශ්නයේ ආකෘතිය වෙනස් වෙන්නේ නැහැ. 

අපි හිතමු වසර-2 හා වසර-4 බැඳුම්කර දෙවර්ගයේම වෙළඳපොළ ඵලදා අනුපාතිකය 8% කියා. එමෙන්ම මෙම ඵලදා අනුපාතික ඉදිරි වසර 4ක කාලය තුළ වෙනස් නොවී එලෙසම තිබෙනවා කියාත් උපකල්පනය කරමු. 

ප්‍රශ්නය අසන්නේ බැඳුම්කර අව මිලට විකිණෙන අවස්ථාවන් ගැනයි. එසේ වන්නේ කූපන් පොලී අනුපාතික වෙළඳපොළ ඵලදා අනුපාතිකයට වඩා අඩු වූ විටයි. ඒ අනුව, අපි කූපන් පොලී අනුපාතිකය 7% ලෙස සලකමු.

මේ අනුව, රුපියල් 100ක වසර-2 බැඳුම්කරයක් සඳහා පළමු වසර අවසානයේදී රුපියල් 7ක්ද දෙවන වසර අවසානයේදී රුපියල් 107ක්ද ලැබෙනවා. ඵලදා අනුපාතය 8%ක් නිසා මෙම බැඳුම්කරය විකිණෙන්නේ රුපියල් 98.22ක මුදලකටයි. ඒ අනුව, වසරකට පසුව රුපියල් 7ක ප්‍රතිලාභ මුදලක් සහ වසර දෙකකට පසුව රුපියල් 8.78ක (=1.78 + 7.00) ප්‍රතිලාභ මුදලක් ලැබෙනවා. එමෙන්ම, තුන් වන වසර අවසානයේදී නැවතත් රුපියල් 7ක්ද හතර වන වසර අවසානයේදී රුපියල් 8.78ක්ද ලැබෙනවා. 

ඵලදා අනුපාතය 8%ක්නම්, වසර-4 බැඳුම්කරයක් විකිණෙන්නේ රුපියල් 96.69ක මිලකටයි. එය කල් පිරෙන හතරවන වසර අවසානයේදී රුපියල් 10.31ක ප්‍රතිලාභ මුදලක් ලැබෙනවා. මුල් වසර තුනේදී රුපියල් 7 බැගින් ලැබෙනවා. ඒ අනුව, දෙවන වසර අවසානයේදී ලැබෙන මුදල අඩු වුවත්, හතරවන වසර අවසානයේදී වැඩි මුදලක් ලැබෙනවා. 

මේ අවස්ථා දෙකේදී වසර හතර තුළ ලැබෙන මුදල් සංසන්දනය කළහොත් එය පළමු අවස්ථාවේදී රුපියල් 31.56ක්ද, දෙවන අවස්ථාවේදී රුපියල් 31.31ක් පමණක්ද බව පෙනී යන නමුත් දෙවන අවස්ථාවේදී ආයෝජනය කර තිබෙන්නේද අඩු මුදලක් බව අපට අමතක කරන්න බැහැ. මුදලේ කාල වටිනාකම නොසලකා හැරියොත් පළමු අවස්ථාවේදී 32.13%ක සමස්ත ප්‍රතිලාභයක් ලැබෙද්දී දෙවන අවස්ථාවේදී ලැබෙන සමස්ත ප්‍රතිලාභය 32.38%ක්. කාල වටිනාකම් ගැලපූ විට අවස්ථා දෙකේදීම ප්‍රතිලාභය 36.05%ක්. 

Thursday, April 21, 2022

භාණ්ඩාගාර බිල්පත් වල සල්ලි දාන්නේ කොහොමද?


පසුගිය ලිපියෙන් පසුව ගොඩක් අය භාණ්ඩාගාර බිල්පත් වල සල්ලි දාන්නේ කොහොමද කියලා ඇහුවා. ඒ හා අදාළ තවත් ප්‍රශ්න ගණනාවකුත් ඇහුවා. ලංකාවේ බොහෝ දෙනෙක් භාණ්ඩාගාර බිල්පත් වල සල්ලි දමා වැඩි ප්‍රතිලාභයක් ලැබිය හැකි බව දන්නේ නැහැ. දැනගත්තත් එය කරන හැටි දන්නේ නැහැ. එහි වාසිය සුළු පිරිසක් විසින් ගන්නවා.

භාණ්ඩාගාර බිල්පත් කියා කියන්නේ මොනවාද?

සරලව කිවුවොත් භාණ්ඩාගාර බිල්පත් කියන්නෙත් ස්ථිර තැන්පතුවක් වගේ දෙයක්. වෙනස්කම් තිබෙනවා. ස්ථිර තැන්පතුවක් දමද්දී ඔබ කරන්නේ බැංකුවකට ණය දෙන එක. භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරද්දී කරන්නේ රජයට ණය දෙන එක. 

භාණ්ඩාගාර බිල්පත් වල සල්ලි දමන එක අවදානම්ද?

සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට මුදල් ආයෝජනය කිරීම සඳහා තිබෙන විකල්ප අතරින් අවදානම අඩුම සේ සැලකෙන්නේ භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන එකයි. ස්ථිර තැන්පතු ආදියේ සල්ලි දමන එක ඊට වඩා අවදානම්. බැංකුවක් පහසුවෙන්ම බංකොලොත් විය හැකි නමුත් රජයක් ඒ තරම් පහසුවෙන් බංකොලොත් වෙන්නේ නැහැ. 

එහෙමනම් දැන් වෙලා තියෙන්නේ මොකක්ද?

දැන් වෙලා තියෙන්නේ රජය බංකොලොත් වීමක් නෙමෙයි. එය එක විදිහකින් රට බංකොලොත් වීමක් කියා කියන්න පුළුවන්. ඩොලර් නැති නිසා රජය විදේශ ණය ආපසු ගෙවීම පැහැර හැරලා තිබෙනවා. නමුත්, රජයේ රුපියල් ණය හා අදාළව මෙවැනි අවදානමක් ඇති වෙන්න තිබෙන ඉඩ ඉතාම අඩුයි. රජයකට බදු වැඩි කිරීම, සල්ලි අච්චු ගැසීම වැනි බැංකුවකට හෝ වෙනත් අයෙකුට නැති විකල්ප හරහා සල්ලි හොයා ගෙන ණය ගෙවන්න පුළුවන්. දැන් වුනත් ලංකාවේ රජයට ඩොලර් ණයට දී තිබෙන අයෙකුට රුපියල් වලින් එම ණය හා පොලිය ආපසු ගන්න පුළුවන්.

භාණ්ඩාගාර බිල්පත් ගන්නේ කොහොමද?

මුලින්ම රජය විසින් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ හෝ වෙන්දේසියට පිටින් විකුණන කොට ඒවා කෙළින්ම මිල දී ගන්න පුළුවන් වාණිජ බැංකු, ප්‍රාථමික ගැනුම්කරුවන්, සේවක අර්ථසාධක අරමුදල වැනි ආයතන කිහිපයකට පමණයි. වෙනත් අයෙකුට මිල දී ගන්න අවශ්‍යනම් වාණිජ බැංකුවක් හෝ ප්‍රාථමික ගැනුම්කරුවකු මාර්ගයෙන් මිල දී ගත යුතුයි. මේ විදිහට "ප්‍රාථමික වෙළඳපොළෙන්"  භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්නේ සැලකිය යුතු මුදලක් ආයෝජනය කළ හැකි අයයි. අනෙක් බොහෝ දෙනෙකු කරන්නේ වාණිජ බැංකුවක් හෝ ප්‍රාථමික ගැනුම්කරුවකු විසින් වෙන්දේසියෙන් මිල දී ගත් භාණ්ඩාගාර බිල්පත් ඔවුන්ගෙන් මිල දී ගන්න එකයි. ඒ කියන්නේ "ද්වීතියික වෙළඳපොළෙන්" මිල දී ගන්න එක.

එතකොට මහ බැංකුවේ තිබෙන සම්බන්ධය කුමක්ද?

මේක ටිකක් පැටලිලි සහගත දෙයක්. භාණ්ඩාගාර බිල්පත් කියන්නේ රජයට දෙන ණය මිසක් මහ බැංකුවට දෙන ණය නෙමෙයි. එහෙත්, රජය වෙනුවෙන් වෙන්දේසිකරු ලෙස කටයුතු කරන්නේ මහ බැංකුව. ණයකරුවන්ගේ ගිණුම් නඩත්තු කරන්නෙත් මහ බැංකුව. මේක ලංකාවට සුවිශේෂී තත්ත්වයක්. ඇත්තටම මේ වැඩේ මහ බැංකුවක් විසින් කළ යුතු වැඩක් නෙමෙයි. වෙන රටවල මේ වැඩේ කරන්නේ භාණ්ඩාගාරය.

වෙන්දේසිකරු ලෙස කටයුතු කරන අතරම මහ බැංකුවත් මේ භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්නවා. ඒ කියන්නේ රජයට ණය දෙනවා. මහ බැංකුව සල්ලි අච්චු ගහනවා කියා කියන්නෙත් මේ වැඩේට. (කොහොම වුනත් සල්ලි අච්චු ගැහීම මීට වඩා සංකීර්ණ දෙයක්. කලින් ලිපි බලන්න.)

භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන්න කොපමණ මුදලක් අවශ්‍යද?

අවම වශයෙන් රුපියල් 50,000ක් ආයෝජනය කර ද්වීතියික වෙළඳපොළෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගත හැකියි. (අවම වශයෙන් රුපියල් 10,000ක් ආයෝජනය කළ හැකි ක්‍රමයක්ද තිබෙනවා)

භාණ්ඩාගාර බිල්පත් වල කොපමණ කාලයකට ආයෝජනය කළ යුතුද?

මාස තුනකට, හයකට හෝ වසරකට ආයෝජනය කළ හැකියි. (අවම වශයෙන් මාසයකට ආයෝජනය කළ හැකි ක්‍රමයක්ද තිබෙනවා)

භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන එක අමාරු, සංකීර්ණ වැඩක්ද?

කොහෙත්ම නැහැ. ස්ථිර තැන්පතු දමනවා වගේ තමයි. ලඟම තිබෙන බැංකු ශාඛාවෙන් වැඩේ කරගන්න පුළුවන්.

භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන එක ස්ථිර තැන්පතු දමන එකට වඩා පාඩුද?

කලින් කිවුවා වගේ භාණ්ඩාගාර බිල්පත් වල අවදානම ස්ථිර තැන්පතු දමන එකේ අවදානමට වඩා අඩුයි. හරිනම් ස්ථිර තැන්පතු දමනවැඩි එකට වැඩි ප්‍රතිලාභයක් ලැබිය යුතු වුවත්, ලංකාවේ තිබෙන විකෘති තත්ත්වය නිසා අවදානම අඩු භාණ්ඩාගාර බිල්පත් වලට වැඩි ප්‍රතිලාභයකුත් ලැබෙනවා. පහත තියෙන්නේ අද (අප්‍රේල් 22) සිට බලපාන සම්පත් බැංකුවේ පොලී අනුපාතික. මේ අනුපාතික රුපියල් 50,000 ආයෝජනයකට. ආයෝජනය වැඩි වෙද්දී මේ අනුපාතික තවත් ටිකක් වැඩි වෙනවා.

මාස 3 - 20.80%

මාස 6 - 20.80%

වසර 1- 21.05%

ඉහත පොලී අනුපාතික සම්පත් බැංකුවේම ස්ථිර තැන්පතු පොලී අනුපාතික සමඟ සසඳා බලන්න.

මාස 3 - 6.25%

මාස 6 - 7.00%

වසර 1- 7.50%

අවම වශයෙන් රුපියල් 10,000ක් ආයෝජනය කළ හැකි ක්‍රමයක්ද තිබෙනවා කිවුවා නේද? ඒ මොකක්ද?

භාණ්ඩාගාර බිල්පතක් මිල දී නොගෙන බැංකුවට අයිති බිල්පතක කොටසක් යම් කාලයකට "කුලියට ගන්නවා" වගේ වැඩක් කරන්නත් පුළුවන්. මේ ක්‍රමයට මාසයකට මුදල් ආයෝජනය කරන්න වුනත් පුළුවන්. එහිදී බැංකුවට අයිති බිල්පතකින් කොටසක් යම් කාලයකට ඔබට අයිති වෙනවා. ඒ කාලයට අදාළ පොලිය ලැබෙනවා. 

සල්ලි දැම්මට පස්සේ කල් පිරෙන්න කලින් සල්ලි ආපසු ගන්න බැරිද?

පුළුවන්. එහිදී බිල්පත ඒ වන විට එහි වෙළඳපොළ වටිනාකමට විකුණන්න වෙනවා. එය තීරණය වන්නේ ඒ වන විට තිබෙන පොලී අනුපාතය අනුව. බිල්පත ගත්තට පස්සේ පොලී ඉහළ ගිහින්නම් සාමාන්‍යයෙන් පාඩුවක් හෝ ලාබය අඩු වීමක් වෙනවා. පොලිය අඩු වෙලානම් මුලින් බලාපොරොත්තු වුණාටත් වඩා වැඩි ලාබයක් ලැබෙනවා.

සල්ලි දැම්මට පස්සේ බැංකුව බන්කොලොත් වුනොත් මොකද වෙන්නේ?

කිසි ප්‍රශ්නයක් නැහැ. භාණ්ඩාගාර බිල්පතක් බැංකුවකින් ගත්තත් ඔබේ නමින් එම බැංකුවේ වගේම මහ බැංකුවේත් ගිණුමක් ආරම්භ වෙනවා. ඔබේ බැංකුවෙන් වගේම මහ බැංකුවෙනුත් ඔබට ගිණුම් ප්‍රකාශ ලැබෙනවා. වක්‍ර ලෙස ඔබේ ගිණුම තිබෙන්නේ මහ බැංකුවේ කියන්නත් පුළුවන්.

භාණ්ඩාගාර බිල්පත් ඔය තරම් වාසිදායකනම් හැමෝම භාණ්ඩාගාර බිල්පත් නොගෙන ස්ථිර තැන්පතු දමන්නේ ඇයි?

මේක තමයි වැදගත්ම ප්‍රශ්නය. කෙටි පිළිතුර ලංකාවේ බොහෝ දෙනෙකුට මූල්‍ය සාක්ෂරතාවය නැති වීම. ඇතැම් අය හිතාමතා කියන බොරු වලට වෙනත් ක්ෂේත්‍ර වල විශේෂඥයින් පවා පහසුවෙන් අහුවෙන්නේ ඒකනේ. මිනිස්සු 7% පොලියට බැංකුවේ සල්ලි දානවනම් ඒ සල්ලි අනෙක් පැත්තට 24% පොලියට භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරලා විශාල ලාබයක් ගන්න පුළුවන්කම තියෙද්දී, පොඩි කොමිස් මුදලකට මිනිස්සුන්ට විකුණන්න මහන්සි වෙන්නේ මොකටද? ඒ නිසා, කිසිම බැංකුවක් සක්‍රිය ලෙස භාණ්ඩාගාර බිල්පත් ප්‍රවර්ධනය කරන්නේ නැහැ. කවුරු හරි ගිහින් ඇහුවොත් විතරක් භාණ්ඩාගාර බිල්පත් වල සල්ලි දාලා දෙනවා. නැත්නම් ස්ථිර තැන්පතුවකට ඒ සල්ලි අරගෙන බැංකුවේ නමට භාණ්ඩාගාර බිල්පත් ගන්නවා. 

Monday, April 19, 2021

බිට්කොයින් ගැන මහ බැංකුවෙන් අවවාදයක්!


අවුරුද්ද ඔන්න මෙන්න කියලා තියෙද්දී මහ බැංකුව විසින් ශ්‍රී ලංකාව තුළ බිට්කොයින් ඇතුළු අතථ්‍ය මුදල් වල ආයෝජනය කිරීමේ අවදානම් පිළිබඳව මහජනයා දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කර තිබුණා. මහ බැංකුව විසින් මෙවැනි නිවේදනයක් නිකුත් කරනු මම දැක්කේ මුල් වරටයි. සමහර විට මේ එවැන්නක් කළ මුල් වතාව නොවෙන්න පුළුවන්. කොහොම වුනත් මේ වෙද්දී බිට්කොයින් ඇතුළු අතථ්‍ය මුදල් මහ බැංකුවටත් හිසරදයක් වී තිබෙන බව පැහැදිලියි.

මීට ආසන්න කාලයේ අපේ ඇතැම් පාඨකයින් විසින්ද බිට්කොයින් ගැන ලියන මෙන් ඉල්ලා සිටියා. මේ ඉල්ලීම අලුත් ඉල්ලීමක්ම නෙමෙයි. පාඨකයින් විසින් කාලයක් තිස්සේ කරන ඉල්ලීමක්. 

බිට්කොයින් ගැන මම හොයන්න පටන් අරන් දැන් අවුරුදු දහයකටත් වඩා වැඩියි. ඒ වෙද්දී බිට්කොයින් එකක මිල ඇමරිකන් ඩොලර් සත ගණනක්. මුලින්ම බිට්කොයින් එකක මිල ඇමරිකන් ඩොලරය පහු කරද්දී මේ ගැන සැලකිය යුතු අවධානයක් යොමු වුනා. ඒ 2011 පමණ කාලයේදී. දැන් බිට්කොයින් එකක් ඩොලර් 55,000ක් පමණ වෙනවා. 

මේක ටිකක් තේරෙන විදිහකට පැහැදිලි කළොත්, අවුරුදු දහයකට කලින් කවුරු හරි රුපියල් සීයක් බිට්කොයින් වල ආයෝජනය කළානම් මේ වෙද්දී ඒ තැනැත්තා කෝටිපතියෙක්. මොකද පහුගිය අවුරුදු දහයක කාලය තුළ රුපියල් සීයේ බිට්කොයින් එකක් රුපියල් මිලියන දහයක් හෙවත් රුපියල් කෝටියක් වෙලා.

කොහොම වුනත් බිට්කොයින් සම්බන්ධව පෞද්ගලිකව මට තිබෙන්නේ මිශ්‍ර හැඟීමක්. මේ ගැන ලියන්න කියා ඉල්ලීම් බොහෝ වර ආවත් එසේ කරන්න උනන්දුවක් ඇති නොවුනේ මේ මිශ්‍ර හැඟීම නිසා. එක පැත්තකින් බිට්කොයින් වගේ අතථ්‍ය මුදල් නිසා ලෝකය පුරා මහ බැංකු විසින් කරන "කැත වැඩේ" කරන්න බැරි වෙනවා. අනෙක් පැත්තෙන් එය වෙන්නේ වෙනත් අය විසින්ද ඒ "කැත වැඩේම" කරන එක හරහා.

පෞද්ගලිකව මට මුදල් වලින් සතුටක් ලැබෙන්නේ ඒ මුදල් නිසාම නෙමෙයි. ලැබෙන මුදලක මම කරන මොකක් හෝ දෙයක වටිනාකම පිළිබිඹු වන නිසා. වෙනත් විදිහකින් කිවුවොත් ආතල් එක තියෙන්නේ සල්ලි හොයන්න ගහන ගේම් එක ඇතුළේ මිසක් සල්ලි වල නෙමෙයි. මේ හේතුව නිසා මම කුඩා කාලයේ ඉඳලම ලොතරැයි මිල දී ගන්නේ නැහැ. බිට්කොයින් වල ආයෝජනය කරලා සල්ලි හොයන්න පුළුවන් බව පැහැදිලි වුනත් මට ඒ වැඩේට හිත යන්නේම නැහැ. 

බිට්කොයින් ජනප්‍රිය වෙන්න හේතු දෙකක් තිබෙනවා. පළමුවැන්න එක විදිහක දේශපාලනික හේතුවක්. ලෝකයේ රටවල් වල ජාතික මුදල් ඒකක වල අගය පාලනය කරන රජයයන් හා මහ බැංකු විසින් ඉතා කැත සූරාකෑමක් කරනවා. එය කරන්නේ සල්ලි අච්චු ගැසීම හරහා. ලංකාවේ රුපියල්, ඇමරිකන් ඩොලර් ඇතුළු බොහෝ ව්‍යවහාර මුදල් ඒකක වලට කිසිදු නෛසර්ගික වටිනාකමක් නැහැ. මේ මුදල් වලට අපි කියන්නේ ආඥාප්ති ව්‍යවහාර මුදල් එහෙමත් නැත්නම් ෆියට් මුදල් කියලා. මුදල් වල වටිනාකම තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම මත. මේ ඉල්ලුම යම් ආකාරයක කෘතීම ඉල්ලුමක්.

මහ බැංකුව කියන විදිහට බිට්කොයින් ඇතුළු අතථ්‍ය මුදල් වල ආයෝජනය කිරීම අවදානම් වැඩක්. ඇත්ත. නමුත් ප්‍රශ්නය මහ බැංකුව විසින් නිකුත් කරන රුපියල් නෝට්ටු ළඟ තබා ගැනීමේ අවදානමක් නැද්ද කියන එකයි. රුපියල් නෝට්ටු වලත් ඒ වගේම අවදානමක් තිබෙනවා. බිට්කොයින් ප්‍රවර්ධකයින්ගේ ප්‍රධානම තර්කයක් වන්නේ මහ බැංකු විසින් කරනවාක් මෙන් ඔවුන් විසින් සීමාවක් නැතුව බිට්කොයින් සැපයුම වැඩි කරන්නේ නැහැ කියන එකයි.

අලුතින් සංසරණයට එකතු වන බිට්කොයින් ප්‍රමාණය එන්න එන්නම අඩු වෙනවා. එහෙම අඩු වෙලා ගිහින් 2040 පමණ වෙද්දී බිට්කොයින් "අච්චු ගැසීම" සම්පූර්ණයෙන්ම නවතිනවා. නමුත් වෙනත් ඕනෑම මුදල් ඒකකයක් අලුතෙන් අච්චු ගැසීම එන්න එන්නම වැඩි වෙනවා වගේම එහි කිසිම සීමාවක් නැහැ. ඒ නිසා වෙනත් මුදල් වලට සාපේක්ෂව බිට්කොයින් වලට උද්ධමනයෙන් ආරක්ෂාවක් තිබෙනවා. 

මේ වෙනස හැර බිට්කොයින් වල අනෙක් මුදල් වලට නැති විශේෂ වටිනාකමක් තියෙනවද? එවැන්නක් නැහැ. බිට්කොයින් කියන්නෙත් ෆියට් මුදල් වර්ගයක්. බිට්කොයින් වලත් කිසිම නෛසර්ගික වටිනාකමක් නැහැ. 

ලොව පුරා අරාජිකවාදීන් අතර බිට්කොයින් ජනප්‍රියයි. මම අරාජිකවාදියෙක් නෙමෙයි. ඉතා පැහැදිලිවම රජය කියන්නේ අකාර්යක්ෂම යාන්ත්‍රනයක්. එසේ වුවත් රජයකින් කළ හැකි යම් කාර්යභාරයක්ද තිබෙනවා කියා මම විශ්වාස කරනවා. පෞද්ගලික සමාගමක් කියා කියන්නේ මිනිස්සු එකතු වී සාමූහිකව හදා ගන්නා යාන්ත්‍රණයක්. එවැන්නක් පවතින එක හොඳනම් මිනිස්සු එකතු වී සාමූහිකව හදා ගන්නා තවත් යාන්ත්‍රණයක් වන රජය මුළුමනින්ම අහෝසි වී යා යුතුයි කියා හිතන්න ලොකු හේතුවක් නැහැ. රජය ප්‍රශ්නයක් වන්නේ රජය සතුව ඕනෑවට වඩා වැඩි අධිකාරී බලයක් ගොනු වී එය තවදුරටත් මිනිසුන්ගේ පොදු හා සාමූහික යාන්ත්‍රණයක් නොවූ විටයි.

මේ වගේම තර්කයක් බිට්කොයින් හා අදාළවත් ගේන්න පුළුවන්. මහ බැංකු සල්ලි අච්චු ගහලා මුදල් උපයනවා වගේම බිට්කොයින් නිකුත් කළ මූලික කණ්ඩායම පැත්තක ඉඳලා බිට්කොයින් වලිනුත් සල්ලි හොයනවා. රජයයන් හා මහ බැංකු විසින් සල්ලි අච්චු ගහලා එකතු කර ගන්නා ධනය යන්නේ යම් සීමිත පිරිසක් අතට වුවත් බිට්කොයින් වලින් පෝසත් වෙන්නේ ඊට වඩා ගොඩක් පොඩි, සමහර විට අතේ ඇඟිලි වලින් ගිනිය හැකි, පිරිසක්. 

බිට්කොයින් සැපයුම සීමිතයි කියන එක ආකර්ශනීය "සටන් පාඨයක්". එහෙත් බිට්කොයින් වැනි අතථ්‍ය මුදල් පොදුවේ සැලකුවොත් එවැනි සීමාවක් නැහැ. මේ වැඩේ ඕනෑවට වඩා ව්‍යාප්ත වුනොත් පොදුවේ අතථ්‍ය මුදල් තවත් පිරමිඩ් ක්‍රමයක් වගේ වෙනවා. අනෙක් පැත්තෙන් චීනය මුලිනුත්, ඇමරිකාව ඉන් පසුවත් මේ වැඩේට රජයයන් ලෙසම අත ගහන්න යාමත් එක්ක මේ සමීකරණය වෙනත් පැත්තකට හැරෙන්න පුළුවන්. 

ප්‍රාග්ධනය එක්ක බොහෝ විට බලයත් එකට යනවා. ඉතාම දුරස්ථ කාරණාවක් වුවත් යම් හෙයකින් බිට්කොයින් හෝ වෙනත් යම් නිශ්චිත අතථ්‍ය මුදල් ඒකකයක් ලෝක පරිමාණයෙන් ප්‍රධානම මුදල් ඒකකය බවට පත් වෙනවා කියා අපි හිතමු. සෛද්ධාන්තිකව බිට්කොයින් වලට එවැනි තැනකට එන්න බැරිකමක් නැහැ. එවැන්නක් වෙනවා කියා කියන්නේ බිට්කොයින් හඳුන්වා දුන් මූලික කණ්ඩායම අත ලෝකයේ දේශපාලන බලයද කේන්ද්‍රගත වෙනවා කියන එකයි. 

මතක තියා ගන්න බිට්කොයින් හඳුන්වා දුන්නේ කවුරුවත් නමක් ගමක් නොදන්නා ඇනෝ කෙනෙක්. මුලින්ම "කණිනු ලැබූ" බිට්කොයින් විශාල ප්‍රමාණයක් තවමත් තිබෙන්නේ ඔහු සතුවයි. අලුතෙන් සංසරණයට එකතු වන බිට්කොයින් ප්‍රමාණය එන්න එන්නම අඩු වෙද්දී බිට්කොයින් සැපයුම තීරණය කිරීමේ බලය මේ පුද්ගලයා අතේ කේන්ද්‍රගත වෙනවා. 

බිට්කොයින් හෝ වෙනත් අතථ්‍ය මුදල් වල ආයෝජනය කරන අති මහත් බහුතරය සමපේක්ෂකයින්. ඔවුන් එසේ කරන්නේ ඉක්මණින් පෝසත් වෙන්නයි. ඉතා ඉක්මණින් මේ සමපේක්ෂකයින්ගේ සිහින බිඳ වැටෙන එකක්නම් නැහැ. ලෝකය පුරා මහ බැංකු විසින් විශාල ලෙස සල්ලි අච්චු ගසමින් අතථ්‍ය මුදල් වල ආයෝජනය කිරීමට මිනිසුන් පොළඹවමින් සිටින අතර ඒ නිසාම තවත් කාලයක් යන තුරු මේ වෙළඳපොළ කඩා වැටෙන එකක් නැහැ.

පළමු වරට පෘථිවියෙන් පිටත වෙනත් ග්‍රහ ලොවක මිනිසුන් විසින් හෙලිකොප්ටරයක් පියාසර කළ අද දින වන විට ඇමරිකාවේ ඕනෑම ප්‍රාන්තයකින් වයස අවුරුදු 16 ඉක්මවූ අය‍ට කෝවිඩ් එන්නතක් ලබා ගත හැකියි. මේ වෙද්දී ඇමරිකාවේ ජන ජීවිතය වේගයෙන් සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් තිබෙනවා. ඒ එක්කම අපටද කාලයක් පැත්තකට දමා සිටි බොහෝ දේවල් ගැන නැවත අවධානය යොමු කරන්න සිදු වෙනවා. බ්ලොග් එක වෙනුවෙන් වැය කළ හැකි කාලය අඩු වෙනවා.

Monday, January 18, 2021

සීයා හා දෙදාස් පන්සීයා


තව දවස් තුනකින් (ජනවාරි 21) කොළඹ සරසවියේ ශාස්ත්‍ර හා විද්‍යා පීඨ වල සියවස සැමරෙනවා. කොළඹ සරසවිය මමත් අවුරුදු හතර පහක් තිස්සේ ගාටපු තැනක්. එහෙත්, මගේ පළමු සම්බන්ධය තිබෙන්නේ පේරාදෙණිය සරසවිය සමඟයි. යම් හෙයකින් මට පේරාදෙණි යාමේ අවස්ථාව නොලැබුනානම් මා බොහෝ විට මුලින්ම යන්නේ කොළඹ සරසවියටයි. මුලින් පේරාදෙණි යන්න අවස්ථාව ලැබුණු නිසා කොළඹ යන්න වුනේ දෙවනුවයි. 

උසස් පෙළ කර සරසවි යාම ගැන හිතද්දී හැම විටම වගේ මගේ හිතේ මැවුණේ පේරාදෙණිය සරසවියයි. පේරාදෙණි ගොස් ඉගෙන ගැනීමේ සිහිනයටත් වඩා උඩින් තිබුණේ පේරාදෙණිය සරසවිය ආශ්‍රිතව වසර හතරක් ගත කිරීමේ සිහිනයයි. මොරටුව සරසවියට යන්නට මගේ කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. යම් හෙයකින් මොරටු යන්න සිදු වීමේ අවදානම වලක්වා ගැනීම සඳහා මම සරසවි පාඨමාලා අයදුම් කරද්දී මොරටුවේ පාඨමාලා කිසිවක් සඳහා අයදුම් කළේම නැහැ. 

අයැදුම්පත්‍රයේ මගේ පළමු කැමැත්ත ලෙස මා සඳහන් කළේ, අපේක්ෂා කළ පරිදිම මට යන්නට අවස්ථාව ලැබුණු, පේරාදෙණි පාඨමාලාවයි. මගේ දෙවන හා තුන්වන මනාප ලැබී තිබුණේ කොළඹ සරසවියේ පීඨ දෙකක පාඨමාලා දෙකකටයි. කැමති පාඨමාලා දහයක් දක්වා සඳහන් කළ හැකිව තිබුණත්, මා ඉල්ලා සිටියේ ඉහත කී පාඨමාලා තුනෙන් එකක් පමණයි.

පේරාදෙණියේ ගත කළ කාලය මගේ ජීවිතයේ හොඳම කාලය කියා කියන්න අසීරු වුනත් හොඳම කාලයක්. එම කාලය ගැන අදටත් සතුටු විය හැකියි. එහෙත් පේරාදෙණියෙන් මා ලබාගත් අධ්‍යාපනය පිළිබඳව මා සතුටු වනවා කියා කියන්න බැහැ. මට ලැබුණු කියා නොකියා මා ලබාගත් කියා කියන්නේ මෙහි යම් වරදක් ඇත්නම් එය බොහෝ දුරට මගේ පැත්තෙන් සිදු වූ වරදක් නිසා.

වෙනත් දේ කෙසේ වෙතත් අධ්‍යාපනය හා අදාළව පේරාදෙණියේදී මගේ ඉලක්කය වුනේ හැකි අවම මහන්සියකින් විභාග සමත් වීමයි. ඒ වන විට අධ්‍යාපනයේ ඉලක්කය ලෙස මා හඳුනාගෙන තිබුණේ අදාළ විභාග සමත් වී ජීවිතය සාර්ථක කර ගැනීමේ ඊළඟ පියවර දක්වා ගමන් කිරීමයි. සරසවි ප්‍රවේශය දක්වාම මේ ඊළඟ පියවර වුනේ තවත් විභාගයක්. පාසැල් සිසුවකු ලෙස මා දැන සිටියේ අධ්‍යාපනය හරහා ජීවිතය සාර්ථක කර ගැනීමේ අවසන් හා පරමාදර්ශී ඉලක්කය වනුයේ, ඒ දින වල සිතා සිටි පරිදි ඉහළ ආදායමක් උපයන්නට ඉඩ සලසන, වෛද්‍යවරයෙකු හෝ ඉංජිනේරුවෙකු වැනි වෘත්තිකයෙකු වීම බවයි. 

සරසවි විභාග සමත් වීම අභියෝගයක් බව වෙනත් බොහෝ දෙනෙකු මෙන්ම මා ද දැන ගත්තේ නවක වද සමයේදීයි. ඒ නිසා, පළමු වසර විභාගයට පෙර ප්‍රතිඵලය පිළිබඳ යම් බියක් නොතිබුණා නෙමෙයි. පළමු වසරේ පුනරීක්ෂණ විභාග අවස්ථාවක් තිබීම හේතුවෙන් මේ බය යම් තරමකින් තුනී වුවත්, ඉදිරි තෙවසර තුළ හදාරන අනු ක්ෂේත්‍රය මෙන්ම ඒ වන විට හිතාගෙන සිටි පරිදි ඉදිරි ජීවිත කාලය තුළම කරන්නට සිදුවන රැකියාවද තෝරා ගැනීමේ අවස්ථාව මේ විභාගයේ ප්‍රතිඵලය මත තීන්දු වන නිසා විභාගය යාන්තමින් සමත් වීම ඒ තරම්ම සතුටු විය හැකි දෙයක්ව තිබුණේ නැහැ. 

පළමු වසරේ විභාග ප්‍රතිඵලය ඒ තරම් නරක එකක් නොවුනාක් මෙන්ම එම ප්‍රතිඵලය මත කැමති ඕනෑම අනු ක්ෂේත්‍රයක් තෝරා ගැනීමේ අවස්ථාවද හිමි වූ නිසා එක පැත්තකින් නරකක්ද සිදු වුනා. ඒ සරසවි විභාග වලට තිබුණු සුළු හෝ බය ඉවත්ව යාමයි. ලැබෙන උපාධිය අවසන් වශයෙන් තීරණය වුනේ අවසන් වසරේ විභාග ප්‍රතිඵලය මත නිසා දෙවන, තුන්වන වසර වල විභාග හොඳින් සමත් වුනා කියා අමුතුවෙන් ලබා ගත හැකි දෙයක් පෙනෙන්නට තිබුණේ නැහැ. ඒ නිසා, දෙවන තුන් වන වසර වලදී මගේ ඉලක්කය වුනේ අඩුම කාලයක් වැය කර යාන්තමින් විභාග ගොඩ දමා ගැනීමයි. අධ්‍යාපනය වෙනුවෙන් "නාස්ති" නොකර ඉතිරි කර ගන්නා කාලය වෙනත් කටයුතු සඳහා යෙදෙවීමට හැකි වුනා. ඇත්තටම කියනවානම් ඒ වෙනත් කටයුතුද සරසවි අධ්‍යාපනයේම කොටස් තමයි.

ඔය හැම දෙයක්ම කරමින් පාඨමාලාවේ කෙළවරට පැමිණෙද්දී අවසන් විභාගය හැකි තරම් හොඳින් සමත් වීමේ උවමනාවක් ඇති වී තිබුණා. ලැබෙන උපාධි සාමාර්ථය කුමක්ද කියා තීරණය වුනේ අවසන් විභාගයේ ප්‍රතිඵලය මත වීම ඊට හේතුවයි. ඒ නිසා, මේ අවසන් විභාගයට පෙර විභාග සඳහා වැය කළාට වඩා වඩා කාලයක් වැය කරමින් සූදානම් වුනා. කෙසේ වුවත්, ලැබුණේ අනපේක්ෂිත ප්‍රතිඵලයක්. අවසන් විභාගයේ ප්‍රතිඵල අනුව මා විභාගය සමත්ව තිබුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස නැවත විභාගයට පෙනී සිටින්නට වසරක කාලයක් බලා ඉන්න සිදු වුනා. අවසන් විභාගයේ සියලුම විෂයයන් එක වර සමත් නොවුවහොත්, පුනරීක්ෂණ විභාගයක ප්‍රතිඵල කෙතරම් හොඳ වුවද කවර හෝ පන්ති සාමාර්ථයක් ලබා ගැනීමේ අවස්ථාවක් නැති නිසා එම අවස්ථාව ද ගිලිහී ගියා.

පාඨමාලාව හැදෑරුවේම විභාගය සමත් වීමේ අරමුණින් මිස ඉගෙන ගැනීමේ අරමුණින් නොවූ නිසා මේ අනපේක්ෂිත විභාග ප්‍රතිපලය විසින් මා තල්ලු කර දමනු ලැබුවේ ගොඩ එන්නට ඉතා අසීරු අගාධයකටයි. ගුරු රස්සාව හා ඊටත් පෙර කළ වෙනත් රස්සා වලින් ඉතිරි කරගත් සැලකිය යුතු මුදලක් පේරාදෙණි යද්දී අතේ තිබුණා. ඒ නිසා, පේරාදෙණි සිටි කාලයේ යම් තරමකින් අත දිග හැර මුදල් වියදම් කළ හැකි වුනා. පාඨමාලාව අවසානයේදී රැකියාවක් ලැබෙන එක ගැන සැකයක් නොතිබුණු නිසා මුල සිටම සැලසුම් කළේ ඉතිරි කරගත් මේ සල්ලි වසර හතර තුළ ක්‍රමානුකූල ලෙස වියදම් කර දමමින් සරසවියේ ගත කරන කාලය වැඩිපුර දුක් නොවිඳ ගෙවන්නටයි. එය එසේම සිදු වුනා. දැන් වසර හතර අවසන් වෙද්දී උපාධියත් නැහැ. රැකියාවකුත් නැහැ. අතේ සතේත් නැහැ. 

පේරාදෙණියේ අවසන් විභාගය ලියා අවසන් කිරීමෙන් පසුව ගත වුනේ මගේ ජීවිතයේ අඳුරුම කාලයක්. මේ වසර මා ගත කළේ ඉතා දැඩි මානසික පීඩනයකින්. විභාගය අවසන් කළ වහාම, වෙනත් රැකියාවක් ලැබෙන තුරු, පීඨයේ විද්‍යාගාර උපදේශකයෙකු (ඉන්ටෙක්) ලෙස සේවය කිරීමේ අවස්ථාව බොහෝ දෙනෙකුට හිමි වන නමුත් එම වසරේ පැවති තරඟය නිසා මට ඒ අවස්ථාව හිමි වුනේ නැහැ. එම වසරේ පැවති සුවිශේෂී ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය නිසා රැකියා වෙළඳපොළේ තිබුණේත් ඉතාම තරඟකාරී තත්ත්වයක්. මෙය පුනරීක්ෂණ විභාගයට ලියන තුරු මුහුණ දෙන්නට සිදුව තිබුණු තාවකාලික තත්ත්වයක් නිසා වෙනත් ස්ථිර රැකියාවකට අයදුම් කරන එකේත් තේරුමක් තිබුණේ නැහැ. 

එකවරම මා කිසිදු මූල්‍ය ප්‍රාග්ධනයක් අතේ නැති, වසර ගණනාවක් තිස්සේ එකතු කරගත් මානව ප්‍රාග්ධනයෙන්ද වහාම ගත හැකි කිසිම ප්‍රයෝජනයක් නැති, අතපය හතර පමණක් තිබෙන සාමාන්‍ය තරුණයෙකු වී සිටියා. කළ හැකිව තිබුණේ අත පය හතර ප්‍රයෝජනයට ගැනීම පමණයි. කැලෑ වී තිබුණු වත්ත එළි පෙහෙළි කර කෙසෙල් හිටෙවුවා. තවත් දේවල් ද වගා කළා. පසුව හතු හදන්නත් පටන් ගත්තා. ඔය දේවල් වලින් අතට මුදලක් ලැබෙන්න කිට්ටු වෙද්දී වසරක් ගෙවුනා. අපේක්ෂා කරමින් සිටි ආකාරයේ රැකියාවක්ද ලැබුණා. කොළඹ එන්න සිදු වුනා. 

පේරාදෙණියේ සිටි කාලය අධ්‍යාපනය වෙනුවෙන් සැලකිය යුතු පෞද්ගලික ආයෝජනයක් ද කළ කාලයක් වුවත් මේ පාඨමාලාව වෙනුවෙන් පාඨමාලා ගාස්තුවක් අතින් ගෙවන්න සිදු වුනේ නැහැ. යම් හෙයකින් එසේ මුදලක් අතින් ගෙවන්න සිදු වුනානම් එම කාලය තුළ හොඳින් අධ්‍යාපනය ලබා ගැනීම කෙරෙහි යොමු වන්නට මීට වඩා පෙළඹවීමක් ඇති වෙනවා.

පේරාදෙණි නොගියානම් මා බොහෝ විට දිගටම ගුරු රස්සාව කරනවා. එසේ කළානම් බොහෝ විට ඉතා ඉක්මණින් අමතර ආදායමක් ඉපැයීම සඳහා පෞද්ගලික උපකාරක පන්තිද ආරම්භ කරන්න ඉඩ තිබුණා. පෞද්ගලික උපකාරක පන්ති පවත්වා මුදල් සෙවීම මා වයස අවුරුදු එකොළහක කාලයේ සිට කළ දෙයක්. ගුරු රස්සාවෙන් හා පෞද්ගලික උපකාරක පන්ති කිරීමෙන් වසර හතරක් පුරා ඉපැයිය හැකිව තිබුණු, පේරාදෙණි යාම නිසා අහිමි වූ මුදලද අදාළ උපාධිය මිල දී ගැනීම වෙනුවෙන් දැරූ ආවස්ථික පිරිවැයක්. අධ්‍යාපනය වෙනුවෙන් මා සිදු කළ පෞද්ගලික ආයෝජනයේ කොටසක්.

කොළඹ සරසවියේ පීඨ දෙකක පශ්චාත් උපාධි පාඨමාලා දෙකක් වෙනුවෙන්ද මා පාඨමාලා ගාස්තු ලෙසම සැලකිය යුතු මුදලක් ගෙවුවා. ඉංජිනේරුවෙකු ලෙස රැකියාව කර උපයා ගත් මුදල් වලින් වැඩි කොටසක් වැය වුනේ මේ ආකාරයෙන් නැවත අධ්‍යාපනය වෙනුවෙන්ම ආයෝජනය කරන්නයි. ඔය වගේ රැකියාවන් කරමින් ඔය වයසේ සිටි වෙනත් බොහෝ දෙනෙකු සේ හැසිරුනානම් මෝටර් රථයක් මිල දී ගැනීමට හෝ නිවසක් හදා ගැනීමට වැය කළ හැකිව තිබුණු මුදලක්. 

මේ වසර හතර පහක පමණ කාලය තුළද පාඨමාලා ගාස්තු සේ ගෙවූ මුදල මා දැරූ සමස්ත පිරිවැය නෙමෙයි. මේ කාලය තුළ මා නීත්‍යානුකූල හා සාධාරණ ලෙස ඉතා ඉක්මණින් මුදල් ඉපැයිය හැකි ව්‍යාපාරික අවස්ථාවක් හඳුනා ගෙන තිබුණා. එම ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා අවම වශයෙන් මාස හයක් පමණවත් සැලසුම් කළා. මේ වැඩේ කල් දමන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. එසේ කළානම් වෙනත් අයෙකු විසින් මේ ව්‍යාපාරික අවස්ථාව හඳුනා ගනු ලබනවා. ඊට පෙර වැඩේට අත ගැසිය යුතුව තිබුණා. වැඩේ පටන් ගත්තානම් මුල් කාලයේ කළ යුතු කැපවීමත් එක්ක අධ්‍යාපන කටයුතු ඉදිරියට කර ගෙන යන්න වෙන්නේ නැහැ. මේ දෙගිඩියාව සමඟ මාස හයක් පමණ දෙපැත්තට වැනි වැනී සිටීමෙන් පසුව අන්තිමේදී වැඩේ අත අරින්න තීරණය කළා.

මේ කාලය තුළ මගේ මේ සැලසුම පිළිබඳව ඒ දවස් වල ලඟින් ඇසුරු කළ මිතුරෙකු සමඟ දිනපතාම වගේ සාකච්ඡා කළා. ඔහු තීක්ෂණ බුද්ධියක් තිබුණු, දක්ෂ හා මහන්සියෙන් කටයුතු කරන තරුණයෙකු වුවත් උසස් පෙළ කඩඉම පැන සරසවි යාමේ වරම ලබා නොතිබුණු නිසා ඒ වෙද්දී විධිමත් අධ්‍යාපන සුදුසුකමක් ලොකුවට තිබුණේ නැහැ. මා වැඩේ අතඅරින බව ස්ථිර ලෙසම පැවසීමෙන් පසුව ඔහු වැඩේට අත ගැසුවා. ඒ වන විට ඔහුට එසේ කිරීම නිසා මට මෙන් නැති වෙන්න දෙයක් තිබුණේ නැහැ. ඔහු සමඟ සම්බන්ධ වන සේ මගෙන් ඉල්ලා සිටියත් මා ඔහුගේ ව්‍යාපාරික හවුල්කරුවෙකු සේ සම්බන්ධ වුනේ නැහැ. එහෙත්, මුල් කාලය තුළ දිගින් දිගටම ඔහුට අවශ්‍යව තිබුණු තාක්ෂනික සහාය ලබා දෙමින් හිර වූ හැම විටකම ගොඩ යන්නට උදවු කළා. ඔහු ඉතා ඉක්මනින් ලංකාවේ ප්‍රමුඛ ධනවතෙක් වුනා වගේම පසුව ඉගෙනීම වෙනුවෙන්ද දිගටම කාලය හා මුදල් වැය කර බටහිර රටක සරසවියකින් ආචාර්ය උපාධියක්ද ලබා ගත්තා.

මා මෙය ලිවුවේ කිසිදු පසුතැවිල්ලකින් නෙමෙයි. ලොකු ධනවතෙකු වීමේ උවමනාවක් මට කවදාවත්ම තිබුණේ නැහැ. දැනුත් නැහැ. මගේ සරල කෙසේ වෙතත් එතරම් සංකීර්ණ නැති ජීවිතය ගෙවන්න ප්‍රමාණවත් ආදායමක් ලැබේනම් මට එය හොඳටම ඇති. පෙර කී ව්‍යාපාරික අවස්ථාව අත ඇරීම මගේ තේරීමක්. ඒ ගැන මා අදටත් සතුටු වෙනවා. කෙසේ වුවත්, එම ව්‍යාපාරය ආරම්භ කර ඉපැයිය හැකිව තිබුණු මුදලද මා අධ්‍යාපනය වෙනුවෙන් සිදු කළ පෞද්ගලික ආයෝජනයේ කොටසක්. 

ප්‍රථම උපාධියේදී මෙන් නොව මේ පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීමේදී මගේ ඉලක්කය වුනේ විභාග සමත් වී ලබා ගන්නා උපාධි සහතිකයම නෙමෙයි. උපාධිය ලබා ගැනීමද එක් ඉලක්කයක් වුවත්, පාඨමාලා සඳහා මුදල් ගෙවුවේ දැනුම හා අධ්‍යාපනය මිල දී ගැනීමටයි. කොළඹ විද්‍යා පීඨයෙන් හැදෑරූ පශ්චාත් උපාධි පාඨමාලාවේ වසර අවසාන විභාග හා ඒ දිනවලම හැදෑරූ නීති විද්‍යාල පාඨමාලාවේ විභාග සමපාත වීම නිසා එම පාඨමාලාවේ අවසන් විභාගයට මුහුණ දීමේ අවස්ථාවද ගිලිහී ගියා. ඉන් පසුව මෙම පාඨමාලාව විද්‍යා පීඨයෙන් ඉවත් වී එහි ස්වරූපයම වෙනස් වීම නිසා අදාළ පශ්චාත් උපාධිය ලබා ගැනීමට අවස්ථාවක් ලැබුණේ නැතත් උගත් දේ යම් තරමකින් හෝ ඉතිරි වුනා. අනෙක් පශ්චාත් උපාධියනම් ලබා ගත්තා.

කොළඹින් වගේම පේරාදෙණියෙන්ද ලැබුණේ බටහිර ආකෘතියේ අධ්‍යාපනයක්. මා කොළඹින් ලබා ගත් හා ලබා නොගත් පශ්චාත් උපාධි දෙකෙන් එකක්වත් පර්යේෂණ උපාධි නෙමෙයි. පර්යේෂණ උපාධියක් ලබා ගන්නා කෙනෙකු එය කරන්නේ උපදේශක වරයෙකුගේ අධීක්ෂණය යටතේ. ආචාර්ය උපාධියක්නම් උපදේශක මණ්ඩලයක් සිටිනවා. එහි ප්‍රධාන උපදේශකයෙකු හෝ ඇතැම් විට දෙදෙනෙකු සිටිනවා. මෙවැනි පර්යේෂණ උපාධියක සෘජු ගුරු ගෝල සම්බන්ධයක් තිබෙනවා. අදාළ වාර්තා තිබේනම් මේ ගුරු ගෝල සම්බන්ධතා පසුපසට හඹා යන්න පුළුවන්. 

ආචාර්ය උපාධි ලබා දීම ආරම්භ වුනේ යුරෝපයේ. මුලින්ම ආචාර්ය උපාධි ප්‍රදානය කළේ යුරෝපයේ ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය වැනි රටවල්. ඇමරිකාව හා එංගලන්තය වැනි ඉංග්‍රීසි කතා කරන ලෝකයේ ආචාර්ය උපාධි ලබා දීමේ පුරුද්ද ඇති වුනේ පසුකාලීනවයි. එතෙක්, එංගලන්තයේ සරසවි වලින් ප්‍රදානය කළේ මාස්ටර්ස් උපාධි. මේ මාස්ටර්ස් උපාධි සම්ප්‍රදායේත් ගුරු ගෝල සම්බන්ධය තිබුණා. 

අධ්‍යාපනය ගුරු ගෝල සම්බන්ධතා හරහා සම්ප්‍රේෂණය වෙන්න පටන් ගත්තේ අද දැකිය හැකි සම්මත ආකාරයේ විශ්ව විද්‍යාල බිහිවී, එම විශ්ව විද්‍යාල පද්ධතීන් තුළ පර්යේෂණ උපාධි ප්‍රදානය කිරීම් සිදුවෙන්න පටන් ගැනීමෙන් පසුව නෙමෙයි. ගුරු ගෝල සම්බන්ධතා වල අතීතය ඊට වඩා පැරණියි. බටහිර අධ්‍යාපන සම්ප්‍රදාය ආරම්භ වන්නේ ග්‍රීසියෙන් කියා කියන්න පුළුවන්. මහා ඇලෙක්සැන්ඩර් රජුගේ ගුරුවරයා ඇරිස්ටෝටල්. ඇරිස්ටෝටල්ගේ ගුරුවරයා ප්ලේටෝ. තරමක් විවාදිත කරුණක් වුවත් සොක්‍රටීස් ප්ලේටෝගේ ගුරුවරයෙක්. අද ලංකාවේ ලබා දෙන සරසවි අධ්‍යාපනයේ මුල් තිබෙන්නේත් පැරණි ග්‍රීසියේ කියා කිවුවොත් එහි වැරැද්දක් නැහැ. සොක්‍රටීස්ගේ කාලයේ සිට පැවත එන සම්ප්‍රදායකට මේ වෙද්දී වසර දෙදාස් පන්සීයකට ආසන්න ඉතිහාසයක් තිබෙනවා.

අධ්‍යාපනය තුළ ගුරු ගෝල සම්බන්ධතා දාම දැකිය හැක්කේ බටහිර සම්ප්‍රදාය තුළ පමණක් නෙමෙයි. වෙනත් හොඳම උදාහරණයක් වන්නේ ලංකාවේ සංඝ ශාසනයයි. හොරෙන් සිවුරු පොරවා ගත් අයෙක් නොවේනම්, ලංකාවේ ඕනෑම බෞද්ධ භික්ෂුවකට ගුරු හාමුදුරු කෙනෙක් ඉන්නවා. ඒ ගුරු හාමුදුරුවන්ටත් ගුරු හාමුදුරු කෙනෙක් ඉන්නවා. වාර්තා හොයා ගන්න පුළුවන් වුවත්, බැරි වුනත් ඔය දාමය ආරම්භ වන්නේ බුදු හාමුදුරුවන්ගෙන්. ඒ අතර, දාමයේ පුරුක් සියම, බුරුමය වගේ රටවල් වලට ගිහින් ආපහු ඇවිත් ඇති. මගධයේ සිට ලංකාවට ඇවිත් ඇති.

සංඝ ශාසනය ඇතුළේ වගේම වෙනත් ලෞකික කර්මාන්ත හා දැනුම් සම්ප්‍රේෂණය වෙලා තිබෙන්නේත් ගුරු ගෝල සම්බන්ධතා හරහා. උදාහරණ විදිහට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, වෙදකම, රන් හා ලෝහ වැඩ පිළිබඳ දැනුම, නැටුම් වගේ ගොඩක් දේවල්. ගුරු ගෝල සම්බන්ධයක් කියන්නේ ගුරුවරයා උගන්වන දේ ඒ විදිහටම ගෝලයාට කියා දෙන එක නෙමෙයි. ඇරිස්ටෝටල්ගේ ඉගැන්වීම් හා ප්ලේටෝගේ ඉගැන්වීම් අතර විශාල වෙනස්කම් තිබෙනවා. අඛණ්ඩව පහළට යන්නේ දැනුම සම්ප්‍රේෂණය කිරීමේ සම්ප්‍රදාය මිසක් වෙනස් නොවන දැනුමක් නෙමෙයි. එහෙත් ආගමික සම්ප්‍රදායන් ඇතුළේ දැනුම නොවෙනස්ව සම්ප්‍රේෂණය කරන එක අදාළ සම්ප්‍රදායේම මූලික ලක්ෂණයක්. එහිදී සම්ප්‍රේෂකයාගේ කාර්යය වන්නේ පවතින දැනුමට එරෙහිව යන අලුත් දැනුම් නිෂ්පාදනය කරන්නට උත්සාහ නොකර පවතින දැනුම ඇති සැටියෙන් සම්ප්‍රේෂණය කිරීමයි. බටහිර විද්‍යාත්මක සම්ප්‍රදාය මෙයින් වෙනස් වන්නේ පවතින දැනුමට අභියෝග කිරීම සම්ප්‍රදායේම කොටසක් වීම තුළයි.


Sunday, July 26, 2020

ඇමරිකාවෙන් ගත් ඩොලර් බිලියනයේ ණය


ඇමරිකාවේ වගේම සමස්තයක් ලෙස ලෝකයේත් කෝවිඩ් එන්න එන්නම තව දුරටත් ව්‍යාප්ත වෙනවා. ඒ අතින් ලංකාව ව්‍යතිරේඛයක් ලෙස සලකන්න පුළුවන්. කෝවිඩ් ඉවරයක් නැතත් දැන් කෝවිඩ් ඉන්ටවල්නම් ඉවරයි. කෝවිඩ් පැත්තකින් තියලා කලින් කරගෙන ගිය වැඩ ආපහු ඒ විදිහටම කරනවා හැර වෙන විකල්පයක් නැහැ.

හදිසි වැඩ කිහිපයක් ඉවර කරන්න අවශ්‍ය වූ නිසා ටික දවසකින් බ්ලොග් එක පැත්තේ එන්න වුනේ නැහැ. ඒ අතර, ලංකාව ඇමරිකාවෙන් ලබාගත් ඩොලර් බිලියනයක ණයක් ගැන කතාවක් පැතිරිලා හෝ පතුරවලා තියෙනවා දැක්කා. කතාවෙන් කියපු විදිහට දැන් ලංකාව ඇපයක් නොතියා ණයක් ගන්න බැරි තැනට වැටිලා. මේ කතාව ඇත්තද?

ණයක් කියා ප්‍රචාරය වී තිබුණත් ඇත්තටම මේ අරගෙන තිබෙන්නේ ණය ලබා ගැනීමේ පහසුකමක්. මෙය සමාන කරන්න පුළුවන් වෙන්නේ ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තා වගේ දෙයකට. ණය පහසුකමක් ලබා ගත්තාට පස්සේ එහි උපරිම සීමාවට යටත්ව ඕනෑ වෙලාවක පහසුවෙන් ණය ලබා ගන්න පුළුවන්. හරියට ක්‍රෙඩිට් කාඩ් එකේ සීමාව පනින තුරු වියදම් කරන්න පුළුවන් වගේ. ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තා කියලා එය භාවිතා කරන්න අවශ්‍යම නැහැ වගේ ණය පහසුකමක් ගත්තා කියලා ඒ පහසුකම පාවිච්චි කරන්න අවශ්‍යම නැහැ.

ලංකාව විසින් ලබාගත් ණය පහසුකම තවමත් පාවිච්චි කරලා නැහැ. පාවිච්චි කරන තුරු පොලියක් ගෙවන්න අවශ්‍ය වෙන්නේත් නැහැ. ඉදිරි කාලයේදී ණය පහසුකම පාවිච්චි කළොත් ඒ වෙනුවෙන් පොලී ගෙවන්න වෙයි. හැබැයි මේ වෙනුවෙන් ගෙවන්න වෙන්නේ ලංකාවේ විදේශ ණය සඳහා ගෙවන පොලී අනුපාතික වලට සාපේක්ෂව ඉතා අඩු පොලියක්.

මේ ණය පහසුකම ලබා දී තිබෙන්නේ ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව විසින් ණය පහසුකම් ලබා දීමේ අළුත් ක්‍රමවේදයක් යටතේ. ඇමරිකාවේ ෆෙඩරල් විවට වෙළඳපොළ කමිටුව විසින් මේ ණය ක්‍රමය හඳුන්වා දුන්නේ පසුගිය මාර්තු මාසය අවසානයේදී කෝවිඩ් තර්ජනය හමුවේ ගත් ක්‍රියාමාර්ගයක් ලෙසයි. එහි පසුබිම ගැන ටිකක් කතා කරමු.

කෝවිඩ් තර්ජනය නිසා ලෝකයේ රටවල් අතර වෙළඳාම, සංචරණය වගේම ප්‍රාග්ධන ප්‍රවාහ සැලකිය යුතු තරමින් සීමා වී තිබෙන බව කවුරුත් දන්නා දෙයක්නේ. ලංකාව ගත්තොත්, ලංකාවට සංචාරකයින්ගෙන්, ඇඟලුම් ආනයන ආදියෙන් ලැබෙන විදේශ විණිමය දැඩි ලෙස සීමා වී තිබෙනවා. ඒ වගේම එහි අනෙක් පැත්තත් සිදු වෙනවා. උදාහරණයක් විදිහට ලංකාවේ තෙල් ආනයනය සීමා වන විට ලංකාවට තෙල් අපනයනය කරන රටවල විදේශ විණිමය ලැබීම් සීමා වෙනවා. එහි බලපෑම විශාල එකක් නොවෙන්න පුළුවන්. එය වෙනම කරුණක්.

කෝවිඩ් මිනිස්සුන්ගේ මුදල් භාවිතයට බලපාන්නේ කොහොමද? ගෙවල් වලට සීමා වී ඉන්න වූ විට බොහෝ දෙනෙක් තමන්ගේ බැංකු ගිණුම් වල තිබෙන මුදල් ආපසු අරගෙන අතේ තියාගන්න පෙළඹෙනවා. මේ තත්ත්වය ලංකාව ඇතුළු හැම රටකම වගේ දැකිය හැකියි. තාක්ෂනික ලෙස මෙයට රටේ ද්‍රවශීලතා අවශ්‍යතාව ඉහළ යාම කියා කියන්න පුළුවන්. කෝවිඩ් තර්ජනය මුළුමනින්ම තුරන් වන තුරු මේ තත්ත්වයේ ලොකු වෙනසක් වෙන්න ඉඩක් නැහැ.

මේ විදිහට රටක ද්‍රවශීලතා අවශ්‍යතාව ඉහළ යන විට රටේ මුදල් හිඟයක් ඇති නොවීම සඳහා මහ බැංකුවට අලුතින් මුදල් සංසරණයට එකතු කරන්න වෙනවා. සරලව කිවුවොත් සල්ලි අච්චු ගහන්න වෙනවා. ඔය සල්ලි අච්චු ගහන වැඩේ ඒ තරම් හොඳ දෙයක් නොවන බව මම බොහෝ වර පැහැදිලි කරලා තියෙනවනේ. හැබැයි මේක විශේෂ තත්ත්වයක්.

මේ වගේ අවස්ථාවක මිනිස්සුන්ට වැඩියෙන් මුදල් අවශ්‍ය වෙන්නේ පවතින අවිනිශ්චිත තත්ත්වය යටතේ අතේ මුදල් නැති වීමේ අවදානම අඩු කරගන්න මිසක් වැඩි වැඩියෙන් භාණ්ඩ මිල දී ගන්න නෙමෙයිනේ. ඒ නිසා, මේ විදිහට මහ බැංකුව විසින් මුදල් සැපයුම වැඩි කළ පමණින් උද්ධමනය ඉහළ යන්නේ නැහැ. උද්ධමනය ඉහළ යන්නේ රටේ මුදල් ඉල්ලුම ඉක්මවා වඩා වැඩියෙන් අලුත් මුදල් සංසරණයට එකතු කළ විටයි. මම කියන්නේ වැඩි වූ මුදල් ඉල්ලුම වෙනුවෙන් අවශ්‍ය තරමට අලුත් මුදල් සංසරණයට එකතු කිරීමක් ගැනයි.

ඔය විදිහට සංසරණයට එකතු කරන මුදල් වුවත් කෝවිඩ් තර්ජනය පහ වී මිනිසුන්ගේ මුදල් ඉල්ලුම අඩු වන විට ක්‍රමයෙන් නැවත එකතු කර නොගත්තොත් අවසාන ප්‍රතිඵලය උද්ධමනයයි. හැබැයි මේ වෙලාවේ ඕනෑම රටක මහ බැංකුවකට යම් තරමකින් අලුතෙන් සල්ලි අච්චු ගහන්න වෙනවා. ලෝකයේ ගොඩක් මහ බැංකු ඔය වැඩේ කරනවා.

රටක් ඇතුළේ ගනුදෙනු සිදු වෙන්නේ දේශීය ව්‍යවහාර මුදල් යොදාගෙන වුවත්, විදේශ ගනුදෙනු සඳහා විදේශ ව්‍යවහාර මුදල් අවශ්‍ය වෙනවනේ. කෝවිඩ් නිසා හැම රටකම වගේ දේශීය ව්‍යවහාර මුදල් සඳහා වන ඉල්ලුම ඉහළ ගිහින් තිබෙනවා වගේම විදේශ ව්‍යවහාර මුදල් සඳහා ඉල්ලුමත් ඉහළ ගිහින් තිබෙනවා. නමුත්, මේ ප්‍රශ්නය රටක මහ බැංකුවට පහසුවෙන් විසඳිය හැකි ප්‍රශ්නයක් නෙමෙයි. ලංකාව ගත්තොත් මහ බැංකුවට හිතේ හැටියට රුපියල් අච්චු ගහන්න පුළුවන්. නමුත්, ඒ විදිහට ඩොලර් හරි යුරෝ හරි අච්චු ගහන්න බැහැනේ.

ගොඩක් ජාත්‍යන්තර ගනුදෙනු කෙරෙන්නේ ඇමරිකන් ඩොලර් වලින් බව අපි දන්නවනේ. ඒ නිසා, මේ වෙලාවේ ලෝකයේ හැම රටකම වගේ ඇමරිකන් ඩොලර් වලට තිබෙන ඉල්ලුම ඉහළ ගිහින් තිබෙනවා. නමුත්, ඇමරිකන් ඩොලර් එළියට දමන්න පුළුවන්කම තිබෙන්නේ ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුවට විතරයිනේ. ඒ නිසා, මේ වෙලාවේ ගොඩක් රටවල් වලට ඇමරිකන් ඩොලර් හොයා ගන්න ආකාරය ගැන හිතන්න වෙලා.

ඔය තරම්ම බරපතල ලෙස නොවුනත් ඔය වැඩේම අනික් පැත්තටත් වෙනවනේ. අපි හිතමු ඇමරිකානු සමාගමකට ලංකාවේ ඇඟලුම් ආනයනය කරන්න ඕනෑ. ඒ සඳහා ශ්‍රී ලංකා රුපියල් අවශ්‍ය වෙනවා. නමුත්, ෆෙඩරල් සංචිත බැංකුවට ශ්‍රී ලංකා රුපියල් අච්චු ගහන්න බැහැනේ. රුපියල් ගන්න වෙන්නේ ලංකාවෙන්ම තමයි.

හැබැයි ප්‍රායෝගිකව මේ වැඩේ ඒ තරම් ප්‍රශ්නයක් නෙමෙයි. ලංකාවේ අපනයනකරුවන් රුපියල් ඉල්ලන්නේ නැහැ. බොහොම කැමැත්තෙන් ඇමරිකන් ඩොලර් බාර ගන්නවා. ඒ නිසා, ඇමරිකාව ඇතුලේ ශ්‍රී ලංකා රුපියල් හිඟයක් ඇති වෙන්න ඉඩක් නැහැ.

ශ්‍රී ලංකා රුපියල් හා අදාළව තත්ත්වය ඔය වගේ වුනත් යුරෝ, යෙන් වගේ ව්‍යවහාර මුදල් හා අදාළව තත්ත්වය වෙනස්. ඒ වගේ විදේශ ව්‍යවහාර මුදල් සඳහා සැලකිය යුතු ඉල්ලුමක් ඇමරිකාව ඇතුළේ තිබෙනවා. එම ඉල්ලුමට සරිලන සැපයුමක් නැත්නම් එය ඇමරිකාවට ප්‍රශ්නයක් වෙනවා. යම් විදිහකින් මේ වගේ ප්‍රශ්නයක් ඇති වුනොත් එය ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුවට සරලව විසඳිය හැකි ප්‍රශ්නයක් නෙමෙයි.

ඇත්තටම ඇමරිකාවට මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙලාම නැහැ. නමුත්, ඔය වගේ ප්‍රශ්නයක් ඇති වුනොත් හදිසියකට පවුම්, යුරෝ, යෙන් වගේ විදේශ ව්‍යවහාර මුදල් ලබා ගත හැකි පහසුකමක් තිබීම නරක දෙයක් නෙමෙයිනේ. සාමාන්‍යයෙන් ඇමරිකාව වගේ රටවල් ප්‍රශ්න විසඳන්න ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනකල්ම ඉන්නේ නැහැනේ. ඔය ගොඩක් අය කතා කරන ඇක්සා සෝෆා වගේ ගිවිසුම් අත්සන් කරන්නේත් අනාගතයේ යම් අවස්ථාවක ඇති විය හැකි තත්ත්වයන් ගැන සලකලා.

ඇමරිකන් ඩොලර් හැර ලෝකයේ ප්‍රධාන ව්‍යවහාර මුදල් නිකුත් කරන මහ බැංකු එක්ක ඇමරිකාව කළින්ම ගිවිසුම් අත්සන් කර තිබෙනවා. ඒ අනුව, ඇමරිකාවට ඕනෑම වෙලාවක කැනේඩියන් ඩොලර්, බ්‍රිතාන්‍ය පවුම්, ජපන් යෙන්, ස්විස් ෆ්‍රෑන්ක් හා යුරෝ අවශ්‍ය පමණ ණයට ලබා ගන්න පුළුවන්. අදාළ මහ බැංකු වලටත් ඕනෑම වෙලාවක අවශ්‍ය පමණ ඇමරිකන් ඩොලර් ණයට ලබා ගන්න පුළුවන්. ණය ආපසු පියවන විට කලින් එකඟ වී තිබෙන නිශ්චිත පොලියක් ගෙවිය යුතුයි. ඉහත එක් එක් රටවල් අතරත් මෙවැනිම ගිවිසුම් තිබෙනවා. උදාහරණයක් විදිහට බ්‍රිතාන්‍යයට (එංගලන්ත බැංකුවට) ඕනෑම වෙලාවක ජපාන බැංකුවෙන් අවශ්‍ය පමණ ජපන් යෙන් ණයට ලබා ගන්න පුළුවන්.

ඇමරිකාවට මේ පහසුකමින් ප්‍රයෝජනයක් ගන්න අවශ්‍ය නොවුනත්, කෝවිඩ් වලින් පසුව පෙර කී රටවල් මේ ගිවිසුම අනුව සැලකිය යුතු ලෙස ඇමරිකන් ඩොලර් ලබා ගනිමින් සිටිනවා. පසුගිය මාර්තු 19 වෙනිදා සිට ඇමරිකාව විසින් මේ පහසුකම ලෝකයේ තවත් රටවල් ගණනාවකට ලබා දෙනවා. හැබැයි පෙර කී රටවල් පහට වගේ අසීමිත ලෙස නෙමෙයි. උපරිම සීමාවකට යටත්ව.

මේ අනුව, ඕස්ට්‍රේලියාවට, බ්‍රසීලයට, දකුණු කොරියාවට, මෙක්සිකෝවට, සිංගප්පූරුවට හා ස්වීඩනයට ඇමරිකන් ඩොලර් බිලියන 60ක උපරිම සීමාවක් දක්වාත්, ඩෙන්මාර්කය, නෝර්වේ හා නවසීලන්තය යන රටවලට ඇමරිකන් ඩොලර් බිලියන 30ක උපරිම සීමාවක් දක්වාත් ඇමරිකන් ඩොලර් ණය ලබා ගත හැකියි. ඒ වෙනුවෙන්, කිසිවක් ඇප සේ තියන්න අවශ්‍ය නැහැ. දැනට මේ පහසුකම ලබා දී තිබෙන්නේ මාස හයක කාලයක් සඳහායි.

එහෙම කිවුවත් තාක්ෂනික ලෙස මෙහිදී වෙන්නේ ඇප ලෙස තමන්ගේ රටේ මුදල් තියන එක වගේ දෙයක්. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාව ඕස්ට්‍රේලියානු ඩොලර් ඇපයට තියලා ඇමරිකන් ඩොලර් ගන්නවා වගේ වැඩක්. ඕස්ට්‍රේලියානු සංචිත බැංකුවට ඕනෑ තරම් ඕස්ට්‍රේලියානු ඩොලර් මුද්‍රණය කරන්න පුළුවන් නිසා මේක ඕස්ට්‍රේලියාවට බරක් දැනෙන දෙයක් නෙමෙයිනේ. ඒ නිසා ඇපයක් නැහැ වගේ තමයි. අනෙක් රටවල් හා අදාළවත් එය එහෙමයි.

මේ ආකාරයට ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව විසින් මේ වන විට ඉහත මුදල් ඒකක 14 භාවිතා කරන රටවල මහ බැංකු වලට සීමාවකට යටත්ව හෝ අසීමිත ලෙස ඇමරිකන් ඩොලර් ණය ලබා ගැනීමේ පහසුකම ලබා දී තිබෙනවා. ඒ සඳහා ඇප ලෙස කිසිවක් තැන්පත් කළ යුතු නැහැ. යුරෝ මුදල් ඒකකය භාවිතා කරන රටවල් ගණන 19ක් බව සැලකූ විට මේ වැඩෙන් ලෝකයේ රටවල් 32ක ඇමරිකන් ඩොලර් ද්‍රවශීලතා ප්‍රශ්නය තාවකාලිකව විසඳෙනවා.

කෙසේ වුවත්, මේ වෙලාවේ ඇමරිකන් ඩොලර් අවශ්‍ය වී තිබෙන්නේ ඔය රටවල් වලට පමණක් නෙමෙයිනේ. ලංකාව වගේ වෙනත් රටවල් වලටත් ඇමරිකන් ඩොලර් අවශ්‍යයි. පසුගිය මාර්තු 31 වෙනිදා ෆෙඩරල් විවට වෙළඳපොළ කමිටුව විසින් ඉහත ලැයිස්තුවේ නැති රටවල මහ බැංකු වලටත් තාවකාලිකව ඇමරිකන් ඩොලර් ණය ලබා ගැනීම සඳහා ක්‍රමයක් ඇති කළා. හැබැයි මේ ඉතිරි රට වලට ඉහත කී රටවල් වලට මෙන් ඇපයක් නැතිව ණය ලබා ගන්න බැහැ.

හේතුව ඉතාම පැහැදිලියිනේ. ශ්‍රී ලංකා රුපියල් වැනි මුදල් ඒකකයක් යුරෝ හෝ යෙන් වැනි ශක්තිමත් මුදල් ඒකකයක් සමඟ සසඳන්න බැහැනේ. ඒ නිසා, ඇමරිකාවට ශ්‍රී ලංකා රුපියල් ඇපයට තියාගෙන ණය දෙන්න බැහැ. ඩොලර් වලින්ම ඇපයක් තියා ගන්න වෙනවා.

මුලටම ගියොත් මේ වෙනසට හේතුව ලංකාවේ ආර්ථිකයේ අවුලක් තමයි. හැබැයි මේ වෙලාවේ සිදු වුනු විශේෂ දෙයක් නෙමෙයි. තවත් විදිහකට කිවුවොත් ලංකාව මේ වෙද්දී ගත් ණය ගෙවාගන්න බැරි තරමට හිර වී ඉන්න බව පැහැදිලි ඇත්තක්. නමුත්, ඇමරිකාව මේ කියන ණය පහසුකම දෙන්න ඇපයක් තියා ගන්නේ ඒ හේතුව නිසා කියා කියන්න බැහැ. ලංකාවේ ආර්ථිකය මීට වඩා තරමක් හොඳ තත්ත්වයේ තිබුණා කියලත් ඔය කතාව වෙනස් වෙන්නේ නැහැ. කලින් කී රටවල් හැර වෙනත් රටවල් එකසිය ගණනකටම ඇමරිකාවෙන් ණය පහසුකමක් ලබා ගන්න වෙන්නේ ඇමරිකන් ඩොලර් වත්කමක් ඇපයට තියලා.

මේ විදිහට ඇපයට තියන්න අවශ්‍ය ඇමරිකන් ඩොලර් වත්කම් මොනවාද?

ලංකාවේ සමස්ත විදේශ බැරකම් ප්‍රමාණය මේ වන විට ඇමරිකන් ඩොලර් බිලියන 58,211ක් බව මම කලින් කියල තියෙනවනේ. ඔය ගණනට අලගු තියන්නවත් මදි වුනත් ලංකාව සතුව ඇමරිකන් ඩොලර් බිලියන 13,277ක වත්කම් තිබෙනවා. එයින් බාගයක් පමණ මහ බැංකුව සතු නිල සංචිත. එයින් 75%ක් පමණම ඇමරිකන් ඩොලර් සංචිත. මේ ඇමරිකන් ඩොලර් සංචිත වලින් සැලකිය යුතු කොටසක් තිබෙන්නේ ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුවේ ගිණුමක. ඔය විදිහටම තවත් ලෝකයේ රටවල් විශාල ගණනක මහ බැංකු විසින් ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුවේ ගිණුම් පවත්වා ගෙන යනවා.

මේ විදිහට ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව ලෝකයේ මහ බැංකු වල බැංකුකරු සේ කටයුතු කරනවා. බැංකුවක මුදල් තැන්පත් කරන කවුරු වුනත් ඒ වෙනුවෙන් පොලියක් බලාපොරොත්තු වෙනවනේ. සාමාන්‍යයෙන් දිගුකාලීන ආයෝජන සඳහා පොලිය වැඩියි. හරියට බැංකුවක ස්ථිර තැන්පතු සඳහා වැඩි පොලී අනුපාතිකයක් ලැබෙනවා වගේ. නමුත්, ප්‍රශ්නය ස්ථිර තැන්පතුවක් දැම්මට පස්සේ කල් පිරෙනකම් ඉන්න වෙන එකයි. හදිස්සියක් වෙලා කලින් සල්ලි ගත්තොත් පොලිය නැති වෙනවා.

ඔය විදිහටම නොවුනත් ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුවේ තිබෙන ලංකාවේ නිල සංචිත පිළිබඳ තත්ත්වයත් ඕකයි. මේ සංචිත වලින් කොටසක් වැඩි ආදායමක් ඉපැයීම සඳහා ඇමරිකාවේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල ආයෝජනය කරලයි තියෙන්නේ. ඇත්තටම කියනවානම් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානම ආදායම් මාර්ගය ඔය නිල සංචිත සඳහා ලැබෙන පොලී ආදායමයි. ලංකාවේ රජයට ණය දීලා ලබා ගන්නා පොලී ආදායම කියන්නේ එක්තරා ඉලක්කම් විජ්ජාවක් පමණයි.

දැන් ලංකාව ඩොලර් නැතුව අවුලෙන් ඉන්න බව රහසක් නෙමෙයිනේ. ඔය වගේ වෙලාවක වෙන කරන්නම දෙයක් නැති වුනොත් කරන්න වෙන්නේ පෙර කී දිගුකාලීන ආයෝජන කලින් මුදල් කරන එකයි. ඒ කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව සතු ඇමරිකන් රාජ්‍ය සුරැකුම්පත් විකුණන එක. දැන් මේ පහසුකම නිසා ඒ වැඩේ කරන්න අවශ්‍ය නැහැ. ශ්‍රී ලංකා මහ බැංකුව සතු ඇමරිකන් රාජ්‍ය සුරැකුම්පත් විකුණන්නේ නැතිව ඒවා ඇපයට තියලා කෙටිකාලීන ණයක් ගන්න පුළුවන්.

මේ ඇමරිකන් රාජ්‍ය සුරැකුම්පත් කොහොමටත් තියෙන්නේ ෆෙඩරල් සංචිත බැංකුවේ ගිණුමකයි. දැන් කරලා තියෙන්නේ ඒ රාජ්‍ය සුරැකුම්පත් වලින් ඇමරිකන් බිලියනයක් ඇපයට තියාගෙන ඒ ප්‍රමාණය දක්වා වන ණය පහසුකමක් ලබා දෙන එකයි. මේ වැඩෙන් ලංකාවට වාසියක් මිසක් කිසිදු පාඩුවක් නැහැ. පහසුකම ලබාගත්තත් ණය ලබා ගන්න අවශ්‍යම නැහැ. ණය ලබා නොගත්තොත් පොලියක් ගෙවන්න අවශ්‍ය නැහැ. ණය ගන්නවානම් පොලිය ගණනය කෙරෙන්නේ දවසින් දවසටයි. ඒ නිසා, හදිසියකට ගත් ණයක් ඉතා ඉක්මණින් පියෙවුවොත් පොලිය ලෙස විශාල මුදලක් ගෙවන්න වෙන්නේ නැහැ. රාජ්‍ය සුරැකුම්පත් වෙනුවෙන් ලැබෙන පොලිය අඩුවක් නැතුව ඒ විදිහටම ලැබෙනවා.

මේ වැඩෙන් ලංකාව ඇතුළු ලෝකයේ අනෙක් රටවලට වාසියක් මිස පාඩුවක් නැති බව පැහැදිලියිනේ. එතකොට ඇමරිකාවට මේ වැඩෙන් තියෙන වාසිය මොකක්ද?

ඇමරිකාව අත ලෙවකන්න මී කඩන්නේ නැති බව ලංකාවේ ගොඩක් අය දන්න දෙයක්නේ. මේ පහසුකම ලබා දෙන්නෙත් ලෝකයේ අනෙක් රටවලට උදවු කිරීමේ අරමුණින් නෙමෙයි. ඇමරිකාවට තිබෙන වාසිය ගැන සලකලා. වැඩෙන් අනෙක් රටවලටත් වාසියක් වෙන එක වෙනම කරුණක්.

ලෝකයේ අනෙක් රටවල ඇමරිකන් ඩොලර් හිඟයක් තියෙන්නේ ඒ රටවල ඇමරිකන් ඩොලර් ඉල්ලුම වැඩි වෙලා නිසානේ. ඒ වැඩි වූ ඉල්ලුමට හරියන්න ඩොලර් සැපයුවේ නැත්නම් මොකද වෙන්නේ? ඩොලරයේ අගය ඉහළ යනවා. එතකොට මොකද වෙන්නේ? ඇමරිකාවෙන් පිටත ඇමරිකන් බඩු මිල අධික වෙනවා. වෙනත් රටවල බඩු ඇමරිකාව ඇතුළේදී මිල අඩු වෙනවා. එහි අවසාන ප්‍රතිඵලය ලෙස ඇමරිකාවේ නිෂ්පාදන වැටෙනවා. මේ විදිහට ඩොලර් ණය පහසුකම් ලබා දෙමින් ඇමරිකාව උත්සාහ කරන්නේ ඒ තත්ත්වය වලක්වා ගන්නයි.

කෙටියෙන් කියනවානම් ඇමරිකාව මේ තරම් දඟලන්නේ ඇමරිකන් ඩොලරය අවප්‍රමාණය කර ගන්නයි. මෙය මම කියන දෙයක් නෙමෙයි. මේ ණය යෝජනා ක්‍රමය ඉදිරිපත් කරමින් ඇමරිකාවේ ෆෙඩරල් විවට වෙළඳපොළ කමිටුව විසින්ම පෙන්වා දුන් ඇමරිකාවට ලැබෙන වාසියයි. මීට පෙර ලිපියක විස්තර කළ විදිහට චීනය හැම විටම උත්සාහ කරන්නේත් යුවානය අවප්‍රමාණය කර ගන්නයි.

හැබැයි ලංකාවේ ඉලක්කය මොන විදිහකින් හරි රුපියල ශක්තිමත්ව තියා ගන්න එකයි. එහෙම කරන ගමන් ගෙවුම් ශේෂ ප්‍රශ්න එනකොට විසඳගන්න ආනයන සීමා කරනවා. ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයෝ ඇමරිකාව, චීනය වගේ රටවල් වල ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින්ට නොතේරෙන තියරි දන්න පට්ට මීටර්ද?

මෙහෙම කරන්නේ ඇයි කියන එක මම කලින් පැහැදිලි කරලා තියෙනවා. වෙලාව ලැබෙන විදිහට නැවත හමුවෙමු!

(Image: http://www.themorning.lk/cartoon-of-the-day-297/)

Monday, June 15, 2020

මිනීමරු සීසර්ලා බිහි වෙන්නේ ඇයි?


ධනවාදය කියා කියන්නේ නිදහස් ගනුදෙනු. නිදහස් ගනුදෙනුවක් සිදු වෙන්නේ භාණ්ඩයකට හෝ සේවාවකට නිශ්චිත නිරපේක්ෂ වටිනාකමක් නැති නිසා. වටිනාකම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. එක් අයෙකුට රුපියල් සීයක් වටින දෙයක් වෙනත් අයෙකුට රුපියල් දෙසීයක් වටින්න පුළුවන්. භාණ්ඩයකට හෝ සේවාවකට රුපියල් සීයක වටිනාකමක් දෙන පුද්ගලයෙක් එයටම රුපියල් දෙසීයක වටිනාකමක් දෙන පුද්ගලයෙක්ට ඒ භාණ්ඩය හෝ සේවාව රුපියල් එකසිය පණහකට විකිණුවහම දෙන්නටම රුපියල් පණහ බැගින් වාසි වෙලා.

නිදහස් ගණුදෙනුවක් සිදු වෙන හැම වෙලාවකම භාණ්ඩයක් එයට අඩු වටිනාකමක් දෙන අයෙකුගේ අතේ ඉඳලා වැඩි වටිනාකමක් දෙන කෙනෙකුගේ අතට මාරු වෙනවා. ඒ නිසා, සමස්තයක් ලෙස අගය එකතු වීමක් සිදු වෙනවා.

රටක ආර්ථිකයට කෘෂිකාර්මික, කාර්මික හා සේවා අංශ වල රැකියා කරන අය විසින් අගය එකතු කරනවා. ලංකාවේ සේවා අංශය ඇතුළේ සිට රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන කණ්ඩායම් දෙකක් ලෙස ත්‍රිරෝද රථ සේවා සපයන්නන් හා කල්බදු පහසුකම් සේවා සපයන්නන් හඳුන්වන්න පුළුවන්. ලංකාවේ ආර්ථිකයට ත්‍රිරෝද රථ සේවා සපයන්නන් විසින් සපයන දායකත්වය ගැන මා මීට පෙර වරින් වර පැහැදිලි කර තිබෙනවා.

ත්‍රිරෝද රථ සේවා සැපයීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න විශාල මානව ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉහළ අධ්‍යාපන මට්ටමක් නැති කෙනෙකුට වුනත් මාස ගණනක පුහුණුවකින් පස්සේ රියදුරු බලපත්‍රයක් ගන්න පුළුවන්. අවශ්‍ය භෞතික ප්‍රාග්ධනයත් වෙනත් කර්මාන්තයක් පටන් ගැනීම හා සැසඳූ විට මහා විශාල මුදලක් නෙමෙයි. එහෙත්, ලංකාවේ බොහෝ දෙනෙක්ට ඒ මුදල විශාල මුදලක්. ගොඩක් අය ත්‍රිරෝද රථයක් මිල දී ගන්න කල්බදු පහසුකම් යටතේ. ත්‍රිරෝද රථ වගේම ලංකාවේ බොහෝ දෙනෙක් බොහෝ විට වෙනත් ලොකු වාහනයක් මිල දී ගන්නේත් කල් බදු පහසුකම් යටතේ.

කල් බදු පහසුකම් යටතේ හෝ වාහන ණයක් අරගෙන වාහනයක් මිල දී ගන්න එක ඇමරිකාවේ වුවත් සාමාන්‍ය තත්ත්වයයි. අලුත් වාහනයක් මිල දී ගන්න අයගෙන් 85%ක් පමණම එය කරන්න මූල්‍ය පහසුකම් ලබා ගෙනයි. ඇමරිකාවේදී කල් බදු යන වචනය යෙදෙන්නේ ලංකාවේ අර්ථයෙන්ම නෙමෙයි. එය සමාන කළ හැක්කේ ලංකාවේදී වාහනයක් දිගුකාලීනව කුලියට ගැනීමටයි. ලංකාවේ කල් බදු පහසුකම් යටතේ වාහන මිල දී ගැනීම සමාන කළ හැක්කේ ඇමරිකාවේ වාහනය ඇපයට තබා වාහන ණයක් ලබා ගැනීමටයි. වැඩි දෙනෙක් වාහන මිල දී ගන්නේ දෙවන ක්‍රමයටයි.

ඇමරිකාවේදී වාහනයක් මිල දී ගන්නා කෙනෙකුට බොහෝ විට මූල්‍ය පහසුකම් සලසන්නේ අදාළ වාහන සමාගමෙන්මයි. ඔවුන් එය සෘජුවම හෝ වෙනත් මූල්‍ය සමාගමක් හා  සම්බන්ධව කරන්න පුළුවන්. එසේ කිරීමෙන් වාහන නිපදවන සමාගමකට වගේම පාරිභෝගිකයින්ටත් වාසි සැලසෙනවා.

වාහන නිපදවීමේ කර්මාන්තය විශාල ස්ථිර පිරිවැයක් අවශ්‍ය කර්මාන්තයක්. ඕනෑම කෙනෙකුට ඕනෑම වෙලාවක වාහන හදන කර්මාන්තයක් ආරම්භ කරන්න බැහැ. ඒ සඳහා විශාල භෞතික ප්‍රාග්ධනයක්, මානව ප්‍රාග්ධනයක් වගේම තාක්ෂනය අවශ්‍යයි. ඒ නිසා, වාහන නිපදවීමේ කර්මාන්තය කතිපයාධිකාරී වෙළඳපොළක් වෙනවා මිස වී වගා කිරීමේ කර්මාන්තය වගේ තරඟකාරී වෙළඳපොළක් වෙන්නේ නැහැ. එය නිෂ්පාදන තාක්ෂණයේ ස්වභාවය හේතුවෙන් සිදු වන දෙයක් මිසක් වැරැද්දක් නෙමෙයි.

විශාල ස්ථිර ප්‍රාග්ධනයක් අවශ්‍ය කර්මාන්තයකට ආදායම් අඩු වුනා කියා ඊට සමානුපාතිකව වියදම් අඩු කරන්න බැහැ. ගෑස් ස්ටේෂන් එකක වගේනම් වෙළඳාම අඩු වෙන විට සේවකයින් අස් කරන්න පුළුවන්. නැවත අවශ්‍ය වෙන කොට බඳවා ගන්නත්  පුළුවන්. වාහන හදන කර්මාන්තයක සේවකයින්ව ඒ විදිහට අස් කළොත් නැවත අවශ්‍ය වෙලාවට සේවකයෝ හොයා ගන්න එක පහසු වැඩක් නෙමෙයි. සේවකයින් අලුතෙන්ම ගත්තොත් ඒ අයව පුහුණු කරන්න කාලයක් යනවා. ඒ නිසා මේ වගේ කර්මාන්තයක සේවකයින් එක්ක දිගුකාලීන ගිවිසුමක් ගහන එක දෙපැත්තටම වාසියි.

සේවකයින් විතරක් නෙමෙයි. අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන සැපයුම්කරුවන් එක්කත් ඔය විදිහට ගිවිසුම් ගහන එක වාසියි. අවදානම් අඩුයි.

මේ විදිහට වාහන හදන සමාගමක සේවකයින්ගේ පඩිනඩි කොහොමටත් ගෙවන්නත් වෙනවානම්, අමුද්‍රව්‍ය කොහොමටත් මිල දී ගන්නත් වෙනවානම් වාහන නොහදා හිටියත් වියදම ලොකුවට අඩු වෙන්නේ නැහැ. නමුත්, මොකක් හෝ තාවකාලික තත්ත්වයක් නිසා හදන වාහන විකුණන්න තරම් ඉල්ලුමක් නැත්නම් මොකද වෙන්නේ.

වාහන නොහදා ඉන්නවාට වඩා ලාබයි වාහන හදලා ගොඩ ගහ ගන්න එක. කොයි වෙලාවක හරි විකුණන්න පුළුවන්. හදපු වාහන ගොඩ ගහගෙන ඉන්නවාට වඩා ලාබයි පස්සේ සල්ලි ගන්න හරි කාට හරි දීලා දාන එක. ඒ නිසා, ඔය වාහන හදන සමාගම් සමහර වෙලාවට අවුරුදු පහ හයකින් ගෙවන්න පොලී රහිත ණය දෙනවා. නමුත්, ඉල්ලුම තිබෙනවානම් පොලී රහිත ණය දෙන්න අවශ්‍ය නැහැ. කිසියම් පොලියකුත් අය කර ගන්න පුළුවන්.

ඔය පොලී අනුපාතය එහා මෙහා කිරීමෙන් ඉල්ලුම වැඩි වෙලාවට හදන වාහන ටික වෙනුවෙන් වැඩි මිලක් අය කර ගන්නත්, ඉල්ලුම අඩු වෙලාවට වාහන ටික කොහොම හරි විකුණ ගන්නත් අවස්ථාව ලැබෙනවා. වාහන ඉල්ලුමේ විචල්‍යතාව නිසා සිදු වන අවාසිය අඩු වෙනවා. වාහන ණයක් හෝ කල්බදු පහසුකමක් දෙන එකෙන් ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ හදන වාහන ටික විකුණාගන්න එක නිසා පොලී අය කිරීමේදී පාරිභෝගිකයාගේ අන්තිම සතේ දක්වා හූරා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ පොලී අනුපාතික වෙනත් මූල්‍ය ආයතනයක් විසින් ලබා දෙන වාහන ණය වල පොලී අනුපාතික වලට වඩා වැඩි වෙන්නේ නැහැ.

වාහනයක් ණයට දුන්නහම තියෙන එක ප්‍රශ්නයක් වෙන්නේ ණය හරියට පියවයිද කියන එක. ක්‍රෙඩිට් ස්කෝර් එක පරික්ෂා කිරීමෙන් ණය ගන්න පුද්ගලයා විසින් ණය ආපසු නොගෙවන්න තිබෙන ඉඩකඩ ගැන අදහසක් ගන්න පුළුවන්. ක්‍රෙඩිට් ස්කෝර් එක ගොඩක් වැඩිනම් පොලියක් අය නොකළත් ප්‍රශ්නයක් නැහැ. ක්‍රෙඩිට් ස්කෝර් එක ගොඩක්ම අඩුනම් ණය දෙන එක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. මැද හරියේනම් අවදානමට සරිලන පොලියක් අය කරන්න පුළුවන්. ක්‍රෙඩිට් ස්කෝර් එකට අමතරව රැකියාව, ආදායම් මට්ටම, අරන් තියෙන වෙනත් ණය වගේ දේවලුත් පරීක්ෂා කරලා බලන්න පුළුවන්.

අපි හිතමු වාහනයක විකිණුම් මිල ඩොලර් විසිපන්දාහක් කියලා. ඕකෙන් ඩොලර් පන්දාහක් වාහනය හදන සමාගමේ ලාබය කියමු. එතකොට වාහනය හදන්න ගිය වියදම ඩොලර් විසිදාහයි. දැන් ඔය වාහනේ මිල දී ගන්න වාහනය හදපු සමාගම විසින්ම කාට හරි ඩොලර් විසිපන්දාහක ණයක් දෙනවා. ණය මුදල ඩොලර් විසිපන්දාහක් වුනත් සමාගම ඇත්තටම ගන්නේ ඩොලර් විසිදාහක අවදානමක් පමණයි. ඒ මුදල ආපසු ලැබුණට පස්සේ ලැබෙන්න තිබෙන්නේ ලාබය. ඒ නිසා, වාහන ණය වෙනුවෙන් අඩු පොලියක් අය කළා කියා පාඩුවක් වෙන්නේ නැහැ. නමුත්, වෙනත් තෙවන පාර්ශ්වයක් විසින් ඩොලර් විසිපන්දාහක ණයක් දුන්නොත් එතැන ඩොලර් විසි පන්දාහකම අවදානමක් තිබෙනවා. ඒ නිසා, එයට සරිලන පොලියක් අය කරන්න වෙනවා. මේ වෙනස නිසා වාහනය හදන සමාගමට වාහන ණය වෙළඳපොළේ වෙනත් සමාගම් වලට නැති සාපේක්ෂව වාසියක් තියෙනවා.

මේ වසරේ පළමු කාර්තුවේදී (2020 Q1) අලුත් වාහනයක් මිල දී ගන්න ණය ලබා දීමේදී ඇමරිකාවේ විවිධ මූල්‍ය ආයතන විසින් අය කළ පොලී අනුපාතික වෙනස් වුනේ මේ විදිහටයි.

වාහන නිෂ්පාදකයින් - 2.76%
ණය සංගම් (credit union) - 3.22%
ජාතික බැංකු - 4.33%
ප්‍රාදේශීය බැංකු - 4.29%
ප්‍රජා බැංකු හා කුඩා බැංකු - 4.57%

අඩුම පොලියක් ලැබෙන්නේ වාහන නිෂ්පාදකයෙක්ගෙන් බව මෙයින් පැහැදිලි වෙනවා. බැංකුවකින් ණය ගන්නේ වාහන නිෂ්පාදකයෙක්ගෙන් ණය ලබා ගන්න බැරි වූ හෝ අඩු පොලියක් නොලැබුණු අය පමණයි. එහෙත්, පරණ වාහනයක් ගන්න කෙනෙකුට මේ විකල්පය නැහැ. ඔවුන්ට ණය ලබා ගන්න වෙන්නේ බැංකුවකින් හෝ ණය සංගමයකින්. වාහන නිෂ්පාදකයින් තරඟයේ නැති නිසාත්, වෙනත් හේතු නිසාත් පොලිය ටිකක් වැඩියෙන් ගෙවන්න වෙනවා.

මේ වසරේ පළමු කාර්තුවේදී (2020 Q1) පරණ වාහනයක් මිල දී ගන්න ණය ලබා දීමේදී ඇමරිකාවේ විවිධ මූල්‍ය ආයතන විසින් අය කළ පොලී අනුපාතික වෙනස් වුනේ මේ විදිහටයි.

ණය සංගම් (credit union) - 3.45%
ජාතික බැංකු - 5.02%
ප්‍රාදේශීය බැංකු - 5.10%
ප්‍රජා බැංකු හා කුඩා බැංකු - 5.50%

ලංකාවේ නිවාස ඒකක සීයකට වාහන තිබෙන්නේ විස්සක් පමණක් වුනත් ඇමරිකාවේ මේ ගණන 190ක් පමණ වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය වශයෙන් හැම ගෙදරකම වාහන දෙයක් වගේ. දැනටම හැම ගෙදරකම වගේ වාහන තිබෙන නිසා වාහන හදන සමාගම් අළුතෙන් හදන වාහන විකුණ ගන්නනම් අළුත් වාහන වල පරණ වාහන වල නැති මොනවා හෝ අමතර දේවල් ටිකක් තියෙන්න ඕනෑ. හැම අවුද්දකම අළුතින් හදන වාහන වලට අමතර පහසුකම් එකතු වෙනවා. ඒ නිසා, වාහනය වසර කිහිපයක් පරණ වෙන කොට ඇමරිකානුවෙක් බලන්නේ අළුත් වාහනයක් ගන්නයි. ඇමරිකාවේ පරණ වාහනයකට ලොකු ඉල්ලුමක් නැහැ. ඒ නිසා ලොකු වටිනාකමකුත් නැහැ.

වාහනයක් මිල දී ගන්නා ඇමරිකානුවෙකුට වාහනය කාලයක් පාවිච්චි කරලා වැඩි මිලකට විකුණන්න බැහැ. වාහනය පාවිච්චි නොකරම තියා ගත්තත් කාලයක් යද්දී මිල අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා ඇමරිකානුවෙක් හැම විටම වාගේ වාහනයක් ගන්නේ පාවිච්චි කරන්නයි. වාහනයේ මිල එන්න එන්නම අඩු වුනත් ඒ නිසා සිදුවන පාඩුවට වඩා වාහනය පාවිච්චි කිරීමේ වාසිය වැඩි නිසා එහි ප්‍රශ්නයක් නැහැ.

ඇමරිකාවේදී කල් බදු කියන වචනය පාවිච්චි වෙන්නේ ලංකාවේ වාහනයක් දිගුකාලීනව කුලියට ගැනීමේදී සිදු වන ක්‍රියාවලිය වන විටයි. මාස් පතා කල්බදු වාරිකය ගෙවාගෙන ගියත් වාහන අයිති වෙන්නේ නැහැ. ගිවිසුම අවසානයේදී වාහනය ආපසු දෙන්න ඕනෑ. මෙහිදී මාසික වාරිකය ලෙස ගෙවන මුදල අදාළ මාසය තුළ වාහනයේ වටිනාකම අඩුවෙන ප්‍රමාණය ලෙස දළ වශයෙන් සලකන්න පුළුවන්. අවුරුදු තුනකට කල්බදු ක්‍රමයට වාහනයක් ගන්න කෙනෙක්ට අදාළ කාලය ගෙවුනට පස්සේ වාහනේ ආපසු දෙන්න වෙනවා. ගනුදෙනුව එතැනින් ඉවරයි.

බොහෝ විට මේ ආකාරයේ කල්බදු පහසුකම් ලබා දෙන්නේ වාහන නිෂ්පාදකයින් විසින්. මෙහිදී අය කරන පොලී අනුපාතිකය වාහන ණයක් ලබා දීමේදී අය කරන පොලී අනුපාතිකයට වඩා වැඩියි. ණය ආපසු ලබා ගැනීමේ අවදානම වඩා ඉහළ මට්ටමක තිබීම එයට හේතුවයි.

Car Manufacturer Financing APR Q1 2020 Lease APR (inferred interest rate) Q1 2020
Honda 2.90% 8.04%
Toyota 0.90% 3.31%
Volkswagen 1.90% 3.87%
BMW 2.99% 7.23%
Nissan 0.00% 7.27%
Mazda 0.90% 3.10%
Acura 4.39% 7.36%
Audi 3.49% 6.23%
Infiniti 3.99% 5.91%
Subaru 2.99% 3.65%
Lexus 1.90% 5.31%
Mini 3.49% 7.03%
Mercedes 3.49% 9.79%
Ford 3.90% 3.66%
Volvo 2.99% 4.84%
Jaguar 3.99% 7.05%
Average 2.76% 5.85%

Source: https://wallethub.com/edu/cl/auto-financing-report/10131/

වාහන ණයක් ගන්න කෙනෙකුට ගෙවන්න වෙන්නේ අඩු පොලී අනුපාතිකයක් වුවත් (ඇමරිකාවේ ව්‍යවහාරය අනුව) කල් බදු ක්‍රමයට වාහනයක් ගන්න කෙනෙක් මාසයකට ගෙවන වාරිකයට වඩා වැඩි වාරික මුදලක් ගෙවන්න වෙනවා. එය අවාසියක්. එහෙත්, ණය ගෙවා අවසන් වූ පසු වාහනය තමන්ට අයිති වෙනවා. ලංකාවේ කල්බදු ක්‍රමයේදී වගේ. නමුත්, ඒ වෙද්දී වාහනයේ වටිනාකම ගොඩක් වෙලාවට මුල් වටිනාකමෙන් තුනෙන් එකක් පමණ දක්වා අඩු වෙලා තියෙන්න පුළුවන්.

ක්‍රම දෙකෙන් කොයි ක්‍රමයට ගියත් ලොකු වාසියක් හෝ අවාසියක් නැහැ. හැමදාම අළුත් වාහන පාවිච්චි කරන්න කැමති කෙනෙකුට කල්බදු ක්‍රමය ගැලපෙනවා. ගන්න වාහනේ දිගටම පාවිච්චි කරන්න කැමති කෙනෙකුට දෙවන ක්‍රමය ගැලපෙනවා. කොයි විදිහට වාහනයක් ගත්තත් වාරික නිසි පරිදි නොගෙවුවොත් ලංකාවේදී වගේම වාහනය අහිමි වෙනවා. හැබැයි ලංකාවේදී වගේ බලහත්කාරයෙන් වාහනය ගෙනියන්න බැහැ. කල්බදු පහසුකම් හෝ වාහන ණය ලබා දුන් ආයතනයට වාහනය නැවත ලබා ගන්න වෙන්නේ "සාමය කඩ නොකරමින්".

වාහනය ගෙදර ගරාජ් එකේ හෝ වැටකින් තාප්පයකින් වට වූ වත්තේ කොටසක තිබේනම් ගෙනියන්න බැහැ. පාරේ හෝ නිවස ඉදිරිපිට නවත්වා තිබෙන වෙලාවක ගෙනියන්න පුළුවන්. එහෙත්, වාහනය ගෙනියන්න කලින් ඒ බව දැකලා ගෙනියන එකට විරුද්ධත්වය පළ කළොත් වාහනය ගෙනියන්න බැහැ. ගෙනියන්න වෙන්නේ හොරෙන්. එහෙම නැත්නම් උසාවි නියෝගයක් ලබා ගෙන. ලංකාවට සාපේක්ෂව වාහනයක් උස්සන එක නීතිය අනුව වගේම ප්‍රායෝගිකවත් අමාරු වැඩක්.

මෙයින් කියන්නේ ඇමරිකාවේ වාහන උස්සන අවස්ථා වලදී සාමය කඩවීම් සිදු නොවන බව නොවෙයි. එහෙත්, එසේ සිදුවන අවස්ථා වලදී නඩු පවරා වන්දි ලබා ගන්න පුළුවන්.

හැබැයි ක්‍රෙඩිට් ස්කෝර් එක පරීක්ෂා කරලා ක්‍රෙඩිට් හොඳ අයට පමණක් ණය දෙනවානම් මෙය කල්බදු පහසුකම් හෝ වාහන ණය ලබා දෙන ආයතනයකට ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මෙහිදී අදාළ ණය හෝ පහසුකම දෙන්නේ මාසිකව වාරික මුදල් එකතු කර ගන්න මිසක් වාහනය නැවත ආපසු ගන්න බලාගෙන නෙමෙයි. එසේ කරන්න වෙන්නේ කලාතුරකින්.

කල්බදු පහසුකම් පුද්ගලයෙක්ගේ පැත්තෙන් ගත්තොත් ගෙවපු මුදලට හරියන්න වාහනය පාවිච්චි කරලා තියෙනවා. දිගටම ගෙවන්න බැරිනම් වාහනේ දීලා නිදහස් වෙන්නයි තියෙන්නේ. වාහන ණයක් ලබා ගත් පුද්ගලයෙක්ගේ පැත්තෙන් ගත්තොත් යම් මුදලක් වැඩියෙන් ගෙවලා තියෙනවා. බොහෝ විට ගෙවන්න තිබෙන මුදල වාහනයේ වටිනාකමට වඩා අඩුයි. ඔය වගේ වෙලාවක වාහනය විකුණලා ඉතිරි ණය මුදල ගෙවල දාන එක වාසියි.

මේ කියපු කතා බොහොමයක් අදාළ වෙන්නේ හොඳ ක්‍රෙඩිට් ස්කෝර් එකක් ඇති අයට ණය ලබා දෙන්නේනම් පමණයි. බොහෝ විට අපහසුවක් නැතිව වාහන ණයක් හෝ කල්බදු පහසුකමක් ලබා ගත හැක්කේ හොඳ ක්‍රෙඩිට් ස්කෝර් එකක් ඇති අයට පමණයි. ක්‍රෙඩිට් ස්කෝර් එක 300 හා 850 අතර අගයක්. ඉහත වගු වල තිබෙන පොලී අනුපාතික අදාළ වෙන්නේ 720 ඉක්මවන ක්‍රෙඩිට් ස්කෝර් එකක් තිබෙන අයටයි. ක්‍රෙඩිට් ස්කෝර් එක ඊට වඩා අඩු වෙද්දී එක පැත්තකින් ණයක් අනුමත කර ගැනීම එන්න එන්නම අමාරු වෙනවා. අනෙක් පැත්තෙන් කොහොම හරි ණයක් අනුමත කර ගත්තත් ගෙවන්න වෙන පොලී අනුපාතිකය එන්න එන්නම වැඩි වෙනවා.

Credit score category Average loan APR for new car Average loan APR for used car
Super Prime (781 to 850) 3.82% 4.43%
Prime (661 to 780) 4.75% 6.15%
Non-prime (601 to 660) 7.55% 10.85%
Subprime (501 to 600) 11.51% 16.88%
Deep Subprime (300 to 500)  14.25% 19.81%



ක්‍රෙඩිට් ස්කෝර් එක හොඳ කෙනෙකුට වාහන ණයක් දුන්නහම ණය වාරික කලට වෙලාවට නොලැබෙන්න තිබෙන ඉඩකඩ අඩු වුනත්, නරක ක්‍රෙඩිට් ස්කෝර් එකක් තිබෙන අය හා අදාළව ඒ අවදානම වැඩියි. ඒ නිසා, ඇමරිකාවේ වුවත් සැලකිය යුතු වාහන ප්‍රමාණයක් සීස් කරන්න වෙනවා. මේ වැඩේ කරන සමාගම් අඩු වශයෙන් එකොළොස්දාහක් පමණ තිබෙනවා. එය තරඟකාරී කර්මාන්තයක්. ඒ අයට කරන්න වෙන්නේ එක විදිහක රහස් පරීක්ෂක රැකියාවක්. වාහනේ ගෙදරින් එළියට අරගෙන කොහේ හෝ නවත්වා රියදුරු ඉවත්ව ගිහින් සිටින වෙලාවක් බලලා වාහනේ උස්සන්න වෙනවා. මේ වැඩේ අමාරු වැඩක් නිසා, නිසි කලට වාරික නොගෙවූ අය සතුව තබා ගෙන සිටින වාහන වලින් සෑහෙන ප්‍රමාණයක් ලේසියෙන් උස්සන්න ලැබෙන්නේ නැහැ.

තාක්ෂනිකව වැරදි වෙන්න පුළුවන් වුනත් ප්‍රායෝගිකව ලංකාවේ වාහන හදන සමාගම් නැහැ. ඒ නිසා, වාහන මිල දී ගන්න කල්බදු පහසුකම් දෙන්න වෙන්නේ වෙනත් තෙවන පාර්ශ්වයකටයි. මෙහිදී එසේ ණය දෙන සමාගමට ලබා දෙන ණය මුදලේ අවදානමට සරිලන ඉහළ පොලියක් අය කරන්න වෙනවා. ණය ගන්න පුද්ගලයාට වාහනයේ මිලට සාපේක්ෂව දැවැන්ත පොලී මුදලක්ද ගෙවන්න වෙනවා.

එවැනි පොලියක් ගෙවන්න එකඟ වී ණය ගත්තත් ඒ ණය රුපියල් ණය. මිල දී ගන්නේ අළුත් වාහනයක් හෝ අළුතින් රටට ආනයනය කරන පරණ වාහනයක්නම් වාහනය මිල දී ගැනීම සඳහා ගෙවන්න වෙන්නේ ඩොලර් නිසා සෘජුව හෝ වක්‍රව රුපියල් ගෙවා ඩොලර් මිල දී ගන්න වෙනවා. ඒ ඩොලර් කවුරු හෝ විසින් උපයා රට ඇතුළට ඇවිත් තියෙන්න ඕනෑ. නැත්නම් වාහනේ ගන්න වෙන්නේ නැහැ. එහෙත්, ලංකාවට ගෙන්වන වාහන සියල්ල එසේ ගෙන්වන්නේ කවුරු හෝ උපයන ඩොලර් යොදවමින් නෙමෙයි.

නිදහසින් පසු මුල් කාලයේදී ලංකාවේ ආණ්ඩු උත්සාහ කළේ අඩු ආදායම්ලාභීන් සුබසාධනය කරමින් සමාජ සාධාරණත්වය ඇති කරන්නයි. අඩු ආදායම්ලාභීන් සුබසාධනය කිරීමේ වැරැද්දක් නැහැ. නමුත්, එහි වියදම රටේ කවුරු හෝ විසින් දරන්න වෙනවා. සුබසාධන වියදම් පියවා ගන්න රටේ ආදායම් උපදවන අයගේ ආදායමෙන් බදු අය කරන්න වෙනවා.

බදු ඕනෑවට වඩා ඉහළ දැමූ විට පෞද්ගලික අංශය සතු ආයෝජන කිරීමේ හැකියාව පහළ යනවා. ආයෝජන කියන එකට අධ්‍යාපනය, සෞඛ්‍යය වගේ මානව ප්‍රාග්ධනය වෙනුවෙන් කරන ආයෝජනත් අයිතියි. ආයෝජන අඩු වන විට ආදායම් අඩු වෙනවා. බදු අය කර ගත හැකි පිරිස්ද අඩු වෙනවා. සුබසාධනය අවශ්‍ය පිරිස් තවත් වැඩි වෙනවා. ඒ නිසා, රජයට සුබසාධන පහසුකම් පවත්වා ගැනීමට වගේම ආයෝජනය වෙනුවෙනුත් අවධානය යොමු කරන්න වෙනවා.

ඔය දෙකම කරන්න මුදල් නැති වූ විට රජයට ණය ගන්න වෙනවා. ඕනෑවට වඩා දේශීය ණය ගත් විට එක පැත්තකින් සල්ලි තියෙන අය ආයෝජනය කරන්න ඉන්න මුදල් පෞද්ගලික අංශයේ සිට රාජ්‍ය අංශය වෙත විතැන් වී පෞද්ගලික ආයෝජන පහළ බහිනවා. අනිත් පැත්තෙන් පොලී අනුපාතික ඉහළ ගිහින් පෞද්ගලික අංශයේ ඉන්න ණය අරගෙන ආයෝජන කරන අය අධෛර්යමත් වෙනවා. ඒ හේතුව නිසාත් පෞද්ගලික ආයෝජන පහළ බහිනවා. පෞද්ගලික අංශයේ ආදායම් අඩු වෙනවා. රජයට සෘජු බදු අය කරන්න තිබෙන හැකියාව පහළ යනවා. ඒ වෙනුවට වක්‍ර බදු වැඩි වැඩියෙන් අය කරන්න වෙනවා. එහි බර වැටෙන්නේ මුලින් ඉලක්ක කළ සුබසාධනය අවශ්‍ය පිරිසටම නිසා අවසාන වශයෙන් කරන සුබසාධනයෙන් ඒ මිනිස්සුන්ටත් වැඩක් නැහැ. එක සාක්කුවකින් ගන්න සල්ලි අනික් සාක්කුවෙන් ඒ මිනිස්සුන්ටම දෙනවා. ඒ දෙන්නෙත් ගත්ත ගානට වඩා ටිකක් අඩුවෙන්.

දේශීය ණය වැඩි වැඩියෙන් ගනිද්දී එක පැත්තකින් ආයෝජන අඩු වෙනවා. අනෙක් පැත්තෙන් රටේ ආදායම් අඩු වෙලා සුබසාධනය අවශ්‍ය මිනිස්සු ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා ගන්න ණය වලින් කොයි තරම් ආයෝජන කළත්, සුබසාධනය කළත් රට එතැනමයි. මෙයට විසඳුමක් ලෙස ලංකාවේ ආණ්ඩු පෙලැඹී තියෙන්නේ විදේශ ණය ලබා ගන්නයි.

විදේශ ණය ලබාගත් විට රජයට අරමුදල් වගේම විදේශ විණිමයත් ලැබෙනවා. ඒ විදේශ විණිමය වැය කරලා රටේ අපනයන ආදායම ඇතුළු ස්වභාවික විදේශ විණිමය ප්‍රවාහ පමණක් වැය කරලා ආනයනය කරනවාට වඩා වැඩියෙන් භාණ්ඩ ආනයනය කරන්න පුළුවන්. ඒ නිසා, රට බඩු වලට තිබෙන ඉල්ලුම ඉහළ යනවා. ණයට ගන්න ඩොලර් වලින් අවශ්‍ය බඩු පහසුවෙන් ආනයනය කරන්න පුළුවන් නිසා දේශීය කර්මාන්ත අධෛර්යමත් වෙනවා. වාහන වගේ දේවල් ආනයනය කරන්න වැඩි ඉල්ලුමක් හැදෙනවා. වාහන ආනයන ඉහළ යද්දී රජය ආනයන බදු ඉහළ දමනවා. ඒ නිසා, පාරිභෝගිකයින්ට වාහන රටේ නොහදා ආනයනය කිරීමෙන් වාසියක් වෙනවා වෙනුවට තවත් අමතර වියදමක් දරන්න වෙනවා.

විදේශ ණය ගත්තා වගේම ගෙවන්නත් වෙනවා. එවිට විදේශ විණිමය ප්‍රශ්නයක් එනවා. ඩොලර් එක ඉහළ යනවා. ණය ගෙවන්න තව ණය ගන්න වෙනවා. චක්‍රයක් වගේ ඔය වැඩේ වෙද්දී ඩොලරයේ මිල හැමදාම ඉහළ යනවා.

ඩොලරයේ මිල හැමදාම ඉහළ යන නිසා ආනයනික මිල ලොකුවට වෙනස් නොවුනත් ලංකාවේ අලුත් වාහනයක මිල රුපියල් වලින් එන්න එන්නම ඉහළ යනවා. අළුත් වාහන වල මිල ඉහළ යන වේගය අනුව කලින් ආනයනය කළ පරණ වාහන වලට තිබෙන ඉල්ලුම ඉහළ ගිහින් පරණ වාහන වල මිලත් ඉහළ යනවා. බොහෝ විට වාහනය පරණ වෙද්දී හෝ ක්ෂය වීම නිසා එහි මූර්ත වටිනාකම පහළ යනවාට වඩා වේගයෙන් ඩොලරයක මිල ඉහළ නිසා වාහනයක් මිල දී ගෙන කාලයක් තියා ගත්තට පස්සේ වැඩි මිලකට හෝ ගත් මිලටම විකුණන්න වුනත් පුළුවන්.

තිර සාර නැති, ණයෙන් දුවන ලංකාවේ සුබසාධිත ආර්ථිකය නිසා ලංකාවේ ඇති වී තිබෙන මේ තත්ත්වය ඇමරිකාව වැනි රටක දැකිය නොහැකි සුවිශේෂී තත්ත්වයක්. මේ තත්ත්වය නිසා තමන්ට ඇත්තටම වාහනයක් අවශ්‍ය නැතත් ආයෝජනයක් සේ සිතා වාහනයක් වෙනුවෙන් මුදල් වැය කරන එකේ පාඩුවක් නැහැ. වාහනයක් කියන එක පරිභෝජන භාණ්ඩයක් නොවී තමන්ගේ වත්කම් ගබඩා කරන තැනක් බවට පත් වෙද්දී එය තත්ත්ව සංකේතයක් බවටත් පත් වෙනවා. වැඩි පොලී ණයක් හෝ අරගෙන වාහනයක් ගන්න ලංකාවේ ගොඩක් අය පෙළඹෙනවා. කල්බදු සමාගම් වලට ඉල්ලුමක් හැදෙනවා.

වාහනයක් ගන්න කල්බදු සමාගමකින් මූල්‍ය පහසුකම් ලබා ගන්න ගොඩක් අයට අපහසුවක් නැතිව කල්බදු වාරික ගෙවන්න තරම් ආදායමක් නැහැ. ඔය වාරිකය ගෙවන්නේ බොහොම අමාරුවෙන්. කල්බදු සමාගමත් ඒ බව දන්නවා. නමුත්, ඇමරිකාවේදී වගේ වාහනයේ වටිනාකම වේගයෙන් අඩු නොවන බවත් දන්නවා. ඒ නිසා, ලංකාවේ කල්බදු සමාගමක් මූල්‍ය පහසුකම් ලබා දෙන්නේම වාරික මුදල් කලට වෙලාවට නොලැබුණොත් වාහනේ උස්සන්න බලාගෙන. ඒක ඇමරිකාවේදී වගේ දිගින් දිගටම මුදල් ගෙවන්න අවස්ථා ලබා දීලා කරන්න කිසිම දෙයක් නැති වුනාට පස්සේ අවසාන අදියරකදී කරන දෙයක් නෙමෙයි.

අනික් පැත්තෙන් කල්බදු වාරික ගණන් හදන ක්‍රමය නිසාත්, ඉතා අධික පොලී අනුපාතිකය නිසාත් ලංකාවේ කල්බදු පහසුකමක් ලබා ගන්නා පාරිභෝගිකයෙක් විසින් මුල් කාලයේදී තනිකරම වගේ ගෙවන්නේ පොලිය. ණය මුදල එහෙම්මම වගේ තිබෙනවා. ඒ නිසා, අවුරුද්දක් දෙකක් වාරික මුදල් ගෙවුවට පස්සේ වාහනේ ඉස්සුවොත් අර ගෙවපු සල්ලි ඔක්කොම වතුරේ. බොහෝ විට ඒ කාලය ඇතුළත ගෙවපු වාරික වලට හරියන්න ආදායමක් උපයලා නැහැ. වාහනය ගත්ත එකේ සැබෑ ලාබය එන්නේ කල්බදු වාරික ගෙවා අවසන් කළාට පස්සේ. ඒ නිසා,  එතෙක් වාහනේ කොහොම හරි තියා ගන්න ඕනෑ. උස්සන්න දීලා බැහැ.

කල්බදු ක්‍රමයට වාහන ගන්න ලංකාවේ ගොඩක් අයට කලට වෙලාවට වාරික ගෙවන්න බැරි වෙනවා. මම මේ කතා කරන්නේ කෝවිඩ් වගේ විශේෂ අවස්ථා ගැන නෙමෙයි. ඒ ගැන කතා කරන්න ගියොත් ලිපිය තවත් දිග් ගැසෙනවා. සාමාන්‍ය කාලයක වුනත් තත්ත්වය ඔය වගෙයි.

හැබැයි ඇමරිකාවේ පාරිභෝගිකයෙක්ට වගේ වාරික නොගෙවුවා කියලා වාහනේ කල්බදු සමාගමට ආපහු දෙන්නත් බැහැ. එක පැත්තකින් කාලයක් තිස්සේ මුදල් යෙදවූ මුළු ආයෝජනයම වතුරේ. අනික් පැත්තෙන් වාහනේ කියන්නේ තමන්ගේ තත්ත්ව සංකේතය. වාහනේ නැතුව සමාජයට මුහුණ දෙන්න බැහැ.

ඇමරිකාවේ වාහන ණයක් ලබා දීමෙන් පසුව නිසි පරිදි වාරික මුදල් ලැබෙන්නේ නැත්නම් අදාළ සමාගම වාහනය උස්සන්න හදිස්සි වෙනවා වෙනුවට කරන්නේ පුළුවන් තරම් සහන දීලා ලැබෙන්න තිබෙන මුදලෙන් යම් ප්‍රමාණයක් හෝ ලබා ගන්නයි. මොකද ඒ වෙද්දී වාහනයේ වටිනාකම ගොඩක් අඩු වෙලා. ඒ වගේම නීතිය අනුව වාහනේ උස්සන එක අසීරු වැඩක්. නමුත්, ලංකාවේ වාහනයක වටිනාකම ඒ විදිහට අඩු නොවන නිසා අමරුවෙන් හරි වාහනේ ඉස්සුවොත් කල්බදු සමාගම ගොඩ. ලංකාවේ සීසර්ලා බිහි වන්නේ ඔය පසුබිමේ. ඒ අය බොහෝ විට මැරවරයින් හෝ මැරවර කණ්ඩායම්.

මහ බැංකුව විසින් මූල්‍ය සමාගම් නියාමනය කරද්දී නියාමනයේ පීඩනය පොලී අනුපාතික වලටත් බලපානවා. නියාමනයට යටත් නැති "හොර" මූල්‍ය සමාගමකට ඒ පීඩනය නැහැ. ඒ නිසා, නියාමනයට ලක්ව සිටින සමාගම් සමඟ පහසුවෙන් තරඟ කරමින් වැඩි අවදානමක් තිබෙන පාරිභෝගිකයින්ට කල්බදු පහසුකම් ලබා දෙන්න ඔවුන්ට පුළුවන්. බොහෝ දෙනෙක් මේ වගේ "හොර" සමාගම් වලට ආකර්ශනය වෙනවා. මේ වගේ සමාගමක් ණය ලබා දෙන්නේම බලය පාවිච්චි කරලා ණය නැවත අය කර ගන්න බලාගෙනයි. ඒ අයට සීසර්ලා ලෙස මැරවර කණ්ඩායම් නැතුවම බැහැ.

ඔය සීසර්ලා වාහන උස්සන්න යාමේදී "සාමය කඩවීම්" ඕනෑ තරම් සිදු වෙන්න පුළුවන්. ඒ සාමය කඩවීම් බරපතල ප්‍රතිඵල ලබා දෙන්නත් පුළුවන්. ඔය වගේ වෙලාවක මිනිහෙක් මැරුණොත් ඒ මරණයට ලංකාවේ කාලයක් තිස්සේ පවතින ණය මත දුවන සුබසාධිත ආර්ථික ආකෘතියත් වග කිව යුතුයි.

වෙබ් ලිපිනය: