මේ අවුරුද්දේ චීනය චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවස ලොකුවටම සමරන්න ලෑස්ති වෙනවා. ගෝඨාභය රාජපක්ෂත් චීන නායකයාට දුරකථනයෙන් කතා කරලා සුබ පතලා තිබුණා. චීන නායකයා කියන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකයා. චීන කොමියුනිස්ට් පක්ෂය කියා කියන්නේ අද වන විට මිලියන 91ක සාමාජික පිරිසක් ඉන්න දැවැන්ත පක්ෂයක්. හැබැයි ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයින් ගණන එමෙන් දෙගුණයක්.
චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටවනු ලැබූ 1921 වසරේ සිට වසර පණහකට පෙර 1871දී දින 72ක් පැවතුණු පැරිස් කොමියුනය පිහිටවුනු ලැබුවා. රුසියන් විප්ලවයට උත්තේජනය සැපයුවේ පැරිස් කොමියුනය ලෙස සැලකෙනවා. චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටවනු ලැබුවේ රුසියන් විප්ලවයෙන් පසුව සෝවියට් දේශය පාලනය කළ සෝවියට් කොමියුනිස්ට් පක්ෂය අනුව යමින්. පසුව චීන කොමියුනිස්ට් පක්ෂය විසින් චීනයේ බලය අල්ලා ගත්තා.
චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටවනු ලැබූ 1921 වසරේ සිට වසර පණහකට පසු 1971දී ජනතා විමුක්ති පෙරමුණ විසින් ලංකාවේ රාජ්‍ය බලය බලහත්කාරයෙන් ලබා ගෙන සමාජවාදී රාජ්‍යයක් පිහිටුවන්න අසාර්ථක උත්සාහයක් දැරුවා. ඉතා කෙටි කාලයකින් ජවිපෙ උත්සාහය පරාජය කෙරුණා. ඒ වෙද්දී ලෝක සමාජවාදී කඳවුර සෝවියට් කඳවුර හා චීන කඳවුර ලෙස දෙකට බෙදී සිටියා. ජනතා විමුක්ති පෙරමුණ සිටියේ චීනය පැත්තට බරවයි.
මේ වන විට පැරිස් කොමියුනය බිඳ වැටිලා වසර 150ක්. චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවලා වසර 100ක්. ජවිපෙ පළමු කැරැල්ලට වසර 50ක්. සෝවියට් දේශය බිඳ වැටිලා වසර 30ක්. සෝවියට් සමාජවාදය බිඳ වැටුණත් චීන සමාජවාදය තවමත් ඉතිරි වී තිබෙනවා. චීනය හැරුණු විට සමාජවාදය ඉතිරිව තිබෙන්නේ චීනයට යාබදව පිහිටි තවත් රටවල් තුන හතරක හා කියුබාව වැනි වෙනත් රටවල් කිහිපයක පමණයි.
සමාජවාදය කියන වචනයට විවිධ අය විවිධ අර්ථකථන දෙනවා. මනෝරාජික සමාජවාදය ගැන මා විස්තර කර තිබෙනවා. මනෝරාජික සමාජවාදීන් ප්‍රායෝගිකව සාර්ථක වුනේ නැහැ. එහෙත් මනෝරාජික සමාජවාදය විවේචනය කරමින් ඉදිරිපත් කෙරුණු විද්‍යාත්මක සමාජවාදය හා ඒ මත පදනම් වූ මාක්ස්-ලෙනින්වාදය ලෝකයේ විශාල ප්‍රදේශයක් පුරා පැතිරුණා. චීනය තුළ මාක්ස්-ලෙනින්වාදය මත පදනම් වූ විද්‍යාත්මක සමාජවාදය හෝ එහි නෂ්ඨාවශේෂ තවමත් ජීවමානව පවතිනවා.
විද්‍යාත්මක සමාජවාදය අනුව අනාගතයේ දවසක කොමියුනිස්ට් සමාජයනම් වූ කේතුමතී රජදහනක් ඇති වෙනවා. එය කොහොමටත් සිදු වන දෙයක්. සමාජවාදය කියා කියන්නේ ඊට පෙර ඇති වන ධනවාදයට වඩා දියුණු, එහෙත් කොමියුනිස්ට් සමාජයක් නොවූ අතරමැදි තත්ත්වයක්. මේ තත්ත්වය මොන වගේ එකක්ද කියන එක හොඳින්ම පැහැදිලි කර තිබෙන්නේ සමාජවාදී සාහිත්‍යයේ ප්‍රධානම ලියැවිල්ලක් වන කොමියුනිස්ට් ප්රකාශනයේ. කොමියුනිස්ට් ප්රකාශනයේ මේ තත්ත්වය විස්තර කර තිබෙන්නේ කොමියුනිස්ට් සමාජයක මුල් අදියර ලෙසයි. ධනවාදයට විකල්පයක් ලෙස ඉදිරිපත් වූ සමාජවාදී සමාජයක් මොන වගේ එකක්ද කියා සෘජුව හා පැහැදිලිව කොමියුනිස්ට් ප්රකාශනයේ විස්තර කර තිබෙනවා.
සමාජවාදය කරා යාමේ පළමු පියවර වන්නේ වැඩ කරන ජනතාව විසින් විප්ලවයකින් රාජ්‍ය බලය පැහැර ගැනීම.
"...the first step in the revolution by the working class, is to raise the proletariat to the position of ruling class..."
දෙවන පියවර වන්නේ එසේ ලබාගත් දේශපාලන අධිකාරී බලය ප්‍රයෝජනයට ගනිමින් රටේ සමස්ත ප්රාග්ධනය අයිතිකරුවන් වෙතින් පැහැරගෙන නිෂ්පාදන ක්‍රමවේද රජයේ මධ්‍යගත පාලනයකට යටත් කිරීම.
"The proletariat will use its political supremacy, to wrest, by degrees, all capital from the bourgeoisie, to centralise all instruments of production in the hands of the State."
ඉන් පසුව, කොමියුනිස්ට් සමාජයක මුල් අදියර වන සමාජවාදී සමාජයක් ක්‍රියාත්මක වන ප්‍රධාන මූලධර්ම දහයක් කොමියුනිස්ට් ප්රකාශනය විස්තර කරනවා.
1. පෞද්ගලික ඉඩම් අයිතිය අහෝසි කර ඉඩම් වෙනුවෙන් ලැබිය යුතු බදු කුලී සියල්ල රජය විසින් ලබා ගැනීම.
2. ඉහළ ආදායම් ලබන්නන් මත වැඩි බරක් පැටවෙන පරිදි ආදායම් බදු අය කිරීම.
3. උරුමයෙන් දේපොළ අයිති වීම සම්පූර්ණයෙන් අහෝසි කිරීම.
4. රට හැර යන්නන්ගේ හා කැරලිකරුවන්ගේ සියලු දේපොළ රාජසන්තක කිරීම.
5. ණය ලබා දීමේ ක්රියාවළිය රජය යටතේ පාලනය වන එක් බැංකුවක ඒකාධිකාරයට මුළුමනින්ම නතු කිරීම.
6. සියලුම ජනමාධ්‍ය හා ප්‍රවාහනය රජයේ තනි පාලනයට යටත් කිරීම.
7. රජයේ අයිතිය යටතේ කම්හල් ඇතුළු නිෂ්පාදන උපකරණ ව්‍යාප්ත කරන අතර පොදු සැලසුමක් යටතේ මුඩු බිම් වගා කිරීම හා පස සරු කිරීම.
8. සියලු දෙනාටම වැඩ කිරීම අනිවාර්ය කරමින් කාර්මික හමුදා හා වගා හමුදා ගොඩ නැගීම.
9. කෘෂිකර්මය හා කර්මාන්ත එකිනෙක සම්බන්ධ කරමින් ගම් සහ නගර අතර වෙනස අවම වන පරිදි ජනගහණය ව්‍යාප්ත කිරීම.
10. සියළු ළමුන්ට රජයේ පාසැල් වල මුදල් අය නොකර අධ්‍යාපනය ලබා දීම. එවකට පැවති ආකාරයෙන් ළමා ශ්‍රමය ලබා ගැනීම නවත්වා අධ්‍යාපනය හා කාර්මික නිෂ්පාදනය එකිනෙක සමඟ සම්බන්ධ කිරීම.
මාක්ස් හා එංගල්ස් විසින් කොමියුනිස්ට් ප්රකාශනය එළිදැක්වුවේ ලංකාවට නිදහස ලැබෙන්න සියවසකට පෙර 1848 වසරේදී. එහි සඳහන් ඉහත කරුණු දහයේ ලැයිස්තුව පදනම් වුනේ ඊට වසරකට පෙර එංගල්ස් විසින් කොමියුනිස්වාදයේ මූලධර්ම ලෙස ඉදිරිපත් කළ ලියැවිල්ලේ වූ කරුණු දොළහ මතයි. මේ කරුණු දොළහේ ලැයිස්තුව ඉහත කරුණු දහයට බොහෝ දුරට සමානයි.
සමාජවාදය කියා කියන්නේ ඔය ටික මිසක් වෙන කෙහෙම්මලක් නෙමෙයි. විශාල පිරිසක් මරණයට පත් කළ මාඕ සේතුන්ගේ මහා ඉදිරි පිම්ම හා ස්ටාලින් යටතේ රුසියාව කියා කියන්නේ ඔය ලැයිස්තුවේ අයිතමයන් හොඳින්ම ක්‍රියාත්මක කළ කාලවල්. සමගි පෙරමුණු ආණ්ඩුව සමාජවාදය කියලා ක්‍රියාත්මක කළේත් ඔය ලැයිස්තුවේ තිබුණු දේවල්. මාක්ස්-ලෙනින්වාදය යටතේ සමාජවාදය කියා කියන්නේ ඔය දේවල් එකින් එක හැකි පමණින් ක්‍රියාත්මක කරන එක.
එංගල්ස් විසින් පුරෝකථනය කළේ කාර්මික සංවර්ධනය අතින් වැඩියෙන්ම ඉදිරියෙන් හිටපු බ්‍රිතාන්‍යය, ජර්මනිය, ප්‍රංශය හා ඇමරිකාව යන රටවල් වල මුලින්ම සමාජවාදී විප්ලවය වෙයි කියලා. නමුත් මේ රටවල් හතරෙන් එකකවත් තවම ඔය කියන විදිහේ සමාජවාදී විප්ලවයක් වෙලා නැහැ. වෙන පාටක් පෙනෙන්නත් නැහැ. විප්ලවය වුනේ පැත්තක තිබුණු රුසියාවේ. ඊට පස්සේ චීනයේ. අනෙක් ගොඩක් රටවල් එක්කෝ රුසියාව විසින් ඈඳා ගත්තා. නැත්නම් පැත්තක ඉඳලා කැරැල්ලක් මෙහෙයවූවා. චීන සමාජවාදය හැදෙන තුරුම බොහෝ දුරට සමාජවාදය කරා යාම වුනේ රුසියාවට රටවල් එකතු වෙන එක.
චීනය සමාජවාදී වුනාට පස්සේ සමාජවාදී ලෝකය දෙකට බෙදුනා. චීනය සෝවියට් දේශයේ පරිවාර රාජ්‍යයක් වුනේ නැහැ. චීනය වගේ ලොකු ජනගහණයක් සිටින රටක් තවත් රටක පරිවාර රාජ්‍යයක් කර ගන්න අමාරුයි. බ්‍රිතාන්‍යය විසින් පාලනය කළ ඉන්දියාව දැන් තනි රටක් වුනත් එය මුලදී චීනය වගේ තනි රටක්ව පැවතුනේ නැහැ.
සෝවියට් සමාජවාදය බිඳ වැටුණත් චීන සමාජවාදය තවමත් ඉතිරිව තිබෙනවා. එය බිඳ වැටෙන බවක් පෙනෙන්නත් නැහැ. යම් හෙයකින් එංගල්ස් විසින් පුරෝකථනය කළ බටහිර රටවල් හතරේ සමාජවාදී විප්ලවයක් එකවර සිදු වුනානම් බොහෝ විට මේ වෙද්දී ලෝකයම සමාජවාදී වෙලා. සමාජවාදය ධනවාදයට වඩා අකාර්යක්ෂම හා පසුගාමී ක්‍රමයක් වුවත් එයට ස්ථායී ලෙස පැවතිය හැකියි.
සමාජවාදයක් පවත්වා ගෙන යන්න ලැයිස්තුවේ හයවන හා දහවන කරුණු ඉතාම වැදගත්. සියලුම මාධ්‍ය පාලනය කරන්නේ රජය විසින් කියා කියන්නේ මිනිස්සුන්ට දැන ගන්න ලැබෙන්නේ රජය කියන දේවල් විතරයි. සියලුම ළමුන්ට රජයේ පාසැල් හරහා අනිවාර්ය අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණ පොඩි කාලේ ඉඳලම ඔලු හදන එකයි. මේ දෙක පමණක් කිරීමෙන් වුවත් ක්‍රමය ස්ථායී ලෙස පවත්වා ගෙන යන්න පුළුවන්. අඩුපාඩු තේරෙන්නේ වඩා සාර්ථක විකල්පයක් පෙනෙන්න තිබුනොත් පමණයි. යම් හෙයකින් ඉඳහිට කෙනෙක්ට ක්රමයේ අවුල පෙනුනත් ප්රාග්ධනය වගේම ප්රාග්ධනය ඉපැයීමේ මාර්ගත් තියෙන්නේ රජය යටතේ නිසා නිදහස් වෙන්න මාර්ගයක් නැහැ.
සෝවියට් දේශය බිඳ වැටුණේ සමාජවාදී ලෝකයෙන් පිටත ධනවාදී ලෝකයේ සාර්ථකත්වය දිගෙන් දිගටම වහගෙන ඉන්න බැරි වූ නිසා. අන්තිම කාලයේදී ප්‍රතිසංස්කරණ ගෙනාවත් එතකොට පරක්කු වැඩියි. හැබැයි සෝවියට් දේශය වැටුණු වලේ චීනය වැටුණේ නැහැ. චීනය විසින් උපක්රමික ලෙස ලෝකයේ බලවත්ම ආර්ථිකය බවට පත් වන තුරු යම් තරමකින් සමාජවාදය අත ඇරියා. දැන් චීනය සමාජවාදය ආරක්ෂා කරගත හැකි තරමට "ලොකු වෙලා".