වෙබ් ලිපිනය:

Showing posts with label ලෝක බැංකුව. Show all posts
Showing posts with label ලෝක බැංකුව. Show all posts

Friday, December 22, 2023

සතියක් තුළ ඩොලර් මිලියන 787ක්!


දෙසැම්බර් 14-20 අතර සතියක කාලය ඇතුළත ශ්‍රී ලංකාව වෙත ජාත්‍යන්තර ආයතන වලින් ඩොලර් මිලියන 787ක මුදලක් ලැබී තිබෙනවා. ඒ පහත ආකාරයෙනුයි.

දෙසැම්බර් 14 - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 337ක්.

දෙසැම්බර් 15 - ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්.

දෙසැම්බර් 20 - ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250ක්.

එකතුව - ඩොලර් මිලියන 787ක්.

ආසියානු සංවර්ධන බැංකුවෙන් හා ලෝක බැංකුවෙන් ලැබුණු ඉහත අරමුදල් මීට පෙර ලැබිය යුතුව තිබුණත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ප්‍රමාද වීම නිසා එයින් අනතුරුව ලැබෙන්නට නියමිතව තිබුණු ඉහත අරමුදල් වාරික දෙක නිදහස් කිරීමද ප්‍රමාද වුනා. කෙසේ වුවත්, අරමුදලේ දෙවන වාරිකය නිදහස් කරනු ලැබීමෙන් පසුව, මෙම අරමුදල් ශ්‍රී ලංකා රජය වෙත ක්ෂණිකවම මෙන් ලැබී තිබෙනවා.

නොවැම්බර් අවසාන වන විට නිල විදේශ සංචිත ප්‍රමාණය පැවතුනේ ඩොලර් මිලියන 3,584 මට්ටමේ. එම ප්‍රමාණයට ඩොලර් මිලියන 787ක් එකතු වුවහොත්, නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 4,371 දක්වා ඉහළ යනවා. මීට අමතරව, සාමාන්‍යයෙන් ශ්‍රමික ප්‍රේෂණ වැඩියෙන් රටට එන මාසයක් වන දෙසැම්බර් මාසයේදී වෙළඳපොළෙන් අඩු වශයෙන් ඩොලර් මිලියන 100ක් වත් මිල දී ගැනීමේ හැකියාවක්ද තිබෙනවා. මහ බැංකුව විසින් ඔක්තෝබර් මාසයේදී ඩොලර් මිලියන 108ක් හා නොවැම්බර් මාසයේදී ඩොලර් මිලියන 117ක් මිල දී ගෙන තිබීම සැලකූ විට දෙසැම්බර් මාසය තුළ ඩොලර් මිලියන 100 ඉක්මවා මිල දී ගැනීම පහසු ඉලක්කයක්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දී තිබුණු ඉලක්කය අනුව, 2023 අවසානය වන විට ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 4,431 දක්වා වර්ධනය කර ගත යුතුව තිබුණත්, දෙවන වාරිකය ලබා දෙන අවස්ථාවේදී ඔවුන්ගේ ඇස්තමේන්තුව වූයේ මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 3,806ක් පමණ වනු ඇති බවයි.  

දැන් තත්ත්වය අනුව, වසර අවසාන වන විට රටේ නිල විදේශ සංචිත ප්‍රමාණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අලුත් ඇස්තමේන්තුව වන ඩොලර් මිලියන 3,806 ඉක්මවා මුලින් ලබා දුන් ඉලක්කය කිට්ටුවට යාමට ඉඩ තිබෙනවා. ඒ සඳහා, කළ යුතු වන්නේ ඉහත සඳහන් ඩොලර් මිලියන 787ක මුදල සංචිත වලට එකතු කරගෙන තවත් ඩොලර් මිලියන 60ක් වෙළඳපොළෙන් මිල දී ගැනීම පමණයි.

Friday, March 3, 2023

ලෝක බැංකුවේ සල්ලි, ඩොලරය හා පොලී අනුපාතික


අද වන විට වාණිජ බැංකු වල ඩොලරයක ගැනුම් මිල රුපියල් 332 පමණ දක්වාත්, විකිණුම් මිල රුපියල් 346 දක්වාත් අඩු වෙලා. මහ බැංකුව විසින් කිසියම් සැලසුමකට අනුව ඩොලරයක මිල පහත වැටෙන්නට ඉඩ සලස්වා ඇති බව පැහැදිලියි. 

අන්තර් බැංකු වෙළඳපොළේ මැදි මිල, එහෙමත් නැත්නම් මහ බැංකුවේ මාර්ගෝපදේශන මිල රුපියල් 346.17ක්. මේ වන විට මහ බැංකුව විසින් දිනක් ඇතුළත ඉහත මිල පහත යා හැකි උපරිම සීමාව රුපියල් 7.50 සිට රුපියල් 10 දක්වා වැඩි කර තිබෙනවා. පසුගිය දින කිහිපය තුළ මෙම මාර්ගෝපදේශන මිල වෙනස් වූ ආකාරය දෙස බැලූ විට මහ බැංකුව විසින් ක්‍රමිකව විණිමය අනුපාතය පහත වැටෙන්නට සලස්වා ඇති ආකාරය ඉතා පැහැදිලි ලෙස දැක ගත හැකියි.

මාර්තු 2 මැදි මිල - රුපියල් 353.65

මාර්තු 1 මැදි මිල - රුපියල් 358.46

මැදි මිල පහළ යාම - රුපියල් 4.81

පහළ යා හැකි වූ උපරිම සීමාව - රුපියල් 5.00


මාර්තු 3 මැදි මිල - රුපියල් 346.17

මාර්තු 2 මැදි මිල - රුපියල් 353.65

මැදි මිල පහළ යාම - රුපියල් 7.48

පහළ යා හැකි වූ උපරිම සීමාව - රුපියල් 7.50


මේ අනුව, වාණිජ බැංකු විසින් මහ බැංකුවේ සංඥාව නිවැරදිව ග්‍රහණය කරගෙන ඇති බව පැහැදිලියි. ඒ වගේම, රුපියල් 7.50 සීමාව නොවන්නට මිල තවත් පහත වැටිය හැකිව තිබුණු බවද පැහැදිලියි. ඩොලරයක මිල පහත යා හැකි උපරිම සීමාව රුපියල් 10 දක්වා වැඩි කර ඇති තත්ත්වයක් තුළ, ලබන සතිය ආරම්භයේදී අන්තර්බැංකු වෙළඳපොළෙහි ඩොලරයක මැදි මිල රුපියල් 336.17 දක්වා පහත වැටීමට මහ බැංකුව විසින් අවකාශ සලසා තිබෙනවා. 

ලංකාව ඇතුළේ තත්ත්වය දෙස බැලුවොත්, මෙතෙක් සිදු වූ පරිදිම, මහ බැංකුව විසින් ඩොලරයක මිල මාර්ගෝපදේශනය කෙරෙමින් පවතිනවා. එහෙත්, පුළුල් චිත්‍රය දෙස බැලුවොත්, මේ හැම දෙයක්ම ලංකාවට පිටින් තීරණය කෙරෙන බවක්ද නිරීක්ෂණය කළ හැකියි.

ලෝක බැංකුවේ ණය දෙන අංශය වන ජාත්‍යන්තර මූල්‍ය සමාගම විසින් ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකු තුනකට ලබා දුන් ඩොලර් මිලියන 400ක මුදල් හුවමාරු පහසුකම පිළිබඳව පසුගිය සටහනේ කතා කළේ නැහැ. බැංකු පද්ධතිය තුළ සිදුවන හැම දෙයක් පසුපසම මෙම ඩොලර් මිලියන 400හි බලපෑම තිබෙනවා. 

ඉහත පහසුකම ගැන කතා කිරීම ප්‍රමාද කළේ ඒ ගැන කතා කරන්නට පෙර ලෝක දේශපාලනය ගැනත්, කල් දැමුවේත් නැති, කල් දමන්නට තිබුණේත් නැති, පළාත් පාලන මැතිවරණ ඇතුළු ලංකාවේ දේශපාලනය ගැනත් කතා කළ යුතු වූ නිසයි. තිත් ගැලපූ පසු මේ සියල්ලේම සම්බන්ධයක් පෙනෙන නිසා දේශපාලනය මග හැර ඉහත ඩොලර් මිලියන 400 ගැන කතා කළ හැකි ආකාරයක් හිතාගත හැකි වූයේ නැහැ. තහනම් වචනය හැකි තරමින් මග හැර මාතෘකාව තුළම කතා කරන ආකාරය හිතාගන්නට පොඩ්ඩක් කාල වේලා අවශ්‍ය වුනා. 

ලංකාවේ දේශපාලනය සමඟ මේ කතාව සම්බන්ධ වන ආකාරය ගැන හිතා ගැනීම පාඨකයින්ට ඉතිරි කර ලෝක දේශපාලනයෙන් පටන් ගත්තොත්, මේ වසරේ පළමු කාර්තුව තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ණය වාරිකය ලබා දී ලංකාවේ ආර්ථිකය ස්ථායී කිරීමට බටහිර රටවලට සහ ඉන්දියාවට අවශ්‍ය වී තිබුණා. ඔවුන් ඔවුන්ගේ පැත්තෙන් ඒ සඳහා කළ යුතු දේවල් කළා. ලංකාවේ පැත්තෙන් මහ බැංකුව හා රජය විසින්ද කළ යුතු මූලික දේවල් කළා. එහෙත්, චීනයේ සහයෝගය නොමැතිකම නිසා අපේක්ෂිත පරිදි අරමුදලේ සහයෝගය ලංකාවට තවමත් ලැබී නැහැ. 

අරමුදලේ පළමු වාරිකය ලැබුනේනම් ලංකාවට හිමිවන්නේ ඩොලර් මිලියන 790ක පමණ මුදලක් පමණයි. එම මුදලෙන් ලංකාවේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. එහෙත්, මෙම මුදල ලැබුණු පසු ලංකාවට නැවත විදේශ මූල්‍ය වෙළඳපොළ වෙත ප්‍රවේශ වී අරමුදල් ලබා ගැනීමේ හැකියාවක් තිබුණා. ඒ හරහා, ආර්ථිකයේ විදේශ අංශය ස්ථායී කර ගත හැකිව තිබුණා. වාරිකය ප්‍රමාද වූ නිසා මේ වැඩේ සිදු වුනේ නැහැ. 

ලෝක බැංකුව විසින් ලංකාවේ පෞද්ගලික වාණිජ බැංකු තුනකට (සම්පත්, කොමර්ෂල් හා නේෂන්ස් ට්‍රස්ට්) ඉහත පහසුකම ලබා දී තිබෙන්නේ මෙවැනි පසුබිමකයි. එක පැත්තකින් මෙසේ ලබා දී තිබෙන පහසුකම සැලකිය යුතු මුදලක්. මෙම මුදල අරමුදලේ පළමු වාරිකය ලෙස ලැබිය හැකිව තිබුණු මුදලෙන් අඩකට පමණ සමානයි. අනෙක් පැත්තෙන් මේ මුදල් ලැබී තිබෙන්නේ මහ බැංකුවට හෝ රජයට නොව සෘජු ලෙසම පෞද්ගලික වාණිජ බැංකු තුනකටයි. (මේ අරමුදල් රාජ්‍ය බැංකු වලට ලබා නොදුන්නේ ඇයි කියන එක පසුපස තවත් දේවල් තිබෙනවා.)

අරමුදලේ වාරිකය ලැබුණානම් ලැබෙන්නේ මහ බැංකුවට මිස වාණිජ බැංකු වලට නෙමෙයි. එම අරමුදල් වාණිජ බැංකු වෙත නිදහස් වන්නේ මහ බැංකුව විසින් විදේශ විණිමය විකිණීම හරහා පමණයි. මේ වෙලාවේ මහ බැංකුවට ඩොලර් මිලියන 790ක් ලැබුණානම් මහ බැංකුව විසින් එම මුදලින් ඩොලර් මිලියන 400ක් වහාම වාණිජ බැංකු වෙත නිකුත් කරන්නේ නැහැ. ඒ නිසා, විණිමය අනුපාතය කෙරෙහි මේ ඩොලර් මිලියන 400 පහසුකමේ බලපෑම වඩා විශාලයි කියා කියන්න පුළුවන්. 

ඉහත ඩොලර් මිලියන 400 පහසුකම ලැබෙන්නේ වසරක කාලයක් සඳහායි. එම මුදල ආනයන සඳහාත්, ආනයනකරුවන්ගේ පරණ ණය ආපසු ගෙවීම සඳහාත් යොදා ගත හැකියි. පරණ ණය ආපසු ගෙවීමෙන් පසුව ආනයනකරුවන්ට නැවතත් සැපයුම්කරුවන්ගෙන් පෙර මෙන් ණය පහසුකම් ලබාගත හැකියි. එමෙන්ම, ඉහත පෞද්ගලික බැංකු වලට මෙම පහසුකමට අමතරව ලෝක බැංකුවේ (ජාත්‍යන්තර මූල්‍ය සමාගමේ) හවුල්කාර ජාත්‍යන්තර බැංකු වලින් අඩු පොලී ණය ලබා ගැනීමේ අවස්ථාවද මේ සමඟ හිමි වෙනවා. එය පැවති තත්ත්වයට සාපේක්ෂව විශාල වෙනසක්. ඒ වගේම, ඉහත හේතු නිසා මේ ඩොලර් මිලියන 400හි බලපෑම එම මුදලට වඩා වැඩියි.

මේ තත්ත්වයත් එක්ක ඉහත වාණිජ බැංකු තුනට ආනයනකරුවන්ට නැවතත් "අත දිගහැර" ඩොලර් විකිණිය හැකි වන නිසා රටට එන ඩොලර් ප්‍රමාණයෙන් කොටසක් ලබා ගැනීමට අනෙක් වාණිජ බැංකු සමඟ පෙර මෙන් තරඟ කරන්නට අවශ්‍ය නැහැ. ඒ නිසාම, අනෙක් වාණිජ බැංකු වලට වැඩියෙන් ඩොලර් මිල දී ගැනීමට අවස්ථාව ලැබෙනවා. සමස්තයක් ලෙස බැංකු පද්ධතිය තුළ ඩොලර් ඉල්ලුම ඉක්මවා සැපයුම ඉහළ යනවා. කෙසේ වුවත්, මේ සියල්ල සිදු වන්නේ කෙටිකාලීනවයි.

හරියටම ඉහත ගිවිසුම අත්සන් කළ පෙබරවාරි 27 දිනම මහ බැංකුව විසින් කාලයක් තිස්සේ බැංකු මත පනවා තිබුණු ඩොලර් ලැබීම් වලින් 25%ක් අනිවාර්යයෙන් මහ බැංකුවට විකිණිය යුතු බවට වූ අවශ්‍යතාවය 15% දක්වා ලිහිල් කරනවා. එසේ කරන අතර ඩොලරයක මිල විචලනය විය හැකි සීමාවද පුළුල් කරනවා. මෙය සැලසුම්සහගත ලෙස සිදු කළ දෙයක් බව පැහැදිලියි. එමෙන්ම එසේ කිරීමේ ඉලක්කය ඩොලරයක මිල පහත දමා ගැනීම බවද පැහැදිලියි. මේ කොටස පෙර ලිපියේ විස්තර කර තිබෙන නිසා නැවත විස්තර කරන්නේ නැහැ.

ඉහත 25% සීමාව 15% දක්වා අඩු කිරීම නිසා මසකට බැංකු පද්ධතිය තුළ ඩොලර් මිලියන 100කට ආසන්න ඉතිරියක් සිදු වෙනවා. එම මුදල මහ බැංකුව විසින් මිල දී නොගතහොත් අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ ඩොලරයක මිල පහත වැටීමයි. මහ බැංකුව විසින් යම් ඩොලර් ප්‍රමාණයක් මිල දී ගන්නවා විය යුතුයි. එහෙත් ඩොලරයක මිල පහත වැටීමට බාධා වන තරමට ඩොලර් මිල දී ගන්නා බවක් පෙනෙන්නට නැහැ. 

මෙතෙක් පැහැදිලි කළේ ලංකාව මේ වන විට වැටී සිටින තත්ත්වයට සාපේක්ෂව, හරියටම කියනවානම් රටේ ඉතිරිව තිබෙන නිල සංචිත ප්‍රමාණයට සාපේක්ෂව, ඩොලර් මිලියන 400ක් කියන්නේ මහමෙරක් බවයි. නමුත්, අනෙක් පැත්තෙන්, ලංකාවේ ණය කන්ද මෙන්ම ආනයන ඉල්ලුම හා සැසඳූ විට මේ මුදල සොච්චමක්. දැන් අපි ඒ පැත්ත දෙසත් බලමු. 

ගෙවුණු 2023 ජනවාරි මාසයේදී ලංකාව ආනයන වෙනුවෙන් වැය කර ඇති මුදල ඩොලර් මිලියන 1,388ක්. පෙර වසරේ (2022) ජනවාරි මාසයේදී මෙම වියදම ඩොලර් මිලියන 1,959ක්. වෙනස ඩොලර් මිලියන 571ක්. ඒ කියන්නේ, 2022 මට්ටමෙන් ආනයන සිදු වන තත්ත්වයක් යටතේ ඩොලර් මිලියන 400ක් කියන්නේ මාසයකටවත් ප්‍රමාණවත් නොවන මුදලක්. පවතින තත්ත්වය තාවකාලික සහනයක් පමණක් බව තේරුම් ගන්නට මෙම කරුණ වුවද ප්‍රමාණවත්යැයි මා සිතනවා. 2022 ජනවාරි මාසය වන විටද වාහන ආදිය ආනයනය නොකළ බවද අමතක කළ යුතු නැහැ. 

පසුගිය ජනවාරියට සාපේක්ෂව ඩොලරයක මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති නිසා ආනයන ඉල්ලුම පෙර පැවති මට්ටමටම නොපැමිණිය හැකි වුවත්, ඩොලරයක මිල ඕනෑවට වඩා පහළ ගියොත් නැවතත් ආනයන ඉල්ලුම ප්‍රශ්නයක් විය හැකියි. කොහොම වුනත්, මධ්‍යම පංතියට ලොකු ප්‍රශ්නයක් වී ඇති ඇපල්, මිදි, චීස්, සුවඳ විලවුන් නැවතත් රටට එයි. එහෙත්, ඉතා ඉක්මණින් වාහන ගෙන්වන්න ලැබෙයි කියානම් හිතන්න අමාරුයි. 

ආනයනකරුවන්ගේ පැත්තෙන් බැලුවොත් ඩොලරයක මිල වේගයෙන් පහත වැටෙමින් තිබෙන මේ වගේ වෙලාවක ඔවුන් ආනයන සඳහා ඩොලර් මිල දී ගන්න හදිසි වෙන එකක් නැහැ. ඒ නිසා, ඉතාම කෙටිකාලීනවනම් සිදු වන්නේ ආනයන ඉල්ලුම අඩු වීමයි. මේ තත්ත්වය වෙනස් වනු ඇත්තේ නැවතත් ඩොලරයක මිල යම් මට්ටමක ස්ථාවර වීමෙන් පසුවයි. අනෙක් පැත්තෙන් අපනයනකරුවන් විසින් රටෙන් පිටත රඳවාගෙන සිටින ඩොලර් මෙන්ම මුදල් හුවමාරුකරුවන් වැනි අය රඳවාගෙන සිටින ඩොලර් නෝට්ටු පවා මේ වෙලාවේ බැංකු පද්ධතිය වෙත පැමිණීම අනිවාර්යයන්ම සිදු වන දෙයක්. ඒ නිසා, කෙටිකාලීනව සිදුවන්නේ බැංකු පද්ධතිය තුළ ඩොලර් ද්‍රවශීලතාවය විශාල ලෙස ඉහළ යාමයි.

ඩොලරයක මිල පහත වැටීම පාලනය කිරීමට මහ බැංකුවට වෙළදපොලෙන් ඩොලර් මිල දී ගන්නට සිදු වෙනවා. එහෙත්, ඒ සමඟම රුපියල් නිකුත් වීමක්ද සිදු වෙනවා. එම රුපියල් නැවත අවශෝෂණය කර ගැනීමටනම් මහ බැංකුවට මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් විකුණන්නට සිදු වෙනවා. එහෙත්, එසේ කිරීමේදී පොලී අනුපාතික ඉහළ යනවා.

සල්ලි අච්චු ගැසීමක් සිදුවන්නේ මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමේදී පමණක් නෙමෙයි. මහ බැංකුව විසින් සංචිත ඉහළ දමා ගැනීම සඳහා වෙළඳපොලෙන් ඩොලර් මිල දී ගනිද්දීත් සල්ලි අච්චු ගැසීමක් සිදු වෙනවා. පසුගිය ජනවාරි මාසය තුළ මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගෙන නැතත්, ඩොලර් මිල දී ගැනීම නිසා සංචිත මුදල් ඉහළ ගොස් තිබෙනවා. මොන හේතුව නිසා සිදු වුනත් සංචිත මුදල් වැඩිවීම ප්‍රශ්නයක්. එහෙත්, විදෙස් සංචිත ඉහළ දමා ගැනීමද කළ යුතුම දෙයක්. පොලී අනුපාතික ඉහළ යන්නට නොදී මේ දෙකම එකවර කරන්නත් බැහැ. මෙය ඉතාම අභියෝගාත්මක තත්ත්වයක්.

මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දමා තිබෙනවා. මෙවර මුදල් ප්‍රතිපත්තිය තීරණය කර තිබෙන්නේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසිනුයි. ඒ බව මහ බැංකුව කෙළින්ම වගේ කියා තිබෙනවා. කොහොමටත් මහ බැංකුව මේ වන විට පත් වී සිටින තත්ත්වය අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය පරිදි කටයුතු කරනවා මිස වෙන කළ හැකි දෙයකුත් නැහැ. පොලී අනුපාතික තවත් වැඩි වෙන්නට ඉඩ නොදෙමින්, උද්ධමනයද පාලනය කර ගැනීමේ උපක්‍රමයක් ලෙස මහ බැංකුව විසින් ඩොලරයක මිල පහත වැටෙන්නට ඉඩ සලසා තිබෙනවා විය හැකියි. 

Wednesday, December 30, 2020

එක්සත් රාජධානිය එන්නත්කරණය වේගවත් කරයි!


අද දිනයේ (දෙසැම්බර් 30) එක්සත් රාජධානිය විසින් ඇස්ට්‍රසෙනිකා එන්නතටද හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා. මේ අනුව, ඇස්ට්‍රසෙනිකා එන්නත බටහිර රටක අනුමැතිය ලබන තෙවන එන්නත බවට පත් වෙනවා. 

ඇස්ට්‍රසෙනිකා සමාගමට අනුව, දැනට ඇස්තමේන්තු කර ඇති පරිදි, එන්නතේ අපේක්ෂිත ඵලදායීතාවය 70.4%ක්. මේ අගය පදනම් වන්නේ සායනික පරීක්ෂණ සඳහා සහභාගී වූ එක්සත් රාජධානියේ හා බ්‍රසීලයේ පුද්ගලයින් 11,636 දෙනෙකුගේ දත්ත මතයි. මෙම ප්‍රමාණය පයිසර්-බයෝඑන්ටෙක් හා මොඩර්නා සායනික පරීක්ෂණ සඳහා යොදාගත් පුද්ගලයින් ප්‍රමාණයට වඩා අඩු නිසා ඇස්තමේන්තුවේ නිරවද්‍යතාවයද සාපේක්ෂව අඩුයි. ඒ අනුව, මෙහි ඵලදායීතාවය 54.8-80.6% පරාසයේ විචලනය විය හැකියි. 

ඉහත මට්ටමේ ඵලදායීතාවයක් ලැබෙන්නේ දෙවන මාත්‍රාව ලබා දී දින 14කට පසුවයි. එහෙත්, මේ වෙද්දී බ්‍රිතාන්‍ය බලධාරීන් විසින් තීරණය කර තිබෙන්නේ හැකි තරම් විශාල පිරිසකට ඉතා ඉක්මණින් එන්නතේ එක් මාත්‍රාවක් ලබා දීමටයි. ඒ නිසා, එන්නතේ ඵලදායීතාවය මීට වඩා බෙහෙවින්ම අඩු විය හැකියි.

මොඩර්නා එන්නතේ අපේක්ෂිත ඵලදායීතාවය 94.1% වන අතර එය 89.3-96.8% පරාසයේ විචලනය විය හැකියි. පයිසර්-බයෝඑන්ටෙක් එන්නතේ අපේක්ෂිත ඵලදායීතාවය 95.0% වන අතර එය 90.3-97.6% පරාසයේ විචලනය විය හැකියි. 

පයිසර්-බයෝඑන්ටෙක් එන්නත මුලින්ම අනුමත කළේද එක්සත් රාජධානියයි. මේ වන විට එක්සත් රාජධානිය තීරණය කර තිබෙන්නේ එම එන්නතද පළමුව එක් මාත්‍රාවක් බැගින් හැකි තරම් වැඩි පිරිසකට ලබා දීමටයි. පයිසර්-බයෝඑන්ටෙක් සමාගම් වලට අනුව, පළමු මාත්‍රාව ලබා දී දෙවන මාත්‍රාව ලබා දෙන්නට පෙර කාලය තුළ එම එන්නතේ අපේක්ෂිත ඵලදායීතාවය 52.4%ක්. එම අගය 29.5-68.4% පරාසයේ විචලනය විය හැකියි.

එක්සත් රාජධානිය විසින් දැනටමත් ඇණවුම් කර තිබෙන පයිසර්-බයෝඑන්ටෙක් හා ඇස්ට්‍රසෙනිකා එන්නත් ප්‍රමාණය රටේ ජනගහණයට අවශ්‍ය එන්නත් ප්‍රමාණයට වඩා වැඩියි. ඒ නිසා, මුලින් එක් මාත්‍රාවක් බැගින් ලබා දුන්නත් දෙවන මාත්‍රාවද ඉතා ඉක්මණින් ලබා දෙන්න පුළුවන් වෙයි.

ඇස්ට්‍රසෙනිකා එන්නතේ අපේක්ෂිත ඵලදායීතාවය අඩු වුවත්, එම එන්නත සාමාන්‍ය ශීතකරණයක ගබඩා කර තබා ගත හැකිවීම එහි ඇති වැදගත් වාසියක්. එමෙන්ම, මේ එන්නත අඩුආදායම්ලාභී රටවලට දරා ගත හැකි, ඩොලර් 4කට නොවැඩි මිලකට අලෙවි කිරීමට නියමිතයි. 

ලෝකයේ සෑම රටකම 20%ක ජනගහණයකට හැකි ඉක්මණින් කෝවිඩ් එන්නතක් ලබා දීමේ අරමුණින් ලෝක බැංකුව විසින් ඇස්ට්‍රසෙනිකා එන්නත් මිලියන 300ක් වෙන් කර ගෙන ඇතත් එම ප්‍රමාණය සෑහෙන්නේ ලෝක ජනගහණයෙන් 2%කට පමණයි. රටවල් ගණනාවක්ම තමන්ගේ රටේ ජනතාව වෙනුවෙන් දැනටමත් එන්නත් වෙන් කර ගෙන හෝ වෙන් කර ගනිමින් සිටින නිසා, 20% කෙසේ වෙතත්, ඉතිරිවන රටවල 5%ක පමණවත් ප්‍රතිශතයකට මෙම එන්නත් ලබා ගන්න ඉඩ සැලසෙයි කියා හිතන්න පුළුවන්. 

චීනය විසින්ද අද දිනයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ ඔවුන්ගේ සිනෝපාර්ම් එන්නත සායනික පරීක්ෂණ වලදී 79.34%ක සාර්ථකත්වයක් පෙන්වා ඇති බවයි. එහෙත්, අමතර තොරතුරු කිසිවක් නැති නිසා මේ ඇස්තමේන්තුවේ නිරවද්‍යතාවය පිළිබඳව දැනට තිබෙන්නේ අවිනිශ්චිතතාවයක්. 

අනුමත වූ පළමු කෝවිඩ් එන්නත ලෙස හඳුන්වා ගන්නා රුසියාවේ ස්පුට්නික්-වී එන්නත එරට විසින් අනුමත කළේ තෙවන අදියරේ සායනික පරීක්ෂණ සිදු නොකරයි. දෙසතිකට පෙර ඉදිරිපත් කළ සායනික පරීක්ෂණ ප්‍රතිඵල අනුව එම එන්නතේ ඵලදායීතාවය 91.4%ක්.

රුසියානු එන්නතේ මාත්‍රා බිලියන 2.4ක් සඳහා ඉන්දියාව, බ්‍රසීලය, චීනය, දකුණු කොරියාව ඇතුළු රටවලින් ඇනවුම් ලැබී ඇති බව සඳහන්ව තිබෙන අතර එන්නතක් ඩොලර් 10කට නොවැඩි මිලකට ලබා දෙන බවද සඳහන්ව තිබෙනවා. 

ඵලදායීතාවය වැඩි කර ගැනීම සඳහා රුසියානු ස්පුට්නික්-වී එන්නතේ හා ඇස්ට්‍රසෙනිකා එන්නතේ මිශ්‍රණයක් ලබා දීමේ හැකියාවද මේ වන වට පරීක්ෂා කෙරෙමින් පවතිනවා.


Tuesday, December 29, 2020

කෝවිඩ් ජාතිකත්වය


මා පෙර ලිපියක විස්තර කළ පරිදි, ඇමරිකාව විසින් කෝවිඩ් එන්නත් වැඩි දියුණු කිරීම සඳහා කරන ආයෝජන වශයෙනුත්, එන්නත් මිල දී ගැනීම සඳහා කරන පෙර ගෙවුම් ලෙසත්, සමාගම් ගණනාවකට ඩොලර් බිලියන 12කට ආසන්න මුදලක් ගෙවා තිබෙනවා. මේ ආයෝජන හා පෙර ගෙවුම් සිදු කර තිබෙන්නේ අදාළ එන්නත් සාර්ථක වනු බවට කිසිදු සහතිකයක් නැතිවයි. වෙනත් විදිහකට කිවුවොත් නැති එන්නත් මිල දී ගැනීම වෙනුවෙන් ඇමරිකානුවන්ගේ බදු මුදල් වලින් ඩොලර් බිලියන 12ක පමණ මුදලක් වැය කර තිබෙනවා.

මේ ආකාරයෙන් එන්නත් හදන්නත් කලින් එන්නත් මිල දී ගත් එකම රට ඇමරිකාව නෙමෙයි. ඇමරිකාව මෙන්ම අනෙකුත් බටහිර රටවල් සියල්ලම මෙන්ම නැති එන්නත් මිල දී ගැනීම වෙනුවෙන් විශාල මුදලක් වැය කර තිබෙනවා. මේ විදිහට සමාගම් ගණනාවකට අදාළ එන්නත් හදන්න කලින්ම පෙර ගෙවුම් කිරීමෙන් කර තිබෙන්නේ ඔට්ටු ඇල්ලීමක්. එම රට වලට ගත් අවදානම වෙනුවෙන් මේ වෙද්දී ප්‍රතිඵල ලැබෙමින් තිබෙනවා. 

විවිධ රටවල් විසින් පෙර ගෙවුම් ගිවිසුම් අත්සන් කිරීමේ ප්‍රතිඵලයක් විදිහට අවම වශයෙන් එන්නත් බිලියන 8ක් මේ වන විට විකිණී අවසන්. එය ලෝක ජනගහණය ඉක්මවන ප්‍රමාණයක්. එක් අයෙකුට බොහෝ විට එන්නත් දෙකක් අවශ්‍ය වන නිසා මේ එන්නත් ප්‍රමාණය අවම වශයෙන් ලෝක ජනගහණයෙන් බාගයකට ප්‍රමාණවත් වුවත්, එම එන්නත් ලෝකයේ රටවල් අතර ජනගහණයට සමානුපාතිකව බෙදී යාමේ ඉඩක් පෙනෙන්නට නැහැ. උදෙන්ම ඇහැරුණු කුරුල්ලෝ වැඩියෙන් පණුවෝ අල්ලයි.

ඇමරිකාව වෙනුවෙන් සමාගම් හයකින් දැනටමත් මිල දී ගෙන තිබෙන එන්නත් ප්‍රමාණය මිලියන 550 කට ප්‍රමාණවත්. එහෙත්, ඇමරිකාවේ ජනගහණය මිලියන 330ක් පමණයි. ඒ අනුව, රටේ ජනගහණය මෙන් 167%කට ප්‍රමාණවත් එන්නත් ප්‍රමාණයක් වෙනුවෙන් ඇමරිකාව මේ වන විට මුදල් ගෙවා අවසන්. එහෙත්, මේ එන්නත් වලින් මේ වන තුරු අනුමත වී තිබෙන්නේ සමාගම් දෙකක එන්නත් පමණයි. එම සමාගම් දෙකෙන් මිල දී ගැනෙන එන්නත් වුවත් ජනගහණයෙන් 60%කට ප්‍රමාණවත්. එම මට්ටමේදී සාමූහික ප්‍රතිශක්තිය ඇති වීමට සැලකිය යුතු ඉඩක් තිබෙනවා. ඊයේ උදේ වෙද්දී ඇමරිකානුවන් 2,127,143 දෙනෙකු විසින් කෝවිඩ් එන්නතක් ලබාගෙන තිබුණා. මේ ප්‍රමාණය ලෝකයේ කිසියම් රටක ලබා දී තිබෙන වැඩිම එන්නත් ප්‍රමාණය වුවත්, එම ප්‍රමාණය ඇමරිකාවේ ජනගහණයෙන් 0.64%ක් පමණයි.

මේ කාර්යයේදී වෙනත් බටහිර රටවල් ගණනාවක්ම ඇමරිකාවටත් වඩා ඉදිරියෙන් ඉන්නවා. මිලියන 38ක ජනගහණයක් සිටින කැනඩාව විසින් සමාගම් හතකින් මිල දී ගෙන තිබෙන එන්නත් ප්‍රමාණය මිලියන 117කට, එනම් රටේ ජනගහණය මෙන් 308%කට, ප්‍රමාණවත්.දැනට අනුමත වී තිබෙන පයිසර්-බයෝඑන්ටෙක් හා මොඩර්නා එන්නත් පමණක් වුවත් කැනේඩියානුවන්ගෙන් 80%කට ප්‍රමාණවත්. ඒ මට්ටමේදී කැනඩාව තුළ සාමූහික ප්‍රතිශක්තිය ඇති නොවන්නට හේතුවක් නැහැ. මේ වන විට අවම වශයෙන් කැනේඩියානුවන් 52,324 දෙනෙකු විසින් එන්නත ලබා ගෙන තිබෙනවා. එහෙත්, එම ප්‍රමාණය කැනඩාවේ ජනගහණයෙන් 0.16%ක් පමණයි.

එක්සත් රාජධානිය විසින් සමාගම් හතකින් මිල දී ගෙන තිබෙන එන්නත් ප්‍රමාණය එරට ජනගහණය මෙන් 290%කට ප්‍රමාණවත්. එහෙත්, එක්සත් රාජධානිය විසින් මේ වන තුරු අනුමත කර තිබෙන්නේ පයිසර්-බයෝඑන්ටෙක් එන්නත පමණයි. එම එන්නතෙන් මිල දී ගෙන ඇති ප්‍රමාණය එරට ජනගහණයෙන් 30%කට ප්‍රමාණවත්. එක්සත් රාජධානිය විසින් වැඩිපුර ඔට්ටු දමා තිබෙන්නේ ඇස්ට්‍රසෙනිකා එන්නත වෙනුවෙනුයි. ඇස්ට්‍රසෙනිකා එන්නත එක්සත් රාජධානිය තුළ ඉතා ඉක්මණින් අනුමත වේයැයි අපේක්ෂිතයි. එම එන්නත අනුමත වුවහොත්, එක්සත් රාජධානියේ ජනගහණයෙන් ඉතිරි 70% සඳහා අවශ්‍ය වන එන්නත් ප්‍රමාණයටත් වඩා වැඩියෙන් එරටට ලැබෙනවා. දැනට ලැබී තිබෙන දත්ත අනුව, ඇස්ට්‍රසෙනිකා එන්නතේ ඵලදායීත්වය අඩු නිසා එරටට සාමූහික ප්‍රතිශක්තිය ඇති කර ගැනීම සඳහා ජනගහණයෙන් 90%ක් පමණ එන්නත් කරන්න අවශ්‍ය විය හැකියි. එක්සත් රාජධානිය තුළ මේ වන විට අවම වශයෙන් 625,981 දෙනෙකුට එන්නත ලබා දී තිබෙනවා. එම ප්‍රමාණය ජනගහණයෙන් 1.18%ක්. මේ අනුව, එන්නත්කරණය අතින් එක්සත් රාජධානිය ඇමරිකාවට හා කැනඩාවට වඩා ඉදිරියෙන් සිටිනවා.

යුරෝපීය සංගමය විසින්ද කලාපයේ රටවල ජනගහණය මෙන් 170%කට ප්‍රමාණවත් එන්නත් ප්‍රමාණයක් වෙනුවෙන් සමාගම් හයකට පෙර ගෙවුම් කර තිබෙනවා. දැනට අනුමත කර තිබෙන පයිසර්-බයෝඑන්ටෙක් එන්නතෙන් යුරෝපීය සංගමයට ලැබෙන ප්‍රමාණය කලාපයේ ජනගහණයෙන් 22%කට ප්‍රමාණවත්. යුරෝපීය සංගමය විසින් මේ වන විට ඇස්ට්‍රසෙනිකා, මොඩර්නා හා ජැන්සෙන් (ජොන්සන් සහ ජොන්සන්) එන්නත් අනුමැතිය සඳහා සලකා බලමින් සිටිනවා. එම සමාගම් වලට කර ඇති පෙර ගෙවුම් මත යුරෝපීය සංගමයට ලැබෙන එන්නත් ප්‍රමාණය ජනගහණයේ ඉතිරි 78% සඳහා ඕනෑවටත් වඩා ප්‍රමාණවත්.

ඕස්ට්‍රේලියාව එරට ජනගහණයට අවශ්‍ය ප්‍රමාණය මෙන් 230% කටද, නවසීලන්තය එරට ජනගහණයට අවශ්‍ය ප්‍රමාණය මෙන් 247% කටද පෙර ගෙවුම් කර ඇතත් එම රටවල් විසින් තවමත් කිසිදු එන්නතක් අනුමත කර නැහැ.

ලෝකයේ රටවල් අතරින් කෝවිඩ් එන්නත්කරණයෙන් මේ වන විට ඉදිරියෙන්ම සිටින රට ඊශ්‍රායලයයි. මිලියන 9ක පමණ ජනගහණයක් සිටින ඊශ්‍රායලය මේ වන විටද 495,000 දෙනෙකු එන්නත් කර අවසන්. මේ ප්‍රමාණය එරට ජනගහණයෙන් 5.7%ක් පමණ වන අතර එරටෙන් මෙතෙක් හඳුනාගෙන තිබෙන කෝවිඩ් ආසාදිතයින් ප්‍රමාණය වන 409,338ද ඉක්මවනවා. ඊශ්‍රායලය විසින් පයිසර්-බයෝඑන්ටෙක් සමාගම සමඟ අත්සන් කර තිබෙන ගිවිසුම අනුව එන්නත් මිලියන 8ක්ද, මොඩර්නා සමාගම සමඟ අත්සන් කර තිබෙන ගිවිසුම අනුව තවත් එන්නත් මිලියන 6ක්ද, එරටට හිමි වෙනවා. මෙම ප්‍රමාණය මිලියන 7කට, එනම් ඊශ්‍රායලයේ ජනගහණයෙන් 80%කට පමණ, ප්‍රමාණවත්. මේ එන්නත් දෙකේම ඵලදායීතාවය 95% මට්ටමේ තිබෙන නිසා ලෝකයේ මුලින්ම සාමූහික ප්‍රතිශක්තිය ලබන රට ඊශ්‍රායලය විය හැකියි. හරියටම දිනන අස්සයින්ට ඔට්ටු දමමින් අඩුම වියදමකින් ඉලක්කයට යන්නට සමත්වීම ඊශ්‍රායලය සතු උපාය මාර්ගික හැකියාව හොඳින් පෙන්වා දෙනවා.


උදෙන් ඇහැරුණු කුරුල්ලන් ලොකු පණුවන් කලින්ම අල්ලා ගනිද්දී, දවල් වන තුරු නිදා ගන්නා කුරුල්ලන්ගේ අහිංසක පැටවුන්ට බඩගින්නේ ඉන්න වෙනවා. ඒ අයගේ පිහිටට ඉන්නේ ලෝක බැංකුවයි. ලෝක බැංකුව විසින් එන්නත් දැනටමත් ඇනවුම් කර නැති රටවල් වලට අවම එන්නත් ප්‍රමාණයක් ලබා දීම සඳහා සමාගම් තුනක් සමඟ ගිවිසුම් අත්සන් කර තිබෙනවා. එහෙත්, ඒ එන්නත් අතරින් එළැඹෙන 2021 වසර තුළ සාර්ථක ප්‍රතිඵල පෙන්වීමේ ශක්‍යතාවයක් තිබෙන්නේ ඇස්ට්‍රසෙනිකා එන්නතට පමණයි. 

ලෝක බැංකුව විසින් මිලියන 200ක් මිලදී ගන්න සූදානම්ව සිටින යූබීඅයි එන්නත තවමත් තිබෙන්නේ සතුන් යොදවා පරීක්ෂා කරන අදියරකයි. ලෝක බැංකුව විසින් තවත් මිලියන 200ක් මිලදී ගන්න සූදානම්ව සිටින සනෝෆි එන්නත මිනිසුන් තුළ ප්‍රතිශක්තිකරණය ඇති කිරීමට සමත්ව නැහැ. එම එන්නත වෙනුවෙන් වැය කළ ඩොලර් බිලියන 2.1ක ඇමරිකානු බදු මුදල්ද, යුරෝපීය සංගමය, එක්සත් රාජධානිය හා කැනඩාව විසින් වැය කළ මුදල්ද දැනට පෙනෙන විදිහටනම් වතුරේ. 

කොවැක්ස් වැඩසටහන යටතේ ලෝක බැංකුවට දැනට ලැබෙන බවට සහතිකයක් තිබෙන්නේ මිලියන 150කට ප්‍රමාණවත් ඇස්ට්‍රසෙනිකා එන්නත් මිලියන 300ක් පමණයි. මේ එන්නත් ලබා ගන්නට බලා සිටින රටවල ජනගහණය සැලකූ විට, ලෝක බැංකුවේ ඉලක්කය සෑම රටකම අවම වශයෙන් 20%ක්වත් එන්නත් කෙරෙනු ඇති බවට වගබලාගැනීම වුවත්, සැබැවින්ම යා හැක්කේ 2% මට්ටමට පමණයි. 


Wednesday, June 24, 2020

ලෝක බැංකුවෙන් තවත් කෝටි 1600ක ණයක්!


ලෝක බැංකුව විසින් කෝවිඩ්-19 හදිසි ප්‍රතිචාර හා සෞඛ්‍ය පද්ධති පෙරසූදානම් ව්‍යාපෘතිය යටතේ ලංකාවට තවත් ඇමරිකන් ඩොලර් මිලියන 87.24ක හෙවත් ආසන්න වශයෙන් රුපියල් කෝටි 1626.6ක ණය මුදලක් අනුමත කර තිබෙනවා. මේ ණය මුදල ලැබෙන්නේ මීට පෙර අප්‍රේල් 2 වනදා ශ්‍රී ලංකාව විසින් ලෝක බැංකුවෙන් ලබාගත් ඇමරිකන් ඩොලර් මිලියන 128.60ක ණය මුදලට අමතරවයි.

ශ්‍රී ලංකා රජය විසින් මේ අලුත් ණය ලබා ගෙන තිබෙන්නේ කෝවිඩ්-19 වැළඳීමේ වැඩි අවදානමක් ඇති පිරිස් වලට මුදල් සහනාධාර ලබා දීමට හා රටේ සෞඛ්‍ය පද්ධතිය වැඩි දියුණු කිරීම සඳහායි. කාන්තා හා ළමා කටයුතු හා සමාජ සංරක්ෂණ අමාත්‍යාංශය විසින් මෙම ව්‍යාපෘතියේ එක් කොටසක් ක්‍රියාත්මක කරනු ඇති අතර සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය ‍සේවා අමාත්‍යාංශය විසින් අනෙක් කොටස ක්‍රියාත්මක කරනවා.

ලෝක බැංකුවට ඉදිරිපත් කර තිබෙන ව්‍යාපෘති විස්තරය අනුව කාන්තා හා ළමා කටයුතු හා සමාජ සංරක්ෂණ අමාත්‍යාංශය විසින් මුදල් වැය කරන්නේ පහත කටයුතු සඳහායි.

-  කෝවිඩ්-19 අර්බුදය හමුවේ මෙතෙක් ආධාර මුදල් නොලැබී පොරොත්තු ලේඛනයේ සිටින ආධාර හිමි විය යුතු අඩු ආදායම්ලාභී නිවාස ඒකක වල ජීවත්වන අයදුම්කරුවන්ට හා අලුතින් අයදුම් කරන වයස්ගත පුද්ගලයින්, ආබාධිත පුද්ගලයින්, නිදන්ගත වකුගඩු රෝගය ඇතුළු නිදන්ගත රෝග ඇති පුද්ගලයින්ට සහනාධාර මුදල් ලබා දීම.

- ජ්‍යෙෂ්ඨ පුරවැසි සහනාධාර වැඩ සටහන යටතේ දැනටමත් ආධාර ලබන අයගේ ආධාර මුදල් තාවකාලිකව වැඩි කිරීම.

සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය ‍සේවා අමාත්‍යාංශය විසින් මුදල් වැය කිරීමට බලාපොරොත්තු වන දේ අතර පහත අයිතමයන් ඇතුළු තවත් දේවල් තිබෙනවා.

- කෝවිඩ්-19 සම්බන්ධීකරණ කටයුතු සඳහා ජාතික මට්ටමේ හදිසි මෙහෙයුම් මධස්ථානයක් ස්ථාපිත කිරීම.
- කෝවිඩ්-19 රෝගීන් හඳුනා ගැනීම, රෝග නිවාරණ උපදෙස් ලබා දීම හා සබඳතා හඹා යාම පිළිබඳව වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය සේවකයින් හා වින්නඹු මාතාවන් පුහුණු කිරීම.
- සනීපාරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීම හා සනීපාරක්ෂක කටයුතු ක්‍රියාත්මක කිරීම.
- ස්වයං-නිරෝධායනය වී සිටින පිරිස් ඇතුළු අනෙකුත් අයට සනීපාරක්ෂනය සඳහා අවශ්‍ය දේ සැපයීම
- නිරෝධායන පහසුකම් වැඩි කිරීම

මේ ණය මුදල ආපසු ගෙවිය යුත්තේ වසර 30ක කාලයකින් වන අතර පළමු වාරිකය ගෙවිය යුත්තේ වසර 5කට පසුවයි. ඒ නිසා, ණය ආපසු ගෙවීම අනාගත ආණ්ඩු වලට භාර කටයුත්තක්.

(Image: https://yukthiyanews.com/archives/830)

Monday, July 8, 2019

ලංකාව ඉහළ මැදි ආදායම් කාණ්ඩයට!

ලෝක බැංකුව විසින් ලංකාව ඉහළ මැදි ආදායම් රටක් සේ නම් කර තිබෙනවා. මෙතෙක් ලංකාව වර්ගීකරණය වී තිබුණේ පහළ මැදි ආදායම් රටක් ලෙසයි. ඉහළ මැදි ආදායම් රටක් සේ නම් කරනු ලැබීම සඳහා අවශ්‍ය වන අවම ඒක පුද්ගල දළ ජාතික ආදායම් මට්ටම වන ඇමරිකන් ඩොලර් 3,996 ඉක්මවමින් 2018 වසරේදී ඇමරිකන් ඩොලර් 4,060ක ඒක පුද්ගල දළ ජාතික ආදායම් මට්ටමක් කරා ළඟා වීමට හැකි වීම මත ලංකාවට මේ උසස් වීම ලැබී තිබෙනවා.

ලංකාව සමඟම කොසොවෝ රාජ්‍යය හා ජෝර්ජියාවත් ඉහළ මැදි ආදායම් තත්ත්වයට උසස්වීම් ලබද්දී ආජන්ටිනාවේ තත්ත්වය ඉහළ ආදායම් රටක සිට ඉහළ මැදි ආදායම් රටක් දක්වා පහත හෙළා තිබෙනවා. එමෙන්ම, අඩු ආදායම් රටවල්ව පැවති කොමරෝස්, සෙනගාලය හා සිම්බාබ්වේ යන රටවල් පහළ මැදි ආදායම් තත්ත්වයට උසස් වී තිබෙනවා.

ඒක පුද්ගල ජාතික ආදායම් මට්ටම අනුව ලෝක බැංකුව විසින් කාණ්ඩ හතරක් යටතේ රටවල් වර්ගීකරණය කරනවා. ඒ ඉහළ ආදායම්, ඉහළ මැදි ආදායම්, පහළ මැදි ආදායම් හා පහළ ආදායම් රටවල් ලෙසයි.

ඉහළ ආදායම් රටවල් සේ සැලකෙන්නේ ඒක පුද්ගල දළ ජාතික ආදායම් මට්ටම ඇමරිකන් ඩොලර් 12,376 ඉක්මවන රටවලුයි. මේ කාණ්ඩයේ රටවල් 80 අතර වැඩිපුරම දැකිය හැක්කේ බටහිර රටවල්, මැද පෙරදිග රටවල් හා ඇතැම් කුඩා දූපත් රාජ්‍යයනුයි. ආසියානු කලාපයේ ඉහළ ආදායම් රටවල් වන්නේ ජපානය, දකුණු කොරියාව, හොංකොං, සිංගප්පූරුව, තායිවානය හා බෘනායි යන රටවල් පමණයි. දකුණු ආසියානු රටවල් කිසිවක් මේ කාණ්ඩයට අයත් වන්නේ නැහැ.

පහළ ආදායම් රටවල් බොහොමයක්ම අප්‍රිකානු රටවල්. ඇමරිකන් ඩොලර් 1,025 නොඉක්මවන ඒක පුද්ගල දළ ජාතික ආදායම් මට්ටමක් ඇති මේ රටවල් අතර අප්‍රිකානු රටවලට අමතරව දකුණු ආසියානු රටවල් සේ සැලකෙන නේපාලය හා ඇෆ්ඝනිස්තානය මෙන්ම උතුරු කොරියාව, සිරියාව හා තජිකිස්ථානය වැනි රටවල්ද තිබෙනවා. මේ කාණ්ඩයට අයත් රටවල් ගණන 31ක්.

ලෝකයේ රටවල් 107ක්ම අයත් වන්නේ මැදි ආදායම් කාණ්ඩයකටයි. ඒ අතරින් රටවල් 47ක් පහළ මැදි ආදායම් රටවල් වන අතර ඉතිරි රටවල් 60 ඉහළ මැදි ආදායම් කාණ්ඩයට අයත් වෙනවා. දකුණු ආසියානු රටවල් අතරින් මුලින්ම ඉහළ මැදි ආදායම් කාණ්ඩයට ඇතුළු වූයේ මාල දිවයිනයි. ලංකාව මේ කාණ්ඩයට ප්‍රවේශ වන දෙවන දකුණු ආසියානු රටයි. රුසියාව, චීනය, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව, තායිලන්තය, මැලේසියාව, ඉරානය, ඉරාකය වැනි රටවල් අයත් වන්නේත් මේ කාණ්ඩයටයි. එහෙත් ඉන්දියාව, පකිස්ථානය, බංග්ලා දේශය, මියන්මාරය, පිලිපීනය, වියට්නාමය, ඉන්දුනීසියාව වැනි බොහෝ ආසියාතික රටවල් තවමත් සැලකෙන්නේ පහළ මැදි ආදායම් රටවල් ලෙසයි.

ලෝක බැංකුවේ මේ වර්ගීකරණය පදනම් වන්නේ ඒක පුද්ගල දළ ජාතික ආදායම් මට්ටම මතයි. මීට සමාන්තර තවත් නිර්ණායකයක් වන ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයට වඩා මෙය සුළුවෙන් වෙනස් වෙනවා. දළ දේශීය නිෂ්පාදිතය ලෙස ඇස්තමේන්තු කරන්නේ රටේ සිදු වූ සමස්ත භාණ්ඩ හා සේවා නිෂ්පාදිතයේ වටිනාකමයි. දළ ජාතික ආදායම ගණනය කිරීමේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් විදේශිකයින් විසින් රට තුළ නිපදවූ කොටස අඩු කර ශ්‍රී ලාංකිකයින් විසින් රටින් පිටතදී නිපදවූ භාණ්ඩ හා සේවා වල අගය එකතු කරනවා. එවිට, දළ ජාතික ආදායම දළ දේශීය නිෂ්පාදිතයට වඩා අඩු හෝ වැඩි විය හැකියි. ලංකාව හා අදාළවනම් දළ ජාතික ආදායම දළ දේශීය නිෂ්පාදිතයට වඩා අඩුයි.

මහා බැංකු වාර්තාවේ ඇති පරිදි ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය හා ඒක පුද්ගල දළ ජාතික ආදායම පසුගිය වසර කිහිපයේදී වෙනස් වී තිබෙන ආකාරය පහත වගුවේ පෙන්වා තිබෙනවා. මහ බැංකු ඇස්තමේන්තු අනුවනම් ලංකාව ඉහළ මැදි ආදායම් රටක් විය යුතුව තිබුණේ වසරකට පෙරයි. ඒ වගේම ඒ සංඛ්‍යාලේඛණ අනුව බැලුවොත් රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් මේ අවුරුද්දේ නැවත ආපසු කලින් තැනටම වැටෙනවා.


නමුත්, ලෝක බැංකුව විසින් මහ බැංකුවේ සංඛ්‍යාලේඛණ ඒ විදිහටම ගන්නේ නැහැ. මහ බැංකුවට විණිමය අනුපාතිකය මත බලපෑම් කිරීමට තිබෙන හැකියාව සලකමින් ලෝක බැංකුව විසින් රුපියල් ඩොලර් කිරීමේදී පවතින විණිමය අනුපාතිකය යොදාගනු වෙනුවට නිශ්චිත ක්‍රමවේදයක් (ඇට්ලස් ක්‍රමවේදය) අනුව මේ සංඛ්‍යා සීරුමාරු කරනවා. ඒ නිසා, ලෝක බැංකුව විසින් සලකා බලන ඒක පුද්ගල දළ ජාතික ආදායම් ඇස්තමේන්තු (ඇමරිකන් ඩොලර් වලින්) මහ බැංකුවේ ඇස්තමේන්තු වලට වඩා අඩු හෝ වැඩි විය හැකියි.

මේ විදිහට ඒක පුද්ගල දළ ජාතික ආදායම් ඇස්තමේන්තු සීරුමාරු කරගැනීමෙන් පසුව ලෝක බැංකුව විසින් ආදායම් මට්ටම අනුව රටවල් වර්ගීකරණය කිරීම පිණිස යොදාගන්නා ආදායම් පරාසද උද්ධමනය වැනි සාධක මත වසරින් වසර වෙනස් වෙනවා. ඉහළ මැදි ආදායම් රටක් සේ සැලකීමට අවශ්‍ය අවම ආදායම් මට්ටම පසුගිය වසර කිහිපය තුළදී යම් තරමකින් පහත වැටී තිබෙනු දැකිය හැකියි. ලංකාවට ඉහළ මැදි ආදායම් තත්ත්වය කරා ඉක්මනින් ළඟා වීමට මේ සාධකයද යම් පමණකින් හේතු වුනා.

පැමිණි ආකාරය කොහොම වුනත්, දැන් ලංකාව ඉහළ මැදි ආදායම් රටක්.

වෙබ් ලිපිනය: