වෙබ් ලිපිනය:

Saturday, November 6, 2021

සංචිත තවත් පහළට!


ඔක්තෝබර් අවසානය වන විට ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,267.5 දක්වා තව දුරටත් පහත බැස තිබෙනවා. මෙම ප්‍රමාණයට රන් සංචිත හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇති සංචිතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෑතකදී ලැබුණු ඩොලර් මිලියන 787ක් පමණ වටිනා එස්ඩීආර් ප්‍රදානයෙන් නොවිකුණා ඉතිරිව ඇති එස්ඩීආර් ප්‍රමාණයද ඇතුළත්. 

පසුගිය සැප්තැම්බර් අවසානය වන විට ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,704.2ක් වූ අතර, අගෝස්තු අවසානය වෙද්දී එම ප්‍රමාණය ඩොලර් මිලියන 3,543.5ක්ව පැවතුනා. මේ අනුව, පසුගිය දෙමසක කාලය තුළ පමණක් ඩොලර් මිලියන 1,276කින් සංචිත පහළ බැස ඇති බව පැහැදිලියි. සැප්තැම්බර් මැදදී සිදු වූ අධිපති මාරුවෙන් පසුව විදේශ අංශයෙහි කිසිදු යහපත් වර්ධනයක් සිදුව ඇති බවක් තවමත් පෙනෙන්නට නැහැ. 

ඉහත සංචිත ප්‍රමාණය වුවද මහ බැංකුවේම විදේශ වගකීම් පියවීමටත් ප්‍රමාණවත් නැහැ. අගෝස්තු මාසය අවසාන වෙද්දී මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් හිඟය ඩොලර් මිලියන 400ක් පමණ වූ අතර, සැප්තැම්බර් අවසානය වෙද්දී එම හිඟය ඩොලර් මිලියන 794ක් දක්වා ඉහළ ගොස් තිබුණා. ඔක්තෝබර් මාසයේදී නිල සංචිත පහළ ගොස් ඇති ප්‍රමාණය සැලකිල්ලට ගත් විට, මේ වෙද්දී මෙම හිඟය ඩොලර් බිලියනය ඉක්මවා ඇතැයි සිතිය හැකියි. 

ඉදිරි මාස දෙක තුළ ආනයන වියදම් පියවා ගැනීමට අමතරව ශ්‍රී ලංකාව විසින් ජනවාරි 18 දින ඩොලර් මිලියන 500ක ස්වෛරිත්ව බැඳුම්කරයක්ද පියවිය යුතුයි. ඒ සඳහා ප්‍රමාණවත් ද්‍රවශීල විදේශ සංචිත මහ බැංකුව සතුව ඇතත්, ජනවාරි මාසයේදී මෙම වාරිකය ගෙවීමෙන් පසුව ලංකාවේ විදේශ අංශයේ තත්ත්වය තවත් නරක අතට හැරීම නොවැලැක්විය හැකියි. 

ලංකාවේ විදේශ අංශය මෙවැනි අර්බුදකාරී තත්ත්වයකට පත් වීමේ මූලාරම්භය 2010 ආසන්න කාලය ලෙස සැලකිය හැකියි. එම කාලයේදී ඩොලරයේ මිල කෘතිමව පහළින් තබා ගැනීම හරහා රටේ පුද්ගලයින් හා ආයතන ලෝකයට ණය වී ඩොලර් ලබාගෙන එම ණය රුපියල් කර රජයට ණය ලබා දීම ප්‍රවර්ධනය කරමින් විදේශ ණය පිරමිඩයක් ගොඩ නගනු ලැබුවා. කෝවිඩ් හමුවේ කඩා වැටීමේ අවදානමට ලක්වුනේ කොහොමටත් කොයි වෙලාවක හෝ කඩා වැටෙන්නට නියමිතව තිබුණු මෙම විදේශ ණය පිරමිඩයයි. 

මහ බැංකුවේ වත්මන් විදේශ විණිමය ප්‍රතිපත්තිය වී තිබෙන්නේ නැවත කෙසේ හෝ මේ ණය පිරමිඩයට මුක්කු ගසා තවත් කාලයක් පවත්වා ගෙන යාමයි. ඒ සඳහා, ඩොලරයක මිල නාමිකව හෝ රුපියල් 200 මට්ටමේ පවත්වා ගැනීමේ කාර්යයෙහි මහ බැංකුව නිරතව සිටිනවා. එහෙත්, මේ වෙද්දී ලංකාවේ සැබෑ තත්ත්වය ලෝකයට සඟවා තවතවත් ණය ගැනීම ඉතාම අසීරුයි.

53 comments:

  1. බඹරේ වැල්ලෙ කැරකෙන්නේ නැති කලෙක
    රත් වෙනකල් ළිපේ දිය කෙළිනව කටක
    හිටු කියලා හොරකම රජයන රටක
    උපන් පවට මහජනයා නරකයක!

    ReplyDelete
    Replies
    1. මිනිසා සාමාජීය සත්වයෙක්. අපි කරුනු කීපයකින් සමාජය හා බැදී සිටිනවා. යම් දෝෂාරෝපණයක් ඒමට ඉඩ ඇති දෙයක් කිරීමේදී තමාම තමන් ගැන කල්පනා කිරීම.. *අත්තානුවාද බය*

      අනුන් තමා කෙසේ විනිශ්චය කරාවිද යනබය.. * පරානුවාද බය*

      මෙසේ තමාතමා විසින්ම විනිශ්චය කර කටයුතු කළ හැකියි, උදාහරණයක් විදියට තැනට ඔබින අලංකාර ඇඳුමක් ඇදීමට ඕනෑම කාන්තාවකට හෝ පිරිමින්ටත් නිදහසක් ඇත... බුදු වදනක් මෙහි සඳහන් කලෙමි.

      Delete
  2. එතකොට පෞද්ගලික ගිණුම්වල තියෙන (RFC / NRFC) විදේශ මුදල් වල වටිනාකම කොච්චර විතර වෙයිද? ඒවා මුදල් ප්‍රවාහයට එකතු වෙන්නේ නැත්තේ ඇයි?

    ReplyDelete
    Replies
    1. ඒ ඩොලර් තිබෙන්නේ ගිණුම් වාර්තා වල පමණයි. ආපසු ඉල්ලුවොත් දෙන්න ඩොලර් බැංකු පද්ධතිය තුළ නැහැ. බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් සෘණ පැත්තට යනවා කියන එකෙන් අදහස් වෙන්නේ එයයි. බැංකු විසින් මේ ඩොලර් විකුණලා ඒ ඩොලර් ආනයන වෙනුවෙන් වැය කරලා ගොඩක් කල්. කාලයක් තිස්සේම ආපසු ඉල්ලන අයට ගෙවන්නේ අලුතෙන් එකතු වන තැන්පතු. මෙය පිරමිඩ් ක්‍රමයක් වන්නේ ඒ නිසා. අර සක්විති කරපු වැඩේ මතක ඇතිනේ. ඒකම තමයි. දැන් හිරවෙලා තියෙන්නේ අලුතෙන් ඩොලර් නොඑන නිසා.

      Delete
    2. ගුවන් ගමන් වලට මුදල් ගෙවන්නේ ඩොලර් වලින් නිසා, ඔබ කියන විදියට ලබන අවුරුද්දෙ ජනවාරි වලින් පස්සේ රට හැර යන්න ඉන්න අයටත් යන්න බැරි වෙනවා නේද ! මොකද රුපියල් තිබ්බට ගුවන් ටිකට් ගන්න ඩොලර් නෑනේ

      Delete
    3. මෙහෙමයි. ඩොලර් නැහැ කියා කිව්වත් දිනපතාම රටට අලුතෙන් ඩොලර් කීයක් හෝ එනවනේ. ඒ එන ඩොලර් වියදම් කළ හැකියි. ප්‍රශ්නය එසේ එන ඩොලර් ප්‍රමාණයට වඩා ඩොලර් ඉල්ලුම වැඩි වීමයි. ඩොලර් එකක් රටට එනකොට ඒ ඩොලර් එක ගන්න බලාගෙන කිහිප දෙනෙක්ම ඉන්නවා. ඩොලර් හිඟයක් ඇති වී තිබෙන්නේ විණිමය අනුපාතය කෘතීම ලෙස පාලනය කර තිබෙන නිසා. විණිමය අනුපාතය නිදහසේ තීරණය වෙන්න ඉඩ ඇරියොත් තව දුරටත් ඩොලර් හිඟයක් නැහැ. ගුවන් ප්‍රවේශපත්‍රම ගනිමු. ඩොලර් 500ක ටිකට් එකක් දැන් රුපියල් ලක්ෂයයි. ඔය රුපියල් ලක්ෂය ගෙවා ටිකට් මිල දී ගන්න ගොඩක් අය ඉන්නවා. එහෙත් ඩොලර් එක රුපියල් 400 වුනොත් ටිකට් එක රුපියල් ලක්ෂ දෙකක් වී ගුවන් ප්‍රවේශපත් සඳහා වන ඉල්ලුම විශාල ලෙස අඩු වෙනවා. එවිට එම මිල ගෙවන්න සූදානම් අයට රටට ලැබෙන ඩොලර් ටික ප්‍රමාණවත්. ඩොලරයේ මිල 200 මට්ටමෙම්ම තියාගෙන හිටියොත්, වෙන මොන ක්‍රමයකින් හෝ ඩොලර් හොයා ගන්නත් බැරි වුනොත්, ලබන වසර මැද පමණ වෙද්දී රටේ ඩොලර් සංචිත නැත්තටම නැති වෙන්න පුළුවන්. එහෙම වුනොත් රජය විසින්ම ගුවන් ප්‍රවේශපත් මිල දී ගැනීම සීමා කරන්න ඉඩ තිබෙනවා.

      Delete
  3. https://www.sundaytimes.lk/211107/news/cb-orders-immediate-conversion-of-foreign-currency-earnings-to-rupees-461349.html CB orders immediate conversion of foreign currency earnings to rupees. මේ නියෝගයේ අර්ථය කුමක් ද ? ඔබේ දැනුම අනුවම මෙය මීට කලින් NRFC ගිණුම් වල තැන්පත් කර ඇති මුදල් සඳහාත් බලපානවාද ? මේ NRFC වල ඇති මුදල් හදිසියකදී හෝ විදේශයක සිටින අයෙකුට නැවත ලබාගැනීමේ හැකියාවට මෙය බලපාන්නේ කෙසේද ?

    ReplyDelete
    Replies
    1. අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් (NRFC) ගිණුම් පවත්වා ගෙන යන්නේ අනේවාසිකයන් විසින්නේ. අපනයනකරුවන් නේවාසිකයින්. ඒ නිසා මේ නියෝගයෙන් අනේවාසික ගිණුම් වලට බලපෑමක් වෙනවා කියලා මම හිතන්නේ නැහැ. එහෙත්, ලංකාවේ අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් වල මුදල් තැන්පත් කර ඇති මා පෞද්ගලිකව දන්නා ඇතැම් අයට එම මුදල් ආපසු ලබා ගැනීමේදී ප්‍රශ්න ඇති වී තිබෙන බවනම් මට අහන්නට ලැබුණා. 2019 වසර අවසානයේදී ලංකාවේ වාණිජ බැංකු වල විදේශ ව්‍යවහාර ගිණුම් වල (නේවාසික හා අනේවාසික) ඩොලර් මිලියන 5,612ක තැන්පතු තිබුණා. එම ප්‍රමාණයට වඩා ඩොලර් 90.3ක් බැංකු පද්ධතිය සතුව තිබුණා. 2020 අවසාන වන විට තැන්පතු ප්‍රමාණය ඩොලර් මිලියන 6,816 දක්වා ඉහළ ගියත්, වාණිජ බැංකු සතු වූ ඩොලර් ප්‍රමාණය තිබුණේ ඊට වඩා මිලියන 30ක් අඩුවෙන්. මේ වෙද්දී මේ පරතරය මීට වඩා බොහෝ සේ පුළුල් වී ඇති බව පැහැදිලියි. ගණන හරියටම දන්නේ නැහැ. ඒ නිසා, වාණිජ බැංකු වලට ඩොලර් විකිණීමේ හැකියාවක් නැහැ. තැන්පතුකරුවන් ආපසු ඉල්ලුවොත් දෙන්න ඩොලර් තියා ගන්න වෙනවා. තැන්පතු ඉහළ යාමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ අපනයනකරුවන් විසින් ඔවුන්ට ලැබෙන ඩොලර් රුපියල් නොකර එලෙසම ඩොලර් ගිණුම් වල පවත්වා ගැනීමයි. මේ ඩොලර් දැනටම ලංකාවට ඇවිත් නිසා නියෝගය හේතුවෙන් රටට අලුතෙන් ඩොලර් එන්නේ නැහැ. එහෙත්, ඩොලර් රුපියල් කළ විට අදාළ වාණිජ බැංකු මේ ඩොලර් ඩොලර් වලින්ම ආපසු ගෙවීමේ අවදානමෙන් නිදහස් වෙනවා. එවිට නැවතත් යම් ඩොලර් අතිරික්තයක් ඇති වී වාණිජ බැංකු වලට එම ඩොලර් ආනයනකරුවන්ට (හෝ ඩොලර් අවශ්‍ය වෙනත් අයට) විකිණීමට ඉඩ ලැබෙනවා.

      Delete
  4. එකෝන් පරණ සටහන් වලට දාන කමෙන්ට් පෙන්නනේ නැද්ද , එපෲ වෙන්න ඕනා කියල වැටෙනවා, සහ මම " මැරෙන දවස දැනගන්න ඕන ද ? " කියන සටහනෙන් ප්‍රශ්න දෙක්ක් දැම්මා , ඒක වැටිල නැද්ද බලන්න පුලුවන් ද?

    ReplyDelete
    Replies
    1. පරණ සටහන් වලට දමන ප්‍රතිචාර මගේ අවධානයට ලක් නොවන නිසා මෙවැනි "බාධකයක්" දමා තිබෙනවා. මම එම ප්‍රතිචාර අනුමත කරන්නම්.

      Delete
    2. ප්‍රතිචාර වලට ස්තූති

      Delete
  5. ඔබේ ඇස්තමේන්තුව අනුව , මේ වන විට ඩොලරයක සැබෑ රුපියල් අගය කීයක් විතර විය යුතු ද?

    ReplyDelete
    Replies
    1. ඩොලරයක සැබෑ රුපියල් අගය ගැන කතා කළ හැක්කේ සාමාන්‍ය තත්ත්වයක් යටතේ. දැන් ලංකාව වැටී තිබෙන මට්ටමට වැටුණු පසු මෙවැන්නක් ගැන කතා කරන එකේවත් තේරුමක් නැහැ. ආර්ථික බිඳ වැටීමකදී ඩොලරයක අගය කිසිදු පාලනයකින් තොරව විශාල ලෙස ඉහළ යා හැකියි. මම මෙයින් අදහස් කරන්නේ එවැන්නක් අනිවාර්යයෙන් සිදු වන බව නෙමෙයි. මොන විදිහකින් හෝ සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක් හොයා ගත්තොත් තාවකාලිකව ප්‍රශ්නය විසඳා ගෙන ඉන් පසු ප්‍රශ්නය ස්ථිර ලෙස විසඳීම සඳහා කල් ගත හැකියි. එහෙත් නරක දෙය සිදු වීමේ ඉඩකඩ නොසලකා හැරිය නොහැකියි. මිල පාලනය, කෝවිඩ් පාලනය වගේම විණිමය අනුපාතය පාලනය කිරීමත් යම් මොහොතක අත හැර දමන්න සිදු වෙනවා. එවිට මුට්ටියත් නැහැ. එළුවාගේ බෙල්ලත් නැහැ.

      Delete
  6. Can you explain the reason for keeping the dollar value low as mention here ලංකාවේ විදේශ අංශය මෙවැනි අර්බුදකාරී තත්ත්වයකට පත් වීමේ මූලාරම්භය 2010 ආසන්න කාලය ලෙස සැලකිය හැකියි. එම කාලයේදී ඩොලරයේ මිල කෘතිමව පහළින් තබා ගැනීම හරහා රටේ පුද්ගලයින් හා ආයතන ලෝකයට ණය වී ඩොලර් ලබාගෙන එම ණය රුපියල් කර රජයට ණය ලබා දීම ප්‍රවර්ධනය කරමින් විදේශ ණය පිරමිඩයක් ගොඩ නගනු ලැබුවා. කෝවිඩ් හමුවේ කඩා වැටීමේ අවදානමට ලක්වුනේ කොහොමටත් කොයි වෙලාවක හෝ කඩා වැටෙන්නට නියමිතව තිබුණු මෙම විදේශ ණය පිරමිඩයයි.

    ReplyDelete
    Replies
    1. To "trick" the economy so that all economic indicators look good, rather than treating the chronic problems. When the exchange rate is maintained fixed, one can bring dollars to the country, convert them to Rupees, invest in Rupee-denominated securities, earn a decent interest rate and finally convert the Rupees back to dollars and earn a return equal to the interest rate paid on Rupee securities on dollars. This rate is much higher than the interest rate on dollar-denominated securities. Through this policy, "carry trade" is encouraged, i.e., borrowing dollars at a cheaper rate and investing in Rupee securities. The dollar inflow, when supplied to the market rather than adding to the reserves, helps to prevent the exchange rate from depreciating. These dollars are spent on imports and it increases both investment and consumption at "no cost", though the cost has to be paid at some point. People are happy and GDP grows faster. Government sells securities easily at a relatively low price and no need to print money, so inflation stays low. Lower public debt and high GDP keeps debt to GDP ratio law. Since exchange rate is fixed, prices of imported goods do not increase and that also helps to lower inflation. So, everything looks perfect as long as there is a continuous net dollar inflow. But each dollar comes in goes back with more dollars as interest and during each period more and more dollars are needed to maintain the exchange rate.

      Delete
  7. මේ වගේ වෙලාවක සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන්න දීලා from the scratch හදාගන්න එක දිගුකාලීනව බැලුවහම වඩාත් ඵලදායි නේද? නැත්නම් කරන්නේ patch දම දමා අවුරුදු පහකට කොහොමහරි ඇද ගන්න එක නේ

    ReplyDelete
    Replies
    1. එසේ බිඳ වැටුණු පමණින් සියල්ල හරි යන බවට කිසිදු සහතිකයක් නැහැ. හොඳම උදාහරණය සිම්බාබ්වේ. උද්ධමනය මිලියන ගණනකට ගොස් අන්තිමේදී මුදල් ඒකකය අත හැර දමන්නට සිදු වී වසර කිහිපයකට පසු මෑතකදී නැවතත් අළුත්ම මුදල් ඒකකයක් හඳුන්වා දීමෙන් පසුවද උද්ධමන ප්‍රශ්නය මුළුමනින්ම විසඳී නැහැ. මේ වසර අවසාන වෙද්දී උද්ධමනය 35-53% ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා. ආර්ථිකය කඩා වැටීමෙන් පසුව විවිධ පාර්ශ්ව වලට එයට හේතුව ලෙස බොරු හේතු ඉදිරිපත් කළ හැකියි. මේ බොරු හේතු මිනිස්සු පිළි නොගනු ඇතැයි සහතිකයක් නැහැ. අවසාන වශයෙන් සිදු වන "නැවත මුල සිට පටන් ගැනීම" තිබුණාටත් වඩා නරක තත්ත්වයක් වෙන්න පුළුවන්. දැනට තිබෙන ප්‍රශ්නය මූලික වශයෙන් විදේශ අංශයේ ප්‍රශ්නයක්. විණිමය අනුපාතය නිවැරදි වීමෙන් හෝ කිරීමෙන් පසු ඒ ප්‍රශ්නය අවසන් වෙනවා. ඒ හැරුණු විට නිදහසින් පසු රටක් ලෙස ලංකාව ලබා තිබෙන විශාල ප්‍රගතිය නොසලකා හරින්න බැහැ. ලංකාව තිබෙන්නේ තිබිය හැකි නරකම තැන නෙමෙයි. දකුණු කොරියාව, කියුබාව, වෙනිසියුලාව වැනි ලංකාවට වඩා නරක තැන් වලට වැටී තිබෙන රටවල්ද තිබෙනවා.

      Delete
    2. සමාවෙන්න, වැරදීමක්. උතුරු කොරියාව.

      Delete
    3. අති විශාල අකාර්යක්ෂම රාජ්‍ය සේවය, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය, සුබසාදක කෘෂිකර්මය, නිතිය ක්‍රියාත්මක වීමේ දුර්වලතා හා පමාව වගේ දේවල් ආර්ථිකයේ තියෙන chronic ප්‍රශ්න වලට දක්වන දායකත්වය මොන වගේද? ඒ වගේ ප්‍රශ්න විසදන්නේ නැතුව විදේශ අංශයේ ප්‍රශ්නය විසදගන්න එකම patch දැමිල්ලක් නේද?

      Delete
    4. විදේශ අංශයේ ප්‍රශ්නය නිසි ලෙස විසඳූ වහාම ඔබ මෙහි සඳහන් කරන අනෙකුත් ප්‍රශ්න බොහොමයක් නොවිසඳා බැරි තත්ත්වයක් ඇති වෙනවා. ඒ ප්‍රශ්න සියල්ල යටපත් කරගෙන සිටීමට හැකිව තිබෙන්නේ විදේශ අංශය අවදානමේ හෙලීමෙන්. නිතිය ක්‍රියාත්මක වීමේ දුර්වලතා හා පමාව විසඳිය යුතු ප්‍රශ්නයක් වුවත් ඉතිරි ප්‍රශ්න සමඟ සෘජු ලෙස බැඳී නැහැ. ඉතිරි ප්‍රශ්න එකිනෙකට ගොඩක් සම්බන්ධයි.

      Delete
    5. //නිතිය ක්‍රියාත්මක වීමේ දුර්වලතා හා පමාව විසඳිය යුතු ප්‍රශ්නයක් වුවත් ඉතිරි ප්‍රශ්න සමඟ සෘජු ලෙස බැඳී නැහැ//
      මම මේ ගැන විශේෂයෙන් සදහන් කලේ ආයෝජකයන් ආයෝජනය කිරීමට රටක් තෝරාගැනීමේදී මේ ගැනත් සැලකිලිමත් වෙයි කියලා සිතුනු නිසා හා බුද්ධි ගලනයට මේ ප්‍රශ්නය දක්වන බලපෑම නිසා. උදාහරණයක් විදිහට මේ ලගදි රජයේ ආයතනයක් විසින් විකුණු ඉඩමක් බලෙන් අත්පත් කරගැනීමක් ආයෝජකයන් තුල යම් තිගැස්මක් ඇති කලා

      Delete
    6. කෙසේ වෙතත් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ආදානි සමාගමට නිල වශයෙන් පවරා තිබුණේ නැහැ එසේ දෙන බවට වාචිකව පොරොන්දු වීමක් විතරයි, අනෙක් අතට රජය නැවත බලෙන් අල්ලාගන්න ගියා නෙවේ විවිධ වෘත්තීය සමිති සහ විපක්ෂයේ වගේම ආණ්ඩුවේ හවුල් කරුවන් වූ කුඩා පක්ෂ කීපයක් ඔවුන්ගේ සමාජවාදී සංකල්ප වලට මෙය විරුද්ධ බව පවසමින් මේකට එරෙහිව දැඩි විරෝධයක් එල්ල කළ නිසා නැවත රජයට පවරා ගැනීමට සිදු වුණේ මහජන විරෝධය කළමණාකරණය කිරීම සඳහායි. කෙසේ නමුත් එම ආයෝජකයන්ට මීට හිලව් වශයෙන් කොළඹ වරායේ බටහිර ජැටිය ඉදිකිරීම සඳහා අවකාශ සැලසෙන පරිදි වෙනත් ගිවිසුමක් ඇතිකර ගත් අතර ඒ හරහා එම තත්ත්වය මේ වන විට පාලනය වී තිබෙනවා.

      Delete
    7. ඔබ කියන සම්බන්ධතා දෙක පිළිබඳව එකඟයි. එහෙත්, ආයෝජකයන් ගෙන්වා ගැනීම හා බුද්ධි ගලනය සම්බන්ධව තිබෙන ජනප්‍රිය අදහස් සමඟ මම එකඟ නැහැ. ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් ලෙස ආයෝජකයන් ගෙන්වා ගැනීමත් ණය ගන්නවා වගේම වැඩක්. ආයෝජකයෙක් ඩොලර් එකක් ගේන්නේ ඩොලර් දෙකක් ආපසු ගෙනියන්න බලාගෙන. රටේ දැනට නැති තාක්ෂණයක් රටට ගේන හෝ මහා පරිමාණයෙන් රැකියා සපයන ආයෝජන වලින් යහපතක් සැලසුනත්, ඒ දෙකෙන් එකක්වත් නැතිව විශාල ලෙස රටට ඩොලර් ගේන ආයෝජන වලින් යහපතකට වඩා අයහපතක් වෙන්න ඉඩකඩ වැඩියි. විදේශ ණයක් ලබා ගත් විට එකවර ඩොලර් කුට්ටියක් ලැබුණත් ඉන් පසු ඊට වඩා වැඩි ඩොලර් ප්‍රමාණයක් ආපසු යන ආකාරයෙන්ම ආයෝජන ලෙස ලැබෙන ඩොලර්ද කිහිප ගුණයක් වී ආපසු යනවා. එහිදී ලංකාවේ ශුද්ධ විදේශ බැරකම් තවත් ඉහළ ගොස් විදේශ අංශයේ ප්‍රශ්නය තවත් උග්‍ර වෙන එකයි වෙන්නේ. ලංකාවේ සිට පිටතට සිදු වන බුද්ධි ගලනය වුවද නරක දෙයක් නෙමෙයි. මෙයින් බොහෝ විට අයහපතකට වඩා යහපතක් වෙන්න ඉඩකඩ වැඩියි. රටින් පිටතට සංක්‍රමණය වීමේ අවස්ථාව ලැබෙන්නේ වඩාත්ම කාර්යක්ෂම පිරිසකට. ඒ පිරිසට ලංකාවේ සිටියා කියලා වඩා කාර්යක්ෂම වෙන්න බැහැ. එක්කෝ ඔවුන් ලංකාවේ යා හැකි පීක් එකට දැනටමත් ගිහින්. එසේ නැත්නම් ඔවුන්ගේ පීක් එක ලංකාවේ සිට යා හැකි පීක් එකට වඩා ගොඩක් වැඩියි. ලංකාවේ දිගටම හිටියොත් ඔවුන්ගේ විභවය නාස්ති වීම පමණයි වෙන්නේ. ඔවුන් ඉවත් වූ වහාම ඔවුන්ට වඩා තරමක් අඩුවෙන් කාර්යක්ෂම පිරිසකට උඩට යන්න අවස්ථාව ලැබෙනවා. ඒ පිරිසට ලංකාවේ පසුබිම තුළ තමන්ගේ උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ කළ හැකියි. ඒ නිසා කාර්යක්ෂමතා හානියක් නැහැ. සංක්‍රමණය වූ පිරිස ලංකාවේ සිටියානම් මේ දෙවන පෙළට ඔවුන්ගේ උපරිම කාර්යක්ෂමතාවය පෙන්වන්න අවස්ථාවක් හිමි වන්නේ නැහැ. ඒ නිසා, ඔවුන්ගේ විභවයද නාස්ති වෙනවා. පිරිසක් සංක්‍රමණය වීම නිසා පහළ ස්ථර සියල්ලටම එක් අදියරකින් උඩට ගොස් තමන්ගේ කාර්යක්ෂමතාවය වැඩි කර ගන්න ඉඩ ලැබෙනවා. සුබසාධනයෙන් යැපෙන පහළම ස්ථරයටද මොනවා හෝ ඵලදායී දෙයක් කරන්න අවස්ථාව ලැබෙනවා. මීට අමතරව සංක්‍රමණය වීමේ අවස්ථාව තිබෙන නිසා එය ඉලක්ක කර තමන්ගේ කුසලතා මුවහත් කරගන්නා සියල්ලන්ටම ඒ අවස්ථාව හිමි වන්නේ නැහැ. ඔවුන්ට දිගටම ලංකාවේ ඉන්න සිදු වෙනවා. එහි වාසියත් ලංකාවට ලැබෙනවා. ඒ හරහා බුද්ධි ජනනයක් (brain gain) සිදු වෙනවා. මෙය නිතිය ක්‍රියාත්මක වීමේ දුර්වලතා හා පමාව නිසා ඇතිවන අහිතකර ප්‍රතිඵල අවතක්සේරු කිරීමක් නෙමෙයි.

      Delete
  8. දැනට බැංකු මගින් විවෘත කරන ණයවර ලිපි සදහා දින 120 ක් හෝ ඊට වැඩි දින ගනනක් ලබා ගන්නා අතර මේ මගින් ලබන වසරේ ලැබෙන්නට තිබෙන ඩොලර් දැනටමත් වියදම් කරමින් සිටිනවද?

    ReplyDelete
    Replies
    1. මට ඔබ කියන දෙය එතරම්ම පැහැදිලි නැහැ.ඔබ කියන්නේ ණයවර ලිපි විවෘත කිරීම සඳහා ඉල්ලීමක් කර දින 120ක් බලා ඉන්න වෙනවා කියන එකද? මෑතකදී පැනවූ මහ බැංකු රෙගුලාසි අනුව අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කිරීමේදී වාණිජ බැංකු විසින් 100% cash margin එකක් තබා ගත යුතුයි. ඒ කියන්නේ අනයනකරු විසින් කලින්ම ඩොලර් මිල දී ගත යුතුයි. ආනයනකරුට ඒ සඳහා ඩොලර් මිල දී ගන්න වෙන්නේත් බැංකුවෙන්මයි. නමුත් බැංකුවේ දැනට ඩොලර් නැත්නම් මේ වැඩේ වෙන්නේ නැහැ. ඔබ කියන විදිහට වාණිජ බැංකු විසින් දින 120කට පසුව ලැබෙන්න තිබෙන ඩොලර් දැන්මම විකුණනවා විය හැකියි.

      Delete
    2. මම අදහස් කරේ බැංකු මගින් ණයවර ලිපි නිකුත් කරන්නේ දින 120 කට පසුව ගෙවන ලෙස ඊට අඩු දින ගණනකට LC විවෘත කරන්න බැහැ. මුලින් දින 90 ට තිබුනේ.

      Delete
    3. ස්තුතියි! එසේ වුවත් වෙන්නේ කලින් දෙයම (ඔබ මුලින් කියූ දෙයම) තමයි. දින 120කට පසුව ලැබෙන්න තියෙන ඩොලර් දැන්ම ප්‍රයෝජනයට ගැනීම.

      Delete
  9. ඉකොනොමැට්ටා, මම දන්න විදිහට නම් ඇමෙරිකා එක්සත් ජනපදයේ මහ බැංකුවේ 1987 සිට 2006 කාලයේ හිටපු අධිපතිවරයා වන ඇලන් ග්‍රීන්පෑන් (Allain Greenpan) යම් රටක විදේශ වත්කම් ප්‍රමාණය අවම වශයෙන් කොතරම් ද තිබිය යුතු ගැන පැවසූවා, ඔහු කියන හැටියට එය අවම වශයෙන් රාජ්‍ය ණය සහ රජය විසින් සහතික කළ ණය ප්‍රමාණයට වඩා වැඩි විය යුතු අතර රජය මගින් සහතික කළ ණය ලෙස හඳුන්වන්නේ රාජ්‍ය ව්‍යවසායයන් (ලංකාවේ නම් තෙල් සංස්ථාව, විදුලිබල මණ්‍ඩලය, එයාර්ලංකා ගුවන් සමාගම වැනි රජයට අයත් සංස්ථා මණ්ඩල) මගින් ගන්න ණය. එවිට එම ණය ගෙවන බවට රජය දෙන සහතිකය හෙවත් රජයේ ඇපය හේතුවෙන් ඒවා රජය මගින් සහතික කළ ණයයි. රජයේ ඒ සහතිකය රාජ්‍ය බැංකුවලට සේම පෞද්ගලික බැංකුවලට ද ලැබෙයි. කෙසේ හෝ රටක් සතු විදේශ වත්කම් හෝ සංචිත ප්‍රමාණය ඉහත ණය වර්ග දෙකට වඩා වැඩි විය යුතු බව දැනට ජාත්‍යන්තර පිළිගැනීම බව මගේ වැටහීමයි. මෙය වැරදි නම් නිවැරැදි කරන්න.

    කෙසේ වෙතත් ග්‍රීන්පෑන්ගේ ඒ නිර්ණායක මත ලංකාව දෙස බලද්දී 1948 සිට 1962 දක්වා කාලයේ ජාත්‍යන්තරය පිළිගත් මට්ටමෙන් ලංකාව සංචිත පවත්වාගෙන ගිය අතරම 1950 දී ලංකාවේ මුළු සංචිත ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් මිලියන 238කි. ඒ වන විට ලංකාව සතු මුළු විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් මිලියන 26.3කි. එකල රජයේ දේශීය ණය ප්‍රමාණය විශාල නොවේ. 1962 දක්වාම ලංකාව ජාත්‍යන්තරය පිළිගත් ඒ සම්මතය මත කටයුතු කර ඇත්තේ රට සතු ණය ප්‍රමාණයට වඩා විදේශ වත්කම් ඒ යුගයේ ලංකාව සතුව පැවැති නිසා බව පේනවා නේද?

    කෙසේ හෝ කිසියම් හේතුවක් නිසා 1962 ට පසු 2021 දක්වා දිගටම පැවැතී ඇත්තේ රට සතු ණය ප්‍රමාණයට වඩා අඩු විදේශ සංචිත ප්‍රමාණයක්, මීට හේතු මොනවාද?

    එමෙන්ම 1977 සෝ කෝල්ඩ් "විවෘත ආර්ථිකය" ආරම්භ වූවාට පසු රට සතු විදේශ ණය ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ ගිය අතරම ඒ යුගයේ විදේශ වත්කම් ප්‍රමාණය ද ඉහළ පහළ ගොස් ඇති නමුත් විදෙස් වත්කම් ප්‍රමාණය ඉක්මවා විදෙස් ණය ප්‍රමාණය විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙන අතරම මා විසින් කියවා සහ යූටියුබයෙන් දැක ඇති පිළිගත් ජාත්‍යන්තර ආර්ථික විද්‍යාඥයන් කියන්නේ මාස දහයකට අවශ්‍ය හෙවත් ප්‍රමාණවත් භාණ්‍ඩ සහ සේවා ආනයනය කිරීමට අවශ්‍ය තරම් විදේශ සංචිත ප්‍රමාණයක් ඕනෑම රටකට තිබිය යුතු බව රූල් ඔෆ් තම්බ් එකක්, (මහපට ඇඟිලි නීතියක් - Thumb Rule) එනම් ප්‍රායෝගික දැනුම හෝ අත්දැකීම් මත ගොඩනැගෙන පොදු මග පෙන්වීමක් ලෙස, මෙය ඔබ පිළි නොගන්න හේතුව කුමක්ද? Please explain.

    ReplyDelete
    Replies
    1. තව දුරටත් මේ ගැන සොයනවා නම් සාමාන්‍යයෙන් උද්ධමනය ආර්ථිකයකට අහිතකර වුවත් සියයට තුනක හතරක උද්ධමනයක් පැවැතීම රටකට, ආර්ථිකයකට හොඳ බව ආර්ථික විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි. එලෙසම මාස දහයකට ප්‍රමාණවත් විදෙස් සංචිත පැවැතිය යුතු බවත් ගොඩක් ආර්ථික විද්‍යාඥයන්ගේ මතයයි. ඒ නිර්ණායක ගෙන බැලුවොත් නම් පුම්චි අපේ ලංකාවට එය සංතෘප්ත කළ හැකිව තිබුණේ ඉහත කී 1948 සිට 1962 දක්වා යුගයේ පමණක් වන අතරම දැනට අපට ඩොලර් බිලියන 16 ක් විතර සංචිත පවත්වා ගැනීම සිහිනයක් පමණයි.

      මෙසේම 1948 දී ලංකාව සතුව පැවැති මුළු විදේශ වත්කම්වලින් එවකට ආනයන අගයන් සැසඳූ විට මාස 14කට ප්‍රමාණවත් භාණ්ඩ හා සේවා ආනයනය කරගත හැකිව තිබිමට හේතුව ඒ වන විට අපේ රටේ විදේශ විනිමය සංචිත විශාල වශයෙන් ඉහළ ගොස් තිබීමය. ඒ සංචිත ප්‍රමාණය 1949 දී මාස 11.3කට ද 1950 දී 11.06කට ද ප්‍රමාණවත් වන අතරම 1950 පසු අඩු වී නැවත 1955 දී එය මාස 10කට පමණ ප්‍රමාණවත් වුණා, ඉන් පසුව වර්තමානය දක්වාම පවතින්නේ පහත වැටීමක්, පස්සෙ 1977 වනතුරු ලංකාවේ විදෙස් විනිමය සංචිත ප්‍රමාණවත් වී ඇත්තේ මාස තුනකට ආසන්න කාලයකට විතරයි. 1977න් පසුව විදෙස් වත්කම් ඉහළ පහළ ගියත් ඒවා ප්‍රමාණවත් වන කාලය මාස තුන ඉක්මවා නැහැ. මේ ගැන ඔබට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.

      ඒ වගේම මේ විදේශ විනිමය වෙළෙඳ පොළට මහ බැංකුවට කළ හැකි බලපෑම වැඩි වෙන්ට නම් විදෙස් සංචිත ඉහළ මට්ටමක තියාගෙන ගෙවුම් ශේෂයේ හිඟය පියවීමේ හැකියාව ද ගොඩක් වැඩි කරත හැකියි. එසේම එමගින් විනිමය අනුපාතය ස්ථාවරව පවත්වාගෙන යාමේ හැකියාව ද සෑහෙන ඉහළ යයි. රුපියල දැඩි ලෙස අවප්‍රමාණය වීම අවම කරගත හැකි අතරම රුපියල් විනිමය අනුපාතය හෙවත් රුපියලේ අගය සියයට 10කින් පමණ මේ වන විට අවප්‍රමාණය වී තිබෙන්නේ ලංකාවේ විදෙස් සංචිත ප්‍රමාණවත් තරම් නැති නිසා බව ඔබත් පිළිගනීවි.

      ඒ වගේම අපි හිතන්නේ විදෙස් සංචිත ඉහළ මට්ටමක පැවැතුණහොත් අපට විදෙස් ආයෝජකයන්ගේ විශ්වාසය ද දිනාගත හැකි වගේම ආයෝජන ප්‍රවර්ධනයට ද ඉඩ සැලසෙන අතරම රටට විදෙස් ආයෝජන තාක්ෂණය සහ ප්‍රාග්ධනය බය නැතුව ගෙන එන්නේත් මේ ආර්ථිකය ලෙහෙසියෙන් කඩාවැටෙන්නේ නැත යන විශ්වාසයෙන්. එවැනි රටක ආයෝජනය කිරීම තමන්ට හොඳ බවට විශ්වාසයක් ආයෝජකයන් අතර වර්ධනය වෙනවා. නමුත් වර්තමානයේ ලංකාවේ පවතින අර්බුදය සමග වී තිබෙන්නේ එහි අනෙක් පැත්ත, ලංකාවේ තිබුණු විදේශ ආයෝජනත් රැගෙන යාම නිසා විදෙස් සංචිත ඉහළ මට්ටමක පැවැතීම වඩා වැදගත් කිය පැහැදිලියි.

      මේ වගේම තමයි රටක් සතුව විදෙස් මුදල් සංචිත තිබෙනවා සේම ඒවා ඉතාමත්ම බුද්ධිමත්ලෙස ආයෝජනය ද කළ යුතු අතර ඒවා ගොඩ ගසාගෙන සිටීමෙන් ධනය එක තැන පල්වෙනවා මිස තව වර්ධනය වෙන්නේ නැහැනේ? ඒ වගෙම ලංකාවේ ආරම්භක යුගයේ ලාංකීය විදේශ විනිමයෙන් වැඩි කොටසක් පැවැතුණේ ස්ථාවර තැන්පතුවල, විශේශයෙන්ම ප්‍රමුඛ විදේශ බැංකුවල, ගොඩක්ම බ්‍රිතාන්‍ය බැංකුවල. නමුත් ජාත්‍යන්තර ප්‍රාග්ධන හා මුදල් වෙළෙඳ පොළේ ලංකාවේ සංචිත ආයෝජනය කිරීම ආරම්භ කරන්නේ 1990 ගණන්වල. කෙසේ වෙතත් මෙහිදී විදේශ විනිමය කළමනාකරණය මත අවදානම අඩු ආයෝජනවල වැඩි ආදායමක් ලැබෙන පරිදි ආයෝජන කර තිබෙන බව ද කිව යුතුයි.

      සාමාන්‍යයෙන් ලංකාව ආයෝජනය සඳහා තෝරාගන්නේ ඉතාමත් අඩු අවදානමක් ඇති සුරැකුම්පත්, හැබැයි කබ්‍රාල්ගේ ග්‍රීක් බොන්ඩ් වගේ කඩා වැටෙන හා ගිනි ගන්නා ආර්ථිකවල ආයෝජන කළ අවස්ථා ද නැතිවම නෙවෙයි, 2011 අප්‍රේල් වල කබ්රාල් ග්‍රීසියේ ආර්ථිකය කඩා වැටෙමින් පැවැති යුගයක ග්‍රීක ස්වෛරීත්ව බැඳුම්කර ආයෝජනයෙන් එදා ලංකාවට වූ පාඩුව ඇමෙරිකන් ඩොලර් මිලියන 6.6 ක් නිසා ‘ගින්න පෙනි පෙනී ගින්නට නොපැනිය යුතු බව’ මහ බැංකු අධිපතිවරයාට අවබෝධ වී ඒ පාඩම ඔහුට මතක ඇති කියා හිතමු. කොහොම හරි ඒ උදාහරණයෙන් හා විදේශ විනිමය සංචිත ආයෝජනය පිළිබඳ අතීත පාඩම්වලින් රටට හෙළි කරන්නේ විචක්ෂනශීලී කැල්කියුලේටඩ් රිස්ක් එකක් ගැනීමට ඇති දූරදර්ශීභාවයේ හා එසේ නැති අදූරදර්ශීභාවයේ ප්‍රතිවිපාක නෙවෙයිද?

      Delete
    2. //කෙසේ හෝ කිසියම් හේතුවක් නිසා 1962 ට පසු 2021 දක්වා දිගටම පැවැතී ඇත්තේ රට සතු ණය ප්‍රමාණයට වඩා අඩු විදේශ සංචිත ප්‍රමාණයක්, මීට හේතු මොනවාද?//

      මේ ප්‍රකාශය නිවැරදි වුවත් එයින් අදහස් වන්නේ 1962 දක්වා ආණ්ඩු විදේශ විණිමය හොඳින් කළමනාකරණය කළා කියන එක නෙමෙයි. 1947 දක්වා ලංකාවේ තිබුණේ සමතුලිත රාජ්‍ය අයවැයක්. අයවැය හිඟයක් ඇති විට පරණ ඉතිරි කිරීම් ප්‍රයෝජනයට ගත හැකි වුනා. අයවැය අතිරික්තයක් ඇති විට සංචිත එකතු වුනා. විදේශ අංශයේ තිබුණෙත් එවැනි තත්ත්වයක්. 1947න් පසු බලයට පැමිණි හැම ආණ්ඩුවක්ම ආදායම ඉක්මවා වියදම් කළා. එහිදී අඩුව පියවා ගැනීමට කලින් එකතු වී තිබුණු සංචිතද භාවිතා කළා. මේ හේතුව නිසා ලංකාවේ විදේශ වත්කම් ටිකින් ටික අඩු වෙලා 1963 වෙද්දී ශුද්ධ විදේශ වත්කම් සෘණ පැත්තට ගියා. එතැන් සිට දිගින් දිගටම පරණ ණය ගෙවන්නත්, අයවැය හිඟය පියවන්නත් අළුතෙන් ණය ගන්න එකයි වෙන්නේ. මෙය 1947 සිට දිගටම පවතින තත්ත්වයක්. එහෙත්, 2010 පමණ දක්වා මෙය පාලනය කර ගත හැකි මට්ටමක තිබුණා. අද තිබෙන විනාශකාරී තත්ත්වයට ශුද්ධ විදේශ බැරකම් ඉහළ ගියේ 2010දී පමණ.

      //එමෙන්ම 1977 සෝ කෝල්ඩ් "විවෘත ආර්ථිකය" ආරම්භ වූවාට පසු රට සතු විදේශ ණය ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ ගිය අතරම ඒ යුගයේ විදේශ වත්කම් ප්‍රමාණය ද ඉහළ පහළ ගොස් ඇති නමුත් විදෙස් වත්කම් ප්‍රමාණය ඉක්මවා විදෙස් ණය ප්‍රමාණය විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙන අතරම..//

      ආර්ථිකය විවෘත කිරීමෙන් පසුව, ප්‍රාග්ධනය ගලා ආ නිසා 1977-1987 කාලයේදී ඊට පෙර කාලයට සාපේක්ෂව ශුද්ධ විදේශ බැරකම් ඉහළ ගියා. එහෙත් ඉන් පසු, 2006 පමණ දක්වා ස්ථාවර මට්ටමක තිබුණා. තත්ත්වය අද තිබෙන නරක තත්ත්වයට හැරුණේ 2010දී විණිමය අනුපාතය අධිප්‍රමාණය කිරීම නිසා. එම වසරේදී එක වරම රටේ ශුද්ධ විදේශ බැරකම් දෙගුණ වුණා. ඇත්තටම කියනවානම් ආර්ථික වර්ධනය වෙනුවෙන් සැලසුම්සහගතව රටේ ශුද්ධ විදේශ බැරකම් දෙගුණ වෙන්න ඇරියා. එතැන් සිට මේ ශුද්ධ විදේශ බැරකම් පැටවු ගහනවා. දැන් විඳින්න වී තිබෙන්නේ එහි ප්‍රතිඵල.

      //මෙය ඔබ පිළි නොගන්න හේතුව කුමක්ද? //

      මා පිළි නොගන්නා දෙය කුමක්ද?

      //දැනට අපට ඩොලර් බිලියන 16 ක් විතර සංචිත පවත්වා ගැනීම සිහිනයක් පමණයි.//
      නිශ්චිත මාස ගණනක ආනයන වෙනුවෙන් සංචිත පවත්වා ගැනීම ප්‍රමාණවත් වන්නේ ඩොලර් ප්‍රධාන වශයෙන්ම ආනයන සඳහා අවශ්‍ය වන තත්ත්වයක් යටතේදී. විදේශ ණය හා පොලිය ලෙස විශාල මුදලක් ගෙවිය යුතු රටක් ඒ සඳහාද සූදානම්ව සිටිය යුතුයි. ආනයන තහනම් කළ හැකි වුවත් ණය නොගෙවා ඉන්න බැහැ. නිසි විදේශ විණිමය ප්‍රතිපත්තියක් ඇත්නම් නැවත සංචිත ගොඩ නගා ගැනීම සිහිනයක් වන්නේ නැහැ. රුපියල අවශ්‍ය පමණ අවප්‍රමාණය වෙන්න ඉඩ හරින්නේනම් සංචිත ගොඩ නගා ගත හැකියි. මෑතකදී දියුණු වූ හැම රටක්ම වගේ කළේ එයයි.

      //රුපියල් විනිමය අනුපාතය හෙවත් රුපියලේ අගය සියයට 10කින් පමණ මේ වන විට අවප්‍රමාණය වී තිබෙන්නේ ලංකාවේ විදෙස් සංචිත ප්‍රමාණවත් තරම් නැති නිසා බව ඔබත් පිළිගනීවි.//

      වැරදියි. විණිමය අනුපාතය අවශ්‍ය වෙලාවට අවප්‍රමාණය වෙන්න ඉඩ ඇරියානම් සංචිත ටික ඉතිරි වෙනවා. විණිමය අනුපාතය ආරක්ෂා කරන්න යාම නිසා අන්තිමට වෙලා තියෙන්නේ සංචිතත් නැති වී රුපියලේ අගයද පිරිහීමයි.

      //කොහොම හරි ඒ උදාහරණයෙන් හා විදේශ විනිමය සංචිත ආයෝජනය පිළිබඳ අතීත පාඩම්වලින් රටට හෙළි කරන්නේ විචක්ෂනශීලී කැල්කියුලේටඩ් රිස්ක් එකක් ගැනීමට ඇති දූරදර්ශීභාවයේ හා එසේ නැති අදූරදර්ශීභාවයේ ප්‍රතිවිපාක නෙවෙයිද?//

      කැල්කියුලේටඩ් රිස්ක් එකක් ගත යුත්තේ හා ගත හැක්කේ ශුද්ධ විදේශ වත්කම් ඇත්නම් පමණයි. ඔබම ලියා ඇති පරිදි 1962න් පසුව ලංකාව සතුව ශුද්ධ විදේශ වත්කම් නැහැ. ඩොලර් බිලියන 60ක බැරකම් තියෙද්දී, වත්කම් ඩොලර් බිලියන 7-8 ක්වත් නැහැ (ඔයිටත් වඩා ගොඩක් අඩු විය හැකියි). ඩොලර් බිලියන 7-8ක් අතේ තියාගෙන ඩොලර් බිලියන 60ක රෝලක් ගහද්දී රෝල ගහන්න තියාගෙන ඉන්න සල්ලි එක්ක කැල්කියුලේටඩ් රිස්ක් ගන්න බැහැ. එය තනිකරම සුදූ කෙළීමක් මිසක් ආයෝජනයක් නෙමෙයි. ඔය සල්ලි තමන්ගේ පෞද්ගලික සල්ලිනම් ඔය විදිහේ කැල්කියුලේටඩ් රිස්ක් ගන්නේ සුදූ අන්තුවෙක් පමණයි.

      Delete
  10. සාමාන්‍යයෙන් ලංකාව රාජ්‍ය ණය වාරික ගෙවීමට/ දේශීය වෙළෙඳ පොළේ හිඟයක් ඇති විට එය ෆිල් කරන්න වාණිජ බැංකු වලට සැපැයීමටත් යොදා ගන්නේ සංචිතවල තිබෙන විදේශ මුදල්. දැනට ලෝකයේ ඉහළම විදේශ විනිමය සංචිතයක් හිමි චීනය, ජපානය, ස්විට්සර්ලන්තේ වගේ ටිකක ඇරුනම අති බහුතරයක් රටවල තිබෙන්නේ අඩු විදේශ විනිමය සංචිතයක්. ලංකාව මේ අතින් නම් තනිවෙලා නෑ, ඉතින් එවැනි අවස්ථාවක මහ බැංකුව විදේශ විනිමය වෙළෙඳ පොළේ ලික්විඩිටි (ද්‍රවශීලතා) රැකිය යුතු නේද? කොටිනම ණය ගෙවීමටත්, හිඟය පූරණය කිරීමටත් වාණිජ බැංකුවලටත් විදේශ විනිමය සැපැයීමේ වගකීම දැඩිව භාරගෙන විදේශ විනිමය ඉල්ලන ඕනෑම අවස්ථාවක ඒවා ඇති තරම් දීමට සූදානම්ව සිටීම මහ බැංකුවේ වගකීම බව මගේ අදහසයි.

    මේ නිසා ලික්විඩිටි (ද්‍රවශීලතා) රැකෙන පරිදි ප්‍රයෝරිටි (ප්‍රමුඛතා) මත ආයෝජනය කිරීම ඉතා වැදගත්. එහිදී කළ යුත්තේ දිගු කාලීන ආයෝජන නොව කබ්‍රාල් කලින් සැරේ බොහෝ විට කළා වගේ කෙටි කාලීන ආයෝජන නේද? ලංකාවේ භාණ්ඩාගාර බිල්පත් අවුරුද්දකට අඩු කාලයකින් කල්පිරෙන ණය ක්‍රමයක් නිසා එතැනදී ආරක්ෂා සහිතව ආයෝජනය කිරීම ඉතා වැදගත්, හේතුව රටේ ණය වාරික ගෙවීම පැහැර හැරියොත් හෝ අතපසු කළොත් එය රටක් ලෙස දැඩි ලෙස අහිතකර වීම නිසා ණය ශ්‍රේණිගත කිරීමේ ජාත්‍යන්තර ආයතන ලංකාව සිටි ශ්‍රේණියෙන් පහළ ශ්‍රේණියකට ඇද දැම්මේ ලංකාව ණය ගෙවා ගැනීමට නොහැකි රටක් බවට පත්වෙමින් පවතින බව ඔවුන්ගේ නිරීක්ෂණ තුලින් නිගමනය වූ නිසා නෙවෙයිද?

    මේ නිසා ජනපති සහ කබ්‍රාල් ඇතුලු පිරිස පවතින අර්බුදය වහාම තේරුම් ගැනීම සහ ඊට අවශ්‍ය විසඳුම් සම්බන්ධයෙන් අදහස්, යෝජනා හා සැලැස්මක් සකස් කිරීමට හැකි ඉක්මනින් වහාම රට පුරා සිටින අවශ්‍ය හැකියාව ඇති සුදුසු විද්වතුන්ගෙන් සමන්විත මණ්ඩලයක් පත් කළ යුතු බව මගේ පළමු යෝජනාවයි. ඒ අනුව අවශ්‍ය වන විසඳුමක් එන්නේ සැලැස්මක් මත පමණයි නේද? මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ලංකාව ඉදිරියේදී විශාල විදේශ විනිමය අර්බුදයකට මුහුණ දෙන බවයි. මේක දැන් හැමෝම දන්න කාරණයක් නේද?

    ඇත්ටම ආර්ථික හා මූල්‍ය විෂයය ගැන ඉතා හොඳින් දන්නා විද්වතුන් සහ එය කළමනාකරණය කළ හැකි වෘත්තීකයන් විශාල පිරිසක් ලංකාවේත් පිටරටත් සිටින අතරම එම විෂයය පිළිබඳ හසළ දැනුමක් තිබෙන අය විශ්වවිද්‍යාලවලත්, ව්‍යාපාරික හා බැංකු ක්ෂේත්‍රවලත් සිටින බැවින් ඔවුන්ගේ අදහස් ඉතා වැදගත් වන අතර ඔවුන් සමග සාකච්ඡා කරන්නේ නම් එසේ කරන අතරම මෙවන් අතීසාරෙට අමුඩ ගහන වැඩ නොකර සිටීමට ආණ්‍ඩුව පරිස්සම් විය යුතු බව මගේ අදහසයි.

    දැනට පවතින තත්වය අනුව ඒ විද්වත් මණ්‍ඩලය කොට්ඨාස දෙකකින් සමන්විත විය යුතු අතර කොවිඩ් සමග ඇති වුණු අර්බුද කළමනාකරණයට සෞඛ්‍ය අංශ ඇතුළු එක් මණ්ඩලයක් ලෙස (කොවිඩ් මර්දන යාන්ත්‍රණයේ සිටි විද්වතුන් විටින් විට ඉවත් වූයේ විද්‍යාත්මකව කටයුතු කිරීමට ආණ්‍ඩුව ඔවුනට ඉඩ නොදුන් නිසා, එය එසේ නොවී යළි රට වහන්නට වුණොත් විදේශ සංචාරකයෝ සේම විදේශ ආයෝජකයෝ ද නොපැමිණෙන බව පැහැදිලියි ) තත්ත්වය සමනය සඳහා ලංකාවේ විධිමත් වැඩපිළිවෙළක් පවතින බවත්, එය මැනවින් ක්‍රියාත්මක වන බවත් ආයෝජකයන්ට හා සංචාරකයන්ට පෙනෙන්නට තිබිය යුතු අතරම හුදෙක් එන්නත්කරණයෙන් පමණක් මෙය සමනය කළ නොහැකි ඊට එහා ගිය විචක්ෂණශීලී වැඩපිළිවෙළක් රජයට තිබිය යුතු අතර එම මණ්ඩලයේ අනෙක් අංශය විය යුත්තේ විදේශ විනිමය අර්බුදයෙන් ගොඩ ඒමට අවශ්‍ය මග පෙන්වීම සඳහා ආර්ථික මූල්‍ය හා තාක්ෂණික අංශයක් ලෙස ඒ පිළිබඳ සාකච්ඡා කර ක්‍රියාත්මක කළ යුතු එකක්.

    ReplyDelete
    Replies
    1. දැනට ලංකාවේ ප්‍රධානම ආදායම වන ඩොලර් බිලියන හතකට අධික විදේශ රැකියාවල නියුතු ලාංකිකයන් එවන විශාල මුදල් ආර්ථිකය ශක්තිමත් කිරීමට ඉතාමත් වැදගත්, මොකද 1981 සිට 2000 කාලයේදී විදේශ රැකියා කළ අය එවූ මුදල දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිඵලයක් ලෙස සියයට 5.7 ක් වුණත් 2001 සිට 2020 දක්වා කාලයේදී එය සියයට 8ක් වූ අතරම විදේශ රැකියාවලින් උපයාගත හැකි ආදායම් ඉහළ නංවාගත හැකි ප්‍රබල ක්‍රමය වන්නේ පුහුණු ශ්‍රමිකයන් විදෙස් රැකියා සඳහා යැවීමය.

      ලංකාවේ දැනට විදෙස් රැකියා සඳහා යන 70% ක් ගෘහසේවිකාවන් සහ නුපුහුණු ශ්‍රමිකයෝ නිසා විදේශ රැකියා සඳහා යන පුහුණු ශ්‍රමිකයන් සංඛ්‍යාව සියයට 20ක් පමණ වෙයි. මා යෝජනා කරන්නේ තොරතුරු තාක්ෂණ ශිල්පීන් හා පුහුණු සාත්තු සේවිකාවන් වැඩි වැඩියෙන් රට රැකියා සඳහා යැවිය යුතු බව. පුහුණු සාත්තු සේවිකාවනට යුරෝපයේ තිබෙන ඉල්ලුම ඉතා ඉහළ නිසා ඒ ඉල්ලුමට සැපැයිය හැකි නම් විදේශ විනිමය අර්බුදයට එහි විසඳුමක් නැද්ද? සංචාරක කර්මාන්තයේත් එවැනි අලුත් අවස්ථා අපමණයි.

      ලංකාවේ විදේශ ආයෝජන වැඩි කරගැනීම සඳහා අපේ ආර්ථික ප්‍රතිපත්තිවල විශ්වසනීයභාවය වර්ධනය කළ යුතු අතර රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ලංකාවේ පොදු පහසුකම්, සෞඛ්‍ය, සංචාරක වැනි ක්ෂේත්‍රවල ආයෝජන වැඩි කිරීමට තිබෙන අවස්ථා සුලභ නිසාත් විදේශ විනිමය අර්බුදය ඉහළ යාමට ආහාර මිල ඉහළ යාම ඍජුව බලපෑ නිසාත් රසායනික පොහොර තහනම වහා ඉවත් කළ යුතු අතර එමගින් ආහාර මිල ගණන් අවම කිරීමටත්, උද්ධමනය පාලනය කිරීමටත් හැකි වෙයි. (දැනටත් අප යොමු වී සිටින්නේ ගෝලීය නිමවුම් අපනයන වෙළෙඳපොළටයි.)

      ගෝලීය මාකට් එකේ තරගකාරීත්වය ඉතා විශාල නිසා සේවාවලට තිබෙන ඉල්ලුම ඔස්සේ ගොඩනැගී තිබෙන අවස්ථා ප්‍රයෝජනයට ගෙන නිමවුම් අපනයන නමැති සාම්ප්‍රදායික ගියරයෙන් සේවා අභිමුඛ සංවර්ධන ගියරයට ලංකා ආර්ථිකයේ ගියර් මාරු කළ යුතු බව (Shift) මගේ යෝජනාවයි. එමගින් අත්කරගත හැකි වාසි සුවිශාල බව මගේ තක්සේරුවයි.

      ඒ වගේම රුපියල අවප්‍රමාණය වැනි දේවල ඇතුලු කිසිම ක්‍රමයකින් අපනයන ඉපයීම් වැඩි කරගැනීමට හෝ ආයෝජන වැඩි කරගැනීමට විසඳුමක් පෙනෙන මානයක නොපෙනෙයි. ඒ නිසා වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්ද උපකාර ලබාගෙන (විවිධ රටවල ගෙවුම් ශේෂයේ ඇති වන අර්බුද සමනය කරගැනීමට සහනදායක පොලියකට දිගු කාලීන ණය දීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිටුවීමේ එක් අරමුණකි. දැන් ලංකාව සිටින්නේ මූල්‍ය අරමුදලේ ඒ අරමුණ ඉටු කරගැනීමට සුදුසු අවධියකය. ලංකාව ද මූල්‍ය අරමුදලේ සාමාජික රටකි. එහෙයින් ලංකාව වහාම මූල්‍ය අරමුදල වෙත යා යුතුය. රට ණය උගුලක නොපටලවන ආයතනය මූල්‍ය අරමුදලයි. මූල්‍ය අරමුදල ණය මුදල් දෙන්නේ ඒ ඒ රටවල මහ බැංකුවලටය. බහුපාර්ශ්වීය හා ද්විපාර්ශ්වීය ආයතන ණය දෙන්නේ අදාළ රටේ ආණ්‍ඩුවටය.) හැකි සෑම දෙයක්ම කළ යුතු අතරම මූල්‍ය අරමුදල සිය ණය දෙන්නේ අදාළ රටේ විනිමය සංචිත වැඩි කරගැනීම සඳහා ඒ රටේ මහ බැංකුවට නිසායි.

      කෙසේ වෙතත් ජත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිය/ නොගිය 1965 සිට 2020 අතර කාලයේ ලංකාවේ 4.7% සමස්ත ආර්ථික වර්ධනයක් අත්කරගෙන ඇති නමුත් ඒ කාලයේදීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පහසුකම් ලබා නොගෙන අප කටයුතු කර තිබෙන අවුරුදු 22ක කාලයකදී අත්කරගෙන තිබෙන්නේ 4.66% ක ආර්ථික වර්ධන වේගයක් පමණයි නේද? මොකද මූල්‍ය අරමුදල සමගම යමින් අප කටයුතු කර තිබෙන කාලයේ අත්කරගෙන තිබෙන ආර්ථික වර්ධන වේගය සියයට 5.61% ක් බව ආර්ථික සඟරාවක පෙන්වා දී තිබුණා, ඒ අංකවලින් පෙන්වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රකුසකු නොවන බවත් ලංකාවේ හා එහි ජනතාවගේ මිතුරකු බවත් ඒ මිතුරා ළඟට යා හැක්කේ අධිතක්සේරුවෙන් උපන් උද්ධච්ඡකම බිම තැබුවහොත් පමණක් බවත්. ආණ්ඩුවේ හිතවතුන් වන ධම්මික පෙරේරා වැනි අයත් ඒ සඳහා සූදානම් බව පේනවා නේද? මේ ගැන ඔබේ යෝජනා මොනවාද?

      Delete
    2. ඇත්තටම කරන්න ඕන විදේශ සේව වලට යවන් එක නැවත්තන එක. උන්ව රට පටෝල උන්ගෙ සල්ලිවලින් නිකන් කන්න බලන් ඉන්න උන්ට තේරෙන්නත් එක්ක.

      Delete
    3. //AnonymousNovember 11, 2021 at 5:58 AM//

      විදේශ ශ්‍රමික ප්‍රේෂණ කියන එකත් කවදා හෝ ප්‍රශ්නයක් වන දෙයක්. දැනට මෙය නවත්වන්න හෝ පාලනය කරන්න අවශ්‍ය නැහැ. ඒ වගේම කෙටිකාලීනව හා මැදිකාලීනව ශ්‍රමික ප්‍රේෂණ වල වාසිය ලබා ගත යුතුයි. එහෙත්, රටක් ලෙස සලකනවානම් ශ්‍රමික ප්‍රේෂණ මත පරායත්ත රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්තියක් හොඳ එකක් නෙමෙයි. තවත් වසර ගණනාවකට පසු, දැන් ණය අර්බුදය වගේම, ශ්‍රමික ප්‍රේෂණ මත කාලයක් පරායත්තව සිටීම නිසාත් ලංකාව අර්බුදයකට යා හැකියි. එය ආර්ථික අර්බුදයකට වඩා වැඩි විස්තීර්ණ ආර්ථික, සමාජයීය හා දේශපාලන අර්බුදයක් විය හැකියි.

      Delete
    4. අනිවා. ලන්කාවෙ උන්ටත් කොහෙන් හරි නිකන් ඉන්න ගමන් සල්ලි එනවනම් එච්චරයි.

      Delete
  11. ඉකොන් ලංකවේ ආර්ථික අර්බුදය ගැන මගේ කියවීමේ දී නම් මම හිතන්නේ ඊට ජනතාවගේ ද සංයුක්ත මැදිහත්වීමක් අත්‍යවශ්‍ය බව, එය හුදෙක් දේශපාලකයන්ට පමණක් බාර කළ කාලය දැන් අවසාන කරපොදු ජනයා මින් ඉදිරියට දේශපාලකයා පමණක් නොව රාජ්‍ය සේවය මෙන්ම තමන් ගැන ද මීට වඩා සිතිය යුතුය. පොහොර ප්‍රශ්නය යැයි කියමින් ගොවීහු මේ දිනවල වීදි බසිති. එහෙත් කොවිඩ් වයිරසය නැවත හිස එසෙව්වහොත් ඊට ආණ්ඩුව වෙන්කරන්නේ මහජන බදු මුදල්ය. මහජන බදු මුදල් යනු මහජනයාගේම සල්ලිය. එවිට කිසියම් ආකාරයකට මේ ගොවීන්ගේම සල්ලි නැවතත් වැය කෙරෙන්නේ වසංගතය මඩින්නටය. ඒ අර්ථයෙන් ගත්කළ තමා පරෙස්සම් වීම යනු හුදෙක් සෞඛ්‍ය ආරක්ෂා කරගැනීමම නොව සිය ධනය ද ආරක්ෂා කරගැනීමය.

    දැනට ලෝක ගෝලීය ආර්ථික තත්ත්වය අනුව ලංකාව සිටින්නේ ද ආයෝජන ළඟා කර ගත හැකි තැනක නොවේ. මේ වේලාවට යම් ආයෝජනයක් පැමිණියත් ඒවා අපට වාසිදායක ඒවා නොවේ. එනිසා අප බැලිය යුත්තේ අඩුම තරමින් රටක වියදම අඩු කරගැනීම ගැනය. නිදසුනකට පෙට්‍රල් රුපියල් 10කින් අඩු කර ඇතැයි පුවතක් ඇසූ පුද්ගලයෝ වහාම ඉන්ධන හල් කරා යති. වැඩි වේලාවක් යන්නට පෙර අප දකින්නේ දිගු පෝලිම්ය. ලීටර් 50ක් ලබා ගත්තත් ලාබය රුපියල් 500කි. එහෙත් මිනිසුන් පෝලිම්වලට වී පිච්චූ ඉන්ධන හා මිනිස් පැය ප්‍රමාණය හා සසඳද්දී ලැබූ ලාභයක් නැත. ප්‍රශ්නය නම් මිනිසුන් මෙවැනි දේ ගැන තාර්කිකව නොසිතීමය.

    සැබැවින්ම මෙවැනි කාල පරිච්ඡේදයක දී මිනිසුන් කළ යුත්තේ වියදම් ඇතිවීමට ඇති අවකාශයක් වේ නම් එය හැකි සෑම අයුරින්ම අවම වන පරිදි කටයුතු කිරීමට නෙවෙයිද?

    මීට නිදසුනකට ඇතැමුන් කියන්නේ කිරි පිටි නොබී බැරි බවය. මොහොතකට එය සැබෑම යැයි සිතමු. අඩුම තරමින් කිරි පිටි බොන වේල් ගණන අඩු කළ නොහැකිද? මගේ යෝජනාව නම් ආනයනික භාණ්ඩ පරිභෝජනය වැඩි වන තරමට රට උගුලට හසුවීමේ වේගය වැඩි වන බවයි. අත්‍යවශ්‍ය භාණ්ඩ අරපරෙස්සමින් භාවිත කළ යුතුය.

    මේ වගේම ගෑස් හා විදුලිය යනු එසේ අරපරෙස්සමින් භාවිත කළ යුතු ඉන්ධන නිසා අපට පෙට්‍රල් නැතිව ජීවත්වීමට හැකියාවක් නැතත් වෙනදා පෙට්‍රල් ලීටර් 100ක් භාවිත කළ අයකුට අත්‍යවශ්‍ය ගමන් සඳහා පමණක් වාහනය භාවිත කර ලීටර් ගණන 75 දක්වා අඩු කළ නොහැකිද? විදුලිය වුව දල්වන විදුලි පහන් සංඛ්‍යාව අඩු කළ හැකිය. මේ අයුරින් අප රටක් හැටියට සිතා සකසුරුවම් ජීවන ශෛලියකට සක්‍රීය ලෙස මැදිහත් වන්නේ නම් පවතින අර්බුදයෙන් යම් දුරකට ගොඩ ආ හැකිය. නොඑසේව අර්බුදයට විසඳුම ආණ්ඩු හෝ පුද්ගල මාරුවක් ලෙස දකින්නේ නම් එයින් විසඳුමක් නැත. මේ අවස්ථාවේ ඇතැම් සාකච්ඡා දියත් වන බව පෙනෙන්නේ එවැනි පුද්ගලවාදී දෘෂ්ටිකෝණයෙන් බව පෙනේ. එය කනගාටුදායක තත්ත්වයකි. සැබැවින්ම කොවිඩ් අවුල යනු දේශපාලනික කාරණයක් නොවේ. ස්වාභාවික උපද්‍රව්‍යයකි. එය ප්‍රශ්නයක් හැටියට සලකා කළමනාකරණය කිරීම දේශපාලනික කාරණයකි. එහිදී වැදගත්ම කරුණ ලෙස මා දකින්නේ රටේ ජනතාව සමග ප්‍රශ්නය ගැන සාකච්ඡාවකට යෑමය.

    මීට තවත් නිදසුනකට ගුරු ප්‍රශ්නයේ දී මතු වූ කරුණ වූයේ නිසි සාකච්ඡාවක් නොතිබුණේය යන්නයි. ගොවි ප්‍රශ්නයේදී ද එසේය. යුගදනවි බලාගාර ප්‍රශ්නය වුව එසේය. මහජනයාගේ ස්වභාවය නම් තොරතුරු මත කලබල වීමය. සාකච්ඡා විරහිත ක්‍රියාමාර්ග විසින් සිදුකරනු ලබන්නේ එකී මහජනයා කලබලයට පත්කිරීමය.

    මේ නිසා ලංකාවේ ආණ්ඩුකරණයේ දී අත්‍යවශ්‍ය පියවරක් වන්නේ තොරතුරු සහිත සාකච්ඡාවෙන් සම්මන්ත්‍රණයෙන් මහජනයා දැනුවත් කරමින් වැඩ කිරීමය. කරන වැඩ නිරවුල්ව නිරවද්‍යභාවයෙන් කරද්දී මහජනයා කලබල වන්නේ නැත. එය ආණ්ඩුකරණයට ද පහසුවකි.

    නිදසුනකට ගිවිසුමක් රෑ දොළහට අස්සන් කිරීම නොකොට දවල් දොළහට අස්සන් කළ නොහැකි ද? අස්සන් ගැසීමට පෙර සතියක් දෙකක් ජනතාව සමග සාකච්ඡා කළ නොහැකි ද? රසායනික පොහොර වෙනුවට කාබනික කෘෂිකර්මයට විතැන්වීම ලංකාවේ සියලු ජීවීන්ගේ අයිතින් සුරක්ෂිත කරන මුළු ලෝකයක් පිළිගන්නා අගනා වැඩපිළිවෙළකි. එහෙත් එය කළ යුත්තේ මහජනයා සමග වූ සක්‍රීය සාකච්ඡාවකින් පසුය. එවැනි සාකච්ඡාවකට විශාල කාලයක් වැය වන්නේ ද නැත. ධනවාදී ලෝකයෙහි මිනිසකු පරයා තවත් මිනිසකු ලාභ උපරිම කරගැනීමට වෑයම් කරන්නේ යම් සේද එක රටක් සෙසු ලෝකය සමග ගැටෙන්නේ ද එපරිද්දෙන්මය. එවිට මේ කොවිඩ් සමයේදී ලංකාව වැනි පරිධියේ රටවලට සිදුවන්නේ ගෝලීය හා ජාතික යන තල දෙකේදීම ඉතාම පරීක්ෂාකාරී ලෙස ආර්ථික තීන්දු ගැනීමටය. එහිදී ප්‍රධාන සාධකයක් වන්නේ රටේ මහජනයාය.

    මේ නිසා ලංකාවේ මහජනයා සිටින්නේ විපිළිසරවයි. දේශපාලනික වශයෙන් කලබෑගැනිවලට ඔවුන් පැටලෙන්නේ ද ඒකයි, එහෙත් මේ ආරාවුල විසඳාගත හැක්කේ ඔවුන් සමග පරතරය වැඩිකර ගැනීමෙන් නොව සක්‍රීය සංවාදයක් මගින් නිසි තොරතුරු සන්නිවේදනයෙනි. යහපත් තීරණ විනිවිදභාවයෙන් යුක්තව සාකච්ඡාවෙන් සම්මුතියෙන් ක්‍රියාවට නැගීමෙනි. මේ ගැන ඔබේ යෝජනා කෙසේද?

    ReplyDelete
    Replies
    1. //ඉකොන් ලංකවේ ආර්ථික අර්බුදය ගැන මගේ කියවීමේ දී නම් මම හිතන්නේ ඊට ජනතාවගේ ද සංයුක්ත මැදිහත්වීමක් අත්‍යවශ්‍ය බව, එය හුදෙක් දේශපාලකයන්ට පමණක් බාර කළ කාලය දැන් අවසාන කරපොදු ජනයා මින් ඉදිරියට දේශපාලකයා පමණක් නොව රාජ්‍ය සේවය මෙන්ම තමන් ගැන ද මීට වඩා සිතිය යුතුය.//

      කොයි තරම් සබුද්ධික වුවත් සාමාන්‍ය පුද්ගලයෙකුට කළ නොහැකි දේවල් තිබෙනවා. මුදල් සැපයුම තීරණය කිරීම හා විණිමය අනුපාතය පාලනය කිරීම එවැනි දේවල්. මේ වගේ බරපතල ප්‍රශ්න එසේම තිබියදී සාමාන්‍ය මිනිස්සුන්ට කළ හැකි පොඩි දේවල් වලින් ලොකු ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ.

      //මීට නිදසුනකට ඇතැමුන් කියන්නේ කිරි පිටි නොබී බැරි බවය. මොහොතකට එය සැබෑම යැයි සිතමු. අඩුම තරමින් කිරි පිටි බොන වේල් ගණන අඩු කළ නොහැකිද?//

      ඩොලරයේ මිල ඉහළ යන්න ඉඩ ඇරියානම් එයට සමානුපාතිකව කිරිපිටි මිල ඉහළ යනවා. එතකොට කොහොමටත් කිරි පිටි බොන වේල් ගණන අඩු කරන්න වෙනවා. විණිමය අනුපාතය පහළින් තියාගෙන, ආනයනික බඩු අඩුවට විකුණන තාක් ඉල්ලුම අඩු වෙන්නේ නැහැ. දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය වෙන්නෙත් නැහැ. කිරිපිටි මිල ගොඩක් ඉහළනම් මිනිස්සු කිරි බොන්න හරකෙක් හරි හදනවා.

      Delete
  12. ඇත්තටම ඉකොනොමැට්ටා මේ ඇමරිකානු ධනවත් බලවත් පුද්ගලයන් විශාල වශයෙන් අක්කර ලක්ෂ ගණනින් කෘෂිකාර්මික වගාබිම් මිලදී ගැනීමට හේතු කාරණා ගැන ගැඹුරින් විස්තර කරමින් පෝස්ට් එකක් දාන්න පුළුවන් ද? මේ කෙටි වීඩියෝ එකේ කෙටි විස්තරයක් තියෙනවා නමුත් මට මේක ගැන හිතාගන්න අමාරුයි හරියටම; Link below;

    https://youtu.be/MJVL9HegCr4

    ReplyDelete
    Replies
    1. සල්ලි තියෙනවානම් එයින් කොටසක් ඉඩම් වල ආයෝජනය නොකළ යුත්තේ ඇයි? එහෙම නොකරනවානම් තමයි විශේෂයෙන් කතා කළ යුත්තේ.

      Delete
    2. //මම අවුරුදු 3කට කලින් (අගෝස්තු 2018) ලක්ෂ 80ක් දීලා ඉඩමක් ගත්තා ආයෝජනයක් හැටියට.

      ඒ වෙලාවෙ මම £40,000 මාරු කරා ලක්ෂ 80 ගන්න.

      දැන් ඒ ඉඩම අවුරුදු 3ට පස්සෙ ඉල්ලනවා 110 කට. පිටින් බලන කෙනෙකුට හිතෙනවා ඇති අවුරුදු 3ට ලක්ෂ 30ක් වැඩි වෙලා කියන්නෙ හොඳ ආයෝජනයක් කියලා.

      ඒ උනාට මගේ අතේ තිබුන £40,000 තියාගන හිටියනම් අද 125 වටිනවා. :baffled:

      ඉඩම පරිස්සම් කරගන්න මාර ගේමක් දෙන්න ඕන. සුද්ද කරන්න ඕන. ආය විකුනනනකොට ලෝයර් ගාස්තු ගෙවන්න ඕන. විකුනන්න මම ලංකාවෙ ඉන්න ඕන. ඇඩ්ස් දාන්න ඕන. මළ කරදරයක් දා ගත්තෙ. සල්ලි ටික අතේ තියන් හිටියනම් ඉවරයි.//

      eka paarata droller eka wadi wunoth idam mila widesha mudal walata saapekshawa adu wenawa needa?

      Delete
    3. පළමුව, විදේශ විණිමය විකිණුම් මිල හා ගැනුම් මිල අතර 3%-5% අතර පරතරයක් තිබෙන නිසා පවුම් රුපියල් කර, ක්ෂණිකව නැවත එම රුපියල් පවුම් කළත් 3%-5% පමණ පාඩුවක් වෙනවා. දෙවනුව, ඉඩමක් අද මිලට අරගෙන හෙට එම ගත් මිලටම නැවත ආපසු විකිණුවත් බ්‍රෝකර් ගාස්තු, මුද්දර ගාස්තු ආදිය නිසා අලාභයක් වෙනවා.

      මේ කියන කාල වකවානුව සැලකුවොත් 2018 අගෝස්තු අවසන් සතියේ බ්‍රිතාන්‍ය පවුමක ගැනුම් මිල රුපියල් 206.55ක්. ඒ අනුව, රුපියල් ලක්ෂ 80ක ඉඩමක් ගන්න අවශ්‍ය වන්නේ පවුම් 38,721ක් පමණයි. පවුම් 40,000ක්ම අවශ්‍ය වන්නේ නැහැ. ඇතැම් විට බ්‍රෝකර් ගාස්තු, මුද්දර ගාස්තු ආදිය එකතු කළ විට පවුම් 40,000ක් අවශ්‍ය වුනා විය හැකියි. එහෙත්, ඒ වියදම් විණිමය අනුපාතිකයට සම්බන්ධයක් නැති රුපියල් වලින් ඉඩමක් මිල දී ගත්තත් යන වියදම්.

      වසර තුනකට පසු 2021 අගෝස්තු අවසානයේදී පවුමක විකිණුම් මිල රුපියල් 282.08ක්. ගැණුම් මිල රුපියල් 272.45ක්. දැන් මේ ඉඩම රුපියල් ලක්ෂ 110කට විකුණුවොත්, එම රුපියල් ප්‍රමාණය පවුම් කර පවුම් 38,996ක් ලබා ගත හැකිව තිබුණා. එම මුදල යාන්තමින් වුවත් ඉඩම මිල දී ගැනීම සඳහා යෙදවූ මුදලට වඩා වැඩියි. එහෙත්, බ්‍රෝකර් ගාස්තු, මුද්දර ගාස්තු ආදිය නිසා පාඩුවක් විය හැකියි. ඊට අමතරව නීතිඥ ගාස්තු, දැන්වීම් ගාස්තු, ඉඩම ආරක්ෂා කිරීමේ ගාස්තු ආදිය සැලකූ විට පාඩුවක් සිදුව ඇති බව පැහැදිලියි. මෙය සාමාන්‍ය තත්ත්වයක්.

      පවුම් 38,721 අතේ තියාගෙන හිටියානම් අද එම පවුම් ප්‍රමාණය මාරු කර ලබා ගත හැක්කේ රුපියල් ලක්ෂ 105.5ක් පමණයි. රුපියල් ලක්ෂ 125ක් ලබා ගන්න බැහැ. ඒ නිසා, මේ සල්ලි කොහොමටත් අවසාන වශයෙන් ලංකාවට ගේන්න අවශ්‍ය වී තිබුණු සල්ලිනම් පාඩුවක් වී නැහැ. අනෙකුත් අමතර වියදම්ද සැලකූ විට ලොකු ලාබයක් සිදු වී ඇතැයි කියන්නත් බැහැ.

      කෙසේ වුවත් මෙහි සඳහන් තොරතුරු නිවැරදි සේ සැලකුවොත් ඒ හරහා කරුණු කිහිපයක් තහවුරු කළ හැකියි.

      1. වසර තුනක් ඇතුළත ලංකාවේ ඉඩම් මිල 37.5%කින් ඉහළ ගොස් ඇති බව. ඒ කියන්නේ 11.2%ක වාර්ෂික සාමාන්‍ය ප්‍රතිලාභයක්. මෙයින් එක පැත්තකින් ලංකාවේ මුදල් සැපයුමේ ඉහළ යාම නිසා ඉඩම් ඉල්ලුම ඉහළ යාම පිළිබිඹු වෙනවා. දෙවනුව, මෙවැනි මුදලක් ඉඩමක ආයෝජනය කරන අයෙකුට ඉහත ප්‍රතිලාභය ලැබෙන්නේ වසර තුනක් එම ඉඩම භුක්ති විඳීමේ ප්‍රතිලාභයට අමතරවයි. ඉඩම තේ ඉඩමක්නම් වසර තුනක් තේ ආදායම ලැබෙනවා. ඉඩමේ නිවසක් තිබුණානම් වසර තුනක් ගෙවල් කුලිය ලැබෙනවා. මේ අනුව ශ්‍රී ලාංකිකයෙකුට අදාළ කාලයේ ඉඩම් වල ආයෝජනය කිරීමෙන් ඇති විශාල ප්‍රතිලාභයක් ලබා ගත හැකිව තිබුණා.

      2. මේ ආකාරයෙන් ශ්‍රී ලාංකිකයෙකුට ලංකාවේ ඉඩම් වල ආයෝජනය කර විශාල ප්‍රතිලාභයක් ලබාගත හැකි වුවත්, විදේශිකයෙකුට එම ප්‍රතිලාභ එසේම ලබාගත නොහැකි අතර ඇතැම් විට පාඩුවක් සිදු වෙන්නත් ඉඩ තිබෙනවා. (මේ "මෝඩ" යෝජනාව මගේ ඇතැම් සමීපතම අයත් කරනවා. පසුගිය වසර තුන තුළ ඇමරිකාවේ මා සිටින ප්‍රදේශයේ ඉඩම්/නිවාස මිල අවම වශයෙන් 30%කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. මට සල්ලි තිබුණානම් මම ඒ මුදල් ඇමරිකාවේ දේපොළක් මිල දී ගන්න මිස ලංකාවේ දේපොළක් මිල දී ගන්න යොදවන්නේ නැහැ. ලංකාවේ ඉඩම් විදේශයක සිට නෙමෙයි ලංකාවේම වෙනත් ප්‍රදේශයක සිට වුවත් පරිස්සම් කර ගන්න එක අමාරු වැඩක්. ඊට අමතරව ක්ෂණිකව ලංකාවේ වත්කමක ඩොලර් අගය නැත්තටම නැති වී යාමේ අවදානම තිබෙනවා.)

      Delete
    4. කිසියම් රටක/ප්‍රදේශයක ජීවත්වන අයෙකු එම ප්‍රදේශයේ දේපොළක් මිල දී ගැනීමේ වාසිය විදේශයක සිටින අයෙකුට නැහැ. එය සාමාන්‍ය තත්ත්වයක්. මට ඇමරිකාවේ සිට ලංකාවේ ගෙවල් කුලී එකතු කරන්න හෝ ගස් වල පොල් කඩවන්න බැහැ. මේ හේතුව නිසාම ලංකාවේ ආර්ථිකය ඉදිරි පිම්මක් පැන්නවීම සඳහා අනිවාර්යයෙන්ම කළ යුතු හා පහසුවෙන් කළ හැකි දෙයක් වන ඉඩම් වෙළඳපොළ සක්‍රිය කිරීම (MCC යෝජනාව) ක්‍රියාත්මක කළා කියලා ඇමරිකානුවෝ ඇවිත් ලංකාවේ ඉඩම් මිල දී ගන්නේ නැහැ. ඇමරිකාවේ ඉඩමක් මිල දී ගැනීම ඊට වඩා ලාබයි.

      හැබැයි දැන් නැවතත් ලංකාව විසින් ක්‍රියාත්මක කරන විණිමය අනුපාතය පාලනය කිරීමේ ප්‍රතිපත්තිය එක්ක මේ තත්ත්වය වෙනස් වෙනවා. අපි මුල් උදාහරණයටම ගියොත්, අදාළ කාලය තුළ පවුමක මිල ස්ථිරව තිබුණේනම් විදේශිකයෙකුට ලංකාවේ මුඩු ඉඩමක් වුවත් මිල දී ගෙන 37.5%ක ප්‍රතිලාභයක් ලබා ගන්න තිබුණා. 2010දී මෙන් රුපියල අධිප්‍රමාණය වෙන්න ඇරියොත් ප්‍රතිලාභය ඊටත් වැඩියි. ඒ කියන්නේ, ඉඩම් මිල දී ගැනීමෙන් ශ්‍රී ලාංකිකයෙකුටත් වඩා වැඩි වාසියක් විදේශිකයෙකුට තිබෙනවා. (මෙය මෙසේ වේනම් එහි කිසියම් වැරැද්දක් ඇති බව සාමාන්‍ය බුද්ධියට වුවත් අවබෝධ විය යුතුයි) ඒ නිසා, විදේශිකයන් ලංකාවේ මුදල් ආයෝජනය කරන්න පෙළඹෙනවා. (දැන් නැවතත් ක්‍රියාත්මක කරන රාජපක්ෂ/කබ්රාල් ක්‍රමය මෙයයි). හැබැයි මේ සල්ලි ගේන්නෙම ආපසු ගෙනියන්න. ඉහත පවුම් 40,000 ආයෝජනයම වුවත් උදාහරණයක්. ඒ නිසා, දිගින් දිගටම ලංකාවේ බැරකම් ඉහළ යනවා. පවුම එක තැන තිබුණානම් රටට ආපු පවුම් 40,000 වෙනුවට පවුම් 55,000ක් රටෙන් ආපසු යනවා. හොඳ වෙලාවට 2018-2021 අතර විණිමය අනුපාතයේ යම් පිරිහීමක් වූ නිසා ආපසු ගියේ රටට ආපු පවුම් 40,000 පමණයි. දැන් විණිමය අනුපාතය එකතැන තියාගෙන හිටියානම් ඉඩම විකුණා පවුම් 55,000ක් ආපසු ගෙන යාමේදී රටට ගෙනාවේ නැති පවුම් 15,000 ලැබෙන්නේ කොහෙන්ද? රාජපක්ෂ/කබ්රාල් ක්‍රමය අනුව ඒ සල්ලි ආපසු ගෙනියන්න දෙන්න ලැබෙන්නේ එක්කෝ පවුම් 55,000ක විදේශ ණයක් ගත්තොත්. නැත්නම් පවුම් 55,000කට තවත් ඉඩමක් විකිණුවොත්. (මොකද කලින් රටට ආපු පවුම් 40,000ත් ඒ වන විට ආනයන වෙනුවෙන් වියදම් කරලා අවසානයි). තව අවුරුදු තුනකින් ඔය පවුම් 55,000 ණයට පොලිය එකතු වී හෝ ඉඩමේ මිල වැඩි වී පවුම් 75,000ක් වූ විට නැවත කරන්න වෙන්නෙත් ඔය වැඩේමයි. ඕක තමයි රාජපක්ෂ/කබ්රාල් ක්‍රමයේ සෞභාග්‍යයේ රහස. පිරමිඩ් එක කොයි වෙලේ හෝ කඩා වැටෙනකම් නැව ගිළුනත් බෑන්චූන්!

      Delete
    5. මේ විග්‍රහයනම් මාර වටිනව. වෙනම ලිපියක් විදියට දැම්මත් හොඳයි මමනම් කියන්නෙ.

      Delete
    6. බොහොම වටිනා විස්තරයක්.

      Delete
  13. Oya okkotama hetuwa hora kana deshapalkayooo noweda

    ReplyDelete
  14. Greek bond...oil hedging...air bus magadi wage ewa thawa karanna ona naya aragena

    ReplyDelete
  15. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "7. බර කතා බහ" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!

    ReplyDelete
    Replies
    1. අවංකවම කියනවානම් සින්ඩිකේටරයක් හැදුවා කියලා "බ්ලොග් ස්වර්ණමය යුගයක්" ඇති වේයැයි මම හිතන්නේ නැහැ. සින්ඩිකේටරයක් ජනප්‍රිය කර ගැනීම බ්ලොග් එකක් ජනප්‍රිය කර ගැනීමට වඩා අමාරු දෙයක් කියන එකයි මගේ අදහස. කොහොම වුනත්, ඔබේ උත්සාහය අගය කරනවා. ඔබේ සින්ඩිකේටරය මගේ වියුණු එකතු ලැයිස්තුවට එකතු කරන්නම්!

      Delete
    2. ඔබගේ අදහසට ස්තූතිවන්ත වෙමි!

      Delete
  16. //සල්ලි තියෙනවානම් එයින් කොටසක් ඉඩම් වල ආයෝජනය නොකළ යුත්තේ ඇයි? එහෙම නොකරනවානම් තමයි විශේෂයෙන් කතා කළ යුත්තේ//
    මීට කලිනුත් අපි කතා කරා මේ ගැන. ලාංකික තේ වවන්නන් විශාල සහයක් දක්වනව ඩොලර් ඉපයීම සඳහා. නමුත් විනිමය අනුපාතිකය නිසි ලෙස සැකසීමට ඉඩ නොදීම ඔවුනට කරන බලවත් අසාධාරණයක්. ඉහළ මිලක් ලැබෙනවනම් හොඳ වැටුපක් දළු නෙලන අයටත් ගෙවන්න පුළුවන්. කෘතිම විනිමය අනුපාතය අවුලක්. ඒ වගේම රසායනික පොහොර නොමැතිවීම මෙම ගැටළුව තව තවත් උග්‍ර කරනව. මෙම තත්වය කෘෂි කරුමයක් වී ගෙනයි යන්නෙ.

    ReplyDelete
    Replies
    1. අපනයන කෘෂිකර්මය හා අදාළව මේ තත්ත්වය පිළිබඳව මේ වෙද්දී බොහෝ දෙනෙක් දැනුවත්. අපනයනය ඉල්ලක කර නොගත් අනෙකුත් කෘෂිකර්ම නිෂ්පාදන වලටත් විණිමය ප්‍රතිපත්තිය මෙලෙසම නරක ලෙස බලපානවා. විණිමය අනුපාතය අවප්‍රමාණය වෙන්න ඉඩ ඇරියානම් ලංකාවේ අල, ළූණු ගොවීන්ට ආනයන සමඟ තරඟ කිරීම මෙතරම් අසීරු වෙන්නේ නැහැ. ඒ වගේම, මයිසූර් පරිප්පු ලංකාවේ වැවුවේ නැතත්, සාපේක්ෂව මිල ගොඩක් වැඩිනම්, බොහෝ දෙනෙක් ඒ වෙනුවට කඩල පරිප්පු, මුං පරිප්පු ආදේශ කරනවා. ලංකාවේ "සුබසාධන කෘෂිකර්මය" ගැන බොහෝ දෙනෙක් විවේචනාත්මකව කතා කරනවා වගේම එම විවේචන වලට පදනමක්ද තිබුණත් එහිදීත් මෙම සාධකය බොහෝ දෙනෙකු විසින් සැලකිල්ලට ගන්නේ නැහැ. විණිමය අනුපාතය සකස්වීම හරහා ආනයන මිල අවශ්‍ය පමණ ඉහළ යනවානම් වී ඇතුළු දේශීය වෙළඳපොළ ඉලක්ක කරගත් බොහෝ කෘෂිකාර්මික නිෂ්පාදන වලට සුබසාධනයේ පිහිට නැතිව පැවතිය හැකියි. විණිමය අනුපාතය හිර කරගෙන ආනයන අපනයන පරතරය පියවන්න උත්සාහ කිරීම අඩිය නැති බාල්දියකට වතුර පුරවන්න හදනවා වගේ වැඩක්!

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: