වෙබ් ලිපිනය:

Monday, November 27, 2023

දෙවන පිරිපහදුව චීනයට!


ශ්‍රී ලංකාවේ දෙවන තෙල් පිරිපහදුව ඉදි කර පවත්වාගෙන යාමේ අවස්ථාව ශ්‍රී ලංකා රජය විසින් චීන රාජ්‍ය සමාගමක් වන සිනොපෙක් සමාගම වෙත ලබා දී තිබෙනවා. ලෝකයේ ලොකුම තෙල් පිරිපහදුකරු වන සිනොපෙක් සමාගම සතුව ඇති තෙල් පිරිපහදු වල සමස්ත ධාරිතාව දිනකට බොරතෙල් බැරල් මිලියන 5.9 ඉක්මවනවා. මෙම ව්‍යාපෘතිය සඳහා ඉල්ලුම් කර තිබුණු සමාගම් දෙක අතරින් අනෙකුත් සමාගම වූ වයිටාල් සමාගම තරඟයෙන් ඉවත් වීම නිසා ඉතිරි වී තිබෙන්නේ සිනොපෙක් සමාගම පමණයි.

දැනට ශ්‍රී ලංකාව සතු එකම තෙල් පිරිපහදුවේ ධාරිතාව දිනකට බොරතෙල් බැරල් 50,000ක් වන අතර රටේ සමස්ත ඉන්ධන අවශ්‍යතාවය සැපිරීම සඳහා දිනකට බොරතෙල් බැරල් 110,000ක් පමණ පිරිපහදු කළ යුතු වෙනවා. ඩොලර් බිලියන 4.5ක් ආයෝජනය කොට හම්බන්තොට ඉදි කෙරෙන අලුත් පිරිපහදුවේ ධාරිතාව නිශ්චිතව නොදන්නා නමුත් එය අවම වශයෙන් බොරතෙල් බැරල් 100,000ක්. මෙහි ඉලක්කය ලංකාව තුළ බොර තෙල් පිරිපහදු කර අපනයනය කිරීම සහ නැව් වලට ඉන්ධන සැපයීමයි. 

මෙම දැවැන්ත ආයෝජනය හරහා සැලකිය යුතු විදේශ විණිමය ප්‍රමාණයක් ගලා ආවත්, එම මුදලින් වැඩි කොටසක් අදාළ ඉදි කිරීම සඳහා අවශ්‍ය ආනයන ලෙස නැවතත් චීනයටම ආපසු යාම අපේක්ෂා කළ හැකි තත්ත්වයයි. අනෙකුත් බොහෝ රටවලින් වෙනස්ව චීනය විසින් සිය ඉදිකිරීම් සඳහා අවශ්‍ය ශ්‍රමයද සිය රටින්ම රැගෙන එන නිසා ශ්‍රමයේ පංගුව ලෙස වුවද විශාල මුදලක් ඉතිරි වේයැයි අපේක්ෂා කළ නොහැකි වුවත්, කෙටිකාලීනව මෙන්ම දිගුකාලීනවද මෙම ව්‍යාපෘතිය තුළ යම් ප්‍රමාණයක හෝ ශ්‍රී ලාංකික ශ්‍රමයද යොදා ගැනෙන නිසා ශුද්ධ වශයෙන් යම් විදේශ විණිමය ගලා ඒමක් සිදු වෙනවා.

අවසාන ප්‍රතිඵලය ලෙස රටේ නිෂ්පාදනය ඉහළ යාමක් සිදු වන නිසා මේ හරහා රටේ දළ දේශීය නිෂ්පාදිතය මෙන්ම ඒක පුද්ගල ආදායම කෙරෙහිද ධනාත්මක බලපෑමක් සිදු වෙනවා. ඒ වගේම, ආනයන හා අපනයන ඉහළ යාමක්ද සිදු වන අතර ආනයන අපනයන පරතරයේ සුළු හෝ අඩු වීමක්ද සිදු වෙනවා. ඒ වගේම රටේ සිල්ලර ඉන්ධන වෙළඳපොළ තුළ තරඟකාරිත්වහිද යම් හෝ වැඩිවීමක් අපේක්ෂා කළ හැකියි. 

Thursday, November 9, 2023

විදුලි බලය රජය විසින් සැපයිය යුතුද?


පෙරේදා (නොවැම්බර් 7) දින පැවැත්වුණු ඇමරිකානු මැතිවරණ අතර මේන් ප්‍රාන්තය තුළ විදුලිය සැපයීම සඳහා පොදු සමාගමක් පිහිටුවීමේ යෝජනාවක් පැවති බවත්, එම යෝජනාව බහුතර ඡන්දයෙන් පරාජය වූ බවත් මම පෙර ලිපියේ සඳහන් කළා. මෙම යෝජනාව බහුතර ඡන්දයෙන් ජය ගත්තේනම් එය ඇමරිකාවේ විදුලිබල සැපයුම් ආකෘතියේ සුවිශේෂී වෙනසක් වෙනවා. ඒ වගේම, මෙවැනි ආකෘතිමය වෙනසක් අනෙකුත් ප්‍රාන්ත වලද සිදු කිරීමට පෙළඹුමක් ඇති කරනවා.  එහෙත්, යෝජනාවට පක්ෂව ලැබුණේ ආසන්න වශයෙන් 30%ක ඡන්ද ප්‍රමාණයක් පමණයි. ඡන්දදායකයින්ගෙන් 70%ක් යෝජනාවට විරුද්ධව ඡන්දය දුන් නිසා යෝජනාව පරාජයට පත් වුනා. 

පාඨකයින් කිහිප දෙනෙකුම උනන්දුවක් දැක්වූ නිසාත්, ඇමරිකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන ආකාරය, ලාබ ඉලක්ක කරන සමාගම් හා ලාබ ඉලක්ක නොකරන සමාගම් අතර අන්තර් ක්‍රියාකාරීත්වය මෙන්ම විදුලි බල කර්මාන්තයේ ආකෘතිය යන පෙර කතා කර තිබෙන මාතෘකා තුනකටම සම්බන්ධ කරුණක් නිසාත්, මේ ගැන තව ටිකක් විස්තර ඉදිරිපත් කිරීම යම් පාඨකයින් පිරිසකට හෝ ප්‍රයෝජනවත් කියා හිතනවා.

ජනමතවිචාරණයට යොමු කෙරුණු ප්‍රශ්නය මෙයයි.

Do you want to create a new power company governed by an elected board to acquire and operate existing for-profit electricity transmission and distribution facilities in Maine?

දැනට මේන් ප්‍රාන්තය තුළ ලාබ ලැබීම ඉලක්ක කරගත් සමාගම් විසින් පාලනය කරන විදුලි බලය සම්ප්‍රේෂණය කිරීමේ හා බෙදා හැරීමේ පද්ධති මිල දී ගෙන  පාලනය කිරීම සඳහා මහජන ඡන්දයෙන් පත් වන පාලක මණ්ඩලයක් විසින් පාලනය කරනු ලබන පොදු සමාගමක් අලුතෙන් පිහිටවිය යුතුද?

ඇමරිකාවේ අනෙකුත් ප්‍රාන්ත වල මෙන්ම මේන් ප්‍රාන්තයේද විදුලි බලය සැපයීම කරන්නේත්, ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් නඩත්තු කරන්නේත් ප්‍රධාන වශයෙන්ම ලාබ ලැබීම අරමුණු කරගත් සමාගම් විසිනුයි. මෙම කර්මාන්තයේ ස්වභාවය අනුව, මුලින්ම යටිතල පහසුකම් වෙනුවෙන් ආයෝජනය කරන සමාගමකට අදාළ ප්‍රදේශය තුළ විදුලි බලය සැපයීමේදී යම් ඒකාධිකාරයක් හිමි වීම නොවැලැක්විය හැකි දෙයක්. 

මේන් ප්‍රාන්තය තුළ මෙවැනි පෞද්ගලික විදුලිබල සමාගම් දෙකක් ක්‍රියාත්මකයි. ඒ අතරින් ප්‍රධානම සමාගම සෙන්ට්‍රල් මේන් පවර් සමාගම හෙවත් කෙටියෙන් CMP සමාගමයි. මෙම සමාගම 1899 වසරේදී සුළුවෙන් පටන් ගෙන පසුව ප්‍රාන්තය තුළ ව්‍යාප්ත වූ සමාගමක්. 

වර්ග සැතපුම් 35,000ක් පමණ වූ මේන් ප්‍රාන්තය ප්‍රමාණයෙන් වර්ග සැතපුම් 25,000ක් පමණ වූ ලංකාව හා සැසඳිය හැකි ප්‍රාන්තයක්. එහෙත්, කැනඩාවට මායිම්ව, ඇමරිකාවේ ඊසානදිග මායිමේ පිහිටි මෙම ප්‍රාන්තයේ ජන ඝනත්වය ලංකාවට වඩා ගොඩක් අඩුයි. මිලියන 22 ඉක්මවන ලංකාවේ ජනගහණයට සාපේක්ෂව මේන් ප්‍රාන්තයේ ජනගහණය මිලියන 1.4කටත් වඩා අඩුයි. 

කෙසේ වුවත්, ඒක පුද්ගල ආදායම වැඩි නිසා මේන් ප්‍රාන්තයේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 85ක් පමණ වෙනවා. ඒ කියන්නේ, ආර්ථික අර්බුදයට පෙර ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට ආසන්නව සමානයි. සාමාන්‍යයෙන් විදුලිබල ඉල්ලුම රටක හෝ ප්‍රදේශයක දළ දේශීය නිෂ්පාදිතයට සමානුපාතිකයි. 

සෙන්ට්‍රල් මේන් පවර් සමාගම විසින් විදුලිබලය සපයන ප්‍රදේශය වර්ග සැතපුම් 11,000ක පමණ ප්‍රදේශයක් වුවත්, ප්‍රාන්තයේ ජනගහණයෙන් 78%ක් පමණම ජීවත් වන්නේත්, ප්‍රධාන වාණිජ හා නිෂ්පාදන මධ්‍යස්ථාන තිබෙන්නේත් එම ප්‍රදේශ තුළයි. ඔවුන් සතු පාරිභෝගික ගිණුම් ප්‍රමාණය 650,000 ඉක්මවනවා.

ලාබ ලැබීම ඉලක්ක කරගත් තවත් සමාගමක් වන වර්සන්ට් පවර් සමාගම විසින් වර්ග සැතපුම් 10,400ක ප්‍රමාණ ප්‍රදේශයකට විදුලි බලය සපයමින් පාරිභෝගික ගිණුම් 165,000ක් නඩත්තු කරනවා. ජනගහණයෙන් 17%කට පමණ විදුලි බලය සපයන්නේ මෙම සමාගමයි.

ප්‍රාන්තයේ ඉතිරි ප්‍රදේශ වලට විදුලි බලය සපයන ලාබ අරමුණු කරගත් හා නොගත් තවත් ආයතන හතක් පමණ තිබුණත් ප්‍රාන්තය තුළ විදුලිබලය බෙදා හැරීමේදී ඉදිරියෙන්ම සිටින්නේ ඉහත සඳහන් ලාබ ලැබීම අරමුණු කරගත් සමාගම් දෙකයි. එම අනෙකුත් ආයතන අතරින් වැඩිම ප්‍රදේශයක් ආවරණය කරන ආයතනය සමුපකාර ආයතනයක් (Eastern Maine Electric Coop). ඔවුන් පාරිභෝගික ගිණුම් 13,000ක් පමණ නඩත්තු කරනවා. සේවා සපයන භූමි ප්‍රදේශයට සාපේක්ෂව මෙය අඩු ගිණුම් ගණනක්. එයට හේතුව ප්‍රාන්තය තුළ ජනගහණය විසිරී සිටින ආකාරයයි. 

ඇමරිකාවේ විදුලිබල කර්මාන්තය තුළ ජනනය, සම්ප්‍රේෂණය හා බෙදාහැරීම වෙන් කර ඇති ආකාරය පෙර ලිපි කිහිපයක විස්තර කර තිබෙනවා. ඒ නිසා, තමන්ට විදුලිය සපයන ආයතනය කුමක් වුවත් පාරිභෝගිකයින්ට විදුලිය මිල දී ගැනීමේදී තේරීම් ගණනාවක් තිබෙනවා. ඒ අනුව, CMP හෝ වර්සන්ට් සමාගම් වල යටිතල පහසුකම් හරහා සමාගම් නවයකින් විදුලිය ලබා ගත හැකියි. 

ඉහත සඳහන් කළේ මේන් ප්‍රාන්තයේ විදුලිබල සැපයුම සිදු කෙරෙන ආකෘතියයි. ජනමතවිචාරණ යෝජනාව මගින් උත්සාහ කළේ CMP හා වර්සන්ට් සමාගමේ වත්කම් මිල දී ගෙන පොදු සමාගමක් පිහිටුවීමටයි. ඒ වෙනුවෙන් මුල් තැන ගත්තේ "අවර් පවර්" සංවිධානයයි. 

"අවර් පවර්" සංවිධානයේ ප්‍රධාන විවේචනයක් වූයේ CMP හා වර්සන්ට් සමාගම් විසින් අධික විදුලි ගාස්තු අය කරමින් ලාබ උපයන බව සහ එම ලාබ ප්‍රාන්තයෙන් හා රටෙන් පිටතට ගෙන යන බවයි. මෙම විවේචන වලට යම් සහයෝගයක් ලැබෙන්නට හේතු වුණේ CMP හා වර්සන්ට් සමාගම් මෑතකදී වෙනත් සමාගම් විසින් මිල දී ගනු ලැබීමයි. 2016දී ඇවන්ග්‍රිඩ් සමාගම විසින් CMP සමාගම මිල දී ගත්තා. ඇවන්ග්‍රිඩ් සමාගමේ ප්‍රධානම කොටස් හිමිකරු ස්පාඤ්ඤ සමාගමක් වන අයිබඩ්‍රෝලා සමාගමයි. ඉන් පසුව, 2020දී කැනේඩියානු සමාගමක් වන එන්මැක්ස් සමාගම විසින් වර්සන්ට් සමාගම මිල දී ගත්තා. 

මේ අනුව, ජාතිකවාදී හා ප්‍රාදේශීයවාදී කෝණයකින් බැලූ විට ඉහත සමාගම් විසින් කරන්නේ මේන් ප්‍රාන්තයේ විදුලිබල පාරිභෝගිකයින්ගෙන් එකතු කරගන්නා මුදල් ප්‍රාන්තයෙන් හා රටෙන් පිටට ගෙන යාමයි. අවර් පවර් සංවිධානය විසින් යෝජනා කළේ පොදු සමාගමක් පිහිටුවා ඉහත සමාගම් දෙක සතු යටිතල පහසුකම් මිල දී ගැනීම මගින් ප්‍රාන්තයෙන් හා රටින් පිටතට යන ලාබ ප්‍රාන්තය තුළ රඳවා ගෙන පාරිභෝගිකයින්ට අඩු මිලට විදුලිය ලබා දිය හැකි බවයි. ඊට අමතරව, වඩා හොඳ පාරිභෝගික සේවාවක් සපයන අතර වඩා පරිසර හිතකාමී විය හැකි බවටද ඔවුන් තර්ක කළා. 

අවර් පවර් සංවිධානයේ යෝජනාව වූයේ "පයින් ට්‍රී විදුලි සමාගම" නමින් පොදු සමාගමක් පිහිටුවා ඉහත සමාගම් දෙක සතු යටිතල පහසුකම් මිල දී ගැනීමයි. ලාබ ලැබීම අරමුණු කර නොගත් මෙම සමාගමේ පාලක මණ්ඩලය 13 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඔවුන්ගෙන් හත් දෙනෙකු මහජන ඡන්දයෙන් තෝරා පත් කර ගැනෙනවා. ඒ, ප්‍රාන්තයේ කලාප හතක් නියෝජනය වන ලෙසයි. ඉන් පසුව, එම පාලක මණ්ඩල සාමාජිකයින් හත් දෙනා විසින් විෂය දැනුම තිබෙන විශේෂඥයින් හය දෙනෙකු පාලක මණ්ඩලයට පත් කර ගන්නවා. අලුතෙන් පිහිටුවන පයින් ට්‍රී විදුලි සමාගම පාලනය කරන්නේ 13 දෙනෙකුගෙන් සමන්විත මෙම පාලක මණ්ඩලය විසිනුයි. මේ යෝජනාවේ බැලූ බැල්මටම පෙනෙන වැරැද්දක් නැහැ. 

මෙවැනි යෝජනාවක් මැතිවරණ දිනයේදී ජනමතවිචාරණ යෝජනාවක් ලෙස ඇතුළු කිරීම සඳහා අවම අත්සන් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මෙම ප්‍රමාණය ඊට පෙර පැවති මැතිවරණයේදී ප්‍රාන්ත ආණ්ඩුකාරයා තෝරාපත් කර ගැනීම සඳහා භාවිතා කළ ඡන්ද ප්‍රමාණයෙන් 10%ක්. එම ප්‍රමාණය 67,682ක්. එහෙත්, මෙවැනි කටයුත්තකදී වලංගු අත්සන් එකතු කිරීම තරමක් සංකීර්ණ කටයුත්තක්. අත්සන් විශාල ප්‍රමාණයක් එකතු කරද්දී එකම පුද්ගලයා දෙවරක් අත්සන් කිරීම හා වලංගු ඡන්දදායකයින් නොවන අය අත්සන් කිරීම වැනි දේ නොවැලැක්විය හැකියි. ඒ නිසා, අවම වශයෙන් වලංගු අත්සන් 67,682ක් ඇති බව තහවුරු වන්නේ ඊට වඩා 20%ක් පමණ වැඩියෙන් අත්සන් එකතු කර ගත්තොත් පමණයි.

අවර් පවර් සංවිධානය විසින් අත්සන් 80,000 ඉක්මවන ප්‍රමාණයක් එකතු කර ගැනීමට සමත් වූ අතර එම අත්සන් අතර වලංගු අත්සන් 69,735ක් තිබූ බැවින් යෝජනාව ඡන්ද පත්‍රිකාවට ඇතුළු වුනා. 

මෙවැනි යෝජනාවකට ප්‍රාන්තය තුළ දැනට ක්‍රියාත්මක විදුලි සමාගම් කැමති නොවන බව අහන්නත් දෙයක් නෙමෙයි. යෝජනාවට එරෙහිව සංවිධානය වූ Maine Affordable Energy committee සහ Maine Energy Progress සංවිධාන වල ප්‍රචාරක කටයුතු වෙනුවෙන් එම සමාගම් විසින් මුදල් යෙදෙවුවා. ඔවුන්ගේ තර්කය වූයේ මෙම යෝජනාව හරහා ප්‍රාන්තය තුළ විදුලි බලය සැපයීම රාජ්‍ය ඒකාධිකාරයක් වන බවයි. එමෙන්ම, මෙවැනි ආයතනයක් පිහිටුවීම නිසා විදුලි බිල ඉහළ යන බවත්, ප්‍රාන්තයේ බදු අදායම් අඩු වන බවත්, අලුත් ආයතනයට දිගින් දිගටම ණය ගෙවන්නට වෙන්නේ විදුලි පාරිභෝගිකයෙන්ගෙන් අය කර ගෙන බවත් ඔවුන්ගේ තර්කය වුනා.

යෝජනාව වෙනුවෙන්ද, බොහෝ දෙනෙකු දන්නා වාමාංශික දේශපාලනඥයෙකු වන බර්නි සැන්ඩර්ස් ඇතුළු, විවිධ කණ්ඩායම් පෙනී සිටියා. ඇත්තටම මෙම යෝජනාව අවර් පවර් සංවිධානය විසින් අතට ගන්නට පෙර ඩිමොක්‍රටික් පක්ෂයේ මහජන නියෝජිතයෙකු වන සෙත් බෙරී විසින් සිදු කර තිබුණු යෝජනාවක්. අවර් පවර් සංවිධානයට අනුව, පාරිභෝගික සමුපකාර සමිති විසින් ප්‍රාන්තය තුළ අය කරන විදුලි ගාස්තු වලට සාපේක්ෂව CMP හා වර්සන්ට් සමාගම් විසින් අය කරන ගාස්තු 49%කින් වැඩියි. එමෙන්ම, ප්‍රාන්තය තුළ වසරක් තුළ විදුලිය බිඳ වැටීම් 3.9ක් සිදු වී ඇති අතර මෙය ඇමරිකාවේ ප්‍රාන්ත අතරින් ඉහළම අගයයි. කෙසේ වුවත්, යෝජනාවට පක්ෂ කඳවුරට ආධාර ලෙස ඩොලර් මිලියන 1.2ක් එකතු වෙද්දී යෝජනාවට විරුද්ධ කඳවුර වෙත ඩොලර් මිලියන 39.9ක් එකතු වුනා.

මේ වගේ ප්‍රශ්නයක දෙපැත්තක් තිබෙන නිසා පහසුවෙන් "නිවැරදි" පිළිතුරක් හොයා ගන්න බැහැ. පිළිතුර දේශපාලනිකයි. මහජන අදහස් විමසා ඒ මත පදනම්ව තීරණයක් ගැනීම නිවැරදි වන්නේ ඒ නිසා. ස්වාධීන රාජ්‍ය ආයතනයක් වන ප්‍රාන්තයේ මහජන නීතිඥ කාර්යාලය (office of the public advocate) විසින්ද මෙම යෝජනාව පිළිබඳ අදහස් දැක්වීමක් කළා. ජනතාවට ස්වාධීනව තීරණයක් ගැනීමට ඉඩ සලසමින් තමන් විසින් මේ හා අදාළව පැත්තක් නොගන්නා බව සඳහන් කළ ඔවුන් ඔවුන්ගේ මතය අනුව නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීමක් කළා.

මහජන නීතිඥ කාර්යාලයේ මතය අනුව මෙවැනි පොදු සමාගමක් පිහිටුවීම නිසා ආරම්භයේදී විදුලි ගාස්තු ඉහළ යාමට නියමිත අතර දිගුකාලීනව විදුලි ගාස්තු අඩු විය හැකියි. සේවා සැපයීමේ ගුණාත්මක භාවය ඉහළ යන බව හෝ පහළ යන බව කියන්නට කිසිදු පදනමක් නැහැ. එමෙන්ම, පරිසර හිතකාමීත්වය වැඩි වන හෝ අඩුවන බව කියන්නටද පදනමක් නැහැ. 

කොහොම වුනත්, අවසාන වශයෙන් වැදගත් වන්නේ සමස්තයක් ලෙස ඡන්දදායකයින් සිතන ආකාරයයි. මේ වන විට එය එළිදරවු වී අවසන්. යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබෙන්නේ ආසන්න වශයෙන් 30%ක් පමණයි. ඒ නිසා, මේන් ප්‍රාන්තය තුළ පොදු විදුලි සමාගමක් පිහිටුවීම සිදු වන්නේ නැහැ. 

Tuesday, November 7, 2023

අද ඇමරිකාවේ මැතිවරණ දිනයයි!


අද (නොවැම්බර් 7) ඇමරිකාවේ මැතිවරණ දිනයයි. සෑම වසරකම නොවැම්බර් 2-8 අතර සතියක කාලය තුළ එළඹෙන අඟහරුවාදා දින ඇමරිකාවේ මැතිවරණ පැවැත්වෙනවා. මෙය වෙනස් වන්නේ නැහැ. ඇමරිකානු ජනාධිපතිවරණය හා කොන්ග්‍රස් මැතිවරණ වල සිට ප්‍රාන්ත හා ප්‍රාදේශීය මට්ටමේ මැතිවරණ මෙන්ම ජනමතවිචාරණ විශාල ප්‍රමාණයක්ද එක වර පැවැත්වෙන්නේ මෙම මැතිවරණ දිනයේදීයි.

මේ අයුරින්, මැතිවරණ පැවැත්විය යුතු නිශ්චිත දිනයක් තිබෙන නිසා ඇමරිකාවේ මැතිවරණ පැවැත්වීම පිළිබඳව හෝ පැවැත්වෙන දිනය පිළිබඳව අවිනිශ්චිතතාවයක් නැහැ. බලයේ සිටින ආණ්ඩුවට අවශ්‍ය පරිදි මැතිවරණ පැවැත්වෙන දිනය කල් දමන්නට හෝ මැතිවරණ කලින් පවත්වන්නට පුළුවන්කමක් නැහැ. ඒ වගේම, සියලුම මැතිවරණ එකම දිනයක පැවැත්වෙන නිසා වියදමත් අඩුයි. 

ඇමරිකාවේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ වසර හතරකට වරක් නිසා වසර හතරකට වරක් මැතිවරණ දිනය කෙරෙහි ලෝකයේම අවධානය විශාල ලෙස යොමු වෙනවා. වසර දෙකකට වරක් කොංග්‍රස් මැතිවරණ පැවැත්වෙන නිසා එම වසර වල මැතිවරණ දිනය කෙරෙහිද වැඩි අවධානයක් යොමු වෙනවා. මේ අයුරින් ප්‍රධාන ජාතික මැතිවරණ පැවැත්වෙන්නේ ඉරට්ටේ අවුරුදු වලයි. ඒ නිසා, මේ අවුරුද්ද වැනි ඔත්තේ අවුරුදු වලදී මැතිවරණ දිනය කෙරෙහි යොමු වන්නේ සාපේක්ෂව අඩු අවධානයක්. 

ප්‍රධාන ජාතික මැතිවරණ නොපැවැත්වුනත්, ඔත්තේ අවුරුදු වලදී අනෙකුත් මැතිවරණ හා ජනමතවිචාරණ දහස් ගණනක් එක වර පැවැත්වෙනවා. එමෙන්ම, හදිසි මරණයක් හෝ ඉල්ලා අස්වීමක් වැනි විශේෂ හේතුවක් නිසා කොංග්‍රස් ආසන පුරප්පාඩු වූ විට එම පුරප්පාඩු පිරවීම සඳහාද ඔත්තේ අවුරුදු වලදී මැතිවරණ පැවැත්වෙනවා.

මීට වසර කිහිපයකට පෙර අපේ පාසැල් කලාපයේ පාසැල් වල ගුණාත්මක භාවය ඉහළ නැංවීමේ අරමුණින් හොඳ ගුරුවරුන් ආකර්ෂණය කර ගත හැකි පරිදි ගුරු වැටුප් වැඩි කිරීම, සිසු-ගුරු අනුපාතය අඩු කිරීම හා අනෙකුත් පහසුකම් වැඩි කිරීම පිණිස වසර හතක කාලයක් සඳහා වසරකට 0.2275%ක අමතර දේපොළ බද්දක් පැනවීම යෝජනා වූ අතර එම යෝජනාව ජනමත විචාරණයකින් අනුමත වුනා. වසර හතක කාලය අවසන් වීම නිසා මෙම බද්ද මේ වසරේදී අහෝසි වෙනවා. ඒ නිසා, පාසැල් පවත්වාගෙන යාම සඳහා ලැබෙන අරමුදල් පහත වැටෙනවා. මේ තත්ත්වය හමුවේ තරමක වියදම් කප්පාදුවක් කිරීමෙන් අනතුරුව, ඉදිරි වසර අටක කාලය තුළ 0.1995%ක අමතර දේපොළ බද්දක් පැනවීම සඳහා අද ජනමත විචාරණයක් පැවැත්වුණා. මෙය කලින් වසර හත තුළ පැවති බදු අනුපාතයට වඩා තරමක් අඩුයි. මෙම යෝජනාව අනුමත කරමින් 70%ක පමණ ඡන්ද ලැබී තිබෙනවා.

ඇමරිකාව පුරාම ප්‍රාන්ත හා ප්‍රාදේශීය මට්ටමෙන් අද දින මෙවැනි ජනමතවිචාරණ ගණනාවක් පැවැත්වුණා. ඒ අතරින් එක් වැදගත් ජනමතවිචාරණක් වූයේ මේන් ප්‍රාන්තය තුළ පොදු විදුලි සමාගමක් ඇති කිරීම සඳහා පවත්වනු ලැබූ ජනමතවිචාරණයයි. දැනට ප්‍රාන්තයේ විදුලිබල සම්ප්‍රේෂණ හා බෙදාහැරීමේ පද්ධති ප්‍රධාන වශයෙන්ම අයිති ලාබ ලැබීම අරමුණු කරගත් සමාගම් දෙකකටයි. එහෙත්, මෙම සමාගම් දෙකේ සේවා සැපයීම පිළිබඳව විවිධ විවේචන එල්ල වී තිබෙනවා. ජනමතවිචාරණයෙන් යෝජනා කෙරුණේ මෙම සමාගම් සතු යටිතල පහසුකම් මිල දී ගෙන අදාළ සේවා සැපයීම සඳහා ලාබ ලැබීම ඉලක්ක නොකරන පොදු සමාගමක් පිහිටුවීමටයි. තවමත් ප්‍රතිඵල මුළුමනින්ම ප්‍රකාශයට පත්ව නැතත්, මෙම යෝජනාව පරාජය වී ඇති බව පැහැදිලියි. 70%ක් පමණම ඡන්දය දී තිබෙන්නේ යෝජනාවට විරුද්ධවයි. 

Saturday, November 4, 2023

රාජ්‍ය සේවක වැටුප්


කිහිප දෙනෙක්ම විමසීම් කර තිබුණු නිසා රාජ්‍ය සේවක වැටුප් පිරිවැය පිළිබඳ සංඛ්‍යාලේඛණ කිහිපයක් පහත ඉදිරිපත් කරනවා. මෙය තොරතුරු ඉදිරිපත් කිරීමක් මිසක් අදහස් දැක්වීමක් නෙමෙයි. 

මුලින්ම පසුගිය (2022) වසර හා අදාළ සංඛ්‍යාලේඛණ.

2022 රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප්:

රාජ්‍ය සේවක වැටුප් - රුපියල් බිලියන 956.2

රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් - රුපියල් බිලියන 309.1

මියගිය හා ආබාධිත හමුදා නිලධාරීන් වෙනුවෙන් ගෙවූ වැටුප් - රුපියල් බිලියන 40.2

එකතුව - රුපියල් බිලියන 1,305.5

වසරේ බදු ආදායම - රුපියල් බිලියන 1,751.1

රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් බදු ආදායමේ ප්‍රතිශතයක් ලෙස - 74.6%


මේ ඊට පෙර වසරේ (2021) තත්ත්වය.

2021 රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප්:

රාජ්‍ය සේවක වැටුප් - රුපියල් බිලියන 845.7

රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් - රුපියල් බිලියන 269.8

මියගිය හා ආබාධිත හමුදා නිලධාරීන් වෙනුවෙන් ගෙවූ වැටුප් - රුපියල් බිලියන 37.9

එකතුව - රුපියල් බිලියන 1,153.4

වසරේ බදු ආදායම - රුපියල් බිලියන 1,298.0

රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් බදු ආදායමේ ප්‍රතිශතයක් ලෙස - 88.9%

මේ අනුව, බදු ආදායම් පහළ ගොස් තිබුණු 2021 වසරේදී රජයේ සමස්ත බදු ආදායමෙන් 88.9%ක්ම වැය වී තිබුණේ රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වෙනුවෙනුයි. 2022දී රජය විසින් බදු ආදායම් වැඩි කර ගත් අනුපාතයෙන් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ඉහළ නොගිය බැවින් මෙම අනුපාතය 74.6% දක්වා අඩු වී තිබෙනවා. 

මෙම (2023) වසරේදී ඉහත අනුපාතය තවත් අඩු වී තිබිය යුතුයි. පහත තිබෙන්නේ 2023 පළමු මාස හතර හා අදාළව ප්‍රකාශිත තොරතුරු. 

2022 අප්‍රේල් දක්වා රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප්:

රාජ්‍ය සේවක වැටුප් - රුපියල් බිලියන 313.3

රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් - රුපියල් බිලියන 105.9

මියගිය හා ආබාධිත හමුදා නිලධාරීන් වෙනුවෙන් ගෙවූ වැටුප් - රුපියල් බිලියන 13.8

එකතුව - රුපියල් බිලියන 433.0

වසරේ පළමු මාස හතරේ බදු ආදායම - රුපියල් බිලියන 742.6

රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් බදු ආදායමේ ප්‍රතිශතයක් ලෙස - 58.3%

විශ්‍රාම වැටුප් හා මියගිය හා ආබාධිත හමුදා නිලධාරීන් වෙනුවෙන් ගෙවූ වැටුප් කොටස අත හැර පසුගිය (2022) වසරේදී සේවයේ නිරතව සිටි ආරක්ෂක හමුදා නිලධාරීන්ද ඇතුළු සියලුම රාජ්‍ය සේවකයින් වෙනුවෙන් වැටුප් ලෙස ගෙවූ රුපියල් බිලියන 956.2ක මුදල සැලකුවහොත් එම මුදල බෙදී ගොස් ඇත්තේ පහත පරිදියි.

ආරක්ෂක හමුදා - රුපියල් බිලියන 223.0 (23.3%)

පොලීසිය/ මහජන ආරක්ෂාව - රුපියල් බිලියන 96.9 (10.1%)

ගුරු වැටුප්/ පාසැල් අධ්‍යාපනය හා අදාළ කාර්ය මණ්ඩල - නොදනී (ආසන්නව රුපියල් බිලියන 250ක් පමණ විය යුතුයි)

සරසවි අධ්‍යයන හා අනධ්‍යයන සේවක වැටුප් - රුපියල් බිලියන 50.1 (5.2%)

වෛද්‍යවරුන්, හෙද වෘත්තිකයින් හා අනෙකුත් සෞඛ්‍ය සේවකයින් - රුපියල් බිලියන 166.5 (17.4%)


මෙම (2023) වසරේ පළමු මාස හතර හා අදාළව පහත තොරතුරු ප්‍රකාශයට පත්ව තිබෙනවා. 

ගුරු වැටුප්/ පාසැල් අධ්‍යාපනය හා අදාළ කාර්ය මණ්ඩල - රුපියල් බිලියන 83.9 (27.7%)

සරසවි අධ්‍යයන හා අනධ්‍යයන සේවක වැටුප් - රුපියල් බිලියන 16.8 (5.5%)


මේ අනුව, රාජ්‍ය සේවක වැටුප් වියදම් සංයුතිය පහත පෙන්වා ඇති පරිදි සේ සැලකිය හැකියි.

ආරක්ෂක හමුදා - රුපියල් බිලියන 23.3%

පොලීසිය/ මහජන ආරක්ෂාව - රුපියල් බිලියන 10.1%

ජාතික හා මහජන ආරක්ෂාව හා අදාළ එකතුව - 33.4%


ගුරු වැටුප්/ පාසැල් අධ්‍යාපනය හා අදාළ කාර්ය මණ්ඩල - 27.7%

සරසවි අධ්‍යයන හා අනධ්‍යයන සේවක වැටුප් - 5.5%

අධ්‍යාපනය හා අදාළ එකතුව - 33.2%


වෛද්‍යවරුන්, හෙද වෘත්තිකයින් හා අනෙකුත් සෞඛ්‍ය සේවකයින් - 17.4%


අධ්‍යාපනය, සෞඛ්‍යය හා ආරක්ෂාව හා අදාළ එකතුව - 84.0%

අනෙකුත් සියලුම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් - 16.0%

වැඩි තොරතුරු නැති නිසා, විශ්‍රාම වැටුප් වියදම් සංයුතියද මීට ආසන්නව සමාන සේ සැලකිය හැකියි. දළ වශයෙන් ගත්තොත් වැටුප් වියදමෙන් තුනෙන් එකක් ආරක්ෂාව, තවත් තුනෙන් එකක් අධ්‍යාපනය, හයෙන් එකක් සෞඛ්‍යය සහ හයෙන් එකක් අනෙකුත් සියළුම රාජ්‍ය සේවකයින් ලෙස සලකන්න පුළුවන්. සියලුම සංඛ්‍යාලේඛණ වල මූලාශ්‍රය මුදල් අමාත්‍යාංශය. කැමති කෙනෙක් කැමති විදිහකට විග්‍රහ කරගන්න. 

Thursday, November 2, 2023

බදු වැඩි කිරීම හා පඩි වැඩි කිරීම


මාධ්‍ය වාර්තා අනුව, වැට් බද්ද තවත් 3%කින් වැඩි කරන්න යන බවක් කියැවෙනවා. ඒ එක්කම, රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්න යන බවකුත් කියැවෙනවා. මේවා මේ චිදිහට කෙරෙයිද කියලා මම හරියටම දන්නේ නැහැ. නමුත් වෙන්න ඉඩක් තියෙනවා. 

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමක් සාධාරණීකරණය කළ හැකි යම් හේතු තියෙනවා. ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව, සැප්තැම්බර් මාසයේදී උද්ධමනය 0.8% දක්වා අඩු වෙලා තිබුණා. ඔක්තෝබර් මාසයේදී සුළු වැඩි වීමක් සිදු වීමෙන් පසුවද, කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය 1.5%ක් පමණයි. හැබැයි උද්ධමනය අඩු වෙලා කියන්නේ බඩු මිල අඩු වෙලා කියන එක  නෙමෙයි. පසුගිය සැප්තැම්බර් දක්වා වසරක් තුළ 70%කින් පමණ ඉහළ ගිය බඩු මිල ඒ මට්ටමේම තිබෙනවා. 

බඩු මිල 70%ක් තරම් විශාල ලෙස ඉහළ ගියා කියන එකෙන් රටේ සියල්ලන්ගේම ජීවන තත්ත්වය අනුපාතිකව නරක අතට හැරුනා කියන එක අදහස් වෙන්නේ නැහැ. හාල්, එළවළු, මාළු මිල ඉහළ යනවා කියන්නේ ගොවීන්ගේ, ධීවරයන්ගේ ආදායමද අනුපාතිකව වැඩි වුනා කියන එක. සේවා සැපයුම් වල මිල ඉහළ යද්දී එම සේවා සපයන්නගේ ආදායම් ඉහළ යනවා. වැටුප් ලබන්නන්ගේ ආදායම් ඒ විදිහට සෘජුවම වැඩි වෙන්නේ නැතත්, අවිධිමත් රැකියා කරන්නන්ගේ වගේම පෞද්ගලික අංශයේ විධිමත් රැකියා කරන අයගේත් වැටුප් යම් තරමකින් හෝ වැඩි වී තිබෙනවා. ඒ අයගෙන් සමහර අයට විට බදු වැඩි වීමේ අවාසිය ඊට වඩා වැඩි ඇති. කොහොම වුනත් වියදම් ඉහළ යද්දී ආදායමේද කවර හෝ ගැලපීමක් වෙලා තියෙනවා.

රාජ්‍ය සේවකයින් හා අදාළව ඉහත කී ආදායම් ගැලපීම වුනේ නැහැ. මේ පදනම මත රාජ්‍ය සේවක වැටුප් වල යම් වැඩි කිරීමක් සාධාරණීකරණය කරන්න පුළුවන්. රාජ්‍ය සේවය විශාල කිරීම හා ඉන්න රාජ්‍ය සේවකයින්ගේ වැටුප් තරමක් වැඩි කිරීම කියන්නේ එකක්ම නෙමෙයි. අනෙක් පැත්තෙන් මේ යෝජනාව දේශපාලනික අරමුණක් ඇතුව ඉදිරිපත් කරන එකක් කියලා කෙනෙකුට කියන්නත් පුළුවන්. 

හේතුව කුමක් වුනත්, රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්නනම් ඒ වියදම හොයා ගන්නත් වෙනවා. ප්‍රායෝගිකව මේක කරන්න වෙන්නේ බදු වැඩි කරලා. ඒ නිසා, මේ වෙන්න යන්නේ බදු තවත් වැඩි කරලා රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමක් කියා විග්‍රහ කරන්නත් පුළුවන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ වැඩ පිළිවෙළක් ඇතුළේ මේ දේවල් මේ විදිහට වෙන්නේ ඇයි?

රටක රජයක් කොයි තරම් විශාල මට්ටමක පවත්වා ගන්නවද කියන එක ආර්ථික විද්‍යාවෙන් එහාට ගිය දේශපාලනික කරුණක්. සමාජවාදී ආර්ථික ක්‍රමය පැත්තකින් තියලා, ධනවාදී ආකෘතිය ඇතුළෙන් පමණක් බැලුවත් රජය විශාල කිරීම හා කුඩා කිරීම අතර ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ දේශපාලනික බෙදීමක්. රජයක් විශාල වෙද්දී නාස්ති, දූෂණ, අකාර්යක්ෂමතා වැඩි වීමේ විභවයද ඉහළ යනවා. තරඟකාරිත්වය කෙරෙහි වගේම ඒ හරහා දිගුකාලීන ආර්ථික වර්ධනය කෙරෙහිත් අහිතරකර බලපෑම් ඇති වෙන්න පුළුවන්. හැබැයි රජයක් විශාල වූ පමණින්ම රාජ්‍ය මූල්‍ය අස්ථාවරත්වයක් ඇති වෙලා ලංකාවේ ඇති වුනු ආකාරයේ අර්බුදයක් ඇති වෙන්නේ නැහැ.

සාමාන්‍ය මූලධර්මයක් විදිහට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් විශාල රජයක් පවත්වා ගෙන යනවා. නමුත් ඒ විශාල රාජ්‍ය යාන්ත්‍රනය නඩත්තු කරන්න අවශ්‍ය බදු ආදායම හොයා ගන්නවානම් රජය හෝ රට අස්ථාවර වෙන්නේ නැහැ. ඒ කියන්නේ බදු ලෙස එකතු කර ගන්න කොටස වැඩියි. අනෙක් පැත්තෙන් නවලිබරල් ලෙස හඳුන්වන දේශපාලන ප්‍රතිපත්ති හරහා ඉලක්ක කරන්නේ අඩු බදු ප්‍රමාණයකින් නඩත්තු කළ හැකි කුඩා රජයක්. ඔය දෙපැත්තෙන් කොයි පැත්තට ගියත් බදු ආදායම් හා රාජ්‍ය වියදම් ගැලපෙනවානම් ලංකාවේ වුනා වගේ අවුලක් වෙන්නේ නැහැ.

රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය නැති වෙලා රටක ආර්ථිකය අවුලට යන්නේ රජයක් දිගින් දිගටම ආදායම් ඉක්මවා වියදම් කරද්දී. ලංකාවේ වුනේ ඒක. ඒ වගේ අර්බුදයකට ගියාට පස්සේ නැවත රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය ඇති කරගන්නනම් එක්කෝ බදු ආදායම් වැඩි කරගන්න වෙනවා. නැත්නම් රාජ්‍ය වියදම් අඩු කරන්න වෙනවා. බොහෝ විට ඔය දෙකේ යම් මිශ්‍රණයක් තෝරා ගන්න වෙනවා. මිශ්‍රණය කුමක්ද කියන එක දේශපාලනික කරුණක්. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වන වැඩ පිළිවෙළක ඉලක්කය රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීම. එතැනදී වැදගත් වෙන්නේ රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය මිසක් කලින් කියපු මිශ්‍රණය කුමක්ද කියන එක නෙමෙයි. ආදායම් වැඩි කරගෙන වගේම වියදම් අඩු කරගෙනත් ඉලක්කයට යන්න පුළුවන්.

මේ වසරේ පළමු මාස හය සැලකුවොත් ශ්‍රී ලංකා රජය ඉලක්ක කළ බදු ආදායම් එකතු කරගෙන තිබුණේ නැහැ. නමුත්, වියදම් ප්‍රමාණය ඉලක්කයට වඩා සෑහෙන තරමකින් අඩු කර ගැනීම මගින් ප්‍රාථමික අයවැය ශේෂ ඉලක්කය අවශ්‍ය තරමටත් වඩා හොඳින් ළඟා කර ගත්තා. අරමුදල විසින් බදු ආදායම් ඉලක්කයක් දීලා තිබුනේ ඒ මගින් ප්‍රාථමික අයවැය හිඟය සීමා කරවන්න. බදු ආදායම ඉලක්කයට ගියේ නැතත්, අවසාන වශයෙන් රාජ්‍ය වියදම් සීමා කිරීම නිසා ප්‍රාථමික අයවැය හිඟය ප්‍රාථමික අයවැය අතිරික්තයක් වුනා. ඒ කියන්නේ අතරමැදි ඉලක්කය ලඟා කරගෙන නැතත් අවසාන ඉලක්කයට ගිහින්. 

ඉහත තත්ත්වය හමුවේ අරමුදලේ පළමු සමාලෝචනයේදී රජයේ බදු ආදායම් ඉලක්ක ලඟා කර නොගැනීම ලොකු ප්‍රශ්නයක් කරගන්න හේතුවක් තිබුණේ නැහැ. නමුත් මොන හේතුවක් නිසා හෝ අරමුදල මේ ඉලක්කය මග හැරීම ගැන අනවශ්‍ය බරක් තියා තිබෙනවා. ඒ නිසා, රජයට යම් බදු වැඩි කිරීමක් කර ඉලක්කයට යන්න වෙනවා. වැට් වැඩි කරන්න යනවා ඇත්තේ ඒ නිසා.

කොහොම වුනත් රජය ආදායම් හා වියදම් තුලනය කරගෙන තිබුණු නිසා බදු වැඩි කරගෙන ආදායම් වැඩි කර ගනිද්දී තරමක් වැඩියෙන් වියදම් කරන්න අවකාශයකුත් ඇති වෙනවා. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ යෝජනාව එනවා ඇත්තේ ඒ අවකාශය ඇතුළේ. 

යම් තරමකින් මෙහිදී වෙන්නේ ගිණුම් එහා මෙහා වීමක්. සරසවි ඇදුරන් වැනි සාපේක්ෂව ඉහළ වැටුප් ගන්න අයගේ වැටුප් ඉහළ ගියොත් එයින් කොටසක් ආදායම් බදු විදිහට නැවත රජයටම ලැබෙනවා. ආදායම් බදු නොගෙවන රාජ්‍ය සේවකයෝ සැලකුවත් වැට් වගේ බදු හරහා වැඩි කරන වැටුප් වලින් සැලකිය යුතු කොටසක් රජයට ආපහු එනවා. ඒ නිසා, මේ සැලසුම ඇතුළේ වියදම් වැඩි කර ආදායම් වැඩි කර ගැනීමකුත් තරමක් දුරට තියෙනවා. කොහොම වුනත් මුදල් සංසරණය වැඩි වීම නිසා ආර්ථික වර්ධනය කෙරෙහි සිදු විය හැකි යම් බලපෑමක් හැර මේ වැඩෙන් රාජ්‍ය මූල්‍යනයෙහි ශුද්ධ වශයෙන් ලොකු වෙනසක් වෙන්නේ නැහැ. වැදගත් කරුණ රජය මේ වගේ තැනකට තල්ලු කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන එක.

සමහර අය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධව කරන විවේචනයක් වන්නේ නව ලිබරල් ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටිනවා කියන එක. මේ වෙලාවේ අරමුදල කරලා තියෙන දේ දිහා බැලුවොත්නම් පැහැදිලිව දැකිය හැක්කේ හරියටම අනෙක් පැත්ත. අරමුදල විසින් බදු තවත් වැඩි කර වියදම් වැඩි කරන තැනකට රජය තල්ලු කරන්නේ රජයේ ආදායම් හා වියදම් කොහොම හරි ගලපාගෙන අවශ්‍ය අවසාන ඉලක්කයට ගියාටත් පස්සේ. 

Monday, October 30, 2023

සිල්ලර ඉන්ධන මිල සහ බොරතෙල් මිල


ඇමරිකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළ ගැන පෙර ලිපියක විස්තර කළා. එම ලිපියේ පෙන්වා දුන් පරිදි ඇමරිකාවේ ඉන්ධන මිල තැනින් තැනට විශාල ලෙස වෙනස් වෙනවා. එයට භූගෝලීය සාධක, එනම් ඉන්ධන නිෂ්පාදනය කරන ප්‍රදේශ වල සිට ඇති දුර වැනි කරුණු, මෙන්ම බදු වල වෙනස්කම් ප්‍රධාන වශයෙන්ම බලපානවා. කෙසේ වුවත්, කිසියම් නිශ්චිත ප්‍රදේශයක් සැලකුවහොත් සිල්ලර ඉන්ධන සැපයුම්කරුවන් අතර පවතින අධික තරඟය නිසා පාරිභෝගිකයින්ට අඩු මිලකට ඉන්ධන මිල දී ගැනීමේ අවස්ථාව හිමි වෙනවා. සිල්ලර ඉන්ධන සැපයුම්කරුවන්ට ලබා ගත හැක්කේ ඔවුන් විසින් ගන්නා අවදානමට සරිලන ඉතා සුළු ලාබයක් පමණයි. 

සිල්ලර ඉන්ධන වෙළඳපොළේ තරඟකාරිත්වය නිසා අඩු වන්නේ ඉන්ධන වල තොග මිල හා සිල්ලර මිල අතර වෙනසයි. මෙම අදියරේදී අගය එකතු වීමක් සිදු වන්නේ එම කොටස තුළ පමණයි. ඉන්ධන වල තොග මිල තීරණය වන්නේ වෙනම වෙළඳපොළකයි. දැඩි තරඟකාරිත්වයක් නොතිබී, ඉන්ධන සිල්ලර වෙළඳාමේ ඒකාධිකාරයක් හෝ කතිපයාධිකරයක් පැවතුණේනම් ඉන්ධන සිල්ලරට විකුණන පිරවුම්හල් දාමයකට විශාල ලාබ ආන්තිකයක් තියාගෙන ඉන්ධන විකිණිය හැකිව තිබුණත් දැඩි තරඟය නිසා ඔවුන්ට එසේ කළ නොහැකියි. ඒ නිසා, ඉන්ධන වල සිල්ලර මිල තීරණය වන්නේ ඉන්ධන තොග මිල, ප්‍රවාහන ගාස්තු, ගබඩා කර තබා ගැනීමේ පිරිවැය, බදු වැනි කරුණු අනුවයි.

ඉන්ධන සිල්ලරට විකිණීම සැලකිය හැක්කේ ඉන්ධන නිෂ්පාදනය කිරීමේ හා බෙදා හැරීමේ කර්මාන්ත වලින් වෙනස් වෙනම කර්මාන්තයක් ලෙසයි. මෙය ලංකාවේ ඉන්ධන වෙළඳපොළ තුළ සිදු වන දෙයට බොහෝ දුරට සමානයි. මෙම කටයුත්තේදී සිදු වන්නේ ඉතාම කුඩා අගය එකතු කිරීමක්. ඒ වෙද්දී, බොරතෙල් නිෂ්පාදන කර්මාන්තය තුළ සහ පිරිපහදු කිරීමේ කර්මාන්තය තුළ අගය එකතු කිරීම් සිදු වෙලා ඉවරයි. මිල තීරණය වෙලාත් ඉවරයි.

ලංකාව තුළ කෙසේ වුවත්, ඇමරිකාව තුළ පිරිපහදු කිරීමේ කර්මාන්තයත් සෑහෙන තරමින් තරඟකාරී කර්මාන්තයක්. 2023 ජනවාරි 1 දින වන විට ඇමරිකාවේ තිබුණු ඉන්ධන පිරිපහදු ප්‍රමාණය 129ක්. ඒවායේ සමස්ත ධාරිතාවය දිනකට බොර තෙල් බැරල් 19,156,781ක්. මීට සාපේක්ෂව (මම දන්නා තරමින්) සපුගස්කන්ද පිරිපහදුවේ ධාරිතාව දිනකට බොර තෙල් බැරල් 50,000ක් පමණයි. 

ඇමරිකාවේ දැනට තිබෙන ඉන්ධන පිරිපහදු අතරින් විශාලතම පිරිපහදුව තිබෙන්නේ ටෙක්සාස් ප්‍රාන්තයේ පෝර්ට් ආතර්හියි. එහි ධාරිතාව දිනකට බොර තෙල් බැරල් 626,000ක්. මෙය අයිති මෝටිවා එන්ටර්ප්‍රයිසස් සමාගම සම්පුර්ණයෙන්ම අයිති සවුදි ඇරම්කෝ සමාගමටයි. සවුදි ඇරම්කෝ සමාගම අයිති සවුදි අරාබි රජයටයි. මෝටිවා එන්ටර්ප්‍රයිසස් සමාගම ඇමරිකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළ තුළද ක්‍රියාකාරී සමාගමක්. මීට අමතරව ඇමරිකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළ තුළ ඉදිරියෙන් සිටින එක්සොන් මොබිල්, බීපී (බ්‍රිටිෂ් පෙට්‍රෝලියම්), ශෙව්රන්, මැරතන් පෙට්‍රෝලියම් වැනි සමාගම්ද ඉන්ධන පිරිපහදු කර්මාන්තය තුළ ඉදිරියෙන් සිටිනවා. 

ඇමරිකාවේ සිල්ලර ඉන්ධන මිල කෙරෙහි පිරිපහදු අදියරේදී යම් බලපෑමක් සිදු වෙනවා. එහෙත්, එම බලපෑම බොරතෙල් වෙළඳපොළේ මිල උච්ඡාවචනයන්ට සාපේක්ෂව කුඩා එකක්. බොරතෙල් වෙළඳපොළේ මිල තීරණය වන විටම ඉන්ධන වල සිල්ලර මිල බොහෝ දුරට තීරණය වී අවසන්. සිල්ලර වෙළඳපොළේ තරඟය නිසා මෙන්ම පිරිපහදු වෙළඳපොළේ තරඟය නිසාද සිදු වන්නේ බොර තෙල් මිල මත අගය එකතු වීම කාර්යක්ෂම ලෙස සිදු වීම පමණයි. එතරම්ම තරඟකාරී නොවන ලෝක බොරතෙල් වෙළඳපොළ තුළ බොර තෙල් මිල විචලනය වීමේ බලපෑම තව දුරටත් එලෙසම තිබෙනවා.

මේ සමඟ පළ කරන ප්‍රස්ථාරයෙන් පැහැදිලිව දකිය හැකි පරිදි ඇමරිකාව තුළ ඉන්ධන ගැලුමක සිල්ලර මිල තීරණය කරන ප්‍රධාන සාධකය බොරතෙල් බැරලයක මිලයි. එහෙත්, ඇමරිකාවේ ඉන්ධන මත අය කරන බදු සාමාන්‍යයෙන් බොර තෙල් මිලට හෝ සිල්ලර ඉන්ධන මිලට අනුපාතික නොවන නිසා බොර තෙල් මිල විශාල ලෙස ඉහළ යද්දී ඉන්ධන වල සිල්ලර මිල ඉහළ යන්නේ සාපේක්ෂව අඩු ප්‍රතිශතයකින්. එමෙන්ම, බොර තෙල් මිල විශාල ලෙස පහළ යද්දී සිල්ලර මිල අඩු වෙන්නේත් තරමක් අඩු ප්‍රතිශතයකින්. එම වෙනස හැරුණු විට ඉන්ධන ගැලුම් 20ක මිල සහ බොරතෙල් බැරලයක මිල සැසඳූ විට විචලනයන් සිදු වන්නේ එකම රටාවකටයි. 

Tuesday, October 10, 2023

චීනයත් කැමති වෙලාද?


අද (ඔක්තෝබර් 10) දින පැවති චීන විදේශ අමාත්‍යාංශයේ පුවත්පත් සාකච්ඡාවේදී චීන මධ්‍යම රූපවාහිණී සේවයේ (CCTV) මාධ්‍යවේදියෙකු විසින් ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය පිළිබඳව විමසීමක් කළා. මෙම විමසීමට ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වැන්ග් වෙන්බින් විසින් දැනුම් දුන් පරිදි, සැප්තැම්බර් මාසය අවසන් වෙද්දී ලංකාවේ ප්‍රධාන ණය හිමියකු වන චීන එක්සිම් බැංකුවද ඔවුන් විසින් ලංකාවට ලබා දී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ මූලික එකඟතාවයක් ඇති කරගෙන තිබෙනවා. 

මෙය විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ඉක්මණින් අවසන් කර ගැනීමට ඉඩ ලැබිය හැකි බව පෙන්වන සුබ ලකුණක්. මේ අතර ඊයේ (ඔක්තෝබර් 9) දින නිකුත් කර ඇති ගැසට් නිවේදනයක් මගින් තවත් භාණ්ඩ ගණනාවක් සඳහා පනවා තිබූ ආනයන සීමා ඉවත් කර තිබෙනවා.

Monday, October 9, 2023

මළ ගිය නැත්තෝ


"අපි ඇයට ෆර්නැන්ඩා කියා කියමු. ෆර්නැන්ඩා අපට හමු වන්නේ ඇමරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ බේස්ටේට් වෛද්‍ය මධ්‍යස්ථානයේ දැඩි සත්කාර ඒකකයේ බී කුටියෙන්. 

ෆර්නැන්ඩා පෘතුගීසි සම්භවයක් ඇති, වයස අවුරුදු පනස් හතක කාන්තාවක්. ඇඳ ඇතිරිල්ල මත කැපී පෙනෙන ඔලිව් පැහැති ඇගේ නිරෝගී සම දෙස බැලු විට දැකිය හැක්කේ මේ දැන් සාප්පු සවාරියක් ගොස් පැමිණි කාන්තාවකගේ පෙනුමක්. එහි දුකක හෝ වේදනාවක කිසිදු සලකුණක් පෙනෙන්නට නැහැ. පියැවී ඇති ඇගේ දෑස් වලට උඩින් දැකිය හැක්කේ කළු, ඝන ඇහි බැමි දෙකක්. තැනින් තැන පැසී ඇති කැරලි ගැසුණු කළු කොණ්ඩය මනාව සකස් කර තිබෙනවා. පාද පියකරුයි. මුහුණේ තිබෙන්නේ නිස්කලංක පෙනුමක්. සාමාන්‍ය මිනිසෙකු හුස්ම ගන්නා විට දැකිය හැකි රිද්මයෙන්ම ඇගේ පපුව උස් පහත් වෙනවා. ඈ හරියටම සුරංගනා කතා වල සිටින මායාකාරියක විසින් නින්දට යවා ඇති අයෙකු වගෙයි. ඇගේ පෙනුම මගේ පෙනුමට වඩා හොඳයි.

වෛද්‍ය සිසුන් හා සීමාවාසික පුහුණුව ලබන්නන් ඇතුළු අප කණ්ඩායම බලා සිටින්නේ වෛද්‍ය තෝමස් හිගින්ස් විසින් ෆර්නැන්ඩාගේ මොළය මිය ගොස් ඇති බව නිවේදනය කරන තුරුයි. කාර්යාල පරිශ්‍රයේ බිම වැටී සිටියදී ඇගේ කාර්යාල සගයින්ට ඇයව හමු වෙනවා. ඔවුන් ඇගේ මුහුණට වතුර ගැසුවත් එය ආඝාතයට පිළියමක් නෙමෙයි. වෛද්‍ය හිගින්ස්ට අනුව, ඇයට කුඩා හිසරදයක් හැදී ඒ එක්කම වගේ සිහි විසංඥව යන්න ඇති. බේස්ටේට් වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන්ට අනුව ඇය නැවත යථා තත්ත්වයට පත් වීමේ ඉඩක් නැහැ. මොළය මිය යාම තහවුරු කරන කණ්ඩායම පැමිණ තිබෙන්නේ මේ බව නිල වශයෙන් තීරණය කිරීමටයි.

විදුලි පන්දමක් හා අයිස් වතුර ආදිය යොදාගෙන ඇගේ ප්‍රතිචාර දැක්වීම් නිරීක්ෂණය කිරීම පිණිස සරල පරීක්ෂාවන් කිහිපයක් කරනු ලබනවා. ඇස් වලට විදුලි පන්දම් එළිය. කන් වලට අයිස් වතුර. ඉන් පසුව ඔලුව දෙපසට හරවා බලනවා. මෙසේ කිරීමෙන් පසුව ඇයව වෙන්ටිලේටරයෙන් ගලවා ඇයට තනිව හුස්ම ගත නොහැකි බව තහවුරු කර ගැනෙනවා. 

අක්ෂි වෛද්‍යවරයෙකු විසින් ඇස් පරීක්ෂා කිරීම සඳහා ගන්නා කාලයට වඩා අඩු කාලයක් තුළ ෆර්නැන්ඩාගේ මොළය මිය ගොස් ඇති බව තීරණය කෙරෙනවා. ඒ අනුව, එතෙක් නීතිය අනුව ජීවත් වන පුද්ගලයෙකු වූ ඇය නීතිය අනුව මිය ගිය අයෙකු වෙනවා. හදවත නැවතුනු අයෙකු නීතිය අනුව මිය යාම සහ මෙම මරණය අතර නීතිමය වෙනසක් නැහැ. 

ඒ එක්කම ඇයගේ "මිය ගිය" සිරුර නැවත වෙන්ටිලේටරයට සම්බන්ධ කෙරෙනවා. ඒ වෙනත් කිහිප දෙනෙකුට බද්ධ කිරීම සඳහා ඇගේ සිරුරේ අවයව නිරෝගීව තබා ගැනීමටයි. ඇගේ හෘදය නැවතත් පෙර මෙන්ම හොඳින් ස්පන්දනය වෙනවා. පෙනහළු පෙර මෙන්ම ක්‍රියාත්මක වෙනවා. මේ වන විට මිය ගොස් සිටියත් ටික වෙලාවකට පෙර "පණ පිටින්" රෝහල් ඇඳ මත සිටි ෆර්නැන්ඩා සහ දැන් එහි "මිය ගොස්" සිටින ෆර්නැන්ඩා අතර කිසිම වෙනසක් නැහැ. ඈ මිය යාම භෞතික වෙනසකට වඩා සම්මුතියක්."

ඉහත කොටස ඩික් ටෙරසිගේ "මළ ගිය නැත්තෝ (The Undead)" පොතේ පූර්විකාවෙන්. මේ පූර්විකාවෙන් පටන් ගන්නා ජීවිතය හා මරණය පිළිබඳ සාකච්ඡාව පරිච්ඡේද ගණනක් දිගට ඇදී යනවා. එය වෛද්‍ය විද්‍යාව, නීතිය, දර්ශනය, සංස්කෘතිය ආදී මාන ගණනාවක් පිළිබඳ සාකච්ඡාවක්. 

"මරණය නියතයි" කියන එක ලංකාවේ ගොඩක් අයට පුරුදු පාඨයක්. ඇත්තටම මරණය නියතද? මරණය කියා නියත, නිශ්චිත අවස්ථාවක් තිබෙනවාද? එහෙමත් නැත්නම් මරණය කියා කියන්නෙත් සාපේක්ෂ සමාජ සම්මතයක් පමණක්ද? 

මරණය ගැන වැඩි වැඩියෙන් දැන ගනිද්දී වැඩි වැඩියෙන් පෙනෙන්නේ මරණය ගැන අපේ නොදැනුමයි. ජීවිතය හා මරණය අතර බෙදුම් ඉර සම්මතයක් මිසක් භෞතික වෙනසක් නෙමෙයි. එය පැහැදිලිව පෙනෙන්නේ එවැනි ඉරක් හොයා ගෙන ජීවිතය හා මරණය අතර සීමාව වෙත යන තරමටයි. තාක්ෂනය නිසා මේ ඉර කාලයක් තිස්සේ ජීවිතය පැත්තට ක්‍රමක්‍රමයෙන් තල්ලු වී ඇතත් ජීවිතය හා මරණය අතර වෙනස තනි ඉරකින් වෙන් කළ නොහැකි බව කාලයත් සමඟ වෙනස් වී නැහැ. 

පුද්ගලයෙකු මිය යාම කියා කියන්නේ සමාජ සම්මතයක් පමණයි. උපත වගේම තමයි. සම්මුතියක් නැත්නම් මිනිසෙකු උපදින හෝ මිය යන නිශ්චිත මොහොතක්ද නැහැ. කවුරු හෝ අයෙකු ජීවත් වන්නෙකු විය යුතුද නැත්නම් මිය ගිය අයෙකු විය යුතුද කියන එක තීරණය කරන්නේ වෙනත් අයයි. ඉතිහාසය පුරාම සිදු වුනෙත්, දැන් වෙන්නෙත් එයයි. වෙනත් කරුණු අතර ආර්ථික කරුණුද මෙම තීරණය කෙරෙහි විශාල ලෙස බලපානවා.

නිල විදේශ සංචිත - සැප්තැම්බර් 2023

 


අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 3,765 සිට ඩොලර් මිලියන 3,600 දක්වා පහත වැටුණු නිල විදේශ සංචිත ප්‍රමාණය සැප්තැම්බර් මාසය අවසන් වෙද්දී ඩොලර් මිලියන 3,530 දක්වා තව දුරටත් පහත වැටී තිබෙනවා. මේ අනුව පෙනී යන පරිදි, ඩොලර් මිලියන 200ක බංග්ලාදේශ ණය ආපසු ගෙවීම සඳහා මහ බැංකුව විසින් කලින් මාස වලදී එකතු කරගත් සංචිත යොදාගෙන තිබෙන අතර ඒ වෙනුවෙන් වෙළඳපොළෙන් අලුතෙන් සංචිත මිල දී ගැනීමක් සිදු වී නැහැ. ඒ වෙනුවට සිදුව ඇත්තේ ශුද්ධ වශයෙන් යම් සංචිත ප්‍රමාණයක් විකුණා දැමීමයි.

ලංකාවේ විදේශ විණිමය ප්‍රතිපත්තිය ශුද්ධ පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් (clean float) නෙමෙයි. එය පාලිත පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් (managed float). පාලිත පාවෙන විණිමය අනුපාත ක්‍රමයකදී විණිමය අනුපාත වල ස්ථිර වෙනස්වීම් පාලනය නොකෙරෙන නමුත් කෙටිකාලීන විචලනයන් මහ බැංකුව මැදිහත් වී පාලනය කරනවා. නමුත් මෙහිදී මතු වන ප්‍රශ්නය ස්ථිර වෙනස්වීම් හා කෙටිකාලීන විචලනයන් පහසුවෙන් වෙන් කර හඳුනා ගත නොහැකි වීමයි. ඒ නිසා, මෙහිදී මහ බැංකුවේ ප්‍රතිපත්ති සම්පාදකයින්ට තමන්ගේ වෛෂයික රුචිකත්වයන් (subjective preferences) මත පදනම්ව මැදිහත්වීම් කිරීමට (හෝ නොකිරීමට) ඉඩ සැලසෙනවා. ලංකාවේ සන්දර්භයේදී බොහෝ විට ප්‍රතිපත්ති වැරදි සිදුව තිබෙන්නේ මෙම සන්දර්භය තුළයි.


අගෝස්තු මාසය අවසන් වන විට අන්තර්බැංකු වෙළඳපොළේ ඩොලරයක මැදි මිල රුපියල් 330 සීමාව ආසන්නයට ගියා. ඉන් පසුව, මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීම වෙනුවට කලින් මිල දී ගත් ඩොලර් විකුණමින් ඩොලරයක මිල ඉහළ යාම පාලනය කර ඇති බව මේ වන විට පැහැදිලියි. පසුගිය දෙමස තුළ ඩොලරයක මිල රුපියල් 320-330 සීමාව තුළ පවත්වා ගැනීමේ උත්සාහයක් පැවති බවකුයි පෙනෙන්නට තිබෙන්නේ. මහ බැංකුවට මෙය දිගටම කළ හැකිද?

අරමුදල විසින් ලබා දී ඇති ඉලක්ක අනුව, වසර අවසාන වන විට මහ බැංකුව විසින් ඩොලර් මිලියන 4,431 දක්වා සංචිත වර්ධනය කර ගත යුතුයි. ඒ අනුව, ඩොලර් මිලියන 333ක් පමණ වන අරමුදලේ දෙවන වාරිකය ලබා ගත හැකි වුවද, වසරේ අවසන් මාස තුන තුළ වෙළඳපොළෙන් තවත් ඩොලර් මිලියන 568ක විදේශ විණිමය ප්‍රමාණයක් මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් මිල දී ගත යුතුව තිබෙනවා. ඩොලරයක මිල ඉහළ යාමට ඉඩ නොදී එම ඉලක්කයට යාම පහසු කටයුත්තක් නෙමෙයි. පොලී අනුපාතික පහත වැටෙමින් ඇති පසුබිමක කෙටිකාලීන ආයෝජන පිළිබඳව බලාපොරොත්තු තබා ගැනීමේ හැකියාවක්ද නැහැ. යම් හෙයකින් අරමුදලේ දෙවන වාරිකය වසර තුළ නොලැබුනහොත් මෙම ඉලක්කය යා නොහැකි තරම් දුරස්ථ ඉලක්කයක්. 

දැනට පවතින උද්ධමන මට්ටම අනුව, ඩොලරයක මිල යම් තරමකින් ඉහළ ගියද උද්ධමනය විශාල ප්‍රශ්නයක් වන්නේ නැහැ. එහෙත්, ඉන්ධන, විදුලි ගාස්තු ඇතුළු රාජ්‍ය ඒකාධිකාරය තුළ තීරණය වන මිල ගණන් ඉහළ යාම ආණ්ඩුවට දේශපාලන අභියෝගයක් වෙනවා. ආණ්ඩුව මැතිවරණ ඉලක්කයක සිටින බව පෙනෙන පසුබිමක ආණ්ඩුවේ කැමැත්ත වනු ඇත්තේ ඩොලරයක මිල හැකි තාක් කාලයක් පහළින් තබා ගැනීමයි. 

ඩොලරයක මිල දැනට පවතින මට්ටමේ තියෙන්නේ ආනයන සීමාවන්ද සමඟයි. එමෙන්ම, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කරගතහොත් එතැන් සිට දැනට නොගෙවන විදේශ ණය යම් ප්‍රමාණයක්ද ගෙවන්නට සිදු වෙනවා. මේ තත්ත්වයන් හමුවේ ඩොලරයක මිල ඉහළ යාම සීමා කර ගැනීමටනම් කවර හෝ ආකාරයකින් ඩොලර් ආදායම් ඉහළ යා යුතුයි. ස්ථායීකරණ වැඩ පිළිවෙළේ අනාගතය හා අදාළව තිබෙන ප්‍රධාන අවිනිශ්චිතතා දෙකෙන් එකක් වන්නේ රටේ ඩොලර් ආදායම් ඉහළ යා හැකි ආකාරයන් පැහැදිලිව පෙනෙන්නට නොතිබීමයි.

Tuesday, October 3, 2023

ඇමරිකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළ


වසර ගණනාවක් තිස්සේ ක්‍රමක්‍රමයෙන් අඩු වීමෙන් පසුවත්, දැනට ඇමරිකාවේ ඉන්ධන පිරවුම්හල් 132,000කට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙනවා [1]. මීට වසර තිහකට පමණ පෙර මෙම ප්‍රමාණය 200,000 ඉක්මවා තිබුණත් [2] දැඩි තරඟකාරිත්වය හා නියාමනය හමුවේ වසරින් වසර ඉන්ධන පිරවුම්හල් එකින් එක වැසී යාම නිසා දැනට ඉතිරි වී තිබෙන්නේ මෙම ප්‍රමාණයයි.  

ඉහත පිරවුම්හල් ප්‍රමාණයෙන් 45%කට ආසන්න ප්‍රමාණයක්, එනම් පිරවුම්හල් 58,000ක් පමණ අයිති ඇමරිකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළ තුළ සිටින ප්‍රධාන පිරවුම්හල් දාම 10ට වුවත් තවත් තරඟකරුවන් සිය ගණනක් හෝ දහස් ගණනක් මේ වෙළඳපොළේ ඉන්නවා. පිරවුම්හල් වැඩි ප්‍රමාණයක් අයිති එම කුඩා සමාගම් වලටයි. මේවායින් සැලකිය යුතු ප්‍රමාණයක් පවුලේ ව්‍යාපාර. ප්‍රධාන තරඟකරුවන් 10 දෙනා සහ ඔවුන් සතු පිරවුම්හල් ප්‍රමාණය පහත තිබෙනවා [3].

1. ෂෙල් - 12,306

2. එක්සොන් මොබිල් - 11,892

3. බීපී (බ්‍රිටිෂ් පෙට්‍රෝලියම්) - 7,078

4. ශෙව්රන් - 7,014

5. සර්කල් කේ - 6,792

6. සිට්ගෝ - 4,396

7. ස්පීඩ්වේ - 3,284

8. පිලිප්ස් 66 - 2,511

9. 76 - 1920

10. කනකෝ - 1,716

ඉහත ලැයිස්තුවේ සඳහන් කිසියම් පිරවුම්හල් දාමයක පිරවුම්හල් ප්‍රමාණය යන්නෙන් අදහස් වන්නේ එම පිරවුම්හල් අදාළ සමාගම් විසින්ම කළමනාකරණය කරන බව නෙමෙයි. මෙම පිරවුම්හල් කළමනාකරණය කරන්නේ වෙනත් ස්වාධීන පුද්ගලයින් විසින්. කැමති අයෙකුට මේ සඳහා ඉල්ලුම් කළ හැකි අතර ආසියානු රටවලින් සංක්‍රමණය වූ බොහෝ අයද මෙම ව්‍යාපාරයේ නියැලී ඉන්නවා. එහෙත්, ඔවුන් ව්‍යාපාරය මෙහෙයවන්නේ අදාළ සන්නාමය අයිති සමාගමේ කොන්දේසි අනුවයි. ඒ නිසා, කළමනාකරණය කවුරු කළත් පිරවුම්හල් වල බාහිර ආකෘතිය සමානයි. මෙය ලංකාවේ පෞද්ගලික පිරවුම්හල් හිමියන්ගේ ව්‍යාපාරික ආකෘතියට සමානයි. 

ඉහත පිරවුම්හල් දාම 10ට අමතරව මීට වඩා කුඩා තවත් පිරවුම්හල් දාම ගණනාවක් මෙන්ම කිසිදු පිරවුම්හල් දාමයකට අයත් නැති ස්වාධීන පිරවුම්හල් ගණනාවක්ද තිබෙනවා. දාමයකට අයිති වුවත් නැතත් ඉන්ධන පිරවුම්හල් බොහෝ විට ක්‍රියාත්මක වන්නේ වෙනත් සිල්ලර බඩු විකුණන ව්‍යාපාරයක්ද (convenience stores) සමඟයි. එසේ නැත්නම්, සිල්ලරට ඉන්ධන විකිණීමෙන් පමණක් ලාබ ලබමින් වෙළඳපොළේ රැඳී සිටින්න අමාරුයි. 

මේ වසරේ ක්‍රියාත්මකව පැවති මේ ආකෘතියේ කුඩා සිල්ලර වෙළඳසැල් 150,174ක් අතරින් 118,678ක්, එනම් 79%ක් පමණ ඉන්ධන විකිණීමද කර තිබෙන අතර, මුළු සිල්ලර ඉන්ධන වෙළඳාමෙන් 80%ක් සිදුව තිබෙන්නේ මේ තැන් වලයි. මේ අතරින් 60%ක් පමණම කළමනාකරණය කර තිබෙන්නේ එක් පිරවුම්හලක් පමණක් අයිති අයයි. මීට අමතරව තවත් පිරවුම්හල් 13,346ක සිල්ලර වෙළඳාමද සුළු වශයෙන් සිදුව ඇතත් ප්‍රධාන වශයෙන්ම සිදුව තිබෙන්නේ ඉන්ධන විකිණීමයි. 

ඉන්ධන සිල්ලරට විකිණීම සැලකිය හැක්කේ ඉන්ධන නිෂ්පාදනය කිරීමේ හා බෙදා හැරීමේ කර්මාන්ත වලින් වෙනස් වෙනම කර්මාන්තයක් ලෙසයි. (ප්‍රධාන පිරවුම්හල් දාම ගණනාවක්ම ඉන්ධන නිෂ්පාදනය හා බෙදා හැරීමද කිරීම වෙනම කරුණක්.) මෙම කර්මාන්තය තුළ සිදුවන්නේ ඉතා සුළු අගය එකතු කිරීමක් පමණක් නිසා ඉන්ධන මිල කෙරෙහි මෙම සිල්ලර වෙළෙන්දන්ට විශාල බලපෑමක් කළ නොහැකියි. ඇමරිකාවේ සිල්ලර ඉන්ධන මිල උච්ඡාවචනය වන්නේ තොග මිල වෙනස් වන ආකාරය අනුවයි. එහෙත්, දැඩි තරඟකාරිත්වය නිසා පාරිභෝගිකයාට ලැබෙන මිල අඩු නොවන බවක් එයින් අදහස් වන්නේ නැහැ. 

සිල්ලර ඉන්ධන වෙළඳපොළේ තරඟකාරිත්වය නිසා අඩු වන්නේ ඉන්ධන වල තොග මිල හා සිල්ලර මිල අතර වෙනසයි. මෙම අදියරේදී අගය එකතු වීමක් සිදු වන්නේ එම කොටස තුළ පමණයි. ඉන්ධන වල තොග මිල තීරණය වන්නේ වෙනම වෙළඳපොළකයි. දැඩි තරඟකාරිත්වයක් නොතිබී ඉන්ධන සිල්ලර වෙළඳාමේ ඒකාධිකාරයක් හෝ කතිපයාධිකරයක් පැවතුණේනම් ඉන්ධන සිල්ලරට විකුණන පිරවුම්හල් දාමයකට විශාල ලාබ ආන්තිකයක් තියාගෙන ඉන්ධන විකිණිය හැකිව තිබුණත් දැඩි තරඟය නිසා ඔවුන්ට එසේ කළ නොහැකියි. ඒ නිසා, ඉන්ධන වල සිල්ලර මිල තීරණය වන්නේ ඉන්ධන තොග මිල, ප්‍රවාහන ගාස්තු, ගබඩා කර තබා ගැනීමේ පිරිවැය, බදු වැනි කරුණු අනුවයි. මෙම මිල පිරවුම්හලෙන් පිරවුම්හලට වගේම දවසින් දවසටද වෙනස් වන මිලක්. 

මේ වන විට ජෝජියා ප්‍රාන්තයේ වේක්‍රොස් වැනි තැනක පැට්‍රෝල් ගැලුමක් ඩොලර් 2.91කට පමණ (ලීටරයක් රුපියල් 249ක් පමණ) විකිණෙද්දී, කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ෆෝට් ජෝන්ස් වැනි තැනක පැට්‍රෝල් ගැලුමක් විකිණෙන්නේ ඩොලර් 6.49ක පමණ මිලකටයි (ලීටරයක් රුපියල් 555ක් පමණ) [4]. වෙළඳපොළ තරඟය තුළ යම් නගරයක ඉන්ධන මිල තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම මතයි. එහෙත්, ඉන්ධන ඉල්ලුම එතරම් නම්‍ය නොවන නිසා මිල කෙරෙහි වැඩි බලපෑමක් කරන්නේ සැපයුම් සාධකයි.

තැනින් තැනට මිල මේ විදිහට වෙනස් වෙද්දී. පසුගිය මාසයේදී ඇමරිකාවේ පැට්‍රෝල් ගැලුමක සාමාන්‍ය මිල ඩොලර් 3.958ක්. එනම් ලීටරයක් රුපියල් 339ක පමණ මිලක් [5]. 

1. https://www.convenience.org/Research/Convenience-Store-Fast-Facts-and-Stats/FactSheets/IndustryStoreCount

2. https://www.fueleconomy.gov/feg/quizzes/answerquiz16.shtml

3. https://www.scrapehero.com/location-reports/10-largest-gas-stations-in-the-usa/#:~:text=Shell%2C%20Exxon%20Mobil%20and%20BP,7%2C078%20locations%20in%20the%20US.

4. https://www.gasbuddy.com/gaspricemap?lat=38.822395&lng=-96.591588&z=4

5. https://www.eia.gov/dnav/pet/PET_PRI_GND_DCUS_NUS_M.htm

Friday, September 29, 2023

ස්ථායීකරණ වැඩ පිළිවෙළේ ප්‍රගතිය හා අනාගතය


ලංකාව වසරක පමණ කාලයක් තිස්සේ බලා සිටි ඩොලර් බිලියන 3කට ආසන්න ණය මුදලද සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වූ එකඟතාවය පසුගිය මාර්තු මාසයේදී ඇති කරගනු ලැබුවා. ඒ සමඟම ණය මුදලේ පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 333ක මුදලක්ද ලැබුණා. මේ හා අදාළ පුවත් නිවේදනය නිකුත් වීමෙන් පසුව, අදාළ ස්ථායීකරණ වැඩ පිළිවෙළ සාරාංශගත කරමින් සහ එය ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දිය යුතු අභියෝග හතරක් ගැන පැහැදිලි කරමින් 2023 මාර්තු 20 දින අප විසින් ලිපියක් පළ කළා. 

ලිපිය ලියන විට අදාළ වැඩ පිළිවෙළෙහි සාරාංශයක් හැර විස්තරාත්මක වැඩ පිළිවෙළ ප්‍රකාශයට පත් කර තිබුණේ නැහැ. එම වැඩිමනත් තොරතුරු දැනගත හැකි වුනේ දිනකට හෝ දෙකකට පසුව නිසා මේ ලිපියේ ඇති ඇතැම් කරුණු පාදක වූයේ ඒ වන විට දැනගත හැකි වූ සීමිත තොරතුරු මත වුවත්, මෙම ලිපියෙහි හඳුනාගෙන ඇති ප්‍රධාන අභියෝග හතරේ වලංගු භාවය යම් එකතු කිරීම් සහිතව තව දුරටත් එලෙසම තිබෙනවා. එමෙන්ම, මේ වන විට අවසන්ව තිබෙන පළමු සය-මාසික සමාලෝචනය හා අදාළ පුවත් නිවේදනය තුළද ඉහත කරුණු කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. 

"මේ වැඩ සටහන සාර්ථක වෙයිද?

වැඩ සටහනෙහි මූලික කුළුණු දෙකක් වන රාජ්‍ය ආදායම් ඉලක්ක හා අපනයන ආදායම් ඉලක්ක ඉතාම අභියෝගාත්මක ඉලක්කයි. මෙම ඉලක්ක දෙස මා අසුබවාදී ලෙස නොබලන නමුත් ප්‍රායෝගිකව එම ඉලක්ක ලඟා කරගන්නා ආකාරය මට පැහැදිලි නැහැ. රාජ්‍ය ආදායම් ඉලක්ක වලට ගියේ නැත්නම් ප්‍රාථමික අයවැය ඉලක්ක වලට යන්න බැහැ. අපනයන ආදායම් ඉලක්ක වලට ගියේ නැත්නම් ජංගම ගිණුම් ශේෂ ඉලක්ක වලට යන්න බැහැ. ප්‍රාථමික අයවැය ඉලක්ක වලට සහ ජංගම ගිණුම් ශේෂ ඉලක්ක වලට ගියේ නැත්නම් අරමුදලේ වාරික දිගටම ලැබෙන්නේ නැහැ. ඒ නිසා, ඉදිරි වසර හතර රට පාලනය කරන කවර හෝ රජයකට ලේසි වෙන අවුරුදු හතරක් නෙමෙයි. 

ඉතා ඉක්මනින් ඩොලර් බිලියන පහකට ආසන්න විදේශ ණය ප්‍රමාණයක් ලබා ගැනීම ක්ෂණික අභියෝගයක්. ඇතැම් විට මෙම මුදල ලබා ගැනීම සඳහා දැනටමත් කටයුතු සිදු වෙනවා විය හැකියි.

මීට අමතරව ණය ප්‍රතිව්‍යුහගත කිරීම ක්ෂණික අභියෝගයක් ලෙස තිබෙනවා. ස්වෛරිත්ව බැඳුම්කර සඳහා ගෙවිය යුතු මුදල් ප්‍රමාණයෙන් අඩක් පමණ ලබා ගැනීමට ඔවුන් කැමති විය යුතු බවකුයි මට පෙනෙන්නේ. එසේ නැත්නම් මේ ඉලක්ක වලට යන්න බැහැ. මෙම අභියෝගය, මගේ අදහස අනුව, ඉහත කී අභියෝග දෙක තරම් අමාරු නැහැ. වඩාත්ම අමාරු ඉහත කී රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමේ සහ අපනයන ආදායම් වැඩි කර ගැනීමේ අභියෝගයයි."

උපුටා ගැනීම: "ඩොලර් බිලියන තුනක IMF ණය අනුමත වේ!" - මාර්තු 20, 2023.

ඉහත උපුටා දක්වා ඇති කොටසේ විස්තර කර ඇති පරිදි, අප විසින් මාස හයකට පෙර හඳුනාගත් ක්ෂණික අභියෝග දෙක සහ මැදිකාලීන අභියෝග දෙක මේවායි.

1. වසර තුළ විදේශ අංශය තුලනය කර ගැනීම

2. ණය ප්‍රතිව්‍යුහගත කර අවසන් කිරීම 

3. වැඩ සටහන් කාලය අවසාන වන විට අවශ්‍ය රාජ්‍ය ආදායම් ඉලක්කය වෙත යාම 

4. වැඩ සටහන් කාලය අවසාන වන විට අවශ්‍ය විදේශ ආදායම් ඉලක්කය වෙත යාම 

දැන් අපි ඉහත අභියෝග හමුවේ කටයුතු සිදු වී ඇති ආකාරය පිළිබඳව සමාලෝචනයක් කරමු.

වසර තුළ විදේශ අංශය තුලනය කර ගැනීම:

දිනක් හෝ දෙකක් ඇතුළත වැඩිමනත් තොරතුරු දැනගන්නට ලැබුණු නිසා, තරමක් සංශෝධනය විය යුතු වුවත් අප විසින් මේ හා අදාළව මුලින් ලියා ඇති දේ පහත එලෙසම උපුටා දක්වනවා. 

"විදේශ සංචිත 

මෙම වසර අවසානයේදී ඩොලර් බිලියන 4.43 දක්වාත්, 2026 වන විට ක්‍රමයෙන් ඩොලර් බිලියන 10.89 දක්වාත් වර්ධනය කර ගත යුතුයි. මගේ ඇස්තමේන්තුව මේ වන විට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2.5-2.6 ආසන්න මට්ටමක ඇති බවයි. අරමුදලේ පළමු වාරික දෙක ඩොලර් මිලියන 666ක් සේ සැලකුවොත්, සැප්තැම්බරයේ බංග්ලාදේශයට ගෙවිය යුතු ඩොලර් මිලියන 200 ගෙවීමෙන් පසුව, ඩොලර් බිලියන 3ක් පමණ දක්වා සංචිත මුදල් ඉහළ යනවා. ඩොලර් බිලියන 4.43 දක්වා සංචිත වැඩි කර ගැනීමටනම් මහ බැංකුවට වසර තුළ ඩොලර් බිලියන 1.4ක් පමණ වෙළඳපොළෙන් මිල දී ගැනීමට සිදු වෙනවා. පොලී ගෙවීම් හැර ජංගම ගිණුම් ශේෂයෙහි ඩොලර් මිලියන 150ක පමණ අතිරික්තයක් තිබිය යුතු නිසා, අවම වශයෙන් වසර තුළ ඩොලර් බිලියන 1.5ක පමණ ශුද්ධ විදේශ ණය ප්‍රමාණයක් ලබා ගත යුතු වෙනවා. ඊට අමතරව වසර තුළ ගෙවිය යුතු විදේශ ණය හා පොලී ගෙවීම සඳහා ඩොලර් බිලියන 3.2ක් පමණ අවශ්‍ය නිසා මේ ඉලක්කයට යාමටනම් ඩොලර් බිලියන 4.7ක පමණ විදේශ ණය අවශ්‍යයි. එම ණය ප්‍රමාණය ලබා ගැනීම සඳහා සැලසුම් රජය සතුව තිබෙනවා විය හැකියි."

ඉහත ලිපිය පළ කළ මාර්තු මාසය අවසන් වන විට, මා හිතන පරිදි අරමුදලේ පළමු වාරිකයද ඇතුළත්ව, නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,694ක්ව පැවතුණා. අගෝස්තු මාසය අවසානයේදී, මා හිතන පරිදි බංග්ලාදේශයට ගෙවිය යුතු වූ ණය මුදල ගෙවීමෙන් පසුව, නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 3,600 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අරමුදලේ දෙවන වාරිකය වසර තුළ ලැබුණහොත් මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 3,934ක් පමණ දක්වා ඉහළ යනවා. 

අරමුදල විසින් ලබා දී ඇති ඉලක්ක අනුව, වසර අවසාන වන විට මහ බැංකුව විසින් ඩොලර් මිලියන 4,431 දක්වා සංචිත වර්ධනය කර ගත යුතුයි. ඒ අනුව, අරමුදලේ දෙවන වාරිකය ලබා ගැනීමෙන් පසුවද, වසරේ අවසන් මාස හතර තුළ වෙළඳපොළෙන් තවත් ඩොලර් මිලියන 500කට ආසන්න විදේශ විණිමය ප්‍රමාණයක් මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් මිල දී ගත යුතුව තිබෙනවා. 

ඉහත සටහනෙහි සඳහන් වසර තුළ ගෙවිය යුතු වූ විදේශ ණය හා පොලී ප්‍රමාණයෙන් කොටසක් මේ වන විට ගෙවා අවසන්ව ඇති අතර තවත් කොටසක් ගෙවීම පැහැර හරිනු ලැබ හෝ කල් දමා තිබෙනවා. අගෝස්තු, සැප්තැම්බර් හා නොවැම්බර් මාස වල ආපසු ගෙවිය යුතු ණය වාරික හා පොලී ප්‍රමාණය ඩොලර් මිලියන 310ක් පමණයි. දෙසැම්බර් මාසයේදීද යම් ප්‍රමාණයක් ගෙවන්නට තිබෙනවා විය යුතු වුවත්, විදේශ අංශයේ දැනට පවතින තුලනය අනුව මේ ප්‍රමාණය ආපසු ගෙවීම විශාල ප්‍රශ්නයක් විය නොහැකියි. 

මේ අනුව, අප විසින් හඳුනාගත් පළමු අභියෝගය මේ වන විට සෑහෙන තරම් සාර්ථක ලෙස ජයගෙන ඇති නමුත් තවමත් අභියෝගය අවසන්ව නැහැ. ණය වාරික හා පොලී ගෙවීම සඳහා අවශ්‍ය වන මුදල රජයට අලුත් ණය ලෙස ලැබෙන්නට ඉඩ ඇතත්, සංචිත ඉලක්කයට යාම සඳහා මහ බැංකුව විසින් තවත් ඩොලර් මිලියන 500ක් පමණ මිල දී ගත යුතුයි. රජය විසින් වසර තුළ ආපසු ගෙවිය යුතු ප්‍රමාණයට වඩා වැඩියෙන් විදේශ ණය ලබා ගැනීමට සමත් වුවහොත් මෙය පහසු කටයුත්තක් විය හැකියි. එසේ නොවුවහොත් සංචිත මිල දී ගැනීම හෝ විණිමය අනුපාතය පවතින මට්ටමෙහි පවත්වා ගැනීම යන ඉලක්ක දෙකෙන් එකක් අත හරින්නට සිදු වෙනවා. 

අගෝස්තු මාසය තුළ මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 170.5ක සංචිත ප්‍රමාණයක් විකුණා තිබෙනවා. ඊට පෙර, ජූලි මාසය තුළද මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 12.5ක් විකුණා දමා තිබුණා. අපට පෙනී යන්නේ ඩොලරයක මිල රුපියල් 330 සීමාවට කිට්ටු වෙද්දී මහ බැංකුව නොසන්සුන් වන බවකුයි. මෙම 330 අංකය ඩොලරය මත වූ විචලන සීමාවන් ඉවත් කරන්නට පෙර මහ බැංකු අධිපතිවරයාගේ කටින් එළියට පැන්න අගයක්. පුද්ගලික විනිශ්චයන් මත පදනම් වූ මෙවැනි සීමාවන් සවිඥානිකව හෝ අවිඥානිකව මහ බැංකුවේ මැදිහත්වීම් කෙරෙහි බලපානවා විය හැකියි. 200 වගේම 330 කියන්නේත් නිකම්ම අංකයක් පමණයි!

අරමුදලේ පුවත් නිවේදනයේද මේ ගැන සඳහනක් දැකිය හැකියි.

"Reserve accumulation has slowed in recent months."

“Against continued uncertainty, it also remains important to rebuild external buffers by strong reserves accumulation."

වර්ෂාවසාන සංචිත ඉලක්කයට යාම තවමත් නොකළ හැක්කක් නෙමෙයි. එහෙත්, ඩොලරයක මිල ඉහළ යාම ගැන ඕනෑවට වඩා සැලකිලිමත් වෙන්න ගියොත් ඉලක්කය වරදින්න පුළුවන්. පාලිත පාවෙන විණිමය අනුපාත ක්‍රමයේ ප්‍රශ්නය සවිඥානිකව හෝ අවිඥානිකව ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ විනිශ්චයන් විණිමය අනුපාතය කෙරෙහි බලපෑම් කිරීමයි. එම විනිශ්චයන් පහසුවෙන්ම වැරදෙන්න පුළුවන්. 

ණය ප්‍රතිව්‍යුහගත කර අවසන් කිරීම:

පහත උපුටා දක්වන්නේ මාස හයකට පෙර මේ ගැන අප විසින් ලියා ඇති දෙයයි. 

"මීට අමතරව ණය ප්‍රතිව්‍යුහගත කිරීම ක්ෂණික අභියෝගයක් ලෙස තිබෙනවා. ස්වෛරිත්ව බැඳුම්කර සඳහා ගෙවිය යුතු මුදල් ප්‍රමාණයෙන් අඩක් පමණ ලබා ගැනීමට ඔවුන් කැමති විය යුතු බවකුයි මට පෙනෙන්නේ. එසේ නැත්නම් මේ ඉලක්ක වලට යන්න බැහැ. මෙම අභියෝගය, මගේ අදහස අනුව, ඉහත කී අභියෝග දෙක තරම් අමාරු නැහැ."

මෙහි අප විසින් කර තිබෙන ණය වලින් අඩක් (50%ක්) කපා හැරීමේ අවශ්‍යතාවය පදනම් වන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු නොවන්නේය යන උපකල්පනය මතයි. විදේශ ණය හා අදාළව එවැනි ණය කපා හැරීමක් සිදු වීනම්, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍ය විය නොහැකිව තිබුණා. 

කෙසේ වුවත්, දැන් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කර අවසන්. එයින් අදාළ කාලය තුළ දදේනියෙන් 1.5%ක පමණ ණය බර අඩුවීමක් අපේක්ෂා කර තිබුණා. අදාළ විදේශ ණය වලින් 30%ක් කපා හැරීම මගින් අදාළ කාලය තුළ ණය බරෙහි දදේනියෙන් 2.6%ක අඩුවීමක් අපේක්ෂා කෙරෙනවා. යම් හෙයකින් අදාළ විදේශ ණය වලින් 50%ක් කපා හැරිය හැකි වීනම්, ඒ මගින් පමණක් දදේනියෙන් 4.3%ක පමණ ණය සහනයක් ලැබෙන නිසා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. 

අර්බුදයෙන් පසුව ස්වෛරිත්ව බැඳුම්කර වල වෙළඳපොළ වටිනාකම 50% මට්ටමෙන් පහතට පැමිණ තිබුණු නිසා 50%ක ණය කප්පාදුවක් වුවද කළ නොහැක්කක් නොවූ බව මගේ අදහසයි. එයින් අදහස් වන්නේ මෙවැන්නක් ආතතියක් නැතිව, පහසුවෙන් කළ හැකි වූ බව නෙමෙයි. නමුත්, යම් උත්සාහයක් දැරිය හැකිව තිබුණා. එය කළ නොහැකි වන්නට හේතුව විය හැක්කේ ද්විපාර්ශ්වික ණයයි. වාණිජ ණය හා අදාළව මෙවැනි සහනයක් අපේක්ෂා කරන්නේනම්, ද්විපාර්ශ්වික ණය හා අදාළවද ඊට සමාන ආකාරයකින් සැලකිය යුතුව තිබුණා.

මේ වන විට ඉලක්කය විදේශ ණය වලින් 30%ක් කපා හැරීම වුවත්, මෙම කටයුත්ත තවමත් අවසන් නොවීමෙන් පෙනෙන්නේ එය හිතන තරම් පහසු නැති බවයි. ප්‍රධාන බාධකය චීනය බවද පෙනෙන්නට තිබෙනවා. චීන ණය ද්විපාර්ශ්වික ණය ගොඩේ වගේම වාණිජ ණය ගොඩේද තිබීම විශේෂත්වයක්. මේ අනුව, වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා අදාළවද සීමාකාරී සාධකය වී තිබෙන්නේ චීනයයි. 

ලංකාවේ ආර්ථික අර්බුදයට හේතු වූ ප්‍රධාන ප්‍රශ්නය විදේශ ණය ප්‍රශ්නයයි. එම ප්‍රශ්නය නොවිසඳා දේශීය ණය පමණක් ප්‍රතිව්‍යුහගත කිරීමෙන් මූලික ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. කලින්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සිදුව තිබෙන්නේ අමාරු වැඩේ පැත්තකින් තියා ලේසි වැඩේ කලින් කිරීමක්. බදු පදනම් වැඩි කර ගැනීම වෙනුවට දැනටම බදු ගෙවන අයගේ බදු අනුපාතික වැඩි කිරීම වගේම තමයි. 

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මේ වන විට සාර්ථක ලෙස අවසන් කර තිබෙනවා. එහෙත්, එයින් ණය තිරසාරත්වය ඇති වන්නේ ප්‍රාථමික අයවැය ශේෂ ඉලක්ක සාක්ෂාත් කර ගැනීම හා විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම යන කරුණු දෙක ඉටු වුවහොත් පමණයි. මේ මොහොත වන විටද විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රශ්නය එලෙසම තියෙනවා. එම ප්‍රශ්නය එලෙසම තිබියදී සාර්ථක ලෙස දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අලියා ගන්නට පෙර හෙණ්ඩුව මිල දී ගැනීමක් පමණයි. 

වැඩ සටහන් කාලය අවසාන වන විට අවශ්‍ය රාජ්‍ය ආදායම් ඉලක්කය වෙත යාම:

පළමු සය-මාසික සමාලෝචනයෙන් පසුව සිදු කළ නිවේදනයෙහි රාජ්‍ය ආදායම් ඉලක්ක සම්බන්ධව විශාල අවධානයක් යොමු කර තිබෙනවා. පහත තියෙන්නේ පසුගිය මාර්තු මාසයේදී අප විසින් ඒ සම්බන්ධව ලියා ඇති දෙයයි.

"පසුගිය (2022) වසරේ දදේනියෙන් 8.5%ක් වූ රාජ්‍ය ආදායම 2026 වන විට දදේනියෙන් 15.0% දක්වා වර්ධනය කර ගත යුතුයි. මෙය රුපියල් බිලියන 1,900 මට්ටමේ සිට රුපියල් බිලියන 5,600 මට්ටම දක්වා රජයේ ආදායම් වැඩි කර ගැනීමක්. ඒ ගැන ඊට වඩා කියන්න යන්නේ නැහැ."

ශ්‍රී ලංකා රජය විසින් හැමදාමත් ආකර්ශනීය ආදායම් ඉලක්ක ඉදිරිපත් කරන නමුත් මතක ඇති කාලයක එම ඉලක්ක ලඟා කරගෙන නැහැ. දැනට වුනත්, මේ තත්ත්වයේ වෙනසක් නැහැ. බදු අනුපාතික වැඩි කරගැනීම මගින් රජයේ ආදායම් වැඩි කරගෙන ඇතත් ඉලක්ක මට්ටමට බදු ආදායම් වැඩි කරගෙන නැහැ. 

පළමු සය-මාසික සමාලෝචනයේදී සලකා බලනු ලැබුවේ ජූනි මස අවසානයේ තත්ත්වයයි. වසරේ පළමු මාස හය තුළ රජයේ බදු ආදායම වූයේ රුපියල් බිලියන 1,198.85ක් පමණයි. අරමුදල සමඟ එකඟ වී තිබුණු ඉලක්කය වූයේ රුපියල් බිලියන 1300ක්. මේ අනුව, රජයේ ආදායම ඉලක්කයට වඩා 7.8%කින් අඩුයි. අරමුදල විසින් පුරෝකථනය කර තිබෙන්නේ මෙම වෙනස වසර අවසාන වන විට 15% දක්වා ඉහළ යනු ඇති බවයි. 

කෙසේ වුවද, ණය තිරසාරත්වය සඳහා ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වූයේ ප්‍රාථමික අයවැය ශේෂ ඉලක්කය ළඟා කර ගැනීමයි. ආදායම් ඉලක්කය අවශ්‍ය වූයේ එයට උදවුවක් ලෙසයි. අරමුදල සමඟ වූ එකඟතාවය අනුව, පළමු මාස හය අවසානයේදී ප්‍රාථමික අයවැය ශේෂය රුපියල් බිලියන 113ක හිඟයක් ඉක්මවිය නොහැකිව තිබුණා. රජය විසින් රුපියල් බිලියන 30.7ක අතිරික්තයක් වාර්තා කර තිබෙනවා. මෙය කර තිබෙන්නේ ආදායම ඉලක්කයට වඩා රුපියල් බිලියන 101.15කින් අඩු වෙද්දී, වියදම ඉලක්කයට වඩා රුපියල් බිලියන 244.85කින්, එනම් 17.3%කින් අඩු කිරීම මගින්. 

මගේ අදහසනම් ආදායම් ඉලක්කය කරා යා නොහැකි බව රජය මුල සිටම දැන සිටි දෙයක්. නමුත්, යා හැකි මට්ටමට වඩා වැඩි ඉලක්කයක් ලබා නොදුනහොත් අදාළ ආයතන/ නිලධාරීන් යා හැකි මට්ටමටවත් යන්නේ නැහැ. මෙය ලංකාවේ සාමාන්‍ය තත්ත්වයක්. ඉලක්කයෙන් 92.2%ක් දක්වා යාම ලංකාවේ පසුබිමේදී නරක දෙයක් කියා මම හිතන්නේ නැහැ. 

මගේ මතකය පරිදි පසුගිය මාර්තු මාසය ආසන්නයේදී භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන විසින් මේ පිළිබඳ අදහස් දැක්වීමක් සිදු කළා. එහිදී ඔහු විසින් අරමුදලේ මෙහෙයුම් ඉලක්කය ප්‍රාථමික අයවැය ශේෂය බවත්, ආදායම් ඉලක්ක වලට යා නොහැකි වුවහොත්, වියදම් සීමා කිරීම මගින් ප්‍රාථමික අයවැය ශේෂ ඉලක්කය කරා යාමට කටයුතු කරන බවත් එහිදී පැහැදිලිව සඳහන් කළා. මගේ මතකය නිවැරදිනම් මේ සාකච්ඡාවට මහ බැංකු අධිපතිද සහභාගී වුනා. මේ වන විට භාණ්ඩාගාරය පැත්තෙන් මේ අවශ්‍ය දේ සිදු වී තිබෙනවා.

කෙසේ වුවත්, අරමුදලේ නිවේදනය අනුව පෙනෙන්නේ රජයේ වියදම් කැපීම සාධනීය දෙයක් ලෙස නොව නිශේධනීය දෙයක් ලෙස ඔවුන් විසින් සලකා ඇති බවයි. ඔවුන්ගේ නිවේදනයෙන් පෙනී යන්නේ මොන විදිහකින් හෝ ආදායම් වැඩි කර ගත යුතු බව කියා සිටීමක්. මෙය එක අතකින් මස් රාත්තලම ඉල්ලීමක්. මීට පෙර මහ බැංකු අධිපතිවරයා විසින්ද රජයේ ආදායම් ඉලක්ක ලඟා කර නොගැනීම ගැන බර තබා කතා කර තිබුණා.

දිගුකාලීනව හා මැදිකාලීනව කෙසේ වුවත් වසර තුළ රජයේ ආදායම් ඉලක්ක ලඟා කර ගත නොහැකි වීමට සිදු වීම තනිකරම රජයේ වරදකින් සිදු වන දෙයක් නෙමෙයි. උද්ධමනය ඉලක්ක මට්ටම ඉක්මවා පහත වැටීම මෙයට ප්‍රධාන හේතුවක්. 

අරමුදල සමඟ එකඟ වී සකස් කරගත් ස්ථායීකරණ වැඩපිළිවෙළ අනුව වසර අවසානයේ උද්ධමනය පැවතිය යුතු වූයේ 12%-18% පරාසය තුළයි. එහෙත්, මේ වන විට උද්ධමනය 1.3% දක්වා පහත වැටී තිබෙනවා. උද්ධමනය අඩු වීම හොඳ දෙයක් වුනත්, මෙහිදී සිදු වී තිබෙන්නේ වැඩ සටහනේ ඉලක්ක වලින් පිට පැනීමක්. වැඩ සටහන අනුව වසර අවසානයේදී උද්ධමනය 12% මට්ටමට වඩා අඩු විය යුතු නැහැ. 

ස්ථායීකරණ වැඩපිළිවෙළ පැත්තකින් තිබ්බත් මහ බැංකුවේ දිගුකාලීන ප්‍රකාශිත ඉලක්කය උද්ධමනය 4%-6% මට්ටමේ තියා ගැනීමයි. වැඩ සටහන තුළ ඉලක්ක කළේ වැඩ සටහන් කාලය අවසන් වෙද්දී උද්ධමනය මෙම මට්ටම දක්වා අඩු කිරීමයි. මෙවැනි ප්‍රකාශිත ඉලක්කයක් තිබියදී උද්ධමනය ඊට වඩා අඩු වීම සාර්ථක මුදල් ප්‍රතිපත්ති කළමනාකරණයක් ලෙස හඳුන්වන්න බැහැ. මිල ස්ථායීතාවය යන්නේ අදහස් වන්නේ උද්ධමන ඉලක්ක කලින් ප්‍රකාශයට පත් කර එම ඉලක්ක ලඟා කර ගැනීමයි. උද්ධමනය ඉලක්ක සීමාවෙන් උඩට යාම වගේම පහළට යාමද මිල ස්ථායීතාවය නෙමෙයි. පහළ අගයක් කලින්ම ඉලක්කය සේ ඉදිරිපත් කළානම් එය වෙනම කතාවක්.

උද්ධමනය මෙසේ ඉලක්ක මට්ටමට වඩා අඩුවීම ගැන අරමුදල කතා කරන්නේ, මහ බැංකුව මෙන්ම, විශාල ජයග්‍රහණයක් ලෙසයි.

"These efforts are bearing fruit as the economy is showing tentative signs of stabilization. Inflation is down from a peak of 70 percent in September 2022 to below 2 percent in September 2023..."

මෙහි තිබෙන ප්‍රශ්නය උද්ධමනය ඉලක්කය ඉක්මවා ඉහළ ගිය විට මෙන්ම පහළ ගිය විටද පුද්ගලයින්ගේ හා ආයතන වල ආර්ථික තීරණ කෙරෙහි එයින් නිශේධනාත්මක බලපෑමක් සිදු වීමයි. වසර මුල රජයේ ආදායම් ඉලක්ක සකස් කරන විට එම ඉලක්ක සකස් කරන්නට ඇත්තේ වසර අවසානයේදී උද්ධමනය 15%කට ආසන්න මට්ටමක පවතිනු ඇතැයි සලකමිනුයි. සමාගම් වල ආදායම් ඇස්තමේන්තු ආදිය කෙරෙහිද මෙය මෙලෙසම බලපානවා.

වැට් වැනි බදු අය කෙරෙන්නේ විකිණුම් මිල මතයි. උද්ධමනය නිසා මිල ඉහළ යද්දී බදු ආදායම්ද ඉහළ යනවා. උද්ධමනය අඩු වෙද්දී අපේක්ෂිත බදු ආදායම් අඩු වෙනවා. ඒ වගේම, උද්ධමනය වැඩි වෙද්දී බොහෝ දෙනෙකුගේ ආදායම්ද වැඩි වෙනවා. ඒ මත අය කෙරෙන බදු ප්‍රමාණය ඉහළ යනවා. උද්ධමනය අඩු වෙද්දී මෙම බදු ආදායම් අපේක්ෂිත මට්ටමට වඩා අඩු වෙනවා.

උද්ධමනය මේ තරම් පහළට ඇවිත් තියෙන්නේ මුදල් සැපයුම සීමා කිරීම නිසා පමණක් නෙමෙයි. ඩොලරයක මිල අඩු වීම ආනයනික මිල ගණන් සැලකිය යුතු ලෙස පහත දමා තිබෙනවා. ඩොලරයක මිල අහම්බයක් නෙමෙයි. මහ බැංකුවේ මැදිහත්වීම් වල බලපෑම මෙහි තිබෙනවා. අරමුදලේ වැඩ සටහන සකස් කරන විට උපකල්පනය කර තිබුනේ වසර අවසානයේදී ඩොලරයක මිල රුපියල් 390ක් පමණ වනු ඇති බවයි. එය එසේ නොවී කාලයක් පැවති 360 මට්ටමෙන්ද පහළට ආවේ තවමත් දිගටම ක්‍රියාත්මක වන ආනයන සීමාවන් හා මහ බැංකුවේ මැදිහත්වීම් වල සීමාවන් නිසායි. ඩොලරයක මිල ඉලක්ක මට්ටමට වඩා පහළ යාමද රජයේ බදු ආදායම් කෙරෙහි නිශේධනාත්මක බලපෑමක් සිදු කරනවා. මේ තත්ත්වයන් තුළ මුල් බදු ආදායම් ඉලක්ක ලඟා කර ගැනීම කළ නොහැක්කක්.

සමාලෝචනය සිදු කළ අරමුදලේ නිලධාරීන් විසින් සිදු කර තිබෙන වැරැද්ද උද්ධමනය හා ඩොලරයක මිල අඩු වීම නිසා රජයේ බදු ආදායම් කෙරෙහි වූ බලපෑම නොසලකා හරිමින් ආදායම් අඩු වීම ගැන පමණක් බර තබා කතා කිරීමයි. අනෙක් අතට උද්ධමනය හා ඩොලරයක මිල අඩු වෙද්දී රජයේ වියදම්ද ඉලක්ක මට්ටමට වඩා පහළින් පවත්වා ගත හැකි වෙනවා. රජය විසින් එය එසේ කර තිබෙනවා. ඒ නිසා, අඩු වශයෙන් කෙටිකාලීනව, රාජ්‍යමූල්‍ය කළමනාකරණය පැත්තෙන් ස්ථායීතාවය තර්ජනයට ලක් කිරීමට ක්‍රියා කර නැහැ. 

කෙටිකාලීනව ප්‍රශ්නයක් නැතත්, මැදිකාලීනව ප්‍රශ්නය එලෙසම තිබෙනවා. පසුගිය මාර්තු මාසයේදීම සටහන් කළ පරිදි, දදේනියෙන් 8.5%ක් වූ රාජ්‍ය ආදායම 2026 වන විට දදේනියෙන් 15.0% දක්වා වර්ධනය කර ගත යුතුයි. නමුත්, මෙය කරන්න වෙන්නේ බදු අනුපාතික වැඩි නොකර බදු පදනම පුළුල් කර ගැනීමෙන්. බදු අනුපාතික දැනටමත් වැඩි කර අවසානයි. තවත් කරන්නට තිබෙන්නේ වත්කම්/ ධන බද්ද පැනවීම පමණයි. එයින් බදු ආදායම් වල විශාල වැඩි වීමක් වෙන්නේ නැහැ. 

විපක්ෂයේ සිට ආණ්ඩුව විවේචනය කරන කණ්ඩායම් විසින් රජයේ ආදායම් වැඩි කර ගන්නා ආකාරය නිශ්චිතව පෙන්වා දී නැතුවා වගේම ආණ්ඩුව විසින්ද මේ වැඩේ කරන විදිහ නිශ්චිතව පෙන්වා දී නැහැ. අවශ්‍ය ආදායම් ඉලක්ක වලට නොගියහොත් ප්‍රාථමික අයවැය අතිරික්තය පවත්වා ගැනීම සඳහා දිගින් දිගටම වියදම් සීමා කරන්න සිදු වෙනවා. ආණ්ඩුවේ උපාය මාර්ගය එය වෙන්න පුළුවන්. කොහොම වුනත්, වැඩ සටහන අවසන් වන තුරු අවශ්‍ය ප්‍රාථමික අයවැය අතිරික්තය පවත්වා ගත නොහැකි වුවහොත් ණය තිරසාරත්වය ඇති වන්නේ නැහැ. මෙම අභියෝගය 2027 පමණ දක්වා පවතින අභියෝගයක්. 

වැඩ සටහන් කාලය අවසාන වන විට අවශ්‍ය විදේශ ආදායම් ඉලක්කය වෙත යාම:

"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශය වන්නේ රටක අවම විදේශ සංචිත අවශ්‍යතාවය මෙන් 100%-150% අතර ප්‍රමාණයක් සංචිත ලෙස තබා ගත යුතු බවයි. ඩොලර් මිලියන 14,208 යනු (2027දී) මෙම අවම ප්‍රමාණයයි. එනම්, 100% මට්ටමයි. 150% මට්ටම යනු ඩොලර් මිලියන 21,312ක්. 

ලංකාව මෙම අවම මට්ටම දක්වා ක්‍රමයෙන් සංචිත ගොඩ නගා ගත යුත්තේ පහත ආකාරයෙනුයි.

2023 අවසානය - ඩොලර් මිලියන 4,431 දක්වා 

2024 අවසානය - ඩොලර් මිලියන 6,128 දක්වා 

2025 අවසානය - ඩොලර් මිලියන 8,520 දක්වා 

2026 අවසානය - ඩොලර් මිලියන 10,888 දක්වා 

2027 අවසානය - ඩොලර් මිලියන 14,208 දක්වා"

"සංචිත වැඩි කර ගැනීමේ අභියෝගය" - ජූලි 12, 2023.

මේ ඉලක්ක වලට යාම සඳහා රජය සතු වැඩ පිළිවෙළ කුමක්ද? ආණ්ඩුව සතු වැඩ පිළිවෙළ කුමක්ද? අනෙකුත් විපක්ෂ කණ්ඩායම් සතු වැඩ පිළිවෙළ මොනවාද?

(මගේ යෝජනා මොනවාද කියලා අහන්න එපා. මා සතුව එවැනි යෝජනා නැහැ.)

ලොකුම ප්‍රශ්නය මෙයයි. මොන විදිහකින් හෝ මේ වසර අවසානයේදී ඩොලර් මිලියන 4,431 ඉලක්කයට ගියා කියමු. ඔය සංචිත ප්‍රමාණය 2027 අවසානය වන විට ඩොලර් මිලියන 14,208 දක්වා උස්සන්න තරම් ඩොලර් ප්‍රවාහයක් රටට එන්නේ කොහෙන්ද? මටනම් එහෙම එන ක්‍රමයක් පේන්න නැහැ. 

මේ අවුරුද්ද අවසාන වන විට අපනයන ආදායම් ඉලක්කය ඩොලර් මිලියන 13,106ක්. මෙය 2027 වන විට ඩොලර් මිලියන 16,869 දක්වා ඉහළ යා යුතුයි. ජූලි මාසය අවසන් වන විට අපනයන ආදායම ඩොලර් මිලියන 6,891.5ක් පමණයි. මෙය පසුගිය 2022 වසරේ පළමු මාස හතට සාපේක්ෂව 10.3%ක අඩු වීමක්. මේ යන විදිහට ගියොත් ඩොලර් බිලියන 12 සීමාවට යන්නත් අමාරුයි. පසුගිය වසරේ ඩොලරයක මිල ඉහළ යාම අපනයන වලට සාධනීය ලෙස බලපාන්න ඇති. ඩොලරයක මිල පහළ යද්දී ඒ තත්ත්වය කණපිට හැරෙනවා. 

සංචිත ඉලක්ක වලටද යමින්, අපනයන ආදායම් වැඩි කර ගනිමින් ආනයන සීමා කර ගන්නනම් ඩොලරයක මිල ගැන වෙනස් විදිහකට හිතන්න වෙනවා. ඩොලරයක මිල ඉහළ යද්දී ආනයනික භාණ්ඩ මිල වැඩි වී උද්ධමනය ටිකක් ඉහළ යයි. දැන් පවතින මට්ටම එක්ක එය ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. විණිමය අනුපාතයේ උදවුවෙන් උද්ධමනය පහළින් තියා ගැනීම කියන්නේ දිගින් දිගටම අත් හදා බලලා අසාර්ථක වූ ක්‍රමය. ඒ ක්‍රමය නැවත පරීක්ෂා කළ යුතු ක්‍රමයක් නෙමෙයි. ඩොලරයක මිලත් පහළින් තියාගෙන රටට ඩොලර් එකතු කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවානම් කවුරු හෝ විසින් ඒ ක්‍රමය ඉදිරිපත් කළ යුතුයි. එහෙම ක්‍රමයක් ගැන කවුරුවත් නිශ්චිතව විස්තර කරලා නැහැ. 

Wednesday, September 27, 2023

උද්ධමනය 1.3% වෙද්දී IMF වාරිකය ප්‍රමාද වෙයි!


කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2023 සැප්තැම්බර් මාසයේ උද්ධමනය 1.3% දක්වා පහත වැටී තිබෙනවා. වසරකට පෙර, ඉතිහාසයේ වාර්තාගත ඉහළම මට්ටම වූ 69.8% ලෙස පැවති මෙම අගය මාස දොළහක කාලයක් තුළ මෙපමණ පහත වැටීම සුවිශේෂී තත්ත්වයක්. මීට පෙර අවසන් වරට උද්ධමනය මෙවැනි පහළ මට්ටමක පැවතුනේ 2015 වසරේදීයි. 

කෙසේ වුවද, අපගේ ඇස්තමේන්තුව වනුයේ උද්ධමනය පහත වැටීමේ ප්‍රවණතාව මෙම මාසයෙන් නවතින බවයි. ඉදිරි මාසයේදී උද්ධමනය 2% පමණ දක්වා ඉහළ යා හැකියි. 

මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී මට්ටමේ විමර්ශනය සිදු කර අවසන්ව ඇති නමුත් දෙවන ණය වාරිකය ලබා දීම පිළිබඳව තවමත් තීරණයකට පැමිණ නැහැ. එය යම් තරමකින් ප්‍රමාද විය හැකි බව පෙනෙන්නට තිබෙනවා. මෙහිදී තීරණාත්මකම සාධකය වනු ඇත්තේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතියයි. 

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා අදාළව බාධකය වී තිබෙන්නේ චීනය බව පෙනෙන්නට තිබෙනවා. මෙම කටයුත්ත ඉදිරි මාසය හෝ දෙක තුළ සිදු වුවහොත් වැඩ සටහනේ ඉලක්ක සමඟ රැඳී සිටීමට විශාල අපහසුතාවයක් නැතත්, ඊටත් වඩා කල් ගියහොත් යම් අතුරු ප්‍රශ්න වලට මුහුණ දෙන්නට සිදු වෙනවා. මේ අතරින් ප්‍රධානම ප්‍රශ්නයක් වනු ඇත්තේ විදේශ සංචිත ඉලක්ක සාක්‍ෂාත් කර ගැනීමයි. 

දැනටමත් රජයේ ආදායම් ඉලක්ක මග හැරෙමින් ඇති අතර පසුගිය දෙමස තුළ මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් සංචිත යම් ප්‍රමාණයක් විකුණා තිබෙනවා. මෙම කරුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානයට යොමු වී තිබෙනවා. 

අරමුදලේ වැඩ සටහන සමඟ දිගටම රැඳී සිටීමටනම් රජයට බදු යාන්ත්‍රණය ශක්තිමත් කිරීම, හිඟ බදු අය කර ගැනීම සහ බදු නිදහස් කිරීම් ඉවත් කිරීම ගැන මෙන්ම රාජ්‍ය අංශයේ අනෙකුත් ප්‍රතිසංස්කරණ ගැනද මීට වඩා බරපතල ලෙස සිතන්නට සිදු වෙනවා. ඒ වගේම, මහ බැංකුවට විණිමය අනුපාතය දැනට පවත්වාගෙන යන මට්ටමෙන් ඉහළට යාම මානසික බාධකයක් කර නොගෙන සංචිත එකතු කරගන්නට සිදු වෙනවා.

Tuesday, September 26, 2023

ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ යයි!


ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ශ්‍රී ලංකා රජයේ දිගුකාලීන රුපියල් ණය වල, එනම් භාණ්ඩාගාර බැඳුම්කර වල, අවදානම් ශ්‍රේණිය CCC+ කාණ්ඩය දක්වා ඉහළ දමා තිබෙනවා. මෙම තීරණයට හේතු වී තිබෙන්නේ සාර්ථක ලෙස දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා ණය තිරසාරත්වය ඇති වීමයි. 

පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙම වර්ගීකරණය "තෝරාගත් ණය පැහැර හරිනු ලැබූ (selective default)" යටතට දමනු ලැබූ අතර ඊට පෙරද වර්ගීකරණය වී තිබුණේ CC කාණ්ඩය යටතේයි. දැන් ලංකාව තබා තිබෙන්නේ ඊට කට්ට තුනක් උඩිනුයි. 

ශ්‍රී ලංකා රජයේ විදේශ ණය තවමත් තිබෙන්නේ "තෝරාගත් ණය පැහැර හරිනු ලැබූ (selective default)" වර්ගීකරණය තුළයි. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු වන ආකාරය අනුව, එයින් පසුව ලංකාව CCC හෝ B- කාණ්ඩයක තැබීමට ඉඩ තිබෙන බවද ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් ආයතනය විසින් සඳහන් කර තිබෙනවා. 

බැඳුම්කර ගනුදෙනු


භාණ්ඩාගාර බැඳුම්කර වල කූපන් පොලී අනුපාතික හා ඵලදා අනුපාතය අතර වෙනස ගැන කිහිප වරක්ම පැහැදිලි කර ඇතත්, ගොඩක් අයට තවමත් හරි අවබෝධයක් නැති නිසා උදාහරණයක් අරගෙන පුලුවන් තරම් සරලව පැහැදිලි කිරීමක් කරන්න උත්සාහ කරන්නම්. මේ ලිපිය ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන හෝ සේවක අර්ථ සාධක අරමුදල ගැන කතා කරන ලිපියක් නෙමෙයි.

මේ වන විට නිකුත් කර තිබෙන භාණ්ඩාගාර බැඳුම්කර වර්ග අතරින් වැඩිම කූපන් පොලියක් සහිත බැඳුම්කර නිකුත් කළේ පසුගිය වසර මුල. එම කූපන් පොලිය 22.5%ක්. මෙවැනි එක් කූපන් බැඳුම්කරයක් 2023 ජනවාරි 12 දින වෙන්දේසි කළා. එය කල් පිරෙන්නේ 2026 මැයි 15 දින. 

ප්‍රාථමික වෙන්දේසියෙන් මේ බැඳුම්කරයේ රුපියල් 100ක මුහුණත අගයක් මිල දී ගත් අයෙකුට 2023 ජනවාරි 12 දින බැඳුම්කරය කල් පිරෙන තුරු රුපියල් 22.50ක වාර්ෂික පොලියක් ලැබෙනවා. නමුත්, බැඳුම්කරයක් කියන්නේ ස්ථිර තැන්පතුවක් වැනි දෙයක් නොවන නිසා මෙම කූපන් පොලිය 22.5% වාර්ෂික පොලියක් ලැබෙන ස්ථිර තැන්පතුවකට සමාන කරන්න බැහැ. 

රුපියල් 100ක ස්ථිර තැන්පතුවක් දමන කෙනෙක් ඒ වෙනුවෙන් රුපියල් 100ක මුදලක් වැය කළ යුතුයි. ස්ථිර තැන්පතු පොලිය 22.50%නම් වාර්ෂිකව රුපියල් 22.50ක් ලැබෙන්නේ ඒ විදිහට රුපියල් 100ක් යට කළාට පස්සේ. නමුත් බැඳුම්කර ආයෝජන ඊට වඩා වෙනස්. වෙන්දේසියෙන් බැඳුම්කරයක රුපියල් 100ක මුහුණත් අගයක් මිල දී ගැනීම සඳහා ප්‍රාථමික අලෙවිකරුවන්ට සහ බැංකු වලට ලන්සු තියන්න පුළුවන්. මහ බැංකුව විසින් ලංසුව පිළිගත්තොත්, තමන් ලන්සු තැබූ මුදලට බැඳුම්කරයේ රුපියල් 100ක මුහුණත වටිනාකමක් මිල දී ගන්න ඉඩ ලැබෙනවා. ඒ ගණන රුපියල් 100ට අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. 

ඉහත හේතුව නිසා, බැඳුම්කර ආයෝජනයක් කරද්දී එහි කූපන් පොලිය කියන්නේ නිකම්ම අංකයක් පමණයි. තමන්ට ලැබෙන ප්‍රතිලාභය තීරණය වෙන්නේ බැඳුම්කරය මිල දී ගැනීම සඳහා යට කළ මුදල අනුවයි. හරියටම රුපියල් 100ක් ගෙවලා බැඳුම්කරය ගත්තානම් පමණක් ලැබෙන ප්‍රතිලාභය කූපන් පොලියට සමානයි. නමුත් කලාතුරකින් හැර බැඳුම්කරයක මිල හරියටම කූපන් පොලියට සමාන වෙන්නේ නැහැ.

බැංකු, ප්‍රාථමික අලෙවිකරුවෝ හෝ වෙනත් අය වෙන්දේසියෙන් මිල දී ගන්න බැඳුම්කර කල් පිරෙන තුරු අතේ තියාගෙන ඉන්නේ නැහැ. අනෙක් පැත්තට වෙනත් අයට විකුණනවා. මේ විදිහට ද්වීතියික වෙළඳපොළෙන් බැඳුම්කරයක් මිල දී ගනිද්දී වුනත් කෙනෙකුට ලැබෙන ප්‍රතිලාභය තීරණය වෙන්නේ එය මිල දී ගැනීම සඳහා යෙදවූ මුදල අනුවයි. කූපන් පොලිය කීයද කියන එක වැඩක්ම නැති දෙයක්. 

දැන් මේ 2023 ජනවාරි 12 දින වෙන්දේසි කළ, 2026 මැයි 15 දින කල් පිරෙන, 22.5% කූපන් පොලියක් සහිත, එකම බැඳුම්කරය ප්‍රාථමික වෙන්දේසියෙන් විවිධ බැංකු හා ප්‍රාථමික අලෙවිකරුවන් විසින් මිල දී ගන්නේ වෙනස් මිල ගණන් වලට. ඒ අනුව, ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභයද වෙනස් වෙනවා. සාමාන්‍ය අගයක් ලෙස ගත්තොත් එදින බැඳුම්කරයක් විකිණී තියෙන්නේ රුපියල් 88.10ක් පමණ මිලකට. ඒ මිලට, මේ බැඳුම්කරයේ රුපියල් 100ක මුහුණත අගයක් මිල දී ගත් අයෙකුට මාස හයකට වරක් ලැබෙන රුපියල් 11.25ක කූපන් පොලියට අමතරව කල් පිරීමේදී අමතර රුපියල් 11.90ක වාසියකුත් ලැබෙනවා. ඒ බැඳුම්කරය ගත් මිල සහ එහි මුහුණත අගය අතර වෙනස. මේ සියලු ලැබීම් සැලකූ විට එය යට කළ මුදල වෙනුවෙන් කල් පිරෙන තුරු 30.85%ක පොලියක් ලැබෙන එකට සමානයි. සාමාන්‍ය මිලට වඩා අඩු මිලකට වෙන්දේසියෙන් මෙම බැඳුම්කරය මිල දී ගත් කෙනෙකුගේ ප්‍රතිලාභය මීටත් වඩා වැඩියි. සාමාන්‍ය මිලට වඩා වැඩියෙන් ගෙවුවානම් ප්‍රතිලාභය අඩුයි. 

මාස හයකට පස්සේ මේ බැඳුම්කරයේ වටිනාකම රුපියල් 108.63ක් දක්වා ඉහළ යනවා. ඒ කියන්නේ, ඒ මිලට ද්වීතියික වෙළඳපොළේ විකිණිය හැකි පරිදි අර්පණ ඉදිරිපත් වෙනවා. ඒ අනුව, මාස හයකට කලින් වෙන්දේසියෙන් මේ බැඳුම්කරය රුපියල් 88.10කට මිල දී ගත් කෙනෙකුට එය රුපියල් 108.63කට විකුණා රුපියල් 20.53ක ප්‍රාග්ධන ලාබයක් ලබන්න පුළුවන්. ඊට අමතරව ඔය කාලය ඇතුළත කූපන් පොලී විදිහට තවත් රුපියල් 11.25ක් ලැබිලා. එකතුව රුපියල් 31.78ක්. 

දැන් මේ රුපියල් 31.78ක මුදල ලැබෙන්නේ රුපියල් 88.10ක ආයෝජනයක් වෙනුවෙන් මාස හයක කාලයකදී. ඒ කියන්නේ මාස හයකට 36.07%ක ප්‍රතිලාභයක්. මෙය 85.16%ක වාර්ෂික ප්‍රතිලාභයකට සමානයි!

වසරකට 85% ඉක්මවන ප්‍රතිලාභයකට සමාන මේ තරම් විශාල ප්‍රතිලාභයක් බැඳුම්කර ආයෝජකයින්ට ලබාගත හැකි වුනේ බැඳුම්කරයේ කූපන් පොලිය 22.5%ක් වූ නිසාද? කොහෙත්ම නැහැ. ආයෝජකයෙකුට ඔය මාස හය ඇතුළත මේ තරම් විශාල ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් වුනේ පොලී අනුපාතික විශාල ලෙස පහළ ගිය නිසා.

අපි හිතමු ඔය 22.5% කූපන් පොලී බැඳුම්කරය වෙනුවට ඔය දවසේම ද්වීතියික වෙළඳපොළෙන් අඩු කූපන් පොලියක් සහිත බැඳුම්කරයක් මිල දී ගත්තා කියලා. 2027 කල් පිරෙන 7.8% කූපන් පොලී බැඳුම්කරයක් ඔය දවසේදී අලෙවි වුනේ රුපියල් 49.91කට. මාස හයක් යද්දී එය රුපියල් 76.36ක් වෙලා. එතකොට මාස හයට ප්‍රාග්ධන ලාබය රුපියල් 26.45ක්. කූපන් පොලිය රුපියල් 3.90ක්. එකතුව රුපියල් 30.35ක්. රුපියල් 49.91ක ආයෝජනයකට මාස හයකට රුපියල් 30.35ක් කියන්නේ 60.88%ක්. එය 158.60%ක වාර්ෂික ප්‍රතිලාභයකට සමානයි. 

මේ උදාහරණ වල තියෙන්නේ ඇත්තම ගණන්. ඒ කියන්නේ ඔය මාස හයක කාලය ඇතුළත බැඳුම්කර ආයෝජකයෙකුගේ ඇත්තම ලාබය. ලාබය තීරණය වී තියෙන්නේ කූපන් පොලිය මත නොවන බව ඔය ගණන් දෙක සංසන්දනය කළත් අනිවාර්යයෙන්ම පැහැදිලි විය යුතුයි. 7.8% කූපන් බැඳුම්කරයෙන් ලබා ගත හැකි වූ ප්‍රතිලාභය 22.5% කූපන් බැඳුම්කරයේ ප්‍රතිලාභය වගේ දෙගුණයකට ආසන්නයි.

ඒ වගේම, ඔය දෙකෙන් කොයි එක ගත්තත්, බැඳුම්කර මිල දී ගනිද්දී පෙනෙන්න තිබුණු ඵලදා අනුපාතික සහ මාස හයකට පසුව ඇත්තටම ලැබුණු ප්‍රතිලාභ අනුපාතික අතරත් සම්බන්ධයක් නැහැ. ජනවාරි මාසයේදී 22.5% කූපන් බැඳුම්කරයේ ඵලදා අනුපාතිකය 31%ක් පමණ. 7.8% කූපන් බැඳුම්කරයේ ඵලදා අනුපාතිකය 28%කට ආසන්නයි. ඇත්තටම ලැබුණු ප්‍රතිලාභය ඒ වගේ කිහිප ගුණයක්. 

නැවත 22.5% කූපන් බැඳුම්කරය වෙත ගියොත්, රුපියල් 88.10ක් වූ එහි මිල මාස හයකට පසුව රුපියල් 108.63ක් දක්වා ඉහළ යනවා කියන්නේ ඒ මිල ගෙවා එය මිල දී ගන්නා අයෙකුගේ ඵලදා අනුපාතිකයද මුල් අනුපාතයට වඩා ගොඩක් අඩු වෙනවා කියන එක. එය 31.25% සිට 16.78%ක් දක්වා පහත වැටෙනවා. 

බැඳුම්කරය අලුතෙන් මිල දී නොගත්, මුල සිටම තමන් සතු වූ අයෙකුගේ ඵලදා අනුපාතය වුවත් ඕකම තමයි. මොකද එහි මිල රුපියල් 108.63 දක්වා ඉහළ යාමේ ලාබය දැනටමත් අතේ තියෙන එකක්. ඉදිරි කාලයේදී ලැබෙන්න තියෙන්නේ ඔය 16.78%. මෙයින් පැහැදිලිව පෙනෙන පරිදි බැඳුම්කරයක් මිල දී ගනිද්දී පෙනෙන ඵලදා අනුපාතිකය බැඳුම්කරය කල් පිරෙන තුරුම දවසින් දවස වෙනස් වෙනවා. එය වෙන්නේ වෙළඳපොළ තත්ත්වයන් අනුව මිසක් ආරම්භයේදී පැවති ඵලදා අනුපාතය හෝ කූපන් පොලී අනුපාතය අනුව නෙමෙයි. 

සේවක අර්ථසාධක අරමුදල ඇතුළු විශ්‍රාම පාරිතෝෂික අරමුදල් විසින් කළ බැඳුම්කර හුවමාරුවේ ලාබ පාඩු සලකා බැලිය හැක්කේත් ඔය පදනමේ සිටයි. බැඳුම්කර වල කූපන් පොලිය හෝ ආරම්භක ඵලදා අනුපාතය ඒ තරම් අදාළ දෙයක් නෙමෙයි. බැලිය යුත්තේ හුවමාරුව සිදු වූ දින අදාළ බැඳුම්කර වල ඵලදා අනුපාතික කොපමණ වීද කියන එකයි. එහෙම නැත්නම් අලුතෙන් ලැබුණු බැඳුම්කර වල ඵලදා අනුපාතික සමඟ කරන සංසන්දනය නිවැරදි සංසන්දනයක් නෙමෙයි. ඒවායේ කූපන් පොලී අනුපාතික එක්ක ආරම්භක ඵලදා අනුපාතික සංසන්දනය කරන එකනම් කොහොමටවත්ම නිවැරදි නැහැ. 

ඉහත උදාහරණ දෙස බැලූ විට කෙනෙකුට පෙනෙනවා ඇති බැඳුම්කර ආයෝජන කරන අයට කොයි තරම් විශාල ලාබ ගන්න පුලුවන්ද කියන එක. නිකමට හිතන්නකෝ මාස හයකට 61%ක ප්‍රතිලාභයක් කියන්නේ කොයි තරම් විශාල ප්‍රතිලාභයක්ද කියලා. නමුත්, පාඩු වෙද්දී පාඩු වෙන්නෙත් ඔය විදිහටම තමයි. 

මෙතැනින් එහාට මෙය සරල ලෙස පැහැදිලි කිරීම සඳහා පමණක් මම තාක්ෂණික ලෙස සියයට සියයක් නිවැරදි නැති උදාහරණයක් ගන්නම්. අපි හිතමු යම් කෙනෙක් වසර 10කින් කල් පිරෙන බැඳුම්කරයක් මිල දී ගනිද්දී එහි ඵලදා අනුපාතිකය 15%ක් කියලා. දැන් මේ ඵලදා අනුපාතිකය 15% වෙද්දී එහි කූපන් පොලිය 25% හෝ 5% වැනි ඕනෑම ගණනක් වෙන්න පුළුවන්. එය අදාළ නැහැ. මොකද කූපන් පොලිය කීය වුනත් ඵලදා අනුපාතිකය වෙළඳපොළ ඵලදා අනුපාතිකයට සමාන වෙන විදිහට මිල සකස් වෙනවා. 

දැන් මේ බැඳුම්කරයේ ඵලදා අනුපාතිකය 15%ක් කියන එකෙන් අදහස් වෙන්නේ ස්ථිර තැන්පතුවකට වගේ වාර්ෂිකව 15%ක පොලියක් ලැබෙනවා කියන එක නෙමෙයි. වාර්ෂිකව ලැබෙන ප්‍රතිලාභය එහි කූපන් පොලිය අනුව වෙනස් වෙනවා. නමුත් වසර 10ක කාලය අවසානයේදී ලැබෙන මුළු ප්‍රතිලාභය සාමාන්‍ය අගයක් විදිහට ගත්තහම 15%ක ස්ථිර තැන්පතුවකට සමානයි. 

ඔය විදිහේ වසර 10ක බැඳුම්කරයක් කල් පිරෙන තුරු එක් අයෙක් අතේම තියෙන්න අවශ්‍ය නැහැ. බැඳුම්කරය අතින් අත මාරු වෙනවා. එසේ මාරු වෙද්දී එහි ප්‍රතිලාභද පුද්ගලයින් හෝ ආයතන අතර බෙදී යනවා. ඒ සියල්ල එකතු කළ විට සාමාන්‍ය අගයක් ලෙස 15% වුනත් ඇතැම් අයට ඊට වඩා අඩුවෙනුත් තවත් අයට වැඩියෙනුත් ලැබෙනවා. ඒක වෙන්නේ වෙළඳපොළ පොලී අනුපාතික (ඵලදා අනුපාතික) අඩු වැඩි වෙන ආකාරය අනුව.

බැඳුම්කරය මිල දී ගනිද්දී වසර-10 කල් පිරීමක ඵලදා අනුපාතිකය 15%යි. වසරකට පසුව මේ බැඳුම්කරය සමාන වෙන්නේ වසර-9ක කල් පිරීමකට. අපි හිතමු ඒ වෙද්දී වසර-9 කල් පිරීමක ඵලදා අනුපාතය 14% දක්වා අඩු වෙලා කියලා. එහෙම වෙද්දී, මේ බැඳුම්කරයේ ඵලදා අනුපාතයද 14% වෙන විදිහට එහි මිල ඉහළ යනවා. ඒ කියන්නේ, එහි අනාගත ප්‍රතිලාභ වසරකට 1% බැගින් අඩු වෙනවා. මෙම අඩු වීම 9%ක්. (තාක්ෂණිකව මෙය මීට වඩා සංකීර්ණයි. ඒ නිසා මේ ගණන මීට වඩා වෙනස් වෙනවා. මෙහෙම කියන්නේ පැහැදිලි කිරීමේ පහසුවට). මෙසේ වෙද්දී බැඳුම්කරයේ අනාගත ප්‍රතිලාභ වලින් අඩු වෙන කොටස වන 9% එහි වෙළඳපොළ මිලට එකතු වී මිල 9%කින් ඉහළ යනවා. මේ අනුව, පළමු වසර අවසානයේදී බැඳුම්කරය විකුණන කෙනෙකුගේ ප්‍රතිලාභය 15% + 9% = 24%ක් දක්වා ඉහළ යනවා. කල් පිරීමේ කාලය දිගු වෙන තරමට සහ පොලී අනුපාතික අඩු වෙන තරමට මේ ලාබය ඉහළ යනවා. 

ඉහත උදාහරණයෙන් පැහැදිලිව පෙනෙන පරිදි දිගුකාලීන ආයෝජනයක් කරන කෙනෙක් එහි ප්‍රතිලාභ ලබා ගන්න කල් පිරෙන තුරු ඉන්න අවශ්‍ය නැහැ. විශේෂයෙන්ම පොලී අනුපාතික අඩු වෙන කාල වකවානු වලදී, දිගුකාලීන කල් පිරීම් සහිත බැඳුම්කර වල ආයෝජනය කිරීමෙන් කෙටිකාලයකින් විශාල ලාබයක් ලබා ගන්න පුළුවන්. පර්පෙචුවල් ට්‍රෙෂරීස් වැනි සමාගම් කෙටි කාලයකින් විශාල ලාබ ලැබුවේ මේ ක්‍රමයට. පැහැදිලි කිරීම සඳහා පමණක් කරන දළ ගණනයක් ලෙස, වෙළඳපොළ ඵලදා අනුපාතික 1%කින් පහළ යද්දී වසර 30ක බැඳුම්කරයක මිල 29%කින් පමණ ඉහළ යනවා. ඔය මිල ඉහළ යාම සතියක් වගේ කාලයක් ඇතුළත වුනත් වෙන්න පුළුවන්. 

හැබැයි මේ ඉහළ ප්‍රතිලාභ වගේම මෙහි ඉහළ අවදානමකුත් තියෙනවා. වෙළඳපොළ ඵලදා අනුපාතික 1%කින් ඉහළ ගියොත්, ඔය ක්‍රමයටම වසර 30ක බැඳුම්කරයක මිල 29%කින් පමණ පහළ යනවා. එවිට, 15% වාර්ෂික ප්‍රතිලාභයෙන් පසුවත් 14%ක් පාඩු වෙලා. ඒ නිසා, මෙය අවදානමක් නැති ලාබයක් නෙමෙයි. 

මේ විදිහට ඵලදා අනුපාතික ඉහළ ගොස් මිල අඩු වෙද්දී ඔය විදිහේ පාඩුවක් වෙන්නේ මිල අඩු වූ වෙලාවේ බැඳුම්කරය විකුණුවොත්නේ. එහෙම නොවිකුණා තියා ගන්න බැරිද?

බැරිකමක් නැහැ. නමුත් එහෙම තියාගත යුතුද නැත්නම් පාඩුවට විකිණිය යුතුද කියන එක තීරණය වෙන්නේ තමන් හිතන විදිහට ඉදිරියේදී පොලී අනුපාතික වලට කුමක් වෙයිද කියන එක මත. අපි හිතමු දැනට පාඩුව 14%ක් කියලා. ඉදිරි සතියේ පොලී අනුපාතික තවත් 1%කින් වැඩි විය හැකි බවයි පේන්න තියෙන්නේ. එහෙම වුනොත් මිල තවත් 29%කින් පහළ ගොස් පාඩුව 43%ක් වෙනවා. දැන්ම බැඳුම්කරය විකිණුවොත් 29%ක පාඩුවක් බේරගන්න පුළුවන්. ග්‍රීක බැඳුම්කර ගනුදෙනුවේදී වුනේ ඔය වගේ වැඩක්. වඩා වැඩි පාඩුවක් වලක්වා ගැනීම සඳහා මහ බැංකුව ග්‍රීක බැඳුම්කර පාඩුවට විකිණුවා. මේක ඕනෑම ආයෝජකයෙක් විසින් කරන දෙයක්. 

අනෙක් අතට ඵලදා අනුපාතික පහළ ගිහින් පළමු වසරේ ලාබය විශාල ලෙස ඉහළ ගිය පමණින්ම ආයෝජකයෙක් විසින් එම බැඳුම්කරය විකුණා ලාබය මුදල් කර ගන්නේ නැහැ. ඒක තීරණය කරන්නෙත් අනාගතයේ පොලී අනුපාතික වලට කුමක් වෙයිද කියන එක අනුව. ඵලදා අනුපාතික තවත් පහළ යා හැකි බව පෙනේනම් බැඳුම්කරය විකුණන්නේ නැතිව තියාගෙන ඉන්න එකෙන් දැනටම එකතු වී තිබෙන විශාල ලාබය තවත් වැඩි කරගන්න පුළුවන්. දැනට ලොකු ලාබයක් එකතු වී තිබුණත්, පාඩුවක් එකතු වී තිබුණත්, බැඳුම්කරය විකිණිය යුත්තේ ඒ මත පදනම්ව නෙමෙයි. ඉදිරියේදී ඵලදා අනුපාතික වලට වෙන්න ඉඩ තියෙන දේ අනුව. 

ඵලදා අනුපාතික අඩු වෙන බව පේනවානම් විකුණන එක පාඩුයි. තවත් මිල දී ගන්න එක ලාබයි. ඵලදා අනුපාතික වැඩි වෙන බව පේනවානම් විකුණන එක ලාබයි. මොකද දැන් අතේ තියෙන බැඳුම්කර පාඩුවට හෝ ලාබයට විකුණා මුදල් කර ගත්තොත් ඒ බැඳුම්කරම වුනත් වඩා අඩු මිලකට මිල දී ගන්න පුළුවන්. මේ කිසිම දේකට කූපන් පොලී අනුපාතික හෝ බැඳුම්කර මිල දී ගනිද්දී තිබුණු ඵලදා අනුපාතික අදාළ නැහැ. අදාළ වෙන්නේ ඵලදා අනුපාතික වල අපේක්ෂිත වෙනස. මේ වෙනස නිවැරදිව පුරෝකථනය කර ගන්න පුළුවන් අයට බැඳුම්කර ගනුදෙනු කිරීමෙන් විශාල ලාබ ලබන්න පුළුවන්. හැබැයි අවදානමක් ගන්න වෙනවා. 

මේ අවදානම ගන්න සූදානම් නැති කෙනෙකුට අතරමැද ගනුදෙනු නොකර කල් පිරෙන තුරු බලා සිට මුලින් අපේක්ෂා කළ ඵලදා අනුපාතය ලබා ගන්න පුළුවන්. හැබැයි එවැනි අයෙකුට කල් පිරෙන තුරු වරින් වර මිල ඉහළ පහළ යද්දී ඉවසිල්ලෙන් බලා ඉන්න වෙනවා. එහෙම දිගු කාලයක් බලා සිටිය හැක්කේ විශ්‍රාම වැටුප් අරමුදල් වැනි කිසිම සල්ලි හදිස්සියක් නැති ආයෝජකයෙකුට පමණයි.

Saturday, September 23, 2023

ණය ප්‍රතිව්‍යුහගතකරණය - අප කී දේ හා නොකී දේ


දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය දැන් අවසන්. හරි වැරැද්ද, සාධාරණත්වය වගේ දේවල් මොනවා වුනත් මේ වෙද්දී ආණ්ඩුව සාර්ථක ලෙස වැඩේ අවසන් කරලා තියෙනවා. මේ හා අදාළව පසුගිය කාලය තුළ අප විසින් ලියා හෝ කියා ඇති දේවල් සහ එසේ ලියා හෝ කියා නැති දේවල් නැවත කෙටියෙන් මතක් කරන්නම්.

- මේ හා අදාළව ප්‍රචාරය කෙරුණු ඇතැම් දේවල් පට්ටපල් බොරු. ඒ කියන්නේ කරුණුමය වැරදි. ණය හුවමාරුව සිදු කිරීමෙන් පසුවත් දිගින් දිගටම දදේනියෙන් 0.5%කට සමාන මුදලක් වාර්ෂිකව අරමුදලෙන් කපා ගන්නවා කියන එක එක උදාහරණයක්. අරමුදල ටිකෙන් ටික අඩු වෙලා යනවා කියන එක ඔය වගේම තවත් බොරුවක්. තව ඔය විදිහේ බොරු ගණනාවක් ප්‍රචාරය කෙරුණා. ඒ බොරු ප්‍රචාරය කළ අය එසේ කළේ කාගේ උවමනාවටද කියා මම දන්නේ නැහැ. නමුත් ඔය වගේ දේවල් ලෙලි නොගහා අමුවෙන්ම ගිලින අය තවමත් ඕනෑ තරම් ඉන්නවා.

- අරමුදලේ වත්මන් අගය බාගයකින් පමණ (47%කින්) අඩු වෙනවා කියන එක ඉහත දේවල් වැනි පට්ටපල් බොරුවක් නෙමෙයි. මම හිතන විදිහට හදිසි වැඩිකමට සිදු වූ අත් වැරැද්දක් නිසා ඉදිරිපත් කළ වැරදි ඇස්තමේන්තුවක්. මේ ඇස්තමේන්තුව වැරදි වන්නේ එය සකස් කිරීමේදී කළ උපකල්පන වැරදි නිසා නෙමෙයි. එම උපකල්පන යටතේම වුවත් ඇස්තමේන්තුව වැරදියි. මේ බව අප විසින් විස්තර සහිතව හා අදාළ තාක්ෂණික කරුණුද සමඟ පැහැදිලි කර තිබෙනවා. කෙසේ වුවද, අත්වැරැද්දක් සේ සැලකිය හැකි මෙම වරද වෙනුවෙන් යමෙකු විසින් දිගින් දිගටම පෙනී සිටින්නේනම් එහි ප්‍රශ්නයක් තිබෙනවා. 

- මුල සිටම මෙන් අප විසින් දිගින් දිගටම කීවේ 47%ක පාඩුවක් කිසිසේත්ම සිදු නොවෙතත්, සේවක අර්ථසාධක අරමුදලට මෙම ණය හුවමාරුව නිසා යම් පාඩුවක් විය හැකි බවයි. මුලදී අපගේ දළ ඇස්තමේන්තුව වූයේ මෙම පාඩුව රුපියල් බිලියන 100-300 පරාසයේ පාඩුවක් විය හැකි බවයි. වෙළඳපොළ අර්පණ දත්ත ප්‍රකාශයට පත් වීමට පෙර අපගේ දළ ඇස්තමේන්තුව වූයේ හුවමාරු කරන බැඳුම්කර වල වටිනාකමෙන් 7%-15% පරාසයේ පාඩුවක් සිදු විය හැකි බවයි. රුපියල් වලින් කතා කළත්, ප්‍රතිශතයක් ලෙස කතා කළත්, අප මෙහිදී කතා කළේ අරමුදලේ වත්මන් අගය ක්ෂණිකව පහළ යාමේ ඉඩකඩ ගැනයි. මහ බැංකුව විසින් ඇස්තමේන්තු කර තිබුණේ මෙම පාඩුව 5%ක් පමණ වනු ඇති බවයි. 

- හුවමාරුවෙන් පසුව මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ ද්වීතියික වෙළඳපොළ අර්පන මිල ගණන් අනුව හුවමාරුවට පෙර හා පසු ආයෝජන කළඹයන්හි වෙළඳපොළ වටිනාකම් පැවතුණේ ආසන්නව සමාන මට්ටමකයි. එයින් අදහස් වුනේ හුවමාරුවේදී රජයට ආපසු ලබා දුන් බැඳුම්කර වෙනුවෙන් ඊට ආසන්නව සමාන වටිනාකමක් තිබෙන වෙනත් බැඳුම්කර ප්‍රමාණයක් හුවමාරුවට සහභාගී වූ අයට ලැබී ඇති බවයි. ඒ කියන්නේ එදින පැවති වෙළඳපොළ තත්ත්වයන් තුළ කිසිදු පාර්ශ්වයකට සැලකිය යුතු පාඩුවක් සිදුව නැති බවයි. වෙළඳපොළ වටිනාකම් සමාන වුවද, මෙම ආයෝජන කළඹ දෙකෙහි කල් පිරීමේ කාලයන් අසමාන නිසා ඵලදා අනුපාතික අතර වෙනස්කම් තිබිය හැකියි. සාමාන්‍ය මූලධර්මයක් ලෙස, අහම්බයකින් මිස ඵලදා වක්‍රයක් තිරස් රේඛාවක් නොවන නිසා වෙනස් කල් පිරීම් සහිත ආයෝජන කළඹ දෙකක ඵලදා අනුපාතික සමාන වන්නේ නැහැ. එය මේ විෂය පිළිබඳ මූලික දැනුමක් තිබෙන ඕනෑම කෙනෙකු දන්නා සාමාන්‍ය කරුණක්. ආයෝජන කළඹ දෙකෙහි සංරචක වල කල් පිරීමේ කාල ගැලපුවහොත් ඵලදා අනුපාතිකද ආසන්නව සමාන විය යුතුයි. 

- පැරණි ආයෝජන කළඹේ මෙන්ම අලුත් ආයෝජන කළඹේද වෙළඳපොල වටිනාකම තීරණය වන්නේ අනාගතය පිළිබඳ වෙළඳපොළ අපේක්ෂාවන් මතයි. යම් හෙයකින් අපේක්ෂිත අනාගත වෙළඳපොළ පොලී අනුපාතික දැනට අපේක්ෂිත මට්ටමට වඩා පහළ ගියහොත් මෙම වටිනාකම ඉහළ යනවා මෙන්ම අපේක්ෂිත අනාගත වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ ගියහොත් මෙම වටිනාකම අඩු වෙනවා. ඒ අනුව, හුවමාරුව සිදු වන විට පැවති තත්ත්වයන් ඉදිරියේදී වෙනස් විය හැකියි. එවැනි වෙනස්වීමක් හොඳ අතට හෝ නරක අතට සිදු විය හැකියි. මෙවැනි වෙනසක් ඉදිරි සතියේදී හෝ සති කිහිපයක් වැනි කෙටි කාලයක් ඇතුළත වුවද සිදු විය හැකියි. 

- මෙම ණය ප්‍රතිව්‍යුගතකරණයේ සාධාරණත්වය පිළිබඳව අප විසින් කිසිදු අවස්ථාවක මතයක් පළ කර නැහැ. මෙම ප්‍රශ්නය අපගෙන් අසනු ලැබූ වාර ගණනාවකදීම අප විසින් පැහැදිලි ලෙස මේ පිළිබඳ අපගේ අදහස ඉදිරිපත් කර තිබෙනවා. සාධාරණත්වය යන්නට ලාබ පාඩු වලට මෙන් බොහෝ දෙනෙකුට පහසුවෙන් එකඟ විය හැකි නිශ්චිත තාක්ෂණික අර්ථකථනයක් දිය නොහැකියි. එය යමෙකු පැවතිය යුතු තත්ත්වය දකින ආකාරය අනුව වෙනස් වන සාපේක්ෂ දෙයක්. මේ හේතුව නිසාම සාධාරණත්වය පිළිබඳ විසංවාදයක් ඇති විටෙක තීරකයා වන්නේ අධිකරණයයි. ණය ප්‍රතිව්‍යුගතකරණයේදී රජයට හා මහ බැංකුවට එල්ල වූ ප්‍රධාන චෝදනාවක් වූයේ මෙය කරන්නට යන ආකාරය අසාධාරණ බවයි. කෙසේ වුවත්, පාර්ශ්ව දෙකක් මැදිහත් වී අධිකරණය හරහා රජය හා මහ බැංකුව මෙම චෝදනාවෙන් නිදහස් කළා. එහිදී මෙය අසාධාරණ වන්නේ ඇයි කියන එක සම්බන්ධව මෙම පාර්ශ්ව දෙක විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව වෙනත් පාර්ශ්ව විසින් එය එසේ නොවන බව පෙන්වා දුන්නා. මුල් පෙත්සම්කරුවන් විසින් එම පාර්ශ්ව වල තර්ක ප්‍රතික්ෂේප කරමින් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කළේ නැහැ. ඒ අනුව, අධිකරණය පෙත්සම්කරුවන්ගේ මුල් තර්ක ප්‍රතික්ෂේප කරමින් තීන්දුවක් ලබා දුන්නා. එයින් රජයට මෙම ණය ප්‍රතිව්‍යුගතකරණය කිරීම වඩා පහසු වුනා. අප දැනට වුවද මේ කාරණයේදී පැත්තක් ගන්නේ නැහැ. 

ඉහත කරුණු වලට අමතරව මේ ගැන කතා කරද්දී විවිධ අය සේවක අර්ථසාධක අරමුදල හා අදාළව විවිධ විවේචන සිදු කළා. එම විවේචන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සෘජුව අදාළ දේවල් නෙමෙයි. මධ්‍යගත සැලසුම් ක්‍රමයේ ප්‍රශ්න ලෙස අරමුදල ආරම්භ කළ අවස්ථාවේ සිටම පැවති ප්‍රශ්න. එයින් ප්‍රධානම ප්‍රශ්නය සේවක අර්ථසාධක අරමුදල මහ බැංකුව යටතේ තිබීම නිසා ඇතිවන මෙම බැඳියා පිළිගැටුමයි. යම් හෙයකින් මෙහිදී මහ බැංකුව විසින් කළ දෙය අසාධාරණ සේ සැලකිය හැකිනම්, ඒ අසාධාරණය සිදු වුණේ සේවක අර්ථසාධක අරමුදල මහ බැංකුව යටතේ පැවති නිසයි. එමෙන්ම, අරමුදලේ ප්‍රතිලාභ වෙළඳපොළ ප්‍රතිලාභ වලට වඩා අඩුනම් එයට එක් හේතුවක් වන්නේද බැඳියා පිළිගැටුමයි. සේවක අර්ථසාධක අරමුදල මහ බැංකුව යටතේ පවතින තාක් කල් සිදු වීමට ඉඩක් තිබෙන අසාධාරණකම් හෝ පාඩු ගැන කතා කිරීම හෝද හෝදා මඩේ දැමීමක් පමණයි. අවශ්‍ය වන්නේ මෙම අරමුදල මහ බැංකුවෙන් ඉවත් කර වෙනම ස්වාධීන ආයතනික ව්‍යුහයක් යටතට ගැනීමයි. එය කවර ආකාරයේ එකක් විය යුතුද යන්න ගැන පසුව වෙනත් ලිපියකින් කතා කරමු.

Thursday, September 21, 2023

දේශීය ණය ප්‍රශස්තකරණය මුළුමනින්ම අවසන්!


දේශීය ණය ප්‍රශස්තකරණ වැඩ පිළිවෙළෙහි තෙවන හා අවසන් අදියර ලෙස මහ බැංකුව සතු වූ භාණ්ඩාගාර බිල්පත් හා අත්තිකාරම් ණය වෙනුවට දිගුකාලීන රාජ්‍ය සුරැකුම්පත් ලබා දීම මේ වන විට අවසන් වී තිබෙනවා. මේ යටතේ වර්ග 10කින් රුපියල් බිලියන 2,492.3ක භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයක් මහ බැංකුව වෙත ලබා දී ඇති අතර එම බැඳුම්කර 2029 සිට 2038 දක්වා එක් එක් වසර තුළ කල් පිරෙනවා. 

මීට අමතරව, මේ වසරේ කල් පිරෙන රුපියල් බිලියන 220.8ක තවත් භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් වෙනුවට ඉදිරි වසරේදී කල් පිරෙන බිල්පත් ලබා දී ඇති අතර එම බිල්පත් කල් පිරීමේදී ලැබෙන ආදායම සංචිත තර කර ගැනීම සඳහා ඩොලර් මිල දී ගැනීමට යෙදවීම සැලසුම විය හැකියි.  

මේ හා සමගම රජයට අලුතෙන් ණය ගැනීම සඳහා වන අවශ්‍යතාවය විශාල ලෙස පහළ යනවා. එය ඉක්මණින්ම පොලී අනුපාතික කෙරෙහි යම් සාධනීය බලපෑමක් කරනු ඇතැයි අපේක්ෂා කළ හැකියි. අද දිනයේ ප්‍රකාශයට පත් කෙරුණු ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව, ගෙවුණු අගෝස්තු මාසයේ උද්ධමනය 2.1% දක්වා පහත වැටී ඇති අතර එයද මේ සඳහා උපකාරී වනු ඇතැයි සිතිය හැකියි. 

කෙසේ වුවද, රටේ ආර්ථිකය නැවත නිසි මාර්ගයට අවතීර්ණ කර ගැනීම සඳහා අවශ්‍යම දෙය වන විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය තවමත් අවසන් වී නැහැ. එය අවසන් වන තුරු සැලකිය යුතු අවිනිශ්චිතතාවයක් තව දුරටත් ඉතිරි වෙනවා. 

මේ මාසයේදී උද්ධමනය තව දුරටත් පහත වැටෙනු ඇති අතර ඉන් පසුව උද්ධමන ප්‍රවණතාව වෙනස් වී ක්‍රමයෙන් ආපසු හැරීමට නියමිතයි. දැනට උද්ධමනය පවතින්නේ දිගුකාලීනව පැවතිය හැකි මට්ටමට වඩා පහළ මට්ටමකයි. එහෙත් පොලී අනුපාතික දැනට පවතින්නේ දිගුකාලීනව පැවතිය යුතු මට්ටමට වඩා ඉහළ මට්ටමකයි.

Sunday, September 17, 2023

බැඳුම්කර හුවමාරුවේදී සිදු වුනේ කුමක්ද?


මෙය පාඨකයින් කිහිප දෙනෙකුගේම ඉල්ලීම් අනුව, දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය තුළ සිදු වූ දේ පිළිබඳව කරන සරල පැහැදිලි කිරීමක්. මෙම කරුණු මීට පෙර වරින් වර පැහැදිලි කර ඇතත්, අප හා පසුව එක් වූ බොහෝ දෙනෙකු සතුව තවමත් මේ හා අදාළ මූලික තාක්ෂණික දැනුම නැති නිසා, ඔවුන්ට මෙම ලිපිය උදවුවක් වේයැයි සිතනවා. 

බැඳුම්කරයක් කියන්නේ කුමක්ද?

බැඳුම්කරයක් කියන්නේ කිසියම් රජයක් හෝ සමාගමක් විසින් නිකුත් කරන ණය උපකරණයක්. මෙවැන්නක් වෙළඳපොළේ විකිණීම මගින් රජයක් හෝ සමාගමක් විසින් තමන්ගේ අරමුදල් හිඟ පියවා ගන්නවා. ඕනෑම බැඳුම්කරයක "මුහුණත අගයක්" සහ "කල් පිරෙන දිනයක් තිබෙනවා".

මුහුණත අගය - කල් පිරෙන දිනයේදී බැඳුම්කරයේ අයිතිකරුට ලැබෙන මුදලක් 

කල් පිරෙන දිනය - බැඳුම්කරකරයේ අයිතිකරුට එහි මුහුණත අගයට සමාන මුදලක් ආපසු ලැබෙන අනාගත දිනයක්.

කූපන් බැඳුම්කරයක් කියන්නේ කුමක්ද?

කූපන් රහිත බැඳුම්කරයක් මිල දී ගන්නා අයෙකුට අනාගතයේදී ලැබෙන්නේ එහි මුහුණත වටිනාකම පමණයි. එහෙත්, කූපන් බැඳුම්කර සඳහා කල් පිරෙන දිනය දක්වා කිසියම් "කූපන් පොලියක්" ලැබෙනවා. මෙම කූපන් පොලිය බැඳුම්කරයක මුහුණත වටිනාකමේ ප්‍රතිශතයක්. සාමාන්‍යයෙන් වසරකට දෙවරක් කූපන් පොලී ගෙවනවා. මෑතකදී සිදු වූ බැඳුම්කර හුවමාරුවට පෙර ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කර තිබුණු ස්වෛරිත්ව බැඳුම්කර හා භාණ්ඩාගාර බැඳුම්කර සියල්ලද, සංවර්ධන බැඳුම්කර වලින් වැඩි ප්‍රමාණයක්ද නිකුත් කර තිබුණේ ස්ථාවර හා කාලයත් සමඟ වෙනස් නොවන කූපන් පොලියක් යටතේයි. 

උදාහරණයක් ලෙස, 2015 මාර්තු 1 දින රුපියල් මිලියන 10,058ක මුහුණත වටිනාකමැති භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරනු ලැබුවා. මෙම බැඳුම්කර කල් පිරෙන්නේ වසර 30කට පසුව 2045 මාර්තු 1 දිනයි. එම කාලය අතරතුර බැඳුම්කරහිමියන්ට 12.5%ක වාර්ෂික කූපන් පොලියක් ලැබෙනවා. රුපියල් සියයක මුහුණත් අගයක් සඳහා වරකට රුපියල් 6.25 බැගින් වසරකට දෙවරක් මෙම කූපන් පොලී ආදායම ඔවුන්ට ලැබෙනවා. බැඳුම්කරයක් නිකුත් කිරීමෙන් පසුව එහි මුහුණත අගය, කල් පිරෙන දිනය හෝ කූපන් පොලිය ගෙවන ක්‍රමය වෙනස් වෙන්නේ නැහැ. 

ඇතැම් බැඳුම්කර සඳහා ලබා දෙන කූපන් පොලිය කල් පිරෙන කාලය තුළ වෙනස් විය හැකියි. උදාහරණයක් ලෙස හුවමාරු පදනම මත පසුගිය සතියේදී නිකුත් කළ 2027 මාර්තු 15 දින කල් පිරෙන බැඳුම්කර සඳහා වසර තුනක් යන තුරු 12%ක කූපන් පොලියක්ද අවසන් වසරේදී 9%ක කූපන් පොලියක්ද හිමිවෙනවා. මෙය ස්ථාවර, එහෙත් කාලයත් සමඟ වෙනස් (අඩු) වන කූපන් පොලී ක්‍රමයක්. 

ඇතැම් විට විචල්‍ය කූපන් පොලී යටතේද බැඳුම්කර නිකුත් කරනවා. ඇතැම් සංවර්ධන බැඳුම්කර නිකුත් කර තිබුණේ මෙම ක්‍රමයටයි. සංවර්ධන බැඳුම්කර සමඟ හුවමාරුවට මෑතකදී නිකුත් කළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කළේද විචල්‍ය කූපන් පොලියක් යටතේයි. එම බැඳුම්කර වෙනුවෙන් ලැබෙන කූපන් පොලිය මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වෙනස් වන ආකාරය අනුව වෙනස් වෙනවා. 

භාණ්ඩාගාර බැඳුම්කරයක් මිල දී ගත හැක්කේ කෙසේද?

වාණිජ බැංකු වලට, ප්‍රාථමික අලෙවිකරුවන්ට හා සේවක අර්ථසාධක අරමුදල වැනි ආයතන වලට භාණ්ඩාගාර බැඳුම්කර මුලින්ම වෙළඳපොළට නිකුත් කරන විට තරඟකාරී මිලකට වෙන්දේසියෙන් ඒවා මිල දී ගත හැකියි. මෙය භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රාථමික වෙළඳපොළ ලෙස හැඳින්වෙනවා. වෙනත් පුද්ගලයෙකුට හෝ ආයතනයකට අවශ්‍යනම් බැංකුවක් හෝ ප්‍රාථමික අලෙවිකරුවෙකු හරහා ප්‍රාථමික වෙළඳපොළෙන් භාණ්ඩාගාර බැඳුම්කර මිල දී ගත හැකියි. ඉදිරියේදී වෙනස් වීමට නියමිතව ඇතත්, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මේ අයුරින් භාණ්ඩාගාර බැඳුම්කර වෙළඳපොළට නිකුත් කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ඇති රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවයි.

අයුරින් කවුරු හෝ විසින් මිල දී ගන්නා භාණ්ඩාගාර බැඳුම්කරයක් අවශ්‍යනම් කල් පිරෙන තුරු තියා ගන්න පුළුවන්. එසේ නැත්නම්, කල් පිරෙන්නට පෙර වෙනත් අයෙකුට විකුණන්න පුළුවන්. බැඳුම්කරයක් කල් පිරෙද්දී එහි මුහුණත අගය ලැබෙන්නේ අවසන් අයිතිකරුටයි. මෙසේ කලින් මිල දී ගත් බැඳුම්කර ගනුදෙනු වන වෙළඳපොළ භාණ්ඩාගාර බැඳුම්කර ද්වීතියික වෙළඳපොළ ලෙස හැඳින්වෙනවා. මෙය වාහන වල "සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක" වැනි ඉතා සක්‍රිය වෙළඳපොළක්. කෙසේ වුවද, මෙවැනි ද්වීතියික වෙළඳපොළ ගනුදෙනු සිදුවන්නේද බැංකු හෝ ප්‍රාථමික අලෙවිකරුවන් හරහායි. එම ගනුදෙනු සියල්ල එසැණින් මහ බැංකුවේ සටහන් වන නිසා අයිතිය පිළිබඳ අර්බුදකාරී තත්ත්වයන් ඇති වන්නේ නැහැ. කූපන් පොලී ගෙවන කිසියම් දිනයක බැඳුම්කරයක නීත්‍යනුකූල අයිතිකරුට එහි කූපන් පොලී ආදායම ලැබෙනවා. 

භාණ්ඩාගාර බැඳුම්කරයක ප්‍රතිලාභය එහි කූපන් පොලියද?

ස්ථිර තැන්පතු ගිණුමක ප්‍රතිලාභය එහි පොලී අනුපාතයට සමානයි. එහෙත්, භාණ්ඩාගාර බැඳුම්කරයක අයිතිකරුට ලැබෙන ප්‍රතිලාභය එහි කූපන් පොලියට සමාන නැහැ. ප්‍රතිලාභය තීරණය වන්නේ යම් කිසි පුද්ගලයෙක් හෝ ආයතනයක් විසින් භාණ්ඩාගාර බැඳුම්කරයක් මිල දී ගැනීම සඳහා ගෙවූ මුදල මතයි. 12%ක වාර්ෂික කූපන් පොලියක් ගෙවන බැඳුම්කරයක රුපියල් 100ක මුහුණත් අගයක් රුපියල් 100 බැගින්ම මිල දී ගත් අයෙකුට හරියටම 12%ක ප්‍රතිලාභයක් ලැබෙනවා. එහෙත්, බැඳුම්කරයක රුපියල් 100ක මුහුණත අගයක වෙළඳපොළ මිල හරියටම රුපියල් 100ක් වීම ඉතා කලාතුරකින් පමණක් සිදු වන දෙයක්.

බැඳුම්කරයක රුපියල් 100ක මුහුණත අගයක් රුපියල් 80කට (අවමිලට) මිල දී ගත් අයෙකුට මෙන්ම එයම රුපියල් 120කට (අධිමිලට) මිල දී ගත් අයෙකුටද කූපන් පොලී ලෙස වසරකට ලැබෙන්නේ රුපියල් 12ක එක සමාන මුදලක්. පළමුවැන්නාට මෙහි 15%ක ප්‍රතිලාභයක් ඇති නමුත් දෙවැන්නාගේ ප්‍රතිලාභය 10%ක් පමණයි. 

භාණ්ඩාගාර බැඳුම්කරයක ප්‍රතිලාභ ලබා ගැනීමට එය කල් පිරෙන තුරු සිටිය යුතුද?

ඉහත පැහැදිලි කළ පරිදි කූපන් සහිත භාණ්ඩාගාර බැඳුම්කරයක් මිල දී ගත් දින සිටම මාස හයකට වරක් කූපන් පොලී ආදායම් ලැබෙනවා. එහෙත්, එහි මුහුණත අගය ලැබෙන්නේ කල් පිරුණු විටයි. බැඳුම්කරය මිල දී ගෙන තිබෙන්නේ අධිමිලටනම් එහිදී ආපසු ලැබෙන්නේ යට කළ මුදලට වඩා අඩු මුදලක්. අවමිලට මිල දී ගත් අයෙකුට එහිදී වැඩි මුදලක් ආපසු ලැබෙනවා. කෙසේ වුවත්, බැඳුම්කර හිමිකරුවෙකුට බැඳුම්කරයක් කල් පිරෙන්නට පෙර ඕනෑම වෙලාවක එය ද්වීතියික වෙළඳපොළේ විකුණා මුදල් කළ හැකියි. එහිදී සිදුවන ලාබය හෝ අලාබය තීරණය වන්නේ ඒ මොහොතේ වෙළඳපොළ මිල සහ තමන් මිල දී ගත් මිල මතයි. මෙය අලුත් හෝ පරණ වාහනයක් මිල දී ගෙන නැවත විකිණීමට සමාන දෙයක්. 

භාණ්ඩාගාර බැඳුම්කර වල වෙළඳපොළ මිල වෙනස් වෙන්නේ කොහොමද?

සාමාන්‍ය මූලධර්මයක් ලෙස වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ යන විට භාණ්ඩාගාර බැඳුම්කර වල ද්වීතියික වෙළඳපොළ මිල පහළ යනවා. පොලී අනුපාතික අඩු වන විට බැඳුම්කර වල ද්වීතියික වෙළඳපොළ මිල ඉහළ යනවා. මෙය තේරුම් ගන්න අපහසු නැහැ. භාණ්ඩාගාර බැඳුම්කරයක් සඳහා ලැබෙන කූපන් පොලිය 12%ක් කියා අපි හිතමු. වෙළඳපොළ පොලී අනුපාතික 10% දක්වා අඩු වුනොත්, ඊට වඩා වැඩි කූපන් පොලියක් ගෙවන 12% බැඳුම්කර සඳහා ඉල්ලුම වැඩි වෙනවා. ඒ අනුව, එහි මිල ඉහළ යනවා. වෙළඳපොළ පොලී අනුපාතික 15% දක්වා වැඩි වුනොත්, 12% කූපන් බැඳුම්කර වලට තිබෙන ඉල්ලුම අඩු වී මිල පහළ යනවා. 

බැඳුම්කරයක කූපන් පොලිය කීයක් වුනත් ඉහත සංසිද්ධියේ වෙනසක් නැහැ. වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ යන විට භාණ්ඩාගාර බැඳුම්කර වල ද්වීතියික වෙළඳපොළ මිල පහළ යනවා. පොලී අනුපාතික අඩු වන විට බැඳුම්කර වල ද්වීතියික වෙළඳපොළ මිල ඉහළ යනවා. කෙටි කාලයක් තුළ විශාල ලෙස පොලී අනුපාතික ඉහළ ගිය නිසා 2022 වසර අවසන් වන විට සේවක අර්ථසාධක අරමුදල විසින් මිල දී ගෙන තිබුණු මුළු භාණ්ඩාගාර බැඳුම්කර තොගයේ වටිනාකම 40%කින් අඩු වී තිබුණා. බැංකු ඇතුළු අනෙකුත් ආයතන සතු වූ බැඳුම්කර වල මිලද මේ අයුරින්ම පහත වැටී තිබුණා. එය වාහන මිල අඩු වෙද්දී කොයි වාහනයේ මිලත් අඩු වෙනවා වගේ වැඩක්. කෙසේ වුවත්, උද්ධමනය අඩු වෙද්දී සහ දේශීය ණය ප්‍රසස්ථකරණ යෝජනා ප්‍රකාශයට පත් වෙද්දී ද්වීතියික වෙළඳපොළෙහි බැඳුම්කර වල මිල විශාල ලෙස ඉහළ ගියා. 

භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රසස්ථකරණයේදී සිදු වුනේ කුමක්ද?

භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රසස්ථකරණයේදී දැනට නිකුත් කර තිබෙන කිසිදු භාණ්ඩාගාර බැඳුම්කරයක මුහුණත අගය කප්පාදු කරනු ලැබුවේ නැහැ. එමෙන්ම, දැනට නිකුත් කර තිබෙන කිසිදු භාණ්ඩාගාර බැඳුම්කරයක කූපන් පොලී කප්පාදු කරනු ලැබුවේද නැහැ. කවුරු හෝ එසේ කියනවානම් එය දැන හෝ නොදැන ප්‍රචාරය කරන වැරදි තොරතුරක්. මෙහිදී ඇත්තටම සිදු වුනේ දැනට නිකුත් කර තිබෙන බැඳුම්කර ස්වේච්ඡාවෙන් අලුතෙන් නිකුත් කරන බැඳුම්කර වර්ග 12ක් සමඟ හුවමාරු කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවීමක්. මේ වන විට මෙම හුවමාරුව අවසන් වී තිබෙනවා. 

මෙම හුවමාරුව සිදු කිරීම නිසා එසේ කළ අයට පාඩුවක් වී තිබේද?

හුවමාරු කර ගැනීමේදී රජයට ආපසු භාර දුන් සියලුම බැඳුම්කර වල මේ මොහොතේ (පසුගිය සිකුරාදා දින) වෙළඳපොළ වටිනාකම රුපියල් බිලියන 3,002.7ක්. නිකුත් කර තිබූ බැඳුම්කර සියල්ලම රජය විසින් ආපසු ලබාගත්තේනම් අපට හුවමාරුවෙන් පසුව එම බැඳුම්කර වල වටිනාකම හරියටම දැනගන්න ලැබෙන්නේ නැහැ. කළ හැක්කේ උපකල්පන කිරීම පමණයි. සංවර්ධන බැඳුම්කර හුවමාරුවේදී සිදු වුනේ එවැන්නක්. නමුත්, මෙහිදී හුවමාරු කර ගැනුණේ මුළු බැඳුම්කර ප්‍රමාණයෙන් 37%ක් පමණක් නිසා එසේ හුවමාරු කර ගැනුණු බැඳුම්කර සියල්ලෙන්ම යම් ප්‍රමාණයක් (සමස්තයක් ලෙස බැඳුම්කර වලින් 63%ක්) තවමත් වෙළඳපොළේ තිබෙනවා. ඒ නිසා, අපට පහසුවෙන්ම මේ අයුරින් රජය විසින් ආපසු ලබාගත් බැඳුම්කර වල වටිනාකම හරියටම දැනගන්න පුළුවන්. එම වටිනාකම (හුවමාරුව සිදුවීමෙන් පසුව) රුපියල් බිලියන 3,002.7ක්. ඒ වෙනුවට, අලුතෙන් ලැබුණු බැඳුම්කර වල මේ මොහොතේ (පසුගිය සිකුරාදා දින) වෙළඳපොළ වටිනාකම රුපියල් බිලියන 3,007.1ක්. ඒ අනුව, මෙම හුවමාරුවෙන් එම හුවමාරුවට එකඟ වූ පාර්ශ්ව වලට කිසිදු පාඩුවක් වී නැති බව ඉතාම පැහැදිලියි.

සරල උදාහරණයක් ගත්තොත් රජය විසින් කළේ වෙළඳපොළේ තිබුණු තැඹිලි අරගෙන ඒ වෙනුවට කුරුම්බා දෙනවා වගේ වැඩක්. රජය විසින් වෙළඳපොළේ තිබුණු තැඹිලි සියල්ලම එකතු කරගත්තානම් එම තැඹිලි වල දැන් මිල කීයක් විය හැකිව තිබුණාද යන්න ගැන උපකල්පන කරමින් විවිධ අයට පාඩුව ගණන් හැදිය හැකිව තිබුණා. විගණකාධිපති විසින් 2015 බැඳුම්කර නිකුතුවේ පාඩුව ගණන් හැදුවේ මේ විදිහට. මේ වගේ අවස්ථාවක කවුරු හෝ විසින් කරන උපකල්පන වැරදි බව ඉතා පැහැදිලි වුනත් එය ඔප්පු කරන්න අමාරුයි. නමුත් බැඳුම්කර හුවමාරුවේදී රජය විසින් වෙළඳපොළේ තිබුණු තැඹිලි සියල්ලම එකතු කර නොගත් නිසා දැන් අපට තැඹිලි මිල මෙන්ම කුරුම්බා මිලද පහසුවෙන් නිරීක්ෂණය කළ හැකියි. ඒ අනුව, ලාබ පාඩු බලා ගත හැකියි. ඒ සඳහා, තැඹිලි මිල කීයක් විය හැකිව තිබුනාද කියා උපකල්පනය කරන්න අවශ්‍ය නැහැ. 

හුවමාරුවෙන් පාඩුවක් වුනේ නැත්නම් බැංකු හා අනෙකුත් ආයතන තමන්ගේ බැඳුම්කර හුවමාරු කරගන්න ඉල්ලුම් නොකළේ ඇයි?

බැඳුම්කර ලෙස පොදුවේ කතා කළත් සියලුම බැඳුම්කර සමාන නැහැ. ලිපියේ මුලින්ම විස්තර කළ පරිදි, බැඳුම්කර ඒවායේ කල් පිරීමේ කාලය අනුව එකිනෙකට වෙනස් වෙනවා. වෙළඳපොළේ වූ බැඳුම්කර 2023 සිට 2045 දක්වා කල් පිරෙන ඒවා. 

ඕනෑම විශ්‍රාම පාරිතෝෂික අරමුදලක් විසින් බැඳුම්කර මිල දී ගන්නේ දිගුකාලීන ආයෝජනයක් ලෙසයි. ඒ නිසා, ඔවුන් හැම විටම උත්සාහ කරන්නේ හැකි තරම් දිගු කාලයකට ආයෝජනය කරන්නයි. එයින් වෙනස්ව, බැංකු විසින් කරන්නේ හදිසියකට මුදල් කිරීම සඳහා වසර කිහිපයකට බැඳුම්කර වල ආයෝජනය කරන එකයි. හුවමාරුවේදී අලුතෙන් නිකුත් කෙරුණු බැඳුම්කර වර්ග 12 කල් පිරෙන්නේ 2027 සිට 2038 දක්වා කාලය තුළයි. එම කාලය රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තු අනුව ආදායම් වැඩි කරගෙන ණය ආපසු ගෙවිය හැකි කාලයයි. 

තමන්ගේ අරමුදල් ආපසු ලබා ගැනීම සඳහා වසර 3 සිට වසර 15 දක්වා කාලයක් (සාමාන්‍ය වශයෙන් වසර 9ක කාලයක්) බලා සිටීම විශ්‍රාම පාරිතෝෂික අරමුදලකට ප්‍රශ්නයක් නෙමෙයි. එහෙත්, බැංකු වලට හා අනෙකුත් ව්‍යාපාරික ආයතන වලට කොයි තරම් ඉහළ ප්‍රතිලාභයක් ලැබුනත් තමන්ගේ මුදල් එවැනි දීර්ඝ කාලයකට හිර කිරීමේ හැකියාවක් නැහැ. ඊට අමතරව, මෙම හුවමාරුවෙන් පාඩුවක් වේද නොවේද යන්න පිළිබඳව හුවමාරුවට පෙර හරියටම දැනගත හැකි ක්‍රමයක් තිබුණේ නැහැ. එවැනි තත්ත්වයක් යටතේ යමෙක් අවදානමක් ගන්නේ කලාතුරකින්. දැන් තත්ත්වය අනුව බැලුවත්, පාඩුවක් සිදු වී නැතත් ගිණිය හැකි තරමේ ලාබයක්ද සිදු වී නැහැ.

ගහේ තැඹිලි වල්ල මෝරන තුරු සිට තැඹිලි-පොල් පොල් විදිහට ප්‍රයෝජනයට ගන්න ඉන්න කෙනෙක් අකැමැත්තක් නැතුවම තමන්ගේ තැඹිලි වල්ල පොල් වෙනුවට හුවමාරු කර ගන්නවා. නමුත්, තැඹිලි වල්ල මෝරන්න කලින් බාගන්න බලාගෙන ඉන්න කෙනෙක්ට තැඹිලි වෙනුවට මෝරපු පොල් වැඩක් නැහැ. 

පාඩුවක් නැතිව හුවමාරුව කළ හැකි වීනම් රජය විසින් විශ්‍රාම පාරිතෝෂික අරමුදල් මත 30% බද්දක් පැනවූයේ ඇයි?

මෙය ඔවුන්ව පොළඹවා ගැනීම සඳහා කළ දෙයක් බව ඉතාම පැහැදිලියි. මෙම බද්ද පැනවුයේ නැතත් විශ්‍රාම පාරිතෝෂික අරමුදල් විසින් යම් බැඳුම්කර ප්‍රමාණයක් හුවමාරු කර ගැනීම සඳහා අයදුම් කරනවා. බද්ද පැනවීමෙන් පසුවද බදු සහනය ලබා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම හුවමාරු කළ යුතු නැති බැඳුම්කර වර්ග ගණනාවක්ද හුවමාරු කර ගැනීම සඳහා විශ්‍රාම වැටුප් අරමුදල් හා වෙනත් අය විසින් අයැදුම් කර තිබීමෙන් එය පැහැදිලි වෙනවා. එසේ වුනානම් ඔවුන් කරන්නේ වැඩි වෙළදපොළ මිලක් තිබෙන බැඳුම්කර ඉතිරි කරගෙන අඩු මිලක් ඇති ඒවා පමණක් හුවමාරු කර ගැනීම සඳහා අයැදුම් කරන එකයි. එය ලොකු තැඹිලි තියාගෙන පොඩි තැඹිලි පමණක් කුරුම්බා සමඟ හුවමාරු කරගන්නවා වගේ වැඩක්. එවැන්නක් වුනානම්, එයින් රජයට විශාල පාඩුවක් වෙනවා. 30% බද්ද පැනවීම මගින් රජය කළේ අයැදුම් කිරීමට පෙර එසේ "බැඳුම්කර තේරීම" පාලනය කරන එකයි. 

අනාගතයේ පොලී අනුපාතික ඉහළ ගියොත් මේ හුවමාරුව කළ අයට පාඩුවක් වෙන්නේ නැද්ද?

අනිවාර්යයෙන්ම පාඩුවක් වෙනවා. නමුත්, එය දිගුකාලීන ආයෝජන කිරීමේදී ගන්න වෙන සාමාන්‍ය අවදානමක් මිසක් බැඳුම්කර හුවමාරුව නිසා සිදු වන පාඩුවක් නෙමෙයි. දැනට පවතින වෙළඳපොළ මිල කියන්නේ අනාගතයේ සිදු විය හැකි ලාබ පාඩු සියල්ල පිළිබඳ මේ මොහොතේ තිබෙන නිවැරදිම පිළිබිඹුවයි. වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ ගියහොත් හුවමාරුවට ලැබුණු බැඳුම්කර වල මිල පහත වැටිය හැකියි. වෙළඳපොළ පොලී අනුපාතික පහළ ගියහොත් එම මිල ඉහළ යා හැකියි. පොලී අනුපාතික ඉහළ යා හැකි බව පෙනේනම් මේ අවස්ථාවේදී මෙම බැඳුම්කර ද්වීතියික වෙළඳපොළෙහි විකුණා මුදල් කිරීම මගින් අනාගතයේ සිදු විය හැකි පාඩුව වලක්වා ගත හැකියි. නමුත් යම් හෙයකින් පොලී අනුපාතික අඩු වුවහොත් ලැබෙන්නේ ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵලයයි. 

විශ්‍රාම පාරිතෝෂික අරමුදල් වලට පාඩුවක් වී නැත්නම් රජයේ ණය අඩු වුනේ කොහොමද?

බැඳුම්කර හුවමාරුව නිසා රජයේ ණය අඩු වෙන්නේ නැහැ. එය වැරදි අවබෝධයක් හෝ බොරු කතාවක්. සිදු වෙන්නේ ණය බර අඩුවීමක් මිසක් ණය අඩු වීමක් නෙමෙයි. ඔබේ වැටුප රුපියල් 25,000ක්නම්, නිවාස ණය වාරිකය රුපියල් 10,000ක් නම්, බැංකුව සමඟ කතා කර එම ණය වාරිකය රුපියල් 8,000ක් කර ගත් විට ඔබේ ණය බර අඩු වෙනවා. නමුත්, එයින් ඔබේ ණය අඩු වෙන්නේ නැහැ. ඔබට එම වාරිකය වැඩි කාලයක් ගෙවන්න සිදු වෙනවා. ඒ නිසාම, බැංකුවට පාඩුවක් වෙන්නෙත් නැහැ. 

මේ වැඩේට සේවක අර්ථසාධක අරමුදල පමණක් ගාව ගත්තේ ඇයි?

අසත්‍ය ප්‍රකාශයක්. හුවමාරු කෙරුණු රුපියල් බිලියන 3,264.5ක බැඳුම්කර ප්‍රමාණයෙන් සේවක අර්ථසාධක අරමුදලේ කොටස රුපියල් බිලියන 2,667.5ක් පමණයි.

මීට අමතරව ඉදිරියේදී වාර්ෂිකව දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.5%ක් කපනවද?

පට්ටපල් බොරුවක්. දැන් භාණ්ඩාගාර බැඳුම්කර හුවමාරුව සිදු කර අවසානයි. මීට අමතරව, අනාගතයේදී අරමුදලින් එක සතයක්වත් කැපීමේ සැලසුමක් නැහැ. 

ඉදිරියේදී සේවක අර්ථසාධක අරමුදල් ටිකෙන් ටික අඩු වී යනවාද?

කිසිසේත්ම නැහැ. සේවක අර්ථසාධක අරමුදල අඩු වශයෙන් තව වසර 20-30ක්වත් යන තුරු වසරින් වසර වර්ධනය වෙනවා. අලුතෙන් ලැබෙන දායක මුදල් එයට එක හේතුවක් වුනත්, එම දායක මුදල් කොටස ඉවත් කළත් අරමුදල වර්ධනය වෙනවා. හුවාමාරු කළ බැඳුම්කර කොටස පමණක් සැලකුවත්, 2023, 2024, 2025 හා 2026 පළමු අර්ධය තුළ 12%ක කූපන් පොලියක් අරමුදලට ලැබෙනවා. එයින් පසුව 9%ක් ලැබෙනවා. මේ අනුව, අරමුදල දිගින් දිගටම ක්‍රමයෙන් වර්ධනය වෙනවා.

සාමාජිකයින්ට ලැබෙන ප්‍රතිලාභ වලට කුමක් වෙයිද?

සේවක අර්ථසාධක අරමුදලේ සේවකයින්ට ලැබෙන ප්‍රතිලාභ තීරණය වන්නේ අරමුදලේ ආයෝජන වලට ලැබෙන ප්‍රතිලාභ අනුවයි. 2026 දක්වා හුවමාරු කළ බැඳුම්කර වෙනුවෙන් 12%ක කූපන් පොලියක් ලැබෙනවා. මුලින් පැහැදිලි කළ පරිදි මෙම කූපන් පොලිය ගණනය කරන්නේ බැඳුම්කර වල මුහුණත අගය මතයි. හරියටම ගණන් දන්නේ නැතත්, සේවක අර්ථසාධක අරමුදල විසින් බැඳුම්කර බොහොමයක් මිල දී ගෙන තිබෙන්නේ අවමිලට නිසා අරමුදලට ලැබෙන සැබෑ ප්‍රතිලාභය 12%ට වඩා වැඩියි. 2026න් පසු කාලය සැලකුවද 9%ට වඩා වැඩියි. එහෙත්, සාමාජිකයින්ට ප්‍රතිලාභ ගෙවන්නට පෙර රජයට 14%ක් බද්දක් ගෙවිය යුතුයි. මෙම කරුණු සැලකිල්ලට ගත් විට 2027 වසර පමණ දක්වා සාමාජික ශේෂ මත 9%ක ප්‍රතිලාභ ලබා දීමේ ඉඩක් තිබෙන නමුත් ඉන් පසුව එම අනුපාතය තරමක් අඩු විය හැකියි. මෙය තීරණය වන්නේ රටේ පවතින උද්ධමනය හා පොලී අනුපාතික මතයි. උද්ධමනය අඩු වෙද්දී පොලී අනුපාතික අඩු වෙනවා. පොලී අනුපාතික විශාල ලෙස අඩු වුවහොත් අලුතෙන් එකතු වන දායක මුදල් සහ ආයෝජන ආදායම් නැවත ආයෝජනය කරන්න වෙන්නේ අඩු පොලියකටයි. ඒ අනුව, සාමාජික ප්‍රතිලාභද අඩු විය හැකියි. උද්ධමනය හා පොලී අනුපාතික ඉහළ මට්ටමක තිබුණොත් ලැබෙන ප්‍රතිලාභයද ඉහළ යයි. එහෙත්, එය අරමුදලේ සාමාජිකයින්ට ලැබෙන සැබෑ වාසියක් නෙමෙයි. සැබෑ වාසිය වන්නේ උද්ධමනයට වඩා වැඩියෙන් ලැබෙන ප්‍රමාණයයි. උද්ධමනය 5% ලෙස තිබියදී 8%ක ප්‍රතිලාභයක් ලැබිය හැකිනම් එය උද්ධමනය 13% මට්ටමේ තිබියදී 15%ක ප්‍රතිලාභයක් ලැබෙනවාට වඩා වාසිදායකයි. 

වෙබ් ලිපිනය: