මේ වෙද්දී ලංකාවේ නිල උද්ධමනය 8.0% දක්වා ඉහළ ගිහින් තියෙනවා. එයින් අදහස් වෙන්නේ 2025 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2026 සැප්තැම්බර් මාසය වන විට කොළඹ පාරිභෝගික මිල දර්ශකය සකස් කිරීම සඳහා යොදා ගන්නා භාණ්ඩ හා සේවා පැසේ සමස්ත මිල 8.0%කින් ඉහළ ගිහින් කියන එකයි.
උද්ධමනය හා මුදල් සැපයුම අතර සම්බන්ධයක් තියෙනවා කියන එක මේ වෙද්දී ගොඩක් අය දන්නවා. නමුත් මේ සම්බන්ධයේ ස්වභාවය ගැන විවිධ අය දන්නේ විවිධ මට්ටම් වලිනුයි. කොහොම වුනත් යම් මූලික දැනුමක් තිබෙන සැලකිය යුතු පිරිසක් ඉන්නවා.
මූලික න්‍යාය අනුව, ඉතාම සරලව, මුදල් සැපයුම වැඩි වෙද්දී භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම ඉහළ යනවා. ඉල්ලුම ඉහළ යද්දී, ඒ හා සමානව සැපයුම ඉහළ නොගියහොත්, මිල වැඩි වෙනවා. මුදල් සැපයුමේ විශාල වැඩිවීම් සිදු විය හැකි වුවත් සැපයුමේ එවැනි විශාල වැඩි වීම් සාමාන්‍යයෙන් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා මුදල් සැපයුම සැලකිය යුතු ලෙස ඉහළ යන හැම විටකම මෙන් උද්ධමනය ඉහළ යනවා.
කෙනෙකුට ඔය මූලික න්‍යාය තේරුම් ගන්න හෝ කටපාඩම් කරගන්න අමාරු නැහැ. නමුත් එහි කියැවෙන මුදල් සැපයුම හා උද්ධමනය කියන්නේ සංකල්ප දෙකක් පමණයි. ප්‍රායෝගිකව මේ සංකල්ප සැබෑ ලෝකයේදී දැකිය හැකි වන්නේ එම සංකල්ප මත පදනම් වූ මිනුම් ලෙසයි. පෙර කී කොළඹ පාරිභෝගික මිල දර්ශකය සකස් කිරීම සඳහා යොදා ගන්නා භාණ්ඩ හා සේවා පැසේ සමස්ත මිල ඉහළ යාම උද්ධමනය සේ සැලකීම උදාහරණයක්. නමුත් මෙය උද්ධමනය මනින එකම මිනුම නෙමෙයි.
මුදල් සැපයුම කියද්දී කෙනෙකුට මුලින්ම මතක් වෙන්නේ මුදල් නෝට්ටු හා කාසි. ලංකාවේ මුදල් නෝට්ටු හා කාසි නිකුත් කිරීමේ ඒකාධිකාරය තිබෙන්නේ මහ බැංකුව සතුවයි. ඒ නිසා, මුදල් සැපයුම කියා කියන්නේ මුදල් නෝට්ටු හා කාසි ලෙස සැලකුවහොත්, මහ බැංකුවට ඒ මුදල් සැපයුම පහසුවෙන්ම පාලනය කරන්න පුළුවන්. ඒ මගින් උද්ධමනය පාලනය කළ හැකිනම්, උද්ධමනය පාලනය කිරීම මහ බැංකුවට අසීරු කාර්යයක් වෙන්න බැහැ.
නමුත් උද්ධමනය කෙරෙහි බලපාන මුදල් සැපයුම කියා කියන්නේ මුදල් නෝට්ටු හා කාසි පමණක් නෙමෙයි. මේ වෙද්දී ඩෙබිට් කාඩ්, ක්‍රෙඩිට් කාඩ්, පෙරගෙවුම් කාර්ඩ්, අන්තර්ජාල ගෙවීම් ආදී විවිධ ආකාර වලින් ලංකාවේ මිනිස්සු මිල දී ගැනීම් කරනවා. ඒ මිල දී ගැනීම් වලට මුදල් නෝට්ටු හා කාසි සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් මේ මිල දී ගැනීම් වලදීත් සිදු වෙන්නේ රටේ භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම ඉහළ යාමයි.
පෙරගෙවුම් කාර්ඩ් සඳහා කලින්ම මුදල් ගෙවිය යුතුයි. ක්‍රෙඩිට් කාඩ් සඳහා මුදල් ගෙවන්නේ පසුවයි. කලින් ගෙවුවත්, පසුව ගෙවුවත්, බොහෝ විට බැංකු ගිණුමක තිබෙන ශේෂයෙන් මේ ගෙවීම් කරනවා. ඩෙබිට් කාඩ් වලින් හෝ අන්තර්ජාලය හරහා ගෙවීම් කරද්දී හැම විටම ඒ සල්ලි යන්නේ බැංකු ගිණුමකින්. චෙක්පත් වලින් ගෙවීම් කරද්දී වුනත් එහෙමයි. ඒ කියන්නේ සංසරණයේ තිබෙන මුදල් නෝට්ටු හා කාසි ප්‍රමාණය භාණ්ඩ හා සේවා ඉල්ලුම කෙරෙහි බලපෑමක් කරනවානම්, බැංකු ගිණුම් වල තිබෙන සල්ලිත් ඒ වගේම බලපෑමක් කරනවා.
මුදල් සැපයුම මනින, පුළුල් මුදල් සැපයුම කියන මිනුමට සංසරණයේ තිබෙන මුදල් නෝට්ටු හා කාසි ප්‍රමාණය වගේම බැංකු ගිණුම් වල තිබෙන ශේෂයන්ද ඇතුළත්. මේ දෙවර්ගයම සල්ලි නිසා, භාණ්ඩ හා සේවා මිල දී ගන්න ඔය කොටස් දෙකම භාවිතා කරන්න පුළුවන්. ඒ නිසාම, භාණ්ඩ හා සේවා ඉල්ලුමට වගේම උද්ධමනයටත් ඔය කොටස් දෙකම බලපානවා.
පසුගිය 2025 වසර අවසානයට ගියොත්, ලංකාවේ පුළුල් මුදල් සැපයුම රුපියල් බිලියන 15,975.0ක්. නමුත් එයින් සංසරණයේ තිබෙන කාසි හා නෝට්ටු ප්‍රමාණය රුපියල් බිලියන 1,248.5%ක් හෙවත් 7.8%ක් පමණයි. ඉතිරි 92.2%ම බැංකු ගිණුම් වල තිබෙන සල්ලි.
කාසි හා නෝට්ටු නිකුත් කරන්නේ මහ බැංකුව කියලා අපි දන්නවනේ. ඒ නිසා, ඒ කොටස මහ බැංකුවට සෘජුවම පාලනය කරන්න පුළුවන් කියන එකත් පැහැදිලියිනේ. නමුත් ඉතිරි ලොකු කොටස මහ බැංකුවට ඒ විදිහට සෘජුව පාලනය කරන්න පුළුවන්ද?
ඔය බැංකු වල තියෙන්නේ මිනිස්සුන්ගේම සල්ලිනේ. 2025 අවසානයේදී මේ ප්‍රමාණය රුපියල් බිලියන 14,726.5ක්. ඒ කියන්නේ මීට සමාන කාසි හා නෝට්ටු ප්‍රමාණයක් බැංකු වල තියාගෙන ඉන්නවද? ඔන්න එහෙම තියාගෙන ඉන්නවානම්, මේ කොටසත් අවසාන වශයෙන් මහ බැංකුවට සෘජුවම පාලනය කරන්න පුළුවන්. නමුත් ඇත්තටම බැංකු වල තියාගෙන ඉන්න කාසි හා නෝට්ටු ප්‍රමාණය ඔය තැන්පතු ශේෂ එක්ක බලද්දී සොච්චමක්. 2025 අවසානයේදීනම් රුපියල් බිලියන 320.4ක් පමණයි. ඒ කියන්නේ සංසරණයේ තිබෙන කාසි හා නෝට්ටු ප්‍රමාණයට බැංකු වල තිබෙන කාසි හා නෝට්ටු ප්‍රමාණය එකතු කළත් එකතුව රුපියල් බිලියන 1,568.9ක් පමණයි. ඒ කියන්නේ පුළුල් මුදල් සැපයුමෙන් 9.8%ක් පමණයි.
බැංකු වල තිබෙන කාසි හා නෝට්ටු ප්‍රමාණයද ඇතුළුව මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණයේම වටිනාකම රුපියල් 1,568.9ක් පමණක්නම්, රුපියල් බිලියන 14,726.5ක බැංකු තැන්පතු හැදුණේ කොහොමද? එයින් මහ බැංකුව විසින් නිකුත් කර ඇති කාසි හා නෝට්ටු ප්‍රමාණය රුපියල් බිලියන 320.4ක් පමණයි. එහෙමනම්, බැංකු වල තැන්පත් කිරීම සඳහා තවත් අමතර රුපියල් බිලියන 14,406ක මුදල් මිනිසුන්ගේ අතට ආවේ කොහෙන්ද?
මේ දැවැන්ත මුදල් ප්‍රමාණය මහ බැංකුව විසින් මුද්‍රණය කර හෝ වාත්තු කර භෞතික ස්වරූපයකින් එළියට දමපු මුදල් නෙමෙයි. වාණිජ බැංකු විසින් ණය දීමේ ක්‍රියාවලිය හරහා මවනු ලැබූ භෞතික ස්වරූපයක් නොමැති මුදල්!
මේ වගේ දෙයක් වෙන්නේ කොහොමද?
කෙනෙකු බැංකුවකින් ණයක් ඉල්ලා එම ණය අනුමත වුනා කියා හිතමු. දැන් මේ මුදල ඒ බැංකුව විසින් අදාළ පුද්ගලයාට කාසි හා නෝට්ටු ලෙස ලබා දිය යුතු නැහැ. කළ යුතු එකම දේ පරිගණකය හරහා අදාළ පුද්ගලයාගේ ගිණුම් ශේෂය ඉහළ දමන එක පමණයි!
ණය ලබා ගත්තේ මා විසින්නම් දැන් මගේ ගිණුමේ සල්ලි තිබෙනවා. මට ඒ සල්ලි වලින් ගෙවීම් කර භාණ්ඩ හා සේවා මිල දී ගන්න පුළුවන්. එසේ මිල දී ගැනීම් කරද්දී මගේ ගිණුමේ ශේෂය අඩු වෙනවා. භාණ්ඩ හා සේවා විකුණන පුද්ගලයාගේ ගිණුමේ ශේෂය ඉහළ යනවා. එසේ වෙනත් පුද්ගලයෙකුගේ ගිණුම් ශේෂය ඉහළ යද්දී ඒ පුද්ගලයාටත් තමන්ගේ ගිණුමේ තිබෙන ශේෂයෙන් භාණ්ඩ හා සේවා මිල දී ගන්න පුළුවන්. මේ වැඩේ වෙන්න මහ බැංකුවක් අවශ්‍ය නැහැ. මුදල් නෝට්ටු හා කාසි අවශ්‍ය වෙන්නේත් නැහැ. නමුත් බැංකු විසින් ණය සැපයුම වැඩි කරද්දී රටේ භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම ඉහළ යනවා. එය උද්ධමනයට හේතු වෙනවා.
රටේ උද්ධමනය කෙරෙහි බලපාන පුළුල් මුදල් සැපයුම ඇතුළේ මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබූ මුදල් නෝට්ටු හා කාසි ප්‍රමාණය 10%කටත් වඩා අඩුයි. ඉතිරි 90% වාණිජ බැංකු විසින් ණය දීමේ ක්‍රියාවලිය හරහා මවනු ලැබූ මුදල්. ඒ නිසා, උද්ධමනය පාලනය කිරීම සඳහා මහ බැංකුවට යම් ආකාරයකින් බැංකු වල ණය දීමේ ක්‍රියාවලිය පාලනය කිරීමට සිදු වෙනවා.
නූතන මහ බැංකුවක් විසින් බැංකු වල ණය දීමේ ක්‍රියාවලිය පාලනය කරන ප්‍රධානම ක්‍රමය පොලී අනුපාතික පාලනය කිරීමයි. මේ මගින් ණය දීමේ ක්‍රියාවලිය පාලනය කර වක්‍ර ලෙස පුළුල් මුදල් සැපයුම පාලනය කළ හැකියි.
පොලී අනුපාතික ඉහළ යද්දී ණය ලබා ගැනීම සඳහා වන ඉල්ලුම අඩු වෙනවා. පොලී අනුපාතික පහළ යද්දී එම ඉල්ලුම වැඩි වෙනවා. වාණිජ බැංකු විසින් ණය මැවීම හරහා මුදල් සැපයුම ප්‍රසාරණය කරන්නේ රටේ ණය ඉල්ලුම මත පදනම්ව නිසා පොලී අනුපාතික පාලනය කිරීම මගින් වාණිජ බැංකු වල ණය මැවීමේ ක්‍රියාවලිය පාලනය කළ හැකියි.
මහ බැංකුව පොලී අනුපාතික පාලනය කරන්නේ කොහොමද?
මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය කියන එක ගැන ගොඩක් අය අහලා ඇති. වරින් වර මහ බැංකුව විසින් මේ පොලී අනුපාතිකය අඩු වැඩි කරනවා. එහිදී වෙන්නේ කුමක්ද?
වාණිජ බැංකු විසින් ඔවුනොවුන් අතර දෛනික පදනම මත මුදල් ගනුදෙනු සිදු කරනවා. මේ ගනුදෙනු සිදුවන වෙළඳපොළ එක් දින මුදල් වෙළඳපොළ ලෙස හඳුන්වන්න පුළුවන්. මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නිර්ණය කිරීමෙන් අනතුරුව මේ එක් දින මුදල් වෙළඳපොළ පොලී අනුපාතය එම ප්‍රතිපත්ති පොලී අනුපාතිකයට ආසන්නව තබා ගැනීම සඳහා අඛණ්ඩව මෙහෙයුම් කටයුතු සිදු කරනවා. මෙය ඩොලරයක මිල ස්ථාවරව තබා ගැනීම පිණිස මහ බැංකුව විසින් කරන මෙහෙයුම් කටයුතු වලට සමාන කරන්න පුළුවන්.
එක් දින මුදල් වෙළඳපොළ පොලී අනුපාතය මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකයට වඩා වැඩිනම්, මහ බැංකුව විසින් ඊට වඩා අඩු පොලියකට ණය ලබා දෙනවා. එසේ කරන්නේ භාණ්ඩාගාර බිල්පත් ඇපයට තියාගෙන. මෙහිදී මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ඉහළ යනවා. ලබා දෙන ණය ප්‍රමාණයට සමානව රටේ මුදල් සැපයුමද ඉහළ යනවා.
එක් දින මුදල් වෙළඳපොළ පොලී අනුපාතය මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකයට වඩා අඩුනම්, මහ බැංකුව විසින් ඊට වඩා වැඩි පොලියකට තැන්පතු ලබා ගන්නවා. එම තැන්පතු වෙනුවෙන් ඇපකර ලෙස මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් අදාළ බැංකුවට ලබා දෙනවා. මෙහිදී මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය පහළ යනවා. ඊට සමානව රටේ මුදල් සැපයුමද පහළ යනවා.
ඉහත ක්‍රම දෙකමගින් මහ බැංකුවට එක් දින මුදල් වෙළඳපොළ පොලී අනුපාතය මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකයට ආසන්නව සමාන මට්ටමක පවත්වා ගන්න පුළුවන්. එසේ කරද්දී මුදල් සැපයුමද අඩු වැඩි වෙනවා. නමුත් මේ මගින් රටේ මුදල් සැපයුමට ඇති වන සමස්ත බලපෑම මහ බැංකුවේ සෘජු මැදිහත්වීම නිසා ඇති වන බලපෑමට වඩා ගොඩක් වැඩියි.
එක් දින මුදල් වෙළඳපොළ පොලී අනුපාතය අඩු වැඩි වෙද්දී ඒ මත පදනම්ව වාණිජ බැංකු විසින් තමන්ගේ දිගුකාලීන තැන්පතු හා පොලී අනුපාතිකද අඩු වැඩි කරනවා. එසේ පොලී අනුපාතික වැඩි වෙද්දී, රටේ ණය ඉල්ලුම අඩු වෙනවා. තැන්පතු ඉහළ යනවා. රටේ මුදල් සැපයුම අඩු වෙනවා. එසේ නැත්නම් අවම වශයෙන් මුදල් සැපයුම වැඩි වන වේගය අඩු වෙනවා.
අනෙක් අතට, පොලී අනුපාතික අඩු වෙද්දී, රටේ ණය ඉල්ලුම ඉහළ යනවා. තැන්පතු පහළ යනවා. රටේ මුදල් සැපයුම වැඩි වෙනවා.
රටේ මුදල් සැපයුම වැඩි වෙද්දී භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම ඉහළ ගොස් මිල ගණන් ඉහළ යනවා. මුදල් සැපයුම උද්ධමනය කෙරෙහි බලපාන්නේ ඔය විදිහටයි. ඒ නිසා, පොලී අනුපාතික ඉහළ යාමට සලස්වා මුදල් සැපයුම පාලනය කිරීම මගින් මහ බැංකුවට උද්ධමනය පාලනය කළ හැකියි. නමුත් මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික වෙනස් කළ පමණින් දවසකින් දෙකකින් ඔය වැඩේ වෙන්නේ නැහැ. දැනෙන බලපෑමක් වෙන්න මාස ගණනාවක්, බොහෝ විට වසරකට වඩා වැඩි කාලයක් ගත වෙනවා.
රටේ පොලී අනුපාතික මත බලපෑමක් කළ හැක්කේ මහ බැංකුවට පමණක් නෙමෙයි. රජයේ අයවැය හිඟය පොලී අනුපාතික කෙරෙහි සෘජු හා විශාල බලපෑමක් සිදු කරනවා. අයවැය හිඟය ඉහළ යන තරමට රජයේ ණය ඉල්ලුම ඉහළ යනවා. ඊට අනුපාතිකව ණය සැපයුම ඉහළ ගියේ නැත්නම් පොලී අනුපාතික ඉහළ යනවා. ඒ මගින් පෞද්ගලික අංශයේ ණය ඉල්ලුම සීමා කෙරෙනවා. මෙය ඕනෑවට වඩා දුර ගියහොත් රටේ ආර්ථික වර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපානවා.
රජයේ අයවැය හිඟය ඉහළ මට්ටමක පවතිද්දී, පෞද්ගලික අංශයේ ණය ඉල්ලුමද අවශ්‍ය පමණ මට්ටමක තියා ගන්නනම්, මුදල් සැපයුම සැලකිය යුතු ලෙස ප්‍රසාරණය වීමට ඉඩ හරින්න වෙනවා. එය ඒ මොහොතේ ප්‍රශ්නයක් නොවුනත්, පසුව හෝ උද්ධමනය ලෙස මතු වෙනවා. එවිට මහ බැංකුවට උද්ධමනය පාලනය කිරීම සඳහා පොලී අනුපාතික ඉහළ දමන්නට සිදු වෙනවා. පොලී අනුපාතික ඉහළ යද්දී පෞද්ගලික අංශයේ ණය ඉල්ලුම පාලනය වී මුදල් සැපයුම සීමා වෙනවා.
නමුත් පෞද්ගලික අංශය මෙන් රජය පොලී අනුපාතික වලට සංවේදී නැහැ. රජයේ ණය ඉල්ලුම තීරණය වන්නේ අයවැය හිඟය මතයි. එය බොහෝ විට දේශපාලනික ලෙස තීරණය වන දෙයක්. ඒ නිසා, පෞද්ගලික අංශයේ ණය ඉල්ලුම සීමා වෙද්දී වුවද රජයේ ණය ඉල්ලුම හේතුවෙන් මුදල් සැපයුම දිගින් දිගටම ප්‍රසාරණය වෙන්න පුළුවන්. පොලී අනුපාතික අවශ්‍ය පමණ ඉහළින් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ස්වාධීනත්වය මහ බැංකුව සතු නොවේනම්, මේ තත්ත්වය වඩාත් දරුණු වෙන්න පුළුවන්.
රජයට හෝ පෞද්ගලික අංශයට ලබා දෙන ණය කියා කියන්නේ බැංකු වල වත්කම්. මේ කොටස් දෙකම පොදුවේ බැංකු වල දේශීය වත්කම් ලෙස හැඳින්වෙනවා. ලංකාවේ බැංකු වල දේශීය වත්කම් ප්‍රමාණය සාමාන්‍යයෙන් පුළුල් මුදල් සැපයුමටත් වඩා වැඩියි. පුළුල් මුදල් සැපයුම ලෙස අර්ථ දක්වන්නේ බැංකු සතු ගනුදෙනුකරුවන්ගේ තැන්පතු මුදල් ප්‍රමාණය සහ මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබ සංසරණයේ තිබෙන මුදල් වල එකතුවටයි. ගනුදෙනුකරුවන්ගේ තැන්පතු වලට අමතරව බැංකු විසින් ඔවුන්ගේ කොටස්හිමියන්ගේ ප්‍රාග්ධනය සහ කාලයක් තිස්සේ එකතු කරගත් ලාබද වත්කම් ගොඩ නගා ගැනීම වෙනුවෙන් යෙදවීම ඊට හේතුවයි.
උදාහරණයක් ලෙස, 2025 වර්ෂය අවසන් වෙද්දී පුළුල් මුදල් සැපයුම රුපියල් බිලියන 15,975ක් වුවත්. බැංකු සතු වූ දේශීය වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 19,017ක්. එයින් රුපියල් බිලියන 8,285ක් බැංකු විසින් මධ්‍යම රජයට ලබා දී තිබුණු ණය. තවත් රුපියල් බිලියන 520ක් රාජ්‍ය සංස්ථා වලට ලබා දී තිබුණු ණය. ඉතිරි රුපියල් බිලියන 10,212 පෞද්ගලික අංශයට ලබා දී තිබුණු ණය.
පසුගිය ජූලි මාසය අවසන් වන විට පුළුල් මුදල් සැපයුම රුපියල් බිලියන 17,044ක්. බැංකු සතු වූ දේශීය වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 19,771ක්. එයින් රුපියල් බිලියන 7,884ක් මධ්‍යම රජයට ලබා දී තිබුණු ණය. ඉතිරි රුපියල් බිලියන 11,937 රාජ්‍ය සංස්ථා වලට ලබා දී තිබුණු ණයද ඇතුළු අනෙකුත් දේශීය ණය.
මේ සමඟ පළ කරන රූප සටහනෙහි පෙන්වා දී තිබෙන්නේ පසුගිය දශකයකට වැඩි කාලය තුළ පුළුල් මුදල් සැපයුම කෙරෙහි දේශීය ණය වල ප්‍රධාන සංරචක දෙකෙන් සිදු වූ බලපෑම. මෙහි පැහැදිලි ලෙස හඳුනාගත හැකි අදියර කිහිපයක් තිබෙනවා.
2015 ජනවාරි සිට 2019 දෙසැම්බර් දක්වා කාලය: මෙම කාලයේදී බැංකු පද්ධතියෙන් ලබාගත් මධ්‍යම රජයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 1,238කින් වැඩි වූ අතර, අනෙකුත් දේශීය ණය රුපියල් බිලියන 3,367කින් වැඩි වුනා. රාජ්‍යමූල්‍ය කළමනාකරණය සාපේක්ෂව හොඳ මට්ටමක පැවති මෙම කාලයේදී මුදල් සැපයුම ප්‍රසාරණය වීමට බොහෝ දුරට දායක වූයේ පෞද්ගලික අංශයයි. පෞද්ගලික අංශයට රාජ්‍ය අංශය විශාල බරක් වූයේ නැහැ. උද්ධමනය ප්‍රශ්නකාරී මට්ටමකට යන තරමට සමස්ත ණය ඉල්ලුම වර්ධනය වූයේද නැහැ.
2019 දෙසැම්බර් සිට 2022 මැයි දක්වා කාලය: මෙම කාලයේදී බැංකු පද්ධතියෙන් ලබාගත් මධ්‍යම රජයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 3,727කින් වැඩි වූ අතර, අනෙකුත් දේශීය ණයද රුපියල් බිලියන 2,890කින් වැඩි වුනා. රාජ්‍යමූල්‍ය කළමනාකරණය ඉතාමත්ම අයහපත් මට්ටමක පැවති මෙම කාලයේදී මුදල් සැපයුම ප්‍රසාරණය වීමට බොහෝ දුරට දායක වූයේ රාජ්‍ය අංශයයි. රාජ්‍ය අංශයේ ණය ඉල්ලුමට අනුරූපව මුදල් සැපයුමද ප්‍රසාරණය වූ බැවින් පෞද්ගලික අංශයට රාජ්‍ය අංශය විශාල බරක් වූයේ නැහැ. එහෙත්, මේ අයුරින් රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේද ණය ඉල්ලුම ඉහළ යාම නිසා මුදල් සැපයුම විශාල ලෙස ප්‍රසාරණය වී උද්ධමනය වාර්තාගත මට්ටමක් දක්වා වැඩි වුනා.
2022 මැයි සිට 2023 ජූලි දක්වා කාලය: මෙම කාලයේදී බැංකු පද්ධතියෙන් ලබාගත් මධ්‍යම රජයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 2,027කින් වැඩි වූ නමුත් අනෙකුත් දේශීය ණය රුපියල් බිලියන 1,315කින් අඩු වුනා. මීට හේතුව වූයේ පැවති අධික උද්ධමනය පාලනය කිරීම සඳහා පොලී අනුපාතික ඉතා ඉහළ මට්ටමක පවත්වා ගැනීමට සිදු වීමයි. අපේක්ෂිත පරිදිම උද්ධමනය පාලනය වුනා.
පෙර විස්තර කළ පරිදි, පොලී අනුපාතික වලට ප්‍රතිචාර දක්වන්නේ පෞද්ගලික අංශයයි. රාජ්‍ය අංශයේ ණය ඉල්ලුම අඩු කර ගැනීම සඳහා දේශපාලනික මැදිහත්වීමක් අවශ්‍ය වෙනවා. එම මැදිහත්වීම මෙම කාලයේදී සිදු වුවද, අවශ්‍ය ප්‍රතිඵල ලබා ගැනීම සඳහා වසරකට වඩා වැඩි කාලයක් ගත වුනා. එම අතරමැදි කාලයේදී අධික පොලී අනුපාතික හේතුවෙන් රාජ්‍ය අංශයේ ණය තව දුරටත් ඉහළ ගියා. එහෙත්, බදු වැඩි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය ආදායම් ඉහළ ගොස් ප්‍රාථමික අයවැය ගිණුම ශක්තිමත් වීමෙන් පසුව, රාජ්‍ය අංශයෙන් මුදල් සැපයුම මත සිදු වූ බලපෑම මුළුමනින්ම නැවතුනා.
2023 ජූලි සිට 2025 ජූලි දක්වා කාලය: මෙම කාලයේදී බැංකු පද්ධතියෙන් ලබාගත් මධ්‍යම රජයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 715කින් අඩු වී ඇති අතර අනෙකුත් දේශීය ණය රුපියල් බිලියන 3,747කින් ඉහළ ගොස් තිබෙනවා. ආර්ථික අර්බුදයෙන් පසුව සිදු කළ රාජ්‍යමූල්‍ය ප්‍රතිසංස්කරණ හේතුවෙන් මේ වන විට මුදල් සැපයුම ප්‍රසාරණය කිරීම සඳහා මධ්‍යම රජය දායක වන්නේ නැහැ. ඒ නිසා, උද්ධමනය පාලනය කර ගනිමින්, පෞද්ගලික අංශයේ ණය වර්ධනය සැලකිය යුතු මට්ටමක පවත්වා ගැනීමට හැකි තත්ත්වයක් ඇති වී තිබෙනවා. දැන් ඉතිරි වී තිබෙන ප්‍රශ්නය අවශ්‍ය පමණ හා හැකි පමණ ආර්ථිකය වර්ධනය කර ගැනීම පිණිස පෞද්ගලික අංශයේ ණය වර්ධනය මේ මට්ටමේම පවත්වා ගත යුතුද යන්නයි.
පසුගිය දශක ගණනාවක් පුරාම ලංකාවේ සාපේක්ෂව ඉහළ උද්ධමනය සඳහා දායක වූයේ රාජ්‍ය අංශයයි. එහෙත් මේ වන විට එම තත්ත්වය මුළුමනින්ම කණපිට හැරී තිබෙනවා. රටේ මුදල් සැපයුම භාණ්ඩ හා සේවා සැපයුම හා අනුරූපව ඉහළ යාම උද්ධමනයට හේතුවක් වන්නේ නැහැ. 2%ක උද්ධමනයක් ඉලක්ක කරනවා යන්නෙන් අදහස් වන්නේ යම් හෙයකින් ආර්ථික වර්ධන වේගය අපේක්ෂිත මට්ටමට වඩා 2%කින් ඉහළ ගියද ඒ සඳහා ප්‍රමාණවත් තරමින් මුදල් සැපයුම වර්ධනය වීමට ඉඩ හැර ඇති බවයි.
ලංකාව වැනි සංවර්ධනය වන රටක ආර්ථිකය කිසියම් වසරකදී අපේක්ෂිත අගය ඉක්මවා අමතර 2%කින් වර්ධනය විය හැකියි. එහෙත් මේ වෙනස 5%ක් තරම් ඉහළ අගයක් වීමේ ඉඩක් නැහැ. ඒ නිසාම, 5%ක උද්ධමන ඉලක්කයක් ලංකාවට අනිවාර්යයෙන්ම අවශ්‍ය වන්නේ නැහැ. ඊට වඩා අඩු 3%ක පමණ ඉලක්කයක් මේ සඳහා ප්‍රමාණවත්.
අඩු උද්ධමන ඉලක්කයක් පවත්වා ගැනීම සඳහා ආර්ථික අර්බුදයට පෙර පැවති බාධාව වූයේ ඒ සඳහා අවශ්‍ය සහයෝගය රාජ්‍ය අංශයෙන් නොලැබීමයි. එහෙත් මේ වන විට එම තත්ත්වය වෙනස් වී තිබෙනවා. දැනට පවතින තත්ත්වයන් තුළ 5%ක් වැනි උද්ධමන ඉලක්කයක වාසිය ප්‍රධාන වශයෙන්ම ලැබෙන්නේ අතරමැදි මූල්‍ය සේවා සපයන්නන්ටයි.
ආර්ථික අර්බුදයෙන් පසුව, පෞද්ගලික අංශයේ ණය වර්ධනයෙහි පැවති සාමාන්‍ය ප්රවණතාවට බාධා සිදු කෙරුණා. ඒ මත පදනම්ව, පසුගිය තෙවසරක කාලය තුල සිදු වූ ඉහළ ණය වර්ධනය සාධාරණීකරණය කළ හැකියි. එහෙත් මේ වන විට එසේ සිදු වූ අවාසියද ඉක්මවමින් ණය ප්‍රමාණය වර්ධනය වී තිබෙනවා.
මෙම තත්ත්වය තුළ 5% උද්ධමන ඉලක්කය ඉදිරි තෙවසරක කාලය තුළද එලෙසම පවත්වා ගැනීමේ උපාය මාර්ගික අරමුණ තේරුම් ගැනීමට අපහසු නැහැ. මේ මගින් මුදල් සැපයුමේ ප්‍රසාරණය වීමේ වාසිය බදු ලෙස රජයට එකතු කර ගත හැකියි.