වෙබ් ලිපිනය:

Sunday, March 13, 2022

දෙසිය හැටෙන් පසු ජීවිතය

ආර්ථික අර්බුදය ගැන ලියා ගෙන ආ ලිපි මාලාවේ දැනට ලියා තිබෙන අවසන් කොටසේදී මම ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය ගැන මේ විදිහේ ප්‍රකාශයක් කළා.

"ආණ්ඩුවට අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන්න වෙනවා. දැන් තත්ත්වය අනුව වෙන කිසිම විකල්පයක් නැහැ. ඒ එක්කම විණිමය අනුපාතය පාවෙන්න අරින්න වෙනවා. එහිදී ඩොලරයක මිල රුපියල් 275 පමණ මට්ට්මකටවත් යා හැකියි. ඒ එක්කම ආනයනික භාණ්ඩ වල මිල ඉහළ ගිහින් උද්ධමනය වැඩි වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඩොලරය තවත් ඉහළ යනවා. අවසානයේදී ඩොලරයක මිල රුපියල් 300 පමණ මට්ටමකට යා හැකියි. එහිදී ආණ්ඩුව කෙරෙහි ජනතා අප්‍රසාදය ඉහළ යන එකත් නොවැලැක්විය හැකියි."

ඉහත ප්‍රකාශය සඳහන් ලිපිය වියුණුවේ පළ කළේ මාර්තු තුන් වෙනිදා. දවස් හතරක් යද්දී ඔය කියපු දේවල් වලින් සෑහෙන කොටසක් වෙලා. ආණ්ඩුව තවමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් නැහැ. එය දවසකින් දෙකකින් කළ හැකි දෙයක් නෙමෙයි. මාධ්‍ය වාර්තා අනුව මේ වැඩේ සිදු වෙමින් පවතිනවා. කොහොම වුනත්, විණිමය අනුපාතය මේ වෙද්දී පාවෙන්න ඇරලා. දින දෙකකට පසුව ඩොලරය රුපියල් 260 සීමාවේ නැවතී තියෙනවා. ආනයනික භාණ්ඩ වල මිල දැනටමත් ඉහළ ගිහින්, ආණ්ඩුව කෙරෙහි ජනතා අප්‍රසාදයද වේගයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඔය ලිපිය අවසන් කරමින් "විසඳුම් ගැන තෙවන ලිපි මාලාවෙන් කතා කරමු" කියා සටහන් කරද්දී මම බලාපොරොත්තු වුනේ රටේ මේ මොහොතේ තිබෙන ප්‍රශ්න වලට විසඳුම් යෝජනා කරන්න නෙමෙයි. ඒ ප්‍රශ්න මොන විදිහකින් හෝ විසඳුනාට පස්සේත් ඉතිරි වන දිගුකාලීන ප්‍රශ්න වලට විසඳුම් යෝජනා කරන්න. ඊට පැහැදිලි හේතුවක් තිබුණා.

රටේ මේ මොහොතේ තිබෙන ප්‍රශ්න වලට විසඳුම් ඉදිරිපත් කළත් ඒ විසඳුම් ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් තිබුණේ මේ ආණ්ඩුවට පමණයි. නමුත්, අපට යෝජනා කළ හැකිව තිබුණු විසඳුම් හා මේ ආණ්ඩුව විසින් අනුගමනය කළ ආර්ථික වැඩ පිළිවෙළ අතර තිබුණු මූලික මට්ටමේ ප්‍රශ්න නිසා ඒ වැඩේට මහන්සි වෙන එකේ කිසිම තේරුමක් තිබුණේ නැහැ. හැබැයි ඒ තත්ත්වය දැන් වෙනස් වෙලා.

ආණ්ඩුව ඇතුළේ හිටපු ජාතික සමාජවාදීන් හා වෙනත් ඇතැම් "වියතුන්" මේ වන විට ආණ්ඩුවේ බල කේන්ද්‍රයෙන් එළියට විසි වෙලා බව පේනවා. අනෙක් දේවල් කොහොම වෙතත් ඩොලරයට සාපේක්ෂ නිදහසක් ලබා දී තිබෙනවා. ආණ්ඩුව විසින් එතැනින් එහාට කළ යුතු අනෙක් වෙනස්කම් කරයිද කියන එක ගැන කිසිදු සහතිකයන් නැතත්, අඩු වශයෙන් අප විසින් යෝජනා කළ පළමු පියවර ක්‍රියාත්මක කර තිබෙන මේ මොහොතේ ප්‍රශ්නයෙන් ගොඩයාමට ගත යුතු ඊළඟ පියවර ගැනත් සටහන් නොකළොත් එය අප කරන වැරැද්දක්. 

ඩොලරය පා කරන්න කියා කියපු අය දැන් පැත්ත පළාතක නෑ කියලා සමහර අය චෝදනා කරනවා. අපි නම් මෙහේ ඉන්නවා. ඒ වගේම, ආණ්ඩුව හා අප අතර කිසිම සම්බන්ධයක් නැතත් මේ කළ දෙය සම්බන්ධව කාට හෝ ප්‍රශ්න තිබේනම් ඒ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නත් අපි සූදානම්. අපි විවේචන කරන්නෙත්, යෝජනා කරන්නෙත් පුද්ගලයින් දිහා බලාගෙන නෙමෙයි. අපේ යෝජනා හා විවේචන සම්බන්ධව අප වගකීම ගන්නවා. 

ඩොලරය ඇත්තටම පා කරලද කියන එක තවමත් පැහැදිලි නැහැ. දැන් ඩොලරයේ මිල නැවතී තිබෙන රුපියල් 260, මට පෙනෙන හැටියට, මාර්ගෝපදේශිත සීමාවක්. ඩොලරයට නිදහසේ ඔහේ ඉහළ යන්න දුන්නත් මේ වෙලාවේ බොහෝ විට රුපියල් 300 ඉක්මවන එකක් නැහැ කියා මම හිතනවා. ඒ මට්ටමට වඩා ඉහළ යාම ආණ්ඩුව විසින් දරා ගනීද කියන එකත් සැක සහිතයි.

කෙසේ වුවත්, කිව යුතු වැදගත්ම කරුණ ඒක නෙමෙයි. ඩොලරය මේ මොහොතේ කවර හෝ මට්ටමකට ඉහළ ගොස් නැවතුනා කියලා එය ඒ මට්ටමේ දිගටම නවතින්නේ නැහැ. ඒ වගේම, ඒ කවර හෝ මට්ටමේ ඩොලරය තියා ගන්න උත්සාහ කළොත් නැවත ප්‍රශ්නයේ මුලට එනවා. ප්‍රශ්නය විසඳිය හැක්කේ ඩොලරයේ මිල ඉහළ යාමට හේතුවන සාධක ඉවත් කිරීමෙන් පමණයි.

ඩොලරය ඉහළ යද්දී බඩු මිල වැඩි වී උද්ධමනය ඉහළ යනවා. උද්ධමනය ඉහළ යද්දී ඩොලරයේ මිල මත වන පීඩනය වැඩි වෙනවා. මෙය චක්‍රීය ලෙස සිදු වන දෙයක්. හරි තැනින් අල්ල ගත්තේ නැත්නම් මේ චක්‍රය කඩන්න බැහැ. මේ සියල්ලට සමාන්තරව විශාල විනාශයකින් අවසන් විය හැකි සමාජ-දේශපාලන අර්බුදයක් අත වනමින් ඉන්නවා. 

මෙය කාටවත් බොර දියේ මාළු බාන්න අවශ්‍ය නැති, බොර වූ දියේ ඉන්න මාළු පීනාගෙන වැල්ලට එන වෙලාවක්. ඒ වගේ වෙලාවක වග කිවයුතු අයෙකු විසින් කළ යුත්තේ ගොඩට එන මාළු අල්ලා නැවත වතුරට වීසි කරන එක වුවත්, තුනපහ දමපු වතුර හට්ටියට ගින්දර දමමින් හට්ටියට මාළු ඇවිද ගෙන එන තුරු බලා සිටින අය මිසක් මාළුන්ව නැවත වතුරට දමන අය අඩුයි. ඒකට කාටවත් වරදක් කියන්නත් බැහැ.

මෙය විසඳිය හැකි ප්‍රශ්නයක්. මේ විෂම චක්‍රය කැඩිය හැකියි. එහෙත්, ඒ සඳහා ගෙවිය යුතු මිල මේ මොහොතේ ගෙවන්න වෙනවා. නිවැරදි වැඩ පිළිවෙලක් නැතිව ආණ්ඩුව එලවලා ගෙදර යැවුවා කියලා මෙහි වෙනසක් වෙන්නේ නැහැ. විස්තරාත්මකව ලිවිය හැකි හා ලිවිය යුතු දිගුකාලීන විසඳුම හා එකඟ වන, මේ මොහොතේ අනුගමනය කළ යුතු වැඩ පිළිවෙළ පිළිබඳ කෙටි සාරාංශයක් මේ ලිපියෙන් අප ඉදිරිපත් කරනවා.

එජාපය ආණ්ඩුව හා එක් වී ජාතික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ කසුකුසුවක්ද ඇහෙනවා. මෙය එජාපය විසින් රේල් පාර දිගේ දුවගෙන ගොස් බ්‍රේක් නැතුව අපායට යන කෝච්චියක ගාඩ් පෙට්ටියේ එල්ලීමක් වුවත් මේ වෙලාවේ රට ගැන හිතනවානම් කළ හැකි හොඳ වැඩක්. එවැනි ආණ්ඩුවකට අප යෝජනා කරන ආකාරයේ විසඳුමකට එකඟ වීම අපහසු නොවෙන්න පුළුවන්.

දළ වශයෙන් ගත්තොත් එජාපය විණිමය අනුපාතය පා කිරීම වෙනුවෙන් පෙනී සිටිනවා. දිගින් දිගටම විණිමය අනුපාතය පා කිරීම වෙනුවෙන් පෙනී සිට ඇති අයෙකු වුවත්, මේ මොහොතේ ඕනෑම කොන්දේසියක් යටතේ ඕනෑම තරමකට ඩොලරයේ මිල ඉහළ යන්න ඉඩ ඇරීම වෙනුවෙන් මා පෙනී සිටින්නේ නැහැ. ලේන්නු හිටිය යුත්තේ කැලේ මිසක් කූඩු වල නෙමෙයි. එහෙත්, කූඩුවක කාලයක් තිස්සේ හැදූ ලේන් පැටියෙක් එකවර කැලේට අත ඇරියොත් වෙන දේ අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.

මේ වෙලාවේ විණිමය අනුපාතය කීයට ගියත් උන්ඩියල් නවත්තන්න බැහැ. උන්ඩියල් ගනුදෙනු කියන්නේ තනිකරම නිදහස් ගනුදෙනු. ඊට සාපේක්ෂව නියාමනය කියන්නේ කෘතීම දෙයක්. මිනිස්සු උන්ඩියල් ක්‍රම භාවිතා නොකර බැංකු පද්ධතිය භාවිතා කරන්න ප්‍රධානම හේතුවක් වුනේ අතිශයෝක්තියට නංවා තිබුණු උන්ඩියල් ක්‍රම වල අවදානම නිසා ඇතිව තිබුණු බොරු බියයි. මහ බැංකුව විසින් මේ වන විට මිනිසුන් තුළ වූ ඒ බිය පහ කර තිබෙනවා.

ටවුමේ බාර් එකෙන් වැඩි මිලට සීල් බෝතලයක් බොන හැමෝම ඇළ ලඟ ගෙදර ගුණේ පෙරන කසිප්පු බොන්න යන්නේ නැහැ. ඒ අය කොලිටියක් නැති කසිප්පු බොන්න බය නිසා වැඩි මිලක් ගෙවලා, ආණ්ඩුවට බදු ගෙවලා සීල් බොනවා. සීල් විතරක්ම බොන, නීති විරෝධී මත්පැන් කවදාවත් නොබීපු කෙනෙක් දංකොටුව ස්පෙෂල් ගැන හිතන්නෙත් ඇළ ලඟ ගෙදර ගුණේ පෙරන කසිප්පු වගේ දෙයක් කියලා. 

ආණ්ඩුව හිටපු ගමන් බාර් වහනවා. දැන් කොහෙන් හෝ නීති විරෝධී මත්පැන් බෝතලයක් හොයා ගන්නවා ඇරෙන්න වෙන විකල්පයක් නැහැ. ඔහොම හොයා ගෙන යද්දී දංකොටුව ස්පෙෂල් බෝතලයක් හම්බ වෙනවා. ඒක ඇළ ලඟ ගෙදර ගුණේ පෙරන කසිප්පු වගේ දෙයක් නෙමෙයි. කලින් බීපු සීල් බෝතලේ එක්ක බැලුවහම පේන්න කිසිම වෙනසක් නැහැ. වෙනස තියෙන්නේ ගෙවිය යුතු මිලේ විතරයි. මෙච්චර දවස් ආණ්ඩුවට බදු ගෙවලා තියෙන්නේ නිස්කාරණේ!

පහුගිය කාලයේ උන්ඩියල් වලට පුරුදු වුනු මිනිස්සු දැන් උන්ඩියල් අත අරින්නේ නැහැ. එය බලෙන් නවත්වන්නත් කිසිම පුළුවන්කමක් නැහැ. උන්ඩියල් නැති වෙන්නේ ලංකාවේ ඕනෑම කෙනෙකුට ළඟ බැංකුවට ගිහින්, ලියකියවිලි කිසිවක් නොපෙන්වා, රුපියල් ගෙවා ඩොලර් හෝ වෙනත් ඕනෑම විදේශ ව්‍යවහාර මුදලක් මිල දී ගන්න හැකි වූ දවසටයි. පොළෙන් වට්ටක්කා ගන්නවා වගේ ඕනෑම කෙනෙක්ට ඒ විදිහට ඩොලර් ගන්න පුළුවන් තත්ත්වයක් ලංකාවේ කවදාවත් තිබුණේ නැහැ. කවදාවත් නොතිබුණු එවැනි තත්ත්වයක් මේ වගේ වෙලාවක ඇති කරන්න බැහැ. 

රට ඇතුළේ ඩොලර් අවශ්‍ය හැමෝටම නිදහසේ ඩොලර් මිල දී ගන්න නොහැකි තාක් කල් උන්ඩියල් ඩොලර් වලට ඉල්ලුමක් තිබෙනවා. ඒ ඉල්ලුම තිබෙන තුරු උන්ඩියල් සැපයුමද නවතින්නේ නැහැ. බැංකු වල මිල කීයට ගියත් උන්ඩියල් කරුවෝ ඊට වඩා රුපියලක් හරි ගෙවනවා. එහෙම තියෙද්දී මෙතෙක් කල් ගොඩක් අය අඩුවට ලංකාවට ඩොලර් එවුවේ උන්ඩියල් වලට තිබුණු බය නිසා. දැන් ගොඩක් අය ඒ බය ඇරගෙන. වැඩි අවදානමක් නැත්නම් එක රුපියලක් හෝ අඩුවෙන් ලබා ගන්න ඔවුන් පෙළඹෙන්නේ නැහැ.

හැබැයි එයින් අදහස් වෙන්නේ රුපියල අවප්‍රමාණය කරපු එකේ කිසිම තේරුමක් නැහැ කියන එක නෙමෙයි. මම මීට පෙර ලිපියකත් කිවුවා වගේ, ඩොලරයේ මිල ඉහළ යන්න නොදීම නිසා ලංකාවට එන එක නැවතුණු ඩොලර් ප්‍රමාණයක් තියෙනවා. මේ විදිහට ඩොලර් එවන එක නැවැත්වූ හෝ පමා කළ අය නිවැරදි බව මේ වන විට තහවුරු වී තිබෙනවා. කීයට හෝ ගිහින් ඉදිරි සතිය තුළ ඩොලරයේ මිල ස්ථාවර වීමෙන් පසුව ඔවුන් නැවත ලංකාවට ඩොලර් එවයි. මෙය විණිමය අනුපාතය අවප්‍රමාණය කිරීමේ ක්ෂණික හා සෘජු වාසියක්. ඒ ඩොලර් ටික රටට අද්ද ගන්න මේ වෙද්දී සිදු වුනු අවප්‍රමාණය වීම හොඳටම ප්‍රමාණවත්. 

ඉදිරි සතිය තුළ ඩොලරයේ මිල ස්ථාවර වීමෙන් පසුව කළ යුත්තේ, සැලසුමක් ඇතිව, අවම වශයෙන් මසකට 2-3% අතර ප්‍රමාණයකින් ඩොලරයේ මිල ඉහළ යන්නට සැලැස්වීමයි. එසේ ඉඩ හරිමින්, මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගත යුතුයි. ඉදිරි වසර තුළ උද්ධමනය 24-36% මට්ටමකට යාම නොවැලැක්විය හැකියි. ඒ කියන්නේ මාසයකට 2-3%කින් රුපියලේ දේශීය අගය පිරිහීමක්. රුපියලේ විදේශ අගය තුළද ඒ වෙනස පිළිබිඹු විය යුතුයි. යම් හෙයකින් උද්ධමනය මීට වඩා වැඩි වන්නේනම් ඩොලරයේ මිලද අනුරූපී ලෙස ඉහළ යාමට සැලැස්විය යුතුයි. මෙය අවම අවශ්‍යතාවයක්. ඩොලරය මීට වඩා වැඩියෙන් අවප්‍රමාණය වන්නේනම් එය වඩා සුදුසුයි. 

අවම වශයෙන් 2023 මාර්තු මාසය දක්වා උද්ධමනය ඉහළ මට්ටමක පැවතෙනු ඇති බැවින් ඒ කාලය තුළ මේ අයුරින් ඩොලරයේ මිල ඉහළ යාමට ඉඩ හැරීම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. ඉන් පසුව, එන හැටියට මේ පරාමිතීන් සීරුමාරු කර ගත හැකියි. වෙළඳපොළට අවශ්‍ය වන්නේ ස්ථාවරත්වයයි. ඩොලරය කීයක් වෙයිද යන අවිනිශ්චිතතාවයට සාපේක්ෂව මසකට 2-3% අතර ප්‍රමාණයකින් ඉහළ යාම ස්ථාවර තත්ත්වයක්. 1997-2006 පමණ දක්වා මෙන්ම 2015-2019 අතරද තිබුණේ අඩු වැඩි වශයෙන් එවැනි ස්ථාවරත්වයක්.

ගෙවුම් ශේෂ ප්‍රශ්න වලින් ස්ථිර ලෙසම මිදෙන්නටමනම් ලංකාව ඩොලර් බිලියන 50ක පමණ විදේශ සංචිතයක් ගොඩ නගා ගත යුතුයි. මේ වෙලාවේ සිහිනයක් සේ පෙනුණත්, විණිමය අනුපාතය හිර කර ගෙන රට ගොඩ නැගිය හැකිය යන "වියත් බාගයේ" ප්‍රඥාව ඉවත ලීමෙන් පසුව මෙය පැහැදිලි ලෙසම කළ හැක්කක්. නිසි මාර්ගයේ යන්නේනම්, කැට හොලවා විදේශික ශ්‍රී ලාංකිකයින්ගෙන් සල්ලි එකතු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඩොලර් ඉතිරි කරන්න ඇපල් මිදි තහනම් කරන්න අවශ්‍ය වෙන්නේත් නැහැ. 

මහ බැංකුව විසින් වසර පහක කාලයක් පුරා මසකට ඩොලර් මිලියන 500 බැගින් වෙළඳපොළෙන් මිල දී ගත්තොත් වසර පහක් යද්දී ඩොලර් බිලියන 30ක් එකතු වෙලා. ඩොලර් බිලියන 30ක සංචිතයක් හදාගත්තොත් ඉතුරු ඩොලර්බිලියන 20 රටට එන්නේ පියඹාගෙනයි. ඔය වැඩේ කළොත් රටේ ආනයන අපනයන පරතරය නිකම්ම නැති වෙලා යනවා. 

මාසයකට ඩොලර් මිලියන මිලියන 500ක් කියා කියන්නේ සාමාන්‍යයෙන් රටට මාසයකට ලැබෙන ප්‍රේෂණ ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක්. ඒ නිසා, මෙය කළ හැක්කක්. ශ්‍රමික ප්‍රේෂණ ලෙස ලැබෙන ඩොලර් ටික වෙළඳපොළෙන් ඉවත් කර ගත් විට වෙළඳ ගිණුමට හා සේවා ගිණුමට සමතුලිත වෙන්න සිදු වෙනවා. ආනයනික භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යද්දී, අපනයන ආදායම් වැඩි නොවුනත්, ආනයන වියදම් පහළ යාම නිසා ඔය වැඩේ වෙයි. ආනයන තහනම් කිරීම වෙනුවෙන් පෙනී සිටින අයට මේ ක්‍රමයට විරුද්ධ වෙන්න හේතුවක් නැහැ. පරපෝෂිත මධ්‍යම පංතියට ටිකක් නෙමෙයි ගොඩක් රිදෙයි!

සංචිත ගොඩ නගා ගැනීම පැත්තකින්ම තිබ්බත් ඉදිරි වසර වල වසරකට ඩොලර් බිලියන පහ හයක ණය ගෙවන්න තිබෙන නිසා ඔය ඩොලර් ප්‍රමාණය කොහොමටත් වෙළඳපොළෙන් ඉවත් කර ගන්නම වෙනවා. ණය ගෙවන්න තිබෙන දවස් දන්න නිසා මහ බැංකුවට මේ වැඩේ කලින් සැලසුම් කරන්න පුළුවන්. ලෝකයේ අනෙක් රටවල වෙන්නෙත්, නිදන් අරමුදල් ක්‍රමය අහෝසි කරන තුරු ලංකාවේ වුනෙත් ඔය වගේ වැඩක්.

ඩොලරයේ මිල ඉහළ යද්දී මිනිස්සු ආයෝජනයක් විදිහට වැඩි වැඩියෙන් ඩොලර් මිල දී ගන්න පෙළඹෙනවා. ඒ නිසා, ඩොලරයේ මිල කීයට ගියත් රටේ ඩොලර් ඉල්ලුම අඩු වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නය නොවිසඳා කොහොමටවත්ම ඉදිරියට යන්න බැහැ. අනෙක් ප්‍රශ්න වගේම මේ ප්‍රශ්නයත් විසඳුමක් නැති ප්‍රශ්නයක් නෙමෙයි. 

ඩොලරයේ මිල ඉහළ යාමට ඉඩ දෙන්න සිදු වී තිබෙන මේ මොහොතේ අනිවාර්යයෙන්ම කරන්නට සිදු වන ඊළඟ දෙය පොලී අනුපාතික 28-40% පමණ මට්ටමකට හෝ ඊට වඩා වැඩි මට්ටමකට ඉහළ දැමීමයි. මෙම පොලී අනුපාතික අවම වශයෙන් වසරක කාලයක් දක්වා එම මට්ටමේ පවත්වා ගන්න වෙනවා. රටේ ඩොලර් ඉල්ලුම පාලනය කර, උන්ඩියල් ක්‍රම අධෛර්යමත් කර, ඩොලරයේ මිල දිගින් දිගටම පාලනයකින් තොරව ඉහළ යාම වලක්වා ගත හැකි එකම ක්‍රමය එයයි. ආණ්ඩුව හෝ මහ බැංකුව විසින් කීයටවත් පොලී අනුපාතික මෙවැනි මට්ටමකට වහාම ඉහළ දමයි කියා මම හිතන්නේ නැහැ. හැබැයි එසේ නොකළොත්, අන්තිමට හිර වෙලා ඩොලරය අත ඇරියා වගේම, පොලී අනුපාතිකත් ඉහළ දමන්නම වෙනවා. ඥානක්කා පල්ලා සහතිකයි!

පොලී අනුපාතික එලෙස ඉහළ දැමිය යුත්තේ ඇයි?

මේ වෙලාවේ රටේ ඩොලර් වලට ඉල්ලුම විශාල ලෙස ඉහළ ගොස් තියෙන්නේ ඩොලරයේ මිල ඉදිරි කාලයේදී දිගින් දිගටම ඉහළ යාම අනිවාර්ය බව කාට වුවත් පැහැදිලිව පේන නිසයි. පළමුව මේ වෙළඳපොළ අපේක්ෂාවන් නිශ්චිත සීමාවක බැඳ තැබිය යුතු බව මම කිවුවා. මා යෝජනා කළ සීමාව මසකට 2-3%කින් ඩොලරයේ මිල ඉහළ යාමට ඉඩ හැරීමක්. වසරකට 24-36%ක වැඩි වීමක්. මෙහිදී රුපියල් ගෙවා ඩොලර් මිල දී ගෙන ඩොලර් අතේ තියා ගන්නා අයෙකුට වසරකට 24-36%ක ප්‍රතිලාභයක් ලැබෙනවා. නමුත්, පොලී අනුපාතික 28-40% මට්ටමේ ඇත්නම්, මේ රුපියල් රුපියල් ලෙස බැංකුවක තියා ගැනීමෙන් ඊට වඩා 4%ක ප්‍රතිලාභයක් ලැබෙනවා. ඒ නිසා, ඩොලර් මිල දී ගැනීම පාඩුයි. මේ පරතරය මීටත් වඩා වැඩි කළ හැකිනම් ප්‍රතිඵල තවත් ඉක්මන් වෙයි.

ඩොලරයක මිල ස්ථාවර කර ගැනීම සඳහා මේ මොහොතේ ක්ෂණිකව ගත යුතු, අවශ්‍යම හා වැදගත්ම දෙවන ක්‍රියාමාර්ගය පොලී අනුපාතික විශාල ලෙස වැඩි කිරීමයි. ඒ හරහා, විණිමය අනුපාතය පාලනය කිරීමට අමතරව මුදල් සැපයුම පාලනය කිරීම හරහා උද්ධමනයද පාලනය කළ හැකියි. මේ දේවල් කරද්දී මතු වන අතුරු ප්‍රශ්න තිබෙනවා. ඒ අතුරු ප්‍රශ්න ගැන අප දැනුවත්. ඒ අතුරු ප්‍රශ්න වලටද විසඳුම් තිබෙනවා. 

53 comments:

  1. කළු කැත අනාත සිංහල කුකුල් පැටව් නියුක් කිරීම තමයි විසඳුම.

    -මහේෂ් වලතර-

    ReplyDelete
  2. ආර්තිකය සන්කෝචනය වෙනවනෙ ඔය විසඳුම කලාම. පහුගිය අවුරුදු පහේම යහපාලනේ ආර්තික වර්දනේ අඩුයි කියල කෑ ගගහ හිටපු තාමත් ඒකම කියන ආන්ඩුවක් ඕව කරන්නෙ නැති බවත් gnanakka පල්ල ශුවර්

    ReplyDelete
    Replies
    1. ආනයන විශාල ලෙස සීමා කර තිබියදී ආර්ථිකය සංකෝචනය වීම වලක්වා ගත හැකි වෙයි කියා හිතනවද?

      Delete
    2. ඔබ කියන්නෙ දැනටමත් මේ අවුරුද්දෙ ආර්තිකය සන්කෝචනය වෙලා කියලද?

      Delete
    3. මෙම (2022) වසරේදී ආර්ථිකය සංකෝචනය වීමට සැලකිය යුතු ඉඩක් තිබෙනවා.

      Delete
  3. බදු සහ රජයේ ආදායම ගැන මොකක්ද කරන්නෙ?

    ReplyDelete
    Replies
    1. රජයේ ආදායමත් වැඩි කර ගන්න වෙනවා.

      Delete
  4. 'ඩොලරය පා කරන්න කියා කියපු අය දැන් පැත්ත පළාතක නෑ කියලා සමහර අය චෝදනා කරනවා. අපි නම් මෙහේ ඉන්නවා'

    කොහෙද තෙල් පෝලිමේද?

    ReplyDelete
    Replies
    1. ඩොලරය කලින්ම පා කළානම් ඔය පෝලිම් නෑනේ, ඇනෝ!

      Delete
  5. මොළේ නැති බලේ විපතකි හැම විටම
    හැකි නම් අපේ ලොක්කන් සතු උඩඟුකම
    අරං දමන විදිහක් කියලා දීම
    ඉස්සෙල්ලාම කළ යුතු යයි සිතමි මම

    ReplyDelete
  6. පොලී අනුපාතය හා ඩොලරය 28-40% වාර්ෂිකව වෙනස්වීම කියන්නේ ජනතාවට දරාගන්න බැරි තරම් ප්‍රායෝගික නොවන ඉලක්කයක් නේද? ලෝකයේ වෙන රටවල මෙවන් විසදුම් කරලා තියනවද? මෙහෙම කොලොත් ළඟ ළඟ ආණ්ඩු මාරු වෙලා රට අරාජික වෙන්නත් පුලුවන්. මෙහෙම නැතුව ඩොලරය පාකරලා, ණය ගෙවන්න ඕනෙ ඩොලර් ප්‍රමානය රජය වෙළඳපොළෙන් අරගෙන, පොලී අනුපාත ඒ අනූව නිදහස් කලොත් මොකද? ඒක ප්‍රායොගිකයි නේද?

    ReplyDelete
    Replies
    1. //පොලී අනුපාතය හා ඩොලරය 28-40% වාර්ෂිකව වෙනස්වීම කියන්නේ ජනතාවට දරාගන්න බැරි තරම් ප්‍රායෝගික නොවන ඉලක්කයක් නේද?//

      ඩොලරය වෙනස් වීම ජනතාවට දරා ගන්න පුළුවන් වුනත් බැරි වුනත් මෙය කරන්නම වෙන දෙයක්. එය නොකිරීමෙන් වෙන්නේ ප්‍රශ්නය තවත් උග්‍ර වීම පමණයි. කලින්ම ඩොලරය පා කළානම් මීට වඩා පහළ මට්ටමක ස්ථාවර කර ගන්න තිබුණා. මේ දේවල් තවත් පහු කළොත් මේ සීමාව තවත් ඉහළට යනවා. ඒ වගේම, ජනතාවට කිවුවත් මෙය සියල්ලන්ටම ප්‍රශ්නයක් නෙමෙයි. අපනයනකරුවන්ට, අපනයන කර්මාන්ත වල සේවකයන්ට, ශ්‍රමික ප්‍රේෂණ ලබන්නන්ට හා දේශීය නිෂ්පාදකයින්ට මෙයින් වෙන්නේ වාසියක්. ප්‍රශ්නයක් වෙන්නේ විශාල ලෙස ආනයනික භාණ්ඩ පරිභෝජනය කරන අයට හා ආනයනකරුවන්ට හා ආනයන මත පදනම් වූ රැකියා කරන අයටයි. (උදාහරණයක් ලෙස පිටකොටුවේ බස් වල ඇපල් විකුණන අයෙකුට). ආනයන සීමා කිරීම් නිසා දෙවන කාණ්ඩයේ අයට දැනටම ඊට වඩා හානියක් වී අවසන්. දැන් හානියට සාපේක්ෂව වැඩි මිලකට හෝ විකුණා කීයක් හෝ හොයා ගන්න පුළුවන් වීම හොඳ තත්ත්වයක්.

      විණිමය අනුපාතය ඉහළ යද්දී විණිමය අනුපාතයේ උදවුවෙන් මෙතෙක් යටපත් කරගෙන සිටි සැඟවුණු උද්ධමනය මතු වී පේන්න පටන් ගන්නවා. දැනටමත් එය වෙමින් පවතිනවා. උද්ධමනය වැඩි වන විට එහි පීඩනය දරා ගැනීමට උදවුවක් වශයෙන් සාමාන්‍යයෙන් කරන හා කළ යුතු දෙය පොලී අනුපාතික වැඩි කිරීමයි. එයින් ඉතිරි කිරීම් තිබෙන අයට උද්ධමනයෙන් ආරක්ෂාවක් ලැබෙනවා. දැනට ණය අරගෙන තිබෙන අයට බලපෑමක් වෙන්නේ නැහැ. එහෙත් අළුතෙන් ණය ගැනීම විශාල ලෙස සීමා වෙනවා. එය උද්ධමනය ඉක්මණින් පාලනය කිරීමට උදවුවක් වෙනවා. පොලී අනුපාතික උද්ධමනයට වඩා පහළින් තිබෙන තුරු මිනිස්සු ණය අරගෙන දැනට අවශ්‍ය නැති බඩුත් ගන්න පෙළඹෙනවා. නිකම් හිතන්න උද්ධමනය 20%යි. පොලී අනුපාතික 10%යි. තොග කඩ හිමියෙක් 10% පොලියට ණය අරගෙන විශාල ලෙස බඩු ගබඩා කර ගත්තොත් 10%ක් නිකම්ම ලැබිලා. මේ වගේ තත්ත්වයක් යටතේ බඩු මිල දී ගැනීම සඳහා සාමාන්‍ය නොවන ඉල්ලුමක් ඇති වෙනවා. එයින් උද්ධමනය තව තවත් ඉහළ යනවා. මෙය වලකා ගත හැක්කේ පොලී අනුපාතික උද්ධමනය ඉක්මවා ඉහළ දැමීමෙන් පමණයි.

      //ලෝකයේ වෙන රටවල මෙවන් විසදුම් කරලා තියනවද?//

      ලංකාව මේ වන විට පත් වී තිබෙන තරමට ගෙවුම් ශේෂ අර්බුදය උග්‍ර කර ගැනීමෙන් පසුව බොහෝ රටවලට අනුගමනය කරන්න සිදුවී තිබෙන්නේ මෙවැනි ක්‍රියාමාර්ගයක්.

      //මෙහෙම කොලොත් ළඟ ළඟ ආණ්ඩු මාරු වෙලා රට අරාජික වෙන්නත් පුලුවන්.//

      මෙහෙම කළොත් වසරක් යද්දී තත්ත්වය දැන් තිබෙනවාට වඩා තරමක් හෝ හොඳ වෙනවා. නොකළොත්, තත්ත්වය ටිකෙන් ටික නරක් වී ඔබ කියන දෙය කොහොමටත් වෙනවා.

      //මෙහෙම නැතුව ඩොලරය පාකරලා, ණය ගෙවන්න ඕනෙ ඩොලර් ප්‍රමානය රජය වෙළඳපොළෙන් අරගෙන, පොලී අනුපාත ඒ අනූව නිදහස් කලොත් මොකද? ඒක ප්‍රායොගිකයි නේද?//

      ඇත්තටම මම අදහස් කළේ එවැන්නක් තමයි. "ඩොලරය පාකරලා, ණය ගෙවන්න ඕනෙ ඩොලර් ප්‍රමාණය රජය වෙළඳපොළෙන් අරගෙන" කියන කොටස සිදු වන විට ඩොලරය මම කියපු සීමාවට ගොස් උද්ධමනයද මම කියපු සීමාවට යනවා. එවිට පොලී පොලී අනුපාතිකද ඔය වගේ සීමාවකට ගෙනියන්න වෙනවා. මේ විචල්‍යයන් මීට වඩා නිවැරදිව පුරෝකථනය කළ හැකියි. මම ඒ සඳහා කාලය ගත කළේ නැහැ. මෙය දළ අදහසක් පමණයි. අවශ්‍ය නියම මට්ටම හරියටම වගේ ගණනය කළ හැකියි. මහ බැංකුව සාමාන්‍යයෙන් එවැනි පුරෝකථනයන් කරනවා. ජනවාරි වන විටත් NCPI උද්ධමනය 16.8%ක්. මෙය පෙබරවාරි වන විට 19-20% මට්ටමට ගොස් ඇතැයි මම හිතනවා. දළ අදහසක් ලෙස මාර්තු උද්ධමනය 24% පමණත් අප්‍රේල් වන විට 28% පමණත් විය හැකියි. උද්ධමනය පාලනය කිරීමටනම් පොලී අනුපාතික ඊට වඩා ඉහළින් තියන්න වෙනවා. මේ වෙලාවේ රටේ තිබෙන ඩොලර් ඉල්ලුම නැති කළ හැකි එකම ක්‍රමයද එයයි.

      Delete
    2. ස්තුතියි, උද්දමනයට ප්‍රදානම හේතුව සල්ලි අච්චු ගහන එක නෙමේද? සල්ලි අච්චු ගහන්නේ නැතුව රුපියල පා කලොත් උද්දමනය විශාල ලෙස වැඩිවෙනවද? සාමාන්‍ය තත්ව යටතේ රටක් දියුණු වෙද්දි මුදල් සැපයුම වැඩි නොකොලොත් භාණ්ඩ මිල අඩුවෙන්න ඕනේ (අවදමනය) නේද? එතකොට මුදල් ඒකකය නිදහස් (පාකිරීම) නිසා වෙන උද්දමනය ආසන්නව බැලන්ස් වීමක් වේවිද?

      මගේ මූලික අදහස රුපියල පාකිරීම සහ පොලී අනුපාත ඉහලයාමෙන් වන අහිතකර බලපෑම රුපියල් අච්චුගැසීම නැවැත්වීම (හෝ රුපියල් වෙළෙඳපොළෙන් ඉවත්කර ගැනීම) මගින් අඩු කරගන්න පුලුවන් කියන එක. හැබැයි මේ වැඩේට බදු විශාල ලෙස වැඩි කරන්න/ වියදම් අඩු කරන්න වෙයි. එහෙම වුනොත් පොලි අනුපාත 20%+ යන එක සහ ඩොලරය 300+ වීම පාලනය වේවිද?

      Delete
    3. //ස්තුතියි, උද්දමනයට ප්‍රදානම හේතුව සල්ලි අච්චු ගහන එක නෙමේද?//

      නියම වචනය භාවිතා කළොත්, ඉතා පැහැදිලිවම හා නිශ්චිත ලෙසම, උද්ධමනයට හේතු වන්නේ මුදල් සැපයුම වැඩි කිරීම. මුදල් සැපයුම තීරණය වන්නේ සංචිත මුදල් සැපයුම හා මුදල් ගුණකය මතයි. සල්ලි අච්චු ගැසීම යන්නෙන් අදහස් වෙන්නේ සංචිත මුදල් සැපයුම ඉහළ යාමයි. එම සංචිත මුදල් ගුණනය වීම මුදල් මැවීම ලෙස හැඳින්වෙනවා.

      //සල්ලි අච්චු ගහන්නේ නැතුව රුපියල පා කලොත් උද්දමනය විශාල ලෙස වැඩිවෙනවද?//

      මුදල් සැපයුම වැඩි වන විට මුදලේ සැබෑ වටිනාකම අඩු වෙනවා. එවිට දේශීය බඩු මිල මෙන්ම විණිමය අනුපාතයද ඉහළ යා යුතුයි. විණිමය අනුපාතය ඉහළ යාමෙන් දේශීය බඩු මිල ඉහළ යාමට අනුරූපව ආනයනික බඩු මිලද ඉහළ යා යුතුයි. රජයට මැදිහත් වී මිල පාලනය කිරීම මගින් ඇතැම් බඩු වල මිල ඉහළ යාම වලක්වා උද්ධමනය සැඟවිය හැකියි. විණිමය අනුපාතය පාලනය කිරීම මගින් සියලුම ආනයනික බඩු වල මිල එක වර වක්‍ර ලෙස පාලනය කර සැලකිය යුතු තරමකින් උද්ධමනය සැඟවිය හැකියි. රුපියල පා කළ විට සිදු වන්නේ එසේ කාලයක් සඟවා තිබුණු උද්ධමනය මතු වී පෙනෙන්න පටන් ගැනීමයි. උද්ධමනය වැඩි වීමට පාදක හේතුව මුදල් සැපයුම ඉහළ යාම මිස රුපියල පා කිරීම නෙමෙයි. නමුත්, එය පෙනෙන්න පටන් ගන්නේ රුපියල පා කිරීමෙන් පසුවයි. දිගින් දිගටම මුදල් සැපයුම වැඩි නොවන්නේනම් රුපියල පා කිරීමෙන් පසුව උද්ධමනය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් වසරක් යද්දී නැවත සාමාන්‍ය තත්ත්වයට පහත වැටෙනවා.

      //සාමාන්‍ය තත්ව යටතේ රටක් දියුණු වෙද්දි මුදල් සැපයුම වැඩි නොකොලොත් භාණ්ඩ මිල අඩුවෙන්න ඕනේ (අවදමනය) නේද?//

      ඔව්. ආර්ථික වර්ධන වේගය හා ගැලපෙන පරිදි මුදල් සැපයුම වැඩි නොවුනොත් අවධමන තත්ත්වයක් ඇති විය හැකියි. මට මතක විදිහට රනිල් අගමැතිව සිටි 2001-2004 කාලයේ ඇතැම් මාස වල එවැනි තත්ත්වයක් දැකිය හැකි වුනා.

      //එතකොට මුදල් ඒකකය නිදහස් (පාකිරීම) නිසා වෙන උද්දමනය ආසන්නව බැලන්ස් වීමක් වේවිද?//

      මම හිතන්නේ ඔබ අහන්නේ දැන් මිල මට්ටම් ඉහළ ගියත්, ඒ අතර මුදල් සැපයුම විශාල ලෙස සීමා කළොත්, එම ඉහළ යාම ආපසු හැරවිය නොහැකිද කියන එක විය යුතුයි. සෛද්ධාන්තිකව මෙය කළ හැකියි. ප්‍රායෝගිකව මෙවැන්නක් සිදු වීමේ ඉඩක් නැහැ.

      Delete
    4. //මගේ මූලික අදහස රුපියල පාකිරීම සහ පොලී අනුපාත ඉහලයාමෙන් වන අහිතකර බලපෑම රුපියල් අච්චුගැසීම නැවැත්වීම (හෝ රුපියල් වෙළෙඳපොළෙන් ඉවත්කර ගැනීම) මගින් අඩු කරගන්න පුලුවන් කියන එක.//

      සෛද්ධාන්තිකව පුළුවන්. නමුත්, මෙහි ඔබ කියන "රුපියල් අච්චුගැසීම නැවැත්වීම (හෝ රුපියල් වෙළෙඳපොළෙන් ඉවත්කර ගැනීම)" කරන සාමාන්‍ය ක්‍රියාපටිපාටිය තුළ මේ මොහොතේ ලංකාවේ මෙය කළ හැකි උපරිම සීමාවක් තිබෙනවා.

      //හැබැයි මේ වැඩේට බදු විශාල ලෙස වැඩි කරන්න/ වියදම් අඩු කරන්න වෙයි.//

      ඔය දෙකම කළ හැක්කේ එක්තරා සීමාවක් දක්වා පමණයි. විශේෂයෙන්ම බදු වැඩි කිරීම. බදු අනුපාතික වැඩි කිරීමෙන් හැම විටම බදු ආදායම් වැඩි කර ගන්න බැහැ. භාණ්ඩ මත අය කරන බද්දක් සැලකුවොත්, බදු අනුපාතික වැඩි කරන හැම විටම මිල ඉහළ යාමෙන් ඉල්ලුම අඩු වෙනවා. උදාහරණයක් ලෙස වාහන ආනයනය කරන විට අය කරන තීරු බදු වාහනයේ මිලෙන් 20%කින් වැඩි කළ විට වාහන ආනයන ඉල්ලුමත් 20%කින් අඩු වුනොත් බදු ආදායම 4%කින් අඩු වෙනවා. (කලින් වාහන 100කින් බදු ලැබුනත් දැන් ලැබෙන්නේ 80කින් පමණයි. එම 80 මත 20%ක අමතර බද්දක් පැනවීමෙන් 16%ක ආදායම් වැඩි වීමක් වුනත් ලැබෙන්නේ කලින් ආදායමෙන් 96%ක් පමණයි). මේ හේතුව නිසා තමයි රජයක් හැම විටම වසරින් වසර ටිකෙන් ටික බදු වැඩි කරන්නේ. එකවර ඕනෑවට වඩා බදු වැඩි කළොත් වෙන්නේ තියෙන ආදායමත් නැති වෙන එක. යහපාලන කාලයේදී ලොතරැයි මිල 20 සිට 30 දක්වා වැඩි කිරීමෙන් පසුව වැනි අවස්ථා වලදී එසේ විශාල ලෙස ආදායම් අඩු වීමක් වුනා. ඒ නිසා, බදු ආදායම් සැලකිය යුතු ලෙස වැඩි කර ගැනීමට බදු අනුපාතික ඉලක්ක කිරීම වෙනුවට බදු පදනම් ඉලක්ක කරන්න වෙනවා. ඒ කියන්නේ කලින් බදු අය නොකළ, බදු අය කළ හැකි තැන් ගැන සොයා බැලීම. මෙය ක්ෂණිකව කළ නොහැකි, යම් කාලයක් ගත වන වැඩක්.

      වියදම් අඩු කිරීම වුවත් කෙටිකාලීනව කළ හැක්කේ යම් සීමාවක් දක්වා පමණයි. රජයේ ආදායමෙන් 70% ඉක්මවන පොලී වියදම් අනිවාර්යයෙන්ම ගෙවිය යුතුයි. රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වියදම් රජයේ ආදායමටම කිට්ටුයි. වැටුප් හා විශ්‍රාම වැටුප් අඩු කරන්න හෝ නොගෙවා ඉන්න බැහැ. අනෙකුත් බොහෝ වියදම්ද පසුගිය කාලය තුළ සෑහෙන දුරට සීමා කර තිබෙනවා. ඒ නිසා, කෙටිකාලීනව රජයේ වියදම් අඩු කළ හැක්කේ යම් සීමාවක් දක්වා පමණයි.

      ඉහත තත්ත්වයන් යටතේ අනිවාර්යයෙන්ම අයවැය හිඟයක් නඩත්තු කරන්න වෙනවා. කෙටිකාලීනව, එය අඩු කර ගැනීම මිස නැති කරන්න බැහැ. අයවැය හිඟයක් නඩත්තු වන තුරු ණය ගන්න වෙනවා. මේ වන විට විදේශ ණය ගැනීම ඉතාම අසීරුයි. ස්වෛරිත්ව බැඳුම්කර ඵලදා අනුපාතිකය මේ වන විට 231%යි. ඒ කියන්නේ 100ක් ගත්තොත් පොලිය 231ක් එක්ක 331ක් ගෙවන්න වෙනවා. ඒ අනුව, සල්ලි අච්චු නොගසා ඉන්නනම් දේශීය ණය ගන්න වෙනවා. අවශ්‍ය පමණ දේශීය ණය ගන්න පුළුවන් වනු ඇත්තේ පොලී අනුපාතික මම කියපු මට්ටමට ඉහළ දැමීමෙන් පමණයි. නැත්නම් තවතවත් සල්ලි අච්චු ගහන්න වෙනවා.

      //එහෙම වුනොත් පොලි අනුපාත 20%+ යන එක සහ ඩොලරය 300+ වීම පාලනය වේවිද?//

      මම හිතන්නේ එය කළ නොහැකි බව ඉහත විස්තර කිරීම් අනුව පැහැදිලි විය යුතුයි. සල්ලි අච්චු ගැසීම නවත්වා ගන්නනම් පොලී අනුපාතික 20%+ යවන්නම වෙනවා.

      Delete
    5. බොහෝම ස්තුතියි.. ඉතාමතම පැහැදිලියි.

      Delete
  7. ඉකනෝ.....

    කොච්චර රිදුනත්, ඩොලරය නිදහසේ පා කර ඇරීම හොදයි.

    ඔබ කියන විදිහට ඉස්සහරට පොලී අනුපාතිකය ඉහල දාන්න සිදුවෙන එක ඉතා පැහැදිලි තත්වයක් නම්, ඊට කලින් බැංකු වලින් අඩු පොලියට ණය අරං තියා ගන්න එකෙන් ලාභයක් වෙනවද?

    තව ප්‍රශ්ණයක්, දැන් ගොඩක් දෙනෙක් ස්ථිර තැනපත් අයින් කරගෙන ඒවාගේන් දේපල මිලදී ගැනීම් කරනවා...ඉදිරියේදී ඉහල පොලි අනුපාතිකය ලැබෙනව නම් ඒ කරන දෙයින් ප්‍රතිපළයක් නැතිව යනවා නේද

    ReplyDelete
    Replies
    1. //ඔබ කියන විදිහට ඉස්සහරට පොලී අනුපාතිකය ඉහල දාන්න සිදුවෙන එක ඉතා පැහැදිලි තත්වයක් නම්, ඊට කලින් බැංකු වලින් අඩු පොලියට ණය අරං තියා ගන්න එකෙන් ලාභයක් වෙනවද?//

      මම මේ වෙලාවේ මේ වගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙන එක සදාචාරාත්මකව නිවැරදි නැහැ. නමුත්, මෙය ආර්ථික විද්‍යාව හා මුදල් ප්‍රතිපත්ති ගැන යම් දැනුමක් තිබෙන ඕනෑම කෙනෙකුට තේරෙන දෙයක්. පිළිතුර පැහැදිලියිනේ. මේ අනුව බොහෝ දෙනෙක් තමන්ගේ වාසිය වෙනුවෙන් කටයුතු කරද්දී ණය ඉල්ලුමට, මුදල් සැපයුමට හා ඒ හරහා උද්ධමනයට සිදු වන දෙය ගැන හිතන්න.

      //ඉදිරියේදී ඉහල පොලි අනුපාතිකය ලැබෙනව නම් ඒ කරන දෙයින් ප්‍රතිපළයක් නැතිව යනවා නේද//

      පොලී අනුපාතික ඉහළ දැමීම කළ යුතු වුවත් රජය පැත්තෙන් එයට විශාල ප්‍රතිරෝධයක් තිබෙන නිසා මෙය සිදුවනු ඇත්තේ නොකරම බැරි වූ විට පමණයි. මම හිතන්නේ දැනට ඉඩම් හොඳ ආයෝජනයක්. එහෙත් යම් අවස්ථාවක ඉඩම් වෙළඳපොළ කඩා වැටෙන්න පුළුවන්. ඊට සාපේක්ෂව වඩා ද්‍රවශීල රත්තරන් මිල කඩා වැටෙන එකක් නැහැ. යම් ආදායමක් ජනනය කරන ඉඩම් මිල දී ගැනීමෙන්ද පාඩුවක් වෙන එකක් නැහැ. (තේ, කුලියට දීමට හැකි නිවාස)

      Delete
  8. බ්‍රිතාන්‍ය රජය විසින් ලංකාවේ සංචාරය කරන බ්‍රිතාන්‍ය සංචාරකයන්ට දැඩි අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

    https://www.gov.uk/foreign-travel-advice/sri-lanka

    බ්‍රිතාන්‍ය සංචාරකයන් ලංකාවේ සංචාරය කිරීමට සැලසුම් කරන්නේ නම් ඔවුන් පෙන්වා දී ඇත්තේ ලංකාවේ ඉන්ධන ආහාර ඇතුළු මූලික අවශ්‍යතා දැඩි හිඟයක් ඇති ව තිබෙන බවයි. ආනයනය සඳහා ගෙවීමට මුදල් හිඟයක් ඇතිව තිබීම මත ලංකාවේ ආර්ථික තත්ත්වය පිරිහෙමින් පවතින බවද ඔවුන් පෙන්වා දෙයි.

    නිතිපතා විදුලිය කප්පාදු කිරීම හේතුවෙන් ඊට මුහුණ දීමය වනු ඇති බවත් ලංකාවේ සිල්ලර වෙළඳසැල්, ඉන්ධන පිරවුම්, ඔසු සල් වල දිගු පෝලිම් ඇති බවද ඔවුන් අනතුරු අගවයි.

    *** ලංකාවට ප්‍රහාර එල්ල කිරීමට ත‍්‍රස්තවාදීන් උත්සාහ කරනු ඇති බවත් 2019 සිට මේ දක්වාම ඕනෑම මොහොතක වගේ විදේශික සංචාරකයන් ගැවසෙන ස්ථාන ප‍්‍රධාන ඉලක්ක විය හැකි වුවත් ඔවුන් අනතුරු අඟවා ඇත.***

    දැන් සංචාරයෝ එයි හරියට.. රට පුරා ඩොලර් දෝරේ ගලන්නට ආසන්නයි... ඔය ටික කරගන්න කිරිබත් කාල තාප්ප වල චිත්‍ර ඇදල නෙලුම් මල් අරන් කැලනි ගිහින් මහන්සි උන තරමක්. ලංකාවේ මහ ජනතාවට සුභ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  9. රුපියල අවප්‍රමාණය වෙන්න ඉඩ ගමන් සහ පොලි අනුපාත වැඩි කරන ගමන්ම විදේශ ප්‍රේෂණ වලට දෙනවයි කියන රුපියල් 20 දීමනාව දිගටම ලබා දුන්නොත් යම්කිසි ඩොලර් ප්‍රමාණයක් උන්ඩියල් වෙන එක නවත්වා ගන්න පුළුවන් නේද ඉකොන්. ඩොලර් රටට අත්‍යවශ්‍ය මොහොතක මෙවැනි දෙයක් කිරීමෙන් වන හොද නරක මොනවද? (මෙය රුපියල් 10-15 උනත් කමක් නෑ සමහර විට. උන්ඩියල් මිලට වඩා වැඩි වෙන්නයි ඕන )

    ReplyDelete
    Replies
    1. නැහැ. එකම දෙයකට මිල දෙකක් පවත්වා ගැනීම කොහොමටත් සාර්ථක ක්‍රමයක් නෙමෙයි. දැන් ඔය වැඩිහිටියන්ට දෙන 15% පොලිය වුනත් පහසුවෙන් අවභාවිතා වෙන දෙයක්නේ. සල්ලි තියෙන අය තමන්ගේ දෙමවුපියන්ගේ හෝ වැඩිහිටි ඥාතීන්ගේ නමින් ගිණුම් විවෘත කරලා 15% පොලිය ගන්නවා. මෙයත් එවැනි දෙයක්.

      ඒ වගේම, මේ වෙලාවේ ඩොලර් ඉල්ලුම තීරණය වන්නේ ඇත්තටම ඩොලර් අවශ්‍ය වන හේතු වලට වඩා සමපේක්ෂණය මතයි. කිසියම් පිරිසකට වැඩි මිලක් ගෙවීමේදී අනෙක් අයගේ මිල අපේක්ෂාවන්ද ඉහළ ගොස් ඉල්ලුම් වක්‍රය විතැන් වෙනවා. එහිදී උන්ඩියල් මිලද ඉහළ යනවා. ඒ නිසා, මේ ක්‍රමයට උන්ඩියල් වන ඩොලර් බැංකු වලට ඇද ගන්න බැහැ. එය කළ හැකි සාර්ථකම ක්‍රමය පොලී අනුපාතික ඉහළ දමා ඩොලර් ඉල්ලුම නැති කිරීමයි. පොලී අනුපාතික අවශ්‍ය පමණ වැඩි කළොත් දැන් කරනවාක් මෙන් ඩොලර් බලෙන් රුපියල් වලට පරිවර්තනය කරවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපනයනකරුවෝ අනාගතයේ ලැබෙන්න නියමිත ඩොලර් පවා කලින්ම විකුණන්න පෙළඹෙනවා. මොකද ඩොලර් අතේ තියාගෙන ඉන්න එක පාඩුයි. රුපියල් කරන එක ලාබයි.

      Delete
  10. ඉකොනෝ රාජාගේ පිටේ කරඩුව ගෙනියන්න ලෑස්ති කරනා මෙන් මාලිගාවෙන් ඉල්ලා උද්ගෝෂණය කරමු.

    ReplyDelete
    Replies
    1. පිංවන්ත ඉකොනෝ රාජාට නිවන් සැප අත්වේවා.

      Delete
  11. ඩොලර් එක අවශ්‍ය ප්‍රමානයයට අවප්‍රමානය නොකර, පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි කලොත් මොකෝ වෙන්නෙ? උදා ලෙස, ඩොලර් එක අවුරුද්දට 10% අවප්‍රමානය කරල, පොලිය 12% වගෙ තියාගත්තොත් මොකද?

    ReplyDelete
    Replies
    1. පොලිය වැඩි කිරීමෙන් කළ හැක්කේ ඩොලරයේ මිල අවශ්‍ය පමණ ඉහළ යාමෙන් පසුවද තව දුරටත් ඉතිරි වන සමපේක්ෂණ ඉල්ලුම නැති කිරීමයි. උද්ධමනය දැනටත් 20% පැනලා තිබිය යුතුයි. එසේ තිබියදී ඊට වඩා ගොඩක් අඩුවෙන් විණිමය අනුපාතය අවප්‍රමාණය වුනා කියලා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. අවම වශයෙන් ලංකාවේ හා අනෙකුත් රටවල උද්ධමන වෙනස ඉක්මවන ප්‍රමාණයකින් ඩොලරය අවප්‍රමාණය විය යුතුයි. නැත්නම් සිදු වන එකම වාසිය එකවර දැනට හිර වී තිබෙන ඩොලර් වලින් සැලකිය යුතු කොටසක් රටට එන එක පමණයි. ඉදිරි සති තුන හතර තුළ විශාල ඩොලර් ප්‍රමාණයක් රටට එයි. නමුත් ඒ ප්‍රවණතාව දිගටම එලෙස පවතින්නේ නැහැ. ඒ සඳහා දිගින් දිගටම උද්ධමනය හා ගැලපෙන පරිදි විණිමය අනුපාතය අවප්‍රමාණය වීමට ඉඩ හැරිය යුතුයි. පළමුවැන්න නොකර දෙවැන්න කරලා හරියන්නේ නැහැ.

      Delete
  12. ඔබ කියන පරිදි 40% ක් පොලී ගෙවීමට බෑන්කු ආදායම් උපයන්නේ කෙසේද? බෑන්කු 10% ක මාජින් එකක් තියාගෙන ඔය 40% පොලිය දී ලබාගත් තෑන්පතු ව්යාපාරිකයෙකුට නය ලෙස දුන්නහොත් එම ව්යාපාරිකයාට අඩු ගනනේ 10% ක් වත් ලාබ ලෑබිය හෑකි ව්යාපාරික අවස්තා තියෙය්ද?. මෙවෑනි අවස්තාවක කොටස් වෙලද පොලට කුමක් වෙය්ද? මිනිසුන් කොටස් සහ ව්යාපාර විකුනා බෑන්කුවේ මුදල් තබා ගෑනීමට පෙලබෙය් ද?. තෑන්පතු වලට 40% ක් පොලී ගෙවීමට බෑන්කු ආදායම් උපයන්නේ කෙසේද? මට ප්‍රශ්න කෝටියය්.

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රශ්න සියල්ලම ඉතාම සාධාරණ ප්‍රශ්න. ලංකාවේ දැන් තිබෙන ගෙවුම් ශේෂ අර්බුදය නිසි සේ කළමණාකරණය නොකළොත් එය කොහොමටත් මුදල්, මූර්ත, රාජ්‍යමූල්‍ය, බැංකු හා මූල්‍ය ක්ෂේත්‍ර වල පුළුල් අර්බුදයක් බවට පත් වෙනවා. එහිදී බැංකු කඩා වැටීමේ අවදානමක් කොහොමටත් ඇති වෙනවා. කරන දෙයක් කරන්න වෙන්නේ එම පවතින තත්ත්වය තුළ සිදු විය හැකි සමස්ත හානිය අවම කර ගැනීමේ පදනමින් පමණයි. මම කතා කළේ විණිමය අනුපාතය, උද්ධමනය හා පොලී අනුපාතික කියන විචල්‍ය තුන ගැන පමණයි. මෙය ඉතා සරල විග්‍රහයක්.

      විනිමය අනුපාතය කළමනාකරණය කළ යුතු ආකාරය ගැන මම කාලයක් තිස්සේ විස්තර කළා. මට දැනට අවශ්‍ය වූයේ ආර්ථික විද්‍යාව ගැන සාමාන්‍ය දැනුමක් පමණක් තිබෙන පාඨකයින්ව තවත් එක් පියවරක් ඉදිරියට ගෙනයාම පමණයි. මෙහිදී මා අලුතෙන් කර තිබෙන එකම දෙය විනිමය අනුපාතය කළමනාකරණය කිරීම පිළිබඳ මගේ පැරණි යෝජනා වලට පොලී අනුපාතිකද එකතු කිරීමයි. නමුත්, අවසාන වශයෙන් ප්‍රතිපත්ති තීරණ ගැනීමට පෙර ආර්ථික වර්ධනය, විරැකියා අනුපාතය, සමාගම් වල ලාබ, රජයේ බදු ආදායම්, රජයේ වියදම්, බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයට සිදුවන බලපෑම ඇතුළු හැම දෙයක් ගැනම පුළුල් ලෙස සලකා බලන්න වෙනවා. මෙහි විස්තර නොකළත් ඒ හැම දෙයක්ම සලකා බැලීමෙන් පසුවද අවසාන වශයෙන් විනිමය අනුපාතය හා පොලී අනුපාතික හා අදාළව කළ යුතු වන්නේ මෙවැනි දෙයක්. අනෙක් විචල්‍ය කළමනාකරණය කළ යුතු ආකාරය කෙසේවත් එක් බ්ලොග් ලිපියකින් විස්තර කරන්න අමාරුයි.

      මෙය ඔබේ ප්‍රශ්න වලට හරියකට පිළිතුරක් නොදී මග හැර යාමක් වන නිසා මම දැනට බාග පිළිතුරක් දෙන්නම්. මෙම පිළිතුරේ අදහස පමණක් ගන්න.

      අප මෙහිදී 40%ක පොලී අනුපාතිකයක් ගැන කතා කරන්නේ 36%ක උද්ධමනයක් පවතින තත්ත්වයක් යටතේ බව අමතක කරන්න එපා. උද්ධමනය එපමණ ඉහළ නොයන්නේනම් පොලී අනුපාතිකද එපමණ ඉහළ යා යුතු නැහැ. අපි සාමාන්‍ය තත්ත්වය 6%ක උද්ධමනය, 12%ක ණය පොලිය හා 8%ක තැන්පතු පොලිය ලෙස සලකමු. උද්ධමනය 36%ක් වීමෙන් පසුව 42%ක ණය පොලිය හා 38%ක තැන්පතු පොලිය කියා කියන්නෙත් එවැනිම තත්ත්වයක්. බැංකු වලට කලින් ලැබුණු 4% පොලී ආන්තරය තව දුරටත් එලෙසම තියෙනවා. දැන් ප්‍රශ්නය 42% පොලියට ණය දෙන්න පුළුවන්ද කියන එක පමණයි.

      උද්ධමනය 36% යන්නෙන් අදහස් වන්නේ භාණ්ඩ වල විකිණුම් මිල මසකට 3%කින් ඉහළ යන බවයි. ඒ කියන්නේ කිසියම් භාණ්ඩයක් මිල දී ගෙන මසකට පසු විකුණන ව්‍යාපාරිකයෙකුට 3%ක අමතර ලාබයක් ලැබෙනවා. අමුද්‍රව්‍ය මිල දී ගෙන නිෂ්පාදනයක් කරන අයටද මේ වාසිය තිබෙනවා. උද්ධමනය වැඩි වන තරමට සේවක වැටුප් වැඩි නොවන නිසා එයින්ද ලාබ ඉහළ යනවා. සාමාන්‍යයෙන් උද්ධමනය ඉහළ යන වකවානු බොහෝ ව්‍යාපාරිකයින්ට වාසිදායකයි. ඉදිකිරීම් කර්මාන්තය වැනි කලින් ගිවිසුම් අත්සන් කරන කර්මාන්ත වලට පමණක් අවාසිදායකයි. අවම වශයෙන් මසකට 3%ක අමතර ලාබයක් ලබන ව්‍යාපාරිකයෙකු 36%ක වැඩි පොලියක් ගෙවා ණය ගන්න පැකිලෙන්නේ නැහැ. ඒ නිසා, 42% පොලියට ණය දෙන්න පුළුවන්. නමුත් ප්‍රශ්නය බැංකු විසින් කලින් දී තිබෙන ණය සඳහා දැන් වැඩි පොලියක් අය කළ නොහැකි වීමයි. පොලී අනුපාතික ඉහළ යාමේදී බැංකු වලට මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනවා. එය අලුත් ප්‍රශ්නයක් නොවුනත්, විශාල ලෙස පොලී අනුපාතික වැඩි වීමේදී දරුණුවට මතු වන ප්‍රශ්නයක්. මේ හේතුව නිසා බැංකු වල ලාබ අඩු වෙනවා. එහෙත්, නැවත පොලී අනුපාතික අඩු වන, චක්‍රයේ ඉතිරි කොටසේදී අමතර ලාබ ලැබී ප්‍රශ්නය සමනය වෙනවා. ඒ අතර කාලයේ බැංකු කඩා වැටීම වැලක්වීමටට විසඳුම් අවශ්‍යයි. මහ බැංකුවට මැදිහත් වී එම විසඳුම් දිය හැකියි.

      කොටස් වෙළඳපොළට සිදුවන බලපෑම තීරණය වන්නේ පොලී අනුපාතික වැඩි කරන ක්‍රමය අනුවයි. රාජ්‍ය සුරැකුම්පත් පොලිය ඉතාම විශාල ලෙස වැඩි කළොත් කොටස් ඉල්ලුම අඩු වී කොටස් වෙළඳපොළ කඩා වැටීමක් වෙන්න පුළුවන්. එහිදී මිනිස්සු කොටස් විකුණා රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගනියි. නමුත්, රාජ්‍ය සුරැකුම්පත් පොලිය එසේ ඉතාම විශාල ලෙස වැඩි කිරීමට ලොකු ඉඩක් නැති නිසා කොටස් වෙළඳපොළ මිල ඉහළ යා හැකියි. ඒ වගේම, ඉහළ පොලිය නිසා විදේශිකයින් විසින් නැවතත් රාජ්‍ය සුරැකුම්පත් වල හා සමාගම් කොටස් වල ආයෝජන කරන්න ඉඩ තිබෙනවා. එයින්ද විණිමය අනුපාතය මත වන පීඩනය අඩු විය හැකියි. කොටස් වෙළඳපොළ ගැන දැන්ම කතා කරන එකේ එතරම් තේරුමක් නැහැ. වෙන දෙය තීරණය වන්නේ අනාගතයේ ගත හැකි වෙනත් ප්‍රතිපත්ති තීරණ මතයි.

      Delete
  13. ඔබගේ ක්ශනික පිලිතුරට ස්තුතිය් මහත්මයා.
    ඔබගේ පිලිතුර මගින් ඔබගේ ලිපියේ රෙකමදාරු කල පිලියම් ක්‍රියාත්මක කිරීමේ දී බෑන්කු ඈතුලු ස්මස්ත ක්‍රියාවලියක්ටම වන බලපෑම ගෑන මනා අවබෝදයකින් කලයුතුබව කියවෙනවා. එය එම යෝජනාව ක්‍රියාත්මක කරනවානම්, ඔවුනට කරන අනතුරු ඈගෑවීමක්.
    ස්තුතිය් නෑවතත්.

    ReplyDelete
  14. If the interest rates are increased to the above levels wont that adversely effect the small and medium businesses which run on loans. Additionally it would affect from new enterprises from starting and severely effect the cash flow of cash oriented small businesses.
    Is there a way to overcome this scenario ?

    ReplyDelete
    Replies
    1. This can be a serious factor to be considered in a capitalist country like USA. In SL, the sensitivity of new startups to availability of loan capital and business cycles is not very high. In any case, when you are about to starve to death, you can't wait for Biryani from Rahumaniya and priorities should be identified. SMEs may suffer; that is a part of the price to be paid.

      Delete
  15. රුපියල devalue කලා නොව පාවෙන්නට ඉඩ දුන්නා පමණි!

    ReplyDelete
    Replies
    1. පහත ලිපියේ මේ ගැන කතා කර තිබෙනවා. 230 ගැන කියා තිබෙන කතාව 265ටත් අදාළයි.

      http://economatta.blogspot.com/2022/03/blog-post_8.html

      Delete
  16. රුපියල් සත නිසාද ඉකොනෝ අපට මේ දුක?

    ReplyDelete
  17. ඉකොනෝ,

    ඇත්තටම ලංකාවේ ආර්ථික අර්බුදයට හරිම සරල විසඳුමක් තියෙන්නේ. මුලින්ම රුපියලක වටිනාකම ඩොලර් එකට සමාන කරන්න නීතියක් ගේනවා. අපි හිතමු එතකොට පාන් ගෙඩියක් රුපියල් සීයයිනම් පාන් ගෙඩියේ මිල ඩොලර් සීයක් වෙනවා. පිටරටින් ගෙන්නන කාර් එකක මිල ඩොලර් තිස්දාහයි නම් කාර් එකක් රුපියල් තිස්දාහට ගන්න පුළුවන් වෙනවා. උදාහරණයක් විදිහට පාන් ගෙඩි තුන්සීයක අපනයනය කරල ඒ මුදලින් කාර් එකක් ගන්න පුළුවන් වෙනවා. එතකොට අපනයන ආදායම වැඩි වෙලා ආනයනය වියදම අඩු වෙනවා. රටේ ඩොලර් සංචිත පිරී ඉතිරී යනවා. හරිම සරලයි නේද?


    ReplyDelete
    Replies
    1. මහ බැංකුවක් නොතිබුණු කාලයේ තිබුණේ මීට ආසන්න තත්ත්වයක්. දැනට වුවත් මහ බැංකුවක් නැති රටවල තිබෙන්නේ මීට ආසන්න තත්ත්වයක්. රටේ ආර්ථිකය කඩා වැටී දැන් තිබෙන රුපියල් වල කිසිම වටිනාකමක් නැති වුනොත් ඉන් පසුව මෙවැනි තත්ත්වයක් ඇති විය හැකියි. මෙයට කියන්නේ "ඩොලර්කරණය" කියලා. සල්ලි වල කිසිම වටිනාකමක් නැති වීමෙන් පසුව සිම්බාබ්වේ රාජ්‍යයට ඩොලර්කරණය තෝරා ගන්න සිදු වුනා.

      Delete
    2. ඩොලර්කරනය කලොත් ඇත්තටම මොකෝ වෙන්නෙ? ඒක ලන්කාවට වාසිද අවාසිද?

      Delete
    3. අවාසියි. ඇමරිකාවට කිසිම වටිනාමක් නැති ඩොලර් කොළ ලංකාවට අපනයනය කරලා සල්ලි හොයන්න පුළුවන්. ලංකාවේ මහ බැංකුව සල්ලි අච්චු ගහලා හොයන ලාබය ඇමරිකාවට යනවා. නමුත්, උද්ධමනය පාලනය වෙනවා. මොකද උද්ධමනය හා බඩු මිල පාලනය කරන්නේ ඇමරිකාවෙන්.

      Delete
    4. //ඇමරිකාවට කිසිම වටිනාමක් නැති ඩොලර් කොළ ලංකාවට අපනයනය කරලා සල්ලි හොයන්න පුළුවන්.//
      මේ කෑල්ල හරියට තේරුනෙ නෑ

      Delete
    5. ඩොලර්කරණය කියන එකේ ආන්තීයම තත්ත්වය රුපියල් සම්පූර්ණයෙන් අත ඇරලා කෙළින්ම ඩොලර් භාවිතා කරන එක. ඒ සඳහා ඩොලර් නෝට්ටු ඇමරිකාවෙන් ගෙන්වාගන්න ඕනෑ. ඩොලර් 100 නෝට්ටුවක් මුද්‍රණය කරන්න ඇමරිකාවට යන්නේ ඩොලර් ශත 14ක් පමණයි. ඉතිරි ඩොලර් 99.86ම ලාබ. නමුත් ඔය ඩොලර් 100 නෝට්ටුවක් ගන්න ලංකාවට ඩොලර් 100ක් වටිනා ඇඟලුම් වැනි දෙයක් ඇමරිකාවට යවන්න වෙනවා. එතකොට ඇමරිකාව ඩොලර් 100ක බඩු ගන්න වියදම් කරන්නේ ශත 14ක් පමණයි.

      ඔබ යෝජනා කරන පරිදි රුපියල් 1 = ඩොලර් 1 ලෙස පවත්වා ගෙන යාමේදී වුවත් වක්‍ර ලෙස වෙන්නේ ඔය දෙයමයි. මේ සඳහා රුපියල් නිකුත් කිරීමේ බලය ඇති, එහෙත් මහ බැංකුවකට මෙන් කැමති තරමක් මුදල් නිකුත් කිරීමේ බලයක් නැති, මුදල් අධිකාරියක් අවශ්‍ය වෙනවා. දැන් එම මුදල් අධිකාරියට රුපියල් 1 = ඩොලර් 1 නීතිමය සීමාව පවත්වා ගනිමින් රුපියල් නිකුත් කළ හැකියි. ඉහත නීතිමය සීමාව නිසා කවුරු හරි රුපියලක් ආපසු මුදල් අධිකාරියට දෙන හැම විටකම ඩොලර් එකක් ගෙවන්න වෙනවා. ඒ සඳහා ප්‍රමාණවත් ඩොලර් එම මුදල් අධිකාරියේ තියා ගන්න වෙනවා. එසේ නැත්නම් කවුරුවත් රුපියලක් ඩොලර් එකක් වටින බව පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ, නිකුත් කරන රුපියල් ප්‍රමාණයට සමාන ඩොලර් ප්‍රමාණයක් සංචිත ලෙස තියා ගන්න වෙනවා. වැඩිපුර රුපියලක් නිකුත් කරන හැම විටම ඇමරිකාවෙන් ඩොලර් එකක් ගෙන්න ගන්න වෙනවා. ඒ වෙනුවෙන් ඩොලර් එකක් වටිනා ඇඟලුම් වැනි දෙයක් ඇමරිකාවට යවන්න වෙනවා. නමුත්, ඒ වෙනුවෙන් ඇමරිකාව ලංකාවට එවන ඩොලර් නෝට්ටුව මුද්‍රණය කරන්න ඇමරිකාවට යන්නේ ශත 6.2ක් පමණක් නිසා ලංකාව රුපියලක් නිකුත් කරන හැම විටකම ඇමරිකාවේ සංචිත බැංකුවට ශත 93.8ක ලාබයක් ලැබෙනවා.

      Delete
    6. නමුත් භාන්ඩ අපනයනයනයෙදිත් වෙන්නෙ ඒකමනෙ.

      Delete
    7. මම කිව්වෙ දැන් විදේශ විනිමය උපයනව කියල භාන්ඩ අපනයනය කරද්දිත් ඕකම නෙමෙයිද වෙන්නෙ?

      Delete
    8. නැහැ. ඒ උපයන ඩොලර් ආනයන වෙනුවෙන් වියදම් කරනවනේ. ඩොලර් 100ක ඇඟලුම් යවද්දී ඩොලර් 100ක තෙල් හරි වෙන මොනවා හරි එනවා. "දේශීය පරිභෝජනය සඳහා" ඩොලර් නෝට්ටු ආනයනය කිරීමක් වෙන්නේ නැහැ.

      Delete
  18. ආන්ඩුව සල්ලි අක්චු ගහන එකත් නවත්තන්නෙ නෑ වගෙ. ඩොලර් එක පා කරන ගම සල්ලි අච්ංහු ගැහුවම මොකෝ වෙන්නෙ? මෙතුවක් කල්ට වඩා වෙනස් වෙනවද?

    ReplyDelete
    Replies
    1. //ආන්ඩුව සල්ලි අක්චු ගහන එකත් නවත්තන්නෙ නෑ වගෙ. ඩොලර් එක පා කරන ගම සල්ලි අච්ංහු ගැහුවම මොකෝ වෙන්නෙ? මෙතුවක් කල්ට වඩා වෙනස් වෙනවද?//

      පළමුව, තවමත් ඩොලරය පා කිරීමක් හරියටම කරලා නැහැ. ඩොලරය පා කරලානම් පවතින මිල යටතේ අවශ්‍ය ඩොලර් ඉල්ලුම සැපිරෙන්න ඕනෑ. නමුත්, තවමත් අපනයනකරුවන්ගේ ඩොලර් බලහත්කාරයෙන් රුපියල් කරනවා. මහ බැංකුව විසින් රාජ්ය බැංකු වල උදවුවෙන් ඩොලරය crawl කරමිනුයි ඉන්නේ. ඇත්තටම කළ යුත්තේත් මෙයයි. අද වන විට 275 දක්වා ගිහින් තිබෙනවා.

      පොලී අනුපාතික අවශ්‍ය පමණ වැඩි කරන තුරු සල්ලි අච්චු ගහන එක නවත්වන්න බැහැ. සල්ලි අච්චු ගහන තුරු රුපියලේ වටිනාකම පහළ යනවා. රුපියලේ වටිනාකම පහළ යන තුරු විණිමය අනුපාතය මත පීඩනය ඉහළ යනවා. මම යෝජනා කර තිබෙන්නේ මේ සියල්ල කළමනාකරණය කර ගත හැකි ප්‍රසස්ථම ක්‍රමයයි.

      Delete
  19. ඉකොනොමැට්ටා, මේ වන විට ලංකාවේ දැඩි ලෙස භාණ්ඩ මිල ඉහළ මට්ටමක පවතින අතර පැට්රල් 92 රු. 254 සහ ඩීසල් මිල රු. 171 ක් සහ පාන් ගෙඩියක් රුපියල් 140 කිරි පිටි පැකට් එකක් රු 900 ක් විතර, ගෑස් සිලින්ඩරයක් රු 3500 ක් විතර පරිප්පු ටින් මාළු, පරිගණක ජංගම දුරකථන, විදුලි උපකරණ, ප්ලාස්ටික් බඩු පෝර වෙනත් එදිනෙදා ජීවිතයේ නිතර අවශ්‍ය වන භාණ්ඩ මිල ඉතාමත් බරපතල විදිහට අධික මිල ඉහළ යාමත් සමග ජනතාවට කිසිම විදිහකින් දරාගත නොහැකි ඉතාමත් අධික ජීවන වියදම, රටේ පවතින පොහොර මිල තව දුරටත් ඉහළ යාම, ඉන්ධන සහ ගෑස් අධික ලෙස වැඩි කිරීමෙන් වූ අර්බුදය සමග ඩොලර් නැති බව කියමින් ඇති කළ විදුලි කප්පාදුව සහ විදුලි බිල් වතුර බිල් ඉහළ නැංවීම, බස් සහ දුම්රිය සේවා ගාස්තු අධික ලෙස වැඩි කිරීමත්, මත්පැන් හා සිගරට් මිල ඉහළ යාම, ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තු වැඩි වීම ඇතුළු ජනතාව මුහුණ දෙන පීඩනය මුල් කර ගනිමින් වත්මන් ආණ්ඩුවේ කාලකන්නි අමන දුෂ්ට තකතීරු කාලකන්නි පාලනයට එරෙහිව සමගි ජන බලවේගය සංවිධානය කළ දැවැන්ත විරෝධතාවය දිවයිනේ නන් දෙසින් පැමිණි අති විශාල ජන ගංගාවකගේ සහභාගිත්වයකින් ලංකාවේ අගනුවර කොළඹ දී අද මාර්තු 15 පස්වරුවේ පැවැත්වුණු අතර පැය ගණනක් වාහන බස් රථ ආදිය හිරවී තවමත් කාටවත් ගෙදර යාමටත් නොහැකි තරම් අති විශාල පිරිසක් එක් වූ බව එය දුටු ලංකාවේ මිතුරන් ගණනාවක්ම මට පැවසුවා.

    මාධ්‍ය මගින් ලයිව් පෙන්වන පරිදි “රට සම්පූර්ණයෙන්ම විනාශයි දැන් නම් හොඳටම ඇති තවත් නම් වනසන්න දෙන්න බැහැ එක්වෙමු කොළඹට” යන තේමාවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විරෝධතාවය ඇරඹුණේ අද ලංකාවේ වෙලාවෙන් පස්වරු දෙකට පමණ.

    ඒ වගේම මේ පෙළපාලියේ පැමිණ පිරිසට නොදෙවෙනි ජනතාවක් මග දෙපස රැදී සිටිමින් විශාල වශයෙන් සහයෝගය ලබා දෙමින් කාලකන්නි අමන ආණ්ඩුවට අමු අමුවේ කුණුහරුප වලින් බැන වදිමින් මෙම දැවැන්ත පෙළපාලිය දිරිගැන්වීමට කටයුතු කළා.

    මේ විරෝධතාව සඳහා රජයේ විවිධ අංශ වල සේවා වෘත්තීය සමිති සහ සංගම්, පිටකොටුවේ අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වන වෙළඳ නියෝජිතයන්, තොග වෙළඳ සංගම් වල අය, සේල්ස් රෙප් වරුන් ඇතුළු අලෙවි නියෝජිතයෝ, ඇපල් දොඩම් වෙළඳුන්, සිල්ලර වෙළඳුන්, බේකරි නිෂ්පාදනයේ කර්මාන්ත කරුවන්, පාම් ඔයිල් බෙදාහරින වෙළඳුන්, ගොවීන්, ධීවරයන්, රජයේ ස්ථිර සහ අස්ථිර සේවකයන්, වෙනත් විවිධ වෘත්තීය සමිති නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, විවිධ දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් ඇතුලු අති විශාල පිරිසක් එක්ව සිටි අතර විරෝධතාවය හේතුවෙන් ඊයේ පස්වරුවේ සිට මේ වන තෙක්ම ලංකාවේ අගනුවර කොළඹ නගරයේ ගමනා ගමන කටයුතුද මුලුමනින්ම පාහේ ඇණ හිට ඇත.

    මේ සමගම දිගටම පැමිණ කොළඹ පී.ඩී සිරිසේන ක්‍රිඩාංගනය සහ පුස්තකාල වට රවුම අසලට පස්වරු 2.00 ට පමණ රැස්වූ විරෝධතාකරුවෝ දැඩී ලෙස විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වෙනවා. පී.ඩී සිරිසේන ක්‍රිඩාංගනය අසලට රැස්වූ විරෝධතාකරුවන් පංචිකාවත්ත, ටෙක්නිකල් හන්දිය ,මරදාන කොළඹ කොටුව ලොටස් පාර ඔස්සේ ජනාධිපති ලේකම් කාර්්‍යාලය ඉදිරිපිටට පැමිණි අතර අනෙක් පිරිස කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලය අසල සිට විරෝධතා පා ගමනින් ධර්මපාල මාවත, පිත්තල හන්දිය, කොල්ලුපිටිය මංසන්ධිය පසුකරමින් ගාලු පාරට පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය අසලට ගමන් කලා.

    දෙපසකින් ආපු මේ දැවැන්ත මහජන රැළි දෙකම ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී එක්වූ අතර එහිදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඉතාමත් උද්යෝගිමත් අයුරින් සහභාගී වූ ජනයා විරෝධතා රැලිය ඉතාමත් උත්කර්ෂවත් ලෙස පවත්වනවා.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ වෙලාවෙන් හවස 3.00 ට පමණ විපක්ෂ නායක සජබ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග පක්ෂයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්වූ අතර එතැන් සිට පිරිස විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් විරෝධතා පාගමනේ නිරත වූණා. මේ දැවැන්ත විරෝධතාකරුවන් ගමන් ගත් මාර්ගය එකම හිස් ගොඩක් ලෙස දිස්විය. අවට මාර්ගවල ගමනා ගමනය සම්පූර්යෙණන්ම ඇනහිට තිබුණි.

      “මුළුමනීන්ම රට විනාශයි දැන් නම් හොඳටම ඇති, ජනතාවට විනාසේ ආණ්ඩුව සිනාසේ, ජනතාව ගින්දරේ ආණ්ඩුව මන්දිරේ, ජනතාව කලුවරේ ආණ්ඩුව සුරපුරේ, ජනතාවට ඇපත් නෑ ආන්ඩුවට වගක් නෑ, රට වලපල්ලට ගොවියා මහපාරට, උන්ට සැප රථ ගොවින්ට ඇප නැත, පිස්සො රජවෙලා වැසියෝ නැතිවෙලා, වැඩබැරිනම් ගෙදර යන්න, සෞභාග්‍යයේ දැක්ම කොහොමද?, දැන් සැපද, බෙහෙත් නෑ, හාල් මිල සැපද, සිමෙන්ති මිල සැපද, ආදී විරෝධතා පුවරු රාශියක් ප්‍රදර්ශනය කරමින් ඔවුහු විරෝධතා පා ගමන නිරත වූ අතර අද කොළඹ නගරයේ රජයේ සහ පෞද්ගලික අංශයේ කාර්යාල සියල්ලම පාහේ හවස තුනට වසා දැමීමට කටයුතු කර තිබෙනවා ඒ මේ උද්ඝෝෂණ රැල්ල නිසා ඇතිවූ අතිවිශාල තදබදයක් නිසා.

      මේ විරෝධතාකරුවන් දැඩි ලෙස ජනපති ඇතුළු ආණ්ඩුවේ සියලුම දේවල් විවේචනය කරමින් “වැඩ බැරි ජඩ ගෝඨා ගෙදර පළ” යනුවෙන් සඳහන් කලු පටි පැළඳ විරෝධතාවේ නිරතවීම විශේෂත්වයකි.

      “කාලකන්නි මොළ හතාගේ ජඩ පාදඩ ආර්ථිකය” සඳහන් මිනීපෙට්ටි කිහිපයක්, මල්වඩම්, හිස් පිගන්, ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ සහ මුදල් අමාත්‍යවරයාගේ අනුරෑප වලට භූමිතෙල් භාවිතා කර ගිනි අවුලුවා ගෑස් ටැංකි, කිරි පිටි පැකට්, තෙල් ගැලුම්, පාන් බනිස් ගෙඩි, ටින් මාළු කෑන්, පරිප්පු උර, කඩල උර, බෙහෙත් වර්ග ආදිය ප්‍රදර්ශනය කරමින් බරපතල විදිහට උද්ඝෝෂණය කළා.

      මේ විරෝධතාව අතරතුරදීම තවත් විශාල පිරිසක් ගින්නකින් පන්දම් දල්වමින් දුම්මල ගසමින් ආණ්ඩුව පලවා හැරීමට යාග පවතිවමින් මන්තර මතුරමින් ආණ්ඩුව හැඳි ගෑවිලා අකුලෝලාම පලයන් කියලා විරෝදතාකරුවෝ පැමිණිය අතර විරෝධතාවය සඳහා විශාල පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබෙනු දක්නට ලැබුනේය.

      එකවිට දෙපසින් මාර්ග දෙකක් ඔස්සේ පැමිණි පෙළපාලිකරුවන් එකට එකතු වී ජනතා ප්‍රශ්ණ පැවසීමට අවශ්‍ය බව පවසමින් ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුලට යාමට උත්සාහ කළ අතර පොලිස් විශේෂ කාර්යාලය ඇතුලු ආරක්ෂකයන් යොදවා ඔවුන් වැළැක්වීමට ක්‍රියාකිරීම නිසා එම ස්ථානයේ ඉතාමත් දැඩි කලබලයකින් අතිශය උණුසුම්කාරී තත්ත්වයක්ද හටගත්තා.

      මේ නිසා කෝපයට පත්ව සිටි විශාල පිරිසක් පෙළපාලියෙන් ගලෙන ආ මිනිපෙට්ටි ජනාදිපති ලේකම් කාර්්‍යාලය ඉදිරිපිට මහපාරේ ගිනිතබා ආණ්ඩුවට දැඩී ලෙස දෙස් දෙවොල් තබමින් ඉවා විනාශ කිරීමට කටයුතු කළ අතර මිනීපෙට්ටි ගිනිතැබිම නිසා ඉන් නික්මුනු කලු දුම්රොටු වලින් ජනාධිපති ලේකම් කාර්යාලය අවට ප්‍රදේශය මුළුමනින්ම වැසි යන ආකාරයද පෙනුනා.

      මේ වගේම සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති ෆීල්ඩි මාෂල් සරත් ෆොන්සේකා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, මෙහෙයුම් ප්‍රධානී හරීන් ප්‍රනාන්දු, භාන්ඩාගාරික හර්ෂ ද සිල්වා, මාධ්‍ය ප්‍රකාශකවරුන් වන එස්. එම් මරික්කාර්, මනූෂ නානායක්කාර සමගි ජන බලවේගයේ හවුල් කරුවන් වන පක්ෂ නායකයන් වන 43 සේනාවේ නායකත්වය දරන පාඨලී චම්පික රණවක, මහජන පාර්ශවයේ දොස්තර රාජිත සේනාරත්න, කඳුරට පී දිගම්බරම්, මු.කො. රවුෆ් හකීම් සහ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සංවිධායකයන් වන එම් මරික්කාර්, එම් ඒ එම් හලීම්, ජේ මුසම්මිල්, නලීන් බණ්ඩාර, ඉරාන් වික්‍රමරත්න, එම් එම් අමීන්, කාවින්ද ජයවර්ධන, මුජිබර් රහුමාන්, හර්ෂණ රාජකරුනා, සුජිත් සංජය පෙරේරා, මොහොමඩ් ඉර්ෂාඩ්, නවුසර් ෆවුසි, පිරපා ගනේෂන්, එස් කිරුබේෂන්, ඒ. මාණික්කවාසහර්, ගජරාජන් ඇලෝසියස් යන මහත්වරුන් ඇතුළු අති විශාල පිරිසක් මෙම විරෝධතාවය සඳහා එක්ව සිටියා.

      මීට දැඩි උද්යෝගයක් සමග සහභාගී වූ සමගිජන තරුණ බලවේගය, සමගි වනිතා බලවේගය, රාජ්‍ය සේවා සමගි වෘත්තීය සමිති සම්මේලනය, සිවිල් සංවිධාන එකමුතුව, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කණ්ඩායම්, කලාකරුවන්, මාධ්‍යවේදීන් ඇතුළු සංවිධාන රැසක නියෝජිතයෝ මේ සදහා එක්ව සිටියා. මේ පාර නම් පුතෝ ආණ්ඩුව හාන්සියි.

      Delete
    2. //මේ පාර නම් පුතෝ ආණ්ඩුව හාන්සියි.//

      ආණ්ඩුවනම් හාන්සි විය හැකියි. එහෙත් රටට හා රටේ මිනිස්සුන්ට ගොඩ යාමක් ඇත්ද කියන එකනම් සැකයි. ආණ්ඩුව මාරු වුනා කියලා මේ හැම දෙයක්ම කණපිට හැරෙන්නේ නැහැ.

      Delete
    3. මම හිතන්නෙ සජියා ගැන කවුරුත් වැඩිය බලාපොරොත්තුවක් නැති නිසා ඌට ඒ වාසිය තියෙනව.
      දැනට වඩා පොඩ්ඩක් හොඳ ක්ලාම ඇති වෙයි.
      හැබැයි මම හිතන්නෙ සජිය ඔය කාටත් වඩා හොඳ්ට කරයි කියල.

      Delete
    4. @ ඉකොනොමැට්ටා,

      ලංකාවේ ප්‍රධාන පක්ෂ 5යි..

      1. පොහොට්ටුව

      2. ස.ජ.බ.

      3. මාලිමාව+ජ.වි.පෙ

      4. නිදහස් පක්ෂය

      5. U.N.P

      ඔය 5න් සාපේක්ෂව ගත්තම හොදම එක ජවිපෙ/මාලිමාව කියල අමුතුවෙන් කියන්න ඕන නෑනෙ..��

      ඔය 5න් ඇරෙන්න පේනතෙක් මානෙක සංවිධානාත්මක පක්ෂයක් තාම හැදිලා නෑ.. ජවිපෙ එක්ක ඉස්සරහට යන්න උත්සාහ කරනවද? නැත්තන් අර පරණ එවුන්ටම දීලා රට නැත්තටම නැති කරනවද කියල ඔයාලම තීරණය කරන්න..��❤

      Delete
    5. මටත් හිතෙන්නේ අනාගතයේ රටට හොඳ කලක් යාමටනම් මේ වෙලාවේ ජවිපෙ/ජාජබට හෝ ඔවුන් ඇතුළත් සභාගයකට බලය ලැබිය යුතු බවයි. මොකද අනෙක් කවර ආණ්ඩුවක් බලයට ආවත් රට හරිමගට ගැනීම සඳහා කළ යුතු ප්‍රතිසංස්කරණ වලට ජවිපෙ විසින් බාධා කරනවා. එජාප/ශ්‍රීලනිප/සජබ සිට පොහොට්ටුව දක්වා ආණ්ඩු ඒ බාධාකිරීම් වලට නැවෙනවා. මොකද ජවිපෙට තවමත් ආණ්ඩු බලය නොලැබුණත් ජවිපෙ මතවාදයට රටේ ඉල්ලුමක් තිබෙනවා. ධනවාදයට එවැනි ඉල්ලුමක් නැහැ. ජවිපෙට දැනට තිබෙන ඉල්ලුම නැති වෙන්නේ ජවිපෙට කවදා හෝ බලය ලැබී බරවා කකුල ගැන හරි අවබෝධයක් මිනිස්සුන්ට ලැබීමෙන් පසුව පමණයි. ජවිපෙට මේ වෙලාවේ බලය ලැබුනොත් එසේ ලැබී අවුරුද්දකට නොවැඩි කාලයක් තුළ රට නියම මගට ගත හැකි ධනවාදී, ප්‍රජාතන්ත්‍රවාදී හා ජාතිකවාදී අලුත් දේශපාලන ව්‍යාපාරයක් බිහි වී එම අළුත් දේශපාලන ව්‍යාපාරයට බලයට පැමිණීම සඳහා අවස්ථාව ලැබෙයි. ජවිපෙ විකල්පයක් සේ පෙනෙන තුරු එය සිදු වන්නේ නැහැ. සමහර විට ජවිපෙ ඇතුළෙන්ම වුවත් එම අලුත් විකල්පය මතු වෙන්න පුළුවන්. ඊට අමතරව ජවිපෙ විසින් රාජ්‍ය අංශයේ දූෂණ හා නාස්ති අඩු කිරීම සඳහා සාධනීය කාර්ය භාරයක් කිරීමට ඉඩ තිබෙන නිසා, ඒ මගින් රටේ ප්‍රශ්න කිසිසේත්ම විසඳෙන්නේ නැතත්, ඉන් පසුව බලයට පත් වෙන ආණ්ඩුවකටද එසේ නොකර සිටීම අපහසු විය හැකියි.

      Delete
    6. Can you explain in briefly how a JVP/NPP led government would fail. From what I gained listening to recent JVP interviews is that there is a paradigm shift. Today it seems they are willing to firmly follow a form of pure capitalism and decouple the government from running business. This i believe a firm shift from what they originally preached.

      Delete
    7. I think it is unfair for JVP/NPP if I devote my full energy to point out and criticize their policies while they are only a pressure group. I have this in my bucket list but it will come in order. In general, I give priority to admire good moves and criticize wrong moves of those who are steering the country while proposing changes when I can. As I see JVP/NPP is prescribing a strong government which takes control of the private sector too. I have never seen any mention of a pure capitalism or decoupling the government from running business. I have seen some of them saying they will not take over all private businesses which implies that they will continue to run the businesses now run by the government. In addition, they intend to bring all private businesses under the umbrella of a big centrally-controlled master plan. They have eloquently expressed the idea. Even today, I heard their GS crediting all prevailing problems to open economic policies. A JVP/NPP rule, as reflected by what they say, would be at best a repetition of 1970-77 with less corruption.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: