වෙබ් ලිපිනය:

Thursday, August 31, 2023

අගෝස්තු උද්ධමනය 4%යි!


කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව අගෝස්තු මාසයේදී උද්ධමනය 4.0% දක්වා පහත වැටී තිබෙනවා. මෙය මහ බැංකුවේ දිගුකාලීන උද්ධමන ඉලක්කය වන 4%-6% පරාසයේ පහළම සීමාවයි. ඉදිරි මාසයේදී මෙම අගය ඉලක්ක සීමාවෙන් පහතට වැටෙන බව ඉතාම පැහැදිලි අතර ශුන්‍ය මට්ටමට වුවද ආසන්න විය හැකියි. එමෙන්ම මෙම මාසයේ උද්ධමනය වුවද ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව මීට වඩා අඩු මට්ටමක පැවතිය යුතුයි. අඩු වශයෙන් වසර අවසාන වන තුරු උද්ධමනය මහ බැංකුවේ ඉලක්ක සීමාවෙන් පහළ රැඳී තිබිය හැකියි. 

මේ වන විට පවතින උද්ධමනය හා සැසඳූ විට පොලී අනුපාතික තිබෙන්නේ සෑහෙන තරම් ඉහළ මට්ටමකයි. අඟහරුවාදා දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට ඉදිරිපත් කළ රුපියල් බිලියන 150ක බිල්පත් ප්‍රමාණයෙන් විකුණා ගත හැකි වූ ප්‍රමාණය රුපියල් බිලියන 108ක් පමණයි. ඒ වෙනුවෙන් පෙර සතියට වඩා තරමක් වැඩි පොලියක් භාර ගන්නටද සිදු වුනා. පෙර සතියේදී 17.97% මට්ටමේ පැවති දින-91 ඵලදා අනුපාතය 18.48% දක්වා ඉහළ ගොස් තිබුණු අතර අනෙකුත් කල් පිරීම් වල ඵලදා අනුපාතිකද ඉහළ ගොස් තිබුණා. භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම තෙවන වරටද කල් යාම නිසා ඇති වූ වෙළඳපොළ අවිනිශ්චිතතාව මීට හේතු වී ඇති බව පෙනෙනවා. 

Monday, August 28, 2023

බැඳුම්කර කූපන් පොලිය EPF ප්‍රතිලාභ වෙන හැටි...

මෙය භාණ්ඩාගාර බැඳුම්කර වල කූපන් පොලී අනුපාතික වල සිට සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට ලැබෙන ප්‍රතිලාභ දක්වා කරුණු කිහිපයක් සම්බන්ධව තාක්ෂනික පැහැදිලි කිරීමක්. ඒ හැර විග්‍රහයන් කිසිවක් නැහැ.

භාණ්ඩාගාර බැඳුම්කර වල කූපන් පොලී අනුපාතික යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?

භාණ්ඩාගාර බැඳුම්කර සඳහා වාර්ෂිකව කූපන් පොලී ගෙවනවා. කූපන් පොලිය කියන්නේ බැඳුම්කරයේ "මුහුණත වටිනාකමින්" ප්‍රතිශතයක් ලෙස වාර්ෂිකව ගෙවන පොලී මුදල. කූපන් පොලී ගෙවන ක්‍රමය ගැන භාණ්ඩාගාර බැඳුම්කරයක් මුලින්ම නිකුත් කරන අවස්ථාවේදී දැනුම් දෙනවා. ඉන් පසු බැඳුම්කරය කල් පිරෙන තුරු එය වෙනස් වෙන්නේ නැහැ. 

දෙසතියකට පෙර සංවර්ධන බැඳුම්කර සමඟ හුවමාරු කෙරුණු භාණ්ඩාගාර බැඳුම්කර වර්ග පහ හැරුණු විට මේ වන විට නිකුත් කර ඇති හා කල් නොපිරුණු භාණ්ඩාගාර බැඳුම්කර වර්ග 63ක් වෙළඳපොළේ තිබෙනවා. එම වර්ග 63ම නිකුත් කර තිබෙන්නේ ස්ථිර වාර්ෂික කූපන් පොලියක් ගෙවීමේ පොරොන්දුව මතයි. එම කූපන් පොලිය 5% සිට 22.5% දක්වා පරාසයක විචලනය වෙනවා.

මීට අමතරව දෙසතියකට පෙර සංවර්ධන බැඳුම්කර සමඟ හුවමාරුවට නිකුත් කළ භාණ්ඩාගාර බැඳුම්කර වර්ග පහක්ද දැන් වෙළඳපොළේ තිබෙනවා. එම වර්ග පහ නිකුත් කර තිබෙන්නේ විචල්‍ය කූපන් පොලියක් ගෙවීමේ පොරොන්දුව මතයි. එම පොලිය මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතය මත වෙනස් වෙන, එම පොලී අනුපාතයට වඩා 1%කින් වැඩි කූපන් පොලියක්. යෝජිත භාණ්ඩාගාර බැඳුම්කර හුවමාරුවේදී ලබා දෙන අලුත් භාණ්ඩාගාර බැඳුම්කර වර්ග 12ක් සඳහා 2025 වසර අවසන් වන තුරු 12%ක ස්ථිර වාර්ෂික කූපන් පොලියක්ද ඉන් පසුව කල් පිරෙන තුරු 9%ක ස්ථිර වාර්ෂික කූපන් පොලියක්ද ලබා දීමට නියමිතයි.

භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජකයෙකුට ලැබෙන සැබෑ ප්‍රතිලාභය මෙම කූපන් පොලී අනුපාතයමද?

කිසියම් භාණ්ඩාගාර බිල්පතක් එහි මුහුණත වටිනාකම ගෙවා මිල දී ගන්නා ආයෝජකයෙකුට ලැබෙන සැබෑ ප්‍රතිලාභය එහි කූපන් පොලී අනුපාතයට සමානයි. එහෙත් භාණ්ඩාගාර බිල්පතක් හරියටම එහි මුහුණත වටිනාකමට අලෙවි වීම ඉතා විරල සිදුවීමක්. මේ වන විට වෙළඳපොළේ ඇති භාණ්ඩාගාර බැඳුම්කර වර්ග වල සාමාන්‍ය විකුණුම් මිල ගණන් රුපියල් 100ක මුහුණත අගයක් සඳහා රුපියල් 77.84 සිට රුපියල් 128.06 දක්වා වන පරාසයක විචලනය වෙනවා. 

මුහුණත අගයට වඩා අඩු මිලකට (අවමිලට) බැඳුම්කරයක් මිල දී ගන්නා අයෙකුට එහි කූපන් පොලිය ඉක්මවන වාර්ෂික ප්‍රතිලාභයක් ලැබෙනවා. එහෙත්, මුහුණත අගයට වඩා වැඩි මිලකට (අධිමිලට) බැඳුම්කරයක් මිල දී ගන්නා අයෙකුට ලැබෙන්නේ එහි කූපන් පොලියට වඩා අඩු ප්‍රතිලාභයක්. ඒ නිසා, කූපන් පොලිය දෙස පමණක් බලා ආයෝජකයෙකුට ලැබෙන ප්‍රතිලාභ ගැන යමක් කියන්න බැහැ. 

බැඳුම්කරයක් මිල දී ගැනීමේදී ගෙවූ මුදල අනුව ලැබෙන සැබෑ ප්‍රතිලාභය ඵලදා අනුපාතය ලෙස හැඳින්වෙනවා. එය කූපන් පොලී අනුපාතය මෙන් ස්ථිර අනුපාතයක් නෙමෙයි. කූපන් පොලී අනුපාතයට වඩා අඩු හෝ වැඩි විය හැකි, ආයෝජකයාගෙන් ආයෝජකයාට වෙනස් වන අනුපාතයක්. 

පහත තිබෙන්නේ පසුගිය සතියේදී ද්වීතියික වෙළඳපොළෙන් භාණ්ඩාගාර බැඳුම්කර මිල දී ගන්නා අයෙකුට එසේ මිල දී ගත හැකි වූ භාණ්ඩාගාර බැඳුම්කර වර්ග දෙකක තොරතුරු.

කල් පිරෙන දිනය: 2026 මාර්තු 1

මිල (රුපියල් 100ක මුහුණත් අගයක්): රුපියල් 83.07

කූපන් පොලී අනුපාතය: 5.35%

ඵලදා අනුපාතය: 13.50%


කල් පිරෙන දිනය: 2026 මැයි 15

මිල (රුපියල් 100ක මුහුණත් අගයක්): රුපියල් 117.83

කූපන් පොලී අනුපාතය: 22.50%

ඵලදා අනුපාතය: 13.77%

ඉහත භාණ්ඩාගාර බැඳුම්කර දෙකේම කල් පිරෙන්නේ ආසන්නව එකම කාලයකදීයි. ඒ කියන්නේ දැන් මුදල් ආයෝජනය කරන කෙනෙක් තමන්ගේ මුදල් හිර කරන්නේ ආසන්නව එකම කාලයකට. එහෙත්, මේ බැඳුම්කර දෙකෙන් එකක් වෙනුවෙන් 22.50%ක වාර්ෂික කූපන් පොලියක් ලැබෙද්දී අනෙක් එකට ලැබෙන්නේ 5.35%ක වාර්ෂික කූපන් පොලියක් පමණයි. ඒ කියන්නේ 5.35% බැඳුම්කරයේ ආයෝජනය කරන එක 22.5% බැඳුම්කරයේ ආයෝජනය කරනවාට වඩා හොඳටම පාඩුද?

මේ දෙකෙන් ඕනෑම එකක් මිල දී ගන්න වෙන්නේ හරියටම ඒවායේ මුහුණත අගයටනම් 5.35% බැඳුම්කරය 13.77% බැඳුම්කරයට වඩා හොඳටම පාඩුයි. එහෙමනම් කිසිම කෙනෙක් 5.35% බැඳුම්කරය මිල දී ගන්න එකක් නැහැ. එහෙත්, බැඳුම්කර වල මිල ඉල්ලුම හා සැපයුම අනුව වෙනස් වන නිසා ඒ වගේ දෙයක් වෙන්නේ නැහැ. කූපන් පොලිය වැඩිනම් වෙළදපොළ මිලද වැඩි වෙනවා. කූපන් පොලිය අඩුනම් වෙළඳපොළ මිලද අඩු වෙනවා. ඒ නිසා, කූපන් පොලී අනුපාතය කීය වුනත්, එක සමාන කාලයකදී කල් පිරෙන බැඳුම්කර දෙකකින් ලැබෙන ප්‍රතිලාභ ආසන්නව සමානයි. ඉහත බැඳුම්කර දෙකේ ඵලදා අනුපාතික සංසන්දනය කළ විට මේ බව පැහැදිලි විය යුතුයි. 

ඉහත විස්තර කළේ, කූපන් පොලිය කීය වුනත්, වෙනස් වර්ග දෙකක බැඳුම්කර වල ප්‍රතිලාභ තුලනය වන ආකාරයයි. එහෙත්, ඉහත කී "වෙළඳපොළ මිල" නිශ්චිත මිලක් නෙමෙයි. එය ගනුදෙනුවකදී තීරණය වන මිලක්. ඒ නිසා, එකම බැඳුම්කරයම සැලකුවත්, ලැබෙන ප්‍රතිලාභය එය මිල දී ගැනීම සඳහා ගෙවූ මුදල අනුව වෙනස් වෙනවා. භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රාථමික වෙළඳපොළ (වෙන්දේසිය) සැලකුවත් එක් එක් ගැනුම්කරු විසින් තබන ලන්සුව අනුව මිල වෙනස් වෙනවා. ඒ අනුව, ලැබෙන ප්‍රතිලාභයද වෙනස් වෙනවා.

සාමාන්‍යයෙන් භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියකදී එක් එක් ගැනුම්කරු විසින් ගෙවූ මිල ගණන් ප්‍රසිද්ධ කරන්නේ නැහැ. මහ බැංකුව විසින් ප්‍රසිද්ධ කරන්නේ ගැනුම්කරුවන්ගේ ඵලදා අනුපාතික වල සාමාන්‍ය අගයක් පමණයි. එහෙත්, 2015 පෙබරවාරි 27 දින පැවැත්වුණු භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය හා අදාළව මෙම තොරතුරු පසුව ප්‍රසිද්ධ වුනා. මේ ගැන අදහසක් ගැනීම සඳහා එම තොරතුරු ප්‍රයෝජනවත් වෙයි. 

අදාළ වෙන්දේසියේදී රුපියල් 100ක මුහුණත් අගයක් සඳහා රුපියල් 119.33 (ලංකා බැංකුව) සිට රුපියල් 62.62 (සෙලාන් බැංකුව) දක්වා පරාසයක ලන්සු ඉදිරිපත් වුනා. රුපියල් 90.17ට වඩා වැඩි ලන්සු පිළිගනු ලැබුවා. මේ අනුව, එක් එක් ලන්සුකරු විසින් අපේක්ෂා කළ ඵලදා අනුපාතය (එවකට ක්‍රියාත්මකව පැවති 10%ක රඳවා ගැනීමේ බද්ද කපා ගැනීමෙන් පසුව) 9.35% සිට 18.00% දක්වා පරාසයක පැතිරී තිබුණු අතර 12.5% නොඉක්මවන ප්‍රතිලාභයක් අපේක්ෂා කළ අයට ඒ සඳහා අවස්ථාව ලැබුණා. ඊට වඩා වැඩි ප්‍රතිලාභයක් අපේක්ෂා කළ අයගේ ලන්සු පිළිගැනුණේ නැහැ.

ඉහත වෙන්දේසියෙන් බැඳුම්කර ලබාගත් කාටත් ලැබුණේ 12.5%ක කූපන් පොලියකින් 10%ක් කපා ගැනීමෙන් පසුව 11.25%කට සමාන කූපන් පොලියක්. එහෙත්, තමන් ගෙවූ මුදල අනුව ඵලදා අනුපාතය 9.35% සිට 12.5% දක්වා වෙනස් වුනා. අදාළ තොරතුරු මේ සමඟ තිබෙන වගුවෙන් බලා ගන්න පුළුවන්. අද පැවැත්වුණු භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය දක්වා සෑම වෙන්දේසියකදීම සිදු වී තිබෙන්නේ මෙවැනි දෙයක්. ඒ නිසා, සේවක අර්ථසාධක අරමුදල වැනි ආයතනයකට ඔවුන්ගේ ආයෝජන වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ කොපමණද යන්න තීරණය වෙන්නේ බැඳුම්කර මිල දී ගැනීමේදී ගෙවූ මුදල මත මිස කූපන් පොලී අනුපාතිකය අනුව පමණක් නෙමෙයි. 


සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන සඳහා ලැබෙන ප්‍රතිලාභය තීරණය වන්නේ කෙසේද?

සේවක අර්ථසාධක අරමුදල සතු අරමුදල් වලින් වැඩි කොටසක් භාණ්ඩාගාර බැඳුම්කර වල ආයෝජනය කර තිබෙනවා. එහෙත්, භාණ්ඩාගාර බිල්පත්, සමාගම් කොටස් ඇතුළු වෙනත් ආයෝජනද යම් ප්‍රමාණයක් සේවක අර්ථසාධක අරමුදල සතුව තිබෙනවා. ඒ අනුව, සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන සඳහා ලැබෙන ප්‍රතිලාභය තීරණය වන්නේ මේ සියලු ආයෝජන වලින් ලැබෙන ප්‍රතිලාභ මතයි. එහෙත්, එහිදී භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජන වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ වල බලපෑම වඩා වැඩියි.

පහත තිබෙන්නේ සේවක අර්ථසාධක අරමුදලේ 2022 අවසානය වන විට පැවති සාමාජික ගිණුම් ශේෂ ආයෝජනය කර තිබුණු ආකාරයයි. 

සාමාජික ශේෂ එකතුව - රුපියල් බිලියන 3,380.6 (100.00%)

භාණ්ඩාගාර බැඳුම්කර - රුපියල් බිලියන 3,068.7 (90.77%)

භාණ්ඩාගාර බිල්පත් - රුපියල් බිලියන 166.7 (4.93%)

සමාගම් බැඳුම්කර - රුපියල් බිලියන 22.8 (0.67%)

ප්‍රති විකුණුම් - රුපියල් බිලියන 3.4 (0.10%)

ලැයිස්තුගත සමාගම් කොටස් - රුපියල් බිලියන 84.9 (2.51%)

ලැයිස්තුගත නැති සමාගම් කොටස් - රුපියල් බිලියන 9.6 (0.28%)

ආයෝජන එකතුව - රුපියල් බිලියන 3,356.3 (99.28%)

දැන් මේ අනුව, සාමාජික ශේෂ වලින් 99.3%ක්ම කවර හෝ ආකාරයකින් ආයෝජනය කර තිබෙන අතර 90.8%ක්ම ආයෝජනය කර තිබෙන්නේ භාණ්ඩාගාර බැඳුම්කර වලයි. මෙහිදී, රුපියල් බිලියන 3,068.7ක මුදලක් භාණ්ඩාගාර බැඳුම්කර වල ආයෝජනය කර ඇතැයි යන්නෙන් අදහස් කරන්නේ භාණ්ඩාගාර බැඳුම්කර මිල දී ගැනීම වෙනුවෙන් එපමණ මුදලක් වැය කර තිබෙන බවයි. එසේ මිල දී ගෙන තිබුණු භාණ්ඩාගාර බැඳුම්කර වල මුහුණත අගය රුපියල් බිලියන 3,174.4ක්. 

මේ අනුව, සාමාන්‍ය අගයයක් ලෙස, සේවක අර්ථසාධක අරමුදල විසින් රුපියල් 100ක මුහුණත් අගයක් තිබෙන භාණ්ඩාගාර බැඳුම්කර මිල දී ගැනීම සඳහා වැය කර තිබෙන්නේ රුපියල් 96.67ක මුදලක් පමණයි. එහෙත්, මෙම භාණ්ඩාගාර බැඳුම්කර කල් පිරෙන විට ඒවායේ මුහුණත අගයම ආපසු ලැබෙනවා. මේ ගැන ලොකු අදහසක් නැති අයට අදහසක් ගන්න අවශ්‍යනම් මෙහිදී වෙන්නේ ගම් වල වෙන්දේසි සීට්ටු දමද්දී සිදුවන ආකාරයේ දෙයක්. ඒ වගේම, කූපන් පොලී ගෙවන්නේත් මුහුණත අගයට නිසා, සේවක අර්ථසාධක අරමුදලට භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජන වලින් ලැබෙන සැබෑ ප්‍රතිලාභය (සාමාන්‍ය අගයයක් ලෙස) කූපන් පොලී අනුපාතයට වඩා වැඩියි. 

උදාහරණයක් ලෙස රුපියල් 100ක මුහුණත අගයකට 12.00%ක වාර්ෂික කූපන් පොලියක් ලැබෙනවානම්, එවැන්නක් මිල දී ගෙන තිබෙන්නේ රුපියල් 96.67කටනම්, ලැබෙන කූපන් පොලිය පමණක් සැලකුවත් එය 12.41%ක ප්‍රතිලාභයක්. කූපන් පොලියට අමතරව, කල් පිරුණු විට අමතර රුපියල් 3.33ක ලාබයක්ද ලැබෙන නිසා මෙම ප්‍රතිලාභය මීටත් වඩා වැඩියි.

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට ලැබෙන වාර්ෂික ප්‍රතිලාභ තීරණය වන්නේ කෙසේද?

මෙය තීරණය වන්නේ සේවක අර්ථසාධක අරමුදලේ ලාභය මතයි. සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රධාන ආදායම් මාර්ගය එහි ආයෝජන සඳහා ලැබෙන ප්‍රතිලාභයි. මෙම ආදායමෙන් පළමුව අරමුදලේ පරිපාලන වියදම් ආවරණය කරගත යුතුයි. ඉන් පසුව, රජයට ගෙවිය යුතු බදු ගෙවිය යුතුයි. සාමාජිකයින්ට ප්‍රතිලාභ ගෙවීම සිදු කරන්නේ ඉතිරි වන ශුද්ධ ලාභය මත පදනම්වයි. මෙම අනුපාතය සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන සඳහා ලැබෙන ප්‍රතිලාභ අනුපාතය මත තීරණය වන්නක් වුවත්, එයට සමාන නැහැ. 

පහත තිබෙන්නේ 2020 හා 2021 වසර වලදී සේවක අර්ථසාධක අරමුදල විසින් ලැබූ ආයෝජන ආදායම් සහ එම ආයෝජන ආදායම් සාමාජික ගිණුම් වෙත බැර වූ ආකාරයයි.

2020 වර්ෂය:

ආයෝජන ආදායම - රුපියල් බිලියන 285.6යි 

(එයින් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ආයෝජන ආදායම - රුපියල් බිලියන 266.5යි)

පරිපාලන වියදම් - රුපියල් බිලියන 1.6යි 

බදු වලට පෙර ශුද්ධ ආදායම - රුපියල් බිලියන 283.9යි 

ආදායම් බදු - රුපියල් බිලියන 39.1යි 

බදු වලින් පසු ආදායම - රුපියල් බිලියන 244.9යි 

සාමාජිකයින්ට ගෙවූ පොලිය (9.00%) - රුපියල් බිලියන 227.3යි 


2021 වර්ෂය:

ආයෝජන ආදායම - රුපියල් බිලියන 342.4යි 

(එයින් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ආයෝජන ආදායම - රුපියල් බිලියන 285.3යි)

පරිපාලන වියදම් - රුපියල් බිලියන 1.6යි 

බදු වලට පෙර ශුද්ධ ආදායම - රුපියල් බිලියන 340.7යි

ආදායම් බදු - රුපියල් බිලියන 41.7යි 

බදු වලින් පසු ආදායම - රුපියල් බිලියන 299.1යි 

සාමාජිකයින්ට ගෙවූ පොලිය (9.00%) - රුපියල් බිලියන 251.8යි.

ඉහත විස්තර කර තිබෙන්නේ එකිනෙකට සම්බන්ධ නමුත් වෙනස් කරුණු හතරක්. මේ පැහැදිලි කිරීම කරන්නේ බොහෝ දෙනෙකුට මේ කරුණු හතර හතරක් බව පැහැදිලි නැති නිසයි. මෙම ලිපියේ අඩංගු වන්නේ තාක්ෂනික පැහැදිලි කිරීම් හා කරුණු පමණයි. විග්‍රහ, විශ්ලේෂණ හෝ පෞද්ගලික අදහස් කිසිවක් නැහැ. 


Sunday, August 27, 2023

හෙට EPF සල්ලි වලට වෙන්න යන දේ...


සේවක අර්ථසාධක අරමුදල, අනෙකුත් විශ්‍රාම වැටුප් අරමුදල්, වාණිජ බැංකු, අනෙකුත් බැංකු, රක්ෂණ සමාගම්, ප්‍රාථමික අලෙවිකරුවන් ඇතුළු තමන්ගේ අරමුදල් රජයේ භාණ්ඩාගාර බැඳුම්කර වල ආයෝජනය කර තිබෙන ඕනෑම ආයතනයකට එම බැඳුම්කර දිගුකාලීන භාණ්ඩාගාර බැඳුම්කර හා හුවමාරු කර ගැනීම සඳහා ඉල්ලීම් කිරීමට ලබා දී තිබුණු කාලය දෙවරක්ම දිගු කිරීමෙන් පසුව මෙසේ ඉල්ලීම් කළ හැකි අවසන් දිනය අගෝස්තු 28 දක්වා කල් ගියා. දැන් මෙම දිනය නැවත තෙවන වරටද කල් දමා තිබෙනවා. ඒ අනුව, එසේ ඉල්ලීම් කිරීම සඳහා සැප්තැම්බර් 11 දින දක්වා කාලය ලැබෙනවා. අයදුම් කිරීමෙන් අනතුරුව රජය විසින් පිළිගත් ඉල්ලීම් පිළිබඳව දැනුම් දෙන දිනය සැප්තැම්බර් 12 දක්වාත්, අදාළ හුවමාරුව සිදු කරන දිනය සැප්තැම්බර් 14 දක්වාත්, කල් දමා තිබෙනවා.

කරුණු සිදුවන පිළිවෙළ අනුව, මෙය සැප්තැම්බර් 11 දින හතරවන වරටද කල් දමන්නට සිදුවීමේ ඉඩකඩ බැහැර කළ නොහැකියි. ඒ අනුව, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු දිග්ගැසෙමින් ඇති අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමද මීට අනුරූප ලෙස පස්සට යනවා. 

මෙසේ තෙවන වරටද දිනය කල් දැමීම නිසා, එම අලුත් අවසන් දිනයට පෙර සැප්තැම්බර් 1 දින දැනට නිකුත් කර තිබෙන භාණ්ඩාගාර බැඳුම්කර වර්ග දෙකක් කල් පිරෙනවා. ඒ අනුව, දැනටම එම බැඳුම්කර හුවමාරු කරන මෙන් ඉල්ලා ඇති අයගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප වන අතර අදාළ බැඳුම්කර වෙනුවෙන් ඒවායේ ආයෝජනය කර ඇති අයට මුලින් එකඟ වූ පරිදි මුදල් ආපසු ලැබෙනවා.

අලුත් අවසන් දිනයෙන් පසුව කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර වර්ග හුවමාරුව සඳහා තවදුරටත් සුදුසුකම් ලබනවා. ඒ අතරින් මුලින්ම කල් පිරෙන්නේ ඔක්තෝබර් 1 දින කල් පිරෙන 7% කූපන් බැඳුම්කරයයි. ඉන් පසුව, නොවැම්බර් 15 දින 6.3% කූපන් බැඳුම්කරයක් කල් පිරෙනවා. ණය හුවමාරු වැඩසටහන දිගින් දිගටම කල් ගියහොත් මේ බැඳුම්කරද හුවමාරු වැඩ සටහනෙන් ඉවත් වී යා හැකියි. 

ණය හුවමාරුවේදී නිකුත් කරන බැඳුම්කර වෙනුවෙන් 2025 දක්වා 12%ක කූපන් පොලියක්ද, ඉන්පසුව 2038 හෝ කල් පිරෙන වසර දක්වා 9%ක කූපන් පොලියක්ද හිමිවෙනවා. හෙට (අගෝස්තු 28) වෙන්දේසි කරන 2028 කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ලබා දෙන්නේද 9%ක කූපන් පොලියක් පමණයි. 2026දී කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර සඳහා 11.5%ක කූපන් පොලියක් ගෙවනවා. සැප්තැම්බර් 1 දින කල් පිරෙන, ණය හුවමාරුව සඳහා තවදුරටත් සුදුසුකම් නොලබන, භාණ්ඩාගාර බැඳුම්කර කල් පිරීමේදී නිදහස් වන අරමුදල් නැවත ආයෝජනය කරන්නට සිදු වන්නේ මෙවැනි කූපන් පොලියක් ලැබෙන බැඳුම්කර වලයි. එහෙත්, මෙම බැඳුම්කර වල ඵලදා අනුපාතික මේ වන විට තිබෙන්නේ, කූපන් පොලියට වඩා වැඩි, 13% ආසන්න මට්ටමකයි. හරිම ගණන හෙට වෙන්දේසියෙන් පසුව බලාගන්න පුළුවන්. 

Friday, August 25, 2023

ණය ගත් අයට සුබ ආරංචියක්!


තමන් විසින් දැනට ලබා ගෙන තිබෙන ණය සඳහාත්, ලබා ගන්නට සිටින ණය සඳහාත් ගෙවන්නට වන පොලිය ගැන බොහෝ පාඨකයින් විසින් වරින් වර ප්‍රශ්න අහනවා. මෙය ඒ අයට සුබ ආරංචියක්.

උගස්, ක්‍රෙඩිට් කාඩ් හා බැංකු අයිරා පහසුකම් ණය සඳහා අය කළ හැකි උපරිම පොලිය මහ බැංකුව විසින් නියම කර ඇති බව මීට පෙර අප ඔබට දැනුම් දුන්නා. මහ බැංකුව විසින් අද (අගෝස්තු 25) දින නියෝගයක් නිකුත් කරමින් අනෙකුත් සියලුම වර්ග වල ණය පොලී 3.5% දක්වා වන ප්‍රතිශතයකින් පහත හෙළීමට දැනුම් දී ඇති අතර ඒ සඳහා කාල රාමුවක් ලබා දී තිබෙනවා.

මේ අනුව, දැනට ලබා දී තිබෙන ණය වෙනුවෙන් මෙන්ම අලුතෙන් ලබා දෙන ණය වෙනුවෙන්ද අය කරන පොලී අනුපාතික ඔක්තෝබර් මාසය අවසාන වන විටදී ජූලි මාසය අවසානයේදී පැවති මට්ටමට වඩා අවම වශයෙන් 2.5%කින් අඩු කළ යුතු අතර, දෙසැම්බර් මාසය අවසන් වන විට තවත් 1%කින් අඩු කළ යුතුයි.

මේ අනුව, දැනට ඉහළ පොලියකට ණය ලබා ගෙන සිටින අයගේ ණය වාරික ඉදිරි මාස හතර ඇතුළත සැලකිය යුතු ලෙස පහත වැටීමට නියමිතයි. ඒ වගේම, මෙය අලුතෙන් ණය ගන්න බලාගෙන ඉන්න අයටත් සුබ ආරංචියක්. හදිස්සි නොවී තවත් මාස කිහිපයක් බලා සිටිය හැකිනම් අනිවාර්යයෙන්ම අඩු පොලියකට ණය ලබා ගැනීමට ඉඩ සැලසෙනවා. 

කෙසේ වුවද, ණය සඳහා දැනට අය කරන පොලිය 13.5%ට වඩා අඩුනම් මෙම නියෝගය බලපාන්නේ නැහැ. බැංකු විසින් 13.5% සීමාවෙන් පහළට ණය අනුපාතය රැගෙන ඒමට අවශ්‍ය වන්නේ නැහැ. 

මෙය උදාහරණයකින් පැහැදිලි කළහොත්, දැනට 17%ක පොලියක් ගෙවන අයෙකුගේ පොලී අනුපාතය ඔක්තෝබර් මාසය අවසන් වෙද්දී 14.5% දක්වාත්, දෙසැම්බර් අවසාන වන විට 13.5% දක්වාත් පහත වැටෙනවා. දැනට ගෙවන පොලිය 15%ක්නම් එය ඔක්තෝබර් අවසාන වන විට 13.5% දක්වා අඩු වන නමුත් ඊට වඩා අඩු වෙන්නේ නැහැ. දැනට ගෙවන්නේ 12% වැනි පොලියක්නම් එම පොලියෙහි වෙනසක් සිදු වන්නේ නැහැ. 

චන්ද්‍රයාන් - ඉන්දියානු ක්‍රමය


අභ්‍යාවකාශ තරණය හා අදාළ සුවිශේෂී මංසන්ධි වලදී අප විසින් බොහෝ විට ඒ ගැන කතා කර තිබෙන බව කලක සිට අප ලියන දේ කියවන අය දන්නවා. චන්ද්‍රයාන් හා අදාළව ලිපියක් ලියන්නේ තරමක් ප්‍රමාද වෙලා. එයට එක හේතුවක් වන්නේ මේ ගැන ලංකාවේ සෑහෙන මාධ්‍ය අවධානයක් යොමු වී තිබුණු බව පෙනීමයි. බොහෝ විට මෙහි ලියන දේවල් සිංහලෙන් වෙනත් තැන් වල ලියැවී ඇති.

මේ වෙද්දී ලෝකයේ "හඳ ඇල්ලීමේ" තරඟයක් තිබෙන බව බොහෝ දෙනෙක්ට රහසක් වෙන්න බැහැ. මේ තරඟයේ ප්‍රමුඛ ක්‍රීඩකයින් වන ඇමරිකාව, රුසියාව හා චීනය අතරට දැන් ඉන්දියාවත් එකතු කරන්න පුළුවන්. මේ ප්‍රධාන රටවල් හතරට අමතරව ජපානය, ඊශ්‍රායලය, දකුණු කොරියාව ඇතුළු තවත් රටවල් ගණනාවක් තරඟයේ ඉන්න බවත් අමතක කළ යුතු නැහැ. 

චන්ද්‍රයාන් සාර්ථකත්වය ගොඩක්ම වැදගත් වන ප්‍රධානම හේතුව ඩොලර් මිලියන 75ක් වැනි ඉතා අඩු මුදලකින් වැඩේ කිරීම. දෙවැන්න හඳේ දක්ෂිණ ධ්‍රැව ප්‍රදේශයට මුලින්ම සාර්ථකව යානයක් ගොඩ බැස්සවීම. වඩා වැදගත් දෙවැනි කරුණට එන්න කලින් පළමුවැන්න ගැන කතා කරලා ඉවර කරමු. 

කවුරු හෝ නොදන්නා කෙනෙක් ඉන්නවානම්, පොළොවට හැම විටම පෙනෙන්නේ හඳේ එක් අර්ධයක් පමණයි. පොළොව මෙන්ම හඳද තමන්ගේ අක්ෂය වටා කැරකෙන නමුත් එසේ කැරකෙන්නේ හඳේ පොළොවට පෙනෙන පැත්ත හා නොපෙනෙන පැත්ත මාරු නොවන විදිහටයි. ඒ නිසා, ඒ නොපෙනෙන පැත්ත පොලොවේ සිට දුරේක්ෂයක් මගින් නිරීක්ෂණය කරන්න බැහැ. ඒ නිසාම, ඒ පැත්තේ භූ විෂමතා ආදී තොරතුරු දන්නේ අඩුවෙන්. ඒ වගේම, මෙතෙක් සඳ මත කළ ගොඩ බැස්වීම් බොහොමයක් කර තිබෙන්නේ හඳේ සමකය ආසන්න ප්‍රදේශ වලට. ධ්‍රැව පැත්තට යන්න ප්‍රයත්න දරා තිබෙන්නේ අඩුවෙන්.

හඳේ පෙනෙන පැත්තට යානයක් ගොඩ බැස්වීමට සාපේක්ෂව අඳුරු පැත්තට යානයක් ගොඩ බස්වන එක තාක්ෂණිකව වඩා අභියෝගාත්මක කටයුත්තක්. එයට එක හේතුවක් වන්නේ ඒ පැත්තේ භූ විෂමතා ආදිය ගැන හරියටම නොදැනීම. මෙය යානයක් ගොඩ බැස්වීම සඳහා ස්ථානයක් තෝරා ගැනීම කෙරෙහි බලපානවා. ඊටත් වඩා ලොකුම ප්‍රශ්නය සන්නිවේදන ප්‍රශ්නය. හඳේ හෝ පොළොවේ තිබෙන කඳු, ආවාට වැනි භූ විෂමතා නිසා ප්‍රශ්නයක් නොවුනොත්, හඳේ පේන පැත්තේ සිට රේඩියෝ තරංගයකට කෙළින්ම පොළොව වෙත එන්න පුළුවන් වුනත්, පොළොව එක්ක සෘජු රේඛාවක් හැදෙන්නේ නැති නිසා (line of sight) නොපෙනෙන පැත්තේ සිට රේඩියෝ තරංගයකට ඒ විදිහට එන්න බැහැ. සමකයේ සිට ධ්‍රැව දෙසට යද්දීත් මේ සන්නිවේදන අභියෝගය ඉහළ යනවා. 

ඔබට ඇතැම් විට මතක ඇති මීට කලින් 2019 වසරේදී ඉන්දියාව විසින්ම සිදු කළ චන්ද්‍රයාන්-2 මෙහෙයුම. එම මෙහෙයුම යටතේ හඳට ගොඩ බස්වන්නට සැලසුම් කළ වික්‍රම් යානය (lander) හඳට ඔන්න මෙන්න තියා කඩා වැටීමට හේතුවක් වුනේ යානය සමඟ පොළොවේ සිට සන්නිවේදනය කළ නොහැකි වීම. 

කවුරුත් දන්නා පරිදි සෝවියට් දේශය අභ්‍යවකාශතරණයේදී ඉදිරියෙන්ම සිටි රටක්. ඇමරිකානු රජය අභ්‍යවකාශ වැඩ සටහන් සඳහා විශාල ලෙස මුදල් වෙන් කර මිනිසුන් හඳ වෙත යැවීම දක්වා දුර ගමනක් ගියේ සෝවියට් දේශය විසින් මුලින්ම මිනිසෙකු අභ්‍යාවකාශගත කිරීමෙන් පසුව ඇති වූ කම්පනයෙන් පසුවයි. විශාල කාලයක් සෝවියට් දේශය හා ඇමරිකාව අභ්‍යවකාශ තාක්ෂනය අතින් කරට කර සිටියා. පසුව මේ දෙරටම සිය අභ්‍යවකාශ වැඩ සටහන් වෙනුවෙන් කරන ආයෝජන සීමා කළා. හඳ ගමන් නැවතුනා. කළ ආයෝජන වල තරමට ප්‍රතිලාභ නොතිබීම ඊට හේතුවක්.

ඇමරිකාව විසින් පෞද්ගලික අංශයේ දායකත්වයද සහිතව මෑතකදී සිය අභ්‍යවකාශ වැඩ සටහන් නැවත ආරම්භ කරද්දී රුසියාවද 1976දී නැවැත්වූ තැනින් වැඩ පටන් ගත්තා. 1976දී සෝවියට් දේශය විසින් මිනිසුන් රහිතව හඳට යැවූ ලූනා-24 යානය සාර්ථක ලෙස හඳ මත ගොඩ බස්වනු ලැබූ අතර හඳෙන් පස් සාම්පල් පොළොවට රැගෙන ආවා. මෙය සෝවියට් දේශය විසින් එවැන්නක් කළ පළමු අවස්ථාව නොවුනත් අවසන් අවස්ථාවයි.

මෑතකදී රුසියාව නැවතත් 1976දී නැවැත්වූ තැනින් වැඩ පටන් ගනිමින් දෙසතියකට පෙර (2023 අගෝස්තු 10 දින) ලූනා-25 යානය හඳ වෙත යැවුවා. ඒ 2023 ජූලි 14 දින චන්ද්‍රයාන්-3 හඳ වෙත ගමන් අරඹා සති හතරකට පමණ පසුවයි. රුසියාවේ සැලසුම වූයේ ඉන්දියාවට පෙර නැවත හඳ මතට යානයක් ගොඩ බැස්වීමයි. අගෝස්තු 23 දින චන්ද්‍රයාන්-3 හඳ මත ගොඩ බැස්වීමට දින දෙකකට පෙර අගෝස්තු 21 දින ලූනා-25 ලෑන්ඩරය හඳේ දක්ෂිණ ධ්‍රැවය මත ගොඩ බැස්වීම රුසියාවේ ඉලක්කය වුනා. 

කෙටියෙන් කිවුවොත් ඉන්දියාවේ චන්ද්‍රයාන්-3 යානය "කොට කොටා" හඳට යද්දී "පාගා ගොස්" ඊට පෙර හඳට යාම රුසියාවේ ඉලක්කය වුනා. එහෙත්, රුසියාවේ වත්මන් අභ්‍යාවකාශ තාක්ෂණ හැකියා ප්‍රශ්න කරමින් දශක ගණනාවකට පසුව රුසියාව විසින් සිදු කළ මෙම අභ්‍යවකාශ මෙහෙයුම සාර්ථක වූයේ නැහැ. අගෝස්තු 19 දෙන රුසියාවට ලූනා-25 හා තිබුණු සන්නිවේදන සම්බන්ධතා බිඳ වැටුනා. එසේ නොවන්නට චන්ද්‍රයාන්-3 හඳේ දක්ෂිණ ධ්‍රැවය වෙත යන්නට දින දෙකට පෙර රුසියාව එහි යනවා. ඊට පෙර, අසාර්ථක වූ 2019 චන්ද්‍රයාන්-2 සඳ මෙහෙයුමට මාස කිහිපයකට පෙර ඊශ්‍රායලය විසින් දියත් කළ බෙරසිට් මෙහෙයුම අසාර්ථක වීමටද සන්නිවේදනය බාධකය හරස් වුනා. කොහොම වුනත්, පෞද්ගලික අංශය මුල් වී මෙතෙක් සිදු කළ සාර්ථකම සඳ මෙහෙයුම ලෙස ඉලක්කය කිට්ටුවටම ගිය බෙරසිට් මෙහෙයුම සටහන් වෙනවා. 

චන්ද්‍රයාන්-2 මෙහෙයුමේ අවසන් අදියරේදී අසාර්ථක වුවත් එහිදී සඳ වෙත යවනු ලැබූ ප්‍රධාන යානය තවමත් සඳේ කක්ෂයේ තිබෙනවා. මෙවර වික්‍රම් ලෑන්ඩරය හඳ මත ගොඩ බැස්වීමෙන් පසුව එම චන්ද්‍රයාන්-2 යානය මෙන්ම චන්ද්‍රයාන්-3 මවු යානයද වික්‍රම් ලෑන්ඩරයේ සිට පොළොව වෙත සංඥා එවීමේදී අතරමැදි සංඥා සම්ප්රේෂකයින් ලෙස යොදා ගැනීම ඉන්දියාවේ සැලසුම වුනා. මේ මගින් සන්නිවේදනය බිඳ වැටීමේ අවදානම අඩු කරගත හැකි වුනා. 

තාක්ෂනික බාධා වැඩි වුවත් ලෝකයේ හැම රටකම අවධානය යොමු වී තිබෙන්නේ හඳේ දක්ෂිණ ධ්‍රැව ප්‍රදේශය වෙතයි. ඊට හේතුව, හඳේ දක්ෂිණ ධ්‍රැව ප්‍රදේශයෙන් ජලය (අයිස්) සොයා ගත හැකි වීමේ හැකියාවයි. සඳ ඉලක්ක කරන අනාගත වැඩ පිළිවෙලකදී පොළොවේ සිට ජලය ගෙන යාමට සාපේක්ෂව ජලය හඳ තුළින්ම හොයා ගැනීමේ ආර්ථික වටිනාකම ඉතාම විශාලයි. ඒ වගේම, මේ හරහා ඉන්ධනයක් ලෙස භාවිතා කළ හැකි හයිඩ්‍රජන් හදා ගැනීමටද ඉඩකඩ විවර වෙනවා. 

මීට පෙර, 2019දී චීනයේ චංඅ 4 මෙහෙයුමේදී පළමු වරට සන්නිවේදන අභියෝග ජයගනිමින් හඳේ අඳුරු පැත්තට යානයක් ගොඩ බස්වනු ලැබුවා. චීනය හඳේ අඳුරු පැත්ත වෙත වැඩි අවධානයක් යොමු කරමින් ඉන්නවා.

හඳේ දක්ෂිණ ධ්‍රැව ප්‍රදේශයට මුලින්ම සාර්ථකව යානයක් ගොඩබස්වන රට ඉන්දියාවයි. රුසියාවද මේ සඳහා උත්සාහ කළත් එම උත්සාහය සාර්ථක වූයේ නැහැ. රුසියාව මෙන්ම දශක ගණනාවකට පසු සිය අභ්‍යවකාශ වැඩ සටහන් වලට නැවත පණ දී තිබෙන, සඳ වෙත මිනිසුන් යවා ඇති එකම රටද වන ඇමරිකාව මේ වන විට හඳේ දක්ෂිණ ධ්‍රැව ප්‍රදේශයට මිනිසුන් සහිත යානාවක් යැවීම සඳහා සැලසුම් කරමින් සිටිනවා. 

ඉන්දියාවේ චන්ද්‍රයාන්-3 පිරිවැය ඇමරිකන් ඩොලර් මිලියන 75ක් පමණක් වීම ලංකාවේ බොහෝ දෙනෙක් කතා කර ඇති දෙයක්. ඉන්දියාවේ අඩු වියදම් අභ්‍යවකාශ වැඩසටහන් ගැන මට මුලින්ම දැන ගන්න ලැබුණේ වසර කිහිපයකට පෙර නාසා ආයතනයේ සඳ ගමන් සැලසුම් වලට සම්බන්ධව සිටි (දැන් පෞද්ගලික ආයතනයක සඳ ගමන් හා අදාළ සැලසුම් වල නිරත) මිතුරෙකු හා කතා කරද්දී. ඔහු එහිදී පැවසුවේ ඉන්දියාවේ අඩු වියදම් සැලසුම ඇමරිකානුවන්ට හිතාගන්නවත් බැරි බවයි. ඇමරිකාවේ ඇපලෝ වැඩ සටහනේ පිරිවැය අද ඩොලර් වලින් බිලියන 280ක් පමණ.  

මිනිසුන් රහිත යානයක් හඳට යවන්න ඇමරිකාවටනම් ඩොලර් මිලියන 400-500 පමණවත් යනවා. චීනයට චංඅ 4 හඳට යවන්න වගේම රුසියාවේ අසාර්ථක වූ ලූනා-25 මෙහෙයුමටත් ඩොලර් මිලියන 200-250 පමණ ගියා. ඉන්දියාව මේ වැඩේ ඩොලර් මිලියන 75කින් කරලා පෙන්නලා තියෙනවා.

ඉන්දියාවේ අඩු වියදම් හඳ ගමනේ රහස වූයේ ගමන් කාලය අඩු කර ගැනීමට මහන්සි නොවී පොළොවේ ගුරුත්ව බලයම හැකිතාක් යොදා ගනිමින් හඳට යානයක් යැවීමට සැලසුම් කිරීමයි. චන්ද්‍රයාන්-3 හඳ වෙත යවන්නට දින 41ක් පමණ ගත වුනේ ඒ නිසා. ඇමරිකන් යානා වලට මිනිසුන්ද සහිතව දින හතරකදී හඳ වෙත යා හැකි වී ඇති අතර මිනිසුන් රහිත සෝවියට් යානා දින තුනකින් හඳ වෙත ගොස් තිබෙනවා. එහෙත්, හඳ වෙත යානාවක් කෙළින්ම, එකවර යැවිය හැකි තරම් බලයක් ඇති රොකට් ඉන්දියාව සතු වූයේ නැහැ. ඉන්දියාව කළේ කාලයක් පොළොව වටා රවුම් ගසන අතර ක්‍රමයෙන් රවුම ලොකු කර ගනිමින් අවශ්‍ය සීමාවට යාමෙන් පසුව පොළොවේ ගුරුත්වයෙන් මිදී හඳ වෙත යාමයි. ඉන් පසුව, ඒ විදිහටම හඳ වටා රවුම් ගසමින් හඳට කිට්ටු වීමයි. මේ ක්‍රමයේදී විශාල බලශක්ති ඉතිරියක් වෙනවා.

තාක්ෂනිකව කාර්යක්ෂමතාව මැනීමේදී බොහෝ විට උපයෝගී කරගන්නා නිර්ණායකයක් වන්නේ යොදවන බලශක්තියට සාපේක්ෂව සිදුවන කාර්යයයි. එහිදී ආර්ථික සාධක සැලකිල්ලට ගැනෙන්නේ අඩුවෙන්. එහෙත්, ආර්ථික කාර්යක්ෂමතාවය ගැන කතා කරද්දී සැලකිලිමත් වන්නේ යොදවන පිරිවැයට සාපේක්ෂව සිදුවන ආර්ථික වශයෙන් ඵලදායී කාර්ය භාරය පිළිබඳවයි. ආර්ථික කාර්යක්ෂමතාවය ප්‍රශස්ත වන්නේ තාක්ෂනික කාර්යක්ෂමතාව ප්‍රශස්ත මට්ටමට වඩා අඩු මට්ටමක ඇති විටෙක වෙන්න පුළුවන්. 

කාලයක් ගුවන් යානා වල වේගය වැඩි කර ගැනීමේ තරඟයක් තිබුණා. දැන් එය නැවතිලා. දැනට තිබෙන තාක්ෂනය යොදා ගෙන අවශ්‍යනම් දැන් ඇමරිකාවේ සිට යුරෝපය වෙත යාමට ගත වන කාලයට වඩා ගොඩක් අඩු කාලයක් තුළ ගුවන් යානයක් පියාසර කළ හැකියි. එහෙත්, එවැන්නක් සිදු නොවන්නේ එහිදී ඉහළ යන ඉන්ධන වියදම නිසා මෙය ආර්ථික වශයෙන් කාර්යක්ෂම නොවන නිසයි. ගුවන් ගමන් වල යෙදෙන බොහෝ පාරිභෝගිකයින්ට වේගයට වඩා වැදගත් අඩු මිලයි. 

මිනිසුන් රහිත යානයක් හඳට යවන විට මෙන් නොව මිනිසුන් සහිත යානයක් හඳට යවන විට ගමන් කාලය ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න වෙනවා. මිනිසුන් වැඩි කාලයක් යානයක් තුළ රඳවා ගැනීමේදී මතුවන අභියෝග ගණනාවක් තිබෙනවා. එහෙත්, ඒ හේතුව නිසා, ඉන්දියාවේ අඩු පිරිවැය විකල්පයේ වැදගත්කම අහෝසි වන්නේ නැහැ. 

ඉන්දියාව හඳට ගලක් ගසා තිබෙනවා. මෙය එක පැත්තකින් අඹ ගහේ වඳුරු රංචුවට අඹයකින් ගහනවා වගේ වැඩක්. ඩොලර් බිලියන 550ක පමණ ඉන්දියානු ෆෙඩරල් අයවැය ඇතුළේ ඩොලර් මිලියන 75ක් කියන්නේ අබ ඇටයක්. රටේ ඉන්න බිලියන 1.4ක ජනගහණය සැලකූ විට, එක් අයෙකුට ඉන්දියන් රුපියල් 4ක පමණ මුදලක්. චන්ද්‍රයාන්-3 හඳට යාම නිසා ඉන්දියානුවෙකු ලබපු සතුට පමණක් සැලකුවත් රුපියල් හතරකට වඩා වැඩි විය යුතුයි. ඒ නිසා, මේ වැඩේ ඉන්දියානු රජය විසින් කළ මුදල් නාස්තියක් කියලා මමනම් කොහොමටවත් හිතන්නේ නැහැ. මම පෞද්ගලිකව ගත්තොත් ඇමරිකාව වේවා, චීනය වේවා, ඉන්දියාව වේවා, රුසියාව වේවා මිනිස්සු අභ්‍යවකාශය ජය ගනිද්දී මට ලැබෙන සතුට රුපියල් කිහිපයක සතුටට වඩා ගොඩක් වැඩියි.

නුදුරු අනාගතයේ අභ්‍යාවකාශය තුළ මිනිස් පා සටහන් වේගයෙන් සලකුණු වීම නොවැලැක්විය හැකි දෙයක්. ඒ එක්කම "භූ දේශපාලනය" වගේ වචන ගැනත් නැවත සිතා බලන්න වෙයි. භූ දේශපාලනය වෙනුවට "අභ්‍යවකාශ දේශපාලනය" ආදේශ වෙන්න වැඩි කාලයක් යන එකක් නැහැ. ඒ වගේම, අභ්‍යාවකාශය ආශ්‍රිත අලුත් කර්මාන්ත, අලුත් රැකියා අවස්ථා, අලුත් විනෝදාංශ වේගයෙන් බිහි වෙයි. ඉන්දියාව දැනටමත් මේ ක්‍රීඩාවේ ප්‍රධාන ක්‍රීඩකයෙක් වෙලා ඉවරයි.

ඩොලර් මිලියන 75ක ගලක් ගහලා ඉන්දියාව එක පැත්තකින් උත්සාහ කරන්නේ මේ කර්මාන්තය වෙත රට ඇතුළේ තිබෙන පෞද්ගලික ආයෝජන ආකර්ෂණය කරගන්න. ඔය වගේ මුදලක් කජ්ජක් නොවන බිලියනපතියන් ගණනාවක් ඉන්දියාවේ ඉන්නවා. අනෙක් පැත්තෙන් ඉන්දියාවට මේ කර්මාන්තය තුළ ආයෝජනය කරන්න විදේශ ආයෝජන ආකර්ෂණය කරගන්න පුළුවන්. අඩු වියදමෙන් වැඩේ කරලා ඉන්දියාව විදේශ ආයෝජකයින්ට පෙන්වලා තියෙන්නේ තමන්ගේ මුදල් මේ කර්මාන්තයේ ආයෝජනය කරන්න හිතනවානම් ඉන්දියාව ඒ සඳහා හොඳ තැනක් වන්නේ ඇයි කියන එකයි.

හඳට මිනිසෙකු යවද්දී දින තුනකින් නොයවා දින හතළිහකින් යවන එක ඒ තරම් ආකර්ශනීය නොවෙන්න පුළුවන්. නමුත් හඳ ගමන් ඉහළ යද්දී හඳට විශාල ලෙස භාණ්ඩ ගෙනයන්න අවශ්‍ය වෙනවා. එහිදී කාලයට වඩා වැදගත් වෙන්නේ පිරිවැයයි. මේ වැඩේ හොඳටම කරන්න පුළුවන් ඉන්දියාවට කියලා ඉන්දියාව දැනටමත් පෙන්නලා ඉවරයි. වට ගහලා හඳ අල්ලපු ඉන්දියාවට වට ගහලා ලෝකය අල්ලන එක අමාරු වැඩක් නෙමෙයි.

Thursday, August 24, 2023

ක්‍රෙඩිට්කාඩ් හා උගස් ණය පොලී සීමා වෙයි!


අද පැවති මුදල් ප්‍රතිපත්ති විවරණයේදී මහ බැංකුව විසින් උගස් ණය, ක්‍රෙඩිට්කාඩ් ණය සහ බැංකු අයිරා සඳහා උපරිම පොලී අනුපාත නියම කර තිබෙනවා. එම පොලී අනුපාත පහත පරිදියි.

උගස් ණය - 18%

ක්‍රෙඩිට්කාඩ් ණය - 28%

බැංකු අයිරා - 23%

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වල වෙනසක් සිදු කර නැහැ. 

මහ බැංකුව විසින් මීට පෙර කිහිප වරක්ම ප්‍රතිපත්ති පොලී අනුපාතික පහත හෙළුවද තවමත් වෙළඳපොළ පොලී අනුපාතික එම පොලී අනුපාතික හා අනුරූපව පහත වැටී නැහැ. එමෙන්ම, ලංකාවේ දැනට පවතින තත්ත්වයන් තුළ, මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කළ පමණින් වෙළඳපොළ පොලී අනුපාතික ඉබේටම පහත වැටෙන්නේ නැහැ. මහ බැංකුව විසින් බැංකු වලට අතිරික්ත ද්‍රවශීලතාවය සැපයීම මගින් අඩු කළ ප්‍රතිපත්ති පොලී අනුපාතික වලට අනුරූප මට්ටමකට වෙළඳපොළ පොලී අනුපාතික පහත වැටෙන්නට ඉඩ සැලැස්විය යුතුයි. මෙය කරන සාමාන්‍ය ක්‍රමය වන්නේ සල්ලි අච්චු ගැසීම මගින් මහ බැංකුව විසින් බැංකු පද්ධතිය වෙත ද්‍රවශීලතාවය සැපයීමයි.

මේ වන විට ලංකාවේ පවතින සුවිශේෂී තත්ත්වයන් හේතුවෙන් මහ බැංකුවට සල්ලි අච්චු ගසමින් වාණිජ බැංකු වල ද්‍රවශීලතාවය ඉහළ දැමීමේ හැකියාවක් නැහැ. ඒ නිසාම, වෙළඳපොළ පොලී අනුපාතික මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වල මට්ටමට අඩු වෙන තුරු එම පොලී අනුපාතික තවදුරටත් පහත දැමීමෙන් ලබාගත හැකි ලොකු ප්‍රතිඵලයක් නැහැ. මෙයට පිළියමක් ලෙස මහ බැංකුව විසින් වාණිජ බැංකු වල ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4% සිට 2% දක්වා පහත හෙළීම මගින් ඔවුන්ගේම අරමුදල් ඔවුන් වෙත නිදහස් කළා. එයින් පොලී අනුපාතික මත බලපෑමක් ඇති වී තිබුණත්, එම බලපෑමෙන් පසුවද ප්‍රතිපත්ති පොලී අනුපාතික හා වෙළඳපොළ පොලී අනුපාතික අතර පරතරය මුළුමනින්ම පියැවී නැහැ. 

පසුගිය මාස පහක කාලය තුළ අළුත් ස්ථිර තැන්පතු සඳහා බැංකු විසින් ගෙවන පොලී අනුපාතිකය 9.3%කින් පහත වැටී තිබෙනවා.

බරිත සාමාන්‍ය නව ස්ථිර තැන්පතු අනුපාතය:

2023 පෙබරවාරි - 22.06%

2023 ජූලි - 12.76%

අඩුවීම - 9.30%

මෙයින් අදහස් වන්නේ බැංකු වල අරමුදල් සපයා ගැනීමේ පිරිවැය පහත වැටෙමින් තිබෙන බවයි. එහෙත්, මේ අයුරින් අලුත් ස්ථිර තැන්පතු වෙනුවෙන් ගෙවන පොලී අනුපාතිකය පහත ගොස් තිබියදී වුවද, දැනට වාණිජ බැංකු සතු අරමුදල් වෙනුවෙන් ගෙවිය යුතු තැන්පතු පොලිය සමස්තයක් ලෙස විශාල ලෙස අඩු වී නැහැ. ඊට හේතුව, කලින් විවෘත කළ ස්ථිර තැන්පතු වෙනුවෙන් එම තැන්පතු කල් පිරෙන තුරු පොරොන්දු වූ ඉහළ පොලී අනුපාතිකය ගෙවිය යුතු වීමයි. 

බරිත සාමාන්‍ය ස්ථිර තැන්පතු අනුපාතය:

2023 පෙබරවාරි - 19.23%

2023 ජූලි - 19.02%

අඩුවීම - 0.19%

ඊයේ (අගෝස්තු 23) වන විට ඉහත අනුපාතය 18.26% දක්වා අඩු වී ඇතත්, වාණිජ බැංකු විසින් තවදුරටත් ඔවුන්ගේ අරමුදල් වෙනුවෙන් මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වලට වඩා බෙහෙවින්ම වැඩි පොලියක් ගෙවනවා. ණය පොලී අඩු විය හැක්කේ වාණිජ බැංකු වල අරමුදල් සපයා ගැනීමේ පිරිවැය පහත වැටීමට අනුරූපවයි. මේ හේතුව නිසා, වාණිජ බැංකු විසින් අලුතෙන් ලබා දෙන ණය වෙනුවෙන් අය කරන පොලී අනුපාත අලුත් ස්ථිර තැන්පතු සඳහා ගෙවන පොලී අනුපාතය පහත වැටී ඇති තරමට පහත වැටී නැහැ.

බරිත සාමාන්‍ය නව ණය අනුපාතය:

2023 පෙබරවාරි - 25.31%

2023 ජූලි - 19.30%

අඩුවීම - 6.01%

ඉහතින් පෙන්වා තිබෙන්නේ සමස්තයක් ලෙස අළුත් ණය හා අදාළ තත්ත්වයයි. වාණිජ බැංකු වල ප්‍රමුඛ පාරිභෝගිකයින්ට ණය දෙන පොලී අනුපාත වල දැකිය හැක්කේද මීට ආසන්න අඩුවීමක්.

බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතය:

2023 පෙබරවාරි - 23.45%

2023 ජූලි - 17.18%

අඩුවීම - 6.27%

ඊයේ (අගෝස්තු 23) වන විට ඉහත අනුපාතය 16.02% දක්වා අඩු වී තිබෙනවා.

කෙසේ වුවද, ඉහත කවර අනුපාතයක් සැලකුවද මේ වන විට පවතින හා අපේක්ෂිත උද්ධමනයට සාපේක්ෂව මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වල සිට සියලුම පොලී අනුපාතික මූර්ත පදනමින් වුවද තිබෙන්නේ ගොඩක් ඉහළ මට්ටමකයි. මෙම තත්ත්වය තුළ පෞද්ගලික අංශයේ ණය ගැනීම් වල සුළු හැරවුමක් මිස තවමත් කැපී පෙනෙන වර්ධනයක් දැකිය නොහැකියි.

පෞද්ගලික අංශයේ ණය (රුපියල් බිලියන):

2022 නොවැම්බර් - 7,499

2023 මැයි - 7,004

2023 ජූනි - 7,080

2023 ජූලී - 7,093

පෞද්ගලික අංශයේ ණය අඩුවීම යනු මිනිසුන් අතේ ගැවසෙන මුදල් අඩුවීමයි. ඒ හරහා භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම අඩුවීමයි. ආර්ථිකයේ ශක්‍ය ධාරිතාව වඩා ඉහළ මට්ටමක ඇති විට මෙහි ප්‍රතිඵලය ආර්ථිකය හැකිලීමයි. ආර්ථිකය නැවත වර්ධනය වීම සඳහා පෞද්ගලික අංශයේ ණය "අවශ්‍ය පමණ" ඉහළ යා යුතුයි. අවශ්‍ය පමණයැයි සඳහන් කළේ මෙය යම් සීමාවක් පනිද්දී ප්‍රතිඵලය ආර්ථික වර්ධනය නොවී උද්ධමනය විය හැකි නිසයි.

පොලී අනුපාතික තීරණය වන්නේ බැංකු පද්ධතිය තුළ අරමුදල් ඉල්ලුම හා සැපයුම අනුව නිසා බැංකු පද්ධතිය වෙත අරමුදල් නොසපයා මහ බැංකුවට බලහත්කාරයෙන් පොලී අනුපාතික පහත දැමීමේ හැකියාවක් නැහැ. එසේ කරන්නට උත්සාහ කළහොත් සිදු විය හැක්කේ දැනට දෙන ණය ටිකත් සීමා වීමයි. කෙසේ වුවද, මහ බැංකුව විසින් පොලී අනුපාතික සඳහා උපරිම සීමා පනවා තිබෙන්නේ සැලකිල්ලෙන් තෝරාගත් ණය කාණ්ඩ කිහිපයක් සඳහායි.

උගස් ණය: මෙම ණය ලබා දෙන්නේ රන් භාණ්ඩ වැනි දෙයක් ඇපයට තබාගෙන නිසා බැංකු වලට ලොකු අවදානමක් ගන්නට සිදුවන්නේ නැහැ. ඒ නිසා, උපරිම පොලිය සීමා කළ පමණින් බැංකු විසින් ණය නොදී සිටීමට හේතුවක් නැහැ. අවශ්‍යමනම් රන් වටිනාකමට සාපේක්ෂව ලබා දෙන උපරිම ණය ප්‍රමාණය සීමා කිරීම මගින් බැංකු වලට අවදානම අඩු කර ගන්න පුළුවන්. මේ අයුරින් බැංකු වල උගස් ණය පොලිය සීමා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අනෙකුත් උගස් ණය දෙන ආයතන වලටද ණය පොලී අඩු කරන්නට සිදු වෙනවා. ඒ නිසා, මෙයින් යම් හෝ ණය වර්ධනයක් සිදු වෙනවා.

ක්‍රෙඩිට් කාඩ් ණය: මෙහිදී වෙන්නේ දැනටම ලබා දී තිබෙන ක්‍රෙඩිට් කාඩ් පහසුකම් යොදාගනිමින් ලබා ගන්නා ණය ප්‍රමාණය ඉහළ යාමයි. ණය අලුතින් නිකුත් කිරීම අදාළ නැහැ. 

බැංකු අයිරා ණය: මෙහිදී වෙන්නේද දැනටම ලබා දී තිබෙන බැංකු අයිරා පහසුකම් යොදාගනිමින් ලබා ගන්නා ණය ප්‍රමාණය ඉහළ යාමයි. ණය අලුතින් නිකුත් කිරීම අදාළ නැහැ. 

ඉහත ණය වර්ග තුනෙහිම විශේෂත්වය වන්නේ මේවා පාරිභෝගිකයාගේ තීරණය මත (consumer driven), බැංකු වල ලොකු බලපෑමක් නැතිව, ලබා ගත හැකි ණය වීමයි. ක්‍රෙඩිට් කාඩ් ණය සීමා හා බැංකු අයිරා සීමා තීරණය කරන්නේ බැංකුව විසින් වුවත් ඉන් පසුව එම පහසුකම් ප්‍රයෝජනයට ගෙන ණය ගැනීම පාරිභෝගිකයා විසින් කරන දෙයක්. එමෙන්ම, උගස් ණය ගන්නට අවශ්‍ය පාරිභෝගිකයෙකුට හැම විටම මෙන් බාධාවකින් තොරව ණයක් ලබා ගැනීමේ අවස්ථාව තිබෙනවා. බැංකු ණය දුන්නේ නැත්නම් උගස් ණය දෙන වෙනත් ආයතන ඕනෑ තරම් ඉන්නවා.

අනෙක් විශේෂත්වය වන්නේ මේ ණය වර්ග දෙකෙන් උගස් ණය හා ක්‍රෙඩිට් කාඩ් ණය යන දෙවර්ගයම පරිභෝජන ණය වීමයි. හොඳ නරක කෙසේ වුවත්, මෙහිදී වෙන්නේ අඩු ආදායම්ලාභී සහ මධ්‍යම පාන්තික පාරිභෝගිකයින්ව නැවතත් ණය ගෙන පරිභෝජනය කිරීමට පෙළඹවීමක්. බැංකු අයිරා ණය බොහෝ විට ව්‍යාපාරික ණය සේ සැලකිය හැකි අතර සාමාන්‍යයෙන් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින් විසින් කාරක ප්‍රාග්ධනය (Working capital) සපයා ගැනීම සඳහා බැංකු අයිරා භාවිතා කරනවා. සැපයුම පැත්තෙන් ආර්ථිකයකට දායකත්වයක් ලබා දිය හැක්කේ ඉහත ණය වර්ග තුනෙන් බැංකු අයිරා ණය වලට පමණයි. එහෙත් මේ වර්ගයේ ණය ඉහළ යාමෙන්ද කෙටිකාලීනව සිදු විය හැක්කේ ඉල්ලුමේ ඉහළ යාමක්.

කෙටියෙන් කිවුවොත්, මහ බැංකුව විසින් තෝරාගත් ණය කාණ්ඩ තුනකට උපරිම ණය සීමා පැනවීම හරහා ඉලක්ක කර තිබෙන්නේ කෙටිකාලීනව පරිභෝජනය ඉහළ නැංවීමයි. ණය හරහා පරිභෝජනය ඉහළ නැංවීමේ බලපෑම උද්ධමනකාරී එකක්. මේ වන විට පවතින අපේක්ෂිත අවධමනකාරී ප්‍රවණතාව තුළ අවධමනය වැළැක්වීම සඳහා මෙවැනි උද්ධමනකාරී ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය වන නමුත් අදාළ උපරිම සීමාවන් තවදුරටත් ඉහළ මට්ටමක පවතින බැවින් එම සීමාවන්ගේ ප්‍රායෝගික බලපෑම එතරම් විශාල නොවිය හැකියි. 

ඇතැම් විට මෙය මහ බැංකුවේ වෙළඳපොළ සංඥාවක් වෙන්න පුළුවන්. එසේ වුවද, මහ බැංකුවේ පොලී අනුපාතික අඩු කර ගැනීමේ අභිලාෂ වෙළඳපොළට රහසක්ව නොතිබූ බැවින් මෙහි ග්‍රහණය කරගත යුතු අලුත් සංඥාවක් නැහැ. ඒ නිසාම, මෙයින් දැනෙන වෙළඳපොළ කම්පනයක් සිදු වෙන එකක් නැහැ. 

Wednesday, August 23, 2023

රට ගිය ඇත්තෝ...


ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ගුවන් තොටුපොළ සමීක්ෂණ දත්ත අනුව පසුගිය වසර 20 ඇතුළත ශ්‍රමිකයින් විදේශ ගත වී ඇත්තේ පහත පරිදියි.

2003 - 209,846

2004 - 214,709

2005 - 231,290

2006 - 201,948

2007 - 214,709

2008 - 250,499

2009 - 247,126

2010 - 267,560

2011 - 262,961

2012 - 282,447

2013 - 293,218

2014 - 300,703

2015 - 263,443

2016 - 242,816

2017 - 211,982

2018 - 211,211

2019 - 203,087

2020 -   53,711

2021 - 122,887

2022 - 311,056

මෙසේ රටින් පිටව ගිය ශ්‍රමිකයින් අතරින් වෘත්තිකයින් ප්‍රමාණය පහත තිබෙනවා.

2003 -   1,541

2004 -   1,827

2005 -   1,421

2006 -   1,713

2007 -   1,653

2008 -   2,835

2009 -   2,832

2010 -   3,057

2011 -   3,844

2012 -   4,448

2013 -   5,151

2014 -   5,372

2015 -   6,251

2016 -   6,578

2017 -   6,379

2018 -   9,005

2019 -   9,861

2020 -   2,957

2021 -   8,575

2022 - 14,307

මා මෙම දත්ත ඉදිරිපත් කරනු හැර දත්ත විග්‍රහ කරන්නට යන්නේ නැහැ.


Monday, August 21, 2023

ජාතික පාරිභෝගික මිල දර්ශකය - ජූලි 2023


ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ජූලි මාසයේදී උද්ධමනය 4.6% දක්වා පහත වැටී ඇති අතර ආහාර උද්ධමනය සෘණ 2.5%ක් ලෙසත්, ආහාර නොවන උද්ධමනය 10.9%ක් ලෙසත් වාර්තා වෙනවා. උද්ධමන දර්ශකය, එනම් රටේ සාමාන්‍ය මිල මට්ටම, මාස 10කට පෙර 2022 සැප්තැම්බර් මාසයේදී පැවති මට්ටමට දක්වා පහත වැටී තිබෙනවා. මාසය තුළ තත්ත්වය සැලකුවහොත්, ආහාර මිල ගණන් වල මෙන්ම ආහාර නොවන මිල ගණන් වලද සමස්තයක් ලෙස පහළ යාමක් දකින්නට ලැබෙනවා.

මහ බැංකුවේ ඉලක්කය උද්ධමනය දිගුකාලීනව 4%-6% අතර පවත්වා ගැනීමයි. මෙම (අගෝස්තු) මාසයේ උද්ධමනය ඉලක්ක සීමාවෙන් පහළට ගමන් කිරීමට ඉඩ තිබෙනවා.

Sunday, August 20, 2023

ණය පොලියට මොකද වෙන්නේ?


රජයේ ප්‍රාථමික අයවැය තුලනය කර ගැනීම හා එහි උදවුවෙන් මුදල් සැපයුම සීමා කිරීම මගින් උද්ධමනය පාලනය කරනු ලැබීමෙන් පසුව පොලී අනුපාතද ක්‍රමයෙන් අඩු වෙමින් තිබෙනවා. තැන්පතු පොලී අඩු වන තරමට ණය පොලී අඩු වී නැද්ද?

පසුගිය සතිය වන විට වාණිජ බැංකු වල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය දීමේ පොලී අනුපාතය 16.02% දක්වා පහත වැටී තිබුණා. මෙය පෙර සතියේදී 16.67% මට්ටමේ පැවති අතර පසුගිය නොවැම්බර් අවසානයේදී මෙම අනුපාතය පැවතුණේ 29.67% මට්ටමේයි. පෙබරවාරි මාසය වන විටද මෙම අනුපාතය 25%ට වඩා ඉහළ මට්ටමක පැවතුණා.

වාණිජ බැංකුවක ප්‍රමුඛ ණය දීමේ පොලී අනුපාතය යනු එහි පාරිභෝගිකයන් අතරෙන් ණය පැහැර හැරීමේ අවදානම අඩුම පාරිභෝගිකයන්ට ණය දෙන පොලී අනුපාතයයි. ණය පැහැර හැරීමේ අවදානම ඉහළ යන තරමට පාරිභෝගිකයෙකුට ලබා දෙන ණය පොලිය මත අමතර අවදානම් අධිභාර එකතු වෙනවා.

කෙසේ වුවද, රාජ්‍ය බැංකු වල හා පෞද්ගලික බැංකු වල ප්‍රමුඛ ණය දීමේ පොලී අනුපාත අතර කැපී පෙනෙන වෙනසක් දැකිය හැකියි. මෙයින් පිළිබිඹු වන්නේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු වල කාර්යක්ෂමතා වෙනසයි.

ලංකා බැංකුව - 18.39%
මහජන බැංකුව - 19.00%
කොමර්ෂල් බැංකුව - 15.87%
හැටන් නැෂනල් බැංකුව - 16.13%
සම්පත් බැංකුව - 17.03%
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව - 16.03%
HSBC - 15.00%

Friday, August 18, 2023

අධ්‍යාපනය කියන්නේ කුමක්ද?


අධ්‍යාපන වෙළඳපොළ ගැන කතා කරද්දී පැහැදිලි කර ගත යුතු සංකල්පීය ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. 

- අධ්‍යාපනය කියන්නේ කුමක්ද?

- අධ්‍යාපනයේ අරමුණ කුමක්ද?

- අධ්‍යාපනයේ මිල ගෙවිය යුත්තේ කවුද?

අධ්‍යාපනය කියන්නේ දැනුම එකතු කර ගැනීම කියලා සරලව කියන්න පුළුවන්. දැනුම එකතු කරගැනීම එක්ක ඇතැම් වෙලාවට අලුතෙන්ම දැනුම නිෂ්පාදනය වීමක් වෙන්න පුළුවන්. කවදා හෝ දැනුම නිෂ්පාදනයක් වුනේ නැත්නම් දැනුම කියා දෙයක් නැහැ. දැනුම නිෂ්පාදනය සිදු වන්නේ තනිව හෝ සාමූහිකව කරන ස්වයං අධ්‍යයනයක් එක්ක. එහිදී බාහිර සම්ප්‍රේෂකයෙක් නැහැ.

නමුත් ගොඩක් වෙලාවට අධ්‍යාපනය ගැන කතා කරද්දී අපි කතා කරන්නේ මේ ආකාරයෙන් අලුතෙන්ම දැනුම නිෂ්පාදනය මගින් දැනුම එකතු කරගැනීම ගැන නෙමෙයි. දැනටම නිෂ්පාදනය කර තිබෙන දැනුම එකතු කරගන්න එක ගැන. මෙහිදී බාහිර සම්ප්‍රේෂකයෙක් අවශ්‍යවෙනවා. ඒ සම්ප්‍රේෂකයා පුද්ගල සම්ප්‍රේෂකයෙක් වූ විට අපි එය ගුරු ශිෂ්‍ය සම්බන්ධයක් විදිහට හඳුනාගන්නවා. සම්ප්‍රේෂණය සිදු වෙන්නේ දැනුම ගබඩා කර තිබෙන තැනක සිටනම් එය සැලකෙන්නේ ස්වයං අධ්‍යයනයක් ලෙසයි. 

ඇතැම් විට පුද්ගල හෝ පුද්ගල නොවන දැනුම් සම්ප්‍රේෂණයකදී සම්ප්‍රේෂණය වන්නේ අළුතෙන්ම නිපදවූ දැනුමක් විය හැකි වුවත්, ප්‍රායෝගිකව බොහෝ අවස්ථා වලදී ඒ විදිහට සම්ප්‍රේෂණය වෙන්නේ අදාළ සම්ප්‍රේෂකයා විසින් මුල් වටයකදී අධ්‍යාපනය හරහා එකතු කරගත් දැනුම. අධ්‍යාපනය කියා කියද්දී බොහෝ විට අදහස් වන්නේ මේ ආකාරයෙන් සිදුවන දැනුම් සම්ප්‍රේෂණය.

ගුරු ශිෂ්‍ය සම්බන්ධයකදී ගුරුවරයා දැනුම් සම්ප්‍රේෂකයා. ශිෂ්‍යයා ග්‍රාහකයා. ශිෂ්‍යයා විසින් ගුරුවරයෙකු නැතිව ස්වයං අධ්‍යයනයක් හරහා දැනුම එකතු කරගනිද්දී සම්ප්‍රේෂකයා පොතක්, පත්තරයක්, අන්තර්ජාලය වැනි යම් දැනුම් ගබඩාවක්. එය එසේ නොවන්නේ ස්වයං අධ්‍යයනය තුළ අලුතෙන් දැනුම් නිෂ්පාදනයක් වෙද්දී පමණයි.

දැනුම් සම්ප්‍රේෂණයේදී සම්ප්‍රේෂකයා විසින් මෙන්ම ග්‍රාහකයා විසින්ද පිරිවැයක් දැරිය යුතුයි. "අධ්‍යාපනයේ මිල" කියා කියද්දී එයින් අදහස් වන්නේ සම්ප්‍රේෂකයා හා ග්‍රාහකයා විසින් දැරිය යුතු සම්ප්‍රයුක්ත පිරිවැය මිසක් වෙළඳපොළ මිලක් ගැන නෙමෙයි. වෙළඳපොළක් තිබුණත් නැතත් මේ පිරිවැය තිබෙනවා. එම පිරිවැය සම්ප්‍රේෂකයා හා ග්‍රාහකයා විසින් යම් ආකාරයකින් බෙදාගත යුතුයි. එහෙම නැත්නම් තෙවන පාර්ශ්වයක් විසින් දැරිය යුතුයි. අධ්‍යාපන වෙළඳපොළේ බාහිර ස්වරූපය කුමක් වුවත් මේ මූලික කරුණ වෙනස් වෙන්නේ නැහැ. එතැනින් එහාට අධ්‍යාපන වෙළඳපොළේ බාහිර ස්වරූපය සමාජ සම්මුතියක්. 

බොහෝ අවස්ථා වලදී අධ්‍යාපනයේ ඉලක්කය වන්නේත්, ප්‍රතිලාභියා වන්නේත් ග්‍රාහකයා. ඒ වගේම, අධ්‍යාපන වෙළඳපොළේ බාහිර ස්වරූපය කුමක් වුවත් ග්‍රාහකයට අධ්‍යාපනය ලබා ගැනීම වෙනුවෙන් යම් මිලක් අනිවාර්යයෙන්ම ගෙවන්න සිදු වෙනවා. මෙහිදී මිල යන්නෙන් අදහස් කරන්නේ ආවස්ථික පිරිවැය. ස්වයං අධ්‍යයනයකදී වුවත් අනිවාර්යයෙන්ම මේ මිල ගෙවන්න වෙනවා. අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන කාලයේ ආවස්ථික පිරිවැය, වැය කරන මානසික ශ්‍රමයේ වටිනාකම ආදී සියල්ල එම මිලේ කොටස්. ඒ නිසා, කිසිම කෙනෙකුට අධ්‍යාපනය මිලක් නොගෙවා ලබා ගන්න බැහැ. නැවතත් මතක් කළොත්, මෙහි "මිලක්" යන්නෙන් අනිවාර්යයයෙන්ම මුදල් අදහස් වන්නේ නැහැ. 

ග්‍රාහකයෙක් විසින් අධ්‍යාපනය ලැබීම වෙනුවෙන් ඉහත පිරිවැය දරන්නේ එයින් යම් අපේක්ෂිත ප්‍රතිලාභයක් තිබෙන නිසා. එම ප්‍රතිලාභය මූල්‍යමය ප්‍රතිලාභයක් වෙන්න පුළුවන්. එසේ නොවන්නත් පුළුවන්. ඔය දෙකෙන් කොයි එක වුනත්, අධ්‍යාපනයේ ප්‍රතිලාභ දිගුකාලීනයි. දිගුකාලීන මූල්‍යමය හෝ වෙනත් ප්‍රතිලාභ අපේක්ෂාවෙන් සිදු කරන අධ්‍යාපනය ආයෝජනයක්. බොහෝ විට දැකිය හැක්කේ මේ තත්ත්වය වුවත්, අධ්‍යාපනය පරිභෝජනයක් සේ සැලකිය හැකි තත්ත්වයන්ද තිබෙනවා.

සම්ප්‍රේෂකයෙකුට අධ්‍යාපනය ලබා දීම වෙනුවෙන් පිරිවැයක් දරන්න වෙනවා කියන එක පැහැදිලි කරුණක්. එසේනම්, සම්ප්‍රේෂකයෙකු විසින් එම පිරිවැය දැරිය යුත්තේ ඇයි? 

සම්ප්‍රේෂකයෙකු විසින් අධ්‍යාපනය ලබා දීම වෙනුවෙන් යම් පිරිවැයක් දරන්නේ එයින් ඊට වඩා වැඩි ප්‍රතිලාභයක් ලැබේනම් පමණයි. ඇතැම් විට මේ ප්‍රතිලාභය එයින් ලැබෙන මානසික තෘප්තිය. ඇතැම් විට ඒ වෙනුවෙන් ශිෂ්‍යයා හෝ තෙවන පාර්ශ්වයක් විසින් මුදලින් කරන ගෙවීමක් හෝ වෙනත් සත්කාරයක්. මෙය සමාජ පිළිගැනීම වැනි දෙයක් වෙන්න පුළුවන්. ඇතැම් විට මේ දෙකේ මිශ්‍රණයක්. ඇතැම් විට දැනුම සම්ප්රෙෂණයේදී සම්ප්‍රේෂ්කයාගේ අරමුණ දැනුම සංරක්ෂණය කිරීම හෝ දැනුම බෝ කිරීම වෙන්න පුළුවන්. මානසික තෘප්තිය ලැබෙන්නේ ඒ අරමුණ එක්ක.

විධිමත් අධ්‍යාපන වෙළඳපොළ තුළ සිටින ටියුෂන් ගුරුවරු ඇතුළු ගුරුවරු හා සරසවි ඇදුරන් විසින් අධ්‍යාපනය සම්ප්‍රේෂණය කිරීමේ පිරිවැය දරන්නේ ශිෂ්‍යයන් විසින් හෝ තෙවන පාර්ශ්වයක් විසින් ඒ වෙනුවෙන් මුදලින් ගෙවීමක් කරන නිසා. එහෙත්, ඊට අමතරව මානසික තෘප්තිය හා සමාජ පිළිගැනීම වැනි වෙනත් ප්‍රතිලාභද එහි තිබෙන්න පුළුවන්. 

අධ්‍යාපනය ගැන පොදුවේ කතා කළත් අධ්‍යාපනය යනු සමජාතීය ප්‍රවර්ගයක් නෙමෙයි. උදාහරණයක් විදිහට විධිමත් අධ්‍යාපන වෙළඳපොළ ගත්තත් ප්‍රාථමික අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය අතර පැහැදිලි හා විශාල වෙනසක් තිබෙනවා. ප්‍රාථමික අධ්‍යාපනයේදී ග්‍රාහකයා විසින් අධ්‍යාපනය ඉල්ලා සිටින්නේ නැහැ. බොහෝ විට එය බලහත්කාරයෙන් පොවන්නක්. තමන් ලබන අධ්‍යාපනයේ අපේක්ෂිත ප්‍රතිලාභ පිළිබඳව ග්‍රාහකයාට පැහැදිලි අදහසක් නැහැ. එහෙමනම්, මේ වැඩේ මේ විදිහට වෙන්නේ ඇයි?

මේක ආර්ථික විද්‍යාවෙන් එහා තිබෙන ප්‍රශ්නයක්. වෙනත් හැම සතෙකුට මෙන්ම සාපේක්ෂව මිනිසෙකුට "මිනිසෙකු" වීමට දීර්ඝ කාලයක් අවශ්‍යයි. අලුතෙන් ලොවට බිහිවන මිනිස් බිළිඳෙකුට වැඩිහිටි මිනිසුන්ගේ රැකවරණය හා උපකාර නොලැබුණහොත් ස්වාධීනව වැඩිහිටි මිනිසෙකු වීමේ කිසිදු හැකියාවක් නැහැ. මිනිස් බිළිඳා ආහාර ඇතුළු බොහෝ දේ සඳහා පරායත්තයි. මෙය වෙනත් සතුන්ටද පොදු දෙයක් වුවත් ස්වාධීන වීම සඳහා වෙනත් ඕනෑම සතෙකුට වඩා වැඩි කාලයක් මිනිසෙකුට අවශ්‍යයි. මිනිස් බිළිඳෙකු මිනිස් වැඩිහිටියෙකු කිරීම කවුරු හෝ විසින් දැරිය යුතු විශාල පිරිවැයක්. 

වත්මන් සමාජය තුළ ස්වාධීනව ජීවත් විය හැකි මිනිස් වැඩිහිටියෙක් වීමටනම් සිරුර උස් මහත් වීමට අමතරව තවත් බොහෝ දේ අවශ්‍ය වෙනවා. මේ සඳහා කිසියම් මූලික අධ්‍යාපනයක්ද අනිවාර්යයෙන් අවශ්‍ය වෙනවා. ("බෙල්ල පාලුවට ඔලුව තිබීම ප්‍රමාණවත් නැහැ"). ඒ අවශ්‍ය මූලික අධ්‍යාපනය කුමක්ද කියන එක අදාළ මිනිස් බිළිඳාට ස්වාධීනව ජීවත් වන්නට සිදු වන සමාජය කුමක්ද යන්න අනුව වෙනස් වෙනවා. 

මිනිස් බිළිඳෙකු මිනිස් වැඩිහිටියෙකු සේ ගොඩ නැගීම වෙනත් අයෙකු විසින් කළ යුතු දෙයක්. එය ඉබේට සිදු වන්නේ නැහැ. මෙය කළ යුත්තේ කවුරු විසින්ද? 

මේ ප්‍රශ්නයට පිළිතුර සමාජ සම්මුතියක්. මේ සඳහා ලබා දිය හැකි පළමු පිළිතුර මෙය දෙමවුපියන්ගේ වගකීමක් බවයි. දෙවන පිළිතුර පොදු, සමාජයීය වගකීමක් බවයි. එනම්, සියළු මිනිස් වැඩිහිටියන්ගේ සාමූහික වගකීමක් බවයි. ප්‍රායෝගිකව දැකිය හැක්කේ මේ තත්ත්වයන් දෙක අතර අතරමැදි තත්ත්වයක්. සත්ත්ව ලෝකය තුළ වුවද එවැනි චර්යාවන් දැකිය හැකියි.

අපට දෘශ්‍යමාන ලෝකය තුළ මිනිස් බිළිඳෙකු වැඩිහිටියෙකු කිරීම සඳහා අවශ්‍ය පිරිවැයෙන් විශාලතම කොටස දෙමවුපියන් විසින් දැරීම සාමාන්‍ය තත්ත්වයයි. එය දෙමවුපියන් අතින් සිදු නොවෙද්දී බොහෝ විට මිනිස් බිළිඳෙකු අසරණ වෙනවා. වෙනත් බොහෝ සත්ත්ව ගහණ හා අදාළවද සාමාන්‍ය තත්ත්වය එයයි. 

ඕනෑම සත්ත්ව ගහණයක් පරිණාමය වන ස්වභාවික ක්‍රියාවලිය තුළ එය එලෙස සිදු වීම අරුමයක් නෙමෙයි. වර්ගයා බෝ කිරීම වෙනුවෙන් ප්‍රමාණවත් ආයෝජනයක් සිදු නොකරන සත්ත්ව කොට්ඨාශයක් වඳ වී යනවා. එහෙම නොවෙන්නම් වෙනත් සත්ත්ව කොට්ඨාශයක් විසින් ඒ පිරිවැයේ බරට කරට ගත යුතුයි. එසේ වෙන අවස්ථා තිබුනත් පරිණාමික ඉතිහාසය තුළ එය සාමාන්‍ය තත්ත්වය නොවූ නිසා දරුවන්ට ස්වාධීනව ජීවත් විය හැකි වන තුරු අවශ්‍ය පිරිවැය දෙමවුපියන් විසින් දැරීම ජාන තෙරපුම හරහාම එන දෙයක්. 

මෙය එකම හේතුව නෙමෙයි. සමහර වෙලාවට දරුවන් වෙනුවෙන් දරන පිරිවැය ආර්ථික ලාබ වෙනුවෙන් දෙමවුපියන් විසින් කරන ආයෝජනයක්. උදාහරණයක් විදිහට කෘෂිකාර්මික සමාජයක දරුවන් කියන්නේ උස් මහත් කරගත්තට පස්සේ ශ්‍රමය සපයන යන්ත්‍ර. "පුත්‍ර සම්පත" වගේ යෙදීම් තියෙන්නේ ඒ නිසා. 

එය එසේ වුවත්, අනෙක් අතට මෑතක් වන තුරුම දරැවන් බිහිවීම සෑහෙන තරමක අහම්බයක්. ජාන තෙරපුම හරහා ස්වභාවික ලෙස ඇති වන ලිංගික අවශ්‍යතා වල අතුරු ඵලයක්. නමුත් උපත් පාලන ක්‍රම හා ඒ පිළිබඳ දැනුම සුලබ වීමෙන් පසුව මේ තත්ත්වය දැන් වෙනස්. දරුවෙකු කියන්නේ තවදුරටත් අහම්බයක් නෙමෙයි. බොහෝ දුරට සවිඥානික තේරීමක්.

වත්මන් බටහිර ලෝකයේ සම්මතයන් දිහා බැලුවොත් දරුවන් හදා ලොකු මහත් කරන එක මේ වෙද්දී බොහෝ දුරට එසේ කිරීමේ විනෝදය හෝ තෘප්තිය තකා කරන වැඩක්. ඒ හැර වෙනත් "මතු බලාපොරොත්තු" නැහැ. දරුවන් හදන එකෙන් ඒ විනෝදය හෝ තෘප්තිය නොලබන කෙනෙකුට දරුවන් හදා නොගනිමින් අවශ්‍ය පමණ ලිංගික සතුට ලබන්න බාධාවක් නැහැ. ඒ වගේම, තමන්ගේම නොවන දරුවන් තමන්ගේ දරුවන් කරගෙන හදා වඩා ගනිමින් ඔවුන් වැඩිහිටියන් කිරීමේ පිරිවැය දැරීම වේගයෙන් ප්‍රචලිත වන දෙයක්. ඊටත් අමතරව, සුරතල් සතුන් වෙනුවෙන් දරන පිරිවැය පෙන්වන්න පුළුවන්. 

මේ දේවල් කරන්නේ තමන්ගේම හෝ දරුකමට හදාගන්න ගත් දරුවෙකු ලොකු මහත් කර ස්වාධීන වැඩිහිටියෙකු කිරීමේ සතුට වෙනුවෙන් මිසක් එතැනින් එහාට වෙනත් අනාගත ප්‍රතිලාභ බලාගෙන නෙමෙයි. ජීවවිද්‍යාත්මක හෝ එසේ නොවන දෙමවුපියන් විසින් දරුවන්ගේ මූලික අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කරන එකත් මේ පැකේජ් එකේ කොටසක්.

ලංකාවේ සමාජය තවමත් මේ තැනට ඇවිත් නැති වුනත් වේගයෙන් එතැනට එනවා. කොහොම වුනත් ලංකාවේ සමහර දෙවවුපියන් තවමත් දරුවෝ හදන එක සලකන්නේ ආයෝජනයක් විදිහට. මතු බලාපොරොත්තු ඇතිව ආයෝජනයක් විදිහට දරුවෝ හැදුවත්, දරුවන් හැදීමේ තෘප්තිය පිණිස පමණක් දරුවෝ හැදුවත් ඒ දරුවෝ ලොකු මහත් කරලා ස්වාධීන පුරවැසියන් විදිහට සමාජයට දමන එක දෙමවුපියන්ගේ ඉලක්කයක්. ඒ සඳහා, ඔවුන්ට අවම මූලික අධ්‍යාපනයක් දෙන්න වෙනවා. එය කොයි වගේ එකක්ද කියන එක තීරණය කරන්නේ දෙමවුපියන් විසින් මිසක් එම දරුවන් විසින් නෙමෙයි.

ඉහත තත්ත්වය තුළ දරුවෙකුට මූලික අධ්‍යාපනය ලබා දීමේදී ග්‍රාහකයා වන්නේ දරුවා වුනත් පිරිවැයෙන් සැලකිය යුතු කොටසක් ගෙවන්නේ දෙමවුපියන් විසින්. දරුවන්ට මූලික අධ්‍යාපනයක් ලබා දීම දෙමවුපියන්ගේ තීරණයක් නිසා මෙහි වැරැද්දක් නැහැ. හැබැයි දරුවන්ටත් එහිදී ගෙවන්න වෙන පිරිවැයක් තිබෙනවා. සමහර වෙලාවට දරුවෝ ඒ පිරිවැය ගෙවන්නේ වෙන කරන්න දෙයක් නැති කමට අකැමැත්තෙන්. නමුත් දරුවන් සම්බන්ධව තීරණ ගැනීමේ බලාධිකාරය තිබෙන්නේ දෙමවුපියන් සතුව නිසා දරුවන්ට වෙනත් විකල්පයක් නැහැ. සාමාන්‍යයෙන් දරුවන් වැඩිහිටියන් වූ පසු මේ "හිරිහැරය" කිරීම ගැන දෙමවුපියන්ට දොස් කියන්නේ නැහැ. එහෙම කරන්නේ ඔවුන් විසින් එසේ නොකළොත්. 

දෙමවුපියන් විසින් තමන්ගේ දරුවන්ට ලබා දිය යුතු මූලික අධ්‍යාපනය ගැන තීන්දු ගන්නේ සමාජයීය සාධක ගැන හිතලා. මොකද වැඩිහිටියන් විදිහට සාර්ථක වීම සඳහා ඔවුන් විසින් ලබා ගත යුතු දැනුම මොන වගේ එකක්ද කියන එක තීරණය වෙන්නේ ඔවුන්ට ජීවත් වෙන්න සිදුවන සමාජයේ අවශ්‍යතා අනුව. ඒ නිසාම, තමන්ගේ දරුවන්ට ලබා දිය යුතු අධ්‍යාපනය මොන වගේ එකක්ද කියන එක දෙමවුපියන්ගේ පෞද්ගලික තීරණයක් වුනත්, කිසියම් නිශ්චිත සමාජයක ජීවත්වෙන බොහෝ දෙමවුපියන්ට ඔවුන්ගේ දරුවන්ට ලබා දෙන්න අවශ්‍ය වන මූලික අධ්‍යාපනය ආසන්නව සමාන එකක්. වෙනත් සමාජයකදී එය වෙනස් විය විය හැකිවාක් මෙන්ම එකම සමාජයක වුවත් කාලයත් එක්ක වෙනස් වෙනවා.

ඉහත තත්ත්වය නිසා දෙමවුපියන් විසින් එක් එක් දරුවාට වෙන වෙනම මූලික අධ්‍යාපනය දෙන එකට වඩා දරුවන් කණ්ඩායමකට පොදුවේ එම අධ්‍යාපනය ලබා දෙන එක වඩා කාර්යක්ෂමයි. එක පැත්තකින් එයින් ලබා දෙන අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වඩා හොඳින් තහවුරු වෙනවා. මොකද දරුවන්ට හොඳම දෙය තීරණය කරන්නේ වැඩි පිරිසක් එකතු වෙලා. දෙවනුව, පොදුවේ අධ්‍යාපනය ලබා දීමේදී දරුවෙකු වෙනුවෙන් ඒ සඳහා වැය කළ යුතු පිරිවැය පහළ යනවා. ආර්ථික විද්‍යා භාෂාවෙන් කිවුවොත් මෙහිදී එකිනෙකාට ධනාත්මක බාහිරතාවක (positive externality) වාසිය ලැබෙනවා.

ධනාත්මක බාහිරතාවක් කියන්නේ මේ වගේ දෙයක්. අපි හිතමු ගමේ කාටවත් අකුරු කියවන්න බැහැ කියලා. දැන් කාට හෝ ආණ්ඩුවේ කන්තෝරුවකින් ලියුමක් ලැබෙනවා. ලියුම කියවාගන්න කෙනෙක් හොයා ගන්න වෙන්නේ ගම් හතක් පයින් ගිහින්. ඔහොම තියෙද්දී ගමේ කෙනෙක් අකුරු කියවන්න ඉගෙන ගන්නවා. දැන් මෙහි වාසිය තියෙන්නේ ඔහුට හෝ ඇයට පමණක් නෙමෙයි. එහි වාසිය අනෙක් අයටත් තියෙනවා. 

හැබැයි දැන් මේ විදිහට අකුරු දන්නා පුද්ගලයාට ගමේ වෙන කා එක්කවත් ලිඛිත සන්නිවේදනයක් කරන්න බැහැ. නමුත් දෙවැන්නෙක් අකුරු ඉගෙන ගත්තොත් පළමුවැන්නාට ඒ වාසිය ලැබෙනවා. තුණ්ඩු කෑල්ලක ලියලා හදිසියකට දෙවැන්නාට පණිවිඩයක් යවන්න පුළුවන්. අකුරු ඉගෙන ගැනීම නිසා පළමුවැන්නාට වහාම නොලැබුණු වාසියක් දෙවැන්නාට වහාම ලැබෙනවා. ගමේ ඉන්න අකුරු උගත් ප්‍රමාණය ඉහළ යද්දී අනෙක් හැමෝටම එයින් යම් වාසියක් ලැබෙනවා. 

මේ අකුරු ඉගෙන ගැනිල්ල එක සීමාවකට ගියාට පස්සේ අකුරු ඉගෙනීම ධනාත්මක බාහිරතාවක් වීමේ බලපෑමට සාපේක්ෂව අකුරු ඉගෙන නොගැනීමේ සෘණාත්මක බාහිරතාව (negative externality) කාටත් පෙනෙන්න පටන් ගන්නවා. අපි හිතමු ගමේම අකුරු නොදන්නා අය ඉන්නේ දෙතුන් දෙනයි. දැන් මොකක් හෝ ගමට දැනුම් දෙන්න අවශ්‍ය වී දැන්වීමක් ගැහුවම ඔය දෙන්නා මග හැරෙනවා. ඒ දෙන්නට වෙනම පණිවිඩ යවන්න වෙනවා. මේක ගමේ සියල්ලන්ටම ප්‍රශ්නයක්. ඒ දෙන්නටත් අතින් වියදම් කරලා හරි අකුරු උගන්වන එක ඊට වඩා වාසියි.

පැහැදිලි කිරීම සඳහා හතර දෙනෙක් ඉන්න බෝඩිමක් ගැන හිතමු. ඔය හතර දෙනාගෙන් එක්කෙනෙක් කැරම් ගහන්න දන්නවා. නමුත් අනෙක් තුන්දෙනා දන්නේ නැති නිසා කැරම් ගහන්න විදිහක් නැහැ. දෙවැන්නෙක් කැරම් ගහන්න ඉගෙන ගත් විට පළමුවැන්නාට වගේම දෙවැන්නාටත් ධනාත්මක බාහිරතාවයේ වාසිය ලැබෙනවා. 

ඔහොම තියෙද්දී තුන්වැන්නෙකුත් කැරම් ගහන්න ඉගෙන ගන්නවා. ඊට පස්සේ හතරවෙනියාට කැරම් ගහන්න බැරිවීම සෘණාත්මක බාහිරතාවක් වෙනවා. හතරවැනියාට කැරම් පුරුදු කරන්න ටිකක් මහන්සි වෙන එක අනෙක් තුන්දෙනාටම වාසියක්.

තමන්ගේ දරුවාට මූලික අධ්‍යාපනය ලබා දෙන ගමේ පළමුවැන්නාට ඒ වෙනුවෙන් සැලකිය යුතු පිරිවැයක් දරන්න වෙනවා. නමුත් දෙවැනියෙක් එකතු වෙද්දී සාමාන්‍යයෙන් ඔය පිරිවැය වැඩි වුනත් දෙගුණ වෙන්නේ නැහැ. ඒ නිසා, එක් අයෙකුට යන වියදම අඩු වෙනවා. තව තව පිරිස් එකතු වෙද්දී ඔය වියදම තවතවත් අඩු වෙනවා. නමුත් මේ විදිහට වියදම ගොඩක්ම අඩු වුනාට පසුවත් ඒ වියදම දරාගන්න බැරි අය ඉතිරි වෙන්න පුළුවන්. එහෙම ඉතිරි වෙන්නේ එක් කෙනෙක් හෝ දෙන්නෙක්නම් ඒ ඉතිරි වන අයගේ වියදම අනෙක් අය එකතු වී සුබසාධනය කළා කියලා අනෙක් අයට පාඩු වෙන්නේ නැහැ. මොකද එහිදී එකතු වන ධනාත්මක බාහිරතාවයේ හෝ අඩු වන සෘණාත්මක බාහිරතාවයේ වාසිය වඩා වැඩියි.

ඉහත කී තත්ත්වයන් යටතේ දෙමවුපියන් විසින් තමතමන්ගේ දරුවන්ට වෙන වෙනම මූලික අධ්‍යාපනය දීමට වඩා එය පොදුවේ ලබා දෙන එක කාටත් වාසිදායක වෙනවා. හැබැයි මේ තර්ක සියල්ල අදාළ වෙන්නේ හැම දරුවෙකුටම සාර්ථක වැඩිහිටියෙකු වීම සඳහා අවශ්‍ය වන මූලික අධ්‍යාපනය හා අදාළවයි. විස්තර කළ තත්ත්වයන් අනුව, මූලික අධ්‍යාපනය ලබා දීමේ ආකෘතිය විදිහට පොදු අධ්‍යාපනය කියන එක ස්වභාවික ලෙසම ගොඩ නැගෙන දෙයක්. 

ඔය වගේ තත්ත්වයක් ඇති වුනාට පස්සේ බොහොමයක් දෙමවුපියන් තමන්ගේ දරුවන්ට පොදු ආකෘතියක් තුළ ලැබෙන මූලික අධ්‍යාපනයෙන් සෑහීමකට පත් වෙනවා. මොකද ඔවුන් විසින් තනි තනිව තමන්ගේ දරුවන්ට මූලික අධ්‍යාපනය දෙන්න ගියානම් ඊට වඩා වැඩි මුදලක් වැය වෙනවා. බොහෝ විට එය දරාගන්න අමාරු මුදලක්. වෙනත් විදිහකින් කිවුවොත් තමන්ගේ දරුවන්ට පොදු අධ්‍යාපනය ලබා දෙන දෙමවුපියන් බොහොමයකට ඒ වෙනුවෙන් වැය කළ හැකි උපරිම මුදලින් ඔවුන්ගේ දරුවන්ට ලබා දිය හැකි පෞද්ගලික අධ්‍යාපනයට වඩා හොඳ පොදු අධ්‍යාපනයක් ඊට වඩා අඩු මිලකට ලැබෙනවානම් එය වෙනස් නොවන ස්ථායී සමතුලිතතාවයක් බවට පත් වෙනවා.

ඉහත තත්ත්වය තුළ වුවත් තමන්ගේ දරුවන්ට වඩා හොඳ අධ්‍යාපනයක් දෙන්න අවශ්‍ය, පොදු අධ්‍යාපනයෙන් සෑහීමකට පත් නොවන, දෙමවුපියන් ඉන්න පුළුවන්. නමුත් ඔවුන් ඒ වෙනුවෙන් වැඩි පිරිවැයක් දරන්න කැමති නැත්නම් එතැනින් එහාට කිසිවක් වෙන්නේ නැහැ. එහෙත් එසේ වැඩි පිරිවැයක් දරමින් තමන්ගේ දරුවන්ට පොදු අධ්‍යාපනයට වඩා වෙනස් ආකාරයක අධ්‍යාපනයක් ලබා දෙන්න අවශ්‍ය දෙමවුපියන් සිටින විට මේ තත්ත්වය වෙනස් වෙනවා. එවැනි දෙමවුපියන්ගේ දරුවන් වෙනුවෙන් පොදු අධ්‍යාපනයට අමතර වෙනත් ආකෘතීන් බිහි වෙන්න පුළුවන්.

ඇමරිකාවේ මේ සඳහා උදාහරණ වන්නේ නිවසේ සිට අධ්‍යාපනය ලබා දීම සහ පෞද්ගලික පාසැල්. ලංකාවේනම් ජාත්‍යන්තර පාසැල්. 

තමන්ගේ දරුවන්ට මේ විදිහේ වෙනස් ආකෘතියක අධ්‍යාපනයක් ලබාදෙන දෙමවුපියන්ටත් සාමාන්‍යයෙන් පොදු අධ්‍යාපනයේ පිරිවැය දරන්න සිදු වෙනවා. හේතු දෙකක් නිසා එහි වැරැද්දක් නැහැ. පළමුව, ඔවුන්ටද තමන්ගේ දරුවන් වෙනුවෙන් පොදු අධ්‍යාපනය ලබා දීමේ අවස්ථාව විවෘතව තිබෙනවා. ඔවුන් එය ලබා නොගත්තත් ලබා ගැනීමේ හැකියාව වෙනුවෙන් "රක්ෂණ වාරිකයක්" ගෙවීමේ වැරැද්දක් නැහැ. දෙවනුව, අනෙක් අයගේ දරුවන්ට පොදු අධ්‍යාපනය ලබා දීමේදී බාහිරතා හරහා ඔවුන්ට වාසියක් ලැබෙනවා.

පැහැදිලි සමාජයීය අවශ්‍යතාවයක් නිසා මූලික අධ්‍යාපනය දරුවෙකුගේ අයිතියක් කියා සැලකීමේ වරදක් නැහැ. එම මූලික අධ්‍යාපනය වෙනුවෙන් පිරිවැය දැරීමේ ප්‍රධාන වගකීම තිබෙන්නේ දරුවකුගේ දෙමවුපියන්ටයි. අනෙක් අතට සමාජයීය ලෙස අවශ්‍ය වන මූලික අධ්‍යාපනය කොපමණද යන්න තීරණය වන්නේ කිසියම් සමාජයක වැඩිහිටියන්ට ඔවුන්ගේ ඊළඟ පරපුරේ මූලික අධ්‍යාපනය වෙනුවෙන් දැරිය හැකි පිරිවැය කොපමණද යන්න මතයි.

ලංකාවේ දැනට පවතින විධිමත් අධ්‍යාපන ආකෘතිය ඇතුළේ මූලික අධ්‍යාපනය සේ හඳුනාගත හැක්කේ සාමාන්‍ය පෙළ දක්වා ලබා දෙන අධ්‍යාපනයයි. එතැනින් එහාට ලැබෙන අධ්‍යාපනය විශේෂිත අධ්‍යාපනයක්. ලංකාවේ අද සමාජය තුළ වැඩිහිටියෙකු වන දරුවෙකු සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබීම කිසිසේත්ම විශේෂ සුදුසුකමක් නෙමෙයි. එහෙත්, අඩු වශයෙන් එම මට්ටම දක්වා හෝ අධ්‍යාපනය නොලබන කෙනෙක් සැලකිය හැක්කේ සමාජය විසින් ඉල්ලන අවම මූලික අධ්‍යාපනය නොලැබූ අයෙකු ලෙසයි.

මෙම සීමාව වෙනස් නොවන දෙයක් නෙමෙයි. සාමාන්‍යයෙන් වෙන්නේ කාලයත් එක්ක මේ අවම මට්ටම ඉහළ යන එකයි. වසර පණහකට පමණ පෙර ලංකාවේ මේ අවම මට්ටම අටවන ශ්‍රේණිය සමත් වීම හෙවත් අටපාස් වීම. නවවන ශ්‍රේණියේ සිට ලැබුණේ විශේෂිත අධ්‍යාපනයක්. පසුව මෙය වෙනස් වුනා. 

ඇමරිකාවේ විධිමත් අධ්‍යාපන ආකෘතිය තුළ වසර දොළහක පාසැල් අධ්‍යාපනය (මෙන්ම පෙර පාසැල් අධ්‍යාපනය) සැලකිය හැක්කේ මූලික අධ්‍යාපනයක් ලෙසයි. ඊට අමතරව, සරසවි පාඨමාලාවක පළමු වසරේදීද මූලික පොදු අධ්‍යාපනයක ලක්ෂණ තිබෙනවා. මෙම මූලික පොදු අධ්‍යාපනය අඩු වැඩි වශයෙන් සරසවියක දෙවන වසර දක්වාම දිගු වෙනවා. විශේෂිත අධ්‍යාපනයක් ලැබෙන්නේ ඉන් පසුවයි. අවශ්‍ය අයෙකුට සාමාන්‍යයෙන් සරසවියේදී ලබා ගත යුතු මෙම අධ්‍යාපනය සරසවි යාමට පෙර පාසැලේදීම වුවත්, පොදු අධ්‍යාපනයේ කොටසක් ලෙස, ලබා ගත හැකියි. 

(මතු සම්බන්ධයි)

Wednesday, August 16, 2023

සංචිත අනුපාතය අඩු කිරීමෙන් පසු බිල්පත් පොලිය


ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4% සිට 2% දක්වා පහත හෙළීමෙන් අනතුරුව අද පැවති බිල්පත් වෙන්දේසියේදී වෙන්දේසියට ඉදිරිපත් කළ රුපියල් බිලියන 180ක් තරම් විශාල මුළු බිල්පත් ප්‍රමාණයම වෙන්දේසි වී ඇති අතර ඵලදා අනුපාතික වලද සැලකිය යුතු පහළ යාමක් පෙනෙන්නට තිබෙනවා. 

දින 91 බිල්පත්:

පසුගිය සතිය - 19.78%

මේ සතිය - 17.55%

අඩු වීම - 2.23%


දින 182 බිල්පත්:

පසුගිය සතිය - 17.11%

මේ සතිය - 14.87%

අඩු වීම - 2.24%


දින 364 බිල්පත්:

පසුගිය සතිය - 13.94%

මේ සතිය - 13.19%

අඩු වීම - 0.75%

කෙසේ වුවද, ඉහත ඵලදා අනුපාතික තවමත් තිබෙන්නේ ඒක්ෂණ මුදල් වෙළඳපොළ පොලී අනුපාතික වලට වඩා සැලකිය යුතු තරම් ඉහළිනුයි. මෙම තත්ත්වය තුළ මහ බැංකුව විසින් තවදුරටත් ප්‍රතිපත්ති පොලී අනුපාතික පහත දැමීමෙන් බිල්පත් පොලී අනුපාතික වල ලොකු වෙනසක් සිදු වීමට ඉඩක් නැහැ. බැංකු පද්ධතිය තුළ මුදල් සැපයුම ඉහළ යාම මගින්ම පොලී අනුපාතික පහත යා යුතුයි. 

Tuesday, August 15, 2023

සංවර්ධන බැඳුම්කර හුවමාරුව අවසන්!


අද දිනයේදී (අගෝස්තු 15) දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පළමු අදියර මුළුමනින්ම අවසන් කර තිබෙනවා. මේ අනුව, ආපසු ගෙවිය යුතුව තිබුණු සංවර්ධන බැඳුම්කර වෙනුවට වර්ග පහක භාණ්ඩාගාර බැඳුම්කර මිශ්‍රණයක් ලබා දීම අද දිනයේදී සිදු වී තිබෙනවා. මෙම එක් භාණ්ඩාගාර බැඳුම්කරයකින් රුපියල් මිලියන 50,444.3ක මුහුණත අගයක් ලෙස රුපියල් මිලියන 252,221.5ක භාණ්ඩාගාර බැඳුම්කර අළුතෙන් නිකුත් කර තිබෙනවා. 

සංවර්ධන බැඳුම්කර වෙනුවට භාණ්ඩාගාර බැඳුම්කර හුවමාරු කර ඇත්තේ කවර විණිමය අනුපාතය යටතේද යන්න ප්‍රකාශයට පත් කර නැහැ. අද අන්තර් බැංකු වෙළදපොළේ ඩොලරයක මැදි මිල රුපියල් 320.94ක්. එම විණිමය අනුපාතිකය අනුව ඉහත මුදල සමාන වන්නේ ඩොලර් 795,891,890ක මුදලකටයි. ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා භාර ගත් සංවර්ධන බැඳුම්කර ප්‍රමාණය ඩොලර් මිලියන 791,446,221ක්. මේ අනුව, ඩොලරයක මැදි මිලට වඩා තරමක් අඩු රුපියල් 318.68 වැනි අනුපාතයකට මෙම හුවමාරුව සිදු කර ඇති බවත්, සංවර්ධන බැඳුම්කර සියල්ලම මෙන් භාණ්ඩාගාර බැඳුම්කර සමඟ හුවමාරු කර ඇති බවත් පැහැදිලියි. 

සංවර්ධන බැඳුම්කරහිමියන්ට හුවමාරුව සිදු කිරීම සඳහා විකල්ප තුනක් ලැබුණා. අදාළ විකල්ප තුනෙන් පළමු විකල්ප දෙකෙන් එකක් තෝරා ගත්තේනම් හුවමාරුව සිදු වන්නේ ඩොලර් බැඳුම්කර සමඟයි. තෙවන විකල්පයේදී ඩොලර් බැඳුම්කර රුපියල් බැඳුම්කර හා හුවමාරු වෙනවා. බැඳුම්කරහිමියන් සියලු දෙනාම වාගේ තෝරාගෙන තිබෙන්නේ තෙවන විකල්පයයි. 

මේ තේරීම තේරුම් ගැනීම අපහසු නැහැ. පළමු තේරීම විකල්පය වීනම් ආපසු ලැබෙන්නේ මුල් මුදලින් 70%ක් පමණයි. දෙවන විකල්පය තෝරාගත්තේනම් වසර 9ක් යන තුරු කිසිදු මුදලක් ආපසු ලැබෙන්නේ නැහැ. මේ විකල්ප දෙකෙන් එකක් වඩා හොඳ තේරීම විය හැකිව තිබුණේ ඩොලර් හොයා ගැනීම විශාල ප්‍රශ්නයක් වී තිබුණු පසුබිමක පමණයි. පවතින තත්ත්වය තුළ, රුපියල් ආපසු ලැබේනම් ඒ රුපියල් ඩොලර් කිරීම ප්‍රශ්නයක් නොවන බව සංවර්ධන බැඳුම්කරහිමියන් විසින් නිගමනය කර තිබෙනවා. 

Monday, August 14, 2023

සංචිත අනුපාතය අඩු කිරීමෙන් පසු ඵලදා වක්‍රය

පහත ප්‍රස්ථාරයෙහි දැකිය හැක්කේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4% සිට 2% දක්වා අඩු කර දින කිහිපයක් ඇතුළත භාණ්ඩාගාර බැඳුම්කර වල ද්වීතියික වෙළඳපොළ ඵලදා අනුපාතික මුළු ඵලදා වක්‍රය පුරාම පහත වැටී ඇති ආකාරයයි. මෙම ප්‍රවණතාව මෙම සතිය තුළ තවත් හොඳින් පිළිබිඹු විය යුතුයි.

Sunday, August 13, 2023

මවුකිරි වල මිල


මෙලොවට මුලින්ම බිහිවන දරුවෙකුට අනෙක් හැම දෙයකටම වඩා වටින්නේ මවු කිරි. ළදරුවෙක් වෙන ඕනෑම දෙයක් ඉල්ලන්න කලින් ඉල්ලන්නේ මවු කිරි. මෙය ඕනෑම මිනිසෙකුට වගේම වෙනත් ක්ෂීරපායී සතුන්ටත් පොදු අත්දැකීමක්. අපි කතාවට කියන්නේ අම්මා ලේ කිරි කර පොවනවා කියලා. මවකගේ අසීමිත ආදරය එක්ක ලේ කිරි වී ඇගේ තනපුඩු වලින් වෑහෙන මවු කිරි වල වටිනාකම මිල කළ නොහැකි බව කෙනෙකුට කියන්න පුළුවන්. මවු කිරි වලටත් මිලක් නියම කරන එක අශිෂ්ඨ වැඩක් කියා තවත් කෙනෙකුට කියන්න පුළුවන්. නමුත්, මේ වගේ කියමන් ගැලපෙන්නේ කෙනෙකුගේ පරිකල්පනීය ලෝකයට හෝ සාහිත්‍යයට මිසක් සැබෑ ලෝකයේ පවතින තත්ත්වයන්ට නෙමෙයි.

වෙන ගොඩක් දේවල් වලට වගේම මවුකිරි වලටත් මිලක් තිබෙනවා. කිසියම් දෙයකට මිලක් තිබීම සඳහා වෙළඳපොළක් තිබීම අනිවාර්ය නැහැ. වෙළඳපොළක් ඇති විට අපට යමක මිල පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුළුවන්. නමුත්, වෙළඳපොළක් නැති වුනත් මිල කියන දෙය තිබෙනවා. වෙළඳපොළක් නැති නිසා සැඟවී තිබෙන මිලක් වුවත්, ආර්ථික විද්‍යාඥයෙකුට ඇස්තමේන්තු කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ජීවිතයක වටිනාකම ඇස්තමේන්තු කරන්න පුළුවන්. එය අසීමිත නැහැ. ඒ විදිහටම මවුකිරි වගේ දේකටත් අසීමිත වටිනාකමක් නැහැ. 

අම්මා කුස්සියේ උය උයා ඉන්න කොට ඇගේ බිළිඳු දරුවා නින්දෙන් ඇහැරී අඬනවා ඇහුනොත් ඈ හොද්ද බත අමතක කරලා දරුවා වෙත දුවනවා. ඇගේ තනපුඩුව දරුවාගේ කටේ ගහනවා. දරුවා තනපුඩුව අත ඇරියේ නැත්නම් ගොඩක් වෙලාවට අම්මා ඕක බලෙන් ගලවන්නේ නැහැ. ඔය අතරේ බත රොස් වෙන්න පුළුවන්. හොද්ද හිඳෙන්න පුළුවන්. ගගා හිටපු පොල් ටිකට පූසා හොම්බ ඔබන්න පුළුවන්. මේ ඔක්කොම දරුවාට කිරි දීම වෙනුවෙන් ඇයට ගෙවන්න වෙන මිලේ කොටස්. ඇය ඒ ගැන වැඩිපුර නොහිතන්නේ දරුවාට කිරි දෙන එක ඇයට ඊට වඩා වටින නිසා.

ඔය විදිහට ඔය උයා ඉන්න වෙලාවක දරුවා ඇහැරිලා ඒ ගැන බලන්න දුවද්දී ලාම්පුවේ අත වැදිලා බිම වැටිලා පාපිස්සක් වගේ දෙයක් ගිණි ගත්තා කියමු. ඔය වගේ වෙලාවක අර අම්මා කරන්නේ මුලින්ම ගින්දර නිවලා ඉන්න එකද නැත්නම් දරුවාට කිරි දීලා ඉවර කරලා ඒ ගැන බලන එකද? සිහි බුද්ධියක් තියෙන අම්මෙක්නම් කරන්නේ මුලින්ම ගින්දර නිවන එක. ඇය ගින්දර පැතිරී ගේ ගිණි ගැනීමේ අවදානම ගන්නේ නැහැ. එය ඇය දරුවාට කිරි දීම වෙනුවන් නොගෙවන මිලක්. 

ඕනෑම මවක් දරුවෙකුට කිරි දීම වෙනුවෙන් අත හරින දේවල් වගේම අත නොහරින දේවල්ද තිබෙනවා. මේ දේවල් නිරීක්ෂණය කිරීමෙන් අප‍ට ඇයට සාපේක්ෂව දරුවාට කිරි දීමේ වටිනාකමේ උපරිම හා අවම සීමාවන් හොයා ගන්න පුළුවන්. නිරීක්ෂණ වැඩි වන තරමට ඔය සීමා දෙක අතර පරතරය කුඩා වෙනවා. ඒ කියන්නේ දරුවාට කිරි දීමේ ඇයට සාපේක්ෂ වටිනාකම වඩා නිවැරදිව ඇස්තමේන්තු කළ හැකි වෙනවා. මෙය කීයක් වුවත් අසීමිත නැති බව සාමාන්‍ය බුද්ධියක් තියෙන කෙනෙකුට පැහැදිලි විය යුතුයි. 

වත්මන් ලෝකයේ කාන්තාවන් ආර්ථික ක්‍රියාවලීන්ට දායක වන ආකාරය නිරීක්ෂණය කරලා මේ ඇස්තමේන්තුව මීට වඩා පහසුවෙන් සකස් කරන්න පුළුවන්. දරුවන් නිසා කාන්තාවන් ආර්ථික ලාබ තිබෙන වෙනත් කටයුතු අත හරිනවා. උදාහරණයක් විදිහට රැකියාවකට නොගොස් ගෙදර ඉන්නවා. නමුත් මේ විදිහේ කැප වීමකට සීමාවක් තිබෙනවා. දරුවෙකු වෙනුවෙන් කියලා මවක් ඕනෑම දෙයක් කැප කරන්නේ නැහැ. යම් නිශ්චිත අවස්ථා වලදී දරුවන් වෙනුවෙන් හිතා ගන්න බැරි තරම් විශාල කැපකිරීම් කරන මවුවරු ඉන්න පුළුවන්. නමුත් සාමාන්‍ය තත්ත්වය ඒක නෙමෙයි. මේ කියන කරුණ තේරුම් ගන්න බැරිනම් එය තර්ක බුද්ධිය පැත්තකට දමා ඕනෑවට වඩා හැඟීම් වල සිරකරුවෙකු වීමේ ප්‍රශ්නයක්. 

කාන්තාවන් රැකියා සඳහා නිවසින් පිටත දිගු කාලයක් ගත කිරීම මිනිස් ඉතිහාසයේ ඉතාම මෑත කාලයකදී සිදු වූ දෙයක්. මේ එක්කම මවුවරුන්ට මුදල් වෙනුවෙන් දරුවන්ට කිරි දෙන එක අත හරින්න සිදු වුනා. වෙළඳපොළ විසින් මේ ප්‍රශ්නයට ලබා දුන් විසඳුම ළදරු පිටි කිරි. නමුත් ළදරු පිටි කිරි කියන්නේ මවුකිරි වලට සියයට සියයක්ම ආදේශකයක් නෙමෙයි. 

තාක්ෂණයේ හා වෙළඳපොළ දියුණුව විසින් මේ ප්‍රශ්නයටත් විසඳුම් ලබා දී තිබෙනවා. දැන් ගොඩක් මවුවරුන් සේවයට යන්න කලින් කිරි දොවා ශීතකරණයක දමා යනවා. ඒ කිරි එක්ක අම්මාගේ ආදරය මුසු උණුසුම ලැබෙන්නේ නැහැ තමයි. නමුත් අඩු වශයෙන් අම්මාගේ කිරි ළදරුවෙකුට ලැබෙනවා.

මේ හැම අවස්ථාවකම සිදු වී තිබෙන්නේ වෙළදපොළ විසින් වැඩියෙන් තේරීම් ලබා දීම. කාන්තාවකට කැමතිනම් රැකියාවකට නොගොස් දරුවන් බලාගෙන ගෙදර ඉන්න පුළුවන්. කැමතිනම් රැකියාවකට යන්න පුළුවන්. එය ඇගේ තේරීමක්. රැකියාවකට යාමේ අවස්ථාව හිමිවුණා කියලා අනිවාර්යයෙන්ම එසේ කළ යුතු නැහැ. නමුත් රැකියාවකට නොගියොත් සිදු වන පාඩුවක් තිබෙනවා. ඒ වගේම, රැකියාවකට යාම නිසා සිදු වන පාඩුත් තිබෙනවා. මේ පාඩු කිරා මැන බලන එක පෞද්ගලික තේරීමක්.

රැකියාවකට යන්න තීරණය කළොත් දරුවන්ට කිරි දීමේ ප්‍රශ්නය මතු වෙනවා. ළදරු කිරිපිටි එයට එක් විසඳුමක්. කිරි දොවා ශීතකරණයේ දමා යාම තවත් විසඳුමක්. කරන්නේ කුමක්ද කියන එක පෞද්ගලික තේරීමක්. තේරීම කුමක් වුවත් එම තේරීම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ළදරු කිරි පිටි, ශීතකරණ, කිරි දොවන පොම්ප ආදිය වෙළඳපොළ විසින් සපයනවා. වෙළඳපොළ නොවන්නට මේ තේරීම් නැහැ. ඒ වගේම වෙළඳපොළ පවතින්නේ කාගේ හෝ ලාභාපේක්ෂාවන් නිසා. කිරි දෙන මවක් ලාභාපේක්ෂාවෙන් තමන්ගේ තේරීම් කරනවාක් මෙන්ම වෙනත් අය ලාභාපේක්ෂාවෙන් එම තේරීම් සඳහා අවශ්‍ය පහසුකම් සලසනවා.

මවකගේ අවසන් තීරණය කුමක් වුවත් සාමාන්‍යයෙන් බොහෝ මවුවරුන්ට අවශ්‍යනම් තමන්ගේ දරුවන්ට මවුකිරි දීමේ අවස්ථාව තිබෙනවා. එම තේරීම තෝරාගන්නවාද කියන එක ඇගේ පෞද්ගලික තීරණයක්. එහෙත්, අවාසනාවන්ත ලෙස මේ තේරීම නැති වන අවස්ථාද තිබෙනවා. දරුවකු බිහි කරද්දී දරුවා ජීවත් වී මව මිය යන අවස්ථා තිබෙනවා. දරුවා බිහි කිරීමෙන් පසුව විවිධ සෞඛ්‍ය හේතු හා රෝග නිසා මවට දරුවාට මවු කිරි දිය නොහැකි අවස්ථා තිබෙනවා. මවු කිරි දිය හැකි වුවත් ප්‍රමාණවත් තරම් දිය නොහැකි අවස්ථා බොහෝ විට තිබෙනවා. විශේෂයෙන්ම දරුවෙකු නියමිත මාස ගණන සම්පූර්ණ නොකර ඉපදුණු විට මෙවැනි තත්ත්වයක් ඇති වීමේ ඉඩකඩ වඩා වැඩියි. 

ඇතැම් විට අඩු වයසින් ඉපදුනු දරුවෙකු ජීවත් කරවීම සඳහාම මවුකිරි අවශ්‍ය වෙනවා. තවත් අවස්ථා වල දරුවන් මවුකිරි හැර අනෙකුත් ආදේශක වලට අසාත්මික වෙන අවස්ථා තිබෙනවා. වෙනත් ආදේශක ලබා දිය හැකි වුවත් වඩාත්ම හොඳ දෙය වන මවු කිරි දරුවෙකුට ලබා දෙන්න දෙමවුපියෙකුට අවශ්‍ය වෙන්න පුළුවන්. 

ඉතිහාසය ඇවිස්සුවොත් දරුවන්ට වෙනත් කාන්තාවක් හෙවත් කිරිමවු කෙනෙකු විසින් කිරි දුන් අවස්ථා අපට හමු වෙනවා. යම් හේතුවක් නිසා දරුවෙකුට මවුකිරි ලබා දීමේ හැකියාවක් නැත්නම්, කිරිමවු කෙනෙකු සොයා ගත හැකිනම්, එය හොඳ විකල්පයක්. නමුත්, මේ වැඩේ හිතන තරම්ම පහසු නැහැ. තමන්ගේ බිළිඳු දරුවාට කවුරු හෝ මවකගේ කිරි ලබා දීමට අවශ්‍ය දෙමවුපියන් ඕනෑ තරම් ඉන්නවා. ඒ ඇතැම් අය ඒ වෙනුවෙන් මුදලක් ගෙවන්න සූදානම් අයයි. ඒ නිසා, මවුකිරි කියන්නේ සැලකිය යුතු වෙළඳපොළ ඉල්ලුමක් තිබෙන දෙයක්. 

අනෙක් අතට, දරු ප්‍රසූතියකදී මවක මියයාමට තිබෙන ඉඩකඩට වඩා දරුවෙකු මියයාමට තිබෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා, මවුන් අහිමි දරුවන්ට වඩා දරුවන් අහිමි වූ මවුවරුන් වැඩියි. ඒ මවුවරුන්ටත් කිරි උනනවා. එය ස්වභාවික ජීවවිද්‍යාත්මක ක්‍රියාවලියක්. නමුත්, එවැනි මවකට කිරි වල වටිනකාම්ක් නැහැ. ඇත්තටම කිරි ඉනීම වදයක්. යම් කාලයක් යන තුරු එසේ උනන කිරි දොවා ඉවත් කරන්න සිදු වෙනවා. දරුවන් අහිමි වූ මවුවරුන් හා තමන්ගේ දරුවාට දෙන්නට කිරි නැති මවක් සංසන්දනය කළ හොත් වෙනත් ඕනෑම භාණ්ඩයකට වගේම මවුකිරි වලටත් තියෙන්නේ වාස්තවික වටිනාකමක් නොව සාපේක්ෂ වටිනාකමක් කියන එක පැහැදිලි වෙයි.

වටිනාකම් සාපේක්ෂ නිසා හුවමාරුවකින් එයට සම්බන්ධ වන පාර්ශ්ව දෙකටම වාසියක් සිදු වෙනවා. වෙළඳපොළ කාර්යක්ෂමතාවය කියන්නේ මෙයයි. එහිදී වෙන්නේ එක් අයෙකුගේ ලාබය වෙනුවෙන් වෙනත් අයෙකු පාඩු විඳීමක් නෙමෙයි. දරුවකු අහිමි වූ මවකට මවුකිරි වල වටිනාකමක් නැහැ. නමුත්, තමන්ගේ දරුවාට දෙන්නට තරම් ප්‍රමාණවත් කිරි උරන්නේ නැති මවකට මවුකිරි වල වටිනාකම ගොඩක් වැඩියි. ඒ නිසා, මවුකිරි වලට වෙළඳපොළ ඉල්ලුමක් හැදෙනවා මෙන්ම එම ඉල්ලුම සැපිරිය හැකි මවුකිරි සැපයුමක්ද තිබෙනවා. ඉල්ලුමක් හා සැපයුමක් ඇත්නම් වෙළඳපොළක් බිහි විය යුතුයි.

මවුකිරි අලෙවි වන වෙළඳපොළක් තිබෙනවා. මේ වෙළඳපොළ තුළ කටයුතු සිදුවන ආකාරය අනුව කොටස් තුනකට වර්ග කළ හැකියි. වෙළඳපොළ තුළ සිටින ප්‍රධානම ධාවක බලවේගය මවුකිරි බැංකු. මෙවැනි බැංකු බොහෝ විට ලාබ ලැබීම ඉලක්ක නොකර කටයුතු කරන ආයතන. ලාබ ලැබීම ඉලක්ක නොකර කටයුතු කරන ආයතනයක් කියන්නේ ලාබ නොලබන ආයතනයක් නෙමෙයි. එවැනි ආයතනද ලාබ ලබනවා. ලාබ ලැබීම ඉලක්ක කළ ආයතනයකට සාපේක්ෂව මෙවැනි ආයතනයක වෙනස වන්නේ ලබන ලාබයද කිසියම් අරමුණක් වෙනුවෙන් වැය කිරීමයි. 

මුල් කාලයේදී මවුකිරි බැංකු විසින් මවුවරුන්ගෙන් කිරි මිල දී ගත්තේ නැහැ. දැනුත් බොහෝ මවුකිරි බැංකු කිරි සඳහා දායක මවුවරුන්ට මුදල් ගෙවන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් කරන්නේ ස්වේච්ඡාවෙන් කිරි ලබා දෙන මවුවරුන්ගෙන් කිරි එකතු කර ගැනීමයි. මේ කටයුත්තේදී ඔවුන් දැඩි තත්ත්ව පාලනයක් සිදු කරනවා. කිරි ලබා ගන්නේ අවශ්‍ය සෞඛ්‍යමය හා වෙනත් කොන්දේසි සපුරන මවුවරුන්ගෙන් පමණයි. මේ අයුරින් එකතු කරගන්නා මවුකිරි කල් තබා ගත හැකි පරිදි පැස්චරීකරණය කර ශීත කර කරනවා.

මවුකිරි බැංකු වලට කිරි එකතු කරගන්නේ මුදල් ගෙවා නොවුනත් එම කිරි වල තත්ත්ව පාලනය කිරීමට, සකස් කිරීමට, ගබඩා කර තබාගැනීමට හා බෙදාහැරීමට මුදල් වැය වන නිසා මෙවැනි ආයතන වල ඉලක්කය ලාබ ලැබීම නොවුනත් කිරි අලෙවි කරන්නේ මුදලටයි. මවු කිරි අවුන්සයක මිල ඩොලර් පහක් පමණ දක්වා විය හැකියි. ඒ නිසා, දරුවෙකුට අවශ්‍ය මවු කිරි මිල දී ගැනීම සඳහා දිනකට ඩොලර් සීයක පමණ මුදලක් වැය විය හැකියි. එය ළදරු කිරිපිටි සඳහා වැය වන මිලට සාපේක්ෂව විශාල මුදලක්. 

ඇමරිකාවේ පමණක් නොව යුරෝපයේ මෙන්ම ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව හා ඉන්දියාව වැනි රටවලද තිබෙන මෙවැනි කිරි බැංකු විසින් කරන්නේ ලාබ හෙවීමක් නොව සේවයක් කියා බොහෝ දෙනෙක් කියන්න පුළුවන්. කිරි බැංකු වලින් බොහෝ විට පාරිභෝගිකයින්ට සෘජුව මවුකිරි විකිණීම වෙනුවට රෝහල් වලට මවුකිරි අලෙවි කරනවා. ඇතැම් සෞඛ්‍ය රක්ෂණ වලින් දරුවන්ට ලබාදෙන මවුකිරි වල වියදම ප්‍රතිපූරණය කරනවා. එහෙත්, කාය වර්ධන ක්‍රීඩකයින් වැනි අයට මවුකිරි අලෙවි කරන අවස්ථාද තිබෙනවා. 

ඉහත ආකාරයේ මවුකිරි බැංකු විසින් මවුකිරි සඳහා වෙළඳපොළක් ගොඩ නගා ඇති නිසාම මවුකිරි සඳහා සිල්ලර වෙළඳපොළක්ද බිහි වී තිබෙනවා. මෙහි අතරමැදියන් නැහැ. අන්තර්ජාලය හරහා ගනුදෙනු සිදු වෙනවා. මෙම සිල්ලර වෙළඳසැල හරහා මවකට තමන්ගේ කිරි නොමිලේ මවුකිරි බැංකුවකට ලබා නොදී ඒ වෙනුවෙන් යම් මිලක් අය කරගැනීමට අවස්ථාව සැලසෙනවා. අනෙක් පැත්තෙන් මවුකිරි මිල දී ගන්නා පාරිභෝගිකයින්ට වඩා අඩු මිලකට මවුකිරි ලැබෙනවා. මේ සිල්ලර වෙළඳපොළේ මවුකිරි අවුන්සයක මිල ඩොලර් ශත පණහක් තරම් අඩු විය හැකියි.

මවුකිරි බැංකුවකින් කරන්නේ කාගේ හෝ මවකගේ අපතේ දමන මවුකිරි මවුකිරි අවශ්‍ය දරුවෙකුට ලබා ගැනීමට සැලැස්වීමයි. ඒ සඳහා යන වියදම ඔවුන් ආවරණය කර ගන්නවා. සිල්ලර වෙළඳසැල තුළ සිදු වන්නේද එයමයි. මෙහිදී පාරිභෝගිකයාට මෙන්ම කිරි සපයන මවටද වැඩි වාසියක් ලැබෙනවා. එහෙමනම්, කිරි බැංකු හොඳ වී සිල්ලර මවු කිරි වෙළඳාම නරක වෙන්න පුළුවන්ද?

සිල්ලර වෙළඳපොළෙන් (අන්තර්ජාලය හරහා) කිරි මිල දී ගනිද්දී ඇති වන ප්‍රශ්නය මිල අඩු වුවද, කිරි බැංකුවකින් ලැබෙන තත්ව පාලන සහතිකය නොලැබීමයි. ඒ නිසා, මෙහිදී තිබෙන්නේ මිල හා ගුණාත්මක භාවය අතර තේරීමක්. කිසියම් ලාබ ලබන සමාගමක් විසින් මේ ප්‍රශ්න දෙකම විසඳන අතර ලාබ ගන්නවානම් එහි කවර හෝ ආචාර ධර්මීය වැරැද්දක් තිබෙනවාද?

අපි හිතමු කිරි සපයන මවුවරුන්ට තරඟකාරී මිලක් ගෙවමින්, කිරි බැංකු තරමටම ගුණාත්මක භාවයද පවත්වා ගනිමින්, කිරි බැංකු වල මිලට හෝ අඩු මිලකට මවුකිරි විකුණා ලාබ ගන්නා සමාගමක් ගැන. දැන් මේ සමාගම විසින් ගන්නා ලාබ වලින් කාට හෝ වාසියක් මිසක් පාඩුවක් වෙනවාද? මිල්ක්ස්ටෝර්ක් වැනි සමාගම් මේ වැඩේ කරනවා. ඔවුන්ගේ වෙබ් අඩවිය අනුව මේ වන විට ඔවුන් රටවල් 122කට මවු කිරි අවුන්ස මිලියන 7කට වඩා සපයා තිබෙනවා. මේ හරහා ඇතිව තිබෙන තරඟකාරිත්වය නිසාම ඇතැම් මවුකිරි බැංකු විසින්ද දායක මවුවරුන්ට මුදල් ගෙවන්න පටන් ගෙන තිබෙනවා.

මේ වෙළඳපොළ තවමත් නියාමනය වන්නේ නැහැ. තවමත් නියාමකයින්ගේ අවධානය යොමු නොවීම ඊට හේතුව වෙන්න පුළුවන්. නියාමනය කිරීමේ අවශ්‍යතාවයක් ඇති වුවහොත් එය සිදු වෙයි. ලාබ ලබන සමාගම් පැවතීම නිසා ලාබ ලැබීම ඉලක්ක නොකරන කිරි බැංකු වලටද මිල හා ගුණාත්මක භාවය තරඟකාරී මට්ටමක තියාගන්න වෙනවා. එවැනි සමාගම් නොපැවතියේනම් ඒ වැඩේ වෙන්නේ නැහැ. සෞඛ්‍ය, අධ්‍යාපන වැනි සේවාවන් සැපයීමේ වෙළඳපොළ වල සිදු වන්නේද මෙවැන්නක්. 

ලාබ ලබන සමාගම් පැවතීම නිසා සිදු වන්නේ අඩු වයසෙන් ඉපදෙන, ජීවත් වීම සඳහා මවු කිරි නැතුවම බැරි ළදරුවන් තවත් කිහිප දෙනෙකුට හෝ ජීවත්වීමේ අවස්ථාව ලැබීමයි. මවුකිරි වලටත් මිලක් අය කිරීම වැරදියැයි කෙනෙකුට පුරුද්දෙන් මෙන් කියවන්න පුළුවන්. වෙළදපොළට විරුද්ධ එවැනි අදහසක් හරහා කළ හැක්කේ ළදරුවන් යම් පිරිසකගේ ජීවත්වීමේ අයිතිය නැති කිරීම පමණයි. එය මානුෂිකද අමානුෂිකද? එවැන්නක් කිව හැකි අයෙකු සැලකිය හැක්කේ ශිෂ්ඨ සම්පන්න මිනිසෙකු ලෙසද නැත්නම් ශිෂ්ඨ සම්පන්න, සාධාරණ මිනිසෙකු සේ පෙනී සිටින්නට උත්සාහ කරන අශිෂ්ඨ, ම්ලේච්ඡ, ගෝත්‍රිකයෙකු ලෙසද? හැඟීම් වලට වහල් නොවී පොඩ්ඩක් නිදහසේ හිතා බලන්න!

Saturday, August 12, 2023

භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය තවත් කල් යයි!


දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දෙවන අදියර ලෙස භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කරනු ලැබීම තව දුරටත් කල් යන බවකුයි පෙනෙන්නට තිබෙන්නේ. දැනට නිකුත් ඇති භාණ්ඩාගාර බැඳුම්කර දිගුකාලීන බැඳුම්කර හා හුවමාරු කර ගැනීමට අවශ්‍ය අයට ඒ සඳහා අයදුම් කිරීම සඳහා ලබා දී තිබුණු කාලය මේ වන විට දෙවන වරටද දීර්ඝ කරනු ලැබ ඇති අතර මේ අනුව එම අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා අගෝස්තු 28 දින දක්වා කාලය ලැබෙනවා. අගෝස්තු 29 දින ප්‍රතිඵල නිවේදනය කෙරෙනු ඇති අතර අගෝස්තු 31 දින බැඳුම්කර හුවමාරුව සිදු වීමට නියමිතයි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පළමු අදියර ලෙස සංවර්ධන බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා සැලකිය යුතු අයදුම්පත් ප්‍රමාණයක් ලැබී තිබුණු අතර ඒ අනුව මුළු සංවර්ධන බැඳුම්කර ප්‍රමාණයෙන් 94%ක් අගෝස්තු 15 දින හුවමාරු වීමට නියමිතයි. මුල් නිවේදනය අනුව මෙය සිදු විය යුතුව තිබුණේ ජූලි 31 දින වුවත් පසුව එම දිනය අගෝස්තු 15 දක්වා කල් දමනු ලැබුවා.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දෙවන අදියරේදී නම් කර ඇති නිශ්චිත භාණ්ඩාගාර බැඳුම්කර වලට හිමිකම් කියන ඕනෑම ආයතනයකට එම බැඳුම්කර හුවමාරු කරගැනීම සඳහා ඉල්ලුම් කළ හැකි වුවත්, මෙහිදී ප්‍රධාන වශයෙන්ම ඉලක්ක කර තිබෙන්නේ විශ්‍රාම පාරිතෝෂික අරමුදල් සතු බැඳුම්කරයි. අනෙක් බොහෝ බැඳුම්කරහිමියන්ට විශ්‍රාම පාරිතෝෂික අරමුදලකට මෙන් දීර්ඝ කාලයක් තමන්ගේ මුදල් හිර කර තැබීමට අපහසු බැවින් ඔවුන් මේ හුවමාරුව සඳහා ඉල්ලුම් කිරීමට විශාල උනන්දුවක් දැක්වීමේ ඉඩක් නැහැ.

විශ්‍රාම පාරිතෝෂික අරමුදලක් විසින් ඉල්ලා සිටිනු ලැබුවහොත් අදාළ බැඳුම්කර අනිවාර්යයෙන්ම හුවමාරු කෙරෙනවා. එහෙත්, අනෙකුත් බැඳුම්කර හිමියන්ගේ ඉල්ලීම් හා අදාළව එවැනි සහතිකයක් නැහැ. එම ඉල්ලීම් පිළිගන්නේද යන්න එකින් එක වෙන වෙනම සලකා බැලීමට නියමිතයි. 

ඉහත අයදුම් කිරීම් සඳහා මුලින්ම ජුලි 25 දින දක්වා කාලය ලබා දුන් අතර පසුව එම දිනය අගෝස්තු 11 දක්වා දීර්ඝ කරනු ලැබුවා. ඊයේ (අගෝස්තු 11) මෙම දිනය දෙවන වරටද දීර්ඝ කර තිබෙනවා. මෙයට හේතුව ලෙස සඳහන්ව ඇත්තේ ණයහිමියන් විසින් එසේ කරන මෙන් ඉල්ලා සිටීමයි. ඇතැම් විට අදාළ බදු සංශෝධන සිදු වීමේදී වූ ප්‍රමාදය මෙම කල් යාමට හේතු වූවා විය හැකියි. 

Thursday, August 10, 2023

අන්තරේ බයිට් වීම

 


මුදල් අය කරන පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන වලට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (අගෝස්තු 10) දින පැවැත්වීමට නියමිත බව සඳහන් උද්ඝෝෂණයක් හා අදාළ ප්‍රචාරක දැන්වීමක් සමාජ ජාලා තුළ බයිට් වෙමින් තිබෙනවා. මේක ටිකක් අලුත් ප්‍රවණතාවක්. ඇතැම් විට දේශපාලන පක්ෂ හෝ කණ්ඩායම් වලට සෘජුව සම්බන්ධ සමාජ ජාලා ක්‍රියාකාරිකයින් විසින් සංවිධානාත්මක ලෙස මේ වගේ දේවල් කරන නමුත් මේ අවස්ථාවේදී පේන්න තිබෙන්නේ එවැනි දෙයක් නෙමෙයි. 

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හෙවත් අන්තරේ මුල් වී කරන මෙවැනි විරෝධතා වලට දශක ගණනාවක ඉතිහාසයක් තිබෙනවා. අන්තරේ කියන්නේ රටේ සමස්ත ජනගහණයට සාපේක්ෂව කුඩා කණ්ඩායමක් වුවත්, එම කණ්ඩායමේ ප්‍රමාණයට සාපේක්ෂව රටේ රාජ්‍ය ප්‍රතිපත්ති කෙරෙහි විශාල බලපෑමක් සිදු කරන කණ්ඩායමක්. විශේෂයෙන්ම අධ්‍යාපනය හා අදාළ රාජ්‍ය ප්‍රතිපත්ති කෙරෙහි එම බලපෑම සිදුව ඇති ආකාරය පැහැදිලිව හැකියි.

දේශපාලනිකව පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා අන්තරේ අතර සම්බන්ධය රහසක් නෙමෙයි. පෙසපෙ ජවිපෙන් කැඩෙන්න කලින් ජවිපෙ හා අන්තරේ අතරද මේ ආකාරයේ සම්බන්ධයක් තිබුණා. අන්තරේ වගේම පෙසපෙ හා ජවිපෙ යන පක්ෂ සිටින්නේද අධ්‍යාපනය මිල දී ගැනීම, කළමනාකරණය කිරීම හා බෙදා හැරීම රාජ්‍ය ඒකාධිකාරයක් විය යුතුයි කියන මතයේ. මේ මතයේ සිටින තවත් පක්ෂ හා කණ්ඩායම් ඇති. 

මේ හා අදාළ ජවිපෙ මතය පෙසපෙ හා අන්තරේ මත වලින් වෙනස් වෙන්නේ අවශ්‍ය ඉලක්කයට යාමට අදහස් කරන ආකාරය අනුව පමණයි. එම පක්ෂය සෘජු වාරණය කිරීම් වෙනුවට මෘදු රාජ්‍ය මැදිහත්වීම් හරහා ඉලක්කයට යන්න උත්සාහ කරන බවයි පෙනෙන්නේ. අඩු වශයෙන් එම පක්ෂයට සම්බන්ධ අපේ මිතුරන් කියන්නේ ඒ වගේ කතාවක්. හරියටම කිවුවොත්, රජය මුල් වී සියල්ලන්ටම ගුණාත්මක අධ්‍යාපනයක් නොමිලේ ලබා දීම මගින් අධ්‍යාපනය මුදලට විකිණීම සඳහා වන අවස්ථා නැති වෙන්න අරිනවා කියන එක. මේ ක්‍රමයට අවසන් ඉලක්කයට යාමේ ප්‍රායෝගික හැකියාව කෙසේ වෙතත්, මෙය සෘජුව වෙළඳපොළට එරෙහිව නොයන ප්‍රවේශයක්.

අධ්‍යාපනය මුදලට විකිණීම හා මිල දී ගැනීම හැම මට්ටමකදීම මෙන් ප්‍රචලිතව ඇති දෙයක් වුවත් අන්තරේ විරෝධය බොහෝ විට එල්ල වී තිබෙන්නේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන වලට එරෙහිවයි. අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහිව පැවති විරෝධයන්හිදීනම් එම විරෝධය එල්ල වුනේ උසස් අධ්‍යාපනයද ඇතුළු සමස්ත අධ්‍යාපන පද්ධතියම ආවරණය කළ පුළුල් ප්‍රතිසංස්කරණ යෝජනාවලියකට එරෙහිවයි. පසුව ටිකෙන් ටික ක්‍රියාත්මක කරනු ලැබ ඇතත්, විරෝධය හමුවේ එම යෝජනා හකුළා ගනු ලැබුවා.

ඉන් පසුව, 1988/89 භීෂණය දක්වාම දිග් ගැසුණේ රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ආරම්භ වූ විරෝධයයි. එම විරෝධය අවසන් වුනේ අදාළ විශ්ව විද්‍යාලය රජයේ විශ්ව විද්‍යාලයක වෛද්‍ය පීඨයක් වීමෙන් අනතුරුවයි. ඉන් පසුව, සාපේක්ෂව මෑත කාලයකදී මතු වූ සයිටම් විරෝධයද ඊට සමාන ආකාරයකින් අවසන් වුනා. මේ නිදර්ශන වලින් පැහැදිලිව පෙනී යන පරිදි, ලංකාවේ රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය වී තිබෙන්නේ බහුතර ඡන්දයෙන් තේරී පත් වූ ආණ්ඩුවට අවශ්‍ය පරිදිම නෙමෙයි. විශේෂයෙන්ම අධ්‍යාපන ප්‍රතිපත්ති හා අදාළව මේ තත්ත්වය කැපී පෙනෙනවා.

රජයේ අධ්‍යාපන ප්‍රතිපත්ති හා අදාළව අන්තරේ වැනි කුඩා කණ්ඩායම් වලට ලොකු බලපෑම් සිදු කළ හැකි වූයේ අදාළ ඉල්ලීම් වලට යම් මහජන සහයෝගයක්ද තිබුණු නිසයි. අඩුම වශයෙන් ඔවුන්ගේ ඉල්ලීම් වලට මහජන විරෝධයක් නොපැවති නිසයි. එයට එක් ප්‍රධාන හේතුවක් වූයේ මුදල් නොගෙවා උගත් අයෙකු පසුව අධ්‍යාපනය මුදලට විකිණීම වෙනුවෙන් පෙනී සිටීම සදාචාරත්මක ප්‍රශ්නයක් සේ උලුප්පනු ලැබීමයි. 

පෞද්ගලික පාසැල් හා සරසවි වල ඉගෙන ගන්නා ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ යාමත් සමඟ මේ තත්ත්වය සෑහෙන තරමකින් වෙනස් වී තිබෙනවා. එවැන්නන්ට ඉහත කී සදාචාරාත්මක ප්‍රශ්නය නැහැ. අරගලයට පෙර කාලයේදී වුවද අන්තරේ විරෝධතාවන් කෙරෙහි යම් මහජන විරෝධයක් මෝදු වෙමින් තිබුණා. අද සිදුව ඇති පරිදි කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර ඔවුන්ගේ විරෝධතා විසුරුවා හරිද්දී "එනවා! නානවා!! යනවා!!!" ලෙස ඔවුන්ව සමච්චලයට ලක් කළ පිරිසක්ද සිටියා. 

කෙසේ වුවත්, අරගලය අවස්ථාවේදී අන්තරේට ඔවුන්ගේ කවයෙන් පිටත යම් පිළිගැනීමක් ලැබුණා. ඒ එක්කම, පෞද්ගලික සරසවි වල ඉගෙන ගනිමින් සිටි හා ඉගෙන ගෙන සිටි බොහෝ දෙනෙකුද අරගලයට සම්බන්ධ වුනා. සීමිත සන්දර්භයක වුවද ඔවුන් එක්ව කටයුතු කළා. 

මේ වන විට අන්තරය පෞද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහිව සෘජුව අවි අමෝරාගෙන සිටින අතර ප්‍රසිද්ධ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන තුනක් උපාධි කඩ ලෙස කෙළින්ම නම් කර තිබෙනවා. අන්තරේ සහ පෙසපෙ සතු එක් යහගුණයක් වන්නේ තමන් විශ්වාස කරන දේශපාලනය වෙනුවෙන් සෘජුව පෙනී සිටීමයි. කෙසේ හෝ මැතිවරණ ජයගැනීම ඉලක්ක කරන දේශපාලන පක්ෂ වලට මෙය කළ නොහැකියි. 

මගේ විශ්වාසය අනුවනම් තමන්ට අවශ්‍ය දෙයක් අවශ්‍ය අයෙකුගෙන් ඉගෙන ගැනීම මිනිසෙකුගේ මූලික අයිතියක්. අන්තරේ පෙනී සිටින්නේ එම මූලික මිනිස් අයිතියට එරෙහිවයි. ඉගෙන ගැනීම වෙනුවෙන් මුදල් ගෙවීම හෝ නොගෙවීම පෞද්ගලික තීරණයක් මෙන්ම ද්වීතියක කාරණයක්. එම නිදහසට ඉඩ අහුරන රටවල් ලෝකයේ ඇත්නම් ඒ ඉතාම සීමිත රටවල් ගණනක් විය යුතුයි. 

මුදල් නැති කම නිසා ඉගෙන ගැනීමේ අවස්ථාව අහිමි වන අයට ඉගෙන ගැනීමට අවස්ථා සැලසීම වෙනම කාරණයක්. ලෝකයේ හැම රටකම මෙන්ම අධ්‍යාපනය යම් ආකාරයකින් සුබසාධනය කෙරෙනවා. එහෙත්, කැමති අයෙකුට මුදල් ගෙවා ඉගෙනීමට තිබෙන නිදහසට බාධා කරන්නේ නැහැ. 

ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල මූලික උපාධි පාඨමාලා වෙනුවෙන් ගාස්තු අය නොකිරීම යන්නේ අදහස් වන්නේ අධ්‍යපනය වෙනුවෙන් සිසුන් විසින් කිසිම මිලක් නොගෙවිය යුතු බව නෙමෙයි. සෑම සරසවි සිසුවෙකු විසින්ම අධ්‍යාපනය වෙනුවෙන් ගෙවන යම් මිලක් තිබෙනවා. පාඨමාලා ගාස්තු අය නොකිරීමේදී සිදු වන්නේ එම මිල සුබසාධනය වීමක් පමණයි. 

ඉහත මිලට ඇතුළත් වෙන්නේ නවාතැන් ගාස්තු, පොත්පත් සඳහා යන වියදම් ඇතුළු පහසුවෙන් මුදලින් මැනිය හැකි අතින් යන වියදම් පමණක් නෙමෙයි. වසර හතරක පමණ කාලයක් උපාධි පාඨමාලාවක් වෙනුවෙන් වෙන් කිරීමේ ආවස්ථික පිරිවැය යනු විශාල මුදලක්. ලංකාවේ සරසවි වල ඇතැම් පාඨමාලා සඳහා අවශ්‍ය පමණ සිසුන් බඳවා ගත නොහැක්කේත්, එවැනි ඇතැම් සිසුන් රට තුළ සිට හෝ විදේශගතව මුදල් ගෙවා වෙනත් පාඨමාලා හදාරන්නේත් මෙම ආවස්ථික පිරිවැය සැලකූ විට මුදල් අය නොකර උගන්වන පසුබිමක වුවද එවැනි පාඨමාලාවක් හැදෑරීම මිල අධික නිසා. 

උදාහරණයක් ලෙස මෙම ලේඛකයා ප්‍රථම උපාධිය හැදෑරීම සඳහා රජයේ සරසවියකට ඇතුළු වන විට රජයේ ඉංග්‍රීසි උපගුරුවරයෙක්. ඊටත් පෙර මාසික වැටුපකට පෞද්ගලික අංශයේ රැකියාවක් කළ අයෙක්. ඉහත රැකියා කර වසර පහකට ආසන්න කාලයක් තිස්සේ උපයාගත හැකිව තිබුණු මුදල උපාධිය හැදෑරීම සඳහා කාලය වෙන් කිරීමේ ආවස්ථික පිරිවැයෙහි කොටසක්. එම මුදල අත හැරීම යනු අධ්‍යාපනය වෙනුවෙන් සිදු කළ මුදල් ගෙවීමකට සමාන ආයෝජනයක්. 

මේ ලේඛකයානම් අධ්‍යාපනය විකුණන්න පටන් ගත්තේ වයස අවුරුදු එකොළහක කාලයේ සිටයි. ඒ විදිහට අධ්‍යාපනය විකුණා හොයා ගත් මුදල් බොහෝ විට නැවත වැය කළේත් අධ්‍යාපනය මිල දී ගන්නයි. දැනුම නිෂ්පාදනය කරන එක අමාරු වැඩක් වුනත් අධ්‍යාපනය නිෂ්පාදනය කළ හැකි බොහෝ අය ඉන්නවා. 

පසුව රජයේ ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස ලේඛකයා විසින් කළේද අධ්‍යාපනය විකිණීමක්. දැන් රජයේ සේවයේ සිටින ගුරුවරු මෙන්ම සරසවි ඇදුරන් විසින් කරන්නේද තමන්ගේ ජීවිකාව සඳහා අධ්‍යාපනය විකිණීමයි. ගුරු වර්ජන හා සරසවි ඇදුරු වර්ජන වලදී සිදු වන්නේ ඔවුන් විසින් අධ්‍යාපනය විකිණීම සඳහා රජයෙන් අය කරන මිල වැඩි කර ගැනීම සඳහා හෙට්ටු කිරීමක්. මෙම ගනුදෙනුව සහ මෙවැන්නකු විසින්ම මුදල් අය කර ටියුෂන් කිරීම අතර එකම වෙනස මුල් අවස්ථාවේදී රජය අතරමැදියෙකු සේ මැදිහත්වීම පමණයි. 

රජය විසින් අධ්‍යාපනය මුදල් අය නොකර ලබා දීමේදී සිදු වන්නේ රජය විසින් රට පුරා සිටින ගුරුවරුන්ගෙන් හා සරසවි ඇදුරන්ගෙන් අධ්‍යාපනය තොග මිලට ලබා ගෙන තමන්ගේ අභිමතය පරිදි බෙදා හැරීමයි. රජයේ වැටුප් වියදම් බරින් තුනෙන් එකක් පමණම වැය වන්නේ මේ වෙනුවෙන්. මෙහිදී රජය විසින් අවසාන වශයෙන් එම අධ්‍යාපනය ලබා ගන්නා සිසුන්ගෙන් මුදල් අය කරන්නේ නැහැ. එහෙත්, එම මුදල කාගෙන් හෝ අය කර ගන්නවා.

මීට සාපේක්ෂව පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් විසින් කරන්නේද රට පුරා සිටින ගුරුවරුන්ගෙන් හා සරසවි ඇදුරන්ගෙන් අධ්‍යාපනය තොග මිලට හෝ සිල්ලර මිලට ලබාගෙන නැවත අලෙවි කිරීමයි. මෙහිදී ඒ වෙනුවෙන් සිසුන්ගෙන් හෝ ඔවුන්ගේ දෙමවුපියන්ගෙන් සෘජුව මුදල් අය කෙරෙනවා. ඒ වගේම, අවස්ථා දෙකේදීම, සිසුවෙකු විසින් සෘජුව වැය කරන හෝ නොකරන මුදලට අමතරව, ඔවුන්ට ආවස්ථික පිරිවැයක්ද දරන්නට සිදු වෙනවා.

අධ්‍යාපනයේ අරමුණ කුමක්ද? අධ්‍යාපනයේ පිරිවැය දැරිය යුත්තේ කවුද? මේ දේවල් පසුව සාකච්ඡා කරමු.

Wednesday, August 9, 2023

මිනීමැරුමක් යට ගැසීමේ මිල සහ උද්ධමනය


මේ දවස් වල සති අන්තයේදී ස්වාධීන රූපවාහිණියේ විකාශනය වන "කොඩිගහයට" ටෙලි නාට්‍යය ගැන කිහිප දෙනෙක් විසින්ම අදහස් පළ කරලා තිබෙනවා දැක්කා. සාමාන්‍ය ටෙලි නාට්‍යයකට සාපේක්ෂව අවිවාදයෙන්ම හොඳ ටෙලි නාට්‍යයක්. නළු නිලියෝ රඟපානවා කියලා දැනෙනවා. කොහොම වුනත්, මෙය ටෙලිනාට්‍යය ගැන විචාරයක් නෙමෙයි.

කතාව මුලදී ගමෙන් කොළඹ ඇවිත් ඇඟලුම් කම්හලක විදුලි කාර්මිකයෙක් ලෙස සේවය කරන අසේලව එහි සේවය කරන කළමණාකරුවෙකු විසින් බොරු වැරැද්දක් පටවා හිරේ යවනවා. ඒ කුමන්ත්‍රණයට අසේලගේම මිතුරෙකු වන චතුරංගගේ උදවු ලබා ගන්නවා. වැරැද්ද හොරකමක්. 

හිරෙන් නිදහස් වන අසේල තමන්ගේ මිත්‍රයා වූ අසේලව හොයා ගෙන ඔහුගේ නවාතැනට ආවාට පස්සේ තමන්ව හිරේ යවන්න කටයුතු කරලා තියෙන්නේ චතුරංග බව ඔහුට පැහැදිලි වෙනවා. ඉන් පසුව, අසේල අතින් චතුරංග මිය යනවා. මේ මිනීමැරුම යට ගහන්න ඔහුට උදවු කරන්නේ නීතිඥ මොහාන් නොහොත් රොහාන්. ඒ වෙනුවෙන් ඔහුගේ ගාස්තුව රුපියල් ලක්ෂ දහයක්. 

කතාව මුල හරියේදී මොහාන්. පහු වෙද්දී රොහාන් වෙනවා. මේක මේ මොකක් හෝ වැරැද්දක් හොයනවා නෙමෙයි. ලිපියේ ලියන කරුණට අදාළව ඔය නීතිඥයාගේ නම ලියන්න අවශ්‍ය නිසයි මේ ගැන කිවුවේ. සමහර විට "මාතා" "මහතා" සිද්ධියේදී සමහර අය කියලා තිබුනා වගේ මට ඇහුනු විදිහ, එහෙමත් නැත්නම් ශබ්ද මායාවක් (audio illusion), වෙන්න පුළුවන්. 

(පසු සටහන: නීතිඥයාගේ නම රොහාන්. මොහාන් කියන්නේ නාට්‍යයේ වෙන චරිතයක්. ඇඟලුම් කම්හලේ කළමනාකරු. මෙය මට වූ පටලැවිල්ලක්!)

කොහොම හරි වැදගත් දේ මේකයි. නීතිඥයා මොහාන් වුනත් රොහාන් වුනත් මිනීමැරුම යට ගැසීමේ ගාස්තුව රුපියල් ලක්ෂ දහයයි.

මේ දවස් වලම සති අන්තයේ හිරු නාලිකාවේ "චණ්ඩි කුමාරිහාමි" ටෙලි නාට්‍යය විකාශනය වෙනවා. ටෙලි නාට්‍යයේ විශේෂත්වයක් නැතත්, එයට පාදක වී තිබෙන නව කතාවෙන් ලංකා ඉතිහාසයේ වැඩි අවධානයකට යොමු නොවූ කාල-අවකාශයක් ස්පර්ශ කරනවා. මේ නවකතාව ගැනත් මීට පෙර කොහේ හෝ ලියැවී තිබුණා මතකයි. හරියටම මතක නැතත්, ඔය දෙක ගැනම කියෙවුවේ අජිත් පැරකුම්ගේ බ්ලොග් එකෙන් වෙන්න පුළුවන්. නවකතාව කියවන්න අවස්ථාවක් ලැබී නැති නිසා මට නවකතාව ගැන අදහසක් ගන්න වෙන්නෙත් ටෙලි නාට්‍යයෙන්ම තමයි.

කතාව ආරම්භයේදී පසුව චණ්ඩි කුමාරිහාමි වන පුංචි කුමාරි වන්නි රජ්ජුරු වලව්වේ මිදුලේ අටකොටු පනිනවා. අවුරුදු දහයක දොළහක වගේ වයසකුයි නිරූපණය වෙන්නේ. පුංචි කුමාරිගේ දෙමවුපියෝ මාතලේ කැරැල්ල වෙලාවේ මිය ගිහින්. රජ්ජුරු වන්නි වලවුවේ ලොකු ළමාතැනී අනාගත රජ්ජුරු වන්නියා වෙන්න ඉන්න ඇගේ පුත් සූරිය බණ්ඩාරගේ අඹු කමට ගැනීම පිණිස පුංචි කුමාරිව මාතලෙන් අරගෙන ඇවිත් හදා වඩා ගන්නවා. පස්සේ මේ විවාහය සිද්ද වෙනවා වගේම සූරිය බණ්ඩාර රජ්ජුරු වන්නියා වෙනවා. 

ඔය කතාවේ පසුබිම. ඔය විදිහට සූරිය බණ්ඩාර රජ්ජුරු වන්නියා වෙලා පුංචි කුමාරි චණ්ඩි කුමාරි විදිහට ප්‍රසිද්ධ වුනාට පස්සේ දවසක රජ්ජුරු වන්නියා එක්ක විරසක පත්තු බාර වන්නියෙක්ගේ ඥාතියෙක් වන මුතු බණ්ඩා විසින් රජ්ජුරු වන්නියාගේ පරපුරේ දැරිවියක් වන සරණිව හොරෙන් පන්නාගෙන යනවා. වෙන විදිහකින් කිවුවොත් දෙන්නා එක්ක හඳපානේ පැනල යනවා. මේ ගැන දැනගැනීමෙන් කෝපයට පත් වෙන වලවුවේ ලොකු ළමාතැනී හෙවත් සූරිය බණ්ඩාරගේ මව වලවුවේ කටුපුල්ලේලා යවා මේ අලුත් ජෝඩුවම මරා දමනවා. 

මේ විදිහට රජ්ජුරු වන්නියාගේ කටුපුල්ලේලා තමන්ගේ පත්තුවටම ඇවිත් තමන්ගේ ඥාතියා සහ ඔහුගේ අලුත් මනමාලිය මරා දැමීම ගැන කෝප වන පත්තු බාර වන්නියා ඒ ගැන ඉංග්‍රීසි පොලීසියට පැමිණිලි කරන්න යද්දී චණ්ඩි කුමාරිහාමි මැදිහත් වෙලා මිනීමැරුම් යට ගස්සවනවා. ඒ වෙනුවෙන් රුපියල් විස්සක මුදලක් දෙනවා. 

දැන් වැදගත් කාරණාව ඔය රුපියල් විස්සක මුදල. ඒ දවස් වල මිනීමැරුම් දෙකක් යට ගහන්න රුපියල් විස්සයි. ඒ කියන්නේ එක මිනීමැරුමක් යට ගහන්න රුපියල් දහයයි. කොඩිගහයට චතුරංගගේ මිනීමැරුම යට ගහන්න රුපියල් ලක්ෂ දහයයි. ඔය මිල අදාළ කාලය තුළ ලක්ෂ ගුණයකින් ඉහළ ගිහින්. ඒ ඇයි?

මේ මිල ගණන් දෙකම ප්‍රබන්ධ වල තිබෙන පරිකල්පනීය මිල ගණන් දෙකක් පමණයි. ඒ වුනත්, අපි මේ මිල ගණන් ඇත්ත මිල ගණන් සේ සලකමු. ඔය විදිහට මිල ඉහළ යන්න ප්‍රධානම හේතුව උද්ධමනය. විශේෂයෙන්ම ලංකාව නිදහස ලැබුවට පස්සේ විශාල ලෙස දිගින් දිගටම සල්ලි අච්චු ගැසීම නිසා රුපියල බාල්දු වීම. ඊට අමතරව, නීතියේ පාලනය වඩා හොඳින් ස්ථාපනය වීම නිසා ඒ කාලයට සාපේක්ෂව මේ වෙද්දී මිනීමැරුමක් යට ගහන එක වඩා අමාරු වී තිබෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා, උද්ධමනය ඉවත් කිරීමෙන් පසුව මිනීමැරුමක් යට ගැසීමේ මූර්ත මිලද ඉහළ ගිහින් වෙන්න පුළුවන්.

පුංචි කුමාරිට ඇයගේ පියා මිය යන්න කලින් නින්දගම් යද්දී හැසිරුණු ආකාරය පවා මතක නිසා ඇගේ දෙමවුපියන් මිය යද්දී වයස අවුරුදු අටක්වත් විය යුතුයි. 1848 මාතලේ කැරැල්ල කාලයේ ඇගේ වයස අවුරුදු අටක් වුනානම් 1860 වෙද්දී වයස අවුරුදු 20ක් වෙලා. ඒ කාලයේ සාමාන්‍ය පිළිවෙත අනුව, සූරිය බණ්ඩාර ඇයට වඩා ගොඩක් වයසින් වැඩි වීම අනුව, සහ ඈ කුඩා කල සිටම රජ්ජුරු වන්නි වලවුවේම සිටීම අනුව, මේ විවාහය පුංචි කුමාරිට වයස අවුරුදු දහඅටක් විස්සක් පමණ වෙද්දී සිදු විය යුතුයි. ඒ කියන්නේ 1860 වර්ෂය ආසන්නයේදී.

කොහොම වුනත්, රුපියල් සහ සත නිල වශයෙන් ලංකාවේ භාවිතයට ගැනුණේ 1872 ජනවාරි 1 සිටයි. 1869 සිට ඉන්දියානු රුපියල් ලංකාවේ භාවිතා වුනා. 1860 වැනි කාලයක රුපියල් භාවිතයේ තිබුණානම් ඒ තිබුණේ ඔරියන්ටල් බැංකුව වැනි පෞද්ගලික බැංකුවක් විසින් නිකුත් කළ රුපියල් පමණයි. බොහොමයක් පෞද්ගලික බැංකු විසින් නිකුත් කළේද පවුම්. 

අපි මේ මිනීමැරීම් වුනේ 1875 පමණ කාලයක කියා උපකල්පනය කරමු. ඔය කාලයේ රුපියලේ වටිනාකම ලොකුවට වෙනස් නොවූ නිසා අවුරුදු දහයක් පහළොවක් එහාමෙහා වුනා කියලත් වැඩි වෙනසක් වෙන්නේ නැහැ.

(පසු සටහන: ටෙලි නාට්‍යයේ තිර රචකයා විසින් වෙනත් තැනක දමා ඇති ප්‍රතිචාරයක ඇති පැහැදිලි කිරීම් අනුව, පුංචි කුමාරිගේ දෙමවුපියන් මිය ගොස් ඇත්තේ 1848 කැරැල්ලේදී නොව 1870දී මාතලේ සිදුව ඇති මහා නායයාමකිනුයි. ඇයව වන්නි වලව්වට රැගෙන එද්දී වයස අවුරුදු 11ක් බවත්, සූරියබණ්ඩාරට විවාහ කර දෙන විට වයස අවුරුදු 16ක් බවත් එහි සඳහන්ව තිබෙනවා. ඒ අනුව, ඇගේ විවාහය සිදුව තිබෙන්නේ 1875 දී වන අතර මිනීමැරුම් සිදුවන්නේ ඊටත් වසර කිහිපයකට පසුවයි.)

ඒ දවස් වල රුපියලක වටිනාකම සිලින් දෙකක් පමණ. ඒ අනුව, රුපියල් විස්සක් කියන්නේ බ්‍රිතාන්‍ය පවුම් දෙකකට සමාන මුදලක්. පවුමක් රුපියල් දහයයි. 1875 බ්‍රිතාන්‍ය පවුමක අද වටිනාකම අද බ්‍රිතාන්‍ය පවුම් වලින් 147.63ක්. ඒ කියන්නේ, 1875 බ්‍රිතාන්‍ය පවුම් දෙකක අද වටිනාකම පවුම් 295.26ක්. බ්‍රිතාන්‍ය පවුමක අද මිල රුපියල් වලින් 409.28ක්. ඒ කියන්නේ, 1875දී මිනීමැරුම් දෙක වහගන්න ගිහින් තියෙන රුපියල් විස්සක මුදල අද රුපියල් වලින්නම් 120,844ක්. ඒ කියන්නේ හය දහස් ගුණයකින් පමණ රුපියල බාල්දු වෙලා!

කොහොමෙන් කොහොම හරි, මිනීමැරුම් දෙකක් වහගන්න අද රුපියල් වලින්නම් 120,844ක්. එක මිනීමැරුමකට 60,422ක්. එහෙම බැලුවහම, උද්ධමනයේ බලපෑම ඉවත් කළාට පස්සේ, මේ කාලය ඇතුළත මිනීමැරුමක් වහගන්න යන මිල මූර්ත පදනමින් වුනත් 16 ගුණයකින් පමණ වැඩි වෙලා. ඒ කියන්නේ දැන් මිනීමැරුමක් වහන එක ඒ කාලයේ තරම්ම ලේසි නැහැ. 

හැබැයි තවත් දෙයක් තියෙනවා. නීතිඥ මොහාන්ට හෝ රොහාන්ට මේ වැඩේට අත්පිට මුදල් ලැබෙන්නේ නැහැ. වැඩේ කරන්නේ දෙන්නං කාසි පදනමට. එහෙම වුණාම මුදල් නොලැබීමේ අවදානම වෙනුවෙනුත් ගාණක් එකතු කරන්න වෙනවා. ඇත්තටම අන්තිමේදී ඔහුට කීයක්වත්ම ලැබෙන්නෙත් නැහැ. අත්පිට මුදල් ගෙවන්න පුළුවන්කම තිබුනනම් සමහර විට ගාණ ටිකක් අඩු වෙයි. එහෙම අඩු වුනත්, රුපියල් 60,422ක් තරම්ම අඩු වෙන එකක්නම් නැහැ. 

මහ බැංකුව තවත් මෙවලමක් අතට ගනී!


පසුගිය මැයි 25 දින අප විසින් පළ කළ "ලබන සතියේ මොනවා වෙයිද?" ලිපිය අවසන් කළේ මේ විදිහටයි.

"මහ බැංකුව විසින් ලබන සතියේ ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කළත් ඒ හේතුවෙන් රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපාතික අඩු නොවෙන්න පුළුවන්. ඒ, බැංකු පද්ධතිය තුළ විශාල අතිරික්ත ද්‍රවශීලතාවක් නොමැති නිසා. සාමාන්‍ය අවස්ථාවකදී මෙන් මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමට සමාන්තරව බැංකු පද්ධතියට ද්‍රවශීලතාව සැපයීම සඳහා මහ බැංකුවට මේ වෙලාවේ විශාල අවකාශයක් නැහැ. 

...

මාර්තු මාසය වන විට පෙර වසරේ මාර්තු මාසයට සාපේක්ෂව පෞද්ගලික අංශයට දෙන ණය 5.1%කින් පහත වැටී තිබුණා. විශේෂයෙන්ම විදේශ බැංකු ඒකක වලින් ලබා දෙන ණය 20.6%කින් අඩු වී තිබුණා. මෙම හැකිලීම් මේ වන විට මීටත් වඩා වැඩි විය යුතුයි. පසුගිය සතියේ ආනයන සඳහා ලබා දෙන ණය පිළිබඳ සීමාවන් ලිහිල් කිරීම නිසා ඉහත තත්ත්වයේ යම් ක්‍රමික වෙනසක් සිදු වීමට නියමිත වුවත් එම වෙනස වැඩි වශයෙන් බලපානු ඇත්තේ විණිමය අනුපාතිකයට මිස පොලී අනුපාතික වලට නෙමෙයි.

මේ වන විට ඉල්ලුම් පීඩන විශාල ලෙස අඩු වී ඇති තත්ත්වය තුළ පුළුල් මුදල් සැපයුම, විශේෂයෙන්ම පෞද්ගලික අංශයට ලබා දෙන ණය, යම් තරමකින් වර්ධනය වෙන්නට ඉඩ හැරීමේ ලොකු වැරැද්දක් නැහැ. මහ බැංකුව විසින් සල්ලි අච්චු ගහන්නේත් නැතිව, වෙළඳපොළ ද්‍රවශීලතාව වැඩි කර පොලී අනුපාතික පහළ දමාගත හැකි එක් ක්‍රමයක් වන්නේ සංචිත අනුපාතය අඩු කිරීමයි."

ඒ වන විට, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව නිවේදනය කර තිබුණේ නැහැ. අප මෙම යෝජනාව කළේ ඊට පෙරයි. අදාළ නිවේදනය නිකුත් වීමෙන් පසුව පොලී අනුපාතික වල යම් අඩු වීමක් සිදු වුනා. එහෙත්, මහ බැංකුව අපේක්ෂා කළ මට්ටම දක්වා පොලී අනුපාතික අඩු වුනේ නැහැ. ඉහත ලිපියේ විස්තර කළ තත්ත්වයන් දිගටම එලෙසම පැවතුනා. ජූනි මාසය අවසන් වෙද්දී පෙර වසරේ ජූනි මාසයට සාපේක්ෂව පෞද්ගලික අංශයට දෙන ණය 8.0%කින් පහත වැටී අතර විදේශ බැංකු ඒකක වලින් ලබා දෙන ණය 29.6%කින් අඩු වී තිබෙනවා.

රටේ නිල සංචිත හිඳී ගොස් නැවත මුල සිට ගොඩ නගා ගනිමින් සිටින මේ අවස්ථාවේදී මහ බැංකුවට බැංකු පද්ධතිය වෙත ඩොලර් ද්‍රවශීලතාව සැපයීමේ හැකියාවක් නැතත්, රුපියල් ද්‍රවශීලතාවය සැපයීම සඳහා මා විසින් මැයි මාසය අවසානයේදී යෝජනා කළ පරිදි සංචිත අනුපාතය අඩු කළ හැකිව තිබුණා. ඉන් පසුව, ජූනි 13 දින පළ කළ "තවත් අවදානම් අධිභාරයක් එකතු වෙලාද?" ලිපියෙහි මා සඳහන් කළේද මහ බැංකුවට උපයෝගී කරගත හැකි මෙම මෙවලම ගැනයි.

"මෙයින් කියන්නේ ඉදිරියේදී පොලී අනුපාතික අඩු නොවන බව නෙමෙයි. පොලී අනුපාතික අඩු නොවේනම් මහ බැංකුවට කළ හැකි තවත් විවිධ දේ තිබෙනවා."

මහ බැංකුව විසින් දෙවරක්ම ප්‍රතිපත්ති පොලී අනුපාතික පහත හෙළීමෙන් පසුව ඒ හරහා තව දුරටත් වෙළඳපොළ පොලී අනුපාතික අඩු කර ගැනීමේ හැකියාවක් ඉතිරි වී තිබුණේ නැහැ. මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික යනු සංඥාවක් පමණයි. එම පොලී අනුපාතික අඩු කළ පමණින් හැම විටම වෙළඳපොළ පොලී අනුපාතික අඩු වෙන්නේ නැහැ. මහ බැංකුව විසින් ද්‍රවශීලතාවය මුදා හැර අවශ්‍ය මට්ටම දක්වා වෙළඳපොළ පොලී අනුපාතික අඩු කර ගත යුතුයි. එහෙත්, මේ වන විට අලුතෙන් සල්ලි අච්චු ගැසීම හරහා ද්‍රවශීලතාවය මුදා හැරීමේ හැකියාව සීමා වී තිබෙන බව මා නැවත අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැහැ.

ඉහත පසුබිම තුළ මහ බැංකුව විසින් අගෝස්තු 16 දින සිට ක්‍රියාත්මක වන පරිදි ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4% සිට 2% දක්වා පහත හෙළා තිබෙනවා. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය යනු බැංකු වල තිබෙන පාරිභෝගිකයින්ගේ තැන්පතු වලින් අනිවාර්යයෙන්ම මහ බැංකුවේ තැන්පත් කළ යුතු කොටසයි. මෙම අනුපාතය පහළ දැමීම නිසා බැංකු පද්ධතිය තුළ රුපියල් ද්‍රවශීලතාව බිලියන 200කින් පමණ ඉහළ යනවා. එහෙත්, මේ අයුරින් නිදහස් වන්නේ බැංකු වලම සල්ලි නිසා මෙහිදී මහ බැංකුව විසින් අළුතෙන් සල්ලි අච්චු ගැසීමක් කළ යුතු නැහැ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරි සතියේදී පොලී අනුපාතික වල පැහැදිලිව පෙනෙන අඩුවීමක් සිදු විය යුතුයි.

මහ බැංකුවේ මීළඟ මුදල් ප්‍රතිපත්ති විවරණය සිදු කළ යුතුව තිබෙන්නේ අගෝස්තු 24 දිනයි. සාමාන්‍යයෙන් මෙවැනි මුදල් ප්‍රතිපත්ති තීරණයක් ගන්නේ මුදල් ප්‍රතිපත්ති විවරණයක් සිදුවන අවස්ථාවේදී වුවත් දෙසතියක් හෝ පමා නොවී මෙම තීරණය ඉක්මණින් ගෙන තිබීමෙන් පෙනෙන්නේ පොලී අනුපාතික අඩු කර ගැනීම සඳහා මහ බැංකුවට මේ මොහොතේ තිබෙන දැඩි අභිලාෂයයි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව සති කිහිපයක්ම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සාර්ථක ලෙස නිමා වූයේ නැහැ. එහෙත් පෙර සතියේ සහ අද වෙන්දේසි වලදී ඉදිරිපත් කළ බිල්පත් ප්‍රමාණය මුළුමනින්ම විකිණී තිබෙන අතර පොලී අනුපාතික වලද යම් අඩුවීමක් පෙනෙන්නට තිබෙනවා. කෙසේ වුවත්, එම අඩු වීම උද්ධමනය අඩුවීම හා ගැලපෙන තරමේ අඩු වීමක් නෙමෙයි. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කිරීමෙන් පසුව මෙම තත්ත්වයේ කැපී පෙනෙන වෙනසක් සිදු වනු ඇතැයි අපේක්ෂා කළ හැකියි. 

Monday, August 7, 2023

ජංගම ගිණුම් ශේෂය හා ජූලි අවසානයේදී නිල සංචිත

පෙර ලිපියේ සහ ඊට පෙර වසර කිහිපයක් පුරා පළ කර තිබෙන ලිපි ගණනාවක පැහැදිලි කර ඇති පරිදි රජයේ ආදායම් හා වියදම් ගලපා ගනිමින් ප්‍රාථමික අතිරික්තයක් පවත්වා ගත හැකිනම් ලංකාවේ රාජ්‍යමූල්‍ය ප්‍රශ්නයෙන් සෑහෙන කොටසක් එතැනින්ම ඉවර වෙනවා. ඒ එක්කම රටේ තවත් ප්‍රශ්න ගණනාවක් විසඳෙනවා. උදාහරණයක් විදිහට දිගුකාලීනව පොලී අනුපාතික ඉහළ මට්ටමක පැවතීමේ ප්‍රශ්නය. දෙවැන්න ගැන වෙනත් ලිපියක හෝ වීඩියෝවක විස්තරාත්මකව පැහැදිලි කරන්නම්.

මෙතෙක් රටේ ඇති වූ ආර්ථික අර්බුද සියල්ලටම මෙන් හේතු වූ ගෙවුම් ශේෂ ප්‍රශ්නයට එකම හේතුව රාජ්‍යමූල්‍ය ප්‍රශ්නය නොවුනත්, එම ප්‍රශ්නයද බොහෝ දුරට රාජ්‍යමූල්‍ය ප්‍රශ්නයේම ව්‍යුත්පන්නයක්. ඒ නිසා, ගෙවුම් ශේෂ ප්‍රශ්නය විසඳාගැනීම සඳහා රාජ්‍යමූල්‍ය ප්‍රශ්නය විසඳා ගැනීම කළ යුතුම දෙයක්. එහෙත්, එය ප්‍රමාණවත් නැහැ. රාජ්‍යමූල්‍ය ප්‍රශ්නය විසඳා ගැනීමෙන් අනතුරුව විණිමය අනුපාතය පාලනය කිරීමෙන්ද ඉවත් විය යුතුයි. ඔය කාරණා දෙක ඉෂ්ඨ වේනම් ගෙවුම් ශේෂ ප්‍රශ්නයෙන් සෑහෙන කොටසක් ඉවරයි.

ඉහත ප්‍රශ්න දෙක හා අදාළවම "සෑහෙන කොටසක්" කියා කිවුවේ අනපේක්ෂිත බාහිර කම්පන නිසා ඇතැම් විට මේ ප්‍රශ්න නැවත මතු වීමේ ඉඩකඩ සියයට සියයක්ම බැහැර නොවන නිසා. ඊට අමතරව, මේ දෙකම හරියට කළත්, වසර හැටකට වඩා වැඩි කාලයක් තිස්සේ එකතු වූ අසමතුලිතතාවන්ගේ බරින් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් පමණයි. ඒ කටයුත්ත සාර්ථකව කර ගත්තොත්, ඉහත සමතුලිතා දෙක පවත්වා ගෙන ඉදිරියට යාම අපහසු වැඩක් නෙමෙයි. ප්‍රශ්නයක් මතු වුනොත් මතු වෙන්නේ යුද්ධයක් හෝ වසංගතයක් වැනි සුවිශේෂී තත්ත්වයක් යටතේ පමණයි. 

"රටට ඩොලර් උපයන්න හරි වැඩපිළිවෙළක් නැතිව එහෙම කරන්නේ කොහොමද?"

රටේ දැනට තිබෙන මානව සම්පත් හා අනෙකුත් සම්පත් උපයෝගී කර ගනිමින් රටට විශාල විදේශ විණිමය ප්‍රමාණයක් ගෙන ආ හැකි ආකාරය දන්නා විශිෂ්ඨ බුද්ධිමතුන් විශාල ප්‍රමාණයක් ෆේස්බුක් එකේ ඉන්නවා. අවාසනාවට රජය හෝ මහ බැංකුව ඒ අයගේ උපදෙස් පිළිපදින්නේ නැහැ. ආර්ථික සිද්ධාන්ත වලම හිර වී ඉන්න අපි වගේ මැට්ටන්ට ආර්ථික සිද්ධාන්ත පැත්තකින් තියා රටට ඩොලර් ගේන විදිහ ගැන පෙට්ටියෙන් පිට විසඳුම් ඉදිරිපත් කරන විශිෂ්ඨ බුද්ධිමතුන් විසින් ඉදිරිපත් කරන විසඳුම් නොතේරෙනවා වගේම මහ බැංකුවේ හා රජයේ ප්‍රතිපත්ති තීරණය කරන ආර්ථික විද්‍යාඥයින්ටත් ඒ විසඳුම් තේරුම් ගත හැකි බුද්ධියක් නැති වීම රටේ අවාසනාවක්.

සිද්ධාන්ත අමතක කර වතුරෙන් තෙල් හදන විදිහ ගැන රජය විසින් සොයා බැලුවානම් ඉන්ධන ආනයනය සඳහා යන විශාල ඩොලර් ප්‍රමාණය ඉතිරි වෙනවා. ඒ වගේම, පොඩ්ඩක් වියදම් කර නිවසකට එක මුද්‍රණ යන්ත්‍රය හා කඩදාසි මිටිය බැගින් බෙදා දී තම තමන්ට අවශ්‍ය පමණ සල්ලි අච්චු ගහගන්න ඉඩ දුන්නානම් රටේ හැමෝගෙම ප්‍රාග්ධන ප්‍රශ්න විසඳෙනවා. ඊට පස්සේ රටේ හැමෝම ඔය ප්‍රාග්ධනය උපයෝගී කරගෙන ඩොලර් රටට ගේන්න පටන් ගන්න නිසා උද්ධමනය වැඩි වී රුපියල් වල වටිනාකමක් නැති වී ගියත් ප්‍රශ්නයක් නැහැ.

අවාසනාවට මේ දේවල් කරගන්න පුළුවන් වෙන්නේ සිද්ධාන්ත පැත්තකට දමා ඒ අයගේ අලුත් සිද්ධාන්ත වලින් විසඳුම් හොයන පිරිසක් බලයට පත් කරගත්තොත් පමණයි. ඒ වගේම, ඩොලර් හොයන්න මේ තරම් අවස්ථා තියෙද්දී රටේ ඉන්න ප්‍රාග්ධනය තිබෙන අය ඒ ගැන උනන්දු නොවීමත් ප්‍රශ්නයක්. අඩු ගානේ මේ විශිෂ්ඨ බුද්ධිමතුන්ට ඒ අයට හෝ තමන්ගේ විසඳුම් පැහැදිලි කර දිය හැකිනම් රටට ඩොලර් ගලාගෙන එයි. 

තව මෙහෙම යෝජනාවකුත් කරන්න පුළුවන්. ලංකාවේ රජය සහ මිනිස්සු මේ විසඳුම් ගණන් ගන්නේ නැති එකේ වෙන රටක උපදේශකයෙක් විදිහට හරි මේ යෝජනා ක්‍රියාත්මක කරලා ලැබෙන ආදායම රටට ගේන්න පුළුවන්නම් ඒ ඩොලර් ටික හරි රටේ සේවා ගිණුමට එකතු වෙයි නේද? තේරුම් ගන්න පුළුවන් පාලකයෝ ලෝකයේ කොහේ හරි ඇතිනේ!

ඉතිරි කොටස ඔය කලින් කියූ විශිෂ්ඨ බුද්ධිමතුන්ට නෙමෙයි. කුමක් හෝ හේතුවක් නිසා අප ලියන දේ කියවන අයගේ පහන් සංවේගය පිණිස. 

මේ වන විට රජය විසින් ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වාගෙන යමින් සිටින අතර මහ බැංකුව විසින් විණිමය ප්‍රතිපත්ති හරහා ජංගම ගිණුමේද අතිරික්තයක් පවත්වා ගෙන යනවා. එය ඉතා හොඳ තත්ත්වයක්. අපි පළමුව වසරේ පළමු මාස තුනෙන් පටන් ගනිමු.

ආනයන වියදම - ඩොලර් මිලියන 3,894යි 

අපනයන ආදායම - ඩොලර් මිලියන 2,998යි 

වෙළඳ ශේෂ හිඟය - ඩොලර් මිලියන 896යි 


සේවා ලැබීම් - ඩොලර් මිලියන 1,048යි 

සේවා ගෙවීම් - ඩොලර් මිලියන 367යි 

සේවා ගිණුමේ අතිරික්තය - ඩොලර් මිලියන 682යි 


වෙළඳ ගිණුමේ හා සේවා ගිණුමේ සමස්ත හිඟය - ඩොලර් මිලියන 214යි.


ප්‍රාථමික ආදායම් ගිණුමේ ශුද්ධ හිඟය - ඩොලර් මිලියන 486යි 

ද්වීතියික ආදායම් ගිණුමේ ශුද්ධ අතිරික්තය - ඩොලර් මිලියන 1,344යි 

මේ අනුව, පළමු මාස තුනේදී සමස්තයක් ලෙස ඩොලර් මිලියන 644ක ජංගම ගිණුම් අතිරික්තයක් වාර්තා වෙනවා. එයින් අදහස් වන්නේ සියලු ඩොලර් අවශ්‍යතා සපුරා ගැනීමෙන් පසුව රටට පැමිණි ඩොලර් වලින් මිලියන 644ක් ඉතිරි වී ඇති බවයි. 

ඉහත ගණනයේදී මූල්‍ය ගිණුම සලකා නැහැ. ඒ කියන්නේ මෙහි රටට ලැබුණු ඩොලර් වලට විදේශ ණය සේ ලැබුණු කිසිදු මුදලක් ඇතුළත් නැහැ. ඒ වගේම, සෘජු විදේශ ආයෝජන සේ ලැබුණු විදේශ විණිමයද ඇතුළත් නැහැ. එහෙත් පරණ ණය වල පොලී ලෙස හා ආයෝජන වල ප්‍රතිලාභ ලෙස රටින් ගෙන ගිය විදේශ විණිමය ඇතුළත්. ප්‍රාථමික ආදායම් ගිණුමේ තිබෙන්නේ එසේ රැගෙන ගිය ප්‍රමාණයයි.

මේ අනුව පැහැදිලි වන පරිදි, ජංගම ගිණුමේ අතිරික්තයක් පවතීනම් රටේ ශුද්ධ බැරකම් අඩු වීමක් සිදු වෙනවා. තේරෙන විදිහට කිවුවොත් විදේශ ණය අඩු වෙනවා. අලුතෙන් ණය ගැනීමක් සිදු වෙන්නේ පරණ ණය වාරික ගෙවීම සඳහා පමණයි.

පළමු මාස හය අවසානයේදී තත්ත්වය පිළිබඳ යම් තොරතුරු ඇතත් එම තොරතුරු සම්පූර්ණ නැහැ. එහෙත් යන දිශාව තේරුම් ගන්න අමාරු නැහැ. 

පළමු මාස හය ඇතුළත ආනයන වියදම් ලෙස ඩොලර් මිලියන 8,161ක් යද්දී අපනයන ආදායම් ලෙස ලැබී තිබෙන්නේ ඩොලර් මිලියන 5,871ක් පමණයි. ඒ අනුව, ඩොලර් මිලියන 2,289ක වෙළඳ ශේෂ හිඟයක් තිබෙනවා. ජංගම ගිණුමේ අතිරික්තයක් තිබියදී වෙළඳ ගිණුමේ මෙවැනි හිඟයක් තිබීම කිසිසේත්ම ප්‍රශ්නයක් නෙමෙයි. මෙම මාස හයක කාලය තුළ ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 2,823ක් ලැබී ඇති අතර සංචාරක ඉපැයීම් ලෙස තවත් ඩොලර් මිලියන 875ක් ලැබී තිබෙනවා. මාස හයක කාලය තුළ ගෙවුම් ශේෂයෙහි ඩොලර් මිලියන 1,958ක අතිරික්තයක් වාර්තා වී තිබෙනවා.

මේ තත්ත්වය ඉතා හොඳ තත්ත්වයක් බව පැහැදිලියි. එහෙත්, මේ තත්ත්වය තිරසාරද? 

මේ වන විටද ආනයන පාලන ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම, විදේශ ණය අපේක්ෂිත පරිදි ප්‍රතිව්‍යුහගත කළද ඉන් පසුව දැනට නොගෙවන ණය යම් ප්‍රමාණයක් ආපසු ගෙවන්නට සිදු වෙනවා. ඒ නිසා, දැනට පවතින සමතුලිතතාව මේ විදිහටම දිගටම පැවතීමේ ඉඩක් නැහැ. එම සමතුලිතතාව කොයි තරම් නරක පැත්තට යා හැකිද?

මේ වන විට, ජූලි මාසයේ නිල සංචිත ප්‍රමාණය ප්‍රකාශයට පත් වී තිබෙනවා. එම ප්‍රමාණය ඩොලර් මිලියන 3,762ක්. පෙර මාසයේ වූ ඩොලර් මිලියන 3,724ට සාපේක්ෂව ඩොලර් මිලියන 38ක සුළු (1%ක වැඩි වීමක්). මෙය ගිණිය හැකි වෙනසක් නෙමෙයි. ඒ අනුව, මාසය තුළ මහ බැංකුව විසින් විදේශ විණිමය වෙළඳපොළ තුල දැනෙන මැදිහත්වීමක් සිදු කර නැහැ. පෙර මාසය තුළ පැවතියේද එවැනිම තත්ත්වයක්. 

පසුගිය මාසය තුළ සිදු වූ විශේෂ දෙයක් වූයේ ඩොලර් මිලියන 791.4ක සංවර්ධන බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කරනු ලැබීමයි. විස්තර ප්‍රසිද්ධ කර නැතත්, මෙම ප්‍රමාණයෙන් සැලකිය යුතු කොටසක් වෙනුවට රුපියල් බැඳුම්කර ලබා ගෙන ඇතැයි සිතිය හැකියි. පවතින තත්ත්වයන් තුළ දේශීය ආයෝජකයින්ට වඩා වාසිදායක සේ පෙනෙන්නේ එම විකල්පයයි. මෙහිදී ඔවුන්ට අඩුව පුරවා ගැනීම සඳහා වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීමට සිදු වෙනවා. එහිදී ඩොලරයක මිල මත පීඩනය ඉහළ යනවා. ඊට අමතරව, ඩොලර් මිල දී ගැනීම සඳහා රුපියල් අවශ්‍ය වන නිසා රුපියල් හිඟ වී පොලී අනුපාතික මත පීඩනයද ඉහළ යනවා. කෙසේ වුවත්, දැන් මේ දෙකම සිදු වී අවසානයි.

ඩොලරයක මිල ඉහළ යද්දී මහ බැංකුව විසින් මැදිහත් වීමක් කර නැති බව දැන් පෙනෙනවා. යම් තරමකින් ඩොලරයක මිල ඉහළ යාමෙන් පසුව දැන් නැවතත් තරමක් අඩු වී තිබෙනවා. මේ සතියේදී පොලී අනුපාතික තුළින්ද මෙවැනිම නැඹුරුවක් පෙනෙන්නට ඉඩ තිබෙනවා. 

කෙසේ වුවත්, ඩොලරයක මිල හා අදාළව තවත් කම්පන කිහිපයක් සිදු විය යුතුයි. පළමුව, වාහන හැර අනෙකුත් ආනයන සඳහා පනවා ඇති සීමාවන් ඉවත් විය යුතුයි. මෙම කම්පනය විශාල කම්පනයක් වේයැයි මා සිතන්නේ නැහැ. දෙවනුව, ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව යම් කම්පනයක් ඇති වෙනවා. අවසාන වශයෙන් වාහන ආනයන වලට ඉඩ ලැබෙද්දී තවත් කම්පනයක් ඇති වෙනවා. මේ එක් එක් අවස්ථාවේදී ඩොලරයක මිල යම් තරමකින් ඉහළ යා යුතුයි. එය ක්ෂණිකව වඩා වැඩියෙන් ඉහළ ගොස් පසුව තරමක් අඩු වීමක් විය හැකියි. "කීයට විතර යයිද?" වගේ ප්‍රශ්න වලටනම් පිළිතුරු දෙන්න බැහැ. පාවෙන විණිමය ක්‍රමයක මූලධර්මය වන්නේම එසේ විනිමය අනුපාතිකය නිවැරදිව පුරෝකථනය කළ නොහැකි බවයි. 

මේ සියල්ල සිදු වීමෙන් පසුව, රජය විසින් අලුතෙන් විදේශ ණය ලබා ගනිමින් බැංකු පද්ධතිය වෙත පොම්ප නොකරන්නේනම්, බැංකු පද්ධතිය තුළ ඩොලර් ඉල්ලුම හා සැපයුම පහසුවෙන්ම තුලනය වෙනවා. ඒ නිසා, රටේ ඩොලර් හිඟයක් ඇති වෙන්නේ නැහැ. එහෙත්, පරණ ණය ආපසු ගෙවීම සඳහා රජයට දිගටම විදේශ ණය ගන්න සිදු වෙනවා. එම ඩොලර් ප්‍රමාණය වෙළඳපොළෙන් මිල දී ගැනීමේ හැකියාවක් නැහැ. 

බැංකු පද්ධතිය තුළ ඩොලර් ඉල්ලුම හා සැපයුම තුලනය වේනම් සීමා කිසිවක් නැතත් අපනයන ඕනෑවට වඩා වැඩි වීමේ ප්‍රශ්නයක් මතු වන්නේ නැහැ. ඩොලර් සැපයුමට වඩා ඉල්ලුම ඉහළ ගියහොත් ඩොලරයක මිල ඉහළ යයි. ඒ තත්ත්වය දිගටම පැවතුනොත් ඩොලරයක මිල දිගටම, ක්‍රමිකව ඉහළ යයි. එවිට රටේ සිටින ව්‍යවසායකයින් ඩොලර් ඉපැයිය හැකි ආකාර ගැන ස්වභාවික ලෙසම උනන්දු වෙයි. කෙටිකාලීනව කෙසේ වෙතත් දිගුකාලීනව මේ සඳහා අවශ්‍ය වන්නේ ජංගම ගිණුමේ තුලනය පවත්වා ගැනීම පමණයි. 

වෙබ් ලිපිනය: