වෙබ් ලිපිනය:

Thursday, September 29, 2022

ආර්ථික ස්ථායීකරණ වැඩ පිළිවෙළ


පසුගිය සිකුරාදා (සැප්තැම්බර් 23) දින ලංකාවේ ණයහිමියන් සමඟ අන්තර්ජාලය හරහා පැවැත්වූ සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟත්වය ලබා ගෙන තිබෙන ආර්ථික ස්ථායීකරණ වැඩ පිළිවෙළ පිළිබඳ කලින් ප්‍රකාශයට පත් කර නොතිබුණු අමතර තොරතුරු ඉදිරිපත් කර තිබෙනවා. මෙම තොරතුරු අනුසාරයෙන් ආර්ථික ස්ථායීකරණ වැඩ පිළිවෙළ පිළිබඳ වඩා පැහැදිලි චිත්‍රයක් මවා ගන්න පුළුවන්. ඊට අමතරව, එයටම සම්බන්ධ, ණය ප්‍රතිව්‍යුහකරණ වැඩ පිළිවෙළ පිළිබඳ ශ්‍රී ලංකාවේ අපේක්ෂාවන්ද මේ සාකච්ඡාවේදී ඉදිරිපත් කර තිබෙනවා. 

උද්ධමනය පාලනය කරන්න පුළුවන් වෙයිද?

ලංකාවේ ආර්ථික අර්බුදය ගැන කතා කරද්දී මේ වන විට ප්‍රධානම මාතෘකාවක් වී තිබෙන්නේ උද්ධමනයයි. පසුගිය අගෝස්තු මාසයේදී උද්ධමනය 70.2% මට්ටම දක්වා ඉහළ ගොස් තිබුණා. වසරේ පළමු මාස අටේ සාමාන්‍ය උද්ධමනය 41.3% මට්ටමේ තිබුණා. වැඩ පිළිවෙළෙහි ඇති ඇස්තමේන්තු අනුව, 2022 වසරේ සාමාන්‍ය උද්ධමනය 48.2% දක්වා ඉහළ ගොස්, 2023 වසරේදී 29.5% මට්ටම දක්වා අඩු වෙනවා. ඉන්පසු 2024 වසරේදී 6% දක්වා අඩු වී, 2027 දක්වා කාලය තුළ ක්‍රමක්‍රමයෙන් 5% මට්ටම දක්වා පහළ යනවා. 

උද්ධමන ඉලක්ක:

2022- 48.2%

2023 - 29.9%

2024 - 6.0%

2025 - 5.9%

2026 - 5.2%

2027 - 5.0%

මේ වසරේ පළමු මාස අටේ සාමාන්‍ය උද්ධමනය 41.3% වීම සැලකූ විට, වසරේ සාමාන්‍ය අගය 48.2% වීම සඳහා, අවසාන මාස හතරේ සාමාන්‍ය අගය 61.9% ,මට්ටමේ තිබිය යුතුයි. අගෝස්තු උද්ධමනය 70.2% වීම සැලකූ විට 48.2% ඇස්තමේන්තුව නිවැරදි වේයැයි මා සිතන්නේ නැහැ. දෙසැම්බර් වන විට උද්ධමනය 60-65% පමණ දක්වා අඩු විය හැකි වුවත්, ඉදිරි මාස හතරේ සාමාන්‍ය උද්ධමනය 65-70% පමණ මට්ට්කමවත් පවතිනු ඇති බව මගේ ඇස්තමේන්තුවයි. ඒ අනුව, 2022 වසරේ සාමාන්‍ය උද්ධමනය 50% ඉක්මවීමට ඉඩ තිබෙනවා. කෙසේ වුවත්, ඉහත ඇස්තමේන්තුවේ විශාල ඇස්තමේන්තු වරදක් පෙනෙන්නට නැහැ.

ලබන වසරේ සාමාන්‍ය උද්ධමනය 29.9% මට්ටම දක්වා රැගෙන ඒම නරක ඉලක්කයක් නෙමෙයි. වසර මුල උද්ධමනය 60-65% අතර තිබුණත්, වසර අවසාන වෙද්දී එම අගය 6% පමණ දක්වා අඩු කර ගත හැකිනම් සාමාන්‍ය අගය ඉහත මට්ටමට එනවා. තව දුරටත් සල්ලි අච්චු නොගසන්නේනම්, මේ වන විට අච්චු ගසා ඇති සල්ලි වල උද්ධමන බලපෑම ඉවත් වූ පසු ඉතා පහසුවෙන්ම ඉහත ඉලක්කය කරා යා හැකියි. කෙසේ වුවද, ඒ සඳහා විණිමය අනුපාතයද ස්ථාවර ලෙස තබා ගත යුතු වෙනවා. ස්ථාවරව තබා ගැනීම යනු එකතැන හිර කර තබා ගැනීම නෙමෙයි.

එළඹෙන 2023 වසර අවසාන වන විට උද්ධමනය 6% මට්ටම දක්වා පහත වැටේනම් එය වැඩි වන්නට නොදී, 2027 වන වට 5% මට්ටම දක්වා අඩු කර ගැනීම කළ හැක්කක්. කෙසේ වුවත්, ඒ සඳහා දිගින් දිගටම යම් ප්‍රමාණයකින් විදේශ ප්‍රාග්ධනය රටට ගලා ආ යුතුයි.

ආර්ථිකය නැවත ගොඩ යන්නේ කවදාද?

මේ වසරේදී 8.7%කින් හැකිලෙනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති දළ දේශීය නිෂ්පාදිතය ස්ථායීකරණ වැඩපිළිවෙළ යටතේ 2023දී තවත් 3.0%කින් හැකිළීමට නියමිතයි. ඉන්පසුව, 2024දී 1.5%කින්, 2025දී 2.6%කින්, 2026දී 3.0%කින් හා 2027දී 3.1%කින් ආර්ථිකය වර්ධනය වෙනවා. ඒ කියන්නේ, ඉදිරි වසර තුළ තව දුරටත් පහළ යාමෙන් පසුව, 2028 වන විට ලංකාවේ ආර්ථිකය නැවතත් 2018දී පැවති මට්ටමට පැමිණෙන බවයි. 

ආර්ථික වර්ධන ඉලක්ක:

2022  - (-8.7%) 

2023 - (-3.0%)

2024 - 1.5%

2025 - 2.6%

2026 - 3.0%

2027 - 3.1%

මෙය හොඳ මට්ටමක් නොවන සේ කෙනෙකුට පෙනෙන්න පුළුවන්. කෙසේ වුවත්, ප්‍රායෝගිකව මීට වඩා හොඳ ඉලක්කයක් කරා යන්න බැහැ. මෙය තමයි යථාර්ථවාදී ඉලක්කය. මේ අනුව, 2018-2028 දශකය ලංකාවට "අහිමි වූ දශකයක්" වෙනවා. ඉන් පසුවද, ආර්ථික වර්ධනය 3% මට්ටමෙන් ඉහළට ගැනීම වෙනම අභියෝගයක්. 

මේ ඉලක්ක වලට නිකම්ම යන්න පුළුවන්ද?

කිසිසේත්ම බැහැ. ඔය මට්ටමෙන් වැඩේ ගොඩ දාගන්න රාජ්‍ය අංශයේ දැවැන්ත ප්‍රතිසංස්කරණ අවශ්‍ය වෙනවා. ඉලක්ක සාක්ෂාත් කරගත හැකි වනු ඇත්තේ සැලසුම් කර ඇති පරිදි රජයේ ප්‍රාථමික හිඟය පහළ යන්නේනම් පමණයි. 2022දී දදේනියෙන් 4.0%ක් වූ ප්‍රාථමික හිඟය 2023දී දදේනියෙන් 0.7%ක් දක්වා අඩු කළ යුතුයි. ඉන් පසුව, 2024දී මෙය දදේනියෙන් 0.8%ක අතිරික්තයක් කර, 2025දී දදේනියෙන් 2.3%ක අතිරික්තයක් දක්වා ඉහළ දමා ගත යුතුයි. එම මට්ටම 2027 දක්වා (හා ඉදිරියට) නඩත්තු කළ යුතුයි. මේ සඳහා, රාජ්‍ය ආදායම් වැඩි කරගෙන වියදම් සීමා කළ යුතුයි. ඒ කොපමණ දුරකටද කියන එක පසුව විශ්ලේෂණය කරමු.

ප්‍රාථමික ශේෂය/ දදේනි ඉලක්ක:

2022  - (-4.0%) 

2023 - (-0.7%)

2024 - 0.8%

2025 - 2.3%

2026 - 2.3%

2027 - 2.3%

මෙහෙම කළොත් ඩොලර් ප්‍රශ්නය විසඳෙයිද?

මේ වසරේදී, එනම් 2022දී, දදේනියෙන් 3.4%ක් ලෙස පවතිනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන ජංගම ගිණුමේ හිඟය 2023දී දදේනියෙන් 2.0% දක්වාත්, 2024දී දදේනියෙන් 1.2% දක්වාත් අඩු කරගෙන ඉන්පසු එම මට්ටමේ පවත්වාගෙන යාම සැලසුමයි. ඒ කියන්නේ සැලසුම අනුව, දැනට වඩා අඩු වුවත්, ජංගම ගිණුමේ හිඟයක් දිගටම නඩත්තු වෙනවා. ඒ හිඟය පියවීම සඳහා දිගින් දිගටම විදේශ ණය අවශ්‍ය වෙනවා. 

ජංගම ගිණුම් ශේෂය/ දදේනි ඉලක්ක:

2022  - (-3.4%) 

2023 - (-2.0%)

2024 - (-1.8%)

2025 - (-1.8%)

2026 - (-1.8%)

2027 - (-1.8%)

අපේක්ෂා කරන විදිහට මේ විදේශ ණය ගන්න ලැබුණේ නැත්නම්, ඩොලරයේ මිල වැඩ සටහනේ සැලසුම් කර ඇති මට්ටමේ තියා ගන්න බැහැ. එහෙම බැරි වුනොත්, සැලසුම් කර ඇති පරිදි උද්ධමනය පාලනය කරන්නත් බැහැ. ඒ නිසා, 2027 වන තුරු (සහ ඉන් පසුවත්) වාර්ෂිකව යම් විදේශ ණය ප්‍රමාණයක් ගන්නම වෙනවා. ඊට අමතරව රජයේ අයවැය හිඟය පාලනය කරගෙන සල්ලි අච්චු නොගසා ඉන්නත් වෙනවා. 

මෙච්චර දඟලලත් අන්තිමට ඔච්චරද?

මා දකින විදිහට මෙහි තිබෙන්නේ දැන් ලංකාව වැටී සිටින තැන සිට යා හැකි උපරිම දුරයි. කටින් බතල වැඩ පිළිවෙළක් මිස, මීට වඩා හොඳ වැඩ පිළිවෙළක් හැදිය හැකියැයි මා සිතන්නේ නැහැ. ඇත්තටම ප්‍රශ්නය මේ වැඩ පිළිවෙළ වුවද ශුභවාදී (optimistic) වැඩ පිළිවෙළක් වීමයි. ශුභවාදී වුවත්, මෙය මනෝරාජික වැඩ පිළිවෙළක්නම් නෙමෙයි.

මේ වැඩ පිළිවෙළ යටතේ වුවද රාජ්‍ය ණය තිරසාරත්වයක් නැහැ. ඒ කියන්නේ, මේ ඉලක්ක වලට යමින් ණය ආපසු ගෙවන්න බැහැ. අපේක්ෂිත මට්ටමේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්නම වෙනවා. එම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ණයහිමියන් එකඟ විය යුතුයි.

පසුගිය ජූනි අවසානය වෙද්දී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය (මහ බැංකුවේ සහ රජයේ ඇප මත ලබාගෙන තිබෙන රාජ්‍ය ව්‍යවසාය වල ණයද සමඟ) ඩොලර් බිලියන 80.5ක්. 2021 දෙසැම්බර් අවසානයේදී මෙම ණය ප්‍රමාණය ඩොලර් බිලියන 100.9ක් වුවත්, ඩොලරයක මිල ඉහළ යාම නිසා ණය ප්‍රමාණය 20%කින් පමණ අඩු වී තිබෙනවා. 

ඉහත ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 46.6ක් විදේශ ව්‍යවහාර මුදල් වලින් ලබාගෙන ඇති ණයයි. දළ වශයෙන් එයින් බාගයක් පමණ වාණිජ ණය ලෙසත්, කාලක් පමණ ද්විපාර්ශ්වික ණය ලෙසත්, ඉතිරි කාල බහු පාර්ශ්වික ණය ලෙසත් වර්ග කළ හැකියි. මේ අතරින් ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඉදිරි මාස දෙක තුන තුළ සිදු වනු ඇති බව අපේක්ෂාවයි. ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කර, වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලකිය යුතු ප්‍රගතියක් පෙන්වීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ණය වාරිකය ලැබෙන්නට පුළුවන්. ලබන ජනවාරි පමණ වන විට මෙම පළමු වාරිකය ලබා ගැනීම ලංකාවේ අපේක්ෂාවයි.

Monday, September 26, 2022

උද්ධමනය හා ජීවන වියදම


උද්ධමනය කියන වචනය ගොඩක් අය තේරුම් ගන්නේ ජීවන වියදම වැඩි වීම විදිහට. එක කිට්ටුවෙන් යන දෙකක් වුනත්, මේ දෙක දෙකක්. 

ජීවන වියදම පුද්ගලයෙක්ට හෝ පවුලකට සාපේක්ෂ දෙයක්. එය එක් එක් පවුලේ ජීවන විලාසිතා අනුව පවුලෙන් පවුලට වෙනස් වන දෙයක්. ඒ වගේම ජීවත් වන තැන අනුවත් වෙනස් වෙනවා. ගමක ජීවත් වූ පවුලක් නගරයට පදිංචියට ආවොත් කලින් ජීවන විලාසිතාව ඒ විදිහටම පවත්වා ගන්න වුනත් බොහෝ විට වැඩි වියදමක් යනවා.

උද්ධමනය කියන්නේ මේ විදිහට පවුලෙන් පවුලට, තැනින් තැනට වෙනස් වන දෙයක් නෙමෙයි. උද්ධමනය කාටත් එකයි. එය මුදලේ අගය පිළිබඳ නිර්ණායකයක්. උද්ධමනය අර්ථ දක්වන එක ක්‍රමයක් වන්නේ "සාමාන්‍ය මිල මට්ටම" වැඩිවීම උද්ධමනය ලෙස සැලකීමයි. මේ සාමාන්‍ය මිල මට්ටමෙන් කිසිදු නිශ්චිත පුද්ගලයෙක්ගේ ජීවන වියදම නිරූපණය වෙන්නේ නැහැ. 

උද්ධමනයක් පවතිනවා කියන්නේ බඩු මිල සමස්තයක් ලෙස ඉහළ යනවා කියන එකයි. උද්ධමනය වැඩි වෙනවා කියන්නේ බඩු මිල ඉහළ යන වේගය වැඩි වීම. උද්ධමනය අඩු වෙනවා කියන්නේ අඩු වේගයකින් බඩු මිල ඉහළ යාම. අවස්ථා දෙකේදීම බඩු මිල ඉහළ යනවා. වෙනස් වන්නේ කොපමණකින්ද කියන එක පමණයි. බඩු මිල සමස්තයක් ලෙස අඩු වෙනවානම් එය හැඳින්වෙන්නේ අවධමනය ලෙසයි.

උද්ධමනය අඩු වීම කියන්නේ බඩු මිල අඩුවීම කියලා හිතන ගොඩක් අය ඉන්නවා. ඒ නිසාම, එවැනි අය උද්ධමනය අඩු වීම "මහ පොළොවේ" පෙනෙන්න නැති බව කියනවා. නමුත්, ඇත්තටම මහ පොළොවේ පෙනෙන්න නැත්තේ බඩු මිල අඩුවීමයි. එනම් අවධමනයයි. 70% මට්ටමේ තිබුණු උද්ධමනය 50% දක්වා අඩු වුනා කියන්නේ පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව බඩු මිල තව දුරටත් 50%කින් වැඩියි කියන එකයි. 

උද්ධමනය නිසා බඩු මිල ඉහළ යාම ජීවන වියදම ඉහළ යාමට හේතුවක්. ජීවන විලාසිතා වෙනස් වුවත් හැම දෙනෙකුටම වගේ උද්ධමනය අඩු වැඩි වශයෙන් බලපානවා. ප්‍රායෝගිකව මිනිස්සුන්ට දැනෙන්නේ උද්ධමනය නෙමෙයි. තමන්ගේ ජීවන වියදම ඉහළ යාම. උද්ධමනය කාටත් එකම වුනත්, ජීවන වියදම කෙරෙහි එහි බලපෑම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒ නිසා, උද්ධමනය දැනෙන ආකාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. 

සමහර අයට උද්ධමනය දැනෙන්නේ සැබෑ උද්ධමනයට වඩා අඩුවෙන්. තවත් අයට එය වැඩියෙන් දැනෙනවා. එය තීරණය වන්නේ ජීවන විලාසිතා මතයි. "මහ පොළොවේ උද්ධමනය" සංඛ්‍යාලේඛණ වල තිබෙන ගාණට වඩා වැඩියි කියා කියන සමහර අය කියන්නේ බොරු නෙමෙයි. බොහෝ විට ඒ කියන්නේ තමන්ගේ ජීවන වියදම ඉහළ යාම ගැන. 

බඩු මිල ඉහළ යාමට හා ඒ හේතුව මත ජීවන වියදම ඉහළ යාමට එකම හේතුව උද්ධමනය නෙමෙයි. සමස්තයක් ලෙස සාමාන්‍ය මිල මට්ටම නොවෙනස්ව තිබියදී වුනත්, බඩු වල මිල ගණන් අඩු වැඩි වෙනවා. සමහර බඩු ගණන් යනවා. තවත් ඒවා අඩු වෙනවා. ඔය ඔක්කොම සමස්තයක් විදිහට ගත්තහම තමයි වෙනසක් නැත්තේ. දැන් මේ වගේ වෙලාවක වුනත් අර මිල ඉහළ යන බඩු වැඩියෙන් පරිභෝජනය කරන කෙනෙකුගේ ජීවන වියදම ඉහළ යනවා. නමුත්, එය උද්ධමනය නෙමෙයි. 

ජීවන වියදම ඉහළ යාම මනින එක අමාරු වැඩක් නෙමෙයි. ඕනෑම කෙනෙකුට ගණන් හිලවු තියා ගත්තොත් තමන්ගේ ජීවන වියදම ඉහළ යන හැටි හරියටම දැන ගන්න පුළුවන්. සමීක්ෂණ කරලා රටේ සාමාන්‍ය තත්ත්වය දැන ගන්නත් පුළුවන්. නමුත්, උද්ධමනය හරියටම මනින එක ඊට වඩා අමාරුයි.

උද්ධමනය කියා කියන්නේ "සාමාන්‍ය මිල මට්ටම" ඉහළ යාම කියලා කතාවට කිවුවත් ඔය "සාමාන්‍ය මිල මට්ටම" කියා කියන්නේ කුමක්ද? එය ආර්ථික විද්‍යාවේ එන වියුක්ත සංකල්පයක් පමණයි. "සාමාන්‍ය මිල මට්ටම" සෘජුව මනින්න බැහැ. එය ඇස්තමේන්තු කිරීම සඳහා කවර හෝ වක්‍ර ක්‍රමයක් අනුගමනය කරන්න වෙනවා. එවැනි නිර්ණායක, එහෙමත් නැත්නම් මිනුම්, ගණනාවක් තිබෙනවා. ඒවා වෙනස් වෙන්නේ  "සාමාන්‍ය මිල මට්ටම" අර්ථ දක්වන විදිහ අනුව.

"සාමාන්‍ය මිල මට්ටම" මනින ප්‍රචලිතම ක්‍රමය පාරිභෝගික මිල දර්ශකයක් යොදා ගැනීමයි. මෙහිදී මිල මට්ටම බලන්නේ පාරිභෝගිකයෙකුගේ දෘෂ්ඨි කෝණයෙන්. ඒ සඳහා, "සාමාන්‍ය" පාරිභෝගිකයෙකු අර්ථදක්වන්න වෙනවා. මේ ක්‍රමයට උද්ධමනය ඇස්තමේන්තු කරන්නේ එවැනි උපකල්පිත සාමාන්‍ය පාරිභෝගිකයෙකුගේ ජීවන වියදම වෙනස් වීම මත පදනම්වයි. ගොඩක් අයට උද්ධමනය හා ජීවන වියදම පැටලෙන්න හේතුවත් මෙයයි. මේ ක්‍රමයේදී ඉලක්ක මිනුම වන්නේ "සාමාන්‍ය" පාරිභෝගිකයෙකු විසින් මිල දී ගන්නා භාණ්ඩ හා සේවා පැසකට සාපේක්ෂව මුදලේ වටිනාකම වෙනස් වීමයි. 

මෙයට විකල්ප ලෙස ස්ටීව් හැන්කි විසින් යෝජනා කර තිබෙන ක්‍රමය අනුව ඩොලරයක කළුකඩ මිල "සාමාන්‍ය මිල මට්ටම" ලෙස සැලකෙනවා. එහිදී ඩොලරයක කළුකඩ මිලට සාපේක්ෂව රුපියලේ වටිනාකම නිර්ණය කෙරෙනවා. සංකල්පීය ලෙස ගත්තොත් මෙහි වරදක් නැහැ. එහෙත්, මෙය උද්ධමනය මනින සම්මත ක්‍රමයක් නෙමෙයි. ඒ වගේම පටු මිනුමක්. 

දළ දේශීය නිෂ්පාදිතයේ අවධමනකය උද්ධමනය මනින තවත් සම්මත මිනුමක්. මෙය වඩා නිවැරදි හා පුළුල් මිනුමක් ලෙස හැඳින්විය හැකියි. පාරිභෝගික මිල දර්ශකයක් මගින් "සාමාන්‍ය මිල මට්ටම" මැනීමේදී බලන්නේ පාරිභෝගිකයන්ගේ පැත්ත පමණයි. එහෙත්, දළ දේශීය නිෂ්පාදිතයේ අවධමනකය තුළ පාරිභෝගිකයින්ගේ පැත්තට අමතරව ආයෝජකයින්ගේ, නිෂ්පාදකයින්ගේ මෙන්ම රජයේ ගනුදෙනු සැලකිල්ලට ගැනෙනවා. 

නිෂ්පාදක මිල දර්ශකය උද්ධමනය මනින තවත් ක්‍රමයක්. එමගින් බලන්නේ නිෂ්පාදකයින්ට ලැබෙන මිල ගණන් වෙනස් වීම දෙසයි. 

පාරිභෝගික මිල දර්ශක යන සංකල්පය ගත්තත්, "සාමාන්‍ය" පාරිභෝගිකයෙකු අර්ථදක්වන ආකාරය අනුව මිනුම වෙනස් වෙනවා. 1953 සිට 2008 මැද දක්වාම ලංකාවේ භාවිතා වූ කොළඹ පාරිභෝගික මිල දර්ශකය පදනම් වුනේ 1952දී කොළඹ නාගරික ප්‍රදේශයේ ජීවත් වූ අඩු ආදායම්ලාභී පවුල් හාරසිය ගණනක සාමාන්‍ය පරිභෝජන රටාව මතයි. එහෙත්, 2008 වන විට රටේ සාමාන්‍ය පරිභෝජන රටාව විශාල ලෙස වෙනස් වී තිබුණා. උදාහරණයක් ලෙස අදාළ භාණ්ඩ හා සේවා පැසෙහි විශාල බරක් භූමිතෙල් වලට තිබුණත්, 2008 වන විට රටේ බොහෝ නිවෙස් ආලෝකමත් කළේ විදුලියෙන්. 

වඩා හොඳ "සාමාන්‍ය පාරිභෝගිකයෙකු" හොයා ගැනීමේ අරමුණෙන්, 2008දී කොළඹ පාරිභෝගික මිල දර්ශකය සංශෝධනය කෙරුණු අතර ඉන් පසුවද එම දර්ශකය කිහිප වරක්ම සංශෝධනය කෙරුණා. දැනට වුවත් මෙයින් නිරූපණය වන්නේ කොළඹ නාගරික ප්‍රදේශ වල ජීවත් වන සාමාන්‍ය පාරිභෝගිකයෙකුගේ වියදම් රටාවයි. ඉන් පසුව හඳුන්වා දුන් ජාතික පාරිභෝගික මිල දර්ශකයෙන් මුළු රටේම පාරිභෝගිකයින් නිරූපණය වෙනවා. 

උද්ධමනය මැනීම සඳහා භාවිතා කරන විවිධ නිර්ණායක වලින් ලැබෙන මිනුම් එකිනෙකට සමාන නැහැ. එයට හේතුව මේ හැම නිර්ණායකයක්ම "සාමාන්‍ය මිල මට්ටම" හෝ එහි වෙනස්වීම වන "උද්ධමනය" කියන වියුක්ත සංකල්ප මැනීම සඳහා යොදා ගැනෙන මිනුම් මිස "උද්ධමනය" නොවීමයි. නමුත්, ප්‍රායෝගිකව මෙය ප්‍රශ්නයක් නෙමෙයි. මේ හැම මිනුමකින් මෙන්ම බොහෝ විට එකම රටාව නිරූපණය වන අතර දිගුකාලීන හැසිරීම් වල විශාල වෙනස්කම් නැහැ. 

උද්ධමනය මනින්නේ ඇයි? සරලම පිළිතුර උද්ධමනය පාලනය කිරීම සඳහා කියන එකයි. උද්ධමනය පාලනය කළ හැක්කේ මුදල් සැපයුම පාලනය කිරීමෙන්. වඩා පුළුල් පිළිතුරක් ලෙස මුදල් ප්‍රතිපත්ති මගින්. එය කරන්නේ මහ බැංකුවයි.

රටක ජීවත් වන මිනිසුන්ගේ ජීවන තත්ත්වය තීරණය කරන්නේ මුදල් නෙමෙයි. ඔවුන්ට පරිභෝජනය කළ හැකි භාණ්ඩ හා සේවාවන් විසිනුයි. මුදල් ජීවන තත්ත්වය කෙරෙහි බලපාන්නේ භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේ හැකියාව හරහා පමණයි. 

වෙනත් විදිහකින් කිවුවොත් රටක මිනිසුන්ගේ ජීවන තත්ත්වය නිර්ණය කරන්නේ ඒ රටේ නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණයයි. තනි පුද්ගලයෙක් හෝ පවුලක් ගත්තත් මේ කතාව මේ විදිහටම වලංගුයි.

ඉහත හේතුව නිසාම, සාමාන්‍ය මූලධර්මයක් ලෙස, රජයට මැදිහත් වී පුද්ගලයෙකුගේ ජීවන තත්ත්වය වඩා යහපත් කළ හැක්කේ තවත් පුද්ගලයෙකුගේ ජීවන තත්ත්වය පහත හෙළමින් පමණයි. බදු අය කර වියදම් කිරීමේදී සිදු වන්නේ මෙයයි. මෙහිදී බදු ගෙවන්නාගේ ජීවන තත්ත්වය අනිවාර්යයෙන්ම පහළ යනවා. රජය එම බදු මුදල් වියදම් කරන ආකාරය අනුව වෙනත් අයෙකුගේ ජීවන තත්ත්වය ඉහළ යනවා. රජය බැංකු නොවන අංශයකින් ණය ගැනීමේදී වෙන්නෙත් මෙයයි. මෙහිදී ණය දෙන්නාගේ මිල දී ගැනීමේ හැකියාව හා එමගින් ජීවන තත්ත්වයද පහළ යනවා.

රජය බැංකු අංශයෙන් ණය ගැනීමේදී ක්ෂණිකව කාගේවත් ජීවන තත්ත්වය පහළ යන්නේ නැහැ. මෙහිදී අලුතෙන් සංසරණයට එකතු වන සල්ලි කාගේ හෝ අත් වලට යනවා. එහෙත්, නිෂ්පාදනය වැඩිවීමක් නොවන නිසා වැඩි වූ මුදල් ප්‍රමාණයට අනුරූපව "සාමාන්‍ය මිල මට්ටම" ඉහළ ගොස් සමතුලිතතාවක් ඇති විය යුතුයි. උද්ධමනය යනු මේ කාර්යය කරන වෙළඳපොළ යාන්ත්‍රණයයි. 

රජය විසින් බදු ආදායම් හා බැංකු නොවන අංශ වලින් ණයට ගන්නා මුදල් වියදම් කරද්දී රටේ භාණ්ඩ හා සේවාවන් හා මුදල් ප්‍රමාණය අතර සමතුලිතතාවය වෙනස් වෙන්නේ නැහැ. බදු හෝ ණය ලෙස සල්ලි එකතු කර ගන්නා මොහොතේ මුදල් සැපයුම පහළ ගොස් මුදලේ වටිනාකම ඉහළ යනවා. එම සල්ලි වියදම් කරද්දී නැවත මුදලේ වටිනාකම පහත වැටෙනවා. මේ දෙකම එකවර සිදු වන නිසා මුදලේ වටිනාකමේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ උද්ධමනයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි යම් පිරිසකගේ ජීවන තත්ත්වය පහත වැටෙනවා. ඒ කාගේද කියන එක තීරණය කරන්නේ රජයයි.

බදු සල්ලි වියදම් කරද්දී ජීවන තත්ත්වය අඩු කරන්නේ කාගේද, වැඩි කරන්නේ කාගේද කියන එක රජය විසින් තීරණය කරනවා. සල්ලි අච්චු ගසා වියදම් කරද්දී ජීවන තත්ත්වය වැඩි කරන්නේ කාගේද කියන එක රජය විසින් තීරණය කරන නමුත් එයට අනුරූපව ජීවන තත්ත්වය අඩු කරන්නේ කාගේද කියන එක වෙළඳපොළ යාන්ත්‍රනය හරහා සිදු වීමට ඉඩ හරිනවා. උද්ධමනය විසින් කරන්නේ මේ කාර්යයයි. එහිදී රජය වැඩිපුර වියදම් කළ මුදල උද්ධමන යාන්ත්‍රනය හරහා කාගෙන් හෝ අය කෙරෙනවා. එහිදී යම් පිරිසකගේ ජීවන තත්ත්වය පහළ බහිනවා. 

උද්ධමනය පිළිබඳ මිථ්‍යාව පැහැදිලි කරද්දී පැවසෙන්නේ උද්ධමනය නිසා දිගුකාලීනව රටක මිනිසුන්ගේ ජීවන තත්ත්වයේ හොඳ හෝ නරක වෙනසක් නොවන බවයි. එහෙත්, බදු ගැසීමේදී මෙන්ම, ඇතැම් අයගේ ජීවන තත්ත්වය පහළ යාමක් හා එහි උදවුවෙන් තවත් අයගේ ජීවන තත්ත්වය ඉහළ යාමක් සිදු වෙනවා.

උද්ධමනය පාලනය කළ යුත්තේ එමගින් රටේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය පහළ යන නිසා නෙමෙයි. ජීවන තත්ත්වය ඉහළ නොයන නිසා. රජය මැදිහත් වී මුදල් සැපයුම වැඩිකර මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමට දරන උත්සාහයන් ආපසු හැරවෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ. දැන් වෙන්නෙත් ඒකයි. 

මේ දවස් වල පවතින ඉහළ උද්ධමනය තුළ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන ගොඩක් අයගේ ආදායම් ඉහළ ගොස් තිබෙනවා. විශේෂයෙන්ම අත්‍යාවශ්‍ය භාණ්ඩ නිපදවන අයගේ. එය ඔවුන්ගේ ශ්‍රමයේ ඵලදායීත්වය ඉහළ යාමක් ලෙස හඳුන්වන්නත් පුළුවන්. අනෙක් පැත්තෙන් මාස් පඩි ලබන බොහෝ දෙනෙකුගේ මූර්ත ආදායම් පහළ ගොස් තිබෙනවා. එයින් හැඟවෙන්නේ ඔවුන්ගේ ශ්‍රමයේ ඵලදායීත්වය පහළ ගොස් ඇති බවයි. 

පෞද්ගලිකව මමත් මාසික වැටුප් ලබන (හෝ එසේ හඳුන්වා දීමේ ලොකු වැරැද්දක් නැති) අයෙක්. පසුගිය වසර තුළ මගේ වැටුප් වැඩි වී තිබෙන්නේ රටේ පැවති උද්ධමනයට වඩා බොහෝ අඩුවෙන්. ඒ කියන්නේ මගේ මූර්ත ආදායම් පසුගිය වසර තුළ පහළ ගොස් තිබෙනවා. එයට හේතුව මගේ ශ්‍රමයේ ඵලදායීත්වය අඩු වීමයි. 

මා සේවය කරන ආයතනය පසුගිය වසර තුළ ලාබ ලැබුවේ නැහැ. එහෙත් ආයතනය සේවකයින් ඉවත් කළේ හෝ නාමික වැටුප් අඩු කළේ නැහැ. ආයතනයකට එසේ පැවතිය නොහැකියි. උද්ධමනයට අනුරූප ලෙස වැටුප් වැඩි නොකර, සේවකයින්ගේ මූර්ත වැටුප් පහළ යන්නට ඉඩ හැරීම ආයතනයේ අලාභ අඩු කරගත හැකි ක්‍රමයක්. මෙහිදී මගේ මූර්ත වැටුප් පහළ ගොස් ඇතත්, එය මා මගේ රැකියා සුරක්ෂිතතාව වෙනුවෙන් ගෙවිය යුතු වන්දියක්. ආයතනයට සේවක වැටුප් උද්ධමනය හා ගැලපිය හැක්කේ යම් සේවක පිරිසක් ඉවත් කිරීමෙන් පමණයි. එසේ කළේනම්, එක්කෝ මගේ රැකියාව නැති වෙනවා. නැත්නම් ඉවත් කරන අයගේ වැඩ වලින් කොටසක්ද මට කරන්නට සිදු වෙනවා. දෙවැන්නේදී වෙන්නේත් යොදවන ශ්‍රමයට සාපේක්ෂව වැටුප් පහළ යාමක්. 

ශ්‍රමයේ ඵලදායීත්වය අඩු වීම කියන එකෙන් අදහස් වෙන්නේ අඩුවෙන් වැඩ කර ඇති බව නෙමෙයි. ඇතැම් විට වැඩියෙන් වැඩ කර ඇති. එහෙත්, කළ වැඩ වල වෙළඳපොළ වටිනාකම අඩු වෙලා. ශ්‍රමයේ ඵලදායීත්වය තීරණය වන්නේ වෙළඳපොළ තුළයි. එය තීරණය කරන්නේ නිපදවන භාණ්ඩ හා සේවා පරිභෝජනය කරන පාරිභෝගිකයා විසින්. පෞද්ගලික අංශයට කළ හැකි දේ රජය විසින් කිරීමේ ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේද ශ්‍රමයේ ඵලදායීත්වය තීරණය කළ හැකි නිර්ණායකයක් නැති වීමයි. ඒ නිසාම, වැටුප් නියාමනය වන කාර්යක්ෂම යාන්ත්‍රණයක් නැති වීමයි. 

Sunday, September 25, 2022

තාරකා යුද්ධය


අනෙක් හැම ජීවියෙක්ම වගේම මිනිස්සුත් කරන හැම දෙයක්ම වගේ කරන්නේ තමන්ගේ පැවැත්ම වෙනුවෙන්. පරිණාමයේ නීති අනුව එය එහෙම විය යුතුමයිනේ. තමන්ගේ පැවැත්ම ගැන නොහිතන ජීවීන්ව පරිණාමය විසින් ඉතිරි කරන්නේ නැහැ. 

තමන්ගේ පැවැත්ම ගැන හිතන මිනිස්සුන්ට නිරන්තරයෙන් තමන්ගේ පැවැත්මට අභියෝග කළ හැකි සජීවී හෝ අජීවී සතුරන් ගැන අවධානයෙන් ඉන්න වෙනවා. අනතුරු කලින්ම හඳුනාගෙන සැලසුම්සහගත ලෙස ප්‍රතික්‍රියා දක්වන්න වෙනවා. 

තමන්ගේ පැවැත්මට හානියක් සේ පෙනෙන ඕනෑම සජීවී හෝ අජීවී සතුරෙක්ව විනාශ කරන්න මිනිස්සු පැකිලෙන්නේ නැහැ. අසල්වැසියා ගැන, සමාජය ගැන, පරිසරය ගැන වගේ වෙනත් හැම දෙයක් ගැනම තියෙන මිනිස්සුන්ගේ ආදරය පිටුපස තිබෙන්නේ තමන්ගේ පැවැත්ම සඳහාම අවශ්‍ය වන සහජීවනයට වඩා වැඩි දෙයක් නෙමෙයි. 

ආර්ථික හා සමාජයීය වර්ධනයේ පහළ අදියරකදී මේ සහජීවනය තමන් වටා ඉන්න කුඩා කවයකට සීමා වෙනවා. සතුරෝ වෙන්නේ ළඟපාතම ඉන්න අය. ළඟින්ම ඉන්න අය එක්ක සම්මුතියක් ඇති කරගෙන ටිකක් ඈතින් ඉන්න අයගේ තර්ජන වලට සාමූහිකව මුහුණ දෙන එක තරමක් දියුණු මට්ටමක්. හැබැයි බොහෝ සත්තුත් මේ වැඩේ කරනවා. 

සමාජයක් ලෙස දියුණු වෙනවා කියන්නේ මේ සමීප කවය පුළුල් කරගන්නවා කියන එකයි. ආර්ථික වර්ධනය හා එයට සමගාමී තාක්ෂණික දියුණුව විසින් මේ කවය පුළුල් කර ගැනීම පහසු කරනවා. අද ලෝකයේ දෙකොනක ඉන්න දෙදෙනෙකුට සමීපව සිටීම ඇතැම් විට අහළ පහළ ගෙවල්වල අය එක්ක සමීපව ඉන්නවාටත් වඩා පහසුයි. 

සමීප කවය පුළුල් වෙනවා කියන්නේ පොදු සතුරන් වඩ වඩා ඈත් වෙනවා කියන එකයි. අල්ලපු ගෙදර සතුරෙකු දිහා බලා නොසිට අල්ලපු ගෙදර අයත් එක්ක එකතු වී අල්ලපු ගමේ සතුරන් ලෙස බලා සිටීම සාපේක්ෂව දියුණු තත්ත්වයක්. රටම එකතු වී වෙනත් රටක සතුරන්ගෙන් ප්‍රවේශම් වෙන්න සැලසුම් කිරීම ඊටත් වඩා දියුණු මට්ටමක්. හැබැයි දැන් මිනිස්සුන්ට පහසුවෙන්ම ඒ මට්ටමෙන් ඔබ්බට හිතන්න පුළුවන්.

යුක්රේන යුද්ධය වගේ දේවල් අතරින් පතර සිදු වුනත්, දෙවන ලෝක යුද්ධයෙන් පසුව මිනිස් කණ්ඩායම් අතර ඒ ආකාරයේ මහා පරිමාණ යුද්ධ ඇති වී නැහැ. එහෙත්, පසුගිය දෙවසර තුළ ලෝකයේම මිනිසුන් එකතු වී මහා පරිමාණ ලෝක යුද්ධයක් කළා. ඒ කෝවිඩ් රෝගයට හේතු වන වෛරස සමඟ. යුද්ධය අවසන් නැතත් මේ වන විට සතුරා සමඟ සංහිඳියාවක් ඇති වී තිබෙනවා.

මිනිස් කණ්ඩායම් අතර මහා පරිමාණ යුද්ධයක් කියා කියන්නේ මිනිස් සංහතියම ක්ෂණිකව විනාශ වී යා හැකි එක් ආකාරයක්. කෝවිඩ් හදන වෛරස වැනි ක්ෂුද්‍ර ජීවී කණ්ඩායමකට වුවත් කෙටි කාලයකින් මිනිස් සංහතිය නැති භංගස්ථාන කර දමන්න පුළුවන්. කෝවිඩ් පැතිරුණු වේගය සමඟ එහි මරණ අනුපාතය 30-40% වැනි මට්ටමක තිබුණානම් සිදු විය හැකිව තිබුණු දේ ගැන සිතන්න.

පෘථිවියේ ජීවත් වන ඇහැට පෙනෙන සතුන් සියල්ලන්ම වගේ මිනිසුන් විසින් සිය අණසකට නතු කරගෙන ඇතත් ඇහැට නොපෙනෙන වෛරස, බැක්ටීරියා ආදිය මිනිස් තර්ජන හමුවේ සිය පැවැත්ම ආරක්ෂා කර ගැනීමට සමත්ව සිටිනවා. කෙටි ජීව කාලය නිසා, ඉතා ඉක්මණින් පරිණාමය වීමට මෙවැනි ක්ෂුද්‍ර ජීවීන්ට තිබෙන හැකියාව ඔවුන් සමඟ සටනකදී මිනිසුන්ට මුහුණ දෙන්න වන විශාල අභියෝගයක්.

අඩු සම්භාවිතාවක් ඇති දෙයක් වුවත්, පෘථිවියට පිටින් එන තර්ජනයක් හමුවේ මුළු මිනිස් සංහතියම අසරණ විය හැකියි. අභ්‍යාවකාශයෙන් පැමිණිය හැකි ජීවී සතුරු තර්ජන ගැන කිසිවෙකුට කිසිදු නිශ්චිත අදහසක් නැතත්, අජීවී සතුරන් ගැන යම් අදහසක් තිබෙනවා. පොළොවෙහි ගැටෙන විශාල උල්කාපාතයකට මිනිස් සංහතියම විනාශ කර දැමිය හැකියි. 

සෑම දිනකම ටොන් 100ක පමණ අභ්‍යාවකාශ අපද්‍රව්‍ය පෘථිවි වායුගෝලයට ඇතුළු වන නමුත් ඒවා පොළොවට වැටෙන්නට පෙර වායුගෝලය තුළදීම දැවී විනාශ වී යනවා. වසරකට පමණ වරක් මෝටර් රථයක ප්‍රමාණයේ ග්‍රහකයක් (Asteroid) වායු ගෝලයට ඇතුළු වන නමුත් එම ප්‍රමාණයේ අභ්‍යාවකාශ වස්තුවක් වුවත් පොළොවට වැටෙන්නට පෙර වායු ගෝලය තුළ දැවී යනවා. එහෙත්, ඊට වඩා ලොකු අභ්‍යාවකාශ වස්තුවක් වායු ගෝලයට ඇතුළු වුවහොත් එයින් යම් කොටසක් පොළොවට වැටෙන්නට පුළුවන්.

පෘථිවි පෘෂ්ඨයෙන් 70%ක් පමණම සාගර නිසා බොහෝ විට පොළොවට වැටෙන අභ්‍යාවකාශ වස්තු කොටසක් වුවත් වැටෙන්නේ මුහුදටයි. ගොඩබිමකට වැටුණත්, ජනාකීර්ණ නැති පෙදෙසකට වැටෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. එහෙත්, එසේ නොවන අවස්ථා තිබෙනවා. 

ඇමරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ වාසය කළ ඈන් හොජස් (Ann Elizabeth Fowler Hodges) 1954 නොවැම්බර් 30 දින දවල් ගෙදර සෝපාවේ ඇලවී කුකුළු නින්දක් දමාගෙන සිටියා. හරියටම දවල් 12:54ට, පෘථිවි වායු ගෝලයට ඇතුළු වී දැවී යාමෙන් පසුව ඉතිරිව තිබුණු රාත්තල් නවයක උල්කාෂ්ම කොටසක් ඇගේ වහලයේ අඩි තුනක හිලක් හදාගෙන ගේ ඇතුළට කඩා වැටුණා. පළමුව රේඩියෝව මත පතිත වුණු මේ උල්කාෂ්ම කොටස ඉන් පසුව බම්ප් වී ඇවිත් ඇගේ අතක සහ කකුලකද වැදී තැළුම් තුවාල හැදුවා.

ඉන් පසුව, 1992 ඔක්තෝබර් 9 වනදා පස්වරුවේ ඇමරිකාවේ නිවුයෝර්ක් ප්‍රාන්තයේ පීක්ස්කිල්හි නවතා තිබුණු මෝටර් රථයක් මතට රාත්තල් 27.7ක උල්කාෂ්ම කොටසක් වැටුණා. 2003 සැප්තැම්බර් 23 වෙනිදා ඇමරිකාවේ ලුවිසියානා ප්‍රාන්තයේ නිවු ඕලියන්ස් නගරයේ නිවසක වහලය කඩාගෙන රාත්තල් 44ක උල්කාෂ්ම කොටසක් වැටුණා. 

ලංකාවට වැටුණු උල්කාෂ්ම කොටස් සේ සැක කෙරෙන ද්‍රව්‍ය ගැන වසර කිහිපයකට පෙර වාර්තා වී තිබුණා. මතක හැටියට අදාළ කොටස් කොළඹ විශ්ව විද්‍යාලය විසින් ලබාගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා වෙනත් රටක විද්‍යාගාරයකට යවන කතාවක් වාර්තා වී තිබුණත්, ලංකාවෙන් යැවූ පළමු චන්ද්‍රිකාව ගැන වගේම ඒ ගැනත් ඉන් පසු අහන්න ලැබුණේ නැහැ. 

නාසා වෙබ් අඩවිය අනුව, වසර දෙදහසකට පමණ වරක් පාපන්දු පිටියක තරමේ උල්කාෂ්මයක් පොළොවට වැටී සැලකිය යුතු විනාශයක් කරනවා. පෘථිවි වායු ගෝලයට ඇතුළුවන මීටර 25කට වඩා කුඩා ඝන ද්‍රව්‍යයක් සාමාන්‍යයෙන් පොළොවට වැටෙන්නට පෙර දැවී යනවා. මීටර 25 සිට කිලෝමීටරය දක්වා ප්‍රමාණයේ ඝන ද්‍රව්‍යයක් වායු ගෝලයට ඇතුළු වූ විට උල්කාෂ්ම කොටස් පොළොවට වැටී යම් හානියක් කරන නමුත් එම හානිය අදාළ ප්‍රදේශයට සීමා වෙනවා. කිලෝමීටර 1-2 පමණ ඝන ද්‍රව්‍යයක් වායු ගෝලයට ඇතුළු වීමෙහි බලපෑම ලෝකයටම දැනෙන්න පුළුවන්. 

කිසියම් අභ්‍යවකාශ වස්තුවක් පොළොව හා ගැටෙන්න යන බව කලින් හඳුනා ගත හැකි වුවහොත්, සිදු විය හැකි විනාශයෙන් බේරෙන්න ගත හැකි පියවර මොනවාද? ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ මෙන් අර්බුදය මුවවිටටම එන තුරු හිටියොත්නම් කරන්න ලොකු දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. උල්කාෂ්ම කොටස් ඔළුවට වැටෙන්න යද්දී කැටපෝල් වලින් විදලා බේරෙන්න බැහැ. විනාශය වෙන්න කලින් පෙර සූදානමක් අවශ්‍යයි.

මෙවැනි විනාශයකින් බේරීම සඳහා කාලයක් තිස්සේ යෝජනා වී තිබුණු පිළියමක් වන්නේ අදාල අභ්‍යවකාශ වස්තුව වෙත රොකට්ටුවක් යවා එහි වැද්දවීම මගින් ගමන් මාර්ගය වෙනස් කිරීමයි. විද්‍යා ප්‍රබන්ධ වලනම් මේ වැඩේ කරලා ගොඩක් කල්. හැබැයි ඇත්තටම එහෙම වැඩක් කවදාවත් කරලා තිබුණේ නැහැ.

ඉතිහාසයේ පළමු වරට මෙවැනි පරීක්ෂාවක් හෙට සිදු වෙනවා. 2021 නොවැම්බර් 24 දින නාසා ආයතනය විසින් අභ්‍යාවකාශ ගත කළ ඩාර්ට් (Double Asteroid Redirection Test -DART) අභ්‍යාවකාශ යානය හෙට (සැප්තැම්බර් 26) ඇමරිකාවේ නැගෙනහිර කලාපයේ වේලාවෙන් පස්වරු 7:14ට (ලංකාවේ වේලාවෙන් සැප්තැම්බර් 27 පාන්දර 4:44ට) සැලසුම්සහගත ලෙස ඩිමෝපස් (Dimorphos) ග්‍රහකයේ වද්දවා එහි ගමන් මග වෙනස් කරනවා. මෙය සජීවී ලෙස නැරඹිය හැකියි. 

Friday, September 23, 2022

උද්ධමනය පිළිබඳ ජනප්‍රිය මිථ්‍යාව


උද්ධමනය ගැන විවේචනාත්මක ලෙස කතා කරන ගොඩක් අය විසින් කියන ජනප්‍රිය කතාවක් වන්නේ උද්ධමනය නිසා රටක මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය පහළට වැටෙනවා කියන එක. මේක මිථ්‍යාවක්. 

මේ කතාව මිථ්‍යාවක් කියන්නේ මම හිතලා කියන දෙයක් නෙමෙයි. පොදුවේ ආර්ථික විද්‍යාඥයින් එකඟ වන දෙයක්. අවශ්‍ය කෙනෙකුට "Inflation fallacy" කියන වචන ගූගල් කරලා බලන්න පුළුවන්. 

හැබැයි මේ මිථ්‍යා අදහස ලෝකය පුරාම ජනප්‍රියයි. මේ දවස් වල ලංකාවේ මේ අදහස ප්‍රවර්ධනය කරන්නේ සමාජවාදී කඳවුරේ අය පමණක් නෙමෙයි. ලිබරල් කඳවුරේ අයත් බරටම මේ වැඩේට දායක වෙනවා. 

දැන් මම මේ කියන්න හදන්නේ උද්ධමනය හොඳයි කියලවත්, උද්ධමනය බිය විය යුතු දෙයක් නෙමෙයි කියලවත්, උද්ධමනය හැකි ඉක්මණින් මුළු වැර යොදා පරාජය කළ යුතු දෙයක් නෙමෙයි කියලවත් නෙමෙයි. ඉතා පැහැදිලිවම උද්ධමනය පරාජය කිරීම වෙනුවෙන් මම පෙනී සිටිනවා. උද්ධමනය ඉතාම හානිකරයි. හැබැයි උද්ධමනය නිසා සමස්තයක් ලෙස රටක ජනතාවගේ මිල දී ගැනීමේ හැකියාව අඩු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ක්‍රය ශක්තිය අඩු වෙන්නේ නැහැ. 

උද්ධමනය නිසා වෙන්නේ කිසියම් රටක මුදල් ඒකකයක තිබෙන මිල දී ගැනීමේ හැකියාව හෙවත් ක්‍රය ශක්තිය අඩු වෙන එක.  කිසියම් මුදල් ඒකකයක ක්‍රය ශක්තිය අඩු වීම හා ඒ මුදල් ඒකකය භාවිතා කරන මිනිසුන්ගේ ක්‍රය ශක්තිය අඩුවීම කියා කියන්නේ කරුණු දෙකක්. මේ දෙක එකක් නෙමෙයි. 

ලංකාවේ මුදල් ඒකකය රුපියල්නේ. ලංකාවේ උද්ධමනය නිසා වෙන්නේ රුපියලේ ක්‍රය ශක්තිය අඩු වෙන එක. හැබැයි ඒ නිසා රුපියල් භාවිතා කරන මිනිස්සුන්ගේ ක්‍රය ශක්තිය අනිවාර්යයෙන්ම අඩු වෙන්නේ නැහැ. ඒ, සමස්තයක් ලෙස, රටේ මිනිස්සුන්ගේ වියදම් වැඩි වන තරමට ආදායම්ද වැඩි වන නිසා.   

රුපියලේ ක්‍රය ශක්තිය ගැනම කතා කළත්, ඇතැම් අවස්ථා වල නන්දලාල් වීරසිංහ, හර්ෂ ද සිල්වා වගේ අය පවා ගණන් වරද්දලා කතා කරනවා. උද්ධමනය 60%ක් කියා කියන්නේ දැන් මිල දී ගන්න පුළුවන් කලින් මිල දී ගත් බඩු ප්‍රමාණයෙන් 40%ක් පමණක්ද? 

නන්දලාල් වීරසිංහ වගේම හර්ෂ ද සිල්වාත් ඔය කතාව ඔය විදිහටම වගේ කියනවා මම දැකලා තියෙනවා. සමහර විට ප්‍රශ්නයේ බරපතලකම ඔළුවට දාන්න හිතාමතාම මෙහෙම කියනවා වෙන්න පුළුවන්. මේ කතාවේ අදහස නිවැරදි වුනත්, ගණන් වැරදියි. මේ කතාව ඇත්තනම්, උද්ධමනය 100% වුනොත් රුපියල් වලින් බඩු මිල දී ගන්නම බැරි විය යුතුයි!

දැන් උද්ධමනය 70%යි. ඒ කියන්නේ දැන් මිල දී ගන්න පුළුවන් කලින් මිල දී ගත් බඩු ප්‍රමාණයෙන් 30%ක් කියන එක නෙමෙයි. කලින් රුපියල් 100ක් ගිය බඩු මල්ලට දැන් රුපියල් 170ක් යනවා කියන එකයි. ඒ කියන්නේ දැන් රුපියල් 100කින් මිල දී ගන්න පුළුවන් කලින් රුපියල් 59කින් පමණ (=100/1.7) ගත්ත බඩු ප්‍රමාණය කියන එක. එහෙමත් නැත්නම් කලින් මිල දී ගත් බඩු ප්‍රමාණයෙන් 59%ක් කියන එක.

හරි. ගණන් වෙනස් කියමුකෝ! එහෙම වුනත් ගන්න පුළුවන් බඩු ප්‍රමාණය අඩු වෙලානේ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ජීවන තත්ත්වය අනිවාර්යයෙන්ම පහළ ගිහින් කියන එක. මොකද උද්ධමනය නිසා මේ විදිහට වියදම් වැඩි වෙද්දී අනෙක් පැත්තෙන් ආදායම්ද වැඩි වෙන නිසා.

තනි පුද්ගලයෙක් ගත්තොත්, සමහර විට, උද්ධමනය නිසා වියදම් වැඩි වූ තරමට ආදායම් වැඩි වී නොතිබෙන්න පුළුවන්. හැබැයි සමස්තයක් ලෙස රටේ හැමෝම ගත්තොත් ඒක ඒ විදිහට සිද්ද වෙන්න බැහැ. මොකද කෙනෙකුගේ වියදමක් කියා කියන්නේ හැම විටම තවත් කෙනෙකුගේ ආදායමක් නිසා. වියදම් වැඩි වෙනවානම් කොහේ හෝ තැනක ඊට අනුරූප ආදායම් වැඩි වීමකුත් තිබිය යුතුයි.

මේ කතාව වඩා හොඳින් පැහැදිලි කර ගැනීම සඳහා අපි විදේශ ගනුදෙනු සියල්ල පැත්තකින් තියමු. දැන් ඩොලර් සම්බන්ධයක් නැහැ. ගනුදෙනු සියල්ල සිදු වෙන්නේ රුපියල් වලින්. වැඩේ තවත් සරල කර ගන්න රජයත් පැත්තකින් තියමු. රජයක් නැත්නම්, විදේශ ගනුදෙනුත් නැත්නම්, රට ඇතුළේ කාට හරි යමක් මිල දී ගන්න වෙන්නේ තවත් කෙනෙක් එය නිපදවා විකිණුවොත් පමණයි. ඒ නිසා, හැම විටකම රටේ එක් අයෙකුගේ වියදමක් තවත් අයෙකුගේ ආදායමක් වෙනවා. 

සමස්ත ආදායම = සමස්ත වියදම 

මේක අනිවාර්යයෙන්ම නිවැරදි විය යුතු සාම්‍යයක් (identity). රුපියල = ශත 100 වගේ තමයි. ප්‍රවාදයක් නෙමෙයි. 

කවුරු හෝ කෙනෙක් වියදමක් කරන්නේ කොහොමද? ඒ සඳහා, ඊට කලින් ආදායමක් උපයා තිබිය යුතුයි. එහෙම නැත්නම් ණය වී තිබිය යුතුයි. ආදායමක් උපයලා කියා කියන්නේ කිසියම් භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයක් කරලා විකුණලා කියන එක. ණය වෙනවා කියන්නේ ඒ ණය දෙන පුද්ගලයා විසින් භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයක් කරලා විකුණලා කියන එක. කොයි විදිහට සල්ලි ආවත් අනෙක් පැත්තෙන් භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයක් වෙලා. එහෙමනම්, සමස්ත නිෂ්පාදනය සමස්ත ආදායමටත් සමාන විය යුතුයි. 

සමස්ත ආදායම = සමස්ත වියදම = සමස්ත නිෂ්පාදනය 

හැබැයි මෙය මුල් සාම්‍යය මෙන් හරියටම නිවැරදි නැති ආසන්න සාම්‍යයක් (near identity). මොකද කවුරු හෝ නිපදවන භාණ්ඩයක් බොහෝ විට ඒ මොහොතේම විකුණන්නේ නැහැ. සේවා වලටනම් මේ කතාව අදාළ නැහැ. සේවාවක් නිපදවන විටම එය විකිණීම හා පරිභෝජනය කිරීමද සිදු වෙනවා. භාණ්ඩ එහෙම නැහැ. ගබඩා කර තබා ගන්න පුළුවන්. 

නිපදවන භාණ්ඩයක් නොවිකුණා ගබඩා කර තබා ගෙන ඉන්න තුරු එය ආදායමක් වෙන්නේ නැහැ. ඒ නිසාම, වෙනත් අයෙකුගේ වියදමක් වෙන්නෙත් නැහැ. අනෙක් අතට මේ වගේ ගබඩා කර ගෙන හිටපු භාණ්ඩයක් විකිණූ විට ආදායමක් ලැබෙනවා. තවත් අයෙකුට වියදමකුත් යනවා. හැබැයි ඒ වෙලාවේ නිෂ්පාදනයක් වෙලා නැහැ. නිෂ්පාදනය වෙලා තියෙන්නේ ඊට කලින්. 

මේ හේතුව නිසා ඉහත සඳහන් ආසන්න සාම්‍යය පරිපූර්ණ සාම්‍යයක් කර ගන්න අප‍ට බඩු තොග (inventory) වෙනස් වීම් දිහා බලන්න වෙනවා. යම් කිසි කාලයක් තුළ මුළු රටේම සමස්තයක් ලෙස බඩු තොග ඉහළ ගිහින්නම් නිෂ්පාදනය ආදායමට වඩා වැඩියි. බඩු තොග අඩු වෙලානම් නිෂ්පාදනය ආදායමට වඩා අඩුයි. සමස්තයක් ලෙස බඩු තොග වල වටිනාකමේ වෙනසක් නැත්නම්, ඉහත ආසන්න සාම්‍යය පරිපූර්ණ සාම්‍යයක්.

ප්‍රායෝගිකව ඔය බඩු තොග වෙනස් වීම් ශුන්‍ය නැති වුනත් ඉතා කුඩායි. කුඩා වුවත්, ඒ කොටසත් එකතු කරලා අප‍ට ඉහත ආසන්න සාම්‍යය පරිපූර්ණ සාම්‍යයක් කළ හැකියි. 

සමස්ත ආදායම = සමස්ත වියදම = සමස්ත නිෂ්පාදනය + බඩු තොග වෙනස් වීම

දැන් මෙතැන උද්ධමනයේ සම්බන්ධයක් නැති බව පැහැදිලි විය යුතුයි. උද්ධමනය නිසා වියදම වැඩි වුනත්, අනිවාර්යෙයන්ම ඊට සමානව ආදායම්ද වැඩි වී තිබිය යුතුයි. මොකද එය සාම්‍යයක්. ඒ නිසා, උද්ධමනය වැඩි වුනා කියලා සමස්තයක් ලෙස රටේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය පහළ බහින්නේ නැහැ. ඒ වගේම ඉහළ යන්නෙත් නැහැ. (මෙය මෙහෙම නොවෙන්න හේතු තිබෙනවා. ඒවා පසුවට!)

උද්ධමනය නිසා ජීවන තත්ත්වයට සිදුවන බලපෑම කෙටිකාලීන එකක්. දිගුකාලීනව එහි කිසිදු හොඳ හෝ නරක බලපෑමක් නැහැ. දිගුකාලීනව ජීවන තත්ත්වය කෙරෙහි බලපාන්නේ රටේ සමස්ත නිෂ්පාදනයයි.

මේ කතා ඔක්කොම කිවුවේ රජය පැත්තකින් තියලානේ. හැබැයි එහෙම කරන්න බැරි බව කියන්නත් දෙයක් නෙමෙයිනේ. රජයේ බලපෑම අපිට නොසලකා හරින්න බැහැ. දැන් මේ සමතුලිතතාවය ඇතුළට රජය ආවාට පස්සේ වෙන්නේ කුමක්ද?

මෙහිදී මම රජය කියා කියන්නේ රජය විසින් කරන ව්‍යාපාර නෙමෙයි. මොනවා හෝ භාණ්ඩ හා සේවා නිපදවා විකුණන රාජ්‍ය ව්‍යාපාරත් ඔය ආකෘතිය ඇතුළේම විස්තර වෙනවා. ආකෘතිය ඇතුළේ නැත්තේ වෙළඳපොළේ නොවිකිණෙන රාජ්‍ය සේවාවන්. ඒවා මොනවාද කියන එක ප්‍රශ්නයක් කර ගත යුතු නැහැ. එය දේශපාලනික කරුණක්. ඔබට කැමති විදිහකට අර්ථ දක්වා ගන්න පුළුවන්. (මේ ලිපියේ කතා කරන සන්දර්භයේදී)

දැන් මේ වගේ වෙළඳපොළේ නොවිකිණෙන රාජ්‍ය සේවාවන් රාජ්‍ය ආදායමක් නෙමෙයි. නමුත් වියදමක් තිබෙනවා. උදාහරණයක් විදිහට ලංකාවේ රජය විසින් සපයන අධ්‍යාපනය, සෞඛ්‍යය, ජාතික ආරක්ෂාව වගේ දේවල් වලින් රජයට ආදායමක් ලැබෙන්නේ නැහැ. නමුත් වියදමක් තිබෙනවා. වියදමක් තිබෙනවානම්, ඒ වියදම ආවරණය වන ක්‍රමයකුත් තියෙන්න ඕනෑ. රජයේ වියදම් ආවරණය කර ගන්න සම්මත ක්‍රමය බදු අය කිරීම. ණය ගැනීම හා සල්ලි අච්චු ගැසීම තවත් ක්‍රම දෙකක්. 

රජයට බදු ලෙස ගෙවන්න වෙන්නේ රටේ මිනිස්සු උපයන ආදායමෙන් කොටසක්. ඒ කියන්නේ, රටේ නිෂ්පාදනයෙන් කොටසක්. ඒ නිසා, ඉහත ආකෘතියට රජය එකතු කළා කියලා රටේ සමස්ත ආදායම හෝ සමස්ත නිෂ්පාදනයේ වටිනාකම වෙනස් වෙන්නේ නැහැ. භාණ්ඩ හා සේවා නිපදවන පුද්ගලයින් හා සමාගම් පමණක් සැලකුවොත් සමස්ත වියදම සමස්ත ආදායමට වඩා අඩුයි. මොකද සමස්ත ආදායමෙන් කොටසක් බදු විදිහට හෝ ණය විදිහට රජයට දීලා. රජය විසින් වියදම් කරන්නේ ඒ කොටස.

රජය වියදම් කරද්දීත් රජයේ සේවකයින් වැනි යම් පිරිසකට ආදායමක් ලැබෙනවා. නමුත්, ඒ ආදායම් ලැබෙන්නේ ඔවුන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයක් කර වෙළඳපොළේ විකුණලා නෙමෙයි. මෙතැනදී වෙන්නේ රජයෙන් බාහිර පුද්ගලයින් හා සමාගම් විසින් නිපදවන භාණ්ඩ හා සේවා වලින් කොටසක්ම රජය විසින් ඒ අයගෙන් අරගෙන රාජ්‍ය සේවකයින් වැනි අයට දෙනවා වගේ වැඩක්. 

රජයේ සේවකයෝ කියන්නෙත් රටේම මිනිස්සුනේ. එහෙමනම්, ඒ අයගේ ආදායම රටේ සමස්ත ආදායමට එකතු විය යුතු නැද්ද? 

අපිට අවශ්‍යනම්, ඉහත තර්කය අනුව යමින්, රජයේ සේවකයින් වැනි අයගේ ආදායම් සමස්ත ආදායමට එකතු කරන්න පුළුවන්. හැබැයි එහෙම කරද්දී භාණ්ඩ හා සේවා නිපදවා ලැබෙන ආදායමෙන් කොටසක් බදු විදිහට ගෙවපු අයගේ ආදායම් වලින් බදු කොටස අඩු කරන්නත් වෙනවා. මොකද ඒ කොටස ඇත්තටම ඒ අයගේ ආදායමක් වෙලා නැහැනේ. එහෙම කළාට පස්සේ නැවතත් රටේ සමස්ත ආදායම තිබුණු ප්‍රමාණයම තමයි. මොකද රජය විසින් බදු අය කර වියදම් කරද්දී ඒ වියදම් කාගේ හෝ ආදායමක් වුනත්, එහිදී වෙන්නේ එක් අයෙකුගේ ආදායම් අඩු කර වෙනත් අයෙකුගේ ආදායම් වැඩි කිරීමක් පමණයි. සමස්තය වෙනස් වෙන්නේ නැහැ. ඔය විදිහට භාණ්ඩ හා සේවා විකුණා ආදායම් උපයන අයගෙන් රජය ණය ගත්තත් වෙන්නේ ඕකමයි. 

මේ විදිහට රජය විසින් බදු අය කරද්දී හෝ ණය ගනිද්දී රජයට සම්බන්ධ නැති ගොඩක් අයගේ ජීවන තත්ත්වය පහළ යාමක් වෙනවා. මොකද ඔවුන්ට පරිභෝජනය කළ හැකි, ඔවුන් විසින් නිපදවා විකුණපු දේවල් වලින් කොටසක් තමයි රජය විසින් අරගෙන වෙනත් අයට බෙදා දෙන්නේ. ඒ දේවල් ලැබෙන අයගේ ජීවන තත්ත්වය ඉහළ යනවා. හැබැයි සමස්තයක් ලෙස ගත්තහම මේ රාජ්‍ය මැදිහත්වීම නිසා රටේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වයේ වෙනසක් වෙලා නැහැ. මොකද මොන විදිහට බෙදුවත් ඒ බෙදලා තිබෙන භාණ්ඩ හා සේවා ප්‍රමාණය සමානයි. ඒ නිසා, මුලින් කියපු සාම්‍යය තව දුරටත් ඒ විදිහටම තිබෙනවා.

සමස්ත ආදායම = සමස්ත වියදම = සමස්ත නිෂ්පාදනය + බඩු තොග වෙනස් වීම

අපිට අවශ්‍යනම් රජයේ භූමිකාව වෙන් කරලා පෙන්වන්න පුළුවන්.

සමස්ත වියදම = රාජ්‍ය අංශයේ සමස්ත වියදම + පෞද්ගලික අංශයේ සමස්ත වියදම 

සමස්ත ආදායම = රාජ්‍ය අංශයේ සමස්ත ආදායම + (බදු වලට පෙර පෞද්ගලික අංශයේ සමස්ත ආදායම - බදු)

"රාජ්‍ය අංශයේ සමස්ත ආදායම = එකතු කර ගත් බදු" ලෙස සැලකුවොත්, 

රටේ සමස්ත ආදායම = බදු වලට පෙර පෞද්ගලික අංශයේ සමස්ත ආදායම

සල්ලි අච්චු ගැහුවහම කතාව වෙනස්. මොකද මෙහිදී රජය මැදිහත් වී කිසියම් පිරිසකගේ ආදායම වැඩි කරනවා. අලුතෙන් බඳවා ගන්න රාජ්‍ය සේවකයින් පිරිසක් කියා කියමු. නමුත්, ඒ වියදම රටේ වෙනත් අයගෙන් එකතු කර ගැනීමක් වෙන්නේ නැහැ. හැබැයි රජය මේ විදිහට සල්ලි අච්චු ගහද්දී යම් පිරිසකගේ ආදායම් ඉහළ ගිහින් ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ යනවා කියන එක පැහැදිලි දෙයක්නේ. මොකද අච්චු ගහපු සල්ලි වලින් වැටුප් ලබන රාජ්‍ය සේවකයෝ වගේ අය ඒ සල්ලි වියදම් කරලා භාණ්ඩ හා සේවා මිල දී ගන්නවා.

සල්ලි අච්චු ගැහුවා කියලා රටේ නිෂ්පාදනය වෙනස් වෙලා නැහැ. ඒ නිසාම, පෞද්ගලික අංශයේ සමස්ත ආදායම වෙනස් වෙලත් නැහැ. කලින් වගේ රටේ නිෂ්පාදනයෙන්, රටේ ආදායමෙන්, කොටසක් රජය විසින් බදු විදිහට අරගෙනත් නැහැ. ණය විදිහට අරගෙනත් නැහැ. එහෙමනම්, බැලූ බැල්මට පේන විදිහට රටේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය පහත වැටෙන්න විදිහකුත් නැහැ! ඒක වෙන්න පුළුවන්ද?

රජය අච්චු ගහලා දුන්න සල්ලි වියදම් කරද්දී යම් පිරිසකගේ ජීවන තත්ත්වය ඉහළ යනවා. නමුත්, ඒ වෙනුවෙන් මිලක් ගෙවපු කෙනෙක් පේන්න නැහැ. රටේ නිෂ්පාදනය වැඩි වෙලත් නැහැ. මේ වගේ දෙයක් වෙන්න බැහැනේ. බෙදෙන්නේ එකම භාණ්ඩ හා සේවා ටිකනම්, එක් අයෙකුගේ ජීවන තත්ත්වය ඉහළ යද්දී අනිවාර්යයෙන්ම තවත් අයෙකුගේ ජීවන තත්ත්වය පහළ යා යුතුයි. 

ඇත්තමට සල්ලි අච්චු ගහද්දී ඔය වැඩේ වෙනවා. ඒ කියන්නේ, බදු ගහද්දී වගේම, රජයට සම්බන්ධ නැති ගොඩක් අයගේ ජීවන තත්ත්වය පහළ යාමක් වෙනවා. ඔවුන්ට පරිභෝජනය කළ හැකි, ඔවුන් විසින් නිපදවා විකුණපු දේවල් වලින් කොටසක් රජය විසින් අරගෙන වෙනත් අයට බෙදා දෙනවා. ඒ දේවල් ලැබෙන අයගේ ජීවන තත්ත්වය ඉහළ යනවා. නමුත්, බදු ගහද්දී වගේ ඔය වැඩේ එක පාරටම හැමෝටම පේන්නේ නැහැ. පේන්න ටිකක් කල් යනවා. සමහර විට අවුරුදු දෙක තුනක්.

උද්ධමනය හැදෙන්නේ සල්ලි අච්චු ගහන මොහොතේදීමයි. හැබැයි ඒක පේන්න ගන්නේ අවුරුද්දකට දෙකකට හෝ සමහර විට තුනකට පස්සේ. මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය පහළ වැටෙන්නේ උද්ධමනය පේන්න පටන් ගන්න මොහොතේ නෙමෙයි. සල්ලි අච්චු ගහන මොහොතේ. උද්ධමනය පේන්න පටන් ගන්නවා කියන්නේ තමන්ගේ ජීවන තත්ත්වය පහත වැටී ඇති බව මිනිස්සුන්ට තේරිලා මිනිස්සු එයට ප්‍රතිචාර දක්වන්න පටන් අරන් කියන එකයි. 

රජය විසින් බදු වැඩි කරද්දී ඔය කරන්න හදන්නේ අපේ ජීවන තත්ත්වය පහත දමන එක කියලා මිනිස්සුන්ට වහාම තේරෙනවා. නමුත්, සල්ලි අච්චු ගහද්දී මිනිස්සුන්ට ඒක එක පාරට තේරෙන්නේ නැහැ. මිනිස්සුන්ට වහාම නොතේරුණත්, වෙන්නේ ජීවන තත්ත්වය ක්ෂණිකව පහත වැටෙන එකයි.

අපි හිතමු වී ගොවියෙක් හා පොල් ගොවියෙක් ගැන. වී ගොවියා වී විකුණලා පොල් ගන්නවා. පොල් ගොවියා පොල් විකුණලා වී ගන්නවා. වී ගොවියා වී විකුණද්දී මිල තීරණය කරන්නේ විකුණලා ගන්න සල්ලි වලින් පොල් මිල දී ගන්න ලැබෙයි කියන විශ්වාසයෙන්. පොල් ගොවියාත් එහෙමයි. 

රජය බදු වැඩි කරද්දී වී ගොවියාට වී විකුණා ගන්න පුළුවන් පොල් ප්‍රමාණයෙන් ටිකක් අඩු වෙනවා. ඇයි අතේ සල්ලි අඩු වෙලානේ. පොල් ගොවියාටත් ඒ වැඩේම වෙනවා. ඉතුරු වෙන වී ටික සහ පොල් ටික රජයෙන් වැටුප් ලබන රාජ්‍ය සේවකයා විසින් මිල දී ගන්නවා.

සල්ලි අච්චු ගහලා රාජ්‍ය සේවකයාගේ වැටුප් ගෙවුවහම වී ගොවියාගේ හෝ පොල් ගොවියාගේ අතේ සල්ලි අඩු වෙන්නේ නැහැ. හැබැයි රාජ්‍ය සේවකයා තමන්ට ලැබුණු සල්ලි වලින් වී හා පොල් මිල දී ගන්න නිසා වී හා පොල් වලින් කොටසක් අඩු වෙනවා. වී ගොවියාට හා පොල් ගොවියාට මිල දී ගන්න වෙන්නේ ඒ ඉතුරු වූ කොටස පමණයි. 

වී ගොවියා වී විකුණලා පොල් ගන්න යද්දී පොල් ගණන් ගිහින්. ගණන් ගිහින් නැත්නම් කඩේ පොල් නැහැ. ඒ නිසා, අතේ සල්ලි තිබුණත් කලින් හිතාගෙන හිටපු පොල් ප්‍රමාණය මිල දී ගන්න වෙන්නේ නැහැ. පොල් ගොවියාට වෙන්නෙත් ඒකමයි. ඒ අයගේ ජීවන තත්ත්වය පහත වැටිලා. තමන් ඇණගෙන කියලා මේ අයට තේරෙන්න පටන් ගන්නවා. හැබැයි ඒ වෙද්දී පරක්කු වැඩියි.

එක පාරක් ඇණගන්න වී ගොවියා හා පොල් ගොවියා දෙවන පාර ඒ විදිහටම ඇණගන්නේ නැහැ. තමන් විකුණන වී වල, තමන් විකුණන පොල් වල මිල ඉහළ දමනවා. එහෙම මිල වැඩි කරලා සල්ලි අච්චු ගැසීම නිසා පහළ ගිය තමන්ගේ ජීවන තත්ත්වය නැවත ප්‍රතිස්ථාපනය කර ගන්නවා. ඔන්න එතකොට උද්ධමනය හොඳින්ම පේන්න ගන්නවා. මේ විදිහට උද්ධමනය පේන්න ගන්නවා කියා කියන්නේ බොහෝ විට සල්ලි අච්චු ගැසීම නිසා පහළ ගිය භාණ්ඩ හා සේවා නිෂ්පාදකයින්ගේ ජීවන තත්ත්වය නැවත යථා තත්ත්වයට පත් වෙලා කියන එකයි. 

රටක ආර්ථිකය කියා කියන්නේ වී හා පොල් විතරක් නෙමෙයිනේ. ඒ දෙක විතරක්නම් සල්ලි අච්චු ගහලා කෙටි කාලයකින් ඔය වැඩේ වෙනවා. වී විකුණලා ඒ සල්ලි අරගෙන පොල් ගන්න යන පරක්කුව විතරයි. නමුත්, විශාල භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් හුවමාරු වන, උද්ධමනය නොවන හේතු නිසාත් ඒ භාණ්ඩ හා සේවා වල මිල අඩු වැඩි වන, සංකීර්ණ ආර්ථිකයක් තුළ තමන් නිපදවා විකුණන භාණ්ඩයට හා සේවාවට සාපේක්ෂව අනෙක් බඩු වල මිල සමස්තයක් ලෙස වැඩි වෙලා කියලා බොහෝ දෙනෙක්ට තේරෙන්න සැලකිය යුතු කාලයක් යනවා. ඒ කාලය තුළ පොල් ගොවියා කලින් මිලටම පොල් විකුණන්න පුළුවන්. වී ගොවියා කලින් මිලටම වී විකුණන්න පුළුවන්. රජයට ඒ අයට නොදැනෙන්න ඒ අයගෙන් "උද්ධමන බදු" අය කර ගන්න පුළුවන්. 

අපි ලංකාවේ වත්මන් සන්දර්භයට එමු. 2020-2021 කාලයේ විශාල සල්ලි අච්චු ගැසීමක් සිදු වුනා. අච්චු ගහපු සල්ලි ලබාගත් පිරිස් පහසුවෙන් තමන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවා ගත්තා. නමුත් නිෂ්පාදනය ඉහළ ගියේ නැහැනේ. නිෂ්පාදනය වැඩි වුනේ නැත්නම්, කිසියම් පිරිසකගේ ජීවන තත්ත්වය ඉහළ යද්දී තවත් පිරිසකගේ ජීවන තත්ත්වය පහළ යාම විය යුතුමයිනේ. ගොවීන්, ධීවරයින් වගේ අයගේ ජීවන තත්ත්වය පහළ ගියා. සල්ලි අච්චු ගැසීම නිසා රුපියල බාල්දු වී ඇති බව නොදැන ඒ අය කලින් මිලටම මාළු, එළවලු විකිණුවා. නමුත් එහෙම විකුණලා ගත්ත සල්ලි වලින් ඔවුන්ට අපේක්ෂා කළ දේවල් මිල දී ගන්න ඉඩක් ලැබුණේ නැහැ. අවශ්‍ය දේවල් ගන්න හොයද්දී එක්කෝ බඩු නැහැ. අච්චු ගහපු සල්ලි වල වාසිය ලබපු අය ඒවා කලින්ම අරගෙන. නැත්නම් ඒ අයගේ ඉල්ලුම නිසා බඩු ගණන් ගිහින්.

මේ කතාව කිසියම් හෝ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයක් කරන රටේ කාගේත් කතාව. රජය විශාල ලෙස සල්ලි අච්චු ගහද්දී ඒ අයගේ ජීවන තත්ත්වය පහළ ගියා. ඒ අය රැවටුණා. වෙනත් පිරිසක් එහි වාසිය ගත්තා. හැබැයි තමන් ඒ විදිහට රැවටුණු බව මේ අය දැන ගන්නේ ටිකක් කල් ගිහින්. එහෙම දැනගත්ත ගමන්ම ඒ අය තමන්ට හිමි, සල්ලි අච්චු ගැසීම හරහා නැති කෙරුණු, ජීවන තත්ත්වය නැවත ලබා ගන්නවා. ඒක තමයි උද්ධමනය. ඒකෙන් ඒ අයගේ ජීවන තත්ත්වය තිබිය යුතු තැන දක්වා නැවත ඉහළ යනවා මිසක් අඩු වෙන්නේ නැහැ. හැබැයි අච්චු ගහපු සල්ලි වලින් ආතල් ගත්ත අයගේ ආතල් කුඩු වෙනවා. ඔන්න ඕකයි කතාව.

කතාව සම්පූර්ණ නැහැ. ඉතිරි කිරීම්, ණය ගැනීම් ආදිය ගැන මෙහිදී අවධානය යොමු කළේ නැහැ. විදේශ අංශය ගැන කතා කළේම නැහැ. ඒ දේවල් ගැන පසුව කතා කරමු.

Wednesday, September 21, 2022

උද්ධමනය 70% පන්නයි!


ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2022 අගෝස්තු උද්ධමනය 70.2% ලෙස වාර්තා වෙනවා. ආහාර උද්ධමනය 84.6%ක් ලෙස වාර්තා වන අතර අනෙකුත් භාණ්ඩ හා සේවා වල වාර්ෂික මිල වැඩිවීම 57.1%.

කිසියම් මාසයක උද්ධමනය තුළින් නිරූපණය වන්නේ ඊට පෙර මාස 12ක කාලය තුළ සිදු වූ මිල වැඩි වීමයි. ඒ නිසා, උද්ධමන පීඩන අඩු වී යද්දී වුවත්, ඒ බව උද්ධමන අගයන් තුළ නිරූපණය වන්නේ යම් කාල පමාවක් ඇතිවයි. පසුගිය ජූනි මාසයේ සිට උද්ධමන පීඩන අඩුවීමක් දැකිය හැකියි.

පහත තිබෙන්නේ පසුගිය වසරක කාලය තුළ ජාතික පාරිභෝගික මිල දර්ශක අගයේ මාසික වෙනස්වීමයි.

2021

සැප්තැම්බර් - 0.3%

ඔක්තෝබර් - 2.1%

නොවැම්බර් - 3.1%

දෙසැම්බර් - 3.7%

2022

ජනවාරි - 3.1%

පෙබරවාරි - 1.1%

මාර්තු - 2.9%

අප්‍රේල් - 10.2%

මැයි - 9.7%

ජූනි - 10.9%

ජූලි - 5.6%

අගෝස්තු - 2.5%

දර්ශක අගයේ මාසික වෙනස්වීම් නිරීක්ෂණය කළ විට 2022 අප්‍රේල්-ජූනි අතර තෙමස නරකම තත්ත්වය ලෙස හඳුනාගත හැකියි. ඉන්පසුව තත්ත්වය යහපත් අතට හැරෙමින් තිබෙනවා. එසේ වුවද, පසුගිය මාස වල බලපෑම ඉවත් වීමට කාලයක් යන නිසා සැප්තැම්බර් මාසයේදීද උද්ධමනය තව දුරටත් ඉහළ යා හැකියි. උද්ධමනය වැඩි වීමේ ප්‍රවනතාව ආපසු හැරෙනු ඇත්තේ ඔක්තෝබර් මාසයෙන් පසුවයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට!

පෙනෙන විදිහට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය හැකිතාක් ඉක්මණින් අවසන් කිරීම රජයේ අභිලාෂයයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නිලධාරී මට්ටමේ එකඟතාවයක් ඇති කර ගැනීමෙන් අනතුරුව රජය ඉතා ඉක්මණින් ඊළඟ පියවර වෙත යොමු වෙමින් සිටිනවා. 

මේ සිකුරාදා (සැප්තැම්බර් 23) නිවුයෝර්ක් වේලාවෙන් උදේ අටට (ලංකාවේ වේලාවෙන් හවස 5:30ට) රජය අන්තර්ජාලය හරහා ණයහිමියන්ව හමු වෙනවා. ක්ලිෆඩ්චාන්ස් ආයතනය විසින් මෙම හමුව සංවිධානය කරන අතර ඕනෑම විදේශ ණයහිමියෙකුට කලින් ලියාපදිංචි වී මෙම රැස්වීමට සහභාගී විය හැකියි.


මෙම රැස්වීමේදී රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී ඇති ස්ථායීකරණ වැඩපිළිවෙළ පිළිබඳව ණයහිමියන් දැනුවත් කිරීමට අපේක්ෂා කරන අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ඉදිරි පියවර පිළිබඳවද දැනුම් දීමක් කිරීමට නියමිතයි. ඉන් අනතුරුව, ණයහිමියන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දීමද සිදු වෙනවා.

මුදල් අමාත්‍යාංශය විසින් ණයහිමියන් වෙත ඉදිරිපත් කර ඇති තොරතුරු අනුව, 2021 අවසානයේදී රාජ්‍ය අංශයේ මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 100.9ක්. එයින් ඩොලර් බිලියන 53.6ක් රුපියල් ණය වන අතර ඉතිරිය විදේශ ව්‍යවහාර මුදල් වලින් ගත් ණයයි. 

ඩොලර් බිලියන 47.3ක් වන විදේශ ව්‍යවහාර මුදල් වලින් ගත් ණය වලින් ඩොලර් බිලියන 38.9ක් මධ්‍යම රජයේ ණය වන අතර ඩොලර් බිලියන 5.4ක් රජයේ ඇප මත රාජ්‍ය සංස්ථා විසින් ලබාගත් ණයයි. ඉතිරි ඩොලර් බිලියන 3.0 මහ බැංකුවේ ණයයි. 

රජය හා රාජ්‍ය සංස්ථා විසින් ලබාගෙන ඇති ද්විපාර්ශ්වික ණය ප්‍රමාණය ඩොලර් බිලියන 10ක්. එයින් 44%ක් චීනයෙන්ද, 32%ක් ජපානයෙන්ද, 10%ක් ඉන්දියාවෙන්ද ලබාගෙන තිබෙනවා. මීට අමතරව මහ බැංකුවේ ණය වලින් ඩොලර් බිලියන 1.8ක්ද ද්විපාර්ශ්වික ණයයි. එවිට ද්විපාර්ශ්වික ණය ප්‍රමාණයේ එකතුව ඩොලර් බිලියන 11.8ක්.

ජාත්‍යන්තර සංවිධාන වලින් ලබාගෙන තිබෙන ණය ප්‍රමාණයද මීට ආසන්නයි. එම ප්‍රමාණය ඩොලර් බිලියන 11.3ක්. ඉතිරි ඩොලර් බිලියන 24.4 වාණිජ ණයයි. 

දැනට පළව ඇති ඉඟි වලින් පෙනෙන්නේ ණයහිමියන් ඉක්මණින් කැමති කරවා ගත හැකි, ඔවුන්ට සාපේක්ෂව වාසිදායක, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා ලංකාවේ පැත්තෙන් ඉදිරිපත් වීමේ වැඩි ඉඩක් ඇති බවයි.

Tuesday, September 20, 2022

අපි නොදන්න මොණරතැන්න!

 


ඇමරිකානු තානාපති ජූලි චන්ග් මේ දවස් වල රට වටා කරක් ගහනවා. දකුණ බලා යද්දී මුලින්ම වගේ හමු වෙලා තියෙන්නේ මොණරුන් ගැන අවවාදයක්. ඒ ගැන ඇය ට්වීට් කරලා තියෙනවා. ඒ ට්වීට් එක ඇතැම් අය වෙනස් විදිහකට තේරුම් ගෙන තිබෙන බව පේනවා. 

මොණරුන් ගැන අවවාදය සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා තුනෙන්ම තිබෙනවා. සිංහලෙන් තියෙන්නේ "මොණරුන් බහුල ප්‍රදේශයකි." කියලා. ඉංග්‍රීසියෙන් "DANGER PEACOCKS AHEAD" කියා තිබෙනවා. එය "අන්ත්‍රාවයි ඉදිරියේ මොණරුන්" කියා සිංහලට පරිවර්තනය කළ හැකියි. දෙමළ අවවාදයේ ("முன்னால் மயில்கள். அவதானம்") අර්ථයද මීට කිට්ටුයි. එය "ඉදිරියේ මොණරුන්. ප්‍රවේශමෙන්" ලෙස සිංහලට පරිවර්තනය කළ හැකියි.

මේ ගැන ප්‍රතිචාර දක්වමින් ජූලි චන්ග් විසින් "I’d never imagined a dangerous peacock, but now I can’t stop looking for them!" කියා සටහන් කර තිබෙනවා. සමහර අය තේරුම් ගෙන තියෙන හැටියට ජූලි චන්ග් ඉංග්‍රීසි පාඩමක් කියා දීලා. එහෙමත් නැත්නම් සමච්චලයක් කරලා. 

මට තේරෙන හැටියටනම් මෙහි සමච්චලයක් හෝ ඉංග්‍රීසි පාඩමක් නැහැ. ඇය කියා තිබෙන්නේ "මොණරුන් අන්තරාදායක විය හැකි බවක් මීට පෙර කවදාවත් මට සිතී තිබුණේ නැහැ. නමුත් දැන් මම වාහනය එළවන්නේ මොණරුන් ගැනද අවධානය යොමු කරමිනුයි." කියන එකයි. ඇගේ ට්වීටර් සටහන වචනයෙන් වචනය සිංහලට පරිවර්තනය කළොත්නම් වෙන තේරුමක් එන්න පුළුවන්. 

අනතුරුදායක වන සතුන් ගැන මෙවැනි අවවාද ලෝකයේ බොහෝ රටවල පාරවල් අයිනේ දකින්න පුළුවන්. රට රටවල කරක් ගසා ඇති ජූලි චන්ග් ඒ වගේ අවවාද ඕනෑ තරම් දැක ඇති. නමුත් සුලබ සතෙක් නොවන මොණරා ගැන මෙවැනි අවවාදයක් දැක්කේ පළමු වතාවට වෙන්න ඇති. තමන් දැන සිටි අනතුරුදායක වන සතුන් ලැයිස්තුවට තවත් එක් සතෙකු එකතු වීමේ විමතියට වඩා දෙයක් මේ සටහනේ මට පෙනෙන්නේ නැහැ. 

ජූලි චන්ග් විසින් පුවරුවේ ඉංග්‍රීසි වල වැරැද්දක් පෙන්වා නැතුවාක් මෙන්ම එහි එවැනි ලොකු වැරැද්දක් නැහැ. "DANGER" යන්න වෙනුවට දෙමළ පාඨයේ මෙන් "ප්‍රවේශමෙන්" යන අර්ථය දෙන "CAUTION" හෝ "ATTENTION" වැනි වචනයක් යෙදුවානම් වඩාත් යෝග්‍යයි. නමුත්,  "DANGER" කියා කිවුවත් ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම, අවශ්‍යනම් දෙමළ පාඨයේ මෙන් "DANGER" යන්නෙන් පසුව නැවතීමේ තිතක් හෝ විශ්මයාර්ථ ලකුණක් (DANGER!) තැබිය හැකිව තිබුණත්, මෙවැනි අවවාද පුවරුවකට එවැන්නක් අත්‍යාවශ්‍ය නැහැ.  

සංශෝධනය වනවානම් සංශෝධනය විය යුත්තේ සිංහල පාඨයයි. "මොණරුන් බහුල ප්‍රදේශයකි" යන්නෙන් ඒ ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි කියා රියැදුරෙකුට එකවර නොතේරෙන්න පුළුවන්. අයෙක් මෙය "මොණරුන් නැරඹිය හැකි" ප්‍රදේශයක් ලෙස තේරුම් ගන්න පුළුවන්. එහෙම තේරුම් ගත්තොත් අවවාදයේ අරමුණ ඉටුවන්නේ නැහැ.

Sunday, September 18, 2022

අපේ ලයිට් බිල

 

මේ සටහන සමඟ පළ කර තිබෙන්නේ පසු ගිය මාසයේ අපේ විදුලි බිලයි. ඇමරිකාවේ ඇතැම් ප්‍රදේශ වල විදුලි පාරිභෝගිකයින්ට තමන්ගේ විදුලිබල සැපයුම්කරු තෝරා ගැනීම සඳහා විකල්ප තිබුණත්, අපේ නිවස තිබෙන ප්‍රදේශයේ එවැනි තේරීමක් නැහැ. 

විදුලි බල සැපයුම් කර්මාන්තය ගැන පෙර පළ කළ ලිපි වලට වෙනත් අය දමා තිබුණු ප්‍රතිචාර වලින් පෙනුනේ ඇතැම් රටවල රටේ ඕනෑම පාරිභෝගිකයෙකුට මෙවැනි තේරීමක් ඇති බවයි. එහෙත්, ඇමරිකාවේ මෙවැනි තේරීමක් තිබෙන්නේ රටේ ඇතැම් ප්‍රදේශ වල පමණයි. ඇතැම් විට ඒ නිසාම, විදුලිබල සැපයුම් කර්මාන්තය දැඩි නියාමනයකට ලක් වෙනවා. ඇමරිකාවේ විදුලි ගාස්තුද නියාමනයට යටත්.

සාමාන්‍යයෙන් වෙළඳපොළ මූල ධර්මය වන්නේ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් වැඩිපුර මිල දී ගන්නා අයෙකුට වට්ටමක් ලබා දීමයි. මෙය සිදු වන්නේ සැපයුම්කරු විසින් වැඩි ඒකක ගණනක් විකුණා ලාබ වැඩි කර ගැනීමේ අරමුණ තුළයි. එහෙත්, ලංකාවේ විදුලි ගාස්තු ක්‍රමය තුළ සිදු වන්නේ මෙහි ප්‍රතිවිරුද්ධ දෙයයි. එනම්, වැඩියෙන් මිල දී ගනිද්දී වැඩි මිලක් අය කරමින් "කරුණාකර අපෙන් බඩු ගන්න එපා!" කියන අදහස සන්නිවේදනය කිරීමයි. 

ඉහත ගාස්තු ආකෘතිය අහම්බයක් නෙමෙයි. දිගින් දිගටම පාඩු ලබන ආයතනයකට පාඩු අඩු කර ගත හැක්කේ අඩුවෙන් විකිණීමෙන්. ලංවිම ගාස්තු ආකෘතිය හරහා කෙරෙන්නේ එයයි. කෙසේ වුවත්, ලෙකෝ වැනි බෙදාහරින්නන්ට තොග මිලට විදුලිය විකිණීමේදී සාමාන්‍ය මූලධර්මය අනුගමනය කරමින් ලංවිම විසින් අඩු මිලකට විදුලිය විකුණනවා. 

අපේ විදුලි බිලෙන් ඇමරිකාවේ ඕනෑම තැනක විදුලි ගාස්තු අය කෙරෙන ක්‍රමය නිරූපණය වන්නේ නැහැ. මිල නියාමනයක් සිදු වුවත්, එක් එක් සැපයුම්කරුගේ ගාස්තු අය කිරීමේ ක්‍රමවේදය එකිනෙකින් වෙනස්. අපේ ප්‍රාන්තයේම වුවද මෙවැනි සැපයුම්කරුවන් විශාල පිරිසක් ඉන්නවා. කෙසේ වුවත්, වැඩියෙන් පරිභෝජනය කරද්දී ඒකක ගාස්තු අඩු වීම සාමාන්‍ය තත්ත්වය බව මගේ අදහසයි. 

ලංකාවේ විදුලි බිලේ මෙන්ම අපේ විදුලි බිලේද ස්ථිර මාසික සම්බන්ධතා ගාස්තුවක් තිබෙනවා. එය ඩොලර් 10.54ක්. ඩොලරයක මිල පසුගිය සිකුරාදා නිල අනුපාතය වූ රුපියල් 362.9 සේ සැලකුවොත්, රුපියල් 3,824.97ක්. ඉන් පසු, පළමු ඒකක 300 සඳහා ඒකකයකට ඩොලර් ශත 14.8799 බැගිනුත් (රුපියල් 54.00), ඊළඟ ඒකක 700 සඳහා ඩොලර් ශත 10.8287 බැගිනුත් (රුපියල් 39.30) අය කෙරෙනවා. ඒකක 1000 ඉක්මවීමෙන් පසුව ඒකක ගාස්තුව ඩොලර් ශත 9.8147 (රුපියල් 35.62) දක්වා පහළ බහිනවා. 

මීට අමතරව, ඒකකයකට ඩොලර් ශත 3.4243ක (රුපියල් 12.43ක) ඉන්ධන ගැලපුම් ගාස්තුවක්ද අය කෙරෙනවා. මේ විදිහට හැදෙන විදුලි බිලට 7%ක බද්දක් එකතු කිරීමෙන් පසුව අපේ විදුලි බිලේ මූලික ආකෘතිය සකස් වෙනවා. 

ඉහත මූලික කොටස් වලට අමතරව වෙනත් විවිධ හේතු මත ගාස්තු ගැලපීම් කෙරෙනවා. උදාහරණයක් ලෙස පොසිල ඉන්ධන විදුලිය වැඩියෙන් භාවිතා කර ඇති අයගෙන් ගාස්තුවක් අය කර එම මුදල පුනර්ජනනීය බල ශක්ති වැඩියෙන් භාවිතා කර ඇති අයට ගෙවනවා. අපේ නිවසට එන විදුලියේ සංයුතිය තීරණය කරන්නේ සැපයුම්කරු විසින් නිසා මෙය අපට පාලනය කළ නොහැකි දෙයක් වුවත් අවසාන වශයෙන් පාරිසරික හානි වල මිල අය කෙරෙන්නේ අපෙන්. මෙවැනි ගැලපීම් එකින් එක විස්තර කිරීම සංකීර්ණ කරුණක් නිසාත්, ඒවායේ ශුද්ධ බලපෑම එතරම් විශාල නැති නිසාත් මම එවැනි ගැලපීම් අතහැර විදුලි බිලේ ප්‍රධාන සංරචක ගැන පමණක් අවධානය යොදවනවා.

ඉන්ධන ගැලපුම් ගාස්තුව හා 7% බද්ද එකතු කළ විට විදුලි ගාස්තු මෙසේයි.

මාසික සම්බන්ධතා ගාස්තුව - ඩොලර් 11.17 (රුපියල් 4,053.88)

පළමු ඒකක 300 - ඩොලර් ශත 19.59 බැගින් (රුපියල් 71.08 බැගින්)

ඒකක 301-1000 අතර - ඩොලර් ශත 15.25 බැගින් (රුපියල් 55.34 බැගින්)

ඒකක 1000ට වැඩි - ඩොලර් ශත 14.17 බැගින් (රුපියල් 51.41 බැගින්)

ඇමරිකාවේ විදුලි ගාස්තු ප්‍රදේශයෙන් ප්‍රදේශයට විශාල ලෙස වෙනස් වෙනවා. 2022 ජූනි දත්ත අනුව, ඇමරිකානු ගෘහස්ථ පාරිභෝගිකයෙකු විසින් විදුලිය කිලෝවොට් පැයකට ගෙවන සාමාන්‍ය මිල ඩොලර් ශත 15.42ක්. මෙයට බදු ඇතුළත්ව නැති බව මගේ අදහසයි. වොෂින්ටන් වැනි ප්‍රාන්තයක මෙම සාමාන්‍ය මිල ඩොලර් ශත 10.49 පමණ වුවත්, හවායි වැනි ප්‍රාන්තයක සාමාන්‍ය මිල ඩොලර් ශත 44.09 තරම් ඉහළයි. 

මෙය කියවන සැලකිය යුතු පිරිසක් බටහිර රටවල ජීවත් වන අයයි. අනෙකුත් බටහිර රටවල විදුලි ගාස්තු ඇමරිකාවේ විදුලි ගාස්තු සමඟ සැසඳෙන්නේ කොහොමද?

Wednesday, September 14, 2022

ප්‍රාථමික ශේෂය ධන කිරීම


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතාව අනුව 2025 වන විට රජයේ ප්‍රාථමික අයවැය ශේෂය දළ ජාතික නිෂ්පාදිතයෙන් 2.3%ක් දක්වා වැඩි කර ගැනීමට සැලසුම් කර තිබෙනවා. ප්‍රාථමික අයවැය ශේෂය කියා කියන්නේ රජයේ ආදායම් හා පොලී ගෙවීම් හැර අනෙකුත් වියදම් අතර වෙනසයි. සංශෝධිත අයවැය ඇස්තමේන්තු අනුව 2022 ප්‍රාථමික අයවැය ශේෂය රුපියල් බිලියන 954ක හිඟයක්.

ඇස්තමේන්තු ආදායම - රුපියල් බිලියන 2,094

පොලී ගෙවීම් හැර ඇස්තමේන්තුගත වියදම - රුපියල් බිලියන 3,048

ප්‍රාථමික ශේෂය (හිඟය) - රුපියල් බිලියන 954

මීට අමතරව රුපියල් බිලියන 1,379ක පොලී ගෙවන්න තිබෙනවා. තව රුපියල් බිලියන 1,510ක ණය ආපසු ගෙවන්න තිබෙනවා. ඒ කොටස් දෙක පැත්තකින් තියලා තියෙන්නේ ඒ තරමටම ආදායම් වැඩි කර ගන්න එක ප්‍රායෝගිකව කොහොමටවත්ම කරන්න බැරි නිසා වෙන්න ඇති. එහෙම නැත්නම් ණය ප්‍රතිව්‍යුහගත කිරීම වැනි විකල්ප තිබෙන නිසා වෙන්න ඇති. 

ප්‍රාථමික ශේෂය ලෙස ඇස්තමේන්තු කර තිබෙන රුපියල් බිලියන 954 දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.0%ක හිඟයක් කියා ඇස්තමේන්තු කරලා තිබෙනවා. ඒ අනුව, දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%ක අතිරික්තයක් කියා කියන්නේ රුපියල් බිලියන 549ක්.

දළ දේශීය නිෂ්පාදිතය තවත් තෙවසරකට පසුව දැන් තිබෙන මට්ටමේම තියෙනවා කියන එක කිසිසේත්ම නිවැරදි නැති උපකල්පනයක්. එහෙත්, අපි පහසුව සඳහා දැනට එලෙස සලකමු. එහෙම සැලකුවොත් මෙයින් අදහස් වෙන්නේ 2025 වන විට ප්‍රාථමික ශේෂය රුපියල් බිලියන 1,503කින් වැඩි කර ගන්නවා කියන එකයි. 

රජයේ වියදම අඩු කර ගන්නවා කියන එක වෙන්න ඉතාම අඩු ඉඩකඩක් තිබෙන දෙයක්. වියදම දැන් මට්ටමේම නොවෙනස්ව තිබෙයි කියා අපි උපකල්පනය කරමු. එහෙමනම්, රජයේ ආදායම 72%කින් වැඩි කර ගන්න වෙනවා. 2021දී රජයේ ආදායම රුපියල් බිලියන 1,464ක් පමණයි. 2022දී මෙය රුපියල් බිලියන 2,094 වෙනවා කියන්නේ 70%ක වැඩි වීමක්. ඒ අනුව, 2021 එක්ක බැළුවහම 2025 වන විට රජයේ ආදායම 2.9 ගුනයකින් වැඩි විය යුතුයි. ඒ වගේ ඉලක්කයක් ප්‍රායෝගිකද?

උද්ධමනය ඉහළ මට්ටමක තියෙද්දී මේ වගේ ඉලක්කයකට යන එක සාපේක්ෂව පහසුයි. උද්ධමනය හේතුවෙන් මිල මට්ටම ඉහළ යද්දී රජයේ ආදායම්ද ඉහළ යනවා. හැබැයි ඒ එක්කම රජයේ වියදම්ද ඉහළ යනවා. ආදායම් ඉහළ යාමට අනුරූපව වියදම් ඉහළ යාමට ඉඩ නොදීමෙන් දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස ප්‍රාථමික ශේෂය යම් ප්‍රමාණයකින් අඩු කර ගන්න පුළුවන්. උද්ධමනය වැඩි වන තරමට මේ හැකියාව ඉහළ යනවා.

දළ දේශීය නිෂ්පාදිතය තවත් තෙවසරකට පසුව දැන් තිබෙන මට්ටමේම තියෙනවා කියන එක කිසිසේත්ම නිවැරදි නැති උපකල්පනයක් බව කලින්ම කිවුවනේ. එහෙමනම් නිවැරදි උපකල්පනයක් වෙන්නේ කුමක්ද? 

නාමික දළ දේශීය නිෂ්පාදිතය වෙනස් වන ක්‍රම දෙකක් තිබෙනවා. එකක් මූර්ත ආර්ථික වර්ධනය. අනෙක උද්ධමනය. 2023දී බොහෝ විට මූර්ත ආර්ථික වර්ධනය සෘණ පැත්තේ තියෙයි. 2024දී යම් වර්ධනයක් ඇති වුනත්, සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය බොහෝ විට 2022 මට්ටමෙන් ගොඩක් වෙනස් වෙන්න විදිහක් නැහැ. අවුරුදු තුනම ගත්තහම ඕනෑනම් 5%කින් ආර්ථිකය වර්ධනය වෙයි. 

අනෙක් පැත්තෙන්, IMF වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වෙද්දී උද්ධමනය අඩුවෙයි. නමුත්, කොයි තරම්ද? මගේ ඇස්තමේන්තුව 2023-2025 වසර තුනේදී මිල මට්ටම අඩු වශයෙන් 60%කින්වත් ඉහළ යයි කියන එකයි. ඒ කියන්නේ 2025 නාමික නාමික දළ දේශීය නිෂ්පාදිතය 2022ට සාපේක්ෂව 68%කින් වැඩි වෙනවා කියන එක.

උද්ධමනය නිසා නාමික දළ දේශීය නිෂ්පාදිතය 68%කින් වැඩි වුනොත් රාජ්‍ය වියදමුත් වැඩි වෙනවා. එහෙත්, රාජ්‍ය සේවක වැටුප් වැඩි නොකිරීම වගේ ක්‍රම වලින් මේ වැඩි වීම 68%කට වඩා අඩු මට්ටමක තියා ගන්න පුළුවන්.  

දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත්තොත් 2022 රාජ්‍ය ආදායම් ඇස්තමේන්තුව 8.8%ක්. පොලී ගෙවීම් හැර වියදම් ඇස්තමේන්තුව 12.8%ක්. ප්‍රාථමික හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 4%ක් කියා කියන්නේ ඔය ගණන් දෙකේ වෙනස. 

දැන් අපි හිතමු දළ දේශීය නිෂ්පාදිතය 68%කින් වැඩි වෙද්දී රාජ්ය ආදායම්ද ඒ අනුපාතයෙන්ම වැඩි වුනා කියලා. ඒ කියන්නේ, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ආදායම 2024දීත් 8.8% මට්ටමේම තියෙනවා. ඔය විදිහට දළ දේශීය නිෂ්පාදිතය 68%කින් වැඩි වෙද්දී රාජ්‍ය වියදම් වැඩි වීම 15% වගේ මට්ටමක තියා ගත්තොත්, 12.8% අනුපාතය නිකම්ම 8.8% දක්වා අඩු වෙනවා. ඒ කියන්නේ, ප්‍රාථමික අයවැය ශේෂය සමතුලිත වෙලා. තව අඩු 2.3%ක අතිරික්තය පමණයි. බදු ප්‍රතිසංස්කරණ වලින් ඒ කොටස වැඩි කර ගන්න බැරිකමක් නැහැ. හැබැයි මේ වැඩේ වෙන්නනම් රාජ්‍ය සේවක වැටුප්, සහනාධාර ආදිය තව දුරටත් වැඩි නොකර 2022 මට්ටමේම වගේ තියා ගන්න වෙනවා. 

දැන් ඉන්න 8.8% ඉඳලා 11.1% මට්ටම දක්වා රාජ්ය ආදායම් වැඩි කර ගන්නවා කියන්නෙත් 26%කින් පමණ ආදායම් වැඩි කර ගැනීමක්. වසර තුනක් ඇතුළත ඒ වගේ ඉලක්කයකට යන එක වුනත් ලේසි නැහැ. නමුත් බැරි නැහැ. 

අමාරු වැඩේ වියදම් වැඩි නොකර තියෙන මට්ටම ආසන්නයේම පවත්වා ගන්න එකයි. ඇස්තමේන්තුගත 2022 වර්තන වියදම් වලින් රුපියල් බිලියන 1,021ක්ම සුබසාධන වියදම්. මේ වියදම් අඩු නොකළත් බොහෝ විට වැඩි කෙරෙන එකක් නැහැ. රුපියල් බිලියන 995ක් රාජ්‍ය සේවක වැටුප්. මේ වියදම් ප්‍රමාණයත් බොහෝ විට වැඩි නොකරනවා වෙන්න පුළුවන්. රාජ්‍ය සේවක කප්පාදුවකට සාපේක්ෂව එය ප්‍රායෝගික වැඩක්. රුපියල් බිලියන 1,072ක් ආයෝජන වියදම්. මිල වැඩි වෙද්දී ඒ කොටස ඒ මට්ටමේම තියා ගන්නනම් යම් තරමකින් ආයෝජන අඩු කිරීමක් කරන්න වෙනවා. නැත්නම් ආයෝජන වියදම් ඉහළ යනවා, භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේ වියදම කොහොමටත් ඉහළ යනවා. ඒ නිසා, වසර තුනක් පුරා රජයේ වියදම් 15%කට වඩා වැඩි කර නොගෙන සිටීමත් තරමක් අභියෝගාත්මක වැඩක්.

Sunday, September 11, 2022

විදුලි සැරෙන් බේරෙන්නේ කොහොමද? (පස්වන කොටස)

සම්ප්‍රේෂණය හා බෙදාහැරීම ගැන ටිකක් කතා කරපු නිසා දැන් අපි ජනනය පැත්තට එමු. ඉන් පසුව, නැවතත් බෙදාහැරීම ගැන තවත් දේවල් කතා කරන්න තිබෙනවා.

ලංකාවේ වෙළඳපොළ ගැන කතා කරද්දී, සම්ප්‍රේෂණය හා බෙදාහැරීම එක්ක බලද්දී ජනනය ටිකක් සංකීර්ණයි. පළමුව, ජනනය සඳහා දැනටත් පෞද්ගලික අංශයේ විශාල දායකත්වයක් තිබෙනවා. දෙවනුව, හදන්නේ එකම කිලෝවොට්පැය වුනත් හදන තාක්ෂණයේ වෙනස්කම් අනුව, පිරිවැය ආකෘතියේ විශාල වෙනස්කම් තිබෙනවා. විවිධ ක්‍රම වලින් හදන විදුලිය එකම අච්චුවකට දමලා කතා කරන එක අමාරු වැඩක්. හැබැයි පාරිභෝගිකයාගේ පැත්තෙන් මේ විදිහට විවිධ ක්‍රම වලට හදන විදුලිය අතර විශාල වෙනසක් නැහැ. විශේෂයෙන්ම ලංකාවේ වත්මන් සන්දර්භයේදී. මේ තත්ත්වය අනාගතයේදී වෙනස් වෙන්න පුළුවන්.

මේ කොටසින් වැඩි අවධානයක් යොමු කරන්නේ විදුලිය හදන එක් නිශ්චිත පෞද්ගලික සමාගමක් වන වැලිබල් පවර් එරත්න සමාගම වෙත. මතුපිට ප්‍රකාශයක් විදිහට මේ සමාගම ධම්මික පෙරේරාට අයිති සමාගමක් කියා කෙනෙකුට කියන්න පුළුවන්. ගොඩක් අයට ධම්මික පෙරේරාගේ දේශපාලනය හෝ ව්‍යාපාරික ආකෘතිය එක්ක ප්‍රශ්න තියෙන්න පුළුවන්. අපි ඒවා පැත්තකින් තියමු. 

මම මේ සමාගම මුලින්ම තෝරා ගත්තේ එය පොදු සමාගමක් නිසා. මට අනුවනම්, ජනසතු සමාගම් කියා කිවහැක්කේ මේ වගේ පොදු සමාගම් වලට මිසක් රජයේ ඒකාධිකාරයක් යටතේ තියෙන සමාගම් වලට නෙමෙයි. මට අවශ්‍යනම් ධම්මික පෙරේරා වගේම මේ සමාගමේ අයිතිකාරයෙක් වෙන්න පුළුවන්. මගේ ආයෝජනයේ අනුපාතයක් විදිහට ධම්මික පෙරේරා හොයන ලාබයම ලබා ගන්න පුළුවන්. ලංකාවේ වෙන ඕනෑම කෙනෙක්ට වගේම ලංකාවෙන් පිට ඉන්න විදේශිකයින්ට වුනත් ඒ වැඩේ කළ හැකියි. ඒ නිසා, වැලිබල් පවර් එරත්න ගැන කතා කරද්දී පහසුවෙන්ම ධම්මික පෙරේරා සමාගමේ ලොකුම කොටස් හිමියා කියන කරුණ පැත්තකින් තියන්න පුළුවන්. ව්‍යවසායකයෙක් හා කළමනාකරුවෙක් ලෙස ඔහුගේ භූමිකාව නොසලකා හැරිය නොහැකි වුවත්, අපි ඔහුව ලාභ අපේක්ෂා තිබෙන ඕනෑම පුද්ගලයෙක් ලෙස සලකමු.

මගේ විශ්ලේෂණය සඳහා වැලිබල් පවර් එරත්න වැනි පොදු සමාගමක් මුලින්ම තෝරා ගන්න අනෙක් හේතුව පොදු සමාගම් හා අදාල මූල්‍ය වාර්තා හා අනෙකුත් සංඛ්‍යාලේඛණ පහසුවෙන් සොයා ගත හැකි වීමයි. වැලිබල් පවර් එරත්න සමාගම සතුව කුඩා පරිමාණ ජල විදුලි බලාගාර (මිනි හයිඩ්‍රෝ) තුනක් තිබෙනවා. පළමුවැනි එක රත්නපුර දිස්ත්‍රික්කයේ එරත්න ප්‍රදේශයේ. අනෙක් දෙකෙන් එකක් රත්නපුර දිස්ත්‍රික්කයේ. අනෙක් එක නුවරඑළිය දිස්ත්‍රික්කයේ. තුනම තියෙන්නේ ශ්‍රීපාද කන්ද ආශ්‍රිත ජලපෝෂක ප්‍රදේශ වල. සිරීපාදේ යන පාරවල් තුනේ කියා කියන්නත් පුළුවන්. 

පළමු බලාගාරය, කුරුවිට පැත්තෙන් සීරීපාදේ යන පාරේ තියෙන, වැලිබල් පවර් එරත්න සමාගමට කෙලින්ම අයිති, ඒ සමාගම විසින්ම හදපු එකක්. අනෙක් බලාගාර දෙක අයිති මුල් සමාගම වැලිබල් පවර් එරත්න සමාගම විසින් පසුව මිල දී ගන්නවා. ඒ අනුව, ඒ දෙකේ වක්‍ර අයිතිය තියෙන්නෙත් වැලිබල් පවර් එරත්න සමාගමට.

ලංකාවේ විදුලිබල වෙළඳපොළ ගිගාවොට්පැය පහළොස් දාහක පමණ වෙළඳපොළක්. ඔය වෙළඳපොළේ වැලිබල් පවර් දායකත්වය ගිගාවොට්පැය සීයකටත් අඩුයි. ඒ කියන්නේ සීයට එකක්වත් නැහැ. මිනි හයිඩ්‍රෝ කොටස පමණක් ගත්තත් වැලිබල් පවර් දායකත්වය 10%කට අඩුයි. ඒ කියන්නේ, වෙළඳපොළ හැසිරවීමේ බලයක් මේ සමාගමට නැහැ. 

වැලිබල් පවර් සමාගම විසින් කරන්නේ හදන විදුලිය ලංවිමට විකුණන එක. ඒ කියන්නේ, වැලිබල් පවර් සමාගම විසින් තරඟ කරන්නේ ලංකාවේ විදුලිබල කර්මාන්තයේ දැවැන්තයා වන සහ සම්ප්‍රේෂණයේ හා බෙදා හැරීමේ (තමන්ටම අයිති ලෙකෝ සමාගමද සමඟ) ඒකාධිකාරය පවත්වා ගෙන යන ලංවිමට විදුලිය විකිණීමටයි. මෙහිදී එම සමාගමට රටේ වැඩිපුරම විදුලිය ජනනය කරන ලංවිමම එක්කත් තරඟ කරන්න වෙනවා. 

කොහොම වුනත්, වැලිබල් පවර් සමාගම විසින් සෑම වසරකදීම විශාල ලාබයක් ලබනවා. පහත පළමු වගුවේ පෙන්වා තිබෙන්නේ 2012/13-2021/22 මූල්‍ය වසර දහය තුළ (අප්‍රේල් 1 සිට ඊළඟ වසරේ මාර්තු 31 දක්වා) වැලිබල් පවර් සමාගමට විදුලිය ඒකකයක් (කිලෝවොට් පැයක්) හදන්නට ගිය වියදම, එම ඒකකයක් ලංවිමට විකිණූ මිල, බදු ගෙවීමට පෙර ලාබය හා ලාබයෙන් බදු ලෙස ගෙවූ කොටසයි. පිරිවැයට විදුලිය ජනනය කිරීම සඳහා යන සෘජු පිරිවැය මෙන්ම සමාගම නඩත්තු කිරීම සඳහා යන අනෙකුත් සියලුම වක්‍ර වියදම්ද ඇතුළත්. 

වගුව 1: වැලිබල් පවර් එරත්න ලාබ 


පේනවනේ තත්ත්වය. මෑත වසර කිහිපය දිහා බැලුවොත් විදුලි ඒකකයක් විකුණලා තියෙන්නේ හදනවා වගේ පස් ගුණයක මිලකට. ඒ කියන්නේ ආදායමෙන් පහෙන් හතරක්ම ලාබ. ලාබ වලින් හතරෙන් එකක් ආදායම් බදු විදිහට ගෙවුවට පස්සෙත් හතරෙන් තුනක්ම ලාබ!

සාමාන්‍යයෙන් ගිණුම්කරණ ලාබ පෙන්වන්නේ ඔය විදිහට. ඒ කියන්නේ ලංවිම ලාබ පෙන්වන්නෙත් ඔය විදිහට. හැබැයි ආර්ථික ලාබ කියා කියන්නේ ගිණුම්කරණ ලාබ වලටම නොවන බව මම කලින්ම විස්තර තිබෙනවානේ. ආර්ථික ලාබ ගණනය කළ හැක්කේ යෙදවූ ප්‍රාග්ධනයේ ආවස්ථික පිරිවැයද සැලකීමෙන් පසුවයි. 

පෞද්ගලික ආයෝජකයෙක්ට ගිණුම්කරණ ලාබ විතරක් තිබිලා වැඩක් නැහැ. ආර්ථික ලාබ තියෙන්න ඕනෑ. වැඩිදුර විස්තර මෙහි පෙන්වා නැතත්, වැලිබල් පවර් සමාගමට ඉතා ඉහළ මට්ටමක ආර්ථික ලාබත් තිබෙනවා. පසුගිය වසර දහය සැලකුවොත්ම, ආදායම් බදු ගෙවීමට පෙර කොටස් ආයෝජන මත සාමාන්‍ය වාර්ෂික ප්‍රතිලාභ අනුපාතය (ROE) 27.2%ක්. බදු ගෙවීමෙන් පසුව 23.6%ක්. 

ඔය වසර 10 තුළ සාමාන්‍ය එක්-වසර භාණ්ඩාගාර බිල්පත් පොලිය 8.5%ක් පමණ. දැන් තත්ත්වය ටිකක් වෙනස් වුනත්, සාමාන්‍යයෙන් භාණ්ඩාගාර බිල්පත් ආයෝජනයක් සැලකෙන්නේ අවදානම් රහිත ආයෝජනයක් විදිහටනේ. ඒ කියන්නේ ආයෝජකයෙකුට තමන්ගේ සල්ලි වැලිබල් පවර් වගේ සමාගමක දමලා අවදානමක් ගන්නේ නැතිව භාණ්ඩාගාර බිල්පත් වල දමා 8.5%ක ප්‍රතිලාභයක් ලබා ගැනීමේ විකල්පය තිබෙනවා. ඒ නිසා, ඒ කොටස කොහොමටත් ලාබයක් නෙමෙයි. ඊට අමතරව, මේ වගේ ආයෝජනයක අවදානමක් තිබෙන නිසා ඒ අවදානමට රක්ෂණයක් විදිහට තවත් 5%ක් තියමු. එතකොට 13.5%ක්. මේ මට්ටම දක්වා ගිණුම්කරණ ලාබයක් කියා කියන්නේ ආර්ථික ලාබයක් නෙමෙයි. ආර්ථික ලාබ කියන්නේ එයින් එහාට ලැබෙන කොටස.

වැලිබල් පවර් සමාගමේ ආයෝජකයෙකුට බදු ගෙවීමෙන් පසුව අඩු වශයෙන් 10%ක පමණ ආර්ථික ලාබයක් තිබෙනවා. එය සුපිරි ලාබයක්. 

සුපිරි ලාබ තියෙනවා කියන්නේ ප්‍රමාණවත් තරඟයක් නැහැ කියන එක. මේ සුපිරි ලාබ කතාව ප්‍රධාන කතාවෙන් බාහිර අතුරු කතාවක් නිසා මම විස්තර කරන්න යන්නේ නැහැ. ඒ ගැන විස්තර කරන්න ගියොත් වෙනම ලිපි මාලාවක් ලියන්න වෙනවා. නමුත්, අදාළ මූලධර්ම ගැන අවබෝධයක් තියෙන අයත් කියවන අය අතර ඉන්න නිසා කෙටියෙන් මේ ගැන යමක් කිවුවොත්, මේ සුපිරි ලාබ වල ප්‍රභවය ලංවිම අකාර්යක්ෂමතාවය. කර්මාන්තයේ ඒකාධිකාරයක් තිබෙන ලංවිමට අඩු පිරිවැයකින් විදුලිය ජනනය කළ නොහැකි නිසා ඒ වැඩේ කළ හැකි අයෙකුට සුපිරි ලාබ ලබන්න අවස්ථාවක් පහසුවෙන්ම ලැබෙනවා. රාජ්‍ය බැංකු දෙකේ අකාර්යක්ෂමතාවය නිසා අනෙකුත් සියලුම වාණිජ බැංකු සුපිරි ලාබ ලබන්නේත් ඔය විදිහටමයි. ටෙලිකොම් ක්ෂේත්‍රයේ වුනත් යම් තරමකින් හෝ ඔය වැඩේ වෙනවා කියලා මම හිතනවා. ඒක අතුරු කතාවක්. ඒ නිසා දැනට අපි වැලිබල් පවර් සමාගම පසුගිය වසර දහය තුළ ඉතා ඉහළ ලාබයක් උපයා තිබෙනවා කියන කරුණ එක්ක ඉදිරියට යමු. 

මේ විදිහට කිසියම් සමාගමක් විසින් ඉහළ ලාබ ලබනවා කියන්නේ ආර්ථිකයට අගය එකතු කිරීමක් වෙනවා කියන එකයි. රටේ කාගේ හරි ආදායමක්නේ. ගණන් හිලවු බැලුවොත්, වැලිබල් පවර් සමාගමේ ආයෝජනය කරපු රුපියල් 1000ක් වසර දහයක් යද්දී රුපියල් 11,112ක් වී තිබෙනවා. ඒ කියන්නේ රටේ ආර්ථිකයට රුපියල් 10,112ක අගය එකතු කිරීමක්. එයින් රුපියල් 2,762ක් ආදායම් බදු ලෙස රජයට ගෙවා තිබෙනවා. ඊට අමතරව බදු ගෙවීමෙන් පසු ලාබයෙන් වැඩි කොටසක් කොටස් හිමියන්ට ලාභාංශ ලෙස ගෙවා තිබෙන නිසා, ඔවුන්ගේ පෞද්ගලික ආදායම් බදු ලෙසත් රජයට සැලකිය යුතු බදු ආදායමක් ලැබී තිබිය යුතුයි. සමහර විට එකතුව රුපියල් 5000ක් පමණ වෙන්න පුළුවන්.

මේ සියලුම බදු ආදායම් රටේ සමස්ත ජනතාවට ලැබුණු ප්‍රතිලාභයක්. අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි දේවල් වලට වියදම් කරන්න වගේම දේශපාලනඥයින්ට හා රාජ්‍ය නිලධාරීන්ට නාස්ති කරන්න, හොරකම් කරන්න වගේ ඕනෑම දෙයකට යොදාගත හැකි මුදලක්. අපි හිතමු ඔය විදිහට රජයට ලැබුණු රුපියල් 5000න් රුපියල් 1000ක් කවුරු හරි හොරා කෑවා. කියලා. එහෙම නැත්නම් ගෙවිය යුතු පෞද්ගලික ආදායම් බදු හරියට ගෙවුවේ නැහැ කියලා. මේවා ප්‍රශ්න තමයි. කිසිම විවාදයක් නැහැ. ඒ රුපියල් 1000 බේරා ගත යුතුයි. හැබැයි ඔය රුපියල් 5000ම රජයට ලැබුණේ වැලිබල් සමාගම වගේ පෞද්ගලික සමාගමක් තිබුණු නිසා කියන එක අමතක නොකළ යුතුයි. හොරකම්, දූෂණ වලට විරුද්ධ, එහෙත් පෞද්ගලීකරණයට එරෙහිව රාජ්‍ය ඒකාධිකාරයන් වෙනුවෙන් පෙනී සිටින ආර්ථික ප්‍රතිපත්තියකින් ඔය රුපියල් 1000 බේරෙන්නේ නැහැ. රුපියල් 5000ම නැති වෙන එකයි වෙන්නේ. එතකොට කොහොමත් හොරකම් කරන්න කියලා දෙයක් නැහැ. ඒකත් අතුරු කතාවක්.

ආපහු වැලිබල් ලාබ වලට ආවොත්, අපිට ඔය ලාබ අදාළ කාලයේ ලංවිම ලාබ එක්ක සංසන්දනය කළ හැකියි. සම්ප්‍රේෂණය කිරීමේ හා බෙදා හැරීමේ ඒකාධිකාරය පැත්තකින් තිබ්බත්, ලංවිම කියා කියන්නේ ලංකාවේ විදුලිය ජනනයෙන් 70%කට වඩා කරන, ඒ නිසාම පරිමාණයේ වාසියද ලබන (economy of scale), වැලිබල් සමාගමේ තරඟකරුවෙක්. වැලිබල් සමාගමට ලාබ ලැබිය හැකිනම් ලංවිමට ඒ හා සමාන ලාබ ලබන්න බැරි වෙන්න විශේෂ හේතුවක් තියෙනවද? 

ලංවිම මූල්‍ය වර්ෂය දෙසැම්බර් 31න් අවසන් වන නිසා හරියටම ගලපන්න බැහැ. නමුත් මේ වෙනස සංසන්දනයක් කරන්න බාධාවක් නෙමෙයි. 2012-2021 කාලය තුළ ලංවිම විසින් ලාබ ලබා තියෙන්නේ 2013 හා 2015 වසර වලදී පමණයි. නමුත්, මේ ලාබ ගිණුම්කරණ ලාබ. කොටස් ආයෝජන වල අනුපාතයක් ලෙස 2013දී 11.5%කුත්, 2015දී 5.1%කුත් ලාබ ලබා තිබෙනවා. එහෙත්, මෙම වසර වලදී එක්-වසර භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික පිළිවෙලින් 8.29% හා 7.30% නිසා, ආර්ථික ලාබයක් තිබෙනවානම් තිබිය හැක්කේ 2013දී පමණයි. අවදානම වෙනුවෙන් යාන්තම් 3.2%ක් දමපු ගමන් ඒකත් නැතිව යනවා. මේ ලාභ ගිණුම්කරණ ලාබ මිසක් ආර්ථික ලාබ නෙමෙයි. 

පසුගිය වසර දහය තුළ, ආදායම් බදු ගෙවීමට පෙර ලංවිම කොටස් ආයෝජන මත සාමාන්‍ය වාර්ෂික ප්‍රතිලාභ අනුපාතය සෘණ 10.5%ක්. මෙය වැලිබල් සමාගමේ එම අනුපාතය වූ 27.2% සමඟ සසඳා බලන්න. 37.7%ක වෙනසක්. වැලිබල් පවර් සමාගමේ ආයෝජනය කරපු රුපියල් 1000ක් වසර දහයක් යද්දී රුපියල් 11,112ක් වී තිබෙනවා. අදාළ කාලය තුළ (මාස තුනේ වෙනස නොසලකා හැර) ලංවිම තුළ ආයෝජනය කරපු මහජන ධනය රුපියල් 1000ක් වසර දහයක් යද්දී රුපියල් 329ක් දක්වා අඩු වී වී තිබෙනවා. 2022 පළමු මාස හයේ පාඩුව සැලකුවොත්, මෙම වටිනාකම රුපියල් 260 දක්වාම අඩු වෙනවා. මෙහි අවාසිය මේ පාඩුව පමණක් නොවන බව පැහැදිලි විය යුතුයි. පෞද්ගලික අංශය යටතේ ලැබිය හැකිව තිබුණු ලාබය හා ඒ මත අය කළ හැකිව තිබුණු බදු ආදායම මෙහිදී මුළුමනින්ම නැති වී තිබෙනවා.

දැන් අපි ජනප්‍රිය සමාජවාදී තර්කය වෙත එමු. වැලිබල් ලාබ කියා කියන්නේ වෙනත් අයෙකුට අහිමි වූ දෙයක්ද? එසේ නැත්නම්, ඔවුන් විසින් අලුතින්ම නිර්මාණය කළ ධනයක්ද? 

මෙහිදී වැලිබල් ලාබ නිසා වෙනත් අයෙකුට යමක් අහිමි වූවානම් එසේ අහිමි වූයේ ලංවිමට, රජයට හෝ පාරිභෝගිකයාට විය හැකියි. එවැන්නක් සිදු වී ඇත්දැයි දැන් අපි විමසා බලමු. 

වගුව 2: වැලිබල් පවර් විදුලියෙන් ලංවිම ලාබ 


පසුගිය වසර දහය තුළ ලංවිම විසින් වැලිබල් පවර් වෙතින් මිල දී ගත් විදුලිය පාරිභෝගිකයාට විකුණා තිබෙන්නේ සාමාන්‍ය වශයෙන් ඒකකයකට රුපියල් 2.90ක ලාබයක් තියා ගෙනයි. සම්ප්‍රේෂණය කිරීමේ හා බෙදාහැරීමේ වියදම් අඩු කිරීමෙන් පසුව ශුද්ධ ලාබය කොපමණද කියා මා දන්නේ නැහැ. ඇතැම් විට එය අලාබයක් වෙන්නත් පුළුවන්. අපට එය ගණනය කළ හැකි නිශ්චිත පදනමක් නැහැ. 

කෙසේ වුවත්, වැලිබල් පවර් සමඟ ගනුදෙනු වලින් ලංවිමට ලැබුණු සැබෑ ලාබය ඊට වඩා ගොඩක් වැඩියි. එක් වසරකදී හැර (2015) අනෙක් සෑම වසරකදීම ලංවිම විසින් වැලිබල් පවර් විදුලිය ඒකකයක්  වෙනුවෙන් ගෙවා ඇති මුදල ලංවිම සාමාන්‍ය ඒකක පිරිවැයට වඩා අඩුයි. වෙනසෙහි සාමාන්‍ය අගය රුපියල් 5.14ක්. එහෙත්, විදුලි ඒකකයක් හැදීමේ ලංවිම ආවස්ථික පිරිවැය අනිවාර්යයෙන්ම මීට වඩා වැඩියි. එය (ඩීසල් වලින් විදුලිය හැදීමේ පිරිවැය) සාමාන්‍ය ඒකක පිරිවැයට වඩා අඩු වශයෙන් රුපියල් පහකින්වත් වැඩි විය යුතුයි. ඒ කියන්නේ, වැලිබල් පවර් විදුලිය මිල දී ගැනීමෙන් ලංවිමට ඒකකයකින් රුපියල් 10ක පමණවත් ලාබයක් තිබිය යුතුයි. මේ ගනුදෙනුව නොවන්නට ලංවිම පාඩු මීටත් වඩා ඉහළ ගිහින්.

ලංවිම පාඩු වැඩි වෙනවා කියන්නේ රජයේ වියදම්ද වැඩි වෙනවා කියන එකයි. ඒ වගේම, විදුලි බිල වැඩි වීමේ ඉඩකඩ ඉහළ යනවා කියන එකයි. මේ අනුව, වැලිබල් පවර් සමඟ ලංවිම කර ඇති ගනුදෙනු වලින් පාරිභෝගිකයාට හා රජයට වාසියක් මිස පාඩුවක් සිදු වී නැහැ. 

වැලිබල් පවර් විසින් විදුලිය හදන්නේ "ඔවුන් විසින් ආයෝජනය කර නිපදවාගත්" ජලය භාවිතයෙන් නෙමෙයි. පාවිච්චි කරන වතුර රටේ කාටත් අයිති පොදු භාණ්ඩයක්. එහෙමනම්, පෞද්ගලික සමාගමක් විසින් මේ පොදු භාණ්ඩය යොදාගෙන ලාබ උපයන එක නිවැරදිද?

වතුර නිකම්ම ගලා යන වතුර වුනත් ඒ වතුර ප්‍රයෝජනයට ගන්නා සමාගමක් වතුරේ "අයිතිකරුවන්ට" එහි මිල ගෙවිය යුතුයි. වැලිබල් පවර් සමාගම මේ මිල රජයට බද්දක් ලෙස ගෙවනවා. ප්‍රමාණය කොපමණද කියා මම දන්නේ නැහැ. ඒ බදු මුදලද වැලිබල් පවර් සමාගමේ ඒකක පිරිවැයෙහි කොටසක්. රජයට ලැබෙන ආදායමක්. 

මෙතෙක් ලියූ දේවල් වලින් එක් දෙයක් පැහැදිලි විය යුතුයි. ඒ වැලිබල් පවර් සමාගම විසින් අලුතෙන් ධනය නිර්මාණය කරන බව. ප්‍රාග්ධන ආයෝජනයේ ආවස්ථික පිරිවැය අඩු කිරීමෙන් පසු වැලිබල් පවර් සමාගම විසින් නිපදවන විදුලි ඒකකයකින් රුපියල් පහක් පමණ එහි කොටස් හිමියන්ට ලැබෙනවා ඇති. ඊට අමතරව තවත් රුපියල් පහක් පමණ රජයට බදු ලෙස ලැබෙනවා. ලංවිමට රුපියල් දහයක පමණවත් වාසියක් ලැබෙනවා. මේ සියලු වාසි ලැබෙන්නේ වැලිබල් පවර් සමාගමේ අයිතිකරුවන්ගේ ලාබ සොයා යාමේ අපේක්ෂාව තුළයි. 

Saturday, September 10, 2022

ණය බර අඩු කර ගැනීම


ශ්‍රී ලංකා රජය විසින් විදේශ ණය ආපසු ගෙවීම පැහැර හැරීමට ගත් තීරණය මේ වන විට විවාදිත කරුණක්ව තිබෙනවා. ණය ගෙවීම පැහැර නොහැර ලංකාවට කළ හැකි වෙනත් දෙයක් තිබුණේද? ණය පැහැර හැරීම මීට වඩා වෙනස් විදිහකට කළ හැකිව තිබුණේද?

මේ වගේ ප්‍රශ්න වලට මට නිශ්චිත පිළිතුරු නැහැ. එහෙත්, අවසන් නිගමනයක් පළ නොකරමින්, සිදු වූ දෙය සිදු විය හැකිව තිබුණේයැයි සිතිය හැකි උපකල්පිත තත්ත්වයන් සමඟ සංසන්දනය කළ හැකියි. 

ණය පැහැර හැරීම නොකළ යුතුව තිබුණු දෙයක්ද?

ණය ගන්නා ඕනෑම පුද්ගලයෙකුට, වෙනත් අවාසි නැත්නම්, ණය ආපසු නොගෙවා සිටිය හැකියි. වෙනත් අවාසි නැත්නම්, ණය ආපසු නොගෙවීම හැම විටම වාසියි. එහෙත්, ණය ගන්නා බොහෝ දෙනෙක් ණය ගනිද්දී පොරොන්දු වූ පරිදි ණය ආපසු ගෙවනවා. ඒ, ණය ආපසු නොගෙවීමේ ලාබයට වඩා එසේ කිරීමේ ප්‍රතිවිපාක හානිකර නිසයි. මේ හානි හෝ අවාසි මොනවාද?

ප්‍රධාන අවාසි දෙකක් තිබෙනවා.

- ණය ගැනීමේදී එකඟ වී තිබෙන කොන්දේසි අනුව ණයහිමියාට ණයකරුගේ වත්කම් අත්පත් කර ගැනීමට ඉඩ ලැබීම 

- නැවත ණය ලබා ගැනීම අපහසු වීම 

පුද්ගලයෙකුට වගේම රජයකටත් මේ කරුණු එක ලෙස බලපානවා. එහෙත්, පළමු සාධකය හා අදාළව පමණක් වැදගත් වෙනසක් තිබෙනවා.

රජයක් විසින් දේශීය ණය ලබා ගැනීමෙන් පසු අදාළ ණය ගිවිසුමේ කොන්දේසි කඩ කළහොත් ණයහිමියාට හානි ප්‍රතිපූරණය කර ගැනීම සඳහා පිහිට විය හැක්කේ රටේ නීතියටයි. එහෙත්, රජයට මෙම නීති වෙනස් කළ හැකියි. එසේ කළහොත්, ණයහිමියාට නීතියේ පිළිසරණ අහිමි වෙනවා. 

එහෙත්, විදේශ ණය හා අදාළව සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන්නේ වෙනත් රටක නීතියක් නිසා රජයක් වුවත් සාමාන්‍ය ණයකරුවෙකු බවට පත් වෙනවා. විදේශ ණය පැහැර හරින රජයකට තමන් සතු වත්කම් ණයහිමියෙකු විසින් අත්පත් කර ගැනීමේ අවදානමට මුහුණ දෙන්න වෙනවා. ඊට අමතරව දෙවන සාධකයේ අවාසියද තිබෙනවා.

දේශීය ණය හා අදාළව, රජය සතු නීති හැදීමේ අධිකාරී බලය හමුවේ, පළමු සාධකය ණය පැහැර හැරීමට බාධාවක් නොවුවත්, දෙවන සාධකයේ බලපෑම ඉතා විශාලයි. දෙවන සාධකය ගත්තත්, ලංකාව සතුව විදේශිකයින්ට පහසුවෙන් අත්පත් කරගත හැකි, රටින් බැහැර පිහිටි වත්කම් විශාල ප්‍රමාණයක් නැති නිසා පළමු සාධකයේ වැදගත්කම ගොඩක්ම විශාල නැහැ. මෙතෙක් කල් ලංකාව නොවරද්දා විදේශ ණය ආපසු ගෙවුවේ දෙවන සාධකය නිසා.

එසේනම් ණය පැහැර හැරීම් සිදු වන්නේ ඇයි?

ඉහත තත්ත්වය සාමාන්‍ය තත්ත්වය වුවත් ඇතැම් තත්ත්ව යටතේ ණය පැහැර හැරීම වඩා වාසිදායක වෙන්න පුළුවන්. අපට ලංකාව ගැනම කතා කළ හැකියි. ලංකාව දේශීය ණය ගෙවීම පැහැර නොහැර විදේශ ණය ගෙවීම පැහැර හැරියේ ඇයි? 

ලංකාව හා අදාළව පළමු සාධකයේ වැදගත්කම අඩුබව මම කිවුවනේ. එහෙම තියෙද්දී, විදේශ ණය හා අදාළව දෙවන සාධකය වෙනස් වුනා. ණය ආපසු ගෙවුවා කියලත් අලුතෙන් ණය ගන්න බැරි තත්ත්වයක් ඇති වුනා. ඒ වගේ තත්ත්වයක් යටතේ ණය පැහැර හැරියා කියලා තවත් අමුතුවෙන් නැති වෙන්න දෙයක් නැහැ. දේශීය ණය හා අදාළව මේ වගේ ප්‍රශ්නයක් තවම ඇති වී නැහැ. හැබැයි ඉතා ඉක්මණින් ඇති වෙන්න පුළුවන්. ඒ ගැන පසුව වෙනම කතා කරමු.

ලංකාවට ණය පැහැර නොහැර ඉන්න පුළුවන්කම තිබුණද?

එහෙම පුළුවන්කමක් තිබුණා කියා කියන අය කියන්නේ චීනයෙන් ණයක් ගන්න කටයුතු සූදානම් කෙරෙමින් තිබුණා වැනි දේවල්. ඒ කතා වල ඇත්ත නැත්ත පැත්තකින් තියමු. තව ණය ගන්න පුළුවන් වුනානම්, කෝවිඩ් නොආවානම්, සංචාරකයෝ එන එක අඩු නොවුනානම්, ණය පැහැර නොහැර ඉන්න තිබුණා. අපි හිතමු 2019 සිටි තැන සිට ඒ ක්‍රමයට දිගටම ගියා කියලා. එහෙමනම්, ණය පැහැර නොහැර අලුතෙන් ණය ගනිමින් ඒ ණය වලින් පරණ ණය ගෙවමින් තවත් යම් කාලයක් යන්න තිබුණා. කොච්චර කාලයක්ද?

සමහර විට අවරුදු තුන හතරක්. සමහර විට පහක් හයක්. හැබැයි ඔය ගිය ක්‍රමය කොයි වෙලාවේ හෝ අර්බුදයට ලක් වී කඩා වැටෙන එක අනිවාර්යතාවයක්. කෝවිඩ් නිසා සහ පසුගිය දෙවසර තුළ පැවති රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති නිසා වුනේ ඒ වැඩේ ඉක්මන් වුනු එක පමණයි. ඔය මොකක්වත් සිදු නොවුනත් ලංකාවේ විදේශ ණය පැහැර හරින්න සිදු වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. අපනයන ඉලක්ක නොකළ ලංකාවේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවට මුල සිටම තිරසාර පැවැත්මක් තිබුණේ නැහැ. කොයි වෙලාවක හෝ ලංකාවට විදේශ මූල්‍ය වෙළඳපොල ප්‍රවේශය අහිමි වෙනවා. ඊට පස්සේ ණය පැහැර හරින්න වෙනවා.

තව කල් අරගෙන සැලසුම්සහගත ලෙස ණය පැහැර හරින්න තිබුණේ නැද්ද?

රටක් (හෝ පුද්ගලයෙක් හෝ සමාගමක්) ණය පැහැර හරින ක්‍රම දෙකක් තිබෙනවා. එකක් ලංකාව කළා වගේ ඒක පාර්ශ්විකව ණය පැහැර හරින එක. එසේ කිරීම ගිවිසුම් කඩ කිරීමක් නිසා එහි ප්‍රතිවිපාක වලක්වා ගැනීමට ණය පැහැර හැරීමෙන් පසුව හෝ ණයහිමියන් සමඟ සම්මුතියකට එන්න වෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කියා කියන්නේ එයටයි. දෙවන ක්‍රමය මේ විදිහට ඒකපාර්ශ්විකව ණය ගෙවීම පැහැර නොහැර කලින්ම ණයහිමියන් සමඟ සම්මුතියකට එන එක.

අදාළ අවස්ථාව වන විට, ලංකාවට මේ වගේ සම්මුතියකට පැමිණ ණය පැහැර හැරීමේ ඉඩක් නොතිබුණු බව මගේ අදහසයි. කෙසේ වුවත්, මට අවධානය යොමු කරන්න අවශ්‍ය කරුණ ඒ ගැන නොව ක්‍රම දෙකේ සාපේක්ෂ වාසි අවාසි ගැනයි. 1978 සිට 2010 අතර සිදුව ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම් වලින් 38%ක් කලින් සැලසුම් කර කරපුවා. ඉතිරි 62%දීම සිදු වී තිබෙන්නේ ඒකපාර්ශ්වික ලෙස ණය පැහැර හැරීමෙන් පසුව ණය ප්‍රතිව්‍යුහගත කරන එකයි (මූලාශ්‍රය: Asonuma and Trebesch, 2016). 

කලින්ම ණය ප්‍රතිව්‍යුහගත කරන එකේ වාසිය වන්නේ වැඩේ සාපේක්ෂව කෙටිකාලයකින් අවසන් කර ගත හැකි වීමයි. පළමුව ණය පැහැර හැර පසුව ණය ප්‍රතිව්‍යුහගත කර කරන්න යද්දී බොහෝ විට එකඟතාවයක් ඇති කර ගන්න වැඩි කාලයක් යනවා. පළමු ක්‍රමයේදී එකඟතාවක් ඇති කර ගැනීමට යන සාමාන්‍ය කාලය මාස 12ක්. දෙවන ක්‍රමයේදී එය මාස 60ක්. (මූලාශ්‍රය: IMF WP/22/122). ලංකාවට වැඩේ කෙළවරක් දකින්න අඩු වශයෙන් වසරක්වත් යා හැකි බව මේ අනුව පැහැදිලි විය යුතුයි. සමහර විට වසර දෙකක් හෝ වැඩි කාලයක් යන්නත් පුළුවන්. අනෙක් පැත්තෙන් ණය පැහැර හැරීමෙන් පසුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් වඩා විශාල සහනයක් ලබා ගන්න ඉඩ සැලසෙනවා. 

වෙච්ච දේවල් දැන් කොහොමටත් වෙනස් කරන්න බැහැ. ණය පැහැර හැරීම කරන්න කලින් සංකීර්ණ විශ්ලේෂණයක් කරලා ඒ වැඩේ කළා කියලා මම හිතන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඔය වැඩේ කරන්න ඇත්තේ වෙනත් විකල්පයක් නැති නිසා. හැබැයි ලංකාව හිටපු තැන සහ යමින් සිටි මාර්ගය අනුව, මේ තීරණය නිසා යහපතක් වුනා වෙන්න පුළුවන්. 

ණය පැහැර හැරීමේ වාසි මොනවාද?

ණය පැහැර හරින වෙලාව වෙද්දී ලංකාවට කොහොමටත් විදේශ ණය වෙළඳපොළ වැහිලයි තිබුණේ. ගිය ක්‍රමයට තව වසර කිහිපයක් ගියත් අන්තිමට ඔය වැඩේ ඔය විදිහටම වෙන බව මම කලින්ම කිවුවනේ. ණය පැහැර හැරපු නිසා තව සෑහෙන කාලයකට ලංකාවට විදේශ වෙළඳපොළ නැවත විවෘත වෙන්නේ නැහැ. සැලසුම්සහගත ලෙස කලින්ම ණය ප්‍රතිව්‍යුහගත කළා කියලා ඕකේ ලොකු වෙනසක් වෙන්නෙත් නැහැ. නොකා නොබී, තියෙන දෙයක් විකුණලා ණය ගෙවාගෙන ගියත් ණය ගෙවීමේ හැකියාව නැති වෙලා කියන එක කාට වුනත් පැහැදිලිව පේනවා. ඒ නිසා, අවසන් ප්‍රතිඵලයේ වෙනසක් වෙන්නේ නැහැ. මම හිතන්නේ ගිය ක්‍රමයට යමින් එකතු වී තිබුණු දැවැන්ත ණය කන්දරාව ලංකාවට කවදාවත්ම ගෙවන්න පුළුවන්කමක් තිබුණේ නැහැ.

ඔය වගේ තත්ත්වයක් තුළ මුලින් හෝ කල් පසුවී ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්න වෙනවා. එසේ කර ණය වලින් විශාල ප්‍රමාණයක් කපා හැරීමට ණයහිමියන් එකඟ කර ගන්න වෙනවා. තමන්ගේ ණය කොහොමටවත් ආපසු නොලැබෙන තැනට වැටුනට පස්සේ ණයහිමියන්ව විශාල ණය කපා හැරීමකට එකඟ කරගන්න ලේසියි. 

මේ විදිහට කොයි තරම් ප්‍රමාණයක් ණය කපා හරින්න පුළුවන්ද?

පසුගිය වසරේදී සුඩානයේ ණය ප්‍රතිව්‍යුහගත කරන විට සුඩානය විසින් ගෙවිය යුතු ණය ප්‍රමාණයේ වත්මන් වටිනාකම (present value) ඩොලර් බිලියන 56.2ක්ව තිබුණා. ණයකරුවන් විසින් එම ණය වලින් 90%ක් පමණම කපා හැරීමෙන් පසුව සුඩානයේ විදේශ ණය ඩොලර් බිලියන 6 දක්වා අඩු වුනා.

වාණිජ ණය වල වත්මන් වෙළඳපොළ මිල බොහෝ විට හෙට්ටු කිරීම ආරම්භ කළ හැකි ස්ථානයක්. ණය ප්‍රමාණයෙන් 20-50% පමණ කපා දැමීමට බොහෝ අවස්ථා වලදී ණයහිමියන් එකඟ වී තිබෙනවා. 

කිසියම් රටකට නැවතත් විදේශ ණය ලබා ගත හැකි වීම හෝ නොවීම තීරණය වන්නේ ණය ආපසු ගෙවීමේ හෝ නොගෙවීමේ අතීත වාර්තාව අනුව නෙමෙයි. ණය ආපසු ගෙවීමේ හැකියාව මතයි. ණය ගෙවීම පැහැර හැරීම හා ඉන් පසුව ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා ණය බර විශාල ලෙස අඩු වුවහොත් නැවතත් ණය ලබා ගැනීමට ඉඩ සැලසෙනවා. ණය බර එසේම තිබියදී, කලට වෙලාවට ණය ආපසු ගෙවූ පමණින් දිගින් දිගටම ණය ලබා ගන්න ඉඩ සැලසෙන්නේ නැහැ. 

ලංකාවේ ණය වලින් කොපමණ ප්‍රමාණයක් කපා හැරෙන්නේද යන්න තීරණය වනු ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන හෙට්ටු කිරීමේ ක්‍රියාවලිය තුළයි. ඒ සඳහා කාලයක් ගත වනු ඇති අතර එහි අවසන් ප්‍රතිඵලය කුමක් වුවත් ලංකාවට නැවතත් විදේශ ණය වලින් ජීවත් වෙන්න ලැබෙන එකක් නැහැ. ඒ යුගය අවසන්. විදේශ විණිමය ඉපැයීම් වැඩි කර ගැනීම හැර ලංකාව සතු වෙනත් විකල්පයක් නැහැ. එයද ක්ෂණිකව සිදුවන දෙයක් නොවන නිසා අතරමැදි කාලය තුළ ලැබෙන විදේශ විණිමය කළමණාකරණය කරගන්න සිදුවන එක අනිවාර්යතාවයක්. 

එහෙමනම් IMF ගිය එකෙන් වැඩක් නැද්ද?

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය තුළ IMF එකේ මැදිහත්වීම ඉතාම වැදගත්. ණය ප්‍රතිව්‍යුහගත කිරීමකදී ණයහිමියන් විසින් සහනයක් දීම ගැන සලකා බලන්නේ අදාළ රට ණය ගෙවීම සඳහා කළ හැකි හැම දෙයක්ම කර ඇති බවත්, එසේ කිරීමෙන් පසුවත් මුලින් එකඟ වූ පරිදි ණය ආපසු ගෙවිය නොහැකි බවත් පෙනෙන්න ඇත්නම් පමණයි.

පෞද්ගලික ආයතනයකින් හෝ පුද්ගලයෙකුගෙන් වෙනස්ව රජයක වත්කම් සම්බන්ධව සීමාවක් පැනවීම ඉතා අසීරු දෙයක්. රටක රජයකට රටේ මිනිස්සුන්ගේ ආදායම මුළුමනින්ම වගේ බදු ලෙස අය කිරීමේ සිට ඔවුන් සතු වත්කම් අත්පත් කර ගැනීම දක්වා බොහෝ දේ කළ හැකියි. එසේ කර තමන්ගේ ණය ආපසු ගෙවිය හැකියි. ඒ නිසා, ණයහිමියෙකුට මස් රාත්තලම ඉල්ලා සිටින්න පුළුවන්. රජයක් IMF වැඩ සටහනකට එකඟ වීමේදී ණයකරු විසින් කළ හැකි දේවල් සියල්ල කර ඇති බව ණයහිමියාට ඒත්තු යනවා. ඊට අමතරව, ණයෙන් කොටසක් කපා දැමීමෙන් පසු ඉතිරි මුදල හෝ ලැබෙන බවට සහතිකයක්ද ඔවුන්ට ලැබෙනවා. මේ හේතු නිසා, IMF වැඩසටහනකට එකඟ වී එයද රැගෙන ණයහිමියන් වෙත යාම සාර්ථක ප්‍රවේශයක්. බොහෝ ණයහිමියන් විසින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පෙර කොන්දේසියක් ලෙස මෙවැනි එකඟතාවක් අපේක්ෂා කරනවා.

Friday, September 9, 2022

එකඟතාවයෙන් පසු...


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් නිලධාරී මට්ටමේ එකඟතාවයෙන් පසුව බොහෝ දෙනෙකුට මතු වූ පොදු ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. 

- ඩොලරයක මිලට කුමක් වෙයිද?

- වැඩ සටහන අනුව විණිමය අනුපාතය පා කළ විට නැවත උද්ධමනය ඉහළ යයිද? 

එක් ඇමතිවරයෙක් විසින් කියා තිබුණේ ඩොලරයක මිල අඩු වෙලා රුපියල් 300 වගේ මට්ටමකට එන්න පුළුවන් කියලා. හදපු IMF වැඩසටහන තුළ එවැන්නක් සිදු වනවාද කියා මම හරියටම දන්නේ නැහැ. මගේ අදහස අනුවනම් ඩොලරයක මිල නැවත රුපියල් 300 මට්ටමට ගත හැකි සාර්ව ආර්ථික සැලසුමක් හදන එක කළ නොහැකි තරම් අසීරු වැඩක්. 

දැන් ඩොලරයක මිල තිබෙන තැනින් පටන් ගත්තොත්, රුපියල් 360 කියා කියන්නේ ඩොලරයක නියම මිල නොවන බව කාට වුනත් පැහැදිලි ඇති. ආනයන සීමා ආදිය ඉවත් කරලා, විණිමය අනුපාතය පා කළොත් අනිවාර්යයෙන්ම මිල ඉහළ යනවා. එහෙම නොවෙන්නනම් රටට විශාල ඩොලර් ප්‍රවාහයක් ගලා ආ යුතුයි. IMF සල්ලි ලැබුණත්, ඒ වගේ ලොකු ඩොලර් ප්‍රමාණයක් ලැබෙන්නේ නැහැ. 

එකඟ වී තිබෙන වැඩ සටහන අනුව විණිමය අනුපාතය පා කළ යුතුයි. සාමාන්‍යයෙන් IMF එක ආනයන පාලනය වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. ඒ කියන්නේ, විණිමය අනුපාතය පා කරනවාට අමතරව ආනයන පාලනද ඉවත් කරන්න වෙනවා. ඒ වගේ දෙයක් වෙන්න යද්දී නැවත උද්ධමනය ඉහළ යයිද කියන එකත් සාධාරණ ප්‍රශ්නයක්.

මම දිගින් දිගටම කියා ඇති පරිදි උද්ධමනය ඉහළ යන්නේ මුදල් සැපයුම වැඩි වීම නිසා මිසක් ඩොලරයක මිල ඉහළ යාම නිසා නෙමෙයි. ඇත්තටම වෙන්නේ ඒකේ අනෙක් පැත්ත. ඩොලරයක මිල ඉහළ යන්නේ උද්ධමනය නිසා. 

මේ කතාව එදිනෙදා නිරීක්ෂණ එක්ක ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට හේතුවක් තිබෙනවා. ඒ හේතුව ඩොලරයක මිලට වගේම අනෙක් භාණ්ඩ හා සේවා වල මිල ගණන් වලටත් අදාළයි. 

මුදල් සැපයුම වැඩි වන විට සියලුම භාණ්ඩ හා සේවා වලට ඉල්ලුම වැඩි වෙනවා. ඩොලර් ඉල්ලුමත් වැඩි වෙනවා. ඒ එක්කම මිල ඉහළ යන පරිදි පීඩනයක් ඇති වෙනවා. ඒ හේතුව මත මිල ඉහළ යනවා. උද්ධමනය කියා කියන්නේ ඕකට. 

ඉල්ලුම වැඩි වී, උද්ධමන පීඩනය වැඩි වෙද්දී, එයට අනුරූපව මිල ඉහළ යාමට බාධාවක් සිදු නොවුනොත් පාරිභෝගික මිල දර්ශකයකින් රටේ නියම උද්ධමනය බොහෝ දුරට පිළිබිඹු වෙනවා. නමුත්, ඒ විදිහට මිල ඉහළ යන්න නොදී මිල පාලනය කළොත් මිල දර්ශකයකින් නියම උද්ධමනය නිරූපණය වෙන්නේ නැහැ. 

උදාහරණයක් විදිහට 2014 සිට රටේ මුදල් සැපයුම විශාල ලෙස ඉහළ ගිහින් ගොඩක් භාණ්ඩ හා සේවා වල මිල ඉහළ ගිහින් තිබුණත්, එයට අනුරූපව විදුලි බිල් ඉහළ ගිහින් නැහැ. රටේ හැම භාණ්ඩයකම වගේ මිල ඉහළ යද්දී ලංවිම වගේ ආයතනයක සේවකයින්ට තමන්ගේ පරිභෝජන මට්ටම පවත්වා ගෙන යාම සඳහා වැඩි වැටුප් අවශ්‍ය වෙනවා. විදුලිය නිපදවන ඉන්ධන වැනි අමුද්‍රව්‍ය වල මිලත් ඉහළ යනවා. විදුලිය සැපයීමේ කර්මාන්තය රාජ්‍ය ඒකාධිකාරයක් නොවුනානම් මේ විදිහට වියදම් ඉහළ යද්දී මිලත් ඉහළ යනවා. පාරිභෝගික මිල දර්ශකයකින් රටේ නියම උද්ධමනය පේනවා.

මිල පාලනය කරගෙන හිටියහම ඔය විදිහට නියම උද්ධමනය පේන්නේ නැහැ. පේන්නේ අඩු උද්ධමනයක්. කොයි වෙලාවේ හරි මිල සංශෝධනය කළාම කාලයක් තිස්සේ හැදී තිබුණු, එහෙත් පාරිභෝගික මිල දර්ශකය තුළ නිරූපණය නොවූ උද්ධමනය පේන්න ගන්නවා. ඇත්තටම එහිදී වෙන්නේ උද්ධමනය වැඩි වීමක් නෙමෙයි. ඒ වන විටත් හැදී තිබුණු උද්ධමනය පේන්න පටන් ගැනීමක්. 

ඩොලරයක මිල පාලනය කළ විට වෙන්නෙත් හරියටම ඔය වැඩේ. උද්ධමනය අඩුවෙන් පේනවා. නමුත්, පෙනුණේ නැතත්, ඇත්තටම උද්ධමනය ඉහළ යනවා. ඩොලරය පා කළාට පස්සේ කාලයක් දර්ශක තුළ දැකිය නොහැකි වූ උද්ධමනය පේන්න ගන්නවා. නමුත් එය ඇත්තටම උද්ධමනය වැඩිවීමක් නෙමෙයි. 

මිල පාලනය මගින් ජීවන වියදම අඩු කරන්න පුළුවන්. මිල පාලනය ඉවත් කළ විට ජීවන වියදම ඉහළ යනවා. උද්ධමනය කියා කියන්නේ ජීවන වියදම ඉහළ යාමටම නෙමෙයි. ජීවන වියදම ඉහළ යාම පුද්ගලයාට සාපේක්ෂ දෙයක්. එය තීරණය වන්නේ එක් එක් පුද්ගලයාගේ පරිභෝජන රටාව මත. එහෙත්, උද්ධමනය කියා කියන්නේ ඒ විදිහට පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන දෙයක් නෙමෙයි. එය රටේ මුදල් ඒකකයට සම්බන්ධ දෙයක්. ලංකාවේනම් රුපියලට සම්බන්ධ දෙයක්. රුපියල් අතේ තිබෙන හා ණයට ගත් හැම දෙනෙකුටම උද්ධමනය බලපාන්නේ එක විදිහට. නමුත්, ජීවන වියදම ඒ වගේ එක විදිහට බලපාන්නේ නැහැ.

පාරිභෝගික මිල දර්ශකයකින් ඇත්තටම මනින්නේ තෝරාගත් ජන කණ්ඩායමකගේ ජීවන වියදමෙහි සාමාන්‍ය වෙනස්වීම මිසක් උද්ධමනය නෙමෙයි. නමුත්, වඩා හොඳ මිනුමක් නැති නිසා උද්ධමනය මැනීමේ සම්මතය විදිහටත් ලෝකයේ හැම රටක්ම වගේ පාරිභෝගික මිල දර්ශක යොදා ගන්නවා. ඔය සම්මතය උද්ධමනය ලෙස බොහෝ විට හඳුන්වනවා. දර්ශකයක අඩංගු භාණ්ඩ හා සේවා වල මිල නිදහසේ තීරණය වෙනවානම් ඔය දෙකේ ලොකු වෙනසක් නැහැ. නමුත්, මිල නියාමනය වන විට තත්ත්වය වෙනස්. 

ජීවන වියදම වැඩි වීම කෙටිකාලීන ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයෝ ජීවන වියදම වැඩිවීම ගැන ලොකුවට වද වෙන්නේ නැහැ. ඒ නිසාම, සාර්ව-ආර්ථික වැඩ පිළිවෙලක් හදද්දී උත්සාහ කරන්නේ උද්ධමනය පාලනය කරන්න මිසක් ජීවන වියදම පාලනය කරන්න නෙමෙයි. 

සාර්ව-ආර්ථික වැඩ පිළිවෙලක් හදද්දී ජීවන වියදම ගැන ලොකුවට වද නොවී උද්ධමනය පාලනය කරන්න මහන්සි වෙන්නේ අඩු වශයෙන් හේතු තුනක් නිසා. පළමුව, උද්ධමනය පාලනය වෙන්නේ නැහැ කියා කියන්නේ දිගින් දිගටම ජීවන වියදම වැඩි වෙනවා කියන එක. ඒ නිසා, උද්ධමනය පාලනය කිරීම මගින් වක්‍ර ලෙස ජීවන වියදම වැඩි වීම තිරසාර ලෙස පාලනය කෙරෙනවා. දෙවනුව, කරන්න අවශ්‍ය වුනත්, සාර්ව ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කිරීම මගින් කෙටිකාලීනව ජීවන වියදම පාලනය කරන්න බැහැ. තෙවනුව, ජීවන වියදම වැඩි වීමට හේතුව උද්ධමනය නොවේනම්, කිසිවක් නොකළත් ප්‍රශ්නය කෙටි කලකින් ඉබේටම විසඳෙනවා. 

මිල පාලනය ජීවන වියදම ඉහළ යාමට කෙටිකාලීන විසඳුමක් වුනත් දිගුකාලීනව වෙන්නේ ප්‍රශ්නය උග්‍ර වෙන එකයි. ලංවිම උදාහරණය ගත්තොත්, විදුලි බිල වැඩි නොකිරීම නිසා ජීවන වියදම වැඩි වීම තාවකාලිකව පාලනය වෙනවා. නමුත්, ලංවිම පාඩුව පියවන්න මුදල් සැපයුම වැඩි කරද්දී අනෙක් හැම බඩුවකම මිල ඉහළ යනවා. අවසාන වශයෙන් විදුලි බිලත් වැඩි කරන්න වෙනවා. 

රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කර ඇති වැඩ පිළිවෙළ තුළ සැලසුම් කර තිබෙන්නේ ඉන්ධන, විදුලිය ආදියේ මිල පිරිවැය හා ගැලපෙන පරිදි වැඩි කිරීමටයි. ඒ වගේම ඩොලරය පා කිරීමද සැලසුමේ කොටසක්. මේ දේවල් වලින් උද්ධමනය ඉහළ යන්නේ නැතත් ජීවන වියදම ඉහළ යනවා. උද්ධමනය ඉහළ යයිද කියන එක තීරණය වෙන්නේ මුදල් සැපයුමේ වැඩි වීම අනුව. මුදල් සැපයුම වැඩි වුනේ නැත්නම්, මේ වගේ සමහර දේවල් වල මිල ඉහළ යද්දී මිනිස්සුන්ට අනෙක් දේවල් සීමා කරන්න වෙනවා. එතකොට ඒ දේවල් වලට තිබෙන ඉල්ලුම අඩු වී මිල පහළ යනවා. ඒ නිසා, සමස්තයක් ලෙස ජීවන වියදම වැඩි වීමක් ලොකුවට නොවෙන්න පුළුවන්. 

උද්ධමනය අඩු කිරීම IMF වැඩසටහනක ප්‍රධාන ඉලක්කයක්. ඩොලරයක මිල පා කිරීම වගේ දෙයක් කරන්නේ ඒ අරමුණ වෙනුවෙන් මිසක් ඒ අරමුණ අත හැරලා නෙමෙයි. ඒ නිසා, වැඩ සටහන ඇතුළේ ඩොලරය පා කිරීම සිදු වනු ඇත්තේ උද්ධමනය පාලනය වන බවට වග බලා ගනිමිනුයි. 

ඔය දේවල් වෙද්දී ඩොලර් එකක් කීයට යයිද? 

දැනට තිබෙන අවිනිශ්චිතතා එක්ක IMF සල්ලි ලැබෙන්න තවත් මාස හයක් පමණවත් යා හැකියි. ඊටත් වඩා කාලයක් යන්නත් පුළුවන්. අඩු වශයෙන් ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩේ ඉවරයක් වෙනකම් ඩොලරය පා කරන එක කරන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ වුනත්, ඩොලරය පා කරන්න කලින් විදේශ වෙළඳාම නැවතත් ටිකෙන් ටික විවෘත කරන්න වෙනවා. එය කරන්න වෙන්නේ රටට ඩොලර් එන විදිහ අනුවයි. විණිමය අනුපාතය පාකෙරෙනු ඇත්තේ ඩොලර් ඉල්ලුම හා සැපයුම බොහෝ දුරට සමතුලිත වුනාට පසුවයි.

එතෙක්, අඩු වශයෙන් මාස හයක් පමණ, සිදුවනු ඇත්තේ දැන් සිදුවන දෙයයි. ඒ කියන්නේ රටට එන ඩොලර් ටික පිරිමහගෙන වියදම් කරන එක. ජූනි හා ජූලි මාස තුළ මේ වැඩේ වෙලා තියෙනවා. බැංකු පද්ධතියේ විදේශ ණය අඩු වී නැතත්, වැඩි වෙලත් නැහැ. බොහෝ විට අගෝස්තු මාසයේ තත්ත්වයත් මෙයම විය යුතුයි. 

සැලසුම් කර තිබෙන වැඩ පිළිවෙළ ඉදිරි මාස වලදී අපේක්ෂිත පරිදි ඉදිරියට ගියොත් රටට යම් ඩොලර් ප්‍රමාණයක් එන්න පුළුවන්. ඒ ඩොලර් නිසා විදේශ විණිමය පීඩනය ටිකක් අඩු වෙයි. හැබැයි ඩොලරයක මිල පහළ යාමට පීඩනයක් එන්නනම් ඉඩක් නැහැ. 

සැප්තැම්බර් හා ඔක්තෝබර් මාස වල ලොකුවට ණය ගෙවන්න නැහැ. ඒ නිසා, ඒ මාස දෙක අවුලක් නැතිව ලැබෙන ඩොලර් වලින් කළමනාකරණය කර ගන්න පුළුවන් වෙයි. නමුත්, ඉන්පසු මාස නවය තුළ ඩොලර් බිලියන හතරහමාරක් පමණ අවශ්‍ය වෙනවා. ඒ නිසා, රටට වැඩියෙන් ඩොලර් ඇවිත්, ආනයන සීමා හරහා ඒ ඩොලර් ඉතිරි කරගත්තත්, ඩොලර් ටික ණය ගෙවන්න යොදා ගන්න වෙනවා. ඩොලර් රටේ ඉතිරි නොවන නිසා රුපියල ශක්තිමත් වෙන්න ඉඩක් නැහැ. 

Wednesday, September 7, 2022

IMF වැඩසටහන


කලින් ලිපියක විස්තීර්ණ ණය පහසුකම ගැන විස්තර කළා. මේ ලිපිය IMF වැඩසටහන ගැන.  IMF වැඩසටහන කියා කිවුවට ලංකාව සහ IMF එක එකඟ වී තිබෙන වැඩසටහන ගැන මම දන්නේ නැහැ. ලිපිය ලියන්නේ එවැනි වැඩ සටහනක් කියන්නේ මොන වගේ එකක්ද කියන එක ගැන.

ඉතා කෙටියෙන් කිවුවොත් IMF වැඩසටහනක් කියා කියන්නේ ඉදිරි වසර දහයක පමණ කාලය සඳහා හදන සාර්ව ආර්ථික සැලසුමක්. එයින් මුල් වසර හතරක පමණ කාලයට වැඩි අවධානයක් ලැබෙනවා.

IMF වැඩසටහනක හිටියත් නැතත් ඕනෑම රටක් මේ වගේ සැලසුම් හදනවා. හැම වසරකම ඒ සැලසුම් යාවත්කාලීන කරනවා. IMF වැඩසටහනක් මෙවැනි සාමාන්‍ය වැඩ සටහනකින් වෙනස් වෙන්නේ කරුණු දෙකක් නිසා. පළමුවැන්න මේ කාලය තුළ IMF එකෙන් ණය මුදලක් ලැබීම. දෙවැන්න අදාළ සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ සමඟ IMF එක එකඟ වීම. ඔය කරුණු දෙක හැරුණු විට මෙතැන තියෙන්නේ රටක් කොහොමටත් කරන දෙයක්.

සාර්ව ආර්ථික සැලසුමක් කියා කියන්නේ කුමක්ද?

කිසියම් රටක ප්‍රධාන සාර්ව ආර්ථික විචල්‍යයන් ගණනාවක් තියෙනවනේ. උදාහරණ විදිහට දළ ජාතික නිෂ්පාදිතය, විරැකියා අනුපාතය, උද්ධමනය, විණිමය අනුපාතය, ආනයන, අපනයන, ශ්‍රමික ප්‍රේෂණ වගේ ජංගම ගිණුමට එන යන විදේශ විණිමය ප්‍රවාහ, ඒ විදිහටම ප්‍රාග්ධන ගිණුමට යන එන විදේශ විණිමය ප්‍රවාහ, මුදල් සැපයුම, පොලී අනුපාතික, දේශීය ඉතිරි කිරීම්, රාජ්‍ය ආදායම්, රාජ්‍ය වියදම්, දේශීය හා විදේශීය රාජ්‍ය ණය, පෞද්ගලික අංශයේ ණය ආදිය. ලැයිස්තුව තව දිගයි. 

පෙර වසරක ඔය වගේ සාර්ව ආර්ථික විචල්‍යයන් හැසිරුණු ආකාරය පිළිබඳ සංඛ්‍යාලේඛණ හදන එක සාපේක්ෂව ගොඩක්ම අමාරු වැඩක් නෙමෙයි. නමුත්, මේ විචල්‍යයන් අනාගතයේ හැසිරෙනු ඇති ආකාරය පුරෝකථනය කරන එක ඉතාම අසීරු වැඩක්. සාර්ව-ආර්ථික සැලසුමක පළමු පියවර ඉදිරි වසර ගණනාවක් සඳහා හැකි තරම් නිවැරදි පුරෝකථනයක් හදන එක.

මේ විදිහට හදන පුරෝකථනයන් හරියටම හරි කියලා කාටවත් සහතික වෙන්න බැහැ. නමුත්, වැරදියි කියලා නිගමනය කරන එක ඊට වඩා පහසුයි. මොකද මේ එක් එක් විචල්‍යය අතර තිබිය යුතු සංකීර්ණ සම්බන්ධතා ඒ විදිහට පේන්න නැත්නම් පුරෝකථන වැරදි බව ඉතාම පැහැදිලියි. 

- මුදල් සැපයුම වැඩි කළාම ඉදිරි වසර වලදී උද්ධමනය ඉහළ යනවා

- පොලී අනුපාතික වැඩි කළාම ආර්ථික වර්ධනය අඩු වෙනවා 

- ආර්ථික වර්ධනය අඩු වුණාම විරැකියා අනුපාතය ඉහළ යනවා 

- ආර්ථික වර්ධනය අඩු වුණාම රාජ්‍ය ආදායම් අඩු වෙනවා 

- උද්ධමනය වැඩි වෙද්දී (යම් මට්ටමක් දක්වා) රාජ්‍ය ආදායම් වැඩි වෙනවා 

- විණිමය අනුපාතය වෙනස් වෙද්දී ආනයන අපනයන වෙනස් වෙනවා 

ඔය වගේ සාමාන්‍යයෙන් "විය යුතු" දේවල් ගණනාවක් තිබෙනවා. මූලික පුරෝකථන නිවැරදිනම් එම පුරෝකථන වලින් මේ විය යුතු දේවල් නිරූපණය වෙන්න ඕනෑ. සාර්ව ආර්ථික වැඩ සටහනක් හදන එකේ පළමු පියවර දැනට තිබෙන තත්ත්වයන් මත පදනම්ව නිවැරදි කෙසේ වුවත් වැරදි පැහැදිලිව පේන්න නැති අනාගත පුරෝකථනයක් හදා ගන්න එකයි. සාර්ව ආර්ථික විචල්‍යයන් අතර සම්බන්ධතා වල තිබෙන සංකීර්ණ ස්වභාවය නිසා මෙය ලේසි වැඩක් නෙමෙයි. IMF වැඩ සටහනක් හදද්දී IMF එකේ නිලධාරීන් විසින්ද මෙවැනි මූලික පුරෝකථන (baseline predictions) පරීක්ෂා කරලා වැරදි පෙනෙන්න ඇත්නම් නිවැරදි කරනවා.

ඊට පස්සේ දෙවන පියවර. ඒ කියන්නේ අනාගතයේ වෙන්න තිබෙන දේවල් සැලසුම් සහගත ලෙස වෙනස් කරන එක. හැබැයි මේ විදිහට වෙනස් කරන්න පුළුවන් විචල්‍ය තිබෙන්නේ සීමිත ප්‍රමාණයක් පමණයි. 

රජයට පුළුවන් රාජ්‍ය ආදායම් (බදු) හා රාජ්‍ය වියදම් වෙනස් කරන්න. ඒ වගේම අයවැය හිඟයක් ඇති විට ණය ගන්නේ කාගෙන්ද කියන එක තීරණය කරන්න. මේවා වැටෙන්නේ රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති යටතට. අනෙක් පැත්තෙන් මහ බැංකුවට පුළුවන් මුදල් හා විණිමය ප්‍රතිපත්ති තීරණය කරන්න. ඒ කියන්නේ පොලී අනුපාතික, මුදල් සැපයුම, විණිමය අනුපාතය වගේ දේවල් පාලනය කරන්න. 

ඔය වගේ වෙනසක් කළ ගමන් ඉදිරි කාලය හා අදාළ අනෙක් හැම විචල්‍යයක්ම වෙනස් වෙනවා. ඒ වෙනස් වූ අනාගත තත්ත්වය පවතින තත්ත්වය සේ සලකලා ලබන වසර තුළ ගන්න අදහස් කරන මුදල් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති තීරණ ගැනත් දැන්ම නිගමනයයකට එන්න පුළුවන්. ඔය ක්‍රමයට ඉදිරි වසර ගණනාවක කාලය තුළ ආර්ථිකය ස්ථාවර කරන ආකාරය සැලසුම් කරන්න පුළුවන්.

පවතින තත්ත්වයන් යටතේ අනාගත පුරෝකථන සියල්ල හරියටම හරි වුනත් විචල්‍යයන්ගේ ඇත්ත හැසිරීම ඒ විදිහටම සිදු වෙන්නේ නැහැ. ඒ, මේ විචල්‍යයන්ගේ හැසිරීම තීරණය කරන්නේ රජය හා මහ බැංකුව විසින් පමණක් නොවන නිසා. රටේ අනෙකුත් අය කරන හැම දෙයක්ම අඩු වැඩි වශයෙන් මේ විචල්‍යයන්ට බලපෑමක් කරනවා. රටෙන් පිට සිදුවන දේවල් ඊට වඩා බලපෑම් කරනවා. රට ඇතුළේ හා රටින් පිට සිදුවන ස්වභාවික වෙනස්කම් වලිනුත් බලපෑම් සිදු වෙනවා. ඒ වගේ දේවල් රජයට හෝ මහ බැංකුවට වෙනස් කරන්න බැහැ. කළ හැක්කේ ඒ වගේ හේතු නිසා සාර්ව ආර්ථික විචල්‍යයන් සැලසුමෙන් පිට යද්දී මුදල් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති මගින්ම එම බලපෑම් නිශේධනය කරමින් කලින් සැලසුම් කළ ගතික සමතුලිතතාවය පවත්වාගෙන යාම පමණයි.

මේ දෙක ගත්තත්, රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති මුදල් ප්‍රතිපත්ති තරම්ම නම්‍යශීලී නැහැ. මුදල් ප්‍රතිපත්ති දිනපතා වුනත් සුළුවෙන් හෝ වෙනස් කරන්න පුළුවන්. නමුත් රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති අඩු වශයෙන් වසරක කාලයක් සඳහා සැලසුම් කෙරෙනවා. ඒ නිසා, සාර්ව ආර්ථික සැලසුමක් සකස් කරද්දී මුදල් හා විණිමය ප්‍රතිපත්ති සැලසුම් කරන්නේ රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති සැලසුම් කළාට පසුවයි. පවතින අනෙකුත් තත්ත්වයන් එසේම පවතිනු ඇතැයි යන පදනම මත මුලින්ම රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති සැලසුම් කරනවා. ඊට පස්සේ එම රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිද පවතින තත්ත්වය ලෙස සලකා මුදල් හා විණිමය ප්‍රතිපත්ති තීරණය කරනවා.

සැලසුම හැදුවට පස්සේ රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිය පොඩ්ඩක් සැලසුමෙන් පිට පැන්නොත් හරි අනෙකුත් තත්ත්වයන් පොඩ්ඩක් වෙනස් වුනොත් හරි මුදල් ප්‍රතිපත්තිය සීරුමාරු කරලා නැවත සැලසුම ඇතුළට එන්න පුළුවන්. හැබැයි ලොකු වෙනසක් වුනොත් මේ වැඩේ කරන්න අමාරුයි.

සාමාන්‍යයෙන් රටකට IMF එකේ උදවු ගන්න වෙන්නේ මහ බැංකුවට පමණක් තනියම ගොඩ දාන්න බැරි තරමට රටේ ආර්ථිකය අස්ථාවර වුනහමයි. එහෙම වෙන්න පුළුවන් හේතු දෙකක් තිබෙනවා. එකක් අනපේක්ෂිත ස්වභාවික හෝ බාහිර කම්පනයක් ආ විට. වසංගතයක්, ස්වභාවික ආපදාවක්, ජාත්‍යන්තරව සිදු වන තෙල් මිල වැඩි වීම වැනි දෙයක් වෙන්න පුළුවන්. මේ වගේ කම්පනයක බලපෑම ස්වභාවයෙන්ම තාවකාලිකයි. ඒ නිසා, IMF එකෙන් මේ වගේ හදිසි අවස්ථාවක දෙන ණයක් ඉතා පහසුවෙන්ම පසුව ආපසු ගෙවන්න පුළුවන්. 

දෙවන හේතුව රටේ රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිය පිටපොට පැනීම. පොඩි වෙනසක් මහ බැංකුවට කළමනාකරණය කරගත හැකි වුවත් ලොකු වෙනසක් කළමනාකරණය කරගන්න බැහැ. ඒ වගේම, බොහෝ විට මේ වගේ පිටපොට පැනීම් අහම්බයන් නෙමෙයි. සැලසුම්සහගත ලෙස රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිය නිවැරදි කර නොගත්තොත් ආර්ථිකය ස්ථාවර කරන්න බැහැ. 

රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිය අවුල් කරගන්නවා වගේම මහ බැංකුව විසින් මුදල් හා විණිමය ප්‍රතිපත්ති අවුල් කරගෙන වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ඔය දෙවැන්න වෙන්නේ පළමුවැන්න වුනාට පස්සේ. ඒ වගේ වෙලාවක රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිය වගේම මුදල් හා විණිමය ප්‍රතිපත්තිත් නිවැරදි කර ගන්න වෙනවා. එහෙම නැතුව ආර්ථිකය ස්ථාවර කර ගන්න බැහැ. ඒ විතරකුත් මදි. ඒ ප්‍රතිපත්ති වසර ගණනාවක් එක දිගට පවත්වාගෙන නොගියොත් ආර්ථිකය නැවත හරි පාරට වැටෙන්නේ නැහැ. 

ඔය වගේ වෙලාවක IMF එක විසින් ණයක් දෙන විට තත්ත්වය ස්වභාවික හෝ බාහිර කම්පනයක් නිසා ආර්ථිකය අස්ථාවර වීමකදී තත්ත්වයට වඩා වෙනස්. ණය දුන්නා කියලා ආර්ථිකය ඉබේටම ස්ථාවර වෙන්නේ නැහැ. රටේ බලධාරීන් විසින් සක්‍රිය ලෙස මැදිහත් වී ආර්ථිකය ස්ථාවර කර ගත යුතුයි. එහෙම නැත්නම් දුන්න ණය ආපසු ගන්න වෙන්නේ නැහැ. ඒ නිසා, මේ පළමුව මේ වැඩේ කරන විදිහ IMF එකට පෙන්වන්න ඕනෑ. ඒ වැඩ පිළිවෙළ එක්ක IMF එක එකඟ වෙන්න ඕනෑ. ඉන් පසුව, ඒ වැඩ පිළිවෙළ වෙනස් නොකර ක්‍රියාත්මක කරන බවට IMF එකත් එක්ක ගිවිසුම්ගත වෙන්න ඕනෑ.

සාමාන්‍ය තත්ත්වය ඕක. රටේ රාජ්‍යමූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති නිවැරදි කරගත් විට වසර තුන හතරකින් ආර්ථිකය ස්ථාවර කර ගන්න පුළුවන්. ඒ විදිහට ආර්ථිකය ස්ථාවර වන තුරු ඇදගන්න තමයි IMF ණය දෙන්නේ. 

හැබැයි දැන් ලංකාවේ තත්ත්වය මේ සාමාන්‍ය තත්ත්වය නෙමෙයි. රටේ රාජ්‍යමූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති නිවැරදි කරගෙන IMF ණය ගත්තත් රටේ ආර්ථිකය ස්ථාවර කරන්න බැහැ. ඒක කරන්නනම් අනිවාර්යයෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්නම වෙනවා. 

මේ වෙද්දී වසර හතරක කාලයක් තුළ රටේ ආර්ථිකය ස්ථාවර කළ හැකි වැඩ පිළිවෙළක් හදා තියෙනවා. එයට IMF එකේ නිලධාරී මට්ටමේ අනුමැතියද ලැබී තිබෙනවා. වැඩසටහන ගැන ඊට වඩා වැඩි විස්තර කිසිවක් මම දන්නේ නැහැ. හැබැයි එක දෙයක් ස්ථිරවම කියන්න පුළුවන්. මෙවැනි වැඩ සටහනක් හැදිය හැක්කේ ණය ප්‍රතිව්‍යුහගත කරන ආකාරය ගැන උපකල්පනයක් කිරීමෙන් පසුව පමණයි. ඒ කියන්නේ ණය වලින් කොපමණක් කපා හරිනවාද, ඉතිරි කොටස ගෙවන්නේ කවදාද වැනි දේවල් "පවතින තත්ත්වය" ලෙස සලකලා පමණයි.

මේක සාමාන්‍ය IMF වැඩ සටහනකදී මුහුණ දෙන්න සිදු නොවෙන සංකීර්ණ තත්ත්වයක්. ණය ප්‍රතිව්‍යුහගත කරන ආකාරය හරියටම තීරණය වෙන්නේ ණයහිමියන් එක්ක කතා කරලා එකඟතාවයකට ආවට පස්සේ. නමුත්, ණයහිමියන් එක්ක සාකච්ඡාවක් පටන් ගන්න කලින් ඔවුන්ට පෙන්වීම සඳහා ස්ථායීකරණ වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා. ස්ථායීකරණ වැඩපිළිවෙළක් හැදිය හැක්කේ ණය ප්‍රතිව්‍යුහගත කරන ආකාරය ගැන උපකල්පනයක් කිරීමෙන් පසුව පමණයි. සාකච්ඡාවෙන් පසුව ඇතිවන එකඟතාවය ඒ උපකල්පන වලට වඩා ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ හදපු, එකඟ වුනු IMF වැඩසටහන බොහෝ විට නැවත සංශෝධනය කරන්න වෙනවා කියන එකයි.

මීට පෙර අවස්ථා වල IMF වැඩසටහන් කලින් ප්‍රසිද්ධ කළාද කියලා මම දන්නේ නැහැ. බොහෝ විට එවැන්නක් සිදු වී නැතුව ඇති. රටටම බලපාන මේ වගේ දෙයක් පාරදෘශ්‍ය ලෙස කරන එක හොඳයි කියා තර්ක කරන්නත් පුළුවන්. නමුත්, වෙනදා කෙසේ වෙතත් මේ පාරනම් මේ වැඩසටහන ප්‍රසිද්ධ කරන එක කොහොමටවත්ම කරන්න බැහැ. ඒ ඇයි? 

අපි හිතමු වැඩ සටහන හදලා තියෙන්නේ 20%ක ණය කපා හැරීමක් කළ හැකියි කියලා උපකල්පනය කරලා කියලා. ඕක කරන්නනම් ණයහිමියන්ගෙන් ඊට වැඩි ණය කපා හැරීමක් (30%ක් කියමු) ඉල්ලන්න වෙනවා. අන්තිමට 20%කට කැමති කරගන්න පුළුවන් වෙන්නේ 30%කින්වත් පටන් ගත්තොත් පමණයි. දැන් අපි හිතමු 20%ක ණය කපා හැරීමක් භාර ගන්න ලංකාව සූදානම් කියන එක ප්‍රසිද්ධ වුනා කියලා. ඊට පස්සේ ණයකාරයෝ 20%ට කැමති වෙයිද? මේක උදාහරණයක් පමණයි. ඔය සංඛ්‍යා පස්සේ පන්නන්න එපා.

ආණ්ඩුව විසින් ඉදිරිපත් කරපු අයවැය IMF වැඩසටහනේම කොටසක් කියන එක කාට වුනත් පැහැදිලියිනේ. කෙටියෙන් කිවුවොත්, මේ අයවැයෙන් කරන්නේ ණය වෙලා සහන දෙන එක. බදු ආදායම් ටිකක් වැඩි කරගෙන වුනත් වියදම් ඊටත් වඩා වැඩි වෙනවා. කියන විදිහට බැංකු අංශයෙන් ණය ගන්න සූදානමක් නැහැ. ඒ කියන්නේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට හා බැංකු නොවන ව්‍යාපාරිකයන්ට විශාල ලෙස භාණ්ඩාගාර බිල්පත් විකුණන්න වෙනවා. මේ වැඩේ කරන්න පුළුවන් වෙයිද?

ස්ථායීකරන වැඩපිළිවෙළ අනුව දේශීය ණයද ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත බවට රාවයක් පැතිරී තිබෙනවා. මේ කතාවේ ඇත්තක් තියෙනවද කියලා මම දන්නේ නැහැ. කතාව ඇත්තනම් එයින් කියැවෙන්නේ භාණ්ඩාගාර බිල්පත් වල සල්ලි දමන එකේත් අවදානමක් තියෙනවා කියන එකයි. කතාව ඇත්ත වුනත් බොරු වුනත් මේ කතාව නිසා දැනටමත් විශාල බලපෑමක් වී තිබෙන බව පේනවා.

අද වෙන්දේසියට ඉදිරිපත් කළ රුපියල් බිලියන 75ක බිල්පත් ප්‍රමාණයෙන් විකුණා තිබෙන්නේ රුපියල් බිලියන 10.27ක බිල්පත් ප්‍රමාණයක් පමණයි. එය හොඳ ලකුණක් නෙමෙයි.

Tuesday, September 6, 2022

විදුලි සැරෙන් බේරෙන්නේ කොහොමද? (සිවුවන කොටස)

අමතර කරුණු වලට යන්න කලින් පෙර කොටසේ ලියූ දේවල් වල අපැහැදිලි සේ පෙනෙන තැන් පැහැදිලි කරලා ඉන්නම්. පළමු කොටසේදී මම වචන යොදාගත්තේ ආර්ථික විද්‍යාත්මක අරුතකින් මිසක් විදුලිබල කර්මාන්තය තුළ සිදුවන භෞතික ක්‍රියාවලිය මත පදනම්ව නෙමෙයි. ඒ නිසා, වචන වල අවුලක් පෙනෙන්න පුළුවන්. විදුලිය නිපදවීමේ සිට පාරිභෝගිකයා දක්වා පැමිණීමේ භෞතික ක්‍රියාවලිය කොටස් තුනකට (හතරකට) බෙදිය හැකියි. 

1. විදුලිය නිපදවා තොග වශයෙන් විකිණීම 

2. සම්ප්‍රේෂණය හා පද්ධති පාලනය 

3. බෙදා හැරීම 

(4. සිල්ලර වෙළඳාම) 

විදුලිය නිපදවා "තොග වශයෙන්" විකිණීම - මේ වැඩේ තරඟකාරී පදනමකින් බොහෝ දෙනෙකුට කළ හැකි වැඩක්. එසේ කිරීම වලක්වන ලොකු තාක්ෂණික බාධාවක්  නැහැ. ඒ වගේම, තරඟකාරී වෙළඳපොළක් තිබීම ආර්ථික වශයෙන් ශක්‍ය දෙයක්. ලංකාව ගත්තත් විදුලිය නිපදවන සමාගම් ගණනාවක් දැනටමත් තිබෙනවා. පෙර කොටසේ ලියූ පරිදි, 2021දී ලංකාවේ නිපදවූ විදුලිය ගිගාවොට්පැය 16,716න් වැඩිම කොටසක්, එනම් ගිගාවොට්පැය 12,711ක්ම නිපදවූයේ ලංවිම විසින්. එහෙත්, පෞද්ගලික සමාගම් විසින්ද ගිගාවොට්පැය 4,004ක් නිපදවුවා. මේ හා අදාළ වැඩිමනත් තොරතුරු හා මගේ යෝජනා ඉදිරි කොටසකින් කතා කරමු.

සම්ප්‍රේෂණය- මෙය දෙවන පියවර. සම්ප්‍රේෂණ සමාගමක් විසින් කරන්නේ ජනනය කරන විදුලිය ට්‍රාන්ස්ෆෝමරයක් මගින් අධි-වෝල්ටීය විදුලිය බවට හරවා වෙනත් තැනකට "ප්‍රවාහනය" කර එහිදී තවත් ට්‍රාන්ස්ෆෝමරයක් මගින් වෝල්ටීයතාව අඩු කර බෙදාහරින්නෙකුට ලබා දීම. ඒ වෙනුවෙන් සම්ප්‍රේෂකයා විසින් "ප්‍රවාහන ගාස්තුවක්" අය කරනවා. 

මෙහෙම කිවුවත් මෙය තාක්ෂණික ලෙස සංකීර්ණ වැඩක්. විදුලිය ප්‍රවාහනය කිරීම තක්කාලි ප්‍රවාහනය කිරීම වගේ දෙයක් නෙමෙයි. විදුලිය සම්ප්‍රේෂණය කරන පද්ධතියක් හැම මොහොතකම "සමතුලිතව" තබා ගත යුතුයි. විදුලිය ගබඩා කර තබා ගන්න බැහැ. (තාක්ෂණිකව වැරදිනම් එය ගොඩක් අසීරුයි කියා කියමුකෝ). ඒ නිසා, ඕනෑම මොහොතක විදුලි ඉල්ලුම හා විදුලි සැපයුම සමාන විය යුතුයි. නැත්නම් පද්ධතිය බිඳ වැටෙනවා. අසමතුලිතතාවය යම් සීමාවක් පැන්නොත් පද්ධතිය බිඳ වැටෙනවා. 

සම්ප්‍රේෂකයෙකුට බෙදාහරින්නෙකුගේ ඉල්ලුම පාලනය කරන්න බැහැ. කළ හැක්කේ පුරෝකථනය කිරීම පමණයි. ඒ පුරෝකථනය අනුව සැපයුම වෙනස් කළ යුතුයි. සැපයුම බොහෝ විට පොඩි ගණන් වලින් වෙනස් කරන්න බැහැ. ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීම හෝ ක්‍රියා විරහිත කිරීමයි කළ හැක්කේ. එවිට, එම ජනක යන්ත්‍රයේ මුළු ධාරිතාවම එකවර පද්ධතියට එකතු වෙනවා. නැත්නම් එම මුළු ධාරිතාවම පද්ධතියෙන් එක වර ඉවත් වෙනවා. ඒ නිසා, පද්ධතිය කුඩා වූ තරමට එය සුමට ලෙස පවත්වා ගෙන යාම අසීරුයි. බෙදාහරින්නන් හා විදුලිය නිපදවන්නන් විශාල ප්‍රමාණයක් පද්ධතියට සම්බන්ධ වී සිටින විට එය සුමට ලෙස මෙහෙයවන එක පහසුයි.

ලංකාවේ විදුලිය බෙදා හරින මධ්‍යස්ථාන හා ජනක යන්ත්‍ර සියල්ල එකම පද්ධතියක් ලෙස සම්බන්ධ කර තිබෙනවා. එය කාර්යක්ෂමයි. මේ පද්ධතිය මුළුමනින්ම පාලනය කරන්නේ ලංවිම විසින්. ඒ වගේම සම්ප්‍රේෂණය කිරීමේ ඒකාධිකාරයක්ද තිබෙනවා.

ලොකු රටක් වන ඇමරිකාවේ මහද්වීපයට පිටින් තිබෙන ඇලස්කා හා හවායි ප්‍රාන්ත වල හුදෙකලා විදුලිබල පද්ධති දෙකක් තිබෙනවා. මහාද්වීපයේ පිහිටි ඉතිරි ප්‍රාන්ත 48න් ටෙක්සාස් ප්‍රාන්තයේද බොහෝ දුරට හුදෙකලා විදුලි පද්ධතියක් තිබෙනවා. අනෙක් ප්‍රාන්ත 47 සහ වොෂින්ටන් අගනුවර එකිනෙකින් බොහෝ දුරට හුදෙකලා විශාල විදුලිබල පද්ධති දෙකක් ලෙස සම්බන්ධ වී තිබෙනවා. රටේ නැගෙනහිර කොටසේ ප්‍රාන්ත එක් පද්ධතියක්. බටහිර කොටසේ ප්‍රාන්ත තවත් පද්ධතියක්. ඒ වගේම මේ නැගෙනහිර හා බටහිර විදුලි බල පද්ධති වලට කැනඩාවේ ප්‍රදේශද සම්බන්ධයි. උතුරු ඇමරිකාවම සැලකුවොත් කැනඩාවේ කියුබෙක් ප්‍රාන්තය පැත්තට වෙන්න තවත් විදුලිබල පද්ධතියක් තිබෙනවා. 

මහාද්වීපික ඇමරිකාවේ තිබෙන විදුලිබල පද්ධති තුන එකිනෙකින් "බොහෝ දුරට" හුදෙකලා කියා කීවේ මේ පද්ධති අතරද විදුලි බලය හුවමාරු කළ හැකි සම්බන්ධතාවන් තිබෙන නිසයි. එහෙත් එසේ එම පද්ධති සම්බන්ධ කර ඇත්තේ එක් පද්ධතියක් අසමතුලිත වීම අනෙක් පද්ධති වලට බල නොපාන ආකාරයකිනුයි. මේ විදිහට එකම පද්ධතියක් ලෙස සම්බන්ධ වී තිබුණත් බටහිර හා නැගෙනහිර විදුලිබල පද්ධති එකම සම්ප්‍රේෂකයෙකුට මුළුමනින්ම අයිති නැහැ. ඒ පද්ධති වල කොටස් පද්ධති පාලකයින් 66 දෙනෙකු විසින් පාලනය කරනවා. කැනඩා කොටස් වල තවත් පද්ධති පාලකයෝ ඉන්නවා.


ප්‍රදේශ දෙකක් අතර විදුල බලය ප්‍රවාහනය කිරීම සඳහා තරඟකාරී සම්ප්‍රේෂකයින් දෙදෙනෙකු සිටීම තාක්ෂණික ලෙස සිදුවිය නොහැක්කක් නෙමෙයි. එහෙත්, යටිතල පහසුකම් සඳහා අවශ්‍ය ආයෝජනය විශාල නිසා මේ වැඩේ මුලින්ම කරන සම්ප්රේෂකයාට විශේෂ වාසියක් ලැබෙනවා. ඒ තුළින් "ස්වභාවික ඒකාධිකාරයක්" හැදෙනවා. ඒ හේතුව නිසා සම්ප්‍රේෂණ පද්ධතියක අයිතිය කාට වුවත් ඇමරිකන් නීතිය යටතේ ඒවා සැලකෙන්නේ පොදු භාණ්ඩ ලෙසයි. ඒ කියන්නේ, පෞද්ගලික  බස් වගේ. 

සම්ප්‍රේෂණ පද්ධතියක අයිතිකරුවෙකු එය පරිහරණය කිරීම සඳහා සියල්ලන්ටම සම අවස්ථා ලබා දිය යුතුයි. වෙනස් ලෙස සැලකිය නොහැකියි. 

ලංකාවේ සම්ප්‍රේෂණ පද්ධතිය මේ වන විට මුළුමනින්ම අයිති ලංවිමටයි. ඒ වගේම, පද්ධති පාලනය කරන්නේත් ලංවිම පමණයි. ලංකාවේ විදුලිබල පද්ධතියේ ප්‍රමාණය අනුව සම්ප්‍රේෂණය හා පද්ධති පාලනය තනි ආයතනයක් විසින් කිරීම ආයතන කිහිපයක් විසින් කොටස් කඩා කරනවාට වඩා කාර්යක්ෂම විය හැකියි. කඩනවා වුනත් වැඩිම වුනොත් මෙය කොටස් පහකට පමණ බෙදිය හැකියි. ඊට වඩා කුඩා කිරීම තාක්ෂණික ලෙස ශක්‍ය නැහැ. ඒ වගේම, එසේ කොටස් කිරීමේ තාක්ෂණික අවාසියට සාපේක්ෂව වෙනත් ආර්ථික වාසි නැහැ. සම්ප්‍රේෂණය කිරීමේ හා පද්ධති පාලනය කිරීමේ ලංවිම ඒකාධිකාරය කඩන එක අනවශ්‍ය දෙයක්. ඇමරිකාවේ පද්ධති පාලකයින් 66 දෙනෙකු ඉන්නේ ඓතිහාසික හා දේශපාලනික හේතු මත මිස ආර්ථික හේතු නිසා නෙමෙයි. 

දෙවන කොටස ගැන තරමක් ලොකු විස්තරයක් ලිවුවේ මේ කොටස ගැන දිගින් දිගටම කතා කරන්න බලාපොරොත්තුවක් නැති නිසා. මොකද මේ කටයුත්ත දැන් සිදු වෙන විදිහ ලොකුවට වෙනස් විය යුතු නැහැ.

බෙදා හැරීම - බෙදා හැරීම තුන් වන කොටසයි. බෙදා හරින්නා විසින් කරන්නේ සම්ප්‍රේෂකයා විසින් තොග වශයෙන් ලබා දෙන විදුලිය විදුලි උපපොළක සිට නිවෙස් දක්වා බෙදා හැරීමයි. මේ සඳහාද යටිතල පහසුකම් වෙනුවෙන් මුදල් යෙදවිය යුතු නිසා පළමුවැන්නාට ස්වභාවික ඒකාධිකාරයක් හිමි වෙනවා. එහෙත්, මෙහි ස්ථිර පිරිවැය සම්ප්‍රේෂකයෙකුගේ ස්ථිර පිරිවැය තරම්ම විශාල නොවන නිසා දෙවැන්නෙකුට වෙළඳපොළට ඇතුළු වීම නොකළ හැක්කක් නෙමෙයි. ඒ වගේම, බෙදා හරින්නෙකුට පැවතීම සඳහා විශාල ප්‍රදේශයක් අවශ්‍ය වන්නේ නැහැ. මගේ අදහස අනුව ඇමරිකාවේ බෙදාහරින්නන් දහස් ගණනක් සිටිනවා විය යුතුයි. ලංකාවේ බෙදා හැරීම කරන්නේ ලංවිම හා ලෙකෝ සමාගමයි.

සිල්ලරට විකිණීම - විදුලිය ජනනය කිරීම, සම්ප්‍රේෂණය හා බෙදා හැරීම භෞතික ලෙස සිදු වන කටයුතු තුනක්. විකිණීම ආර්ථික කටයුත්තක්. ලංකාවේ සන්දර්භයේදී විදුලිය බෙදා හැරීම හා සිල්ලරට විකිණීම එකට යන කටයුතු දෙකක්. එහෙත්, මෙය එසේම සිදු විය යුතු නැහැ. විදුලිය සිල්ලරට විකිණීම කළ හැක්කේ කාටද?

පහසුම ක්‍රමය ලංකාවේ දැනටද සිදුවන පරිදි බෙදා හරින්නා විසින් විදුලිය සිල්ලරට විකිණීමයි. මෙහිදී බෙදා හරින්නා විසින් නිපදවන්නාගෙන් තොග වශයෙන් විදුලිය මිල දී ගන්නවා. නිපදවන්නාට එක්කෝ බෙදාහරින්නට අවශ්‍ය තැනට විදුලිය සපයන්න පුළුවන්. මෙහිදී නිපදවන්නා විසින් සම්ප්‍රේෂකයාට ප්‍රවාහන ගාස්තු ගෙවනවා. එසේ නැත්නම් විදුලිය හදන තැනින් සපයන්න පුළුවන්. එහිදී බෙදාහරින්නා විසින් ප්‍රවාහන ගාස්තු ගෙවනවා. 

සම්ප්‍රේෂකයා විසින් විදුලිය විකිණීම - මෙය ආචාර ධාර්මිකව නුසුදුසු දෙයක්. බොහෝ රටවල නීතියෙන් ඉඩ නොලැබෙන දෙයක්. සම්ප්‍රේෂකයාට ලැබෙන ස්වභාවික ඒකාධිකාරය නිසා සම්ප්‍රේෂකයා සියලු නිපදවන්නට, බෙදාහරින්නට හා පාරිභෝගිකයින්ට සම සේ සැලකිය යුතුයි. සම්ප්‍රේෂකයා ඔවුන්ගේ තරඟකරුවෙකු වූ විට මේ වැඩේ සිදු වෙන්නේ නැහැ. ඇමරිකාවේ බොහෝ සම්ප්‍රේෂකයින් ලාබ ලැබීම අරමුණු කර නොගත් ආයතන. 

නිෂ්පාදකයා විසින්ම සිල්ලරට විදුලිය විකිණීම - ලංකාවේ සිදු නොවුනත් මෙයත් ලෝකයේ වෙනත් රටවල සිදු වන දෙයක්. මෙහිදී නිෂ්පාදකයා විසින් සම්ප්‍රේෂකයාට මෙන්ම බෙදාහරින්නාටද ගාස්තුවක් ගෙවනවා. 

වෙනමම පාර්ශ්වයක් විසින් විදුලිය විකිණීම - මෙහිදී සිල්ලර වෙළෙන්දාට විදුලිය සැපයීම තුළ කිසිදු භෞතික කාර්යභාරයක් නැහැ. සිල්ලර වෙළෙන්දා විසින් නිෂ්පාදකයාගෙන් තොග මිලට විදුලිය ලබාගෙන, සම්ප්‍රේෂකයාට සහ බෙදා හරින්නාට ගාස්තු ගෙවා පාරිභෝගිකයාට විදුලිය ලැබෙන්නට සලස්වනවා.

මේ සියල්ල පසුබිම් විස්තර. දැන් අපි කලින් නැවැත්වූ තැනට එමු. එහිදී මම යෝජනා කළේ ලංකාවේ විදුලිය බෙදා හැරීම හා සිල්ලරට විකිණීම පළමුව විමධ්‍යගත කර දෙවනුව ඒ සඳහා පෞද්ගලික අංශය දායක කර ගත යුතු බවයි. දැන් අපි ප්‍රශ්න වලට යමු.

ජනනය හා සම්ප්‍රේෂණය ගැන කතා නොකර බෙදාහැරීම ගැන කතා කළේ ඇයි?

ලංකාවේ විදුලිබල වෙළඳපොළෙහි ප්‍රමාණය හා රටේ ප්‍රමාණය අනුව සම්ප්‍රේෂණය හා පද්ධති පාලනය විමධ්‍යගත කිරීම හෝ පෞද්ගලීකරණය කිරීම අවශ්‍යම දෙයක් නෙමෙයි. ඒ වගේ වැඩකින් දැනට තිබෙන කාර්යක්ෂමතාවය වැඩි වීමට ලොකු ඉඩක් නැතුවාක් මෙන්ම කාර්යක්ෂමතාවය අඩු වෙන්න වුනත් පුළුවන්. කවර හෝ හේතු නිසා එසේ කළ යුතු වුවත්, ඒ ගැන සිතා බැලිය යුත්තේ කලින් කළ යුතු අනෙකුත් බොහෝ දේ කිරීමෙන් පසුවයි.

ලංකාවේ විදුලි ජනනය මේ වන විටත් සෑහෙන දුරකට පෞද්ගලික අංශය විසින් කරනවා වගේම සැලකිය යුතු තරඟයක්ද තිබෙනවා. තව යා යුතු දුර බොහෝ බව ඇත්ත. නමුත් විදුලි ජනන වෙළඳපොළ ලංවිම ඒකාධිකාරය දැනටත් දුර්වල එකක්. ලංකාවේ විදුලිය නිපදවීමේ ආන්තික පිරිවැය (marginal cost) වගේම සාමාන්‍ය පිරිවැයද (average cost) තීරණය කරන්නේ පෞද්ගලික විදුලිබල නිෂ්පාදකයින් විසින්. 

විදුලි ජනන වෙළඳපොලේ එවැනි තරඟයක් තිබියදීත් එහි වාසිය පාරිභෝගිකයා වෙත නොඑන්නේ විදුලිය සම්ප්‍රේෂණය කිරීමේ හා බෙදා හැරීමේ ඒකාධිකාරය ලංවිම හා ලෙකෝ සතුව තිබෙන නිසා. තාක්ෂණික හේතු මත සම්ප්‍රේෂණ ඒකාධිකාරය නොබිඳිය යුතු බව මම ඉහත විස්තර කළා. එවිට ඉතිරි වන්නේ බෙදා හැරීම හා සිල්ලර වෙළඳාම.

ඊළඟට ලංකාවේ බිම් යථාර්තයට ආවොත් මෙය කියවන්නේ ලංකාවේ අහඹු නියැදියක් නෙමෙයි. මෙය කියවන අය අතර වෙළඳපොළ වෙනුවෙන් පෙනී සිටින අය වැඩි වෙන්න පුළුවන්. නමුත් රටේ තත්ත්වය වෙනස්. රටේ ගොඩක් මිනිස්සු වෙළඳපොළ වැඩි දියුණු කෙරෙන ප්‍රතිසංස්කරණ වලට බයයි. කිසිම තාර්කික හේතුවක් නැතුව ඕනෑම ප්‍රගතිශීලී වෙනසකට විරුද්ධ වෙන අය ඕනෑ තරම් ඉන්නවා.

ලංකාවේ මෙන් රාජ්‍ය ඒකාධිකාරයක් තිබුණු කර්මාන්තයක් එක රැයින් විශාල පරිවර්තනයකට ලක් කරන එක ප්‍රායෝගිකව කළ හැකි දෙයක් නෙමෙයි. ලෝකයේ කිසිම රටක ප්‍රති-නියාමනය හදිසියේ කරලා නැහැ. ඇමරිකාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල විදුලිබල සැපයුම් කර්මාන්තය අද තියෙන තැන දක්වා පරිණාමය වී තිබෙන්නේ වසර ගණනක් තුළයි. ඒ නිසා, පියවරෙන් පියවර යා යුතුයි. එක් පියවරක් ලොකු කම්පනයක් නොවිය යුතුයි. හැම පියවරකින් පසුවම එයින් වැඩක් වූ බව රටේ සැලකිය යුතු පිරිසකට පෙනෙන්න තිබිය යුතුයි. මම යෝජනාව ගෙනාවේ මේ හැම දෙයක් ගැනම හිතලා. එය පළමු පියවරක් පමණයි. ඊළඟ පියවර පසුව විස්තර කරන්නම්.

මෙහිදී මම නිගමනය කරනවා මේ පළමු අදියරේදී විදුලිය සිල්ලරට විකිණීම බෙදා හරින්නා විසින් කළ යුතුයි කියා. ඒ ඇයි?

මේ වැඩේ විදුලිය හදන සමාගම් වලට දුන්න ගමන් ලංවිමත් එක්ක ක්ෂණික ගැටුමක් එනවා. එක පැත්තකින් ලංවිම විදුලිය විකුණනවා. පෞද්ගලික නිෂ්පාදකයින්ට විදුලිය විකුණන්න වෙන්නෙත් ලංවිම යටිතල පහසුකම්ම උපයෝගී කරලා. සම්ප්‍රේෂණය වගේම බෙදාහැරීමත් තියෙන්නේ ලංවිම අතේ. වෙනත් බොහෝ දේ වෙනස් නොවී ඔය වගේ ප්‍රතිසංස්කරණයක් සාර්ථක ලෙස දියත් කරන එක ගොඩක් අමාරු වැඩක්. 

දැනට කර්මාන්තයේ නැති අලුත්ම පිරිසක් වැඩේට සම්බන්ධ වෙන එක නොවෙන දෙයක්. එවැනි අයෙකුට කොහොමත් ලංවිම එක්ක තරඟ කරන්න බැහැ. 

බෙදා හරින්නා විසින් විදුලිය සිල්ලරට විකුණන එක ලංකාවට අලුත් දෙයක් නෙමෙයි. ඒ වැඩේ කාලයක් තිස්සේ සාර්ථක ලෙස සිදු වුනා. දැනටත් ලෙකෝ එක ඒ වැඩේ කරනවා. මේ වැඩේ වෙළඳපොළට විශාල කම්පනයක් නෙමෙයි. 

මේ වැඩෙන් පාරිභෝගිකයාට වාසියක් නැහැ නේද?

පළමු වටයේදී ක්ෂණික වාසියක් නැහැ. වාසිය ලැබෙන්නේ දෙවන අදියරේදී සහ ඉන් පසුව. එය මම පසුව විස්තර කරන්නම්.

මේ වැඩෙන් තරඟයක් ඇති වෙන්නේ නැහැ නේද? 

තරඟයක් ඇති වෙනවා. වෙළඳපොළක තරඟයක් ඇති විය හැකි විවිධ ආකාර තිබෙනවා. මෙහිදී තරඟය පටන් ගන්නේ බෙදාහරින්නන් තෝරා ගන්නා අවස්ථාවේදී.

මේ වැඩෙන් ලංවිම ඒකාධිකාරය නැති වෙන්නේ නැහැ නේද?

පැහැදිලිවම නැහැ. මෙය ලංවිම ඒකාධිකාරය බිඳීම සඳහා තැබිය හැකි එක් පළමු පියවරක් පමණයි.

ලංකාව වගේ කුඩා රටක විදුලිය බෙදාහරින්නන් 200-300 විතර ඉන්න ආකෘතියක් ලෝකයේ මොනම හරි රටක මේ වෙද්දී සාර්ථක විදිහට ක්‍රියාත්මක වෙන ආකෘතියක්ද?

පළමුව, විදුලිය බෙදාහරින්නන් 200-300 විතර සිටිය යුතු බවක් මම කිවුවේ නැහැ. දෙවනුව, අපි කරන හැම දෙයක්ම ලෝකයේ වෙනත් රටක් කලින් කර තිබිය යුතු නැහැ. ඕනෑම දෙයක් මුලින්ම කරන්නේ මොකක් හරි එක රටක. බොහෝ රටවල් වෙන රටවල් කර නැති දේවල් මුලින්ම කරලා තියෙනවා. හැබැයි වෙනත් බොහෝ රටවල් විසින් කරලා අසාර්ථක වී තිබෙන දෙයක්නම් එවැන්නක් කරන එකේ තේරුමක් නැහැ. මෙය එවැන්නක් නෙමෙයි.

එහෙමනම් විදුලිය බෙදාහරින්නන් කොපමණ සිටිය යුතුද?

මෙය අවසාන වශයෙන් තීරණය වන්නේ වෙළඳපොළ තුළයි. එහෙත්, මුලින්ම කඩන කොටස් ප්‍රමාණයට වඩා බෙදාහරින්නන් ඉන්න විදිහක් නැති නිසා විමධ්‍යගත කිරීමේ සැලසුම තුළ උපරිම බෙදාහරින්නන් ප්‍රමාණය තීරණය වෙනවා. දැනටම ලෙකෝ එකේ ශාඛා බල ප්‍රදේශ 7ක් තිබෙනවා. ලංවිම කොට්ඨාශ වල උප ප්‍රදේශ ගණනාවක් තිබෙනවා.

කොට්ඨාශය 1 - ප්‍රදේශ 20

කොට්ඨාශය 2 - ප්‍රදේශ 24

කොට්ඨාශය 3 - ප්‍රදේශ 14

කොට්ඨාශය 4 - ප්‍රදේශ 11

ලෙකෝ - ප්‍රදේශ 7

එකතුව - ප්‍රදේශ 76

දැනටම මෙවැනි විමධ්‍යගත ආකෘතියක් ඇති නිසා මේ ප්‍රදේශ මත පදනම්ව ප්‍රතිසංස්කරණයක් කරන එක පහසු වැඩක්. මගේ ලිපියේ මම කොටස් 200-300කට කැඩිය යුතු කතාවක් කිවුවේ නැහැ. එහි මම ලිවුවේ මෙවැන්නක්.

"ලෙකෝ එකෙන් කතාව පටන් ගත්තත්, ලංවිම බෙදා හැරීමේ කොට්ඨාශ වලත් උප කොට්ඨාශ තිබෙනවා. ලෙකෝ එකෙන් පටන් ගන්නේ නැතිව, ඒ උප කොට්ඨාශ වලින් මේ වගේ වැඩක් පටන් ගන්න පුළුවන්."

ඔය 200 කතාව ලිවුවේ අහපු ප්‍රශ්නයකට ප්‍රතිචාරයක් ලෙසයි. එහිදී මම කිවුවේ කඩන කලාප ගණනින් බෙදාහරින්නන් එපමණ ඇති වන බවක් අදහස් නොවන බවයි. 200 පැහැදිලි කිරීමේ උදාහරණයේදී යොදාගත් සංඛ්‍යාවක් පමණයි.

"අපි හිතමු කලාප 200කට කැඩුවා කියලා. කුඩා වැඩි නිසා එය අකාර්යක්ෂමනම් වෙන්දේසි කරද්දී කලාප 10 පමණ බැගින් ලබා ගන්නා තරමක් ලොකු සමාගම් 20ක් හැදෙයි. නමුත්, කලාප 20කින් පටන් ගත්තොත් එය අනෙක් පැත්තට වෙන්නේ නැහැ. ඒ නිසා, හැම විටම විමධ්‍යගත කිරීම වඩා කාර්යක්ෂමයි. එය කාර්යක්ෂම නැත්නම් වෙළඳපොළ විසින් ප්‍රශ්නය විසඳනවා. නමුත් අනෙක් පැත්තට වෙන්නේ නැහැ."

කොයි තරම් කුඩා කොටස් වලට කැඩිය යුතුයිද කියන එක හරියටම තීරණය කරන්න වෙන්නේ දැනට තිබෙන බෙදාහැරීමේ ජාලයේ ස්වරූපය අනුව. (ග්‍රිඩ් උපපොලවල්, ට්‍රාන්ස්ෆෝමර්ස් ආදිය තිබෙන තැන් අනුව). වැඩේ කෙරෙනවනම් කෙරෙන වෙලාවක ඒ ගැන හදාරමු. දැනට නිශ්චිත ගණනක් ගැන තීරණයකට එන්න අවශ්‍ය නැහැ.

මේ තරම්ම පොඩි කොටස් වලට කඩන එක තාක්ෂණික ලෙස ශක්‍යද? තිරසාරද?

පැහැදිලිවම, ඔව්. ලෙකෝ එක පටන් ගත්තේ දැන් ලෙකෝ එකට අයත් ප්‍රදේශ හතෙන් එකකින්. මුලින්ම ලෙකෝ එක වුනේ කෝට්ටේ නගර සභා බල ප්‍රදේශය. පාරිභෝගිකයෝ හිටියේ 13,000ක් පමණයි. ඒ කාලෙත් ලෙකෝ ආකෘතිය වැඩ කළා. ලෙකෝ එක තවමත් තියෙන්නෙත්, එහි ව්‍යාපාරික කටයුතු ටිකෙන් ටික ව්‍යාප්ත වුනෙත්, ආකෘතිය තිරසාර වූ නිසා. මෙයත් රාජ්‍ය ආයතනයක් නිසා එකම හේතුව කියා මම කියන්නේ නැහැ. 

ලෙකෝ එක හදන්න කලින් ලංවිම හැර බෙදාහරින්නන් 219 දෙනෙක් හිටියා. ඔවුන්ට හිටියේ පාරිභෝගිකයින් 230,000ක් පමණයි. ඒ කියන්නේ සාමාන්‍ය වශයෙන් එක් අයෙකුට දාහක් පමණ. අඩුපාඩු තිබුණත් මේ ක්‍රමය වැඩ කළා. බෙදාහරින්නාගේ ප්‍රමාණය පොඩි වැඩිවීම ප්‍රශ්නයක් වුනේ නැහැ. ලෙකෝ එක නොහදා මේ කාර්යය පෞද්ගලික අංශයට දුන්නානම් බොහෝ විට අද තියෙන්නේ වෙනම තත්ත්වයක්. පළාත් පාලන ආයතන වලින් පාලනය වෙද්දී අකාර්යක්ෂම වීම අහන්නත් දෙයක් නැහැනේ. 

මේ වෙද්දී ලංවිම පාරිභෝගිකයෝ ලක්ෂ 68ක් ඉන්නවා. ලෙකෝ එකත් එක්ක ගත්තම ලක්ෂ 76ක් ඉන්නවා. මම හිතන්නේ සම්ප්‍රේෂණ පද්ධතියේ තිබෙන ග්‍රිඩ් උප පොළවල් ප්‍රමාණයත් මීට ආසන්නයි. ඒ මට්ටමෙන් ප්‍රදේශ වෙන් කළොත් එක කොටසක පාරිභෝගිකයෝ ලක්ෂයක් පමණ ඉන්නවා. සාමාන්‍ය වශයෙන් වසරකට රුපියල් බිලියන තුන ඉක්මවන පිරිවැටුමක්. ඒ කියන්නේ සෑහෙන්න විශාල සමාගමක්. 

මේ මට්ටමට කැඩුවා කියලා ඔය ගාණට බෙදා හරින්නෝ ප්‍රමාණයක් බිහි වෙන්නේ නැහැ. එකම සමාගම බොහෝ විට ප්‍රදේශ ගණනාවකම බෙදා හැරීමේ අයිතිය ලබා ගන්නවා. රුපියල් බිලියන තුනක පිරිවැටුමක් කියා කියන්නෙත් සැලකිය යුතු විශාල සමාගමක්. මම හිතන්නේ වැඩේ පටන් ගන්න රුපියල් බිලියනකවත් ආයෝජන අවශ්‍ය වෙයි. කළ හැකි දෙයක් වුනත් හරියටම ගණන් බැලුවේනම් නැහැ.

ඒ කියන්නේ මේ මට්ටමට කැඩුවා කියලා අලුතෙන්ම ව්‍යවසායකයෝ බිහි වෙන්නේ නැහැ. දැනට රටේ ඉන්න ලොකු සමාගම් වල හා ලොකු ව්‍යාපාරිකයින්ගේ අතට තමයි වැඩේ යන්නේ. ගොඩක් වෙලාවට වැඩිම වුනොත් සමාගම් හය හතක් අතර රටේ ප්‍රදේශ බෙදී යයි. කතිපයාධිකාරයක් (oligopoly) හැදෙයි. හැබැයි දැනට සාපේක්ෂව සැලකිය යුතු තරඟයක් ඇති වෙනවා. එක සමාගමකට බ්ලොක් එකක් විදිහට ලොකු ප්‍රදේශයක් ලැබෙන්නේ නැහැ. 

මම හිතන්නේ අවම වශයෙන් මේ මට්ටමට කලාප කැඩිය යුතුයි. එහෙම නැතිව බෙදා හැරීම මුළුමනින්ම පෞද්ගලීකරණය කළොත් ඔය වැඩේට බොහෝ විට එන්නේ විදේශීය සමාගම්. කොටස් හතරකට කැඩුවා කියලත් ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ප්‍රශ්නය වැඩේ විදේශ සමාගමක් අතට යන එකම නෙමෙයි. ප්‍රමාණවත් තරඟයක් ඇති නොවෙන එක. රාජ්‍ය ඒකාධිකාරය වෙනුවට පෞද්ගලික අංශයේ ඒකාධිකාරයක් හැදුනොත් කරපු ප්‍රතිසංස්කරණයෙන් වැඩක් නැහැ. ඒ වගේම, ඔය වගේ ලොකු කෑලි විකුණද්දී අත යට ගනු දෙනු සිදු වෙන්න තිබෙන ඉඩකඩ ඉතාම වැඩියි. ඒ වගේ සැගවුණු වියදම් අන්තිමට ගෙවන්න වෙන්නෙත් පාරිභෝගිකයින්ට. කෑලි කුඩා වූ තරමට මේ අවදානම අඩු වෙනවා.

මුලින්ම සැලසුම් කරලා කොටස් හතරකට කඩන එකත්, කොටස් 75කට පමණ කඩලා වෙන්දේසි කළාට පස්සේ ඒ කොටස් එකතු වෙලා කොටස් හතරක් හැදෙන එකත් එකම නෙමෙයි. දෙවැනි ක්‍රමයේදී තරඟකාරීත්වයට වැඩි ඉඩක් ලැබෙනවා වගේම ප්‍රශස්ත ලෙස කලාප බෙදෙනවා. 

සමාගම් පහක් හයක් වගේ ගණනක් අතර බෙදාහැරීමේ කටයුත්ත බෙදී ගියා කියා අපි හිතමු. ඒ එක්කම දැනට ලංවිම වගේ තැන් වල සේවය කරන තාක්ෂණික කුසලතා හෝ සුදුසුකම් තිබෙන අයට එක වරම විශාල ඉල්ලුමක් ඇති වෙනවා. ඒ අයට හෙට්ටු කරලා වැඩි පඩියකට රැකියාවකට යන්න අවස්ථාව ලැබෙනවා. වැඩි වරප්‍රසාද සමඟ එක් සමාගමකින් අයින් වෙලා තවත් සමාගමකට යන්න ඉඩ ලැබෙනවා. සරලවම දැනට නැති රැකියා වෙළඳපොළක් අලුතෙන් හැදෙනවා. 

අවශ්‍යනම් මීටත් වඩා කුඩා කොටස් වලට කලාප බෙදන එකත් කරන්න බැරි දෙයක් නෙමෙයි. මම හිතන්නේ දැනට ලංවිම බෙදාහැරීම් ට්‍රාන්ස්ෆෝර්මර් (උපපොළවල්) තිස්පන්දාහක් පමණ තිබෙනවා. වැරදිනම් නිවැරදි කරන්න. උපපොළවල් විස්සක් පමණ එකතු කලොත් පාරිභෝගිකයින් හාරදාහක් පමණ ඉන්නවා. වසරකට රුපියල් මිලියන දොළහක පමණ, ඒ කියන්නේ මාසයකට මිලියනයක පමණ පිරිවැටුමක්. එයින් ලක්ෂයක් හෝ දෙකක් ලාබ ගන්න පුළුවන්. සිල්ලර වෙළඳාම බෙදා හැරීමෙන් වෙන් කරනවානම් කිසිම අපහසුවක් නැතුව මේ වගේ මට්ටමටකට නෙමෙයි උපපොල මට්ටමට වුනත් යන්න පුළුවන්. වැඩේට තාක්ෂණික දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. 

සිල්ලර වෙළඳාම උපපොළ මට්ටම දක්වාම වුවත් කොටස් කළ හැකි වුවත්, විදුලිය බෙදාහැරීම ඒ තරම්ම පොඩි මට්ටමකට කඩන්න බැහැ. එවිට යටිතල පහසුකම් සඳහා අවශ්‍ය ආයෝජන සිදුවෙන්නේ නැහැ. නඩත්තු කටයුතු හරියට වෙන්නේ නැහැ. නමුත්, අවශ්‍යනම් ඔය සීමා දෙක අතර ප්‍රශස්ත මට්ටමක් තෝරා ගන්න පුළුවන්. අළුත් ව්‍යවසායකයින් බිහි වීමට ඉඩ සැලසෙන තරම් කුඩා විය යුතුයි. අවශ්‍ය ආයෝජන නොකඩවා සිදු වෙන තරමට විශාල විය යුතුයි. පාරිභෝගිකයින් හාර පන්දාහකට වඩා නැති බෙදාහරින්නන් ඇමරිකාවේ ඉන්නවා. ඊට වඩා පොඩි සමාගමුත් ඇති. ලංකාවට වඩාත්ම සුදුසු ප්‍රසස්ථ බෙදාහරින්නන් ප්‍රමාණය ගැන මම අවසන් නිගමනයකට එන්නේ නැහැ.

මේ විදිහට බෙදාහැරීම හා සිල්ලර වෙළඳාම භූගෝලීය කලාප ලෙස වෙන් කළත් අදාළ ප්‍රදේශයේ ස්වභාවික ඒකාධිකාරයක් ඇති වීම වැළැක්විය නොහැකියි. එහෙමනම්, ඔය වැඩේ එක් ආයතනයක් විසින් කරන එකේ තිබෙන ප්‍රශ්නය කුමක්ද?

කිසියම් ප්‍රදේශයක් ඇතුළත ස්වභාවික ඒකාධිකාරයක් ඉතිරි වන එක ඇත්ත. පළමුව, සම්ප්‍රේෂණයේදී මෙන් මෙහිදී ප්‍රමාණය කුඩා වීමේ අවාසියක් නැහැ. ගොඩක්ම කුඩා වුනොත් ඒ ප්‍රශ්නය එනවා. නමුත්, පාරිභෝගිකයින් ලක්ෂයක් පමණ සිටීම ඕනෑවටත් වඩා ප්‍රමාණවත් කියා මම හිතනවා. අවාසි නැත්නම් පොඩි වාසියක් වුනත් ශුද්ධ වාසියක්.

ඕනෑම ආයතනයක ආයතනික සංස්කෘතියක් තිබෙනවා. නවෝත්පාදන බිහිවන්නේ ඒ ආයතනික සංස්කෘතිය ඇතුළේ. ඒ නිසා, එක් ආයතනයක සිදුවන වෙනසක් ඒ විදිහටම වෙනත් ආයතනයක සිදු වෙන්නේ නැහැ. ආයතන ප්‍රමාණය වැඩි වූ තරමට හොඳ අතට (වගේම නරක අතටත්) වෙනස්කම් සිදු වෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. එක් ආයතනයක හොඳ අතට වෙනස්කමක් වූ විට (කාර්යක්ෂමතාවය ඉහළ ගිය විට) ලාබ අභිලාශ තිබෙන අනෙකුත් තරඟකාරී ආයතන විසින්ද ඒ දෙයම කරන්න පෙළඹෙනවා. තනි ආයතනයක් තියෙද්දී මේ වැඩේ මේ විදිහටම වෙන්නේ නැහැ.

ඒ ළඟට කර්මාන්තයේ ශ්‍රමිකයින්ට ඔවුන්ගේ ඵලදායීතාවය හා ගැලපෙන තරඟකාරී මිලක් ලැබෙනවා. ඒ වැඩේ කරගන්න වෘත්තීය සමිති අවශ්‍ය වෙන්නේ නැහැ. 

මිල නියාමනය තව දුරටත් තිබුණේ වුවත් පාරිභෝගිකයින්ට තරඟකාරී සේවා සපයන්නන් සංසන්දනය කිරීමේ හැකියාවක් ලැබෙනවා. මේ සංසන්දනයන් කතාබහට ලක් වෙනවා. ඒ එක්ක සේවාවන්හි ගුණාත්මක භාවය ඉහළ යනවා. වැදගත්ම දෙය ඊළඟට කියන්න යන එක. 

ලංකාවේ විදුලිය ජනනය මේ වන විටත් ඒකාධිකාරයක් නෙමෙයි. ඒකාධිකාරය හැදෙන්නේ විදුලිය ජනනය කළාට පස්සේ ලංවිම විසින් ජනනය වන සියලුම විදුලිය තොග වශයෙන් මිල දී ගැනීම නිසා. එතැනින්ම තරඟය නවතිනවා. සම්ප්‍රේෂණය හා බෙදාහැරීම ලංවිම (හා ලෙකෝ) අතේ තියෙද්දී මේ තත්ත්වය වෙනස් කරන්න බැහැ. සම්ප්‍රේෂණය ලංවිමෙන් ගලවන්නත් බැහැ. නමුත්, බෙදාහැරීම ලංවිමෙන් ගලවලා සම්ප්‍රේෂණය දැඩි ලෙස නියාමනය කළොත් (ලංවිමට විශේෂ ප්‍රමුඛතාවයක් නොලැබෙන පොදු භාණ්ඩයක් කළොත්) නිෂ්පාදකයින්ට හා බෙදාහරින්නන්ට සෘජුව සම්බන්ධ වීමට ඉඩ සැලසෙනවා. ඒ එක්ක ගොඩක් දේවල් වෙනස් වෙන්න පටන් ගන්නවා. ජනනය කිරීමේ ලොකු පංගුව තව දුරටත් ලංවිම අතේම තිබුනත්, ඒකාධිකාරය නැති වෙනවා. විදුලිය ජනනය කරන අනෙකුත් සමාගම් එක්ක තරඟ කරන්න වෙනවා. ඒ පැත්ත පසුව කතා කරමු.

වෙබ් ලිපිනය: