වෙබ් ලිපිනය:

Showing posts with label චිත්‍රපට. Show all posts
Showing posts with label චිත්‍රපට. Show all posts

Saturday, September 13, 2025

වාලම්පුරි - ඇල්ලුවට හපන්න පුළුවන්ද?


අපේ ප්‍රාන්තයේ සිනමාහලක ප්‍රදර්ශනය කෙරුණු පළමු සිංහල චිත්‍රපටය ලෙස පසුගිය සති අන්තයේදී "වාලම්පුරි හෙවත් හීන හතහමාරක්" දර්ශන වාරයක් සංවිධානය කෙරුණු බවත්, එහි සංවිධායකවරයාට ඒ සඳහා පෞද්ගලිකව මමත් පුලුවන් තරමින් සහයෝගයක් සහ උත්තේජනයක් ලබා දුන් බවත් කලින් සටහනේ ලිවුවනේ. එහෙම කරන්න පෙළඹවීමක් ඇති වුනේ මෙය මීට කලින් කූඹියෝ ටෙලිනාට්‍යය හදපු අධ්‍යක්ෂවරයා විසින් හදපු චිත්‍රපටයක් වීම. ඒ නිසාම, කූඹියෝ පැත්තකින් තියලා වාලම්පුරි ගැන කතා කරන්න අමාරුයි. 

කූඹියෝ ආවේ 2017දී. ඒ දවස් වලම ඒ ගැන ලියපු සටහනක් වියුණුවේ තිබෙනවා. නමුත් සටහන ලියද්දී පෙන්වලා තිබුණේ කථාවාර 57කින් කථාවාර 12ක් පමණයි. 

ටෙලිනාට්‍යයක කථාවාර කීපයක් පමණක් බලලා ඒ ගැන අදහස් දක්වන එකේ ලොකු අවදානමක් තියෙනවා. ලංකාවේ ටෙලිනාට්‍ය බොහොමයක් හා අදාළව ඔය අවදානම ඉතාම අඩුයි. කථාවාර දහයක් බැලුවට පස්සේ කතාව ගලා යන විදිහ හිතා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කතාවේ කලින් හිතා ගන්න බැරි වූ හැරවුමක් සිදු වුනොත් එසේ වෙන්නේ හදිසියේ එහි නළුවෙක් හෝ නිළියෙක් දමලා ගහලා යාමේ ප්‍රතිඵලයක් විදිහට මිසක් තිර රචකයාගේ පරිකල්පන සීමාවේ විශාලත්වය නිසා නෙමෙයි. 

ටෙලිනාට්‍ය, චිත්‍රපට ආදිය බලනවාටත් වඩා මම සැබෑ ලෝකයේ මිනිසුන්ගේ හැසිරීම් දිහා පැත්තකට වෙලා බලා ඉඳලා ඒ චරිත රස විඳිනවා. මිනිහෙක්ව පැත්තකට වෙලා යම් කාලයක් තිස්සේ නිරීක්ෂණය කරද්දී ඒ පුද්ගලයාගේ පරිකල්පනයේ සීමාවන් හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ පුද්ගලයාගේ අනාගත හැසිරීම් පුරෝකථනය කරන්න පුළුවන්. ඒකේ තියෙන්නේ වෙනම ආතල් එකක්!

චිත්‍රපටයක් කෙසේ වෙතත්, ටෙලිනාට්‍යයක් බලද්දී ඔය වැඩේ ස්වයංක්‍රීය ලෙසම සිදු වෙනවා. නමුත් ටෙලිනාට්‍ය චරිතයක අනාගත හැසිරීම් පුරෝකථනය කරන එක සැබෑ ලෝකයේ පුද්ගලයෙකුගේ හැසිරීම් පුරෝකථනය කරන එකට වඩා ගොඩක් පහසුයි. ඊට හේතුව, ටෙලිනාට්‍ය චරිතයක හැසිරීම් පරාසය සැබෑ ලෝකයේ මිනිසෙකුගේ හැසිරීම් පරාසය තරමටම පුළුල් එකක් නොවීමයි. එහි සීමාව තිරරචකයාගේ හා/හෝ අධ්‍යක්ෂවරයාගේ පරිකල්පනයේ සීමාවෙන් එහාට යන්නේ නැහැ. ගොඩක් වෙලාවට මේ සීමාව මිනිස් හැසිරීම් හා අදාළව සැබෑ ලෝකයේදී දැකිය හැකි සීමාවට වඩා පටු සීමාවක්. ඒ නිසාම, ටෙලිනාට්‍යයක් බලන එකේ ආතල් එක සැබෑ ලෝකයේ මිනිස්සු දිහා බලා ඉඳලා ගන්න පුළුවන් ආතල් එකට වඩා අඩුයි. 

සිංහල ටෙලිනාට්‍යයක් බලද්දී ඊළඟට වෙන්න පුළුවන් දේ පහසුවෙන්ම හිතාගන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඊළඟ දෙබස් ඛණ්ඩය, සමහර විට අකුරක්වත් නොවෙනස්ව, ඒ විදිහටම කියන්න පුළුවන්. ඒ සඳහා අදාළ චරිතය මොන විදිහට හැසිරෙයිද කියන එක ගැන බැරෑරුම්ව හිතන්න අවශ්‍ය නැහැ. තිරරචකයා විසින් චරිත හසුරුවන්න ඉඩ තිබෙන සීමාව අල්ලා ගැනීම ප්‍රමාණවත්. දැන් ප්‍රචලිතව තිබෙන LLM එකකට තිර පිටපතේ මුල් කොටස් කිහිපය ඇතුළු කළොත් කතාවේ ඉතිරි කොටස් සෑහෙන තරම් නිවැරදිව එළියට එන්න පුළුවන්.

කූඹියෝ ටෙලිනාට්‍යයේ මුල් කොටස් දකිද්දීම මේ කාරණය හා අදාළව වෙනසක් පේන්න තිබුණා. එහි චරිත හැසිරුනේ මෙවැනි සිංහල ටෙලිනාට්‍යයක් තුළ චරිත හැසිරෙයි කියලා මම හිතාගෙන හිටපු සීමාව ඇතුළේ නෙමෙයි. ඒ නිසාම, ඒ චරිත කොයි විදිහට හැසිරෙයිද කියන එක අනුමාන කරන්න සාමාන්‍ය සිංහල ටෙලිනාට්‍ය චරිත වල පරාසයෙන් එළියට ගිහින්, සිංහල ටෙලිනාට්‍ය වල කලින් හමු වී නැති, සැබෑ ලෝකයේ චරිත එක්ක සංසන්දනය කිරීමක් කරන්න අවශ්‍ය වුනා. තිර රචකයාගේ පරිකල්පනයේ සීමාව වඩා පුළුල් එකක් කියන එක තේරුණා. වියුණු සටහනක් ලිවුවේ ඔන්න ඔය නිරීක්ෂණයත් එක්ක.

ඔය වෙද්දී කූඹියෝ සෑහෙන්න ජනප්‍රිය වෙලා තිබුණා. නමුත් එසේ ජනප්‍රිය වී තිබුණේ මම එයට කැමති වූ හේතුව නිසාම නෙමෙයි. එහි මුලින් පෙනෙන්නට තිබුණු වාමාංශික අඩංගුව ඊට හේතු වූ ප්‍රධාන සාධකයක්. 

ඔය දවස් වලම සහෝදරයෝ ටෙලිනාට්‍යයත් විකාශනය වුනා. ඇතැම් අය කූඹියෝ සහ සහෝදරයෝ ටෙලිනාට්‍ය එක ගොඩකට දමලා තිබුණා. නමුත් සහෝදරයෝ මටනම් ඒ තරම්ම සෙට් වුනේ නැහැ. ඒකත් සම්ප්‍රදායික වට්ටෝරු කතාවක්. වෙනස තිබුණේ වට්ටෝරුවේ පමණයි. මල් වට්ටෝරු, රජ වට්ටෝරු, වාමාංශික වට්ටෝරු කොයිවත් වට්ටෝරුම තමයි. වට්ටෝරුව කුමක්ද කියන එක තේරුණාට පස්සේ ආතල් එක ඉවරයි. කූඹියෝ ටෙලිනාට්‍යයේ ඔය වට්ටෝරු වල නොතිබුණු දෙයක් තිබුණා. මම ආකර්ෂණය වුනේ ඒ අඩංගුවට. 

මුල් කොටස් කීපය බැලුවට පස්සේ කූඹියෝ ටෙලිනාට්‍යයේ පෙනෙන්නට තිබුණු වාමාංශික අඩංගුව මම කියවා ගත්තෙත් වැරදියට. ඒ කියන්නේ එහි තිර රචකයන් විසින් මගේ පරිකල්පනයේ සීමාව අතික්‍රමණය කරලා තිබුණා. මේ සීමාව සිංහල ටෙලිනාට්‍ය හා අදාළව මා විසින්ම දමාගෙන තිබුණු සීමාවක්. කූඹියෝ විසින් පසුව ඒ සීමාව පුළුල් කළා. නමුත් වියුණු සටහන ලිවුවේ ඊට කලින්. 

ඇත්ත වශයෙන්ම, පෙනෙන්නට තිබුණු වාමාංශික අඩංගුව නිසා කූඹියෝ පස්සේ වැටුණු සමහර ප්‍රේක්ෂකයෝ කතාව ඉවර වෙද්දී කූඹියෝ විවේචකයින් බවට පත් වෙලා තිබුණා. නමුත් ඒ වෙද්දී ඔවුන් පරක්කු වැඩියි. ඔවුන් විසින්ම කලින්ම කූඹියෝ අවශ්‍ය තැනට උස්සලා ඉවරයි. ඒක ලස්සන ගේම් එකක්!

තිර රචකයෙකුගේ පරිකල්පනයේ සීමාව හැම විටම මෙන් සැබෑ ලෝකය තුළ කොයි තරම් දුරකට පුද්ගල චරිත කියවලා තියෙනවද කියන එකට සීමා වෙනවා. සැබෑ ලෝකයේ තමන්ට හමු වී නැති චරිතයක් ටෙලිනාට්‍යයක් ඇතුළේ ඉන්න බැහැ. රචකයෙකුගේ පරිකල්පනය ඇතුළේ අලි ඔලුවක් තියෙන සිංහයෙක් ඉන්න පුළුවන්. එහෙම සතෙක් සැබෑ ලෝකයේ නැහැ. නමුත් අලි ඔලුව සහ සිංහ ඇඟ සැබෑ ලෝකයේ තිබෙනවා. සැබෑ ලෝකයේදී අලි ඔලුව සහ සිංහ ඇඟ දැකලා නැති කෙනෙකුට අලි ඔලුවක් තියෙන සිංහයෙක් පරිකල්පනය කරන්න අමාරුයි.

කූඹියෝ පළමු කොටසේදී ජෙහාන් චරිතය ගොඩ නගන්නේ පොඩි ගේම් එකක් ගහගෙන පාඩුවේ ජීවත් වන සරල චරිතයක් විදිහට. ඒ වගේ පොඩි ගේම් කාරයින්ව ගොඩක් අය දැකලා තියෙනවා. නමුත් කතාව ගලාගෙන යද්දී එහි හිතා ගන්නවත් බැරි ලොකු ගේම් එකක් තියෙනවා. මේ වගේ ගේම්කාරයෙක්ගේ චරිතයක් කෙනෙකුට පරිකල්පනය කරන්න පුළුවන් වෙන්නේ තමන් ඇතුළේ ඊට වඩා ලොකු ගේම්කාරයෙක් ඉන්නවානම් පමණයි.

සමහර මිනිසුන් ඇතුළේ ජෙහාන් වගේ ලොකු ගේම්කාරයෝ ඉන්නවා. ඒ අය ගොඩක් වෙලාවට සෙට් වෙන්නේ දේශපාලනයට හරි බිස්නස් වලට හරි. දේශපාලනයෙන් වගේම බිස්නස් වලින් උඩට යන්නත් මේ ගේම්කාරයා අවශ්‍ය වෙනවා. දේශපාලනයෙන් හා බිස්නස් වලින් වේගයෙන් උඩට යන අය දිහා බලා ඉන්න කෙනෙකුට පෙනෙන්නේ බලය හෝ මුදල් යඹා යාම වුවත්, ඒ අය අතර බලය හෝ මුදල් වලටත් වඩා ගේම් එක රස විඳින ගොඩක් අය ඉන්නවා. 

තමන් ඇතුළේ ජෙහාන් වගේ ගේම්කාරයෙක් ඉන්න කෙනෙක් දේශපාලනය හෝ බිස්නස් වෙනුවට තිර රචනය වගේ දෙයක් තෝරා ගන්න පෙළඹෙන්නේ කලාතුරකින්. ටෙලිනාට්‍ය චරිත තුළ හොඳ ගේම්කාරයෝ වැඩිපුර නැත්තේ ඒ නිසා. 

කූඹියෝ තිරගත වෙද්දී බලයේ හිටියේ යහපාලන ආණ්ඩුව. යහපාලන ආණ්ඩුව බලයට පත් වෙන්නේත් ගේම් එකක ප්‍රතිඵලයක් විදිහටයි. පේන්න තිබුණේ මහින්ද රාජපක්ෂ තුන්වන වරටත් අනිවාර්යයෙන් දිනන බවයි. එහෙම තියෙද්දී මෛත්‍රීපාල සිරිසේන කැඩිලා ඇවිත් විපක්ෂයේ පොදු අපේක්ෂකයා වෙනවා. අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකිරීම මගින් ජවිපෙ විසින් විපක්ෂ අපේක්ෂකයාට වක්‍ර සහයෝගයක් ලබා දෙනවා.

කූඹියෝ අවසානය ආසන්නය දක්වාම ජෙහාන් ගේම් එක ගහන්නේ කා වෙනුවෙන්ද කියන එක ප්‍රේක්ෂකයාට හිතා ගන්න බැහැ. ගේම් එක තේරෙන්නේ කතාව අවසානයේදී. නමුත් කතාව ඉවර වුනාට පස්සෙත් ප්‍රේක්ෂකයාට හිතන්න දෙයක් ඉතිරි වෙනවා. ඇත්තටම ගේම් එක ජෙහාන්ගේද? එසේ නැත්නම් ජෙහාන් කියන්නේත් මේ ගේම් එකේ ඉත්තෙක් පමණක්ද? අර ගන්නම ඕනෑ කෝල් එකේ අනෙක් පැත්තේ ඉන්නේ කවුද කියලා ප්‍රේක්ෂකයා දකින්නේ නැහැ. තිර රචකයින් විසින් ප්‍රේක්ෂකයින්ට පරිකල්පනය කිරීම සඳහා ඒ ප්‍රශ්නය ඉතිරි කරනවා. 

කූඹියෝ කියන්නේ වසර අටකට පසුවත් අමතක නොකළ හැකි ටෙලිනාට්‍ය අත්දැකීමක්. සමහර විට තමන්ගේ මුල් නිෂ්පාදනය මේ තරම්ම සාර්ථක වෙයි කියා එහි නිර්මාණකරුවන්වත් හිතන්න නැතුව ඇති. කූඹියෝ අවසන් වීමෙන් පසුව එහි දෙවන කොටස් හෝ එහි  නිර්මාණකරුවන්ගේ වෙනත් ටෙලිනාට්‍යයක් සඳහා විශාල ඉල්ලුමක් ඇති වෙනවා. එහෙත් කූඹියෝ නිර්මාණකරුවෝ මේ ඉල්ලුම් උගුලේ වැටෙන්නේ නැහැ. ඊට හේතුව ඔවුන් ජෙහාන්ටත් වඩා දක්ෂ ගේම්කාරයින් වීමයි. ඔවුන්ට ප්‍රේක්ෂක මනස පහසුවෙන්ම කියවා ගන්න පුළුවන්. ගේම්කාරයින් කියා කියන්නේ මේ අර්ථයෙන්. කූඹියෝ දෙවන ඉනිමකුත් ගැහුවානම් අද මම වුනත් කූඹියෝ ගැන මේ විදිහට කතා කරන එකක් නැහැ. 

කූඹියෝ පෙන්වලා අවසන් වන කාලය ආසන්නව පළාත් පාලන මැතිවරණ එනවා. මහින්ද නැවත නැගිටිනවා. පොහොට්ටුව පිපෙනවා. යහපාලනය දියවෙන්න පටන් ගන්නවා. යහපාලනය දෙකට කැඩිලා සත් සතියකට මහින්ද නැවත අගමැති ලෙසත් පත් වෙනවා. කෙටි බලු පොර කාලයකින් පසුව රනිල් නැවතත් පුටුවේ වාඩි වෙනවා.

ඊට පස්සේ පාස්කු ප්‍රහාර සිදු වෙනවා. යහපාලන ආණ්ඩුව ගෙදර යනවා. ගෝඨාභය ජනාධිපති වෙනවා. වසංගතය එනවා. ඊළඟට ආර්ථික අර්බුදය එක්ක අරගලය එනවා. ගෝඨාභය ඉල්ලා අස් වෙනවා. රනිල් නැවතත් ජනාධිපති වෙනවා. නමුත් ජනාධිපතිවරණයේදී රනිල් පරාජය වී අනුර ජනාධිපති වෙනවා. මාලිමා ආණ්ඩුවක් හැදෙනවා. කියන විදිහට ප්‍රභූ දේශපාලනය අවසන් වෙලා නිර්ප්‍රභූ ආණ්ඩුවක් හැදෙනවා. ඔය ඔක්කොම වුනාට පස්සේ "වාලම්පුරි හෙවත් හීන හතහමාරක්" සිනමා ශාලා වලට එනවා. 

චිත්‍රපටයක් බලන්න යද්දී ඒ පිළිබඳ පූර්ව නිගමන කිසිවක් නොමැතිව සිනමා ශාලාවට යන්න පුළුවන්නම් හොඳයි. නමුත් කතාවට කිවුවත් ඔය වැඩේ ප්‍රයෝගිකව කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. වාලම්පුරි බලන්න සිනමා ශාලාවට යද්දී කවදාවත් හැදුනේ නැති කූඹියෝ දෙක ඔලුවේ හොල්මන් කරනවා. වාලම්පුරි තිර රචකයා කියන්නේ කූඹියෝ හැදෙන්න කලින් හිටපු සම්ප්‍රදායික ශ්‍රී ලාංකික තිර රචකයා නෙමෙයි. ඒ නිසා, තිර රචකයාගේ පරිකල්පනයේ සීමාව ගැන පූර්ව නිගමන නැතිව, අවිඥානිකව අනපේක්ෂිත මොකක් හෝ දෙයක් බලාපොරොත්තුවෙන් සිනමා ශාලාවේ අසුන් ගන්න පුළුවන්. පැය දෙකහමාරක කාලය ඉවර වන තුරුම, කොහෙන් හෝ මතු විය හැකි නිධානය මතු වෙනකම් බලා ඉන්න පුළුවන්. 

නමුත් අවාසනාවට පැය දෙකහමාර ඉවර වෙන්නේ ඔය නිධානය දකින්න අවස්ථාවක් නැතිවයි. වාලම්පුරි චිත්‍රපටයේ බලා ගෙන හිටපු කූඹියෝ දෙක නැහැ!

කොටස් 57ක ටෙලිනාට්‍යයක් කියන්නේ පැය දාසයකට වඩා වැඩි කාලයක්. පැය දාසයක් තිස්සේ පෙන්වන දේවල් පැය දෙකහමාරකින් පෙන්වන්න බැහැ. ඊටත් වඩා, ටෙලිනාට්‍යයක කොටස් දෙකක් අතර ප්‍රේක්ෂකයාට හිතන්න කාලයක් ඉතිරි වෙනවා. චිත්‍රපටයක් නරඹද්දී ප්‍රේක්ෂකයාට හිතන්න කාලයක් නැහැ. හිතන්න වෙන්නේ ගෙදර ආවට පස්සේ. විශේෂයෙන්ම වාලම්පුරි වගේ වේගයෙන් රූපරාමු මාරු වෙන චිත්‍රපටයක. 

සමස්තයක් විදිහට වාලම්පුරි චිත්‍රපටයේ ප්‍රේක්ෂකයෙකුට පහසුවෙන් අහුවෙන අඩුපාඩු ඉතිරි කරලා නැහැ. රඟපෑම් ප්‍රසස්ථ මට්ටමෙන් තිබෙනවා. නමුත් ආකෘතිය අනුවම මෙහි චරිත කිසිවකට තනිව ඉස්මතු වෙන්න බැහැ. ඒ නිසා, වාලම්පුරි සිඩ්නි කූඹියෝ ජෙහාන් වෙන්නේ නැහැ. කොහොමටත් තෝරා ගෙන තියෙන්නේ දක්ෂම නළුවන් පිරිසක්. ප්‍රියන්ත සිරිකුමාර, සරත් කොතලාවල, දර්ශන් ධර්මරාජ් එහෙම මම පෞද්ගලිකව කැමති නළුවෝ. ඔවුන් රඟපෑම් මීට වඩා ඉස්මතු වන චරිත රඟපානවා දැකලා තියෙන නිසා වාලම්පුරි රඟපෑම් වල ඊට වඩා වැඩි විශේෂත්වයක් නැහැ. වාලම්පුරි ආකෘතිය විසින් ඉල්ලා සිටින්නේ තනි චරිත ඉස්මතු කිරීමකට වඩා ටීම්වර්ක් එකක්. රඟපෑම් වල ඒ ටීම්වර්ක් එක තිබෙනවා. 

විශේෂයෙන්ම කියන්න තියෙන්නේ පසුබ්ම් සංගීතය ගැනයි. ඒකනම් වෙනම ලෙවල් එකක්. සිනමා ශාලාවක වාලම්පුරි නොබලා අන්තර්ජාලයෙන් බැලුවානම් කවදාවත් මේ අත්දැකීම ගන්න වෙන්නේ නැහැ. අවුරුදු ගණනකින් සිනමාහලකදී සිංහල චිත්‍රපටයක් නරඹා නැති නිසාත්, පසුගිය කාලයේදී අදාළ තාක්ෂනය විශාල ලෙස වැඩි දියුණු වී ඇති නිසාත්, වෙනත් ඇතැම් සිංහල චිත්‍රපට වලත් පසුබිම් සංගීතය හොඳ මට්ටමක තිබෙනවා වෙන්න පුළුවන්. නමුත් මට පෞද්ගලිකව මේ මට්ටමේ පසුබිම් සංගීතයක් තිබෙන සිංහල චිත්‍රපටයක් කවදාවත්ම බලන්න ලැබිලා නැහැ. 

පසුබිම් සංගීතය බෝනස් එකක් වුනත්, බලන්න ගියේ තිර රචනය සහ අධ්‍යක්ෂණයනේ. කතාවේ මුල කොටස් සාමාන්‍ය විදිහට ගලාගෙන යනවා. සමහර වාණිජ චිත්‍රපට වල වගේ ගොන් ජෝක් නැහැ වගේම ඊනියා සම්භාව්‍ය චිත්‍රපට වල වගේ සාමාන්‍ය ප්‍රේක්ෂකයෙකුට නොතේරෙන අපභ්රංශත් නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රේක්ෂකයෙකුට රස විඳිය හැකි කතාවක් තිබෙනවා. එය ගොඩක් කතා වල දැකිය හැකි ආකාරයේ දේශපාලනඥයින්ගේ, මැරයින්ගේ, ජාවාරම්කාරයින්ගේ කතාවක්. බලපු නැති අයට චිත්‍රපටය බලන්න ඉතිරි කරලා මම කතාව විස්තර කරන්නේ නැහැ. 

කතාව පටන්ගන්නේ සීගිරිය පැත්තෙන්. පේන්න තිබෙන බාබර් සාප්පුව, බස් රථයේ බැනර් එක, කඩවල නාම පුවරු ආදිය අනුව තේරෙන්නේ දශක කිහිපයකට පෙර සිදු වෙන සිදු වීමක් බවයි. මම හිතන්නේ මේ වෙද්දී ලංකාවේ ගම් දනවු වලට මීට වඩා නාගරිකත්වය කාන්දු වෙලා. නමුත් නාට්‍ය කණ්ඩායමත් එක්ක කතාව කොළඹට ආවට පස්සේ පෙනෙන විදිහට කාලය වර්තමාන කාලය. 

වාලම්පුරියෙන් කූඹියෝ හොයන කෙනෙකුට පළමු කූඹි ගුල හමු වෙන්නේ පොලිස් සමන් වාලම්පුරිය විකුණන්න හදන්නේ ස්වාමිටම බව පෙන්වද්දී. එතැන් සිට වාර ගණනාවක්ම, කූඹියෝ ටෙලිනාට්‍යයේ ක්‍රමයට, ප්‍රේක්ෂකයාගේ කුතුහලය අවුස්සලා මොළය කිති කවන තැන් තිබෙනවා. නමුත් අවසාන වශයෙන් හැමෝම කරන්නේ වාලම්පුරිය අයිතිකර ගන්න ගේම් එකක් ගහන එක.

කූඹියෝ ටෙලිනාට්‍යයේ වගේම මේකෙත් ගේම් තිබුණත්, ඒවා සාපේක්ෂව සිල්ලර ගේම්. ඒ වගේම සමහර දේවල් වෙන්නේ අහම්බෙන් මිසක් ගේම් වල කොටසක් විදිහට නෙමෙයි. වාලම්පුරි චිත්‍රපටයේ කූඹියෝ ටෙලිනාට්‍යයේ වගේ මහමොළකරුවෙක් නැහැ. වෙන වෙනම ගේම් මිසක් ලොකු තනි ගේම් එකක් නැහැ. ඒ කියන්නේ කතාව දුවන්නේ සාමාන්‍ය ප්‍රේක්ෂයෙක්ගේ පරිකල්පනයේ සීමාව ඇතුළේ. යම් හෙයකින් ලොකු ගේම් එකක් තිබුණත්, වාලම්පුරියක් අයිති කරගන්න ගහන ගේම් එකක් සහ රටේ නායකත්වය ගන්න ගහන ගේම් එකක් කියන්නේ ලෙවල් දෙකක්. වාලම්පුරියක් අයිති කරගන්න ගහන ගේම් එකක් දිහා බලලා දේශපාලන ගේම් එකක ත්‍රිල් එක ගන්න අමාරුයි. 

කූඹියෝ ටෙලිනාට්‍යය හදලා ඒකට විශාල ප්‍රේක්ෂක ඉල්ලුමක් ආවාට පස්සේ එහි නිර්මාණකරුවන් විසින් එකතු කර ගන්න සමාජ ප්‍රාග්ධනය කූඹියෝ දෙක හෝ වෙනත් ටෙලිනාට්‍යයක් වෙනුවෙන් වැය නොකර අවුරුදු ගාණක් පරිස්සමෙන් ඉතිරි කරගෙන වාලම්පුරිය එක්ක එළියට දමන, ජෙහාන් වගේ මහ මොළකරුවෙක්ව හදන්න තරම් විශාල පරිකල්පන ශක්තියක් තිබුණු ගේම්කාරයෙක්, එළියට දමලා තිබෙන නිෂ්පාදනය කූඹියෝ ටෙලිනාට්‍යයට වඩා බාල මට්ටමක එකක් වෙන්න පුළුවන්ද? 

පැය දෙකහමාරක් වේගයෙන් මාරු වෙන රූපරාමු දිහා බලා ඉඳිද්දී හිතන්න තරම් විවේකයක් ලැබෙන්නේ නැතත්, චිත්‍රපටය අවසන් වෙද්දී ඔන්න ඔය ප්‍රශ්නය මතු වෙනවා. ඒ ප්‍රශ්නය එක්ක ඇති වෙන කම්පනය නිසා, මේ දැන් බලල ඉවර කරපු වාලම්පුරි චිත්‍රපටය ගැන වෙන විදිහකට හිතන්න පෙළඹවීමක් ඇති වෙනවා. වාලම්පුරි චිත්‍රපටියේ කතාව ඇත්තටම මට තේරුණේ නැද්ද? කූඹියෝ ගේම් එකටත් එහා ගිය මොකක් හරි ගේම් එකක් ගැන මේ චිත්‍රපටියේ කියවුනා වෙන්න බැරිද?

ඔන්න ඔය හැඟීම ඇති වුනාට පස්සේ වාලම්පුරි රූප රාමු එකින් එක නැවත මතකයට එනවා. කතාව පටන් ගන්නේ ඩීඑස්ගේ ඉඳලා මහින්ද දක්වා ලංකාවේ රාජ්‍ය නායකයින්ගේ කතාවල පටිගත කළ දර්ශන වලින් තෝරාගත් කොටස් කිහිපයක් එක දිගට පෙන්වීමත් එක්ක. ඊට පස්සේ වාලම්පුරි සටන තිරයේ පෙන්වද්දී ඔය මුල් රූපරාමු ටික හෙමිහිට මතකයෙන් ගිලිහිලා යනවා. 

පැය දෙකහමාරකට මේ වගේ කතාවක් කපන එක විශාල අභියෝගයක්ව තිබියදී කතාවට සම්බන්ධයක් නැති සේ පෙනෙන මේ වගේ කොටසක් කතාව මුලට ඔබ්බවන්න අධ්‍යක්ෂවරයා තීරණය කළේ ඇයි? එහෙමනම්, මේ කොටසත් කතාවේම අවියෝජනීය කොටසක් විය යුතුයි. ඒ රූපරාමු වලින් පටන් අරගෙන "වාලම්පුරි හෙවත් හීන හතහමාරක්" නැවත කියවගන්න බැරිද? වාලම්පුරි ඇත්තම කතාව ඔය තිරයේ මතුපිටින් පෙනුණු කතාවම නෙමෙයිද? කතාවේ වාලම්පුරිය රූපකයක් වෙන්න බැරිද?

වාලම්පුරිය කියා කියන්නේ රාජ්‍ය බලය පිළිබඳ සංකේතයක් කියා මොහොතකට හිතුවොත් වාලම්පුරි කතාව ඇතුළෙන් වෙනම කතාවක් මතු වෙනවා. කතාවේ ගොඩක් දේවල් වලට වෙනම තේරුම් ලැබෙනවා. 

පසුගිය කාලයේ ප්‍රචලිත වූ "ප්‍රභූ" හා "නිර්ප්‍රභූ" බෙදීම වගේ බෙදීමක් මගින් වාලම්පුරි පාත්‍රවර්ගයා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සිඩ්නි ඇතුළු නාට්‍ය කණ්ඩායම දමන්න වෙන්නේ "නිර්ප්‍රභූ" ගොඩට. අනෙක් ගොඩේ ඉහළම මට්ටමේ ප්රභූන් (මැඩම් සිසිකා), ඉහළම මට්ටමේ ව්‍යාපාරිකයින් (ජබීර්), සුළු ව්‍යාපාරිකයින් (ප්‍රියංකර), දේශපාලනඥයින් (කස්තුරි), දේශපාලනඥයින් සමඟ සම්බන්ධ පූජකයින් (ස්වාමි) හා රාජ්‍ය නිලධාරීන් (පොලිස් සමන්) ඉන්නවා. 

ආරම්භයේදී "නිර්ප්‍රභූ" කණ්ඩායමට වාලම්පුරිය ගැන අදහසක් හෝ එය ලබා ගැනීමේ අභිලාශයක් නැහැ. එහි වටිනාකම පිළිබඳ තක්සේරුවකුත් නැහැ. ඔවුන්ට අවශ්‍ය ජීවත් වීම සඳහා කුමක් හෝ ගේමක් ගහන්න. එහෙත් ඔවුන්ටත් ඔවුන්ගේ මට්ටමෙන් ලොකු හීන තිබෙනවා. නිදහසෙන් පසු දශක හතහමාරක් තිස්සේ ඔවුන් කරන්නේ මේ හීන පස්සේ හඹා යන එක. හීනම හතහමාරක්!

මේ දශක හතහමාර තිස්සේ සිඩ්නි ඇතුළු පිරිස තමන්ව ගොඩ යවන නිධානයක් හොයනවා. එහෙම නිධානයක් ඇත්තටම නැහැ. නමුත් ඔවුන් නැති නිධානයක් හොයනවා. වෙලාවකට පේසාලෙන් තෙල් මතු වෙනවා වගේ පේනවා. වෙලාවකට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඛණිජ වැලි වලින් පමණක් රටම ගොඩ දැමිය හැකි බව පේනවා. මේ මිනිස්සු දශක හතහමාරක් තිස්සේම කරන්නේ පොළොව යට සැඟවිලා තියෙනවා කියා ඔවුන් සිතන නිධානයක් හොයන එක. 

නැති නිධානයක් හොයන අතරම, මේ "නිර්ප්‍රභූ" කණ්ඩායම රට වටා යමින් ව්‍යාජ රඟපෑමක්ද කරනවා. ඒ රගපෑම් බලන්න මිනිස්සු එකතු වෙනවා. රගපෑම් බලන මිනිස්සුන්ගෙන් එකතු වන මුදලකින් නාට්‍ය කණ්ඩායම ජීවත් වෙනවා. නමුත් රගපෑම් වල ඇත්ත අරමුණ නිධානය ලබා ගෙන තමන් ගොඩ යන එක. 

සීගිරියේ ඉඳලා කොළඹ එන ගමන දශක ගණනක් තිස්සේ එන ගමනක්. සීගිරියේ බාබර් සාප්පුව, බස් රථයේ බැනර් එක, කඩවල නාම පුවරු ආදියෙන් මේ නාට්‍ය කණ්ඩායම ගමන පටන් ගන්න තැන වගේම කාලයත් නිරූපණය වෙනවා. සමහර විට කාලයත් සමඟ යාවත්කාලීන වී නැති ඔවුන්ගේ පසුගාමීත්වයද මේ පසුතල විසින් නිරූපණය කෙරෙනවා. 

"නිර්ප්‍රභූ" කණ්ඩායම නොදන්නා, නැති නිධානයක් හොයද්දී, "ප්‍රභූ" කණ්ඩායම විසින් දශක හතහමාරක් තිස්සේ වාලම්පුරි දෙකක් ආරක්ෂා කරනවා. එක කාලයකදී මේ දෙකෙන් එකක් වඩා බලවත් වෙනවා. ඉන් පසුව අනෙක් වාලම්පුරිය. ඔය වැඩේ මාරුවෙන් මාරුවට සිදු වෙනවා. ස්වාමිගෙන් නිරූපණය වෙන්නේ දේශපාලනයේ එක් ධාරාවක්නම්, මැඩම් සිසිකා කියන්නේ අනෙක් ධාරාව. 

මැඩම් සිසිකාගේ ධාරාව ප්‍රභූ තත්ත්වය නඩත්තු කරන්නේ ප්‍රදර්ශනාත්මකවයි. සිඩ්නිලාට පහසුවෙන් ඔවුන්ට ලං වෙන්න බැහැ. නමුත් අනෙක් ධාරාව ඊට වඩා වෙනස්. ඔවුන් ප්‍රදර්ශනාත්මකව හෝ සිඩ්නිලා එක්කත් ඉන්නවා. ඒ නිසා සමහර වෙලාවට ස්වාමි ඉන්නේ තමන්ගේ පැත්තේ බවක් සිඩ්නිලාට දැනෙනවා. කෙසේ වුවත්, මෙහි සිටින සිඩ්නි ඇතුළු "නිර්ප්‍රභූ" කණ්ඩායමට "පංති විඥානය" තිබෙනවා. භෞතිකව තමන් එක්ක හිටියත් ප්‍රියංකරගේ සැබෑ පැවැත්ම තිබෙන්නේ තමන්ගේ කණ්ඩායම ඇතුලෙ කියලා සිඩ්නි විශ්වාස කරන්නේ නැහැ.

"ප්‍රභූ" කණ්ඩායම ඇතුළේ වාලම්පුරි අයිති කර ගැනීම සඳහා වන බල ගැටුම් වල කෙළවරක් නැහැ. ඒ ගැටුම් ඇතුළේ විවිධ සන්ධාන හැදෙනවා. ඒ සන්ධාන වෙනස් වෙනවා. "නිර්ප්‍රභූ" කණ්ඩායම "ප්‍රභූ" කණ්ඩායම ඇතුළේ සිදුවන මේ බල ගැටුම් වල ඉත්තන් බවට පත් වෙනවා. අවසාන වශයෙන් ඔය හැම බල ගැටුමකදීම අනිවාරතේ ගුටි කන්නේ සිඩ්නිලා. හිරේ විලංගුවේ වැටෙන්නේ සිඩ්නිලා. දශක හතහමාරක් තිස්සේම වෙන්නේ ඕකයි. 

"ප්‍රභූ" කණ්ඩායම ඇතුළේ "ප්‍රභූ ගණුදෙනු" විදිහට වගේම ගේම් හරහාත් වාලම්පුරි වල අයිතිය වෙනස් වෙනවා. නමුත් මේ ගනුදෙනු වල මූලික රීතියක් විදිහට වාලම්පුරි වල අයිතිය "ප්‍රභූ" කණ්ඩායමෙන් පිටට යන්නේ නැහැ. මේ තත්ත්වය වෙනස් වන්නේ වාලම්පුරියේ අයිතිය හුවමාරු කර ගැනීම සඳහා සිදු කළ සැලසුම් සහගත ගැටුමක් අවසාන වෙද්දී වාලම්පුරි දෙකෙන් එකක් නිර්ප්‍රභූ කණ්ඩායමේ අයෙකු අතට පත් වීමෙන් පසුවයි. එයින් පසුව වාලම්පුරි සටනට "නිර්ප්‍රභූ" කණ්ඩායමද එකතු වෙනවා. කතාව අවසන් වන්නේ ප්‍රස්තුත වාලම්පුරිය "නිර්ප්‍රභූ" කණ්ඩායම සතු වීමෙන්. 

"වාලම්පුරි" අවසානය ආසන්නයේදී ස්වාමි මරණයට පත් වෙනවා. ස්වාමිගේ සංකේතාත්මක මරණය මගින් තිර රචකයා නිරූපණය කළේ කුමක්ද? ස්වාමිගෙන් නිරූපණය වූයේ ආගම මුල් කරගත් දේශපාලනයයි. "ප්‍රභූ" කණ්ඩායමේ කිසිවකු ස්වාමිව මරා දමන්නේ නැහැ. ඔවුන් උත්සාහ කරන්නේ "නිර්ප්‍රභූ" කණ්ඩායම මේ සඳහා යොදා ගන්න වුවත්, ඒ උත්සාහයද සාර්ථක වන්නේ නැහැ. එහෙත් අවසාන වශයෙන් හදිසි අනතුරකින් ස්වාමි මරණයට පත් වෙනවා. ඒ එක්කම "ප්‍රභූ" කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින් බොහොමයකගේ අත් වලට මාංචු වැටෙනවා.

අවසන් ජවනිකාවට ආසන්නව "ප්‍රභූ" කණ්ඩායමේ ඉහළම තලය සේ පෙනෙන මැඩම් සිසිකා සහ "නිර්ප්‍රභූ" කණ්ඩායමේ දික්ඔය අතර යම් ගනුදෙනුමය සම්බන්ධයක් ඇති වෙනවා. එක් මොහොතකට දික්ඔයව පෙනෙන්නේ පාවා දෙන්නෙක් හෝ රතු අලියෙක් ලෙසයි. නමුත් අවසාන වශයෙන් පෙනෙන පරිදි දික්ඔය විසින් කරන්නේ "නිර්ප්‍රභූ" කණ්ඩායම වෙනුවෙන් අවසන් මෙහෙයුම කිරීමයි.

මේ සටහන බොහෝ විට "වාලම්පුරි හෙවත් හීන හතහමාරක්" අධ්‍යක්ෂවරයා විසින් කියවන්නට ඉඩ තිබෙනවා. ඔහු මෙහි තිර රචකයෙකුද වෙනවා. මෙහි ලියා තිබෙන චිත්‍රපටයේ කෙළින්ම ඇහැට නොපෙනන කතාව ඔහුට කියන්නට අවශ්‍ය වූ කතාව නොවෙන්නට පුළුවන්. ඒ වගේම ඔහු අදහස් කළ කතාවට කිසිම සම්බන්ධයක් නැති, හාත්පසින්ම වෙනස් කතාවක් වෙන්නත් පුළුවන්. ඒ ගැන කරන්න දෙයක් නැහැ. තිර රචකයා මොනවා හිතාගෙන ලිවුවත්, අධ්‍යක්ෂවරයා මොනවා හිතාගෙන අධ්‍යක්ෂණය කළත්, චිත්‍රපටයක් සිනමා ශාලාවට ආවාට පස්සේ එය නරඹන එක් එක් ප්‍රේක්ෂකයා විසින් නරඹන්නේ තමන්ට අවශ්‍ය කතාවයි. 

යටිපෙළක් එක්ක නිර්මාණයක් එළියට දැම්මට පස්සේ නිර්මාණකරුවෙකුට එය විස්තර කරමින් අටුවා ලියන්න බැහැ. එහෙම කළොත් මුලින් කරපු වැඩේ කිසිම තේරුමක් නැතුව යනවා. නමුත් මෙහි තිබෙන අවාසිය වන්නේ යටිපෙළ ප්‍රේක්ෂකයා විසින් වෙනස් ආකාරයකින් තේරුම් ගත හැකි වීමයි. 

"සත්ත්ව ගොවිපොළ" වැනි යටි පෙළක් තිබෙන කතා තිබෙන්නේ මගේ ප්‍රියතම ලැයිස්තුවේ ගොඩක් ඉහළින්. එහෙත් මේ වර්ගයේ සිංහල චිත්‍රපටියක් මීට පෙර නරඹා ඇති බවක් මතක නැහැ. යටිපෙළක් ඇති බව තේරුම් ගැනීමෙන් පසුව මෙවැනි චිත්‍රපටයක් නැවත වරක් බලන්න පුළුවන්නම් ඒකෙත් වෙනම ආතල් එකක් තිබෙනවා. නමුත්, අපේ නගරයේදී අමාරුවෙන් යාන්තම් එක් දර්ශන වාරයක් පමණක් සංවිධානය කරගත් නිසා එවැනි අවස්ථාවක් ලැබෙන්න ඉඩ තිබෙන්නේ මෙය නැවත වරක් අන්තර්ජාලය හරහා බලන්න අවස්ථාවක් ලැබුණු විටක පමණයි. මේට්‍රික්ස් වැනි සමහර ඉංග්‍රීසි චිත්‍රපට වාර ගණනාවක් නැවත නැවත නරඹා ඇතත්, සිංහල චිත්‍රපටයක් දෙවන වරටත් බලන්න කැමැත්තක් ඇති වුනේ පළමු වරටයි.

යටිපෙළෙන් ඔබ්බට තවත් දුරක් ගියොත්, යටිපෙල ගැන හිතනවා වගේම, කතාව අවසන් වූ තැනින් එහාටත් ප්‍රේක්ෂකයාට හිතන්න විශාල ඉඩක් ඉතිරි කර තිබෙනවා. කතාව අවසන් වෙද්දී  "නිර්ප්‍රභූ" කණ්ඩායම අතට වාලම්පුරි දෙකෙන් එකක් ඇවිත්. නමුත් ඇත්තටම කතාව එතැනින් අවසන් වෙනවාද?

වාලම්පුරිය අතට ගන්න කලින් "නිර්ප්‍රභූ" කණ්ඩායම "ප්‍රභූ" කණ්ඩායමේ උදවුවෙන් සමාජ සම්බන්ධතා හදා ගන්නවා. වාලම්පුරියේ වටිනාකම ගැන දැන ගන්නවා. නමුත් එම සමාජ සම්බන්ධතා උපයෝගී කරගෙන මේ "නිර්ප්‍රභූ" කණ්ඩායමට ගොඩ යන්න පුළුවන් වෙයිද? ඔවුන්ද "ප්‍රභූ" මට්ටමට උසස් වී "ප්‍රභූ" කණ්ඩායම විසින් කර ගෙන ගිය දේවල් ඒ විදිහටම කරයිද? එහෙම නැත්නම් මේ වාලම්පුරිය මුදල් කිරීමේ උත්සාහයේදී සිඩ්නිලාගේ කණ්ඩායම විදේශික ගැණුම්කරුවන්ගේ ගොදුරු බවට පත් වෙයිද? කාලයක් යද්දී "නිර්ප්‍රභූ" කණ්ඩායමේ සමගිය නැති වී ඒ තුළත් ගැටුම් ඇති වෙන්න පටන් ගනියිද? කෙටියෙන් කිවුවොත්, වාලම්පුරිය "ඇල්ලුවට හපන්න පුළුවන් වෙයිද?"

Tuesday, September 9, 2025

සිංහල චිත්‍රපට සමඟ සති අන්ත දෙකක්!


පසුගිය සති අන්තයේදීත්, ඊට දෙසතියකට පෙර සති අන්තයේදීත්, සිංහල චිත්‍රපට දෙකක් නැරඹුවා. නැරඹුවා කියන්නේ සාමාන්‍ය ක්‍රමයට සිනමාහලක අසුන් ගෙන ලොකු තිරයේ නැරඹුවා. ඇමරිකාවේ සිට දෙසතියක් තුළ සිංහල චිත්‍රපට දෙකක් සාමාන්‍ය ක්‍රමයට නරඹන්න ලැබීම සෑහෙන තරම් දුලබ සිදු වීමක්. විශේෂයෙන්ම ඇමරිකාවේ අප ජීවත් වන කලාපයේ. 

පළමුවැන්න "ක්ලැරන්ස්- රිද්ම් ඔෆ් ගිටාර්". එය නැරඹීම පිණිස යාබද ප්‍රාන්තයකට යන්න වුනා. උඩට සහ පහළට කිලෝමීටර නවසීයකට වඩා වැඩියි. චිත්‍රපටයේ කාලය මෙන් හතර ගුණයකට වඩා වැඩි කාලයක් ගමනට ගත වුනා. එපමණ ආවස්ථික පිරිවැයක් දරා, මුළු දවසක්ම වෙන් කර, මේ චිත්‍රපටය නැරඹුවේ එහි ඇතැයි අපේක්ෂා කළ විශේෂත්වයක් නිසා නෙමෙයි. මෙය ඇමරිකාවේ මිඩ්වෙස්ට් කලාපය තුළ සිංහල චිත්‍රපටයක් ප්‍රදර්ශනය කෙරුණු පළමු අවස්ථාව වූ නිසා. වෙනත් කවර හෝ සිංහල චිත්‍රපටයක් ප්‍රදර්ශනය කෙරුණද බොහෝ විට ඔය ගමන යන්න ඉඩ තිබුණා.

දෙවැන්න "වාලම්පුරි හෙවත් හීන හතහමාරක්". එය ප්‍රදර්ශනය කෙරුනේනම් අපේම නගරයේ. මෙය අපේ ප්‍රාන්තය තුළ සිංහල චිත්‍රපටයක් ප්‍රදර්ශනය කෙරුණු මුල්ම අවස්ථාව. පළමුවැන්න සඳහා ප්‍රවේශපත්‍ර මිල දී ගන්නා අවස්ථාව වන විටද දෙවැන්න සංවිධානය වී තිබුණේ නැහැ. එසේ වීනම්, ඒ වෙනුවෙන් එපමණ ආවස්ථික පිරිවැයක් දැරීම ගැන දෙවරක් හිතන්න ඉඩ තිබුණා. 

"ක්ලැරන්ස්- රිද්ම් ඔෆ් ගිටාර්" දර්ශන වාරය ගැන දැන ගන්න ලැබුණේ පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ ආදි ශිෂ්‍යයෙකු වූ අසල්වැසි මිතුරෙක්ගෙන්. පසුව "වාලම්පුරි" ප්‍රදර්ශනය සංවිධානය කළේත් ඔහු විසිනුයි. "ක්ලැරන්ස්" සංවිධානය කර තිබුණේ ඔහුගේ මිතුරෙකු වූ, මා පෙර දැන නොසිටි, පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ වෙනත් ආදි ශිෂ්‍යයෙකු විසින්. 

"ක්ලැරන්ස්" පිළිබඳව අසල්වැසි මිතුරාගෙන් දැනගත් වහාම එහි සංවිධායකවරයා සම්බන්ධ කරගෙන ප්‍රවේශපත්‍ර දෙකක් මිල දී ගැනීමට උත්සාහ කළත්, ඒ වන විටත් ප්‍රවේශපත් සියල්ලම විකිණී අවසන්ව තිබුණා. කෙසේ වුවත්, සැලකිය යුතු ඉල්ලුමක් පැවති බැවින් පොරොත්තු ලේඛණයකට නම් එකතු කර ගෙන දෙවන රංග ශාලාවකද චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට සංවිධායකයින් විසින් කටයුතු කළ නිසා අවසානයේදී ප්‍රවේශපත් මිල දී ගැනීමට ඉඩ ලැබුණා. 

අසල්වැසි මිතුරා සමඟ මේ කතාබහ සිදු වූයේ සති අන්තයක පැවති ආප්ප පාටියකදී. ඒ අවස්ථාවේදී "වාලම්පුරි" චිත්‍රපටය ගැනද අප කතා කළා. අපේ නගරයේ "වාලම්පුරි හෙවත් හීන හතහමාරක්" දර්ශන වාරය සංවිධානය වූයේ මේ කතාබහේ ප්‍රතිඵලයක් ලෙසයි. එය ඉතා කෙටි කලක් තුළ සිදු වුනා. 

ඕස්ට්‍රේලියාව, කැනඩාව, එක්සත් රාජධානිය හා ඉතාලිය වැනි රටවලට සාපේක්ෂව ඇමරිකාවේ විශාල ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණයක් නැහැ. සිටින අයගෙන් වැඩි පිරිසක් සිටින්නේද කැලිෆෝනියා, නිවුයෝර්ක් සහ නිවුජර්සි, ටෙක්සාස්, මේරිලන්ඩ් වැනි ප්‍රාන්ත වලයි. අපේ ප්‍රාන්තයේ සිටින ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පිරිස, දරුවන්ද සමඟ, දෙතුන් සීයකට වඩා වැඩි නැහැ. ඒ තත්ත්වය තුළ වැඩිහිටියන්ට පමණක් නැරඹිය හැකි සිංහල චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමේ අවම පිරිවැය ආවරණය කර ගැනීම සැලකිය යුතු තරම් අභියෝගාත්මක කටයුත්තක්. සංවිධායකවරයා වූ අසල්වැසි මිතුරා මේ අවදානම ගත්තා. 

වෙනත් බොහොමයක් කර්මාන්ත වගේම, ඇමරිකාවේ චිත්‍රපට කර්මාන්තයද තරඟකාරී කර්මාන්තයක්. මේ කර්මාන්තයේ සුපිරි ලාබ නැහැ. ඇතැම් චිත්‍රපට ආදායම් වාර්තා තබන නමුත් තවත් ඒවා පිරිවැය ආවරණය කරන ලාබයක් උපයා දෙන්නේ නැහැ. ඉල්ලුම අනුව සිනමාහල් හිමියන්ගේ ලාබ හෝ පාඩුද තීරණය වෙනවා. වැඩි ඉල්ලුමක් ඇති චිත්‍රපට වල ලාබයෙන් එසේ නොවන ඒවායේ පාඩුවද ආවරණය වන නිසා ඔවුන්ට අවදාමනක් ගත හැකියි. 

ඉල්ලුම පිළිබඳ කිසිම සහතිකයක් නැති සිංහල චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමට ඇමරිකාවේ සිනමාහල් හිමියෙක් යොමු වෙන්නේ නැහැ. ඒ නිසා, එවැන්නක් සිදු විය හැක්කේ වෙනත් අයෙකු විසින් අවදානම ගන්නේනම් පමණයි. එවැන්නෙකුට දර්ශන වාරයක් සඳහා සිනමා ශාලාවක රඟහලක් කුලියට ගැනීමට සිදු වෙනවා. එසේ කුලියට ගැනීමෙන් පසුව, එම පිරිවැය ආවරණය කර ගැනීම සඳහාම සැලකිය යුතු ආදායමක් අවශ්‍ය වෙනවා. එම මුදලත්, චිත්‍රපටයේ නිෂ්පාදකයින්ට ලබා දිය යුතු මුදලත් සැලකූ විට, ප්‍රායෝගිකව අය කළ හැකි වැඩිම මුදලක් ප්‍රවේශපත්‍රයක් වෙනුවන් අය කළද, ආසන සියල්ලම මෙන් පිරුනේ නැත්නම් වියදම ආවරණය කරගන්න අමාරුයි. 

ඉහත තත්ත්වයන් තුළ, පෙර සඳහන් දර්ශන වාර දෙකම සංවිධානය කර තිබුණේ හැකි අවම පරිමාණ වලින්. එහෙත්, "ක්ලැරන්ස්- රිද්ම් ඔෆ් ගිටාර්" සඳහා විශාල ඉල්ලුමක් පැවති බැවින් අවසානයේදී සිනමාහලේ දෙවන රංග ශාලාවක්ද කුලියට ගෙන පොරොත්තු ලේඛණයේ සිටි ප්‍රේක්ෂකයින්ට අවස්ථාව සැලසීමට සංවිධායකයින් කටයුතු කළා. "වාලම්පුරි හෙවත් හීන හතහමාරක්" සඳහාද තරමක් වැඩි ඉල්ලුමක් පැවති හෙයින් සියල්ලන්ටම අවස්ථාව ලබා දීම පිණිස තරමක් විශාල රංග ශාලාවකට දර්ශන වාරය මාරු කිරීමට සංවිධායකවරයා කටයුතු කළා. 

මේ අයුරින් ඇමරිකාවේ අපේ කලාපය තුළ මුල් වරට සිංහල චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම අනාගතයේදී එවැනි දර්ශන වාර සංවිධානය කිරීමට කැමැත්තක් දක්වන අයට හොඳ පූර්වාදර්ශයක් හා මාර්ගෝපදේශනයක් සපයනවා. එමෙන්ම මේ හරහා ලංකාවේ චිත්‍රපට නිෂ්පාදකයින්ගේ වෙළඳපොළ පරිමාව පුළුල් වෙනවා. 

ඇමරිකාවේ අපේ කලාපයේ ජීවත් වන්නන් විවිධ කාල වකවානු වල ඇමරිකාවට සංක්‍රමණය වූ අයයි. ඒ ඇතැම් අය ලංකාවේ චිත්‍රපට වැනි සංස්කෘතිකාංග ගැන යාවත්කාලීනව සිටියත් සියල්ලන්ම එවැන්නන් නෙමෙයි. ක්ලැරන්ස් විජේවර්ධන එසේ යාවත්කාලීන නොමැති ශ්‍රී ලාංකික ඇමරිකානුවන් අතර පවා නිරන්තරව ජනප්‍රියව සිටින ගායකයෙක්. ඒ නිසාම, "ක්ලැරන්ස්" චිත්‍රපටයට සැලකිය යුතු ඉල්ලුමක් තිබුණා කියා මම හිතනවා. චිත්‍රපටය මගින් ඉලක්ක කර තිබෙන්නේම ක්ලැරන්ස්ගේ ගීත වලට කැමති පිරිසයි.

"ක්ලැරන්ස්- රිද්ම් ඔෆ් ගිටාර්" ගායකයෙකුගේ ජීවන චරිතය මත පදනම් වූ සංගීතමය චිත්‍රපටයක්. පසුගිය කාලයේදී මේ වර්ගයේ හොලිවුඩ් චිත්‍රපට ගණනාවක් හැදුනා. Walk the Line, Nowhere Boy, Love & Mercy වැනි මේ ශෛලියේ චිත්‍රපට කාලයක සිට හැදී තිබුණත්, ඩොලර් මිලියන 900 ඉක්මවා ආදායම් ඉපැයූ Bohemian Rhapsody චිත්‍රපටයෙන් පස්සේ මේ විදිහේ චිත්‍රපට රැල්ලක්ම හැදුනා. Rocketman, Elvis, Whitney Houston: I Wanna Dance with Somebody, Bob Marley: One Love මේවායින් කීපයක්. "ක්ලැරන්ස්- රිද්ම් ඔෆ් ගිටාර්" නමේ ඔය අවසාන නම් දෙකේ ආකෘතිය දකින්න පුළුවන්. 

ක්ලැරන්ස් කියන්නේ අවුරුදු 21ක් වැනි තරුණ වයසකදී තමන්ගේ සිහිනය හඹා යන්න පටන් අරගෙන, ඒ සිහිනය ජය ගැනීමෙන් අනතුරුව, මතකයන් ඉතිරි කර, සාපේක්ෂව අඩු වයසකදී ජීවිතය හැර යන අයෙක්. "ක්ලැරන්ස්- රිද්ම් ඔෆ් ගිටාර්" චිත්‍රපටයේ කතාව ගොඩ නගා තිබෙන්නේ මූන්ස්ටෝන්ස් කණ්ඩායම හදන කාලයේ සිට ක්ලැරන්ස්ගේ විවාහය දක්වා වූ කාලය පදනම් කරගෙනයි. ඒ කියන්නේ 1960 සිට 1972 පමණ දක්වා කාලය. 

මේ කාලයෙන් වැඩි කොටසක් මා ඉපදෙන්න පෙර කාලයක්. ඉතිරි කොටස වුවත්, මට මතක තිබෙන අතීතයක කොටසක් නෙමෙයි. කවදාවත්ම අපේ වර්තමානය නොවූ අතීත යුග අපට දැකිය හැක්කේ ඉතිරිව තිබෙන ඓතිහාසික වාර්තා ඇසුරෙන් පමණයි. "ක්ලැරන්ස්- රිද්ම් ඔෆ් ගිටාර්" වැනි චිත්‍රපටද මේ ගොඩට එකතු වෙනවා. මේ චිත්‍රපට කතාවේ කාලයෙන් පසුව, ක්ලැරන්ස් ජීවත්ව සිටි කාලයක්ද මගේ මතකයේ තිබුණත්, මටත් වඩා වයසින් අඩු අයට ක්ලැරන්ස් කියන්නේ කවදාවත්ම තමන්ගේ වර්තමානය නොවූ අතීතයක්. 

චිත්‍රපටයේ නම "ක්ලැරන්ස්" වුනත්, චිත්‍රපටය පුරාම ඇනස්ලි මාලේවනගේ හෙවනැල්ල වැටී තිබෙනවා. චිත්‍රපටයේ වගේම. මම හිතන විදිහට ඇත්තටමත්, ක්ලැරන්ස්ගේ කතාව කියන්නේ ඇනස්ලි මාලේවන. ක්ලැරන්ස්ගේ ජීවිතයේ මේ යුගය හා අදාළව හොඳම මූලාශ්‍රය ඇනස්ලි මාලේවන වෙන්න පුළුවන්.

නමුත් චිත්‍රපටයේ කතාව ක්ලැරන්ස්ගේ ඇත්ත ජීවිත කතාවම නෙමෙයි. ඇත්ත කතාව මත පදනම්ව හදපු ඇත්තම නොවන කතාවක්. ඒ කතාව හදද්දී චිත්‍රපටයේ වාණිජ සාර්ථකත්වය ගැන වැඩිපුර හිතා ඇති බව පේනවා. මෙය සැබෑ පුද්ගලයින්ගේ ජීවන චරිත මත චිත්‍රපට හෝ වෙනත් කලා කෘති හදද්දී සාමාන්‍යයෙන් සිදු වෙන දෙයක්. අදාළ පාර්ශ්ව වලට ප්‍රශ්නයක් නැත්නම් ඒකේ අවුලක් නැහැ. අවුලක් වෙන්නේ මේ වගේ කලා කෘතියක් තුළින් කවුරු හරි ඇත්ත ඉතිහාසය හොයන්න ගියොත් පමණයි. 

ඓතිහාසික චිත්‍රපටයක් හදද්දී අවශ්‍ය පසුතල හොයා ගන්න එක ලේසි වැඩක් නෙමෙයි. දුරකථන සන්නිවේදන කුළුණක් නැති කන්දක් දැන් ලංකාවේ නැති තරම්. නමුත් තාක්ෂනය විසින් මේ වෙද්දී මේ ප්‍රශ්නයත් විසඳලා තිබෙනවා. රූප රාමුවකින් අනවශ්‍ය කොටසක් ඉවත් කරන එක දැන් ඉතාම සරල වැඩක්. සැබෑ ලෝකය එක්ක සසඳද්දී "ක්ලැරන්ස්" රූප රාමු වල තිබෙන නොගැලපීම්, හිතාමතාම ඒ රූප රාමු සැලසුම් කර තිබෙන විදිහ මිසක් අත් වැරදිම නොවන බවයි පෙනෙන්නේ. 

"ක්ලැරන්ස්" හදලා තියෙන්නේ එක දිගට ක්ලැරන්ස්ගේ ගීත රස විඳලා එයින් වින්දනයක් ලබන්න එන ඉලක්ක ප්‍රේක්ෂක පිරිසක් වෙනුවෙන්. පෝලිමට එන සිංදු ටිකට ගැලපෙන විදිහට කතාවක් කෘතිමව ඔබ්බලා තියෙනවා. ඒ කෘතීම කතාවේ විශ්වාසනීයත්වය පවත්වා ගැනීම සඳහා ඇත්ත සිදු වීම් හෝ ඇත්ත සිදු වීම් මත පදනම් වූ ගොඩ නැගීම් එකතු කරලා තියෙනවා. ඉලක්කයට එතරම් වැදගත් නැති නිසා මූන්ස්ටෝන් බිහි වන කාලයේදී 7 ශ්‍රී කාර් තිබුණද නැද්ද වගේ කරුණු ගැන ඒ තරම් අවධානය යොදවලා නැහැ. 

කතාවේ වැඩි කොටසක පෙන්වන්නේ රත්නපුර නගරය ආශ්‍රිතව සිදු වෙන සිදු වීම්. නමුත් පසුතල වලින් පේන්නේ මහනුවර පැත්ත. චිත්‍රපටයක රූගත කිරීම් අදාළ ප්‍රදේශයේම කරන්න කිසිසේත්ම අවශ්‍ය නැහැ. නමුත් රත්නපුර කියා කියන්නේ ජර්සි ඇඳගෙන ඉන්න පුළුවන් හෝ අවශ්‍ය සීතල පැත්තක් නෙමෙයි. මම හිතන්නේ චිත්‍රපටයට වඩාත් දර්ශනීය පසුතල එකතු කිරීම සඳහා හිතාමතාම කරපු වැඩක්. ක්ලැරන්ස්ගේ බිරිඳගේ ආගමික පසුබිම වෙනස් කරන්න ඇත්තෙත් ඔය හේතුව නිසා වෙන්න ඇති. ක්ලැරන්ස්ට වැඩියෙන්ම කැමැති, චිත්‍රපටයට වැඩියෙන්ම ආකර්ෂණය වීමේ ඉඩක් තිබෙන, ප්‍රේක්ෂක කණ්ඩායමට මේ වෙනස වඩා හොඳින් ගැලපෙනවා වෙන්න පුළුවන්. 

ලංකාවේ වත්මන් නළු නිළියන්ගේ රංගන දක්ෂතා එක්ක සංසන්දනය කරද්දී මෙහි රඟපෑම් ඒ තරම්ම හොඳ මට්ටමක තිබෙනවා කියා කියන්න බැහැ. අඩු වශයෙන් අංග රචනය පැත්තට තව ටිකක් හෝ වැඩි අවධානයක් දුන්නානම් හොඳයි කියලා හිතෙනවා. උදාහරණයක් විදිහට ඉන්ද්‍රානි පෙරේරා කියන්නේ සාමාන්‍ය සම්මත අනුව රූමතියක් නෙමෙයි කියන එක ඇයට කරන අපහාසයක් නෙමෙයි කියලා මම හිතනවා. මෙය අවධාරණය කරමින් ක්ලැරන්ස් මුලින්ම ඉන්ද්‍රානිව දකින මොහොතේ තිගැස්මකට ලක් වන බව චිත්‍රපටයේ පෙන්වනවා. නමුත් එහිදී පෙන්වන ඉන්ද්‍රානිගේ රූපය දකින කෙනෙක් ඒ විදිහට තිගැස්මකට ලක්වෙන්න හේතුවක් නැහැ. 

මගේ මිනුම් අනුවනම්, "ක්ලැරන්ස්" චිත්‍රපටයක් විදිහට ඉතාම සාමාන්‍ය චිත්‍රපටයක්. කිලෝමීටර නවසීයක් පමණ උඩට හා පහළට ගිය එක ගැන පසුතැවිලි වෙන්න තරම් අවුලක් චිත්‍රපටයේ නැහැ. විශේෂයෙන්ම ලොකු බලාපොරොත්තු තියාගෙන ගියේ නැති නිසා. හරියටම ඇත්ත නොවුනත්, ලංකාවේ සංගීත ඉතිහාසයේ එක් කොටසක් ගැන කතාවක් චිත්‍රපටයේ තිබෙනවා. එක දිගට වැලට සිංදු එකින් එක යන නිසා ඒවා සම්බන්ධ කරන කතාව ගැන ලොකුවට නොහිතා සිංදු ටික රස විඳින්න පුළුවන්. ඒ හැරෙන්න චිත්‍රපටය බලලා ගෙදර ආවට පස්සේ ඉතිරි වෙන දෙයක්නම් නැහැ. 

මේ චිත්‍රපටය පුරෝගාමී වැඩක් කියන එකත් අමතක කරන්න බැහැ. වැඩේ පුරෝගාමී වැඩක් වෙන්නේ ලංකාවට තමයි. එය සිදු වෙන්නේ හොලිවුඩ් රැල්ල අනුකරණය කිරීමක් ලෙස වුවත්, මෙය මේ ශෛලියේ පළමු සිංහල චිත්‍රපටය. පෙනෙන විදිහට දැන් මේ ශෛලියේ තවත් සිංහල චිත්‍රපට හැදෙමින් තිබෙනවා. ඒ වගේම, චිත්‍රපටයක සාර්ථකත්වය පිළිබඳ හොඳම නිර්ණායකය වෙන්නේ එයට තිබෙන ප්‍රේක්ෂක ඉල්ලුම. ඒ අතින් මෙය සාර්ථක චිත්‍රපටයක්.

චිත්‍රපටයක් බලන ප්‍රේක්ෂකයින්ගෙන් සැලකිය යුතු පිරිසකට අවශ්‍ය වන්නේ පැය දෙකහමාරක පමණ කාලයක් තමන්ගේ දෛනික ජීවිතයේ බරින් නිදහස්ව විනෝදයක් ලබන්න මිසක් අපි වගේ ගෙදර ගියාට පස්සෙත් ඒ ගැන හිත හිත තවත් බරක් එකතු කර ගන්න නෙමෙයි. සංක්‍රමණික ප්‍රජාව අතරින් වැඩි දෙනෙකු බලාපොරොත්තු වෙන්නේත් මේ විදිහේ විනෝදයක්. ඒ වැඩේට "ක්ලැරන්ස්" චිත්‍රපට ගැලපෙනවා. 

"ක්ලැරන්ස්" බලන්න යද්දී කුමක් හෝ සිංහල චිත්‍රපටයක් බැලීමේ ආශ්වාදය මිසක් එයින් එහාට දෙයක් පිළිබඳ බලාපොරොත්තුවක් නොතිබුණත්, "වාලම්පුරි" බලන්න ගියේනම් ඊට වඩා දෙයක් බලාපොරොත්තුවෙන්. ඊට හේතුව කලින් බලලා තිබුණු "කූඹියෝ". "වාලම්පුරි" ගැන පසුව වෙනම සටහනක කතා කරමු.

Monday, June 9, 2025

දකුණට කැරකෙන්න අමාරු ඇයි?


මේ දවස් වල තිරගත වන වාලම්පුරි චිත්‍රපටය ගැන ගොඩක් අය කතා කරලා තිබුණා. චිත්‍රපටය ගැන දන්නේ ඒ ගැන විවිධ අය ලියා තිබුණු දේවල් පමණයි. විදේශගතව සිටින විට අහිමි වන දේවල් අතරින් එකක් තමයි ඔය වගේ චිත්‍රපටයක්, වේදිකා නාට්‍යයක් බලන්න තිබෙන අවස්ථාව. ටෙලිනාට්‍ය හා අදාළවනම් මේ ප්‍රශ්නය නැහැ.

වාලම්පුරි චිත්‍රපටය ලංකාවෙන් පිටත ලෝකය පුරාමත් තිරගත වෙනවා. එය සිංහල චිත්‍රපට නිෂ්පාදකයින්ගේ පැත්තෙන් බැලුවත්, විදේශගත සිංහල චිත්‍රපට රසිකයින්ගේ පැත්තෙන් බැලුවත් ඉතාම හොඳ ප්‍රවණතාවක්. නමුත් අපේ නගරය කිට්ටුව පාතක එවැනි ප්‍රදර්ශනය කිරීමක් තවම සංවිධානය වී නැහැ.

හැබැයි වාලම්පුරි සිංහල චිත්‍රපටය බැලුවද කියලා කවුරු හරි ඇහුවොත් බය නැතුව ඔව් කියන්නනම් පුළුවන්කම තිබෙනවා. ඊට හේතුව මේ වාලම්පුරි සිංහල චිත්‍රපටය හැර තවත් සිංහල වාලම්පුරි චිත්‍රපටයක්ද තිබීම සහ ඒ වෙනත් වාලම්පුරි චිත්‍රපටය නරඹා තිබීමයි. පළමු වාලම්පුරි සිංහල චිත්‍රපටය තිරගත වුනේ අසූව දශකයේ මුල් කාලයේදීයි. මම හිතන්නේ 1981දී පමණ. චිත්‍රපටය හදා තිබුණේ වාලම්පුරි නමම තිබුණු රොඩ්නි ජොන්ක්ලාස්ගේ නවකතාවක් මත පදනම්වයි. "මුහුද යට දර්ශන" ගැන කියමින් චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු කළ බව මතකයි. ප්‍රධාන චරිතය රඟපෑවේ විජය. 

ඒ වාලම්පුරි සිංහල චිත්‍රපටයේ කතාව වගේම මේ වාලම්පුරි සිංහල චිත්‍රපටයේ කතාවත් වාලම්පුරියකට සම්බන්ධයි. වාලම්පුරියක් කියා කියන්නේ දක්ෂිණාවර්ත සංඛයක්. එසේත් නැත්නම් දකුණට කැරකුණු හක් ගෙඩියක් හෙවත් හක් බෙල්ලෙකුගේ කටුවක්. හක් බෙල්ලෙක් කියා කියන්නේ ඉන්දියානු සාගරය ආශ්‍රිතව හමු වන මුහුදු බෙල්ලන් විශේෂයක්. විද්‍යාත්මක නම ටර්බිනෙල්ලා පයිරම් (Turbinella pyrum). 

වාලම්පුරි කියන නම සිංහලයට බිඳී ඇවිත් තියෙන්නේ දෙමළ භාෂාවෙන්. දෙමළ වචනය වලම්පුරි සන්ගු (வலம்புரிச் சங்கு). එහි තේරුම දක්ෂිණාවර්ත සංඛය යන්නයි. එය දක්ෂිණාවර්තී සංඛ (दक्षिणावर्ती शंख) කියන සංස්කෘත වචනයේ දෙමළ පරිවර්තනයක්. වලම් (வலம்) යන්නෙහි දකුණ කියන තේරුම තියෙනවා. පුරි (புரி) යන්නෙහි හැරවුණු යන අර්ථය තිබෙනවා. මේ අර්ථයෙන් වත්මන් දෙමළ බසෙහි පුරි යන්න යෙදෙනවා දකින්න අමාරු වුනත් පැරණි දෙමළ සාහිත්‍යයෙහි එසේ යෙදෙන තැන් හමු වෙනවා. සන්ගු කියන්නේ ශංඛය. වලම්පුරි කියන වචනය හෝ එහි ප්‍රභේදයක් මලයාලම්, කන්නඩ සහ තෙලිඟු යන අනෙකුත් දකුණු ඉන්දියානු භාෂා වලද භාවිතා වෙනවා. මලයාලම් වචනය වලංපිරි ශංඛ් (വലംപിരി ശംഖ്). 

දෙමළ භාෂාවේ වලම්පුරි සන්ගු කියන වචනය තමයි සන්ගු හැලිලා වාලම්පුරිය විදිහට සිංහලයට එකතු වෙලා තියෙන්නේ. ලංකාවේ මුතු කිමිදීමේ කර්මාන්තයේ යෙදුනු අයගේ වාර්ගික මිශ්‍රණය ඊට හේතු වෙන්න ඇති. මුතු කිමිදීමේ කර්මාන්තය ආශ්‍රිතව හීන් බණ්ඩලාට රාසම්මලා හමු වෙද්දී ඔය වගේ අලුත් වචනත් භාෂාවට එකතු වෙනවා. 

දක්ෂිණාවර්ත සංඛ ඉතා දුර්ලභයි. වැඩිපුර තිබෙන්නේ වාමාවර්ත සංඛ. මේවාට සිංහලෙන් නිකම්ම හක්ගෙඩි කියනවා මිසක් විශේෂණයක් එකතු කරන්නේ නැහැ. නමුත් දකුණු ඉන්දියානු භාෂා වල ඉඩම්පුරි කියන වචනය හෝ එහි ප්‍රභේදයක් භාවිතා වෙනවා. දෙමළෙන්නම් ඉඩම්පුරි සංගු (இடம்புறி சங்கு). මලයාලම් වචනය ඉඩංපිරි ශංඛ් (വലംപിരി ശംഖ്). මෙහි අර්ථය වමට හැරවුණු යන්නයි. 

හක්ගෙඩිය, හක්බෙල්ලා වගේ වචන වල හක් වෙලා තියෙන්නේ ශංඛ කියන සංස්කෘත වචනය. ශංඛ සක් වෙලා පසුව හක් වෙලා තිබෙනවා. 

"මහබඹහු මුනිඳුට 

සේසත් නඟති මුදුනට

එ මුනි සඳු පුදයට

පිඹිති සක්‌ සක්‌ දෙවිඳු එහි සිට"

බුදු ගුණ අලංකාරයේ එන ඔය කවියේ පළමු සක් ශංඛය. දෙවෙනි සක් ශක්‍ර දේවේන්ද්‍රයා. ආසියානු කලාපයේ හක්ගෙඩියට සංස්කෘතික වටිනාකමක් ලැබෙන්න හක් පිඹීමේදී එන නාදයත් හේතු වී තිබෙනවා. කවියේ හැටියට ඔය වැඩේ කරලා තියෙන්නේ මිනිස්සු පමණක් නෙමෙයි.

දකුණට කැරකුණු පමණින් හක් බෙලි කටුවකට විශාල වටිනාකමක් ලැබෙන්න පුළුවන්ද?

වාලම්පුරියකට වටිනාකමක් ලැබෙන්නෙත් අනෙක් හැම දේකටම වටිනාකමක් ලැබෙන ක්‍රමයට. ඒ කියන්නේ අදාළ වටිනාකම ගෙවන්න සූදානම් කවුරු හෝ කෙනෙක් හෝ පිරිසක් ඉන්න නිසා. ආසියානු කලාපය තුළ සාමාන්‍ය හක්ගෙඩියක් හෙවත් වාමාවර්ත සංඛයකට වුනත් යම් සංස්කෘතික වටිනාකමක් තිබෙනවා. සංස්කෘතික වටිනාකමක් ආර්ථික වටිනාකමක් බවට පරිවර්තනය වීම සාමාන්‍ය තත්ත්වයක්. 

සංඛ හදන ටර්බිනෙල්ලා පයිරම් මුහුදු බෙල්ලා ඉන්නේ ආසියානු කලාපයේ. ඒ නිසා, ශංඛ හමු වන්නේත් මේ කලාපයෙන්. විශේෂයෙන්ම ලංකාව සහ දකුණු ඉන්දියාව ආශ්‍රිතව ශංඛ වැඩිපුර හමු වෙනවා. ඊට අමතරව බෙංගාල බොක්ක ආශ්‍රිතවද යම් තරමකට හමු වෙනවා. 

කෙනෙකුට ශංඛයක් ලැබෙන්නනම් ශංඛයක් මුහුදු වෙරළට පාවී එන්න ඕනෑ. එහෙම නැත්නම් මුහුදේ කිමිදිලා හොයා ගන්න ඕනෑ. දෙවැන්න අමාරු වැඩක්. පළමුවැන්න අහම්බයකින් සිදු වෙන දෙයක්. අහම්බයක් වුනත් ඔය අහඹු අවස්ථාව බොහෝ විට ලැබෙන්නේ මුහුදුබඩ ප්‍රදේශයක ජීවත් වන කෙනෙකුටයි. මැණික් නැති ප්‍රදේශයකින් අහම්බෙන් මැණික් හමු වෙන්නේ නැහැ. රත්තරන් නැති ප්‍රදේශයකින් අහම්බෙන් රත්තරන් හමු වෙන්නේ නැහැ.

සුදු, සුමුදු, හඬක් නිපදවිය හැකි, හක්බෙලි කටුවක් මුහුදු වෙරළේ තිබී හමු වෙන කෙනෙකුට ඒ කෙරෙහි ආසාවක් ඇති වෙන එක පුදුම වෙන්න තරම් දෙයක් නෙමෙයි. එවැනිම ආසාවක් මුහුදුබඩ ප්‍රදේශයක ජීවත් නොවන කෙනෙකුටත් ඇති වෙන්න පුළුවන්. නමුත් එවැන්නෙක් මුහුදක් කිට්ටුවට ආවා කියලා ඒ වෙලාවේම වෙරළේ තිබී හොඳ හක් ගෙඩියක් හමු වෙන්නේ නැහැ. ඒ නිසා, මුහුදු වෙරළෙන් කලින්ම හක් ගෙඩි එකතු කරගෙන සිටින ඒ ප්‍රදේශයේ ජීවත් වන අයෙකුට ඔය වගේ පිටින් ආ කෙනෙක් එක්ක හුවමාරුවක් කරගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ එක්කම හක් ගෙඩියක් ආර්ථික වටිනාකමක් තියෙන භාණ්ඩයක් බවට පත් වෙනවා.

හුවමාරුව හරහා හක් ගෙඩි මුහුදෙන් ඈත ප්‍රදේශ වලටත් යන්න පුළුවන්. ආසියානු කලාපයේ හින්දු, බෞද්ධ වගේම ජෛන ආගමික කටයුතු වලදී හක් ගෙඩි භාවිතා වෙනවා. මේ විදිහට භාවිතය වැඩි වෙද්දී ඉල්ලුම ඉහළ ගොස් වටිනාකමද ඉහළ යනවා. හැම හක් ගෙඩියක්ම එක සමාන නොවන නිසා මිල දී ගන්නා තැනැත්තාගේ අවශ්‍යතාවයේ තරම වගේම හක් ගෙඩියක භෞතික ලක්ෂණද එහි හුවමාරු වටිනාකම කෙරෙහි බලපාන්න පටන් ගන්නවා. වඩා හොඳ හඬක් නිපදවන, වඩා පැහැපත් හක් ගෙඩි වලට වැඩි ඉල්ලුමක් ඇති වෙනවා. හැම හක් ගෙඩියම එවැන්නක් නොවීම ඊට හේතුවයි. වෙනත් විදිහකින් කිවුවොත් හොඳ හක් ගෙඩි දුලබ වීම.

මිනිස්සු ස්වභාවයෙන්ම විවිධත්වයට කැමතියි. සමහර විට දක්ෂිණාවර්ත හක් ගෙඩියකට මුලින්ම වැඩි ඉල්ලුමක් ඇති වෙන්න හේතු වෙන්න ඇත්තේ වෙනස් දේවල් අයිති කරගන්න මිනිස්සුන්ට තිබෙන ස්වභාවික කැමැත්ත නිසා. මේ කැමැත්ත බොහෝ දෙනෙකුට තිබුණත්, ඒ තරමට දක්ෂිණාවර්ත ශංඛ නැති නිසා අවසාන වශයෙන් වෙන්නේ දක්ෂිණාවර්ත ශංඛයක මිල විශාල ලෙස ඉහළ යාම.

ඉල්ලුම නිසා දක්ෂිණාවර්ත ශංඛයක මිල ඉහළ යද්දී එසේ මිල ඉහළ යාම නිසාම එයට තවත් අමතර ඉල්ලුමක් ඇති වෙනවා. එවිට මිල තව දුරටත් ඉහළ යනවා. ඔය වගේ තත්ත්වයක් යටතේදී අහම්බෙන් මුහුඳු වෙරලේ තිබී දක්ෂිණාවර්ත ශංඛයක් හොයා ගන්නා කෙනෙකුට ඒ වෙනුවෙන් සැලකිය යුතු වටිනාකමක් ලබා ගන්න අවස්ථාව ලැබෙනවා. එය අහම්බයක් හේතුවෙන් එවැන්නෙකුගේ වාසනාවට සිදු වන දෙයක්. 

සමහර විට මේ හුවමාරුව දිගින් දිගටම සිදු වෙන්න පුළුවන්. දක්ෂිණාවර්ත ශංඛයක් අතින් අත මාරු වෙන හැම විටෙකම, සමහර චිත්‍ර හා වෙනත් කලා කෘති වල වෙළඳපොළ වටිනාකම ඉහළ යන ක්‍රමයට, ශංඛයේ වටිනාකම ඉහළ යනවා. මේ දාමයට සම්බන්ධ වන හැමෝගෙම ජීවිත වඩා යහපත් වෙනවා. එය තමයි ගනුදෙනු වල ස්වභාවය. වාලම්පුරි වලින් වාසනාව ගේනවා කියන අදහස ප්‍රචලිත වුනේ මේ විදිහට වෙන්න පුළුවන්. 

වාලම්පුරි ඔය තරම්ම දුර්ලභ ඇයි?

ශංඛයක් දක්ෂිණාවර්ත හෝ වාමාවර්ත වෙන්නේ හක් බෙල්ලන්ගේ ජානමය වෙනස්කම් නිසා. ඒ තරම්ම සුලබ නැති ටර්බිනෙල්ලා පයිරම් හෙවත් හක් බෙල්ලන්ව යොදාගෙන පර්යේෂණ කර නැතත්, ඔවුන්ට ආසන්නව සමාන ජානමය ව්‍යුහයක් තිබෙන වෙනත් බෙල්ලන් වර්ග ඇසුරෙන් හඳුනාගෙන තිබෙන පරිදි, බෙලිකටුවේ දිශානතිය තීරණය වෙන්නේ තනි ජානයකින්. වසර කිහිපයකට පෙර ජපන් විද්‍යාඥයින් විසින් මෙම ජානය වෙනස් කිරීම මගින් බෙල්ලෙකුගේ කටුවේ දිශාව වෙනස් කිරීමටද සමත් වුනා. 

අපි මෙම ජානයේ ඇලීල ප්‍රභේද දෙක D සහ d ලෙස හඳුන්වමු. මේ දෙකෙන් කටුව දකුණට කරකවන්නට හේතු වන ඇලීලය D. වඩා බහුල, සාමාන්‍ය ඇලීලය d. මේ දෙකෙන් D ප්‍රමුඛ ඇලීලය වන අතර d නිලීන ඇලීලයයි. ඒ නිසා, අවම වශයෙන් එක් D ඇලීලයක් උරුම වුවහොත් d ඇලීලයේ බලපෑම යටපත් වෙනවා. 

සාමාන්‍යයෙන් ඩීඑන්ඒ අණුවේ පිටපත් හදද්දී එක් භෂ්ම යුගලයක් විකෘති වීමේ සම්භාවිතාව බිලියනයකින් එකක් පමණ අඩු සම්භාවිතාවක්. නමුත් d ඇලීලයක් D ඇලීලයක් බවට පත් වීම සඳහා ඩීඑන්ඒ අණුවේ අදාළ කොටසේ භෂ්ම යුගල දහසකට ආසන්න ප්‍රමාණයෙන් කුමක් හෝ එකක් විකෘති වීම ප්‍රමාණවත්. ඒ නිසා, අහම්බෙන් D ඇලීලයක් හැදෙන්න මිලියනයකින් එකක පමණ සම්භාවිතාවක් තිබෙනවා. එවැනි විකෘතියක් අහම්බයකින් සිදු වුනාට පස්සේ වෙන්නේ කුමක්ද?

හක් බෙල්ලෙකුට හක් බෙලි මවගෙන් හා හක් බෙලි පියාගෙන් ලැබෙන ජාන අනුව, DD, Dd හෝ dd යන ආකාර තුනෙන් ඕනෑම ආකාරයක ප්‍රවේණිදර්ශයක් උරුම වෙන්න පුළුවන්. සාමාන්‍ය මෙන්ඩලියානු ආකෘතිය අනුව, DD සහ Dd ප්‍රවේණිදර්ශ උරුමව ඇත්නම් දක්ෂිණාවර්ත බෙලිකටුවක්ද, dd ප්‍රවේණිදර්ශය උරුමව ඇත්නම් වාමාවර්ත බෙලිකටුවක්ද ජනිතයෙකුට උරුම විය යුතු වුවත්, හක් බෙලි කටු හා අදාළව පරිණාමය සිදු වන්නේ සාමාන්‍ය මෙන්ඩලියානු ආකෘතිය අනුව නෙමෙයි. මෙහිදී රූපානුදර්ශය තීරණය කරන්නේ ජනිතයාගේ ප්‍රවේණිදර්ශය නොව ජනිතයාගේ මවගේ ප්‍රවේණිදර්ශයයි. 

ඉහත හේතුව නිසා Dd ප්‍රවේණිදර්ශය සහිත හක්බෙලි ජනිතයෙකුගේ රූපානුදර්ශය දක්ෂිණාවෘත බෙලිකටුවක් වන්නේ D ඇලීලය මවගෙන් උරුම වුවහොත් පමණයි. එය උරුම වී තිබෙන්නේ හක් බෙලි පියාගෙන්නම්, D ඇලීලයක් තිබුණත්, බෙලිකටුව කැරකෙන්නේ වමටයි. අනෙක් අතට,  ප්‍රවේණිදර්ශය dd වුවද, D ඇලීලයක් මවගෙන් උරුමව නැතත්, මවගේ ප්‍රවේණිදර්ශය Ddනම් ජනිතයාට දක්ෂිණාවෘත බෙලිකටුවක් හිමි වෙනවා. ජනිතයාගේ ප්‍රවේණිදර්ශය DDනම්, මවගේ ප්‍රවේණිදර්ශය DD හෝ Dd යන දෙකෙන් එකක් විය යුතු බැවින් අනිවාර්යයෙන්ම දක්ෂිණාවෘත බෙලිකටුවක් හිමි වෙනවා.

මේ අයුරින් මවගේ ප්‍රවේණිදර්ශය අනුව රූපානුදර්ශය තීරණය වීමට හේතුවනම් කටුව කැරකෙන දිශාව තීරණය වන්නේ කළල වර්ධනයේ මුල්ම අවස්ථාවේදී වීමයි. ඒ වෙද්දී බලපෑමක් කළ හැක්කේ මවගේ DNA එකෙන් හදන ප්‍රෝටීන් වලටයි. 

වාලම්පුරි මෙතරම් දුලබ ඇයි කියන කරුණ ඉහත විස්තරයෙන් පැහැදිලි වන්නේ නැහැ. එසේ වීමට හේතුව දක්ෂිණාවෘත බෙලිකටු රූපානුදර්ශයට වාමාවර්ත බෙලිකටු රූපානුදර්ශය සාමාන්‍ය තත්ත්වය වන පරිසරයක් තුළ පරිණාමික පැවැත්මක් නොමැති වීමයි. මීට හේතුව කටු දෙපැත්තට කැරකුණු හක් බෙල්ලන් දෙදෙනෙකුට එකතු වී ජනිතයින් බිහි කිරීම සඳහා ලිංගික අවයව සමීප කර ගැනීම ඉතාම අසීරු වීමයි. 

වාමාවර්ත හක් බෙල්ලන් සිටින ගහණයක සිදු වන අහඹු ජාන විකෘතියක් හේතුවෙන් දක්ෂිණාවෘත බෙලිකටු රූපානුදර්ශය සහිත හක් බෙල්ලෙකු බිහි වුනද, එවැන්නෙකුට ජනිතයින් බිහි කිරීම සඳහා දක්ෂිණාවෘත බෙලිකටු රූපානුදර්ශය සහිත සහකරුවෙකු හමු වීමේ ඉඩකඩ සීමිතයි. ඒ නිසා, මෙම ඇලීලය ප්‍රමුඛ ඇලීලයක් වුනත් එයට පරිණාමික වාසියක් නැහැ.

දක්ෂිණාවෘත බෙලිකටු රූපානුදර්ශය සහිත හක් බෙල්ලන් විසින් මුහුණ දෙන සහකරුවන් සොයා ගැනීමේ ප්‍රශ්නය නිසා බෝහෝ විට සිදු වන්නේ අහම්බෙන් හැදුණු D ඇලීලයක් ඉතා ඉක්මණින් ගහණයෙන් වඳ වී යාමයි. කෙසේ වුවත්, හක් බෙලි පියාගෙන් D ඇලීලය උරුමව, Dd ප්‍රවේණිදර්ශය සහිතව බිහිවන ජනිතයින්ගේ රූපානුදර්ශය වාමාවර්ත බෙලිකටුවක් බැවින් ඔවුන්ගේ ජනිතයින් මගින් D ඇලීලයට ගහණය තුළ පරම්පරා ගණනාවක් පැවතිය හැකියි. ඒ නිසා, එක් පරම්පරාවක් තුළ ගහණයෙන් ඇලීලය මුළුමනින්ම වඳ වී යාම පාලනය වෙනවා. Dd ප්‍රවේණිදර්ශය හා වාමාවර්ත රූපානුදර්ශය ඇති පිරිමි හක්බෙල්ලෙකුගේ ගැහැණු ජනිතයින් විසින් වාලම්පුරි බිහි කරන අතර එය දුලබ සිදු වීමක්. 

හක් බෙල්ලන්ගේ දක්ෂිණාවෘත රූපානුදර්ශයට පරිණාමික පැවැත්ම තර්ජනයක් වී තිබෙන්නේ හක් බෙල්ලන්න්ගේ ලෝකය වාමාවෘත රූපානුදර්ශ පිරුණු තැනක් නිසා. යම් හෙයකින් හක් බෙල්ලන්ගේ ලෝකය දක්ෂිණාවෘත රූපානුදර්ශ පිරුණු තැනක් වීනම්, අද වාලම්පුරි වලට ලැබී තිබෙන වටිනාකම ලැබිය හැකිව තිබුණේ ඉඩම්පුරි හෙවත් සාමාන්‍ය හක්ගෙඩි වලටයි.

වාලම්පුරි චිත්‍රපටයට ලොකු ඉල්ලුමක් ඇති වී තිබෙන්නේද එවැනි චිත්‍රපට දුලබ නිසා විය යුතුයි. අලුත් වාලම්පුරි චිත්‍රපටයේ නමට පැරණි චිත්‍රපටයේ නොතිබුණු හීන හතහමාරක්ද එකතු වී තිබෙනවා. අප වැනි විදේශගතව සිටින අයෙකුට මෙවැනි චිත්‍රපටයක් උණු උණුවේ නරඹන එකත් හීනයක් නිසා අපට එවැන්නක් වාලම්පුරි එක්ක හීන අටහමාරක්!

මේ හීන අටහමාර හැබෑ කරගන්න විදේශගත ලාංකිකයින් බොහෝ දෙනෙකුටද අවස්ථාව ලැබී තිබෙනවා. එය සිංහල චිත්‍රපට හදන අයට හොඳ පූර්වාදර්ශයක්. අවාසනාවට, විශාල ශ්‍රී ලාංකිකයින් පිරිසක් ජීවත් නොවන අපේ නගරයේ මෙවැනි සිංහල චිත්‍රපටයක් ප්‍රදර්ශනය කර එහි පිරිවැය ආවරණය කරගන්න අමාරුයි. කවුරුවත් පාඩුවට වැඩකට අත ගහන්නේ නැහැ. ඒ නිසා මම මේ වාසනාවන්ත ශ්‍රී ලාංකිකයෝ ගොඩේ නැහැ. 

Sunday, February 20, 2022

ඇල්බොරාදා - පාන්දර ඇස ගැටුණු යුවතිය


හඳගමගේ ඇල්බොරාදා මේ දවස් වල ලංකාව පුරා සිනමාහල් වල ප්‍රදර්ශනය වෙනවා. අපටනම් මෙය නැරඹීමේ අවස්ථාවක් නැහැ. කවදා ලැබෙයිද දන්නෙත් නැහැ. ඕවා තමයි ඉතිං රටින් පිටව සිටීමේ පාඩු.

රටින් පිටව සිටීමේ පාඩු වගේම ලාබත් තිබෙනවා. ඇල්බොරාදා හදලා තියෙන්නෙත් ඒ වගේ "ලාබ" ගැන කතාවක් මත පදනම්වයි.

කාන්තා ඇසුර ලැබීම පිණිස බලය අපහරණය කිරීම දේශපාලනය තුළ දුලබ දෙයක් නෙමෙයි. ඇතැම් දේශපාලනඥයින් මේ වැඩේ නිසා අවසානයේදී තමන්ගේ දේශපාලන ජීවිතයද විනාශ කර ගන්නා අවස්ථා පවා තිබෙනවා. මෙය පරිණාමික මනෝවිද්‍යාව තුළ බොහෝ සේ සාකච්ඡා වී තිබෙන කරුණක්. පරිණාමික මනෝවිද්‍යා න්‍යායකට අනුව, බලය හඹා යාමේ ප්‍රධාන අරමුණ වන්නේම කාන්තා ඇසුර ලැබීමේ අවස්ථා වැඩි කර ගැනීමයි. දේශපාලනය තුළ පිරිමින් වැඩි වශයෙන් දකින්න හැකි වී තිබෙන්නේත් මේ හේතුව නිසා.

දක්ෂිණාංශික දේශපාලනය තුළ මේ විදිහට බලය අපහරණය කිරීමක් සිදු වන අවස්ථා වලදී වාමාංශික දේශපාලනඥයින් විසින් එය මුදල් සමඟ සම්බන්ධ කරමින් විග්‍රහ ඉදිරිපත් කරනවා. දක්ෂිණාංශික දේශපාලනය තුළ මුදල් හා බලය අතර දැකිය හැකි සහසම්බන්ධය නිසා මෙවැන්නක් පෙන්වන්න පහසුයි. එහෙත්, කාන්තා ඇසුර ලැබීම පිණිස බලය අපහරණය කිරීම දක්ෂිණාංශික මෙන්ම වාමාංශික දේශපාලනය තුළද හොඳින් නිරීක්ෂණය වන දෙයක්. වාමාංශික දේශපාලනය තුළ ඇතැම් විට මේ තත්ත්වය වඩා වැඩි වෙන්න පුළුවන්.

වාමාංශික දේශපාලනය තුළ බලය හා මුදල් අතර සම්බන්ධය යම් තරමකින් කැඩෙනවා. ඒ වෙනුවට, "මානුෂික සබඳතා" කියන වචනය ආදේශ වෙනවා. ඔය වචනය ගොඩක් වෙලාවට වාමාංශික පිරිමි දේශපාලනඥයින් (සිවිල් බලයක් ගොඩනගා ගන්නා වාමාංශික කලාකරුවන් වැනි අයද ඇතුළුව) විසින් කාන්තා ඇසුර ලැබීම පිණිස බලය අපහරණය කිරීම සඳහා යොදා ගන්නා දවටනයක්. දේශපාලනය කිරීමෙන් සල්ලි හොයන්න උත්සාහ නොකරන බොහෝ දේශපාලනයින් විසින් දේශපාලනය කිරීමේ සවිඥානික හෝ අවිඥානික අවසන් අරමුණ වන්නේ කාන්තා ඇසුර ලැබීම සඳහා ඉඩප්‍රස්තා වැඩි කර ගැනීමයි. මෙය තවමත් මිනිසුන්ව පාලනය කරන දඩයම් යුගයේ ජාන වල බලපෑමෙන් සිදුවන දෙයක්.

ස්පාඤ්ඤ බසින් ඇල්බොරාදා කියන එකට තියෙන්නේ උදේ පාන්දර කියන අර්ථය. මම හිතන්නේ චිත්‍රපටයේ නම ඇල්බොරාදා වෙන්නේ පාන්දර ඇස ගැටුණු යුවතිය වැනි අර්ථයකින්. යුවතිය ඇස ගැටෙන්නේ සාහිත්‍යය පිළිබඳ නොබෙල් ත්‍යාගලාභියෙකු වන පාබ්ලෝ නෙරුදාට. හැබැයි නොබෙල් තෑග්ග ලැබෙන්න ගොඩක් කලින් ලංකාවේදී. 

නෙරුදා සාහිත්‍යකරුවෙකු මෙන්ම රාජ්‍යතාන්ත්‍රිකයෙකු, දේශපාලනඥයෙකු හා කොමියුනිස්ට්වාදියෙකුද වෙනවා. ඔහු ලංකාවට එන්නේ චිලී රාජ්‍යයේ කොන්සල් වරයා ලෙසයි. ඇල්බොරාදා හදන්නට හඳගමට වස්තු බීජය වීයැයි මා සිතන සිදුවීම සිදු වන්නේ මේ කාලය තුළයි.

පහත තිබෙන්නේ මේ ගැන කලකට පෙර ලියා පළ කළ ලිපියක්. එම ලිපියෙහි නෙරුදාගේ ස්වයං ලිඛිත චරිතාපදානයෙහි එන (මා විසින් පරිවර්තනය කළ) ඇල්බොරාදා වස්තු බීජයට අදාළ කොටසද තිබෙනවා.

ලාංකික කතක් දූෂණය කළ නොබෙල් ත්‍යාගලාභියා

Wednesday, March 25, 2020

තිස්ස නාගොඩවිතාන


අසූව දශකයේ මුල් කාලයේ සතියකට වරක් රූපවාහිණියෙන් සිංහල චිත්‍රපටියක් පෙන්නුවා. ඒ වන විට රූපවාහිණිය ලංකාව පුරා ව්‍යාප්ත වෙන්න පටන් අරන් තිබුණා පමණයි. අපේ ගෙදර රූපවාහිණියක් තිබුණේ නැහැ. මේ මැජික් පෙට්ටියෙන් පෙන්නන බයිස්කෝප් බලන්න අපි ගියේ ගමට මුලින්ම රූපවාහිණියක් ගෙනා අසල්වැසි නිවසකටයි. ඒ ගෙදර එළිපත්තේ සිට මිදුල දක්වා නරඹන්නන්ගෙන් පිරී තිබුණා.

සිංහල චිත්‍රපට දර්ශන වල කොනක වරින් වර දර්ශනය වන "ති.නා." අකුරු නිතර දැක ඒ ගැන කුතුහලයක් ඇති වුනේ ඔය දවස් වලමයි. "ති.නා." කවුද කියා විස්තර කරන්න වචන නාස්ති කරන එකේ තේරුමක් නැහැ. තිස්ස නාගොඩවිතානගේ සිංහල චිත්‍රපට සංරක්ෂණය කිරීමේ භූමිකාව ගැන කියවන අය අතර නොදන්නා කෙනෙක් නැතුව ඇති.

ලෝකයේ දස අතින්ම කොවිඩ්-19 මරණ වාර්තා වන මේ වෙලාවේ මරණය ගොඩක් ලාබ වී තිබුණත් තිස්ස නාගොඩවිතානගේ මරණය ගැන දැනගන්නට ලැබුණු විට කෙටි හෝ සටහනක් තැබිය යුතුයි කියා හිතුනා. ඔහු ගැන වඩා හොඳින් දන්න අය වැඩි විස්තර ලියයි. මට අනුවනම් ඔහු සුවිශේෂී වන්නේ වෙනත් අය අත නොගසන දෙයකට අත ගැසූ නිසයි. ඒ වැඩෙන් ඔහුට මුදල් ලැබෙන්න නැතිව ඇති. ඒ වුනත් ඔහු ව්‍යවසායකයෙක්. විශාල උපයෝගීතාවයක් ජනනය කළ හැකි නිකේතන වෙළඳපොළක් (Niche කියන වචනයට මේ පරිවර්තනය ගැලපෙනවද මන්දා) හඳුනාගත් දක්ෂ ව්‍යවසායකයෙක්.

තිස්ස නාගොඩවිතාන හැත්තෑව දශකයේ මුල් යුගයේදී බොහෝ දෙනෙක් දැන සිට තිබෙන්නේ ගායකයෙකු ලෙසයි. ඔහුට නිවන් සුව!




Thursday, January 31, 2019

ගින්දර සීතල වුනේ කොහොමද?


පටබැඳිගේ දොන් ජිනදාස නන්දසිරි විජේවීර හෙවත් කවුරුත් දන්නා විදිහට රෝහණ විජේවීරගේ ජීවිතය අලලා හැදූ "ගින්නෙන් උපන් සීතල" චිත්‍රපටය මේ දිනවල ලංකාවේ ප්‍රදර්ශනය වෙමින් තිබෙනවා. මෙය ඇමරිකාවේ ප්‍රදර්ශනය කළේ ලංකාවේ ප්‍රදර්ශනය කරන්නටත් පෙර වුවත්, ඒ මා ජීවත් වන පැත්තේ නොවන නිසා මට තවමත් මේ චිත්‍රපටය නරඹන්නට ඉඩක් ලැබී නැහැ. එවැනි ඉඩක් ලැබෙන දවසක් ගැන අදහසක්ද නැහැ. ඒ නිසා, චිත්‍රපටයේ අන්තර්ගතය ගැන කතා කිරීමේ හැකියාවක් මට නැහැ. කොහොම වුනත් මේ චිත්‍රපටය මේ වෙලාවේ මේ විදිහට හැදෙන පසුබිම ගැන කතා කිරීමට එය නරඹා නොතිබීම බාධාවක් නෙමෙයි.

මේ ලිපිය ලියන්නට පටන් ගත්තේ දින කිහිපයකට පෙරයි. ඒ රෝහණ විජේවීරගේ පුත් උවිඳු විදුර සමඟ කර තිබුණු මාධ්‍ය සාකච්ඡාවකට සවන් දීමෙන් පසුව. ලිපියට මාතෘකාව ලෙස මුලින්ම යෙදුවේ "සීතලෙන් උපන් ගින්දර" යන්නයි. ලිපිය පළ කරන්නටද පෙර ඒ මාතෘකාව යටතේම හෙන්රි වර්ණකුලසූරිය විසින් ලියා පළ කර තිබුණු ලිපියක් දක්නට ලැබුණා. එය චිත්‍රපටය පිළිබඳ විචාරයක්. හෙන්රි වර්ණකුලසූරිය යනු චිත්‍රපටයක් විචාරය කරන්නට අවශ්‍ය සුදුසුකම් මෙන්ම විජේවීරගේ දේශපාලනය පිළිබඳ අත්දැකීම්ද ඇති අයෙක්. මටනම් ඔය දෙකෙන් එකක්වත් නැහැ.

හෙන්රි මෙන්ම අජිත් පැරකුම්, මධ්‍යස්ථ මතධාරියා වැනි බ්ලොග්කරුවන් ඇතුළු තවත් අය ගින්නෙන් උපන් සීතල විඳ තමන් ලද  අත්දැකීම් බෙදාහදාගෙන තිබුණා. දේශපාලනිකව පුළුල් පරාසයක විසිර සිටින බොහෝ අය පොදුවේ එකඟ වන කරුණු කිහිපයක් පෙනෙන්නට තිබෙනවා. පළමු කරුණ, චිත්‍රපටයක් ලෙස මෙය හොඳ එකක් කියන එක. අද Cult බ්ලොගයේ දුටු විග්‍රහයනම් මීට වඩා වෙනස් එකක්. දෙවන කරුණ, මෙහි විජේවීරගේ දේශපාලනයට අඩු අවධානයක් යොමු කර ඔහුගේ පවුල් ජීවිතය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබෙන බව. මා හිතන පරිදි දෙවැන්න නිර්මාණකරු විසින් හිතාමතාම කර ඇති දෙයක්. කෙසේ වුවත්, මේ චිත්‍රපටය මිනීමරුවෙක් වන විජේවීරගේ චරිතය සුදු කරන්නට හැදූවක් බව කියන අයගේ සිට විජේවීර නම් වූ ශ්‍රේෂ්ඨ විප්ලවවාදියාගේ කාර්ය භාරය අවතක්සේරු කරමින් ඔහුව පූස් පැටියෙක් කරන නිර්මාණයක් බව කියන අය දක්වා තවත් විවිධ අය සිටිනවා.

විජේවීර චරිතය ලංකාවේ දේශපාලන ඉතිහාසයෙන් මකා දැමිය හැකි චරිතයක් නොවෙයි. ඒ අතරම, අප අමතක නොකළ  යුත්තේ ඉතිහාසය කියන්නේ නිශ්චිත දෙයක් හෝ අතීතයේ යම් දිනක සැබෑවටම සිදු වූ දෙයක් නොවන බවයි. ඉතිහාසය යනු වර්තමානයේ අප දන්නා හා අප විශ්වාස කරන තොරතුරු මත පදනම්ව අතීතය ලෙස අප එකිනෙකා විසින් වර්තමානයේදී මවා ගන්නා දේවල් පමණයි. ඒ නිසා, අප එකිනෙකා ඉතිහාසය ලෙස හඳුනා ගන්නේ එකම දෙයක් නොවයි. මෙය විජේවීර චරිතයට හා ඔහුගේ දේශපාලනයටද අදාළයි.

අද වන විට විජේවීරගේ උරුමයට අයිතිවාසිකම් කියන ප්‍රධාන පාර්ශ්ව අඩු වශයෙන් තුනක් සිටිනවා. පළමුව, ඔහුගේ බිරිඳ හා දරුවෝ. දෙවනුව, ජවිපෙ. තෙවනුව, ජවිපෙන් කැඩී ගිය පෙරටුගාමී පක්ෂය. මේ පාර්ශ්ව තුන අතරින් සාමාන්‍ය ජනතාව වැඩිපුරම විජේවීර උරුමය සමඟ සම්බන්ධ කර දකින්නේ ජනතා විමුක්ති පෙරමුණයි.

ගින්නෙන් උපන් සීතල යනු වාර්තා චිත්‍රපටයක් නොවෙයි. එය වාර්තා චිත්‍රපටයක් වුවද අවසාන වශයෙන් වාර්තා විය හැකිව තිබුණේ විජේවීර සේ නිර්මාණකරු විසින් හඳුනාගත් හෝ නිර්මාණකරුට විජේවීර සේ පෙන්වන්නට අවශ්‍ය වූ චරිතය මිස සැබෑ විජේවීර චරිතයම නොවිය හැකිව තිබුණා. සැබෑ චරිතයක් පාදක කරගත් කලා නිර්මාණයකදී කොහොමටත් වෙන්නේ ඒ ටිකයි.

විජේවීර වැනි දේශපාලනික චරිතයක් ඒ අයුරින් චිත්‍රපටයක් තුළ ප්‍රතිනිර්මාණය කිරීම කෙතරම් අභියෝගාත්මක කරුණක්ද යන්න කිව යුතු නැහැ. දුටුගැමුණු හෝ පණ්ඩුකාභය ඇසින් දුටු අය නැතත් රෝහණ විජේවීරව ලඟින් ඇසුරු කළ අය තවමත් ජීවතුන් අතර සිටිනවා. විජේවීරගේ උරුමය ඉදිරියට රැගෙන යන ප්‍රධාන පාර්ශ්ව දෙක සේ සැලකිය හැකි ජවිපෙට හා විජේවීර කුටුම්භයට සතුටු විය හැකි මට්ටමකින් විජේවීර චරිතය ගොඩ නගන්නට නිර්මාණකරු සමත්ව ඇති බව පෙනනවා. පෙරටුගාමී පක්ෂය මෙය කෙළෙස දකිනවාදැයි මා දන්නේ නැහැ.

අද ජවිපෙ කියන්නේ විජේවීර විසින් හදපු ජවිපෙම නෙමෙයි. එහි ඇති වරදක් නැහැ. ජවිපෙ වගේම ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ වන එජාප හා ශ්‍රීලනිපත් කාලයත් එක්ක පරිණාමය වී තිබෙනවා. වැරැද්ද දේශපාලන පක්ෂයක් ඒ විදිහට පරිණාමය නොවනවානම් මිස පරිණාමය වීම නොවෙයි.

ලංකාවේ රාජ්‍ය බලය බලහත්කාරයෙන් පැහැර ගැනීමේ අරමුණින්ම ගොඩ නගනු ලැබූ ජවිපෙ අද වන විට මැතිවරණ හරහා බලයට පත් වෙන්න බලාගෙන සිටින පක්ෂයක්. විජේවීර ජීවත්ව සිටින කාලයේදීම ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ ක්‍රියාත්මක වෙමින් මැතිවරණ වලට ඉදිරිපත් වුණා. එසේ කළේ විප්ලවයකින් බලය අල්ලා ගැනීමේ අරමුණ අත නොහැර තාවකාලික උපක්‍රමයක් ලෙසද එසේ නැත්නම් අවංකවම ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කළ නිසාද කියන එක පැහැදිලි නැහැ.

විජේවීර මරණයට පත් වුණේ දෙවන වරටත් බලහත්කාරයෙන් රාජ්‍ය බලය පැහැර ගන්න දැරූ උත්සාහය අසාර්ථක වීම තුළයි. දෙවන වර ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදයෙන් බැහැර වීමට ජේආර් ජයවර්ධන විසින් එම පක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තුළ කටයුතු කිරීම අවහිර කිරීම සෑහෙන තරමකට හේතු වුණා. කොහොම වුනත් විජේවීර විසින් ජවිපෙ හැදුවේම ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය එළිපිටම ප්‍රතික්ෂේප කරන පක්ෂයක් විදිහටයි.

අද ජවිපෙ විවෘතව ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටින පක්ෂයක්. නමුත්, එදා මෙන්ම අදත් ජවිපෙ පෙනී සිටින්නේ නිදහස් වෙළඳපොළට විරුද්ධව, මාක්ස්-ලෙනින්වාදය අනුව යමින්, ටික දෙනෙකු විසින් රටේ අනෙක් අය පරිභෝජනය කළ යුතු දේ තෝරා දෙන ආර්ථික ක්‍රමයක් වෙනුවෙනුයි.

ජවිපෙ කියන්නේ ලංකාවේ පළමු හෝ වඩාත්ම ශක්තිමත්ව පැවතුණු මාක්ස්වාදී පක්ෂය නෙමෙයි. මතක තිබෙන ආකාරයට ජවිපෙ විසින් කිසිදු මැතිවරණයකදී තනිව තරඟ කර 10% ඉක්මවන ඡන්ද ප්‍රතිශතයක් ලබා නැහැ. 2001 මැතිවරණයේදී ඔවුන් විසින් ලබාගත් 9.1% ඡන්ද ප්‍රතිශතය ජාතික මැතිවරණයකදී ඔවුන් විසින් ලබාගත් වැඩිම ඡන්ද ප්‍රතිශතය කියා මා හිතනවා.

මෙයට සාපේක්ෂව ලංකා සමසමාජ පක්ෂය 1952 මහ මැතිවරණයේදී 13.1%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. එම ප්‍රතිශතය 1956 වෙද්දී 10.4% දක්වාත්, 1970 වෙද්දී 8.7% දක්වාත් අඩු වුණා. මේ විදිහටම ලංකාවේ අනෙක් මාක්ස්වාදී පක්ෂය වූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ඡන්ද පදනමත් ක්‍රමයෙන් දිය වී යද්දී, ලසසප හා කොප වෙත ආකර්ශනය විය හැකිව තිබුණු තරුණ ඡන්ද වලින් කොටසක් තමන් වෙත ආකර්ශනය කරගන්න ජවිපෙ සමත් වුනා.

කෙසේ වුවත්, 1982 ජනාධිපතිවරණයේදී රෝහණ විජේවීර ලබාගත්තේත් 4.2%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. විජේවීර ජීවත්ව සිටියදී කවදාවත් ඔහුට ලසසප වැනි පැරණි වාමාංශික පක්ෂයකට වූ තරමේ ජනසහයෝගයක් ජවිපෙ වෙත ලබාගන්න පුළුවන් වුණේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තුළ විජේවීර ජීවත්ව සිටියදීට වඩා විජේවීරගේ මරණයෙන් පසුව ජවිපෙ භූමිකාව ප්‍රබලයි. නමුත්, ජවිපෙ තවමත් 1950 දශකයේදී ලසසප සිටි තැනටවත් පැමිණ නැහැ.

පළමු කැරැල්ල ආරම්භ කරද්දී ජවිපෙට ජනසහයෝගයක් නොවූ තරම්. එවැනි පක්ෂයක් ගැන රටේ මිනිස්සු දැනගෙන හෝ හිටියේ නැහැ. නමුත්, එසේ වූ පමණින්ම 71 කැරැල්ල (ජවිපෙ පැත්තෙන් බැලූ විට) තනිකරම මෝඩ වැඩක් කියා කියන්න බැහැ. ලෝකයේ ඇතැම් රටවල එවැනි කැරළි ජයග්‍රහණයෙන් කෙළවර වී තිබෙනවා. ජවිපෙට යම් හෙයකින් 1971දී රටේ පාලන බලය අල්ල ගන්න හැකි වුනානම් ඒ බලය පවත්වාගැනීමත් කළ හැකිව තිබුණා. එසේ වූවානම් ජවිපෙට ජනසහයෝගය තිබෙනවාද නැද්ද යන්න වැදගත් කරුණක් වන්නේ නැහැ. කොහොම වුනත්, ප්‍රමාණවත් ජනසහයෝගයක් නැති වීම හා සමගි පෙරමුණේ ජනප්‍රියත්වය ගිලිහී නොතිබීම පළමු කැරැල්ල බිඳ වැටෙන්න ප්‍රධාන හේතුවක් වුණා. බොහෝ තැන් වලදී සාමාන්‍ය ජනතාව "චේ ගුවේරා කාරයින්" ගැන ආරක්ෂක අංශ වලට ඔත්තු දුන්නා.

දෙවන කැරැල්ල අවස්ථාවේදී ජවිපෙ ඉහත කරුණු දෙකම ගැන අවධානය යොමු කර තිබෙන බව පෙනෙනවා. ඒ වන විට අවුරුදු 11ක් බලයේ රැඳී සිට තිබුණු ජේආර්ගේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය හොඳටම අඩු වෙලා තිබුණා. එහි වාසිය ගන්නා අතරම ජනසහයෝගය ලබා ගැනීමේ අරමුණින් ජවිපෙ සාමාන්‍ය ජනතාව භීෂණයට පත් කළා. ඒ හරහා ජවිපෙට එරෙහි විය හැකි හා ආරක්ෂක හමුදා වලට ඔත්තු දීමට ඉඩ තිබුණු අයගේ කටවල් වැහුවා. මේ උපක්‍රමය යම් තරමකින් සාර්ථක වුනා කියා කියන්න පුළුවන්. ජවිපෙ සේ සැක කර ජවිපෙ නොවන තරුණයින් පවා මරා දමන තැනට ආණ්ඩුව තල්ලු වුනේ ආරක්ෂක හමුදා වලට ජවිපෙ සාමාජිකයින් පිළිබඳ සැබෑ තොරතුරු හොයා ගැනීම අමාරු වූ නිසයි. ආණ්ඩුව එසේ කරද්දී තමන් වෙත ලැබෙන ජනසහයෝගය වැඩිවනු ඇතැයි ජවිපෙ නායකත්වය හිතන්න ඇති.

ජවිපෙ වෙත වැඩිම ජනසහයෝගයක් ලැබුණු කාලය ලෙස හඳුන්වන්න පුළුවන් වෙන්නේ විමල් වීරවංශ ජවිපෙන් කැඩී යන්න ආසන්න කාලයයි. ඒ කාලය වෙද්දී මාක්ස්වාදීන්ම නොවූ වෙනත් කොටස් පක්ෂය වෙත ආකර්ෂණය කරගන්න ජවිපෙ සමත් වුණා. නමුත්, මේ කාලය වෙද්දීත් ජවිපෙ දාගෙන හිටි ප්‍රජාතන්ත්‍රවාදී වෙස්මූණ බොරුවක් බව බොහෝ දෙනෙක්ට පැහැදිලි වුනේ පෙසපෙ කණ්ඩායම කැඩී යාමෙන් පසුවයි.

ජවිපෙන් කැඩී යන්න ආසන්න කාලයේ සිටි තැනට ජවිපෙ ඉන්පසුව හෝ ඉන් පෙර විජේවීරගේ කාලයේදී කිසිවිටෙකත් ලඟා වී නැහැ. ඒ කාලයේදී පවා 1950 දශකයේදී ලසසපය සිටි තැනට ලඟා වී නැහැ. ලංකාවේ ඡන්දදායකයින් අතර සමාජවාදී ප්‍රතිපත්ති වලට තිබෙන ඉල්ලුම 1950 කාලයේදී 20% පමණ මට්ටමේ තිබී ඇතත් දැන් එය වැඩිම වුනොත් 5%කට වඩා වැඩි නැහැ. ඒ නිසා, සමාජවාදී පක්ෂයකට සමාජවාදය ඉස්සරහට දමා මැතිවරණ ජයග්‍රහණයක් ලබන්න තිබෙන හැකියාව කැරැල්ලකින් රාජ්‍ය බලය පැහැර ගන්න තිබෙන ඉඩකඩටත් වඩා අඩුයි.

විමල් වීරවංශ වැනි අය මුල් වී ජවිපෙ ඉදිරි සීමාව (frontier) පුළුල් කළේ ජාතිකවාදය උදවු කරගනිමිනුයි. ඒ වන විට චන්ද්‍රිකාගේ ශ්‍රීලනිපය හෝ එජාපය යන පක්ෂ දෙකෙන් එකකවත් ජාතිකවාදී නැඹුරුවක් නොතිබීම එයට උදවුවක් වුණා. නමුත්, දැන් මහින්ද ඉඳිද්දී ඒක කරන්න බැහැ. ජවිපෙට ඉස්සරහට යන්නනම් සමාජවාදය හැර වෙන මොනවා හෝ ආකර්ශනීය දේවල් ටිකක් අවශ්‍යයි. ජවිපෙට නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින්න වී තිබෙන්නේ ඒ අනුවයි.

කොහොම වුනත්, මේ කාර්යයේදී ජවිපෙ කරන්නේ බොරුවක් කියා කියන්න බැහැ. මම හිතන විදිහට පෙසප කණ්ඩායම ඉවත් වීමත් එක්ක කරපු බොරුව නැවතුණා. විජේවීර පක්ෂය හැදුවේ නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය පැත්තකට විසි කරමින් වුවත් නැවත එතැනට වැටෙන්න අමාරු තරමට විජේවීර ක්‍රමයෙන් ජවිපෙ ඈත් වෙලා ඉවරයි.

නමුත්, ජවිපෙට විජේවීරව අහක දාන්නත් බැහැ. මොකද නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් රටේ ප්‍රධාන පක්ෂ දෙකමත් පෙනී සිටිනවා. ඊට අමතරව ඒ පක්ෂ දෙක නිදහස් වෙළඳපොළක් වෙනුවෙනුත් පෙනී සිටිනවා. වෙනස්කම් තිබෙන්නේ ප්‍රායෝගික භාවිතාවේ.

ජවිපෙට තමන් අනෙක් පක්ෂ දෙකෙන් වෙනස් බව පෙන්වන්න සහ විජේවීර ප්‍රතිපත්ති වලින් දුරස් වී නැතිබව පෙන්වන්න යම් තරමකට හෝ වෙළඳපොළ ප්‍රතික්ෂේප කරන්න වෙනවා. නමුත් එහෙම කරලා 5% සීමාවට එන්නත් අමාරුයි. ඒ නිසා, නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ප්‍රධාන පක්ෂ දෙකට වඩා වැඩියෙන් පෙනී සිටින්නත් වෙනවා.

මැතිවරණ තරඟය ඇතුළේ ඉස්සරහට එන්න නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටීම අවශ්‍යයි. එසේ කරද්දී පක්ෂයෙන් ගිලිහෙන කොටස මේ වන විටත් පෙසප එක්ක ඉවත් වෙලා ඉවරයි. ඒ නිසා ඒකේ අවුලක් නැහැ. නමුත්, විජේවීර ලකුණ අත ඇරියොත් ඉන්න අයගෙන් සෑහෙන කොටසක් හැලෙනවා. අල්ලපු අත්ත නවා ගන්න ගිහින් පය ගහපු අත්තෙන් බිමට වැටෙන්න බැහැ. ඒ නිසා සමාජවාදය හරි තියාගන්න ඕනෑ.

විජේවීරගේ ඇත්ත ප්‍රතිරූපය ඉස්සරහට දමලා ජවිපෙ දැන් හිරවෙලා ඉන්න තැනින් ඉස්සරහට යන්න අමාරුයි. ඒ වැඩේට ඕනෑ කරන්නේ දැනට ජවිපෙ ඇතුලේ ඉන්න අයට වගේම මැතිවරණයක් දිනීම සඳහා ඇතුළට ගන්න අවශ්‍ය කණ්ඩායමටත් එක සේ පිළිගත හැකි ටිකක් වෙනස් විජේවීර කෙනෙක්. සමාජවාදී වුවත්, නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින, මළ ගෙදරකදී ඕමියකට සෙට් වෙන්න ඉඩ තිබෙන, යහපත් පවුල් ජීවිතයක් ගත කරන, ගින්දර වගේ වැඩ තිබුණත් ඇතුළෙන් සීතල මනුස්සයෙක්. ඒ මනුස්සයා ඇත්ත විජේවීරද නැද්ද කියන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.

අනුරුද්ධ ජයසිංහගේ චිත්‍රපටිය ජවිපෙ කොන්ත්‍රාත්තුවක් කියා මම කියන්නේ නැහැ. එය ස්වාධීන නිර්මාණයක් වෙන්න ඇති. හැබැයි ඔහු වෙළෙඳපොළ ගැන නොහිතා මේ චිත්‍රපටිය හැදුවා කියන්න බැහැ. චිත්‍රපටියේ ඉන්නේ මේ වෙලාවේ ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ගැන කළ කිරී සිටින, ජවිපෙ සාමාජිකයින් නොවන අය ඉල්ලන රෝහණ විජේවීර. ඒ රෝහණ විජේවීර එක්ක පෙසපෙ එක්ක නොගිහින් ඉතුරු වෙලා ඉන්න ජවිපෙ සාමාජිකයින්ටත් අවුලක් නැහැ.

කොහොම වුනත්, විජේවීරගේ ගින්දර හීතල කරලා මාකට් කරන එක හිතන තරම්ම පහසු නැහැ. නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය කියන කරුණු දෙක ගැන වගේම පෞද්ගලික දේපොළ අයිතිය කියන එක ගැනත් ලංකාවේ ගොඩක් අය සංවේදීයි. හොඳම උදාහරණය විදිහට විජේවීර කුටුම්භයම පෙන්වන්න පුළුවන්.

විජේවීරගේ බිරිඳ සෘජුවම තමන්ගේ සැමියාගේ, දරුවන්ගේ තාත්තාගේ, උරුමය ඉල්ලා සිටිනවා. ජවිපෙට කෙසේ වුවත් ඇයට හා විජේවීරගේ දරුවන්ට රෝහණ විජේවීර පොදු දේපොළක් නෙමෙයි. උවිඳුටත් ජවිපෙ එක්ක ප්‍රශ්න තිබෙන බව පැහැදිලියි. ඇත්තටම මේ ප්‍රශ්න ඔවුන්ගේ පෞද්ගලික ප්‍රශ්නම නෙමෙයි. ජවිපෙ තවමත් පෙනී සිටින සමාජවාදයේ ප්‍රශ්න. ඒ නිසා, චිත්‍රපටය හරහා හැදෙන විජේවීරගේ අලුත් ප්‍රතිරූපය එක්ක වුනත් ජවිපෙට මහා දුරක් යන්න අමාරුයි.

Wednesday, December 26, 2018

මාලිනා හා මාලිලා


නත්තල් දවසේ එක දිගට චිත්‍රපට තුනක් බැලුවා. අලුත්ම චිත්‍රපට කියා කිවහැකි මේ තුනේම යම් සමානතා වගේම වෙනස්කමුත් තිබෙනවා. ආසියානු රටවල් තුනක  සංස්කෘතික පරිසර තුනක හැදුණු,  මිනිස් මනස තුළට කිඳා බහින, තරමක් දුරට නාට්‍යාකාරී එහෙමත් නැත්නම් අධි-තාත්ත්වික රංගනයන් තිබෙන, සිනමා නිර්මාණ ලෙස ගත්තහම හොඳයි කියන්න පුළුවන් නිර්මාණ තුනක්. බටහිර ඇහැකින් බැලූ විට චිත්‍රපට තුනේම තිබෙන්නේ ආගන්තුක සංස්කෘතික පසුබිම් තුනක් වුවත් ඒ තුන එකිනෙකට හාත්පසින්ම වෙනස්.

පළමුව බැලුවේ ඝරසර්ප. ඒ ගැන කිහිප දෙනෙක්ම කලින් ලියා තිබෙන නිසා වැඩි යමක් ලියන්නේ නැහැ. දෙවැන්න මාලිනා  (Marlina). ඉන්දුනීසියානු චිත්‍රපටයක්. තුන්වැන්න මාලිලා (มะลิลา) තායි චිත්‍රපටියක්.

මාලිනා හා මාලිලා චිත්‍රපට දෙකම දැනටත් සම්මාන ගණනාවක් දිනා තිබෙනවා. මේ නම් එක කිට්ටුවෙන් ශබ්ද වුවත් එය අහම්බයක්. මාලිනා කියන්නේ චිත්‍රපටයේ කථානායිකාවගේ නම. චිත්‍රපටයේ සම්පූර්ණ නම "මිනීමරු මාලිනා ගැන ජවනිකා හතරකින්"(Marlina the Murderer in Four Acts). මාලිලා යන්නේ අදහස මම හිතන විදිහට "පිච්චමල". ඉංග්‍රීසි ටයිටලය "සමුගැනීමේ මල" (The Farewell Flower).

මාලිනා ස්ත්‍රීවාදී චිත්‍රපටයක්. කතාව දිග හැරෙන්නේ ඉන්දුනීසියාවේ සුම්බා දූපතේ. මේ දූපත ආර්ථික හා සමාජයීය අතින් පසුගාමීම ප්‍රදේශයක්. ඉන්දුනීසියාව ලෝකයේ වැඩිම ඉස්ලාම් ජනගහනයක් සිටින රට වුවත් සුම්බා දූපත ඉස්ලාම් ආගමිකයින් වැඩිපුර සිටින ප්‍රදේශයක් නෙමෙයි. දූපතටම ආවේනික "මරාපු" ආගම ආගමක් සේ නොසලකන නිසා බොහෝ දෙනෙක්ට ඉස්ලාම් හෝ ක්‍රිස්තියානි ආගමක් තමන්ගේ ආගම සේ හඳුන්වා දෙන්න සිදු වී තිබුනත් මේ ගොඩක් අය "හදවතින්ම මරාපු". සම්ප්‍රදායික "මරාපු" ආගම විස්ථාපනය කරමින් විවිධ ක්‍රිස්තියානි ආගම් දූපතේ ව්‍යාප්ත වෙමින් තිබෙනවා. මේ කරුණු ටික චිත්‍රපටයේ පෙන්වන්නේ නැහැ.

මාතෘකාවෙන් කියවෙන ආකාරයෙන්ම චිත්‍රපටය ඉදිරිපත් කරන්නේ ජවනිකා හතරක් ලෙසයි. කොල්ලකෑම, ගමන, පාපොච්ඡාරණය හා උපත ලෙස මේ ජවනිකා නම් කර තිබෙනවා.

සත්ත්ව ගොවිපොලක ජීවත්වන මාලිනා ඇගේ සැමියාගේ මරණය ගැන කම්පා වෙමින් තනිව සිටිද්දී ගහෙන් වැටුණු ගෑණිට ගොනා ඇන්නාක් මෙන් මාකස් ප්‍රධාන මැරවරයන් හත් දෙනෙක් ඇගේ ගොවිපොළට කඩාවදිනවා. ඔවුන්ගේ අරමුණ වන්නේ ඇගේ සතුන් පැහැරගෙන ඇයව සමූහ දූෂණයකට ලක් කිරීමයි. මුලින්ම ඇයට සිදුවෙනවා මේ මැරවරයින් වෙනුවෙන් කෑම පිළියෙළ කරන්න. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් ඇය රසවත්ව උයන කුකුළුමස් සූපයට වස මුසුකරන නමුත් ඊට පෙර ෆ්‍රාන්ස් ඇතුළු මැරවරයන් දෙදෙනෙකු ඇගේ සතුන්ද ලොරියක පටවාගෙන ගොවිපලෙන් පිටත් වෙනවා.

වයස්ගත මාකස් ඇතුළු කාමරයේ ඇඳේ සිටියදී මාලිනා ඉතිරි කොල්ලකරුවන් සිවුදෙනාට වස සහිත අවසන් භෝජනය පිළිගන්වනවා. එහෙත්, මාකස්ගෙන් ගැලවෙන එක ඇයට පහසු වෙන්නේ නැහැ. මාකස් වෙත ලිංගික සන්තර්පණය සපයන අතරම මස් කපන ලොකු පිහියක් ක්ෂණිකව අතට ගන්නා මාලිනා එක පහරකින් ඔහුගේ හිස කඳින් වෙන් කරනවා. ඉන් පසුව, කිරි හට්ටියක් සේ මාකස්ගේ හිස ලණු බෑගයක දමා එල්ලා ගන්නා මාලිනා පොලීසිය වෙත පිටත් වෙනවා.

නගරයට යන බසයේදී මාලිනාට ගැබ්බර නොවීව හමුවෙනවා. දරු උපතට කාලය එළැඹ අවසන් වුවත් කලලයේ හිස පහතට හැරී නැති නිසා ඇගේ දරු උපත පමාවෙමින් තිබෙනවා. මේ ආකාරයෙන් දරු උපත පමා වන්නේ දරුවා අවජාතකයෙකු වීම නිසායැයි විස්වාස කරන නොවීගේ සැමියා උම්බු ගෙදර එන්නේ නැහැ. නොවී ඔහුව සොයාගෙන යනවා.

නගරයට යන අතරතුරදී මොවුන්ට කලින් පිටත් වූ කොල්ලකරුවන් දෙදෙනා හමු වෙනවා. මාලිනා විසින් මාකස්ව ඝාතනය කර ඇති බව දැනගන්නා ඔවුන්, මාලිනා ගමන් කළ බසය පැහැර ගන්නා නමුත් මාලිනා අසෙකු පිට නැගී පලායන්නට සමත් වෙනවා. ඇය ඉතා අසීරුවෙන් පොලීසියට ගොස් දූෂණයට හා කොල්ලකෑමට ලක් වූ බවට පැමිණිල්ලක් ඉදිරිපත් කළත් පොලීසිය කිසිදු ක්ෂණික ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ. ඔවුන් කියන්නේ ඇයව දූෂණයට ලක්ව ඇති බව පරීක්ෂා කිරීමට වෛද්‍ය ගාස්තු ගෙවීම වෙනුවෙන් ප්‍රතිපාදන නැති නිසා හා වෙනත් වැඩ තිබෙන නිසා පැමිණිල්ල විභාග කරන්නට මාසයක්වත් කල් ගත වනු ඇති බවයි.

මේ අතර නොවීව ප්‍රාණ ඇපකරුවෙකු කරගන්නා ෆ්‍රාන්ස් ඇය ලවා දුරකථන ඇමතුමක් ලබා දී මාකස්ගේ හිස සමඟ මාලිනාව නැවත ඇගේ නිවසට ගෙන්වා ගන්නවා. එහිදී නොවීට කෑම පිළියෙළ කරන්නට අණ කරන ෆ්‍රාන්ස් මාලිනාව දූෂණය කරද්දී නොවී පැමිණ ෆ්‍රාන්ස්ගේ හිස කඳින් වෙන් කරනවා. මේ වන විටත් දිය බෑගය සිදුරුව සිටින ඇය පසුව මාලිනාගේ උදවුවෙන් ඇය සිය දරුවා වදනවා.

මාලිලා ජීවිතයේ අනිත්‍යය හා මරණය ගැන අවධානය හෙළන ථෙරවාද බෞද්ධ පසුබිමක් තිබෙන කතාවක්. දිනෙක කුණු වී, පණුවන් ගසන සිරුරට ලොබ බැඳීම ගැන කියන කතා බෞද්ධ සාහිත්‍යයේ සුලබයි. එහෙත්, මේ කතා බොහොමයක ඒ විදිහට කතා වෙන්නේ ගැහැණු සිරුරකට ලොබ බඳින පිරිමියෙක් ගැනයි. එයින් වෙනස්ව මාලිලාහි කතාව ගලායන්නේ සමලිංගික සම්බන්ධයක් වටා.

සමලිංගික පෙම්වතුන් යුවලක් වන ෂේන් හා පිච් දෙන්නාගෙන් පිච් ගම හැර යනවා. ඉන් පසුව, ෂේන් විවාහ වී දියණියකද ලබන නමුත් ඇයව පිඹුරෙකු විසින් ගොදුරු කරගැනීමත්, පසුව මත්පැනට ඇබ්බැහි වන ඔහුව හැර දමා බිරිඳ පිටත්ව යාමත් නිසා ජීවිතය ගැන කලකිරෙන ෂේන් තාවකාලික පැවිද්ද ලබා ගැනීමට අසපුවකට පැමිණෙනවා.

මේ අතර, නගරයට යන පිච්ට පෙනහළු පිළිකාවක් වැලඳෙනවා. විකිරණ ප්‍රතිකාර වලින් ඔහුගේ සිරුර කෘෂ වී, කෑම රුචිය නැති වී, කෙස් හා ලොම් හැලී ගියත් පිළිකාව සම්පූර්ණයෙන් සුව වන්නේ නැහැ. වෛද්‍යවරුන් තවත් වටයක් විකිරණ ප්‍රතිකාර ලබා ගත යුතු බව කියද්දී බටහිර ප්‍රතිකාර අත්හැර දමන පිච් සම්ප්‍රදායික ප්‍රතිකාර කෙරෙහි යොමු වෙනවා. විකිරණ ප්‍රතිකාර නැවැත්වීමෙන් පසුව ඔහුගේ අතුරු ආබාධ නැතිව යනවා.

හිතේ සැනසිල්ල පතා ෂේන් සිටින අසපුවටම පැමිණෙන පීච් කරන්නේ කෙසෙල් කොළ වලින් හා පිච්චමල් වලින් "බායි ශ්‍රී" සැරසිලි හදමින් ගඟේ පාකර යැවීමයි. එසේ කිරීමෙන් ඔහුට සහනයක් දැනෙනවා. මේ අතර පීච් හා ෂේන් අතර පෙර වූ සම්බන්ධය නැවත අළුත් වෙනවා. පීච්ගේ පෙනහළු පිළිකාව මේ වන විට සුව වී තිබෙනවා විය යුතුයැයි ෂේන් හිතනවා. තාවකාලික පැවිද්ද අවසන් කිරීමෙන් පසුව තමන් හා ජීවත් වීමට පැමිණෙන ලෙස ෂේන් පීච්ට ආරාධනා කරනවා. කෙසේ වුවත්, පීච්ගේ පිළිකාව ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබෙනවා. හදිසියේම දවසක ඔහු මිය යනවා.

කතාවේ දෙවන කොටසේදී ෂේන් තාවකාලික පැවිද්ද වෙනුවට ස්ථිර පැවිදි ජීවිතයක් තෝරා ගන්නවා. පැවිදි වන්නට පෙර විශ්‍රාමික හමුදා කර්නල් වරයෙකුව සිට ඇති සන්චායි භික්ෂුවද සමග ඔහු ආරක්ෂක හමුදා භාරයේ තිබෙන වනගත ප්‍රදේශයකට යනවා. මේ ප්‍රදේශයේ මළ මිනී තිබෙන්නට ඉඩ තිබීම එයට හේතුවයි. ඔවුන්ගේ භාවනාවට නිමිත්ත වෙන්නේ කුණු වී පණුවන් ගසන මළ සිරුරක්. කෙසේ වුවත්, භාවනාව නුපුරුදු ෂේන්ට මිනිය දුටුවනම ඔක්කාරය හැදෙනවා.

චිත්‍රපටය අවසන් වෙද්දී ෂේන්ට මළ මිනිය තුළින් පීච්ව පෙනෙනවා. ඉන්පසු මළ මිනිය සෙලවී එතුළින් පීච් නැගිට එන්නාක් වැනි දෘෂ්ඨි මායාවක්ද ඔහුට පේනවා. ඔහු තමන්ට පෙනෙන ෂේන්ව වැළඳගන්නවා. එහෙත් ඔහු සැබවින්ම වැළඳගන්නේ ඔහු ඉදිරිපිට තිබෙන කුණුවී ගඳ ගසන මළ සිරුරයි.

මාලිනා හා මාලිලා යන චිත්‍රපට දෙකම ඇමරිකාවේ ප්‍රදර්ශනය කෙරුණු චිත්‍රපට. එහිදී සංක්‍රමනික තායි හා ඉන්දුනීසියානු ප්‍රේක්ෂකයින්ව ඉලක්ක කර ඇතැයි මා හිතන්නේ නැහැ. බොහෝ විට ඉලක්කය පොදු ඇමරිකානු ප්‍රේක්ෂකයා විය හැකියි. වෙනත් සංස්කෘතියක් මත පාදක වූ චිත්‍රපටයක් ඇමරිකාවේදී සාර්ථකව ප්‍රදර්ශනය වේනම් එයින් අදහස් වන්නේ අදාළ සංස්කෘතිය පිළිබඳව සාමාන්‍ය ඇමරිකානුවන්ගේ ආකල්ප සමඟ චිත්‍රපටයේ අන්තර්ගතය සුසර වන බවයි.

Saturday, September 29, 2018

අවංක පෙම්වතාට සල්ලි නැත්තේ ඇයි?


පසුගිය ලිපිය පිළිබඳව කිහිප දෙනෙක්ම ප්‍රසාදය පළ කරල තිබුණා. විශේෂයෙන්ම එක් මානවිකාවක් ලෙස අදහස් දක්වන හිතවතිය (කෙටියෙන් එමා කියමු. මේ කෙටි කිරීමට අකැමැතිද දන්නේ නැහැ), පැතුම්, සෙන්නා හා උදය ඇතුළු තවත් අය, පළමු කී දෙන්නා දීර්ඝ ලෙස, ඔවුන්ගේ අදහස් එකතු කරලා තිබුණා. මේ අදහස් ඇතුළේ තවත් බෝල හදන්න අවශ්‍ය නූල් කෑලි සෑහෙන්න තියෙනවා. ප්‍රතිචාර දැමූ සියල්ලන්ටම ස්තුතියි!

ප්‍රතිචාර සේ ලියැවී තිබෙන ගොඩක් දේවල් ගැන අඩු වැඩි වශයෙන් එකඟ වෙන්න පුළුවන්. සමහර අයට මේ ප්‍රතිචාර වලින් කියා ඇති දේවල් හා ලිපියේ කරුණු අතර පරස්පර පෙනෙනවනම් ඒ මේ දේවල් අතර තිබෙන සම්බන්ධය පැහැදිලිව නොපෙනීම නිසා වෙන්න පුළුවන්.

ගොඩක් අය ප්‍රසාදය පළ කරපු ලිපියකින් පසුව ඒ හා අදාළවම තවත් ලිපි ලියා කරුණු එකතු කරන්න ගියාම වෙන්නේ මුලින් වූ ප්‍රසාදය දියාරු වෙලා ගිහින් අර කලින් ආපු කික් එක නැති වෙන එකයි. ඒ වුණත්, ඉතිං කමක් නෑ. අපි අපිමනේ! මම කිවුවේ දැන් මේක කියවන ගොඩක් අය නිතර මෙහි යන එන අය මිසක් ආගන්තුකයෝම නෙමෙයිනේ...

"ටෙලි නාට්‍ය, චිත්‍රපටි වලත් ගොඩක් වෙලාවට ව්‍යාපාරිකයා බිස්නස් ගැන විතරක් හොයන බිසී කෙනෙක් කරලා, එයාගේ බිරිඳ හා දරුවන් පාලුවෙන් කාන්සියෙන් ඉන්න අවස්ථා ගොඩනගනවා වැඩිපුර. අවංක පෙම්වතා ගොඩක් වෙලාවට දුප්පත්."

මෙහෙම කියන්නේ අපේ එමා. ඇත්ත නේද කතාව?

මට මෙතැන තිබෙන වැදගත් කරුණ මේක මේ විදිහට වෙන්නේ ඇයි කියන එකයි.

ටෙලි නාට්‍ය, චිත්‍රපටි කියන්නෙත් මූලික වශයෙන් ආදායම් ඉපදවීම මුල් කරගත් කර්මාන්ත. මේවා වෙනුවෙන් ආයෝජනය කරන අයට මුදල් හෙවීමට අමතරව වෙනත් අරමුණුත් තිබෙනවා වෙන්න පුළුවන්. නමුත්, එයින් අදහස් වෙන්නේ නැහැ මුදල් හෙවීමේ අරමුණක් නැති බව. ඔය ටෙලි නාට්‍ය, චිත්‍රපටි වලට සම්බන්ධ වන හැම දෙනෙක්ම වාගේ මේ කටයුතු හරහා තමන්ට කිසියම් මුදල් වාසියක් ලැබෙනවාට කැමතියි.

ටෙලි නාට්‍ය, චිත්‍රපටි ආදියෙන් මුදල් ලාභ ලබන්නනම් මේවා ජනප්‍රිය වෙන්න ඕනෑ. වෙනත් විදිහකින් කියනවානම් මේවා නැරඹීම වෙනුවෙන් ආවස්ථික පිරිවැයක් දරන්න කැමති විශාල පිරිසක් රටේ ඉන්න ඕනෑ.

ටෙලි නාට්‍ය හා අදාළව මේ මුදල් ප්‍රවාහය සිදුවෙන්නේ වක්‍රව. චිත්‍රපටයක් බලන වෙලාවකදී මෙන් ප්‍රේක්ෂකයෙක් ටෙලි නාට්‍යයක් බැලීම සඳහා සෘජුව මුදල් ගෙවන්නේ නැහැ. නමුත්, වැඩි දෙනෙක් අතර ජනප්‍රිය වෙන්න ඉඩ තිබෙන ටෙලි නාට්‍යයක් වෙනුවෙන් වැඩි මිලක් ගෙවන්න කැමති ආයතනික අනුග්‍රාහකයෙක් හොයා ගන්න අපහසු නැහැ.

මේ වගේ අනුග්‍රාහකයෝ ටෙලි නාට්‍යය වෙලාවේ ප්‍රචාරය කරන තමන්ගේ වෙළඳ දැන්වීම් හේතුවෙන් ඉහළ යන තමන්ගේ භාණ්ඩ හෝ සේවා ඉල්ලුම හරහා හෝ වෙනත් ක්‍රමයකින් ප්‍රේක්ෂකයින්ගෙන් වක්‍රව මිලක් අය කරගෙන එයින් කොටසක් ටෙලි නාට්‍ය නිෂ්පාදකයාට දෙනවා.

සමහර වෙලාවට ඔය වෙළඳ දැන්වීම තිබෙන්නේ ටෙලි නාට්‍යය ඇතුළේම වෙන්නත් පුළුවන්. තිර පිටපත් රචකයා කලින් හිතාගෙන පිටපත ලිවුවේ නැතත් ඒ ඇතුළේ කිසියම් අනුග්‍රාහකයෙකු විසින් සොයමින් සිටින වෙළඳ දැන්වීම හමු වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක එවැනි ටෙලි නාට්‍යයකට අනුග්‍රහය දක්වන්න අනුග්‍රාහකයා දෙවරක් හිතන්නේ නැහැ.

ටෙලි නාට්‍ය අනුග්‍රාහයකුගේ අවශ්‍යතාවය තමන්ගේ නිෂ්පාදනයක අළෙවිය ඉහළ දමා ගැනීම වගේ සරල එකක් නොවෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට අනුග්‍රාහකයාගේ ආයෝජනයේ වාසිය ලැබෙන්නේ ටෙලි නාට්‍යය විසින් රටේ දේශපාලනයට සිදුකරන බලපෑමේ වක්‍ර ප්‍රතිඵලයක් ලෙස වෙන්න පුළුවන්.

හරි. ඔය කොහොම වුනත් වැදගත් කරුණ වන්නේ ටෙලි නාට්‍යය හෝ චිත්‍රපටිය ජනප්‍රිය වීමයි. ඔය කියන කරුණ හා අදාළව ගත්තහම එමාගේ ප්‍රතිචාරයේ සිටින දුප්පත් අවංක පෙම්වතාට ලංකාවේ මම දන්න කාලයේ ඉඳන්ම ලොකු ඉල්ලුමක් තිබෙනවා. පොදුවේ ඉන්දියානු සිනමාව ගත්තත් ඕක ඔහොමයි. මේ තත්ත්වය අදටත් වෙනස් වෙලා නැහැ.

ටික කලකට පෙර විකාශනය වූ බොහීමියානුවා ගොඩක් අය කැමති වූ ටෙලිනාට්‍යයක්. එහි සජිත අනුත්තර විසින් පණ දුන් බොහීමියානුවා (කල්ප) ඔය වර්ගයේ අවංක පෙම්වතෙක්. ඔහුට සල්ලි නෑ. නමුත් ඔහු ඒ හේතුව නිසා තමන්ගේ අරමුණ අතාරින්නෙත් නැහැ.

කල්පට අහම්බෙන් හමුවන ආදරය (උමාලි රඟපාන නූරිගේ චරිතය) ස්ථානගත වී තිබෙන්නේ කල්ප සිටින සමාජ ස්ථරයට වඩා ගොඩක් ඉහළින්. ඒ වගේම නූරි කල්පට ආදරය කරන්නේ ඇය ජීවත්වන මායාව ඇතුලෙ සිට තමන්ගේ අහිමි වූ පෙම්වතා මනසින් මවාගෙන මිසක් ඇත්තටම ඔහුව හඳුනාගෙන නෙමෙයි. ඇත්තක් නොවන බව දැනදැනත්, කල්ප නූරිගේ ඒ ආදරයට ආදරය කරනවා. ඒ වෙනුවෙන් අම්බානක කට්ටක් කනවා. මැරෙන්න පවා සූදානම්ව ඉන්නවා.

මෙතැන කල්පගේ දුෂ්ඨයා වන්නේ කවුද? ඒ වෙන පෙම්වතෙක් නෙමෙයි. නූරිට බොහෝ සේ ආදරය කරන නූරිගේ පියා (බුද්ධදාස විතානාරච්චි). ඔහු සමාජයේ පහළ ස්ථරයක ඉඳලා ඉතා අමාරුවෙන් උඩට ආ කෙනෙක්. ඔහු තමන්ගේ දුවට ගොඩක් ආදරෙයි. දුව දැන් සිටින සමාජ ස්ථරයෙන් පහළට වැටෙනවාට ඔහු කැමති නොවන්නේ ඒ නිසයි. සල්ලි නැති වන විට ආදරයට පමණක් පැවතෙන්න අමාරු බව ඔහු දන්නවා. කොහොම වුනත් ප්‍රේක්ෂකයින්ගේ වීරයා කල්ප මිසක් නූරිගේ පියා නෙමෙයි.

මට තිබෙන ප්‍රශ්න මේවායි. පළමුව, මේ දුප්පත් අවංක පෙම්වතාගේ චරිතයට ලංකාවේ ලොකු ඉල්ලුමක් තිබෙන්නේ ඇයි? එමා විසින් ලියා තිබෙනවාක් මෙන් මෙය කලාකරුවන් විසින් කාලයක් තිස්සේ ලංකාවේ ප්‍රේක්ෂකයින්ගේ මනසේ පින්තාරු කරපු චිත්‍රයක් කියා අපි හිතමු. එහෙමනම්, කලාකරුවන් විසින් එහෙම කරල තියෙන්නේ ඇයි? ආර්ථික විද්‍යා වාග්කෝෂයට ආවොත් මේ සමතුලිතතාවයට හේතු වන ඉල්ලුම් සාධක හා සැපයුම් සාධක මොනවාද?

ආර්ථික විද්‍යාව පැත්තෙන් බැලුවොත් මිනිසුන් අතර සිදුවන නිදහස් ගනුදෙනු වලින් හැම විටම වෙන්නේ අදාළ සියළු පාර්ශ්වයන් වඩා සතුටට පත් වීමයි. එහෙම නොවෙන වෙලාවලුත් තියෙන්න බැරිද?

මහ රෑ මැද්දේ දරුවාට සහලෝලා උණ. තාත්තා මැරිලා. අම්මගේ අතේ පිච්චියක් නැහැ. කහට කෝප්පේ උගුරට හලාගනිද්දී ලෙවකන්න අල්ලට හලාගන්න සීනි හැන්දක්වත් ගෙදර නෑ. ඉතිං කොහොමද දොස්තරට කාසි දෙන්නේ? අම්මා වැඩිමල් ගෑණු දරුවා ගෙට වුනු වෙලාවේ කණට දාපු කරාබු ජෝඩුව ඈ නිදා සිටිද්දීම ගලෝගෙන චීත්ත කොණේ ඔතාගෙන, අකුණු ගහන අනෝරා වැස්සේ කුඩයක්වත් නැතුව තෙමි තෙමී පොලී මුදලාලිගේ දොරට තට්ටු කරනවා.

මුදලාලි අන්තිමට දොර අරිනවා. මුදලාලි හාමිනේ ගමේ ගිහින්. මුදලාලිත් තට්ට තනියම. දරුවාගේ අම්මට කාසි ලැබෙනවා. ඒත් ඒ වෙනුවෙන් ඇයට කරාබු ජෝඩුවට අමතරව තවත් දේවල් දෙන්න වෙනවා. මොනව කරන්නද? පොඩි එකාව බේරගන්නත් එපායැ.

පනස්‌ගණන් වල හැටගණන් වල හදපු චිත්‍රපට වල ඔය වගේ දර්ශනයක් බොහෝ විට වැරදුණේ නැහැනේ. දැන් ඔය තරම්ම අමුවෙන් කියන්නේ නැහැ. නමුත්, කියන්නේ ඔය ටිකම තමයි.

ඔය වගේ වෙලාවක අම්මට සතුටු වෙන්න පුලුවන්ද? මේක තීරණය කරන්න වෙන්නේ ඇයට තිබෙන අනෙක් විකල්පයට සාපේක්ෂවයි.  නරක සේ බැලූ බැල්මට පෙනෙන තේරීමකට කෙනෙක් යන්නේ අනෙක් තේරීම වඩාත් නරක එකක් නිසයි. වඩා නරක තේරීමට සාපේක්ෂව අඩු නරක තේරීම සතුටු විය හැකි එකක්.

සතුට කියන එක එක් එක් පුද්ගලයාට සාපේක්ෂව තීරණය වන දෙයක්. හැම දෙනෙක්ම සතුටු වෙන්නේ එකම දේවල් කිරීමෙන් නෙමෙයි. නමුත්, අපි බොහෝ වෙලාවට හිතන්නේ වෙනත් අය සතුටු වෙන්නෙත් අපි සතුටු වන දේවල් වලින්ම කියලයි. එහෙම හිතලා අපි වෙනත් දුක් විඳින මිනිස්සු ගැන දුක් වුණත් ඇතැම් විට ඒ මිනිස්සු අපට වඩා වෙනස් විදිහකට සතුටු වෙනවා වෙන්න පුළුවන්.

ධනපාල ලොකු ව්‍යාපාරිකයෙක්. ඔහුට ගොඩක් සල්ලි තිබෙනවා. ඔහු උදෙන්ම තමන්ගේ ව්‍යාපාරික කටයුතු සඳහා පිටත්ව යනවා. සති අන්තයේ කියලත් වෙනසක් නැහැ. ගෙදර එන්නේ හොඳටම රෑ වෙලා. ඔහු සිංදුවක් අහන්නේ බොහොම කලාතුරකින්. චිත්‍රපටයක් බලන්නේ නැති තරම්. තරුපහේ හෝටල් වල තිබෙන ව්‍යාපාරික හමු වලදී වෙනත් ව්‍යාපාරිකයින් සමඟ මධුවිත තොල ගානවා.

ජීවක විශේෂඥ වෛද්‍යවරයෙක්. ඔහු රජයේ රෝහලක සේවය කරනවා. රෝහලට යන්න කලින් උදෙන්ම තමන්ගේ පෞද්ගලික සායනයේ පැයක් ගත කරනවා. සේවය ඉවර වෙලා කෙළින්ම යන්නේත් පෞද්ගලික සායනයට. ගෙදර එන්නේ රෑ වෙලා. සෙනසුරාදා දවස ගත කරන්නෙත් පෞද්ගලික සායනයේ. ඉරිදාට තමන්ගේ තේවත්ත බලන්න නගරයෙන් බැහැර යනවා. සිංදු අහන්නේ මෝටර් රථය තුළදී පමණයි. චිත්‍රපටයක් බලන්නේ ඉතාම කලාතුරකින්. ඔහු මධුවිතෙන් ඈත්වයි ඉන්නේ. ධනපාල තරමටම නැතත් ජීවකත් සෑහෙන තරමක ධනවතෙක්.

සංගීත් කලාකරුවෙක්. ඔහුට ගීත ගායනයට මෙන්ම තනු නිර්මාණයටත් දක්ෂතා තිබෙනවා. සංගීත භාණ්ඩ කිහිපයක්ම වාදනය කළ හැකියි. සංගීත සංදර්ශනයක් හෝ වෙනත් කලා කටයුත්තක් තිබෙන දවසට ගෙදර එන්නේ බොහෝ රෑ වෙලා. පහුවෙනිදාට නැගිටින්නේ හොඳටම දවල් වෙලා. එහෙම විශේෂ වැඩක් නැති දවසට කියලත් වැඩි වෙනසක් නැහැ. රෑ වෙනකම් සිංදු කියමින් හා වාදනය කරමින් කාලය ගෙවනවා. මධුවිතෙන් සප්පායම් වෙනවා. ගොඩක් දවසට තවත් යාලුවෝ එක්ක. ඒ අයත් කලාකරුවෝ. සමහර වෙලාවට මලකුත් ගහනවා. අතට සල්ලි ආවහම ලෝබ නැතුව වියදම් කරනවා. උපයන ආදායම කෙසේ වුවත්, ජීවක හා ධනපාලගේ මෙන් ධනයක් සංගීත්ගේ අතේ කවදාවත් රැඳී නැහැ.

දැන් මේ අයගෙන් වැඩිපුරම සතුටු වෙන්නේ කවුද? වැඩිපුරම ජීවිතය විඳින්නේ කවුද?

ලංකාවේ හැදෙන ගොඩක් චිත්‍රපට හා ටෙලිනාට්‍ය වලට අනුවනම් මේ තුන් දෙනාගෙන් සතුටෙන් ඉන්නේ සංගීත්. අනිත් දෙන්නා කරන්නේ සල්ලි හොයන්නම මැරෙන එකයි. ඔවුන්ට ජීවිතයක් නැහැ. ඔවුන් කියන විදිහට සල්ලි කියන්නේ ජීවිතය නෙමයි. සල්ලි හොයන්න මහන්සි වෙද්දී ජීවිතය මග හැරෙනවා.

ඇත්තටම කියනවානම් ධනපාල, ජීවක හා සංගීත් කියන තුන්දෙනාම ජීවිතය විඳිනවා. ඒ ඔවුන්ගේම ක්‍රම වලට.

ධනපාල උදේ ඉඳන් හවස් වෙනකම් ව්‍යාපාරික කටයුතු වල නිරතව ඉන්නේ සල්ලි හොයන්නම නෙමෙයි. ඒ ඔහු සතුටු වන විදිහ. සතුට එක්කම ඔහුට සල්ලිත් ගොඩක් ලැබෙනවා. ඒ සල්ලි නිසා ඔහුගේ සතුට තවත් වැඩි වෙනවා. ධනපාල සිංදු අහන්න, චිත්‍රපට බලන්න කාලය යොදවන්නේ නැත්තේ ඒ දේවල් වලින් ඔහුට සතුටක් නොලැබෙන නිසා. චිත්‍රපට ශාලාවක පැය දෙකක් හිර වී ඉන්න එක ඔහුට බිරිඳ එක්ක ෂොපින් යනවාටත් වඩා බෝරිං වැඩක්. ව්‍යාපාර ලෝකයේ කටයුතු සිදුවන ආකාරය නිරීක්ෂනය කිරීමෙන් ඔහු සතුටක් ලබනවා. තමන්ගේ ව්‍යාපාර දිනෙන් දින දියුණු වන විට ඔහු සතුටු වෙනවා. ව්‍යාපාරික කටයුතු වලට විවිධ අභියෝග එල්ල වන විට ඒවාට උපායමාර්ගික ප්‍රතිචාර දක්වන ආකාරය ගැන හිතන එක ඔහුට ලොකු සතුටක්. ඔහුට ජීවිතය විඳීම වන්නේ මේ අභියෝග වල මුහුණ දීමයි.

ජීවක දිවා රෑ නොබලා පොල් කඩන්නේත් සල්ලි හොයන්නම නෙමෙයි. සල්ලි හෙවීමත් එක් අරමුණක් තමයි. නමුත්, ලෙඩ්ඩු එක්ක කතා කිරීමේ, ඔවුන්ගේ රෝග හඳුනා ගැනීමේ ආතල් එකකුත් තිබෙනවා. ඒ ආතල් එක මොකක්ද කියලා තේරෙන්නේ ඩොකෙක්ටම තමයි. දොස්තර මහත්තයා කලින් දුන්න බේත් ටිකෙන් දවස් දෙකට සනීප වුණා කියල ලෙඩෙක් කියන කොට ඔහුට දැනෙන්නේ මාර සතුටක්. ඒ සතුට එක්කම ලැබෙන සල්ලි නිසා සතුට තවත් වැඩි වෙනවා. ජීවක මත්පැනින් දුරස්ථව ඉන්නේ ඔහුට මත්පැන් බීම හිසරදයක් මිසක් සතුටට හේතුවන කරුණක් නොවන නිසා. ඔහු සිංදුවක් අහන්න, චිත්‍රපටයක් බලන්න අකැමැත්තක් නැතත් මේ වගේ දේවල් වෙනුවෙන් ඕනෑවට වඩා කාලය නාස්ති කිරීම තේරුමක් නැතැයි ඔහු සිතනවා. ලෙඩ්ඩු එක්ක කාලය ගත කිරීමේදී ලැබෙන සතුට හා ලැබෙන මුදල් නිසා එකතුවන සතුට එක ගොඩකට දැම්මහම චිත්‍රපටයකින් හෝ සිංදුවකින් ලැබෙන සතුට මොකක්ද?

සංගීත් ගෙදර ඉන්න දවසට කරන්නෙත් ගිටාරය වයමින් හෝ කී බෝර්ඩ් එක ඔබමින් සිංදු කියන එකයි. බැලුවහම කොයි වෙලාවෙත් සොමියෙන් ඉන්න එළ කොල්ලෙක්. හැබැයි මේ විදිහට ඔහු කරන්නේ ආතල් එකක් ගන්න එකම නෙමෙයි. තමන්ගේ වෘත්තීය දක්ෂතා පවත්වා ගැනීම පිණිස දිගින් දිගටම පුහුණු වෙන එකයි ඔහු කරන්නේ. වක්‍ර විදිහට මෙහිදී වෙන්නේ සංගීත් විසින් තමන්ගේ ආදායම් ඉපැයීමේ හැකියාව වැඩි දියුණු කර ගන්න එකයි.

සංගීත් හිතන්නේ තමන්ට සල්ලි නැතත් තමන් ධනපාලට හා ජීවකට වඩා සතුටින් ඉන්නා බවයි. රස්සාවටම හිර වුනු ජීවිත වල තිබෙන ප්‍රයෝජනේ මොකක්ද? නමුත්, ඔහුත් දවස තිස්සේම ඉන්නේ ඔහුගේ රස්සාව අස්සෙම හිර වෙලා. ඒ බව ඔහුට තේරෙන්නේ නැහැ. ඔහු හිතනවා ධනපාල හා ජීවකත් රස්සා වලම හිර වෙලා ඉන්නේ නැතුව චිත්‍රපටයක් බලලා, සිංදුවක් අහලා, අඩියක් ගහලා, දුමක් ඇදලා ජීවිතය විඳින්න යම් කාලයක් වෙන් කළ යුතුයි කියා. එහෙම නොකර සල්ලි පස්සෙම යන ජීවිතයක තේරුම මොකක්ද කියලා සංගීත්ට තේරෙන්නේ නැහැ.

ධනපාල හිතන්නේ වෙනත් විධිහකටයි. ඔහු හිතන විදිහට ඔහු ජීවිතය විඳින ගමන්ම සල්ලිත් උපයනවා. තවත් අයට රැකියා දී සල්ලි උපයන්න උදවු කරනවා. එහෙම නොකර හැමදාම සල්ලි නැතිකමින් දුක් විඳින සංගීත් වගේ අය ගැන ඔහුට තිබෙන්නේ අනුකම්පාවක්. ඔවුන් කලාව අතහැර "ප්‍රයෝජනවත්" වැඩක යෙදුනානම් මීට වඩා මීට වඩා සතුටින් ඉන්න තිබුණා කියා ධනපාල හිතනවා.

ජීවකට අනුව ධනපාල කියන්නේ සල්ලි පස්සෙම පන්නන මුදලාලි කෙනෙක්. නමුත්, තමන්නම් කරන්නේ සේවයක්. ඒ වගේම ඒ සේවය කරමින්ම තමන් තමන්ට සතුටු විය හැකි ජීවිතයකුත් ගෙවනවා කියලත් ඔහු හිතනවා. ඔහුට අනුව ඔහු ඉන්නේ සංගීත්ට වගේම ධනපාලටත් වඩා සතුටින්.

ඔය තුන් දෙනා අතරින් තමන් හිතන විදිහ සාමාන්‍ය මිනිස්සු විශාල පිරිසකට කියන්න ලැබෙන්නේ සංගීත් වගේ කලාකරුවන්ට පමණයි. ජීවකට හෝ ධනපාලට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා, මිනිස්සු දකින්නේ සංගීත් සතුටින් සිටින බව පමණයි. ධනපාලගේ හෝ ජීවකගේ ධනය මිනිස්සුන්ට දකින්නට ලැබුණත් ඔවුන්ගේ සතුට පිටට පෙනෙන්නේ නැහැ. සතුට පිටතට පෙන්වන සංගීත්ට ඔවුන්ට තරම් ධනයක් නැහැ. ඒ නිසා, ධනය විසින් සතුට පළවා හරින බවක් මිනිස්සුන්ට දැනෙනවා. නමුත්, එය ඇත්ත නෙමෙයි.

කොහොම වුණත්, සංගීත් ඔහුගේ වෘත්තිය අතහැර මුදලාලි කෙනෙක් වුණොත් ඔහු දැන් තරමට සතුටු වෙන එකක් නැහැ. ඒ ඔහු සතුටු වෙන්නේ ධනපාලගේ ක්‍රමයට නොවන නිසා. ඒ නිසා, ධනපාලට ආතල් එකක් ගන්න කියන එකේ වගේම සංගීත්ට සල්ලි හම්බවෙන වැඩකට අතගහන්න යෝජනා කරන එකෙත් තේරුමක් නැහැ.

මේ තුන් දෙනාගෙන් අවංක පෙම්වතෙක්, හොඳ සැමියෙක් වෙන්න පුළුවන් කාටද? ඒක තීරණය වෙන්නේ යම්කිසි ගැහැණියක් හොයන සතුට මොකක්ද කියන එක මතයි. වෛද්‍ය වෘත්තියේ හෝ හෙද වෘත්තිය වැනි කිට්ටුවෙන් යන වෘත්තියක නිරතව සිටින ගැහැණියකගේ අපේක්ෂා සමඟ ජීවකගේ ජීවන විලාසිතාව ගැලපෙනවා. ධනපාලගේ බිරිඳත් ඔහුගේ ව්‍යාපාරයේම කොටස්කාරියක්නම් ඇයට ධනපාලගේ රටාවේ අවුලක් පෙනෙන එකක් නැහැ. කලා ක්ෂේත්‍රයේම සිටින ගැහැණියක් සංගීත් එක්ක ජීවිතය බෙදාගන්න කැමති වෙයි.

යම් විදිහකින් සංගීත් ගැන සිහින මවමින් හිටපු, ඒ විදිහේ ජීවිතයකින් සතුටු වන ගැහැණියකට ධනපාල හෝ ජීවක එක්ක අකමැත්තෙන් විවාහ වෙන්න සිදුවුනොත්නම් ඔන්න අවුලක් තිබෙන්න පුළුවන්. මොකද ජීවිතය කියන්නේ සල්ලි නිසා හෝ වෙනත් දේවල් නිසා ලබන සතුට මිසක් සල්ලි හෝ ඒ වෙනත් දේවල් නොවන නිසා. ඒ වගේම, සංගීත්ගේ ක්‍රමයට අකැමැති ගැහැණියක් ඔහු එක්ක වැඩි කලක් ජීවත් වන එකකුත් නැහැ.

සල්ලි නිසා සතුට නැති වෙනවා කියා කවුරු හෝ කියනවානම් එය පට්ට බොරුවක්. සල්ලි නිසා සතුට නැති වෙන්නේ නැහැ. නමුත්, සල්ලි පස්සේ පැන්නීම නිසා මග හැරෙන වෙනත් දේවල් හේතුවෙන් නැති වෙන සතුට, සල්ලි හොයා ගත්තට පස්සේ සල්ලි නිසා ලැබෙන සතුටට වඩා වැඩි නොවන අවස්ථා තිබෙන්න පුළුවන්. එය පුද්ගලයෙකුගේ රුචිකත්වය හා අවස්ථාව අනුව තීරණය වන දෙයක්.

මේ එක නූල් කෑල්ලක් විතරයි. තව නූල් කෑලි කීපයක්ම ලැබුණු ප්‍රතිචාර අතරේ තියෙනවා.

(Image: /arthamagazine.blogspot.com/2016/10/bohimiyanuwa.html)

Friday, November 11, 2016

මළවුන්ගේ ආත්ම වලට එය කළ හැකිද? Ghosts can't do it!

තරුණ, රූමත් කේට් විවාහ වී සිටියේ ඇයට වඩා වසර තිහකින් වැඩිමල් ධනවතෙකු වූ ස්කොට් සමඟය. හෘදයාබාධයක් වැළඳීමෙන් පසු තවදුරටත් සිය තරුණ බිරිඳ හා එක්ව සතුටු විය නොහැකි වීම නිසා ජීවිතය එපා වන ස්කොට් සිය දිවි නසා ගනී. කෙසේ වුවද, මියගිය ස්කොට්ගේ ආත්මය දිගටම කේට් සමඟ සම්බන්ධතා පවත්වාගනී. එහෙත්, ස්කොට්ගේ ආත්මය සමඟ කතා කළ හැක්කේත්, එම ආත්මය දැකිය හැක්කේත් කේට්ට පමණි. කේට් සමඟ මෙසේ සම්බන්ධතා පවත්වාගත්තත් මියගිය ස්කොට්ට කේට් සමඟ අවශ්‍ය කටයුත්ත කරගැනීමේ හැකියාවක් නැත. ඔහු ඒ සඳහා උපක්‍රම සොයයි.

කේට් හා ස්කොට් අපට හමුවන්නේ 1989දී තිරගත වූ "ගෝස්ට්ස් කෑන්ට් ඩූ ඉට්" (Ghosts Can't Do It) හොලිවුඩ් චිත්‍රපටියෙනි. බෝ ඩෙරෙක් හා ඇන්තනි ක්වින් ප්‍රධාන චරිත රඟපෑ මේ චිත්‍රපටය ජෝන් ඩෙරෙක් විසින් අධ්‍යක්ෂණය කළ අතර ප්‍රවීන ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් සහාය අධ්‍යක්ෂනයෙන් දායක විය. ලංකාවේ බෙන්තොට ඇතුළු ප්‍රදේශ කිහිපයක මෙන්ම මාල දිවයිනේද දර්ශන රූපගත කර ඇති මේ චිත්‍රපටයේ හෙන්රි ජයසේන, ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු තවත් නළු නිලියන් රැසකගේ රඟපෑම් අපට දැකබලා ගන්නට පුළුවන.

"ගෝස්ට්ස් කෑන්ට් ඩූ ඉට්" චිත්‍රපටය 1990 වසරේ නරකම චිත්‍රපටය සඳහා ලැබෙන රාසීස් සම්මානයෙන් (රන් රාස්බෙරි සම්මානය) පුද ලැබූ අතර එම වසරේ නරකම අධ්‍යක්ෂණය සඳහා වන සම්මානයද ලැබුණේය. මේ චිත්‍රපටයේ කේට්ගේ චරිතය රඟපෑ බෝ ඩෙරෙක් වසරේ නරකම නිළිය ලෙසද, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චරිතය රඟපෑ ඩොනල්ඩ් ට්‍රම්ප් වසරේ නරකම සහාය නළුවා ලෙසද සම්මානයට පාත්‍ර විය. තමාගේම චරිතය රඟපා නරකම රඟපෑම වෙනුවෙන් සම්මානයට පාත්‍ර වන්නට හැකි වීම සුවිශේෂී කරුණකි.

දශක දෙකහමාරකට පෙර සහාය නළුවෙකු ලෙස එවැනි නරක රඟපෑමක් කළත්, ඇමරිකානු ජනාධිපති අපේක්ෂක ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රඟපෑ ප්‍රධාන චරිතයේ භූමිකාවනම් එතරම් නරක නැත. "මේක් ඇමරිකා ග්‍රේට් එගේන්" යන ස්ලෝගනය සාර්ථකව යොදාගනිමින් ඔහු ඇමරිකාව තවදුරටත් ඔවුන්ගේ සීයලා තාත්තලා ජීවත් වූ "ග්‍රේට්" රට නොවන බව ඇමරිකානුවන්ට මතක් කර දෙමින් ඔවුන්ගේ ඇමරිකානු අභිමානයට පොඩ්ඩක් රිදෙන පරිදි කෙනිත්තුවේය. වෙනත් චරිත වෙනුවට තමන්ගේම චරිතය රඟපාන්නට විශේෂ කැමැත්තක් දක්වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ මතක් කිරීම නිසා ඔහුට ලැබුණු ප්‍රතිඵලය නරක නැත.

ඩොනල්ඩ් ට්‍රම්ප් රඟපෑ චිත්‍රපට අතර වඩා ජනප්‍රිය චිත්‍රපටයක් වන්නේ "හෝම් එලෝන් -2" චිත්‍රපටයයි. මේ චිත්‍රපටයේ නිවුයෝර්ක්හි ප්ලාසා හෝටලයේ හිමිකරු ලෙස ඔහු රඟපෑවේද ඔහුගේම චරිතයයි. ඩොනල්ඩ් ට්‍රම්ප් චරිතයට ඇමරිකාවෙන් පිටත ඇති අඩු ජනප්‍රියත්වයෙන් පෙනෙන්නේ ඔහුගේ "හෝම් එලෝන්" කමයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්
ඇමරිකානු ජනාධිපති චරිතය රඟපාන්නේ කෙසේදැයි අපි විමසිල්ලෙන් බලා සිටිමු.

(Image: http://okmagazine.ro/people/in-cifre-curiozitati-despre-donald-trump)

වෙබ් ලිපිනය: