වෙබ් ලිපිනය:

Showing posts with label ප්‍රාථමික අයවැය ශේෂය. Show all posts
Showing posts with label ප්‍රාථමික අයවැය ශේෂය. Show all posts

Monday, March 30, 2026

රාජ්‍යමූල්‍ය අංශයේ ප්‍රවණතා සහ අනාගතය


පසුගිය සටහනෙන් පැහැදිලි කළේ රාජ්‍ය අයවැයෙහි ප්‍රාථමික අතිරික්තය ඉහළ යද්දී රජයේ ණය බර ක්‍රමක්‍රමයෙන් අඩු වී යන ආකාරයයි. 

- ප්‍රාථමික අයවැය අතිරික්තය පසුගිය (2025) වසර තුළ පැවති දදේනියෙන් 5.4% මට්ටමේ දිගටම තියාගෙන ගියහොත්, 2040 වර්ෂය වන විට රජයේ ණය සම්පූර්ණයෙන්ම ගෙවී අවසන් වෙනවා. 

- එසේ නැතිව, දැනට සැලසුම් වල සඳහන්ව තිබෙන, දදේනියෙන් 2.4% මට්ටමේ දිගටම තියාගෙන ගියහොත්, 2055 වර්ෂය වන විට රජයේ ණය සම්පූර්ණයෙන්ම ගෙවී අවසන් වෙනවා.

- යම් හෙයකින්, ප්‍රාථමික අයවැය අතිරික්තය දදේනියෙන් 0.4% මට්ටම දක්වා අඩු වුවහොත්, ණය ගෙවී අවසන් වන්නේ 2126 වර්ෂයේදීයි!

රාජ්‍ය ණය ප්‍රමාණය වෙනස් වන ආකාරය කෙරෙහි ප්‍රාථමික අයවැය අතිරික්තය බලපාන ආකාරය මේ අනුව පැහැදිලියිනේ. මේ කෙරෙහි ආර්ථික වර්ධනය වැනි අනෙකුත් සාධක වල බලපෑමක් තිබුණත්, ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ ප්‍රාථමික අයවැය අතිරික්තයයි.

එහෙමනම්, දැන් ප්‍රශ්නය වන්නේ පසුගිය වර්ෂයේ වාර්තා වූ 5.4% අනුපාතය දිගටම පවත්වා ගත හැකි අනුපාතයක්ද කියන එකයි. විශේෂයෙන්ම මේ වන විට පවතින අභියෝගාත්මක සාර්ව ආර්ථික වාතාවරණය හමුවේ මේ වගේ ඉහළ මට්ටමක අතිරික්තයක් නඩත්තු කරන්න පුළුවන්ද? කෙටි පිළිතුර බැරිකමක් නැහැ කියන එකයි.

මෙහිදී අපට මේ 5.4% මට්ටම කරා ආ ගමන් මග දෙස ආපසු හැරී බලන්න වෙනවා. මෙම සංඛ්‍යාලේඛනය ඇතුළේ, පැහැදිලි ලෙසම, පසුගිය (2025) වර්ෂයේ මනා රාජ්‍යමූල්‍ය කළමනාකරණයේ බලපෑම තිබෙනවා. නමුත් එපමණකින්ම මෙවැනි මට්ටමකට යන්න බැහැ. එක් වර්ෂයක් තුළ ඔය වගේ වැඩක් කළ හැකිනම්, ණය ගෙවා අවසන් කරන්න දශක ගණනක් බලා ඉන්න අවශ්‍ය වන්නේ නැහැනේ. 

පසුගිය වර්ෂයේ ප්‍රාථමික අයවැය අතිරික්තය දදේනියෙන් 5.4% දක්වා වැඩි කර ගත හැකි වූයේ ඊට පෙර වසරේදී දදේනියෙන් 2.2%ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් පැවති නිසා. ඒ කියන්නේ 2024 වර්ෂයේ මනා රාජ්‍යමූල්‍ය කළමනාකරණයේ බලපෑම නිසා. ඒ වගේම, 2024 වර්ෂයේදී දදේනියෙන් 2.2% මට්ටමට යා හැකි වූයේ, 2021 වර්ෂයේදී දදේනියෙන් 5.7%ක හිඟයක්ව පැවති ප්‍රාථමික අයවැය ශේෂය 2023 වන විට දදේනියෙන් 0.6%ක අතිරික්තයක් බවට හරවාගෙන තිබුණු නිසා.

රජයේ ප්‍රාථමික අයවැය ශේෂය (දදේනි ප්‍රතිශත ලෙස)

2021: (-5.7%)

2022: (-3.7%)

2023: +0.6

2024: +2.2

2025: +5.4

අයවැයෙහි ජංගම ගිණුමේ වසර 38කට පසුව අතිරික්තයක් වාර්තා වූයේද, ඔය විදිහටම, වසර කිහිපයක් එක දිගටම මනා රාජ්‍යමූල්‍ය කළමනාකරණයක් පැවති නිසා. සාර්ව ආර්ථික කළමනාකරණයෙන් ප්‍රතිඵල ලබා ගැනීම සහාය දීවීමක් වගේ දෙයක් මිසක් මීටර සියය දුවනවා වගේ වැඩක් නෙමෙයි. කලින් දුවපු අය පරතරයක් තියාගෙන ඉදිරියෙන්ම සිට ඇත්නම්, වැඩි දක්ෂතාවයක් නැති ක්‍රීඩකයෙකුට වුවත් ඒ පරතරය තියාගෙන දුවන්න  පුළුවන්. ඒ වගේම දක්ෂ ක්‍රීඩකයෙකුට පරතරය තවත් වැඩි කරගන්න පුළුවන්. එහෙත් ක්‍රීඩකයෙකුට දුවන්න පටන් ගන්න වෙන්නේම අවසාන ස්ථානයේ සිටනම්, කොයි තරම් වේගයෙන් දිවුවත්, උපරිම වශයෙන් කරන්න පුළුවන් වෙන්නේ ඉදිරියෙන්ම ඉන්න තරඟකරු එක්ක තිබෙන පරතරය අඩු කර ගන්න එක පමණක් වෙන්න පුළුවන්. තරඟය දිනන එක පහසු නැහැ. 

පසුගිය වසර පහ දිහා හැරී බැලුවොත්, සෑම වසරකදීම, ප්‍රාථමික අයවැය ශේෂය හා අදාළව, පෙර වසරේ මට්ටම පවත්වා ගන්නවාට අමතරව තරමක් හෝ ඉදිරියට ගිහින් තිබෙනවා. 

2022දී: +2.0%කින් 

2023දී: +4.3%කින් 

2024දී: +1.8%කින් 

2025දී: +3.2%කින් 

ඔය රටාව අනුව බැලුවොත්, 2026දී ප්‍රාථමික අතිරික්තය තවත් වැඩි කර ගැනීමේ හැකියාවක් පෙනෙන්න තිබෙනවා. ඒ නිසා, පවතින අහිතකර බාහිර සාධක හමුවේ දුවන වේගය තවත් වැඩි කරගන්න අමාරු විය හැකි වුවත්, අඩු වශයෙන් වේගය එලෙසම පවත්වා ගනිමින් දැනට තිබෙන පරතරය පවත්වා ගන්න එක අමාරු නැහැ.

මීට පෙරද මේ විදිහටම ආරම්භයක් ගත් අවස්ථා තිබුණා. 2017 වර්ෂයේදී සුළු ප්‍රාථමික අයවැය අතිරික්තයක් හදාගෙන, 2018දී එය දදේනියෙන් 0.6% දක්වා වැඩි කරගනු ලැබුවා. නමුත් ඊට පස්සේ හුළඟක් හමලා ඔය අතිරික්තය වාෂ්ප වී හිඳී ගියා. ඔය විදිහට ප්‍රාථමික අතිරික්තය හින්ද හුළඟින් පසුව, අතිරික්තය හිඟයක් වී ටිකෙන් ටික හිඟය ඉහළ ගියා. වැඩේ කෙළවර වුනේ ශ්‍රී ලංකා රජය ණය පැහැර හරින තැනටම ගිහින්.

රජයේ ප්‍රාථමික අයවැය ශේෂය (දදේනි ප්‍රතිශත ලෙස)

2017: +0.0%

2018: +0.6%

2019: (-3.4)

2020: (-4.4)

2021: (-5.7)

ආර්ථික අර්බුදයෙන් පසුව මේ තත්ත්වය ආපසු හැරවිය හැකි වූයේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග තුනක උදවුවෙන්.

- බදු කප්පාදුව ආපසු හැරවීම

- ආර්ථිකය නැවත ප්‍රසාරණය වෙද්දී බදු පදනම පුළුල් වීමට ඉඩ හැරීම මගින් බදු ආදායම් වැඩි කර ගැනීම 

- වියදම් ඉහළ යාම පාලනය කර ගැනීම

මේ තුනෙන් දෙවන හා තෙවන ක්‍රියාමාර්ග වල උදවුවෙන් ප්‍රාථමික අයවැය අතිරික්තය වැඩි අපහසුවක් නොමැතිව තව දුරටත් වැඩි කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. 

Tuesday, October 28, 2025

පළමු මාස නවය අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය


මේ වන විට මෙම (2025) වසරේ සැප්තැම්බර් මාසය දක්වා මාස නවයක කාලය හා අදාළ රාජ්‍යමූල්‍ය ගිණුම් පිළිබඳ සංඛ්‍යාලේඛණ ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම සංඛ්‍යාලේඛණ අනුව, වසර අවසන් වන විට සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ රාජ්‍යමූල්‍ය ගිණුම් වල දශක ගණනාවකින් දැකිය නොහැකි වූ යහපත් තත්ත්වයක් දැක ගත හැකි වීමේ විභවයක් පෙන්නුම් කරනවා. 

රාජ්‍ය ආදායම් හා අනෙකුත් ලැබීම්  

පළමු මාස නවයේ රාජ්‍ය ආදායම් හා අනෙකුත් ලැබීම් රුපියල් බිලියන 3,835ක් ලෙස වාර්තා වන අතර මෙය පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව 31.0%ක වර්ධනයක්. බදු ආදායම පෙර වසරට සාපේක්ෂව 32.5%කින්ද, බදු නොවන ආදායම් 14.9%කින්ද ඉහළ ගොස් තිබෙනවා. වර්ෂාවසාන බදු ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 4,590ක මුදලින් 77.6%ක්ම (රුපියල් බිලියන 3,563ක්) දැනටමත් එකතු වී අවසන්. මේ අනුව, මෙම වසරේ බදු ආදායම ඉලක්කය ඉක්මවා යන බව පැහැදිලියි. සමස්ත ආදායම් හා ලැබීම් සැලකුවද, ඉලක්කය වන රුපියල් බිලියන 4,990ක මුදලින් 76.9%ක් දැනටමත් එකතු වී තිබෙනවා. බදු ආදායම් මෙපමණ ඉහළ යාමට හේතුව වාහන ආනයන ඇස්තමේන්තු ඉක්මවා ඉහළ යාමයි. 

රාජ්‍ය වියදම් 

රජයේ ලැබීම් ඉහත සඳහන් පරිදි විශාල ලෙස ඉහළ ගොස් තිබුණද, රාජ්‍ය වියදම් ඉහළ ගොස් තිබෙන්නේ පෙර වසරට සාපේක්ෂව 9.7%කින් පමණයි. පුනරාවර්තන වියදම් 11.2%කින් ඉහළ ගොස් ඇති අතර, ප්‍රාග්ධන වියදම් 1.7%කින් පහළ ගොස් තිබෙනවා. හරියටම කියන්නට කල් වැඩි වුනත්, මෙම වසර තුළ නාමික දදේනිය වර්ධනය වීමට ඉඩ තිබෙන්නේ 10%කට ආසන්න වේගයකින්. එබැවින්, දදේනි අනුපාතයක් ලෙස පුනරාවර්තන වියදම තරමක් ඉහළ යාමේ විභවය බැහැර කළ නොහැකියි. එසේ වුවද, ප්‍රාග්ධන වියදම් විශාල ලෙස සීමා වී තිබීමේ ප්‍රතිඵලයක් ලෙස, සමස්ත රාජ්‍ය වියදම දදේනි අනුපාතයක් ලෙස පෙර වසරේ පැවති මට්ටම ආසන්නයේම පැවතිය හැකියි. කෙසේ වුවද, අවසන් මාස තුනක කාලය තුළ රාජ්‍ය වියදම් සිදු වන ආකාරය අනුව, මෙම තත්ත්වය කවර අතකට වුවද වෙනස් විය හැකියි.

මෙහිදී අවධානය යොමු කළ යුතු වැදගත් කරුණක් වන්නේ පළමු මාස නවයේ පුනරාවර්තන වියදම වන රුපියල් 3,821ක මුදලින් 50.0%ක් හෙවත් රුපියල් බිලියන 1,907ක්ම පොලී වියදම් බවයි. සමස්ත රාජ්‍ය වියදම සැලකුවද, පොලී වියදම එයින් 44.6%ක් තරම් විශාල කොටසක්. 

පළමු මාස නවයේ පොලී වියදම් පෙර වසරට සාපේක්ෂව 8.6%කින් ඉහළ ගොස් තිබෙනවා. රජයට මෙම වියදම අඩු කරගත හැක්කේ පොලී අනුපාතික තවදුරටත් පහත වැටේනම් පමණයි. එහෙත්, එය රජයේ පාලනයෙන් තොර, වෙළඳපොළ සාධක මත නිර්ණය වන්නක්. වෙළඳපොළෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම මගින් පොලී අනුපාතික පහත හෙළීමේ හැකියාවක් මහ බැංකුව සතුව ඇතත්, එවැන්නක් කිරීම මහ බැංකුවේ විදේශ සංචිත ගොඩ නගා ගැනීමේ අභිප්‍රායට බාධාවක් බැවින් සිදු වීමේ හැකියාවක් නැහැ. මෙම පසුබිම තුළ, දේශීය වෙළඳපොළෙන් ඩොලර් ණය ලබා ගැනීමට රජය විසින් තීරණය කර තිබීම හොඳ අත්හදා බැලීමක් විය හැකියි. 

සමස්ත අයවැය හිඟය 

වියදම් වැඩි වන වේගයට වඩා සැලකිය යුතු වේගයකින් ආදායම් ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස සමස්ත අයවැය හිඟය රුපියල් බිලියන 441කට සීමා වී තිබෙනවා. පෙර වසරේ පළමු මාස නවයක කාලය තුළ රුපියල් බිලියන 970ක අයවැය හිඟයක් වාර්තා වුනා.

ප්‍රාථමික අයවැය අතිරික්තය 

ප්‍රාථමික අයවැය ශේෂය යනු පොලී වියදම් හැර අයවැය ශේෂයයි. ආර්ථික ස්ථායීකරණ වැඩ පිළිවෙළෙහි ප්‍රධානම ඉලක්කය වන්නේ ප්‍රාථමික අයවැය අතිරික්තය අවශ්‍ය අවම මට්ටමට (එනම් දදේනියෙන් 2.3%කට) ඉහළින් පවත්වා ගැනීමයි. පළමු මාස නවයක කාලය අවසන් වන විට ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 1,465ක් ලෙස වාර්තා වෙනවා. මෙම අතිරික්තය අයවැයෙන් ඉලක්ක කර තිබුණු රුපියල් බිලියන 750ක අතිරික්තය මෙන් දෙගුණයකට ආසන්න මුදලක්. මේ අනුව, දදේනියෙන් 4% ඉක්මවන හා 5%කට ආසන්න විය හැකි ප්‍රාථමික අතිරික්තයක් වාර්තා වීමේ විභවයක් පෙන්නුම් කරනවා. මෙවැනි තත්ත්වයක් වසර කිහිපයක් පැවතුනහොත්, වැඩි කල් නොයා සමස්ත අයවැය තුලනය කර ගැනීම සිහිනයක් නෙමෙයි. 

ජංගම ගිණුමේ අතිරික්තය 

පළමු මාස නවයක කාලය තුල රාජ්‍ය අයවැය ගිණුමේ ජංගම ගිණුම් ශේෂය තුලනය වී තිබීම ඉතාම සුවිශේෂී තත්ත්වයක්. මෙම ගිණුම රටේ විදේශ අංශය හා අදාළව කතා කරද්දී අවධානයට යොමු කෙරෙන ජංගම ගිණුම හා පටලවා නොගත යුතු අතර, මෙයින් අදහස් වන්නේ පොලී වියදම්ද ඇතුළු සියලු පුනරාවර්තන වියදම් සලකා බලන අතර ප්‍රාග්ධන වියදම් නොසලකා හරිමින් ගණනය කරන අයවැය ශේෂයයි. එනම් සමස්ත රාජ්‍ය ආදායම (ප්‍රදාන හැර) සහ සමස්ත පුනරාවර්තන වියදම අතර වෙනසයි. වර්ෂාවසාන තත්ත්වය පිළිබඳව අනාවැකි කීමට කල් වැඩි වුනත්, පළමු මාස නවයක කාලය අවසන් වන විට ඉහත ගිණුමෙහි රුපියල් බිලියන 6ක සුළු අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. සංඛ්‍යාලේඛණ පරීක්ෂා කර තහවුරු කර ගැනීමට ඉඩක් නොලැබුණත්, මෑත ඉතිහාසයේ මෙවැනි අතිරික්තයක් වාර්තා වූ අවස්ථාවක් මගේ මතකයට එන්නේ නැහැ.

රටේ ආර්ථික ස්ථායීතාවය පවත්වා ගැනීම සඳහා ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගැනීම ඉතා වැදගත් වන අතර, එයින් ඔබ්බට ගොස් ජංගම ගිණුමේ අතිරික්තයක්ද පවත්වා ගත හැකිනම් එමගින් දිගුකාලීන ආර්ථික වර්ධනය හා අදාළව සැලකිය යුතු දායකත්වයක් ලැබෙනවා. පෙර ලිපි කිහිපයක විස්තර කර ඇති පරිදි, ජාතික ඉතිරි කිරීම් අනුපාතය රටක දිගුකාලීන ආර්ථික වර්ධන වේගය කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයක්. එම අනුපාතය ඉහළ යන තරමට දදේනියට සාපේක්ෂව රටේ ප්‍රාග්ධන සංචිතය ඉහළ යනවා. මෙතෙක් කල් ජාතික ඉතිරි කිරීම් අනුපාතයට රාජ්‍ය අංශයෙන් ලැබී තිබුනේ සෘණ දායකත්වයක්  බැවින් රටේ ජාතික ඉතිරි කිරීම් අනුපාතය පැවතුනේ පෞද්ගලික අංශයේ ඉතිරි කිරීම අනුපාතයට වඩා පහළින්. 

ජාතික ඉතිරි කිරීම් අනුපාතය අඩු මට්ටමක පැවතීම රටක ආයෝජන අනුපාතය සීමා කර ආර්ථික වර්ධන වේගයද සීමා කරනවා. පසුගිය කාලය මුළුල්ලේම ලංකාව මේ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා කළේ විදේශ ණය ලබා ගැනීම මගින් ජාතික ඉතිරි කිරීම් අනුපාතයට වඩා ඉහළින් ආයෝජන අනුපාතය පවත්වා ගැනීමයි. රටේ විදේශ අංශය තුළ ජංගම ගිණුම් හිඟයක් නඩත්තු වීමද මෙහි අනිවාර්ය ප්‍රතිඵලයක්. රට අර්බුදයකට ගෙන ගියේ මෙම ක්‍රමයයි.

Friday, August 8, 2025

රුපියල් ට්‍රිලියනයේ සංචිතය කුමක්ද?

ජනාධිපති අනුර කුමාර දිසානායක රුපියල් ට්‍රිලියනයක සංචිතයක් ගැන කිවුවනේ. මේ සංචිතය කුමක්ද?

සංචිතය කියා කියද්දී ගොඩක් අයට එකවර මතක් වෙන්නේ රටේ නිල විදේශ සංචිතයනේ. නමුත් මේ කියන්නේ විදේශ සංචිතය ගැන නෙමෙයි. විදේශ සංචිතය රුපියල් වලින් ගණන් හැදුවොත් ට්‍රිලියන 1.8කටත් වඩා වැඩියි. 

සංචිතයක් කියන එකෙන් අදහස් වෙන්නේ කිසියම් ආපදාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා එකතු කර තබා ගන්නා දෙයක් කියන එක. එවැන්නක් තෙල් සංචිතයක් හෝ හාල් සංචිතයක් වැනි භාණ්ඩ සංචිතයක් වෙන්න පුළුවන්. එසේ නැත්නම් අරමුදල් සංචිතයක් වෙන්න පුළුවන්. 

අරමුදල් සංචිතයක් රුපියල් වලින් හෝ විදේශ මුදල් වලින් තියා ගන්න පුළුවන්. රටේ නිල විදේශ සංචිතය විදේශ මුදල් වලින් තබා ගන්නා සංචිතයක්. නිල විදේශ සංචිතයට අමතරව වාණිජ බැංකු සහ වෙනත් ආයතන හා පුද්ගලයින් සතුවත් විදේශ මුදල් වලින් සංචිත තිබෙනවා. රුපියල් සංචිතනම් රටේ බොහොමයක් ආයතන හා පුද්ගලයින් සතුව තිබෙනවා. සරලව කිවුවොත් ඔබේ බැංකු ගිණුමේ ශේෂය ඔබ විසින් පවත්වාගෙන යන රුපියල් සංචිතයක්. 

ආපදාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා අරමුදල් සංචිතයක් පවත්වා ගැනීම ඕනෑම පුද්ගලයෙක් හෝ ආයතනයක් විසින් කළ යුතු දෙයක්. තමන්ගේ ආදායමෙන් හතරෙන් එකක් ආපතික සංචිතයක් ලෙස පවත්වා ගත යුතු බව සිඟාලෝවාද සූත්‍රයේ පවා කියලා තියෙන දෙයක්නේ.

"චතුත්ථං ච නිධාපෙය්‍ය - ආපදාසු භවිස්සති"

නමුත් පසුගිය දශක ගණනාවක් පුරාම ශ්‍රී ලංකා රජය සතුව ඔය විදිහේ ආපතික සංචිත අරමුදලක් තිබුණේ නැහැ. ඒ නිසාම, අපිට මේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයක් වී තිබුණත්, ඇත්තටම මේ තත්ත්වය ඉතාම අසාමාන්‍ය තත්ත්වයක්. සාමාන්‍යයෙන් ඕනෑම රජයක් හදිසියකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා ආපතික සංචිතයක් නඩත්තු කරනවා. ණය නැති රටක් සේ සැලකිය හැකි සිංගප්පූරුව වැනි රටක් සැලකුවත්, ලෝකයට හා රටට විශාල ලෙස ණය ඇමරිකාව වැනි රටක් සැලකුවත්, එම රටවල් සතුව විශාල ආපතික සංචිත තිබෙනවා.

නිදහස ලැබෙන තුරු වගේම නිදහස ලැබී යම් කාලයක් යන තුරුත් ශ්‍රී ලංකා රජය සතුව මෙවැනි ආපතික සංචිත තිබුණා. නමුත් කල් යද්දී ඒ ආපතික සංචිත නඩත්තු කිරීම නැවතිලා හදිසියකට පවා මහ බැංකුවෙන් ණය ගන්නා තත්ත්වයකට ශ්‍රී ලංකා රජය පත් වුනා. මහින්ද සිරිවර්ධන - රනිල් වික්‍රමසිංහ කාලයේ ඔය තත්ත්වය නැවත වෙනස් කරන තුරු ශ්‍රී ලංකා රජය සතුව ආපතික සංචිතයක් කියා එකක් තිබුණේම නැහැ.

රජයක් ණය ගන්න සාමාන්‍යම ක්‍රමය භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන එකනේ. නමුත් භාණ්ඩාගාර බිල්පත් විකිණීම හා මිල දී ගැනීම කියන්නේ පාර්ශ්ව දෙකක් අතර සිදු වෙන ගනුදෙනුවක්. රජයට ණය ගන්න අවශ්‍යයි වගේම ඔය භාණ්ඩාගාර බිල්පත් ආයෝජන සිදු කරන අයට ඒ ආයෝජන අවස්ථාවත් අවශ්‍යයි. සාමාන්‍ය මූලධර්මයක් විදිහට ණය දීම සඳහා රජයක් තරම් සුරක්ෂිත වෙනත් ආයතනයක් නැහැ. ලංකාවේ රජය විසින් සිදු කළාක් මෙන් ණය පැහැර හැරීම්ද සිදු වුවත්, එවැනි දේ වෙන්නේ කලාතුරකින්. 

ඉහත හේතුව නිසා සාමාන්‍යයෙන් රජයකට භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් ඉතා අඩු පොලියකට අරමුදල් සපයා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඇමරිකන් රජය විසින් නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්න ඇමරිකාවේ වගේම ලෝකය පුරාම ඉන්න ආයෝජකයෝ පොර කනවා. ඒ නිසා ඇමරිකන් රජයට ඉතා අඩු පොලියකට ණය ලැබෙනවා. 

කිසියම් රටක පොලී අනුපාතික ආකෘතියම තීරණය වෙන්නේ භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික මත පදනම්වයි. භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික පහළ මට්ටමක තියාගන්න පුළුවන්නම් අනෙක් පොලී අනුපාතික සියල්ලද පහළ යනවා. එය පොදුවේ ආයෝජන හා ව්‍යවසායකත්වය දිරිමත් කරනවා. ආර්ථික වර්ධනයට හේතු වෙනවා. 

ඇමරිකන් ෆෙඩරල් රජය ආදායමට වඩා වියදම් කරන නිසා කොහොමටත් ණය ගන්න වෙනවා. නමුත් සිංගප්පූරු රජය සැලකුවොත් එසේ ණය ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ වුනත්, සිංගප්පූරු රජය පවා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනවා. ඒ කියන්නේ ණය ගන්නවා. මීට හේතුව සිංගප්පූරු රජයට ඉතා අඩු පොලියකට ණය ලබා ගැනීමේ විභවයක් තිබීමයි. මේ විදිහට එකතු කර ගන්නා අරමුදල් සිංගප්පූරු රජය විසින් ආයෝජනය කරලා ගෙවිය යුතු පොලිය ඉක්මවා යන ප්‍රතිලාභයක් ලබා ගන්නවා. ඊට අමතරව, භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික පහළ මට්ටමක තිබෙන නිසා, සිංගප්පූරුවේ අනෙක් පොලී අනුපාතිකත් පහළ මට්ටමක නඩත්තු වෙනවා. 

ලංකාවේ භාණ්ඩාගාර බිල්පත් වලට රටෙන් පිටත ඉල්ලුමක් නැති තරම්. ඉල්ලුමක් තිබුණත් එය ඉතාම කුඩා ඉල්ලුමක්. මේ වන විට නිකුත් කර තිබෙන බිල්පත් හා බැඳුම්කර ප්‍රමාණය සැලකුවොත්, 99.4%ක්ම විකිණිලා තියෙන්නේ රට ඇතුළේ. ඕක තමයි සාමාන්‍ය තත්ත්වය. 

රට ඇතුළේ කියා කිවුවත්, බිල්පත් හා බැඳුම්කර වල ආයෝජනය කරන්නේ රටේ සීමිත පිරිසක්. මෑතක් වන තුරුම ගොඩක් අය මේ ආයෝජන අවස්ථා ගැන දැනගෙන හිටියේම නැති තරම්. බැංකු සාමාන්‍යයෙන් බිල්පත් හා බැඳුම්කර ගැන පාරිභෝගිකයින් දැනුවත් කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් කරන්නේ අඩු පොලියකට තැන්පතු එකතු කරගෙන ලාබයක් තියාගෙන බිල්පත් හා බැඳුම්කර වල ආයෝජනය කරන එකයි. ගොඩක් වෙලාවට රජය නිකුත් කරන බිල්පත් හා බැඳුම්කර මිල දී ගන්නේ සීමිත පාරිභෝගිකයින් පිරිසක් විසින්. 

ඉහත තත්ත්වය තුළ ලංකාවේ බිල්පත් හා බැඳුම්කර ආයෝජකයින්ට කාටලයක් සේ ක්‍රියාකිරීමේ යම් හැකියාවක් තියෙනවා. ඒ හරහා පොලී අනුපාතික වැඩි කරගන්න පුළුවන්. මෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙස සමස්තයක් ලෙස ණය පොලී අනුපාතික ඉහළ යාමක්ද සිදු වෙනවා. ඒ වගේම, බිල්පත් හා බැඳුම්කර පොලී අනුපාතික ඉහළ මට්ටමක තිබීම කොටස් වෙළඳපොළ වර්ධනයටද බාධාවක්. අවදානම අඩු ආයෝජනයකින් වැඩි ප්‍රතිලාභ ලැබෙද්දී අවදානම වැඩි ආයෝජන කරන්න තිබෙන පෙළඹවීම අඩුයි.

ශ්‍රී ලංකා රජය සතුව කාලයක් තිස්සේම කිසිදු ආපතික සංචිතයක් නොතිබීම මේ තත්ත්වයට විශාල ලෙස දායක වී තිබෙනවා. අතේ සතයක් නැතුව වෙන්දේසියට යනවා කියන්නේ, රෑට කන්න හාල් ගන්න සල්ලි නැතුව කරාබු දෙක උගස් කරන්න පොලී මුදලාලි ළඟට යනවා වගේ වැඩක්. හෙට්ටු කර කර ඉන්න පුළුවන්කමක් නැහැ. අතේ කිසියම් සංචිත මුදලක් තිබෙනවානම්, සල්ලි තියාගන්න කියලා ආපහු හැරිලා එන්න පුළුවන්. ශ්‍රී ලංකා රජයට පහුගිය කාලය මුළුල්ලේම ඔය ක්‍රමයට බිල්පත් හා බැඳුම්කර ආයෝජකයින් එක්ක හැප්පිලා පොලී අනුපාතික අඩු කර ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ.

නමුත් ශ්‍රී ලංකා රජය සතුව බිල්පත් හා බැඳුම්කර ආයෝජකයින් එක්ක හැප්පෙන්න පුළුවන් වෙනත් ආයුධයක් තිබුණු නිසා මේක ලොකු ප්‍රශ්නයක් වුනේ නැහැ. ඒ තමයි මහ බැංකුවට බිල්පත් විකිණීම. බිල්පත් ආයෝජකයින් විසින් ඕනෑවට වඩා වැඩි පොලියක් ඉල්ලන සේ පෙනුණු විට රජය කළේ බිල්පත් ඔවුන්ට නොවිකුණා මහ බැංකුවට විකුණන එක. මේ විදිහට මහ බැංකුව විසින් බිල්පත් මිල දී ගන්නවා කියා කියන්නේ සල්ලි අච්චු ගැහීම බව අපි දන්නවනේ. 

ශ්‍රී ලංකා රජය විසින් මහ බැංකුවෙන් ණය ගත්, ඒ කියන්නේ සල්ලි අච්චු ගැසීමට හේතු වුනු, එකම ආකාරය මහ බැංකුවට බිල්පත් විකිණීම නෙමෙයි. කාලයක් තිස්සේම මහ බැංකුවේ තිබුණු ශ්‍රී ලංකා රජයේ ගිණුම තිබුණේ අයිරා (overdraft) තත්ත්වයේ. ආර්ථික අර්බුදයට ආසන්න කාලයේදී ඔය විදිහට ශ්‍රී ලංකා රජය විසින් මහ බැංකුවෙන් ණය ගැනීම උපරිමයකට ගියා. එහි ප්‍රතිඵලය අපි දන්නවනේ. 

ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන කරන්න අවශ්‍ය වුනේ ඔය තත්ත්වයන් එක්කයි. පෙර ලිපි වල පැහැදිලි කර ඇති පරිදි, එයින් මූලික වශයෙන් අදහස් කරන්නේ මහ බැංකුවට හිතේ හැටියට වැටුප් වැඩි කරගැනීමට හැකි වීම හෝ රටට වග කියන්නේ නැතුව හිතුමතේට කටයුතු කරන්න බලපත්‍රයක් දුන්නා කියන එක නෙමෙයි. ලබා දී තිබෙන උද්ධමන ඉලක්කය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වන ප්‍රමාණයට හැර රජයේ අයවැය හිඟය පියවීමට හෝ රජයට අඩු පොලියට ණය ලබා ගැනීම සඳහා පහසුකම් සැලසීමට සල්ලි අච්චු ගැසීමට බල කිරීමක් තවදුරටත් සිදු නොවන බවයි. 

රටේ ආර්ථිකය අර්බුදයට යද්දී ශ්‍රී ලංකා රජය විසින් මහ බැංකුවට රුපියල් බිලියන 2,368.4ක බිල්පත් විකුණා තිබුණා. බැංකු අයිරාව රුපියල් බිලියන 344.7ක් වෙලා තිබුණා. ඒ කියන්නේ මහ බැංකුව විසින් ඒ වෙද්දී රුපියල් ට්‍රිලියන 2.7ක් අච්චු ගහලා රජයට ලබා දී තිබුණා. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරද්දී මෙම ණය වලින් වැඩි කොටසක් (රුපියල් බිලියන 2,492ක්) භාණ්ඩාගාර බැඳුම්කර බවටත්, ඉතිරිය (රුපියල් බිලියන 220.8ක්) භාණ්ඩාගාර බිල්පත් බවටත් පර්වර්තනය කෙරුණා. රජය විසින් මහ බැංකුවෙන් ලබාගත් ණය බැඳුම්කර බවට පරිවර්තනය කිරීම නිසා රජයට එම ණය ආපසු ගෙවීම සඳහා 2038 වසර දක්වා වන දීර්ඝ කාලයක් ලැබුණා. නමුත් ණය එලෙසම තිබෙනවා. 

ඔය විදිහට මහ බැංකුවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සමාන්තරව මහ බැංකුව ස්වාධීන වීමත් සිදු වුනානේ. දැන් මහ බැංකුවට බිල්පත් වෙන්දේසියට මැදිහත් වෙන්න බැහැ. ඒ නිසාම, කලින් විස්තර කළ බිල්පත් ආයෝජකයින් එක්ක හෙට්ටු කිරීමේ බලය රජයට නැති වුණා. තිබුණු ආයුධය සල්ලි අච්චු ගැසීමේ හැකියාවනේ. ඔය තත්ත්වයත් එක්ක බිල්පත් ආයෝජකයින්ට වැඩි පොලියක් ඉල්ලා සිටීමේ ඉඩකඩක් ඇති වුණා. 

මේ තත්ත්වයට මුහුණ දෙන්නනම් නැති වුනු ආයුධය වෙනුවට අලුත් ආයුධයක් හොයා ගන්න අවශ්‍ය වුණා. මහින්ද සිරිවර්ධන - රනිල් වික්‍රමසිංහ කාලයේදී නැවත ගොඩ නගා ගත්ත රුපියල් සංචිතය කියන්නේ මේ ආයුධය. මේ ආණ්ඩුව බලයට පත් වෙද්දී රුපියල් බිලියන 650ක සංචිතයක් හදලා මේ ආණ්ඩුවට භාර දීලයි කලින් ආණ්ඩුව ගෙදර ගිහින් තියෙන්නේ. අනුර කුමාර දිසානායක ඔහුගේ කතාවේදී කලින් ආණ්ඩුවට මේ වෙනුවෙන් ස්තුති කරනවා.

රනිල් ගෙදර ගියත් මහින්ද සිරිවර්ධන තවත් කාලයක් මේ ආණ්ඩුව එක්ක වැඩ කළානේ. ඒ කාලයේදී මේ සංචිතය තවත් වැඩි වෙන්න ඇති. අනුර කුමාරගේ කතාව අනුව මේ වෙද්දී සංචිතය රුපියල් ට්‍රිලියනය ඉක්මවා ගොස් තිබෙනවා.

මේ විදිහේ සංචිතයක් හදා ගත්තට පස්සේ එය පවත්වා ගෙන යන එක සහ වැඩි කර ගන්න එක සාපේක්ෂව පහසුයි. නමුත් මුලින්ම එවැන්නක් ගොඩ නගා ගන්න එක ඉතාම අසීරු වැඩක්. සංචිතය හදන්න වෙන්නෙම ණය අරගෙන. ඒ සඳහා වියදමට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් ණය ගන්න සිදු වෙනවා. ණය වැඩියෙන් ගන්න උත්සාහ කරද්දී හෙට්ටු කිරීමේ හැකියාව අඩු වෙන නිසා වැඩි පොලියක් ගෙවන්න වෙනවා. නමුත් කොහොම හරි අමාරුවෙන් සංචිතය හදා ගත්තට පස්සේ හෙට්ටු කිරීමේ හැකියාව විශාල ලෙස ඉහළ යනවා. ඒ නිසා මේ වැඩේ කාගේ අදහසක් වුනත් ඉතාම දූරදර්ශී වැඩක්.  

ඔය සංචිතය ගොඩ නගන කාලයේම තමයි ප්‍රාථමික අයවැය ශේෂය අතිරික්තයක් බවට පත් කරගනු ලැබුවේ. එවැන්නක් සිදු නොවුනානම් මේ වගේ සංචිතයක් හදාගන්න එක හීනයක් වෙන්න තිබුණා. නමුත් ප්‍රාථමික අයවැය ශේෂය අතිරික්තයක් වීම නිසා මෙය කළ හැක්කක් බවට පත් වුනා. ඒ මෙහෙමයි.

රජයේ පැත්තෙන් ණය ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා වගේම ආයෝජකයින්ගේ පැත්තෙන් රජයට ණය දීමේ අවශ්‍යතාවයකුත් තියෙනවා කියලා මම කලින්ම කිවුවනේ. රජයට බිල්පත් විකිණිය හැක්කේ රට ඇතුළේම බව ඇත්ත. ඒ වගේම අනෙක් පැත්තෙන් ඔය බිල්පත් ආයෝජකයින්ටත් වෙන විකල්ප නැහැ. බිල්පත් ගන්නම වෙනවා. 

උදාහරණයක් විදිහට අපි හිතමු කවුරු හෝ බිල්පත් ආයෝජකයෙක් සතුව රුපියල් බිලියන 100ක් තියෙනවා කියලා. දැන් මේ සල්ලි 10% පොලියට බිල්පත් වල ආයෝජනය කරනවා. වසරකට පසුව, රජයෙන් රුපියල් බිලියන 110ක් ලැබෙනවා. ඔය රුපියල් බිලියන 110ම නැවත බිල්පත් වල ආයෝජනය කළේ නැත්නම් ඒ සල්ලි ආයෝජනය කරන්න වඩා හොඳ විකල්පයක් නැහැ. ඒ නිසා, රජයට පහසුවෙන්ම ඔය රුපියල් බිලියන 110 ණය විදිහට ලබා ගන්න පුළුවන්. 

අපි හිතමු රජයේ ප්‍රාථමික අයවැය හරියටම තුලනය වුනා කියලා. දැන් රජයේ ආදායම් සහ පොලී ගෙවීම් හැර අනෙක් වියදම් හරියටම ගැලපිලා. අලුතෙන් ණය ගන්න අවශ්‍ය වෙන්නේ පරණ ණය හා පොලී ගෙවන්න පමණයි. කලින් උදාහරණය ගත්තොත් රුපියල් බිලියන 100ක ණය සහ ඒ වෙනුවෙන් පොලිය ලෙස රුපියල් බිලියන 10ක් ගෙවන්න රුපියල් බිලියන 110ක් අලුතෙන් ණයට ගන්න අවශ්‍යයි. මොකද ආදායමෙන් වියදම් අඩු වුනාට පස්සේ ණය හෝ පොලී ගෙවන්න ඉතිරියක් නැහැ. ඒ වගේම, ප්‍රාථමික අයවැය හරියටම තුලනය වෙලා නිසා ඔය රුපියල් බිලියන 110ට වඩා වැඩියෙන් ණය අවශ්‍ය වෙන්නෙත් නැහැ. 

අපි හිතමු කිසියම් සතියක රජයට ගන්න අවශ්‍ය මුළු ණය ප්‍රමාණය ඔය රුපියල් බිලියන 110 පමණක් කියලා. දැන් රජය වෙන්දේසියට යන්නේ හරියටම ඔය රුපියල් බිලියන 110 වෙළඳපොළෙන් එකතු කර ගන්නයි. ඒ සල්ලි අවශ්‍ය වන්නේ කල් පිරෙන බිල්පත් වල මුල් මුදල සහ පොලිය පියවන්න. නමුත් ඒ සල්ලි ලබාගන්නා ආයෝජකයින්ට සල්ලි ගෙදර අරන් යන්න අවශ්‍ය නැහැ. ඔවුන්ට අවශ්‍ය වන්නේ ලැබෙන මුළු මුදලම නැවත ආයෝජනය කරන්නයි. හරියට ස්ථිර තැන්පතුවක් අලුත් කරනවා වගේ. ඒ නිසා ඔවුන් වෙන්දේසියට එන්නේත් මොන විදිහෙන් හරි රජයට රුපියල් බිලියන 110ක් ණයට දෙන්නම බලාගෙනයි. 

ඉහත පැහැදිලි කළ පරිදි, රජයේ ප්‍රාථමික අයවැය හරියටම තුලනය වෙලානම්, බිල්පත් වෙන්දේසියේ විකිණුම්කරු වන රජය සහ ගැනුම්කරුවන් අතර තුලනයක් තිබෙනවා. එක් පාර්ශ්වයකට වැඩිපුර හෙට්ටු කිරීමේ බලයක් නැහැ. නමුත් ප්‍රාථමික අයවැය තුලනය වෙලා නැත්නම් තත්ත්වය වෙනස්.

අපි හිතමු ඔය රුපියල් බිලියන 110ට අමතරව ප්‍රාථමික අයවැය හිඟය පියවා ගැනීම සඳහා රජයට තවත් රුපියල් බිලියන 20ක් අවශ්‍යයි කියලා. දැන් රජය වෙන්දේසියට එන්නේ රුපියල් බිලියන 130ක් එකතු කරගන්න බලාගෙන. නමුත් ගැනුම්කරුවන්ට කෙසේ හෝ ආයෝජනය කරන්න අවශ්‍ය වන්නේ රුපියල් බිලියන 110ක් පමණයි. ඉතිරි රුපියල් බිලියන 20 ලබා ගන්නනම් ඒ සඳහා ඔවුන් පොළඹවා ගත හැකි තරමේ ඉහළ පොලියක් ගෙවන්න වෙනවා. හෙට්ටු කිරීමේ බලය තියෙන්නේ ගැනුම්කරුවන් අතේ. 

ප්‍රාථමික අයවැය ශේෂය අතිරික්තයක් වූ ගමන් ඔය තත්ත්වය කණපිට හැරෙනවා. අපි හිතමු අතිරික්තය රුපියල් බිලියන 20ක් කියලා. දැන් රජයට අවශ්‍ය වන්නේ රුපියල් බිලියන 90ක් පමණයි. නමුත් ආයෝජකයින්ට රජයට රුපියල් බිලියන 110ක් ණය දෙන්න අවශ්‍යයි. හෙට්ටු කිරීමේ බලය තියෙන්නේ රජය අතේ. රුපියල් සංචිතය ගොඩ නගා ගන්න පුළුවන් වුනේ ඔන්න ඔය තත්ත්වයෙන් ප්‍රයෝජන අරගෙනයි. 

රුපියල් සංචිතය හදා ගත්තට පස්සේ රජය සතු හෙට්ටු කිරීමේ හැකියාව විශාල ලෙස ඉහළ යනවා. මේ අතින් මෙය රජයට මහ බැංකුවට බිල්පත් විකුණන්න පුළුවන් වූ කාලයේදී පැවති තත්ත්වයට සමානයි. අපි හිතමු මේ අතිරික්ත අරමුදල් තියෙන්නේ මහ බැංකුවේම ගිණුමක කියලා. මම හිතන විදිහට ඇත්තම තත්ත්වයත් ඒකයි. දැන් කිසියම් වෙන්දේසියක් සඳහා ඉදිරිපත්ව තිබෙන ලංසු ඕනෑවට වඩා වැඩියි වගේ පේනවානම් මහ බැංකුවට පුළුවන් ඉස්සර වගේම බිල්පත් මිල දී ගන්න. හැබැයි ඒ විදිහට බිල්පත් මිල දී ගන්නේ මහ බැංකුවේ සල්ලි වලින් නෙමෙයි. ඒ කියන්නේ අච්චු ගහපු සල්ලි වලින් නෙමෙයි. රජයේම සල්ලි වලින්. 

මේ ක්‍රමය ඉතාම සාර්ථක ක්‍රමයක්. මෑතකාලීන වෙන්දේසි වලදී පොලී අනුපාතික ස්ථාවරව තබාගෙන යාමට හැකි වී තිබෙන්නේ ඔය රුපියල් සංචිතයේ උදවුවෙන්. රනිල් හෝ මහින්ද සිරිවර්ධන මේ ගැන කවදාවත් හොඳ සන්නිවේදනයක් කළේ නැහැ. මහින්ද සිරිවර්ධන විසින් යම් සන්නිවේදනයක් කළත් එය හොඳ සන්නිවේදනයක් කියා කියන්න බැහැ. 

මේ වෙද්දී අනුර කුමාර දිසානායක කුප්පිය දාගෙන තියෙනවා වගේම මේ වැඩේ ඉදිරියට ගෙන යාමේ වැදගත්කම තේරුම් අරගෙන තියෙනවා. ඊට අමතරව පොදුවේ ස්ථායිකරණ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමේ වැදගත්කමත් හොඳින් අවබෝධ කරගෙන ඇති බව පේනවා. රනිල්ට සාපේක්ෂව හොඳ සන්නිවේදකයෙක් වන ඔහුට මේ වගේ දේවල් තේරුම් ගන්න යම් කාලයක් අවශ්‍ය වුනත්, තේරුම් ගැනීමෙන් පසුව තේරුම් ගත් දෙය හොඳින් සන්නිවේදනය කළ හැකියි.

රටේ ණය බර සැලකිය යුතු තරම් අඩු වන තුරු ප්‍රාථමික අයවැය අතිරික්තය අවශ්‍ය අවම මට්ටමේ හෝ ඊට වඩා ඉහළින් තබා ගැනීමේ වැදගත්කම ඔහු විසින් පැහැදිලිව අවධාරණය කර තිබෙනවා වගේම ඒ සඳහා වන කැපවීම ප්‍රකාශිතව ඉදිරිපත් කර තිබෙනවා. මෙයින් අදහස් වන්නේ දැනට රුපියල් ට්‍රිලියනයක් වී ඇති මහා භාණ්ඩාගාරයේ රුපියල් සංචිතය තවත් වැඩි කර ගැනීමේ හැකියාවක් ඇති බවයි. 

මෙම රුපියල් සංචිතය ඉහළ යන තරමට පොලී අනුපාතික ස්ථාවර, පහළ මට්ටමකට තබා ගැනීමේ හැකියාවද ඉහළ යනවා. එය ආර්ථික වර්ධනයට උදවුවක්. මේ මොහොතේ දුරස්ථ ඉලක්කයක් වුවත්, කාලයක් එක දිගට මෙම රුපියල් සංචිතය ගොඩ නගා ගත හැකිනම්, එයින් කොටසක් විදේශ මුදල් බවට හරවා ගන්න වුනත් පුළුවන්. සිංගප්පූරුව කළේ එයයි. 

දැනටනම් විදේශ සංචිත ගොඩ නගා ගැනීම මහ බැංකුව හමුවේ තිබෙන අභියෝගයක්. එහෙත්, ඉතා දුරස්ථ ඉලක්කයක් වුවත්, යම් සීමාවකින් පසුව මහ බැංකුවට තව දුරටත් විදේශ සංචිත වැඩි කරගැනීමට නොහැකි මට්ටමක් එනවා. ඊට හේතුව විදේශ සංචිත වැඩිවීම කියන්නේද මහ බැංකුවේ සංචිත මුදල් වැඩිවීම වීමයි. රජය විසින් විදේශ සංචිත පවත්වා ගැනීම එවැනි තත්ත්වයක් යටතේ වුවද කළ හැකි දෙයක්. ප්‍රමාණවත් රුපියල් සංචිත ගොඩ නගා ගැනීම ඒ සඳහා අවශ්‍ය වන මූලික පියවරක්.


Tuesday, April 8, 2025

ප්‍රාථමික අයවැය ශේෂය - 2024


මහ බැංකුවේ නිල දත්ත අනුව, පසුගිය (2024) වසර අවසන් වන විට ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 649.6 දක්වා අඩු වී තිබෙනවා. සැප්තැම්බර් මාසය අවසන් වෙද්දී ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 784.9ක්ව පැවති අතර නොවැම්බර් මාසය අවසානයේදී රුපියල් බිලියන 927.9ක්ව පැවතුනා. මේ අනුව පෙනී යන්නේ වසරේ අවසන් මාසය තුළ ප්‍රාථමික අයවැය ශේෂය සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බවයි. 

පළමු මාස නවයේ තත්ත්වය 

ආදායම - රුපියල් බිලියන 2927.8

වියදම (ණය හා පොලී ගෙවීම් හැර) - රුපියල් බිලියන 2142.9

අතිරික්තය - රුපියල් බිලියන 784.9


අවසන් මාස තුනේ තත්ත්වය 

ආදායම - රුපියල් බිලියන 1163.0

වියදම (ණය හා පොලී ගෙවීම් හැර) - රුපියල් බිලියන 1298.3

හිඟය - රුපියල් බිලියන 135.3


මාස දොළහේම තත්ත්වය 

ආදායම - රුපියල් බිලියන 4090.8

වියදම (ණය හා පොලී ගෙවීම් හැර) - රුපියල් බිලියන 3441.2

අතිරික්තය - රුපියල් බිලියන 649.6


පොලී ගෙවීම්ද ඇතුළුව වසරේ මුළු රාජ්‍ය වියදම රුපියල් බිලියන 6130.7ක් වන අතර, ඒ අනුව 2024 සමස්ත අයවැය හිඟය රුපියල් බිලියන 2,029.9ක්. එයින් රුපියල් බිලියන 333.2ක් විදේශ ණය වලින් පියවා ඇති අතර ඉතිරි කොටස දේශීය ණය වලින් පියවා තිබෙනවා.

පසුගිය සති කිහිපය ඇතුළත නැවතත් දේශීය ණය ලබා ගැනීම අසීරු වී ඇති ආකාරය දැකිය හැකියි. මාර්තු 19 දින පැවති වෙන්දේසියේදී, පෙර මාස හයක පමණ කාලය තුළදී මෙන්ම, වෙන්දේසියට ඉදිරිපත් කළ රුපියල් බිලියන 143ක බිල්පත් ප්‍රමාණය විකුණා ගත හැකි වුවත්, ඉන් පසුව එම තත්ත්වය වෙනස් වී තිබෙනවා. මාර්තු 26 දින රුපියල් බිලියන 100ක බිල්පත් වෙන්දේසියට ඉදිරිපත් කළත්, පෙර සතියේ පැවති පොලී අනුපාතික යටතේ විකිණිය හැකි වූයේ රුපියල් බිලියන 73.4ක බිල්පත් ප්‍රමාණයක් පමණයි. ඉන් පසුව, අප්‍රේල් 2 දින පැවති වෙන්දේසියට රුපියල් බිලියන 140ක් ඉදිරිපත් කර පොලී අනුපාතික සුළු වශයෙන් ඉහළ යාමට ඉඩ දීමෙන් පසුවද විකිණිය හැකිව තිබෙන්නේ රුපියල් බිලියන 78.0ක බිල්පත් ප්‍රමාණයක් පමණයි.

පසුගිය වසර තුළ රාජ්‍ය ආදායමට සාපේක්ෂව වියදම් දැඩි ලෙස සීමා කරමින් සහ අවශ්‍ය ප්‍රමාණයට වඩා ණය ලබා ගනිමින් මුදල් සංචිතයක් හදා ගැනීමට රජය සමත් වුනා. මේ වෙද්දී එම සංචිතය අවසන් වී හෝ අවසන් වෙමින් තිබෙනවා විය හැකියි. හෙට (අප්‍රේල් 9) වෙන්දේසියට ඉදිරිපත් කර තිබෙන්නේ රුපියල් බිලියන 80ක බිල්පත් ප්‍රමාණයක් පමණයි. එම වෙන්දේසියේ ප්‍රතිඵල දෙස විමසිල්ලෙන් බලා සිටිය යුතුයි. 

පසුගිය දෙසතියේ ප්‍රවණතා දෙස බැලූ විට නැවතත් පොලී අනුපාතික මත පීඩනය වැඩි වෙමින් තිබෙන ආකාරය පැහැදිලිව දැකිය හැකියි. එයින් පිළිබිඹු වන්නේ රජයේ ණය ගැනීමේ අවශ්‍යතාවය ඉහළ යාම පිළිබඳ වෙළඳපොළ අපේක්ෂාවයි. මෙය පසුගිය වසර අවසන් වෙද්දී පැවති තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයක්. 

Sunday, July 28, 2024

රාජ්‍යමූල්‍ය කළමනාකරණයේ ක්‍රම වෙනස


මේ අවුරුද්දේ මැයි මාසය දක්වා වන මාස පහක කාලයේ රජයේ ආදායම් හා වියදම් පිළිබඳ මූලික සංඛ්‍යාලේඛණ මේ වන විට මහ බැංකුව විසින් ප්‍රසිද්ධ කර තිබෙනවා. 

රජයේ ආදායම හා අනෙකුත් ලැබීම් = රුපියල් බිලියන 1,619.23

මාස පහේ වියදම = රුපියල් බිලියන 1,064.99

ප්‍රාථමික අයවැය අතිරික්තය = රුපියල් බිලියන 554.24

කෙටියෙන් කිවුවොත් ආදායමෙන් 34.2%ක් වියදම් නොකර පරණ ණය වල පොලී ගෙවීම වෙනුවෙන් ඉතිරි කරගෙන තිබෙනවා. ඉතා පැහැදිලි ලෙසම මේ තරමේ මූල්‍ය විනයක් නිදහසෙන් පසු කිසිම දවසක පවත්වා ගෙන ගොස් නැහැ. මේක ඉතාම පැහැදිලි "ක්‍රම වෙනසක්". 

මේ තරම්ම සල්ලි ඉතිරි නොකර අවශ්‍ය දේවල් වෙනුවෙන් වියදම් කරන්න බැරි ඇයි කියන ප්‍රශ්නයත් මේ එක්කම මතු වෙන එක පුදුමයක් නෙමෙයි. එහෙම බැරි ආදායමෙන් තුනෙන් පංගුවකට වඩා වැඩියෙන් ඉතිරි කළත් පරණ ණය වල පොලී ගෙවන්නවත් ඒ මුදල ප්‍රමාණවත් නොවීම. කණගාටුදායක තත්ත්වයක් වුනත් ඕක තමයි ඇත්ත. 

ප්‍රාථමික අයවැය අතිරික්තය = රුපියල් බිලියන 554.24

මාස පහේ පොලී වියදම = රුපියල් බිලියන 921.04

අයවැය ශේෂය = රුපියල් බිලියන (-366.80)

ඔය තරම් සල්ලි ඉතිරි කළත්, පරණ ණය වල පොලී ගෙවන්න තවත් රුපියල් බිලියන 366ක් ණය වෙන්න වෙනවා. ඊට අමතරව, ගෙවිය යුතු ණය වාරික ගෙවන්න වෙන්නෙත් අලුතෙන් ණය අරගෙනයි. ඕක තමයි රටේ තත්ත්වය.

මේ ඉන්න තත්ත්වයෙන් "කවදා හරි" ගොඩ යන්නනම් ඔය විදිහට සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරනවා ඇරෙන්න වෙන ක්‍රමයක් නැහැ. ප්‍රාථමික අයවැය අතිරික්තය කියා කියන්නේ ඒ විදිහට ඉතිරි කරන කොටස. 

ඉන්න ණය උගුලෙන් ගැලවෙන්නනම් අවම වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%කට සමාන වාර්ෂික ඉතිරියක් අවශ්‍යයි කියන එකයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තුව. ඊට වඩා වැඩියෙන් ඉතිරි කළොත් වඩා ඉක්මණින් ණය ගෙවන්න පුළුවන්. 

පසුගිය අවුරුද්දේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 27,630ක්. මෙය මේ අවුරුද්දේ 8%කින් ඉහළ ගියොත් රුපියල් බිලියන 29,840ක් වෙනවා. රුපියල් බිලියන 554ක් කියන්නේ එයින් 1.8%ක් පමණ. මේ අනුව, මේ තත්ත්වය දිගටම තිබුණොත් ඉලක්ක අවම මට්ටමෙනුත් එහාට යන්න පුළුවන්.

අනෙක් අවුරුදු වල කොහොම වෙතත්, මැතිවරණ අවුරුදු වලදී රජයේ වියදම් විශාල ලෙස ඉහළ යන එක ලංකාවේ සාමාන්‍ය තත්ත්වයක්. සාමාන්‍ය තත්ත්වය එසේ වෙද්දී මේ අවුරුද්දේදී ඉලක්කය ඉක්මවා මුදල් ඉතිරි කර ගැනීම සුවිශේෂී තත්ත්වයක්.

හැමදාම අලුත් ආණ්ඩුවක් බලයට පත් වූ විට කියන කතාව අපිට ලැබුනේ හිස් භාණ්ඩාගාරයක් කියන එක. ඒ කතාව බොරුවක් නෙමෙයි. රටේ පැත්තෙන් බැලුවොත් සිදු විය යුතු දේ වුනත්, දේශපාලනිකව බැලුවොත් භාණ්ඩාගාරය පුරවලා වෙන කෙනෙකුට දීලා යන එක අමු මෝඩ වැඩක්. කවුරුවත් ඔය වැඩේ නොකරන්නේ ඒ නිසා.

යහපාලන ආණ්ඩුව කාලයේ වුනත් 2017දී හා 2018දී ප්‍රාථමික අයවැය අතිරික්ත පවත්වා ගනු ලැබුවත් මැතිවරණ වර්ෂයක් වූ 2019දී තත්ත්වය කණපිට හැරුණා. මෙවර එසේ නොවීමෙන් පෙනෙන්නේ රනිල් වික්‍රමසිංහට නැවත බලයට පත් වීම පිළිබඳ සෑහෙන විශ්වාසයක් තිබෙන බවයි. නමුත් මැයි මාසය දක්වා ජනමත සමීක්ෂණ ප්‍රතිඵල අනුවනම් එවැනි හැකියාවක් පෙනෙන්නට තිබුණේ නැහැ. 

Thursday, July 25, 2024

ඩොලර් බිලියන සීයක් ණය වුනේ කවුද?


පසුගිය මාර්තු මාසය අවසන් වන විට ලංකාවේ රාජ්‍ය අංශයේ ණය ප්‍රමාණයේ ඩොලර් වටිනාකම බිලියන 100 ඉක්මවා තිබුණු බව ගොඩක් අය දන්න, ගොඩක් කතාබහට ලක් වුනු දෙයක්නේ. මෙම ණය ප්‍රමාණය වසරේ මුල් මාස තුන ඇතුළත ඩොලර් බිලියන හතරකින් පමණ වැඩි වී තිබුණත් එයට හේතුව ඩොලරයක මිල පහත වැටීම මිසක් අලුතෙන් ණය ගැනීම නොවන බව පෙර ලිපියක පැහැදිලි කළා. 

ඉහත පැහැදිලි කිරීම ගොඩක් අය තේරුම් අරගෙන තිබුණා. මෙය සාමාන්‍ය බුද්ධි මට්ටමක් සහ සරල ගණිත දැනුමක් තිබෙන කෙනෙකුට තේරුම් ගන්න අපහසු දෙයක් නෙමෙයි. අවශ්‍ය වන්නේ උනන්දුව පමණයි. අපේ සටහන් කියවන අය අතර එසේ නොවන අය ඉන්නේ ඉතා අඩු ප්‍රමාණයක්. මේ ලිපිය ලියන්නෙත් එසේ යමක් තේරුම් ගන්න පුළුවන් සහ ඒ සඳහා උනන්දුවක් තිබෙන බහුතර පාඨකයින්ට. වරින් වර විවිධ අය රාජ්‍ය ණය ගැන එක එක විදිහේ කතන්දර ගොතලා ඒවා ජනගත කරන නිසා නැවත නැවත කළ යුතු පැහැදිලි කිරීමකුයි මේ ලිපියේ තියෙන්නේ. 

මේ ඩොලර් බිලියන 100 රාජ්‍ය අංශයේ ණය. එයට රජයේ ණය සහ මහා භාණ්ඩාගාරය ඇප වී ලබා ගෙන තිබෙන ඇතැම් රාජ්‍ය සංස්ථා වල ණයත් ඇතුළත්. කතා කරන්න යන කරුණ හා අදාළව, අපි මේ මහා භාණ්ඩාගාරය ඇප වී ලබා ගෙන තිබෙන ණය කොටස අත හැර රජයේ ණය කොටස ගනිමු. ඒ වගේම, සංසන්දනය කිරීමේ පහසුවට, මාර්තු අවසානයට නොගොස් 2023 වසර අවසානයේ නවතිමු. 

පසුගිය 2023 වසර අවසන් වන විට රජයේ මුළු ණය ප්‍රමාණය රුපියල් වලින් මිලියන 28,695,949ක් හෙවත් ට්‍රිලියන 28.7ක්. වසර අවසානයේදී ඩොලරයක මිල රුපියල් 323.92 ලෙස සැලකූ විට, මෙම ණය ප්‍රමාණය ඩොලර් වලින් මිලියන 88,589.6ක්. මේ තරම් ප්‍රමාණයක් රාජ්‍ය ණය එකතු වුනේ කොහොමද?

රජය ආදායම ඉක්මවා වියදම් කරද්දී අඩුව පුරවන්න ණය ගන්න වෙනවා. මෙය සරල හා පැහැදිලි කරුණක්. 1950 වසර අවසානය දක්වා මේ විදිහට අරගෙන තිබුණු ණය ප්‍රමාණය රුපියල් මිලියන 654ක්. එම ණය ප්‍රමාණයට ඉන් පසු වසරෙන් වසර ප්‍රාථමික අයවැය හිඟය එකතු වෙලා තමයි 2023 වසර අවසාන වෙද්දී මේ ණය ප්‍රමාණය රුපියල් මිලියන 28,695,949ක් වෙලා තියෙන්නේ. 

හැබැයි 1950 වසර අවසානයේදී තිබුණු ණය ප්‍රමාණය රුපියල් මිලියන 654ක් පමණයි කියන එකෙන් අදහස් වෙන්නේ ඉතිරි මුළු ණය ප්‍රමාණයම ඉන් පසුව රජය විසින් ණයට අරගෙන වියදම් කළා කියන එක නෙමෙයි. ගත්ත ණයක් ආපසු ගෙවන තාක් කල් ඒ ණය වර්ධනය වෙනවා. උදාහරණයක් විදිහට 1950 වසර අවසානය වන විට අරගෙන තිබුණු රුපියල් මිලියන 654ක ණය ප්‍රමාණය 2023 වසර අවසානය වන විට රුපියල් මිලියන 499,779ක ණයක් වී තිබෙනවා. මෙය 764 ගුණයකින් වැඩි වීමක්.

මෙයින් අදහස් වෙන්නේ 1950 වන විට ගෙවන්න තිබුණු ණය තවම ගෙවලා නැහැ කියන එක නෙමෙයි. තාක්ෂණිකව බැලුවොත් ඒ ණය ගෙවලා සෑහෙන කාලයක් වෙනවා ඇති. නමුත් ඒ විදිහට ණය ගෙවලා තියෙන්නේ රජය විසින් ආදායමෙන් කොටසක් ඉතිරි කරලා නෙමෙයි. වෙනත් ණයක් අරගෙන. එතකොට සෛද්ධාන්තිකව බැලුවොත් වෙලා තියෙන්නේ අර පරණ ණයේ ස්වරූපය මාරුවීමක් පමණයි.

අලුතෙන් ණයක් අරගෙන පරණ ණයක් ගෙවද්දී ණයට ගත්ත මුදලට අමතරව පොලියත් ගෙවන්න වෙනවා. ඒ නිසා, පරණ ණයට වඩා වැඩි ණය ප්‍රමාණයක් අලුතෙන් ණයට ගන්න වෙනවා. ණය ගෙවන්න තියෙන්නේ ඩොලර් වලින්නම්, ඩොලරයක මිල ඉහළ යද්දී අලුතෙන් ඩොලර් මිල දී ගන්න වැඩි රුපියල් ප්‍රමාණයක් අවශ්‍ය වන නිසා, ඒ හේතුවෙනුත් ගන්න අවශ්‍ය ණය ප්‍රමාණය ඉහළ යනවා. මේ ආදී හේතු නිසා ලංකාවේ සංඛ්‍යාලේඛණ වලට අනුව, ණය අලුත් කරද්දී සාමාන්‍ය වශයෙන් වසරකට 10%කින් පමණ ණය ප්‍රමාණය ඉහළ යනවා. 1950වන විට අරගෙන තිබුණු රුපියල් මිලියන 654ක ණය ප්‍රමාණය 2023 වසර අවසානය වන විට රුපියල් 499,779ක ණයක් වී තිබෙන්නේ ඔය ක්‍රමයටයි. 

තිබෙන ණය ප්‍රමාණය ඔය වදිහට වර්ධනය වනවාට අමතරව, ප්‍රාථමික අයවැය හිඟයක් පවත්වා ගන්නා හැම අවුරුද්දකදීම ඔය ණය මල්ලට තවත් යම් මුදලක් එකතු වෙනවා. ඉන් පසු, ඒ කොටසක් දිගින් දිගටම අර 10%ක පමණ වූ සාමාන්‍ය වේගයෙන් වර්ධනය වෙන්න පටන් ගන්නවා. ලංකාවේ ප්‍රාථමික අයවැය හිඟයක් තිබී නැත්තේ 1950 වසරින් පසුව වසර හයකදී පමණයි. 

කිසියම් වසරකදී ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගන්න පුලුවන්ම්, ඒ ප්‍රමාණය කොයි තරම් කුඩා වුනත්, සුළු ණය ප්‍රමාණයක් හෝ ආපසු ගෙවන්න පුළුවන්. එහෙම කළා කියලා බොහෝ විට ඒ අවුරුද්ද තුළ මුළු ණය ප්‍රමාණයේ අඩු වීමක් වෙන්නේ නැහැ. මොකද පරණ ණය වර්ධනය වීම නිසා ණය ප්‍රමාණයේ සිදුවන ඉහළ යාම ඊට වඩා ගොඩක් වැඩියි. 

හැබැයි මේ විදිහට සුළු හෝ ණය ප්‍රමාණයක් ආපසු ගෙවීමේ වාසිය දිගුකාලීන එකක්. මොකද ඒ ණය ප්‍රමාණය ආපසු නොගෙවුවානම් වසරක් ගානේ 10%ක පමණ වේගයකින් වර්ධනය වෙලා විශාල ණයක් බවට පත් වෙනවා. සුළුවෙන් හෝ ආපසු ගෙවන එකෙන් එය නවතිනවා. ප්‍රමාණවත් ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගත්තොත් අවුරුදු හතර පහකින් කොහොම වෙතත්, යම් කාලයකට පසුව ණය අඩුවෙන්නට පටන් අරගෙන තවත් කාලයකට පස්සේ ණය ගෙවී අවසන් වෙනවා. 

මේ අනුව, 2023 වසර අවසානයේදී මුළු රාජ්‍ය ණය ප්‍රමාණය කියා කියන්නේ ඊට පෙර වසර වල රජයේ ප්‍රාථමික අයවැය ශේෂ වල ඒ වන විට වටිනාකම් වල එකතුව. ප්‍රාථමික අයවැය හිඟ වලින් ප්‍රාථමික අයවැය අතිරික්ත ටික අඩුවෙලා තමයි ඔය ණය ප්‍රමාණය හැදිලා තියෙන්නේ. 

පහත තිබෙන්නේ ණය ලබාගත් කාල වකවානු අනුව, 2023 අවසර අවසානයේදී ඩොලර් වලින් මිලියන 88,589.6ක් වූ ණය ප්‍රමාණය එකතු වූ ආකාරය. මතක තියාගන්න ඩොලර් වලින් ගණන් පෙන්නුවත් මේ සියල්ල ඩොලර් ණය හෝ විදේශ ණය නෙමෙයි. වැඩි ප්‍රමාණය රුපියල් ණය. අවශ්‍යනම් ඩොලරය රුපියල් 323.92 බැගින් රුපියල් ගණන ගණනය කරගන්න පුළුවන්.

1950 දක්වා - ඩොලර් මිලියන 1,542,9

1951-1955 - ඩොලර් මිලියන 549.4

1956-1960 - ඩොලර් මිලියන 1,938.5

1961-1964 - ඩොලර් මිලියන 2,175.1

1965-1969 - ඩොලර් මිලියන 2,928.8

1970-1976 - ඩොලර් මිලියන 4,819.0

1977-1988 - ඩොලර් මිලියන 27,239.6

1988-1993 - ඩොලර් මිලියන 3,960.2

1994-2001 - ඩොලර් මිලියන 10,860.0

2002-2004 - ඩොලර් මිලියන 1,838.2

2005-2014 - ඩොලර් මිලියන 14,100.9

2015-2019 - ඩොලර් මිලියන 5,833.6

2020-2022 - ඩොලර් මිලියන 11,538.5

2023 - ඩොලර් මිලියන (-535.1)

එකතුව - ඩොලර් මිලියන 88,589.6

එක් වර්ෂය තුළ ප්‍රාථමික අයවැය ශේෂය ණය ප්‍රමාණයට දායක වූ ආකාරය ප්‍රස්ථාරයේ දැකිය හැකියි. ආදායමට වඩා අඩුවෙන් වියදම් කර සුළුවෙන් හෝ ණය ගෙවා තියෙන්නේ 1954, 1955, 1992, 2017, 2018 හා 2023 වසර වලදී පමණයි. 

මේ විදිහට ආදායම ඉක්මවා වියදම් කරමින් ණය ගොඩ ගැසුවේ රටේ ආණ්ඩු මිසක් සාමාන්‍ය මිනිස්සු නෙමෙයි. හැබැයි ඒ ආණ්ඩු බලයට පත් කර ගත්තේ සාමාන්‍ය මිනිස්සු. ඒ විදිහට තමන් විසින් බලයට පත් කර ගත් ආණ්ඩු විසින් ටිකක් හෝ ණය ගෙවද්දී මිනිස්සු ප්‍රතිචාර දැක්වූයේ කොහොමද?

- 1954 හා 1955 වසර වලදී ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගනිද්දී බලයේ හිටියේ ඩඩ්ලි සේනානායකගේ එජාප ආණ්ඩුව. 1956 මැතිවරණයේදී රටේ මිනිස්සු එජාපය ආසන අටට බැස්සුවා. බලයට පත් වූ ආණ්ඩුව වගේම ඉන් පසුව දිගින් දිගටම බලයට පත් වූ ආණ්ඩු ගණනාවක්ම කවදාවත් ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා කළේ නැහැ. හැම වසරකදීම කළේ ආදායම ඉක්මවා වියදම් කරන එක.

- ඊට පස්සේ සුළු ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා වුනේ 1992 වසරේදී. ඒ වෙද්දී බලයේ සිටියේත් එජාප ආණ්ඩුවක්. අවුරුදු 17ක් එක දිගට බලයේ සිටි එජාපය 1993දී පරාද වුනා. 1994 ජනාධිපතිවරණයේදී එජාප අපේක්ෂිකාව වැඩි ඡන්ද ලබාගත්තේ ලංකාවෙන් එකම එක මැතිවරණ ආසනයක පමණයි. මහියංගණය හැර අනෙක් හැම තැනකදීම එජාපය පරාද වුනා. ඊට පස්සේ තවත් අවුරුදු ගණනාවක් යන තුරු ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා වුනේ නැහැ.

- ඊටත් පස්සේ, මෑතකාලීනව, 2017 හා 2018 වසර වලදී ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා වුනා. මේක කියවන හැමෝගෙම වගේ මතකයේ තිබෙන අතීතයක්. ඒ වෙද්දී බලයේ සිටි එජාපයට ඊට පස්සේ 2020දී පැවති මැතිවරණයේදී ලැබුණේ ජාතික මට්ටමෙන් ලැබුණු මන්ත්‍රී ධුරයක් පමණයි. 

ආණ්ඩු ණය වීම ගැන විවේචනාත්මක කතා කරන "සාමාන්‍ය මිනිස්සු" ආණ්ඩුවක් ණය බරින් ටිකක් හෝ නිදහස් වෙන්න උත්සාහ කරද්දී ප්‍රතිචාර දැක්වූයේ ඔය විදිහටයි.

හැබැයි ලොකුම ප්‍රාථමික අයවැය හිඟයන් පවත්වා ගනිමින් ලොකුවටම ණය ගොඩ ගැසූ 1977-1988 කාලයේදී මෙන්ම 2005-2014 කාලයේදීත් ඒ ආණ්ඩු අනෙක් බොහෝ ආණ්ඩු වලට වඩා ජනප්‍රියව පැවතුණා. අනෙක් ආණ්ඩු වල වගේම ඒ ආණ්ඩු වලත් ජනප්‍රියත්වය අවසානයේදී පිරිහී ගිය එක වෙනම කතාවක්. 2020දී පත් කරගත්ත ආණ්ඩුවේ වුනත් ජනප්‍රියතාවය ගිලිහුණේ ඇදගන්න බැරි තරමටම ආර්ථිකය කඩා වැටුනට පස්සෙයි. නැත්නම් කවුරුවත් ණය ගැන වද වෙන්නේ නැහැ. එහෙමනම්, ඔය ණය ගැනිල්ලට වග කිව යුත්තේ ආණ්ඩු විතරයිද? ඩොලර් බිලියන සීයක් ණය වුනේ ආණ්ඩු කරපු අයමද?

වැඩියෙන් ණය වී වැඩියෙන් වියදම් කරන ආණ්ඩු අදාළ කාල වකවානු වලදී ජනප්‍රිය වෙන්න හේතුවක් තිබෙනවා. ඊට හේතුව ආර්ථික වර්ධනය ඉහළ යාම හා පරිභෝජනය ඉහළ යාම. 1977-1988 හා 2005-2014 වකවානු වලදී මේ තත්ත්වය දැකිය හැකි වුනා. රටක් ආර්ථික වර්ධනය ඉලක්ක කරන එක කිසිසේත්ම නරක නැති, කළ යුතු දෙයක්. නමුත් ප්‍රශ්නය ආර්ථික ස්ථාවරත්වය පරදුවට තබමින් ලබා ගන්නා වර්ධනය තිරසාර එකක් නොවීමයි. 

මේ විදිහේ රාජ්‍යමූලික වර්ධනයකදී රජය විසින් කරන වියදම් වලට අනුරූපව රටේ ජනතාවගේ ආදායම් ඉහළ යන නමුත් ඒ ආදායම් බදු හරහා රජයේ ආදායම් බවට පත් වුනේ නැත්නම් රාජ්‍ය අංශය අර්බුදයකට යනවා. ලංකාව වගේ රටක ගොඩක් වෙලාවට ඒ අර්බුදය විදේශ අංශයේ අර්බුදයක් විදිහට එළියට එනවා. 

දැන් නැවතත් 2023 වසරේදී ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. ඒ වගේම, 2024 පළමු මාස හතරේ සංඛ්‍යාලේඛණ අනුව, එම මාස හතර තුළද සැලකිය යුතු ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. මෙය යහපත් තත්ත්වයක් වුනත් ඔය විදිහට අවුරුද්දක් දෙකක් පමණක් ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගත් පමණින් රට ගොඩ යන්නේ නැහැ. මේ තත්ත්වය දිගටම පැවතිය යුතුයි.

පසුගිය වසරේ ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා වී තිබුණත් එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.6%ක් පමණයි. රටේ ආර්ථිකය නැවතත් අර්බුදයකට තල්ලු නොකර තිරසාරව පවත්වා ගන්නනම් මේ අගය අවම වශයෙන් 2.3% මට්ටමට අරගෙන ඒ මට්ටමේ හෝ ඉහළින් තියා ගත යුතුයි. එහෙම කළොත් රට නැවත ආර්ථික අර්බුදයකට යන එක වගේම ලංකාවට නැවත වරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන එකත් වලක්වා ගන්න පුළුවන්. හැබැයි ඔය ඉලක්කය අත ඇරුණොත්නම් මොනවා වෙයිද කියා කියන්න අමාරුයි.

මේක නිශ්චිත අපේක්ෂයෙක්ට සහයෝගය දෙන්න කියලා කරන ඉල්ලීමක් නෙමෙයි. ඒවා පෞද්ගලික තීරණනේ. ඔබ කැමති අපේක්ෂකයා කවුරු වුනත්, දේශපාලන පක්ෂය කුමක් වුවත්, දැන් තියෙන ඔය සමතුලිතතාවය නැති කර ගත්තොත්, ආපහු වැටෙන්නේ හිටපු තැනටත් වඩා නරක තැනකටයි. එහෙම වෙන එක වලක්වා ගන්න අවශ්‍යනම් තමන්ගේ අපේක්ෂකයාව, තමන් සහයෝගය දෙන පක්ෂය, අවශ්‍ය තැනට තල්ලු කර ගන්නම වෙනවා. ඒ වැඩේ නොකර, මෙතෙක් කළා වගේ ආණ්ඩු වලට වරදින කොට විවේචනය කරන්න පමණක් බලා හිටියොත් වටයක් කැරකිලා නැවත හිටපු තැනමයි.

(වත්පොතෙන් කියවන වැඩි උනන්දුවක් දක්වන අයට 1950 වර්ෂයේ සිට එක් එක් වර්ෂයේ ප්‍රාථමික අයවැය ශේෂය, 2023 වන විට එය ගුණනය වී ඇති ගුණන සාධකය හා ඒ අනුව රුපියල් වලින් හා ඩොලර් වලින් වත්මන් අගය අඩංගු වගුවක් වියුණුව වෙත ගොස් බලා ගත හැකියි. මෙම අගයන්හි එකතුව රජයේ මුළු ණය ප්‍රමාණයට සමානයි.)

Thursday, April 25, 2024

මහ බැංකුවේ 2023 වාර්ෂික වාර්තා


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙතෙක් වාර්ෂිකව ඉදිරිපත් කළ "ලොකු" වාර්ෂික වාර්තාව වෙනුවට මෙවර "කුඩා" වාර්ෂික වාර්තා දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. එයින් එක් වාර්තාවක් රටේ ආර්ථිකය පිළිබඳව වන අතර දෙවැන්න මහ බැංකුවේ කටයුතු සම්බන්ධවයි. එමෙන්ම, මෙතෙක් මුද්‍රිත ක්‍රමයට ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛණ වගු බොහොමයක් මෙවර විද්‍යුත් ක්‍රමයට ප්‍රසිද්ධ කර තිබෙනවා.

පසුගිය 2023 වසර ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා අදාළව සුවිශේෂී වසරක්. පෙර වසර තුළ සිදු වූ දැවැන්ත කඩා වැටීමකින් පසුව වුවත්, පසුගිය වසර තුළ ලංකාවේ ආර්ථිකය නැවත සුන්බුන් මතින් නැගී සිටියා. 

පෙර වසරේදී ඩොලර් බිලියන 76.8 දක්වා පහත වැටුණු රටේ දළ දේශීය නිෂ්පාදිතය 2023 වසරේදී ඩොලර් බිලියන 84.4 දක්වා ඉහළ ගොස් ඇති අතර ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 3,464 සිට ඩොලර් 3,830 දක්වා වැඩි වී තිබෙනවා. 

රටේ ආර්ථිකය 2.3%කින් හැකිලෙද්දී මේ අයුරින් ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන්නේ දේශීය මිල ගණන් වල ඉහළ යාමට අනුරූපව ඩොලරයක මිල ඉහළ නොයාමයි. ඊට අමතරව රටේ ජනගහණය අඩුවීමෙන්ද සුළු දායකත්වයක් ලැබී තිබෙනවා.

ඩොලරයක මිල පහළ යාමෙන් රටේ විදේශ අංශය ස්ථාවර වීම පිළිබිඹු වෙනවා. 1978 වසරෙන් පසුව මුල් වරට පසුගිය වසරේදී ජංගම ගිණුමේ ඩොලර් මිලියන 1,559ක අතිරික්තයක් වාර්තා වී ඇති අතර එය දදේනියෙන් 1.8%ක්. මූල්‍ය ගිණුමට ලැබුණු විදේශ විණිමයද ඇතුළුව වසර තුළ  ඩොලර් මිලියන 2,826ක සමස්ත ගෙවුම් ශේෂ අතිරික්තයක් වාර්තා වී තිබෙනවා.

මේ අයුරින් විදේශ අංශය ස්ථාවර වීමට රාජ්‍යමූල්‍ය කළමනාකරණයේ යහපත් දිශානතිය බොහෝ සේ උපකාරී වී තිබෙනවා. රජයේ බදු ආදායම පෙර වසරට සාපේක්ෂව රුපියල් බිලියන 2,720.6 දක්වා 55.4%කින් වර්ධනය වී ඇති අතර සමස්ත ආදායම රුපියල් බිලියන 3,048.8 දක්වා 54.0%කින් වැඩි වී තිබෙනවා. මීට සාපේක්ෂව පොලී ගෙවීම් හැර අනෙකුත් වියදම් වල රුපියල් බිලියන 6.4ක සුළු අඩුවීමක් දැකිය හැකියි. මෙහි ප්‍රතිඵලයක් ලෙස වසර තුළ රුපියල් බිලියන 173.3ක ප්‍රාථමික අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. මෙය දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.6%කට සමාන මුදලක්.

කෙසේ වුවත්, පැරණි ණය වෙනුවෙන් පොලී ගෙවීම සඳහා රුපියල් බිලියන 2,455.6ක මුදලක් අවශ්‍ය වී ඇති අතර, ඉතිරි කරගත් ප්‍රාථමික අතිරික්තය ඒ සඳහා ප්‍රමාණවත් නොවන බැවින්, එම මුදලෙන් රුපියල් බිලියන 2,282.3ක්ම ගෙවා තිබෙන්නේ අළුත් ණය වලිනුයි. මෙයින් රුපියල් බිලියන 494.7ක මුදලක් විදේශ මූලාශ්‍ර වලින්ද, ඉතිරි රුපියල් බිලියන 1,787.6 දේශීය මූලාශ්‍ර වලින්ද ලබාගෙන තිබෙනවා. 

මේ අනුව, රටේ ණය ඉහළ ගොස් ඇතත්, දළ දේශීය නිෂ්පාදිතය ඊට වඩා වැඩියෙන් ඉහළ යාම හේතුවෙන් දදේනිහි ප්‍රතිශතයක් ලෙස මධ්‍යම රජයේ ණය ප්‍රමාණය 114.2% සිට 103.9% දක්වා පහත වැටී තිබෙනවා.

රුපියල් බිලියන 2,455.6ක මුදලක් පොලී ලෙස ගෙවීමට අමතරව, රුපියල් බිලියන 1,807.7ක මුදලක් වසර තුළ ණය වාරික ලෙස ආපසු ගෙවා තිබෙනවා. මේ අනුව, වසරේ මුළු ණය සේවාකරණ පිරිවැය රුපියල් බිලියන 4,263.3ක් වන අතර එයින් රුපියල් බිලියන 470.5ක් වැය වී තිබෙන්නේ විදේශ ණය වාරික හා පොලී ගෙවීම සඳහායි. 

Friday, August 4, 2023

උද්ධමනය හා රාජ්‍යමූල්‍ය කළමනාකරණය


කලින් සටහනක කියපු පරිදි, උද්ධමනය වේගයෙන් පහළ යාමේ ගෞරවය වගේම ඊට පෙර උද්ධමනය විශාල ලෙස ඉහළ යාමේ වගකීමද පැවරෙන්නේ මහ බැංකුවට. උද්ධමනය පාලනය කිරීම මහ බැංකුවේ රස්සාව. නමුත්, උද්ධමනය ඉහළ යාමට අයහපත් රාජ්‍යමූල්‍ය කළමනාකරණය හේතු වුනා වගේම උද්ධමනය වේගයෙන් අඩු වෙන්න යහපත් රාජ්‍යමූල්‍ය කළමනාකරණය උදවු වුනා. 

වසරේ මුල් මාස පහේ රජයේ ආදායම් හා වියදම් දිහා බැලුවහම පසුගිය වසරට සාපේක්ෂව වෙනස පැහැදිලිව පේනවා.

රජයේ ආදායම - රුපියල් බිලියන 1,122.4යි.

පොලී ගෙවීම් හැර වියදම - රුපියල් බිලියන 1,075.0යි.

ප්‍රාථමික ශේෂය - රුපියල් බිලියන 47.4යි.

මේ අනුව, වසරේ පළමු මාස පහ තුළ රජය විසින් එකතු කරගත් ආදායම් වලින් 4.2%ක් පමණ ඉතිරි කර ගැනීමට සමත් වී තිබෙනවා. 

ප්‍රමාණය කොපමණ වුවත්, මේ විදිහට කීයක් හෝ ඉතිරි කර ගැනීමයි වැදගත්. ඒ විදිහට ඉතිරි වන මුදලෙන් අඩු වශයෙන් පරණ ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලියෙන් යම් කොටසක් හෝ ගෙවන්න පුළුවන්. ඒ නිසා, අලුතෙන් ණය ගන්න අවශ්‍ය වෙන්නේ පරණ ණය හා ඉතිරි පොලී ගෙවන්න පමණයි.

රජය විසින් ආපසු ගෙවන පරණ ණය හා පොලී එම ණයහිමියන්ට ලැබෙද්දී ආර්ථිකයට යම් මුදල් ප්‍රමාණයක් එකතු වෙනවා. මේ කතා කරන්නේ දේශීය ණය ගැන. විදේශ ණය පිළිබඳ කතාවනම් වඩා සංකීර්ණයි. මේ විදිහට ආර්ථිකයට එකතු වන මුදල් ටිකම නැවත රජය විසින්ම ණය විදිහට ගනිද්දී රජයෙන් පිටත මුදල් වෙළඳපොළේ අරමුදල් වල වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා, රජය විසින් ආපසු ගෙවන ණය හා පොලී මුදල් ටිකම ආපසු ණය විදිහට ගන්නවානම්, මහ බැංකුවට අලුතෙන් සල්ලි අච්චු ගහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඇත්තටම මෙහිදී වෙන්නේ තියෙන ණය ටිකම අලුත් වීමක්. සල්ලි එළියට ගිහින් ආපසු ඒමක් වගේ වුනත් සල්ලි හෙල්ලෙන්නේ නැතුවම මේ වැඩේ වෙන්න පුළුවන්. කල් පිරෙද්දී ස්ථිර තැන්පතුවක් නැවත අලුත් වෙනවා වගේ දෙයක්.

ස්ථිර තැන්පතුවක් කල් පිරුණු පසු පොලියත් එක්ක නැවත ආයෝජනය කරද්දී මුල් මුදල ඉහළ යනවා වගේම මෙහිදී රජයේ ණයත් ඉහළ යනවා. නමුත් රජයට වියදම් කළ හැකි අරමුදල් කිසිවක් අලුතෙන් ලැබෙන්නේ නැහැ. 

වසරේ පළමු මාස පහේ පොලී වියදම රුපියල් බිලියන 1,062.1ක්. රුපියල් බිලියන 47.4ක ප්‍රාථමික අතිරික්තය මේ පොලිය ගෙවන්න ගෑවෙන්නත් මදි. ඒ නිසා. ඉතිරි පොලී කොටස ගෙවන්න විතරක් රුපියල් බිලියන 1,014.7ක් ණයට ගන්න වෙනවා. ඊට අමතරව පරණ ණය ගෙවන්නත් අලුතෙන් ණය ගන්න වෙනවා. හැබැයි කලින් කිවුවා වගේම මෙහිදී වෙන්නේ එළියට යන සල්ලි ටිකම නැවත ණය විදිහට ලබා ගන්න එක නිසා මුදල් වෙළදපොළ තුළ පීඩනයක් ඇති වෙන්නේ නැහැ. ඇත්තටම වෙන්නේ ශුද්ධ වශයෙන් වැඩිපුර රුපියල් බිලියන 47.4ක් වෙළඳපොළට එන එක. ඒ නිසා, පොලී අනුපාතික මත පහළට මිසක් ඉහලට පීඩනයක් ඇති වෙන්නේ නැහැ. ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගන්න එකේ වැදගත්කම ඒකයි.

ප්‍රාථමික අයවැය අතිරික්තය මීට වඩා වැඩි කරගන්න එක පහසු වැඩක් නෙමෙයි. මේ වගේ මට්ටමක දිගටම පවත්වා ගන්න එකත් විශාල අභියෝගයක්. රජයේ ආදායම රුපියල් බිලියන 1,122.4ක් වෙද්දී වියදම් සීමා කිරීම මගින් රුපියල් බිලියන 1,062.1ක පොලී ගෙවන්න තරම් සල්ලි ඉතිරි කරගන්න බැහැ කියන එක කාට වුනත් තේරෙන්න ඕනෑ. පොලිය ගෙවාගන්න බැරුව ණය ගෙවිල්ලක් ගැන හිතන්නවත් පුළුවන්කමක් නැහැ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍ය වෙන්නේ ඒ නිසා. 

මෙහිදී අපි බැලුවේ දේශීය ණය පැත්ත පමණයි. නමුත් ණය හා පොලී විදිහට ගෙවිය යුතු මුදලින් කොටසක් විදේශ ණය. ඒ කොටසත් දේශීය ණය වගේම අලුත් වුනේ නැත්නම් එයින් වෙන අඩුව පුරවන්න වෙන්නේත් දේශීය ණය අරගෙන. එවිට වෙළඳපොළට යන අරමුදල් ප්‍රමාණයට වඩා ප්‍රමාණයක් ණය විදිහට වෙළඳපොළෙන් ලබා ගන්න වෙනවා. සල්ලි අච්චු ගැහුවේ නැත්නම් පොලී අනුපාතික මත පීඩනය ඉහළ යනවා. මේ තත්ත්වය ගැන සලකලා තමයි IMF එකෙන් සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතන වලින් දුන් ණය වලින් යම් කොටසක් රජයේ අයවැය හිඟය පියවීම සඳහා යොදා ගන්න ඉඩ දී තියෙන්නේ. 

මෙහි තවත් වාසියක් තිබෙනවා. මේ විදේශ ණය කොටස ගෙවන්න දේශීය ණය ගන්න වුනානම් ඒ විදිහට ණයට ගන්න රුපියල් ඩොලර් කරන්නත් වෙනවා. ඒ නිසා, පොලී අනුපාතික මත පීඩනය වැඩිවෙනවාට අමතරව වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගනිද්දී විණිමය අනුපාතය මත වන පීඩනයද වැඩි වෙනවා. යම් ණය ප්‍රමාණයක් ඩොලර් වලින්ම ලැබුණු විට මේ ප්‍රශ්නය විසඳෙනවා.  

ණය ප්‍රතිව්‍යුහගත කර අවසන් වීමෙන් පසුව පොලී වියදම සැලකිය යුතු ලෙස අඩු වෙයි. ඒ අනුව, සමස්ත අයවැය හිඟයද අඩු වෙයි. නමුත්, පොලී වියදම් ගොඩක් වැඩි නිසා ප්‍රතිව්‍යුහගත කිරීම් අවසන් වූ පසුද අයවැය හිඟය නැති වෙන්නේ නැහැ.

වෙබ් ලිපිනය: