Friday, December 26, 2025
ආර්ථිකය ගැන දුස් තොරතුරු පතුරවන ප්‍රචලිත ක්‍රම
Monday, December 22, 2025
පශ්චාත්-ආපදා සාර්ව ආර්ථික කළමනාකරණය
මේ වෙද්දී අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත් වෙලා මාස 15ක් ගත වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔහුගේ ධුර කාලයෙන් 25%ක් දැනටමත් ඉවරයි. මේ කාලය ඇතුළත ආණ්ඩුව විසින් කළ හා නොකළ දේවල් ගැනනම් කතා කරන්න සෑහෙන පරාසයක කරුණු තිබෙනවා. නමුත් මෙම සටහනෙහි අවධානය යොමු කරන්නේ පශ්චාත්-ආපදා සන්දර්භය තුළ මේ ආණ්ඩුවේ සාර්ව ආර්ථික කළමනාකරණය කියන තනි කාරණයට පමණයි.
සාර්ව ආර්ථික කළමනාකරණය කියද්දී එයින් රටේ මූර්ත අංශය, විදේශ අංශය, බැංකු හා මුදල් අංශය සහ රාජ්‍යමූල්‍ය අංශය කියන අංශ හතර අදහස් වෙනවා. මේ අංශ හතරෙන් වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් තිබෙන, ප්‍රජාතන්ත්‍රවාදී රටක රජයකට සෘජුව කළමනාකරණය කළ හැක්කේ රාජ්‍යමූල්‍ය අංශය පමණයි. එහෙත් රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති හරහා අනෙක් අංශ තුනට බලපෑම් කළ හැකියි. එවැන්නක් හිතාමතාම නොකළේ වුවද, රාජ්‍යමූල්‍ය කළමනාකරණය කරන ආකාරය ආර්ථිකයේ අනෙකුත් අංශ වලට බලපෑමක් කරනවා.
බැංකු හා මුදල් අංශය කළමනාකරණය කිරීමේ හැකියාවක් තියෙන්නේ මහ බැංකුවටයි. ස්වාධීන මහ බැංකුවක් තිබෙන රටක ආණ්ඩුවට මහ බැංකුවේ තීරණ වලට සෘජු මැදිහත්වීමක් කරන්න බැහැ. ඒ නිසා, බැංකු හා මුදල් අංශය හොඳින් ක්‍රියාත්මක වේනම් එහි ගෞරවය ලැබිය යුත්තේත්, හොඳින් හොඳින් ක්‍රියාත්මක නොවේනම් එයට වගකිව යුත්තේත් මහ බැංකුව මිස ආණ්ඩුව නෙමෙයි. එය එසේ නොවන්නේ මහ බැංකුව සතුව අවශ්‍ය පමණ ස්වාධීනත්වයක් නොමැති විටෙක පමණයි.
විශේෂයෙන්ම ලංකාව වැනි කුඩා ආර්ථිකයක් තිබෙන රාජ්‍යයක විදේශ අංශය කෙරෙහි රජයට හෝ මහ බැංකුවට කළ හැක්කේ ඉතා සීමිත බලපෑමක් පමණයි. ගොඩක් දේවල් තීරණය වෙන්නේ රටෙන් බාහිරව. අනෙක් අතට, මූර්ත අංශයේ ක්‍රියාකාරිත්වය රටේ හැම දෙනෙකුගේම ක්‍රියාකාරකම් වල සම්ප්‍රයුක්ත ප්‍රතිඵලයක් විදිහට තීරණය වන දෙයක්. මහ බැංකුවට සහ රජයට ඒ මත කළ හැකි බලපෑමද සීමිතයි.
මූර්ත අංශයේ වඩාත්ම වැදගත් සාර්ව ආර්ථික විචල්‍යය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රමාණය සහ එහි වර්ධන වේගය. එහෙමත් නැත්නම් ආර්ථික වර්ධන වේගය. රටක ආර්ථික වර්ධන වේගය කියා කියන්නේ ආණ්ඩුවකට සෘජුව පාලනය කළ හැකි දෙයක් නෙමෙයි. එසේ වුවත්, මෑතකදී මේ ආණ්ඩුව විසින් 7%ක ආර්ථික වර්ධන වේගයක් ඉලක්ක කරන කතාවක් කිවුවා. ඒ වගේ කතා එක්කෝ හිතාමතාම ගැලරිය චූන් කරන්න කියන කතා. එහෙම නැත්නම් වැරදි අවබෝධ වල ප්‍රතිඵල. වෙළඳපොළ ආර්ථිකයක් තිබෙන රටක ආණ්ඩුවකට ඒ විදිහට ආර්ථික වර්ධන වේගය තමන්ට අවශ්‍ය මට්ටමකට ගන්න බැහැ.
ආර්ථික වර්ධන වේගය ඉලක්ක කරන අදහස එන්නේ පැරණි සමාජවාදී ක්‍රමයෙන්. වඩාත් නිවැරදිව කිවුවොත්, රටේ සමස්ත නිෂ්පාදනයම මධ්‍යගත ලෙස සැලසුම් කළ සෝවියට් සමාජවාදී ක්‍රමයෙන්. ඒ ක්‍රමය තුළ පෞද්ගලික අංශයක් නැහැ. නිෂ්පාදනය සිදු වන්නේ විවිධ රාජ්‍ය ආයතන තුළයි. ඒ නිසා රජයට තමන්ගේ සෘජු පාලනය යටතේ තිබෙන එක් එක් ආයතනයට නිෂ්පාදන ඉලක්ක ලබා දෙන්න පුළුවන්. එහෙම ඉලක්ක ලබා දුන්නත්, අදාළ ආයතන වලට ඒ ඉලක්ක ලඟා කරගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අඩු වශයෙන් යම් නිෂ්පාදන මට්ටමක් ඉලක්ක කරන්න පුළුවන්. ඒ අනුව, සමස්ත ආර්ථික වර්ධන වේගයද ඉලක්ක කරන්න පුළුවන්.
නූතන වෙළඳපොළ ආර්ථිකයක් තුළ, රජයකට ඔය වැඩේ කරන්න බැහැ. චීනය වැනි, නිෂ්පාදන ආර්ථිකය තුළ සැලකිය යුතු රාජ්‍ය භාගයක් තිබෙන රටක රජයකට වුවද, සැලසුම් කර තමන්ට අවශ්‍ය වර්ධන වේගයක් ලබා ගන්න බැහැ. රටේ නිෂ්පාදනය තීරණය කරන්නේ තනි තනි ආයතන සහ පුද්ගලයින් විශාල ප්‍රමාණයක් විසිනුයි. මේ එක් එක් ආයතනයට වගේම ඇතැම් විට තනි පුද්ගලයින්ට පවා වර්ධන ඉලක්ක තියෙන්න පුළුවන්. නමුත් ඒ වර්ධන ඉලක්ක අතර පූර්ණ සම්බන්ධීකරණයක් නැහැ.
මධ්‍යගත සැලසුමක් තුළ වර්ධන වේගය සැලසුම් කළේ වුවද රටක සැබෑ වර්ධන වේගය විවිධ භෞතික කරුණු මත තීරණය වන්නක්. ඒ කරුණු සියල්ල රජයට පාලනය කළ නොහැකියි. ඒ නිසා, ඉලක්කයක් ලඟා කර ගැනීමේ හැකියාව එවැනි ඉලක්කයක් කොයි තරම් ප්‍රායෝගිකද කියන එක මත තීරණය වෙනවා. තනි පුද්ගලයින්ගේ හා ආයතන වල ඉලක්ක සැලකුවත් එය එහෙමයි.
රටක පවතින ප්‍රායෝගික භෞතික තත්ත්වයන් මත කෙනෙකුට රටේ ආර්ථික වර්ධනය පුරෝකථනය කළ හැකියි. මෙවැනි පුරෝකථන ආසන්නව නිවැරදියි. නමුත් ආර්ථික වර්ධනය හරියටම පුරෝකථනය කරන්න අමාරුයි.
රාජ්‍යමූල්‍ය හා මුදල් කළමනාකරණ ප්‍රතිපත්ති සකස් කරද්දී ආර්ථික වර්ධනය වැනි විචල්‍ය පිළිබඳ යම් පුරෝකථන අවශ්‍ය වෙනවා. ඒ පුරෝකථන සියයට සියයක්ම නිවැරදි විය යුතු නැහැ. මේවා පුරෝකථන මිසක් ඉලක්ක නෙමෙයි.
පසුගිය වසර 74 තුළ, ඒ කියන්නේ 1951-2024 අතර, ලංකාවේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය 4.1%ක් පමණයි. 1977න් පසු කාලය සැලකුවොත්, මෙම වේගය 4.4%ක්. ඒ කියන්නේ ඉතිහාසය දිහා බැලුවොත් ලංකාවේ දිගුකාලීන වර්ධන විභවය තියෙන්නේ ඔය ආසන්න මට්ටමක. ඊට වඩා වැඩි වර්ධන ඉලක්කයක් නිකම්ම ඉලක්කයක් පමණයි.
නමුත් ඔය වර්ධන වේගය පවත්වාගෙන ගිහින් තියෙන්නේත් දිගින් දිගටම විශාල වශයෙන් විදේශ ණය අරගන්නා අතරයි. ඒ විදේශ ණය වලින් ලැබුණු තල්ලුව මේ වර්ධන වේග ඇතුළේ තිබෙනවා. රටේ ආර්ථිකය විශාල අර්බුදයකට ගියේ මේ ණය චක්‍රය දිගින් දිගටම පවත්වා ගත නොහැකි නිසා. ආර්ථික අර්බුදයෙන් පසුව, මූල්‍ය අරමුදල විසින් ඇස්තමේන්තු කර තිබුණු දිගුකාලීන වර්ධන වේග විභවය 3.1%ක් පමණයි. ඔවුන් එම ඇස්තමේන්තුව තවමත් වෙනස් කර නැහැ.
පසුගිය (2024) වසරේදී ලංකාවේ ආර්ථිකය 5.0%කින් වර්ධනය වුනා. මේ (2025) අවුරුද්දේ පළමු මාස නවය තුළද 5.0%ක වර්ධනයක් දකින්න තිබෙනවා. නමුත් මේ සාපේක්ෂව ඉහළ වර්ධන වේගයෙන් පෙන්නුම් කරන්නේ පසුගිය වසර වලදී සංකෝචනය වූ ආර්ථිකය නැවත පෙර පැවති මට්ටමට පැමිණීම මිසක් සැබෑ වර්ධනයක් නෙමෙයි. ලංකාවේ ආර්ථිකය 2018 පැවති මට්ටමට නැවත පැමිණෙනු ඇත්තේ ඉදිරි (2026) වසරේදී හෝ ඇතැම් විට ඊටත් පසු (2027) වසරේදීයි. සැබෑ ආර්ථික ප්‍රසාරණයක් දකිනු හැකි වනු ඇත්තේ ඉන් පසුවයි. මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තු අනුව, ඉන් පසුව ලඟා කරගත හැක්කේ 3.1%ක වර්ධන වේගයක් පමණයි.
අනෙක් අතට මේ 3.1% වර්ධන වේගය නෛසර්ගික වර්ධන වේගයක්. ඒ වර්ධන වේගය ලඟා කරගැනීම සඳහා රජය විසින් කිසිවක් කළ යුතු නැහැ. රාජ්‍ය මැදිහත්වීම් නිසා කෙටිකාලීනව වර්ධන වේගය ඉහළ යන්න වගේම අඩු වෙන්නත් පුළුවන්. නමුත් එවැනි මැදිහත්වීම් වලින් දිගුකාලීනව වෙනසක් සිදු වන්නේ නැහැ.
ඉහත හේතුව නිසාම, දිත්වා සුළි කුණාටුව වැනි ස්වභාවික ව්‍යසනයකින් ආර්ථික වර්ධනය කෙරෙහි ඇති වන බලපෑමද තාවකාලික එකක්. වැඩිම වුනොත් මාස නවයකින් පමණ එම බලපෑම අවසන් වෙයි. රාජ්‍ය මැදිහත්වීම් වල උදවුවෙන් මේ කාලය තවත් කෙටි වෙන්න පුළුවන්. එසේ වුවද, මාස හයක් පමණ යන තුරුවත් සුළි කුණාටුව නිසා සිදු වූ හානියේ බලපෑම තිබෙනවා.
සුළි කුණාටුව පැමිණීමට පෙර රජය විසින් ගත් හෝ නොගත් ක්‍රියාමාර්ග පිළිබඳව විවිධ විවේචන තිබෙනවා. ඒ විවේචන පිළිබඳව විචාරයක් කිරීමට තරම් තොරතුරු මා සතුව නැහැ. කෙසේ වුවද, ආපදාවෙන් පසුව සාර්ව ආර්ථික කළමනාකරණය සැලකුවහොත්නම් ආණ්ඩුවට වරදක් කියන්න අමාරුයි. මේ කාරණයේදී ආණ්ඩුව වේගවත්ව කටයුතු කර තිබෙනවා.
හානිය හා අදාළ නිවැරදි හා පරිපූර්ණ තක්සේරුවක් තවමත් සිදු කර නැතත්, මීට පෙර සිදු වූ මෙවැනි ආපදා වල හානිය මත පදනම්ව මෙහි හානිය දදේනියෙන් 2.5%-5.0% අතර විය හැකි බව මූල්‍ය අරමුදල විසින් සලකා තිබෙනවා. ඒ කියන්නේ ඩොලර් බිලියන 2.5-5.0 අතර හානියක්. මෙය ඇතැම් අය සඳහන් කරන ඩොලර් බිලියන 6-7ක හානියට වඩා අඩුයි. මාධ්‍ය වාර්තා අනුව, හානිය පිළිබඳ ලෝක බැංකු තක්සේරුව ඩොලර් බිලියන 4.1%ක් වන අතර එයින් ඩොලර් බිලියන 1.735ක් පමණ යටිතල පහසුකම් වලට සිදු වී ඇති හානියයි.
ආපදාව වැඩිපුර බලපාන්නේ කෘෂිකාර්මික හා සංචාරක කර්මාන්ත වලටයි. එහෙත් මේ අංශ දෙකටම මාස හයක් ඇතුළත නැවත හිස එසැවිය හැකියි. ඒ අතරවාරයේ ආර්ථික වර්ධන වේගයේ අඩුවක් විය හැකියි. ඉදි කිරීම් කටයුතු ඉහළ යාම නිසා එම අඩුවෙන් කොටසක් නිශේධනය විය හැකියි. රටේ ආර්ථිකය නැවතත් දිගුකාලීන වර්ධන පථයට ලඟා වුවත්, එය සිදු වන අතරවාරයේ පහත යන නිෂ්පාදනය නිසා මම වසරේ අවසන් කාර්තුවේ සහ ඉදිරි වසරේ මුල් කාර්තු දෙකේ වර්ධන වේගයන් සීමා වීම පැහැදිලිව පෙනෙන්න තිබෙන දෙයක්. එහෙත් ඉදිරි වසරේ දෙවන භාගය තුළ නැවත ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙයි. ඒ නිසා, 2027හා ඉන් පසුව රටේ වර්ධන විභවයට මෙම සුළි කුණාටුවේ බලපෑම ඉතිරි වන්නේ නැහැ.
රජය සතුව ප්‍රමාණවත් ද්‍රවශීල රුපියල් සංචිතයක් ඇති බැවින් රුපියල් බිලියන 700ක පමණ රාජ්‍ය මැදිහත්වීම මුදල් වෙළඳපොළ අස්ථාවර කිරීමට හේතුවක් නැහැ. ඉදිරි වසරේ මුල් භාගය තුළ උද්ධමනය ඉහළ යාමක් සිදු විය හැකි වුවත් එම තත්ත්වය දිගුකාලීනව පවතින එකක් නැහැ. ඒ නිසා, මහ බැංකුවට විශේෂ මැදිහත් කිරීම් කිරීමට අවශ්‍ය වන්නේද නැහැ. කෙසේ වුවත්, රටේ විදේශ අංශයට දැනෙන බලපෑමක් තිබෙනවා.
මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තු අනුව දිත්වා හානියේ ප්‍රතිඵලයක් ලෙස ජංගම ගිණුමේ හිඟය ඩොලර් මිලියන 720කින් හෙවත් දදේනියෙන් 0.7%කින් පමණ ඉහළ යාමට නියමිතයි. ඒ මේ විදිහටයි.
සංචාරක ආදායම් පහත වැටීම - ඩොලර් මිලියන (-350)
ආනයන වියදම් වැඩි වීම - ඩොලර් මිලියන (-420)
ප්‍රේෂණ ඉහළ යාම - ඩොලර් මිලියන 50
එකතුව - ඩොලර් මිලියන (-720)
මේ අනුව, පශ්චාත්-ආපදා සාර්ව ආර්ථික කළමනාකරණය තුළ වඩාත් අසීරුම කාර්යය ඉහත ඩොලර් මිලියන 720ක මුදල සොයා ගැනීමයි. එය සිදු වන්නේ මේ ආකාරයටයි.
මූල්‍ය අරමුදලෙන් - ඩොලර් මිලියන 205
අනෙකුත් ජාත්‍යන්තර ආයතන වලින් - ඩොලර් මිලියන 400
විදේශ සංචිත වලින් - ඩොලර් මිලියන 115
එකතුව - ඩොලර් මිලියන 720
මේ අනුව, ඉහත විදේශ විණිමය ලැබීම් වල උදවුවෙන් ආපදාවෙන් පසුව විදේශ අංශයද ස්ථාවරව තියාගන්න පුළුවන්. යම් හෙයකින් විදේශ අංශය අස්ථාවර වුවහොත් ඩොලරයක මිල සැලකිය යුතු ලෙස ඉහළ යනවා. එහි ප්‍රතිඵලයක් ලෙස උද්ධමනයද ඉහළ යනවා. ඉතා ඉක්මණින් මූල්‍ය අරමුදලේ සහාය පැතීම මගින් මෙම ආපදාවෙන් පසුව නැවත ආර්ථිකය අස්ථාවර වීමේ විභවය රජය විසින් වළක්වාගෙන තිබෙනවා.
මෙවැනි තත්ත්වයක් තුළ මූල්‍ය අරමුදලෙන් ලැබෙන මුදලක වාසිය ඒ වෙනුවෙන් ගෙවිය යුතු පොලියේ පිරිවැය මත පමණක් පදනම්ව විනිශ්චය කිරීම නිවැරදි නැහැ. මෙහිදී වඩාත්ම වැදගත් වන්නේ මූල්‍ය අරමුදලෙන් ලැබී ඇති සහතිකය සමඟ ලැබෙන ස්ථාවරත්වයයි. දෙවනුව, අනෙකුත් ජාත්‍යන්තර ආයතන වලින් ලැබෙන මුදල් ලැබෙනු ඇත්තේද එකම පැකේජයක කොටසක් ලෙසයි.
මෙම තත්ත්වය තුළ ඉදිරි දෙවසර සඳහා දැනට මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කර ඇති විදේශ සංචිත ඉලක්ක ඒ අයුරින්ම ලඟා කරගැනීමට හැකි වීමේ ඉඩක් පෙනෙන්නට නැහැ. එම ඇස්තමේන්තු බොහෝ විට ඉදිරි විමර්ශනයේදී යාවත්කාලීන වෙයි. මේ අතර නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥයෙකු වන ජෝසප් ස්ටිග්ලිට්ස් විසින් ආපදාව හමුවේ ශ්‍රී ලංකාවට ණය සහනයක් ලබා දිය යුතුයැයි යෝජනා කර තිබෙනවා. මගේ අදහස වනුයේ එවැනි ණය සහනයකින් දිගුකාලීනව රටේ ණය තිරසාරත්වය මත ඇති විය හැකි බලපෑම අනුව එවැනි සහනයක් සැබෑ සහනයක් නොවිය හැකි බවයි.
ඉහත විස්තර කළ සැලසුම අනුව ඉදිරි වසරේ ජංගම ගිණුම තුලනය කර ගත හැකිනම් රටේ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ අවදානමක් නැහැ. යම් හෙයකින් විදේශ සංචිත වල සුළු අඩු වීමක් සිදු වුවද එමගින් 2022 ආර්ථික අර්බුදය වැනි තත්ත්වයක් නිර්මාණය වන්නේ නැහැ. එම අවස්ථාවේදී ප්‍රශ්නය ඔඩු දිවීමට හේතු වූයේ අවශ්‍ය අවස්ථාවේදී මූල්‍ය අරමුදලේ සහාය නොපැතීම, විණිමය අනුපාතය නිදහස් නොකිරීම, පොලී අනුපාතික වැඩි නොකිරීම වැනි සාධකයි.
Friday, August 8, 2025
රුපියල් ට්‍රිලියනයේ සංචිතය කුමක්ද?
ජනාධිපති අනුර කුමාර දිසානායක රුපියල් ට්‍රිලියනයක සංචිතයක් ගැන කිවුවනේ. මේ සංචිතය කුමක්ද?
සංචිතය කියා කියද්දී ගොඩක් අයට එකවර මතක් වෙන්නේ රටේ නිල විදේශ සංචිතයනේ. නමුත් මේ කියන්නේ විදේශ සංචිතය ගැන නෙමෙයි. විදේශ සංචිතය රුපියල් වලින් ගණන් හැදුවොත් ට්‍රිලියන 1.8කටත් වඩා වැඩියි.
සංචිතයක් කියන එකෙන් අදහස් වෙන්නේ කිසියම් ආපදාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා එකතු කර තබා ගන්නා දෙයක් කියන එක. එවැන්නක් තෙල් සංචිතයක් හෝ හාල් සංචිතයක් වැනි භාණ්ඩ සංචිතයක් වෙන්න පුළුවන්. එසේ නැත්නම් අරමුදල් සංචිතයක් වෙන්න පුළුවන්.
අරමුදල් සංචිතයක් රුපියල් වලින් හෝ විදේශ මුදල් වලින් තියා ගන්න පුළුවන්. රටේ නිල විදේශ සංචිතය විදේශ මුදල් වලින් තබා ගන්නා සංචිතයක්. නිල විදේශ සංචිතයට අමතරව වාණිජ බැංකු සහ වෙනත් ආයතන හා පුද්ගලයින් සතුවත් විදේශ මුදල් වලින් සංචිත තිබෙනවා. රුපියල් සංචිතනම් රටේ බොහොමයක් ආයතන හා පුද්ගලයින් සතුව තිබෙනවා. සරලව කිවුවොත් ඔබේ බැංකු ගිණුමේ ශේෂය ඔබ විසින් පවත්වාගෙන යන රුපියල් සංචිතයක්.
ආපදාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා අරමුදල් සංචිතයක් පවත්වා ගැනීම ඕනෑම පුද්ගලයෙක් හෝ ආයතනයක් විසින් කළ යුතු දෙයක්. තමන්ගේ ආදායමෙන් හතරෙන් එකක් ආපතික සංචිතයක් ලෙස පවත්වා ගත යුතු බව සිඟාලෝවාද සූත්‍රයේ පවා කියලා තියෙන දෙයක්නේ.
නමුත් පසුගිය දශක ගණනාවක් පුරාම ශ්‍රී ලංකා රජය සතුව ඔය විදිහේ ආපතික සංචිත අරමුදලක් තිබුණේ නැහැ. ඒ නිසාම, අපිට මේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයක් වී තිබුණත්, ඇත්තටම මේ තත්ත්වය ඉතාම අසාමාන්‍ය තත්ත්වයක්. සාමාන්‍යයෙන් ඕනෑම රජයක් හදිසියකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා ආපතික සංචිතයක් නඩත්තු කරනවා. ණය නැති රටක් සේ සැලකිය හැකි සිංගප්පූරුව වැනි රටක් සැලකුවත්, ලෝකයට හා රටට විශාල ලෙස ණය ඇමරිකාව වැනි රටක් සැලකුවත්, එම රටවල් සතුව විශාල ආපතික සංචිත තිබෙනවා.
නිදහස ලැබෙන තුරු වගේම නිදහස ලැබී යම් කාලයක් යන තුරුත් ශ්‍රී ලංකා රජය සතුව මෙවැනි ආපතික සංචිත තිබුණා. නමුත් කල් යද්දී ඒ ආපතික සංචිත නඩත්තු කිරීම නැවතිලා හදිසියකට පවා මහ බැංකුවෙන් ණය ගන්නා තත්ත්වයකට ශ්‍රී ලංකා රජය පත් වුනා. මහින්ද සිරිවර්ධන - රනිල් වික්‍රමසිංහ කාලයේ ඔය තත්ත්වය නැවත වෙනස් කරන තුරු ශ්‍රී ලංකා රජය සතුව ආපතික සංචිතයක් කියා එකක් තිබුණේම නැහැ.
රජයක් ණය ගන්න සාමාන්‍යම ක්‍රමය භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන එකනේ. නමුත් භාණ්ඩාගාර බිල්පත් විකිණීම හා මිල දී ගැනීම කියන්නේ පාර්ශ්ව දෙකක් අතර සිදු වෙන ගනුදෙනුවක්. රජයට ණය ගන්න අවශ්‍යයි වගේම ඔය භාණ්ඩාගාර බිල්පත් ආයෝජන සිදු කරන අයට ඒ ආයෝජන අවස්ථාවත් අවශ්‍යයි. සාමාන්‍ය මූලධර්මයක් විදිහට ණය දීම සඳහා රජයක් තරම් සුරක්ෂිත වෙනත් ආයතනයක් නැහැ. ලංකාවේ රජය විසින් සිදු කළාක් මෙන් ණය පැහැර හැරීම්ද සිදු වුවත්, එවැනි දේ වෙන්නේ කලාතුරකින්.
ඉහත හේතුව නිසා සාමාන්‍යයෙන් රජයකට භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් ඉතා අඩු පොලියකට අරමුදල් සපයා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඇමරිකන් රජය විසින් නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්න ඇමරිකාවේ වගේම ලෝකය පුරාම ඉන්න ආයෝජකයෝ පොර කනවා. ඒ නිසා ඇමරිකන් රජයට ඉතා අඩු පොලියකට ණය ලැබෙනවා.
කිසියම් රටක පොලී අනුපාතික ආකෘතියම තීරණය වෙන්නේ භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික මත පදනම්වයි. භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික පහළ මට්ටමක තියාගන්න පුළුවන්නම් අනෙක් පොලී අනුපාතික සියල්ලද පහළ යනවා. එය පොදුවේ ආයෝජන හා ව්‍යවසායකත්වය දිරිමත් කරනවා. ආර්ථික වර්ධනයට හේතු වෙනවා.
ඇමරිකන් ෆෙඩරල් රජය ආදායමට වඩා වියදම් කරන නිසා කොහොමටත් ණය ගන්න වෙනවා. නමුත් සිංගප්පූරු රජය සැලකුවොත් එසේ ණය ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ වුනත්, සිංගප්පූරු රජය පවා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනවා. ඒ කියන්නේ ණය ගන්නවා. මීට හේතුව සිංගප්පූරු රජයට ඉතා අඩු පොලියකට ණය ලබා ගැනීමේ විභවයක් තිබීමයි. මේ විදිහට එකතු කර ගන්නා අරමුදල් සිංගප්පූරු රජය විසින් ආයෝජනය කරලා ගෙවිය යුතු පොලිය ඉක්මවා යන ප්‍රතිලාභයක් ලබා ගන්නවා. ඊට අමතරව, භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික පහළ මට්ටමක තිබෙන නිසා, සිංගප්පූරුවේ අනෙක් පොලී අනුපාතිකත් පහළ මට්ටමක නඩත්තු වෙනවා.
ලංකාවේ භාණ්ඩාගාර බිල්පත් වලට රටෙන් පිටත ඉල්ලුමක් නැති තරම්. ඉල්ලුමක් තිබුණත් එය ඉතාම කුඩා ඉල්ලුමක්. මේ වන විට නිකුත් කර තිබෙන බිල්පත් හා බැඳුම්කර ප්‍රමාණය සැලකුවොත්, 99.4%ක්ම විකිණිලා තියෙන්නේ රට ඇතුළේ. ඕක තමයි සාමාන්‍ය තත්ත්වය.
රට ඇතුළේ කියා කිවුවත්, බිල්පත් හා බැඳුම්කර වල ආයෝජනය කරන්නේ රටේ සීමිත පිරිසක්. මෑතක් වන තුරුම ගොඩක් අය මේ ආයෝජන අවස්ථා ගැන දැනගෙන හිටියේම නැති තරම්. බැංකු සාමාන්‍යයෙන් බිල්පත් හා බැඳුම්කර ගැන පාරිභෝගිකයින් දැනුවත් කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් කරන්නේ අඩු පොලියකට තැන්පතු එකතු කරගෙන ලාබයක් තියාගෙන බිල්පත් හා බැඳුම්කර වල ආයෝජනය කරන එකයි. ගොඩක් වෙලාවට රජය නිකුත් කරන බිල්පත් හා බැඳුම්කර මිල දී ගන්නේ සීමිත පාරිභෝගිකයින් පිරිසක් විසින්.
ඉහත තත්ත්වය තුළ ලංකාවේ බිල්පත් හා බැඳුම්කර ආයෝජකයින්ට කාටලයක් සේ ක්‍රියාකිරීමේ යම් හැකියාවක් තියෙනවා. ඒ හරහා පොලී අනුපාතික වැඩි කරගන්න පුළුවන්. මෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙස සමස්තයක් ලෙස ණය පොලී අනුපාතික ඉහළ යාමක්ද සිදු වෙනවා. ඒ වගේම, බිල්පත් හා බැඳුම්කර පොලී අනුපාතික ඉහළ මට්ටමක තිබීම කොටස් වෙළඳපොළ වර්ධනයටද බාධාවක්. අවදානම අඩු ආයෝජනයකින් වැඩි ප්‍රතිලාභ ලැබෙද්දී අවදානම වැඩි ආයෝජන කරන්න තිබෙන පෙළඹවීම අඩුයි.
ශ්‍රී ලංකා රජය සතුව කාලයක් තිස්සේම කිසිදු ආපතික සංචිතයක් නොතිබීම මේ තත්ත්වයට විශාල ලෙස දායක වී තිබෙනවා. අතේ සතයක් නැතුව වෙන්දේසියට යනවා කියන්නේ, රෑට කන්න හාල් ගන්න සල්ලි නැතුව කරාබු දෙක උගස් කරන්න පොලී මුදලාලි ළඟට යනවා වගේ වැඩක්. හෙට්ටු කර කර ඉන්න පුළුවන්කමක් නැහැ. අතේ කිසියම් සංචිත මුදලක් තිබෙනවානම්, සල්ලි තියාගන්න කියලා ආපහු හැරිලා එන්න පුළුවන්. ශ්‍රී ලංකා රජයට පහුගිය කාලය මුළුල්ලේම ඔය ක්‍රමයට බිල්පත් හා බැඳුම්කර ආයෝජකයින් එක්ක හැප්පිලා පොලී අනුපාතික අඩු කර ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ.
නමුත් ශ්‍රී ලංකා රජය සතුව බිල්පත් හා බැඳුම්කර ආයෝජකයින් එක්ක හැප්පෙන්න පුළුවන් වෙනත් ආයුධයක් තිබුණු නිසා මේක ලොකු ප්‍රශ්නයක් වුනේ නැහැ. ඒ තමයි මහ බැංකුවට බිල්පත් විකිණීම. බිල්පත් ආයෝජකයින් විසින් ඕනෑවට වඩා වැඩි පොලියක් ඉල්ලන සේ පෙනුණු විට රජය කළේ බිල්පත් ඔවුන්ට නොවිකුණා මහ බැංකුවට විකුණන එක. මේ විදිහට මහ බැංකුව විසින් බිල්පත් මිල දී ගන්නවා කියා කියන්නේ සල්ලි අච්චු ගැහීම බව අපි දන්නවනේ.
ශ්‍රී ලංකා රජය විසින් මහ බැංකුවෙන් ණය ගත්, ඒ කියන්නේ සල්ලි අච්චු ගැසීමට හේතු වුනු, එකම ආකාරය මහ බැංකුවට බිල්පත් විකිණීම නෙමෙයි. කාලයක් තිස්සේම මහ බැංකුවේ තිබුණු ශ්‍රී ලංකා රජයේ ගිණුම තිබුණේ අයිරා (overdraft) තත්ත්වයේ. ආර්ථික අර්බුදයට ආසන්න කාලයේදී ඔය විදිහට ශ්‍රී ලංකා රජය විසින් මහ බැංකුවෙන් ණය ගැනීම උපරිමයකට ගියා. එහි ප්‍රතිඵලය අපි දන්නවනේ.
ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන කරන්න අවශ්‍ය වුනේ ඔය තත්ත්වයන් එක්කයි. පෙර ලිපි වල පැහැදිලි කර ඇති පරිදි, එයින් මූලික වශයෙන් අදහස් කරන්නේ මහ බැංකුවට හිතේ හැටියට වැටුප් වැඩි කරගැනීමට හැකි වීම හෝ රටට වග කියන්නේ නැතුව හිතුමතේට කටයුතු කරන්න බලපත්‍රයක් දුන්නා කියන එක නෙමෙයි. ලබා දී තිබෙන උද්ධමන ඉලක්කය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වන ප්‍රමාණයට හැර රජයේ අයවැය හිඟය පියවීමට හෝ රජයට අඩු පොලියට ණය ලබා ගැනීම සඳහා පහසුකම් සැලසීමට සල්ලි අච්චු ගැසීමට බල කිරීමක් තවදුරටත් සිදු නොවන බවයි.
රටේ ආර්ථිකය අර්බුදයට යද්දී ශ්‍රී ලංකා රජය විසින් මහ බැංකුවට රුපියල් බිලියන 2,368.4ක බිල්පත් විකුණා තිබුණා. බැංකු අයිරාව රුපියල් බිලියන 344.7ක් වෙලා තිබුණා. ඒ කියන්නේ මහ බැංකුව විසින් ඒ වෙද්දී රුපියල් ට්‍රිලියන 2.7ක් අච්චු ගහලා රජයට ලබා දී තිබුණා. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරද්දී මෙම ණය වලින් වැඩි කොටසක් (රුපියල් බිලියන 2,492ක්) භාණ්ඩාගාර බැඳුම්කර බවටත්, ඉතිරිය (රුපියල් බිලියන 220.8ක්) භාණ්ඩාගාර බිල්පත් බවටත් පර්වර්තනය කෙරුණා. රජය විසින් මහ බැංකුවෙන් ලබාගත් ණය බැඳුම්කර බවට පරිවර්තනය කිරීම නිසා රජයට එම ණය ආපසු ගෙවීම සඳහා 2038 වසර දක්වා වන දීර්ඝ කාලයක් ලැබුණා. නමුත් ණය එලෙසම තිබෙනවා.
ඔය විදිහට මහ බැංකුවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සමාන්තරව මහ බැංකුව ස්වාධීන වීමත් සිදු වුනානේ. දැන් මහ බැංකුවට බිල්පත් වෙන්දේසියට මැදිහත් වෙන්න බැහැ. ඒ නිසාම, කලින් විස්තර කළ බිල්පත් ආයෝජකයින් එක්ක හෙට්ටු කිරීමේ බලය රජයට නැති වුණා. තිබුණු ආයුධය සල්ලි අච්චු ගැසීමේ හැකියාවනේ. ඔය තත්ත්වයත් එක්ක බිල්පත් ආයෝජකයින්ට වැඩි පොලියක් ඉල්ලා සිටීමේ ඉඩකඩක් ඇති වුණා.
මේ තත්ත්වයට මුහුණ දෙන්නනම් නැති වුනු ආයුධය වෙනුවට අලුත් ආයුධයක් හොයා ගන්න අවශ්‍ය වුණා. මහින්ද සිරිවර්ධන - රනිල් වික්‍රමසිංහ කාලයේදී නැවත ගොඩ නගා ගත්ත රුපියල් සංචිතය කියන්නේ මේ ආයුධය. මේ ආණ්ඩුව බලයට පත් වෙද්දී රුපියල් බිලියන 650ක සංචිතයක් හදලා මේ ආණ්ඩුවට භාර දීලයි කලින් ආණ්ඩුව ගෙදර ගිහින් තියෙන්නේ. අනුර කුමාර දිසානායක ඔහුගේ කතාවේදී කලින් ආණ්ඩුවට මේ වෙනුවෙන් ස්තුති කරනවා.
රනිල් ගෙදර ගියත් මහින්ද සිරිවර්ධන තවත් කාලයක් මේ ආණ්ඩුව එක්ක වැඩ කළානේ. ඒ කාලයේදී මේ සංචිතය තවත් වැඩි වෙන්න ඇති. අනුර කුමාරගේ කතාව අනුව මේ වෙද්දී සංචිතය රුපියල් ට්‍රිලියනය ඉක්මවා ගොස් තිබෙනවා.
මේ විදිහේ සංචිතයක් හදා ගත්තට පස්සේ එය පවත්වා ගෙන යන එක සහ වැඩි කර ගන්න එක සාපේක්ෂව පහසුයි. නමුත් මුලින්ම එවැන්නක් ගොඩ නගා ගන්න එක ඉතාම අසීරු වැඩක්. සංචිතය හදන්න වෙන්නෙම ණය අරගෙන. ඒ සඳහා වියදමට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් ණය ගන්න සිදු වෙනවා. ණය වැඩියෙන් ගන්න උත්සාහ කරද්දී හෙට්ටු කිරීමේ හැකියාව අඩු වෙන නිසා වැඩි පොලියක් ගෙවන්න වෙනවා. නමුත් කොහොම හරි අමාරුවෙන් සංචිතය හදා ගත්තට පස්සේ හෙට්ටු කිරීමේ හැකියාව විශාල ලෙස ඉහළ යනවා. ඒ නිසා මේ වැඩේ කාගේ අදහසක් වුනත් ඉතාම දූරදර්ශී වැඩක්.
ඔය සංචිතය ගොඩ නගන කාලයේම තමයි ප්‍රාථමික අයවැය ශේෂය අතිරික්තයක් බවට පත් කරගනු ලැබුවේ. එවැන්නක් සිදු නොවුනානම් මේ වගේ සංචිතයක් හදාගන්න එක හීනයක් වෙන්න තිබුණා. නමුත් ප්‍රාථමික අයවැය ශේෂය අතිරික්තයක් වීම නිසා මෙය කළ හැක්කක් බවට පත් වුනා. ඒ මෙහෙමයි.
රජයේ පැත්තෙන් ණය ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා වගේම ආයෝජකයින්ගේ පැත්තෙන් රජයට ණය දීමේ අවශ්‍යතාවයකුත් තියෙනවා කියලා මම කලින්ම කිවුවනේ. රජයට බිල්පත් විකිණිය හැක්කේ රට ඇතුළේම බව ඇත්ත. ඒ වගේම අනෙක් පැත්තෙන් ඔය බිල්පත් ආයෝජකයින්ටත් වෙන විකල්ප නැහැ. බිල්පත් ගන්නම වෙනවා.
උදාහරණයක් විදිහට අපි හිතමු කවුරු හෝ බිල්පත් ආයෝජකයෙක් සතුව රුපියල් බිලියන 100ක් තියෙනවා කියලා. දැන් මේ සල්ලි 10% පොලියට බිල්පත් වල ආයෝජනය කරනවා. වසරකට පසුව, රජයෙන් රුපියල් බිලියන 110ක් ලැබෙනවා. ඔය රුපියල් බිලියන 110ම නැවත බිල්පත් වල ආයෝජනය කළේ නැත්නම් ඒ සල්ලි ආයෝජනය කරන්න වඩා හොඳ විකල්පයක් නැහැ. ඒ නිසා, රජයට පහසුවෙන්ම ඔය රුපියල් බිලියන 110 ණය විදිහට ලබා ගන්න පුළුවන්.
අපි හිතමු රජයේ ප්‍රාථමික අයවැය හරියටම තුලනය වුනා කියලා. දැන් රජයේ ආදායම් සහ පොලී ගෙවීම් හැර අනෙක් වියදම් හරියටම ගැලපිලා. අලුතෙන් ණය ගන්න අවශ්‍ය වෙන්නේ පරණ ණය හා පොලී ගෙවන්න පමණයි. කලින් උදාහරණය ගත්තොත් රුපියල් බිලියන 100ක ණය සහ ඒ වෙනුවෙන් පොලිය ලෙස රුපියල් බිලියන 10ක් ගෙවන්න රුපියල් බිලියන 110ක් අලුතෙන් ණයට ගන්න අවශ්‍යයි. මොකද ආදායමෙන් වියදම් අඩු වුනාට පස්සේ ණය හෝ පොලී ගෙවන්න ඉතිරියක් නැහැ. ඒ වගේම, ප්‍රාථමික අයවැය හරියටම තුලනය වෙලා නිසා ඔය රුපියල් බිලියන 110ට වඩා වැඩියෙන් ණය අවශ්‍ය වෙන්නෙත් නැහැ.
අපි හිතමු කිසියම් සතියක රජයට ගන්න අවශ්‍ය මුළු ණය ප්‍රමාණය ඔය රුපියල් බිලියන 110 පමණක් කියලා. දැන් රජය වෙන්දේසියට යන්නේ හරියටම ඔය රුපියල් බිලියන 110 වෙළඳපොළෙන් එකතු කර ගන්නයි. ඒ සල්ලි අවශ්‍ය වන්නේ කල් පිරෙන බිල්පත් වල මුල් මුදල සහ පොලිය පියවන්න. නමුත් ඒ සල්ලි ලබාගන්නා ආයෝජකයින්ට සල්ලි ගෙදර අරන් යන්න අවශ්‍ය නැහැ. ඔවුන්ට අවශ්‍ය වන්නේ ලැබෙන මුළු මුදලම නැවත ආයෝජනය කරන්නයි. හරියට ස්ථිර තැන්පතුවක් අලුත් කරනවා වගේ. ඒ නිසා ඔවුන් වෙන්දේසියට එන්නේත් මොන විදිහෙන් හරි රජයට රුපියල් බිලියන 110ක් ණයට දෙන්නම බලාගෙනයි.
ඉහත පැහැදිලි කළ පරිදි, රජයේ ප්‍රාථමික අයවැය හරියටම තුලනය වෙලානම්, බිල්පත් වෙන්දේසියේ විකිණුම්කරු වන රජය සහ ගැනුම්කරුවන් අතර තුලනයක් තිබෙනවා. එක් පාර්ශ්වයකට වැඩිපුර හෙට්ටු කිරීමේ බලයක් නැහැ. නමුත් ප්‍රාථමික අයවැය තුලනය වෙලා නැත්නම් තත්ත්වය වෙනස්.
අපි හිතමු ඔය රුපියල් බිලියන 110ට අමතරව ප්‍රාථමික අයවැය හිඟය පියවා ගැනීම සඳහා රජයට තවත් රුපියල් බිලියන 20ක් අවශ්‍යයි කියලා. දැන් රජය වෙන්දේසියට එන්නේ රුපියල් බිලියන 130ක් එකතු කරගන්න බලාගෙන. නමුත් ගැනුම්කරුවන්ට කෙසේ හෝ ආයෝජනය කරන්න අවශ්‍ය වන්නේ රුපියල් බිලියන 110ක් පමණයි. ඉතිරි රුපියල් බිලියන 20 ලබා ගන්නනම් ඒ සඳහා ඔවුන් පොළඹවා ගත හැකි තරමේ ඉහළ පොලියක් ගෙවන්න වෙනවා. හෙට්ටු කිරීමේ බලය තියෙන්නේ ගැනුම්කරුවන් අතේ.
ප්‍රාථමික අයවැය ශේෂය අතිරික්තයක් වූ ගමන් ඔය තත්ත්වය කණපිට හැරෙනවා. අපි හිතමු අතිරික්තය රුපියල් බිලියන 20ක් කියලා. දැන් රජයට අවශ්‍ය වන්නේ රුපියල් බිලියන 90ක් පමණයි. නමුත් ආයෝජකයින්ට රජයට රුපියල් බිලියන 110ක් ණය දෙන්න අවශ්‍යයි. හෙට්ටු කිරීමේ බලය තියෙන්නේ රජය අතේ. රුපියල් සංචිතය ගොඩ නගා ගන්න පුළුවන් වුනේ ඔන්න ඔය තත්ත්වයෙන් ප්‍රයෝජන අරගෙනයි.
රුපියල් සංචිතය හදා ගත්තට පස්සේ රජය සතු හෙට්ටු කිරීමේ හැකියාව විශාල ලෙස ඉහළ යනවා. මේ අතින් මෙය රජයට මහ බැංකුවට බිල්පත් විකුණන්න පුළුවන් වූ කාලයේදී පැවති තත්ත්වයට සමානයි. අපි හිතමු මේ අතිරික්ත අරමුදල් තියෙන්නේ මහ බැංකුවේම ගිණුමක කියලා. මම හිතන විදිහට ඇත්තම තත්ත්වයත් ඒකයි. දැන් කිසියම් වෙන්දේසියක් සඳහා ඉදිරිපත්ව තිබෙන ලංසු ඕනෑවට වඩා වැඩියි වගේ පේනවානම් මහ බැංකුවට පුළුවන් ඉස්සර වගේම බිල්පත් මිල දී ගන්න. හැබැයි ඒ විදිහට බිල්පත් මිල දී ගන්නේ මහ බැංකුවේ සල්ලි වලින් නෙමෙයි. ඒ කියන්නේ අච්චු ගහපු සල්ලි වලින් නෙමෙයි. රජයේම සල්ලි වලින්.
මේ ක්‍රමය ඉතාම සාර්ථක ක්‍රමයක්. මෑතකාලීන වෙන්දේසි වලදී පොලී අනුපාතික ස්ථාවරව තබාගෙන යාමට හැකි වී තිබෙන්නේ ඔය රුපියල් සංචිතයේ උදවුවෙන්. රනිල් හෝ මහින්ද සිරිවර්ධන මේ ගැන කවදාවත් හොඳ සන්නිවේදනයක් කළේ නැහැ. මහින්ද සිරිවර්ධන විසින් යම් සන්නිවේදනයක් කළත් එය හොඳ සන්නිවේදනයක් කියා කියන්න බැහැ.
මේ වෙද්දී අනුර කුමාර දිසානායක කුප්පිය දාගෙන තියෙනවා වගේම මේ වැඩේ ඉදිරියට ගෙන යාමේ වැදගත්කම තේරුම් අරගෙන තියෙනවා. ඊට අමතරව පොදුවේ ස්ථායිකරණ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමේ වැදගත්කමත් හොඳින් අවබෝධ කරගෙන ඇති බව පේනවා. රනිල්ට සාපේක්ෂව හොඳ සන්නිවේදකයෙක් වන ඔහුට මේ වගේ දේවල් තේරුම් ගන්න යම් කාලයක් අවශ්‍ය වුනත්, තේරුම් ගැනීමෙන් පසුව තේරුම් ගත් දෙය හොඳින් සන්නිවේදනය කළ හැකියි.
රටේ ණය බර සැලකිය යුතු තරම් අඩු වන තුරු ප්‍රාථමික අයවැය අතිරික්තය අවශ්‍ය අවම මට්ටමේ හෝ ඊට වඩා ඉහළින් තබා ගැනීමේ වැදගත්කම ඔහු විසින් පැහැදිලිව අවධාරණය කර තිබෙනවා වගේම ඒ සඳහා වන කැපවීම ප්‍රකාශිතව ඉදිරිපත් කර තිබෙනවා. මෙයින් අදහස් වන්නේ දැනට රුපියල් ට්‍රිලියනයක් වී ඇති මහා භාණ්ඩාගාරයේ රුපියල් සංචිතය තවත් වැඩි කර ගැනීමේ හැකියාවක් ඇති බවයි.
මෙම රුපියල් සංචිතය ඉහළ යන තරමට පොලී අනුපාතික ස්ථාවර, පහළ මට්ටමකට තබා ගැනීමේ හැකියාවද ඉහළ යනවා. එය ආර්ථික වර්ධනයට උදවුවක්. මේ මොහොතේ දුරස්ථ ඉලක්කයක් වුවත්, කාලයක් එක දිගට මෙම රුපියල් සංචිතය ගොඩ නගා ගත හැකිනම්, එයින් කොටසක් විදේශ මුදල් බවට හරවා ගන්න වුනත් පුළුවන්. සිංගප්පූරුව කළේ එයයි.
දැනටනම් විදේශ සංචිත ගොඩ නගා ගැනීම මහ බැංකුව හමුවේ තිබෙන අභියෝගයක්. එහෙත්, ඉතා දුරස්ථ ඉලක්කයක් වුවත්, යම් සීමාවකින් පසුව මහ බැංකුවට තව දුරටත් විදේශ සංචිත වැඩි කරගැනීමට නොහැකි මට්ටමක් එනවා. ඊට හේතුව විදේශ සංචිත වැඩිවීම කියන්නේද මහ බැංකුවේ සංචිත මුදල් වැඩිවීම වීමයි. රජය විසින් විදේශ සංචිත පවත්වා ගැනීම එවැනි තත්ත්වයක් යටතේ වුවද කළ හැකි දෙයක්. ප්‍රමාණවත් රුපියල් සංචිත ගොඩ නගා ගැනීම ඒ සඳහා අවශ්‍ය වන මූලික පියවරක්.
Thursday, January 23, 2025
මෝල්හිමියෝ වී හංගනවද?
ලංකාවේ වී මෝල්හිමියන්ගේ මාෆියාවක් ඇති බවත්, අස්වනු කැපෙද්දී වී මෝල්හිමියන් විසින් කුණු කොල්ලයට මිල දී ගන්නා වී තොග පසුව සහල් කර අධික ලාබයක් තියාගෙන විකුණන බවත් ජනප්‍රිය කතාවක්. මේ කතාව "පොදු ජනයාගේ" කතාවක් මිස මාලිමාවේ කතාවක් නොවුනත්, මාලිමාව විසින් කාලයක් තිස්සේ මේ ජනප්‍රිය අදහස උස්සාගෙන ගියා. මාලිමාවට ප්‍රතිවිරුද්ධ සම්ප්‍රදායික දේශපාලන කඳවුරද අඩු වැඩි වශයෙන් මේ අදහස වෙනුවෙන් පෙනී සිට ඇති බවත් මෙහිදී මතක් කළ යුතුයි.
වෙළඳපොළ ක්‍රියාකාරිත්වය හා අදාළ මූලික සිද්ධාන්ත පිළිබඳ දැනුමක් ඇති අයෙකුට මෙවැන්නක් සිදු විය නොහැකි බව තේරුම් ගැනීම සඳහා හමුදාව සමඟ ගොස් වී මෝල් පරීක්ෂා කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. වී නිෂ්පාදනය සහ සහල් පරිභෝජනය පිළිබඳ දත්ත සියයට සියයක් නිවැරදිව අවශ්‍ය වන්නේත් නැහැ. වෙළඳපොළ මිල ගණන් නිරීක්ෂණය කිරීමෙන් පමණක් පහසුවෙන්ම පිළිතුර හොයා ගන්න පුළුවන්.
එහෙත්, මේ අයුරින් වෙළඳපොළ මිල ගණන් නිරීක්ෂණය කර ඉහත ප්‍රශ්නයට පිළිතුර සොයා ගැනීම සඳහා එක්කෝ යම් තරමකින් වියුක්ත ලෙස සිතන්නට හැකි විය යුතුයි. එසේ නැත්නම් ආර්ථික විද්‍යා ප්‍රවාද "විශ්වාස කළ" යුතුයි. කෙසේ වුවත්, අදාළ ප්‍රවාද තේරුම් ගත හැකි අයෙකු එසේ එම ප්‍රවාද විශ්වාස කළ යුතු වන්නේ නැහැ. වියුක්ත ලෙස සිතීමේ හැකියාව ප්‍රගුණ කර නැති, ආර්ථික විද්‍යා ප්‍රවාද විශ්වාස නොකරන අයෙකුට ඇත්ත තත්ත්වය දැන ගැනීම සඳහා සංයුක්ත නිරීක්ෂණ අවශ්‍ය වෙනවා. ඇතැම් අයට ඒ සඳහා තමන්ට විශ්වාස කළ හැකි අයෙකු විසින් සිදු කරන තහවුරු කිරීමක් ප්‍රමාණවත් විය හැකියි.
ඉතා දක්ෂ මහජන සන්නිවේදකයෙකු වන ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් වී මෝල්හිමියන් විසින් වී තොග හංගන්නේ නැත්තේ ඇයි කියන කරුණ ඉතා හොඳින් සහ කෙටියෙන් පැහැදිලි කර තිබෙනවා. මේ සමඟ පළ කර තිබෙන වීඩියෝවේ තිබෙන්නේ ඔහුගේ එම පැහැදිලි කිරීමයි.
රටකට ඉදිරියට යාම සඳහා අවශ්‍ය වැදගත්ම දෙයක් වන්නේ හැකි තරමින් දැනුමෙන් සන්නද්ධ වීමයි. ඒ අනුව, ජනාධිපති දිසානායක විසින් කෙටි කාලයක් ඇතුළත මේ හා අදාළ නිවැරදි දැනුම උකහාගෙන වෙනත් අයද දැනුවත් කිරීම අගය කළ යුත්තක්.
මෙහිදී ජනාධිපති දිසානායක විසින් ලබා දෙන්නේ පහත ආකාරයේ පිළිතුරක් නෙමෙයි.
"අපි ගිහින් පරීක්ෂා කළා. වී මෝල් වල තොග හංගාගෙන නැහැ."
ඉහත ආකාරයේ පිළිතුරක් හැඳින්විය හැක්කේ දේශපාලනික පිළිතුරක් ලෙසයි. එවැනි පිළිතුරකින් මේ මොහොතේ ඔය කියන විදිහේ ප්‍රශ්නයක් නැති බව තහවුරු කළ හැකි විය හැකියි. එහෙත්, එවැනි පිළිතුරකින් ප්‍රශ්නයට සාධාරණ (general) පිළිතුරක් ලැබෙන්නේ නැහැ. මේ මොහොතේ වී මෝල්හිමියන් විසින් තොග හංගාගෙන නොසිටියත්, සාමාන්‍යයෙන් එසේ කරන්නේය යන අදහස තව දුරටත් ඉතිරි වෙනවා. නමුත් ජනාධිපති දිසානායක විසින් ලබා දෙන්නේ වඩා වියුක්ත, එහෙයින්ම වඩා නිවැරදි හා සාධාරණ (general) පිළිතුරක්.
කෙසේ වුවත්, ජනාධිපති දිසානායකගේ පැහැදිලි කිරීමෙන් පසුවද එක් නිවේදකයෙකු විසින් අසන්නේ "ඔබ වී මෝල් ඇතුළට ගොස් පරීක්ෂා කර බලා තහවුරු කර ගත්තාද?" මාදිලියේ ප්‍රශ්නයක්. එයින් පෙනෙන්නේ ලංකාවේ නිවේදකයින් සිටින තැනයි. ඇතැම් විට එම නිවේදකයා ලංකාවේ "පොදු ජනතාව" වෙනුවෙන්, ඔවුන් නියෝජනය කරමින් එම ප්‍රශ්නය ඇසුවා විය හැකියි.
මේ ප්‍රශ්නය මෑතකදී මගේ පෞද්ගලික මිතුරෙකු විසින්ද මතු කර මා සමඟ වාදයක පැටලුනු ප්‍රශ්නයක් (මා සාමාන්‍යයෙන් එවැනි වාද වල පැටලෙන්නේ ඉතා හොඳ මට්ටමේ පෞද්ගලික මිතුරුකමක් ඇත්නම් පමණයි. ඒ නිසා මෙවැන්නක් සිදු වන්නේ කලාතුරකින්). සක්‍රිය මාලිමා ක්‍රියාකාරිකයෙකු වන ඔහු තමන්ගේ විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්. එහෙත් ආර්ථික විද්‍යාවේ මූලික සංකල්ප ගැන අදහසක් ඔහුට තිබුණේ නැහැ.
වී මෝල්හිමියෙකුට තමන් කැමති පරිදි සහල් මිල වැඩි කිරීමේ හැකියාවක් නැහැ. සහල් වැනි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩයක් සඳහා වන ඉල්ලුම සෑහෙන තරම් අනම්‍ය වුවත් එය පූර්ණ අනම්‍ය ඉල්ලුමක් නෙමෙයි. ඒ එක පැත්තක්. අනෙක් පැත්තෙන් ලංකාවේ සහල් වෙළඳපොළේ සැපයුම් අංශයේ පූර්ණ ඒකාධිකාරයක් නැහැ. එහි සැලකිය යුතු තරඟයක් තිබෙනවා. යම් හෙයකින් ඔය දෙකම ඔය විදිහට සිදු වී වී මෝල් හිමියෙකුට අභිමත පරිදි මිල තීරණය කළ හැකි (උපකල්පිත) තත්ත්වයක් තිබුණත්, ව්‍යාපාරිකයෙකු විසින් තමන්ගේ ලාබ වැඩි කරගන්නේ භාණ්ඩයක මිල පුලුවන්ම තරම් වැඩි කිරීම මගින් නෙමෙයි. එය කරන්නේ පිරිවැටුම වැඩි කර ගැනීම මගින්. මිල යනු පිරිවැටුම වැඩි කරන එක් සාධකයක් පමණයි. වී තොග නොවිකුණා තියා ගැනීමෙන් බොහෝ විට වී මෝල්හිමියෙකුට සිදු වන්නේ පාඩුවක්.
ලංකාවේ අතරමැදි වී මෝල්හිමියන් විසින් කරන්නේ වී කොටා සහල් බවට පත් කිරීම පමණක් නෙමෙයි. එම වී ගබඩා කර තබා ගැනීම හා බෙදා හැරීම කරන්නේද ඔවුන් විසින්.
මෙම වීඩියෝවේ ජනාධිපති දිසානායක විසින් පැහැදිලි කරන පරිදි සහල් වල ගුණාත්මක භාවය ඉහළ මට්ටමක පවත්වා ගැනීම සඳහා වී තොග මාස දෙකක පමණ කාලයක් ගබඩා කර තියා ගන්නට සිදු වෙනවා (මෙය සියලුම සහල් වර්ග වලට එක සේ බලපාන දෙයක් නොවිය හැකි බව මගේ අදහසයි). ඊට අමතරව, ලංකාවේ වී සැපයුමේ ස්වභාවය අනුව, මාස හයක් දක්වා කාලයක් වී ගබඩා කර තබා ගන්නට සිදු වෙනවා. ඒ වී අස්වනු කැපෙන කන්න දෙකක් අතර කාලයයි.
වී ගබඩා කර තබා ගැනීම වියදම් අධික වැඩක්. වී ලෙස ගබඩා කෙරෙන්නේ තමන්ගේ හෝ ණයට ගත් ධනයයි. ණය පොලිය 10% ලෙස සැලකුවහොත්, මාස හයක කාලයක් සඳහා 5%ක පොලියක් ගෙවන්නට සිදු වෙනවා. ඒ නිසා, මිල දී ගන්නා වී වැඩි කාලයක් සහල් නොකර තියා ගන්නවා කියන්නේ දවසින් දවසම පිරිවැය ඉහළ යාමක්. ඊට අමතරව ගබඩා වල වී සුරක්ෂිත ලෙස තබා ගැනීමේ පිරිවැයක්ද තිබෙනවා. මේ තත්ත්වය යටතේ ඕනෑම වී මෝල්හිමියෙකු විසින් ඉදිරි කන්නයේ අස්වනු කැපෙන්නට පෙර තමන්ගේ වී තොග සහල් කර විකුණා ගැනීම අපේක්ෂා කළ හැකි දෙයයි. එය ජනාධිපති දිසානායක විසින් කෙටියෙන් වුවත් හොඳින් පැහැදිලි කරනවා.
විපක්ෂයේ සිටින විට මුවන් සමඟ දුවන අතරම වෘකයින් සමඟ දඩයමේ යන්නත් පුළුවන්. නමුත් ආණ්ඩුවක් කරද්දී එහෙම කරන්න බැහැ. පාරිභෝගිකයින්, වී ගොවීන්, සුළු වී මෝල්හිමියන් ඇතුළු විවිධ කණ්ඩායම් එකවර සතුටු කළ හැකි විසඳුම් හොයන එක ලේසි වැඩක් නෙමෙයි. ජනාධිපති ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසුව අනුර කුමාර දිසානායක විසින් වෙළඳපොළ ක්‍රියාකාරිත්වය ගැන ඔහුගේ අවබෝධය වැඩි දියුණු කරගෙන තිබෙනවා. විශේෂයෙන්ම සහල් වෙළඳපොළ හා අදාළව, ඔහුගේ මෙම දැනුම හා අවබෝධය ඉදිරි මාස හයක සිට වසරක් දක්වා කාලය තුළ තව දුරටත් බොහෝ වැඩි දියුණු වීමට නියමිත බවයි දැනට පෙනෙන්නට තියෙන්නේ. තැත් වරද ක්‍රමය වියුක්තව තේරුම් ගැනීම අසීරු දේවල් තේරුම් ගැනීම සඳහා හොඳ ක්‍රමයක්!
Wednesday, January 1, 2025
ක්ලීන් ශ්‍රී ලංකා 2025...
Wednesday, September 25, 2024
රජයේ අඛණ්ඩත්වය, දිශානතිය හා අලුත් ලේකම් පත්වීම්
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අලුතෙන් ඇමති මණ්ඩලයක් හා අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කර තිබෙනවා. ඇමති මණ්ඩලය පත් කිරීම හා අදාළව ඔහුට විශාල තේරීමක් කිරීමේ අවකාශයක් තිබුණේ නැහැ. අනුර කුමාර දිසානායකගේ හිස් වූ මන්ත්‍රී ධුරය සඳහා පත් කෙරුණු මන්ත්‍රීවරයාද ඇතුළුව පාර්ලිමේන්තුව තුළ ඔහුගේ කණ්ඩායම නියෝජනය කළේ තිදෙනෙක් පමණයි.
දැන් මේ මන්ත්‍රීවරුන් තිදෙනා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පැවති අමාත්‍යාංශ වල පාලනය භාරගෙන තිබෙනවා. ඒ තිදෙනාගෙන් අයෙක් වන හරිනි අමරසූරිය අගමැති සේ පත් වී තිබෙනවා. මහ මැතිවරණය අවසන්ව අලුතෙන් ආණ්ඩුවක් පත් වන තුරු ශ්‍රී ලංකා රජයේ ඉහළම ස්ථරය වන්නේ මේ හතර දෙනාගේ කණ්ඩායමයි. ඔවුන්ට සුබ පැතුම්!
මේ තත්ත්වය අනපේක්ෂිත තත්ත්වයක් නෙමෙයි. අනුර කුමාර දිසානායක ජනාධිපති සේ පත් වීමෙන් අනතුරුව ජනාධිපති හා අගමැති ඇතුළු හතර දෙනෙකු විසින් අමාත්‍යංශ ලේකම්වරුන් මගින් රජය පවත්වා ගෙන යන බව කලින්ම කියා තිබුණු දෙයක්. එම අවස්ථාවේදී එය වැරදි ලෙස අර්ථකථනය කළ තැන්ද දැකිය හැකි වුනත්, මෙය ශ්‍රී ලංකා රජයේ අඛණ්ඩත්වය පවත්වා ගත හැකිව තිබුණු සාමාන්‍ය ආකාරයයි.
ශ්‍රී ලංකා රජය කියන්නේ ජනාධිපති, අගමැති හා අමාත්ය මණ්ඩලය නෙමෙයි. ඔවුන් විධායකයේ ඉහළම ස්ථරය වුවද ප්‍රායෝගිකව ඇත්තටම රට පාලනය කරන්නේ අමාත්‍යංශ ලේකම් වරුන් විසිනුයි. එයින් ඉහළ තලයේදී බොහෝ දුරට සිදු වන්නේ රාජ්‍ය ප්‍රතිපත්තීන්හි දිශානතිය තීරණය කිරීම හා මහජන සන්නිවේදනයයි. ඇත්තටම රාජ්‍ය පාලනය සිදු වන්නේ අමාත්‍යංශ ලේකම් වරුන් අතින් වුවත් එහි වගකීම ගන්නේත්, ගෞරවය ලබන්නේත්, දෝෂාරෝපණ ලබන්නේත් අමාත්‍යවරයායි.
මේ අනුව, අවසාන වශයෙන් රාජ්‍ය පාලනය කරන්නේ අමාත්‍ය වරුන් මිස අමාත්‍යංශ ලේකම් වරුන් නොවන බව කිව හැකි අතර එය තාක්ෂනිකව නිවැරදියි. එහෙත් මහජනතාව විසින් හදිසියේ තෝරා පත් කර එවනු ලැබ අමාත්‍ය වරයෙකු වන අයෙකුට ඒ සඳහා පළපුරුද්දක් නැහැ. ඒ නිසා ඔවුන්ට "වැඩ පුහුණු වන්නට" සිදු වන්නේ අමාත්‍යංශ ලේකම් වරුන්ගේ උදවුවෙනුයි.
රාජ්‍ය පාලනයෙහි යෙදුනු දේශපාලන පක්ෂ විසින් සාමාන්‍යයෙන් කෙනෙකු අමාත්‍ය ධුරයකට පත් කර තිබෙන්නේ මුලින් නියෝජ්‍ය අමාත්‍ය තනතුරක් ලබා දී පුහුණු වන්නට ඉඩ හැරීමෙන් පසුවයි. එසේ පුහුණු වී පසුව අමාත්‍ය වරයෙකු සේ වාර ගණනක් කටයුතු කර ඇති අයෙකුට ආරම්භයේ සිටම අමාත්‍යංශ ලේකම්වරයෙකුට උපදෙස් හෝ නියෝග දීමට මෙන්ම අලුතෙන් පුද්ගලයෙකු අමාත්‍යංශ ලේකම් සේ පත් කරගෙන ඔහු හරහා අමාත්‍යාංශය පාලනය කරන්න වුනත් පුළුවන්.
මෙවර රාජ්‍ය පාලනය භාර ගෙන තිබෙන්නේ සාපේක්ෂව අලුත්ම කණ්ඩායමක්. ඔවුන්ට ප්‍රධාන දේශපාලන පක්ෂ සතු වූ පළපුරුද්දේ වාසිය නැහැ. ඒ නිසා, අඩු වශයෙන් යම් කලයක් යන තුරු අමාත්‍යාංශ ලේකම් වරුන් මත යැපෙන්නට සිදු වෙනවා. (ඇතැම් විට අමාත්‍යාංශ වල කටයුතු අධීක්ෂණය කිරීම සඳහාත්, "වැඩ පුහුණු වීම" සඳහාත් නිල නොවන මට්ටමින් "සෙවනැලි ඇමතිවරුන්" පත් කිරීමක් දැනටමත් සිදු වී හෝ සිදු කිරීමට සැලසුම් වී තිබෙනවා විය හැකියි.)
මේ වන විට අලුතෙන් පත් කර තිබෙන අමාත්‍යංශ ලේකම් වරුන් කිහිප දෙනෙකු හැරුණු විට වැඩි පිරිසක් එම තනතුරු වල කලින් සිටි අයමයි. ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වැනි තනතුරු සඳහා තමන්ට විශ්වාසදායක අයෙකු පත් කර ගැනීම තේරුම් ගත හැකි හා තාර්කික දෙයක්. අනෙකුත් බොහෝ අමාත්‍යංශ ලේකම් තනතුරු වල කිසිදු වෙනසක් සිදු කර නැහැ. එයින් අදහස් වන්නේ රජයේ කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව සිදු වනවා යන්නයි.
රටේ ආර්ථිකය දැනට පවතින තත්ත්වය තුළ වැදගත්ම තනතුරු දෙකක් වන්නේ මහ බැංකු අධිපති ධුරය හා මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරයයි. මෙයින් මහ බැංකු අධිපති ධුරය ආණ්ඩු මාරු වෙද්දී වෙනස් වන්නක් නොවෙයි. අලුත් මහ බැංකු පණත ක්‍රියාත්මක වන්නට පෙරද පැවතියේ මේ තත්ත්වයයි. ආණ්ඩු මාරු වීමෙන් පසුව අලුත් මහ බැංකු අධිපති වරයෙකු පත් කරනු ලැබූයේ හිටපු අධිපති වරයාගේ ධුර කාලය අවසන් වීමෙන් පසුවයි.
කෙසේ වුවද, මෑත කාලයේදී මේ සම්ප්‍රදාය බිඳී ගියා. පළමුව, අධිපති කබ්රාල් විසින්ද ඉන් පසුව අධිපති කුමාරස්වාමි විසින්ද තමන්ගේ ධුර කාල අවසන් වීමට පෙර සිදු වූ ආණ්ඩු මාරු වලින් පසුව අළුත් ආණ්ඩුවට කැමති අධිපතිවරයෙකු පත් කිරීමට ඉඩ සලසමින් ධුරයෙන් ඉල්ලා අස් වුනා. එය වැරදි ආදර්ශයක්. තමන්ගේ පත් වීම දේශපාලන පත්වීමක් නොව වෘත්තීය පත්වීමක් බැව් සලකන්නේනම්, නෛතික ප්‍රතිපාදන අනුව ධුර කාලය ඉතිරිව තිබේනම්, ආණ්ඩු මාරු වෙද්දී එසේ ඉල්ලා අස්විය යුතු නැහැ. කෙසේ වුවත්, මේ අවස්ථා වලදී තිරයෙන් පසුපස සිදු වූ දේ අප දන්නේ නැහැ.
ආණ්ඩුව මාරු වූ පමණින් නන්දලාල් වීරසිංහ කිසිසේත්ම ධුරයෙන් ඉල්ලා අස් විය යුතු නැහැ. එසේ කරන්නේනම් එය හිතාමතාම මහ බැංකු ස්වාධීනත්වය හෑල්ලුවට ලක් කිරීමක්. විශේෂ හේතු නැත්නම්, ආණ්ඩුවට ඔහුව ධුරයෙන් ඉවත් කිරීමේ හැකියාවක්ද නැහැ. එහෙත් "ක්‍රම සහ විධි" වලින් එසේ කිරීම නොකළ හැක්කක් නෙමෙයි. ආණ්ඩුව එසේ කරන්නට උත්සාහ කර ඇති බවක් කිසිසේත්ම පෙනෙන්නේ නැහැ.
මීට සාපේක්ෂව මුදල් අමාත්‍යංශ ධුරය සඳහා අලුතෙන් අයෙකු පත් කිරීම ආණ්ඩුවක් වෙනස් වෙද්දී සාමාන්‍යයෙන් සිදු වන දෙයක්. මේ අවස්ථාවේදී එවැන්නක්ද සිදු වීද නැහැ. හිටපු ලේකම් මහින්ද සිරිවර්ධනවම නැවත එම ධුරයෙහි හිඳුවා තිබෙනවා.
දැනට සාර්ථකව ක්‍රියාත්මක වන ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙළ හා අදාළව විශාල කාර්යභාරයක් ඉටු කළේ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ හා මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධනයි. මෙම තනතුරු වෙනස් නොකිරීම මගින් පෙනෙන්නේ ආර්ථිකය අවදානමේ වැටෙන ආකාරයේ ලොකු අවදානමක් නොගන්නට අලුත් ආණ්ඩුව අඩු වශයෙන් ආරම්භයේදී හෝ පරිස්සම් වී ඇති බවයි.
දැනට මුදල් අමාත්‍යාංශ ධුරය භාරගෙන තිබෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්මයි. මා හිතන පරිදි දැනට රජයේ ඉහළ ස්ථරයේ සිටින සිවුදෙනා අතරින් ඒ සඳහා සුදුසුම පුද්ගලයා වන්නේද ඔහුයි. රටේ ආර්ථිකය හා අදාළව මුදල් අමාත්‍යංශ ලේකම් සමඟ සන්නිවේදනයක් කළ හැකි තරමේ හැකියාවක් ඔහු සතුව තිබෙනවා. එවැනි හැකියාවක් නොතිබුණු අයද මීට පෙර මෙම ධුරය දරා තිබෙනවා. කෙසේ වුවත්, ඔහුට ජනාධිපති සේ කටයුතු කරන අතර මුදල් ඇමති ධුරයේ කටයුතු වෙනුවෙන් වෙන් කිරීම සඳහා කොපමණ කාලයක් යෙදවිය හැකි වේද යන්නත් ගැටලුවක්.
අලුත් ආණ්ඩුව විසින් කළ යුතු ප්‍රමුඛ කාර්යයක් වන්නේ ඉදිරි වසර සඳහා අයවැය සකස් කිරීමයි. එය සම්මත කරගැනීම සිදු වනු ඇත්තේ මහ මැතිවරණයෙන් පසුව වුවත් ඊට පෙර කළ යුතු කාර්යයයන් දැන් සිටම කරන්නට සිදු වෙනවා. මේ දේවල් කළ යුත්තේ මුදල් ඇමතිවරයා සහ මුදල් අමාත්‍යංශ ලේකම් වරයා එකතුවයි.
මෙහිදී මුදල් ඇමතිවරයාගේ කාර්ය භාරය වන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා ප්‍රමුඛතා නිවැරදිව අමාත්‍යංශ ලේකම් වෙත සන්නිවේදනය කර ඒවා ක්‍රියාත්මක කළ හැකි ආකාරය විමසා බැලීමයි. මහජන මතය තිබෙන්නේ අනෙක් සියල්ලකටම උඩින්.
එසේ වුවද, මහජන මතය කුමක් වුවත්, ඉක්මවිය නොහැකි තාක්ෂනික සීමාවන් කිසිසේත්ම ඉක්මවිය නොහැකියි. අමාත්‍යාංශ ලේකම් වරයෙකුගේ වගකීම වන්නේ තාක්ෂණික සීමාවන්ට යටත්ව, ආණ්ඩුවක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා හැකි තරමින් පහසුකම් සැලසීමයි. සාමාන්‍යයෙන් ආණ්ඩුවකට අමාත්‍යාංශ ලේකම් වරයෙකු ඉවත් කරන්නට සිදු වන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය එම සහයෝගය නොලැබෙන විටයි.
ඇතැම් විට හිටපු අමාත්‍යංශ ලේකම් වරුන්ම නැවත පත් කිරීම අලුත් ආණ්ඩුව විසින් "වැඩ අල්ලා ගන්නා තුරු" සිදු කරන දෙයක් වෙන්න පුළුවන්. එය එසේනම්, මහ මැතිවරණයෙන් පසුව සම්පූර්ණ අමාත්‍ය මණ්ඩලයක් පත් කර යම් පුහුණුවක් ලබා ගැනීමෙන් අනතුරුව තමන්ට අවශ්‍ය පුද්ගලයින් අමාත්‍යංශ ලේකම් තනතුරු වලට පත් කරගන්නට ඉඩ තිබෙනවා. කෙසේ වුවත්, ආණ්ඩුවට අවශ්‍ය කාර්යයයන් දැනට සිටිනා නිලධාරීන් හරහාම සිදු වේනම් එවැනි අවශ්‍යතාවයක් නොපෙනී යා හැකියි.
මගේ පෞද්ගලික අදහස වනුයේ මැතිවරණයට පෙරම ඉදිරි වසර සඳහා අයවැය සකස් කිරීමේ කාර්යය තුළ මුදල් ඇමති ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මුදල් අමාත්‍යංශ ලේකම් වරයා අතර හොඳ සම්බන්ධයක් ගොඩ නැගෙනු ඇති බවයි.
හිටපු ලේකම් වරුන්ම එම ධුරයින්හි හිඳුවීම මහ මැතිවරණය අවසන් වන තුරු ගෙන ඇති "කරපිංචා" ප්‍රවේශයක්ද? මේ ප්‍රශ්නයට පිළිතුරු සොයා ගැනීමට තවමත් කල් වැඩියි.
අමාත්‍යංශ ලේකම් තනතුරු සේ හැඳින්වුවත් මේ සියලුම තනතුරු එක සේ සමාන නැහැ. ඇතැම් තනතුරු සඳහා ආදේශක සොයා ගැනීම සාපේක්ෂව පහසු වැඩක්. එහෙත්, මුදල් අමාත්‍යංශ ලේකම් වැනි තනතුරක් සඳහා එසේ පහසුවෙන් ආදේශකයක් සොයා ගැනීමේ හැකියාවක් නැහැ. සාමාන්‍යයෙන් මෙවැනි කාර්යයක් සාර්ථක ලෙස සිදු කළ හැක්කේ දශක ගණනාවක ප්‍රායෝගික පළපුරුද්දක් ඇති අයෙකුට පමණයි. මෙතෙක් මේ තනතුර දරා ඇති සියල්ලන්ම පාහේ එවැනි අයයි.
කෙසේ වුවත්, ආණ්ඩුවකට සිය අභිමතය පරිදි කවර හෝ ආදේශකයක් සොයා ගැනීමට බැරිකමක් නැහැ. පසුගිය දශක කිහිපය ඇතුළත මහ බැංකු අධිපති ධුරය කිහිප වරක්ම මේ පරීක්ෂාවට ලක් කරනු ලැබ තිබෙනවා. එම පරීක්ෂාවන්හි ප්‍රතිඵල පිළිබඳව මා සමාලෝචන කරන්න යන්නේ නැහැ.
අයවැය ඇස්තමේන්තු සකස් කිරීම අලුතෙන් පත් වූ ආණ්ඩුවට වහාම අත ගසන්නට සිදු වන ප්‍රමුඛ කාර්යයයන් අතරින් එකක් පමණයි. ස්ථායීකරණ වැඩ පිළිවෙළ ඉදිරියට ගෙනයාමද මහ මැතිවරණය තෙක් හෝ කල් පසු කිරීම අසීරු දෙයක්. ජනාධිපතිවරණ සතිය තුළ වුවද හිටපු ජනාධිපතිවරයා මෙම වැඩ පිළිවෙළෙහි ඉලක්ක පසුවට කල් දැම්මේ නැහැ. ඒ නිසා, දැනට ක්‍රියාත්මක ආර්ථික ස්ථායීකරන වැඩ පිළිවෙළ අලුත් ආණ්ඩුවේ දේශපාලන ප්‍රතිපත්ති සමඟ ගලපා ගැනීම කල් නොගෙන, ඉතා ඉක්මණින් කළ යුතුව ඇති දෙයක්. අයවැය ඇස්තමේන්තු සකස් කරන්නට සිදු වන්නේද මේ කාර්යයට සමාන්තරවයි.
Sunday, September 22, 2024
නවවන ජනපතිට සුබ පැතුම්!
මේ වන විට ජනාධිපතිවරණයේ අවසන් නිල ප්‍රතිඵල නිකුත් වී අවසන්. රටේ ව්‍යවස්ථා නීතිය අනුව එම ධුරයට තේරී පත්ව සිටින්නේ අනුර කුමාර දිසානායකයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායේ ශක්තිය ලොවට පෙන්වමින් තවත් වරක් ඉතා සුමට බල හුවමාරුවක් සිදු වෙමින් පවතිනවා.
අනුර කුමාර දිසානායක මෙම ජනාධිපතිවරණ තරඟය ජය ගන්නේ ඉතා අසීරු හා තියුණු සටනකින් පසුවයි. මෙහිදී ඔහුගේ කඳවුර විසින් යොදාගත් උපාය මාර්ග කිසිදු අයුරකින් ලංකාවේ දේශපාලන පක්ෂ විසින් සම්ප්‍රදායිකව මැතිවරණ වලදී යොදා ගත් උපාය මාර්ග වලට සම කළ නොහැකියි. ඔවුන් ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී නොවූ ඔවුන්ගේ අතීත භාවිතාව තුළ සාර්ථකව භාවිතා කළ ඇතැම් සාර්ථක උපාය මාර්ග ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට රැගෙන එමින් සහ නූතන තාක්ෂණයේ උදවු ලබා ගනිමින් ඉතා ප්‍රතිඵලදායක මහජන සන්නිවේදනයක් සිදු කළා.
කෙසේ වුවද, අනුර කුමාරගේ ජයග්‍රහණයට හේතු වූ ප්‍රධාන සාධකයක් වූයේ ප්‍රතිවිරුද්ධ කඳවුර තුළ වූ බල සංයුතියේ ස්වභාවයයි. මීට පෙර ලංකාවේ පැවති සෑම ජනාධිපතිවරණයකදීම දැකිය හැකි වූ පැහැදිලි ද්වි-ධ්‍රැව විභේදනය මෙවර එලෙසින්ම සිදු වුනේ නැහැ. මාලිමා කඳවුර ඇතුළු තවත් බොහෝ දෙනෙකු විශ්වාස කළේ මෙවරද පෙර මෙන්ම එම ද්වි-ධ්‍රැව විභේදනය සිදු වනු ඇති බවයි.
අනුර කුමාර විසින්ම සඳහන් කළ පරිදි ඔහුගේ දැඩි විශ්වාසය වූයේ ඔවුන්ගේ ඡන්ද ප්‍රතිශතය ඉතා අඩු මට්ටමකට නොවැටේනම් එය 50% මට්ටම ඉක්මවීම පිළිබඳ කිසිදු සැකයක් නැති බවයි. මෙය සමාජවාදී පක්ෂ වල සාමාජිකයින් කාලයක් පුහුණු වී සිටින චින්තනයේ ස්වභාවය නිසා ඔවුන් ලෝකය තේරුම් ගන්නා ආකාරය වෙන්න පුළුවන්.
මහ පොළොවේ පවතින තත්ත්වය දැකීම ඇස් කණ තිබෙන ඕනෑම කෙනෙකුට කළ හැකි දෙයක්. අසීරු කාර්යය වන්නේ මහ පොළොවේ පවතින තත්ත්වයෙන් දැකීමෙන් පසුව ඒ මත පදනම්ව එයින් ඔබ්බට දේවල් දැකීමයි. එසේ දැකිය හැකි වූ ඇතැම් අයට මෙවර ජනාධිපතිවරණ තරඟයේ ස්වභාවය නිවැරදිව හඳුනා ගත හැකි වුණා.
අනුර කුමාර මුල් වටයේ ජයග්‍රාහකයෙකු වීම මෙන්ම 50% සීමාව නොඉක්මවීමද බොහෝ දුරට ගණිතමය යථාර්තයන් ලෙස ලියැවී තිබුණු දේවල්. එම තත්ත්වය තුළ ජනාධිපතිවරණ ප්‍රතිඵලය කෙරෙහි බලපෑ හැකි තීරණාත්මක සාධකය වී තිබුණේ රනිල් වික්‍රමසිංහ විසින් ලබා ගන්නා ඡන්ද ප්‍රතිශතයයි. මේ හේතුව නිසා අප මුල සිටම ඒ පිළිබඳව විමසිලිමත්ව සිටියා. මැතිවරණ ප්‍රතිඵලය කෙරෙහි රනිල් වික්‍රමසිංහ විසින් ලබා ගත් ඡන්ද ප්‍රමාණය බලපා ඇති ආකාරය දැන් ඕනෑම කෙනෙකුට දැකගත හැකියි. ප්‍රතිඵලය මහ පොළොවට වැටුණු පසු කාටත් පැහැදිලිව පේනවා.
මෙතෙක් ලංකාවේ ජනාධිපතිවරණ තරඟයක් ජයගත් සෑම අපේක්ෂකයෙකු විසින්ම 50% සීමාව ඉක්මවීමට සමත්ව තිබෙනවා. මෙහි වාසිය වනුයේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයට 50%ක ජනතා අනුමැතියක් හිමිව ඇති සේ සැලකිය හැකි වීමයි. මෙහි නෛතික හා සදාචාරත්මක සිද්ධාන්තය වන්නේ අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශනය ජනමත විචාරණයකට ඉදිරිපත් කර ඒ සඳහා 50%ක අනුමැතිය ලබා ගත් සේ සැලකිය හැකි වීමයි. අනුර කුමාර දිසානායක ජනාධිපති සේ තේරී පත් වන්නේ මෙම වාසිය නොමැතිවයි.
කෙසේ වුවත්, බොහෝ කරුණු හා අදාළව ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනාගේම ප්‍රතිපත්ති වල ඒකමිතියක් තිබීම අපට දැකිය හැකි තත්ත්වයක්. උදාහරණයක් වශයෙන්, ප්‍රතිවාදීන් කවර විවේචන සිදු කළත්, මාලිමා කඳවුරේ වගකිව යුතු අය මැතිවරණ සමයේදී පැහැදිලිව සඳහන් කළේ දැනට ක්‍රියාත්මක ආර්ථික ස්ථායීකරන වැඩපිළිවෙළ සාර්ථකව දිගටම ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඔවුන්ද පෙනී සිටින බවයි.
මාලිමා අපේක්ෂකයෙකු ජනාධිපති සේ පත් වීම හා අදාළව බොහෝ අයට තිබුණු එක් කණස්සල්ලක් වූයේ ඔවුන්ගේ කණ්ඩායමට ප්‍රමාණවත් පළපුරුද්දක් නොමැති බවයි. මෙය බොරුවක් නොවුනත් විශාල ප්‍රශ්නයක් නෙමෙයි. එක් අතකින් මාලිමා (ජවිපෙ) මන්ත්‍රීවරුන් කාලයක් තිස්සේ පාර්ලිමේන්තුවේ විවිධ කාරක සභා ආදියෙහි කටයුතු කර තිබෙනවා. අනෙක් අතින් ඕනෑම කෙනෙකුට යම් දෙයක් අලුතෙන් කරද්දී යම් හැදෑරීමක් කරන්න වෙනවා. ඒ සඳහා අවශ්‍ය වන්නේ කැපවීමයි.
අනෙක් ප්‍රධාන ප්‍රශ්නය රටේ ආර්ථිකය නිවැරදි ලෙස කළමනාකරණය නොකිරීම නිසා නැවත වරක් සියල්ලන්ටම විඳවන්නට සිදු වේද යන්නයි. රටේ ආර්ථික ස්ථායීත්වය සදහා අවශ්‍ය වන්නේ හොඳ වැඩ පිළිවෙලක්. එය ක්‍රියාත්මක කරන නායකත්වය වෙනස් වූ පමණින් ආර්ථිකයක් අස්ථායී වන්නේ නැහැ. විශේෂයෙන්ම මාලිමාව හා අදාළව ගත් විට ඔවුන් වරද්දා ගන්නා තෙක් බලා සිටිනා පිරිසක් සිටිනා බැවින් ඔවුන් අඩු වශයෙන් යම් කාලයක් යන තුරු ඇල් වතුරත් නිවා බොන ස්ථාවරයක සිටිනු ඇතැයි යන්න මගේ විශ්වාසයයි.
නව ජනපති අනුරට මුහුණ දෙන්නට සිදුවන ප්‍රධානම අභියෝගය ලෙස මා හඳුනා ගන්නේ ආර්ථික කළමණාකරණය නොව දේශපාලන කළමනාකරණයයි. ඔහුව තෝරා පත් කරගෙන සිටින පිරිස විවිධ අපේක්ෂා ඇති ඉතාම විෂමජාතීය පිරිසක්. මාලිමා කඳවුරේ ප්‍රධාන ඉල්ලීම වුයේ "අප කෙරෙහි විශ්වාසය තබන්න" යන්නයි.
දැන් 42%ක පිරිසක් විසින් ඉල්ලා සිටි අයුරින්ම මාලිමා කණ්ඩායම කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. රටේ ජනපතිගේ ඉලක්කය විය යුත්තේ එම 42%ක පිරිසගේ විශ්වාසය නොබිඳිමින්, යම් හේතුවක් නිසා තමන් කෙරෙහි විශ්වාසය නොතැබූ 58%ක කණ්ඩායමේද විශ්වාසය දිනා ගැනීම සදහා කටයුතු කිරීමයි. අනුර ඇතුළු කණ්ඩායම සතු දේශපාලන පළපුරුද්ද මේ සඳහා උදවුවක් විය හැකි නමුත් මෙය අභියෝගාත්මක කටයුත්තක්. ඊට සාපේක්ෂව බැලූ විට ආර්ථිකය කළමනාකරණය කර ගැනීම වඩා පහසු තාක්ෂනික වැඩක්.
නව ජනපතිට අපේ සුබ පැතුම්!
Wednesday, September 18, 2024
අනුර 50% සීමාව ආසන්නයට!
ජනාධිපතිවරණයට පෙර සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් ඉදිරිපත් කර ඇති අවසන් ඇස්තමේන්තු අනුව අනුර කුමාර දිසානායක 50% සීමාව ආසන්නයටම පැමිණ සිටිනවා. ඔහුගේ ඡන්ද ප්‍රතිශතය 48% ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර අතර පරතරය 23% දක්වා ඉහළ ගොස් තිබෙනවා. සජිත් ප්‍රේමදාස 25% මට්ටමේ සිටිද්දී රනිල් වික්‍රමසිංහ ඊට ආසන්නව 20% මට්ටමේ සිටිනු දැකිය හැකියි.
මේ අනුව පෙනී යන්නේ අවසන් සති දෙක තුළ පාවෙන ඡන්ද බොහොමයක් අනුර කුමාර දිසානායක වෙත විතැන් වී ඇති බවයි. මෙම ඇස්තමේන්තු නිවැරදි සේ සැලකුවහොත් එයින් අදහස් වන්නේ පොහොට්ටු ඡන්ද වලින් 85%ක් පමණ මාලිමාව වෙත විතැන් වී තිබිය යුතු බවයි. සජිත් හා රනිල් අතර බෙදී ගොස් ඇත්තේ බොහෝ දුරටම සම්ප්‍රදායික එජාප ඡන්ද පදනමයි. රනිල් තරඟයට පැමිණීමෙන් පසුව සජිත් හා රනිල් අතර ඇති වූ තරඟය මාලිමාවට වාසිදායක ලෙස බලපා ඇති අයුරු පැහැදිලිව දැක ගත හැකියි.
මැතිවරණ ප්‍රතිඵලයක් කලින් පුරෝකථනය කිරීම පහසු කටයුත්තක් නෙමෙයි. කොයි තරම් උත්සාහ දැරුවද එවැන්නක් කළ හැක්කේ සැලකිය යුතු මිනුම් වරදක් සහිතවයි. මේ කාර්යය ලංකාවට අලුත් දෙයක් බැවින් එය වඩාත් අපහසුයි.
ජනාධිපතිවරණ ප්‍රතිඵල පුරෝකථනය කිරීමේ කාර්යයේදී එය වඩාත්ම නිවැරදි ක්‍රමවේදයකට සිදු කළේ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයයි. ඒ නිසා, ප්‍රතිඵලය ගැන නිගමනයකට එළැඹීමේදී ඔවුන්ගේ ඇස්තමේන්තු වලට වැඩි බරක් තියන්නට සිදු වෙනවා.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන්ද පසුව සුදත්ත තිලකසිරි විසින් දිවයිනේ දිස්ත්‍රික්ක 16ක නගර 52ක ඔහුගේ "මත විමසුම්" සිදු කර තිබුණා. මෙවැනි මත විමසුම් විද්‍යාත්මක සමීක්ෂණ ලෙස කිසිසේත්ම සැලකිය හැකි නොවෙතත්, ඡන්ද භාවිතයේ දිශානතිය පිළිබඳව එවැනි මත විමසුම් වලින්ද අදහසක් ගත හැකියි. සුදත්ත විසින් ඉදිරිපත් කර තිබුණු දසදහස ඉක්මවන ඔහුගේ අහඹු නොවන නියැදියේ සමස්ත ප්‍රතිඵලයද ඉහත සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ ඇස්තමේන්තු සමඟ ගැලපිය හැකියි.
බොහෝ දෙනෙකු උනන්දුවෙන් බලා සිටින සැබෑ ප්‍රතිඵලය දැනගන්නට තවත් වැඩි දවසක් නැහැ.
Thursday, August 1, 2024
සජිත් හා රනිල් ඉදිරියට! අනුර විශාල පසුබෑමක!!
පහත තියෙන්නේ ඊයේ පළ කළ සටහනට පාඨකයෙකු විසින් දමා තිබුණු ප්‍රතිචාරයක්.
"IHP ආයතනය අපේක්ෂිත මහ මැතිවරණ ප්‍රතිඵල ගැන මෙන්ම ජනාධිපතිවරණය ගැනත් සමීක්ෂණ පසුගිය වසරේ සිට කළා. වර්තමාන සන්දර්භය අනුව මහ මැතිවරණයක් නොපැවැත්වෙන බව තහවුරු නිසා ඒ සමීක්ෂණ ජනාධිපතිවරණයට අදාළ කරගැනීම තේරුමක් නැති දෙයක්. ජනාධිපතිවරණ අපේක්ෂකයන් අතර සියලුම වාර්තාවල දිගටම ඉදිරියෙන් හිටියෙ අනුර කුමාර. මහමැතිවරණය මුලින් පැවැත්වීම සාපේක්ෂව අනෙක් බලවේගවලට වාසිදායක නිසා තමයි මුලින් එය පවත්වන උත්සාහ කළේ. ජනාධිපතිවරණ සමීක්ෂණ සමඟ විශ්ලේෂණය නේද වඩා තාර්කික? මොකක්ද අපි කතා කරන්නෙ ජනාධිපතිවරණයක් ගැන මිස මහ මැතිවරණයක් ගැන නොවන නිසා."
මෙහි සඳහන් කරුණු හැම දෙයක්ම වගේ නිවැරදියි. නමුත් මහ මැතිවරණයක් හා අදාළ ඡන්දදායක අභිලාශ වලින් ජනාධිපතිවරණය හා අදාළ ඡන්දදායක අභිලාශ ගැනත් යම් අදහසක් ගන්න පුළුවන්. කොහොම වුනත් මේ වෙද්දී ජනාධිපතිවරණය හා අදාළ ඡන්දදායක අභිලාශද සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් ප්‍රසිද්ධ කර තිබෙනවා. ඒ අනුව පෙනී යන්නේ මාසයක කාලයක් ඇතුළත රනිල් වික්‍රමසිංහ 5%කිනුත්, සජිත් 5%කිනුත් ඉදිරියට යද්දී අනුරගේ ඡන්ද ප්‍රතිශතයේ 9%ක කඩා වැටීමක් පෙනෙන්නට ඇති බවයි.
පහත තිබෙන්නේ ජූනි මාසය හා අදාළ ඇස්තමේන්තු.
සජිත් ප්‍රේමදාස - 43%
අනුර කුමාර දිසානායක - 30%
රනිල් වික්‍රමසිංහ - 20%
පොහොට්ටු අපේක්ෂකයා - 7%
මේ අනුව, අනුර කුමාර දිසානායකගේ ඡන්ද ප්‍රතිශතයෙහි විශාල කඩාවැටීමක් සිදු වෙද්දී සජිත් ප්‍රේමදාස අනුර කුමාර දිසානායකට සාපේක්ෂ 13%ක පරතරයක් පවත්වා ගනිමින් සිටිනවා. මෙම ප්‍රතිඵලය මහ මැතිවරණය හා අදාළ ඡන්දදායක අපේක්ෂා සමඟ ගැලපෙනවා. සජිත්ගේ හා අනුරගේ ප්‍රතිශත සජබ හා මාලිමා ප්‍රතිශත වලට සාපේක්ෂව පිළිවෙලින් 5%කින් හා 4%කින් ඉදිරියෙන් තිබෙනවා. රනිල්ගේ ප්‍රතිශතය තිබෙන්නේ එජාප ප්‍රතිශතයට වඩා 13%ක් ඉදිරියෙන්. එයින් පෙනෙන්නේ පොහොට්ටු ඡන්ද වලින් බාගයකට වැඩි කොටසක් හා සුළු ජාතික ඡන්ද සැලකිය යුතු ප්‍රමාණයක් රනිල් විසින් ආකර්ශනය කර ගෙන ඇති බවයි.
මේ ද්විපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට හා රනිල් වික්‍රමසිංහගේ අපේක්ෂකත්වය පිළිබඳව දැනුම් දෙනු ලැබීමට පෙර පැවති තත්ත්වයයි. මේ අනුව පෙනී යන්නේ ජනාධිපතිවරණ තරඟය ඉතා වේගයෙන් රනිල් හා සජිත් අතර තරඟයක් බවට පත් වෙමින් ඇති ආකාරයයි. පොහොට්ටුවේ අපේක්ෂකයා එළියට පැමිණීමෙන් පසුව මේ තත්ත්වයේ තවත් හැරවුමක් සිදු විය හැකියි.
Monday, July 29, 2024
අනුර කුමාරගේ සහායිකා ලීසා එක්ක කතාබහක්!
අනුර කුමාර දිසානායකගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතියට උදවුවක් විදිහට කෘතීම බුද්ධි උපාංගයක් සකස් කර ඉදිරිපත් කර තිබෙනවා. මාලිමාවේ ප්‍රතිපත්ති පිළිබඳව ප්‍රශ්න තිබෙන අයට අදාළ වෙබ් අඩවියට ගොස් අනුර කුමාරගේ කෘතීම බුද්ධි සහායිකා ලීසාගෙන් ඕනෑම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ප්‍රශ්නයක් ඇහුවහම හැඟීම්බර වෙලා මලපනින්නේ හෝ අහපු කෙනාට ලේබල් ගහන්නේ නැහැ. ප්‍රශ්නය මග හරින්න වෙන ප්‍රශ්නයකින් දමා ගසන්නෙත් නැහැ. බොහොම සංවරව උත්තර දෙනවා.
Hello, I am Lisa, the AKD AI Assistant. Let's make our country great together! Ask me anything, and I'll explain how we can achieve a brighter future for Sri Lanka. How can I assist you today?
ජනාධිපතිවරණය කටේ තියලා මේ වගේ උපාංගයක් බස්සලා තියෙන්නේ හොඳට පුහුණු කරලා, පරීක්ෂා කරලා විය යුතුයි. මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්ති තවමත් එළියට දමලා නැති නිසා මමත් ප්‍රශ්න කිහිපයක් ලීසා සහෝදරීගෙන් අහලා බලන්න හිතුවා. එක පාරටම මතක් වුනේ පසුගිය ලිපි කිහිපය තුළ කතා කරමින් සිටි මාතෘකාව. අහපු ප්‍රශ්න සියල්ලටම සුටුස් ගාලා උත්තර ආවා.
ඉදිරි 2025 වර්ෂයේදී කොපමණ රාජ්‍ය ආදායමක් ලබා ගන්න සැලසුම් කරලා තියෙනවද?
දළ දේශීය නිෂ්පාදිතයෙන් 20%ක්.
What is
the planned government revenue in 2025 as a % of GDP?
The
planned government revenue for 2025 is targeted to be 20% of the Gross Domestic
Product (GDP). This goal is part of the National People's Power (NPP) strategy
to enhance economic stability and support various development initiatives. If
you have any more questions about the NPP's economic policies or other
initiatives, feel free to ask!
පොලී වියදම් අත හැරලා ඉතිරි රාජ්‍ය වියදම කොයි මට්ටමේ තියාගන්නද සැලසුම් කරලා තියෙන්නේ?
දළ දේශීය නිෂ්පාදිතයෙන් 25%ක්.
What is
the planned government expenditure excluding interest payments in 2025 as a %
of GDP?
The
planned government expenditure excluding interest payments for 2025 is targeted
to be 25% of the Gross Domestic Product (GDP). This expenditure plan is part of
the National People's Power (NPP) strategy to ensure effective allocation of
resources towards essential services and development initiatives. If you have
more questions about the NPP's economic plans or any other topics, just let me
know!
එතකොට පොලී ගෙවීම් එක්ක රාජ්‍ය වියදම?
දළ දේශීය නිෂ්පාදිතයෙන් 30%ක්.
The
total expenditure, including interest payments, is planned to be 30% of the
Gross Domestic Product (GDP) in 2025. This comprehensive expenditure plan
reflects the National People's Power (NPP)'s commitment to managing the
country's financial responsibilities while investing in development
initiatives. If you have any further questions or need more information, feel
free to ask!
පසුගිය 2023 අවුරුද්දේදී රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 11%යිනේ. දැන් ඕක 2025 වෙනකොට 20%ක් කර ගන්නේ කොහොමද?
1. දැනටත් වඩා වැඩියෙන් වැඩි ආදායම්ලාභීන්ගෙන් බදු ගන්නවා. මේ වැඩෙන් රජයේ ආදායම වැඩි කරගන්න ගමන් ආදායම් විෂමතා අඩු කරන්නත් පුළුවන්.
2. බදු ක්‍රමයේ හිල් වහලා, බදු නිදහස් කිරීම් ඉවත් කරලා බදු පදනම පුළුල් කර ගන්නවා.
3. බදු පැහැර හැරීම් අඩු කරලා බදු ගෙවීම් වැඩි කර ගන්න තාක්ෂනය යොදා ගන්නවා.
4. සමහර විට වැට් බදු අනුපාතය තවත් වැඩි කරන්න සහ දැනට වැට් අය නොකරන දේවල් වලටත් වැට් ගහන්න වෙයි.
5. සමාගම් විසින් ආදායමෙන් සාධාරණ පංගුවක් බදු ලෙස ගෙවන පරිදි බදු අනුපාත සංශෝධනය කරනවා. ඒ වගේම බදු ක්‍රමයේ හිල් වහනවා.
6. දේශීය හා විදේශීය ආයෝජන ඉහළ යන වටාපිටාවක් හදනවා. එයින් ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ ගිහින් බදු ආදායම් ඉහළ යනවා.
7. ස්වභාවික සම්පත් මත සාධාරණ බද්දක් අය කරලා රජයේ ආදායම් වැඩි කරගන්නවා.
8. බදු ගෙවීමේ වැදගත්කම ගැනත්, බදු මුදල් වලින් කරන දේවල් ගැනත් මහජනතාව දැනුවත් කරනවා.
To
increase government revenue from around 11% of GDP in 2023 to 20% of GDP by
2025, the National People's Power (NPP) has outlined several strategies,
particularly focusing on tax reforms and enhancing efficiency in revenue
collection. Here are some key strategies:
1. Progressive Taxation: Implementing a more progressive tax system
where higher income brackets are taxed at higher rates. This aims to reduce
inequality while increasing revenue.
2. Broadening the Tax Base: Expanding the tax base by reducing
exemptions and loopholes, ensuring that more individuals and businesses
contribute to the tax system.
3. Improving Tax Compliance: Strengthening tax administration to
enhance compliance and reduce tax evasion. This includes investing in
technology for better tracking and enforcement.
4. Value Added Tax (VAT) Reforms: Reviewing and potentially
increasing VAT rates or expanding the range of goods and services subject to
VAT to boost revenue.
5. Corporate Tax Reforms: Revising corporate tax rates and ensuring
that corporations pay their fair share, possibly through closing loopholes and
ensuring compliance.
6. Encouraging Investment: Creating a favorable environment for
local and foreign investments, which can lead to increased economic activity
and, consequently, higher tax revenues.
7. Enhancing Revenue from Natural Resources: Implementing fair
taxation on natural resource extraction to ensure that the government benefits
from these sectors.
8. Public Awareness Campaigns: Educating the public about the importance
of tax compliance and how tax revenues are utilized for public services.
These strategies are designed to create a more equitable and efficient tax
system, ultimately aiming to achieve the revenue target while supporting
economic growth. If you have more questions or need further details, feel free
to ask!
හරි. දැන් ඔය කියපු විදිහට දළ දේශීය නිෂ්පාදිතයෙන් 10%ක අයවැය හිඟයක් ඉතිරි වෙනවනේ. ඒක හොයා ගන්නේ කොහොමද?
1. ණය අරගෙන
2. විදේශාධාර වලින්
3. සල්ලි අච්චු ගහලා
4. රාජ්‍ය දේපොළ විකිණීමෙන් හා පෞද්ගලීකරණය කිරීමෙන්
5. රාජ්‍ය-පෞද්ගලික හවුල්කරිතාවයන් මගින්
6. දැනට ලැබෙන සල්ලිම වෙනත් දේවල් වලට යෙදවීමෙන්
7. ආදායම වැඩි කර ගැනීම මගින්
(ඔය උත්තර වලින් අන්තිම උත්තර දෙක පැහැදිලි ලෙස වැරදි උත්තර. මොකද අයවැය හිඟයක් කියන්නේ ඔය දේවල් කළාට පස්සේ ඉතිරි වන හිඟයක්. කෘතීම බුද්ධි උපාංගයකට එය පුහුණු කළ දත්ත වල තියෙන විදිහේ උත්තර මිසක් ඊට වඩා නිවැරදි උත්තර දෙන්න බැහැ.)
1. Borrowing:
The government may issue bonds or take loans from domestic and international
financial institutions to cover the deficit. This can include treasury bills,
bonds, or loans from development banks.
2. Foreign Aid and Grants: Seeking assistance from foreign
governments or international organizations can provide additional funding to
help bridge the deficit.
3. Monetary Financing: In some cases, the central bank may finance
the deficit by purchasing government bonds, effectively increasing the money
supply. However, this approach must be managed carefully to avoid inflation.
4. Asset Sales: The government may consider selling non-essential
state assets or privatizing certain state-owned enterprises to raise funds.
5. Public-Private Partnerships (PPPs): Engaging in partnerships
with the private sector for infrastructure projects can also provide financing
while sharing the risks and benefits.
6. Reallocation of Existing Budgets: The government may look for
areas within the current budget where funds can be reallocated to cover the
deficit without compromising essential services.
7. Increasing Revenue: As previously discussed, implementing
strategies to increase tax revenue can also help reduce the deficit over time.
These financing methods are part of a broader fiscal strategy to manage the
budget deficit while ensuring that essential services and development
initiatives continue to be funded. If you have more questions or need further
information, just let me know!
දැන් තියෙන මහ බැංකු පණත අනුව සල්ලි අච්චු ගහන්න බැහැනේ. ඒ කියන්නේ මහ බැංකු පණත වෙනස් කරනවද?
ඔව්. දැන් තිබෙන මහ බැංකු පණත සීමාකාරී වැඩි නිසා ඒක වෙනස් කරන්න වෙනවා.
But the
current central bank act restricts monetary financing. Do you plan to change
the act?
The National People's Power (NPP) recognizes the importance of maintaining a stable monetary policy and the restrictions that the current central bank act imposes on monetary financing. While the act is designed to prevent excessive money printing and inflation, the NPP is committed to exploring necessary reforms that ensure fiscal sustainability while adhering to sound economic principles.
Any potential changes to the central bank act would be approached with caution,
focusing on:
1. Maintaining Independence: Ensuring that the central bank remains
independent in its operations to effectively manage inflation and monetary
policy.
2. Balanced Approach: Considering amendments that allow for more
flexibility in financing without compromising the integrity of monetary policy.
3. Public Consultation: Engaging with stakeholders, including
economists, financial experts, and the public, to gather insights and opinions
on potential reforms.
4. Focus on Sustainable Growth: Any changes would aim to support
sustainable economic growth while managing the budget deficit responsibly.
The NPP is committed to transparency and accountability in its approach to
economic reforms, ensuring that any changes made serve the best interests of
the country and its citizens. If you have further questions or need more
details, feel free to ask!
මේක "වෙළඳ දැන්වීමක්" වුනත් ප්‍රචාරය කරන්න පෙළඹුණේ හේතු කිහිපයක් නිසා. එකක් මේක ටිකක් ඉදිරිගාමී වැඩක්. ආර්ථික අර්බුදය වෙලාවේ ආණ්ඩුව මේ වගේ දෙයක් කළානම් මිනිස්සු රටේ ඇත්ත තත්ත්වය ගැන හොඳින් දැනුවත් කරන්න තිබුණා. ඒ අතින් මාලිමාව ඉදිරිගාමීයි.
අනෙක් පැත්තෙන් මාලිමාව ඔවුන්ගේ ප්‍රතිපත්ති ජනගත කරන්න මාර කට්ටක් කද්දී රටේ ගොඩක් අයට මාලිමාව ඇවිත් මොකක් කරයිද කියන ප්‍රශ්නය ඉතිරි වෙලා තියෙනවා. මේ "වෙළඳ දැන්වීම" ඒ ඉල්ලුම හා සැපයුම සමතුලිත කරලා තොරතුරු අසමමිතිය අඩු කරන්න පොඩ්ඩක් හරි උදවුවක් වෙයි කියලා හිතෙනවා. එවිට ඔය ගැන අහන්න ගිහින් යාලුකම් නැති කරගන්න එහෙම අවශ්‍ය නැහැනේ. ඒ වගේම, මාලිමාව පැත්තේ ඉන්න අයට වුනත් විරුද්ධවාදීන් අහන ප්‍රශ්න වලට උත්තර නැත්නම් ලීසා සහෝදරීගෙන් උදවුවක් ගන්න පුළුවන්.
ලින්ක් එක කෙළින්ම දාන එකේ අවුලක් තියෙනවා. AKD ගහලා තිත තියලා LK ගහලා බලන්න. කැමති ඕනෑම ප්‍රශ්නයක් කෙළින්ම අහලා සැක දුරු කරගන්න.
Tuesday, July 14, 2020
වත්කම්, බැරකම්, බැරිකම් හා පුළුවන්කම්
ඊයේ පෙරේදා දවසක අහම්බෙන් වගේ හිරු නාලිකාවේ ගිය, අනුර කුමාර දිසානායක සහභාගී වූ දේශපාලන සංවාදයක කොටසක් නරඹන්න ලැබුණා. එහිදී අනුර කුමාර විසින් ලංකාවේ ණය අර්බුදයට ඔවුන්ගේ විසඳුම ගැන අදහස් ප්‍රකාශ කළා. තවත් දේවලුත් කතා කළා. අනුර කුමාරගේ අදහස්, මම හිතන විදිහට මේ මොහොතේ ජවිපෙ නිල මතය, කෙටියෙන් මේ විදිහට පෙළ ගස්වන්න පුළුවන්.
- ණය ගැනීම අපරාධයක් හෝ පවක් නෙමෙයි.
- ප්‍රශ්නය ණය ගැනීම නෙමෙයි. ගත් ණය වලට සරිලන වත්කම් හැදී නැති එකයි.
- ණය අර්බුදයෙන් ගොඩ යන්න වෙන්නෙත් ණය අරගෙනම තමයි.
සති තුනකින් පසුව පැවැත්වෙන්නට නියමිත මහ මැතිවරණය පිළිබඳව තවමත් අවිනිශ්චිතතා තිබෙනවා. මහ මැතිවරණය බාධාවකින් තොරව දින නියම කර ඇති ආකාරයට පවත්වන්නට ඉඩ ලැබෙනු ඇතැයි අපි දැනට හිතමු.
පසුගිය ජනාධිපතිවරණයේදී ජවිපෙට ඔවුන් අපේක්ෂා කළ ප්‍රතිඵලය නොලැබුණු බව පැහැදිලි කරුණක්. මගේ පෞද්ගලික මතය මෙවර මහ මැතිවරණයේදී ජවිපෙ යම් තරමකින් හෝ ඉදිරියට පැමිණෙනු ඇති බවයි. එහෙත්, ජවිපෙ මේ මැතිවරණය ජයග්‍රහණය නොකරන බව ඉතාම පැහැදිලියි.
මැතිවරණයක් ජයග්‍රහණය නොකරන බව පැහැදිලිව පෙනෙන පසුබිමක දේශපාලන පක්ෂයකට තමන් බලයට ආ පසු කරන දේවල් ගැන ඕනෑ තරම් කතන්දර කියන්න පුළුවන්. නමුත්, ණය අර්බුදය හා අදාළව ජවිපෙ එවැනි මනඃකල්පිත කතන්දරයක් කියන්නේ නැහැ. මම හිතන විදිහට ජවිපෙ විසින් යෝජනා කරන්නේ බලයට පත් වන කවර ආණ්ඩුවකට වුවත් ප්‍රායෝගිකව කළ හැකි දේ.
මොනවා වුනත් ජවිපෙහි මේ ස්ථාවරය අගය කළ යුතුයි. එහි වටිනාකම කැපී පෙනෙන්නේ බලයට පැමිණීමට වැඩි ශක්‍යතාවයක් තිබුණු දේශපාලන පක්ෂ මැතිවරණ වලට පෙර ප්‍රකාශ කර සිටි ස්ථාවරයන් හා සංසන්දනය කළ විටයි.
වසරින් වසර අලුත් වන අර්බුදයක් වුවත් ලංකාවේ ණය අර්බුදය අලුත් එකක් නෙමෙයි. මෑත කාලය ගත්තොත්, යහපාලන ආණ්ඩුව බලයට පත් වෙන්න කලින් ණය අර්බුදය ගැන ලොකුවට කතා කළා. එහෙත්, අර්බුදයෙන් ගොඩ යන ආකාරය පිළිබඳ පැහැදිලි වැඩ පිළිවෙලක් ඔවුන්ට තිබුණේ නැහැ. ඔවුන්ට අනුව ණය අර්බුදයට හේතුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වංචා හා දූෂණ වූ නිසා ඒ වංචා හා දූෂණ නැවැත්වූ පසු පහසුවෙන්ම අර්බුදයෙන් ගොඩ යා හැකිව තිබුණා. මෙය මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලදී ආකර්ශනීය ප්‍රකාශයක් වුවත් ප්‍රශ්නයට විසඳුමක් නෙමෙයි. බලයට පත් වූ පසු ඔවුන්ට වෙනත් විකල්ප වලට යන්න වුනා.
මෙවර ජනාධිපතිවරණයට කලින් ප්‍රචාරය කෙරුණු යහපාලන ආණ්ඩුවේ නොහැකියාව පිළිබඳ කතාවත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වංචා හා දූෂණ වගේම තවත් කතාවක්. ඒ කතාවට අනුව, රනිල්ට බැරි වුනත් රාජපක්ෂලාට පුළුවන්. මේ හැම කතාවක්ම සිල්ලර කතා. ටිකක් බර විදිහට කියනවානම් ඡන්දදායකයින්ගේ බුද්ධියට නිගා කරන කතා. මම මේ කරන්නේ යහපාලන ආණ්ඩුවේ නොහැකියාව පිළිබඳ කතාව හෝ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වංචා හා දූෂණ පිළිබඳ කතාව ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි. මා අවධානය යොමු කරන්නේ ලංකාවේ ණය අර්බුදය ඒ වගේ දේවල් වලට ලඝු කිරීමේ තිබෙන රැවටිල්ල පිළිබඳවයි.
ඒ අතින් බැලුවහම ජවිපෙ අවංකයි. ණය අර්බුදයෙන් ගොඩ යන්න වෙන්නේත් තවත් ණය ගනිමින්ම තමයි. එහෙම නැතුව මැජික් විසඳුමක් නැහැ. ඉක්මන් විසඳුමකුත් නැහැ. ආණ්ඩු බලය ලබා ගැනීමේ වැඩි ශක්‍යතාවයක් තිබෙන පක්ෂ විසින් නොකියන මේ ඇත්ත ජවිපෙ විසින් කියනවා.
ණය හා වත්කම් පිළිබඳ ජවිපෙ විග්‍රහයත් පදනමක් තිබෙන එකක්. ණය ගැනීම වැරැද්දක් හෝ නොකළ යුතු දෙයක් නෙමෙයි. හැබැයි එය එසේ වෙන්නේ ණය ගැනීමේ අවසන් ප්‍රතිඵලයක් විදිහට ශුද්ධ වත්කමක් හැදෙනවානම් පමණයි.
ණයක් කියන්නේ බැරකමක්. ඒ නිසා, ණයක් ගන්න හැම විටකම ක්ෂණිකව හා අනිවාර්යයයෙන්ම බැරකමක් හැදෙනවා. එහි හානිය වලක්වාගන්නනම් අදාළ ණය මුදල යොදවා කිසියම් වත්කමක් හදාගත යුතුයි. ඒ විදිහට හදා ගන්නා වත්කම නිසා ඇති වන ධනාත්මක බලපෑම ණය නිසා ඇති වූ සෘණාත්මක බලපෑමට වඩා වැඩිනම් මේ දෙකේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය ශුද්ධ වත්කමක් ලෙස සලකන්න පුළුවන්.
අපි උදාහරණයකින් මෙය පැහැදිලි කර ගනිමු. කවුරු හෝ කෙනෙක් ණයක් අරගෙන ත්‍රිරෝද රථයක් මිල දී ගන්නවා. කල්බදු ක්‍රමයට කියමු. දැන් මේ ණය වෙනුවෙන් මාස්පතා වියදමක් දරන්න වෙනවා. පොලී මුදල් හා ණය වාරික කියමු. තව ආදායම් බලපත්‍ර, රක්ෂණ වාරික වගේ වියදමුත් එකතු වෙනවා. ඒ කියන්නේ මේ ත්‍රිරෝද රථය බැරකමක්. නමුත්, ත්‍රිරෝද රථය කුලියට දීලා මාස්පතා යන වියදමට වඩා ආදායමක් හොයා ගන්න පුලුවන්නම් ඒ බැරකම ඉක්මවන වත්කමක් හැදිලා. ඒ නිසා ත්‍රිරෝද රථය ශුද්ධ වත්කමක් කියා කියන්න පුළුවන්. රටකට වුනත් මේ කතාව අදාළයි.
ණය ගන්න එකේ වැරැද්දක් නැහැ. ප්‍රශ්නය ගත් ණය වියදම් කරන්නේ කොහොමද කියන එකයි. ණය මුදල් යොදවා හදාගත් වත්කම් වල ආදායමින් ණය ගෙවාගෙන යන්න පුලුවන්නම් ගත්ත ණය රටට බරක් වෙන්නේ නැහැ. වසරින් වසර ලංකාවේ ණය ඉහළ යන්නේ ඒ විදිහට ලංකාව විසින් ගත් ණයට සරිලන වත්කම් හැදී නැති නිසයි.
ලංකාවේ රජය විසින් මේ වන විට රුපියල් ට්‍රිලියන 14 ඉක්මවන ණය ප්‍රමාණයක් ලබා ගෙන තිබෙන බව අපි දන්නවා. එම ණය ප්‍රමාණය ලංකාවේ රජයේ බැරකමක්. රජයට ණය දුන් අයගේ වත්කමක්. මේ ණය වලින් රුපියල් ට්‍රිලියන 7.2ක් දේශීය ණය. ඒ කියන්නේ රජයේ බැරකම් වලට සරිලන වත්කම් රට ඇතුළේ කවුරු හෝ සතුව තිබෙනවා. එහෙත්, ඉතිරි රුපියල් ට්‍රිලියන 6.8ට සරිලන වත්කම් ඒ අයුරින් රට ඇතුළේ නැහැ. ඒ නිසා, ඒ කොටස ලංකාවේ රජයේ බැරකමක් වනවාට අමතරව රටේ බැරකමක්ද වෙනවා.
ලංකාවේ බැරකම් වෙන්නේ ලංකාවේ රජයේ බැරකම් පමණක් නෙමෙයි. පෞද්ගලික අංශය විසින් විදේශ ණය ලබාගෙන ඇත්නම් ඒවාද ලංකාවේ බැරකම්. වත්කම්ද එසේයි. ඒ වගේම රටේ බැරකම් වෙන්නේ ණය පමණක්ම නෙමෙයි. සෘජු විදේශ ආයෝජන වගේ දේවලුත් රටේ බැරකම්. මොකද කවුරු හෝ විදේශිකයෙක් විසින් ලංකාවේ කරන ආයෝජනයක් වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ දිගින් දිගටම රටෙන් එළියට යනවා. කල්පනාකාරී වුනේ නැත්නම් සෘජු විදේශ ආයෝජන ගෙන්වා ගැනීම උගුලක අහුවීමක් වෙන්න පුළුවන්.
සමාගමක ශේෂ පත්‍රය හදනවා වගේ රටක ශේෂ පත්‍රයත් හදන්න පුළුවන්. එහි රටේ වත්කම් හා බැරකම් සටහන් වෙනවා. මේ වත්කම් හා බැරකම් සැසඳීමෙන් රටේ ශුද්ධ වත්කම් හෝ බැරකම් තත්ත්වය පරීක්ෂා කර බලන්න පුළුවන්.
කිසියම් රටක වත්කම් හා බැරකම් පහත පරිදි ලැයිස්තුගත කරන්න පුළුවන්.
1. සෘජු විදේශ ආයෝජන: විදේශිකයින් විසින් ලංකාවේ කර ඇති සෘජු ආයෝජන බැරකම් වන අතර ලාංකිකයින් විසින් විදේශ වල කර තිබෙන ආයෝජන ලංකාවේ වත්කම්.
2. කළඹ ආයෝජන: රාජ්‍ය හෝ පෞද්ගලික සුරැකුම්පත් ආදියෙහි, එසේ නැත්නම් කොටස් වෙළඳපොළෙහි කර ඇති ආයෝජන. ලාංකිකයින් විසින් වෙනත් රටවල කර තිබෙන ආයෝජන වත්කම් වන අතර විදේශිකයින් විසින් ලංකාවේ කර තිබෙන කළඹ ආයෝජන ලංකාවේ බැරකම්.
3. මූල්‍ය ව්‍යුත්පන්න: ලංකාවේ මූල්‍ය ව්‍යුත්පන්න ආයෝජන නැති තරම්.
4. වෙනත් ආයෝජන: රජය හෝ මහ බැංකුව විසින් සෘජුව ලබා ගන්නා ණය, දේශීය ව්‍යවසායකයින් විසින් ලබා ගන්නා හෝ ලබා දෙන වානිජ ණය හෝ අත්තිකාරම් ආදිය මේ යටතට වැටෙනවා. වත්කම් මෙන්ම බැරකම්ද තිබිය හැකියි.
5. නිල සංචිත: රටක නිල සංචිත එම රටේ වත්කම් වලින් කොටසක්. ඉහත අනෙකුත් අයිතමයන් මෙන් මෙයට අනුරූප බැරකමක් නැහැ.
පහත තිබෙන්නේ 2020 මාර්තු අවසානයේදී ලංකාවේ ශේෂ පත්‍රයයි.
වත්කම් (ඇමරිකන් ඩොලර් මිලියන)
සෘජු විදේශ ආයෝජන- 1,504
කළඹ ආයෝජන- 0.1
මූල්‍ය ව්‍යුත්පන්න- -
වෙනත් ආයෝජන- 4,239
නිල සංචිත- 7,534
එකතුව- 13,277
බැරකම් (ඇමරිකන් ඩොලර් මිලියන)
සෘජු විදේශ ආයෝජන- 12,455
කළඹ ආයෝජන- 9,946
මූල්‍ය ව්‍යුත්පන්න- -
වෙනත් ආයෝජන- 35,860
එකතුව- 58,211
මේ අනුව ලංකාවේ බැරකම් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 58,211ක් වුවත්, වත්කම් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 13,277ක් පමණයි. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් මිලියන 44,985ක ශුද්ධ බැරකමක්. ඉහත එක් එක් අයිතමය වෙන වෙනම ගත්තත් හැම විටම වත්කම් මෙන් කිහිප ගුණයක බැරකම් ඇති බව පැහැදිලිව පෙනෙනවා. ඉහත ශුද්ධ බැරකම් රටේ ජනගහණයෙන් බෙදුවොත් එක් අයෙකුට ඇමරිකන් ඩොලර් 2,102 ක්.
ඇමරිකා එක්සත් ජනපදය ලෝකයේ රටවල් අතරින් ශුද්ධ බැරකම් වැඩිම රටයි. පහතින් තිබෙන්නේ 2020 මාර්තු අවසානයේදී ඇමරිකාවේ ශේෂ පත්‍රයයි.
වත්කම් (ඇමරිකන් ඩොලර් බිලියන)
සෘජු විදේශ ආයෝජන- 6.982.0
කළඹ ආයෝජන- 10,987.4
මූල්‍ය ව්‍යුත්පන්න- 3,000.5
වෙනත් ආයෝජන- 5,259.7
නිල සංචිත- 537.5
එකතුව- 26,767.1
බැරකම් (ඇමරිකන් ඩොලර් බිලියන)
සෘජු විදේශ ආයෝජන- 8,789.8
කළඹ ආයෝජන- 19,778.4
මූල්‍ය ව්‍යුත්පන්න- 2,965.2
වෙනත් ආයෝජන- 7,311.2
එකතුව- 38,824.6
ඇමරිකාවේ වත්කම් ප්‍රමාණය වන ඩොලර් බිලියන 26,767.1 ට සම්මුඛව ඩොලර් බිලියන 38,824.6 ක බැරකම් තිබෙනවා. ඒ කියන්නේ ඩොලර් බිලියන 12,057.5ක ශුද්ධ බැරකමක්. ඒ කියන්නේ එක් ඇමරිකානුවෙකුට ඩොලර් 36,500ක් පමණ. එක් ලාංකිකයෙකුට ඇමරිකන් ඩොලර් 2,100ක ශුද්ධ බැරකමක් තිබීම ප්‍රශ්නයක්නම් එක් ඇමරිකානුවෙකුට ඩොලර් 36,500ක ශුද්ධ බැරකමක් තිබීම ප්‍රශ්නයක් නොවන්නේ කොහොමද?
ඇමරිකාවේ ශුද්ධ බැරකම් ප්‍රමාණය ඩොලර් බිලියන 12,057.5ක් බව ඇත්ත. එහෙත් එය හැදී තිබෙන්නේ ඩොලර් බිලියන 26,767.1ක වත්කම් හා ඩොලර් බිලියන 38,824.6 බැරකම් වල එකතුවක් ලෙසයි. ඇමරිකාවේ ඩොලර් බිලියන 26,767.1ක වත්කම් වලින් ලැබෙන ආදායම ඩොලර් බිලියන 38,824.6 බැරකම් වෙනුවෙන් වැය කළ යුතු වියදමට වඩා වැඩියි. ඒ නිසා, ශුද්ධ වශයෙන් ඇමරිකාවේ බැරකම් වැඩි වුනත් වත්කම් හා බැරකම් වලින් ශුද්ධ ලෙස ඇමරිකාවට ආදායමක් ලැබෙනවා. මෙය ඇමරිකාවට සුවිශේෂී තත්ත්වයක්.
ඇමරිකාවේ වත්කම් හා බැරකම් වල සංයුතිය පරීක්ෂා කළ විට මේ කරුණ පැහැදිලි වෙනවා. වත්කම් හා බැරකම් අතර වෙනසට ප්‍රධානම හේතුව කළඹ ආයෝජන වල වෙනසයි. අනෙක් කොටස් සෑහෙන දුරට සමතුලිතයි. ඇමරිකාවේ බැරකම් වලින් අඩකටත් වඩා කළඹ ආයෝජන. මෙයින් සැලකිය යුතු කොටසක් විදේශිකයින් විසින් ඇමරිකාවේ රාජ්‍ය සුරැකුම්පත් වල කර තිබෙන ආයෝජන. ඒ වෙනුවෙන් ඇමරිකන් රජය විසින් ගෙවන්නේ ඉතා අඩු පොලියක්.
බොහෝ රටවල් හා අදාළව බැරකම් වලින් පිළිබිඹු වෙන්නේ බැරිකම්. බැරකම් ඉහළ ගොස් තිබෙන්නේ බැරිකම් වසා ගැනීමට ණය ඉල්ලාගෙන විදේශිකයින් වෙත යාම නිසයි. එවැනි තත්ත්වයක් යටතේ ණය ලබා ගන්න වෙන්නේ අවදානමට සරිලන විශාල පොලී අනුපාතිකයක් යටතේ.
නමුත්, ඇමරිකාවේ තත්ත්වය වෙනස්. ඇමරිකන් රජය ණය ඉල්ලාගෙන වෙනත් රටවල් වෙත ගොස් නැහැ. ඒ වෙනුවට සිදු වී තිබෙන්නේ වෙනත් රටවල් විසින් සුරක්ෂිත ආයෝජනයක් සේ සලකමින් ඇමරිකන් රජය විසින් නිකුත් කරන ණය සුරැකුම්පත් ඉල්ලාගෙන පැමිණීමයි. ඇමරිකාව එහි වාසිය ලබමින් ඉතා අඩු පොලියකට ප්‍රාග්ධනය ආකර්ශනය කර ගන්නවා. ඒ නිසා, ඇමරිකාව හා අදාළව බැරකම් කියා කියන්නේ බැරිකම් නෙමෙයි. පුළුවන්කම්.
ඇමරිකාවේ විදේශ වත්කම් ප්‍රමාණය විදේශ බැරකම් ප්‍රමාණයෙන් 69%ක් පමණයි. එසේ වුවත්, බැරකම් වෙනුවෙන් ඇමරිකාව වැය කරන මුදල වත්කම් වලින් උපයන ආදායමට වඩා අඩු මට්ටමක තිබෙන්නේ මේ පොලී අනුපාතික වෙනස නිසයි.
ලංකාවේ විදේශ වත්කම් ප්‍රමාණය විදේශ බැරකම් ප්‍රමාණයෙන් 22.8%ක් පමණයි. එයින් වැඩි කොටසක් නිල සංචිත. නිල සංචිත ආයෝජනය කරන්නේ සුරක්ෂිතතාවට ප්‍රමුඛතාවය දෙමින් නිසා එයින් විශාල පොලී ආදායමක් ලැබෙන්නේ නැහැ. ඉතිරි කොටස වාණිජ බැංකු වල සංචිත හා සමාගම් විසින් ලබා දී ඇති වාණිජ අත්තිකාරම්. ඒවායින්ද සැලකිය යුතු පොලී ආදායමක් ලැබෙන්නේ නැහැ. එහෙත්, බැරකම් වලින් සෑහෙන ප්‍රමාණයක් ස්වෛරීත්ව බැඳුම්කර විකුණා ලබාගෙන තිබෙන ණය. ඒ වෙනුවෙන් සැලකිය යුතු පොලී වියදමක් දරන්න වෙනවා. ලංකාවේ බැරකම් ප්‍රමාණය වත්කම් ප්‍රමාණය මෙන් හතර පස් ගුණයක් වීමට අමතරව බැරකම් වෙනුවෙන් වැඩි පොලී අනුපාතිකයක් ගෙවන්න සිදු වීමේ අවාසියද ලංකාවට තිබෙනවා.
කවුරු ආණ්ඩු කළත් ලංකාව පැටලී සිටින ණය උගුලෙන් අවුරුදු හතර පහකින් ගොඩ යන්න බැහැ. ගොඩ යන තුරු තව තවත් ණය ගන්න වෙනවා. උගුලෙන් ගොඩ යනවාද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඒ ගන්න ණය ආයෝජනය කරන්නේ කොහොමද කියන එක මතයි.
Tuesday, August 20, 2019
අනුර කුමාර ඉදිරිපත් වුනේ ඇයි?
අනුර කුමාර දිසානායක මේ වන විට ජාතික ජන බලවේගයේ අපේක්ෂයා ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව බර තබා දැනුම් දී තිබෙනවා. එහෙත්, එජාප අපේක්ෂයාව එළි දැක්වීමෙන් අනතුරුව අනුර කුමාර ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවී ලිස්සා යනු ඇතැයි ඇතැම් අය අදහස් පළ කරනවා. සාධක ගණනාවක් මත එය එසේ වේයැයි මා හිතන්නේ නැහැ.
මගේ අදහස අනුව මෙවර ජනපතිවරණයට ජවිපෙ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම 2015 ට පෙර සිටම ජවිපෙ සැලසුම් කළ ඉදිරි ක්‍රියාමාර්ග හා ගැලපෙන්නක්. 2015දී ජවිපෙ ප්‍රමුඛතාවය දුන්නේ රාජපක්ෂ රෙජීමය බලයෙන් පහ කිරීමටටයි. ඔවුන් එය කිරීමට සමත් වුනා. 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණය සඳහා ජවිපෙ දායකත්වය තීරණාත්මක ලෙස බලපෑවා. එහෙත්, ජවිපෙ ඒ අවස්ථාවේදී මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටියේ වක්‍ර ලෙසයි. ඔවුන් ජනතාවට "අන්න ඉබ්බා. මෙන්න ගින්දර" කියා පෙන්නුවා මිසක් ඊට වඩා වැඩි දෙයක් කිවුවේ නැහැ. එසේ කළේ "ඉබ්බා පුච්චන්න කියා අපි කවදාවත් කියා නැහැ" කියා පසුව කීමේ ඉඩකඩ වෙනුවෙනුයි. නමුත්, තමන්ට වාසිදායක තත්ත්වයන් යටතේදී "ඉබ්බව වගේම ගින්දරත් පෙන්නුවේ අපි. අනෙක් අය කළේ අපි පෙන්නුවාට පස්සේ ඉබ්බව පුච්චපු එක විතරයි" කියා කීමේ විකල්පයත් ඔවුන් ඉතිරි කර ගත්තා.
පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේදී යහපාලනය වෙනුවෙන් පෙනී සිටි බොහෝ දෙනෙකුගේ අපේක්ෂාවන්ට සාපේක්ෂව යහපාලන ආණ්ඩුව ඉතා ඉක්මණින්ම අසාර්ථක වීමට නියමිතව තිබුණු බව මුල සිටම පැහැදිලිව පෙනුණු දෙයක්. ජවිපෙත් මේ බව නිවැරදිව ඇස්තමේන්තු කළා. පැවති තත්ත්වය කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යාම සඳහා රනිල් වික්‍රමසිංහ සතුව මාර්ග සිතියමක් තිබුණා. එහි මූලික හා ප්‍රධානම උපාය මාර්ගය වූයේ ශ්‍රීලනිපය දෙකඩ කිරීමයි. එහෙත්, ශ්‍රීලනිප දෙකඩ වීම වෙනුවට සිදු වුනේ ශ්‍රීලනිපය නැති වීම නිසා රනිල්ගේ සැලසුම් සාර්ථක වූයේ නැහැ.
ජවිපෙ සැලසුම් පදනම් වූයේද රනිල්ගේ සැලසුම් වලට සමාන්තරවයි. ශ්‍රීලනිපය දෙකඩ වී දුර්වල වීමෙන් පසුව එජාපයටද මතු වෙන්නට ඉඩ නොදී පක්ෂ දෙක කෙරෙහිම කලකිරෙන විශාල පිරිස තමන් වෙත ආකර්ශනය කර ගැනීම ජවිපෙ අභිලාශය වුනා. ජවිපෙ විසින් බැඳුම්කර සිදුවීම උපයෝගී කරගෙන එජාපයට මුලදීම මාරාන්තික ප්‍රහාරයක් එල්ල කළේ එජාපයේ ගමනට තිරිංග දමා තමන්ගේ ගමන වේගවත් කර ගැනීමට මිස රාජපක්ෂලාට නැවත බලයට එන්න තිබෙන ඉඩකඩ වැඩි කරන්න නෙමෙයි.
එජාප හා ජවිපෙ සැලසුම් වෙනස් වුනේ මහින්ද විසින් ශ්‍රීලනිප සභාපතිකම මෛත්‍රීට දී පැත්තකට වීමත් සමඟයි. බැලූ බැල්මටට මෙය පෙනුණේ මෛත්‍රීට වගේම එජාපයට හා ජවිපෙටත් ලැබුණු අනපේක්ෂිත වාසියක් විදිහටයි. එහෙත්, ඉත්තන් කිහිප දෙනෙක් කැපෙන්නට ඇරීමෙන් රාජපක්ෂලාට දාන් යන්න පාරක් ඇරුණා.
ජවිපෙ ඇතුළේ සිටිමින් එජාපයට අවශ්‍ය පරිදි කටයුතු කරන බවට චෝදනාවක් කලක සිටම අනුර කුමාරට එල්ල වී තිබෙනවා. ඒ වගේම ජවිපෙට පොදුවේ "රතු අලි" ලේබලයක් වැදී තිබෙනවා. මේ ලේබල් ගහන කණ්ඩායම් අතර රාජපක්ෂවාදීන් වගේම ජවිපෙන් කැඩී ගිය කණ්ඩායම් දෙකේ අයත් කැපී පෙනෙනවා.
කිසියම් දේශපාලන පක්ෂයක් ඇතුළේ වෙනත් පක්ෂයක ඉත්තන් සිටීම අමුතු දෙයක් නෙමෙයි. ජවිපෙ ඇතුළෙත් එවැනි අය සිටිය හැකියි. විමල් වීරවංශ වැනි අය ජවිපෙ ඇතුළේ සිටියදී රාජපක්ෂලාට අවශ්‍ය පරිදි කටයුතු කර ඇති බව පැහැදිලියි. ඒ ආකාරයටම අනුර කුමාර එජාපයට අවශ්‍ය ආකාරයට කටයුතු නොකරනවා කියා මට සහතික විය නොහැකියි. හැබැයි එවැනි තත්ත්වයක් තිබේනම් එය ජවිපෙ සාමාජිකයින්ගේ හා නිලධාරී මණ්ඩලයේ ප්‍රශ්නයක්. ඔවුන්ට එය ප්‍රශ්නයක් නොවේනම් හෝ එවැනි ප්‍රශ්නයක් නොපෙනේනම් ජවිපෙට පිටින් සිටින අය එය ප්‍රශ්නයක් කර ගත යුතු නැහැ.
බාහිර නිරීක්ෂකයෙක් ලෙස මා දැකපු ආකාරයටනම් සිදු වුනේ ඇතැම් තත්ත්වයන් යටතේදී ජවිපෙ හා එජාප අවශ්‍යතා සමපාත වීමක්. එය ජවිපෙ එජාපය වෙනුවෙන් කඩේ යමක් ලෙස ලඝු කරන්න බැහැ. ජවිපෙ උත්සාහ කළේ මුලින් එජාපයේ උදවුවෙන් රාජපක්ෂ කල්ලිය ඇතුළු ශ්‍රීලනිපත්, දෙවනුව එජාපයත් දුර්වල කර 2020දී රාජ්‍ය බලය වෙත කිට්ටු කරන්නයි. ඔවුන් ඉලක්ක කළ පරිදි බොහෝ දේ සිදු වුනේ නොමැති තත්ත්වයක් යටතේ වුවත් වෙනම තරඟ කිරීම ඔවුන්ට මේ වෙලාවේ ගත හැකි හොඳම ක්‍රියා මාර්ගයයි. මේ මා දකින පළමු හේතුව.
පසුගිය දෙවරම ජවිපෙ විසින් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කළේ එම පක්ෂයේ සැලකිය යුතු ව්‍යුහමය වෙනසක් සිදු වීමෙන් පසුවයි. පළමු කැරැල්ලෙන් පසුව නිදහස ලබා නැවත සංවිධානය වීමෙන් පසුව 1982දී රෝහණ විජේවීර ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනා. මෙය කළේ බලහත්කාරයෙන් රාජ්‍ය බලය ලබා ගැනීමේ අරමුණින් හැදූ ජවිපෙ පක්ෂ ව්‍යුහය මැතිවරණ ඉලක්ක කර යම් තරමකින් වෙනස් කර ගැනීමෙන් පසුවයි. මේ ආකාරයෙන්ම දෙවන කැරැල්ලෙන් පසුව පක්ෂ ව්‍යුහය ප්‍රතිසංවිධානය කර ගැනීමෙන් පසුව 1994දී නිහාල් ගලප්පත්තිව ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට උත්සාහයක් ගත්තත්, ඒ වන විටත් දෙවන කැරැල්ලේ තුවාල සුව වී නොතිබූ නිසා ඔවුන්ගේ දෙවන ජනාධිපතිවරණ පරීක්ෂණය 1999 දක්වා කල් දමන්න සිදුවුණා.
මෙවර ජවිපෙ අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ජවිපෙ තුන්වන කැරැල්ලේ තුවාල සුව කරගැනීමෙන් පසුවයි. පළමු කැරලි දෙකේදී මෙන් ජවිපෙ තුන් වන කැරැල්ලේදී රටට හානියක් සිදු වුනේ නැහැ. දැනෙන බලපෑමක් සිදු වුනෙත් නැහැ. එහෙත්, මුල් කැරළි අවස්ථා දෙකේදී වගේම පක්ෂයේ ආකෘතිමය රාමුවට හානි සිදු වුනා. ඉන් පසුව, මේ හානි ප්‍රතිසංස්කරණය කර ගනිමින් ජවිපෙට ව්‍යුහමය වෙනස්කම් කර ගන්න සිදු වුනා.
පක්ෂ අභ්‍යන්තරයට සීමා වූ ජවිපෙ තුන් වන කැරැල්ල 2012දී සිදු වූ කුමාර් ගුණරත්නම් ඇතුළු කණ්ඩායමේ වෙන් වීමයි. ඊට පෙර 2008දී සිදු වූ විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමේ වෙන්වීම නිසා ජවිපෙ ඡන්ද පදනම විශාල ලෙස බිඳ වැටුණත්, එම කණ්ඩායමේ වෙන් වීම ජවිපෙ පක්ෂ ව්‍යුහයට බලපෑවේ නැහැ. ප්‍රසිද්ධියේ මොනවා කිවුවත්, 2012 වන තුරුම ජවිපෙ යනු මැතිවරණ ජයග්‍රහණ ඉලක්ක කළ පක්ෂයක් නෙමෙයි. ඔවුන් මැතිවරණ ජයග්‍රහණ උපයෝගී කර ගත්තේ පක්ෂයේ ආරම්භයේ සිටම පැවතුනු අවසාන අරමුණ වූ අවි බලයෙන් රාජ්‍ය බලය පැහැර ගැනීමේ ඉලක්කය කරා යාමට උදවු වන අතරමැදි ඉලක්ක ලෙස පමණයි. නමුත්, ජවිපෙ ක්‍රමයෙන් මැතිවරණ ජයග්‍රහණ ලබා ගනිද්දී මුල් අරමුණ වෙනුවෙන් පෙනී සිටින කොටස් ක්‍රමයෙන් පක්ෂය තුළ දුර්වල වී 2012දී ඔවුන්ව තීරණාත්මක ලෙස පරාජය කෙරුණා.
විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමට වෙන්ව යාමට සිදු වීමත් මෙයට සම්බන්ධයි. ඔවුන් ජවිපෙ ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදී ඉලක්ක වෙනුවෙන් මුලින්ම පෙනී සිටි කණ්ඩායමක්. එහෙත්, බාහිර නිරීක්ෂකයින්ට ඔවුන් පෙනුනේ පක්ෂයේ ප්‍රබලයින් ලෙස වුවත්, ඔවුන්ට පක්ෂය ඇතුළේ බලයක් නොතිබුණු නිසා පක්ෂය ප්‍රතිසංස්කරණය වීම වෙනුවට සිදු වුනේ ඔවුන් එළියට විසි වීමයි.
කුමාර් ගුණරත්නම් කණ්ඩායම ඉවත් වීමෙන් පසුවත් ජවිපෙ පක්ෂ ව්‍යුහය ඇතුළේ භක්තිමත් මාක්ස්වාදීන් ඉතිරිව සිටිනවා. ඔවුන් ඇතැමෙකුට පක්ෂය ඇතුළේ තවමත් විශාල බලයක් තිබෙනවා. ටිල්වින් ද සිල්වා උදාහරණයක් ලෙස පෙන්වන්න පුළුවන්. පක්ෂයේ නියමුවා පුවත්පත වැනි තැන් වල තවමත් ප්‍රමුඛතාවය ලැබෙන්නේ ලෙනින්ලාගේ මූලධර්මවාදී ආගමික පාඨ වලටයි. එසේ වුවත්, ජවිපෙ මේ වන විට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස රූපාන්තරණය වෙමින් පවතින බව පැහැදිලියි.
එක් වෙබ් අඩවියක පෙන්වා දී තිබුණේ අනුර කුමාර මෙවර රතු කමිසයක් ඇඳ නොසිටි බව හා සමාජවාදය යන වචනය ඔහුගේ කතාවේ කිසි තැනක සඳහන් නොකළ බවයි. එමෙන්ම, අනුරගේ මෙවර කතාවේ ලෙනින්, මාක්ස් හෝ එංගල්ස් කියූ දේවල් කිසිවක් නැහැ. අඩු වශයෙන් රෝහණ විජේවීර කියූ දේවල් හෝ නැහැ. ඒ වෙනුවට ඔහු උපුටා ගන්නේ ඇමරිකානු සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු වූ මාටින් ලූතර් කිංග්වයි. මෙයින් පෙනෙන්නේ ජවිපෙ සමාජවාදය අතහැර ඇති බවයැයි අප කියන්නේ නැහැ. මෙය හිතා මතාම කරන රැවටීමක් විය හැකියි. එහෙත්, ඒ ආකාරයේ රැවටීමක් වුවත් ජවිපෙ ඉතිහාසයට සාපේක්ෂව විශාල වෙනසක්. ආරම්භයේදී ජවිපෙ මැතිවරණ වලට ඉදිරිපත් වූයේත් රැවටිල්ලක් ලෙස වුවත්, ඒ රැවටිල්ල නිසා දිගුකාලීනව ජවිපෙ පක්ෂ ව්‍යුහයේ සැබෑ වෙනසක් සිදු වුනා.
අනුර කුමාරගේ කතාවේ වැදගත්ම කොටස ලෙස මා දකින්නේ පහත කොටසයි.
"ඒ වගේම පුද්ගල නිදහස පිළිබඳ ප්‍රශ්නය. මිනිස් සංහතිය මානව වර්ගයාගේ උසස්තතම නිර්මාණයන් අත්පත් කර ගත්තේ කෙසේද? ඒ නිර්මාණයන් අත්පත් කර ගත්තේ ඇතිවන අදහස් ඇතිවන සිතුවිලි පෙට්ටගමක් අස්සට දාල ඉබියතුරු දාල වසා තැබීමෙන් නෙමෙයි. මානව සංහතියේ ප්‍රගමනය නිර්මාණය වී තිබෙන්නේ නිදහස් අදහස් ගැටීමෙන්. ඒ නිදහස් අදහස් අතර සමාජ ප්‍රගමනයට හිතකර මතයන් උරා ගැනීමෙන්. එසේ නැතිව වසා තැබීමෙන් නෙමෙයි. ඒ නිසා අපේ සමාජය ඉදිරියට ගෙන යා හැකි වන්නේ පුද්ගල නිදහස වගේම නිදහස් මතයන් දැරීමේ අයිතිය පිළිගැනීමෙන් පමණයි. සමාජයට විනයක් නිර්මාණය කළ හැක්කේ එතැනින් පමණයි. සමාජය ඇතුළේ නීතියේ සහ විධානයේ ආධිපත්‍යය තහවුරු කළ හැකි වන්නේ එතැනින් පමණයි. එසේ නැතිව ඇති කර ගන්නා ලද කවර වර්ගයේ විනයක්, එසේ නැතිව ඇති කර ගන්නා ලද කවර වර්ගයේ නීතියේ සහ විධානයේ ආධිපත්‍යයක් ජනතාව පීඩාවට පත් කරන්නක් හැර අන් කවරක් නෙමෙයි. ඒ නිසා අපි පුද්ගලික නිදහස පිළිබඳව විවෘතව කටයුතු කළ යුතු අවදියකට අප අවතීර්ණ වී සිටිනවා."
අන් මත දරන්නන් කුරුරු ලෙස ඝාතනය කළ පක්ෂයක් මෙවැනි තැනකට පැමිණීම ඉතා වැදගත් පරිවර්තනයක්. මෙහි අනුර කුමාර විසින් කතා කරන පුද්ගලික නිදහස කියන සංකල්පයේ ඉතා වැදගත් අංගයක් වන්නේ ඒකීය පුද්ගලයින්ට නිදහස් ගනුදෙනු වල යෙදීමට තිබෙන අයිතියයි. සමාජවාදය ධනවාදයෙන් වෙනස් වන්නේ සමාජවාදය තුළ රාජ්‍ය මැදිහත්වීම් හරහා ඒ නිදහසට බාධා කිරීමත්, ධනවාදය තුළ එසේ නොකිරීමත් යන කරුණ මතයි. අනුර කුමාරගේ කතාවේ රටේ හා ජනතාවගේ ආර්ථික දියුණුව ගැන කතා කළත් ඒ වෙනුවෙන් ඔවුන් ගන්නා ක්‍රියාමාර්ග ගැන කිසිවක් සඳහන් වන්නේ නැහැ. ඇතැම් විට සමාජවාදී ඉතිහාසයක් තිබෙන පක්ෂයක් විදිහට තවමත් ජවිපෙට නිදහස් වෙළඳපොල සංකල්පය වෙනුවෙන් පෙනී සිටින්න අමාරු ඇති.
යම් සීමාවන් තවමත් තිබුණත් මේ එළැඹෙන්නේ පක්ෂය ඇතුළට සීමා වූ ජවිපෙ තෙවන කැරැල්ලෙන් පසුව පක්ෂ ව්‍යුහය ප්‍රතිසංවිධානය කරගැනීමෙන් පසුව එළැඹෙන පළමු ජනාධිපතිවරණයයි. ඒ නිසා, මෙවරත් පෙර අවස්ථා දෙකේදී වගේම මේ වෙනසට ජනතාව ප්‍රතිචාර දක්වන ආකාරය දැන ගැනීමේ උවමනාවක් ජවිපෙට තිබෙනවා. මෙය ඔවුන් තමන්ගේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන දෙවන හේතුවයි.
ජවිපෙ මින් පෙර ජනාධිපතිවරණයකට සිය අපේක්ෂකයින් ඉදිරිපත් කළ අවස්ථා දෙකම බොහෝ දෙනෙකුට යම් තරමකින් හෝ ප්‍රධාන පක්ෂ දෙකම එපා වී තිබුණු අවස්ථාවන්. නිදහසේ සිට හැත්තෑ හත දක්වාම ලංකාවේ සිදුවුනේ එජාපය හා ශ්‍රීලනිපය (හෝ එම පක්ෂ මුල් වූ සන්ධාන) මාරුවෙන් මාරුවට බලයට පැමිණීමයි. නමුත්, 1982 වන විටත් ලංකාවේ මිනිස්සුන්ට සමගි පෙරමුණු ආණ්ඩුවේ සමාජවාදය අමතක වී තිබුණේ නැහැ. ඒ නිසා, ජේආර්ගේ ආණ්ඩුව පෙරළා නැවත ශ්‍රීලනිපය බලයට පත් කර ගැනීමේ සූදානමක් ඒ වන විටත් රටේ තිබුණේ නැහැ. අනෙක් අතට ජේආර්ගේ ආණ්ඩුව ගැන කළ කිරුණු විශාල පිරිසක් ඒ වන විට රටේ හිටියා. එවර ජවිපෙ විසින් ඉලක්ක කළේ මෙසේ ප්‍රධාන පක්ෂ දෙකම ගැන කළ කිරුණු පිරිසයි.
චන්ද්‍රිකා දෙවන වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විට තිබුණේත් මේ වගේ තත්ත්වයක්. ඒ වන විට 62.3%ක ජනවරමකින් බලයට පත්ව සිටි නූතන විහාර මහා දේවිය චෞර රැජින සේ බෞතීස්ම ලබා සිටියත්, ජනතාවටට එජාපයේ "දාහත් අවුරුදු සාපය" අමතකව තිබුණේත් නැහැ. ජවිපෙ උත්සාහ කළේ මේ තත්ත්වයෙන් ප්‍රයෝජන ගන්නයි. දැන් නැවතත් එවැනිම වටපිටාවක් සකස් වී තිබෙනවා. ජවිපෙ තරඟයට එන්නේ ඒ නිසයි.
කිසියම් ඡන්ද පදනමක් තිබෙන තෙවන අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන විට හැමවිටම වගේ නැගෙන චෝදනාවක් වන්නේ මේ අපේක්ෂකයා එන්නේ ඡන්ද කඩන්න කියන එකයි. මට මතක ඇති කාලයේ මේ චෝදනාවට වැඩිපුරම ලක් වුනේ මෙතෙක් ලංකාවේ ජනාධිපතිවරණයකදී වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත් වූ තෙවන අපේක්ෂකයා වන ඔසී අබේගුණසේකරයි. මේ චෝදනාව අප මේ වියුණුවේ ලිපියක් පළ කළ විට අපව කිසියම් දේශපාලන පක්ෂයකට හෝ අපේක්ෂකයෙකුට සම්බන්ධ කර සිතීමට තරමක් සමානයි.
අප ලියන ඇතැම් දේ වලින් ඇතැම් දේශපාලන පක්ෂ වලට හෝ පුද්ගලයින්ට වාසියක් හෝ අවාසියක් වෙන්න පුළුවන්. නමුත්, එය අපේ ප්‍රශ්නයක් නෙමෙයි. මේ ආකාරයටම තෙවන අපේක්ෂකයෙකු ඉදිරිපත් වන හැම විටකම ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගේ ඡන්ද කැඩෙනවා. දෙදෙනාගෙන් එක් අයෙකුගේ ඡන්ද වැඩියෙන් කැඩෙන නිසා තෙවන අපේක්ෂකයෙකු ඉදිරිපත් වීමෙන් ප්‍රතිඵලය වෙනස් වෙන්නත් පුළුවන්. නමුත්, ගෝඨාභයගේ හෝ එජාප අපේක්ෂකයාගේ ඡන්ද කැඩෙනවාද නැද්ද කියන එක ජවිපෙ ප්‍රශ්නයක් නෙමෙයි. ඔවුන්ගේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම හෝ නොකිරීම ඔවුන්ගේ අයිතියක්.
ඒකීය පුද්ගලයින්ගේ තේරීම් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙකුට, වැඩි විකල්ප ගණනක් ලැබීමට විරුද්ධ වීමේ හැකියාවක් නැහැ. තෝරා ගැනීමට තිබෙන විකල්ප ප්‍රමාණය ඉහළ යන තරමට සිදු වන්නේ යහපතක්. අලුතෙන් එකතු වෙන විකල්පයක් තමන්ට සාපේක්ෂව නරක එකක් වුවත් මෙහි වෙනසක් නැහැ. විකල්පය නරක එකක්යැයි පෙනේනම් එය තෝරා නොගෙන සිටීමේ අයිතිය පුද්ගලයෙකුට තිබෙනවා. එහෙත්, විකල්ප අඩු වූ විට වෙන්නේ අඩු නරක තෝරා ගන්න වෙන්න පුළුවන්.
ඒ වගේම ලංකාවේ ජනාධිපතිවරණයකදී මනාප භාවිතා කිරීමේ නිදහසද තිබෙන නිසා මේ ඡන්ද කඩන කතාව කොහෙත්ම අදාළ එකක් නෙමෙයි. තෙවන අපේක්ෂකයෙකු වෙනුවෙන් ඡන්දය භාවිතා කරන අයෙකුට ඒ හේතුවෙන් තමන් අකැමැති අයෙකු බලයට පත් වේයයි බයක් තිබේනම්, එය වළකනු පිණිස තමන්ගේ දෙවන මනාපය භාවිතා කළ හැකියි. එවිට අවසන් ප්‍රතිඵලය වෙනස් වෙන්නේ නැහැ. 1982 ජනාධිපතිවරණයේදී තමන්ට පළමු මනාපය දෙන අයගේ දෙවන මනාපය සිරිමාවෝ බණ්ඩාරනායක වෙත ලබා දෙන මෙන් කොල්වින් ආර් ද සිල්වා විසින් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියා.
පොදුජන පෙරමුණ හා එජාපය යන පක්ෂ දෙකටම එරෙහි විකල්ප අපේක්ෂකයෙකු සේ පෙනී සිටින අනුර කුමාරට හෝ ඔහුගේ පක්ෂය වන ජවිපෙට කොල්වින් ආර් ද සිල්වා විසින් කළ ආකාරයේ ඉල්ලීමක් ප්‍රසිද්ධියේ කරන්න අමාරුයි. එහෙත්, ජවිපෙ සාමාජිකයෙකු ලෙස පෙනී නොසිටින ජාතික ජන බලවේගයේ ප්‍රකාශකයෙකුට එවැනි ඉල්ලීමක් කළ හැකියි. ජවිපෙටම වුවත් අප්‍රසිද්ධියේ තමන්ගේ විශ්වාසවන්ත සාමාජිකයින් දැනුවත් කළ හැකියි. ජවිපෙ සතුව මේ විකල්පය තිබෙන නිසා, අවසාන මොහොතේ අනුර කුමාර තරඟයෙන් ඉවත් වේයැයි හිතන්න පුළුවන් කමක් නැහැ. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම පක්ෂයක් ලෙස ජවිපෙට ඉතා වැදගත් දෙයක්.
පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේ එජාපය හා ජවිපෙ විසින් රාජපක්ෂලාට කළ චෝදනා හා රාජපක්ෂලාගේම හැසිරීම් නිසා විශාල පිරිසකට රාජපක්ෂලාව එපා වුනා. ඔවුන් යහපාලනය වෙනුවෙන් ඡන්දය දුන්නා. ඉන් පසුව රාජපක්ෂලා හා ජවිපෙ විසින් වගේම මෛත්‍රීපාල පාර්ශ්වය විසින්ද බැඳුම්කර චෝදනාව එල්ල කරමින් එජාපයට විශාල පහරක් ගැහුවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස රාජපක්ෂලා එපා වී යහපාලනයට ආ විශාල පිරිසකට එජාපයත් එපා වුනා. නමුත්, මේ පිරිස් ජවිපෙ මුලින් ගණන් හදා බලා තිබූ ආකාරයට ඔවුන් වෙත ආවේ නැහැ. මහින්ද පාර්ශ්වයේ රතු අලි ලේබල් එක නිසා එජාපයෙන් ඉවත් වන පිරිස් ජවිපෙන්ද ඉවත් වුනා. ඉන් පසුව, මේ පිරිස් නැවතත් දින පණහේ ඔක්තෝබර් විප්ලවය වෙලාවේ මහින්දට හා මෛත්‍රීට එරෙහිව නැගී සිටියා. එහෙත්, ඔවුන් එජාපය වෙත හෝ ජවිපෙ වෙත නැවත ආකර්ශනය වුනේ නැහැ.
අවසාන ප්‍රතිඵලය විදිහට මේ වෙද්දී එජාප, ශ්‍රීලනිප (පොදුජන පෙරමුණද ඇතුළුව) හා ජවිපෙ තුනම එපා වී 225ම එපා කියා කියන පිරිසක් රටේ බිහි වී සිටිනවා. ඒ අයගේ ඉල්ලුම සපුරමින් අපේක්ෂකයින් කිහිප දෙනෙක්ද කරලියට පැමිණ තිබෙනවා. දැන් තිබෙන තත්ත්වය අනුව, රාජපක්ෂ කඳවුරේ ඡන්ද තමන් වෙත ආකර්ශනය කර ගැනීමේ හැකියාවක් ජවිපෙ සතුව නැහැ. මෑතකාලීන ඉතිහාසය පුරාම ජවිපෙ වෙත ආකර්ෂණය වුනේ ශ්‍රීලනිප ඡන්ද වුවත් දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා. ජවිපෙට යම් තරමකින් හෝ ගෝඨාභයට සෘජු බලපෑමක් කළ හැක්කේ ඔහුට ලැබෙන්නට ඉඩ තිබෙන පාවෙන ඡන්ද යම් ප්‍රමාණයක් ආකර්ශනය කර ගැනීමෙන් පමණයි.
ජවිපෙ විසින් තමන්ගේ අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකර එජාප අපේක්ෂයෙකුට සෘජුව හෝ වක්‍රව සහාය පළ කිරීම මඟින් මේ පාවෙන ඡන්ද එජාපය වෙත තල්ලු කළ නොහැකි තරමට ජවිපෙ විසින් බැඳුම්කර සිද්ධිය උපයෝගී කර ගනිමින් එජාපයට බැට දී අවසන්. ඒ නිසා, ඉදිරි ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට ඉඩ ඇති නාගානන්ද කොඩිතුවක්කු හෝ රොහාන් පල්ලෙවත්ත වැනි අයෙකුට ලබා ගත හැකි කිසියම් ඡන්ද ප්‍රමාණයක් තිබෙනවා. මේ ඡන්ද මෙතෙක් ජවිපෙට ලැබුණු ජවිපෙ නොවන ඡන්ද. ජවිපෙ විසින් අනුර කුමාර වෙත ආකර්ශනය කර ගැනීමට බලාපොරොත්තු වන්නේ මේ පාවෙන ඡන්දයි.
එහෙමනම්, ජවිපෙ විසින් ගාමිණී විජේසිංහ වැනි අයෙකු නොදා තමන්ගේ නායකයාම තරඟයට ඉදිරිපත් කළේ ඇයි? අපේ පහසුව සඳහා අපි අර විකල්ප අපේක්ෂකයා නාගානන්ද කියා හිතමු. දැන් නාගානන්ද වෙනුවෙන් ඡන්දය දෙන්නේ පක්ෂ තුනම එපා කියා කියන අයයි. මේ ඡන්ද සඳහා තරඟ කරන්න ගාමිණී විජේසිංහ දැම්මා කියා කියමු. දැන් තේරීම තියෙන්නේ දේශපාලන පක්ෂයක ඉත්තෙක්ව සිටින ස්වාධීන පුද්ගලයෙක් හා එසේ නොවන ස්වාධීන පුද්ගලයෙක් අතරයි. මේ වැඩෙන් අවශ්‍ය කාර්යය නොකෙරෙන බව පැහැදිලියි. ජවිපෙට ස්වාධීන පුද්ගලයෙක් තරඟයට දමා 225ම එපා කියන අයගේ ඡන්ද ලබා ගන්න බැහැ.
මේ තත්ත්වය යටතේ ජවිපෙ විසින් උත්සාහ කරන්නේ 225ම එපා කියන අදහසට මතවාදීව එරෙහි වෙමින් මේ පාවෙන ඡන්ද ආකර්ශනය කර ගන්නයි. විකල්ප අදහසක් ලෙස ඔවුන් කියන්නේ ජනතාව අතර කාලයක් සිටි කෙනෙකුට ආදේශකයක් වීමට රොකට් කාරයෙකුට නොහැකි බවයි. මේ කතාව ගැලපෙන්නේ ජවිපෙ දැනට සිටින නායකයෙකුටයි. වඩාත්ම ගැලපෙන්නේ එහි නායකයාටයි. ඔහුට අවම වශයෙන් ජවිපෙ ඡන්ද සියල්ලම ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.
අනුර කුමාරව ඉදිරිපත් කිරීමේ තිබෙන ප්‍රශ්නය වන්නේ ඔහුව "රතු අලියෙක්" සේ හඳුනා ගෙන තිබීමයි. එහෙත්, මෙය ප්‍රශ්නයක් වන්නේ රාජපක්ෂ කඳවුරේ ඡන්ද ඉලක්ක කරනවානම් පමණයි. ජවිපෙ දැන් ඉලක්ක කරන්නේ යහපාලනයට ලැබුණු, මේ වන විට යහපාලනයෙන් ගිලිහී ඇති ඡන්දයි. ජවිපෙ මෙවර තනිව තරඟ කරන තෙවන හේතුව මෙන්ම, ජවිපෙ අපේක්ෂකයා අනුර කුමාර වන්නේද මේ නිසයි.
අනුර කුමාර ඉදිරිපත් පත් වීම නිසා අවසන් ප්‍රතිඵලයට සිදු වන බලපෑම මෛත්‍රීපාල සිරිසේනගේ හැසිරීම, එජාප අපේක්ෂකයා කවුරුන්ද යන වග හා ඉදිරිපත් විය හැකි නාගානන්ද වැනි "ස්වාධීන" අපේක්ෂකයින් මත තීරණය වනවාක් මෙන්ම ඒ දේවල් සිදුවන ආකාරයද අනුර කුමාරගේ ඉදිරිපත් වීම මත යම් තරමකින් වෙනස් විය හැකියි.

