වෙබ් ලිපිනය:

Saturday, September 29, 2018

අවංක පෙම්වතාට සල්ලි නැත්තේ ඇයි?


පසුගිය ලිපිය පිළිබඳව කිහිප දෙනෙක්ම ප්‍රසාදය පළ කරල තිබුණා. විශේෂයෙන්ම එක් මානවිකාවක් ලෙස අදහස් දක්වන හිතවතිය (කෙටියෙන් එමා කියමු. මේ කෙටි කිරීමට අකැමැතිද දන්නේ නැහැ), පැතුම්, සෙන්නා හා උදය ඇතුළු තවත් අය, පළමු කී දෙන්නා දීර්ඝ ලෙස, ඔවුන්ගේ අදහස් එකතු කරලා තිබුණා. මේ අදහස් ඇතුළේ තවත් බෝල හදන්න අවශ්‍ය නූල් කෑලි සෑහෙන්න තියෙනවා. ප්‍රතිචාර දැමූ සියල්ලන්ටම ස්තුතියි!

ප්‍රතිචාර සේ ලියැවී තිබෙන ගොඩක් දේවල් ගැන අඩු වැඩි වශයෙන් එකඟ වෙන්න පුළුවන්. සමහර අයට මේ ප්‍රතිචාර වලින් කියා ඇති දේවල් හා ලිපියේ කරුණු අතර පරස්පර පෙනෙනවනම් ඒ මේ දේවල් අතර තිබෙන සම්බන්ධය පැහැදිලිව නොපෙනීම නිසා වෙන්න පුළුවන්.

ගොඩක් අය ප්‍රසාදය පළ කරපු ලිපියකින් පසුව ඒ හා අදාළවම තවත් ලිපි ලියා කරුණු එකතු කරන්න ගියාම වෙන්නේ මුලින් වූ ප්‍රසාදය දියාරු වෙලා ගිහින් අර කලින් ආපු කික් එක නැති වෙන එකයි. ඒ වුණත්, ඉතිං කමක් නෑ. අපි අපිමනේ! මම කිවුවේ දැන් මේක කියවන ගොඩක් අය නිතර මෙහි යන එන අය මිසක් ආගන්තුකයෝම නෙමෙයිනේ...

"ටෙලි නාට්‍ය, චිත්‍රපටි වලත් ගොඩක් වෙලාවට ව්‍යාපාරිකයා බිස්නස් ගැන විතරක් හොයන බිසී කෙනෙක් කරලා, එයාගේ බිරිඳ හා දරුවන් පාලුවෙන් කාන්සියෙන් ඉන්න අවස්ථා ගොඩනගනවා වැඩිපුර. අවංක පෙම්වතා ගොඩක් වෙලාවට දුප්පත්."

මෙහෙම කියන්නේ අපේ එමා. ඇත්ත නේද කතාව?

මට මෙතැන තිබෙන වැදගත් කරුණ මේක මේ විදිහට වෙන්නේ ඇයි කියන එකයි.

ටෙලි නාට්‍ය, චිත්‍රපටි කියන්නෙත් මූලික වශයෙන් ආදායම් ඉපදවීම මුල් කරගත් කර්මාන්ත. මේවා වෙනුවෙන් ආයෝජනය කරන අයට මුදල් හෙවීමට අමතරව වෙනත් අරමුණුත් තිබෙනවා වෙන්න පුළුවන්. නමුත්, එයින් අදහස් වෙන්නේ නැහැ මුදල් හෙවීමේ අරමුණක් නැති බව. ඔය ටෙලි නාට්‍ය, චිත්‍රපටි වලට සම්බන්ධ වන හැම දෙනෙක්ම වාගේ මේ කටයුතු හරහා තමන්ට කිසියම් මුදල් වාසියක් ලැබෙනවාට කැමතියි.

ටෙලි නාට්‍ය, චිත්‍රපටි ආදියෙන් මුදල් ලාභ ලබන්නනම් මේවා ජනප්‍රිය වෙන්න ඕනෑ. වෙනත් විදිහකින් කියනවානම් මේවා නැරඹීම වෙනුවෙන් ආවස්ථික පිරිවැයක් දරන්න කැමති විශාල පිරිසක් රටේ ඉන්න ඕනෑ.

ටෙලි නාට්‍ය හා අදාළව මේ මුදල් ප්‍රවාහය සිදුවෙන්නේ වක්‍රව. චිත්‍රපටයක් බලන වෙලාවකදී මෙන් ප්‍රේක්ෂකයෙක් ටෙලි නාට්‍යයක් බැලීම සඳහා සෘජුව මුදල් ගෙවන්නේ නැහැ. නමුත්, වැඩි දෙනෙක් අතර ජනප්‍රිය වෙන්න ඉඩ තිබෙන ටෙලි නාට්‍යයක් වෙනුවෙන් වැඩි මිලක් ගෙවන්න කැමති ආයතනික අනුග්‍රාහකයෙක් හොයා ගන්න අපහසු නැහැ.

මේ වගේ අනුග්‍රාහකයෝ ටෙලි නාට්‍යය වෙලාවේ ප්‍රචාරය කරන තමන්ගේ වෙළඳ දැන්වීම් හේතුවෙන් ඉහළ යන තමන්ගේ භාණ්ඩ හෝ සේවා ඉල්ලුම හරහා හෝ වෙනත් ක්‍රමයකින් ප්‍රේක්ෂකයින්ගෙන් වක්‍රව මිලක් අය කරගෙන එයින් කොටසක් ටෙලි නාට්‍ය නිෂ්පාදකයාට දෙනවා.

සමහර වෙලාවට ඔය වෙළඳ දැන්වීම තිබෙන්නේ ටෙලි නාට්‍යය ඇතුළේම වෙන්නත් පුළුවන්. තිර පිටපත් රචකයා කලින් හිතාගෙන පිටපත ලිවුවේ නැතත් ඒ ඇතුළේ කිසියම් අනුග්‍රාහකයෙකු විසින් සොයමින් සිටින වෙළඳ දැන්වීම හමු වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක එවැනි ටෙලි නාට්‍යයකට අනුග්‍රහය දක්වන්න අනුග්‍රාහකයා දෙවරක් හිතන්නේ නැහැ.

ටෙලි නාට්‍ය අනුග්‍රාහයකුගේ අවශ්‍යතාවය තමන්ගේ නිෂ්පාදනයක අළෙවිය ඉහළ දමා ගැනීම වගේ සරල එකක් නොවෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට අනුග්‍රාහකයාගේ ආයෝජනයේ වාසිය ලැබෙන්නේ ටෙලි නාට්‍යය විසින් රටේ දේශපාලනයට සිදුකරන බලපෑමේ වක්‍ර ප්‍රතිඵලයක් ලෙස වෙන්න පුළුවන්.

හරි. ඔය කොහොම වුනත් වැදගත් කරුණ වන්නේ ටෙලි නාට්‍යය හෝ චිත්‍රපටිය ජනප්‍රිය වීමයි. ඔය කියන කරුණ හා අදාළව ගත්තහම එමාගේ ප්‍රතිචාරයේ සිටින දුප්පත් අවංක පෙම්වතාට ලංකාවේ මම දන්න කාලයේ ඉඳන්ම ලොකු ඉල්ලුමක් තිබෙනවා. පොදුවේ ඉන්දියානු සිනමාව ගත්තත් ඕක ඔහොමයි. මේ තත්ත්වය අදටත් වෙනස් වෙලා නැහැ.

ටික කලකට පෙර විකාශනය වූ බොහීමියානුවා ගොඩක් අය කැමති වූ ටෙලිනාට්‍යයක්. එහි සජිත අනුත්තර විසින් පණ දුන් බොහීමියානුවා (කල්ප) ඔය වර්ගයේ අවංක පෙම්වතෙක්. ඔහුට සල්ලි නෑ. නමුත් ඔහු ඒ හේතුව නිසා තමන්ගේ අරමුණ අතාරින්නෙත් නැහැ.

කල්පට අහම්බෙන් හමුවන ආදරය (උමාලි රඟපාන නූරිගේ චරිතය) ස්ථානගත වී තිබෙන්නේ කල්ප සිටින සමාජ ස්ථරයට වඩා ගොඩක් ඉහළින්. ඒ වගේම නූරි කල්පට ආදරය කරන්නේ ඇය ජීවත්වන මායාව ඇතුලෙ සිට තමන්ගේ අහිමි වූ පෙම්වතා මනසින් මවාගෙන මිසක් ඇත්තටම ඔහුව හඳුනාගෙන නෙමෙයි. ඇත්තක් නොවන බව දැනදැනත්, කල්ප නූරිගේ ඒ ආදරයට ආදරය කරනවා. ඒ වෙනුවෙන් අම්බානක කට්ටක් කනවා. මැරෙන්න පවා සූදානම්ව ඉන්නවා.

මෙතැන කල්පගේ දුෂ්ඨයා වන්නේ කවුද? ඒ වෙන පෙම්වතෙක් නෙමෙයි. නූරිට බොහෝ සේ ආදරය කරන නූරිගේ පියා (බුද්ධදාස විතානාරච්චි). ඔහු සමාජයේ පහළ ස්ථරයක ඉඳලා ඉතා අමාරුවෙන් උඩට ආ කෙනෙක්. ඔහු තමන්ගේ දුවට ගොඩක් ආදරෙයි. දුව දැන් සිටින සමාජ ස්ථරයෙන් පහළට වැටෙනවාට ඔහු කැමති නොවන්නේ ඒ නිසයි. සල්ලි නැති වන විට ආදරයට පමණක් පැවතෙන්න අමාරු බව ඔහු දන්නවා. කොහොම වුනත් ප්‍රේක්ෂකයින්ගේ වීරයා කල්ප මිසක් නූරිගේ පියා නෙමෙයි.

මට තිබෙන ප්‍රශ්න මේවායි. පළමුව, මේ දුප්පත් අවංක පෙම්වතාගේ චරිතයට ලංකාවේ ලොකු ඉල්ලුමක් තිබෙන්නේ ඇයි? එමා විසින් ලියා තිබෙනවාක් මෙන් මෙය කලාකරුවන් විසින් කාලයක් තිස්සේ ලංකාවේ ප්‍රේක්ෂකයින්ගේ මනසේ පින්තාරු කරපු චිත්‍රයක් කියා අපි හිතමු. එහෙමනම්, කලාකරුවන් විසින් එහෙම කරල තියෙන්නේ ඇයි? ආර්ථික විද්‍යා වාග්කෝෂයට ආවොත් මේ සමතුලිතතාවයට හේතු වන ඉල්ලුම් සාධක හා සැපයුම් සාධක මොනවාද?

ආර්ථික විද්‍යාව පැත්තෙන් බැලුවොත් මිනිසුන් අතර සිදුවන නිදහස් ගනුදෙනු වලින් හැම විටම වෙන්නේ අදාළ සියළු පාර්ශ්වයන් වඩා සතුටට පත් වීමයි. එහෙම නොවෙන වෙලාවලුත් තියෙන්න බැරිද?

මහ රෑ මැද්දේ දරුවාට සහලෝලා උණ. තාත්තා මැරිලා. අම්මගේ අතේ පිච්චියක් නැහැ. කහට කෝප්පේ උගුරට හලාගනිද්දී ලෙවකන්න අල්ලට හලාගන්න සීනි හැන්දක්වත් ගෙදර නෑ. ඉතිං කොහොමද දොස්තරට කාසි දෙන්නේ? අම්මා වැඩිමල් ගෑණු දරුවා ගෙට වුනු වෙලාවේ කණට දාපු කරාබු ජෝඩුව ඈ නිදා සිටිද්දීම ගලෝගෙන චීත්ත කොණේ ඔතාගෙන, අකුණු ගහන අනෝරා වැස්සේ කුඩයක්වත් නැතුව තෙමි තෙමී පොලී මුදලාලිගේ දොරට තට්ටු කරනවා.

මුදලාලි අන්තිමට දොර අරිනවා. මුදලාලි හාමිනේ ගමේ ගිහින්. මුදලාලිත් තට්ට තනියම. දරුවාගේ අම්මට කාසි ලැබෙනවා. ඒත් ඒ වෙනුවෙන් ඇයට කරාබු ජෝඩුවට අමතරව තවත් දේවල් දෙන්න වෙනවා. මොනව කරන්නද? පොඩි එකාව බේරගන්නත් එපායැ.

පනස්‌ගණන් වල හැටගණන් වල හදපු චිත්‍රපට වල ඔය වගේ දර්ශනයක් බොහෝ විට වැරදුණේ නැහැනේ. දැන් ඔය තරම්ම අමුවෙන් කියන්නේ නැහැ. නමුත්, කියන්නේ ඔය ටිකම තමයි.

ඔය වගේ වෙලාවක අම්මට සතුටු වෙන්න පුලුවන්ද? මේක තීරණය කරන්න වෙන්නේ ඇයට තිබෙන අනෙක් විකල්පයට සාපේක්ෂවයි.  නරක සේ බැලූ බැල්මට පෙනෙන තේරීමකට කෙනෙක් යන්නේ අනෙක් තේරීම වඩාත් නරක එකක් නිසයි. වඩා නරක තේරීමට සාපේක්ෂව අඩු නරක තේරීම සතුටු විය හැකි එකක්.

සතුට කියන එක එක් එක් පුද්ගලයාට සාපේක්ෂව තීරණය වන දෙයක්. හැම දෙනෙක්ම සතුටු වෙන්නේ එකම දේවල් කිරීමෙන් නෙමෙයි. නමුත්, අපි බොහෝ වෙලාවට හිතන්නේ වෙනත් අය සතුටු වෙන්නෙත් අපි සතුටු වන දේවල් වලින්ම කියලයි. එහෙම හිතලා අපි වෙනත් දුක් විඳින මිනිස්සු ගැන දුක් වුණත් ඇතැම් විට ඒ මිනිස්සු අපට වඩා වෙනස් විදිහකට සතුටු වෙනවා වෙන්න පුළුවන්.

ධනපාල ලොකු ව්‍යාපාරිකයෙක්. ඔහුට ගොඩක් සල්ලි තිබෙනවා. ඔහු උදෙන්ම තමන්ගේ ව්‍යාපාරික කටයුතු සඳහා පිටත්ව යනවා. සති අන්තයේ කියලත් වෙනසක් නැහැ. ගෙදර එන්නේ හොඳටම රෑ වෙලා. ඔහු සිංදුවක් අහන්නේ බොහොම කලාතුරකින්. චිත්‍රපටයක් බලන්නේ නැති තරම්. තරුපහේ හෝටල් වල තිබෙන ව්‍යාපාරික හමු වලදී වෙනත් ව්‍යාපාරිකයින් සමඟ මධුවිත තොල ගානවා.

ජීවක විශේෂඥ වෛද්‍යවරයෙක්. ඔහු රජයේ රෝහලක සේවය කරනවා. රෝහලට යන්න කලින් උදෙන්ම තමන්ගේ පෞද්ගලික සායනයේ පැයක් ගත කරනවා. සේවය ඉවර වෙලා කෙළින්ම යන්නේත් පෞද්ගලික සායනයට. ගෙදර එන්නේ රෑ වෙලා. සෙනසුරාදා දවස ගත කරන්නෙත් පෞද්ගලික සායනයේ. ඉරිදාට තමන්ගේ තේවත්ත බලන්න නගරයෙන් බැහැර යනවා. සිංදු අහන්නේ මෝටර් රථය තුළදී පමණයි. චිත්‍රපටයක් බලන්නේ ඉතාම කලාතුරකින්. ඔහු මධුවිතෙන් ඈත්වයි ඉන්නේ. ධනපාල තරමටම නැතත් ජීවකත් සෑහෙන තරමක ධනවතෙක්.

සංගීත් කලාකරුවෙක්. ඔහුට ගීත ගායනයට මෙන්ම තනු නිර්මාණයටත් දක්ෂතා තිබෙනවා. සංගීත භාණ්ඩ කිහිපයක්ම වාදනය කළ හැකියි. සංගීත සංදර්ශනයක් හෝ වෙනත් කලා කටයුත්තක් තිබෙන දවසට ගෙදර එන්නේ බොහෝ රෑ වෙලා. පහුවෙනිදාට නැගිටින්නේ හොඳටම දවල් වෙලා. එහෙම විශේෂ වැඩක් නැති දවසට කියලත් වැඩි වෙනසක් නැහැ. රෑ වෙනකම් සිංදු කියමින් හා වාදනය කරමින් කාලය ගෙවනවා. මධුවිතෙන් සප්පායම් වෙනවා. ගොඩක් දවසට තවත් යාලුවෝ එක්ක. ඒ අයත් කලාකරුවෝ. සමහර වෙලාවට මලකුත් ගහනවා. අතට සල්ලි ආවහම ලෝබ නැතුව වියදම් කරනවා. උපයන ආදායම කෙසේ වුවත්, ජීවක හා ධනපාලගේ මෙන් ධනයක් සංගීත්ගේ අතේ කවදාවත් රැඳී නැහැ.

දැන් මේ අයගෙන් වැඩිපුරම සතුටු වෙන්නේ කවුද? වැඩිපුරම ජීවිතය විඳින්නේ කවුද?

ලංකාවේ හැදෙන ගොඩක් චිත්‍රපට හා ටෙලිනාට්‍ය වලට අනුවනම් මේ තුන් දෙනාගෙන් සතුටෙන් ඉන්නේ සංගීත්. අනිත් දෙන්නා කරන්නේ සල්ලි හොයන්නම මැරෙන එකයි. ඔවුන්ට ජීවිතයක් නැහැ. ඔවුන් කියන විදිහට සල්ලි කියන්නේ ජීවිතය නෙමයි. සල්ලි හොයන්න මහන්සි වෙද්දී ජීවිතය මග හැරෙනවා.

ඇත්තටම කියනවානම් ධනපාල, ජීවක හා සංගීත් කියන තුන්දෙනාම ජීවිතය විඳිනවා. ඒ ඔවුන්ගේම ක්‍රම වලට.

ධනපාල උදේ ඉඳන් හවස් වෙනකම් ව්‍යාපාරික කටයුතු වල නිරතව ඉන්නේ සල්ලි හොයන්නම නෙමෙයි. ඒ ඔහු සතුටු වන විදිහ. සතුට එක්කම ඔහුට සල්ලිත් ගොඩක් ලැබෙනවා. ඒ සල්ලි නිසා ඔහුගේ සතුට තවත් වැඩි වෙනවා. ධනපාල සිංදු අහන්න, චිත්‍රපට බලන්න කාලය යොදවන්නේ නැත්තේ ඒ දේවල් වලින් ඔහුට සතුටක් නොලැබෙන නිසා. චිත්‍රපට ශාලාවක පැය දෙකක් හිර වී ඉන්න එක ඔහුට බිරිඳ එක්ක ෂොපින් යනවාටත් වඩා බෝරිං වැඩක්. ව්‍යාපාර ලෝකයේ කටයුතු සිදුවන ආකාරය නිරීක්ෂනය කිරීමෙන් ඔහු සතුටක් ලබනවා. තමන්ගේ ව්‍යාපාර දිනෙන් දින දියුණු වන විට ඔහු සතුටු වෙනවා. ව්‍යාපාරික කටයුතු වලට විවිධ අභියෝග එල්ල වන විට ඒවාට උපායමාර්ගික ප්‍රතිචාර දක්වන ආකාරය ගැන හිතන එක ඔහුට ලොකු සතුටක්. ඔහුට ජීවිතය විඳීම වන්නේ මේ අභියෝග වල මුහුණ දීමයි.

ජීවක දිවා රෑ නොබලා පොල් කඩන්නේත් සල්ලි හොයන්නම නෙමෙයි. සල්ලි හෙවීමත් එක් අරමුණක් තමයි. නමුත්, ලෙඩ්ඩු එක්ක කතා කිරීමේ, ඔවුන්ගේ රෝග හඳුනා ගැනීමේ ආතල් එකකුත් තිබෙනවා. ඒ ආතල් එක මොකක්ද කියලා තේරෙන්නේ ඩොකෙක්ටම තමයි. දොස්තර මහත්තයා කලින් දුන්න බේත් ටිකෙන් දවස් දෙකට සනීප වුණා කියල ලෙඩෙක් කියන කොට ඔහුට දැනෙන්නේ මාර සතුටක්. ඒ සතුට එක්කම ලැබෙන සල්ලි නිසා සතුට තවත් වැඩි වෙනවා. ජීවක මත්පැනින් දුරස්ථව ඉන්නේ ඔහුට මත්පැන් බීම හිසරදයක් මිසක් සතුටට හේතුවන කරුණක් නොවන නිසා. ඔහු සිංදුවක් අහන්න, චිත්‍රපටයක් බලන්න අකැමැත්තක් නැතත් මේ වගේ දේවල් වෙනුවෙන් ඕනෑවට වඩා කාලය නාස්ති කිරීම තේරුමක් නැතැයි ඔහු සිතනවා. ලෙඩ්ඩු එක්ක කාලය ගත කිරීමේදී ලැබෙන සතුට හා ලැබෙන මුදල් නිසා එකතුවන සතුට එක ගොඩකට දැම්මහම චිත්‍රපටයකින් හෝ සිංදුවකින් ලැබෙන සතුට මොකක්ද?

සංගීත් ගෙදර ඉන්න දවසට කරන්නෙත් ගිටාරය වයමින් හෝ කී බෝර්ඩ් එක ඔබමින් සිංදු කියන එකයි. බැලුවහම කොයි වෙලාවෙත් සොමියෙන් ඉන්න එළ කොල්ලෙක්. හැබැයි මේ විදිහට ඔහු කරන්නේ ආතල් එකක් ගන්න එකම නෙමෙයි. තමන්ගේ වෘත්තීය දක්ෂතා පවත්වා ගැනීම පිණිස දිගින් දිගටම පුහුණු වෙන එකයි ඔහු කරන්නේ. වක්‍ර විදිහට මෙහිදී වෙන්නේ සංගීත් විසින් තමන්ගේ ආදායම් ඉපැයීමේ හැකියාව වැඩි දියුණු කර ගන්න එකයි.

සංගීත් හිතන්නේ තමන්ට සල්ලි නැතත් තමන් ධනපාලට හා ජීවකට වඩා සතුටින් ඉන්නා බවයි. රස්සාවටම හිර වුනු ජීවිත වල තිබෙන ප්‍රයෝජනේ මොකක්ද? නමුත්, ඔහුත් දවස තිස්සේම ඉන්නේ ඔහුගේ රස්සාව අස්සෙම හිර වෙලා. ඒ බව ඔහුට තේරෙන්නේ නැහැ. ඔහු හිතනවා ධනපාල හා ජීවකත් රස්සා වලම හිර වෙලා ඉන්නේ නැතුව චිත්‍රපටයක් බලලා, සිංදුවක් අහලා, අඩියක් ගහලා, දුමක් ඇදලා ජීවිතය විඳින්න යම් කාලයක් වෙන් කළ යුතුයි කියා. එහෙම නොකර සල්ලි පස්සෙම යන ජීවිතයක තේරුම මොකක්ද කියලා සංගීත්ට තේරෙන්නේ නැහැ.

ධනපාල හිතන්නේ වෙනත් විධිහකටයි. ඔහු හිතන විදිහට ඔහු ජීවිතය විඳින ගමන්ම සල්ලිත් උපයනවා. තවත් අයට රැකියා දී සල්ලි උපයන්න උදවු කරනවා. එහෙම නොකර හැමදාම සල්ලි නැතිකමින් දුක් විඳින සංගීත් වගේ අය ගැන ඔහුට තිබෙන්නේ අනුකම්පාවක්. ඔවුන් කලාව අතහැර "ප්‍රයෝජනවත්" වැඩක යෙදුනානම් මීට වඩා මීට වඩා සතුටින් ඉන්න තිබුණා කියා ධනපාල හිතනවා.

ජීවකට අනුව ධනපාල කියන්නේ සල්ලි පස්සෙම පන්නන මුදලාලි කෙනෙක්. නමුත්, තමන්නම් කරන්නේ සේවයක්. ඒ වගේම ඒ සේවය කරමින්ම තමන් තමන්ට සතුටු විය හැකි ජීවිතයකුත් ගෙවනවා කියලත් ඔහු හිතනවා. ඔහුට අනුව ඔහු ඉන්නේ සංගීත්ට වගේම ධනපාලටත් වඩා සතුටින්.

ඔය තුන් දෙනා අතරින් තමන් හිතන විදිහ සාමාන්‍ය මිනිස්සු විශාල පිරිසකට කියන්න ලැබෙන්නේ සංගීත් වගේ කලාකරුවන්ට පමණයි. ජීවකට හෝ ධනපාලට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා, මිනිස්සු දකින්නේ සංගීත් සතුටින් සිටින බව පමණයි. ධනපාලගේ හෝ ජීවකගේ ධනය මිනිස්සුන්ට දකින්නට ලැබුණත් ඔවුන්ගේ සතුට පිටට පෙනෙන්නේ නැහැ. සතුට පිටතට පෙන්වන සංගීත්ට ඔවුන්ට තරම් ධනයක් නැහැ. ඒ නිසා, ධනය විසින් සතුට පළවා හරින බවක් මිනිස්සුන්ට දැනෙනවා. නමුත්, එය ඇත්ත නෙමෙයි.

කොහොම වුණත්, සංගීත් ඔහුගේ වෘත්තිය අතහැර මුදලාලි කෙනෙක් වුණොත් ඔහු දැන් තරමට සතුටු වෙන එකක් නැහැ. ඒ ඔහු සතුටු වෙන්නේ ධනපාලගේ ක්‍රමයට නොවන නිසා. ඒ නිසා, ධනපාලට ආතල් එකක් ගන්න කියන එකේ වගේම සංගීත්ට සල්ලි හම්බවෙන වැඩකට අතගහන්න යෝජනා කරන එකෙත් තේරුමක් නැහැ.

මේ තුන් දෙනාගෙන් අවංක පෙම්වතෙක්, හොඳ සැමියෙක් වෙන්න පුළුවන් කාටද? ඒක තීරණය වෙන්නේ යම්කිසි ගැහැණියක් හොයන සතුට මොකක්ද කියන එක මතයි. වෛද්‍ය වෘත්තියේ හෝ හෙද වෘත්තිය වැනි කිට්ටුවෙන් යන වෘත්තියක නිරතව සිටින ගැහැණියකගේ අපේක්ෂා සමඟ ජීවකගේ ජීවන විලාසිතාව ගැලපෙනවා. ධනපාලගේ බිරිඳත් ඔහුගේ ව්‍යාපාරයේම කොටස්කාරියක්නම් ඇයට ධනපාලගේ රටාවේ අවුලක් පෙනෙන එකක් නැහැ. කලා ක්ෂේත්‍රයේම සිටින ගැහැණියක් සංගීත් එක්ක ජීවිතය බෙදාගන්න කැමති වෙයි.

යම් විදිහකින් සංගීත් ගැන සිහින මවමින් හිටපු, ඒ විදිහේ ජීවිතයකින් සතුටු වන ගැහැණියකට ධනපාල හෝ ජීවක එක්ක අකමැත්තෙන් විවාහ වෙන්න සිදුවුනොත්නම් ඔන්න අවුලක් තිබෙන්න පුළුවන්. මොකද ජීවිතය කියන්නේ සල්ලි නිසා හෝ වෙනත් දේවල් නිසා ලබන සතුට මිසක් සල්ලි හෝ ඒ වෙනත් දේවල් නොවන නිසා. ඒ වගේම, සංගීත්ගේ ක්‍රමයට අකැමැති ගැහැණියක් ඔහු එක්ක වැඩි කලක් ජීවත් වන එකකුත් නැහැ.

සල්ලි නිසා සතුට නැති වෙනවා කියා කවුරු හෝ කියනවානම් එය පට්ට බොරුවක්. සල්ලි නිසා සතුට නැති වෙන්නේ නැහැ. නමුත්, සල්ලි පස්සේ පැන්නීම නිසා මග හැරෙන වෙනත් දේවල් හේතුවෙන් නැති වෙන සතුට, සල්ලි හොයා ගත්තට පස්සේ සල්ලි නිසා ලැබෙන සතුටට වඩා වැඩි නොවන අවස්ථා තිබෙන්න පුළුවන්. එය පුද්ගලයෙකුගේ රුචිකත්වය හා අවස්ථාව අනුව තීරණය වන දෙයක්.

මේ එක නූල් කෑල්ලක් විතරයි. තව නූල් කෑලි කීපයක්ම ලැබුණු ප්‍රතිචාර අතරේ තියෙනවා.

(Image: /arthamagazine.blogspot.com/2016/10/bohimiyanuwa.html)

29 comments:

  1. තමන්ගෙ සතුට සහ අනික් අය හිතන තමන්ගෙ සතුට අතර වෙනස. අන් අය තමන් ගැන හිතන විදිහ ගැන නොහිතා තමන් සතුටු වෙන විදිහට ජීවත්වීම ගුණයි.

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      සතුටින් සිටීමට සියළු දෙනාටම අයිතියක් ඇත. යමෙක් අනුන්ගේ සතුට පැහැර ගැනීමට උත්සාහ කරන විට නිහඬව සිටීම නිවට කමකි.

      Delete
    2. Ano 4.30 තමන්ගෙ සතුට සහ අනික් අය හිතන තමන්ගෙ සතුට අතර වෙනස සෑහෙන දුරකට ඔවුන්ගේම තෝරාගැනීමක් කියන කතාව මමත් දැඩි ලෙස විස්වාස කරනවා. සතුටින් සිටීමට මෙරට ප්‍රශ්න බොහෝමයක් විසඳා අවසන් කිරීමට පුළුවන් යහපාලන ආන්ඩුවය, රනිල් ආර්තික ඔස්තාර් කෙනෙක්ය කියමින් අලුත පත් වුනු යහපාලන ආන්ඩුවේ වැරදි තියනවානම් තමන්ට කියන්නය, තමන් ඒ වැරදි අදාල තැණ් වලට දන්වා නිවැරදි කර යහපාලනේ රැකගන්නෙමි යී බ්ලොග් කොමෙන්ට් වල පොර ටෝක් දුන් සියළු දෙනාම යහපාලනේ කිසිම වැරැද්දක් නැති නිසා සංවේගයෙන් සිටී.

      Delete
  2. ඉකොනොමැට්ටා

    නවීන තාක්ෂණික යුගයක සතුටින් සිටීමට අවශ්‍ය කුමක්ද කියා එක්සත් ජනපදයේ, ජර්මනියේ, ප්‍රංශයේ, බ්‍රිතාන්‍යයේ වෙසෙන පුද්ගලයන්ගෙන් 89% ක් සඳහන් කළ සිටියේ සෞඛ්‍යය හොඳ නම් සතුටින් ජීවිතය ගතකළ හැකිබවයි. විවාහ වී හෝ නොවී යුවළකට එකට සතුටින් ජීවත් වීමට හැකි නම් එය සතුටට හේතු වන බව 79% ක් කියන අතර දෙමව්පියන් වීමෙන් සතුට ලැබෙන බව 62% ක් සඳහන් කළා. 51% අදහස සතුටින් සිටීමට හොඳ රැකියාවක් තිබිය යුතු බවයි, මුදල්වලින් සතුට ලැබෙන් නැහැයි හොඳා කාර දැන සිටියත් 47% ක් විශ්වාස කළේ සතුටින් සිටීමට මුදල් අවශ්‍ය බවයි. සල්ලි නිසා සතුට නැති වෙනවා කියා කවුරු හෝ කියනවානම් එය පට්ට බොරුවක් නමුත් තිබෙන සාක්ෂි මගින් දැකගත හැක්කේ කුමක්ද?

    සතුටින් සිටීමට හා මුදල් අතර සබඳතාවක් තිබෙනවා යයි කියන ඒ කතාවේ ඇත්ත නැත්ත සොයා අමෙරිකාවේ සිටින ධනවත්ම පුද්ගලයන් සියදෙනෙකු සම්බන්ධව කළ සමීක්ෂණයකින් හෙළි වූයේ ඔවුන් සාමාන්‍ය ජනයාට වඩා වැඩි සතුටින් සිටීන්නේ නැති බවයි, ඊට අමතරව එක්සත් ජනපදයේ හුඟදෙනෙක් පසුගිය දශක තුන ඇතුළත තම වස්තු සම්භාරය දෙගුණයකින් වැඩි කරගෙන තිබුණත් ඔවුන් කලින් සතුටින් සිටී සතුටට වඩා වැඩි සතුටක් නැති බව මානසික සෞඛ්‍ය විශේෂඥයන් සොයාගෙන තිබෙනවා.

    එක් සමීක්ෂණ වාර්තාවක මෙවන් විස්තරයක් තිබුණා.

    //පසුගිය දශක තුන ඇතුළත අමෙරිකාවේ මානසික අවපීඩනයෙන් පෙළෙන්නන්ගේ සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙන අතර සියදිවි නසාගැනීම තුන් ගුණයකින් වැඩි වී තිබෙන අතර දික්කසාද දෙගුණ වී තිබෙනව//

    පර්යේෂකයන් විසින් සතුටින් සිටීමට හා මුදල් අතර යම් සබඳතාවක් තිබෙනවා ද කියා රටවල් 50ක පමණ කළ අධ්‍යයනවලින් පසු ඔවුන් පැමිණි අවසන් නිගමනය නම්, මිල දී ගත නොහැකි සතුටින් සිටීම, මුදල් නිසා සතුට නැති වෙනවා යන්නයි.

    හොඳ සෞඛ්‍යයක්,තෘප්තිමත් විවාහ දිවියක් හා හොඳ රැකියාවක් වැනි දේ සතුට සඳහා කොපමණ වැදගත්ද කියා රටවල් 50ක පමණ කළ අධ්‍යයනවලින් පසු ඇත්තටම මෙම දේවල් අත්වශ්‍ය නම් හොඳ සෞඛ්‍යය ක් නැති මිලියන සංඛ්‍යාත ජනයා, තෘප්තිමත් විවාහ දිවියක් ගත නොකරන ධනවතෙක් ගැන කිව හැක්කේ කුමක්ද? ධනවත දරුවන් නැති විවාහක අය හා හොඳ රැකියාවක් නැති ස්ත්‍රීන් හා පුරුෂයන් ගැන කියන්න පුළුවන් මොනවාද? ඒ හැම කෙනෙක්ම ගත කරන්නේ සතුටින් සිටීමක් නැති අඳුරු ජීවිතක්ද? හොඳ සෞඛ්‍යක් හා තෘප්තිමත් විවාහයක් සතුටින් සිටීම කියා සිතනවා නම් එය අද්දකිමින් සිටින අයගේ එම තත්වය වෙනස් වුණොත් ඔවුන්ගේ සතුටින් සිටීමට නැවතීමේ තිත වැටෙද ඉකොනොමැට්ටා ?

    ReplyDelete
    Replies
    1. ඔබ ලියා තිබෙන ඇතැම් දේවල් ගැනනම් දන්නවා. හැම දෙයක්ම ගැන දන්නේ නැහැ.

      //පර්යේෂකයන් විසින් සතුටින් සිටීමට හා මුදල් අතර යම් සබඳතාවක් තිබෙනවා ද කියා රටවල් 50ක පමණ කළ අධ්‍යයනවලින් පසු ඔවුන් පැමිණි අවසන් නිගමනය නම්, මිල දී ගත නොහැකි සතුටින් සිටීම, මුදල් නිසා සතුට නැති වෙනවා යන්නයි.//

      කරුණාකර මෙහි සඳහන් පර්යේෂකයින් කවුද කියා කියන්න පුලුවන්ද?

      Delete
    2. Sources;

      01. https://amp.ibtimes.co.uk/money-can-buy-you-happiness-after-certain-point-it-may-have-opposite-effect-1661452

      02.https://www.psychologytoday.com/us/blog/the-new-brain/201005/money-buys-unhappiness-proven-in-new-study?amp

      03.https://sites.psu.edu/siowfa15/2015/09/15/money-and-unhappiness/

      04.https://www.independent.co.uk/news/science/happiness-study-lse-mental-health-relationships-money-does-not-dictate-subjective-wellbeing-a7468676.html?amp

      05.https://www.scientificamerican.com/article/money-buys-unhappiness/

      Delete
  3. සල්ලි වියදම් කරනකම් තමන්ට අයිති නෑ කියලයි මම අහලා තියෙන්නේ. එහෙම බලපුවම ධනපාලලා, ජීවකලට කවදත් සල්ලි තිබිලා නෑ.. හම්බ කරලා විතරයි..

    ඕවා ගොඩක් වෙලාවට පුද්ගලයන්ට සාපේක්ෂයි තමා. ඒත් සාමාන්‍ය තත්ත්වය තමා ධනයත් එක්ක දුක සහ තවත් ප්‍රශ්න වැලක් එනවා. පුද්ගල බැදීම් ඈත් කරවනවා. ධනයෙ වහලෙක් නොවී ධනය තමන්ගේ වහලෙක් කරගත්තොත් සමබර ජීවිතයක් ගෙවන්න පුළුවන් වෙයි කියලා හිතනවා..

    ReplyDelete
    Replies
    1. Well said, not only them but also Jeff Bezos, William Henry Gates etc. all are in the same boat despite few pluses & minuses

      Delete
    2. එක එක්කෙනාගේ විදිය තමයි.

      මම ඉගෙන ගන්න රටේ ටියුෂන් ෆී අධිකයි නේ. මට ගොඩක් වෙලාවට මුණගැහෙනවා පූර්ණ ශිෂ්‍යත්වයක් නැතුව MSc හා PhD වලට, එන යුරෝපයෙන් පිට ළමයි. මෙහෙ යුරෝපියන් හා ඉන්ටනැෂනල් ටියුෂන් ෆී අතර පරතරය අධිකයි.

      මට මුණගැහෙන මේ අය වෘත්තියෙන් ඉංජිනේරුවන් හෝ ඉංජිනේරු සිසුන්ට උගන්නන විශ්ව විද්‍යාල වල ආචාර්යවරුන්. හොඳ ආදායමක් එක්ක ඒ රටවල් වල රැකියාව කරපු අය. මෙහෙ ටියුෂන් ෆී ගෙවීම උදෙසා ඒ ගොඩක් අය තමන්ගේ ඒ රටේ වත්කම වන ගෙවල්, වාහන පවා විකුනලා, සියලු ඉතුරුම් වියදම් කරනවා, ඒත් මදි නිසා ණය ගන්නවා. පාට් ටයිම් වැඩ කරනවා. නමුත් එහෙම කරලත් ගොඩක් අයට ඔවුන්ගේ රටේ බොන්ඩ් එකක් තියනවා, ඒ කියන්නේ ආපහු යන්නත් ඕන. ඒ කියන්නේ අර ඔක්කොම කරන්නේ ජීවන තත්වයේ දියුණුවක් ලබා ගෙන පිටරටක පදිංචි වෙන්න වගේ දෙයක් බලාපොරොත්තුවෙනුත් නොවෙයි. ඉගෙන ගැනීමට තිබෙන ආසාව නමැති පිරිසිදු අදහසින්.

      ඉගෙන ගන්න අදහස අත් ඇරලා දාල, මුදල් උපයාගෙන හිටියා නම් ඔවුන් සතුටින් ඉඳීවිද? ගොඩක් වෙලාවට දිගටම උත්සාහ කරාවි හාෆ් ස්කොලශිප් එකක් හෝ ගන්න.

      හැබැයි ඔවුන්ට ඇති වෙන්න මුදල් තිබුණා නම්, ණය බරින් මිරිකෙන්නේ නැතිව හිතේ නිදහසෙන් ඉගෙන ගන්න ලැබේවි.

      Delete
    3. ඔබ මෙහි සඳහන් කර තිබෙන එක් කරුණක් මම ඉදිරියේ ලියන්න හිතා හිටි දෙයක්. අධ්‍යාපනය කියන්නේ ආයෝජන භාණ්ඩයක් වගේම පරිභෝජන භාණ්ඩයක්. ඇතැම් අයට දෙවන කරුණ වඩා වැදගත්. මේ හා අදාළව පර්යේෂණ පත්‍රිකා කිහිපයක්ම පළ වී තිබෙනවා.

      Delete
  4. ඉකොනොතුමනි මෙහෙම වෙන්ඩ බැයිද මේ වැඩේ. ලංකාව වගේ ආර්තිකව පසුගාමී සමාජයක එක්කෝ බොහෝ දෙනා දුප්පත් එක්කෝ බොහෝ දෙනාට මුදල් ඇත්තේ යංතං මූලික අවශ්‍යතා පිරිමසා ගැනීමට පමනයි. උදා පවුලේ හැමෝටම ගමන් කල හැකි වාහනයක් හෝ පවුලේ සැම එක්ව විවේකස්තානයක ගෙවන නිවාඩුවක් වැනි ඉතා සරල දේ පවා බොහෝ දෙනාට සිහිනයක්. ඉතින් අපි දකින්න කැමති කවුද? "ඔය සල්ලි කාරයන්ට අපිට තරං මානසික නිදහසක් නෑ.උං ලෙඩ්ඩු. උං නිතරම කල් ගෙවන්නෙ සැකෙන්. බයෙන්. ඊට වඩා මේ දුප්පත් ජීවිතේ කොච්චර හොදද?" අපි මේ ස්වයං රැවටීම නැවත නැවත ඒත්තු ගාන්වන නාට්‍ය හෝ චිත්‍රපටි බලන්ඩ කැමතියි නේද? ධනවතුන් සතුටින් හිටියොත් අපිටත් ධනවත් වෙන්න හිතෙනවා. ඒක ප්‍රායෝගිකව අමාරු දෙයක්. ලේසි දේ අපි ධනවතුන් දකිනවිට ඔවුන් මහත් දුකක් විදිමින් ජීවත්වන බව පෙන්වීමයි.

    ReplyDelete
    Replies
    1. නූතන ලොවපුරා ධනවතුන් ඉතා වේගයෙන් ආධ්‍යාත්මික ක්‍රම කෙරෙහි නැඹුරු වනව, ටී. ආනන්ද කෘෂ්ණන් (මැලේසියාවේ ප්‍රමුඛ ධනවතා) කලකට පෙර බුදුදහම වැළඳ ගත්තා, ඔහුගේ පුතා භික්‍ෂූවක්‌ බවට පත්වූ අතර Mexicoවේ සුපිරි ධනවතා බවට පත්වූ වසර 2007-2010-2013 යන අවුරුදුවල ලොව ධනවත්ම මිනිසුන් අතර ඉහළින්ම සිටි කාලෝස්‌ ස්‌ලිම් හෙලූ ධනවතා/ ඇමරිකන් ප්‍රමුඛ ධනවතකු වන වොරන් බෆට්‌ හින්දු ආගම කෙරෙහි නැඹුරු වෙලා දිගටම ආධ්‍යාත්මික උනන්දුව නිරන්තරයෙන් පළ කළබව ගැනනම් දන්නවා.

      Delete
    2. @ කට්ටකාඩුවේ ලොකු මල්ලි,

      //ලංකාව වගේ "ආර්තිකව පසුගාමී සමාජයක" එක්කෝ බොහෝ දෙනා දුප්පත් එක්කෝ බොහෝ දෙනාට මුදල් ඇත්තේ යංතං මූලික අවශ්‍යතා පිරිමසා ගැනීමට පමනයි.//

      ජීවිතයේ අභිලාශ/ අපේක්‍ෂා/ ඉලක්‌ක ජයගත් පසු ලැබෙන්නේද සතුටක් ලෙස සිතන ලොකු මල්ලි ඔබ වගේ බොහෝ දෙනා මෙන්ම ජීවිතයේ සරල බව, අවශ්‍යතා සීමිත බව, නිවහල් බව හා නිදහස්‌ බව (අල්පේච්ඡතාව) කෙරෙහි නැඹුරු වෙලා දිගටම ලැබෙන මානසික උත්තේජනද සතුටකි, එය මා වඩාත්ම පිළිගන්න සතුටට දෙන නිර්වචනයයි.

      ඔබගේ උනන්දුවට මා අසා ඇත යුරෝපයේ සරල කතාවක් මෙසේ ලියන්මි.පසුබිම: යුරෝපයේ රටක විලක් අසල හුදෙකලා.පුංචි නිවසක ජීවත්වන සරල ගති පැවතුම්, සීමිත අපේක්‍ෂා, අතමිට මුදල් හිඟ වූ තනිකඩ ධීවරයෙකි.

      Delete
    3. තමන්ට අයත් පුංචි ඔරුව විලමැදට පැද යන ඔහු අන් ධීවරයන්ට වඩා සූක්‍ෂම හා දක්‍ෂ ලෙස මසුන් හත්අට දෙනෙක්‌ අල්ලාගෙන ඉතා ඉක්‌මනින් යළි විල් තෙරට පැමිණ අල්ලා ගත් මසුන් කිහිප දෙනා රැගෙන නගරයට යන ඔහු ඒ මසුන් විවෘත කඩපිලක තබා විකුණයි. ඔහුගේ මාළු අලුත් බැවිනුත්, වඩා ලොකු බැවිනුත් ලාභ බැවිනුත් ඉතා ඉක්‌මනින් අලෙවි වෙයි. සොයා ගන්නා මුදලින් තමන්ට අවශ්‍ය ආහාර/ පාන/ මත්පැන් හා අනෙකුත් කළමනා රැගෙන නිවසට පැමිණෙන ඔහුගෙන් එක්තරා දිනක මාළු මිලදීගැනීමට විශ්ව විද්‍යාල මහාචාර්ය වරයෙක්‌ පැමිණ සංවාදයක පැටලුණි.

      මහාචාර්ය: "ඔබ හොඳ අලුත් මාළු අල්ලාගෙන එන දක්‍ෂ ධීවරයෙක්‌, ඒත් ඔබ මේ කර්මාන්තය ගැන උනන්දු නැහැ, ඔබ උනන්දු නම් හොඳට දියුණු වෙන්න ඔබට පුළුවන්.”

      “දියුණු වෙනවා ???” ධීවරයා ඇසීය,

      “මම 'ව්‍යාපාර කළමනාකරණය' පිළිබඳ විශ්ව විද්‍යාල මහාචාර්ය වරයෙක්‌, මට පුළුවන් ඔබ ඔය කරන ධීවර රැකියාව 'කර්මාන්තයක්‌, ව්‍යාපාරයක්‌' විදිහට වැඩි දියුණු කරන ඔබට උදව් වෙන්න.”

      ධීවරයා “ඒ කොහොමද???” ඇසීය.

      “ඕන නම් විශ්ව විද්‍යාලයේ 'ව්‍යාපාර හා කර්මාන්ත කළමනාකරණ' පාඨමාලාවක්‌ හදාරලා උපාධියක්‌ ලබා ගන්න ඔබට පුළුවන්.”

      “ඊට පස්‌සේ???”

      “දිනපතාම මසුන් අල්ලන්න ගිහින් මාළු අල්ලාගෙන ඇවිත් හොඳ ආදායමක්‌ ලබා ගන්න ඔබට පුළුවන්”

      “ඊට පස්‌සේ????"

      “පස්‌සේ හොඳ යාන්ත්‍රික පහසුකම් තියෙන අලුත් බෝට්‌ටුවක්‌ මිලදීගෙන වැඩිපුර මාළු අල්ලාගෙන එන්න.”

      “ඊට පස්‌සේ???”

      “තව බෝට්‌ටු, තව ගෝලයෝ අරන් මාළු ඇල්ලීමේ ව්‍යාපාරය තව තවත් දියුණු කරනවා.”

      “ඊට පස්‌සේ???”

      “ඔබ තමයි එතකොට මේ ගමේ වැඩිපුරම මාළු අල්ලන ලොකුම ධීවරයා, ඊට පස්‌සේ ඔබ නගරයේ ලොකු මාළු කඩයක්‌ දානව”

      “ඊට පස්‌සේ???".

      “ඊළඟට ඔබට පුළුවන් අනෙක්‌ ධීවරයො අල්ලන මාළුත් මිලට අරන් ලොකු ව්‍යාපාරයක්‌ පටන් ගන්න, ඔබේ මාළු රට පුරාම බෙදා හරින්න ශීතකරණ සහිත වාහන කිහිපයක්‌ ගන්නත් පුළුවන්.”

      “ඊට පස්‌සේ???".

      “එතකොට ඔබ අල්ලන මාළු ප්‍රමාණය මදි. ඔබට පුළුවන් බෝට්‌ටු විකුණල දාලා අංග සම්පූර්ණ පහසුකම් තියෙන ලොකු ට්‍රොලර් බෝට්‌ටු 6-7 ක්‌ අරන් විලේ ඈතට ඈතට ගිහින් මාළු අල්ලන්න්න, එතකොට ඔබ තමයි මේ පැත්තටම ඉන්න ලොකුම පොහොසතා.

      ධීවරයා “හොඳයි. ඊට පස්‌සේ???” ඇසීය.

      ඇයි ඔබට එතකොට පුළුවන්නේ ඔබ අල්ලන මාළු වලින් මේ පළාතේ ටින් මාළු (canned fish) ටින් කරන කම්හලක්‌ අරින්න. ඔබේ අලුත් මාළු ලොරි වලින් රට පුරා බෙදාහරින අතර අමතර මාළු ටික ටින් මාළු බවට පත් කරනවා, මේ විලේ මාළු ටින් කරන්න කදිමයි.”

      “ඊට පස්‌සේ???”

      “ඔව් ඉතින්???? එහෙම දියුණු වුණොත් ඔබට පුළුවන් රටේ ලොකුම ධනවතා වෙලා ජාත්‍යන්තර වෙළෙඳ පොළටත් මාළු යවන්න. ඕන්නම් ලොකු නැව් අරගෙන මාළු අල්ලලා ටින් මාළු ෆැක්‌ටරි දෙක තුනක්‌ වුණත් දමල ලෝකේ හොඳම ටින් මාළු නිපදවන්න.”

      “ඊට පස්‌සේ????”

      “ඊට පස්‌සේ රටේ ලොකුම ධනවතුන් අතර ඔබේ නම ලියව ගෙන ඔබට පුළුවන් ලෝකයේ වැජඹෙන්න.”

      “ඊට පස්‌සේ???"

      “ඊට පස්‌සේ රට රටවල ඇවිඳින්න, විනෝද වෙන්න, අවශ්‍ය කෑම බීම, වාහන සැප සම්පත් යස ඉසුරු ලබාගන්න ඔබට පුළුවන්.”

      “ඊට පස්‌සේ????” තවත් ධීවරයා ප්‍රශ්න ඇසීය.

      “ඊට පස්‌සේ ඉතින් හම්බ කරලා ඇතිනේ. එතනින් පස්‌සේ ජීවිතේ විවේකයෙන් සතුටින් ගත කරන්න ඔබට හැකි නේ.”

      “ඒ කියන්නේ????”

      ඒ කියන්නෙද??????? ඒ කියන්නේ ඔබට පුළුවන් ලොකු වත්තක්‌ අරගෙන දැසි දාසයෝ තියාගෙන ලොකු මාලිගාවක්‌ හදල සතුටින් නිදහසින් කාල බීල පාඩුවේ ජීවත් වෙන්න.

      “ඊට පස්‌සේ???” තව දුරටත් ධීවරයා ඇසීය.

      “ඊට පස්‌සේ???? ඊට පස්‌සේ ඕන ම නම් අර පේනව වගේ මේ විල අයිනේ ඉඩමක්‌ අරන්, අර වගේ පුංචි ලෑලි ගෙයක්‌ හදා ගෙන නිදහසේ ජීවත් වෙන්න පුළුවන්නේ???

      "ඕනම නම් ඒ ගෙදර පිටිපස්‌සේ ඉර බැහැ ගෙන යන හවසක අර පේන ලෑලි බංකුව උඩ වාඩිවෙලා මධු විතක්‌ තොලගාමින් ගිටාරයත් වයමින් සිංදු කියන එක මොන තරම් සතුටක්‌ ද? ඉර බහිනකොට ඒ පැත්ත මොන තරම් ලස්‌සනද? කැමැති නැද්ද ඔබ?”

      “කැමතියි මහත්මයා කැමතියි." කියන ධීවරයා "දන්නවද ඒ පේන ගෙදර කාගෙද කියලා??? ඒ පේන ගේ මගේ, අදටත් මම හවසට ගිටාරය අරන් අර ලෑලි බංකුවේ වාඩිවෙලා මධු විතක්‌ තොල ගාලා පුංචි සිංදුවක්‌ කියනවා.”

      ධීවරයාගෙන් සමුගෙන කල්පනාවක නිමග්න මහාචාර්ය වරයා යන්නට ගියේය.

      Delete
    4. ස්තූතියි ඇනෝ තුමනි ඔබේ අදහසට. ඔව් සරල අල්පේච්ච දිවි පැවැත්ම තමන්ගේ තේරීම නම් ප්‍රශ්නයක් නෑ. ඒත් ඇත්ත නම් ලංකාවේ අපි බොහෝ දෙනෙක් අල්පේච්ච වන්නේ තේරීමක් (choice) ලෙස නොව වෙනත් විකල්පයක් නොමැති වීම නිසා බවයි. අඩුම තරමේ අපේ ගමේ මිනිස්සු එහෙමයි. මා කිව්වේ ඔවුන් ගැනයි.

      Delete
    5. 1000 % agree.+++++++++++++++++++++++++++

      Delete
    6. //ඒත් ඇත්ත නම් ලංකාවේ අපි බොහෝ දෙනෙක් අල්පේච්ච වන්නේ තේරීමක් (choice) ලෙස නොව වෙනත් විකල්පයක් නොමැති වීම නිසා බවයි//

      මේක තමයි තිත්ත ඇත්ත. මධ්‍යම ප්‍රතිපදාව තමා හොඳ. යම්කිසි ඉතුරුවක්, තැන්පතුවක් අවශ්‍යයි, හදිසි අවශ්‍යතා වලදි , අනුන්ට අත නොපා ජිවත් වෙන්න.
      Money, happiness and eternal life - Greed (1/2) | DW Documentary

      Delete
  5. //පැතුම්, සෙන්නා හා උදය ඇතුළු තවත් අය

    මේ වාක්‍ය දැකලා මගේ පපුව හෝස් ගාලා දාලා ගියා.

    නලීන් ද සිල්වා මහත්මයාගේ කෝපය කොපමන සාදාරණද කියලා අවබෝධ වුනා.

    ReplyDelete
    Replies
    1. @ Jagath

      ලංකාව IMF එකේ සහ IBRD බැංකු උපදෙස් පරිදි රනිල් සියලු ආර්ථික සහ මූල්‍ය ආරක්ෂක විධි ලිබරල් න්‍යායට අනුව ඉවත් කරා, නමුත් එයින් වෙන්නෙ ආර්ථික සමබිමක් නොවේ, අසමතුලිත අසම බිමක් සමබර කරන ලංකා රජයට ඇති අවස්ථාවයි එයින් නැති උනේ.

      අමෙරිකාවේ ට්‍රම්ප් ලෝකේ ජාත්‍යන්තර වෙළෙඳපොළ ආර්ථිකය සමබිමක් නොවන බව පෙන්නුවා, ට්‍රම්ප් පෙන්නුවෙ නැතත් ඉන්දියාවත්, චීනයත් ඒක පෙන්නුවා. ලෝකේ රට වල සම්පත් සහ ශක්‍යතා වෙනස්, සමහර රටවලට ඛනිජතෙල් අාදි සම්පත් තියෙනව, සමහර රටවල් අවුරුදු සිය ගාණන් අනෙක් රටවල් යටත් කරගෙන ඉදලා උපයාගත් ධනයක් තියෙනව, සමහර රටවල ජනගහනය ඉතා විශාල නිසා ශ්‍රමය ඉතා ලාබයි, සමහර රටවල පරිසර නීති කම්කරු නීති වැඩියි, එවිට නිෂ්පාදන වියදම වැඩියි, සමහර රටවල පරිසර නීති කම්කරු නීති ඇත්තෙම නෑ, ඒ නිසා නිෂ්පාදන පිරිවැය ඉතා අඩුයි, සමහර රටවල විද්‍යා සහ තාක්ෂණ දැනුම ඉතා දියුණුයි, etc. මේ නිසා සමහර රටවල යම් යම් ක්ෂේත්‍රවල අනෙක් රටවලට නැති විශේෂ අවස්ථා සහ හැකියාවන් ඔවුන්ට තියෙනවා, දේශගුණ තත්ව අනුව ඔවුන්ට විශේෂ වාසි හෝ අවාසි සමහර රටවල තියෙනවා.එක් එක් රටවල වෙනස් මට්ටමකින් දේශපාලන ගැටුම් අස්ථාවරතාත් පවතින්නෙ, මේ ආකාරයට ගත්තහම හැම රටක්ම ආර්ථිකව අනන්‍යයි, එක ආර්ථිකයක් තවත් ආර්ථිකයකට සමාන නෑ. ශක්‍යතා සහ දුර්වලතාත් වෙනස්. ඒ අනුව හුදු ආනයන අපනයන සීමා හෝ සේවා ආර්ථිකයේ සීමා ඉවත් කරපු පමණින් ඒ ආර්ථික පිටිය සමතල වෙන්නෙ නෑ. ඇත්තටම වෙන්නෙ කලින් තිබ්බ වෙනස්කම් සහ ශක්‍යතා සහ දුර්වලතා පාලනයකින් තොරව මතු වෙලා වඩා ශක්තිමත් ආර්ථිකයට වඩා දුර්වල ආර්ථිකය සහමුලින්ම නතු වීම. වඩා බලවත් ආර්ථිකයට ආර්ථික අධිරාජ්‍යයක් අත්කරගැනීමට අවස්ථාව සැලසීම (යුරෝපා සංගමය හරහා යුරෝපයේ ශක්තිමත්ම ආර්ථිකය වූ ජර්මනිය ශක්තිමත් උනේත් වඩා දුර්වල ආර්ථික ඇති පෘතුගාලය, ග්‍රීසිය වැනි රටවල් වැටුනේත් මේ නිසා).

      ඉන්දියාවත්, චීනයත් එක්ක ලංකාවෙ වෙළද හිගය අවුරුදු පතා වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නෑ, ඒ අස්සෙ සිංගප්පූරුව, ඉන්දියාව සහ අනෙක් හැමෝම එක්ක පෝලිමට ඊනියා ‘වෙළද ගිවිසුම්‘ ගහගෙන යනවා, සේවා වෙළදපොලත් විවෘත කරන රනිල්ලා කරේ ආර්ථිකයේ හෙල්මට් එක නෙවේ බෝල්ගාඩ් එකත් ගලෝපු එක. ඊට පස්සෙ 70 දශකයේ බටහිර ඉන්දීය වගේ කණ්ඩායමක් එක්ක ස්පිනර්ස්ලා ටිකක් දාගෙන ඕස්ට්‍රේලියාවෙ ගැබා ක්‍රීඩාංගනයේ මැච් ගහන ලංකා ආර්ථිකයේ ඔලුව තියා අස්ථි වත් ඉතුරු වෙයිද?

      Delete
  6. ඉකෝ මේ ලිපි පෙලෙන් බලාපොරොත්තු වෙන්නේ සල්ලි සහ සතුට කියන දෙක අතර ගැටුමක් තියෙනවා කියල මිනිසුන්ගේ හිතේ තියෙන ආකල්පය ගැන පොඩ්ඩක් අවුස්සලා බලන එක කියල හිතෙනවා.

    මගේ අදහස සල්ලි හෝ සතුට නිසා ඔබ කොපමණ තෘප්තිමත් වෙනවාද කියන එක මේ ගැටලුව (සංකල්පය) ඇතුලේ තියෙනවා. ඒ ඒ මිනිසුන්ගේ සතුට රඳා පවතින්නේ තමන්ට දැනෙන සංතෘප්තිය මත කියල මම හිතන්නේ.

    තෘප්තිමත් භාවය ගැන අපි ගැඹුරින් හිතන්නේ නෑ.. අපි අපිට දැනෙන සතුට කියන හැඟීමෙන් තාවකාලිකව සෑහිමට පත්වෙනවා. තමන්ගේ ඇතුලාන්තයේ තියෙන සමාජ සම්මත විසින් ගොඩ නගපු සතුටු රාමු, දුක් රාමු තාව කාලිකව සන්තර්පණය කිරීම අපි සතුටු වීම හෝ දුක් වීම විදියට තේරුම් ගන්නවා. ඒ රාමු එකිනෙකා ඇතුලත ගොඩ නැගිලා තියෙන්නේ හැදෙන වැඩෙන පරිසරය සහ තව තව සාධක නිසානේ.

    ඔබ ඔය සඳහන් කරපු උදාහරණ චරිත තුනම ඒ ඒ ආකාරයෙන් සතුටු වෙන අය. නමුත් ඇත්තටම ප්‍රධාන චරිත දෙකක් විතරයි ඉන්නේ. එකක් අපි හැමෝම සතුටින් ඉන්න පුද්ගලයා විදියට පිළිගන්න කැමති සරල ගමේකමට ඉන්න අහිංසක චරිතය. හිත යටින් ආස කරන, නමුත් මතුපිටින් වෛර කරන ප්‍රයිවට් ජෙට් එකේ යන බිස්නස් කාරයා අනිත් චරිතය. ඔය දෙකටම නැති බහුතර අපි, ඔය චරිත දෙක ගැන අපේ සංකල්ප හදාගෙන ඒ ඒ රාමු ටික පුරවාගෙන ඔය දෙක අතර මැද දෝලනය වෙමින් ඉන්නවා.

    ඔබට කවද හරි සැබෑ තෘප්තිමත් මනුෂ්‍යයෙක් සොයා ගැනීමට අවශ්‍ය නම් කරන්න ඕනේ, දැනුමෙන් හෝ මනසේ විශ්ලේෂණ වලින් තොරව, පියවි සිහියෙන් ලෝකය දෙස බලන්න පුළුවන් කෙනෙක්ව සොයා ගන්න එක. එහෙම අය ගේ තෘප්තිමත් බාවය,සතුට හෝ දුක බාහිර භෞතික සාධක මත තීරණය වෙන්නේ නෑ. හේතුවක් නැතුව හැම මොහොතේම ආතල් එකේ ඉන්නේ එහෙම මිනිස්සු... හෙහ් හෙහ්

    ReplyDelete
  7. මම කොමස් කරපු කෙනෙක් නෙවෙයි. මට තේරෙන හැටියට කියන්නෙ ඒ නිසා.

    මට තේරෙන හැටියට ඔය ප්‍රශ්න වලට තියන දීර්ඝකාලීන උත්තරේ තමයි රටට ඩොලර් එන ක්‍රම වැඩි කරන්න ඕනි කියන එක. ඒකට මුලින්ම පොඩි පොඩි දේවල් කරන්න ඕනි. උදාහරණයක් හැටියට freelancing කරන අයව දිරි ගන්වනඑක වගේ දේවල්. පොඩි පොඩියට උනත් එයාල සමස්තයක් හැටියට ලොකු මුදලක් ගේන්න පුළුවන්කමක් තියන අය.

    අනිත් කාරණය තමයි ලංකාවේ සමාගම් විදේශ වෙළඳපොළට යොමුවෙන එක. හොඳම උදාහරණය වියට්නාමය. එයාලගෙ සන්නිවේදන සමාගම් අද අප්‍රිකාවේ තියනව. අයිතිය වියට්නාම ආරක්ෂක අමාත්‍යංශයට. එමගින් ඔවුන් වසරකට ඩොලර් බිලියන දෙකතුනක් රට තුලට ගේනවා. ලංකාවේ ඉන්න අය ඇත්තටම වැඩ කාරයො හැබැයි නිසි මගපෙන්වීමක් නෑ. ඒ නිසා දැනුම, ශ්‍රමය අයාලේ යනව. ටෙලිකොම් එකට, ඉංජිනේරු සංස්ථාවට පුළුවන් වෙන රටවල් වලට තමන්ගෙ මෙහෙයුම් දිගුකරන්න.

    අනිත් කාරණය නිෂ්පාදනය කරන විදේශ සමාගම් වලට පහසුකම් සපයල ලංකාවට ආකර්ෂණය කරන එක. රජයට ඒ සමාගම්වල කොටස් තියෙන විදිහට වැඩපිළිවෙලක් යෙදුවනම් හරි. එතකොට බදු හරහා ආදායම් උපයනවට වඩා හොඳින් රජයට ආදායම් ගන්න පුළුවන්. (මල නොතලා රොන් ගැනීමක්)

    හැබැයි වැඩේ තියෙන්නෙ අපේ දේශපාලකයන් ඒ ගැන හිතන්නේ නෑ. මම ලඟදි දැක්ක විදුලි දුම්රිය හදන ප්‍රොජෙක්ට් එකකින් පගාව ඉල්ලපු සීන් එකක්. ඔයවගේ වැඩ නිසා තමයි ඇත්තටම ආයෝජකයෝ රටට එන්නේ නැත්තෙ.

    - Adeesha Jayanath

    ReplyDelete
  8. //විශේෂයෙන්ම එක් මානවිකාවක් ලෙස අදහස් දක්වන හිතවතිය (කෙටියෙන් එමා කියමු)// මේ අර රවීය නම දාපු මානවික්ස් ම නම් එහෙම වෙනත් නමක් දැමීමෙන් @අනෙකාගේ @ (හෙවත් රවියාගේ ) සතුට උදුරා ගැනීමක් නොවේද ? :)

    ReplyDelete
    Replies
    1. හහා...

      ඉකොන්, එමා කිවුවට මම තරහ නැහැ. කොහොම කිවුවත් එක් මානවිකාවක් කියන්නෙත් මගේ සැබෑ නම නොවෙයි, ඉතින් නම නෙවෙයි, අපි කරන සංවාදය තමයි වැදගත්. :)

      අජිත්, මට නම් කීපයක් තියනවා. එක්ස් මානවික්ස් හෝ මානවික්ස්, මානවී, එමා/එමා චන්. නමුත් මානවී මගේ සැබෑ නම නොවේ. ඒ නිසා ඕන එකක් කිවුවට කමක් නැහැ. බලමු රවී තුමා මොනව කියාවිද කියල.

      Delete
    2. දැන්නේ මතක් වුනේ...කලින් වතාවක මානවී කියල කිවුවෙත් මමමද කොහෙද...ඒක එමාට වඩා හොඳයි වගේ.

      Delete
  9. මුලින්ම කියන්න ඕන, බොහොම ස්තුතියි මාව සයිට් කලාට සහ සංවාදය ඉදිරියට ගෙන ගියාට. එය මට සතුටක් වගේම ඔබ වගේ කෙනෙක් මගේ කමෙන්ට් එකක් උපුටලා කතාව දිගටම ගෙනයාම මට ගෞරවයක් කියල මම හිතනව.

    ඔබ කියන කතාව හරි. මම හිතන්නේ අපේ රටේ ටෙලි නාට්‍ය හා චිත්‍රපටි නිෂ්පාදකයින් විතරක් නොවෙයි, ප්‍රේක්ෂකයින් බහුතරයක් නුත් අයත් වෙන්නේ මධ්‍යම පාංතික පිරිසට. ඉතින් මුදල් නැති කෙනා වීරයෙක් විදියට පෙන්නන එක ප්‍රේක්ෂකයින් ඇදගන්නටත් හේතුවක් වෙන්නට පුළුවන් නේ, නේද?

    ඒ වගේම තව කතාවක් එකතු කරන්නම්කො. මේක නම් විහිලු කතාවක්.

    Why are there no Lamborghini or Ferrari ads on TV?

    “people who can afford a Ferrari or a Lamborghini are not sitting at home watching television”

    ReplyDelete
    Replies
    1. ඕක විහිළු කතාවක්ම නෙමෙයි. රූපවාහිණී දැන්වීමක් දමන්නේ එසේ කිරීමෙන් මිල දී ගැනීමේ තීරණ වලට සැලකිය යුතු බලපෑමක් කළ හැකි අවස්ථා වලදී. මෙහි සඳහන් කරුණ හා තවත් කරුණු නිසා Lamborghini, Ferrari ආදිය ඔය විදිහට ප්‍රචාරය කරලා එතරම් ප්‍රයෝජනයක් නැහැ.

      Delete
  10. ආදර කතන්දර වලින් අප වඩාත් කැමති කොල්ල පෝසත් කතාවලටද, කෙල්ල පෝසත් කතාවලටද කියල හොයන්න මං (2010) කරපු සමාජ සමීක්‍ෂණයක ප්‍රතිඵල:

    http://kathandara.blogspot.com/2010/06/blog-post_01.html

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: