වෙබ් ලිපිනය:

Showing posts with label රනිල් වික්‍රමසිංහ. Show all posts
Showing posts with label රනිල් වික්‍රමසිංහ. Show all posts

Thursday, August 1, 2024

සජිත් හා රනිල් ඉදිරියට! අනුර විශාල පසුබෑමක!!


පහත තියෙන්නේ ඊයේ පළ කළ සටහනට පාඨකයෙකු විසින් දමා තිබුණු ප්‍රතිචාරයක්.

"IHP ආයතනය අපේක්ෂිත මහ මැතිවරණ ප්‍රතිඵල ගැන මෙන්ම ජනාධිපතිවරණය ගැනත් සමීක්ෂණ පසුගිය වසරේ සිට කළා. වර්තමාන සන්දර්භය අනුව මහ මැතිවරණයක් නොපැවැත්වෙන බව තහවුරු නිසා ඒ සමීක්ෂණ ජනාධිපතිවරණයට අදාළ කරගැනීම තේරුමක් නැති දෙයක්. ජනාධිපතිවරණ අපේක්ෂකයන් අතර සියලුම වාර්තාවල දිගටම ඉදිරියෙන් හිටියෙ අනුර කුමාර. මහමැතිවරණය මුලින් පැවැත්වීම සාපේක්ෂව අනෙක් බලවේගවලට වාසිදායක නිසා තමයි මුලින් එය පවත්වන උත්සාහ කළේ. ජනාධිපතිවරණ සමීක්ෂණ සමඟ විශ්ලේෂණය නේද වඩා තාර්කික? මොකක්ද අපි කතා කරන්නෙ ජනාධිපතිවරණයක් ගැන මිස මහ මැතිවරණයක් ගැන නොවන නිසා."

මෙහි සඳහන් කරුණු හැම දෙයක්ම වගේ නිවැරදියි. නමුත් මහ මැතිවරණයක් හා අදාළ ඡන්දදායක අභිලාශ වලින් ජනාධිපතිවරණය හා අදාළ ඡන්දදායක අභිලාශ ගැනත් යම් අදහසක් ගන්න පුළුවන්. කොහොම වුනත් මේ වෙද්දී ජනාධිපතිවරණය හා අදාළ ඡන්දදායක අභිලාශද සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් ප්‍රසිද්ධ කර තිබෙනවා. ඒ අනුව පෙනී යන්නේ මාසයක කාලයක් ඇතුළත රනිල් වික්‍රමසිංහ 5%කිනුත්, සජිත් 5%කිනුත් ඉදිරියට යද්දී අනුරගේ ඡන්ද ප්‍රතිශතයේ 9%ක කඩා වැටීමක් පෙනෙන්නට ඇති බවයි. 

පහත තිබෙන්නේ ජූනි මාසය හා අදාළ ඇස්තමේන්තු.

සජිත් ප්‍රේමදාස - 43%

අනුර කුමාර දිසානායක - 30%

රනිල් වික්‍රමසිංහ - 20%

පොහොට්ටු අපේක්ෂකයා - 7%

මේ අනුව, අනුර කුමාර දිසානායකගේ ඡන්ද ප්‍රතිශතයෙහි විශාල කඩාවැටීමක් සිදු වෙද්දී සජිත් ප්‍රේමදාස අනුර කුමාර දිසානායකට සාපේක්ෂ 13%ක පරතරයක් පවත්වා ගනිමින් සිටිනවා. මෙම ප්‍රතිඵලය මහ මැතිවරණය හා අදාළ ඡන්දදායක අපේක්ෂා සමඟ ගැලපෙනවා. සජිත්ගේ හා අනුරගේ ප්‍රතිශත සජබ හා මාලිමා ප්‍රතිශත වලට සාපේක්ෂව පිළිවෙලින් 5%කින් හා 4%කින් ඉදිරියෙන් තිබෙනවා. රනිල්ගේ ප්‍රතිශතය තිබෙන්නේ එජාප ප්‍රතිශතයට වඩා 13%ක් ඉදිරියෙන්. එයින් පෙනෙන්නේ පොහොට්ටු ඡන්ද වලින් බාගයකට වැඩි කොටසක් හා සුළු ජාතික ඡන්ද සැලකිය යුතු ප්‍රමාණයක් රනිල් විසින් ආකර්ශනය කර ගෙන ඇති බවයි.

මේ ද්විපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට හා රනිල් වික්‍රමසිංහගේ අපේක්ෂකත්වය පිළිබඳව දැනුම් දෙනු ලැබීමට පෙර පැවති තත්ත්වයයි. මේ අනුව පෙනී යන්නේ ජනාධිපතිවරණ තරඟය ඉතා වේගයෙන් රනිල් හා සජිත් අතර තරඟයක් බවට පත් වෙමින් ඇති ආකාරයයි. පොහොට්ටුවේ අපේක්ෂකයා එළියට පැමිණීමෙන් පසුව මේ තත්ත්වයේ තවත් හැරවුමක් සිදු විය හැකියි. 

Saturday, July 27, 2024

රනිල් ආණ්ඩු කරද්දී ආර්ථිකය ස්ථාවර වීම


කරුණක් ලෙස ගත්තොත් රනිල් ජනාධිපති වීමෙන් පසුව ගත වූ කාලය තුළ රටේ ආර්ථිකය ස්ථාවර වුනා. මෙය සිදු වූ පරිමාණය හා වේගය බොහෝ දෙනෙක් අපේක්ෂා කළාටත් වඩා වැඩියි. උදාහරණයක් විදිහට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇස්තමේන්තු කළ ඉලක්ක වලට සාපේක්ෂව බැලුවොත් බොහොමයක් අංශ වලින් ලංකාව ඉලක්ක ඉක්මවා ගිය සාර්ථකත්වයක් පෙන්වා තියෙනවා (overperform). 

මීට පෙරද ලංකාව වාර ගණනාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ස්ථායීකරණ වැඩපිළිවෙලවල් තුළ හිටියා. ඒ බොහෝ අවස්ථා වලදී මහ බැංකුව අපේක්ෂිත කෙටිකාලීන ඉලක්ක වලට ගියා. නමුත් ගොඩක් වෙලාවට රජය පැත්තෙන් අවශ්‍ය කැපවීම නොතිබුණු නිසා රාජ්‍යමූල්‍ය ඉලක්ක මග හැරුණා. මේ අතීත වාර්තා එක්ක වැඩසටහනේ පාදක ඉලක්ක හදද්දී රජය පැත්තෙන් ඒ තරම්ම දෙයක් වෙන එකක් නැහැ වගේ උපකල්පනයක් පේන්න තිබුණා. 

නමුත් ඇත්තටම වුනේ ඒකේ අනෙක් පැත්ත. රජය පැත්තෙන් හිතාගන්න බැරි තරමේ කැපවීමක් ප්‍රදර්ශනය වුනා. රටේ ආර්ථිකය මේ තරම් ඉක්මණින් ස්ථාවර වුනේ මේ තත්ත්වයත් එක්ක.

මීට කලින් වාර ගණනක් රනිල් අගමැති වෙලා හිටියා. නමුත් ඒ කාල වකවානු වල රජය පැත්තෙන් මේ තරම්ම දෙයක් වුනේ නැහැ. මෙවර වෙනසට හේතු වුනේ රනිල් විසින් අවශ්‍ය දේවල් කරන එක ජනතා අභිලාෂයද වූ නිසා. එසේ නොවීනම් මේ දේවල් මේ විදිහට කරන එක මේ තරම් ලේසි වෙන්නේ නැහැ. 

බැලු බැල්මට මේ කතාව විරුද්ධාභාෂයක් වගේ පේන්න පුළුවන්. මොකද රනිල් ලොකු ජනවරමක් එක්ක ඡන්දයෙන් පත් වුනේ නැහැ. ඇත්තටම ජනවරමක් කියා දෙයක් තිබුණේම නැහැ. ඒකම තමයි මෙතැන වැදගත් කරුණ. 

රනිල් යටතේ සිදු වූ දේවල් ඒ විදිහට සිදු වුනේ රටේ විශාල පිරිසකගේ අභිලාෂය ඒ දේවල් රනිල් යටතේ සිදු වනු දැකීම වූ නිසා. හැබැයි එහෙම වෙන්නේ රනිල්ට තිබුණු කැමැත්තකට වඩා අකැමැත්ත නිසා වීම අපූරුම කාරණයයි. 

හේතු ගණනාවක් නිසා විෂමජාතීය කණ්ඩායම් කිහිපයකට රනිල් යටතේ මේ දේවල් වෙනවා දකින්න අවශ්‍ය වුනා. අවසාන වශයෙන් වුනේ ඒ විෂමජාතීය කණ්ඩායම් වල අභිලාශ එකිනෙක හා සමපාත වෙන එක. 

පළමු කණ්ඩායම ආර්ථිකය ගැනත්, ආර්ථික ස්ථායිකරණ වැඩ පිළිවෙළ ගැනත් පුළුල් දැනුමක් තිබුණු, ඒ නිසාම එම ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග වල අවසන් බලපෑම ගැන පැහැදිලි විශ්වාසයක් තිබුණු ඉතාම සීමිත පිරිස. ඒ සීමිත පිරිසට මෙය කරන්නේ රනිල්ද නැත්නම් වෙනත් කෙනෙක්ද කියන එකේ වැදගත්කමක් තිබුණේ නැහැ. නමුත් බලය තිබුණේ රනිල් අතේ නිසා රනිල් යටතේ අවශ්‍ය දේ සිදු වනු දැකීම ඔවුන්ගේ අභිලාශය වුනා. මෙවැනි අය විශාල පිරිසක් හිටියේ නැහැ. මහ බැංකු අධිපති වගේ අය මේ ගොඩේ අය. තව රජයට සම්බන්ධයක් නැති වෘත්තිකයෝ හා සමාජ ක්‍රියාකාරිකයෝ සුළු ප්‍රමාණයක් හිටියා. ඒ අයට වැඩපිළිවෙළ හා බැඳුණු පෞද්ගලික අභිලාශ තිබුණේ නැහැ. ඒ වගේම, රනිල් බලයේ සිටි නිසා මිසක්, මේ දේවල් රනිල් හරහාම කරගන්න අවශ්‍යතාවයක් තිබුණේත් නැහැ. 

දෙවන කණ්ඩායම අවබෝධයක් නැතිව විශ්වාසය මත පදනම්ව කලින් ආර්ථික ප්‍රතිපත්තිය මෙහෙයවපු පිරිස එක්ක ඉඳලා ඇනගෙන විකල්පයක් නැතුව හිටපු පිරිසක්. ඒ අයට කලින් වගේම අවබෝධයක් නැතිව රනිල්ව විශ්වාස කරනවා හැර වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. රනිල් එක්ක හිටපු පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමේ ගොඩක් අය මේ ගොඩේ. ඒ අතර තේරුමක් තියෙන කිහිප දෙනෙකුත් හිටියා. පළමු කණ්ඩායමට වගේම දෙවන කණ්ඩායමටත් අවශ්‍ය වුනේ රට ගොඩ යනවා බලන්නයි. වෙනස දෙවන කණ්ඩායමට වෙන්න යන දේ ගැන හරියකට තේරුමක් නොතිබීම හා වැඩ පිළිවෙල සාර්ථක වීම ඔවුන්ගේ පෞද්ගලික අභිලාශ හා ගැලපීම. ඔවුන්ට රනිල් කෙරෙහි හා වැඩපිළිවෙළ කෙරෙහි විශ්වාසය තියා හොඳ ප්‍රතිඵලයක් ප්‍රාර්ථනා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. මේ ගොඩේ හිටියේ මහජන නියෝජිතයින් පමණක් නෙමෙයි. යම් ඡන්දදායකයින් පිරිසකුත් මේ ගොඩේ හිටියා. නමුත් සුළුතරයක්. 

වැදගත්ම කණ්ඩායම තුන් වන කණ්ඩායම. ඒ අයට මේ වැඩ පිළිවෙළ සාර්ථක නොවන බවට දැඩි විශ්වාසයක් තිබුණා. ඒ නිසාම, මේ දුවන කෝච්චියට රනිල් බෙල්ල තියනවා බලන්නයි ඒ කණ්ඩායමට අවශ්‍ය වෙලා තිබුණේ. ඒ නිසාම, ඔවුන්ට අවශ්‍ය වුනේ රනිල්ව පුළුවන් තරම් මේ වැඩපිළිවෙළ පැත්තටම තල්ලු කරන්න. ඒ අයගේ අපේක්ෂාව වුනේ වැඩ පිළිවෙළ සාර්ථක වනු දැකීම නොවුනත්, වැඩ පිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා රනිල්ට ඒ අයගේ ප්‍රවේශයෙන් විශාල උදවුවක් ලැබුණා. ප්‍රධාන විපක්ෂ කණ්ඩායම් වල ගොඩක් අය හිටපු තැන මේකයි. මේ පක්ෂ වල දේශපාලනඥයින් බොහෝ දෙනෙක් වගේම ඒ පක්ෂ වල පාක්ෂිකයින් හා මතවාදී සහයෝගයක් දක්වපු වෙනත් අයත් මේ දෙවන කණ්ඩායමේ සිටියා. ඒ වගේම ආර්ථික ස්ථායිකරණ වැඩ පිළිවෙළ එක්ක මතවාදී විරුද්ධතා තිබුණු හා ඒ නිසාම මේ වැඩේ කීයටවත් හරියන්නේ නැහැ කියන දැඩි විශ්වාසයක හිටපු අය. ඒ අයට අවසාන වශයෙන් ලැබුණේ ඔවුන්ගේ පෞද්ගලික අභිලාශ හා නොගැලපෙන ප්‍රතිඵලයක්.

හතරවන කණ්ඩායම දෙවන හා තෙවන කණ්ඩායම් වලට අයත් නොවූ සාමාන්‍ය ජනතාව. ඒ අයට දෙවන කණ්ඩායමට මෙන් රනිල් ගැන විශ්වාසයක් හෝ ප්‍රසාදයක් තිබුනේ නැහැ. නමුත් තුන් වන කණ්ඩායමෙන් වෙනස්ව රට ගොඩ යනවා දකින්න උවමනාවක් තිබුණා. ඒ උවමනාව එක්ක ඔවුන්ගේ පෞද්ගලික අභිලාශ ගැලපුනා. තමන් වඩා කැමති කෙනෙක් මේ වැඩේ කරන්න ඉදිරිපත් නොවන පසුබිමක රනිල් කරන දේ දිහා බලාගෙන ඉන්න ඔවුන්ට සිදු වී තිබුණා. එසේ කිරීමෙන් වැඩේ වැරදුනොත් එහි වැරැද්ද තමන් අකැමැති රනිල් පිටින් යවා හිත හදාගන්නත් හරි ගියොත් එයින් සතුටු වෙන්නත් ඔවුන්ට පුළුවන්කම තිබුණා. ඒ නිසා, මේ කණ්ඩායම රනිල්ට කැමැත්තකින් නොසිටියත් එහි වාසියද රනිල්ටම ලැබුණා. දැන් රනිල් දිහා වෙනස් ඇහැකින් බලන්න පෙළඹී තියෙන්නේ කලින් පතෝල ස්ථාවරයක හිටපු මේ හතරවන කණ්ඩායම. 

මගේ නිරීක්ෂණ අනුව රනිල් පසුගිය කාලය තුළ ගත්ත දැඩි තීරණ තුනක් නොවෙන්නට තත්ත්වය සම්පූර්ණයෙන්ම කණපිට හැරෙන්න ඉඩ තිබුණා. මේ තීරණ කොයි තරම් නිවැරදිද, කොයි තරම් ප්‍රජාතන්ත්‍රවාදීද වගේ කරුණු ගැන විවාද කරන්න පුළුවන්. ඒ වගේම, මෙය එම තීරණ සාධාරණීකරණය කිරීමක්ද නෙමෙයි.  හැබැයි අනිවාර්යයෙන්ම මේ තීරණ තුනම ආර්ථිකය අද තිබෙන තැනට ගේන්න උදවු වූ දැඩි තීරණ. ඒ තීරණ එකක් හෝ ඒ විදිහට නොගත්තානම් තත්ත්වය මුළුමනින්ම කණපිට හැරෙනවා.

පළමු තීරණය ජනාධිපති වූ වහාම අරගලය විසුරුවා හැරීම. මේක නැග්ග ඉනිමගට පයින් ගැසීමක් විදිහට කෙනෙකුට දකින්න පුළුවන්. නමුත් "ගෝටාගෝහෝම්" කියලා පටන් ගත්ත අරගලය එහි මූලික ඉලක්කය සපුරා ගත්තට පස්සෙත් තවත් දිගට ඇදෙනවා කියන්නේ අවසාන ඉලක්කයක් නැති දෙයක්. රනිල් වැඩ පටන් ගත්තේ ඔය වැඩෙන් කියා කියන්න පුළුවන්. මේ වැඩේට රටෙන් ලොකු ප්‍රතිරෝධයක් ආවේ නැහැ. 

දෙවැනි දැඩි තීරණය පළාත් පාලන මැතිවරණ වෙනුවෙන් මුදල් වෙන් නොකිරීම. රට ඒ වෙලාවේ පැවති තත්ත්වය අනුව බිලියන දහයක් වුනත් ලොකු දෙයක් වුනත් වෙන් කරන්න බැරිම තරමේ මුදලක් කියා මම හිතන්නේ නැහැ. හැබැයි ඒ වෙලාවේ පළාත් පාලන මැතිවරණ පැවැත්වුවානම් එය පැවැත්වෙන්නේ ගොඩක් කණ්ඩායම් වලට නිදහසේ මැතිවරණ ප්‍රචාරක කටයුතු කළ හැකි වාතාවරණයක නෙමෙයි. ඒ වගේ තත්ත්වයක් යටතේ ආර්ථික ස්ථාවරත්වය කැප කරගෙන මැතිවරණයක් තියලා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කොයි තරම් කාර්ය භාරයක් කළ හැකිව තිබුණාද කියන එකේත් ප්‍රශ්නයක් තියෙනවා. කොහොම වුනත් මම මෙය කරුණක් ලෙස සටහන් කරනවා පමණයි. වැදගත් දේ පළාත් පාලන මැතිවරණ ඉල්ලලා පාරට බහින්න සූදානම් ජනතාවක් ඒ වෙලාවේ රටේ හිටියේ නැහැ කියන එක. 

තුන් වන දැඩි තීරණය මෑතකාලීනව වර්ජන රැල්ල හමුවේ එයට මුහුණ දුන් ආකාරය. මුල් අවස්ථා දෙකට සාපේක්ෂව මේ වෙලාවේදීනම් සැලකිය යුතු පිරිසක් ඒ තීරණය එක්ක හිටපු බවයි පේන්න තිබුණේ.

මම මේ කරුණු තුන සටහන් කළේ මේ කරුණු සාධාරණීකරණය කරන්නවත් විවේචනය කරන්නවත් නෙමෙයි. හැබැයි අරගලයක් කරලා ජනාධිපතිවරයෙක් ඉවත් කරපු මිනිස්සු හිටපු රටක මේ අවස්ථා තුනෙන් එකකදීවත් එවැනි විශාල මහජන විරෝධයක් ආවේ නැහැ. වැදගත් කාරණය ඒකයි. 

මෙයට හේතුව විදිහට මම දකින්නේ ඉහත සඳහන් කළ එකිනෙකට වෙනස් කණ්ඩායම් වල අභිලාශ සමපාත වීමයි. උදාහරණයක් විදිහට එක කොටසක් වර්ජන නවත්වපු ආකාරයට ඇත්තටම කැමතියි. තවත් කොටසක් ඒ හරහා රනිල් අප්‍රසාදයට පත් වෙනවට කැමතියි. අන්තිමට වෙන්නේ ඌ මට ගැහුවත් එකයි මට ඌ ගැහුවත් එකයි වගේ දෙයක්. 

දැන් මාලිමාව සම්බන්ධවත් මේ ආකාරයෙන්ම ප්‍රතිවිරුද්ධ අභිලාශ තියෙන අයගේ අරමුණු සමපාත වීමක් පේන්න තියෙනවා. මෙයින් වඩා වැදගත් මාලිමාවට විරුද්ධ කඳවුරේ ඉන්න කණ්ඩායම. ඒ කණ්ඩායමේ අය හිතාගෙන එන්නේ මාලිමාව දිනුවොත් ඉතාම ඉක්මණින් ඇනගන්න නිසා ඒ කරදරෙත් ඊට පස්සේ ඉවරයි කියලා. නමුත් ඒක ඒ විදිහටම වෙන එකක් නැහැ. මාලිමාව දිනුවොත් ලොකුවටම ඇන ගන්න වෙන්නේ මාලිමාවෙන් පිටත හා මාලිමාව ඇතුළේ ඉතුරු වෙලා ඉන්න මාක්ස්-ලෙනින්වාදීන්ට වෙන්න පුළුවන්. 

Saturday, April 6, 2024

ගෙවූ ණය හා ගත් ණය


ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ්‍ය ජෙනරාල් වරයෙක් වන රජිත් කීර්ති තෙන්නකෝන්ගේ මාධ්‍ය ප්‍රකාශයකට අනුව රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසුව ගෙවුණු මාස දහ අටක පමණ කාලය තුළ ඩොලර් මිලියන 1,338.8ක මුදලක් බහුපාර්ශ්වීය ණය හා පොලී ගෙවීම වෙනුවෙන් වැය කර තිබෙනවා. මෙම තොරතුරු රාජ්‍ය ආයතනයක් විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැතත්, ඉදිරිපත් කර තිබෙන විස්තරාත්මක තොරතුරු අනුව නිවැරදි සේ සැලකිය හැකියි. 

ඉහත තොරතුරු වල මූලාශ්‍රය විදේශ කටයුතු දෙපාර්තුමේන්තුව බවයි ඔහු සඳහන් කර තිබෙන්නේ. ගෙවූ ණය පිළිබඳ විස්තර විදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් (දන්නා තරමින්) ප්‍රසිද්ධ කර නැතත්, 2023 වසර තුළ ලබාගත් ණය පිළිබඳ තොරතුරු එම දෙපාර්තමේන්තුව විසින් ප්‍රසිද්ධ කර තිබෙනවා. මේ සමඟ පළ කර තිබෙන වගුවේ තිබෙන්නේ එම තොරතුරුයි.

පසුගිය (2023) වසර තුළ ශ්‍රී ලංකා රජය විසින් ඩොලර් මිලියන 2,510.1ක විදේශ ණය ප්‍රමාණයක් අලුතෙන් ලබා ගෙන තිබෙනවා. රජිත් කීර්ති තෙන්නකෝන් විසින් සඳහන් කර ඇති ඩොලර් මිලියන 1,338.8ක මුදල ගෙවා තිබෙන්නේ 2023 වසර ඇතුළත් මාස 18කට වැඩි කාලයක් තුළයි. එම මුදලෙන් 2023 වසර තුළ ගෙවූ මුදල හරියටම නොදනිතත්, එම ප්‍රමාණය අනිවාර්යයෙන්ම පෙර සඳහන් ඩොලර් මිලියන 1,338.8ක මුදලට වඩා අඩු මුදලක් විය යුතුයි. මේ අනුව, වසර තුළ ණය වාරික ආපසු ගෙවීම හා පොලී ගෙවීම වෙනුවෙන් වැය කර තිබෙන්නේ ලබා ගත් විදේශ ණය වලින් කොටසක් පමණක් බව පැහැදිලියි.

මහ බැංකුවේ සංඛ්‍යාලේඛණ අනුව, පසුගිය වසර තුළ රජයේ බැඳුම්කර ණය හැර අනෙකුත් විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 23,562 සිට ඩොලර් මිලියන 25,988 දක්වා ඩොලර් මිලියන 2,487කින් ඉහළ ගොස් තිබෙනවා. මෙම වැඩිවීමෙන් ඩොලර් මිලියන 368කට හේතුව නොගෙවූ පොලිය ණය ලෙස එකතු වීමයි. 

වසර තුළ අලුතෙන් ඩොලර් මිලියන 2,510.1ක් ලබා ගැනීම හා ඩොලර් මිලියන 368ක පොලී එකතු වීම සැලකූ විට ණය ප්‍රමාණය ඩොලර් මිලියන 2,878කින් වැඩි විය යුතු වුවත්, එම වැඩි වීම ඩොලර් මිලියන 2,487ක් පමණක් වී ඇත්තේ ණය ආපසු ගෙවීම නිසා බව පැහැදිලියි. මෙම ගණන් දෙක අතර වෙනස ඩොලර් මිලියන 451ක්. මෙම මුදලට පොලී ගෙවීම සඳහා වැය කළ මුදල් ඇතුළත් නැහැ.

මීට අමතරව, පසුගිය වසර තුළ රජය විසින් විදේශිකයින්ට භාණ්ඩාගාර බිල්පත් විකිණීමෙන් ඩොලර් මිලියන 179කට සමාන මුදලකුත්, භාණ්ඩාගාර බැඳුම්කර විකිණීමෙන් තවත් ඩොලර් මිලියන 30කට සමාන මුදලකුත් රුපියල් වලින් ලබා ගෙන තිබෙනවා. එකතුව ඩොලර් මිලියන 209ක්. එයින් ඩොලර් මිලියන 22ක් විදේශිකයින්ගේ සංවර්ධන බැඳුම්කර පියවීම සඳහා වැය කර තිබෙනවා. මේ අනුව, තවත් ඩොලර් මිලියන 187ක් විදේශ ණය ලෙස ලබා ගෙන තිබෙනවා. 

ඉහත විස්තර කර ඇති පරිදි, වසර තුළ ශ්‍රී ලංකා රජය විසින් ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 2,614ක් විදේශ ණය ලෙස ලබා ගෙන තිබෙනවා. මෙයින් ඩොලර් මිලියන 777ක් පමණ, රුපියල් වලින් විදේශිකයින්ට සිදු කළ ගෙවීම්ද ඇතුළුව, පොලී ගෙවීම් වෙනුවෙන් වැය කර තිබෙනවා. ඒ අනුව, ඩොලර් 1,837ක පමණ විදේශ විණිමය ප්‍රමාණයක් වසර තුළ රජය විසින් විදේශ විණිමය වෙළඳපොළට පොම්ප කර තිබෙනවා.

"ඩොලර් බිලියන එකහමාරක් ඉතිරි කරපු හැටි!" සටහනෙහි විස්තර කර ඇති පරිදි, පසුගිය වසර තුළ ලංකාව විසින් වැය කළ ඩොලර් ප්‍රමාණයට වඩා ඩොලර් මිලියන 1,559ක් ඉතිරි කර තිබෙනවා. මෙම මුදලට ඉහත සඳහන් රජයේ ශුද්ධ ණය ප්‍රමාණය වූ ඩොලර් මිලියන 1,837 එකතු කර විට ඩොලර් මිලියන 3,336ක්. මෙම මුදල විදේශ වත්කම් ලෙස රට තුළ ඉතිරි විය යුතුයි. 

"රටේ විදේශ වත්කම්" සටහනෙහි විස්තර කර ඇති පරිදි පසුගිය වසර තුළ මහ බැංකුවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,495කින් සහ වාණිජ බැංකු වල විදේශ සංචිත ඩොලර් මිලියන 1,005කින් ලෙස බැංකු පද්ධතිය සතු විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 3,500කින් ඉහළ ගොස් තිබෙනවා. එයින් ආසන්න වශයෙන් බාගයක් පමණ උපයා ඉතිරි කරගත් විදේශ විණිමය වන අතර ඉතිරි කොටස රජය විසින් ණය සේ ලබා ගෙන පොම්ප කළ විදේශ විණිමයයි.

රජය විදේශ විණිමය වෙළඳපොළට මේ අයුරින් විදේශ විණිමය පොම්ප කරද්දී ඩොලර් සැපයුම ඉහළ ගොස් රුපියල අධිප්‍රමාණය වෙනවා. එවිට, ආනයන ඉල්ලුම ඉහළ ගොස් එම ඩොලර් ප්‍රමාණය රටින් එළියට යනවා. 2010-2012 වැනි වසර වල සිදු වුනේ මෙයයි.

මහ බැංකුව මැදිහත් වී වෙළඳපොළෙන් අතිරික්ත ඩොලර් ප්‍රමාණය මිල දී ගැනීම මගින් ණයට ගන්නා ඩොලර් ආනයන ලෙස රටින් පිටව යාම වලක්වා ගත හැකියි. මේ වන විට ඩොලරයක මිල පහත වැටී ඇතත් ආනයන ඉල්ලුම විශාල ලෙස ඉහළ ගොස් නැත්තේ මහ බැංකුව විසින් එවැනි මැදිහත්වීමක් කරන නිසායි. වාහන ආනයනයට ඉඩ දුන් පසුව මෙම තත්ත්වයේ යම් වෙනසක් සිදු විය හැකියි. 

පසුගිය දිනෙක ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කළ බව වාර්තා වී තිබුණා.

"අද වන විට ඩොලරයට සාපේක්ෂව රුපියල 300ක අගයක පවතින අතර එය ඉදිරියේදී 280ක් දක්වා පහළ ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා."

තවමත් ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කර නැතත්, රනිල් වික්‍රමසිංහට නැවතත් ජනාධිපති ධුරයට තරඟ කිරීමේ අභිලාශ තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකු රටේ ආර්ථිකය මනින දර්ශකය ඩොලරයක මිල නිසා ඩොලරයක මිල පහත වැටීම රනිල් වික්‍රමසිංහට දේශපාලනිකව වාසිදායකයි. ඒ නිසා, මේ ප්‍රකාශය තේරුම් ගැනීම අපහසු නැහැ.

කෙසේ වුවත්, රනිල් වික්‍රමසිංහ විසින් මීට පෙරද විණිමය අනුපාතය සම්බන්ධව මෙවැනි ප්‍රකාශ සිදු කර තිබුණා. ඩොලරයක මිල රුපියල් 280 මට්ටමට පහත දමා ගැනීමට අවශ්‍ය වුවත් ඔහුට එසේ කළ හැකිද?

දැනට ක්‍රියාත්මක සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ අනුව ඩොලරයක මිල තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම මතයි. ඒ අනුව, මිල තීරණය කරන්නේ ලංකාවට කීයක් හෝ සොච්චමක් එවන අප වැනි අය සහ ආනයනික භාණ්ඩ පරිභෝජනය කරන සමස්ත ශ්‍රී ලාංකිකයින් ඇතුළු විශාල පිරිසක් විසිනුයි. එහෙත් සාමාන්‍ය පුද්ගලයෙකුට වෙළඳපොළ ඉල්ලුම හෝ සැපයුම මත දැනෙන බලපෑමක් කරන්න බැහැ.

කෙසේ වුවත්, රජය හා මහ බැංකුව සාමාන්‍ය පුද්ගලයින් නෙමෙයි. එම ආයතන විසින් විදේශ විණිමය වෙළදපොළට කරන සෘජු හා වක්‍ර මැදිහත් වීම් හරහා රටේ විදේශ විණිමය ඉල්ලුම හා සැපයුම විශාල ලෙස වෙනස් කළ හැකියි. ඒ මගින් ඩොලරයක මිල පාලනය කළ හැකියි.

මේ මොහොතේ රජය විසින් ඩොලරයක මිල පාලනය කරන ක්‍රම ගණනාවක් තිබෙනවා. වාහන ආනයන වාරණය එයින් එකක්. මෙය රජයේ තීරණයක් මිසක් මහ බැංකුවේ තීරණයක් නෙමෙයි. ඒ වගේම දේශපාලනික තීරණයක්. මේ තීරණය සම්බන්ධව රනිල් වික්‍රමසිංහට බලපෑමක් කළ හැකියි. ඒ හරහා ඩොලරයක මිලෙහි දිශානතියද රනිල් වික්‍රමසිංහට තීරණය කළ හැකියි. ඊට අමතරව, රජය විසින් කොපමණ විදේශ ණය ලබා ගන්නවාද, කොපමණ ණය ප්‍රමාණයක් ආපසු ගෙවනවාද වැනි දේවල්ද රජයේ තීරණ. ඒ වගේම දේශපාලනික තීරණ.

මේ මොහොතේ වාහන ආනයනයට ඉඩ ලැබෙන තුරු බලා සිටින සැලකිය යුතු පිරිසක් රටේ ඉන්නවා. වාහන ආනයනයට නැවත ඉඩ දීම මගින් රනිල් වික්‍රමසිංහට ඒ කණ්ඩායමේ අයගේ ප්‍රසාදය ආකර්ශනය කර ගත හැකියි. එහෙත්, ඩොලරයක මිල පහත වැටෙන්නට සැලැස්වීම මගින්ද ඒ කණ්ඩායමේ ප්‍රසාදය දිනා ගන්න පුළුවන්. මීට අමතරව, මේ හේතුවෙන්  සිදුවන ආනයනික භාණ්ඩ වල මිල පහළ යාම පහළ ආදායම් ස්ථර වල සිටින තවත් විශාල පිරිසක් සතුටු කරවන්නක්. ඒ නිසා, ,ඒ මොහොතේ රනිල් වික්‍රමසිංහගේ දේශපාලනික ප්‍රමුඛතාවය වී තිබෙන්නේ ඩොලරයක මිල තවදුරටත් පහත වැටෙන්නට ඉඩ හැරීම බව පෙනෙන්නට තිබෙනවා.

මහ බැංකුවේ විණිමය අනුපාතික කළමනාකරණ ප්‍රතිපත්තිය වනුයේ විණිමය අනුපාතයේ දිශානතිය කෙරෙහි බලපෑම් නොකරමින් එහි තාවකාලික විචලනයන් පාලනය කිරීමයි. ඊට අමතරව සංචිත ගොඩ නගා ගැනීමේ හා ණය ගෙවීමේ ඉලක්කද තිබෙනවා. 

මහ බැංකුවේ පැත්තෙන් ගත් විට, රජය විසින් විණිමය වෙළඳපොලට සිදු කරන මැදිහත් වීම් කියන්නේත් වෙළඳපොළ සමතුලිතතාවයේම කොටසක්. එම මැදිහත්වීම් වල ප්‍රතිඵලයක් ලෙස විණිමය අනුපාතය වෙනස් වේනම් මහ බැංකුව විසින් මැදිහත්වීම් කර එය වෙනස් කළ හැක්කේ මහ බැංකුවේ ඉලක්ක හා ගැටෙන්නේනම් පමණයි. 

මේ වන විට මහ බැංකුව විසින් සාර්ථක ලෙස විදේශ සංචිත ඉලක්ක හඹා යමින් සිටින අතර ඩොලරයක මිල පහත වැටීමද පාලනය කරමින් සිටිනවා. එහෙත්, ඩොලරයක මිලෙහි දිශානතිය කෙරෙහි මහ බැංකුව විසින් බලපෑම් කරන්නේ නැහැ. එසේ කිරීම අනවශ්‍ය පරිදි රජයේ ඉලක්ක සමඟ ගැටීමක්. 

පවතින මිල තුළ රටේ ඩොලර් ඉල්ලුමට වඩා සැපයුම වැඩිනම්, මහ බැංකුවට ඩොලරයක මිල ඉහළ යාමට සැලැස්වීමට හේතුවක් නැහැ. එහෙත් ඉදිරි කාලයේදී මිල ඉහළ යාමට ඉඩ තිබීම හා සංචිත ඉලක්ක මත පදනම්ව මහ බැංකුව විසින් ඩොලරයක මිල පහත වැටීම පාලනය කරනවා. 

මේ පහත වැටීම කොතැනින් නවතියිද? 

මෙය තීරණය කරන්නේ මහ බැංකුව විසින් නොව රජය විසින් වෙන්න පුළුවන්. ඉදිරියේදී ඩොලරයක මිල රුපියල් 280 වන බව රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රකාශ කරන්නේනම් එය විය හැකි දෙයක්. රජය විසින් ඉදිරි කාලයේදී ලබා ගැනීමට අපේක්ෂා කරන විදේශ ණය ගැනත්, වාහන ආනයන සීමා ඉවත් කරන කාලය ගැනත් හොඳින්ම දන්නේ ඔහුයි. 

ඩොලරයක මිල රුපියල් 280 මට්ටමට ගත්තොත් එය ඒ මට්ටමේ තියා ගන්න පුලුවන්ද?

පසුගිය වසරේ ඉපැයූ ඩොලර් වලින් මිලියන 1,559ක් ඉතිරි කරගෙන ඇති බව සැලකූ විට, එම මට්ටම දක්වා වාහන ආනයන වලට ඉඩ දීමෙන් පසුවද ඩොලර් ඉල්ලුම හා සැපයුම තුලනය කර ගත හැකියි. එවිට ඉතිරි වන ප්‍රශ්නය දැනට නොගෙවන ණය ආපසු ගෙවීමයි.

පසුගිය වසර අවසන් වන විට ගෙවන්නට තිබුණු ද්විපාර්ශ්වීය ණය ප්‍රමාණය ඩොලර් මිලියන 10,810ක්. මෙම ණය වසර ගණනාවක් යන තුරු ආපසු ගෙවන්නේ නැතත් පොලිය ගෙවන්නට සිදු වෙනවා. පසුව වෙනස් විය හැකි වුවත්, යෝජිතව තිබුණේ 1.5%ක වාර්ෂික පොලියක්. ඒ අනුව, මේ සඳහා වැඩිපුර අවශ්‍ය වන්නේ වසරකට ඩොලර් මිලියන 162ක මුදලක් පමණයි. 

ප්‍රශ්නය තිබෙන්නේ වාණිජ ණය සම්බන්ධවයි. එම ප්‍රමාණය ඩොලර් මිලියන 14,741ක්. මෙයින් 30%ක් කපා හැරියොත් ඩොලර් මිලියන 10,219ක් පමණ ආපසු ගෙවන්නට සිදු වෙනවා. එම මුදල වසර හයක කාලයක් තුළ ආපසු ගෙවන්නේනම් ඒ සඳහා වසරකට ඩොලර් මිලියන 1,720ක් අවශ්‍ය වෙනවා. කූපන් පොලී ලෙස 4%ක් ගෙවුවොත් ඒ සඳහා වසරකට තවත් ඩොලර් මිලියන 204ක් පමණ අවශ්‍ය වෙනවා. මේ සියල්ල එකතු කළ විට ඉදිරි වසර හයක කාලය තුළ විදේශ අංශය මත ඩොලර් බිලියන 2.1ක පමණ අමතර බරක් වැටෙනවා.

මෙහිදී සැලකිල්ලට ගත යුත්තේ පසුගිය වසර තුළද රජය විසින් ඩොලර් බිලියන 1.8ක් විණිමය වෙළඳපොළ වෙත පොම්ප කර ඇති බවයි. එමෙන්ම ඉදිරි වසර කිහිපය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතන වලින්ද, ද්විපාර්ශ්වික ව්‍යාපෘති ණය ලෙසද, මීට ආසන්න හෝ වැඩි විදේශ විණිමය ප්‍රමාණයක් ලැබෙන්නට නියමිතව තිබෙනවා. ඒ නිසා, මේ ණය හා පොලී ආපසු ගෙවීම ප්‍රශ්නයක් වන්නේ නැහැ. 

කෙසේ වුවත්, මහ බැංකුව විසින් සංචිත ගොඩ නගා ගැනීමේ ප්‍රශ්නය තව දුරටත් ඉතිරිව තිබෙනවා. ඩොලරයක මිල ඉහළ යාම තීරණය වනු ඇත්තේ ඒ සඳහා අවශ්‍ය තරම් විදේශ විණිමය අමතර ව්‍යාපෘති ණය, සෘජු ආයෝජන හා කෙටිකාලීන ආයෝජන ලෙස රටට පැමිණීම මතයි. එසේ නොවුවහොත් ඩොලරයක මිල ඉහළ යාම මගින් ආනයන ඉල්ලුම සීමා වීමට නියමිතයි. 

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා වාහන ආනයනයට ඉඩ දීම සිදු වී ඉහත තත්ත්වය ඇති වන විට මේ වසර අවසන් වී තිබිය හැකියි. ඊට පෙර ජාතික මැතිවරණ පැවැත්වීමට සිදු වෙනවා. ඒ නිසා, අලුත් තත්ත්වය කළමනාකරණය කරගන්නට සිදු වන්නේ ඉදිරි ආණ්ඩුවකටයි. ඊට පෙර විණිමය අනුපාතය මත පීඩනයක් ඇති වීමට හේතුවක් නැහැ.

මෙහිදී සැලකිල්ලට ගත යුතු වැදගත් කරුණක් වන්නේ ලැබෙන්නට නියමිත බහුපාර්ශවීය හා ද්විපාර්ශ්වීය ව්‍යාපෘති ණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩ සටහන සමඟ ගැට ගැසී ඇති බවයි. එම වැඩසටහනේ ප්‍රගතිය අඩාල වුවහොත්, වසරකට ඩොලර් බිලියන 2 ඉක්මවන ඉහත සඳහන් විදේශ විණිමය ප්‍රවාහ රටට එන්නේ නැහැ. ඒ නිසාම, දැනට නොගෙවන විදේශ ණය ආපසු ගෙවන්නට වෙන්නේත් නැහැ. එහෙම වුනත්, ණය නොගෙවා, දැන් කරගෙන යන විදිහට, රටට එන ඩොලර් ප්‍රමාණය කළමනාකරණය කරගෙන ඉදිරියට යන්න බැරිද?

මෙය ඒ තරම්ම සරල නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩ සටහනෙන් පිට පැන්නොත් ඒ හරහා ඇති වන අස්ථාවරත්වය නිසා දැනට රටේ තිබෙන විදේශ විණිමය විවිධ ආකාර වලින් රටින් පිටවෙන්නට පටන් ගන්නවා. ඒ එක්කම, ඩොලරයක මිල මත පීඩනයක් ඇති වෙනවා. ඒ හරහා රටේ ආර්ථිකය නැවත අස්ථාවර වෙන්න පුළුවන්. ඒ නිසා, දැනට ක්‍රියාත්මක වැඩ පිළිවෙලෙන් මුළුමනින්ම පිට පනින්නට කිසිදු ආණ්ඩුවකට ඉඩක් ලැබෙන්නේ නැහැ. කෙසේ වුවත්, එයින් අදහස් වන්නේ වෙනස්කම් සඳහා කිසිදු ඉඩක් නැති බව නෙමෙයි. සමස්ත වැඩපිළිවෙළෙන් ඉවත් වීමට නොහැකි බව පමණයි. 

Thursday, March 23, 2023

මේ අවුරුද්දේ ගෙවිය යුතු ණය සහ රනිල් වික්‍රමසිංහ

 


ගෙවුණු 2022 වසර අවසාන වෙද්දී ලංකාවේ රාජ්‍ය අංශයේ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 83,595ක්. රුපියල් බිලියන 30,355ක්. මේවා හරියටම ගණන්. මෙයින් ඩොලර් මිලියන 76,758ක් (රුපියල් බිලියන 27,872ක්) මධ්‍යම රජයේ ණය . ඉතිරි කොටස රාජ්‍ය සංස්ථා වල සහ මහ බැංකුවේ ණය. 

පහත තියෙන්නේ පොලී ගෙවීම්ද ඇතුළත්ව ඉහත ණය ප්‍රමාණයෙන් 2023 වසර තුළ ආපසු ගෙවිය යුතු ණය ප්‍රමාණය. ඒ කියන්නේ 2023 වසරේ ණය සේවාකරණ අවශ්‍යතාවය. පැහැදිලිව මතක තියාගන්න මේ 2023 වසර තුළ ගෙවිය යුතු ප්‍රමාණය පමණයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට - ඩොලර් මිලියන 212යි 

ලෝක බැංකුවට - ඩොලර් මිලියන 284යි 

ආසියානු සංවර්ධන බැංකුවට - ඩොලර් මිලියන 521යි 

අනෙකුත් බහුපාර්ශ්වීය ණය දෙන ආයතන වලට - ඩොලර් මිලියන 63යි.

බහුපාර්ශ්වීය ණය දෙන ආයතන වලට වසර තුළ ගෙවිය යුතු මුළු මුදල - ඩොලර් මිලියන 1,080යි 


ජපානයට - ඩොලර් මිලියන 197යි 

පැරිස් සංසදයේ අනෙකුත් රටවලට - ඩොලර් මිලියන 276යි 

චීනයට -ඩොලර් මිලියන 596යි 

ඉන්දියාවට - ඩොලර් මිලියන - 653යි 

පැරිස් සංසදයට අයත් නැති අනෙක් රටවලට - ඩොලර් මිලියන 33යි 

වසර තුළ ගෙවිය යුතු ද්විපාර්ශ්වීය ණය හා පොලී එකතුව - ඩොලර් මිලියන 1,755යි 


ස්වෛරිත්ව බැඳුම්කර - ඩොලර් මිලියන 2,010යි 

චීන සංවර්ධන බැංකුවට - ඩොලර් මිලියන 477යි 

අනෙකුත් වාණිජ ණය - ඩොලර් මිලියන 2යි. 

වාණිජ ණය එකතුව - ඩොලර් මිලියන 2,489යි 


ඉන්දියාව සමඟ මුදල් හුවමාරු ගිවිසුම - ඩොලර් මිලියන 400යි 

බංග්ලාදේශය සමඟ මුදල් හුවමාරු ගිවිසුම - ඩොලර් මිලියන 200යි 

චීනය සමඟ මුදල් හුවමාරු ගිවිසුම - ඩොලර් මිලියන 1,433යි 

මුදල් හුවමාරු ගිවිසුම් එකතුව - ඩොලර් මිලියන 2,033යි 


වෙනත් රටවල නීති යටතේ ලබාගෙන ඇති ණය වෙනුවෙන් වසර තුළ ගෙවිය යුතු මුළු ණය වාරික හා පොලී මුදල - ඩොලර් මිලියන 7,356යි. 

මෙම මුදල ගෙවිය යුතුව තිබෙන්නේ වෙනත් රටක නීතියක් යටතේ බැවින් ලංකාවට ඒක පාර්ශ්වීයව මෙම ණය මුදල නොගෙවා සිටීමේ හැකියාවක් නැහැ. ණය නොගෙවා සිටිය හැක්කේ ද්විපාර්ශ්වික එකඟත්වයක් මගින් පමණයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක් තුළ සිදු වන්නේ එයයි. 

ඉහත මුදලින් ඩොලර් මිලියන 2,506ක් ගෙවිය යුතුව ඇත්තේ චීනයටයි. ඉන්දියාවට ඩොලර් මිලියන 1,053ක් ගෙවිය යුතුයි. (ඉන්දියාවට ගෙවිය යුතු ඩොලර් බිලියන 2ක පමණ ආසියානු නිෂ්කාශන සංගම් පියවීම් මෙම ගණනට ඇතුළත් නැහැ.)


දේශීය නීතිය යටතේ ලබාගෙන ඇති ණය:

වසර තුළ භාණ්ඩාගාර බිල්පත් කල්පිරීම් - ඩොලර් මිලියන 10,404යි 

බැඳුම්කර කල් පිරීම් හා කූපන් පොලී - ඩොලර් මිලියන 6,106යි 

අනෙකුත් ණය - ඩොලර් මිලියන 3,862යි 

දේශීය නීතිය යටතේ වසර තුළ ගෙවිය යුතු ණය වාරික හා පොලී වියදම් එකතුව - ඩොලර් මිලියන 20,372යි.


දේශීය නීතිය යටතේ සහ වෙනත් රටවල නීති යටතේ ලබාගෙන ඇති ණය වෙනුවෙන් වසර තුළ ගෙවිය යුතු මුළු ණය වාරික හා පොලී මුදල - ඩොලර් මිලියන 27,727යි. 


මෙම මුදල රුපියල් වලින් රුපියල් බිලියන 10,065ක්.


වසර තුළ අපේක්ෂිත මුළු රාජ්‍ය ආදායම:

බදු ආදායම - රුපියල් බිලියන 3,005යි 

බදු නොවන ආදායම - රුපියල් බිලියන 263යි 

ප්‍රදාන - රුපියල් බිලියන 12යි 

එකතුව - රුපියල් බිලියන 3,280යි 


ඇස්තමේන්තුගත වියදම්:

රාජ්‍ය සේවක වැටුප් - රුපියල් බිලියන 1,012යි 

භාණ්ඩ හා සේවා මිල දී ගැනීම් - රුපියල් බිලියන 300යි 

සහනාධාර - රුපියල් බිලියන 1,104යි 

ප්‍රාග්ධන වියදම් - රුපියල් බිලියන 1,073යි 

පොලී ගෙවීම් හා ණය ගෙවීම් හැර මුළු වියදම - රුපියල් බිලියන 3,489යි


වසර තුළ වියදම් වෙනුවෙන් අරමුදල් අවශ්‍යතාව - රුපියල් බිලියන 209යි.

මම හිතන්නේ දැන් තත්ත්වය පැහැදිලි ඇති. මේ වසරේ රජයේ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 209ක් ණයට අරගෙන වියදම් කරන්න වෙනවා. ඊට අමතරව වසර තුළ ණය හා පොලී ගෙවන්න තවත් රුපියල් බිලියන 10,065ක් ණයට ගන්න වෙනවා.

වියදම පැත්තකින්ම තියමු. බදු වැඩි කරලා, රාජ්‍ය ආයතන විකුණලා අමාරුවෙන් එකතු කරගන්න රුපියල් බිලියන 3,280ක ආදායමකින් ණය නොගෙන රුපියල් බිලියන 10,065ක ණය වාරික හා පොලී ගෙවිය හැකි ක්‍රමය කාට හරි කියන්න පුළුවන්ද?

රාජ්‍ය සේවක වැටුප්, සහනාධාර, ප්‍රාග්ධන වියදම් ආදී සියල්ලම එක්ක රජයේ වියදම රුපියල් බිලියන 3,489යි. හොරකම්, දූෂණ ආදිය වෙනවානම් ඒ සියල්ල තියෙන්නේ ඔය ගණන ඇතුළේ. හොරකම්, දූෂණ නවත්වලා ණය නොගෙන රුපියල් බිලියන 10,065ක ණය වාරික හා පොලී ගෙවිය හැකි ක්‍රමය කාට හරි කියන්න පුළුවන්ද? එහෙම නැත්නම් වියදම් කපලා ඔය වැඩේ කරන විදිහ කාට හරි කියන්න පුළුවන්ද?

සමහර අය තවමත් සිහින ලෝක වල හිටියට ඕවා සුරංගනා කතා පමණයි. ප්‍රායෝගිකව නෙමෙයි සෛද්ධාන්තිකවවත් කරන්න බැහැ. කරන්න පුළුවන් එකම දෙය ක්‍රමයෙන් ආදායම් වැඩි කරගෙන, ආදායම හා ගැලපෙන තරමට වියදම් කරමින් ණය ගෙවන්න කීයක් හෝ ඉතිරි කරගන්න එක. එතෙක් දිගටම ණය ගන්න වෙනවා. ඒ වගේම, ගෙවාගන්න බැරි ණය ගෙවන්න කල් ඉල්ලාගන්න වෙනවා. ඕක තමයි අවුරුදු 75ක සමාජවාදී හා ආරක්ෂණවාදී ආර්ථික ප්‍රතිපත්ති වල අවසාන ප්‍රතිඵලය. 

කොයි තරම් කාලයකටද? 

අඩුම වශයෙන් අවුරුදු 25ක්වත් යනතුරු ඔය ණයෙන් ගොඩ එන්න බැහැ. පුළුවන්නම් ක්‍රමය කියන්න. එහෙම හරි ගොඩ එන්න පුළුවන් මේ වගේ සැලසුම්සහගත වැඩපිළිවෙලක් එපමණ කාලයක් එක දිගට ක්‍රියාත්මක කළොත් පමණයි. එහෙම නැත්නම් වෙන්නේ මේ වැටුණා වගේ කිහිප ගුණයක් විශාල අගාධයකට වැටෙන එක පමණයි.

මම හිතන්නේ මේ තරම් පුළුල් ස්ථායීකරණ වැඩපිළිවෙළක් මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්ම වුනත් ලංකාව වෙනුවෙන් හදලා නැහැ. එහෙම හදන්න තරම් අවශ්‍යතාවයක් තිබුණෙත් නැහැ. කලින් වාර වල තිබුණේ අවුරුදු හතර පහකින් ගොඩදාගන්න පුළුවන් තාවකාලික ප්‍රශ්න. 

දැන් තත්ත්වය කලින් වාර වල මෙන් සැහැල්ලුවට ගන්න පුලුවන් එකක් නෙමෙයි. මෙවර කලින් වාර වල මෙන් අරමුදලට තනියම රට ස්ථායී කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ වැඩේට බටහිර රටවල, චීනයේ, ඉන්දියාවේ උදවුව අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. මේ සැරෙත් මේ ස්ථායීකරණ ක්‍රියාවලියෙන් පිට පැන්නොත් එහෙමවත් ගොඩදාන්න පුළුවන් ක්‍රමයක් හදාගන්න බැරි වෙනවා. සහසුද්දෙන්ම කතාව ඕකයි. 

සමහර අය මෙම ස්ථායීකරණ වැඩපිළිවෙළ රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයා එක්ක අනන්‍ය ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ අය වාමාංශික අදහස් දරන අය බවයි පෙනෙන්නේ. මේක රනිල් හදපු එකක් නෙමෙයි. රනිල්ට හෝ වෙනත් තනි පුද්ගලයෙක්ට හදන්න පුළුවන් වැඩපිළිවෙළකුත් නෙමෙයි. පසුව යම් යාවත්කාලීන කිරීම් කර ඇතත් මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ වෙනත් බාහිර උපදේශකයින් සම්බන්ධ වෙලා මේ වැඩපිළිවෙළ සකස් කළේ වසරකට පමණ පෙරයි. 

ඒ වගේම, මේක රනිල් වික්‍රමසිංහට හෝ කවුරු හෝ රටේ ජනාධිපතිවරයාට තනිව ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළකුත් නෙමෙයි. මහ බැංකුව ඇතුළු සමස්ත රාජ්‍ය යාන්ත්‍රනය, බැංකු පද්ධතිය, ව්‍යාපාරික ප්‍රජාව, බාහිර පාර්ශ්වයන් මෙන්ම සාමාන්‍ය මහජනතාවටද මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම තුළ යම් කාර්යභාරයක් තිබෙනවා. එහෙම නැතුව වැඩපිළිවෙලක් තිබුණු පමණින් සියල්ල හරියන්නේ නැහැ. හැබැයි හරියන්න හෝ වැරදෙන්න පළමුව නිවැරදි වැඩපිළිවෙලක් අවශ්‍යයි. දැන් ඒක තිබෙනවා. 

වැඩපිළිවෙළ රනිල් වික්‍රමසිංහගේ නොවුනත් ඔහු මෙම වැඩපිළිවෙළ වෙනුවෙන් සෘජු ලෙස පෙනී සිටිනවා වගේම එය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කැපවීමක් පෙන්වනවා. සමහර අය මෙම වැඩපිළිවෙළ රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයා එක්ක අනන්‍ය ලෙස දකින්නේ ඒ නිසා වෙන්න ඇති. 

සමගි ජන බලවේගය විසින් මෑතකදී ඔවුන්ගේ වැඩපිළිවෙළ කියා එකක් ඉදිරිපත් කළා. කලින් ඉදිරිපත් කළ එකම යාවත්කාලීන කිරීමක්. දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරන මේ වගේ ප්‍රතිපත්ති රාමුවක් කවදාවත් අරමුදල විසින් සකසා ඇති ආකාරයේ විස්තරාත්මක සැලසුමක් වෙන්නේ නැහැ. එහෙම වෙන්න අවශ්‍යත් නැහැ. 

මේ වගේ සංකීර්ණ තාක්ෂනික කටයුත්තක් කළ හැකි අය ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයක නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තාක්ෂණික සහාය නැතිව මහ බැංකුවට වුනත් තනිව මේ වගේ දෙයක් කළ හැකියි කියා මම හිතන්නේ නැහැ. වැඩපිළිවෙළ මුළුමනින්ම තේරුම් ගන්න පුළුවන් අය වුනත් ඔය දේශපාලන පක්ෂ ඇතුළේ ඉන්නවානම්, ඔවුන්ගේ බාහිර උපදේශකයින්ද ඇතුළුව, එක අතක ඇඟිලි ගණනට වඩා අඩුවෙන්. සමහර දේශපාලන පක්ෂ වලනම් කවුරුවත්ම නැහැ. දේශපාලන පක්ෂයකට කරන්න පුළුවන් ඔවුන්ගේ පක්ෂයේ දේශපාලන දර්ශනය මත පදනම් වූ, වැඩපිළිවෙළකට පාදක කරගත හැකි, කතාවක් ඉදිරිපත් කරන එක පමණයි. 

සමගි ජන බලවේගයේ වැඩපිළිවෙළ එවැනි කතාවක්. ඒ කතාව මත පදනම්ව ස්ථායීකරණ වැඩපිළිවෙළක් හදන්න පුළුවන්. මේ වන විට හදා තිබෙන වැඩපිළිවෙළ සජබ කතාව මත පදනම්ව හැදිය හැකි ආකාරයේ එකක්. නමුත්, සජබ කතාව සමග ගැලපෙන පරිදි හැදිය හැකි එකම වැඩපිළිවෙළ නෙමෙයි. ඔවුන්ට අවශ්‍ය ඔවුන්ගේ කතාව හා ගැලපෙන තරමක් වෙනස් වැඩපිළිවෙළක් වෙන්න පුළුවන්. ඒක එහෙමනම්, ඒ වෙනස් විය යුතු තැන් මොනවාද කියා පැහැදිලිව කියන එක ඒ අයගේ වැඩක්.

ඒ කතාව හා මේ කතාව හැර වෙනත් කතා ඇත්නම් ඒවා සුරංගනා කතා පමණයි. අසංගත සුරංගනා කතා මත පදනම්ව සංගත වැඩපිළිවෙළක් කවදාවත් හදන්න බැහැ.

දූෂණය වැළැක්වීම අරමුදල විසින් ඉදිරිපත් කර තිබෙන වැඩපිළිවෙළේ මූලික ඉලක්ක වලින් එකක්. සාමාන්‍යයෙන් අරමුදලේ වැඩ සටහනක දූෂණය වැළැක්වීම ප්‍රමුඛ ඉලක්කයක් ලෙස හඳුනාගන්නේ නැහැ. ඒ වගේම, පීඩාවට පත් වන අඩු ආදායම්ලාභීන් සුබසාධනය කිරීම මෙහි ප්‍රමුඛ අංගයක් එය අරමුදලේ වැඩසටහන් තුළ හැමවිටම සිදුවන දෙයක් නෙමෙයි. රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම සඳහා ධනවතුන්ගේ ධනය මත ධන බද්දක් හඳුන්වා දීමට නියමිතයි. මෙය දක්ෂිණාංශික මතධාරීන් විසින් දැඩි ලෙස විවේචනය කරන දෙයක්. දිගුකාලීනව ආර්ථික වර්ධනය අඩුවීමට හේතු වන දෙයක්. එහෙත් ඒ මගින් ආදායම් විෂමතා අඩු කළ හැකියි. අරමුදලේ වැඩ සටහන හදද්දී මේ වගේ වෙනම පැත්තකට ගිහින් තියෙන්නේ ලංකාවේ සුවිශේෂී තත්ත්වයන් මත පදනම්ව විය යුතුයි. 

දූෂණය වැළැක්වීම කළ යුතුම දෙයක් වුනත්, රටේ ආදායම මෙන් තුන් ගුණයකටත් වඩා වැඩි මුදලක් වසර තුළ ණය හා පොලී ලෙස ගෙවන්න තියෙද්දී බදු වැඩි නොකර, ණය නොගෙන දූෂණය වැළැක්වීමෙන් පමණක් ආර්ථිකය ස්ථාවර කරන්න බැහැ. ඒවා තනිකරම සුරංගනා කතා පමණයි. 

සමහර වාමාංශික අදහස් දරන අය මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ හැකි එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ කියා හිතන බව පේනවා. තමන් සහයෝගය දෙන කණ්ඩායමට රට නැවත ස්ථායී කළ හැකි බවට කිසිම විශ්වාසයක් ඔවුන්ට නැති බවයි එයින් පෙනෙන්නේ. හැබැයි මමනම් එහෙම හිතන්නේ නැහැ. අවශ්‍ය කැපවීම තිබෙන ඕනෑම කණ්ඩායමකට මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියන්න පුළුවන්. එවැනි කැපවීමක් තිබෙනවානම් ඒ බව ප්‍රදර්ශනය කළ යුතු අවස්ථාව මේකයි. එහෙම නැත්නම් එයින් අදහස් වන්නේ ඒ අයගේ අවසාන ඉලක්කය රටේ ආර්ථිකය ස්ථායී වීම වලක්වා විශාල විනාශයකට පාර කැපීම කියන එකයි. ඇතැම් අයට එවැනි ඉලක්ක තිබීම අසාමාන්‍ය දෙයක් නෙමෙයි.

සමහර අය හිතාගෙන ඉන්නේ ලංකාවට තවත් වැටෙන්න තැනක් නැහැ කියලයි. එය මිථ්‍යාවක්. ඔය වැටුනා වගේ කිහිප ගුණයක් නරක තැනකට රට වැටෙන්න පුළුවන්. අප ලියා පළ කරන දේවල් පසුව ඉවත් කරන්නේ නැහැ. නමුත්, කාට හෝ සැකයක් තිබේනම් ස්ක්‍රීන්ෂොට් අරගෙන තියාගන්න. 

Tuesday, July 19, 2022

හෙට වැව මැද සටන


ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට හෙට දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් විධායක ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනෙනවා. මෙය ශ්‍රී ලංකා දේශපාලනයේ ඉතා සුවිශේෂී මෙන්ම තීරණාත්මක කඩඉමක්. නාමයෝජනා තුනක් ඉදිරිපත්ව ඇතත් ප්‍රායෝගිකව මේ ඡන්දයෙන් ජය ගැනීමට ඉඩක් තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ හෝ ඩලස් අලහප්පෙරුම යන දෙදෙනාගෙන් අයෙකුයි. රහස් ඡන්දයක් පැවැත්වෙන නිසා ප්‍රතිඵලය අවසන් මොහොත වන තුරු අවිනිශ්චිතයි.

නාමයෝජනා ඉදිරිපත් වීමට පෙර සිදු වූ වැදගත්ම දේශපාලනික සිදුවීම සජිත් ප්‍රේමදාස හා ඩලස් අලහප්පෙරුම අතර සම්මුතියයි. මේ සම්මුතිය අනුව සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරය සඳහා තරඟ නොකරන අතර ඩලස් අලහප්පෙරුම මීළඟ ජනාධිපති වුවහොත් අගමැති ධුරය සජිත්ට ලැබෙනු ඇතැයි සිතිය හැකියි. වඩා වැදගත් කරුණ මේ කණ්ඩායම් දෙක ජනාධිපති සටනින් ඔබ්බට ගිය පොදු අවම වැඩ පිළිවෙලකටද එකඟ වී තිබීමයි. 

වැඩ බලන ජනාධිපති සේ කටයුතු කරන රනිල් වික්‍රමසිංහ මීළඟ ජනාධිපති සේ තේරී පත් වුවහොත් දිනේෂ් ගුණවර්ධන වැනි අයෙකු අගමැති විය හැකියි. එවැනි ආණ්ඩුවක ආර්ථික-දේශපාලන වැඩ පිළිවෙළ රනිල් වික්‍රමසිංහගේ අභිලාෂ මත තීරණය වීමට ඉඩ තිබෙනවා. 

මේ ආකාරයෙන් නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කරගැනීමට අවශ්‍ය වූ ක්‍රියාදාමය ආරම්භ වන්නේ රටේ පවතින ආර්ථික අර්බුදයේ ආරම්භයත් සමඟයි. එම ආර්ථික අර්බුදයට හේතු වූ අනිසි ආර්ථික කළමනාකරණය පසුපස නිවැරදි විය යුතු දේශපාලනික සාධක තිබෙනවා. අරගලකරුවන්ගේ මුල් ඉල්ලීම් වුනේත්, අලුතෙන් පත් වෙන ආණ්ඩුවක් විසින් හැකි ඉක්මණින් කළ යුතුව තිබෙන්නේත්, අවශ්‍ය දේශපාලනික වෙනස්කම්ද කරමින්, ආර්ථිකය නිසි මගට ගැනීමයි.

සජිත් හා ඩලස් එකඟව ඇති පොදු අවම වැඩ පිළිවෙළ ඉහත ප්‍රශ්න වලට විසඳුමක් සේ යෝජනා වී ඇති ආර්ථික හා දේශපාලනික ප්‍රතිසංස්කරණ යෝජනා වල එකතුවක් සේ අර්ථ දැක්විය හැකියි. මේ ප්‍රතිසංස්කරණ යෝජනා පැකේජය හා රනිල් ප්‍රමුඛ ආණ්ඩුවක් මගින් ගෙන ඒමට නියමිත ආර්ථික හා දේශපාලනික ප්‍රතිසංස්කරණ යෝජනා අතර ලොකු වෙනස්කම් පෙනෙන්නට නැහැ. මේ වෙලාවේ කළ යුතු හොඳම දේ බොහෝ දුරට පැහැදිලියි.

රටේ ආර්ථිකයේ ප්‍රශ්න කවර ආණ්ඩුවකට වුවද ක්ෂණිකව විසඳිය නොහැකි වුවත් වසරක පමණ කාලයක් තුළ බොහෝ දුරට විසඳිය හැකියි. ඒ සඳහා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු බාහිර පාර්ශ්ව වල උදවු අවශ්‍ය වෙනවා. එම උදවු ලබා ගැනීම සඳහා රාජ්‍ය අංශයේ දැවැන්ත ප්‍රතිසංස්කරණ කළ යුතු වෙනවා. නොකරම බැරි මේ ප්‍රතිසංස්කරණ දේශපාලනිකව ජනප්‍රිය තීරණ ගනිමින් සිදු කළ නොහැකියි. එවැනි පුළුල් ප්‍රතිසංස්කරණ කිරීමට මහජන සහයෝගය අවශ්‍යයි. ප්‍රධාන දේශපාලන පක්ෂ වල සහයෝගීතාවයක් නොමැතිව මෙවැනි ප්‍රතිසංස්කරණ කළ නොහැකියි.

දැනට පෙනෙන පරිදි සජිත්-ඩලස් පාර්ශ්ව එකඟ වී තිබෙන පොදු අවම වැඩ පිළිවෙළ තුළ මේ වැඩේ බොහෝ දුරට සිදු වෙනවා. ඩලස් ලංකාවේ මීළඟ ජනාධිපති සේ තේරී පත් වුවහොත් එය සිදු වනු ඇත්තේ අදාළ පාර්ශ්ව දෙකට අමතරව තවත් කණ්ඩායම් ගණනාවක සහයෝගයෙන්. එවැනි සහයෝගයක් නැතිව ඩලස්ට ඡන්දයෙන් දිනන්න බැහැ. ඒ නිසා, සජිත්-ඩලස් එක්ව හැදීමට ඉඩ තිබෙන ආණ්ඩුවක් බොහෝ විට තවත් පාර්ශ්වද එක් කරගත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් වීමට නියමිතයි. 

අනෙක් පැත්තෙන් රනිල් ඡන්දය දිනුවොත් එය සිදු විය හැක්කේත් කණ්ඩායම් ගණනාවක සහයෝගයෙන්. ඔහු දිනනවානම් දිනන්නේ සජබ, ශ්‍රීලනිප පක්ෂ වල ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ඡන්ද හා අනෙකුත් සුළු ජාතික පක්ෂ වල ඡන්දද ලබා ගනිමිනුයි. සල්ලි එහා මෙහා වන කතා අහන්න ලැබුණත්, රහස් ඡන්දයකදී සල්ලි අරගෙන වුවත් තමන් කැමති අයෙකුට ඡන්දය දිය හැකියි. ඒ නිසා, ඡන්ද ලබාගැනීම සඳහා සල්ලි වලට වඩා වැදගත් වනු ඇත්තේ ඇමතිකම් පිළිබඳ පොරොන්දු ආදියයි. මේ අනුව බැලූ විට, රනිල්-දිනේෂ් මුල් වී ආණ්ඩුවක් හැදුවත් එයද ඩලස්-සජිත් මුල් වූ ආණ්ඩුවක් මෙන්ම සර්ව පාක්ෂික ආණ්ඩුවක් වීමට නියමිතයි. එමෙන්ම එවැනි ආණ්ඩුවක් විසින් සිදු කිරීමට නියමිත ආර්ථික-දේශපාලන ප්‍රතිසංස්කරණ ඩලස්-සජිත් ආණ්ඩුවක ප්‍රතිසංස්කරණ වලට වඩා ලොකුවට වෙනස් වෙන්න හේතුවක් නැහැ.

කෙටියෙන් කිවුවොත්, හෙට රනිල් දිනුවත්, ඩලස් දිනුවත්, ඉන් ඔබ්බට යන්න තියෙන්නේ එකම පාරේ. ඒ වගේම රට වැටී තිබෙන තැන අනුව යා හැකි වෙන පාරවල් නැහැ. ප්‍රතිඵලය අනුව වෙනස් වන එකම දෙය පාර්ලිමේන්තුවට පිටින් අරගලකරුවන්ගේ ප්‍රතිචාර හා එම ප්‍රතිචාර වලට දේශපාලන පක්ෂ විසින් දක්වන ප්‍රති-ප්‍රතිචාරයි.

මේ වන විට ලංකාවේ පාර්ලිමේන්තුව තුළ රටේ ජනතා මතය නිරූපණය නොවනවාක් මෙන්ම අරගලය තුළ නිරූපණය වන්නේද ජනතා මතය නෙමෙයි. අරගලය තුළ ප්‍රධාන බල කේන්ද්‍ර තුනක් දැකිය හැකියි. පළමු කණ්ඩායම නාගරික හා අර්ධ නාගරික ලිබරල්වාදීන්. දෙවන කණ්ඩායම ජවිපෙ/ජාජබ හා ඔවුන්ගේ මතවාදය හා කිට්ටුවෙන් යන අදහස් දරන ස්වාධීන ක්‍රියාකාරිකයින්. තෙවන කණ්ඩායම පෙසපෙ හා ඔවුන් විසින් මෙහෙයවන කණ්ඩායම්. 

හෙට ජනාධිපතිවන්නේ රනිල් වුවත්, ඩලස් වුවත්, පෙසපෙ අරගලයෙන් ඉවත් වන එකක් නැහැ. ඒ වගේම, මේ කවර හෝ ආණ්ඩුවක් හරහා ක්‍රියාත්මක වීමට නියමිත ආර්ථික-දේශපාලන වැඩ පිළිවෙලට එම කණ්ඩායම එකඟ වන එකක් නැහැ. ඔවුන්ගේ විරෝධය දිගටම පවතියි. බොහෝ විට තවත් තීව්‍ර වෙයි.

රනිල් ජයගෙන ආණ්ඩුවක් පිහිටෙවුවොත් අරගලය තුළ සිටින ඉහත කණ්ඩායම් තුනම දිගටම ආණ්ඩු විරෝධී ස්ථාවරයක සිටීමට වැඩි ඉඩක් තිබෙනවා. එසේ වුවහොත්, සජිත්-ඩලස් අක්ෂය පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු විරෝධීව හා අරගලයට පක්ෂපාත ස්ථාවරයක සිටිමින් ඊළඟ මැතිවරණයට ලකුණු රැස් කිරීමට ප්‍රමුඛතාවය දීමට ඉඩ තිබෙනවා. එහෙත්, ඩලස් ජයග්‍රහණය කළහොත් අරගලය තුළ සිටින ලිබරල්වාදී කොටස් අරගලයෙන් ඉවත් විය හැකියි. ඒ සමඟම අරගලකරුවන් වාමාංශික අරගලකරුවන් කොටසක් බවට පත් වෙනවා. ඉන් පසුව ජවිපෙ දිගටම අරගලය තුළ රැඳී සිටියහොත් ඒ තුළ ජවිපෙ පෙසපෙ බල අරගලයද ඉස්මතු විය හැකියි.

ජවිපෙ/ජාජබ තවමත් ඉන්නේ රටේ දේශපාලන බල තුලනය වෙනස් වන ආකාරය අනුව තමන්ට දේශපාලනිකව වඩා වාසිදායක පැත්තට දෝලනය වීමේ ඉඩ ඉතිරි කරගෙනයි. හෙට රනිල් ජනාධිපති වුවහොත් ජවිපෙට දිගටම පාර්ලිමේන්තුව තුළත්, අරගලය තුළත්, ආණ්ඩු විරෝධී ස්ථාවරයක සක්‍රිය ලෙස කටයුතු කරන්න සිදු වෙනවා. පාර්ලිමේන්තුව තුළ ඔවුන්ට සජබට එරෙහිව ඉදිරි මැතිවරණය ඉලක්ක කර කටයුතු කරන්න වෙනවා. ඒ අතර අරගලය තුළ ප්‍රධාන ගාමක බලවේගය වීමට පෙසපෙ සමඟ තරඟ කරන්න සිදු වෙනවා. 

දේශපාලනිකව රනිල්ට එරෙහි වුවත් සජිත්-ඩලස් අක්ෂයට රනිල්ගේ ආර්ථික-දේශපාලන වැඩ පිළිවෙලට සෘජුව විරුද්ධ වීමේ හැකියාවක් නැහැ. කළ හැක්කේ කකුලෙන් ඇදීම පමණයි. අරගලයට සහයෝගය දීම මගින් වක්‍ර ලෙස එය කළ හැකියි. සජබ නැවතත් අරගලය හා එකතු වුවහොත් එහි වාමාංශික පැහැය දියාරු වී යනවා. ඒ වගේම, රනිල් ප්‍රමුඛ ආණ්ඩුවකට අවශ්‍ය ආර්ථික-දේශපාලන වෙනස්කම් කිරීමද අසීරු වෙනවා. එවැනි තත්ත්වයක් යටතේ රනිල් ප්‍රමුඛ ආණ්ඩුවකට ඉතිරි වන විකල්පය අරගලය මර්දනය කිරීම පමණයි. සජබ අරගලය හා නැවත එකතු වී අරගලය නැවතත් පුළුල් දේශපාලනික සන්ධානයක් බවට පත් වුවහොත් වුවහොත් එයද පහසුවෙන් කළ නොහැකියි. එහෙත්, සජබ නැවත අරගලය හා එකතු නොවී අරගලය තුළ වාමාංශික පැහැය ඉස්මතු වුවහොත් අරගලය මර්දනය කිරීම වඩා පහසු වෙනවා.

ඩලස් ජනාධිපති වී ඩලස්-සජිත් ආණ්ඩුවක් පිහිටෙවුවොත් රනිල්ට එම ආණ්ඩුවේ ආර්ථික-දේශපාලන වැඩ පිළිවෙලට විරුද්ධ වීමේ හැකියාවක් නැහැ. එවැනි තත්ත්වයක් යටතේ බොහෝ දුරට වඩාත් පුළුල් සර්ව-පාක්ෂික ආණ්ඩුවක් හැදෙනවා. එවැනි ආණ්ඩුවකට කෙතරම් සහායක් දක්වනවාද කියන එක ජවිපෙ/ජාජබට මුහුණ දෙන්නට වන උභතෝකෝටිකයක්. අවශ්‍ය ප්‍රතිසංස්කරණ කරන්නට යද්දී මුළුමනින්ම විරුද්ධ වුවහොත් ඉදිරි මැතිවරණයකදී මධ්‍යස්ථ ඡන්දදායකයින්ට ආමන්ත්‍රණය කිරීමේ අවස්ථාව ජවිපෙ කෙරෙන් ගිලිහෙනවා. එවැනි ප්‍රතිසංස්කරණ වලට විරුද්ධ නොවුවහොත්, ඔවුන් හා රැඳී සිටින වාමාංශික කොටස් පෙසපෙ විසින් ආකර්ෂණය කර ගන්නවා. 

හෙට ඡන්දයේදී රනිල්-ඩලස් සටන තියුණු වී දෙවන මනාපය ගණන් කරන්නට සිදු වීමේ ඉඩකඩද බැහැර කළ නොහැකියි. ඡන්දය රහසිගත එකක් වුවත්, එවැනි තත්ත්වයක් යටතේ ජාජබ ඡන්ද වල දෙවැනි මනාප එළිදරවු වෙනවා. එහිදී යම් හෙයකින් ජාජබ ඡන්ද තුන නිසා ඩලස් පැරදී රනිල් දිනුවොත් එයින් ජවිපෙට විශාල දේශපාලනික හානියක් වීම නොවැලැක්විය හැකියි. මෙය ඉතා පැහැදිලි නිසා ජාජබ දෙවැනි මනාප බොහෝ විට ඩලස්ට ලබා දෙන්න ඉඩ තිබෙනවා. ඒ නිසාම, අනුර කුමාර තරඟයට ඉදිරිපත් වීම ඒ තරම් තීරණාත්මක සාධකයක් නෙමෙයි. 

Friday, May 20, 2022

රනිල්නම් වූ ගැලවුම්කාරයා


ටෙලිප්‍රොම්ප්ටරය දිහා බලාගෙන කවුරු හෝ විසින් ලියා දුන් වැල් පාලම් කතාව කියවමින් රනිල් වික්‍රමසිංහ හදිසියේම ජාතියේ ගැලවුම්කරු සේ පෙනී සිටියා. කවුරුත් වගේ අසා හෝ කියවා තිබෙන නිසා මම වැල් පාලම් කතාව නැවත උපුටා දක්වන්නේ නැහැ. 

මේ කතාවෙන් පස්සේ වැල් පාලම ගැන විවිධ අර්ථකතන ආවා. ඇතැම් අය දකින විදිහට රනිල් ඇවිත් කරන්නේ රාජපක්ෂලාව වැල් පාලමෙන් එගොඩ කරන එකයි. මේ විවේචනයට පිළිතුරක් දෙමින් රනිල් ඇහුවේ "රාජපක්ෂලාට නැවත බලයට එන්න පුළුවන් වෙයි කියා ඔබ හිතනවද?" කියලයි.

ඇත්තටම රාජපක්ෂලාට නැවත බලයට එන්න පුළුවන් වෙයිද? රනිල් ඇවිත් රාජපක්ෂලාව වැල් පාලමෙන් එගොඩ කරනවායැයි කියන විපක්ෂයේ පක්ෂ විසින් එහෙම කියන එකෙන්ම පෙනෙන්නේ රාජපක්ෂලාට නැවතත් බලයට ඒමේ හැකියාව ගැන එම පක්ෂ ලොකු බරක් තබනවා කියන එකයි. එයින් ගම්‍ය වන්නේ රාජපක්ෂලාට සාපේක්ෂව එම පක්ෂ වලට තවමත් තමන් සම්බන්ධව තිබෙන අවතක්සේරුවයි.

රනිල් අගමැති වීම නිසා සිදුවුණු හා සිදු වෙමින් පවතින යම් සාධනීය කාර්ය භාරයක් තිබෙනවා. හැබැයි රනිල් කියන්නේ කෙසේවත්ම මේ මොහොතේ රට වැටී තිබෙන අගාධයෙන් තනිව රට ගොඩ දැමිය හැකි ගැලවුම්කාරයෙක් නෙමෙයි. ඒ රනිල් දුර්වල පුද්ගලයෙක් නිසා නෙමෙයි. සරල ලෙසම තනි පුද්ගලයින්ට ඒ විදිහට රටවල් ගොඩ දාන්න බැරි නිසා. රනිල් එවැන්නක් කරයි කියා කවුරු හෝ හිතනවානම් එය ගෝඨාභය ඇවිත් රට ගොඩ දමයි කියා හිතුවා වගේම ලොකු වැරැද්දක්. 

මෙහෙම කියන එකෙන් මම රනිල් හෝ ගෝඨාභය නොවන තුන්වන පාර්ශ්වයක් ප්‍රවර්ධනය කරන්නේ නැහැ. පුද්ගලයා වෙනස් වුනා කියලා මේ කතාවේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ වගේම මේක රනිල් විසින් අගමැති ධුරය භාර ගැනීම අවතක්සේරු කිරීමකුත් නෙමෙයි.

අගමැති කෙනෙක් නැතුව රට අරාජිකව තිබීම තුළ සිදුවිය හැකිව තිබුණු ක්ෂණික විනාශය රනිල් අගමැතිකම භාර ගැනීම නිසා වැළකුණා, වඩා නිවැරදිව කිවුවොත් පොඩ්ඩක් කල් ගියා. ඒ වැඩේ කරන්න රනිල්වම අවශ්‍ය වුනෙත් නැහැ. හැබැයි රනිල් හැර වෙන කෙනෙක් හිටියෙත් නැහැ. ඒ නිසා, ඒ අර්ථයෙන් රනිල් කළේ රට ගොඩ දැමීමක්. ඒ වගේම, මේ වෙලාවේ ඔය විදිහට සුළුවෙන් හෝ රට ගොඩ දැමීම තුළ රාජපක්ෂලාට හුස්මක් ගන්න ඉඩක් ලැබෙන එකත් නොවැලැක්විය හැකි දෙයක්. ඒ නිසා, රනිල් ආවේ රාජපක්ෂලා ගොඩ දාන්නද කියන ප්‍රශ්නය ඒ තරම්ම වැදගත් ප්‍රශ්නයක් නෙමෙයි. 

රනිල්ට කළ හැක්කේ කුමක්ද?

ඇතැම් අයට අනුව රනිල් මීට පෙර පස් වරක් අගමැති වී ඇතත් කර ඇති දෙයක් නැහැ. ඒ නිසා, දැන් කියලා කළ හැකි දේකුත් නැහැ. තවත් අයට අනුව, 2001 හා 2015 වැනි අවස්ථා වල රනිල් ඇවිත් රට ගොඩ දාලා තියෙන නිසා මේ වෙලාවෙත් ඔහුට රට ගොඩදාන්න පුළුවන්. මට පෙනෙන විදිහටනම් මහ මැතිවරණයක් පවත්වා අළුත් ආණ්ඩුවක් බලයට පත් කර ගැනීමට යන අවම කාලය තුළ රටේ ආර්ථිකය විශාල කඩා වැටීමකට ලක්වීම වලක්වා ගැනීමට වඩා දෙයක් රනිල්ගෙන් බලාපොරොත්තු විය නොහැකියි. 

ලංකාවේ ආර්ථිකයේ වත්මන් තත්ත්වය මීට පෙර රනිල් ඇවිත් "රට ගොඩ දාපු" අවස්ථා වලට වඩා ගොඩක් භයානක හා සංකීර්ණ තත්ත්වයක්. ඇත්තටම කියනවානම් හිතාගන්නවත් බැරි තරම් භයානක තත්ත්වයක්. මේ වගේ තත්ත්වයකට මුහුණ දිය හැකි හොඳම ක්‍රමය සියළුම පක්ෂ අතර පුළුල් එකතුවක් තුළින් විසඳුම් හෙවීමයි. නමුත්, හැමෝම ඉන්නේ තමන් ගැන අධි තක්සේරුවක. ඒ නිසා, ඒ විදිහේ එකතුවක් ඇති වීමේ ඉඩක් නැහැ. 

මේ ප්‍රශ්නය විසඳෙන්නේ මහ මැතිවරණයකට යාමෙන් පමණයි. දැන් මහ මැතිවරණයකට යාම සුදුසු අවස්ථාවක් නෙමෙයි කියා හිතන අයට මට කියන්න තියෙන්නේ තව බලා හිටියා කියලා මීට වඩා හොඳ අවස්ථාවක් ලැබෙන එක සිහිනයක් කියලයි. 

මේ ආණ්ඩුවේ ජනවරම දැන් නෑ කියන්න පැහැදිලි හේතු තිබෙනවා. මම මෙය කියන්නේ රට පුරා තිබුණු හා තවමත් තිබෙන උද්ඝෝෂණ නිසාවත්, ආණ්ඩු පක්ෂයේ මහජන නියෝජිතයින්ට එළියට බහින්න බැරි නිසාවත් නෙමෙයි. ඒ හේතු නිසා පමණක් හදිසි මහ මැතිවරණයක් තියන්න අවශ්‍ය නැහැ. හදිසි මහ මැතිවරණයක් පැවැත්විය යුත්තේ කලින් මැතිවරණයට මේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ජනතා අනුමැතිය ලැබූ වැඩ පිළිවෙළ වැරදි හා අසාර්ථක එකක් ලෙස නම් කර මේ ආණ්ඩුව විසින්ම අතහැර දමා තිබෙන නිසයි. 

ජනතා අනුමැතිය ලැබූ වැඩ පිළිවෙළ සහේතුකව අතහැර දැමීමෙන් පසුව දැන් ක්‍රියාත්මකව තිබෙන්නේ 2019දී ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ රනිල්ගේ වැඩ පිළිවෙළයි. පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ විසින් සාමූහිකව මෙවැනි වැඩ පිළිවෙලක් ක්‍රියාවට නංවනවානම් එයින් වක්‍ර ලෙස හෝ ජනතා අනුමැතිය යම් තරමකින් ප්‍රදර්ශනය වෙනවා. දැන් වෙන්නේ එවැන්නක් නෙමෙයි. 

රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්ති දිගටම ක්‍රියාත්මක වුනානම් ආර්ථික අර්බුදය දැන් තරමට ඔඩු දුවන්නේ නැහැ. එහෙමනම් බොහෝ විට ඩොලරයක මිල කලින්ම ඉහළ යනවා. ආණ්ඩුව කලින්ම IMF යනවා. හැබැයි දැන් ප්‍රශ්නය ඔඩු දුවලා ඉවරයි. කළ යුතුව තිබුණු, නොකළ, දේ දැන් ආපසු ගිහින් කරන්න බැහැ. 

ලංකාවේ වත්මන් ප්‍රශ්නය ලංකාවේ මිනිස්සුන්ගෙම තෝරා ගැනීමක්. මේ තෝරාගැනීම කරන්නේ 1948 තරම් ඈත කාලයකදී. තේරීම ඇතුළේ සංවර්ධනය වගේම සුබසාධනයත් තිබෙනවා. සංවර්ධනය නැතුව සුබසාධනය පමණක් තිබුණානම් 1948 සිට අද දක්වා ලංකාවේ මිනිසුන් විසින් ලබාගෙන තිබෙන ජයග්‍රහණ බොහොමයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම, ලංකාව විසින් පවත්වාගත් සුබසාධන මට්ටම නඩත්තු කිරීම සඳහා අවශ්‍ය වූ බදු ප්‍රමාණය රට ඇතුළෙන් එකතු කරගත්තානම් ඔය සංවර්ධන මට්ටම පවත්වා ගන්න වෙන්නේ නැහැ. ඉලක්ක දෙකම එකවර අත්පත් කර ගත හැකිව තිබුණු එකම ක්‍රමය දිගින් දිගටම ණය ගැනීමයි.

ඔය විදිහට සුබසාධනයට, සංවර්ධනයට මෙන්ම පෙර ණය පියවීමටද ණය ගනිමින් ගෙන ගිය ක්‍රමය කොයි වෙලාවක හෝ අනිවාර්යයෙන් කඩා වැටීමට නියමිතව තිබුණා. 2009න් පසු රාජපක්ෂ ආණ්ඩුව ගෙන ගිය ආර්ථික ප්‍රතිපත්තිය මේ ක්‍රියාවලිය වේගවත් කළා. රනිල් බලයට නොආවානම් 2016-2017 වැනි වසරකදී රට අර්බුදයට යනවා. රනිල් ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව බලයට පත් වූ නිසා ඒ කඩා වැටීම වැළකුණා.

ඒ කියන්නේ රනිල් රට ගොඩ දැම්මද? කිසිසේත්ම නැහැ. රනිල් කරපු එකම දෙය 2015දී පැවති අස්ථාවරත්වය 2019 දක්වා ඒ මට්ටමේම නඩත්තු කරන එක පමණයි. ඒ හැර, ආර්ථිකයේ පැවති අස්ථාවරත්වය දශමයකින්වත් අඩු වුනේ නැහැ. දැන් රනිල්ට කළ හැක්කේත් එවැනි දෙයක්. ඔහුට මෙය නැවත 2019ට ගෙනියන්න බැහැ. ඔහු භාරගන්නා විට තිබුණු තැන යම් කාලයක් තියාගෙන ඉන්න පුළුවන් වෙයි. මේ කාලය මාස වලින් මිස අවුරුදු වලින් ගණන් කළ හැකි කාලයක් නෙමෙයි.

මහ බැංකුව පැත්තෙන් බැලුවත් මේ වෙද්දී පාරේ අවසානයට (ඩෙඩ් එන්ඩ් එකකට) ඇවිත් වගෙයි මටනම් පේන්නේ. අලුත් අධිපතිවරයා තනතුරේ වැඩ භාර ගැනීමෙන් පසුව, ඉතා නිවැරදිව, සැපයුම පාලනය කිරීම වෙනුවට ඉල්ලුම් කළමනාකරණය පිළිබඳව අවධානය යොමු කළා. මේ වෙද්දී ඒ පිළිවෙත වෙනස් වෙලා. දැන් කරන්න හදන බව පෙනෙන්නේ ඩොලරයක මිල තිබෙන මට්ටමේ තියාගෙන, පොලී අනුපාතිකත් තිබෙන මට්ටමේ තියාගෙන සල්ලි අච්චු ගහන එකයි. 

සල්ලි අච්චු ගහන එක දිගටම කරන බවක් අගමැතිවරයා හෝ මහ බැංකුව විසින් කියන්නේ නැහැ. නමුත්, මේ යන පාරේ ගිහින් ගොඩ එන ක්‍රමයක් දැනටනම් පෙනෙන්නත් නැහැ. දැවැන්ත රාජ්‍යමූල්‍ය ප්‍රතිසංස්කරණයකින් වෙනසක් සිදු නොවන්නේනම් කවුරු අධිපති වුනත් මහ බැංකුවට ඔයිට වඩා දෙයක් කරන්න පුළුවන්කමකුත් නැහැ. ජනතා කැමැත්ත නැතිව අවශ්‍ය තරමේ රාජ්‍යමූල්‍ය ප්‍රතිසංස්කරණයක් කිරීමේ හැකියාවකුත් නැහැ. හදිසි මහ මැතිවරණයක් තියන්නම වෙනවා කියා මම කියන්නේ ඒකයි. 

ඇත්තටම දැන් ලොකුම ප්‍රශ්නය ඩොලර් ප්‍රශ්නය නෙමෙයි. රජයේ රුපියල් ප්‍රශ්නය. ඩොලරයක මිල ඉහළ යාම නිසාත් ණය ගෙවීම අත් හිටවීමේ තීරණය ඇතුළු අනෙකුත් විවිධ ක්‍රියාමාර්ග නිසාත් කලින් තිබුණු ඩොලර් ප්‍රශ්නය දැනටමත් සෑහෙන දුරට විසඳිලයි තියෙන්නේ. දැන් තිබෙන ඩොලර් ප්‍රශ්නය රාජ්‍යමූල්‍ය ප්‍රශ්නයේම පිළිබිඹුවක් වන අලුත් ඩොලර් ප්‍රශ්නයක්. වෙනත් අයුරකින් කිවුවොත් රට ඇතුළේ රුපියල පිළිබඳ විශ්වාසය බිඳ වැටීමේ ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය ඉතා ඉක්මණින් විසඳා ගත්තේ නැත්නම් සිම්බාබ්වේ ඒ තරම් දුර වෙන එකක් නැහැ.

රාජ්‍යමූල්‍ය ප්‍රශ්නයට එමු. මේ වසරේ අපේක්ෂිත ආදායම රුපියල් ට්‍රිලියන 1.6යි. අපේක්ෂිත වියදම රුපියල් ට්‍රිලියන 4යි. ශ්‍රී ලන්කන් වගේ ආයතන විකිණිය හැකි වුවත්, එයින් මේ හිඟය පියැවෙන්නේ නැහැ. ඒ වගේම, මෙවැනි වත්කමක් විකුණා ලබන ආදායමක් එකවර ලැබෙන ආදායමක්. අයවැය හිඟය දිගටම තියෙන එකක්. මහන්සි වෙලා විදේශ ණය ටිකක් ගත්තත් ඒකෙන් කළ හැක්කේ පොඩි කල් ගැනීමක් පමණයි. සිම්බාබ්වේ පාරේ නොයන්නනම් එකම විසඳුම වියදම් කපා, ආදායම් වැඩි කරගෙන අයවැය හිඟය තුලනය කර ගැනීම පමණයි.

රජයේ වියදම් කපනවා කියා කියන්නෙත්, රජයේ ආදායම් වැඩි කරගන්නවා කියන්නෙත් රටේ මිනිස්සුන්ව පීඩාවට පත් කරනවා කියන එකයි. දේශපාලනය සම්බන්ධ වෙන්නේ මෙතැනදී. රටේ ඉහළ ආදායම්ලාභීන්ව හා අඩු ආදායම්ලාභීන්ව පීඩාවට පත් කළ යුත්තේ කවර අනුපාතයෙන්ද?

මතක තියාගන්න මෙතෙක් කල් ඔය දෙකෙන් එකක්වත් වුනේ නැහැ. මෙතෙක් කල් කළේ නොඉපදුණු පරම්පරාවට බිල ඉතිරි කරමින් කණ්ඩායම් දෙකම සුවසේ පරිභෝජනය කරන එකයි.

ඉහළ ආදායම්ලාභීන්ගෙන් බදු අය කර ගනිමින් හා අඩු ආදායම්ලාභීන්ට සහන දෙන එක ජනප්‍රිය ඉල්ලීමක් වෙන්න පුළුවන්. නමුත්, මේ වැඩෙන් වෙන්නේ රට දශක ගණනාවකින් පස්සට යාම හා පහසුවෙන් නැවත ගොඩ ආ නොහැකි වීම පමණයි. අනෙක් පැත්තෙන් අඩු ආදායම්ලාභීන්ගේ සහන කපමින් "පාලම තරණය කරන්න" පුළුවන්කමකුත් නැහැ. ඒ එක්ක මතු වන සමාජ අර්බුදය විසින් හැම දෙයක්ම විනාශ කර දමයි. ඒ නිසා, මේ බරට කර ගහන එක සම්බන්ධව යම් සම්මුතියක් අවශ්‍ය වෙනවා. ඇති හැකි අයට මෙතෙක් කවදාවත් නොදැරූ තරම් බරක් දරන්නම වෙනවා. ඉතිරි අයටත් යම් බරක් දරන්න වෙනවා. සම්මුතිය කුමක් වුවත් අවසාන වශයෙන් ලංකාවේ මධ්‍යම පාන්තිකයන්ගේ ජීවන තත්ත්වය සැලකිය යුතු ලෙස ඛාදනය වීම වලක්වන්න බැහැ.

මෙතැන තියෙන්නේ සමාජ වියමන ආරක්ෂා කරගැනීම හා ආර්ථිකය කඩා වැටීමේ හානි අවම කරගැනීම පිළිබඳ තේරීමක්. ප්‍රශස්ත සමතුලනය ගැන සියල්ලන්ටම එකඟ වෙන්න බැරිනම් කළ යුත්තේ මහ මැතිවරණයක් පවත්වා බහුතර කැමැත්ත පරිදි කටයුතු කිරීමයි.  

Monday, May 16, 2022

රනිල්ගේ තත්ත්ව වාර්තාව


රනිල් වික්‍රමසිංහ තත්ත්ව වාර්තාවක් එක්ක ජාතිය අමතනවා. අර හමුදාවේ කියන්නේ සිට්රෙප් එකක් කියලා. මෙහිදී රනිල් ආර්ථිකයේ පවතින තත්ත්වය ගැන ඇත්ත කතා කරනවා. හැබැයි රනිල් නොකිවුවත් දැන් මේ තත්ත්වය කාටවත් රහසක් නෙමෙයි. ඒ වගේම, රට මේ තත්ත්වයට ඇද දැමීමේ වරද රනිල් මත නොපැටවෙන නිසා රනිල්ට මේ ඇත්ත කතා කරන්න අපහසුවක් නැහැ.

ඩොලර් ප්‍රශ්නය ගැන දැන් කවුරුත් දන්න නිසා අපි මෑතකාලීන ප්‍රවණතා ගැන පමණක් බලමු.

අපනයන ආදායම (ඩොලර් මිලියන)

2022 ජනවාරි - 1,001

2022 පෙබරවාරි - 1,092

2022 මාර්තු - 1,057

ඉතා පැහැදිලි ලෙසම ඩොලරයේ මිල ඉහළ ගියා කියලා අපනයන ආදායම් වැඩි වන බවක් පෙනෙන්න නැහැ. එවැන්නක් කොහොමටත් හදිසියෙන් වෙන්නේ නැහැ. 

ආනයන වියදම (ඩොලර් මිලියන)

2022 ජනවාරි - 1,959

2022 පෙබරවාරි - 1,873

2022 මාර්තු - 1,819

ආනයන වියදම් වල යම් අඩු වීමක් පෙනෙන්න තිබෙනවා. මේ අඩුවීම වෙන්නේ වාහන වැනි ඇතැම් ආනයන තහනම්ව ඇති තත්ත්වයක් යටතේ. දැන් තිබෙන්නේ කෙසේවත්ම වාහන වැනි දේ ආනයනය කළ හැකි තත්ත්වයක් නොවන නිසා ඒ තත්ත්වය එලෙසම තවත් කාලයක් තියෙයි කියා හිතමු. ඩොලරයේ මිල ඉහළ යද්දී ආනයන ඉල්ලුමේ අඩුවීමක් අපේක්ෂා කළ හැකියි. හැබැයි මෙය සිදු වෙන්නේ ආනයනික භාණ්ඩ වල දේශීය මිල අවශ්‍ය තරමට ඉහළ යන්න ඉඩ ඇරියොත් පමණයි. ඒ කියන්නේ ගෑස්, ඉන්ධන, විදුලි බිල් වැඩි කළොත් පමණයි. තව දුරටත් දිගින් දිගටම සහන දුන්නොත් ඔය වැඩේ වෙන්නේ නැහැ.

වෙළඳ ශේෂය (ඩොලර් මිලියන)

2022 ජනවාරි - (859)

2022 පෙබරවාරි - (781)

2022 මාර්තු - (762)

අපනයන වියදම් වැඩි නොවෙද්දී වෙළඳ හිඟය අඩු විය හැක්කේ ආනයන වියදම් අඩු වීමෙන් පමණයි. එවැන්නක් සිදු වන බව පෙනුනත් ඒ අවශ්‍ය තරමට වඩා අඩු මට්ටමකින්. වෙළඳ ශේෂය තව දුරටත් අඩු කර ගන්නම් ආනයනික භාණ්ඩ වල මිල තවත් ඉහළ යන්න ඉඩ දෙන්නම වෙනවා. 

සංචාරක ඉපැයීම් (ඩොලර් මිලියන)

2022 ජනවාරි - 148

2022 පෙබරවාරි - 174

2022 මාර්තු - 192

සංචාරක ඉපයීම් මීට වඩා ඉහළ නංවා ගැනීමේ පැහැදිලි විභවයක් තිබෙනවා. එහෙත්, ඒ සඳහා රටේ ආර්ථික, දේශපාලනික හා සමාජයීය ස්ථාවරත්වය අවශ්‍ය වෙනවා. මේ වැඩේ සිදු විය හැක්කේ රජය, මහ බැංකුව, දේශපාලන පක්ෂ හා සාමාන්‍ය මහජනතාව අතර ඇතිවන යම් ආකාරයක සංහිඳියාවකින් පසුව පමණයි. මේ වන විටනම් ඉතිරිව තිබෙන්නේ ප්‍රශ්නාර්ථ ලකුණක්. 

ශ්‍රමික ප්‍රේෂණ (ඩොලර් මිලියන)

2022 ජනවාරි - 259

2022 පෙබරවාරි - 205

2022 මාර්තු - 318

ඩොලරයේ මිල ඉහළ යාමට ඉඩ සැලසීමෙන් පසුව ශ්‍රමික ප්‍රේෂණ වල වැඩිවීමක් පෙනෙන්න තිබෙනවා. මහ බැංකුව විසින් ගන්නා ක්‍රියාමාර්ග වල උදවුවෙන් මෙම ලැබීම් තව දුරටත් ඉහළ යා හැකි වුවත් මෙහිදීද රටේ දේශපාලන තත්ත්වයේ බලපෑමක් තිබෙනවා. දේශපාලනික ඉලක්ක ඇතිව ඇතැම් විදේශගත ශ්‍රී ලාංකිකයින් විසින් රටට මුදල් නොඑවා සිටීමේ ප්‍රවණතාවක්ද දැකිය හැකියි. මේ තත්ත්වය කෙලෙස වෙනස් වේද යන්න පිළිබඳවද තිබෙන්නේ අවිනිශ්චිතතාවයක්.

ඉහත ගණන් වල එකතුව (ඩොලර් මිලියන)

2022 ජනවාරි - (452)

2022 පෙබරවාරි - (402)

2022 මාර්තු - (252)

මෙතෙක් විස්තර කළ සියලු ආකාර වලින් රටට එන හා රටින් යන ඩොලර් ප්‍රමාණ අතර පරතරය අඩුවෙමින් ඇතත් තවමත් එය පියැවී නැහැ. ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක ඉපැයීම් තරමක් ඉහළ ගියොත් මේ ලැබීම් හා යාම් සමතුලිත වන බව ඉතා පැහැදිලියි. ඒ සඳහා, ආර්ථික, දේශපාලනික හා සමාජයීය ස්ථාවරත්වය අවශ්‍ය වෙනවා. එසේ නොවුවහොත්, මේ ලැබීම් හා යාම් සමතුලිත විය හැක්කේ ඩොලරයක මිල තව දුරටත් ඉහළ යාමෙන් පමණයි. ඩොලරයක මිල රුපියල් 450-500ක් පමණ වුවහොත් සහ ඊට අනුරූපව ඉන්ධන, විදුලිබිල් මිල ඉහළ ගියොත් සංචාරක ඉපැයීම් හා ශ්‍රමික ප්‍රේෂණ වැඩි නොවීම ඩොලර් ප්‍රශ්නය විසඳෙයි. 

බිල ගෙවාගත නොහැකි නිසා බොහෝ දෙනෙක් පැය හයක් පමණ ලයිට් නොදමා හිටියොත් වෙන්නෙත් පැය හයක් ලයිට් කැපූ විට ලැබෙන ප්‍රතිඵලයමයි. බොහෝ දෙනෙකුට ගෑස් මිල දරාගත නොහැකි වුවහොත් ගෑස් පෝලිම් අඩු වෙනවා වගේම ගෑස් ආනයනය සඳහා යන ඩොලර් ටිකත් ඉතිරි වෙනවා. වාහන වලට පැට්‍රෝල් ගහන්න සල්ලි නැතිව වාහන පාරට දාන එක නැවතුනොත් ඉන්ධන ආනයන වියදම් අඩු වෙනවා. පැට්‍රෝල් පෝලිමුත් නැති වෙනවා. ඩොලරයක මිල රුපියල් 450-500ක් පමණ වුවහොත් වෙළඳපොළ විසින් ප්‍රශ්නය විසඳන්නේ ඔය විදිහටයි. 

ආර්ථික, දේශපාලනික හා සමාජයීය ස්ථාවරත්වය ඇති වී සංචාරකයෝ රටට ආවොත්, පෙර පරිදිම ශ්‍රමික ප්‍රේෂණ ලැබුනොත් ඩොලරයක මිල ඔය තරම් ඉහළ යන්න ඉඩ අරින්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔය තරමටම ගෑස්, ඉන්ධන, විදුලි බලය පරිභෝජනය සීමා කරන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ. ඩොලරයක මිල දැන් තිබෙන මට්ටම ආසන්නයේම වුවත් ස්ථාවර වෙන්න පුළුවන්. 

සමස්ත ගෙවුම් ශේෂය (ඩොලර් මිලියන)

2022 ජනවාරි හා පෙබරවාරි - (1,697)

2022 මාර්තු - (572)

සමස්ත ගෙවුම් ශේෂ හිඟය ඉහත ගණන් මෙන් දෙගුණයක් පමණ බවද අමතක නොකළ යුතුයි. ඒ, ණය වාරික හා පොලී ලෙස ගෙවිය යුතු ඩොලර් ප්‍රමාණයක්ද තිබෙන නිසා. රජයේ විදේශ ණය හා පොලිය ගෙවීම අත් හිටවීම නිසා මේ ගණන් වල අඩුවක් විය හැකි වුවත්, අවම මට්ටමකින් හෝ රට දුවා ගැනීමට අවසාන වශයෙන් මාසයකට තවත් සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක් සොයා ගත යුතුව තිබෙනවා. රනිල් වික්‍රමසිංහ විසින් උත්සාහ කරමින් සිටින බව පෙනෙන්නේ කොහෙන් හෝ ඒ අවශ්‍ය මුදල හොයා ගන්නයි. 

සල්ලි හොයා ගන්න විදිහ රනිල් නිශ්චිත ලෙස කියා නැති නිසා ඒ ගැන මම දන්නේ නැහැ. කොහොම හරි හොයා ගනියි කියලා අපි සුබවාදී ලෙස හිතමු. බැරි වුනොත් තත්ත්වය ගැන කතා කරන්නවත් දෙයක් නැහැනේ. ඒ සඳහා අවශ්‍ය සහයෝගයත් රටෙන් ලැබුණා කියලා හිතමු. 

මෙවැනි සුබවාදී තත්ත්වයක් යටතේ දැන් තිබෙන අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ, ඉන්ධන හිඟය නැති වෙයි. පෝලිම් නැති වෙයි. හැබැයි බඩු ගණන් යයි. උද්ධමනය තවත් වැඩි වෙයි. 

උද්ධමනය පාලනය කරන එක මහ බැංකුවේ රස්සාවනේ. මේ වැඩේට මහ බැංකුව සතුව තිබෙන ආයුධය පොලී අනුපාතිකයි. මේ වෙලාවේ පොලී අනුපාතික ඉහළ දැමීමෙන් පමණක් වැඩේ ගොඩ දැමිය හැකිද? ඔන්න ඔතැනයි ලොකුම කොස්ස තියෙන්නේ.

රාජ්‍ය මූල්‍යනය සම්බන්ධව රනිල් පැහැදිලි කරන කරුණු එක්ක පහසුවෙන්ම චිත්‍රය සම්පූර්ණ කරගත හැකියි.

"2022 ආරම්භයේ දී පසුගිය රජයේ අයවැයෙන් රුපියල් ට්‍රිලියන 2.3ක ආදායමක් ඇති බවට පෙන්නුම් කළත් මේ වසර සඳහා සැබෑ ආදායම් අනාවැකිය වන්නේ රුපියල් ට්‍රිලියන 1.6 ක්."

ඔය කතාව මම කලින්ම කියලා තියෙනවනේ.

"2022 වසර සඳහා රජයේ වියදම රුපියල් ට්‍රිලියන 3.3 ක්. කෙසේ වෙතත් පසුගිය රජයේ පොලී අනුපාත වැඩිවීම් සහ අතිරේක වියදම් හේතුවෙන් 2022 වසර සඳහා රජයේ සමස්ථ වියදම රුපියල් ට්‍රිලියන 04 කි. වර්ෂය සඳහා අයවැය හිඟය රුපියල් ට්‍රිලියන 2.4 ක් වන අතර එය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 13 කි."

ඔන්න අවුල. දැන් ඔය රුපියල් ට්‍රිලියන 2.4 හොයා ගන්නේ කොහොමද? 

ඩොලර් ප්‍රශ්නය විසඳපු ගමන්ම ඔය රුපියල් ප්‍රශ්නය මතු වෙනවා. දැනට පොලී අනුපාතික 24% මට්ටමට ඉහළ යන්න ඉඩ ඇර තිබුණත් ඒ පොලිය ගෙවා හෝ වෙන්දේසියට දමන භාණ්ඩාගාර බිල්පත් සියල්ල විකුණා ගන්න බැහැ. අඩුව පුරවන්න වෙන්නේ සල්ලි අච්චු ගහලා. විකිණෙන බිල්පත් වැඩිපුරම මිල දී ගන්නෙත් බැංකු. බැංකු විසින් ඒ සඳහා අවශ්‍ය අරමුදල් ලබා ගන්නෙත් මහ බැංකුවෙන්. ඒ කියන්නේ එතැනත් වෙන්නේ වක්‍ර ලෙස සල්ලි අච්චු ගැසීමක්.

විසඳුමක් ලෙස මහ බැංකුව විසින් පොලී අනුපාතික තවත් වැඩි කළා කියා හිතමු. එවිට තවත් යම් බිල්පත් ප්‍රමාණයක් විකිණෙයි. නමුත්, පොලී වියදම් ඉහළ යාම නිසා අයවැය හිඟය ඉහළ ගොස් රජයට විකුණන්න අවශ්‍ය වන බිල්පත් ප්‍රමාණය ඊට වඩා වැඩියෙන් ඉහළ ගියොත් මහ බැංකුව පොලී අනුපාතික වැඩි කළ එකෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ. රජයේ විශාල අයවැය හිඟය එක්ක මහ බැංකුව හමුවේ තිබෙන අභියෝගය ඕකයි. ඒ කියන්නේ තවත් යම් කිසි කාලයක් යන තුරු අනිවාර්යයෙන්ම සල්ලි අච්චු ගහන්න වෙනවා කියන එකයි.

ප්‍රශ්නය ස්ථිරසාර ලෙස විසඳන්නනම් කරන්න වෙන්නේ මිනිස්සු කැමති වන දේවල් නෙමෙයි. බඩු ගණන් යන්න ඉඩ අරින්න වෙනවා. බදු තව වැඩි කරන්න වෙනවා. රජයෙන් දෙන සහන කපන්න වෙනවා. රාජ්‍ය සේවකයින් ඉවත් කරන්න වෙනවා. ඔය කිසිවක් කළ හැකි දේශපාලන වාතාවරණයක් රටේ නැහැ. මිනිස්සු ඉල්ලා සිටින්නේ රජය තවත් සහන දිය යුතු බවයි. රනිල් කරන්න යන්නෙත් ඒකම තමයි. 

"මේ අතර 2022 වසර සඳහා ඉදිරිපත් කළ සංවර්ධන අයවැය වෙනුවට අලුත් අයවැයක් ඉදිරිපත් කරන්න සැලසුම් කරල තිබෙනවා. එය සහන අයවැයක් ලෙස ඉදිරිපත් කරන්නයි මගේ සැලසුම."

Sunday, May 15, 2022

රනිල්ගේ ගෝටාගෝගම ගමන


සජිත් ප්‍රධාන සජබ විසින් තමන් කිසිසේත්ම ආණ්ඩුව සමඟ එකතු නොවෙන බව දැඩි ලෙස කියනවා. ඊට හේතුව ලෙස ඔවුන් කියන්නේ අරගලකරුවන්ව පාවා දිය නොහැකි බවයි. එසේ කීමෙන් සජිත් ඇතුළු සජබ විසින් පෙන්වන්න හදන්නේ ඔවුන් අරගලකරුවන් සමඟ ඒකාත්මිකව සිටින බවයි. 

ටික දවසකට කලින් සජිත් ගොටාගෝගම ගිය බවත්, එහිදී සජිත්ට ලැබුණු ප්‍රතිචාරත් කවුරුත් දන්නවා. ඊට සමගාමීව ගොටාගෝගම ගිය අනුර කුමාරට එවැනි ප්‍රශ්නයකට මුහුණ දෙන්න වුනේ නැහැ. මෙය විවිධ ආකාරයන්ගෙන් අර්ථකථනය වුනා. සජබ පැත්තෙන් කියවුනේ අරගලකරුවන් අතර සිටි ජවිපෙ සාමාජිකයින් විසින් සජිත්ට එරෙහි ක්‍රියාකාරකම මෙහෙයවූ බවයි. ඇත්තටම සිදු වුනේ එවැන්නක් වෙන්න පුළුවන්.

වඩා වැදගත් කරුණ අරගලකරුවන් අතර සිටි ජවිපෙ සාමාජිකයින් විසින් සජිත්ට එරෙහි ක්‍රියාකාරකම මෙහෙයවූවාද නැද්ද කියන එක නෙමෙයි. ඔවුන් එසේ කළේනම්, ඔවුන්ට අරගල භූමිය තුළ එසේ කළ හැකි වුනා කියන එකයි. මීට පෙර පාර්ලිමේන්තුව අසලදීත් මීට සමාන දෙයක් සිදු වුනා. මේ සිද්ධි හා අදාළව ජවිපෙට කරන විවේචන ඇත්ත සේ සැලකුවත්, එයින් පැහැදිලිව ගම්‍ය වන්නේ සජබට අරගලය තුළ කළ නොහැකි වූ දෙයක් ජවිපෙ විසින් අරගලය තුළ කර තිබෙන බවයි.

මේ සිද්ධිය හා අදාළව අනුර කුමාර විසින් පැහැදිලි කිරීමක් කළා. එහිදී ඔහු කිවුවේ සජිත් විසින් අරගලකරුවන් විසින් ප්‍රතික්ෂේප කළ සංස්කෘතිය නියෝජනය කරමින් එහි පැමිණීම හා තමන් එසේ නොකිරීම වෙනස් ප්‍රතිචාර වලට හේතු වූ බවයි. අදාළ සිද්ධිය පැත්තකින් තිබ්බත් අනුර කුමාර කියන මේ කතාව ඇත්තක්. සජිත් විසින් මෙන්ම බොහෝ දුරට සජබ විසින් නියෝජනය කරන්නේද අරගල බිමේ හා එයින් පිටත සිටින අරගලකරුවන් විසින් ප්‍රතික්ෂේප කරන සංස්කෘතියයි.

ගෝටාගෝගම බිහිවද්දී ඒ තුළ, රටේ සුළුතරයක් වන, ලිබරල් අදහස් ඇති නාගරික නිරාගමිකයන් බලවත්ව සිටියා. ඔවුන්ගේ සටන් පාඨ වලින් කොටසක්, විශේෂයෙන්ම දූෂණ විරෝධය හා සමානාත්මතාව, ජවිපෙ/පෙසප සටන් පාඨ සමඟ අතිපිහිත වුවත්, ආර්ථික නිදහස හා සම්බන්ධ ජවිපෙ/පෙසප සම්ප්‍රදායික අදහස් අරගලය තුළ කැපී පෙනෙන ලෙස නියෝජනය වූයේ නැහැ. "225ම එපා" කියන ඉල්ලීම රාජපක්ෂලා විසින් ජනගත කළ බොරු ඉල්ලීමක් නෙමෙයි. ප්‍රධාන පක්ෂ වලට තරම් නොවුනත් ජවිපෙ කෙරෙහිද යම් විරෝධයක් හෝ කළකිරීමක් අරගලය තුළ තිබුණා.

කෙසේ වුවත්, මෙවැනි මහජන ව්‍යාපාරයක් හා බද්ධ විය හැකි ආකාරය ගැන ප්‍රධාන පක්ෂ වලට නොතිබුණු අත්දැකීම් ජවිපෙ/පෙසප පක්ෂ වලට තිබුණා. ඔවුන් තමන්ගේ එම දැනුම හා අත්දැකීම් සාර්ථක ලෙස ප්‍රයෝජනයට ගනිමින් අරගලය හා බද්ධ වී තමන්ගේ අදහස් ඒ තුළට පොම්ප කළා. අනුර කුමාර ගෝටාගෝගම යන්නේ අවශ්‍ය පමණ අරගලයේ අරමුණු හා ජවිපෙ අරමුණු සුසර වී ඇති බව තහවුරු කර ගැනීමෙන් පසුවයි. ඊට පෙර, ජවිපෙ/ජාජබ පාගමන ගෝටාගෝගම යාමේ උත්සාහය හරහා දමා බැලූ මුට්ටියට පොලු පාර වැදීමෙන් ජවිපෙ විසින් පසු එම උත්සාහය අතහැර දමනු ලැබුවා.

මා පෙර ලිපියක සඳහන් කළ පරිදි අරගලයේ දිශානතිය ගැන සෑහීමකට පත් නොවන කෙනෙකු විසින් කළ යුතු වූයේ අරගලය හා බද්ධ වීමයි. අරගලය තුළ ඒ සඳහා දොරටු විවරව තිබුණා. ජවිපෙ/පෙසප මුලින්ම එහි ප්‍රයෝජනය ගත්තා. එම පක්ෂ වලට තිබෙන අත්දැකීම් යම් පමණකින් තිබෙන චම්පිකගේ කණ්ඩායමද ඔවුන්ට හැකි පරිදි අරගලය තුළට රිංගා ගත්තා. අරගලයට බෞද්ධ සංස්කෘතිකාංග එකතු වුනේ ඉන් පසුවයි. එහෙත්, චම්පික විසින් සජිත් ගත් අවදානම ගන්න ගියේ නැහැ.

සජිත් ප්‍රධාන සජබ විසින් මුල සිටම කළේත්, දැන් කරන්නේත්, අරගලයෙන් ආත්මික ලෙස දුරස්ථව සිටිමින් සම්ප්‍රදායිකව ලංකාවේ දේශපාලනඥයින් විසින් කළ ලෙස අරගලයේ නියෝජනය තමන් අතට ගන්න උත්සාහ කරන එකයි. එය හරියන වැඩක් නෙමෙයි. අරගලය හා ආත්මික ලෙස සම්බන්ධ නොවී භෞතික ලෙස ඒ හා සම්බන්ධ විය නොහැකියි. ගෝටාගෝගමින් සජිත්ව හෝ සජබ නියෝජනය නොවනවාක් මෙන්ම ගෝටාගෝගම ගොඩ නැගෙන්නේ සජිත් විසින්ද නියෝජනය කරන දේශපාලන සංස්කෘතියට එරෙහිවයි.

මේ අතින් බැලූ විට රාජපක්ෂලා ඉන්නේ සජිත්ට වඩා බොහෝ ඉදිරියෙන්. අරගලයේ ප්‍රධානම ඉල්ලීම රාජපක්ෂලා වී තිබීම තුළ පවා ඔවුන් අරගලය හා ඒකාත්මික වීමේ උත්සාහය අත ඇරියේ නැහැ. අරගලකරුවන්ගේ ප්‍රොෆයිල් වලට ජාතික කොඩි එකතු වෙද්දී  රාජපක්ෂලාගේ ප්‍රොෆයිල් වලට ජාතික කොඩි එකතු වීම උදාහරණයක්.

රාජපක්ෂලාට තිබෙන්නේ ජලය වැනි, අඩංගු භාජනයේ හැඩය ගන්නා, ගඳක් සුවඳක් නැති අවර්ණ දේශපාලනයක්. ඔවුන් අවශ්‍ය පරිදි එයට ගඳ සුවඳ හා වර්ණ එකතු කර ගන්නවා. රාජපක්ෂලාගේ ජාතිකවාද, ආර්ථික ප්‍රතිපත්ති ආදී හැම දෙයක්ම මේ විදිහට පිටින් එකතු කරගත් වර්ණ, ගන්ධ හා හැඩතල පමණයි. අවශ්‍ය මොහොතේදී තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ඔවුන් මේ ඕනෑම දෙයක් වෙනස් කර ගන්නවා. මම හිතන්නේ මේ ගැනනම් විපක්ෂයේ සියළු පක්ෂ වලට මෙන්ම බොහෝ අරගලකරුවන්ටද හොඳ අවබෝධයක් තිබෙනවා. ඔවුන්ගේ අනෙක් හැම ඉල්ලීමකටම උඩින් රාජපක්ෂලා ගෙදර යා යුතු බවට වන ඉල්ලීම තියන්නේ ඒ නිසා.

තමන්ට බලයේ සිටිය හැකි තාක්, පීඩනය හමුවේ, රාජපක්ෂලා අනෙක් ඕනෑම ඉල්ලීමක් ඉටු කරනවා. මේ තත්ත්වය හමුවේ සජබ, ජාජබ වැනි විපක්ෂ දේශපාලන පක්ෂ වල උපක්‍රමය වී තිබෙන්නේ රාජපක්ෂලා සම්පූර්ණයෙන්ම ඉවත් වන තුරු සටන අත් නොහැරීමයි.

කොහොම වුනත්, රාජපක්ෂලා කියන්නේ අහම්බයක් නෙමෙයි. ඔවුන් තේරී පත්ව සිටින්නේ නීත්‍යනුකූල ලෙස මහජන කැමැත්තෙන්. නීතිය අනුව ඔවුන්ගේ ජනවරම නැති වී නැහැ. ඉල්ලා අස් වන සේ බල කිරීම හැර ගෝඨාභයව නීත්‍යානුකූල ලෙස ඉවත් කළ හැකි ක්‍රමයක් නැහැ. මේ කාරණයේදී පවතින නීති රාමුවට පිටින් යාමට ජවිපෙ/පෙසපෙ වැනි පක්ෂ පැකිලෙන්නේ නැතත් එය කිසිසේත්ම බහුතර කැමැත්ත නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය බිඳ වැටෙනවාට රටේ බහුතරය කැමති නැහැ. එවැනි අපේක්ෂාවන් ඇත්නම් ඒ ඉතා සුළු පිරිසකට පමණයි. අරගලය තුළ වුවද මෙවැනි අදහස් ඇති අයට සාපේක්ෂව වැඩි නියෝජනයක් මිස බහුතරය නියෝජනයක් ඇති බවක් පෙනෙන්නට නැහැ.

මේ අන්ත දෙක අතර රනිල්ගේ ප්‍රවේශය මධ්‍යස්ථ හා ප්‍රායෝගික එකක්. මෙහිදී රනිල් කරන්නේ අරගලය තුළ ජවිපෙ/පෙසපෙ වැනි පක්ෂ විසින් කළ දෙයමයි. 

අරගලය ආරම්භ වුනේ අඩු වැඩි වශයෙන් ජවිපෙටද එරෙහිවයි. එහෙත්, අරගලය හා සුසර වීම මගින් ජවිපෙ එහි බල කේන්ද්‍රය සැලකිය යුතු තරමින් තමන් දෙසට ආකර්ෂණය කර ගත්තා. මා ඒ දවස් වලම කියූ පරිදි, අරගලයේ දිශානතියට බලපෑම් කළ යුතු වූ අයෙකු විසින් කළ යුතු වූයේ අරගලයට සහයෝගය දෙමින් ඒ හා එක් වීමයි. දැන් ආණ්ඩුව සම්බන්ධවද මෙයම කළ හැකියි. රනිල් කරන්නේ එයයි.

රනිල් කරන දෙයම විපක්ෂයේ අනෙකුත් පක්ෂ විසින්ද කළේනම් ආණ්ඩුව තුළ රාජපක්ෂලා දුර්වල කර අවසාන වශයෙන් රාජපක්ෂලා ඉවත් කළ හැකිව තිබුණා. එහෙත්, රනිල්ට තනිව ඒ තරම් දුරක් යා නොහැකියි. එවැනි ඉලක්කයක්ද නොතිබිය හැකියි.

ප්‍රමුඛ සටන් පාඨය රාජපක්ෂලා ගෙදර යැවීම නොවුනානම්, මේ වන විට රාජපක්ෂලාත් ගෝටාගෝගම ගිහින්. එහෙත්, ප්‍රමුඛ සටන් පාඨය රාජපක්ෂලා ගෙදර යැවීම වීම තුළ ඔවුන්ට ඒ සඳහා වූ අවකාශය මුළුමනින්ම වාගේ ඇහිරී තිබෙනවා. මෙයට පිළියමක් ලෙස ආණ්ඩුව තුළ සිටි කොටස් එළියට යාමට ඉඩ සැලසුවත් එයින්ද අවශ්‍ය වැඩේ සිදු වුනේ නැහැ. 

රාජපක්ෂලා කොහොම වුනත් රනිල් මේ වෙද්දී ගෝටාගෝගම පදිංචි වෙලා. රනිල් ඒ වැඩේ කර තිබෙන්නේ තනිකරම සජිත්ගේ ක්‍රමයට ප්‍රතිවිරුද්ධ ලෙසයි. සජිත් අරගලයෙන් අධ්‍යාත්මික ලෙස දුරස්ථව සිටිමින් භෞතිකව එහි යාමට උත්සාහ කර ඇන ගනිද්දී, රනිල් අරගල භූමිය පැත්ත පළාතක නොගොත් එහි අදෘශ්‍යමාන කූඩාරමක් අටවා ගන්නවා. අනුර කුමාරලා මුලින් කරපු දෙයමයි. 

තමන් අරගලය පාවා නොදෙන බව සජබ කිවුවත්, සෛද්ධාන්තික ලෙසම මෙය කළ නොහැකියි. සජබ විසින් නියෝජනය කරන්නේද අරගලයට සක්‍රිය ලෙස සහභාගී වී සිටින්නන් විසින් ප්‍රතික්ෂේප කරන දේශපාලන සංස්කෘතියයි. අරගලය වෙනුවෙන් පෙනී සිටීම කියන්නේ රාජපක්ෂලාගේ දේශපාලනය මෙන්ම සජබ දේශපාලනයද අවසන් වීමයි.

කොහොම වුනත්, සජබටද අරගලය තුළ නියෝජනයක් තිබෙනවා. එහෙත් එය තිබෙන්නේ සක්‍රිය අරගල භූමිය තුළ නෙමෙයි. අරගලයට සහයෝගය දෙමින් අරගලයෙන් පිට සිටින වැඩිහිටි වයස් කාණ්ඩය තුළයි. ඒ අයට අරගලය තුළ සක්‍රියව සිටින "තමන්ගේ දරුවන්ට" සහයෝගය දෙන්නේ ආර්ථික හේතු මතයි. ඔවුන්ට දේශපාලන සංස්කෘතිය පිළිබඳ ප්‍රශ්න ඇතත් එය ප්‍රමුඛ ප්‍රශ්නය නෙමෙයි. ඒ වගේම, අරගලයට සහයෝගය දුන්නත්, මේ කණ්ඩායම ප්‍රශ්නයේම කොටසක්. 

තමන්ට නියෝජනය කළ හැකි, අරගලයට පිටින් සිටින අරගලකරුවන් ඉලක්ක කරනවානම් සජබ විසින් කළ යුතුව තිබුණේ ආණ්ඩුවට එකතු වී ආණ්ඩුව තුළ රාජපක්ෂ බලය දුර්වල කිරීමයි. එහෙත්, ඒ වෙනුවට සජබ විසින් සක්‍රිය අරගලකරුවන් නියෝජනය කරන්නට යාමෙන් කරගන්නේ යම් ආකාරයක දේශපාලනික සිය දිවි නසා ගැනීමක්. ඔවුන්ව නියෝජනය කරන්නට අවශ්‍යනම් සජබට තමන්ගේ දේශපාලන සංස්කෘතිය විප්ලවීය ලෙස වෙනස් කර ගන්න වෙනවා. කෙටියෙන් කිවුවොත් ජවිපෙ වගේ වෙන්න වෙනවා. එය ප්‍රායෝගිකව සජබට කළ නොහැකි දෙයක්. එවැනි තත්ත්වයක් යටතේ යම් ආකාරයකින් රාජපක්ෂලා ගෙදර යැවුවොත් එයින් පසුව අනිවාර්යයෙන්ම ඔය විරෝධයම සජබ පැත්තටත් හැරෙනවා.

මේ වන විට සජබට නියෝජනය කළ හැකිව තිබුණු, අරගලය තුළ සක්‍රියව නොසිටින, පැත්තකට වී අරගලයට සහයෝගය දෙන විශාල පිරිසකගේ වීරයා වී ඉන්නේ රනිල් වික්‍රමසිංහයි. ආර්ථික ස්ථායීකරණය සඳහා රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරියේදී ගෙන ඒමට නියමිත ප්‍රතිසංස්කරණ වලට විරුද්ධ වීමට සජබට කිසිසේත්ම හැකි වන්නේ නැහැ. ඒ නිසා, එම ප්‍රතිසංස්කරණ වලට එරෙහිව නැගෙන ජනමතයේ වාසිය කිසිසේත්ම සජබට ගත හැකි වන්නේ නැහැ. අනෙක් පැත්තෙන් එම ප්‍රතිසංස්කරණ  නොකරම බැරි බව පිළිගන්නා පිරිසට නායකත්වය දීමේ හැකියාවද සජබ විසින් ප්‍රයෝජනයට අරගෙන නැහැ. 

ජවිපෙට අනුව රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලාගේ "කුලී හේවායෙක්". නලින් ද සිල්වා වැනි අය නොකියා කියන්නෙත් ඒකයි. යම් හෙයකින් රනිල් වික්‍රමසිංහ සාර්ථක වුවහොත් රාජපක්ෂලා කියනු ඇත්තේ අවශ්‍ය පරිදි "කුලී හේවායින්" යොදාගෙන අවශ්‍ය දේ කර ගැනීමට තමන්ට හැකි බවයි. රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලාගේ කුලී හේවායෙක්නම් දැන් ඒ කුලී හේවායා ගෝටාගෝගම කූඩාරමකුත් අටෝගෙන.

Saturday, May 14, 2022

සජිත් හමුවේ ඇති අවසන් පරීක්ෂණය


නව අගමැති රනිල් වික්‍රමසිංහ විසින් විපක්ෂ නායක හා සජබ නායක සජිත් ප්‍රේමදාස වෙත ලිපියක් යවමින් සම්ප්‍රදායික පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඔබ්බට ගිය නිර්පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආරාධනා කර තිබෙනවා. මේ ආරාධනාව හමුවේ සජිත් විසින් මොන විදිහට ප්‍රතිචාර දක්වයිද? සජිත් හමුවේ තිබෙන විකල්ප මොනවාද?

දැනට ආණ්ඩුව කියන්නේ කලින් සිටි ආණ්ඩුව සහ රනිල් වික්‍රමසිංහගේ එකතුවක්. මහජන විරෝධය එල්ල වුනේ සමස්තයක් ලෙස කලින් ආණ්ඩුවට, එහි ප්‍රධාන පුද්ගලයින්ට, එහි මතවාදයට හා ක්‍රියාකාරකම් වලටයි. එයින් ඔබ්බට සමස්ත දේශපාලන ක්‍රමයටද ඊට වඩා තරමක් අඩු විරෝධයක් එල්ල වුනා. සමස්ත ආර්ථික-දේශපාලන ක්‍රමයටද ඊටත් වඩා අඩු, එහෙත් ප්‍රබල විරෝධයක් එල්ල වී තිබෙනවා. 

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව හා එකතු වීමෙන් සමස්ත ආර්ථික-දේශපාලන ක්‍රමයටම විරෝධය දක්වන්නන් එම විරෝධයෙන් බැහැර වන්නේ නැහැ. සජිත්ගේ තීරණය මත මෙය වෙනස් වන්නේද නැහැ. එහෙත්, සජිත්ගේ තීරණය මත සමස්ත දේශපාලන ක්‍රමයට විරෝධය දක්වන්නන් කෙරෙහි යම් පමණකද, ආණ්ඩුවේ ප්‍රධානීන්ට හා එහි ක්‍රියාකාරකම් වලට එරෙහි අයගේ විරෝධයට යම් පමණකද, බලපෑමක් සිදු වනවා. ආර්ථිකය සම්බන්ධව ආණ්ඩුවේ මතවාදයට පමණක් එරෙහි වූ බොහෝ දෙනෙකුගේ එම විරෝධය යම් පමණකින් හෝ සමනය කරන්නට රනිලාගමනය දැනටමත් සමත්ව තිබෙනවා. 

රනිල් අගමැති ධුරය දරන ආණ්ඩුවකට සම්බන්ධ වීම වඩාත්ම පහසු සජබටයි. පොදුජන පෙරමුණට එය ඊට වඩා අපහසුයි. යම් හෙයකින් සජිත් ඇතුළු සජබ මේ ආරාධනාව ප්‍රතික්ෂේප කළහොත් රනිල් හමුවේ තිබෙන විකල්ප මොනවාද? එක්කෝ කලින් ආණ්ඩුවේ සිටි අය සමඟ ආණ්ඩුවක් පිහිටුවා ගත යුතුයි. එසේ නැත්නම්, යම් නිර්පාක්ෂික පිරිසක් ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීමේ විකල්පයද රනිල් හමුවේ තිබෙනවා. 

මෙයින් දෙවැන්න කළහොත් මහජන විරෝධය මුළුමනින්ම නොවුනත් යම් තරමකින් හෝ බොහෝ දුරට සමනය වෙනවා. එහෙත්, එහිදී ජයගත යුතු බාධක ගණනාවක් තිබෙනවා. පළමුව, මේ වැඩේට ඉඩ සලසා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීන් යම් පිරිසකට ඉල්ලා අස්වීමට සිදු වෙනවා. දෙවනුව, මේ සඳහා සුදුසුකම් ඇති, අභියෝගය භාර ගැනීමට කැමති හා අරගලකරුවන්ගේ සහයෝගය දිනාගත හැකි පුද්ගලයින් හොයා ගන්න වෙනවා. මේ සියල්ල හදිසියේ සිදු වීමට විශාල ඉඩක් නැහැ.  

දෙවැන්න සිදු නොවන්නේනම් ඉතිරි වන්නේ පළමු විකල්පයයි. ඒ තත්ත්වය යටතේ මහජන විරෝධය කෙතරම් දුරකට සමනය වේද යන්න පිළිබඳව අනාවැකි කියන්න අමාරුයි. රනිල්ව පරීක්ෂා කිරීම සඳහා යම් කාලයක් මහජනතාවගෙන් ලැබුණා කියා අපි හිතමු. එම කාලය තුළ අරගලකරුවන් අපේක්ෂා කරන ආකාරයේ "හොර ඇල්ලීමක්" හෝ "හොරුන්ට දඬුවම් දීමක්" සිදු වීමේ ඉඩක් නැහැ. එහෙත්, ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ අනිවාර්යයෙන්ම ඉදිරියට යයි.

මේ තත්ත්වය තුළ සිදු වන්නේ සජබ අවලංගු කාසියක් බවට පත් වීමයි. මොකද ආර්ථිකය හා අදාළව රනිල්ට නැති අමුතු යෝජනාවක්, අදහසක් හෝ වැඩපිලිවෙලක් සජබ සතුව නැහැ. ඒ නිසා, මේ ආණ්ඩුව සමඟ එක්ව රනිල් විසින් ඉදිරිපත් කිරීමට ඉඩ තිබෙන වැඩ පිලිවෙළකට සජබටද සහයෝගය දක්වන්න වෙනවා. විරුද්ධ වෙනවානම් විරුද්ධ වෙන්න පුළුවන් වෙන්නේ බොරු තාක්ෂනික හේතුවක් අල්ලා ගැනීමෙන් පමණයි. එහෙම කළොත් එයත් සජබට නරක විදිහට බලපානවා. 

ජාජබට මෙන්ම ආණ්ඩුව සමඟ සිටි සුළු පක්ෂ වලටද මේ ප්‍රශ්නය මෙලෙසම බලපාන්නේ නැහැ. චම්පිකගේ 43බලකායට පවා එජාපයෙන් හා සජබයෙන් වෙනස් ලෙස පෙනී සිටිය හැකි යම් අනන්‍යතාවයක් තිබෙනවා. එහෙත් සජබය හා එජාපය අතර එවැනි වෙනස්කමක් නැහැ. ඒ නිසා, ආර්ථික නොවන වෙනත් කරුණු ඉදිරිපත් කරමින් සජබ විසින් රනිල්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමේ වාසිය වැඩි වශයෙන් ජාජබ විසින් හා යම් තරමකින් 43 කණ්ඩායම විසින් ලබා ගන්නට ඉඩ තිබෙනවා. 

සජබ මේ ආරාධනාව පිළිගන්නේනම් ඇති වන තත්ත්වය කුමක්ද? 

රනිල් විසින් එකඟ වීමට ඉඩ ඇති ආර්ථික වැඩ පිළිවෙළ සමඟ සජබට කොහොමටත් එකඟ වෙන්න වෙනවා. ආණ්ඩුව ඇතුළේ සිටියත් නැතත් එයට විරුද්ධ වීමට සජබට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඊට අමතරව අරගලකරුවන් විසින් ඉල්ලා සිටින අනෙකුත් ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටීමේ හෝ නොසිටීමේ තීරණයද සජබ හමුවේ තිබෙනවා. 

ආණ්ඩුවට එකතු වී රනිල් විසින් යෝජනා කරන්නට නියමිත ආර්ථික වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාම පමණක් කළොත්, සජබට ඒත් වෙන්නේ ජවිපෙ උගුලේ හිර වෙන්නයි. එහිදී රන්ජන් රාමනායකගේ ජනප්‍රිය විවේචනය තව දුරටත් තහවුරු වෙනවා. ඒ නිසා, ආණ්ඩුවට මේ ආකාරයෙන් ආර්ථිකය බේරාගැනීම සඳහා පමණක් එකතු වුනත්, එසේ නොකළත්, සජබ එකම උගුලේ අහුවෙලා. 

සජබට තවදුරටත් පවතින්න අවශ්‍යනම් අනිවාර්යයෙන්ම ආර්ථික ස්ථායීකරන වැඩපිළිවෙලකට එකඟ වන අතරම දූෂණ විරෝධී ක්‍රියාමාර්ග සඳහාද සක්‍රිය ලෙස මැදිහත් වීමට සිදු වෙනවා. එය කළ හැකි වන්නේ අවශ්‍ය දේශපාලන බලය ලබා ගත හැකිනම් පමණයි. මෙය අභියෝගාත්මක කාර්යයක් වුවත් සජබ සතුව ඒ සඳහා අවශ්‍ය හෙට්ටු කිරීමේ ශක්තිය තිබෙනවා.

සජබ ආණ්ඩුව සමඟ එකතු වන්නේනම් සහ මැදිහත් වීම් නොකර දූෂණ විරෝධී ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනයාමට ඉඩ දෙන බව විශ්වාසනීය ලෙස තහවුරු කළ හැකිනම් අරගලකරුවන් අතරින් සමස්ත ආර්ථික-දේශපාලන ක්‍රමයේ වෙනසක් සොයන කණ්ඩායම් හැර අනෙකුත් බොහෝ දෙනෙකුගේ අරමුණු ඉටු වෙනවා. ගෝඨාභය රාජපක්ෂ ධුරය අත් නොහැරීම මෙයට බාධාවක් නෙමෙයි. ආණ්ඩුක්‍රම සංශෝධනයකින් ඔහුගේ බලතල සීමා කර, පාර්ලිමේන්තුව හරහා මුදල් වෙන් කිරීම් සීමා කළ විට ඔහුට කළ හැකි ලොකු දෙයක් නැහැ. 

මේ දේවල් කිරීම සඳහා සජබට අවංක උවමනාවක් තිබිය යුතුයි. ඒ වගේම ඒ බව ජනතාවට පෙනෙන්නත් අවශ්‍යයි. සජබ විසින් කළ යුත්තේ මේ සඳහා අවශ්‍ය බලතල ලබා ගැනීමට හෙට්ටු කිරීමයි. පාර්ලිමේන්තුවේ සිටින සජබ සාමාජිකයින්ම වෙනුවට අරගලකරුවන්ට එකඟ විය හැකි ස්වාධීන පුද්ගලයෙකු හෝ දෙදෙනෙකු පිටතින් ගෙන ආ හැකිනම් ඔවුන් අනිවාර්යයෙන්ම තෘප්තිමත් වනු ඇති. 

මේ ආකාරයේ බරපතල හෙට්ටු කිරීමක් කිරීමේ හැකියාවක් ජාජබ සතුව නැහැ. එහෙත් සජබ සතුයි. එවැනි හෙට්ටු කිරීමක් කිරීමෙන් පසුව ප්‍රතිඵලය කුමක් වුවත් එහි වාසිය සජබටයි. එසේ නොකර පන්දුව නිදැල්ලේ යන්න ඇරියොත් හෝ විකට්ටුව වහගෙන ආරක්ෂාකාරී පියවර ගන්න ගියොත් පාඩුවත් සජබටම තමයි. යම් හෙයකින් සාර්ථක හෙට්ටු කිරීමක් කර දූෂණ විරෝධී ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය බලතලද සමඟ ආණ්ඩුවට එකතු වීමට හැකි වුවහොත් අභියෝගයට මුහුණ දෙන්න වෙන්නේ ජාජබටයි. හෙට්ටු කිරීම අසාර්ථක වුවහොත් පළමුව ආණ්ඩුවට හා රනිල්ටත්, දෙවනුව ජාජබටත් අභියෝගාත්මක තත්ත්වයකට මුහුණ දෙන්න වෙනවා.

#ඉකොනොමැට්ටා 

Friday, May 13, 2022

ඩොලරයක මිල අඩු වුනේ කොහොමද?


රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය භාර ගැනීමත් සමඟ ඩොලරයක මිල පහළ ගොස් ඇති බව ප්‍රධාන ජනමාධ්‍ය විසින් වාර්තා කරද්දී, එයට හේතුව පුත්තලමේ දූපතක් විකිණීම බව සමාජ මාධ්‍ය වල ප්‍රචාරය වෙනවා. ඇත්තටම වෙලා තියෙන්නේ කුමක්ද? පුත්තලමේ දූපත බදු දී ඇත්නම් එය මේ වෙලාවේ හැටියට කිසිසේත්ම නරක තීරණයක් නොවුනත්, ඩොලරයේ මිල වෙනස් වීම හා දූපත බදු දුන් කතාව අතර සම්බන්ධයක් නැහැ.

මේක තරමක් සංකීර්ණ කාරණයක් නිසා මම සියයට සියයක් තාක්ෂනිකව නිවැරදි ලෙස විස්තර කරන්න මහන්සි නොවී හැකි තරම් සරල ලෙස පැහැදිලි කරන්නම්. 

වෙළඳපොළ තුළ විණිමය අනුපාතය තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම මතනේ. දිගුකාලීනව බැලුවොත් ඉල්ලුම හා සැපයුම තීරණය වන්නේ ක්‍රය ශක්ති සාම්‍ය මූලධර්මය අනුව. එහෙත් කෙටිකාලීනව ඉල්ලුම හා සැපයුම තීරණය වන්නේ සමපේක්ෂණය මත. මේ කියන දේවල් පැරණි ලිපි වල විස්තරාත්මක ලෙස පැහැදිලි කර තිබෙනවා.

මේ වෙලාවේ ලංකාවේ විණිමය වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම තනිකරම වගේ තීරණය වන්නේ සමපේක්ෂණය මත. අවුරුදු ගණනක් තිස්සේම ඩොලරයක මිල ඉහළ යා යුතු බව මම දිගින් දිගටම කිවුවේ ක්‍රය ශක්ති සාම්‍ය මූලධර්මය මත පදනම්වයි. ලංකාව මේ වගේ ඩොලර් අර්බුදයක හිර වුනේ එසේ නොකර ඩොලරයක මිල පහළ මට්ටමක තියාගෙන හිටපු නිසා. අඩු වශයෙන් වසරකට කලින් IMF ගිහින්, විණිමය අනුපාතය පාවෙන්න ඇරියානම් ඩොලරයක මිල රුපියල් 275 පමණ මට්ටමක නවතිනවා. ක්‍රය ශක්ති සාම්‍ය මූලධර්මය අනුව බැලුවොත් ඩොලරයක මිල දැන් තරමටම ඉහළ යා යුතු නැහැ. 

ඩොලරයක මිල සමපේක්ෂණය මත තීරණය වන විට එයට පාලනයක් නැහැ. නියම වටිනාකමක්, නියම මිලක් කියා දෙයක් නැහැ. ඩොලරයක මිල ඉහළ යයි කියා හැමෝම හිතුවොත් මිල ඉහළ යනවා. අඩු වෙයි කියා හැමෝම හිතුවොත් අඩු වෙනවා. 

ඩොලරයක මිල කියා කිවුවත් ඩොලරයක මිල කියන්නේ නිශ්චිත මිලක් නෙමෙයි. මම මේ කියන්නේ දවසින් දවස මිල වෙනස් වෙන එක ගැන නෙමෙයි. උන්ඩියල් ගැනත් නෙමෙයි. යම් මොහොතක බැංකු පද්ධතිය ඇතුළේම පවතින විවිධ මිල ගණන් ගැන.

ලංකාවේ ඩොලර් වෙළඳපොළ කියන්නේ කවුරු හෝ ඩොලර් සීයක් දෙසීයක් මාරු කරන එක නෙමෙයි. මේ වෙළඳපොළේ ප්‍රධාන පාර්ශවකරුවෝ වෙන්නේ ආනයනකරුවන්, අපනයනකරුවන් හා බැංකු. ඒ අනුව, ඩොලරයකට මිලවල් තුනක් තිබෙනවා. (ඉහත ඇති ප්‍රස්ථාරය දෙස බලන්න)

1. බැංකු විසින් අපනයනකරුවන්ගෙන් ඩොලර් ගන්න මිල (ගැනුම් මිල)

2. බැංකු විසින් ආනයනකරුවන්ට ඩොලර් විකුණන මිල (විකුණුම් මිල)

3. බැංකු එකිනෙකා අතර ගනුදෙනු කරගන්නා මිල (තැන් මිල)

විකිණුම් මිල ගැනුම් මිලට වඩා වැඩි බව ඉතාම පැහැදිලියිනේ. බැංකු කරන්නේ අපනයනකරුවන්ගෙන් ඩොලර් අරගෙන ගානක් තියාගෙන ආනයනකරුවන්ට විකුණන එක. තැන් මිල සාමාන්‍යයෙන් ඔය දෙක අතර මිලක්. ඒ ඇයි?

වෙළඳපොළ සමතුලිතනම් බැංකුවක් විසින් ආනයනකරුවන්ට විකුණන්නේ අපනයනකරුවන්ගෙන් ගන්න ඩොලර් ටිකයි. ශ්‍රමික ප්‍රේෂණ එහෙමත් තිබුණත් කතාව සරල කර ගැනීම සඳහා පැත්තකින් තියමු. දැන් ඔය ඩොලර් ටික විකුණගන්න බැරිනම් කරන්නේ වෙනත් බැංකුවකට විකුණන එකයි. ඒ වගේම ඩොලර් ඉල්ලුම වැඩිනම් වෙන බැංකුවකින් මිල දී ගත හැකියි. සමස්තයක් ලෙස බැංකු පද්ධතිය ඇතුළේ ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිතයි. එහෙම නොවෙන්නේ මහ බැංකුව මැදිහත් වුනොත් පමණයි.

දැන් අපි කිසියම් බැංකුවක් ගත්තොත් ඒ බැංකුවට වෙන බැංකුවකින් ඩොලර් ගන්න පුළුවන් ගාණට වඩා වැඩි මිලක් අපනයනකරුවෙකුට ගෙවන්න හේතුවක් නැහැනේ. ඒ වගේම, වෙන බැංකුවකට විකිණිය හැකි මිලට වඩා අඩු මිලකට ආනයනකරුවන්ට ඩොලර් විකුනන්න හේතුවකුත් නැහැනේ. ඒ නිසා, සාමාන්‍යයෙන් ගැනුම් මිලට වඩා තැන් මිල වැඩියි. තැන් මිලට වඩා විකිණුම් මිල වැඩියි.

පහුගිය කාලයේ මාධ්‍ය වාර්තා බැලුවොත් බැංකු වල ඩොලරයක මිල මේ ගානයි නමුත් මහ බැංකුවේ මේ ගානයි කියලා කියන තැන් තියෙනවනේ. දැන් ඔය බැංකු වල මිල කියා කියන්නේ විකිණුම් මිල. මහ බැංකුවේ මිල කියන්නේ තැන් මිල. ඇත්තටම ඩොලරයක මිලට මොකද වෙන්නේ කියලා බලන්න හොඳම නිර්ණායකය තැන් මිල.

රනිල් අගමැති වුනු ආරංචියට ඔය තැන් මිල ටිකක් අඩු වෙලා තිබෙනවා. මම ඒකට එන්නම්. ඊට කලින් නන්දලාල් මහ බැංකු අධිපති වෙද්දීත් තැන් මිල පහළ ගියා. අප්‍රේල් 4 වෙනිදා ඩොලරයක තැන් මිල රුපියල් 310.86යි. අධිපති මාරුවෙන ආරංචියටම තැන් මිල පොඩ්ඩක් අඩු වුනා. අධිපති වැඩභාරගත් අප්‍රේල් 7 වෙනදා ඩොලරයක තැන් මිල රුපියල් 299.91 දක්වා අඩු වුනා. අප්‍රේල් 20 වන විටත් තැන් මිල රුපියල් 310 සීමාවේ රැඳී තිබුණා. 

නන්දලාල් වැඩ භාර ගැනීමෙන් පසුව IMF ගිහින් ඉක්මණින් සල්ලි අරගෙන ඇවිත් වැඩේ ගොඩදායි කියන විශ්වාසය බැංකු පද්ධතිය ඇතුළේ තහවුරු වුනා. තැන් මිල මේ විදිහට ස්ථාවර වුනේ ඒ නිසා. හැබැයි නන්දලාල්ම කරපු තවත් වැඩක් නිසා මේ ප්‍රවණතාව එළියට පෙනුණේ නැහැ. 

අපනයනකරුවන්ගෙන් ඩොලර් මිල දී ගැනීමේදී ගෙවන ඩොලරයක ගැනුම් මිල බැංකු පද්ධතිය ඇතුළේ ගනුදෙනු සිදුවන තැන් මිලට වඩා උඩින් තියාගන්න කියලා (එවැන්නක් ඇඟවෙන ආසන්න දෙයක් විය හැකියි) අලුත් අධිපතිවරයා විසින් බැංකු වලට උපදෙස් දී තිබුණා. එතකොට විකිණුම් මිල අනිවාර්යයෙන්ම ඊට වඩා වැඩි වෙනවා. මම හිතන්නේ මෙය ඉතා හොඳ තීරණයක්. මෙහි අරමුණ වුනේ ඩොලර් පුළුවන් තරමක් බැංකු පද්ධතිය ඇතුළට ගන්න එකයි. ඩොලර් ඇතුළට ගන්න තරමට අපනයන සඳහා ඩොලර් නිකුත් කළ හැකියි. අපනයන භාණ්ඩ හිඟය අඩු කළ හැකියි. මේ හේතුව නිසා ඩොලරයක විකිණුම් මිල ඉහළ ගියත්, තැන් මිල ස්ථාවර වුනා. ඩොලරයක මිල දිනෙන් දින ඉහළ යාම ගැන ලෙඩ්ඩු බය වුනත්, දොස්තරලාට බය වෙන්න දෙයක් නැති බව මම කිවුවේ ඔය දවස් වල.

ඔය අතරේ තමයි IMF එකත් එක්ක සාකච්ඡා පැවැත්වුණේ. අප්‍රේල් 18-22 කාලයේ. IMF එකත් එක්ක සාකච්ඡා පටන් ගත්තට පස්සේ තමයි පැහැදිලි වුනේ සල්ලි ගන්න එක හිතන තරම් පහසුවෙන් හෝ ඉක්මණින් කළ නොහැකි බව. මේ තත්ත්වය බැංකු විසින් තේරුම් ගැනීමත් එක්කම ටික දවසක් ස්ථාවර වී තිබුණු තැන් මිල නැවතත් ඉහළ යන්න පටන් ගත්තා. අප්‍රේල් 20 රුපියල් 310 මට්ටමේ තිබුණු තැන් මිල අප්‍රේල් 21 වෙද්දී රුපියල් 335ට ගියා. හැබැයි විකිණුම් මිල ඒ වන විටත් රුපියල් 340 මට්ටමේ තිබුණු නිසා මේක පිටතට පෙනුණේ නැහැ. 

රනිල් අගමැති වෙන්න ආසන්නව තැන් මිල තිබුණේ රුපියල් 364.76 මට්ටමේ. රුපියල් 375 දක්වා ඉහළ ගිහින් තිබුණේ විකිණුම් මිලයි. ඇතැම් බැංකු වල මේ මිල රුපියල් 380 මට්ටම දක්වා ඉහළ ගොස් තිබුණා. රනිල් පත් වන ආරංචියත් එක්ක තැන් මිල රුපියල් 360 දක්වා පොඩ්ඩක් පහළ ගියා. විකුණුම් මිල ඊට වඩා වැඩියෙන් පහළ ගියේ වෙනත් හේතුවක් නිසා.

දින දෙක තුනකට පෙර මහ බැංකුව විසින් විණිමය ප්‍රතිපත්තියේ පොඩි වෙනසක් කළා. එහි අරමුණ වුනේ විකිණුම් මිල හා ගැනුම් මිල අතර පරතරය අඩු කිරීමයි. මාධ්‍ය වාර්තා මිසක් මහ බැංකු චක්‍රලේඛය ඇහැට දැක්කේ නැති නිසා එහි හරියටම තියෙන දෙය දන්නේ නැතත් මේ අනුව වෙන්නේ මහ බැංකුව විසින් දිනපතා උපරිම ගැනුම් මිල හා අවම විකිණුම් මිල තීරණය කිරීමයි. මේ අලුත් ප්‍රතිපත්තිය සම්බන්ධව මට තිබෙන විවේචන ගැන කතා කිරීම වෙන ලිපියකට ඉතිරි කරමු.

ඇත්තටම මෙහිදී මහ බැංකුව විසින් කරලා තියෙන්නේ කලින් දුන් උපදෙස ඉවත් කර ගැනීමක් කියා කියන්න පුළුවන්. ඒ කියන්නේ තැන් මිල නැවතත් ගැනුම් මිල හා විකිණුම් මිල අතරට ආපසු ගැනීමක්. විකිණුම් මිල රුපියල් 380 පමණ සිට 365 දක්වා පහත වැටී තිබෙන්නේ මේ හේතුව නිසා. රනිල් ආපු එකේ බලපෑමක් ඇත්නම් එය වැඩිම වුනොත් රුපියල් පහක අඩුවීමක්.

Thursday, May 12, 2022

රනිලාගමනය

රනිල් වික්‍රමසිංහ විසින් නැවතත් අගමැති ධුරය භාර ගෙන තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ රනිල් කියන්නේ මේ වන විට ජනප්‍රියතාව අනුව රටේ අනෙකුත් දේශපාලන පක්ෂ ගණනාවකටම වඩා පසුපසින් සිටින දේශපාලන පක්ෂයක නියෝජිතයෙකු (හා නායකයා) වීමයි. පසුගිය මහ මැතිවරණයේදී 2%කට මඳක් වැඩි ඡන්ද ප්‍රමාණයක් පමණක් ලබාගත් එජාපයට හිමි කර ගත හැකි වූයේ රනිල් වික්‍රමසිංහගේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පමණයි. ආණ්ඩු බලය හිමි පොදුජන පෙරමුණ හා විපක්ෂයේ සිටින සජබ මෙන්ම ජාජබ පමණක් නොව ද්‍රවිඩ සන්ධානය වැනි වෙනත් පක්ෂද මීට වඩා ඡන්ද හා මන්ත්‍රී ධුර හිමි කර ගත්තා. 

මේ මොහොතේ රට ගොඩ ගැනීම සඳහා රාජ්‍ය මූල්‍ය අංශයේ මෙතෙක් කවදාවත් සිදු නොකෙරෙනු ආකාරයේ වෙනස්කම් සිදු කෙරෙන ආර්ථික ස්ථායීකරන වැඩපිළිවෙලක් අනිවාර්යෙයන්ම අවශ්‍ය වෙනවා. පුළුල් මහජන සහයෝගයක් නොමැතිව එවැනි වැඩ පිළිවෙලක් සාර්ථක ලෙස ක්‍රියාත්මක කළ නොහැකියි. එවැනි පුළුල් මහජන සහයෝගයක් ලබා ගැනීමේ ශක්‍යතාවයක් තිබෙන්නේ පවතින ආණ්ඩුවට තවමත් සහයෝගය දක්වන ජන කොටස් වල නියෝජිතයින්ද ඇතුළත් සියලු දේශපාලන පක්ෂ වල එකතුවකට පමණයි. මෙතෙක් දිගින් දිගටම සිදු වූ පරිදි, එක් එක් දේශපාලන පක්ෂය විසින් තමන්ගේ බල ව්‍යාපෘති වලට ප්‍රමුඛතාවය දීම තුළ මේ කාර්යය කිසිසේත්ම සිදු වන එකක් නැහැ. එහි අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ රට නැවත විශාල කාලයකට ගොඩ ගත නොහැකි අගාධයකට පතිත වීම පමණයි.

මා හිතන විදිහට අරගලයට සහයෝගය දැක්වූ නිර්පාක්ෂික කොටස් විසින් අපේක්ෂා කළේ පක්ෂ අනන්‍යතා ඉක්මවා ගිය මෙවැනි එකඟතාවක්. මා මෙහිදී අදහස් කරන්නේ සැබෑ නිර්පාක්ෂික කොටස් මිසක් නිර්පාක්ෂික අරගලය තුළ සිටිමින් දේශපාලන පක්ෂ වල බල ව්‍යාපෘති ක්‍රියාත්මක කළ කොටස් පිළිබඳව නෙමෙයි. අනපේක්ෂිත ලෙස නොවුනත්, අවාසනාවකට මෙන්, එවැනි එකඟතාවක් ඇති වීමේ ඉඩක් මේ වන විට දැකිය නොහැකියි. අරගලයට එල්ල වූ මැර ප්‍රහාරය හා එයින් පසුව ඇති වූ ප්‍රතිප්‍රහාර වලින් පසුව නැවතත් පාක්ෂික අනන්‍යතා බලවත් වී ඇති බව පේනවා.

මේ වෙලාවේ යටපත් වී තිබුණත්, රාජපක්ෂවාදීන්ට හා රාජපක්ෂලා සමඟ විවේචනයක් ඇතත් ආණ්ඩුව වෙනුවෙන් තවමත් පෙනී සිටින සැලකිය යුතු පිරිසකටද ඔවුන්ගේම කතාවක් තිබෙනවා. ඒ වගේම, රාජපක්ෂලාට එරෙහිව නැගී සිටින කණ්ඩායම ඇතුළේද එකිනෙකා සමඟ ප්‍රශ්න තිබෙන කණ්ඩායම් ගණනාවක් සිටිනවා. මට පේන විදිහටනම් මේ සියලු කොටස් වල එකඟතාවයක් ඇති වීම සිදු නොවිය හැකි තරම් දුරස්ථ කරුණක්. 

සාමාන්‍යයෙන් ලංකාවේ දක්ෂිණාංශික නැඹුරුවක් ඇති දේශපාලන පක්ෂ වල ක්‍රියාකාරී පදනම ප්‍රයෝජ්‍යතාවාදයයි. මෙයින් වෙනස්ව ඇතැම් වාමාංශික පක්ෂ තමන්ගේ න්‍යායික පදනම මුල් තැනෙහි ලා කටයුතු කරනවා. එවැනි පක්ෂ විසින් ජන පදනමට වඩා වැඩියෙන් වැදගත් සේ සලකන්නේ තමන් විශ්වාස කරන න්‍යාය මත පදනම් වූ දේශපාලනික නිරවද්‍යතාවයයි. රනිල් වික්‍රමසිංහ කියන්නේ දක්ෂිණාංශික කඳවුර තුළ සිටින මේ දෙවන ගොඩට දැමිය හැකි දුලබ චරිතයක්. ඔහුට තමන් නිවැරදියයි සේ දකින ස්ථාවරය ජනපදනමට වඩා වැදගත්. 

මේ ආණ්ඩුව බලයට පත් වන්නේ රනිල් වික්‍රමසිංහගේ මතවාදය මුළුමනින්ම පරාජය කරමිනුයි. ඊට සමාන්තරව ඔහුට ඔහුගේ ජනපදනමද නැතිව යනවා. දැන් අගමැති සේ නැවතත් පත්ව සිටින්නේ මේ අයුරින් සිය ජනපදනම මුළුමනින්ම අහෝසි කරගත්, පරාජිත මතවාදයක නියෝජිතයෙක්. එහෙම වෙන්නේ කොහොමද?

පසුව වෙනත් දේශපාලනික ඉල්ලීම් එකතු වුනත්, මේ ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය මතු වන්නේ ආර්ථික සාධක නිසා. සාමාන්‍ය මිනිස්සු බහුතරයක් පාරට බහින්නේ ගෑස්, පැට්‍රෝල්, විදුලිබලය ආදිය නැති නිසා මිසක් දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටිමින් නෙමෙයි. (මෙය දේශපාලන ප්‍රතිසංස්කරණ වල අවශ්‍යතාවය අවතක්සේරු කිරීමක් නෙමෙයි) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස් වී ගෙදර යන්න කියන ඉල්ලීම ඇතුළේ මුලින්ම තිබුණේ "කරන්න බැරිනම් කරන්න පුළුවන් කෙනෙක්ට දෙන්න" කියන ඉල්ලීමයි. මහ බැංකුවේ හිටපු අධිපති කබ්රාල්ව ඉවත් කර නන්දලාල්ව පත් කර ගැනීමෙන් පසුව රටේ බොහෝ දෙනෙකු විසින් ඔහුව "කරන්න පුළුවන් කෙනෙක්" ලෙස පිළිගත්තා. 

මහ බැංකු අධිපති වෙනස් කිරීම අරගලකරුවන් විසින් ලබාගත් විශාල ජයග්‍රහණයක්. එය සිදුවන විට නිර්පාක්ෂික කොටස් අරගලයේ ප්‍රධාන බලවේගය ලෙස සිටීම නිසා "කෝකටත් විරෝධීන්ගේ" හඬ යටපත්ව ගියා. එහෙත්, මේ වන විට අරගලය තුළ තවදුරටත් මුලින් ඒ තුළ දැකිය හැකි වූ නිර්පාක්ෂික ස්වරූපය පෙර ලෙසින්ම දැකිය හැක්කේ නැහැ. දැන් එය විවිධ දේශපාලනික කණ්ඩායම් කිහිපයක හා යම් නිර්පාක්ෂික පිරිසකගේ ලිහිල් එකතුවක්. 

මම හිතන විදිහට මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ කරලියට එන්නේ අරගලය තුළ සිටින නිර්පාක්ෂික කොටස් වල ඉල්ලීම් වලට  වඩාත්ම ගැලපෙන පුද්ගලයා ලෙසයි. දීර්ඝ දේශපාලන අතීතයක් තිබුණත්, මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ කියා කියන්නේ නිර්පාක්ෂික සේ සැලකිය හැකි තරමටම ජනපදනමක් නැති පුද්ගලයෙක්. ඔහු සතුව තිබෙන්නේ මතවාදයක් පමණයි. කොයි තරම් ජනප්‍රියත්වය පිරිහී තිබුණත්, තවමත් රනිල් වික්‍රමසිංහට වඩා සැලකිය යුතු ජනපදනමක් තිබෙන ආණ්ඩුව විසින් මේ වන විට තමන්ගේ මතවාදය හා උපක්‍රම මුළුමනින්ම අතහැර රනිල්ගේ මතවාදය වැළඳගෙන තිබෙනවා. එම මතවාදය අනුව කටයුතු කිරීම සඳහා ප්‍රධාන විධායක නිලධාරියෙකු ලෙස රනිල් වික්‍රමසිංහව පත් කර තිබෙනවා. දැන් ප්‍රශ්නය රනිල් වික්‍රමසිංහට මෙය කළ හැකිද යන්නයි.

අශුභවාදී අදහසක් සේ පෙනෙන්නට හැකි වුවත්, මගේ අදහසනම් රනිල් වික්‍රමසිංහව පත් කිරීමෙන් ප්‍රශ්නය නොවිසඳෙන බවයි. මා එසේ කියන්නේ ඔහු නිවැරදි මාර්ගයේ යාමට ඇති ඉඩ ගැන තිබෙන සැකයක් නිසා නෙමෙයි. එම මාර්ගයේ යාම සඳහා අවශ්‍ය දේශපාලන සහයෝගය ලබා ගැනීමේ ශක්‍යතාවය පැහැදිලි ලෙස නොපෙනෙන නිසයි.

මේ වෙලාවේ රනිල් අත ගසා තිබෙන්නේ ඉතාම අවදානම් කටයුත්තකටයි. මෙය නන්දලාල් වීරසිංහ විසින් මහ බැංකු අධිපති ධුරය භාර ගැනීම හා සම කළ නොහැකියි. මහ බැංකු අධිපති ධුරය සඳහා අවශ්‍ය වූයේ පුහුණුව හා අත්දැකීම් ඇති, වෙනත් විදිහකින් කිවුවොත් තාක්ෂණික කුසලතා ඇති අයෙක්. එහිදී කළ යුතුව තිබුණේ නිවැරදි තීරණ ගැනීම පමණයි. එහෙත්, රාජ්‍යමූල්‍ය කළමනාකරණය හා අදාළව නිවැරදි තීරණ ගැනීම පමණක් ප්‍රමාණවත් නැහැ. ඒ තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා මහජන සහයෝගයද අවශ්‍යයි. 

අරගලය තුළ සක්‍රියව සිටින නාගරික, නිර්පාක්ෂික කොටස් විසින් නියෝජනය කෙරෙන ප්‍රතිශතය එතරම් විශාල ප්‍රතිශතයක්යැයි මා හිතන්නේ නැහැ. එහි සිටින විශාල පිරිසක් සජබ, ජාජබ, පෙසපෙ වැනි පක්ෂ වල ආධාරකරුවන්. ඔවුන්ට ඔවුන්ගේම බල ඉලක්ක තිබෙනවා. ඒ වගේම, රනිල්ගේ උදවුවෙන් රාජපක්ෂලා නැවත තමන්ගේ හීරුනු තැන් වෑල්ඩින් කර ගෙන නැගී සිටිනු ඇතැයි යන සහේතුක බියද මේ කණ්ඩායම් සියල්ලකටම වාගේ තිබෙනවා. ඒ නිසා, රනිල් වික්‍රමසිංහට නිවැරදි තීරණ ගෙන ක්‍රියාත්මක කිරීම සඳහා "අරගල කඳවුරෙන්" ලැබිය හැක්කේ සීමිත සහයෝගයක් පමණයි. අනෙක් පැත්තෙන්, ආණ්ඩුවේ ඉහළ තට්ටුව විසින් "නයිට් වොච්මන්" කෙනෙකු ලෙස රනිල්ව එළියට දමා ඇතත්, ආණ්ඩුව සමඟ රැඳී සිටින විශාල පිරිසක්ද රනිල්ගේ කකුලෙන් අදින බව පැහැදිලියි. මේ තත්ත්වය යටතේ රට ගොඩ දැමීමට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ ගෙන ඒමට රනිල්ට තිබෙන හැකියාව ඉතා සීමිතයි.

රනිල් මේ විදිහට අහක යන කරුමයකට කර ගහන්නේම ඔහුට ලොකු අනාගත අපේක්ෂා නැති නිසා. තමන් ඒ අවදානම ගන්න බය බව සජිත් ප්‍රේමදාස විසින් පැහැදිලි ලෙසම ප්‍රදර්ශනය කළා. සජිත්ගේ බය සාධාරණයි. මොන විදිහකින්වත් අරගලකරුවන්ගේ ඉල්ලීම් සියල්ල ප්‍රායෝගිකව ඉටු කළ නොහැකි නිසා ආණ්ඩුව සමඟ එකතු වීමෙන් සජිත් ජවිපෙ උගුලෙහි හිරවෙනවා. අනෙක් අතට ජවිපෙ දේශපාලන බලය රැඳී තිබෙන ප්‍රමුඛ සටන් පාඨය වන "හොර ඇල්ලීම" හරහා දේශපාලන බලයක් ගොඩ නගා ගැනීම හා පවත්වා ගැනීම කළ හැක්කේ විපක්ෂ දේශපාලනය තුළ පමණයි.

දැන් ප්‍රශ්නය මේ දේශපාලන වාතාවරණය රටේ ආර්ථික ප්‍රශ්නය විසඳීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග කෙරෙහි මොන විදිහට බලපායිද කියන එකයි. IMF යාම ගැන මේ වන විට ආණ්ඩුව, විපක්ෂයේ ප්‍රධාන දේශපාලන ධාරා හතරක් හා අරගලකරුවන් අතර කිසියම් සම්මුතියක් තිබෙනවා. එසේ වුවත්, රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ යෝජනා ප්‍රසිද්ධ වූ වහාම මේ සම්මුතිය කැඩෙන බව ඉතා පැහැදිලියි. ප්‍රධාන දේශපාලන ධාරා අතර රාජ්‍ය අංශයේ මැදිහත්වීම් සම්බන්ධව තිබෙන හා ඉදිරියටත් නඩත්තු වීමට නියමිත ප්‍රතිපත්ති අතර විසම්මුතීන් සියල්ල එක් කළ විට අතිපිහිත වීම් ඉතා අඩුයි. 

අපේක්ෂිත IMF ප්‍රතිසංස්කරණ යෝජනා සමඟ වඩාත්ම එකඟ වනු ඇත්තේ සජබයි. එහෙත්, රනිල්ගේ ආණ්ඩුව තුළ සජබ නියෝජනය මේ වන තුරුද පැහැදිලි නැහැ. ඒ වගේම මේ වෙලාවේ ආණ්ඩුව විසින් රනිල්ව "රස්සාවට ගෙන" තිබුණත්, මේ ආණ්ඩුව බලයට පත් කළ ජනමතය රනිල් පෙනී සිටි හා IMF එකට එකඟ විට හැකි ප්‍රතිපත්තීන්ට එරෙහිව යන ජනමතයක්. මේ තත්ත්වය යටතේ මට පෙනෙන එකම ප්‍රායෝගික විසඳුම හැකි ඉක්මණින් මහ මැතිවරණයක් පැවැත්වීමයි. ඉන්පසුව ජනතා කැමැත්ත පරිදි සාමූහිකව ගොඩ යාම හා සාමූහිකව වැනසීම යන ඕනෑම එකක් කරගත හැකියි. රනිල්ට කළ හැකි එකම දෙය ආණ්ඩුව හා අරගලකරුවන් සමඟ සහයෝගයෙන් කෙටි කාලයකට (මාස කිහිපයකට) ආර්ථිකය ඇද ගෙන යාම සඳහා අවශ්‍ය "හදිසි ප්‍රතිකාර" හා "හදිසි නඩත්තු කටයුතු" කිරීම පමණයි.

#ඉකොනොමැට්ටා 

Friday, November 26, 2021

විසඳුම් නැද්ද?



මා පෙර ලිපියක සඳහන් කළ පරිදි, ලංකාවේ විසඳුම් සෙවිය යුතු ප්‍රශ්නයක් තිබෙන බව මේ වෙද්දී දේශපාලන පක්ෂ භේදයකින් තොරව බහුතරයකගේ පොදු පිළිගැනීම වී තිබෙනවා. ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා විවිධ කණ්ඩායම් විසින් උත්සාහ දරමින් සිටිනවා. එකිනෙකට වෙනස් දේශපාලන ධාරා තුනකට යම් මට්ටමකින් සම්බන්ධ පිරිස් විසින් අපේ පෞද්ගලික මිතුරන් හරහා හා වෙනත් ක්‍රමවලින් අපගේ අදහස්ද විමසා තිබෙනවා. බල දේශපාලනයට සෘජුව සම්බන්ධයක් නැති පුළුල් කණ්ඩායමක් විසින්ද එලෙසින්ම අපගේ අදහස් විමසා තිබෙනවා. ඒ නිසා, කවර හෝ දේශපාලන කණ්ඩායමක පරිධියේ සිට තමන්ගේ ස්වාමියන් වෙනුවෙන් මෙහි ප්‍රතිචාර දමන බලු කුක්කන් නොසලකා හැර "විසඳුම්" ගැනද කතා කිරීමට මේ යෝග්‍ය කාලයකැයි මා සිතනවා.

මේ වියුණුව පටන් ගෙන දැනට වසර පහමාරක් වෙනවා. ලියන්න පටන් ගෙන මාස හයක් පමණ යද්දී අප ලියන දේවල් සැලකිය යුතු පිරිසකගේ අවධානයට ලක් වුනා. ඉන් පසුව අඩු වශයෙන් වසර පහක් තිස්සේ අප විසින් ලංකාවේ ආර්ථිකය ගැන කතා කර තිබෙනවා. එම කාලය තුළ අප විසින් පෙන්වා දුන් ලංකාවේ ආර්ථිකයේ ප්‍රශ්න මේ වෙද්දී ඇස් පනාපිට පේන්න තියෙනවා. හැමදාම කොටි එනවා කිවුවත් ඔය කොටියා තාම ආවේ නැහැ කියා අවසන් මොහොත දක්වාම අපව සමච්චලයට ලක් කරමින් සිටි අය ඉදිරිපිට මේ වෙද්දී කොටියා හිටගෙන සිටිනවා. 

ලංකාවේ ප්‍රශ්නය රටේ බොහෝ දෙනෙකුට අවබෝධ කර ගැනීමට උදවු කිරීම සඳහා අප විසින් කාලයක් තිස්සේ ගත් වෑයම සාර්ථක වී තිබීම පිළිබඳව අපට තිබෙන්නේ නිහතමානී සතුටක්. ඇත්තටම අප විසින් කළේ මේ වැඩේට සොච්චම් දායකත්වයක් ලබා දෙන එක පමණයි. අප වැනි හාල් කෑලි විසින් කියූ දේවල්ම වැඩි පිරිසකට උස් හඬින් කී වෙනත් බොහෝ අය සිටියා. දැනටත් ඉන්නවා.

පසුගිය කාලය පුරා අප විසින් ප්‍රශ්න ගැන කතා කළ තරමට විසඳුම් ගැන කතා කර නැහැ. එය හිතාමතාම කළ දෙයක්. විසඳුම් ගැන කතා කළ හැක්කේ ප්‍රශ්න ගැන පුළුල් එකඟතාවක් ඇති පසුබිමක පමණයි. එහෙත්, විසඳුම් ගැන කවුරු හෝ සෘජුව ප්‍රශ්න කළ අවස්ථා වලදී අප විසඳුම් ගැනද කතා කර තිබෙනවා. 

ලංකාවේ ප්‍රශ්න වලට විසඳුම් තිබුණත් ඒවා වියුණු ලිපියක් හරහා කෙටියෙන් ඉදිරිපත් කළ හැකි තරම් සරල නැහැ. දැන් පටන් ගත්තොත් ඉදිරි වසර තුනක පමණ කාලය තුළ බොහෝ දේවල් සටහන් කර තබන්න පුළුවන් වෙයි. විසඳුම් ගැන කතා කිරීමට යෝග්‍යම කාලය සේ මා දකින්නේද මේ කාල වකවානුවයි. බොහෝ දෙනෙක් මේ වෙද්දී ප්‍රශ්න පිළිබඳව වටහාගෙන තිබෙන නිසා තවදුරටත් දිගින් දිගටම ප්‍රශ්න ගැනම පමණක් කතා කරන එකේ තේරුමක් නැහැ.

විසඳුම් හොයන අයගෙන් බොහෝ දෙනෙක්ද හොයන්නේ මේ මොහොතේ ලංකාව මුහුණ දෙන ප්‍රශ්නයට විසඳුම්. එසේ මේ මොහොතේ තිබෙන ප්‍රශ්නයට විසඳුම් හොයන බොහෝ අය "ආතල් එකට" සංවාද කිරීමට එකතු වන අය මිසක් ප්‍රශ්නයට විසඳුම් සෙවීමේ වගකීම දරන හෝ පැත්තක සිටියත් එම වගකීම තමන්ගේ කරගෙන සිටින අය නෙමෙයි. මේ මොහොතේ තිබෙන ප්‍රශ්නය යම් ආකාරකින් විසඳෙයි. එයට විසඳුම් අප විසින් යෝජනා කරන එකේ තේරුමක් නැහැ. විසඳුම් අවශ්‍ය වන්නේ ඉන් පසුවද ඉතිරි වන දිගුකාලීන ප්‍රශ්න වලටයි.

කලින් කීවාක් මෙන් අප මේ වැඩේ හදිසියේ කරන්න යන්නේ නැහැ. එසේ කිරීමේ හැකියාවක්ද නැහැ. ඒ වගේම, කවර හෝ පාර්ශ්වයක් විසින් අපගේ අදහස් පෞද්ගලිකව විමසා සිටින අවස්ථාවකදී පැය දෙක තුනකින් ඒ කාර්යය කළ නොහැකියි. අපගේ යෝජනා මෙහි ටිකින් ටික සටහන් කරන්නේ ඒ වගේ අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීම සඳහා කරන ආයෝජනයක් ලෙසයි.

අප මීට පෙර මේ වියුණුව හරහා යෝජනා කර තිබෙන පොඩි පොඩි දේවල් එම යෝජනා ක්‍රියාත්මක කිරීමේ බලය හා හැකියාව තිබුණු ඇතැම් අය විසින් ක්‍රියාත්මක කර ඇති අවස්ථා ගණනාවක් අප දැක තිබෙනවා. බොහෝ විට එවැනි යෝජනාවක් අවසානයේ ක්‍රියාත්මක කළ අය මුලින්ම යෝජනාව ආවේ කොහෙන්ද කියා නොදන්නවා විය හැකියි. එය ප්‍රශ්නයක් නෙමෙයි. අප ඉදිරියේදී මෙහි ලියන කවර හෝ දෙයක් වුවත් අවශ්‍ය කෙනෙක් තමන්ගේම යෝජනාවක් හෝ අදහසක් කර ගැනීම අපට ප්‍රශ්නයක් නෙමෙයි. එසේ කරන්නෙකුගේ වෙනත් දේශපාලනික හෝ දේශපාලනික නොවන අදහස් අපේ අදහස් සමඟ සමපාත වීම හෝ නොවීමද ප්‍රශ්නයක් නෙමෙයි.

කතා කළ යුත්තේ දිගුකාලීන විසඳුමක් ගැන වුවත් කතාව පටන් ගන්න වෙන්නේ මේ මොහොතේ සිටයි. මේ ආණ්ඩුව බලයට පත් වී තවමත් වසර දෙකයි. ආණ්ඩුවට තවත් වසර තුනක කාලයක් තිබෙනවා. විශාල ජන වරමක් ලබා බලයට පත් වූ මේ ආණ්ඩුව පිළිබඳ ජන ප්‍රසාදය ඉතා පහළ මට්ටමකට වැටී තිබෙන බව පැහැදිලි වුවත්, ඒ හේතුව නිසාම ආණ්ඩුව වෙනස් වන්නේ නැහැ. එසේ වීමේ අවශ්‍යතාවයක්ද නැහැ. නියමිත කාලයට පෙර මේ ආණ්ඩුව වැටෙන එක දුරස්ථ කරුණක්.

ඒ කියන්නේ තවත් අවම වශයෙන් වසර තුනක කාලයක් ලංකාවේ ආර්ථිකය මෙහෙයවන්න වෙන්නේ මේ ආණ්ඩුවට. ලංකාවේ ආර්ථිකයේ  මේ මොහොතේ පෙනෙන්නට තිබෙන ප්‍රශ්න වලට සෘජුව මුහුණ දෙන්න වෙන්නේත්, විසඳුම් හොයන්න වෙන්නේත්, මේ ආණ්ඩුවට. පැත්තක සිටින අප වැනි අය යෝජනා කරන විසඳුම් ආණ්ඩුවේ විසඳුම් සමඟ සමපාත නොවන්නේනම් ඒවා නිකම්ම නිකම් කතන්දර පමණයි. ආණ්ඩු බලය නැති පක්ෂ වල යෝජනා ගැන කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමයි. විපක්ෂයේ පක්ෂ වලට වගේම, අපටත් කළ හැක්කේ ආණ්ඩුව කරන දේවල් වල හොඳ නරක විග්‍රහ කරන එක පමණයි. 

මේ මොහොතේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යා යුතු බවට ප්‍රබල හඬක් නැගෙනවා. මේ හඬ නැගෙන්නේ ප්‍රධාන වශයෙන්ම එජාපය පැත්තෙන්. සජබයේ පාර්ශ්වයන්ද ඒ මතයේ ඉන්නවා. ඊට අමතරව ආණ්ඩුව ඇතුළේද යම් පිරිසක් මේ මතය වෙනුවෙන් පෙනී සිටිනවා. එහෙත්, ආණ්ඩුවේ ආර්ථිකය මෙහෙයවන ප්‍රධාන පාර්ශ්ව, විශේෂයෙන්ම මහ බැංකු අධිපති කබ්රාල්, ඉන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යා නොයුතුය යන දැඩි මතයේ. ජවිපෙ මේ පිළිබඳව පතෝල ස්ථාවරයක සිටිනවා.

විකල්ප විසඳුමක් වෙනුවෙන් පෙනී සිටින අධිපති කබ්රාල් විණිමය අනුපාතය වෙනස් වන්නට නොදී රුපියල් 200 මට්ටමේ තියා ගැනීමේ දැඩි ප්‍රතිපත්තියක හිර වී සිටින අතර තමන්ට එය කළ හැකි බව අධිෂ්ඨානශීලීව පවසනවා. තමන්ට හැකි පමණින් ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු කරමින් සිටිනවා. එජාපය වගේම ජවිපෙද සිටින්නේ විණිමය අනුපාතය යම් ප්‍රමාණයකින් අවප්‍රමාණය වෙන්නට ඉඩ හැරිය යුතුය යන මතයේ. 

රනිල් වික්‍රමසිංහ විසින් මේ පිළිබඳව පැහැදිලි හා නිශ්චිත අදහසක් ඉදිරිපත් කර තිබෙනවා. වාර්තා වී තිබෙන හැටියට "IMF සමග එකඟතාවකට පැමිණියහොත් ඇමරිකානු ඩොලරයක අගය රුපියල් 240ක පමණ සීමාවක තබාගත හැකිවනු ඇති වුවත් එසේ නොකළහොත් ඩොලරයේ අගය රුපියල් 300ක් පමණ දක්වා ඉහළ යනු ඇති බව" රනිල් වික්‍රමසිංහ විසින් කියා තිබෙනවා. මේ ප්‍රකාශය විග්‍රහ කළ යුතු ප්‍රකාශයක්.

රනිල් වික්‍රමසිංහ විසින් ලංකාව IMF වෙත යා යුතු බව කියන්නේම ඩොලරයේ මිල ස්ථාවර කර ගැනීම සඳහා. ඔහු යෝජනා කරන්නේ IMF ගොස් ඩොලරය 300 දක්වා යාම වලක්වාගෙන 240 සීමාවේ රඳවා ගත යුතු බවයි. ගණන වෙනස් වුනත් රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශයේ පදනම වන්නේත් ඩොලරයේ මිල ස්ථාවර කර ගැනීමයි. 

ඩොලරයේ මිල රුපියල් 200 මට්ටමේ ස්ථාවර කර නොගෙන රුපියල් 240 මට්ටමේ ස්ථාවර කර ගැනීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ පෙනී සිටින්නේ ඩොලරය රුපියල් 200 මට්ටමේ ස්ථාවර කර ගැනීම කිසිසේත්ම කළ නොහැක්කක් කියන පදනමේ සිටයි. (මගේ පෞද්ගලික අදහසද එයයි.) එසේ වුවත්, රනිල් වික්‍රමසිංහ විසින් කළ නොහැකියැයි සිතන මේ කටයුත්ත කවර ආකාරයකින් හෝ නිවාඩ් කබ්රාල්ට කළ හැකිනම්, රනිල් වික්‍රමසිංහට අනුවම වුවත් එහි වැරැද්දක් තියෙන්න බැහැ. රනිල් වික්‍රමසිංහට අනුව රුපියල් 240 මට්ටමේ වුවද ඩොලරය ස්ථාවර කර ගත හැක්කේ දැන්ම IMF ගියොත් පමණයි. එහෙත් නිවාඩ් කබ්රාල්ට අනුව IMF නොගොස් රුපියල් 200 මට්ටමේ ඩොලරය ස්ථාවර කර ගැනීම කළ හැක්කක්. ඒ සඳහා ඔහු සයමාසික වැඩ පිළිවෙළක්ද ඉදිරිපත් කළා.

කබ්රාල්ගේ වැඩපිළිවෙළ දෙස අප බැලිය යුත්තේ මේ ආණ්ඩුවට තවත් වසර තුනක් තිබෙනවා කියන පසුබිමේ සිටයි. දේශපාලනික ලෙස ප්‍රශ්නය දිහා බැලුවොත්, කබ්රාල්ට මේ යන විදිහට තවත් අවුරුදු තුනක් ඇදගෙන යන්න පුළුවන් වෙයිද?

ආණ්ඩුව කරන්නේ විශාල අවදානමක් ගැනීමක්. අතුරේ යාමක්. ඉදිරි වසර තුළ ඩොලර් බිලියන හතකට ආසන්න විදේශ ණය ප්‍රමාණයක් ආපසු ගෙවිය යුතුයි. ඊට අමතරව පසුගිය කාලයේ පැවති සාමාන්‍ය තත්ත්වයන් යටතේ ලංකාවට වසරකට ඩොලර් බිලියන දෙකක හෝ තුනක විදේශ ණය අවශ්‍යයි. නමුත් රටේ තිබෙන විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන දෙකකට ආසන්න ප්‍රමානයක් පමණයි. ඒ කියන්නේ, ණය පැහැර නොහැරීම සඳහා ලබන වසර තුළ පමණක් අවම වශයෙන් ඩොලර් බිලියන හතක් පමණවත් හොයා ගන්න වෙනවා. 

වසංගතය අවසන් වුනා කියා හෝ සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් වුනා කියා මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. සංචාරක කර්මාන්තය හරහා තව ඩොලර් බිලියන දෙකක් හොයා ගත්තත්, ඒ එක්කම ආනයන සීමා යම් තරමකින් හෝ ඉවත් කරන්න වෙන නිසා, වැඩිම වුනොත් ලැබෙන්නේ ඩොලර් බිලියනයක ශුද්ධ වාසියක් පමණයි. තවත් ඩොලර් බිලියන හයක් පමණවත් කොහෙන් හරි හොයා ගන්නම වෙනවා. අජිත් නිවාඩ් කබ්රාල් මේ ඩොලර් ප්‍රමාණය හොයා ගන්න මාර ගේමක් ගහනවා. හැබැයි තවමත් වැඩේ යම් තරමකින් හෝ සාර්ථක වී ඇති බවක් පෙනෙන්නේ නැහැ. ඔය වගේ ඩොලර් ප්‍රමාණයක් හොයා ගන්නවා කියන එක ඉතාම දුරස්ථ ඉලක්කයක්.

එක පැත්තකින් රාජපක්ෂලාට වෙලා තියෙන දෙය 1987 පමණ කාලයේදී ජේආර්ට වුනා වගේ වැඩක්. ඔය කාලය දක්වාම වගේ  ඉන්දියාව හිටියේ සෝවියට් කඳවුර එක්ක. ජේආර් ඇමරිකාව පස්සේ ගියා. නමුත්, ඉන්දියාව ලංකාවට පරිප්පු දමද්දී ඇමරිකාව හෝ වෙනත් බටහිර රටක් ජේආර්ගේ උදවුවට ආවේ නැහැ. ඔය විදිහටම, කිහිප දෙනෙක්ම ඇත්තටම ඇමරිකානුවන් වුවත්, රාජපක්ෂලා ප්‍රදර්ශනාත්මකව හෝ බටහිර විරෝධීන් සේ පෙනී සිටිමින් චීනය පස්සේ ගියා. නමුත්, චීනය හෝ වෙනත් බටහිර කඳවුරට විරුද්ධ කඳවුරේ රටක් ලංකාව බේරගන්නේ නැහැ. නැවත බටහිරට කිට්ටු වුනා කියලා බටහිර රටවල් ලංකාවේ බේරා ගන්නේත් නැහැ. තමන් හිසට තම අතමය...!

ලබන වසරේදී මේ ආණ්ඩුවට IMF යන්නම වෙනවා. ඒ බෙල්ල මුලටම හිර වුනාට පස්සේ. ඒ බව මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්පාදකයින්ට නොතේරෙන්න හේතුවක් නැහැ. එහෙත් ඔවුන් තමන්ගේම දේශපාලන උගුලක හිරවෙලා. රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් කරන්නේ පැත්තක ඉඳලා තොණ්ඩුව තවත් තද කරන එකයි. IMF යා යුතු බව රනිල් වික්‍රමසිංහ වැනි අය විසින් උස් හඬින් කියන තරමට ආණ්ඩුවට වැඩේ අමාරු වෙනවා. මෙයට පිළියමක් ලෙස ආණ්ඩුව විසින් IMF යා යුතු බව කියන්න ආණ්ඩුවේම පිරිසක් සැලසුම්සහගතව එළියට දමයි. මුලදී මේ කණ්ඩායම කැරළිකරුවන් පිරිසක් වගේ පෙනෙයි. ඒක පොඩි ඇස් බැන්දුමක්!

මමනම් පෞද්ගලිකව හිතන්නේ මේ යන ක්‍රමය හොඳයි කියලා. අපි හිතමු රනිල් වික්‍රමසිංහ විසින් යෝජනා කරන විදිහට ඉතා ඉක්මණින් IMF ගියා කියලා. කියන විදිහටම ඩොලර් එක රුපියල් 240 වගේ තැනක ස්ථාවර කර ගන්න පුළුවන් වෙයි. ඒ එක්ක ගන්න වෙන අනෙකුත් ක්‍රියාමාර්ග එක්ක ඉදිරි වසර තුන හතර ඉතාම නරක කාලයක් වෙනවා. ආණ්ඩුවට මැතිවරණ වලට යන්න වෙන්නේ ජනප්‍රියත්වය බිංදුවට බස්සාගෙන. ඉදිරි මැතිවරණයකින් ආණ්ඩුව බිංදුවට වැටෙද්දී, රනිල් වික්‍රමසිංහ ගණන් හදන විදිහට, එජාපයට විශාල ජයග්‍රහණයක් ලැබෙනවා. ඒ එක්කම, ඒ වසර තුනේ ගෙවෙන නරක කාලය පහු කළාම ආර්ථිකය නැවත පහසුවෙන් ස්ථාවර කර ගත හැකි තත්ත්වයක් ඇති වෙනවා. ඉදිරියට බලයට පත් වන කවර හෝ ආණ්ඩුව ගොඩ!

හැබැයි මෙයින් අදහස් වෙන්නේ ආණ්ඩු මාරුවක් සිදු වීමෙන් පසුව දැන් මෙන්ම ණය පිරමිඩය නඩත්තු වෙනවා කියන එකයි. ඒ කියන්නේ නැවත කොයි වෙලාවක හරි ප්‍රශ්නයේ මුලට වැටෙන්න පුළුවන්. 

දැනට මේ ආණ්ඩුව ඉන්න IMF යන්නේ නැහැ කියන දැඩි ස්ථාවරයේම ඉඳලා බෙල්ල මුලටම හිර වුනාම කරන්න වෙන්නෙත් IMF යන එක. ඒ වෙද්දී රටේ තත්ත්වය වඩාත් නරක අතට හැරිලා. රනිල් වික්‍රමසිංහ කියනවා වගේම ඒ වගේ අවස්ථාවක IMF කියන දේම කරනවා හැර වෙනත් කළ හැකි දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. ඒ වගේම, IMF එකට වුවත් ප්‍රශ්නය ගොඩින් විසඳන්න ලැබෙන්නේ නැහැ. බොහෝ විට මේ ආණ්ඩුවට ගෙදර යන්න වෙයි. හැබැයි අළුතෙන් පත් වෙන ආණ්ඩුවකට වීරයාගේ චරිතය රඟපාන්න ඉඩ ලැබෙන්නේ නැහැ.

දැනට තියෙන ක්ෂණික ප්‍රශ්නය ඩොලර් ප්‍රශ්නය. නමුත්, ඩොලර් ප්‍රශ්නය පසුපස තිබෙන මූල ප්‍රශ්නය අයවැය හිඟය. ඩොලර් ප්‍රශ්නය ගැන දැන් රටේ මිනිස්සුන්ට තේරෙනවා. නමුත්, මූල ප්‍රශ්නය වූ අයවැය හිඟය ගැන මිනිස්සුන්ට තවමත් හරියකට තේරුමක් නැහැ. ඒක තේරෙන්නනම් විණිමය අනුපාතය කඩා වැටිලා හෝ නිවැරදි වෙන්න ඕනෑ. අයවැය හිඟය ප්‍රශ්නයක් බව හරියටම තේරෙන්නේත්, පැලැස්තර වලින් විසඳිය නොහැකි මට්ටමකට පත් වන්නේත්, එයින් පසුවයි. මූල ප්‍රශ්නයට රැඩිකල් විසඳුමක් දෙන්න පුළුවන් වෙන්නේ එහෙම වුනොත් පමණයි.

මූල ප්‍රශ්නය වූ අයවැය හිඟය පිළිබඳ ප්‍රශ්නය විසඳිය හැකි ප්‍රායෝගික හා පුළුල් විසඳුම් අවශ්‍ය වෙන්නේ තවත් අවුරුදු තුනකින් පමණ පසුවයි. ඒ කාලය තුළ, අපිත් අපේ අදහස් ටිකෙන් ටික සටහන් කර තියන්නම්!

(Photo credit: Sagara Lakmal de Mel)

වෙබ් ලිපිනය: